Showing posts with label murderg3. Show all posts
Showing posts with label murderg3. Show all posts

Tuesday, May 14, 2024

බිරිය සැමියා මරා මිනිය කර තියාගෙන ගිහින් වැවට දාලා



නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිඛාව වැවට දැමූ බව කියන බිරිය ඉකුත්දා (11) සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සදහන් කරයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි. සැකකාර කාන්තාව සිය සැමියා කර මත තබාගෙන මීටර් එකසිය පනහක් පමණ දුර ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු තිස්තුනක් වයසැති කාන්තාවක වන අතර ඇය මීට කලින් විවාහ වී නීත්‍යනුකූලව සැමියාගෙන් වෙන් වී ඇති බවත් උදය කුමාර නැමැත්තා ද මීට කලින් විවාහ වී බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන් වී සිටි තැනැත්තකු බවත් පොලිසිය සඳහන් කරයි. සැකකාරියට කලින් විවාහයෙන් අවුරුදු දාහතරක දියණියක සිටින බව පොලිසිය සඳහන් කළේය.

පසුව මොවුන් දෙදෙනා නීත්‍යනුකූලව විවාහ වී ඇති අතර දෙවැනි විවාහයෙන් අවුරුදු නවයක පිරිමි දරුවකු සහ අවුරුදු හතක ගැහැනු දරුවකු සිටින බවත් පොලිසිය පවසයි. අඹුසැමි යුවළ අතර නිතරම අඩදබර පැවැති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ද පොලිසියට ලැබී ඒවා විභාග කර දෙදෙනාගේ එකඟතාව මත සාමදාන වී ඇති බවත් කියති.උදය කුමාර නැමැත්තා නිතර බීමතින් පැමිණ බිරිඳට හා දරු තිදෙනාට පහර දෙන බවත් පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි ගිරිබාව පොලිසිය පැවැසීය. උදය කුමාර නමැත්තාගේ පියාට සහ අක්කාට දුරකථන ඇමතුමක් ලබාදී සැමියා තවම නිවෙසට නොපැමිණි බව දැනුම් දී ඇතැයි කියයි.

පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඉහළ ගිරිබාව වැවේ තිබී පසුගිය 9 වෙනිදා උදය වරුවේ උදය කුමාර නැමැත්තාගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර සැක කටයුතු මරණයක් ලෙස සලකා මේ සම්බන්යෙන් විමර්ශන ආරම්භ කරනු ලැබීය. නිකවැරටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ ගිරිබාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.සැමියා බීමතින් විත් පහරදීම ඉවසා ගත නොහැකිව මන්නා පිහියකින් කැත්තකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙන බව සැකකාරිය අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවිණි යැයි ගිරිබාව පොලිසියේ එම නිලධාරියා කීය.

සැමියා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර   කරමත තබාගෙන එදා මධ්‍යම රාත්‍රියේම වැව් තාවුල්ල දක්වා රැගෙන ගොස් වැව් තාවුල්ලෙන් පහළට තල්ලු කර දැමූ බවට සැකකාර කාන්තාව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී වැඩිදුරටත් පවසා ඇතැයි කියති. සැකකාරිය ගෙන් මුලින්ම ප්‍රශ්න කිරිමේදී වෙනත් පාර්ශවයක් මෙය සිදු කරන්නට ඇතැයි ඒත්තු ගන්වා පරීක්ෂණ කටයුතු නොමග යැවීමට ද ඇය දැඩි උත්සාහ ගත් බව පොලිසිය පවසයි. සැකකාරිය ගෙන් හෙළි කර ගත් තොරතුරු මත ඔවුන් පදිංචිව සිටි ගෙවත්තේ ළිඳක තිබී උදය කුමාර නැමැත්තා ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන පිහිය සහ පොරව ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

Friday, May 10, 2024

කුලියාපිටිය තරුණයා ඝතනය



අවුරුදු දාහතක් වයස සිය පෙම්වතියගේ නිවෙසට ගිය පසු කුලියාපිටියේ සුසිත් ජයවංශ නමැති තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා දින දෙකක කාලයකට රැඳවුම් නියෝගයක් පෙරේදා (8) ලබා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

කුලියාපිටිය නගරයේදී පෙරේදා සැකපිට අත්අඩංගුවට ගත් මොහු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම රැඳවුම් නියෝගය ලබා ගත් බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පැවැසීය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගැනුණේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිගිති නමැත්තාගේ මස්සිනාය.කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතා ප්‍රශ්න කර හෙළිකර ගත් තොරතුරු මත සුසිත් නමැත්තා ගේ සිරුර ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර දින පහළොවකට පසු මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත වනාන්තරයේ සඟවා තිබියදී පෙරේදා සොයාගනු ලැබීය.

හලාවත රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා විසින් සුසිත් ජයවංස නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ එම රෝහලේදී සිදු කරනු ලැබීය.සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමට ලබාගත් බවත් එම වාර්තා ලැබීමෙන් පසු මරණයට හේතුව දක්වන බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා දැනුම් දුන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ අතර ඝාතනයට ලක් වූ සුසිත් ජයවංශ නැමැත්තා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සිගිති නමැත්තාගේ 17 හැවිරිදි දියණිය සිටින ප්‍රදේශයක් ගැන තවම තොරතුරු හෙළි වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි.ගැබිනියක වී ඇතැයි කියන ඇය සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.මෙම දාහත් හැවිරිදි තරුණිය සමග ඇයගේ බාලවයස්කාර සහෝදරයන් දෙදෙනා සොයා ගැනීමට ඇති බව පොලිසිය කියයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Wednesday, September 6, 2023

සරසවි තරුණියක පැහැර ගැනීමට ආ පුද්ගලයෙක් ඝාතනයට ලක්වෙලා



පස්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපාධිධාරි තරුණියක් පැහැර ගැනීමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (05දා) දහවල් තියුණු අවියකින් පහරදී ඝාතනය කර ඇති බව රොටුඹ පොලීසිය පවසයි. මෙසේ ඝානය කර ඇත්තේ කහවත්ත, පනාපිටිය, පොතුවිල ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන හේවා පැලෑන්ද විදානගේ සුදත් ප්‍රසන්න (අවු.39) නමැත්තෙකි. 

රොටුඹ, නාවලේ දන්ලන්දහේත ප්‍රදේශයේ නිවසකට කහවත්ත ප්‍රදේශයේ සිට ඝාතනයට ලක්වූ පුද්ගලයා හා තවත් අයෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ ත්‍රිරෝද රථය හා පැමිණි සෙසු පුද්ගලයා ප්‍රධාන මාර්ගයේ නතර කර අදාළ නිවසට ගොස් ඇති බවත්, නිවසට ගොස් නිවැසියන්ට මරණ තර්ජනය කර ඇති බවත්, එම අවස්ථාවේ තරුණියගේ පියා තියුණු අවියකින් පහරදී ඇති අතර, දෙදෙනා පොර බදා ඝාතනයට ලක්වූ පුද්ගලයා පිහියත් රැගෙන ඒ ආසන්නයේ ඇති නිවසකට දුවගොස් ඇති බවත් පසුව නිවැසියන් ඔහු පසුපස හඹා ගොස් පහරදීම ඇති බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.

