Friday, April 29, 2022

යුරෝපා ජනගහනයෙන් 60%ත් 80%ත්අතර පිරිසකට කෝවිඩ්-19 වැලඳිලාලු

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි වෙසෙන ජනගහනයෙන් 60%ත් 30%ත් අතර ප්‍රතිශතයකට මේ වනවිට කොවිඩ්-19වෛරසය ආසාදනය වී ඇතැයි යුරෝපා කොමිසම පවසයි. එම සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙන් කයිරියාකිඩෙස් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කර තිබේ. "දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට යුරෝපා සංගමයේ ජනගහනයෙන් 60%ත් 30%ත් අතර ප්‍රතිශතයකට මේ කොවිඩ්-19 ආසාදනය වී තිබෙනවා. මෙතැනදී වාර්තා වී ඇති ආසාදනයවීම්වලට වඩා වාර්තා වී නොමැති ආසාදනයවීම් . සංඛ්‍යාව ඉහළයි.” යනුවෙන්ද කොමසාරිස්වරිය සදහන් කර ඇත. යුරෝපා සංගමයේ මහජන සෞඛ්‍ය ඒජන්සියට අනුව දැනට වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාවෙන් ආවරණය වී ඇත්තේ යුරෝපියානු ජනගහනයෙන් 30%ක ප්‍රතිශතයක් පමණකි. එහෙත් වාර්තා නොවී ඇති ආසාදිතයන් සංඛ්‍යාවත් එයට එක් කළහොත් එය ආසාදිතයන් මිලියන 350ක් දක්වා ඉහළ යාමක් වනු ඇති බවත්, එය යුරෝපියානු ජනගහනයෙන් 77%ක් වන බවත් පැවසෙයි. එසේම අද වනවිට මෙම කොවිඩ්-19 වෛරසය විකෘතිවීම්වලට ලක්වෙමින් සිටින බවත්, ඒ හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් අනිවාර්යයෙන්ම මෙම කොවිඩ්-19 පාලනය සදහා ගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් මෙන්ම එන්නත්කරණයද වේගවත් කළ යුතුව තිබෙන බවත් යුරෝපා මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.මේ අතර වර්තමානය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ  ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි සංඛ්‍යාවකට කොවිඩ්-19 ආසාදනය වී තිබෙන බවත්, එහිදී සෑම දරුවන් සිවුදෙනෙකුගෙන්ම තිදෙනෙකු ආසාදිතයන් වන බවත් එරට රෝග පාලනය සහ වළක්වාගැනීම පිළිබද මධ්‍යස්ථානය සදහන් කරයි. ඇමෙරිකානුවන් ලක්ෂ දෙකකගේ රුධිර සාම්පල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රතිභේද පරික්ෂාවන්හි ප්‍රතිඵල අනුව මෙම වාර්තාව නිකුත් කෙරී ඇත. එහිදී එන්නත්කරණය හරහා නොව ආසාදිතවීම හරහා මෙම පිරිසට එලෙස ප්‍රතිදේහ නිපදවීමක් සිදුව තිබෙන බව බලධාරින්ගේ අදහස වී තිබේ. මහිදී විශේෂයෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ පෙබරවාරිය දක්වා කාලය තුළදී එරට තුළ ආසාදනයවීම් වේගවත් වී ඇති බවත්, ඒ සඳහා මූලිකවම ඔමික්‍රෝන් ප්‍රභේදයේ වර්ධනය හේතුවී තිබෙන බවත් මෙම මධ්‍යස්ථානය වැඩිදුරටත් සදභන් කරයි. "දෙසැම්බර් මාසයට පෙරාතුව ඇමෙරිකාවේ සියලුම වයස් කාණ්ඩවල ජනගහනයෙන් 34%ක් පමණයි. වෛරසය ආසාදනය වී තිබුණි. එහෙත් මාසයකට පසුව එය 58%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒවගේම දෙසැම්බර් මාසයේදී 45%ක්ව පැවැති දරුවන් අතර ප්‍රතිදේහ නිර්මාණයවීමේ ප්‍රතිශතය පෙබරවාරි මාසය වනවිට 75%ක් දක්වා ඉහළ නැග තිබෙනවා.” යනුවෙන්ද මෙම පර්යේෂකයන් පවසයි.


2022 පාසල් අධ්‍යයන වර්ෂයේ දීර්ඝ නිවාඩු අඩුයි

පැවැති අර්බුදකාරි තත්වයන් හමුවේ 2022 වර්ෂයට අදාළ පාසල් ඉගැන්වීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ අප්‍රේල් මස 23වැනිදා සිටයි. නමුත් රටේ පවතින අර්බුදයත් සමග මේ වන විට දවස් දෙකක් පාසල් අධ්‍යාපනය කටයුතු සිදු නොවීය. පවතින තත්වය මත පාසල් අධ්‍යාපන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ ඊයේ (28දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් විසින් රට හමුවේ තබනු ලැබීය. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 2022 වර්ෂයේ නව අධ්‍යයන වර්ෂය ආරම්භ කරමින් ඉදිරි පාසල් අධ්‍යාපන කටයුතු සංවිධානය කර ඇති. ආකාරය මෙසේ පැවසීය.

2022 වර්ෂයට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2023 ජනවාරියට කල්යයි

"අධ්‍යාපනයට අමාත්‍යාංශයේ වගකීම තමයි අධ්‍යාපනය අඛණ්ඩව, තිරසාරව පවත්වා ගැනීම. මොකද ඕනම අභියෝගයක් ජයගත්ත අධ්‍යාපනය තිබිය යුතුයි. කෝවිඩ්  වසංගතය නිසා 2020 මාර්තු මාසයේ සිට අපිට අභියෝගාත්මක කාලයක් උදා වුණා. අපිට අධ්‍යාපනය කෙසේ වෙතත් එළියටවත් බහින්න බැරී තත්වයක් රටේ තිබුණා. ඊට පෙර පාස්කු ප්‍රහාරය නිසා අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීමේ ගැටලු ඇති වුණා. අපි වටහා ගන්න ඕන මේ තරුණ පරපුර හා ලංකාව භාරගන්න හා ලෝකයට ඉදිරිපත් කරන මානව සම්පත ප්‍රශස්ත මට්ටමින් ඉදිරිපත් කරන්න නම් අධ්‍යාපනය අනිවාර්යයි. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේත් රජයේත් වගකීම තමයි අපිට අතපසු වූ කාරණා ඒ විදිහටම යන්නේ නැතිව ප්‍රකෘති තත්වයට ගෙන ඒම. ඒ සදහා තමයි අපේ සැලැස්ම තිබෙන්නේ. අපි අවුරුද්දක් ගත්තම ජනවාරි මාසයේ සිට වාර තුනක් තිබෙනවා. මේ වර්ගයට සති 52ක් තිබෙනවා.එයින් නිවාඩු සති කිහිපයක් තිබෙනවා මාස තුනක් වගේ. නමුත් 2022 වර්ෂයේ අපි කල්පනා කළා 2022 අප්‍රේල් 18න් තමයි පළමු වාරය පටන් ගන්නේ. අපේ බලාපොරොත්තුව හා සැලැස්ම තිබෙන්නේ 2022 දෙසැම්බර් 23 වෙනි වාර තුන අවසන් කරලා දරුවන්ගේ සියලුම විෂය නිර්දේශ ආවරණය කරලා විභාග අවසන් කරන්නයි. අපිට 2021 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්න බැරී වී තිබෙනවා. අපි එය සැලසුම් කර තිබෙනවා මයි මාසයේ 23වැනිදා සිට පවත්වන්නට. ඒ අනුව මැයි 23වැනිදා සිට දවස් 10කින් මේ විභාගය අවසන් කරන්න නියමිතයි.ඒ අනුව අප්‍රේල් 18වැනිදා සිට මැයි 23වැනිදා දක්වා සෑම දිනකම පාසල් පවත්වනවා. නමුත් මෙයටත් දැන් විවිධ බාධා ඇති වෙනවා. මීළගට විභාගයෙන් පසු ජුනි මාසයේ 06 වැනිදා සිට ජූලි මාසයේ 07වැනිදා දක්වා පළමු වාරය පවත්වනවා. එයින් පසු අපි සතියක් නිවාඩු දෙනවා ජූලි 17වැනිදා දක්වා. නැවත දෙවැනි වාරය ජූලි 17න් පසු අගෝස්තු නිවාඩු නොදී ඔක්තෝබර් 14වැනිදා දක්වා පවත්වත්තයි බලාපොරොත්තු වෙන්නේ. වෙනදා අගෝස්තු මාසයේ පවත්වන ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගයත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් මාසයේ  පවත්වන්නටයි. ඒ අනුව එම විභාගයත් සමග නොවැම්බර් මාසයේ 14වැනිදා දක්වා නිවාඩු ලැබෙනවා. එවිට නොවැම්බර් මාසයේ 14වැනිදා වන විට වාර දෙකක් අවසානයි. සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍යයෙන් වෙනදා දෙසැම්බර් මාසයේ දෙවැනිදා වගේ ආරම්භ වෙන්නේ. නමුත් මෙවර අපිට එය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නොවැම්බර් මාසේ 14 වැනිදා ආරම්භ කරන තුන්වැනි වාරය දෙසැම්බර් මාසයේ 23වැනිදා දක්වා පවත්වනු ලබනවා. එදින අපි පාසල් වාර තුන අවසන් කරනවා. මේ වර්ගයේ කෙටි නිවාඩු තුනක් තමයි දරුවන්ට ලැබෙන්නේ. ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි මාසයේ මුල් දින දහයේ 2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් කරන්න සැලසුම් කර තිබෙනවා. අපිට දින 139යි තිබෙන්නේ. එයින් දින 02ක් අපිට දැනටමත් අහිමි වී තිබෙනවා. ඒ නිසා අපිට වෙනදා වගේ වාර තුනට පාසල් දින 210ක් පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පසුගිය අවුරුදු දහයක පමණ කාලය පුරාවට අපිට පාසල් දින 200ක් පවත්වන්න හැකියාවක් ලැබී නැහැ. දින 180.190ක් වගේ අතර තමයි දෝලනය වුණේ. ඒ නිසා අපි කල්පනා කළා අමතර පැයක් අරගෙන පැය 139ක් ලෙස දින 29කට එය ලඝු කරලා දින 165කට වගේ පාසල් දින ගණන හදා ගන්නට. නමුත් අපිට ඉල්ලීම් ආව නිසා මේ අපි මෙය අත්හිටුවූවා. මොකද ගුරුවරු අපිට කිව්වා මීට වඩා අර්බුද තියෙද්දි විෂය නිර්දේශ ආවරණය කිරීම් සිදු කර ඇති බවත්, ඔවුන් ඒ වෙනුවෙන් කැපවෙන බවත් දැක්වූවා. ඒ අනුව හැම පාසලකම විෂය නිර්දේශ ආවරණය කිරීම් අපි අධීක්ෂණය කරනවා. හදිසි අවස්ථාවක් ආවොත් අපිට සෙනසුරාදා දිනයත් තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විෂය නිර්දේශ ආවරණය කරලා මහන්සිවෙලා කැපවෙලා දරුවන්ගේ අධ්‍යාපනය තහවුරු කරන්න" මෙරට පවතින ඉන්ධන අර්බුදයත්, අරගලකාරී වාතාවරණයත් හමුවේ සිසුන්ට හා ගුරුවරුන්ට ළගම පාසලක් ලබාදෙන මෙන් බොහෝ දෙනා  ඉල්ලීම් කර තිබුණු අතර, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ පැහැදිලි කිරීමක සිදු කරනු ලැබුවා. "මේක හැමදෙනාම අවධානය යොමු කරන ප්‍රශ්නයක්. මේ යෝජනාවට මම කැමතියි. අපේ රටේ පාසල් තිබෙනවා 10,155ක්. මේ අතර තිබෙනවා . පාසල් 02ක් එක ළමයෙක් ඉන්න. ඒ වගේම ළමුන් 9,000කට ආසන්නව ඉන්න පාසලුත් තිබෙනවා, 51%ක්ම තියෙන්නේ ළමයි 200ට අඩු ප්‍රාථමික පාසල්. සමත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සිසුන් 1,000ට අඩු පාසල් 91%ක් තිබෙනවා. සිසුන් 50ට අඩු පාසල් 1,462ක් තිබෙනවා. මේ අභියෝගය භාරගෙන සියලුම ළමයින්ට අනුයුක්ත කරන්න පුළුවන්නම් පයින් ගිහින් ළගම පාසලට යන්න මම ඒකට බොහෝම කැමතියි. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරිමේදී කූට ලේඛන සැදීම ආදී මුහුණ දෙන ගැටලු මෙයින් විසදගන්න අපිට පුළුවන් වෙනවා. 249,000ක් පමණ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 11,000ක් පමණ අපිට ඉන්නවා, නමුත් අපිට මේ කටයුතු දත්ත පාදකවයි කරන්න සිදුවෙන්නේ. අපේ රටේ පාසල්වලට ගුරුවරුන් අනුයුක්ත කරන්න පහසු නෑ. ලංකාවේ ප්‍රධානතම බාලක පාසල ගැන ගත්තොත් යාපනයේ සිට කොළඹ ආශ්‍රිත ගම්වල ලිපින තිබෙන ගුරුවරු ඉන්නවා. නමුත් අපිට මේ දේවල් ශිෂ්‍ය සංඛ්‍යාව ශිෂ්‍යයෙක් සදහාම ගුරුවරුන් ලබා දෙන්න සිදු වෙනවා. අපිට මුලින්ම දරුවන් ස්ථානගත කරන්න වෙනවා. ගුරුවරුන් ඉන්න ඕන කාලසටහන් සකස් කරන්න ඕන. මේවා ක්ෂණිකව සිදු කරත්න අමාරුයි. නමුත් අපි මේක කරන්න ඕන කියලා ප්‍රතිපත්ති තීන්දු කරනවා නම් සම සාධාරණි අවස්ථා හදලා මේ කටයුතු කරන්න හැමෝගෙම සහය දෙනවා නම් අපි මේ ප්‍රශ්න විසදන්න කාලයක් අරන් වැඩ කරන්න කැමතියි.” ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 16, උසස් පෙළ ඔක්තෝබර් 17 පාසල් කටයුතු මෙලෙස සංවිධානය වෙද්දි සිටින පාසල් දරුවන්ට එම විභාග කටයුතු පවත්වත්තට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති සූදානම පිළිබද දැන ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව නොරහසකි. ඒ වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා අදහස් මෙලෙස දක්වනු ලැබීය.

"2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානම් දරුවන් වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මැයි 23වැනි සදුදා දිනයේ. එය 23,24,25,26,27 හා 28 සෙනසුරාදාත් මැයි 30,31 ජුනි 01 වැනිදා දක්වා දින නවයක් තුළ පවත්වනු ලබනවා. දැන් විභාගය  වෙනුවෙන් සියලු දේ සම්පූර්ණයි. කඩදාසි ගැටලුවක් අපිට දැන් නෑ. මැයි 20,21 වන විට සියලු ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් අයදුම්කරුවන් භාරලක්ෂ හත්දහස් එකසිය විසිනවයක් හා පෞද්ගලික අයදුම්කරුවන් එක්ලක්ෂ දසදහස් තුන්සිය හැටහතක් ලෙස සමස්ත අයදුම්කරුවන් පන්ලක්ෂ හත්දහස් හාරසිය අනූහයක් වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන තුන්දහස් අටසියහතළිදෙකක් ක්‍රියාත්මකයි. අධයාපන අමාත්‍යාංශයේ තීරණය මත 2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය ගැන සඳහන් කළොත් 2022 ඔක්තෝබර් මස 16වැනි ඉරිදා දිනයේයි මෙවර ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ. අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17වැනිදා සිට නොවැම්බර් 12වැනිදා දක්වා පවත්වන්නට නියමිතයි. මේ සදහා අපිට සියලුම අංශවල සහාය ලැබෙනවා. මේ වෙලාවේ කියන්නෙ ඕන දරුවන්ගේ විභාග අපි කල් දාන්නේ නෑ. අපි කෙසේ හෝ බලන්නේ ප්‍රමාද වුණ විභාග ඉක්මනින් පවත්වන්නටයි.” විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් මීළගට යොමුවන්නේ උසස් අධ්‍යාපනයටයි. උසස් අධ්‍යාපනය වෙනුවෙන් අභිනවයෙන් පත්වී තිබෙන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා මෙහිදී තමන් විසින් එම ක්ෂේත්‍රයේ කරන්නට අදහස් කරගෙන තිබෙන වෙනස්කම් කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරනු ලැබීය. "ශ්‍රී ලංකාවේ උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යන්න බැරී සිසුන් බොහෝ පිරිසක් ඉන්නවා. අපි හතළිස්දහසයි විශ්වවිද්‍යාලවලට ගන්නේ. ඒ කියන්නේ උසස් පෙළට වාඩිවෙනම අයගෙන් 20%ක් වගෙයි විශ්වවිද්‍යාලවලට යන්නේ. මේ තියන තරගකාරිත්වය ගැන මම මෙහෙම කිව්වට අමනාප නොවෙයි කියලා විශ්වාස කරනවා. තනිකර ව්‍යාපාරික ව්‍යුහයක් තුළ සිදුවෙන ටියුෂන් ධනවාදයට හේතුව තමයි මේ තරගකාරීත්වයට එහා යන්නට සිසුන් හා දෙමාපියන් ගන්න මහා  වෙහෙස. මේ නිසා ලංකාවේ අධ්‍යාපනය හුදෙක් වෙළඳ ව්‍යාපාරයක් බවට පත් වෙමින් පවතිනවා. සිදුවිය යුත්තේ සියලුම සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා අවශ්‍ය අවකාශය ලබාදීමයි. ඇතමෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යද්දී ඇතමෙක් අනෙක් උසස් අධ්‍යාපන ආයතනවලටත් තවත් අය රජය පිළිගත් උසස් අධ්‍යාපන ආයතනවලින් උපාධි හදාරන්නත් යන්න පුළුවන්. අද වන විට හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පවා විශ්වවිද්‍යාල දේශන පැය 48ක් ඇතුළත යූටියුබ් හෝ වෙනත් අවකාශයකට මුදා හරිනවා. මේ හරහා භෞතිකව සහභාගිවන සිසු පිරිසට වඩා සිසු පිරිසකට මේ දේශනවලට සහභාගිවෙන්න ලැබෙනවා. මා හිතනවා අපේ රටේ අනාගතය නිර්මාණය කරන්න ශක්තිය හා බුද්ධිය තිබෙන තවත් සිසුන් ප්‍රජාවක් මහ විද්‍යාලයේ දොරටුවත් විශ්වවිද්‍යාල දොරටුවත් අතර අතරමංව සිටිනවා. ඔවුන් වෙනුවෙනුත් උසස් අධ්‍යාපනයේ දොරටු විවෘත කළ යුතුයි. නමුත් මේවාට බාධක ලෙස තිබෙන්නේ විශ්වවිද්‍යාල තුළ පවතින අන්තර් ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම හෝ අවම වීම ලෙසයි මම දකින්නේ, මම හිතන විදිහට විශ්වවිද්‍යාල ස්වවාධීන විය යුතුයි. විශ්වවිද්‍යාලවල තිබෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඒ ඒ උපකුලපතිවරුන්ගේ වගකීම් යටතේ සිදුවිය යුතුයි. විශ්වවිද්‍යාලවල උපකුලපතිවරයාගේ සිට පහළම නිලය දක්වා තේරුම් කටයුතු ස්වාධීනව සිදුවිය යුතුයි. ජනාධිපතිවරයාගේ අදහස වන්ත විශ්වවිද්‍යාල ස්වාධීන විය යුතුයි යත්නයි. ජනාධිපතිවරයාව හමුවී උපකුලපතිකම් ඉල්ලන තැනට අපේ රට පත්වුණේ කොහොමද කියලා හිතන්න ඕන. විශ්වවිද්‍යාල කියන්නේ ජනාධිපතිවරයා පස්සේ යන්න ඕන ආයතනයක් නොවෙයි. ජනාධිපතිවරයාටත් උපදෙස් දිය යුතු ආයතනයක්. ඒ සංස්කෘතියට යාමට අපි උත්සාහගත යුතුයි. වර්තමානයේ අරගල කරන අයට මම කැමතියි ගෝල්ෆේස් ජෙනරේෂන් එක කියලා කියන්න. මම කැමතියි මේ දේශයේ පරිවර්තනයකට දායකවන දරුවන්ට ගරු කරන්න. මේ ජෙනරේන් එක ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක් නම් අපි ඒ සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න ඕන තැන තමයි මේක. අපි ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම්, ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෝ නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී මානසිකත්වය ඇති කළ යුතු ආයතන බවට විශ්වවිද්‍යාල පත් කළ යුතුයි. මගේ දර්ශනය තමයි ඒක. මට ඕන ඒවාධීන, පක්ෂග්‍රාහී නොවන කිව්වේ මේ දේවල් විද්‍යානුකූලව කරන්න කියලයි. ඒ අනුව මම උත්සාහ කරනවා දේවල් තුනක් කරන්න. ඒවා තමයි. " විශ්වවිද්‍යාල ස්වාධීන කිරිම. විශ්වවිද්‍යාලවලින් ලබා දෙන උපාධිය ගුණාත්මක බව හා ශිල්පය තව ගැඹුරු කිරිම. ගෞරව උපාධි වෙනුවට රට මෙහෙයවන්න පුළුවන් උපාධිධාරින්ට බිහිකිරීම.උපාධි ගත්ත අය ශ්‍රී ලංකාවේ සමාජයටත් සෙසු ලෝකයටත් දායක විය හැකි ආකාරයේ උපාධිධාරීන් කිරිම. මා දන්නා ආකාරයට ලංකාවේ කලා උපාධිධාරින්ගෙන් 80%ක් රැකියා විරහිත අයයි. එය කලාවේ වැරැද්දක් නොවෙයි. ඔවුන්ගේ‍ උපාධියේ වරදකුත් නොවෙයි. වරද තියෙන්නේ ලබාගත් උපාධියටෙ වෙනස් වන ලෝකයත් එක්ක සංසන්දනාත්මකව යන්න බැරිවීම. ඒ අනුව වෙනස් වන ලෝකයට ගැළපෙන විදිහට මේ උපාධිය සකස්විය යුතුයි. ඒ අනුව ජාත්‍යන්තර භාෂාවත්, ජාත්‍යන්තර සන්නිවේදනයත් පිළිබද ඔවුන්ට දැනුම් දිය යුතුයි. ඒ අනුව ඔවුන්ගේ දැනුම ලෝකය වෙත රැගෙන යාමට හැකිවේවි. මගේ උත්සාහය වන්නේ මෙයයි. ඒ වෙනුවෙන් මට අවශ්‍ය සහාය ලබා දෙන්න. මේ වෙලාව අපේ රටේ අනාගතය තීරණය කළ යුතු මොහොතක්. එය අධ්‍යාපනයෙන් පටන් ගන්නවා නම් එය අපි සියල්ලන්ටම කරගන්න ගෞරවයක්.”


