Showing posts with label Local News g2. Show all posts
Showing posts with label Local News g2. Show all posts

Friday, August 16, 2019

සීලින් විදුලිපංකා විකිණීම බෙදාහැරීම සහ ආනයනයට නව නීති.තරු ලේබලය නැත්නම් විකිණිම තහනම්


සීලින් විදුලිපංකා විකිණීම , බෙදාහැරීම  සහ ආනයනය කිරීමට අදාළව ඊයේ (15දා)  සිට නව නීති ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.

සීලින් විදුලිපංකා සඳහා නව බලශක්ති ලේබල් ක්‍රමයක්  හදුන්වා දෙමින් සීලින් විදුලි පංකා සැපයුම්කරුවන්, නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් ඊට අනුගත කරගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රුද්‍රිගු පැවැසුවේය.

SLS 1800/2011 ප්‍රමිතිය යටතේ විදුලිපංකා සඳහා තරු සහිත ලේබලයක් හඳුන්වා දෙන බවත් විදුලි පංකාවල බලශක්ති කාර්යක්ෂමතාව අනුව ඒවා සඳහා තරු ලකුණු නිකුත් කරන බවත් ඔහු කීවේය.

සීලින් විදුලීපංකා ආනයනය කිරීමේදී තරු ලේබලය රහිත විදුලීපංකා අද ( 16) සිටි රේගුවන් නිදහස් නොකරන බවත් හෙතෙම පැවැසීය.

අදාළ නීති රෙගුලාසි අංක 2013 ජනවාරී 22 1794/15 දරන ගැසට් පත්‍රය මඟින් නිවේදනය කළද මේ දක්වා ඊට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සම්පාදනය නොවීම හේතුවෙන් ක්‍රියාත්මක නොවූ බවත් මීට මාස 6කට පමණ පෙර සිට අදාළ නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව  සීලින් විදුලීපංකා සැපයුම්කරුවන් දැනුවත් කොට සහන කාලයක් ලබාදී තිබූ බවත් හෙතෙම පැවැසීය.

තරු ලේබලය රහිත සීලින් විදුලිපංකා ගබඩා කිරීම, ප්‍රදර්ශනය, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ බෙදා හැරීම ඊයේ (15දා) සිට තහනම් බවද ඔහු කීවේය.

ප්‍රමිති ආයතනය නිකුත් කරන ප්‍රමිතී සහතිකය අනුව තරු එකක් හෝ හිමිනම් පමණක් අදාළ ලේබලය හිමි වන බවත් විදුලී කාර්යක්ෂමතා ඉහළ යෑමේදී තරු සංඛ්‍යාව 5ක් වන උපරිමයකට යටත්ව නිකුත් කරන බවත් හෙතෙම කීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායක අනුව එම ලේබල් ප්‍රමිතිගත කර ඇති අතර ඒවා නියමිත වර්ණයන් හා ප්‍රමාණයෙන් යුතු වන බවත් ඔහු කීවේය.අදාළ ලේබල් සහිත විඳුලීපංකා හඳුනාගැනීම් පිළිබඳ ඉදිරියේදී විදුලි පාරීභෝගිකයන් දැනුවත් කරන්නෙ බවත් මෙවැනි කාර්යක්‍ෂම බවින් යුතු විදුලි උපකරණ භාවිතයෙන් විදුලි බිල අඩු කරගත හැකි බවත් ඔහු කීවේය.

විදුලි කාර්යක්ෂමතාව අඩු උපකරණ සඳහා රෙගුලාසි පැනවීමේ බලතල සතු සුනිත්‍ය බලශක්ති අධිකාරී 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත යටතේ ක්‍රියාත්මක වන බවත්, අවම වශයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 42ක වාර්ෂික විදුලි ඉතිරියක්  සීවිලින් විදුලීපංකාවලට ප්‍රමිතියක් හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික අධිකාරිය එක්වී මේ නීති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඔහු මේ බව කීවේ ඊයේ (15දා) මේ පිළිබද දැනුවත් කිරීම සමිබන්ධව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ආලෝකකරණය සඳහා වන කලාපීය මධ්‍යස්ථානයේ පවැති සාකචිඡාවකට එක්වෙමිනි.

