Wednesday, December 31, 2025

බැරියර් එකේ මත් පාටියක් දැමු පොලිස් සැරයන් කූඩුවේ

බිමල් ශ්‍යාමන් ජයසිංහ


පොලිස් මාර්ග බාධකයක්තුළ මත්පැන් සාදයක් පැවැත් වූ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 55 ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි.


 සැකකාර පොලිස් සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක භටයකු පෙරේදා (29) රාත්‍රී ගල්කිස්ස විජය පාර බෝ ගස අසල මාර්ග බාධක රාජකාරී කරමින් සිටියදී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක මිලාන් නිලධාරියා රාත්‍රී 09.45 ට පමණ මාර්ග බාධක නිලධාරීන් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක භටයා හා තවත් සිවිල් පුද්ගලයකු මාර්ග බාධක කුටිය තුළ සිටින අයුරු නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


උප පොලිස් පරීක්ෂකවරයා යතුරු යතුරුපැදියෙන් බැස මාර්ග බාධක කුටිය තුළට ගිය අවස්ථාවේදී රාජකාරී යෙදී සිටි නිලධාරීන් එම ස්ථානයේ සිටින පිටස්තර පුද්ගලයා සමග මත් පැන් පානය කරන බවට දර්ශනය වී ඇති අතර එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ජංගම දුරකතනයෙන් එම ස්ථානයේ දර්ශන ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.


ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුද එම ස්ථානයට පැමිණ සිදුකළ පරික්ෂාවේදී එය සත්‍ය සිද්ධියක් බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.ඒ අනුව පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මතුගම ප්‍රා. සභාපති පහර දුන්නැයි සභා ලේකම්වරිය රෝහලේ



ඛන්දු තඹවිට 


මතුගම මහීපාල ජයලත් සහ බුලත්සිංහල ලක්මි කුඩලිගම මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ (30) උදේ තමාට පහරදුන් බවට එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මතුගම පොලිසියට පැමිණිල්ලක් කළාය. තමා ඊයේ (30)උදේ මතුගම ප්‍රාදේශිය සභාවේ කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටියදී සභාපති කසුන් මුණසිංහ මහතා  තම කාර්යාලයට පැමිණ තමාගේ මුහුණේ දකුණු පසට සභාපතිවරයාගේ දබරැගිල්ල තබා තමාට බැණ තර්ජනය කළ බවටත්, අනතුරුව තමාගේ මේසයේ ලිපි සුළගේ නොයාමට තබන බර රඳවනයක් මගින් මේසය මතට වේගයෙන් පහර දීම නිසා එය තමාගේ දකුණු උරහිසේ වැදුණු බවටත් මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉද්දගොඩ හේවාගේ නෙලු නිශාන්ති මහත්මිය පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.


ඇය මතුගම වෑත්තෑව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය කියයි.මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවැසීය.මෙම ලේකම්වරිය සභාවට පත්වූ දින සිට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදුකිරීමට සහාය නොදී අකුල් හෙළනවා. මේ පිළිබඳව මා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියටත් පැමිණිලි කර තිබෙනවා.



එ අතර අප සභාවේ මන්ත්‍රීවරුන් පසුගිය සැප්තැම්බර් මාසයේ මහා සභාවේදී සම්මත කරගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකින් සංවර්ධනය කිරීමට නියමිත මාර්ග රාශියක වැඩ වසර අවසාන වන විටත් සිදුකර නොමැති නිසා පසුගිය 29 වැනිදා බස්නාහිර පළාත් පළාත් පාලන ලේකම් කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව එම කාර්යාලය මගින් සභාවට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නා එම මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු අදදින (30) ආරම්භ කරන ලෙස එහෙත් අද උදෑසන 9.30 වන විටත් ඒ සඳහා අවශ්‍ය පියවර ලේකම්වරිය ගෙන නොතිබූ නිසා මම ලේකම්ගේ කාර්යාලයට ගොස් ඒ පිළිබඳව විමසීමක් කළා. 


එවිට ඇය මා චෙත දෝෂාරෝපණය කරමින් මට පාරවල් හැදුවත් එකයි, නැතත් එකයි. මම වැඩ කරන්නේ මට ඕනැ විදිහටයි. ඔයාට ඕනෑ දෙයක් කරගන්න කියලා පැවැසුවා. එවිට මාත් දෝෂාරෝපණය ඇයට කරමින් අප ඇවිත් තිබෙන්නේ මතුගම මිනිසුන්ට සේවය කරන්නයි. නිලධාරීන් එයට බාධා නොකළ යුතුයි කියලා කිව්වා. පසුව මා ඒ නොසන්සුන්කමින්ම එම ස්ථානයෙන් ඉවත්ව මගේ කාර්යාලයට ආවා. මෙම සිදුවීම වන විට තවත් නිලධාරීන් කීප දෙනකුත් එම ස්ථානයේ සිටියා.


අප මේ වන විටත් මෙම ලේකම්වරිය  වෙනුවට වෙනත් ලේකම් කෙනෙක් ලබාදෙන ලෙස පළාත්පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබෙනවා. මම කාන්තාවකට පහර දෙන්න තරම් පහතට වැටුණු කෙනෙක් නෙමෙයි. මිනිසුන්ට පාරක් හදලා දෙන්න තියෙන අවස්ථාව නැතිවීම පිළිබඳව කනගාටුයි.

මාලිමා අපේක්ෂකට පහරදුන්නැයි සජඛ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ


දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුර අපේක්ෂකයකුට පහරදුන් බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.මෙලෙස පහරකා ඇත්තේ, දොඩංගොඩ මහවත්ත නැතින්න ලිපිනයේ පදිංචි කපුවත්තේ ගෙදර විජේරත්න බණ්ඩා යන අය බව පොලිසිය කියයි.


මන්ත්‍රී ධුර අපේක්ෂකයා පෙරේදා (29) සී.අයි.බී. 1 304/340 යටතේ දොඩංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර අධිකරණ වෛද්‍ය පෝරම 297/2025 ලබාගෙන ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලේ අංක 14 වාට්ටුව වෙත ඇතුළත්ව ඇත.


නැහින්න ප්‍රදේශයේ පැවැති අවමඟුල් නිවෙසකට ප්‍රාදේශීය සභාවෙන් පුටු සැපයීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අපේක්ෂකයා සහ මන්ත්‍රීවරයා අතර ඇති වූ බයින්බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදු කර ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය. දොඩංගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

වෙසක් පෝය මැයි 30 වැනිදා


අංජුල මහික වීරරත්න


වෙසක් පොහොය මැයි තිස් වැනිදාට යොදාගන්නා ලෙසට මහා නා හිමිවරුන් කළ ඉල්ලීම ඉටු කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. වෙසක් පුන් පොහෝය දිනය මැයි 1 වැනිදාට නොව මැයි 30 වැනිදාට යොදා ගන්නැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට සන්දේශයක් යවමින් ඉල්ලීමක් කිරීම ගැන මාධ්‍යවේදීන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.


සමහර මාසවල පෝය දෙකක් යෙදෙනවා. මහා නාහිමිවරුන් මේ ගැන අවධානය යොමු කර ඉල්ලීමක් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒ ගැන අවධානය යොමු කර තිබෙනවා. මහා නාහිමිවරුන්ගේ උපදෙස්, ඉල්ලීම් පරිදි ඒ කටයුතු එලෙසම සිදුවේවි යැයි කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී කීය.

හෙළ ගී රැජින අද දැයෙන් සමුගනී



අංජුල මහික වීරරත්න


‘හෙළයේ ගීත කෝකිලාවිය’, ‘හෙළ ගී රැජින' ලෙසින් විරුදාවලි ලැබූ අභාවප්‍රාප්ත කලාසූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (31) පස්වරුවේ සිදු කෙරෙයි.


වල්පොල මහත්මියගේ දේහය කොළඹ ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ සිට කොළඹ නිදහස් චතුරස්‍රයට අද රැගෙනවිත් පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කෙරෙනු ඇත. නිදහස් චතුරස්‍රයේදී පස්වරුවේ පැවැත්වෙන අවමඟුල් උත්සවයෙන් අනතුරුව දේහය බොරැල්ල කනත්ත දක්වා රැගෙන යෑමට නියමිතය.


මේ අතර, ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේ, ‘හෙළයේ ගීත කෝකිලාවිය' යන විරුදාවලියලත් ලතා වල්පොල මහත්මිය සිංහල සිනමාව හා හෙළ ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර සැලකිල්ලට ගනිමින් එතුමියගේ අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.


රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.


ලතා වල්පොල මහත්මියට රාජ්‍ය ගෞරව ලබා නොදුන්නේ ඇයි දැයි මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා කීවේ, පවුලේ අය සහ ක්ෂේත්‍රයේ අයගෙන් අදහස් විමසා රජය අදාළ තීරණය ගෙන තිබෙන බවයි.

“කිසි කෙනෙකුට වෙනසක් කිරීමේ බලාපොරොත්තුවක් අපට නෑ" යනුවෙන් ද කැබිනට් ප්‍රකාශකවරයා කීය.මේ අතර, ලතා වල්පොල මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ ජයරත්න රෙස්පෙක්ට් ශාලාවට ඊයේ දිනයේ ද විශාල පිරිසක් පැමිණියහ.


අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජන කළ සැරයන් දින 14 කට පසු කොටුවෙයි



බිමල් ශ්‍යාමන් ජයසිංහ


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් රාජකාරි කටයුත්තක් සඳහා බිංගිරිය පොලිසියට පැමිණ සිටියදී, පිරිසක් සමග පැමිණ අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කර පලා ගිය බව කියන පොලිස් සැරයන්වරයකු දින 14කට පසු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබි ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හලාවත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් හලාවත ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් සඳහා ඉකුත් 17 වැනිදා පැමිණ හලාවත පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන බිංගිරිය පොලිසිය වෙත භාර දී රාජකාරි කටයුතු කර ඇත.


එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සිවිල් රියැදුරුට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් පිරිසක් තර්ජනය කරන බවට කෙරුණු දැනුම්දීම මත ප්‍රධාන පොලිස් පරික්ෂක, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුට ද එම පිරිස බැණ තර්ජනය කරමින් අනතුරුව යතුරුපැදියකින් හා මෝටර් රථයකින් පලා ගොස් තිබූ බව කියති.


එම පිරිස නැවත දුටුවොත් හඳුනාගත හැකි බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් එම නිලධාරියා සඳහන් කර තිබූ බව පොලිසිය කියයි. එම පැමිණිල්ල අනුව බිංගිරිය පොලිසිය එහි විමර්ශන කටයුතු ආරම්භ කර සිදු කළ සොයා බැලීමේදී ඒ වන විටත් සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවට අනාවරණය වීමෙන් අනතුරුව, සැකකරුවන් පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ මෝටර් රථ කොමසාරිස් කාර්යාලය මගින් මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු හලාවත සිංහපුර ප්‍රදේශයේ පුද්ගලයකු බවට අනාවරණය කරගෙන ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කර ඇත.

අයවැය ඡන්ද ප්‍රතිඵල අවුල් කළැයි ලේකම්වරියට ජල ප්‍රහාරයක්

ඞී.ජී. සුගතපාල 


ගාල්ල මහ නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ (ජා.ජ.ඛ) ප්‍රධානත්වයෙන් ඊයේ 30 පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ කියමින් නගරාධිපතිවරයාට සහ සභා ලේකම්වරියට විරෝධය පළ කිරීමෙන් ඇතිවූ ගාලගෝට්ටියක් හේතුවෙන් නගරාධිපතිවරයා විසින් සභාව කල් තබනු ලැබීය. පසුගියදා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පිළිබඳ ඡන්ද විමසීමේදී විපක්ෂයි කී මන්ත්‍රීවරුන් සිවුදෙනකු පක්ෂයි කී බවට ලේකම්වරිය වැරැදි ලෙස සටහන් කර අයවැය සම්මත කිරීමට සහාය දුන් බව පවසා විපක්ෂයේ මන්ත්‍රීවරු මෙසේ විරෝධය පළ කළහ. 


නගරාධිපතිවරයා අසුන් ගැනීමත් සමග නැගී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරු“අපේ ඡන්දේ හොරා කාපු නගරාධිපති අපට එපා. අපේ ඡන්දේ හොරා කාපු හොර ලේකම් අපට එපා” ආදී සටන් පාඨ නොකඩවා කියවන්නට වූහ.මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නගරාධිපතිගේ අසුන ළඟට පැමිණ විරෝධය දක්වන්නට වීමත් නගරාධිපතිවරයා පොලිසිය කැඳවීමට උපදෙස් දුන්නේය.



ඒ සමග ශාලාවෙන් පිටත රැඳී සිටි පොලිස් කණ්ඩායමක් සභා ගර්භයට පැමිණියත් විපක්ෂයේ විරෝධය දිගින් දිටම පවත්වන්නට වූ අතර පිරිස සභා ලේකම්වරිය අසලට ද පැමිණ වතුර බෝතල් විවෘත කර ලේකම්වරියට ජල ප්‍රහාරයක් ද එල්ල කළහ. තත්වය පාලනය කර ගැනීමට නොහැකිවූ නගරාධිපතිවරයා මහා සභාවේ වැඩ කටයුතු අවසන් කර කාරක සභා අවස්ථාව බවට පත් කර සභාව පැය භාගයකට කල් තබන බව දන්වා බැස ගියේය.


සභාව ආරම්භයට පෙර සිටම පොලිස් බල ඇණියක් නගර සභා පරිශ්‍රයට කැඳවා තිබිණි. මෙම සිද්ධියෙන් පසු අසනීප බව පවසා සභා ලේකම්වරිය පිටව ගිය අතර වැඩ බලන ලේකම් ලෙස නියෝජ්‍ය කොමසාරිස්වරිය වන නදීකා ප්‍රබෝධනි මහත්මිය කටයුතු කරමින් කාරක සභාව පවත්වාගෙන ගියාය.එයට විරෝධය පළ කරමින් විපක්ෂ පිටව මන්ත්‍රීවරු ගියහ.

Tuesday, December 30, 2025

මුදල් ඔට්ටුවට බයික් වලින් රේස් පැද්ද තරුණයෝ හතක් කූඩුවේ

 


සමන් කාරියවසම්


මුදල් ඔට්ටුවට යතුරු පැදි රේස් පැද්ද තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, එගොඩ උයන සහ පානදුර ප්‍රදේශයේ පදිංචි 18,19,20, 21 සහ 22 වියැති තරුණයන් බව පොලිසිය පවසා සිටී.


රාත්‍රි කාලයට පැරණි ගාලු පාරේ මහජනතාවට පීඩාකාරී වන අයුරින් අධික ශබ්ද නිකුත් කරමින් යතුරු පැදි රේස් පවත්වන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරුවලට අනුව පානදුර පැරණි ගාලුපාරේ ජුබිලි හන්දියේ සහ අවට තැන තැන මාර්ග බාධක යොදා කළ වැටලීමකදී යතුරු පැදි 4 ක් සහ තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.


යතුරුපැදිවල සයිලන්සර් කපා හැඩ වෙනස් කර තිබූ බවත් ඒවා යතුරු පැදි රේස් වලදී හඳුනා ගැනීමට අංක කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පෙම් අවුලකින්ද ? පවුලේ අවුලකින්ද?

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


වෙන්නප්පුව නයිනමඩම පාලම මතින් පෙරේදා (28) සවස්වරුවේ ගිංඔයට වැටි අතුරුදන් වි සිටි 17හැවිරිදි තරුණියකගේ සිරුර ඊයේ (29) පෙරවරුවේ හමුවු බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.එසේ මිය ගොස් ඇත්තේ කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි උමයංගනා සත්සරණි (17) නැමති තරුණියකි.


තරුණිය පෙරේදා (28) සවස 5.30 ට පමණ ගිංඔයේ පාලම අසලට පැමිණ පෙම්වතා බව කියන තරුණයකුට දුරකථන ඇමතුමක් ලබාදි ගිංඔය පාලම අසලට ගෙන්වා ගෙන ඇත. පෙම්වතා බව කියන තරුණයා ඔහුගේ මිතුරකු සමග තරුණිය සිටින ස්ථානයට පැමිණ විනාඩි 10 ක් පමණ කතා කරමින් සිටියදි තරුණියගේ මව කෝල් කර අම්මට කියන්නේ නැතුව නේ ගෙදරින් ආවේ කියල තරුණියට බැණ වැදි ඇතැයි කියයි.


