Friday, January 31, 2020

කෝටි 200ක කුඩු - පිස්තෝල 10ක් බණ්ඩාරගමින් අල්ලයි



රුපියල් කෝටි 200කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 102ක තොගයක්ද, මිලි මීටර් 9 නවීන පිස්තෝල 10ක් සහ එම මැගසින් 19ක්ද සමග සැකකාරියන් දෙදෙනකු සහ සැකකරුවකු බස්නාහිර උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


මදුරප්පෙරුම කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම (28) සහ මදුරප්පෙරුම ධනංජය ධර්මකුමාර (26) යන සහෝදර සහෝදරියන් දෙදෙනාත්, ධර්මකුමාර නමැත්තාගේ පෙම්වතිය බව කියන බෙත්මගේ උපේක්ෂා පියුමි (22) නමැත්තියත් මෙසේ අත්ඩංගුවට ගනු ලැබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.  සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන කාංචනා මදුරප්පෙරුම නමැත්තිය මීට වසරකට පමණ ඉහත දී මහරගම ඇරෑව්වල නිවසකින් කෝටි 700 නිල් දියමන්තිය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිරදඬුවම් විඳින මාතර මල්ලි නැමැත්තාගේ බිරිය බවත් ඇය මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවත් පොලිසිය කියයි.

මිරිස්සේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ බණ්ඩාරගමට මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන එන බවටත් කාන්තාවක විසින් මෙම ජාවාරම මෙහෙයවනු ලඛන බවටත් බස්නාහිර පළාත උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහරුන්ගේ අධීක්‍ෂණය යටතේ, පොලිස් කොට්ඨාස කිහිපයක සිටින විශේෂ කාර්ය බලකයෙන් සාමාන්‍ය පොලිස් සේවයට එක්ව සිටින පොලිස් නිලධාරින්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.

අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරිකෂක මංජුල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.මෙම විශේෂ පොලිස් කණ්ඩායමට විශේෂ කාර්ය  බලකායේ සිට පොලිසියට අනුයුක්තව පොලිස් කණ්ඩායමක් තෝරාගෙන තිබූ අතර අහංගම පොලිසියේ සිට මෙම සියලු මෙහෙයුම් සිදුකර තිබිණි.

පොලිස් නිලධාරීන් දින කීපයක් පුරෑ එම ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියේ නිරත වෙමින් සිටි අතරේ මාතර මල්ලී නමැත්තාගේ බිරිය වන කාංචනා නැමැත්තිය වෙනත් පාර්ශ්වයක් වෙත ඛාර දිම සදහා හෙරොයින් රැගෙන සිය සොහොයුරි සමග වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගැලණිගම ප්‍රදේශයට පැමිණෙන බවට නිලධාරීන්ට කල් තියා තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව පොලිස් ස්ථානාධිපති මංජුල සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම පෙරවරුවේ සිට එම ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියේ නිරත වී සිටිය දී පෙරවරු 7.00ට පමණ සැකකටයුතු ලෙස ගමන් ගත් යතුරු පැදියක් නවතා  එහි ගමන්ගත් ප්‍රියදර්ශනී මදුරප්පෙරුම සහ ධනජජය ධර්මකුමාර යන දෙදෙනා පරික්ෂා කිරිමේ දී ඔවුන් සතුව තිබූ හෙරොයින් කිලෝ 15ක්  පමණ සොයාගෙන ඇත.

සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔවුන්ගේ හෙරොයින් තිප්පොළ ලිංග පිළිබඳව සියලු තොරතුරු හෙළි  වූ බවත් හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සැකකරු හා සැකකාරිය  සමග එම නිවස වෙත යද්දී සැකකාරිය පොලිස් නිලධාරින් නොමග යැවීම  සඳහා මුලින්ම පෙන්වා ඇත්තේ ඔවුන් පදිංචි නිවස බවත් පොලිසිය කියයි. එම නිවස පරික්‍ෂා කළ පොලිස් නිලධාරීන්ට එහි තිබී හෙරොයින් හමුවී නොමැති අතර සැකකරුගෙන් හා සැකකාරියගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් මෙම ජාවාරම  සඳහා භාවිත කරන කුලී නිවසකට ගොස් ඇති අතර එහි අල්මාරියේ හා කබඩ් එකක් තුළ සගවා තිබූ තවත් හෙරොයින් කිලෝ 177ක් හා පිස්තෝල 10ක් සොයා ගෙන ඇත. එම නිවසේ ධර්මකුමාර නැමැත්තාගේ පෙම්වතිය  සිට ඇති අතර ඔවුන් මෑතක දී විවාහ විමට සූදානමින් සිට ඇති බවත් පැවසේ.

මොවුන් මීට සති කිහිපයකට පෙර හෙරොයින් ජාවාරම සදහාම මෙම නිවස කුලියට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම හෙරොයින් ඉරානයේ සිට මුහුදු මගින් මෙරටට ගෙන්වා ඇති බවත් මීට සතියකට පමණ පෙර මිරිස්සේ සිට මේවා මෙම නිවසට රැගෙනවිත් තිබූ බවත් පරිකෂණවල දී හෙළි වී තිබේ. මෙම නිවසේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල 10 අති නවින ඒවා බවත් ඒවා ඇමෙරිකාවේ, පාකිස්ථානයේ, ඔස්ට්‍රේයාවේ සහ චීනයේ නිෂ්පාදිත පිස්තෝල බවත් මේවා ආරක්‍ෂක අංශ පරිහරණය කරන ඒවා බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගති ඇතැම් හෙරෝයින පැකට්වල කිලෝ 1යි ග්‍රෑම් 200ක් පමණ ප්‍රමාණයක් තිබි ඇති අතර මෙම පැකට් සියල්ලේම 999 වශයෙන් අංකයක් සටහන් කර තිබිණි. මොවුන් මේවා පාතාල සාමාජිකයන්ට අලෙවි කිරිම සඳහා රැගෙන එන්නට ඇති බවට සැකකරන අතර හෙරොයින් ජාවාරම්කරුවන් ළග තිබී මේ ආකාරයේ නවීන පිස්තෝල 10ක් සොයාගත් ප‍්‍රථම අවස්ථාව මෙය වන බව පොලිසිය කියයි.

මෙම හෙරොයින් ජාවාරම පිටුපස සිටින දකුණේ පාතාල සාමාජිකයන් රැසකගේ තොරතුරු හෙළිවී
ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකර ගැනීම සඳහා සැකකරු හා සැකකාරියන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබේ. මෙම හෙරොයින් තොගය දැනට අත්අඩංගුවේ පසුවන මකඳුරේ මධුෂ් නමැත්තාට අයත් හෙරොයින් තොගයක් බවට සැකකරන බවත්, මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයකු වන කැවුමා නමැත්තා විසින් මොවුන්ට මෙම හෙරොයින් තොගය ලබාදී ඇති බවද කියති.
සැකකාරිය හා සැකකරුට හෙරොයින් ජාවාරම සඳහා මෙම නිවස කුලියට සොයා දී ඇත්තේ කැවුමා නමැත්තා විසින් බවද පොලිසිය පවසයි.

සංස්ථාවට ණය වී හැදු චිත්‍රපට 101ක් පෙන්වා නෑ





චිත්‍රපට නිෂ්පාදකයන්ට ණය ලෙස ලබාදුන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට මෙතෙක් ගෙවා නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. 1964 සිට අවුරුදු 56ක කාලයක් තිස්සේ චිත්‍රපට 178කින් මෙසේ මුදල් අයවිය යුතුව තිබෙන අතර ඒවායෙන් චිත්‍රපට 101ක් ප්‍රදර්ශනයට ඉදිරිපත් වී නැතැයි ද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්තාවක දැක්වේ.

චිත්‍රාගාර සේවා, දළ සේයා පට මිලදී ගැනීම, පිටපත් මුද්‍රණය, රසායනාගාර සේවා, ශබ්දාගාර සේවා, ශිල්පීන්ට ගෙවීම, සංස්කරණ සේවා යන හේතූ මත මෙම ණය මුදල් ප්‍රදානය කර ඇති අතර එම ණය ගෙවා අවසන් කරන්නැයි අදාළ නිෂ්පාදකවරුන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ද විත්‍රපට සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙරේදා (29 වැනිදා) පැවැසීය.

මෙම ණය හිමියන්ගේ ලැයිස්තුවෙහි පැරැණිම චිත්‍රපටය ලෙස 1964 ඔක්තෝබර් 22 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ  ශාන්ති ෆිල්ම්ස් නිෂ්පාදනය කළ 'සසරක හැටි' චිත්‍රපටය සඳහන් වන අතර ආසන්නතම චිත්‍රපටය ලෙස සඳහන්  වන්නේ 2017 වසරේදී ණය මුදල් ලබාගත් ඒ.ඒ.ඒ. ක්‍රියේෂන්ස් සමාගම නිෂ්පාදනය කළ ‘නැති බැරි ටාසන්’ චිත්‍රපටයයි.

රුපියල් 750ක් හැටියට අඩුම ණය මුදල ලෙස 1994 දී ණය ලබාගත් සරසවි චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ  ‘ඇතිදා මිතුරු නැතිදා හතුරු' චිත්‍රපටය සඳහන් වන අතර එය ප්‍රදර්ශනය කෙරී නැත. රුපියල් ලක්ෂ 35ක් හැටියට වැඩිම ණය මුදල අයවිය යුතුව තිබෙන්නේ 2011 දී 'ගුරු ගීතය' චිත්‍රපටය නිෂ්පාදනය කළ මූන්ස් ටෝන් මූවි පෞද්ගලික සමාගමෙනි.

-සමන්ත යහම්පත්-

සිමිබාබ්වේ ශක්තිමත් අඩිතාලමට වර්ෂාවෙන් බාධා - සිව්වන ද්නය නිමා වන විට සිම්බාබ්වේ ක්ණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 354ක් ඉදිරියෙන්



ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (30දා) අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 241ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකාවට වඩා ලකුණු 354ක් ඉදිරියෙන් සිටිති.

කඩුල්ලේ රැදී සිටින නායක ෂෝන් විලියම්ස් ලකුණු 47ක් හා ඩොනල්ඩ් ත්‍රිපාණෝ එක් ලකුණක් ලබා සිටියහ.

සිවුවැනි දිනට තරගය ආරම්භ කරන විට සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කරගෙන ශ්‍රී ලංකාවට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් සිටියේය.

ඒ වනවිට කඩුල්ලේ රැදී සිටි ප්‍රින්ස් මවෝර් ලකුණු 26ක් හා රෙජිස් චකබ්වා ලකුණු 14ක් ලබා සිටියේය.

කෙසේ නමුත් චකබ්වාට ඊයේ රැස්කළ හැකිවූයේ එක් ලකුණක් පමණි.

ඉනිමේ තෙවැනි කඩුල්ලට  බ්‍රෙන්ඩන් ට්‍රේලර් සමගින් ලකුණු 47ක සබඳතාවක් පැවැත්වූ මස්වෝර්න් තෙවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය.

ඉන් අනතුරුව පිටියට පිවිසි රිසෙන් මරුමාට එකඳු ලකුණක් හෝ රැස්කිරීමට නොහැකි වූ  අතර, එම දැවී යාමත් සමග ලකුණු පුවරුව 124/4ක් ලෙස සටහන් විය.

සිම්බාවේ දෙවැනි ඉනිමේ පළමු අර්ධ ශතකය රැස්කළ පිතිකරුවා වූ බ්‍රෙන්ඩන් ටේලර් දවා ගැනීමට ළහිරු කුමාර සමත් වූ අතර, ටේලර් ලකුණු 67ක් රැස්කරගෙන සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.

සිම්බාබ්වේ බලාපොරොත්තු ඉහළ දැමු සබඳතාව සිකන්දර් රාසා හා ෂෝන් විලියම්ස් එක්ව පැවැත්වූ අතර, ඔවුන් දෙදෙනා ටේලර් දැවී යනවිට ලකුණු 151ක් ලෙස සටහන්ව තිබු ලකුණු පුවරුවට තවත් ලකුණු 70ක් එක්කරමින් මුළු ලකුණු 221ක් දක්වා සිම්බාබ්වේ ඉනිම ඉදිරියට රැගෙන ආවේය.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 293ක් පමණි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 406ට පිළිතුරු ලෙසිනි.

චීනයෙන් ආ සිසුන් වෙනම රඳවා තැබීමේ අවශ්‍යතාවක් නෑ





චීනයේ සිට ඉකුත් දිනවල මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් විශේෂිත ස්ථානයක රඳවා තබා ගැනීමකි අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය. වෙනත් රටවල එවැනි ක්‍රමවේද අනුගමනය කළද ශ්‍රී ලංකාවට එවැන්නක් අවශ්‍ය නැතැයිද සෞඛ්‍ය අමාතාශය එම සිසුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවද පළිහවඬන පබා පළිහවඩන මහත්මිය කීවාය. මේ පිළිබඳව කළ විමසුමකදී වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය මෙසේ ද පැවසුවාය.


ප්‍රශ්නය- චිනයේ සිට මේ දිනවල ලංකාවට පැමිණෙන සිසුන් කළින්ම නිවෙස්වලට යවන්නේ ඇයි?

පළිහවඩන මහත්මිය- අපි නිකම්ම ඒ සිසුන්  යවන්නේ නැහැ. ගුවන්තොටුපළට ඇතුළුකර ගත් මොහොතේ සිට විශේෂ පරීක්ෂාවකට ලක්කරනවා. හැම සිසුවකුගෙම තොරතුරු ලබාගන්නවා. රෝග ලක්ෂණ තිබේදැයි බලනවා.  ඒ කිසිවක් නැති සිසුන්ට නිවෙස්වලට යා හැකියි.

ප්‍රග්නය- කොරෝනා රෝග ලක්ෂණ මතුවන්නේ  දින විස්සකට පමණ පසුව බවයි සෞඛ්‍ය නිලධාරින් කියන්නේ. එමෙන්ම සිසුන්ට නිවෙස්වලදි රෝග ලක්ෂණ මතුවුණොත්?

වෛද්‍යවරිය- ගුවන්තොටුපළේ දි පූර්ණ ලෙස දැනුවත් කරනවා. නිවෙස්වලට ගිය පසුව ඔවුන්ට නිවෙසේ සෙසු සාමාජිකයින්ගෙන් තරමක් ඈත් වී සිටින්න පුළුවන්. සුළු හෝ රෝග ලක්ෂණ මතුවුණොත් වහාම ඔවුන් රෝහල් ගත කරනවා.

ප්‍රශ්නය-එම සිසුන් නිවෙස්වල සිටීම පවුලේ අනෙක් සාමාජිකයින්ට බලපෑමක් නොවේද?

වෛද්‍යවරිය- එහෙම නැහැ. ජනතාව දැනුවත්. මේ දක්වා කිසිම ප්‍රශ්නයක් මතුවී නැහැ.

ප්‍රශ්නය-
වෙනත් රටවල චිනයේ සිට පැමිණි සිසුන් වෙන්කර තබනවා. රෝග ලක්ෂණ මතු නොවන බවට තහවුරු වූ පසුවයි ඔවුන් නිදහස් කරන්නේ. ශ්‍රී ලංකාවේ ඇයි වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ?

වෛද්‍යවරිය- වෙනත් රටවල ඔවුන්ට ආවේණික ක්‍රමවේද අනුගමනය කරනවා. ශ්‍රී ලංකාව හැටියට අප අනුගමනය කරන්නේ අපේ ක්‍රමයයි. එය අසාර්ථක වි නැහැ.

ප්‍රශ්නය- දියතලාවට යවන්නේ මොන සිසුන්ද?

