Showing posts with label local g2. Show all posts
Showing posts with label local g2. Show all posts

Friday, November 24, 2023

බෙන් ස්ටෝක්ස් අයි.පී.එල්. අතහරියි

 




එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එළඹෙන 2024 වර්ෂයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකරන බවට දැනුම්දී තිබේ. ඒ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව කළමනාකරණය කර ගැනීමට හා අධික කාර්යබහුලත්වය හේතුවෙනි.

මේ පිළිබඳ ඔහු ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට දැනුම්දී ඇති අතර, ඔවුන් ඒ තීරණයට එකඟවන බවද දන්වා ඇත. එළඹෙන වසරේ අයි.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් සිදුකරන වෙනස්කම් අනිද්දා (26දා) දක්වා දැනුම්දීමට කණ්ඩායම්වලට හැකියාවක් ඇත. කෙසේ වෙතත් ස්ටෝක්ස් එළඹෙන වර්ෂයේදී චෙන්නායි කණ්ඩායමෙන් ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳ ඔවුන් තවමත් දැනුම්දී නොමැත. ස්ටෝක්ස් මෙම (2023) වර්ෂයේදී අයි.පී.එල්. තරගාවලියේදී එම්.එස්. දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16.25ක (රුපියල් කෝට් 64) මුදලකටයි.


Wednesday, November 22, 2023

රාජපක්ෂවරුන්ට ලැබුණේ මා සිරගත කිරීමට එරෙහි දිට්ඨ ධම්මවේදනීය කර්මයයි - පා. ම. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

දිනේෂ් සමරකෝන්

රාජපක්ෂවරුන්  තනතුරු ලබාදුන් විනිසුරුවන්ම ඔවුන්ට එරෙහිව තීරණදී ඇති බවත්, එය තමා සිරගත කිරීමට එරෙහිව ලැබුණු දිට්ඨ ධම්මවේදනීය කර්මය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

හත්වැනි දිනටත් ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවති 2024 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"අපි දැක්කා පසුගිය දවස්වල නඩු තීන්දුවක් ආවා. ඒ නඩු තීන්දුවෙන් මේ රටේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා ප්‍රකාශ කළා. වැරදි කළමනාකරණය, වැරදි පරිපාලනය හරහා ඔවුන් මේ රටට ජාති ද්‍රෝහීන් වෙලා තියෙනවා. මෙතනදී මම තව දෙයක් මතක් කරන්න ඕන. මාව හිරේ දැම්මා අවුරුදු දෙකහමාරකට, ඒ නඩුව මෙහෙය වන්න  ආවා නියෝජ්‍ය සොලිසිටර් ජනරල් කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ. ඔහු කිව්වා මගේ බෑනා වරදක් කරලා තියෙනවා. ඒ වරද මම  දැනගෙන ඉඳලා තියෙනවා.ඒකට හේතුව ලෙස ඔහු පෙන්නුවේ මගේ දියණියගේ මඟුල් ගෙදර මම හමුදාපති කාලයේ හමුදාපති නිල නිවසේ ගත්ත නිසා බෑනාගේ ව්‍යාපාර මම දැනගෙන ඉන්න ඕන කිව්වා. මම ඇමෙරිකාවේ ගිහින් දවස් 04 ක් දියණියගේ නිවසේ රැදුණු නිසා බෑනාගේ ව්‍යාපාර ගැන මම දැනගෙන ඉන්න  ඕන කියලා කිව්වා. යුද්දේ ඉවර වුණාට පස්සේ අපේ දරුවන්ට පිටරටදී ආරක්‍ෂාවක් දීලා තිබුණා.එහිදී මේ ව්‍යාපාර ගැන මම අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා කියලා මාව හිරේ දැම්මා.ඒ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  තමයි එක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් වෙලා ගියා. ඔහුට තෑග්ගක් ලෙස ඒ පත්වීම දුන්නා.අද ඒ තෑග්ග ලබා ගත්ත පුද්ගලයා කියලා තියෙනවා රාජපක්ෂවරු  මේකට වගකියන්න ඕන කියලා. මේක තමයි දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන්නේ, හෙන්චයියෝ ගැලවිලා ගිහින් මේ රාජපක්ෂවරුන්ගේ  පැත්තට ඇඟිල්ල දිගු කරන්න කටයුතු කරලා තියෙනවා.”




පරාජයේ දුකෙන් ඉන්දියාවේ 03ක් මියගිහින්

 





ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අතිවිශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණියත්, ඔවුන් තීරණාත්මක තරගය ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය විය.

මෙය එරට ක්‍රීඩාලෝලීන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූවක් වන අතර, ඒ හේතුවෙන් එම පරාජය දරාගත නොහැකි වූ ඉන්දීය ක්‍රීඩාලෝලීන් තිදෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගිය පුද්ගලයන්ගෙන් දෙදෙනෙකුම මිය ගොස් ඇත්තේ, සියදිවි හානි කර ගැනීමෙනි. බටහිර බෙංගාලයේ ක්‍රීඩාලෝලියෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු අවසන් තරගය පැවති දින රාත්‍රී 11.00 ට සිය කාමරයේ ගෙල වැළලාගෙන ඇත. මේ වනවිට ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇත.

මිය ගිය අනෙක් ක්‍රීඩාලෝලීන් දෙදෙනා ඔෂාහි ජපූර්හි පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන්ද එක් අයෙකු මියගොස් ඇත්තේ, ගෙල වැළලාගෙනය. ඔහුද 23 හැවිරිදි තරුණයෙකු බවට වාර්තා වේ.එමෙන්ම මියගොස් ඇති අනෙක් පුද්ගලයාගේ මරණයට හේතු වී ඇත්තේ, ඔහුට ඇති වූ කම්පනයක් බවද සඳහන් වෙයි.


