Wednesday, May 31, 2023

පාකිස්තානයට ආසියානු කුසලාන සත්කාරකත්වය ලබා නොදුනහොත් තරගාවලියෙන් ඉවත්වීමේ සූදානමක්



පාකිස්තානයට ආසියානු කුසලාන සත්කාරකත්වය ලබා නොදුනහොත් සහ අවම වශයෙන් තරග කිහිපයක් හෝ තම රටේ පැවැත්වීමට ඉඩ ලබා නොදුනහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත්වීමට සූදානම් බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජාම් සේති පවසයි. ඊට ප්‍රතිචාර දක්වමින් කෙටි දැනුම්දීමකින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක්වීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන්ට දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පැවති දිනයේ සත්කාරකත්වය සහ පාකිස්තානය ඉදිරිපත් කර ඇති හයිබ්‍රිඩ් මොඩලය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඊට ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් බලධාහුද එක්ව සිටියහ.

කෙසේ වෙතත් ඉන්දීය-පාකිස්තානු කඹ ඇදිල්ල නිසා සත්කාරකත්වය පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නොමැත. මෙම තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාන්ගේ හමුවක් වහාම කැඳවීමට තීරණය කර තිබුණද එය පැවැත්වෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. 'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙටි දැනුම්දීමකින් ආසියානු කුසලානය පැවැත්වීමට සූදානම්. දැන් තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය සතුයි'. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් 'ක්‍රික්බස්' වෙත පවසා තිබුණි.

ආසියානු කුසලාන තරගාවලියේ තරග පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට (හයිබ්‍රිඩ් මොඩලය) පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කළ යෝජනාවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අඛණ්ඩව සිය විරෝධය පළ කරමින් සිටියි. එම විරෝධයට පක්ෂ වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිය සහාය පළ කර ඇත්තේ 'අපි BCCI සමග යනවා' යනුවෙන් පවසමිනි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ආසියානු ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ගේ හමුවක් අපේක්ෂා කෙරේ.

මීට අමතරව ඉන්දියාවේ මෙම තීරණයට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් මණ්ඩලයේද සහාය හිමිව ඇත. ඒ අනුව පාකිස්තානය මෙම ගැටලුවේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය තුළ පැහැදිලිවම හුදකලා වෙමින් පවතී. අයිපීඑල් අවසන් මහා තරගය පැවති දිනයේදී එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ නේපාල ක්‍රිකට් සංගමය වැනි ටෙස්ට් නොවන සාමාජිකයන් සමගද තරගාවලිය සම්බන්ධයෙන් අවිධිමත් සාකච්ඡා පවත්වා තිබුණි.


පැතූම් ශ්‍රී විජේරත්න


තලවතුගොඩින් සොරාගත් මොටර් රථය මාතරින් සොයා ගැනේ

 

තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියෙකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසිහතරක් තුළදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සොරා ගත් මෝටර් රථය, එය පණ ගැන්වීමට යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීමට භාවිත කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සැකකරුවන් සොරකමට පැමිණි මෝටර් රථය, විවිධ වර්ගයේ සිම්පත් 2000කට ආසන්න ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 27වැනි දින රාත්‍රී වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවස කරා යාමට නැවත මෝටර් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක තලංගම පොලීසියට පැමිණිලි කර තිබිණි.අනතුරුව එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.ලක්ෂිත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශනවලදී සැක සහිත වාහනයක් රථ ගාලට පැමිණෙන අයුරු හා එය පිට වෙන අයුරු නිරීක්ෂණය කර ඒ ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනවලදී සැකකරුවන් හඳුනා ගැනීමට සමත් වී තිබිණි.

ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ නිවසකදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අනෙක් සැකකරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ බෝඩිමක සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි. කඩුවෙල නිවසේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෝටර් රථය ස්කෑන් කර ස්වයංක්‍රීයව පණ ගැන්විය හැකි නවීන තාක්ෂණයෙන් යුත් මෘදුකාංග සහිත යන්ත්‍රයක් මෙන්ම අනෙක් සැකකරු සන්තකයේ ජංගම දුරකථන සදහා භාවිත කරන විවිධ වර්ගයේ සිම්පත් 2,000කට අධික ප්‍රමාණයක් තිබූ බව පොලීසිය කියයි.

එම මෘදුකාංග සහිත යන්ත්‍රය අන්තර්ජාලය පළකර තිබූ දැන්වීමක් අනුව රුපියල් 60,000ක මිලදී ගත් බවට සැකකරු ප්‍රකාශ කර ඇත.සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරාගත් මෝටර් රථය මාතර තිහගොඩ ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක සඟවා තිබියදී එහි ලියාපදිංචි අංක තහඩු දෙක එම ප්‍රදේශයේම ළිදකට විසි කර තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. තලංගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එන්.ලක්ෂිත ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

ගයනාවේ නේවාසිකාගාරයක ගින්න ඇති කළ 15 හැවිරිදි සිසුවියට මිනීමැරීමේ චෝදනා


ගයනාවේ පාසල් නේවාසිකාගාරයක් තුළ ගින්නක් ඇති කර එහි සිටි සිය සහෝදර සිසුවියන් 18දෙනෙකු සහ තවත් පස් හැවිරිදි  පිරිමි දරුවෙකු ඝාතනය කිරීමේ  සිදුවීම සම්බන්ධයෙන් වැරදිකාරිය බවට පත්ව සිටින 15 හැවිරිදි දැරියට එරෙහිව මිනීමැරීමේ චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වෙයි. ඇය වැඩිහිටියෙකු ලෙස සලකා මෙලෙස මරණ 19ක් සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බවට පත් කර තිබේ.

පසුගිය මැයි 21දා මෙම නේවාසිකාගාර ගින්න හට ගැනුණි. එම පාසලේ පාලනාධිකාරිය තම ජංගම දුරකථනය තමන් සත්කයට ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් උරණ වී ඇය මෙලෙස එම නේවාසිකාගාරය ගිනි තබා තිබේ. ඇයට එරෙහි මීළඟ නඩු විභාගය ජූලි 05දා පැවැත්වෙයි. එහිදී ඇය චෝදනා වෙත වැරදිකරු වුවහොත් දිවි ඇතිතෙක් සිරදඬුවම් හිමිවීමට නියමිතව ඇත.


වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගේ දඩ මුදල අඩු කෙරේ


වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අයකරනු ලබන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට මභප්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සදහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදල සංශෝධනය කිරීමට එම සභාවේ අනුමතිය හිමි විය.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම අනුමැතිය ලබා දෙන ලදි.ඒ අනුව මෙම නියෝග හරහා, වීසා කාලසීමාව දීර්ඝ කර ගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 7ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සදහා දඩ මුදල් අය නොකිරීමටත්, අතිවාස කාලසීමාව දින 7කට වැඩි සහ දින 14ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 250ක දඩ මුදලක් අය කිරීමට හා අතිවාස කාලසීමාව දින 14කට වැඩි කාලසීමාවක් වන විට ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීමටත් ප්‍රතිපාදන සකස් කර ඇත.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, ආයෝජකයන් ආකර්ෂණය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ දූත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් හටද ඉහත දඩ මුදල් ගෙවීමට සිදුවීම හේතුවෙන් සිදුවන අපහසුතා පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් කරන ලද ඉල්ලීම් අනුව මෙම පියවර ගෙන ඇත. මෙම නියෝගවලට ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමට නියමිතය.

දිනේෂ් සමරකෝන්

හිමිවරුන්ට අපචාර චෝදනා එල්ල කර කප්පම් ගත් කල්ලියක් අත්අඩංගුවට



පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාර්න් ලෙස පෙනී සිටිමින් විහාරස්ථානවල හිමිවරුන්ට අපචාර චෝදනා එල්ල කර කප්පම් ගැනීමේ නිරත වූ කල්ලියක තිදෙනෙක් දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.දෙනියාය ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා දෙනමකගෙන් රුපියල් ලක්ෂ පනස්දෙකක (52) කප්පම් මුදලක් ඉල්ලා ලක්ෂ 20ක කප්පම් මුදලක් ලබා ගැනීමේ දී මෙම තිදෙනා පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

අත්අඩංගුවට ගත් තිදෙනා දෙනියාය පොලීසිය විසින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. දෙනියාය ප්‍රදේශයේ සිටින අදාළ ස්වාමීන් වහන්සේලා දෙනම අපචාර සිද්ධි දෙකකට සම්බන්ධ බවට ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි ලැබී ඇති බවත් නීති මාර්ගයට නොගොස් ඉන් බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස්දෙකක මුදලක් අවශ්‍ය යැයි පවසා ඇති අතර ඒ සඳහා එක් ස්වාමීන් වහන්සේ නමකගෙන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් කප්පම් වශයෙන් ලබා ගනිමින් සිටියදී මොරවක මිල්ලඇල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 31 අතර පසුවන පුද්ගලයන් බවට පොලීසිය පවසයි. එක් අයකු කලක් මහණ වී සිට පසුව සිවුරු හැර ගොස් සිටින්නකු බවත් තවත් අයෙක් ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරන අයෙකු බවත් පොලීසිය පවසයි. සැකකරුවන් සතුව තිබී යතුරුපැදි දෙකක් සහ ජංගම දුරකථන හයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට අපචාර ඇතුළු නොයෙක් චෝදනා දුරකථන මාර්ගයෙන් එල්ල කරමින් මෙම පිරිස කප්පම් ලබා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. බදුල්ල, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල විහාරස්ථානවලින්ද මේ ආකාරයෙන් මීට පෙර කප්පම් මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

කප්පම්කරුවන්ගේ ග්‍රහණයට ලක්වූ එක් ස්වාමීන් වහන්සේ නමකට අවස්ථා ගණනාවකදීම සැකකරුවන් තර්ජනය කරමින් දෙනියාය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් හා පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ තිහක (30) මුදලක් පසුගිය දෙසැම්බර් මාසයේ අවස්ථා දෙකකදී සැකකරුවන්ගේ ගිණුම්වලට බැරකරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. සැකකරුවන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීම සදහා පසුගිය 27වැනි දින උදේ 11.00 ට පමණ දෙනියාය පල්ලෙගම ප්‍රදේශයට පැමිණෙන බවට අනෙක් ස්වාමීන් වහන්සේට දුරකථන ඇමතුමකින් දන්වා ඇති අතර එම හිමිනම එදිනම උදේ දෙනියාය පොලීසියට ගොස් මේ සම්බන්ධව පැමිණිලි කර තිබේ. ඒ අනුව දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් ස්වාමීන් වහන්සේ වැඩසිටින විහාරස්ථානයට ගොස් සැඟවී සිට තිබේ.

පසුව ස්වාමීන් වහන්සේට කප්පම්කරුවන් දුරකථන ඇමතුමක් ලබාදී කප්පම් මුදලත් රැගෙන මොරවක ප්‍රදේශයට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ කප්පම්කරුවන්ට පවසා ඇත්තේ තමන් එම ප්‍රදේශයට ගමන් කිරීමට නොදන්නා බවයි. පසුව කප්පම් කරුවන්ගෙන් එක් අයෙකු ස්වාමීන් වහන්සේ මොරවක ප්‍රදේශයට කැඳවාගෙන යෑම සදහා යතුරුපැදියකින් විහාරස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ විහාරස්ථානයේ සැඟව සිටී පොලිස් නිලධාර්න් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මාර්ගයෙන් අනෙක් සැකකරුවන් දෙදෙනාට දුරකථන ඇමතුමක් ලබාදී ඔවුන් සිටින මොරවක මිල්ඇල්ල ප්‍රදේශයට පොලිස් නිලධාරීර්න් ගොස් ස්වාමීන් වහන්සේ එම සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදල ලබා දෙන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. දෙනියාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 ඩී.ඒ.පතිරණ


හික්කඩුවේ තරඟයකට පැමිණි චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක් රෝහලේ


හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන හෝටලයක පැවැත්වෙන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලියකට සහභාගි වෙමින් සිටින දෙස් විදෙස් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අතරින් සියදෙනෙකුට එම හෝටලයේ ආහාර සහ ජලය විෂ වීම හේතුවෙන් ප්‍රතිකාර ලබාදීමට සිදු වූ බව හික්කඩුව මහජන සෞඛ්‍ය පක්‍ෂක චින්තක ප්‍රසාද් මහතා පැවසීය. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ආදි චෙස් ක්‍රීඩක සංගමය දසවැනි වරටත් සංවිධානය කළ මෙම චෙස් තරගාවලිය මැයි  26වැනිදා සිට 30වැනිදා දක්වා පැවැත්වෙන අතර, දෙස් විදෙස් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ 650ක් පමණ තරගාවලියට සහභාගි වී සිටිති.

තරගාවලිය ආරම්භක දින දෙක ඇතුළත මේ තරඟාවලියට සහභාගි වු චෙස්  ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට හදිසියේ ඇති වූ උදරාබාධ, වමනය යාම වැනි රෝග ලක්‍ෂණ හේතුවෙන් ඒ සියලුදෙනාම ප්‍රතිකාර සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමුකළ බවද මහජන සෞඛ්‍ය පක්‍ෂ චින්තක ප්‍රසාද් මහතා පැවසීය. එම රෝගී ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගෙන් දෙදෙනෙක් තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, තවද ප්‍රතිකාර නොලැබුවද රෝගී වු තවත්  විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

ක්‍රීඩක, ක්‍රීඩිකාවන් හදිසියේම මෙලෙස රෝගී වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අදාළ හෝටලය පක්‍ෂා කර තිබිණි. එහිදී නික්‍ෂණය වී ඇත්තේ, අදාළ හෝටලය සඳහා පානීය ජලය සපයන වතුර ටැංකි පහම වසා නොමැතිව තිබූ බවත්, එම නිසා මේ වතුර ටැංකිවලට සතුන් වැටී ජලය අපිරිසුදු වන්නට ඇති බවත්ය. එමෙන්ම එම හෝටලයේ කෑම පිසින මුළුතැන්ගෙයද දැඩි අපිරිසුදු තත්ත්වයේ පැවති බවත්, මේ සියලු කාරණා ගොනු කොට මේ හෝටලයට නඩු පැවරිමට කටයුතු කළ බවත් ප්‍රසාද් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 එම්. සුසිල් ප්‍රියන්ත


බිරිඳගේ පෙර විවාහයේ දියණිය අපයෝජනය කළ සුළු පියාට වසර 12ක සිරදඬුවමක්


වසර 15කට පෙර අඟුණුකොළපැලැස්සේදී 13 හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ සුළු පියාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රු.5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය පෙරේදා (29දා) සවස නියම කළේය. මෙලෙස සිරදඬුවම් නියම වූයේ අඟුණුකොළපැලැස්ස පදිංචි 69 හැවිරිදි පස් දරු පියෙකුවූ කොටදුරගේ සුමනදාස නමැති අයෙකුටය. මෙම පුද්ගලයා 2008.01.04 වැනි දින සිට අවස්ථා කිහිපයකදීම බිරිඳගේ පෙර විවාහයේ 13 හැවිරිදි දියණිය අපයෝජනය කර තිබේ. මෙම කරදරය දිගින් දිගින් දිගටම ඉවසිය නොහැකි තැන දැරිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී අනාවරණය වී තිබුණේ චූදිත පුද්ගලයා සිය බිරිඳ නිවසේ නොමැති අවස්ථාවන්හිදී දැරියට පහර දෙමින් බලහත්කාරයෙන් අපයෝජනයට ලක්කර ඇති බවයි. ඒ අනුව අත්අඩංගුවටපත් මොහු අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී. එහිදී මෙම පුද්ගලයා චෝදනාව සඳහා වරද පිළිගැනීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් නියම කළේය.

වරදකරුට වසර 12ක බරපතළ වැඩ සහිත සක්‍රිය සිර දඬුවමක්ද , රු.5000ක දඩ මුදලක්ද නියම කෙරුණි. දඩ මුදල නොගෙවන්නේ නම් මාස 05ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කෙරුණි. මීට අමතරව අගතියටපත් දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළ අතර එය නොගෙවන්නේ නම්, අමතරව මාස 18ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කෙරුණි.

නුවන් ජයසේකර

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණයෙන් 146ක් සමත්


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී කඩඉම් ලකුණු අබිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) පැවසීය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25,157 දෙනකු ඉල්ලුම් කර තිබූ බවද අමිත් ජයසුන්දර මහතා කීය. 

