Showing posts with label politicalg5. Show all posts
Showing posts with label politicalg5. Show all posts

Friday, March 13, 2020

දෙවැනි වතාවටත් දේශපාලනයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසුයි

දෙවැනි වතාවටත් දේශපාලනයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්‍ෂය නොවිසිරී එක්ව සිටීම තම ජයග්‍රහණයට වාසිසහගත වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (12දා) පැවැති පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් සංස්කරණය ලද 'අපේ සටන කාටුන් ඇසින්" කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී කාටුන් ශිල්පීන් 18 දෙනෙක් විසින් නිර්මාණය කරන ලද කාටුන් ඇතුළත් මෙම කෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ඒ හා සම්බන්ධ වූ කාටූන් ශිල්පීන්ට සමරු තිළිණ සමඟ පිළිගැන්වීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

"උදය ගම්මන්පිල මහත්තයා පිළිබඳ පුවත්පත්වල පළ වුණ කාටුන්වල එකතුවක් අරගෙන පොතක් නිකුත් කළා. මම ඒ ගැන වැඩියෙන් සංතෝස වෙන්නේ ඒ හැම එකේම මමත් ඉන්න නිසා. උදය ගම්මන්පිල මහත්තයා තමයි මම පරාජය වුණාට පස්සේ මුලින්ම FCID එකට අරන් ගිය දේශපාලනඥයා. අනිත් කෙනා පී.එල්. පීරිස් මහත්තයා. හරි දෙන්න මං ගෙන්න ගෙන තියෙන්නේ. මම හැදුවේ විශ්‍රාම ගිහින් මැදමුලන ගෙදරට වෙලා ඉන්න. මෙතුමන්ලා ඒකට ඉඩ දුන්නේ නෑ, දෙවැනි වතාවට දේශපාලනයට ආවට පස්සේ එළවන්නත් ටිකක් අමාරුයි. 

උදයගම්මන්පිල මහත්තයා අපට නැතුවම බැරි කෙනෙක්. එතුමා ගෙනාපු හැම පනතක්ම අභියෝගයට ලක් කළා. අභියෝග කරලා හදන්න තිබූ ඒවා වෙනස් කළා. ඒ වගේම එතුමට පිට කොන්දක් තිබුණා තමන්ගේ පක්‍ෂය අතහැරලා නිවැරදි කණ්ඩායමට සහයෝගය දෙන්න. ඒ වගේම විපක්‍ෂය අද විසිරිලා තිබෙනවා. මම නම් විශ්වාස කරන්නේ එයාලා විසිරිලා ඉන්නවට වඩා එකතුවෙලා ඉන්න එක අපට වාසියි. ඒ වගේම අපට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපට තියෙනවා” යනුවෙන් පවසා සිටියේය. 

මෙහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ,

"ඇමෙරිකාවේ කියමනක් තියෙනවා ඕනෑම ආණ්ඩුවක මධුසමය වන්නේ පළමු දින 100 කියලා. පළමු දින 100 ආණ්ඩුවත් ජනතාවත් අතර මධුසමය කියලා කියන්නේ ඒ දින 100 ඇතුළත ආණ්ඩුව මොන වැරදි කළත් ජනතාව ඉවසන්න පුරුදු වෙනවා අනේ තාම අලුත් ආණ්ඩුවක්නේ කියලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 2001ත්, 2015ත් බලයට පැමිණියම දින 100 වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ.

ලෝකය පුරාම තියෙන මතය තමයි. විපක්‍ෂය වැඩ පටන් ගන්න ඕන දින 100 පසුවෙලා කියලා. නමුත් 2015දී බලයට පැමිණි ආණ්ඩුවට එරෙහිව අපි ආරම්භ කළ මහින්ද සුළඟ සමස්ත ලෝකයේම දේශපාලන ඉතිහාසය වෙනස් කළ සිද්ධියක්. අපි ආණ්ඩුව පත්වෙලා පැය කිහිපයකට පස්සේ මාධ්‍ය හමුවක් තියලා කියනවා ඒ ආණ්ඩුව පලවා හරින්න කටයුතු කරනවා කියලා. අපි බාධක රැසක් තියෙද්දිත් අපේ සටන ජයග්‍රහණය කරන්න ක්‍රියා කළා" යනුවෙනි.

- ෂවින්ද්‍යා එරන්දතී -

නිරෝධායන කටයුතු අතකොළුවක් කර ගනිමින් දේශපාලන පටු වාසි ලබාගැනීමට කටයුතු නොකරන්න

නිරෝධායන කටයුතු අතකොළුවක් කර ගනිමින් දේශපාලන පටු වාසි ලබාගැනීමට කටයුතු නොකරන ලෙසට විපක්ෂයෙන් ඉල්ලා සිටින බව හිටපු  රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා,

“ඇතැම් පිරිස් නිරෝධායන කටයුතුවලට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු බව අසන්න ලැබුණා. මෙය දරුණු වෛරසයක් නිසා ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමත් රට තුළ පැතිරීම වැළැක්වීමත් ඉතා වගකීමෙන් යුතුව සිදු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් විතැන් වෙන්න සිටින කණ්ඩායමටත්, ජනතා විමුක්ති පෙරමුණටත් කියා සිටින්නේ මෙම ගැටලුව දේශපාලන අතකොළුවක් කර නොගන්නා ලෙසයි. මෙය ඉතා භයානක තත්වයක්. මේ අය සියල්ල පසෙකලා දේශපාලන පහත් පටු වාසි ලැබීමේ අරමුණින් කටයුතු කරනවා. දේශපාලන පටු වාසි ලබා ගන්න තැත් කරන පිරිස විසින් මේ තත්ත්වය පාලනය කරන්නන්ට නිග්‍රහ කිරීමක් ලෙසයි අපි දකින්නේ” යනුවෙන්ද කීය.

'පොහොට්ටුව’ සමග එක්ව මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වෙනත් පක්ෂ සමග ගිවිසුම් අත්සන් කරනු ඇති බවට සැකයක්ද උද්ගතව ඇතැයිද ශෙහාන් සේමසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. ඒ අනුව මේ පිළිබද අදහස් දක්වමින්,

"ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය අද වෙද්දී කනගාටුදායක තත්වයකට ඇද වැටිලා තිබෙන්නේ. බොහෝම වගකීමෙන් කියනවා එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ එක්වුවත් මන්ත්‍රී ආසන 50කට ළඟාවීමට නොහැකි බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු මතවාදයක් නැහැ. එම පක්ෂය තුළ විවිධ න්‍යාය පත්‍ර ඔස්සේ කටයුතු කෙරෙනවා. අපට සැකයක් තිබෙනවා ඔවුන් මැතිවරණය ජයගෙන අනෙක් පක්ෂ සමග ගිවිසුම් ඇති කරගන්නා බවට” යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

- නිදර්ශනී වික්‍රමසිංහ -

95%ක් පමණ පාක්ෂිකයන් සිටින්නේ සජිත් සමගයි

ගම් මට්ටමේ සිට 95%ක් පමණ පාක්ෂිකයන් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග බවත්, දෙපාර්ශවය එකතු කිරීමේ සාකච්ඡා තවමත් අවසන් නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත ස්නාරත්න මහතා පැවසීය.

