Monday, July 31, 2023

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රංශයේ සහාය

නවෝද්‍යා පවනි

ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහාය ලබා දෙන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සදහා සහාය දක්වන බවද එමානුවෙල් මැක්‍රොන් මහතා මෙහිදී තහවුරු කර ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්තාව සනිටුහන් කරමින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව පසුගිය දා ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල 75 වැනි සංවත්සරය සමරන මෙම අවස්තාවේ දෙරට අතර ද්විපාර්ශවික සබදතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුව තිබේ.

ජාත්‍යන්තර සබදතාතවන්හීදී ප්‍රංශයේ මැදිහත් වීම අගය කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු- පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගයද අගය කර ඇත.

දේශපාලන,ආර්ථික , සංචාරක , දේශගුණික විපර්යාස , තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත කර ගැනීම පිළිබඳ නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල 75වැනි සංවත්සරය නිමිති කොට ගෙන දෙරට අතර සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීම සදහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හදුනාගෙන තිබේ. සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සදහා අධ්‍යාපන ආයතනයේ පිහිටුවීම, සංවර්ධනය සදහා වූ ප්‍රංශ නියෝජිතයෙක් (AFD) ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීම ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගර ආශ්‍රිත මිනිස් ජාවාරම් මැඩපැවැත්වීමේ වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රයට ඇතුලත්ව ඇත.

ප්‍රංශය සාමාජිකත්වය දරන ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතීත්වය අතරතුර ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබේ.

තිරසාර අනාගතයක් සදහා වන ගෝලීය ප්‍රයත්නයන් සදහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත්‍රයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ එකගතාවය ද මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡා වලින් අනතුරුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් " ශ්‍රී ලංකාව සහ ප්‍රංශය ඉන්දියන් සාගරයේ එකම අරමුණක් වන විවෘත , විස්තීරණ සහ සමෘද්ධිමත් ඉන්දු- පැසිෆික් කලාපයක් බෙදා ගන්නා රටවල් දෙකකි. කොළඹ දී අපි එය තහවුරු කලා. අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබදතා ශක්තිමත්ව, අපගේ හවුල්කාරිත්වයට නව යුගයක් විවෘත කරන්නෙමු." යනුවෙන් සදහන් කර තිබුණි.

යුරෝපීය සහ විදේශීය කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරින් කොලොන්නා, විදේශ කලාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆිලිප් විජියර්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජොන්- ෆ්‍රන්ස්වා පක්ටෙට්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් වන ෆේබියන් මැන්ඩන්, වලිඩ් ෆුක් සහ ජොසු සෙරෙස්, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බෙනොයිට් ගයිඩ්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ මාධ්‍ය කොන්සියුලර් ජෝනාස් බයාර්ඩ්, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ෆ්ලෝරියන් කර්ඩිනොක්ස් යන මහත්ම මහත්මීහූ ප්‍රංශ දූත පිරිසට ඇතුලත් වූහ.

මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යෑම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

 දිනේෂ් සමරකෝන්

මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යෑම නිසා ලංකාවට දෙස් විදෙස් වශයෙන් ලැබුනු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගිය දා අවධානය යොමු විය.
මෙම හස්තියා නැවත තායිලන්තයට ගෙන ගියේ කොන්දේසි සහිතවද යන්න සහ එයට හේතු වූ කරුණු පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුප මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරියගෙන් කරුණු විමසා සිටින ලදී.
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තා සලකා බැලීම සදහා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු අදාල ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ ද සහභාගීත්වයෙන් කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.
එහි දී අනාවරණය වූ අකාරයට 2001 වර්ෂයේදී තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුතුරාජා හස්තියා සන්නස් පත්‍රයක් මගින් අළුත්ගම කන්දේ විහාරයට පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇත. මෙම හස්තියා වන සත්ව සහ වෘකෂලතා පනත යටතේ හීලෑ ඇතෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක 178 ගොනුව යටතේ ලියාපදිංචි කර ඇති අතර, ඉන්පසුව පෞද්ගලික දේපළක් ලෙස සලකා ඇති බැවින් ඉන්පසු මෙම කරුණු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැරව ඇත.
මෙම ඇතා බලා ගැනීමේදී සිදු වී ඇති අඩුපාඩු හේතුවෙන් ඇතාගේ සෞඛ්‍ය පිරිහී ඇත. ඒ මත පදනම්ව තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන , සමාජ මාධ්‍ය නැවත ඇතා තායිලන්තයට ගෙන්වා ගන්නා ලෙස එරට රජයෙන් සහ මෙරට සිටින තායිලන්ත තානාපතිගෙන් ඉල්ලා ඇත.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තායිලන්ත තානාපතිගෙන් ලද ඉල්ලීම්වලට අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මැදිහත් වූ අතර ඇතා නැවත තායිලන්තයට ගෙන යන තුරු මූලික ප්‍රතිකාර කටයුතු ලෙස ඇතාගේ කකුල්වල පිටුපස තිබූ තුවාල වලට ප්‍රතිකාර කර 90%කට වඩා සුව කරන ලදී.
නමුත් ඇතාගේ ඉදිරිපස කකුල්වල ඇති තුවාල සුව වීමට කාලයක් ගත වන අතර මෙරටට වඩා තායිලන්තයේ ඇතාට ප්‍රතිකාර කිරීම සදහා පහසුකම් ඇති බැවින් නැවතත් සුව වූ පසු ඇතා කන්දේ විහාරයට භාර දෙන බවට එහි නායක හාමුදුරුවන්ට පොරොන්දු වී තායිලන්ත රජය විසින් රුපියල් මිලියන 220ක පමණ මුදලක් වැයකර වෙනම ගුවන්යානයකින් නැවත ඇතා තායිලන්තයට ගෙන යන ලදී.

නමුත් තායිලන්තයේ පරිසර අමාත්‍යවරයා මුතුරාජා හස්තියා යළිත් මෙරටට ලබා නොදෙන බව පැවසීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියක් මේ සිදුවීමෙන් ඇති වූ බැවින් මේ සම්බන්ධයෙන් සැබෑ ලෙසම වගකිව යුතු රජයේ ආයතනය පිළිබඳව කාරක සභාව විමසා සිටියේය.

මෙහිදී වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය පැවසුවෙ ඇතා පෞද්ගලික පරිහරණයට විහාරස්ථානයකට ලබා දී ඇති බැවින් ඇතාගේ වගකීම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමෙන් බැහැරවෙන බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලද දැනුම් දීමට අනුව ඇතා ආපසු රැගෙන යාමට අවශ්‍ය පහසුකම් පමණක් තම අමාත්‍යාංශය සලසා දුන් බවයි.

එසේ වුවද කාරක සභාවේ සභාපති පවසා සිටියේ අලි ඇතුන් බැලීමට විදේශවල සිට සංචාරකයන් පවා පැමිණෙන , අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අප රටට පරිත්‍යාගයක් ලෙස ලැබුනු ඇතා බලා ගැනීමට අපහසු වීම ගැටලුවක් බවයි. මෙහිදී බලධාරීන් පවසා සිටියේ ඇතාට ප්‍රතිකාර කිරීම සදහා පශු වෛද්‍යවරුන්ගේ සහාය නිසි ලෙස ලබාගෙන ඒ සදහා පහසුකම් සැලසීමට හැකියාව තිබුනද , තායිලන්ත රජයේ සහ එරට වැසියන්ගේ දැඩි බලපෑම මත ඇතා නැවත තායිලන්තයට ගෙන යෑමට සිදු වූ බවයි.

ආචාර්ය මහාචාර්ය රොත්තක් හැර ගිහින්


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යයන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ 2022 ජනවාරි සිට මේ වසරේ මැයි වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී ඇති බවය.

තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බවද මහාචාර්යවරයා පැවසීය. මහාචාර්යවරුන්ගේ විදේශගත වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලට බව ද ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය මත සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාම ගැටලු සහගත තත්වයකට පත්ව ඇති බව පැවැසූ මහාචාර්යවරයා කථිකාචාර්යවරුන් පිටතින් කැඳවා අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිදුව ඇති බව ද පැවසීය.

 ෂේන් සෙනෙවිරත්න

බ්‍රහස්පතින්දා සෞඛ්‍ය වර්ජනයක්



නවෝද්‍යා පවනි

සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම වලක්වාලමින් පනවා ඇති චක්‍ර ලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වෙනිදා ස්ංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
එම චක්‍ර ලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (30දා) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවමිනි.
සෞඛ්‍ය සේවකයන් හා සිවිල් සක්විධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදු කිරීමට නියමිත බවත්, එළ්ඹෙන 03 වැනිදා ඒ වෙනුවෙන් විශේෂ සමුළුවක් ද පවත්වන බවත් රවී කුමුදේශ් මහතා සදහන් කලේය.
මේ අතර අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සදහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදු වූ අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජිව මහතා පැවසුවේය.

ගෝඨාගේ පොහොර ව්‍යාපෘතිය අරගලයේ බළල් අතක්ද සැකයි


අරගලය මෙහෙයවූ  තුන්වැනි පාර්ශ්වයේ පිරිසක් අසාර්ථක කාබනික  පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නාදැයි සැකයක් මතුවන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. එවැනි දෙයක් නොවුණා නම් වක්කඩෙන් අත හෝදාගත් ඩී..ඒ. රාජපක්ෂ මහත්තයාගේ පුතා ගෝඨාභය රාජපක්ෂ කිසි දවසක පොහොර සහනාධාරය නොකපන බව තමාගේ විශ්වාසය යැයිද ඔහු සඳහන් කළේය.

කවුරු මොනවා කීවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය ක්‍රියාත්මක කළ කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අසාර්ථකවූ බව පැවැසූ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයාට එසේ උපදෙස් දුන් අය කවුදැයි සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය. නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි. එම රැස්වීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

සුජිත් හේවාජුලිගේ

වතුර ගැහුව කියලා මිනී මරන්න පුළුවන්ද?

“ අපේ සහෝදරයා පහුගිය 24 වැනිදා රෑත් කතා කරලා මා බලල යන්න එන්න කියලයි කිව්වා. අපි 25 වැනිදා රෝහලට යන අතරමගදී ඩොක්ටර් කෙනෙක් කතා කරල කිව්වා ඔස්ව් නානාකාමරයේ ලිස්සලා ඇද වැට්රා මියගිහින් කියලා. කොහොම හරි ඉක්මනින්ම මරණය අපට බාර දීලා එයාලා අත පිහදා ගන්නයි ලෑස්ති උනේ. එයාගෙ බිරියත් අවුරුදු දෙකකට කලින් නැති වුණේ. දැන් මේ දරුවාට කාගේ පිහිටක්ද? අම්මයි තාත්තයි දෙන්නම නෑ. මානසික අසනීපයක් තියෙන රෝගියකුට මේ විදියට පහර දෙන්න තරමට රෝහලේ වැඩ කරන සේවකයන්ගේ මානසික මට්ටම කොච්චර පහළට වැටිලාදැයි" මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි සෞඛ්‍ය කාර්ය සහායකින්ගේ පහර දීමට ලක්ව ඝාතනයට ලක් වූ ඔස්වි නානායක්කාර මහතාගේ මස්සිනා වන ටිරෝන් ලක්මාල් මහතා විමසයි.

පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඝාතනයට ලක් වූ එක්දරු පියෙකු වන ඔස්වි නානායක්කාර (47) මහතා වසර 28ක පමණ කාලයක් පෞද්ගලික ආයතනයක සේවය කර ඇති බවත් ඒ කාලය තුළ වරින් වර මානසික ආබාධ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. ඔහුගේ බිරිය මෙයට වසර දෙකකට පමණ පෙර මියයා මෙන් පසු නිසි පරිදි ඖෂධ ලබා නොගැනීම නිසා මෙලෙස ඉකුත් 20 වැනිදා මුල්ලේරියාව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ගොස් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ බවත් ලක්මාල් මහතා පැවසීය.

මේක සාමාන්‍ය මරණයක් විදියට පෙන්නන්න තමා වෛද්‍යවරුන්ටත් වුවමනා වුණේ. ඒත් අපි මේ ගැන හොයපු නිසා තමයි අද ඇත්ත තත්ත්වය දැන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. වතුර චුට්ටක් ඇඟට විසි කළාය කියල මානසික රෝගියකුට මැරෙන්න ගහන්න තරම් මානසික ලෙඩ්ඩ ද ඔය රෝහලේ සේවයට දාලා තියෙන්නේ. එයාලට එක් රෝගියෙක් පමණක් වුණාට අපේ පවුල්වලට තියෙන එකම පිළිසරණ වෙන්න පුළුවන් ඒ රෝගියා. දැන්වත් මේ පිළිබඳව බලධාරීන්ගේ ඇස් ඇරිලා මේ සිද්ධි මෙතැනින් නතර වෙන්න ඕනෑ යැයිද වැඩිදුරටත් පැවසීය. ඔස්ව් නානායක්කාර මහතාගේ නෑනා වන චම්පිකා රංජනා කුමාරි මහත්මිය මෙලෙස පැවැසුවාය.

'' වෛද්‍යවරුන් මල්ලි ලිස්සලා වැටිලා මිය ගියා කිව්වත් එයාගෙ සහෝදරයන් ඇවිත් බැලුවාහම මේ පිළිබඳව සැකයක් ඇති වුණා. ඒ නිසයි පොලිසියට පැමිණිලි කළේ. ඒ පැමිණිල්ල නිසා තමයි දැනගන්න පුළුවන් වුණේ මේක පහරදීමකින් වෙච්ච ඝාතනයක් කියල. හුඟක් ගහලා තිබුණා එයාට. දැන් එයාලගෙ පුතා තනිවෙලා තියෙන්නේ. ඒ නිසා මේකට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඕනේ. ඔය මොනවා කළත් දැන් මේ පුංචි පුතාට තාත්ත ලැබෙන්නේ නෑනේ. අනිත් රෝගීන්ටත් මෙයාලා සලකනව ඇත්තේ මේ විදියට තමා. ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පහර දෙන ආකාරය ඒවායේ තිබුණා. ඒකෙන් තමා හැමදේම එළියට ආවේ. දැන්වත් ඔය මිලේච්ඡ වැඩ නවත්තන්න පියවර ගන්න ඕනෑ. මානසික රෝගියෙක් කියන්නේ සාමාන්‍ය රෝගියෙක් නෙමෙයි. බලධාරීන්ගේ අවධානය මේවට යොමු කරන්න කියල ඉල්ලා සිටිනවා"

ලද පැමිණිල්ලට අනුව මුල්ලේරියාව පොලිසිය මේ පිළිබඳව අධිකරණය ද දැනුවත් කර අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශරීරයේ ස්ථාන 35කට ආසන්න ස්ථානවලට ඇති වූ තැළුම් නිසාවෙන් ඇති වූ ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වූ බවද මුල්ලේරියාව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදුකරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත් අඩංගුවට ගැනුණ සැකකරුවන් සිව් දෙනා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 08 ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ සඳහන් කළාය.

‘රෝහල් තිබූ ආරක්ෂිත කැමරා දර්ශන අනුව අදාළ රෝගියාට පහර දෙන ආකාරය දකින්නට ලැබුණා. එම සේවකයන් මේ වනවිට වැඩ තහනමකට ලක් කර සිටිනවා. මෙය හුදෙක් සේවකයන් කිහිප දෙනකුගේ ක්‍රියාවක් පමණයි. සමස්ත සේවකයින් සියලු දෙනාම මේ විදියට රෝගීන්ට පහර දෙමින් හැසිරෙන්නේ නෑ. ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනවා” යැයි පැවසුවාය. ඝාතනය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කටයුතු ආරම්භ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමටද කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

 කේ. බුද්ධික කුමාරසිරි


හිරේ ඉඳන් ඇවිත් මාස 2යි - සුපිරි සාප්පු කඩා කෝටියක දේපළ උස්සලා

 

රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළෙඳ ප්‍රදර්ශනාගාර බිඳ රුපියල් · කෝට්යකට ආසන්න වටිනා ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ සොරාගත් සහ සොර බඩු මිලදී ගත් බව කියන මාලිගාවත්ත සංවිධානාත්මක අපරාධකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරුවන් සමග ඉතා වටිනා අලුත්ම ජංගම දුරකථන 42 ක්  ලැප්ටොප් පරිගණක හතරක් ටැබ් යන්ත්‍ර තුනක්, මෙන්ම නිවසකින් සොරා ගෙන තිබූ පවුම් තුනකට ආසන්න උණු කරන ලද රන් කැබලි පොලිස් භාරයට ගෙන ඇත.

අවිස්සාවේල්ල, හංවැල්ල, මිරිහාන සහ කිරිබත්ගොඩ පොලිස් වසම්වල සිදු වූ නොවිසඳුණු අපරාධ සොරකම් 13 කට  අදාළව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සොරකමේ යෙදුණු ප්‍රධාන සැකකරු සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවල දී හඳුනා ගැනීමෙන් අනතුරුව මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සැකකරු මීට පෙර සිදුකළ සොරකම්  නඩු කිහිපයක් සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මීට මාස  දෙකකට පමණ ඉහත දී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයකු බවත් පොලිස් විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී රාත්‍රී කාලයේ දී එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා බස් රථවලින් ගොස් ප්‍රදර්ශනාගාර බිඳ දේපළ සොරා ගැනීමෙන් අනතුරුව ඒ සියලුම දේපළ මාලිගාවත්ත ආර්.බී. වත්තේ උක්ඔයිල් නමැත්තා වෙත ලබාදී මුදල් ලබාගත් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. ඒ අයුරින් එම මුදල් වලින් දිනකට රුපියල් 20,000 ට ආසන්න මත් කුඩු මිලදී ගෙන පානය කළ බවත් සැකකරු වැඩිදුරටත් අනාවරණය කර ඇත. සැකකරුගෙන් අනාවරණය තොරතුරු අනුව සොර බඩු මිලදී ගත් පුද්ගලයා සන්තකයේ තිබී සොරාගත් දේපළ වලින් සියයට අනූවක් පමණ සොයාගත් බවත් සමහර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනවල මුරපදය වෙනස් කර වෙනත් මුර පද යොදා සැකකරු විවිධ පුද්ගලයන් වෙත අලෙවි කර තිබූ බවත්, ජංගම දුරකථන මිලදී ගත් පුද්ගලයාට ඉහළ තාක්ෂණික දැනුමක් ඇත්තකු බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බිමල් ශ්‍යාමන් ජයසිංහ

පනස්වියේ දෙදරු මවකගේ ඝාතන අබිරහස වසර දෙකකට පසු හෙළිවේ

 


රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ 50 හැවිරිදි දෙදරු මවක මීට වසර දෙකකට ඉහත දී ඝාතනය කර ගෙවත්තේ වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විසිහය හැවිරිදි පුතා මහියංගනය වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූහ. ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී සිදුව ඇති මෙම ඝාතනයෙන් මිය ගොස් ඇත්තේ ඩබ්ලිව්.එම්. සෝමවතී නමැති දෙදරු මවකි. මෘත දේහය අද (31) දිනයේ ගොඩගන්නා ලෙස නියෝ කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිරුර වළදැමූ ස්ථානය පෙන්වීමට සැකකරුවන් රැගෙන එන ලෙසට ද නියම කළේය.

මෙම කාන්තාව අතුරුදන්වී ඇති බවට සහ එය සැක සහිත බවට ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රිදිමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ආර්.සී. වීරකෝන් මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේ ද සහාය ඇතිව විමර්ෂණ කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙහි ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ සැමියාගෙන් කිහිප වරක් කළ ප්‍රශ්න කිරීම්වල දී මීට වසර දෙකහමාරකට පෙර එනම් 2021 වර්ෂයේ දී මෙම කාන්තාව ඝාතනය කර තම 26 හැවිරිදි පුතා සමග එක්ව සිරුර වැසිකිළි වළකට දමා සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ නිවෙසින් පිට වාසයකර ඇති අතර මාස 4 කට 5 කට වරක් නිවෙසට පැමිණ ඇති බවත් 2021 පෙබරවාරි මස නිවෙට පැමිණ නැවත යාමේ දී සැමියාගෙන් රුපියල් පන්සියයක මුදලක් ඉල්ලා ඇති බවත් කියති. මේ සම්බන්ධයෙන් දින කිහිපයක්ම නිවසේ අඩ දබර වී ඇති අතර පෙබරවාරි මස 13 සහ 14 වන දිනයන්ගෙන් එක් දිනක උදෑසන මෙම කාන්තාව සහ සැමියා අතර ගැටුම දුර දිග ගොස් මව ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි. පසුව පියා පුතාගේ නිවසට ගොස් අම්මා මැරුණා යැයි පවසා ඇති බවත් ඉන් පසු පියා සහ පුතා එක්ව මිය ගිය කාන්තාවගේ සිරුර නිවෙස අසල අලුතින් හාරන ලද වැසිකිළි වළකට දමා වසා ඇති බවට සැකකරුවන් කළ පාපෝච්චාරණයෙන් හෙළිවූ බවත් රිදිමාලියද්ද පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ ඥාතීන් කිසිවකු නොමැති බවත් කිසියම් පුද්ගලයකු ඇය කුඩාකළ සිටම හදා වාඬාගෙන ඇති බවත්, පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. මෙම කාන්තාව කාලයක් නිවෙස්වල සහ ඇතැම් ප්‍රදේශවල විවිධ රැකියාවන් හි නිරත වී ඇති අතරතුර මෙම පුද්ගලයා සමග විවාහ වී ඇති බවත් එම පුද්ගලයාට සහ මෙම කාන්තාවට දරුවන් දෙදෙනෙකු සිටින බවත් පොලිසිය පවසයි. මෙම ඝාතනයට සම්බන්ධ බව කියන 72 හැවිරිදි සැමියා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු සමග පවසා ඇත්තේ තම බිරිඳ නිවසින් රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් එහිදී කොරෝනා හැදිලා මත් මියයන්නට ඇතැයි සිතන බවත්ය. සැකකරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී මෙම කාන්තාව මියගිය තැනැත්තකු බව පවසා ඇයගේ නම ඡන්ද නාම ලේඛනයෙන් ද ඉවත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

 


ඉන්දිකා රාමනායක

Friday, July 28, 2023

යතුරුපැදිය විදුලි කණුවක ගැටී සා.පෙළ සිසුන් දෙදෙනෙකු මරුට

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් දෙදෙනකු ඊයේ (27දා) දහවල් මරණයට පත්වූ බව මාදම්පේ පොලීසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාදම්පේ මුගුණුවටවන ප්‍රදේශයෙහි පදිංචි වරුණ තරුෂ සන්දීප තිසේරා හා මාවනැල්ල ප්‍රදේශයෙහි පදිංචි සස්මිත ඒෂාන් රණවීර නමැති වයස අවුරුදු 16 සීමාවල පසුවූ දරුවන් දෙදෙනෙකි.

