Showing posts with label accident G3. Show all posts
Showing posts with label accident G3. Show all posts

Tuesday, October 27, 2026

කොග්ගල සිසු අනතුරු බසයේ මාර්ග බලපත අත්හිටුවයි

 


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න 


හබරාදූව කොග්ගල දුම්රිය හරස් මාර්ගයක් හරහා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම නිසා දුම්රියේ ගැටීමෙන් පාසල් සිසුන් දහතුන් දෙනකු තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ මාර්ග බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.


කොට්ටාව සමන්පුර උපකාරක පන්තියක සිසුන් ගුරුවරුන් හා මවුපියන් ඇතුළු 61 දෙනකු මෙම චාරිකාවට සහභාගී වී සිට ඇති අතර ඔවුන් ඉකුත් 25 වැනිදා අලුයම කොට්ටාවේ සිට ගාල්ල බලා අධිවේගී මාර්ගයෙන් ගොස් ඇතැයි හෙළිවිය.පසුව ඔවුන් කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නරඹා දිවා ආහාරය සඳහා යළි පිටතට පැමිණීමේ දී තංගල්ලේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය බස් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබුණි.


ඒ වන විටත් දුම්රිය හරස් මාර්ගයේ රතු පැහැති විදුලි සංඥා ක්‍රියාත්මක වී තිබූ අතර ඒ පිළිබඳව තැකීමක් නොකර අපරීක්ෂාකාරි ලෙස බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කර ඇතැයි මූලික විමර්ශන වලදී අනාවරණය විය.පසුව අනතුරින් තුවාල ලැබූ සිසුන් දහතුන් දෙනකු උණවටුන සහ කරාපිටිය රෝහල්වලට ඇතුළත් කළ අතර ඉන් එක් සිසුවකගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 


සිද්ධිය වාර්තා වීමත් සමඟ විමර්ශනයක් ආරම්භ කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට කරුණු අනාවරණය වී ඇත්තේ එම බස් රථය රුක්මල්ගම පිටකොටුව 138 මාර්ගයේ මගින් ප්‍රවාහනය කරන බස් රථයක් බවයි.එවන් බස් රථයක් පෞද්ගලික චාරිකාවක් සඳහා පිටව යන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් චාරිකා බලපත්‍රයක් ලබාගත යුතුය. 


එහෙත් එම චාරිකා බල පත්‍රය හෝ නොගෙන මෙම චාරිකාව ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි එම බස් රථයේ මාර්ග බල පත්‍රය තාවකාලිකව අවලංගු කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.


සිද්ධියට සම්බන්ධ 41 හැවිරිදි රියැදුරු සහ 21 හැවිරිදි කොන්දොස්තරවරයා හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.




Monday, September 28, 2026

ලාංකික සිසුවියක් ලන්ඩනයේ පාසල ළගදී රියක හැපී මරුට

 



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


උතුරු ලන්ඩනයේ පිහිටි හයිගේට් පාසල අසලදී එම පාසළේ ඉගෙනුව ලබන ශ්‍රී ලාංකික සිසුවියක කාර් රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් එම ස්ථානයේදීම මිසගොස් ඇතැයි ලන්ඩන් පුවත්පත් වාර්තා කළේය. මිය ගොස් ඇත්තේ මෙලීසා  ප්‍රේමරත්න නමැති දසය හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවියකි.


මියගිය සිද්දීසා සිසුවිය අනතුරට පත්වීම ගැන එරට මාධ්‍ය මුල් තැනක් දෙමින් පළකර ඇති අතර ඇය ඉගෙනීමට ද දක්ෂ සිසුවියක බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම මාරක අනතුර සිදුකළේ යැයි කියන කාර් රථය පදවාගෙන ගිය හැටනව හැවිරිදි රියැදුරා ලන්ඩන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිසුවිය ඉගෙනුම ලබන හයිගේට් පෞද්ගලික පාසලට ඉකුත් 24 වැනිද බ්‍රහස්පතින්දා උදෑසන යමින් සිටියදී මෝටර් රථයේ ගැටී තිබෙන බව ලන්ඩන් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.එරට පිහිටි පෞද්ගලික ප්‍රවාහන සේවාවකට මෙම අනතුර සිදුකළ කාර් රථය අයත් වන අතර එම මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.


Monday, September 21, 2026

විදුහල්පතිට මරු කැඳවූ දඹුල්ලේ අනතුර


 

කාංචන කුමාර ආරියදාස


"මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ දඹුල්ල ජාතික පාසලේ ගුරු සේවයේ නිරත වෙලා ඉන්න භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට නේවාසිකාගාරයක් හදලා වස් සමාදම් කරලා මහා ලොකු වස් පින්කමක් කරන්න. ඒ උදාර පින්කම කරන්න කුරිරු රියැදුරා ඉඩ දුන්නේ නැහැ."


රිය අනතුරකින් මියගිය දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති ජානක විජේසිංහ මහතාගේ ආදරණීය බිරිඳ ගුරුවරියක වූ මනෝජා නීලමනී, විජේසූරිය මිය එසේ පැවසුවාය.පසුගිය දා දඹුල්ලේ පමණක් නොව රටම අවධානයට ලක් වූ රිය අනතුරක් බවට පත් වුයේ අධි සුඛෝපභෝගී බස් රථයක නොහික්මුනු රියදුරෙකු නිසා දඹුල්ල ජාතික පාසලේ විදුහල්පති මෙන්ම ප්‍රදේශයේ සමාජ සේවකයකු ලෙස පිළිගත් දෙදරු පියකු වූ ජානක විජේසිංහ (38) ගුරු පියාණන්ගේ වියෝව පිළිබඳවය.



විදුහල්පතිවරයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 20 දින සිදු කිරීමට සියලු කටයුතු සුදානම් කොට තිබිණි. උදෑසන නවයයි තිහට පමණ දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය නිවසේ දි ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව රථ පෙරහරකින් ඔහු සේවය කළ දඹුල්ල ජාතික පාසල වෙත රැගෙන විත් ජාතික පාසලේ ක්‍රීඩාංගණයේ විශාල ජනකායක් ඉදිරියේ අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව නැවත ආගමික වතාවත් ඉටුකොට අවසන් කටයුතු ඉටු කිරීමට සංවිධායකයෝ සැලසුම් සකස් කොට තිබිණි.


මෙම අනතුර පිළිබඳව විදුහල්පතිතුමාගේ බිරිද මනෝජා නීලමණී විජේසුරිය මහත්මිය කුඩා දරුවො දෙදෙනා තුරුළු කරගෙන දරා ගත නොහැකි ශෝකයෙන් මෙසේ පැවසුවාය.


"මෙම අනතුර වෙන දවසේ අපේ මහත්තයා දඹුලු රජ මහා විහාරයේ භාරකාර නායක ස්වාමීන් වහන්සේගේ උපන් දිනය වෙනුවෙන් පවත්වන්නට යෙදුන පින්කමකට සහභාගී වුණා. ඉතාම දිලිඳු දරුවන් හොයාගෙන නායක ස්වාමින් වහන්සේ හා එම දරුවන්ට ඉගෙන ගන්න වාර්ෂිකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම තමයි සිදු කෙරුණේ. ඊට අමතරව නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිකරන ලද අලුත් නිවහනක් නැති බැරි කෙනෙකුට පූජා කිරීමත් සිදු කරනවා කියලා තමයි මට කි වේ. හැමදාම එයා උදේට යන්නේ මොනවා හරි පින්කමකුත් එක්ක කරන්න. හැබැයි හවස් වෙලා මට කතා කරලා කිව්වා වැඩ ටික අවසන් කරලා පාසලටත් ගිහිල්ලා එනවා කියල. ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ටිකක් දරුවන්ට අරගෙන එන්න කියලත් මම කිව්ව. පසුව රාත්‍රී තමයි මේ වේදනාත්මක පණිවිඩය මට ලැබුණේ.