ස්නාරත්න මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (12දා) සමගි ජනබලවේගය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 

"අපට හංගන්න දෙයක් නෑ. අද වෙද්දී එක්සත් ජාතික පක්‍ෂය කියන ඓතිහාසික දේශපාලන පක්‍ෂය කඳවුරු දෙකකට බෙදිලා තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ 95%ක් විතර සමගි ජනබලවේගය සමග එකතු වී හමාරයි. ගම් මට්ටමේ ජනතාව දැන් ඉන්නේ සජිත් එක්ක ඉදිරියට යන්න ඕන කියන අදහසින්. මම ලකුණ ගැන ඇහුවාමත් ලකුණ ගැන ප්‍රශ්නයක් නෑ කිව්වා.

උගත් ජන සමාජය අද වෙද්දි පක්‍ෂවලින් ලාංඡනවලින් ඉවත්වෙලා තිබුණට, ගම්වල ජනතාව එහෙම ඉවත් වෙන්නෙ නෑ කියලා අපි හිතුවට අද වෙද්දි ඒ තත්වය වෙනස් වෙලා තියෙනවා. මේ රජයට එරෙහි සියලු බලවේග සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් එකට එකතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. රජය පැත්තෙත් අද විශාල අර්බුදයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග විශාල ගැටීමක් තියෙනවා. රජය බිහි කිරීමට දායක වූ භික්‍ෂූන් වහන්සේලා පවා අද රජයට එරෙහි වෙලා තියෙනවා” යනුවෙන්ද සඳහන් කර සිටියේය.

දෙපාර්ශවය අතර එකඟතාවක් නොමැති බව පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්නාරත්න මහතා,

"මම අදත් රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග සාකච්ඡා කළා. තවමත් ඒ සාකච්ඡා අවසන් නෑ. කරු ජයසූරිය මහත්මයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වෙන්න සජිත් ප්‍රේමදාස මහත්මයත්, රනිල් වික්‍රමසිංහ මහත්මයත් දෙදෙනාම කැමති වෙලා හිටියේ. කවුරු හරි ඒක කඩාකප්පල් කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් මෙහෙට එන්න පුළුවන්. සියලුදෙනා මෙතනට එකතු වුණාම එයාට තනියම එතන ඉඳලා වැඩක් නෑනේ" යනුවෙන්ද පවසා සිටියේය.

- නවෝද්‍යා පවනි-

Thursday, March 12, 2020

බලයේ රැඳී සිටීමට කල්පනා නොකර තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දෙන්න


බලයේ රැදී සිටීමට කල්පනා නොකර අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දිය යුතු බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති වන්නිලා ඇත්තන් පැවසීය. ආදිවාසී නායකයා මේ බව පැවසුවේ, පෙරේදා (11දා) දඹාන, කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තු මැතිවරණයත් සමග රට තුළ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුමත් සමග ජනතාවගේ ගැටලු අමතක කර, සුරංගනා කථා දොඩමින් රට පුරා මැතිවරණ පොරොන්දු දෙමින් යළි ජනතාව රවටමින් දේශපාලකයන් කටයුතු කරන සමයක් හේතුවෙන් ජනතාව ඒ පිළිබඳව අවදියෙන් සිටිය යුතු බව වන්නිල ඇත්තෝ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකවරයා,

"අපේ රටට නිදහස ලැබුණාට පස්සේ මේ රටේ විවිධ කාලවලට පත්වෙච්ච නායකයො, පාලකයෝ විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් පත්වෙලා තියෙනවා. මම විශ්වාස කරන විදියට මම දැක්ක විදියට මේ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, සංස්කෘතිය ගැන හිතලා වැඩ කරපු අය බොහොම අල්පයි.

රට පාලනයට අලුතින්ම කණ්ඩායමක් පත්විය යුතුයි කියලා වත්මන් ජනාධිපතිවරයා මේ වෙනකොට හොඳ තීරණයකට එළැඹිලා ඉන්නවා. පසුගිය  කාලය දෙස හැරිලා බලන විට ඒ හැම දවසකම රටේ කථාබහට ලක්වුණේ රටේ පාලකයන් කරපු දූෂණ, භීෂණ, මංකොල්ල ගැන. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න, බඩු මිල ඉහළ යෑම්, ජීවත් වීමේ අපහසුව ගැන කථා කරනවා වෙනුවට පසුගිය කාලය පුරාම මුල් තැන අරගෙන කථා කළේ රටේ සිදුවෙච්ච භීෂණ, දූෂණ, වංචා ගැන. ඒවාගෙන් තාමත් රටට ප්‍රතිඵලයක් ලැබිලා නෑ කොච්චර කථා කළත්,  ඒ නිසා මේ රටේ වැදගත් ඡන්දයක් උදාවෙලා තියෙන කාලයක වකවානුවක, රටේ ජනතාව බුද්ධිමත්ව හිතලා තීරණයක් අරගන්න ඕන. රට, ජාතිය, ආගම, සංස්කෘතිය, පරිසරය ආරක්ෂා කරන, බුද්ධියෙන් හිතලා මතලා වැඩ කිරීමේ හැකියාව තිබෙන ජවසම්පන්න තරුණයෝ පාර්ලිමේන්තුවට පත්කරලා යවන්න. ආණ්ඩුවක් වශයෙන් බලයට පත් විය යුත්තේ එහෙම කණ්ඩායමක්.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තිබෙනවා. ඒ ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න පිරිස් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනිනවා. ඉතිහාසයේ ඉඳලම පැන පැන ඉන්න බොහෝ පිරිසකගෙන් පිරිච්ච පක්ෂ දෙකක් තියෙන්නේ. ඒ අය ගැන හොඳට විපරම් කරලා බැලුවාම හැරමිටියක් නැතුව පාරේ බැහැලා යන්න අමාරු වැඩි පිරිසකුත් ඒ අය අතර ඉන්නවා. කෙනෙක් වයසට යනවා කියන්නේ යහපත් කල්පනාවක් නැති, කාගෙවත් උදව්වක් නැතිව යමක් කරගන්න බැරි තත්ත්වයට පත්වන, අත දරුවෙක් වගේ ළමා කාලයේ හැසිරීම් පෙන්නන සමයක්. ඒ වගේ කණ්ඩායම් දැන්වත් තරුණ පරපුරට නායකත්වය භාරදීලා, තරුණයන්ට උපදේශකත්වය ලබාදෙමින්, රට පාලනය කරන ආකාරය ගැන තමන්ගේ අත්දැකීම් ගුරු හරුකම් ලබාදෙන්න ඕන. 

හැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරීම තේරුමක් නෑ. රටට සෙතක් නෑ. දැන් රටේ ජනතාවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටේ වයසක දේශපාලකයෝ ගැන හිතලා, ඒ අය නැවත පත් කරගැනීමෙන් වැළකී, අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව දෙන්න. මට පක්ෂයක් පාටක් නෑ. අරයා හොඳයි මෙයා හොඳයි කියලා මම කියනවා නෙවෙයි. මම රටට දෙන පණිවිඩය තමයි, රටට වැඩ කරන්න පුළුවන්, හොර බොරු නැති වංචාව නැති, කථා කරන ආකාරයෙන්ම වැඩ කරන තරුණ පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්න කටයුතු කරන්න කියලා.

මට දැනගන්න ලැබුණා අස්ගිරිය, මල්වතු විහාරයන්හි නායක හිමිවරුත් හොඳ තීරණයක් අරගෙන තියෙනවා කියලා. මමත් ඒ තීරණයම අනුමත කරනවා. මේ වාරයේදීවත් හොඳ හැටි කල්පනා කරලා, හිතවතා කියලා යාළුවා කියලා නෑදෑයා කියලා හිතන්නේ නැතිව රටට වැඩ කරන පුද්ගලයෙක්ට කතිරේ ගහලා පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න කියලා මම රටේ ජනතාව දැනුවත් කරනවා” යැයි පැවසීය.

