Showing posts with label education. 1. Show all posts
Showing posts with label education. 1. Show all posts

Tuesday, May 28, 2019

හිස්බුල්ලා විසින් නැගෙනහිර ගුරුවරුන්ට දුන් මාරුවීම් අවලංගුයි


 පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ නියෝගයක් මත නැගෙනහිර පළාතේ   දෙමළ පාසල්වලින් ස්ථාන මාරු කර යැවූ   සියලු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථාන මාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ඇත .

මේ පිළිඛඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ මන්සූර් මහතා විසින් මාරුවීම් සිදුවූ විදුහල්වල විදුහල්පතිවරුන්ට ඉකුත් 24 වැනිදා දැනුම් දී ඇති අතර මාරුවිම් ලැබූ ගුරුවරුන් කලින් සේවය කළ පාසල රාජකාරි සඳහා අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවට ද නියෝග කර ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සිය බලතල අනිසි ලෙස භාවිත කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල සේවය කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසලට මාරු කරමින් සිටිනබවටත් කාත්තන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවටත් මඩකළපු දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. වියාලේන්ද්‍ර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එම ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කර ඇත.

මේ අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් මෙකී මාරු කිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.

මාරුවිම් ලද මෙම ගුරුවරුන් කලින් රාජකාරි කළ විදුහල්වල රාජකාරියට වාර්තා නොකළොත් ඔවුන්ට වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙස ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
මේ අතර මුස්ලිම් පාසල් 30ක් එක්කරමින් කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට හිස්බුල්ලා මහතා ගත් උත්සාහය ද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.

-එෆ්. අස්ලම් -