වෛද්‍යවරිය- චිනයේ වූහාන් නගරයේ තදබල ලෙස කොරෝනා වෛරසය පැතිර යනවා. එහි රැඳී සිටින සිසුන්ට වැඩිකාලයක් අවදානම් තත්වයක ඉන්න සිදුවීම නිසා රෝගය වැළදිමේ ප්‍රවණතාව ඉහළ යැයි අපි විශ්වාස කරනවා. ඒ නිසා එම සිසුන් ලංකාවට පැමිණි පසුව ඔවුන් දියතලාවට යවා විශේෂ ආරක්ෂාවක් යටතේ නිරීක්ෂණයට භාජනය කරනවා.

ප්‍රශ්නය- නිවෙස්වලට යැවූ සිසුන් ගැන තොරතුරු සොයා ගන්නේ කෙහොමද?

වෛද්‍යවරිය- මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිවෙස්වලට යවනවා. ඒ හරහා තොරතුරු ලබා  වෛද්‍යවරු දැනුවත් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට දිනපතා තොරතුරු ලැබෙනවා. බය වෙන්න එපා.

-රංජන් කස්තුරි-

රාජගිරියේ කෘෂිකර්මය අද සිට බත්තරමුල්ල ගොවිජන මන්දිරයට



වසර හතරකට ආසන්න කාලයක් රාජගිරිය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද (31දා) සිට බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයේ සිට ක්‍රියාත්මක වේ.

රුපියල් දෙකෝටි පන්ලක්‍ෂයකට ආසන්න මුදලක් මාසික කුලිය ලෙස ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනු ලැබීය.

එයට එරෙහිව පසුගිය කාලය පුරාම විවිධ විරෝධතා එල්ල වූ අතර, මේ පිළිබඳ සලකා බැලීමෙන් පසු මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරයට රැගෙන යාමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙම තීරණයට අනුව අද (31දා උදෑසන 8.30ට යෙදෙන සුබ මොහොතින් ගොවිජන මන්දිරයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට විෂයභාර අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා හා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහභාගි වේ.

රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය රජයට අයත් ගොවිජන මන්දිරයට රැගෙන යාම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

එච්.අයි. තුෂාර

නාවින්න දේවාල පාරේ දෙමහල් ගොඩනැඟිල්ලකින් යුවළකගේ මළ සිරුරු හමුවෙයි



මහරගම නාවින්න දේවානන්ද පාර දෙමහල් ගොඩනැගිල්ලක අභිරහස් ලෙස මිය ගොස් සිටි අඹු - සැමි යුවළකගේ මළසිරුරු (30) සවස සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මහරගම නාවින්න දේවානන්ද පාරේ අංක 5/1/හි පදිංචි වාද්දුවගේ දොන් මංජුල (40) සහ ජයසිංහ ආරච්චිගේ සංජීවනි  ප්‍රදීපිකා (39) නමැති අඹු සැමි යුවළක  බව පොලිසිය කියයි.

මළසිරුරු දෙක තිබී හමුවූ ගොඩනැගිල්ල දෙසින් දුගඳක් හමනා බව 119 හදිසි ඇමතුම් අංකයට ලද  තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී දින 4 පමණ පෙර මියගිය බවට සැක කෙරෙන මෙම මළ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි. දෙවැනි මහලේ පඩිපෙළ මත තබා  තිබූ පුටුවක් මත කාන්තා මළසිරුරත්  ඉදිකරමින් පවතින තෙවැනි මහලේ වාහන අමතර කොටස් ගබඩා කර තිබූ ස්ථානයේ වැටී තිබූ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

හඳුනා ගැනීමට නොහැකි තරමටම මළසිරුරු දෙක නරක් වී අධික දුඟද හමමින් තිබූ බවද පැවසේ. එම ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරික්ෂණායතන නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළ අතර නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය පැමිණ ස්ථානය පරික්ෂණයක්
සිදුකොට දේහයන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කොට අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට නියෝග කළේය.

මෙම මරණය ඝාතනයක්ද නැතහොත් සිය දිවි හානිකර ගැනීමක්ද යන්න අංග කිහිපයක් ඔස්සේ විමර්ශන අරඹා ඇත. මියගිය පුද්ගලයා වාහන අමතර කොටස් ව්‍යාපාරිකයකු වන අතර ඔහු විශාල වශයෙන් ණයතුරුස් වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

-ශාන්ත ප්‍රදීප් කුමාර-

කොරෝනා වෛරසයට නිෂේධනීය බලපෑම් කළ හැකි ඔසු 3ක් චීනයෙන්



නව කොරෝනා වෛරසයට තරමක නිෂේධනීය බලපෑම් ඇති කළ හැකි ඖෂධ තුනක් චීන පර්යේෂකයන් විසින් සොයාගෙන ඇතැයි චීන ප්‍රාදේශීය පුවතක් වාර්තා කරයි.

මෙම ඖෂධ තුන රසායනික භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට ඒවා දැන් අදාළ ක්‍රමවේදයන් යටතේ පවතින බව "හුබෙයි' ඩේලි පුවත්පත වාර්තා කර තිබේ.

චීන විද්‍යා ඇකඩමිය (CAS) යටතේ ඇති මිලිටරි වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ වුහාන් වෛරස් විද්‍යායතනයේ (WIV)පර්යේෂකයන් එක්ව මෙම සොයාගැනීම සිදු කරන ලදී.

මීට පෙර cAS යටතේ ඇති ෂැංහයි මැටීරියා මෙඩිකා ආයතනයේ සහ ෂැංහයි ටෙක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් නව කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි දැනට පවතින ඖෂධ වර්ග, ජීව විද්‍යාත්මක ක්‍රියාකාරී ස්වභාවික නිෂ්පාදන හා සාම්ප්‍රදායික චීන ඖෂධ කිහිපයක්ම සොයාගන්නා ලදී.

නව කොරෝනා වෛරසය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන චීනයේ ප්‍රමුඛ පෙළේ වෛරස් විද්‍යාඥයෙකු වන ෂී ෂෙලීන්ලීගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සඳහන් කරන්නේ, මෙම වෛරසය වවුලන්ගෙන් ආරම්භ විය හැකි බවයි.

නව කොරෝනා වෛරසයේ ජානමය අනුක්‍රමණය වවුලන්ගේ කොරෝනා වෛරස් වර්ගයක් සමග සියයට 96ක් තරම් ඉහළ අගයක් සමග සැසදෙන බව එම කණ්ඩායම් සඳහන් කරයි.

මෙම කණ්ඩායම තවදුටත් සඳහන් කරන්නේ, නව කොරෝනා වෛරසය ප්‍රතිග්‍රාහකයට ඇතුළු වන්නේ මීට පෙර වාර්තා වූ SARSරසය ප්‍රතිග්‍රාහකයාට ඇතුළුවීම භාවිත කළ සෛල භාවිත කරමින් බවයි.

SARS වෛරසය 2002 සහ 2003දී දරුණු ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) පැතිරීට හේතු විය.

නවතම සොයා ගැනීම වෛරසයේ ව්‍යාධි විද්‍යාව හා මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා තීරණාත්මක සාක්ෂියක් වන බව චීන මාධ්‍ය වාර්ත කරයි.

ෂිංහුවා

චීන කත නැවතීසිටි හෝටල් දෙකක දෙදෙනකුට උණ - සෙම්ප්‍රතිශ්‍යාව



කොරෝනා වෛරසය වැළඳී සිටින චීන කාන්තාව ලැගුම්ගෙන සිටි සීගිරියේ සහ මිගමුවේ හෝටල් දෙකක සේවකයින් දෙදෙනකුට උණ,  සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා ඒ රෝඟින් දෙදෙනා පිළිබඳ සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබේ. චීන කාන්තාව නැවතී සිටි සිගිරියේ සංචාරක හෝටලයක කාමර පිරිසිදු කරන්නකු (රූම් බෝයි) ලෙස සේවය කරන තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ හෝටලයක ඇඳ ඇතිරිලි පිරිසිදු  කරනකු ලෙස සේවය කරන තරුණයෙක් මෙලෙස රෝගී වී සිටිති.

සිඟීරියේ සංචාරක හෝටලයක සේවය කරන පොලොන්නරුවේ පදිංචිකරුවකු වන තරුණයාට
28 වැනිදා සෙම්ප්‍රතිශ්‍යව උණ වැළඳීම නිසා ඔහු එදින පොලොන්නරුවේ ජයන්තිපුර රෝහලට ඇතුළු කර තිබේ. පසුව ඔහු පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති අතර විශේෂ පරික්ෂාවකට ලක් කර තිබේ. ඔහු මේ වන විට නිවසට පිටත්කර යවා ඇති අතර තවදුරටත් රෝග ලක්ෂණ මතුවේදැයි නිරීක්ෂණය කරමින් තිබෙන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩි.එස්.ඒ. ජයසිංහ මහතා පැවසීය.

මේ අතර මිගමුව සංචාරක හෝටලයක සේවය කරන නාත්තන්ඩිය අක්කර අසූව ප්‍රදේශයේ පදිංචි තරුණයකු මේ වනවිට ආංගොඩ අයි.ඩි.එච්. උණ රෝහලට යවා ඇත. එම තරුණයා මිගමුව හෝටලයේ ඇඳ ඇතිරිලි ආදිය පිරිසිදු කිරීමේ අශයේ සේවය කරන්නෙකි.

-ඩබ්ලිව්.ඒ.පියතිලක-

IDH පැමිණි කොරෝනා සැක රෝගීන් 31 දෙනාගෙන් 23ක් නිවසට ගිහින්


කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකකොට ඊයේ (30දා) දිනය වනවිට ජාතික උණ රෝහලට පුද්ගලයන් තිස් එක් දෙනෙකු ඇතුළත් වූ බවත්, ඉන් විසිතුන් දෙනෙකු මේ වනවිට නිවෙස් වෙත ගොස් තිබෙන බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

රෝහලේ සිටින අට දෙනාගෙන් චීන කාන්තාවකට වෛරසය ශරීරගත වී තිබෙන බවත්, එම කාන්තාවගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් ඔහු පවසා සිටියේය.

ඉතිරි හයදෙනාගෙන් හතරදෙනෙකු වෙනත් රෝග තත්වයන්වලට ප්‍රතිකාර ලබන බවත්, තිස්දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන නිසා රෝහල තුළ රඳවාගෙන සිටින බවත් එහෙත් චීන කාන්තාවට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට වෛරසය ශරීරගත වූ බවට සොයාගෙන නොමැති බවත් කියා සිටියේය.

චීන කාන්තාව රැදී සිටි හෝලයේ සේවිකාවක් රෝහල්ගත වූ බවත්, එහෙත් එම කාන්තාවට වෛරසය ශරීරගත වීම නොමැති බවට තහවුරු වීම නිසා එම තැනැත්තිය රෝහලින් නික්ම ගොස් තිබෙන බවත් සදහන් කළේය.

කොරෝනා වෙරසයට බිය වී කිසිදු නිරෝගී පුද්ගලයෙකු මුඛ ආවරණ පැලදීමේ අවශ්‍යතාවක් නැතැයි අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

එහෙත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතුළු රෝග තත්වයන් තිබෙනවා නම් එම රෝග වෙනත් පුද්ගලයන්ට බෝවීම වළක්වා ගැනීමට මුඛ ආවරණ භාවිත කරන ලෙසත් ඔහු පවසා සිටියේය.

කොරෝනා රෝගය ශ්වසන පද්ධතියට වැලදෙන රෝගයක් බවත්, මේ නිසා රෝගීන් මහමග ඇදවැටීම සිදු නොවන බවත්, වැරදි ප්‍රචාරයක් දියත් වීම නිසා වෙනත් හේතුවක් නිසා යම් පුද්ගලයෙකු ඇදවැටුණහොත් එම පුද්ගලයා දෙස වැරදි ආකල්පයකින් බලන තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

රෝහල් සේවකයන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ අවශ්‍ය තරම් ලබා දී තිබෙන බවත්, මේ නිසා ඒ පිළිබඳ අනවශ්‍ය ගැටලුවක් ඇති කරගත යුතු නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.

- ඉන්දික හේවාවිතාරණ

චීනයේ සිටි සිසුන් 559ක් දින 4කදී ආපසු ශ්‍රි ලංකාවට ඇවිත්



චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 550 දෙනකු ගතවූ සිවු දින තුළදී මෙරටට පැමිණ ඇතැයි විදේශ ඝබඳතා අමාත්‍යාංශය පවසයි. මෙසේ දිවයිනට පැමිණියේ චීනයේ බිජිං අගනුවර සහ එහි සෙසු නගරවල ඉගෙනුම ලබමින් සිටි සිසුන් යැයි ද එම  අමාත්‍යංශය සඳහන් කරයි. කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වූ චිනයේ වූහාන් නගරයේ සිටින ලාංකික සිසුන් 33 දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එන බලධාරීන්ගෙන් තවමත් අවසර ලැබී නැතැයි ද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවාය.

මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට අවසරය ඉල්ලා ඉකුත් 26 වැනිදා අයැදුම්පතක් චීන රජයේ බලධාරීන්ට ඉදිරිපත් කර ඇති අතර, එම අවසරය ලැබුණු වහාම ඔවුන් මෙරට  ගෙන්වා ගන්නා බව ඇය සඳහන් කළාය. එතෙක් එම පිරිස සිය උසස් අධ්‍යාපන කටයුතුල නිරත නේවාසිකාගාරවල රැඳී සිටින අතර ඔවුන්ගේ දෛනික කටයුතු බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සොයා බලමින් සිටින්නේ යැයි ද පිදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

චීනයේ සිටින සෙසු ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපයු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

-තිළිණි ද සිල්වා-

කොරෝනා ආපදාවක් වුණොත් හෙද නිලධාරි සංගමය පැය 24ම නොමිලයේ වැඩ නරන්න ලෑස්තියි - සමන් රත්නප්‍රිය

කොරෝනා වෛරසය පැතිරිම පිළිබඳ ආපදා තත්ත්වයක් පැමිණියහොත් කිසිදු පැකිලීමකින් තොරව පැය විසිහතරම සේවා සැපයීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සුදානම් යැයි රඡයේ හද නිලධාරින්ගේ සංගමයේ සහාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

ඒ සඳහා විශේෂ ගෙවීම් හෝ දීමනා ඉල්ලීමේ බලාපොරාතුවක් හෙද හෙදියන් තුළ නැතැයි ද ජනතා බදු මුදලින් වැටුප් ගන්නා කාර්යමණ්ඩලය තම යුතුකම් ඉටු කරන්නට සුදානම් යැයි ද ඔහු කීය.

හදිසි අවස්ථාවන් සඳහා රෝහල් 12ක් සුදානම් කර ඇතැයි රජය ප්‍රකාශ කරන නමුත් එකී රෝහල් එකකවත් අවශ්‍ය අවම පහසුකමක් නැතැයි කී රත්නප්‍රිය මහතා අවශ්‍ය පහසුකම සුදානම් කිරිමට රජය වහා කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.

මුඛ ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඟලුම් ඇතුළු උපාංග හිඟය දරුණු බවත් මේ වනවිට කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩල කටයුතු කරන්නේ ප්ලාස්ටික් කැබලි කපා මුහුණු ආවරණය කරගෙන සේවා සැපයීමෙන් බවත් ඔහු කීය.

එමෙන්ම ආරක්ෂිත ඇඳුම් භාවිත කළ හැක්කේ එක් වතාවක් බවත් වරක් භාවිත කළ ඇගලුම් ඉවත් කළ යුතු බවත් පෙත්වා, දුන් රත්නප්‍රිය මහතා ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල් තුළ තිබිය යුතු බවක් පෙන්වා දුන්නේය.