මරණයට පත් දරුවන් දෙදෙනා මහනුවර කිංස්වුඩ් හා මාදම්පේ තඹගල්ල පාසල්වල අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරමින් සිට ඇත .

මාවනැල්ල ප්‍රදේශයෙහි සිසුවා ඔහුගේ ඥාතීන් වන මාදම්පේ තඹගල්ල ප්‍රදේශයෙහි සිසුවාගේ නිවසට මව්පියන් සමග පැමිණ ඇති අතර, තඹගල්ල පාසලට ගොස් සිටි මාදම්පේ සිසුවා රැගෙන ඒමට යතුරුපැදියෙන් ගොස් එම සිසුවා පාසලින් රැගෙන නැවත දෙදෙනාම ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මෙම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරු පැදියෙහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගාසන්නයේ කානුවකට පෙරළි අසල තිබූ බෝක්කුවක ගැටී ඉන්පසුව මාර්ගය ආසන්නයෙහි තිබූ විදුලි කනුවක ගැටී එම ස්ථානයේදීම ඔවුන් මරණයට පත්වී ඇති බව පොලීසිය කියයි.

සිසුන්ගේ සිරුරු හලාවත මහ රෝහලට රැගෙන ගොස් තිබේ. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලීසිය කියයි. මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු නිළධාහු පරීක්ෂණ පවත්වති.

පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ


සාමනේර අයියා අපයෝජනය කර මල්ලීට පහරදුන් හිමිනමට අත්හිටවූ සිරදඬුවම්

දරිද්‍රතාව හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි වී සාමණේර හිමිවරුන් වශයෙන් සිටි අයියාට බරපතළ ලිංගික අපචාරයක් කොට මල්ලීට බටයකින් පහරදීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවරා තිබු නඩු දෙකක චෝදනාවන්ට වරද පිළිගත් ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමකට වසර 3 1/2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය අගතියට පත් බාලවයස්කාර අයියා-මලෝ දෙදෙනාට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවීමටද ඊයේ (27දා) නියම කළේය.

ශාසන කටයුතුවල යළි නියැළිය හැකි වන ආකාරයේ ලිහිල් දඬුවම් නියම කරන්නැයි හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකාර හිමිනමට නියම කළ වසර 31/2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කාලය වසර 05ක කාලයකට අත්හිටුවීමටද නියම කළ මහාධිකරණය හිමිනම රුපියල් 5000/-ක දඩයකටද යටත් කළේය.

බාලවයස්කාර දරුවාට (මල්ලිටා බටයකින් පහර දී තුවාල කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාද අයියාට බරපතළ ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු මංවුණු තිලකරත්න මහතාද විත්තිකාර හිමියන්ට මෙලෙස දඬුවම් නියම කර ඇත.

විත්තිකාර හිමියන්ගේ විහාරස්ථානයේ සාමණේර හිමිවරුන් වශයෙන් සිටි එකම පවුලේ අයියා-මලෝ දෙදෙනාගෙන් මල්ලීට 2016 වසරේ දී බටයකින් පහර දී තුවාල කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේද, අයියාට 2017 වසරේදී බරපතළ ලිංගික අපයෝජන කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා යටතේද වෙන වෙනම නඩු පවරා තිබිණ.

අතවර අවස්ථාවලදී සාමණේර හිමිවරුන් වශයෙන් සිටි එකම පවුලේ අයියා මලෝ වන වින්දිත දරුවන් දෙදෙනා මේ වන විට උපැවිදි වී ඇති අතර නඩු දෙක අධිකරණවල වෙන වෙනම කැඳවනු ලැබූ අවස්ථාවලදී වින්දිත දරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

එම නඩු දෙක කැදවනු ලැබූ අවස්ථාවලදී විත්තිකාර හිමියන්ද අධිකරණයේ පෙනී සිටි අතර එම චෝදනාවන්ට විත්තිකාර හිමියන් වෙන වෙනම වරද පිළිගත්තේය. නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරු පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් අතවරයන්ට මුහුණ පෑ දරුවන් වවුනියාව ප්‍රදේශයේ එකම පවුලක අයියා මලෝ දෙදෙනකු බවත් ඔවුන් විත්තිකාර හිමිගේ ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයේ මහණ වී සාමණේරවරුන් වශයෙන් සිට ඇතැයිද දැනුම් දුන්හ. ඒ අවස්ථාවේදී ඔවුන් මෙම අතවරයන්ට මුහුණ දී ඇතැයි දැනුම් දුන් රජයේ නීතිඥවරු විත්තිකාර හිමියන්ට සුදුසු දඬුවම් නියම කරයි ඉල්ලා සිටියහ.

• බුද්ධිමාල් රුබේරු


EPF හා ETF ගැන ඉදිරිපත් කළ පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

වැඩකරන කෝටි දෙකකට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීම සඳහා විරෝධතා ගෙනු කරන බව නීතිපතිවරයා ඊයේ (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ විරෝධතා දැනටමත් අධිකරණයේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය දැනුම් දුන් අතර පෙත්සම අගෝස්තු මස 03වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.

රජය සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් ලබාගෙන ඇති ණය කප්පාදු කිරීමට කටයුතු කළහොත් එම අරමුදල්වල සාමාජිකයන්ට දැඩි අගතියක් වන බව පවසමින් අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු ලැබූ අවසථාවේදී එලෙස නියම කෙරිණ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණ අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවනු ලැබීය.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු හයදෙනෙකු ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, එහි මූල්‍ය මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, නීතිපතිවරයා ඇතුළු 46දෙනෙකු නම් කොට ඇත.

සේවක අර්ථසාධක අරමුදල තුළ රටේ වැඩකරන කෝටි 02කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ තුළ ආසන්න වශයෙන් රටේ වැඩකරන කෝටි 2 1/2කට අධික ජනතාවකගේ සක්‍රිය ගිණුම් ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල්වලින් 93%ක් පමණ මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ මහබැංකු බැඳුම්කරවල ආයෝජනය කර ඇතැයිද සේවක අර්ථසාධක අරමුදලෙන් අරමුදල්වලින් රු. බිලියන 2390.4 ක් රජයේ බැඳුම්කර හා සුරැකුම්පත්වල ආයෝජනය කර ඇතැයිද පෙන්වා දෙති.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ඇති මුදල්වලින් 86% ක් පමණ (රු. මිලියන 352 544 වටිනා) රජයේ සුරැකුම්පත්වල සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ පසුගිය මාර්තු මස 22වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කොට ඇතැයිද පෙන්වා දෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකගතාවට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයිද, ජාත්‍යන්තර ණය හිමි ආයතනවලට ඒ බවට ප්‍රතිඥාවක් ලබාදී ඇතැයිද, පෙන්වාදෙන පෙත්සම්කරුවෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අනුමැතිය ලබාගැනීම සඳහා සති අන්තයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාර 02ක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන ඇතැයිද, ඒ යටතේ ජුනි මස 30වැනිදා විශේෂ බැංකු නිවාඩුවක්ද රජය ප්‍රකාශයට පත් කොට ඇති බවද පෙන්වා දෙති. සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් රජය ලබාගෙන ඇති ණය කප්පාදු කළහොත් කෝටි 02කට අධික එහි සාමාජිකයන්ට දැඩි අගතියක් වන බවත්, මෙවැනි කටයුත්තක් සඳහා රජය අදාළ අරමුදල්වල සාමාජිකයන්ගේ කැමැත්ත ලබාගෙන නැතැයිද පවසති. 

රජය එහි සාමාජිකයන්ගේ අදහස් විමසීම ප්‍රතික්ෂේප කිරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්තීන් උල්ලංඝනය කර ඇතැයිද, ඉන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන්නැයිද, ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා මූලික විරෝධතා මතු කිරීමට අපේක්‍ෂා කරන බවද ඊට අදාළ විරෝධතා මේ වන විටත් ගොනුකර ඇතැයිද කීවාය. ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන අගෝස්තු 03වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඬුල්ල දෙපාර්ශ්වයේ කරුණු හා සැලකිරීම් එදින සලකා බලන බවද දැනුම් දුන්නේය.

• බුද්ධිමාල් රුබේරු


දස හැවිරිදි දැරියක් අපයෝජනය කළ හිමිනමක් වසර 3ක් හිරේට

දස හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කළේ යයි වරදකරුවකුවූ හිමි නමකට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් සහ අපයෝජනයට ලක්වූ දැරියට රු. 50,000ක වන්දි මුදලක් හා රු. 20,000ක දඩ මුදලක් ගෙවන ලෙසත්, දඩ මුදල් නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක්ද ලබා දෙන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (27දා) පස්වරුවේදී නියෝග කළේය.

මෙසේ සිර දඬුවම්,වන්දි හා දඩ මුදල් ගෙවීමට සිදුවූයේ අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටි උණවටුණේ විමලසිරි නොහොත් උණවටුණේ නන්ද නමැති හිමි නමටය.

සැකකාර හිමිනම 2010 වසරේ සැප්තැම්බර් මස 25 හෝ ඊට ආසන්න දිනයකදී විහාරස්ථ දහම් පාසලට පැමිණි දස හැවිරිදි දැරියකට ඉංග්‍රීසි ඉගැන්වීමට යයි කියමින් විහාරස්ථානයට ගෙන්වා ගෙන කරන්න දුන් ඉංග්‍රිසි වැඩ බැලීමට යැයි කියමින් දැරිය විහාරස්ථානයේ කාමරයකට කැඳවාගෙන අපයෝජනය කළේ යයි කියමින් දැරියගේ දෙමාපියන් කළ පැමිණිල්ලකට අනුව සැකකාර හිමි නම අම්බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන එම හිමි නමට විරුද්ධව බලපිටිය අධිකරණයේ නඩු පවරන ලදි.

වසර දහතුනක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර හිමි නම දස හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළේ යයි වරදකරු කරමින් බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා එම හිමිනමට මේ සිර දඩුවම හා වන්දි මුදල්, දඩමුදල් නියම කළේය.