උතුම් රටේ කැතම රාජ්‍යය

අප කුඩා කල අසා ඇති ගීත කීපයක් සිහියට නැගේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලංකාවයි ශ්‍රී ලංකාවයි, අප නිජ භූමිය ලංකාවයි. ඒ එකකි. මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි, අප හද පණ ගැහෙන රටයි. මුළු ලොව මේ රටට යටයි. ඒ තව එකකි. රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි, මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. ඒ අනෙකය. එන්න රට වටේ, යන්න මා ප්‍රියේ, ලස්සන ලංකාවේ. ඒ අපි බොහෝ විට කියූ ගීතයකි. සසර වසන තුරු නිවන් දකින තුරු පින් කේත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා ! හේතු වාසනා. ඒ තවත් එකකි. මේ ගී ලියවී ඇ ත්තේ සංගීතය සපයා ඇත්තේ සහ ගයා ඇත්තේ ඔහේ සින්දුවක් කියන්නට ඕනෑ නිසා නොව රටකට අභිමානයක් සහ ජනයාට නිදහසක්  ගෞරවයක් ප්‍රීතියක් ලබා දිය හැකි රාජ්‍යයක් තනා ගැනීම සඳහා ජනයා පෙළගැස්සවීම අරමුණු කරගෙනය. ඒ ගැන අපේ පාඨකයනුත් සොයා බලන්න. සිකුරාදාට ඔබ කියවන “කිවිදා දැක්ම' මා ලියන බ්‍රහස්පතින්දා ඉහත කී ගී මා සිහියට නැගුණු හේතුව මුලින් ම කිවයුතු යැයි සිතමි.

සංඛ යනු මගේ මිතුරෙකි. තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. සිය බිරිඳ ගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා ඈ සමග උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ රටකට ගොස්, එරට පොලීසියට තොරතුරු තාක්ෂණ මෘදුකාංග සහ දැනුම සපයන කොම්පැනියක ස්ථිර රැකියාවක් කරන්නෙකි. බ්‍රහස්පතින්දා උදෑසන පැයකට වැඩි වෙලාවක් මා ඇමතූ ඔහු පැවසු දෙයක් ඉහත ගී සිහියට ඒම සඳහා වූ හේතුව ය. ශ්‍රී ලංකාව ලෝකයේ තියෙන උතුම් ම රටක්. ඒත් ඒ රටේ දේශපාලනය කැතම කැත එකක්". ඒ සංඛගේ අදහස ය. මෙවර කිවි දා දැක්ම උතුම් ම රටක කැත ම රාජ්‍යයක්' යනුවෙන් නම් කිරීමටත් ඉහත කී ගීත සිහියට ඒබ්බට මට බලපෑවෙත් සංඛගේ එම අදහස ය. ඇත්තටම හැම විභවතාවක් ම තියෙන බොහෝ සම්පත් ඇති කාලගුණ දේශගුණ යෝග්‍යතාවෙන් යුත් රටක් නිදහස් ප්‍රීතිමත් යහපත් රාජ්‍යයක් නොවුණේ ඇයි?  ඒ ප්‍රශ්නය නැගිය යුත්තේ හේතු කීපයක් නිසාය. දුෂණ වංචා අකටයුතුකම් නිසා රාජ්‍යය කඩාවැටී ඇති නිසා රට හැර යන අය බොහෝ ය. ඔවුන් වැඩි පිරිසක් ලෝකයේ දියුණුම යැයි කියන රටවලට ගොස් කායික සහ මානසික අපා දුක් විඳිමින් එහෙත් ඒ බව තම මුල් රටේ සමීපතමයන්ට නොපෙන්වා වසංකරමින් නොදියුණු හුදකලා ජීවිත ගත කරති. 

ස්ථිර රැකියා නො ලැබ දවස පුරා කෑලි රසා නැතහොත් නියමයක් නැති රස්සා කරන බොහෝ අයගේ ජීවිත නූතන වහල් ක්‍රමයක හිර වී ඇත. නිදාගන්නේ දවසට පැය හතරක් හෝ ඊට අඩු වෙලාවක් ය. විවේකයක් නැත. ග්‍රෑන්ඩඩ් ඇඳුම් සහ භාණ්ඩවලින් සහ ෆේස්බුක් එකේ දමන භූමි දර්ශනවලින් හංගාගෙන ඇති ඒ ජීවිත ගෙවන්නේ හුදකලා අගෞරවනීය කල්ලතෝනි ජීවිත ය. තම මවු රටෙන් පළා ගොස් එසේ නොවිඳිනා කායික මානසික දුක් විඳීමට ඔවුන්ට ඉඩ සැලසුවේ මේ රට නොව මේ රාජ්‍යය ය. ඒ රාජ්‍යයේ පාලකයෝ ය, පරිපාලකයෝ ය.  රටේ ජනයා සහ පාලක-පරිපාලකයන් අතර සම්බන්ධය සහ විශ්වාසය සුනු විසුනු වී ගොස් ය. හැම පවුලකම සියල්ලෝම හෝ වැඩිදෙනකු හෝ මේ පාලකයන්ට සහ පරිපාලකයන් ට සහ ඒ අයගේ ක්‍රමයට විරුද්ධය.  එළිපිට විරෝධතාවලට වඩා එළියට නොපෙනෙන විරෝධතා බලවත් ය, තීරණාත්මකය. 

පාලකයන්ට සහ පරිපාලකයන් ට දැන් පිහිට සොයන්නට සහ සැගවී සිටින්නට ඉතිරිව ඇත්තේ ඔවුන් විසින් ම කුටෝපායික ලෙස අටවාගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණ ය. එහෙත් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ම ඇති ජනයාට වගකිවයුතු බව ජනයාගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බව ජනයා සුබසාධනය කළයුතු බව යනාදියට අදාළ වගන්ති පාලක පරිපාලකයෝ අමතක කර දමති. ලැබී ඇ ත්තේ වගකීම් ඉටු කිරීම සඳහා අධිකාරියක් මිස නන්න බලයක් නොවේය.  වගකීම් ඉටු නොකරන විට ලැබී ඇති අධිකාරිය නිකීය වන බව පාලකයන්ට මතක නැත. මතක ඇත්තේ හුදු තම පැවැත්ම සඳහා වූ වගන්ති පමණකි.  එසේම ජනයා සතු පරමාධිපත්‍ය බලයෙන් කොටසක් ජන සම්මත අධිකාරියක් ලෙස පාලකයන්ට සහ පරිපාලකයන්ට  පවරා ඇත්තේ ඒ පාලකයන්ට හෝ පරිපාලකයන්ට හිතුවක්  කරමින් සැප විඳින්නට නොව අධිකාරි බලය දුන් ජනයාගේ යහපතට අවශ්‍ය කාර්යයන් සැලසීමට බව පාලකයන් සහ පරිපාලකයන් අමතක කර දමා ඇත. කළ නොහැකි නම් ඊට අසමත් නම් ඒ පාලකයන් සහ පරිපාලකයන් තම නිල තනතුරුවලින් ඉවත් විය යුතු ම ය. ඒ කළ නොහැකියාවෙන්  පෙන්නුම් කරනුයේ පාලකයන් කෙටි කලකට ජනයාගෙන් ලබා ගත් අධිකාරී බලය ට අදාළ වගකීම් සහ යුතුකම් ඉටුකර  නොමැති බව ය. පාලකයන් මතකයට නගා ගත යුතු කරුණක් වන්නේ ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලයෙන් ඉතා කුඩා කොටසක් මිස සියලු බලය පාලකයන්ට පවරා දී නැති බවය. ව්‍යවස්ථාව නොව වෙනත් ඕනෑම නීතියක් ජනතා පරමාධිපත්‍යයට යටත් ය, අවනත විය යුතු ය. 

සමාජ සම්මතවාදී පාලනය හෝ ආණ්ඩුකරණය යනු එය ය. රට පුරා මතුවන ක්ෂණික විරෝධතා යනු ඒ මහජන පරමාධිපත්‍ය බලයේ හිස එසවීම් ය. ‘හදන්නෙත් බඩු මකන්නෙත් බඩා' යනු ගැමි කියමනකි. එසේම පොල්ලට ලොකු වළං තිබිය නොහැකිය' යනු තවත් එවැනිම ගැමි කියමනකි. ගමේත් නගරයේත් මේ රාජ්‍ය ක්‍රමය සහ පාලනය. ප්‍රතික්ෂේප වී ඇත. වසර හැත්තෑ හතරක් තිස්සේ ඉවසු මිනිසුන් ඒ දැහැනින් කැඩී වෙන්වී ඇත. තිබෙන ක්‍රමය යටතේ බලයට එන්නට හදන කිසිවකු කෙරෙහිවත් විශ්වාසයක් ජනතාවට නැත. මන්ද ඒ සියලු දෙනාම මේ සා අයුරින් රාජ්‍යය වළපල්ලට යැවීමට විවිධ පරිමාණයෙන් දායක වූ අය නිසා ය. 

සමස්ත දේශපාලන පත්තියම කෙරෙහි ප්‍රගතිශීලී සහ දැනුවත් ජනයාට ඇත්තේ පිළිකුලකි. ව්‍යවස්ථාව පෙන්වා කෙනකු හෝ පිරිසක් බලයේ රැඳෙන්නට හදන එක විහිළුවක් වන්නේ එවැනි  පසුබිමකය. කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු ය. එසේ නම් ජනතාව තම පරමාධිපත්‍යයේ කොටසක්   ලෙස දේශපාලන අධිකාරි බලය බාරදිය යුත්තේ කාට ද? දෙන්නට කවුරුත් නැත්නම් රට අරාජක වෙයිද? ගැටලුව ඇත්තේ මෙතැනය.  මෙය එක්තරා ආකාරයක උභතෝකෝටිකයකි.  උත්තරය සහ පිළිතුර ඇත්තේ කොතැන ද? 

උතුම් ම රටක කැතම රාජ්‍යය හැදු, නැතහොත් ගොඩනැගෙමින් ආ රාජ්‍යය වළපල්ලට යැවූ, තරුණ ජනයාට තම රටින් පලා ගොස් කායික මානසික පීඩා විඳීමට සැලැස්සු, වසර හැත්තෑ හතරක පාලක පන්තිය තම  දේශපාලන වාසස්ථානවලින් දැන් ඉවත් විය යුතුය. ඒ අනුව ආණ්ඩුවේ සිටින්නන් ඉන් ඉවත් විය යුතුය. විපක්ෂයේ සිටින්නන් ඉන් ඉවත් විය යුතු ය. ඊළඟට ස්වකීය දේශපාලන වාසස්ථාන වන පක්ෂවලින් ඉවත් විය යුතු ය. ඒවායින් ඉවත් නොවී ඒ මෙහෙයවීමේ නැතහොත් රූකඩ නැටවීමේ කටයුත්තට ඔවුන් සූදානම් විය හැකිය. ඒ ඒ පවල බුද්ධිමය සහ දේශපාලනමය තරුණ කොටස්වලට සහ රටට යහපත් රාජ්‍යයක් ලබා දීමට කැමති අයට තම තමගේ ප්‍රගතිශීලී බව පරීක්ෂ කිරීමට මෙය හොඳ මොහොතකි. මේ පක්ෂ විනාශ කළෝද හිටපු සහ සිටින පාලකයෝමය.  ඔවුන්ගෙන් මේ පක්ෂ ගලවාගෙන නව තරුණ ප්‍රගතිශීලී තරුණ  කණ්ඩායමකගේ අණසකට ඒවා යටත් කළ යුතු ය. එය කළ යුත්තේ ඒ පක්ෂ හෝ  කණ්ඩායම්වල පැරණි ලේ ඥාතිකම් සහ ඒ අයගේ අතවැසි සම්බන්ධකම් මුහු නොවන පරිද්දෙන් ය.

විරෝධතා රටේ ඕනෑම තැනක සිදුවිය හැකිය. එහෙත් අරගල සිදුවිය යුත්තේ ගාලුමුවදොර අල්ලා ගැනීමට පමණක් නොවේ ය. එහි සංකේතාත්මක වැදගත්කම විශාල බව ඇත්තකි. එබැවින් එය අවතක්සේරු නොකළ යුතුය. එය තනි නොකළ යුතු ය. එය තනි නොවන්නේ රාජ්‍යය විනාශ කළ අයගේ දේශපාලන තක්කඩිකම් නොව ඔවුන්ගේ නිවාස  නොව, ඔවුන්ගේ දේශපාලන වාසස්ථාන වන පක්ෂ සහ සංවිධානවල බලය සහ අවකාශය නව ප්‍රගතිශීලී බුද්ධිමත් ජන නියෝජිතතන්ත්‍රවාදී (community representativecrecy) තරුණ ජනයා විසින් අත්පත් කරගතහොත් ය.

වරක් ලියොන් ට්‍රොස්කි ප්‍රකාශ කළේ විප්ලවය මහපොළොවේ සාර්ථක වීමට නම් මිනිසුන්ගේ ඔළුවල දසදහස් ගණනින් විප්ලව සිදුවිය යුතු බව ය. යහපත් ශක්තිමත් රාජ්‍යයක් තැනීම සඳහා නව ප්‍රගතිශීලී අදහස් ඇති වැඩපිළිවෙළවල් ඇති අය විසින් කොයි පක්ෂයක වුවත් බලය සහ අවකාශය අල්ලා ගත යුතුය යනුවෙන් මා කියනුයේ ඒ නිසා ය. එය සමා විරහිතව කළ යුත්තකි. එසේ එළිය සමග ගනුදෙනු කිරීමේ දී උපරිමවාදී ප්‍රතික්ෂේප්ප කිරීම් හෝ උපරිමවාදී නොඉවසීම් ගැන ද අප නැවත සිතා බැලිය යුතු ය. ලෝකයේ උතුම්ම රට ට, අපේ මාතෘ භූමියට ගෞරවය සහ අභිමානය සහිත ලස්සනම රාජ්‍යයක් තැනීම සඳහා සියක් මත මුණගැසී. සියක් මල් පිපෙන්නේ එවිට ය.


සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අගමැති හරස් වුනොත් අපි 10 දෙනාත් තීන්දුවකට එනවා


සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් නොවුණහොත් පසුපෙළ මන්ත්‍රීවරුන් දසදෙනාගේ කණ්ඩායම ලෙස දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඊයේ (28) පැවසීය.  මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම දී පැවැති මාධ්‍ය හමුවකදීය. මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.  අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරැදි තීන්දු ගන්න කෙනෙක්.

අපි අග්‍රාමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එතුමා ඕන වෙලාවක රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානමින් ඉන්න බව කියන පණිවිඩය අපට දුන්නා.  හැබැයි අග්‍රාමාත්‍යතුමාට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නේ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා.  ඒ අය එහෙම කරනවා නම් කරන්නේ වෙන මොකුත් නිසා නොවෙයි. තමන්ගේ හොරමැරකම් ආරක්ෂා කරගන්න. තමන් ආරක්ෂා වෙන්න බලන කණ්ඩායමක් තමයි මෙම තීන්දුව ගන්න දෙන්නේ නැත්තේ කියන හැගීම තමයි අපිට තියෙනේ. 

මේ වෙලාව තමන් ආරක්ෂා වෙන වෙලාවක් නෙමෙයි, රට ආරක්ෂා කරගන්න වෙලාවක්. ඒ නිසා මම ඉතා ගෞරවයෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාත් , අග්‍රාමාත්‍යතුමාත් මේ තීන්දු තීරණ අරගෙන සියලුම පක්ෂ එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුව හදලා රට ගොඩනගන්න ඉඩ දෙන්න කියලා. එහෙම ඉඩදෙන්නේ නැතිනම් අපි දස දෙනාට අනිවාරේන්ම දැඩි තීන්දුවකට මේ වෙනුවෙන් යන්න වෙනවා.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ


Thursday, April 28, 2022

ශ්‍රී ලංකාව ලී ක්වාන් යු ඇසින්

ලී ක්වාන් යූ ශ්‍රී ලංකාව සංවර්ධනයේ ආදර්ශයක් ලෙස සැලකූ බව නිරන්තරයෙන්ම කියවුණු නමුත් මෙම කියමනේ සත්‍යසත්‍යභාවය කිසිවකු ප‍්‍රශ්නකර නැත. ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියා ඇති දේ විමසා බැලී ඉතා රසවත් වනු නොඅනුමානය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලී ක්වාන් යූ පළකොට ඇති මත පොත් තුනක සඳහන් වී තිබේ. පළමුවැන්න ඔහුගේ මතකය ඇසුරින් ලියූ (From Third World to First) තුන්වැනි ලෝකයෙන් පළමුවැනි ලෝකයට ග්‍රන්ථයයි. දෙවැන්න ඔහුගේ කථා ඇසුරින් සැකසූ LKY-The Man and his Ideas ය. තුන්වැන්න Giants of Asia Conversation with LKYය. එය ඇමරිකානු ජනමාධ්‍යවේදියකු වූ ටොම් ලේට් ලී ක්වාන් යූ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා අඩංගු වූවකි.

ඔහුගේ තුන්වැනි ලෝකයෙන් පළමු ලෝකය නම් පොතේ මුළු පරිච්ඡේදයක්ම වෙන් කොට ඇත්තේ ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව ගැන සිය මත ප්‍රකාශ කිරීමටයි. දකුණු ආසියාවේ වීරයන් සහ නායකයන් මැයෙන් ඔහු ලියූ එම පරිච්ඡේදයේ පිටු 22 න් පිටු 7 ක්ම වෙන්කොට ඇත්තේ ශ්‍රී ලංකාව ගැන කරුණු කියන්නටයි. ලී ක්වාන් යූ අවස්ථා 4කදී ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පළමුවෙන්ම පැමිණියේ 1956 | වසරේය. ඔහු මෙරටට පැමිණි සෑම වාරයකදීම ඔහුට මෙරට අලුත් නායකයකු හමුවීමට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකාව (Ceylon) බ්‍රිතාන්‍ය මොඩලයේ පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් බවත් ලංකාව සතුව සිංගප්පූරුවට වඩා සම්පත් හා හොඳ යටිතල පහසුකම් තිබෙන බවත් ඔහු කියා ඇත. මෙය මවුන්ට් බැටන් සාමිවරයා මහනුවර හිදීම නිසා මතුවූ ලක්ෂණයක් ලෙස දකින ඔහු යම් ධනාත්මක ආකල්පයකින් ශ්‍රී ලංකාව දෙස බැලීමට හේතූව එය විය හැකිය. ශ්‍රී ලංකාවේ මෙන් යටිතල පහසුකම් සිංගප්පූරුවටත් ඇත්තේ නම් මැනවයි ඔහු සිතුවේය. අගනගරය වූ කොළඹ මුළුමනින් ප්‍රශංසාවට ලක්කොට වර්ණනා කරන ඔහු කොළඹ සිංගප්පුරුවට වඩා හොඳ නගරයක් බව කියා සිටිමින් එහි ඇති රාජ්‍ය ගොඩනැගිලි ගැන මහත් ප්‍රසාදයෙන් කතා කරයි. ශ්‍රී ලාංකීය නායකයන් සම්බන්ධයෙන් ඔහුගේ මතය.


ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයන් හය දෙනකු ගැන ලී ක්වාන් යූ මත පළකර තිබේ. 


ඒ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා ඔහුගේ මරණයට වසර කිහිපයකටපෙර මුණගැසුණ මහින්ද රාජපක්ෂ එම නායකයන්ය.ඔහු පළමුවෙන් මෙරටට පැමිණියේ බණ්ඩාරනායක අලුත නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගත් මැතිවරණයෙන් අනතුරුවයි. ඔහු බණ්ඩාරනායක හඳුන්වා ඇත්තේ හුරුබුහුටි කඩිසර මිනිසකු ලෙසය. හොඳින් හැඳ පැළඳ චතුර ලෙස බස හසුරවන ඔහු අව්‍යාජ සහීර්වරයකු ලෙස ලී ක්වාන් යූ ඔහු නම් කළේය. (තමන්ව අනුගමනය කරමින් යටත් විජිතවල ජීවත් වන අයව බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන්නේ අව්‍යාජ සහීරුන් ලෙසයි) සිංහල බහුතර ඡන්දයෙන් බලයට පත්වූ බණ්ඩාරනායක ඒ ගැන ආඩම්බර වන බවත් සිංහලය රාජ්‍ය භාෂාව කරන බවටත් බුද්ධාගම රාජ්‍ය ආගම කරන බවටත් පොරොන්දු වී සිටි බණ්ඩාරනායක එහි ප්‍රතිඵලයක් ලෙස සුළු  ජාතිකයන්ට සිදුවන අසාධාරණය නිසා ඉන් ඇතිවන ගැටලු නොදුටුවේ යැයි හෙතෙම කියා සිටියේය. තමා සමග පැවැත්වූ සංවාදවලදී බණ්ඩාරනායක තවමත් ඔක්සිෆර්ඩ් යුනියන් විවාද සංගමයේ සාමාජිකයකු ලෙස කතා කරන 

ස්වරයක් දැනුනේ යයිද හෙතෙම පවසා ඇත. සිංහල භාෂාව ඔස්සේ සියල්ල පරදවා ජය ගන්නට ඔහු උත්සාහ කළද අවුරුදු තුනකට පසුව බෞද්ධ භික්ෂුව අතින් බණ්ඩාරනායක ඝාතනය වීම තමාට පුදුමයක් නොවේ යයි ලී ක්වාන් යූ කියයි. ලී ක්වාන් යූ දෙවැනි වතාවට මෙරටට පැමිණෙන්නේ 1966 දී ඩඩ්ලි සේනානායක අගමැතිවරයාව සිටියදීය. හෙතෙම ඩඩ්ලි සේනානායක විස්තර කරන්නේ මෘදු ඉවසීමේ ගුණයෙන් යුක්ත දෛවවාදි වැඩිහිටි මිනිසකු ලෙසයි. කොළඹ ගෝල්ෆේස් පිටියේ ක්‍රීඩා කරන අවස්ථාවේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඩඩ්ලි

ස්නානායක සමාව ඉල්ලා සිටි අවස්ථාවක් ගැන හෙතෙම විස්තර කරයි. ගොෆ් පිටියේ අනවසරයෙන් පැල්පත් අටවාගෙන පදිංචි වී සිටි අය ගැනත් ඒ අය ඇති කරන ගවයන් එළුවන් එහි නිදැල්ලේ හැසිරීම ගැනත් විමසා සිටි ලී ක්වාන් යූ හට ඩඩ්ලි ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළ බව හෙතෙම කියයි. නගරයේ විවෘත භූමිවල ජනයා එසේ  අනවසරයෙන් පදිංචි වී ඇ ත්තේ ඇයිද පිළිබඳව ඔවුන් ඉන් ඉවත් කළ නොහැක්කේ මන්ද යන්න ගැනත් පිළිගත හැකි පිළිතුරක් ඩඩ්ලි නොදුන් බව ඔහු කියා සිටී. ඩඩ්ලි කොළඹ සිට නුවරඑළිය දක්වා දුම්රියෙන් ලී ක්වාන් යූ පිටත්කර යවා තිබේ. එහිදී ගෝෆ් පිටියේදී ඔහු ඩඩ්ලි ගැන දුටු ගැටලුවම නැවත නිරික්ෂණය කොට ඇත. ඩඩ්ලි සේනානායක දුර්වල නායකයකු බවත් ඔහුට රටේ වැසියන් පාලනයට නතුකර ගත හැකි නොවන බවත් ඔහු කියා ඇත. 1970 දී ඔහු තුන්වැනි වතාවට ශ්‍රී ලංකාවට පැමිණි වෙලේ ඔහුට එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මුණ ගැසුණේය. ඇය මැතිවරණය ජයගත්තේ අනුකම්පාව දක්වා දුන් ඡන්දයෙන් බව ඔහු විශ්වාස කළේය. එහෙත් ඇය දෘඪ ගති ඇති ඇගේ ස්වාමියාට වඩා අධිෂ්ඨානශීලී ඔහු තරම් මුඛරි නොවූ නායිකාවක බව හෙතෙම පවසයි. ඔහු ඇයගේ නොබැඳි පිළිවෙත බෙහෙවින් අගය කරයි. එහෙත් ඇතැම් දකුණු ආසියානු රටවලින් ඇමරිකානු හමුදා ඉවත් කරවන්නට එම පදනමේ සිට ඇය ගත් තීරණ පිළිබඳව ඔහු ප්‍රසාදයක් නොදක්වයි. එසේ කිරිම සිංගප්පූරුවට අවාසිදායක බව ඔහු කල්පනා කළේ එම නිසා ඇමරිකානු හමුදා ඉවත් කළ රටවල කොමියුනිස්ට් වාදය ප්‍රචලිත වීමටත් ඉඩ තිබුණු නිසාය. එය සිංගප්පූරුවට අවාසිදායක තත්වයක් නිර්මාණය විය හැකි ප්‍රවණතාවක් වූයේය. ශ්‍රී ලංකාවේ අයවැයෙන් සියයට 2.5 ක් පමණක් ආරක්ෂණ කටයුතු සඳහා වැය කළ බව ඔහු දැන ගත්තේ කැබිනට් අමාත්‍ය ෆීලික්සි ඩයස් බණ්ඩාරනායකගෙනි. ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට භූගෝලීය හා ඓතිහාසික කරුණු හේතු කොටගෙන සාමයේ ආශිර්වාදය ලැබී ඇත්තේය යන කාරණයයි. ෆීලින්සේ බුද්ධිමත් වුව ගැඹුරු විචක්ෂණශීලීබවෙන් තොර වූ අයෙකුයි කියා සිටින ඔහු ඉන් වසර 10 කට පසු සාමයේ ආශිර්වාදය ලැබෙන්නේ යයි කී රටේ අය වැයෙන් 50 සියයට කට වඩා ආරක්ෂණය හා කැරලිකරුවන් මර්දනයට වැය කරන්නට සිදුවූ ආකාරය මතක් කර දෙමිනි. ඔහු ශ්‍රී ලාංකීය අමාත්‍යවරුන්ගෙන් විශේෂයෙන් නම සඳහන් කර ඇති එකම අමාත්‍යවරයා ෆීලික්ස්ය. බන්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ අවස්ථාවේ Ceylon යනුවෙන් තිබූ රටේ නම ශ්‍රී ලංකා යනුවෙන් වෙනස් කිරීම නිසා රටේ වාසනාව වර්ධනය නොවූ බව ලී ක්වාන් යූ කියා සිටී. ඔහු ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකීය තේ, සිලෝන් ටී යන කීර්ති නාමයෙන්ම නොකඩවා වෙළඳපොළට ඉදිරිපත් වීමයි. ඔහු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පළමු වරට මුණගැසෙන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත සිඩ්නි නුවර පැවති සමුළුවකට සහභාගි වූ අවස්ථාවේය. ඒ වන විට රට බංකොලොත් තත්වයට පත්කර තිබූ සමාජවාදී ප්‍රතිපත්තිවලින් ඉවත් වන්නටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සිංගප්පූරුව හවුල් කරගන්නටත් ජේ.ආර්ට අවශ්‍ය වූයේ යයි හෙතෙම කියා සිටී. ජේ.ආර්. අනුගමනය කළ ප්‍රායෝගික ප්‍රවේශය බෙහෙවින් තමන්ගේ සිත්ගන්නේ යයි 1978 සිව්වැනි වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව සිහිපත් කොට ලී ක්වාන් යූ කියයි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සම්බන්ධයෙන් ලී ක්වාන් යූ දැරූ ධනාත්මක ආකල්පය කාලයත් සමග වෙනස් වූයේය. ප්‍රගතියේ සංකේතයක් ලෙස ජාතික ගුවන් සේවාව ආරම්භ කිරීමට ජේ.ආර්. ගත් තීරණය ලී ක්වාන් යූ විවේචනයට ලක්කර තිබේ. අලුත ගොඩනැගු ගුවන් සේවාවේ සභාපති තනතුරට ගුවන් නියමුවකු පත් කිරිමේ තීරණය දුවල තීරණයක් ලෙස හෙත්තෙම දකී. තමාට දෙන්නට ඇති විසඳුම් සියල්ල දී විඩාවට පත්වූ මිනිසකු ලෙස ජේ.ආර්. විශ්‍රාම ගත් බව හෙතෙම කියා සිටී.

ඔහු රණසිංහ ප්‍රේමදාස මතක් කරන්නේ සිංහල ජාතිවාදය ඔස්සේ ජයග්‍රහණය කළ අයකු ලෙසයි. ජේ.ආර්. ජයවර්ධන රජය විසින් සිවිල් යුද්ධයේ සටන් කිරීමට රට තුළට ගෙනා ඉන්දියානු සාම සාධක හමුදාව ප්‍රේමදාස මහතා විසින් ඉවත් කිරීමේ තීරණය බුද්ධිමත් තීරණයක් නොවූ බව ඔහු කියයි. රණසිංහ ප්‍රේමදාස කෙරෙහි ධනාත්මක ආකල්පයක් ඔහු තුළ තිබී නැත. තමාගේ මරණයට වසර කිහිපයකට පෙර අමෙරිකානු ජනමාධ්‍යවේදී ටොම් ලේට් වෙත ඔහු හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පිළිබඳව ඔහු දැරූ මතය ප්‍රකාශ කර තිබේ. ඔහු යුද්ධය නිමා කළ බව ඔහු සිතයි. ඔහුගේ කථා මම කියවා ඇත්තෙමි. ඔහු සිංහල අන්තවාදියකු බව මම දනිමි. ඔහුගේ සිත වෙනස් කිරීමට මට නොහැකිය." ලී ක්වාන් යූ මහින්දට රාජපක්ෂ ගැන කියා ඇත්තේ එවැන්නකි. මහින්ද රාජපක්ෂ අන්තවාදී මුරණ්ඩු නායකයකු යැයි ද ඔහු කියයි. 


ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය ගැන මගේ මතය


ශ්‍රී ලංකාව ධනවත්ව පැවති බව ලී ක්වාන් යූ දැන සිටියේය. ශ්‍රී ලංකාව සතුව ස්ටර්ලින් පවුම් විශාල සංචිතයක් ඇත යනුවෙන් ඔහු පැවසුවද

මෙරට කළමනාකරණ මූලධර්ම ප්‍රතිපත්ති ප්‍රමාණවත් ලෙස අනුගමනය නොකළ බව හෙතෙම දැන සිටියේය. යම් දිනක මෙම ධනවත් බව රඳවා ගැනීමට එම තත්වය නිසා අභියෝග එල්ල වන බවද ඔහු දැන සිටියේය. විශේෂ දුම්රිය මැදිර්ගකින් ඔහුව ඩඩ්ලි සේනානායක මහතා නුවරඑළියට පිටත් කර යැවූ අවස්ථාවේ ඔහුට මෙරට කළමනාකරණය සම්බන්ධ ප්‍රථම අත්දැකීම ලැබුණේ දුම්රියේදීය. ඔහුට පිරිනැමු කකුළුවන් සහිත ආහාරය දුගඳ හැමූ බවත් එය විෂ සහිත වූ බවත් එය බොහෝ සෙයින් නරක් වී තිබුණු බවත් ඔහු පවසයි. දුම්රිය 

දෙපාර්තමේන්තුවේ වගකීමෙන් තොර නොසැලකිලිමත් කළමනාකරණය පෙනීයන්නක් ලෙස ඔහු එය උදාහරණයකට ගෙන තිබේ. එම ආහාරය ගැනීමෙන් ඔහුට දැනුණු අපිව නිසා දුම්රියේ වැසිකිළියට ගොස් වමනය කරන්නට සිදු වූ බවද ඔහු කියයි.ශ්‍රී ලාංකීය නායකයන් ප්‍රමුබතා හඳුනා ගැනීමේදී බුද්ධිමත්ව ක්‍රියා නොකළ බව ලී ක්වාන් යූ කියා සිටී. එයාර් ලංකා ගුවන් සේවාව ආරම්භ කරද්දී එය පුගතියේ සංක්තිය බව ජේ.ආර්. කියා සිටියේය. ඒ සඳහා ප්‍රමුඛතාව නොදිය යුතු බවට ලී ක්වාන් යූ උපදෙස් දී තිබේ. ගුවන් සේවාවක් ආරම්භ කිරීමට දක්ෂතා බොහෝමයක් සහ හොඳ පරිපාලකවරුන්ද අවශ්‍ය බව ඔහු කියයි. ඊට අමතරව එම ගුවන් සේවාව මනබඳින ව්‍යාපෘතියක් වුව එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහා අගයක් එක් කරන්නක් නොවිය. එම ව්‍යාපෘතිය වෙනුවට රටේ වෙනත් ව්‍යාපෘති උදෙසා ප්‍රමුඛතාව දෙන ලෙස ඔහු ජේ.ආර්. හට උපදෙස් දුන්නෙන්ය. වාරිමාර්ග කෘෂිකාර්මික කම්ක සංවර්ධන හා නිවාස ව්‍යාපෘති සඳහා එහිදී ප්‍රමුඛතාව දීම මැනවයි ඔහු ශ්‍රී ලාංකීය ජග්නාධිපතිවරයාට කියා සිටියේය. අලුත ගොඩනැගු එයාර් ලංකා සමාගමේ සභාපති තනතුරට ගුවන් නියමුවකු යොදන්නට

ජේ.ආර්. ගත් තීරණයෙන් ශ්‍රී ලංකා පරිපාලනයේ කුසලතාව සම්බන්ධ ඌනතාවක් පවතින බව ලී ක්වාන් යු නිරීක්ෂණ කළේය. ගුවන් නියමුවකු ගුවන් සේවාවක් පවත්වාගන්නේ කෙසේ දැයි ඔහු සරලව විමසා සිටියේය.දක්ෂතා ඇති කළමනාකරුවකු විසින් එම කාර්ය කළ යුතු බව හෙතෙම තදින්ම විශ්වාස කළේය. සිංගප්පුරු ගුවන් සේවාවේ කාර්ය මණ්ඩලයේ උදව් ඇතිව මාස හයකින් එයාර් ලංකා ගුවන් සේවාව ආරම්භ කරන්නට ලී ක්වාන් යූ සහාය දුන්නේය. එහෙත් නිසි කළමනාකරණයක් නොමැති වීමත් අලුත පත් වූ සභාපතිවරයා ඔවුගේ උපදෙස් නොතකා ගුවන් යානයක් මිලදී ගන්නට තීරණය කිරීමත් නිසා සිංගප්පූරු රජය සහයෝගය දීමෙන් ඉවත් වූයේය.එයාර් ලංකා 

ගුවන් සේවාව අසාර්ථක වන බව ලී ක්වාන් යූ කල් තියා දුටුවේය. ඊට කරණු පහක් හේතුවන බව ඔහු කියා සිටියේය. පමණට වඩා ධාරිතාව වැඩි කිරීම, මුදල් ගලා ඒම සෘණාත්මක වීම, පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම, විශ්වාසදායි නොවන සේවාව සහ ප්‍රමාණවත් ලෙස මගීන් නොසිටීම එම හේතුය. මෙරට තේ වතු පාලනයේදී කුසලතාවයෙන් තොරව එය කරන බව ඔහුගේ නිරීක්ෂණයට හසුවිය. මෙරට ජනයා ඒවා කළමනාකරණය කළ අයුරු ඔහු විවේචනය කළේය. උසස් වීම් ලැබූ දේශීයයන් ඔවුන්ගේ බ්‍රිතාන්‍ය පුර්වගාමීන් තරම්  අධීක්ෂකයෝ නොවුවෝය. එහි ප්‍රතිඵලයක් ලෙස තද විනයක් ඒවායේ පවත්වා නොගැනිණි. දලු නෙළීම නිසි පරිදි සිදු නොවීය. තේ වගාව පිරිහී යන තත්ත්වයකට පත්ව තිබිණි. රට අදාළ වගකීම් කුසලතාව පදනම් කොට ලබා නොදෙන්නේ නම් මෙම කර්මාන්ත ඉක්මනින් බිඳ වැටී එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය සෝචනීය තත්ත්වයට ඇද වැටෙනු ඇතැයි ඔහු කියා තිබේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඔහු ගිය ගමන ගැන ලී ක්වාන් යූ  විස්තර කර ඇත. මෙම බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය ගැන ලී ක්වාන් යූ වඩාත් ධනාත්මක මතයක පිහිටා සිටියේය. ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් හොඳ අධ්‍යාපන මට්ටමක් පැවතිනි." කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දුන් බවත් යුද්ධයට පෙර අධ්‍යාපනය ලැබූ දයන් බොහෝ දෙනකු මෙරට සිටි බවත් හෙතෙම කියා ඇත. එහෙත් අධ්‍යාපනය ලබා දෙන මාධ්‍ය වෙනස් කොට දේශීය භාෂාවලින් ඉගැන්වීම කරනු ඔහු දුටුවිට බෙහෙවින් සිත්තැවුලට පත්වූයේය. පේරාදෙණිය සරසවියේ එවකට උපකුලපතිවරයා මුණගැසුණු විට සිංහල සිසුන් සිහල මාධ්‍යයෙනුත් දමිළ සිසුදමිළ මාධ්‍යයෙනුත් බර්ගර් සිසුන් ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් විෂය හදාරණ බව ඔහු දැනගත්ය. මාධ්‍ය තුනෙන් ඉගෙනගත් ඉංජිනේරුවන් කීන්දෙනක් එක්වී පාලමක් ඉදිකරන්නේ කෙසේ දැයි ඔහු උපකුලපතිවරයාගෙන් විමසුවේය. “එය අමාත්‍යවරුන් විසින් පිළිතුරු දිය යුතු දේශපාලන ප්‍රශ්නයක් යයි උපකුලපතිවරයා කියා  සිටියේය. දේශපාලකයන් විසින් ගනු ලැබූ අමන තීරණ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඵල රහිත වූ ආකාරය එම ප්‍රකාශයෙන් පෙනේ. ඉංග්‍රීසියෙන් ලියා මුද්‍රණය කර ඇති ප්‍රධාන පෙළ පොත් සිංහලට හා දමිළ බසට පරිවර්තනය කොට මුද්‍රණය කර ඇත්තේ සංස්කරණ තුනක් හෝ හතරක් පැරණි ඒවා බවත් උපකුලපතිවරයා කියා තිබේ. එය පෘථුල නොවන මන්දගාමී ක්‍රියාමාර්ගයක් බව ලී ක්වාන් යූ පවසා ඇත. උපකුලපතිවරයාගේ නම ඔහු කියා නැතත් එම කාලය හා සසඳා බැලූ විට ඒ 1969 සිට 1971 කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්ය ජී.ඕ.ඊ. පෙරෙයිරා බව පෙනී යයි. මුල් කාලයේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දුන් අධ්‍යාපනය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළ ලී ක්වාන් යූ සිංගප්පූරුවේ නැයැග් සරසවිය ඉංග්‍රීසි මාධ්‍යට මාරු කළේය. ඒ සඳහා නිසි නිපුණතාව සහිත කථිකාචාර්යවරුන් හිග බව ඔහු තේරුම් ගත් විට ඔහු එම විශ්වවිද්‍යාලය සිංගප්පූරු විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ කළේය. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආරම්භය සිදුවූයේ එසේය. පසු  කාලයේදී නැයැන්ගේ විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහසුවෙන් රැකියා ලබාගත හැකි වූයේ ඔහුගේ තීරණය නිසයි.


 ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන ලී ක්වාන් යූ ගේ මතය.