සිදුකළ දැනුම්දීමක් මත එම ස්ථානයට පැමිණි රොටුඹ පොලිස් නිලධාරීන් තුවාලකරු පොලිස් ත්‍රිරෝද රථයෙහි දමාගෙන රෝහලට රැගෙත යන අතරතුර 1990 සුවසැරිය ගිලන් රථයට මාරු කර ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට හෙළිවී තිබේ.මේ වන විට මළසිරුර හීගොඩ ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයා පස්ගොඩ ප්‍රදේශයේ තරුණිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් තරුණිය විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ සිට සම්බන්ධය පවත්වා ඇති බවටත් පසුගිය සැප්තැම්බර් 01 වැනිදා මෙම පුද්ගලයා තරුණියගේ නිවසට පැමිණ තේ බී පවුලේ අය සමග කතා කර ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවට පොලීසිය පවසයි.


ඩී.ඒ.පතිරණ 

Monday, July 31, 2023

පනස්වියේ දෙදරු මවකගේ ඝාතන අබිරහස වසර දෙකකට පසු හෙළිවේ

 


රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ 50 හැවිරිදි දෙදරු මවක මීට වසර දෙකකට ඉහත දී ඝාතනය කර ගෙවත්තේ වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විසිහය හැවිරිදි පුතා මහියංගනය වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූහ. ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී සිදුව ඇති මෙම ඝාතනයෙන් මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.එම්. සෝමවතී නමැති දෙදරු මවකි. මෘත දේහය අද (31) දිනයේ ගොඩගන්නා ලෙස නියෝ කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිරුර වළදැමූ ස්ථානය පෙන්වීමට සැකකරුවන් රැගෙන එන ලෙසට ද නියම කළේය.

මෙම කාන්තාව අතුරුදන්වී ඇති බවට සහ එය සැක සහිත බවට ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රිදිමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ආර්.සී. වීරකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේ ද සහාය ඇතිව විමර්ෂණ කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙහි ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ සැමියාගෙන් කිහිප වරක් කළ ප්‍රශ්න කිරීම්වල දී මීට වසර දෙකහමාරකට පෙර එනම් 2021 වර්ෂයේ දී මෙම කාන්තාව ඝාතනය කර තම 26 හැවිරිදි පුතා සමග එක්ව සිරුර වැසිකිළි වළකට දමා සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ නිවෙසින් පිට වාසයකර ඇති අතර මාස 4 කට 5 කට වරක් නිවෙසට පැමිණ ඇති බවත් 2021 පෙබරවාරි මස නිවෙට පැමිණ නැවත යාමේ දී සැමියාගෙන් රුපියල් පන්සියයක මුදලක් ඉල්ලා ඇති බවත් කියති. මේ සම්බන්ධයෙන් දින කිහිපයක්ම නිවසේ අඩ දබර වී ඇති අතර පෙබරවාරි මස 13 සහ 14 වන දිනයන්ගෙන් එක් දිනක උදෑසන මෙම කාන්තාව සහ සැමියා අතර ගැටුම දුර දිග ගොස් මව ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි. පසුව පියා පුතාගේ නිවසට ගොස් අම්මා මැරුණා යැයි පවසා ඇති බවත් ඉන් පසු පියා සහ පුතා එක්ව මිය ගිය කාන්තාවගේ සිරුර නිවෙස අසල අලුතින් හාරන ලද වැසිකිළි වළකට දමා වසා ඇති බවට සැකකරුවන් කළ පාපෝච්චාරණයෙන් හෙළිවූ බවත් රිදිමාලියද්ද පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ ඥාතීන් කිසිවකු නොමැති බවත් කිසියම් පුද්ගලයකු ඇය කුඩාකළ සිටම හදා වාඬාගෙන ඇති බවත්, පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. මෙම කාන්තාව කාලයක් නිවෙස්වල සහ ඇතැම් ප්‍රදේශවල විවිධ රැකියාවන් හි නිරත වී ඇති අතරතුර මෙම පුද්ගලයා සමග විවාහ වී ඇති බවත් එම පුද්ගලයාට සහ මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලිසිය පවසයි. මෙම ඝාතනයට සම්බන්ධ බව කියන 72 හැවිරිදි සැමියා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමග පවසා ඇත්තේ තම බිරිඳ නිවසින් රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් එහිදී කොරෝනා හැදිලා මත් මියයන්නට ඇතැයි සිතන බවත්ය. සැකකරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී මෙම කාන්තාව මියගිය තැනැත්තකු බව පවසා ඇයගේ නම ඡන්ද නාම ලේඛනයෙන් ද ඉවත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

 


ඉන්දිකා රාමනායක

Wednesday, June 8, 2022

එප්පාවල වී මොල් හිමියකුත්, ත්‍රිරෝද රියැදුරකුත් කපා කොටා මරාදමලා


එප්පාවල ඇදගල ප‍්‍රදේශයේදී පෙරේදා (7) මධ්‍යම රාත්‍රී ව්‍යාපාරිකයකු හා ත්‍රීරෝද රථ රියදුරකු වෙඩි තබා හා කපා කොටා ඝාතනය කර ඇතැයි එප්පාවල පොලිසිය කියයි. මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එප්පාවල ඇදගල ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ වී මෝල් හිමියෙක් වන අතර ඔහු සමඟ සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධියෙන් මියගියේ “නදීකා හාල් මෝල, ඇදගල, එප්පාවල ලිපිනයේ පදිංචි කාවින්ද ප්‍රසාද් වීරකෝන් 31 හැවිරිදි නමැත්තෙක් හා ත්‍රිරෝද රථ රියැදුරකු වන ඇදගල, එප්පාවල ලිපිනයේ පදිංචි 47 හැවිරිදි ඉබ්‍රාහිම් මොහොමඩ් මුබාරක් දෙදෙනාය. මෙම සිද්ධිය පෙරේදා මධ්‍යම රාත්‍රී ඔහුගේ  නිවසේ සිදුව ඇති අතර, ත්‍රීවීල් රථයටද අලාභ හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එප්පාවල පොලිසිය කියයි. 

මෙම ව්‍යාපාරිකයා හා ත්‍රිරෝද රථ රියදුරු මත්ද්‍රව්‍යවලට ඇබ්බහි වූවන් දැයි සොයා පරික්‍ෂණ පවත්වන බව පොලිසිය කියයි. අපරාධ සිදු වූ ස්ථානය ඉදිරිපිට පදිංචි අයකු ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය භාරයට ගෙන ඇතැයිද සඳහන් වේ ත්‍රිරෝද රථ රියැදුරුගේ සිරුරේ බරපතළ කැපුම් තුවාල තිබෙන බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය පිළිබඳව එප්පාවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කෝදාගොඩ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරික්ෂණ පවත්වති.


