Wednesday, January 31, 2024

ටෙස්ට් සංචිතය පිතිකරුවන්ගෙන් පුරවයි

ජාතික සුපර් ලීග් තරගාවලියේදී ගෙවී ගිය සති අන්තයේ ශතක ලබාගත් පිතිකරුවෝ සිවු දෙනෙක්ම ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටිති. පසුගිය සති අන්තයේදී පැවැති ජාතික සුපර් ලීග් තරගාවලියේ තරග දෙකකදී කමිදු මෙන්ඩිස් (115), ඇන්ජලෝ මැතිව්ස් (146), දිමුත් කරුණාරත්න (161) සහ ධනංජය ද සිල්වා (113) ශතක ලබාගත්හ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ලබන සිකුරාදා (02 වැනිදා) ආරම්භ වන එකම ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයට නවක ක්‍රීඩකයෝ තිදෙනෙක් ද ඇතුළත්ව සිටිති. තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ. එසේ වුවත් තේරීම් කමිටු නිලධාරීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ පිතිකරුවන් කෙරෙහිය.

පසුගිය සති අන්තයේදී ශතක ලබා නොගත් නමුත් කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක මෙන් ළහිරු උදාරත් කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවෝ වෙති. ශ්‍රී ලංකා පිලට ඇති එකම කනස්සල්ල වන්නේ තරග කිහිපයකදීම සධීර සමරවික්‍රම අසාර්ථක වීමයි. පිතිකරුවකු වශයෙන් ලකුණු ලබා නොගත් නමුත් සධීර විසින් රැකගනු ලබන ඇතැම් උඩපන්දු නිරීක්ෂණයෙන් වටහාගත හැක්කේ ඔහු දිගු ඉනිමක් අබියස සිටින බවකි.

හිටපු නායක දිමුත් කරුණාරත්න කණ්ඩායමේ සිටියදීම, ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු අවස්ථාව මෙයයි. මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගයයි.

ශ්‍රී ලංකාවේ අවසන් ටෙස්ට් තරග දෙකම දඟ පන්දු යවන්නන්ගේ රජ දහනක් වන ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති නමුත් එම තරග දෙකේදීම පාකිස්තානුවන් හමුවේ ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. ඇෆ්ඝනිස්ථානය සතුව ප්‍රබල පන්දු යවන්නන් රැසක්ම සිටින බැවින් එස්.එස්.සී. පිටියේ තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තත්ත්වයකින් සූදානම් කෙරෙන බවත් දැනගන්නට තිබේ. 

කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගයක් නොවේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 9 වැනි ස්ථානයයි. 


ශ්‍රී ලංකා සංචිතය -

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර



                                                                                                                                    දමින්ද විජේසූරිය


අධිවේගයේ යන බරවාහනවලින් 75% ක් 'ඕවර්ලෝඩ්' තත්වයේ

මෙරට අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බර වාහනවලින් 75%ක් නියමිත බර ඉක්මවා භාණ්ඩ ප්‍රවාහනය කරමින් පවතින බවත්, බරපතළ තත්ත්වයක් වන එය වැළැක්වීම සඳහා බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන අධීවේගී මාර්ග වෙත ඇතුළු කිරීමට ප්‍රථම එම බර කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ප්‍රමාණය ඉක්මවා බර පටවා ධාවනය කෙරෙන වාහන හේතුවෙන් අධිවේගී මාර්ගයේ මතුපිට තලයට හානි වීමත්, එසේම එහිදී වාහනයේ පිටාර වායුවෙහි ප්‍රමිතිය පහළ යාමෙන් පරිසර දූෂණය ඉහළ යාමත් සිදුවන බව පෙන්වා දෙන කොමසාරිස්වරයා, මාර්ග සංවර්ධන අධිකාරියට අධිවේගී මාර්ග අයත් වීම හේතුවෙන් අදාළ වැරදි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බර වාහන ධාවනය කිරීමේ තීරණයක් අධිවේගී මාර්ග ස්ථාපිත කිරීමේදී නොගත් නමුත් මේ වනවිට එම වාහන ධාවනය කෙරෙන බැවින් ඊට අදාළ විධිමත් නීති සම්පාදනය කර ඊට පටහැණිව ක්‍රියාකරන්නන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මත කිරීමට බලධාරීන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.



                                                                                                                        නිදර්ශනී වික්‍රමසිංහ


උපකාරක පන්තියකට යාමට මදල් නැතැයි සිසුවිය සියදිවි නසාගෙන

දැඩි ආර්ථික අසීරුකම් මැද ජීවත්වූ පවුලක පාසල් ශිෂ්‍යාවක් උපකාරක පන්ති යාමට ගාස්තු සොයාගත නොහැකිව සියදිවි නසාගෙන තිබේ.

බදුල්ලේ ප්‍රධාන පෙළේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ, බදුල්ල පුවක්ගොඩමුල්ල පදිංචිව සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ පිළිබඳ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් ඇගේ මව වන ෆව්සි ලිනායා (42) නමැත්තිය මෙසේ කීවාය.

”මගේ මහත්තයට ස්ථිර රැකියාවක් නැහැ. අපට ගැහැනු දරුවන් හතර දෙනෙක් සිටිනවා. මියගිය දුව ලොකු දරුවායි. දුව ඉගෙනීමට දක්ෂයි. මම අසනීප ගතියකින් පෙළෙනවා. මහත්තයට ස්ථිර රැකියාවක් නොතිබූ නිසා අපිට ආර්ථික ප්‍රශ්න තිබුණා. දුව ගණිතය සඳහා උපකාරක පන්තිකට යන්න සල්ලි ඉල්ලුවා අපි ළඟ සල්ල තිබුණේ නැහැ. මම කිව්වා දුව මම කොහොන් හරි හොයල දෙන්නම් කියලා. මේ අතරේ මම මහත්තයට දොස් කිව්වා. එයාටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. එතකොට මහත්තය තරහවෙලා කිව්වා මම කොහේහරි යනව කියලා. දුවගේ සිත රිදිලා තිබුණා සවස 3.00 ට විතර දුව වැසිකිළි ගිහින් සියදිවි නසාගැනීමට උත්සාහ දරා තිබුණා. අපි වහාම දුව බදුල්ල මහ රෝහලට අරගෙන ගියා. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුව මියගියා. "

බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඒ.සී.ලක්මාලි මහත්මිය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ අතර ඉදිරිපත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදරිපත්වූ සාක්කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය කළේය.


                                                                                                                         බදුල්ල පාලිත ආරියවංශ


කැළණිය සරසවියේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට ජනපති එනවාට සිසුන්ගෙන් විරෝධය

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) විවෘත කිරීමට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙරේදා (29දා) රාත්‍රියේ විරෝධතාවක නිරත වූහ. 

එදින රාත්‍රී 9.00 පමණ විශ්වවිද්‍යාල මාර්ගයේ ඉදිරිපිටට පැමිණ සිසුන් උද්ඝෝෂණයේ යෙදුණු අතර සිසුන්ට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ඇතුළුවීමට නොහැකි අයුරින් මාර්ග බාධක යෙදීමට පොලීසිය කටයුතු කළේය. 

සිසුන් කොළඹ - නුවර මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂණයෙහි යෙදී සිටි අවස්ථාවේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්ද එල්ල කර සිසුන් පලවා හැරීමට පොලීසිය කටයුතු කළේය.

ඉන් අනතුරුව සිසුහු විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට ගොස් රාත්‍රිය ගත කළහ. එම පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළුවීමට තිබෙන ප්‍රධාන ගේට්ටුව සිසුන් විසින් අගුළු දමා එම ගොඩනැගිල්ල සිසු අයිතියට ගෙන තිබූ අතර ඊයේ (30දා) උදෑසන අධ්‍යයන කටයුතු සඳහා පැමිණි සිසුන් වසා තිබූ ප්‍රධාන ගේට්ටුව උඩින් පැන ඇතුළු වන අයුරු දක්නට ලැබුණි.

කැලණියේ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගමේ කාන්තා සමිතියක ස්වරූපයෙන් වැඩ කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තිස්සපුර සිරිසුමේධ හිමි ප්‍රකාශ කළහ. 

කැලණි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමග මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් ඊයේ (30දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව සිසුන් පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත් වනු ලැබිණි. 

අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් තිස්සපුර සිරිසුමේධ හිමියෝ එසේ පැවසූහ.

“ජනාධිපතිවරයා විශ්වවිද්‍යාලයට පැමිණෙනවා නම් සේවකයන් වන ඔවුන්ට කරන්න දෙයක් නැති බව පැවසූ බවත්, රටේ ජනාධිපතිවරයා නිසාත් තමන් ඔහු යටතේ වැඩ කරන සේවකයන් නිසාත් ඊට ඉඩ දෙනවා හැර වෙන කළ යුතු දෙයක් නැති බව සාකච්ඡාවේදී පැවසුවේ යැයි ශිෂ්‍ය සංගමයේ සභාපති සුමේධ හිමියෝ පැවසූහ. රටේ ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ඡන්දයෙන් පත් නොවූ නිසා පිළිගැනීමට සූදානම් නැති බවත්, රටේ පවතින ගැටලුවලට ජනාධිපතිවරයා වගකිව යුතු බවත්” සුමේධ හිමියෝ පැවසූහ.


                                                                                                                   කැලණිය - ලාල් එස් කුමාර


යතුරුපැදි මෝටර් රියක ගැටී තරුණයෝ 2ක් රෝහලේ



ටික්ටොක් දැමීම සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනකු හොරණ කෝරලඉම ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ බව මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් තුවාල ලැබූවෝ වෑතර දිසා රෝහල වෙත ඇතුළත් කර සිටිති. 

සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු යතුරුපැදි තුනක් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් තරුණයකු යතුරුපැදියක් සමග පලා ගොස් ඇත. තලංගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනකු යතුරුපැදි හතරකින් කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරුපැදි ධාවනය කරමින් පැමිණීමේදී අනතුරට පත් වූ යතුරුපැදියේ දෙදෙනා ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදි තුන ගමන් ගන්නා අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පසුපස ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් තරුණයෝ අන්තරාදායක රිය පැදවීම යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

 බිමල් ශශ්‍යාමන් ජයසිංහ

කතක දූෂණය කළැයි තැපැල් සේවකයෝ සිවු දෙනෙක් අත්අඩංගුවට





රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක බලහත්කාරයෙන් දූෂණය කළේ යැයි කියන තැපැල් සේවකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 27, 31, 42, 47 වයස්වල පසුවන සිව්දෙනෙකි.ඔවුන් රුවන්වැල්ල ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක සේවය කරන අය යැයි පොලිසිය කියයි.

දූෂණයට ලක් වූ බව කියන කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‛ලංකාදීප'යට ඊයේ (30) පැවැසීය. මෙම කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

රාජ්‍ය පරිපාලනයේ නාමයෙන් ලක්ෂ 42ක් ගහගෙන

 


රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රැකියා දෙන බවට කූඨ ලෙස සකස් කළ කැදවීම් ලිපි යැවූ බව කියන පුද්ගලයකු ලබන මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30 වැනිදා) නියම කළේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ 14 දෙනකුට මෙම කැඳවීම් ලිපි යවා, රුපියල් ලක්ෂ 42ක මුදලක් වංචනික අන්දමින් ලබාගත් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ, ජයමහ මුදලිගේ හසිත ධම්මික නමැත්තෙකි.සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා 2021 දෙසැම්බර් මාසයේ කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්හ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂවල 2021 දෙසැම්බර් 6 දිනැතිව යවන ලද කැඳවීම් ලිපි රැගෙන අමාත්‍යාංශයට පැමිණි රැකියා අපේක්ෂකයන් සතුව තිබූ ලිපි සලකා බැලීමෙන් අනතුරුව ඇති වූ සැකයක් මත අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පැමිණිල්ල කර ඇතැයි දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු, සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වලදී සැකකරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රැකියා දෙන බව පවසා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ කූඨ ලෙස සකස් කළ කැඳවීම් ලිපි පුද්ගලයන් 14 දෙනකුට යවා, රුපියල් ලක්ෂ 42 ක මුදලක් වංචනික අන්දමින් ලබාගෙන ඇති බව හෙළි වූයේ යැයි ද දන්වා සිටියහ.

වංචාවට හසුව රජයේ රැකියා ගැනීම සඳහා සැකකරුට මුදල් ගෙවූ රැකියා අපේක්ෂකයන්ගේ ප්‍රකාශවලදී රැකියා ගැනීම සඳහා 'චමින්ද' නමැත්තකුට මුදල් ගෙවූ බව හෙළි වීම නිසා චමින්ද නමැත්තාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව දැනුම් දුන් නිලධාරීහු, රැකියා අපේක්ෂකයන්ගෙන් වංචනිකව ගත් මුදල් චමින්ද නමැත්තා විසින් බැංකු ගිණුම් හරහා සැකකරුට දී ඇති බව විමර්ශනවලදී හෙළි වූ බවත් දැනුම් දුන්හ.සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් අනුව අනුව විමර්ශන විමර්ශන කරන බව දැනුම් දුන් නිලධාරීහු, සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියට නියම කළේය.

රෝෂන් තුෂාර

ශ්‍රවණ ආබාධ සහිත අයට සංඥා 325 ක් ඇති මැතිවරණ ශබ්ද කෝෂයක්

ආබාධ සහිත ප්‍රජාවටද මැතිවරණයකදී සම අවස්ථාවක් ලබා දීමේ අරමුණෙන් ශ්‍රවණ ආබාධ සහිත අය සඳහාම සංඥා 325කින් යුත් මැතිවරණ ශබ්ද කෝෂයක් ඉදිරි මැතිවරණ සඳහා සකස් කර තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (30දා) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

එසේම සංඥා භාෂාව පිළිබඳව දැනුමැති නිලධාරීන්ද ඉදිරි මැතිවරණවලදී ඡන්ද මධ්‍යස්ථානවල සේවයට යෙදවීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

 මැතිවරණයකදී පුද්ගලයකුගේ අබාධ සහිත තත්ත්වය බලපාන්නේ නැති බවද, සෑම පුද්ගලයෙකුගේම ඡන්දයට එක හා සමාන වටිනාකමක් ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූර්ණ ආබාධසහිත තැනැත්තන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ වැඩ සටහනට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණ.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේද පැවසීය.

