Showing posts with label crime. g3. Show all posts
Showing posts with label crime. g3. Show all posts

Friday, February 19, 2021

වවුනියා බෝම්බ එක්ක ඇල්ලූ සැකකරු බිම්බෝම්බ ගොඩදාන එන්.ජී.ඕ සේවකයෙක්


වවුනියාව, නෙදුන්කර්නි පොලිස් වසමට අයත් සේනපිලව් ප්‍රදේශයේ නිවෙසක් තුළ සගවා තිබියදී  සොයාගත් පුද්ගල නාශක බෝම්බ 148 සහ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 24ක පමණ තොගය මඩකළපුව ප්‍රදේශයේ අයකුට විකිණීමට සුදානම්කර තිබී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  ඊයේ (18) පැවසීය.  මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය  සොයාගැනීමේ සිද්ධියේ ඉදිරි විමර්ශන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පවසයි.


පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම පරික්ෂණ ත්‍රස්තවාදී විමර්ශන  කොට්ඨාසයට ඊයේ බාරදුන් බවද ඔහු සඳහන් කළේය. මෙම පුද්ගල නාශක බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා යුද හමුදා  බෝම්බ නිෂක්‍රිය අංශයට දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවසීයඅධිබලැති පුපුරන ද්‍රව්‍ය හා බිම්බෝම්බ සමග අත්අඩංගුවට ගත් සැකකරු එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාත්මක වූ වකවානුවේ වළ දමා තිබූ බිම්  බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ   නිරතව සිටි රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන අයකු වන අතර ඔහුගේ ප්‍රශ්න කිරිමේදී  මේ බව හෙළි විණි යැයි පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් සැකකරුගෙන්  මේවා ලබාගැනීමට සිටි බව කියන  මඩකළපුවේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා යුදහමුදා බුද්ධි අංශ පුළුල් පරික්ෂණයක් පවත්වාගෙන යයි..  පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ තොගය සමග සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගත් අතර ඇය ද එම රාජ්‍ය නොවන සංවිධානය යටතේ  බිම් බෝම්බ ඉවත් කිරිමේ නිරතව  සිටින්නියක බව පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් සැකකරු වසර 10ක පමණ කාලයක් තිස්සේ ද ඔහුගේ බිරිඳ වසර 1  1/2ක පමණ කාලයක් තිස්සේද බිම් බෝම්බ ඉවත් කිරිමේ කාර්යයේ නිරතව සිටින බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.  යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත නෙදුන්කර්නි පොලිසිය පෙරේදා සේනපිලව් ප්‍රදේශයේ පිහිටි නිවස සෝදිසිකර බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබිණි.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-


Friday, January 29, 2021

මිරිගම කඩ 2ක් කඩා දුරකතන8 ඉස්සු දෙමස්සිනෝ මට්ටු

 




මිරිගම නගරයේ ජංගම දුරකතන වෙළද සලක් හා කරවල වෙළදසලක් කඩා රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා ස්මාර්ට් දුරකතන අටක් හා මුදල් රැගෙන පොලොන්නරුව බලා පලායමින් සිටි තරුණ වියේ පසුවන ‘අල්කයිඩා' මස්සිනාවරු දෙපළක් සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට මිරිගම පොලිසිය පෙරේදා (27) සමත්විය.  මෙසේ අත්අඩංගුවට ගැනුණේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිචි 16 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මස්සිනා බව කියන පොලොන්නරුවේ පදිංචිකරුවකු වන 22 හැවිරිදි පුද්ගලයෙකි. 16 හැවිරිදි තරුණයා කලක් පැවිදිව සිට උපැවිදිවූ අයකු බව හෙළිවී ඇතැයි පොලිසිය කියයි.  


මීරිගම බස්නැවතුම්පොළ සමීපයේ ජංගම දුරකතන  වෙළෙදසලක් විවෘත කරද්දී එහි පිටුපස ජනේලය කඩා ඇතුළුවී  එහි අලුත්වැඩියාව සදහා බාරගෙන තිබූ ස්මාට් වර්ගයේ දුරකතන  සොරාගෙන ගොස් ඇති බව හෙළිවීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත. අලුත් දුරකතන තිබූ කොටසට යාමට එහි වූ යකඩ දොරක් විවෘත කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථව ඇති බවද මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත.  සැකකරුවකු ජලය කඩා ඇතුළුවන අන්දම ආරක්ෂිත කැමරාවේ සටහන්වී ඇති අතර ඒ අනුව සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය පියවර ගනු ලැබීය.  මේ අතර ඒ ආසන්නයේ පිහිටි කරවල කඩයේද පිටුපසින් ඇතුළුව එහි තිබූ මන්නයක් හා මාරු කාසි බෑගයක් සොරාගෙන ඇති බවටද පොලිසියට පලදා 27 වැනිදා උදේ පැමිණිල්ලක් ලැබිණි.


සැකකරුවන් අල්කයිඩා නාමයෙන් හදුන්වන පවුලක සාමාජිකයන් බවද එම පවුලේ පිරිස් නිතර සොරකම්වල යෙදෙන බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් පොල් කැඩිමේ යෙදෙමින් තොරතුරු බලාගෙන සොරකම් කිරීම සිරිතක් කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි. සැකකරුවෝ ඊයේ 28 අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.

Monday, January 11, 2021

අත්බොම්බයක් තියුණු අවියක් එක්ක ජල්තර චතුවා අත්අඩංගුවට



විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ තියුණු ආයුධයක් සමග පුද්ගලයකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. මොහු පසුගියදා පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය අංකුඹුරේ ඉන්ද්‍ර නමැත්තාගේ ප‍්‍රධානතම ගෝලයා බවද පොලිසිය කියයි.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල්තර චතුවා නමැති පුද්ගලයෙකි.


හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ නිවස පිටුපස පිහිටි මඩුවක සඟවා තිබූ පහර දීමට යොදා ගත් තියුණු ආයුධය සහ ජීව අත්බෝම්බය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. අංකුඹුරේ ඉන්ද්‍ර නමැත්තා මියයාමෙන් අනතුරුව ඔහුගේ අණසක පැතිරවීමට මෙම සැකකරු දැඩි උත්සාහයක යෙදෙමින් සිටි බව පොලිසිය පවසයි.



-බිමල් ශ්‍යාමන් ජයසිංහ-


Friday, January 1, 2021

VOC පිඟන් දෙකක් කෝටි 10කට විකිණීමට සූදානම් වූ 7ක් අල්ලයි




ඉපැරණි වටිනාකමකින් යුත් වී.ඕ.සී. ලාංජනය සහිත පිඟන් දෙකක් විදේශිකයෙකුට රුපියල් කෝටි දහයකට අලෙවි කිරීමට සැරසී මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක නැවතී සිටි චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු  කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුරාවස්තු ජාවාරමක් කිරීම සඳහා පිරිසක් හෝටලයක නැවතී සිටින බවට මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලීසිය එම හෝටලය වටලා සැකකරුවන් ඇතුළු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.  


එම වි.ඕ.සි.භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශිකයෙකු මෙරටට පැමිණෙන තෙක්  එම පිරිස සති 2කට ආසන්න කාලයක් හෝටලයේ නැවතී සිට ඇති අතර, ඊට අදාළ හෝටල් බිල වූ රුපියල් ලක්ෂ 10ක මුදලක් එම විදේශිකයා විසින් ගෙවා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ .


අත්අඩංගුවට ගත් පුද්ගලයන් කටුවන, හෝමාගම, පන්නිපිටිය, පිළියන්දල, ලේවැල්ල හා කුණ්ඩසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්  බවත් සැකකාර චීවරධාරියා ගනේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින්නෙකු බවද අනාවරණය වී තිබේ.  සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති අතර, එම ඉපැරණි භාණ්ඩ සොරකම් කළ භාණ්ඩද එසේත් නොමැති නම් එම භාණ්ඩ ඔවුන්ට ලද ආකාරය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරමින් පවති.