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදෙනකුගේ පරීක්ෂාවට ලක්කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.  ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් නැවත සමීක්ෂණයට පෞද්ගලිකව ඉල්ලුම් කළ නොහැකි බවද ඉතාම විශ්වාස කළ නොහැකි ප්‍රතිඵල ලේඛන හිමි සිසුන්ගේ අභියාචන පමණක් ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන්ට දන්වා තිබූ බවද ඔහු කීය.අලුතින් විභාගය සමතුන්ට ඔවුන්ගේ ලකුණු මට්ටමට අනුව ජනප්‍රිය පාසල් හිමිවන අතර, ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර හිමිකම ලබාගත හැකි බව ද අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.


රංජන් කස්තුරි

රටින් ගෙන්වන කරවල -හාල්මැස්සන් පලතුරුවල බැරලෝහ - ආසනික් පරීක්ෂාව හෙට සිට අනිවාර්යයි


ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන් සහ ඇතැම් පලතුරු තොගවල විශාල වශයෙන් බැර ලෝහ සහ ආසනික් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.ආනයනික පලතුරු තොගවල බැර ලෝහයක් වන ලෙඩ් විශාල වශයෙන් අඩංගු යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ 2021-2022 ජාතික ආහාර සුරක්ෂිතා සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

ඒ අනුව ආනයනය කරන කරවල, හාල්මැස්සන් සහ පලතුරු තොග හෙට (1) සිට පරීක්ෂා කිරීමටත් ඒවායේ බැරලෝහ හා ඊයම් ප්‍රතිශතය පරීක්ෂා කිරීමත් අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වෙළෙඳුන්ට සහ පරිභෝගිකයන්ට දුරකතන අංක 0112112718 ඔස්සේ වැඩි විස්තර දැන ගැනීමට හැකිය.


රංජන් කස්තුරි

බන්ධනාගාර නියාමකගේ වත්තෙන් පොල්ගෙඩි 20 ක් කැඩූ හමුදා රෝහල් සේවකයාගේ කට කපලා


බන්ධනාගාර නියාමකවරයකුට අයත්ව කුඹල්ඔලුව ප්‍රදේශයේ පිහිටි වත්තකට ඊයේ (30) අලුයම් කාලයේ ඇතුළු වී පොල්ගෙඩි විස්සක් හොරෙන් කැඩූ බව කියන පුද්ගලයකු අල්ලාගෙන කට කැපීම නිසා එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ගංගමුව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන සිවිල් සේවකයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසියේ නිලධාරියෙක්  පැවැසීය. සැකපිට අත්අඩංගුවට ගත් මොහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කට ප්‍රදේශයට අමතරව මෙම පුද්ගලයාගේ සිරුරේ තවත් කැපුම් තුවාල කිහිපයක් පෙනෙන්නට ඇති බව පොලිසිය කියයි.වත්තේ අයිතිකරු වන බන්ධනාගාර නියාමකවරයා සහ ඔහුගේ සහෝදරයා ප්‍රදේශයේ හරක් හොරකම් සිදුවන නිසා ඒ සෙවිල්ලෙන් පසුවී ඇත. මෙසේ සෙවිල්ලෙන් සිටින අතරවාරයේ වත්තට කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළුවී සිටින බව දැක එක් අයකු අල්ලාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇතැයි කියති. මේ අවස්ථාවේ අවට සිටි පිරිසක් ද පැමිණ  ඇති බව පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත නංගමුව පොලිසියේ  කණ්ඩායමක් එම වත්තට ගිය අවස්ථාවේ අල්ලාගෙන සිටි එම පුද්ගලයා පොලිසියට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. තුවාල ලබා සිටි නිසා පොලිසිය මැදිහත්වී වහා ඔහු රෝහල්ගත කෙරිණි. පොල් ගෙඩි විස්සක් බහා තිබූ උරයක් ද පිහියක් සහ සැකකරුවන් දෙදෙනා පැමිණි බව කියන යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයන් දෙදෙනකු වත්තට ඇතුළුවී හොරෙන් පොල් කඩා ඇති අතර ඉන් අයකු අල්ලා ගත් බවට බන්ධනාගාර නියාමකවරයා විසින් අංගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. හොරෙන් පොල් කැඩූ බව කියන පුද්ගලයාට පිහියකින් තුවාල සිදු කළේ යැයි කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ගෙදරට පනින්න හැදූ කුඩ්ඩා අත්අඩංගුවට



ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙක් පින්වත්ත පොලිසිය විසින් ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.මෙම සැකකරු නිවෙසේ තාප්පයෙන් පැන වත්තට ඇතුළු වන අයුරු එහි ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයා දැක ඔහු අල්ලා ගත් අවස්ථාවේ සැකකරු කොස්තාපල්වරයා සමග පොරබදා පලාගොස් ඇත. එම පොලිස් නිලධාරියා පින්වත්ත පොලිසියට ඒ පිළිබඳව කළ දැනුම් දීමකට අනුව, පොලිස් කණ්ඩායමක් පැමිණ සෝදිසි කිරීමේ දී පාළු නිවසක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි තරුණයකු බවත්, ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින බවත් පොලිසිය පවසයි. ඔහු සොරකම් කිරීමට මෙලෙස ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි. සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි තරුණයකු බවත්, ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින බවත් පොලිසිය පවසයි. ඔහු සොරකම් කිරීමට මෙලෙස ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) ඉදිරිපත් කිරීමට නියමිතය. පින්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඉන්දිකා රාමනායක

ගොළු කතකට ගැබිනියකට අතවර කළ විවාහකයා අත්අඩංගුවට



කථන ආබාධිත සහිත හතළිස් හැරිදි විවාහක කාන්තාවක දූෂණය කිරීම සහ ගැබිනි කාන්තාවක ඔසවා බිම දමා පසුව ඇයට ලිංගික අතවරයක් සිදුකළේ යැයි කියන 24 හැවිරිදි විවාහක තරුණයකු පූගොඩ පොලිසිය පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොස්ගම පොලිස් වසමේ පිහිටි නිවසකට හොර රහසේ ඇතුළුවී එම නිවසේ සිටි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද මෙම සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක් තවමත් විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි. මීට අමතරව මෙම සැකකරු ප්‍රදේශ කිහිපයක පිහිටි නිවසවලට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළු වී කාන්තාවන්ට සහ තරුණියන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ද තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති. බොහෝ දෙනෙකු ලැජ්ජාව නිසා මේ බව පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බවද පැවසේ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කැලණිය ව්‍යාපාරික ඝාතනය - ගණේමුල්ලේ සංජීව , පොඩි සුරේෂ්ගේ කොන්ත්‍රාත්තුවක්


ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් නිදහස් කර සිටියදී බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයාගේ මරණය ඩුබායි රටේ සිටින “ගණේමුල්ල සංජීව” සහ ඉන්දියාවේ සිටින "කිඹුලාඇල පොඩි සුරේෂ් ”නමැත්තන් විසින් දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය තොරතුරු හෙළිකරගෙන ඇත. මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ලබා සැකකරුවන් සිව්දෙනකු අතඅඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිකරගෙන ඇතැයි පොලිසිය කියයි. වෙඩි කරනු ලැබුවේ ගල්බොරැල්ලේ විහාරමහාදේවි මාවතේ පදිංචි ඩබ්ලිව්. අයි. සංජීව (54) නමැති ව්‍යාපාරිකයෙකි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියක්  උපයෝගිකරගෙන මෙම වෙඩි තැබීම කරඇති බවත්, වෙඩි පහර 27 ක් පමණ එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි. මියගිය ව්‍යාපාරිකයාගේ ඝාතනය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුකර ඇති බව පොලිසිය පවසයි. මියගිය ව්‍යාපාරිකයාගේ ඥාති පුතකු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත්, ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි. එම පුද්ගලයා තවත් පිරිසක්  සමග  බොරැල්ල සීවලීපුර මහල් නිවාසක දී තරුණයකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට ද සම්බන්ධ වී ඇති බව පොලිසිය කියයි. එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන බොරැල්ලේ “චුට්ට නැමැත්තාගේ ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි. එම සිද්ධියට පළිගැනීම සඳහා ගණේමුල්ල සංජීව හා කිඹුලා ඇළ පොඩි සුරේෂ්  නමැති සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ ආධාරකරුවන් යොදා මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බව ද පොලිසිය පවසයි. 

ඉන්දිකා රාමනායක

බූරුවා ගහන්න ගෙන්වාගෙන ලක්ෂ 9ක් කොල්ල කාලා


බූරුවා ගැසීමට යැයි පවසා දුරකථන ඇමතුමක් දී බේරුවල ප්‍රදේශයේ සිට හෝමාගමට ගෙන්වා ගත් පුද්ගලයකුට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ නවයක මුදලක් කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ,හෝමාගම නරියා ඇතුළු තිදෙනකු බව පොලිසිය කියයි.මොවුන් ඇතුළු කණ්ඩායමක් මුදලට සූදු කෙළීමේ (බූරුවා ගැසීමේ) ජාවාරමක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් පැමිණ සූදු කෙළීමේ ජාවාරමේ නිරතව ඇතැයි පැවසේ.

එසේ පැමිණි පුද්ගලයන් පසුගිය දින කිහිපය පුරා බූරුවා ගැසීමේ ජාවාරම ජයටම පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී හෝමාගම නරියා ඇතුළු කිහිප දෙනකු පරාජය වී, බේරුවල ප්‍රදේශයේ පුද්ගලයකු ජයග්‍රහණය කොට ඇතැයි පැවසේ. ඊට උරණ වූ නරියා ඇතුළු තිදෙනෙකු බේරුවල ප්‍රදේශයේ සිය මිතුරාට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ කෝටි ගණනක මුදල් ගැවසෙන සුදු කෙළියක් පැවැත්වෙන බැවින් ඒ සදහා හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ නිවසකට පැමිණෙන ලෙසයි.

ඒ අනුව බේරුවල මිතුරා රුපියල් ලක්ෂ 9 ක මුදලක් ද අතැතිව ඉකුත් 25 දා හෝමාගම සුව පුබුදුගම ප්‍රදේශයේ නිවකට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගෙලට තියුණු ආයුධයක් තබා මරණීය තර්ජනය කොට ඔහු සන්තකයේ තිබූ තිබූ රුපියල් ලක්ෂ 9 ක මුදල කොල්ලකා පලවා හැර තිබුණි. සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හෝමාගම නරියා සහ ඔහුගේ තවත් මිතුරන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් නරියා නැමැත්තා අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස නම් දරා ඇති අතර මීට මාස තුනකට පමණ පෙර ද මීගොඩ ප්‍රදේශයේ පැවති සූදු පොළට ගොස් එමින් සිටි පුද්ගලයකුගෙන් මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බවත් ඊට අමතරව කොල්ලකෑම් පහරදීම් ඇතුළු අපරාධ සිද්ධීන් රැසකට චෝදනා ලැබූ පුද්ගලයකු බවත් පැවසේ.අත්අඩංගුවට ගත්  සැකකරුවන් (29) දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම වැඩබලන  මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පැවැත්වේ.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

බේත් ගන්න ආ බැංකු නිළධාරියාගේ සැප මෝටර් රිය උස්සලා

තලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරාගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා සමඟ සොරාගත් මෝටර් රථය, එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිත කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය, විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවෙස කරා යාම සඳහා නැවත මෝටර් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේ දී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම  සොරකම සම්බන්ධයෙන් තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. ලක්ශිත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විමර්ශන වල දී සැක සහිත වාහනයක් රථ ගාල වෙත පැමිණෙන අයුරු හා එය පිට වෙන අයුරු නිරීක්ෂණය කර ඒ ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශන වල දී සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට සමත් වී තිබිණි. ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ නිවෙසක දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අනෙක් සැකකරු කඩුවෙල වැලි විට ප්‍රදේශයේ බෝඩිමක සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

කඩුවෙල නිවසේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෝටර් රථය ස්කෑන් කර ස්වයංක්‍රීයව පණ ගැන්විය හැකි නවීන තාක්ෂණයෙන් යුත් මෘදුකාංග සහිත යන්ත්‍රයක් මෙන්ම අනෙක් සැකකරු සන්තකයේ ජංගම දුරකතන සඳහා භාවිත කරන විවිධ වර්ගයේ සිම්පත් 2000ට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.එම මෘදුකාංග සහිත යන්ත්‍රය අන්තර්ජාලයේ පළකර තිබූ දැන්වීමක් අනුව රුපියල් 60,000 කට මිලදී ගත් බවට සැකකරු ප්‍රකාශ කර ඇත.සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් මෝටර් රථය මාතර තිහගොඩ ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක සඟවා තිබිය දී එහි ලියාපදිංචි අංක තහඩු දෙක එම ප්‍රදේශයේම ළිඳකට විසි කර තිබිය දී සොයා ගැනීමට හැකි වී තිබේ.මෝටර් රථය සොරා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරුගේ කඩුවෙල නිවෙසට ගොස් මෝටර් රථය තුළ තිබූ වටිනා දෑ ගලවා අනතුරුව මාතර අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

දැව නොගත්තැයි වලි දැමු ලී මුදලාලි ගුටිකා රෝහලේ



මියගිය හමුදා සෙබළකුගේ මව හා පියා වෙනුවෙන් හමුදාවෙන් ඉදිකරන නිවෙසකට අවශ්‍ය දැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලබා නොගත්තැයි උරණව ඔවුන් ආරවුල් ඇති කරගත් එම ව්‍යාපාරිකයාට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව උඩුදුම්බර පොලිසිය පවසයි. මෙම පහර දීම කර ඇත්තේ එම නිවෙස ඉදිකිරීම සඳහා යොදවා සිටි හමුදා සෙබළුන් සිව්දෙනෙකු බවත්, පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසි කියයි.

උඩුදුම්බර දේවින්නේගම පදිංචි තුෂාර විමලසේන නමැති හමුදා සෙබළකු ඉකුත් 2009 වසරේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගොස් ඇති අතර යුද හමුදාව ඔහුගේ මව සහ පියා වෙනුවෙන් එම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් පැවති බව පොලිසිය පවසයි. එම නිවසට අවශ්‍ය දැව ලබාගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇති අතර, පහරකෑමට ලක්වූ බව කියන ව්‍යාපාරිකයාගේ මිල ගණන් වැඩි හෙයින් අඩු මිලක් යටතේ වෙනත් පුද්ගලයකුගෙන් දැව මිලදීගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

එම ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් හමුදා සෙබළාගේ දෙමාපියන් සමග බහින් බස් වී දින කිහිපයක සිට ආරවුල් ඇති කරගෙන ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වූ ඉකුත් 28 වැනිදා එම ව්‍යාපාරිකයා බීමතින් පැමිණ හමුදා සෙබළාගේ මවුපියන් සමග ආරවුල් ඇති කරනෙ ඇති අතර ආරවුල දුරදිග ගොස් ඔහු තල්ලු කිරීම හේතුවෙන් ඇතිවූ ආරවුල දුරදිග ගොස් ඔහු තල්ලු කිරීම හේතුවෙන් හමුදා සෙබළාගේ මව බිම ඇද වැටී තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් පසුව පලායමින් සිට ව්‍යාපාරිකයාට නිවෙසේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි හමුදා සෙබළුන් සිව්දෙනා පහර දී ඇතැයි පොලිසිය  කියයි.පහර කෑමට ලක් වූ ව්‍යාපාරිකයා බීමතින් ප්‍රදේශවාසීන් සමග නිතර ආරවුල් ඇති කරගන්නා පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 02 මැලේවීදිය යුද හමුදා කඳවුරට අනුයුක්ත හමුදා සෙබළුන් සිවු දෙනකු බවද පොලිසිය පවසයි.

 ඉන්දිකා රාමනායක


Tuesday, May 30, 2023

05 වැනි වරටත් අයි.පී.එල් කිරුළ චෙන්නායි සුපර් කිංගස්ට


ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජය කර 16වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පැලඳීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙම ශූරතාවත් සමග අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව දිනූ (ශූරතා 05) කණ්ඩායම ලෙසින් මුම්බායි සමගින් සමතැන් ගැනීමට එම්.එස්. දෝනිගේ නායකත්වයනේ යුත් චෙන්නායි කණ්ඩායමට අවස්ථාව උදාවිය.

අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ අද (30දා) අලුයම අවසන් වූ මෙම තරගයේ චෙන්නායි කණ්ඩායමට ගුජරාට් වෙතින් ලකුණු 215ක ඉලක්කයක් හිමිවුවත්, ඔවුන් පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී 'යේ (29දා) රාත්‍රී 9.50 පමණ ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කිර්මට සිදුවිය. ඒ වනවිට පන්දු 03කට පමණක් මුහුණදී දුන් චෙන්නායි ඉනිමට එක්ව තිබුණේ ලකුණු 04ක් පමණි. ඒ අනුව නැවත තරගය ආරම්භ වූයේ අද අලුයම 12.10ට වූ අතර, එහිදී ඔවුන්ට ඩක්වර්ත් ලුව්ස් න්‍යාය අනුව පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමිවිය.මේ හේතුවෙන් නැවත ඉනිම ආරම්භ කරන විට චෙන්නායි කණ්ඩායම පන්දුවාර 14.3කදී තවත් ලකුණු 167ක් රැස්කර ගත යුතුව තිබූ අතර, එය ඔවුන් තරගයේ අවසන් පන්දුවේදී සම්පූර්ණ කරගැනීමට සමත් විය. මෙහි අවසන් පන්දු දෙකට රැස්කර ගත යුතුව තිබූ ලකුණු 10ක ඉලක්කය රන්දු ජඩේජා විසින් 6 සහ 4 පහර බැගින් එල්ල ලබාගැනීමට සමත් විය.

ජයග්‍රාහී ඉලක්කය හඹායෑමේදී චෙන්නායි ආරම්භ පිතිකරු යුගලය වූ ඩෙවොන් කොන්වේ හා රුතුරාජ් ගයික්වාඩ් පන්දුවාර 6.3කදී ලකුණු 74ක සාර්ථක ආරම්භයක් ලබාගත් අතර, සෙසු පිතිකරුවෝ එය  ජයග්‍රාහී අවසානයක් කරා රැගෙන ගියහ. චෙන්නායි ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන්  ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසන් කළේ ලකුණු පුවරුව 214/4 සීමාවට රැගෙන යමිනි. මෙය අයි.පී.එල්, ඉතිහාසයේ අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. සුපුරුදු පරිදි ගුජරාට් ආරම්භය රිදීමාන් ෂාහා සහ ෂුන් ගිල් ලබාගත් අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක්  රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් මුහුණ දුන්නේ, පන්දුවාර 07කට පමණි.

චෙන්නායට අවශ්‍යම කඩුල්ල වූ මෙවර තරගාවලියේ අතිසාර්ථකම පිතිකරුවා වන ගිල්ව, ස්ටම්ප් කිමකට හසු කරගැනීමට නායක දෝනිට හැකිවිය. ඒ රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේය. කෙසේ නමුත් චෙන්නායි සියලු පන්දු යවන්නන්ගේ ප්‍රධානම කඩුල්ල වූ ගිල්ගේ ඉනිම එලෙසින් අවසන් වුවත්,ගුජරාට්හි අංක 03 පිතිකරුවා ලෙස පිටියට එක්වූ සායි සුධර්ශන් ඉදිරියේ චෙන්නායි පන්දු යවන්නන් නොසිතූ පහරකෑමකට ලක්විය. ඔහු, රිදීමාන් සහ සමගින් එක්ව ඉනිම ගොඩනැගූ අතර, එහිදී රිදීමාන් සහ තරගයේ 14වැනි පන්දුවාරයේදී දැවීගියද, සුධර්ෂන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වනතෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. ලකුණු පුවරුව 131ක් ලෙස සටහන් වනවිට ෂාහා දැවීගියත්, සුධර්ශන් පිටියෙන් ඉවත්ව යන විට ඔහු ගුජරාට් ඉනිම ලකුණු දෙසීයේ සීමාවෙන්ද එපිටට රැගෙන ගොස් තිබුණි. මෙහිදී විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ සුධර්ශන්, මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ  කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන විට ඔහු සිය කුලුඳුල් අයි. පී.එල්. ශතකයට ලකුණු 04න් පිටුපසින් සිටියේය.

මෙහි ශ්‍රී ලංකා නියෝජනය වූ මහීෂ් තීක්‍ෂණ (0/36) එකඳු කඩුල්ලක් හෝ දවානොගත් අතර, මතීෂ පතිරණ කඩුලු දෙකක් (2/44) දවාගත්තේය. එම කඩුලු 02ක් සමග මතීෂ මෙවර තරගාවලියේ දවාළූ කඩුලු සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියේය. එය වැඩිම කඩුලු දවාළූවන් අතර 09 වැනි ස්ථානයයි. මේ අතර මෙම තරගයෙන් අනතුරුව අම්බති රයිදු අයි.පී.එල්. තරග බිමට සමුදුන්නේය. වර්ෂාව ඇදහැළෙන විට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය කටයුතු කළ ආකාරය පිළිබඳ ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබූ අතර, ඔවුන්ගේ අකාර්යක්‍ෂම ආවරණ කටයුතු තරග ආරම්භ ප්‍රමාද කිරීමට දැඩි බලපෑමක් එක් කළේය. මෙම තරගය පෙරේදා (28දා) දිනයේ පැවැත්වීමට තිබුණද, එදින ඇඳහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය දිනයකින් කදැමීමට සිදුවිය. 


(සැ.යු. - මෙය අද අලුයම 2.00ට පුවත්පත මුද්‍රණයට යොමුකරන විට පැවැති තත්ත්වයි)

 විශ්ව මුදියන්සේ


අධික උෂ්ණත්වය නිසා ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකියි


මේ දිනවල ශරීරයට  දැනෙන උණුසුම් තත්ත්වය ඉහළ යාම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අවවාදාත්මක නිවේදන පිළිබඳ මහජනතාව අවධානය යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දිවයිනේ බොහෝ පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයේ වැඩිවීමක් වාර්තා වන බවත්, මේ නිසා ඔබට ඇති විය හැකි පීඩා අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසද ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් විජලන තත්ත්වයට පත් වීම සහ ලවණ ඉවත්වීම නිසා ඇති විය හැකි මස්පිඬු පෙරළීම, අධික උෂ්ණත්වය නිසා අධික මහන්සියක් ඇති විය හැකි බවත්, එසේම ළමයින් ක්‍රීඩා කිර්ම වැනි උෂ්ණත්වයට නිරාවරණය වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිර්ම අඩපණ වී ආඝාත තත්ත්වයන් ඇති විය හැකි බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මේ නිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිර්මටත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීම වාර්තා වන කලාපයේ ජීවත්වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයන් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමත් සිදුකළ යුතු බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මීට අමතරව වාහනය තුළ දරුවන් තනි කර දමා බැහැර යන්නේ නම්, එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙසකාර් කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇඳුම් ඇඳීමට කටයුතු කිර්මත් වඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංකූලතා අවම කර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබෙන බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.උණුසුම් දර්ශකය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශ්ලේෂණ දත්ත මගින් ලබාගත් වායුගෝල ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගනිමින් ගණනය කර ඇති අතර, මෙය වායුගෝලීය උෂ්ණත්වය නොවන බවත්, ශරීරයට දැණෙන උණුසුම බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 ඉන්දික හේවාවිතාරණ


රාජාංගණේ සද්ධාරතන හිමි රිමාන්ඩ්



ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට සහ සහජීවනයට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් කළැයි පවසන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගණයේ සද්ධාරතන හිමියන් ලබන 07වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29දා) නියම කළේය. සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් කිහිපයක්ද පක්‍ෂා කිරීමට රහස් පොලීසියට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකාර හිමියන් ඇප මත මුදාහරිනු ලැබුවහොත් සමාජයේ කැළඹීමක් සහ ජාතීන් අතර ගැටීමක් ඇති විය හැකි බවට කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් උන්වහන්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවද සඳහන් කළේය.

පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් රහස් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලීසියේ පරිගණක වෝහාරික විද්‍යා අංශයේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්හ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැකකාර හිමියන් පළ කරන ලද වීඩියෝවලින් ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇති බවත්, ඇතැම් පුද්ගලයන්ට තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බවත් පවසා සිටි රහස් පොලීසිය, සැකකාර හිමියන් පිටුපස විශාල පිරිසක් සිටිමින් පෙළඹවීම් කරන බවට සැකයක් මතු වී ඇති බවත්, ගිණුම් හරහා විශාල වශයෙන් මුදල් හුවමාරු වී ඇති බවද අධිකරණය හමුවේ පැවසීය.

එසේම බැංකු ගිණුම් කිහිපයක ගනුදෙනු සිදු වී ඇති ආකාරය සම්බන්ධයෙන් එම ගිණුම් පක්‍ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා අදාළ බැංකුවලට නියෝගයක් නිකුත් කරන්නැයිද කළ රහස් පොලීසිය ඉල්ලා සිටියේය. සැකකාර හිමියන් සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන කරන බවත්, උන්වහන්සේට ඇප නියම කරනු ලැබුවහොත් සමාජයේ කැළඹීමක් සහ ජාතීන් අතර ගැටීමක් ඇති විය හැකි බවත් සඳහන් කළ රහස් පොලීසිය, විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින හෙයින් උන්වහන්සේ රිමාන්ඩ් බාරයට පත් කරන්නැයිද ඉල්ලා සිටියේය.

සැකකාර හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙරට විවිධ උප සංස්කෘතීන් ඇති බවත්, ඒවා තුළ විවිධ භාෂා රීතීන් ඇති අතර, ඇතැම් භාෂා විලාසයන් දරුණු විය හැකියැයිද පැවසීය. තම සේවාදායක හිමියන් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කළ බවට හෝ ගැටුම් ඇති කළ බවට කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් කර නැතැයි පෙන්වාදුන් නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා, සිය සේවාදායක හිමියන් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රහස් පොලීසිය ඉල්ලා සිටි බැංකු ගිණුම් පරීක්‍ෂා කිර්මට අවසර දෙමින් සැකකාර හිමියන් ඊර්මාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස පොලීසියට නියම කළේය.

බුද්ධිමාල් රුබේරු

කලවානේ සිසුන් අපයෝජනය කළැයි කියන ගුරුවරයා සොයා විමර්ශන


කලවාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු එම පාසලේ දරුවන් 50කට අධික පිරිසක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව කලවාන පොලීසිය පැවසීය. ජාතික ළමාරක්ෂණ අධිකාරියට ලැබුණු නිර්නාමික පෙත්සමක් අනුව කලවාන පොලීසියට සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය විසින් අදාළ පාසල වෙත ගොස් සිසුන් දැනුවත් කිරීමෙන් පසුව අදාළ ගුරුවරයා සිදුකළ බව කියන අපයෝජනයන් පිළිබඳව පැමිණිලි පොලීසියට ලැබී තිබේ. ඒ අනුව අදාළ පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවන් දෙදෙනකු විසින් පසුගිය 27දා කලවාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති බවද කලවාන පොලීසිය පැවසීය. සැකකාර ගුරුවරයා එම විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයකු ලෙසද කටයුතු කර ඇති අතර ඔහුට විරුද්ධව අධ්‍යාපන කාර්යාලයට ලැබුණු පැමිණිලි මත වැඩ තහනමට ලක්ව ඇති බවද කලවාන පොලීසිය පැවසීය. එම ගුරුවරයා තරුණ අවිවාහක පුද්ගලයෙකු බවද කලවාන පොලීසිය පැවසීය. මේ වන විට පැමිණිලි ඉදිරිපත් කිරීමට දරුවන් දෙදෙනෙක් පැමිණියත් සැකකාර ගුරුවරයා අතින් අපයෝජනයට ලක්ව ඇති බවට සැකකරන ළමයින් 50දෙනෙකුට වඩා සිටින බවත් පොලීසිය පැවසීය.

ලැජ්ජාව නිසා මෙලෙස පැමිණිලි  සිදු නොකරන බවත් ඇතැම් දරුවන් අදාළ පාසලින් ඉවත්ව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය පැවසීය. සැකකාර ගුරුවරයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව කලවාන පොලීසිය පැවසීය. කලවාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කමනි ප්‍රදීපා මහත්මිය ඇතුළු එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.

උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම 

මෛත්‍රීගේ සොහොයුරකුගේ කෝටියක මැණිකක් ඇල්ලූ මුද්ද සොරාගෙන


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයකුවන කපිල ගාමිණී සිරිසේන මහතාගේ පොළොන්නරුව ලක්ෂ උයනේ පිහිටි නිවෙසේ නිදන කාමරයේ අල්මාරියක බහා තිබූ, රුපියල් කෝටියක් පමණ වටිනා නිල් මැණිකක්  අල්ලන ලද රත්තරන් මුද්දක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් පොළොන්නරුව මූලස්ථාන පොලීසියට පෙරේදා (28) ලැබී ඇත.

මුද්දට අමතරව, අල්මාරියේ තිබූ ඇමෙරිකන් ඩොලර් පන්දහසක මුදලක් සහ රුපියල් ලක්‍ෂයක් ද සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. නිල් මැණික අල්ලන ලද මෙම රත්තරන් මුද්ද පවුම් 6ක බරකින් යුක්ත යැයි පොලීසිය කියයි. හිටපු ජනාධිපතිවරයාගේ මෙම සහෝදරයා ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අයෙකි.

මෙම සොරකම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු වී ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති. මේ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස සහහ රියැදුරා ලෙස සේවය කරන පුද්ගලයා සැක කරන බවට පැමිණිල්ලෙ සඳහන්ව ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත. මේ පිළිබඳව පොළොන්නරුව මූලස්ථාන පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම්වලට ජනපති තදින් සිටී


ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා, පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. මෙවැනි කණ්ඩායම් පසුගිය කාලය පුරාම රටේ තැන් තැන්වලින් මතු වූ අතර, ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේ යැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා මෙම කඩිනම් තීරණය  ගෙන ඇත. 

එම බුද්ධි තොරතුරු ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට ඊයේ (29) උපදෙස් දුන්නේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ආරම්භ කර තිබියදී ආගමික සංහිඳියාව බිඳ දමමින්, ජන කොටස් අතර විරසකයක් ඇති කර, රට යළි කඩා වැට්ටවීමට උත්සාහයක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත.

මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින්, ආගමික සංහිඳියාවට බාධා වන කරුණු සමාජයට පැමිණීමට පෙර, ඒවා වළක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන පොලිස් ඒකකයට පැවැරෙනු ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවැසීය.

අංජුල මහික වීරරත්න

අවුරුද්දට බෙදන්න දුන් හාල් කිලෝ පන්දහක් ග්‍රාමසේවා කාර්යාලයේ

 


අඩු ආදායම්ලාභීන්ට බෙදා දීමට සූදානම් කර තිබූ, මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල් කිලෝ 4,860ක තොගයක්  වවුනියාව, කුමාන්කුලම ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් පෙරේදා (27) සොයාගත් බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා නොමිලේ බෙදාහැරීමට රජයෙන් දී තිබූ සහල් තොගයක් මෙලෙස සොයාගත් බව එම කාර්යාලය සඳහන් කරයි. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂණයකදී කූමාන්කුලම ග්‍රාම නිලධාරි කාර්යාලයේ තිබී  සහල් තොගය සොයාගෙන ඇත.

සහල් කිලෝ දහය බැගින් වූ උර 486ක් එහි තිබී හමු වූ බවත්, එම සහල් තොගය භාවිතයට ගත නොහැකි ලෙස ගුල්ලන් සහ පණුවන් ගසා තිබූ බවත්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පැවැසූහ. අඩු ආදායම්ලාභී පවුල්වලට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර, කිලෝ දහය බැගින් මෙම සහල් ලබාදීමට ග්‍රාම නිලධාරිවරයාට දී ඇතත්, ඒවා බෙදා නොදී, මාස ගණනක් තිස්සේ තිබීම හේතුවෙන්, සහල් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයක තිබූ බව සහල් පරීක්‍ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සඳහන් කළහ. මේ අතර, ග්‍රාම නිලධාරි කාර්යාලයේ තිබූ සහල් ගබඩාවට මුද්‍රා තැබූ බවත්, ඒ පිළිබඳව වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පරීක්‍ෂණ මෙහෙයවති.