“මේ වැඩ සටහන මගින් අපට අවශවන්නේ ආබාධ සහිතව සිටින ප්‍රජාව සඳහා ගැළපෙන ආකාරයට අපේ රටේ ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමයි. විශේෂයෙන්ම මෙහිදී දෘශ්‍ය, ශ්‍රවණ ආබාධ සහිත අයට මෙන්ම චලන ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා.

අපට අවශ්‍ය වුණා මැතිවරණ කොමිෂන් සභා සංකල්පයත් සමග මේ රටේ මැතිවරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යම් වෙනසක් ඇති කිරීමට, අපි මේ සඳහා උපායමාර්ගික සැලැස්මක් හැදුවා. එහිදී අප දුටුවා මේ රටේ ආබාධ සහිත ප්‍රජාව මැතිවරණවලදී මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු. ඒවාට ලබා දුන් එක් විසඳුමක් විදියට ආබාධ සහිත ප්‍රජාව සඳහා මේ හැඳුනුම්පත නිකුත් කිරීම සලකන්න පුළුවන්.  මේ රටේ ජීවත් වන ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරැදි දත්ත පද්ධතියක් නොමැති වීම බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. මේ නිසා 2023/2024 වසර සඳහා ඡන්ද නාම ලේඛන පිරවීමේදී මේ අඩුපාඩුවත් හැකි අයුරින් සම්පූර්ණ කර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

ආබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙම වැඩ සටහන ඡන්ද නාමලේඛනය පිරවීමේ සිට අවසානයේදී ඡන්දය ප්‍රකාශ කිරීම දක්වාම විහිද යන ක්‍රියාවලියක් වෙනවා. මේ අනුව සාමාන්‍ය පුද්ගලයන් හා සමානවම සෑම අවස්ථාවක්ම ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන්ද ලබා දීම සිදු කෙරෙනවා.

ඉදිරියට මේ හැඳුනුම්පත නිකුත් කිරීම සහඡ මධ්‍යස්ථාන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්ද සූදානම් කිරීම තුළින් මේ රටේ ජීවත් වන සියලුම ආබාධ සහිත ප්‍රජාව තමන්ගේ ඡන්ද අයිතිය පාවිච්චි කිරීමට ජන්ද මධ්‍යස්ථාන කරා යැවීම අපේ ප්‍රධානම අරමුණ වෙනවා.

මේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේදීත් අපිට විවිධ චෝදනා බලපෑම් එල්ල වුණා. ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන්ම පෙනී සිටිනවා කියන සමහර වීරයෝ, ප්‍රභූවරුන් මේ වැඩේට විරුද්ධ වුණා. එවැනි සමහරු මගෙන් ඇහුවා ඔයාට කරන්න වෙන වැඩක් ඇත්තේම නැද්ද කියලා. එවැනි බලපෑම් මැද තමයි මේ වැඩ සටහන සාර්ථකව අපිට එකමුතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

සමහරු චෝදනා කළා රජයේ මුදල් මේ වගේ වැඩකට ඇයි වියදම් කරන්නේ කියලා. මේ සඳහා රජයෙන් කිසිම මුදලක් වියදම් කරලා නැහැ. පැෆ්රල් සංවිධානය තමයි මේ සඳහා සම්පූර්ණයෙන්ම මුදල් වියදම් කරන්නේ”.

                                                                                                                          ගීතාංජලී ප්‍රියදර්ශනී


පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධිය: සේවකයෝ තිදෙනාට ඇප



පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේව්කාවන් දෙදෙනකු ලිංගික හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනකු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වාණිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ 30 වැනිදා නියෝග කළාය.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් සිදු කෙරුණ විමර්ශනයකින් පසු පාර්ලිමේන්තුවේ සේවය කළ කනිෂ්ඨ සේවකයන් වන මෙම සැකකරුවෝ තිදෙනා අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.එම ලිංගික හිංසනයට පත් කිරීම වර්ෂ 2022 දී පමණ සිදුව ඇති බවත් ඊට අදාළ පැමිණිල්ල ලිංගික හිංසනය සිදු වී වසරකට පමණ පසු පොලිසිය වෙත සිදු කර තිබීමත් යන කාරණා මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය.කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදුකර අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත නියෝග කළාය.

කේ. බුද්ධික කුමාරසිරි

බෙලිඅත්ත ඝාතනයට රූපලාවණ්‍ය ශිල්පිනියෝ දෙදෙනෙක් අත්අංඩංගුවට

 


බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපේ ජන බලවේගය පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පස්දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනකු පෙරේදා (29) රත්ගම ප්‍රදේශයේ සිදුකෙරුණ වැටලීමක දී අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් එක් රූපලාවණ්‍ය ශිල්පිනියක35වන වියේ පසුවන අතර, ඇය කලක් ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින තැනැත්තියකි.අත්අඩංගුවට ගත් අනෙක් රූපලාවණ්‍ය ශිල්පිනිය 23 වැනි වියේ පසුවන තරුණියකි. මෙම පංච පුද්ගල ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන අයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මෙම ඝාතන සිදුකිරීමෙන් පසු ඒ සඳහා යොදාගත් ටී.56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙක 35 වන වියේ පසු වන රූපලාවණ්‍ය ශිල්පිනියට බාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

මෙම රූපලාවණ්‍ය ශිල්පිනිය මෙම පංච පුද්ගල ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන පුද්ගලයා පදිංචිව සිටින ප්‍රදේශයේම පදිංචිව සිටින තැනැත්තියක යැයිද පොලිස් ආරංචි මාර්ග කියයි. ඇය එම ගිනි අවි දෙක යතුරුපැදියේ තබාගෙන අනෙක් තරුණ රූපලාවණ්‍ය ශිල්පිනිය සමඟ එක්වී ගාල්ල ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට රැගෙන ගොස් පුද්ගලයකුට භාරදී ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.තරුණ රූපලාවණ්‍ය ශිල්පිනිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.ගිනිඅවි දෙක බාරගත් පුද්ගලයා ගැන තොරතුරු හෙළි කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය සහ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීහු පිරිසක් ඒකාබද්ධව පරීක්ෂණ පවත්වාගෙන යති.

ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැලකෙන යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයකුගෙන් හෙළිවූ තොරතුරු මත විමර්ශන පවත්වා මෙම රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනාට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන පැවැත්වීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහ හක්මන පොලිසියේ නිලධාරීන් කටයුතු යොදාගෙන යයි. මෙම පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා ඇතුළු හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. යතුරුපැදියක් සහ වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

යසන්ත ආරියසේන

Tuesday, January 30, 2024

පියාගේ අතවර ඉවසන්න බැරිව දහතුනේ දුව තනිවම පොලිසි ඇවිත්

 අනුරාධපුර විශේෂ - බී.ජී. චතුරංග

වසර දෙකකට වැඩි කාලයක සිට තම පියාගෙන් සිදුවන ලිංගික හිරහැර ඉවසා ගැනීමට නොහැකි වූ 13 හැවිරිදි දැරියක තනිවම පොලිසියට පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරේදා 28 වැනිදා පියා අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නොච්චියාගම පොලිස් වසමේ පදිංචි 34 හැවිරිදි පෙදරේරුවෙකි.දැරිය, තම මව පියා සහ සිය සහෝදරයා සමගින් නිවසේ ජීවත්ව සිටින අතර, මීට වසර දෙකකට පමණ පෙර ( 2021 වර්ෂයේ) සිට, තමන් හය වැනි වසරේ ඉගෙනුම ලබන කාලයේ සිට, මේ දක්වා වරින් වර, නිවසේ කිසිවකුත් නොමැති අවස්ථා වලදී තමා අතවරයට ලක් කරන බව දැරිය සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

දිගින් දිගටම පියාගෙන් සිදුවන කරදර ඉවසා ගැනීමට නොහැකිව දැරිය විසින් මේ පිළිබඳව පියාගේ මවට දැනුම්දීමෙන් අනතුරුව, තමන් මිත්තණියගේ නිවෙසට රැගෙන ගිය බවත්, පසුව පෙරේදා යළිත් තමන් මව පියා සිටින නිවෙසට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී මිත්තණියට හොරෙන් පොලිසියට පැමිණි බව දැරිය සිදු කළ ප්‍රකාශවල වැඩි දුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව සිටියාය. සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.


කළු ඇදගෙන අරගලයට ගියානම් ක්‍රිකට් හොරු එළවන්න


නාමල් පතිරගේ


ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම චිත්‍රපටයක ඩ්‍රාමා එකක අවසානයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම දාගත් අයම එය අයි. සී.සී.ය ලවා ඉවත් කර ගත් බවත් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.‘දූෂණයට තිත' සංවාද මාලාවේ ඊයේ (29) අතුරුගිරියේදී පැවැති තවත් සංවාදයකට සහභාගි වෙමින් හිටපු ඇමැතිවරයා එසේ පැවසීය.

එහිදී මාධ්‍ය වේදීන්ගේ  ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය. කළු ඇඳගෙන අරගලයට ගිය පාර්ලිමේන්තුවේ කළු ඇඳගෙන හොරකමට දූෂණයට විරුද්ධව කතා කළ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාට එම අරගලයේ නාමයෙන් ඉල්ලා හිටිනවා අවුරුදු විසි ගණන් තනතුරු දරමින් දූෂණ හොරකම් කළ සැප විඳපු වත්මන් ක්‍රිකට් පරිපාලනය වහාම ඉවත් කරන්න කියලා.

අයි.සී.සී.ය කියන්නේ මොකක්ද? ඒකේ ප්‍රධාන අයිතිකරුවෙක් අපි ඒ වගේ 12 දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම දාගත්ත ඒ එක අයිතිකරුවෙක්ම දැන් ඒ තහනම අයින් කර ගත්තා.මේ සියළු කාරණා සිදු වුණේ හොරකම හින්දයි. ඒ නිසා තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තා සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් නැවත කරන්න කියලා ඉල්ලුවේ. එහෙම වෝහාරික විගණනයක් කළා නම් සැප විඳිමින් තනතුරු අත් හරින්නේ නැතිව කල් ගෙවන මේ හොරුන් ක්‍රිකට් ආයතනයෙන් එළවා දමන්න පුළුවන් කමක් තිබුණා.

රටේ පාසල් දසදහසක් විතර තිබෙනවා. ඒත් තවම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ රටේ පාසල් වලින් එක්දහසක් විතර පමණයි. රට හදන්නත් රටේ පිච් එක හදන්න ඕනේ. පිච් එක හැදුවොත් ඕනෑම කෙනෙකුට ඒකෙ බැට් කරන්න පුළුවන්. රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වයක් එසේමයි. ජරාව කාලා පගාව දීලා රටේ ක්‍රිකට් පිච් එක හදන්න බෑ.මේ රටේ ක්‍රීඩා ලෝලීන්ට නැති වුණ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩ ගන්න නම් මේ ක්‍රිකට් පාලනය අවසන් කළ යුතුමයි. ඒ සඳහා වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළ යුතුයි.

කරාටේ දෝ සම්මේලනය, මෝටර් රථ සංගමය අත්හිටුවීමට මා කටයුතු කළේ උසාවිය විගණකාධිපතිවරයා ලබාදුන් වාර්තා පදනම් කර ගෙනයි. අපි ඉතා මහන්සියෙන් හදාගත් ක්‍රීඩා නීති වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා විසින් වෙනස් කිරීම වැරදි සහගතයි.ඒ නීති පද්ධති හදන්න අපි දැඩි කැපවීමක් කළා. ක්‍රිකට් ආයතනයේ ඡන්ද 147 38කට බස්වන්න අපි යෝජනා හැදුවා. වයස 70න් ඉහළ අය ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරිම නොකළ යුතුයි. අඩු තරමින් වයස 65 වෙන කොට වත් ඔවුන් ජාතික ක්‍රීඩා සංගම් තනතුරු අත්හරින්න උනන්දු විය යුතුයි.

මේක දේශපාලනඥයන්ටත් අදාළයි. හැත්තෑවෙන් පස්සෙවත් දේශපාලනය අත්හළ යුතුයි කියන මතයේ මම ඉන්නවා. 2018 ඉඳලා 2023 වෙනකන් මේ ක්‍රිකට් ආයතනයේ ඉන්න පාලකයන් ගැන වෝහාරික විගණනයක් කළොත් ඔවුන්ට ලැබෙන දඬුවම් පස් ගුණයකින් විතර වැඩි වෙයි කියලා මම විශ්වාස කරනවා.අද රටේ ක්‍රීඩාව විතරක් නෙමේ රටේම තියෙන්නේ පොදු අභිලාස නොවෙයි පුද්ගල අභිලාසයි. අපි ගෙනාව නීති අනුව ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් වත්කම් බැරකම් හෙළි කළ යුතුයි. ක්‍රීඩා සමාජයක් පවත්වාගෙන යනවා නම් තරග සඳහා සහභාගිවීම ඇතුළුව තවත් නීති ගණනාවක් අපි හැදුවා. මේවා දැන් අයින් කරන එක වැරදි ක්‍රියාවක්.



 


කොන්ක්‍රීට් කණුව හිසට වැටී දස හැවිරිදි දරුවා මරුට

බිබිල විශේෂ - කේෂර ගුණතිලක

දොඹගහවෙල පොලිස් වසමට අයත් මහරාව හන්දිය අසල නිවසක වැරැන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිස මතට වැටී දස හැවිරිදි පාසල් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්තොට රිදීගම පදිංචි 05 වසරේ ඉගෙනුම ලබන එම්.ඒ. වෙනුර චින්තක (10) නමැති පාසල් සිසුවෙකි.මෙම ළමයා සිය පියා සමග පියාගේ ගම වන දොඹගහවෙල ඌරුගොඩ ගම්මානයට පැමිණ ඇති අතර ළමයා මහරාව හන්දිය ප්‍රදේශයේ පදිංචි ළමයාගේ නැන්දාගේ නිවසේ නතර කර පියා අසල පිහිටි ගරාජයකට ගොස් ඇත.නැන්දා ළමයා සමඟ මල්වර මංගල්‍යයක් පවතින ගමේ ඥාති නිවසකට ගොස් ඇත්තේ උදවු කිරීම සඳහාය.