ශ්‍රී ලංකාවේ දමිළ ජනයා කෙරෙහි දැඩි අනුකම්පාවෙන් ලී ක්වාන් යූ පසු වූයේය. ඉතා ක්‍රියාශීලී බුද්ධිමත් පුද්ගලයන් වූ ඔවුන් ඉතා වෙහෙස වී වැඩ කළ අතර රටේ සිංහල ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දඬුවම් වින්දෝය. දක්ෂතාව අඩු සිංහලයෝ දක්ෂතාවෙන් වැඩි දමිළයන් පහත් කොට සැලකුවෝය යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. බහුතර සිංහල ජනයාගේ ඡන්දය දමිළ ජනතාවගේ ඡන්දය අභිබවා යා හැකි බව ඔහු සඳහන් කරයි.තමා යාපනයේ දමිළ ජනතාවට සේවයං පාලන අයිතිය ලබා දීමට කැමති බව ජේ.ආර්. ලී ක්වාන් යු හට පවසා ඇත. එහෙත් සිංහල ජනතාවට ඇති ස්වස්වාධිපත්‍යය දමිළ ජනතාවට ලබාදිය නොහැකි බව ඔහු පසුව විශ්වාස කළේය. සිවිල් යුද්ධයකට බලපෑවේ එම මතයයි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ග ගැටලුව විසඳීමට ඇති එකම මග දේශපාලන විසඳුමක් දීම බව ලී ක්වාන් තදින්ම විශ්වාස කළේය. ජනාධිපති ප්‍රේමදාස  මුණගැසුණු වෙලේ මෙම ගැටලුව යුද බලෙන් හෝ අවි බලෙන් විසඳිය නොහැකි බවත් ඒ සඳහා දේශපාලන විසඳුමක් දිය යුතු බවත් ජනාධිපති ප්‍රේමදාස හට ඒත්තු ගන්වන්නට ඔහු උත්සාහ කළේය. ශ්‍රී ලංකාවේ සිදුවූ සිවිල් යුද්ධය නිසා ශ්‍රී ලංකාව සමෘද්ධිමත් භාවය ඇති කරන්නට තැබූ බලාපොරොත්තු සුනු විසුනු වී ගොස් වසර කිහිපයක් ඉදිරියේ ඇති පරම්පරා කිහිපයක් කරා එය තල්ලු වී ගිය බව ලී ක්වාන් යූ විශ්වාස  කළේය.

සුබසාධනය පිළිබඳ සංකල්පයට ලී ක්වාන් යූ විරුද්ධ වූයේය. ස්වශක්තිය මත විශ්වාසය තැබීම සුබසාධනය ඔස්සේ යටපත් කර දමන බව ඔහු කීවේය. "ලෝකය අපට ජීවිකාව සලසා දෙන්නට බැඳී නැත. අපට පත්තරය ගෙන ගොස් හිගාකමින් ජීවත්විය නොහැකියි" ඔහු කීව්වේය.

ශ්‍රී ලාංකීය ජනතාව සුබසාධන හා සහන සැළසීම් මත යැපෙමින් දිවි ගෙවන අතර එන එන ආඩු ණය මත යැපුය. මා අවුරුදු ගණනාවක් වරින් වර ශ්‍රී ලංකාවට පිවිසි වාරයක් පාසා අගනා රටක් නාස්ති වී යනු දුටිමි යනුවෙන් කී ඔහු හොඳ භාරකාරයන්ගෙන් තොරව හොඳ රජයක් ලැබේදැයි විමසුවේය. හොද පාලනයකින් තොරව හොඳ රටක් බිහි නොවන බව ඔහු පැවසුවේය. ඒ ශ්‍රී ලංකාව උදාහරණයට ගෙනය.

ශ්‍රී ලංකාව පිළිබඳ මතකය සහිත පරිච්ඡේදය ලී ක්වාන් යූ නිමා කරන්නේ මෙසේය. “මෙරටේ පුරාණ නාමය සෙරන්ඩිබ් වීම කනගාටුවට කරුණකි. ඉංග්‍රීසි සෙරන්ඩිපිටි යන වදනින් බිඳී එම නම නිර්මාණය වී තිබේ. එම රට අද වන විට යුද ගැටුම්වලින් වේදනාවෙන් ශෝකයෙන් අපේක්ෂා භංගත්වයෙන් වෙලී ගොස්ය. සෙරන්ඩිබ් යන ඉංග්‍රීසි වදනේ අරුත වන්නේ යම් රසවත් හෝ ප්‍රියමනාප දේ අහඹු ලෙස සිදු වන්නේය” යන්නයි.


Sri Lanka in Lee Kuan Yew's Words

ලිපියේ පරිවර්තනය 

සමන් පුෂ්ප ලියනගේ


විරෝධයට හෙටක් සෙවීම

පහසුවට “අන්තරේ” යැයි සඳහන් කෙරෙන දේශපාලන වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවනත විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානය ගාලු මුවදොර අරගලයට හවුල් වන්නට යැයි පෙළපාලියෙන් පැමිණීම පොලීසිය විසින් පසුගිය සඳුදා වැඩි සුදානමක් සහිතව හරස්කරනු ලැබුයේ ඔවුන්ට ඇත්තේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසයක් හෙයිනි. එහෙත් ඔවුහු පොලීසිය අභිබවා පැමිණ ගාලු පාරේ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට අගමැති මහින්ද රාජපක්ෂට ඉවත් වන්නට යැයි බල කරමින් වාඩි ගත්හ. පසු දින උදයේ පොහොට්ටු පක්ෂය නියෝජනය කළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සන්සදයේ සාමාජිකයෝ අරලිය ගහ මැදුරට කැඳවනු ලැබූහ. ඔවුන් ඇමතූ අගමැතිවරයා කිසිදු බලපෑමකට යටත්ව තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව කීව්වේය. පළාත් සභා සත්සදය ලෙස ඔවුන් අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයේ දිගටම සිටිය යුතු යැයි ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බවත් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දීමට තීන්දු කළ බවත් මාධ්‍යවල වාර්තාකර තිබුණි.

මෙම සිද්ධියෙන් මෙතෙක් රාජපක්ෂ පවුලේ තිබූ සහෝදර බැඳීම් හා මහින්ද රාජපක්ෂගේ ආධිපත්‍යය පළුදුව ඇති බවත් කියැවෙයි. මහින්දගේ දේශපාලන අධිකාරිත්වය මේ ආණ්ඩුවේ ප්‍රායෝගිකව දකින්නට නොවීම ඊට ප්‍රධානම හේතුවය. ඒ අඩුව පිරිමසා ගැනීමට බැසිල් කැඳවා ගනු ලැබූවත් බැසිල්ට එරෙහිව දිගු කලෙක සිට ගොනුව තිබූ විරෝධය ඉන් අලුත් විය. වීරවංශ, ගම්මන්පිල, වාසුදේව ත්‍රිත්වය මුල් වූ බැසිල් විරෝධයට ඔවුහු බැසින්ගේ ඇමෙරිකානු හිතවාදී දේශපාලනයද එකතු කරගත්හ. එය මහින්දගේ වඩාත් විශ්වාසදායි පාර්ශවකරුවන්ගේ විරෝධයක්වීම, මහින්දගේ ආධිපත්‍යය තව වටයකින් හෑල්ලු වන්නට හේතු විය. ආණ්ඩුව මෙලෙස අභ්‍යන්තර අර්බුදයකට තල්ලු වූයේ පසුගිය වසරේ මැයි මාසයේදී ජනාධිපති වටේ සිටි සිවිල් වියතුන්ගේ වස විස නැති කෘෂි වගා ව්‍යාපෘතිය වෙනුවෙන් රසායනික පොහොර ඇතුළු සියලු කෘෂි යෙදවුම් සම්පූර්ණයෙන් තහනම් කිරිම සමගින්ය. අර්බූදයේ දිග පළල කතා වන්නට පටන් ගත්තේ මහ කන්නය ළගා ක්වෙන්ම පාරට පැමිණි ග්‍රාමීය විරෝධය පසු බිමෙහිය. කුඩා තේ වතු හිමියන්ද එකතුවීමෙන් එය විදේශ විනිමය හිගයටද බලපෑවේය.

ආර්ථික න්‍යායාචාර්යවරුන්ද සිටි යහපාලන ආණ්ඩුවටද ණය ගැනීම මිස වෙනත් කිසිදු විසඳුමක් නොවූයෙන් 2014 අවසන් වනවිට ඩොලර් බිලියන 10 ට ආසන්නව තිබූ විදේශ විනිමය සංචිතය 2019 අවසානයේ ඔවුන් රාජපක්ෂලාට ආණ්ඩුව බාර දෙන විට ඩොලර් බිලියන 07.5 ට පමණ පහත වැටී තිබිණ. ආර්ථික කළමනාකරණයක් නොදන්නා ජාවාරම්කාරයන් තීන්දු ගැනීමට හවුල් වූ රාජපක්ෂ ආණ්ඩුව යටතේ එය ශීඝ්‍රගාමීව තව පහත වැටිණ. කොරෝනා වසංගතය ගෝලීය ආර්ථිකය ඇණහිටවූ හෙයින් රටේ ආර්ථික අර්බුදය ඊට බාර දිය හැකි යැයි සිතූවත් ඒ කාලයේද තම ආර්ථිකය සාර්ථකව පවත්වා ගත් බංගලාදේශයෙන් ඩොලර් ඉල්ලා ගැනීමට සිදු වූ පසු ඒ කඩතුරාවත් ඉවත් විය. රාජපක්ෂ ආණ්ඩුව යැයි කී පමණින් එය මහින්දගේ ආණ්ඩුවක් යැයි චිත්තරූප මැවුණාට, බලා සිටියදී ආර්ථික අර්බුදයට තල්ලු වූ ආණ්ඩුවේ මහින්දට එතරම් වගකීමක් නොවීය. ඇතැම් විට දිගට ඇදෙන ගෑස්, ඉන්ධන පෝලිම්, ඖෂධ හිග, යෝධ පිම් මෙන් ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මහින්දටද ගැටලුවක්ව තිබෙන්නටම ඇත. එය ගෝඨාගේ වගකීමක් යැයි කියා පෑවේ විනයක් සංයමයක් ඇතිව හිරුණිකා මුල පිරූ “ගෝඨා විරෝධය" සමගය. “මිරිහාන විනාශය" ලෙස කතාවන මාර්තු 31 වැනි දින ප්‍රචණ්ඩ විරෝධයෙන් පසු අප්‍රේල් 09 වැනි දින තරුණන් ගාලු මුවදොර පිටියට පැමිණියේ “ගෝඨා ගෙදර යැවීම” ඉලක්ක කර ගෙනය. 

එහෙත් ඒ නාගරික මැද පාත්තික සටන් පාඨයේ එතරම් ලකයක් නොවූයෙන් දින දෙක තුනකින් “රාජපක්ෂලා හොරා කෑ අපේ සල්ලි නැවත එකතුකර ගන්නට සහ රාජපක්ෂලා කුදලා හිරේ දමන්නට" ඔවුන් හඬ නැගුයේ ඔවුන්ගේ විරෝධය ජනප්‍රිය විරෝධයක් කර ගැනීමටය.  ඒ විරෝධය අලංකාර විරෝධයකි. එහෙත් එහි බරපතළ අවුල් තිබිණ. විරෝධතාකරුවන් සියල්ලම නායකයන් යැයිද ඔවුන් නිර්දේශපාලනික යැයිද කියූවෙන් එහි සිංහල-බෞද්ධ ජාතිවාදීන් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරින්ද, ජ.වි.පෙ ක්‍රියාකාරීන්ද, නාගරික තරුණ අවිනිශ්චිත ලිබරල්වාදීන්ට  ඒ කිසිවකට නැති රාජපක්ෂ විරෝධීන්ද එකතු වූ පසු ආණ්ඩු විරෝධය සඳහා සියල්ලන් වගකීම් බාර ගන්නා නිශ්චිත පොදු ක්‍රියාමාර්ගයක් තීන්දු කිරිමට ඉඩක් නොතැබිණ.

ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයද ඒ අතර ඔඩු දුවන්නට විය. ශ්‍රී.ල.නි.පද ඇතුළුව මන්ත්‍රීවරුන් 39 ක් ස්වාධීනව තීන්දු ගන්නේ යැයි කීවාට, ඔවුන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමට  ඡන්දය නොදෙන බවට සාක්ෂිය වන්නේ 22 වැනි සංශෝධනය ලෙස ඔවුන් කතානායකවරයාට බාර දුන් ව්‍යවස්ථා සංශෝධනයයි.  එනිසා මේ පාර්ලිමේන්තුවේ 21 වැනි සංශෝධනයට හෝ දෝෂාභියෝගයකට හෝ ඉඩක් නැත. සර්ව පාක්ෂික ආණ්ඩුවකටද ඉඩ නැත. එහෙත් ඔවුහුද කැරලිකාර මන්ත්‍රී ත්‍රිත්වය මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරති. ගාලු මුවදොර විරෝධයේ “ගෝඨා හෝ හෝම්” සටන් පාඨය  යටපත් වෙමින් රාජපක්ෂ ආණ්ඩුවම ඉවත් විය යුතු යැයි යන්න ඉස්මත්තට පැමිණ ඇත්තේ ඔවුන්ටද ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් තුළ විසඳුම් සොයන්නට බල කෙරෙන හෙයිනි. 

නිදහස් ලංකාවේ අතිශය ජනප්‍රිය සිංහල-බෞද්ධ නායකයකු වූ මහින්ද මේ වනවිට නාගරික බහුතරය අතර බරපතළ අප්‍රසාදයට පත්වූ නායකයකු  ලෙස සමාජ මාධ්‍ය ජාලවල හුවා දැක්වීමට පත්ව ඇත්තේ “ගෝඨා ගෙදර යැවීම" අත හැරුණු පසුවය. ආණ්ඩුව ගෙදර යැවීමේ සටන් පාඨය සමගය. ගාලු මුවදොර විරෝධය දැන් ඉල්ලා සිටින අන්තර්වාර පාලනය වෙනුවෙනි.  ගාලුමුවදොර තරුණ විරෝධයේ කර්තෘවරයකු ඔවුන්ගේ ඉදිරි යෝජනා ගැන මහත් උජාරුවෙන් කළ විස්තරය අනුව විසඳුම් ලබා ගැනීමට ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය වන්නේය. ඔහු කතාව පටන් ගන්නේ “මම දැන් 225 ට යන්න කියන්නේ නැහැ" යැයි කීමෙනි. ඔහුගේ යෝජනාවලියේ මූලික හා ප්‍රධාන කරුණු වන්නේ,


01. ජනාධිපති, අගමැති සමග ආණ්ඩුව යා යුතුයි 

02. ව්‍යවස්ථාමය අන්තර්වාර පාලනයක් තහවුරු කළ යුතුයි

03. පාර්ලිමේන්තුව විසින් ජනාධිපති පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වුවත් ඔබට නම් යෝජනා කළ හැකිය 

04. මැතිවරණ දේශපාලනයේ නොවුණු විශේෂඥයන් අවම දස දෙනකු හෝ ජාතික ලැයිස්තුවෙන් පත් කළ යුතුයි 

05. මෙම විශේෂඥයන්ගෙන් සැදුම් ලත් ආර්ථික කමිටුවක් ඇමැති මණ්ඩලය වෙනුවට පිහිටු විය යුතුයි 

06. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ සැලසුමක් ආර්ථික කමිටුව විසින් ක්‍රියාත්මක කළ යුතුයි. 

07. සය මසකට පසු පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරණයක්ද

නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක්ද යන්න තීන්දු කිරීම පාර්ලිමේන්තුවට බාර විය යුතුයි (ගාලු මුවදොර පිටියේදී කළ එම ප්‍රකාශය සදහා සම්බන්ධය https://youtu.be/EqxHXfy TTfk

මේවා සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකඟතාවක් අනිවාර්ය වන්නේය. එවැන්නක් නොමැති හෙයින් ඒ සියල්ල හිස් සටන් පාඨ පමණය. වඩා බරපතළ කාරණාව නම්, ඔවුන්ගේ දේශපාලන අනවබෝධයය. ඔවුහු ඇමති මණ්ඩලයක් වෙනුවට ආර්ථික කමිටුවක් සමගින්වන අන්තර්වාර පාලනයක් ගැන කතා කරති. අන්තර්වාර ආණ්ඩු පාලනයක් යනු පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු නිශ්චිත කෙටි කාලයක් සඳහා සීමිත වගකීම් සහිතව ඊළඟ පාර්ලිමේන්තුව පත් කෙරෙන තුරු පවත්වා ගන්නා ඇමැති මණ්ඩලයකි. කෙටියෙන් කිවහොත් ආණ්ඩුවක් යනු ඇමැති මණ්ඩලය වන්නේය. එබැවින් අන්තර්වාර පාලනයකට ඇමැති මණ්ඩලයක් අවශ්‍ය නැතැයි කීම, මූලික කාරණා නොදන්නවා යැයි කීමකි.

ජාතික ලැයිස්තුවෙන් මේ පාර්ලිමේන්තුවට මැතිවරණ  දේශපාලනයේ නොවුණු විශේෂඥයන් ගෙන එන්නට කතා කිරිමත් එවැනිම නොදැනුවත්කමකි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කළ පසු ඔවුන් ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් නොවන්නේ නම් පත් කළ පක්ෂයටද ඔවුන් ඉවත් කළ නොහැකිය. එබැවින් මැතිවරණ දේශපාලනයේ නොවුනු විශේෂඥයන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සුන්දර හිතලුවක් පමණි. ඔවුන් කියන අයුරු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම්, අත්තර්වාර පාලනය අවසානයේ පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න තීන්දු කිරිම පාර්ලිමේන්තුවට බාර කිරීමේ අර්ථය කුමක්ද? එයින් කියවෙන්නේ විධායක ජනාධිපති ධුරය මුළුමනින් අහෝසි නොකිරීමය. නැතිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ යෝජනාව විහිළුවකි.

ඉතිරිවන ඊළඟ ප්‍රශ්නය වන්නේ “ජනාධිපති, අගමැති සමග ආණ්ඩුව යා යුතුයි” කියූ පමණින් නොයන විට, ඔවුන්ගේ විසඳුම කුමක්ද? යන්නයි. රාජපක්ෂලා ආණ්ඩු බලයෙන් ඉවත් කිරීම හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යෝජනා දෙකකි. ව්‍යවස්ථාමය පියවර මගින් රාජපක්ෂලා ඉවත් කළ හැක්කේ (1) ජනාධිපති ඉවත් කිරිමේ දෝෂාභියෝගය සහ (2) රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කිරිමේ විශ්වාසභංග යෝජනා මගින්ය. පළමුව දෝෂාභියෝගය ගැන කතා කළහොත් කතානායකට දෝෂාභියෝගයක් බාර ගැනීමට සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකක්, එනම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 75 ක් අත්සන් කර තිබිය යුතුය. එය සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වන්නේය. මේ පාර්ලිමේන්තූවේ ඒ සඳහා වන මන්ත්‍රී සංඛ්‍යා ලබා ගැනීමට ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ උත්සාහය කුමක්දැයි නොදනිමි. එහෙත්  දෝෂාභියෝගයකින් කෙරෙන්නේ ජනාධිපති ඉවත් කිරීම පමණි. විධායක බලය අහෝසි කිරීමක් නොවේ. 

විශ්වාස භංගයකින් ආණ්ඩුව ඉවත් කළ හැකිය. එහෙත් ඉන් ජනාධිපති ඉවත් කෙරෙන්නේ නැත. ආණ්ඩුව පරාජය වුවහොත් විපක්ෂයට පාර්ලිමේන්තුවේ ඉතිරි කාලය සඳහා ආණ්ඩු පාලනය  ගෙන යා හැක. එය “අන්තවාරහෝ “භාරකාර” ආණ්ඩුවක් නොවන්ය. විපක්ෂය ඒ සඳහා ඉදිරිපත් නොවන්නේ නම්, පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය. ඉතාම නිරවුල් කතාව නම්, සිය ධුර කාලය සම්පූර්ණ කිරීමේ තීන්දුවක ඉන්නා රාජපක්ෂලා ගාලු මුවදොර නියමුවන්ගේ යෝජනා විසින් ඉවත් කළ නොහැකිය යන්නය. රාජපක්ෂ ආණ්ඩුව ඉවත් කිරීමේ වුවමනාවක් සජිත් ප්‍රේමදාසටද නැත. ස.ජ.බට මෙන්ම ජ. වි.පෙටද මේ ආර්ථික අර්බුදයට විසඳුම් නොමැති හෙයින් ඔවුහු මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩු වලට හවුල් නොවෙති. සර්ව පාක්ෂික ආණ්ඩුවකට දෙමළ මන්ත්‍රීවරුන් හවුල් නොවන්නේ මේ විරෝධයේ කොතැනකවත් ඔවුන්ගේ ප්‍රශ්න ඇතුළුව නොමැති හෙයින් සිංහල බෞද්ධ ආණ්ඩුවක හවුල්කරුවන් නොවන්නටය 2011 පෙබරවාරියේ කයිරෝ නුවර ටහිරින් චතුරශ්‍රයේ පදිංචි වූ සියල්ලන් නායකයන් යැයි කියූ නිදේශපාලනික යෝධ තරුණ විරෝධය හා 2017 ජනවාරියේ චෙන්නායිහි මරීනා වෙරළේ පැවති දෙලක්ෂයකට වඩා වැඩි තරුණයන්ගේ සති දෙකක එවැනිම වූ “ජල්ලිකටු විරෝධය” කුඩු පට්ටම්කර විසුරුවා හැරියාක් මෙන් ගාලු මුවදොර විරෝධතාව විසුරුවා හැරිමේ හදිස්සියක් දින 18 ට පසුවත් රාජපක්ෂලාට නැතේ එනිසා විය හැක.