මගේ පුංචි දුව එවගේම පුතාට තවම තේරෙන්නේ නැහැ. එයාලගේ පණ තිබුණේ අප්පච්චි ළඟ. එයාගේ පණ තිබුනෙත් දරුවෝ ළඟ. ඒ වගේම එයා මටත් පුදුම විදිහට ආදරේ කළා, මම ගුරුවරියක් වුණත් අවුරුදු පහක් නිවාඩු දාලා දරුවොත් එක්ක ඉන්න කියලා තමයි කිවුවේ. ඒ අනුව මම නිවසේ දරුවො බලාගෙන හිටියා.


'' සමාජයෙන් මම එක ඉල්ලීමක් කරනවා, නොහික්මුණු රියදුරන් පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන්න. නිරපරාදේ මේ වගේම මිනිස් ජීවිත මහ පාරේ විනාස වෙන්න මින් ඉදිරියට දෙන්න එපා, ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතා කරන කණ්ඩායම් වලින් මම ඉල්ලීමක් කරනවා. සමනලයෙක් වගේ ලස්සනට තිබුණු මගේ මහත්තයාගේ මුහුණ අනතුරෙන් පස්සේ විකෘති වෙලා තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා. මේක පවුලේ අයට දරා ගන්න හරි අමාරුයි. මම කොහොම හරි දරා ගන්නම්, හැබැයි මේ වැඩේ තවදුරටත් කරන්න එපා කියලා මං ආදරෙන් ඉල්ලනවා ගුරුවරියක් හැටියට.


"විදුහල්පතිතුමා විදුහල්පති කෙනෙක් විතරක් නෙවෙයි පුදුම විදිහට තමන්ගේ දරුවන්ට වගේ පාසලේ දරුවන්ට ආදරය කරපු කෙනෙක්. දඹුල්ල ජාතික පාසලට රටේ තැනකට ගන්න හැම වෙලාවෙම සැලසුම් සකස් කළා ඒ වගේම අවට පාසල් වල දරුවන් වැඩි දියුණු කරන්න, පාසල් දියුණු කරන්න ගුරුවරු සහ විදුහල්පතිවරු එක්ක සාකච්ඡා කරනවා. ක්‍රීඩා තරග පවත්වනවා විවිධ උත්සව පවත්වනවා. එයා හරියටම පාසලේ නීතිය ක්‍රියාත්මක කළා. පාසලට ලස්සන බුදු පිළිමයක් තැන්පත් කළා. කොහොම වුණත් අද අපිට මේ ඇත්ත කතාවට මුහුණ දෙන්න වුණා, දුක දරා ගන්න අමාරුයි කොහොම හරි ජීවිතේට මුහුණ දෙනවා."


විජේසිංහ විදුහල්පතිවරයාගේ වැඩිමල් දියණිය සනුලි විජේසිංහ එවගේම පුංචි පුතා ආදි වූ විජේසිංහ අම්මාට තුරුළු වී පාංශකූල කටයුතු සිදු කරද්දී මවගෙන් වැටෙන කඳුළු කැට හෙමින් සැරේ පිස දමමින් සිටින අයුරු එහි සිටි බොහෝ දෙනෙකුට වාවා ගත නොහැකි දුකක් බවට පත් විය.


 

නිවසට වැඩම කළ මහා සඟරුවන විදුහල්පතිවරයාගේ ගුණ කියද්දී ප්‍රදේශවාසීන් දූ දරුවන් ගුරුභවතුන් මෙන්ම හිත මිතුරන් හැමෝම මුමුණන්නට වූයේ ඔහු සිදු කළ අනූපමේය ගුණ යහපත් ක්‍රියාවන් පිළිබඳව ගුණ කදම්බයන් වීම විශේෂත්වයකි.


 පාසලේ දුවා දරුවන් පැත්තකට වී කඳුළු සලමින් තම විදුහල්පතිවරයාගේ වියෝව දරා ගැනීමට නොහැකිව සිටින අයුරු අපට දැක ගැනීමට හැකි විය. කෙසේ වෙතත් විද්‍යාලයේ ගුරුවරුන් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමය ජල ක්‍රීඩා සංගමය රෝද රථ සංගමය විවිධ ස්වේච්ඡා සංවිධාන වෛද්‍යවරුන් ආදී රාජ්‍ය නිලධාරී එකමුතුවෙන් මෙකී නො කී බොහෝ දෙනකුගෙන්ම විජේසිංහ විදුහල්පතිවරයාගේ ගුණ වර්ණනා නවතා ගන්නට නොහැකි විය.




Monday, August 17, 2026

බස් රෝදයේ මාරයාට හිටපු සෙබළා බිලි



 චමිලා අල්විස්


හොරණ මිදෙල්ලමුල්ලහේන ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක රෝදයක් ගැලවී විසිවී පැමිණ එහි ගැටීමෙන් 88 හැවිරිදි හත්දරු පියකු වූ විශ්‍රාමික යුද හමුදා සාමාන්‍ය සෙබළකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ හොරණ මිදෙල්ලමුල්ලහේන ප්‍රදේශයේ පදිංචි සෝමපාල ඇල්විටිගල නමැති 88 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.මියගිය පුද්ගලයා පෙරේදා (15) තම පුතාට අයත් වෙළෙඳසලක් අසල වාඩි වී සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය සඳහන් කරයි.ඔහු ගමන් කිරීම සඳහා කිහිලි ආධාරක භාවිත කරන පුද්ගලයකු බව ද සඳහන් වේ.


එම අවස්ථාවේ දී බස් රථයේ රෝදයක් ගැලවී, රෝදය සමඟ එහි කොටසක් ද විසිවී පැමිණ ඔහුගේ ශරීරයේ ගැටී ඇති අතර, එහිදී ඔහු විසිවී ගොස් බරපතළ තුවාල ලබා ඇත.අනතුරින් ඔහුගේ හිස, මුහුණ සහ පපුව ප්‍රදේශයට තුවාල සිදුව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.


බරපතළ තුවාල ලැබූ ඔහු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති විමල් ආනන්ද මහතාගේ මෙහෙය වීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.


Thursday, August 6, 2026

යතුරුපැදි -බස් ගැටී බංගු කළමනාකරු මරුට




 බී.ජී. චතුරංග


අනුරාධපුර - පාදෙණිය ඒ-28 ප්‍රධාන මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේදී ඊයේ (5) උදෑසන යතුරුපැදියක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් එප්පාවල පිහිටි රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ අංක 18, ඉහළ වැව, කිරලෝගම ලිපිනයේ පදිංචිව සිට, අනුරාධපුර ගුවන්තොටුපළ පාර,කුඩාවැව ප්‍රදේශයේ දැනට පදිංචිව සිටි, දිසානායක මුදියන්සේලාගේ රොහාන් ජයන්ත බණ්ඩාර නමැති 43 හැවිරිදි අවිවාහකයෙකි. ජීවිතක්ෂයට පත්වන විට ඔහු එප්පාවල රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියේය.


මරණකරු අනුරාධපුර  දෙස සිට එප්පාවල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, උදෑසන 7.10 ට පමණ ඒ-28 මාර්ගයේ ප්‍රදේශයේ කිලෝමීටර් 79 - 80 කණු දෙක අතර ප්‍රදේශයේදී ආලියාගල සිට අනුරාධපුර දෙසට තිබූ පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙ අනතුර සිදුව තිබේ. යතුරුපැදිකරු වෙනත් වාහනයකට ඉස්සර කිරීම සඳහා මාර්ගයේ දකුණු පසට  යතුරුපැදිය ගන්නා   අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. අනතුරින් තුවාල ලැබූ බැංකු කළමනාකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


 

අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරා වන එප්පාවල එළිය දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරු විෂ මත්ද්‍රව්‍ය පානය කර සිටියේද යන්න දැන ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණි.එම පරීක්ෂණයෙන් අනතුරුව සැකකරු අධිකරණයට කිරීමට ඉදිරිපත් නියමිතව සිටි බව රථවාහන අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Monday, July 27, 2026

යතුරුපැදිය පෙරළී විසිවුණු දරුව මෝටර් රියට බිලි

 



 බිමල් ශ්‍යාමන් ජයසිංහ


මව හා පියා සමඟ යතුරුපැදියෙන් යමින් සිටි තුන් හැවිරිදි දරුවකු පෙරේදා (25) අළුයම රාජගිරිය අඹගහ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් ඉවතට විසි වී මෝටර් රථයක ගැටී මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය සදහන් කරයි.අනතූරින් මියගොස් ඇත්තේ අයි.ජී. නිසිදු හුමෙත් නමැති දරුවෙකි.