අම්බලන්ගොඩ පොලීසිය විසින් ගොනු කර තිබූ මේ නඩුව රජයේ අධිනීතීඥ සෞම්‍යා විජේසිංහ මෙනවිය විසින් මෙහෙයවන ලදි.

                                                                                                 • කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත


දේශීය ආදායම් RAMIS පද්ධතිය සිංගප්පූරු සමාගමෙන් දෙපාර්තමේන්තුවට භාරගැනීමට අදාළව සැලැස්මක්

දැනට භාවිතයේ පවතින RAMIS පද්ධතිය සිංගප්පූරු සමාගම වෙතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර ගැනීමට අදාළ සැලැස්ම සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා විය. ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙය සාකච්ඡා කෙරිණ.

මෙම කමිටුව පසුගියදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර, එහිදී RAMIS පද්ධතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කොට තිබුණි. ඒ පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීම සදහා මෙදින මෙම කමිටුව රැස් වූ අතර ඒ සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ද (ICTA) කැදවා තිබුණි.

මේ අනුව RAMIS පද්ධතිය සම්බන්ධයෙන් කටයුතු කරන සිංගප්පූරු සමාගමේ ගිවිසුමට අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට RAMIS පද්ධතියේ සම්පූර්ණ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව භාරගත යුතු බව මෙහිදී සදහන් විය.

මේ සදහා අවශ්‍ය වන මානව සම්පත ඇතුළුව අභ්‍යන්තර ශක්‍යතාව දෙපාර්තමේන්තුව තුළ වර්ධනය වී නොමැති බව මෙහිදී අනාවරණය වූ අතර මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය.

එසේම මෙම වාර්තාවේ RAMIS පද්ධතිය භාර ගැනීමට මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා සංයුක්ත යෝජනාවලියක් ඇතුළත් විය යුතු බවත් මෙහිදීම සභාපතිවරයා ප්‍රකාශ කළේය.

වසර 8කට පෙර හඳුන්වාදුන් RAMIS පද්ධතිය තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් කමිටුවේ අප්‍රසාදය පළ විය.

තවද රාජ්‍ය ආයතන 13ක් ඒකාබද්ධ කරමින් ගොඩනගන තවත් ඒකාබද්ධ තොරතුරු පද්ධතියක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන 13 සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර මෙහි දී මෙම සියලුම ආයතන සිය තොරතුරු පද්ධතිවල පොදු කේතයක් ලෙස ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බව යෝජනා විය.

                                                                                                                     දිනේෂ් සමරකෝන්


 

මී හරක් මස් ජාවාරමක් : මැණික් මුදලාලි ඇතුළු 3ක් අත්අඩංගුවට


මී ගවයන් සොරකම් කර මරා එළ හරක් මස් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලට හොර රහසේ අලෙවි කළ මහ පරිමාණ ජාවාරමක් මෙහෙය වූ බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනෙක් මී ගවයන් 13 දෙනකු සහ එම ගවයන් මැරීමට යොදා ගත් උපකරණ තොගයක් ද සමග වලාන පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැලිපැන්නේ දී පෙරේදා (26) අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම මැණික් ව්‍යාපාරිකයා නිදහස් කර ගැනීමට හිටපු ජනාධිපතිවරයකුගේ ලේකම්වරයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කේ.ඒ උදය කුමාර සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික විරසිංහ යන මහත්වරුන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කර ඇතැයි ද වාර්තා වේ.

එහෙත් එම නිලධාරින් එම බලපෑම් ගණන් නොගෙන රාජකාරිය නිසියාකාරව ඉටුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ. මෙම වැටලීම කර ඇත්තේ වලාන පානදුර දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට පෞද්ගලිකව ලැබුණු තොරතුරක් අනුවය. දකුණු පළාත ඇතුළු ඈත ප්‍රදේශවලින් මී ගවයන් සොරකම් කර මරා මස්කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගෙනැවිත් දිවයිනේ විවිධ  ප්‍රදේශවලට අලෙවි කිරීම මෙම ජාවාරම්කරුවන් දිගින් දිගටම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී යැයි පානදුර දූෂණ මර්දන  ප්‍රහාරක බළකාය පවසයි.

සැකකරුවන් වැලිපැන්න  ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් අසල දී අත්අඩංගුවට ගෙන ඇති අතර කෝටිපති මැණික් ව්‍යාපාරිකයා නිදහස් කර ගැනීම සඳහා එහි දී රුපියල් එක් ලක්ෂ පනස් දහසක් සහ රුපියල් ලක්ෂ තුනක් බැගින් වරින් වර අල්ලස් ලබාදීමට උත්සාහ දරා ඇතත් පොලිස් නිලධාරින් ඒවා ප්‍රතික්ෂේප කර ඇත. හිටපු ජනාධිපතිවරයකුගේ ලේකම්වරයකු ව්‍යාපාරිකයා මුදා ගැනීමට මෙලෙස බලපෑම කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ ඉන් අනතුරුවය. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ උපකරණ වැලිපැන්න පොලිසියට බාර දී ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරුවන් ළඟ තිබී සොයා ගනු ලැබූ ආයුධ අතර මන්නා පිහි නවයක් ද පොරවක් සහ යකඩ කූරු තුනක් ද වෙයි.


සුජිත් හේවාජුලිගේ 

ගන්නොරුව පශු වෛද්‍ය පර්යේෂණායතනයේ කෝටි එකහමාරක් පිල්ලි ගහලා



ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමිවරිය  විසින් සිදුකරන ලදැයි කියන රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් එම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) පැමිණිල්ලක් කර ඇත. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ, පාලනය වන එම ආයතනයේ විවිධ කටයුතු සඳහා කරන ගෙවීම් හරහා මුදල් අයකැමිවරිය පරිගණකයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෙම මහා පරිමාණ වංචාවා සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි පැවැසේ. මෙම වංචාව 2018 සිට මේ දක්වා වසර පහක පමණ කාලයක් සිදු වී ඇති බවට අභ්‍යන්තර විමර්ශනවල දී අනාවරණය වී ඇත.

විවිධ රෝග හේතුවෙන් මරණයට පත්වන සතුන්, සුරතල් සතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ද මෙම ආයතනය මගින් නිකුත් කරන අතර මියගිය සුනඛයකු සම්බන්ධව පරීක්ෂණ වාර්තාවක් ගැනීමට පැමිණි පශු වෛද්‍යවරයකුට එම වාර්තාව ලබා දීමට රුපියල් 90,000 ක පමණ මුදලක් එම ආයතනයට ගෙවූ බවට මුල් රිසිට්පත ලබා දී ඇත. මුල් රිසිට්පත අස්ථාන ගතවීම හේතුවෙන් වසර කිහිපයකට පසුව එම රිසිට් පතේ පිටපතක් ගැනීමට එම පශු වෛද්‍යවරයා එම ආයතනයට ගිය අවස්ථාවේ එහි 90,000 වෙනුවට රුපියල් 9000 ක් ලෙසට සටහන් වී ඇති බවට අනාවරණය වී ඇත.

පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය ද සතුන් හා සත්ව ආහාර ආනයනයේදී හා අපනයනයේදී, ගෙවීම් සිදුකර මෙම ස්ථානයෙන් වාර්තා ලබා ගැනීම අනිවාර්ය කටයුත්තක් වන අතර මධ්‍යම කුකුළු පරේශ්ෂණ ආයතනයෙන් දිනක් වයසැති කුකුළු පැටවුන් මිලදී ගැනීමේදී ද මුදල් ගෙවිය යුතුව ඇත්තේ මෙම පශු වෛද්‍ය පරික්ෂණ ආයතනයට වේ. එම මුදල් ද මෙම ආයතනයට ගෙවීම හේතුවෙන් දෛනිකව අති විශාල මුදලක් මෙම ආයතනය තුළ සංසරණයක් වන බව එම ආයතන ආරංචි මාර්ග කියයි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මියන්ගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඇය පැවසුවේ වංචාවක් සම්බන්ධයෙන් මුදල් අයකැමි වෙත චෝදනාවක් එල්ල වී ඇති බවය. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර අභ්‍යන්තර  විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.

ෂේන් සෙනෙවිරත්න

අප්‍රිකාවේ දී මිනිස් ජාවාරම්කරුවන්ට හසුවූ ශ්‍රී ලාංකිකයන් 15ක් බේරා ගැනේ

අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි සියෙරා ලියොන්හිදී මිනිස් ජාවාරම්කරුවන්ට හසුව සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු පොලිස් විශේෂ මෙහෙයුමකදී බේරා ගැනීමට හැකි වූ බව අන්තර්ජාතික පොලීසිය (INTERPOL) සඳහන් කරයි.

INTERPOL සහ අප්‍රිකාවේ AFRIPOL එක්ව සිදුකළ මිනිස් ජාරමට එරෙහි මෙහෙයුමක ප්‍රතිඵල ලෙස මෙම පිරිස ගළවා ගැනීමේ හැකියාව ලැබී තිබේ. මොවුන් මිනිස් ජාවාරම්වලට ගොදුරු වූ බවට සැක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.

FLASH-WEKA ලෙසින් හැඳින්වුණු මෙම මෙහෙයුම අදියර දෙකක් යටතේ මැයි සිට ජුනි දක්වා සිදු කර තිබේ. අප්‍රිකාව තුළ සිදුවන මිනිස් ජාවාරම් වැළැක්වීම මෙහි අරමුණ වී ඇත. ඒ අනුව සියෙරා ලියෝන්හිදී හමුවූ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බව සඳහන් වෙයි. මෙම මෙහෙයුමේදී හඳුනාගත් බොහෝ සිදුවීම් හා සම්බන්ධ වින්දිතයන් ආසියාවේ පිරිස් බවත්, ඒ අතර බංග්ලාදේශ, ඉන්දියානු, පාකිස්තාන සහ ශ්‍රී ලාංකිකයන් සිටින බවත් ඉන්ටර්පෝල් ආයතනය වැඩිදුරටත් පවසයි.


විදුහල්පති පුරප්පාඩු 6000ක්

විදුහල්පති සේවාවේ පුරප්පාඩු 6,000කට අධික ප්‍රමාණයක් ඇති වී තිබියදීත් විදුහල්පති සේවාවේ වැඩ ආවරණය කරන පිරිස් සේවය ස්ථිර කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව වැඩබලන විදුහල්පතිවරු සදහන් කරති. 

වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් විදුහල්පති තනතුරේ සේවය කර තිබෙන පිරිස් සේවය ස්ථිර කිරීමට යහපාලන ආණ්ඩු සමයේදී වැඩපිළිවෙළක් සකස් කළද, එම වැඩපිළිවෙළ මෙතක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.

2010 වසරේ සිට විදුහල්පති තනතුරේ වැඩ ආවරණය කටයුතු සඳහා පාසල්වල සිටින ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් අනුයුක්ත කර තිඛෙන බවත්, මේ අනුව දිවයින පුරා 2,000කට අධික ප්‍රමාණයක් විදුහල්පති තනතුරුවල සේවය කරමින් සිටින බවත් ඔවුහු ප්‍රකාශ කරති.

