Monday, June 30, 2025

පාපැදිය ජිවිතය කරගත් සුමනවීර පාපැදියේම අවසන් ගමන් යයි

 



එල්. නිරෝෂණ


ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පාපැදි ධාවන ශූරයකු වන ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත විය. මියයන තෙක්ම පාපැදියට පෙම්බැදි සුමනවීර මහතා පසුගිය 27 වැනිදා පස්වරුවේදී පාපැදියෙන් ගමන් කරමින් සිටියදී හෘදයාබාධයකට ලක්වීමෙන් මිය ගියේය. මියයන විට 77 වැනි වියේහි පසු වූ සුමනවීර මහතා 1965 වසරේදී පාපැදි තරග බිමට පිවිසියේය. 


එතෙක් මෙතෙක් ලංකාවේ වැඩිම පාපැදි තරග සංඛ්‍යාවකට සහභාගි වී එනම් තරග 1200කට පමණ සහභාගි වී ඉන් තරග 700ක් ජයග්‍රහණය කළ පාපැදි ක්‍රීඩකයා ඔහුයි.1984, 1985, 1986 වර්ෂවලදී ලංකා සවාරිය ඇතුළු දින කිහිපයක් පැවැති පාපැදි තරග රැසකින්ද ඔහු ශූරතාව දිනූ අයෙකි. කහවත්ත ගුරුගේ මැණික් ආයතනය සංවිධානය කළ දීපව්‍යාප්ත පාපැදි තරගවලින් ජයග්‍රහණය අත්කර ගනිමින් ඔහු ක්ෂේත්‍රයේ නමක් තැබීය.


කහවත්ත සැෆයාර් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මුල් කාලයේදී සුමනවීර පාපැදි තරග බිමේ ජයග්‍රහණ ලබා ගත්තේය. පසුව ඛනිජ තෙල් සංස්ථාවේ රැකියාවක් කරමින් පාපැදි ක්ෂේත්‍රය තුළ නමක් තැබීය. වියපත් වුවත් පාපැදිය අත්නොහළ සුමනවීර මහතා ඔහුගේ ගමන් බිමන්වලට මියයන මොහොත දක්වාම පාපැදිය භාවිත කළේය. ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව මධ්‍යස්ථානයේ සේවය කළ වසර ගණනාවක්ම ඔහු රත්නපුරයේ සිට දිනපතාම සේවයට ගොස් ආපසු නිවෙසට ආවේ කිලෝමීටර සියයකට වඩා දිනපතා පාපැදියෙන් බව පවුලේ ඥාතීහු පවසති.


පශ්චාත් මරණ පරීක්ෂණයක් තියලා නෑ

 


මී ට වරසකට පෙර ගෙළ වැලලගෙන මිය ගිය බව කියන මිහින්තලේ පොලිස් වසමේ කැලෑරඹව විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ‍ මෘත දේහය අද (30දා) යළි ගොඩ ගැනීමට පියවර ගන්නා ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මිය මිහින්තලේ පොලිසියට නියෝග කළාය.


මෙසේ නියෝග කෙළ් මීට වසරට පෙර ගෙල වැලලාගෙන මිය ගිය බව කියන 34 හැරිදි කලත්තෑවේ පියදස්සි හිමියන්ගේ මරණයට අදාළ මරණ සහතිකය අධිකරණය මඟින් නිකුත් කිරීමට යෑමේදී මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා දේහය භූමදානය කර තිබීමයි. ඒ අනුව මෙම අධිකරණ නියෝගයට අනුව අදාළ මෘත දේහය අද (30දා) දින කැලෑරඹෑව විහාරස්ථාන ආදාහන මළුවේදී ගොඩ ගැනීමට නියමිතය. 


ඒ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මිය සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධර්වරයා ඉදිරිපිටදී මිහින්තලේ පොලිසියේ මෙහෙයවීම මතය. කැලෑරඹෑව විහාරස්ථානයේ විහාරාධිපති 34 හැවිරිදි කලත්තෑවේ පියදස්සි හිමියන් ගෙල වැලලාගෙන මියගිය බව කියනුයේ 2024 වසෙර් ජූලි මස 22 වන දිනය.


උපාලි ආනන්ද


ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනයටත් අනුකමිටුව

 


අංජලී විතානගේ


ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අරමුණින් පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.වත්මන් රජයේ ප්‍රතිපත්තිය හා අනුගත වන අයුරින් අදාළ සංශෝධනය කිරීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිර්ම මෙම කමිටුවේ කාර්ය යැයි ඊට අදාළ කැබිනට් සංදේශයේ සඳහන් වේ.


මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක - බලශක්ති අමාත්‍ය ඉන්ජිනේරු කුමාර ජයකොඩි හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරු පත් කර තිබේ.


දැනට බලාත්මක ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය තවදුරටත් සංශෝධනය විය යුතු බවට විවිධ පාර්ශ්ව පෙන්වාදී ඇතැයිද එම කැබිනට් පත්‍රිකාවේ දැක්වේ. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් සුරක්ෂිත ජල පරිභෝජනය තහවුරු කිරීම සඳහා රට තුළ ඇති සියලු ජල මූලාශ්‍ර සංරක්ෂණය, එල්ලංගා පද්ධතිය සක්‍රිය කිරිම, ගංගා ද්‍රෝණි නිසි පරිදි අධ්‍යයනය කර පෝෂණය කිරීම මෙන් ම විවිධ භාවිතයන් සඳහා ජල පරිභෝජනය නියාමනය කිරීමේ අවශ්‍යතාව රජය එහි අවධාරණය කර ඇත.


රටේ සියලුම ජල මූලාශ්‍ර පෝෂණය කර ආරක්ෂා කරමින් වර්තමාන හා අනාගත පරපුරට ජල සම්පත සුරක්ෂිතව පරිහරණය කිරීමට අවකාශය සලසන රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයිද ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සැප්තැම්බරයේ අහෝසියි

 


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලබන සැප්තැම්බර් මාසය ඇතුළත අහෝසි කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ‘මව්බිම’ ට පැවැසුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නව පනත් කෙටුම්පත සැප්තැම්බරය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී පනත අහෝසි කිරීම බහුතරයෙන් සම්මත කරගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


පනත අහෝසි කිරීමට අදාළව යෝජනාව අඩුම තරමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඔහු කීය.එසේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Bill) අහෝසි කිරීමට තවම දිනවකවානුවක් කීමට නොහැකි බවත් ඒ සඳහා පත්කළ කමිටුව මුණගැසී වැඩ කටයුතු ආරම්භ කිර්මට සිදුවීම මීට හේතුව බවත් ඔහු කීය.


කෙසේ වෙතත් ඉක්මනින්ම එම පනත අහෝසි කිර්ම වුව සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම පනත් අහෝසි කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කී නිසා සිදුනොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා රජය සහ තමා මෙම පනත් අහෝසි කිර්මට අදාළ වැඩකටයුතු ආරම්භ කර දැන් වනවිට මාස 4ක් පමණ වන බවත් ඔහු කීවේය. කෙසේවෙතත් වෝල්කර් ටර්ක් මහතා මෙරටට පැමිණ මෙම පනත් අහෝසි කිරීම ගැන කතා කළ බවත් නානායක්කාර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.


කෝටි 5ට වඩා වටිනා හොර වාහන 3ක් අල්ලයි

 


කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතමයකු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඊයේ (29දා) පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.ඒ එම පුද්ගලයා විසින් නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුපිරි වාහන 3ක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම  සඳහාය. 


රුපියල් කෝටි 5කට ආසන්න වෑන් රථ දෙකක් සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථයක් මෙම ඒකකය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඒ සමඟම මෙම ජාවාරම්කරු අතුරුදන්ව සිටින බව එම ඒකකය කියයි. වෑන් රථ දෙක පානදුර මිල්ලනිය ප්‍රදේශයේ නිවාස දෙකක සඟවා තිබී ඇති අතර ජීප් රිය බණ්ඩාරගම ප්‍රදේශයේ ගරාජයක තිබී නිලධාරීන් සොයාගෙන ඇත. නීති විරෝධී ලෙස විදෙස් රටකින් ගෙන්වන ලද කොටස් එකලස් කර සකසා මෙම රථවල චැසි අංක සහ එන්ජින් අංක වෙනස්කර ව්‍යාජ ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට ඇතුළත් කර ඇති බවට විමර්ශන නිලධාහු සැක පළ කරති.


මොහු අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙරද අත්අඩංගුවට ගෙන තිබූ බව එම ඒකකය සඳහන් කරයි.මොහු සන්තකයේ තවත් මෙවන් වාහන ඇති බව කියන එම ඒකකය මෙම ජාවාරමේ මහ මොළකරු සැකකරු බවද විශ්වාස කරයි. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ උදය කුමාරගේ අධීක්ෂණය මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.


වැඩමුළුවකට ගිය මන්ත්‍රීලා 4ක් විදුලි සෝපානයේ හිරවෙලා

 


 සුජිත් හේවාජුලිගේ


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විදුලි සෝපානයක පසුගිය දිනෙක සිරවී ඇතැයි වාර්තාවේ.මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ එම සම්මන්ත්‍රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන කටයුත්තකට සහභාගිව සිටින නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු සහ චතුර ගලප්පත්ති සහ ජාතික ජන බලවේගයේ නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීහු වෙති.


මොවුන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යයන ශාලාවේ සිට විදුලි සෝපානයෙන් පහළට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇත. මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, තමා ඇතුළු මන්ත්‍රීවරුන් සිවු දෙනකු විදුලි සෝපානයේ සිරවී සිටියදී එහි සේවකයන් පිරිසක් මුදාගත් බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පැවසුවේ, අනපේක්ෂිත ලෙස සිදුවූ එම සිද්ධියෙන් තමා දැඩි අපහසුතාවට පත්වූ බවයි. එම සති 14 ක අධ්‍යයන වැඩමුළුව තවදුරටත් පැවැත්වෙන අතර, එහි වැඩමුළුවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය. වැඩමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විද්‍යාර්ථීහු පිරිසක් ද සහභාගි වෙති.


ටැන්සානියාවෙන් ආ ගොකරැල්ලේ තරුණයාට මැලේරියාව

 


සම්පත් සෙනවිරත්න


විදෙස් රටක දී මැලේරියාවට ගොදුරු වූ රෝගියකු කුරුණෑගල ගොකරැල්ල මහජන සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් මීට දින කිහිපයක පෙර හමු වී ඇති අතර ඔහු මේ වනවිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ආරංචිමාරිග පවසයි.මීට වසර කිහිපයකට පෙර එය මෙටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට සෞඛ්‍ය අංශ සමත් වූ අතර එදා සිට මේ දක්වා ශ්‍රී ලාංකාව තුළ මැලේරියා රෝගීන් වාර්තා වී ඇත්තේ විදේශගත මදුරු දෂ්ටනවලින් පමණක් බව එම ආරංචිමාර්ග කියයි.විසි හය හැවිරිදි තරුණයකු ටැන්සානියාවේ සේවය කර මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ උණ රෝගය වැළඳීමෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්වී ඇති අතර ඔහු මැලේරියා රෝගීයකු බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය ආරංචි කියයි.


මැලේරියා රෝගය මෙරටින් තුරන් කර ඇතත් රෝගය පතුරුවන කියුලෙක්ස් නමැති මදුරු විශේෂය තවමත් මේ රටේ සිටින බැවින් මැලේරියා රෝගියකුට එම කියුලෙක්ස් මදුරුවකු දෂ්ට කළහොත් එමඟින් රෝගය පැතිරයාමේ අවදානම පවතින බව ද සෞඛ්‍ය පවසයි.කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන මැලේරියා රෝගියාගේ තත්වය මේ වන විට සතුටුදායක බව පවසන සෞඛ්‍ය අංශ මේ වනවිට මැලේරියා මර්දන ඒකකයේ නිලධාරිහු රෝගියාගේ නිවෙස, ගම හා රෝහල ආවරණය කරමින් ආසාදිත කියුලැක්ස් මදුරුවන් සොයා පුළුල් විමර්ශනයක නියැලෙන බව ද සඳහන් කරයි.


මෙම රෝගියා සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය සඳහන් කළේ, අදාළ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු මේ වන විට සාර්ථකව සිදු කරන බවයි. ලංකාව මැලේරියාව තුරන් කළ රටක් නිසා විදෙස්ගතව සිට මෙරටට පැමිණි කෙනකුට උණ රෝගය වැළඳුණහොත් කඩිනමින් මැලේරියා රෝගය සම්බන්ධ පරීක්ෂණය සිදුකර ගැනීම අත්‍යාවශ්‍ය බවත්, අඩුම තරමින් ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට තමන් විදෙස්ගතව සිට පැමිණි අයකු බව හෙළිකිරීමට පියවර ගන්නා ලෙසත් මිහිරි ප්‍රියංගනී මහත්මිය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් ද කළාය.


සෝලා-සුළං විදුලිය ගැනුම් ගාස්තු අඩුකළාට විරෝධය

 


රංජන් කස්තුරි


සූරිය පැනල සුළං ඇතුළු පුනර් ජනනීය ප්‍රභවයන්ගෙන් ගණනය කරන විදුලිය මිලදී ගන්නා ගාස්තු සියයට 30 කින් අඩු කිරීම මගින් එම කර්මාන්තය ස්වභාවික මරණයක් කරා ළඟා වෙමින් තිබෙන බව පුනර්ජනනීය බල ශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය කියයි.ඒ අනුව වහලය මත සෝලා රුපියල් 27 සිට 22 දක්වාත් සුළං සඳහා රුපියල් 29 සිට 23 දක්වාත් කුඩා ප්‍රමාණයේ ජලවිදුලිය රුපියල් 35 සිට 25 දක්වාත් පොළව මත ඉදිකළ සෝලා රුපියල් 25.48 සිට 17.62 දක්වාත් ඒකකයක් ගන්නා මුදල පහත දමා ඇති බවද පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ විධායක සභික ප්‍රභාත් වික්‍රමසිංහ මහතා කීවේය.


සූර්ය පැනල, සුළං ජල විදුලිය ඇතුළු පුනර්ජනනීය බල ශක්තියෙන් සියයට 70 ක් විදුලිය නිපදවීම රාජ්‍ය ප්‍රතිපත්තිය වුවද මෑතකදී කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ඒවා මිලදී ගන්නා ගාස්තු සියට තිහකින් අඩු කිරිම විද්‍යාත්මක නැතැයි හෙතෙම ප්‍රකාශ කළේය.බලධාරින් කිසිඳු පදනමක් නොමැතිව පුනර්ජනනීය බල ශක්ති ගාස්තු පහත දමා ඉන්ධන මාපියාවට තවදුරටත් ඉඩ හැරීමට කටයුතු කර ඇතැයිද වික්‍රමසිංහ මහතා පැවසීය. එම මිල පහත දැමීමේදී විනිමය අනුපාත පොලීණය අනුපාත හා ඩොලරයේ මිල ආදී කරුණු කිසිවක් සලකා බලා නැතැයිද එය පුනර්ජනනීය බලශක්ති ආයෝජකයන් හිතාමතාම අධෛර්යවත් කිරීමේ වෑයමකැයිද ඔහු කීය.මිලදී ගැනීමේ ගාස්තු දැඩි ලෙස අඩු කිරිම නව ආයෝජන සඳහා ඍජුවම බලපාන අතර ආයෝජකයන් අනාගතයේදී පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම අධෛර්යවත් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.


සිසුවයන් 3ක් ගෙදර ගෙනා පරිගණක ඉංජිනේරුවා අතිඅඩංගුවෙ

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ


එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත්. බව මොරගහහේන පොලිසිය කියයි. අතවරයට පත් 13 හැවිරිදි දැරියන් දෙදෙනකු සහ 16 හැවිරිදි දැරියක වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.


සැකකරු දැරියන් අපහරණය සඳහා නිවෙසට  රැගෙන යාමට යොදාගත් ඔහුට අයත් සුඛෝභෝගී මෝටර් රථයද ඒ සඳහා පෙළැඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගෙන ඇත. පාදුක්ක ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළම තනතුරක් දරන තැනැත්තියක සමග මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී සිටින අතර ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බවත් සැකකරු නිවෙසේ සිට රැකියාව කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නංවාගෙන යන අතරතුරදී මිතුරු වී දහවල් කාලයේදී නිවෙසේ කිසිවකු නොමැති අවස්ථා තුනකදී පාදුක්ක සිය නිවෙස කරා ඔහුට අයත් මෝටර් රථයෙන් රැගෙන ගොස් සිටි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. ඒ සෑම දිනකම දැරිය පාසල නිමවෙන බලා කාලය නිවෙස ආසන්නයට ඇරලවා ඇති බවද පොලිසිය සඳහන් කරයි.


මීට තෙමසකට පමණ ඉහතදී මෙම දැරිය ඇය ඉගෙනුම ලබන පාසලේම අට වසර පන්තියේ දැරියකද මෙම මෘදුකාංග ඉංජිනේරුවරයාට සම්බන්ධ කර දී ඇති බවට පොලිස් අනාවරණය වී ඇත. ඉකුත් අප්‍රේල් මාසයේදී සැකකරු දැරිය සියැසින් දැක බලා ගැනීම සඳහා මොරගහහේන ප්‍රදේශයේ අවුරුදු උත්සවයකටද පැමිණ ඇතත් දෙදෙනා කතාබහ කර නැතැයිද පොලිසිය කියයි.