හර්ෂනී අර්සකුලරත්න


සරැංගලය කඹය මතින් අඩි 1000 ක් යෑමේ රෝහණගේ වෑයම අසාර්ථක වෙයි



අනුරාධපුර, යහලේගම, වේළුවනාරාම විහාරස්ථානයට ආධාර මුදලක් එකතු කර දීමේ අරමුණින් වර්ග අඩි 800කට ආසන්න විශාල සරුංගලයක් නිර්මාණය කර, ඒය අඩි 1200ක් පමණ ගුවනට ගිය පසු, එහි කඹය ආධාරයෙන් සරුංගලය මතට නැගීමට කළ පෙරහුරුවක් ඊයේ | (15දා) උඩුගුවනේ පැවැති අධික සුළං තත්ත්වය නිසා සරුංගලයේ සැකිල්ල ආපදාවට ලක්වීමෙන් නැවත වැව් පිටියට ගොඩබෑමට සිදුවිය.

අනුරාධපුර යහලේගම වැව් පිටියේ දැවැන්ත සරුංගලය පෙරේදා (14දා) නිර්මාණය කරනු ලැබුවේ තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ස්ථිර පදිංචි ලිපිනයක් නොමැති 46 හැවිරිදි දෙදරු පියෙකු වන කේ.ඩබිලිවි.ඊ.එස්.ඩී. රෝහණ කුමාර මහතා විසිනි.

මෙය දැකබලා ගැනීම සඳහා ඊයේ (15 දා) මහා සංඝරත්නය ප්‍රමුඛ උණගස්වැව පලාඩිකුලම,වේළුවනාරාම, කීරීක්කුලම හා අනුරාධපුර නගරයේ පදිංචි දහසකට ආසන්න පිරිසක් යහලේගම වැව් පිටියට රැස්ව සිටිනු දක්නට ලැබුණි.

කේ.ඩබිලිව්.ඊ.එස්.ඩී.රෝහණ කුමාර මහතා හිස් පොහොර උර 125 කට ආසන්න ප්‍රමාණයක්, වියළි උණබට, උණ පතුරු, ලණු හා නූල් උපයෝගී කරගනිමින් වර්ග අඩි 796.25 වන උස අඩි 30ක් හා පළල අඩි 49ක් වූ දැවැන්ත සරුංගලය නිර්මාණය කිරීම පෙරේදා (14) වනවිට අවසන් කර තිබුණි.

ඔහු මීට පෙර අවස්ථා 13කදී දැවැත්ත සරැංගල් ගුවනට යවා ලණුව දිගේ ගුවන්ට ගොස් පෙරහුරු කර තිබෙන අතර මෙවර අඩි 1000කට වැඩි උඩකට යැමට ගත් වික්‍රමය අනුරාධපුර යහලේගම වැව් ඉස්මත් දී අයහපත් සුළං හේතුවෙන් සරුංගලයට හානි සිදුවීම නිසා තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.

මේ පිළිබඳව අදහස් දැක් වූ රෝහණ කුමාර මහතා යා මෙසේ පැවසීය.මේ සරුදගලය හදන්න හිස් පොහොර උර 125ක් විතර වැයවුණා. පොහොර උර දෙකට පළලා සරුංගලයේ ආධාරක වළට තියලා මහනවා. නයිලෝන් කඹයක් උපයෝගී කරගෙන තමයි සරුංගලය ඉහළ අහසට යවන්නේ. මගේ අරමුණ අඩි 1000-1200ත් අතර උඩකට සරුංගලය ගුවන්ගත කරන්න, පොඩි ගැටලුවකට තියෙන්නේ වැව ආසන්නයේ අධිබලැති විදුලි කමිබි තියනවා. ඒවයින් ගැටෙන් නැතිවෙන්න සරාගලය ගුවනට යවන්න ඕන.