සිතුම් චතුරංග

එතෙර සිටින ලංකිකයන්ට අලුත් පාස්පොට් එක්ක ගන්න අයැදුම්පත අන්තර්ජාලයෙන්



විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා අයැදුම් කිරීම අනිද්දා (1) සිට අන්තර්ජාලය ඔස්සේ කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ, අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහිදී පැවැසූහ. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කමිටුව එහිදී සාකච්ඡා කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.අන්තර්ජාලය හරහා වීසා අයැදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩු පාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද  එහිදී සාකච්ඡා කෙරිණි.

විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද කාරක සභාව උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, එස්.එම්.එම්. මුෂාරෆ්, සාගර කාරියවසම්, යදාමිණි ගුණවර්ධන, ආචාර්ය හරිනි අමරසූරිය සහ චන්දිම වීරක්කොඩි යන මහත්ම මහත්මීහු ද විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම යන ආයතනවල නිලධාරීහු ද එම රැස්වීමට සහභාගි වූහ.

 සුජිත් හේවාජුලිගේ‍

විභාගයට සිසුන් 75ක් ඇත්නම් පාසල විභාග මධ්‍යස්ථානයක් කරන්න


පාසලකින් අවම වශයෙන් සිසුන් 75 දෙනකු විභාගයට සුදුසුකම් ලබා තිබේ නම් එම පාසල විභාග මධ්‍යස්ථානයක් බවට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ හැකි නම් ඉදිරි දින කිහිපය ඇතුළත ඊට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත් සෑම විටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විභාග කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් සමග ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

ආරම්භ වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 3,568කදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 472,553 ක් පෙනී සිටිති. ඒ වෙනුවෙන් සේවයේ යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 40,000කට ආසන්නය. නමුත් මෙවර පාසල් කිහිපයකම සිසුන් තමන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවට වෙනත් පාසලක විභාග මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කිරීම නිසා දරුවන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව මවුපියන් ජනාධිපතිවරයා දැනුවත් කර  තිබිණි. මේ පිළිබඳව සොයා බැලීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික තත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන සීමා කිරීමට තීරණය කළ බවයි.මෙය සිසුන්ගේ මානසික මට්ටමට ඍජුවම බලපාන තත්වයක් හෙයින් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ දී අවම වශයෙන් වසරක පමණ කාලයක් එම පාසල් සහ සිසුන් දැනුවත් කර එය ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 අංජුල මහික වීරරත්න

පීරමිඩ ජාවාරමේ ලංකික හවුල්කරු කවුදැයි සොයයි


මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මගින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඞීටී’ පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන් ද යන්න. සම්බන්ධයෙන් වාර්තාවක් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට නියෝග කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘නේම් චිප් ඩොට් කොම්’ (namecheap.com) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (29) නියෝග කළේය.

ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන් ද, එහි මූල්‍ය ගනුදෙනු නියමාකාරයෙන් සිදු වී ඇද්ද, එහි ක්‍රියාකාරීත්වය වී කෙසේ ද, එහි ඩොමේන් පහසුකම ලබාගත්තේ ඔබ ආයතනයෙන් ද, ඒ සඳහා වූ ගිවිසුම් කවරේ ද, එහි හොස්ටින් පහසුකම කෙසේ ද, ආදී ප්‍රශ්න 12කින් සමන්විත ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා දෙන ලෙසට අධිකරණය අදාළ ආයතනයට නියම කර ඇත. මෙම සිද්ධියට අදාළවම ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 8ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ '' බයිනෑන්ස් ඩොට් කොම්' (binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 19 වැනිදාය. ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට් කොම් මූල්‍ය සමාගමේ ගිණුම් අටක අත්‍යන්ත මුදල් වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදලක් තැන්පත් වී ඇති බවට මෙම විමර්ශනයේදී හෙළි වූ අතර, ඒ අනුව එම ගිණුම් අටේ ගනුදෙනු අප්‍රේල් මස 19 වැනිදා සිට මාස හයක කාලයක් අත්හිටුවීම  සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එලෙස  නියෝග කර තිබිණි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදාගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මූල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57 ක් අත්හිටු වීමට ද ඉකුත් මාර්තු මස 28 වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ලෙසින් සමාගමක් ලියාපදිංචි කරමින්, එකී සමාගම හරහා නීති විරෝධී පිරමීඩිකාර ගනුදෙනු කරමින්, අතත්‍ය මුදල් වොලට්ටුවල (Crypto Currency Wallet) ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් ගනුදෙනු සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

 නිමන්ති රණසිංහ


පිටුවහල් කරන්න යන චීනාට චීන උසාවියෙන් වරෙන්තුවක්


චීනයට පිටුවහල් කිරීමට නියම කර ඇති චීන ජාතිකයා මත්ද්‍රව්‍ය චෝදනාවට චීන අධිකරණයෙන් වරෙන්තු ලැබූවකු බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ, චෝදනා ලැබ සිටින චීන ජාතිකයා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.

නීතිඥ අශෝක විජේවර්ධන මහතා මගින් චීන ජාතික ලී පෑන් නමැත්තා විසින් ගොනු කර තිබූ මෙම රිට් පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන්, ආගමන විගමන පාලක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, තම සේවාදායකයා ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර ලබා දෙන ලෙසයි. නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර මහතා කියා සිටියේ, මෙම චීන ජාතිකයාට මත්ද්‍රව්‍ය චෝදනාවකට චීන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවත්, ඔහුට ආගමන විගමන නිලධාරීන් පහරදුන් බව සඳහන් චෝදනාව ව්‍යාජ බවත්, ඔහු විසින් එම තුවාල සිදු කරගෙන ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සනාථ වන බවත්ය. පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දුන් අධිකරණය, ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය. ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගෙන චීනයට පිටුවහල් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර චීන ජාතිකයා මෙම පෙත්සම ගොනු කර ඇත.

රංජන් කටුගම්පොළ

දරුවකුත් සිටින හතළිස් දෙකේ පියෙක් දහතුනේ දැරියක රවටා අතවර කරලා


පාසල අවසන් වී යළි නිවසට නොගොස් හලාවත නගරයට පැමිණි 13 හැවිරිදි පාසල් සිසුවියක් රවටාගෙන හලාවත මයික්කුලම ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියන එම නවාතැන්පොළේ සේවය කරන අයකු හලාවත මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් දෙහැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකි.

මුන්දලම පොලිස් වසමේ පදිංචි මෙම සිසුවිය පාසල් ගොස් යළි නිවසට නොගොස් හලාවත නගරයට පැමිණ සැරිසරමින් සිටිය දී අහම්බෙන් මෙන් මෙම සැකකරුට මුණ ගැසී ඇතැයි පොලීසිය කියයි.මෙම බාලවයස්කාර සිසුවිය මෙම සැකකරුගෙන් නවාතැන් ගැනීමට බෝඩිමක් සොයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි කියති. බෝඩිමක් සොයා දිය හැකි බව පවසා සිසුවිය රවටාගෙන ත්‍රිරෝද රථයක නංවාගෙන නවාතැන්පොළට කැඳවාගෙන ගොස් කාමරයක නවාතැන් ගැනීමට පහසුකම් සලසා දී පසුව ඇයට ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

පසුව මෙම බාලවයස්කාර සිසුවිය හලාවත නගරයට කැඳවාගෙන පැමිණ බස් නැවතුම් පොළේ අතරමං කර දමා සැකකරු පලාගොස් තිබිණි යැයි ද පොලිසිය කීය. මෙම බාලවයස්කාර සිසුවිය හලාවත පොලිසිය තිබෙන ස්ථානය ගැන අසා දැනගෙන ගොස් මේ ගැන පැමිණිලි කර ඇත. සිසුවිය හෙළි කළ තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය. ලිංගික අතවරයටකට පත් වූයේ යැයි කියන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කර ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Monday, May 29, 2023

අසභ්‍ය වචනයෙන් ජනපතිට බැණ වැදුණු සද්ධා රතන හිමි ගැන CID විමර්ශන



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචන කියමින් බැණ වදිමින් යූටියුබ් ඔස්සේ අපහාසාත්මක වීඩියෝවක් පළ කළ රාජාංගණයේ සද්ධා රතන නමැති හිමිනමකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

චීවරයක් දරා ගනිමින් ඉතාම අශෝභන ලෙස අසභ්‍ය වචන කියමින් ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බැණ වැදුණු මෙම හිමිනම මීට පෙරද වීඩියෝ පළ කරමින් ඉතා අසභ්‍ය වචනයෙන් විවිධ අයට බැණ වැදීම් සිදුකර ඇති බවට ලබාදුන් වාර්තාවක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.


එච්.අයි.තුෂාර

ටෙලිකොම් කුටිවල විද්‍යුත් තැටි සොරා ගැනීම පිටුපස රන් ජාවාරමක් ඇත්දැයි පරීක්ෂණ


රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්‍රාහක කුටිවල (එම්සාන් පෙට්ටියේ) අඩංගු විද්‍යුත් තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල අඩංගු රත්‍රන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකරන බව බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වෙත උපදෙස් ලබා දුන් බවද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්‍රාහක කුටිවලින් විද්‍යුත් තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබේ. ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල, මාලඹේ, නවගමුව, අතුරුගිරිය, කොට්ටාව, හෝමාගම ආදී ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්‍රාහක කුටි 9කින් එම තැටි තොගය සොරා ගෙන ඇති අතර නවගමුවේ පමණක් දුරකථන ග්‍රාහක කුටි තුනකින් විද්‍යුත් තැටි සොරා ගෙන ඇත. ඉකුත් 25වැනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්‍රාහක කුටියකින් විද්‍යුත් තැටි 15ක් සොරා ගෙන තිබේ.

මෙම සොරකම් හේතුවෙන් දුරකථන  පරිශීලකයන්, වයිෆයි, පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්‍රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයෝ ලක්ෂ ගණනක් දැඩි අපහසුතාවට පත්වී සිටිති.  විද්‍යුත් තැටි නිෂ්පාදනය කිරීමේදී එක් තැටියකට රත්තරන් සුළු ප්‍රමාණයක් අඩංගු කරන බවත්, එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීම බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම තැටිවල රත්‍රන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේම අයෙකුට පමණක් බවද ටෙලිකොම්  ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය. නමුත් එම රත්‍රන් මෙරටදී උණුකර ලබාගත නොහැකි බවත්, අනිවාර්යෙන් විදේශ රටක සහායක් ලබා ගත යුතු බවත් එම ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා  තිබේ.


බිමල් ශ්‍යාමන් ජයසිංහ 

කෝටි දෙකක් අළුවුණේ දුම් බී නොසැලකිල්ලෙන් විසිකළ ගිනි කූරකින්ද?

 

උස්සාපිටිය මහජන ක්‍රීඩාපිටියේ ජල නළ ගබඩාංගණයේ ඉකුත් 19 වැනිදා පස්වරුවේ  හටගත් ගින්න  සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුන් හයදෙනකු පොලිසිය විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබූ බව කියයි.  ජල නළ ගබඩාවේ ඇති වූ හදිසි ගින්න සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්සාපිටිය ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් හයදෙනකු බවත් ඉන් පස්දෙනකුම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සිසුන් කණ්ඩායම දුම්පානය කිරීම සඳහා යොදාගත් ගිනිකූරක් නොසැලකිලිමත් අයුරින් ඉවතට විසිකිරීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ගින්නෙන් කෝටි 2ක පමණ ජල නළවලට හානි වී ඇති බවත් පොලිසිය කියයි. ශ්‍රී ලංකා රජයේ සහ නෙදර්ලන්ත රජයේ ණය ආධාර මත අසුපිණිඇල්ල ජල යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජලයෝජනා  ක්‍රමය පසුගිය 20 වැනිදා ජනතා අයිතියට පත්කිරීමට පෙර දිනයේ මෙම ජල නළ ගබඩා කර තිබූ ක්‍රීඩාංගණයේ ගින්න හටගෙන ජල නළ විනාශ වී ඇති බව ද පොලිසිය කියයි.

කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ නියෝග මත කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ මෙහෙයවීමෙන් අරණායක පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිනි තබා, අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට වැඩ බලන මහේස්ත්‍රාත් කමණි මේඝසූරිය මහත්මිය නියෝග  කළාය.

පී. ශාන්ත බණ්ඩාර 


ඕස්ට්‍රේලියාවෙන් ගුවනින් එද්දී හෘදයාබාධයකින් මරුට



ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙමින් තිබූ ගුවන් යානයක ගමන් ගනිමින් සිටි ගුවන් මගියකු හදිසියේම රෝගාතුර වී එම ගුවන් යානය තුළදීම පෙරේදා (27) රාත්‍රී මියගොස් ඇතැයි ගුවන් තොටුපොළ කාරිය භාර නිලධාරියා පැවසීය.  මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පෙරේදා  රාත්‍රී 10.35ට පමණ පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 605 දරන ගුවන් යානය තුළ මෙම මරණය සිදුවී ඇත. මෙසේ මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි රත්නලිංගම් රාමලිංගම් නමැති 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 

යානය ගුවන්ගත වී මඳ වේලාවකට පසුව මෙම මගියාට හදිසි හෘදයාබාධයක් වැළඳී ගුවන් යානය තුළම මියගොස් ඇති අතර ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළ වෙත යළි හරවා නොගොස් කෙළින්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට ගුවන් නියමුවෝ පියවර  ගත්හ. මළ සිරුර කටුනායක ගුවන් තොටුපොළ දී කටුනායක ගුවන් තොටුපළ පොලිසියට බාර දී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇත.

 ටී.කේ.ජී. කපිල

ඉමදූවේ බුදු පිළිමයක් පෙරළා දමලා


ඉමදූව අඟුලුගහ ගල් බෝක්කුව බුදු මැදුරේ වීදුරුව කඩා එහි තැන්පත් කර තිබූ බුදු පිළිමය කිසියම් පුද්ගලයකු විසින් පෙරළා දමා ඇති බව ඉමදූව පොලිසිය පවසයි. මෙයින් බුදු පිළිමයට හානි සිදුවී නොමැති වුවත් බුදු පිළිමය මල් ආසනය මත මුනින් අතට වැටී තිබෙන බව ද පොලිසිය කියයි. 

පෙරේදා 27 රාත්‍රී කාලයත් ඊයේ අලුයම් කාලයත් ඇතුළත මෙය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු  සම්බන්ධයෙන් ඉමදූව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉමදූව පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

පැමිණිලි කර යද්දී පැමිණිලිකරුයි පැමිණිලිකාරියයි පැහැරගෙන


මුදල් ආරවුලක් මත කාන්තාවක සහ පිරිමියකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. විශේෂ කාර්ය බළකායේ ජයවර්ධනපුර කඳවුරේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි, අධ්‍යක්ෂ (බුද්ධි) පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මග පෙන්වීම පරිදි, සහකාර පොලිස් අධිකාරි (බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත, ජයවර්ධනපුර කඳවුරේ පොලිස් සැරයන් ඩබ්.ජී.අයි. වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන  ඇත.

පැහැර ගැනීමට ලක්වූ කාන්තාව සහ පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කරන අතර, සැකකරුවන් පිරිස අතර සිටින පුද්ගලයකුගේ පෙම්වතිය එහි ආයෝජනය කරන ලද මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පැහැර ගැනීමට ලක්වූ කාන්තාව සහ පිරිමියා ඔවුන්ට තර්ජන ඇති බවට දෙමටගොඩ පොලීසියට පැමිණිලි කර පිටව යෑමේදී මෙම පැහැර ගැනීම සිදු කර තිබූ බව පොලීසිය කියයි.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ, වත්තල පදිංචි කාන්තාවක සහ මාකොළ දකුණ මාකොළ පදිංචි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඔ 09 සහ කොළඔ 10යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුහු අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසු වෙති. සැකකරුවන් ආ පැහැර ගැනීමට යොදාගත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයට බාර දී ඇත.