අනතුරුව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගත් පරිදි ඉකුත් සිකුරාදා (27) ඔවුනොවුන් හමුවීමට තීරණය කර ඇති අතර ඒ බව සැකකරු සමග දුරකතනයෙන් සබඳතා පැවැත්වූ 13 හැවිරිදි දැරිය ඇයගේ පාසල් මිතුරියට දැනුම් දීමෙන් අනතුරුව ඇයද මිතුරිය සමග පෙම්වතා හමුවට යාමට එකගතාව පළ කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


දෙදෙනාම පසු දින නිවෙස්වලට පාසල් යන බව පවසා පාසල් නිල ඇඳුමෙන්ම පාසල ආසන්නයට පැමිණ ඇති අතර එම ස්ථානයට සැකකරු මෝටර් රථයෙන් පැමිණ ඔහු සමග තෙමසක් තිස්සේ දුරකතනයෙන් සබඳතා පැවැත්වූ දැරිය රියැදුරු අසුනට යාබද අසුනේත් ඇගේ මිතුරිය පසුපස අසුනේත් තබාගෙන පාදුක්ක නිවෙස කරා රැගෙන ගොස් ඇති බව එම දැරියන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබිණි. එහිදී එම දැරියන් දෙදෙනා ඔවුන් නිවෙසින් රැගෙන ආ පාට ඇඳුම් ඇඳගත් බවත් නිවසේ වෙනත් කිසිවකුත් නොසිටි බවත් ඔවුන්ගේ ප්‍රකාශ වලින් වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.එහිදී සැකකරු දැරියන් දෙදෙනා ඔහුගේ රාජකාරි කාමරයට රැගෙන   ගොස් මෙම අතවරය කර තිබූ බව  පොලිසිය කියයි.   


ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන්න කියලා

 


 රංජිත් රාජපක්ෂ


දමිළ ප්‍රගතිශීලී සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.


ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීර ආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා කරන තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ. සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සහිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බව පවසා ඇතැයි එම සභිකයෝ සඳහන් කරති. එම සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන සභිකයාට සහ උපසභාපති ධුරය තම පක්ෂයට ගැනීමට එකගතාව පළකර තිබියදී විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපති ධුරය ගැනීම පක්ෂයේ විනයට පටහැනි බව ඔහු පවසා ඇතැයි ඔහුහු පවසති.


එම සභාවට සභාපතිවරයකු තෝරාපත් කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා, සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට පැවැති විවෘත ඡන්දයේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරි පත් වූ අතර, ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට ඡන්ද 07ක් ලැබුණි. කොටගල සහ නුවරඑළිය යන ප්‍රාදේශීය සභාවලට හිටපු සභාපතිවරුන්ම පත්කර ඇති බවත් එම සභාපතිවරුන්ට මෙන්ම නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉදිරිපත් කළ කනපති ලන්දවේල් රවී මහතාටද ඔවුගේ පාලන කාලය තුළ දූෂණ වංචා සහ බලය අවභාවිත කිරීම ඇතුලු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී යලිත් සභාපති ධුරය සඳහා ඔහුගේ නම ඉදිරිපත් කළ අවස්ථාවේ දමිළ ප්‍රගතිශීලී සංධානයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව ජාතික ජන බලවේගයේ බලයක් සහිත ප්‍රාදේශීය සභාවක් බවට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පත් කරද්දී එයට පටහැනිව ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායකයන් කටයුතු කිරීම පිළිගත නොහැකි බවත් නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඇතුළු සභිකයෝ පවසති. 


දූෂණ වංචා නැතිකර බලය අවභාවිත නොකරමින් නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන බවට ජනතාවට පොරොන්දු වී ඡන්දය ලබා ගෙන යළිත් එම සභාවට දූෂණ වංචා චෝදනා ඇති අයකු යලිත් සභාපති ධුරයට පත් කිරිමට ඉඩ නොදී තමන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පාලන බලය ලබා ගත් බව ඔවුහු සඳහන් කරති.


ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකවරයා සහ ලේකම්වරයාගේත් ලංකා කම්කරු කොංග්‍රසයේ ඇතැම පිරිසකගේ දැඩි බලපෑම හමුවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට පත් වූ සභාපතිවරයා දුරකතනය ක්‍රියා විරහිත කර ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව රැඳී සිටින බව පවසන නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයෝ තමන් මින් ඉදිරියට ජාතික ජන බලවේගයේ සභිකයන් නොවන බවත් එම සභාව තුළ ස්වාධීනව කටයුතු කිරිමට තීරණය කර ඇති බවත් පවසති. හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් පත් කරන බවට පොරොන්දු වූ සභිකයාට සභාපති ධුරය නොදී වෙනත් අයකුට ලබා දීමට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළ බවත් ඔහුගේ එම ක්‍රියා කලාපය හේතුවෙන් අඹගමුව සහ මස්කෙලිය යන ප්‍රාදේශීය සභාවල පාලන බලයද ජාතික ජන බලවේගයට අහිමි වී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති.


ජාතික ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීමට තම පක්ෂයේ කිසිදු සභිකයකුට අයිතියක් නොමැති බවත් විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය තම පක්ෂයට ගැනීමට කටයුතු කිරිම විනය විරෝධී ක්‍රියාවක් බවත්ය.


නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා මුණගැසී කරුණු පහදා දී යලිත් ඔවුන් තම පක්ෂය තුළ රඳවා ගැනීම සඳහා කටයුතු කිරිමට සභාපතිවරයාගේ නිවසට ගිය බවත් ඔහු නිවසින් බැහැරව ගිය බවට ඔහුගේ බිරිඳ පැවසීමෙන් පසුව නිවෙසින් පිටව ආ බවත් ඔහු කීය’ මින් ඉදිරියට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව තුළ ජාතික ජන බලවේගයේ කිසිදු සභිකයකු නොමැති බවට සලකා කටයුතු කරන බව ද මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.


මුදල් අයකර දෙන්නැයි මහ බැංකුවෙන් රජයෙන් පොලිසියෙන් ඉල්ලති

 


යොහාන් භාසුර


මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක කොළඹ දිස්ත්‍රික්කයේ ශාඛාවක ව්‍යාපාරිකයන් කීපදෙනකුගෙන් රුපියල් කෝටි 35 ක මුදලක් සොරකම් කර ඇතැයි එම ව්‍යාපාරිකයෝ පැවසූහ.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලය කොළඹදී පෙරේදා (28) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි සාමාජිකයන් වන ව්‍යාපාරිකයෝ පිරිසක් මෙම තොරතුරු අනාවරණය කළහ.


මෙම මුදල් සොරකම නිසා ව්‍යාපාර බංකොලොත්වීමෙන් දැඩි අපහසුතාවට පත්ව ඇතැම් ව්‍යාපාරිකයන් මානසික රෝගීන් බවට පත්ව ඇති බවත් මුදල් සොරකම් කළ බැංකුවෙන්ම ඇතැම ව්‍යාපාරිකයන්ට් ණය නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවරා තිබීම හාස්‍යය දනවන බවත් එම ව්‍යාපාරිකයෝ කියති.

එම බැංකු ශාඛාවේ කළමනාකරු ඇතුළු පිරිසක් එකතුව මෙම හොරකම කර ඇති බව කියන එම ව්‍යාපාරිකයෝ ඇතැම් ව්‍යාපාරිකයන් ඔවුන්ට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කර ඇති බවත් බැංකු කළමනාකරුගේ මූලිකත්වයෙන් පිරිසක් එකතු වී කළ මෙම සොරකමට බැංකුව වගකියයුතු බව ද සඳහන් කළහ.


එම බැංකුවෙන් තම මුදල් අයකර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව, ආණ්ඩුව සහ පොලිසිය ඇතුළු සෙසු වගකිවයුතු බලධාරින් මැදිහත්විය යුතු බව ද ඔවුහු සඳහන් කළහ.

 

දේශීය වෛද්‍යවරයකු මෙන්ම වාහන ආනයනය කරන ව්‍යාපාරිකයකු වන කැළුම් වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ බැංකුව සිය මුදල් රුපියල් මිලියන 337 ක් පමණ සොරකම් කර ඇති බවත් වාහන අලෙවි කළ එල්සිවල මුදල් ඔඩී කර කපාහැරීමෙන් සොරකම කර ඇති බවත්ය. අදාල   බැංකු ශාඛාවේ කළමනාකරු, එම ශාඛාව අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය කළමනාකරු ඇතුළු සියලු දෙනා එම සොරකමට සම්බන්ධ බව කී කැළුම් වීරසිංහ මහතා තමන් ඇතුළු ව්‍යාපාරිකයන් රැසකට ඔඩී (බැංකු අණකර) සහ ණය ඉල්ලීමකින් තොරව ණය ගිණුම්වලට දමමින් නැවත මුදල් ගනිමින් සොරකම කර ඇති බව ද සඳහන් කළේය.


විශාල පිරිසකගේ මුදල් එම බැංකු ශාඛාව හරහා සොරකම් කර ඇති බවත් එම තත්වයට පත්වූ ව්‍යාපාරිකයන් හිගමනට පත්ව ඔවුන්ට සිදුවූ අසාධාරණය කියා ගැනීමට නොහැකි තත්වයට පත්ව සිටින බවත් හෙතෙම කීය. මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපාරයක හිමිකරුවකු වන අරුණ රත්නායක මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ එම බැංකුවේ ඉහත සඳහන් ශාඛාවේම රුපියල් ලක්‍ෂ 400 ක පමණ සිය මුදල් සොරකම් කර ඇති බවය.


සිය ගිණුම් දෙකක් ඔඩී කර රුපියල් ලක්‍ෂ 130 ක පමණ මුදලක් මුදල් සොරකම් ඇති අතර ඔහු වෙනත් ගිණුම්වලින් සිය ගිණුම්වලට මුදල් බැර කරමින් එම ගිණුම් යාවත්කාලීන කර ඇති බව ලේඛන වලින් තහවුරු වන බව හෙතෙම කීය. එම ඕඞී කළ ගිණුම් දෙකේ මුදල්වලින් ශතයක්වත් තමන් ලබාගෙන නොතිබුණ ද අදාළ ගිණුම් දෙක සම්බන්ධයෙන් එම බැංකුව තමන්ට නඩු පවරා තිබීම විශ්මයදනවන සිද්ධියක් බවත් ඔහු ප්‍රකාශ කළේය.


බෝරා පල්ලිය වටේ වීඩියෝ කළ පොඩි සහරාන් අත්අඩංගුවට

 


 බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාවේ දී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකතනයක් ආධාරයෙන්  වීඩියෝ කළ බව කියන පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක සිසුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගැනුණු සිසුවා පස්රුල් රහ්මාන් මොහොමඩ් සහරාන් නොහොත් පොඩි සහරාන් ලෙසින් හඳුන්වන බවත්, ඔහු බම්බලපිටිය පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධිය හදාරන සිසුවකු බවත් පොලිසිය කියයි.


සැකකරු සන්තකයේ තිබූ එම වීඩියෝ අඩංගු ස්මාට් වර්ගයේ ජංගම දුරකතනය ද පොලිස් බාරයට ගෙන ඇත. මෙම සිසුවා බම්බලපිටියේ දුම්රියපොළ තා බෝරා පල්ලිය ආවරණ පරිදි වීඩියෝ ගත කිරීමක් කරමින් සිටිය දී රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් ලබා දුන් තොරතුරක් අනුව බෝරා පල්ලිය අසල දුම්රිය මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පාස්කු සිද්ධියේ වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය කිරීම සම්බන්ධයෙන් ද අත්අඩංගුවට පත් වූවකු බවත්, ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවා සිටි ඔහු මීට මාස කීපයකට ඉහතදී ඇප මත මුදා හැරියකු බවත් පොලිසිය සඳහන් කරයි.


ඔහුගෙන් කළ මූලික ප්‍රශ්න කිරීමේදී බෝරා පල්ලියේ ධජ්ය මීට පෙර දැක නොමැති බැවින් එය වීඩියෝ කළ බවට කියා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මහනුවර පදිංචිකරුවකු වන 27 හැවිරිදි මෙම සිසුවා එඬේරමුල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත්, වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති බවත් පොලිසිය කියයි.බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.



හිටපු ඇමැතිගේ ගෝලයකු ගෙන්වූ කෝටි 3ක හොර වාහන 2ක් හොයාගනී

 


බිමල් ශ්‍යාමන් ජයසිංහ


කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ඇමැතිවරයකුගේ සමීපතමයකු බව කියන පුද්ගලයකු නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වු බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනා සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් බාරයට ගත් බව පානදුර වලාන දූෂණ මරිදන ප්‍රහාරක බළකාය කියයි. බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් සැක කටයුතු වැන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග නිවෙසක සඟවා තිබෙන බවට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ පානදුර, කළුතර කොට්ඨාස මෙහෙයුම් කණ්ඩායම වෙත ලද තොරතුරකට අනුව වෑන් රථය පොලිසිය බාරයට ගෙන ගෙන ඇත.


වැන් රථයේ සවිකර තිබෙන ලියාපදිංචි අංකයම හොරණ මිල්ලණිය ප්‍රදේශයේ තවත් වාහනයක තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද, එය නීත්‍යනුකූල ලෙස ලියාපදිංචි කර ආරක්ෂක අංශයක සේවය කරන්නකු පරිහරණය කරන වාහනයක් බවට මූලික විමර්ශනවලදී තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි. වෑන් රථය සඟවා තිබූ නිවෙසේ සිටි වයෝවෘද්ධ කාන්තාවකගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි.


පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරකට අනුව එම පුද්ගලයා පරිහරණය කළ බව කියන තවත් සුඛෝපභෝගී ජීප් රථයක් වීදාගම සිරිරාජ මාවතේ වාහන පිරිසුදු කිරීමේ ස්ථානයක ගාල් කර තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.එම ජීප් රථයට සවිකර තිබෙන ලියාපදිංචි අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.


මෙම ජීප් රථය මීට සති දෙකකට ඉහතදී මෙම සේවා ස්ථානය වෙත සේවා කටයුතු සඳහා යැයි පවසමින් ගාල් කරගෙන ගිය ද මෙතෙක් රැගෙන යාම සඳහා පැමිණියේ නැති බව එහි හිමිකරු ප්‍රකාශ දෙමින් පැවැසූ බව පොලිසිය පැවැසීය.මෙම වාහන දෙකම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන ප්‍රබල දේශපාලනඥයා අමාත්‍යවරයාව සිටියදී මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද වාහන දෙකක් බවට බොහෝ දුරට සැක කරන බව පොලිසිය කියයි.


නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම වාහනවලට නීති විරෝධී ලෙස ලියාපදිංචි අංක තහඩු සවිකර නීති විරෝධී කටයුතු සඳහා යොදා ගත්තාද? ජීප් රථයේ දත්ත මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කළේ කෙසේද? යන්න සහ වැන් රථයට නීති විරෝධී ලෙස සවිකර තිබෙන ලියාපදිංචි අංකය සඳහන් වෑන් රථය සොයා ගැනීමට ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පරීක්ෂණ පවත්වයි.


ස්කීපර් අතුරුදන්: දෙදෙනෙක් බේරාගැනෙති

 



ක්‍රිෂාන් ජීවක ජයරුක් 


ගොඩබිමේ සිට නාවික සැතපුම් 20 ක් පමණ ගැඹුරු මුහුදේ දී වෙළඳ නැවක හැපී අනතුරට ලක් වු “දිනේෂ් 04”බහු දින යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනාගෙන් දෙදෙනෙකු බේරා ගත් බවත් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් ස්කීපර් අතුරුදන්ව ඇති බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.


එසේ මිය ගොස් සිටි දෙවිනුවර වෙලේගොඩ පදිංචිව සිටි ඒ.ඩබ්ලිව්.පී.සුජිත් සමන්ත (46) හා වැලිගම මනා විය උයනේ පදිංචිව සිටි සරත් විමල් ශාන්ත (56) යන ධීවරයින් දෙදෙනාගේ සිරුරු නාවික හමුදාව හා ප්‍රදේශවාසී ධීවර බෝට්ටු එක්ව සොයාගෙන පෙරේදා (28) සවස ගාල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය. මිය ගිය සමන්ත දෙදරු පියෙකු වන අතර මිය ගිය ශාන්ත තිදරු පියෙකි. ඔවුහු දෙදෙනාම වසර 30 කට ආසන්න කාලයක් ධීවර රැකියාවේ නිරත වූ අය වෙති. අනතුර සිදු වන අවස්ථාවේ දීම පෙරලුනු යාත්‍රාව මතට නැග පුරා පැය 12 කට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියදී ඒ අසලින් ගමන් කළ "නිපුනි බහු දින යාත්‍රාවේ ධීවරයින් දැක ඔවුන් විසින් බේරා ගෙන තිබුණේ ගන්දර පදිංචි එල්. ඩී.එච්.තරංග නිරෝෂන් (46) නමැති ධීවරයෙකි.


ඔහු විසින් ධීවරයින් පස් දෙනෙකු රැකියාව සඳහා පැමිණි බවත් තම යාත්‍රාව වෙළෙඳ නෞකාවක හැපී අනතුරට ලක්ව බවත් ප්‍රකාශ කිරිමත් සමග නිපුනි යාත්‍රාවේ ධීවරයින් සන්නිවේදන යන්ත්‍ර මගින් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.ඒ අනුව ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ගාල්ල නාවික හමුදාවෙන් ඩෝරා යාත්‍රාවක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් වයි 12 වර්ගයේ ගුවන් යානාවක් සහ බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටරයක් වහා ක්‍රියාත්මක වන පරිදි අනතුරට පත් ධීවරයින් බේරා ගැනීම සඳහා පිටත්ව ගියේය.මීට අමතරව දෙවිනුවර හා ගාල්ල වරායෙන් ධීවර යාත්‍රා කිහිපයක් ද එම මෙහෙයුමට සහාය වීම සඳහා අනතුර සිදු වු ස්ථානය වෙත පිටව ගියේය.


