Friday, March 13, 2020

ගුවන් යානයෙන් බසිත්ම නිරෝධායනය දැනුම්වත් කරයි

ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් නීරෝධායන කිරීමේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම, දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .

මේ නිසා මෙම ගුවන් මගීන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන මෙම නිරෝධායන වැඩසටහන පිළිබඳව දැක්වූ විරෝධතාව, එම වැඩසටහන ආරම්භ කර තෙවැනි දිනය වනවිට මගහරවා ගැනීමට සමත් වූ බව අධ්‍යක්ෂවරයා කීවේය. ආරක්ෂක නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, ගුවන් තොටුපළ ඉහළ කළමනාකරණ නිලධාරීන් ඇතුළු පිරිස් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වී සිටිති. 

ඒ අනුව ඊයේ (12) සවස 6.00 පමණ වනවිට මෙම රටවල් තුනෙන් පැමිණි ගුවන් මගීන් 1133 දෙනකු පොලොන්නරුව කන්දකාඩු මධ්‍යස්ථානයට සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත. 

ඒ අතර ඊයේ (12) මැදියම් රාත්‍රි 12.00 සිට සවස 6.00 දක්වා කාලයේ ගුවන් මගීන් තවත් 287 දෙනකු ඉහත රටවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන්ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලාංකික තවත් ගුවන් මගීන් 100 ක් රැගත් ගුවන් යානයක් ඊයේ (12) රාත්‍රී ඉතාලියේ මිලානෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ද පැවසේ.

- ටී කේ ජී කපිල -

එතරින් එන ලංකිකයන් නිරෝධනයට කාමර 15ක නිවාඩු නිකේතනය ලබාදෙයි



හංවැල්ල, ඉහළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15කින් යුත් තමාට අයත් නිවාඩු නිකේතනය විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධනය කිරිම සඳහා ලබාදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු නිවාඩු නික්තනය  සියලු පහසුකම්ද සැලසීමට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු  වන දේශමාන්‍ය එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා කැමැත්ත පළකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  ව්‍යාපාරික ප්‍රියන්ත මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ දැනුම්දීමට අනුව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් එම ස්ථානය නිරෝධායන කටයුතු සඳහා සුදුසුදැයි යන්න පිළිබඳව ඊයේ (12) එහි ගොස් මූලික පරික්ෂණයක් සිදුකළ බවද එම අමාත්‍යාංශය පවසයි.



නිවාඩු නිකේතනයේ සෑම කාමරයක්ම වැසිකිළි සහ නාන පහසුකම්වලින් සමන්විත අතර නිවාඩු නිකේතනයේ උත්සව සඳහා භාවිත කළ පරිශ්‍රයේද තවත් කාමර ගණනාවක් ඉදිකර ඒවාද භාවිත කළ හැකි බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා මෙසේ කීවේය. ව්‍යාපාරික ප්‍රියන්ත මහතාගේ දැනුම්දීමට අනුව මෙහි මූලික පරික්ෂණ කටයුතු සඳහා අප අද දින පැමිණියා. ඇත්තෙන්ම මෙය ඉතා අගනා සත් ක්‍රියාවක්. මේ ආකාරයෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තම ධනය හා දේපළ පරිතාග කරමින් ශ්‍රී ලාංකීය ජනතාව කොවිච් 19 රෝගයෙන් බේරාගැනීම සඳහා කටයුතු කිරිම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ස්තූතිය පුද කරනවා.

එහිදී අදහස් පළකළ දේශමාන්‍ය එච්.ඩී. ආර්. ප්‍රියන්ත මහතා  මෙසේ සඳහන් කළේය. ඇත්තවශයෙන්ම මා මේ ගැන හිතන්න ගත්තේ හැඳල ලාදුරු රෝහල අසල සිදුවූ සිද්ධියත් සමගයි. අපි ඒ තත්වයට වැටෙන හොඳ නෑ. ශ්‍රී ලාංකිකයන් කියන්නේ හොඳින් ආගන්තුක සත්කාර දන්නා පිරිසක්. අපේම සහෝදරයන් තමන්ගේ මව්බිමට එනකොට අපි ආදරයෙන් ඔවුන් රැක බලාගත යුතුයැයි සිතා මේ නිවාඩු නික්තනය ඔවුන්ගේ නිරෝධායනය කටයුතු සඳහා ලබාදීමටත් ඒ අයන්ගේ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබාදීමටත් මා තීරණය කළා.

කුඩු කිලෝ 100ක් අල්ලයි

පාකිස්තානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතිම අමු ගෙඩි අතර සගවා තිබූ
හෙරොයින් මත්කුඩු 100කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කරන වැටලීමකදී ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 

මෙම කන්ටේනර් රථය කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන ක්‍රීඩාපිටියකට රැගෙන සිදුකළ පරීක්ෂාවේදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ රාත්‍රිය වනතුරුත් කන්ටේනර් රථය පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබිණි.

පාකිස්තානයේ සිට පැමිණි මෙම කන්ටේනරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මෙම කන්ටේනරය ඊයේ රේගුව විසින් මුදා හැරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායම් කන්ටේනරය පසුපස හඹා ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව උසස් නිලධාරියෙක් පැවසීය.

කන්ටේනරය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබූ අලගෙඩි අතර ව්‍යාජව සකස් කළ අලගෙඩි ද තිබී ඇති අතර එම අලගෙඩි අතර හෙරොයින් තොගය තිබූ බවද එම උසස් නිලධාරියා පැවසීය‍.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ලෙස කටයුතු කළ පාකිස්තාන ජාතිකයා ඇතුළු සැකකරුවන් සිවුදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පාකිස්තාන ජාතික සැකකරු කන්ටේනර් රථයට ඉදිරියෙන් මග පෙන්වන්නා ලෙස වෙනත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් තිදෙනා අල කන්ටේනරය සමග ගමන් ගත් පිරිස  බව ද පැවසේ.

මෙම කන්ටේනරය වෙන්නප්පුව ප්‍රදේශය බලා ගමන් ගෙන ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.

මෙලෙසම ව්‍යාජ අල තුල හෙරොයින් සැඟවූ කාරයක් 2013 වසරේ සැප්තැම්බර් මස ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කෘත්‍රිම අල සහ ග්‍රීස් ටින්වල අසුරා තිබූ කිලෝ 261 හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ මංජුල සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

- ඉන්දිකා රාමනායක -

කොරෝනා බිය පැතිරේදී ඉන්දියාවේ කොස් මිල ඉහළට


'කෝවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය  ඉන්දියාවේ පැතිරීමත් සමග එරට ප්‍රාන්ත රැසක කොස් මිල ඉහළ ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.  ඉන්දියාවෙන් මේ වනවිට 'කෝවිඩ් 19' හෙවත්  නව කොරෝනා වයිරස ආසාදිතයන් 62 දෙනකු හමුවී ඇත. එක් මරණයක් වාර්තා වෙයි. වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට ඉන්දීය මධ්‍යම රජයේ උපදෙස් පරිදි, ප්‍රාන්ත මට්ටමින් සෞඛ්‍ය  බලධාරින් ජනතාව දැනුවත් කර තිබේ.  ඉන්දියානුවන් කුකුළු මස් සහ එළුමස් බහුලව ආහාරයට ගන්නා නමුත් කොරෝනා වයිරසයට  බියෙන් ඉන්දියානුවන් මස් ආහාරයට නොගන්නා බව පැවැසෙයි. බොහෝ දෙනාගේ විශ්වාසය වීම ඇත්තේ මස් ආහාරයට ගැනීමෙන් කොරෝනා වයිරසය ආසාදනය විය හැකි බවය. කෙසේ නමුත් එය වැරදි මතයකි.

මස් ආහාරයට ගැනීම අඩු වෙද්දී, ඒ වෙනුවට විකල්පයක් ලෙස කොස්වලින් සකස් කර ගන්නා ආහාර  (විශේෂයෙන් බුරියානි) ආහාරයට ගැනීමට ඉන්දියානුවන් පෙළඹී ඇති බවත් මේ හේතුව නිසා කොස් මිල ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය පුවත් සේ පැහැදිලි කර තිබේ. මේ අතර, කොරෝනා 19 වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින්, මාසයක කාලයකට වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට ඉන්දීය  රජය තීරණය කර ඇත. ඉන්දීය රජය ගත් මෙම තීරණය එරට සංචාරක කර්මාන්තයට පමණක්
නොව හෝටල් ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි ද පැවැසෙයි.

මර්ධනයට චීන රජය ක්‍රියාමාර්ග ගත්තොත් වෛරසය ජූනි වන විට අවසන්

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා තම රජය ගත් ක්‍රියාමාර්ග ලෝකයේ සෙසු රටවල් අනුගමනය කළහොත් ජුනි මාසය වනවිට වෛරසය අවසන් වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.

ලොව රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා 126,000කුට ආසාදනය වී තිබෙන අතර වෛරසය හේතුවෙන් 4624 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

මේ වසර මැද වනවිට මේ අර්බුදය අවසන් වනු ඇතැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයා වන ෂොන්ග් නන්ෂාන්ග්  පැවැසීය. වසංගත රෝග විශේෂඥයකු වන ඔහු 83 වියේ පසුවෙයි. හෙතෙම 2003 වසරේ ව්‍යාප්ත වූ "සාස්" වෛරසය මර්දනය කිරීමේ සටනේ දී මූලික කාර්යභාර්යයක් කළ පුද්ගලයා ලෙස සැලකේ.

“ඔක්කොම රටවල් එකතු වුනොත් ජුනි මාසය වෙද්දී වෛරසය අවසන් වේවි. එහෙත් රටවල් ආසාදිතයන්ට හොඳින් ප්‍රතිකාර නොකළහොත්, දැඩි ක්‍රියාමාර්ග නොගත්තේ නම් පාලනය කරන්න බැරි වේවි. ඇතැම් රටවල් තවමත් එතරම් සැලකිල්ලක් දක්වා නැහැ. මෙය බරපතළ කාරණයක් ලෙස ගෙන තදින් මැදිහත් වුණේ නැතිනම් වෛරසය දීර්ඝ කාලයක් පවතීවි" යැයි ද ඔහු කීවේය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති දැඩි සංචාරක සහ ගුවන් ගමන් සීමා චීනයේ ද විරෝධයට හේතුවිය. චීනය ලෝකය එකට එකතු කරමින් කාලයත් සමග දැඩි සටනක් කරමින්  සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ වගකීම් විරහිත ප්‍රකාශ සහ ක‍්‍රියාමාර්ග වෛරසයට එරෙහි සටනට කිසිඳු සහයෝගයක් දක්වන්නේ නැතැයි ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා (11) නව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

නිරෝධනයට සංචාරක බස් දෙන්න හිමිකරුවෝ පස්ස ගහති




කෝරෝන වෛරසය පැතිර යමින් තිබෙන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාම සඳහා සංචාරක බර ලබාදීම අනතුරුදායක යැයී ශ්‍රී ලංකා සංචාරක බස්රථ
හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතාට පැවසීය. සැක සහිත උණ රෝගීන් ද ඇතුළු පිරිසක් සමග සංචාරක බස් රථයක පැය දහයක පමණ කාලයක් ගතකිරීමට සිදුවීමෙන් බස් රථ රියැදුරන්ට සහ සහායකයන්ට දැඩි අවදානමකට ලක්වීමට සිදුවන බවද ඔහු කීවේය.

එම නිසා සංචාරක බස්රථ හිමියන් මම රියැදුරන් ද විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් තිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බව ද ජයතිස්ස මහතා කීය. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට මඩකළපුව හා කන්දකාඩුව දක්වා බස්රථය ධාවනය කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලබාදෙන සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැතැයි ද නීල්  ජයතිස්ස මහතා සඳහන් කළේය.

-රංජන් කස්තුරි-

කොරෝනා යැයි සැක 29ක් රෝහලේ



කොරෝනා රෝග ලක්ෂණ සහිත සැක රෝගීන් 20 දෙනකුට අංගොඩ අයි.ඩී.එච්. රෝහල ඇතුළු රෝහල් කීපයක ප්‍රතිකාර ලබමීන්  සිටින බව සෞඛ්‍යය අමාතයාංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. ඒ අනුව අයි.ඩි.එච්. රෝහලේ රෝගීන් 8ක් කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ රිජ්වේ ළමා රෝහල යන රෝහල්වල එක් රෝගියා බැගින් ද ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.  මීට අමතරව කරාපිටිය රෝහලේ රෝගීන් දෙදෙනකු, අනුරාධපුර රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදනකු, මහනුවර රෝහලේ තිදෙනකු, ගම්පහ දිස්ත්‍රික් රෝහලේ තිදෙනකු, මිගමුව රෝහල සිව් දෙනකු ආදී වශයෙන් සැක රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටීන බවද එම අංශය පවසයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනවී සිටින සංචාරක මග පෙන්වන්නාට සම්භාහන ප්‍රතිකාරයක් ලබා දුන් බව කියන පුද්ගලයකු රෝගාතුරව ඊයේ (12) අනුරාධපුරය රෝහලට ඇතුළත් කර තිබේ. හබරණ නගරයේ සම්භාහන මධ්‍යස්ථානයකදී සංචාරක මග  පෙන්වන්නාට මොහු සම්භාහන ප්‍රතිකාර ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයි ඔහු පොලිසියේ මැදිහත්වීමෙන් අනුරාධපුර මහරෝහලට රැගෙන ගොස් ඇති බව ද පොලිසිය කියයි. මෙම තෙරපිකරු සංචාරක මග පෙන්වන්නාට විනාඩි 20ක පමණ කාලයක් තෙරපි ප්‍රතිකාර කර ඇතැයි ද අනාවරණය වූ බවද හබරණු පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක  එන්.බී.ඩබ්ලිව්. රත්නායක මහතා පැවසීය.