 බිමල් ශනමන් ජයසිංහ

කැකිරාවේ ජාතික පාසලක පිරිත් මණ්ඩපයක් වනසලා

 

පාසලේ පැවති පිරිත් පින්කමක් අතරතුර දී කලහකාරී ලෙස හැසිරුණු බව කියන කැකිරාව නගරාසන්න ජනප්‍රිය ජාතික පාසලක සිසුහු හත් දෙනෙක් කැකිරාව පොලිසිය විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබූහ. කැකිරාව නගරාසන්න ප්‍රසිද්ධ ජාතික පාසලක පැවැති පිරිත් පින්කමක් අතරතුර දී එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරී ලෙස හැසිරි ඇති බව පොලිසිය කියයි. කලහකාරී ලෙස හැසිරි ඇති එම සිසුන් එහි පිරිත් මණ්ඩපයට ද පහර දී හානිකර ඇතැයි පැවැසේ. 

එම සිසුන්ගේ කලහකාරී හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු දැනුම්දීමක් අනුව එහි ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් එම සිසුන් හත්දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 07 දෙනෙකි. ඔවුන් විද්‍යාලයේ 13, 12, 11 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය කියයි. එම සිසුහු ගනේවල්පොල, කැකිරාව කුඩා වැව, ඔලොබ්බෑව පාර, මැදගම, මහකැකිරාව හා ගලපිටගල යන ප්‍රදේශවල පදිංචි  අය වෙති. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන කරන බව කැකිරාව පොලිසිය කියයි.


කුෂාන් ජයවර්ධන

විවාහ මංගල්‍යයදා අලුයම පැරණි පෙම්වතාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් මනාලිය රෝහලේ


විවාහ දිනය දා අලුයම ඊට සූදානම් වෙමින් සිටි මනාලියට ඇයගේ පැරැණි පෙම්වතා විසින්  ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ බරපතළ පිලිස්සුම් තුවාල කිරීමේ සිද්ධියක් වැලිගම දෙනිපිටිය මධුරාපුර ප්‍රදේශයෙන් පෙරේදා  (27) වාර්තා වූ බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.  ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ මනාලිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටී.ඇය සැකකාර තරුණයා සමග වසරකට ආසන්න කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇතැයි ද ඔහු මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා දෙමාපිය විරෝධය මත එය නවතා ඇතැයි ද කියති.

තරුණිය පෙරේදා (27) වෙනත් තරුණයකු සමගින් විවාහ වීමට සියලු කටයුතු සූදානම් කර තිබිය දී අලුයම 3.00ට පමණ ඇගේ නිවසට ඇතුළු වී ඇති පැරැණි පෙම්වතා මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි. එම විවාහය ගාල්ල ප්‍රදේශයේ දී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. ඇසිඩ් ප්‍රහාරය එල්ල වන විට මනාලිය නිවසේ නිදාගෙන සිට ඇති බව පොලිසිය කියයි. තරුණිය ප්‍රේම සම්බන්ධතාව අතරමග නවතා වෙනත් තරුණයකු සමග විවාහ වනවාට පලිගැනීමක් ලෙස මෙම අපරාධය සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

ඊට සම්බන්ධ මදුරාපුර පදිංචි සැකකාර තරුණයා වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ක්‍රිෂාන් ජීවක ජයරුක් 

පොලිස් අත්අඩංගුවට ගත් මෙහෙකාරියක මියගිය සිද්ධියට වැලිකඩ ඕ.අයි.සීත් මාරු


චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගත්තේ යැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය මියයාම සම්බන්ධයෙන්  වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මෙලෙස මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාය.

එම සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙක් පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් කරනු ලැබ ඇති තවත් කොස්තාපල්වරයකු සහ කොස්තාපල්වරියන් දෙදෙනකු ස්ථාන මාරු යවා ඇත. බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ් කුමාරි (42) නමැති තිදරු මව ඉකුත් එකොළොස් වැනිදා මියගොස් ඇත. පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය අනුව හා පොලිස්පතිවරයා විසින් එම මාරු කරනු ලැබ ඇත.

මෙහෙකාර කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පැවැත්වූ අතර විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි. ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ


ලංකිකයන් එංගලන්තයට යවා අතරමං කරන ජාවාරමක්


ව්‍යාජ අධ්‍යාපන සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ශ්‍රී ලාංකිකයන් රට යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ස්කයි නිවුස් පුවත් සේවය විසින් අනාවරණය කරගනු ලැබ ඇත. විදේශයන් හි සිට එක්සත් රාජධානියට පැමිණීමට බලාපොරොත්තු සේවකයන් පුහුණු වෙනුවෙන් ලබා දෙන වීසා භාවිත කරමින් මෙම මිනිස් ජාවාරම සිදු කරනු ලබන බව එම පුවත් සේවය පෙන්වා දී ඇත. මෙම මිනිස් ජාවාරමට හසු වූ එක් කාන්තාවක ස්කයි නිවුස් පුවත් සේවයට පවසා ඇත්තේ තමන් එක්සත් රාජධානියේ රැකියාවක් ලබා ගැනීමට ස්ටර්ලින් පවුම් 65000 ක මුදලක් ජාවාරම්කරුවන්ට ලබා දුන් බවය.

තමන්ට ඔවුන් ඉංග්‍රීසි භාෂාව සඳහා ඉහළ සමාර්ථයක් තිබෙන බව පෙන්වීම සඳහා ඔවුන් ව්‍යාජ ලෙස අධ්‍යාපන සහතික සහ අනෙකුත් සහතික සාදා දී එක්සත් රාජධානියට වීසා ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් බව ඇය පවසා ඇත. තමන් එක්සත් රාජධානියට පැමිණෙන විට වයස අවුරුදු 12ක නාඳුනන දරුවකු පුත්‍රයා ලෙස පෙන්වා දෙමින් එක්සත් රාජධානියට රැගෙන ආ  බවත් ගුවන් තොටුපොළේ දී පිරිසක් පැමිණ එම දරුවා රැගෙන ගිය බවත් ඇය පවසා ඇත. තමන්ට රැකියාව කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නොවන බව ජාවාරම්කරුවන් පැවැසුවත් එක්සත් රාජධානියට පැමිණි පසු ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැකි වීමෙන් තමන් අතරමං වූ බවද එම කාන්තාව පවසා ඇත. 

එසේම ජාවාරම්කරුවන්ට හසු වූ තවත් පුද්ගලයන් දෙදෙනකු පවසා ඇත්තේ එක්සත් රාජධානියට පැමිණෙන කාන්තාවකගේ සැමියා සහ දරුවා ලෙස පෙනී සිටිමින් එක්සත් රාජධානියට පැමිණි බවත් ඒ සඳහා ස්ටර්ලින් පවුම් 50,000 ක මුදලක් එක් අයකු ගෙවූ බවත්ය. ගුවන් තොටුපොළේ දී නාඳුනන කාන්තාවක පෙන්වා ඇයගේ සැමියා සහ දරුවා ලෙස පෙනී සිටිමින් එක්සත් රාජධානියට ගමන් කළ යුතු බවත් එසේ කිරීමට අකැමැති නම් ඔවුන් ගෙවූ මුදල් නැවත නොලැබෙන බවත් ජාවාරම් කරුවන් ප්‍රකාශ කළ බව ඔවුන් පවසා ඇත. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ ආකාරයෙන් මෙම ජාවාරම්කරුවන්ට හසු වී ඇති බව ද ස්කයි නිවුස් පුවත් සේවය පෙන්වා දී ඇත.

 විමුක්ති එස්. රුද්‍රිගු

කෝටි 27,000ක බදු සල්ලි අයකර නොගත්තාට අප්‍රසාදය

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 27,000ක බදු මුදලක් (අභියාචනා සහ විරෝධතා නොමැති) අය කර ගැනීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය. මේ අතර බදු නොගෙවන විශාල වෙළෙඳ සමාගම් සහ ආනයනකරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු කිසිවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොපවතින බව ද එම කමිටුවේ දී අනාවරණය විය. රටේ සිදුවන දැවැන්ත ගනු දෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රම වේදයක් නොමැති වීම සම්බන්ධයෙන් ද කමිටුව මෙහිදී සාකච්ඡා කළේය. එබැවින් මෙම මුදල් අය කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් අලුත් නීති ඇති කිරීමට අවශ්‍ය සහයෝගය කමිටුව හරහා දෙන බවත් කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ලියාපදිංචි සමාගම්වලින් බදු අයකිරීම, නව බදු ලිපිගොනු ආරම්භ කිරීම. දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බදු නිලධාරීන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අය කිරීමේ රමිස් පද්ධතිය වැනි කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි. අභියාචනා සඳහා තිබෙන ප්‍රතිපාදනය අවභාවිත කරමින් බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටින බවත් අභියාචනා කටයුතු අවසන්වීමට වසර 2ත් 7ත් පමණ කාලයක් ගත වන හෙයින් මේ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් හඳුන්වා දිය යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පාලනය කළ නොහැකි දීර්ඝ කාලයක් ගතවන අභියාචනා ප්‍රතිපාදන නිසා මෙය සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහිදී පැවසූහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා පෙන්වා දුන්නේ බදු සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනත් රටවල මෙන් විශේෂ අධිකරණ පද්ධතියක් මෙරට පවතී නම් මෙම නීතිමය කටයුතු කඩිනමින් අවසන් කළ හැකි බවයි.මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර බදු අභියාචනා කටයුතු සඳහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කිරීමට පියවර ගන්නා බව කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර, බදු ලිපිගොනු ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අතුරෙන් බදු ගෙවන ලිපිගොනු සංඛ්‍යාව පිළිබඳව කමිටුව විමසා සිටියේය. කෙසේ වෙතත් අදාළ තොරතුරු දෙපාර්තමේන්තුව නිලධාරීන් සතුව නොමැතිවීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කළේය. එම තොරතුරු මීළඟ කමිටු රැස්වීමේදී ලබා දෙන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ගාමිණී වලේබොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, සුදත් මංජුල, විමල් වීරසිංහ, ඉරාන් වික්‍රමරත්න, වීරසුමන වීරසිංහ සහ ජගත් කුමාර සුමිත්‍රආරච්චි යන මහත්වරු ද එම රැස්වීමට සහභාගි වූහ.


සුජිත් හේවාජුලිගේ 


Friday, May 26, 2023

අයි.පී.එල් අවසන් සටන සොයා ගුජරාට් මුම්බායි අද සටනේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier 2) අහ්මදාබාද්හිදී අද (26දා) ප.ව. 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම තරගය ගුජරාට් ටයිටන්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. මෙම තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) චෙන්නායි හමුවේ පරාජය වූ ගුජරාට් කණ්ඩායමට නොකඩවා දෙවැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලැබීමට ඇතිඅවසන් අවස්ථාව මෙය වෙයි.

මේ අතර මුම්බායි කණ්ඩායම මෙම තරගයට සුදුසුකම් ලබාගත්තේ පසුගියවර අනුශූරයන් වූ ලක්නව් සුපර් ජයන්ට්ස් ලකුණු 81ක දැවැන්ත පරාජයකට ලක්කරයි. චෙන්නායිහිදී පෙරේදා (24දා) රාත්‍රියේ පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 182/8ක් රැස්කිරීමට සමත් විය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.3කදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 101ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට එළඹෙන ඉර්දා අහ්මදාබාද්හිදීම පැවැත්වෙන අවසන් මහා තරගයේ චෙන්නායි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වීමේ අවස්ථාව උදාවෙයි.

විශ්ව මුදියන්සේ

COVID-19 වලට වඩා දරුණු මිළඟ වසංගතයට ලෝකයා සූදානම් විය යුතුයි

 

ලෝකය මීළඟ දරුණු වසංගතයට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබෙයේසුස් පවසයි. මෙහිදී මෙම වසංගතය COVID-19 වසංගතයටත් වඩා 'මාරාන්තික’ වසංගතයක් වන බවත් ඔහු අනතුරු අගවා සිටියි. මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන 76 වැනි ලෝක සෞසෞඛ්‍ය සම්මේලනය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පවසා සිටියේය. එම සංවිධානය මගින් මෙම COVID-19 වසංගතය තවදුරටත් දරුණු වසංගතයක් නොවන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර දින කිහිපයකට පසුව ඔහු මෙම අදහස් දැක්වීමත් විශේෂත්වයකි.

2019 වසරේ අගභාගයේදී හඳුනාගත් මෙම COVID-19 වෛරසය හේතුවෙන් මේ දක්වා ලොව පුරා රටවල් රැසක ලක්ෂ 70කට අධික පිරිසකට ජීවිත අහිමි වී තිබේ. අදටත් ඇතැම් රටවල මෙම වසංගතය පවතින අතර, දෛනිකව මරණද වාර්තා වෙමින් තිබේ."COVID-19 සම්බන්ධයෙන් වන ගෝලීය සොඛ්‍ය හදිසි තත්ත්වය ඉවත් කිරීම කියන්නේ මේ COVID-19 නිසා ඇති වුණු ගෝලීය සෞඛ්‍ය තර්ජනය නිමා වුණා කියන දේ නෙමෙයි. තවත් වෛරස ප්‍රභේදයක නැගී සිටීමක් ගැන අපිට තර්ජනයක් තිබෙනවා. මේ නැගීඑන තර්ජනය දැනට අපිට තිබෙන තර්ජනයටත් වඩා මාරාන්තික වේවි.” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සදහන් කර තිබේ.

කෙසේ වෙතත්, මෙවැනි වසංගත යනු ලෝකයා මුහුණදෙන තර්ජන අතරින් බොහෝ දුර ඈතක පවතින්නක් බවද ඔහු පෙන්වා දෙයි. එහෙත් මෙවැනි අනාගත වසංගත තර්ජනයක් සඳහා මුහුණදීමට බලපෑම් සහගත ගෝලීය යාන්ත්‍රණයක් පැවැතිය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කර තිබේ. "ඒ කියන්නේ මීළඟ වසංගතය අපේ ගෙදරට ඇවිත්තට්ටු කරන කොට අපිඒ වසංගතයට තීරණාත්මක ලෙස, එකමුතුව, එක සමානව පිළිතුරු දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ.” විශේෂයෙන්ම, මෙම COVID-19 වසංගතය හේතුවෙන් ගෝලීයව පැවතිය යුතු සෞඛ්‍ය හා සම්බන්ධ තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කෙරුණු බව ඔහු පෙන්වා දෙයි. 

මෙම ඉලක්ක 2030 දී සම්පූර්ණ කිරීමට නියමිතව තිබුණත් වසංගතය නිසා ඒවා ඉක්මන් කෙරුණු බව ඔහුගේ අදහසයි. එසේම, 2017 වසරේදී ලෝක සෞඛ්‍ය සම්මේලනය මගින් ප්‍රකාශයට පත්කළ බිලියන ත්‍රිත්වයේ ඉලක්කය වෙතද මෙම වසංගතය බලපෑ බව ඔහු මතක් කරදී තිබේ. මෙම ඉලක්කය මගින් 2023 වසර වනවිට ගෝලීය ජනගහනයන් බිලියන තුනකගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීම අරමුණ විය. මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට අද වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් විය හැකි ප්‍රධානතම රෝග වර්ග නවයක් පිළිබඳව හදනාගෙන තිබේ. විශේෂ්‍යයන්ම, මෙම රෝග සදහා වන සීමිත ප්‍රතිකාර හෝ එම රෝග වසංගතයක් බවට පත්වීමේ හැකියාව මේ අවදානම සදහා හේතුව වී තිබේ.

විශේෂයෙන්ම, COVID-19 වසංගතය අවස්ථාවේදී එම වසංගතයෙන් ආරක්ෂාවීම සදහා නිෂ්පාදනය කෙරුණු එන්නත් පිළිබඳ පර්යේෂණ පමාවීම මරණ අවදානම වැඩි කිරීමට හේතුවිය. එසේම නිෂ්පාදනය කෙරුණු එන්නත් පවා ලොව පුරා ජනතාව වෙත එක සමානව බෙදී නොයෑමත් දරුණු ගැටලුවක් විය. ඒ අනුව, ඉදිරි වසංගතයකදී මෙවැනි ගැටලු මඟහරවමින් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමක් වෙත සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ.