එහිදී මිය ගිය ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු හමු වූ අතර පෙරලුනු යාත්‍රාව යට කොටසේ තවත් ධීවරයෙකු නිරුපද්‍රිතව සිටින බව නාවික හමුදා කිමිදුණ ඒකකය හඳුනා ගෙන තිබුණි. mඒ අනුව පැය කිහිපයක් සිදු කළ ඉතා අසීරු මෙහෙයුමකින් පසු එම ධීවරයා පිටතට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබුණි. පැය 18 කට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියදී එසේ දිවි බෙරා ගෙන තිබුණේ වැලිගම වල්ලිවල පදිංචි ටර්නි සුජිත් කුමාර (41) නමැති ධීවරයෙකි.


අනතුරින් දිවි බේරා ගත් ධීවරයින් දෙදෙනාම මේ වන විට ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එක් ධීවරයෙකුට අතරට පත් යාත්‍රාවෙන් කාන්දු ඩීසල් ශරීර ගත වී ඇති බවත් අනෙක් ධීවරයා ශ්වසන අපහසුතාවයෙන් පෙළෙන බවත් එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. කෙසේ වෙතත් මෙම අනතුරින් අතුරුදන් වූ දෙවිනුවර ගුණපාල මාවතේ පදිංචි ඒ.ඩබ්ලිව්.පී.ඩී.ප්‍රසංග (40) ධීවරයා සොයා ගැනීම සඳහා නාවික හමුදාව තව දුරටත් මහ මුහුද මැද සෝදිසි මෙහෙයුම් වල නිරතව සීටී.


ධීවරයින් පස් දෙනා සහිතව "දිනේෂ් 04 බහුදින යාත්‍රාව ඉකුත් සිකුරාදා (27) උදෑසන 9.00 ට පමණ දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරායෙන් රැකියාව සඳහා මුහුදු ගොස් තිබුණි. ගාල්ල හා බේරුවල අතර ගැඹුරු මුහුදු සීමාවේ දී එදිනම රාත්‍රි 10.50 ට පමණ එම යාත්‍රාව වෙළඳ නෞකාවක හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබුණේය. කෙසේ වෙතත් අනතුර සිදු කළ නෞකාව හඳුනා ගෙන ඉදිරි නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.


මිය ගිය ධීවරයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29) ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.අතුරුදන් ධීවරයා සොයා ගැනීමට සහ මෙම අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


නීතිඥවරියගේ රියෙන් ඇවිත් කොස්තාපල් වෙරළේ අයිස් ගහලා

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 


නීතිපති දෙපාර්තමේන්තුවේ අධිනීතිඥවරියකට අයත් යැයි කියන මෝටර් රථයකින් පානදුර වෙරළ තීරයට පැමිණ අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (29) අලුයම පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්තව නීතිපති දෙපාර්තමේන්තුවේ පොලිස් මුර පොලේ රාජකාරි කරන 25 හැවිරිදි විවාහක පොලිස් කොස්තාපල්වරයෙකි.


Friday, June 27, 2025

සීනි බෝල විසවී ගොකරැල්ලේ පසලක සිසුවියන් 26ක් රෝහලේ

 

සීනි බෝල වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව සිදු වූ බව කියන අසාත්මිකතාවක් හේතුවෙන් ගොකරැල්ල, පොල්ගොල්ල, දේවපාල විදුහලේ සිසුවියන් පිරිසක් ඊයේ (26දා) පෙරවරුවේ රෝහල්ගත කිර්මට කටයුතු කළ බව එහි විදුහල්පති දුනුකේදෙණියේ කුසලධම්ම හිමියෝ ‘මව්බිම'ට පැවැසූහ.


එම සීනි බෝල මිලදී ගත් බව කියන වෙළෙඳසල මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති බවත් පොල්ගොල්ල, දේවපාල විදුහල වසා දමා ඇති බවත් විදුහල්පති හිමියෝ පැවැසූහ. දුනුකේදෙණියේ කුසලධම්ම හිමියන් පවසන ආකාරයට පාසලේ උදෑසන රැස්වීමෙන් පසුව සිසුවියන් කිහිප දෙනකුගේ ශරීරයේ පලු දමා කැසීම් මතුව ඇති අතර පසුව දැවියන් පනස් දෙනකුගේ පමණ එවැනි තත්ත්වයක් දකින්නට ලැබුණු නිසා ඔවුන් ගොකරැල්ල, පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමට විදුහලේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.


විදුහලේ 6, 7 හා 8 ශ්‍රේණිවල දරුවන් මේ ආසාත්මිකතාවට ලක්වූ බවත් එම රෝගී දරුවන් රෝහලට ගෙන ගිය ගුරුවරියන්ටත් ඔවුන්ට ප්‍රතිකාර කළ ගොකරැල්ල රෝහලේ වෛද්‍යවරයාට හා උපස්ථායකයන් දෙදෙනකුටත් එම තත්ත්වය මතුව තිබුණු බවද උන්වහන්සේ කීහ.මේ අතර තවත් සිසුවියන් පිරිසක් කුරුණෑගල රෝහලට ගිලන් රථයක් මඟින් රැගෙන ගොස් ඇතුළත් කළ බව කී උන්වහන්සේ රෝගී දරුවන් ආහාරයට ගත් සැකසහිත සීනි බෝල ඇතැම් දරුවන්ගේ නිල ඇඳුමේ සාක්කුවල තිබූ බවද කීහ. උන්වහන්සේ මෙසේ ද කීහ.


“ඇසෙම්බ්ලිය තිබුණේ එළියෙ. ළමයි කසන්න ගත්තාම අපි හිතුවෙ දළඹුවො කියලා. අපි පස්සෙ ඇහුවා මොනව හරි කෑවද කියල. ටොෆි කෑවා කිව්වා. ඒවා සීනිබෝල වගේ පැකට්ටුවක්. මුතු බෙල්ලන් හැඩයේ. එක ළමයකුගෙ සාක්කුවකත් තිබුණා. ඒ පන්ති කාමරෙන් පහළට එද්දි තව කණ්ඩායමක් අසනීප වෙලා. මේ විදිහට ළමයි 50ක් විතර. 6, 7, 8 පන්තිවල. ඒ ළමයි ගෙනියපු ගුරුවරියොත් අසනීප වුණා. රෝහලේ ඇටෙන්ඩන්ලා දෙන්නෙක් අසනීප වුණා. බෙහෙත් කළ වෛද්‍යවරයාත් අසනීප වුණා. ආණ්ඩුකාරතුමා මැදිහත් වෙලා කුරුණෑගලින් ගිලන් රථයක් එව්වා. පොල්ගොල්ල රෝහලේ අය ටිකට් කපල යැව්වා. කුරුණෑගල යැව්ව අයගෙ තත්ත්වයත් සුව අතට හැරිලා කියනවා. ළඟ වෙළෙඳසලකින් අරන් තියෙන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාර්න් ඒවා රස පක්ෂකට යවන්න ගත්තා. හෙට (27දා) පාසල පැවැත්වෙන්නේ නෑ. හෙට නිවාඩුයි.


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පොල්ගොල්ල, දේවපාල විද්‍යාලයේ දැරියන් 26 දෙනෙකු සහ ගුරුවරියන් 3ක් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් ඇති වූ ආසාදන තත්ත්වයක් නිසා හුස්ම ගැනීමේ අපහසුතා සහ කැසීම හේතුවෙන් රෝහල් ගතකර ඇති බවයි.සිසුවියන් හත් දෙනකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව ඊයේ සවස 5.00ට ලැබුණු වාර්තාවේ සඳහන් බවද එම මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


අවුරුදු 15ක් මම සුසිත පුතාව ඇහෙන් දැකලා නැහැ

 



2010 වසරේ වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගෙන නිට්ටඹුව නගර මධ්‍යයේ ඉදිකෙරුණු විචිත්‍රවත් තොරණ දින තුනක් පුරා ප්‍රදර්ශනය කෙරුණේ නිට්ටඹුව නගර වැසියන්ගේ අසීමිත ප්‍රතිචාර මැදිනි. ස්වර්ණ හංස ජාතකය තේමා කරගෙන මෙම දැවැන්ත තොරණ නිර්මාණය කිරීමේ මූලිකත්වය ගෙන තිබුණේ නිට්ටඹුව ප්‍රදේශයේම ජනප්‍රිය තරුණයකු වූ සුරංග පීරිස් නමැත්තාය. වෙසක් උත්සවය සැමරීම සඳහා මුළු නිට්ටඹුව නගරයම වර්ණවත් විදුලි බුබුළුවලින්ද ආලෝකවත් වී තිබුණේය. නගරයට පැමිණි කාගේත් සිත් සතන් වෙසක් සිරියෙන් උන්මාදව පහන් සිතින් බැබළෙන්නට විය.


දින තුනක නිමාවෙන් පසු නගරයේ දැල්වුණු විසිතුරු බල්බ ඉවත් කිරීමට තරුණ පිරිස් යුහුසුලු වූහ. ඒ ජුනි මස දෙවැනිදා අවසන් ගමනෙන් යෙදෙන නිට්ටඹුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ අවමඟුල් පෙරහරකට මංමාවත් සැරසීමට අවශ්‍යව තිබුණු නිසාය. රාත්‍රි නවයට පමණ නිවෙසින් පිටව නගරයට පැමිණි සුරංග සෙසු තරුණයන් සමඟ එක්ව බල්බ ගැලවීමේ කටයුතුවල නියැළිණි. මිතුරන් සමඟ විහිළු තහළු කරමින් සිටි සුරංග මඳකට ඔවුන් සිටි තැනින් ඔබ්බට ගියේය. ඒ ඇසිල්ලෙන් විදුලි වේගයෙන් එතැනට පැමිණි යතුරුපැදියක සිටි අයෙක් එකවරම සුරංග වෙතට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. වෙඩි වැදුණු සුරංග කපාලූ කෙසෙල් කඳක් මෙන් එතැනම පතිත විය. මිතුරන් ඔහු වහා වතුපිටිවල රෝහලට රැගෙන ගියද සුරංග බේරාගැනීමට කිසිවකුට හැකි වූයේ නැත. සුරංගගේ ඝාතනය නිට්ටඹුව නගරයම දැඩි කම්පනයක් ඇති කරවන්නට සමත් විය.


"සුරංගට වෙච්ච දේ අපට හිතාගන්නවත් බැහැ"

සුරංගගේ වියෝවත් සමඟ සැමගේ මුවෙන් පිටවූයේ මෙවැන්නක්ය. සුරංග වෙනුවෙන් කඳුළක් නූපන් කෙනෙක් නිට්ටඹුව නගරයේ නොසිටීම ඊට හේතුව විය. සුරංග ඒ තරමටම මුළු නිට්ටඹුව පුරාම ජනප්‍රිය චර්තයක් විය.


සුරංග පීරිස් හතර දෙනකුගෙන් යුත් පවුලක උපන් පළමු පිරිමි දරුවාය. නිට්ටඹුව රෝමානු කතෝලික විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ සුරංග පාසලට ආයුබෝවන් කී සැණින් එයාලංකා ගුවන් සමාගමේ රැකියාවක් සඳහා ගියේය. සුරංගට ජපානයේ රස්සාවක් ලැබුණේ ඔය අතරය. ජපානයට ගිය සුරංග වසර ගානක්ම එරට රැඳී සිටිමින් රැකියාව කළේය. ජපානයේදී සුරංග නොලද සැපසම්පතක් නොලද සතුටක් නැත. වසර හතකට පසු ලංකාවට පැමිණි ඔහු යළි ජපානයට යන්නට අදිමදි කළේය.


"අනේ අම්මේ මට ආයෙත් රට යන්න බැහැ. මම මෙහෙ ඉඳන් බිස්නස් එකක් කරනවා."


"සිය වැඩිමහල් පුතු තම දෑස් මානයේ සිටිනු දැකීමට ඔහුගේ මවද බෙහෙවින් කැමැති වූවාය. ඒ නිසා සුරංගගේ අදහසට ඇයද විරුද්ධ වූයේ නැත. කාලය ගෙවෙද්දී වාහන සහ ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ සුරංග ජපානයේදී හරි හම්බකරගත් මුදල්ද ඊට යෙදෙව්වේය. ක්‍රමක්‍රමයෙන් ඔහු දියුණුවේ හිණිපෙත්තටම නැග්ගේය. 


වැඩි කලක් යන්නට මත්තෙන් නිට්ටඹුව වෙළෙඳ ව්‍යාපාරික සංගමයේ සභාපතිත්වයද හිමිකර ගැනීමට ඔහුට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස නිට්ටඹුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක තනතුරද ඔහුට ලැබුණේය. නගරයේ ජනප්‍රියම තරුණයකු වූ සුරංග ලොකු කුඩා කවුරුත් ඔහුට ආදරය කරන්නට වූයේ ඔහු තුළ තිබූ වටිනා ගතිගුණ නිසාය. එහෙත් සමහරුන් හිත් තුළ ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවක්ද හටගත්තේය. ඒ කවදා හෝ සුරංග මුළු නිට්ටඹුවම ජයගනිතැයි යන සැකය නිසාය.


උපතින් කතෝලික ආගමිකයකු වුවද පල්ලියට මෙන්ම පන්සලටද ඔහු බෙහෙවින් ඇලුම් කළේය. නිට්ටඹුව නගරයේ වෙසක් තොරණක් ඉදිකිර්මට සුරංග මූලිකත්වය ගෙන කටයුතු කළේද ඒ නිසාය. එහෙත් කිසිවකුත් නොසිතූ ලෙස සුරංග නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලොවින් සමුගෙන යෑමත් සමඟ ඔහුගේ අනාගත බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු වී ගියේය.


"මල්ලී ෆාදර් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියේ. ඒ නිසා අපි ඒකට කැමැති වුණේ නැහැ. පස්සේ එයා රට යන්න කලින් කිව්වා හමුදාවට බැ‍ෙඳන්න ඕන කියලා, ඒ පාරත් අපි එයාට ඒ ගමන යන්න දුන්නේ නැහැ. පස්සේ අපිට හිතුණා මල්ලි අපිට හොරෙන්වත් හමුදාවට බැඳෙයි කියලා. මමයි තාත්තයි මල්ලිගේ උප්පැන්න සහතිකයත් හංගලා තිබ්බා. ඒත් අන්තිමට මගේ මල්ලි අපිව දාලා ගියා." සුරංගගේ වැඩිමහල් සොහොයුර්ය ඔහුගේ අවසන් කටයුතු සිදුවන අතරතුර එලෙස පවසා තිබුණාය.



"තාත්තා නැති ගෙදරට තාත්තා වුණේ මගේ රත්තරන් පුතා. අපේ පණත් හරි පුතාත් හරි. එයා ගේ දොර හදාගෙන කසාදයකුත් බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න හරිම ආසාවෙන් හිටියේ. ගමේම හැමෝම එයාට ආදරෙයි. මගේ පුතාව උදුරගත්ත එවුන්ට හොඳක් නම් වෙන්න එපා."


සුරංගගේ මව එදා හැඬු කඳුළෙන් කීවේය.


සුරංගගේ මරණය සැලවෙද්දී ඔහුගේ බාල සොහොයුරා සුසිත සිටියේද ජපානයේය. සිද්ධිය සැලවීමත් සමඟ සුසිතද සිය සොහොයුරාගේ අවසන් කටයුතු සඳහා මෙරටට පැමිණියේය. එහෙත් ඔහු වැඩි දිනයක් මෙරට රැඳී සිටිනු දැකීමට ඔහුගේ මව, සොහොයුරියන් ඇතුළු ඥාතීන් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ඔහුගේ ජීවිතයටද හානියක් සිදු කරතැයි යන සැකය නිසාය. අවසානයේ සුරංගගේ අවසන් කටයුතු නිමවීමත් සමඟම සුසිතද යළි ජපානය බලා පිටත්ව ගියේය.


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ නිට්ටඹුව පොලිසිය විසිනි.

පසුව එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර විය. සුරංගගේ ඝාතනය ගැන නොයකුත් කටකතා පැතිර ගියේය. පෞද්ගලික වුවමනාවක් නිසා සුරංග ඝාතනය කළ බව සමහරු කීහ. දේශපාලන කරුණක් මීට හේතු වන්නට ඇතැයි තවත් සමහරු සැක කළහ. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුරංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ට එරෙහිව නඩුවක්ද ගොනු කෙණි. එහෙත් සුරංගට සාධාරණයක් තවමත් ඉටු නොවුණු බව ඔහුගේ මව මෙන්ම ඔහුගේ බාල සොහොයුරාද කියති. සුරංගගේ මරණයෙන් පසු ජපානයට ගිය සුසිත තවමත් රැඳී සිටින්නේ ජපානයේමය. වසර 15ක් ගතවී ගියද ඔහු මෙරටට තවමත් පැමිණියේ නැත. ඔහුගේ මව පවසන්නේ තම පුතුට මෙරටට ඒමට තරම් වාතාවරණයක් තවමත් නොමැති බවය.

"මම අවුරුදු 15ක් තවම මගේ බාල පුතා සුසිතව ඇස් දෙකින් දැකලා නැහැ. ෆෝන් එකෙන් කතා කරනවා විතරයි. මගේ බාල පුතාව ලංකාවට ගෙන්න ගන්න ඕන. ඒත් මට බයයි. පුතාටත් කරදරයක් වෙයි කියලා” ඇය කියන්නීය. ඇගේ දෙනෙත්වලින් රූරා වැටෙන කඳුළු කැට මවු සෙනෙහසේ ඇති උදාරත්වය මොනවට විදහාපාන්නේය. “මට ඕනි මගේ බාල පුතාත් එක්ක ලංකාවේ ජීවත් වෙන්න. මම ගෙද ඉන්නේ තනියම. මම මැරෙනකම් සුසිත පුතාව මට සැබැහින් දැකගන්න බැර්වෙයිද?” ඇය විමසන්නීය.