කොරොනා වෛරසය පිළිබඳ පරික්ෂාවක් සඳහා විශේෂිත රසායනාගාර (BIO SAFTY LEVEL 4) තීබිය යුතු යැයි ද එම මට්ටමේ රසායනාගාර ශ්‍රී ලංකාවේ නැතැයි ද කී සභාපතිවරයා විශේශයෙන් එම රසායනාගාර තුළ මෙම පරික්ෂාවන් වෙනුවෙන් සැකසු කුටි තිබිය යුතු අතර සුදානම් යැයි කී රෝහල් සියල්ලටම එම රසායනාගාර  පහසුකම් ලබා දිය යුතු යැයි ද පැවැසීය.

කොරෝනා පැතිර යාම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජාතික කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනකු වෛද්‍යවරුන් බවත් එවැනි තත්වයක සිට මෙම රෝගය පාලනය කළ හැකි යැයි සිතන්නේ නම් එය විශෘල වරදක් බවත් පෙවා දුන් ඔහු මේ පිළිබඳ තීන්දු නීරණ ගතහැකි වෛද්‍ය නොව විශේෂඥවරුන්ගෙන්ද මෙම කමිටුව සමන්විත විය යුතු යැයි සඳහන් කළේය.

එමෙන්ම ගුවන්තොටුපළේ දී හදුනාගත් සැකකටයුතු අයෙකු වෙත්නම් ඔවුන් උණ රෝහලට හෝ එතැනින් දියතලාවට ගෙන යාම නොව ගුවන් තොටුපළ ආසන්නයේ ඒ වෙනුවෙන්ම සැකසුණ රෝහලකට ඇතුළත් කිරීමට සැලසුම් කළ යුතු යැයි ද ඉදිරියේ ඇති වන තත්ත්වයන්ට මුහුණදීමට නම් එවැනි රෝහලක් ගුවන්තොටුපළ ආසන්නයේ ජනාකිර්ණ නොවන ස්ථානයක ඉදිවිය යුතු යැයි ද හෙතෙම යෝජනා කළේය.

මෙවැනි අවස්ථාවක රටට නිවැරැදි පණිවුඩ දෙන පිරිසක් රාජ්‍ය යාන්ත්‍රණයේ සිටිය යුතු බව පෙන්වා දුන් රත්නප්‍රිය මහතා සමාජයේ සියලු දෙනා මුඛ ආවරණ පැළැඳ සිටිය යුතු නැති වුවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹට පැමිණෙන සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතු බව පවසා ඇතැයි සඳහන් කළේය.

රුපියල් 9.50 ක් මිලැති මුඛ ආවරණයකට රුපියල් 15 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද රුපියල් 95 ක් වටිනා එන් 95 වර්ගයේ නැවත නැවත භාවිත කළහැකි මුඛ ආවරණයකට රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද කවර හේතුවක් නිසා දැයි විමසිය යුතු බව සභාපතිවරයා පැවසිය.

විනීතා එම් ගමගේ

Thursday, January 30, 2020

ශ්‍රි ලංකාවේ ජනතාවට මුඛ ආවරණ පලඳින ලෙස උපදෙස් දී නෑ



කොරෝනා රෝගී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මුඛ ආවරණ මිලදීගෙන පලඳින ලෙස කිසිම අවස්ථාවක උපදෙස් දී නොමැති බව රජය අවධාරණය කරයි.ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේදී පැවති ඩෙංගු වසංගතයෙන් පුද්ගලයන් 100කට වැඩි ප්‍රමාණයක් මියගිය බවත්, කොරෝනා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත් උසස් අධ්‍යාපන, තාක්‍ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29දා) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජය තුළ බොරු බියක් නිර්මාණය කර ඇති බවත්,
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වූ ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් ප්‍රචාරණය කළේනම්, මේ වනතුරු කිසිදු සංචාරකයෙක් ගෙන්වා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේත්ය.  එමෙන්ම මේ වනවිට පාසල් වසා දැමීමට හෝ ක්‍රීඩා උත්සව නැවැත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එම මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා,

"කොරෝනා වෛරය සම්බන්ධයෙන් දරුවන් සහ දෙමවුපියන් අතර විශාල භීතිකාවක් නිර්මාණය වෙලා තිබෙනවා. සමාජ ක්‍රමය තුළ පමණට වඩා බියවූ තත්ත්වයක්, ජනමතයක් ලෙස කාන්දු වන බව පෙනෙන්නට තිබෙන බව අග්‍රාමාත්‍යතුමා සමග පැවතුණ සාකච්ඡාවේදීත් සාකච්ඡා වුණා. පමණට වඩා තාව බියගන්වීමේ ව්‍යාපාරයක් තිබෙන බව එහිදී අවධානයට ලක්වුණා. අපේ රටේ ඩෙංගු වසංගතයක් තිබුණා. ඒ කාලයේදී පාසල් දරුවෝ පමණක් නෙමෙයි වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ දරුවන් පවා බේරාගන්න නොහැකිව මියගියා. 100ට අධික සංඛ්‍යාවක් මියගියා. ඩෙංගු උවදුර මැඩලීම් සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළ විට අපේ රට සම්බන්ධයෙන් විදේශීය රටවල ප්‍රචාරය උනානම් මේ වෙනතෙක් කිසිම සංචාරකයෙක් ලංකාවට ගෙන්වාගන්න වෙන්නේ නැහැ.

මීට පෙර මැලේරියා වසංගත පැවති කාලයේ රට තුළ මැලේරියා වසංගතය අවම කරගැනීම සඳහා කැපවී කටයුතු කළ නායකයන් සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත චක්‍රලේඛ නිකුත්කර තිබෙනවා.පාසල් සිසුන් මුඛ ආවරණ මිලට ගෙන පලඳින ලෙස කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දීලා නැහැ. ඒනිසා බොරදියේ මාළු බාන්න උත්සාහ කරන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවන් මේ තත්වය යටතේ අධික මිලට මුඛ ආවරණ අලෙවි කරන බව වාර්ත වෙනවා. ඒ නරක තත්වයක්. මුඛ ආවරණ පලඳින්න අවශ්‍ය වුණොත් ඒ බව මේ අමාත්‍යාංශ දැනුම් දෙනවා. දැනට එවැනි තත්වයක් අවශ්‍ය නැහැ. ඒ වගේම පාසල් වැසීමක්, ක්‍රීඩා උත්සව නැවැත්වීමක් පිළිබඳ කිසිම තීන්දුවක් අරගෙන නැහැ.

ඩෙංගු වසංගතය පැවැති කාලපරිච්ඡේදය තුළදී පාසලේදී ඩෙංගු හැදිලා පාසල තුළදී දරුවෙකු මියගියත් එක දවසක්වත් පාසල වැහුවේ නැහැ. වසංගතය පිටුදැකීමට අවශ්‍ය ජාතික වැඩසටහනක් තමයි ඒ වෙනුවට ක්‍රියාත්මක කළේ. පාසල් සිසුන් මේ රෝගයට ගොදුරු වුණ බව හඳුනාගෙන නැහැ. හදිසි දරුණු වසංගත තත්වයක් පවතිනවා නම්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ක්‍ෂණිකව නිකුත් කරනවා. කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ යන වැරදි ප්‍රචාරණවලට බියවීමට අවශ්‍ය නැහැ.

චීනය කියන්නේ අපේ රටට අමාරු අවස්ථාවලදී දුක්වී සැදී පිහිටවෙන්න හිටපු මිත්‍ර රටක්. ජාත්‍යන්තර මට්ටමේ විවිධ ක්‍රියාවලදී චීනය ශ්‍රී ලංකාවට උදවුකර තිබෙනවා. ඒ නිසා චීනයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය ගැන බලවත් ලෙස කම්පනයට සහ කනගාටුවට පත්වෙන අතර, මේ වෙනුවෙන් චීන රජයට ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියේය.

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය මගින් ලබාදුන් උපදෙස් මාලාව ඒ ආකාරයෙන්ම පාසල් වෙත යොමු කළා. ඒ වගේම විදුහල්පතිවරු නිතරම අපෙන් අහනවා ක්‍රීඩා උත්සව නවත්වන්නද කියලා. ක්‍රීඩා උත්සව හෝ බාහිර ක්‍රියාකාරකම් කිසිවක් නවත්වන්න එපා කියලා අපි උපදෙස් දී තිබෙන්නේ. මොකද එහෙම එකක් හරි නැවැත්තුවොත් අනවශ්‍ය බියක් රට තුළ ඇති වෙනවා. වැරදි ප්‍රචාර යනවා. අධ්‍යාපන බලධාරීන් සියලු දෙනාම මේ අවස්ථාවේදී අවධානය යොමුකර අනවශ්‍ය බියක් ඇති නොකර දරුවන්ට පාසලට වෙනදා වගේ එන්න දෙන්න කියා ඉල්ලා සිටිනවා."

"මේ වනවිට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති වී තිබෙනවා. නිවැරදි තොරතුරුවලට වඩා වැරදි තොරතුරු සමාජගත වීමේ ප්‍රවණතාව වැඩි නිසා මේ බිය වැඩි වී තිබෙනවා. මේ රෝගී තත්වය බෝ වන රෝගී තත්වයක්. කොරෝනා කියන වෛරසය මගින් බෝ වන්නේ. මේ වෛරසයට විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. ඒ නිසා බෝ වීම වැළැක්වීමයි සිදුකළ යුත්තේ. සාමාන්‍ය වෛරසයක් වැලඳුණ අයට කරන ප්‍රතිකාර තමයි මේ වෛරසය වැලඳුණ අයට සිදුකරන්නේ.

කොරෝනා වෛරසය ලෝකයට අලුත්ම වෛරසයක් නෙවෙයි. මීට කලින් සාස් ආදී මේ  වෛරසයේ වෙනත්තත්වයන් ලෝකයේ ඇති වුණා. ඒ වගේ මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරීලා මීට වඩා දරුණු අන්දමේ මරණ වාර්තා වුණා. ඒ අනුව බලද්දී කොරෝනා වෛරසය කලින්  වෛරස තරම් දරුණු නැහැ. නමුත් පැතිරීමේ වේගය අනිත් වෙරලට වඩා වැඩියි. නමුත් මරණ ප්‍රමාණය සහ සංකුලතා අඩුයි. මේ නිසා මේකට බය වෙන්න හොඳ නැහැ. නිවැරදි ක්‍රම අනුගමනය කිරීමයි වැදගත් වෙන්නේ.  මේ රෝගය රටට ඇතුළු වෙනවාද කියා සොයාබැලීමට වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒවගේම සමාල්ගත වූවන් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කර තිබෙනවා.

රෝගියෙකු හමුවුණාත් ඔහු වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 12ක් නම් කර තිබෙනවා. මේ වනවිට මුඛ ආවරණ පැලදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු දැනුම්දීමක් සිදුකර නැහැ. එහෙම අවශ්‍යතාවක් රට තුළ උදාවෙලා නැහැ. මේ රෝගී තත්වය හේතුවෙන් පාසල් තුළ හෝ කිසිම ස්ථානයක මුඛ ආවරණ පැලදීමේ අවශ්‍යතාවක් මතුවෙලා නැහැ. ඒ නිසා ජනතාව කලබල විය යුතු නැහැ. ඒ වගේම මේ වෛරසය භාණ්ඩ මගින් පැතිරෙන්නේ නැහැ. ජනතාව ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ඒවගෙන්ම මේ දිනවල කොරෝනා වෛරසයට අමතරව රට තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරෙමින් තිබෙනවා. මේ රෝග දෙකම එක වගේ.

එකම රෝග ලක්‍ෂණ තිබෙන්නේ. එහෙම කියලා මේ දෙක පටලවා ගන්න එපා. වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඉල්ලුවන්සා රෝගීන්ට මුඛ ආවරණ පලඳන කියලා කියනවා මොකද ඔවුන් මගින් අනිත් අයට මේ රෝගය වැලඳීම වැළැක්වීම සඳහා. ඒ නිසා කැස්ස, හෙම්බිරිස්සාව තිබෙන කෙනෙක් මුඛ ආවරණය පැලදීම වැදගත්. යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියා අපි ඉල්ලා සිටිනවා.”

-චාමර සම්පත්-

මාස තුනෙන් අස්වැන්න ලබාගත හැකි රතු සහල් වී ප්‍රභේදයක්



මාස තුනෙන් අස්වැන්න ලබාගත හැකි රතු සහල් වී ප්‍රභේදයක් එළිදක්වා තිබේ. මීට අදාළ බීජ ලබන අප්‍රේල් මාසයේ සිට බෝඹුවල ප්‍රාදේශීය වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව තෙත් හා වියළි කලාප දෙකටම භාවිත කළ හැකි මාස හතරෙන් අස්වැන්න ලබාගත හැකි වී ප්‍රහේදයක්ද එළිදක්වා තිබේ.



බෝඹුවලින් එළිදැක්වූ මාස තුනේ වී වර්ගය BW 312 ලෙස නම්කර තිබෙන අතර, බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් හඳුන්වා දී තිබෙන තෙත් හා වියළි කලාපවල වගා කළ හැකි මාස හතරෙන් අස්වැන්න  ලැබෙන වී වර්ගය BG 409 ලෙස නම්කර ඇත.මාස තුනක කාලයකින් රතු සහල් අස්වැන්න ලබාගත හැකි වී වර්ග තුනක් මීට වසර තිහකට පෙර හඳුන්වා දී තිබෙන අතර, එම වී වර්ග වන්නේ BW 272, AT 303 සහ AT 311 යන ඒවා ය.

ගොයම් ඇදවැටීම, බොල් ගතිය වැඩිම, රෝග උවදුරු වැඩිවීම ආදිය නිසා මෙම වී වර්ග පිළිබඳ ගොවීන්  අතර විවිධ මත නිර්මාණය වී තිබූ  අතර, එයට පිළියමක් ලෙස බොල් අඩු හා පළිබෝධවලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නෙක් ලබාගත හැකි වී  වර්ගයක් පිළිබඳවද පරික්ෂණ සිදුකර තිබේ. එම පරීක්ෂණවලට අනුව BW 312 එළිදක්වා ඇත.  මෙම වී වර්ගය ලබන අප්‍රේල් මාසයේ සිට ගොවින්ට නිකුත් කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සක්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කරන්නයි, නවත්වන්න නොවෙයි



රාජ්‍ය නිලධාරීන් චක්‍රලේඛ නිකුත් කළ යුත්තේ වැඩ කිරීමට මිස, සිදු කරමින් සිටින වැඩ නැවැත්වීමට නොවන බවත්, පැවති රජය සමයේ ගත් තීන්දු තීරණ නිසා අපහසුතාවට පත්ව ඇති රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදී රාජ්‍ය සේවය නැවත සක්‍රිය කර ජනතාවට සේවය සලසන මට්ටමට රැගෙන එන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  පසුගිය 28දා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. 

එසේම රටේ පවතින ආර්ථික තත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේදී මතුවී ඇති ගැටලු පිළිබඳවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සේම, කොන්ත්‍රාත්කරුවන් මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ හෙතෙම  මෙහිදී පෙන්වා දී තිබේ.ඒ අනුව මුදල් අමාත්‍යවරයා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් නංවමින් ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක සපිරි ගමක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාමට උපදෙස් ලබා දුන්නේය.