මම සරුංගලය ගුවනට යවා සරුංගලය අඩි 1200ක් පමණ ගිය විට ඉන් අනතුරුව සරුංගලයේ ලණුව දිගේ ගුවනට යනවා. කවුරු හරි අභියෝගයක් කළොත් ඉදිරියේදී සරුපගලය අඩි 5000ක් උඩට හරි යවලා මමත් ලණුව දිග් ඒ උඩට ගිහිල්ලා පෙන්වනවා.

ඊයේ (15දා දිනයේ දැවැන්ත සරුංගලය අඩි  100ක් පමණ ගුවනට යන අවස්ථාවේ ආපදාවට ලක්විය.

අනුරාධපුර බී.පී. චතුරංග

Thursday, August 15, 2019

කොළඹ - හලාවත පාරේ මගුල් නටන්න ගිය රියදුරන් 30 ක් අත්අඩංගුවට

මනාල යුවළක් පෙරටු කරගෙන මාර්ගය අවහිර වන සේ මහජනතාවට පීඩාකාරී අන්දමින් නළා හඩවමින් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වාහන පෙළපාළියක රියැදුරන් 30ක් අත්අඩංගුවට ගෙන දඩ පත්‍රිකා නිකුත් කර තරයේ අවවාද කර මුදාහැරිය බව වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසයි.

පසුගිය දිනක වෙන්නප්පුව ප්‍රදේශියේ තරු පන්තියේ හෝටලයක පැවැති මංගල උත්සවයක් සඳහා මනාල යුවළක් වයික්කාල ප්‍රදේශයේ සිට වාහන පෙළපාළියකින් මහජනතාවට හා මාර්ගයේ ගමන්ගත් වාහනවලට බාධාවන අයුරින් ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් වහා ක්‍රියාත්මක වී වෙන්නප්පුව නගරයේදී එම පෙළපාළිය නතර කර රියැදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි මනාල යුවළ ගමන් ගත් මෝටර් රථයේ අංක තහඩු නොපෙනෙන පරිදි සැසිලී කිරීම, පීඩාකාර ලෙස නළා හැඩවීම, මාර්ගය අවහිර කිරීම, මෝටර් රථවල විවිධාකාර පහන් දැල්වීම, මෝටර් රථ ඉබි ගමනින් ධාවනය කිරීම යන චෝදනා යටතේ වාහන 30ක රියැදුරන් වෙත දඩ පත්‍රිකා නිකුත් කර අවවාද කර මුදාහැර ඇත.

වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලීස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ
ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නොයෙල් පීරීස් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ඇත.

වෙන්නප්පුව ඒම් .ඩී. රවීන්ද්‍ර

රටපුරා කඩ කැඩූ තලාවේ නත්තල් සීයා අල්ලයි


දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (IRC) ලෙස නම් දරා සිටින "නත්තල් සීයා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු නීතියේ රැහැනට හසුකර ගැනීමට ගල්ගමුව පොලිසිය ඉකුත්දා සමත් වී තිබේ.

ගල්ගමුව පොලිස් වසමට අයත් නාන්නේරිය  ප්‍රදේශයේ වෙළෙඳසලක් කඩා එහි තිබූ මුදල් සහ භාණ්ඩ සොරාගෙන යෑමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව පැවැත්වූ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳන් කරයි.

පසුගියදා පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයේ සවිකර තිබු සීසීටීවී දර්ශන පරික්ෂා  අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව එකී පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ. පසුව එම තොරතුරු ඔස්සේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී  හෙළි වී ඇත්තේ එකී පුද්ගලයා තලාව, නබඩෑව ප්‍රදේශයේ පදිංචි  අයකු බවත් ඔහු වසරකට පමණ වරක් ඉතාම රහසිගතව සිය නිවසට පැමිණ ආපසු යන බවත් 1126/2018 යන අංකය යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස නම් දරා ඇති බවත්ය.