මේ අතර හලාවත දිස්ත්‍රික් රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ඊයේ (12) පැමිණි යුවලකට කොමරෝනා රෝග ලක්ෂණ ඇති හෙයින් ඔවුන් දෙදෙනා එම රෝහලේ රදවාගෙන ප්‍රතිකාර කරන බව රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා කීය. හන්දුම්මුල්ල දිසා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තවත් රෝගියකු සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් දියතලාව මූලික රෝහලට මාරුකර යැවූ බව හන්දුම්මුල්ල දිසා රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මේ අතර ඊයේ තවත් රෝගීන් දෙදෙනකු පොලොන්නරුව මහ රෝහලෙන් අයි.ඩී.එච්. රෝහලට මාරුකර යැවූ බව එම රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේය. මෙම රෝගීන් හය දෙනා ද ඇතුළුව දිවයිනේ විවිධ රෝහලවල ප්‍රතිකාර ලබන සැක සහිත රෝගීන් මුළු සංඛ්‍යාව 29කි.

-රංජන් කස්තුරි-

දෙවැනි වතාවටත් දේශපාලනයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසුයි

දෙවැනි වතාවටත් දේශපාලනයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්‍ෂය නොවිසිරී එක්ව සිටීම තම ජයග්‍රහණයට වාසිසහගත වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (12දා) පැවැති පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් සංස්කරණය ලද 'අපේ සටන කාටුන් ඇසින්" කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී කාටුන් ශිල්පීන් 18 දෙනෙක් විසින් නිර්මාණය කරන ලද කාටුන් ඇතුළත් මෙම කෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ඒ හා සම්බන්ධ වූ කාටූන් ශිල්පීන්ට සමරු තිළිණ සමඟ පිළිගැන්වීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

"උදය ගම්මන්පිල මහත්තයා පිළිබඳ පුවත්පත්වල පළ වුණ කාටුන්වල එකතුවක් අරගෙන පොතක් නිකුත් කළා. මම ඒ ගැන වැඩියෙන් සංතෝස වෙන්නේ ඒ හැම එකේම මමත් ඉන්න නිසා. උදය ගම්මන්පිල මහත්තයා තමයි මම පරාජය වුණාට පස්සේ මුලින්ම FCID එකට අරන් ගිය දේශපාලනඥයා. අනිත් කෙනා පී.එල්. පීරිස් මහත්තයා. හරි දෙන්න මං ගෙන්න ගෙන තියෙන්නේ. මම හැදුවේ විශ්‍රාම ගිහින් මැදමුලන ගෙදරට වෙලා ඉන්න. මෙතුමන්ලා ඒකට ඉඩ දුන්නේ නෑ, දෙවැනි වතාවට දේශපාලනයට ආවට පස්සේ එළවන්නත් ටිකක් අමාරුයි. 

උදයගම්මන්පිල මහත්තයා අපට නැතුවම බැරි කෙනෙක්. එතුමා ගෙනාපු හැම පනතක්ම අභියෝගයට ලක් කළා. අභියෝග කරලා හදන්න තිබූ ඒවා වෙනස් කළා. ඒ වගේම එතුමට පිට කොන්දක් තිබුණා තමන්ගේ පක්‍ෂය අතහැරලා නිවැරදි කණ්ඩායමට සහයෝගය දෙන්න. ඒ වගේම විපක්‍ෂය අද විසිරිලා තිබෙනවා. මම නම් විශ්වාස කරන්නේ එයාලා විසිරිලා ඉන්නවට වඩා එකතුවෙලා ඉන්න එක අපට වාසියි. ඒ වගේම අපට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපට තියෙනවා” යනුවෙන් පවසා සිටියේය. 

මෙහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ,

"ඇමෙරිකාවේ කියමනක් තියෙනවා ඕනෑම ආණ්ඩුවක මධුසමය වන්නේ පළමු දින 100 කියලා. පළමු දින 100 ආණ්ඩුවත් ජනතාවත් අතර මධුසමය කියලා කියන්නේ ඒ දින 100 ඇතුළත ආණ්ඩුව මොන වැරදි කළත් ජනතාව ඉවසන්න පුරුදු වෙනවා අනේ තාම අලුත් ආණ්ඩුවක්නේ කියලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 2001ත්, 2015ත් බලයට පැමිණියම දින 100 වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ.

ලෝකය පුරාම තියෙන මතය තමයි. විපක්‍ෂය වැඩ පටන් ගන්න ඕන දින 100 පසුවෙලා කියලා. නමුත් 2015දී බලයට පැමිණි ආණ්ඩුවට එරෙහිව අපි ආරම්භ කළ මහින්ද සුළඟ සමස්ත ලෝකයේම දේශපාලන ඉතිහාසය වෙනස් කළ සිද්ධියක්. අපි ආණ්ඩුව පත්වෙලා පැය කිහිපයකට පස්සේ මාධ්‍ය හමුවක් තියලා කියනවා ඒ ආණ්ඩුව පලවා හරින්න කටයුතු කරනවා කියලා. අපි බාධක රැසක් තියෙද්දිත් අපේ සටන ජයග්‍රහණය කරන්න ක්‍රියා කළා" යනුවෙනි.

- ෂවින්ද්‍යා එරන්දතී -

ලංකාව ඇතුළු රටවල් 45කට සෞදියෙන් සංචාරක තහනමක්


කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45කට ගුවන් ගමන් සහ සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය පියවර ගෙන ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය ඊයේ (2) වාර්තා කළේය.
යුරෝපා සංගමයේ සියලු රටවල් ස්විට්සර්ලන්තය, ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, ජිබුටි සහ සෝමාලියාව සංචාරක හා ගුවන් ගමන් සීමා පැන වූ රටවල් ගොන්නට ඇතුළත් ය. එරට රාජ්‍ය මාධ්‍යවලට අනුව සෞදි අරාබියෙන් නව කොරෝනා ආසාදිතයන් 24 දෙනකු වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් ගතව සිටින සෞදි පුරවැසියන්ට සහ එරට වාසය කරන්නන්ට නැවත එරටට පැමිණීම සඳහා පැය 72ක කාලයක් ලබා දී ඇතැයි සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් රාජ්‍ය පුවත් සේවය වන 'සෞදි පුවත් සේවය' වාර්තා කළේය. ජෝර්දානය හරහා ගොඩබිම් මාර්ගවලින් මගීන් ඇතුළු කරගැනීම තාකාලිකව අත්හිටුවීමට ද සෞදි අරාබිය පියවර ගෙන ඇත. එසේ වුවත් වාණිජ සහ බඩු භාණ්ඩවලට රට තුළට ගෙන ඒමට අවසර දී ඇත. අසල්වැසි අරාබි රටවල් ඇතුළු රටවල් 19කට සෞදි අරාබිය මීට පෙර සංචාරක සහ ගුවන් ගමන් තහනම් පැනවීය.

රටට ඇතුළු වීමේ දී සෞඛ්‍ය තොරතුරු සහ සංචාරක තොරතුරු ඉදිරීපත් නොකරන පුද්ගලයන්ට රියාල් 500,000 (ඇමෙරිකානු ඩොලර් 133,000) ක දඩයක් පැනවීමට සෞදි බලධාරීහු පියවර ගෙන ඇත. ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදකයකු වන සෞදි අරාබිය එරට තෙල් නිෂ්පාදනය කරන කටිෆ් ප්‍රදේශය වසා දැමීමට පියවර ගෙන ඇති අතර බොහෝ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ එම ප්‍රදේශයෙන් යැයි ද වාර්තා වේ. ඉස්ලාම් බැතිමතුගේ ශුද්ධ වූ ස්ථාන ලෙස සැලකෙන මක්කම සහ මදීනාව වසා දැමීමට ද සෞදි අරාබිය මීට පෙර පියවර ගත්තේය.

සෞදි අරාබිය එරට පාසල්, විශ්වවිද්‍යාල, සිනමා ශාලා වසා දැමීමට ද පියවර ගෙන ඇත. ඊට අමතරව සියලු සම්මන්ත්‍රණ, ක්‍රීඩා ඉසවු සහ උත්සව මෙන්ම ලබන සතියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ජී20 අමාත්‍ය  හමුව කල්දැමීමට ද සෞදි බලධාරිහු ඊයේ පියවර ගත්හ. විවිධ රටවලින් මිලියන ගණනක් සංක්‍රමණිකයෝ සෞදි අරාබියේ විවිධ රැකියාවල නිරත වෙති. රට තුළ සිටින පිලිපීන සහ ඉන්දියානු සෞඛ්‍ය සේවකයන්ට ඉහත තීරණ අදාළ නොවන බව ද සෞදි සෞඛ්‍ය බලධාරීහු තවදුරටත් සඳහන් කළහ.

-හර්ෂණ තුෂාර සිල්වා-

මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

යොවුන් පාර්ලිමේත්තු මන්ත්‍රී වී.අයි.පී ලේබලය සහිත නවීන මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මත්කුඩු මුදල් වෙනත් රථවාහන අංක තහඩු දෙකක් සමග කට්ටාපිටිය ප්‍රදේශයේදී පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලීසිය පවසයි.

සැකකරුවන් වාරියපොළ, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කුඩා පෙට්ටියක අසුරන ලද හෙරොයින් ග්‍රෑම් 85ක්ද, මුදල් රුපියල් 85,000ද වෙනත් වාහන දෙකක අංක තහඩු දෙකක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ. මෙම සැකකරුවන් පන්නල ප්‍රදේශයේ සිට මෙම මත්කුඩු රැගෙන විත් ඇති අතර, අතරමගදී මත්කුඩු බෙදාහැර ඇති බවත්, මෙම මහා පරිමාණ මන්ද්‍රව්‍ය ජාවාරම වාරියපොළ බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් මෙහෙයවා ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු බවත්, රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්කුඩු තොගය වාරියපොළ, නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශවලට බෙදාහැරීමට සැකකරුවන් සැලසුම් කරගෙන සිට ඇති බවද හෙළිවී තිබේ. 

නිකවැරටිය ආසනය යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී යන වී.අයි. පී. ලේබලය සහ මෝටර් රථය සැකකරුවන් අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් කොබෙයිගනේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

- ප්‍රියානි මංගලිකා -

නිරෝධායන කටයුතු අතකොළුවක් කර ගනිමින් දේශපාලන පටු වාසි ලබාගැනීමට කටයුතු නොකරන්න

නිරෝධායන කටයුතු අතකොළුවක් කර ගනිමින් දේශපාලන පටු වාසි ලබාගැනීමට කටයුතු නොකරන ලෙසට විපක්ෂයෙන් ඉල්ලා සිටින බව හිටපු  රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා,

“ඇතැම් පිරිස් නිරෝධායන කටයුතුවලට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරුණු බව අසන්න ලැබුණා. මෙය දරුණු වෛරසයක් නිසා ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමත් රට තුළ පැතිරීම වැළැක්වීමත් ඉතා වගකීමෙන් යුතුව සිදු කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් විතැන් වෙන්න සිටින කණ්ඩායමටත්, ජනතා විමුක්ති පෙරමුණටත් කියා සිටින්නේ මෙම ගැටලුව දේශපාලන අතකොළුවක් කර නොගන්නා ලෙසයි. මෙය ඉතා භයානක තත්වයක්. මේ අය සියල්ල පසෙකලා දේශපාලන පහත් පටු වාසි ලැබීමේ අරමුණින් කටයුතු කරනවා. දේශපාලන පටු වාසි ලබා ගන්න තැත් කරන පිරිස විසින් මේ තත්ත්වය පාලනය කරන්නන්ට නිග්‍රහ කිරීමක් ලෙසයි අපි දකින්නේ” යනුවෙන්ද කීය.

'පොහොට්ටුව’ සමග එක්ව මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වෙනත් පක්ෂ සමග ගිවිසුම් අත්සන් කරනු ඇති බවට සැකයක්ද උද්ගතව ඇතැයිද ශෙහාන් සේමසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. ඒ අනුව මේ පිළිබද අදහස් දක්වමින්,

"ජනතා විමුක්ති පෙරමුණේ අනාගතය අද වෙද්දී කනගාටුදායක තත්වයකට ඇද වැටිලා තිබෙන්නේ. බොහෝම වගකීමෙන් කියනවා එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ එක්වුවත් මන්ත්‍රී ආසන 50කට ළඟාවීමට නොහැකි බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු මතවාදයක් නැහැ. එම පක්ෂය තුළ විවිධ න්‍යාය පත්‍ර ඔස්සේ කටයුතු කෙරෙනවා. අපට සැකයක් තිබෙනවා ඔවුන් මැතිවරණය ජයගෙන අනෙක් පක්ෂ සමග ගිවිසුම් ඇති කරගන්නා බවට” යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

- නිදර්ශනී වික්‍රමසිංහ -

ඉන්දියාවට එන්න වීසාදීම අත්හිටුවයි



කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් අප්‍රේල් 15 වැනි දක්වා සංචාරක වීසා ලබාදීම තාවකාලිකව අත්හිටුවන වන බව ඉන්දියාව ඊයේ (12) නිවේදනය කළේය. වයිරසයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති චීනය, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය ඇතුළු රටවල් හතකින් පැමිණෙන සංචාරකයන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බව ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.  ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන තව කොරෝනා වයිරසය 'ගෝලීය වසංගතයක්' ලෙස නම් කිරීමෙන් අනතුරුව ඉන්දියාව මෙම පියවර ගත්තේය.

