Showing posts with label Crime g 3. Show all posts
Showing posts with label Crime g 3. Show all posts

Friday, October 30, 2026

සොයිසාපුර ආපනශාල මෝටර් රිය පැදවූ අපරාධ ඝාතනය: කල්ලි නායකයා අත්අඩංගුවට

 


බිමල් ශ්‍යාමන් ජයසිංහ 


මොරටුව සොයිසා පුර ආපනශාලා හිමිකරු ඝාතනයේ මෝටර් රථය පැදවූ අපරාධ කල්ලි සාමාජිකයා පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන සලිඳු මල්සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සලිඳු නමැත්තාගේ සමීපතමයකු වන රුවන් නමැත්තාගේ ඥාතියකු බව පොලිසිය කියයි.


එම අපරාධකරුට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාට ලද තොරතුරකට අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 ක් සමග සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.


කැලණිය ප්‍රදේශයේ පදිංචි සැකකරු හට විදේශ ගතව සිටින රුවන් නමැත්තා විසින් වම්සැප් ඇමතුමක් හරහා ලබා දුන් උපදෙස්මත ඉකුත් 19 වැනි දින කැලණියේ සිට හෝමාගම මාගම්මන මවුන්ට් ක්ලිපට් නිවාස සංකීර්ණය වෙත කුලී මෝටර් රථයකින් පැමිණ ඇති අතර, ඝාතනය සඳහා යාමට නියමිත මෝටර් රථය එදින පණ ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් ඝාතන සැලැස්ම සිදුකිරීමට නොහැකි වී ඔහු ආපසු කැලණිය කරා පිටව ගොස් තිබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයා පසු දින (20) කොණ්ඩය කපා හිසකෙස් කළු කර සූදානම්ව සිටියදී රුවන් ඇමතුමක් ලබා දී, එදින හෝමාගම මාගම්මනට යන ලෙස ලබා දුන් උපදෙස් මත එහි ගොස් මෝටර් රථය ලබා ගෙන හෝමාගම නගරයට පැමිණ පිළියන්දට යන මාර්ගය පුද්ගලයකුගෙන් විමසා පිළියන්දල නගරයට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරයි.


අනතුරුව රුවන් නමැත්තාට නැවතත් ඇමතුමක් ලබා ගැනීමෙන් කටුබැද්ද විශ්වවිද්‍යාලය ආසන්නයේ මෝටර් රථය නවතාගෙන සිටින දැනුම් දී ඇති අතර, හෝරා 2 ක පමණ කාලයක් රැඳී සිටියදී ඇමතුමක් ලබා දී ඇති රුවන් නමැත්තා, කටුබැද්ද ඇවිදින මං තීරුව අසලට යන ලෙසත්, එහිදී පුද්ගලයන් දෙදෙනකු මෝටර් රථයට ගොඩ වනු ඇති බවත් සැකකරුට පවසා තිබූ බව පොලිසිය කියයි. ස්ථානයට ගොස් මෝටර් රථය නැවතීමත් සමගම නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ මෝටර් රථයට ගොඩවී ඉදිරිපස සිටි පුද්ගලයාගේ මග පෙන්වීම අනුව කටුබැද්ද සොයිසා පුර හෝටලය අසලට පැමිණීමේදී හෝටල් හිමිකරු හෝටලේ ඉදිරිපිට රැඳී සිටි බවත්, ඔහු හෝටලය තුළට යාමත් සමගම වෙඩික්කරු මෝටර් රථයෙන් බැස වෙඩි තබා නැවතත් පැමිණ මෝටර් රථයට ගොඩ වීමත් සමගම තමන් මෝටර් රථය වේගයෙන් පැදවූ බවත්, එම අවස්ථාවේදී කටුබැද්ද ප්‍රදේශයේදී මෝටර් රථය යතුරු පැදියක ගැටී අනතුරට ලක් වූවත් නොනවත්වා ධාවනය කළ බවත් සැකකරුගෙන් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.


මද දුරක් පැමිණීමේදී මෝටර් රථයේ රෝදයක හුළං බැසයාම හේතුවෙන් ලොරියකට වෙඩි තබා නතර කිරීමට උත්සාහ කළ ද, එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් යතුරුපැදියක් කොල්ලකා තිදෙනාම එහි නැග පිළියන්දල නගරය තෙක් පැමිණ, තමන් වට මාවත ප්‍රදේශයේදී එයින් බැස ත්‍රිරෝද රථයක නැග රුවන් නමැත්තාට ඇමතුමක් ලබාගත් බවත්, ඔහු තමන්ට නිවසට යන ලෙස උපදෙස් ලබා දුන් බවත් සැකකරුගෙන් වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.


එම අපරාධය සඳහා මෝටර් රථය පැදවීම වෙනුවෙන් 19 වැනි දින රුපියල් ලක්ෂයක මුදලක් හා 20 වැනි දින රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන් වෙත ලැබුණු බව සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය කීය.


Friday, October 9, 2026

සමාගම් 6ක් හොරට හදා කෝටි 2 1/2 ක ඩොලර් රටින් පන්නලා

 


රෝෂන් තුෂාර


ව්‍යාජ සමාගම් හයක් පිහිටුවා ගනිමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් කෝටි දෙක හමාරක් (රුපියල් කෝටි 750ක්) විද්‍යුත් විගණන පැවරුම් (ටී ටී ඔස්සේ) හරහා රටින් පිට කළේ යැයි රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ෂේක් මොහිදීන් මොහොමඩ් හතිෆ් නමැති සැකකරු ලබන 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (08) නියෝග කළේය.


සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.රේගු ආඥා පනත යටතේ වැරැදි සිදු කර ඇති සැකකරු පලේඛන රජයට ආදිරිපත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වැරැදි සිදු කර ඇති බවද ඔහු පැවැසීය. රටේ ජාතික  ආර්ථිකයට විශාල හානියක් කර ඇති සැකකරු විමර්ශන අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි ඔස්වල්ඩ් පෙරේරා මහතා මෙසේ ද පැවසීය.


මෙරටින් ඩොලර් සංචිත පිට කිරීමේ මහා ජාවාරම සිදු කරන  විමර්ශනයේ 08 වැනි සැකකරු ලෙස මොහු නම් කරනවා. ව්‍යාජ සමාගම් 89 ක් මෙහෙයවමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමෙරිකානු  ඩොලර් රටින් පිටකළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත මොහොමඩ් ජෙෆ්රි හා මොහොමඩ් මුසාම්මිල් මොහොමඩ් ඉන්පාස් සැකකරුවන් හා සමානවම මෙම සැකකරු ව්‍යාජ සමාගම් හයක් පිහිටුවා තිබෙනවා.