Friday, November 17, 2023

හිමිනමකගේ පිහිපහරකින් කොස්තාපල්ට බරපතළයි

ඉන්දිකා රාමනායක


දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (16දා) පස්වරුවේ හිමිනමක් විසින් තියුණු ආයුදයකින් පහර දීමෙන් පොලිස් කොස්තාපල්වරයකු බරපතළ තුවාල ලබා කරාපිටිය රොහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලීසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි 37හැවිරිදි ධනුෂ්ක නමැති විවාහක කොස්තාපල්වරයකු බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් දෙනියාය රෝහලින් කරාපිටිය රෝහලට මරුකර ඇති බවත් පොලීසිය පවසයි.

මෙම කොස්තාපල්වරයා හිමිනමගේ 20 හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. ඊයේ පස්වරු 1.00 ට පමණ දිවා සංචාරයේ යෙදී සිටින අතරතුර කොස්තාපල්වරයා ඉහත තරුණියගේ නිවසට ගොස් ඇති බවත්, එහිදී හිමිනම ඇමැතුමක් ලබා දෙමින් සූක්ෂ්ම ලෙස පොලිස් කොස්තාපල්වරයා පල්ලේගම ගංගොඩ පාරේ වැඩිහිටි නිවාසය ආසන්නයට ගෙන්වාගෙන ඇති බවත් පොලීසිය පවසයි.

එම ස්ථානයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත්, බහිස්බස්වීම අතරතුර හිමිනම අත තිබූ මල්ලේ සඟවාගෙන සිටි පිහියෙන් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට පහර එල්ල කර ඇති බවත් පොලීසිය පවසයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා දෙනියාය රෝහලට ඇතුළත් කර ඇති අතර, කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු කරාපිටිය රෝහලට මාරුකර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හිමිනම පිහියද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ (18) හැවිරිදි හිමිනමකි. දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


Thursday, November 16, 2023

පාසල් සිසුවියක පැහැර ගෙන ගියැයි කාන්තාවක් ඇතුළු 02ක් දැලේ..

 පානදුර - සුමිත් පොතුපිටිය

පාසල නිමවී නිවසකරා යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ත්‍රිරෝද රථ රියදුරකු සහ කාන්තාවක ඊයේ (15දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකු සහ කාන්තාවක මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.සිසුවිය පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු වන 16 වියැති පාසල් සිසුවෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය කීය.

සැකකාර පාසල් සිසුවා ත්‍රිරෝද රථයකින් ඊයේ (15දා) දහවල් කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී පාසල නිමවී නිවස කරා යමින්  සිටි සිසුවියක  බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට නංවා ගෙන ඇති බව සදහන් වේ. එය දුටු ඇයගේ මිතුරියක බලහත්කාරයෙන්ම ත්‍රිරෝද රථයට ගොඩවී මිතුරිය පැහැරගෙන යාමට විරෝධය පළ කර තිබෙන බවද වාර්තා වේ.

සැඟව සිටින පාසල් සිසුවා ත්‍රිරෝද රථය තුළදී සිසුවියන්  දෙදෙනාටම පහර දී අත්අඩංගුවේ පසුවන කාන්තාවගේ කිතුලාව, මෙනේතැන්න ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණ වලදී අණාවරණය වී තිබේ.සිද්ධිය විදුහල්පතිවරයාට සැලවීමත් සමගින් පොලීසියට වාර්තා කර ඇති අතර, මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මකවී ප්‍රදේශය සෝදිසි කරන අතරතුර ත්‍රිරෝද රථයකින් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමා ඇති බවත් අත්අඩංගුවේ පසුවනුයේ එකී රථයේ රියදුරු බවත් පොලීසිය කීය.දැරියන් දෙදෙනා රෝහල්ගත කිරීමට නියමිතය.කළුතර දකුණ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.






Tuesday, November 14, 2023

15 හැවිරිදි දැරිය අපයෝජනය කර වෙනත් පුද්ගලයන්ට විකුණු සැකකරු සොයා පරීක්ෂණ

 • ආරච්චිකට්ටුව - ලලිත්  නවරත්න.

මුන්දලම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක කුරුණෑගල ප්‍රදේශයට රැගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත්වූ තරුණයෙකු එම දැරියව තවත් පුද්ගලයන්ට මුදලට අලවි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි. මෙම සිද්ධියෙන් අගතියට පත් දැරියවද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් වෛද්‍ය  පරික්ෂණයකට යොමු කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

මෙම දැරිය සීයා සහ ආච්චි සමග ජීවත්ව ඇති බවත් අවස්ථා ගණනාවකදී නිකවැරටිය, හලාවත, මහව යන ප්‍රදේශවලදී තරුණයන් සමග සම්බන්ධකම් ඇතිකරගෙන ඇති අතර එම අවස්ථාවලදී සීයා  විසින් පොලීසියට සිදු කළ පැමිණිලිවලට අනුව ළමා නිවාසවලට රැකවරණය සදහා භාර දී ඇතත් එම ළමා නිවාසවලින් පැනගාස් ඇති බව පොලිස් විමර්ශනවලට අනුව තහවුරුව ඇත.