- රංජිත් කරුණාවීර -

ගෝඨාගේ ජයග්‍රහණයට හේතු වූයේ භික්ෂූන් වහන්සේලා වුවත් පොහොට්ටුවට ඒ බව අමතක වෙලා



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා හේතු වූයේ භික්ෂූන් වහන්සේලා වුවත්, පොහොට්ටුවට ඒ බව අමතක වී ඇති බව සිංහලේ බලය ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (11දා) නාරාහේන්පිට අභයාරාමය විහාරස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

‘කුමන්ත්‍රණය පරදවමු - භික්‍ෂුවගේ දේශපාලන අයිතියට අත නොතබනු' යන තේමාව මුල් කරගනිමින් මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පඤ්ඤාලෝක හිමියෝ, 

“පහුගිය මාසයක දෙකක කාලයක් තිස්සේ මේ රටේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒ කුමන්ත්‍රණය තමයි භික්ෂූන් වහන්සේලාට තියෙන දේශපාලන අයිතිය විනාශ කරන එක. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පොහොට්ටුවේ කණ්ඩායමකුත් අනියමින් කොටස්කරුවන් වෙලා මේ දේවල් කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ සජිත් ප්‍රේමදාස උත්සාහ කළා මිතුරු වෙසින්, සමාව භජනය කරමින් තමන්ගේ ප්‍රතිරූපය වෙනස් කරගන්න. ඒක සාර්ථක වෙන්නේ නෑ කියලා දැනගත්තු නිසා තමයි භික්ෂූන්ගේ දේශපාලන අයිතිය අභියෝගයකට ලක් කරන්න උත්සාහ කරන්නේ. 

මහනායක හාමුදුරුවරු ඇතුළු භික්ෂූන් වහන්සේලාත් නියමයෙන් සහ අනියමෙන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෝ වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා දුක්විඳලා තමයි ගෝඨාභය රාජපක්‍ෂ වැනි ජාතික නායකයෙක් පත් කළේ. හැබැයි අද වෙද්දි පොහොට්ටුවේ කණ්ඩායමට ඒක අමතක වෙලා තියෙනවා. ඔවුනුත් භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන අයිතිය නැති කිරීමේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට පත් වීම අතිශය කනගාටුදායකයි. 

භික්ෂූන් වහන්සේලා විතැන් වුණු දේශපාලනයකට ගියොත් කිසිම දවසක ඒ බලකඳවුරුවලට පැවැත්මක් නෑ. මේ වෙලාවේ පොහොට්ටුව සිදුකරන්නේ උක් දණ්ඩක සාරය උරා බීලා විසි කරනවා වගේ භික්ෂූන් වහන්සේලාගේ ශක්තියෙන් බලය ලබාගෙන ඒ හැම දෙයක්ම අමතක කර දැමීමක්. කිසිම අන්තවාදියෙකුට මේ රටේ දේශපාලනයේ භික්ෂූන්ගේ භූමිකාවට අත තියන්න දෙන්නේ නෑ. අපි මේ කුමන්ත්‍රණය නවත්වන්න පොහොට්ටුව වුණත්, සමගි ජනබලවේගය වුණත්, වෙනත් කණ්ඩායමක් වුණත් සටන් කරනවා. කඩේ යන දේශපාලන ක්‍රමය මහනායක හිමිවරු ඇතුළු සියලු දෙනාටම හොඳයි. තම තමන්ගේ වැඩවලට දේශපාලනය භාවිත කළාට කමක් නෑ. හැබැයි තීන්දු තීරණ ගන්න, ව්‍යවස්ථාදායක සභාවට, මේ රට හදන තැනට භික්ෂූන් වහන්සේලා යන එක වැරදියි කියලා කියන්නේ"යනුවෙන්ද පවසා සිටියේය.

- ෂවින්ද්‍යා එරන්දතී -

Tuesday, March 10, 2020

ජනාධිපතිවරයා තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ ව්‍යවස්ථාව වෙනස් කර සදාකල් බලයේ සිටීමටයි



පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කළ ආකර්ෂණීය පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා හැට නව ලක්ෂයක් ජනතාව ඡන්දය ලබාදී බලයට පත්කළ නමුත් මේ වන විට එම පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අසරණව සිටින බවත්, මෙම පිරිස තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ පොරොන්දු ඉෂ්ට කිරීමට නොව ව්‍යවස්ථාව වෙනස් කර සදාකල් බලයේ සිටීමට බවත් කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර (එජාප) මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ පෙරේදා (08දා) පැවැති සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර (එජාප) මහතා විසින් සමගි ජනබලවේගය බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණු අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර (එජාප) මහතා පැවසුවේ මේ රටේ නිදහස හා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට ඇප කැප වී ක්‍රියා කළ එ.ජා.ප.ය 2002 හා 2015 මැතිවරණ ජයග්‍රහණය කළත් ඒජයග්‍රහණය පවත්වාගෙන යාමට එ.ජා.ප නායකත්වය අසමත් වූ බවයි.  නමුත් මේ වනවිට සමගි ජනබලවේගය ඉදිරියට එමින් සිටින බවත්, ඒ අනුව එළඹෙන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ජයග්‍රහණය කරන බවත්ය.

මෙම අවස්ථාවේ සමඟි ජන බලවේගයේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේදී ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර (එජාප), හිටපු පළාත් සභා මන්ත්‍රී චමින්ද සිල්වා (එජාප), මිනුවන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක ශ්‍රීමාල් මාරසිංහ, මිනුවන්ගොඩ  ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් ඩෙස්මන් සිල්වා (එජාප) මන්ත්‍රීවරුද අදහස් දැක්වූහ.

- එල්. ඩබ්. ආරියරත්න -

උපාධිධාරීන්ට රැකියා දීමත්, රැකියා ලක්ෂයේ වැඩසටහනත් ආණ්ඩුව ඇනගත්තා



“උපාධිධාරීන්ට රැකියා ලබාදීමත්, රැකියා ලක්ෂයේ වැඩසටහනත් ආණ්ඩුව අනාගත්තා. නටන්න බැරි නිසා පොළොව ඇදයි කියනවා වගේ ආණ්ඩුව හැම දේටම තුනෙන් දෙක ඉස්සරහට දානවා" යැයි ජ.වි.පෙ. ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (08)පැවසිය.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි. ඔහු මෙසේද කීවේය.

මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. රනිල් - මෛත්‍රී ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබානොදුන් නිසා විශාල ප්‍රමාණයක් රැකියා විරහිතවත් ඌන රැකියාලාභීන් ලෙසත් සිටිනවා. උපාධිධාරීන්ගේ සුදුසුකම් පරීක්ෂා කර ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කරලා තිබෙන නිසා ඔවුන්ගේ තොරතුරු ආණ්ඩුව සතුව තිබුණා. ජනාධිපති පත්වෙලා මාස 04ක් යද්දිත් පොරොන්දුව ඉටුකරන්න බැරි වුණා. 

ජනවාරි මාසයේ පත්වීම් දෙන බව කිව්වා. පසුවට පෙබරවාරිවලට කල් දැමමා. ආණ්ඩුව කිව්වේ මාරතු 02 පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පත්වීම් දෙනවා කියල. අවසානයේදී ලිපි යැව්වේ පෙබ.28වැනිදා. ඇතැම් අයට ලිපි ලැබිලා නැහැ. ඇතැම් අයට ලැබුණු ලිපිවල විශාල අඩුපාඩු තිබෙනවා. ඉතාම පහසුවෙන් ලබාදිය හැකි උපාධිධාරීන්ගේ පත්වීම් ටිකවත් ආණ්ඩුවට දෙන්න බැරිවුණා. අන්තිමේදී මැතිවරණ සමය නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මෙම පත්වීම් අත්හිටවනු ලැබුවා. 