කෙසේ වෙතත් එම තොරතුරු අනුව තවදුරටත් පරීක්ෂණ පැවැත්වූ ගල්ගමුව පොලිසිය සැකකරු පදිංචි නබඩෑව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හරහා සැකකරුගේ වැඩිමනත් තොරතුරු ලබා ගැනීමෙන් පසුව දුරකථන ආයතනයකින් සැකකරු භාවිත කරන දුරකථන අංකය සොයා ගෙන ඇත. පසුව ගල්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන කාත්තාවක් මේ සඳහා සම්බන්ධ කර ගෙන සැකකරුට ඇමතුම් ලබාදී ඔහු හා හිතවත්කමක් ගොඩනඟා ගැනීමට සලස්වා සැකකරු හා අදාළ කාත්තාව හමුවීමට දිනයක් ස්ථානයක් වෙන් කරවා ගත් පසුව තබුත්තේගම නගරයේ ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් අසලට සැකකරු ගෙන්වා ගැනීමෙන් පසුව පොලිස් නිලධාරින් විසින් රැකවල්ලා සිට සැකකරු අල්ලා ගැනීමට කටයුතු යොදා තිබේ.

පසුව සැකකරු පිළිබඳ ලංකාව පුරා පොලිස් ස්ථානවලට දැනුම් දී මෙම අපරාධකරු සම්බන්ධව තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ , අපරාධ 28ක් සඳහා මෙම සැකකරු සම්බන්ධ බවත් සීගිරිය, පොළොන්නරුව, වැල්ලව, වාරියපොළ, පොල්පිතිගම, එප්පාවල, නවගම, මහව, තඹුත්තේගම, කොටවෙහෙර යන පොලිස් ස්ථානවලද සැකකරුට විරුද්ධව පැමිණිලී ඇති බවත් සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටි අයකු බවත්ය.

කෙසේ වෙතත් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් පසුව සැකකරු සුදු හිස් වැසුමක් පැලඳ, කළු පැහැති කෝට් එකක් දමා, උඩට සුදු සරමක් හා ඊට යටින් කළු කලිසමක් හැඳ කොර ගසමින් ඇවිදින පුද්ගලයකු බවට පොලිසිය හඳුනාගෙන ඇත. එසේම සැකකරු අධික ලෙස හෙරොයින් පානය කිරීම සඳහා යොමුව සිටින අයකු බවත්, ඒ සඳහා මුදල් ලබා ගැනීමට මෙම අපරාධ සිදුකරන බවත්, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. එසේම සැකකරු වයස අවුරුදු 29ක පුද්ගලයකු බවද ඔහුගේ සත්‍ය නම් ගුණතිලකලාගේ සජිත් නයනජිත් බණ්ඩාර බවද පොලිසිය කියා සිටියේය.

සැකකරු ඉකුත් 7 වැනිදා ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකරු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය මඟින් නියෝග කර ඇත.

ගල්ගමුව පොලිස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතාගේ මූලීක උපදෙස් හා මඟ පෙන්වීම මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක  ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර තිබේ. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වේ.

ගල්ගමුව - අරෝෂණ මන්ප්පෙරුම

පුතු පැවිදි වී සිටින පන්සලට ආධාර රැස් කරන්න පියා සරුංගලයකට නැගී අද ගුවනට



සසුනට පූජාකර සිටින සිය පුත්‍රයා වැඩවසන විහාරස්ථානයට පුණ්‍යාධාරයක් එක්කාසු කර දීමේ අරමුණින් දැවැන්ත සරුංගලය නිර්මාණය කර එය අද (15) දා දිනයේ ගුවන්ගත කිරීමෙන් අනතුරුව එය ගුවනේ රඳවා තිබෙන ආධාරක ලණුව ඔස්සේ අඩි 1,200ක පමණ ගුවනට ගොස් වීරෙ වික්‍රමයක් දැක්වීමට තරුණ පියෙක් සුදානම් වෙයි.

එකී වික්‍රමය දැක්වීම සඳහා අනුරාධපුර නගර ආසනයේ පිහිටි වැව් පිටියක දැවැන්ත සරුංගලය නිර්මාණය කරමින් සිටින්නේ තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිව දැනට ස්ථිර පදිංචි ලිපිනයක් නොමැති 46 හැවිරිදි දෙදරු පියකු වන කේ.ඩබිලිවි.ඊ.එස්.ඩී.රෝහණ කුමාර මහතායි.