තරුණිය බස් නැවතුමට ගොස් නැවත පැමිණ මට අම්මා බනිනවා ගෙදර යන්න විදිහක් නැතැයි කියමින් එකවර ගිංඔයට පැන්න බවත් ඇය බේරා ගැනීමට ගඟට පැන අල්ලා ගන්න උත්සහ කළත් මගේ අත තල්ලු කර අතුරුදන් වූ බවත් ඇය බේරා ගැනීමට තැත් කළ 18 හැවිරිදි පෙම්වතා බව කියන තරුණයා පොලිසියට පවසා ඇතැයි කියයි.


දෙදෙනා ගිංඔයට පනින අයුරු දුටු අසල හෝටලයක සේවකයන් දෙදෙනකු කඹයක් දමා බේරා ගැනීමට යාමේදි තරුණයා කඹයේ එල්ලී ගොඩට ගෙන ඇති අතර තරුණිය දියේ ගිලී ඇති බව පොලිසිය කියයි. දිවි බේරාගත් නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයා 1990 ගිලන් රථයකින් මාරවිල මුලික රෝහලට ගෙන ගොස් ඇති අතර මේවන විට ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි. දියේ අතුරුදන්ව සිටි තරුණිය සොයා පෙරේදා (28) රාත්‍රි මෙහෙයුමක් ආරම්භ කළද සිරුර සොයා ගැනීමට නොහැකි විය. 


අනතුරුව ඊයේ (29) පෙරවරුවේ නැවත බෝට්ටුවකින් තරුණයන් පිරිසක් ගිංඔයේ සොදියක් කරමින් සිටියදී දියමත පාචෙමින් තිබු සිරුර ගොඩ ගෙන ඇත. ප්‍රේම සම්බන්ධතාව මත ඇතිවු අමනාපයකින් ද නැතහොත් තරුණියගේ පවුලේ ආරවුලක් නිසා ඇය මිය ගියේද යන්න නිශ්චිතව අනාවරණය වී නැති බව පොලිසිය කියයි.මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මුලික රෝහලේදි පැවැත්විමට නියමිත තිබුණි. 


ගිංඔයේ දීයේ සිටි දෙදෙනාට අසල  හෝටලයකසේවකයින් දෙදෙනකු ඔයට කඹයක් දමා ඇති අතර තරුණයා කඹයේ එල්ලී ඇති තරුණිය දියේ ගිලී අතුරුදන් වී තිබුණි. දිවි බේරාගත් වෙන්නප්පුව නයිනමඩම පදිංචි 18 හැවිරිදි රුමේෂ් ලක්ෂාන් තරුණයා 1990ගිලන් රථයකින් මාරවිල මුලික රෝහලට ප්‍රතිකාර ගෙන ගොස් ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත. වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් ඇතිව උප පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි පරික්ෂණ පවත්වයි.

බිමතින් රිය පැදවීම සම්බන්ධයෙන් උපරිම දඩ මුදල රුපියල් 25,000



මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර දැන දැනම රිය පදවා අනතුරක් සිදුකළහොත් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් දී ඇති බව රථ වාහන පාලන සහ මාරිග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය. ඔහු ඒ බව පැවැසුවේ බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.


රියදුරන් බිමතින් ධාවනය කරන්නේ ද යන්න පරික්ෂා කිරිම සඳහා යොදා ගන්නා පරීක්ෂණ නළවල අඩුපාඩුවක් පසුගිය කාලයේ පැවති අතර ඉකුත් 24 වැනිදා වන විට එම නළ 75,000ක් මිලදීගෙන රථවාහන පරික්ෂා කිරීම් තවදුරටත් තිව්‍ර කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.


බිමතින් රිය පැදවීම සම්බන්ධයෙන් උපරිම දඩ මුදල රුපියල් 25,000 ක් වන අතර බිමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර අනතුරක් සිදු කළහොත් 1,50,000 දක්වා දණ්ඩනයකට යටත් කර රියැදුරු බල පත්‍රය අත්හිටුවීමට හැකියාව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.2005 වසරේදී මගීන් රැගත් බස් රථයක් සාංගල් මෝදර දී රේල් පාර වසා තිබියදී ඒ හරහා ධාවනය කිරීමට යාමේ දී පුද්ගලයන් 48 දෙනකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරුට 2013 වසරේ දී මරණ දඬුවම නියම කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.


පසු ගිය ගිය වසරට සාපේක්ෂව මාරක අනතුරු 271 කින් සහ මියගිය සංඛ්‍යාව 317 කින් වැඩි වී ඇති අතර බරපතළ අනතුරු සාපෙක්ෂ වශයෙන් අඩුවී ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ වාර්ෂිකව පදිකයන් සියයට 31ක් මාරක රිය අනතුරුවලට ලක්වන අතර යතුරුපැදිකරුවන් සියයට 31ක් සහ පසු පැදිකරුවන් සියයට 39 ක් මාරක රිය අනතුරුවලට ලක්වන බවත් ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ බීමතින් රිය පැදවීම බවත්ය.


මීට අමතරව රියැදුරන් කරන වැරැදි සම්බන්ධයෙන් ලකුණු ගණනය කරනු ලබන Dmerit system ක්‍රමවේදය ලබන ජූනි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ මෝටර් රථය සහ තවත් මෝටර් රථයක් සපුගස්කන්ද ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමේ සිද්ධිය වූ අවස්ථාවේදී මත්පැන් පානය කර ඇත්දැයි නිරීක්‍ෂණය කරනු ලබන ඇල්කොලයිසර් පරීක්ෂණ නළ සපුගස්කන්ද පොලිසියේ තිබූ බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ එම අවස්ථාවේ දී සපුගස්කන්ද පොලිසියේ මත්පැන් පරික්‍ෂණ නළ සියයට සීයක් නොතිබුණු බව කිව නොහැකි බවත් එම කාලවකවානුවේ මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීමේ වැරැදි සම්බන්ධ නඩු ලබාගෙන ද ඇති බවය.


එම සිදුවීම වූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි පරීක්ෂා කරන නළ සපුගස්කන්ද පොලිසියේ නොතිබුණේ නම් ආසන්නයේ ඇති පොලිස් ස්ථානයකින් රැගෙන ඒමට හැකියාව තිබූ බවද සේනාධීර මහතා කීය.එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මත්පැන් පානය කර ඇත්දැයි පරික්ෂා කර බලන නළ සෑම පොලිස් කොට්ඨාසයකටම ප්‍රමාණවත් පරිදි දී ඇති අතර කුමන තරාතිරමක හෝ පුද්ගලයකු වුවද බීමතින් රිය පැදවූයේ නම් නීතිය සියයට සීයක්ම ක්‍රියාත්මක කරන ලෙස රථ වාහන අංශ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවය.


හිටපු කතානායක අශෝක රන්වල මහතා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී සපුගස්කන්ද පොලිසියේ නිලධාරින් අධිකරණ වෛද්‍ය පෝරමයක් දුන්නේ නම් නිසැකවම බීමතින් සිටියේද යන්න සනාථ කර ගැනීමට හැකියාව තිබූ බවත් සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති සහ රථ වාහන අංශයේ ස්ථානාධිපති බරපතළ ලෙස රාජකාරිය පැහැර හැර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.


ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ අවමංගල්‍ය උත්සවය සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ රථ වාහන කොට්ඨාස අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව පැවසූ නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා කියා සිටියේ මෙම 31දා කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන උත්සව සඳහා ද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවය.


රථ වාහන වැරැදි සඳහා එවේලේම දඩ ගෙවීමේ Gov payයෙදුම හරහා දඩ ගෙවීමට සබරගමුව සහ මධ්‍යම පළාත්වල රියැදුරන්ට ඉදිරියේ දී පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද එම යෙදුම හරහා මේ වනවිට මිලියන 7 කට වැඩි ආදායමක් රජයට බැර වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

කාර්යාලවල බෝම්බ බියක් -ඊ මේල් පණිවිඩයට පරීක්ෂා කළත් කිසිවක් නෑ




රංජිත් රාජපක්ෂ


නාවලපිටිය පස්ඛාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාරියාලයේ පොදු ඊ මේල් ගිණුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාරියාල පරිශ්‍රය (29) දින හදිසි පරීක්ෂාවට ලක් කළද සැක කටයුතු කිසිවක් හමුනොවූ බව පොලිසිය කියයි. 


නාවලපිටිය පස්මාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් රම්සා ජයසුන්දර මහත්මිය වෙත එම ඊ මේල් පණිවිඩයට අනුව විදේශ රටකින් කූඩාරමක් තුළ බෝම්බයක් ඇති බවත් එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බවට සඳහන්ව තිබුණි.වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රාදේශීය ලේකම කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස ඉවත් කර ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන්නාය. නාවලපිටිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ අංශයේ ද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි සැක කටයුතු කිසිවක් නොමැති බවට තහවුරු විය.


සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලද ඊ මේල් පණිඩයක් මිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය පරක්ෂාවට ලක් කළ බවයි.මේ අතර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඊයේ (29) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලද විද්‍යුත් පණිවිඩය ව්‍යාජ එකක් බවට විමර්ශනවලදී අනාවරණය වී යැයි පූජාපිටිය පොලිසිය සඳහන් කරයි.


ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඊයේ (28) දරන විද්‍යුත් ලිපිනයකින් යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමට ඉඩ ඇති බවත් නිලධාරින් ඊයේ 29 වැනිදා දහවල් 2.00 ට පෙර ඉවත් වන ලෙසට දන්වා ඇති බවට සඳහන්ව තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.මෙම පණිවිඩය පෙරේදා දින ලැබී ඇතිමුත් එදින නිවාඩු බැවින් එහි නිලධාරියකු එම විද්‍යුත් පණිවිඩය දැක තිබුණේ ඊයේ (29) දින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. 


ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත එහි නිලධාරියකු ඊයේ (29) පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සියලුම කාර්ය මණ්ඩලය ඉවත්කර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම නිල සුනඛයන් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.පැය හතරකට ආසන්න කාලයක් එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. පූජාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම. ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

ත්‍රිරෝද රියැදුරු බලපෑම්



යොහාන් භාසුර


ජංගම දුරකථන හරහා ක්‍රියාත්මක කුලී රථ සේවා රියැදුරන් පිරිසක් සිය රැකියාව අතරතුරදී සිදුවන බලපෑම් පිළිබදව අවධානය යොමු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ (29) පැමිණිල්ලක් භාර දුන්හ.


ජංගම දුරකථන හරහා ක්‍රියාත්මක ත්‍රිරෝද රථ රියැදුරන්ට විවිධ ප්‍රදේශවලදී තර්ජනය කිරිම්වලට සහ පහර කෑම්වලට මුහුණදීමට සිදුවන බවත් ඒ හේතුවෙන් එම රියැදුරන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් එම කුලී රථ රියැදුරෝ පැමිණිලි කළහ. ඇල්ල ප්‍රදේශයේ ජංගම දුරකතන හරහා ක්‍රියාත්මක කුලී රථ රියැදුරකු කුලී මගියකු බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවකදී එම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් තර්ජනය කිරීම සහ ඉන් පසුව පොලිසිය කැඳවීමෙන් පසුව වූ සිද්ධිය මෙම පැමිණිල්ල ප්‍රධාන හේතුව බවට පත්විය.


රේල් ගේට්ටුව වැඩ නෑ:පන්සලේ ලොකු හාමුදුරුවෝ වාහන හසුරුවති




 තරංග ගුණරත්න


වැලිගම පොල් වත්ත දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ඩ් ලයිට් පද්ධතිය බිඳවැටීමෙන් ඇති වූ වාහන තදබදය පාලනය කිරීමට වැලිගම ගංගාරාම පුරාණ විහාරයේ විහාරාධිපති හිමියෝ ඊයේ (29) කටයුතු කළහ.


වැලිගම පොල්වත්ත දුම්රිය හරස් මාර්ගය සහ වැලිගම ගංගාරාම මාර්ගය දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ඩ් ලයිට් පද්ධතිය දින ගණනාවක සිට බිඳවැටීමට ලක්ව ඇතැයි ජනතාව පවසති.මෙම මාර්ගවල දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ රථවාහන දැඩි තදබදයක් පවතී. එයට හේතු වී ඇත්තේ මෙම මාර්ගය හරහා බොහෝ ප්‍රදේශවලට ගමන් කළ හැකිවීම සහ සංචාරකයන් බහුල ලෙස මෙම ප්‍රදේශවල ලැගුම් ගෙන සිටීමය.


බිඳ වැටීමට ලක්වූ මෙම රථ වාහන තදබදය පාලනය සඳහා වැලිගම ගංගාරාම පුරාණ විහාරයේ විහාරාධිපති පැල්වෙහෙරේ සුසීම හිමියන් මාර්ගයට වැඩම කර වාහන හසුරුවන ආකාරය දැකගත හැකිවිය.

නුවරඑළිය රෝහලෙන් බෙහෙත් ගත් දොළහකට පෙනීම අහිමිවෙලා

 






සුජිත් හේවාජුලිගේ



රජයේ රෝහල් සඳහා නිකුත් කළ රුපියල් කෝටි හාරසිය විසි එකකට අධික ඖෂධ ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තොගයක් තත්වයෙන්  අසමත්වීම හේතුවෙන් පසුගිය වසරේදී (2024) භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි.


ඇතැම් ඖෂධවල දෘෂ්‍ය අංශු පැවතීම, බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපද ඖෂධවේදී පිරිවිතරයන්ට අනුකූල නොවීම, ලේබල් කිරීමේ මාර්ගෝපදේශයන්ට අනුකූල නොවීම, වර්ණය වෙනස් වීම, පෙති කැඩී යාම, වීදුරු කැබිලි පැවතීම, අහිතකර ප්‍රතික්‍රියාවන් ඇතිවීම මෙම ඖෂධ තත්වයෙන් අසමත් වීමට බලපා තිබූ බව පවසන විගණන වාර්තාව තත්වයෙන් අසමත්ව භාවිතයෙන් ඉවත් කළ වෛද්‍ය සැපයීම් අතර බැක්ටීරියා ආසාදන, සමේ රෝග, මානසික රෝග, දියවැඩියාව සහ අක්මා රෝග සඳහා දෙන ඖඖෂධ හා ප්‍රතිජීවක ඖෂධ ද ඇතැයි පෙන්වා දෙයි.


මේ අතර රුපියල් කෝටි 137 කට ආසන්න වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීම මත 2024 වසරේදී තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබූ බව ද එහි දැක්වේ.මේ අතර කල් ඉකුත් වූ “බ්ලඩ් ග්ලූකෝස් ස්ට්‍රිප්ස්” ඒකක ලක්ෂ 25 ක් රෝහල්වලට බෙදා නොහැරීම සහ දේශීයව මිලදී ගැනීම් සඳහා අතිරේක මුදල් වැයවීම හේතුවෙන් රුපියල් කෝටි විස්සකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.


තත්වයෙන් අසමත් ඖඖෂධ හේතුවෙන් නුවරඑළිය රෝහලේ රෝගීන් දාහත් දෙනකුගෙන් දොළොස් දෙනකු ස්ථිරවම එක් ඇසක පෙනීම අහිමි වී තිබූ බවත් තවත් රෝගීන් තිදෙනකුගේ සියයට හැත්තෑවකට වඩා පෙනීම අහිමි වී ගොස් තිබූ බවත් අනාවරණය වූ බව විගණන අංශ කියයි. 2025 අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ඉහත රෝගීන් දාහත් දෙනාට කරුණා සහගත දීමනාවක් ලෙස රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් ගෙවා ඇති නමුත් එම ඖෂධ භාවිතයෙන් අගතියට පත් වූ අනෙකුත් රෝහල්වල රෝගීන් සම්බන්ධව විමර්ශන පවත්වා වන්දි ලබාදීම කර නොතිබුණු බව විගණන වාර්තාව පවසයි.


එසේම තත්වයෙන් අසමත් ඖෂධ සපයන සමාගම්වලින් චන්දි ලබා ගැනීමට අදාළ ප්‍රතිපාදන ප්‍රසම්පාදන ලියවිලිවලට ඇතුළත් කිරීමට මෙන්ම මෙවැනි සැපයුම්කරුවන් අසාදු ලේඛනගත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර නොතිබූ බව වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මඩුවේ බලු පැටවුන් ගොන්නක් ළඟ බිලිඳු සිරුරක්



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


කුලියාපිටිය දිවියාවල හන්දියේ වෙළෙදසලක මඩුවක මෑතක දී දමන ලද සුනඛ පැටව් ආසන්නයේ බිලිඳු මළ සිරුරක් තිබී ඊයේ (29) සොයා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සදහන් කරයි.දින පහක් පමණ වයසැති මෙම බිලිඳා කිසියම් ස්ථානයක අතහැර දමා යෑමෙන් පසු බැල්ලියක විසින් මඩුවට ඔසවාගෙන පැමිණ එම බැල්ලියගේ බලු පැටව් සිටි ආසන්නයේ තිබී සොයා ගන්නා විටත් මියගොස් සිට ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මෙම බිළිඳාගේ පාද දෙකක් සහ එක් අතක්ද නොමැති අතර එම බිලිඳිය දමා සිටි ස්ථානයේ ගැවසුණු සතුන් ඒවා කා දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.දඩාවතේ යන බැල්ලියක වෙළෙඳ සලට අයත් මඩුවක පැටව් දමා තිබූ අතර එම බැල්ලියට සහ පැටවුන්ට කෑම දීමට යාමේ දී බිලිඳු මළ සිරුර දැක ඇතැයි ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.


පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දීමෙන් පසු කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.යූ. රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ බිලිඳු මළ සිරුර ඔවුන්ගේ බාරයට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා වෙත ඊයේ සවස බාර දී ඇත. බිලිඳා ප්‍රසූත කළ මව පිළිබඳ තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.

Monday, December 29, 2025

බසයේදී කලන්තයක් පෙන්වා ළමා සුරැකුම් සේවිකාවගේ මාලය කඩලා

 බිමල් ශ්‍යාමන් ජයසිංහ


බස් රථයක පා පුවරුවකදී ක්ලාන්ත ගතියක් පෙන්වා මාස හතරක පමණ කුඩා දරුවකු උරහිස් ප්‍රදේශයට තදකර ළමා  ළමා සුරැකුම් සේවිකාවකගේ ගෙල බැඳි රන්මාලය සංවිධානාත්මක කාන්තා කල්ලියක් විසින් කොල්ල කා ත්‍රිරෝද රථයක නැග පලා ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.පවුමක් බරැති ලක්ෂ තුනක් පමණ රන් මාලය එලෙස කොල්ලකා ඇත. 


කෝට්ටේ බංගලා හන්දියේ, ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කරන පැමිණිලිකාර කාන්තාව එම සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවකුගේ අවශ්‍යතාවක් සඳහා පිටතට ගොස් යළි එම මධ්‍යස්ථානය කරා පැමිණීම සඳහා පිටකෝට්ටේ ප්‍රදේශයේ දි බස් රථයක නැග ඇතැයි පොලිසිය කියයි.ඇය එහි පිටුපස අසුනේ අසුන් ගෙනසිටියදී එකම පවුලට අයත් කාන්තාවන් තිදෙනකු මාස හතරකට ආසන්න කුඩා දරුවකුද වඩාගෙන බස් රථයට නැග ඇති අතර එයින් කාන්තාවන් දෙදෙනකු ඇය දෙපසින් අසුන්ගෙන ඇත. 


ඇය බංගලා හන්දිය ආසන්නයේ බස් නැවතුමෙන් බැසීමට සූදානම්වීමේදී එම කාන්තාවන් දෙදෙනාද අසුනින් නැගී සිට ඇයට කාන්තාවක ඉදිරිපසින් එක පුවරුවෙන් බැසීමට යාමේදී ක්ලාන්ත ගතියක් පෙන්වා ඇති අතර ඒ සමගම දරුවා වඩා ගෙන පැමිණිලිකාරිය පිටුපස සිටි කාන්තාව එකවරම මහා හඬින් “ අනේ කලන්තේ හැදිලා, කලන්තේ හැදිලා” යැයි පවසමින් පැමිණිලිකාර කාන්තාවගේ අවධානය ඒ දෙසට යොමු කර කුඩා දරුවා පැමිණිලිකාර කාන්තාවගේ උරහිස් ප්‍රදේශයට තද කර රන්මාලය කොල්ලකා බස් රථයෙන් පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයේ නැග පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.


එම කාන්තා කල්ලිය කඩිමුඩියේ බස් රථයෙන් බැස පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයේ නැග පලායන අයුරු ඒ ආසන්නයේ සවිකර තිබෙන සීසීටිවි කැමරාවක ද සටහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

හෝටල් කාමරයේදී නිරූපණ ශිල්පිනී පෙම්වතියගේ ලක්ෂ 60 ක් අරන් පැනලා



 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක් වෙන් කරවාගෙන සිය පෙම්වතිය බව කියන විසි නව හැවිරිදි නිරූපණ ශිල්පිනියක සමඟ ගතකරන අතරවාරයේ ඇයට මරණීය තර්ජනය කර බිය වද්දා පහරදී තුවාල සිදුකර ඇයගේ රුපියල් ලක්ෂ හැටක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන පලා ගිය බව කියන පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ පවත්වයි.කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි මෙම රූමත් නිරූපණ ශිල්පිනිය ඇයගේ පෙම්වතා බව කියන ඡායාරූප ශිල්පියකු සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක කාමරයක් වෙන් කරවා ගෙන එහි ගත කරඇත.


මෙසේ හෝටල් කාමරයේ ගතකරන අතර වාරයේ පෙම්වතා බව කියන ඡායාරූප ශිල්පියා නිරූපණ ශිල්පිනියට පහර දී මරණීය තර්ජන කර බියවද්දා ඇයගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.ජංගම දුරකථනය බලහත්කාරයෙන් ලබා ගත් බව කියන පෙම්වතා මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ඔහුගේ ගිණුමට පෙම්වතිය බව කියන නිරූපණ ශිල්පිනියගේ ගිණුමෙන් ලක්ෂ හැටක මුදලක් බැර කරගෙන පසුව පලා ගොස් ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


පහර කෑම නිසා තුවාල ලැබූ එම නිරූපණ ශිල්පිනිය වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එම නිරූපණ ශිල්පිනිය කළ පැමිණිල්ල අනුවය.


2,68,000ක් තවමත් ඥාති හිතමිතුරන්ගේ නිවෙස්වල

 





දිට්වා සුළි කුණාටුවත් සමග දිවයිනට බලපෑ ආපදා තත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ (28) පස්වරුව වන විට 638ක් දක්වා ඉහළ ගිය අතර, අතුරුදන් වූවන් සංඛ්‍යාව 175ක් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


ආපදා තත්වය හේතුවෙන් පවුල් එක්ලක්ෂ හතළිස් නව දහස් හාරසිය හැටකට (149,460) අයත් පුද්ගලයන් හාරලක්ෂ අනූ නවදහස් හයසීය හැත්තෑ එකක් (499,671) තවදුරටත් ආපදාවට ලක්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේය.


එමෙන්ම ආපදා තත්වය හේතුවෙන් පවුල් 10,340කට අයත් පුද්ගලයන් 76,801ක් තවදුරටත් ආරක්ෂිත ස්ථාන 358ක රඳවා සිටින බව ද ඔහු කීය.මීට අමතරව පවුල් 76,801කට අයත් පුද්ගලයන් දෙලක්ෂ හැට හත් දහස් හන්සීයක් (267,700) තවදුරටත් ඥාතීන්, මිතුරන් හෝ වෙනත් ස්ථාන වල සිටින බව ද කොඩිප්පිලි මහතා පැවසීය. මේ අතර, ආපදා තත්වය හේතුවෙන් වැඩිම මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 241ක් මිය ගොස් තවත් පුද්ගලයෝ 69ක් අතුරුදන් වී සිටිති.


බදුල්ල දිස්ත්‍රික්කයේ ද පුද්ගලයන් 89 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 10 ක් අතුරුදන්ව ඇත.එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 80ක් මියගොස් තවත් පුද්ගලයෝ 33 දෙනෙක් අතුරුදන්ව සිටිති.මේ අතර, ආපදා තත්වයෙන් නිවාස 6,121ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 114,314කට අර්ධ හානි සිදුව තිබේ.


රනිල්ට - දේශබන්දුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලකින් අධිචෝදනා?


රංජිත් පද්මසිරි සන්ඩේ ටයිම්ස්


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව කෙරෙන විමර්ශන අවසන් වීමෙන් පසුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතු බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා යෝජනා කර ඇත.


එක්සත් රාජධානියේ වොල්වන්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වී ඇත්තේ වැලිගම ඩබ්ලිව් 15 හෝටලය ආසන්නේදී සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙනි.


නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් අතර පැවැති ඉහළ මට්ටමේ හමුවක් අතරතුරදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම යෝජනාව කර ඇති බවට වාර්තා විය. හමුවට සහභාගී වූ අය අතර නීතිපති පාරින්ද රණසිංහ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද වූහ.රනිල් වික්‍රමසිංහ සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් දැරූ තනතුරු සැලකිල්ලට ගනිමින් ඔවුන්ට එරෙහිව ගොනුකරන චෝදනා වෙනමම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකළ යුතු යැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් යෝජනා කර ඇත.


විමර්ශන අවසන් කර අදාළ උපුටා ගැනීම් ඉදිරිපත් වීමෙන් පසු ලැබෙන නිර්දේශ මත පදනම්ව පීරිස් මහතාගේ යෝජනාව පිළිබඳව තීරණයක් ගන්නා බව නීතිපති පාරින්ද රණසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් චෝදනා පිළිබඳව සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන් වී නොමැත.වැලිගම ඩබ්ලිව් 15 හෝටල් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ බොහෝ දුරට අවසන් වී ඇති බැවින්, අනිද්දා (31) ට පෙර අවශ්‍ය පියවර ගන්නා ලෙස එම විමර්ශනය අධීක්ෂණය කරන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රම මහතාට නීතිපතිවරයා උපදෙස් දී තිබුණි.


දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු එම සිදුවීමට සම්බන්ධ වූ බව කියන පොලිස් නිලධාරීන් අට දෙනකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසද නීතිපතිවරයා එහිදී උපදෙස් දී ඇත.

එම සිදුවීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති ඇතැමුන් රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කළ හැකි බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ. හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද රැස්වීමේදී සාකච්ඡා කර තිබුණි.

ගෙට පැනන් හොරා අල්ලා දුන්නාම ජීප් රියෙන් ගෙදරටම ඇරලවලා

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


මාලිගාවිල ප්‍රදේශයේ කාන්තාවකට අයත් නිවසකට දේපළ සොරා ගෙන යෑමට ඇතුළු වූ බව කියමින් නිවැසියන් විසින් අල්ලා ඔක්කම්පිටිය පොලිසියට බාර දෙන ලද පුද්ගලයකු පොලිස් ජීප් රථයේ නංවාගෙන ඔහුගේ නිවසටම ගෙනැවිත් ඇරලූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර ඇත.


මොනරාගල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාගේ උපදෙස් මත විමර්ශනයක් කර ඔක්කම්පිටිය පොලිසියේ මෙම සැරයන් වරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ මොනරාගල සහකාර පොලිස් අධිකාරි (1) විසිනි.නිවැසියන් අල්ලා ඔක්කම්පිටිය පොලිස් ස්ථානයට බාරදුන් සැකකරු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකර ඔහු පොලිස් ජීප් රථයේ නංවාගෙන ඔහුගේ නිවසටම රැගෙන ගොස් ඇරලවා ඇති බවට විමර්ශන වලදී තො රතුරු හෙළිවිණි යැයි පොලිසිය කියයි.


මෙම විමර්ශන කරනු ලැබුවේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මතය.මීට අදාළව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයටද තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

Friday, December 26, 2025

කෑගල්ල නිවෙසිකින් පොල් ගෙඩි 10ක් ඉස්සු සැකකරුවෙක් දැලේ

 චමින්ද ජයලත්


නිවෙසකට අයුතු ලෙස ඇතුළු වී ලෙලි සහිත පොල් ගෙඩි 10ක් සොරකම් කරන ලද සැකකරුවකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවැසීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, හෙට්ටිමුල්ල, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයෙකි.පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණු කාන්තාව වයෝවෘද්ධ මව, දියණිය හා බෑනා සමඟ කෑගල්ල, දික්වැල්ල, දෙවෙල්දෙණිය නිවෙසේ පදිංචිව සිටින බවත් ඉකුත් 16 වැනිදා දහවල් නිවෙස පිටුපස කාමරයක ලෙලි සහිත තිබුණු පොල් ගෙඩි 10 ක් අතුරුදන්ව ඇති බව පොලිසිය පැවැසීය. 


පසුව කාන්තාව අල්ලපු නිවෙසේ සවි කර තිබුණු සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණය කර ඇති බවත් එහිදී පොල්ගෙඩි 10 සොරකම් කර ඇති සැකකරු හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවැසීය.පසුව කාන්තාව කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ

පොල්ගෙඩි 10 සොරකම් කර ඇති සැකකරු හඳුනාගත් බවත් ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී තම නිවෙසේ පිටුපස තිබුණු පොල් සොරකම් කරගෙන රැගෙන යන අයුරු අසල නිවෙසේ සී.සී.ටී.වී, දර්ශනවල පගත වී ඇති බවත් දන්වා තිබිණි. පැමිණිල්ලකට අනුව උප පොලිස් පරීක්ෂක සේනානායක විමර්ශනයක් සිදුකර සැකකරු පෙරේදා (23දා) අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරු ඊයේ (24දා) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


සී.අයි.ඩී යෙන් කියා පරීක්ෂා කර කතුන් අපයෝජනය කරන පුද්ගලයෙක් අත්තිඩියේදී අත්අඩංගුවට

 


රහස් ​පොලිසියෙන් යැයි පවසමි මාර්ගයේ ගමින් කරනු ලබන තරුණ කාන්තාවන් සැක. කටයුතු කියා පරීක්ෂා කිරීමට යැයි පවසා බලහත්කාරයෙන් කාර් රථයට නංවා ගෙන පාළු ස්ථානවලට රැගෙන ගොස් අපයෝජනය කර පලා යන පුද්ගලයකු ඉකුත් 20 වැනි දින ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් එම කාර් රථයද සමඟ අත්තිඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවැසීය.

සැකකරු මහියංගණය ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 47ක් වන අතර ගල්කිස්ස ටෙප්ලර්ස් පාර නවාතැන් පලක තාවකාලිකව පදිංචිව සිටිමින් මෙලෙස අපයෝජනය කිරීම් සිදු කරමින් සිටින අයකු බවටද අනාවරණය වී ඇතැයිද පොලිසිය පැවැසීය.


මෙවැනි අතවර කිරීමේ සම්බන්ධව පසුගිය පෙබරවාරි මස සිදු කළ පැමිණිල්ලකට අනුව එම මාර්ගවල සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරමින් ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කරන ලද අතර ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක රපිණි රාජප්පක්ෂ මහත්මිය වෙත ලද බුද්ධි තොරතුරක් මත අත්තිඩිය ප්‍රදේශයේදී එම කාර් රථයද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

පොලිස් සැරයන්වරිය අපයෝජනයට ලක්වීමෙ සිද්ධිය



මැදිරියපොලිසියේස්ථානධිපතිවරයා ලෙස රාෂ්කාරී කරන අතරතුර තමා යටතේම සේවය කළ පොලිස් සැරයන්වරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සමීබන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින මැදිරිගිරිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ජනවාරි මස 22 වැනි දින යළි කැඳවීමට හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් සෙව්වන්දි ද සොයික මෙනෙවිය නියෝග කළාය.


මෙසේ නියෝග කළේ. මෙම සිද්ධියට අදාළ නඩුව හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳ වූ අවස්ථාවේදීය. තමා යටතේම සේවය. කළ විවාහක පොලිස් සැරයන්වරියක අපයෝජනය කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින්නේ මෙම සිද්ධිය වූ බව කියන වකවානුවේ මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඒ. එල්. විතානගේ නමැති සැකකරුය.


සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට විවිධ ලිංගික අතවර සිදු කළ බව පවසමින් එවකට මැදිරිගිරිය පොලිසියේ සේවය කළ පැමිණිලිකාර සැරයන්වර්ය. පොළොන්නරුව කොට්ඨාස භාරව එවකට හිටපු ජේයෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාට අවස්ථා කිහිපයකදී පැමිණිලි  කළද කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තමන්ට සාධාරණය ඉටු නොකළ බව සහ සැකකාර පොලිස් ස්ථනාධිපතිවරයාට පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් පැමිණිලිකාර සැරයන්වර්ය පොලිස් මුලස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට පැමිණිලි කළාය. 


එලෙස පැමිණිලි කර මාස තුනක කාලයක් ගත වුවද සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර, ඊට හේතුව එම කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවක අදාළ  විමර්ශන හිතාමතාම සඟවා යටපත් කිරීම නිසා බවට ආනාවණය විය.පසුව පැමිණිලිකර සැරයන්වය විසින් මේ පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය භාරතියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සෘජුවම හමුවී පැමිණිලි කළාය. 