මෙතෙක් විමර්ශනය කළ ව්‍යාජ සමාගම් 89 න් 06ක ක්‍රියාකාරීත්වය මෙම සැකකරුවන් දරා තිබෙනවා. මීට අමතරව සමාගම් 17 ක් බැංකු ගිණුම් චෙක් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත්තා. මෙම වෙක් පොත් කාගේද ඒවාට මුදල් ලැබුණේ කාගෙන්ද යන්න පිළිබඳව විමර්ශනය කළ යුතුව තිබෙනවා. පරිගණකයක්, දුරකතනයක් හා විවිධ ආයතන වල ව්‍යාජ රබර් මුද්‍රා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම නිසා සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තරයේ විරුද්ධ වනවා. 


සැකකරු වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා වසර එකහමාරක සිට ව්‍යාපාරය නවතා ඇති බව පැවසීය. ව්‍යාපාරය කරගෙන ගියේ සිය ඥාතීන් සමග බව කී නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු මෙම 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Wednesday, October 7, 2026

කොළඹ ග්‍රැන්ටි පුවරු කොන්ත්‍රාත්තුවෙන් නගර සභාවට කෝටි 40ක පාඩුවක්

 

යොහාන් භාසුර


කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ මහාමාර්ග හරහා සරන 'ගැන්වු' පුවරු කොන්ත්‍රාත්තුව කලින් පැවැති ගිවිසුම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් දීර්ඝ කිරීම හේතුවෙන් වන නගර සභාවට රුපියල් කෝටි 40ක පමණ පාඩුවක් වී ඇතැයි, නගර සභා මන්ත්‍රීවරු චෝදනා කරති. 


කොළඹ නගර සභා සීමාව තුළ 'ගැන්ට්‍රි' පුවරු සවිකිරිමට 2010 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අත්සන් කළ ගිවිසුමට අනුව එම වසරේ අගෝස්තු 11 වැනිදා සිට 2018 වසරේ අගෝස්තු 10 වැනිදා දක්වා වසර 8ක කාලයක් දක්වා පෞද්ගලික සගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමූ බවත්, පසුව 2016 වසරේ නොවැම්බර් 25 වැනිදා පෙර ගිවිසුම ස්ත්‍රියව තිබියදී එම පෞපෞද්ගලික සමාගමටම 'ගැන්වූ' පුවරු සවි කිරීමේ කොන්ත්‍රාත්තුව 2030 වසර දක්වා දීර්ඝ කර ඇති බවත්, මන්ත්‍රීවරු කියති.


'ගැන්ට්‍රි' පුවරු සවිකිරීමේ කොන්ත්‍රාත්තුවට අනුව 'ගැන්ට්‍රි' පුවරු සවිකිරීම රුපියල් 85,00ක පමණ මුදලකට ප්‍රදානය කර තිබුණු ද, අදාළ සමාගම රුපියල් ලක්‍ෂ 60 සිට 70 දක්වා මුදලකට අලෙවි කරන බව කියන මන්ත්‍රීවරු, කොළඹ නගර සීමාවෙන් එළියේ මාර්ග වල 'ගැන්ට්‍රි' පුවරු සකිරීමේ අයිතිය මාර්ග සංවර්ධන අධිකාරියට හිමිව තිබීම නිසා එම අධිකාරිය 'ගැන්ටු පුවරුවක් සවිකිරීම රුපියල් ලක්‍ෂ 30කට අධික මුදලකට අලෙවි කරන බව ද සඳහන් කරති.


කොළඹ නගර සභා සීමාව තුළ කොළඹ 'ගැන්ට්‍රි' පුවරු 48ක් මේ වන විට ඉදිකර ඇති බවත්, එම 'ගැන්ට්‍රි' පුවරු රැසක් මේ වන විට එල්ටිඩි පුවරු බවට පත්වීමෙන් නගර සභා සහ මාර්ග නීති උල්ලංඝනය කර ඇති බවත් මන්ත්‍රීවරු කියති.


2010 වසරේ එළැඹි ගිවිසුම පැවැති කොන්දේසි ද උල්ලංඝනය කරමින් අදාළ පෞද්ගලික සමාගමධම ලබාදීමෙන් විශාල පාඩුවක් ලැබීම වැළැක්විය නොහැකි බවත්, ඒ හේතුවෙන් මෙම ආදායම් අහිමි වීම නැවැත්වීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස කොළඹ නගරාධිපතිනි වායි කැලී බර්තසාර් මහත්මියගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවත් ඔවුහු කියති.



කොළඹ නගර සභාවේ උසස් නිලධාරින් රැසක් එකතුව සභාව ලැබිය යුතු ආදායම් අහිමි කර ඇති අතර, කොළඹ මහ නගර සභාවේ සේවය කර විශ්‍රාම ගිය ඇතැම නිලධාරීන් වර්තමානය වන විට ද මෙම ගිවිසුම්වල ප්‍රතිලාභ ලබන බවත්, මන්ත්‍රීවරු වැඩිදුරටත් සඳහන් කළහ.කොළඹ මහ නගර සභාවේ 'ගැන්ට්‍රි' පුවරු කොන්ත්‍රාත්තුව පිළිබඳව පාර්ලිමේන්තුවේ ‘කෝප්' කමිටුවේ ද අවධානය යොමු වී තිබේ.කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බර්තසාර් මහත්මියගෙන් මේ පිළිබඳව විමසීමට ජංගම දුරකතනයට ඇමතුව ද, ඇය ප්‍රතිචාර නොදැක්වූවාය.



Tuesday, October 6, 2026

පොඩි එවුන් හිටියත් කමක් නෑ

 


‍ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


“කරන්දෙණිය සුද්දාගේ පැත්තේ හතර පස් දෙනකු ඉන්න ගෙදරකට ගහන්න ආයුධ එහෙම සූදානම් කරගෙන ඉඳපන්. පොලිසියේ නිලධාරීන් විදිහට ගිහින් වෙඩි තියලා බෝම්බ ගහපන් කියලත් කිව්වා. පොඩි එවුන් හිටියත් කමක් නැහැ. කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැතිව ඉවරයක් කරලා දාපන්. ගෙදර ඛල්ලො පූසන් හිටියොත් ඒත් මරා දාපන් කියලා තමයි දුරකතනයෙන් කතා කළ කෙනා දැනුම් දුන්නේ” යැයි අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ කොටුවූ පාතාල වෙඩික්කරු බව කියන පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (5) පැවැසීය.