පිළිගත්තත් නොගත්තත් ගාලු මුවදොර විරෝධය එකම තැන කැරකැවෙන තත්වයකට පත්ව ඇත. ඊළඟ පියවර ගැන යෝජනා වහා සාකච්ඡා කළ යුත්තේ එනිසාය. දුර යා හැකි ජනතා විරෝධයක් සඳහා බහුතරයක් පිළිගන්නා නායකත්වයක් හා වැඩපිළිවෙළක් නොමැති නිසාය. ඊළඟ පිම සඳහා සමාජය හමුවේ සුජාත බවක් ලබා දිය හැකි අරමුණක් වෙනුවෙන් නොබියව ඉදිරිපත්වන, ඒකාබද්ධ නායකත්වයක් තහවුරු විය යුතුය. ගාලු මුවදොර විරෝධයට නැත්තේ එවැනි නායකත්වයකි. අවශ්‍යව ඇත්තේ එවැනි නායකත්වයකි. එය සාක්ෂාත් කර ගත හැක්කේ මේ වනවිට ගාලු මුවදොර හා ඉන් බැහැරව මෝදුවන පුළුල් අපේක්ෂ ඇතුළත් කෙරෙන වැඩපිළි‍ළෙක් ඉදිරිපත් කිරීමෙනි. එය මෙවැන්නක් විය යුතුය.

01. තමගේ විසඳුම් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවෙහි නියෝජනය වන පක්ෂ සමග නොපමාව දිනයක් වෙලාවක් ඉල්ලා සිටීම 

02. එකගතාවක් මත මේ පාර්ලිමේන්තුවෙහි සය (06) මසක කාලයකට තාවකාලික ආණ්ඩුවක් පිහිටු වීම - එකී තාවකාලික ආණ්ඩුවේ වගකීම් වනුයේ, අඩු ආදායම්ලාභීන්ට ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය භාණ්ඩ 2020 ජනවාරි මිලට ලබාදීමේ සැලසුමක් වහා ලබා දීම, ජනමත විචාරණයකින් තොර හැකි උපරිමයෙන් විධායක බලතල දෙමසක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයකින් පාර්ලිමේන්තුවට පවරා ගැනීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාවට නැගීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට

03. තාවකාලික ආණ්ඩුව අවසන් කරමින් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශිෂ්ට සම්පන්න, ජනතාවට  වගකියන්නා වූ නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීම සඳහා අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂ වලට ඡන්ද දිනයට සතියකට පෙර තම මැතිවරණ අරමුදල් සම්බන්ධ සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කිරීමටත් සියලු අපේක්ෂකයන්ට තමන්ගේ හා තම පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා සමගින් බාර දීමට සහ වාර්ෂිකව මැතිවරණ කොමිසමට/ දෙපාර්තමේන්තූවට බාර දීම හා ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍යවන අයුරු අදාළ නීති මැතිවරණයට මාසයකට කලින් සංශෝධනය කිරිම

04. පත්වන ආණ්ඩුවේ පැවැත්ම යහපත් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය මූලික රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් ඇතුළු අනෙක් ආයතනවල ප්‍රධාන මාණ්ඩලික තනතුරු හොබවන සියල්ලන්ද තමන්ගේ සහ තම පවුලේ වත්කම් හා බැරකම් ප්‍රකාශ වාර්ෂිකව රාජ්‍ය සේවා කොමිසමට බාර දීමත් ඒවා රාජ්‍ය සේවා කොමිසම මගින් ප්‍රකාශයට පත් කිරීමත් අනිවාර්ය කෙරෙන ලෙස අදාළ නීති තාවකාලික ආණ්ඩුව විසින් තෙමසක් ඇතුළත සංශෝධනය කිරීම

05. ඉහත කාරණා සඳහා පාර්ලිමේන්තුවෙහි පොදු එකඟතාවක් ලබා ගැනීම වෙනුවෙන් ගාලු මුවදොර විරෝධතාවයෙහි සහ ඉන් බැහැරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පක්ෂ නායකයන්ටත් බලපෑම් කිරීම  එවැනි විවෘත වැඩ පිළිවෙළක් සඳහා ගාලු මුවදොර විරෝධය වෙනුවෙන් අයිතිවාසිකම් කියන්නාවූ සියල්ලන් හවුල් වනු ඇතැයි අපේක්ෂා කරමු.


ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරිය මුහුදේ ගිලි මියයයි


ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි පදිංචිව සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක මුහුදු රළ පහරකට අසුවී ගසාගෙන ගොස් මුහුදේ ගිලී මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තාකර ඇත. මෙම ඉංජිනේරුවරිය සමග මුහුදේ රළ පාගමින් සිටි ඇයගේ මිතුරියන් දෙදෙනකු හා මිතුරන් දෙදෙනකු ද මුහුදේ ගසාගෙන යමින් සිටියදී ගොඩට ගෙන අසාධ්‍ය තත්වයෙන් එරට රෝහලක දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව මියගිය ඉංජිනේරුවරියගේ පියාගේ සහෝදරයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර මහතා පැවසීය. 

මෙසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි තිදරු මවක වූ වත්සලා කරුණාතිලක මහත්මියයි. ඇය ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මියගිය වත්සලා මහත්මිය මීට සති කිහිපයකට කලින් මියගිය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න බණ්ඩා මහතාගේ දියණියකි. මියගිය වත්සලා මහත්මියගේ සැමියා ද ඉංජිනේරුවරයකු වන අතර ඔවුන් වසර 20ක පමණ කාලයක සිටම ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හරිස්චන්ද්‍ර බණ්ඩාර මහතා කීය. තම සහෝදරයාගේ දියණිය ඇයගේ සැමියා සහ එරට වෙසෙන ශ්‍රී ලංකික මිතුරු මිතුරියන් පිරිසක් විනෝදවීමට මුහුදු වෙරළට ගිය අවස්ථාවේ පසුගිය බ්‍රහස්පතින්දා (21) මෙම අනතුර සිදුවී තිබෙන බව ද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පවසයි.

මියගිය දියණියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිඩ්නි නුවර රෝහලක මෘත ශරීරාගාරයක තැන්පත් කර තිබෙන බවත් පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති නිසා දේහය තම පවුලේ ඥාතීන්ට බාරදී නොමැති බවත් හරිශ්චන්ද්‍ර බණ්ඩාර මහතා කීය.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

මිල අධිකම අයි . පී. එල් කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට මෙවර ක්‍රීඩාකරන කණ්ඩායම් අතරින් වටිනාම කණ්ඩායම ශ්‍රී ලංකා හිටපුටෙස්ට් නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් බව ෆෝබ්ස් සඟරාව අනාවරණය කර ඇත. ලොව ජනප්‍රිය පුද්ගලයන්ගේ මෙන්ම ලොව ප්‍රමුඛ සමාගම්හි මූල්‍ය වත්කම් හෙළිදරව් කරන ප්‍රධාන පෙළේ සඟරාවක් වන ෆෝබිස් අනාවරණයට අනුව, මුම්බායිහි මූල්‍ය වටිනාකම පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් නැතහොත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 45,061කට ඉහළ අගයක් ගනියි. කෙසේ නමුත් මෙම වටිනාම කණ්ඩායම මෙවර තරගාවලිය තුළ දැවැත්ත කඩා වැටීමකට ලක්ව සිටියි. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරාජ රැසක් අත්කරගෙන සිටින මුබායි, මේ දක්වා ක්‍රීඩා කළ සියලුම තරග (තරග 08) පරාජය වී ඇත. එය අයි.පී.එල්. ඉතිහාසයේ වෙනත් කිසිදු කණ්ඩායමක් පරාජය වී නොමැති ආකාරයේ කනගාටුදායක තත්ත්වයකි. ෆෝබිස් අනාවරණයට අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්. ක්‍රීඩාකරන කණ්ඩායම් අතරින් දෙවැනි වටිනාම කණ්ඩායම වේ. ඒ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.15  (රු.කෝ. 39,861)කි. ශ්‍රී ලංකාවේ මහේෂ් තීක්‍ෂණ හා මතීෂ පතිරණ චෙන්නායි වෙනුවෙන් තෝරාගෙන සිටියි. මෙම වර්ගීකරණයේ තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ඩොලර් බිලියන 1.1 (රු.කෝ. 38,128)ක් ඇති කොල්කටා නයිට් රයිඩස්ය. චාමික කරුණාරත්න කොල්කටා වෙනුවෙන් එක්ව සිටියත්, මේ දක්වා ඔහුට ඒකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි විය. මෙවර තරගාවලියට කෝඩුකාරයන් ලෙස එක් වූ දුෂ්මන්ත චමීර ක්‍රීඩාකරන ලක්නව් සුපර්ජන්ටිස් මෙම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ රැඳී සිටියි. ඔවුන්ට ඇ.ඩො. බිලියන 1.075ක් නැතහොත් රුපියල් කෝටි 37,262කට අධික වටිනාකමක් හිමිව ඇති බව ෆෝබ්ස් අනාවරණය කර ඇත. මීට අමතරව මෙම ලැයිස්තුවේ 05වැනි ස්ථානය හිමිකරගෙන සිටින දිල්ලි කැපීටල්ස්ට ඇ.ඩො.  බිලියන 1.035ක (රු.කෝ. 35875) වටිනාමක් හිමිව ඇත. ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ක්‍රීඩාකරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඇ.ඩො. බිලියන 1.025ක (රු.කෝ. 35,529) වටිනාකමක් හිමිව 06වැනි ස්ථානයේ රැදී සිටියි. මෙහි 07වැනි ස්ථානය කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමිව ඇති අතර, ඔවුනට ඇ.ඩො. බිලියන 01ක් නැතහොත් රු.කෝ. 34,662 ඉක්ම වූ වටිනාකමක් හිමිව ඇත. සරයිසස් හයිද්‍රාබාද් (08/ඇ.ඩො.මි. 970/ ශ්‍රී. රු.කෝ. 33,62), භානුක රාජපක්‍ෂ ක්‍රීඩාකරන පන්ජාබ් කිංග්ස් (09/ඇ.ඩො.මි. 925/ ශ්‍රී.රු.කෝ. 32,062) හා ගුජරාට් ටයිටන්ස් (10/ඇ.ඩො,මි. 850/ ශ්‍රී.රු,කෝ. 29,463) කණ්ඩායම්වලට මෙහි සෙසු ස්ථානයන් හිමිව ඇත.ෆෝබ්ස් අනාවරණයට අනුව 2008 වසරේ අයි.පී.එල්. තරගාවලිය ආරම්භ කිරීමෙන් වසරකින් පසුව, ලීගයට ක්‍රීඩා කළ කණ්ඩායම් අටෙහිම තක්සේරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් (රු, කෝ.2,322) වූ බවයි. මේ වන විට වසර 14ක අතීතයක් ඇති අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා වැඩි වීමත් සමග, එම සියලුම කණ්ඩායම්හි සාමාන්‍ය අගයද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.04 (රු. කෝ. 36,049ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් අනාවරණය කරයි. ඒ අනුව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ,24%ක වාර්ෂික වර්ධනයක් අත්කර ගන්නා ඉන්දීය ප්‍රිමියර් ලීගය, ආයෝජකයන්ට රන් ආකරයක් බවයි.


(විශ්ව මුදියන්සේ)


තෙල් පෝලිමේ පැය 5ක්- ව්‍යාපාරික මරුට

භූමිතෙල් මිල දී ගැනීම සඳහා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පෝලිමේ රැඳී සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයකු ඊයේ (27 වැනිදා) අලුයම ඔහු පදිංචි නිවසේදී මියගොස් ඇතැයි හැටන් පොලිසිය කියයි.  මෙසේ ජීවිතයට පත් වී ඇත්තේ හැටන් දුඹුරුගිරිය පාරේ දේවනායගම් ක්‍රිෂ්ණසාමි (55) නමැති දෙදරු පියකු බව පොලිසිය කියයි. 

මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති වීදියේ කූලී පදනම මත ලබාගත් වෙළෙඳසලක නිමි ඇඳුම් ව්‍යාපාරයක් සිදුකරගෙන යන බවත් පෙරේදා (26 වැනිදා) රාත්‍රි 7 ට පමණ නිවෙසට අවශ්‍ය භූමිතෙල් ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හලේ පෝලිමට ගිය සැමියා ඊයේ 27 වැනිදා අලුයම 12.30 ට පමණ නිවෙසට පැමිණ තමන්ට දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව පැවසූ බවත්, පසුව රාත්‍රි ආහාර ලබා ගන්නා අවස්ථාවේ ඔහුට වමනය ගොස්, ඉන් අනතුරුව ඔහු එකවරම මියගිය බවත් මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිය කියා සිටි බව පොලිසිය කීය. 

තම සැමියාට මීට ප්‍රථම කිසිදු රෝගී තත්වයක් නොතිබුණු බවත්, භූමිතෙල් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ රැඳී සිටි නිසා දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මෙසේ මියගිය බව මියගිය ව්‍යාපාරිකයාගේ බිරිය සඳහන් කළ බව පොලිසිය කියයි. මියගිය දෙදරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසීය. සති ගණනාවකට පසු හැටන් ඉන්ධන පිරවුම්පලට 26 වැනිදා පස්වරු 4 ට පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලද භූමිත්තෙල් ලීටර් 6600 ක් මිල දී ගැනීමට පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම් වල රැඳී සිටි අතර, එම පාරිභෝගිකයන්ට රුපියල් 500 ක භූමිතෙල් නිකුත් කිරීම ඊයේ  (27 වැනිදා) අලුයම 3 පමණ වන තෙක්සිදු කළ බව ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් පැවැසීය.

 රංජිත් රාජපක්ෂ

තෙල් නැතිව බැරි වුණේ මෙහෙමයි

 

විවිධ තෙල් වර්ග වෙළෙඳපොළේ අලෙවි වුණත්, වර්තමානයේ තෙල් කියූ පමණින් මතක් වන්නේ ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් වැනි ඛනිජතෙල්ය. නමුත් බනිජතෙල් අතරට  පෙට්‍රල්, ඩීසල්, භූමිත්තෙල්, ගුවන්යානා ඉන්ධන, නෞකා ඉන්ධන, උදුන් තෙල්, ද්‍රව පෙට්‍රෝලියම් වායුව ඇතුළත් වන අතර, ඛනිජතෙල් සම්පත්වලට ස්වාභාවික, ද්‍රව, වායුමය, ඝන, අර්ධ ඝන ආකාරයේ බොර තෙල්, ස්වාභාවික වායුද ඇතුළත් වේ. කැනේඩියානුවෙකු වන එඩ්වින් එල්. ඩ්‍රාකේ 1859 වර්ෂයේදී තමා සාදාගත් උපකරණයකින් පොළොව මට්ටමෙන් අඩි හැටනවය හමාර හාරමින් ලුණු සෙවු විට අහම්බයකින් ඔහුට හමුවු කළු පැහැති තෙලකි. ඒබොරතල්ය. එතැන්සිට ඇමෙරිකානු කැණීම් ශිල්පීන්තෙල් සොයමින් ළිං හාරන්නට විය. ලොව වැඩිපුරම තෙල් නිෂ්පාදනය කරන්නේ ඇමෙරිකාවයි. ඉන්සුව සෞදි අරාබිය, රුසියාව, කැනඩාව, චීනය පිළිවෙළින් තෙල් නිපදවයි. ලොවෙ තෙල් නිෂ්පාදකයන්ගේ ලැයිස්තුවේ සිටින මුල් දසදෙනා තෙල් නිෂ්පාදනයෙන් 60%ක්ම නිෂ්පාදනය කරයි. 2020 වාර්තා අනුව ලෝකයේ වැඩිපුරම තෙල් පරිභෝජනය කරන්නේ ඇමෙරිකාවයි. එය දිනකට තෙල් බැරල් 17,178,000ක් ලෙස දැක්වීය.

අද අපි පාවිච්චි කරන තෙල් යනු මීට වසර දස ලක්ෂ ගණනකට පමණ තැන්පත්වූ ජීවි කොටස්වලින් නිෂ්පාදනය වූ පොසිල ද්‍රාවණයි. මෙම පොසිල මිශ්‍රණය හයිඩ්‍රජන් වැඩි නම් ඛනිජතෙල්ද, හයිඩ්‍රජන් අඩු නම් ගල්අඟුරුද හමුවේ. කෙසේ හෝ මේ සියල්ල එකට ගත් කල ගලින් ලබාගන්නා තෙල් යන අරුත දෙන තෙල් පෙට්‍රෝලියම් ලෙස හදුන්වයි. අද ලෝකය පාලනය කරන්නේ තෙල්ය. ලෝක ආර්ථිකය තීරණය කරන්ද තෙල්ය. ලෝක අර්බුද නිර්මාණය කරන්නේ ද තෙල්ය. ලෝකයේ ප්‍රධානතම බලශක්තිය වී ඇත්තේද තෙල්ය. තෙල් සම්පත ශීඝ්‍රයෙන් අවසන්වෙමින් පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසන්නේ වසර කිහිපයක සිටය. මේ නිසාම තෙල් මිල දිනෙන් දින ඉහළ යයි. ඇතැමුන් පවසන්නේ තෙල් පවතින්නේ තවත් වසර  විස්සකට සෑහෙන්නට බවය. බලශක්ති ප්‍රභවයක් වන තෙල් මේ වන විට ලෝකය පාලනය කරන බලවතෙක් බවටද පත්වී තිබෙයි. එයින් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල්වලටය. ශ්‍රී ලංකාව කුඩා පරිමාණයෙන් තෙල් ආනයනය කරන රටක් වශයෙන් ලෝක වෙළඳ පොළේ පවතින තෙල් මිල අනුව කටයුතු කිරීමට සිදුවෙයි. මේ නිසාම තෙල් මිල ඉහළ යන විට රටේ ජිවන වියදමටත් එල්ල කරන්නේදැඩි බලපෑමකි. තෙල් මිල ගණන් සැකසීම දේශපාලනික වශයෙන් රටට බලපාන සංවේදී කාරණයකි. පසුගිය මුදල් අමාත්‍යවරයාව සිටි මංගලට සමරවීර මහතා තෙල් මිල සූත්‍රයක් ගෙනාවේද ලෝකවෙළඳ පොළේ පොල්තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව ලකාවේ තෙල් මිල තීරණය කිරීම සදහාය. වර්තමානය වනවිට ලෝක වෙළෙඳ පොළේ  පොල්තෙල් මිල පහළ ගියත්, ලංකාවේ තෙල් මිල ඉහළ යන තැනකට පත් වී හමාරය. ඒ තෙල් ගේන්න රටට ඩොලර්නැති නිසාය. ආසන්නම මාස කිහිපයේ ඩොලර් නැතිව තෙල් නැව් දින ගනන් වරායේ නැංගුරම් ලා තිබුණු අතර, ඒ නිසා රට තුළ තෙල් අර්බුදයක් ඇතිවිය. තෙල් පෝලිම්වල දිග ක්‍රමයෙන් වැඩි වෙද්දී, තෙල් පෝලිම්වල සිට එකා දෙන්නා මැරී වැටෙන්නට තරම් තෙල් ප්‍රශ්නය උග්‍ර විය. ලංකාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව තෙල් නැති වීම නිසා පළමුවරට වසා දමන්නට පසුගිය වර්ෂයේ නොවැම්බරයේදී සිදුවිය. ඉන්පසුවද තෙල් නැතිවීම නිසා දෙවතාවක් තෙල් පිරිපහදුව වසන තැනට තෙල් අර්බුදය බලපෑම් කෙරිණ. තෙල් නැති නිසා ලංකාවේ ඉන්ධන හිගයක් ඇතිවන්නේ යම් සේද රටේ විදුලි නිෂ්පාදනයද අඩපණ වෙයි. මේ නිසා රටේ සමස්ත ක්‍රියාවලියම අඩපණ කරන්නට තෙල්වලට හැකි වී තිබෙයි. තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතන ලෙස පැවතීම නිසා, තෙල්  ප්‍රශ්නය මහා භාණ්ඩාගාරයටද බරක් වී ඇත. රටේ ජනතාව සෑහෙන කාලයක සිට තෙල් සහන භුක්ති වින්දෝය. ධීවර ජනතාව, වතුකරයේ ජනතාව මෙන්ම ප්‍රවාහන සේවයද තෙල් සහන ලබූ කණ්ඩායම් අතර විය. වර්තමානයේ පවතින තෙල් අර්බුදය නිසා ලංකාවට එන සංචාරකයන්ට පවා සිදුව ඇත්තේ තෙල් පෝලිම්වල පැය ගණන් රස්තියාදු වීමට හෝ තෙල් බූලියක් රැගෙන සංචාරය කිරීමටය. ඒ තරමටම තෙල් ප්‍රශ්ණය ඔඩුදුවා ඇත. ලංකාවේ තෙල් නිෂ්පාදනය නොකළත්, ලංකාව ආශ්‍රිතව තෙල් හා ගවේෂණය ගැන කතා කරන්නේ 1950ටත් සිටය. එදා සිට මේ දක්වා තෙල් ගවේෂණය සම්බන්ධයක් විවිධ රටවල්, විවිධ සමාගම් සමග ලකාරය ගිවිසුම් ගසා ඇත. නමුත් අවුරුදු 70ක් ඉක්ම ගියත්, මේ වනතුරු අපීට තෙල් බින්දුවක්වත් කණින්නට හැකියාවක් ලැබී නැත. නමුත් දේශපාලන වේදිකාවලට ජනප්‍රිය මාතෘකාවක් බවට මන්නාරමේ තෙල් වරින් වර පත්වී ඇත. මන්නාරමට වඩා අපේ රටේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ජනප්‍රියය.සුද්දා ඉදි කළ තෙල් ටැංකි 100න් අද ඉතිරිව ඇත්තෙ තෙල් ටැංකි 99කි. මේ තෙල් ටැංකි 99දවරින් දේශපාලන වේදිකාව උණුසුම් කරන්නට හේතු වී ඇත. ඒ අනුව තෙල් යන්න ගෑවෙන යමක් වේ නම් රටේ බොහෝ ක්ෂේත්‍රයන්ට බලපෑම් කරන බල අධිකාරයක් බවට පත්ව තිබෙයි. මවුකිරිවලටත් මිලක් තිබුණා නම්, තෙල් මිල ඉහළ යනවිට එහි මිලද ඉහළ යනු නොඅනුමානය. ඒ තරමට අද වන විට රටේ ජනතාව පරිභෝජනය කරන සියලුම දේවල මිල ඉහළ නවන්නට  තෙල්වලට හැකිවී තිබේ. තෙල් ලෙසකියූ විට ගොවීන්ට එදා මතක් වූයේ කෘමි උවදුර නසන්නට හා වල්නාශක සදහා භාවිත කරන ලද රසායනිකයන්ය. ඔවුන් ඒවා හැදින්වූයේතෙල් බේත් යනුවෙනි. වර්තමානය වන විට ගොවියාට එතෙල් ගැන මෙන්ම මේ තෙල් ගැන හූල්ලන්නට වී තිබේ. ඒ තෙල් බේත් නැති වීම අස්වැන්නටද මෙන්ම අස්වැන්න නෙළන්නටද යන්ත්‍රවලට අවශ්‍ය තෙල් මිලදී ගැනීමට ලියුම් කරදැහි රැගෙන පෝලිම්වල ලඟින්නට වී ඇති නිසාය.