අවසානයේ මීගහකොටුව ළමා නිවාසයේ රැකවරණය ලබා දෙමව්පියන්ගේ ඉල්ලීම මත පසුගිය  සැප්තැම්බර් (07දා) භාරකරුවන්ට මෙම දැරිය භාරදී ඇති අතර දරියගේ සීයා මුන්දලම, අගුණවිල, අක්කර 15 ප්‍රදේශයේ වත්තක මුරකරුවකු වශයෙන්  සේවය කරමින් ඇය රැකබලාගෙන  ඇත.

අනතුරව මෙම දැරිය පසුගිය ඔක්තෝබර් (20දා) නැවත භාරකරුවන්ගෙත් මිදී විල්පත ප්‍රදේශයේ තරුණයෙකු සමග සම්බන්ධකමක් ඇති කරගෙන  කුරුණෑගල ප්‍රදේශයට පදිංචියට ගොස් එම තරුණයා සමග අඹුසැමියන් ලෙස ජීවත්වූ බව දැරිය පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.

සැකකාර තරුණයා මත්කුඩුවලට අබ්බැහි වී ඇති අතර එම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් අවශ්‍යතාව ඇතිවීම හේතුවෙත් ඇය පිට පුද්ගලයන්ට මුදලට අලවි කිරීම හේතුවෙන් එම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ මෙම දැරිය එම ස්ථානයෙන් පැන ඇවිත් මුන්දලම පොලීසියට සිද්ධිය පිළිබද පැමිණිලි කර ඇත.

මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලදී දැරියව රැවටූ පුද්ගලයන් පිළිබඳව සෙවීමට එම ප්‍රදේශවල පොලීසිවලට භාර දී ඇති අතර කුරුණෑගල ප්‍රදේශයේදී ඇය මුදලට අලවි කළ පුද්ගලයා සෙවීමට කුරුණෑගල පොලීසියට භාර දී ඇති බව පොළීසිය පවසයි.අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

මුන්දලම් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



Friday, November 10, 2023

ස්ථීර ගමනාන්තයක් නොදැන සිටි තරුණ යුවළක් කටුනායකදී දැලේ...

 

කටුනායක - ටී.කේ.ජී  කපිල 

ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක ඊයේ (09දා) පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.27 හැවිරිදි හා 19 හැවිරිදි සැකකාර තරුණ යුවළ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් සංචාරක වීසා මත ඊයේ (09දා) පස්වරු 01.30 ට ඩුබායි බලා පිටත්ව යාම සදහා ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ගේ ලියකියවිලි ලබාගෙන නිෂ්කාශන කටයුතු සිදුකරමින් සිටියදී, ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත, ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාරදී තිබේ.

එහිදී ඔවුන්ගේ ගමන් මලු නිරීක්ෂණය කිරීම්වලදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ප්‍රංශයට සහ ජපානය  වෙත යාම සදහා ව්‍යාජ  තොරතුරු ඇතුළත් කර කූට ලෙස සකස් කළ වීසා බලපත්‍ර දෙක බැගින් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබුණි. 

ඒ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු විමසීමේදී ඔවුන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 06ක මුදලක් ගෙවා මෙම වීසා බලපත්‍ර සකස් කරගත් බවත්, ඒවා මීගමුව ලොජ්' තාවකාලික නවාතැන් පළකදී ඔහු තමන්ට භාරදුන් බවත්, තමන් ඩුබායි  වෙත ගිය පසු තමන්ට ඊළඟට පිටත් විය යුතු ගමනාන්තය දැනුම් දෙන බවත් එම තැරැව්කරුවා තමන්ට ප්‍රකාශ කළ බවත් ප්‍රකාශ කර තිබේ.එතෙක් තමන්ගේ ගමනාන්තය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවද ඔවුන් එම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන  විගමන නිලධාරීන් වන ආර්.ආර්.ජී .බී. රණසිංහ සහ ටී.එච්. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරී කේ.වී.ආර්. බණ්ඩාර මහතා විසින් සිදුකර තිබේ.


Thursday, November 9, 2023

ශ්‍රී ලංකාවේ විශාලතම ශිලා ලේඛනය දිඹුලාගල කඳුවැටියෙන් හමු වෙයි...

 මනම්පිටිය -නිමල් ජයරත්න.

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමුවී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන්  සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයාගෙන තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.පී.රත්නපාල මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවන ලද ලිපියක සඳහන් වන්නේ එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගතවන බවයි. 

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්  සහ සේවක කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.

දිග අඩි 45ක් සහ උස අඩි 18ක් පමණ ඇති මෙම ශිලා ලේඛනයක් කුමන යුගයට අයත්ද යන්න මෙතෙක් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට  පුරාවිද්‍යාඥ නිලධාරීන්ට  තවත් මසක පමණ කාලයක් ගතවනු ඇති බවත් රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

පිටපත් කිරීම අවසන් වීමෙන් පසු ශ්‍රි ලංකාවේ අතිශය දුර්ලභ සහ විශාලතම ලේඛනය ආරක්ෂා කරමින් මතු පරපුරට දැකගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  සමග එක්ව ක්‍රියාවට නංවන බවද දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නා හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Wednesday, November 8, 2023

ඊශ්‍රායල - හමාස් ගැටුම් ගැන සිංගප්පූරුව තුළ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම තහනම්


ඊශ්‍රායල-හමාස් ගැටුම් සම්බන්ධයෙන් සිංගප්පූරුව තුළ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, කිසිදු නිල අවසරයකින් තොරව හමාස් සහ ඊශ්‍රායලු ගැටුමට සම්බන්ධ කිසිදු සලකුණක් ප්‍රසිද්ධියට පත් කිරීම තහනම් කෙරී තිබේ. 