මේ වනවිට වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයා වන පොඩි පැටී වෙඩි තබා ඝාතනය කිරීමට එකට එකක් කිරීමක් වශයෙන් කරන්දෙණියේ සුද්දාගේ පාර්ශවයේ පස් දෙනකුගෙන් පලිගැනීමට සැලසුම් කර තිබූ බව ද පාතාල වෙඩික්කරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් හෙළි කර ඇතැයි කියති



උඹ වෙපන් එක සූදානම් කරගෙන ඉඳපන් මම වෙඩි තියන්න යන්න ඕන තැන පැයකට විතර කලින් කියන්නම්. වැඩි ඈතකට නෙමේ යන්න ඕනෑ. පොලිසියෙන් කියලා ගෙදර දොරට තට්ටු කරපන්. දොර ඇරියේ නැත්නම් දොර කඩාගෙන ගේ ඇතුළට ගිහින් වෙඩි තියලා බෝම්බත් ගහන්න ඕනෑ. කරන්දෙණියේ සුද්දගෙ පැත්තේ එවුන්ට හොඳ පාඩමක් උගන්වනවා. කියලත් මට ඇමැතුම දුන් කෙනා පැවසීයැයිද පාතාල වෙඩික්කරු පොලිස් ප්‍රශ්න කිරීම්වල දී තවදුරටත් හෙළිකර ඇතැයි කියති. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරක් අනුව මහා ඉඳුරුව ප්‍රදේශයේ නිවෙසක් වටලා පාතාල වෙඩික්කරු බව කියන පුද්ගලයෙක් සහ ගිනි අවි දෙකක් ද සමග තවත් සැකකරුවෙක් ද පසුගිය තුන්වැනිදා රාත්‍රි කාලයේ අත්අඩංගුවට ගනු ලැබූහ.මෙහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී පාතාල වෙඩික්කරු බව කියන පුද්ගලයාගේ කකුලකට වෙඩි වැදී තුවාල ලැබීය.අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.


Friday, October 2, 2026

රමිත් රඹුක්වැල්ලගේ දෙස් විදෙස් මුදල් තොගයක් සොරාගෙන



 බිමල් ශ්‍යාමන් ජයසිංහ


හිටපු ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතාට අයත් යැයි කියන මෙරට සහ විදේශීය මුදල් තොගයක් සහ නිවෙසේ තිබූ ගෘහ උපකරණ ඇතුළු දේපළ සොරාගෙන ඇති බව පවසමින් පෙරේදා (30) පැමිණිල්ලක් කර ඇතැයි නාරාහේන්පිට පොලිසිය සඳහන් කරයි.


ඇමෙරිකානු ඩොලර් 4,275 ක්, රුපියල් ලක්ෂ 14 ක මුදලක් මෙන්ම නිවෙසේ තිබූ ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට එල් පැමිණිල්ලේ සඳහන්ය. කොළඹ නාරාහේන්පිට නිවාස සංකීර්ණයක පිහිටි නිවෙසින් එම දේපළ සොරාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.


එම දේපළ ඉකුත් අගෝස්තු 8 වැනිදාත් සැප්තැම්බර් 30 වැනිදාත් අතර කාලය තුළ දී සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.රමිත් රඹුක්වැල්ල මහතාගේ පැමිණිල්ල අනුව කළ මූලික විමර්ශනයේ දී බිරිඳගේ පියාට එම නිවෙස අයත් බවත් ඔහුගේ උපදෙස් මත රමිත රඹුක්වැල්ල මහතාට අයත් දේපළ නුගේගොඩ ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකට දමා ඇති බවටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.


මේ අතර රමිත් රඹුක්වැල්ල මහතාගේ බිරියගේ පියා ද සම්බන්ධයෙන් විදේශ රටක සිට පැමිණිල්ලක් කරමින් විද්‍යුත් පණිවිඩයක් එවා ඇති බව ද පොලිසිය සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.නාරහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.



Friday, April 10, 2026

ඩීසල් ලීටර් 200 ක් වෑන්රියෙන් ඇදලා

  

 

උපුල් හේරත්


බලපත්‍ර නොමැතිව නීති විරෝධීව වෑන් රථයකින් ඩීසල් ලීටර් දෙසීයක් ප්‍රවාහනය කරමින්සිටි ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකු පෙරේදා (08) මාකට් පෙදෙසේ ඉන්ධන පිරවුම් හලක් අසලදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්බිරිගස්වැව හා පෙරමියන්කුලම පදිංචි වයස අවුරුදු 26ත් 31 ත් අතර වියේ පසුවන පුද්ගලයන් සිවුදෙනෙකි. මින් එක් අයෙක් ඉන්ධන පිරවුම් හලක පොම්ප ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරන අයෙකි. මොවුන් අනුරාධපුර මාකට් පෙදෙස ආසන්නයේදි වැන් රථයේ බුලීවල පටවා තිබු ඞීසල් වලින් කොටසක් ට්‍රැක්ටරයක ඉන්ධන ටැංකියට පුරවමින් සිටියදි ඒ ආසන්නයෙන් ගමන් ගනිමින් සිටි වවුනියාව ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඒ බව අනුරාධපුර මුලස්ථාන පොලිස් ස්ථානයට සිදුකළ දැනුම්දීම මත සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසිය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.


Tuesday, April 7, 2026

විශ්වාසය දිනාගන්න අයිඩී ෆොටෝ වට්ස්ඇප් යවලා

 

 

ගයාන් සූරියආරච්චි


 

ත්‍රිරෝද රථයක් විකිණීමට ඇති බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර දිවයින පුරා විවිධ පුද්ගලයන්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. පොලිස් සැරයන්වරයකු සහ ගුවන් හමුදා සෙබළකු ලෙස පෙනී සිටිමින් මොවුන් මෙසේ මුදල් ලබා ගෙන ඇතැයි කියයි.



අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ සහ සියඹලාගුණය ප්‍රදේශයේ පදිංචි 43 සහ 47 වියේ පසුවන පෙදරේරුවන් දෙදෙනෙකි. අන්තර්ජාලයේ දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තමා පොලිසියේ සහ ගුවන් හමුදාවේ සේවය කරන බව පවසමින් දුරකථන ඇමතුම් දී පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා පොලිස් සැරයන්වරයකුගේ සහ ගුවන් හමුදා නිලධාරියකුගේ හැදුනුම්පත්වල ඡායාරූප whatsapp හරහා ගැනුම්කරුවන්ට යවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.කොළඹ මධ්‍යම කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ සහ ගුවන් හමුදාවට අනුයුක්ත සෙබළකුගේ නිල හැඳුනුම්පත්වල ඡායාරූප සැකකරුවන් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.


මහියංගනය, බදුල්ල, නුවරඑළිය, කටුවන සහ රාගම යන ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් අත්තිකාරම් මුදල් වශයෙන් 2,30,000 ක් පමණ මුදල් ගිණුම්වලට බැර කරගෙන තිබූ බව පොලිසිය කියයි.කොම්පඤ්ඤ වීදිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී සැකකරුවන් මුදල් බැර කර ගැනීම සඳහා භාවිත කළ ගිණුම් දෙකක් පොලිසිය හඳුනාගෙන ඇත.