ඒ මහතා විසින් පොහොර උර 25කට ආසන්න ප්‍රමාණයක් වියළි උණ බට, උණ පතුරු ලණු හා නූල් උපයෝගී කරගනිමින් කෙරෙන මේ දැවැන්ත සරුංගලයේ ඉදිකිරීමි කටයුතු ඊයේ (14දා) දහවල් වනවිට අවසන් කරමින් සිටි අතර සරුංගලය නිමවා අත්හදා බැලීම් සඳහා සවස් කාලයේ ගුවන්ගත කිරීමට නියමිතව තිබිණි. වර්ග අඩි 79 625ක් වන සරුංගලයේ උස අඩි 30ක් වන අතර එහි පළල අඩි 49කි.

සිය වික්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කේ. ඩබිලිව්.පි.එස්.ඩී. රෝහණ කුමාර මහතා ,මගේ පොඩි පුතා සසුන්ගතවෙලා ඉන්නේ.උන්වහන්සේ වැඩවසන විහාරස්ථානයට පුණ්‍යාධාර එක් රැස්කර දීම සඳහා වික්‍රමය කරන්න හිතුණා.මීට පෙර අවස්ථා 13 කදී මම දැවැන්ත සරුංගලය හදලා ගුවනට යවලා මමත් ලණුව දිගේ ගුවන්ගත වෙලා තියනවා.

උණ බට කපලා වේලගන්න මාසයක් විතර කාලයක් ගියා. සරුංගලය හදන්න නම් මටපැය 24ක් යන්නෑ. මේ සඳහා ප්‍රදේශවාසීන් විශාල සහයක් දෙනවා. කමල් අයියා මට ගොඩක් උදවු කරනවා. අද (15දා)  දහවල් ගුවන් ගත කරන සරුංගලය නිමකිරීම් සඳහා රුපියල් 40,000ක් පමණ වැය වන අතර ඔහු එම මුදල් උපයාගෙන තිබුණේ කුලීවැඩ කරමින්. ශත පහක්වත් මම කාගෙන්වත් ඉල්ලුවේ නෑ. සරුගලයට පොහොර උර 125 ක් විතර අවශ්‍යයයි.පොහොර උර දෙකට පළලා සරුංගලයේ ආධාරකවලට තියලා මහනවා. මිලිලීටර් 12  නයිලෝන් කඹයක් උපයෝගී කරගෙන සරුංගලය ඉහළ අහසට යවනවා.

මගේ අරමුණ අඩි 1,000-1,200ත් අතර උසකට සරුංගලය ගුවන්ගත කරන්න. පොඩි ගැටලුවකට තියෙන්නේ වැව ආසන්නයේ අධි බලැති විදුලි කම්බි තියනවා. ඒවායේ ගෑටෙන් නැති වෙන්න සරුංගලය ගුවනට යවන්න ඕනෑ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙනුත් අවසරය ඉල්ලුවා.

මම  සරුංගලය ගුවනට යවලා විනාඩි කිහිපයක් තුළ සරුංගලයේ ලණු ඔස්සේ සරුංගලය මුදුනට යනවා. කවුරු හරී අභියෝගයක් කළොත් සරුංගලය අඩි 5,000ක් උඩට හරි යවනවා. මමත් ලණුව දිගේ උඩට ගිහිල්ලා පෙන්වනවා.

බුදු දහමට අනුව අපි කවුරුත් මැරෙනවා. මම හෝටල් කාමරයක හිටියත් ගුවනට ගියත් මැරෙන්න තියනවා නමි මැරෙනවා. මරණයට මම කිසිදු බියක් නැතිව මේ වික්‍රමය කරනවා.