වත්මන් රජය, කතා තේමාව වූ තෙල් සම්බන්ධයෙන් පමණක් නොව, ගොවින්ගේ තෙල් බේත් සම්බන්ධයෙන් එදිනෙදා ඉවුම්පිහුම් සඳහා භාවිතයට ගන්නා තෙලක් සම්බන්ධයෙන්ද අර්බුදකාරී වතාවරණ රටේ නිර්මාණය කරන තීන්දු ලබා දුනි. පාම්තෙල් කර්මාන්තය මෙම විෂ පොල්තෙල් සම්බන්ධයෙන්ද ගනු ලැබූ තීන්දු තීරණ ඒ අතර විය.ලෝකයම තෙල්වලට විකල්ප සොයන්නේ පොසිල ඉන්ධන ශීඝ්‍රයෙන් ක්ෂයවන නිසාත්, ස්වභාවික පරිසරයට තෙල් දහනය නිසා ඇතිකරන අහිතකර බලපෑමක්නිසාය. මොවුන් විකල්ප බලශක්ති ලෙස සොයාගන්නා ස්වභාවික විකල්පයන් බොහෝමයකින් ශ්‍රී ලංකාව පොහොසත්ය. නමුත් අපි තවමත් පිටරට තෙල්වලින් යැපෙන රටක් ලෙස පවතින්නේ කොතැනක හෝ පවතින වැරැද්දක් නිසා විය හැකිය. තෙල්වලට විකල්ප සොයාගත් බුද්ධිමතුන් කිහිපදෙනෙකුම සිටියත්, ඔවුන්ගේ නිෂ්පාදනවලට මෙතෙක් හිමි වී ඇත්තේ ප්‍රවෘත්තිමය වටිනාකම් පමණි. එහෙම වෙන්නේ තෙල් නිසා මඩි තරකර ගන්නා දේශපාලකයන් නිසායැයි ජනතාව මැසිවිලි නගති. ඔවුන් එසේ මැසිවිලි නගන්නට හේතුවී ඇත්තේ මෙරට තෙල් අලෙවි කරන්නට බලපත්‍ර හිමිකරගෙන ඇති බහුතරයක්ම දේශපාලකයන්ගේ ඥති මිත්‍රාදීන් නිසාය. දේශපාලඥයන්ට පැරණි මිලටම තෙල් ලබාදෙන බවට එක් චෝදනාවකි. එසේම සාමාන්‍ය ජනයාට මෙන් ඔවුන්ට තෙල් පෝලිම්වල ලගින්නට සිදුවන්නේ නැති අතරම, ඔවුන්ගේ වාහනවලට තෙල් වදින්නේ මහජනතාවගේ බදු මුදලිනි. රටේ තෙල් අර්බුදයක් තිබියදී අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන් පවා කිලෝමීටර් ගණනාවක් පරිවාර රථ පෙළපාලි වලින් ගමන් කරන්නට ඔවුනට සිත්දෙන්නේ, ඔවුන්ගේ රථවලට තෙල්වලින් සාමාන්‍ය ජනතාවගේ වාහනවලට තෙල් වදින ක්‍රමයෙන් බැහැර නිසා විය හැකිය. කෝවිඩ් වසංගත සමයේ ලෝක වෙළදපොළේ තෙල් මිල පහළ ගියද, අපේ රටට තෙල් ගබඩා කර තබාගන්නට පහසුකමක් තිබුණේ නැත. වසංගතය අවසානයේ රටේ ඇතිවූ ආර්ථික අර්බුදය නිසා තෙල් මිලට ගන්නට රටට ඩොලර්නැති විය. එමෙන්ම රුසියව හා යුක්රේනය අතර ඇතිව තිබෙන යුද ගැටුම නිසා ලෝක තෙල් මිලට ඇති වූ බලපෑමෙන් අපිටද දක්නට හැකියාවක් නැත. මෙවන් අවස්ථාවක ලංකාව මුහුණ දෙන තෙල් අර්බුදයට යම් සහනයක් දෙන්නට ඉදිරිපත්වී ඇති චීනය හා ඉන්දියාව යන මිතුරු රටවල්ය. ඔවුන්ගෙන් ලබාගන්නා තෙල් වෙනුවෙන් ඉදිරියේදී අපිට ණය ගෙවන්නට වෙන්නේද ඩොලර් මිලියන, බිලියන ගණන්වලින්ය. එසේ නොමැතිනම් තෙල් වෙනුවෙන් රටේ වටිනා සම්පත් ඔවුන්ට විකුණන්නට අපිට සිදුවනු ඇත. ඒතරමටම අපිට තෙල්වලින් තොර රටක් ගොඩනගා ගන්නට නොහැකිවී ඇත.අවසානයේ කියන්නට ඇත්තේ තෙල් නැත්නම් රටම අකර්මණ්‍ය වන තැනට අපි අපේ වැඩ සියල්ල ගොඩනගාගෙන ඇති බවය. අනෙක් රටවල් තෙල්වලින් එහා ලෝකයක් සොයද්දී, අපි තෙල් ඉදිරියේ හිගන්නන් බවට පත්ව, තෙල් නැතිව කිසිවක්කරගත නොහැකි තැනට ඇද වැටී ඇත.




( නදීෂාණි පතීරණ)


දැව සංස්ථාව කෝටි 150ක ලාභ ලැබුවත් රජයට දුන්නේ කෝටි 10යි


රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වර්ෂයේදී රුපියල් කෝටි 150කට ආසන්න ලාභයක් උපයා ඇතත්, ඉන් රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කර ඇත්තේ රුපියල් කෝටි දහයක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.  රාජ්‍ය ආයතන උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට එවීමට ඒවායේ ප්‍රධානීන් වග බලාගත යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. 

සභාපතිවරයා මෙසේ පැවැසුවේ, රාජ්‍ය දැව සංස්ථාවේ 2019 සහ 2020 වර්ග සඳහා වූ විගණකාධිපති වාර්තා පරික්ෂා කිරිම සහ කාර්ය සාධනය ඇගයීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 22 වැනිදා පැවැත්වුණු සාකච්ඡාවේදීය.  එම සංස්ථාවේ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ. සංස්ථාවේ සභාපතිවරියගේ සහායට උපදේශකරුවන් දෙදෙනකු හා රියැදුරුවරයකු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය  සහිතව පමණක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ විශේෂ අවධානය යොමු විය.එසේ බඳවා ගත් උපදේශකවරයකුට දිනකට රුපියල් 2,850 බැගින් වූ දීමනාවක් 2019 පෙබරවාරි 12 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා කාලය සඳහා ගෙවීම් කර තිබූ බව කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණය වී ඇත. 

මේ උපදේශකරුවන් වෙනුවෙන් වැය කර ඇති සම්පුර්ණ මුදල රුපියල් හත් ලක්ෂ හැට නව දහස් පන්සියයකි.  මහා භාණ්ඩාගරයේ අනුමැතිය නැතිව එම පත් කිරීම් කර ඇති හෙයින්, සභාපතිවරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. සංස්ථාවට අයත් බූස්ස ප්‍රදර්ශනාගාරයේදී පවත්වනු ලැබූ මිල අඩු කිරීමේ ප්‍රදර්ශනයට රුපියල් 1,690, 183ක වටිනාකමක් සහිත භාණ්ඩ සියයට 50ට වඩා මිල අඩු කර රුපියල් 707,710කට නිර්දේශ කිරීම නිසා රුපියල් 982,473ක පාඩුවක් සිදු වීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු විය. 

මෙහිදී සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ, ගෘහ භාණ්ඩ කාලයක් පැවැතීම නිසා යම් දෝෂ සහිත තත්වයට පත් වීම නිසා මෙවැනි තීරණයක් ගත් බවයි. එසේ වට්ටම් ලබා දීම සාධාරණීකරණය කළ හැකි නම්, ඒ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර විගණකාධිපති දෙපාර්තමේන්තුවට දන්වන ලෙස කෝප් කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය. මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සාගර කාරියවසම්, මධුර විතානගේ යන මහත්වරුන් ද වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.


 -අංජුල මහික වීරරත්න-

සිගමන් නොදුන්නැයි යාචකයා ආයුර්වේද වෛද්‍යවරයා මරා දාලා

සිගමන් ඉල්ලා නොලැබීම නිසා කෝපයට පත්වූ යාචකයකු බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහර දී ආයුර්වේද වෛද්‍යවරයකු පෙරේදා (26) රාත්‍රී ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලඹේ  පොතුඅරාව පාරේ පදිංචිව සිටි නිශ්ශංක ගුණවර්ධන නමැති 57 හැවිරිදි ආයුර්වේද  වෛද්‍යවරයෙකි. සිද්ධියෙන් පසු සැකකාර යාචකයා පලාගොස් ඇති බව ද පොලිසිය පවසයි.  මෙම ආයුර්වේද වෛද්‍යවරයා පෙරේදා (26) රාත්‍රී 10.00ට පමණ ඉහත සුපිරි වෙළෙඳසලට ගොස් භාණ්ඩ මිලදීගෙන ඉන් පිටතට පැමිණි අවස්ථාවේ සැකකරු ඒ අසල සිට පැමිණ  වෛද්‍යවරයාට ස්ටිකර් එකක් අලෙවි කිරීමට උත්සහ ගෙන ඇති බවත්, වෛද්‍යවරයා එය මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ද පොලිසිය පවසයි. 

පසුව සැකකරු සිගමන් ඉල්ලා වෛද්‍යවරයා පසුපස එමින් සිටියදී වෛද්‍යවරයා “අතපය තියනවා නේද, හිගා කන්නේ නැතිව රස්සාවක් හොයා ගන්නවා” යැයි ඔහුට බැණ වැදී ඇති බව ද පොලිසිය පවසයි. එහිදී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර එතැන ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියකු එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත්කර යාචකයාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බව ද පොලිසිය පවසයි.  පසුව ආයුර්වේද වෛද්‍යවරයා භාණ්ඩ ද රැගෙන ඔහුගේ යතුරුපැදිය වෙත යාමට පදිකවේදිකාවේ ගමන් කරමින් සිටියදී සැකකරු ඔහු පසුපස පැමිණ ඔහු සඟවාගෙන සිටි තියුණු ආයුධයකින් ඇන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. 

පිටුපසට පිහියෙන් ඇනීම නිසා බරපතළ තුවාල ලැබූ ආයුර්වේද  වෛද්‍යවරයා එම ස්ථානයේම ඇදවැටී ඇති බවත්, සිද්ධිය තලංගම පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් පසු පොලිසිය වහා පැමිණ තුවාලකරු කොත්ත රෝහලට ගෙන ගොස් ඇති බවත්, එහිදී වෛද්‍යවරුන් තුවාලකරු පරික්ෂාකොට ඔහු මියගොස් ඇති බවට පවසා ඇති බව ද පොලිසිය කියයි. සැකකාර යාචකයා පලාගොස් ඇති අතර, ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා මගින් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරයි.


 -ඉන්දිකා රාමනායක-

සාරා ජෙස්මින් සොයා සයින්දමරුදුවේ සිරුරු 16ක් යළි ගොඩගනී


2019 වසරේ අප්‍රේල් 26 වැනිදා සහරාන්ගේ අනුගාමිකයන් විසින් සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ පුපුරුවා ගෙන මියගිය 16, දෙනෙකුගේ දේහයන් ඊයේ නැවත ගොඩ ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා අවශ්‍ය සිරුරේ නියැදි කොටස් ගනු ලැබීය. රහස් පොලීසිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට කළ ඉල්ලීමකට අනුව අම්පාර මහේස්ත්‍රාත් ලුෂිකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේදී අම්පාර පොදු සුසාන භූමියේ වළලා තිබූ මෙම සිරුරු නැවත ගොඩ ගනු ලැබීය.

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක්  එල්ල කළ මොහොමදු හස්තූන්ගේ බිරිඳ පුලස්තනී මහේන්ද්‍රන්ගේ හෙවත් සාරා ජෙස්මින් නමැත්තියගේ සිරුරේ කොටස් එම සිරුර කොටස් අතර ඇත්දැයි දැන ගැනීමට ඩී.එන්.ඒ. පරික්ෂණයක් සඳහා සිරුරු දහසය ගොඩගෙන එම කාර්යය ඉටුකරනු ලැබීය. පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු වන සහරාන් හසීම් නමැත්තාගේ සොහොයුරා වූ මොහොමඩ් රිස්වාන් නමැත්තා 2019 අප්‍රේල් 19 වැනිදා රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවෙසක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගැනීමෙන් ළමයින් ඇතුළු 17දෙනෙක් මියගියහ.

පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශනවලදී සාරා ජෙස්මින් නමැත්තිය  සම්බන්ධයෙන් තොරතුරු හෙළි වූ ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත. මරාගෙන මැරෙන බෝම්බය පිපිරීල්ලෙන් මියගිය පිරිස අතර සාරා ජෙස්මින් සිටියේද යන්න නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා මෙම පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.  අම්පාර පොදු සුසාන භූමිය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබූ අතර අම්පාර නගර සභාවට අයත් බැකෝ යන්ත්‍රයන් සහ කම්කරු පිරිසක් මේ සඳහා සහාය  කරගෙන තිබූ අතර ඊයේ සවස් වෙන තුරුම මෙම කාර්ය සිදු කෙරිණි. දේහයන් ගොඩගෙන එහි  නියැදි ලබා ගැනීම අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රුචිර නදීර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. 

මීට පෙර අවස්ථා දෙකකදී ද පොලිස් පරික්ෂණේ සඳහා නියැදි ලබාගෙන තිබේ.  මෙම නියැදි ලබා ගන්නා අවස්ථාවට රස පරීක්ෂක  දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද සහභාගි වූහ. අම්පාර පොලීසිය මගින් ප්‍රදේශය අවට දැඩි රැකවල්  යොදා තිබූ අතර පොලිස් අපරාධ පරික්ෂණ සඳහා එක්ව සිටියහ.

 -වසන්ත චන්ද්‍රපාල-

කොල්ලකරුවන් පිරිසක් කැළණියේ නිවසකට කඩාවැදී පුද්ගලයෙකු ඝාතනය කර දේපළ කොල්ලකාලා

කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට පෙරේදා (26දා) රාත්‍රී ඇතුළු වූ කොල්ලකරුවන් 04දෙනෙකු ගෙහිමියාට හා ඔහුගේ පුතාට සිදු කළ පහරදීමෙන් ගෙහිමියා මියගොස් ඇතැයි කැලණිය පොලීසිය පවසයි. කැලණිය, වරාගොඩ, වරාගොඩ පාර නිවසක පදිංචිව සිටි පී.වී.කුමාර චන්ද්‍රලාල් (63) නමැත්තෙකු මෙසේ මියගොස් තිබේ.කොල්ලකරුවන් විසින් නිවැසියන්ගේ අත් බැඳ රන් මුදුවක් හා නිවසේ තිබූ ඉඩම් ඔප්පු කීපයක් පැහැරගෙන ගොස් ඇතැයි ද පොලීසිය පවසයි. මේ අතර කොල්ලකරුවන්ගේ ප්‍රහාරවලට ලක්වූ පියා අසාධ්‍ය තත්වයෙන් පසු වූ හෙයින් එම අවස්ථාවේදීම රෝහල්ගත කිරීමත් පසු ඔහු මියගොස් ඇතැයි කැලණිය පොලීසිය පවසයි. ව්‍යාපාරිකයෙකු වූ මියගිය අය කාලයක් තිස්සේ උගස් භාණ්ඩ, ඉඩම් ඔප්පු වැනි දේ උගස් ගැනීමේ කටයුතු සිදු කළ බව තීහු පවසති. පෙරේදා රාත්‍රී 11.20 ට පමණ නිවසේ ඉදිරිපස දොරටුව අසල සිට දොරට තට්ටු කරන හඩක් ඇති වී මියගිය අය දොර විවෘත කළ අවස්ථාවේ පුද්ගලයන් සිවුදෙනෙකු නිවසට ඇතුළු වී තිබේ. අනතුරුව කොල්ලකරුවන් ගෙහිමියා හා පුතා අල්ලාගෙන පහරදී මුදල් ඉල්ලා ඇත. අනතුරුව පියා හා පුතාට පහරදී ඇත. ඉන් පසු ඔවුන් දෙදෙනාගේ අන්ගැටගසා තර්ජනය කර තිබේ. පසුව කොල්ලකරුවන් දෙදෙනෙක් කාමරයට ඇතුළු වී අල්මාරි අවුස්සා අල්මාරිවල තිබූ ඉඩම් ඔප්පු කීපයක් ඉවතට ගෙන ඉන් කිහිපයක් රැගෙන ඔවුන් පැමිණි බව කියන මෝටර් රථයෙන් පලාගොස් ඇතැයි පොලීසිය  සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය ඊයේ (27දා පැවැත්වීමට නියමිතව ඇතැයි පොලීසිය පවසයි. මේ අතර පළමු කාලයෙන් පසු සහකරුවන් අදාළ මෝටර් රථයෙන් ගොස් ඊයේ (27දා) අලුයම කිරිබත්ගොඩ අලුත් පාරේ පිහිටි හෝටලකට ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා ඇතැයි ද පොලීසිය පවසයි. අදාළ හෝටලයට ගිය සැකකරුවන් එහි කාමරයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවත් ඒ අවස්ථාවේ එහි කළමනාකාරිනිය සිට ඇති බවද පොලීසිය පවසයි. අනතුරුව ඔවුන් අදාළ කාන්තාව බිය ගන්වා රුපියල් ලක්ෂ 03 හා රන් අභරණ කොල්ල කා ඇතැයිද පොලීසිය පවසයි.මෙම මංකොල්ලකෑම් සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය මෝටර් රථ කුලියට ලබා දෙන ස්ථානයකින් පෙරේදා (26දා) රාත්‍රියේ කොල්ලකන ලද එකක් බවට අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.පෙරේදා 26දා රාත්‍රී 10 ට පමණ මෝටර් රථ කුලියට ලබා දෙන ආයතනයකට ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු ගෝනවල සිට බොරැල්ලට කුලී ගමනක් යෑමට බව පවසා මෝටර් රථයක් ගක්වා ගෙන මද දුරක් යන විට එහි රියදුරා බිය ගන්වා රථය කොල්ලකා මෙම සොරකම් සඳහා එය යොදා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය  පවසයි. කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරති.