විදුහල්පති තනතුරේ වැඩ ආවරණය කිරීමේදී ප්‍රාථමික පාසල්වල සිටින පිරිස්වලට රුපියල් 3,000ක මාසික දීමනාවක් හා අනෙකුත් පාසල් සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදෙන බවද වැඩබලන විදුහල්පතිවරු පෙන්වා දෙති.

එසේම වැඩ බලන විදුහල්පතිවරුන් විදුහල්පති සේවාවට අදාළ සියලුම රාජකාරී කටයුතු සිදුකළ යුතු බවත්, මීට අමතරව කලාප කාර්යාල හා කොට්ඨාස කාර්යාලවලටත් නිරතුරුවම යා යුතු බවත් එම පිරිස් සඳහන් කරති.

මීට අමතරව ලබාදෙන දීමනාව ප්‍රවාහන වියදම්වලටවත් ප්‍රමාණවත් නොවන බවත්, මේ නිසා පාසල් පරිපාලන කටයුතුවල නිපුණත්වය හා ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන තනතුරේ ස්ථිර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් වැඩබලන විදුහල්පතිවරු පවසති.

                                                                                                                       ඉන්දික හේවාවිතාරණ 


සී.අයි.ඩී නිලධාරියෙක් කුඩු සලිඳුගෙන් කෝටි 13ක් පගා ඉල්ලලා



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  භාරයේ රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සලිඳු වල්ලික ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සලිඳු යන අයගෙන් රුපියල් කෝටි 13ක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන  ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර ඇත. නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සළිඳු' යන දෙදෙනා නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26) ගිය අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වී ඇති අතර පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඉකුත්  පෙබරවාරි මස 15 වැනිදා මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90ක කාලයත් තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙම සැකකරුවන් මෙරටට රැගෙන ඒමේ දී කලහකාරී ලෙස හැසිරි ඇති බවත් මේ හේතුවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව සඳහා  රැඳවුම් නියෝග මත දැඩි ආරක්ෂිතව රඳවා තබා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු  වාර්තා කර තිබිණි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා නිරීක්ෂණය කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා ඉකුත් මැයි 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඉකුත් ජනවාරි මස 01 වැනිදාය.

නිමන්ති රණසිංහ

පොලිස්යේ වැරදි හදන්න දැමූ පොලිස් ලොක්කාට මාරුවක්


ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වී ‍ ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. තනතුරින් ඉවත් කරන ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහතා පොලිස් මූලස්ථානයේ   පර්යේෂණ සංවර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවැසීය. පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය පිහිටුවා ඇත්තේ පොලිස් නිලධාරින්ට එල්ල වෙන චෝදනා සහ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාය.

තන්තිරිමලේ පොලිසියේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකු වන ජේ.ඩී. සඳුන් (83840) මහතා කංසා ළඟ තබා ගත් බවට ඔහුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් බොරු චෝදනා යටතේ නඩු පවරා ඇති බවට තොරතුරු තහවුරු කරගෙන එම කොස්තාපල්වරයාට සාධාරණය ඉටු කර දීම සිදු කරනු ලැබුවේ ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහතා විසිනි.

මේ බව හෙළි කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස්පතිවරයා වෙනුවෙන් මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 24 වැනිදා එම පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව ඇයද සිටියේ ය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි රීති අනුව මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව මේ සම්බන්ධව පෙරේදා (26) නිකුත් කළ විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ එම නිලධාරියා කීය. පොලිස්පතිවරයා විසිනි. ඔහුට මෙම ස්ථාන මාරුවීම දෙනු ලැබ ඇත්තේ පොලිස්පතිවරයා විසිනි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර ඇත්තේ සංවර්ධන හා පර්යේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ.එම්.ජී.ජේ. සේරම් මහතාය. මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දස දෙනකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස්පතිවරයා නිකුත් කර ඇති එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

මානසික රෝහලේ රෝගියෙක් පහරදීමකින් මියගිහින්



අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ (මානසික රෝහලේ) ප්‍රතිකාර ඉමින් සිටි පෞද්ගලික සමාගමක කළමණාකරැවෙකු පහර දීමකින් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.මෙම මරණය සැක සහිත බවත්, රෝහල් සේවකයන් සිදු කළ පහර දිමෙන් මොහු මියගස් ඇතැයි කියමින් ඕයගිය අයගේ ඥතීන් මුල්පියාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම විර්ශනය ආරම්භ කර ඇත.මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි එක්දරු පියකු බවත්, ඔහු පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු වශයෙන් කටයුතු කර ඇති බව ද පොලිසිය කියයි.

මොහුගේ බිරිඳ මියයාම නිසා 11 හැවිරිදි දරුවා සමග තනිවීයමෙන් ඇති වූ මානසික ව්‍යාකූල තත්ත්වයක් හේතුයඩන් මීට සතියකට පෙර ඥතීන් විසින් ඔහු ප්‍රතිකාර සඳහා මෙම රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි බව ද පොලිසිය පවසයි. මෙම රෝගියා රෝහල් වාට්ටුවේ සිටි පිරිසකට වතුර ගසමින් සහ පහර දෙමින් ඉකුත් 25 වැනිද හෙනොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටියදී රෝහල් සේවකයන් ඇතුළු පිරිස ඔහු පාලනය කිරිමට උත්සාහ ගෙන ඇත. එම අවස්ථාවේදි ඔහු බිම ඇද වැටී නිස වැදුණ බවට පොලිසියට ප්‍රකාශ ලබා දී ඇත. සිද්ධියන් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියයනස් ඇත.

මෙම සිද්ධිය ඉකුත් 25 වැනිදා පෙරවරුවේ සිදුව ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන් එදින සවස සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු පොලිසිය එහි ගොස් විමර්ශන ආරම්භ  කර ඇත. මරණ පරීක්ෂණ වාර්තා අනුව පහරදීමකින් ගමෙම මරණය සිදුවි ඇති බවට අනාවරණය වුවහෙත් පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය පවසයි. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුන්නත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

ඉන්දිකා රාමනායන

බීමත් රියැදුරකුගේ මෝටර් රියට 11 හැවිරිදි පාසල් සිසුවෙක් බිලි



මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පදිකයන් දෙදෙනකුගේ හා කැබ් රථයක, ත්‍රිරෝද රථයක පෙරේදා 26 වැනිදා රාත්‍රී 10 ට පමණ ගැටීමෙන් එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මිගොඩ පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ මීගොඩ, හෙට්ටියාවත්තේ, විනිදු සත්සර නමැති එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි. හයිලෙවල් මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට බීමත් රියැදුරකු පැද වූ බව කියන මෝටර් රථයක් මිගොඩ 20 කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් මවක (57) සහ ඇයගේ පුත්‍රයකුගේ (18) සිරුරේ ගැටී අනතුරක් සිදුව තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී යැයි පොලිසිය සඳහන් කරයි.  

අනතුරෙන් පසුව මෝටර් රථය නොනවත්වා මීටර් 500 පමණ ඉදිරියට ධාවනය කරද්දී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී ඒ  අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටී අනතුරු දෙකක් සිදුව ඇතැයි පොලිසිය කියයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු හා ඔහුගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කඩිනමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එකොළොස් හැවිරිදි පාසල් සිසුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් අනතුර සිදු කළ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බිමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථයට හා මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර ප්‍රතිකාර ලබන  අනිත් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය කියයි . අනතුරට හේතුව නොසැලකිලිමත් 7 අපරික්ෂාකාරී රිය ධාවනය බව පොලීසිය කියයි. මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි . අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න 

ටෙලිකොම් විදියට ඇවිත් දුරකථනවල තඹ කම්බි කපාගෙන


ටෙලිකොම් සමාගමේ නඩත්තු සේවකයන් ලෙස වෙස්වලාගෙන රාත්‍රි කාලයට ටෙලිකොම් ගලි වළවල ‘සන්දාම’ තඹ කම්බි සොරා ගැනීමේ සංවිධානාත්මක කල්ලියක සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. සැකකරුවන් සමඟ ටෙලිකොම් සමාගමේ ලාංඡනය යෙදූ ටී ෂර්ට් දෙකක්, ලුමිනස් ජැකට් එකක්, නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මාර්ගය මත තබන තැඹිලි පාටින් යුත් ප්ලාස්ටික් කෝන් කීපයක්, තඹ කම්බි කැපීම සඳහා යොදා ගන්නා උපකරණ, කපන ලද සන්දාම තඹ කම්බි කිලෝ 150ක් සහ ලොරි රථයක් පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි. 2022 වසරේ අගභාගයේ සිට මේ දක්වා කහතුඩුව පොලිස් වසමේ පිහිටා තිබෙන ටෙලිකොම් සමාගමට අයත් ගලි වළ වල තිබෙන සන්දාම තඹ කම්බි කැපීමේ සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් ටෙලිකොම් සමාගමට අයත් වෑතර ප්‍රදේශයේ භාර නිලධාරියා පැමිණිලි තුනක් සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

කහතුඩුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරේෂ් පෙරේරා මහතා ඔත්තුකරුවන් දැනුම්වත් කර තිබීමේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් පිරිස කහතුඩුව නගරයට ආසන්නව තඹ කම්බි කැපීම සඳහා සූදානම් වන අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. බැලූ බැල්මට කිසිදු සැකයක් ඇති නොවන පරිදි සමාගමේ නඩත්තු සේවකයන් ලෙස ටී ෂර්ට් සහ රාත්‍රි කාලයට අඳින ලුමිනස් ජැකට් හැඳ පැලඳ මෙම සැකකරුවන් සන්දාම තඹ කම්බි කැපීමේ ජාවාරම ජයටම සිදු කර තිබූ බව පොලිසිය කියයි. මේ නිසා ග්‍රහකයන් ලක්ෂ ගණනාවකට දුරකතන සම්බන්ධතා ඇනහිටි බව අදාළ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගැනුණ සිව් දෙනාගේ කල්ලියේ ප්‍රධාන  සැකකරු අදාළ සමාගමේ උපකොන්ත්‍රාත්කරුවකු යටතේ සේවය කළ අයෙකු වන අතර ඔහුගේ මෙහෙය වීමෙන් සෙසු පිරිස ඊට සම්බන්ධ වී ඇති බවත් සැකකරුවන් එම ජාවාරම සඳහා යොදාගෙන ඇත්තේ කුලී පදනම මත ලබා ගත් ලොරියක් බවත් වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මීට පෙර අවස්ථා තුනකදී කහතුඩුව පොලිස් වසමේ ස්ථාන තුනකින් කම්බි කපා පයාගල ප්‍රදේශයේ යකඩ බඩු මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.  පයාගල සහ අවට පදිංචිකරුවන් වන මෙම සිව් දෙනාගේ කල්ලිය පොදු දේපළ ආඥා පනත යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

Thursday, July 27, 2023

පුංචි ඡන්දයට අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබු පසුගිය මාර්තු මස 9 වැනිදා නියමිත පරිදි නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ඉල්ලා  ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයාවෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (26දා) ඉල්ලා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් විසින්ද, ජාතික ජනබලවේගය වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන අය ව්සින්ද, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින්ද අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වීමෙන් අනතුරුව ඒවායේ බලය කොමසාරිස්වරයකු හෝ පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා යටතට පැවර්ම සාමාන්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එසේ වුවත් එම තත්ත්වය උල්ලංඝනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය මැයි 09වැනිදා ලිපියක් නිකුත් කරමින් නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවර්මට යෝජනා කර ඇතැයි පෙන්වා දෙති.