මේ ආණ්ඩුව මුලින්ම උපාධිධාරීන්ට රැකියා ලබාදීම දේශපාලන වැඩක් බවට පත් කරගත්තා. ආණ්ඩුව උපාධිධාරීන් රැවටීමකට ලක් කළා.ආණ්ඩුවට වුවමනාවක් තිබුණ නම් පාර්ලිමේන්තුව මාර්තු02වැනිදා විසුරුවනවා වෙනුවට තව සතියක් පහුකරලා පත්විම් ටික දීලා විසුරුවන්න තිබුණා. නැත්තම් පත්වීම් දීම කඩිනම් කර දෙවැනිදාට පෙර ලබාදෙන්න තිබුණා. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔප්පුකර තිබෙනවා. එයින් අද කෝටි ගණනක් වියදම් කර ගෙන ගිය වැඩපිළිවෙළත් අසාර්ථක වී උපාධිධාරීන්ට රස්සා ලැබෙන්න තිබුණ අවස්ථාවත් නැති වුණා. 

දැන් ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න තමන්ගේ මඩ බළකාය යොදාගෙන උපාධිධාරී පත්විම් දෙන්න ජවිපෙ විරුද්ධ වුණා කියලා සමාජ ජාල තුළ මඩ ව්‍යාපාරයක් ගෙන යනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා උපාධිධාරීන්ට රැකියා ලබාදීම වෙනුවෙන් වැඩිම හඩ නැගීමක් කළේ ජනතා විමුක්ති පෙරමුණත් අප පක්‍ෂයට අනුබද්ධ තරුණ සහ ශිෂ්‍ය සංවිධානත් වෘත්තීය සමිතිත් උපාධිධාරී සංවිධානත් බව. අපේ පක්‍ෂයේ අනුර දිසානායක සහෝදරයා ජනවාරි මාසය අගදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් මේ පිළිබදව ප්‍රශ්න කළා. මා පෙබරවාරි මාසයේදී අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ගැටලුව පිළිබඳව විමසීමක් කළා. ඒ වගේම පෙබරවාරි මාසයේදීම පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඒ වගේම මා සහභාගී වන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමකට පෙර එතැනට සහභාගී වූ අගමැතිවරයාගෙන් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබදවත් ඔවුන්ගේ වයස් සීමාව පිළිබඳවත් ඌන සේවා වියුක්තිය පිළිබඳවත් කතා කළා. දින 100ක් ඇතුළත මේ තරම් අසාර්ථක වුණු බංකොළොත් ජනාධිපතිවරයෙක් අපි දැකලා නැහැ උපාධිධාරීන්ට රැකියා ලබාදීම වැනි ඉතාම සරල වැඩක් කරගන්න බැරි ආණ්ඩුවක් ගැන වෙන මොන කතාද? ආණ්ඩුවේම ඇමතිවරු කියනවා, රැකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තා කියලා.

ඒ වගේම මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්‍ෂයේ වැඩසටහන අසාර්ථකයි. ආණ්ඩුව පොරොන්දු වුනා සා.පෙළ අසමතුන් ලක්‍ෂයකට ආණ්ඩුවේ රැකියා ලබාදෙනවා කියලා. එහි සම්මුඛ පරීක්‍ෂණය මහා ජංජාලයක් බවට පත්වෙලා. මේ සම්මුඛ පරීක්‍ෂණවලට සා.පෙළ සමතුන්, උපෙළ සමතුන් වගේම ඌණ සේවා වියුක්ති උපාධිධාරින් පවා එනවා. ඇතැම් සා.පෙළ අසමතුන්ට සම්මුඛ පරීක්‍ෂණවලදී විවිධ සීමාකම් පනවනවා. 

උදාහරණයක් ලෙස මව සනීපාරක්‍ෂක කම්කරුවෙකු නම් පුතාට රැකියාව නැහැ. දැන් මේ අයැදුම්කරුවන් මෑන් පවර් ඒජන්සියකට අනුයුක්ත කරන තත්වයක් ඇති කරලා. ආණ්ඩුව තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගතවූ දින 100 අසාර්ථක බව පිළිගන්නා ජනාධිපති එයට හේතූව 19වැනි ව්‍යවස්ථා සංශෝධන බව කියනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ කියන්නේ තමන්ගේ අයියත් එක්ක වැඩ කරන්න බැහැ කියලද? ජනාධිපතිවරයාට කොමිෂන් සභා එක්ක වැඩ කරන්න බැරිද? වෙන වෙන කතා නොකියා ඒක කෙළින් කියන්න. ඒ වගේම 2/3 ගැනත් කතා කරනවා. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා, රැකියා ලක්‍ෂය ලබාදෙන්න බැරි වුනේ, උපාධිධාරී රැකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න බැරිවුණේ, මහ පන්නයේ ගොවීන්ට පොහොර ටික දෙන්න බැරිවුනේ, වතු කම්කරු දෛනික වැටුප රු. 1000ක් කරන්න බැරි වුනේ, විල්පත්තුව ආසන්නයේ කැලෑ කපන එක වළක්වන්න බැරිවුණේ, කිසිඳු පරිසර වාර්තාවක් නැතිව විවිධ ව්‍යාපෘති සඳහා කැලය විනාශ කරන එක වළක්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? ආයතන ප්‍රධානීන් ලෙස දූෂිතයින් පක්කරන එක නවත්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? නැහැ මේ සියල්ල ඔහුගේ කළමනාකරණ දුර්වලතා. විසඳුම් දෙන වැඩපිළිවෙළක් නැතිකම.

ජනාධිපතිවරයා මේ හදන්නේ ඒකාධිපති ගමනක්. ඔහු කියා තිබුණා, උසාවියත් පාර්ලිමේන්තුවත් ඔහුගේ කටයුතුවලට බාධා කරන්න එපා කියලා. පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයින් ඉන්න තැන. ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක්. ඔහුට 19 ගැනත් නීතිය ගැනත් අවබෝධයක් තිබෙනවා කියලා අපි හිතනවා. ඒ නිසා තමන්ගේ බැරිකමට 19 බිලිබාන්න උත්සාහ කරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය හකුලන කිසිඳු ක්‍රියාමාර්ගයකට අපි ඉඩ තබන්නේ නැහැ. එම්.සී. සී. ගිවිසුම අත්සන් නොකර ඉන්න 2/3 අවශ්‍ය නැහැ. සෝෆා, ඇක්සා ගිවිසුම් අහෝසි කරන්න2/3 අවශ්‍ය නැහැ. ඒවා කරලා පෙන්වන්නකෝ. නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියනවානේ." යැයිද ඔහු කීවේය.

- මුදිතා දයානන්ද -

Wednesday, February 26, 2020

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අලුත් පක්ෂ 05ක් එක්වෙයි



ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. එහිදී තවත් දේශපාලන පක්ෂ 5ක් නව සන්ධානය සමඟ එක්විය. ඒ අනුව 'ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය', 'ලංකා කම්කරු කොංග්‍රසය', 'ජාතික කොංග්‍රසය', 'දමිළ මහජන විමුක්ති සංවිධානය සහ එක්සත් මහජන පක්ෂය' යන පක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නියෝජනය කරන අතර, මේ අනුව පක්ෂ 14ක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඇතුළත්ව තිබේ. 