මෙම නීතිය උල්ලංඝනය කරන පිරිසට මාස හයක සිරදඬුවමක් හෝ සිංගප්පූරු ඩොලර් 500ක (රුපියල් 121,200.00) පමණ දඩයක් පැමිණ වී තිබේ. සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව මෙම ගැටුම්කාරි තත්ත්වය හැඟීම් පිළිබද කාරණාවක් බවත්, එය ජාතික සාමය වෙත බලපෑම් එල්ල කළ හැකි බවත් වැඩිදුරටත් සදහන්ව තිබේ.


අපෙන් ගෞරවය ලබන්න නම්, අපටත් ක්‍රීඩාවටත් ගෞරවය ලබාදිය යුතුයි - ඇන්ජලෝ මැතිව්ස්






ඕෂිත  වරකපිටිය (ඉන්දියාවේ දිල්හි සිට)


බංග්ලාදේශ ක්‍රීඩකයන් සිය කණ්ඩායමෙන් ගෞරවය ලබාගැනීමට නම්, මුලින්ම තම කණ්ඩායමට මෙන්ම ක්‍රීඩාවටද ගෞරවය ලබාදිය යුතු බව ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

හෙතෙම මේ බව පවසා සිටියේ, බංග්ලාදේශය සමග පෙරේදා (06දා) පැවති තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තරගයෙන් අනතුරුව පිටිය තුළදී බංගලාදේශ ක්‍රීඩකයන්ට අතට අත ලබාදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් ප්‍රතික්‍ෂේප කිරීම පිළිබද මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මැතිව්ස් ඉහත අදහස් දක්වා සිටියේය.

මෙම තරගය අතරතුර අවස්ථා රැසකදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් එකිනෙකා සමග වචන හුවමාරු සිදුකරගත් අතර, මැතිව්ස් 'ටයිම් අවුට්' ක්‍රමයට දවාගැනීමට බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ක්‍රියා කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. එම දැවී යාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිව්ස්,

“ඇත්තටම ඒක නින්දිත ක්‍රියාවක්. අපි හැමෝම ක්‍රීඩා කරන්නේ දිනන්න තමයි. නමුත් මම හිතන්නේ නෑ වෙන කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් කඩුල්ලක් දවා ගන්න මේ වගේ තත්ත්වයකට වැටෙයි කියලා. මම  කිසිම වැරැද්දක් කළේ නෑ. මම හරි වෙලාවට පන්දුවට පහර දෙන්න සූදානම් වුණා. ඒ වෙලාවේ මගේ හිස් ආවරණයේ ගැටලුවක් ආවා. මම කාලය නාස්ති කළේ හෝ ඒකෙන් වාසියක් ගන්න වැඩ කළේ නැහැ” යනුවෙන් පවසා සිටියේය.

මෙහිදී මැතිව්ස් තරගයේදී විනිසුරුවන්ගේ තීරණයද විවේචනයට ලක් කළේය.

"මම මිනිත්තු දෙක ඉවර වෙන්න තත්ත්පර පහකට කලින් මගේ සීමාවට ඇව්ත් පන්දුවට පහර දෙන්න සූදානම් වුණා. මගේ ළඟ වීඩියෝ සාක්ෂි  තියෙනවා. විනිසුරුවන් තීරණය දෙන්න කලින් අඩුම ගාණේ මේ ගැන බලන්න තිබුණා. මේක මන්කාඩ්වත් , පන්දු රකින්නාට බාධා කිරීමක් වගේ අවස්ථාවක් නෙවෙයි. ඇත්තටම අපි තමයි ක්‍රීඩාවේ තානාපතිවරු. අපට ගරු කරන උදවියට අපි ගරු කරනවා. අපි ශකීබ්ටත් මේ තරඟය වෙනකම්ම ගරු කළා” යනුවෙන් මැතිව්ස් අවසාන වශයෙන් පැවසීය.

Friday, November 3, 2023

සැමියාගේ ලිංගේන්ද්‍රය කපා දැමූ බිරිඳගේ මනස පරීක්ෂා කරන්නැයි නියෝග..

 • අනුරාධපුර - උපාලි ආනන්ද

යුධ හමුදා  සෙබළෙකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා  බරපතළ තවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකක් වටිනා  ශරීර ඇප දෙකමත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මන්ත්‍රාත් සහ අතිරේක දිසා  විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. අනුරාධපුර, යහලේගම  පදිංචිකාරියකට මෙසේ ඇප නියම කෙරිණි.සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහල් මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව යම් මස 17 වැනිදා  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  වැඩිදුරටක් නියෝග කළේය.

තොප්පිගල ප්‍රදේශයේ යුද හමුදා  කඳවුරක සේවය කරන තම සෙබළ සැමියා  දිවා කාලයේ නිවස් නිදා ගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා  බරපතළ තුවාලු සිදු කර ඇති බවත් පසුව සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලීසිය පැවසීය.

අගතියට පත් පැමිණිලිකාර යුධ හමුදා  සෙබළා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ නලික් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ මෙරට පැවති තිස් වසරක යුද්ධයේ දරුණු සටන් අවස්ථාවන්වලට පවා  මුහුණ දුන්  යුධ  හමුදා සෙබළෙකු වන සිය සේවාදායකයා  දරුණු සටන් පැවති යුද බිමේදී පවා  මෙවැනි විපතකට මෙන්ම   වේදතාවකට පත් නොවූ බවද කීවේය.