උපුල් හේරත්

Wednesday, November 10, 2021

අනියම් සම්බන්ධයක් ඝාතනයකින් කෙලවර වූ හැටි



අම්බලන්ගොඩ, අකුරල, ගල්දූව, ආරණ්‍ය සේනාසනයට යන මාර්ගයේ ගල්දූව මැටි දූව ප්‍රදේශයේ පසුගිය මස (ඔක්තෝම්බර්) 14 වැනි දින ගෙල කපා පුද්ගලයකු මරා දමා නිබිණි. රාත්‍රී කාලයේ සිදු කර තිබූ මෙම ඝාතනය පිළිබඳ මිටියාගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර එහිදී මිය ගිය පුද්ගලයාගේ වහුසොයා ගැනීමට හැකිවිය.  ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයා නින්දාන, කොරන්විල ප්‍රදේශයේ අයකු බවත් ඔහුගේ නමවවිතානඋජීන්ලක්ෂිත බවත් තහවුරු වූ අතර විවාහක පුද්ගලයකු වුවත් බිරිය ඔහුගෙන්  වෙන්වී මැදපෙරදිග රැකියාවක යෙදී සිටින බවද හෙළිවිය.මොහුට දරුවන් දෙදෙනකු සිටියත් ඔවුන් ජිවත්වූයේ පියා සමග නොව ආච්චි සීයලා සමගය. මොහු ජීවත් වූයේ තනිවමය.  මියගිය අය පිළිබඳ තොරතුරු සොයාගත්  පොලිසිය ඔහු ආශ්‍රය කළ මිතුරන් කවුදැයි සොයාබැලීමට කටයුතු කළේය.  උජිත් ලක්ෂිතට මිතුරන් රැසක් හිටියත් සමීපව ඉන්නේ එක් අයකු බවත් ඒ ගලගොඩ ගැලවීමේ හමුදා සුනාමි නිවාසවල පදිංචි අයකු බවත් තහවුරු විය



උජිත් ලක්ෂිත එම මිතුරනගේ නිවසට නිතර ආ ගිය බවටත් කරුණු අනාවරණය විය.  නිවෙසේ හිමිකරු වූයේ දේතේත්ති සමන් කුමාරයි. ඔහු ගතකළේ තමන්ගේ ජීවිතයේ 40වැනි කඩඉමයි. උජිත් සහ සමන් කුමාර හොඳ යහළුවන් විය. ඔහුගේ මිතුදම වසර හයක්පමණ පැරණිය. ඔවුන් දෙදෙනා මෙසේ මිතුරු දමින් වෙළී සිටින අතරතුර සමන් කුමාර විවාහ ජීවිතයට එක් විය. එසේ වුවද එය ඔවුන්ගේ මිතුරු දමට ප්‍රශ්නයක්වූයේ නැත. මේ වනවිටඋජීත් විවාහ දිවියට එක්ව සිටියත් එය සාර්ථක එකක් නොවීය.

උජිත් ලක්ෂිතට දාව  දරුවන් දෙදෙනකු සිටියත් ඒසියල්ල අතහැර දමා උජිත්ගේ බිරිය විදේශ රැකියාවකට ගිය අතර දරු දෙන්නා සිටියේ ඥාතීන් සමගය. සමන් කුමාරගේ රැකියාව වූයේ ධීවර කර්මාන්තයයි. බහුදින ධීවර යාත්‍රාවක සේවය  කරන නිසා ඔහු වැඩි හරියක් හිටියේ මහ මුහුදේ ය. ඔහු තම මිතුරාට පවසා සිටියේ තමන්මුහුදු ගිය අවස්ථාවල තම දරු පවුල පිළිබඳ සොයා බලන ලෙසය. මේ තොරතුරුවලට ලක්ෂිත ඝාතනයේ සැකය සමකුමාර වෙත යොමු විය. ඒ මන්ද යත් ප්‍රදේශවාසීන් දුන් තොරතුරු අනුව සමන් කුමාරගේ බිරිය සමග උජිත් ලක්ෂිතගේ යම් සම්බන්ධතාවයක් තිබූ බැවිනි.


එමනිසා පොලිස් නිලධාරීන්, සමන් කුමාර සොයා ඔහුගේ නිවසට ගියත් ඔහු ගැන තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.නමුත් සමන් කුමාර සිටින තැනක හෝඩුවාවක් සොයාගැනීමට හැකි වූ අතර මිටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට,ගලගොඩ ප්‍රදේශයෙහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවිය, මේ වනවිටත් උජීත්ගේ සිරුර බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තබා තිබුණේ කරන ලද ජීසිආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීම නිසාය.  ඉන්පාසුව කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කැපීම හේතුකොටගෙන අධික රුධිරය වහනය වීමෙන් මරණය සිදුවී ඇති බවට බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් තහවුරු කරනලදී. සමන්කුමාර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කලත් ඔහු සිද්ධිය සම්බන්ධව කිසිත් ප්‍රකාශ කළේ නැත.පොලිස් නිලධාරින්ගේ දැඩි ප්‍රශ්න කිරීම හමුවේ සමන් කුමාර හඬ අවදිකරන්නට විය. 



'සර් උජීත ලක්ෂිත මගේ යාළුවා තමයි.  අවුරුදු හයක් විතර ආශ්‍රය කරනවා,එයා  නිතරම අපේ ගෙදර එනවා. ඉතින් යාළුවා නිසා මම කැමති වුණා එයා අපේ ගෙදර එනවට. මොකද මම නිතරම ගෙදර නැහැ, මුහුදුයනවා,   එන්නේ ගොඩ දවස් ගිහිල්ලා.සමහරවිට මාසයක් පමණක් වෙනවා.  "ඒදවස්වල අපේ ගෙදරට අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා.එයාරස්සාව හැටියට කළේ කුරුඳු තැලීම යි. ඉතින් මම එයාට කියලා තිබුණේ ගෙදරට උදව් කරන්න කියලා,මම මුදුගිහින් ආවට පස්සේ අපි දෙන්නා සෙට් වෙනව.  පස්සේ මට අජිත්ගේ හැසිරීම ගැනත් මගේ පවුලගේ හැසිරීම ගැනත් සැකයක් ඇති වුණා. මේ සම්බන්ධව පිටස්තර අයගෙන්ද එක එක කතා ආරංචි වුණ' 


'මම දවසක් පවුලගෙන් ඒ ගැන විමසුවා.එයා මොකුත් කීවේ නැහැ. මම කීප  වතාවත්ම කිව්වා එවැනි සම්බන්ධයක් තියෙනවානම් නවත්තන්න කියලා.මම උජීතට මේ ගැන මොකුත් කිව්වේනැ, පවුල  එයාට කියා තිබුනෙත් නෑ. කොච්චර අවවාද කළත් මගේ පවුල ඒ සම්බන්ධකම අතහැරලා තිබුනේ නැහැ. ඉතින් මම තීරණයක් ගත්තා උජීත්ට ගේමක් දෙන්න ඕන කියලා, මට මගේ පවුල ගැන තරහක් ආවත් මං එයාට මොකුත් කරන්න හිතුවේ නැ.මොකද දරුවො දෙන්න නිසා.නැත්නම් මම ඒ ගැනි මරනවා. මම හිරේ යනනිසා දරුවෝ අනාත වෙන නිසයි එහෙම කළේ නැත්තේ 