පසුව නියෝජ්‍ය‍ පොලිස්පතිවර්යගේ විශේෂ නියෝග මත පැමිණිලිකාර සැරයන්වරියගේ පැමිණිල්ල පිළිබඳව මූලික විමර්ශන සිදු කර පොලිස් මූලස්ථානයේ ළමා,හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් මැදිරිගිරිය ප්‍රදේශයේදී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පසුව සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිරවයා අධිකරණ නියෝග මත ඇප මත මුදාහැරිණි.


තමා යටතේම සේවය කළ පොලිස් සැරයන්වරිය ආයෝජනයක්කිරීමේ චෝදනාවට සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගෙන ඔහුගේ රාජකාරි වැඩ තහනම් කෙරිණි. ඒ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයකට අනුවය. මේ අතර දැනට රාජකාර් වැඩ තහනම් කර සිටින සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් චීනය පරීක්ෂණයක්ද පැවැත්වෙමින් තිබේ. සැකකාර හිටපු පොලිස් ස්ථනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 1995 අංක 22 දරන ලංකා දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධිත පනතින්)සංශෝධනය වූ 345 වන වගන්තිය ප්‍රකාරවය. පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කර්යාංශයේ නිලධාරීහු පෙනී සිටි අතර සැකකාර හිටපු පොලීස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් නීතිඥ සමිතා ජයසේකර මහත්මිය ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.


 උපාලි ආනන්ද


අනුරපුරේ වැව් 100ක් වැනසිලා

 


කුමාර වන්නිනායක 


ආයෙත් කාලෙකට ගොඩ ගන්ඩ බැරි තරමේ විනාසයක් මේ ගංවතුරෙන් වුණා. අනුරාධපුරේ විතරක් ඉක්මනින්ම පිළිසකර කළ යුතු වැව් සියකට කිට්ටු යැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලාවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේනනානායක්කාර  කීය.


ඒ මහතා තවදුරටත් මෙසේද පැවැසීය. සුළි කුණාටුවත් එක්ක යක්ෂාවේශ වෙච්චි මහ වැස්ස පැය දෙකතුනක් ඇතුළත කුරිරු ගංවතුරක් වුණා. මිනිස්සුන්ට, ගෙවල් දොරවල්වලට, ගහ- කොළට, සතා - සීපාවට වගේම අපේ වැව් අමුණුවලටත් ඒකෙන් වෙච්චි විනාසේ සුළු පටු එකක් නොවෙයි.මේ රටට ආදරේ කරන මිනිස්සු එක්ක ඉන්න ජනතාවාදී ආණ්ඩුවක් විදිහට අපිට අත පය අකුළාගෙන ඉන්ඩ බෑ. මේ කන්නෙට වගේම ලධන කන්නෙටත් අපි හරිබරි ගැහෙනව. 


මහජන නියෝජිතයෝ විදිහට අපිත්, රජයේ නිලධාර්න්, ආරක්ෂක අංශ වගේම ගමේ ගොඩේ අපේ ආදරණීය හිතවත්තු හැමෝමත් එක පෙළට, එක මීටට රොද බැදගෙන වැඩ කරලා වැඩේ. ගොඩදා ගත්තා, අමාත්‍ය වසන්ත සමරසිංහ සහෝදරයත් මමත් පහුගිය දවස්වල මේ ගැන හොයල බැලුව, මහමාංකඩවල, මහළිද වැව, මහවච්චිය වැව, බෙල්ලන්කඩවල වැව, සියඹලාගස්වැව, මඩති නිගම වැව් බටහිර ආසනයේ විනාස වූ වැව් කීපයක්. දැන් එම වැව් තාවකාලිකව පිළිසකර කර අවසන්.දැන් හිතට දැනෙන සතුට කියාගන්ඩ බැරි තරම්. විනාශකාර් සුළි කුණාටුව අභියෝගයක් කරගත්තු නැති, මවුබිම ගැන කැක්කුමක් තියෙන, ආදරණීය ධෛර්යවන්ත ජනතාවට අපේ ගෞරවනීය ආචාරය පුද කරනවා.

නවතා දමා තිබු සෞඛ්‍ය ව්‍යාපෘති 8ක් යළි ඇරැඹීමට පියවර

 නිමල් අල්ගෙවත්ත


අත්හිටුවා තිබූ සෞඛ්‍ය ව්‍යාපෘති 8ක් නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු සෞඛ්‍ය සේවා ව්‍යාපෘති 08ක් නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය. මඟ පරිමාණ ව්‍යාපෘති නැවත ක්‍රමෝපායකරණය සහ වේගවත් කිරීමේ කමිටුවේ (RAMP) නිර්දේශ අනුව සංශෝධිත මුළු පිරිවැය සහ කාලරාමු සමඟ මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙන යනු ලැබේ.


අදියරවල ඉදිකිරීම් කර ඇති ව්‍යාපෘති සහ පිරිවැය මෙසේය.කෑගල්ල මූලික රෝහල - අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා රුපියල් මිලියන 2,095.58කි. හලාවත දිස්ත්‍රික් මහ රෝහල - වෛද්‍ය වාට්ටු සංකීර්ණය රුපියල් මිලියන 1,266.38 වේ.හලාවත දිස්ත්‍රික් මහ රෝහල - අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා රුපියල් මිලියන 4,057.96 වන අතර රත්නපුර ශික්ෂණ රෝහල - හෘද රෝග ප්‍රතිකාර ගොඩනැඟිල්ලට රුපියල් මිලියන 3,543.77 වෙන් කර ඇත.


රාගම පුනරුත්ථාපන රෝහල - නව සායන ගොඩනැඟිල්ල රුපියල් මිලියන 678,83 වෙන් කර ඇති අතර කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මිලේනියම් වාට්ටුවේ මූලික ප්‍රතිකාර ඒකකය සහ අතුරු වෛද්‍ය සේවා ගොඩනැඟිල්ලට රුපියල් මිලියන 1,245.50ක් ලබා දීමට රජය පියවර ගෙන ඇත.කරාපිටිය ශික්ෂණ රෝහල - මහල් 10කින් යුත් ශල්‍ය වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන 2,070.12 ලබාදී ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල සහ ආඝාත ප්‍රතිකාර ඒකකය සඳහා ගොඩනැඟිලි සංකීර්ණය සඳහා රුපියල් මිලියන 1,265.30 ලබා දීමට රජය තීරණය කර තිබේ.මෙම ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන්, දැනට පවතින සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු වන අතර ජනතාවට වඩා විශාල සහ ගුණාත්මක වෛද්‍ය සේවා ලබා දිය හැකි වනු ඇත.


මොරටුව නගරාධිපති ලිංගික අල්ලස් ඉල්ලනවා

 



මොරටුව මහ නගර සභා වේ. නගරාධිපතිවරයා ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත් එම ලිංගික අල්ලස බලහත්කාරයෙන් ලබා ගැනීමට බලය අයුතු ලෙස යෙදවීමට, උත්සාහ කළ බවත් කියමින් නගර සභාවේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (24දා) පැමිණිලි කර තිබේ.


මේ සම්බන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද එහි සඳහන් කර ඇත. කාර්යාල ලිපි ලේඛන රාජකාරියේ නිරතව සිටි තමා නගරාධිපතිවරයාගේ ඉල්ලීම හේතුවෙන් දැඩි ලෙස බියකට හා ලැජ්ජාවට මෙන්ම අසරණභාවයට පත්ව සිටින බව පැමිණිල්ලේ දක්වා තිබේ.


මාස එකහමාරක කාලයක් තිස්සේ වරින් වර ලිංගික අල්ලස් ඉල්ලූ බවත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නගරාධිපතිවරයා තමා සමඟ උරණ වී ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි මාතෘ සායනයකට ස්ථාන මාරු කළ බවත් එහි සඳහන් කර ඇත.නගරාධිපතිවරයාගේ බලය අයුතු ලෙස භාවිත කර මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙන බවත් ඒ සඳහා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශයක් ලබාගෙන නොමැති බවත් සේවිකාව කියා සිටී.මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තමාට සාධාරණයක් ඉටු කරන ශිලසට ඇය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ප්‍රමිතියක් නැති බෝල වෑල්ව විකුණු ආයතන දෙකකට වැඩ වරදී

ඉන්දික හේවාවිතාරණ


වෙළෙඳ පොළේ ඇති ලේබල් හෝ නිසි විස්තර නොමැති බෝල වෑල්ව (Float Operated Valves) අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබෙන බවත් මේ නිසා ලේබල් හෝ නිසි විස්තර නොමැති බාල වෑල්ව මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


බාල උපාංග ඉක්මනින් කැඩී යෑමෙන් ජලය ට කාන්දු වී (Water Leaks) ජල බිල අධික විය හැකි බවත් විශාල වියදමක් දරා පිරිපහදු කළ පානීය ජලය අපතේ යෑම රටටම සිදුවන පාඩුවක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි. පාරිභෝගිකයන් මුළා කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) ලියාපදිංචි අංකය සඳහන් නොකළ පාවෙන බෝල වෑල්ව (Float Operated Valves) අලෙවි කළ කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ ව්‍යපාරික ස්ථාන දෙකකට එරෙහිව පාර්යභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිය ක්‍රියාත්මක කර තිබේ.


ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි අංකය සඳහන් නොකළ පාවෙන බෝල වල්ව අලෙවි කිරීම හා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කඩවත පිහිටි ආයතනයට රුපියල් විසි දහසක (20,000) දඩ මුදලක් මහර අධිකරණය පසුගිය 15 වැනි දින පැනවූ බවත් කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) නිල ලාංඡනය අවසරයකින් තොරව භාවිත කර පාරිභෝගිකයන් රැවටූ බවට චෝදනා ලැබූ සමාගමේ බලධාරීහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරී බවත් මෙම නඩුව නැවත ලබන මස කැඳවන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ලේබල් රෙගුලාසි උල්ලංඝනය කරමින් අලෙවි කිරීමට තබා තිබූ අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ 5ක පමණ වටිනා වෑල්ව තොගය විනාශ කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති​ය

 


නිමල් අල්ගෙවත්ත


ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණය වැඩ සටහනට සමගාමීව 2026 සිට 2030 දක්වා කාලය සඳහා අවශ්‍ය එන්නත් යුනිසෙෆ් ගෝලීය සැපයුම් ඒකකය හරහා ප්‍රසම්පාදනය. කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් රෝග 11ක් වැළැක්වීම සඳහා වාර්ෂිකව ළමයින් මිලියන 1.5කට සහ ගර්භණී මවුවරුන් ලක්ෂ 3කට පමණ එන්නත් ලබා දේ.ඉකුත් 2000 වර්ෂයේ සිට GAVI සන්ධානය මඟින් ශ්‍රී ලංකාවට එන්නත් ප්‍රසම්පාදනය සඳහා සහාය ලබාදී ඇති අතර, යුනිසෙෆ් ගෝලීය සැපයුම් ඒකකය හරහා එන්නත් ලබා ගැනීමෙන් උසස් තත්ත්වයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ව සුදුසු කර්ම ලබාදී ඇති එන්නත් සාධාරණ මිලට ලබා ගැනීමට හැකි වේ.


මෙම ක්‍රමවේදය මඟින් එන්නත් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම, කාලෝචිත බෙදාහැරීම සහ වැඩි සැපයුම් සුරක්ෂිතතාවක් තහවුරු කිරීමද සිදු වේ. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුෂිත කර ඇත.

Wednesday, December 24, 2025

ආපදාවෙන් ලක්ෂ 4 කට රස්සා නැතිවෙලා

 




විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රමිකයන් 3,74,000කගේ රැකියාවලට දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවත් ඔවුන්ට නැවතත් රැකියා ආරම්භ කිරීමට හෝ වෙනත් හොඳ ස්ථානයක රැකියා සොයා ගැනීමට නොහැකිව ඇති හෙයින් එම පිරිසට මසකට අහිමි වන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 48 ක් (රුපියල් කෝටි 1480 ක්) පමණ බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ.


එලෙස රැකියා අවදානමට ලක්ව ඇති ශ්‍රමිකයන් අතරින් 2,44,000 ක් පිරිමින් බවත් 1,30,000 ක් කාන්තාවන් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.රැකියා අවදානමට ලක්ව ඇති පිරිසෙන් 85,000 ක් කෘෂි කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරත වූවන් බවත් තවත් 1,25,000 ක් කර්මාන්ත ආශ්‍රිත රැකියාවල නිරත වූවන් බවත් එම වාර්තාවේ දැක්වේ.එසේම තවත් 1,64,000 ක් සේවා ආශ්‍රිත රැකියාවල නිරතව සිටි අය අය බවද වාර්තාවේ කියයි.


ශ්‍රමිකයන්ට සිය ජීවනෝපාය සහ ආදායම් අහිමිවීම ඔවුන්ගේ පවුල්වලට ද බලපානු ඇති බවත්, එය මග හරවා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට එම පවුල්වලට සිදුවනු ඇති බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. ඒ හේතුවෙන් එම පවුල් ළමයින් රැකියාවලට යොමු කිරීමේ අවදානමක් මතුවිය හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ. වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කෘෂි කර්මාන්තය සහ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවලට බවත් නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මෙරට කෘෂි කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.


එසේම ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් මෙරට තේ ඵලදාව සියයට 35 කින් පමණ අඩුවිය හැකි බවත් තේ ඵලදාවෙන් සියයට 70 කට වගකියන්නේ කුඩා තේ වතු හිමියන් බවත් වාර්තාවේ සඳහන් කරයි.කුඩා තේ වතු හිමියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන් දහස් ගණනකට මින් විශාල බලපෑමක් එල්ල වනු ඇති බවත් එම ශ්‍රමිකයන්ට සිදුවන්නේ කබලෙන් ළිපට වැටීම බවත් ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. නිවාස අහිමි වූ ඔවුන්ට ජීවනෝපාය ද අහිමිවනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.


සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් පමණ ප්‍රතිශතයක් අවදානමට ලක්ව ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් එහි වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 1600 ක් පමණ වන බවත් වාර්තාව සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බහුදින යාත්‍රාවක් පස් දෙනකුත් එක්ක අත්අඩංගුවට



 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


රටට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙරටට පුවාහනය කරමින් සිටි බහු දින යාත්‍රාවක් එහි සිටි පුද්ගලයන් පස් දෙනකුද සමග අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ලංකාදීපයට ඊයේ (23) පැවසීය.


මෙම බහු දින යාත්‍රාව මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒම සඳහා ගන්දරින් පිටත් වූ එකක් බවට තොරතුරු හෙළි වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.නාවික හමුදාවේ යාත්‍රා දින කිහිපයක් තිස්සේ ගැඹුරු මුහුදේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසු මෙම විශාල මත්ද්‍රව්‍ය තොගය සමග එම යාත්‍රාව එහි සිටි පුද්ගලයන් පස්දෙනාද සමග අත්අඩංගුවට ගෙන ඇති බවද හෙතෙම කීය.


අද හෝ හෙට මත්ද්‍රව්‍ය තොගය සහිත මෙම යාත්‍රාව මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි නාවික හමුදාව කියයි.ඉරාක නෞකාවකින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන ඒමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය තොගය මෙම බහුදින යාත්‍රාවට පටවා ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ එහි සිටින පස්දෙනාම මෙරටට ගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දෙන බව නාවික හමුදාව පවසයි.

විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් ඇවිත් හිටියේ නෑ

 




චමිලා අල්විස්


හොරණ නගර සභාවේ අයවැය දෙවැනි වරට ඊයේ 23 වැනිදා විපක්ෂයේ සහභාගීත්වයකින් තොරව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සම්මත කර ගැනිණ. සභාව ආරම්භ කිරීමට විනාඩි පහකට පෙර (9.55) සංශෝධිත අයවැය සභාවට ඉදිරිපත් කර සම්මත කරගෙන ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළහ.


නගර සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ නගර සභා රැස්වීම ආරම්භ විය.එය පෙරවරු දහයට ආරම්භ වීමට තිබුණත් එයට විනාඩි පහකට ප්‍රථමයෙන් 9.55 ට අයවැය කියවීම ආරම්භ කළ අවස්ථාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනා පමණක් එක්ව අයවැය සම්මත කරගෙන ආණ්ඩු පක්ෂයේ පිරිස සභාවෙන් පිටත්ව ගොස් සිට ඇති බව විපක්ෂය චෝදනා කළේය.