මේ අතර, නව සන්ධානයේ තනතුරු සඳහා දිනේෂ් ගුණවර්ධන (නියෝජ්‍ය සභාපති), විමල් වීරවංශ (ජාතික සංවිධායක), වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන උපසභාපතිවරුද, අසංක නවරත්න, ඩී. කලංසූරිය යන උපලේකම්වරුන්ද මීට පෙර පත්කෙරුණු අතර, එම පත්කිරීම් සඳහා මෙම ප්‍රථම විධායක සභා රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

"මේ අවස්ථාව අපි මැතිවරණයකට සූදානම් වන වෙලාවක්. ඒ මැතිවරණය තුනෙන් දෙකකින් ජයග්‍රහණය කරන්න මේ එකතු වීම රට තුළත් සන්ධානය තුළත් විශාල ශක්තියක් වනු ඇතැයි මම හිතනවා. අද එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අර්බුද අපේ පක්ෂය ඇතුළට එන්න ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. එහෙම එන්න ඉඩ තියන්න දෙන්නෙත් නැහැ. අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුවක් මේ තියෙන්නේ.

පාර්ලිමේන්තු බලය අපිට ලබාගන්න අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තු බලය තුළ වැඩපිළිවෙළක් සමඟ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. අපේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට අරගෙන යෑමයි. එම වැඩපිළිවෙළට අප සියලු දෙනාගේම සහයෝගය පක්ෂ වශයෙන් ලබාදිය යුතු යැයි මම විශ්වාස කරනවා. ඒ සඳහා එකතු වීම අත්‍යවශ්‍යයි. ඒ තුළින් විශාල ජයග්‍රහණයක් අපට ලබාගත හැකි වේ යැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ඔබ සියලු දෙනා එක්ව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." යැයි පැවසීය.

මෙම විධායක සභා රැස්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නව සන්ධානය නියෝජනය කරන පක්ෂවල සාමාජිකයන්ද සහභාගි වී තිබේ.

- දිනේෂ් සමරකෝන් -

සමගි ජනබලවේග සන්ධානයේ නාමයෝජනා කැඳවීම හෙට සිට


සමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27දා) සිට කැඳවීමට නියමිත බවත්, එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නව සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව එදිනට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට එකඟතාව පළ කළ සියලු පක්‍ෂ සමඟ ගිවිසුම්ගත වීමට නියමිත බවත්, ඒ වෙනුවෙන් මේ වනවිට සියලු පක්‍ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳ මේ වනතුරු නිශ්චිත තීරණයකට පැමිණ නැතත්, සන්ධානයේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ පිළිබඳ සියලු පක්‍ෂ සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමගි ජනබලවේගය සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට විදේශ තානාපතිවරුන්, නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇති බවත්, මෙම උත්සවය සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මෙම සන්ධානයට එකතු වීමට විශාල පක්‍ෂ සංඛ්‍යාවක් මේ වනවිට සිය කැමැත්ත පළ කර තිබෙන බවද හරීන් ප්‍රනාන්දු පැවසීය.

- නවෝද්‍යා පවනි -

Tuesday, February 25, 2020

ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 90ක් ප්‍රමාණවත්



එළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 90ක් ලබාගැනීම ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා,

"මේ ආණ්ඩුව හරි දක්‍ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.

මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ. අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, අනෙකුත් සුළු පක්‍ෂ සමඟ එකතු වෙලා ආණ්ඩුවක් හදනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා" යනුවෙන්ද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා හා මාධ්‍යවේදීන් අතර එහිදී ඇති වූ සංවාදය පහත පරිදි වේ.

ප‍්‍රශ්නය - සන්ධානයේ ලාංඡනය පිළිබඳ ගැටලුවේ අවසන් තීරණය ගන්නේ කවදද?

සියයට 80ක් 90ක් මේ වනවිට ගැටලු විසඳගෙන තියෙන්නේ. අපි හැමෝම එකඟවෙලා එක ලකුණකින් ඉදිරිපත් වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. ඒ නිසා මෙතන ගැටලුවක් නෑ. කඩිනමින්ම ලකුණ පිළිබඳ අවසන් තීරණය ගන්නවා. හංසයාගෙන් එන්න ඕන කියන තීරණය අරන් තියෙනවා පක්‍ෂය විසින්. යම් ගැටලුවක් ආවොත් සමහර විට ලකුණ අලියා වෙන්නත් පුළුවන්. වෙනත් ලකුණක් වෙන්නත් පුළුවන්.

ප‍්‍රශ්නය - හංසයා ලකුණ දැනට හිමි පක්‍ෂය එය ලබාදීමට සුදානම් ද?

ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. මහලේකම් ධුරය වැනි කාරණා සම්බන්ධව. හංසයා ලකුණට එක්සත් ජාතික පක්‍ෂයේ අනුමැතිය ලැබිලා තියෙන නිසා අපට එය ලබාගැනීමට හැකිවෙයි.

ප‍්‍රශ්නය - මුස්ලිම් කොංග්‍රසය වෙනම ඉල්ලන්න සුදානමක් තියෙනවා නේද? ඔවුන් සන්ධානයෙන් ඉවත් වෙනවද? 

මං හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. විවිධ සාකච්ඡා පවතියි. කොහොම ඉදිරිපත් වුණත් සියලු දෙනා මේ ආණ්ඩුවට විරුද්ධවනේ ඉදිරිපත් වෙන්නේ.

ප‍්‍රශ්නය - මැතිවරණය සඳහා පවතින සුදානම කොයි වගේද?

අපි මේ වතාවේ නවක අයට අවස්ථාව දෙනවා. මේ වෙද්දිත් විශාල අයදුම්පත් ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඒ වගේම ආසන ගණනාවකට අලුත් සංවිධායකයන් පත් කරන්න නියමිතයි. ඒ වගේම ගම් මට්ටමේ සිට ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යනවා.

- නවෝද්‍යා පවනි -

Friday, February 21, 2020

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකරන්න


කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිවැරැදි ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන මෙන් තමන් ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළහ.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරියන් 12 දෙනෙක් පමණක් බවත් එය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 5%ක් පමණක් බවත් මේ හේතු නිසාම විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී එය බාධාවක් වූ බවත් මෙහිදී ප්‍රකාශ විය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තු නියෝජනය සඳහා 25%ක කාන්තා නියෝජනයක් දිනාගැනීමට සමත් වුවද එම ප්‍රතිශතය පාර්ලිමේන්තු මැතිවරණයකදී පක්ෂ අපේක්ෂක ලැයිස්තුවලින් හිමි නොවන නිසා පක්ෂ නායකයන් වැඩි කාත්තා අපේක්ෂිකාවන් පිරිසක් මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවලට ඇතුළත් කර ගැනීමට අවධානය යොමු කළ යුතු බවයි. 

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුසිතා විජේමාන්න මහත්මිය සඳහන් කළේ ලංකාව තුළ අවම විවාහ වයස අවුරුදු 18 බවට පත් කිරීම, ළමා විවාහ වැළැක්වීම, උප්පැන්න සහතිකයේ මවුපියන් විවාහකද යන තීරය ඉවත් කිරීම, දේපළ පැවරීමේදී දියණියන් නොසලකා හැරීම වැළැක්වීම ආදී යෝජනා රැසක් පාර්ලිමේත්තුවට ඉදිරිපත්කිරීමට කාන්තා මන්ත්‍රීවරියන්ට හැකි වූ බවයි.