(කැලණිය - ලාල් එස්. කුමාර)

නඩු බඩු ගබඩා කුඩු සිද්ධියේ කොස්තාපල් රිමාන්ඩ්


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩාකොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන ගොතටුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. එල්. මහවත්ත මහත්මිය ඊයේ (27) නියෝග කළාය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු වූ කළුතර පදිංචි කංකානම්ලුගේ ගැමුණු සත් කුමාර නමැත්තා මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වශයෙන් නම් කරන බවත් මේ වනවිට මොහු පදිංචියට හැරගොස් සැඟව ඇති බවත් පොලිස් මත්පුව කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ගොතටුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් රුමේෂ් ගිහාන් නමැත්තාය. සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සුමිත්  කෙලාඩ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ  තම සේවාදායකයා පොලිස් නිලධාරියකු බැවින්  බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂව සලසා දීමට නියෝගයක් නිකුත් කරන ලෙසය. ඔහු යම් වරදක් සිදුකර තිබුණා හෝ නොතිබුණා ද ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතුව ඇති බව ද මෙහිදී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි මන්ද්‍රව්‍ය කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු පදිංචි නිවාස දෙකකට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගියද ඔහු එහි පදිංචිය හැරගොස් ඇති බවය. මෙම හෙරොයින් ග්‍රෑම් 750 කොළඹ ප්‍රධානම මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 02 අධිකරණයේ විභාග වන කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ බවට  විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් එම  අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතුව ඇති බැවින් එයට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිස් මන්ද්‍රව්‍ය කාර්යංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සැකකාර නඩු භාණ්ඩ භාරකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 01, 02, 05, 06, 07 සහ 08 යන අධිකරණවල නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කළ අයකු වන අතර දීර්ඝ කාලයක් තිස්සේ මෙම අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කර ඇති බව ද පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම ක්‍රියාදාමය තුළින් එම අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් බලපෑමක් සිදුවීමේ හැකියාව ඇති බව ද පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියට අදාළව හෙරොයින් ග්‍රෑම් 48ක් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද පොලිසිය  අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.  මෙම සැකකාර පොලිස් නිලධාරියා සහ අනෙක් සැකකරු මුල්ලේරියාව පොලිස් වසමේ මණ්ඩවිල පන්සල අසල දී මෙම හෙරොයින්  හුවමාරු කරන්ගෙන ඇති බවට ද විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද පොලිසිය අධිකරණය දැනුවත් කළේය.


 -නිමන්ති රණසිංහ-

බැංකුවෙන් ගත් ණය ගෙවාගන්න බැරිව රන්කරු ගිනි තියාගෙන


රන් කර්මාන්තය සඳහා බැංකුවලින් ණයට ලබාගත් රුපියල් ලක්ෂ දහයක පමණ මුදල ගෙවාගත නොහැකිව සිත් තැවුලට පත් කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ රන්කරුවකු තම ශරීරයට ගිනි තබා ගෙන සිය දිවි හානි කරගැනීමේ ඛේදජනක පුවතක් ඉකුත් 25 වැනිදා මාතර මහ රෝහලේ පැවැති හදිසි මරණ පරික්ෂණයකදී අනාවරණය විය. මෙසේ මියගියේ, කිරින්ද පුහුල්වැල්ල මලපලාවත්තේ පදිංචිව සිටි රාජමන්ත්‍රී ගෙදර හරි ප්‍රදීප් කුමාර (47) නමැති දෙදරු පියෙකි.  මාතර නාගරික හදිසි මරණ පරික්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා ඉදිරියේදී ඔහුගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්විණි. මාතර නාගරික හදිසි මරණ පරික්ෂක උසාවියේ පැවැති මෙම සාක්ෂි විභාගයේදී නාඔටුන්න බඩන්ගේ ශිරෝමි මාලා (50) මහත්මිය මෙසේ කීවාය.

“මියගොස් සිටින්නේ මාගේ සැමියායි. අප විවාහ වී වසර 28ක් පමණ වෙනවා. අපට දරුවන් දෙදෙනකු සිටිනවා. සැමියා ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීම රැකියාව ලෙස  කළා. ඔහු අධික ලෙස මත්පැන් පානය හා දුම්පානය සිදු කළා. කලක් විදෙස්ගතව රැකියාව කරමින් සිටින අතරතුර දියවැඩියාව, අධික රුධිර පීඩනය හා හෘදයාබාධයක් වැළඳීම නිසා ඔහුට සෞදි අරාබියේදී හෘද වස්තුවේ බයිපාස් සැත්කමක් පවා සිදු කර තිබෙනවා. වසර පහක පමණ කාලයක් ඔහු ඒ සඳහා ප්‍රතිකාර ලබාගත්තත් බෙහෙත් පාවිච්චි කළේ නැහැ. මෙසේ සිටියදී ඔහු විවිධ බැකුවලින් වරින් වර ණය ලබාගෙන තිබුණා. රටේ ඇති වූ තත්වය මත ඔහුට එම ණය මුදල් ගෙවාගත නොහැකි වීම නිසා එම ණය මුදලට ඇප වූ ඇපකරුවන් සැමියාට නිතර දොස් පවරන්න වුණා.  ඉකුත් 19 වැනිදා එම ණය බේරීම සඳහා මුදල් පොලියට දෙන කෙනකු හමු වීමට ගොස් පොලියට මුදලක් සැමියා ඉල්ලා ඇතත් එය ලබා දී තිබුණේ නැහැ. ණය ගෙවීමට  කිසිදු ක්‍රමයක් නොමැතිව සැමියා තදබල හිතේ අමාරුවකින් පසු වුණා.

20වැනිදා දහවල් ඔහු මත්පැන් පානය කරමින් නිවෙසට පැමිණ මා සමග රණ්ඩු වී මට ද පහර දුන්නා. රාත්‍රී 9.45ට පමණ අසල්වැසි සොයුරෙක් සැමියාට අවවාද කිරීමට නිවෙසට පැමිණියා.  මිදුලේ සිටි සැමියා යතුරුපැදියට දැමීමට ගෙනැවිත් තිබූ පෙට්‍රල් කෑන් එක ඔළුවේ සිට වත් කරගෙන එකවර ගිනි තබා ගෙන තිබුණා. ‘හොක්' ගාන ශබ්දයට මම බලද්දී ඔහුට ගිනි ඇවිලී තිබුණා. අසල්වැසියන් සමග එකතු වී වතුර ගසා ගින්දර නිවා පුතු සමග එකතු වී වෑන් රථයකින් සැමියා කිරින්ද ග්‍රාමීය රෝහලට රැගෙන ආවා. එම රෝහලෙන් කීවා ඔහු මාතර රෝහලට රැගෙන යන ලෙස. එහි 5 වැනි වාට්ටුවට ඇතුළත් කළ ඔහු පසු දින ශල්‍ය දැඩිසත්කාර ඒකකයට මාරු කළා. පසුගිය 25 වැනිදා මාතර රෝහලේ සේවය කරන අපේ නිවෙස අසල පදිංචි රත්නායක යන අය දුරකතනයෙන් දැනුම් දුන්නා සැමියා මියගිය බව. ඒ අනුව මම රෝහලට පැමිණ ඔහුගේ මෘත ශරීරය හඳුනා ගත්තා.  ස්වර්ණාභරණ නිෂ්පාදනය සඳහා වරින් වර ලබාගත් ණය මුදල්, වර්තමානයේ රටේ පවතින තත්වය නිසා රැකියාව කරගැනීමට අපහසු වී ණය මුදලට ඇප වූ අය නිතරම කරදර කිරිම නිසා ඇති වූ හිත් තැවුලෙන් ඔහු ගිනි තබාගෙන මිය යන්නට ඇති බව සිතනවා. මරණය ගැන සැකයක් නැහැ.” 

මිය ගිය පුද්ගලයාගේ පුත්‍රයා වන රාජමන්ත්‍රී ගෙදර මලිත් සසංක (22) මහතා ද සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ, තාත්තා ප්‍රදේශීය සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන කිහිපයකින් ලබාගත් ණය මුදල් රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ගෙවාගත නොහැකිව සිත් තැවුලට පත්ව සිය දිවි හානි කරන්ගෙන ඇති බවයි. මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා විසින් පවත්වනු ලැබීය. මෙම හදිසි මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි හා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී.එම්. ලලිත් ද සිල්වා මහතා, මෙය ශරීරයට පෙට්‍රල් දමා ගෙන ගිනි තබා ගෙන ඇති වූ තදබල පිළිස්සුම් තුවාලවලින් සිදු වූ හදිසි මරණයක් බවට නිගමනය කළේය.


 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-

Wednesday, April 27, 2022

ඉන්ධන හිඟයට විසඳුම් ඉල්ලා කිලෝමීටර් 164ක් පාගමනින් කොළඹට ආ අශෝක

පවතින ඉන්ධන හිගයට විසඳුම් ලබා දෙමින් රට තුළ දෛනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සලසා දෙන ලෙස රජයේ ඉල්ලමින් පුරවැසියෙකු දින පහක් පුරාවට කිලෝමීටර් 164 අධික දුරක් ගමනින් කොළඹට පැමිණ සංදේශයක් භාරදීම සිදුවිය. ඔහු නමින් අශෝක චන්ද්‍රසේකරයි. නිකවැරටියේ මොරගොල්ලාගම පදිංචි ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. අවුලේගම සංඝබෝධි විද්‍යාලයේ සේවය කරන ඔහුට ඉන්ධන හිගය හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වී තිබිණි. පාගමන අවසන් කරමින් සඳුදා දිනයේදී

කොළඹට පැමිණි ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් පසුව ගෝල්ෆේස් අරගල භූමියට පැමිණියේය. එහිදී සාකච්ඡාවකට එක්වමින් අශෝක  මහතා පැවසුවේ මෙවැන්නකි. 


පාගමනක් එන්න හිතුවේ ඇයි?


මම වැඩට ගියේ යතුරුපැදියෙන්. පෙට්‍රල් ඉවර වුණ නිසා වැඩට යන්න විදිහක් නැහැ. බදාදා ඉස්කෝලෙ ගිහින් ආවම බ්‍රහස්පතින්දා වැඩට යන්න විදිහක් නැහැ. මේ නිසාම පහුවදා තෙල් පෝලිමට යන්න වෙන නිසා මම නිවාඩුවක් දැම්මා. නමුත් හැමදාම මේ වැඩේ කරන්න බැහැ කියන එක මෙහෙම ඉද්දිමට කල්පනා වුණා. මේ ප්‍රශ්නයට විසදුමක් ගන්න නම් මෙම විරෝධය සංකේතවත් කරමින් දැනෙන ලෙස ප්‍රකාශ කරන්න ඕන. මම ඒකට ක්‍රමයක් කල්පනා කළා. තෙල් නැතිනම් බස් එක් කොළඹ එන්නත් බැහැ. බස් ගාස්තු ගෙවාගෙන එන්නත් අමාරුයි. ඒ නිසා මම තීරණය කළා පාගමනින් කොළඹට එන්න


කොපමණ දුරක් ඇවිද්ද? 


දළ වශයෙන් කිලෝමීටර් 141ක් විතර මම ඇවිදගෙන ආවා. දවසට කිලෝමීටර් 30වගේ දුරක් මම ඇවිද්දා. සදුදා දහවල් 12වනවිට අධ්‍යාපන

අමාත්‍යාංශය ඉදිරිපිටට එන්න පුළුවන්වුණා. දින හතර හමාරක කාලයකදී මට එන්න පුළුවන් වුණා. 


මේ අරගලය ගැන මොකද හිතෙන්නේ? 


ජනතාව බුද්ධිමත් වෙනඑක හොදලක්ෂණයක්. ජනතාව ඉදිරිට එන්න ඕනෙ. හැබැයි ඒ එන්න ඕන කන්න නැති වෙනකොට විතරක් නෙවෙයි. ජනතාව දේශපාලනික කියවීමක් ඇතිවයි ඉදිරියට එන්න අවශ්‍ය. දේශපාලන අවබෝධයක් නැතිනම්, කියවීමක් නැතිනම් පාලකයන්ට පලයව් පලයව් කියලා කෑ ගැහුවට මේ කරන දේගැන අර්ථදක්වාගන්න මේ අයට අපහසුයි. අපි පලයං කියල කියන්නෙ ඕනෙ මේ දේ හරියටම තේරුම් අරගෙන . භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර්වලට මොකද වුණේ. ඒඩොලර්වලට මොකද වුණේ කියල හෙළිදරව් වෙන්නේ නැතිනම් ඇයි එහම හෙළිදරව් වෙන්න ඇත්තේ. පාස්කු ප්‍රහාරය ඇතුළු මේ රටේ නොවිසඳුණු අපරාධ කල් කවුද කියලා හොයාගන්න බැරි ඇයි? ඇයි මේ දේවල් හංගගෙන ඉන්නේ. කිසිම වැරැද්දක් නොකර වචනයෙන් උසාවියට අපහාස කළා කියපු රන්ජන් රාමනායක ඇයි හිරේ ඉන්නේ? හොරකම් කළා කියලා පැහැදිලි සාක්ෂි තියෙන උසාවිවල නඩු යටගහගෙන තියන අය අපූරුවට පාර්ලිමේන්තු ගිහින් රටට නීති හදනවා. මිනිස්සු මෙන්න මේ දේවල් ගැන හොයල බලන්න ඕනේ. 


වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවත් ඔබ පවසා තිබුණා. මේ ගැන කතා කළොත්?


 මම රජයේ සේවකයෙක්. අපි රාජ්‍ය සේවයට එද්දි දිවුරුම් ප්‍රකාශකයකට අත්සන් කරනවා.ඒ අත්සන් කරන එකේ මගේ වත්කම් වැඩි වෙලානම් ඒ වැඩි වුණේ කොහොමද කියලා මට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. අපේ පැත්තෙ ඇමතිවරයෙක් ඉන්නවා. ඒ ඇමතිවරයාට රාජ්‍ය ඇමතිකමක් ලැබිලා මාස තුනක් විතර යනකොට එයා කෝට් අටක් දීල ඉඩමක් ගත්තා. කෝටිඅටක් කොහෙන්ද එයාට ලැබුණේ. අමාත්‍යාංශය කෝටි අටක් හොරකම් කරන්න පුළුවන් තරම් කාලයක් නෙවෙයි මාස තුනක් කියල කියන්නේ. එහෙම නම් ඇමතිකම ගන්නත් කෝටි අටක් දීලද කියලා මට හිතෙනවා. මේ දේවල්  විගණනය කරන්න ඉඩ දෙන්න ඕනේ. 


තරුණ පරපුරේ ඉදිරියට ඒම ඔබ දකින්නේ කෙසේද?


තරුණ පරපුර දැන් හොදයි. මොකද මේ එළියට බැහැලා ඉන්නේ තාප්පවල චිත්‍ර ඇදපු තරුණයෝමයි. ඔවුන් තාප්පවල චිත්‍ර ඇන්දා. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේ මතය, හැකියාව ඉදිරිපත්කරන්න. දැන් පාරට බැහැලා ඉන්නෙත් මේ තරුණයොම තමයි. ඔවුන් රැවටුනා කියල දැන් ඔවුන්ට තේරිලා . කොහොම වුණත් තරුණයෝ අරගල කරලා හොද පාලනයක් බිහි කරගන්න පුළුවන් වෙයි. ඒකට උගත් බුද්ධිමත්ම සහාය දෙන්න ඕන කියලා අපි හිතනවා.එහෙම සහාය දෙන්න කියලත් ඉල්ලනවා.




(චාමර සම්පත්)


භානුකගේ පැමිණීම පන්ජාබ් ජය මගට රැගෙන යයි

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සමගින් පැවති තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් හිමිකර ගැනීමට මායක් අගර්වාල්ගේ නායකත්වයෙන් යුත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය. තරගාවලියේ 33වැනි තරගය ලෙසින් මෙය පෙරේදා (25දා මුම්බායිහිදී පැවැත්විණි. මෙම තරගයේ කාසියේ වාසිය දිනු චෙන්නායි ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් ක්‍රීඩකයන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 187ක් රැස් කළේය. තරග 4ක විරාමයකින් පසු නැවතත් පන්ජාබ් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ නැවතත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 32කදී ලකුණු 42ක් රැස් කළේ හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමගිනි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිකර් ධවාන් පන්දු 59කදී නොදැවී ලකුණු 88ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී චෙන්නායි වෙනුවෙන් ඩිවෙයින් බ්‍රාවෝ කඩුළු දෙකක් හා ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ් තීක්ෂණ කඩුල්ලක් බැගින් දවා ගත්හ. අනතුරුව ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි ක්‍රීඩකයන් සිය පන්දුවාර 20 තුළදී කඩුළු 6ක් දැවී රැස් කළේ ලකුණු 176ක්පමණි. අම්බති රයුදු පන්දු 37කදී ලකුණු 78ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමෙන් කගීසෝ රබාඩා හා රිෂි ධවාන් කඩුළු දෙක බැගින් බිඳහෙලූහ. මෙම ජයග්‍රහණය තරග දෙකකට පසු පන්ජාබි ලැබූ පළමු ජයග්‍රහණය විය. මේ සමගින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන්නේ, කණ්ඩායම් 10ක් අතරින් වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට පන්ජාබ් සමත් විය. ඔවුන් තරග 8කට මුහුණදී ඉන් තරග 4ක් ජය ගැනීමට සමත් වී ඇත. 


විදුලි බිල වැඩි කරන්න ඉල්ලයි

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබෙන බවත්, එහෙත් එම ඉල්ලීමට මෙතෙක් අවසර ලබාදී නොමැති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි. අදාළ ඉල්ලීම ක්‍රියාත්මක කිර්ම සඳහා ජනතාවට ලබාදෙන සහන පිළිබඳ දැනුවත් කරන ලෙස පෙන්වා (25දා) රජයෙන් ඉල්ලීමක් කළ බවත්, රජයෙන් සහන ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කළ පසු ඒ පිළිබඳ මහජනතාවගේ අදහස් ලබාගෙන විදුලි ගාස්තු ඉහළ යාම සඳහා අවසර ලබාදෙන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමට අනුව ගෘහස්ථක භාවිත කරන විදුලි ඒකකවල මිල වැඩිවීම යටතේ පළමු විදුලි ඒකක 30 සඳහා එක් විදුලි ඒකකයකට මේ වනවිට අය කරන රුපියල් 2,50ක මුදල රුපියල් 8.00 දක්වා වැඩි කිර්ම සඳහා අවසර ඉල්ලා තිබේ. 31වැනි ඒකකයේ සිට 60 දක්වා ඒකකයක් සඳහා අය කරන රුපියල් 4.85ක මුදල රුපියල් 12.50 දක්වා ඉහළ දැමීමට අවසර ඉල්ලා තිබෙන අතර, මේ ආකාරයට ගෘහස්ථ විදුලි ගාස්තු හා ආගමික ස්ථාන විදුලි ගාස්තු ව්‍යාපාරික ස්ථාන විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා අවසර ඉල්ලා ඇත. මෙවැනි ඉල්ලීමක් විදුලීබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූවත්, එම වැඩි වීම අද හෝ හෙට සිදුනොවන බවත්, අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යන ආකාරයට මධ්‍යම රාත්‍රියක විදුලි මිල ඉහළ නොයන බවත් මහ උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.  මේ වනවිට විදුලිබල මණ්ඩලයේ මාසික ආදායම් රුපියල් බිලියන 22ක් බවත්, ඉන් රුපියල් බිලියන 18ක් පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය ලබාගැනීම සඳහා වියදම් වන බවත් හෙතෙම පවසා සිටියේය. මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය සැලකීමේදී විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වියදම රුපියල් බිලියන 505ක් බවත්, එහෙත් වාර්ෂික ආදායම රුපියල් බිලියන 276ක් බවත් සභාපතිවරයා පැවසීය. ගල් අඟුරු මිල ඉහළ යාම ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ වසර තුළදී විදුලිබල මණ්ඩලයේ වියදම් රුපියල් බිලියන 700ක් පමණ වන බවත්, එහෙත් ලැබීමට නියමිත ආදයම් රුපියල් බිලියන 276ක් පමණක් බවත් පවසා සිටි ඒ මහතා, මේ නිසා ආදායම් හා වියදම් පරතරය සොයාගත යුතු බවද සඳහන් කළේය. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරී සඳහා මේ වනවිට රුපියල් 53ක මුදලක් වැය වන බවත්, එහෙත් ජනතාවට විදුලි ඒකකයක් ලබාදෙන්නේ, ඉතාමත් අඩු මුදලකට බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.එමෙන්ම විදුලි මිල වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල පනතේ 30වැනි වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය බවත්, ගාස්තු සංශෝධනයක් සිදුවනවා නම්, සංශෝධන යෝජනාව මහජනතාවට ඉදිරිපත් කර මහජන අදහස් ලබාගැනීමද අනිවාර්ය වේ. විදුලිබල මණ්ඩලය විසින් විවිධ ආකාරයට ගාස්තු වැඩි වීම සඳහා අවසර ඉල්ලා තිබෙන අතර, ඒ අනුව සමහර ගාස්තු 300%කින් පමණ වැඩි වීම සඳහා ඉල්ලීම සිදුකර තිබේ. පොදුවේ සැලකීමේදී ගාස්තු වැඩි වීම 85%කින් අගයක් ගෙන තිබේ. 