"මම ඉපදුණේ තලවාකැලේ. මගේ පියා රාජකීය ගුවන් හමුදාවේ සේවය කරලා පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැන්ටර් කෙනකු හටියට සේවය කරලා තියෙනවා. තාත්තා යන යන තැනට අපිත් ගිහිල්ලා තියෙනවා. මට ස්ථිර ලිපිනයක් නෑ, මගේ දැන් ලිපිනය මේ වැව් පිටිය තව දවස් කිහිපයකින් තව තැනෙක, හම්බකරන දේවල් මම බුදුසසුනට පූජා කරනවා. මට ඉන්න කියලා බිම් අඟලක්වත් නෑ." යනුවෙන් ඔහු පැවැසුවේය.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

උඩවලව වනෝද්‍යානයේදී සෆාරි රථයකට වෙඩි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට


උඩවලව ජාතික වනෝද්‍යානයට අයුතු ලෙස ඇතුළු වී මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් සංචාරකයන් රැගත් සෆාරි ජිප් රථයකට  වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයක් පුද්ගලයන් තිදෙනකු පෙරේදා (13) අත්අඩංගුවට ගත් බව හම්බේගමුව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම ඉකුත් ජුලි මස 10 වැනි දින පස්වරුවේ උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් ගල් අමුණ ජලාශය ආසන්නයේදී සිදුවී තිබිණි.

අත් අඩ ගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනා හම්බේගමුව රතඹලාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතරත් නිහත් අතර පසුවන තරුණයන් බව හෙළී වී තිබේ.
සෙවණගල, එකමුතුගම, උස්වැලිආර ප්‍රෙද්ශයේ පදිංචි හේවයලාගේ පුෂ්පකුමාර රත්නායක නමැති 37 හැවිරිදි සෆාරි ජීප් රථ හිමියකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වෙඩි තැබීම සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවියද අත්අඩංගුවට ගත ඇත.

සිද්ධිය වූ දින විදේශිකයන් පිරීසක් රැගත් පැමිණිලිකරුගේ සෆාරී ජිප් රථය තවත් සෆාරී ජීප් රථ දෙකක් හා වනජීවී නිලධාරීන් සමඟ උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සිටියදී ගල්අමුණ වැව ආසන්නයේ ගිනි අවියක් සමඟ සිටි මෙම සැකකරුවන් තිදෙනා නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව සෆරී ජීප් රථයේ සිටි වනජීවී නිලධාරීන් මෙම සැකකරුවන් කොටු කර ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් සෆාරී ජීප් රථයට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ජිප් රථයේ පසුපස කොටසට හානි සිදුව තිබුණු අතර එම සෆාර් ජීප් රථයේ  ගමන්ගත් ප‍්‍රංශ ජාතික යුවළගේ හා  ඔවුන්ගේ දරුවාගේ ජීවිත බේරී තිබුණේ හාස්කමකින් බව වනජීවී නිලධාහු කියති.

මොණරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී ජේ.සී.සමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් නියෝග මත හම්බේගමුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Friday, August 9, 2019