විශේෂයෙන් පසුගිය ජනවාරි මුල් සති දෙක තුළ පමණක් රට තුළ ස්ත්‍රී දූෂණ 142ක්, බරපතළ ලිංගික අපයෝජන 42ක්, ළමා අපයෝජන 54ක් වාර්තා වී තිබේ. මේ නිසා කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින නීති සංශෝධනය කොට නව නීති හඳුන්වාදීම ඉතා වැදගත් වන බව මන්ත්‍රිවරියෝ පෙන්වා දුන්හ.

මේ නිසා දේශපාලනයේ දී කාන්තාවන්ට නිසි තැන නොලැබීම, කාත්තාවන් අවර ගණයෙහිලා සැලකීම මෙන්ම කෙතරම් අධ්‍යාපනයෙන් ඉහළට පැමිණියද ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී කාත්තා දායකත්වය අවම බවත් මේ නිසා පොදුවේ එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රිවරියක්වත් තේරී පත්වන අයුරින් හෝ කාන්තා නියෝජනයක් ඊළඟ මැතිවරණය සඳහා ලබා දෙන ලෙස මන්ත්‍රිවරියෝ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. 

මෙම අවස්ථාවට සුමේධා ජී. ජයසේන, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය තුසිතා විජේමාන්න, ශ්‍රියානි විජේවික්‍රම, රෝහිණී කුමාරි විජේරත්න, විජේකලා මහේෂ්වරන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරියෝ සහභාගි වූහ.

-ජේ.ටී.ද සිල්වා-

Thursday, February 20, 2020

"කුරුණෑගලින් තරඟ කරන්න" - කුරුණෑගල එජාප මන්ත්‍රීන්ගෙන් සජිත්ට ආරාධනාවක්



එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ලෙස ආරාධනාවක් ලැබී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම ආරාධනාව සජිත් ප්‍රේමදාස මහතාට යොමුකර ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීම සම්බන්ධ ආරාධනාව සලකා බලන බව සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ට පැවසූ බවද මේ සම්බන්ධයෙන් විමසීමේදී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ පළමු උදාගම්මානය පිහිටා ඇත්තේද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රදේශයේ වන බැවින් කුරුණෑගල දිස්ත්‍රික්කය ඔවුන්ට සමීප දිස්ත්‍රික්කයක් බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා,

"සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකතුමාට මෙවර මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්න කියලා මම ආරාධනා කළා. එතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා උදා ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. මුල්ම උදා ගම්මානය අඹන්පොළ ඇති කළේ. මේ නිසා කුරුණෑගල කියන්නේ ප්‍රේමදාස මහත්මයාට සමීප දිස්ත්‍රික්කයක්. 

ඒ වගේම මම පාර්ලිමේන්තුවට පැමිණිදා සිටම සජිත් ප්‍රේමදාස මහත්මයා නායකත්වයට පත්කිරීම වෙනුවෙන් පෙනීසිටියා. ඒ නිසා මගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ අවස්ථා තිබුණා.

කෙසේ වෙතත් මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්‍ෂයට සුවිශේෂයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාට කුරුණෑගලින් තරඟ කරන ලෙස මම ඉල්ලා සිටියා.

මේ ආරාධනාව සම්බන්ධයෙන් සලකා බලන බවද එතුමා ප්‍රකාශ කළා" යනුවෙන් පවසා සිටියේය. 

මේ අතර විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාද මේ බව සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විශාල ජනතාවක් සිටින බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ බවත්, ඒ අනුව මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරන බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය. 

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ කළ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා,

"කුරුණෑගල දිස්ත්‍රික්කය රටේ විශාල භූමි ප්‍රමාණයක් තිබෙන දිස්ත්‍රික්කයක්. විශාල ජනතාවක් ඉන්නවා. මේ නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල  දිස්ත්‍රික්කයට ඇවිල්ලා මැතිවරණයට ඉදිරිපත් වුණේ. මම ඒ වගේම තව කෙනෙකුට ආරාධනා කරන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මම කියනවා කරුණාකරලා අපේ දිස්ත්‍රික්කයට එන්න. ඇවිල්ලා එක්සත් ජාතික පක්‍ෂයට තරඟ කරන්න. එතුමාව පිළිගන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ආදරයෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා” යැයිද සඳහන් කළේය.

-චාමර සම්පත්-

Wednesday, February 19, 2020

'හඬපට' මන්ත්‍රීවරුන්ට දෙන්න යළිත් පක්ෂ නායක සාකච්ඡාවක්


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සභාගත කළ, එසේම මේ වනවිට සංස්කරණය කරන ලද හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් නැවත පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.

පාර්ලිමේන්තු කටයුතු ඊයේ (18) ආරම්භ විමෙන් අනතුරුව අදාළ හඬපට සම්බන්ධයෙන් කථානායකවරයා ප්‍රකාශයක් සිදුකළ අතර, එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම හඬපට සංස්කරණය කළ බවත්, මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට මන්ත්‍රීවරුන් වගබලා ගත යුතු බවත්ය.

කථානායකවරයාගේ ප්‍රකාශයත් සමග පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතා බහක් ඇතිවිය. ඒ අනුව අදාළ හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතුද නැද්ද යන්න පිළිබඳ මන්ත්‍රීවරුන් අතර උණුසුම් අදහස් හුවමාරු වූ අතර, හඬපට සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ නායකයින් සමග නැවත සාකච්ඡා කරන බව කථානායකවරයා අනතුරුව පැවසීය. මෙහිදී මන්ත්‍රීවරුන් අතර වූ සංවාද සටහනක් පහතින් වේ.

ජා.නි.පෙ. නායක අමාත්‍ය විමල් වීරවංශ 

සංස්කරණයට ලක්කළා කිව්වෙ දේශපාලන වාසි අවාසි බලලාද? 

කථානායකවරයා

නෑ. සභානායකතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු පාර්ශවයන් නියෝජනය කරමින් වූ කමිටුව මඟින් දේශපාලන භේදයකින් තොරව කළේ කතා කරන වචන සම්බන්ධවයි. අවසානයේදී හැන්සාඩ් කර්තෘතුමියත් බැලුවා.

පා.ම. විජයදාස රාජපක්ෂ

ඒවායේ තියෙන්නේ අල්ලාප, සල්ලාප සහ කුණුහරුප. හඬපටවල තිබෙන කුනුහරුපවලට කොහොමද පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙන්නේ? සමාජයේ මනස දූෂණය වෙනවා. කුමන ප්‍රතිපාදන මතද හඬපට පාර්ලිමේන්තුව තුළ බෙදාහරින්නේ? සමාජ යහපත මොකක්ද?

කථානායකවරයා 

එතන තියෙන්නේ ඕපාදූපවලට වැඩිය කුණුහරුප. බහුතරය විරුද්ධ නම් මම රෙජිස්ටර් නොකර ඉන්නම්.

පා.ම. විජයදාස රාජපක්ෂ

පාර්ලිමේන්තු බලතල හා ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන්න.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පක්ෂ නායකවරුන් එකඟ වුණේ නෑ හඬපට සභාගත කරන්න. නමුත් හැන්සාඩ්ගත වූ කරුණු සහ අන්තර්ගතය තුළින් සෑම පාර්ශවයක්ම නියෝජනය වන දේශපාලනඥයන්ට වන හානිය නැති කිරීමටයි කතා කළේ.