මියගිය දරුවා මව හා පියා සමග ඥාති නිවසකට ගොස් යළි රාජගිරිය පොල්වත්ත, ජනාධිපති විද්‍යාල මාවතේ නිවස කරා යතුරුපැදියෙන් අඹගහ හන්දිය දෙස සිට රාජගිරිය දෙසට යමින් සිටියදී යතුරුපැදියේ පැදිකරුට බුත්ගමුව මාර්ගයේදී යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වී ගොස් යතුරු පැදිය මාර්ගයේ වම්පසට පෙරළී පැදිකරු හා පසු පැදිකරු කාන්තාව මාර්ගයේ වම් පසට වැටී ඇති අතර, යතුරුපැදියේ පැදිකරු අසුනට ඉදිරියෙන් සිටගෙන ගිය වයස අවුරුදු තුනක පමණ වන මියගිය දරුවා මාර්ගයේ දකුණු පසට වැටී ඉදිරියට ඇදී ගොස් රාජගිරිය සිට අඹගහ හංදිය දෙසට මුහුණලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයේ ඉදිරි දකුණු රෝදයට අසුවීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


අනතුරින් බරපතළ තුවාල ලද දරුවා අයි. ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු විනාඩි කිහිපයක් තුළදී මියගොස් ඇති බව පොලිසිය කියයි.සිදු වූ අනතුරින් පැදිකරු ලෙස කටයුතු කළ මියගිය දරුවාගේ පියාට මෙන්ම, පසු පැදිකරු ලෙස සිටි මවට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිසිය සඳහන් කරයි.


නොසැලකිලිමත් හා අපරීක්ෂාකාරී රිය ධාවනයේ යෙදුණු මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර යතුරු පැදිකරු ලෙස කටයුතු කළ මියගිය දරුවාගේ පියාගේ ද නොසැලකිලිමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. ඔහුද අත්අඩංගුවට ගැනීමට නියමිතය. මෝටර් රථ රියැදුරු කොටිකාවත්ත, මහ බුද්ගමුව පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

Monday, July 20, 2026

සංගීතය බලා යතුරුපැදියෙන් ආ තරුණයන් දෙදෙනා වැලි ටිපරයට බිලි

 


චමිලා අල්විස්


සංගීත ප්‍රසංගයක් නරඹා නිවෙස් බලා යමින් සිටි තරුණයන් දෙදෙනකු හොරණ - මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගු ප්‍රදේශයේ ඊයේ (19) අලුයම 2.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දෙගම්බඩ ගමරාලලාගේ දිල්ෂාන් මදුසර සෙනෙවිරත්න සහ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උදීෂ් සිත්මිණ නමැති දෙදෙනා බව පොලිසිය සඳහන් කළේය.


වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය කියයි.මෙම දෙදෙනා හොරණ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නරඹා නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවද පොලිසිය පවසයි.


මූලික විමර්ශනවලට අනුව, හොරණ දෙස සිට ධාවනය වූ යතුරුපැදිය කනන්විල වංගුව ගැනීමේදී රියැදුරුට වේගය පාලනය කරගත නොහැකිව දකුණු මං තීරුවට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයේ ගැටී ඇති බවට සැක කෙරේ.


අනතුරේ ප්‍රබලතාව හේතුවෙන් යතුරුපැදියටද දැඩි හානි සිදුව ඇති අතර, මියගිය දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊයේ (19) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

Thursday, July 9, 2026

දක්ෂතම රියැදුරුට සම්මාන ලැබූ කොස්තාපල් කැබ් රියකට බිලි

  


ඩී.පී. චතුරංග 


අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ, තලාව මොරගොඩ සුනාමි හන්දිය ආසන්නයේදී පෙරේදා (7) සිදු වූ මාරක රිය අනතුරකින් සමස්ත ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනකු අතුරින්, දක්ෂතම රියැදුරා ලෙස සම්මාන හා කුසලානය දිනාගැනීමට සමත් වූ පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්වූ බව තලාව පොලිසිය පවසයි. 


මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කන්කසන්තුරය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ, අනුරාධපුර, නාච්චාදූව පාර තුරුවිල පදිංචිව සිටි ඒ. ඩී. රුචිර දිල්ෂාන් (107837) නැමැති 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.මරණකරු පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා විසිරයන අවස්ථාවේදී, සමස්ත ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනෙකු අතුරින්, දක්ෂතම රියැදුරා ලෙස සම්මාන හා කුසලානය දිනා ගැනීමට සමත් වූ දක්ෂ නිලධාරියකු වූ බවද පොලිසිය සඳහන් කළේය.


නිවාඩුවක් සඳහා සිය නිවෙසට පැමිණ සිටි රුචිර දිල්ෂාන් මහතා, තම පෙම්වතිය සමඟ අනුරාධපුර ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට ගොස්, තඹුත්තේගම පිහිටි ඇයගේ නිවෙසට ඇරලවා, යළි හිදෝගම බලා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කොස්තාපල්වරයාගේ යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.


සිද්ධියට සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.තලාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Monday, June 22, 2026

යතුරුපැදිය කොච්චියේ හැපී තාත්තයි පුතයි මරුට

 



තිස්ස කොටින්කඩුව 


කඳාන ප්‍රදේශයේ සිට රාගම දක්වා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් ඉකුත්දා (19) කඳාන පේලන්දදුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පිය පුතු දෙදෙනාම මිය ගිය බව පොලිසිය කියයි.


සිද්ධියෙන් යතුරු පැදිය පැදවූ පුතු බරපතළ තුවාල සහිතව එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් පියා ඉතා අසාධ්‍ය තත්වයෙන් රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව බව පොලිසිය පවසයි.


අනතුරින් මෙසේ මිය ගොස් ඇත්තේ රාගම පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි වැලිසරගේ කේසාන් ජීවක ප්‍රනාන්දු සහ ඔහුගේ 48 හැවිරිදි පියාවු වැලිසරගේ රොෂාන් කුමාර ප්‍රනාන්දු යන අයයි.රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ.ඒ.සී. ගනේපොල ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  කටයුතු පවත්වති.පශ්චාත් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සඳහා මියගිය පුද්ගලයන්ගේ සිරුරු රාගම ශීක්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

 

Thursday, June 18, 2026

ලොරි දෙකක් ගැටී දෙදෙනෙක් මරුට

 



මැදවච්චිය - යාපනය ඒ 09 මාර්ගයේ, ඔය දුම්රිය ස්ථානයට ආසන්නව ඊයේ (17) අලුයම සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බව පූනෑව පොලිසිය පැවසීය.


මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නොරොච්චෝලේ පදිංචි රුමේෂ් සහ ඇන්තනී නමැති 35 හැවිරිදි හා 45 හැවිරිදි විවාහකයන් දෙදෙනෙකි. මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් තට්ටු ලොරි රථයක් සහ එම දිසාවටම පොහොර පැටවූ ටැංකි ලොරියක්ද පසු පසින් ගමන් ගෙන ඇති අතර එක්වරම එම ටැංකි ලොරිය මෙම තට්ටු ලොරියේ ගැටී පෙරළී ගොස් මෙම මාරක අනතුර සිදුව ඇතැයි පූනෑව පොලිසිය කියයි.


මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට ගමන්ගත් තට්ටු ලොරි රථයක් ධීවර ආම්පන්න රැගෙන පුද්ගලයින් අට දෙනෙකු සමග නොරොච්චෝලේ සිට යාපනය දක්වා ධීවර කටයුතු සඳහා ගමන් ගෙන ඇති බව පොලිසිය කියයි.එම මාර්ගයේ අලුයම රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් එම ලොරි රථය නවත්වා බලපත්‍ර පරික්ෂා කර ඇත. එම අවස්ථාවේ එම දිසාවටම පොහොර පැටවූ ටැංකි ලොරියක්ද රියදුරු සහ රිය සහායක සමග පසු පසින් ගමන් ගෙන ඇති අතර එක් වරම එම ටැංකි ලොරිය මෙම සුසුකි වර්ගයේ තට්ටු ලොරියේ ගැටී පෙරළී ගොස් මෙම මාරක අනතුර සිදුව ඇති බව පොලිසිය කළ පරික්ෂණ වලින් හෙළිවී ඇත.


අනතුරින් ලොරි රථ දෙකේම රියදුරන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර පසුපස ගමන්ගත් පිරිස සිරවී සිට ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ නිලධාරින් පැමිණ මුදවා ගැනීම් කටයුතු සිදු කර ඇත. ඒ වන විට දෙදෙනෙකු මියගොස් සිට ඇත.

මෙම අනතුර ටැංකි රියදුරුට නින්දයාම හේතුවෙන් සිදුව ඇති බව පොලිසිය කියයි. ටැංකි ලොරි රථයේ රියදුරු පූනෑව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.සිද්ධිය පිළිබඳ පරික්ෂණ පූනෑව සිදු කරයි.

Monday, June 15, 2026

මගුල් ගෙදර ගිහින් එද්දී වෑන්රිය ගසක හැපී 11ක් රෝහලේ

 


නිමල් ජයරත්න 


මඩකලපුව සිට මනම්පිටිය දක්වා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් මනම්පිටිය මහවැව ගවංගුව ප්‍රදේශයේදී පෙරේදා 13 වැනිදා සවස 5.00ට පමණ මාර්ගයෙන් ඉවතට පැන, කෝන් ගසක වැදී සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එකොළොස් දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.


මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ, මනම් පිටිය දමිළ ගම්මානයේ පදිංචි පිරිසක් බව, පරීක්ෂණ සිදු කරන මනම් පිටිය පොලිසිය සඳහන් කරයි. මඩකලපුව ප්‍රදේශයේ මඟුල් ගෙදරකට ගොස් ආපසු මනම්පිටිය බලා එමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා තිබේ.රියැදුරුට නින්ද යාම, අධික වේගය, නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බව, ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන මනම් පිටිය පොලිසිය පවසයි.


තුවාල ලැබූවන් අතර වයස අවුරුදු අටක දියණියක ද වන අතර, මෙම අනතුරින් රියැදුරු ඇතුළු තිදෙනකු බරපතළ තත්වයේ පසුවන බවත්, අනතුරෙන් තුවාල ලැබූ 9 දෙනකු පොළොන්නරුව මහ රෝහලේත්, දෙදෙනකු මනම් පිටිය ප්‍රාදේශීය රෝහලේත් ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.


මනම් පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරිහු කණ්ඩායමක් මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.



Friday, June 5, 2026

මවයි පුතයි එක්ක තුනක් මරුට



 


 රංජිත් රාජපක්ෂ


නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අබියස තිබූ යුකැලිප්ටස් ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පාසල් සිසුවකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක එතැනම මිය ගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.



 අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරා දිවි ගලවාගෙන ඇති අතර අනතුර වී ඇත්තේ ඊයේ (04) උදෑසන 6:45ට පමණය.කඩා වැටුණු ගසට යට වී මිය ගොස් සිටි තිදෙනාගේ සිරුරු නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට යවා ඇත.ත්‍රිරෝද රථයේ මව සහ සිය පුතු නාවලපිටිය රෝහලේ පැවැත් වෙන සායනයකට සහභාගි වීම සඳහා යමින් සිටියදීත් අනික් කාන්තාව නාවලපිටිය නගරයේ සිය දියණියගේ නිවෙසට යමින් සිටියදීත් මෙම අනතුරට ලක් වී ඇත.


මිය ගොස් ඇත්තේ ගලබොඩ දෙමළ විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි නාවලපිටිය ගලබොඩ පහළ කොටස ගලබඩ පදිංචි 42 හැවිරිදි සොනමුත්තු කවිතා මව, 14 හැවිරිදි සුරේෂ් වන්දන් පුතු සහ 57 හැවිරිදි පක්කිනාදන් ජෙනී යන තිදෙනාය. නාවලපිටිය ගලබොඩ පහළ කොටස ගලබඩ පදිංචි නඩරාජා සෙල්වකුමාර නමැති රියැදුරු නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.


ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වී තිබූ එම යුකැලිප්ටිස් ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතනවලට දැනුම් දී තිබුණත්, එයට මෙතෙක් විසඳුම් නොලැබීම හමුවේ එම ගස ත්‍රිරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වී ඇති බවයි.

නාවලපිටියේ සිට ගලබොඩ දක්වා ධාවනය වූ නාවලපිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියැදුරු සිද්ධිය සියසින් දැක මෙසේ විස්තර කළේය. මම නාවලපිටියේ ඉදලා ගලබොඩ දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ ගහ ඇල වෙනවා දැක්කා. ඒ හරියේ පාර පටුයි. මම බස් රථය නතර කර ගත්තා. ඒ වෙලාවේ ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය වෙනවාත් සමග ගහ ත්‍රිරෝද රථය උඩට කඩාගෙන වැටුණා.


මේ සම්බන්ධයෙන් නම සඳහන් කිරීමට අකැමැති වූ ප්‍රදේශවාසියෙක් මෙසේ කීය. මේ ගහ දිරලා කඩා වැටෙන්න ඇලවෙලා තියෙද්දී අපි කිව්වා ආපදා කළමනාකරණ ඒකකයට මේ ගහ කපලා ඉවත් කරලා දෙන්න කියලා. රජයේ ඉඩමක තියන ගහක් අපට කපන්න බෑ කියලා ඒ අය අපට දැන්වූවා. දන්වලා දැනට මාස 06ක් විතර වෙනවා කියලා. ගහ කපලා තිබුණා නම් අද ජීවිත තුනක් නැති වෙන්නේ නැ.මාරක අනතුර

සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ   පවත්වයි. 


ත්‍රිරෝදය අඩි 450ක ප්‍රපාතයට පෙරළී පියා මරුට



  ප්‍රසාද් රුක්මල් 


හාලිඇල නෙළුව හරහා බණ්ඩාරවෙල මාර්ගයේ ශාන්ත ජේම්ස් ප්‍රදේශයේදී ඊයේ (4) අලුයම එකට පවුලේ පිරිසක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 450 පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් පියා මියගොස් කුඩා පුතුන් දෙදෙනා සමග ත්‍රිරෝදරථ රියැදුරු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඇටම්පිටිය පොලිසිය පවසයි.


බණ්ඩාර වෙල වෙල් සිවත්තේ කොටස පදිංචිව සිටි සදින් ජවුෆර් (41) නැමැත්තා අනතුරින් මිය ගොස් ඇතැයි පොලිසිය කීය. අනතුරින් ඔහුගේ පුතුන් බව කියන දෙදෙනා බණ්ඩාරවෙල වෙල් සිවත්තේ පහළ කොටස පදිංචි අල් අකීම් (8). මොහොමඩ් අස්මි(14) සහ ත්‍රිරෝද රථ රියැදුරු වන වර්ශා මොහොමඩ් ( 35 ) යන තිදෙනා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය පැවසීය. 