එම නිවසේ වැරැන්ඩා සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් අතර ඔන්චිල්ලාවක් ආකාරයෙන් බැඳි තංගුස් දැලක ළමයා වාඩි වී තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ එය පදිමින් සිටියදී එකවරම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබේ.අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩී.එම්. කුමාරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.


සත 18 ට ලයිට් කපලා

විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා ලංකාදීපයට පැවැසීය.

මෙලෙස නිවසේ විදුලිය විසන්ධි කරනු ලැබ ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි සපයන සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) විසිනි.

විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේදී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන්නේ යැයි පැවැසූ බවය.

රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා තමා රුපියල් 6650 මුදලක් ගෙවූ බවද ඉතිරි වූ ශත18 ක මුදල හිඟ තිබූ බවද ඔහු කීය.

නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවකදී විදුලි පුද්ගලික සමාගමේ සේවකයන් පැමිණ නිවසේ විදුලිය විසන්ධි කර තිබූ බවද මාපලගම මහතා කීවේය.

තමා පැය ගණනකට පසුව නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල ශත18ක් ගෙවිය යුතු බව එහි සඳහන් කර තිබූ බවද ඔහු කීවේය.

මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට තමාට පැහැදිලි පිළිතුරක් නොලැබුණු බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ලෙකෝ ආයතනයෙන් අප විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකතනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය. 

එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදිනම නැවත විදුලි සම්බන්ධතාව දුන් බවද නිලධාරිනිය පැවසුවාය.


                                                                                               ගාල්ල - සිරංගිකා ලොකුකරවිට


කෙහෙළිය උසාවියට දුන් කැබිනට් පත්‍රිකාවල සටහන් නෑ

ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඔෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබි බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිදු කාර්යය සටහනක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරටය ගත් අනෙකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති වීම සම්බන්ධයෙන් විමතියට පත් රහස් පොලිස් නිලධාරීහුන් මෙම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරට ගත් 2022 මැයි 30, 2022 සැප්තැම්බර් 27, 2022 ඔක්තෝබර් 25 සහ 2022 දෙසැම්බර් 05 දාතමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනුවල කිසිඳු කාර්ය සටහනක් නොමැති බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රහස් පොලිසියට බාරදීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍යාංශ ලේකම් සමන් රත්නායක මහතාට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට බාර දී තිබිණි.

එලෙස බාරදුන් කැබිනට් සංදේශවල කිසිඳු සටහනක් අඩංගු වී නොමැති බව හෙළි වීම නිසා රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.


                                                                                                                              මනෝප්‍රිය ගුණසේකර


විශ්‍රාමික ඩී.අයි.ජී. දුවට ඇද සැරයන්වරියකට පහර දීලා

මාතර ගන්දර පොලිසියේ සැරයන්වරියකට පහරදී, තුවාල කළේ‍ යැයි කියන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක ලෙස පෙනී සටි බව කියන කාන්තාවක් ගන්දර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28) සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවගේ මව විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පතිවරියක නොවන බවත්. විශ්‍රාමික පොලිස් පරීක්‍ෂකවරියක බවත් ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී යැයි ගන්දර පොලිසියේ නිලධාරියෙක් ‛ලංකාදීප'යට පැවැසීය.

සැකකාර කාන්තාවගේ පහරකෑමට ලක්වූ බව කියන සැරයන්වරිය තංගල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ගන්දර පොලිසියේ සැරයන්වරයකුත්, පොලිස් සැරයන්වරියකත් කොස්තාපල් රියැදුරකු විසින් පදවන ලද පොලිස් ත්‍රිරෝද රථයකින් පොලිසිය වෙත පැමිණෙමින් සිට ඇත.

කාන්තාවක විසින් පදවාගෙන එනු ලැබූ මෝටර් රියක් එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව පොලිස් ත්‍රිරෝද රථයේ ගෑවී නොගෑවී යන ආකාරයට ඉදිරියට ධාවනය කරගෙන ගොස් නතර කර ඇතැයි ගන්දර පොලිසියේ නිලධාරියා කීය.

පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයෙන් බැස කාර් රථය අසලට ගොස් කරුණු විමසා සිටියදී කාර් රථය පදවාගෙන ආ කාන්තාව තමන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක බව පවසා පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැරයන්වරියට පහරදීමක් කර ඇතැයි කියන්නේ මේ අවස්ථාවේදී යැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි, 31 හැවිරිදි තැනැත්තියකි.

ගන්දර පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.


                                                                                                                ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


එකට බි ගුටිකෙළගෙන තිදෙනෙක් රෝහලේ

 මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වයක් අතර වූ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.පහරදීම වැළැක්වීමට ගිය සහෝදරයන් දෙදෙනාගේ මව ද සුළු තුවාල ලබා ඇති අතර සිද්ධියෙන් නිවාස දෙකකට හා දේපළවලට හානි සිදු කර ඇතැයිද පොලිසිය කීය.

මත්තේගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඒ සඳහා රැගෙන ආ මත්පැන් අවසන් වීමත් සමග එහි සිටි එක් තරුණයකු පොලිසියෙන් ඇල්ලුවොත් මම බේරගන්නම් යැයි පවසා මත්පැන් පානය කර සිටි මිතුරකු කැමති කරවාගෙන තවත් මත්පැන් රැගෙන ඒම සඳහා කොට්ටාව දෙසට යතුරු පැදියකින් යමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යතුරුපැදිය නවතා පරීක්ෂාකොට මත්පැන් පානය කර සිටි පැදිකරු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබේ.

එහිදී පැදිකරු බේරා ගැනීමට නොහැකි වූ පසු පැදිකරු යළිත් මත්පැන් සාදය පැවති ස්ථානයට පැමිණ සිද්ධිය සැල කර සිටීමේදී ඊට උරණ වූ පැදිකරුගේ සහෝදරයකු ඔහුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඉන් පසුව පහර කෑ තැනැත්තා එම ස්ථානයෙන් බැහැරට ගොස් තවත් හත් දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් රැගෙන යළිත් සාදය පැවැති නිවස අසලට විත් එහි සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට සවලකින්, යකඩ පොලු වලින් හා අතින් පයින් පහර දී නිවාස දෙකක ජනෙල්වලට හා දොරවල්වලට අලාභ හානි සිදුකොට පලා ගොස් තිබූ බව පොලිසිය පැවැසීය.

පහර කෑමෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු හා ඔවුන්ගේ ඥාති දියණියක විවාහ කරගැනීමට කැමැත්ත පළ කර සිටි තරුණයකු කැපුම් තුවාල සහිතව හෝමාගම මූලික රෝහලට හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පැමිණිලි කර ඇති අතර පහරදීමට පැමිණි කල්ලියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය මහතාගේ උපදෙස් මත මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.


ජෙනරාල් දයා රත්නායක සජබට

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

එහි දී ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ විසිවැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා වසර තිහක රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමටද නායකත්වය දුන් අතර යුදහමුදාපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය.

අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.


                                                                                                                                  නිමල කොඩිතුවක්කු


තිබ්බේ ඌරට - වැදුණේ තාත්තට

දැදිගම ජයලත් කන්දේ වල් ඌරන් දඩයමට ගිය පිය පුතු දෙදෙනාගෙන් පුතා වල් ඌරකු යැයි සිතා ගිනි අවියෙන් පියාගේ හිසට එල්ල කරන ලදැයි කියන ප්‍රහාරයකින් පියා ඊයේ (29) අලුයම එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දැදිගම පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ, දැදිගම නෙළුම් දෙණිය මල්මැස්සේ පදිංචිව සිටි, 43 හැවිරිදි, වෙඩික්කාර දුරයලාගේ සම්පත් රුවන් කුමාර නමැති, දෙදරු පියෙකි.

ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියා නෙළුන්දෙණිය ප්‍රදේශයේ රබර් වත්තක මුරකරුවකු බව පොලිසිය පවසයි.

ජීවිතක්ෂයට පත් වූ දෙදරු පියාට රුසියාවේ නිෂ්පාදිත පතොරම් ගිනි අවියක් ඇති බවත්, පිය පුතු දෙදෙනා කාලයක සිට ජයලත් කන්දේ වල් ඌරන් මස් පිණිස ඝාතනය කිරීමට යන බවත්, මූලික විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පිය පුතු දෙදෙනා පෙරේදා (28) රාත්‍රී ගිනි අවියක් රැගෙන ජයලත් කන්දට පැමිණ ඇති අතර, පුතා ගිනි අවිය රැගෙන කන්ද පාමුල පිහිටි කුඹුරේ සිට ඇත. පියා කන්ද දෙසින් විදුලි පන්දම නිවා ගෙන පහළට බසින අවස්ථාවේදී පුතා, පල්ලමට වල් ඌරකු බසින්නේ යැයි සිතා ගිනි අවිය ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය පවසයි.

වෙඩි උණ්ඩයක් පියාගේ වම් පස නළලට වැදී, වැටී ඇති බව පැවැසේ.

පුතා පැමිණ බලන අවස්ථාවේදී පියාගේ හිසට වෙඩි වැදී වැටී සිටින අයුරු දැක ගිනි අවිය අසල දමා, කිලෝමීටර් තුනක් පමණ ඈතින් පදිංචිව සිටින මාමාගේ නිවෙසට ගොස් සිද්ධිය දන්වා, මාමා සමග තරුණයා දැදිගම පොලිසියට පාන්දර 3.30ට පමණ ගොස් පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

පසුව පොලිසිය එම ස්ථානයේ තිබී පතොරම් ගිනි අවිය ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

වරකාපොළ තුල්ගිරිය මහේස්ත්‍රාත් ලුසිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඊයේ (29) සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළාය.

කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, දැදිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් දංගල්ල, උප පොලිස් පරීක්ෂක එම්.බී.එල්. විමලවීර, පොලිස් සැරයන් ඩබ්ලිව්.ඒ.එම්. වීරසූරිය (30274), කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලාල් මලන්දෙණිය, උප පොලිස් පරීක්ෂක ජගත් ලාල්, පොලිස් සැරයන් වසන්ත කුමාර (34165), පොලිස් කොස්තාපල් රියැදුරු පී.ජී.ඩබ්ලිව්.බී. ගුණතිලක (3958) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.


                                                                                                      කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න


මේ කාලයේ බුදුවරුන් බෝසතුන් පහළවන්නේ ඡන්ද කිට්ටු නිසාද?

 - මහනුවර - ෂේන් සෙනෙවිරත්න සහ හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්


මේ රටේ බොහෝ මැරයන් සහ අකටයුතුකම් කරන්නන් බිහිවී ඇත්තේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය යටතේ බවත් එය ප්‍රසිද්ධ කාරණාවක් බවත් වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියෝ පැවැසූහ.මීට බොහෝ කලකට පෙර මෙරට සිටි ජනතාවට අවවාදයක් අනුශාසනාවක් කළ විට එයට ඇහුම්කන් දෙන පිරිසක් සිටියත් වර්තමානයේ කුමන ආකාරයේ අනුශාසනාවක් සිදු කළත් ඊට ඇහුම්කන් නොදෙන ජනතාවක් ජාතියක් මෙරට තුළ බිහි වී ඇති බවද මහා නා හිමියෝ පැවසූහ.

අස්ගිරි මහානාහිමියන් විහාරාධිපතිත්වය දරන මහනුවර පොල්ගොල්ල බෝධිමල්කඩ විහාරස්ථානයේ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහතික ප්‍රදානෝත්සවය සහ දහම් පාසල් දරුවන් 250 දෙනකුට පාසල් පොත් සහ උපකරණ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමින් අස්ගිරි මහනාහිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අද රටේ උද්ගතව තිබෙන මෙම ඛේදජනක තත්ත්වයට දේශපාලනඥයන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

භික්ෂූන් වහන්සේලා අවවාදයක් අනුශාසනාවක් සිදුකළ විට එම භික්ෂූන් වහන්සේලා නිර්දය ලෙස විවේචනය කරමින් නිගාවට පත් කරන වකවානුවක් රට තුළ උද්ගතව ඇති බවත් එම තත්ත්වයට මෙරට දේශපාලකයන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවද අස්ගිරි මහනාහිමියෝ පැවසූහ.

මෙරට අනාගත පැවැත්ම සම්බන්ධයෙන් කිසිසේත් සතුටු විය හැකි තත්ත්වයක නොමැති බවත් අද වන විට පාසල් යන දූ දරුවන් බහුතරයක් බඩගින්නේ පාසල් වලට ගොස් ක්ලාන්තය සෑදී වැටෙන තත්ත්වයකට පත් වී ඇති බවද මහා නායක හිමියෝ අවධාරණය කළහ.

රටේ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව කිසිවිටකත් සතුටු විය හැකි තත්ත්වයක නොමැති බවද මහ නායක හිමියෝ පැවසුහ. මේ කාලවකවානුව බුදුවරුන් බෝධිසත්වවරුන් පහළ වන වකවානුවක් බවත් එවැනි අය පහළ වන්නේ ඡන්ද කාලය නිසා දැයි සැකයක් පවතින බවත් මෙවැනි විපත්තීන්ගෙන් ජනතාව බේරා ගැනීමට මහා සංඝරත්නයට විශාල වගකීමක් ඇති බවද මහ නාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් සහ මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



වැඩි ගාණට බේත් විකුණා කොළඹ රෝහලක් දඩකයි

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරිම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන්ට මාලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25,000/-ක දඩයක් නියම කළාය.

රුපියල් 25,000/-ක දඩ මුදල නොගෙවුව හොත් මාස 06ක සිරදඬුමක්ද ඇය නියම කළාය.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර ඖෂධ පරීක්‍ෂකවරයා එම පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ කරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි. 

2023 පෙබරවාරි 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලයේ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ එම මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නඩු පවරා තිබිණි.

