
සුදු වෑන් මාධ්ය සාකච්ඡාවක් පවත්වා දණ්ඩ නීති සංග්රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (30 නීයෝග කළාය.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ප්රකාරව අදාළ අපේක්ෂිකයා තෝරා පත්කර ගැනීමේදී මෙම සිදුවීමෙන් ප්රබල බලපෑමක් ඇතිවී නොමැති බවත් මේ වනවිට ජනාධිපතිවරයා තේරි පත්වී ඇති බවත් සඳහන් කළ මහේස්ත්රාවරිය මෙයින් මහජන කැළැඹීමක් ඇතිවන බව ද නිගමනය කළ නොහැකි බවට තීරණය කරමින් සැකකරුට ඇප නියම කළේය. මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා තුන්වැනි සැකකරු ලෙස නම් කිරීම් ක්රියා පටිපාටියේ ඇති දෝෂය පිළිබඳව අවධානය යොමු කරනු ලබන බවත්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ ඇප ලබාදීම සම්බන්ධයෙන් සඳහන්ව නොමැති බැවින් එය ලංකා දණ්ඩ නීති සංග්රහයේ උපලේඛනයේ අවසානයේ ඇති 'වෙනත් නීතිවලට ඇති' යන ප්රකාරව ඇප ලබාදීමට තීරණය කරනු ලබන බවත් මහේස්ත්රාත්වරිය සඳහන් කළාය.
එසේම, මෙම සැකකරුට එරෙහිව නඩු නොමැති වීම සහ ඇප මත සිටියදි වැරැදි සිදුකරතැයි යන්න නිගමනය කළ නොහැකි බව තීරණය කළ මහේස්ත්රාත්වරිය ඇප පනතේ 14 වන වගන්තියේ 1(අ), 1, 2, 3 යන වගත්ති ප්රකාරව සැකකරුට ඇප ලබානොදීමට තරම් ප්රබල කරුණු අනාවරණය නොවන බවට ද තීරණය කළාය. සැකකරුට ඇප ලබාදීම තුළින් මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට අහිතකර බලපෑමක් සිදුවන බවට කරුණු අනාවරණය නොවන බවත් ඔහු අධිකරණය මගහැරිමේ ප්රවණතාවක් ඇතැයි නිගමනය කළ නොහැකි බවත් තීරණය කළ අධිකරණය සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුනම සංඥය නොවන වැරැදි බව ද සඳහන් කළාය.
ඒ අනුව, ඇප අත්සන් කිරිමේන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක තුන වෙත ගොස් ප්රකාශයක් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කළ මහේස්ත්රාත්වරිය මේ වනවිට විදෙස් ගමන් තහනම් කර ඇති සැකකරුගේ ගමන් බලපත්රය අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කළාය. සැකකරුට ඇප නියම කිරිමෙන් පසු ඇප බැදුම්කරය රෝහලේදී අස්සන් කිරීම් සඳහා ද අධිකරණය අවසර
දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්ය සොලිසිටර් ජනරල් දිලීප පිරිස්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක විතාන, එහි විශේෂ විමර්ශන ඒකක 3 ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රවීන්ද්ර විමලසිරි, උපපොලිස් පරික්ෂක හේමන්ත යන නිලධාරිහු අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර, ජනාධිපති නීතිඥ කේ.වි. තවරාසා, නීතිඥ ගෞරි තවරාසා, නීතිඥ ගුණරත්න වන්නිනායක, නීතිඥ අශාන් නවරත්න බණ්ඩාර, නීතිඥ අමිල ඉන්දික යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. සුදු වෑන් මාධ්ය සාකච්ඡාව සම්බන්ධයෙන් වු මහේස්ත්රාත් පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ (30) පෙරවරුවේදී අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාපෙදී මෙහි තෙවැනි සැකකරු වන හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි මහේස්ත්රාත්වරිය බන්ධනාගරයෙන් විමසුවාය. එහිදී වාර්තාවක් ඉදිරිපත් කරමින් බන්ධනාගාරය සඳහන් කළේ සැකකරු බන්ධනාගාරය බාරයේ ලංකා පෞද්ගලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් මෙසේ ද කීය. "මෙහි තෙවැනි සැකකරු වන නම්බුකර හැළඹගේ රාජිත සේනාරත්න යන අය ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව අනුවයි. ඉකුත් 24 වැනිදා අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවට පසු පැය 48ක් වන තුරුම සැකකරු ගැන තොරතුරක් තිබුණේ නැහැ. බිරිඳයි දරුවයි කිව්වා අපි එයා ඉන්න තැන දන්නේ නැහැ කියලා.