සභානායක දිනේෂ් ගුණවර්ධන 

පරීක්ෂණ කරලා කිව්වා. සභාගත කිරීම ඉවත් කරගත්තා නම් ඉවරයි.

පා.ම. විජයදාස රාජපක්ෂ

පෞද්ගලික දේවල් සභාගත කරලා උත්තරීතරභාවයට අගෞරව කරන්න එපා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පා.ම. අනුර කුමාර දිසානායක

අදාළ හඬපට රන්ජන් මන්ත්‍රීවරයා සභාගත කරනවා කියලා ප්‍රකාශ කළා. මුලසුනේ සිටි අය හෝ සභාව තුළ ඊට විරෝධය ආවේ නෑ. මන්ත්‍රීවරුන් හඬපට ඉල්ලා සිටියා විවිධ අවස්ථාවලදී. අප විසින් සාකච්ඡා කළේ හඬපට නිකුත් කරනවාද නැද්ද යන්නයි. සභාගත කළ හඬපට අපට ලබාදෙන්න ඕනෑ හරි නම්. මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා ඒවා ලබාගන්න.  

පා.ම. බිමල් රත්නායක 

පසුගියදා මාධ්‍යයේ පට්ට ගහපු දේවල් නතර කරන එකෙන් නොවෙයි සභාවේ ගෞරවය ආරක්ෂා වෙන්නේ. අසභ්‍ය වචන ඉවත් කිරීමේ බලය ඔබතුමාට තිබෙනවා. හඬපට රන්ජන් මන්ත්‍රීවරයා සභාගත කළා. ඒවා දේශපාලනයේ, සමාජයේ පැතිකඩවල් නියෝජනය කරනවා. එය හැංගීම වැරදියි.

කථානායකවරයා

පක්ෂ නායකයින් සමඟ මම සාකච්ඡා කරන්නම්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සමහර රටවල් ගැන අපහාසයෙන්, උපහාසයෙන් විවිධ ඉහළ තලවල සිටින පුද්ගලයන් කරන කතා ඒවායේ තිබෙනවා. ඒවා මේ වෙලාවේ එළියට එන එක හරිද? අපේ රටට ඉන් සිදුවන හානිය කොතෙක්ද? ඒවායි අපි ඉවත් කළේ.

පා.ම. අජිත් පී. පෙරේරා 

පාර්ලිමේන්තුවේ භාෂණයේ නිදහස සීමා නොකළ යුතුයි. කථානායකතුමනි, ඔබතුමාගේ තීන්දුව, ක්‍රියාමාර්ගය නිවැරදියි.

පා.ම. නලින් බණ්ඩාර 

රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන් ඒ අයගේ බිරින්දෑවරුන්ගේ හඬපට ඒ අතර තිබෙනවා. ඒවා සභාගත කිරීමේ දැනගැනීමේ අයිතිය අපට තිබෙනවා. ඇතැම් විට හඬපට ගැන කතාව යටගියේ ඒ නිසාද දන්නේ නෑ.

පා.ම. රන්ජන් රාමනායක 

ආණ්ඩු පක්ෂයේ අභියෝග කළ ජනාධිපතිවරුන්ගේ, දැන් ඉන්න අගමැතිවරුන්ගේ, කැබිනට් ඇමතිවරුන්ගේ වගේම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ හඬපට තිබෙනවා. මම හොරෙක්, වංචාකාරයෙක්, කුඩුකාරයෙක් නොවෙයි. මම කියන්නේ හොරුන් ඇතුළට දාන්න කියලා. හොරු අල්ලන්නේ නැති නිසයි මට නඩුකාරයන්ට කතා කරන්න වුණේ. ලෙබනන්වල සර්ෆ් හවුස් එකට ගිහින් රෙකෝඩින් දාගෙන එන්න කියලා මට එදා කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා. නාමල් රාජපක්ෂගේ හඬපටත් තියෙනවා විනාඩි 18ක. ඉරාජ්ට කතා කරනකොට එයයි ෆෝන් එක ආන්ස්වර් කළේ. මම මාදිවෙල මන්ත්‍රී නිවාසවල ඉන්නේ හිඟන්නෙක් වගේ. එක පර්චස් එකක්වත් නෑ මට ලංකාවේ තියා ලෝකේ කොහෙවත්.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු

අපට මේවා ඉවත් කළත් එකයි නැතත් එකයි.

පා.ම. ආශු මාරසිංහ 

ඔබතුමා ස්ථාවර නියෝග අනුව කටයුතු කරලා තිබෙනවා කථානායකතුමනි.

පා.ම. නාමල් රාජපක්ෂ 

මගේ හඬපට තියෙනවා නම් එළියට දාන්න. මොකද මම ඔබතුමා එක්ක ෆ්‍රන්ට් සයිඩ්, බැක් සයිඩ් ගැන කතා කළේ නෑ.

පා.ම. බිමල් රත්නායක

පාර්ලිමේන්තුවේ ගරුත්වය, විනය ගැන මන්ත්‍රීවරු කියනවා. විනය හංගලා රකින්න දෙයක් නෑ එළියට පෙන්වලායි රකින්න ඕනේ.

-නිදර්ශනී වික්‍රමසිංහ-

Thursday, February 13, 2020

ජයගත හැකි පිරිසට නාමයෝජනා ලබාදීමේ වගකීම නාමයෝජනා මණ්ඩලය සතුයි - රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල


ජයග්‍රහණය කළ හැකි පිරිස සඳහා නාමයෝජනා ලබාදීමේ වගකීම නාමයෝජනා මණ්ඩලය සතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (12දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"මැතිවරණයක් ළං වෙනකොට එක්වීමේ සහ දික්කසාද වීමේ කරුණු ගණනාවක් සිද්ධ වෙනවා. නාමයෝජනා කණ්ඩායම් දාපුවාම ඉතාමත්ම ජනප්‍රිය දේශපාලන කණ්ඩායමේ කිහිප දෙනෙක් බැහැර වෙනවා. ඒක තමයි ඉතිහාසය පුරාම සිදුවෙලා තියෙන්නෙ. මොකද ඒ ජනප්‍රියතාව නිසාම 15 නම් ගන්න පුළුවන් 30ක් ඉදිරිපත් වෙනවා. ජනප්‍රියතාවක් නැති අයට 15ට 8යි එන්නේ. ඉතුරු 7 ගිහින් හොයාගන්න ඕන. එතකොට ජනප්‍රිය කණ්ඩායමට ඒ පීඩනය එනවා.

මං උදාහරණයක් කියන්නම්කො. යම් රජයක් පැරදිලා තව රජයක් පත් වෙනකොට පළාත් පාලන එකට හොයාගන්න කට්ටිය නෑ. ජයග්‍රහණය කළාම මහලේකම්ගේ කාමරය ඉස්සරහා නිදාගන්නවා මට දුන්නෙ නැත්තම් මං වහ
බොනවා කියලා. බොහොම සරලයි. ඒ නිසා ජනප්‍රිය දේශපාලනයට නාමයෝජනා දෙනකොට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සියලු දෙනා සතුටු කරන්න හැකියාවක් ඇත්තෙත් නෑ.