සීනි මට්ටම අඩුවීම නිසා ඔබ රෝගී වෙන හැටි

 

රුධිරගත සීති ප්‍රමාණය ඔබේ ජීවිතයට එදිනෙදා බලපාන ආකාරය ගැන බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප දැනුමක් යැයි පැවසුවහොත් එහි වරදක් නැති තරම්, සීනි කියූ විට එය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ එය  වැඩි වීම නිසා මතුවන ප්‍රශ්න වන නමුත්, එය අඩු වීම ජීවිතයට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව දැනුම්වත් නොවීම හදිසි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතුවක්. රුධිරගත සීනි ප්‍රමාණය සම්බන්ධයෙන් පවතින පරීක්ෂණයකට පසුව යමෙක් තමන් දියවැඩියාවට ගොදුරු වී ඇති බව හෝ පූර්ව දියවැඩියා තත්ත්වයේ පසුවන බව දැනගත් වහාම කලබල වෙන බොහෝ දෙනෙක් ඖෂධ කෙරෙහි යොමු වේ. නමුත් ඒවා භාවිත කරන අතරවාරයේ අවිධිමත් ලෙස දියවැඩියා රෝගයට පාලනයක් ඇතිකරනවා යැයි පැවසෙන වෙනත් ආහාර පානාදියද ඒ සමග පමණ ඉක්මවා ලබාගත හැකියි. 


මෙහිදී සමහර ආහාර පානවලින් සීති ප්‍රමාණය අඩුවෙනවා යැයි සිතුවොත්, ඖඖෂධද ලබාගැනීම තුළ නියමිත ප්‍රමාණයට වඩා අනපේක්ෂිතව රුධිරගත සීනි ප්‍රමාණය පහළ බසින්නට පුළුවන්. මෙය රෝගය සුව වීමක් ලෙස සැලකීම ඉතාම මිථ්‍යාවක්. මේ ආකාරයෙන් සීනි පාලනය කරන අතර, තවත් සමහරු සීනි පරිභෝජනය සම්පූර්ණයෙන්ම නවතන අවස්ථාද පවතිනවා. සීනි අපේ ශරීරයේ පැවැත්මට අනවශ්‍යම දෙයක්ද? සීනි සම්පූර්ණයෙන්ම නවතා ආහාර පාලනය කරන අතර, ව්‍යායාම මගින්ද අධික ලෙස සීනි කෙරෙහි බලපෑමක් ඇතිකරලීම සුදුසුද? සීනි මඳක් අඩු වේ යැයි සලකන ආහාර පානද ගන්නා අතර බෙහෙත්ද ගනිමින් සීනිවලට වැට බැඳීම ජීවිතයට බලපානු ලබන්නේ කෙසේද යන්න අද අපි විමසා බලමු. බොහෝ දෙනෙක් සීනිවල ඇති රසයට හුරුපුරුදු වෙන්නෙ ළමා කල සිටමය. සීති කියන්නේ සමහරුන්ගේ ඇබ්බැහියක්, පැණි රස ආහාර අධික ලෙස සීනි යෙදූ තේ, කෝපි ආදී පාන වර්ග ආසියාතික අපගේ ආහාර රටාව තුළ ඇතැමුන් වඩාත් ළංකර ගන්නා බව අප කවුරුත් දන්නා දෙයක්. 


බොහෝ විට සීනි පරිභෝජනය අඩුකරන ලෙස උපදෙස් ලබන දියවැඩියා රෝගීන්ගෙන් සමහරක් සම්පූර්ණයෙන්ම සීනි පරිභෝජනය නවතන අවස්ථාත් සීනි ඇතැයි සිතන පිළිගැනෙන එළවළු පලතුරු පරිභෝජනයද අතහරින බව අප නිතර දකිත තත්ත්වයක්. නමුත් සීනි කියන්නේ වැඩිත් නැතිව අඩුත් නැතිව අපේ රුධිර තුළ පැවතිය යුත්තක් බව ඔබ දැන සිටිය යුතුම කරුණක්. සීනි වැඩි වීම සම්බන්ධයෙන් නොව අද අපි කතා කරන්නේ මේ කියන සීනි අඩු වුණොත් අපට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳවයි. රුධිරයේ සීනි අඩු වීම අපි වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ හයිපොග්ලයිසිමියා නමින්. 


හයිපොග්ලයිසීමියා තත්ත්වයක් ඇතිවුවහොත් අපි එය දැනගන්නේ කෙසේද යන්න දැන් ඔබට ගැටලුවක් මතුවෙනු ඇති. අපි රුධිර පරීක්ෂණයකින් පසු රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය 70 mg/dc ( 4mmol /c) වඩා අඩු වීම හයිපොග්ලයිසීමියාව (Hypoglycemia) ලෙස හඳුන්වනු ලබයි. මෙය කොහෙත්ම සරල තත්ත්වයක් නොවේ. ඉතාම බරපතළ තත්ත්වයක් බව ඔබ දැන සිටිය යුතුමයි. මෙමගින් මොළයට ලැබෙන  ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීමෙන් මොළයේ යම් යම් ක්‍රියාවිරහිතතාවන් ඇතිවීමට හැකියාව පවතියි. සාමාන්‍යයෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු වූ විට යම් කෙනෙකුට මෙම ලක්ෂණ ඇතිවිය හැකිය. නිදිමත ගතිය, දහඩිය දැමීම, ක්ලාන්තය, හෘද ස්පන්දනය වේගවත් වීම. 


හිසරදය, වචන ගොත ගැසීම, අධික කුසගින්න, හැසිරීම් රටාව වෙනස් වීම, අත පය පණ නැති වීම, වලිප්පුව, සිහිනැතිවීම සමහර විටෙක රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීමේ ලක්ෂණ බවට සැලකිය හැකිය. ඔබද දියවැඩියා රෝගියෙකු බව තහවුරු කර සිටින්නෙක් නම් ඉහත රෝග ලක්ෂණ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්ය. මෙවැනි අවස්ථාවක ඔබ සතුව රුධිරයේ සීනි මැන බලන උපකරණයක් පවතින්නේ නම් වහාම රුධිරයේ වෙනසක් පවතින්නේද යන්න පරීක්ෂා කර බැලීම වැදගත්ය. එසේ ඔබ සතුව ග්ලූකොමීටරයක් නොමැති නම් ඉහත කී ලක්ෂණ හයිපොග්ලයිසීමියා රෝග ලක්ෂණ ලෙස සලකා කටයුතු කරන්න. මෙවන් ලක්ෂණයක් ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට ඇති වූ විට එය නොසලකා නොහැර කළ යුත්තේ කුමක්දැයි දැන් විමසා බලමු. ඉතාම ඉක්මනින් වහාම මේ ආහාරවලින් එකක් ලබාගැනීමට හෝ ලබාදීමට යුහුසුළු විය යුතුය. ග්ලූකෝස් ස්වල්පයක්, සීනි දියකරන ලද වතුර හෝ සීනි සහිත පැණි රස ඇති බීම වර්ගයක්. සීනි ස්වල්පයක්, වොක්ලට්, ටොෆි, ජෑම් හෝ තේ කෝප්පයක්. මේවායින් එකක් හෝ ලබාදීමෙන් පසුවත් ඔබට හෝ අදාළ පුද්ගලයාට දැනුණු රෝග ලක්ෂණවල අඩුවක් නැතිනම් වහාම ඒ තැනැත්තා වෛද්‍ය පරීක්ෂාවට ලක්වීම හෝ රෝහල්ගතවීම නොපමාව කළ යුතුය. ග්ලූකොමීටරයක් ඔබ සතුව තිබේ නම් නැවත රුධිරය පරීක්ෂා කර රුධිරයේ සීනි මට්ටම වැඩි වීමක් වූයේදැයි දැනගන්න. 


සමහරෙකුට සිහි නැතිවීම් තත්ත්වයක් පැවතිය හැකි බව අප කීවා ඔබට මතක ඇති. සිහිනැතිවීම අපස්මාරය වැනි තත්ත්වයකදී නොපමාව රෝගියා රෝහල්ගත කළ යුතුය. එවිට සේලයින් මාර්ගයෙන් රෝගියාට සීනි ලබාදෙන්නට කටයුතු කළ හැකිය. සිහි නැතිව සිටින විට කිසිවක් පොවන්නට උත්සාහ නොකළ යුතු බව මතක තබාගන්න. රුධිරයේ සීනි අඩුවෙන්නේ ඇයි? ඔබ දැන සිටිය යුතු වැදගත්ම කරුණ එයයි. සමහරෙකු දියවැඩියාව සදහා ප්‍රතිකාර ලබන්නෙක් විය හැකිය. ඉන්සියුලින් හෝ දියවැඩියා පෙති නියමිත ප්‍රමාණය වඩා වැඩිපුර ගත් විට නැතිනම් දියවැඩියා පෙති හෝ ඉන්සියුලින් සමග අවිධිමත් ප්‍රතිකාරද පමණ ඉක්මවා ගත් විට ඔබේ රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් අඩු විය හැකිය. එවිට හයිපොග්ලයිසීමියා තත්ත්වයක් මතු වීමේ අවදානමක් පවතී. නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම මෙකල බොහෝ තරුණ තරුණියන් සහ ඇතැම් කාන්තාවන් තරබාරුව නවත්වා ගන්නට හිතුමතයේ අනුගමනය කරන පිළිවෙතක් වන්නට පුළුවන.


මෙය ඉතාම අනුවණ ක්‍රියාවක් බව තරයේ මතක තබාගන්න. එමෙන්ම දියවැඩියා රෝගයට ඉන්සියුලින් ලබාගත්තේ නම්, එසේ ගත් වහාම ආහාර ලබාගත යුතු අතර ඉන්සියුලින් ගෙන ආහාර නොගෙන සිටීම හයිපොග්ලයිසීමියාවට අත වැනීමක් විය හැකිය. ප්‍රධාන ආහාරවේල් මගහැරීම මෙන්ම ආහාරවේල් අතර නිසි පරතරයක් පවත්වා නොගැනීම, රුධිරගත සීනි ප්‍රමාණය අඩුවීමට බලපෑ හැකිය. උදාහරණයක් සැලකුවහොත්, උදෑසන ආහාර වේලෙන් පසු නැවත රාත්‍රී ආහාරය තෙක්ම කිසිම ආහාරයක් නොගෙන අධිකව වෙහෙසවීම සලකා බලමු. අධික ලෙස මත්පැන් භාවිතාව සහ අධිකව ව්‍යායාම්වල යෙදීම ආහාර වේල් මගහරිමින් ව්‍යායාම්වල අධිකව තිරතවීම ආදී හේතු හයිපොග්ලයිසීමියාවට අත වැනීමක් විය හැකිය. මෙම තත්ත්වයෙන් ගැලවී සිටීමට අපට නොහැකිද? හැකිය. ඒ සඳහා ඇත්තේ ඔබ ඔබ සම්බන්ධයෙන් දක්වන සැලකිලිමත්භාවයයි. පළමුව ඔබ ඔබේ රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමට වෛද්‍ය උපදෙස් මත ලබාදුන් ක්‍රමවේදය පමණක් අනුගමනය කරන්න. ඔබ හිතුමතයට ආහාර හෝ අනෙකුත් ඇවතුම් පැවතුම් වෙනස් කිරීමට උත්සාහ නොදරන්න. එසේ නියමිත ප්‍රතිකාර නියමිත කාලය සහ මාත්‍රාවෙන් ලබාගන්නා අතර, දී ඇති උපදෙස් අනුව ඔබේ ආහාර පාන ප්‍රමාණයන් ලබාගන්න. 


ඔබේ පවුලේ ආශ්‍රිතයන් සේවා ස්ථානයේ ආශ්‍රිතයන්ට ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් දැනුම්වත් කොට තබන්න. එවිට ඔබට හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් එම පුද්ගලයන්ගේ සහය වඩා කඩිනම් ලැබෙනු ඇත. ඔබද රුධිරයේ සීනි මට්ටම අඩු වූ විට දැනිය හැකි ලක්ෂණ සම්බන්ධයෙන් මනා දැනුම්වත් බවකින් සිටින්න. කිසියම් පැණි රස ද්‍රව්‍යයක්, ටොෆියක්, චොක්ලට් කැබැල්ලක් ආදී දෙය ඔබ සමීපයේ තබාගන්න. ඔබට රුධිර සීනි මට්ටම පහළ බසින බව දැනෙන පළමු සංඥාවේදී එයින් කුමන හෝ ද්‍රව්‍යයක් ඉක්මනින් පාවිච්චි කරන්න. මේ සංඥාව ඔබට දැනෙන්නේ ඔබ වාහනයක් පදවමින් සිටින වේලාවක නම්, වහාම වාහනය නවත්තන්නට කටයුතු කරන්න. ඔබ වාහන ධාවනය මෙන්ම ඉහළට නැගී අවදානම් ස්ථානවල රාජකාරී කරන අයෙක් නම් සහ පිහිනීම, වාහන පදවන ආදී කටයුතුවල නිරතවෙන්නෙක් නම් ඔබේ. රුධිර සීනි මට්ටම පිළිබඳ පරීක්ෂා කර බලා එයින් පසුව වැඩ කරන්නට සිතට ගත්ත. ග්ලූකොමීටර එසේත් නැතිනම් රුධිරයේ සීනි මැන බලන කුඩා උපකරණ එතරම් මිලක් නොවේ. එවැන්නක් ඔබ සමීපයේ තබාගන්න. එවිට ඔබට හයිපොග්ලසීමියාවේ ලක්ෂණයක් දැනුන විටදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයක් ලැබීමේ සහය ලබාගත හැකිය. ඔබ කිසියම් ආකාරයක ක්‍රීඩාවක නිරතවන්නට පුහුණුවීම් ආදිය කරන්නේ නම්, නිතරම ඔබේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ගැන අවදියකින් පසුවන්න. කිසිවිටක එසේ පරීක්ෂාවකින් තොරව එවන් අවස්ථා සඳහා ඉදිරිපත් නොවන්න.


උපදෙස් - අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතාගෙනි.


නාලිකා රාජපක්ෂ


මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා

විදුලි බිල ඉහළ යාම හා විදුලි අර්බුදය තවමත් අප රටට විසඳාගත නොහැකි වී තිඛෙන ගැටලුවකි. ඒ වෙනුවෙන් පසුගිය කාලයේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා යම් වැඩකොටසක් සිදුකරනු ලැබිණි. එහෙත් මේ වන විට ජනක රත්නායක මහතා අදාළ තනතුරින් ඉවත් කර තිබෙන අතර, ඒ පිළිබඳව ජනක රත්නායක මහතා සමග කතාබහක නිරත විය.


මහජන උපයෝගිතා කොමිසමේ සභාපති තනතුරේ  සේවා කාලය


වසර දෙකක සේවය කාලයක් හිටියා, මේ වසර දෙක තුළ ලංකාව තුළ ඇති වූ විදුලි අර්බුදයත් සමග ජනතාව වෙනුවෙන් වැඩ ගොඩක් කරත්ත පුළුවන් වුණා. අසාධාරණ ලෙස විදුලි ඛිල ඉහළ දැමීමට සැලසුම් කළ අවස්ථාවල ජනතාවගේ පැත්තෙන් ඉහළින්ම පෙනී සිටියා.


දියුණු වෙමින් තිබෙන රටක් ලෙස වර්තමාන විදුලි බිලජනතාවට දරාගන්න පුළුවන්ද?


අවුරුදු 75ක් තිස්සේ අපේ රට දියුණු වෙමින් තියෙන රටක් කියල තමයි කියන්නේ. මේකෙ අවසානයක් අපිට දකින්නට නැහැ. මොකද දේශපාලනඥයන් ඊට දියුණු කරන්නෙ නැතිව වෙන වෙන දේවල් කළා. දැන් මේ රට දියුණු වෙමින් තියෙන රටක් නෙවෙයි බංකොලොත් වෙච්ච රටක්. මේ ආකාරයට බංකොලොත් වෙච්ච රටක මූලික අවශ්‍යතාවන් වා සපුරාගන්න බැරි විශාල ජන කොටසක් ඉන්නවා. මෙය ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සමස්ත ජනගහනයෙන් 50%ක් වගේ ප්‍රමාණයක්. මේ තත්ත්වය තුළ හා පෙබරවාරි මාසයේදී සිදුකළ විදුලි බිල වැඩි කිරීම නිසා ජනතාවට විදුලි බල ගෙවාගත්ත බැහැ. මොකද පෙබරවාරි මාසයේදී අධික ලෙස විදුලි බිල ඉහළ දැමීම්මේ දුප්පත් ජනතාව පරිභෝජනය කරන කාණ්ඩවලට. ඒක නිසා විදුලි පරිභෝජනය අඩු වුණා.