හොරණ නගර සභාවේ විපක්ෂ නායක ග්‍රැන්විල් රාෂ්පක්ෂ මහතා මෙම සිද්ධිය සම්බන්ධව මෙසේ පැවැසීය. අපි නියමිත වෙලාවටම රැස්වීම් ශාලාවට ආවා. සභික රැස්වීම් ශාලාවේ ඔරලෝසුවේ විනාඩි පහකින් වෙලාව වෙනස් කරලා. අපි මන්ත්‍රීවරුන් හරියටම වෙලාවට ආවා. ඒ විනාඩි කිහිපය ඇතුළත පාලක පක්ෂය සංශෝධිත අයවැය ඉදිරිපත් කරලා සම්මත කරගෙන. අපි ආවට පස්සේ අයවැය සම්මත වුණා කිව්වා. අපි අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් හත්දෙනාම සහභාගී වුණා.


හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතා (ජාතික ජන බලවේගය): අපි නියමිත වෙලාවට අයවැය සංශෝධිත කෙටුම්පත ඉදිරිපත් කළා. විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් ඇවිත් හිටියේ නෑ. සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනාම හිටියා. ඒ අයගේ ඡන්දයෙන් අපි අයවැය සම්මත කළා. අයවැය සම්මත කරන අවස්ථාවේ සභාවේ ගණපූර්ණය සිටියා.


මෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්වයක් ඇති වූ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලේකම්වරිය හමුවූ අවස්ථාවේ ද උණුසුම්කාරි තත්වයක් ඇති විය.පාලක පක්ෂය කියා සිටියේ හැමදාම ඇති ඔරලෝසුව අදත් තිබුණු බවයි.අයවැය සම්මත වූ පසු සභා රැස්වීම අවසන් විය.

සජබ නාගරික මන්ත්‍රීට විනය පරීක්ෂණයක්



සුජිත් හේවාජුලිගේ


කාලගුණ ආපදාවෙන් විපතට වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සහනාධාර බෙදමින් සිටි ප්‍රධාන පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු ඇතුළු පිරිසකට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහනුවර නාගරික මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් එම පක්ෂය විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

 

මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඇත්නම් දක්වන ලෙස පක්ෂනායකත්වය එම මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී ඇත.සමාජ ක්‍රියාකාරිකයාට සහනාධාර බෙදීමේ කටයුතු කරගෙන යෑමට මහනුවර නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු කාමරයක් තාවකාලික පදනමින් ලබාදී තිබූ අතර ඔහු එහි රැඳී සිටිමින් සහනාධාර බෙදීම කර තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.


සමගි ජන බලවේග නගර සභා මන්ත්‍රීවරයා පසුගිය දිනක එම ස්ථානයට පැමිණ ඔහුගේ එම කටයුතුවලට දිගින් දිගටම බාධා කර තිබූ බව පැවැසේ. සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු දෙස් විදෙස් විශාල පිරිසක් මේ පිළිබඳව පක්ෂ නායකත්වයට පැමිණිලි කර තිබිණ.ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සිද්ධිය හෙළා දැක්කේය.


මේ අතර මේ අවස්ථාවේදී කවුරුන් හෝ ඉදිරිපත්ව ජනතාවට සහනාධාර බෙදන්නේ නම් එය ධෛර්යවත් කිරීම මිස කඩාකප්පල් කිරීම සදාචාරාත්මක නොවන පහත් ක්‍රියාවක් බව මහනුවර ජනතාව පක්ෂ නායකත්වයට පෙන්වා දී ඇතැයි වාර්තාවේ.

හබරකඩ දෙදරු මවගේ මරණයට පරීක්ෂණයක් ඉල්ලා සැමියා පොලිසි යයි

 



කේ. බුද්ධික කුමාරසිරි



ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට කොළඹ බෝවන රෝග විද්‍යාතනය හෙවත් අයි. ඩී.එච්. රෝහලට ඇතුළත් වී සිටියදී ඉකුත් 11 වැනිදා මියගිය හෝමාගම හබරකඩ පදිංචි ශානිකා සමරපාල නමැති 37 හැවිරිදි දෙදරු මවගේ මරණය බාල ඛෙහෙත් නිසා සිදු වූ මරණයක් බවට සැක කරන බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණක් පවත්වන ලෙස ඇයගේ සැමියා ඊයේ (23) අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කළේය.

 

මියගිය කාන්තාවගේ සැමියා වන, හෝමාගම හබරකඩ බී. චානක මදුසංක මහතා මෙසේ කීය. මගෙ බිරිය ඩෙංගු රෝගයට ප්‍රතිකාර ගන්න තමයි රෝහල් ගත වූයේ. අපට දරු දෙදෙනෙක් ඉන්නවා. මේ බෙහෙත දීපු ගමන් බිරිදගෙ හදවත නතර වුණා. මට වෛද්‍යවරුන් කිව්වේ හය පාරක් විතර හදවත නතර වුණත් එම සියලු අවස්ථාවල ප්‍රතිකාර ලබා දී ප්‍රකෘති තත්වයට ගත්තත් බේරා ගන්න බැරි වුණා කියලයි.


මේ වෙච්ච දේ වෛද්‍යවරුන්ටත් හිතා ගන්න බැරිලු. ඒ ගැන දැන් පරීක්‍ෂණයක් යනවලු. මොනව කළත් වැඩක් නෑ දැන් මට මගේ බිරිඳ නෑ. දරුවන් දෙන්නාට අම්ම නෑ. ඒ නිසා මෙවන් දේවල් යළිත් නොවන්නට මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කළ යුතුයි.


Tuesday, December 23, 2025

ඩිෆෙන්ඩර් අනතුර: හිටපු ඇමැති විජයමුණි සමථයෙන් මුදාහරි



බිමල් ශ්‍යාමන් ජයසිංහ 


හිටපු අමාත්‍ය සමගි ජන බලවේගය පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් සංවිධායක විජිත් විජයමුණි සොයිසා මහතා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සමථ වීමෙන් අනතුරුව මුදා හැරිය බව දෙහිවල පොලිසිය කියයි.හිටපු අමාත්‍යවරයා විසින් පදවන ලද ඩිෆෙන්ඩර් රථය ගල්කිස්ස දෙස සිට කොළඹ දෙසට ගමන් කිරීමේදී දෙහිවල ගාලු පාරේ දී ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයකු ගැටී බිම ඇද වැටී ඇති අතර එම අවස්ථාවේදී අදාළ ඩිෆෙන්ඩර් රථය පිටුපසට ගැනීමේදී පිටුපසින් තිබූ තවත් රථයක ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා තුවාලකරු අදාළ ඩිෆෙන්ඩර් රථයෙන්ම කළුබෝවිල රෝහලට ඇතුළත් ඇත. තුවාලකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.හිටපු අමාත්‍යවරයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතද ඉදිරිපත් කර තිබූ අතර ඔහු මත්පැන් පානය කර නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් ද අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.


තුවාල කරුවන්ගේ පාර්ශවය සහ හිටපු අමාත්‍යවරයා අතර ඇති වූ එකගතාවකින් අනතුරුව සමථ වූ බවත් අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා මුදා හැරිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

පස් යට සිරුරු සොයන්න පුහුණු සුනඛයන් රටින් ගෙන්වයි

‘දිට්වා’සුළිකුණාටුවසමඟහටගත්නායයෑම්වලට හසුවී පස් යට සැඟවුණු පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීම සදහා සහාය වීමට විශේෂයෙන් පුහුණු කළ ඉව අල්ලන සුනඛ කණ්ඩායමක් එවන මෙන්, රජය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර ඇත.නායයෑම් හේතුවෙන් අතුරුදන් වූවන් සොයා තවමත් මෙහෙයුම් සිදුවෙමින් පවතී.‘දිට්වා’ සුළි කුණාටුව දිවයිනට කඩා වැදුණේ පසුගිය නොවැම්බර් 28 වැනිදාය. සුළි කුණාටුව හේතුවෙන්, මිලිමීටර් 500 දක්වා දැඩි වර්ෂාපතනයක් ඇද හැළුණි.


සුළි කුණාටුවත් සමඟ හටගත් නායයෑම් සහ ගංවතුර පුද්ගලයන් 600 කට වැඩි පිරිසක් බිලිගත් අතර, මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්කවල තවත් බොහෝ දෙනෙක් අතුරුදන් වූහ.නායයෑම්වලින් මියගිය බවට සැකකෙරෙන පිරිසගේ සිරුරු සොයාගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බවත්, විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් ලබා දෙන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කළ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියකු ‘ඩේලි මිරර්’ පුවත්පත සමග පවසා ඇත.


පස් තට්ටු යට සිරවුණු පිරිස් සෙවීම අභියෝගයන් බවත්, මෙම විශේෂයෙන් පුහුණු කළ සුනඛයන්ට තියුණු ඉවක් ඇති බවත්, පස් තට්ටු යට සිරවී මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයා ගැනීම එම සුනඛයන්ට කළ හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියා පැහැදිලි කර ඇත.ආපදාවට ලක් වී අතුරුදන් වූ පුද්ගලයන්ගේ නිවැරැදි සංඛ්‍යාව පිළිබඳව විමසූ විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියා ප්‍රකාශ කළේ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවය.

කොස්තාපල්ගේ පැමිණිල්ල බොරුවක්දැයි විමර්ශන



ගයාන් සූරිය ආරච්චි


ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවට අනුව කිසිදු පහරදීමක් සිදුවී නොමැති බවත් එම පොලිස් කොස්තාපල්වරයා අසත්‍ය පැමිණිල්ලක් කළාද යන්න පිළිබදව සැකයක් මතුවන බවත් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා පැවසීය.එම කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලැබී ඇති අතර පහර දීමක් සම්බන්ධව කිසිදු සලකුණක් නොමැති බවට වාර්තාව ලැබී ඇති බවද මහින්ද ගුණරත්න මහතා කීය.


ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ගුණරත්න මහතා කියා සිටියේ එම කොස්තාපල්වරයාගේ යතුරුපැදිය ද පැහැර ගත් බවට කළ පැමිණිල්ලට අනුව විමර්ශන නිලධාරින් එම ස්ථානයට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ තිබී යතුරු පැදිය හමුවී ඇති බවත්, ඒ අනුව මෙම නිලධාරියාගේ පෞද්ගලික වුවමනාවක් මත එසේ පැමිණිලි කළේද නැතිනම් යම්කිසි කණ්ඩායමක් මොහු පිටුපස සිටිනවාද යන්න පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා කීය.එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා කියා සිටියේ, නීතිය අතට ගනු ලබන ඕනෑම අයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතාට සාපරාධී බලහත්කාරකම් කරලා



රෝහණ සමරවීර 


රත්නපුර දිස්ත්‍රික් (ජාතික ජනබලවේගයේ) පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතාට සාපරාධී බලහත්කාරකම් කළැයි කියන සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයා රුපියල්ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් තිළිණ යූ. පීරිස් මහතා නියෝග කළේය.මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ කොලොන්ත කළුගල ප්‍රදේශයේ සුසන්ත හෙට්ටිආරචිචි නමැති කොස්තාපල්වරයෙකි. ඇපකරු පවුලේ ළගම ඥාතියකු විය යුතු බවත් එම ඥාතීත්වය ඉදිරි දිනක දී සනාථ කරන ලෙස කොන්දේසි පැනවීය. පොලිසිය හා අගතියට පත් පාර්ශවයේ නිතීඥවරුන්ගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මගින් මුදාහරින ලෙසත් ලබන මස 26 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.


සැකකරු සූරියකන්ද පොලිස් ස්ථානයේ කොස්තාපල් තනතුරේ සේවය කරන්නකු බවද අධිකරණයේ දී කියැවිණි.පසුගිය දිනක එම සැකකරු යතුරු පැදියකින් පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ගමන් ගත් වාහනය හරස් කර අවහිරවනසේ නවතා යම් වචන හුවමාරුවක් අතර තුර පහරදීමක් වූ බවට මන්ත්‍රීවරයා කොලොන්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.ඒ අතරතුර පොලිස් කොස්තාපල්වරයා තමන්ට මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පහරදුන් බව පවසමින් රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඉකුත් 21 වැනිදා රෝහලෙන් පිටව ගොස් සිටි බව ද අධිකරණයේ දී කියැවිණි.


පසුව ඇඹිලිපිටිය පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කොස්තාපල්වරයා ඊයේ (22) අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබීය. ඉන් අනතුරුව අයුතු ලෙස අවහිර කිරිම, සාපරාධී බලහත් කාරකම් පෑම හා සාපරාධි ලෙස බිය ගැන්වීම යන චෝදනා යටතේ එම සැකකරු පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයේ කරුණු සලකා බලා ඉහත නියෝගය දුන්නේය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නිතීඥ විජිත ජී. පුංචිහේවා විසින් අධිකරණයට කරුණු දක්වමින් පැවැසුවේ තම සේවාදායකයා සිදුකර ඇතැයි කියන චෝදනා සමථ මණ්ඩලය වෙත යොමු කළ හැකි චෝදනා බවත් එම චෝදනාවලට ඇප දිය හැකි බවත්ය. දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ නීතිඥයන් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ ඉදිරියේ දී මෙය සමථයට පත්කර ගැනීම සඳහා දෙපාර්ශවයම කරුණු සොයා බලා උත්සුක වන බවය.


කරුණු සැලැකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඇප !නොදීමට තරම් ප්‍රමාණවත් හේතුවක් නොපෙනී යන හෙයින් සැකකරුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් නියම කළේය. මන්ත්‍රීවරයා සහ එම වාහනයේ ගමන් කළ බව කියන අයට එරෙහිවත් අධිකරණයේ දී කරුණු දැක්විය.පහරදීම හා සාපරාධි ලෙස බිය ගැන්වීම සම්බන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයාට ද ලබන මස 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් වන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.


ක්‍රීඩා ගුරා ගුරු නිවහනේ අයිස් පැකට් කරද්දී අසුවෙයි

 


රෝහණ සමරවීර 


සෙවණගල ප්‍රදේශයේ විදුහලක ක්‍රීඩා ගුරුවරයකු එම විද්‍යාලයේ නිල නිවෙස තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටියදී තවත් දෙදෙනකු සමග පෙරේදා (21) අත්අඩංගුවට ගත් බව සෙවණගල පොලිසිය කියයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයකු වන විසිඅට හැවිරිදි අයකු සහ ඔහු සමග සිටි විසිනව හැවිරිදි හා හතළිස් හැවිරිදි දෙදෙනකු බව ද පොලිසිය පවසයි.


ක්‍රීඩා ගුරුවරයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් දෙකක් ද දෙවැනි සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් එකසිය දහයක ප්‍රමාණයක් ද තෙවැනි සැකකරු සන්තකයේ මිලිග්‍රෑම් එකසිය පනහක ප්‍රමාණයක් ද තිබී ඇතැයි පොලිසිය කියයි.පොලීසිය පාසල් නිල නිවස වටලද්දී ක්‍රීඩා ගුරුවරයා ඇතුළු තිදෙනා මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිට ඇති බවත් එම අවස්ථාවේ එක් එක් සැකකරුවන් සන්තකයේ තිබුණු මත්ද්‍රව්‍ය සමග ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි.


පොලිසියට මාස කිහිපයකට පෙර සිට ලැබුණු තොරතුරක් මත කිහිප වතාවක් රැකවල්ලා සිට එම මෙහෙයුම කළ බවත් පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු කර ඇති බවට එම තොරතුරු මත විශාල සැකයක් පවතින බවද පොලිසිය සඳහන් කරයි.ඉන් එක් සැකකරුවකු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් පාසල් ක්‍රීඩා ගුරුවරයාගේ පියා ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වැරැදිකරුවකු වී මේ වන විට අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිර දඬුවම් විඳිමින් සිටින බව ද පොලිසිය පවසයි. මෙම ක්‍රීඩා ගුරුවරයාගේ මව ද කසිප්පු ජාවාරමේ නියැලෙන්නියක බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් සැකකාර ගුරුවරයා සේවය කරන විද්‍යාලයේ දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්දැයි විමර්ශන කරන බවත් පොලිසිය සඳහන් කරයි. 

අනතුරට පත් රෝගියකු රෝහල් අරන් යමින් ඉඳලා

 







සිසිර නන්දන කැලේගම


අනතුරකට පත් රෝගියකු රෝහල්ගත කිරීමට ගිය ත්‍රීරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී පෙරේදා (21) සිදු වූ අනතුරකින් මවක හා පුතකු ජීවිතක්ෂයට පත්ව තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල ලිපිනයේ පදිංචිව සිට ත්‍රීරෝද රථය පැදවූ රියැදුරා වන 29 වියේ පසුවන එච්.එම්. තරිඳු සඳරුවන් හේරත් හා එහි පිටුපස අසුනේ ගමන්ගත් මෙම රියැදුරාගේ මව වන 57 වැනි වියේ පසුවන එන්.ආර්. දමයන්ති මැණිකේ නමැත්තිය බව පොලිසිය සඳහන් කරයි.