"උජීත්ට ගේම දෙන්න මම  අම්බලන්ගොඩ කඩේකින් පිහියක් ගත්තා. එදා ඔක්තෝබර් 14දාම අපේ පවුලටයි ළමයින්ටයි කිව්වා හවස අකුරල බීච් එකට යමු කියලා. මගේ පවුලයි දරුවො දෙන්නයි ත්‍රීවිල් එහෙක බීච් එකට එක්කගෙන ගියා. මම උජිත්ට  එන්න කිවා.එය ආවා, එයාලා මුහුදේ නාන අතරේ මම ගෙනැත් තිබූ අරක්කු බෝතලයක් උජිත් එක්ක එකට බිව්වා”  "මම අරක්කු බෝතලේ දාගෙන ආපු බැග් එකේම තමයි පිහියත් දාගෙන ආවෙ .රෑබෝ  වෙන නීසා මම ළමයින්ටයි පවුලටයි ත්‍රීවිල් එකකින් ගෙදර යන ලෙස කිව්වා. අපි අරක්කු බෝතලේ ඉවර වෙනකම්ම බිව්වා. පස්සේ උජීත්ගේ බයික් එකේ පිටුපස ගෙදර යන්න ගියා. මම කිව්වා ගල්දූව පාරෙන් යමු කියලා.''



"අපි 7ට විතර යන්න පිටත් උනා, මම උජිතට කීවා මාව ගෙදරට ගෙනයන්න කියලා. මම උජිත්ගේ බයික් එකේ පිටුපස නැගලා ගල්දූව ආරණ්‍ය පාරේ, මැටිදුව හරියට ආවා"  'ඒ හරියේ ගෙවල් නැ.පාලුයි. රෑට මේ පාරේ කවුරුත් වැඩිය යන්නේ නැහැ. ඉතින් ඒ හරියට යනකොට මටමුත්‍රා කරන්න ඕනෙයි කියල මම කිව්වා.උජිත් බයික් එක නතර කරා. ඒ එක්කම වගේ මම පිහිය අරගෙන උජීත්ගේ බෙල්ල හරිය කපලා දැම්මා.කපනවත් එක්කම උජීඒ පිහිය ඇල්ලුවා, මම පිහිය ඇදලා ගත්තා. ඒ එක්කම උජිත් මුනින් අතට බිමට වැටුනා. බයික් එක අනිත් පැත්තට පෙරලුනා.ඊට පස්සේ මම ආපස්සට ඇවිත් ලේ ගැවිච්ච ඇඳුම විසි කළා. නාන්න අඳින්න අරගෙන ආපු ඇඳුම්  ඇඳගෙන ගෙදර ගියා. ඒ යන අතරතුර මම පිහිය බුදු පිළිමය අසල පාරේ තිබුණ බෝක්කුවට විසිකළා."  


සමන් කුමාර ගිරවකු සේ සියල්ල හෙළි කළේය. බෝක්කුව පරික්ෂා කිරීමේදී පිහිය සොයාගැනීමට හැකිවිය.   වනවාසීව සිටින ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා රැසක් භාවනායෝගීව වැඩ සිටින පින්බිමක් අසන්නයේ මෙවන් සිද්ධියක් ඇතිවීම ඉතාමත් කනගාටුදායකය.කෙසේ වෙතත් කළ අපරාධය වැඩි කාලයක් ගත නොවී අනාවරණයකර ගැනීමට හැකිවූයේ මෙවන් නිස්කලංක වනවාසි පරිසරයක් ලෙයින් තෙත් කළ අය නීතියේ රැහැනට කොටුවූයේ මෙවැනි පරිසරයක් මෙවන් අපරාධවලට එකග නොවන බව කියා පාන විලසටයි.   බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හන්සදේව සමරදිවාකර මහතා, නීයෝග කරන ලදී. මියගිය අය කොවිඩ් ආසාදිතයකු වූ නිසා කොවිඩ් නීතිවලට අනුව ආදාහනය කරන ලදී.


-අනුරාධ ප්‍රියදර්ශන-

Tuesday, August 17, 2021

පුද්ගලයකුට පොලු වලින් පහරදී මැරුවැයි ඒකම පවුලේ මවක්, දියණියක් සහ පුතෙක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට


පුද්ගලයකුට පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ මවක්, දියණියක් සහ පුතෙක් ඇතුළු හය දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. එලෙස ඝාතනයට ලක්ව තිබුණේ අලුබෝමුල්ල නිව්ඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි නලින්ද ලලිත් සිරිමාන්න නමැත්තෙකි. සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ආධාර අනුබලදීම චෝදනා යටතේය. ඉකුත් මස 11 වැනි දින පානදුර වඳුරාමුල්ල මාර්ගයේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ ලේ පෙරෙන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත සිදුකළ මූලික විමර්ශනවලදී එය පිරිසක් එක්ව සිදුකළ පහරදීමක් හේතුවෙන් සිදු වූවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.


ඝාතනයට ලක්වූ පුද්ගලයා අලුබෝමුල්ල ප්‍රදේශයේ දී පැහැරගෙන වඳුරාමුල්ල සුසාන භූමියකට ත්‍රිරෝද රථයකින් රැගෙන විත් හය දෙනෙකුගෙන් යුත් පිරිසක් පොලුවලින් පහරදී මියයාමෙන් අනතුරුව දෙල්ගහවත්ත ප්‍රදේශයේ මාර්ගයේ දමාගොස් තිබූ බව පොලිසිය කියයි. මහා පරිමාණ මත්ද්‍රව්‍යන් ජාවාරම්කරුවෙක් වන විදේශ රටකට පලා ගොස් සැඟව සිටින බව කියන පානදුර “සලිදු" නමැත්තාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි . “සලිදු" නමැත්තාට අයත් කුඩා අරුගොඩ ප්‍රදේශයේ නිවසක තිබූ බව කියන භාණ්ඩ කීපයක් මීට මාස කීපයකට ඉහතදී ඝාතනයට ලක් වූ පුද්ගලයා විසින් සොරා ගත්තේ යැයි සැක කර “සලිදු” ගේ උපදෙස් මත සැකකරුවන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අධිකක්ෂණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


- බිමල් ශ්‍යාමන් ජයසිංහ-



Monday, June 21, 2021

සරුංගලයකට තිදෙනකු මිය යාමේ සිද්ධියට තරුණයකු කපා කොටා මරලා



මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේදී මීට වසර කිහිපයකට පෙර සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන තිදෙනකු මිය යාමේ සිද්ධියට අදාළ එක් පාර්ශ්ව යක තරුණයකු ඊයේ (20) මිනුවන්ගොඩ, කොටගෙදර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පී. ලක්ෂිත ලක්මාල් ද සිල්වා හෙවත් සුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු බව පොලිසිය කීය.


මරණකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී නවීන පන්නයේ මෝටර් රථයකින් යතුරුපැදිය හප්පා ඇති බවත්, යතුරුපැදිය පෙරළීමෙන් අනතුරුව මරණකරු දිව යන අතරතුර තවත් සැකකරුවන් පිරිසක් ඔහු ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. 2017 වර්ෂයේ අගෝස්තු මස 26 වැනිදා සරුගල් ප්‍රශ්නයක් මුල් කරගෙන ගමන් ගෙදර ප්‍රදේශයේදී පිය පුතු දෙපළ තියුණු ආයුධවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයෙන් ඇප ලබා සිටි අයෙකුව මිනුවන්ගොඩ යටියන මංසන්ධියේදී ඉකුත් 2018 වර්ෂයේ අගෝස්තු මස 05 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මරණකරු ඊයේ (20) මෙසේ ඝාතනය කර තිබේ.


- ටෝනි කරුණානායක -


Friday, April 30, 2021

තලංගම තලාහේන ව්‍යාපාරිකයා මරා ඇත්තේ කෝටි ගණනක මුදල් සහ මැණික් ගල් ගන්නයි


තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැලයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ ඝාතකයන් ව්‍යාපාරිකයාගේ ගෙල කපා මරා දමා ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් සහ මැණික් ගල් වෙනුවෙන් බවට සැක පළ වී ඇතැයි  ජෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.  මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා (27) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහනුවර මන්දාරම්නුවර පදිංචි යුද හමුදාවෙන් පලා ගොස් සිටි 28 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු හෙළිවී ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.  මේ වනවිට මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන යුද හමුදාවෙන් පලාගොස් සිටි සැකකරු  සොයා පොලිසිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ විශේෂ  මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.



තලංගම පොලිසිය විසින් ඉකුන්දා (27) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සහ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු, ඝාතනය වූ ව්‍යාපාරිකයා යටතේ සේවය කරමින් සිට ඇති අතර ඔවුන් ව්‍යාපාරිකයාට අයත් මහරගම සහ පොතුහැර ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම් අංගණ දෙකේ භාරකරුවන් ලෙස සේවය කර ඇති අය බවද පොලිසිය පවසයි. පොතුහැර ගොඩනැගිලි ඉදිකිරීම් අගණය බාරව සිටි මාතලේ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවේ පසුවන සැකකරුට  දුරකතන ඇමතුමක් ලබාදී වහාම තමා හමුවන  ලෙසට පවසා ඇති අතර ඉකුත් 18 වැනිදා ඔහු වහාම තලාහේන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 


පසුව එදින දහවල් ඝාතනය වූ ව්‍යාපාරිකයාත් සැකකරුවන් තිදෙනාත් අසල කඩයකට ගොස් දහවල් ආහාර ගැනීමෙන් අනතුරුව නැවත ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති අතර නිවසට පැමිණි විගස ප්‍රධාන සැකකරු පුටුවක හිඳ ගෙන සිටි ව්‍යාපාරිකයාගේ බෙල්ල සිය ඉනේ සඟවාගෙන සිටි පිහියකින් කපා ඇතැයි ද සඳහන් වෙයි.  “උඹව මරනවා මං කියන දේ ඇහුවේ නැත්නම්. මූ ළඟ තියෙන ඩොලර් 10,000 යි මැණික් ටිකයි මට ඕන. උඹ මගේ කකුල් අතපය ගැට ගහපන්" යැයි ප්‍රධාන සැකකරු තමා බියට පත් කළ බැවින් තමන් ඔහුට අවනත වූ බව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප්‍රකාශ  කර ඇතැයි ද පැවසෙයි.


මළ සිරුර එම ස්ථානයේ තිබියදී වෙනත් ලියකියවිලි කිහිපයක් ලබා ගැනීම සඳහා සැකකරුවන් දෙදෙනා මෝටර් රථයෙන්  පොතුහැර අංගණය වෙත ගොස් නැවත පැමිණ ඇති අතර පසුව මළ සිරුරේ ලේ වහනය වැළැක්වීම සඳහා පොලිතින් උරවල ඔතා මෙට්ටයකට මැදි කොට වාහනයේ ඩිකියේ තැත්පත් කර මාතලේ රත්තොට කැලෑ ප්‍රදේශයට  ගෙන ගොස් ඇති බවත් පොලිසිය කරුණු හෙළිකරගෙන තිබේ. රත්තොට ප්‍රදේශයට පැමිණි සැකකරුවන් දෙදෙනා එහි ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් කෑන් දෙකක් ද මිලයට ගෙන ඇතැයි පැවසෙයි.  පසුව මළසිරුර පුලුස්සා එම මෝටර් රථයෙන් ම අනුරාධපුරයට පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා එම රථය අනුරාධපුර බස් නැවතුමේ නතර කරදමා බස් රථයෙන් කුරුණෑගල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක දින තුනක් නතර වී සිට ඇති බවත් පසුව දෙදෙනා වෙන්ව  ගොස් ඇති බවත් හෙළිවී තිබේ. 


මාතලේ රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබී සොයාගත් පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් මේ වනවිට අතුරුදන්වූ ව්‍යාපාරික කොළඹ තලාහේන මාලබේ ප්‍රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ (46) නමැත්තාගේ බවට පොලිසිය සැක කරන අතර, ඔහුගේ දෙමාපියන්ගේ ලේ සාම්පල ලබා ගෙන ඩී.එන්.ඒ. වාර්ත සඳහා යවා ඇතැයි ද පොලිසිය කියයි. මෙම ව්‍යාපාරිකයාගේ බවට සැක කෙරෙන පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් පොලිසිය විසින් සොයාගනු ලැබුවේ ඉකුත් 21 වැනිදාය.


-නිමන්ති රණසිංහ-




Monday, March 8, 2021

හිටපු සෙබළකු මරා ඔයට දැමුවයි හමුදා කෝප්‍රල් - බාබර් රිමාන්ඩ්



හිටපු හමුදා සෙබළකු ඝාතනය කර යතුරුපැදියක ගැටගසා මීවන පලාන මාවක්ඔයට  දැමීමේ සිද්ධියට සම්බන්ධ හමුදා   කෝප්‍රල්වරයකු සහ කරණවෑමියකු පෙරේදා (6) අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් කරණවෑමියා ද හමුදා  මූලික පුහුණුව ලැබූවකු බව පොලිසිය කියයි.  මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අංගොඩ, කොහිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේමුල්ල කොමාන්ඩෝ රෙජීමේන්තුවේ මූලික පුහුණුව ලබා, පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්ව සිටි සසංක සඳරුවන් (30) නමැති එක්දරු පියෙකි. 


ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරුවන් දෙදෙනා ගණේමුල්ල  කොමාන්ඩෝ රෙජිමේන්තුවේ එකම කණ්ඩායමක මූලික පුහුණුව ලැබූ ගජ මිතුරන් බව පොලිසිය කියයි.  ඝාතනයට ලක් වූ පුද්ගලයා ඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයකු බවට තොරතුරු ලැබී ඇති අතර අංගොඩ ලොක්කා මියයාමෙන් අනතුරුව සිදු වූ යම් සිද්ධියකින් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රදේශය හැර රහසිගත ජීවිතයක් ගත කර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.