එම නඩුවේ  සාක්කිකරුවන් වශයෙන් සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මිය, ඇගේ පුත්‍රයා වන සනත් කුමාර අතුකෝරල, ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා යන මහත්වරුන් ඇතුළු 06 දෙනකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට රෝහලෙන් නිකුත් කළ බිල්පත ඇතුළු ලේඛන 06ක් නම් කර තිබිණි.

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වර්ග අතුරින් ඖෂධ වර්ග 11ක් එම ඖෂධ අලෙවි කළ හැකි මිලට වඩා සීයයට 104 සිට සීයයට 357 දක්වා වූ වැඩිමිල ගණන් යොදා අලෙවි කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය වගුවක අකාරයෙන් අධිකරණයට පෙන්වා දී තිබිණී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය විත්තිකාර රෝහලේ අධ්‍යක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කර තිබිය දී ඊට පෙර දිනයක මෝෂමක් මාර්ගයෙන් වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවට එම රෝහලේ අධ්‍යක්ෂවරුන්ගේ බලයලත් නියෝජිතයෙක් ඉදිරිපත් වී අදාළ චෝදනාවලට වරද පිළිගත්තේය.

ඒ අනුව එම චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කරමින් රුපියල් 25,000/-ක දඩයක් නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරිය දඩ මුදල නොගෙවුවහොත් මාස 6ක සිරදඬුමකටද ඔහු යටත් කළාය.

                                                                                                                       මනෝප්‍රිය ගුණසේකර


තමාගේම මල්ලී ගේ දස හැවිරිදි දියණිය අපයෝජනය කළ මහප්පා වසර 20ක් හිරගෙට

 උපාලි ආනන්ද 

 

තමාගේම බාල සහෝදරයාගේ දස හැවිරිදි දියණිය අවස්ථා තුනක දී බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා තුනක් ලබා සිටි විත්තිකාර මහප්පා කෙනෙකු එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධි කරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනෙවිය ඔහුට වසර පනහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය.ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද, දෙවැනි චෝනාවටද වසර විස්සක් සහ තුන් වැනි චෝදනාවට වසර දහයක්ද බැගින් මෙම වසර පනහක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය මෙම පනස් වසරක සිර දඬුවම වසර විස්සකදී එකවර ගෙවී යා යුතු බවටද තවදුටරත් නියෝග කළාය.

ඊට අමතරව පැමිණිලිකාර වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර  දඬුවමක්ද නියම කළාය.චෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් පහළොස් දහස බැගින් දඩ මුදල් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කෙරිණ. එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිර දඬුවමකටද යටත් කෙරිණ. මෙසේ දඬුවම් නියම වූයේ මහනුවර මහමුල්ගම පදිංචි අයෙකුටය. මෙම විත්තිකරු අවස්ථා දෙකක් සිය සහෝදරයාගේම දස හැරිදි දියණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවත්, තුන්වැනි අවස්ථාවේදී එම දියණියට බරපතළ අස්වාභාවික ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවත් නීතිපතිවරයා විත්තිකරුට භාර දී ඇති අධි චෝදනා පත්‍රයේ සදහන්ය.

2018 වසරේ ජනවාරි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් මහමුල්ගමදී විත්තිකරු සිය බාල සහෝදරයාගේ දස හැවිරිදි දියණිය අපයෝජනය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364 (අ) (3) සහ 365 අ (2) (ආ) වගන්ති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම විත්තිකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ. මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු දරිශිකා විමලසිරි මෙනෙවිය පැවසුවේ විත්තිකරු තමාගේම සහෝදරයාගේ දස හැවිරිදි දියණිය බරපතළ ලෙස අවස්ථා දෙකක් අපයෝජනය කර ඇති බවටත්, එක් අවස්ථාවකදී එම දස හැවිරිදි දියණියට බරපතළ අස්වාභාවික ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවටත් පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි. ඒ අනුව තමා විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන බවද විත්තිකරුට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළාය.

මෙම නඩුවේ ලඝු නොවන මූලික නීති කෘත්‍ය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කෙරුණු අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා භාර දීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා මහනුවර මහාධිකරණයට යොමු කර තිබිණ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ මෙනෙවිය පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ ජගත් පීරිස් මහතා පෙනී සිටියේය. මහනුවර ගලහ පොලීසියේ එවකට හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තල්වත්ත මහතාගේ මෙහෙයවීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණ.


ආර්ථික පීඩනය අඩුකරන්නැයි ඉල්ලන සජබ උද්ඝෝෂණය අද කොළඹදී

 දිනේෂ් සමරකෝන්

රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන ලෙස රජයට බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද (30දා) කොළඹ දී පවත්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"ජීවත් වීමේ අර්බුදය, රැකීරක්ෂා නැතිවීමේ අර්බුදය වැනි අර්බුද රැසකට අද රටේ ජනතාව මුහුණ දී සිටිනවා. රටේ සිටින පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, රැකියා කරන පිරිස ආර්ථික අර්බුදයට මුහුණ දී තිබෙනවා. විදුලිබිල, ජල බිල වැඩිවෙලා, ඉන්ධන මිල වැඩිවෙලා, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වැඩිවෙලා, වැඩ කරන ජනතාව ගන්නා වැටුප ඔවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් නෑ. ජනතාවගේ වැටුප වැඩි වෙලා නෑ. නමුත් ජීවන වියදම සිව් ගුණයකින් ඉහළ ගිහින් තිබෙනවා. රටේ බඩු මිල සියයට 20ක් 30කින් වැඩි වෙලා තිබෙනවා. නමුත් ජනතාවගේ ආදායම් වැඩි වෙලා නෑ.රටේ තරුණ පිරිස වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න රජයට විසඳුමක් නෑ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට රජය විවිධ අණ පනත් ගේනවා. මර්දනය කරලා මැතිවරණ ජයග්‍රහනය කරන බලාපොරොත්තුවෙන් තමයි ආණ්ඩුව මේ පනත ගෙනල්ලා තිබෙන්නේ.රට බංකොලොත් කරපු පුද්ගලයන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදුන්නා. ඒ ගැන ආණ්ඩුව තීන්දුවක් ගත්තේ නෑ, ඔවුන් තාම රට පාලනය කරනවා.රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් අද (30දා) කොළඹදි පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගයේ නායකත්වය ගෙන කටයුතු කරනවා. ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අද ආරම්භ කරනවා. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කරන්න සමගි ජනබලවේගය සූදානම්.”


විශ්ව බුද්ධි භික්ෂූත්වයෙන් නෙරපයි

සුනඛයකුට සිවුරක් පොරවා බුදු දහමට නිගා වන අන්දමේ ‘ටික් ටොක්' වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරි බව කියන රත්නපුරේ විමල බුද්ධි නොහොත් ‘විශ්ව බුද්ධි මුනි’ නමින් පෙනී සිටි රොෂාන් රණසිංහ නමැත්තාට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පෙර ඇප මත සැකකරු මුදා හැරීමට ඊයේ (29) නියම කළේය.

බුදු දහමට, සංඝයා වහන්සේලාට නිගා වන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවහොත් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන කටයුතු විවේචනය කරන ආකාරයේ ප්‍රකාශ කරනු ලැබුවහොත් ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බව පවසමින් සැකකරුට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කළේය. 

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති එස්. කේ. සේනාරත්න මහතා සමඟ පෙනී සිටි එහි පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද තිබ්බොටුවාව මහතා සිද්ධියට අදාළව කරනු ලැබූ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

බෞද්ධ ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකරුට මීට පෙර ඇප දීමේදී මෙවන් වැරැදි නොකිරීම ඇප කොන්දේසියක් ලෙස නියම කර නොතිබූ හෙයින් ඔහු එය උපයෝගී කර ගෙන අපහාසාත්මක වීඩියෝ යළිත් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි කීය.

1998දී උපත ලැබූ සැකකරු කොල්ලූපිටියේ අමරකීර්ති නමින් 2019 වසරේදී පැවිදි වී ඇතැයිද එම වසරේදීම සිවුර හැර දමා සිංගප්පූරුවේ රැකියාවකට ගොස් ඇති ඔහු ලංකාවට පැමිණි පසු රාමඤ්ඤ නිකායේ පැවිදිවී ඇතැයිද කී දිලීප පීරිස් මහතා 2020 ජනවාරි වන විට සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 26කට ආසන්න මුදලක් බැර වී ඇතත් නඩු කටයුතු ආරම්භ වූ පසු ඔහු ගිණුම් වලින් මුදල් යළි ලබාගෙන ඇතැයිද පැවසීය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ද අල්විස් මහතා කරුණු දක්වමින් රාමඤ්ඤ මහා නිකාය පසුගිය 10 වැනිදා සිට සැකකරුගේ පැවිදිභාවය අහෝසි කර ඇතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙර ඇපමත සැකකරු මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැඳවන ලබන මාර්තු 28 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියම කළේය.

                                                                                                                                          රෝෂන් තුෂාර


සහකාර විභාග ශාලාධිපති මුදල් වංචාවකට අත්අඩංගුවේ

උසස් පෙළ විභාගයේ සහකාර ශාලාධිපතිවරයකු ලෙස කටයුතු කරන ගුරුවරයෙකු මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාළව විවෘත වරෙන්තු ලබා සිටියදී පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ඇත්තේ අනුරාධපුර ප්‍රධාන පාසලක ගුරුවරයෙකි. තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා කිරීමකට අදාළ නඩුවක සැකකරුවකු වන මෙම ගුරුවරයා දිගින් දිගටම අධිකරණය මඟ හැරීම හේතුවෙන් විවෘත වරෙන්තු ලබා සිටි අයෙකු බව ද පොලිසිය පැවසීය.

සැකකාර ගුරුවරයා තඹුත්තේගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් එම ගුරුවරයා විභාග කටයුතුවල නිරතව සිටි අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ අදාළ විභාග ශාලාවේ ශාලාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.

අනුරාධපුරය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසිය ස්ථානාධිපති ආර්.එම්. ජයවීර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් ආනන්ද මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.


                                                                                                                      අනුරාධපුර බී.ජී. චතුරංග


තායිලන්ත අගමැති 3 වැනිදා එයි


තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා නිල සංචාරයක් සඳහා එන මස 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටී.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට මෙසේ පැමිණෙන්නේ ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ලබන 3 වැනිදා කොළඹ දී අත්සන් කෙරේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා 74 වැනි නිදහස් සමරු උළෙලේ ගෞරවනීය ආරාධිතයා ලෙස ද සහභාගිවීමට නියමිතව සිටී. 

මේ අතර මෙවර ජාතික නිදහස් උළෙල සංස්කෘතිකාංගවලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාර වලට පමණක් සීමා කර ගාලු මුවදොර දී නිදහස් දින (4) පැවැත්වීමට තීරණය කර ඇත.

                                                                                                                        අංජුල මහික වීරරත්න


රනිල් අයින්කර මහින්ද දැම්මාට මෛත්‍රී උසාවි කැදවයි

යහපාලන ආණ්ඩු සමයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට හේතු පැහැදිලි කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඊයේ (29) නොතීසි නිකුත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් සමාජ ක්‍රියාකාරිකයකු වන අනිල් හේරත් මහතා ගොනු කර තිබූ පෙත්සම විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 23 වැනිදා අධිකරණයේ පෙනී සිට හේතු පැහැදිලි කරන ලෙස නියම කරමින් එලෙස නොතීසි නිකුත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන ලද බවට තීන්දු කරන්නැයි ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස නියම කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

සමාජ ක්‍රියාකාරිකයකු වන අනිල් හේරත් මහතා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු 22 දෙදෙනෙකු නම් කර තිබේ.

2018 ඔක්තෝබර් 26 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ඒ වන විට අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ එම ධුරයෙන් ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නීතියට පටහැනි බව පෙන්වාදෙන පෙත්සම්කරු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්නේ නම් ඒ පිළිබඳ උපදෙස් ලබාගත යුතු වුවත් එසේ නොකර හදිසියේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද සඳහන් කර ඇත.

එහෙයින් පෙත්සම විභාගයට ගෙන අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු මෙම ක්‍රියාවෙන් මූලික අයිතිවාසිකම් කඩකරන ලද බවට තීන්දුවක් දෙන්නැයි ද ඉල්ලා සිටී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාග කිරීම සඳහා ලබන සැප්තැම්බර් 23 වැනිදා කැඳවීමටද නියම කළේය. 

පෙත්සම්කාර අනිල් හේරත් මහතා වෙනුවෙන් නීතිඥ නිරන්ජන් ද සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වර මහතා පෙනී සිටියේය.

                                                                                                                             රංජන් කටුගම්පොළ


Monday, January 29, 2024

සෝමාලියා කොල්ලකරුවෝ ලෙරෙන්සෝ පුතා පැහැරගෙන



වත්තල දිඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වැනිදා මාළු ඇල්ලීමට ගිය ලොරෙන්සෝ පුතා 4 බහු දින ධීවර ට්‍රෝලර් යාත්‍රාව අරාබි මුහුදේ දී පෙරේදා (27) සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගනු ලැබ ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව දන්වා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් වී.ජී. වික්‍රමසූරිය මහතා  පැවසීය.මෙම බහුදින යාත්‍රාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියාව, චීනය ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවකට දැනුම් දී ඇති බවත් ඉන්දියාව ඒ දෙසට නැවක් දැනටමත් පිටත් කර යවා ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවද අවශ්‍ය වුවහොත් එහි යැවීමට නැවක් සුදානම් කරගෙන යන බව හෙතෙම පැවසීය. 