මේ වගේ මෙම සැකකරු අව් කණ්ණාඩි දාලා තොප්පි දාලා රෝහලට ඇතුළත් වෙලා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේ. රෝහලට ඇතුළු කර ගත්තේ උමා ශංකර් කියන වෛද්යවරයායි. සැකකර නීත්යනුකූලව අත්අඩංගුවට ගැනීම සඳහා එම රෝහලේ වෛද්යවරුන් අවසර දුන්නේ නැහැ. පසුව එම රෝහලේ වෛද්ය මොහොමඩ් මුබාරක් මහතා ඉකුත් 27 වැනිදා දහවල් 2ට පමණ තමයි කිවේ සැකකරු අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා.
සැකකරු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ලංකා හොස්පිටිල් ආයතනයේ වෛද්යවරුන් කුමන්ත්රණයක නිරත වෙලා. නිරෝගී පුද්ගලයකුට අසාධ්යයි කියලා හදිසි ප්රතිකාර ඒකකයට ඇතුලත් කළා. රෝගියා සම්බන්ධයෙන් විධිමත් වෛද්ය වාර්තාවක් නැහැ."
අධිකරණය - මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පරික්ෂා කළ අතිරේක මහේස්ත්රාත්වරිය සැකකරු එම රෝහල තුළම බන්ධනාගාරය බාරයේ තබාගෙන සිටීමට නියම කර තිබෙනවා.
නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා - ඔව්. අතිරේක මහේස්ත්රාත්වරිය තත්ත්වය පරික්ෂා කරලා බලන්න නැතිව ඇති. මේ වෛද්යවරුන් සැකකරුට කළ ප්රතිකාරය මොකක් ද? මේ සම්බන්ධයෙන් රෝහලේ පාලනාධිකාරියෙන් අදාළ ලේඛන කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිනවා. මේ වෛද්යවරු නීතිය අපගමනය කරලා. සැකකරුගේ රෝගී තත්වය පරික්ෂා කර බැලිම සඳහා අධිකරණ වෛද්ය නිලධාරිවරයාගේන් වාර්තාවක් කැඳවීමට ද නියෝගයක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටිනවා.
මෙම සිද්ධියේ පළමුවැනි සහ සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ඇති චෝදනා සංශෝධනය පිළිබඳව ඉදිරි දිනයේදී වාර්තා කරන බවම ද දැනුම් දෙනවා. තුන්වැනි සැකකරු (රාජිත සේනාරත්න) වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිය අපගමනය කළේ අපි නොවෙයි. එය කළේ සාධාරණ විය යුතු නීතිපති දෙපාර්තමේන්තුවයි. මුලින්ම මේ සැකකරු අධිකරණයේ පෙනී සිටියා අපේක්ෂිත ඇපයක් ඉල්ලමින්. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔබිතුමිය එය ප්රතික්ෂේප කළා. පසුව අපේක්ෂිත ඇප දෙකක් ඉල්ලා තිබුණා. අද එය කැඳවීමට නියමිතව තිබුණා. එක් අවස්ථාවක අපටත් නොදන්වා සැකකරුට වරෙන්තුවක් ගත්තා.