ඝාතනයට ලක්වූ හිටපු හමුදා සෙබළා,   ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හමුදා කෝප්‍රල්වරයාට අයත් මීවනපලාන, දඹර,   බට්ටාගල ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන සිටියදී පෞද්ගලික හේතුවක්  මත ඇති වූ සිද්ධියක් හේතුවෙන් ඔවුනොවුන් අතර මතභේදයක් තිබූ බව  පොලිසිය කියයි.


පසුව ඝාතනයට ලක්වූ පුද්ගලයා සියලු  සිද්ධීන්වලට මිතුරාගෙන් සමාව ගෙන  සුපුරුදු ලෙස කාලය ගත කර ඇති අතර ඉකුත් වසරේ නොවැම්බර් මස 11 වෙනි දින  ජයටම පැවැත්වූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ උපන් දින සාදයට ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ පවා සහභාගී වී තිබූ බව පොලිසිය කියයි .  පසුගිය මාස 2 ක පමණ කාලය තුළ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ සැකයත්, තමන්ට තනිව හමුවන ලෙස පැවැසීම සම්බන්ධයෙන් ඇති වූ සැකයත් හේතුවෙන් මතුවූ ජීවිත තර්ජනය  සම්බන්ධයෙන්  කෙසේ හෝ මිතුරාව ඝාතනය කිරිමට  සැලසුම් කිරීමට සැකකාර කෝප්‍රල්වරයා  සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි. 


ඒ සඳහා ගනේමුල්ල නගරයේ කොණ්ඩා කපන ස්ථානයක් පවත්වාගෙන යන කලකට පෙර හමුදා පුහුණුව ලද මිතුරාගේ ද උදව් උපකාර ලබාගැනීමට සැකකරු විසින් කටයුතු කර ඝාතනයට ලක් වූ පුද්ගලයාද කැඳවා ඔහු එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව කඩුවෙල නගරයේ මත්පැන් හලක්  වෙත ගොස් බියර් ටින් හතරක් මිලදීගෙන ඔහු සමඟම යතුරුපැදියේ මීවනපලාන, පුහුවල, මාවක්ඔය ආසන්නයේ රබර් වත්තකට ගොස් බියර් පානය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.  


දෙදෙනා විසින් බියර් ටින් තුනක් පානය කිරිමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු විසින් මීට මාස කීපයට ඉහත දී දෙදෙනා අතර ඇතිවී තිබූ ආරවුල සම්බන්ධයෙන් නැවතත් මතුකර එම අවස්ථාවේදී ඒ අසල තිබූ පොල්ලක් රැගෙන බිම වාඩිවී සිටි පුද්ගලයාගේ හිසට සහ ශරීරයට පහර  දෙමින් සිටියදී ඔහුන්ගේ මදපා මුල වැඳ වැටුණු ඝාතනයට ලක් වූ පුද්ගලයා "අනේ  සමාවෙයන් මචං ” “අනේ සමාවෙයන් මචං " යැයි පැවසුවද පැය එකහමාරකට ආසන්න කාලයක් පුරා මැරෙනතුරු පහර දී තිබූ බව  පොලිසිය කියයි. 


එම අවස්ථාවේදී පහර දීමට යොදා ගත්  පොල්ලද කැඩී ඇති අතර පසුව ඒ අසන්නේ රැදී සිටි කරණවෑමි මිතුරා එම  ස්ථානයට ගෙන්වාගෙන, ඝාතනය කරන ලද පුද්ගලයා පදවාගෙන පැමිණි යතුරුපැදිය ඔහු ලවා මාවක්ඔය අසලට රැගෙන ගොස් එහි අංක තහඩු දෙක ගලවා, අනතුරුව ඝාතනට ලක්වූ පුද්ගලයා සන්තකයේ තිබූ ජංගම දුරකථන තුනද ගෙන, ඔහුගේ මළ සිරුර ද එම ස්ථානයට රැගෙන ගොස් යට ඇඳුම පමණක් ඉතිරිවන සේ අනෙක්සි යලුම ඇඳුම් ගලවා රැගෙන යන ලද ලණුවලින් මළ සිරුර යතුරුපැදියට තබා ගැට ගසා, ප්‍රධාන සැකකරු වන හමුදා  කෝ ප්‍රල්වරයා මාවක්ඔයට බැස යතුරුපැදියේ ඉදිරිපසට රෝදයෙන් එය ඇද මාවක්ඔයට දමා දෙදෙනාම පිටව ගොස් තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි. 


එම සිද්ධියෙන් දින 11කට පමණ පසු  පෙබරවාරි 11 වැනිදා මාවක් ඔයේ මාළු ඇල්ලීම සඳහා ගිය දෙදෙනකු මළ සිරුරක් පාවෙනු දැක ඒ සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා දැනුවත් කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නියෝගය මත මළ සිරුර ගොඩගෙන යතුරුපැදියේ එන්ජින් අංකය සහ චැසි අංක ඔස්සේ සිදුකළ දීර්ඝ පරික්ෂාවේදී ඝාතනයට ලක් වූ  පුද්ගලයාගේ මූලික තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .අනතුරුව දිගින් දිගටම ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී ඝාතනයට ලක්වූ පුද්ගලයා පරිහරණය කරන ලද ජංගම දුරකථන අංකය හමුවීමෙන් අනතුරුව දිගින් දිගටම පරික්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනාට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමේදී ඝාතනයට ලක්වූ පුද්ගලයා පැදවූ යතුරුපැදියේ අංක තහඩුව කැබලි කීපයකට කඩා මීවනපලාන, ගොන්නගෙදරවත්ත ප්‍රදේශයේ කුඹුරු යායක් මැදින් වැටී තිබෙන ඇළ මාර්ගයක විසි කර තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වී ඇත. එම පුද්ගලයාගේ ජංගම දුරකථන තුනක් පාදුක්ක ප්‍රදේශයේ පුස්සැලි ඔයට දැමූ බවට සැකකරුවන් සිදු කළ ප්‍රකාශ ඔස්සේ කිමිදුම්කරුවන් යොදා සොයා බැලුවද සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීවනපලාන සහ ගණේමුල්ල පදිංචිකරුවෝ වෙති.

 - බිමල් ශ්‍යාමන් ජයසිංහ-


Thursday, March 4, 2021

මෝටර් රියෙන් ඇවිත් යතුරු පැදි 2ක් යටකර තරහාකාරයා කපා මරලා

කුරුණෑගල පහමුණේ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරුපැදිකරුවකු කපාකොටා ඝාතනය කර ඇතැයි නාරම්මල පොලිසිය කියයි.  මෙම ඝාතනය කළ බව කියන පුද්ගලයකු පොලිසියට බාර වූ බවද පොලිසිය කියයි.  තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බව පොලිසියට බාරවූ පුද්ගලයා පොලිසියේ දී කියා ඇතැයි පොලිසිය කියයි.  කලක සිට තිබූ මෙම ආරවුල හේතුවෙන් ගැටුම ඇතිවී තිබෙන බවට පොලිසිය සඳහන් කරයි. 


මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයාට සහ යතුරුපැදි වලින් පැමිණි අය හැකි නම් හමුවන ලෙස එකිනෙකාට  අභියෝග කරගෙන ඇති අවස්ථාවක ඊයේ සවස 4.30 ට පමණ රඹාවැව, නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.  එම අවස්ථාවේ දී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය යටකර තමා සමග ආරවුල ඇති පුද්ගලයා කපා කොටා මරාදමා ඇතැයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත. යතුරුපැදිවල පැමිණි තවත් දෙදෙනකු පලාගොස් ඇති බවද පොලිසිය කියයි.


මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා පහමුණේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක අයකු වන අතර මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක කිලින්පොළ පදිංචිකරුවෙකි. කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා ඊයේ සවස ස්ථානය සහ මළසිරුර පරික්ෂා කර බලා  සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණයට යැවීමටත් පොලිසියට නියෝග කළේය. මියගිය පුද්ගලයාගේ සිරුර කටුපොත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.


 - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ-

Tuesday, February 16, 2021

මල්ලීගේ පිහිපහරින් අයියා මරුට


එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු අතර ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඉකුත් 14 වැනිදා දහවල් මීගහතැන්න බෝතලාව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇතැයි මීගහතැන්න පොලීසිය පවසයි.  තියුණු ආයුධයකින් පහර දීමකින් මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීගහතැන්නෙ බෝතලාව පදිංචි වටගලගේ දොන් සනත් කුමාර නමැති 36 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.  මියගිය අය සහ ඔහුගේ බාල සොයුරා අතර කාලයක් තිස්සේ පැවැති පෞද්ගලික ප්‍රශ්න මත දිගින් දිගටම ආරවුල් ඇතිවී තිබෙන බවත්,  මෙදින ද දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුවීමේදී බාල සොහොයුරා විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී යැයි මීගහතැන්න පොලිස් අපරාධ අංශාධිපති පොලිස් පරික්ෂක පාලිත රාමසිංහ මහතා පැවසීය.


මියගිය අයගේ නිවෙසට මීටර් 200ක පමණ දුරින් පිහිටි මාර්ගයේ දී මෙම ඝාතනය සිදුව ඇතැයි ද මේ  සඳහා මොවුන්ගේ පියා ද සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති බව  පොලිසිය සඳහන් කරයි.  පහර කෑමට ලක් වූ අය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එම ස්ථානයට පැමිණි මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.වී. වීරසේන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාගොඩ මහ රෝහල වෙත යොමු කරන ලෙස නියෝග කළේය. 


එම ස්ථානයට පැමිණි පොලිස් සොකෝ අංශයේ පොලිස් පරික්ෂක සහන් මහතා ඇතුළු නිලධාරිහු විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගත්හ. සිද්ධියට සම්බන්ධ බව කියන 32 හැවිරිදි බාල සොයුරා ද 57 හැවිරිදි පියා ද ප්‍රදේශයෙන් පලාගොස් සිටිය දී ඊයේ 15 වැනිදා උදෑසන අධිනීතිඥ ගාමිණිය නල්ලපෙරුම මහතා මාර්ගයෙන් බාල සොයුරා මීගහතැන්න  පොලිස් ස්ථානයට පැමිණ භාරවූයේය. පහර දීමට යොදාගත් තියුණු මන්නා පිහියක් සොයාගත් බවත්, සිද්ධියට සම්බන්ධ පියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පොලිස් පරික්ෂක පාලිත රාමසිංහ මහතා පැවසීය.   සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය නාගොඩ මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අතර, අත්අඩංගුවට ගත් සැකකරු උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.


 -ප්‍රේමතිලක පෙරමුණ -


Wednesday, February 3, 2021

අනියම් බිරිඳත් ඇයගේ පුතාත් කපා කොටා මැරූ හිටපු සෙබළා තිස්සමහාරාමයේදී අත්අඩංගුවට





අම්පාර - දමන ප්‍රදේශයේ කාන්තාවක සහ ඇයගේ පුතා කපා කොටා ඝාතනය කළ බව කියන යුද හමුදා විශේෂ බළකායේ (එස්.එෆ්.) හිටපු සෙබළකු තිස්සමහාරාම ප්‍රදේශයට පලාගොස් සැගවී සිටියදී ඊයේ (02) අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය කියයි.. සැකකරු මෙම කාන්තාව මුහුණු පොතෙන් හඳුනාගෙන පසුව ඇය සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව කියති. අත්අඩංගුවට ගත් සැකකරු දින 03 ක කාලයක රැඳවුම් නියෝගයක් පොලිසිය ලබාගෙන ඇත.   මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන  ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හිටපු සෙබළෙකි. 


මවට පිහියෙන් කොටන අවස්ථාවේ 13 හැවිරිදි පුතා මව බේරාගැනීමට  උත්සාහ කරද්දී ඔහුටද පිහියෙන් පහරදී  තිබෙන බව පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය. අනේ මාමේ අම්මා මරන්න එපා යැයි  කියමින් 13 හැවිරිදි ළමයා සැකකරුගේ ඇගේ එල්ලුණු අවස්ථාවේ ඔහු දරුවාටද මන්න පහර එල්ල කර ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවටගත් සැකකරුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේ යැයිද පොලිසිය පවසයි.  මෙසේ ඝාතනය කර තිබුණේ දමන  පොලිස් වසමට අයත් වරාලත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි  දිනේෂානි සඳමාලි කුලරත්න සහ 13  හැවිරිදි ශ්‍රීමාල් චමින්ද නමැති ඇයගේ පුතාය. 


අත්අඩංගුවටගත් සැකකරු ඝාතනය  කෙරුණු සඳමාලිගේ අනියම් සැමියා  බවද පොලිසිය කියයි."  තිස්සමහාරාමයේ පදිංචි මෙම  සැකකරු මීට කාලයකට ඉහතදී මුහුණු  පොතෙන් සඳමාලි නමැත්තිය හඳුනාගෙන ඇත. මුහුණු පොතෙන් හඳුනාගත් සඳමාලි සමග සැකකරු  අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන පසුව ඇයගේ නිවසේ පදිංචියට පැමිණ තිබේ. සඳමාලි නමැත්තියගේ නිවෙසට පදිංචියට පැමිණි සැකකරු අම්පාර නගරයේ ටයර් වැඩපොළක  රැකියාවට ගොස් ඇත. මෙම සිද්ධියවූ දිනට පෙර දින  රාත්‍රියේ (31) වැඩ නිමවී එනවිට සැකකරු අම්පාර නගරයේ කඩයකින් ප්‍රයිඩ් රයිස්, පීට්සා සහ බියර් බෝතල් දෙකක් රැගෙන නිවෙසට පැමිණ ඇතැයි කියති.


අසල්වාසීන් කිහිප දෙනෙකු සමග සඳමාලිගේ නිවසේ එදින රාත්‍රියේ සාදයක් පවත්වා ඇති අතර, එහිදී සඳමාලිද ගී ගයමින් නටා ඇති බව  සාදය අවසන්වී එයට සහභාගී වූ අය මධ්‍යම රාත්‍රියේ නිවෙසින් පිටත්ව ගොස් ඇති බවත්, පසුදින (01) අලුයම් කාලයේ සඳමාලි පුතාට පාසල් යාමට කෑම පිසීමට මුළුතැන්ගෙට ගොස් ඇති බවත් ඒ වනවිටත් වෙරි මරගාතෙ සිටි බව කියන සැකකරු හා සඳමාලි මේ අවස්ථාවේ කිසියම් කරුණක් මුල්කරගෙන ඇතිවූ බහින් බස්වීමක් දුර  දිගයාමෙන් පසුව මෙම සිද්ධිය වී ඇති බවද කියති.