මෙලෙස මියගිය පුතු තම මව සමග ගල්ගමුවේ සිට නිවෙස බලා ත්‍රීරෝද රථයෙන් ගමන් ගැනීමේදී 21 දා එම රථයේ තවත් අයකු ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසා එකී රථයෙන්ම තුවාලකරු රැගෙන මවත් සමගම රියැදුරු ගල්ගමුව මූලික රෝහලට රැගෙන යාමේදී අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ගල්ගමුව නගර සීමාවේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී ඇත. ලොරි රථයේ ගමන්ගත් පස්දෙනකු ද ත්‍රීරෝද රථයේ ගමන්ගත් තිදෙනකු ද ඇතුළු තුවාලකරුවන් අටදෙනකු ප්‍රදේශවාසීන් මැදිහත්ව ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.


ඒ වන විට ත්‍රිරෝද රථ රියැදුරා හා ඔහුගේ මව මියගොස් සිටි බවත් ඉතිරි හය දෙනාම තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය පවසයි.මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගල්ගමුව මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය පිළිබඳව ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නුගේගොඩ වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රියැදුරු රෝහලේ



 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


නුගේගොඩ සහ කොහුවල අතර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවි සලක් අසලදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ඊයේ (22) රාත්‍රී 8.30 ට පමණ කරනු ලැබූ වෙඩි තැබීමකින් බරපතළ තුවල ලැබූ ත්‍රීරෝද රථ රියැදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව කොහුවල පොලිසිය පවසයි.


මෙසේ තුවාල ලබා ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.තුවාල ලැබූ පුද්ගලයාගේ වම් බාහුවට සහ උදරය ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇතැයිද එම පුද්ගලයාට වෙඩි ප්‍රහාර 3ක් පමණ එල්ල කර ඇති බවත් පොලිසිය කියයි.තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.කොහුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සී.සී. ටී.වී දර්ශන සහ මූලික විමර්ශන ආරම්භ කළ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත. නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් පරිදි කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ග්‍රයින්ඩර වයරයේන් ආ විදුලි මාරයාට සිසුවා බිලි

 ක්‍රිෂාන් ජීවක ජයරුක්


පියා සමග වැඩට ගොස් අවසන් වී ග්‍රයින්ඩරය ස්වීචයෙන් විසන්ධි නොකර වයරය අතින් ඔතන විට විදුලි සැර වැදීමෙන් මාතර කැකණදුර පදිංචිව සිටි 17 හැවිරිදි සිසුවකු පෙරේදා (20) ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි.එසේ අවාසනාවන්ත ලෙස මියගියේ යසිරු රශේන් (17) නමැති මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ ඇලුමිනියම් ශිල්පීය පාඨමාලාව හදාරමින් සිටි සිසුවෙකි.ඔහු සිය පියාගේ වැඩට අක්උදවු දීම සඳහා ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව තිබුණි.


ග්‍රයින්ඩරය වයරයේ සිදුව තිබූ දෝෂයකින් විදුලි සැර වදින්නට ඇති බවට පොලිසිය සැක කරයි.අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති එම සිසුවා ඉන් අනතුරුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරීමට යොමුවී තිබෙන අතර සති අන්තයේ නිවාඩු දිනවල පියා සමග වැඩට යන බව කියති.මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණ කුමාර මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Monday, December 22, 2025

සතුන් වත්තේ සුදු අත් ගිබන් වඳුරා මියයයි



 එච්.එම්. ධර්මපාල


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර විසි දෙකක් පමණ වයසැති සුදු අත් ඇති ගිබන් වදුරා ඉකුත් 18 වැනිදා හදිසියේ මියගිය බව සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් පශුවෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා පැවැසීය.සත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2006 වර්ෂයේ දී චෙක් ජනරජයේ ඔස්ට්‍රාව සත්වෝද්‍යානයෙන් ගිබන් වඳුරු යුවළක් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ අතර කාලයක් එකට සිටි මෙම සත්වයාගේ සහකාරිය ද මීට වසර එකහමාරකට පමණ පෙර මියගියාය.


ලෝකයේ සිටින ගිබන් සුදු අත් වඳුරු සත්වයාගේ උපරිම ආයු කාලය අවුරුදු 25 ක් වන අතර මෙම සත්වයා මියයන විට (අවුරුදු 22) තම උපරිම ආයුකාලය නිම කිරීමට ආසන්නව පසුවී ඇත.අසනීප වී සිටි ගිබන් සත්වයාට සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගෙන ප්‍රතිකාර කළ නමුත් සත්වයා මිය ගොස් ඇත.මරණ පරීක්ෂණය සිදු කළ අතර එම වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

යතුරුපැදිය කැබ්රියේ හැපී සිසුවා මරුට


ලක්මි කුඩලිගම 


බදුරලිය පොලිස් වසමේ කළුගල හන්දියේදී ඉකුත්දා (19) යතුරුපැදියක් කැබ් රථයක ගැටීමෙන් යතුරුපැදියේ පසු පැදිකරු වන (17) හැවිරිදි පාසල් සිසුවකු මියගොස් පැදිකරු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.අනතුරින් යතුරුපැදිය පසුපස ගමන් කළ ඩෙල්කිට් වත්ත, ඉළුක්පත, බදුරලිය ලිපිනයේ පදිංචි විජයකුමාර් දිලාන් (වයස අවු. 17 යි) යන අය බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.


බදුරලිය පොලිස් වසමේ කළුගල හන්දිය අසල දී බදුරලිය සිට අගලවත්ත දෙසට ධාවනය කළ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයේ අගලවත්ත සිට බදුරලිය දෙසට පැමිණි යතුරුපැදිය ගැටී අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.එම යතුරුපැදියේ පැදිකරු ලෙස ගමන් කළ නවරාජා කසුන් (21) යන අයද තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. කැබ් රථයේ රියදුරුද බදුරලිය රෝහලට අතුළත්ව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න වැදිසිංහ මහතාගේ උපදෙස් මත බදුරලිය පොලිසියේ රථවාහන අංශය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.


රියැදුරුට පිහියෙන් ඇන රියක් කොල්ලකාලා: සැකකරුවෝ තිදෙනෙක් පොලිස් දැලේ



එච්.එම්.ධර්මපාල


කහතුඩුව පොලිස් වසමේදී පසුගිය 14 වන දින රියදුරුට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර කාර් රථයක් මංකොල්ලකා පලාගොස් සැඟව සිටි දැනට විදේශගතව සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවකුගේ ගෝලයන් වන කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනකු දින පහකට පසුව ඉකුත් 19 වන දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.


අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බොරලැස්ගමුව බෝධිරාජ මාවතේ දී, ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සමගද, සැකකාරිය වන අවුරුදු 19ක් වයසැති කාන්තාව දෙහිවල ලියනගේ පාරේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් සමගද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් තුන්වන සැකකරු දෙහිවල පැරකුම් මාවත පදිංචිව සිටින වයස අවුරුදු 50 ක අයකු වන බවත් පොලීසිය පැවසීය.

අධිවේගයේ ලොරි ගැටුමෙන් එළවළු ව්‍යාපාරිකයා මරුට



 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්ත


කොළඹ සිට අලුත්ගම දක්වා එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබූ තවත් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරින් එළවළු ව්‍යාපාරිකයා එම ස්ථානයේදීම මියගිය බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම දර්ගා නගරය, මාලයන්විල අංක 07 හි පදිංචි වැලිපිටියගේ දොන් චමින්ද විජේසිංහ නමැති (47) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.


මෙම පුද්ගලයා වෘත්තියෙන් එළවළු ව්‍යාපාරිකයකු වන අතර එළවළු මිලදී ගැනීමට ලොරි රථයකින් කොළඹට විත් ආපසු අධිවේගී මාර්ගය හරහා නිවසට යමින් සිටියදී රාත්‍රී 10.00ට පමණ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 02 කණුව අසල කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

ලොරි රථයේ වම්පස රැඳී සිටි මෙම පුද්ගලයා නවතා තිබූ ලොරි රථයට සිර වී පපුවට වම් පාදයට සහ ඉළඇටවලට බරපතළ හානි සිදුව තිබු අතර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් හා පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා ලොරි දෙක අතර සිරවී සිටි මොහු පිටතට ගෙන රෝහල් ගතකළද ඒ වන විටත් මියගොස් තිබූ බව පොලිසිය කියයි.අනතුරින් ලොරි රථ දෙකෙහි රියදුරන්ට කිසිඳු හානියක් වී නොතිබූ අතර ලොරි රථ දෙකට හානි සිදුව තිබුණි.


මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදු කළ අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි පනීත සෙනෙවිරත්න මහතා විසින් සිදු කළේය.ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව පපුවට ඉළ ඇට වලට සිදු වූ බරපතළ හානිය මරණයට හේතුව බවට හදිසි මරණ පරික්ෂකවරයා නිගමනය කර ඇත. මෙම අනතූර ලොරි රථ රියදුරට නින්දයාම නිසා සිදු වූවක් බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හෝමාගම මූලස්ථාන පොලිසියේ පො.කො (92995) මධුරංග ඇතුළු නිලධාරීහු මෙහෙයවූහ. ලොරි රථ දෙකෙහි රියැදුරන් අත්අඩංගුවට ගෙන බල ප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මරණ පරික්ෂකවරයා පොලිසියට නියෝග කළේය.

සැකකරුවෙක් බඩුත් එක්ක අසුවෙයි




තුසිත කුමාර ද සිල්වා 


යටියන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපු මහතෙකු හා ඔහුගේ බිරියට තියුණු ආයුධ පෙන්වා රුපියල් ලක්ෂ හැටකට ආසන්න රන් භාණ්ඩ යතුරුපැදියකින් පැමිණි සැකකාර පුද්ගලයන් දෙදෙනකු කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ අලුත්ගම පිහිටි කළුතර අපරාධ කොට්ඨාස නිලධාරීහු කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයකින් පසුව 18 දින එක් සැකකරුවකු සමග රන් භාණ්ඩ තොගය පොලිස් භාරයට ගෙන තිබේ.මෙම කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය පිළිබඳව ඒ අවට ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරුව හඳුනාගෙන එම යතුරුපැදිය පැදවූ පුද්ගලයන් පිළිබඳව බලා ඔවුන්ගේ සොයා දුරකථන විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණයෙන් අනතුරුව අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ රැඳී සිටීප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන සිදුකළ මෙම ඒකකයේ පොලිස් නිලධාරීහු පැවසුහ. 


48 හැවිරිදි ප්‍රධාන සැකකරු මලබඩ යට දොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් මෙම කොල්ලකෑම් වලට සම්බන්ධ අනෙක් සැකකරු නොච්චියාගම අයෙකු බවත් ඔහු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමටද විමර්ශන ක්‍රියාත්මකය.මොවුන් කොල්ලකෑ රුපියල් ලක්ෂ හැටකට ආසන්න රන් භාණ්ඩ අනුරාධපුර සහ නොච්චියාගම ප්‍රදේශ වල රන් භාණ්ඩ අලෙවි සහ උකස් මධ්‍යස්ථාන වලට උකස් කර තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්



අංජුල මහික වීරරත්න


නිවාස පිරිසුදු කර ගැනීම සදහා වන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට අදාල රුපියල් 50,000ක දීමනාව දෙසැම්බර් 31ට පෙර ජනතාවට දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.ආපදාවෙන් පසු ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා කොළඹ ජනාධිපති කාර්යාලයේ පෙරේදා (20) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී විෂයයන්ට අයත් අමාත්‍යාංශ්චල ලේකම්වරුන්, අදාළ ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාව පැවැත්විණි.



නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, දිවයින පුරා පවත්වාගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපාය මාර්ග යළි ගොඩනැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය පිළිබඳව මෙහිදී සවිස්තරාත්මකව විමසා බැලිණි.වන්දි ලබා දීමේ ක්‍රියාදාමයේදී මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, එම කටයුතු කාර්යක්ෂම කිරීම සහ කිසිවෙක් අත් නොහැරෙන පරිදි වන්දි හිමි විය යුතු සියලු දෙනාටම එම ප්‍රතිලාභය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනතාව නැවත පදිංචි කිරීම් සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ යුතු නිවාස ව්‍යාපෘති පිළිබඳ වෙනම සැලැස්මක් සකස් කිරීමටත්, ඊට අදාළව සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් යළි කැඳවීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.එමෙන්ම අධි අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවාස හානි සඳහා වන්දි දීමේදී සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය. මහ කන්නයට ගොවි ජනතාව සූදානම් කිරීම සඳහා අවශ්‍ය වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වන්දි ලබාදීම සහ බිත්තර වී ඇතුළු පහසුකම් ලබාදීමේ වැඩසටහන්හි ක්‍රියාකාරිත්වයද ජනාධිපතිවරයා විමසා බැලීය. 


එමෙන්ම හානි වූ සත්ව ගොවිපොළ සඳහා වන්දි දෙමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ආරම්භ කිරීම, ආපදාවෙන් හානි වූ කුඩා චෙළෙඳ ව්‍යාපාර යළි ආරම්භ කිරීමට සහාය වීම, ධීවර කර්මාන්තය යථාවත් කිරීම සහ පාසල් දරුවන් වෙනුවෙන් රජයෙන් දෙන රුපියල් 15,000ක දීමනාව කඩිනමින් ලබාදී අවසන් කිරීමේ වැඩසටහන්හි ප්‍රගතියද සාකච්ඡා කෙරිණි.විනාශ වූ ගුවන් ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් නැවත ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.


මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පරේක්ෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතනවල ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ද, මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඇතුළු පිරිසක් සහභාගී වූහ.

බහුදින යාත්‍රාව ධීවරයන් පස් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන් වෙලා

රැකියාව සදහා මුහුදු ගිය“ඉදුරංගී 1” බහුදින යාත්‍රාව ධීවරයන් පස් දෙනකු සමග මහ මුහුද මැද දී අතුරුදන්ව ඇති බවට එම ධීවරයන්ගේ ඥාතීන් වැලිගම මුලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.මිරිස්ස ධීවර වරායෙන් මෙම යාත්‍රාව පසුගිය මස 21 වැනිදා මුහුදු තිබේ. ගොස් අතුරුදන් වී ඇත්තේ ඩී.ජේ. පියුමාල් (ස්කිපර්), අමල් සුරංග, ආර්. සුසන්ත, බී.එල්. රුමේෂ්, දිලාන් දර්ශන නම් වලින් යුත් මිරිස්ස ප්‍රදේශයේම පදිංචි ධීවරයන් පස් දෙනෙකි.ඉකුත් 06 වැනි දින ඔවුන් අවසන් වරට ගොඩබිම සමග සැටලයිට් ඔස්සේ සම්බන්ධ වී තිබෙන අතර ඉන් පසුව සිට මේ දක්වා කිසිදු තොරතුරක් දැන ගන්නට ලැබී නොමැති බව එම පවුල්වල ඥාතීහු පවසති.


ඔවුන් ඒ පිළිබඳව වැලිගම මූලස්ථාන පොලීසියට අමතරව නාවික හමුදාව හ ධීවර අමාත්‍යාංශය වෙත ද දැනුම දී ඇත. එහෙත් තවමත් නිල තොරතුරක් ලැබී නොමැත.එබැවින් මහ මුහුද මැදදී අනතුරකට ලක්ව ඇත්දැයි සැක කරන මෙම ධීවරයන් පස් දෙනාගේ ජීවිත කඩිනමින් බේරා දෙන ලෙසට එම ඥාතීහු රජයෙන් ඉල්ලා සිටිති.මේ පිළිබඳව අදහස් දැක්වු ඉදුරංගි 1 බහුධීන ධීවර යාත්‍රාවේ ස්කිපර් ඩී.ජේ. පියුමාල්ගේ මව වන ඒ.ඩී. දයාවතී මහත්මිය මෙසේ පැවසුවාය.


