
පාස්කු ඉරිදා සිදු වුණු අමානුෂික බෝම්බ ප්රහාර හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබුණද ඇතැම් විදේශිකයින් මෙරට ආරක්ෂාව පිළිබඳ ඉතා සුභවාදී අයුන් කතා කළහ.
මෙවැනි ත්රස්ත ප්රහාර ලංකාවේ තුළ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් සිදුවන බව සදහන් කළ ඇතැම් විදේශීය සංචාරකයන් ඔවුන් යළිත් මෙරටට පැමිණෙන බව සඳහන් කර තිබිණි. මේ පිළිබඳ ඔවුහු කිහිපදෙනෙක් අපත් සමග මෙසේ අදහස් දැක්වූහ.
වැන්ඩ්රා (25) සහ ජේසන් බේල් (60)
(නෙදර්ලන්ත ජාතික මවක් හා දියණියක්)
මේ ත්රස්ත ප්රහාරය ඉතා සුළු පිස්සු මිනිසුන් පිරිසකගේ වැඩක්. ඒ ගැන අපි කනගාටු වෙනවා. අපි කැමති නැහැ මේ පිස්සු මිනිසුන් දිනනවාට. ලස්සන රටක් නැතිකරන්න දෙන්න බැහැ . අපි සංචාරකයින් විදියට යළි මෙරටට නොපැමිණියහොත් මේ පිස්සු මිනිසුන් ජයග්රහණය කරනවා. මේ අයට ජාතියක් ආගමක් නැහැ. අපේ ආරක්ෂාව තහවුරු කරලා තිබුණා. මොන ප්රශ්න තිබුණත් අපි නැවත වතාවක් අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. ලංකාව දිගු ඉතිහාසයක් තියෙන රටක් . අපි පන්සලවලට ගියා. පිස්සු මිනිසුන් සුළු පිරිසක් කරන වැඩ නිසා ලංකාවේ මිනිසුන්ට දුක්විදින්න වෙනවා. මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් තියෙනවා මිනිසුන්ට ආදායම් මාර්ග නැතිවෙනවා. නමුත් මේ රටට අපි ගොඩක් ආදරෙයි. ලංකාව පාරාදිසයක්. අපි පළමු වතාවට තමයි ලංකාවට ආවේ. අපි නැවත ලංකාවට අනිවාර්යයෙන් එනවා. මේ සිද්ධිය වන අවස්ථාවේ අපි මහනුවර දළදා මාලිගාවේ හිටියේ. ඒ අවස්ථාවේ තමයි මෙම සිද්ධිය දැන ගත්තේ. ඒ අවස්ථාවේ පොඩි තිගැස්මක් ඇතිවුණා. පස්සේ එය පහව ගියා. ඇතැම් ගමන්බිමන් අවලංගු කළා. ඇල්ල දිය ඇල්ල පින්නවල අලි බලන්න ගියා ගාලු කොටුව බලන්නත් ආවා."

මරියානා අර්න්ට්, (ජර්මානු ජාතික කාන්තාවක්)
"මා මුල්වතාවට 80 වර්ෂයේ තමයි ලංකාවට ආවේ. වසර 39ක් තුළ 76 වතාවක් මෙරටට ඇවිත් තියෙනවා, කොග්ගල වෙරළ තීරයට මා ගොඩක් කැමතියි. කොග්ගල ලෝන් බීච් හෝටලය විවෘත කළ මුල් කාලයේදී තමයි ඒ හෝටලයට ආවේ. මේ වතාවේ ආවේ මගේ මුණුපුරා සමග. යුද්ධය පැවැති කාලයේත් අපි මෙරටට පැමිණියා. දකුණු වෙරළ තීරයේ නම් ආරක්ෂාව තහවුරු වී තියනවා. ජර්මනියෙත් මේ වගේ ප්රශ්න තියෙනවා. ලංකාවට එල්ල කළ ප්රහාරය ගැන අපි කනගාටු වනවා, මගේ දෙවැනි නිවහන තමයි ලංකාව. ලංකාවේ මිනිසුන් හිනාව කාරුණික බව ආගන්තුක සත්කාර නිසා ලංකාව ගැනෙ මගේ හදවත බැඳීගෙන ඉන්නේ. නමුත් ජර්මනියේ මේ රට ගැන අනතුරු අඟවලා තියෙනවා, ඒ නිසා මුල්වතාවට මෙරට පැමිණෙන අය පැමිණේවි කියලා හිතන්න අපහසුයි. මා නම් නැවත අනිවාර්යයෙන්ම ලංකාවට එනවා.
ෂනික්ලෝ (45)
(නෙදර්ලන්තයේ පදිංචි ප්රංශ ජාතික කාන්තාවක්)
"පළමු වතාවට තමයි ලංකාවට ආවේ. මේ රට් ඉතා ලසන්නයි, අපි ගොඩක් විනෝද වුණා. බෝම්බ ප්රහාරය ගැන අපි කනගාටු වෙනවා. යළි ලංකාවට සාමය උදාවන්න කියලා අපි ප්රාර්ථනා කරනවා. මෙය බලාපෙරොත්තු නොවූ ප්රහාරයක් , මුළින්ම අපි බය වුන. අප තුළ තිගැස්මක් ඇති වුණා නමුත් අපි සංචාරය අවලංගු කළේ නැහැ, අපි නැවත ලංකාවට එනවා. අනතුරු හැඟවීම් තිබුණත් ලංකාවේ සතියම ගත කරනවා."








