ඝාතන සිද්ධියෙන් පසුව සැකකරු ඔහුට අයත් යතුරුපැදියේ නැගී දමන ප්‍රදේශයේ සිට තිස්සමහාරාම බලා පිටත්ව ගොස් ඇතැයිද පොලිසිය කරුණු  හෙළිකර ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු සියල්ල හෙළිවිණි  යැයිද ජ්‍යෙෂ්ඨ පොලිස්නිලධාරියෙක්  කීය. අම්පාර පොලිස් අධිකාරි (O1) ප්‍රියදර්ශන හේරත් මහතාගේ මෙහෙයවීම යටතේ දමන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් ඊයේ අලුයම් කාලයේ සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.  දමන ප්‍රදේශයේ සිට සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයට පලා ඒමට යොදාගත් බව කියන යතුරුපැදියද ඔහුගේ ඥාතියකුගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.


සැකකරු යුද හමුදා විශේෂ බළකායේ (එස්.එෆ්.) සෙබළකු ලෙස රාජකාරි කළ  වකවානුවේ නිවාඩුවකට නිවසට පැමිණ සිටියදී සිවිල් ආරක්ෂක බළකාය සෙබළකුට 2014 වසරේදී පමණ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම  සම්බන්ධයෙන් වසරක කාලයක් සිර දඬුවම් ලබා නිදහස්ව පැමිණ සිටි බවද පොලිසිය කියයි. මෙම සැකකරුගේ මව ඩුබායි රටේ ගෘහසේවිකා රැකියාවක් කරන අතර සැකකරු ඇයගේ එකම පුතා බවද සඳහන්වේ . මොහු වෙනත් අපරාධවලට සම්බන්ධ ද යන්න ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට දමන පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.  


සැකකරුගේ සිරුරේ සිරිම් තුවාල ගණනක් තිබෙන බවද පොලිසිය පවසයි.  මව බේරා ගැනීමට ඇයගේ පුතා සැකකරු නියපොතුවලින් සූරන්නට ඇති බවට පොලිසිය සැකකරයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ අම්පාර මහ රෝහලේ අධිකරණ  වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.


-ශ්‍රිනාත් ප්‍රසන්න  ජයසුරිය-


Monday, September 7, 2020

අයියා පිහියෙන් ඇන මල්ලී මරා දමලා



පදිංචී නිවසේ අයිතිය ඉල්ලා එකම පවුලේ අයියයි, මල්ලියි අතර පෙරේදා (5) ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අයියා මල්ලිට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව වැලිකඩ පොලිසිය පරික්ෂණ පවත්වයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වැලිකඩ රාජගිරිය බණ්ඩාරනායකපුර වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ඒ.සී. ජනක ලාල් (48) නමැති දෙදරු පියෙකි.  සිද්ධියෙන් අනතුරුව සැකකාර අයියා ප්‍රදේශය හැර පලාගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය පියාට අයත් පර්චස් එකහමාරකින් පමණ යුත් ඉඩමේ පිහිටි නිවසේ මෙම සහෝදරයන් දෙදෙනා මව සමඟ පදිංචිව සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ දී මොවුන් දෙදෙනා පමණක් නිසේ සිට ඇති බව පොලීසිය කියයි.  

පියාට අයත් ඉඩම තමන් වෙත ලියා දෙන ලෙස සොයුරන් දෙදෙනාම මවට පෙරේදා (5) ඇවිටිලි කර අනතුරුව සැකකාර සොයුරා මව සමග රණ්ඩු වීම හේතුවෙන් ඇය නිවසින් පිටවී සිය දියණියගේ නිවසකට ගොස් රැඳී සිට ඇති බව පොලිස් නිලධාරීයෙක් පැවැසීය.  මව නිවසින් පිට වී යාමෙන් අනතුරුව සහෝදරයින් දෙදෙනා අතර බහින් බස්වීම ගුටි බැට හුවමාරුවක් කරා ගොස් අනතුරුව මෙම පිහි ඇනුම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගිය පුද්ගලයා මීට වසර කිහිපයකට ඉහත දී විදේශගත සිට පැමිණි අයෙකු බවත් සැකකරු කුලී වැඩවල නිරත වෙන්නකු බවත් පොලීසිය කියයි.   49 හැවිරිදි සැකකාර අයියා සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වැලිකඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පියල් ගුණතිලක මහතා පරීක්ෂණ පවත්වයි.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-


Monday, August 24, 2020

තරුණියක යතුරු පැදියෙන් බිමට ඇද දමා ගෙල කපා මරා දාලා


යතුරු පැදියක ගමන් කරමින් සිටි 22 හැවිරිදි තරුණියක අල්ලා බිමට ඇද දමා ගෙල කපා ඝාතනය කළ බව කියන ඇයගේ පෙම්වතා යැයි පැවසෙන 24 හැවිරිදි තරුණයෙකු පෙරේදා (21) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි.

පෙම්වතිය බව කියන තරුණියගේ ගෙල පිහියකින් කපා ඇය ඝාතනය කළේ යැයි පැවසෙන තරුණයා වස වර්ගයක් පානය කර රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.  සිය දිවි නසාගැනීමේ අරමුණින් සැකකරු වස පානය කර තිබෙන බව පරික්ෂණ වලින් පෙනීගොස් ඇතැයි පොලිසිය කියයි.  මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ ආරම්භ  කළේය.

මෙසේ ඝාතනය කර ඇත්තේ දුම්මලසූරිය, තල්කටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ගම්ලත් නාඋලගේ සඳුනි නිසංසලා (22) නමැති තරුණියකි. මෙම තරුණිය දුම්මලසූරිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගිණුම් පරික්ෂකවරියක ලෙස සේවය කරමින් සිටියාය. මාස 03 ක පමණ කාලයක සිට තරුණිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් මීට මාස එක හමාරකට පමණ ඉහතදී ඇය එම සම්බන්ධතාව අතහැර දමා ඇති බවත් පරික්ෂණ වලින් හෙළිවී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.

සැකකාර තරුණයා ත්‍රිරෝද රථයකින් පැමිණ හතරමන්හන්දියේ විදුලි ට්‍රාන්ස්පෝමරය අසල පෙම්වතිය  එනතෙක් සැගවී සිට ඇතැයි පොලිසිය කියයි. තරුණිය ඥාතියකු සමග යතුරු පැදියක නැගී සේවය නිමකර නිවස බලා යමින් සිට ඇත.  මේ අවස්ථාවේ සැඟව සිටි සැකකරු යතුරු පැදියේ පසුපස අසුනේ වාඩිවී ගමන් කරමින් සිටි තරුණියගේ අතින් ඇද බිමට ඇද දමා ගෙල කපා ඇතැයි කියති.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-