ඇමෙරිකාව සහ චීනය ද සම්බන්ධයෙන් උදවු කිරීමට සුදානම් බව දැනුම් දී ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.පැහැර ගන්නා අවස්ථාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවේ නියමුවා ඇතුළුව කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිට ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල සුසන්ත කහවත්ත  මහතා පැවැසුවේය.ලොරෙන්සෝ පුතා 4 පෙරේදා (27) රැකියාවේ නිරතවී සිටිය දී කිසියම් යාත්‍රාවක් ලොරොන්සෝ පුතා 4 නෞකාව පසුපස ලුහුබැඳ ඇති අවස්ථාවේ දී කාර්ය මණ්ඩලය එම යාත්‍රාව වෙරළාරක්ෂක නෞකාවක් යැයි සිතා කටයුතු කර තිබු බව ද කහවත්ත මහතා ප්‍රකාශ කළේය.එම නාඳුනන යාත්‍රාවේ සිටි ආයුධ සන්නද්ධ දෙදෙනකු ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට ගොඩවී අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන ඇති බවත් කහවත්ත මහතා පැවසීය.ලුහුබඳින අවස්ථාවේ දී අසල තිබූ යාත්‍රා ඉවත් වී ඇති බවත් ලොරෙන්සෝ පුතා 4 නෞකාවේ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර එම නාඳුනන යාත්‍රාව පිටුපස රැගෙන ගොස් ඇති බවත් කහවත්ත මහතා කිය.

එම කණ්ඩායම ලොරෙන්සෝ පුතා 4 නෞකාව රැගෙන යන්නේ කුමන ස්ථානයට ද සන්නද්ධ කණ්ඩායමේ ඉල්ලීම මොනව ද යන්න තවමත් නොදන්නා බවත් සන්නද්ධ කණ්ඩායම සම්බන්ධයෙන් තවමත් ප්‍රකාශයක් නිකුත් කර නැති බවත් කහවත්ත මහතා කීවේය.ලොරෙන්සෝ පුතා අඩි 50 ක් දිග යාත්‍රාවක් බවත් මෙය එම යාත්‍රාවේ මංගල ගමන බවත් කහවත්ත මහතා ප්‍රකාශ කළේය. ධීවර යාත්‍රාව බේරා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාවික හමුදාව එක්ව කටයුතු කරන බව කහවත්ත මහතා පැවසීය.ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකාව රටවල් 39 කින් සැදුම්ලත් බහරේනයේ ත්‍රස්ත මර්දන කටයුතුවල නිරත ඒකාබද්ධ නාවික හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත.

 


විමුක්ති එස්. රුද්‍රිගු

සංගීතයේදී පොලු පහර කෑ නවාංජන තුන් මාසයක්ම ඇඳ උඩ

 


කිසියම් පිරිසක් විසින් හිසට එල්ල කරන ලද පහරවල් කා අද එක්තැන්වී සිටින සිය පුත්‍රයා වන හික්කඩුව වැල්ලවත්තේ පදිංචි දහඅට හැවිරිදි නවාංජන සඳකැලුම්ට නීතියෙන් නිසි සාධාරණයක් ඉටුවී නොමැති බව ඔහුගේ පවුලේ ඥාතීහු කියති.මේ ප්‍රහාරයත්  සමග නවාංජන සඳකැලුම් නොහැකි තරමටම අසරණ වී සිටින බවත් ඔහු මේ තත්වයට පත් කළ සැකකරුවන්ට නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවී ඔවුන් සියලු දෙනාම දැන් නිදැල්ලේ සිටින බවත් ඔවුහු කියති.

නවාංජන සඳකැළුමට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදු වියේ 2023වසරේ ඔක්තෝබර් 20 වැනිදා හික්කඩුවේදී බවද ඔහුගේ ඥාතීහු පවසති. සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පසු ඊට කිසිසේත්ම සම්බන්ධයක් නැති නවාංජනගේ හිසට මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී ඇති බවද ඔවුහු කීහ.ප්‍රහාරයෙන් ඔහුගේ හිසට වූ බරපතළ තුවාල හේතුවෙන් සැත්කමක් කිරීමට  සිදු වූ බවත් සැත්කමේදී හිස්  කබලෙන් කොටසක්  ඉවත් කර තිබෙන බවත් ඥාතීහු කියති. ඉවත් කරන ලද හිස් කබලේ කොටස නැවත සකස් කිරීමට වෛද්‍යවරුන්ටනොහැකිව ඇත්තේ දැනට ඔහුගේ ශරීර ශක්තිය දුබල හෙයින් බවද ඔවුහු කියති.මේ වන විට නවාංජන බරපතළම ලෙස රෝගාතුර වී එක්තැන්ව සිටින බවත් ඔහුට ආහාර ලබා දෙන්නේ නළයක් මගින් බවත් ආශ්වාස, ප්‍රශ්වාස කරනුයේද උගුරට දමා ඇති බටයකින් බවද ඥාතීහු කියති.

දැනට මාස තුනක් තිස්සේ සිටම මේ තරුණයා මෙසේ ඔත්පලව සිටින බවද පවසන ඥාතීහු දැනට ඔහුට ලබා දෙන්නේ දියර ආහාර පමණක් බවත් එයද බට මාර්ගයෙන් බවත් කියති.මේ තරුණයා මේ තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ශල්‍යකර්මයක් කළත් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව ස්ථිර වශයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් පැවසූ බව නවාංජනගේ මව වන කේ.ජි. චාන්දනී මහත්මිය කීවාය. කේ.පී. චාන්දනී මහත්මිය මේ සම්බන්ධයෙන් මෙලෙස පැවසුවාය.

නවාංජන මගේ එකම පුතා ගිය 2023 වසරේ ඔක්තෝබර් විසිවැනිදා කෑම ගේන්න හික්කඩුවේ කඩේකට ගියා. කෑම අරන් එනකොට තමයි පුතාට ගහලා තියෙන්නේ. පුතා පහරකාගෙන හික්කඩුව පොලිසියට ගිහින් තියෙනවා. පස්සේ බලපිටිය රෝහලට ගෙන ගියා. එහිදී පුතාට පිටි එක හැදුන නිසා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර වාට්ටුවට ඇතුළත්කළා, විකට් කූරකින් තමයි  ඔළුවට ගහලා තිබ්බේ. ඒක නිසා එයාගේ මොළේට ගොඩක් හානිවෙලා තියෙන්නේ. හිස් කබලේ පැත්තක් අයින් කරලා තියෙන්නේ. එයාගේ මතක ශක්තිය නැහැ. අපේ පුතාට ගහපු අය නිදැල්ලේ ඉන්නේ කොහොමද කියලා අපට ප්‍රශ්නයක් අපට සාධාරණයක් කරන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ යයි ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ සිද්ධියේදී තම පුතාට සාධාරණයක් ඉටු නොවූබවත් නවාංජනගේ මව වන කේ.ජී.චාන්දනී මහත්මිය අතර සිය පුතුට පහර දෙන අයුරු දැක්වෙන සී.සී. ටී.වී. දර්ශන තිබෙන බවද පැවසුවාය.මේ සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියෙන් අප කළ විමසීමකදී මේ තරුණයාට එල්ල වූ ප්‍රහාරය පිළිබඳවලැබූ බව පැමිණිල්ලක් සත්‍යයක් බවත් ඒ අනුව සැකකරුවන් සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් වූ වූ නඩුව අධිකරණයේ විභාග වන බවත් එහි ප්‍රකාශකයෙක් කීවේය.


ලාරාගේ සතුටු කඳුළු හා ගිල්ක්‍රිස්ට්ගේ මහත්මා ගුණය

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ මෙවර ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ වන විට බොහෝදෙනෙකු ප්‍රකාශ කළේ මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට පහසුවෙන් තරග 2-0ක ජයග්‍රහණයක් ලබාගත හැකිවනු ඇති බවයි.

ඒ පසුගිය (2021-23) ටෙස්ට් ලෝක ශූරයන් ලෙස කිරුළු පැලඳි ඔස්ට්‍රේලියාව, ඔවුන්ගේ රටේදීම පරාජයට පත් කිරීම එතරම්ම අභියෝගයක් වූ බැවිනි. එය සාක්ෂාත් කර ගනිමින් පළමු තරගයෙන් පහසු ජයක් ඔස්ට්‍රේලියාව හිමිකර ගත් නමුත් සියල්ල උඩු යටිකුරු කරමින් දෙවැනි තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් හිමිකර ගැනීමට කොදෙව්වන් සමත් වූයේ වසර 30කට ආසන්න කාලයක් තමන්ට සිහිනයක් වූ දෙය ඉටු කරගනිමිනි. 

මෙහිදී තරගයේ විස්තර විචාරය කරමින් සිටියේ බ.ඉ.කොදෙව් හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම්වලින් බිහිවූ පුරාවෘත්ත ක්‍රීඩකයන් දෙපළක් වූ බ්‍රයන් ලාරා හා ඇඩම් ගිල්ක්‍රිස්ට්ය. 

සිය කණ්ඩායමට නොතිබූ ජයක් අවසන් මොහොතේදී හිමිකර ගැනීමත් සමගින් කොදෙව් ක්‍රීඩක ලාරාට එය අදහාගත නොහැකි වූ අතර, ඔහුගේ නෙතඟ සතුටු කඳුළින් තෙත්විය.

එහිදී විස්තර විචාරක කුටියේ සිටි ප්‍රතිවාදී ඔස්ට්‍රේලියානු පාර්ශ්වය නියෝජනය කළ ඇඩම් ගිල්ක්‍රිස්ට්, තම කණ්ඩායම ලැබූ පරාජය මදකට අමතක කරමින් සිය විස්තර විචාරක සඟයා වැලඳ ගනිමින් ඔහුගේ සතුට බෙදා ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණයට පෙර 1997 වර්ෂයේ කොදෙව්වන් අවසන් වරට ඔස්ට්‍රේලියානු භූමිය තුළ ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමේදී, පිත්තෙන් එහි නියමුවකු බවට පත්වීමටද ලාරාට හැකි විය. කොදෙව්වන්ට කඩුලු 10ක ජයක් ලැබුණු මෙම තරගයේදී ලාරා පිත්තෙන් ලකුණු 132ක් රැස් කරමින් තරගයේ වාර්තා වූ ඉහළම ඉනිමේ හිමිකරුවා බවට පත්විය.

                                                                                                                                 ඕෂිත වරකපිටිය


ගණිත සම්මන්ත්‍රණයට අනුරපුරය ආ සිසුහු -මවුපියෝ අනාථයි



ප්‍රසිද්ධ ගුරුවරයෙකු ගණිත ගැටලු පහසුවෙන් විසඳීම සඳහා සම්මන්ත්‍රණයක් පවත්වන බවට පළ කෙරුණු දැන්වීමක් අනුව කල්තියා, මුදල් ගිණුම් ගත කර අනුරාධපුරයට දිවයිනේ නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත සිසු දරු දැරියෝ සහ මවුපියෝ පිරිසක් එවැනි සම්මන්ත්‍රණයක් නොමැති බව දැන ගැනීමෙන් ඊයේ (28) දැඩි දුෂ්කරතාවලට පත්වූහ.

මවුපියන් සම්මන්ත්‍රණය පැවැත්වෙන බව සඳහන් වූ හෝටලයේ සේවකයන්ගෙන් ඒ ගැන විමසූ අවස්ථාවේ දී එම සේවකයන් පවසා ඇත්තේ එවැන්නක් සඳහා තම හෝටලය වෙන් කරවා ගෙන නැති බවයි.ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පළ කළ දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වෙමින්, බැංකු ගිණුමකට දහස් ගණනින් මුදල් තැන්පත් කර ඊයේ (28) අනුරාධපුර සුවිසල් සුවිසල් හෝටලයට පැමිණීමෙන් අනතුරුව එම හෝටලයේ ඊයේ (28) මංගල උත්සවයක් පැවැත්වෙන බව දැන ගැනීමෙන් මව්පියෝ සහ සිසු සිසුවියෝ දැඩි කනස්සල්ලට පත්වූහ.

එම ගණිත සම්මන්ත්‍රණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙන්ම මාතර,අම්පාර ඇතුළු දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින්ද මව්පියෝ සහ දරුවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.අම්පාර, මාතර වැනි ප්‍රදේශවලින් සිසුන් කණ්ඩායම් වශයෙන් මවුපියන්, රථවාහන කුලියට ගෙන පෙර දිනයේ (27) පැමිණ අනුරාධපුර නගරයේ හෝටල් කාමර වෙන් කරවාගෙන නැවතී සිට මෙම වැඩ සටහනට පැමිණි බව කියති.සුප්‍රසිද්ධ ගණිත ගුරුවරයකු වන එම ගණිත දේශකයා මෙම දේශනය සඳහා ඉංග්‍රීසි මාධ්‍ය සඳහා රුපියල් 50,000ක මුදලක් සිංහල මාධ්‍ය සඳහා 13,500ක මුදලක් අය කරන බවත් බැංකු ගිණුම් හරහා පෙර ගෙවීමක් කරන අයට ගාස්තු මුදල් අඩුවන බවත් සඳහන් කරමින් කලින් මුදල් බැංකු ගත කරවා ගත් බවත් මවුපියෝ පැවසූහ.

එම දේශකයා හෝ සංවිධායක මණ්ඩලයේ කිසිවකු ඊයේ (28) උදේ එම ස්ථානයට නොපැමිණීමත් දී තිබූ දුරකතන අංකයට ප්‍රතිචාර නොදැක්වීමත් හේතුවෙන් මවුපියෝ මෙලෙස නොසන්සුන්කාරී තත්වයකට පත්වූහ.දේශනය පැවැත්වීම සඳහා නම් කරන ලද දේශන ශාලාවද ඊයේ (28) වෙන් කර නොතිබීම හේතුවෙන් මෙම දේශකයාගේ ක්‍රියාව පිළිබඳව අවිශ්වාසයක් පවතින බවද එම මවුපියෝ පෙන්වාදෙති. එම ගුරුවරයා නොදැනුවත්ව කාර්ය මණ්ඩලයේ සිටින සංවිධානාත්මක පිරිසක් මෙලෙස මුදල් ලබාගෙන මවුපියන් හට මුදල් වංචා කළ බවට ඇතැම් මව්පියෝ සැක පළ කරති.

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් ඔස්සේ ද මෙම දේශකයා වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදුවූ බැවින් ගුරුවරයා පිළිබඳව කිසිදු අවිශ්වාසයක් තමන්ට නොතිබූ බවත් ඒ හේතුවෙන් අත්තිකාරම් මුදල් ගිණුම්ගත කිරීමට තමන් කටයුතු කළ බවත් පවසන එම මව්පියෝ මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කරන බවද ප්‍රකාශ කළහ.