මෙම පියා සිය පුතුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පස්සර ප්‍රදේශයේ පල්ලියක පැවති ආගමික වැඩසටහනකට සහභාගි වි ආපසු රාත්‍රි බණ්ඩාරවෙල වෙල්සිවත්තේ සිය නිවස කරා යමින් සිටියදී මෙසේ ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරළී ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.රියැදුරුට නින්දයාමෙන් මෙම අන්තූර සිදු වෙන්නට ඇති බවට පොලිසිය සැක කරයි. තුවාල ලැබුවන්ගේ තත්වය තරමක් බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි ලෙස අලාභ හානි වී ඇත.


Wednesday, June 3, 2026

රොටී දන්සලේ ඛේදවාචකය :කැබ් හිමිකරු තවම අතුරුදන්

 



කේ. බුද්ධික කුමාරසිරි


 

මීගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත කැබ් රථයක් කඩා වැදීමෙන් කාන්තාවන් තිදෙනකු ඇතුළු නය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටින කැබ් රථයේ හිමිකරුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (02) විදෙස් තහනම් නියෝගයක් නිකුත් කෙරිණ.පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය කළේය.


ඒ අනුව කැබ් රථයේ හිමිකරු සොයා පොලිස් කණ්ඩායම් තුනක් දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම් කරන බවත් සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.අනතුර වූ අවස්ථාවේදී කැබ් රථයේ සිටි බවට සැක කරන තවත් අයකු අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් කණ්ඩායමක් යවා ඇති බව ද එම නිලධාරියා පැවැසීය.


අනතුර කර පලා යමින් සිටියදී කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.අනතුරින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර සිටි කුඩා දරුවකු ඇතුළු තුවාලකරුවන් හත්දෙනාම ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ප්‍රියාගා විජේනායක මහත්මිය පැවැසුවාය.


වයස අවුරුදු එකහමාරක කුඩා දරුවා සහ තවත් අයකු ඊයේ (01) පිටව ගිය බවත් ඉතිරි රෝගීන් පස්දෙනාම අද (02) සවස් වන විට පිටව ගොස් ඇති බවත් විජේනායක මහත්මිය සඳහන් කළාය. අනතුරින් මියගිය කාන්තාවන් තිදෙනා ඇතුළු හය දෙනාගේ දේහ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පනීත සෙනෙවිරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.


එම පරීක්ෂණ අනුව එම මරණ ශරීර අභ්‍යන්තරයේ සිදු වූ බහුවිධ තුවාල වලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් වූ මරණ බවට සහතික කර අදාළ ලිපි ලේඛන පොලිසියට බාරදී ඇති අතර එම ලේඛන ලබන 16 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


අනතුරින් මිය ගිය පාදුක්ක තුන්නානේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනාගේ දේහ පාදුක්ක තුන්නාන මහකන්ද ප්‍රදේශයේ එක් සහෝදරයකුගේ නිවෙසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද 3 වැනිදා තුන්නාන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. අනතුරින් මිය ගිය අවිස්සාවේල්ල තල්දූව ඇපලපිටිය ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයා සහ ඔහුගේ බිරිඳගේ දේහ එම නිවෙසට රැගෙනවිත් තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (03) ඇපලපිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.


එමෙන්ම පිළියන්දල වෑවල පල්ලිය පාර පදිංචිව සිටි පී. බී. ඉන්ද්‍රානි මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද ( 3 ) උදෑසනත් 15 හැවිරිදි දියණියගේ අවසන් කටයුතු හෙට (04) දිනයේත් සිදු කිරීමට නියමිතව තිබිණි.




Tuesday, June 2, 2026

රෑ 12 ට කෝල් එකක් ආවා කැබ් එකක් මේගොල්ලන්ව හප්පාගෙන ගියා කියලා

 


 



අනේ මම ඉස්පිරිතාලයට යනකොට මගේ සුදු නෝනා ටොලියක දාලා ඉන්නවා. ඇස් දෙක ඇරගෙන හිටියා යන්න එපා ඔය ගමන කියලා. ඒත් එයා කිව්වා අම්මේ අක්කලව ඇරලවා එනවනේ කියලා. එහෙම කියල ගිය මගේ සුදු නෝනයි, අයියගේ නෝනයි දුවයි පුතාටයි තමයි මේ විපත්තිය සිදුවුණේ දෙයියනේ” යැයි මීගොඩ දී හය දෙනකු මරුමුවට පත් කරමින් සිදු වූ රිය අනතුරින් මියගිය මලීෂා සත්සරනි දියණියගේ මව සිය දරාගත නොහැකි වේදනාවකින් පැවැසුවාය.


එකම පවුලක ඥාතින් සිවු දෙනෙකුගේ මරණය ගැන ආරංචිය ප්‍රදේශය පුරා පැතිර යාමත් සමග ඥාති හිතවතුන් එම නිවෙස්වලට එකතුව සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය ගැන දැඩි වේදනාවෙන් සිටිනු දක්නට ලැබිණි.


මිය ගිය පිරිස ගැන නැගූ අඳෝනාවෙන් ප්‍රදේශයම දැඩි කම්පනයට පත්ව තිබුණි.


හෝමාගම මීගොඩ හයිලෙවල් මාර්ගයේ බැද්දේ ගෙදර මුල් හංදිය ආසන්නයේ වෙසක් පොහොය නිමිත්තෙන් පැවති රොටී දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් වෙතට කැබිරථයක් කඩා වැදීමෙන් සිදු වූ අනපේක්ෂිත අනතුරෙන් දිවි අහිමි වූ පිළියන්දල වෑවල පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියගේ මව වන එච්. ඒ. චිත්‍රා රංජනී මහත්විය වාවා ගත නොහැකි වේදනාවකින් හඬා වැටෙමින් මෙසේද පැවැසුවාය.


මිය ගිය නවීශා හා ලසික ප්‍රියංකර වයස අවුරුදු 1 1/2 හා 07 වයසේ පසුවන කුඩා දරු දෙදෙනා සමග පිළියන්දල පල්ලිය පාර මවගේ නිවසට ඉකුත් (29) සෙනසුරාදා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා ඇතුළු දරු දෙදෙනා යළි අවිස්සාවේල්ල ඔවුන් පදිංචි නිවසට ඇරලවීම සඳහා මිය ගිය ඉන්ද්‍රානි සිය සැමියා සමග ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් යාමට සූදානම් වීමේදී යාබද නිවසේ සහෝදරයාගේ දියණිය ද ඔවුන් සමග ගමනට එක්ව තිබිණි.


 

ඔවුන් අවිස්සාවේල්ල බලා යන අතරතුරදී ප්‍රදේශයේදී රොටී දන්සලක් තිබෙනු දැක ත්‍රිරෝද රථයේ රියදුරු වශයෙන් සිටි අනතුරින් මිය ගිය ඉන්ද්‍රානිගේ සැමියා සිය දියණියගේ වැඩිමල් දරුවා සමග ත්‍රීරෝද රථයේ සිටියදී සෙසු අය රොටී දන්සලේ පෝලිමට එක් වී ඇත.


සිය දියණිය සහ ඥාතීන්ට නොසිතූ නොපැතු අවස්ථාවක සිදු වූ අනපේක්ෂිත අනතුර සම්බන්ධයෙන් මහත් කම්පාවෙන් තවදුරටත් අදහස් දැක්වූ චිත්‍රා රංජනී මහත්මිය මෙසේද පැවසුවාය.