මහනුවර අපට ෆයිල් කරන්න පුළුවන් දහහතර දෙනයි. දහහතර දෙනා මං හිතන්නේ මේ වෙනකොට 140ක් විතර ඉල්ලලා තියනවා. දිනන්නම පුළුවන් 14 තෝරාගැනීමේ වගකීම තමයි නාමයෝජනා මණ්ඩලයට තියෙන්නේ. ඉතිං ඒ අතරතුරේ ඒ 14 දෙනාම දිනන්නේ නෑ කියලා දන්න නිසා දිනන්න පුළුවන් අය නියත වශයෙන්ම දාලා අර දිනන්න බෑ මෙච්චරයි පුළුවන් කියන අයට තව ඉතිං හිතවත්කම් බලලා තව දේශපාලන පක්‍ෂවලින් එකතු කරගන්න ඕන නම් තවත් එකතු කරගන්න පුළුවන්.

අනිත් කාරණය තමයි දේශපාලනයේ යම් සිදුවීම් එක්ක දේශපාලන පසුබිම සහ දේශපාලන සටන් බිම වෙනස්කම් සිද්ධ වෙනවා. අපි ඒ වෙනස්කම්වලට උත්තර දුන්නේ නැත්තම්, අපි ඒ වෙනස්කම් තේරුම්ගත්තේ නැත්තම්, ඒ වෙනස්කම්වලට හරියන විදියේ පසුබිම අපි සකස් නොකරනවා නම්, අපි පරාජිතයන් බවට පත් වෙනවා. ඉලක්කය විය යුත්තේ ස්ථාවර ආණ්ඩුවක්. ඒ ස්ථාවර ආණ්ඩුව හදන්න ඕන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබෝධයටම නෙවෙයි. රට ඉදිරියට ගෙනියන්න. රටේ සංචාරක ව්‍යාපාරය, රටට ආයෝජකයන් ගෙන ඒම වගේ වැඩපිළිවෙළදී ස්ථාවර ආණ්ඩුවක් සහ රාජ්‍ය ආරක්‍ෂාව පළමුවැනි කරුණු දෙක වෙනවාමයි. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ දැඩි ස්ථාවර ආණ්ඩුවක් හදන්න හොඳම අත්තිවාරම දැමිය හැකි හොඳම කණ්ඩායම මේ තරඟ බිමට ඉදිරිපත් කිරීම” යනුවෙන්ද පවසා සිටියේය.

- ෂවින්ද්‍යා එරන්දති -

Wednesday, February 12, 2020

ගම්මන්පිල පරිසරය රකින ඡන්ද ව්‍යාපාරයකට සැරසෙයි



'පුංචි ප්‍රචාරක කාඩ්පත් ආක්‍රමණික ශාක යොදා සෑදූ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි කඩදාසිවලින් සකසනවා'

-පිවිතුරු හෙළ උරුමයේ නායක, පා. ම. උදය ගම්මන්පිල-

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම 'පුංචි ප්‍රචාරක කාඩ්පත්' සඳහා ආක්‍රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කඩදාසි භාවිත කිරීමට තමන් තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී යේ (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා සිටි මන්ත්‍රීවරයා, ආක්‍රමණික ශාක භාවිතයෙන් කඩදාසි නිෂ්පාදනයේ නිරත මධුර නානායක්කාර මහතාද මෙම මාධ්‍ය හමුවට සම්බන්ධ කරගෙන සිටියේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“ජනාධිපතිතුමන් ඔහුගේ ජනාධිපතිවරණයේදී පෝස්ටර් නැතුව රටම දිනන්න පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිසා අද පොලිතීන් පෝස්ටර් රතිඤ්ඤා නැති මැතිවරණ ව්‍යාපාර සාමාන්‍ය තත්වයක් බවට පත්වෙලා තියෙනවා.

අපි මේක තවත් පියවරක් ඉදිරියට ගෙන යෑම සඳහා මධුර නානායක්කාර මහතා අපේ මාධ්‍ය හමුව සඳහා සහභාගි කරවා ගත්තා. එතුමා කරන්නේ කඩදාසි නිෂ්පාදනය. පොත්පත්, ආරාධනා පත්‍ර ආදී කඩදාසි පදනම් කරගත් නිර්මාණ ඔවුන් සිදුකරන්නේ. මේ සඳහා ඔවුන් ආක්‍රමණික ශාක භාවිත කරනවා. ඩිලේනියා, ජපන් ජබර, සැලිවීනියා, ගිනි ග්‍රාස්, මිෂන් ග්‍රාස්, වෙල් ආතා වැනි ආක්‍රමණික ශාක අද වනවිට අපට දැවැන්ත ප්‍රශ්නයක් වෙලා. විදේශයකින් අපේ පරිසරයට ඇවිල්ලා පරිසරය තුළ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන ශාක විශේෂ තමයි මේ ආක්‍රමණික ශාක.

මේ ශාක ශීඝ්‍රයෙන් පැතිර යාම නිසා, අපට ආහාර, ඖෂධ ලබාදෙන ශාක සඳහා ඇති ඉඩකඩ ජලය පොහොර යනාදිය මේ ශාක විසින් අත්පත් කරගෙන තියෙනවා. අපට වැදගත් අපේ ආවේණික ශාක ඒ නිසා වඳ වීමේ තර්ජනයට මුහුණපාලා තියෙනවා. ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ පුංචි ප්‍රචාරක කාඩ්පත් සඳහා ප්‍රතිචක්‍රිත කඩදාසි භාවිත කිරීමට මා තීරණය කළා. ඉතින් හැමෝම තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා මේ ආක්‍රමණශීලී ශාකවලින් සෑදුණු මෙවැනි කඩදාසි සිය ප්‍රචාරක කාඩ්පත් සඳහා භාවිත කළහොත් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වනවිට ලංකාවේ තිබෙන ආක්‍රමණික ශාක ටිකත් ඉවර කරගන්න පුළුවන්.

එමෙන්ම මධුර නානායක්කාර මහතා සිය නිර්මාණ සඳහා කෙසෙල් කඳන් වැනි ඉවතලන කෘෂිකාර්මික අපද්‍රව්‍ය, භාවිත කරන ලද කඩදාසි යනාදියත් යොදාගන්නවා. එමෙන්ම ඔහු නිෂ්පාදනය කරනවා කාඩ්පත් එළවළු බීජ සහිතව. එවැනි කාඞ්පත් අප මැතිවරණය සඳහා මුද්‍රණය කරගතහොත් එය ළඟ තබා ගන්නා අයට ඡන්දය දින දක්වා අංකය මතක තබා ගැනීමට එය පාවිච්චි කරලා, ඡන්දය දින එය පැළ කිරීම සඳහා යොදාගන්න පුළුවන්.

වස විසෙන් තොර එළවළු පාවිච්චි කරන්නද හැකියාව ලැබෙනවා. කොළඹ හතේ නිවසක හිටියත් ගමේ ගොඩේ හිටියත් පැළ කළ හැකි එළවළු ඇට තමයි මේ කාඩ්පත සඳහා භාවිත කර තියෙන්නේ. මෙය හරහා එක පැත්තකින් ආක්‍රමණික ශාක අප පරිසරයෙන් අයින් කරනවා. අනිත් පැත්තෙන් තමන්ට අවශ්‍ය එළවළු නිෂ්පාදනය කර ගැනීමට ජනතාව පෙලඹෙනවා. එනිසා දේශපාලකයන් කතා කරන තරමටම ජනතාවගේ සෞඛ්‍ය ගැන සංවේදී නම්, දේශපාලකයන් කතා කරන තරමටම පරිසරයට ආදරේනම් මේ ක‍්‍රියාවට එකතු වෙන්න කියලා මා මගේ සහෝදර දේශපාලකයන් සියලු දෙනාට ආරාධනා කරනවා” යනුවෙන් පවසා සිටියේය.

-නිදර්ශනී වික්‍රමසිංහ-