(ඉන්දික හේවාවිතාරණ)


අද රෑ දොළහේ සිට හෙට රෑ 12 තෙක් දුම්රිය වැඩ වර්ජනයක්


ආණ්ඩුවට එරෙහිව රට පුරා පැන නැගී ඇති පොදු ජනතා අරගල ශක්තිමත් කිරීමේ අරමුණින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය කියයි. මෙම සංකේත වැඩ වර්ජනය හෙට (28) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 ඒ අනුව දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකොමොටිව් ඔපරේටිං ඉන්ජිනියර්ස් යූනියන්, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති තිහකට අධික ප්‍රමාණයක් විරෝධතාවට සහයෝගය පළ කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ ප්‍රධාන  ලේකම් එස්. විතානගේ මහතා පැවැසීය.

මරදාන දුම්රිය පටුමගේ පිහිටි දුම්රිය ස්ථානාධිපති සංගම් ශාලාවේදී දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ඊයේ (26) පැවැත්වූ හමුවකදී ඔහු මේ බව කීය.  සියලුම සේවකයන් සේවාවලින් ඉවත්ව මෙම වර්ජනයට සහයෝගය දෙන බවත් ඔහු එහිදී කීවේය. ජන විරෝධය තේරුම්ගෙන ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආඩුව ඉල්ලා අස් නොවුණහොත් අඛණ්ඩ දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවද පැවසීය..


 -නිමල කොඩිතුවක්කු-


ස්වාධීන මන්ත්‍රීවරුන් 39 දෙනා හැර අන් කිසිවකු ආණ්ඩුවට විරුද්ධ බව ප්‍රකාශ කර නෑ


ආණ්ඩු පක්‍ෂයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 39 දෙනා හැර අන් කිසිවකුත් ආණ්ඩුවට විරුද්ධ බව මෙතෙක් ප්‍රකාශ කර නැතැයි සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ (26) පැවසීය.  ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 113කගේ බහුතරයක් නොමැති බවට උදය ගම්මන්පිල මහතා කර ඇති ප්‍රකාශය වැරදිද නිවැරදිද කිව හැක්කේ ඔවුන් ආණ්ඩුවට විරුද්ධ අයගේ විධිමත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ පසුව බවත් ඇමතිවරයා සඳහන් කළේය. රටේ ආර්ථිකය ගොඩගැනීමට නම් දේශපාලන ස්ථාවරභාවය ඇතිකරගත යුතු බවත්, පවතින  දේශපාලන අර්බුදය විසඳාගැනීමට ජනාධිපතිවරයා දැඩි උත්සාහයක් ගන්නා බව ද ආචාර්ය නාලක ගොඩහේවා මහතා කීවේය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. වත්මන් රජයට ඉකුත් පාර්ලිමේන්තු  මැතිවරණයේදී ඉතා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හිමිවූ බවත්, පවතින දේශපාලන අර්බුදය විසදාගැනීම සඳහා ඇමති මණ්ඩලය ඉල්ලා අස්කරවා රජය සමඟ එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු පක්‍ෂවලට ආරාධනා කළත් එයට ප්‍රතිචාරයක් නොලැබුණු බව කී ඇමතිවරයා, එම අවස්ථාවේ එකගතාවක්  ඇතිවුයේ නම් සර්වපාක්‍ෂික හෝ බහු පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය හැකිව තිබූ බව ද කීය.  ඒ නිසා ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ සුවිශේෂ සංශෝධනයක් කරමින් තරුණ ඇමති මණ්ඩලයක් පත්කර ක්‍රමවේදයේ වෙනසක් කර ඇතැයි කී ගොඩහේවා මහතා ජනාධිපතිවරයා දැඩි තීරණවල නොසිට ඉතා නම්‍යශීලීව කටයුතු කරන බව ද සඳහන් කළේය. 

තමන් කිසි විටෙකත් ඇමති තනතුරු ඉල්ලා  නැතැයි කී ඇමතිවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම ලැබී දිනක් ඇතුළත ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන්නේ රටේ ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය ඇතිකරගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් සිදුකිරීම සඳහා පූර්වාදර්ශයක් දීමට බව ද පැවසීය. තමන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අයකු ලෙස  රටේ ඕනෑම අරගලයක් විසඳාගත යුත්තේ  ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ බවට විශ්වාස කරන්නේ යැයි ද ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය. ජනතාවට සත්‍ය තොරතුරු දීමට කටයුතු කරන  ලෙස තමන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙන බව කී ඇමතිවරයා ඔවුන්ගේ වගකීම ආණ්ඩුව ආරක්ෂා කිරීම නොව රට ආරක්ෂා කිරීම බව ද කීවේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ පරීක්‍ෂණ සම්බන්ධයෙන් රජයට සැඟවීමට කිසිත් නැතැයි කී ඇමතිවරයා කාදිනල්තුමාට අවශ්‍ය නම් තවත්  තොරතුරු දිය හැකි බවත්, රජය ප්‍රකාශ කරන සත්‍ය පිළිනොගන්නා කොටසක් සිටින නිසා දුර්මත සමාජගත වී ඇති බවත් සඳහන් කළේය.සම කැබිනට් ප්‍රකාශක, අධ්‍යාපන හා වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවේ භාණ්ඩ මිල ඉහළයාම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් දීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කරගෙන යන බවයි.

 -ඩයනා උදයංගනී-

බැසිල් හා සජිත් අතර ඩීල් එකක්

 බැසිල් රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර 'ඩීල්' එකක් ඇති බවත්, ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මේ දක්වා සති 03ක් ප්‍රමාද කිරීමට සජිත් ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර  ඇති බවත් පාර්ලිමේත්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.හෙතෙම සඳහන් කර සිටියේ "පරණ රොටිය නැවත පෙරළීමක්’ දෙදෙනා විසින් සිදු කරන බවත්, එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරහා සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය. එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමට කැමැත්තෙන් පසුවන නමුත් බැසිල් රාජපක්ෂ මහතා විසින් එය වළක්වා ඇති බවද නානායක්කාර මහතා පැවසීය.ඒ අනුව බැසිල් රාජපකෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය කරන අතරම සමගි ජන බලවේගයද ඔහුගේ වැඩපිළිවෙළට ඇතුළත් කරගෙන ඇති බව නානායක්කාර මහතා සඳහන් කළේය. හෙතෙම මේ බව පවසා සිටියේ කොළඹ, මරදානේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී මාධ්‍යවේදීන් සහ වාසුදේව නානායක්කාර මහතා අතර පැවැති සංවාදයෙහි සටහනක් පහතින් වේ. 


මාධ්‍ය - සජබ මෙහෙයවන්නේ බැසිල් විය හැකිද? එතුමාද කුමන්ත්‍රණයකරන්නේ? 


වාසුදේව නානායක්කාර මහතා - බැසින්ම තමයි.


මාධ්‍ය - ඒ කියන්නේ බැසිල් සහ සජිත් අතර ඩීල් එකක් තියෙනවා?


වාසුදේව නානායක්කාර මහතා - ඒක තමයි මම කියන්නේ. මම හිතන්නේ ඒක තියෙන්නේ හිටපු අගමැති හරහා. එයානේ පාර්ලිමේන්තුවේ මුලින්ම කිවුවේ දැන්ම විශ්වාසභංගය ගේන්න බෑ, පළමුව අලි සබ්‍රිට එරෙහිව තදින්ම හිටපු අය තමයි දැන් බුරුල් වෙලා තියෙන්නේ. මම කියන්නම් ඇත්ත කතාව. ඡන්දයක් ලබා ගැනීම තමයි සජබ අරමුණ. සජබ දන්නවා එතනදි තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය සංඛ්‍යාවම ලැබෙන්නේ නෑ කියලා. එතකොට බැසිල් මහත්තයා කියනවා එහෙම අඩුවක් තියෙනවානම් ඒ අය මම පොහොට්ටුවෙන් දෙන්නම් කියලා. 

මාධ්‍ය - පරණ රොටියමද අනිත් පැත්ත දාලා දෙන්නේ  


වාසුදේව නානායක්කාර මහතා - පරණ එකම අනිත් පැත්ත දාලා තමයි එන්නේ. බැසිල් මහත්තයායි, සජිත් මහත්තයායි රොටිය පෙරළනවා. 

මාධ්‍ය - මැතිවරණය ගැන මොකද කියන්නේ? 


වාසුදේව නානායක්කාර මහතා - අපි වෙනම තරග කරනවා. මන්ත්‍රීවරු 50ක් විතර ස්වාධීන වෙලා අපි එකතු කර ගත්තාවූ කණ්ඩායම තමයි අපේසන්ධානය.


මාධ්‍ය - මෙච්චර රටේ විරෝධතා තියෙදි බැසිල් කොහොමද මේ තරම් ප්‍රබල වුණේ? බැසිල් හොයා ගන්නත් නෑනේ? 


වාසුදේව නානායක්කාර මහතා - නමුත් එතුමා දැන් පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉන්න ප්‍රබල චරිතයක්නේ. මහින්ද මහත්තයාට අස් වෙන්න ඉඩ දෙන්නේ නැත්තෙත් එයානේ.


මාධ්‍ය- මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ. එහෙමද?


වාසුදේව නානායක්කාර මහතා - ඔව්. එහෙමන්නේ ඔය නවත්වාගෙන තියෙන්නේ. මේ මගේ තේරුම හොදේ. 


මාධ්‍ය - සජබ විශ්වාසභංගය. පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ කියලාද කියන්නේ ?


වාසුදේව නානායක්කාර මහතා - ගෙන එන්නේ නෑ කියන එක නොවෙයි, ගෙන ඒම නොයෙක් හේතු මත දැන් දක්වා සුමාන 03ක් පමා කරමින් තිබෙනවා. ආයෙත් පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන සුමානේ නොවෙයි ඊළග සුමානේ. මොකක් හරි දෙයක් වේවි කියලා ආණ්ඩුවට කල්වදිදී ඉන්නවා. දැන් පෙට්‍රල් පෝලිමත් අඩුයි. විශ්වාසභංගයේදී අපිට තහවුරු වෙන්න ඕනෑ මන්ත්‍රී සංඛ්‍යාව. එහෙම නැතිව ඒක නොපිටට ගියොත් ඒක අපිට පාඩුවක්.


මාධ්‍ය - බැසින්ට අනුව දැනුත් සජිත් අගමැති කරන්න පුළුවන්නේ? 


වාසුදේව නානායක්කාර මහතා - සජිත්ව දැනට අගමැති කරන්න බෑ, මුලින්ම මේ ආණ්ඩුව අයින් කරන්න ඕනෑ. එයා බෑ කියලා තියෙනවානේ මේ ආණ්ඩුව එක්ක එකතු වෙන්න. සියලු දේවල් එයා කියන්නේ නොකෙරෙන විදියට. 



(නිදර්ශනී වික්‍රමසිංහ)

රෝහලේ වැසිකිළියකට ගිය තරුණිය විඩියෝ කළ තරුණයා අත්අඩංගුවට


කෑගල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කාන්තා වැසිකිළියකට තරුණියක ගොස් සිටියදී දුරකථනයෙන් විඩියෝ කළ තරුණයකු ඊයේ (26 වැනිදා) පෙරවරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පැවසීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 24 හැවිරිදි විවාහක තරුණයකු බව පොලිසිය පැවසීය.  රඹුක්කන ප්‍රදේශයේ රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරන 30 හැවිරිදි අවිවාහක තරුණියක සිය මව සමග ඊයේ (26 වැනිදා)  පෙරවරුවේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කෑගල්ල මහ රෝහලට පැමිණ  සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය පැවසීය.  පසුව තරුණියට වැසිකිළියට යාමට අවශ්‍ය වී ඇති බවත් සිය මව සමඟ බාහිර රෝගී අංශයේ කෙළවරේ පිහිටි මහජන  වැසිකිළි පද්ධතියට ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය. 

මෙම වැසිකිළි පද්ධතියේ පිරිමි වැසිකිළි හා කාන්තා වැසිකිළි කිහිපයක් වෙන වෙනම තනා ඇති බවත් පොලිසිය පැවසීය. තරුණිය සිය මවට වැසිකිළිය ඉදිරිපස කොනක රැඳී සිටින්නට පවසා කාන්තා වැසිකිළියකට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. තරුණීය වැසිකිළියට ඇතුළු වන අයුරු තරුණයකු දැක අල්ලපු පිරිමි වැසිකිළියට ගොස් දොර වසාගෙන දුරකතනයෙන් අල්ලපු වැසිකිළියේ සිටින තරුණිය වීඩියෝ කර ඇති බවත් පොලිසිය පැවසීය. පසුව අල්ලපු වැසිකිළි කාමරයේ ඉහළ සිට දුරකථනයක් දැක ඇති තරුණිය වැසිකිළි අවශ්‍යතාව පසෙකලා දොර විවෘත කර එළියට පැමිණි තරුණයා සිටි වැසිකිළියේ දොර විවෘත කර මහත් පරිශ්‍රමයක් යොදා තරුණයා වැසිකිළිය තුළ රඳවාගෙන කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ වෙත දන්වා තිබුණු බවත් පොලිසිය පැවසීය.

කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරප්පොළේ උපපොලිස් පරික්ෂක නිහාල්  කුලසිංහ නිලධාරියා සැකකාර තරුණයා හා ඔහු සන්තකයේ තිබුණු රුපියල් 35000ක් වටිනා ජංගම දුරකථනයද පොලිස් බාරයට ගත්තේය.  තරුණිය කෑගල්ල මූලස්ථාන පොලිසියට  ගොස් සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගැනුණ තරුණයා ඊයේ (26) වැනිදා) සවස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.


 චමින්ද වැවතැන්න

හිමවරු දෙසියක් තිස්සේ සත්‍යග්‍රහයක


රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ඉතුරු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මහා සඟරුවන තිස්සමහාරාම වටරවුම අසල ඊයේ (26) පෙරවරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ. සත්‍යග්‍රහයට එක්වූ දෙසීයකට අධික මහා සංඝරත්නය තිස්සමහාරාම  පොලිසිය අසල සිට පා ගමනින් තිස්සමහාරාම නගරයට වැඩම කරවා සත්‍යග්‍රහයට සහභාගී වූහ. මහා නාහිමි මතයට හිස නමන ලෙසත්, සියලු ජාතීන්ට එක මවුබිමක සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය. ගොඩනගා ගැනීම සඳහාත් බල කරමින් සත්‍යග්‍රහය පැවැත්විණි.  

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අම්බලන්තොට, බැරගම ගල්විල පුරාණ රජමහා විහාරස්ථානයේ බැරගම විමලබුද්ධි හිමියෝ මෙසේ පැවැසූහ.

ජාති භේදයකින් තොරව දුර්දාන්ත පාලනයට එරෙහිව ත්‍රෙනිකායික මහා සංඝරත්නයේ මහානාහිමිවරුන් මෙම පාලකයන්ට ඉවත්වෙන ලෙස දැනුම් දී තිබියදීත් ආත්මාර්ථකාමීව බලයට ඇති කෑදරකමින් රැඳී සිටීම මහා සඟරුවන විදියට හෙළා දකිනවා. සියලු ජාතීන්ට එක මවුබිමක සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ඇති කළ යුතුයි.  

රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් අධිකරණ සංඝනායක මැණික් රාජමහා විහාරයේ විහාරාධිපති දම්සර අධ්‍යාපන ආයතනයේ විදුහල්පති තංගලේ ජිනරතන හිමියන් පැවසුයේ ,

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා දහසක් පමණ ලබන 30 වැනිදා සවස  දෙකයි තිහට පා ගමනයෙන් ජනාධිපති මැදුර දක්වා ගොස් ජනපති ඇතුළු මෙම රජයට ඉවත් වන ලෙස සංඝ ආඥාවක් බාරදීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.


 -අමිල සම්පත්-

උගන්ඩාවේ රාජපකෂලාට ඇතැයි කියන සම්බන්ධය ගැන සෙරනිටි ගෘප් කියු දේ

උගන්ඩාවේ සෙරනිටි ගෘප් ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ රාජපක්‍ෂ පවුලට එහි ඇතැයි පැවසෙන සම්බන්ධයක් ගැන සමාජ මාධ්‍යවල පළ කෙරුණු පෝස්ට් කිහිපයකින් පසුව, එය. ශ්‍රී ලංකාවේ මහජනතාව අතර පවතින වැරදි මතයක් යැයි පවසමින් සෙරනිටි ගල් සමාගම එම පෝස්ට් ඉවත්කර ගැනීමට නීති උපදෙස් ලබාගෙන තිබේ.එම සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, සිය සමාගමේ නිර්මාතෘවරුන්, මෙහෙයුම් සහ ව්‍යාපාරික පැතිකඩ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.ඒ අනුව, උගන්ඩාවේ සෙරනිටි ගෘප් විසින් දේශපාලනඥයන්ගෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් කිසිදු ආයෝජනයක් හෝ මූල්‍ය ආධාරයක්ම තමන්ට ලැබී නොමැති බව නැවත අවධාරණය  කරන ලදී. මේ මස මුලදී. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා උගන්ඩාවේ සෙරනිටි ගලහි සමාගම්වල ඇ.ඩො. බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ලිපියක්ද සමාජ මාධ්‍යවල හුවමාරු වීය. “සෙරනිටි ගෘප් සහ එහි අනුබද්ධ සමාගම් ආරම්භයේ සිටම ප්‍රශස්ත වර්ධනයක් ඇති කර ගනිමින්, බොහෝ ශ්‍රී ලාංකිකයන්ට සහ උගන්ඩා ජාතිකයන්ට රැකියා ලබාදී තිබෙනවා. අපි ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව විදේශ ප්‍රේෂණ ගලා ඒමට සලමින්, ශ්‍රී ලංකාවට ආඩම්බරයෙන් අඛණ්ඩව සහයෝගය දෙනවා” යැයි සෙරනිටි සමූහය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අධ්‍යක්‍ෂවරුන් වන රුවන් ජයරත්න සහ දේවක ඒකනායක යන අයගේ ව්‍යාපාරික අවශ්‍යතා අනුව යමින් උගන්ඩාවේ සෙරනිටි ගෘප් ආරම්භ කළ බවද එම නිර්වේදනයේ සඳහන් විය. මෙම ව්‍යාපාර සමූහය, නයිල් හෙවි. ඉංජිනියරින් ලිමිටඩ් නම් අනුබද්ධ ආයතනයක් හරහා ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිවල සැපයුම් සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබාගෙන ඇති අතර, "කැෆේ සිලෝන්' සහ 'බේක්හවුස්' යන ආයතන දෙකක් සමග ආහාර සහ පාන වර්ග අංශයටද ඇතුළු වී ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උගන්ඩාවේ සංචාරයක් අතරතුර කැෆේ සිලෝන් වෙතද වරක් ගොස් තිබිණි. "මෙය සිදු වූයේ, 2016 මැයි මාසයේදී වන අතර, මෙම සිදුවීම එදින පැමිණ සිටි අනෙකුත් දේශපාලනඥයන් සමගද ප්‍රචාරය වුණා. අපි 2020දී ආහාර සහ පාන වර්ග ව්‍යාපාරවලින් ඉවත් වූවා. අපගේ සියලුම අනුබද්ධිත සමාගම් අපගේ වෙබ් අඩවියේ විවෘතව සහ ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කර ඇති අතර, තොරතුරු තාක්‍ෂණ ගැටලුවක් හේතුවෙන් උගන්ඩාවේ සෙරනිටි ගලප් අක්‍රීය කාලයක් ඇති වූයේ මෑතකදී පමණයි” යනුවෙන් එහි දැක්වේ. සෙරනිටි ගෘප් යටතේ නැගෙනහිර අප්‍රිකානු කොන්ක්‍රීට් නිෂ්පාදන සමාගම (EACPL), උගන්ඩාවේ ග්‍රාමීය විදුලි ව්‍යාපෘති සඳහා කොන්ක්‍රීට් කණු සපයන ප්‍රමුඛතම සැපයුම්කරු වන අතර, එය කොටස් ආයෝජකයන් සහ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් හරහා මූල්‍යකරණය කර ඇති බවද ඔවුහු පෙන්වා දෙයි. සංස්කෘතික හුවමාරු මුලපිමක් සහ සමාජ වගකීමක් ලෙස වරප්‍රසාද ලත් ළමයින් අතර උගන්ඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට තමන් ක්‍රියාකාරී වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. "අපගේ කතාව, අපගේ ඉතිහාසය, සාරධර්ම සහ දැක්ම බෙදාහදා ගැනීමට අප දරන උත්සාහය මහජනතාවට ඒ තත්ත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත්, විශ්වාසය අඩු පසරය නිසා ඇති වූ දැවෙන ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු දීමටත් උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”. යනුවෙන් සෙරනිටි ගෘප් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


(ෂමිල පෙරේරා)