ඒ අනුව මාර්තු 13 වැනිදා සිට සියලු රටවලට බලපැවැත්වෙන පරිදි සංචාරක වීසා ලබාදීම අත්හිටුවන බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.  රාජ්‍ය තාන්ත්‍රික වීසා සහ ජාත්‍යන්තර
සංවිධානවලට ලබාදෙන වීසාවලට මෙම තාවකාලික තහනම අදාළ නොවන බව ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ චීනයෙනි.  චීනය සහ ඉන්දියාව අතර දේශසීමාවක් ද  පවතී. පෙබරවාරි 15 වැනිදාට පසු චීනය, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය සහ ජර්මනියේ සංචාරය කර ඉන්දියාවට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු බව ද ඉන්දීය බලධාරීහු කීහ.

දින හතරක් ඇතුළත ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 73ක් දක්වා ඉහළ යෑමෙන් අතර මහජනතාව කලබලයට පත්ව සිටිති. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද ඉන්දීය බලධාරිහු ප්‍රකාශ කළහ.

ටියුෂන් පන්තිත් දෙසතියක් නෑ




රජයේ තීරණය අනුව කටයුතු කරමින් අද (13) සිට මෙම මස 27 වැනිදා දක්වා සති දෙකක කාලයක් පෞද්ගලික උපකාරක පන්ති ද නොපැවැත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා වෘත්තීය
දේශකයන්ගේ සංගමය පවසයි. ඒ අනුව සංගමයට සම්බන්ධ සියලු ගුරුවරුන් මෙම කාලයේ දී උපකාරක පන්ති පැවැත්වීමෙන් වැළකී සිටින බවත්, සති දෙකක උපකාරක පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස සංගමයේ සාමාජිකයන් නොවන සියලුම උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ද ඉල්ලා සිටින බවත් එම සංගමයේ සභාපති අමිත් පුස්සැල්ල මහතා ඊයේ (12) පැවසීය.

අධ්‍යපන අමාත්‍යවරයා සහ කොරෝනා මර්දන ජාතික ක්‍රියාකාරී කමිටුව විසින් කර ඇති ඉල්ලීමක් අනුව මෙම තීරණය ගත් බව ද සභාපතිවරයා කීවේය.  ඔහු මේ බව පැවසුවේ නුගේගොඩ 'සැසිප්" උපකාරක පන්ති  ආයතනයේ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ ලේකම් කමල් ප්‍රියංකර, උපසභාපති තිස්ස ජනනායක සහ අනුශාසක නිහාල් ලියනගේ යන උපකාරක පන්ති ගුරුවරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

-ඩයනා උදයංගනී-

95%ක් පමණ පාක්ෂිකයන් සිටින්නේ සජිත් සමගයි

ගම් මට්ටමේ සිට 95%ක් පමණ පාක්ෂිකයන් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග බවත්, දෙපාර්ශවය එකතු කිරීමේ සාකච්ඡා තවමත් අවසන් නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත ස්නාරත්න මහතා පැවසීය.

ස්නාරත්න මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (12දා) සමගි ජනබලවේගය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 

"අපට හංගන්න දෙයක් නෑ. අද වෙද්දී එක්සත් ජාතික පක්‍ෂය කියන ඓතිහාසික දේශපාලන පක්‍ෂය කඳවුරු දෙකකට බෙදිලා තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ 95%ක් විතර සමගි ජනබලවේගය සමග එකතු වී හමාරයි. ගම් මට්ටමේ ජනතාව දැන් ඉන්නේ සජිත් එක්ක ඉදිරියට යන්න ඕන කියන අදහසින්. මම ලකුණ ගැන ඇහුවාමත් ලකුණ ගැන ප්‍රශ්නයක් නෑ කිව්වා.

උගත් ජන සමාජය අද වෙද්දි පක්‍ෂවලින් ලාංඡනවලින් ඉවත්වෙලා තිබුණට, ගම්වල ජනතාව එහෙම ඉවත් වෙන්නෙ නෑ කියලා අපි හිතුවට අද වෙද්දි ඒ තත්වය වෙනස් වෙලා තියෙනවා. මේ රජයට එරෙහි සියලු බලවේග සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් එකට එකතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. රජය පැත්තෙත් අද විශාල අර්බුදයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග විශාල ගැටීමක් තියෙනවා. රජය බිහි කිරීමට දායක වූ භික්‍ෂූන් වහන්සේලා පවා අද රජයට එරෙහි වෙලා තියෙනවා” යනුවෙන්ද සඳහන් කර සිටියේය.

දෙපාර්ශවය අතර එකඟතාවක් නොමැති බව පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ස්නාරත්න මහතා,

"මම අදත් රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග සාකච්ඡා කළා. තවමත් ඒ සාකච්ඡා අවසන් නෑ. කරු ජයසූරිය මහත්මයාගේ නායකත්වය යටතේ ඉදිරිපත් වෙන්න සජිත් ප්‍රේමදාස මහත්මයත්, රනිල් වික්‍රමසිංහ මහත්මයත් දෙදෙනාම කැමති වෙලා හිටියේ. කවුරු හරි ඒක කඩාකප්පල් කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් මෙහෙට එන්න පුළුවන්. සියලුදෙනා මෙතනට එකතු වුණාම එයාට තනියම එතන ඉඳලා වැඩක් නෑනේ" යනුවෙන්ද පවසා සිටියේය.

- නවෝද්‍යා පවනි-

ටයරයක් පෙරළා සිසුවකුට බරපතළ තුවාල සිදුකිරීම : ජ'පුර සිසුහු 6ක් රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකුගේ හිසට ටයරයක් පෙරළා බරපතළ තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුන් 6 දෙනකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (12) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මාතලේ, කරන්දෙණිය, හිගුරක්ගොඩ, බලංගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි රන්කොත්ගෙදර දිමුත් තස්සර සිරිවර්ධන, ජී.ඩී.එස්. ශ්‍රීමාල් අමරසිරි, අයි.ඩී. නලින් චතුරංග, ඩබලිව්. ලහිරු ප්‍රියලාල්, කේ.ඩබ්.ඒ. රංගන වලිසිංහ සහ කේ.ඒ.ජී. විභූති සුමිත් කාරියවසම් යන අයයි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 316, 300 වගන්ති ප්‍රකාරව බරපතළ තුවාල සිදුකිරීම, මිනීමැරිමට තැත්කිරිම සහ 1998 අංක 20 දරන නවක වද පනතේ 2, 4, 9 වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් වැරැදි සිදුකර ඇතැයි සදහන් කරමින් මිරිහාන පොලීසිය අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ කිසිදු අනුමැතියකින් තොරව මෙම සැකකාර ශිෂ්‍යයින් එම සාදය සංවිධානය කර ඇති බවත් සිද්ධිය වූ ස්ථානයට ඔවුන්ට ප්‍රවේශවීමට කිසිදු අවසරයක් හෝ ලබාගෙන නොතිබි ඇති බවත් මිරිහාන පොලීසිය සිය වැඩිදුර වාර්තාව මගින් අධිකරණය දැනුවත් කර තිබිණි.

එසේම, මෙම සැකකාර ශිෂ්‍යයන් සිද්ධිය වන විට බීමතින් සිට ඇති බවට ඔවුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වන අතර, නවක වද සිද්ධියක් හේතුවෙන් මෙම ක්‍රියාව හිතාමතා සිදුකර ඇති එකක් බවට තොරතුරු හෙළිවී ඇති බව ද මිරිහාන පොලීසිය අධිකරණය  වෙත කරුණු ඉදිරිපත් කළේය. මෙම සිද්ධියෙන් හිසෙහි බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින පසිදු හිරුෂාත් ශිෂ්‍යයා ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බවත් ඔහුගේ ජීවිතය පිළිබඳව නිගමනයක් දිය නොහැකි බවට රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇති බවත් මිරිහාන පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් මිරිහාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක උදය හේමත විජයවර්ධන, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඛාත් වීරසිංහ, උපපොලිස් පරික්ෂක කුලරත්න බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් (82128) කෝසල යන නිලධාරිහු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් නීතිඥ විදුර මංචනායක, නීතිඥ ප්‍රදීප් සිල්වා, නීතිඥ ශමා චන්ද්‍ර, නීතිඥ වෙනුර යොහාන් ගමගේ සහ නීතිඥ උදාර රුකුමාර යන මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් මිරිහාන පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය. මෙම සැකකරුවන් අදාළ සාදය පවත්වා තිබුණේ විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ කිසිදු අනුමැතියකින් තොරවයි. එම ස්ථානයේ මේ ටයර් එක ගෙනැවිත් දාපු එකක්. මේ විශ්ව විද්‍යාලයේ යම් යම් ස්ථානවල මෙවැනි ටයර් තිබෙනවා. වෙනත් තැනකින් තමයි මේ ටයර් එක ගෙනත් තිබෙන්නේ. සිද්ධිය වුණ තැනට උඩින් පිහිටි පිට්ටනයකින් තමයි මේ ටයරය අරගෙන යන්නේ.

මෙහි පළමු සැකකරු තමයි මේ ටයර් එක “තල්ලු කරන්න එපා” කියලා කියලා තිබෙන්නේ. ඒ වගේම මේ ශිෂ්‍යයා අනතුරට ලක්වුණාට පස්සේ රෝහල්ගත කරපු ශිෂ්‍යයාත් මේ සැකකරුවන් අතර සිටිනවා. ඒ ඉන්නේ ඔවුන් මේ සිද්ධියේ සිටිය නිසයි. මේ සියල්ලම මොවුන්ගෙන් කරන ලද ප්‍රකාශවලින් අනාවරණය වෙලා තිබෙනවා. පළමු වසර ශිෂ්‍යයන්ට යම් පීඩනයක් තිබුණු බවට මේ ප්‍රකාශයන්ගෙන් අනාවරණය වෙලා තිබෙනවා. මොවුන් විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ සිට මත්පැන් පානය කරලා ඊට පස්සේ සිද්ධිය වූ ස්ථානය එනම් ගල් පිට්ටනියට එනවා. මොවුන් ශ්‍රවණාගාරයට ගිහිල්ලා මත්පැන් බොනෙත් මේ පළමු වසරේ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලලා ලබාගත් මත්පැන් බෝතල්වලින්.

මේ තැනට එන්න අවසන් වසරේ ශිෂ්‍යයින්ට කිසිදු අවශ්‍යතාවක් නැහැ. මෙතැන නවක වදය සම්බන්ධ දෙයක් සිදුවුණේ නැත්නම්. මේ සිද්ධිය වෙන්නේ පාන්දර 1.30ට විතර.  මෙම සිද්ධියෙන් අනතුරට පත් ශිෂ්‍යයාගේ ජීවිතය පිළිබඳව නිගමනයක් ලබා දෙන්න බැහැ කියලා රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා. ඔහු යන්ත්‍රවලින් ජීවත් වෙන්නේ . මෙම සිද්ධියට අදාළ තවදුරටත් විමර්ශන පවතිනවා. ඒ හේතුවෙන් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.

සැකකාර ශිෂ්‍යයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු :එදින පැවැතුණේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක්. මේ උත්සවය සාමාන්‍ය තත්වයක්. මේ කරපු දේ මිනීමැරිමට හෝ වෙනත් කරදරයක් සම්බන්ධයෙන් හිතා මතා කළ දෙයක් නොවෙයි. එය සතුටින් සමරන සාදයක්. මේ සිද්ධියට පාදක වුණේ බැකෝ යන්ත්‍රයක ටයරයක්. මෙවන් අනතුරක් සිදුකිරිමට ඔවුන්ට කිසිදු චේතනාවක් තිබුණේ නැහැ. මේ සිද්ධිය නවක වදය හේතූවෙන් සිදුවුණා කියලා කිසිම සාක්‍ෂියකින්  අනාවරණය වෙන්නේ නැහැ. මේක හිතාමතා කළ දෙයක් නොවෙයි කියලා ඒකෙන්ම තේරෙනවා. මෙම සිසුවන් අවසන් වසරේ අධ්‍යාපනය ලබන අය. මෙය හිතාමතා කළ දෙයක් නොවෙයි. මොවුන් අවසන් වසරේ විභාගය සඳහා ලබන 26 වැනිදා පෙනී සිටීමට සුදානමින් සිටිනවා. ඕනෑම කොන්දේසියක් මත ඔවුන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය ඇතුළේ සි.සී.ටී.වී. කැමරා සවි කර තිබුණා නම් මෙම සිද්ධියේ නිවැරදි තොරතුරු හෙළි කරගන්න පුළුවන්. නමුත් මෙහි සී.සී.ටී.වී. පද්ධතියක් නැහැ. ඒවා සවි කරන්නේ නැත්තේ කුමන හේතුවක් මත ද කියලා විශ්වවිද්‍යාල කුලපතිවරයාගෙන් කරුණු විමසන ලෙසට ඉල්ලා සිටිනවා.

අධිකරණය: පොලීසිය කරන වීමර්ශනවලට බාධාවක් වන ඕනෑම අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරත්ත. සැකකරුවන්ට එරෙහිව නවක වද පනත ප්‍රකාරව චෝදනා නැගීම පිළිබඳව මවන වෙනම සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරි දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට පැමිණිල්ලට නියෝග කරනවා. මට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක්  නඩුව කල් තැබීය.

ගුවන් මගීන් නිරෝධායනයට රජය ගෙනයන වැඩපිළිවෙළට සහය වන්න


ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වන ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.මෙසේ නිරෝධායනයට ලක් පිරිස් පහසුකම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් විරෝධතා පවත්වමින් සිටිති.