එම එක් ගිණුමකට අදාළ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කරයි. සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකතන දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

Monday, March 16, 2026

මචං බඩු හංගපන් අපි එනවා: ජාවාරමුන්ට ඔත්තු දුන් පොලිස් තිදෙනකුගේ හඬපට එළියට

 


ගයාන් සූරියආරච්චි


මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සම්බන්ධයෙන් කරනු ලබන වැටලීම්වලදී එම ජාවාරම්කරුවන්ට පලායාම සදහා ඔත්තු දුන්නැයි කියන පොලිස් නිලධාරීන් තිදෙනකු පිළිබදව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.පොලිස් නිලධාරින් තිදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග කළ දුරකතන සංවාද සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ඔහු කීය.


 

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන බඩෝවිට ශාන්ති නමැත්තියගේ නිවෙස වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයට ගොස් සිටි අතර පොලිස් කණ්ඩායමක් එම සැකකාරියගේ නිවෙස වැටලීම සඳහා පැමිණෙන බව පොලිස් නිලධාරියකු සැකකාරියගේ පුත්‍රයාට දන්වා තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.සැකකාර පොලිස් නිලධාරියා බඩෝවිට ශාන්ති නමැත්තියගේ පුත්‍රයාට "මචං යැයි අමතා ඔවුන්ගේ නිවෙස වැටලීම සඳහා පොලිස් කණ්ඩායමක් පැමිණෙන බවත් “බඩු” සඟවා තබන ලෙසත් එම පොලිස් නිලධාරියා සැකකාරියගේ පුතාට පවසන හඬ පටයක් ද සොයාගෙන ඇති බව එම උසස් පොලිස් නිලධාරියා පැවැසුවේය. 


යටියන්තොට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා යටියන්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුගේ නිවෙසට යන අවස්ථාවේ දී පොලිස් නිලධාරියකු ඒ බව සැකකරුට දුරකතන ඇමැතුමක් මගින් දන්වා ඇති බව පොලිසිය පවසයි.සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග සම්බන්ධතා පැවැත් වූ බව කියන තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු දුන් බව කියන පොලිස් නිලධාරීන් පිළිබඳව විමර්ශන පවත්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ උපදෙස් දී ඇති බව ද එම නිලධාරියා පැවැසීය.

Thursday, March 12, 2026

ගතවූ මාස දෙකට විදෙස් ප්‍රේෂණ ඩොලර් කෝටි 140 ක් එවලා

 


 


රංජන් කස්තුරි


මේ වසරේ මුල් මාස 2 තුළ රැකියා සදහා විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය 2025 වසරට සාපේක්ෂව සියයට 32කින් ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාරියාංශය සදහන් කරයි.2026 වසරේ මුල් මාස 2 තුළ විදේශගත ශ්‍රමිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් කෝටි 140 ක මුදලක් මෙරටට එවා ඇති අතර, 2025 වර්ෂයේ මුල් මාස 2 තුළ ලැබී තිබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,121 ක් වූ බවද එම කාර්යාංශය කියයි.


2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 729ක් මෙරටට එවා ඇති අතර, 2025 වර්ෂයේ පෙබරවාරි මස ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 548.1 ක් බවකි.ඒ අනුව 2025 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2026 වසරේ පෙබරවාරි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම්වල කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබේ.


මේ අතර, මේ වසරේ මුල් මාස 2 තුළ ලාංකිකයන් 47,819 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර, මාර්තු මාසයේ 01 සිට 09 දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශගතවීම වෙනුවෙන් ලාංකික ශ්‍රමිකයන් 3,241 දෙනෙකු කාර්යාංශ ලියාපදිංචිය ලබාගෙන ඇත.

Wednesday, February 11, 2026

දාසයේ දැරියක ස්පාවක ගණිකා වැඬට යොදවලා

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


සම්බාහන මධ්‍යස්ථානයක (ස්පා) දහසය හැවිරිදි දැරියක ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන එම සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිය රාගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. එම සම්බාහන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා සිටි දහසය හැවිරිදි බාල වයස්කාර දැරිය මුදාගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (9) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.


පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව රාගම පොලිසියේ සැරයන් ජයතිස්ස (52089) මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් රාගම ප්‍රදේශයේ පිහිටි එම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් විමර්ශන පවත්වා දැරිය මුදාගෙන, එහි කළමනාකාරිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සම්බාහන මධ්‍යස්ථානයේ අයිතිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

බාල වයස්කාර දැරිය මීට ඉහතදී ඇයගේ පෙම්වතා බව කියන තරුණයා අතින් අපයෝජනයකට ලක්වී ඇතැයි කියන අතර, එම තරුණයා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියමින් පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි ද පොලිසිය කියයි.


පෙම්වතා බව කියන තරුණයා රිමාන්ඩ් භාරයට පත් වීමෙන් පසු ඔහුගේ මිතුරකු බව කියන තරුණයකු ඇය මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගෙනැවිත් භාර දී ඇති බව කියති.දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළි විණි යයි ද පොලිසිය පැවැසීය.බාල වයස්කාර දැරිය සම්බාහන මධ්‍යස්ථානයට ගෙන ගොස් භාර දුන් බව කියන තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.  අත්අඩංගුවට ගැනීමට සොයන මෙම තරුණයා දැරිය සම්බාහන මධ්‍යස්ථානයට දී මුදල් ලබාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.


Wednesday, January 21, 2026

තව කතුන් 49 ක් නිරුවත් කළාද?

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ගෘහ සේවිකාවක වශයෙන් දරුවන් තිදෙනා බලාගැනීමට බදවා ගත් කාන්තාවක නිවසේ සේවකයන් ඉදිරියේදී නිරුවත්කර එහි වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ කෝටිපති ව්‍යාපාරිකයා ළඟ වරින් වර සේවය කර ඉවත්ව ගොස් ඇති කාන්තාවන් හතළිස් නව දෙනකු සම්බන්ධයෙන්ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.


මෙම කාන්තාවන් – ඉවත්ව ගියේ එම කාන්තාවන්ද නිරුවත් කර වීඩියෝ කිරීම නිසා දැයි යන්න ගැන සැකයක් මතු වී ඇති නිසා මෙවැනි පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාගම් තුනක හා තවත් ආයතන කිහිපයක හිමිකරුවකු බව කියන කොළඹ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකි.