සැකකාර කාන්තාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සංජ්ය රත්නායක මහතා  ප්‍රශ්න කර සිටියේ පැමිණිලිකරු යුද හමුදා සෙබළෙක් නම් සිය බිරිද ඔහුගේ පුරුෂ  ලිංගය ගිරියකින් කපන තුරු ඔහු බලා සිටියේ මන්ද? යන්නයි. දරුණු යුද අවස්ථාවන්වලට මුහුණ දී සිය ජීවිතය සහ අත පය ආරක්ෂා කර ගත් හමුදා  සෙබළෙකුට බිරිදගෙන් සිය පුරුෂ ලිංගය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ මන්දැයි යන්නද නීතිඥවරයා  තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කවරක්කුලම පොලීසියේ නිලධාරීන් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර මහතාත් සැකකාරිය වෙනුවෙන් නීතිඥ සංජය රත්නායක මහතාතත් පෙනී සිටියේය.






රු.4,153,136ක් වංචා කළැයි ජඹුරේවෙල උපතැපැල් ස්ථානාධිපතිනි රිමාන්ඩ්

• අනුරාධපුර - උපාලි ආනන්ද/ බකමුණ - සරන් නිශ්ශංක


පොළොන්නරුව, ජඹුර්වෙල උපතැපල් කාර්යාලය සතුව තිබූ රුපියල් 4,153,136ක පමණ ආදායම් හුවමාරු මුදල් වංචා කිරීමේ සිද්ධියකට චෝදනා  ලබා  පොලීසිය සහ අධිකරණය මගහැර පලා ගොස් සැඟව සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජඹුරේවල උපතැපල් කාර්යාලයේ උපතැපල් ස්ථානාධිපතිනිය එළඹෙන 15වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා  දිසානායක මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, පොළොන්නරුව, ජඹුරේවෙල උපතැපල් කාර්යාලයේ උපතැපල් ස්ථානාධිපතිනිය වන පොළොන්නරුව, අත්තනකඩවල,රදලිගේඔය ප්‍රදේශයේ පදිංචි එන්.පී. චිත්‍රා  කුමාරි  මැණිකේ නමැත්තියකි. 

මේ අතර මෙම මූල්‍ය වංචාව සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොළොන්නරුව,අත්තනකඩවල, මඩුදමන, ප්‍රදේශයේ පදිංචි පී.සමන්ති වීරසිංහ නමැති සැකකාරියද එළඹෙන 15 වැනිදා  දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකාර කාන්තාවන් දෙදෙනා  අධිකරණයට ඉදිරිපත් කරමින් පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පක්‍ෂ එස්, වීරතුංග මහතා පැවසුවේ, ජඹුරේවල උපතැපල් කාර්යාලය සතුව තිබූ රුපියල් 4,153,136ක පමණ ආදායම් සහ හුවමාරු මුදල් පළමු සැකකාරිය විසින් ඉතා සූක්‍ෂමව වංචා කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වූ බවයි.

එසේම දෙවැනි සැකකාරිය එම මූල්‍ය වංවාවට ආධාර අනුබලදී ඇති බවද අධිකරණය හමුවේ පවසා  සිටි ඒ මහතා, මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සැකකාරියන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පළමු සැකකාර උපතැපල් ස්ථානාධිපතිනිය මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා  ලබා  කලක් පොලීසිය සහ අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඇය විදේශක වනු ඇති බවට ඇති වූ සැකය මත ඇයට විදේශගත වීම වළකාලමින් හිඟුරුක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා දිසානායක මහත්මය විසින් කටුනායක සහ ම ත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල ආගමන විගමන පාලකරුවන්ට තහනම් නියෝග දෙකක් මීට පෙර නිකුත් කරනු ලැබුවාය.

පොළොන්නරුව තැපල් අධිකා  රී  බී.ඒ. සරත් කුමාර ජයසේකර මහතා, පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා  මෙම සැකකාරියන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පොළොන්නරුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්‍ෂක එස්. වීරතුංග මහතා පෙනීසිටි අතර, සැකකාරියන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා  පෙනීසිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා  මහතාගේ උපදෙස් මිත පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්‍ෂක එස්, වීරතුංග මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.


මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් සිවුදෙනාගෙන් තිදෙනෙක් රිමාන්ඩ්...

· නමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල 

නාවික හමුදාව විසින් පසුගියදා  වැ ටලූ මහා පරිමානයේ හෙරොයින් ජා වාරමට සම්බන්ධ බවට සැකපිට ගාල්ල ඕපාත පාලීසිය විසින් පෙරේදා (01දා) අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව්දෙනාගෙන් ප්‍රධාන සැකකරු නොවැම්බර් 08 දින දක්වා ඕපාත පොලීසිය භාරයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ගාල්ල උඩුගම මහේස්ත්‍රාත්තුමිය ඊයේ (02දා) රැදවුම් නියෝග ලබා දුන්නාය.

අනෙක් සැකකාර චීවරධාරියා  හා  කාන්තාව ඇතුළු තිදෙනා නොවැම්බර් මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්තුමිය නියෝග කළාය.

මෙසේ රැඳවුම් නියෝග ලබාදෙන ලද්දේ නො. සුභද්‍රාරාම පාර, බලපිටිය ලිපිනයේ පදිංචි බෝබ්මාලි   නමැති 43 හැවිරිදි පුද්ගලයෙකුටය. 

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ගණේමුල්ල පදිංචි 37හැවිරිදි කාන්තාවක්, වීරපානේ පදිංචි අයෙක් හා  සහ ගෝතවල, කැලණිය විහාරස්ථානයක සිටි 27 හැවිරිදි චීවරධාරියෙකු යන තිදෙනාය. 