සැකකරු වෙනුවෙන් මං එදිනම කතානායකවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. එහිදි කතානායකතුමා මට කිව්වා වැඩ බලන පොලිස්පතිවරයා කිව්වා කියලා 30 වැනිදා වෙනකල් මේ සැකකරු අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. මං වගකීමේන් ඒක කියන්නේ . 26 වැනිදාත් මෝසමක් දැම්මා. ඒත් කොළඹින් පිට ඉඳලා ආපු නිසා හදිසියේ සැකකරු රෝගී වුණා.මුබාරක් කියන වෛද්යවරයා තමයි 2016 ඉඳලා සැකකරුට ප්රතිකාර කරන්නේ. ලංකා හොස්පිටල් කියන්නේ රජයේ රෝහලක්.
අධිකරණය - ඒ වුණාට සල්ලි දීලා බෙහෙත් ගන්න තැනක් නේද?
ජනාධිපති නීතිඥවරයා- ඔව්. ඒක හරි. ඊයේ බන්ධනාගාර නිලධාරින් ගිහින් කලබලයක් ඇති කරලා මෙම සැකකරු බන්ධනාගාර රෝහලට ගෙනියන්න හදලා. මුබාරක් කියන වෛද්යවරයාගෙන් අවසරයක් නැතිවයි මේ විදිහට අරගෙන යන්න හදලා තියෙන්නේ.මේ නඩුවෙන් මැතිවරණ පනත උල්ලංඝනය වුණා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න ඕනෑ ඊට සම්බන්ධ අපේක්ෂකයන්ට.
මේ සිද්ධියෙන් තමන්ට ඡන්ද 20,000කට වඩා වැඩි වුණා කියලා දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තියෙනවා. එහෙනම් මේ ගැන පැමිණිලි කරන්න ඕනෑ සජිත් ප්රේමදාස මහත්තයා. මේ වැරැදි සියල්ලම ඇප දිය හැකි වැරැදි. මගේ සේවාදායකයා (එන්ජියෝග්රෑම්) භාවිත කිරීම සඳහා නවලෝක රෝහල වෙත ගෙන යන්න අවශ්යයි. මගේ සේවාදායකයාට එච්.ආර්.අයි. ස්කෑන් එකක් කරන්න අවශ්ය වුවත් එය කරන්න විදිහක් නැහැ. මගේ සේවාදායකයා බෝම්බ ප්රහාර දෙකකට ගොදුරු වී තිබෙනවා. එහිදී ඔහුගේ ඇඟේ යකඩ බෝල තිබෙන නිසා මේ පරීක්ෂණයට යොමු වෙන්න බැහැ.
ඒ වගේම මගේ සේවාදායකයාට වකුගඩු ප්රශ්නයකුත් තියෙනවා. මේක පදනමක් නැති පරික්ෂණයක්. ඒ නිසා මගේ සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.
අධිකරණය- මෙම සැකකරු පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට මාරු කර නොයැවීම අවිධිමත් භාචයක් නොවන බවට නිරික්ෂණය වෙයි. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ප්රකාර චෝදනා ගොනු කිරීමේ දී ඊට අදාළ තැනැත්තන් විසින්ම පැමිණිලි කිරීමේ අවශ්යතාවක් නැත. අපරාධ නඩු විධාන සංග්රහ පනත ප්රකාරව ඕනෑම අයකුව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. තුන්වැනි සැකකරුට එල්ල කර ඇති චෝදනා වන්නේ ලංකා දණ්ඩ නීති සංග්රහ පනත් 169, 190 සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80 (I) (ඇ) වගන්තිය ප්රකාරව වැරැදි බවට චෝදනා තුනක්.