තනතුරින් ඉවත් වෙලා ගෙදර ගිහින් මොනවද කරන්නේ?


මම ව්‍යවසායකයෙක්. ඒක නිසා මම ගෙදර ගියා කියල විශ්‍රාම ගත්තෙ න්‍ය. ඒ වගේම මේ වන විට රට අනතුරකට පත්වෙලා තියෙන්නේ, ඒක නිසා මට විශ්‍රාම සුවයෙන් කාලය ගතකරන්න බෑ. මම ඉදිරියේදී විදුලි පාරිභෝගික ජනතාවගේ ගැටලු පිළිබඳව හා ජනතාවට ඇතිවෙන වෙනත් ගැටලු පිළිබඳව දිගටම පෙනී සිටිනවා.


තනතුරින් ඉවත් කිරීමට අදාළව එල්ල වූ චෝදනා?


වර්තමාන ජනාධිපතිතුමා අගමැති වූ කාලයේදිම කිව්වා 113 දෙන්න මම අයින් කරන්න කියලා. එහෙම ගත්තාම මම අයින් කරන්න

වසරක කාලයක පමණ සිට සැලසුම් කළා. ඒ වගේම උසස් පෙළ විභාගය වැත්වෙන කාලයේදී විදුලි කප්පාදුවකට ගියා. ඒ අවස්ථාවේදි මම කිව්වා විදුලිය කප්පාදු  කරන්න එපා කියලා, මීට අමතරව විදුලි බිල නීතිවිරෝධී ලෙස ඉහළ දාන්න එපා කියලත් කිව්වා. ඊට පස්සේ ගස්ටනය වැඩි උතා. ඒකෙ ප්‍රතිඵලයක් අනුව තමයින් ව්‍යවස්ථානුකූලව මාව ඉවත් කළේ. මෙම ඉවත් කිරීමේ වැඩපිළිවෙළ යට ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුත් ඉන්නවා. ව්‍යස්ථානුකූලව මම ඉවත් කරන්න ගත්ත තීරණය පිළිගන්නවා. නමුත් චෝදතා ප්‍රතික්ෂේප කරනවා.


කොමිසමේ වැඩ කරන්න ගෙදරින් බඩු අරන් ආවේ ඇයි?


ඒක මගේ පුරුද්දක්. 2008 හා 2012 වසරේත් මම විවිධ ආයතනවල වැඩ කරලා තියෙනවා. ඒ අවස්ථාවේදිත් මම භාවිත කළේ මගේ ගෘහභාණ්ඩ. ඒ පුරුද්ද අනුව තමයි මගේ ගෘහභාණ්ඩ ගෙන්නලා කොමිසමේ වැඩ කළේ. කොමිසමේ තිබුණු මගේ ගෘහභාණ්ඩ විවාදයට කලින් දවසේ ඉවත් කර ගත්තා. 


ජනතාව වෙනුවෙන් පෙනී සිටි නිසා ගෙදර යන්න සිදුවුණා කියලා දුකක් තියෙනවද?


සිංහයෙක් වගේ එක දවසක්  වැඩ කරලා ජීවත් වෙන එක සැපයි, නිවටයෙක් වගේ අවුරුදු ගාණක් වැඩ කරනවට වඩා, මගේ ක්‍රමය තමයි මට වැඩක් දුන්නම අදාළ රාජකාරිය ඒ ආකරයටම කරන එක. රාජකාරිය ඒ ආකාරයට කරනකොට එන දේශපාලන බලපෑම් තියෙනවා. ඒ කියන්නේ එයා ජනාධිපතිද, කැබිනට් මණ්ඩලයේද කියන එක මට වැදගත් නැහැ, රාජකාරිය හරියට  කරනකොට වෙනත් අය කියන කතා මට වැඩක් නෑ.



විදුලි බල මණ්ඩලය ඇයි මෙතරම් පාඩු ලබන්නේ?


විදුලි බල මණ්ඩලයේ පාඩුව නිසා අවස්ථා දෙකකදී විශාල ලෙස විදුලි බිල ඉහළ දැම්මා. ඒත් විදුලි බල මණ්ඩලය පාඩුයි. හැබැයි විදුලි බිල ඉහළ දැම්මේ පාඩුව නැති කරගන්න. විදුලි බල මණ්ඩලයට තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි. කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන සියයක් දුන්නත්, විදුලි බිල සියයට සියයකින් වැඩි කළත්පාඩුයි. ඒක නිසා මුලින්ම විදුලි බල මණ්ඩලයේ මූල්‍ය පරිපාලනයක් ඇතිකරන්න අවශ්‍යයි.


ඔබ කියන ආකාරයට 27%කින් විදුලි බිල අඩු කළයුතුයි කියන කතාව වැරදියි කියලා විෂය භාර අමාත්‍යවරයා සදහන් කරනවා.


එතැනදි කියන්නේ බොරු සංඛ්‍යාලේඛන, මම කියන්නේ සත්‍ය කතාව. මම කියන්නේ විදුලි පරිභෝජනය අඩු වීම නිසා, ඉන්ධන ගල්අගුරු මිල අඩු වීම නිසා හා රුපියල ශක්තිමත් වීම නිසා 27%කින් විදුලි බ්ල අඩුවෙන්ත ඕන කියලයි. විෂය භාර ඇමතිතුමා කියන්නේ 0ත් 30ත් අතර අයට 29%කින් විදුලි බිල අඩු කරනවා කියලා. ඒත් පසුගිය කාලයේදී මෙම කාණ්ඩයේ අයගේ විදුලි බිල 1200%කින් ඉහළ ගියා. මම කියන්නේ සම්පූර්ණ කාණ්ඩවලට විදුලි බිල 27%කින් අඩු කරන්න පුළුවන් කියලා. අධික ලෙස විදුලි බිල ඉහළ දමලා 29%කින් එක් කාණ්ඩයකට පමණක් විදුලි බිල අඩු කළාම හරිද? ඒ වගේම ඒකක 30 හෝ 60, 90 භාවිත කරන දුප්පත් ජනතාවගේ විදුලි බිල විශාල ලෙස අඩු කළ යුතුයි. පෙබරවාරි මාසයේදිත් මම කිව්වේ ඒක. ඒත් ඒ දේවල් පැත්තකින් දාලා දුප්පත් ජනතාවගේ විදුලි බල අධික ලෙස ඉහළ දැම්මා.


පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළේ වර්තමාන තත්ත්වය 


මහජන උපයෝගිතා කොමිසම පුනර්ජනනීය බලශක්තිය ඉහළ දැමිය යුතුයි කියලා කිව්වේ 2017 වසරේදී, එතකොට විදුලි බල මණ්ඩලය ඒකට කැමති උනේ නෑ. අපි කිව්ව විදිහට කළා නම්, මේ වන විට පවතින විදුලි අර්බුදයක් ඇතිවෙන්නේ නෑ. ඒත් දැන් කියනවා පුනර්ජනනීය විදුලි වැඩපිළිවෙළ කරන්න ඕන කියලා.


දේශපාලනයට පැමිණීම


දේශපාලනය ගැන මම පසුගිය දවසක කතාවක් කිව්වා. ඒ පිළිබඳව පෙරේදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විහිඵවට අරගෙන කතා කළා. මම ජනතාවත් සමග ඉන්න කෙනෙක්. ඒ වගේම මම කෙළින් කතා කරන කෙනෙක්. ඒක නිසා සුපිරි වෙළෙඳ ලකට ගියත්, විදේශ රටකට ගියත් අපේ රටේ ජනතාව කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලයි. ඒ අය වගේම ආගමික නායකයත් ත්‍වා කියනවා දේශපාලනයට එන්න කියලා. ඒ අනුව මම දැන් තීරණය කරලා තියෙනවා මහජනතාවට සේවය කරන්න ඕන කියලා.


නමුත් මන්ත්‍රීවරයෙක් වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ල හරි, ඇමැති කෙනෙක් වෙලා හරි මේ ක්‍රමය වෙනස්කරන්න බැහැ. ඒක නිසා ඊට උඩින් තියෙන තනතුරකට මම පත්වෙන්න ඕන. ජනතාව හිතනවා නම් මම දේශපාලනයට පැමිණිය යුතුයි. කියලා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම්. කොහොමද එන්නේ, කවදද එන්නේ කියන එක ඉදිරියේදී තීරණය කරන්න පුළුවන්.


සභාපති තනතුරින් කරන්න බෑරි දේවල් ජනාධිපති වෙලා කරන්න පුළුවන්ද?


මම වැඩ කරපු කෙනෙක් මම සභාපති තනතුරු දරපු කාලය තුළදී ඇමතිවරුන් 05දෙනෙකු මේ විෂයට හිටියා. ඒ කියන්නේ මේ ක්‍රමය තුළ ඇමැති කෙනෙකු වශයෙන් හෝ වැඩ කරන්න බැහැ. ඒක නිසා කරන්න තියෙන එකම දේ තමයි ජනාධිපති තනතුරට ගිහිල්ලා මහජනතාව සමග සාකච්ඡා කරලා, මහජනතාවගේ උපදෙස් මත, මහජනතාව සමග රට දියුණු කරන එක, එහෙම නැතුව ණය අරගෙන රට දියුණු කරන්න බැහැ. ණය අරගෙන මිනිහෙකුට හෝ පවුලකටවත් දියුණු වෙන්ත බැහැ. ඒක රටටත් පොදු කාරණයක්. මේණය ගෙවත්ත නම් රටේ ආදායම් වැඩිකරන්න ඕන. ඒකට සුදුසු කෙනා මම කියලා ජනතාව තීරණය කරනවා නම් ඒකට මම ලෑස්තියි. මම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණයක් අරගෙන තියෙන්නේ.


ඔබ තනතුරින් එකපාර ඉවත් කරන්න බැරි වුණේ ඇයි?


හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහත්තයා කිව්වා විධායක ජනාධිපතිවරයෙකුට කළ නොහැකි වන්නේ ගැහැනියෙක් පිරිමියෙක් කරන එකත්, පිරිමියෙක් ගැහැනියක් කරන එකත් විතරයි කියලා. ඒත් ඒක දැන් බොරු වෙලා තියෙන්නේ. මොකද මම ඉවත් කරන්න විධායක ජනාධිපතිවරයාට නොහැකි වුණා. ඒකට පාර්ලිමේන්තුවට යන්න වුණා. එක් පුද්ගලයෙකු බේරගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හැරෙන්න හැමෝම එකට එකතු වුණා.


ඔබ ඉවත් කරන්න ඇමෙරිකානු පුරවැසියෙකු මැදිහත් වුණා කිව්වට ඔබ සභාපති තනතුරට පත් කළෙත් එම කණ්ඩායමේ කෙනෙක් නේද?


මේ වගේ පත්වීම් හැම එකක්ම කරන්නේ දේශපාලන මැදිහත්වීම් අනුව. මෙතැනදි පත්කරන ක්‍රමවේදයකුත්, ඉවත්කරන ක්‍රමවේදයකුත් තියෙනවා. මේ ආකාරයේ පත්වීම් ගත්තාම 99%ක්ම සිදුවෙන්නේ දේශපාලන දැන හැදුනුම්කම් මත, නැතුව අල්ලපු ගෙදර එකාට පත්වීම් · දෙන්නෙ නෑ. උගත්කම අනුව අදාළ පත්වීම දෙන්න ගියා නම් විශ්වවිද්‍යාල වහලා, මහාචාර්යවරුන්ට ඔය තනතුරු ටික දෙන්න පුළුවන්නේ. මේ ආකාරයට රැකියාව ලැබුණත්, හරි ක්‍රමයට වැඩ කරන්න ඕන. මම කළේ හරි විදිහට. ඒකට දේශපාලනඥයන් කැමති නැහැ. දේශපාලනඥයන්ට ඕන පෙබරවාරි මාසේ විදුලි බිල වැඩි කරන්න කිව්වාම ’යර්ස් සර්' කියලා කියන අය. හැබැයි ඒ අය දන්නෙ නෑ වැඩි කළේ මොකක්ද, අඩු කළේ මොකක්ද කියලා.


 ඉන්දික නේවාවිතාරණ

කතරගම සිවිල් ආරක්ෂක භටයන් නියාමකවරියගේ කුඹුරු වැඩට යොදාගෙන

 

කතරගම සිවිල් ආරක්ෂක බළකායේ භටයන් යොදවා පෞද්ගලික කුඹුරු කරවීමේ අකටයුත්තක් සිදු වන බව සිවිල් ආරක්ෂක භටයෝ හෙළි කරති.රජයෙන් වැටුප් ලබන මෙම භටයන් තම පෞද්ගලික කුඹුරේ වැඩවලට යොදවා ඇත්තේ කතරගම සිවිල් ආරක්ෂක බළකායේ දිස්ත්‍රික් නියාමකවරිය විසින් බව සිවිල් ආරක්ෂක භටයෝ කියති. 

වැඩකිරීමට අකමැත්ත ප්‍රකාශ කළහොත් ඔවුන් දුෂ්කර ස්ථාන වෙත මාරු කර යවන බව ද භටයෝ පවසති.මෙම අනිසි වැඩ ගැනීම සිදු කළ අවස්ථාවේකතරගම සිවිල් ආරක්ෂක ප්‍රධාන නිලධාරිකු පැමිණි අවස්ථාවේ දී වැඩ කරමින් සිටි භටයන් ඊයේ (25) දුවගිය බව සිවිල් ආරක්ෂක භටයෙක් පැවැසීය.


නීතිඥයෝ දෙදෙනෙක් පුටුවකට ගුටි කෙලගෙන

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ හමුවීම් ශාලාවේ පුටුවක් බෙදා ගැනීමට නොහැකිව නීතිඥවරයකුට තවත්  නීතිඥවරයකු විසින් පහරදී බැණ තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) පැමිණිල්ලක් ලැබුණු  බව කෙසෙල්වත්ත පොලීසිය පවසයි. පහර කෑමට ලක්වූ නීතිඥවරයා රෝහල්ගත වන බව සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය පෝරමයක් ද රැගෙන පිටව ගිය බව ද පොලීසිය කියයි. 

ෙපහරකෑමට ලක්වූ නීතිඥවරයා තමන්ට බැණ තර්ජණය කළැයි කියමින් පහරදුන් බව කියන නීතිඥවරයා ද කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. පහරකෑමට ලක්වූ නීතිඥවරයා නීතිඥ හමුවීම් ශාලාවේ පුටුවක අසුන්ගෙන සිටියදී එම ස්ථානයට පැමිණි පහරදුන් බව කියන නීතිඥවරයා සහ තවත් නීතිඥවරුන් දෙදෙනකු ඔහුගේ ඇඟේ හැප්පුණ බවත්, ඔහු ඒ අවස්ථාවේදී “ඇයි අයියා අවුලක්ද?" යනුවෙන් විමසා ඇති බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන් වෙයි.

එහිදී පහරදුන් බව කියන නීතිඥවරයා ඇතුළු පිරිස, “උඹ මොකද මෙතන වාඩිවෙලා ඉන්නේ? නැගිටලා පලයං" යනුවෙන් පවසා නීතිඥවරයාගේ කම්මුලට පහරක් එල්ල කර ඇතැයි ද එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත. එම සිද්ධිය වී ඇත්තේ අධිකරණ කටයුතු සඳහා පැමිණි විශාල පිරිසක් බලා සිටියදීය. මේ ගැටුම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ද එහි ඇති වී තිබූ බව වාර්තා වේ. පහරදුන් බව කියන නීතිඥවරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, තමන් නීතිඥ හමුවීම් ශාලාවේ හිඳගෙන සිටි අවස්ථාවේදී කනිෂ්ඨ නීතිඥවරයා පැමිණ මේ මේසේ මගෙයි” යනුවෙන් පවසා තමන් තල්ලු කර පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවය. මේ ආකාරයෙන් වන වන නීතිඥවරුන් අතර පහරදීමේ සිද්ධී ගණනාවක් මෑතකදී ද එම අධිකරණ පරිශ්‍රයෙන් වාර්තා වී ඇත.

නිමන්ති රණසිංහ

හෙල්මට් නැතිව පැදවූ යතුරුපැදිය නැවැත්තුවයි රාලහාමිට වටකර ගහලා


ආරක්ෂක හිස්වැසුමක් නොමැතිව ධාවනය කළ යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන පෑළියගොඩ දිසා රථවාහන කොට්ඨාසයේ කොස්තාපල්වරයකුට පහර දී පලා ගොස් සිටි කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ මෙත්සර (98194) නමැති ආධුනික පොලිස් කොස්තාපල්වරයා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. 