මෙහි පළමු සැකකරු සන්තකයේ තිබී රුපියල් හය ලක්ෂ දෙදහස් පන්සියයක්ද තිබී පොලීසියේ භාරයට ගෙන ඇත. සැකකරු ඉන්දියාව හා  පකිස්තානය යන රටවලින් හෙරොයින් ගෙන්වීමේ නිරත වී තිබෙන බව පොලීසිය කියයි. මුදල් නොමැතිව හෝ  එම රටවලින් හෙරොයින් ගෙන්වීමට තරම් එම රටවල් සමග ප්‍රබල සම්බන්ධකම් සැකකරුට තිබී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකාර චීවරධාරියාද හෙරොයින් ජාවාරමට සෘජුවම සම්බන්ධ බවට පරීක්ෂණවලදී තහවුරු වූ බව පොලිසිය පවසයි. එම චීවරධාරියා හෙරොයින් ජාවාරම සඳහා  ප්‍රවාහන පහසුකම් සපයා  ඇති බවද පොලීසිය කියයි. ඒ වෙනුවෙන් පසුගිය සතියේ පළමු සැකකරු චීවරධාරියාට රුපියල් ලක්ෂ 15ක් ද ලබා දී ඇති බවත් හෙළිවී තිබේ. සැකකරුවන් මෙම චීවරධාරියාගේ ගිහි කල නිවසේ රැඳී සිට ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී ඇත.

මෙහි පළමු සැකකරු 2021 අගෝස්තු 31 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශය මගින් බේරුවල වෙරළ තීරයේදී අත්අඩංගුවට ගන්නා  ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් 228 ග්‍රෑම් 644 ක් ප්‍රවාහනය කරන ලද බහුදින යාත්‍රාවේ ස්පීකර් වශයෙන් කටයුතු කර තිබෙන බවද එම හෙරොයින් තොගය ගෙන්වා ඇත්තේ මොහු බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. 

ඔහු සන්තකයේ තිබී එම අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 100ක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, උපපොලිස් පරීක්ෂක අමරසිංහ ඇතුළු නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

හිනිදුම කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී එච්. එච්. කේ. ජේ. සී. සමරසිංහ, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.

Thursday, November 2, 2023

14 හැවිරිදි සිසුවියව හයදෙනෙකු වරින් වර අපයෝජනය කරලා..

 80 හැවිරිදි සීයා, නැන්දාගේ පුතා  සහ ලොකු අම්මාගේ පුතා  අත්අඩංගුවට 

බාප්පා  හා  තවත් දෙදෙනෙකු සොයා  පරීක්ෂණ

• බණ්ඩාරඟම - බිමල් ශ්‍යාමන් ජයසිංහ

14 හැවිරිදි දැරියක් වසර ගණනාවක් තිස්සේ අපයෝජනයට ලක්කළ 80 හැවිරිදි සීයා ඇතුළු සමීප ඥාතීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර දැරියගේ නැන්දාගේ පුතා සහ ලොකු අම්මාගේ පුතා ද වන බව පොලීසිය කියයි. 

දැරිය අපයෝජනයට ලක් කළ බව කියන බාප්පා යැයි කියා ගන්නා පුද්ගලයකු ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඒ අතර පාසල් සිසුවකු ද වන බවත් පොලීසිය කියයි. අතවරයට පත් දැරිය මේ වනවිට රෝහල් ගත කර තිබේ.

පියා භාරයේ මිත්තණීය සෙවණේ හැදී වැඩෙන ළාබාල වයසේ. දැරියක් ප්‍රදේශයේ තරුණයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන බවත්, ඔහු රාත්‍රී කාලයට එම නිවස වෙත යන බවත්, ළමා ආරක්ෂණ අධිකාරියට යම් පුද්ගලයකු ලබාදුන් හෝඩුවාවක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස එම අධිකාරිය විසින් මොරගහහේන පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව සිදු කළ විමර්ශනවලින් අනතුරුව දැරියට වසර ගණනාවක් තිස්සේ සිදුව තිබූ අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.

දැරිය පොලීසිය වෙත කැඳවා  සිදු කළ ප්‍රශ්න කිරීමේදී පෙරපාසල් යන අවධියේ දී මව විදේශ ගතවීමෙන් අනතුරුව පියා විසින් තමා අතුරුගිරිය. ප්‍රදේශයේ නැන්දාගේ නිවසේ නතර කරන ලද බව ප්‍රකාශ කර තිබේ. පහ වසර අධ්‍යාපනය ලබද්දී එම නිවසේ සිටී සීයා තමන්ව වරින් වර ලිංගික අපයෝජනයට ලක් කළ බවත්, අනතුරුව නැන්දගේ පුතා ද තමන්ව අපයෝජනයට ලක්කළ බවත් දැරිය ප්‍රකාශ කර තිබේ.

අනතුරුව එම ප්‍රදේශයේම වැඩ බිමක තරුණයකු සමග ප්‍රේම සබඳතාවෙක් පවත්වාගෙන ගිය බවත්, ඔහු සම්භද අවස්ථා දෙකකදී රාත්‍රී කාලයේ දී නිවසින් බැහැරව ලිංගිකව හැසිරුණු බවත් දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය කියයි. ඒ වන විට තමන් 7 වසරේ අධ්‍යාපනය ලැබු බවත්, නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පුංචි අම්මාගේ නිවසට ගිය අවස්ථාවේ දී බාප්පා ද තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවත් දැරිය ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය කියයි. 