එසේම සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට සිය කටයුතු නොබියව සිදු කරගෙන යන ලෙස ඉල්ලා සිටි මුදල් අමාත්‍යවරයා, ඔවුන්ට අයවිය යුතු මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. පසුගිය රජය ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන්කර තිබීම හේතුවෙන් රජය සේම රජයේ විවිධ ව්‍යාපෘති සඳහා දායකත්වය දැක්වූ පෞද්ගලික ආයතනය පත්ව ඇති අපහසුතාවන්ද මෙහිදී මුදල් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලදී.

එහිදී පසුගිය රජයේ වියදම් ප්‍රමාණය ඉහළ යාමත්, වියදම් කළමනාකරණය නොකිරීමත් හේතුවෙන් අයවැය පරතරය. ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් මුදල් අමාත්‍යවරයා, එසේම දැනට ක්‍රියාත්මක වන රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහනද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන් කළේය. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ

ව්‍යවසායකයන්ට ලබාදී ඇති සහන වැඩසටහන පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා  මෙහිදී අදහස් දැක්වූ අතර, දැනට විවිධ ණය ලබාගෙන ගෙවා ගැනීමට නොහැකි වී ඇති හෝ ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති ව්‍යාපාරිකයන් සඳහා මුදල්  අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති සහන  පැකේජය පිළිබඳව පැහැදිලි කරමින් අදාළ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාම සඳහා උපරිම සහාය දක්වන ලෙස බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම සහන පැකේජය යටතේ ණය අයදුම් කිරීමේදී ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව ගැටලුවක් කර නොගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන්ට දැනුම් දුන්ය. මෙම හමුව සඳහා රාජ්‍ය අමාත්‍යවරු වන ඩබ්ලියු.ඩී.ජේ. සෙනෙවිරත්න සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරුද අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන්ද සහභාගී වූහ.

තාත්තේ අපිව ගඟට දාන්න හැදුවට අපි තරහ නෑ - ගඟට බිලි නොවූ පිය - පුතු සෙනෙහස

රට රැකියචකට මීට මාස 7කට පමණ පෙර පිටව ගිය සිය බිරිය සමඟ ඇතිකරගත් අමනාපයක් නිසා අවුරුදු 3ක් පමණ වයසැති තම පිරිමි දරුවා දොරවෙල පාලම මත සිට ගඟට හෙළීමට උත්සාහ ගත් පියා පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුවතක් බළන්ගොඩ ප්‍රදේශයේම පැතිර ගියේය.

එහෙත් මෙහිදී බොහෝ දෙනා නොදුටු පැත්තක්ද දැනගන්නට ලැබිණි.මවගේ සෙනෙහසද දරුවන්ට නොලැබ සිටියදී පියා මෙම අවුරුදු 2 ගැහැනු දරුවා සමඟ අවුරුදු 3ක් වයසැති පුතාද රැකබලා ගත්තේය. නමුත් හදිසි කෝපය නිසා ඇති වූ සිද්ධියෙන් පියා පොලීස් සිර මැයේ සිටියදී හැඬු කඳුළින් යුතුව පිටත සිට යකඩ කූරු අතරින් මෙම දරුවන් දෙදෙනා පියාට කම ලබාදුන්නේය.

වරෙක මාළු පාන් කැබැල්ලක් පුංචි පුතා පියාට කැව්වේය. ඔවුන් මෙසේ සිතන්නට ඇති “ තාත්තේ අම්මත් එක්ක තරහා වෙලා අපිට කරදර කරන්න හැදුවාට අපි තරහා නැහැ, තාත්තා ඉක්මනට ගෙදර එන්න."අධිකරණයට ඉදිරිපත් කරන තුරු රාත්‍රියේ තාත්තා කුඩුවේ සිටියදී දරු දෙදෙනාද පිටත නිදි නොලබන්නට ඇත.

මෙම දරුවන් දෙදෙනා දැන් ඥාතිවරියක භාරයේ පසුවෙයි.

සැකකාර පියා ලබන 6දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එම දිනය එළැඹෙන තුරු දරුවන් බලා සිටින්නේ ඇප ලැබී ගෙදර ඒවි යන අදහස මත විය හැකිය.

බළන්ගොඩ - පියසේන එන්. හේවගේ

මුඛ ආවරණය සඳහා උපරිම සිල්ලර මිලක්




කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙඳ පොළෙහි අලෙවි කිරීමට තිබෙන, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ. ඒ අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15ක් ලෙසත්, ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15ක් ලෙසත්, මුහුණු ආවරණ (එන්-95 වර්ගය) - අංශු ශ්වසන පෙරණය) රුපියල් 150ක් ලෙසත් මිල නියම කර ඇත.

ඉහත මිල ගණන් අබිබවා මුහුණු ආවරණ අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙඳුන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගක්තිය යටතේ උපකරණ මිල නියම කිරීම නියෝග අනුව ඉවත දැමිය හැකි මුහුණු  ආවරණ සඳහා මෙම උපරිම සිල්ලර මිල නියම කිරීම කර ඇත.

-නවෝද්‍යා පවනී-

ගණිකා සේවයට කතුන් රට යවන මිනිස් ජාවාරමක් හෙළි වෙයි



මැද පෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා සේවයේ යොදවන ජාවාරමක තොරතුරු හෙළිදරවු වෙමින් පවතී.

මෙම තරුණ කාන්තාවන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුවන අතර මේ පිටුපස ප්‍රධාන පෙළේ විදේශ රැකියා ඒජන්සි රැසක්ම සින බවට තොරතුරු වාර්තා වේ.

තරුණියන් විදේශගත කිරීමේදී ඔවුන්ට සැබෑ තත්වය වසන් කොට කාර්යාලයීය සේවයට හා ගෘහ සේවයට ඔවුන් යොමු කරන බව පැවැසුවද ඇත්ත වශයෙන්ම ඔවුන් මාස තුනක කාලයක් සඳහා ලිංගික සේවයට යොමු කිරීමක් මෙහිදී සිදුවේ. එම කාන්තාවන්ට ශාරීරික වශයෙන් බරපතළ හිසා සිදුකර ඇත.

මැදපෙරදිග රැකියා සඳහා යැයි පවසා තෝරා ගත්තා කන්තාවන් සංචාරක වීසා මත මැදපෙරදිග රටවලට යැවීම සිදුවන අතර එලෙස තෝරාගන්නා කාන්තාවන්ගේ සියලු වියදම්ද දරන්නේ අදාළ රැකියා ඒජන්සි සහ තැරැව්කරුවන් විසින්ය.

ඒ අනුව බැලූ බැල්මට එම කාන්තාවන්ට මේ සඳහා පෞද්ගලීකාව වියදමක් දරන්නට සිදුවන්නේ නැත. ඉන්දියාවේ සංචාරයක් සඳහා යන මුවාවෙන් විසා ලබාගෙන ගුවන් තොටුපොළට ඇතුළු වෙන ජාවාරම්කරුවෝ කලින් මැදපෙරදිග රටවල් සඳහා ලබාගත් වීසා තෝරාගත් කාන්තාවන්ට ලබා දෙනු ලැබේ.

මේ ආකාරයට ගුවන් තොටුපොළේ සේවය කරන පිරිසක වෙතින් ලබාගෙන මැදපෙරදිග රටවලට තරුණ කාන්තාවන් යවා ඇත්හත් සංචාරක වීසා වලිනි.

මෙසේ කූට අන්දමින් මිනිස් ජාවාරමේ යෙදෙන තැරැවිකරුවන්ට හසුවූ කාන්තාවන් 80ක් පමණ ඕමාන්වලද 50ක් පමණ ඩුබායිවලද සිටින බවට වාර්තා වේ.

මේ ආකාරයටම මැදපෙරදිගට යවන එක් කාන්තාවක් වෙනුවෙන් තැරැවිකරුවකුට රුපියලක්ෂ 5සිට 10 දක්වා මුදලක්ද ගෙවන බවට තොරතුරු ලැබී තිබේ.

මේ මිනිස් ජාවාරම පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමඟ අදාළ අංශ වහා ක්‍රියාත්මක වී පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

මා ළඟ තවත් හඬපට 1,24,000ක් තිබෙනවා



කිසියම් පුද්ගලයෙක් තමන්ගේ තනතුරු හා බලපුළුවන්කාරකම් ප්‍රයෝජනයට ගනිමින් විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාද පැවැත්වීම විනිසුරුවරුන්ට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියටම කරන බලපෑමක් සේම කනගාටුදායක තත්වයක් බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඊයේ (29) නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ඒ.යූ. කේ. පැල්පොල මහතා හමුවේ පැවැසීය.

ඒ මහතා ඒ බව කියා සිටියේ රාමනායක මහතා විසින් විනිසුරුවරුන් තිදෙනකුට දුරකථනයෙන් කතාකර බලපෑම් කළ බව කියන සිද්ධිය ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ද සිල්වා මහතා මෙකී සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ මෙකී සිද්ධියේ විමර්ශන කටයුතු මෙතෙක් අවැසි නොමැති බව තව දුරටත් එකී විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත්ය.

සැකකාර මන්ත්‍රිවරයාගේ කටහඬ සාම්පල් ලබාගැනීම ඉකුත් 23දා ඔහුයේ  රසපරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව සිටියත් රස පරීක්ෂක කාර්යාලයේ තාක්ෂණ දෝෂයක් හේතුවෙන් ඔහුව එදිනට ඉදිරිපත් කිරීමට
නොහැකිවූ බවද ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පැවසීය.

දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව සැකකාර රාමනායක මහතා විනිසුරුවරුන් කිහිපදෙනකු සමඟ අවස්ථා විස්සකදී කතා කර ඇති බවට කරුණු අනාවරණ වන බවද ඔහු විවිධ පුද්ගලයන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කිරීම 2008 වසරේ සිට සිදුකර ඇති බවට මේ වනවිට සිදුකර තිබෙන විමර්ශනවලදී අනාවරණය වන අධිකරණ කටයුතු වලට යම් අයෙක් කිසියම බලපැමක් කරනවා නම් එය අධිකරණ පද්ධතියට කරන බරපතළ වරදක් බවද සැකකරුවකු පොල් කඩන පුද්ගලයකුද ඔහු බලපුළුවන් කාරයෙක්ද යන කරුණු අධිකරණයට කිසිසේත්ම අදාළ නොමැති බවද එකී වපසරිය තුළින් මෙකී සිද්ධිය පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළ යුතුව ඇති බවද ඒ මහතා පැවැසීය.

මෙම සැකකරු අන්‍යාකාරයන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බව එය අධිකරණ පද්ධතියේ පැවැත්මට බරපතළ ප්‍රශ්නයක් බවද ඒ මහතා කීය.

කිසියම් පුද්ගලයෙක් තමන්ගේ තනතුරු හා බලපුළුවන්කාරකම් ප්‍රයෝජනයට ගනිමින් විනිසුරුවරුන් සමඟ දුරකථනවලින් කතා කිම විනිසුරුවරුන්ට සිදුකරන බලපෑමක් මෙන්ම කනගාටුදායක තත්වයක් බවද ඒ මහතා පැවැසීය.

මෙවැනි තත්ත්වයක් ඇති වීම අවදානම් බදා මෙකී තත්ත්වය මින් එහාට නොයවා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කළයුතුව ඇති බව නීතිය හෑල්ලුවට ලක් කරන තත්වයක් ආවොත් එය ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම අධිකරණය සතුව තිබෙන බවද ඒ මහතා පැවැසීය.

මේ වනවිට සිදුකර තිබෙන විමර්ශන අනුව හා ලබාගෙන තිබෙන සාක්ෂි අනුව සැකකරුට එරෙහිව චෝදනා තිබෙන බවද ඉදිරීයේදී සිදුකරන එම විමර්ශන අනුව සැකකරුට එරහි තවත් චෝදනා ගොනු කිරීමට හැකියාව පවතින බවද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවැසීය.

මෙකී සිද්ධිය විමර්ශන තවදුරටත් සිදුකරන බවත් ඔහුට ඇප ලබාදුනහොත් සිදුකරන විමර්ශනවලට බලපෑමක් සිදුවිය හැකිව ඇති බැවින් සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔහුගේ කටහඩ සාම්පල් ලබාගැනීම සඳහා ඔහුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියෝගයක් ලබාදෙන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පැවැසීය.

සැකකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ලේ ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා වන රාමනායක මහ‍තා අපරාධකාරයකු නොවන බවත් ඔහු පෙර කිසිදු අපරාධයක් සිදුකර හෝ එවැනි දෙයකට හවුල්ව තිබෙන බවට අනාවරණය නොවන බවත්ය.

තම සේවාදායකයාට ඇප ලබාදුනහොත් ඔහු පිළිබදව සිදුකරන විමර්ශන කටයුතු වලට බාධාවක් වන බව නීතිපති දෙපාර්තමේච හා පැමිණිලිකාර අපරාධ කොට්ඨාසය අධිකරණයට දක්වන කරුණු පිළිගත නොහැකි බවත් ඔහු කිසිදු මොහොතක අධිකරණය මඟහැර පැනලා ගිය අයකු නොවන බවත් අසනීප වාර්තා ඉදිරිපත් කර රෝහල් ගතව සිටි අයකු නොවන බවද ඔහු මොනයම් අවස්ථාවකදී හෝ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කර නොමැති බවද ඒ මහතා පැවසීය.

තම සේවාදායකයාට ඇප ලබාදුනහොත් ඔහු පිළිබඳව සිදුකරන විමර්ශන කටයුවලට බාධාවක් වන බව නීතිපති දෙපාර්තමේන්තුව හා පැමිණිලිකාර අපරාධ කොට්ඨාසය අධිකරණයට දක්වන කරුණු පිළිගත නොහැකි බවත් ඔහු කිසිදු මොහොතක අධිකරණය මඟහැරලා පැනලා ගිය අයකු නොවන බවත් අසනීප වාර්තා ඉදිරිපත් කර රෝහල්ගතව සිටි අයකු නොවන බවද ඔහු මොනයම් අවස්ථාවකදී සාක්ෂකරුවට බලපෑම් කර නොමැති බවද ඒ මහතා පැවැසීය.

තම සේවාදායක හා අධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සමඟ දුරකථන සවාදයේ යෙදී ඇති නමුත් ඔහු පවතින නඩු කටයුතු සඳහා බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බවද මහාධිකරණ විනිසුර පද්මිනී රණවක (විශ්‍රාමික). මහත්මිය සමඟ ඔහු දුරකථනයෙන් කතා කර ඇත්තේ දුමින්ද සිල්වගේ නඩු තීන්දුවන් වසරකට පමණ පසුව බවද එකී සංවාදය සිදුව තිබෙන්නේ ඇයට උසස් වීමක් ලබාගැනීම සඳහා මිසක නඩු කටයුත්තක් සඳහා නොචන බවද ඒ මහතා පැවැසීය.

ඔහු සෙසු විනිසුරුවරුන් සමඟ කතා කළ අවස්ථාවන්හිදීද ඔහු එකී විනිසුරුවරුන්ට බලපෑමක් සිදුකර නොමැති බව පෙනෙන්නට තිබෙන බවද ඒ මහතා කීය.

තවද එකී විනිසුරුවරුන්ගෙන් මෙන්ම තම සේවාදායකයාගේ කාර්යාලයේ සේවයෙහි නියුතුවූවන්ගෙන්ද විමර්ශන නිලධාරීන් මේ වන විට සාක්ෂි ලබාගෙන අවසන් කර තිබෙන බවද තව ලබාදීමට ඇත්තේ කටහඬ සාපල් පමණක් බවද එම නිසා සැකකරුට ඇප ලබාදීම තුළින් මෙකී සිද්ධියේ විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බවද ඒ මහතා කීය.