පළාත් පාලන ආයතන පනතේ විධි විධානයන්ට අනුව එම ආයතනවල බලය මෙවැනි කමිටුවකට පැවර්මේ නීතිමය ඉඩකඩක් නොමැති බවත්, මෙය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවත්, පෙන්වා දෙන පෙත්සම්කරුවෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ අදාළ ලිපිය බලරහිත කිරීමේ ඊට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.

මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය මැයි 09වැනිදා නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

වැඩිදුර පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 02වැනිදා දක්වා කල් තැබිණ.

                                                                                                                         • බුද්ධිමාල් රුබේරු


පැකට්කළ 'විට' නිසා දරුවන්ට මුඛ පිළිකා අවදානමක්

වාණිජ මට්ටමේ පැකට්කළ 'විට' කෑම හේතුවෙන් වයස අවුරුදු 20ට අඩු දරුවන්ගෙන් ඉතා කෙටි කලක් තුළ පූර්ව මුඛ පිළිකා රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමේ තත්ත්වය මෙරට තුළ මේ වනවිට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන අවධාරණය කරයි.

එම වැඩසහහන පෙන්වා දෙන්නේ, පැකට්කළ 'විට' කා සුළු කලකින් පූර්ව පිළිකා ලක්‍ෂණ පහළ වන බවත්, ඒ අනුව දරුවාගේ තොළ වටා සුදු පැහැයක් තිබේ නම්, එය නව පන්නයේ විට කෑමේ ප්‍රතිඵලයක් ලෙස මතු වන පූර්ව පිළිකා ලක්‍ෂණ වන බවත්ය. 

එසේම ගොඩ වෙදකම්වලට යාමෙන් තත්ත්වය දරුණු වන බව පෙන්වා දෙන ජාතික පිළිකා මර්දන වැඩසටහන, සුදුසුකම් නොලත්, එහෙත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබාගැනීමට යාමෙන් දැඩි අවදානමක් උද්ගත වන බවද පවසා සිටියි.

වාණිජ වශයෙන් පැකට්කළ 'විට' කෑමේ ප්‍රවණතාවක් මෙරට තරුණ ප්‍රජාව තුළ මේ වනවිට දක්නට ලැබෙන අතර, ඒ අනුව වයස අවුරුදු 20ට අඩු පාසල් දරුවන් ඊට යොමුව ඇති බවට අනාවරණය වී තිබේ. එසේම මෙම තත්ත්වය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය අදට (27දා) යෙදී ඇති අතර, ඊට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමට විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කටයුතු කළහ.

ඒ අනුව එහිදී අදහස් දක්වමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය උදය උස්ගොඩආරච්චි මහතා ප්‍රශ්න කර සිටියේ, හපන දුම්කොළ හා විට විකිණීම ශ්‍රී ලංකාවේ තහනම් වන නමුත්, නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යනුවෙනි.

එසේම සෑම දිස්ත්‍රික්කයකම පූර්ව පිළිකා හඳුනාගැනීමේ සායන ඇති නමුත් පැමිණීම අවම වන බවත්, පැමිණියද ප්‍රතිකාර ගැනීම අතරමග නවතා දමන බවත්ය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික දන්ත රෝහලේ (ශික්‍ෂණ) මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ඒ.එච්.ටී.එස්. කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ, මුඛ පිළිකා හා පූර්ව පිළිකා තත්ත්වයේ පසුවන 05-20ත් අතර සංඛ්‍යාවක් ජාතික දන්ත රෝහලට දෛනිකව පැමිණෙන බවයි.

එසේම දිස්ත්‍රික්කයේ හා පළාතේ සෞඛ්‍ය සේවා වෙත යොමු නොවී ජාතික දන්ත රෝහලට පැමිණීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවද ඒ මහතා යෝජනා කර සිටියේය.

• නිදර්ශනි වික්‍රමසිංහ


රජයේ මුදල් කාරක සභා රැස්වීමට අමාත්‍යංශ ඉහළ නිලධාරී පිරිසක් කණු තියලා

රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ පසුගිය 25 වැනිදා රැස්වීමට මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කැදවනු ලැබ සිටියද, ඔවුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් එම කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කර ඇත.

මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කැඳවන විට පාර්ලිමේන්තුවට වග කියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ අනිවායන්ම පෙනී සිටිය යුතු බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී දැනුම් දුන්නේය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එදින මෙසේ රැස්විය.

ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ද සැලකිය යුතු ලෙස ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව සියයට 41.9 කින් වැඩිවී ආදායම රුපියල් කෝටි 1,31700 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ සඳහන් වේ. පළමු අර්ධය සඳහා වියදම රුපියල් කෝටි 2,56,000ක් වූ අතර, එය සියයට 40.5 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොළී වියදම වන අතර, එය මේ වසරේ පළමු භාගයේ දී රුපියල් කෝටි 1,27300 දක්වා සියයට 51.6 කින් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ දැක්වෙන බව කාරක සභාව සඳහන් කරයි.

විශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. එවැනි තත්වයන් සඳහා බලපෑ හේතු සහ තවදුරටත් ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කමිටුව ප්‍රශ්න කළේය.

ප්‍රමාණවත් දත්ත සහ සංඛ්‍යාලේඛන සමග සූදානමකින් යුතුව කාරක සභාව හමුවේ පෙනී සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ කමිටුව, තිරසාර ආර්ථික ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන් වඩාත් වගකීමෙන් සහ නිසි දැක්මක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මධුර විතානගේ, හර්ෂණ රාජකරුණා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මයන්ත දිසානායක යන මහත්වරු ද සහභාගි වූහ.

                                                                                           සුජිත් හේවාජුලිගේ සහ අජජුල මහික වීරරත්න



ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහල ඖෂධ ලබාදීම රජයක වගකීමක්

 


ඉදික හේවාවිතාරණ

සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වන විට විශාල අර්බුද ප්‍රමාණයක් ඇති වී තිබෙන අතර, මේ නිසා නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව ජනතාව වැරදි අදහසක් ඇති කර ගනිමින් තිබෙන බවටත් රට තුළ කතාබහක් ඇති වී තිබේ. මේ පිළිබඳව හා සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන ගැටලු නිර්මාණය වූ ආකාරය පිළිබඳව අද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමග කතාබහක නිරත විය.

වර්තමාන සෞඛ්‍ය අර්බුදය වර්තමානයේ අපේ රටේ පවතින්නේ නිර්මාණය කරගත් සෞඛ්‍ය අර්බුදයක්. මෙම සෞඛ්‍ය අර්බුදය ඉස්මතු වීමට වසරකට පමණ පෙර සිට අප ඉතා පැහැදිලිව අනතුරු ඇගවීම් කළා. නමුත් එම අවස්ථාවේදී මෙම අර්බුදය හරිහැටි හදුනාගෙන ක්‍රියාත්මක වීමට දේශපාලකයන් හෝ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ නැහැ. අවසානයේදී ඔවුන්ට නාහෙට උඩින් වතුර යනකම්ම මේ ප්‍රශ්නය ගැඹුර තේරුණ නෑ, රටක සෞඛ්‍ය පද්ධතිය කියන්නේ ආර්ථික සංවර්ධනයේ දර්ශකයක්. අවාසනාවට අපේ රටේ පාලකයන් ඒ තත්වය හදුනා ගත්තේ නෑ, අපේ රට ආර්ථික වශයෙන් දියුණු තත්ත්වයක නැතත්, සෞඛ්‍ය දර්ශකවලින් ඉතා ඉහළ අගයක් ගැනීම නිසා ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපය ඉහළ තැනක තිබුණා. අද වන විට එම පිළිගැනීම බරපතළ අභියෝගයකට ලක්වෙලා.

ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය, වතු නාගරික තට්ටු නිවාසවල ජීවත් වන ජනතාවගේ ජනජීවිතය සඳහා අවශ්‍ය කරන එදිනෙදා සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම අද ඉතා දුෂ්කර වී තිබෙනවා.

ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය මහජනතාවට ඇතිකරන බලපෑම

ඖෂධ හා ශල්‍ය උපකරණ හිගය නිසා බොහෝ රෝගීන්ට ලබාගත යුතු වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාගැනීම දුෂ්කරව පවතිනවා. කාලීන වෛද්‍ය ප්‍රතිකාරලබාගන්නා දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග, අක්මා රෝග සහ පිළිකා රෝගීන් මින් මහත් පීඩාවට පත්වනවා. අඛණ්ඩව වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු රෝගීන් විසින් කාලසීමාව පුරා වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොගැනීම නිසා, ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වීම හෝ සංකූලතා ඇතිවීම දැකිය හැකියි. විශමතාවකින් තොරව සෑම රෝගියෙකුටම තමන්ගේ පවතින රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් සලසා දීම රජයක වගකීමක්. දුප්පත්, පොහොසත් භේදය අනුව, කුල භේදය අනුව, සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට සීමාවන් පවතිනවා නම්, එවැනි රටක් ජාත්‍යන්තරය හමුවේ මහත් ලෙස අපකීර්තියට පාත්‍ර වෙනවා.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මේ වන විට ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් නිර්මාණය කර තිබෙනවා.

ඕනෑම රටක ජීවත් වන ජනතාවටගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාදීම රජයක වගකීමක්. නමුත් රට තුළ ඇති ඖෂධ හිගය මත ලියාපදිංචි නොකළ ඖෂධ නිසි තත්ව පරීක්ෂණයන්ගෙන් තොරව රටට ගෙන්වීම සිදුවන බව ඖෂධ නියාමන අධිකාරිය විසින්ම පිළිගෙන තිබීමත්, මේ වන විටත් සිදුවීම් රැසක් වාර්තා වීමත් නිසා අපේ රටේ භාවිතකරන ඇතැම් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබදව මේ වනවිට ප්‍රශ්න පවතිනවා.

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ, ඖෂධයක තිබිය යුතු රසායනික සංයුතිය වෙනස් වීම, වෙනත් රසායනික අමුද්‍රව්‍ය පැවතීම, සංකූලතා ඇති කළ හැකි අමුද්‍රව්‍ය පැවතීම, අතුරු අමුද්‍රව්‍ය ආදියෙන් දූෂණයට ලක්වී පැවතිය හැකියි. අවාසනාවට මෙන් අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රමිති රසායනාගාර තුළ දැන් මෙවන් තත්ත්ව පරීක්ෂණයන් සිදුනොකිරීම නිසා අප ලබාගන්නා ඖෂධවල ගුණාත්මකභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වනවා.