දැරිය වර්න් වර පාසල් සිසුන් සමඟ පෙම් සබදතා පවත්වා ගෙන යාම හේතුවෙන් නැන්දා විසින් විදේශගතව සිටින මවට දන්වා දැරියගේ මිත්තණියගේ නිවස වෙත ඇරලවා එම ප්‍රදේශයේ පාසල වෙත යොමු කර තිබියදී දැරිය ඉගෙනුව ලබන පාසලේ සිසුවකු සමග ද සබඳතාවක් පවත්වා ඔහු රාත්‍රී කාලයට නිවස වෙත ගෙන්වා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 

අත්අඩංගුවට ගත් 17, 30 හා 80 හැරිදි සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සෙසු සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ. පොලීසිවලට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පානදුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාර් උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ච්ත්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂක එල් එම්,පි.රේණුකා මහත්මිය පරීක්ෂණ පවත්වයි.


රෝගී වෙනතුරුම වගක් නැති වකුගඩුවේ කතාව..

 


සටහන / නාලිකා රාජපක්ෂ

අපි බොහෝ දෙනෙක් රෝගී වෙන්න බොහෝම අකමැතියි. මේ නිසාම සමහරු කෑම බීම වලිනුත් එළවළු පලතුරු ආදිය වැඩිපුර භාවිත කරන්නේ ශරීරය ලෙඩ දුක්වලින් ආරක්ෂා කරගන්න. නමුත් ලෙඩ වුණා කියල දැනගත්තම එළවළු පලතුරු සමහර ඒවා නවත්වන්න වෙන එක්තරා අවයවයක් අපේ මිනිස් ශරීරය තුළ තිඛෙනවා. ඒ තමයි වකුගඩුව, වකුගඩු ලෙඩ වෙන්නේ කොහොමද? කොහොම නමුත් වකුගඩුවල රෝග ඉතා තීව්‍ර අවදියට පත්වනතුරු රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථා තිඛෙන නිසා, අපි දැන සිටිය යුතු වන්නේ වකුගඩු රෝගවල රෝග ලක්ෂණ නොව, වකුගඩුව රෝගී නොවී රැකගන්නට කළයුතු දෙයයි.

වකුගඩුව දවසකට හාරසිය වතාවක් රුධිරය පිරිසුදු කරන අතර, සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුගේ සිරුරේ රුධිරය ලීටර් හත අටක් පවතින බව තමයි ඇත්ත. වකුගඩුවට හානිකරන්නට සමත් රෝග දෙකක් තමයි අධිරුධිර පීඩනය සහ දියවැඩියාව කියන්නේ. මේ වන විට මේ බෝ නොවන රෝග දෙකම මිනිසා අතර වේගයෙන් පැතිර යන සහ පැතිරෙන රෝග දෙකක්, මේ රෝග දෙකම ප්‍රතිකාර තුළින් යගත හැකි අතර, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය ඇති හැමෝම අනිවාර්යයෙන්ම වකුගඩු රෝගී අය වන බව නොසිතන්න.

මෙහි ඇති අවදානම්ම කාරණය වනුයේ දියවැඩියාව මෙන්ම අධිරුධිර පීඩනයද රෝග ලක්ෂණ නොපෙන්වා දිගු කලක් තිස්සේ ශරීරය තුළ නිහඬව පැවතීමයි.

වකුගඩු රෝගී වීමට හේතුව මේ රෝග දෙක විතරද? නැත. වකුගඩු රෝගී වන්නට අප විසින්ම අනුගමනය කරන තවත් ක්‍රියා බලපානු ලබයි. ජලයේ පවතින යම් යම් වෙනස්කම් මෙන්ම දීර්ඝකාලීනව යමෙක් ලබාගන්නා වේදනානාශක ඔසු භාවිතාව, යම් යම් රූපලාවණ්‍ය මුල්කොටගෙන නිසියාකාර ආරක්ෂාවක් සනාථ නොකළ අවිධිමත් ඖෂධ භාවිතාව වකුගඩුවලට අහිතකර යම් යම් විෂබීජ මුත්‍රාවලට එකතුවීම වැනි හේතුද වකුගඩු රෝග කෙරෙහි බලපානු ලබන බව ඔබත් අසා ඇති. වකුගඩු රෝග නිසා වැඩිපුරම බැණුම් අසන්නේ දියවැඩියා රෝගීන්ගේ මෙට්ෆෝමින් නම් ඖෂධයයි.

මෙට්ෆෝමින් නිසා වකුගඩු රෝග ඇතිවෙනවාද? යන්න බොහෝදෙනෙකු විමසන පැනයකි. දියවැඩියා රෝගියෙකුගේ වකුගඩු රෝගී වී ඇති බව හඳුනාගත් විට මෙට්ෆෝමින් ඖඖෂධය නැවැත්වීම කෙරෙහි සැකයෙන් එසේ සිතීම එයට හේතුවයි. මෙහි පවතින ඇත්තම කතාව නම් මෙයයි. දියවැඩියා රෝගියා වකුගඩු රෝගියෙකු නම් ඔහුට හෝ ඇයට මෙෆොමින් නම් ඖෂධ ලබාදීමෙන් අස්වැසීමක් ලබන්නට නොහැකි වීම, එම ඖෂධය නවතන්නට වෛද්‍යවරයා තීරණය කරන්නට පවතින එකම හේතුව එයයි. දියවැඩියාව සමනයට තවදුරටත් මෙෆොමින් ඖෂධයෙන් ඵලක් නොවන විට නිකරුණේ අදාළ නැති ඖෂධය නවතා දමනු විතා දියවැඩියාව සහිත වකුගඩු රෝගියෙකුගේ වකුගඩු රෝගී වීමට හේතුව මෙට්ෆෝමින් ඖෂධය නොවේ.