නෙළුම් කුලුනෙන් මිලියන 5475 ක් රජයට අහිමි වෙලා

නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදුකරන ලද ප්‍රමාදකිරීම් නිසාත් ඇස්තමේන්තුගත ඇස්තමේන්තු අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475 ක පමණ ආදායමක් රජයට අහිමිවී තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සමිබන්ධයෙන් කළ විශේෂ විගණන පරික්ෂණයකින් පසු නිගමනය කර ඇත.
නෙළුම් කුලුනේ කොන්ත්‍රාත් කාලය දීර්ඝවීම සහ ණය මුදල සීමාවීම මත ණය මුදල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එක්සිම් බැංකුවට ගෙවනු ලැබ තිබූ අමතර එකඟතා ගාස්තු ප්‍රමාණය වන රුපියල් 14.14,87,103ක පමණ මුදල (අනාර්ථික) ගනුදෙනුවක් වී ඇති බවද විඝණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම පිළිබඳ කළ විගණයකින් පසු විශේෂ විගණන වාර්තාව නිකුත් කරමින් විගණකාධිපති දෙපාර්තමේත්තුව මේ බව සඳහන් කර තිබේ.
2012 නොවැම්බර් 12 දින ආරම්භ කරන ලද නෙළුම් කුලුන ඉදිකිරිමේ ව්‍යාපෘතිය දින 912කින් අවසන්වීමට නියමිතව තිබුණ ද 2013 දෙසැමිබර් 31 වන විටත් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබුණු බව විගණකාධිපති  දෙපාර්තමේන්තුව කියයි. මෙම ව්‍යාපෘතියට අදාළව විධිමත් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙලකර නොතිබුණු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සහ අවබෝධතා ගිවිසුම අනුව අදාළ ඉඩම පැවරීමක් කර නොතිබූ බව නිරික්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම ව්‍යපෘතිය මෙහි උපදේශන ගාස්තු ලෙස මොරටු විශ්වවිද්‍යාලයට ගෙවිමට එකගව තිබූ රුපියල් 198.691,500 න් රුපියල් 150,000,000 ගෙවා තිබුණ ද ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති බව ද සඳහන් කරයි.
ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු වශයෙන් වාරික 12ක් ගෙවීමෙන් පසු එම ගෙවිම් අහිටුවා ගිවිසුම් කොන්දේසි වලට පරිබාහිරව කොන්ත්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි සඳහන් කරමින් 2015 නොවැම්බර් මස සිට මසකට රුපියල් 3,000,000 බැගින් ගෙවමින් පවතින බවත්, එසේ ගෙවීමට හේතුව මනා අධීක්ෂණයකින් තොරව ඉදිකිරීම් සිදුකිරීමට ඉඩහැරීමෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම්දුන් බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.
නෙළුම් කුලුන ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් නීතීපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිරීක්ෂණයන් අනුව එම හිවිසුම සංශෝධනය කර නොතිබුණ බවද විගණන වාර්ථාවේ දක්වා ඇත.
කොන්ත්‍රාත් කාලය අවසන්වීමෙන් පසු 2015 අගෝස්තු 28 දිනැති විදුලි සංදේශ කොමිෂන් සභා තීරණයක් අනුව කොන්ත්‍රාත් කාලය 2017 අගෝස්තු දක්වා දීර්ඝකර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්, 2018 ජුනි 30 වන විටත් නෙළුම් කුලුන ඉදිකිරීම් අවසන්වී නොතිබුණ ද කොන්ත්‍රාත් කාලය දීර්ඝකර නොතිබුණ බවත්, ඒ සම්බන්ධ නිර්දේශයක් ව්‍යපෘති උපදේශන ඒකකයෙන් ඉදිරිපත් කර නැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා ඇති බවත් විගණකාධිපති දෙපාර්තාමේන්තුව සඳහන් කරයි.
නෙළුම් කුලුන සියලු විදුලි සෝපාන සහ තරප්පු සවිකිරීම 2017 සැප්තැමිබර් 30 වන විට අවසන් කළ යුතු වුවත් 2018 මැයි 11 වන විටත් එය අවසන් කර නොතිබූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතයේ අධ්‍යක්ෂවරයකු සහ සංවර්ධන නිලධාරියකු පිළිවෙළින් රුපියල් 3,320,000ක සහ රුපියල් 2,185,000ක මුදල් මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශන ඒකකයෙන් ලබාගෙන ඇති බව නිරික්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව එය ආචාරධර්මානුකූල නොවන බව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාළ නිලධාරින්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතු බව එම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
නෙළුම් කුලුන ව්‍යාපෘතිය සිදුකරන කාර්යමණ්ඩලයේ නිලධාරින් පස් දෙනෙකු සඳහා 2013 ජනවාරි පළමුවැනිදා  සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලයේ කමිටු දිමනා ලෙස චක්‍රලේඛ විධිවිධානවලට පිටින් රුපියල් 10.920,000ක් ගෙවා ඇතැයි නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තූව කළමනාකරණ සේවා චක්‍රලේඛවලට අනුගත නොවී කළ එම ගෙවිම් යළි එම නිලධාරීන්ගෙන් අයකර ගන්නා ලෙස ද නිර්දේශ කර ඇත.
විදුලි සංදේශ පනත අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සමාගමික් පිහිටුවීම සඳහා බලතල නොමැති වුවද සමාගමක් ස්ථානය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තූව සදහන් කරයි. කොළඹ නෙළුම් කුලුන දේපළ කළමනාකරණ සමාගමකට බදුදීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණ ද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබූ බව නිරීක්ෂණය කර ඇති විගණකාධිපතිට දෙපාර්තමේන්තුව තම නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ නෙළුම් කුලුන වාණිජකරණය කිරිමට ප්‍රථම ණය වාරික සහ ණය ගැනුමි පිරිවැය ඇතුළත් වන පරිදි නිවැරැදි ආදාම් පුරෝකථනයක් සිදු කළ යුතු බවයි.
- තරිඳු ජයවර්ධන