මේ පිළිබඳ සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වූවෙකු වන ගයාන් මංජුල සපරමාදු මහතා සඳහන් කරන්නේ මෙහිදී ඔවුන් කොන් කිරීමක් නොකරන බවත්, සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්ය.

"අපි අවුරුදු 15-16ක් තිස්සේ දුක් විඳිනවා (සංචාරක ක්ෂේත්‍රයේ). දැන් දවස් 14ක් දුක් විඳින්න බැරිලු. දවස් 14ක් දුක් විදින්න බෑ එයාලගේ බිරිඳ හා දරුවන් ළඟට යන්න. අපිත් දුක් විදිනවා. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අයට ලොකු දුකක්, කරදරයක් ලැජ්ජාවක් කියලා. අපි නිකං ලැබෙන අශ්වයාගේ දත් ගණින්න යන්නේ නෑ. 
පාකිස්තානයේ නිරෝධායනය කරන්නේ කුඩාරම්වල තියාගෙන”යනුවෙන්ද ඔහු සඳහන් කරයි.

"නිරෝධායන වෙන එක තමන්ටත් හොඳයි. එතකොට රෝගය නෑ කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉවසන්න. 

අද රුපියල් 7500කට ඇඹරෙනවා. පහසුකම් ඕන නම් හොඳ හෝටලයකට ද යන්න තිබුණා. දවසකට රුපියල් 40,000යි. ඔයාලා හොයනවට වඩා වැඩි විදේශ විනිමයක් අපි සංචාරක ක්ෂේත්‍රයෙන් උපයනවා. ඔයලා හිටපු රටවල්වල නිරෝධායනය වුණා නම් මේ වගේ සැපක් ලැබෙයි කියලා හිතන්නේ නෑ.

මේක සමස්ත රට වෙනුවෙන් කරන දෙයක්. ඒ නිසා ඉදිරියේදී එන්න ඉන්න අයත් දැන් ඇවිත් ඉන්න අයත් කල්පනාවෙන් වැඩ කරන්න. බොරුවට රඟපාලා ලෝකේ හිනස්සවන්න එපා. මේ කොන්කිරීමක් නෙවෙයි. සමස්ත රට වෙනුවෙන් කරන දෙයක්. දවස් 14 ඉවසන්න. මීට වඩා දේවල් ඔයාලා ඉවසලා තිබෙනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කරයි.

Thursday, March 12, 2020

වෙඩීවැදී මියගිය කෙනරකගේ සිරුරක් සොයාගනී



මොරගොල්ලාගම, කුඹුක්කඩවල, කදුරුවැව ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් පසුවූ කෙනරක ජීවිතක්‍ෂයට පත්ව සිටින බවත්, එම කෙනරගේ බවට සැකකරන මාස හතක් පමණ වයසැති අලි පැටවෙකු ඒ අවට කැලබද ප්‍රදේශයේ තනිව සැරිසරමින් සිටින බවත් වනජීවී කාර්යාලය පවසයි.

මියගොස් සිටින අලියෙකුගේ මළ සිරුරක් වනාන්තරයක තිබෙන බවත්, තවත් අලි පැටවෙකු ඒ අවට සැරිසරමින් සිටින බවටත් ප්‍රදේශවාසීන් වනජීවී කාර්යාලයට දැනුම්දීමෙන් අනතුරුව කෙනරගේ මළසිරුර සායාගෙන තිබෙන අතර, එම කෙනෙර මියගොස් දින කිහිපයක් ගතවීමෙන් එකී සිරුර දැඩි ලෙසට නරක්වී තිබේ.

මීගලෑව හා හේරත්ගම වනජීවී කලාප සීමාවන් අතරට අයත් මොරගොල්ලාගම කදුරුවැව ප්‍රදේශයේ මෙම කෙනර අසාධ්‍ය තත්වයේ පසුවන බවට ප්‍රදේශවාසින් දැනුම් දීමෙන් අනතුරුව අපේ නිලධාරීන් පිරිසක් පසුගිය 08 වැනිදා එහි ගොස් සතා නිර්වින්දනය කර ප්‍රතිකාර ලබා දුන් බවත්, ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවේදී ඉදිරි
පාදයක තිබෙන තුවාලයකින් සැරව ආදීය ගැලීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් පසුව කෙනර ඊට පසුදින මිය යන්නට ඇති බවද වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මියගිය බවට ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමෙන් පසුව කෙනර මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇති බවත්, නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ නිලධාරීන් වෙනත් රාජකාරීමය කටයුතුවල නියැළෙන නිසා මෙහි පැමිණෙන්නට නොහැකි තත්වයක් උදාවී තිබූ බවත් එම කාර්යාලය සඳහන් කරයි.‍

කෙසේ වෙතත් නිකවැරටිය වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය (වයඹ) ඉසුරු හේවාකෝට්ටගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අසාධ්‍ය තත්වයේ සිට මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (11 )දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අතර එම කෙනරගේ බවට සැකකරන අඩි තුනක් පමණ උසැති පැටවා රංචුවෙන් ඉවත්ව කිරි බීමට නොහැකිව ඒ අවට සැරිසරන බවට ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් මත පෙරේදා (10දා) සවස් යාමයේ එහි ගොස් අවට කලාව පුරාවට පරික්ෂාවට ලක් කළත් එවැනි පැටවෙකු සොයාගැනීමට නොහැකිවූ බවත් වනජීවී කාර්යාලය පවසා සිටියේය.

කෙසේ වෙතත් එවැනි පැටවෙකු සිටී නම් එම සතා වනජීවී භාරයට ගෙන ජීවිතය බේරාගැනීමට අවශ්‍ය කටයුතු කරන බව හේරත්ගම අඩවි වන ආරක්ෂක ඩී.පී.ගාමිණි බණ්ඩාර මහතා පැවසීය.

- සිසිර කැලේගම -

වැල්ලවත්ත - බත්තරමුල්ල බෝට්ටු සේවය ඇරඹෙයි



වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ඊයේ (11දා) දින ආරම්භ කෙරිණි. රුපියල් 60ක ප්‍රවේශපත්‍රයක් මිලදී ගනිමින් අඩු කාලසීමාවක් ඇතුළතදී තම ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට මෙහිදී ජනතාවට හැකියාව ලැබේ. මේ වනවිට මෙම සේවය සඳහා බෝට්ටු හතරක් යොදා ඇති බවත්, ඉතා ඉක්මනින් බෝට්ටු ප්‍රමාණය වැඩිකරමින් මගී ජනතාවට පහසුකම් සලසාදීමට කටයුතු සිදුකරන බවත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, විශ්‍රාමික ජනරාල් එම්.ආර්.ඩබ්. ඩී. සොයිසා මහතා පැවසීය.

මේ බෝට්ටු රථ ධාවනය කිරීම සඳහා නාවික හමුදාවේ පළපුරුදු විශ්‍රාමික නාවික නිලධාරීන් යොදවාගන්නා බවත්, මගීන්ගේ උපරිම ආරක්ෂාව සඳහා කටයුතු සැලකිලිමත්ව ක්‍රියාකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට නාගරින සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, විශ්‍රාමික ජනරාල් එම්.ආර්. ඩබ්.ඩී. සොයිසා මහතා, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියාල් ඩී. සිල්වා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.

- ෂවින්ද්‍යා එරන්දතී -

බලයේ රැඳී සිටීමට කල්පනා නොකර තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දෙන්න


බලයේ රැදී සිටීමට කල්පනා නොකර අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව සලසා දිය යුතු බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති වන්නිලා ඇත්තන් පැවසීය. ආදිවාසී නායකයා මේ බව පැවසුවේ, පෙරේදා (11දා) දඹාන, කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තු මැතිවරණයත් සමග රට තුළ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුමත් සමග ජනතාවගේ ගැටලු අමතක කර, සුරංගනා කථා දොඩමින් රට පුරා මැතිවරණ පොරොන්දු දෙමින් යළි ජනතාව රවටමින් දේශපාලකයන් කටයුතු කරන සමයක් හේතුවෙන් ජනතාව ඒ පිළිබඳව අවදියෙන් සිටිය යුතු බව වන්නිල ඇත්තෝ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකවරයා,

"අපේ රටට නිදහස ලැබුණාට පස්සේ මේ රටේ විවිධ කාලවලට පත්වෙච්ච නායකයො, පාලකයෝ විවිධ ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් පත්වෙලා තියෙනවා. මම විශ්වාස කරන විදියට මම දැක්ක විදියට මේ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, සංස්කෘතිය ගැන හිතලා වැඩ කරපු අය බොහොම අල්පයි.

රට පාලනයට අලුතින්ම කණ්ඩායමක් පත්විය යුතුයි කියලා වත්මන් ජනාධිපතිවරයා මේ වෙනකොට හොඳ තීරණයකට එළැඹිලා ඉන්නවා. පසුගිය  කාලය දෙස හැරිලා බලන විට ඒ හැම දවසකම රටේ කථාබහට ලක්වුණේ රටේ පාලකයන් කරපු දූෂණ, භීෂණ, මංකොල්ල ගැන. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න, බඩු මිල ඉහළ යෑම්, ජීවත් වීමේ අපහසුව ගැන කථා කරනවා වෙනුවට පසුගිය කාලය පුරාම මුල් තැන අරගෙන කථා කළේ රටේ සිදුවෙච්ච භීෂණ, දූෂණ, වංචා ගැන. ඒවාගෙන් තාමත් රටට ප්‍රතිඵලයක් ලැබිලා නෑ කොච්චර කථා කළත්,  ඒ නිසා මේ රටේ වැදගත් ඡන්දයක් උදාවෙලා තියෙන කාලයක වකවානුවක, රටේ ජනතාව බුද්ධිමත්ව හිතලා තීරණයක් අරගන්න ඕන. රට, ජාතිය, ආගම, සංස්කෘතිය, පරිසරය ආරක්ෂා කරන, බුද්ධියෙන් හිතලා මතලා වැඩ කිරීමේ හැකියාව තිබෙන ජවසම්පන්න තරුණයෝ පාර්ලිමේන්තුවට පත්කරලා යවන්න. ආණ්ඩුවක් වශයෙන් බලයට පත් විය යුත්තේ එහෙම කණ්ඩායමක්.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තිබෙනවා. ඒ ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න පිරිස් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනිනවා. ඉතිහාසයේ ඉඳලම පැන පැන ඉන්න බොහෝ පිරිසකගෙන් පිරිච්ච පක්ෂ දෙකක් තියෙන්නේ. ඒ අය ගැන හොඳට විපරම් කරලා බැලුවාම හැරමිටියක් නැතුව පාරේ බැහැලා යන්න අමාරු වැඩි පිරිසකුත් ඒ අය අතර ඉන්නවා. කෙනෙක් වයසට යනවා කියන්නේ යහපත් කල්පනාවක් නැති, කාගෙවත් උදව්වක් නැතිව යමක් කරගන්න බැරි තත්ත්වයට පත්වන, අත දරුවෙක් වගේ ළමා කාලයේ හැසිරීම් පෙන්නන සමයක්. ඒ වගේ කණ්ඩායම් දැන්වත් තරුණ පරපුරට නායකත්වය භාරදීලා, තරුණයන්ට උපදේශකත්වය ලබාදෙමින්, රට පාලනය කරන ආකාරය ගැන තමන්ගේ අත්දැකීම් ගුරු හරුකම් ලබාදෙන්න ඕන. 

හැම දවසෙම බලයේ රැදී සිටීමට කල්පනා කිරීම තේරුමක් නෑ. රටට සෙතක් නෑ. දැන් රටේ ජනතාවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටේ වයසක දේශපාලකයෝ ගැන හිතලා, ඒ අය නැවත පත් කරගැනීමෙන් වැළකී, අලුත් තුන්වන පරම්පරාවට රට පාලනය කරන්න අවස්ථාව දෙන්න. මට පක්ෂයක් පාටක් නෑ. අරයා හොඳයි මෙයා හොඳයි කියලා මම කියනවා නෙවෙයි. මම රටට දෙන පණිවිඩය තමයි, රටට වැඩ කරන්න පුළුවන්, හොර බොරු නැති වංචාව නැති, කථා කරන ආකාරයෙන්ම වැඩ කරන තරුණ පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්න කටයුතු කරන්න කියලා.

මට දැනගන්න ලැබුණා අස්ගිරිය, මල්වතු විහාරයන්හි නායක හිමිවරුත් හොඳ තීරණයක් අරගෙන තියෙනවා කියලා. මමත් ඒ තීරණයම අනුමත කරනවා. මේ වාරයේදීවත් හොඳ හැටි කල්පනා කරලා, හිතවතා කියලා යාළුවා කියලා නෑදෑයා කියලා හිතන්නේ නැතිව රටට වැඩ කරන පුද්ගලයෙක්ට කතිරේ ගහලා පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න කියලා මම රටේ ජනතාව දැනුවත් කරනවා” යැයි පැවසීය.

- රංජිත් කරුණාවීර -

'ආසියානු' ක්‍රිකට් පිටියට 'කෝවිඩ් 19 'යෙන් බලපෑම්


‘කෝවිඩි-19 වෛරසයේ බලපැමත් සමඟ එළඹෙන 29දා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් 2020 තරඟාවලියේදී ප්‍රේක්ෂකයන් සහභාගි කරගැනීම සම්බන්ධයෙන් මේ වන විට දෙගිඩියාවක් මතුව ඇති බව 'ඉන්දියා ටුඩේ' වෙබි අඩවිය වාර්තා කරයි.