දියවැඩියා රෝගය පවතින විට ඔබට වැඩිපුර පලතුරු ආහාරයට ගැනීමට ඉඩ නොලැබෙන අතර, පලතුරක් ගන්නේ නම් එය අඩුවෙන් ඉදුණු පළතුරක් යම් සීමාසහිත ප්‍රමාණයකින් විය යුතුය. වකුගඩු රෝගයේදීද ඇතැම් විට පලතුරු ඔබට තහනම්ආහාරයක් විය හැකිය. එමෙන්ම එළවළු වර්ග සහ පලාද එසේමය. එළවළු සහ පලතුරු, පලා සෞඛ්‍යමත් ආහාර ලෙස හඳුන්වා දී තිබියදී මේ දෙන උපදෙස ඔබට පුදුමයක් වනු නොඅනුමානය. ඒ වගේ ගුණැති කෑම වකුගඩු රෝගීන්ගෙන් ඈත් කරන්නේ ඇයි? එයට හේතුව පලතුරු සහ එළවළුවල පවතින මිනරල්ස් එසේත් නැතිනම් ක්ෂුද්‍ර පෝෂකයන් වකුගඩුවට අහිතකර අන්දමින් බලපෑමට ඉඩ ඇති නිසයි. 

වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක වකුගඩු රෝග කල්තියා හඳුනාගත හැකි ක්‍රමයක් නැතිදැයි දැන් ඔබට ගැටලුවක් මතුවෙනු ඇත. ඇත්තෙන්ම එවන් පරීක්ෂණයක් තිබේ. එය ඔබට සරල රුධිර පරීක්ෂණයක් හරහා කලින්ම හදුනාගත හැකිය. ඒ සදහා ඔබට අවශ්‍ය වනුයේ ඔබේ ශරීරයේ දිනෙක ක්‍රියාකාරීත්වය වෙනුවෙන් අනා වටිනා මිල කළ නොහැකි සේවයක් සලසන වකුගඩුව නම් අවයවය ගැන ඔබේ මුහුණේ අලංකාරය, සමේ අලංකාරය වැනි කාරණාවලට වඩා වැඩි අවධානයක් දැක්වීමය.

ඔබේ වකුගඩුවල නිරෝගීතාවය කෙසේදැයි දැනගැනීම වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ සඳහා ඔබට නිර්දේශපතක් අවශ්‍ය බව ඔබේ පවුලේ වෛද්‍ය වරයාට වුවත් පැවසීමෙන් නිර්දේශපතක් ලබාගත හැකිය. 

සීරම් ක්‍රියැටිනීන් සහ මුත්‍රාවල ACR පරීක්ෂණ ඔබේ වකුගඩුව තුළ රෝගී බවකට තුඩුදෙන කිසියම් හේතුවක් පවතීද යන්න ඒ පරීක්ෂණවලින් කලින්ම දැනුම් දෙනු ඇත. මේ පරීක්ෂණ මෙන්ම ඔබ නිරෝගී බව උතුම්ම ධනය සේ සකත අයෙක් නම්, පැය දහයක නිරහාර රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය මෙන්ම නිතර ඔබේ රුධිර පීඩනයද පරික්ෂා කරගන්න. එයින් ඔබට එම රෝගවලින්ද ආරක්ෂා වීමේ මග සලසාගත හැකිය. දුම් පානය කරන්නෙකු නම් එයින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. නොසැලකිලිමත් බව නිසා ඔබ දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ ඒ දෙකටම අවදානමක් කැදවන අධිස්ථූලතාවද පාලනය කරගන්න. අවශ්‍ය තරම් ජලය පානය කරන්න. මෙහිදී අනවශ්‍ය තරම් මුත්‍රා පිටකිරීමට හේතු සපයා නොගන්න. ඕනෑවට වඩා වතුර බොන්නත් එපා. ඔබ වයස්ගත වන විට ප්‍රයෝජනයක් ගන්නට මුදල් ඉතිරි කරන්නට උනන්දු වෙනවා මෙන්ම සිරුරේ සෑම පද්ධතියක්ම ආරක්ෂා වන පරිදි ඔබේ සැලකිලිමත් බව ආයෝජනය කරන්න.

මෙහිදී අනවශ්‍ය තරම් මුත්‍රා පිටකිරීමට හේතු සපයා නොගන්න. ඕවට වඩා වතුර බොන්නත් එපා. ඔබ වයස්ගත වන විට ප්‍රයෝප්තයක් ගන්නට මුදල් ඉතිරි කරන්නට උනන්දු වෙනවා මෙන්ම සිරුරේ සෑම පද්ධතියක්ම ආරක්ෂා වන පරිදි ඔබේ සැලකිලිමත් බව ආයෝජනය කරන්න.

කෙසේ නමුත් වකුගඩු ආබාධ සදහා පවතින ප්‍රතිකාර මොනවාදැයි විමසුවහොත්, රුධිර කාන්දු පෙරණ නැතිනම් ඩයලයිසීස් කිරීම සහ හානි වූ වකුගඩුවට වෙනත් වකුගඩුවක් බද්ධ කිරීමය. වාට වඩා ඔබ ස්වාභාවිකව වකුගඩු රැකගත්ත උත්සාහ දරන්නේ නම්, එය ඔබගේ ජීවිතය වෙනුවෙන් ඔබ ගන්නා තීරණවලින් හොදම තීරණයක් වනු ඇත.

උපදෙස් / උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය මහින්ද හේමප්‍රිය මහතා