අසාධාරණයක් වූ විට රෝගී ජනතාවට යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ආයතනයක් පවතිනවාද?

ලෝකයේ ඕනෑම දියුණු රටක තමන්ට සිදුවන අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා එම රටේ ජාත්‍යන්තර වෛද්‍ය සභා ක්‍රියාත්මක වෙනවා. අප රට තුළදී රෝගී ජනතාවට බොහෝ විට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න වෙන්නේ පොලීසිය හරහා, වැරදි කරන වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය පරිපාලක බොහෝ නිලධාරීන්ට දඬුවම් හිමිවන අවස්ථා ඉතා දුර්ලභයි. රටක මහජන සෞඛ්‍යය කෙරෙහි විශ්වාසයක් ප්තිත වීමට නම්, නොමිලේ සෞඛ්‍ය ලබාදීමටත්, ජනතාවට තම සෞඛ්‍ය සේවය ප්‍රශ්න කිරීමට හා සැක සහිත අවස්ථාවන් සම්බන්ධව පැමිණිලි කිරීමටත් නිදහස් අවකාශයක් නිර්මාණය විය යුතුයි.

තත්ත්වයෙන් බාල ඖෂධ පිළිබද සංවාදය නිසා නිදහස් සෞඛ්‍යයට අනතුරක් පවතිනවාද?

එවන් කුමන්ත්‍රණයක් පවතිනවා නම් එයට වගකිව යුත්තේ පාලකයන්, රට තුළ සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කළ යුත්තේ ඉතා නම්‍යශීලී ලෙස තම අඩුපාඩු සකස්කොට වුවද, අමාත්‍යවරයාගේ ඇතැම් කටයුතු. නිසා සෞඛ්‍ය අර්බුදය වැඩි වන බව නිරීක්ෂණය වෙනවා. මේ තත්ත්වය වැඩි වර්ධනය වුණොත්, සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමෙන්, මෙරට ජනජීවිතය අවුල් වෙන්න පුළුවන්. ප්‍රභූවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න මවුන්ට් එළිසබත් රෝහල තිබුණත්, ගමේ මනුස්සයාට යන්න තියන එකම තැන ගමේ රෝහල වන්ණේය.

වෛද්‍යවරුන්ගේ හිඟය සෞඛ්‍ය පද්ධතියට බාලපාන අයුරු

තමාගේ ජීවන චර්යාවන්හි සමාජ ස්ථාවර බව බිඳවැටීමත් සමග, වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් රට හැර යාම දැන් සුලබ කරුණක්. විදේශගත වීම දැන් පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වෙලා. මේ නිසා ඉදිරි වසරකිහිපය තුළත් බුද්ධි ගලනය කිහිප ගුණයකින් වැඩි විය හැකියි. අධික බදු බර, ජීවන වියදම ඉහළ යාම, මානසික නිරවුල්භාවය අඩු වීම වැනි කරුණු බොහෝ වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාමට හේතු වෙලා තියෙනවා. බොහෝ විශේෂඥ වෛද්‍යවරු කෙළින්ම ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව වගේ රටවල්වලට ගොස්, තමන්ගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නැඹුරුවක් දක්වනවා. මේ තත්ත්වය පාලනය කළ හැකි වන්නේ වෘත්තිකයන්ට අනුන්ට අත නොපා ජීවත් විය හැකි සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමෙන් පමණයි.

මන්දපෝෂණ තත්ත්වය

රට තුළ මන්දපෝෂණය වර්ධනය විය හැකියි, බලධාරීන් ඉක්මනින්ම ඒ සම්බන්ධව සමීක්ෂණ සිදුකොට අවධානය යොමු කළ යුතු බවට මා ප්‍රකාශ කරද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව නිසි ලෙස අවධානය යොමු කර ක්‍රියාමාර්ග ගත්තේ නෑ. ඒකෙන් පැහැදිලි වුණේ මන්දපෝෂණය වැනි ඉතා සංවේදී කරුණු ගැන පවා කටයුතු කිරීමට උවමනාවක් සෞඛ්‍ය බලධාරීන්ට තිබුණෙ නෑ කියන එක. පසුගිය සැප්තැම්බර්වලදී මා ඉතා පැහැදිලිව සඳහන් කළේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බැවින්, අවශ්‍ය පියවර ගත යුතුයි. කියලා. ඒ වෙනුවට ඔවුන් මාව මර්දනය කළා. නමුත් මන්දපෝෂණය නතර වුණේ නැහැ.

සෞඛ්‍ය පද්ධතියේ අර්බුද විසඳීම දූෂිත දේශපාලකයත් බලයේ සිටින විට දූෂිත නිලධාරීන්ට ප්‍රතිලාභ ලැබෙනවා මෙන්ම, දූෂිත නිලධාරීන්ගේ කටයුතු නිසා දූෂිත දේශපාලකයන්ට වාසි සැලසීම සිදුවෙනවා. පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාද, විගණන වාර්තාද පරීක්ෂා කළ හැකි නම්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතරින් යම් පිරිසකට එල්ලවී ඇති බරපතළ දූෂණ චෝදනා ගැන අවබෝධයක් ලබාගත හැකියි. තනි තනි සිදුවීම් පාලනය කිරීම වෙනුවට සමස්ත සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට නම්, සෞඛ්‍ය සේවය නව නායකත්වයක් යටතේ ක්‍රමවේදයක් සකස් වෙන්න ඕන, රටේ සෞඛ්‍ය පද්ධතියේ දරුණු කඩාවැටීම හමුවේ ජනාධිපතිවරයාව පවා සත්‍ය තොරතුරුවලින් දැනුවත් කිරීමට කිසිවෙකු කටයුතු නොකරන බවට දැනගන්නට ලැබෙනවා. අද වන විට රජයේ රෝහල්වලට යාමට බියක් දක්වන දුප්පත් ජනතාව තම කණ කර ඉඩම් හා දේපළද, යාන වාහන උගස්කොට හෝ විකුණා පෞද්ගලික රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න යන තත්ත්වයට පත්වෙලාතියෙන්නේ. මේ තත්ත්වය කඩිනමින් වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි.

හිටපු හමුදා මේජර් වරිය ගිහිගෙය එපාවී පැවිදි දිවියට

 ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද (27) උදෑසන සුබ මොහොතින් සසුන්ගත වීමට නියමිතය.

බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රතන, ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන් යුතුව ඇය සසුන්ගත වීමට නියමිතව ඇත.

තිස් පස් වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද වූවාය.

යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බව විශ්‍රාමික මේජර් වික්‍රමසිංහ මෙනෙවිය ලංකාදීපයට පැවසුවාය.

එංගලන්තය, ජර්මනිය සහ දෝහාකටාර්වල පැවති ලෝක පැරිෂුට් තරගවලට ද සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇති ඇය, ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියකි.

කරන්දෙණියේ පදිංචි ඇයගේ පියා ටී.ඩී. මාටින් මහතා වන අතර, මව ටී.ඩී. සෝමාවතී මහත්මියයි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම දියණිය වන්නේ මනීෂාය. ඇයගේ සහෝදරයෙක්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ලෙස සේවය කරයි.

ගාල්ල, මඩකුඹුර ජාතික පාසලේ සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවියක වන ඇය, 2008 වසරේදී කැඩේට් නිලධාරිනියක ලෙස දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට ඇතුළත් වී නියමිත පුහුණුවීම් ලබා දෙවැනි ලුතිනන් නිලයට පත් වූවාය.

ඇය යුද හමුදාවේ විශ්‍රාම ලැබුවේ මෙම වසරේ ජනවාරි මස 4 වැනිදාය.

ඇය වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවති කාලයේ මුලතිව් පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේ ද රාජකාරි කළාය. 

"අපේ ගෙදර තිබුණේ තනිකරම බෞද්ධ පරිසරයක්. මම පුරුද්දක් වශයෙන් කුඩා කාලයෙහි සිටම පන්සල් යනවා. ධර්ම දේශනාවලට සවන් දෙනවා. බුදු පිළිම වන්දනමාන කිරීම සහ බෝධි පූජා පැවැත්වීමට එහා ගිය ගැඹුරු දහමක් බුදු දහමේ තිබෙන බව මට කලක් යද්දී අවබෝධ වුණා. මම හැකි සෑම අවස්ථාවකම බුදු දහම ගැන ලියවුණු පොත්පත් කියෙව්වා. ඒ අනුව මනමාලියක් වීමේ සිහිනය අතහැර පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කළා’” යැයි ද ඇය පැවසුවාය. ඕනෑම කෙනකුට ජීවිතයේ ඇතිවන ඕනෑම ගැටලුවකට ප්‍රශ්නයකට බුදු දහමේ විසඳුම් තිබෙන බව තමා අවබෝධ කරගත්තේ යැයි ද ඇය කීවාය.

                                                                                                                     ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කුඩු තිත්පොළ අඩි 100ක් උස ගහක අට්ටාලයක

වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් පෙරේදා (25 වැනිදා) පස්වරුවේ වටලා , සැකකාරියක හෙරොයින්, ජාතික හැදුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර හා ජංගම දුරකතන සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 6ක්, විදෙස් ගමන් බලපත්‍ර 5ක් සහ ජංගම දුරකතන 8ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාරිය ඇයගේ නිවසට යාබදව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ, කිසිවෙකුට නොපෙනෙන අයුරින්,  ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති අට්ටාලයක සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව  විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලීසිය කියයි.

මුදල්, මල්ලක දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලයට යැවීමෙන් පසුව, අට්ටාලයේ සිට පහළට කුඩු එවීම කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලීසිය කියයි.

හෙරොයින් මිලදී ගැනීමට මුදල් නොමැති පුද්ගලයන්ගේ ජංගම දුරකතන, ජාතික හැඳුනුම්පත් හෝ විදෙස් ගමන් බලපත් ඇපයට තබා, හෙරොයින් ලබා දී ඇති බවත්, කොපමණ මුදලක හෙරොයින් ලබා දුන්නා ද යන්න එම ජංගම දුරකතනවල පිටුපස සඳහන් කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

සැකකාරිය සිය සැමියා ද සමග මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති අතර, සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

සැකකාරිය අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ සහ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතාගේ අධීක්ෂණය යටතේ, උප පොලිස් පරීක්ෂක හශාන් වීරසිංහ, කොස්තාපල්වරුන් වන (87712) දිලන්ක, (86231) රංග, කාන්තා පොලිස් සැරයන් (1881) තුෂාරි, කාන්තා පොලිස් කොස්තාපල් (8879) රත්නායක යන මහත්ම මහත්මීහු වැටලීම කළහ.

                                          මීරිගම විශේෂ- පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ වාරණ - ආනන්ද ඉ.ජයකොඩි

ජ'පුර නව උපකුලපති මහාචාර්ය පත්මලාල්


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා පත්කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර තුනක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි මෙම පත්වීම කරනු ලැබ ඇත.  මෙම පත්වීමට පෙර මහාචාර්ය පද්මලාල් මානගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මානගේ මහතා, එම විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. හෙතෙම එම විශ්වවිද්‍යාලයේ පරේශ්ෂණ මණ්ඩලයේ සම සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ජපානයේ එහිමේ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය හිමි කරගත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මානගේ මහතා, කලක් එම විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපතිවරයා ලෙස ද කටයුතු කළේය.