වසර පහළොවක් පුරා හැඬු කඳුළෙන් සිටි ඇය පසුගියදා ඇගේ දුක වේදනාව ගැන පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කළාය.


"ගම්පහ මැර දේශපාලනයේ ඉතිහාසය ගැන ඔබ හොඳින් දන්නවා ඇති...


2015 වසරේ ඔබතුමා ජපානයට ගිය අවස්ථාවේදී තගෝයා නගරයේ ඔබ ලැඟුම් ගෙන සිටි හෝටලය ඉදිරි පිටදී මගේ බාල පුතා සුසිත පීරිස් ඔබතුමා හමුවී ඒ බව සවිස්තරව කියන්න ඇති. සුරංග පුතාගේ

ඝාතනයට අදාළ අප සතු සියලුම සාක්ෂි මගේ පුතා එදා ඔබතුමාට දුන් බව ඔබට මතක ඇතැයි මම සිතමි. මගේ බාල පුතාට තවමත් ලංකාවට එන්න වාතාවරණයක් නැහැ. අපි හිටපු ජනාධිපතිගෙනුත් සහනයක් ඉල්ලුවා. ඒත් ලැබුණු සාධාරණයක් නැහැ. දැන් මම ඔබතුමාගෙනුත් සාධාරණයක් ඉල්ලනවා. ඒ සාධාරණය ඔබෙනුත් නොලැබුණොත් මට ජීවිත කාලයේදීම ඒ සාධාරණය ලබාදිය හැකි තවත් කෙනෙක් හමුවෙයි කියලා මම හිතන්නේ නැහැ.

අම්මෙක් විධියට මම ඔබගෙන් ඉල්ලන්නේ මගේ ඇස්දෙක පියවෙන්න කලින් මේ සාධාරණය ඉෂ්ට කරලා දෙන්න කියලයි” ඇය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ එසේ සටහන් කර තිබුණාය.

නිට්ටඹුව පරණ පොළ පාරේ පදිංචි මියගිය සුරංගගේ මව අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කිමෙන් පසු ඇය පවසන්නේ ජනාධිපතිවරයා ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලබාදී ඇති බවයි. ඒ අනුව ඉකුත් ජුනි මස 6 වැනිදා උදෑසන 10ට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පෙනී සිටින ලෙස ඇයට දැනුම්දීමක්ද කර තිබිණි. ඒ සිදු කරනු ලබන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට බව ඇය කියන්නීය. ඒ අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ගිය ඇය එම ඒකකයට ප්‍රකාශයක් ලබාදී ඇති අතර වත්මන් ජනාධිපතිවරයාගේ නියෝගයකින්වත් තම සුරංග පුතුට සාධාරණයක් ඉටු වනු ඇතැයි හුදෙක් බලාපොරොත්තුවෙන් සිටින්නීය. 


එමෙන්ම ඇගේ එකම ආශාව මිය යන්නට කලියෙන් ජපානයේ රැඳී සිටින තම බාල පුතු සුසිත මෙරටට ගෙන්වා ගැනීම පමණි. ඔහුට මෙරට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින්නීය. මේ සම්බන්ධයෙන් මේ වන විට ජපානයේ රැඳී සිටින ඇගේ බාල පුතු සුසිත්ද ඉල්ලා සිටින්නේ මෙවැන්නක්ය.


”අයියාගේ මරණයෙන් පස්සේ මම ජපානයට ආවා. එදායින් පස්සේ මම තවම ලංකාවට ගියේ නැහැ. ජනාධිපතිතුමා ජපානයට ආව වෙලාවේ අයියගේ මරණය සම්බන්ධ තොරතුරු සේරම මම ජනාධිපතිතුමාට දුන්නා.


මම ලංකාවට එන්න හරිම ආශාවෙන් ඉන්නේ. අවුරුදු පහළොවක් මම අම්මවයි, අක්කල දෙන්නවයි සියැසින් දැකලා නැහැ. දුරකථනයෙන් විතරයි අම්මා මට කතා කරන්නේ. මට ලංකාවට ගිහින් ජීවත් වෙන්න තරම් හොඳ වටපිටාවක් තවම නැහැ කියලයි මම හිතන්නේ. අපි අවුරුදු පහළොවක්ම ඒ සාධාරණය ඉල්ලා සිටියා. දැනුත් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ලංකාවට ගිහින් මට අම්මයි, අක්කලයිත් එක්ක නිදහසේ ජීවත් වන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න කියලයි...”


සුරංගගේ බාල සොහොයුරා සුසිත ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් එලෙස ඉල්ලා සිටින්නේය. ඒ යුතුකම ඉෂ්ට වනු ඇතැයි සුරංගගේ මවගේත් සොහොයුරු සොහොයුරියන්ගේත් එකම බලාපොරොත්තුවය.


- කීර්ති මෙන්ඩිස්


ළදරු පාසල් දැරියක කෙලෙසූ 68 හැවිරිදි බාප්පා අවුරුදු 60ක් හිරේට

 

තම නිවෙසට යාබද නිවෙසේ ජීවත්වූ පෙර පාසල් ව්යේ පසුවූ කුඩා දැරියක ඇගේ මවුපිය වැඩිහිටියන් නිවෙසේ නොමැති අවස්ථාවලදී තම නිවෙසට කැඳවාගෙන විත් වරින් වර පුරා මාස දෙකක පමණ කාලයක් තිස්සේ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිර්ම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරනු ලැබූ 68 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා බරපතළ වැඩසහිත වසර 60ක සිරදඬුවම් නියම කළේය. විත්තිකරු එකී චෝදනා තුනටම වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇතැයි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිගමනය කළ විනිසුරුවරයා එක් චෝදනාවකට වසර 20 බැගින් බරපතළ සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් කාලය එනම් වසර 60 වෙන් වෙන්ව ගෙවීයන පරිදි ලබාදීමටද නියෝග කළේය.


එයට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් හා වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවිය යුතු බවටද නියෝග කළ විනිසුරුවරයා එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් අමතර වසර දෙකක ලිහිල් සිර දඬුවම් ලබාදීමටද නියෝග කළේය.


එවකට 55 හැවිරිදි වියේ පසුවූ තැනැත්තකු වන විත්තිකරු එකී දැරියගේ සමීප ඥාතියකු (බාප්පා) බවත් වැඩිහිටි දියණියන් දෙදෙනකුගේ පියකු වන ඔහු මෙකී ළාබාල දැරියට සිදුකළ එකී අපරාධය තම අධිකරණය පමණක් නොව කිසිදු මනුෂ්‍යයකු අනුමත නොකරන මිනිස්කමට නිගා කරන අපරාධයක් වන බැවින් නීතිය අනුව ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තම අධිකරණය කිසිසේත්ම නොපැකිළෙන බව විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා එකී තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.


සිය නිවෙසේ හා දැරියගේ නිවෙසේ කිසිවකුත් නොමැති අවස්ථාවලදී එම දැරියව සිය නිවෙසට කැඳවාගෙන ගොස් ජිල් බෝල ලබාදෙන බව පවසා එකී අපරාධය සිදුකර තිබූ විත්තිකරු ඒ බව ඇගේ මවට හෝ අන් කිසිවකුට පැවසුවහොත් ඒ ආකාරයෙන් තව තවත් සිදුකරන බවට තර්ජනය කොට දිගින් දිගටම එම අපරාධය සිදුකර ඇති බවත් විත්තිකරු සිය නිවෙසට පැමිණෙන අවස්ථාවලදී දැරිය බියපත් වී ඇඳන් යට හා දොරට මුවාවී සැඟවී සිටීමට පෙළඹීම හා අනේ අම්මේ ෂෙල්ටන් බාප්පට අපේ ගෙදරට එන්න දෙන්න එපා යැයි සිය මවට පවසා තිබූ බව පැමිණිල්ලේ සාක්ෂි මඟින් අනාවරණය වී තිබිණි.


බන්ධනාගාර නිලධාරීන් 16 කට ස්ථාන මාරු

 


යොහාන් භාසුර


බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනකු ලබන ජූලි 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර යැවීමට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නිශාන්ත ධනසිංහ මහතා පියවරගෙන ඇත.විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරිවරු දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරිවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරිවරු අට දෙනෙක් සහ වැඩබලන බන්ධනාගාර අධිකාරීවරු පස් දෙනෙක් මීට ඇතුළත්ව සිටිති. විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරි ඒ.සී. ගජනායක මහතා බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරි ඩී.ආර්.එස්. සිල්වා මහතා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරු කර ඇත.


කොළඹ රිමාඩ්  බන්ධනාගාරයේ වැඩබලන බන්ධනාගාර අධිකාරි සුදත් රෝහණ මහතා මහර බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි එල්.පී. වර්ණකුලසූරිය මහතා වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි වී. අබේධීර මහතා කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ බන්ධනාගාරයට ද මාරුකර ඇත.


සහකාර බන්ධනාගාර අධිකාරී කේ. ඩෙප් මහතා කළුතර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට, සහකාර බන්ධනාගාර අධිකාරි පී. ප්‍රේමතිලක මහතා හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ සිට අනුරාධපුර බන්ධනාගාරයට, සක්කාර බන්ධනාගාර අධිකාරි පී. පෙරේරා මහතා පල්ලේකැලේ බන්ධනාගාරයේ සිට මැගසින් බන්ධනාගාරයට සහ සහකාර බන්ධනාගාර අධිකාරි ඒ. උදයකුමාර මහතා බූස්ස බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරයට මාරු කිරීමට නිශාන්ත ධනසිංහ මහතා පියවර ගෙන ඇත.සහකාර බන්ධනාගාර අධිකාරි එන්. උපුල්දෙණිය මහතා මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරට මාරුකර ඇති අතර ඔහු වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරාය.


සහකාර බන්ධනාගාර අධිකාරි ආර්. ප්‍රභාත් මහතා වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. රාජකරුණානායක මහතා බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායට ද, සහකාර බන්ධනාගාර අධිකාරි ප්‍රදීප් වසන්ත කුමාර මහතා වටරැක බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි එන්. ප්‍රනාන්දු මහතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට වීරවිල බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා මාතර බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයට ද, සහකාර බන්ධනාගාර අධිකාරි කුමාර එදිරිසිංහ මහතා මහර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයට ද, මාරුකර යවනු ලැබ සිටිති.


ජීව අත් බෝම්බයක් සොරාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරලා

 


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


මෙරට නිෂ්පාදිත හක්ක පටස් වර්ගයේ ජීව අත් බෝම්බයක් සොරාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ගොරකපිටිය ඇළ පහළ ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.


කැස්බෑව පොලිස් වසමෙ නිවෙසකින් සොරාගෙන තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ස්ථානීය පරික්ෂණයක් සඳහා යමින් සිටියදී පැමිණිල්ලට අදාළ අංක තහඩුව සහිත යතුරුපැදිය කැස්බෑව පොල්කේන හන්දිය පසු කරමින් ධාවනය කරනු දැක නවතා ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය සොරා ගත් යතුරුපැදිය බවට අනාවරණය වීමෙන් පසුව එය අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරු කරෙහි එල්ලාගෙන තිබූ සංචාරක බෑගය පරික්ෂා කිරිමේදී එහි මෙරට නිෂ්පාදිත හක්ක පටස් වර්ගයේ ජීව අත්බෝම්බයක් තිබී හමුවූ බව පොලිසිය කියයි.


මෙම අත්බෝම්බය කිසියම් අපරාධයක් සඳහා රැගෙන යන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය.පසුව සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී පිළියන්දල පොලිස් වසමේ සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් 2022.10.03 දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බව පැවසේ.අත්අඩංගුවට ගත් සැකකරු (25) කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාගේ උපදෙස් මත ඉදිරි පරික්ෂණ පැවැත්වේ.


හාල් ටොන් හතළිස් දාහක් රටින් ගෙන්වන්න යයි

 


අංජුල මහික වීරරත්න


කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත.කීරි සම්බා සහල් ප්‍රමාණවත් තරම් වෙළඳපොළේ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරනු ලැබූ කරුණු දැක්වීම පදනම් කර ගනිමින් මෙම නිර්දේශය නිකුත් කර ඇත.


මෙලෙස ආනයනය කෙරෙන සහල් මෙට්‍රික් ටොන් 5,000ක් රජයේ ආයතනවලින් ද සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශයෙන් ද ආනයනය කිරිමට තීරණය වී ඇත.රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹිණි. පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතත්තා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


ඒ අනුව, දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා කිරි සම්බා වී කිලෝවක් රුපියල් 120ක මිලකට වී අලෙවි මණ්ඩලයෙන් හා සහාස ආයතනයෙන් මිලදී ගැනීමේ කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාමට ද තීරණය විය. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ගබඩා කිරීමේ පහසුකම් ඇති කිරීම මෙන්ම, බියර් සහ සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ කැඩුණු සහල් හෝ විකල්ප අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද මෙහිදී කතිකාවට බඳුන් කෙරිණි. පාරිභෝගික අවශ්‍යතාවට අනුව බඩඉරිඟු නිෂ්පාදනය, ටින් මාළු, බිත්තර සහ පාංශ නිෂ්පාදනය සහ ලුණු ආනයන කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

 

පොහොර ආනයනය, තොග පවත්වා ගැනීම, සැපයීම සහ බෙදාහැරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර යල කන්නය සඳහා පොහොර බෙදා දීමේ ප්‍රගතිය, ඔඩපන ණය නිකුත් කිරීමේ ප්‍රගතිය සහ යල කන්නයේ වගා කටයුතුවල සාර්ථකත්වය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් පුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම්වරුන්, මෙන්ම දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


මං කවුද දන්නේ නැද්ද ?

 


 ජේ.ඒ.එල්. ජයසිංහ


මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා අනන්‍යතාව හෙළි නොකර සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රෝහල් පරිශ්‍රයේ මාර්ගයට ඇතුළුවීමට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවසර නොදීමෙන් රෝහල් පරිශ්‍රයේ ඉකුත්දා දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.


මෙම අවස්ථාවේ මන්ත්‍රීවරයා තමන් කවුද කියා හඳුනන්නේ නැද්දැයි රෝහලේ ආරක්ෂක නිලධාරින්ගෙන් විමසූ විට, ආරක්ෂක නිලධාරින් එම තරුණ මන්ත්‍රීවරයා කවුදැයි නොහඳුනන බව පැවැසීම නිසා රෝහල් පොලීසියේ නිලධාරින් ද එම ස්ථානයට කැඳවීමට සිදුවිය. පොලිස් නිලධාරින් ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනා නොගැනීම නිසා එම ස්ථානයේ අර්බුදකාරි තත්වයක් ඇති වූ බව රෝහල් සේවකයෝ සහ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරිහු ද පැවැසූහ.


මෙම තරුණ මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට හඳුනා ගැනීම සඳහා රාජ්‍ය ලාංඡනය හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශනය නොකිරීම නිසා රෝහලේ ආරක්ෂක නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට ද මන්ත්‍රීවරයා හඳුනා ගැනීම අපහසු විය.


කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සහ රෝහලේ ආරක්ෂකයන් අතර මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය. පසුව තරුණ මන්ත්‍රීවරයා මහනුවර උසස් පොලිස් නිලධාරියකුට සිද්ධිය දැනුම් දී ඇති බව මහනුවර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම සිද්ධිය ඉකුත් 24 වැනිදා දහවල් 11. 00ට පමණ සිදුවිය. තරුණ මන්ත්‍රීවරයා සමග උණුසුම් වචන හුවමාරුවක යෙදුණ පාර්ශ්වය ද එම මන්ත්‍රීවරයාට පැවැසූවේ අපි මාලිමා ආණ්ඩුවට ඡන්දේ දීලා තමුන්නාන්සේලා පත්කර ගත්තේ පසුගිය ආණ්ඩුවේ අය වාගේ චණ්ඩිකම් දාපූ අය පත්කර ගැනීමට නොවන බවය.තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් කවුදැයි හඳුනාගත හැකි නිල ලාංචනයක් ඔහුගේ රථයේ ප්‍රදර්ශනය කර තිබුණා නම් රෝහල් පරිශ්‍රයට ඇතුළුවීමට කිසිදු බාධාවක් නොවන බව රෝහල් පාලනාධිකාරිය සහ ආරක්ෂක අංශය ද පැවසීය.


ජ'පුර බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා තාවකාලිකව අත්හිටුවයි

 


 කවිඳු දිල්ෂාන්


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලාවලින් එහි ආචාරිය මහාචාර්යවරුන් අනිසි ලෙස මුදල් උපයන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වර්තමාන රජය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී නිසි විමර්ශනයක් කර විසඳුම් දෙන තෙක් එම බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා තාවකාලිකව අත්හිටුවන බව එම විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය දඹර අමිල හිමියෝ පැවසූහ.


මෙරට හොඳම මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යන විශ්වවිද්‍යාල අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රන් සම්මානය පවා දිනාගත් බවත් එවැනි විශ්වවිද්‍යාලයක බාහිර උපාධි පාඨමාලාවන්හි මූල්‍ය වංචා සිදු වන්නේය යන්න පැවසීම ඉතාමත් පදනම් විරහිත බවත් උන්වහන්සේ කියා සිටියහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්ථාගාර පරිශ්‍රයේ පැවැති බාහිර උපාධි හා සම්බන්ධ ගැටලුව පිළිබඳ මාධ්‍ය හමුවේ දී ඊයේ (26) උන්වහන්සේ එසේ පැවසූහ. පසුගිය දිනවල සමාජ මාධ්‍යයන්හි, ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒ සම්බන්ධයෙන් පැතිර ගිය පුවත් පදනම් විරහිත අසත්‍ය ඒවා බවද අමිල හිමියෝ කීහ.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පවත්වාගෙන යන සියලුම බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා 932 විශ්ව විද්‍යාල චක්‍රලේඛය යටතේ ක්‍රියාත්මක වන බවද උන්වහන්සේ පැවසූහ. ඒ අනුව බාහිර උපාධියක් හැදෑරිම සඳහා එක් බාහිර ශිෂ්‍යයකුගෙන් අය කෙරෙන මුදල, එක් දේශනයක් සඳහා ආචාර්යවරයකුට ගෙවන මුදල හා ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවේදී එක් ප්‍රශ්න පත්‍රයකට ගෙවන මුදල යන මූල්‍යමය කාරණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියකින් යුතුව පවත්වාගෙන යන බවද උන්වහන්සේ කීහ.