අත්අඩංගුවට ගැනුණු කෝටිපති ව්‍යාපාරිකයා මෙම කාන්තාව නිරුවත් කිරීමෙන් අනතුරුව ඔහුට අයත් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එම නිරුවත් ඡායාරූප ඔහුගේ වම්සැප් ගෘප් එකට ද යවා තිබෙන බවද පොලිස් විමර්ශන වලින් හෙළි වී ඇතැයි කියති.මෙම කාන්තාවන් ඉවත්ව ගොස් ඇත්තේ එම කාන්තාවන්ද මෙවැනි ආකාරයට බලහත්කාරයෙන් නිරුවත් කර ඒවා වීඩියෝ ගතකර ලිංගික හිංසනයට ලක් කිරීම නිසා

විය හැකි බවට පොලිසිය සැක කරයි. මෙම කෝටිපති ව්‍යාපාරිකයා මෑතකදී ඉවත්වූ කාන්තාවට කතුරක් එල්ල කර බලහත්කාරයෙන් ඇයගේ ඇඳුම් ඉවත් කර සේවකයන් පිරිසක් ඉදිරියේ නිරුවත් කළ බවද විමර්ශනවලින් හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. 


මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ විවාහක බිරිඳ ඔහුගෙන් එල්ල වන තාඩන පීඩන හිංසා ඉවසා ගැනීමට නොහැකිව ඔහුගෙන් වෙන්ව ජීවත් වන බවද පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය. බාල වයසේ පසුවන දරු තිදෙනා ඔහුගේ බාරයේ පසුවෙති.මෙම කාන්තාවගේ ඇඳුම් බලහත්කාරයෙන් ගලවා නිරුවත් කර ලිංගික හිංසනයකට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලය මගින්ද ප්‍රසිද්ධියට පත්ව

තිබිණි.


පසුගිය වසරේ දෙසැම්බර් මස දිනෙක මෙම සිද්ධිය වී ඇති බව පැවසෙන අතර මෙවැනි ආකාරයකට ලිංගික හිංසනයකට ලක් වූ බව කියන කාන්තාව මේ බව පසුගිය ජනවාරි මස කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළාය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කිරීමත් සමගම ඔහු පදිංචිය අතහැර පලා ගොස් තිබිණි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද තොරතුරක් අනුව පොලිස් ළමා හා කාන්තා කාන්තා කාර්යාංශයේ සහ ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමා හේවා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් හික්කඩුවේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් පෙරේදා රාත්‍රියේ වටලා මෙම කෝටිපති ව්‍යාපාරිකයා සහ අනෙක් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.


මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ කොළඹ ප්‍රදේශයේ සුපිරි නිවසේ ඇති මාළු ටැංකිය පමණක් ලක්ෂ 75 ක් පමණ වටිනා බව පැවසේ.පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මියගේ සහ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමා හේවා මහතාගේ මෙහෙයවීම යටතේ එම කාර්යාංශයේ නිලධාරීහු සහ නිලධාරිනියෝ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරික්ෂණ පවත්වාගෙන යති.


මෙසේ කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඒ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි කියන තවත් දෙදෙනකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔසද මිගාර මහාආරච්චි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස දෙවැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

Monday, January 12, 2026

කොණ්ඩ රංජි ඩුබායිවල රිමාන්ඩ්


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ඩුබායි පිහිටි ගුවන්තොටුපළකදී කෝටි හතරකට ආසන්න රභාණ්ඩ පැළඳසිටියදීඅත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල අපරාධකරුවකු ලෙස සැලකෙන කොණ්ඩ රංජි නැමැත්තා එරට අධිකරණයක් හමුවට පෙරේදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස දෙකක කාලයක් සදහා රිමාන්ඩ් භාරයට පත් කර සිටින බවට තොරතුරු ලැබී ඇතැයි මෙරට පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (11) පැවසීය.බිරිඳ සහ මොහුගේ එක් දරුවකු සමග ඉතාලිය බලා යාමට ඩුබායිහි ගුවන් තොටුපළකට පැමිණ සිටියදී කොණ්ඩ රංජිනැමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඔහුගේ බිරිඳ සහ දරුවා මුදා හැර තිබිණි.


ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබුණ කොණ්ඩ රංජි නැමැත්තා එරට පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැළඳ සිටි කෝටි හතරකට ආසන්න රන් භාණ්ඩ ඔහුගේ බිරියට බාර දී ඇතැයිද පැවසේ.කොණ්ඩ රංජි නැමැත්තාගේ වසා දමා ඇති කඳාන ප්‍රදේශයේ පිහිටි නිවසට මීට මාස කිහිපයකට ඉහතදී වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර තිබිණි.


හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි සමීර මනහර මහතා ගමන් කළ මෝටර් රථයට කඳාන පොලිසිය ඉදිරිපිට ඇති පොදු වෙළඳ සංකීර්ණය අසලදී පසුගිය ජූලි මස තුන්වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඔහුට බරපතළ තුවාල කර ඔහුගේ මස්සිනා වූ උපාලි කුලවර්ධන මහතා ඝාතනය කිරීම ඩුබායි සිට මෙහෙයවා ඇතැයි කියන්නේ ද කොණ්ඩ රංජි ද නැමැත්තා විසින් බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.


මෙම සිද්ධියට අදාළව කොණ්ඩ නැමැත්තාගේ ගෝලයකු බව කියන චූටිමල්ලි නැමැත්තාද මීට සති කිහිපයකට ඉහතදී ඩුබායි රටට පලාගොස් සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට මාස දෙකක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයේ පසුවන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

Wednesday, January 7, 2026

රට වාහන රේගුවෙන් නිදහස් කරගැනීමේ දී අයිතිකරුවන්ගෙන් කෝටි ගණනින් ගහලා



යොහාන් භාසුර


ආනයනික වාහන ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරගැනීමේ දී නිදහස් කිරීමේ නියෝජිත පෞද්ගලික සමාගම් වාහන හිමියන්ගේ රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළේ යැයි පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.රට පුරා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසවලට මෙම පැමිණිලි ලැබෙමින් ඇති බවත් එම මෙම තත්වය හේතුවෙන් එම වාහන ආනයනය කළ පුද්ගලයන්ට ඒවා නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවත් එම නිලධාරියා කීය.


ප්‍රධාන වාහන ආනයනකරුවන් නොවන වාහනයක් දෙකක් පෞද්ගලිකව  ආයනයනය කරන පුද්ගලයන් එම වංචාකරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇති බව කී එම නිලධාරියා එම සමාගම් වාහන හිමියන්ගේ රුපියල් ලක්‍ෂ 30 සිට ලක්‍ෂ 100 පමණ දක්වා මුදල් වංචා කළේ යැයි පැමිණිලි ලැබී ඇති බව ද ප්‍රකාශ කළේය.ජපානයේ හෝ වෙනත් රටක සිට වාහනය මෙරටට ළඟා වූ පසු එය නිදහස් කිරීම බාර ගන්නා සමාගම් රජයට අයවිය යුතු රුපියල් ලක්‍ෂ ගණනක තීරු බදු ආනයනකරුගෙන් ලබාගෙන වාහනය නිදහස් කිරීම මඟ හරින බවත් වාහනයක් නිදහස් කිරිම සඳහා රුපියල් 60,000 කට අධික සේවා ගාස්තුවක් අය කරන මෙම වංචාකරුවන් වාහනයක් නිදහස් කිරිමේ පළමු පියවර වන රේගුවට නිවේදනයක් දැමීම සිදු කර වාහන හිමිකරුගෙන් ඉතිරි මුදල් ද ලබා ගන්නා බවත් එම නිලධාරියා පැවසීය. පෑලියගොඩ සහ කොටහේන ප්‍රදේශවල ලිපිනයන් සඳහන් සමාගම් දෙකක එකම පුද්ගලයකු මුදල් වංචා කර ඇතැයි පැමිණිලි ලැබී ඇති බවත් එම පුද්ගලයා කැඳවා පොලිසිය කළ විමසීමේ දී අදාළ සමාගම් තමන්ගේ නොවන්නේ යැයි ඔහු පවසන බවත් එම නිලධාරියා කීය. 