එක්සත් රාජධානියේ රොබර්ට් ගෝර්ඩන් විශ්වවිද්‍යාලයේත්, විශ්ව විද්‍යාලයේත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේත් ජ්‍යෙෂ්ඨ පරේයේෂණ  සාමාජිකත්වය හිමි කරගෙන සිටින මහාචාර්ය මානගේ මහතා, සිඩ්නි විශ්විද්‍යාලයේ ජීව විද්‍යා ආයතනයේ වරලත් සාමාජිකත්වය ද හිමි  කරගෙන ඇත. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මානගේ මහතා පරිසර  සම්මානයෙන් ද ශ්‍රී ලංකා නායකත්ව  සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

අංජුල මහික වීරරත්න

කොස්තාපල්වරුන් දෙදෙනාට පහරදුන් පිරිසේ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට

පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුට පෙරේදා රාත්‍රී අමානුෂික ලෙස පහර දුන් බව කියන පිරිසෙන් අඹුසැමි යුවළ දෙකක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. පිරිස වටකර පහර දෙද්දී ප්‍රධාන සැකකරුගේ එක් පුතකුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම පහරදීම සම්බන්ධයෙන් සැකකාර යුවළගේ පුතුන් දෙදෙනා ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

පහර කෑමට ලක් වූයේ පිලියන්දල පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකි. කොස්තාපල්වරුන් දෙදෙනා පෙරේදා (25) රාත්‍රී රථවාහන රාජකාරියේ යෙදී සිටියදී කැස්බෑව දෙස සිට පැමිණි කුඩා ලොරි රථයක් ඔවුන් ඉදිරියෙන් අපරික්ෂාකාරි ලෙස ධාවනය වනු දැක මොරටුව මාර්ගයට හැර වීමත් සමඟම නැවතීමට සංඥා කර ඇති අතර, එම අවස්ථාවේ ලොරි රියදුරු ලොරිය ඔවුන් දෙසට එකවරම හරවා යට කිරීමට උත්සාහ දරා පලා යාමේදී ඇති වූ සැකය මත කොස්තාපල්වරුන් දෙදෙනා ලොරිය පිටුපස හඹා ගොස් නවතන ලෙස කෑ ගසා ඇති අතර එහිදී අවස්ථා කීපයක දී කොස්තාපල්වරුන් දෙදෙනාට  මාර්ගය හරස් කරමින් ලොරිය ධාවනය කර ඇත. 

ලොරි රථය අනතුරුව බටුවන්දර මාර්ගය ඔස්සේ කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයට ගොස් නිවසක් ඉදිරිපිට මාර්ගයේ නැවතීමත් සමගම ලොරි රියැදුරු සහ ඔහු සමග සිටි පුද්ගලයා සමග නිවස දෙසින් පොලු මුගුරු රැගෙන පැමිණි කාන්තාවක ඇතුළු හත් දෙනකු පමණ පිරිසක් ඔවුන්ට වටකර පහර දී ඇතැයි පොලිසිය කියයි.එම අවස්ථාවේදී එක් කොස්තාපල්වරයකු දැඩි ආයාසයක් දරා මේ බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජංගම දුරකතනය ඔස්සේ පැවසීමත් සමඟම ස්ථානාධිපතිවරයා කැස්බෑව සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර පොලිස් කණ්ඩායම් කීපයක් හෙරලියාවලට ගොස්  කොස්තාපල්වරුන් දෙදෙනා  මුදා  ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. ඔවුන් දෙදෙනා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. කොස්තාපල්වරුන් දෙදෙනාට පහර දීමට සම්බන්ධ වූ ලොරි රියැදුරු වෑතර රෝහලට ඇතුළත්ව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


ගෘහ සේවිකාවක පොලිසියේදී මියයාම



ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාර යන අයගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය පොලිසියේ දී මියගිය බව කියන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ලබන මස 25 වැනිදා ලබාදෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (26) ප්‍රකාශ කළේය. මෙම සිද්ධියට අදාළව සාක්ෂි විමසීම ඊයේ (26) අධිකරණයේ දී අවසන් වූ අවස්ථාවේ  දී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ තලවකැලේ පදිංචි හතළිස් දෙහැවිරිදි කාන්තාවක වන රාජන් රාජකුමාරි නමැත්තියයි.

තම බිරිය වැලිකඩ පොලීසියේ ප්‍රශ්න කිරීම අතරතුර රෝහල්ගතකර ඇති බවත්, පසුව ඇය මියගිය බවත් සඳහන් කරමින් මරණකාරියගේ ස්වාමිපුරුෂයා වන තලවකැලේ පදිංචි සෙල්ලදුරේ යේසුරාජා  යන අය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. වැලිකඩ පොලීසිය මගින් මෙම සිද්ධියේ විමර්ශන මුල් අවස්ථාවේ දී ආරම්භ කර තිබුණු අතර, පසුව එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාරගනු ලැබිණි. මෙම සිද්ධියට අදාළව වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කළ අතර පොලිස් නිලධාරින් සිවු දෙනකුගේ සේවය අත්හිටුවා ඇත.


නිමන්ති රණසිංහ

අසත්‍ය ලේඛන සැකසුවායැයි චෝදනා ලැබ සිටි උපසේවා හිටපු ස්ථානාධිපති නිදහස්

ඉහළ පොලිස් නිලධාරීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ අසත්‍ය ලේඛන මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු රවටා වැඩ තහනම් කර සිටි පොලිස් කොස්තාපල්වරයකු යළි සේවයේ පිහිටු වූ බවට චෝදනා ලැබ සිටි උපසේවා පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (26දා) නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී නීතිඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය. 

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ උපසේවා පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ විජිත් වීරසිංහ මහතාය.

2004 ජුලි මස 06වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී උපසේවා පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී උපසේවා පොලිස් කොස්තාපල් 20754 සින්න මරික්කාර් කබීර් නමැත්තා යළි සේවයේ පිහිටුවූයේ නැති බව දනිමින් ඔහු යළි සේවයේ පිහිටු වූ බවට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සමරදිවාකර මහතාට අංක 494 දරන දුරකථන ඇමතුම මගින් දැනුවත් කොට සින්න මරික්කාර් කබීර් නමැත්තා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කොට මහේෂ් සමරදිවාකර මහතාගේ කීර්තියට හානි කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණ.

මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සමරදිවාකර මහතාට යැවීම සඳහා සින්න මරික්කාර් කබීර් නමැත්තා යළි සේවයේ පිහිටු වූ බවට පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෙක්ටර් ධර්මසිරි මහතා විසින් අත්සන් කළ බව දැක්වෙන අසත්‍ය ලේඛනයක් සකස් කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව චෝදනා නගා තිබිණ.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු විසින් රවටන ලදැයි කියන මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සමරදිවාකර මහතා, උපසේවා පොලිස් කොස්තාපල් 20754 සින්න මරික්කාර් කබීර් නමැත්තා ඇතුළු සාක්කිකරුවන් 06දෙනෙකු සාක්කි දී ඇත.

අසත්‍ය ලේඛනවලින් ඉහළ නිලධාරීන් රවටා යළි සේවයේ පිහිටු වූ බව කියන නිලධාරියා වූ සින්න මරික්කර් කබීර් සාක්කි දෙමින් පොලිස් දෙපාර්තමේන්තුවේ උපසේවා කොස්තාපල්වරයකු වශයෙන් සේවය කළ තමා පොලිස් සේවය අතහැර විදේශ ගත වූ බවත්, යළි ලංකාවට පැමිණි පසු රැකියාව ලබා ගැනීම සඳහා නැවත සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් පොලිස්පතිතුමාට සහ උපසේවා මූලස්ථානයේ අණදෙන නිලධාරිතුමාට අභියාචනා ඉදිරිපත් කළ බවත් පැවසීය. 

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා තමන් විත්තිකරු හඳුනන්නේදැයි ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විත්තිකරු හඳුනන්නෙත් නැතැයි කීය. 

පැමිණිල්ල වෙනුවෙන් සාක්කියට කැඳවූ රජයේ අත් අකුරු පරීක්ෂක ජයසුන්දර මහතා විනිසුරුවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙම නඩුවට අදාළ ප්‍රශ්නගත ලේඛනවල ඇතැයි කියන ව්‍යාජ අත්සන විත්තිකරුගේම දැයි කීමට තමන්ට නොහැකි බවත්, එම ලේඛනවල ඇතැයි කියන ව්‍යාජ අත්සන සමග විත්තිකරුගේ අත්සන සැසඳීම සඳහා විමර්ශන නිලධාරීන් තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවත් කීය.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා විත්තිකරුට එරෙහිව බැලූ බැල්මටම පෙනෙන නඩුවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) උපවගන්තිය යටතේ විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තියේ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්ති වාචක නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා සමග නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියහ.

• බුද්ධිමාල් රුබේරු


කෙහෙළියට එරෙහි විශ්වාසභංගය මැතිසබා න්‍යාය පුස්තකයට


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, චන්දිම වීරක්කොඩි, එම්.එස්. තවුෆික්, ඉම්රාන් මහරූෆ්, හේශා විතානගේ, සෙල්වරාජා කජේන්ද්‍රන්, චමින්ද විජේසිරි, එස්. වේලු කුමාර්, ගයන්ත කරුණාතිලක, අශෝක් අබේසිංහ, කබීර් හෂීම්, කවින්ද ජයවර්ධන, තුෂාර ඉඳුනිල් අමරසේන, කින්ස් නෙල්සන්, වරුණ ලියනගේ, පාඨලී චම්පික රණවක, ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන, වී. රාධක්‍රිෂ්ණන් , එස්.එම්. මරික්කාර්, හර්ෂණ රාජකරුණා, වසන්ත යාපා බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, නිරෝෂන් පෙරේරා, බුද්ධික පතිරණ, ජේ.සී. අලවතුවල, ජයරත්න හේරත්, සුජිත් සංජය පෙරේරා, නලීන් බණ්ඩාර ජයමහ, දිලිප් වෙදආරච්චි, තලතා අතුකෝරාල, ඉෂාක් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, හෙක්ටර් අප්පුහාමි, මයන්ත දිසානායක, රෝහණ බණ්ඩාර, මනෝ ගනේෂන්, විජිත හේරත්, එම්. උදය කුමාර්, ආචාර්ය හරිනි අමරසූරිය සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරු වෙති.

අමාත්‍යවරයා සිය මූලික යුතුකම් පැහැර හැර ඇති හෙයින් ඔහුගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා ජනතාවට ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු වී ඇති බවත් මේ හේතුවෙන් ඔහුට තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නැතැයි පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවත් එම යෝජනාවේ සඳහන් වේ.

අංජුල මහික වීරරත්න