-ෂෙන් සෙනෙවිරත්න-



Wednesday, December 30, 2020

අනතුරට පත් තිදරු මවකට උදවු කරන මුවාවෙන් මන්නනයක් පෙන්වා අතවර කරලා




 ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් වූ 23 හැවිරිදි තිදරු මවකට පිහිටවන මුවාවෙන් රැගෙන ගොස් කළුතර දකුණ කොලනිය ප්‍රදේශයේ වෙල්යායක් අසලදී මන්නයක් පෙන්වා මරණීය තර්ජනය කර අතවර කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව කළුතර-උතුර පොලීසිය කියයි. කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර වාද්දුව ප්‍රදේශයේ ආයතනයක සේවය කරන  මෙම කාන්තාව ඉකුත් 27 වැනිදා රාත්‍රී සේවය නිමවා ත්‍රිරෝද රථයකින් කළුතර  උතුර නාගස් හංදියට පැමිණ ඉන් බැස ඇතැයි පොලිසිය කියයි.  අසළ වූ කුකුළු මස් වෙළෙඳ සලකට ගිය කාන්තාව මස් රැගෙන නිවෙස කරා පයින් යමින් සිටිය දී ත්‍රිරෝද රථයක් ඇඟෙහි ගැටී ඇති අතර එම අනතුරින් ඇය බිම වැටී තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි. ත්‍රිරෝද රථය අනතුරින් පසු පලා ගොස් ඇති අතර බිම වැටී සිටි කාන්තාව අසල තිබූ තාපයක වාරුවෙන් අමාරුවෙන් නැගිටින අයුරු දුටු  යතුරුපැදියක ගමන්ගත්  දෙදෙනකු එම ස්ථානයේ  නවතා ඇයට රෝහල්ගත වන  ලෙස දැනුම් දී තිබු බව  පොලිසිය කියයි.


එම අවස්ථාවේදී අසල වෙළෙඳසලක් ඉදිරිපිට සිටි සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු වහා ඉදිරිපත් වී ඇය නාගස්  හංදිය ප්‍රදේශයේ පෞද්ගලික  බෙහෙත් සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇති අතර ඇය පරීක්ෂා කළ එහි  වෛද්‍යවරයා ඇයට නංගොඩ රෝහලට ඇතුළත් වන ලෙස උපදෙස් ලබා දී ඇත. ත්‍රිරෝද රථ රියැදුරු ඇය නාගොඩ රෝහල කරා රැගෙන ගොස් ඇති අතර බාහිර රෝගී අංශය වෙත  යොමු කළ ඇයට රෝහලට ඇතුළත් වෙන ලෙස උපදෙස් දී ඇත. නිවෙසේ කුඩා දරුවන් සිටින හෙයින්  ඇය එයට අකැමැත්ත ප්‍රකාශ කර තම නිවෙසට ඇරලනන ලෙස ත්‍රිරෝද රථ රියදුරුට පවසා ඇත.  ඒ අතරතුර එම කාන්තාව ස්වාමිපුරුෂයාට මේ බව දන්වා කළුතර ප්‍රදේශයේ පාසලක් අසලට පැමිණ සිටින ලෙස දන්වා රෝහලින් පිට වී ත්‍රිරෝද රථයකින් එම   ස්ථානයට පැමිණෙන බව දැනුම් දී ඇත. 


රෝහලින් පිට වූ ත්‍රිරෝද රථය, සැමියා සිටින දෙසට නොව වෙනත් දිශාවකට ගමන් කරන අයුරු දුටු එම කාන්තාව ඒ පිළිබඳව ත්‍රිරෝද රථ රියැදුරු ගෙන් විමසීමේදී ඇගේ ජංගම දුරකථනයට ඉල්ලාගත් සැකකාර ත්‍රිරෝද රථ රියැදුරු ඇයගේ  සැමියාට කතාකර එම  ස්ථානයට වී සිටින ලෙස දැනුම් දී ඇත. කාන්තාවගේ සැමියා ඉන්න ස්ථානයට ඉතාම ළග බව පවසා පැයකට අධික කාලයක් අතුරු මාර්ග ඔස්සේ ගමන් ගත් මෙම සැකකාර ත්‍රීරෝද රථ රියැදුරු කළුතර  දකුණ කොලණිය ප්‍රදේශයේ පාළු වෙල්යායක් අසල ත්‍රිරෝද රථය නවතා  මන්නයක් අතට ගෙන ඇය දෙසට එල්ල කර මරණීය තර්ජන කර ඇයට බලපෑම් කර ඇත. 


බියට පත්වූ කාන්තාව ඔහුගේ නියෝගයට අවනත වී ඇති අතර අනතුරුව එම කාන්තාව එම ස්ථානයේ දමා ඇයගේ ජංගම දුරකතනය ද රැගෙන සැකකරු ත්‍රී රෝද රථයෙන් අඳුරේම පලාගොස් ඇති බව පොලිසිය කියයි.කාන්තාව දැඩි අඳුර මධ්‍යයේ ඇවිදගෙන පැමිණ  මඳක් ඈතින් තිබූ වෙළඳ සලක් අසලට ගොස් එහි සිටි කාන්තාවට ඇයට සිදු වූ අනපේක්ෂිත කරදරය පැවසීමෙන් අනතුරුව එම කාන්තාව අතවරයට පත් වූ  බව කියන කාන්තාවගේ සැමියාට ඒ බව දක්වා ඔහු එම ස්ථානයට ගෙන්වාගෙන ඇය බාර දී ඇතැයි අනාවරණය වී තිබේ.  සැමියා සමඟ කළුතර දකුණ පොලිසියට පැමිණි එම කාන්තාව ඇයට වූ අතවරය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහලට කරා ඇතුළත් වීමට උපදෙස් දී තිබූ බව පොලිසිය  කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර-උතුරු පොලීසියේ නිලධාරින් සිදු කළ විමර්ශනවලදී පැය කීපයක් තුළදී සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් දෙකක පමණ වයසැති අයෙකුද වන අතර ඔහු එක් දරු පියෙකි.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-


වැල්ලම්පිටියේ නිවෙසක මියගිය කතකගේ දේහය හොර රහසේ භූමදානය කරලා


වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මියගිය හැටහය හවිරිදි කතකගේ මරණය සම්බන්ධයෙන් පී.සී.ආර්.  පරීක්ණ සිදුනොකර කිසිවකුට නොදන්වා මාලිගාවත්ත සුසාන භූමියේ හොර රහසේ වළදමා ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. මෙම කාන්තාව ඉකුත් 24 වැනිදා නිවෙසේදී මියගොස් ඇති අතර නිවැසියන් එම දේහය හොර රහසේ නිවෙසින් පිටමං කර වළ දමා ඇති බවට මහබුත්ගමුව ග්‍රාම නිලධාරිනිය වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම පරික්ෂණය ආරම්භ කර ඇත. මෙම නීති විරෝධී ක්‍රියාවට පුද්ගලයන් තිදෙනකු සම්බන්ධ වී ඇති බවත්, වේල්ලවීදිය උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් මෘතදේහය භූමදානයට අවශ්‍ය මරණ සහතිකය නිකුත් කරනු ලැබ ඇති බව ද පොලිසිය සඳහන් කරයි. 


මෙම කාන්තාව කොරෝනා ආසාදිතව මියගියේ ද යන්න හෙළි කරගැනීම සඳහා පරීක්ෂණ  පවත්වන බව ද පොලිසිය පවසයි. මෙම නිවෙසේ සෙසු පිරිස නිවෙස තුළ නිරෝධායනයට යොමු කර ඇත.  වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසේ මේ අයුරින්ම නිවෙස තුළ මියගිය පුද්ගලයකුගේ දේහයට කිසිවකුටත් නොදන්වා ව්‍යාජ මරණ සහතිකයක් සකස් කර දෙමටගොඩදී පසුගියදා භූමදානය කර තිබිණි.  වැල්ලම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


 -ඉන්දිකා රාමනායක-

Friday, December 18, 2020

ආරුක්කු නවය බලන්න ගිය ජෝඩුව සුද්ද පළ සැරයන් මාට්ටු



ඇල්ල ඓතිහාසික අහස් නවය ආරුක්කු පාලම නැරඹීමට ගිය තරුණ පෙම් යුවළක් ඛීය ගන්වා පෙම්වතියගේ ගෙල බැඳ තිබූ රුපියල් 22 000 ක් පමණ වටිනා රන් මාලය කොල්ල කා පලා යමින් සිටි දියතලාව යුද හමුදා කඳවුරේ සැරයත්වරයකු බව කියන පුද්ගලයකු පෙරේදා පස්වරුවේ ගොටුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.


කොල්ල කෑ රන් මාලය සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල පට්ටියකුඹුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි යුද හමුදා සැරයන්වරයෙකි. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණ පෙම් යුවළ  බණ්ඩාරවෙල සිට මාතර බලා ගමන් ගත් බස් රථයකින් ඇල්ල නගරයට පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය අසල සිට දුම්රිය මාර්ගය ඔස්සේ පා ගමනින් ඇල්ල ඓතිහාසික අහස් නවය ආරුක්කු පාලම නැරඹීමට ගොස් ඇතැයි පොලිසිය පැවසීය.


මෙම පෙම් යුවළ යළි බණ්ඩාරවෙල බලා යාමට දුම්රිය මාර්ගය ඔස්සේ පා ගමනින් ඇල්ල නගරය දෙසට යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පුද්ගලයකු තමා පොලිසියේ බව පවසා පෙම් යුවළ බිය කර පෙම්වතියගේ ගෙල බැඳි රුපියල් 22000 ක් පමණ වටිනා රන් මාලය කොල්ල කා පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.  මේ සම්බන්ධයෙන් පෙම් යුවළ ඇල්ල පොලිසියට  පැමිණිලි කිරිල්ලෙන් පසුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් පරික්ෂණ පවත්වා ඇල්ල ගොටුවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටි සැකකාර යුද හමුදා සැරයන්වරයරා කොල්ල කන ලද රන් මාලය ද සමග අත්අඩංගුවට ගනු ලැබූ බවද පොලිසිය පැවසීය.