ක්‍රිකට් ලෝලීන්ගේ ඉහළ සහභාගිත්වයක් සහිතව පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ මෙවර අදියර සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය අවම කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි. කෙසේ වෙතත් සාමාන්‍ය පරිදි තරඟාවලිය පැවැත්වූවත් ක්‍රීඩකයන්ට යම් යම් තහංචි පැනවෙනු ඇති බව වාර්තා වේ. ඒ අනුව අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට ප්‍රේක්ෂකයන් සමග සෙල්ෆි ගැනීම තහනම් වීමට වැඩි අවස්ථාවක් පවතී. එමෙන්ම ක්‍රීඩකයන් එසේ සිදුකරන්නට පෙළඹෙන්නේ නම් එය පාලනය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ මෙවැනි තීරණයක් ගැනීම මේ සඳහා විසඳුමක් නොවන බවයි. මේ අතර අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අයි. පී.එල්. තරගාවලිය කල් දමන ලෙස මදුරාසි මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, කර්නාටක ප්‍රාන්තය බැංගලෝර්හි පැවැත්වෙන තරඟ සඳහා මේ වනවිට ඉහළ දේශපාලන අධිකාරීයෙන් උපදෙස් පතා ඇති බවද වාර්තා වේ. 

ඉන්දියාව තුළ දිනෙන් දින කෝවිඩ්19 ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බැවින් අයි.පී.එල්. තරගාවලිය කල් දැමිය යුතුද යන්න පිළිබඳ ඉන්දීය රජය සාකච්ඡා කරමින් සිටින බව මහාරාෂ්ට සෞඛ්‍ය ඇමතිවරයා තහවුරු කර ඇති බවද වාර්තා වේ. එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවිරව් ගංගුලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සුපුරුදු පරිදි අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන බවයි.


එංගලන්තය අතට අත දීමෙන් වළකියි 

ටෙස්ට් තරඟ දෙකක් සඳහා එංගලන්ත කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර, ඔවුන් සිය සංචාරය අතරතුරදී වෙනත් පුද්ගලයන් සමග අතට අත (Handshakes) දීමේ ක්‍රමය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත. 

'එවරස්ට් ලීග්' කල් දමයි

නේපාලයේ පැවැත්වෙන ජනප්‍රියම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන 'එවරස්ට්' ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය එරට රජයේ දැනුම්දීම මත කල් දැමීමට තීරණය කර ඇත. 

දකුණු අප්‍රිකාවත් විශේෂ අවධානයකින්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද (12දා) ආරම්භ වීමට නියමිතව තිබෙන තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සැලසුම් කරගත් පරිදි පැවැත්වේ. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස කරමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරින් මෙම තීරණය ගෙන ඇත. කෙසේ නමුත් ඉන්දියාව තුළ සංචාරය කිමේදී විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් දකුණු අප්‍රිකාව විසින් අනුගමනය කරනු ලබයි. එමෙන්ම දකුණු අප්‍රිකාවද එකිනෙකා සමග අතට අත දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. 

බංග්ලාදේශයෙන් සීමා

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ද විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නංවා තිබිණි. ඒ අතරින් තරඟ ප්‍රවේශපත් මිලදී ගැනීමද සීමාකර තිබූ අතර, ඒ හේතුවෙන් 25,000ක පමණ ධාරිතාවක් තිබූ හේ බංග්ලා ක්‍රීඩාංගණයට පැමිණියේ පහෙන් එකක් වැනි පිරිසකි.

ආරක්ෂිත රැකවල් මැද පී.සී.එල්.

පාකිස්තානයේ පැවැත්වෙන ප්‍රධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන පාකිස්තාන ප්‍රිමියර් ලීග් (පී.සී.එල්) ක්‍රිකට් තරගාවලිය සැලසුම් කරගත් පරිදි කරච්හිදී පැවැත්වීමට තීරණය කර ඇත. කෙසේ නමුත් අනුග්‍රාහකයන්ගේද සහයෝගය ඇතිව ප්‍රේක්‍ෂකයන්ගේ උපරිම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය රජයට සිය එකඟතාව පළකර ඇත.

මුහුණුපොතේ දැන්වීම් දමා කුලියටගත් වාහන විකුණූ තරුණයා කිරුළපනින් අල්ලයි



මුහුණු පොත හරහා දැන්වීම් පළකොට කුලී පදනම මත ලබා ගන්නා ඇති සුඛෝපභෝගී වාහන උකස් කිරීමෙන් හා විකිණීමෙන් මුදල් ඉපයීමට පුරුදුව සිටි පුද්ගලයකු ඊයේ අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි. ව්‍යාජ ලිපි ලේඛන සකසා වංචා කර තිබූ වාහන පහක් ද පසුව සොයා ගත් බව පොලිසිය කියයි. මෙම ජාවාරම කරගෙන යාම සඳහා සැකකරු මුහුණු පොතෙහි දැන්වීමක් පළකොට ඊට ප්‍රතිචාර ලැබෙන ප්‍රදේශයෙන් එක් දින කුලී පදනම යටතේ කාමරයක් ගෙන එහි කාර්යාලයක් පවත්වාගෙන යන අයුරින් ගනුදෙනුකරු රවටා එහි රැඳී සිටිමින් ඉතා  සූක්ෂම ලෙස මෙය කරගෙන විත් ඇති බව පැවසේ.

ඒ අනුව එම කාර්යාලයට පැමිණෙන වාහන හිමියන් හමුවේ ටයිකෝට් පැළඳ ආයතන හිමිකරු සේ පෙනී සිටිමින් වාහනවලට වැඩි මිලක් ලබා දෙන බවට පොරොන්දු වී මෙම වාහන කුලියට ගෙන ඇතැයි පැවසේ.
මෙම වංචාවට හසු වූ කිරුළපන විජය කුමාරතුංග මාවතේ පුද්ගලයෙකුගෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙසේ වංචා කළ වාහන පහක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව මෝටර් රථ දෙකක් වෑන් රථයක් ජීප් රථයක් හා කැබ් රථයක් සොයා ගත් බවත් ඉන් සොයා ගත් වෑන් රථය යක්කල ප්‍රදේශයේ  පුද්ගලයකුට රුපියල් ලක්ෂ හතරකට විකුණා තිබිය දී සොයා ගත් බවත් පොලිසිය පවසයි. මෙසේ සොයා ගත් වාහනවල වටිනාකම  රුපියල් කෝටි හතරකට ආසන්න බවත් ඒවා උකස් කර තිබුණේ රුපියල් ලක්ෂ 2, 2 , 3, 3 වැනි මුදලකට බවත් පැවසේ.  සොයාගත් එක් මෝටර් රථයක් වත්තලින් ද තවත් මෝටර් රථයක් කළුබෝවිලිත් ද කැබ් රථය වත්තලින් ද ජීප් රථය දෙමටගොඩින් ද සොයා ගත් බව පොලිසිය කියයි.

සැකකරු මෙසේ තවත් වාහන වංචා කර ඇති බවට පොලිසිය සැකකරන අතර එසේ වංචාවට ලක්වූ යම් අයකු වෙතොත් කිරුළපන පොලිසියට දැනුම් දෙන ලෙස ද ජනතාවට දන්වා සිටී. ඒ අනුව අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි සැකකරු අලුක්කඩේ අංක ii අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-ශාන්ත ප්‍රදීප් කුමාර-

ජපන් වාහන ගණන් උස්සයි



රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකේ අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පිරිස් මහතඊයේ (11) පැවැසීය. ජපන් යෙන් එකක අගය රුපියලයි සත හැටතුනේ සිට රුපියලයි සත හැත්තෑ අට දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාහනවල සී.අයි.එෆ්. වටිනාකම සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද රජන් පීරිස් මහතා සඳහන් කළේය. 

ඒ අනුව මෙරට වැඩි වශයෙන් අලෙවි වන සුසුකි වැගන් ආර් මෝටර් රථයක් රුපියල්  1,70,000කින් ද ටොයොටා පැසෝ මෝටර් රථයක් රුපියල් 1,60,000කින් ද ටොයොටා විට්ස් මෝටර් රථයක් රුපියල් 2,40,000කින් ද  ටොයොටා ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් 3,75,000කින් ද ටොයෝටා ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් 4,00,000කින් ද ටොයොටා රයිස් මෝටර් රථයක් රුපියල් 4,00,000කින් ද ටොයොටා සී.එච්.ආර්. මෝටර් රථයක් රුපියල්  4,70,000කින් ද ටොයොටා වෙසල් මෝටර් රථයක් රුපියල් 4,00,000කින් ද ටොයොටා  ග්‍රේස් මෝටර් රථයක් රුපියල් 3,50,000කින් ද මිල ඉහළ යනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙයට සාපේක්ෂව ආනයනික සියලුම ජපන් මෝටර් රථවල මිල ඉහළ යනු ඇතැයි ද රන්ජන් පීරිස් මහතා පැවසීය. මේ වන විට වෙළෙඳපොළේ පවතින මෝටර් රථ පැරණි මිලටම ලබාගැනීමට අවස්ථාව ඇති බැවින් අලුතින් වාහන මිල දී ගැනීමට සිටින පාරිභෝගිකයන් හැකි ඉක්මනින් වාහන මිල දී ගන්නා ලෙස ද රජන් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-නිමල කොඩිතුවක්කු-


කුකුළු මස් කිලෝවක උපරිම මිලක්


කුකුළු මස් මිල ඊයේ (11දා) මධ්‍යම රාත්‍රී සිට පහත දැමූ බවට පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව මිල රුපියල් 475කට පැවති හම සහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 430ක් දක්වාත් එසේම මිල රැපියල් 600ක්ව පැවති හම රහිත බ්‍රොයිලර් කුකුලු මස් කිලෝවක මිල රැපියල් 530ක් දක්වාත් පහත දමා තිබේ. 

රට තුළ බඩඉරිඟු හිඟයක් නිර්මාණය කොට උත්සව සමයේදී කුකුළු මස් මිල ඉහළ දැමීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් රජය මෙම තීරණයන්ගෙන ඇත. ඒ අනුව බඩඉරිඟු වෙළෙඳාමෙන් අසාධාරණ ලාභ උපයන අතරමැදියන් මෙම ප්‍රයත්නය පිටුපස සිටින බවට හෙළි වී තිබේ.

මේ අතර ප්‍රමාණවත් පරිදි බඩඉරිඟු තොග තිබියදී රට තුළ කෘත්‍රිමව බඩඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සාහය පිළිබඳව වහා පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස්දී ඇත.

හෙතෙම මෙම උපදෙස් ලබාදී ඇත්තේ බඩඉරිඟු ගොවි සංගම් නියෝජිතයන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ පාරීභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11දා) පැවති සාකච්ඡාවකින් අනතුරුවය. 

අක්කර 70,000ක භූමි ප්‍රමාණයක මෙරට බඩඉරිගු වගා කර ඇති අතර, ඉන් මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනක අස්වැන්නක් ලැබී ඇති බවත්, එහෙත් එය වෙළෙඳ පොළට පැමිණ නැති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත. එසේ සත්ව ආහාර නිෂ්පාදනය ඇතුළු වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 450,000කි. ඒ අනුව 2018 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 133,128ක් ආනයනය කරනු ලැබ ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 6,718ක මුදලක් වැය කර තිබේ. 

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 87,109ක් ආනයනය කර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 4,846ක මුදලක් වැය කර ඇති බවත්ය. බඩඉරිගු කිලෝවක් සඳහා ගොවීන්ට ගෙවිය යුතු අවම මිල රුපියල් 50ක් වන අතර, උපරිම අලෙවි මිල කිලෝවකට රුපියල් 55ක් ලෙස නියම කර තිබේ. මේ අතර බඩඉරිඟු වගාව සංවර්ධනය කරමින් ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ බඩඉරිගු ආනයනය පසුගියදා නතර කරනු ලැබීය.

ඒ අනුව ඉදිරියටත් බඩඉරිගු ආනයනය නොකෙරෙන බවට ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය. මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලු ඉඩම්වල බඩඉරිඟු වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එහිදී වාර්ෂික බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 08 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන බවත් එම මාධ්‍ය ඒකකය සඳහන් කළේය. ඒ අනුව මහා පරිමාණ වගාකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් රාජ්‍ය බැංකු හරහා සැපයෙනු ලැබේ.

- නිදර්ශනී වික්‍රමසිංහ -

තෙල් මිල අඩු කළොත් මීටරේ දෙවැනි කිලෝමීටරය රු.5කින් බස්සනවා



රජය තෙල් මිල අඩු කළ වහාම ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටර ගාස්තුව රුපියල් 5.00 කින් අඩු කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය. ඒ අනුව දැනට රුපියල් 40ක් වන දෙවැනි කිලෝමීටර ගාස්තුව රුපියල් 35 දක්වා අඩුවනු ඇතැයි ද බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (11) පැවැති ප්‍රවෘත්තියට සාකච්ඡාවකදී ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. රජය තෙල් මිල අඩු කරන දිනට පසු දින සිට ත්‍රිරෝද රථ පදවන කිලෝමීටර ගාස්තුව අඩු කරන බවත් තෙල් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබානොදී දෙවන කිලෝමීටර ගාස්තුව අඩු නොකරත ත්‍රිරෝදවල ගමන් බිමන් යාම වර්ජනය කරන ලෙස තම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවැසීය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය රටේ ජනතාවට ලබාදීම සඳහා තෙල් මිල අඩු කරන බව රජය ප්‍රකාශ කර තිබෙන බවට පැවසූ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති ජයවර්ධන මහතා රජය තෙල් මිල අඩු කළ වහාම එම වාසිය ජනතාවට ලබාදීම සඳහා අනිවාර්යයෙන් දෙවන කිලෝමීටර ගාස්තුව  රුපියල් 5.00 කින් අඩු කළ යුතු බව ද පැවැසීය. පසුගිය රජයේ මුදල් ඇමැතිව සිටි මංගල සමරවීර මහතා හඳුන්වා දුන් මිල සූත්‍රය නිසා ත්‍රිරෝද රථ වෘත්තිකයා විශාල වශයෙන් පීඩාවට පත්වූ අතර ත්‍රිරෝද රථ කර්මාන්තයේ ගැටලු රැසක් මතු වූ බව ද කීය.