තම සේවාදායකයාට රස පරීක්ෂක කාර්යාලයට ගොස් එහි දින හතම වුවද ගතකර කටහඩ සාම්පල් ලබාදීමට හැකියාව තිබෙන බව මෙකී සිද්ධිය එතරම් බරපතළ කාරණයක් නොවන බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරුට ඇප කොන්දේසියක් යටතේ සැකකරුට ඇප ලබාදීමට නියෝගයක් ලබාදෙන ලෙසද සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

දෙපාර්ශ්වයේ නීතිඥචරුන්ගේ කරුණු දැල්වීමෙන් අනතුරුව විත්තිකුඩුවේ සිටි රන්ජන් රාමනායක මහතා විනිසුරුතුමනි මට ප්‍රකාශයක් දීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමින් කියා සිටියේ තමන් නිසි පුද්ගලයකු බවත් එක්තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් තමන් පැවැත්වූ හඩපට විකෘති කරමින් එකී නාළිකාව හරහා ප්‍රචාරය කරන බවත්ය.

තමන් සතුව තවත් හඬපට එක්ලක්ෂ විසිහතර දහසක් තිබෙන බවද තමා පාර්ලිමේන්තුවට යන අවස්ථාවන්හිදී ඕම් අයකු මුණගැසී කතා කරන්න පුළුවන් බව මන්ත්‍රී වරප්‍රසාද ලබා ගනිමින් තමන් කිසිදු සාම්කරුවකුට බලපෑමක් සිදුකර නොමැති බවද ඔහු කීය.

තමා විනිසුරුවන්ට් කතා නොකළ බවත් විනිසුරුවරුන් තමාට කතා නොකළ බවත් විනිසුරුවරුන් තමාට කතා කළ බවත් රාමනායක විත්ති කූඩුවේ සිට තවදුරටත් කීය.

සැකකරුගේ මෙවැනි කතා තමා බලපෑම් කරනවා කියා කියන්නේ යැයි සැකකරුගේ අදහස් දැක්වීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් හමුවේ පැවැසීය.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා ඇතුළු පිරිසක්ද පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් වසන්ත රණසිංහ, ආශා කහවත්ත, උදුල් ප්‍රේමරත්න, රුවනි විජේසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

කුමුදු උපුල් ශාන්ත ඡායාරූපය - නුවන් අමරවංශ

එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට


කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කිරිමට තිරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. මේ දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පකෂයේ සාමූහික විනය කඩ කිරීමෛ චෝදනාව මත යැයි දැනගන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැන්දායින් අවසන් වූ අතර අලුත් සාමාජිකයින් පත් කිරීමෙන් පසු අද (30) පස්වරු 3ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නව කෘත්‍යධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතට ඇත.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට නව පත්කිරීම් සිදු කළාදැයි පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති පුත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙළින් පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ එකෙනෙක්  දෙනෙක් ඇරුනම පරණ අයම පත් කළා"  යනුවෙනි.

- අංජුල මහික වීරරත්න-

රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් ඉල්ලයි





නව කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක මෙරටින් වාර්තා විමත් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (Face Masks)ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ  නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පවතින බැවින් මෙරටට කඩිනමින් මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ළඟම රාජ්‍යය ඉන්දියාව බැවින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත.

තමා කළ ඉල්ලීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති අතර නව කොරෝනා  වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සහාය දෙන බවද  පවසා මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ඉන්දියාවේ සමාගම් කිහිපයක් පිළිබඳව තමා දන්නා බවට මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා කළ දැනුම්දීමකට අනුව රජය හා මැදිහත්ව මුහුණු ආවරණ ගෙන්වීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයාට උපදෙස් දුන්නේය.

ජනතාව මේ වනවිට සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් බියකින් පසුවන බැවින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙසත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.


-අංජුල මහීක වීරරත්න-

මාතර බෝධිය අසල වයෝවෘද්ධි පියකු දමා ගිහින් - මහමඟ ගිය අය කෑම බීම දී සාත්තු කරලා පොලිස් ජීප් රියෙන් මාතර රෝහලට


මාතර ඓතිහාසික බෝධි රාජයා අසල ඊයේ (29 දා) උදේ 10ට පමණ වයස අවුරුදු 76ක් වූ පස්දරු පියකු දමා ගොස් තිබේ. මෙම පස් දුරු පියා ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේ සිට ඔවුන්ගේ බාල පුතු විසින් රැන්ගෙනවිත් මෙම ස්ථානයේ දමා ගිය බව එම වයෝවෘද්ධ පුද්ගලයා පැවැසීය.

පසුව මෙම පුද්ගලයා අධික ලෙස වෙව්ළමින් එම ස්ථානයේ ඇද වැටුණු අතර රැස්ව සිටි පිරිස් එම තැනැත්තාට ආහාර සහ තේ පැන් ලබාදී සත්කාර කළහ. රැස්වව සිටි අය පසුව 1990 ගිලන් රථ සේවාවට ඇමතුමක් ලබා දුන් අතර එහෙත් ගිලන් රථයක් එම ස්ථානයට නොපැමිණීම නිසා මාතර පොලිසියේ ජීප් රථයකින් මාතර මහ රෝහලට රැගෙන යන ලදී.

මාතර නගර මධ්‍යයේ වෙව්ළමින් සිටි මෙම තැනැත්තා මාතර රෝහලට රැගෙන යැමට කිසිවකු ඉදිරිපත් වුයේ නැති අවස්ථාවේදී රැස්ව සිටි තරුණයන් පිරිසක් මෙම තැනැත්තා කර මතින් රැගෙන යාමට උත්සාහ කරන විට පොලිස් ජීප් රථය එහි නවතා එම තැනැත්තාව රැගෙන යෑමට කටයුතු කළේය.

මෙම තැනැත්තා පවසන ආකාරයට ඔහුට දරුවන් පස්දෙනකු සිටින අතර බාල පුතා විසින් මෙලෙස මඟමගෙ දමා ගොස් තිබේ. මෙම අය සත්තකයේ තිබූ රෙදි බෑගයේ වෛද්‍ය පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ  වෛද්‍ය වාර්තාවක් තිබූ අතර එහි පී.එච්.අප්පුහාමි වයස අවුරුදු 76ක් ලෙස සහ බෝගහගොඩ, අගුහ ලෙස සඳහන් කර තිබිණි. මාතර පොලීසිය වැඩිදුර පක්‍ෂණ සිදුකරයි.

මාතර - උදය කුමාර රණවීර

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය යළිත් කඩා වැටීමකට?



චීනය ඇතුළුව ලොව රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය (2012-nCoV) හේතුවෙන් විදෙස් වෙළෙඳ පොළරැසකම ගනුදෙනු පසුගිය දින කිහිපයේදී යම් පසුබෑමක් පෙන්නුම් කෙරිණි.

එහිදී ප්‍රධානවම කොරෝනා වෛරස බිය නිසා ඇතිව තිබෙන ගෝලීය සංචාරක කර්මානයේ කඩා වැටීම ඊට යම් තරමකින් බලපෑම් එල්ල කර තිබේ.

අද වන විට ලොව මුල් පෙළේ සංචාරකයෙකු බවට මැද පන්තියේ චීන ජාතිකයා පත්ව තිබීමත්, ලොව රටවල් රැසකම සංචාරක ආදායම් මාර්ගයේ ප්‍රධාන ප්‍රභවයක් බවට චීන ජාතික පත්ව තිබීමත් ඊට හේතුව වී ඇත.ශ්‍රී ලංකාවද එම රාජ්‍යයන් අතරින් එකකි.

අද වනවිට මෙරට වාර්ෂික සංචාරක පැමිණීමෙහි තෙවැනියට වැඩිම සංචාරක පැමිණීමෙහි තෙවැනියට වැඩිම සංචාරක පැමිණීමක් සිදුකරන රට වන්නේ චීනයයි.

වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය වසරේදී පමණක් මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව වූ ලක්ෂ 19 අතරින් චීන සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහත් දහස් අටසිය හැටතුනකි. (එහෙත් මෙය පාස්කු ප්‍රහාරය නිසා අඩුවූ සංඛ්‍යාවකි.)2018 වසරේදී මෙය දෙලක්ෂ හැටපන්දහස් නවසිය හැට පහක් විය.

බහුතරය මුදල් යහමින් පවතින සංචාරකයන් වන මෙම චීන ජාතිකයන් මෙරට තුළදී බොහෝ ඉහළ මට්ටමේ ගනුදෙනු සිදුකරයි. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීම ඒ අතරින් මූලික වෙයි.

එහෙත් මෙම කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමගින් මේ වසර ආරම්භයේ සිටම මෙරටට පැමිණෙන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ.

වාර්තා පවසන ආකාරයට වසරේ මුල් මාස තුන චීන නව අවුරුදු උදාව යෙදී තිබීමත්, ඒ සඳහා ලැබෙන නිවාඩු නිසා එය චීන සංචාරකයන් වැඩි දෙනෙකු සංචරණයේ යෙදෙන කාලසීමාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවද පසුගිය වසර ගණනාව තුළදී මෙම අවස්ථාවෙන් ඉහළ ප්‍රයෝජන ගත් රටකි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට පෙරාතුව ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී පිළිවෙළින් චීන සංචාරකයන් 28,039ක්, 23,759 ක් සහ 23,759ක් මෙරටට පැමිණ තිබේ.

එහෙත් උද්ගතව ඇති මේ වාතාවරණය අනුව මේ වසරේදී එවැනි චීන සංචාරක පැමිණීමක් බලාපොරොත්තු විය නොහැකි බව සිය ජනතාවට විදෙස් සංචාරක තහනම් පැමිණවීම ඊට හේතුවකි.

මේ හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා වෙන්කර තිබූ සංචාර රැසක්ම අවලංගු වී ඇතැයි වාර්තතා සඳහන් කරයි.චීන සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශයද පසුගිය සති අන්තයේදී එරට සංචාරක නියෝජිත ආයතන සහ සංචාරක සමාගම් වෙත සංචාරක පැකේජ අලෙවි කිරීම නවත්වන ලෙසද දැනුම්දීම් සිදුකර ඇතැයි මාධ්‍ය වාර්ත පවසා සිටියි.

යුරෝපා ජාතිකයන් මෙන් නොව සාමාන්‍යයෙන් මෙම චීන ජාතිකයන් කණ්ඩායම් වශයෙන් සංචාරයේ යෙදෙන්නන්ය. මෙම එක් කණ්ඩායමක සංචාරකයන් 1Oත්20ත් අතර සංඛ්‍යාවක් සිටියි. ඒ අනුව එක්වරම අවලංගු වන්නේ සංචාරකයන් විශාල ප්‍රමාණයකගේ පැමිණිමකි.

දැනටමත් කොළඹ පිහිටි. සංචාරක නියෝජිත ආයතන කිහිපයක්ම මෙවැනි අවලංගු කිරීම්වලට මුහුණ දී තිබේ. ඉදිරියේදී පවතින තත්ත්වය අනුව මෙය තවත් දරුණු විය හැකි බවටත් ඔවුන් අදහස් පළ කර සිටියි.

චීන සංචාරක ඇකඩමියේ වාර්තාවලට අනුව චීන ජාතික සංචාරකයන් අතරින් 55%ක් දෙනා තම රටින් පිට සිදුකරන සංචාරවලදී සංචාරක පැත්තේ තෝරා ගැනීමට වැඩි කැමැත්ත පළ කරයි. ඒ අනුව චීන රජය පනවා ඇති සංචාරක තහනම මෙම කණ්ඩායම් වෙත මූලිකවම බලපාන අතර, තනි තනි ලෙස සංචාරයේ යෙදෙන පිරිස් වෙත එය බලනොපානු ඇති බව විශ්වාසය වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජයද පෙරේදා දිනයේ සිට චීන ජාතිකයන් වෙත ලබාදී තිබූ 'ඔන් ඇරයිවල් වීසා ' පහසුකම
ජාතිකයෙකුටම එරටදී සිදුකළ යුතු පරික්ෂාවට යටත්ව එහිදී ලබාගන්නා වීසා බලපත්‍රයක් අනුව මෙරටට පැමිණිය යුතුව ඇත.

මෙයද ඉදිරී මාස කිහිපයේදී සංචාරක පැමිණීම් අඩු කිරීමට හේතුවක් වනු ඇත.එසේම සිය සංචාර අවලංගු නොකරමින් මෙරටට පැමිණෙන තනි තනි සංචාරයේ යෙදෙන චීන ජාතිකයන් ඉදිරියටත් මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා දායක කරගැනීමත් මේ මොහොතේදී අවශ්‍යව ඇති කරුණකි. මෙරට සිටින චීන සංචාරකයන් කිහිප දෙනෙකුටම මෙරට ජනතාවගෙන් සිදුවුණු අඩත්තේට්ටම් පිළිබඳව වාර්තාවී ඇත.

ඊට පිළියමක් ලෙස සංචාරක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්ව වෙත මෙම කොරෝනා වසංගතය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි ඊයේ (29දා) නිවේදනයක් මගින් සඳහන් කර තිබුණි. එහිදී හෝටල් හා ලැගුම්හල් හිමියන් හා සේවකයන්, සංචාරක මඟපෙන්නන්, සංචාරක කුලී රථ රියැදුරන්, සංචාරක ත්‍රිරෝද රථ රියැදුරන් මේ පිළිබඳව දැනුවත් කිරීම අරමුණ වී ඇත.

පෙරේදා (28) දිනය අවසන් වනවිට මෙම නව කොරෝනා වෛරසය නිසා මිය ගිය චීන ජාතිකයන් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ නැග තිබුණි. එසේම වෛරසය ආසාදනය වූ බවට ස්ථිර වූ සංඛ්‍යාව 5,974ක් ලෙසත්, වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන සංඛ්‍යාව 9,239ක් ලෙසත් සඳහන් විණි.

එහෙත් මේ වනවිට වසංගතය පාලනය සඳහා චීන රජය මැදිහත්ව ක්‍රියා කරමින් සිටීමත් එය පිටුදැකීම කොරෝනා වෛරසය පිළිබඳ බිය තුරන්ව යනු ඇතැයි සැමගේම විශ්වාසය වී තිබේ.

චීන සංචාරක පැමිණීම අඩුවීමට අමතරව ලොව පුරා පවතින නව කොරෝනා වෛරස් බිය නිසා ලොව අනෙකුත් සංචාරකයන්ගේ සංචරක අවස්ථාවද යම් ප්‍රතිශතයකින් අඩු වීමට හැකියාවක් පවතී.

එහිදී ශ්‍රී ලංකාව තුළද නව කොරෝනා වෛරස ආසාදිතයෙකු හමුවීමත්, තවත් කිහිප දෙනෙකු පිළිබඳව පරික්ෂා කිරීමත් සංචාරකයන්  තුළ මෙරට සෞඛ්‍ය ආරක්ෂණ තත්ත්වය පිළිබඳව ගැටලු ඇති කිරීමටද හේතුවක් වී ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැලකිය යුතු ලෙස අඩපණ කිරීමට මෙම මාස තුන තුළදී සිදුවන සංචාරක පැමිණිහි අඩුවීම හේතුවක් වීම අනිවාර්ය වී තිබේ. එය පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ සංචාරක හානිය තරමටම දරුණු කර නොගැනීම බලධාරීන්ගේ මෙන්ම ජනතාවගේද වගකීමක් වී තිබේ.

ඒ සඳහා මෙම නව කොරෝනා වෛරසය පිළිබඳව පවතින කටකතා නොව සැබෑ සත්‍යය පිළිබඳ දැනුමින් සහ අවබෝධයෙන් සිටීම අතිශය වැදගත් වෙයි.