 

සිදු වූ එම අනතුරින් ඇයගේ බාල දියණිය වන පිළියන්දල වැවල ආනන්ද සමර කෝන් විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන මලීෂා සත් සරති දියණිය, මෙන්ම ඇයගේ නැන්දනීය වන පී. බි. ඉන්ද්‍රාණි (56) අවිස්සාවේල්ල පදිංචිව සිටි ඇයගේ දියණිය වන ( දෙදරු මවක් වන) නවීශා නිලක්ෂි (35) හා ඇයගේ ස්වාමි පුරුෂයා වන ගුවන් හමුදාවේ සේවය කරන ලසික ප්‍රියංකර නානායක්කාර යන අය (38) සහ තුන්නානේ පදිංචි සොහොයුරන්වන ඉෂාන් ප්‍රියංකර (38) සහ නිෂාන් ප්‍රියංකර (36) යන අය මියගියහ. මම අයියටත් කිව්වා ඔය ගමන යන්න එපා අයියේ කියලා. එයා කිව්වා නැ මම මෙයාලව අවිස්සාවේල්ලට ඇරලා දැම්ම එනවා හෙට මට වැඩ වගයක් තියෙනවා කියලා.


රෑ දොළහට විතර කෝල් එකක් ආවා මේ ගොල්ලන් රොටී දන්සලක ඉන්නකොට කැබ් එකක් ඇවිල්ලා සේරම ඇදගෙන

ගිහිල්ලා අනතුරක් වෙලා ඉස්පිරිතාලේ නවත්තලා කියලා අපිට වෙන කිසි දෙයක් කිව්වේ නෑ.


අනේ මම යනකොට මගේ දුව ටොලියක දාලා ඉන්නවා ඇස් දෙක ඇරගෙන හිටියා. මගේ දුව නැතිවෙලා ගේන්න කොටම නැතිවෙලා කියලා තමයි මට දැනගන්න හම් බවුණේ යැයි ඇය ඉකිබිඳිමින් පැවැසුවාය.


පැය කීපයකට ඉස්සෙල්ලා විනෝදයෙන් කතාබහ කරලා යන්නම් අමීමේ. යන්නම් පුංචි, යන්නම් නංගි කියල ගිය ඒ ගොල්ලන් පැය කීපයක් තුළදී මේ වගේ අනතුරකට මුණ දෙන්න වෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ. අනේ දෙයියනේ ඒ ගොල්ලන් ඔක්කොම අපිව දාල යන්න ගියා. අනතුරින් මියගිය ඉන්ද්‍රාණිගේ මව වන සී.ඩී. ඉන්ද්‍රාණී මහත්මිය හැඩූ කඳුළින් මෙසේ පැවසුවාය.


පුතායි, ලේලියි මගේ මිනිබිරිලා දෙන්නයි. එක මිනිබිරියක් ගේ මහත්තයයි තමයි මේ අනතුරින් නැති වුණේ


ඒ දෙන්නවයි, එයාලගේ දරුවො දෙන්නයි අවිස්සාවේල්ලට ඇරලවල එන්න කියලා තමයි පුතා, ලේලි සහ අනෙක් මිනිබිරියත් එක්කගෙන ගියේ.


අපිට කෝල් එකක් ආවා වාහනයක හැප්පිලා අනතුරක් වේලා කියලා


ගෙදර කට්ටිය ඉස්පිරිතාලට ගියාම තමා දැනගත්තේ මේ වගේ ලොකු විපත්තියක් වෙලා කියලා. අනේ කුරා කුඹියෙකුටත් මේ වගේ දුකක් වෙන්න එපා.


සිද්ධියෙන් තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එච්. කේ.චමින්ද ගුණසේකර (39) මහතා මෙසේ පැවසීය.



මගේ බිරිඳගේ ගම අවිස්සාවේල්ල. අපි පවුලේ සහ නෑදෑ කට්ටිය බිරිඳගේ නිවෙසට පැමිණ වෙසක් බැලීමට හෝමාගම පැත්තට ආවා. අපේ පිරිස 9 දෙනෙක් පමණ හිටියා. අපි පනාගොඩ ආමි කෑම්ප් එකේ වෙසක් සැරසිලි බලාගෙන එමින් ගමන මෙතන රොටී දන්සලක් තියෙනව දැකල නතර කළා. පනහක් පමණ සෙනඟ හිටියා. සෙනඟ අඩු නිසා තමයි නතර කරන්න හිතුවේ.

අපි හිටියෙ පාරෙ අයිනෙ සුදු ඉරටත් පිටින් තියෙන කොන්ක්‍රීට් තහඩු උඩ. සමහරු සුදු ඉරේ වගේ හිටියා. මම වාහනයක් එනවා දැක්කෙ නෑ. හුළඟක් විතරක් ඇඟට දැනුණා. කැබ් එක වීමෙන් ඉස්සර කරගෙන ගිහින් තියෙන්නේ.


එතකොටම මගේ ඇස් කළු වෙලා ගිහින් ඇදගෙන වැටුණා. ටික වෙලාවකින් ඇස් ඇරල බලන කොට කීප දෙනෙක් වැටිල හිටියා. අවුරුදු 15 ක වගේ ගැනු ළමයෙක් සහ තවත් දෙන්නෙක් මගේ ළඟම වැටිලා හිටියා. ඒ තුන්දෙනාම මැරිල කියල මට හිතුණා.

පස්සෙ බලන කොට මගේ අක්කත් වැටිලා හිටියා. අක්කයි තව දෙතුන් දෙනෙකුයි වාහනේට දාල රෝහලට යැව්වා. මගෙත් කකුල තුවාල වෙලා කොන්දත් අමාරුයි.


මෙම අනතුර සිදුවන අවස්ථාවේදී රොටී දන්සල අසල විශාල පිරිසක් රැඳී සිටි බවටයි වාර්තා වි තිබුණෙ. ඔවුන් අතරින් පෝලිමේ පසුපස රැඳී සිටි කිහිප දෙනෙකු කැබ් රථය පෝලිමේ රැඳී සිටි පිරිස හප්පා පලායන අයුරු දැක ඇති බවයි ඔවුන් පවසන්නේ.


රොටී දන්සලේ පෝලිමේ රැඳී සිටි තරුණයෙක් මෙසේ කීය. 


මම දන්සැලේ පිටිපස්සෙ හිටියේ මට දහ දෙනෙකුට වගේ ඉස්සරහින් හිටපු පිරිසගේ ඇගට එක පාරටම අවිස්සාවේල්ල පැත්තෙ ඉඳලා ආපු කැබ් රථයක් කඩා වැදුන. ඒ කැබ් එක ආවේ අධික වේගයෙන්, මිනිස්සුන්ගේ ඇගේ වැදුන ගමන් කැබ් එක ආපහු අවිස්සාවේල්ල පැත්තට හැරෙන්න වගේ ගියා. එත් රියදුරා වාහනය පාලනය කරගෙන කොළඹ දෙසටම හරවාගෙන අධික වේගයෙන් පලා ගියා. ඊට පස්සේ අපිත් අපි මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා.. එතන හිටිය ගොඩක් අය තැන තැන බිම වැටිලා කැ ගහන්න ගත්තා.


ඊට පස්සේ පාරේ යන වාහන නවත්තලා ලෙඩිඩු හෝමාගම රෝහලට අරන් ආවේ. සිද්ධිය මතක් වෙන කොටත් මගේ ඇඟ හිරි වැටෙනවා යනුවෙන් පැවසීය.


එසේම එහි රැඳී සිටි තවත් තරුණයෙක් මෙසේ කීය.


අපි එකොළහට විතර දන්සලට ආවා. ඒ එතකොට රොටී ඉවර වෙන්න ළඟයි. අපි ආපහු හැරිලා යන්න හැදුවා. ඒත් සංවිධායකයින් කිව්වා මල්ලි යන්න එපා පිටි ටිකක් ඉතුරු වෙලා තිබෙනවා අපි ඔයාලට රොටී හදලා දෙන්නම් කියලා. ඒ අනුව අපි යාළුවො කට්ටිය එතන නැවතුනා. ඔන්න ඔය වෙලාවෙදි තමයි කැබ් එකක් ඇවිත් අපේ ඇඟේ වැදුණේ. මගෙත් අතේ වැදීගෙන ගියා. නමුත් වැඩිය අමාරු නෑ. දන්සල පැවති ස්ථානය අසල නිවසක පුද්ගලයෙක් මෙසේ පැවසීය.