රජය වාර්ෂිකව මෙරට ඕනෑම රජයේ විශ්වවිද්‍යාලයක කලා උපාධිය හදාරන එක් අභ්‍යන්තර ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් 3,52,000ක මුදලක් වැය කරන බවද අමිල හිමියෝ එහිදී සඳහන් කළහ. එහෙත් උසස් පෙළ සමත් ඕනෑම ශිෂ්‍යයකු විශ්වවිද්‍යාලයට යෑමට සුදුස්සකු වුවද එම සියලුම දෙනා වෙනුවෙන් එවැනි මුදලක් වියදම් කිරීමට රජයට නොහැකි බවද උන්වහන්සේ පැවසූහ.


එහෙත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක් බාහිර උපාධි අපේක්ෂකයකුගෙන් උපාධි ගාස්තු වශයෙන් රුපියල් 1,95,000ක මුදලක් අය කරගනිමින් රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට නොහැකි වූ ශිෂ්‍යයන්ට උපාධි ලබා ගැනීමේ අවස්ථා සලසමින් රජයට විශාල මූල්‍යමය සහනයක් සපයන බවද අමිල හිමියෝ කීහ. බාහිර උපාධි ශිෂ්‍යයන්ගෙන් අය කරගන්නා එම මුදල කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර නොවන බවත් ඒවා විශ්වවිද්‍යාලයේ ප්‍රාග්ධන හා මුදල් කමිටුවේ මනා අධික්ෂණය යටතේ විශ්වවිද්‍යාල මූල්‍යාධිකාරිය හරහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අරමුදලට එකතු වන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.


මෙවැනි මූල්‍ය අධීක්ෂණ ක්‍රියාදාමයක් තිබියදී පවා අසත්‍ය චෝදනා නගමින් ඇතැම් පාර්ශ්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම තමන් වහන්සේ ආචාර්යවරයකු වශයෙන් හෙළා දකින බවද අමිල හිමියෝ පැවසූහ. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර සමාජීයවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතාද අදහස් දැක්වීය.


පානීය ජල බෝතල් වැඩිමලට විකුණා ලක්ෂ 10 ක් දඩකයි

 


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් පාරිභෝගික අධිකාරිය මගින් වටලා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක දඩ මුදලක් ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාන් සංජය ඞී. සිල්වා මහතා ඊයේ (26) නියම කළේය. මෙසේ දඩ නියම කරන ලද්දේ මහරගම පිහිටි පෞපෞද්ගලික ආයතනයකටය.


කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් අප්‍රේල් 29 වන දින සිදු කරන ලද වැටලීමකින් අනතුරුව එම පෞද්ගලික ආයතනයට විරුද්ධව නඩු පවරා තිබිණි.


අංක 243/15 හා 2025.04.01 දින දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද අංක 93 දරන නියෝගය මගින් කිසිම නිෂ්පාදකයකු, අසුරන්නකු, වෙළෙන්දකු හෝ බෙදාහරින්නකු විසින් දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලි. 500, මි.ලි. 999 පොලිඑලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක උපරිම සිල්ලර මිල රු. 70 කට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියම කර තිබියදී මෙම ආයතනය විසින් දේශීයව බෝතල් කළ පානීය ජලය මි.ලී. 500 ප්‍රමාණයේ පොලි එලිතීන් ටෙරප්තලේට් (PET) බෝතලයක් ඉහත නියෝගයේ සඳහන් මිලට වඩා වැඩි මිලට එනම් රු. 90.00 කට මුදලකට අලෙවි කර තිබිණි. මේ පිළිබඳව ලද තොරතුරට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරි එස්.පී. පුංචිහේවා මහතා උපාය දූතයකු ලෙස එම ස්ථානයට ගොස් වැඩි මිලට අලෙවි කරමින් තිබූ පානීය ජල බෝතල් මිලයට ගෙන තිබේ.


ඒ අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් කරුණු වටහා දීමෙන් පසුව වරද පිළිගත් මෙම ව්‍යාපාරික ආයතනයට එරෙහිව මෙසේ නඩු පවරා තිබූ අතර ඒ අනුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩී. සිල්වා මහතා ඊයේ (26) රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කළේය.


Thursday, June 26, 2025

චූටි නංගිගේ තාත්තා හා මස්සිනාත් මාට්ටු

 


රංජිත් කරුණාවීර 


කලක පටන් මහියංගණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවට පැවැසෙන මහියංගණ ගෙවල් 20, දොඩම්වත්ත ප්‍රදේශයේ පවුලක දියණියක් ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මහියංගණ පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන වීරසිරිට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී 24 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.


අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්. 10.4ක් සමඟ ජංගම දුරකථන 11ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 119,000ක මුදලක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ලැබුණු තොරතුරකට අනුව දොඩම්වත්ත ප්‍රදේශයේ සැකකාරියගේ නිවෙස වටලා කළ පර්ක්ෂාවේදී මත්ද්‍රව්‍ය සමඟින් සැකකාරිය ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ දොඩම්වත්තේ චූට් නංගි නමින් හැඳින්වෙන කාන්තාවකි. ප්‍රධාන සැකකාර්යගේ පියා හා මස්සිනාද සමඟින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 


සැකකාරිය මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තැනැත්තියක් බව පොලිසිය කියයි. ඇයගේ මවද මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් තැනැත්තියක් බව පොලිසිය වැඩිදුරටත් කීය.


මෙහෙණින් වහන්සේ කෙනෙකුට ආරාමයක් ඉරිකර දෙන්නැයි කියා ඒක් ලක්ෂ පන්දාහක් වංචනිකව අරන්

 


 බිහදු විනුවර 


කොළඹ,  කොටහේන ප්‍රදේශයේ භික්ෂුණි ආරාමයක වැඩ වසන මෙහෙණි වහන්සේ නමකට ආරාමයක් ඉදි කර ගැනීම සඳහා ඉඩමක් හා මුදල් ලබා දෙන බවට මුළාකොට ඇයගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් වංචනික ලෙස ලබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.


මේ සිද්ධිය සම්බන්ධව එම මෙහෙණින් වහන්සේ කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් හා බැංකු ගිණුම් පිළිබඳව වාර්තාද ලබා ගෙන තිබේ.


මෙම මෙහෙණින් වහන්සේ සිය සහෝදරියක් සමඟ අවශ්‍යතාවකට ත්‍රිරෝද රථයකින් මාවතගම ප්‍රදේශයට වැඩම කර ඇත. ඒ අතරතුර මල්දෙණිය ප්‍රදේශයේදී අඹ මිලදී ගැනීම සඳහා ත්‍රිරෝද රථය නතර කර තිබේ. ඒ අවස්ථාවේ එතැනට පැමිණි එම නාඳුනන පුද්ගලයා එම මෙහෙණින් වහන්සේ සමඟ කතාබස් කොට දෙදෙනා අතර සුහදතාවක් ගොඩනඟාගෙන ඇත .


එහිදී එම පුද්ගලයා විසින් තම පියාට අක්කර 17ක ඉඩමක් තිබෙන බවත් තාත්තාගේ බැංකු පොතේ ලක්ෂ 84ක් තිබෙන බවත් ඒ සියල්ලම තාත්තාට පින් පිණිස ඔබ වහන්සේට ආරාමයක් ඉදිකර දීමට ප්‍රදානය කිරීමට කැමැති බව පවසා තිබේ. එයට මෙහෙණින් වහන්සේ කැමැති වී ඇත.


පසුව එම ඉඩමේ අයිතිය හා බැංකු ගිණුමේ මුදල් ලබා ගැනීම සඳහා ලිපි ලේඛන සකස් කීරීමට රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් වැය වන බවට පවසා ඇත. ඒ අනුව මෙහෙණින් වහන්සේ අවස්ථා දෙකකදී එම මුදල එම පුද්ගලයාගේ ගිණුමට කිරිබත්ගොඩ හා කුරුණෑගල යන ප්‍රදේශවලින් බැංකු ගත කර තිබේ. ඉන් අනතුරුව එම පුද්ගලයා සියලු සබඳතා නවතා දමා තිබෙන අතර ඒ හේතුවෙන් එම මෙහෙණින් වහන්සේට එම පුද්ගලයා ගැන සැකයක් මතු වී ඇත.


කුෂ් ජාවාරම් කළ බොරලැස්ගමුවේ නැටුම් ගුරෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට

 



මිරිහාන, පිංනියර ප්‍රදේශයේ මලියකුට ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 12කට ආසන්න කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230ක ප්‍රමාණයක් සමඟ දිවයිනේ ප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් පුහුණු කිරීමේ නර්තන ශිල්පියකු සහ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය මැඬලීමේ ඒකකය පවසයි.


නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය මැඬලීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් වසන්ත නිලධාරියාට ලද රහසිගත තොරතුරක් මත කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි සැකකාර නර්තන ශිල්පියා අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ පක්ෂණවලදී කුෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ හා බෙදා හැරීමේ නියැළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු ඇතුළු අත්අඩංගුවේ පසුවන අනෙක් තිදෙනාද තදින්ම කුෂ් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් වූ ප්‍රධාන සැකකරු 47 වැනි වියේ පසුවන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අනෙක් සැකකරුවන් තිදෙනා 30, 24, 33 වැනි වයස් කාණ්ඩවල පසුවන මිහාන. මහරගම බොරවැස්ගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය මැඬලීමේ ඒකකය පැවැසීය.


ප්‍රධාන සැකකරු වෙත කුෂ් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිර්පත් කිරීමට නියමිතය.


දරුවාගේ හිසට පොල්ලකින් ගැසූ තාත්තා දැලේ

 


 


අතාවුද පතිරණ 


සිය 16 හැවිරිදි දරුවා උපකාරක පන්තියට ගොස් නැවැත නිවෙසට පැමිණීමෙන් පසු ඇයි තාත්තේ මාව එක්ක එන්න ආවේ නැත්තේ කියා ඇසුවාට උරණ වූ පියා එම දරුවාගේ හිසට පොල්ලකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට ඌරුබොක්ක පොලිසිය පවසයි.


බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කිර්පිටිය, කෝන්ගහදෙණිය ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 16 හැවිරිදි පාසල් සිසුවකු බවට පොලිසිය පැවැසීය. පහර කෑමට ලක්වූ පාසල් සිසුවා පසුගිය 22 දින කොටපොළ ප්‍රදේශයේ පැවැති උපකාරක පන්තියකට සහභාගි වී ඇති අතර උපකාරක පන්තිය අවසන් වී ඔහු බස් රථයකින් කිරිලිපන නගරයට පැමිණ ඇත. 


එසේ උපකාරක පන්තියට සහභාගි වී පැමිණි දරුවා නිවෙසට රැගෙන යෑම සඳහා පියා පැමිණීමට ප්‍රමාද වීම නිසා දරුවා එම මාර්ගයේ ගමන් කරන හිතවත් අයකුගේ වාහනයක නැඟ නිවෙසට ගොස් ඇති බවට පොලිසිය පවසයි. දරුවා රාත්‍රි 8.30 පමණ නිවෙසට ගොස් ඇත. ඇයි මා එක්ක එන්න ආවේ නැත්තේ කියා ඇසුවැයි උරණ වූ පියා පොල්ලක් රැගෙන දරුවාට පහරදී ඇති බවත් එම පහරදීම වැළැක්වීමට උත්සාහ කළ මවටද පොලු පහරවල් දෙකක් වැදී ඇතැයි පොලිසිය කියයි. හිසට පොලු පහර වැදීමෙන් පසු දරුවා නිවෙසේ පිටුපස දොරෙන් පිටතට දිවගොස් බාප්පගේ නිවෙසට දිව යන අතරතුර මිදුලේ ඇද වැටී ඇත. පසුව නිවැසියන් කෑ ගසා අවට අයත් සමඟ බිම ඇද වැටී සිහිසුන්ව සිටී දරුවා රෝහල්ගත කිරීම සඳහා 1990 සුවසැරිය ගිලන් රථයට දැන්වුවත් පැමිණීම ප්‍රමාද වීම නිසා යතුරුපැදියකින් දරුවා දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලටත් ඉන්පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවත් මේ වන විට දරුවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවැසීය.


දරුවාට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් දරුවාගේ පියා පොලිසිය මඟින් අත්අඩංගුවට ඇත. ඔහු 41 හැවිරිදි දෙදරු පියකු බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.


ජ'පුර වෛද්‍යවරියගේ සිද්ධියෙන් වෘත්තිය මුවාවෙන් ව්‍යාපාර කරන අය කලබල වෙලා

 



 රවිශාන් ප්‍රනාන්දු


අල්ලස් හෝ දූෂණ චෝදනාවට ලක් වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ සිදුවීමෙන් කලබලයට පත්වන්නේ වෛද්‍යවරුන් නොව එම වෘත්තීය මුවාවෙන් ව්‍යාපාර කරන්නන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.වෛද්‍යවරුන් පිටතින් ලබා ගැනීමට ඖෂධ ලිවීම නිදහස් සෞඛ්‍ය සේවයේ ලක්ෂණයක් වී ඇති බවත් අතීතයේ සිටම එම ක්‍රියාවේ . ඔවුන්යෙදුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය.


ජයවර්ධනපුර රෝහලේ සිදුවීමේදී සැකකාර – වෛවර්ය තමන්ට ළබැඳි සමාගමක් සමඟ කටයුතු කර සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ එම සමාගමින් මිලදී ගන්නා ලෙස රෝගීන් යොමු කිරීම වෛද්‍යවරුන් ලෙස අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව හෙතෙම අවධාරණය කළේය. එම නිසා මෙම සිදුවීම පිළිබඳ වෛද්‍යවරුන් කිසිසේත්ම කලබල විය යුතු නොවන බව බෙල්ලන මහතා අවධාරණය කළේය.


වෛද්‍යවරුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ රජයේ ආයතන සංග්‍රහය සහ රජයේ චක්‍රලේඛ, මාර්ගෝපදේශ සපයා ඇති බව බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ ජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජන වී ගැටලුකාර් තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශ්වයන්ගේ විස්තර රැස් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 21 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.


ගහක් කපන්න බලපත්‍රය දෙන්න ලක්ෂයක අල්ලසක් අරන්

 


ගසක් කැපීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩම් හිමියකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ඉඩම් නිලධාරියකු කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (25දා) බරපතළ වැඩ සහිත වසර 22ක සිරදඬුවමක් නියම කළේය.


එයට අමතරව පී.එම්. කමල් මංජුල නමැති එම විත්තිකරුට රුපියල් 30,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂය විත්තිකරුගෙන් දඩයක් ලෙස අයකර ගැනීමටත් නියෝග කළේය. අල්ලස් පනතේ 26 වැනි වගන්තිය අනුව රුපියල් ලක්ෂයක මුදල දඩයක් ලෙස අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා අගතියට පත් ලී මෝල් හිමියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමටද විත්තිකරුට නියම කළේය.ඒකී දඩ හා වන්දි මුදල්  නො ගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත වසර බැගින් වූ සිර දඬුවම්ද නියම කළ විනිසුරුවරයා වසර තුනක් වූ ලිහිල් සිර දඬුවම් කාලය ප්‍රධාන හිර දඬුවමට අමතරව ගෙවීයන පරිදි ලබාදිය යුතු බවටද නියෝග කළේය. 


විශ්‍රාම යෑමට මාස හයක කාලයක් ඉතිරිව තිබියදී සිදුකළ එම වරදට වරදකරු වීම නිසා මේ වන විට 67 හැවිරිදි වියේ පසුවන විත්තිකරුට හිමිවිය යුතු විශ්‍රාම වැටුපද අහිමි වී ඇත. ලැබුණු පැමිණිල්ලක් අනුව 2016.03.18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ එකී දඩ හා වන්දි මුදල් විත්තිකරුට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා තිබූ අතර අල්ලස් හෝ දූෂණ ව්මර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා හයම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බව දීර්ඝ විනිසුරුවරයා නිගමනය කළේය.


නඩු විභාගයකින් අනතුරුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සහකාර අධ්‍යක්ෂ (නීති) කසුන් ගුණවර්ධන සූරිය මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවීය. පෙරියන්කුලම ප්‍රදේශයේ පදිංචි එම්. කරුණාරත්න නමැති ලී මෝල් හිමියා එම පැමිණිල්ල සිදුකර තිබිණි.


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජූලි 09දා තෙක් රිමාන්ඩ්

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට ලක්වූ විශේෂිත රැඳවුවන් කිහිපදෙනෙකු සැකකටයුතු ආකාරයෙන් ඇතැම් බන්ධනාගාර වලින් මුදා හැර ඇති බවට කරුණු අනාවරණය වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය ඊයේ (25දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය වෙත දැනුම් දුන්නාය.


රැඳවුවන් නිදහස් කර යැවීමේ ලැයිස්තුවල ඒ බව සඳහන්ව නොමැති නමුත් එම බන්ධනාගාර දොරටු පොත්වල එසේ මුදාහරින ලද පුද්ගලයන්ගේ නම් සඳහන්ව තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වර්ය ඒ බව කියා සිටියේ ජනාධිපති පොදු සමාව හිමි නොවිය යුතු පුද්ගලයෙකු අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැර ඇති බව කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමිනි.


සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ජුලි මස 9 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළාය.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය මෙසේ පැවැසීය. මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු ලබාදුන් ප්‍රකාශ පාදක කරගෙන විමර්ශන සිදු කරනවා. අනුරාධපුර බන්ධනාගාරයෙන් වෙසක් දිනය පාදක කරගෙන ලබාදෙන ලද ජනාධිපති සමාව යන කාරණාව යටතේ නිදහස්ව ගිය පුද්ගලයන් අතරින් තිලකරත්න නමැති පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් තමයි මේ විමර්ශන සිදුකෙරෙන්නේ.


එම නිදහස් කිරීමට අදාළව 20251676 දින මෙම සැකකරුගේ අස්සනින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත ලිපියක් යොමු කරලා තියෙනවා. මූල්‍ය වංචාවකට සම්බන්ධ අයකු වෙසක්දා සමාවෙන් ගෙදර යවලා යන මැයෙන් "මව්බිම" පුවත්පතේ පළ වූ පුවතක් පාදක කරගනිමින් තමයි ඒ ලිපිය යවල තියෙන්නෙ. මේ ලිපිය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. එම ලිපිය සැකකරු සැකකරුවකු හැටියට අත්අඩංගුවට ගැනීමට ප්‍රථමයෙන් ඔහුගේ ප්‍රකාශ සටහන් කළ අවස්ථාවේදී ඔහු විසින්ම ඔහුගේ අස්සනින් ලබා දුන්න ලිපියක්.


තිලකරත්න නමැති පුද්ගලයා නිදහස් කර හැරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් මුලස්ථානයට යොමු කරන ලද ලිපියක් එම සැකකරුගේ ලිපියත් සමඟ අමුණලා මෙම සැකකරු ඔබතුමියගේ අධිකරණයට හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරියටත් යවලා තිබෙනවා. මෙම ලිපිවල නිල මුද්‍රා නැති නිසා මේ ලිපි සම්බන්ධයෙන් සැකයක් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කළ යුතුව තිබෙනවා. මෙය සැකකරු විසින් හදපු ව්‍යාජ ලිපියක් බව පේනවා.


 සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මේ ආකාරයට බන්ධනාගාර කිහිපයක පුද්ගලයන් මුදා හැර තිබෙනවා. ඒ අතර ඉන්නවා සැකකටයුතු ආකාරයට පිටව ගිය අය හා පැමිණිල්ල විමර්ශනයට භාජන කළ විශේෂ පුද්ගලයන් කිහිපදෙනෙක්. ඒ අයගේ නම් කිසිම ලැයිස්තුවක නම් නැහැ, මුල් අවස්ථාවේ ලැයිස්තුවලත් නම් නැහැ. අවසාන මොහොතේ ගෙන්වා ගන්නා 11 දින ලැයිස්තුවෙත් නැහැ. නමුත් ඔවුන් ගේට්ටුවෙන් එළියට මුදාහැර තිබෙනවා. ඒ පුද්ගලයන් යවපු බවට ගේට්ටුවේ පවත්වාගෙන යන ලෙජරයේ සඳහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරගෙන යනවා. මෙම විමර්ශන සංකීර්ණයි. මෙම විමර්ශන කෙටි දිනයකින් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. සැකකරුට ඇප ලබා දුනහොත් මෙම ව්මර්ශනවලට බාධා සිදු විය හැකි බව පෙනෙන්නට තිබෙනවා.


සැකකරු නිදහස් වූ පුද්ගලයාට සාධාරණීකරණය කිරීමට අමුතු විදිහේ ලේඛන දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මෙම විමර්ශනය කිරීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉහත සඳහන් කළ ලේඛන දෙක පිළිබඳව සාධාරණ සැකයක් තියෙනවා. සෙසු බන්ධනාගාර පිළිබඳව තවදුරටත් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කාලයක් දෙන්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.


සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මා පෙනී සිටිමින් කියා සිටියේ තම සේවාදායකයා නිර්දෝෂී පුද්ගලයකු එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔහු මුදාහරින ලෙසත්ය. දෙපාර්ශ්වය දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු එසේ තව්දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළාය,


වාර්ෂික බස් ගාස්තු අඩුවීම 2.5%

 


 



අනුර බාලසූරිය


වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු අඩු කෙරෙන්නේ සියයට 25කින් යැයි රජය පවසයි. මෙම ගාස්තු සංශෝධනය එළැඹෙන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


නව ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන්නේ යැයිද එම නිලධාරියා කීය. කෙසේ වෙතත් උපරිම ගාස්තුව රුපියල් 54කින් අඩුවනු ඇතැයිද ඔහු පැවැසීය. ප්‍රවාහන බලධාර්න් හා බස් සංගම් නියෝජිතයන් අතර මේ සම්බන්ධයෙන් ඊයේ (25දා) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබිණි.


කෙසේ වෙතත් පසුගිය සතියේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේ බස් සංගම් සැලකිය යුතු ගාස්තු අඩු කිරීමක් කළ යුතු බවයි. ආණ්ඩුව පසුගිය කාලයේ විටින් විට රුපියල් 38ක පමණ ඉන්ධන මිල අඩු කිරීමක් කර ඇති බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ඇමැතිවරයා එහිදී පැවැසීය. එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.


"ඒක අසාධාරණයි. අපි පහුගිය කාලේ රුපියල් 30ත් 38ත් අතර ප්‍රමාණයකින් රුපියල් 10 හා 12 වශයෙන් විටින් විට අඩු කළා. ඒ සහනය ජනතාවට ලැබිය යුතුයි. බස් සංගම්වලට අපි කියන්නේ ඒ සහනය ජනතාවට දෙන්න. එයාලට ඒ මොහොතේ අඩු කළ එක මදි කියන ප්‍රශ්නය තිබුණේ."


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේජ්රත්න මහතා පැවැසුවේ ගාස්තුවේ අඩු කිරීමකට බාධාවක්ව ඇත්තේ ඉන්ධන ගැළපුම් ගාස්තුව අනුව මාසිකව ඉන්ධන මිලෙහි වෙනසක් වීම බවයි.


වෛද්‍යවරුන් බිය ගැන්වීමක් ගැන බුද්ධි අංශ හෙළිදරව්වක්

 


බිඟුන් මේනක ගමගේ


සද් චේතනාවෙන් ක්‍රියා කරන අවංක වෛද්‍යවරුන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සමාජ මාධ්‍ය හරහා බලපෑම් කිරීමේ සංවිධානාත්මක වැඩ පිළිවෙළක් ගැන බුද්ධි අංශ කරුණු වාර්තා කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (25දා) කොළඹදී පැවැසීය. ඇතැම් දේශපාලන කණ්ඩායම් හා සමාගම් එම ක්‍රියාවලි පසුපස ඇතැයි ඇමැති නලින්ද ජයතිස්ස මහතා චෝදනා කළේය. එවැනි ක්‍රියාවලි පැහැදිලිවම ජාතික සෞඛ්‍ය පද්ධතියට එරෙහි කඩාකප්පල්කාරී වැඩ යැයි කී හෙතෙම එවැනි දේට සම්බන්ධ නොවන්නැයි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද අවධාරණය කළේය.


කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ අදහස් පළ කළේ රෝහල්වල නොමැති ඖෂධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට වෛද්‍යවරුන් මාර්ගෝපදේශ ඉල්ලීම ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙනි.


එහිදී ඇමැතිවරයා මෙසේද කීය.


සාමාන්‍යයෙන් රෝහලට ඖෂධ සපයන ක්‍රම 3 ක් තියෙනවා. එකක් තමයි ලැයිස්තුවක් හදනවා. ඖෂධ වර්ග පිරි2ක හා ශල්‍ය උපකරණ 2444ක් ලැයිස්තුවක් හදල තියෙනවා. මේක හදන්නේ අමාත්‍යාංශය වුණාට ඒ සඳහා නිර්දේශ ගන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්, ඖෂධ සංස්ථාව මේ 862න් 432ක සඳහාත් ශල්‍ය උපකරණවලින් 5906ක් සඳහාත් ටෙන්ඩර් කරනවා. මේ ඖෂධ සැපයීමේදී සමහර විට විටින් විට බාධා එන්න පුළුවන්. අපි ටෙන්ඩර් එක දුන්නත් බාධා එන්න පුළුවන්. දෙවැනි කාරණය සමහර විට වෛද්‍ය සැපයුම් අංශය හරහා සැපයීමේදී පමාවක් දැනුණොත් ප්‍රාදේශීය ඒ ආයතන ප්‍රධානීන්ට ලෝකල් පර්චස්වලින් මිලදී ගන්න පුළුවන්. මෙවැනි අර්බුදයක් එනවා කියල දැනගත්තොත් ඒ අයට පුළුවන් පටන්ගන්න.


 ඒ කියන්නේ ෆාමසිස්ට්ගේ එකගතාවක් මත වෛද්‍ය සැපයුම් අංශයට ඉදිරිපත් කළාම දින 2කින් අනුමැතිය දෙනවා. මේකෙදි බලන්නේ මධ්‍යම ගබඩාවේ තියෙනවාද කියලා. නැත්තන් බාහිර මිලදී ගැනීම්වලට අනුමැතිය දෙනවා. සමස්ත ක්‍රියාවලියට දින 5ක් වගේ යන්නේ අය-වැයේදී කෝට් 5,200ක් වෙන්කළා බාහිර මිලදී ගැනීම් සඳහා අර කී ලැයිස්තුවට රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළේ කෝටි 6000යි. බිලියන 60යි. මේ ක්‍රම දෙකම පැවැතුණු ක්‍රමවේද.


මේ දෙකෙනුත් පරිභාහිරව රෝහලේ ඖෂධය නැත්තන් එහෙම නැත්තන් වෛද්‍යවරයාගේ පළපුරුද්ද මත රෝගියාගේ ඥාතීන්ට හෝ රෝගියාට පුළුවන් අදාළ ඖෂධය හොයාගන්න කියන්න. ඒ ක්‍රමයත් සුළු වශයෙන් ක්‍රියාත්මක වුණා. ශල්‍ය උපකරණවලදී යම් රෝගියකුට ගේන උපකරණයට වඩා පොඩි වෙනසක් තියෙන උපකරණයක් අවශ්‍ය වෙන්න පුළුවන්. එහිදී වෛද්‍යවරයා කියනවා මේක අරන් දෙන්න කියලා. ඒක අපට වළක්වන්න බෑ. වෛද්‍යවරුන් ඉල්ලන සියලු ඖෂධ සපයා දෙන්නත් රජයට බෑ. රජය මුදල් වෙන් කරන්නේ බහුතරයකට අවශ්‍ය වන ඖෂධ සඳහා. සාමාන්‍යයෙන් චිට් එකක් ලියල දුන්නම ෆාමසියකින් ගන්න ඒ රෝගියාට පුළුවන් ෆාමසි කීපයකට ගිහින් අඩු මිලට ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ

ප්‍රශ්නය පැන නඟින්නේ රෝහලේ තිබෙන ඖෂධයක් හෝ උපකරණයක් අසවල් ෆාසියෙන් ගන්න කියනවා නම් ඒක වංචාවක්, වෙළෙඳපොළ ඉල්ලූම - සැපයුම අනුව අඩු මිලට දෙයක් මිලදීගන්න ඕනෑම අයකුට අයිතිය තියෙනවා. මේ පරීක්ෂණය සිදුවෙන්නේ එවැනි සිදුවීමක් ගැන නෙවෙයි. අපි දන්නවා සමාගම් ලාභයක් තියාගන්නවා. 


කමක් නෑ කියමු. අසාධාරණ නැත්තන්. එයාලා අයෝජනයක් කරල තියෙනවනෙ. හැබැයි හතර පස් ගුණයක ලාභයක් අතරමැදියෙක් තියාගෙන නම් එතැන වංචාවක් වෙලා තියෙනවා. ඒ ගැන තමයි අල්ලස් කොමිසම හොයන්නේ. අවංක නිලධාරීන් මේ ගැන සැකයක්, විචිකිච්ඡාවක් ඇතිකරගත යුතු නෑ. රෝහලේ ශල්‍ය උපකරණ නැත්තන් ඒ තිබෙන උපකරණයක් රෝගියාට හරියටම ගැළපෙන්නේ නැත්තන් පිටින් ගන්න පුළුවන්. සාධාරණව සචේතනාවෙන් ක්‍රියා කරන වෛද්‍යවරුන්ට මෙහිදී ගැටලුවක් නෑ. අවංක අය බයවෙන්න එපා. අනවශ්‍ය ගැටලුවක් හදන්න එපා යැයි අපි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලනවා.


සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගනිද්දී ලොකුම ගැටලුව තිබුණේ කලින් හිටපු ඇමැතිවරයා හා නිලධාරීන් කළ දේවල් ඒ නිසා අමාත්‍යාංශය ගගැහිලා තිබුණේ. ඇතැම් නිලධාර්න් විමර්ශන තුන හතරකට මුහුණදීලා හිටියේ. මේ සියලු දෙනාගේ විශ්වාසය ක්‍රමානුකූලව හැදුවා පහුගිය කාලේ පහුගිය මාස පහේදී ඖෂධ 268ක් ටෙන්ඩර් කරන්න හැකියාව ලැබුණේ ඒ විශ්වාසය නිසා. අදාළ ඇණවුම් වලට අදාළ ඖෂධ හා උපකරණ ඉදිරියේදී සැලකිය යුතු ලෙස ලැබෙනවා. ඒ විශ්වාසය පලුදු වන ආකාරයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවලට සම්බන්ධ නොවීමෙන් වෙන්නේ යථාවත් වන ක්‍රියාවලියට බාධා පමුණුවන එක. 


ඇතැම්  දේශපාලනිකව දැනුවත් කණ්ඩායම් අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය යථාවත් කිර්ම කඩාකප්පල් කරමින් ඉන්නවා. ඇතැමුන් මන්ත්‍රිවරු කම්පැනි පසුපසින් ඉන්නවා. සමහර අවංක නිලධාරීන් ඉලක්ක කරන් ඔවුන් බිය ගන්වන්න, පවුල්වලට බලපෑම් කරන්න, තනතුරුවලින් ඉවත් කරන්න, වැඩ කරන බව සමාජ මාධ්‍ය හරහා බුද්ධි අංශවලට කරුණු වාර්තා වී තිබෙනවා. ඒවා කඩාකප්පල් වැඩ. ඒවාට අපි ඉඩ දෙන්නේ න ඒවාට දැනුවත්ව අහුවෙන්න එපා.


මිද්දෙණියේ දෙන්නා වෙඩි තබා මැරුවේ මත්ද්‍රව්‍ය ජාවාරමකට?

 



රන්න චන්ද්‍රසේන ගමගේ


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට චෝදනා ලබා බන්ධනාගාරගතව සිට මීට මාසයකට පමණ පෙරදී නිවෙසට පැමිණ සිටි අයෙකු හා ඔහුගේ හිතවතකු මිද්දෙණිය, තෝරකොළයායේ, හෙල්වල අතුරු මාර්ගයේ දී ඊයේ (25) වෙඩි තබා ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ ආරවුලක් බවට තොරතුරු හෙළිවී ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය, කුඩගල පාරේ 39 හැවිරිදි අබේසේකරගේ චමල් අබේකෝන් හා මිද්දෙණිය තෝරකොළයායේ 26 හැවිරිදි ජයසේකරගේ කැලුම් තුෂාර යන දෙදෙනාය.


පොලිස් තොරතුරුවලින් පැවැසෙන්නේ මෙම ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම් හා ගැටගැසී ඇති එකක් බවයි. එමෙන්ම මෙම ඝාතන විදේශීය රටක සිට මෙහෙයවා ඇති බවට ද පොලිසිය සැක කරයි. මියගිය චමල් අබේකෝන් පෞද්ගලික බස් රථ රියැදුරකු වශයෙන් ද කටයුතු කර ඇති බවත් ඔහු අවස්ථා ගණනාවකදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාරගත වූවකු බවත් පොලිසිය කියයි.


මියගිය කැලුම් තුෂාර, චමල් අබේකෝන්ගේ මිතුරකු බවත් ඔහු ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කියයි. වෙඩි තැබීම සිදුවන්නට පැය කිහිපයකට පෙර චමල් අබේකෝන්ට විදේශීය රටකින් දුරකතන ඇමතුමක් ලැබී ඇති බවත් ඉන් පසුව ඔහු තුෂාර කැලුම් සමග යතුරුපැදියක නැග තෝරකොළයාය අතුරු මාර්ගයේ ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් හම්බන්තොට හා මාතර දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න, තංගල්ල කොට්ඨාස 11 සහකාර පොලිස් අධිකාරි ආරියරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් පරික්ෂණ සිදුකෙරෙයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව තංගල්ල කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එච්. ප්‍රමුදිත හා වෛද්‍ය කේ.ජී.ඒ. ගමගේ මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික වෛද්‍ය පරීක්ෂණය සිදු කළාය. වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ 25 වැනිදා සවස සිදු කිරීමට නියමිතව තිබුණි.


දුවන බසයකින් ඇදවැටී හොරණදී සිසුවියකට තුවාල: රියැදුරු කොන්දොස්තර රිමාන්ඩ්

 


 චමිලා  අල්විස්


හොරණ නගරයේ ධාවනය වෙමින් තිබූ බස්රථයකින් පාසල් දැරියක ඇදවැටී තුවාලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා හෙට (27) දින තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රියැදුරුගේ රියැදුරු බලපත්‍රය නඩු කටයුත්ත අවසන් වන තෙක් අත්හිටුවීමට ද නියෝග කළේය.


මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ බස්රථයේ රියැදුරු ජයකොඩි ආරච්චිගේ වසන්ත (47) සහ බස්රථයේ කොන්දොස්තර අතුකෝරලාගේ අනුර ජයකොඩි (55) දෙදෙනාය. කොළඹ දෙස සිට හොරණ දෙසට ධාවනය කළ බස්රථය ඊයේ 25 වැනිදා විද්‍යාරත්න පන්සල අසල බස් නැවතුම්පොළේ නවතා නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේදී එම බස්රථයෙන් වැටී සිසුවියක තුවාල ලැබූ බව අධිකරණයේ දී කියැවිණි.


රෝහල්ගත අරමනාගොල්ලේ පදිංචි දහනව හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ දකුණු අත වැලමිට සහ උරහිස අසලින් අස්ථි බිඳීමක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය අධිකරණයට හමුවේ කියා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝගය කළේය.


ඝාතන සිද්ධි 5කට පිල්ලෙයාන්ට විමර්ශන

 


ගයාන් සූරියආරච්චි


ඝාතන සිද්ධීන් පහකට හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා සම්බන්ධවී ඇත්දැයි විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කර ඇතැයි කියයි. එම සිද්ධීන් අතර පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ සිද්ධියක් ද පවතින බව විමර්ශනවලදී අනාවරණය වී යැයි ද කියයි.

 

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිදුනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලට අදාළව එම තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කීපයක් මඩකළපුව ප්‍රදේශයට යවා ඇති බවද සදහන්වේ. එම විමර්ශනවලට අදාළව සැකකරුවන් කඳවුරු පවත්වාගෙන ගිය ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර කීපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඉකුත්දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ.අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.


අලුත් අධිවේගයට අධි සුපිරි බස් 200ක්

 


 නිමල කොඩිතුවක්කු


අධිවේගී මාර්ග  මෙහෙයුම් සදහා නව අධිසුඛෝපභෝගී බස් රථ 200ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


ඒ අනුව, මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධිසුඛෝපභෝගී බස් රථ 29 ක් සෘජුවම මිල දී ගැනීමටත්, ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම සිදුකර, ඉතිරි මුදල වසර 5 ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිල දී ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් සියයට52කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් සියයට 94කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇති බවද කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී ඔහු පැවසීය.


අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61 ක් ලාභ බෙදාගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බැවින් අධිවේගී මාර්ග සඳහා අධිසුඛෝපභෝගී බස් රථ 200 ක් තම අරමුදල් යොදා ගනිමින් මිල දී ගැනීමට ශ්‍රී ලංගමය තීරණය කර ඇත. ප්‍රවාහන - මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ඉඩම් අල්ලන්න ව්‍යාජ ලේඛන හැදුවැයි හෝමාගම රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට

 


ගයාන් සූරියආරච්චි


තලංගම ප්‍රදේශයේ ඉඩම් තුනක් බලෙන් අත්පත් කරගැනීම සඳහා සංවිධානාත්මක කල්ලියකට ව්‍යාජ ලේඛන සකසා ආධාර අනුබල දුන් බව කියන හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාරි පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. දැනට විදේශ රටක සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තාගේ මෙහෙයවීම මත එම සංවිධානාත්මක කල්ලිය එම ඉඩම් බලෙන් අත්පත් කරගෙන ඇති බව පොලිසිය පවසයි. තලංගම ප්‍රදේශයේ දෙදෙනකු කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.


ඒ අනුව සිදු කළ විමර්ශනවල දී සැකකරුවන් පිරිසක් එම ඉඩමට ඇතුළු වී එහි කුඩා පැලක් අටවා සූර්ය කෝෂ මාර්ගයෙන් විදුලිය ලබාදී එහි පවුලක් පදිංචි කර සිටි බව පොලිස් විමර්ශනවලදී  අනාවරණය වී තිබුණි. අනතුරුව සැකකරුවන් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ විවිධ පුද්ගලයන් සම්බන්ධ කරගෙන පත්තිරු ඇතුළු ලේඛන සියල්ල ව්‍යාජ ලෙස සකස් කරගෙන තිබූ බව පොලිසිය පවසයි. අනතුරුව සැකකරුවන් එම ඉඩම්වලට අයිතිවාසිකම් කියමින් එම ඉඩම් හිමිකරුවන් සමග ආරවුල් ඇති කරගෙන තිබූ බව පොලිසිය පවසයි.


එම වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව ද පොලිසිය කියයි. අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති විජේතුංග, උපපොලිස් පරීක්ෂක අතුල ජානක යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන කරති.


Wednesday, June 25, 2025

ඈෂ් කිලෝ 16ක් මෝදර ලෙල්ලමේදී මාට්ටු

 ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, “මට්ටක්කුලිය, මෝදර, නාගලගම්වීදිය,කොටහේන ආදී ප්‍රදේශ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයන්ය. මහ පරිමාණයෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සුළු පරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකුණා ඛෙදාහරින පුද්ගලයන්ද මෙම පොලිස් වසම් තුළ රහසිගතව සිය ජාවාරම්වල යෙදෙති. එමෙන්ම මතට ඇබ්බැහිවූවෝද මෙම වසම්වල බොහෝ වෙති. මේ නිසා මෙම වසම්වල ස්ථාපිත පොලිස් ස්ථානවල රාජකාරි කරන නිලධාර්න් මෙන්ම කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ද මෙවන් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටියි. මෙම අවධානය සහ විමසිලිමත්භාවය නිසා දැඩි ලෙස මතට ලොල් වී අපරාධවල නියැළෙන පිරිස් නිරන්තරයෙන් මෙම වසම්වල පොලිස් ස්ථානවලට කොටුවෙති.

කොළඹ දිසාව තුළ ස්ථාපිත අපරාධ විමර්ශන ඒකක කිහිපයක්ම ස්ථාපිත කර ඇතත් පසුගිය දින කිහිපය තුළ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාන්ට සිය කොට්ඨාසය තුළ සිදුවන්නට ගිය අපරාධ රැසකට අදාළ සැකකරුවන් කිහිපදෙනකුම ගිනි අවිද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි විණි. 


ඒ එහි වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව ඇතුළු එම ඒකකයේ නිලධාරීන්ගේ නොමඳ හැකියාව හේතුවෙනි. මෙම අපරාධ වැළැක්වීම සඳහා එම කොට්ඨාසයේ ස්ථාපිත බුද්ධි නිලධාරීන්ද ලබාදෙන්නේ අගනා සහායකි. බුද්ධි නිලධාර්න්ගේ සහ විමර්ශන නිලධාර්න්ගේ උනන්දුව මත එම වසම් තුළත් මිනිස් ඝාතන සඳහා ගෙන එනු ලැබූ පිස්තෝල සහ ටී-56 ගිනි අවිද පසුගියදා සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි විණි. මෙම ගිනි අවි අත්අඩංගවට ගැනීමත් සමඟ එම ගිනි අවිවලින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට ගත් උත්සාහයන් වැළකී යෑමත් නිසා සිදුවන්නට ගිය අපරාධ රැසක්ම වළකා ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබිණි.


බ්ලුමැන්ඩල් ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන විදේශගතව සිටින බ්ලූමැන්ඩල් රවී නමැත්තාගෙන් පසුගියදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සමීපතමයකුට දුරකථන ඇමතුමක් ලැබිණි. මෙම සමීපතමයා පාතාලයේ පුද්ගලයන් ඇසුරු කරන, ප්‍රදේශයේ පුද්ගලයන් කපාකොටා දැමීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප ලබා නිදහස්ව පැමිණි අයෙකි. බන්ධනාගාර ගතවීමත් සමඟ තම ආදායම් මාර්ග ඇනහිටීමෙන් ආර්ථික අතින්ද කඩා වැටී සිටි මොහු බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි විදෙස්ගතව සිටි සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඇමතුමට සාර්ථක ප්‍රතිචාර දක්වන ලදී.


'මම උඹට බඩු වගයක් එවන්නම්. ඒක උඹ පරිස්සමින් හංගලා තියාගනින්. මම කියනකොට ඒවා අරගෙන ගිහින් ලොකේෂන්වල තියපන්. මම උඹටත් ගාණක් දෙන්නම්. අතේ සතේ නැතිව සිටි ඔහු විදෙස්ගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කීමට අවනත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 16ක්, කේරළ ගංජා කිලෝවක් සහ මල්පෙති විශාල තොගයක්ද ලැබිණි. එලෙස ලැබුණු මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂ්ම ලෙස රැගෙන ගිය සැකකරු එය සිය නිවෙසක සැඟ වූයේ ජාවාරම්කරුගේ උපදෙස් ලැබුණු සැණින් ඒවා අදාළ ස්ථානවලට ලොකේෂන් තැබීමේ අරමුණෙනි. ඉකුත්දා මොහුට විදෙස්ගතව සිටින බ්ලූමැන්ඩල් රවීගෙන් නැවතත් ඇමතුමක් ලැබිණි.


ඔය බඩුවලින් කිලෝ 7ක් මෝදර ලෙල්ලමට අරගෙන පලයන්. බයික් එකකින් කෙනෙක් ඒවි ඔය ටික ගන්න. මගේ නම කියයි. එයාට බඩු ටික දීපන්.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ එම උපදෙසට අනුව සැඟවූ ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16න් කිලෝ 7ක් වෙනම ඇසුරූ මෙම සැකකරු එය රැගෙන මෝදර ලෙල්ලමට ගියේ එය අලෙවි කිරීමෙන් පසු තමන්ගේ අතට යහමින් මුදලක් ලැබෙන බව දන්නා නිසාවෙනි. එහෙත් මේ අතර මේ සම්බන්ධයෙන් රහසිගත තොරතුරක් බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරියකුටද ලැබිණි. වහා එම තොරතුර එම නිලධාරීන් විසින් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව වෙත ලබාදුන්නේ ඈෂ් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු ලෙල්ලමට පැමිණෙන බව දන්වමිනි.

ලැබුණු බුද්ධි තොරතුර පසෙක නොදැමූ ප්‍රධාන පොලිස් පක්ෂකවරයා උප පොලිස් පරීක්ෂක මධුශංක ඇතුළු කණ්ඩායමක් වහා මෝදර ලෙල්ලම වෙත යැව්වේ ඔවුනට ධීවරයන් සේ පෙනී සිටිමින් කෙසේ හෝ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු කොටුකර ගන්නා ලෙස උපදෙස් රැසක්ද ලබා දෙමිනි. මේ බඩු ටික කොහොම හරි අල්ල ගන්න ඕන. ස්ථානාධිපතිවරයාගේ උපදෙස්වලට අනුව මෝදර ලෙල්ලමට ගිය නිලධාර්න් ධීවරයන් සේ හැසිරෙමින් සිය ඉලක්කය පැමිණෙන තුරු ඒ අවට රැදී සිටි අතර ලැබුණු බුද්ධි තොරතුරු සාක්ෂාත් කරමින් පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණේ ඈෂ් කිලෝ 7ක්ද සමඟිනි.

“කොහෙන්ද උඹට මේ බඩු” නිලධාරීන්  සැකකරුගෙන් ප්‍රශ්න කරන්නට විය.

“මේවා බ්ලූමැන්ඩල් රවීගේ... එයා තමයි මට එව්වේ.

"කෝ අනිත් බඩු ටික ” නිලධාර්න් රඟපෑමක්ද කරමින් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූ අතර ඔහු නිලධාරීන්ගේ උගුලට හසු විණි. “ඉතුරු ටික කැලණියේ මගේ ගෙදර තියෙනවා සර් සැකකරු පවසන්නට විය. එහිදී අනාවරණය වන්නේ විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ උපදෙස් මත මෙම සැකකරු සිය බිරිය සමඟ ජීවත්වීම සඳහා කැලණිය ප්‍රදේශයේ කුලී පදනම මත නිවෙසක් මිලදීගෙන මෙම මත්ද්‍රව්‍ය තොගය එම නිවෙසේ සඟවාගෙන ඇති බවය. ඒ අනුව උප පොලිස් පරීක්ෂක මධුශංක මේ බව සිය ස්ථානාධිපතිවරයා දැනුවත් කළ අතර ඔහුගේ උපදෙස් මත එම කණ්ඩායම ඊළඟට ගියේ කැලණිය, ගෝනවල ප්‍රදේශයේ සැකකරුගේ නිවෙස පරීක්ෂා කිර්ම සඳහාය. ගෝනවලට ගිය නිලධාරීන්  සැකකරුගේ නිවෙස පරීක්ෂා කළ අතර නිවෙසේ තිබී තවත් ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 9ක්ද, මත්පැති 1,100ක්ද, කේරළ ගංජා කිලෝ 1ක්ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විණි.


නිලධාර්න් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු අනාවරණය වන්නේ එම මත්පැති තොගය එම ප්‍රදේශවල ස්ථාපිත පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කරගෙන විකිණීම සඳහා සූදානම් කර තැබූ බවය. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු මුළු ඈෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 16කි. විමර්ශන නිලධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගැනුණු මුළු මත්ද්‍රව්‍ය තොගයේම වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයද ඉක්ම වන බවය.


කොටහේන, මෝදර, ග්‍රෑන්ඩ්පාස් සහ ඒ අවට ජීවත් වන මතට ඇබ්බැහි වූවන් සඳහා හෙරොයින් සහ අයිස් ඕනෑතරම් මිලදී ගැනීමට හැකි වුවද 'ඈෂ්', 'කුෂ්' සහ 'හෂීස්' අලෙවි වන්නේ ඉතා අඩුවෙනි. ඒ එම මත්ද්‍රව්‍ය විකිණීමට සහ බෙදාහැරීම සිදුකරන්නේ ඉතාමත් අඩු ජාවාරම්කරුවන් පිරිසක් හේතුවෙනි. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය අලෙවියට වඩා අයිස් සහ කුඩු විකිණීමට මහ පරිමාණයෙන් සහ සුළු ප්‍රමාණයෙන් පිරිස් ඉදිර්පත් වන්නේ ඈෂ්, කුෂ් සහ හෂීස්වලට වඩා අයිස් සහ හෙරොයින්වලට වැඩි මිලක් මෙන්ම වැඩි ඉල්ලුමක්ද ඇති නිසාවෙනි. මේ බව හොඳාකාරවම දත් විදෙස්ගතව රැඳී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය ගෝලබාලයන් යොදවාගෙන ඈෂ්, කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම මෙලෙස සිදුකරන බව විමර්ශන නිලධාහු පවසති. එලෙස සැලසුම් කර තිබූ මහ පරිමාණ ඈෂ් මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල පසුගියදා අනාවරණය කර ගැනීමට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාර්ක්ට මෙසේ හැකි විණි.26 හැවිරිදි සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


දුෂණ වළක්වන්න RMVය තුළ ඒ්කකයක්‍

 


චාමර අමරසූරිය


අල්ලසහෝදූෂණය මැඬලීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කෙරුණි. එම ඒකකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා හා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන කොමසාරිස් (සංවර්ධන) පී. දිසානායක මහත්මිය අතින් විවෘත වුණි.


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සේවාලාභීන්ගේ කාලය හා මුදල් නාස්තිය වැළැක්වීම මෙන්ම ඔවුන්ට ප්‍රියශීලී වටපිටාවක් නිර්මාණය කිරීම තුළ සේවා සැපයුම තවදුරටත්  කාර්යක්ෂම කිරීම මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු පළමු වන අරමුණ වේ. 


ඒ සඳහා අවශ්‍ය මහජන අදහස්ද මේ හරහා ලබා ගැනීමට ක්‍රමවේදයන් රැසක් සකසා ඇත. මෙම ඒකකය පිහිටුවීමේ දෙවැනි  අරමුණ වනුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා, අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි  ලබා ගැනීමට මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමය. මෙහිදී මහජන පැමිණිලි ලබා ගැනීමට මෙන්ම මහජන අදඒස් හා යෝජනා විශ්ලේෂණය කර ඒ සම්බන්ධව කඩිනම් පියවර ගැනීමද මෙම ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා කරනු ලබයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බාහිර  හා අභ්‍යන්තර සේවාලාභීන් තෘප්තිමත් කිර්ම මෙම ඒකකයේ අරමුණු අතර ප්‍රධාන වී ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි අතර දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති යෝජනා හා පැමිණිලි ලබා ගන්නා පෙට්ටිවලටද අදාළ පැමිණිලි යොමු කිර්මට සේවාලාභීන්ට මින් අනතුරුව අවස්ථාව හිමි වෙයි.


හයදෙනකුට මරු කැඳවමින් ගුවන් හමුදා හෙලිකොප්ටරය මාදුරු ඔයට කඩා වැටීම

 


මා දුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරේ පැවැති විසිර යෑමේ උත්සවයකට සමගාමීව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙළිකොප්ටර් බළගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටී ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනකුට මරු කැඳවමින් සිදුවූ ගුවන් අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙස දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත් යූ. රාජපක්ෂ මහතා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට සහ ශ්‍රී ලකා ගුවන් හමුදාවට පෙරේදා (23දා) සවස නියෝග කළේය.


වැඩබලන මහෙස්ත්‍රාත් යූ. රාජපක්ෂ මහතා මෙසේ නියෝග කළේ නිදර්ශනයක නියැළෙමින් පියාසර කරමින් තිබූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ආරක්ෂක අංශ සාමාජිකයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සහ තවත් ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.


පොලිසියේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත් යූ. රාජපක්ෂ මහතා පොලිසියට සහ ලංකා ගුවන් හමුදාවට නියෝග කළේ මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වෙන් වෙන්ව විමර්ශන සිදුකර ගුවන් අනතුරට හේතුව අධිකරණයට දැනුම් දෙන ලෙසයි. එමෙන්ම ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද දෙහිඅත්තකණ්ඩිය පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.