භානුක අමරසිංහ

බොරැල්ල ඇන්.ඇම්.වටරවුම හදිසියේ ඩෝසර් කරලා


බොරැල්ල පිහිටි දිවංගත ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පිළිරුව අසල වටරවුමේ කොටසක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බූල්ඩෝසර් කර දමා ඇති බවට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ කළමනාකාර එස්.එස්. අන්ද්‍රාදි මහතා බොරැල්ල පොලිසියට පෙරේදා (28) පැමිණිල්ලක් කර ඇත. ඉකුත් සඳුදා (27) රාත්‍රි හදිසියේම මෙම ඩෝසර් කිරීම සිදුකර ඇති බවටත් එම පිළිරුව සහිත ප්‍රදේශය මීට වසර 23කට පෙර කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්  වෙන්කර දී ඇති බවටත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් ඇත.

මේ පිළිබඳව ලංකා සම සමාජ පක්ෂයේ ලේකම්, උතුරු  මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාට දැනුම්දුන් බවද ඒ මහතා  පැවැසීය.පර්චස් 20.79 කින් සමන්විත මෙම බිම් ප්‍රදේශය සඳහා  වාර්ෂිකව රුපියල් 2000ක බිම් කුලියක් තිඹිරිගස්යාය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙචන බවද ඔහු සඳහන් කළේය. මේ වනවිට පිළිරුව අසල බිම් ප්‍රදේශයේ අඩි 6ක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර දමා ඇතැයිද ඔහු පැවැසීය.

මෙම භූමිය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය මගින් නඩත්තු කරනුයේ 1997 සිට බවද එම කේන්ද්‍රයට නොදන්වා මෙවැන්නක් සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බවද ඔහු පැවැසීය.මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යපෘති අධ්‍යක්ෂ එස්. සෙල්වනාදන් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසිමකදී ඔහු මෙසේ කීය.

බොරැල්ල ආයුර්වේද වටරවුමේ පිහිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා අනුස්මරණ පිළිරුව සහිත ප්‍රදේශයේ පවතින දැඩි මාර්ග තදබදය අවම කිරිම සඳහා මංතීරු දෙකක් ඉදිකිරීමට එම පිළිරුව සහිත ස්ථානයෙන් කොටසක් ලබාගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියා කළා. ඊට පෙර කොළඹ නගර සභාවෙන් අවසර ලබාගෙන තිබුණත් මෙය ඇන්.ඇම්. පෙරේරා පදනමට අයත් බිම් කොටසක් බව අප දැන සිටියේ නැහැ. මේ නිසා එම ස්ථායට කිසියම් හානියක් සිදුවූවා නම් එම බිම් කොටස සඳහා වන්දි ගෙවීමට අධිකාරිය සුදානම්. සිදුවූ දේ ගැන අප කනගාටුවෙනවා.

-ජයන්ත සමරකෝන්-

චීනයෙන් ගෙන්වන සිසුන් මුදාහරින ක්‍රමය වැරදියි


චීනයේ ඉගෙනුම ලබන ශ්‍රි ලාංකික සිසුන් 380ක් මේ වනවිට ගුවන් මඟින් කටුනායක ගුවන් තොටුපළට එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගානන්ද මීහතා පැවසීය. චීනයේ ශ්‍රී ලාංකික සිසුන් 173ක් රැගත් ගුවන් යානයක් පෙරේදා (28) රාත්‍රියේ හෝ ඊයේ (29) අලුයම පැමිණෙන බව ප්‍රකාංශ කළ ද, එවැනි ගුවන් යානයක් කටුනායකට හෝ මත්තල ගුවන් තොටුපොළට පැමිණ නැතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග කියයි.

චීනයේ ග්වැන්ෂෝ සිට පෙරේදා (28) පස්වරු 6.20ට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ  යානයෙන් ද, එදිනම රාත්‍රී 9.05ට චෙංඩු සිට පැමිණි එයාර් චයිනා ගුවන් සේවයේ යානයෙන් ද චීනයේ ග්වැන්ෂෝ සිට ඊයේ (29) අලුයම 5.30ට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයෙන්ද ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනකු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබූ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය‍ වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.

මෙම සිසුන්ගේ සෞඛ්‍ය තත්තවය පරිකෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා, ඔවුන්ට නිවෙස් බලා යාමට කටයුතු සලස්වා තිබේ. කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිත රෝග ලක්‍ෂණ පහළ වූවත්, වහාම ළඟම  ඇති රෝහලට යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට උපදෙස් දී ඇත. මෙම ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක් වූ ගුවන් තොටුපොළ සෞඛ්‍ය විද්‍යා ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්. පෙරේරා මහතා පැවසුවේ චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳව  දැනට අනුගමනය කරන ක්‍රමවේදය අසම්පූණ, නිවැරැදි නොවන ක්‍රමයක් බවය.

මෙම සිසුන් චිනයේ සිට කෙළින්ම මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත්, ඉන්පසුව ඔවුන් ගිලන් රථ මඟින් දියතලාව රෝහල ආශ්‍රිත රැදවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 10ක් හෝ 14ක් එහි රඳවා තැබිය යුතු බවත් ඔහු කීය.එම කාලයෙන් පසුව සිසුන් වෙතින් කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් ඔවුන් නිවෙස්වලට යැවිය හැකි බවද, රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන සිසුන් ගිලන් රථවලින් අයි.ඩි.එච්. උණ රෝහලට යැවිය යුතු බව ද අවිද්‍යා පී.ආර්. පෙරා මහතා සඳහන් කළේය.

මෙය දඬුවමක් නොවන බවත්, ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ඕනෑම වසංගත රෝගයක් නිවාරණය කිරීම සඳහා මෙය ඉතාමත් සුදුසු ක්‍රමයක් බවත් ඔහු වැඩිදුරත් සඳහන් කළේය. චීනයේ සිටි මිළඟට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානය ඊයේ පස්වරු 6.45ට එහි ළඟාවීමට නියමිතව තිබිණි.

-ටී.කේ.ජී.කපිල-

අමෙරිකාව - ජාපනය වූහාන්හි හිරවී සිටි තම පිරිස් මුදාගනී



ඇමරිකාව සහ ජපානය චිනයේ වුහාන් නගරයට විශේෂ ගුවන් යානා යවමින් එහි සිරවී සිටි සිය ජාතිකයන් මුදාගැනීමට ඊයේ (29) පියවර ගත්තේය.මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවරිනි. මේ වනවිට විදේශිකයෝ දහස් ගණනක් එහි සිරවී සිටිති. ජපානය වෙද්‍යවරුන් ද සමග විශේෂ ගුවන් යානයක් වූහාන් නගරයට යැවූ අතර ජපන් ජාතිකයන් 206 දෙනකු සමග එම ගුවන් යානය  ඊයේ (29) ටෝකියෝ නුවරට ළගා විය.

වුහාන් නගරයෙන් මුදාගත් එම පිරිස නිරෝධායනයට ලක්කිරීමට තීරණය කර නැතැයි ජපන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. එහෙත් පරික්ෂණවල අවසන් ප්‍රතිඵල ලැබෙනතුරු ඔවුන්ට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් දී ඇත. ජපන් ජාතිකයන් 650 දෙනකු පමණ වූහාන් නගරයේ සිරවී සිටින බව එම නගරයෙන් ලැබෙන වාර්තාවලින් පැවැසේ. ඇමෙරිකාස්වෙන් යැවු විශේෂ ගුවන් යානය ඇමෙරිකානු ජාතිකයන් 240 දෙනකු රැගෙන ඊයේ (20) අලුයම වූහාන් නගරයෙන් පිටත් වූ බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප්‍රංශ වැසියන් 1,000කට ආසන්න පිරිසක් වූහාන් නගරයේ සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීම සඳහා අද (30) ගුවන් යානා දෙකක් යවන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එක් ගුවන් යානයක් සිකුරාදා හෝ සෙනසුරාදා ආපසු ප්‍රංශයට පැමිණෙනු ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කළේය. යුරෝපා සංගමයට අයත් රටවල වැසියන් 100කට වැඩි පිරිසක් වූහාන් නගරයේ සිර වී සිටින අතර එම පිරිස මුදාගැනීම සඳහා ප්‍රංශය සමග එක්වී පියවර ගන්නා බව යුරෝපා සංගමය නිවේදනය කළේය. වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 32ක් සහ ඔවුන්ගේ ඥාතීන් මුදාගැනීම සඳහා විශේෂ ගුවන් යානයක් යැවීමට ශ්‍රී ලංකා බලධාරින් පියවර ගනිමින් සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉන්දීය ජාතිකයන් 250 දෙනකු, ඉන්දුනීසියානු ජාතිකයන් 230 දෙනකු, මැලේසියානු ජාතිකයන් 78 දෙනකු සහ පිලිපීන ජාතිකයන් 150 දෙනකු වූහාන් නගරයේත් තවත් විදේශිකයන් 150ක් හුබෙයි පළාත් විවිධ ස්ථානවලත් සිරවී සිටින බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය. තායිලන්ත ජාතිකයන් 64ක් සහ ජර්මානු ජාතිකයන් 90ක්, ඇල්ජිරියා, ස්පාඤ්ඤ සහ මොරාක්කෝ ජාතිකයෙක් ද වූහාන් හි සිරවී සිටින බව එම පුවත් සේවය සඳහන් කළේය.

ජාතික උණ රෝහල් කාර්යමණ්ඩලවලට ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නෑ - රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලවල පැමිණීමත් ඉතා විශාල ලෙස අඩුවෙලා

කොරෝනා වෛරසය ශරිරගත වූ බවට සැකකරන රෝගීන් රඳවා සිටින හා වෛරසය ශරීරගත වූ රෝගියා රඳවා සිටින අංගොඩ ජාතික උණ රෝහලේ කාර්යමණ්ඩලවලට ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බව සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.

පවතින තත්වය නිසා ඊයේ (29දා) දිනයේදී රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලවල පැමිණීම ඉතා විශාල ලෙස අඩු වී තිබූ බවත්, මේ නිසා කනිෂ්ඨ කාර්යමණ්ඩල කටයුතු වෛද්‍යවරුන්ට සිදුකිරීමට සිදු වූ බවත් වාර්ත වේ.

කොරෝනා වෙරසය පිළිබඳ අනතුරුදායක තත්වයක් ඇති වුවහොත් එයට සුදානම් කර තිබෙන අනෙකුත් රෝහල් 11ටත් ඊයේ (29දා) දිනය වනවිට නිසි පහසුකම් නොලැබුණ බවද රෝහල් සේවකයෝ සඳහන් කරති.

ජාතික උණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල ඊයේ සේවයට වාර්තා නොකිරීම නිසා ගැටලු ගණනාවක් ඇති වූ බවත්, මේ නිසා ඔවුන්ට පහසුකම් ලබාදෙන ලෙස ඊයේ (29දා) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මීට අමතරව හෙද නිලධාරින්ගේ ආරක්‍ෂවට අවශ්‍ය වන ආරක්‍ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටියි.

මේ නිසා අංගොඩ ජාතික උණ රෝහල තුළ හා නම් කර තිබෙන අනෙකුත් රෝහල් 11 සේවය කරන හෙද නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්වරයාගෙන් ඊයේ (29දා) දින ලිඛිතව ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති හෙද නිලධාරී එස්.බී. මැදිවත්ත මහතා පැවසීය.

රෝහල්ගත වන රෝගියාට අවශ්‍ය සියලු සත්කාර කටයුතු හෙද නිලධාරීන් විසින් සිදුකරන බවත්, මේ නිසා ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබාදීම කඩිනම් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

ඉන්දින හේවාවිතාරණ

කොරෝනා ආසාදිත චීන කාන්තාවට මගපෙන්වූ තැනැත්තාත් මහනුවර රෝහලට


කොරෝනා වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාවන්ගේ මගපෙන්නා කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකරමින් මාතලේ දිසා මහ රෝහලට ඊයේ (29දා)  උදෑසන ඇතුළත් කර, පසුව මහනුවර මහ රෝහලට මාරු කළ බව මාතලේ දිසා මහ රෝහල පවසයි.

කොරෝනා වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව ලැගුම්ගෙන සිටි මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්‍ෂණ කිරීමේදී චීන ජාතික කාන්තාවකගේ මගපෙන්වන්නා සෙම්ප්‍රතික්‍ෂව හා කැස්ස යන රෝග ලක්‍ෂණවලින් පෙළුන නිසා එම අය දැනට මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා එම්.එස්.කේ. වික්‍රමතිලක මහත්මිය පැවසුවාය.

කොරෝනා වෛරසයට ගොදුරුව හා සැකකටයුතු රෝගීන් ඇතුළත් කිරීමට මහනුවර මහ රෝහලේ අංක 36 දරන වාට්ටුව වෙන්කර තිබෙන බවද ඒ මහත්මිය පවසා සිටියාය.

මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා කොරෝනා වෛරසයට ගොදුරු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට මෙම වාට්ටුවට දැනට පිළියෙල කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබෙන බවද වික්‍රමතිලක මහත්මිය සඳහන් කළාය.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති චීන කාන්තාව මධ්‍යම පළාත තුළ සැරිසැරූ සියලු ස්ථාන සහ ඇයගේ සංචාරයේදී ඇයට සහාය දැක්වූ සියලු පුද්ගලයන් පිළිබද පරික්ෂා කරන බැවින් ජනතාව කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසුවාය.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සහ ජනතාව තුළ පවතින බිය සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාගෙන් ඊයේ (2) කළ විමසුමකදී අධ්‍යක්‍ෂවරයා මේ බව පවසා සිටියේය.

මහනුවර - මොහොමඩ් ආසින් / මාතලේ - ඇම්.ඩබ්.සෝමරත්න/ රත්තොට - රුවන් ධනංජය

කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක්රැස්වීම් නවත්වාලිය යුතුයි - මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර



කොරෝනා වෛරසය සඳහා නිසි ප්‍රතිකාර තවමත් හඳුන්වාදී නොමැති අවස්ථාවක වෛරස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක්රැස්වීම් නවත්වාලීය යුතු බවත්, පාසල් ක්‍රීඩා උත්සව, දඹදිව, මත්කම වැනි ආගමික සංචාර, රැස්වීම් හා මහජන හමු වැනි පාලනය කළ හැකි අවස්ථාවන් හැකිතාක් දුරට සීමා කිරීම වැදගත් බවත් මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුයේ මහනුවර ජාතික රෝහලේ  ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

රෝගය ආසාදනය වූ පමණින් ජීවිත හානියක් හෝ යළි රෝගාබාධයක් වැලඳිය හැකි බව පැවසිය නොහැකි නමුත් ඔහුගෙන් තවත් පුද්ගලයකුට එම රෝගය ව්‍යාප්ත විය හැකි බවත්, එම රෝග ආසාධිත පිළිකා රෝගියකු වැනි ප්‍රතිශක්තියෙන් පහළනම් ශීඝ්‍රයෙන් ඔහු රෝගයට ගොදුරු විය. හැකි බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

ලෝකය පුරා ව්‍යාප්ත වී ගිය සාර්ස් වැනි වෛරස් රෝගවල මරණ සංඛ්‍යාව ඉහළ යන තුරු රැඳී සිටි අයුරින් මෙවරත් රැදී සිනාසිට කොරෝනා වෛරස් රෝගයට කඩිනමි ප්‍රතිකාර යෙදිය යුතු බවත්, මේ සඳහා නිසි ප්‍රතිකාර තවමත් හදුන්වා දී නොමැති අවස්ථාවක 'corona virus"රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි ගැටලුවක් වන නිසා එම රෝගය ව්‍යාප්තවීම කඩිනමින් පාලනය කිරී වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොරෝනා වරසය ආසාදිනිය වී ඇතැයි සැලකෙන චීන ජාතික කාන්තාව මහනුවර රැදී සිටි හෝටලයේ ස්වකයන් කිහිපදෙනෙකු රෝහල්ගත කර ඇති නමුත් ඔවුන්ට සෙම්ප්‍රතිශ්‍ය තත්වයක් ඇතැයි තමන්ට දැනුම් දුන් බවත්, එම රෝගය මේ දක්වා මහනුවරින් වාර්තා නොවන අතර, එනමුත් චීන ජාතික කත රැදී සිටි රෝහල් කාර්යය මණ්ඩලය පරික්ෂා කිරීමේ කිසිදු වරදක් නොමැති අතර, එම රෝගය ව්‍යාප්ත වී ඇතිද යන්න නිශ්චය කරගත යුතු බවත්  වෛද්‍ය මැදගෙදර මහතා පැවසීය.