  බී.ජී. චතුරංග

විභාග වංචා සිදුකළ සිසුවා හා උපකාර කළ සරසවි සිසුවා රිමාන්ඩ්

මෙවර අපොස (උ.පෙළ) විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවෙකුට උදව් උපකාර කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා විභාගයට පෙනී සිටි සිසුවා පෙබරවාරි (02දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මූතූර් මහේස්ත්‍රාත් තස්නීම් මොහොමඩ් පවුසාන් මහත්මිය පෙරේදා (27දා) නියම කළාය.

මුතූර් පදිංචිකරුවෝ දෙදෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකාර පෞද්ගලික අයදුම්කරු ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කරමින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර වට්ස්ඇප් ඔස්සේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුවාට යවා පිළිතුරු ගෙන්වා ගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකාකර පෞද්ගලික අයදුම්කරුට අමතරව මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටද විශ්වවිද්‍යාල සිසුවාගෙන් පිළිතුරු ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බවත් එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලීසිය මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවැසීය.

විභාග ශාලාව තුළ සිදු වූ මෙම සිදුවීම විභාග ශාලාධිපතිවරයා මුතූර් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ නවරත්නම් සයිත්තන් මහතාට පැමිණිලි කර තිබුණි.

අනතුරුව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිද්ධිය පිළිබඳ මුතූර් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

                                                                                          ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව


මේ පාර්ලිමේන්තුව හතර වතාවක් වාරාවසාන කරලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ලෙස සිදුකරන අවසාන රාජාසන කතාව සිදු කිරීමට සහ ඉවත් කිරීමට නොහැකි කෝප් සභාපතිවරයාව ඉවත් කිරීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාර්ලිමේන්තුව වාර අවසාන කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. 

කොළම විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (28දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා,

“මේ වන විට පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තියෙනවා. පුදුම ආණ්ඩුවක් මේක. වර්තමාන ජනාධිපතිවරයා ආවට පස්සේ කී වතාවක් පාර්ලිමේන්තුව වාරාවසාන කළාද කියලා දන්නේ නෑ. මේ පාර්ලිමේන්තුව හතර වතාවක් විතර වාරාවසාන කරලා තියෙනවා.

මේ වතාවේ වාරාවසාන කරලා තියෙන්නේ හේතු දෙකක් උඩ. වර්තමාන කෝප් කමිටුවේ සභාපතිවරයාට විවිධ චෝදනා එල්ල වෙද්දි, විවිධ පාර්ශ්වයන්ගෙන් ඇඟිල්ල දිගු වෙද්දි, ඔහු මේ තනතුරට සුදුසු නෑ කියලා තොරතුරු වාර්තා වෙද්දි, පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව විවාද කරද්දි, මාධ්‍ය විසින් කරුණු වාර්තා කළා.

ආණ්ඩුවට කොන්දක් නෑ මහජනතාවගෙන් මේ විදිහෙ විරෝධතා එල්ල වෙද්දි මොහුව ඉවත් කරන්න. එහෙම ඉවත් කරන්න කොන්දක් නැති නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කළා. කෝප් කමිටුවේ සභාපතිවරයාව ඉවත් කරන්න බැරි නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට පළමු හේතුව.

දෙවැනි හේතුව තමයි වර්තමාන ජනාධිපතිවරයා අවුරුදු එකහමාරකට වැඩිය පිනට ලැබුණු ධුරය උපරිම ලෙස භුක්ති විඳිමින් ඉන්නවා. එලෙස මිතුරන් සමග ජනාධිපති ධුරයේ රස උපරිමයෙන් භුක්ති විඳිද්දි මේ රටේ ජනතාව බදු බරින්, බඩුවලින්, බිල්වලින් මිරිකලා මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරා බොන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. 

අද ජනතාව කන්න නැතිව, ඒ වගේම දරුවන්ගේ පාසල් වැඩ කරගන්න බැරිව අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිව ඉන්න තැනක් බවට පත්වෙලා තියෙනවා.

වැට් එක ගහලා මිනිසුන්ව බිමටම ප්ලැට් කරලා දාලා තියෙනවා. ඒ තත්ත්වයට රට පත් කරපු නිසා වර්තමාන ජනාධිපති දන්නවා ඔහුට නැවත වතාවක් ජනාධිපති වෙන්න බෑ කියලා. ඒ නිසා ඊළඟ වතාවෙත් ජනාධිපතිවරයාට දින්න බැරි බව දන්න නිසාත්, ඔහුට ජනාධිපති ධුරයේ රස උපරිම ලෙස විඳින්න ඕනි නිසාත් අවසාන රාජාසන කතාව කරන්න තමයි මේ පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තියෙන්නේ. "

                                                                                                                                  දිනේෂ් සමරකෝන්


මධුසමය ගතකරද්දී මනාලයා රිමාන්ඩ්



අධිකරණය දිගින් දිගටම මගහරිමින් සිටි සැකකරුවකු හනිමූන් ගත කරන අතරතුර අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී පැය කීපයකට පසු නීතිඥ මහතකු මානුෂීය කරුණු දැක්වීමෙන් පසු රුපියන් දස දහසක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි පානදුd අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා නියෝග කළේය.මෙසේ ඇපමත මුදාහරින ලද්දේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

විත්තිකරු අවස්ථා කීපයක දී අධිකරණය මගහරිමින් සිට ඇති බැවින් ඔහු වෙනුවෙන් ඇපවූ පුද්ගලයා නීතිඥවරියක මාර්ගයෙන් පසුගිය 24 වැනිදා මෝසමක් මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.එහිදී පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා විත්තිකරු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස එහිදී නියෝග කළේය. ඉන්පසු විත්තිකරු වෙනුවෙන් ඇපවී සිටි තැනැත්තා නීතිඥ අරුණ දීපාල් මහතා මුණගැසී තම මිතුරා දින දෙකකට පෙර විවාහවූ බවත්, මධුසමය ගතකරමින් සිටියදී තමාගේ බලකිරීම මත මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ බවත්, ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ ද මනාලිය මේ වනවිට වාද්දුව හෝටල් කාමරයක තනිව ඔහුගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටින බවත් දැනුම් දී ඇත.

ඒ අනුව නීතිඥ මහතා විනාඩි කිහිපයක දී විත්තිකරුගේ විවාහ සහතිකය, මංගල ඡායාරූප සහ තැන්ක් යූ කාඩ් ගෙන්වාගෙන නැවත අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව නීතිඥ අරුණ දීපාල් මහතා සඳහන් කර ඇත්තේ, පුද්ගලයකුට මධුසමය ගතකරන දින කිහිපය සිය ජීවිතයේ වටිනාම දින කිහිපයක් බවත්, විත්තිකරුට සහ ඔහුගේ මනාලිය යන දෙදෙනාට එම වටිනා දින කිහිපය මගහැරී යනවා මෙන්ම ඔවුන්ගේ පවුල් ජීවිතය ද දෙදරා යාමට මෙය ඉවහල් වියහැකි බවත්, එබැවින් සිය සේවාදායකයා පිළිබඳ නැවත වරක් මානුෂීය ලෙස සලකා බලා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය.එම කරුණු පිළිබඳ අවධානය යොමු කළ පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා විත්තිකරු රුපියල් දස දහසක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ 

භූමිතෙල් දමා බිරිය පුච්චා මැරූ සැමියා පොරේකට

 



දෙදරු මවක වූ තම බිරියට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට තල්ලු කර දමා භූමි තෙල් වත්කොට සිරුරට ගිනි තබා බරපතළ තුවාල සිදු කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර සැමියකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරු මැද පළාත් බද පූර්වගාමී මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණ දඬුවම  නියම වූයේ පහළමාරගහවැව තම්මන්නාව පදිංචි නොච්චියාගම හේවගේ නෙරංජන පෙරේරා නැමැත්තකුටය.2010 වසරේ ජනවාරි 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තම්මන්නාවදී සිය බිරිඳ වන එච්. පූර්ණිමා චන්ද්‍රගුප්ත යන අයට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමි තෙල් වත්කොට ගිනි තබා බරපතළ තුවල සිදු කර ඇය මරා දැමූ බවට මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට තිබිණ.

විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා සඳහන් කළේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි. මෙම නීති කෘත්‍යයේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි අජිත් ජයසේන මහතා ඇතුළු 12 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණයේ එවකට හිටපු රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා පෙනී සිටි අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් මහත්මියයි. විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය. නොච්චියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීය.


 උපාලි ආනන්ද

විශ්වවිද්‍යාල 21ක 'බැදුම්කර පොල්ල' මිලියන 1,317 ක්

මෙරට විශ්වවිද්‍යාල 21ක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවකයන් 514දෙනෙකු බැඳුම්කර කඩකිරීම නිසා රුපියල් මිලියන 1,317ක මුදලක් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31වන දින වන විට ඔවුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අය වීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීමෙන් පසුව බැඳුම්කර කඩ කළ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලයේ 514දෙනෙකුගෙන් මෙම මුදල අය වීමට ඇති බවද මෙම විගණන වාර්තාවේ සඳහන් වේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ පිළිබඳ පසු විපරම් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව එම විගණනය මගින් අනාවරණය වී ඇත.

මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විගණනයට දැනුම් දී ඇත්තේ අභ්‍යන්තර විගණන චක්‍රලේඛන ලිපි මගින් උසස් අධ්‍යාපන ආයතනවල බැඳුම්කර මුදල් අයකර ගැනීමට සමාලෝචන කමිටු පිහිටුවීමට ඒ සඳහා මාර්ගෝපදේශක හඳුන්වාදීමටත්, බැඳුම්කර ශේෂ හා ඇපකරුවන්ගේ විස්තර වෙබ්අඩවියේ පළ කිරීමටත් උපදෙස් ලබාදී ඇති බවයි.

පසුගිය 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31වන දිනට බැඳුම්කර කඩකිරීම් 533ක් සහ 2022 වර්ෂයේ දෙසැම්බර් 31වන දින වන විට බැඳුම්කර කඩකිරීම් 84ක් වාර්තා වූ බවද කොමිෂන් සභාව මගින් විගණනයට සඳහන් කර ඇත.


                                                                                                                              චන්දන සමරවික්‍රම


වෘත්තීය පුහුණුවේ ලොක්කෙක් තැන් දෙකකින් පඩි අරන්

 



ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරමින් ආයතන දෙකෙන්ම දීමනා සහ ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.ඔහු මෙසේ කටයුතු කර ඇතැයි පැවසෙන්නේ 2016 ජනවාරි සිට 2013 දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදීය. මේ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මාසික දීමනා වශයෙන් ලක්ෂ පනස් හතරකට අධික මුදලක් ලබාගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෘත්තීය පූර්ණ අධිකාරියේ සභාපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුලි මස 3 වැනිදා වනවිටත් විමර්ශන පවත්වා නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ. මේ අතර, ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතනය සඳහා 2020 වර්ෂයේ වර්ෂයේ දී කොරියානු රජයේ ආධාරයෙන් සිසුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නවාතැන් පහසුකම් සැපයිය හැකි කාමර හතළිස් අටකින් යුතු, සියලු පහසුකම් සහිත ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකර තිබුණ ද පසුගිය වසරේ ජුනි මස 30 වනවිටත් පූර්ණකාලීන පාඨමාලා හදාරන සිසුන් සඳහා මෙහි නේවාසිකාගාර පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එහි නේවාසිකාගාර පහසුකම් ලබා දී තිබුණේ උපදේශකවරුන් දාහතර දෙනකු සඳහා පමණක් බව ද එම වාර්තාවේ දැක්වේ. මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

සුජිත් හේවාජුලිගේ

Friday, January 26, 2024

මරණය සැකයි: ඉන්දියාවේදී මියගිය දේහය යළි ගොඩගැනෙයි

මනෝප්‍රිය ගුණසේකර සිය සහෝදරියගේ දුක සැප බැලීමට ඉන්දියාවට ගොස් සිටිය දී මියගිය සිය පියාගේ මරණය සැක සහිත බව කියමින් කළ ඉල්ලීමක් පිළිගත් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කර තිබෙන ඔහුගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය. ස්වාභාවික හේතූන් මත තම සේවාදායිකාවගේ පියා මියගොස් ඇති බව ඉන්දියානු බලධාරීන් දැනුම් දී ඇතත් පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල මෙන්ම පියා මියගිය බවට පවසන ස්ථානය පරස්පර බව පවසමින් නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය. මෙලෙස යළි ගොඩගෙන පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලද්දේ මයිකල් ඩැනියල් ජයරාජ් මහතාගේය. නීතීඥ අස්විද රවීන් බෙනඩික් මහතා මගින් පෙත්සම ඉදිරිපත් කළ වත්තල කල්‍යාණි මාවතේ පදිංචි ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය තමන් සමග විසූ තම පියා 2023 සැප්තැම්බර් 20 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි මයිකල් වික්ටෝරියා නමැති තම සහෝදරිය බැලීමට ගියේ යැයි සඳහන් කළාය. පියා එහි සිටිය දී 2023 ඔක්තෝබර් 30 වැනිදා නංගිගේ සැමියා ' වට්ස්ඇප් පණිවුඩයක් එවමින් බඩේ අමාරුවක් සෑදී රෝහල් ගත කළ පසු පියා මියගිය බව දැනුම් දුන් අතර පසුව යළිත් පණිවුඩයක් එවමින් ඇවිදීම සඳහා උයනට ගොස් සිටිය දී රෝගීව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව දැනුම් දුන්නේ යැයි ද ජෙයරාජ් රුත් ක්‍රිස්ටිනා මහත්මිය ඉන්දියානු රුපියල් ලක්‍ෂ 1, 1/2ක මුදලක් ගෙවු පසු මෙරටට ගෙන් වූ පියාගේ දේහයේ නළලේ, උරහිසේ සහ අතේ තුවාල දකින්නට තිබු බවද සඳහන් කළාය. මේ සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුව විදාන මහතා ඉදිරියේ පැවැති මහේස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් ජෙයරාජ් රූත් ක්‍රිස්ටිනා මහත්මිය පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් විසින් නිකුත් කළ වාර්තාවක 'කාඩියක් ඇරස්ට්' වශයෙන් ද එය ‘ස්වභාවික හේතුවක් මත වී ඇති බවට සඳහන් කර ඇතැයි ද කීවාය. පියාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම සහ පියාගේ මෘත ශරීරයේ ඇති තුවාල සම්බන්ධයෙන් සැක උපදවන්නේ යැයි කී රූත් ක්‍රිස්ටිනා මහත්මිය කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කළ පියාගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය. නීතීඥ ඇන්ජලෝ බෙනඩික් මහතා කරුණු දක්වමින් තම සේවාදායිකාව ඉදිරිපත් කළ කරුණු පිළිගෙන කෙරවලපිටිය පොදු සුසාන භූමියේ තැන්පත් කළ ඇගේ පියාගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉල්ලීම පිළිගනිමින් මයිකල් ඩැනියල් ජයරාජ නමැත්තාගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කර අදාළ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.