 උපාලි ආනන්ද


සී.අයි.ඩී.යට සොයා ගන්න බැරි වුනා මිස මම සැඟව සිටියේ නැහැ

 

 


තමා අධිකරණය මඟහැර හෝ සැඟවී නොසිටි බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමා සෙවීමේදී අවශ්‍ය තැන්වල තමාව සෙවීම කටයුතු නොකළ බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු කමිටුවේදී ඊයේ (24දා) සාක්ෂි දෙමින් පැවැසීය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල පරීක්ෂා කිරීම් නොකර අනවශ්‍ය ස්ථාන පරීක්ෂා කිරීම හේතුවෙන් තමන් සොයා ගැනීමට නොහැකි වූ බවත් තෙන්නකෝන් මහතා පැවැසීය.


විත්තිකාර පොලිස්පතිවරයා සිය ප්‍රශ්න කිරීම් හමුවේ විමසුවේ,

“ආරණ්‍ය සේනාසනත් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබුණා. මම එහේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඉන්නද ස්වාමිනී" යනුවෙනි. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීස්

විමසුවේ “W15 හෝටලය ඉදිරිපිට සිද්ධියෙන් මියගිය  උපුල් නමැති නිලධාරීයාට වන්දි ලබාදීමට ඔහු සිදුකළ වීරක්‍රියාව කුමක්ද?" යනුවෙනි.


ඊට පිළිතුරු දෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසුවේ "ස්වාමිනී, වීරක්‍රියාවක් කරන්න ඕනේ නැහැ. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි ඔහු මියගියේ. උසස් නිලධාරියෙක් විශ්වාස කරලා තමයි ඔහු සද්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා” යනුවෙනි.


නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගි වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රශ්න කිරීමවලට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් සිය සාක්ෂි ලබා දෙමින් මේ බව පැවැසීය.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙක් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හමුවේ 23දා සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව කීය. විශේෂයෙන්ම මෙම සිද්ධියට අදාළව, අධිකරණ ක්‍රියාමාර්ග සහ පරීක්ෂණ කමිටු පත් කිරීම දේශපාලන පළිගැනීමක් සිදු කිරීමේ අරමුණින් කටයුතු සිදුවන බව හැගෙන බවද තෙන්නකෝන් මහතා කීය. මේ අතර, අදාළ සිදුවීමෙන් පසු එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූයේද යන්න දිලීප පීරිස් මහතා විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබා දෙමින් විත්තිකාර පොලිස්පතිවරයා පැවැසුවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එය පැවැත් වූයේ W15 හෝටලය ගැන පැවැසීමට නොව මාධ්‍ය සාකච්ඡාවක පැවැත්වීමට බවයි.


අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් - W15 හෝටලය ඉදිරිපිට සිද්ධියෙන් මියගිය උපුල් නමැති නිලධාරියාට වන්දි ලබාදීමට ඔහු සිදු කළ වීරක්‍රියාව මොකක්ද?


දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී, වීරක්‍රියාවක් කරන්න ඕනේ නැහැ. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි ඔහු මියගියේ. උසස් නිලධාරියෙක් විශ්වාස කරලා තමයි ඔහු සද්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා. 


දිලීප පීරිස් - "කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අපරාධය සිදුවූ ස්ථානයට ගියාද?


දේශබන්දු තෙන්නකෝන් - "නැහැ ස්වාමිනී, එයා හිතුවලු වැලිගම පොලිසියෙන් සිද්ධිය ගැන විමර්ශන සිදු කරන නිසා සහ අදාළ සිද්ධියට තමන්ගේ කොට්ඨාසයේ නිලධාර්න් පිරිසකුත් සම්බන්ධ නිසා එම සිද්ධිය වූ ස්ථානයට ගියොත් යම් කිසි ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ නිසා ඔහු අදාළ සිද්ධිය වූ ස්ථානයට යන්නේ නැතිව වැලිගම පොලිසියට ගිහින් තොරතුරු විමසා තිබුණා."


දිලීප පීරිස් - "අපරාධය සිදුවූ ස්ථානය බැලුවොත් හොඳයි නේද?

දේශබන්දු තෙන්නකෝන් - "එහෙම බලන්න අවශ්‍ය නැහැ,".

පරීක්ෂණ කමිටුවේ විනිසුරුවරයෙක් - "සාක්ෂිකරු, ඔබ දිගින් දිගටම ප්‍රශ්න යොමු කළා. ඔබට හරස් ප්‍රශ්න අහන්න බැහැ. උසාවියේ වගේනම් ඔබට මෙච්චරවත් කතා කරන්න බැහැ. නමුත් ඔබට කාරණා කියන්න අවස්ථාවක් ඕනේ නිසා තමයි මේ උදා කරදී තිබෙන්නේ. ඒ නිසා ඔබට හරස් ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ."

දිලීප පීරිස් - "අදාළ සිද්ධියෙන් පසු ඔබ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වුණාද?'

දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී, මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා, නමුත් W15 හෝටලය ගැන කියන්න නෙවෙයි. රටේ සමස්ත ක්‍රියාවලිය ගැන දැනුවත් කරන්න."


සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන - අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී W15 හෝටලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවාද?


දේශබන්දු තෙන්නකෝන් - "ඔව් ස්වාමිනී, මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. අපි එයට පිළිතුරු ලබාදුන්නා." දිලීප පීරිස් - මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් සැඟව සිටියාද?


දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී මම හැංගිලා හිටියේ නැහැ, මම මගේ ගිරිඋල්ලේ නිවසේ හිටියේ. මම සාමාන්‍යයෙන් ඉන්න විදිහට ඒ ගෙදර හිටියා. මම නිදාගන්න කාමරයේමයි මම නිදාගත්තේ. මම

කන කාමරයට ගිහින් කෑම කෑවා. මම සාමාන්‍ය ජීවිතයක් ගත කළා.


සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන - "ගිරිඋල්ල නිවසේ වෙන කවුරුන් හෝ සිටියාද?


දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී මගේ මව ඇතැම් අවස්ථාවල ඉන්නවා. ඇය වයෝවෘද්ධයි. ඇතැම් අවස්ථාවල ඇය මගේ සහෝදරයන්ගේ නිවෙස්වලත් ඉන්නවා."


සභාපති විනිසුරු - අදාළ වරෙන්තු නිකුත් කිරීමේ සිද්ධියෙන් පසු නිවසේ සිටියේ කවුරුන්ද? දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී මම තනියම හිටියේ."


දිලීප පීරිස් - "බල්බ දල්වන්නේ නැතිව ඉන්න එකද ඔබ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න විදිහ?"


දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී එම නිවසේ විදුලිය කපා තිබුණේ, ඒ නිසා මම ඉටිපන්දමක් ආධාරයෙන් දවස ගෙවාගත්තා."

දිලීප පීරිස් - "හුදෙකලාව ජීවත් වීමද ඔබේ සාමාන්‍ය ජීවිතය"

දේශබන්දු තෙන්නකෝන් - "මම හුදෙකලාව ඉන්න එකද මගේ සාමාන්‍ය ජීවිතය කියලා ඔබ දන්නේ නැහැනේ."

දිලීප පීරිස් - "ඒක තමයි.. දැනගන්න තමයි අහන්නේ ඔබ හරි ACTIVE පුද්ගලයෙක්නේ." හෝකන්දර නිවසේ බිරිඳ සහ දරුවන් සමඟ සිටීමට හැකියාව තිබියදී ගිරිඋල්ලට ගියේ ඇයි?


දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී නීතිඥවරුන්ගේ උපදෙස් මත, අධිකරණ කටයුතුත් නිසා මම හිතුවා එහෙම ඉන්න අවශ්‍යයි කියලා. හැබැයි ස්වාමිනී මම අවශ්‍ය අවස්ථාවලදී කොළඹටත් ආවා. දිලීප පීරිස් - "ඔබ අධිකරණය මඟහැරලා හිටියේ නැහැ කියන එකද ඔබේ ස්ථාවරය?


දේශබන්දු තෙන්නකෝන් - "ඔව් ස්වාමිනී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාර්න් අවශ්‍ය තැන්වල නෙවෙයි මාව සෙව්වේ. කතරගම බස්නායක නිලමේවරයාගේ ගෙදරකට ගිහිල්ලාත් පර්ක්ෂා කරලා තිබුණා. මම ඔහුව දන්නවා, හැබැයි ඔහුගේ ගෙදර කොහේද තියෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ. අදාළ තැන් නෙවෙයි මේ ගොල්ලෝ පරීක්ෂා කර තිබුණේ. ආරණ්‍ය සේනාසනත් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබුණා. මම එහේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඉන්නද ස්වාමිනී. දිලීප පීරිස් - "පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ඔබ සැග වී සිටින බවටත්, ඔබ සෙවීමට මහජන සහාය පතන බවටත් ප්‍රකාශ කළ බව ඔබ දන්නේ නැද්ද?


දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී මම දන්නේ පස්සේ. YOUTUBE හරහා තමයි මම ගිහිල්ලා ඒක දැනගත්තේ.


දිලීප පීරිස් - "අමනාප වෙන්න එපා මෙහෙම අහනවාට, ගිරිඋල්ලේ ඉඳන් කොළඹ එනකොට ත්‍රිරෝද රථ රියැදුරන්ට වැඩි මුදලක් දීලා ඔවුන්ගේ ජංගම දුරකතනවලින් WHATSAPP හරහාද ඔබ

නීතිඥවරුන් සම්බන්ධ වුණේ. සාමාන්‍යයෙන් ඒක වෙන්න බැරි දෙයක් නේද දේශබන්දු මහත්මයා? දේශබන්දු තෙන්නකෝන් - "ඒක සාමාන්‍ය දෙයක්. මොකද අද කාලේ ඕනම කෙනෙක් WHATSAPP පාවිච්චි කරනවා. ත්‍රිරෝද රථ රියැදුරු විතරක් නෙවෙයි පොළේ බඩු විකුණන කෙනත් WHATSAPP පාවිච්චි කරනවා. මම මට අමතන්න ඕනේ අයගේ නම්බර්ස් කඩදාසියක ලියාගෙන තිබුණේ. ඒ හරහා මම ඔවුන්ට ගත්තා.


දිලීප පීරිස් - "මේක හරි වෙහෙසකර ගමනක්නේ ඉතින්? දේශබන්දු තෙන්නකෝන් - "අනිවාර්යෙන්ම. මේක සුවපහසු ගමනක් නෙවෙයි.

දිලීප පීරිස් - "අද වන විට මෙලෙස කමිටුවක් පත්කරලා, විමර්ශන කරන්නටත් දේශබන්දු ඔබට අධිකරණයට යන්නටත් දේශපාලනික පළිගැනීමක් සිදු වූවා කියන එකද ඔබේ අදහස?"


දේශබන්දු තෙන්නකෝන් - ඔව්, එහෙම අදහසක් තියෙනවා.


දිලීප පීරි ස් - "ඔබ පොලිස්පති ධුරයේ කටයුතු කරන විට CCD එකේ නිලධාරීන් ඔබව අන්දනවා කියලා ඔබට තේරුණේ නැද්ද?"


දේශබන්දු තෙන්නකෝන් - "ස්වාමිනී මම දැනුත් කියන්නේ ඔවුන් දැන් කියන එකත් තව ටික කාලයකින් වෙනස් කරයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ."


හිටපු නගරාධිපති පුතෙක් මාට්ටු

  බිමල් ශ්‍යාමන් ජයසිංහ  

කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතකු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස  අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. එම සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බල පත්‍රය හා ව්‍යාජ හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත. 


ව්‍යාපාරිකයකු වන එම පුද්ගලයා සතුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලද රහසිගත තොරතුරකට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමේ දී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගෙන 2014 වසරේ සිට 2019 වසර දක්වා කොරියා රටට පිටත්ව ගිය බවට අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම දිනවල විදේශගතවීම සඳහා වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු තම සහෝදරියගේ උපන් වර්ෂය යොදා ජාතික හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස සකසා එකී උපන්දිනයට ගුවන් ගමන් බලපත්‍රයක් සාදා තමන් වෙත ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි. 


සැකකරු පැවසූ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහු මේ වන විට මෙවැනි වංචා සහගත ක්‍රියාවන් රැසකට සම්බන්ධව බන්ධනාගාරගතව සිටින බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.


අත්‍යවශ්‍ය බේත් විනිවිදව පිටින් ගත්තාට වරදක් නෑ

 

නිමල කොඩිතුවක්කු


අත්‍යවශ්‍ය ඖෂධ රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති විටෙක රෝගී ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා පූර්ණ විනිවිදභාවයෙන් හා කඩිනමින් කටයුතු කර ඒවා ප්‍රාදේශීයව මිල දී ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.ප්‍රාදේශීයව සිදු කරන ඖෂධ මිල දී ගැනීම් පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවංක නිලධාරින් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


වෛද්‍ය සැපයීම් දේශීයව මිල දී ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවකට කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (24) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හි දී ඇතිවන ඖෂධ හිගයට විසඳුම් සෙවීමට කටයුතු කිරීම මෙන් ම වර්තමාන ඖඖෂධ කළමනාකරණ පද්ධතිය වන “ස්වස්ථා” පද්ධතිය හරහා සිදුවන මිල දී ගැනීම් සහ එම කටයුතුවල දී පැන නගින ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් සෙවීම මූලික කරගනිමින් මෙම වැඩමුළුව පැවැත්විණි.

ඖෂධ දේශීයව මිල දී ගැනීම් පිළිබඳව නිවැරැදි අවබෝධයක් සමහර සෞඛ්‍ය ආයතන භාර නිලධාරින්ට නොමැති බවත් දේශීය මිල දී ගැනීම් සම්බන්ධව 2023 මාර්ගෝපදේශයක් සකස් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.රෝහලක් තුළ බාහිර රෝගී අංශයේ රෝගීන්ට, සායන රෝගීන්ට ඇතුළු විවිධ අවස්ථාවල ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලිව ඒ තුළින් පෙන්වා දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ සියල්ලටම නීතිමය රැකවරණය ලබාගැනීම සඳහා නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු ඒ ඒ රෝහල්වල පැවැත්විය යුතුව තිබෙන බව ද ඔහු කීවේය. රෝහල් මට්ටමින් එක් එක් අංශ ගත් විට ඒ ඒ අංශවලට අවශ්‍ය ඖෂධ වර්ග තෝරාගෙන ඖෂධ අටසිය හැට ගණනක සහ ශල්‍ය උපකරණ දොළොස් දහස් ගණනකින් යුත් ලැයිස්තුව සකස් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 


විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනවලින් විමසා මාර්ගෝපදේශයන්ට අනුව නම් කරන ලද ඖෂධ එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බවද වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඉන් එහා ගිය ඖෂධ නිර්දේශ කරන බවත්, එම ඖෂධ ලැයිස්තුවේ නොමැති වීම හේතුවෙන් එම ඖෂධ ද ඖෂධ හිඟය යන පැත්තට වැටෙන හෙයින් ඖෂධ හිඟය පිළිබඳ ගැටලුවේ දී එයත් ප්‍රධාන ගැලුවක් වන බව ද ඔහු ප්‍රකාශ කළේය.


පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල නියාමනයක් මේ වන විට නොමැති බැවින් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඖෂධ මිල නියාමන යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවද විජේමුණි මහතා කීවේය. ඉදිරියේ දී පෞද්ගලික ඔසුසල්වල ඖෂධ ද මිල නියාමනයකට ලක් කරන බවත් මෙය සිදු කිරීමෙන් පසුව ප්‍රාදේශීය මිල දී ගැනීමේ ක්‍රියාවලියට ද පහසුවක් වන බව ද අමාත්‍යවරයා පැවසී ය.

වැඩමුළුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර විමර්ශනයට

 


 විමුක්ති එස් රුද්‍රිගු


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරය දැරූ කාලයේදී කළ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියට ඊයේ (24) දැනුම් දුන්නේය.

 

එම විමර්ශනයට අදාළ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කළේය. පොදු දේපළ පනත යටතේ මෙම විමර්ශන කරන බවත් හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ගමන් වලදී රාජ්‍ය වියදම් යෙදවීමක් සිදුවී ඇතිද, එම වියදම් නීතිමය ක්‍රමවේදයට කර ඇත්ද යන්න සෙවීම මෙම විමර්ශනයේ අරමුණ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.


විමර්ශනයේදී වරදක් සිදුවී ඇති බවට තහවුරු වුවහොත් පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවැසුවේය..


පිඟන් සංස්ථාවෙන් ආයතන 2කට කෝටි 50 ක පොල්ලක්

 


සුජිත් හේවාජුලිගේ


ලංකා පිගන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි පනහකට වැඩි මුදලක් ගෙවීම පැහැරහැර ඇතැයි ජාතික විගණන කාරියාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ. ලංකා පිගන් සංස්ථාව ලංකා ඛනිජ වැලි සමාගමට 2012 වර්ෂයේ සිට ගෙවිය යුතු

රුපියල් කෝටි තිස් අටකට වැඩි මුදලක් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වර්ග හයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් ද මෙසේ පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ.


මේ අතර බංගදෙණිය කම්හල පිහිටි ඉඩමේ ගොඩනැගිලි කඩා ඉවත් කර තිබුණ ද අක්කර හතක ඉඩම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එසේම එම කම්හලේ ඉඩම් හා ගොඩනැගිලි ඇතුළු වත්කම් දීර්ඝ කාලයක සිට ප්‍රයෝජනයට ගෙන නැතැයි ද එම වාර්තාව සඳහන් කරයි.මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පිගන් සංස්ථාවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය 17 වැනිදා ඉදිරිපත් කෙරිණ.