චීනයේ සිට පැමිණි මුල් ශ්‍රී ලාංකික ශිෂ්‍ය කණ්ඩායම් කිසිදු ප්‍රතිවිපරමකින් තොරව නිවෙස් කරා පිටත් කරවීම බලවත් වරදක් වන නමුත්, එම වරද දැන් නිවැරදි කළ නොහැකිව ඇති බැව් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා තවදුරත් මෙසේ සඳහන් කළේය.
"රෝග ලක්ෂණ පෙන්වීමට පෙර මෙම රෝගය තවත් පිරිස් අතර ව්‍යාප්ත වෙනවා. චීනයේ සිට පැමිණි මුල් ශ්‍රී ලාංකික සිසුන් පිරිස දිවයින පුරාම විසිරී සිටින පිරිසක්, අවම වශයෙන් සති දෙකක් පමණ කාලයක් ඔවුන් එක් තැනක තබා රෝග ලක්ෂණ මතු වෙනවා දැයි නිරීක්ෂණය කළ යුතුව තිබුණා.

රෝගියාගන් සෙසු පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට මෙන්ම රෝගී පුද්ගලයා යම් යම් විෂබීජවලින් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැලදීම අත්‍යවශරී කාරණයක්. මුඛ ආවරණ පැළදීම අවශ්‍යය නොවන බව ප්‍රකාශ කිරීම සුදුසු කාරණයක් නොවේ.

මාර්ගයේ ගමන් කරන විට දුම් සහිත අධික වායු දූෂණය තිබෙනවා නම්, ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැලඳීම ඉතාමත්ම සුදුසුයි.

වෛරස් උණ වෙනුවෙන් විශේෂිත වූ රෝහලක් තිබෙන්නේ කොළඹ පමණයි. සෙසු රෝහල්වල ඒ වෙනුවෙන් තිබෙන පහසුකම් ප්‍රමාණයත් ඉතාමත්ම අල්පයි. ඒ නිසා අපි මුලින්ම් කළ යුත්තේ රෝගිය පැතිරීම වළක්වා ගැනීමයි."

නමුත් මුඛ ආවරණේ දැඩි හිගය සහ වෙළෙඳපොළ මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මහජනතාව දැඩි අසීරුතාවට පත්වන බව විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගදර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

චමිල් රූපසිංහ

කටුනායක අධිවේගයේ යන සැප බස්වල මගීහු හිටගෙන


‍
කොළඹ-කටුනායක අධීවේගි මාර්ගයේ ධාවනය වන සුබෝපභෝගී පෞද්ගලික බස් රථ කීපයකම මගීන් හිටගන රැගෙන යන බව පැවසේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු, අධිවේගී මාර්ග හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී පනත් අනුව සුඛෝපභෝගී බස්වල හිටගෙන මගින් රැගෙනයාම නීතිවිරෝධී බවත්, අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ කීපයක් සිදුකරන මෙම නීතිවිරෝධී ක්‍රියාව නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවත් අනෙකුත් බස් සේවකයෝ පවසති.

මාර්ග බලපත්‍ර උල්ලංඝණය කරමින් සුඛෝපභෝගී බස්වල හිටගෙන මගීන් රැගෙනයාම පිළිබඳව විරෝධය දක්වමින් පිරිසක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ බලධාරීන්ට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ කීපයක මගීන් හිටගෙන රැගෙනයාම පිළිබඳව වහා සොයාබැලීමට පියවර ගන්නා බවය.

මෙම සුඛෝපභෝගී බස්වල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ගැනීම සම්බන්ධව සොයා බැලීමට නිලධාරින් යොදවා පරික්ෂාකොට එසේ මගීන් හිටගෙන රැගෙනයන බස් හිමියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් කීය.

මහින්ද නිශ්ශංක

Wednesday, January 29, 2020

චීනයේ ලංකා සිසුන් 202ක් දෙදෙනකු තුළ ආපසු ඇවිත්


චීනයේ සිටි ශ්‍රි ලාංකික සිසුන් 202ක් ඉකුත්  දෙදින තුළ මෙරටට පැමිණු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යශය පවසයි.  චිනයේ බිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  සහ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මැදිහත්වීම මත මේ පිරිස එරටින් පිටත් කර එවා ඇති බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලාංකික සිසුන් 860 ක් චීනයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි අතර එම පිරිසෙන් හැටපස් දෙනකු පමණ පෙරේදා (27) දිවයිනට පැමිණි අතර තවත් 137ක් ඒයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව සිටියහ.

කොරෝනා වෛරස් රෝගය පැතිර යාම ආරම්භ වු චීනයේ වූහාන් නගරයේ සිටින ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 32 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගුවන් මගින් යළි දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානයක් වූහාන් ගුවන් තොටුපොළට ගොඩබැස විමට බිජිං හි ශ්‍රී ලංකා තානාපති කර්යාලය ඉකුත් 26 වැනිදා කළ ඉල්ලිමක් සම්බන්ධයෙන් චින රජයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, එරට රජයෙන් දැනුම් දීමක් කළ වහාම එම පිරිස ගෙවිමට කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ගුවන් යානය වූහාන් ගුවන් තොටුපොළට ගොඩබැස්සවීම සදහා අවසර ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීනයේ විදේශ අමාත්‍යාංශය සහ වූහාන් ප්‍රාන්තයේ විදේශ කටයුතු කාර්යාලය සමග සමීපව කටයුතු කරන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසලේදී ලෙඩවූ සිසුවිය තනිවෙයි - කොරෝනා කියා බයේ ළඟටවත් ගිහින් නෑ



පාසල් සිසුවියක් දැඩි ලෙස රෝගී තත්වයකට පත් වූ අවස්ථාවේ ඇයව රෝහලට රැගෙන යැම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එම පාසල් සිසුවිය දැඩි රෝගී තත්වයට හා අපහසුතාවට පත්වීමේ සිද්ධියක් මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකින් වාර්තා වේ.

ඊයේ (23) මෙම සිද්ධියට මුහුණපෑ  13 හැවිරිදි සිසුවිය හදිසියේම හටගත් ශ්වසන අපහසුතාව හේතුවෙන් රෝගාතුර වී ඇති අතර ඇගේ තත්වය තරමක් බරපතළ බැවින් පාසලේ පාලනාධිකාරිය විසින් දුරකථන ඇමතුමක් ලබාදී "සුවසැරිය' ගිලන් රථයක් පාසලට ගෙන්වා ගෙන ඇති බව සඳහන් වේ.

‘සුවසැරිය' ගිලන් රථයට රෝගී සිසුවීය ඇතුළත් කළද ඇය සමඟ රෝහලට යාමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම හේත්තුවෙන් ගිලන්රථ කාර්ය මන්ඩලයද භාරකාරයකු නොමැතිව දැරිය රෝහල වෙත රැගෙන යාම ප්‍රතික්ෂේප කොට තිබේ.

විනාඩි පහළොවකට අධික වේලාවක් දැරිය ගිලන් රථය තුළම දැඩි රෝගී තත්ත්වයෙන් පසුවු බව පැවැසෙන අතර ගිලන් රථයේ රියැදුරු විසින් මේ පිළිබඳව පාසල අසල රාජකාරීයේ නිරතචව සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

වහාම බාලිකා පාසල වෙත පැණි පොලිස් නිලධාරීන් මැදිහත්ව කරුණු වටහා දී ගුරුවරියකද සමඟ සිසුවිය රෝහල කරා යැවීමට කටයුතු කොට තිබේ.

රෝහල වෙත යැවීමෙන් පසුව දැරියට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.

මහනුවර - කේ.එල්. සුරවීර

කොළඹ බාලිකා විදුහල්පතිනියන් කිහිපයක් අත යට ගනුදෙනු




ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මාරුවීම්  ප්‍රතික්ෂේප කරමින් එකම විදුහලේ වසර ගණනාවක් කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ගුරුවරුන් වසර 10න් පසුව හා විදුහල්පතිවරුන් වසර 6ක සේවා කාලයකින් පසු මාරුවීම් ලබා වෙනත් පාසලකට යාම නීතිය වුවද ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් විවිධ බලපෑම් කරමින් එකම පාසලේ කටයුතු කරමින් සිටින බව ද එම නිසා දක්ෂතා සහිත නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට සහ නවක විදුහල්පතිවරුන්ට අවස්ථා අහිමි වී ඇතැයි ද එම සංගමය පවසයි.

මේ අතර කොළඹ ජනප්‍රිය බාලිකා පාසල් කීපයක විදුහල්පතිනියන්ට මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇතැයි ද ඔවුන් එකම පාසලේ දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව ද කළ සොයා බැලීමකදී අනාවරණය විය.අධ්‍යාපන ලේකම්වරයාගේ සහ අනෙකුත් උසස් නිලධාරිගේ නොතකා කොළඹ ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් ඉකුත් කාලයේ පාසලට සිසුවියන් කිහිපදෙනකු ඇතුළත් කරගෙන ඇති බව ද වාර්තා වේ.

මෙම විදුහල්පතිනිය දිගින් දිගටම දරදඬු අයුරින් කටයුතු කරමින් සිටින අතර නියෝජ්‍ය විදුහල්පතිනියන්ට පවා කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවට ද චෝදනා එල්ල වී ඇත. මේ වනවිට ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල ක්‍රියාත්මක වන නමුත් ස්ථාන මාරුකර තිබෙන ඇතැම් ගුරුවරුන් ඒවා ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව ද පැවසේ.  තවත් ගුරුවරුන් පිරිසක් ස්ථාන මාරු ලබුව ද එම ගුරුවරුන් අනුයුක්තියක් මත නැවත පැරැණි පාසලේ කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.


අසභ්‍ය රූප සහිත ලිපි යවමින් කතකට ලිංගික හිංසා කළ ආයක් බන්ධනාගාරයට


අසභ්‍ය රූප සහිත ලිපි ලියා යවා කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකට ලිංගික හිංසාවක් කළ බව කියන සැකකරුවකු පෙබවාර මස 07දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යු.කේ. පැල්පොල මහතා නියෝග කළේය.

නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි ෂන්මුගම් වසන්තරාජා නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරු සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියම කෙරිණි.

මෙම සිද්ධියේ පැමිණිලීකාර කාන්තාවගේ නැඟණියකටද සුගිය දිනක බලහත්කාරයෙන්  චොකලට් ලබාදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව සමථ මණ්ඩලය හමුවේ නඩුවක් පවතින බවත් එසේ
තිබියදී සැකකාර පුද්ගලයා පැමිණිලීකාරියගේ ලිපිනය සොයා ගෙන එකී ආකාරයට පැමිණිලිකාරියට අසභ්‍ය රූප සහිත ලිපි ලියා තැපෑලෙන් යවා ඇති බවද අධිකරණයෙන් අනාවරණය කෙරුණි.

පැමිණිලිකාරිය ඇගේ නැගණියද සමඟ පසුගිය දිනක කෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳසැලකට යන අතරතුරදී සැකකාර පුද්ගලයා පැමිණ පැමිණිලිකාරීයගේ නැගණියගේ අතින් ඇද ඇති බවත් පසුව ඒ අවට සිටි පුද්ගලයකු සැකකරු අල්ලා මිරිහාන පොලීසියට භාරදී ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කොස්තාපල් සෙනවිරත්න (43661) මහතා අධිකරණයට දැන්වීය.

සැකකරුගේ අත්අකුරීන් අදින හා ලීයන ලද අසභ්‍ය රෑප සටහන් හා ලිපි කිහිපයක් පොලිසිය විසින් නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 කුමුදු උපුල් ශාන්ත

ජාවාරම් මඬින්න පාකිස්තානයෙන් පොරොන්දුවක්




මෙරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට සහ මිනිස්  ජාවාරම් මැඩලීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට  පොරොන්දු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.පාකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි  (Zafar Mahmood Abbasi) මහතා පෙරේදා (27) අමාත්‍යංශය පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමු වූ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩලීම වෙනුවෙන් රජය ගන්නා උත්සාහයට  පාකිස්තානයේ සහාය ලබාදෙන බව පවසා තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීම සඳහා තම රටේ සහයෝගය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින් අද්මිරාල් අබ්බාසී පවසා ඇත්තේ තොරතුරු හුවමාරුව සහ ආරක්ෂික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා දෙරට අතර පවත්නා සහයෝගිතාව තවදුරටත් වැඩි කළ යුතු බවයි. ‘ශ්‍රී ලංකා නාවික හමුදාවේ හවක්‍රාෆ්ට් යාත්‍රාව (Hovercraft)  අලුත්වැඩියා කිරීමට සහ යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාලයේ පුස්තකාලය සංවර්ධනය කිරීමට ද පාකිස්ථානය සහාය වන බව ද අද්මිරාල් අබ්බාස් මහතා සඳහන් කර ඇත.

-ඉන්දිකා රාමනායක-

විශ්‍රාමික රෝහල් රියදුරා සැකපිට රිමාන්ඩ්


අවුරුදු හයකට ඉහතදී මිය ගොස් ඇතැයි කියන කාන්තාවකගේ බවට සැක ශරීරයේ අස්ථි කොටස් වැසිකිළි වළකින් සොයා ගැනීමෙන් පසු තෙදණිය පොලිස් වසමේ රන්දෙණිය වසමේ පදිංචි සැකකාර 61 හැවිරිදි දෙදරු පියෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිමට තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා නියෝග කළේය.

අබිරහස් ලෙස ඝාතනයට ලක්ව මිය ගියේ යැයි සැක කරන දෙදරු මවකගේ ශරීරයේ අස්ථි කොටස් වැසිකිළි වළකින් හමුවූ තෙල්දෙණිය පොලිස් වසමේ රන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම නිවස අවට ප්‍රදේශයට අධිකරණ නියෝග මත තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ආරක්ෂාව සඳහා යොදවා ඇත.

මීට වසර හයකට පෙර රන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඊ.එම්. අරුණි සිල්වා නමැති පනස්පස් හැවිරිදි දෙදරු මවක් අබිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇගේ සිරුරේ අස්ථි කොටස් එම නිවෙසේ වැසිකිළි වළක් ගොඩ දැමීමේදී ගලි බවුසර් සේවක පිරිසට පසුගිය 25 වැනි දින හමුවී තිබිණි.

මෙදින එම වැසිකිළි වළෙන් හමුවූ අස්ථි කොටස් ඇගේ සැමියා විසින් රහසේ පොහොර උරයක බහා වෑගල වික්ටෝරියා ජලාශ රක්‍ෂිතයට අංක 64/3338 දරන කාර් රථයන් ගෙන ගොස් දමා තිබියදී තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඉකුත්දා සොයාගෙන තිබිණි.