ඉංග්‍රීසි යුගයේ ඝණ්ටාරයක් ලක්ෂ 50 කට විකුණන්න හැදූ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට



යටත් විජිත සමයේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් පුස්සැල්ලාව හෙල්බොඩවත්තේ ස්ථාපනය කර තිබු කිලෝ 250 ක් බරැති කෞතුක වටිනාකමකින් යුත් විශාල ඝන්ටාරයක් සොරාගත් සිවු දෙනෙක් එය රුපියල් ලක්ෂ 50 කට විකිණීමට සූදානම් වීමේ දී පුස්සැල්ලාව පොලිසිය මගින් පෙරේදා (7) අත්අඩංගුවට ගනු ලැබුහ.කැටයම් සහිතව 1893 වසරේ දි නිර්මාණය කර ඇති  මෙම ඝණ්ටාරය හෙල්බොඩවත්තේ වතු බංගලාවක තිබි සොරාගෙන ගොස් තිබුණි.
මෙම වතු බංගලාව හෝටලයක් ලෙස නවීකරණය කරමින් තිබියදි, එහි සේවය කළ සිවු දෙනෙකු මහ රෑ මෙය සොරාගෙන ගොස් තිබී ඇත්තේ එහි සිටි මුරකරුවන් දෙදෙනාටද නොදැනෙන ලෙසය. මේ නිසා මාස 10 ක් යනතුරු මෙය සොයා ගැනීම පමා වී ඇති අතර පුස්සැල්ලාව පොලිසිය මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබී ඇත.
මෙම ඝණ්ටාරය ලක්ෂ 50 කට අලෙවි කිරීමට සූදානම් වන බව දැනගත් පොලිසිය ව්‍යාපාරිකයන් ලෙය එහි මිල ගණන් කතා කොට ලක්ෂ 30 කට ගැනීමට සූදානම් බව පැවසුවද මොවුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත.ඉන් පසු පොලිස් කාන්තා හා පොලිස් පරීක්ෂික විතානගේ මහතා එකව මූල්‍ය සමාගමක විධායක නිලධාරීන් ලෙස මෙහි ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 50 ක කල්බදු ප්‍රතිලාභයක් දිනා ඇති බැවින් එය ලබාගැනීමට නුවරඑළිය නගරයට පැමිණෙන ලෙසයි.
ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමන් පසු ඔහු පදිංචි වලපනේ මහඌව ජනපදයට ගොස් සැකකරුගේ නිවස අසල වළදමා තිබූ යටාරය යොයාගෙන ඇත.වට අඩි 6 ක් හා උස අඩි 2 ක් වන මෙම ඝණ්ථාරය වටිනා ලෝහයකින් සාදා ඇති බවට සැකකෙරේ.මෙම සැකකරුවන් සිවු දෙනා සමග ඝණ්ටාරය රැගෙන ගිය වෑන් රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.ගම්පොළ පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී Iචූලනී වීරරත්න, පොලිස් අධිකාරී IIචන්ද්‍රෙස්න බණ්ඩාර යන නිලධාරීන්ගේ උපදෙස් මත පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සරත් බණ්ඩාර පලිපාන, පො.ප විතානගේ.පො.කො 36282 සඳරුවන්, 75174 වංශපුර, 89135 දිනේෂ් යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

- ගම්පොළ සුරංග රාජනායක