සංචාරක තරුණියගේ ගමන් බෑගය බසයේදී උස්සලා



මීගමුවේ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් ගත් ජර්මන් ජාතික 23 හැවිරිදි තරුණියකගේ ගමන් බෑගය කිසිවකු සොරාගෙන ගො‍ස් ඇති බවට ඇය පෙරේදා (24) රාත්‍රියේ කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය.

බස් රථයේ ගමන් කරමින් සිටියදී තමාට නින්ද ගොස් ඇති බවත් කුරුණෑගල නගරයෙන් බැසීමට ඇති නිසා අවදිවී බලන විට ගමන් බෑගය නොමැති බව දැක ගන්නට ලැබුණු බවත් තරුණිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක්  පැවැසීය. විදෙස් ගමන් බලපත්‍රය, ජංගම දුරකථනය, ටැබ් පරිගණකය සහ රුපියල් දස දහසක මුදලක්ද ගමන් බෑගයේ තිබුණු බව ඇය කළ පැමිණිල්ලේ තව දුරටත් සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ජර්මන් තරුණියගේ ගමන් බෑගය සොරාගත් අය අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ සංචාරක කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

හිමිනම ඝාතනය නිදන් ගනුදෙනුවක්?

 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 


මල්වතු හිරිපිටියේ විහාරස්ථානයකදී කලපලුවාවේ ධම්මරතන හිමි වෙඩි තබා ඝාතනය කර ඇත්තේ නිදන් හෑරීමේ ගනුදෙනුවකට අදාළ මුදලක් නිසි අයුරින් එම කල්ලියට ලබා නොදීමේ සිද්ධියක් මුල් කරගෙන බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

ඉකුත් 23 වැනිදා අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමියන් දන් වළඳමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පවසා පැමිණි නාඳුන සිව් දෙනකු විසින් ගිනි අවියකින් වෙඩි තබා, පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයේ නැගී පලා ගොස් තිබිණි.

වෙඩි තැබීමෙන් අනතුරුව එම මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැලෑවකට රැගෙන විත් ගිනි තබා විනාශ කිරීමෙන් අනතුරුව දෙදෙනකු කඩිමුඩියේ ප්‍රධාන මාර්ගයට පැමිණ පොලිසිය දෙසට පා ගමනින් යන අයුරු දර්ශන පෙළක් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් වෙත මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

වෙඩි තැබීමට නාදුනන පුද්ගලයන් ආ බව කියන මෝටර් රථය එකලස්කර තැනූ එකක් බවට පෙරේදා 24 වැනිදා රස පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කඩුවෙල පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් අපවත් වූ කලපලුවාවේ ධම්මරතන හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තිබෙන දේපළ රැසකට හිමිකම් කියතත් බහුතරයක් දේපළ ඔහුගේ නමට නොව ඔහු සමීපව ඇසුරු කරන පුද්ගලයකුගේ නමට ලියා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

ගිනි ගැනීමට ලක්වූ මෝටර් රථය වෙඩි තැබීමට පැමිණි එකමද ? නොඑසේ නම් එම මෝටර් රථයට සමාන වෙනත් මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබුවාද? මම මෝටර් රථයට ගිනි තැබුවේ පොලිස් විමර්ශන නොමග යැවීමටද? යන්න වැඩිදුරටත් සොයා බැලීම සඳහා නිත්‍ය වාහනය 30 වැනිදාට රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සීසීටීවී දර්ශනවල සිටින සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිසියේ කඩුවෙල ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටි.

හිමිනමට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙන්ම මල්වතු හිරිපිටිය පොලිසිය, බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කොළඹ අපරාධ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු කණ්ඩායම් කීපයක් ඒකාබද්ධව විමර්ශන සිදු කෙරේ.





රාජ්‍ය ඇමැතිගේ - රැකවලාගේ මරණවලට අධිවේගියේ දැඩි අදුරත් බලපෑවාද?




මෙම වසරේ ගෙවුණු දින 25 තුළ අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි අධිවේගී කොට්ඨාස රථ වාහන පොලිසිය කියයි.ඉකුත් වසර තුළම එම මාර්ග පද්ධතිය තුළ සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව සිවු දෙනකු බවද පොලිසිය කියයි.මේ බව අනාවරණය වූයේ ඊයේ (25) අලුයම රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා හදිසි අනතුරකින් මියයාමේ සිද්ධියත් සමගමය.කොළඹ කටුනායක මාර්ගය කිලෝ මීටර 25ක දුරකින් යුක්තය, කොළඹ සිට කටුනායක දක්වා මාර්ගය දෙපස විදුලි ලාම්පු සවිකර තිබුණද, මේ වන විට මුළු මාර්ගයම දැඩි අඳුරේ පවතින බවද වාර්තාවේ.

එයට හේතුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් භූගත විදුලි රැහැන් කැපීම බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම සොරකම් වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්තද, අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන පුද්ගලයන් නැවත නැවත එම කටයුත්තේම නිරත වීම හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව පවතී.රාජ්‍ය අමාත්‍යවරයාගේ හා පොලිස් කොස්තාපල්වරයාගේ ජීවිත අහිමි වීමේ අනතුර වීමට හේතුවද දැඩි අඳුරු ස්වභාවයද යන්න පිළිබඳ සැකයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. රාජ්‍ය දේපළ සොරකම් කරන්නවුන්ට එරෙහිව පවතින නීති ප්‍රමාණවත් නොවීම, ලබා දෙන දඬුවම්වල ලිහිල් භාවය හේතුවෙන් මෙවැනි අනතුරු ඉදිරියේදීත් අසන්නට දකින්නට ලැබෙනු ඇතැයිද නිලධාරියා කීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ


සනත් නිශාන්ත මැරුණේ හිසට පාදයට - පපුවට වූ තුවාල හේතුවෙන්

සුජිත් හේවාජුලිගේ

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ මරණය හිසට වම් පාදයට සහ පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සහ අභ්‍යන්තර ලේ වහනයෙන් සිදුවූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්වේ.

සනත් නිශාන්ත මහතාට කිසිදු නිදන්ගත රෝගයක් හෝ වෙනත් කිසිදු රෝගාබාධයක් වැළඳී නොතිබුණු බවටද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවී ඇත. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රොමේෂ් අලගියවන්න සහ විශේෂඥ වෛද්‍ය වියානි ඩයස් යන මහත්වරු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූහ.අමාත්‍යවරයාගේ සහෝදරයකු සහ හිතවතකු විසින් දේහය හඳුනා ගනු ලැබීමෙන් අනතුරුව මරණ පරීක්ෂණය ඊයේ (25) පෙරවරු 10.00ට ආරම්භ විය. අමාත්‍යවරයාගේ සහෝදරයාගෙන් සහ හිතවතාගෙන් ද මෙහිදී ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවට එම දෙදෙනා එහිදී ප්‍රකාශ කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේ දී පැවැත්වුණේ වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවේගෙදර මහතාගේ නියෝගයකට අනුවය.අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් ජයකොඩි මහතාගේ මරණ පරීක්ෂණය ද ඊයේ (25) රාගම ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි. 

සිරුරේ ඇතිවූ බහුවිධ තුවාල සහ අභ්‍යන්තර රුධිර වහනයෙන් එම ආරක්ෂක නිලධාරියාගේ මරණය සිදු වී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.එම නිලධාරියාගේ ඥාතීන් දේහය හඳුනා ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය කළේය. එම ඥාතීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කරයි. අමාත්‍යවරයාගේ රියැදුරු රාගම ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ඔහුගෙන් ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා කටුනායක අධිවේගී මාර්ගයේ දී ඊයේ (25) අලුයම 2.00 ට පමණ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූහ.






කැමරාවලින් හඳුගන්නා රියැදුරන්ට පෙබ :1 සිට නඩු

 



ආරක්ෂිත කැමරා පද්ධති මගින් හදුනා ගන්නා රථ වාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු ලබා ගැනීම වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එළඹෙන පෙබරවාරි 01 දා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.එතෙක් ආරක්ෂිත කැමරා පද්ධති මගින් හඳුනා ගන්නා රථවාහන වැරදිකරුවන්ට මූලික පියවරක් ලෙස අවවාද කිරීමත් ඔවුන් දැනුවත් කිරීමත් දිගින් දිගටම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ඉකුත් (24) දිනය පුරා CCTV මගින් රථ වාහන වැරදිකරුවන් 158 දෙනෙකු හඳුනා ගත් අතර එම වාහනවල හිමිකරුවන් වෙත මුලික පියවරක් ලෙස අවවාද කිරීම සඳහා අදාළ පොලිස් වසම් දැනුවත් කර ඇති බව ද පොලිස් මුලස්ථානය පවසයි.මෙහිදි විශේෂයෙන්ම මං තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නො නවත්වා ධාවනය කිරීම යන වැරදි නිරීක්ෂණය වී ඇති බව කියයි.

CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය කියයි.ඊට අමතරව CCTV ජංගම රථ මගින්ද කොළඹ නගරයේ හඳුනාගත් ස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, ඉදිරියේදී අනෙකුත් නගරවලද ජංගම රථ ස්ථානගත කර මෙහෙයුම් සිදු කරන බව පැවසේ.ඒ අනුව මෙම වැඩසටහන යටතේ හඳුනා ගන්නා රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු ලබා ගැනීම එළඹෙන පෙබරවාරි 01 සිට ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ බළ ප්‍රදේශවල උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටී.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

මනු කියවන්නකු නිරුවත් කර පහරදී කොල්ල කාලා



මනු කියවන්නා නිවසට ගෙන්වා ඔහු නිරුවත් කර පහරදී ඔහුගේ බැංකු කාඩ් පතෙන් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් පැහැරගත් බව කියන පස්දෙනකුගෙන් යුත් කල්ලියක් පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පැවසීය.ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ දී මෙම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතරින් අයෙකු පවත්වාගෙන ගිය ඇප් එකක් මාර්ගයෙන් සම්බාහන මධ්‍යස්ථානයකට යැයි කියා මනු කියවන්නා කැඳවා ඇති අතර. සම්බාහනය ගන්න ආ මනු කියවන්නාට ඉඳිබැද්ද නිවසකදී පහර දී නිරුවත් කොට ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ ඒ.ටී. එම්. කාඩ් පත රැගෙන එහි රහස් අංකය ඔහුගෙන්ම මෙම මුදල් කොල්ලය සිදුකොට ඇතැයි පොලිසිය පැවසීය.

මෙම කොල්ලය සිදුකොට ඇත්තේ පරිදී වයස අවුරුදු විස්ස විසි එක, විසි පහ වැනි වයස් කාණ්ඩවල තරුණ කල්ලියක් බව සඳහන් කරන පොලිසිය මොවුන් රාවතාවත්ත විල්ලෝරවත්ත කටුබැද්ද යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව ද පොලිසිය පැවසීය. ඒ.ටී.එම්. කාඩ් පතින් රුපියල් හැත්ත දහසක පමණ මුදලක් ලබාගෙන සැකකරුවන් අතර දසදහසක බැගින් බෙදාගෙන ඉතුරු මුදල්වලින් ඇඳුම් මිලදී ගත් බවට සැකකරුවන් පාපොච්චාරණය කළේ යැයි ද පොලිසිය පැවසීය.

මෙම සැකකාර කල්ලිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු හා මේජර්වරයකු ඒකාරයෙන්ම සම්බාහනය සම්බාහනය කරන මුවාවෙන් ගෙන්වා කොල්ලකෑමේ සිද්ධියක් මොරටු පොලිසියේ විභාග වූ බවද මුල්ල පොලිසිය පැවසීය.වයස අවුරුදු 45 පමණ වන මනු කියවන්නා බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් පහේ කල්ලිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  රේඛා තරංගනී ෆොන්සේකා

දැව ලොරියේ යතුරුපැදිය හැපී ලුතිනනුයි -පුතයි මරු දකිති



ආණමඩුව ලබුගල ප්‍රදේශයේ දී ඊයේ (25) උදෑසන සිදුවූ මාරක අනතුරකින් පියකු සහ පුතකු මියගොස් මව බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව පදිංචි යුද හමුදා විශේෂ බළකායේ ලුතිනන්වරයකු වන ජීවක සෙනෙවිරත්න  නමති  38 හැවිරිදි නිලධාරියකු හා ඔහුගේ පුතු වන මනුජය ප්‍රභාෂ්වර නමැති දස හැවිරිදි දරුවෙකි.

අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත්තේ මියගිය යුද හමුදා බිරිඳ බව නිලධාරියාගේ පොලිසිය පවසයි.මියගිය යුදහමුදා විශේෂ බළකා නිලධාරියා තම පුතු හා බිරිඳ සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ලබුගල ප්‍රදේශයේ නවතා තිබු දැව ප්‍රවාහන ලොරි රථයක ගැටි ඇති බව පොලිසිය කියයි. අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා සිටි යුද හමුදා නිලධාරියා සහ පුතු ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.