සැක කටයුතු කාර් රථය ද තෙල්දෙණිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැක කටයුතු මේ අබිරහස් මරණය පිළබඳව එම දෙදරු මවගේ සැමියා වූ විශ්‍රාමික රෝහල් රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා එම සැකකරු ලබන මස තුන්වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මෙම නිවසේ වැසිකිළි වළන් ගොඩ ගත් අස්ථි කොටස්වලට අමතරව තවත් සැක කටයුතු දෑ තිබේදැයි පරීක්ෂණයක් පැවැත්වෙන තුරු මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

තෙල්දෙණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සී.ඩබිලීව්.සී. රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් තෙල්දණිය මූලස්ථාන පොලිස්  පරික්ෂක එම්.ඩබ්ලිව්.එස්. පත්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් බණ්ඩාර මහතා සමඟ පොලිස් කොස්තාපල් ඒ.එස්.කේ. වික්‍රමසිංහ (62869) මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තෙල්දෙණිය - කේ. නිශ්ශංක

දියතලාවේ ගමක මැටි කන දරුවෙක්




පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, ඉතා දිළිඳු පවුලක දරුවකු තම නිවසේ බිත්තිවල ඇති මැටි  ආහාරයට ගන්නා පුවතක් කොලානයාය ගම්මානයෙන් වාර්තා වේ.  පවුලේ කිසිවෙකුටත් ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිකමින් දැඩි  අසරණභාවයට පත්ව සිටින  ඔවුන් ඇතැම් දිනක කුසගින්නට ආහාර නොමැතිව නිරාහාරව  සිටින බවත්, තම වැඩිමහල් දියණිය අසනීප තත්වයකින් පෙළෙන බවත්, බිත්තිවල පස් ඇය ආහාරයට ගන්නා බවත් පවසයි.


මේ පිළිබඳව අප කළ විමසීමේ දී එම දියණියගේ මව වන බී.එම්. රම්‍යලතා මහත්මිය (අවු.32) මෙසේ පැවසුවාය. අපි ගොඩක් දුප්පත්. මහත්තයාටවත් මටවත් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. දරුවෝ දෙනෙක් ඉනචා. දුවයි පුතයි. අපි එදා වේල පිරිමහ ගන්නේ බොහොම අමාරුවෙන්. උදේට කෑවොත් දවල් නෑ. රෑටත් නෑ. සමහරදාට රෑට කෑම ඉල්ලපුහම දෙන්න දෙයක් නැති නිසා මම ඉතිං කරන්නේ වේලාසනින් දරුවන්ව නිදි කරවන එකයි.

ලොකු දරුවා ගැහැණු දරුවෙක්. එයා ගෙදර තියෙන බිත්තිවල පස් කනවා. සමහරදාට නින්දෙන් නැගිටල බිත්ති සූරගෙන කනවා. බඩගින්නට එහෙම කනවද අසනීපයක් නිසා එහෙම කනවද දන්නෑ. ගෙයි හැම තැනම තියෙන්නේ සූර සූර පස් කාපු තැන් යැයි පවසමින් ඇය එම ස්ථාන අපට පෙන්වුවාය. මොවුන් 73/3 කොලානයාය, සේරන්කඩ යන ලිපිනයේ කටු මැටි සහිත සෙවිලි තහඩුවලින් සැදු කුඩා නිවසක පදිංචිව සිටින අතර 12 හැවිරිදි තම දියණිය පාසල් නොයන බවත්, 6 වැනි වසර දක්වා පාසැල් අධ්‍යාපනය හැදෑරු බවත්, ඉන්පසු ඇගේ පාසල් ගමන නතර වූ බවත් ඇය කුමන අසනීප තත්වයකින් පෙළෙන්නේ දැයි තමන් නොදන්නා බවත් ඇගේ පියාවන එන්.ඩබලිව්. ධර්මදාස  (අවු.46) මහතා පවසයි.ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපිට ඉන්න හිටින්න හරි හමන් තැනක් නෑ. මට ඕනේ මේ ගේ කෑල්ල හදා ගන්න. අපිට කවුරු හරි උදව් කරන්න කියලයි අපි ඉල්ලන්නේ. මට ස්ථිර රස්සාවක් නෑ. දරුවො දෙන්නෙයි නෝනයි එක්ක අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කුලි  වැඩ කරන්නේ. කුලී වැඩ හැමදාම නෑ. අපිට  කන්න නැතත් කමක් නෑ. මේ ගෙයි බිත්ති පෙරළෙන්න ළඟයි. ගෙයක් හදා ගන්න උදව් වෙනවනම් ලොකු දෙයක්. ඒ වගේම අපේ දරුවා වෙනුවෙන් පිං පඩි කාඩ් එකක් හදල දෙන්න කියලත් ඉල්ලනවා.

-සඳරු බණ්ඩාර-

බදුල්ල - කයිලගොඩ නිවෙසක තනිව සිටි කතගේ ගෙල කපා මරා දමලා



බදුල්ල. කයිලගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයකු එම නිවසේ තනිව සිටි කාත්තාවකගේ ගෙල කපා ඊයේ (28දා) දහවල් මරා දමා ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

බදුල්ල, කයිලගොඩ පදිංචි රවී අන්දපන් ගෞරී දේවි නමැති හතළිස් අට හැවිරිදි දෙදරු මවක් මෙසේ ගෙල කපා මරා දමා තිබේ.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා බදුල්ල නගරයේ වෙළඳසලට ගොස් ඇති අතර ඇයගේ දරුවන් පාසලට ගොස් සිටියදී කිසියම් පුද්ගලයකු විසින් නිවසට ඇතුළු වී මෙම මරණය සිදුකර තිබේ.

මෙම කාන්තාවගේ ගෙල කපා බිම වැටී සිටියදී අසල්වාසීන් විසින් මෙම කාන්තාව බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් මෙම කාන්තාව මිය ගොස් තිබේ.

මෙසේ මරා දැමීමට නිශ්චිත හේතුවක් මෙතක් අනාවරනය වී නොමැතී අතර මෙම කාන්තාව මරා දැමූ පුද්ගලයා කව්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මිය ගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම මරණය පිළිබඳව මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

බදුල්ල මුලස්ථාන පොලි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ඩී.එම්. වනිගසේකර මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලීසියේ නිලධාරිහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

බණ්ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම, දෙමෝදර - ජයලත් දිසානායක

චීනයෙන් එන මඟීන් - සිසුන් දියතලාවට ගෙන යන්නේ ඇයි දැයි සිතාගන්න බෑ



චීනයේ සිට ශ්‍රී ලංකාවට එන මගීන් සහ චීනයේ අධ්‍යාපනය ලබන සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු කිලෝමීටර් සිය ගණනක දුරින් රට මැද පිහිටි දියතලාවට රැගෙන එම කුමණ පදනමක් යටතේ සිදුකරන්නේද යන්න තමන්ට සිතාගැනීමට බැරි බවත් තාක්ෂණ කරුණු මත මිස වෙනත් කරුණු සලකා මෙවැනි තීන්දු නොගැනිය යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (28) හවස බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්ත්වයකට පත්වුවහොත් එම රෝග පරික්ෂා කිරිම සඳහා පහසුකම් මෙම ප්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමැති බවත් එවැනි තත්වයක් මත එම රෝගියා පරික්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටලු රාශියකට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

දියතලාව යුද හමුදා කඳවුර යුද හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් වුවද එම ස්ථානයේ සිටින
වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය මෙවැනි වසංගතයක් පැතිරීයාම නතර කරළීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් එමෙන්ම මෙම යුද හමුදා කඳවුර අවට නිරෝගී ජනතාවක් වෙසෙන අතර මෙවැනි වෛරසයක් ආසාධිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට රැගෙනවිත් තවත් ගැටලුවක් ඇතිකිරීම වැළැක්වීමට බලධාරීන් නිසි තීන්දු තීරණ ගත යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

-ඩී.කේ.රත්න-

චීන කතගේ තත්වය බරපතළ නෑ



ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවගේ තත්වය බරපතළ නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ අනිල් ජාසිංහ මහතා ඊයේ (28) පැවසීය.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDB) තුළදී ඇයට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තමන් එම රෝහලේ අධ්‍යකෂවරයාගෙන් ඇයගේ තත්වය විමසා බැලූ බව ද සඳහන් කළේය.

ඇය දැනට සුවය ලබමින් සිටින බව කී අනිල් ජයසිංහ මහතා මෙම රෝගයේ ලක්‍ෂණ අනුව එම තත්ත්වයේ වෙනසක් සිදුවේද යන්න ස්ථිරවම කිව නොහැකි වුවත් මේ වනවිට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද කීවේය.සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම කාන්තාව ශ්‍රී ලංකාවේ දී නැවති සිටි ස්ථාන හා සංචාරය කළ ස්ථාන සම්බන්ධයෙන් සොයාබලා එම ස්ථානවල සිටින පිරිස්වලට අවශ්‍ය ආරකෂිත උපදෙස් ලබාදීම සිදුකරමින් සිටින බව ද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

-ඩයනා උදයංගනී-

රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය.

ඔහු වසර 2015 සිට කොළඹ සරසවියට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්ෂිණ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ තවත් ආචාර්ය උපාධියක් සඳහාද සූදානමින් සිටී.

උපාධි ප්‍රදානයන් පසු ව්‍යාපාර කටයුතු කරන අතර එම් විෂයන් පිළිබඳව දේශකයකු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.

Tuesday, January 28, 2020

වසර හයකට පෙර අතුරුදන් වූ බිරිය නිවෙසේ වැසිකිළි වළෙන් ගොඩ එයි



තෙල්දෙණිය, විල්අමුණ ප්‍රදේශයේ නිවෙසක වැසිකිළි වළකින් හමු වූ අස්ථි කොටස් ගොඩගෙන ඒ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය පරික්ෂණය අද (28දා) එම ස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. වසර ගණනකට ඉහත සිදුවූ අබිරහස් මරණයකට අදාළ බව සිතිය හැකි මෙම අස්ථි කොටස් පෙරේදා (26දා) විල්අමුණු ප්‍රදේශයේ වැසිකිළි වළකින් හමු වූ අතර තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වූහ.මෙම නිවෙසේ සිටි කාන්තාවක මීට වසර 6කට පමණ පෙර අතුරුදන්ව තිබූ අතර ඇගේ සැමියා ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබිණි.

කෙසේ වෙතත් ඔහු ඉන්පසුව වෙනත් විවාහයක් කරගෙන එම නිවෙසේම වාසය කරමින් සිටියි.මෙම අස්ථි කැබැලි එසේ අතුරුදන් වූ කාන්තාවගේ දැයි මේ වනවිට සැකයක් මතුවී තිබේ. එම නිවෙසේ වැසිකිළි වළේ අපද්‍රව්‍ය ගොඩදැමීමේදි මිනිස් ශරීරයක අස්ථි කොටස් හමු වූ වැසිකිළි වළ පිළිබඳව හා එම ස්ථානය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා විසින් තෙල්දෙණිය විල්අමුණ ප්‍රදේශයේදී විසි හයවන දින පස්වරු එකයි තිහට පැවැත්විණි.

එම අස්ථි කොටස් හමුවූ විල්අමුණ ප්‍රදේශයේ එම නිවෙස අවට ස්ථාන පරික්ෂණයෙන් පසුව එම මල අපද්‍රව්‍ය දැමූ වික්ටෝරියා ජලාශ රක්ෂිතයේ වෑගල ප්‍රදේශයේදි ද ස්ථාන පරික්ෂණයක් තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ සරත් ප්‍රේල්මකුමාර මහතා විසින් පවත්වා එම ස්ථානයට මල අපද්‍රව්‍ය සමඟ ඉවත දමන ලද මිනිස් ශරීරයේ අස්ථි කොටස් ඇතුළු ඉවත දැමු දෑ පිළිබඳවද මහෙස්ත්‍රාත් පරික්ෂණය එදින පවත්වා මෙම අබිරහස් මරණය පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් පවත්වා තෙල්දෙණිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ට විසිහය වන දින පස්වරුවේදි නියෝග කළේය.

මෙම නිවෙසේ වැසිකිළි වළ පසුගිය දිනක ගලි බවුසරයක් මඟින් ඉවත් කර වික්ටෝරියා ජලාශ ඉස්මත්තේ පිහිටි වෑගල රක්ෂිතයට දමා තිබිණි. එම ස්ථානයේ තිබී මිනිස් ශරීරයක අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇත. තෙල්දෙණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු වැඩිදුර
පරික්ෂණ පවත්වති.

මහජන මුදල්වලින් කන්නේ නැතිව මන්ත්‍රීවරුන් කෑම එක ගෙදරින් ගෙන්න




මාධ්‍ය සංදර්ශන පැවත්වීම කැරට්, බීට්, අල, ඇට, හාල්, පොල් පාර්ලිමේන්තුවට ගෙන ඒම පසෙක දමා වසරකට රුපියල් ලක්ෂ 300ක මහජන මුදල් කාදමමින් පාර්ලිමේන්තුවන් කෑම ගන්නා මන්ත්‍රි ඇමැතිවරුන්ගේ දිවා ආහාරය නිවසින් රැගෙන ඒමේ වැඩපිළිවෙළක්  පාර්ලිමේත්තුවට ගෙන එමින් රටට  ආදර්ශයක් ලබාදීමට විපක්ෂය කටයුතු කරන්නේ නම් මුළු රටටම එය ආදර්ශයක් බව මිහින්තලා රජමහා  විහාරාධිපති හා භාරකාර ආචාර්ය  පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවැසුහ.

මිහින්තලය රජමහ විහාරස්ථ දහම් පාසලේ 26 වැනිදා පැවැති අනුශාසනාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශකර සිටියහ. එහිදී වැඩිදුරටත් අනුශාසනාවක් කළ උන්වහන්සේ, මාව දැන් හුගක් අයට වහකදුරු වගේ පේනවා ඇති. නමුත් රට නව හැරවුම් ලක්ෂණයක් හරහා නිවැරැදි මඟකට යනවා දකිනකොට කතා නොකර ඉන්න අමාරුයි. මම හැමදාම කතා කළේ ඇත්ත සහ යුක්තිය පිළිබඳව. දැන් ඇත්ත යුක්තිය හා සාධාරණව වැඩකරන ජනාධිපතිවරයකු ඉන්න නිසා තවත් කතා කරනවා. මම පසුගියදා දැක්කා විපක්ෂය පාර්ලිමේන්තුවේදී කැරට්, බීට්, බෝංචි, මෑකරල්, අරවා මේවා ඇට වර්ග, අල පෙන්න පෙන්න දැන් බඩු මිල වැඩියි මේ රජය අසාර්ථකයි කිය කිය කියනවා. මගේ දෑනීම හැටියට පාර්ලිමේන්තුව පවත්වන දිනයකදී මන්ත්‍රිවරු 225 දෙනාට ලබාදෙන දිවා ආහාරයට වසරකට රුපියල් ලක්ෂ 300ක් වැය වෙනවා. පානීය ජලය සඳහා ලක්ෂ 0000කට ආසන්නයි.

බුදුන්ට හා බුද්ධ පුත්‍රයන්ට තමයි දානයක් දෙනකොට අග්‍ර කොටසක් දෙන්නේ. නමුත් මෙතුමන්ලාට රුපියල් කෝටි දහතුනක් වියදම් කරලා මොනවද කන්න  දෙන්නේ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. වරප්‍රසාද ගොන්නක් තියෙද්දී කෑම එකත් මහජන මුදලින් කන එක ගැන බත්කන මිනිස්සු හැටියට අපි ලැජ්ජා වෙන්න ඕනෑ.

-මහේෂ් විජේසුරිය