"ඉඳුරංගි 1" බහුධීන ධීවර යාත්‍රාව නොවැම්බර් 21 වැනිදා තමයි මිරිස්ස වරායෙන් පිටත් වුණේ. මේ මාසේ 6 වැනිදා වෙනකල් ගොඩබිම කතා කළා. එත් එදායින් පස්සේ කිසිම ආරංචියක් නැහැ. පුතා එක්ක ඔක්කොම ධීවරයන් පස් දෙනෙක් හිටියා. ඒ කිසිම කෙනෙක් ගැන ආරචියක් නැහැ. යාත්‍රාවේ දෝෂයක් නිසා මොකක්හරි වෙන්න ඇති කියලයි අපි හිතන්නේ. මේ අය ජීවත්ව ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා.ධීවර අමාත්‍යාංශයට කිවුවා, නාවික හමුදාවට කිවුවා, පොලිසියේ පැමිණිලි දැම්මා එත් කිසිම ආරංචියක් නැහැ- මේ ධීවරයන්ගේ දරුමල්ලෝ ඉන්නවා ඒ අය හැඩු කඳුළින් ඉන්නේ. දවසකට වේලක්වත් කෑම කන්නෙ නැහැ. පසුගිය දවස්වල කාලගුණය අයහපත් මට්ටමක පැවතියා. සුලි කුණාටු පවා ආවා. එවැනි තත්වයක් තුළ මේ ජීවිතවලට සිදු වූයේ කුමක්ද කියලා සොයා බැලීම වැදගත්. අපි හැම විටම මේ අය ගැන හිත හිතා ඉන්නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ධීවරයන් පස්දෙනා සොයාගන්න ඉතා ඉක්මනින් මැදිහත් වෙන ලෙසයි.”වැලිගම මූලස්ථාන පොලීසියෙන් මේ පිළිබඳව කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ වගකිවයුතු අංශ වෙත මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි. ධීවර අමාත්‍යාංශය හා නාවික හමුදාව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


රනිල්ගේ ලන්ඩන් සංචාරය: සීඅයිඩීය අද නීතිපති හමුවට





හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වොල්වරිහැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පැවැති සිය බිරිදගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම අද (22) නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එක්සත් රාජධානියේ සිට පැමිණි විමර්ශන කණ්ඩායම සමග විමර්ශන ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් සැපයීමත් මෙම හමුවේ අරමුණ බව ආරංචි මාර්ග පැවැසුවේය.


එසේම හමුවේදී චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව තිබෙන සාක්ෂි පිළිබඳවද නීතිපති දෙපාර්තමේන්තුව විමසා බලනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා හමුව සම්බන්ධීකරණය කර ඇති බවත් එයට පොලිස් නිලධාරීන් වන එස්. වෙදමුල්ල සහ නනින්ද හේරත් යන මහත්වරුන් සහභාගී වනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.එම පිරිස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සමදරී පියසේන හමුවනු ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

තෙරපිවරියක ඉල්ලා සැරයන් සම්බාහනයේ යකා නටලා



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


වාද්දූව ප්‍රදේශයේද ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට (ස්පා) පෙරේදා (20) මධ්‍යම රාත්‍රියේ කඩා වැදුණු බව කියන පොලිස් සැරයන්වරයකු එහි තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවකගේ සේවය ඉල්ලා නොදීම හේතුවෙන් එම සම්බාහන මධ්‍යස්ථානය තුළ කලබල කර ගොස් ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය විමර්ශන පවත්වයි.එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවය කරන තවත් තෙරපිවරියක් මෙම සිද්ධිය ගැන ඊයේ (21) වාද්දූව පොලීසියට පැමිණිල්ලක් කළාය.


පොලිස් සැරයන්වරයා වාද්දුව පොලීසියේ දූෂණ මර්දන අංශයේ රාජකාරී කරන අයකු බව කියති.මෙම සැරයන්වරයා රාජකාරි කටයුතු අවසන් කර සම්බාහන මධ්‍යස්ථානයට පෙරේදා මධ්‍යම රාත්‍රියේ ගොස් එහි තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවකගේ නමක් කියා ඇයගේ සේවය ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.සම්බාහන මධ්‍යස්ථානයේ සේවා කටයුතු මේ වන විට නතර කර ඇති බවත් සැරයන්වරයා නම කියා ඉල්ලා සිටි කාන්තාව අසනීප තත්වයකින් පසුවන නිසා ඇයගේ සේවය ද ලබා දිය නොහැකි බවත් තවත් තෙරපිවරියක (පැමිණිලිකාරිය) පවසා ඇතැයි එම පොලිස් ආරංචි මාර්ග තවදුරටත් තොරතුරු අනාවරණය කළේය.


මේ බව ඇසීමෙන් පසු සැරයන්වරයා එම තෙරපිවරියට (පැමිණිලිකාරියට) අසභ්‍ය වචනයෙන් බැණ වැදි ඇයගේ අතින් ඇද පසුව ඇය සතු ජංගම දුරකථනය ද රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය කීය.පැමිණිලිකාර තෙරපිවරිය මේ බව ද පොලිසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත.ලැබී ඇති මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වාද්දුව  පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන පවත්වති.

 

Friday, December 19, 2025

නැටුම් - රූපලාවන්‍ය ශිල්පිනියන් 2 ක් එක්ක 7 ක් දැලේ



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළදී ඊයේ (18) රාත්‍රියේ පුද්ගලයකුට පහර දුන් බව කියන එම සමාජ ශාලාවේ නර්තන ශිල්පිනියක් සහ රූපලාවණ්‍ය ශිල්පිනියක් ඇතුළු හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.පහර කෑමට ලක් වූ කොළඹ අලුත් කඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.


අත්අඩංගුවට ගත් නර්තන ශිල්පිනිය සහ රූපලාවණ්‍ය ශිල්පිනියට අමතරව අඩංගුවට ගත් හත්දෙනා අතර රන්බඩු සෑදීමේ නිරතව සිටින පෞද්ගලයකු, රෙදි ව්‍යාපාරිකයකු සහ පුද්ගලික ආයතනයක සේවය කරන නිලධාරියකුද සිටින බව පොලිසිය කියයි.කිසියම් කරුණක් මුල්කරගෙන ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.


මෙම පහරදීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම හත්දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත්ටත් කීය.අත් අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා බලංගොඩ සහ මැදිරිගිරියේ පදිංචි තැනැත්තියන් වන අතර සෙසු අය කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් පස්දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

හිරෙන් ඇවිත් දවස් තුනයි-අයිස් ජාවාරමා රෙදි සාප්පු රථ ගාලේ දී මාට්ටු



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


මහා පරිමාණ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන 25 හැවිරිදි තරුණයකු කඩවත ප්‍රදේශයේ පිහිටි රෙදි සාප්පුවක රථ ගාලේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම්300 සන්තකයේ තබාගෙන සිටිය දී පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු පවසති.


අයිස් මත්ද්‍රව්‍ය සමග මෙම තරුණයා අත්අඩංගුවට ගත් බව දැනගත් දේශාභිමානී සම්මානයකින් පුදනු ලැබූ බව කියන ජාවාරම්කාර තරුණයාගේ පියා පැමිණ සිය පුතා මුදාගැනීමේ උත්සාහයක නිරත වූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.එම තැන ව්‍යාර්ථ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන මෙම තරුණයා සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


දේශාභිමානී ගෞරව සම්මානයකින් පුදනු ලැබ සිටින මෙම පුද්ගලයාගේ බෑනා ද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.එම පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බවද පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන මෙම තරුණයාගේ පියා සිදුකරන ලදැයි කියන දේශපාලන සාමාජීය සුභසාධනය වෙනුවෙන් එක්තරා පදනමක් විසින් දේශාභිමාන ගෞරව සම්මානයකින් පුදනු ලැබ සිටින අයෙකි.


අයිස් මත්ද්‍රව්‍ය සමග සැකපිට අත්අඩංගුවට ගත් මෙම තරුණයා මීට මාස තුනකට ඉහතදී අයිස් මත්ද්‍රව්‍ය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී පසුගිය සැප්තැම්බර් මාසයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයේ පසු වී මීට දින තුනකට පමණ ඉහතදී ඇපමත මුදා හරින ලද අයකු යැයි පොලිසිය කියයි. මෙම සැකකාර විසිපස් හැවිරි තරුණයා 2024 වසරේ ද අවස්ථා දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් වී කලක් රිමාන්ඩ් භාරයේ පසු වී ඇප මත මුදාහැර සිටින අයකු බවද පොලිසිය කීය.


අත්අඩංගුවට ගත් මෙම සැකකාර තරුණයා කැලණිය සහ ගම්පහ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක කලක සිට නිරතව සිටින බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.අත්අඩංගුවට ගත් මෙම සැකකාර තරුණයා ඊයේ මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව සිටියේය.



මිහින්තලේ පුදබිමේ තැන් කීපයක නාය අවදානමක්


බී.ජී. චතුරංග


ඓතිහාසික මිහින්තලා පුදබිමේ පිහිටි ගිරිභණ්ඩ චෛත්‍ය ඇතුළු පුරාණ දාන ශාලාව සහ ධර්ම ශාලාව ඇතුළු ස්ථාන කිහිපයක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් කඩිනමින් පිළිසකර කිරීමේ අවශ්‍යතාව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව පෙන්වා දුන් බව මිහින්තලය රජ්මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.


භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අනුරාධපුරය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා ගිලා බැසීමට ලක්ව ඇති ස්ථාන ඉකුත් 14වැනිදා පරීක්ෂාවෙන් පසුව දැනුම් දී ඇත්තේ ගිරිභණ්ඩ වෙහෙර ඉක්මනින් පිළිසකර නොකළ හොත් ගිලා බැසීමේ අවදානමක් පවතින බවයි.ඉංජිනේරුවරුන්ගේ නිරීක්ෂණයට අදාළව ඔවුන් පවසා සිටියේ, හැකි විගස මෙයට ක්‍රියාමාර්ග නොගතහොත්, ධර්ම ශාලාව ගිලා බැසීමට අවදානමක් ඇති බවත්, එමෙන් ම මිහින්තලේ ගිරිඛණ්ඩ සෑය මේවන විට මැදින් පුපුරා ඉන් කොටසක් මේ වන විට කඩා වැටී ඇති බැවින් හැකි ඉක්මනින් මේ සංරක්ෂණය කළ යුතු බව දැනුම් දී ඇත.


මේ අතර මිහින්තලය රජ මහා විහාරස්ථානයේ මෑත කාලයක දී ඉදිකළ අභිනව ධර්ම ශාලා ගොඩනැගිල්ලේ කොටසක පවතින ගිලා බැසීමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි ද මිහින්තලය ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතා පැවැසීය.මෙම ගිලාබැසීම හේතුවෙන් කඳු මුදුනේ පදාසයක් සම්පූර්ණයෙන්ම ගැලැ වී යාමේ අනතුරක් පවතින බවට නිරීක්ෂණය වී තිබේ. ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී එහි කොටසක පස් පිරවීමක් සිදුකර ඇති බවත් පවතින තත්වය යටතේ එහි අනාරක්ෂිත බවක් පෙනෙන්නට ඇති බව ද නිලධාරීහු පවසති.


විවාහක කාන්තාවකගේ කාර් රථයට බලහත්කාරයෙන් ගොඩ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව පැමිණිල්ලක්

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 


නාරාහේන්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට ගොස් ඒ අසල තිබූ කාර් රථයක සිටි විවාහක කාන්තාවකගේ කාර් රථයට බලහත්කාරයෙන් ගොඩ වූ බව කියන සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව එම කාන්තාව විසින් පෙරේදා (17) නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.


මේ හේතුව නිසා තමා කම්පනයට පත් වූ බව ඇය පොලිසියට පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.මෙම පැමිණිල්ල කළ කාන්තාව කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවන තැනැත්තියකි.ඇයද ඒම ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණි කාන්තාවක බව ඒම නිලධාරියා කීය. නාරාහේන්පිට ප්‍රදේශයේ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයකට පෙරේදා උදෑසන ගොස් මෙම කාන්තාව ඇයට අයත් කාර් රථයේ රියැදුරු අසුනේ වාඩි වී සිට ඇතැයි එම නිලධාරියා කීය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථය නතර කර තිබූ ස්ථානයට පැමිණ කාර් රථයේ වීදුරුවට තට්ටු කර ‘මට ඔයත් එක්ක කතා කරන්න ඕනෑ' යැයි පවසා ඇතැයි කියති.මට ඔයත් එක්ක කතා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කරුණාකර මට කරදර නොකර යන්න යැයි කියා කාන්තාව පංචසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.


මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයේ දොර විවෘත කරගෙන බලහත්කාරයෙන් වාඩිවීම නිසා තමා කම්පන තත්වයකට පත් වූ බවද ඇය පොලිසියට පවසා ඇති බවද පොලිසිය කියයි.' ඔයා මගෙත් එක කතා කරන්නේ නැත්තේ ඇයි' පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාන්තාව සමග පැවසූ අවස්ථාවේ ‘මට ඔයත් එක්ක කතා බහ කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අනේ ප්ලීස් මට කරදර නොකර කාර් එකෙන් බැහැලා යන්න' යනුවෙන් ඇය යළිත් වරක් කියා ඇතැයි ද පැවසේ.


කාන්තාව කළ ඉල්ලීමට අවනත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කාර් රථයෙන් බැස පිටව ගොස් ඇතැයි ද මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට පැමිණි කාන්තාව පවසන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළේය.තමාගේ දරුවකු සමග මෙම මන්ත්‍රීවරයාගේ දරුවන් ද එකම පාසලේ අධ්‍යාපනය හදාරන නිසා ඔහු හඳුනන බවත් ඇය පොලිසියට පවසා ඇතැයි ද කියයි. 


මීට කලකට ඉහත දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම කාන්තාවගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් අවස්ථාවේ එම දුරකථන අංකය අවහිර කර ඇති බවත් යළිත් වෙනත් දුරකථන අංකයකින් ඇමතුමක් ගත් අවස්ථාවේ එම දුරකථන අංකය ද අවහිර කර තිබෙන බවත් ඇය පොලිසියට පවසා ඇතැයි දැන ගැනීමට තිබේ.මින් ඉදිරියට තමා මෙවැනි ආකාරයට අපහසුතාවන්ට පත් නොකරන ලෙසට ඒම මන්ත්‍රීවරයා පොලිස් ස්ථානයට කැඳවා දැඩි ලෙස අවවාද කරන ලෙසට එම කාන්තාව ඉල්ලීමක් කළ බවද පොලිසිය කීය.එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණිලිකාර කාන්තාව පොලිස් ස්ථානයට කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නාරාහේන්පිට පොලිසිය කටයුතු යොදාගෙන යයි.

පහර දුන්නැයි සැක කුලියාපිටියේ ක්‍රයිම් ඕ.අයි.සී.ට සාමාන්‍ය රාජකාරියට ස්ථාන මාරුවක්



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


නිවෙසක් තුළදී පුද්ගලයකුට මුගුරුවලින් පහරදෙන විඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමෙන් අනතුරුව එම පහරදීම කළේ යැයි කියන තැනැත්තා කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරයා බවට හඳුනා ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර ඔහු සාමාන්‍ය රාජකාරි සදහා මාවතගම පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර යවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.


කුලියාපිටිය කෝන්ගහගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය පානය කිරීමට යැයි කියා එම ප්‍රදේශයේම පදිංචි නිවෙස් හිමියකුගෙන් රුපියල් දෙදහසක් බලහත්කාරයෙන් ඉල්ලා එම මුදල නොදුන් නිසා එම අයට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදු කර තිබෙන බව පොලිසිය කියයි.තුවාල ලැබූ නිවෙස් හිමියා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.


ලැබුණු පැමිණිල්ල අනුව විමර්ශන පවත්වා හෙළිකර ගත් තොරතුරු මත නිවෙසේ අයිතිකරුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදුකළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරි කණ්ඩායමක් සැකකාර පුද්ගලයා සැඟව සිටින නිවෙසකට ගොස් ඇත.මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටින බව කියන එම සැකකාර පුද්ගලයා කලහකාරී ලෙස හැසිරි ඇතැයි ද පසුව ඔහු බලවත් පරිශ්‍රමයක් යොදා අල්ලා මෙල්ල කරගත්තේ යැයි ද එම නිලධාරියා කීය.


සැකකාර පුද්ගලයා ළඟ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් එම සැකකාර පුද්ගලයා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බව පොලිසිය කියයි.

119 අංකය අවභාවිතා කළ 24 කට නඩු



ගයාන් සූරියආරච්චි


පොලිස් හදිසි ඇමතුම් අංකයවන 119 අංකය අවභාවිත කළ පුද්ගලයන් 24 දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.එලෙස ව්‍යාජ තොරතුරු ලබා දෙමින් පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය නොමග යැවූ පුද්ගලයන් කීප දෙනෙකුගේ දුරකතන අංක හඳුනාගෙන එම අංකවලට එම සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.


අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පසුගියදා ඇති වූ ගංවතුර සහ ආපදා තත්වය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයන් කීප දෙනෙකුද ඒ අතර සිටින බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ වෙනත් ආයතනවලින් සිදුවිය යුතු සේවා සම්බන්ධයෙන් ද පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා විවිධ පුද්ගලයන් එය අවභාවිත කරන බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ පොලිස් හදිසි ඇමතුම් අංකයට වෙනත් ඇමතුම් ලබාදීම තුළින් හදිසියේ ක්‍රියාත්මක විය යුතු අවස්ථාවල දී පොලිසියට ක්‍රියාත්මකවීම සඳහා බාධා ඇතිවන බවත් මෙම සේවාව ඉතා කඩිනමින් ලබාදීමට ඇති හැකියාවට බාධා ඇති නොකරන ලෙසත්ය.

Thursday, December 18, 2025

ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වන ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට

චමිලා අල්විස්


ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් වන ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පෑම සහ සාමය කඩවන ලෙස හැසිරීමේ වරදට සැකකරුවන් එන 23 දක්වා රිමාන්ඩ් කිරීමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් තරංගා ගී කියනගේ මහත්මිය නියෝග කළාය.මෙසේ රිමාන්ඩ් කරනු ලැබූවේ වයස අවුරුදු විසි හත හා විසි අට වයසේ පසුවන මොනරාගල සිට හොරණ ප්‍රදේශයේ නිවෙසක් තැනීමට පැමිණි දෙදෙනෙකි.හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පවතින නිවෙසකට අත් වැඩ ලබාදෙන දෙදෙනකු තවත් පුද්ගලයන් කිහිප දෙනකු සමඟ දිනපතාම අසල්වැසියන්ට හිරිහැරයක් වනසේ මත්වතුර පානය කරමින් කෑගසමින් ඉතාම ඝෝෂාකාරි ලෙස ගීත ගායනා කරමින් හැසිරෙන බවට එම නිවෙස් ආසන්නයේ වෙසෙන කාන්තාවක පොලිස් හදිසි දුරකථන අංකයට ඇමතුමක් ලබාදී පැමිණිලි කිරීමෙන් පසු එය නිරීක්ෂණය සඳහා එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කර පහර දීමට සැරසීමේදී අත්අඩංගුවට ගැනීමට මාංචු දැමීමට සැරසී ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකුගේ අත තුවාල කර ඇති අතර, මේ හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී හෙළි විය.


සිද්ධිය අනාවරණය වීමෙන් පසු හොරණ පොලිසිය විසින් මෙම ස්ථානයට තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවට අධිකරණයේදී හෙළි විය.ප්‍රදේශයේ සාමය කඩවන ලෙස හැසිරීම සහ පොලිස් නිලධාරින්ට සාපරාදී බලහත්කාරකම් පෑමේ චෝදනාව යටතේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් මිරිහාන මහතා පෙනී සිටියේය.සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිස් පරික්ෂක රංග පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පරාක්‍රම ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ සිදු කරති.

කරණවෑමියා මරාදාලා



බුලත්සිංහල ලක්මි කුඩලිගම සහ මතුගම අධිකරණ මහීපාල ජයලත් සේවය නිමකර යතුරුපැදියකින් සිය නිවෙස කරා යමින් සිටි කරණවෑමියකුට අතරමග රැක සිට තියුණු ආයුධයකින් පහර දී පෙරේදා (16) රාත්‍රී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මලබඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය කියයි.මෙලෙස ඝාතනය කර ඇත්තේ මතුගම චෝගන් වත්ත ඉහළ කොටස පදිංචිව සිටි කරණවෑමියකු ලෙස කටයුතු කරන 41 ක් හැවිරිදි එස්. ශශි කුමාර් නැමැති පුද්ගලයෙකි. 


මියගිය පුද්ගලයා පෙරේදා (16) රාත්‍රියේ සිය සේවය අවසන් කර චෝගන්වත්ත අවමංගල්‍යය උත්සවයකටද සහභාගීවී  නිවෙස වෙත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී අතරමග රැක සිටි සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.දෙදෙනා අතර කලක සිට පටන් තිබූ පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරු ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වයි. බරපතළ තුවාල ලද පුද්ගලයා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පුෂ්පා ජයතිලක මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්.ඊ.ඩී. උදයංග මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


හිටපු ඇමැති රොෂාන් රට ගිහින්: ප්‍රකාශයක් ගන්න බෑ




රෝෂන් තුෂාර


අරගලකරුවන් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සදහා රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගෙන රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්දු රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහි පැමිණිල්ලේ විමර්ශන බොහෝදුරට අවසන් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම පෙරේදා (16) පැවසීය.


විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත්, ඔහු විදේශගත වී ඇති බැවින් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් කොමිසම වැඩිදුරටත් පැවසීය.හිටපු අමාත්‍ය ශෂීන්දු රාජපක්ෂ, ඔහුට ආධාර අනුබල දුන්නේ යැයි කියන ජාතික හානි පූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක (පාලන) ලේකම් රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම සැකකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළේය.පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින ශෂීන්දු රාජපක්ෂ, සේපාලිකා සමන් කුමාරි අධිකරණයේ පෙනී සිටි අතර කීර්ති බී. කොටගම සැකකරු ලබන 19 දින දක්වා බන්ධනාගාර ගත කර ඇති බැවින් අධිකරණයට ඉදිරිපත් කර නොසිටියේය.


කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපළ අරගලකරුවන් විසින් ගිනිබත් කිරීමෙන් සිදු වූ අගතියට රුපියල් 8,85,000ක වන්දි මුදලක් රජයේ නිලධාරින්ට බලපෑම් කර ලබාගනිමින් රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය මාර්තු 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.


තෙල්දෙණියේ ෆේස්බුක් සාදය: වරද පිළිගත් 25 දෙනාට එක්ලක්ෂ හැටපන්දාහක් දඩ

 



ජේ.ඒ.එල්.ජයසිංහ


තෙල්දෙණිය, කරල්ලියද්ද නවනගරයේ හෝටලයක අන්තරායකාරක විෂ මත්ද්‍රව්‍ය ළග තබා ගනිමින් ඒවා භාවිතා කරමින් මත් සාදයක් පැවැත්වීයැයි ඇපමත මුදාහැර සැකකරුවන් 27 දෙනාගෙන් 25 දෙනකු අධිකරණයේදී වරද පිළිගැනීම නිසා ඔවුන් සියලු දෙනාට රුපියල් 1,65,000ක දඩයක් ගෙවන්නැයි තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා ඊයේ (17) නියෝග කළේය.අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් දෙදෙනකුට මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.


මෙම නඩුවේ විත්තිකාර තරුණියන් සිවුදෙනා සම්බන්ධයෙන් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ තෙල්දෙණිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්. චන්ද්‍රපාල මහතා මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.විත්තිකරුවන්ට එල්ලවූ චෝදනා අනුව පිළිවෙළින් රුපියල් 5000, රුපියල් 6000, රුපියල් 11000, රුපියල් 12000 සහ රුපියල් 17000 බැගින් දඩ නියම කෙරිණි.මෙම මත්ද්‍රව්‍ය සාදය පැවැත්වීම සඳහා හෝටලයේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද හෝටල් හිමිකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


විත්තිකාර තරුණ තරුණියන් වෙනුවෙන් නීතිඥ චමිල කරුණාතිලක, නීතිඥ වී.මු. තිලකරත්න යන මහත්වරු ද හෝටල් හිමියා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතාද පෙනී සිටියහ.විත්තිකරුවන් වෙනුවෙන් බී වාර්තා 27ක් මගින් තෙල්දෙණිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.වැඩිදුර නඩු විභාගය 2026 ජූනි 10 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තෙල්දෙණිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

මව මරුට දුවට තුවාල

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


රජයේ පාසලක නැටුම් ගුරුවරයකු පදවාගෙන ආ මෝටර් රථය කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කරගහගෙදර හයවැනි කිලෝමීටර් කණුව අසල දී පෙරේදා (16) සවස මවක සහ දියණියක ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එම යතුරුපැදිය පදවාගෙන ආ මව මියගොස් ඇති අතර, ඇයගේ විසිහතර හැවිරිදි දියණියගේ එක් පාදයකට බරපතළ හානි සිදු වී ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය කියයි.මෝටර් රථය පදවාගෙන ආ කුලියාපිටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් රජයේ පාසලක නැටුම් ගුරුවරයා ද අනතුරින් පසු කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ බාහිරින් කිසිදු තුවාලයක් පෙනෙන්නට නොමැති බව පොලිසිය කියයි.


මෝටර් රථය පදවාගෙන ආ නැටුම් ගුරුවරයාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මේ සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී පොලිසිය හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ පැවසීය.මෙම මාරක අනතුරින් මියගිය කාන්තාවගේ 24 හැවිරිදි දියණිය ද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් පසුවේ.අනතුරින් මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක නන්දන ප්‍රිය හෙට්ටිගමගේ මහතා හමුවේ ඊයේ (17) පවත්වනු ලැබීය.අනතුරින් මියගොස් ඇත්තේ කඩවලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි වර්ණකුල සූරිය නිර්මලා ප්‍රනාන්දු නමැති එක් දරු මවකි.


නිර්මලා ප්‍රනාන්දු මහත්මියගේ සැමියා මීට වසර පහකට ඉහතදී සිදුවූ රිය අනතුරකින් සුෂුම්නාවට හානි වී එක්තැන්ව සිටින බවද එම නිසා මෙම කාන්තාව වෙළෙඳාම් කටයුතුවල නිරත වී සැමියා සහ එකම දියණිය ජීවත් කර ඇති බවද මෙම මරණ පරීක්ෂණයේදී තොරතුරු අනාවරණය විය.නැටුම් ගුරුවරයා පෙර දින (15) රාත්‍රියේ සිට පසු දින අලුයම එකයි තිහ දක්වා පෞද්ගලික නැටුම් පන්තියකටද සහභාගි වී ඇති බවත් පසු දින (16) ඔහු සේවය කරන පාසලේ සිට කුලියාපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන පෞද්ගලික නැටුම් පන්තියකට සහභාගිවීම සඳහා සිය මෝටර් රථයෙන් යමින් සිටි අතරවාරයේ එම අනතුර සිදුවී ඇති බවද එම මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.


මව සිය දියණිය පිටුපස අසුනේ නංවාගෙන යතුරුපැදිය කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොළ දෙසට ධාවනය කරගෙන යන අතරවාරයේ හෙට්ටිපොළ දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ මෝටර් රථය එම යතුරුපැදියේ ගැටී ඇති බවද මෙම මරණ පරීක්ෂණයේ දී කරුණු හෙළි හෙළි විය.මෝටර් රථය යතුරුපැදියේ ගැටීමෙන් පසුව පසුපස අසුනේ වාඩිවී ගමන් ගත් දියණිය ඇද වැටී ඇති අතර, මෝටර් රථයේ ගැටුණු යතුරුපැදිය එය පදවාගෙන ගිය කාන්තාව සමග මීටර් විස්සක් පමණ දුරක් ඇදී ගොස් රථය ද සමග ලයිට් කණුවක ගැටී නතර වී තිබිණි යැයිද මෙම මරණ පරීක්ෂණයේ දී තවදුරටත් තොරතුරු අනාවරණය විණි.


මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා විසිනි.ශරීරයට සිදු වී තිබූ බහුවිධ තුවාල නිසා මෙම මරණය සිදුවී ඇති බවට එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.මියගිය කාන්තාවගේ සහෝදරයකු වන ජීවන් රොබින්සන් (49) සහ ඇයගේ සොහොයුරියක වන අනූෂා සංජීවනී ප්‍රනාන්දු (39) මහත්මියද සාක්ෂි දුන්හ. කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සැරයන් ආනන්ද (51026) මහතා මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවූයේය. කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙම මස 27 වැනිදා දක්වා කල් තබනු ලැබීය.

අම්පිටියේ සුමන හිමියන්ට අධිචෝදනා බාරදී ඇපදෙයි




රෝෂන් තුෂාර


ජාතීන් අතර සාමය හා සංහිඳියාව නැති වී වෛරය දනවන ආන්දෝලනාත්මක ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ කළේ යැයි අධි චෝදනා ලද අම්පිටියේ සුමන හිමියන් ඇප මත මුදා හැරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් මහතා ඊයේ (17) නියෝග කළේය.ජාතින් අතර සංහිඳියාව නැති වී වෛරය හා අනවබෝධය ඇතිවන ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රකාශ – 2023 ඔක්තෝබර් 25 වැනිදා මාධ්‍ය ඉදිරියේ සිදු කරමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයි සී සී පී ආ) උල්ලංඝනය කර දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවට අධි චෝදනා හයක් යටතේ නීතිපතිවරයා පැවරු නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම ඇප නියම කළේය.

පසුගිය නොවැම්බර් 14 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලද විත්තිකරු ඊයේ දිනයේදී අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව අධි චෝදනා පත්‍ර භාර දුන් අතර රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

 

විත්තිකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ මහාධිකරණ විනිසුරුවරයා  විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටද නියෝග කළේය.සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව පොලිසියට ප්‍රකාශයක් දෙන ලෙසටද විත්තිකරුට නියම කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු අධිකරණය මඟ හැර සිටි අයකු බවය. අධිකරණය විසින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. විත්තිකරු තවමත් පොලිසියට ප්‍රකාශයක් දී නොමැති බවද පැවසීය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් කියා සිටියේ මහාධිකරණයෙන් ලද නොතීසියක් අනුව විත්තිකරු අධිකරණයේ පෙනී සිටින බවය.


පසුගියදා රට තුළ ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් මහනුවර තෙල්දෙණියේ විහාරස්ථානයේ නායයෑම් සිදු වූ බවත්, විත්තිකරු එම සහන කටයුතුවල නිරතව සිටි බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකිවූ බවත් පැවසීය.අධි චෝදනාවලට පාදක වූ ප්‍රශ්නගත ප්‍රකාශ සිදුකර වසර දෙකක් ගතව ඇති බවත්, විත්තිකරු ඉන් පසුව කිසි විටෙකත් අපහාසාත්මක ප්‍රකාශයක් කර නොමැති බවත්, විත්තිකරුට පෙරවැරැදි කිසිවක් නැති බැවින් සුදුසු කොන්දේසියක් මත ඇප දෙන ලෙසට ඉල්ලා සිටියේය.දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නියෝග ආපසු කැඳවමින් විත්තිකරු ඇප මත මුදා හරින් ලෙසට නියෝග කළේය.මඩකලපුව පොලිස් ස්ථානයට ප්‍රකාශයක් දෙන ලෙස අවවාද කෙරිණි.විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල, නීතිඥ එස්.බී. රත්නායක සහ නීතිඥ කාවින්ද බණ්ඩාර මහත්වරු පෙනී සිටියහ. පැමිණිල්ල ජනවාරි 20 දින නැවත කැඳවීමටද නියෝග කළේය.


ඇනකොණ්ඩා උරග උයනේ යකඩ පෙට්ටියක




එච්.එම්. ධර්මපාල


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරගඋයන තුළ නිරෝධායනය සදහා යොමු කර සිටියදී අතුරුදන්ව සිටි කහ ඇනකොණ්ඩා පැටවා පෙරේදා (16) උරගඋයන යකඩ පෙට්ටියක සිටියදී හමුවූ බව සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පැවැසීය.මේ පිළිබඳව උරගයන් බාරව සිටි සත්ව භාරකරු පවසා ඇත්තේ කහ ඇනකොණ්ඩා පැටවා රඳවා සිටි පෙට්ටියේ දොර අතපසුවීමකින් වසා නොතිබීම නිසා පැටවා එළියට ගොස් ඇති බවය.


මේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම සේවකයන් යොදවා කහ ඇනකොණ්ඩා පැටවා සොයා සත්වෝද්‍යානය පුරා මෙහෙයුමක් කළත් සොයා ගැනීමට නොහැකි වී ඇත.මේ අතර කහ ඇනකොණ්ඩා පැටවා හිටි හැටියේ අතුරුදන්වීම පිළිබඳව මූලික පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර එහි වාර්තාව දින 9 කට පසුව අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බාරදී ඇත.


එම වාර්තාවට අනුව උරගඋයනේ කහ ඇනකොණ්ඩා පැටවා බාරව සිටි සත්ව භාරකරුගේ වැඩ තහනම් කර ඇත.මෙලෙස වැඩ තහනමට ලක්කර පැය 24 ක් ගත වීමට මත්තෙන් උරගඋයනේ යකඩ පෙට්ටියක් තුළ සිටි කහ ඇනකොණ්ඩා පැටවා සත්වෝද්‍යානයේ වෙනත් අංශයක සේවකයකු විසින් සොයා ගන්නා ලද බව සත්වෝද්‍යාන බලධාරීහු ප්‍රකාශ කළහ.