“ඔබ සල්ලි ගෙවලා තියෙන්නේ මගේ සමාගමට නොවෙයි” යැයි ඔහු පවසන අතර ඇතැම් වංචාකරුවන් නීතියෙන් ගැලවීම සඳහා ලබාගත් මුදලින් යම් ප්‍රමාණයක් ආනයනකරුගේ ගිණුමට බැර කරන බවත් වාහනයක් නිදහස් කරගැනීමේ දී විශ්වසනීය ආයතනයක් සමඟ කටයුතු කළයුතු බවත් එම නිලධාරියා සඳහන් කළේය.වාහන ආනයනකරුවන් වංචාකරුවන්ට හසුවීම නිසා ඔවුන්ට වාහන නිදහස් කර ගැනීමට මාස ගණන් ගතවන බව ද වාර්තා වේ.


රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමක දී පැවසුවේ එවැනි වංචා පිළිබඳව කාලයක සිට නිරන්තරයෙන් වාර්තා වන බවත් තීරු බදු ගෙවීමට අතරමැදියන් අවශ්‍ය නොවන අතර තීරු බදු රේගුව වෙත සෘජුවම ගෙවිය හැකි බවත්ය.මෙම වංචාවට මහා පරිමාණ වාහන ආනයනකරුවන් හසු නොවන පුංචිහේවා මහතා මෙම තත්වයට රේගු දෙපාර්තමේන්තුවට කිසිවක් කළ නොහැකි අතර ආනයනකරුවන් වංචාකරුවන්ට හසුනොවී රේගුවට තීරුබදු ගෙවීමෙන් මෙම තත්වය මගහරවාගත හැකි බව ද සඳහන් කළේය.

Wednesday, June 4, 2025

හොර අංක තහඩු වාහනයක් එක්ක මත් ජාවාරම් ගෝලයෙක් කොටු

 


සුමිත් පොතුපිටිය


ඩුබායි රාජ්‍යයේසැඟව සිටිමින්මත්කුඩුජාවාරමේ නිරත ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයකු නීති විරෝධී ලෙස වර්ණය සහ අංක තහඩු වෙනස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සමග අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. කළුතර දෙල්දුව ප්‍රදේශයේ සැකසහිත ලෙස ගමන් ගන්නා මෝටර් රථයක් පිළිබඳව ලද තොරතුරක් මත කළ වැටලීමකදී දෙල්දුව ප්‍රදේශයේ නවතා තිබූ මෙම සුඛෝපභෝගී මෝටර් රථය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථයේ ලියාපදිංචි වර්ණය වෙනස් කර ඇති බවත් මීට අමතරව එන්ජින් අංක සහ බඳ අංක පරීක්ෂා කිරීමේදී එම අංකද ව්‍යාජව සකස් කර ඇති ඒවා බවට හඳුනාගෙන තිබේ.

 

එම මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙම මෝටර් රථය මෙම පුද්ගලයාට ලබා දී ඇති බවයි. මෝටර් රථයේ සිටි පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බ සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති වයස අවුරුදු 35 වියැති ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. මෝටර් රථය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තාද යන්න පිළිබඳවද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Thursday, August 29, 2024

රයිසුයි - කොත්තුයි කන්න ඉස්කෝලෙ ලැප්ටොප් උස්සලා

 


 මීගමුව, කටාන ප්‍රදේශයේ විදුහලක ‘විදුහල්පතිගේ නිල කාමරය කඩා එහි තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක දෙකක් සොරාගෙන ඉන් එකක් උකස් කර ලබාගත් රුපියල් පහළොස් දාහක මුදලින් දින කිහිපයක් තිස්සේ ආපනශාලාවලට ගොස් කොත්තු රොටි සහ ප්‍රයිඩ් රයිස් කෑවැයි කියන ආදි සිසුහු දෙදෙනෙක් කටාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් අවුරුදු දහ අටක සහ අවුරුදු දාහතක වයසේ පසු වන ආදි සිසුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර හෙළිකර ගත් තොරතුරු මත උකස් කරන ලද පරිගණකය සහ අනෙක් ලැප්ටොප් පරිගණකය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.


පසුගිය සෙනසුරාදා රාත්‍රී කාලයේ මෙම ආදි සිසුන් දෙදෙනා විදුහල් භූමියට හොර රහසේ ඇතුළු වී එහි දොරක් කඩා පසුව විදුහල්පති නිල කාමරයට එහි කවුළුවකින් ඇතුළු වී මෙම පරිගණක දෙක සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.විදුහල් භූමියට ඇතුළු වූ මෙම ආදි සිසුන් දෙදෙනා විදුහලේ සවිකර ඇති ප්‍රධාන ස්විචය අක්‍රිය කර එහි සවිකර ඇති සී .සී .ටී.වී. කැමරාවල ක්‍රියාකාරිත්වය අඩපණ කර මේවා සොරකම්කර තිබෙන බව පොලිසිය කියයි.


එහෙත් මෙම සැකකාර ආදි සිසුන් දෙදෙනා විදුහල් භූමියට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී කැමරාවල රූප රාමු පරීක්ෂා කර බැලීමේදී දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි. කැමරාවලට සවි කර තිබූ වයර් ද කපා දමා තිබෙන බව පොලිසිය පවසයි.විදුහලෙන් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. එක් පරිගණකයක් උකස් කර ලබාගත් රුපියල් පහළොස් දහයේ මුදල වැයකර වරින් වර ප්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි කෑ බවත් අනෙක් පරිගණකය ද උකස් කර ලබාගන්නා මුදල්වලට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි කෑමට සූදානම්ව සිටි බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇතැයි කියති.අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සුපිරි වෙළෙඳසලකින් ඇඳුම් කට්ටලයක් මිලදීගෙන ඇතැයි ද පොලිසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


Thursday, August 8, 2024

පියුමාගේ නමින් ප්‍රධාන බැංකු 5ක ගිණුම් පිරික්සන නියෝග



විමුක්ති එස්. රුද්‍රිගු


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති දොන් පියුම් හස්තික හෙවත් පියුමාට මීගමුව බන්ධනාගාරයේදී මරණ තර්ජන එල්ල වී නොමැති බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී ඇති හෙයින්, ලබන 28 වැනිදා තෙක් ඔහු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (7) නියම කළාය.