ඒ සමගම බරපතළ තත්වයේ සිටි බිරිඳ ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.යුද හමුදා ලුතිනන්වරයා තම පියාගේ අවමගුලට සහභාගි වී දාන කටයුතු ද අවසන් කර නැවත කොළඹ බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට පත්වී ඇති බව පැවසේ.අනතුරින් මියගිය යුද හමුදා විශේෂ බළකා ලුතිනන්වරයා 2004 වසරේදී යුද හමුදාවට එක්වී ඇති අතර මියයන විට හේනානිගල ආධුනික පුහුණු බළකා කඳවුරේ උපකරණ පාලන නිලධාරීවරයා ලෙස සේවය කරමින් සිට ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම මූලීක රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි. අනතුර සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

 හිරාන් ප්‍රියංකර ජයසිංහ

පාර වැරදුණු ත්‍රිරෝදයේ ලේ ගෑවුණු කඩු 3ක්


- කඩුවෙල - කේ. බුද්ධික කුමාරසිරි

මුල්ලේරියාව කැලණි නදී මාවත හන්දියේ නවතා තිබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක තිබී ලේ තැවැරුණු කඩු තුනක්, යකඩ පොල්ලක්, මන්නයක් සහ ජීව අත් බෝම්බ දෙකක් සොයාගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.මේ සම්බන්ධයෙන් සැකකරුවෝ පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට ත්‍රිරෝද රථය පිළිබඳව සැක සිතී. පරීක්ෂාවේදී මෙම ආයුධ හමු වී ඇත. එම ත්‍රිරෝද රථයෙහි හය දෙනකු ගමන් කර තිබූ බව ද පොලිසිය පවසයි.

එම පොලිස් නිලධාරීන් දෙදෙනා අනෙකුත් පොලිස් නිලධාරීන්ට දුරකතන ඇමතුමක් ලබා දී, ගෙන්වාගෙන කළ පරීක්ෂාවේදී ඔවුන්ගේ ශරීරයේ සඟවා ගෙන තිබූ ජීව අත් බෝම්බ දෙකක් සහ ජංගම දුරකතන හයක් අත්අඩංගුවට ගත් බව ද මුල්ලේරියාව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.පසුව කළ විමර්ශනයේදී පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අංකයට ලැබුණ දුරකතන ඇමතුමක් මත, පින්තාලිය හන්දියේ බටකැටියේ පටුමගේ පිරිසක් පැමිණ, අනවසරයෙන් ඇතුළු වී, නිවෙසක සිටි පුද්ගලයකු ඝාතනය කිරීමට පැමිණ ඇති බවත්, එම අදාළ පුද්ගලයා නිවෙසේ

නොසිටි බැවින් ඔහුගේ පියාට බරපතළ තුවාල සිදුකර, නිවෙසට ද දැඩි ලෙස අලාභ හානි කර ඇති අතර, පියා බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව මූලික රෝහලට ඇතුළත් කර තිබූ බවත් අනාවරණය වී ඇත.අනතුරුව සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කියා සිටියේ, කඩුවෙල දෙසට යෑමට අවශ්‍ය වී තිබූ නමුත්, පාර වැරැදීම නිසා මෙම ස්ථානයට පැමිණ ඇති බවත්ය.

පොලිස් නිලධාරීන්ගේ වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ, ඝාතනය සඳහා ඉලක්කය වූ පුද්ගලයා මීට දින දෙකකට පෙර බන්ධනාගාරගත වී, ඇප ලැබී පැමිණි පුද්ගලයෙකු වන බවත්, මොහු මත්ද්‍රව්‍ය ජාවාරමෙහි යෙදී ඇති අතර, මොවුන් දෙපිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට මූලික වී ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත.සැකකරුවෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.







සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ට ලබාදෙන මාසික දීමනාව ප්‍රමාණවත් නෑ - වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

ඉන්දික නේවාවිතාරණ

සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ට ලබා දෙන මාසික දීමනාව දීර්ඝ කාලයක සිට ඉහළ දමා නොමැති බවත්, මේ නිසා ලැබෙන දීමනාව ආහාරපාන ලබා ගැනීමටත් ප්‍රමාණවත් නොවන බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සදහන් කරයි.

මෙම වෛද්‍යවරුන් පැය 24 පුරාම රෝහල තුළ සේවය කළ යුතු බවත් මේ නිසා සීමාවාසික පුහුණුව ලබන කාලයේ සිටම විදේශ රටකට ගොස් සේවය කිරීමට උත්සහ කරමින් තිබෙන බවත්, මේ වන විට එක්දහස් දෙසියයක පමණ පිරිසක් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.

වසරක කාලයක් සීමාවාසික පුහුණුව ලැබිය යුතු බවත්, මෙම වෛද්‍යවරයෙකුට මාසයකටම හිමිවන්නේ රුපියල් පනස්හයදහසක මුදලක් පමණක් බවත් රෝහල් ආශ්‍රිත ආහාරපාන මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන නිසා අදාළ දීමනාව ආහාරපාන සදහාවත් ප්‍රමාණවත් නොවන බවද පැවසීය.

මේ නිසා බොහෝ සීමාවාසික වෛද්‍යවරුන්ට ජීවත් වීම සදහා දෙමාපියන්ට මුදල් ලබා දීමට සිදුව තිබෙන  බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සීමාවාසික වෛද්‍යවරුන්ට ලබා දෙන මාසික දීමනාව වර්තමානයට ගැළපෙන ලෙස ඉහළ දැමීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.

කඩඉම් විභාග 2ක ප්‍රතිඵල ප්‍රමාදයෙන් විදුහල්පතිවරු 4000කට වැටුප් වර්ධක අහිමියි

ඉන්දික නේවාවිතාරණ

විදුහල්පතිවරුන්ට ශ්‍රේණි උසස් වීම් ලබා දීම සඳහා පැවැත් වූ කාර්යක්ෂමතා කඩඉම් විභාග දෙකක ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා විදුහල්පතිරුවන් 4000කට ආසන්න පිරිසකට වැටුප් වර්ධක අහිමි වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තියවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව දෙවැනි ශ්‍රේණියේ සිටින විදුහල්පතිවරුන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 13 වැනි දින කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත් වූ බවද එම සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න මහතා සඳහන් කළේය.

තුන්වැනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම් කඩඉම් විභාගය පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැත් වුවද මෙම විභාග දෙකට අදාළ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නොමැති බව හෙතෙම පැවසීය. තුන්වැනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා විදුහල්පතිවරුන් 3500ක පමණ පිරිසක් සිටින බවත්, දෙවැනි ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා විදුහල්පතිවරුන් 500ක පමණ පිරිසක් සිටින බවද ඒ මහතා පැවසීය.මේ වන විට විදුහල්පති සේවාව තුළ සිටින්නේ 12000කට ආසන්න විදුහල්පතිවරුන් ප්‍රමාණයක් බවත්, මේ අනුව විදුහල්පතිරුවන්ගෙන් තුනෙන් එකක කොටසකට වැටුප් වර්ධන වර්ධක පවා අහිමි වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.




මිහින්තලා නාහිමියන්ට අපහාස කළැයි ෆේස්බුක් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට



ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවේදියකු බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකුගේ සහෝදරයා බව ද පොලිසිය කියයි.මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමියන්ට බැණ වැදීම, රුපියල් කෝටියක කප්පමක් ඉල්ලීම හා අපහාස අපහාස කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු  අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවෙසේ සිටියදීය. මෙම සැකකාර තැනැත්තා මීට දින දෙක තුනකට පමණ පෙර මිහින්තලේ මහ නාහිමිට එරෙහිව මිහින්තලේ නගර මධ්‍යයේ වටරවුමේ රැඳී සිට, උපවාසයකද යෙදී ඇති බව පොලිසිය කියයි. එම තැනැත්තා එදින ඉවත් කිරීමෙන් අනතුරුව, දිගින් දිගටම අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සමාජ මාධ්‍යවේදියා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

 උපුල් හේරත්

නීතිඥයෝ පිරිසක් දෙනෝ දාහක් ඉදිරියේ නවකයකුට අම්බානක නෙළලා


අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයකු අධිකරණයේ සිට කළගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු, නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දාහක් බලා සිටියදී පහරදීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් ඊයේ (25) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.මෙසේ පහරකෑමට පහරකෑමට ලක්ව ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි තරුණ නීතිඥවරයකු බව පොලිසිය පවසයි.පැමිණිලිකාර නීතිඥවරයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක යටතේ සේවය කර ඇතැයිද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරි කරමින් සිටියදී දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික ආරවුලක් මත බහින් බස්වීමක් සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එදිනම දහවල් නීතිඥවරියන් දෙදෙනකු හා එක් නීතිඥවරියකගේ සැමියා කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාටද තර්ජනය කර ඇතැයි ද හෙළිවී ඇත.එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරි කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයකු පැමිණ ඔහුගේ මෝටර් රථයෙන් කැඳවාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.ඔහු යෑමට නොහැකි බව කියද්දී කැඳවාගෙන ගිය නීතිඥවරයා පහර කෑමට ලක්වූ කනිෂ්ඨ නීතිඥවරයාගේ පළමු ගුරුවරයා බවද හෙළි වී තිබේ. කනිෂ්ඨ නීතිඥවරයා නිල කබාය පිටින් එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සමග කළගෙඩිහේන ප්‍රදේශයට ගමන් කර ඇතැයි ද අදාළ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් හා එක්ව අතින් පයින් පහර දුන් බවද පැමිණිල්ලේ සඳහන්ය.

එම මෝටර් රථයෙන් පැමිණි පිරිස අතර ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ඇතුළු නීතිඥවරියන් කීපදෙනකුද එක් නීතිඥවරියකගේ සැමියාද සිට ඇතැයි ද ඔවුන් වට කරගෙන පහර දෙද්දී පහර නොදෙන ලෙසට කළ ආයාචනා ගණන් නොගත් බවද පැමිණිලිකාර නීතිඥයා සඳහන් කර ඇත.පසුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරියගේ නිවසට කැඳවාගෙන ගොස් සමාව ගන්නා ලෙස බල කර ඇතැයිද බියට පත්ව සිටි ඔහු සමාව ගැනීමෙන් අනතුරුවද තවදුරටත් පහර කෑමට ලක්වූ බව සඳහන් කර තිබේ.ජ්‍යෙෂ්ඨ නීතිඥවරියගේ පුතකුද තමන්ට පහර දුන් බවද ආපසු එමින් සිටියදී නීතිඥවරියකගේ සැමියා යළිත් වතාවක් තමාට පහර දුන් බවද කනිෂ්ඨ නීතිඥවරයා සඳහන් කර ඇත.

අනතුරුව කනිෂ් නීතිඥවරයා කැඳවාගෙන ගිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ඔහු නැවත අධිකරණය වෙත ගෙනවිත් බස්සවා පිටව ගොස් ඇතැයිද මේ බව රහසක් වශයෙන් තබා ගෙන සිටි කනිෂ්ඨ නීතිඥවරයා පසුව වෙනත් නීතිඥවරුන්ට සිද්ධිය පිළිබඳව හෙළි කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි ද ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව පැමිණ පැමිණිල්ල සටහන් කර ඇතැයිද පොලිසිය කියයි. මෙම සිද්ධියේදී පැහැර ගැනීමක් සිදුවී ඇත්ද යන්න අනාවරණය කර ගැනීමටත් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටත් පරීක්ෂණ පරීක්ෂණ පවත්වන බව නිට්ටඹුව පොලිසිය පවසයි.

 පුෂ්පකුමාර මල්ලවආරච්චි 

Wednesday, January 24, 2024

විරෝධතාකරුවෝ ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදිති

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)

ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක්, ඊයේ (23) ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ නෙසට් සභාව යනුවෙනි.

පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින්, කඩා වැදුණු පිරිස මැති ඇමැතිවරුන්ට විරෝධය පළ කරමින් කෑ ගසන්න වූහ.

ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ හමාස් ප්‍රාණඇපයේ සිටින තම පවුල්වල සාමාජිකයන් මුදා ගැනීමට ඊශ්‍රායල රජය කිසිදු උත්සාහයක් නොදරන බව පෙන්වා දෙමිනි.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් හමාස් සටන්කාමීහු ඊශ්‍රායල ජාතිකයන් සහ ඊශ්‍රායලයේ සිටි විදේශිකයන් 253 දෙනකු පැහැරගෙන ගියහ.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ ඇති කරගත් දින කීපයක තාවකාලික සටන් විරාමයක් අතරතුරේ, ප්‍රාණ ඇපයේ සිටි 130 දෙනකු බේරා ගැනීමට ඊශ්‍රායල රජය සමත් විය. ඒ, ඊශ්‍රායලයේ සිරගෙවල්වල රඳවා සිටි පලස්තීන රැඳෙවියන් නිදහස් කරමිණි.

සටන් විරාමයක් යළි ආරම්භ කරමින්, ප්‍රාණ ඇපයේ සිටින තව ආදරණීයයන් සහ පවුල්වල සාමාජිකයන් වහා නිදහස් කර ගන්නැයි පාර්ලිමේන්තුවට කඩා වැදුණු පිරිස බල කරන්න වූහ. 

ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙන්නේ ගාසා තීරයෙන්, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමමින් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමටය. කෙසේ නමුත්, ඊශ්‍රායල ප්‍රහාරවලින් ද ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනකු මිය ගොස් තිබේ.

මේ අතර, ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව පැවැසෙයි. ක්ෆර් බිබාස්, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින්නේ මාපියන් සහ සිවු හැවිරිදි වැඩිමල් සොහොයුරා ද සමඟය. ඊශ්‍රායලයේ සිටින ක්ෆර් බිබාස් සහ ඔහුගේ පවුලේ අයගේ ඥාතීන්, ඉතා හැඟීම්බරව, පුංචි බිබාස් පුතු වෙනුවෙන්, ඔහු නොමැතිව, විශේෂ උපන් දින සාදයක් පැවැත්වීමට ද කටයුතු කර තිබුණු බව වාර්තා වේ. 

මේ වනවිට හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 25,000 පසු කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ගතවුණු පැය 24 කාලයේ ද 178 දෙනකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් මියගිය බව ද පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.

ප්‍රහාරවලින් මියයන වැඩි දෙනා පලස්තීන කාන්තාවන් සහ කුඩා දරුවන් බව ද පැවැසෙයි.