සිද්ධියට අදාළව පළමුවැනි සහ දෙවැනි සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ මිනීමැරිම, මංකොල්ලකෑම් ආදී චෝදනා ඇතුළත් කරලා. එහෙත් මේ වනවිට අනාවරණය වෙලා තිබෙනවා මේ සැකකරුවන් දෙදෙනාටත් එම චෝදනා සංශෝධනය වන බවට. මෙහි තුන්වැනි සැකකරු ලෙස නීතිපතිවරයා මෙම සැකකරු නම් කර තිබෙනවා. එය බරපතළ පරස්පර නීතිමය පටිපාටියක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙහි වඩාත් උචිත නීතිමය පටිපාටිය වන්නේ මෙම සැකකරුට ආධාර අනුබල දීමේ චෝදනාවට අනුව නව නීති කෘතියක් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරිමයි. එහෙත් එය ප්රබල දර්ශයක් ලෙසට නිරික්ෂණය නොකරමි.
එසේම, ජනාධිපතිවරයා තෝරා පරකර ගැනීමේ පනත ප්රකාරව එන චෝදනා සම්බන්ධයෙන් දඬුවමක් එහි සඳහන් වී නැහැ. ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්රහ පනතේ උපලේඛනයේ අවසානයේ ඇති වෙනත් නීතිවලට ඇති වැරැදි යන කොටස උපයෝගී කරගත හැකියි. මෙය මහාධිකරණයේ විභාග වන වරදක් වන අතර, මේ සඳහා දඩය රුපියල් 500ක් හෝ නියම වන සිරදඬුවම් මාස 6ක් වෙයි. මෙම වරදේ ස්වභාවය අනුව එය ඇප දිය හැකි වැරැදි ලෙස දැක්විය හැකියි. ඒ අනුව මෙම වැරැදි අපරාධ නඩු විධාන සංග්රහ පනතට අනුව සාංඥාය නොවන වැරැදි වන අතර, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි වැරැදි ද වෙයි.
ජනාධිපති අපේක්ෂකයකුගේ චරිතයට හානි වන ආකාරයේ ප්රකාශ නිකුත් කිරිම බරපතළ ආදීනව දෙන වරදක්. මේ නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීම විධිමත් නැහැ. ඒ වගේම සැකකරු අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඇයැදුමක් ඉදිරිපත් කරලා තිබෙන අවස්ථාවක අධිකරණය මගහැර සිටින බවට සඳහන් කළ නොහැකියි. සැකකරු සිදුකර ඇති වැරැදි සංඥය නොවන වැරැදි. වරෙන්තුවක් තිබුණත් ඔහු ප්රතිකාර සඳහා යොමු වී ඇති අවස්ථාවක ඕනෑම රෝහලකට ඇතුළු වී ප්රතිකාර ලබාගන්න පුළුවන්. ඒ අනුව ඇප පනත ප්රකාරව සැකකරුට ඇප ලබා දෙනු ලබනටා. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට එලෙස ඇප නියම කරමින් ජනවාරි මස 6 වැනිදා තෙක් මෙම නඩුව කල් තැබීය.
මෙම සිද්ධියේ පළමු සහ දෙවැනි සැකකරුවන් වන අංක 57/7, විද්යාල මාවත, කෝටහේන පදිංචි ඩබලිව්.ජී. අතුල සංජීව මදනායක (46) සහ අංක 424/ඒ. අනුගම්මන, අම්පාර පදිංචි එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර (45) යන දෙදෙනා ද මේ වනවිට රක්ෂිත භාරයේ පසුවෙයි. එම සැකකරුවන් ද ලබන 6 වැනිදා යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. සුදු වෑන් මාධ්ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම් පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර නෙලුමදෙණිය මහතා විවෘත වරෙන්තුවක් නිකුත් කල් ඉකුත් 20 වැනිදාය.හිටපු අමාත්යවරයා අත්අඩංගුවට ගෙන ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා ලිඛිත උපදෙස් ලබාදුන් බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු ඉදිරිපත් කිරීමට අනුව මෙම වරත්තුව නිකුත් විණි.
ලංකා දණ්ඩ නීති සංග්රහයේ 102, 113 (අ)169 (උ), 190 වගන්ති ප්රකාරව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80 (1) (ඇ) වගන්ති යටත්තේ මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි නීතිපතිවරයා උපදෙස් ලබාද දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.