අවි ආයුධ වෙළෙඳාමට ද, අපරාධ ගණනාවකට ද සම්බන්ධ බවට සැක කරන පියුමා නමැත්තාගේ මුදල් ඔහුගේ ගිණුම් විශාල සංඛාවක් හරහා සංසරණය වී ඇති බවට විශ්වාස කරන බව කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය, පියුම් හස්තික නමැත්තාගේ නමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු 5ක ඇති ගිණුම් පරීක්ෂා කිරීමට ද නියම කළාය. සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉවෝන් නිරාශා මහත්මිය කරුණු දක්වමින්, තම සේවාදායකයා මේ වන විට මාස 6ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හෙයින්, ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියාය. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සාමාජික හීනටියන මහේෂ් නමැත්තාගේ ගෝලයන්ගෙන් තම සේවාදායකයාට මරණ තර්ජන එල්ල වී ඇතැයි මෝසමක් මාර්ගයෙන් මීට පෙර අවස්ථාවකදී අධිකරණයට දැනුම් දුන් නීතිඥ ඉවෝන් නිරාශා මහත්මිය, සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමක් ද කළාය.


පානදුර අධිකරණයෙන් නිකුත් කර තිබූ රතු වරෙන්තුවකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබ, ඔහු එහි සිට ලංකාවට රැගෙන එනු ලැබීය. අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරමින්, දින 90 ක කාලයක් රැඳවුම් භාරයේ තබාගත් අතර, රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර, රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.


Friday, August 2, 2024

විදෙස් රැකියා දෙනවැයි රු.මි. 24ක් වංචා කළ කාන්තාවන් 2ක් ඇතුළු 3ක් අත්අඩංගුවට

 



කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය හා ඩුබායි යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාර්න් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල රැකියා ලබා දෙන බව පවසා රුපියල් මිලියන 24ට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක්, විමර්ශන අංශයේ නිලධාරීර්න් විසින් ඊයේ දින කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි. එම කාන්තාව විසින් කඳාන ප්‍රදේශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය විසින් ඉහත රටවල රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැත. 

මෙම කාන්තාවට එරෙහිව පැමිණිලි 19ක් කාර්යාංශය වෙත ලැබී ඇත.අත්අඩංගුවට ගත් කාන්තාව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.මේ අතර, සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව, විමර්ශන නිලධාරීන් විසින් අදාළ ස්ථානය වටලන ලදි. එහිදී ජර්මනිය, ඩුබායි හා කැනඩාව යන රටවල රැකියා ලබාදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 13ක් හා ජීව දත්ත පත්‍රිකා 11 ක් නිලධාර්න් භාරයට ගෙන තිබේ. අදාළ ස්ථානයේ හිමිකාරිය වූ සීදුව, අමන්දොලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය ඊයේ (01දා) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එසේම කැනඩාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා රු.1,452,000.00ක මුදලක් වංචාකළ තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුද ඊයේ දින විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ලෙන ඇත. අදාළ පැමිණිල්ල විභාග කිරිම  සඳහා ඔහු කාර්යාංශය වෙත කැඳවූ අතර, එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.


මීරිගම කාන්ති

Monday, July 22, 2024

ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට යොදාගත් ගිනිඅවිය රන්දොඹේ සොහොනකින් හමුවෙයි

 


ජේ.ඉඳුරුවගේ


අම්බලන්ගොඩ හිටපු කිකට් ක්‍රීඩකයාගේ ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය බලපිටිය රන්දොඹේ සොහොන් භූමියක සඟවා තිබියදී ඊයේ (20දා) සොයාගත් බව ගාල්ල අපරාධ කොට්ඨාසය කියයි. මේ සමගම ඝාතනය සඳහා කාන්තාවන් දෙදෙනෙකුද සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව පොලීසිය  පවසයි. අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ පදිංචි හිටපු කිකට් ක්‍රීඩක හිනිදුමගේ ධම්මික නිරෝෂණ මහතා ජූලි 16 වැනිදා රාතියේදී සිය නිවස ඉදිරිපිටදී ඝාතනය කෙරිණ. 

මේ ඝාතනය සම්බන්ධයෙන් එයට සෘජුවම සම්බන්ධයක් ඇතැයි කියන බලපිටිය රන්දොඹේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට පශ්න කිරීම සඳහා ගාල්ල අපරාධ කොට්ඨාසය විසින් ජූලි මස 17වැනිදා අත්අඩංගුවට ගන්නා ලදි.එම සැකකරුගෙන් මේ ඝාතනය පිළිබඳව කරනු ලැබූ දීර්ඝ පශ්න කිරීම්වලින් අනතුරුව ගාල්ල කලේගාන පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු සහ කොස්ගොඩ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් සැකපිට පශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගාල්ල අපරාධ කොට්ඨාසය කියයි.

එහිදී ගාල්ල කලේගාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ පශ්න කිරීම්වලදී කිකට් ක්‍රීඩකයා ඝාතනය සඳහා යොදාගත් බෝර දොළහ වර්ගයේ ගිනිඅවිය බලපිටිය රන්දොඹේ සොහොන් භූමියක කැලෑවේ සඟවා තිබියදී සොයා ගැනුණු බව එම කොට්ඨාසය කියයි. මේ ඝාතනය සඳහා ඝාතකයන්ට කොන්ත්‍රාත් මුදල් විදෙස් රටකින් අවස්ථා දෙකකදීම කොස්ගොඩ සැකකාරියගේ ගිණුමට බැරවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි එම කොට්ඨාසය කියයි. මේ ඝාතනය පිළිබඳව තවත් සැකකරුවකු අවශ්‍ය බවත්, ඔහු මේ වනවිට පදේශයෙන් පලා ගොස් සැගවී සිටින බවත් පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ ස්ථානගත කර ඇති ගාල්ල අපරාධ කොට්ඨාසය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Thursday, July 18, 2024

ව්‍යාපාරික නිවෙසේ වැඩට ආ කත ලක්ෂ 20 ක රන් බඩු අරන් පැනලා ආ



 


කොළඹ 13, නින්හැම් චතුරස්‍රයේ ව්‍යාපාරික නිවසකට මෙහෙකාර වෙසින් පැමිණි කාන්තාවක විනාඩි 20 ක් වැනි සුළු කාලයක් තුළදී රුපියල් ලක්ෂ 20 කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි.සොරාගෙන ගිය රන් භාණ්ඩ අතර පවුම් 11 1/2 බර රන්මාලයක්, මුදු 2 ක් , කරාබු ජෝඩු 2 ක් හා අත් පලඳනාවක් ද වන බව පොලිසිය කියයි. “අවුරුදු 75 ක් සහ 73 ක් වයසැති වයෝවෘද්ධ ව්‍යාපාරික යුවළක් මෙහෙකාර සේවය සඳහා කාන්තාවක් සොයයි" යන මැයෙන් සති අග දෙමළ පුවත්පතක ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතන අංකය සමග පළ කර තිබූ දැන්වීමක් අනුව එම කාන්තාව නිවස වෙත පැමිණ ඇති බව පොලිසිය කියයි.