සවස අපිත් රොටී දන්සලට ගිහිල්ලා රොටී කැවා. රෑ එකොළහ පහුවෙලා වගේ අපි නිදිය ගත්ත කියලා හැදුවා. ඔන්න ඔය වෙලාවෙදි තමයි දඩාස් ගාලා වාහන දෙකක් එකිනෙක හැප්පෙනවා වගේ ශබ්දයක් ඇසුනේ. ඒ පාර ගේට්ටුවත් ඇරගෙන මමයි නෝනයි දෙන්නම පාරට ගියා. ඒ යන කොට අපේ ගේ ඉස්සරහම වගේ දෙන්නෙක් බිම වැටිලා හිටියා.


ඒ දෙන්නම පාර ගියපු කාරි එකක දාගෙන හෝමාගම රෝහලට ගියා.


ඊට පස්සේ අවට බලද්දි තවත් කීපදෙනෙක් පාරේ තැන තැන වැටිලා කෑගහමින් හිටියා. ඔවුන්ව එක එක්කෙනා

ඩිමෝ බට්ටෙක් වගේ ලොරියකට පටවමින් හිටියේ. ඊට පස්සේ ඒ ලොරියෙන් හෝමාගම රෝහලට ලෙඩිඩු අරගෙන ගියා. ඊට පස්සේ අපට හිටිය අයගෙන් තමයි දැනගත්තේ කැබ් එකකින් දන්සලේ පිරිස හප්පගෙන ගියා කියලා. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මියගිය කාන්තාවගේ ඥාති කාන්තාවක් මෙසේ කීවාය.


හැම අවුරුද්දේම අපේ පුතාලා වෙසක් බලන්න යනවා. මේ පාරත් වෑන් එක අරගෙන වෙසක් බලන්න ගියා. ඔය ගියපු අතරේ දන්සලක නවත්තලා ඉන්නකොට තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ආරංචි වුනහම හෝමාගම රෝහලට ගියා. එහිදී තමයි දැනගත්තේ අපේ ඥාතීන් හතර දෙනකු මිය ගිහිල්ලා කියලා, ඒ අතරේ චූටි පුතත් තුවාල වෙලා ළමා වාට්ටුවේ ප්‍රතිකාර ගන්නවා. එයාට ගොඩක් අමාරු නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලි සිය පරීක්ෂණ පවත්වයි. 


මීගොඩ රොටි දන්සලේ අනතුර: සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා ගේන්න පුළුවන්

 

 



 සුජිත් හේවා ජුලිගේ


මීගොඩ රොටී දන්සලකදී හය දෙනකු කැබ් රථයකට යටවී මියයෑම සහ තවත් 13 දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල සැකකරුවන්ට එරෙහිව යාන්ගල්මෝදර අනතුරේදී මෙන් නීතිපතිවරයාට මිනීමැරුම් චෝදනාව යටතේ මහාධිකරනය හමුවේ අධි චෝදනා ගොනුකළ හැකි බව මහාචාරිය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.කෙසේ වෙතත් එසේ කටයුතු කළ හැක්කේ මූලික පොලිස් විමර්ශන සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

   

අනතුර දැක  දැක නොසැලකිලිමත් ලෙස වාහනය එහා මෙහා ගැනිමෙන් මෙම මරණ චේතනාවිතව කර ඇති බවක් පෙනී යන බව පැවසූ මහාචාර්යවරයා යාන්ගල්මෝදරට වඩා මෙය දරුණු තත්වයක් වන්නේ ඒ නිසා බවද ප්‍රකාශ කළේය.මේ අවස්ථාවේදී යථාර්ථ වගකීමක් ලෙස සලකා නීති සංශෝධනයක් ගෙන ආ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.


 

යාන්ගල්මෝදර අනතුර සිදු වූයේ 2005 වසරේදී බවත් දීර්ඝ නඩු විභාගයකින් පසු 2013 වසරේදී කුරුණෑගල මහාධිකරණය එහි රියදුරුට සහ කොන්දොස්තරවයාට මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව නිකුත් කළ බවත් මහානාම හේවා මහතා පැවසීය.ජනතාව කෑ ගසා එපා කියද්දී බස්රථය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදු වූ යාන්ගල්මෝදර අනතුරෙන් 41 දෙනෙකු මරුමුවට පත්වී 21 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බවද ඔහු සිහිපත් කළේය.


සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 298 යටතේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ ඉදිරිපත් කළ හොත් උපරිම වශයෙන් වසර පහක සිරදඬුවමක් හෝ අත්හිට වූ සිරදඬුවමක් හෝ දඩයක් හෝ ඒ දෙකම නියම විය හැකි බව ප්‍රතිහා මහානාම හේවා මහතා පැවසීය.

මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙසේද කිය.


මෙ මාරක අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනුණු රියදුරා වාහනය නවත්වා ගැනීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වෙලා තියෙනවා. මිනිස්සුන් කෑ ගසද්දීත් ඔහු රිය පැදවීම දිගටම කරගෙන ගිහිල්ලා. මිනිසුන් මරණයට පත් විය හැකි බව දැන දැනම ක්‍රියා කළ නිසා ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ල කිරිමේ හැකියාව තියෙනවා.


රටේ අනතුරු වැඩි වෙලා. තත්වය සැලකිල්ලට ගෙන නව නීති ගෙන ඒමට රජයට හැකියාව තියෙනවා. එය කාලෝචිත අවශ්‍යතාවක්. එසේම ඒ සම්බන්ධයෙන් රටේ ප්‍රබල ජනමතයක් ද ඇති විය යුතුයි.


යතුරුපැදිය මෝටරියක හප්පා තමිල්නාඩු ලාංකික තරුණියක මරලා

 


- චෙන්නායිහිදීය (ඉන්දීය මාධ්‍ය ඇසුරිනි) 


තමිල්නාඩුවේ විලුප්පුරම් දිස්ත්‍රික්කයේ පදිංචි යැන්සි නමැති 18 හැවිරිදි ලාංකික සරණාගත තරුණියක බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ජීවිතක්ෂයට පත්වුණු බව ඉන්දීය මාධ්‍ය ඊයේ (1) වාර්තා කළේය.


චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික මත්පැන් හලක බහින්බස් වීමක් දුරදිග යෑමෙන්, එම බහින්බස් වීමට සම්බන්ධ තරුණයන් පිරිසක්, ඔවුන්ගේ මෝටර් රථය හිතාමතාම ඇය යතුරු පැදියේ හැපීමට සැලැස්වීමෙන්, 18 හැවිරිදි එම තරුණිය මියගොස් ඇතැයි කියයි. ඇය සමග සිටි ඇගේ මිතුරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි.


සිද්ධියට අදාළව, 21 හැවිරිදි බාලමුරුගන්, 19 හැවිරිදි ජොෂ්වා සහ 19 හැවිරිදි කිෂෝර් කුමාර් යන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.පොලිස් වාර්තා අනුව, යැන්සි සහ ඇගේ මිතුරන් පිරිසක් චෙන්නායි නුවර පෞද්ගලික මත්පැන් හල තුළ විනෝද වෙමින් සිටිද්දී, තරුණයන් තිදෙනා සමග බහින්බස්වීමක් සිදුව ඇත. එහිදී මත්පැන්හලේ ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී තත්වය පාලනය කර ඇත.


මත්පැන් හලෙන් පිටත දක්වා ආරවුල දුරදිරග ගොස් ඇති අතර, එහිදී ද ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී කණ්ඩායම් දෙකටම එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දී ඇතැයි පොලිසිය පවසයි.ඉන් අනතුරුව, යැන්සි සහ ඇගේ මිතුරිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී, තරුණයන් තිදෙනා ඔවුන්ගේ මෝටර් රථයෙන් ඔවුන් පසුපස පැමිණ ඇති බව පොලිසිය පවසයි.


එසේ පැමිණි මෝටර් රථයේ සිටි තරුණයන් තිදෙනා, යැන්සි ගමන් කළ යතුරුපැදිය පිටුපසින් හප්පා ඇති අතර යැන්සි විසි වී ගොස් තුවාල ලබා එම ස්ථානයේදීම මියගිය බව පැවැසෙයි.යතුරු පැදියේ ගමන් කළ යැන්සිගේ 17 හැවිරිදි මිතුරිය දැඩි සත්කාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



අවුරුදු දෙකහමාරේ දරුවා කැබ් මාරයාට බිලි

 

 බී. ජී. චතුරංග


අනුරාධපුර මොරගොඩ ගල්වඩුවාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දින හතරක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු ඉකුත් 30දා ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරගොඩ පොලිසිය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සිවලාකුලම ගල්වඩුවාගම ප්‍රදේශයේ පදිංචිව සිටි දේශප්‍රිය පියතුංගගේ බිනෝෂ ධනේශ් නැමති වයස අවුරුදු දෙකයි මාස හයක කුඩා දරුවෙකි.


සිවලාකුලම හන්දිය දෙස සිට ගල්වඩුවාගම දෙසට කැබ් රථයක් ධාවනය වෙමින් තිබියදී, එක්වරම මෙම දරුවා මාර්ගය හරහා පාරේ දිවගිය අවස්ථාවේදී කැබ් රථයේ ගැටී ඇති බව පොලිසිය කියයි.රියදුරා කැබ් රථයේ තිරිංග ක්‍රියාත්මක කළද, දරුවා කැබ් රථයේ ඉදිරිපස ගැටී වම්පස රෝදය දරුවාගේ සිරුර මතින් ධාවනය වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.


බරපතළ තුවාල ලබා සිටි දරුවා, එම කැබ් රථයෙන්ම පයිරිමඩුව රජයේ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් අනතුරුව දින හතරක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 30දා රාත්‍රී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සඳහන් කළේය.


අනතුරට සම්බන්ධ කැබ් රථ රියැදුරා වන අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරි බවත් මෙම මරණය සම්බන්ධයෙන් යළි අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.


Wednesday, May 27, 2026

කාර්-යතුරුපැදි ගැටි එස්.අයි තාත්තා මරුට: පුතා රෝහලේ

 

 



 සමන් එස්. රත්නායක


යටියන්තොට කොළඹ පරණ පාරේ සිරිවර්ධන විදුහල අසලදී කාර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී පෙරේදා (25) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ පොලිස් නිලධාරියකු මියගොස් පසුපස සිටි ඔහුගේ පුතා තුවාල ලබා ඇති බව යටියන්තොට පොලිසිය පවසයි. අනතුරින් මිය ගියේ සිටියේ යටියන්තොට පොලිස් ස්ථානයේ සේවය කරන ගරාගොඩ පදිංචි වයස අවුරුදු 59 ක් වන උප පොලිස් පරීක්ෂක හොරවල අරුණ දිප්ති සෙනරත් ජයකොඩි යන නිලධාරියාය.



රාජකාරි විවේකයෙන් පසුව තම පුතා කරවනැල්ල නගරයේ සිට යටියන්තොට නිවෙසට රැගෙන ඒමට ගිය අවස්ථාවේ යටියන්තොට නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර යතුරුපැදියේ හැපුණු කාර් රථය අසල නිවෙසකට පෙරළී ගොස් ඇතැයි පොලිසිය කියයි. පසු පැදිකරු තුවාල ලබා කරවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර මිය ගිය පොලිස් නිලධාරියා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරවනැල්ල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.


මෙම රිය අනතුර සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කර කාර් රථයේ රියැදුරු වන මාගම්මන දෙහිඕවිට ලිපිනයේ පදිංචි වයස අවුරුදු 26 ක තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.මෙහිදී මෙම රියැදුරුගේ බීමත්කම හා විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. යටියන්තොට පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද පද්මසිරි මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරති.

Monday, May 25, 2026

කාර් -ලොරි හැපී ව්‍යාපාරිකයාත් මාස එකහමාරේ සිගිත්තාත් මරුට

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


කුලියාපිටිය නාරම්මල මාර්ගයේ කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා සවස කාර් රථයක්, ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාර් රථය පදවාගෙන ගිය ව්‍යාපාරිකයාට අමතරව ඔහුගේ මාස එකහමාරක් වයසැති දරුවකුද කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව මේ සම්බන්ධයෙන් එම රෝහලේදී පෙරේදා (23) පැවැති මරණ පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය විය.මිය ගිය බිලිඳාට තවම නමක්වත් තබා නැති බව පොලිසිය කියයි.


මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයාගේ බිරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ද, අවුරුදු හතරක් වයස දියණිය කොළඹ ජාතික රෝහලේ ද ප්‍රතිකාර ලබමින් පසුවන බව මෙම මරණ පරීක්ෂණයේ දී වැඩිදුරටත් තොරතුරු අනාවරණය විය.මෙම අඹුසැමි යුවළ දරු දෙදෙනා ද කැටිව කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි මද්‍රසා පාසලක ඉගෙනුම ලබන ඔවුන්ගේ වැඩිමහල් දියණිය නිවාඩුවට නිවසට කැඳවාගෙන ඒම සඳහා යමින් සිටි අතරවාරයේ මෙම අනතුර සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.


මෙම අඹු සැමි යුවළගේ තවත් දියණියක ව්‍යාපාරිකයාගේ සහෝදරියකගේ නිවසේ නවතා පැමිණ තිබිණි.කාර් රථය පැයට කිලෝමීටර් 80 ක පමණ වේගයෙන් පැමිණ ඇති බව පොලිසිය මරණ පරීක්ෂකවරයා හමුවේ කියා සිටියේය. මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නන්දන ප්‍රිය හෙට්ටිගමගේ මහතා විසිනි.


මෙම අනතුර සිදු වීමෙන් පසු කාර් රථයේ සිරවී සිටිය දී ඉවතට ගත් ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිඳ සහ මාස එකහමාරක් වයස දරුවා කුලියාපිටිය ශික්ෂණ රෝහල කරා රැගෙන ඇවිත් ඇත්තේ හෙට්ටිපොළ දිසා රෝහලේ දිසා වෛද්‍ය බුද්ධික මහතා විසිනි.

වෛද්‍ය බුද්ධික මහතා කුලියාපිටිය බලා එමින් සිටි අතරවාරයේ තම වාහනය නතර කර එම තිදෙනා රෝහල කරා රැගෙන ඇවිත් ඇති අතර අනෙක් දරුවා වෙනත් වාහනයකින් කුලියාපිටිය රෝහල වෙත රැගෙන ඇවිත් ඇත.


මෙම හදිසි මරණ පරීක්ෂණයේ දී මෙම තොරතුරු ද හෙළි විය.

රා පටවාගත් ලොරි රථය පදවාගෙන ආ රියදුරාද මෙම අනතුරින් පසු කම්පන තත්වයට පත්ව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. මිය ගිය ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ මාස එකහමාරක් වයස දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත් වූ එම රෝහලේ නීති වෛද්‍ය නිලධාරි කේ.ටී. රවින්ද්‍ර මහතා, බහුවිධ තුවාල හේතුවෙන් මෙම දෙදෙනාම මිය ගොස් ඇති බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේය.


මෙම මරණ පරීක්ෂණයේ දී සාක්කි මෙහෙයවනු ලැබුවේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයෙන් ආනන්ද (51026) මහතා විසිනි. අනතුරින් මිය ගොස් තිබුණේ කුරුණෑගල පානගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි මන්ජුක් මොහොමඩ් නමැති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ මාස එකහමාරක් වන පිරිමි දරුවාය.