තෙල් මිල අඩු කිරීමේ වාසිය රටේ ජනතාවට ලබා දීමට නොහැකිනම් තෙල් මිල අඩු කිරිමෙන්  පලක් නැතැයි ද පැවසූ සභාපති ජයවර්ධන  මහතා තවමත් බොහෝ ත්‍රිරෝද රථ අධික ගාස්තු අයකරමින් ජනතාව සූරාකන බවත් ඇතැම් ත්‍රිරෝද රථ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100, 150 ආදී වශයෙනුත් කිලෝමීටර දෙකක් පමණ දුරක් යාමට ඇතැම් ත්‍රිරෝද රථ විදේශිකයන්ගෙන් රුපියල් 2500, 3000 වශයෙන් ගාස්තු අය කරන බව ද පැවැසීය.

ත්‍රිරෝද රථ නියාමනය සඳහා ආයතනයක් පිහිටුවන ලෙස තම සංගමය බලධාරින්ගෙන්  ඉල්ලීම් කළ ද මෙතෙක් එය ක්‍රියාත්මක කර නැතැයි නියාමන ආයතනයක් ඇතිකිරීමෙන් ත්‍රිරෝද රථ පාලනය කළ හැකි අතර මගීන් සූරාකෑම නතර කළ හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කීය. ප්‍රවාහන සේවා ඒකාබද්ධ පෙරමුණේ ලේකම් කේ.ආර්.සී.ජේ. කුමාර හා සමස්ත ලංකා වෘත්තීය රියදුරන්ගේ සංගමයේ උප සභාපති එම්. පශ්ලි ‍යන මහත්වරු ද අදහස් දැක්වූහ.

-මහින්ද නිශ්ශංක-

ගෝඨාගේ ජයග්‍රහණයට හේතු වූයේ භික්ෂූන් වහන්සේලා වුවත් පොහොට්ටුවට ඒ බව අමතක වෙලා



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා හේතු වූයේ භික්ෂූන් වහන්සේලා වුවත්, පොහොට්ටුවට ඒ බව අමතක වී ඇති බව සිංහලේ බලය ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසූහ. උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ, ඊයේ (11දා) නාරාහේන්පිට අභයාරාමය විහාරස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

‘කුමන්ත්‍රණය පරදවමු - භික්‍ෂුවගේ දේශපාලන අයිතියට අත නොතබනු' යන තේමාව මුල් කරගනිමින් මෙම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පඤ්ඤාලෝක හිමියෝ, 

“පහුගිය මාසයක දෙකක කාලයක් තිස්සේ මේ රටේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒ කුමන්ත්‍රණය තමයි භික්ෂූන් වහන්සේලාට තියෙන දේශපාලන අයිතිය විනාශ කරන එක. එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පොහොට්ටුවේ කණ්ඩායමකුත් අනියමින් කොටස්කරුවන් වෙලා මේ දේවල් කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ සජිත් ප්‍රේමදාස උත්සාහ කළා මිතුරු වෙසින්, සමාව භජනය කරමින් තමන්ගේ ප්‍රතිරූපය වෙනස් කරගන්න. ඒක සාර්ථක වෙන්නේ නෑ කියලා දැනගත්තු නිසා තමයි භික්ෂූන්ගේ දේශපාලන අයිතිය අභියෝගයකට ලක් කරන්න උත්සාහ කරන්නේ. 

මහනායක හාමුදුරුවරු ඇතුළු භික්ෂූන් වහන්සේලාත් නියමයෙන් සහ අනියමෙන් මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවෝ වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා දුක්විඳලා තමයි ගෝඨාභය රාජපක්‍ෂ වැනි ජාතික නායකයෙක් පත් කළේ. හැබැයි අද වෙද්දි පොහොට්ටුවේ කණ්ඩායමට ඒක අමතක වෙලා තියෙනවා. ඔවුනුත් භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන අයිතිය නැති කිරීමේ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට පත් වීම අතිශය කනගාටුදායකයි. 

භික්ෂූන් වහන්සේලා විතැන් වුණු දේශපාලනයකට ගියොත් කිසිම දවසක ඒ බලකඳවුරුවලට පැවැත්මක් නෑ. මේ වෙලාවේ පොහොට්ටුව සිදුකරන්නේ උක් දණ්ඩක සාරය උරා බීලා විසි කරනවා වගේ භික්ෂූන් වහන්සේලාගේ ශක්තියෙන් බලය ලබාගෙන ඒ හැම දෙයක්ම අමතක කර දැමීමක්. කිසිම අන්තවාදියෙකුට මේ රටේ දේශපාලනයේ භික්ෂූන්ගේ භූමිකාවට අත තියන්න දෙන්නේ නෑ. අපි මේ කුමන්ත්‍රණය නවත්වන්න පොහොට්ටුව වුණත්, සමගි ජනබලවේගය වුණත්, වෙනත් කණ්ඩායමක් වුණත් සටන් කරනවා. කඩේ යන දේශපාලන ක්‍රමය මහනායක හිමිවරු ඇතුළු සියලු දෙනාටම හොඳයි. තම තමන්ගේ වැඩවලට දේශපාලනය භාවිත කළාට කමක් නෑ. හැබැයි තීන්දු තීරණ ගන්න, ව්‍යවස්ථාදායක සභාවට, මේ රට හදන තැනට භික්ෂූන් වහන්සේලා යන එක වැරදියි කියලා කියන්නේ"යනුවෙන්ද පවසා සිටියේය.

- ෂවින්ද්‍යා එරන්දතී -

ආරක්ෂක නිලධාරිනියකට පහර දුන්නාට විරෝධය පා මහනුවර සීතාදේවි බාලිකාව උණුසුම්



මහනුවර සීතාදේවි බාලිකා විදුහලේ ආරක්ෂක නිලධාරිනියකට පහරදිමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම විදුහලේ දරුවන්ගේ මව්පියෝ ඊයේ (1) පස්වරුවීදී විරෝධතාවක යෙදුණහ.ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහ සගරුවන ද මෙම විරෝධයට එක්වූහ. මෙහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ විදුහලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරිනියකට පිරිමින් තිදෙනකු හා කාන්තාවක් එක්වී අමානුෂික ලෙස කළ පහරදීමට සම්බන්ධයෙන් නීතිය සාධාරණව ඉටු නොවූ බවය.  ආරක්ෂක නිලධාරිනියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් සාධාරණ පරික්ෂණයක් සිදුකර පහරදීම සිදුකළ සැකකරුවන් යළි අත්අඩංගුවට නොගතහොත් මහනුවර නගරයේ කඩසාප්පු වසා දමා උද්ඝෝෂණයක් ආරම්භ කිරිමට කටයුතු යොදන බවද ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.

පහරදීමට ලක්වූ සීතාදේවි බාලිකා විදුහලේ සේවය කළ දෙදරු මවක වූ පෞද්ගලික ආරක්ෂක ආයතනයක ආරක්ෂක නිලධාරිනිය දැනට මහනුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින්  සිටින්නීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර  මහතාගෙන් විමසුමක් කළ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ විදුහලේ ආරක්ෂක නිලධාරිනියට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි.

මහනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණයක් පවත්වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කීය. මෙම උද්ඝෝෂණය අවස්ථාවේ සීතාදේවි බාලිකා විදුහලේ ආචාරිය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ද එම ස්ථානයට පැමිණ සිටියහ. මෙම අවස්ථාවේ සිද්ධිය පිළිබඳව වාර්තා කිරිමට එහි ගිය මාධ්‍යවේදීන්ට ස්ථානයේ රැඳී සිටි  පුද්ගලයකු බලපෑම් එල්ල කළේය.

උද්ඝෝෂණය සාමකාමීව අවසන් කළ උද්ඝෝෂණයට එක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඇතුළු පිරිස  ස්ථානයෙන් ඉවත්ව ගියහ.සීතාදේවි බාලිකා විදුහලේ ආරක්ෂාවට සිටි  ආරක්ෂක නිලධාරිනියට පහරදීමට හේතුවී ඇත්තේ විදුහල් පරිශ්‍රයට බලෙන් ඇතුළු වීමට තැත්කළ මවුපියන් කීප දෙනකුට අවවාද කිරිම නිසා බව හෙළිවිය.

-ධම්මික ගුණවර්ධන-

ඉතාලියෙන් ආ දහදෙනෙක් නිරෝධනයට යද්දී ලෙඩවෙලා



ගුවන්තොටුපොළේ සිට මඩකළපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙනයමින් සිටි පිරිසකගෙන් කාත්තාවන්, කුඩා ළමයින් ඇතුළු දසදෙනකු හදිසියේ රෝගාතුර වීම නිසා පෙරේදා (10) සවස ඔවුන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබාදී ඊයේ (11) දින දහවල් වෑන් රථයකින් මඩකළපුව නිරෝධායනයට මධ්‍යස්ථානයට රැගෙන යෑමට රෝහල් බලධාරි පියවර ගත්හ. ගුවන්තොටුපොළේ සිට මෙම කණ්ඩායම බස් රථ මගින් රැගෙන යමින් සිටියදී එකවරම කාන්තාවන් දෙදෙනකුට වමනය යෑම හේතුවෙන් එම පවුල් දෙකක පිරිස මේ ආකාරයෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා පැවැසීය.

මෙම දහදෙනා වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා පෙරේදා (10) දින ගිලන් රථ මගින් මහනුවර මහ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබේ. ඉතාලියේ සිට පැමිණි පිරිස කියා සිටියේ දඹුල්ල රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරු කර යැව්ව ද මහනුවර රෝහලේ වෛද්‍යවරුන් තම කණ්ඩායම රෝහලට ඇතුළත් කර නොගෙන රැය පහන් වනතුරු රෝහලෙන් පිටත රඳවා තැබීමට කටයුතු කළ බවය.  කෙසේ වෙතත් දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා ඇතුළු රෝහලේ සියලු කාර්ය  මණ්ඩලය තම කණ්ඩායමට ඉතා කාරුණිකව සැලකූ බව ද ඔවුහු පැවැසූහ.

-කංචන කුමාර ආරියදාස-

හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනා අදාළ චෝදනාවට නිවැරදිකරුවෝ බව කියති


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන්, කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරින් 07 දෙනා අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (11දා) පැවසුහ.

වසර නවයකට පෙර සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා විවෘත අධිකරණයේදී ඔවුන්ට කියවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පැවසීම නිසා මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, ඩී.පී. තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරින්ය.

2010 ජනවාරි මස 24 වැනිදාත්, 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමග එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එන්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

මෙම අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා ඇත.

මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත. විත්තිකරුවන් විසින් සිදුකළ වරදවල බරපතළ තත්ත්වය, එම වරදවල් සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් මෙවැනි සංකීර්ණ, තාක්‍ෂණික නඩුවක් ඇති කරුණු මෙන්ම එම කරුණුවල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව පෙන්වා දෙමින් නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී. 

මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කරන ලද නියෝගයකට අනුව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනීසිටියහ. අධිකරණයෙන් නිකුත් කොට තිබූ සිතාසිවලට අනුව මෙම නඩුවේ සිවැනි සාක්කිකරු වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන සුගතපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි නමැත්තා හැර සෙසු සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර හා ඊට අදාළ ඇමිණුම් හා ගොනු මීට පෙර දිනයක විවෘත අධිකරණයේදී වෙන වෙනම බාරදුන් අතර, අදාළ අධිචෝදනා විත්තිකරුවන්ට කියවා තේරුම් කර දෙන ලදී. ඒ අවස්ථාවේදී විත්තිකරුවෝ වෙන වෙනම අධිකරණය අමතමින් අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පැවසූහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය අමතමින් සන්ධ්‍යා එන්නැළිගොඩ මහත්මියගේ සාක්ෂියෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පැමිණිල්ල අපේක්‍ෂා කරන බවත්, සන්ධ්‍යා එන්නැළිග්ගොඩ මහත්මියගේ සාක්‍ෂිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් මෙහෙයවනු ඇති බවත් පැවසීය.

අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් සඳහා ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගොස් ඇති හෙයින් මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට යොමු කරන්නැයි ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයේ පෙනී නොසිටින නඩුවේ සිව්වැනි සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

නඩුවේ සාක්ෂි විභාගය ලබන 16 වැනිදා තෙක් කල් තැබූ විනිසුරු මඩුල්ල නඩුවේ සිව්වැනි සාක්කිකරුට වරෙන්තු නිකුත් කළේය. මෙම පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනීසිටියහ.

- බුද්ධිමාල් රුබේරු -

කුඩා දියණියත් පුතාත් සමඟ කඩේ ගිය දෙදරු පියා වල් අලි පහරින් මියයයි




දෙහැවිරිදි දියණිය වඩාගෙන හත් හැවිරිදි පුතා ද අතින් අල්ලාගෙන රාත්‍රී ආහාරයට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට ගිය දෙදරු පියකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඔහු අතදරා සිටි දියණිය බරපතළ තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය කියයි. තාත්තාගේ අතේ එල්ලී සිටි හත් හැවිරිදි පුතා අසල නිවෙසකට දිවගොස් දිවි බේරාගෙන ඇත. දියණියගේ තත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල දිගම්පතන රංග මනෝජ් (34) නමැත්තෙකි. රියැදුරකු වූ මනෝජ් තම දරු දෙදෙනා සමග නිවෙස අසල කඩයකට ගොස් ආපසු එමින් සිටිය දී නිවෙස ආසන්නයේ දී වල් අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.



පසුව දරුවන් දෙදෙනා ද ඇදගෙන රංග මනෝජ් අසන්නයේ පිහිටි නිවසකට ගොඩවීමට උත්සාහ කරනවාත් සමගම මිදුලේ සිටි අලියා ඔහුට පහර දී දෙහැවිරිදි දියණියට ද පහර දෙනවාත් සමග හත් හැවිරිදි පුතා නිවස ඇතුළට දිවගොස් ඇති අතර නිවෙසේ හිමියන් කෑ කෝ ගසා අලියා පන්නා දමා ඇතැයි නිවෙස් හිමියා පැවසූ බව පොලිසිය කීය. මියගිය රංග මනෝජ් පදිංචිව සිටි නිවසේ සිට නිවාස දෙකක් එහායින්  මෙම පහරදීම සිදුව තිබේ.  සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව රංග මනෝජ් මහතාත් දියණියක් වහාම දඹුල්ල මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී ඔහු මියගොස් තිබුණු බවත් හිසට බරපතළ හානි සිදුව ඇති දියණිය නුවර මහ රෝහලට මාරු කර යැවුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය පේරාදෙණිය රෝහල වෙත මාරු කර යැවූ බවත් මහනුවර රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම දරුවන්ගේ මව වන සන්ධ්‍යා සංජීනි මහත්මිය කියා සිටියේ තම සැමියා සහ දරුවන් දෙදෙනා කඩේට ගොස් බඩු ටික අරන් එන කාලසීමාවේදී මෙම අපරාධය සිදු වූ බවය. නිරන්තරයෙන්ම අලින්ගෙන් සිදුවන හානි පිළිබඳව වනජීවී නිලධාරීන්ට  මෙන්ම ජනමාධ්‍ය හරහා ද කොතෙකුත් ප්‍රකාශ කළ  මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බවය. මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු දඹුල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි. අලි පහර දීම සම්බන්ධයෙන් සීගිරිය
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


-කාංචන කුමාර-

Wednesday, March 11, 2020

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දෙකක් සිදු කෙරෙනවා



" ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දරුවෙක් හදිසි අනතුරකට ලක්වෙලා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිනවා. කළුබෝවිල රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඒ දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරනවා. ඒ සම්බන්ධව මම ස්තූතිවන්ත වෙනවා." යැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවකුගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" මේ දරුවාගේ මොළයට හානි වෙලා තිබෙනවා. සිහිය නැතිව තමයි රෝහලට ගෙනැත් තිබෙන්නේ. මෙතැන වැරැද්දක් තිබෙනවා. රාත්‍රී 1.30 වන තෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිසුන් ඉඳලා තිබෙනවා. මේක නවකවදය නිසා සිදු වුණු එකක් ද නොඑසේ නම් වෙනත් සිදුවීමක් නිසා වුණු දෙයක් ද කියලා පරීක්ෂණ අවසානයේ තමයි කියන්නට වෙන්නේ. කොහොම වුණත් මෙවන් තත්ත්වයන් ඇති නොවන පරිදි කටයුතු කිරීම තමයි ශිෂ්‍යයන්ගේ වගකීම වෙන්නේ. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල මට්ටමින් හා මිරිහාන පොලීසියෙන් පරීක්ෂණ දෙකක් සිදු කරනවා.

විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලි මතයක සිටිනවා. එහෙම අභ්‍යන්තර මැදිහත්වීමක් කිසිසේත් සිදු නොකරන බවට පසුගිය කාලය තුළ අපි පෙන්නුවා. එතුමාට අවශ්‍ය නැහැ ශිෂ්‍ය මර්ධනය. එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනම දෙයක්. ඒ තමයි විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන නමුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට වරම් නොලබන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල උපාධියක් දක්වා යාමට අවශ්‍ය මාවත සකසා දීම. අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දයාවෙන් කටයුතු කරන විට සමහර සිසුන් නවකවදය තවදුරටත් භාවිත කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තියෙනවා පැහැදිලිවම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට නවකවදය තුරන් කරන බව.

විශ්වවිද්‍යාල තුළ පමණක් නොව ශිෂ්ට සම්පන්න ලෝකය තුළ පියෙක් විසින් දරුවන්ට දඬුවමක් කළත් එය දරුවන්ට කළ හිංසනයක් ලෙස නීතියෙන් දඬුවම් දෙන්න පුළුවන්. අපි නවකවදය වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස සියලුම ආගමික නායකයන්ගෙන්, ගුරුවරුන්ගෙන්, මවුපියන්ගෙන් සහ දරු දැරියන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි.

පසුගිය වසරවල 2000කට වැඩි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වෙලා විශ්වවිද්‍යාල දාලා ගිහින්. මේක බරපතළ ත්ත්වයක්. වාර්ෂිකව 3000ක් ඇතුළත් වෙනකොට ඒකෙන් 2000ක් නවකවදය නිසා සරසවි දාලා යන එක. මේ සියලු දෙනාට නැවත උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමටත් තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ පැමිණිලි කිරීමටත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තිබෙන එම කමිටුවට පැමිණ තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කමිටු නිර්දේශ අනුව සිසුන්ට සාධාරණය ඉටු කර දෙනවා. මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ප්‍රතිපත්තිමය තීන්දුවකින් එම කටයුත්ත සිදු කරන්නට අපේ රජය බලාපොරොත්තු වෙනවා.” යැයිද පවසා සිටියේය.

- සාකළ්‍යා සඳමාලි -

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ ආබාධිත සෙබළාට වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්



බාල වයස්කාර දැරියක වරින් වර බරපතළ ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා හයක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි යුද හමුදාවේ හිටපු ආබාධිත සෙබළකු එකී අධි චෝදනා හයෙන් පහකටම වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සහ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඔහුට වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (10දා) නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ, ගල්නෑව රණවිරු ගම්මානය අංක 8 ලිපිනයේ විසූ යුද හමුදා හිටපු ආබාධිත සෙබළෙකු වන මාගල හෙට්ටිහච්චිගේ සුමනසිරි නොහොත් මක්කේ මාමා නමැත්තෙකුටය.

ඒ අනුව විත්තිකරුට පළමු චෝදනාවට වසර 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් අගතියට පත් දැරියට ගෙවන ලෙසටද නියෝග කළේය.
එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
ඊට අමතරව රුපියල් 5000ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

3වැනි චෝදනාවට විත්තිකරුට වසර 10 ක්ද 4 වැනි චෝදනාවට වසර 05ක්ද 05වැනි චෝදනාවට වසර 10ක්ද 6 වැනි චෝදනාව වසර 05ක්ද වශයෙන් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, 03 වැනි හා 04 වැනි චෝදනාවලට රුපියල් 5,000 බැගින් 10,000ක්දඩ මුදලක් නියමකළ අතර, එම මුදල් නොගෙවන්නේ නම් මාස 06 බැගින් වූ වසරක බරපතළ සිරදඩුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 6ක් යටතේ මහාධිකරණය හමුවේ කරුණු ගොනු කර තිබූ අතර, ඉන් 2වැනි අධිචෝදනාව හැර අනෙක් අධිචෝදනා 5ටම විත්තිකාර හිටපු ආබාධිත යුද හමුදා සෙබළා වරදකරු බැවින් ඔහුට වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම විය.

2015 වසරේ අගෝස්තු මස 8වන දින සහ 31 වන දින අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් ගල්නෑවේදී විත්තිකරු මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා 6ක් යටතේ 2018වසරේ නොවැම්බර් මස 21 වන දින අධිචෝදනා ගොනු කරනු ලැබීය.

විත්තිකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වන ගැමුණු හේවා බළකායට අනුයුක්තව සේනපුර යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වා ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
විත්තිකරු මෙම අපරාධය සිදුකළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් ඔහු අල්ලා සේනපුර යුද හමුදා කඳවුරට භාරදීමෙන් පසුව සේනපුර යුද හමුදා කඳවුර මගින් මෙම ආබාධිත සෙබළා වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගල්නෑව පොලීසියට භාරදී ඇති බව අධිකරණ නඩු විභාගයේදී හෙළි විය. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එම්.කේ. සේනානායක මහතා සහ ගල්නෑව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මැණිකේ හේරත් මහත්මිය ඇතුළු 9 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂි ලබාදුන්හ.

ගල්නෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අප්පුහාමි මහතාගේ මෙහෙයවීම මත මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබූ අතර නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුණතිලක මහතා සමග ගල්නෑව පොලීසියේ නිලධාරීන් පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.

- බී ජී චතුරංග -

මහනුවර උසස් බාලිකාවේ ගුරුවරියෝත් සිසුවියෝත් වරලස දන්දෙති



මහනුවර උසස් බාලිකා විදුහලේ සිසුවියන් සහ ගුරුවරියන් සිය උපන්දා සිට රැකගෙන සිටි වරලස කපා  කිලෝ 60 ක ප්‍රමාණයක් දන් දීමේ උතුම් පින්කමක් පසුගිය පාසලේදී සිදු කෙරිණි. මහනුවර උසස් බාලිකා විදුහලේ  බාලදක්ෂිකා සංගමය ගුරු සුබසාධක සංගමය සහ ප්‍රාථමික අංශය එක්ව ලේ දන් දිම වරලස දන් දීම ඇස් දන් දීම පත්‍රිකා වලට අත්සන් කිරීම වාර්ෂිකව සංවිධානය කරන උත්සවයක් බව විඳුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය පැවසුවාය. මහනුවර මහ රෝහලේ  සම්බන්ධීකරණයෙන් මෙම විශේෂ පින්කම සිදු කර තිබේ. එහිදී උසස් බාලිකාවේ සිසු දැරියන් සහ ගුරුවරියන් තම හිසකෙස් කිලෝ 60 ක ප්‍රමණක් දන්                                                                                      දීම සිදුකොට තිබේ.



එමෙන්ම විද්‍යාලයේ සිසුවියන් සහ  ගුරුවරුන් සිය දෙනෙකු තම ඇස් දෙක දන්දීම සඳහා ලියාපදිංචි වීම ද මෙහිදී සිදු කර තිබේ. එයට අමතරව ලේ දන් දීම සඳහා සිසුවියන් සහ ගුරුවරුන් දෙසිය පනස් දෙනෙකු සහභාගි වීම ද විශේෂත්වයකි. පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ අවශ්‍යතාවන් සඳහා  හිසකෙස් ලබා ගැනීම සිදු කෙරෙන බවත් එහිදී අගල් දහයකට වැඩියෙන් දික්ව ඇති යුවතියගේ හිසකෙස් දන් දීමට හැකියාව පවතින බවත් මෙම  පින්කම මහනුවර උසස් බාලිකා විදුහලේ වාර්ෂිකව පවත්වන බවත් විදුහල්පතිනිය වන එම්. අබේගුණසේකර මහත්මිය පැවසුවාය.

සිය හිස කෙස් දන් දීම දරුවන්ට ආදර්ශයක් වෙමින් විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියද සිදු කිරීම මෙහි තවත් විශේෂත්වයකි. උසස් බාලිකා විදුහලේ හිසකෙස් දත්දීම සඳහා පැමිණ සිටි සෑම සිසුවියක්ම තම මවුපියන්ගේ කැමැත්ත ලබාගෙන සිය වරලස දන් දීම සිදුකෙරිණි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය ඇතුළු දැරියන් සිය වරලස දන්දුන් අවස්ථා හා ලේ දන්දුන් අවස්ථාව.

-කංචන කුමාර-

හෝටලයක ගෝරියෙන් පිහි ඇනුම් කා සේවකයා මරුට



මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පෙර්දා (09) රාත්‍රි පැමිණි පිරිසක් හා එහි සේවකයින් අතර ඇති වූ ගැටුමකදී එක් සේවකයෙකු පිහි ඇනුම් පහර කා මියගොස් ඇති අතර හෝටලයේ අයිතිකරු ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව මිගමුව මූලස්ථාන පොලිසිය කියයි. තුවාල ලැබූ තිදෙන මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන හය දෙනෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (10) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් හය දෙනා ගෙන් එක් අයෙකු දේශපාලනඥයකුගේ හිටපු පෞද්ගලික ආරක්ෂයෙකු බව පොලිසියට දැන ගැනීමට ලැබී ඇතැයි පැවසේ.