-ප්‍රසාද් රුක්මාල්-

අවු 5000 වඩා පැරණි බුදු පිළිමයක් රන් කරඬුවක් බොන්දුපිටියේ නිවසක



දර්ගා නගරය, බොන්දුපිටිය නිවෙසක රහසිගතව සගවා තිබූ බව කියන වසර 5000ට වඩා පැරැණි නිදන් වස්තු බවට සැක කෙරෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති රන් පැහැති බුදු පිළිමයක්, රන් කරඬුවක් සහ නිදන් හෑරිමට ගන්නා කඩුවක් වැනි උපකරණයක් සමග එම භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි 40 හැවිරිදි සැකකරුවෙකු අලුත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීහු කණ්ඩායමක් පෙරේදා (15) දින සවස අත්අඩංගුවට ගත්හ.  


විශේෂ කාර්ය බළකා අලුත්ගම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඩබ්.එන්. විජයරත්න මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර, එම රන් බුදු පිළිමය ඇතුළු මෙම වස්තූන්  සැකකරුගේ නිවෙස පටුපස කළ කැණීමකින් ඉකුත් (02) දින ගොඩ ගෙන තිබෙන බවට විශේෂ කාර්ය බළකා නිලධාරිහු කළ විමර්ශනවලදී අනාවරණය කර ගන්න. අත්අඩංගුවට ගත් සැකකරු නඩු භාණ්ඩ සමඟ පෙරේදා (16) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.


-තුසිත කුමාර ද සිල්වා-



Thursday, December 17, 2020

ගංජා ජාවාරම් චෝදනාවේ විත්තිකරු නිදොස් කොට නිදහස්



ගංජා සන්තකයේ තබාගෙන ජාවාරම් කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර මුදාහරින ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සමන් කාරියවසම් මහතා නියෝග කළේය.  මෙසේ නිදොස් කොට නිදහස් කර මුදාහැරියේ මිහින්තලේ සීප්පුකුලම පාලුවැව පදිංචි ආර්. කරුණාසේන ජයලත් නමැත්තෙකි. විත්තිකරුට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර මුදාහැරිමට නියෝග කරමින් මහාධිකරණ විනිසුරු සමන් කාරියවසම් මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල (මිහින්තලේ පොලිසිය) විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවයි. ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කර මුදාහැරිමට නියෝග කරන බව ද විනිසුරුවරයා පැවසීය.


2015 වසරේ දෙසැම්බර් මස 7 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත්  මිහින්තලේ දී විත්තිකරු ගංජා සන්තකයේ තබාගෙන ජාවාරම් කළ බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.  මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස  මිහින්තලේ පොලිසියේ එවකට හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක   රුක්මල් රත්නායක සහ එම  පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ එවකට හිටපු   ස්ථානාධිපති උප පොලිස්  පරික්ෂක ජයරත්න යන මහත්වරු නම් කර සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ පද්මාල් ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ  නීතිඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය. මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර විත්තිකරුට අධිචෝදනා බාරදීමත් සමග නඩුවේ වැඩිදුර විභාගය අනුරාධපුර මහාධිකරණයට යොමු කරනු ලැබීය.



-උපාලි ආනන්ද-



පන්දහේ හොර නෝට්ටු 100ක් එක්ක තරුණයෝ 2ක් දැලේ



රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 100 ක් සමග තරුණයන් දෙදෙනකු ඉබ්බාගමුව ප්‍රදේශයේදී පෙරේදා (15) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය පවසයි.  පොලිසියට ලැබුණු තොරතුරක් මත 15 වැනිදා රාත්‍රි 7.00 ට පමණ දොඩල්ලන්ද ලිහිවැනිවැහැර ප්‍රදේශයේදී සැකකරුවන් පැමිණි මෝටර් රථය නවතා පරික්ෂා කළ බවත් එහි සඟවාගෙන තිබුණු රුපියල් ලක්ෂ පහක් වටිනාකමකින් යුත් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 100 සමග සැකකරුවන් දෙදෙනා හා මෝටර් රථය අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.  අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පළමු සැකකරු   දොඩන්ගස්ලන්ද ලිහිනිවැහැර ගල්සේරුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 26 හැවිරිදි තරුණයකු බවත් අනෙක් සැකකරු දෙහිඅත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි33  හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.


මෙහි පළමු සැකකරු මීට පෙර රන්දෑම්වැලක් කොල්ලකෑමේ සිද්ධියකට බන්ධනාගාරගතව සිටියදී හඳුනාගත් කොළඹ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ව්‍යාජ රුපියල් 5000හේ නෝට්ටු 100 ලබාගත් බව දැනට කළ පරික්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.  ව්‍යාජ මුදල් නෝට්ටු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්දෙදෙනාට ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දුන්නේ යැයි කියන පුද්ගලයා පිළිබඳවත් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානය හා සැකකරුවන් පිළිබඳවත් අනාවරණය කර ගැනීමට සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කරගෙන යන බව අත්අඩංගුවට ගත් පන්දහසේ නෝට්ටු ප්‍රමාණය වලංගු මුදල් නෝට්ටු වූවානම් එහි වටිනාකම රුපියල් පන්ලක්ෂයක් වන බවද  පොලීසිය කියයි.


 මෙය මෑත කාලයේදී වයඹ පළාත තුළින් අත්අඩංගුවට ගනු ලැබූ විශාලම ව්‍යාජ මුදල් තොගය වේ. මොවුන් දෙදෙනා ව්‍යාජ රුපියල්  පන්සීයයේ මුදල් නෝට්ටු භාවිතා කර ගොකරැල්ල පොලිස් බළ ප්‍රදේශය තුළ පිහිටි වෙළඳසල්වලින් භාණ්ඩ මිළදී ගැනීමට යොදවා ඇත්ද නැත්නම්  මේවා වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් සිටියාද යන පොලිසිය සොයා බලමින් සිටියි.  සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.


-අතුල පී. බණ්ඩාරනායක-

ගුවන් හමුදා සැරයන් පොලිස් වෙසින් පෙම්වතුන්ගෙන් කප්පම් ඉල්ලලා



අනුරාධපුර පූජා නගරයට පැමිණ විවේක සුවයෙන් ගත කරන තරුණ පෙම්වතුන් බිය ගන්වා ඔවුන්ගෙන් කප්පම් ගැනීමේ යෙදුණු ගුවන් හමුදාවේ  සැරන්වරයකු බව කියන පුද්ගලයකු 15 අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලීසිය පවසයි.  තිසාවැවේ වැව් බැම්මේ වාඩිවී කතා බහ කරමින් සිටි තරුණ පෙම්වතුන් යුවළක් ළගට ගොස් පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබෙන  මේ ගුවන් හමුදා සැරයන්වරයා ඔවුන් දෙදෙනාගේ හැඳුනුම්පත් පරික්ෂා කර අත්අඩංගුවට නොගෙන සිටීමට නම් රුපියල් දහසක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ.  අත්අඩංගුවට ගනිතැයි බියවූ පෙම්වතා ඔහු ඉල්ලූ මුදල ඔහුට දී ඇති බව පොලිසිය කියයි. එම මුදල ලබාගන පෙම්වතියගේ හැඳුනුම්පත ඇය අතට දී පෙම්වතාගේ හැඳුනුම්පත තමන් ළග තබාගෙන ඇති ඔහු, නැවත එය ලබා ගැනීමට පෙරේදා (15) පෙරවරුවේ අනුරාධපුරය ස්වර්ණපාලී බාලිකා විද්‍යාලය අසල අතුරු මාර්ගයක දී හමුවන  ලෙස පෙම්වතාට පවසා පිටව ගොස් තිබුණි.


ඔහුගේ ක්‍රියාකලාපය ගැන සැක සිතූ පෙම්වතා පෙරේදා උදේ අනුරාධපුර පොලිසියට ගොස් සිදුවූ දේ ගැන පැමිණිලිකර ඇත. පසුව ඔහු කී ස්ථානයට ගොස් ඔහු හමුව අවස්ථාවේ හැඳුනුම්පත් ලබාදීමට තවත් මුදලක් පෙම්වතාගෙන් ලබාගැනීමට උත්සාහ දරද්දී සිවිල් ඇඳුමින් එතැනට පැමිණි අනුරාධපුර පොලීසියේ නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.  පසුව පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ නොච්චියාගම, අන්දරවැව පදිංචි ගුවන් හමුදාවේ සැරයන්වරයකු වන මේ තැනැත්තා සිවිල් ආරක්ෂක බළකායේ උඩමළුව කඳවුරේ සේවය සඳහා අනුයුක්ත කර සිටින අයකු බවයි.


ඒ අතරතුර පූජා නගරයට පැමිණෙන තරුණ පෙම්වතුන් බිය ගන්වා ඔවුන්ගෙන් කප්පම් ලබා ගැනීමේ යෙදී ඇති බව ද ප්‍රශ්න කිරිම්වල දී අනාවරණය වී ඇත.  පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් බිය වද්දා කප්පම් ලබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් මෙම සැකකරු  ඊයේ (16) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය. අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරිකෂක ඒ. විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන පරික්‍ෂණ සිදු කෙරුණි.


 අතුල බණ්ඩාර 

Thursday, December 10, 2020

භීෂණ සමයේ මීනිමැරුමක වරෙන්තුකරු අවු 31කට පසු අත්අඩංගුවට



අසූ නවය භීෂණ සමයේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ප්‍රදේශයෙන් පැන ගොස් වසර 31 ක් තිස්සේ සැගවී සිටි බව කියන මරණ දඬුවම නියම වූ සැකකරුවකු පෙරේදා (08) රාත්‍රී කොළොන්න ප‍්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.  එම සැකකරු නොමැතිව අදාළ නඩුව මාතර මහාධිකරණයේ දී විභාග කර 1996 වසරේ දී දෙසැම්බර් මස 16 වැනි දින ඔහුට මරණ දඬුවම නියම කර දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ද නිකුත් කර තිබුණි.  1989 වසරේ නොවැම්බර් 03 දින හෝ ඊට ආසන්න දිනයක දී ඌරුමුත්ත කෙහෙල්වල දී පුද්ගලයකුට පිහි පහරවල් 16 ක් එල්ල කොට අමානුෂික ලෙස ඝාතනය කර තිබුණ මල්ලිකාරච්චිගේ ගුණසේන (34) නමැති සිව්දරු පියෙකි.


‘කොළ කොටි නායකයාට දඬුවම මරණය' යනුවෙන් සඳහන් දැන්වීමක් ඔහුගේ මළ සිරුර අසල දමා ගොස් තිබූ බව නඩු විභාගයේ දී කියැවිණි. එය භීෂණ සමයේ සිදුවූ ඝාතනයක්  ලෙසට හුවා දැක්වීමට උත්සාහ කළ ද එය පුද්ගලික අමනාපයක් මත සිදුකර තිඛෙන බව පොලිසිය කියයි.  මරණ දඬුවම නියම වූ සැකකරු සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි චන්දන හේරත් මහතා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ.ඒ. සමන් මහතාට උපදෙස් දී තිබූ අතර ඔහුගේ අධීක්ෂණය යටතේ දීර්ඝ විමර්ශනයකින් පසු පොලිස් සැරයන් 18747 වජිර කුරුප්පු මහතා ඒ පිළිබඳව සාර්ථක තොරතුරක් සොයා ගැනීමට සමත්වී ඇත. 


ඒ අනුව සිය ස්වරූපය වෙනස් කරගෙන සැඟවී සිටි සැකකරු හඳුනාශණින අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය.  ඝාතනය සිදුකර වසර 31 කට පසුව ද මරණ දඬුවම නියම කර විවෘත වරෙන්තු නිකුත් වී වසර 24 කට පසුව ද අත්අඩංගුවට ගත් 61 හැවිරිදි සැකකරු දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (09) මාතර මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


 -ක්‍රිෂාන් ජීවක ජයරුක්- 

Friday, November 27, 2020

හෝමාගම රෝහලේ ගේට්ටුව අභියස යකා නැටු ත්‍රිරෝද රියදුරු ඇතුළු දෙදෙනෙකු දැලේ


රතිඤ්ඤා පත්තු කරමින් බීමතින් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස කලහකාරීව හැසිරුණු දෙදෙනකු ඉකුත් 24 වැනි රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. මෙසේ අන්දඅඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ත්‍රිරෝද රථ ගාලේ රියදුරකු සහ ඔහුගේ මිතුරෙකු බව පොලීසිය කියයි. මොවුන් දෙදෙනා 24 වැනිදා රාත්‍රී රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලට බීමතින් පැමිණ රෝහලේ පාලනාධිකාරියට පරුෂ වචනයෙන් බැන වදිමින් එහි සේවා කටයුතුවලට බාධා වන අයුරින් රතිඤ්ඤා දල්වමින් කලහකාරීව හැසිරී ඇතැයි පොලිසිය පවසයි.


මේ පිළිබඳව ලද තොරතුරක් අනුව වහාම පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර ඒ බව දැනගත් එක් සැකකරුවකු ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇති අතර පසුව ත්‍රීරෝද රථය සහ පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් හෝමාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-

Friday, October 23, 2020

වාලම්පුරියක් - පැරැණි කාසි - පිළිම මිලට ගන්න හැටන් පැමිණි ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු 3ක් අත්අඩංගුවට


වාලම්පුරියක් ඇතුළු ඉපැරණි මුඳල් කාසි, ඉපැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඉපැරණි පිළිම මිල දී ගැනීමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිතාවක පුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයකු ඇතුළු තවත් තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (21) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයට පැමිණ එම භාණ්ඩ මිල දී ගැනීමට පිරිසක් සමග සාකච්ඡා කරමින් ඇති බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පෙරේදා (21) රාත්‍රී 8.30ට පමණ හැටන් පැති වීදියේ දී සැකකරුවන් සහ ඔවුන් පැමිණි කුඩා වෑන් රථය පොලිස් බාරයට ගෙන ඇත. 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දී ඔවුගේ ජංගම දුරකතනයේ වට්ස් ඇප් සමාජ මාධ්‍යය හරහා එම ඉපැරණි භාණ්ඩවල ඡායාරූප හුවමාරු වී ඇති බවත්, එම භාණ්ඩ සඳහා විශාල වටිනාකමක් ඇති බවට එම සැකකරුවන්ගේ දුරකථනවල වට්ස්ඇප් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වී ඇති බව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තොරතුරු වසන් කරන බවත් එම සැකකරුවන් අවිස්සාවේල්ල, හපුතලේ, ඔහිය, වටවල යන ප්‍රදේශවල පදිංචි 25, 26, 27, 48 යන වයස් කාණ්ඩවල පසුවන අය බවත් හැටන් පොලිසිය පැවසීය.  අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


Monday, August 10, 2020

මිල්ලනියේ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 5ක් ඇ.තුළු 19ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයකට සහභාගි වෙමින් සිටි තරුණියන් පස්දෙනකු ඇතුළු 19 දෙනකු ඊයේ (09) පස්වරුවේ මිල්ලනිය බැල්ලත්තුඩාව සංචාරක හෝටලයකදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය කියයි. අත්අඩංගුවට පත්වූවන් ගල්කිස්ස, කඩුවෙල, සඳලංකාව, හොරණ, බණ්ඩාරගම, කැස්බෑව සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 ත් 29  ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් බව පැවසේ. ලැබුණ තොරතුරක් මත උපපොලිස් පරීක්ෂක නුවන් කෝරලගේ මහතා ඇතුළු පොලිස්  කණ්ඩායම හෝටලය වටලා පරික්ෂා කිරීමේදී  ඔවුන් සතුව තිබූ එකක් රුපියල් පන්දහසකට පමණ අලෙවි වන ෆිල් ටැබ්ලට් 10 ක්, හෙරොයින් ග්‍රෑම් පහක්, කේරළ ගංජා ග්‍රෑම් 15ක්, විදේශීය මත්පැන් බෝතල් දෙකක්, දුම්වැටි තොගයක්, ෆිල් ටැබ්ලට් සමගින් මත්වීමට භාවිත කරන චොකලට් 20 ක් සමගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන් ළග තිබූ නවීන ජංගම දුරකථන 24 ක්, ශබ්දය විකාශන යන්ත්‍ර සහ ආලෝක කරන පද්ධතිය  සහ ඔවුන් පැමිණි යතුරු පැදි 07 ක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. 

පස්වරු දෙකට පමණ සාදය ආරම්භ කර මධ්‍යම රාත්‍රිය දක්වා පවත්වාගෙන යාමට සැලසුම් කර තිබූ බවත් පොලිස් කණ්ඩායමක් සාඳය වැටලීම සැලවීමත් සමගින් පැමිණීමට නියමිතව සිටි තවත් දස දෙනකු පමණ සාදය මගහැර ඇති අතර මත්කුඩු සහ මත්පෙති සැපයීමට සිටි පුද්ගලයාද පොලිසිය මගහැර ඇති බවත් පැවසේ. සාදය මෙහෙයවා ඇත්තේ රෝද පුටුවක සිටින ආබාධිත තරුණයකු බවත් එක් අයකුගෙන් සාදය සඳහා රුපියල් පන්දහසක පමණ මුදලක් අයකර ඇති බවත් මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.  එක් තරුණියක විසින් තරුණියන් තව තිදෙනකු සෘදයට කැටුව විත් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන් මිල්ලනිය පොලිසියට භාරදී ඇති අතර හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-

Thursday, August 6, 2020

පාතාල දිනුකගේ ගෝල කෙසෙල්වත්තේ රයිනා කුඩුත් එක්ක අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වන දැනට විදේශගතව සිටින බව කියන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයකු බව කියන කෙසෙල්වත්තේ රයිනා නමැත්තා පෑලියගොඩට ප්‍රදේශයේ දී පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයේ පොලිස්  සැරයන්වරයකුට ලැබුණු තොරතුරක් මත  වැටලීමක් කර ඔහු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. සැකකරු ළග තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05 ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර  ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී  කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ වටරවුම අසල දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ළග තිබී විවිධ වර්ගයේ සිම්පත් 19 ක් හා  ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමරශන ආරම්භ කර තිබේ. 27 වන වියේ පසුවන මෙම සැකකරුට විරුද්ධව මිනීමැරුමක් සම්බන්ධව නඩුවක් සහ හෙරොයින් මස්කූඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩු කීපයක් පවතින බවත්, අධිකරණයෙන් ලබාගත් ඇප මත සිටින බවත් පොලීසිය පවසයි.  මෙම සැකකරු කාලයක් තිස්සේ සැඟවී සිටි අතර ඔහු සපුගස්කන්ද ප්‍රදේශයේ ඥාති නිවසක සැගවී සිටින බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. සැකකරු කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය කියයි.

-ලාල්. එස්.කුමාර-

Wednesday, July 29, 2020

හොර ලියවිලි පෙන්වා යුරෝපයට පනින්න හැදූ ශ්‍රි ලංකික හොර නාවිකයා අල්ලයි



කුඨ ලෙස සකස් කළ ලියකියවිලි ඉදිරිපත් කරමින්, වෙළෙඳ නැවක සේවය කරන නැවියකු ලෙස පෙනී සිටිමින්, යුරෝපයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙක් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ නිලධාරින් පිරිසක් වීසින් අත්අඩංගුවට ගනු ලැබීය. මොහු 36 හැවිරිදි යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු  ඊයේ (28) අලුයම 3.15ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන්  සේවයේ කිව්. ආර්. 669 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ  වෙත පැමිණ තිබූ බව මෙම නිලධාරිහු කීහ. වෙළඳ නැවක සේවය කිරීම සඳහා යන නැවියකු ලෙස පවසමින් මෙම පුද්ගලයා ද සෙසු නාවිකයන් සමග කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විගමනක අංශය වෙත තම ලියකියවිලි ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහුගේ හැසිරීම් රටාව ගැන සැක සිතු එම ආගමන විගමන නිලධාරින්  ඔහු නැවියකු බවට ඉදිරිපත් කළ ලියකියවිලි තහවුරු කර ගැනීම සඳහා තාක්ෂණික පරීක්ෂාවන්ට යොමු කෙරුණි.


තම රැකියාවට අදාළව ඔහු ඉදිරිපත් කළ වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කෙරෙන, නැවියකු බව සනාථ කෙරෙන සහතිකය, ඇපකරු සහතිකය, නැව් සමාගමකින් ඔහුට රැකියාව ලබා දෙන බවට වන සහතිකය සහ නැවියෙකු ලෙස පුහුණුව ලද බවට වන සහතිකය ද ඒ අතර වූ බව දේශසීමා ආවේණෙ නිලධාරීහු පැවසූහ. කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය සතු ලේඛන පරික්ෂණාගාරයේ දී සිදු කළ මෙම තාක්ෂණික පරික්ෂණවලදී, මොහු ඉදිරිපත් කළ මෙම සියලු ලිපි ලේඛන කූට ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට  තහවුරු විය.  එහිදී මෙම පුද්ගලයාගෙන් මේ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, මෙම ලියකියවිලි තමාට රැකියා නියෝජිතවරයකු විසින් සකස් කර දුන් බව ප්‍රකාශ කර තිබේ.  තමත් දෝහා සිට වෙනත් ගුවන් යානයකින් යුරෝපය වෙත ගමන් කිරීමට සැළසුම් කර ගෙන සිටි බව ද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ. පසුව මෙම පුද්ගලයා ඔහු ඉදිරිපත් කළ මෙම ලියකියවිලි ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත‍ෙ නිධාරීන් වෙත භාරදී තිබේ.

-ටී.කේ.ජී.කපිල-

Tuesday, July 28, 2020

කොස්ගොඩ තාරකගේ කුඩූ ජාවාරමට උදව් කළ බන්ධනාගාර සැරයන් අල්ලයි


සංවිධානාත්මක අපරාධක සාමාජිකයකු වන කොස්ගොඩ තාරකගේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ (27) පැවැසීය.පෑලියගොඩ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයකු වන සුලෝචන දයානන්ද නමැති 36 හැවිරිදි අයෙකි . බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක නමැත්තාට අයත් හෙරොයින් මන්ද්‍රව්‍ය විකුණා එම මුදල් මෙම සැරයන්වරයා ප්‍රවාහනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන සැකකරුවකු වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි රොහාන් ප්‍රදීප් නමැති සැකකරු මගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි . කොරෝනා වසංගතය නිසා නිරෝධායන නීති පැවැති සමයේදී මෙම සැකකාර සැරයන්වරයා සිය නිල ඇඳුමෙන්ම මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් මුදල් ප්‍රවාහ කර ඇතැයි ද කරුණු අනාවරණය වන බව පොලිසිය සඳහන් කරයි.  අත්අඩංගුවේ පසුවන සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් සහ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව මෙම සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු පෑලියගොඩ පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අන්තර්ජාලය හොරු පස්දෙනා ත්‍රස්තයන්ටත් හවුල්දැයි සොයයි



විදෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායි පොලියට රජයෙන් ණය ලබාදෙන බවට ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ මාධ්‍ය නිවේදනයක් අන්තර්ජාලයේ පළකරමින් කෝටි ගණන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිලිය ස්නාරත්න මහතා කොළඹදී ඊයේ (27) පැවසිය. ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස්කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ් මුද්‍රණ යන්ත්‍රයක්, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා  චිප් ඇතුළත් කාඩ්පත් 925ක්,  ව්‍යාජ රබර් මුද්‍රා දෙකක්,ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර 61ක්, ජාත්‍යන්තර රියැදුරු බලපත්‍ර 5ක්, බැංකු කාඩ්පත් 14ක්,  ජංගම දුරකථන 15ක්, සිම්පත් 40ක්, කාර් රථයක්, වෑන් රථයක්, රුපියල් ලක්ෂ 20ක  ස්ථාවර තැන්පතුවක රිසිට් පතක් සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති බවද  ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන්ට සැකකරුවන් ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර ඇති බවට දැනට සිදුකරගෙන යන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. රජයේ මුද්‍රාව භාවිත කරමින් ව්‍යාජ ගනුදෙනු කිරිම සහ ත්‍රස්තවාදය සඳහා අනුබල දෙමින් ත්‍රස්තවාදයට මුදල් ඉපයීමක් කළේද, ත්‍රස්තවාදයට අදාළව ව්‍යාජ ලේඛන නිෂ්පාදනය කළේ ද යන්න සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ මෙම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බවද ඔහු කීය.

සැකකරුවන් 2019 වසරේ සිට මෙම වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇති අතර කොපමණ මුදලක් මේ ආකාරයට වංචා කර ඇති දැයි යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මූලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එක්තරා බැංකුවක තැන්පත් කර තිබූ මුදල් සොරාගෙන ඇති බවට ඉකුත් මැයි 25 වැනිදා කිරුළපන පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. විදෙස්ගත ශ්‍රමිකයන්ට අඩු පොලියට ණය ලබාදෙන බවටත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් අඩු පොලියට ණය

ලබාදෙන බවටත් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් ආකාරයට සකස් කළ  ව්‍යාජ නිවේදනයක් අනතර්ජාලයේ ප්‍රසිද්ධ කරමින් සැකකරුවන් සූක්ෂම ආකාරයෙන් මෙම වංචාව සිදුකර ඇති බවද ඔහු කීය. විදෙස්ගත ශ්‍රමිකයන් මෙම ණය සඳහා අයැදුම් කිරිමෙන් පසු ඔවුන්ට ලංකාවේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන ලෙසට දැනුම්දීමක් කරන අතර, මෙම ගිණුම ආරම්භ කිරිමෙන් පසු ණය අයැදුම්පත් සම්පුර්ණ කර එවන ආකාරයට සැකකරුවන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගන්නා බවද සේනාරත්න මහතා කීවේය. අනුමත වී ඇති ණය ලබාගැනීමට අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන බැංකු ගිණුමක් විවෘත කර එම ගිණුමට අදාළ රහස්‍ය අංකය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රහස්‍ය අංකය ලබාදීමෙන් පසු ණය අනුමත කිරීම සඳහා ණය මුදලේ වටිනාකමින් සීයට 10ක් තැන්පත් කරන ලෙසට දන්වා එම මුදල අන්තරිජාලය ඔස්සේ වෙනත් බැංකු හතරක විවෘත කර තිබෙන විවිධ ගිණුම්වලට  මාරු කර මුදල් ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනාගෙන් තිදෙනකු පිටබැද්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා නාරාහේන්පිට සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-

Wednesday, July 22, 2020

නාකොටික් කුඩු ජාවාරමුන්ට එස්.ටී.එෆ් ආරක්ෂාව දීලා



මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියේ සැකකාර නාකොටික් නිලධාරින්ට ගිනි අවි සහිත ආරක්ෂාව සැපයු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කිහිප දෙනකු සම්බන්ධයෙන් මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත්, නොබෝ දිනකින් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ පියවර ගැනීමට අපේක්ෂා කරන බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ (21) ප්‍රකාශ කළේය. ලංකාවේ කිර්තිමත විමර්ශන ආයතනයක් වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිප දෙනකු මුල්‍යමය ප්‍රතිලාභ හේතුවෙන් සැකකාර නාකොටික් නිලධාරින් සමග සම්බන්ධ වෙමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිනි අවි සහිත ආරක්ෂවක් සපයා ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.  සැකකාර නාකොටික් නිලධාරින් විසින් වැටලීම් වලින් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරික්ෂණ අධිකරණය හමුවේ ඊයේ (21) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත්විණි. 

සිද්ධියට අදාළ සැකකාර නාකොටික් නිලධාරින් 13 දෙනා අගුණකොළපෑලැස්සට බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත්, කොවිඩ් වයිරසය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් බන්ධනාගාර වාර්තාවක් මගින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් නිලධාරින් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් 3 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනකු අත්අඩංගුවේ සිටින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ නීතීඥ කසුන් සරත් චන්ද්‍ර යන මහත්වරුන් සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික ලලිත දිසානායක, උප පොලිස් පරික්ෂක උපාලි යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක සමන් යන අය භාරයේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ රජයේ රස පරික්ෂකරවයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. සැකකාර නාකොටික් නිලධාරීන් මහා පරිමාණ වැටලිවලින් භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 700ක් පමණ රජයේ රස පරික්ෂකවරයා වෙත නොයවා ඔවුන්ගේ නඩු බඩු ගබඩාවේ රදවා  තබා ගැනීම සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරුන් පවා ඉකුත් නඩු දිනයේදි විශ්මය පළකළ බවත්, එහි තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් සහිත උර 23ක් මේ වන විට රජයේ රස පරික්ෂකවරයා වෙත භාරදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දු න්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාරමය වෙත ඉකුත් 09 වැනිදා පැමිණි රජයේ රස පරීක්ෂකවරයා එහි තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පරික්ෂාවට ලක්කිරිමෙන් පසු සාම්පල් රැගෙන ගිය බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම අධිකරණයේ විභාග වන නඩු අංක බී 31722/20 නඩුවට අදාළව (ඉරාන ජාතික සැකකරුවන් සම්බන්ධයෙන් වන නඩු) හෙරොයින් කිලෝ 279 ග්‍රෑම් 591 ක ප්‍රමාණයක් 2020 අප්‍රේල් මස 15 වැනිදා සිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරයේ තබා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය. මෙම අධිකරණයේ විභාග වන තවත් නඩුවක් වන නඩු අංක බී  26779/20 නඩුවට අදාළව හෙරොයින් කිලෝ 279 ක් සහ ග්‍රෑම් 560ක ප්‍රමාණයක් 2020 මැයි මස 15 වැනිදා සිට එම ගබඩාවේ රඳවා තබා ගෙන තිබූ බවත්, ඒවා සියල්ල මේ වන විට රජයේ රස පරික්ෂවරයා වෙත ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. කුඩු පැකට් කළේ බලපිටියේ විලා එකක පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින් වැලිසර මහබාගේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ  243 ක ප්‍රමාණයෙන් හෙරොයින් කිලෝ 43ක් අතුරුදන් වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.

මෙම සැකකරුවන් බලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක (වීලා එකක)  නතර වී සිටි මෙම වැටලීම් සිදුකර ඇත්තේ 2017 සහ 2018 වර්ෂවල දී බවත්, ඔවුන් එම කාල වකවානුවේ සිට මන්දා ජාවාරම සදහා යොදා ගන්නා නිල නිවාසයක් බවට එය පත්කරගෙන තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම කාලවකවානුවේදී ජාත්‍යන්තර හෙරොයිත් මන්ද්‍රව්‍ය රැගත් නෞකාව පාකිස්ථානයේ සිට පැමිණ ඇති අතර, මෙම සැකකාර  නාකොටික් නිලධාරින් අවස්ථා හතරකදී බෝට්ටුකරුවන්  යොදාගනිමින් ගැඹුරු මුහුද වෙත ගොස්, මෙම පැකට් 243ක ප්‍රමාණය ගොඩබිමට රැගෙන විත් ඇති බවත්, හෙරොයින් සමග මෙරටට එවන ලද පිස්තෝල වර්ගයේ ගිනි අවි තවමත් අතුරුදන්ව ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, මේ වන විට මරණීය දණ්ඩනය ලැබ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කැමිලස් පිල්ලේ නමැත්තාගේ ගෝලයකු මගින් මේ තොරතුරු ලබාගත පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකරන බවත්, එම වැටලීම සම්බන්ධයෙන් පමණක් අධිකරණයට කරුණු වාර්තා කරන මෙම සැකකාර නාකොටික් නිලධාරින් එහි පසුබිම ඉතා සූක්ෂම ආකාරයෙන් යටපත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙම අන්තර්ජාතික නෞකාව එන්නේ දකුණු ආසියානු කලාපයටම හෙරොයින් බෙදීමට මිස ලංකාවේ පමණක් ඉලක්ක කරගෙන නොවන බවත්, මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට නාකොටික් නිලධාරින් කටයුතු නොකර, රට තුළට හෙරොයින් ගෙන්වා ගැනීමට ආධාර උපකාර කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු සඳහන් කළේය.

මෙහිදි සැකකරුවන් සුළු පිරිසක් පමණක් අත්අඩංගුවට ගැනීමට මෙම නාකොටික් නිලධාරින් කටයුතු කර ඇති බවට ගැඹුරු මුහුදට ගිය බෝට්ටුවල කීපරිවරුන් මේ වන විට ප්‍රකාශ ලබාදී ඇතැයි ද  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - මේ බෝට්ටු ස්කීපර්ට, සැකකාර නාකොටික් නිලධාරින් අවස්ථා දෙකකදී රුපියල් කෝටියක මුදලක් ලබා දීලා තිබෙනවා. උපායදුතයාට තවත් රුපියල් කෝටියක් දෙනවා. මාළු කිලෝ 1500ක් බෝට්ටුවලින් ගැඹුරු මුහුදට අරගෙන යනවා. බෝට්ටුවලට රුපියල් ලක්ෂ 15ක් දෙනවා. ඉන්ධනවලට වෙනමම රුපියල් ලක්ෂ 5ක් දෙනවා. හාල්වලට ලක්ෂ 50ක් දෙනවා. මේ නාකොටික් නිලධාරින් දවස් තුන හතරක් මහ මුහුදේ ඉන්නවා. මේ අය මුහුදු යන්න පුහුණු වෙච්චි අය නොවෙයි. සමහරුන්ට පීනන්නවත් බැහැ. මොවුන් සෑටලයිට් දුරකතන තුනක් භාවිත කළා කියලා මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මෙහි බිල් ගෙවන්නේ කවුද? ආරක්ෂක අමාතාශයෙන් අනුමැතිය අරගෙන මේ දුරකතන භාවිත කළ හැකියි. මෙව්වායේ බිල් ගෙවන්නේ මෙරට සිට නොවෙයි. ජාත්‍යන්තරයේ සිට කාඩ් මගින් තමයි මේවායේ බිල් ගෙවා ඇත්තේ. සිංගප්පුරුවේ සිට සහ ඩුබායි සිට. දැන් අනාවරණය වෙලා තිබෙනවා ඩුබායි රාජ්‍යයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මේ බිල් ගෙවලා තියෙන්නේ කියලා. මෙම දුරකතනයෙන් එක් ඇමතුමක් ලබා ගනිද්දී විනාඩියකට රුපියල් 350ක් විතර වැය වෙනවා. රජයේ නිලධාරින්ට මෙච්චර සල්ලි කොහෙන්ද?

අධිකරණය- සාමාන්‍යයෙන් වැටලීමකදී යම් මුදල් ප්‍රමාණයක් වැය වෙනවා තමයි. නමුත් මේ වැටලීම් වලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වැය වෙලා තිබෙනවා නේන්ද?

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - ඔව්. පොලිස් නිලධාරින්ට මෙවැනි මුදල් ප්‍රමාණයක් වියදම් කරන පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අනුමැතියක් නැහැ. මේ අය පුද්ගලික වාහන යොදාගෙන මේ වැටලීම් කරලා තිබෙන්නේ. මොවුන් භාවිත කළ වාහන 15ක් විතර මේ වන විට සොයා ගෙන තිබෙනවා. මෙහි සැකකාර නිලධාරියෙක් වන වීරසිංහ යන නිලධාරියා ළග රුපියල්  ලක්ෂ 320ක ද්‍රවශීලී මුදල් වශයෙන් තිබී අත්අඩංගුවට ගත්තා. මේ  අය මේ විශාල මුදලක් බෙදාගෙන වැටලීමකුත් කරනවා. රජයේ නිලධාරියෙක් යම් මුදලක් ඉල්ලීමේදී ඉල්ලීම් පත්‍රිකාවක් ඉදිරිපත් කර අධීක්ෂණ නිලධාරිවරයාගේ අනුමැතියට දාලා පසුවට ගණකාධිකාරිවරයා වෙත ගොස් තමයි මේ අනුමැතිය ලබා දෙන්නේ. ඒ වගේම මෙම සැකකාර නිලධාරින් බලපිටිය විලා  එකට වෙලා ඉදගෙන දිනකට රුපියල් 8,000 බැගින් මුදල් ලබා දෙමින් දෙනිකව කොළඹ මහාධිකරණයේ පවතින නඩුවලට සාක්ෂි දෙත එනවා.

මෙම සැකකරුවන් ඒ සඳහා යන වියදම ඉල්ලීම් පවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා නැහැ. මෙම හෙරොයින් කිලෝ 243ක් සම්බන්ධයෙන් වැටලීමත් ඇස්බැන්දුමක් විතරයි. ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මොවුන් බෝට්ටුවලින් රට  තුළට ගෙනැවිත් තිබෙනවා කියලා දැන් තොරතුරු අනාවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ. මෙම සැකකරුවන් ඇයි හතර පාරක් මහ මුහුදට ගියේ. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා හෙරොයින්වලට මොකද වෙන්නේ කියලා මහ ජනතාව ප්‍රශ්න කරනවා. මොවුන් ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරු අල්ලන්නේ නැහැ. පොඩි පොඩි ගෝලයෝ අල්ලනවා. මෙම හෙරොයින් විකිණීම සඳහා මොවුන්ට ස්ථිර ගැනුම්කරුවන් ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි රජිත නොහොත් ලොකු කියලා තියන්නේ..

අධිකරණය - මේ අධිකරණයේ පවතින නඩුවක් වන ඉරාන් ජාතිකයින් අත්අඩංගුවට ගැනීමට අදාළ හෙරොයින් වැටලීම කළේ නාවික හමුදාව විසින් නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා : ඔව් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශයේ ඇතුළේ නිලධාරියෙක් මෙම සිද්ධිය ගැන ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ගෙනැවිත් පැකට් කඩලා ඉන් හෙරොයින් ලබාගෙන තවත් පැකට් 11ක් හදලා පිටතට ගෙන ගියා කියලා. 

අධිකරණය - මාධ්‍ය මගින් මේවා පෙන්නුවා නේද? හොදින් අසුරා තිබුණා දුටුවා. මාධ්‍යයෙන් පෙන්නුවාට පස්සේ මේ වගේ පැකට් කඩලා මෙහෙම දෙයක් කරන්න පුළුවන් ද?

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා- ස්වාමිනි රජයේ රස පරික්ෂවරයා බැලු බැල්මට කියනවා මේ හෙරොයින් උර වල මුද්‍රා කඩලා වෙනස් කරලා තිබෙනවා කියලා. මෙම සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරුවා නාවික හමුදාවෙන් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් පසු ඒවා මුද්‍රා කඩා වෙනමම පැක් කරලා ඔවුන්ගේ ගැනුම්කරුවන් වෙත යවලා තිබෙනවා.

 අධිකරණය - මේවා කරලා තියෙන් නාකොටික් එක ඇතුළේ ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා : ඔව්. මෙම සැකකරුවන් මේවා කරලා තියෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළේදීමයි.

අධිකරණය - මොවුන් එම හෙරොයින් වලින් භාගයක් ගත්තාම එහි ප්‍රමාණය වෙනස් වෙනවා නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා : එහෙමයි. එහෙම වුණාම මේ අය කරන් ඒවාට වෙනත් දේවල් කලවම් කරනවා. පැකට් කඩලා ඒවායින් භාගයක් අරගෙන වෙනත් දේවල් මිශ්‍ර කරනවා. අන්තර්ජාතික ජාවාරම්කරුවන් මෙරටට එවන්නේ ශුද්ධ හෙරොයින්. මෙරටදී තමයි ඒවා කලවම් කරලා දෙන්නේ. මෙම හෙරොයින් මෙරට වෙළෙඳ පොළේ මිල වශයෙන් සදහන් වන්නේ ග්‍රෑම් එකක් රුපියල් 12,800ක් ලෙසයි. මෙම සැකකරුවන් මේවාට අලෙවි කරලා කොයි තරම් ආදායමක් උපයා ඇත්ද? මෙම සිද්ධියේ සැකකරුවන් මෙම උපයන ලද මුදල් අරගෙන පෞද්ගලික ලාභ පරමාර්ථයෙන් යුතුව පූජා වට්ටි රැගෙන කතරගම පූජා භූමීයට ගොස් පූජා පවත්වලා තිබෙනවා. ඒ සඳහා මේ බෝට්ටුකරුවොත් සහභාගී වෙලා තිබෙනවා. මේ සියල්ල මේ වීරසිංහ කියන පොලිස් කොස්තාපල්වරයා සිය මුහුණු පොතේ ඇතුළත් කරලා ලෝකෙටම පෙන්නලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම නාකොටික් නිලධාරින් සිය අනන්‍යතාව හෙළි කරන්නේ නැහැනේ. මොවුන් කතරගම ගිහිල්ලා ඒත් එෆ් බී ගිණුම් වලට දාලා. මේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ ඒකකයේ නිලධාරින්. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශ 06ක් තිබෙනවා. ඒ අතුරින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අතින්ම තෝරාපත්කර ගත් කණ්ඩායමේ නිලධාරීන් මේ අය.  මොවුන් කෙළින්ම භාවිතා කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට. දැනට මේ සැකකරුවන් උපයා ඇති දේපල අතර මිලියන 105ක වත්කම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

බැංකු ගිණුම් 33ක්, රත්‍රන් පවුම් 20ක් වාහන 14ක් වශයෙන් තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියන්නේ විශේෂ වැටලීම් ඒකකයක්. මෙතැන සිටිය චෞර පිරිසක් නිසා අද මෙහෙම වෙලා මුළු පොලිස් දෙපාර්තමෙන්තුවටම කැළලක් වෙලා. තවත් පිරිසක් අත්අඩංගුවට ගන්න ඉන්නවා. මෙරට කීර්තිමත් වැටලීම් අංශයක් වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කිහිප දෙනෙක් මේ ජාවාරමට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි එක්ක ඉදිරිපත් කිරීමයි අපි බලාපොරොත්තු වන්නේ. මෙම එස්.ටී.එෆ් කණ්ඩායම නාකොටික් කණ්ඩායමට අවි ආයුධ සගීත ආරක්ෂාවක් ලබා දෙමින් කටයුතු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් ගැන ඉදිරියේදී අධිකරණ පියවර ගැනීමට කටයුතු කරනවා. මොවුන් මූල්‍ය ප්‍රතිලාභ බලාගෙන තමයි මේ කාර්යය කරලා තිබෙන්නේ. මෙම නාකොටික් සිද්ධියේ සමස්ත මුල්‍ය සම්බන්ධීකරණය කරලා තිබෙන්නේ. එකවුන්ටන් වගේ වැඩ කරලා තියෙන්නේ පොලිස් කොස්තාපල් වීරසිංහ කියන නිලධාරියා. මොහු සතුව තිබී රුපියල් ලක්ෂ 325ක මුදලක් හම්බ වුණා.

ජාවාරම්කරුවෝ සල්ලි දාන්නේ මේ සැකකරුගේ ගිණුම්වලට. මොවුන් මේ මුදල් එක තැන තියා ගන්නේ නැහැ. විශේෂයෙන්ම ගනුදෙනු වෙන්නේ බැංකු හරහා නොවෙයි. මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් හෙරොයින්වලින් විශාල තොගයක් මොවුන් ළග තිබෙනවා. රුපියල් ලක්ෂ 21ක් සැකකාර රත්නායක කියන නිලධාරියා විසින් වළදමා තිබියදී අත්අඩංගුවට ගත්තා. මේ සිද්ධිය හිතාගන්න බැරි තරම් සංකීර්ණ එකක්. මෙම ක්‍රියාකාරකම 2013 වර්ෂයේ සිටි පැවත ආවත් එය සක්‍රීය වන්නේ 2017 වර්ෂ යේ සිටියි. මේ වසර තුන තුළ මේ සැකකරුවන් විශාල  මුදල් ප්‍රමාණයක් උපයලා තිබෙනවා. මේ සා විශාල වත්කම් රාශියක් සහිතව නිලධාරින් සිටින කොට උසස් නිලධාරින්ට මේවා පේන්නේ නැද්ද? මොවුගේ දේපල ලියලා තියෙන්නේ එකම නිතීඥ මහතෙකු විසින්. මෙහි මූල්‍ය පාලක වශයෙන් සිටින වීරසිංහ කියන නිලධාරියා බලපිටිය ප්‍රදේශයේ සිට කොළඹට ආවේ කෝච්චියෙන්. වසර තුනකට පස්සේ අද එන්නේ  සුඛෝපභෝගී වාහනවලින් අද ඔහු කෝටිපතියෙක්. මේක අධික්ෂණය කරන නිලධාරියාට මේවා පෙන්නේ නැද්ද? මේ විශාල ජාවාරමක් ගැන තමයි මේ විමර්ශනය යන්නේ. සාමාන්‍ය නිලධාරියකුට වැටලීමකට ගියාම ලැබෙන්නේ රුපියල් 5,000ක්  6,000ක් පමණ මුදලක්. ඒක ගත්තත් මාස ගාණක් යනවා. මෙහිදී  සමහර උපායදුතයින්ට දෙන්නේ ලක්ෂ 100ක්. මේ මුදල් කොහෙන් එන ඒවාද?

හරි නම් මේ නඩුව වෙන තැන පොලිස්පති ඉන්න ඕන. පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉන්න ඕන. මේ අයට මරණ දඬුවම දෙන්න ඕන කියලා ඒ අයට කියන්න බෑහැ. ඒත් ඒ අය
මෙතැන අද ඉන්න ඕන. ඒත් මේ වගේ රටක් බලා ගෙන ඉන්න නඩුවක ඉන්නේ විමර්ශන නිලධාරීන් කණ්ඩායම විතරයි..

අධිකරණය- මේ සිද්ධියට ඉහළ නිලධාරින්ගේ දැනුම සේවය අත්‍යවශ්‍යයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - මේ සිද්ධිය තව නොබෝ දිනකින් ඇල් මැරුණු ස්වභාවයකට පත් වෙයි. මාධ්‍යවේදීන් නිසා  මේ නඩුව මේ ආකාරයටවත් ඉදිරියට යනවා. මාධ්‍ය නැත්නම් මේ නඩුවට මොනවා වෙයි ද දන්නේ නැහැ.

අධිකරණය -ඒකට වග කියන්න ඕන කවුද?

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා- ඒක තමයි කිව්වේ . මේකට ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහාය අත්‍යවශ්‍යයි කියලා. මෙහි තවත්  සැකකරුවන් අත්අඩංගුවට ගන්න ඉන්නවා. ශ්‍රී ලංකා රේගුවේ
සිදුවෙච්චි රත්‍රන් කිලෝ 20ක ජාවාරමක් සම්බන්ධයෙන් ඔත්තුකරුවකු වූ නැපෝලියන් කියන පුද්ගලයාට රජයෙන් ත්‍යාග මුදල් වශයෙන් රුපියල් දෙකෝටී හැටපන්ලක්ෂයක මුදලක් ලැබුණා. මේ සැකකරුවන් ඒ මුදලින් රුපියල් ලක්ෂ 75ක  මුදලක් ණයට ඉල්ලාගෙන ඇති බවද කරුණු අනාවරණය වුණා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අද්විත් පතිරණ මහතා - ස්වාමිනි, රටේ නීතිය අනුව බරපතළ අපරාධකරුවකු වුවත් ඔහුට විරුද්ධව සාක්ෂි තියනවා නම් පුද්ගලික නිදහස තාවකාලිකව ඉවත් කරන්න පුළුවන් අවස්ථා තුනක් තියනවා. ඒ, සැකකරු, චූදිත සහ චූදිත වරෙන්තු වශයෙන්. මේ කියන කතාවල කිසිදු හරයක් නැහැ. යුක්තිය දෙපැත්තටම ඉෂ්ට  විය යුතුයි.

අධිකරණය : එක් එක් සැකකරුවන්ට එරෙහිව ඇති සාක්ෂි  සම්පිණ්ඩන වාර්තාවක් අද අපරාධ පරික්ෂණේ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරලා තිබෙනවා ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව- ඔව්..

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයෙන් පෙනී සිටි නීතීඥ වසන්ත පිටිගල මහතා - ස්වාමිනි, මේ කියන විදිහට මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළේ තිබිලා විකුණුවා කියලා කිසිදු හෙරොයින්
තොගයක් සොයාගෙන නැහැ. මේ සැකකරුවන්ට වීස වර්ග අබිං සහ අන්තරාදායක පනත යොදා ගෙන ඇප දිය නොහැකි ආකාරයට හිර කර තිබෙනවා. මොවුන්ට මුදල් විශුද්ධිකරණය යටතේ නඩුවක් ගොනු කළ හැකි වුවත් විෂ වර්ග පනත අනුව නඩුවකට යන්න බැහැ.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ නලින් රත්නායක මහතා- ස්වාමිනි මට මගේ සේවාදකයාගෙන් ලද උපදෙස් අනුව ඔහු සඳහන් කළා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුහොර මුදල් නෝට්ටු ගෝනියක් තිබුණා කියලා. වැටලීම්වලට යද්දි ඒ මුදලින් කොටසක් නියම මුදල් වලට කලවම් කරලා අරගෙන යනවා කියලා කිව්වා. මේ සම්බන්ධයෙන් මගේ සේවාදකයා පැමිණිල්ලට කටඋත්තරයක් දෙන්න හැදුවාම රහස් පොලිසිය ඒක ප්‍රතික්ෂේප කරලා.

අධිකරණය - අතින් සල්ලි ලබාදීලා කුඩු ගන්න ක්‍රමයක් ගැන මෙතෙක් කියැවුණේ නැහැනේ. මොකද මේ කියන කතාව?

 නීතීඥවරයා- මේ පරීක්ෂණය ගලා යන්නේ පොලිසියේ පොඩ්ඩෝ වෙනුවෙන් විතරයි. ඉහළ නිලධාරින්ට නැහැ. ප්‍රකාශයක් දෙත හැදුවාම ඒක ලියා ගන්න බැහැ කියලා කියනවා. 

අධිකරණය -හොර නෝට්ටු ගෝනියක් තිබ්බා කියලා කියනවා. (පොලිසියට) එතැනට හොර සල්ලි ආවේ කොහොමද කියලා විමර්ශනයක් කළ යුතුයි.

සහකාර පොලිස් අධිකාරී මල්පේ ළමාහේවා මහත්තා - ස්වාමිනි, පොලිස් නිල සුනඛයෝ දාලා විශේෂ කාර්ය බලකායත් සමග මේ නාකොටික් පරිශ්‍රය විශේෂ සෝදිසියකට ලක් කළා. ඒත් ඔය කියන කිසිම දෙයක් හමු වුණේ නැහැ. විශේෂයෙන්ම  මෙම නෝට්ටුවල එකම අංකයෙන් තමයි මුද්‍රණය වෙලා තිබෙන්. පොලිස් දෙපාර්තමේන්තුවේ ඔය කියන ක්‍රමවේදයක් නැහැ. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරනවා.

අධිකරණය : අස්වාභාවික දේවල් වෙච්චි තැනක හොර සල්ලිත් තිබිලා. මෙතැන විශාල ගනුදෙනු වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව වහාම හොයලා වාර්තා කරන්න ඕන.

නීතීඥ අජිත් පතිරණ මහතා -ඇතැම් අවස්ථාවල විශේෂයෙන්ම  කොරෝනා තත්ත්වය නිසා රජයේ රස පරික්ෂකවරයා පවසා තිබුණා ද දන්නේ නැහැ මේ හෙරොයින් ඔවුන් සතුවම තබා ගන්නා ලෙසට. එසේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කළ යුතුයි නේන්ද?

 අධිකරණය : රස පරීක්ෂකවරයා එහෙම දෙයක් ලිඛිතව දැනුම්  දීලා තිබෙනවා ද කියලා වහාම හොයා බැලිය යුතුයි. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වෙත නියෝගයක් නිකුත් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදිය. . ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම්වලට අදාළ නියෝග නිකුත් කරමින් සැකකරුවන් ලබන 08 වැනිදා අධිකරණයට  ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළේය.

සැකකරුවන් 13 දෙනා එදින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද අධිකරණය නියෝග කළේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරිම,මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අධාර අනුබල දිම, සැලසුම් කිරිම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරිම හා සමාන්‍ය ජන ජීවිතය කඩා කප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

-නිමන්ති රණසිංහ-