එම කොස්තාපල්වරයා පෙරේදා (24) ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පලම අසල රථවාහන රාජකාරියේ නිරතව සිටියදී ආරක්ෂක හිස් වැසුමක් නොමැතිව ධාවනය කරන ලද යතුරු පැදියක් නවත්වා පරීක්ෂා කර ඇති අතර එහි පැදිකරු බීමත්ව සිටීම හේතුවෙන් ඔහු රැගෙන යාමට පැමිණෙන ලෙසට කොස්තාපල්වරයා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන්ට දැනුම් දී ඇත. එම අවස්ථාවේ යතුරු පැදිකරු ඔහුගේ මිතුරන් පිරිසකට සිද්ධිය දැනුම් දී ඇති අතර ඔහු ස්ථානයට පැමිණ මිතුරන් පිරිසක් සමඟ එක්ව කොස්තාපල්වරයාට පහර දී එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

කොස්තාපල්වරයාගේ දැනුම්දීමත් සමග පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පලා යමින් සිටි සැකකරු පසුපස හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලිස් ස්ථානයට රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී, සැකකරුගේ මව ඇතුළු කිහිප දෙනකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇතැයි පොලිසිය කියයි. මෙම උණුසුම් තත්වය අතරතුර සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී නැවත පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධියට සම්බන්ධ සැකකරු, ඔහුගේ මව හා තවත් පුද්ගලයකු පෙරේදා (24) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

ඉන්දිකා රාමනායක

කසිප්පු එක්ක ඇල්ලූ කත පොලිසි ගෙනෙද්දී මියගිහින්

 

පානදුර උතුර පොලිසිය මගින් පෙරේදා (24 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගැනුණ කාන්තාවක හදිසියේ අසනීපව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මිය ගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැවිරිදි සිව්දරු මවක බවද පොලිසිය කීය. මියගොස් ඇති කාන්තාවගේ නිවෙසේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රි නිවස වටලා නීති විරෝධී මත්පැන් සමග කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව ඇති බව පොලිසිය කියයි.

ඒ අනුව පවුලේ සාමාජිකයකු වෙත බාරදී රෝගී කාන්තාව රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර, රෝහල් ගතකිරීමේ දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මරණයත් සමග යම් නොසන්සුන්කාරී තත්ත්වයක් පැවැතිය හැකි බවට බුද්ධි අංශ වාර්තා කිරීමත් සමගින් එදින රාත්‍රියේම කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි. එහෙත් මරණකාරියගේ පවුලේ සාමාජිකයන් සහ සමීප හිතවතුන් ඇතුළුව විස්සකට ආසන්න පිරිසක් පැමිණ සිටියද පොලිසිය කරුණු  අවබෝධ කරදීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

මෙහිදී මරණකාරියගේ දියණියක සඳහන් කළේ මව කසිප්පු විකිණීම සිදුකරන්නේ ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බවත්, අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය රෝහල් ගතකිරීමට යුතුකමක් තිබූ බවත්ය.පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා සඳහන් කළේ පානදුර සහකාර පොලිස් අධිකාරී 3 සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සඳහා යොදා ඇති බවය. මරණය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පානදුර මූලික රෝහලේදී පශ්චාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි . 

 සුමිත් පොතුපිටිය

රෝගීන්ගේ ඔක්සිජන් නතර කළ රෝහල් සහායකයා අත්අඩංගුවට


හෝමාගම මූලික රෝහලේ ඔක්සිජන් සේවා කාමරයට හොර රහසේ ඇතුළු වී ඔක්සිජන් සේවා සැපයුම සාහසික ලෙස නතරකර රෝගීන්ගේ‍ ජීවිත අවදානමකට ලක් කළ බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේම සේවයේ නිරත සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හේමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව සේවයේ නිරත තලංගම දකුණ පැලවත්ත ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයකු බව පොලිසිය කීය. 

ඉකුත් 19 වැනිදා රාත්‍රි එක්වරම අනතුරු අඟවන සීනුව නාද වීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වී විපරම් කර බැලීමේදී ඔක්සිජන් සේවා සැපයුම් කාමරයේ දොර විවෘත කර තිබෙනු දැක තිබේ. ඒ අනුව ඔක්සිජන් සේවා කාමරය තුළට ගොස් බැලීමේදී එහි ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් කිහිපයක් විවෘත කර ප්‍රධාන ඔක්සිජන් සැපයුම් නළ මාර්ගය වසා දමා තිබෙනු දැක තිබේ. ඒ අවස්ථාවේදී ක්ෂණිකව ඔක්සිජන් සැපයුම  යථාතත්ත්වයට පත් කෙරිණි.

ඒ වන විට දැඩි සත්කාර ඒකකයේ, නොමේරු ළදරු ඒකකයේ හා වාට්ටුවල රෝගීන් 26 දෙනෙකුට ඔක්සිජන් ලබාදෙමින් තිබූ අතර යම් හෙයකින් අඩාළ වූ ඔක්සිජන් සේවාව යථාතත්ත්වයට පත්කිරීමට බාධා පැමිණියේ නම් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකුගේ සහ නොමේරු ළදරු ඒකකයේ සිටි බිලිඳු දරුවන් 10 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුගේ ජීවිත අවදානමකට ලක්වීමට ඉඩ තිබූ බව පොලිසිය පැවසීය.

සිද්ධියෙන් පසුව හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිවරයා විසින් 19 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අනුව රෝහලේ ආරක්ෂක අංශ, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සුළු සේවකයන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර එහිදී අනාවරණය වූ කරුණුවලට අනුව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව සේවයේ නිරත කනිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ 25 දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හේමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

ලොරියක යකඩ දොර ගැලවී ඇඟේ වැදී පාසල් සිසුවෙක් මරුට


ධාවනය වෙමින් තිබූ පාන් ලොරියක යකඩ දොර ගැලවී සිය බාල සොහොයුරා සමග බයිසිකල් පදිමින් සිටි 13 හැවිරිදි සිසුවකුගේ ඇඟට වැටීමෙන් එම දරුවා ඊයේ (25) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව, හබරල ගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ගුණරත්න ගගන කාවින්ද මෙන්ඩිස් නමැති 13 හැවිරිදි සිසුවකු බව පොලිසිය කියයි. මියගිය සිසුවා වාද්දුව මධ්‍ය විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවකු බවද සඳහන් වේ.

ඔහු සිය බාල සොහොයුරා සමග පාපැදියෙන් වාද්දුව රතු ගේට්ටුව දෙස සිට හබරල ගහලන්ද දෙසට පෙරේදා (24) ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී සිසුවාගේ පපුවේ වැදී ඔහු විසිවී බිම ඇදවැටී ඇති අතර යකඩ දොර ඔහුගේ ඇඟට වැටී ඇතැයි පොලිසිය කීය. බරපතළ තුවාල ලබා සිටී සිසුවා පානදුර මූලික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) දහවල් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. වාද්දුව, වේරගම ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 29වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ බව පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

පානදුර සුමිත් පොතුපිටිය

කාරයක් බලෙන් ඉස්සු මූල්‍ය සමාගමක සීසර්ලා ඇතුළු හැත්ත බුරුත්තම උසාවි කැඳවයි


මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී මෝටර් රථයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියලුදෙනාත් එම කාරයත් කාරයේ තිබූ සියලු දේපළත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (25) මීරිගම පොලිසියට නියෝග කළේය. ගම්පහ බැණ්ඩියමුල්ල පදිංචි සුනිල් සිසිර කුමාර නමැත්තකුට අයත් මෝටර් රථය ඉකුත් අප්‍රේල් මස 9 වැනි දින මීරිගම නගරාසන්නයේ දිවුලපිටිය මාර්ගයේ දී පිරිසක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් තිබිණි.

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මීරිගම පොලිසිය මූලික පරීක්ෂණ පැවැත්වීමේ දී හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කාරය පැහැරගෙන ගොස් ඇති බවත් එම කාරය තුළ වටිනා වර්ගයේ ජංගම පොත්  දුරකතනයක් හා චෙක් පොත් පහක් ද තිබී ඇති බවත් හෙළි වී තිබිණි. මේ පිළිබඳව මීරිගම පොලිසිය පෙර දිනයක අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් ඊයේ (25) යළි කැඳවූ අවස්ථාවේ මීරිගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.ඇස්. පී. සුබසිංහ මහතා කරුණු දක්වමින් කාරය පැහැරගෙන යාම පිළිබඳව කරන ලද පරීක්ෂණවල දී කාරයට ගෙවිය යුතු හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කොළඹ මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන යන මූල්‍ය සමාගමක පිරිසක් විසින් එය පැහැරගෙන ගොස් ඇති බව කියා සිටියේය.

මේ අනුව එහි කළමනාකාරවරයාට කාරයත් රැගෙන පොලිසියට එන ලෙස දන්වා තිබුණත් ඔහු එහි නොපැමිණි බව ද පොලිස් පරීක්ෂකවරයා කීය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පොලිසියට එන්න කියන්න අවශ්‍යතාවක් නැහැ. පැහැදිලිවම අපරාධයක්. වහාම කාරය පැහැරගෙන ගිය පුද්ගලයන් හා එයට උපදෙස් දුන් සියලු දෙනාම තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීරිගම පොලිසියට නියෝග කළේය. වාරික මුදල් නොගෙවූ බව කියමින් මුල්‍ය සමාගම්වලට කිසිදු බලයක් නැහැ වාහන පැහැර ගන්න. මෙය පැහැදිලිවම අපරාධයක්. පොලිසිය වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් නියෝග කළේය.


මැක්කකු පොතක් ලියලා මමයි ශවේන්ද්‍රයි කුමන්ත්‍රණයක් කළැයි ජනතාවට විසබීජ දාලා



මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සදහන් කරමින් ජනතාවගේ ඔළුවලට විසබීජ ඇතුළු කිරීමට ඔහු එමගින් කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය. මේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකානු තානාපතිවරියද සිටින බව මැක්කා සඳහන් කර ඇතැයි පවසන මන්ත්‍රීවරයා ශවේන්ද්‍ර සිල්වා තමා සමග කතා කළ හෙයින් ඔහු ඉවත් කරන ලෙසට මැක්කා ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය. අරගල සංකල්පය නැවත ගොඩනැගිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ බදු පනත් පිළිබඳ විවාදයේදීය. සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

“ජනතාව සතුටින් සිටින බවක් පේන්නෙ නැහැ. අපිට නම් පේන්නේ ලොකු කරදරයක සිටින බව. රටේ දරුවන් ගෙන් සියයට 15 කට මන්දපෝෂණය. දරුවන්ගෙන් සියයට පනහකට හරියට කෑම බීම ලැබෙන්නේ නැහැ. විරැකියාව වර්ධනය වෙනවා. ව්‍යාපාර වැසීගෙන යනවා. හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල වහලා දාලා තියෙනවා. දහස් ගාණකට රැකියා නැතිවෙලා. මේ සංවර්ධනය ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැහැ. කොහේවත් හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ. සංවර්ධනය අපිට දැනෙන්න ඕන.

“රජය විදුලි බිල වැඩි කරන්න හදද්දී ජනක රත්නායක ඊට විරුද්ධ වුණා. ඊට පස්සේ ආණ්ඩුව ජනක හතුරෙක් විදිහට දැක්කා. පරණ දූෂිත දේශපාලන සංස්කෘතිය නැවත එළියට ඇවිල්ල තියෙනවා. දූෂිත දේශපාලනඥයන් හොඳින් ජීවත් වෙනවා. දරුවන්ගේ අනාගතය බලන්න මේ අයට බැරි වෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය අන්ත දූෂිතයි. ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගේනවා. රජයේ රෝහල්වල ගෙවන වාට්ටු දානවා. මෙයාලා හදන්නේ සෞඛ්‍ය කඩාකප්පල් කරන්න.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙනුත් මේ අය වංචා කළා. මැක්කෙක් පොතක් ලියාගෙන යනවා. මම ශවේන්ද්‍ර සිල්වා කුමන්ත්‍රණයක් කළාලු. ඇමෙරිකානු තානාපතිවරියත් ඒකට සම්බන්ධ කරලා. ඔය මැක්කා මම හමුදාපති කාලේ මගෙන් උදවු ඉල්ලලා කතා කළා. ශවේන්ද්‍ර සිල්වා මට කතා කරපු නිසා එයා ගෙදර යවන්නලු. අරගල සංකල්පය අපි ගොඩනගන්න ඕන. කිලෝ ගණන් රත්රන් හොරකම් කරපු පුද්ගලයා ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. මේ වගේ නින්දිත වැඩ කරන්න එපා. මේ වගේ පුද්ගලයන් සිටින සභාවක ඉන්න එක අපිට ලැජ්ජාවක්.

 සුජිත් හේවාජුලිගේ 

අගහිඟ නිසා රට ගිය බිරිය දැන් අපා දුකක

පවුලේ දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සෞදි අරාබියේ රැකියාවකට ගොස් සිටින සිය බිරිඳ ඒ රටේ අපාදුක් විඳිමින් සිටින බවත් හැකි ඉක්මනින් ඇය ලංකාවට රැගෙන විත් දෙන ලෙසත් සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි පී. චමිල් සිරිනන්ද මහතා රජයෙන් ආයාචනා කරයි. බිරිඳ ඉකුත් අප්‍රේල් මාසයේදී කොළඹ රැකියා නියෝජිතායතනයක් මගින් සෞදි අරාබියාවට ගිය බව ද මේ දක්වා ඇයට රැකියාවක් ලබා නොදී එරට තැරැව්කාර කාන්තාවක කාමරයක රඳවාගෙන සිටින බව ඇය තමාට දුරකතනයෙන් දැනුම් දුන් බව ද සිරිනන්ද මහතා කීය.

ශ්‍රී ලාංකික කාන්තාවන් දසදෙනකු පමණ එකම කාමරයක රඳවා එය පාලනය කරන කාන්තාව ඔවුන් අරාබි ජාතිකයන්ට අලෙවි කරන බව බිරිඳ දැන්වූ බව ද ඔහු පැවසීය. අරාබි ජාතිකයන් විටින් විට පැමිණ එම කාන්තාවන් රැගෙන ගොස් ලිංගික අතවර කර නැවත කාමරයට රැගෙන විත් දමන බව ද බිරිඳ හැඬු කඳුළින් නිතර නිතර දුරකතන ඇමතුම් ලබා දෙමින් පවසන බව ද ඔහු පැවසීය. දරුවන් හතර දෙනකුගේ මවක වන එච්. එම්. දිල්රුක්ෂි නමැති සිය බිරිඳ කෙසේ හේ ලංකාවට ගෙනැවිත් දෙන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සිරිනන්ද මහතා කීවේය.  සිය මව විදෙස්ගත වීම නිසා සෙල්ලකතරගම මහ විදුහලේ ඉගෙනුම ලැබූ ගැහැනු දරුවන් තිදෙනා ද පාසල් ගමන නවතා දමා ඇති බවත් දැනට කුලී නිවාසවල ජීවත්වන බවත් ඔහු පැවැසීය. සිය බිරිය මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට ද ඔහු දුරකතනයෙන් පැමිණිල්ලක් කර ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ කාර්යාලයට පැමිණ පැමිණිලි කරන ලෙසත්ය.

මට රස්සාවක් කරන්න යන්න විදිහක් නෑ. දරුවන් බලා ගන්න කෙනෙක් නෑ. පරිවාස නිලධාරීන් ආවා. මම කැමැති නෑ දරුවන් පරිවාසවලට දෙන්න. මම ඉල්ලන්නේ බිරිය නැවත ලංකාවට ගෙන්වා දෙන ලෙසයි යනුවෙන් ද ඉල්ලා සිටින බව ද සිරිනන්ද පැවසීය.මේ වන තම පාසල් ගමන් නැවතී ඇති බවත් තම නංගිලා සහ මල්ලිලා රැක ගැනීමට තමන්ට සිදු වී ඇති බවත් අම්මා ලංකාවට ගෙනත් දෙන ලෙසත් වැඩිමහල් ගැහැනු දරුවා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නීය.