වෑන් රථයකින් සහ යතුරු පැදියකින් හය දෙනෙකු පෙරේදා රාත්‍රි 9.30ට පමණ බියර් බෝතල් ද රැගෙන මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ ඇතැයි පොලිසිය පවසයි. මොවුන් හය දෙනා මේසයක් මත බියර් බෝතල් තබා වාඩිවී බියර් බීමට සූදානම් වී ඇති බවද හෝටලයේ බියර් බීමට ඉඩ දිය නොහැකි බව හෝටලයේ සේවකයින් පැවසීමත් සමගම දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

හෝටලයේ අයිතිකරු ඔහුගේ සහෝදරයෙකු හා සේවකයන් දෙදෙනකු එහිදී පිහි ඇනුම් පහර කෑ අතර එක් සේවකයෙක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. පිහි ඇනුම් පහරකා මියගොස් ඇත්තේ කැකිරාව ගනේවල්පොල පදිංචිව සිටි අබ්දුල් කපුර් අබඳුල් හසීස් (36) නමැත්තෙක් බවත් ඔහු හෝටලයේ කොත්තු සාදන සේවකයා බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ සහ කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි අය වෙති.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය -

බාදාගල ගල් ගුහාවක සිදුකළ පුරාවිද්‍යා කැණීමකදී දහසකට අධික තිත් සටහනක් සොයා ගැනේ


පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක් වැලිගෙපොළ පින්නගල බාදාගල වනගත ගල් ගුහාව තුළ දින 14ක් තුළ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී ගල් මෙවලම් රැසක් හමුවී ඇති අතර ඒ තුළ පිහිටි ගල් පර්වතයක දහසකට අධික තිත් සටහන් සංඛ්‍යාවක් සොයාගෙන ඇත.

සොයා ගත් එම අතිවිශේෂ මනුෂ්‍ය ක්‍රියාව දකුණු ආසියාවේ තිබෙන විශාලතම තිත් සටහන බව පුරාවිද්‍යා මහාචාර්යවරයා පවසයි.

මීටර් හතළිස්පහක පමණ දිගකින් හා මීටර් විස්සක පමණ උසකින් යුතු එම ගල් ගුහාව පාමුල පිහිටි ගල් පර්වතයක සලකුණු කර ඇති තිත් බොහෝමයක් දකින්නට තිබෙන අතර, එම අතිවිශේෂ මනුෂ්‍ය ක්‍රියාව කොපමණ කාලයකට අයත්දැයි නිර්ණය කිරීම සඳහා යම් නියදියක් සොයා ගැනීම කැණීම් කටයුතුවල අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙසේ පැවසීය.

“මේ ගල් ගුහාව සුවිශේෂී ඓතිහාසික ස්ථානයක් බවට හඳුනා ගත්තා. මීට සිවු වසරකට පමණ පෙර මෙම ස්ථානය අපි නිරීක්‍ෂණය කළා. ගල් ගුහාව මැද තිබෙන ගල් පර්වතයේ සටහන්කර තිබෙන තිත් ප්‍රමාණය දහසකට අධිකයි. මෙය දුටු පමණින් තේරුම් ගියා එය මනුෂ්‍ය අතකින් සිදුකළ කාර්යයක් හැටියට. මෙය මෑත කාලයේ සිදුකළ දෙයක් නොවෙයි. ඉතා පැරැණි කාලයක සිදුවූ දෙයක්. එමනිසා ගල් ගුහාව අවට වැඩිදුර පරීක්ෂා කිරීමට අදහස් කළා.

මෙය අතිවිශේෂ මනුෂ්‍ය ක්‍රියාවක්. ලංකාවේ පළමු වතාවට තමා මෙතරම් විශාල තනි පෘෂ්ඨයක් මත තිත් කොටා තිබෙන දර්ශන දක්නට ලැබෙන්නේ. මෙය කොපමණ පැරැණිද කියලා කාල නිර්ණයක් කිරීමට අපට අවශ්‍යයි. ඒ සඳහා නියදියන් සොයමින් පරීක්‍ෂණ ඉදිරියට සිදු කරනවා. පුරාණ ප්‍රාග් ඓතිහාසික යුගයේ මනුෂ්‍යයන් කොටසක් මේ ස්ථානයේ වාසය කළ බව පෙන්වන පුරාවස්තු සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි තිබී සොයා ගන්න ලැබුණා. බොහෝ ගල් ගුහාවල දකින්ට ලැබෙන ප්‍රාග් ඓතිහාසික ගල් මෙවලම්, ගිනි දැල්වීම සඳහා යොදා ගන්නා ගල් සොයා ගැනීමට හැකි වුණා.

මෙහි විශේෂත්වය තමයි ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන් සමග මෙය සසඳන විට මේ ස්ථානයේ ලැබෙන රවුම් හැඩයේ තිරිවානා ගල් ප්‍රමාණය අනික් හමු වූ ගල් ප්‍රමාණයට වඩා වැඩියි. එයින් හොඳට තේරෙනවා ගලේ සිදුරු කෙටීම සඳහා මිටියක් හැටියට එම ගල් භාවිත කරලා තිබෙන බව.

ඒ වගේම අපට හමු වුණා එම මනුෂ්‍ය කොටස ආහාරයට ගත් පිළිස්සී ගිය කැකුණ ඇට එය කාල නිර්ණය කරගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. මෙවැනි ගල් පර්වතවල කොටා ඇති තිත් සටහන් ඉන්දියාවේ ස්ථාන කීපයක සොයා ගැනීම් වාර්තාවී තිබෙනවා. නමුත් ඉන්දියානු පුරාවිද්‍යාඥයන් පවසන්නේ, හමුවූ තිත් සටහන් අතර තිත් හාරසිය පනහකට වඩා තිබූ සටහන් හමු නොවූ බවයි. නමුත් බාදාහේන ගල් ගුහාව තුළ ප්‍රාග් ඓතිහාසික තිත් සටහන් දකුණු ආසියාවේ තිබෙන විශාලතම තිත් සටහන් වීමට ඉඩකඩ තිබෙනවා. මෙම තිත් සටහන් මොන අරමුණක් සඳහා සිදු කළාද යන්න සොයා බලනවා.

වෙන රටවල පුරාවිද්‍යාඥයන් නොයෙක් අදහස් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙහි අවධාරණයෙන් කිවයුතු දේ තමයි තමන්ගේ හිතේ තියෙන යම් අදහසක් ඉදිරිපත් කරන්න පළමුව  පුරුදු වුණානම් යම්කිසි ගලක පෘෂ්ඨය මත තිත් දර්ශනයක් කරලා එය මනුෂයින්ගේ බුද්ධිමය ඉතිහාසයේ ඉතාම පැරැණි නිදර්ශන හැටියට ලෝකය පිළිඅරන් තියෙනවා. ඉන් පසුවයි තිත් එකතු කරලා රේඛා මාර්ගයෙන් සම්පුර්ණ චිත්‍ර නිර්මාණය කළේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ පළමුවෙනි අත්දැකීම අපට ලැබෙනවා. මේ වගේ විශාල තිත් සටහන් අධ්‍යනය කිරීමට ලැබීම. අප විශ්වාස කරනවා ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් මෙතෙක් ගොඩනැගී තිබෙන දැනුම ඉතා විශිෂ්ටයි. ඒ දැනුමට අලුත් පරිච්ඡේදයක් එකතු කරන්න පුළුවන් වේවි. එමෙන්ම අපේ ආදි මුතුන් මිත්තන් කල්පනා කරපු ආකාරය පරිසරය නිරූපණය කළ ආකාරය වගේ දේවල් මේ තිත් සටහන් මාර්ගයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. 

අපි අනුමාන කරනවා මේ සටහන් ප්‍රාග් ඓතිහාසික මානවයන් මේ අවට ගල් ගුහාවල ජීවත් වෙච්ච ඔවුන්ගේ භූමි දර්ශනය ප්‍රතිනිර්මාණය කරන්න ගත් උත්සාහයක් වෙන්න ඉඩකඩ තිබෙන බවට."

- කසුන් දර්ශන -

දැඩි පෑවිල්ලෙන් කඳුකරයේ තේ වගාවෙන් සීයට 60ක් වේළීලා



මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් තේ වගාවෙන් සියයට 60 ක් පමණ වියළී ගොස් ඇති බව වතු අධිකාරිවරු කියති. 1991 වසරෙන් පසු තේ වගාවට මෙවැනි දැඩි බලපෑමක් එල්ල වුණේ මේ වසරේ බවද ඔවුහු වැඩිදුරටත් පවසති. වියළි කාලගුණයට වඩා කඳුකරයේ පවතින අධික උෂ්ණත්වය තේ වගාව විනාශ වීමට හේතුව වී ඇති බවත්, පවතින තත්ත්වය මත තේ නිෂ්පාදනය ද සියයට 40 කින් පහත වැටී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. ජල පෝෂක ප්‍රදේශවලට සහ රක්ෂිතවලට ගිනි තැබීම්, ගස් කැපීම් සහ මධ්‍යයම කඳුකරයේ සිදු  කරන පරිසර විනාශයන් වියළි කාලගුණයට සහ  අධික උෂ්ණත්වයට හේතුව වී ඇති බවද වතු  අධිකාරිවරු කියති.

අධික උෂ්ණත්වය හේතුවෙන් තේ වගාවේ විශාල කොටසක් වියළී යාමෙන් වතු කම්කරුවන්ට දෛනිකව ලබාදෙන වැඩ දින ගණනද අඩු වීමෙන් වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වය පහත වැටී තාවකාලිකව තේ කර්මාන්ත රැකියාවලින් ඉවත් වී වෙනත් රැකියාවල නිරත වීමේ අවදානමක් ඇති බවද ඔවුහු පවසති. තේ වතු ආශ්‍රිතව රක්ෂිතවලට ගිනි තැබීමෙන් තේ වගාවේ විශාල කොටසක් පිළිස්සී යාම හේතුවෙන් පානීය ජලය ලබාදෙන ල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමකට ද ලක්ව තිබේ. පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උණත්වය හමුවේ උඩරට තේ කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත් ඒ තුළින් තමගේ රැකියාවලට දැඩි අවදානමක් පවතින බවත් වතු කම්කරුවෝ කියති.

පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ උඩරට තේ කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත් ඒ තුළින් තමන්ගේ රැකියාවලට දැඩි අවදානමක් පවතින බවත් වතු කම්කරුවෝ කියති. දිනක රුපියල් 750 ක වැටුපට අමු තේ දළු කිලෝ 15 ක් නෙළිය යුතු බවත්, තේ ගස් වියළී යාම නිසා එම තේ දළු ප්‍රමාණය මැනෙළීමට නොහැකි බවත් වතු කම්කරුවෝ සඳහන් කරති. පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තය යළිත් යථා තත්වයට පත්වන තෙක් තමන්ට සිහනාධාරයක් ලබාදෙන ලෙස ද වතු කම්කරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

-රංජිත් රාජපක්ෂ-

පොලිස් නිලධාරියාගේ සාක්කියෙන් කුඩු සැකකරු නිදොස්කොට නිදහස්



හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා ලැබූ පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස් සටහන් පොත්වල අසත්‍ය සටහන් යෙදු බව දෙහිවල පොලිසියේ නිලධාරියකු අධිකරණය හමුවේ පිළිගැනීම නිසා විත්ති වාචකයක් නොකැදවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා නියම කළේය. හෙරොයින් ප්‍රමාණය කිරා බැලුවේ පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී නම් විත්තිකරු අත්අඩංගුවට ගත් ස්ථානයේදී හෙරොයින්වල බර ප්‍රමාණය සටහන්වල යෙදුවේ කෙසේදැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ තමා විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය සටහන් යෙදූ බව දෙහිවල පොලිසියේ නිලධාරියා පිළිගැනීම නිසා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්ති වාචකයක් හෝ නොකැඳවාම මෙලෙස නිදොස්  කොට නිදහස් කරන ලද්දේ එච්.එම්. අතුල බණ්ඩාර කුමාරසිංහ නමැත්තෙකි. 2014 අගෝස්තු මස පළමුවැනිදා දෙහිවලදී හෙරොයින් ග්‍රෑම් 51.75 ක් ළග තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කොට තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී දෙහිවල පොලිස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව දෙහිවල පොලිසියේ නිලධාරින් පිරිසක් දෙහිවල පැරකුම්බා පාරේ නිවෙසක් අසලට රාත්‍රී 11.00ට පමණ ගොස් පසුදා උදේ 7.45 පමණ වනතුරු ඒ අසල කෙසෙල් පඳුරක් යටට වී සිටි බවත් එසේ සිටියදී විත්තිකරු තවත් පුද්ගලයකු සමඟ නිවෙසින් එළියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් දෙහිවල පොලිසියේ නිලධාරිහු මෙම නඩුවේ සාක්කි දෙමින් පැවසූහ.

විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සටහන් යොදන ලද්දේ ඔහු අත්අඩංගුවට ගත් දෙහිවල පැරකුම්බා පාරේ නිවෙස ඉදිරිපිටදී පොලිස් කැබ් රථයේ තබාගෙන බවත් විත්තිකරු සන්තකයේ
තිබී අල්ලා ගත් හෙරොයින් ප්‍රමාණය කිරා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ගිය බවත් ඔහු අතේ තිබූ බෑගයේ හෙරොයින් ග්‍රෑම් 101.84ක් තිබූ බවත් අදාළ සටහන් යෙදූ පොලිස් නිලධාරියා පැවසු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා හෙරොයින් ප්‍රමාණය කිරා බැලුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේදී නම් විත්තිකරු අත්අඩංගුවට ගත් ස්ථානයේදී තැබූ සටහන්වලදී හෙරොයින්වල බර ප්‍රමාණය සටහන් කළේ කෙසේදැයි ප්‍රශ්න කළවිට මුලින්ම නිරුත්තර වූ එම නිලධාරියා පසුව විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමා අසත්‍ය සටහන් යෙදූ බව පිළිගත්තේය.

විත්තිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  දෙහිවල පොලිසියේ නිලධාරීන් අසත්‍ය සටහන් යෙදූ බව පිළිගෙන ඇතැයි කී නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා මෙම තත්වය යටතේ විත්ති වාචකයක් නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්ති  වාචකයක් නොකැඳවාම විත්තිකරු නිදොස් කොට  නිදහස් කිරීමට නියම කළේය.

-මනෝප්‍රිය ගුණසේකර-