ඉකුත් ඉරු දින පළ කරන ලද එම දැන්වීම අනුව ඉකුත් 15 වැනිදා එහි සඳහන් කර තිබූ ජංගම දුරකතන අංකයට ඇමතුමක් ගෙන තිබූ එම කාන්තාව තමන් කළුතර ප්‍රදේශයේ බවත් මාසික වැටුප කීයක් ගෙවනවාදැයි ව්‍යාපාරිකයාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් රුපියල් 30000/= ක වැටුපක් ගෙවන පවසා ඇති බව පොලිසිය සඳහන් කරයි.එයට කැමති වී තිබූ එම කාන්තාව එදිනම නිවසට පැමිණෙන බවට දුරකතනයෙන් පවසා පැය කීපයකට පසු පිටකොටුවට පැමිණ නැවතත් ව්‍යාපාරිකයාට ඇමතුමක් දී නිවසට පැමිණෙන මාර්ගය පිළිබඳව විමසා තමන් ත්‍රීරෝද රථයකින් පැමිණෙන බව ද වැඩිදුරටත් පවසා ඇතැයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

විනාඩි කිහිපයක් තුළදී ත්‍රීරෝද රථයෙන් නිවස සොයා පැමිණි එම කාන්තාව ව්‍යාපාරික කාන්තාව අමතා “නෝනා ත්‍රීවිල් එකට දෙන්න රුපියල් 150ක් මට දෙන්න” යැයි පවසා ඇති අතර ඇය එම මුදල් ලබා දීමෙන් අනතුරුව රෝද රථය පිටත් කර යැවීමට එම කාන්තාව කටයුතු කර තිබූ අතර තමන් උදෑසනම නිවසින් පැමිණි බැවින් උදෑසන ආහාර නොගත් හෙයින් බඩගිනි බවක්ද ව්‍යාපාරික කාන්තාව අමතා පැවසූ හෙයින් ඇය එම කාන්තාවට චූන් පාන් අලෙවිකරුවෙකුගෙන් බනිස් ද මිලදී ගෙන එය ආහාරයට ගන්නා ලෙස පවසා තේ එකක් පිළියෙල කිරීම සඳහා ව්‍යාපාරික කාන්තාව ම මුළුතැන් ගෙට ගොස් ඇති බව පොලිසිය කියයි.

තේ එක පිළියෙල කරගෙන නැවත පැමිණීමේ දී නිවසට පැමිණි මෙහෙකාර කාන්තාව පෙනෙන්නට නොසිටි බැවින් තෙමහල් නිවසේ සැම තැනම ඇය සොයා බැලුව ද සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇය පරිහරණය කරන කාමරයට ගොස් පරීක්ෂා කිරීමේදී බැංකුවේ සේප්පුවේ තැන්පත් කිරීම සඳහා සූදානම් කර තිබූ රන් භාණ්ඩ බහා තිබූ ඇසුරුම් පහම තැබූ ස්ථානයේ නොමැති බව දැක ඇති බව පොලිසිය කියයි.

අනතුරුව පොලිසිය වෙත පැමිණි ව්‍යාපාරික කාන්තාව සීලවතී යනුවෙන් හඳුන්වා ගෙන නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණි කාන්තාවක් විනාඩි විස්සක් වැනි කාලයක් තුළ දී තම කාමරයේ මේසය මත තිබූ රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා ජංගම දුරකතන අංකය ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි. වෙරළබඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.


බිමල් ශශ්‍යාමන් ජයසිංහ

Friday, May 17, 2024

භාෂා පරිවර්තක චීනා මාස 6ට කෝටි 37ක් ගරලා

 




බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක් කර මාස හයක දී රුපියල් කෝටි 36 කට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීනජාතිකයකු සතුවූ රුපියල් කෝටි 36 1/2කට අධික එම මුදල රාජසන්තක කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහුට රුපියල් කෝටි 3 ක දඩයක් ද ඊයේ (16) නියම කළේය. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව පෙන්වා දෙමින් විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එය වසර 15ක කාලයකට අත්හිටුවීමට ද විනිසුරුවරයා නියම කළේය.චීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල් කෝටි 36 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබූ චූ ෂෙන් නමැති චීන ජාතිකයාට මෙලෙස දඬුවම් නියම විය.

2017 සැප්තැම්බර් පළමුවැනිදා සිට 2018 පෙබරවාරි 28 වැනිදා දක්වා අතර කාලය තුළ කොළඹ දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 365ක මුදලක් උපයා ගත් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි. මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවලට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම තත්වය රටට ඉතා අහිතකර බව පැවැසීය. එම නිසා සෙසු විදේශිකයන්ට ද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රන්ජන් ද සිල්වා මහතා ලංකාව තුළ මැණික් වෙළෙදාම් කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය බව නොදැන කළ ව්‍යාපාරය නිසා තම සේවාදායකයාට එරෙහිව මෙම චෝදනා එල්ල වූ බවත් ලංකාව තුළ මැණික් වෙළෙඳාම් කිරිම සඳහා බලපත්‍ර අවශ්‍ය බව දැනගත් වහාම ඔහු ඊට අවශ්‍ය බලපත්‍ර ලබාගත් බවත් කීය.කෙසේ වුවත් විදේශිකයකු වන තම සේවාදායකයාට ලිහිල් දඬුවම් නියම කරන්නැයි නීතිඥ රන්ජන් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති දෙවැනි චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුට නීති විරෝධි ආකාරයෙන් උපයාගත් බවට චෝදනා එල්ල වී ඇති රුපියල් මිලියන 365 මුදල මෙන් තුන් ගුණයක මුදලක් දඩයක් පැනවිය හැකි වුවත් විත්තිකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු අනුව එවැනි නියෝගයක් හෝ සක්‍රීය සිර දඬුවම් නියම නොකරන බවත් විනිසුරුවරයා පැවැසීය.ඉන් අනතුරුව විත්තිකරුට අදාළ දඬුවම් පැනවීය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ පද්මලාල් ද සිල්වා මහතා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.විත්තිකරු වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමසිංහ මහතා සමග නීතිඥ රන්ජන් ද සිල්වා මහතා පෙනී සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර