Tuesday, April 30, 2024

ලංකා ප්‍රිමියර් ලීගයට 500කට අධික ක්‍රීඩක ලැයිස්තුවක්

 


එළඹෙන ජූලි මස පළමුවැනිදා ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර20 තරගාවලියේ ක්‍රීඩක ලියාපදිංචි ලැයිස්තුවට ක්‍රීඩකයන් 500කට අධික සංඛ්‍යාවක් ඇතුළත්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.තරගාවලියේ 5වැනි අදියර ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියට විදෙස් නමගිය ක්‍රීඩකයන් රැසක් මේ වන විට ඇතුළත් වී ඇති බව ක්‍රිකට් ආයතනය දන්වා සිටියි. 

එහිදී ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව ඇතුළු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 24කින් ක්‍රීඩකයන් මේ සඳහා ලියාපදිංචි වී සිටීම විශේෂත්වයකි.මීට නවසීලන්තයේ ප්‍රබල විස්සයි20 ක්‍රීඩකයත් වන ටිම් සවුති, ජිමී තීම්, ඉෂ් සෝදි, මාක් චැප්මන් වැනි ක්‍රීඩකයන්ද, ෂේහෝප්, එවින් ලුවිස්, ඇන්ඩ්‍රො ෆ්ලෙචර් වැනි කොදෙව් ක්‍රීඩකයන්ද, එංගලන්තයෙන් ඊස්ටොප්ලි හා ඇෆ්ගනිස්ථානයෙන් ඊබුහිමි සෆ්‍රාන්ද මීට ඇතුළත් වී ඇත.

මේ අතර බංග්ලාදේශයෙන්ද , මුස්ෆිකර් රහීම්, ටමීම් ඉක්බාල්, නර්මුල් හොසේත් පන්තෝ හා ටස්කින් අහ්මඩ් වැනි ක්‍රීඩකයන් රැසක්මෙයට ලියාපදිංචි වී ඇත. මේ අතර විස්සයි20 පිටියේ ප්‍රබල කණ්ඩායම් වන ඔස්ට්‍රේලියාවෙන් උස්මාන් කවාපාද, දකුණු අප්‍රිකාවෙන් ටැබ්‍රේස් සි, රසී වැන්ඩ ඩුසෙත්, රයිලි රූසෝ, පාකිස්තානයෙන් නසීම් ෂා ද මීට ඇතුළත්වූ ක්‍රීඩකයන්වෙයි. එල්. පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර එළඹෙන ජූලි පළමුවැනිදා සිට 29වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වේ.


රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිති 18 ක එකතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයක්

 



රාජ්‍ය අංශයේ වෘත්තිකයන් මුහුණදී සිටින ගැටලු විසඳීම සඳහා රජය අපොහොසත්වීමට විරෝධය දැක්වීමක් වශයෙන් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 18 ක මූලිකත්වයෙන් වැඩවර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු 'අද'ට වාර්තා වෙයි.ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කරමින් දෙදිනක් සේවයෙන් බැහැරවීමට විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇති බවත්, මේ සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් ජනාධිපති ලේකම්වරයා වෙත සිදුකර තිඛෙන බව දැනගන්නට ඇත.මේ බව ජනාධිපති අතිරේක ලේකම්වරයකු විසින් තහවුරු කර සිටි අතර එහිදී ඔහු සදහන්

කර සිටියේ " රාජ්‍ය අංශයේ වෘත්තිකයන් වර්තමානයේ මුහුණදී ඇති ගැටලු සඳහා විසදුම් ලබාදීමට රජය අපොහොසත්වීම” යන ශීර්ෂයෙන් යුතුව 2024 අප්‍රේල් මස 29 වනදා නිකුත් කළ ලිපියක් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බවය.වැටුප් විෂමතා ඉවත් කිරීම, වසර 8ක් තිස්සේ වැටුප් වැඩිවීමක් සිදුකර නොතිබීම, රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් අතර උසස්වීම් ක්‍රමවේදයක් සැකසීම ඇතුළු කොන්දේසි 4ක් පදනම් කරගෙන අදාළ ලිපිය යොමුකර තිබෙන බවද ඔහු සදහන් කළේය. මෙම ඉල්ලීම් ලබාගැනීම සඳහා 2024-04-02 සහ 03 යන දෙදින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වන අතර තවදුරටත් තම ඉල්ලීම් ලබාදීම සම්බන්ධව නොසැලකිලිමත් වුවහොත් ඉදිරියේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බවද එහි සදහන් බවත් ඔහු පැවසීය.


2024 අප්‍රේල් 2 වැනිදා සහ 3 වැනිදා අසනීප නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම, 2024 අප්‍රේල් මස 29වැනිදා යොමුකරන ලිපියක් මගින් දැනුවත් කිරීම ගැටලු සහගත බවත්, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන බව කියන රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිති 18ක කිසිවකු මේ සම්බන්ධව සංවේදී නොවූ බවක් පෙන්නුම් කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහණදී ඉතාමත්ම දුෂ්කර තත්ත්වයක් යටටත් යළි ස්ථාවරභාවයකට පත්වෙමින් ඇති පසුබිමක මේ ආකාරයේ තර්ජනාත්මක වෘත්තීය කොන්දේසි ඉදිරිපත් කිරීම සාධාරණ නොවන බව තම පෞද්ගලික අදහස වන බවද ඔහු සදහන් කළේය.ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අතිරේක ලේකම්වරයා මෙසේද පැවසීය.


" ආර්ථික අර්බුදය අවස්ථාවේ මේ රටේ මිලියන 22 ජනතාව, පොදුවේ දුෂ්කරතාවලට මුහුණ පෑවා. පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදු පවා සිදුවුණා. නමුත් රාජ්‍ය අංශයේ එවැත්තක් සිදුවුණේ නෑ. අයනෙක් අතට රාජ්‍ය අංශයේ සාමාන්‍ය සේවකයන්ට වඩා ඉහළ වැටුපක්, ඉහළ වරප්‍රසාද ප්‍රමාණයක් විධායක නිලධාරීන් භුක්ති විඳිනවා. අනෙක් පසින් රාජ්‍ය අංශයේ වියදම් පාලනය කිරීමටත් සිදුව තිඛෙනවා. මේ ඉදිරිපත් කර ඇති යෝජනා කිසිවක් හදිසියේ ක්‍රියාත්මක කළ නොහැකියි. ඒ නිසා මේ මොහොතේ රට ගොඩනගත පොදු වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තුළ ප්‍රශ්න විසදා ගැනීම මිස වාත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවීම මානුෂීය නොවන බව මගේ පෞද්ගලික අදහසයි. අපි පිළිගන්න ඕන විධායක නිලධාරීන්ට වඩා දුෂ්කරතාවන්ට මුහුණදී සිටින විශාල ප්‍රමාණයක් සිටින බව. ආර්ථික වශයෙන් අනාරක්ෂිත ජනතාවට වැඩි අවධානයක් දිය යුතුයි. අපි නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා, රජයේ ඉහළ තනතුරු ලැබූවන්, රටට අමාරුම මොහොතේ තමන් කරන දේ හරිද වැරදිද කියලා හෘද සාක්ෂියයන් විමසිය යුතුයි. මේක මගේ පෞද්ගලික මතයයි. මම විශ්වාස කරනවා රජයේ විධායක නිලධාරීන් බහුතරය මගේ අදහස අනුමත කරයි කියලා.”


මාර්ග සංඥා අසල සිඟමන් යදින අයට සිඟමන් දෙන්න එපා




මාර්ග සංඥා අසල මාර්ගයේ සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් හෝ උපකාර ලබා දීමෙන් වළකින ලෙස රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඉල්ලා සිටියි. මෙම ස්ථානවල සිඟමනේ යෙදෙන පිරිස් පාදඩ ආඥාපනතේ තුන්වැනි වගන්තියට අනුව අත්අඩංගුවට ගන්නා බවත්, මෙම ස්ථානවල සිටින ඇතැම් පිරිස් පැමිණෙන වාහනවල හැප්පී තුවාල සිදුකර රියදුරන්ට වරද පැටවීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය. 

මංසන්ධි සහ අලෝක සංඥා පුවරු අසල රථවාහන ගමනාගමනයට බාධාවක්, හිරිහැරයක් වන ආකාරයට කටයුතු කරන යාචකයන් ඉවත් කිර්මට පොලිස් නිලධාර්න් යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.සිඟමනේ යෙදෙන සමහර පිරිස් හොඳ ජීවිත ගත කරන බවත්, සමහර පිරිස් වාහනවලින් හෝ යතුරුපැදිවලින් පැමිණ පසුව සිඟමන් යැදීමට අවශ්‍ය ඇඳුම් පැලඳ සිඟමන්වල යෙදෙන බවත්, සමහර පිරිස් ව්‍යාපාරයක් වශයෙන් මෙම කටයුතු සිදුකරන බවත් හෙම කියා සිටියේය. මෙවැනි ස්ථානවල සිඟමන් යදින පිරිස්වලට මුදල් හෝ වෙනත් උපකාර කිරීමෙන් වැළකී සිටිය හොත් සිඟමන් යැදීමට අදාළ ස්ථානවලට පිරිස් නොපැමිණෙන බවද ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

මහා මාර්ගවල සිඟමන් යදින පිරිස් පවා සමහර අවස්ථාවල රිය අනතුරුවලට ලක්වන බවත්, මෙම ස්ථානවල සිටින පිරිස් ප්‍රවාහන අමාත්‍යාංශය සමග එක්ව පුනරුත්ථාපනය කර ස්වයං රැකියා සඳහා යෙදවීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය. මෙම පිරිස් කම්කරුවෙකු දෛනිකව උපයන මුදල මෙන් විශාල මුදලක් උපයා ගන්නා බවත්, රජයේ රැකියා කරන දරුවන් සිටින පිරිස් පවා සිඟමන් යදින බවට හෙළි වී තිබෙන බවත්, සමහර පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

මහජනතාවට බාධාවකින් හා කරදරයකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව සලසා දීම සඳහා යාචකයන් මෙම ස්ථානවලින් ඉවත් කිරීමට හා අත්අඩංගුව ගැනිමට කටයුතු කරන බවත්, පොලිස් නිලධාන්ට විශාල රාජකාරී ප්‍රමාණයක් සිදුකිරීමට සිදුව තිබෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ මෙම කටයුතු සිදුකරන බවත් හෙතෙම පැවසීය.පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුම මගින් මේ වනවිට යාචකයන් 94දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කර තිබෙන බවද ඊයේ (29දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා පවසා සිටියේය. කොළඹ මහනගර සභාව තුළ සංඥා ලාම්පු 180ක පවතින බවත්, පොදුවේ දිවයින පුරා මෙවැනි ස්ථාන 350ක සංඥා ලාම්පු සවිකර තිබෙන බවත්, සංඥා ලාම්පු අසල ගැවසෙන සිඟමනේ යෙදෙන පුද්ගලයන් විසින් සිදුකරන ක්‍රියා නිසා රියදුරන් ද දැඩි අපහසුතාවට පත්වන බවත් සඳහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ

රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේදී ආඩුපාඩු රැසක්

 

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දිගු කිරීමට අවසර ලබා නොදෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.ඊට අදාළ නිලධාරින් මෙම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී සභාපතිවරයා මේ බව පැවසීය.


රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක එහිදී මෙසේ පැවසීය.

“2024 ජනවාරි 24 වැනිදා ගහපු මේ ගැසට් එකේ සුපිරි මොටර් රථ බද්ධ තියෙනවා ඉලෙක්ට්‍රික් වාහනවලට රුපියල් මිලියන 6ක් කියලා. ඒ කියන්නේ මිලියන 6ට වැඩි අයට තමයි ටැක්ස් එක ගෙවන්න වෙන්නේ. ඒක මිලියන 6 සිට මිලිය 12 දක්වා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවකින් ඉල්ලලා තියෙනවා. ඒක කැබිනට් එක අනුමත කරලා තියෙනවා. ඒක ඉල්ලලා තියෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට පර්මිට් එකක් ලබා දෙන්න. එතක කොන්දේසියක් තියෙනවා අමෙරිකානු ඩොලර් 20,000ට වැඩියෙන් රටට එවන්න ඕනෑ කියලා.


රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - මේකේ ගැටලු රාශියක් මතුවෙලා තියෙනවා. ඔබතුමා කිව්වා මිලියන 6 මිලියන 12 කරනවා කියලා. 


භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න- ගිය අවුරුද්දේ මේක මිලියන 12ක් දක්වා වැඩි කළා. ඒක දිගු කිර්මක් මේකෙන් වෙන්නේ.


කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - ඒ අනුව ඉල්ලලා තියෙන තොරතුරු මුදල් අමාත්‍යාංශට තියෙනවාද? දැන් විනිවිද භාවයක් අවශ්‍යයි. දූෂණ වංචා නවත්වන්න තමයි විනිවිද භාවය ගෙනාවේ. විනිවිද භාවයේ එකක් තමයි කාටද මේවා දුන්නේ කියලා ප්‍රසිද්ධ කරන එක. 


රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක - අපි පබ්ලිෂ් කරලා තියෙන්නේ දිනය, නම, වාහන වර්ගය, බ්‍රෑන්ඩ් එක, මොඩල් එක, අවුරුද්ද, සී.අයි. එෆ් වැලිව් එක, එච්.එස්. කෝඩ් එක, එයා ගෙවන්න කොච්චර තිබුණද කියලා.


කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - බොහෝ චෝදනා අපිට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා ලොකු වාහන ගෙනත් තියෙනවා කියලා, මේ වගේ වටිනාකම මිලියන 100යි, මිලියන 120යි, මිලියන 160යි යනාදී වශයෙන්. එතකොට කොහොමද සාමාන්‍ය රැකියාවක් කරන අය මෙච්චර වටිනාකමක් තියෙන වාහන ගෙනාවේ? කවුද මේවා ගෙනාවේ? කොහොමද ඒ අයට මෙච්චර සල්ලි ලැබුණේ? මේ වගේ වාහනයක ඇවරේජ් කොස්ට් එක කීයද? අපි මේක අනුමත කරන එක කල් දානවා. ඒ වගේම මේක ජෙනුවින්ද නැද්ද කියලා අපිට බලන්න වෙනවා.


කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී. F ආර්. වොල්ගා - ඩොලර් 20,000සිට ඩොලර් 120,000ක් දක්වා යන පරතරයේ තියෙනවා. කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - ඒ කියන්නේ ඩොලර් 120,000ටත් වාහන ගෙනත් තිබෙනවා. ඒ අනුව මේවා විකුණන්නේ මිලියන 150යි, 160යි වගේ වටිනාකම්වලට. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක වාහනයක් ගන්නවා නම් ඩොලර් ලක්ෂ 2ක් එවන්න ඕනෑ. ඩොලර් ලක්ෂ 2ක් එවන්නේ කොහොමද සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක්?


කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී. ආර්. වොල්ගා - සාමාන්‍ය රැකියාවක් කරන අය නෙවෙයි. බොහෝ වෙලාවට දකින්න ලැබුනේ එක්ලෝයිමන් සහතිකයක් ගෙන්වා ගන්නවා. ෆයිනෑන්ස් මැනේජර්, කන්සල්ටන්, පෝස්ට්වලට ගිය අය තමයි. ගොඩක් ගෙන්වලා තියෙන්නේ.


කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - මට දැනගන්න ඕනෑ මේ ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වුණේ කුමක්ද, බලාපොරොත්තු වුණු ඉලක්කය ඉෂ්ට වුණාද නැද්ද? මම හිතන්නේ මේකට විශ්ලේෂණයක් අවශ්‍ය වෙනවා. සති දෙකක් තුළ සම්පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් දෙන්න. උදාහරණයක් විදියට මිලියන 150යි කියලා කියමුකෝ වාහනේ. මම එයාට කියනවා බී.එම්.ඩබ්ලිව් එකක් හරි වෙන වාහනයක් හරි ගන්න ඕනෑ කියලා. මම රුපියල් මිලියන 150ක් එයාට දෙනවා. එයා ගාව පර්මිට් එකක් තියෙනවා. පර්මිට් එක ලොකු වාහනයකට රුපියල් මිලියන 11යිලු. එයා විකුණන්න පුළුවන්නේ? ඒවා ලීගල්ද? 


කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී. ආර්. වොල්ගා - ඔව් ලීගල් කරලා තියෙන්නේ. කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - ඒ කියන්නේ පර්මිට් එක විකුණන්න බෑ, වාහනය විකුණන්න පුළුවන්.

දිනේෂ් සමරකෝන්

රත්නපුරේ කළ කතාවකට පාඨලී CIDයට කැඳවයි



එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (30දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.ඒ අනුව අද පෙරවරු 10ට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවර් කැඳවා ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් මංගල දෙහිදෙණිය මහතා නිකුත් කළ ලිපියක සඳහන් කර ඇත.

රත්නපුර ප්‍රදේශයේදී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව' ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවද එහි සඳහන් කර තිබේ. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කරන බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


දිනේෂ් සමරකෝන්

පොලිස් ගාඩ් පිට වැව් රක්ෂිතයේ හෝටල් හදලා




දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම මත අල්ලාගෙන වගා කිරීම් කටයුතු හා සංචාරක හෝටල් ඉදිකිරීමෙන් ගොවි ජනතාව බරපතළ අර්බුදයකට මුහුණ පා ඇතැයි යාපාගම ගොවී සංවිධාන සාමාජිකයෝ චෝදනා කරති. වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙස අක්කර භාගයක පමණ පෞද්ගලික ඉඩමක් අල්ලා ඉත කොන්ක්‍රීට් කණු සවිකර තිබෙන බව ද ඔවුහු පවසති.එමෙන්ම නිවාඩු දිනවලදී බැකෝ යන්ත්‍ර යොදාගෙන එසේ අල්ලාගත් ඉඩමේ හෝටලයක් ඉදිකරනවාට අමතරව පස් හාරා නියරවල් දමා ගොවිතැන් කිරීම සඳහා බිම් සකසන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ වනවිට වසම භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිවරිය හරහා ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කර ඉදි කිරීම් තාවකාලිකව නවතන ලෙස ලිඛිතව එම ඉඩමේ හිමිකාරිනියට ලිඛිතව දන්වා තිබෙන බවත් ඊට අමතරව ඉඩමට ඇතුළුවන ස්ථානයේ දැන්වීමක් අලවා ඇති බවත් ගොවීහු පෙන්වා දෙති. මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලය ද බැකෝ යන්ත්‍රය ද යොදා ගෙන මීට පෙර සූක්ෂම ලෙස අල්ලා ගත් වැව් තාවල්ල හාරා පස් ගොඩවල් ගසන බවටද ඔවුහු චෝදනා කරති. විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිරන්තරයෙන් මෙම ඉඩමේ රැඳී සිටිමින් රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පදිංචිකරුවන්ට ද බලපෑම් එල්ල කරන බවත් ඇතැම් අවස්ථාවල මෙම කම්බි කණු පොලිසියට අයත් ජිප් රථ වලින් රැගෙන ඒම සිදු කළ බව ඔවුහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහ.

ඔහු මෙම ඉඩමට පැමිණෙන අවස්ථාවල රථ වාහන පොලිසියේ නිලධාරීන් යතුරු පැදි වලින් ඉඩමට පැමිණෙන බවට ද චෝදනා කරති.ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී විජේ ගුණවර්ධන මහතා ගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ගේ ඥාති කාන්තාවක මෙම ඉඩම මිලදී ගෙන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවයි.තමන් කිසිදු ආකාරයකින් රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන් යොදවා හෝ නීති විරෝධී කිසිදු ක්‍රියාවක් නොකළ බවත් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද මීට පෙර නිලධාරින් සහ පොලිසිය මැදිහත් වූයේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුරට දිග් ගැස්සෙන්නේ නැති බවත් සඳහන් කළේය.

මෙම ඉඩමේ හිමිකාරිය බව කියන භද්‍රාරාම කුමාරි මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ ඇය සින්නක් කර ඔප්පු සහිත ඉඩමක් මිලදීගෙන සංවර්ධන කටයුතු සිදු කරන බවය.ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇති පරිදි ඇය ඉඩම් ඇල්ලීමක් හෝ වැට ගැසීමක් හෝ සිදු කර නැති බව ද තමන්ට හිමි ඉඩමේ වගා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දැමීම සිදු කළේ යැයි ද ඇය සඳහන් කළාය.තමන්ට ඇති විවිධ බලපෑම් නිසා ඥාති වන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව, සහයෝගය ලබා ගත් බවත් එතුමා කිසිදු ආකාරයෙන් නීති විරෝධී ක්‍රියාවක් සිදු නොකළේ යැයි ද සඳහන් කරන්නට වූවාය.

දඹුල්ල යාපාගම වැවේ සහ ඉස්මත්ත කිසියම් පිරිසක් අල්ලාගෙන ඇත්ද? එවැනි පැමිණිලි ලැබී තිබේද? ගත් ක්‍රියා මාර්ග කුමක්දැයි දඹුල්ලන ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රදේශීය නිලධාරි සම්පත් කුමාර මහතාගෙන් වීමසීමේදී කියා සිටියේ මේ වන විටත් ඉඩම් ඇල්ලීම සහ වැටවල් ගැසීම තාවකාලිකව අත්හිටුවන ලෙස ලිඛිතව දැනුවත් කර ඇති බවය. පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි කුමාර මහතා පැවැසීය.දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ යාපාගම වැව පමණක් නොව සළු අපුල්ලන වැව, පහළ වැව ඇතුළු නගරයේ වැව් රැසක් විවිධ කණ්ඩායම් අත්පත් කරගෙන ඇති බවට තමන්ට වාර්තා වී තිබෙන බවය.


 කාංචන කුමාර ආරියදාස

මැණික්හින්න රෝහලේ යුදපිටියක්



අත්වැරදීමකින් ඉන්ධන වර්ගයකින් මුහුණ සේදීමෙන් ඇති වූ ආසාත්මිකතාවකට මුහුණ දුන් තරුණයකුට ප්‍රතිකාර ගැනීමට ආ පිරිසකට පහරදුන්නැයි කියන සිදධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සඳහා කණ්ඩායම් දෙකක් මැණික්හින්න රෝහලට පිටත් කර යැවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවැසීය.

මෙම සිද්ධිය සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉතා ලජ්ජා සහිත එකක් බවත් විමර්ශනයේදී ඔවුන් වැරැදිකරුවන් වුවහොත් රෝහල් කාර්ය මණ්ඩලයට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.මේ වන විටත් වෛද්‍ය සේනක තලගල මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (29) පෙරවරුවේ මැණික්හින්න රෝහලට යවා ඇත.මෙම ගැටුම හේතුවෙන් රෝහලේ ප්ලාස්ටික් පුටු, රෝගීන් ගෙන යන රෝද පුටු, රෝහල් දොර ජනෙල් ඇතුළු බඩු භාණ්ඩවලට දැඩි හානි සිදුව තිබේ. ගැටුමින් රෝගියා රැගෙන ආ ත්‍රිරෝද රියට මෙන්ම එහි නවතා තිබූ තවත් මෝටර් රථයකටද හානි සිදුව තිබේ.ගැටුමින් තුවාල ලැබූ රෝහල් සේවකයන් තිදෙනකු සහ රෝගියාගේ ඥාතීන් හය ඥාතීන් හය දෙනකු දැනට පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

මැණික්හින්න නගරයේ ක්‍රීඩාංගනයක පැවැති අවුරුදු උත්සවයක සිටි තරුණයන් පිරිසක් අතර සිටි අයකු ත්‍රිරෝදයක තිබූ ඉන්ධන බෝතලයකින් මුහුණ සේදීම නිසා ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මැණික්හින්න රෝහලට පැමිණි අවස්ථාවේ මෙම ගැටුම සිදුව ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.ඒ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු බැණ වැදීම නිසා දෙපිරිස අතර බහින්බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත. ගැටුම නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් රෝගියාටත් ඔවුන් රැගෙන ආ ඥාතීන්ට සහ හිතමිතුරන්ට පහරදුන් බව එම පිරිස පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. රෝහලේ යකඩබට, පුටු, ගල්මුල් වලින් පහරදුන් බව පහර කෑමට ලක්ව තුවාල ලබා දැනට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද එරංග නමැත්තා පැවැසීය. 

පහරදුන් පිරිස රෝහල් සේවක නිල ඇඳුම නොව මැණික්හින්න රෝහල නමින් සඳහන් ටීෂට්වලින් සැරසී සිටි බව පහර කෑමට ලක් වූවෝ පවසති. පහර දුන් පිරිස අතර එවැනි කමිසයකින් සැරසී වෙද නලාවක් කරේ දමාගත් පුද්ගලයකු ද සිටි බව පහර කෑමට ලක් වූවෝ පවසති. දෙපිරිස ගුටිබැට හුවමාරු කර ගනිද්දී ප්‍රදේශයම යුද පිටියක් බවට පත් වූ බවත් රෝහලේ සිටි නේවාසික රෝගීන් සී සීකඩ දිව ගිය බව අසල්වාසීහු පැවැසූහ.එසේ රෝගීන් මර හඬ දෙමින් දිව යද්දී අසල සිටි පුද්ගලයෙකු වහා ක්‍රියාත්මක වී පොලිස් මූලස්ථාන හදිසි ඇමැතුම් ඒකකයට, පළාත් ආණ්ඩුකාරවරයාට, මැණික් හින්න පොලිසියට සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ක්ෂණිකව දැනුම් දී ඇත.මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය බීමතින් සිටි බවට රෝගියාගේ පාර්ශවයෙන් කරන චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

රෝහල් සේවකයන් පවසා ඇත්තේ රෝගියකු සමග ආ පිරිසක් රෝහල් කාර්ය බාර නිලධාරිවරයා සහ සාත්තු සේවිකාවන්ට පහරදුන් බවයි.මේ සම්බන්ධයෙන් රෝහල් කාර්ය බාර නිලධාරී ඩබ්ලිව්.සී.කේ. වීරපාන මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. " සිද්ධිය වූ දින රෝහලේ අවුරුදු උත්සවයක් තිබුණා. ඉරිදා නිවාඩු දිනයක් වුවත් සේවයට ආවා" යැයි පැවැසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් පළාත් සෞඛ්‍ය නිලධාරීන් හා පරීක්ෂණයකට යොමු වී සිටින නිසා ප්‍රකාශයක් ගැනීමට නොහැකි විය.සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මැණික්හින්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.


මෛත්‍රී ජනාධිපති කිරිම මා කළ මෝඩ වැඩක්

 



මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට කටයුතු කිරීම තමා කළ ඓතිහාසික වරදක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ඛණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය.කැලි කැලි වලට කැඩී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ප්‍රතිසංස්කරණය කර ජනතාව අතරට ගෙන යා යුතුව ඇතැයි ද හිටපු ජනාධිපතිවරිය කීවාය.ඒ සඳහා විවිධ දක්ෂතා ඇති වෘත්තියවේදීන් ද එක් කරගත යුතු ඇතැයි කී ඇය වර්තමානයේ නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පිළිගත හැක්කේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන සභාපති කටයුතු කරන කණ්ඩායම යැයි ද සඳහන් කළාය.තමා එහි කිසිදු තනතුරක් බාර නොගන්නා අතර බාහිර සිට සියලු උපදෙස් සහ අවශ්‍ය සහාය දීමට නිරතුරුව කැපවන බව ද කීවාය. පක්ෂයේ අර්බුද ඇති කර එය ජනතාවගෙන් ඇත් කර සුනු විසුනු කිරීමට කටයුතු කළ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනකු ගැන සඳහන් කළ කුමාරතුංග මහත්මිය ඔවුන් දෙදෙනාම මේ රටේ ජනාධිපති තනතුර හෙබවූ අයවලුන් යැයි ද සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට හේත්තු කිරීමට තමා කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා කළ ද එම චෝදනා මුළුමනින්ම බැහැර කරන බව ද ඇය කීවාය. ආණ්ඩුවේ මෙන්ම විවිධ තැන්වලින් තමාට තනතුරු භාර ගැනීම සඳහා ආරාධනා කරන බව කී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තනතුරු සඳහා බලපෙරේතකමක් නැති හෙයින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාදැයි ඇසූ පැනයකට පිළිතුරු දුන් ඇය කියා සිටියේ ඒ සඳහා ප්‍රමාද වැඩි බවය.

ජාතික ජන බලවේගයේ නැගී සිටීම පිළිබඳව විමසූ අවස්ථාවේ කුමාරතුංග මහත්මිය පැවසුවේ හැත්තැව අසූව දශක වල ඔවුන්ගේ ක්‍රියාකාරකම් අමතක කළ නොහැකි බවත් එම පක්ෂය පිළිබඳව තමන් විටෙක අදහස් පළකළ අවස්ථාවක පක්ෂයේ ක්‍රියාකාරිකයකු තමන්ට ඒ ගෑනි මේ ගෑනි කියමින් හොඳටම බැන වැදුණු බව සඳහන් කළාය.මේ නිසා ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී වෙලාදැයි තමන්ට ප්‍රශ්නයක් ඇති බවත් අදහස් දැක්වීමට නිදහසක් නැත්නම් එහි ඇත්තේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි ප්‍රශ්න කළාය. හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ ඊයේ (29) පෙරවරුවේ කොළඹ නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.


ආරියරත්න රණබාහු 

තමන්ගේම වාහනයට යටවී ව්‍යාපාරිකයා මරුට



බියගම, සියඹලාපේ, ගලහිටියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු තමන්ගේම මෝටර් රථයට යටවීමෙන් ඊයේ (29) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ සියඹලාපේ, දකුණ ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වූ ගීත රත්නගේ සුදත් විජේන්ද (57) නමැති තිදරු පියෙකි.

ව්‍යාපාරිකයාට අයත් ජීප් රථය තමා විසින් පදවාගෙනැවිත් තම නිවෙස ඉදිරිපිට බෑවුම් ප්‍රදේශයක නවතා රථය පණගන්වා තිබියදී අත් තිරිංග ඇද මෙම පුද්ගලයා රථයෙන් බැස ඉදිරියට පැමිණෙමින් සිටියදී බෑවුමේ තිබූ රථය ඔහු පසුපසින් පැමිණ ඇති අතර එහිදී එම රථයට යටවී මොහු මරණයට පත්වී ඇතැයි පොලිසිය කියයි.අනතුරට ලක්වූ පුද්ගලයා එම අවස්ථාවේම අසල්වැසියන් විසින් බියගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය කියයි.

ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ

පොලිස් ඇමැතියි නීතිඥයොයි සීතල යුද්ධයක



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයන් රටට හෙළිදරව් කිරීමට අද (30) විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉකුත් දෙසැම්බර් 18 වැනිදා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනකදී පැවැසීම හේතුවෙන් නීතීඥයන් සහ අමාත්‍යවරයා අතර ගැටුම් හටගෙන තිබූ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.ටිරාන් අලස් අමාත්‍යවරයාට කුමන මරණ තර්ජන පැමිණියත් පාතාලය හා කුඩු තුරන් කිරීමට අමාත්‍යවරයා කැප වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.ඒ පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතාගෙන් කළ විමසීමක දී නවරත්න මහතා මෙසේ අදහස් පළ කළේය.

'ඒ ඇමැතිවරයා මහාධිකරණයේ අධි චෝදනා ලැබූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටියේත් නීතිඥවරු තමයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ සියයට 99 ක්ම අධිකරණ කටයුතු වලට සම්බන්ධ පුද්ගලයන් ද නේ. ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නෙත් නීතීඥයන්. ඒ නිසා සැකකරුවකු වෙනුවෙන් ඕනෑම මුදලක් අයකර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට හැකියාව තියෙනවා. සැකකරුවන් මුදල් ගෙවනවා නම් ඒකේ ගැටලුවක් නෑනේ උද්ධච්ච ප්‍රකාශ නිකුත් කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ නීතියට අවනත වීමයි. අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට මිලියන ගණන් මුදල් උපයනවා කියන නීතීඥවරුන් එළි කරන තෙක් තමයි අපිත් බලාගෙන ඉන්නේ.

අනීතිකව මිනිසුන් ඝාතනය කරන්න එපා. එය නීතියේ ආධිපත්‍යයට කරන බලපෑමක් බවට අපි නීතීඥ සංගමය හැටියට ප්‍රකාශයක් නිකුත් කළා. පසුගිය කාල සීමාව තුළ විශේෂයෙන් පොලිසිය විසින් මිනිසුන් ඝාතනය කිරීම, පහරදීම සහ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩිව වාර්තා වුණා.ඊට සමාගාමීව අන්තර් ජාතික මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන උපදෙස් තුට්ටුවකට මායිම් කරන්නේ නැති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවේ. අතේ තියෙන තුවක්කුව හරිදේට පාවිච්චි කරන්න කියා අමාත්‍යවරයා කටුකුරුන්දේ දී ප්‍රකාශ කළා. එතුමා ඉන් අදහස් කරන්නේ අපරාධයකට සම්බන්ධ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ නෑ. තුවක්කුව පත්තු කර වෙඩි තබන්න පුළුවන් කියලයි. රටක කැබිනට් අමාත්‍යවරයකුට එවැනි ප්‍රකාශ නිකුත් කළ හැකි ද යන්න ප්‍රශ්නයක්. ඊට විරුද්ධව තමයි නීතීඥ සංගමය ඔහුගේ ක්‍රියා මාර්ග දැඩිව හෙළා දකින්නේ.

නීතීඥ සංගමය කිසි විටෙකත් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න එපා කියා කියන්නේ නෑ. මා දැක්කා කුඩු ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමේ දී නීතීඥවරුන් විරුද්ධ වනවා කියා ප්‍රකාශ නිකුත් කරලා තිබුණා. ඒවා ඉතා ලාමක, පහත් තත්වයේ ප්‍රකාශ. කුඩු ජාවාරම කරගෙන ගියා කියන සැකය මත අත්අඩංගුවට ගත් සැකකරුවකු ඝාතනය කරන්න පොලිසියට හැකියාවක් නෑ. ඕනෑම සැකකරුවෙක් නීතියෙන් වරදකරු වෙන තෙක් ඔහුට නීතියේ සහාය ලබා ගැනීමට අයිතියක් තියෙනවා. එය කැබිනට් ඇමැතිවරුන් දන්නේ නැති නම් ඒ නීතිය ඉගෙන ගන්න ඕනැ " යැයි කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.

ගයාන් සූරියආරච්චි

පරිගණක ඉංජිනේරුවා කුඩු එක්ක දැලේ



ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.අත්අඩංගුවට ගැනුණ සැකකරු තවත් තවත් මාස කිහිපයකින් ඕස්ට්‍රේ ලියාවේ රැකියාවක් සඳහා යාමට මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක මේ දිනවල පාඨමාලාවක නිරතව සිටි බව පොලිසිය කියයි.

හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පුද්ගලයකු නුගේගොඩ විජේරාම හන්දියට පැමිණෙන බවට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට, බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව පිහිටුවන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ විශේෂ කණ්ඩායමේ උපපොලිස් පරීක්ෂක මදුරංග මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් නුගේගොඩ විජේරාම හන්දියට ගොස් ආවේශන රාජකාරියෙන් රැඳී සිටියදී තොරතුරට අදාළ යතුරුපැදිය පැමිණ තිබේ.එම අවස්ථාවේදී එය නවතා පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 238 , කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 100,000 මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය, තොගය ඉතාලියේ සිට කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට ලැබෙන බවත් එම මත්ද්‍රව්‍ය කොළඹ අවට ධනවත් ව්‍යාපාරිකයන්ට බෙදා හැරීම සඳහා සැකකරු වසරක පමණ සිට අතරමැදියකු ලෙස කටයුතු කර ඇති බවත් ඒ සඳහා ඔහුට යහමින් මුදල් ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවැසේ.සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රුපියල් ලක්ෂයක මුදල එදින මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.මේ වන විට කඩවත ප්‍රදේශයේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පැවැසේ. අත්අඩංගුවට ගත් රාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරු ඊයේ (29) දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිසියට භාරදෙනු ලැබ සිටී.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

මාස නවයේ බිලිඳා ළිඳට දැමුවැයි මව අත්අඩංගුවට

 


 

මාස නවයක් වයස බිලිඳිය ගෙවත්තේ පිහිටි ළිඳට දමා ඝාතනය කළේ යැයි කියන එම බිලිඳියගේ මව පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව වත්තල, මහබාගේ පොලිසිය සදහන් කරයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, ඇල්පිටිගල ග්‍රාමසේවා වසමේ හලංදුරුව පාරේ පදිංචිව සිටි 30 හැවිරිදි කාන්තාවකි.මෙලෙස මියගොස් ඇත්තේ මාස නවයක් වයසැති බිලිඳියක බව පොලිසිය කියයි.මෙම බිලිඳිය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද දැනුම්දීමක් මත මහභාගේ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණතුංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙස සොයා ගොස් ගෙවත්ත පූර්ණ සෝදිසියකට ලක් කළ බව පොලීසිය කියයි.

නිවෙස පිටුපස පිහිටි අඩි පහළොවක් පමණ ගැඹුර ළිඳ සෝදිසි කිරීමේදී ළිං පතුලේ තිබී මෙම බිලිඳියගේ සිරුර සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත බිලිඳිය ළිඳට දමා ඝාතනය කළේ යැයි කියමින් එම බිළිඳිගේ මව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ඝාතනය සම්බන්ධයෙන් හේතු කිසිවක් මෙතෙක් හෙළි වී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර පැය 48ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගත් බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Monday, April 29, 2024

රැකියා සඳහා විදෙස්ගත වීමට ලියාපදිංචි වීම අනිවාර්යයි

 


රැකියා සඳහා විදෙස්ගත වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය බව එම කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාරියාංශයේ අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල ලිපිනෙහි ඇති ශ්‍රී ලංකා විදේශ සේවා අනුත්තිකාරාංශයේ ප්‍රධාන කාරියාලයෙන් ලියාපදිංචි වීමේ හැකියාව තිබේ.ලියාපදිංචි වීම පිළිබඳ වැඩිදුර තොරතුරු 0112879900, 0112879902 යන දුරකථන අංක ඔස්සේ හෝ පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි දුරකථන අංකය 1989 ඇමතුමක් ලබාදීමෙන් ලබාගත හැක. රජයේ ලියාපදිංචි වී විදෙස්ගත වන අයට ලැඛෙන ප්‍රතිලාභ අතර රක්ෂණාවරණය ප්‍රමුඛතම ප්‍රතිලාභයකි. 

එමගින් විදෙස්ගත වී සිටීමකදී ජීවිතයට හානියක් සිදුවුව හොත් රු.600,000ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාරියාංශය බැඳී සිටින බව එම කාර්යාංශය පවසයි. පූර්ණ ආබාධිත තත්ත්වයකදී රු.125,000-රු.400,000 දක්වා වන්දි ලබා දේ. රෝගී තත්ත්වයක් හෝ කරදර හිරිහැර හා හදිසි අනතුරක් හේතුවෙන් ලංකාවට පැමිණි පසු මෙරටට පැමිණි ගුවන් ටිකට් පත් මුදල් නැවත ප්‍රතිපූරණය කිරීමේ හැකියාවද මෙම රක්ෂණාවරණයට අයත්ය. එමෙන්ම එවන් අවස්ථාවකදී ප්‍රතිකාර සදහාද රු.50,000ක් ලබාදීමටද විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටියි.

රජයේ ලියාපදිංචි වී විදෙස් ගතවන ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කෙරේ. එහිදී විදෙස්ගත ශ්‍රමිකයකුගේ දරුවෙකු පහ වසර ශිෂ්‍යත්වය සමත් වුවහොත් රු.20,000ක්ද, අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමකදී රු. 25,000ක් ද, අපොස උසස් පෙළ සමත් වීමකදී රු. 35,000ක්ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදීමට කටයුතු කරමින් සිටී.

විදේශ සේවා නියුක්ති කාරියාංශයේ සුභසාධක අංශය මගින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වීමේ හැකියාවද ලියාපදිංචි වී විදෙස්ගත වන ශ්‍රමිකයන්ට උදාකර දී තිබේ.එමෙන්ම ලියාපදිංචි වීමෙන් පසු විදෙස්ගතවීමකදී මූල්‍යමය අපහසුතාව වෙත මුහුණ දීමට සිදුවනවා නම් රාජ්‍ය බැංකු සම්බන්ධීකරණය කරමින් රුපියල් ලක්ෂ පහ දක්වා ණය ඉල්ලුම් කිරීමේ හැකියාවද හිමිකර දීමට කටයුතු සැලසුම් කර තිබේ.

එමෙන්ම විදෙස්ගතවීමකදී සිදුවන අනතුරු හේතුවෙන් සිදුවෙන ආබාධිත තත්ත්වයන් රක්ෂණාවරණයට අමතරව නිවසක අවශ්‍යතාව සහිත අයට නිවසක් ඉදිකරදීම හෝ පවත්නා නිවසේ කොටසක් අලුත්වැඩියා කිරීමට රු.100,000.00ක උපරිමයකට යටත්ව සිදු කරනු ලැබේ. නිවසක් අවශ්‍ය නොවන අයගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සදහා ස්වයං රැකියා ආරම්භ කිරිමට රු.10,000.00ක ආධාර මුදලක් ලබාදීමද සිදු කරමින් පවතියි.


 නවෝද්‍යා පවනි

රු.කෝටි 30ක මත්කුඩු සමග අයෙක් මහරගමදී අත්අඩංගුවට




රුපියල් කෝටි 30 කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු මහරගම, නාවින්න සමගි මාවතේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු කිලෝ 7 ගෑම් 60 ක් පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු හිටපු ගුවන් හමුදා සෙබළෙකි. ඔහු 2008 වර්ෂයේ නීත්‍යනුකූලව ඉවත් වූ බව සඳහන් කරයි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම සඳහා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත අනුයුක්ත කර තිබෙන පොලිස් පරීක්ෂක ඩී. එන්. වීරහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පොලිස් පරීක්ෂක ඩී. එන්. වීරසිංහ මහතාට ලද රහසිගත තොරතුරකට අනුව දින කීපයක් තිස්සේ තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව අද මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින ප්‍රියන්ත නමැති පුද්ගලයෙකුගේ මත්ද්‍රව්‍ය. මෙලෙස ජාවාරම් කරන බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.මීට වසරකට පමණ ඉහතදී මාසිකව රුපියල් 45000 මාසික කුලී පදනම මත සැකකරු එම නිවසේ පදිංචියට පැමිණ ඇති බව පොලිසිය කියයි.සැකකරු තදින් කැසිනෝ සූදුවට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය සඳහන් කරයි.45 හැවිරිදි සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරව සම්බන්ධයෙන් වැඩිදුරටත් අනාවරණය කර ගැනීම සඳහා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිර්මට මහරගම පොලිසිය වෙත භාරදී ඇත.

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

දිවයින පුරා වර්ෂාමාන 337න් 109ක් අක්‍රියයි



මෙරට අවදානම් දිස්ත්‍රික්ක 14 ක ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රිය වර්ෂාමාපක 337 ක් අතුරින් ඉකුත් 2023 වර්ෂයේ නොවැම්බර් මාසය වන විට 199 ක් අක්‍රියව පැවති බව ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාවක සඳහන් වේ. මෙම වර්ෂාමාන ක්‍රියාවිරහිත වීම හේතුවෙන් නාය යාම පිළිබඳ අනතුරු ඇඟවීම කල්තියා හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද එම විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත. 

මෙම වර්ෂාමාන නඩත්තු කිරීමේ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාර්න් විසින් සිදු කරනු ලබන අතර, සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් සිටින නිසා දිස්ත්‍රික්ක 14 ක ස්ථාපිත කොට තිබූ වර්ෂාමාන පද්ධති නඩත්තු කිරීමේ ගැටලු රාශියක් පවතින බවද, අප්‍රේල් 26වන දින නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් වේ. 

ස්වයංක්‍රීය වර්ෂාමානවල ජාත්‍යන්තර උපාංග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේවා නිරන්තරයෙන් ම සෑම මසකටම දෙවතාවක් අක්‍රිය වීමට බලපා ඇත.ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේක්ෂණවලට සිදුවන අවහිරතා ද නිවැරදි නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම කෙරෙහි බලපෑම් ඇති කොට තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. වර්ෂාමාන පද්ධති 330ක් පැවතුණද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ සහ ආපදා කළමනාකරණ අංශය මගින් ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කර තිබුණේ ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධති 251කින් ලැබෙන දත්ත පමණක් බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.

චන්දන සමරවික්‍රම

ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය සතුව නැතිලු

 



විදේශීය සිසුන් නොමැතිව ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යන බවත් ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් වල තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය සතුව නොමැති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) දී අනාවරණය විය.අධ්‍යාපන අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ හෙළි විය. ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් නියාමනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර නොමැති බවට කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා මෙහිදී චෝදනා කර සිටියේය.


කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - පෞද්ගලික පාසල් නියාමනය වෙන්නේ කොහෙන්ද?


සබරගමුව පළාත් අධ්‍යක්ෂ - ඉසුරුපායෙන්. 


අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් උදාරා දික්කුඹුර - රජයේ අනුමත පෞද්ගලික පාසල් විතරයි අපෙන් අධීක්ෂණය වෙන්නේ. ජාත්‍යන්තර පාසල් වල සංඛ්‍යාලේඛන අපිට ගන්න ක්‍රමවේදයක් නෑ.


කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - ක්‍රමවේදයක් නෑ කියලා හරියන්නේ නෑ. කොහෙන් හරි ගන්න ඕනෑ. පෞද්ගලික පාසල්වලයි ජාත්‍යන්තර පාසල්වලයි තොරතුරු ලබා දෙන්න කවුරුත් බැඳිලා ඉන්නවා. එහෙම නැතිවෙන්න බෑ.


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා

ජයසුන්දර - රේජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව යටතේ ගොඩක් පෞද්ගලික පාසල් ලියාපදිංචි වෙන්නේ කොම්පැණි විදියට. ඒ අය කිසිදු තොරතුක් ප්‍රකාශ කරන්නේ නෑ අධ්‍යාපන අමාත්‍යාංශයට, අපි ඒ තොරතුරු ගන්න වැඩපිළිවෙළක් හදන්න ඕනෑ.


කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - ජාත්‍යන්තර පාසල් තරගාවලිවලට සම්බන්ධ වෙනවානේ. අපි මේ ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් ලියාපදිංචි නෑ කියලා හරියන්නේ නෑනේ. දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පාසල් නියාමනය සම්බන්ධව මේ වන විට ඔයාලට උපදෙස් ලබා දීලා තියෙනවා. කිසිදු උපදෙසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරලා නෑ.


විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීනී - කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් නියාමනය සම්බන්ධයෙන්. ඒක අපි පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන වාර්තාවක්. ඒ සම්බන්ධයෙන් තියෙන නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක වෙලා නෑ. 


කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - මොන ජාත්‍යන්තර පාසල්වලින්ද තොරතුරු දෙන්න බෑ කියලා තියෙන්නේ ?


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර - ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් කිසිදු තොරතුරක් දෙන්නේ නෑ. මොකද නීතියක් නෑ ඔවුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු දෙන්න කියලා, රටක් විදියට රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක සහ මොකක්ද තියෙන නීතිය කියලා එකක් නැතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් සමහර වෙලාවට කරන්න දෙයක් නැහැ. කිසිදු ආකාරයට නීතියක් නැහැ සමාගම් රෙජිස්ටාර් යටතේ සම්බන්ධ වෙලා ඉන්න, රෙජිස්ටර් වෙලා ඉන්න පාසල්වල තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට දෙන්න ඕනෑ කියලා. ඒ වගේම තමයි රෙජිස්ටර් ජනරාලුත් බැඳිලා නෑ ඒ සම්බන්ධයෙක් කිසිදු දෙයක් ලබා දෙන්න.


අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි පිරිස්යාල - ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිකුත් කරපු ලිපියක් තිබෙනවා ජාත්‍යන්තර පාසල් කියලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ විදේශ ළමයි ඉන්නවා නම් විතරයි කියලා. නමුත් සමහර පාසල් ජාත්‍යන්තර කියන වචනේ පාවිච්චි කරනවා. නැත්තන් ඇත්තටම ඔවුන් පෞද්ගලික පාසල්.


කෝපා කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරිය හරිණි අමරසූරිය - ජාත්‍යන්තර ළමයි නැති ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යන්නේ කොහොමද?


කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න - ජාත්‍යන්තර පාසල් අපේ රටේ විවෘත කළේ බී.ඕ.අයි සහ තානාපති කාර්යාලවලට අයට විතරනේ. දැන් ඒ කට්ටිය නැහැ කියූ සියලු අය ඉන්නේ ඒකෙනේ.


දිනේෂ් සමරකෝන්

පෙම්වතිය බලන්න ගිය පෙම්වතා සතියක්ම අතුරුදන්



සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.මෙම පුද්ගලයා අතුරුදන් වූ දින සිටම ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇයගේ පියා මව සහ සහෝදරයන් දෙදෙනා පදිංචි නිවෙස වසා දමා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මීට අමතරව තරුණියගේ ඥාතියකු ද ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව කියති. මෙසේ අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය, ඇබව, දීගල්ලේ සුසිත් ජයවංශ නමැති අයකු බව පොලිසිය කියයි. ඔහු ප්‍රදේශයේ චීන අවන්හලක් පවත්වාගෙන යන අතර නිත්‍යානුකූල බිරිඳගෙන් දික්කසාද වී සිටින්නකු බව ද පොලිසිය සඳහන් කරයි. 

ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින පෙම්වතිය බව කියන තරුණියට අමතරව තවත් පෙම්වතියක ඔහුට සිටින බවට තොරතුරු හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.අතුරුදන්ව සිටින මෙම පුද්ගලයාගේ පෙම්වතිය බව කියන තරුණියගේ පියා අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පරාජයට පත්වූවකු බව ද පැවැසේ.ජයවංශ නමැත්තා අභිරහස් ලෙස අතුරුදහන් වීමෙන් පසු ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇතුළු පවුලේ අය මෝටර් රථයකින් පලා ගොස් ඇති බවට ද තොරතුරු හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.අතුරුදන් තැනැත්තාගේ අනෙක් පෙම්වතිය බව කියන තරුණියගෙන් ද පොලිසිය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.

ජයවංශ නැමැත්තාට වෙනත් සම්බන්ධයක් තිබූ බව තමා නොදන්නා බව එම තරුණිය පොලිසියට පවසා ඇතැයි දැනගැනීමට ඇත. අතුරුදන්ව සිටින ජයවංශ නමැත්තා ඝාතනය කර සිරුර සගවා ඇද්ද, එසේත් නැත්නම් කිසියම් ප්‍රදේශයක බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින්නේ දැයි යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.දින 7 ක් තිස්සේ අතුරුදන්ව සිටින මෙම පුද්ගලයා ගැන ඊයේ වනතුරුත් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව පොලිසිය කියයි. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

කෝටි 20ක කුඩු නවින්නේදී අල්ලයි



ඩුබායි රාජ්‍යයේ සිට මෙරට දී මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් බව පැවසෙන රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ හතයි ග්‍රෑම් හැටක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ ස්ථිර පදිංචි (45) හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු කටුගතොට ප්‍රදේශයේ සිට මහරගම නාවින්න සමගි මාවත ප්‍රදේශයට මීට මාස තුනකට පමණ පෙර පැමිණ එහි නිවසක් රුපියල් 45,000 මාසික කුලී පදනම මත ලබාගෙන හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම වැටලීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමී ව බස්නාහිර පළාත දකුණ අපරාධ කොයට අනුයුක්තව පිහිටුවන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ විශේෂ කණ්ඩායමේ පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව සිදුකර තිබුණි. එහිදී මහරගම, නාවින්න සමගි මාවත ප්‍රදේශයේ නිවසක් වටලා වටලා පරීක්ෂා කිරීමේ දී එහි ඇඳක් යට සැක කටයුතු ලෙස සඟවා තිබූ ගමන් මල්ලක් විවෘත කර බැලීමේ දී ඒ තුළ සැකකටයුතු පාර්සල් කිහිපයක් තිබෙනු දැක පසුව එය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබෙන බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව ඒ තුළ හෙරොයින් කිලෝ හතයි ග්‍රෑම් 60 ක් තිබූ බවත් එහි වටිනාකම රුපියල් කෝටි විස්සකට අධික බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පුද්ගලයකු දුරකතනයෙන් අමතා මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාදුන් බවත් පසුව ඒවා ඔහුගේ දුරකතන උපදෙස් මත ස්ථාන රැසකට බෙදාහැරීමට නියමිතව තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.ඒ වෙනුවෙන් සැකකරුට  රුපියල් ලක්ෂයක කොමිස් මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව ද පැවසේ.සැකකරු අධික ලෙස කැසිනෝ සූදුවට ඇබ්බැහි වූ අයකු බවට කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබේ.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

වාහන ඉල්ලා මන්ත්‍රීලා 150ක් කතානායකට ලියති



තීරු බදුරහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට වැඩි පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේ දී බාර දී ඇත.මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ද ඇතුළත් වෙති.මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (28) කළ විමසුමකදී ඔහු පැවැසුවේ. මෙම ලිපිය තමා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බවයි. මෙම වාහන බලපතේ ගැටලුව විසඳීම තමාට තනිව කළ හැකි කාරණයක් නොවේ යැයි ද ඔහු සඳහන් කළේය.

එසේම මෙම කාරණය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ගෘහකාරක සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ද ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉල්ලීමේ යෝජනාව පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ද සාකච්ඡා කර ඇතත් එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඊට විරුද්ධත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

රට ආර්ථික වශයෙන් අගාධයක සිටින මොහොතක මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම අසාධාරණ හෙයින් සාමාන්‍ය රජයේ සේවකයන්ට ලබාදෙන ආකාරයේ වාහන බලපත්‍රයක් ලබාදීම පමණක් සලකා බැලිය හැකි බව ද මෙහිදී ඔවුන් පෙන්වා දී තිබිණ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි දෙකකට වැඩි වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් මීට පෙර හිමිවිය. මෙම බලපත්‍රය ලබාදීම රටේ ආර්ථික තත්වය හේතුවෙන් මීට වසර නවයකට පෙර සිට නතර කෙරිණ. එම බලපත්‍රය අවසන් වරට නිකුත් කෙරුණේ ඉකුත් 2015 වර්ෂයේදීය. මේ අතර ඉදිරි මැතිවරණවලට පෙර වාහන බලපත්‍රය නොලැබුණහොත් තමන් මැතිවරණවලට ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද වාර්තා විය.

සුජිත් හේවාජුලිගේ

කොන්ත්‍රාත්කාරුවොත් ආණ්ඩුවට පාට් දමයි



නාමිණි විජේදාස - සන්ඩේ ටයිම්ස් 

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්දි ලෙස (රුපියල් කෝටි 230ක්) එම කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලනු ලැබ ඇති බවත්, මුදල් අමාතත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් තවත් කොන්ත්‍රාත් 22 ක් සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින් අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරියේදී ගොනු කිරීමට ඉඩ තිබෙන බවත් ව්‍යාපෘති 37 ක් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී කිසිඳු ප්‍රගතියක් ලබා නොමැති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වර්තාවක දැක්වේ.

එම ව්‍යාපෘති 37 අතර විදේශ රටවල් මූල්‍ය සහාය ලබාදීම නතර කළ ව්‍යාපෘති 17 ක් තිබෙන බව ද ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් තවත් ව්‍යාපෘති 41 ක ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදවීම් වාර්තා වන බවත්, මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති වලින් සියයට 20 කට මෙම ගැටලුව බලපා තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම ගැටලුව නැවත නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ ලියාපදිංචිය අලුත් කරන විට ඔවුන්ගේ කාර්ය සාධනය සළකා බැලීම වැදගත් බව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නිසි කාල කළමනාකරණයකින් යුතුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පියවර නොගත් පාර්ශ්වවලට එරෙහිව ක්‍රියා මාර්ග ගත් බවට කිසිඳු සාක්ෂියක් නොතිබීම හේතුවෙන් ව්‍යාපෘති ප්‍රමාදවීම සුලබ කරුණක් වී ඇති බවත් ඒ හේතුවෙන් ව්‍යාපෘති නිසි කාලයට අවසන් කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිලාභ මත ගොඩනගා ඇති ආර්ථික සැලසුම් අසාර්ථක වී ඇති බවත් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ව්‍යාපෘති 99 පසුගිය වසර අවසන් වනවිට පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බවත්, ඉන් ව්‍යාපෘති 20 ක් වසර හතරක කාලය දීර්ඝ කිරීමක් ලබාගෙන ඇති බවත් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.තවත් ව්‍යාපෘති 13 ක් ව්‍යාපෘති කාල සීමාවෙන් හරි අඩක් ගෙවා ඇතත් පොරොන්දු වූ ඉලක්කයන්ගෙන් සියයට 25 ක් වත් සපුරා නැතැයි එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ප්‍රථම වතාවට ක්‍රියාත්මක කිරීම් ප්‍රමාද ව්‍යපෘති 30 ක් හඳුනාගෙන ඇති බව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංකීර්ණ උමං ඉදිකිරීම් ව්‍යාපෘතිය ලබා ගෙන ඇත්තේ සියයට 20 ක පමණ ප්‍රගතියක් බවත් එම ව්‍යාපෘතිය මාස 18 ක් තුළ අවසන් කරමින් එම කාලය තුළදී ව්‍යාපෘතියට ලබාදුන් ණය මුදලේ ඉතිරිය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 159 ක මුදල ප්‍රයෝජනයට ගත යුතු බවත් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැසුවේය. එසේ නොකොළහොත් එම මුදල කිසිඳු ප්‍රයෝජනයක් නැතිව අවසන් වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූවේය.

රතු ලැයිස්තුවේ පාතාලේ පද්මෙ ඩුබායිවලදී අත්අඩංගුවට



පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පමෙ නමැත්තා සහ ඔහුගේ ගෝලයන් බව කියන තිදෙනකු ඩුබායි රහස් පොලිසිය විසින් පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.කෙහෙල්බද්දර පද්ම නමැත්තාට අමතරව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ ගෝලයන් බව කියන දාගොන්නේ අවිස්ක හෙවත් කිරිපුතා, ජම්බු ගස්මුල්ලේ බබී සහ ගීත්මාල් යන තිදෙනාය.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කරනු ලැබ ඇති පාතාල නායකයන් හතළිස් තුන්දෙනාගේ ලයිස්තුවට කෙහෙල්බද්දර පද්ම සහ ජම්බුගස්මුල්ලේ බබී නමැත්තන් ද සිටින බව මේ රට පාතාල මර්දන කටයුතු මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මොවුන් සමග සමීප තවත් ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔවුන් මුදාහැර ඇතැයි ද ඩුබායිවලින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත. කෙහෙල්බද්දර පද්මි නමැත්තා එරටේ සිට මෙරට සිටින ගෝල බාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් සිදුකරන පුද්ගලයකු බවට අනාවරණය වී තිබිණි.

පසුගිය වකවානුවේ ගම්පහ සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන කිහිපයක් ඩුබායි රටේ සැඟව සිට මෙහෙයවා ඇත්තේ ද පද්ම නමැත්තා බවට තොරතුරු හෙළි වී තිබිණැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මීට අමතරව පාතාල නායකයකුව සිටියදී ඉන්දියාවේදී අබිරහස් ලෙස ඝාතනය කෙරුණු අංගොඩ ලොක්කා ගේ ගෝලයකු බව කියන අයෙක් කටුනායක ගුවන්තොටු පොළේ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (28) අලුයම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 645 දරන ගුවන් යානයෙන් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි රටට පලා යෑමට පැමිණි අවස්ථාවේ එම ඒකකයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකයට බාර දුන් බව ගුවන් තොටුපොළේ උසස් නිලධාරියෙක් පැවැසීය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, දෙල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචි හතළිස් හත් හැවිරිදි අයකු වන අතර ඔහුගෙන් රහස් පොලිසිය වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යයි.


Friday, April 26, 2024

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ඊබ්‍රහිම්ට අවුරුදු 5ක් ගතවෙලත් චෝදනා ගොනු කරන්න බැරිවෙලා

 



පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල වූ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඊබ්‍රහිම් සම්බන්ධයෙන් වසර 05ක් ගත වුවද ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ගැනීමට නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඔහු හිටපු ජනාධිපති මහින්ද රාප්පක්ෂ මහතා අතින් දේශකීර්ති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයකු බව ඊයේ(25දා) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.


"ඊබ්‍රහිම් කියන පුද්ගලයා 2015 අපේ ජාතික ලැයිස්තු, නියෝජනය කළා. ඒත් ඔහු 2015 ජාතික ලැයිස්තුව නියෝජනය කිරීමට පෙර අපි ඔහු ආවට ගියාට තෝර ගත්ත පුද්ගලයෙකු නෙවෙයි. ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් වෙන්න පෙර ඡායාරූප මං ළඟ තියෙනවා. ජනාධිපති මහින්ද රාප්පක්ෂ මේ ඊබුහිමි කියන පුද්ගලයාට දේශකීර්ති සම්මානය ලබා දෙනවා. ඔහු හොඳ ව්‍යවසායකයෙක් ලෙස දේශකීර්ති ලෙස ලබා දෙන ලද සම්මානයත්, ඒ පදක්කමත් ඔහුට දෙන්නේ මහින්ද රාප්පක්ෂ මහත්මයා. ඒ අනුව ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශකීර්ති සම්මානය ලබපු පුද්ගලයෙක්.


2014දී හොදම අපනයනකරුවා කියලා ජී.එල් පීරිස්ගෙන් සම්මාන ගන්නවා. මගේ ළඟ තියෙනවා පී.එල් පීරිස්, රත්නසිරි වික්‍රමනායක ඔහුට සම්මාන ලබා දෙන ඡායාරූපයක්. ඒ වගේම පියසේන ගමගේගේ සම්මානයට පාත්‍ර වෙනවා . 2017දී සුජීව සේනසිංහ කියන ඒ වෙලාවේ ආයෝජප්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මොහු හොද ව්‍යවසායකයෙක් ලෙස සම්මාන ලබා දෙනවා. ඒ තමයි ඊබ්‍රහිම්. ඔහු අපේ ජාතික ලැයිස්තුව නියෝජනය කළා.ඒත් මේ ප්‍රහාරයට ඔහුගේ දරුවන් සම්බන්ධ වෙනවා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන මාස 09ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත්, ගෝඨාභය රාප්පක්ෂගේ ආණ්ඩුවත් මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන ප්‍රශ්න කරනවා.


තව අවුරුදු 2ක් රිමාන්ඩ් භාරයේ තියනවා. 2022 මැයි මාසයේදී ඔහු ඇප ලබා නිදහස් වෙනවා. දැන් එළියෙ ඉන්නවා අවුරුදු 2ක්. අඩුම තරමේ මම දැනගන්න කැමතියි ඔහුට නඩුවක් ගොනු කරලා තිබෙනවාද? නඩුවක් ගොනු කරලා තිබෙනවා නම් ඔහුට තිබෙන චෝදතා මොනවාද? අවුරුදු 05ක් ගිහිල්ලත් ඔහුට තවම චෝදනාවක් ගොනු කරන්න බැරි වෙලා තියෙනවා. ඒ පුද්ගලයා යම් සබඳතාවක් තිබෙනවා නම් දඬුවම් ලබා දිය යුතුයි. අපි මිනිස්සු කවුරුත් කාලා බලලා ගන්නේ නෑ. භාවිතාව බලනවා. ඒ අනුව සම්බන්ධ කර ගන්නවා.වැරුද්දක් විය හැකියි. ප්‍රතිපත්තිය මොකක්ද? වැරුද්දක් වෙනවා නම් තමන්ගේ දේශපාලන බලය යොදාගෙන ආරක්ෂා කිරීම තමයි වැරුද්ද. ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් ඉටුවිය යුතු නිසි පරිදි ක්‍රියාමාර්ගය ඉටු නොකර ඊබුහිමි මන්ත්‍රය මැතිරීමෙන් ඵලක් නෑ.”

දිනේෂ් සමරකෝන්

යෝජිත විදුලිබිල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

 




යෝජිත ශ්‍රී ලංකා විදුලිබිල’ පනත් කෙටුම්පත ඊයේ (25දා) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංවන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.ඒ අනුව ඊයේ දිනයේ සිට සති දෙකක කාලයක් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට හැකි බව එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා පැවසීය.


එහිදී මෙම පනත් කෙටුම්පත සම්බන්ධයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර විවාදයක් ඇති විය.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - අවුරුදු 02ට කලින් ඔබතුමන්ලා අපිව කැදෙව්වා. මමත් ඒකට ආවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ක කිසිදු සාකච්ඡාවක් තියලා නෑ.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර - මෙතුමන්ලාට අමතක වෙලා තියෙනවා පසුගිය දෙසැම්බර් මාසයේත් ඔබතුමන්ලාට ලිපියක් එව්වා. ඔබතුමාම කිව්වා ඒකට සහභාගි විය නොහැකි බව. සමහර මන්ත්‍රීවරු සහභාගි වෙලා තිබුණා. 2022 අගෝස්තු මාසයේ ඉඳලා අවස්ථා ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා. දැන් ඔබතුමන්ලාට අවස්ථාව තියෙනවා අභියෝගයට ලක්කරන්න අවශ්‍ය නම් සති දෙකක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. 


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - සියලු මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කරලා කරන්න යන්නේ මොකක්ද කියලා පැහැදිලි කළාත් හොඳ නැද්ද? හැමටම උසාවි යන්ත ඕනෑ නම් අපි පාර්ලිමේන්තු එන්න ඕනෑ නෑනේ.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර - අපි සාකච්ඡාවලට එන්න කිව්වම සාකච්ඡාවලට එන්නේ නැතුව දැන් මේ පනත ඉදිරිපත් කරන වෙලාවේ ඇවිල්ලා සාකච්ඡා කළේ නෑ කියන එක අසාධාරණයි. මේකට 900 වැඩි පිරිසක් අවස්ථා ගණනාවකදී යෝජනා ලබා දීලා තියෙනවා.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන. අපි බලාගෙන ඉන්නවා හරියට පැහැදිලි කිරීමක් ගන්න. මොකද හතරට කඩනවා පහට කඩනවා කියලා කියනවා. බලයට ආවේ විදුලිබල මණ්ඩලය ආරක්ෂා කරනවා, සේවකයෝ ආරක්ෂා කරනවා කියලා, දැන් ජනවරමට විරුද්ධව වැඩ කරන්නේ. මම කියන්නේ මේවා කරන්න ජන වරමක් නෑ.


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ - සංශෝධනය වෙලා ඔබතුමා කැමති විදියේ පනත් කෙටුම්පත තමයි දැත් ඇවිල්ලා තියෙන්නේ, අපිසදහන් කරන්නේ කලින් තිබුණු පතත් කෙටුම්පත පිළිබඳ වෙත වෙත අංශ සමග තිබුණු සාකච්ඡා ගැන නෙවෙයි. අපි කියන්නේ ඔබතුමා ප්‍රමාණවත් කාලයක් දෙත්ත මේක ගැන සැක සංකා මන්ත්‍රීවරුන්ට මතු වෙලා තියෙන නිසා අපිට අවස්ථාව දෙන්න මේ නිශ්චිත පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක් කරන්න.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර - ඉදිරි සති දෙක ඇතුළතම දෙත්ත පුළුවන්. අපි ලිඛිතව සෑම පාර්ලියන්තු මන්ත්‍රීවරයකුගෙන්ම ඉල්ලල්ලා තියෙනවා, සති 06ක් කල් දුන්නා දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කළ පනතට සංශෝධන, අදහස්, යෝජනා ලබා දෙන්න කියලා. ඒත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චරිත හේරත් යන මන්ත්‍රීවරුන් තිදෙනා පමණයි අදහස් යෝජනා ලබා දුන්නේ, අපි කඩිනමින් මේක ගේත්ත තමයි බලාපොරොත්තු වෙන්නේ.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මේ ආයතන කෑලිවලට කඩන්න ඔබතුමන්ලට ජන වරමක් තියෙනවාද?

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර - ඔබතුමාම 2002දී මේ ආකාරයෙන්ම සම්මත කරත්ත අත ඉස්සුවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ - ජනවරම ගැන ප්‍රශ්න කරන්න ගියොත් ඊට පෙර ආපු ගොඩක් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ජනවරම් විකෘති භාවයක් වෙලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ කොටස් ගණනාවකට බෙදලා ඒක කොහොමද පෞද්ගලික අංශය කරන්න ගියාම ඇති වන ව්‍යාකූලතාව? ඔබතුමා කිව්වා වගේ අපිට සාකච්ඡාවක් දෙනවා නම් මේ ගැටලු අපිට නිරාකරණය කර ගන්න පුළුවන්.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මෙතුමා පිළිගත්තා ජනවරම විකෘති වෙලා කියලා. 


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර - මම දන්නේ නෑ එතුමාට විකෘති වුණු ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මම දන්නේ නෑ මොන විකෘතියක් ගැනද කතා කරන්නේ කියලා. අපි පසුගිය කාලයෙත් පනත් ගෙනත් සම්මත කරගෙන තියනවා. මේ පනතත් රටට අවශ්‍යයි. විමල් වීරවංශ මහතා කියපු විදියට අපි සූදානම් මේ විදුලිබල පනත පිළිබඳ එළැඹෙන සතියේම අවස්ථාවක් දෙන්න ඒකට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගි විය හැකි ආකාරයෙන්. මේ අතර, මෙම පනත් කෙටුම්පතට විරෝධය පාමින් විදුලි වෘත්තීය සංගම් කීපයක සාමාජිකයන් විසින් දියත උයන වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වනු ලැබීය.

දිනේෂ් සමරකෝන්

එස්.ටී.එෆ්.පී.සීගෙන් මත් ජාවාරමුන්ට කෝල් 840ක්

 


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන දෙදෙනකු සමග සමීප සම්බන්ධතා පවත්වමින් දුරකතන ඇමතුම් අටසිය හතළිහක් ලබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ බස්නාහිර පළාතේ කඳවුරක කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාරිය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය. 

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙකි.රිදීගම පොලිස් වසමට අයත් රම්බඩගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2190 ක ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4300 ප්‍රමාණයක් සමග මොරකාවැහැර, මොරතිහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලීම කර පෙරේදා (24) අත්අඩංගුවට ගනු ලැබීය.මොහු සතුව තිබූ ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන පරීක්ෂා කර බැලීමේදී එම ජංගම දුරකතනයෙන් ඇමතුම් වාර හතළිහක් පමණ ලබාගෙන තිබූ පුද්ගලයකු ගැන තොරතුරු අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

එම පුද්ගලයා බස්නාහිර පළාතේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරක මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයකු බවට සැකකරු විසින් තොරතුරු හෙළි කිරීම නිසා එම කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය ජාදාරම්වලට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයද භාරයට ගෙන කරන ලද විමර්ශනවලදී ඔහු කොළඹ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැලකෙන මධුස් නමැති ආරූඪ නාමයකින් පෙනී සිටින පුද්ගලයකු සමග දුරකතන ඇමතුම් වාර 800 ක් ලබාගෙන ඇති බව හෙළිවිණි යැයි පොලිසිය කියයි.සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුණෑගල, රිදීගම පොලිසියට භාර දී ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

වැඩිහිටි පොලියට ආණ්ඩුව දහදාහක් පුදලා



ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට සියයට 15ක පොළියක් පසුගිය කාලයේ දී දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 10,800ක හිඟ මුදලක් තවමත් ගෙවීමට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දුනහොත් රජයට වසරකට රුපියල් කෝටි 8000 ක් වැය කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.


වැඩිහිටි ජනතාවගේ බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.වැඩිහිටි ජනතාවගේ බැංකු ගිණුම්වල පොලිය සියයට දහසයේ සිට සියයට නවය දක්වා අඩුකර ඇති බව පැවැසූ සියඹලාපිටිය මහතා පවතින මුදල් ප්‍රවාහ අනුව මෙම ගැටලුව සඳහා විසඳුම් දීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පෙන්වා දුන්නේය. මේ අතර මාසික පොලිය ලක්ෂයකට වඩා අඩු පිරිසකගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 අංජුල මහික වීරරත්න

ලොහාන්ගේ වාර්තා උසාවියට

 



වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රාත්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර ඛන්ධනාගරයට ඇතුළුවී දමිළ ජාතික රැඳවියකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇතිවන ආකාරයෙන් සාපරාධී බිය වැද්දීමක් කර තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාව ලබන අගෝස්තු 8 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාළව පැමිණිල්ලේ එකේ සිට 12 දක්වා සාක්ෂිකරුවන් ලබාදී ඇති ප්‍රකාශ වල පිටපත් විත්ති පාර්ශවයේ නීතිඥයන්ට දෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25) යළි කැඳවූ අවස්ථාවේදීය.මෙම නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහුට යළි ලබන අගෝස්තු 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ස්වකීය මූලික කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි පුබාර සිංහන් සූරියපාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි. 

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට ( හිටපු බන්ධනගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය) එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වැනි වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසයට තවදුරටත් අධිකරණයට සැළ කර සිටියේය.සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගර නිලධාරීහු සමග අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

 උපාලි ආනන්ද

මෛත්‍රී අමරවීරගෙන් කෝටි 100ක් වන්දි ඉල්ලයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙවන ලෙසත් ඉල්ලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එන්තර වාසියක් ඊයේ (25) යොමු කර ඇත.අමරවීර මහතාගේ ප්‍රකාශය මගින් සිදු වූ අපහාසයට දින දාහතරක් ඇතුළත වන්දි නොගෙවන්නේ නම් නඩු පවරන බව සඳහන් කර ඇත.නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් යොමු කළ එම එන්තර වාසියේ මෙසේද සඳහන් වේ.මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 50කට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශ පාලනයේ යෙදුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිධුරය හොබවන ලද අයෙක් වෙයි. මහවැලි, පරිසර සහ සෞඛ්‍ය වැනි වගකිවයුතු අමාත්‍යංශ ගණනාවක අමාත්‍යධූර දරමින් මේ රටට විශාල සේවයක් සිදු කොට ඇත. මෑත කාලයේදී සිදු කළ දැවැන්තම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නායකයෙකි. 2024. අප්‍රේල් 22 වැනිදා ප්‍රසිද්ධ මාධ්‍යයට කළ ප්‍රකාශය අනුව මාගේ සේවාදායකයාට අපකීර්තියක් අපහාසයක් සිදුව ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පැමිණ එම පක්ෂයේ බොහෝ තනතුරු දැරූ තැනැත්තකු වශයෙන් ඔබ ඉහත සඳහන් ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව දැන දැනම කරන ලද ප්‍රකාශයකි. 


ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තනතුර හොබවා වර්තමානයේ පොළොන්නරුවේ ජනතාව තෝරා පත් කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන මේ රටේ බොහෝ ජනතාවගේ ගෞරව ආදරයට පත් කීර්තිමත් පුද්ගලයකු වශයෙන් එකී ප්‍රකාශය මගේ සේවාදායකට ඍජු සහ වක්‍ර ලෙස අපහාස කිරීමට කරන ලද බව දන්වා සිටී. මාගේ සේවාදායක කිසිදු තැනැත්තකුගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොමැති බවත්, ඔහු වාචා දූෂණ චෝදනාවලට ලක්ව නොමැති අයකු බවත් දැන දැන ඔබ ලිසින් ඉතා වෛරි සහගත සහ ද්වේශ සංගතව එම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරීම සහ පළ කිරීම නිසා දැඩි චිත්ත පීඩාවන් වලට මුහුණ දීමට සිදුව ඇත.එකී කරුණු අනුව එකී අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000 ක මුදල අද දින සිට දින 14ක් ඇතුළත මාගේ සේවාදායක වෙත ගෙවන මෙන් මෙමගින් දන්වා සිටින අතර ඔබ එසේ ගෙවීම පැහැර හරිනු ලැබුව හොත් එකී මුදල සහ ඒ මත නෛතික පොලිය අයකර ගැනීම සඳහා ඔබට එරෙහිව නඩු පවරනු ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

රෝෂන් තුෂාර



සන්නස්ගල ඇල්ලුවාට මහේස්ත්‍රාත් පොලිසිය පතුරු ගහයි



මුදල් ගෙවා තිබියදීත් මුදල් වංචා කළැයි කියමින් මිනිසුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැඩි ලෙස පොලිසිය දෝෂාරෝපණයට ලක් කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා මුදල් වංචා කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඇප මත මුදාහැරීමට ඊයේ (25) නියම කළේය.චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ආපසු නොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඳාන පොලිසිය විසින් සන්නස්ගල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහු චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා මාසයක කාලයක් තුළ ගෙවීමේ පොරොන්දුව මිත සැකකරු පැමිණිලි කරුගෙන් රුපියල් ලක්ෂ10ක මුදලක් ලබාගෙන ඇතැයි එම මුදල නියමිත දිනයේදී ආපසු නොදී විශ්වාසය කඩකර ඇතැයිද පැවසූහ.

මේ පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් කඳාන පොලිසියේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ.සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්ෂ 10ක මුදලක් දුන්නේ ප්‍රදානයක් වශයෙන් මිස ණය මුදලක් වශයෙන් නොවේ යැයි පැවසූහ.

කෙසේ නමුත් පසු අවස්ථාවක සේවාදායකයා ඔහුට අදාළ මුදල ගෙවූ බව දැනුම් දෙමින් ඒ සඳහා කුවිතාන්සිද උසාවියට ඉදිරිපත් කළ නීතිඥවරු මේ පිළිබඳ කරුණු පොලිසියට දැනුම් දුන්නත් ඔවුන් එම කරුණු හෝ සලකා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර

ලක්ෂ අසූව 60ට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා

 


ඉඩමක් විකිණීමේ දී ඇතිවී යැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට පෙරේදා (24) හොර රහසේ ඇතුළු වූ අසල්වාසියකු ඇයගේ සිරුරට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.සිද්ධියෙන් බරපතළ තුවාල ලද කාන්තාව රෝහල් ගත කරනු ලැබ සිටින්නීය.සැකකරු නිවෙස තුළට රැගෙන ආ මන්නා පිහියක් සහ පැට්‍රල් අඩක් තිබෙන බෝතලයක් ද සිය බාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.සිද්ධියෙන් බරපතළ පිලිස්සීම් තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි විවාහක කාන්තාවක බව ද පොලිසිය කියයි.

පිළිස්සුම් තුවාල ලද කාන්තාවගේ නිවෙස ආසන්නයේම පදිංචි සැකකරු ඔහුට අයත් නිවෙස සහ ඉඩම කලක සිට විකිණීම සඳහා උත්සහ දරා ඇති අතර මුල් දිනවල එය රුපියල් ලක්ෂ 60 ක මුදලකට විකුණන බව ප්‍රචාරය කර ඇතත් එම අවස්ථාවේ දී ගැනුම්කරුවකු ඉදිරිපත් වී නැති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.පසුකාලීනව ඔහු, ප්‍රදේශයේ දියුණුවත් සමගම නිවෙස සහ ඉඩම රුපියල් ලක්ෂ 80 කට විකුණන බව පවසා විවිධ පාර්ශව අතර ප්‍රචාරය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම්කරුවකු ඉදිරිපත් වී ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 3 ක අත්තිකාරම් මුදලක් ද මීට දින කීපයකට ඉහත දී ලබා දී ඇතැයි පොලිසිය කියයි.

මෙම ගැනුම්කරුට පිලිස්සුම් තුවාල ලද කාන්තාව එම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බව පැවැසීමෙන් අනතුරුව ගැනුම්කරු ඉඩම් හිමියා (කකරු) හමුවී පිලිස්සුම් තුවාල ලද කාන්තාව මෙම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බවට පැවැසූ බව පවසා තිබූ බව පොලිසිය කියයි.අනතුරුව ගැනුම්කරු ඔහුට එම මුදලට ඉඩම අනවශ්‍ය බව පවසා ලබා දුන් අත්තිකාරම් මුදල් නැවත ඉල්ලා ඇතැයි ද එම අවස්ථාවේ දී ඉඩම් හිමි සැකකරු තමන්ට එම මුදල වියදම් වූ බවත් ඉඩම විකිණීමෙන් පසු මුදල් නැවත ලබාදිය හැකි බවත් එම පුද්ගලයා සමග පවසා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් දැඩි කෝපයට පත් ඉඩම් හිමිකරු ඊයේ (24) සවස මන්නා පිහියක් සහ පැට්‍රල් පිරවූ බෝතලයක් රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවෙසට ඇතුළු වී ඇයගේ සිරුරට පැට්‍රල් විසිකර ගිනි තබා පලා ගොස් සිටි බව පොලිසිය කියයි.කාන්තාවට ගිනි තැබීමත් සමගම කලබලයට පත් වූ සැකකරු කාත්තාව මිය යන්නට ඇතැයි සිතා ඔහු රැගෙන ආ මන්නා පිහිය ද නාන කාමරයේ ඉදිරිපිට පුටුවක් මත දමා ගොස් තිබූ බව පොලිසිය කියයි.සැකකරු මන්නා පිහිය සහ පෙට්‍රල් බෝතලය රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවෙසට ඇතුළු වන අයුරු එම කාන්තාවගේ නිවෙසේ සවිකර තිබෙන සීසී ටීවී කැමරාවේ මනාව සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ දී කාන්තාව නිවෙස තුළ නාන කාමරයේ රැඳී සිට ඇති අතර පිලිස්සුම් තුවාල ලද ඇය දන්නා හඳුනන නිවෙසක පුද්ගලයකුට ඇමැතුමක් ලබා දී සැකකරුගේ නම පවසා ඔහු පෙට්‍රල් දමා ගිනි තැබූ බවට පවසා ඇති අතර ඔහු බිරිඳ සමග පැමිණ ඇය ත්‍රී රෝද රථයකින් රෝහල් ගත කිරීමට උත්සාහ දරා ඇතත් එලෙස ගෙන යාමට අපහසු වූ බැවින් 1990 සූව සැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. සැකකරු පානය කළ බීඩියක කොටසක් සහ රැගෙන එන ලද පැට්‍රල් බෝතලේ මූඩිය නාන කාමරය තුළ වැටී තිබිය දී සොයාගෙන ඇති අතර සිද්ධියත් සමගම නිවෙස වසා සැකකරු සහ ඔහුගේ බිරිඳ ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.පානදුර පොලිස් කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර, උප පොලිස් පරීක්ෂක අබේකෝන්, කාන්තා පොලිස් කොස්තාපල් 6921 සරෝජනී යන නිලධාරීහු පරීක්ෂණ පැවැත් වූහ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ


මත්කරල් විසිපන්දාහක් එක්ක ‘බම්පින් කුමාර’ අත්අඩංගුවට




රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘ඛම්පින් කුමාර’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඊයේ (25) ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය දුන් තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක බණ්ඩාර සහ උපපොලිස් පරීක්ෂක ප්‍රියමන්ත යන නිලධාරින් කළ වැටලීමකදී සැකකරු ඔරුගොඩවත්ත 13 වත්ත ප්‍රදේශයේදී අත්අඩගුවට ගැනිණි.සැකකරු කාලයක් තිස්සේ ජයටම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට අද (26) ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

ගයාන් සූරියආරච්චි

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා

 



කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා රන් මාලයක්, බ්‍රේස්ලට් එකක් සහ රන් මුදුවක් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම දරුවා රවටා සොරාගෙන ගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සදහන් කරයි.අනුක්කනේ, කුඹුකොටුව ප්‍රදේශයේ හතළිස් හැවිරිදි මවක සිය පුතාගේ කකුලේ කටුවක් ඇනීමෙන් සිදුව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට පැමිණ වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

එහිදී වෛද්‍යවරයකු ලෙස පෙනී “සිටි පුද්ගලයකු දරුවා ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ යුතු බව පවසා පැළඳ සිටි රන් ආභරණ ගලවා බෑගයට දමන ලෙස කළ ඉල්ලීමක් අනුව දරුවා ඒවා බෑගයේ දමාගෙන ඇතැයි පොලිසිය කියයි.වෛද්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දරුවා කැඳවාගෙන ගොස් රෝහලේ බංකුවක් මත වාඩි කරවා දරුවා සතුව තිබූ රන් ආභරණ රැගෙන පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

රේගුවේ ටෙන්ඩර ගන්න ව්‍යාපාරිකයන් බිය වද්දන කල්ලියක්



රේගු දෙපාර්තමේන්තුව මගින් රාජසන්තක කරන ලද භාණ්ඩ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමේ දී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජිකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරයෙක්ගේ හිතවතකුගේ නම් පාවිච්චි කරමින් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

ප්‍රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් පාතාලයේ නම් පාවිච්චි කරමින් මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරත වන බවත් ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් රේගු ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට බියකින් පසුවන බවත් ව්‍යාපාරිකයෝ කියති. රේගුව රාජසන්තක කළ අඩි 20 බැගින් වන කන්ටේනර් 15 ක ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටයිල් 58,024 හෙට (26) පෙරවරුවේ ටෙන්ඩර් පිරිනැමීමට නියමිතව ඇති බවත් එම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපාරිකයන් ද බියගැන්වීමට එම සංවිධානාත්මක පිරිස කටයුතු කර ඇති බවත් ඔවුහූ කියති. එම ටයිල් ටෙන්ඩරය විවෘත කර  පිරිනැමීම රේගු මූලස්ථානයේ මධ්‍යම අපරණ අංශයේදී හෙට පෙරවරු 10.00 පැවැත්වීමට නියමිතය.

 යොහාන් භාසුර

Thursday, April 25, 2024

ස්පාඤ්ඤයේ හඳුන්වාදුන් කෘත්‍රිම බුද්ධි නිරූපිකාව Aitana Lopez

 



ස්පාඤ්ඤයේ තාක්ෂණික නිර්මාණකරුවන් පිරිසක් එක්ව එරට තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බලගැන්වුණු නිරූපිකාව එළිදැක්වීමට පසුගියදා කටයුතු යොදා තිබේ. ඇය නමින් Aitana Lopez ලෙස නම් කර ඇති අතර, ඇගේ වයස අවුරුදු 25ක් බවත් නිර්මාණකරුවන් පවසයි.රෝස පැහැති කෙස් රොදක් ඇති ප්‍රියමනාප පෙනුමකින් ඇය නිර්මාණය කිරීමට එහි නිර්මාණකරුවා වන The Clueless ආයතනයේ නිර්මාතෘ රූබන් කෲස්කටයුතු යොදා තිබේ. මෙහිදී ඇය නිරූපිකාවකට අමතරව බලපෑම්කාරියක (Influencer) ලෙස ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත. ඇය හරහා සන්නාම ප්‍රවර්ධනය ඔවුන්ගේ අපේක්ෂාව බව පැවසයි.

ඒ අනුව, ස්පාඤ්ඤයේ තරුණ වයසේ පසුවන නිරූපිකාවකට තිබිය යුතු මූලික ලක්ෂණ යොදා ගනිමින් Aitana නිර්මාණයට ඔවුන් තීරණය කරඇත. මෙහිදී එම අතථ්‍ය නිරූපිකාව වෙත නිරූපන අවස්ථාව වෙත සහභාගි වෙමින් මාසයකට යුරෝ 10,000ක පමණ මුදලක් උපයාගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.අද වනවිට ඇය එක් වෙළෙඳ දැන්වීමක පෙනී සිටීම වෙනුවෙන් යුරෝ 1,000ක මුදලක් අය කරයි. එසේම, අද ඇය කායවර්ධනය සඳහා වන අතිරේක ආහාර අලෙවි සමාගමක නිරූපිකාවක ලෙස කටයුතු කරයි. ඉදිරියටත් ගනුදෙනුකරුවන් ආකර්ෂඥය කරගැනීම සදහා ඇය තෝරාගත් අන්තර්ජාල වේදිකා තුළ තමන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරයි.


මෙම ඡායාරූපත් සමග මාස කිහිපයක් ඇතුළතදී Aitana සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත අනුගාමිකයන් 120,000කට වැඩි පිරිසක් එකතු කරගැනීමට සමත්ව සිටින්නීය. එසේම, ඇගේඡායාරූප වෙත දර්ශනයවීම් සහ ප්‍රතිචාර දැක්වීම් බොහෝමයක් හිමිවෙයි.එසේම, අද වනවිට ඇයට විවිධ පුද්ගලයන්ගෙන් පෞද්ගලික ඇමතුම් පවා ලැඛෙන අතර, බොහෝ දෙනෙකු ඇය කෘත්‍රිම බුද්ධිය හරහා නිර්මාණය කළ අතථ්‍ය නිරූපිකාවක බව නොදැන මෙම පණිවුඩ ලබාදෙන බවත් නිර්මාණකරුවන් පවසයි. 

"එක දවසක් සුප්‍රසිද්ධ ලතින් ඇමෙරිකානු නළුවෙක් ඇයට පණිවුඩයක් තැබුවා තනිවම හමුවෙන්න ඕනේ කියලා. මේ නළුවාට සමාජ මාධ්‍ය ගිණුම් තුළ මිලියන 5කට වැඩි අනුගාමිකයන් සිටිනවා. ඔහු රගපෑ ඇතැම් රූපවාහිනි මාලා නාටක අපි බැලුවේ අපේ පොඩි කාලයේදී, ඔහුට කිසිම අදහසක් තිබුණේ නෑ Aitana කියන්නේ අතථ්‍ය චරිතයක් කියලා.” යනුවෙන් කෘස් පවසයි.

ඔහු පවසන ආකාරයට Aitana ගේ අනාගත ජීවිත නිර්මාණය සදහා මෙම නිර්මාණ කණ්ඩායම සම ස්තියකදීම හමුවෙයි. එහිදී ඇය ඉදිරි ස්තිය තුළ සිදුකරන දෑ පිළිබදව ඔවුන් තීරණය කරයි. ඇය යන එන තැන්, ඇය ලබාගන්නා ඡායාරූප සහ ඒවා අන්තර්ජාලය වෙත එක්කරන මොහොත පිළිබඳව අදහස්හුවමාරු කරගනී. කෙසේ වෙතත්, මෙහිදී සාමාන්‍ය නිරූපිකාවක හා කටයුතු කරදද්දී මෙන් ඡායාරූප අවස්ථාවක්, ඇඳුම් වෙනස් කිරීමක් හෝ සිදු නොවේ. ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් එකට මිශ්‍ර කරමින් ඇගේ පෙනුම වෙනස් කිරීමයි.

”පළමුවැනි මාසයේදී අපි තේරුම් ගත්තා මිනිස්සු සැමවිටම යන්නේ ජීවිත පසුපස්සේ කියලා. ඒ නිසා Aitana අජීවී තැනැත්තියක් නිසා ඇයට සැබෑ ජීවිතයක් ලබාදෙන්න අපිට සිදුවුණා. ඒ හරහා ජනතාව ඇයට සම්බන්ධ වුණා. ඒ වගේම, යම් කතාවක් කියන්නත් අපිට සිදුවුණා.” යනුවෙන් Aitana නිර්මාණය කළ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා පවසයි.

Aitana ගෙන් ලැබුණු අත්දැකීම් සහ ප්‍රතිචාරත් සමග මෙම කණ්ඩායම සිය දෙවැනි අතථ්‍ය නිරූපිකාව Maia ලෙස ඉදිරිපත් කර තිබේ. ඇය මඳක් ලජ්ජාසහගත තැනැත්තියකි. මෙලෙස නිරූපිකාවන් සදහා නම් යෙදීමද අහඹු අවස්ථාවක් නොවන අතර, එම නම් දෙකම කෘත්‍රිම බුද්ධි සංකේතනාමයකි.මේ අතර, අද වනවිට බොහෝ සන්නාම සාම්ප්‍රදායික නිරූපණ ශිල්පීන්ට වඩා විවිධ ලක්ෂණ සහිතව තමන්ටම ආවේණික වූ නිරූපණ ශිල්පීන් යොදා ගැනීමට උනන්දුවීමත් සමග මෙම විකල්පය වඩාත් වැදගත් බව කෲස් පවසයි. එසේම, ජනප්‍රිය නිරූපනණ ශිල්පීන් හෝ චරිත යොදාගෙන දැවැන්ත වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කළ නොහැකි සුළු පරිමාණ ව්‍යාපාර වෙතද මෙය මහගු අවස්ථාවක් බවත් ඔවුන් පෙන්වා දෙයි.


දුම්රිය සාමාන්‍යාධිකාරීගේ මරණය ගැන විවෘත තීන්දුවක්




දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාර් හේරත් මුදියන්සේලාගේ කටුපොල්ලන්දේ ගෙදර වික්‍රමසිංහ බණ්ඩාර (අවු.58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙරේදා (23දා) විවෘත තීන්දුවක් නිකුත් කෙරිණ.එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ මුත්‍රා හා ලේ සාම්පල මෙන්ම අක්මාව, ආමාශය, ඇතුළු ශරීරයේ කොටස් කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා අදාළ පරීක්ෂණවලින් පසු එම මරණයට හේතුව නිශ්චිතවම දැන ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.ශරීරයේ අභ්‍යන්තර හෝ මතුපිට සැක කටයුතු තුවාල කිසිවක් දක්නට නොමැති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව හෙතෙම සඳහන් කළේය. ජීවිතක්ෂයට පත් වූ දුම්රිය සාමාන්‍යාධිකාර් බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාර් එම්. ඒ.සී. ගුණතිලක මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව දේහය, බිරිඳ ඇතුළු ඥාතීන් හට අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන ලදි.


දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා, විශේෂ රාජකාර් කටයුතු කිහිපයක් සඳහා ඉකුත් 22දා අනුරාධපුරයට පැමිණ දුම්රිය ඉංජිනේරුවරුන් තිදෙනෙකු සමග අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක බංගලාව තුළ කාමරයක නවාතැන්ගෙන සිටියදී පෙරේදා(23දා) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි. දුම්රිය සංචාරක බංගලාව ඇති කාමර දෙකක ඉංජිනේරුවරුන් තිදෙනකු නවා තැන්ගෙන සිටි බවත්, දුම්රිය සාමාන්‍යාධිකාර්වරයා එක් කාමරයක නවාතැන් ගෙන සිටි බවත් දුම්රිය මාර්ග ප්‍රධාන ඉංජිනේරු ඊ.එම්.එස්.ටී.කේ. ප්‍රියන්ත දීගන මහතා ලබා දුන් ප්‍රකාශවල සටහන්ව ඇතැයි. මෙහිදී පොලීසිය සඳහන් කළේය.දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු එම පිරිස රාත්‍රී නින්දට ගොස් ඇති අතර, පසුදා (23දා) උදෑසන 6.30ට පමණ සංචාරක බංගලා සේවකයෙකු තේ පානය සඳහා සාමාන්‍යාධිකාර්වරයා සිටි කාමරයේ දොරට තට්ටු කර ඇති බව පොලීසිය කියයි.

ඒ මහතාට නින්ද ගොස් ඇති බවට සැක සිතූ දුම්රිය ඉංජිනේරුවරුන් පිරිස යළිත් වරක් උදෑසන හතට පමණ කාමරයේ දොරට තට්ටු කර, ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක් ගෙන ඒවාට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් කාමරයේ දොර කඩා විවෘත කර බැලීමේදී සාමාන්‍යාධිකාර්වරයා කාමරයේ ඇඳ අසල මුනින් අතට වැටී සිටි බවත්, මුහුණ ප්‍රදේශයෙන් ලේ වහනය වී තිබූ බවත් ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගන මහතා ලබා දුන් ප්‍රකාශවල සටහන්වේ.එම සංචාරක බංගලාව ආසන්නයේ ඇති දුම්රිය නිල නිවාසයක සිටි අයගේද උදව් ඇතිව පරීක්ෂා කර බලා, 1990 ගිලන් රථයක් මාර්ගයෙන්, දුම්රිය සාමාන්‍යාධිකාර්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවත් එම ප්‍රකාශවල වැඩිදුරටත් සඳහන් වේ.

 බී.ජී. චතුරංග

බොරු අවලෝකේතීශ්වර මානසික ලෙඩෙක්




අවලෝකේතීශ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තා හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙන්නකු බව විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට කළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින්, ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද දැනුම්දීමට රහස් පොලිසියට ඉකුත් (7) නියම කළේය. පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තා අධිකරණයට ඉදිරිපත් විය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා, අධිකරණ නියෝග අනුව සැකකරු පරීක්ෂා කළ විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායම සැකකරුගේ මානසික තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට එවා ඇතැයි දැනුම් දුන්නේය. සැකකාර මහින්ද කොඩිතුවක්කු නමැත්තා හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙන බවත්, එම රෝගය සඳහා අඛණ්ඩව ඔහුට ප්‍රතිකාර ලබා දිය යුතු බවට නිර්දේශ කර ඇති බවත් දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, හීනෝන්මාදය නමැති මානසික රෝගී තත්වයෙන් පෙළෙමින් සිටියදී සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු කළ ප්‍රකාශය අනෙක් පුද්ගලයන් විසින් අවභාවිත කර ඇතැයි වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින්, මානසික රෝගී තත්වයකින් පෙළෙමින් සිටියදී මෙම සිද්ධියට පාදක වූ ක්‍රියාව කර ති හෙයින්, ඔහු මෙම නඩුවෙන් මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන ජුනි 19 වැනිදා සැකකරු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්දීමට රහස් පොලිසියට නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර

ඇමතිටත් උඩින් ගිය ලේකම්වරියකට වැඩ වරදී





ගුරු විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට හිතුවක්කාර් ලෙස ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය, ආචාරිය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඇයට එවැනි ලිපියක් ලිවීමට හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ද පැවැසීය. 


“ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ගුරු බලය සංවිධානයේ ලේකම්වරයාට ලියුමක් යවලා තියෙනවා. එම ලිපියේ තියෙන ප්‍රතිපත්තිමය කරුණු බැලුවාම එතුමියට මෙවැනි ලිපියක් ලියන්න බැහැ. මම අද උදේ තමයි මේක දැක්කේ. මම ලේකම්තුමියට කිව්වා මේ ගැන. වහාම කරුණු විමසන්න කියලා. ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ලිපියක් ලිව්වේ ඇයි ද කියලා. මම මේ කාරණය සම්බන්ධයෙන් මීට පෙර දරපු ස්ථාවරයක් තියෙනවා. ගුරු වැටුප් විෂමතා තවම විසඳලා නැහැ. විසඳන්න ඕනෑ කොටස් තියෙනවා. විෂමතාවට සමගාමීව ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු උපදේශක සේවය යන අංශවල විෂමතා තියෙනවා. ඒ කමිටු වාර්තාව සකස් කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යවලා තියෙනවා. එහි එකගතාව අනුව කැබිනට් පත්‍රිකාව සකස් කරනවා."


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:


" මේ රටේ ගුරු විදුහල්පතිවරුන්ගේ බරපතළ  වැටුප විෂමතාවක් තියෙනවා. එහෙම දෙයක් නැහැ කියමින් වාසනා ගුණරත්න නමැති ජ්‍යෙෂ්ඨ සනකාර ලේකම්වරිය ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන් ලොකු ගැටලුවක් මතු වෙලා තියෙනවා. ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ අය මේ නිසා කල කිරීමට පත්වෙලා. මේකෙන් හානිය වෙන්නේ දූ දරුවන්ට. වැදගත් කමිටු නිර්දේශ මගහරිමින් මෙවැනි ලිපියක් නිකුත් කළේ කොහොම ද? මහ පොළොවේ සත්‍ය යථාර්ථය යටපත් කරන්නේ කොහොම ද? ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ මනස හදන්න කටයුතු කරන්න ප්‍රතිඥාවක් ලබාදෙන්න කියලා ඉල්ලනවා."

අංජුල මහික වීරරත්න

පොහොට්ටු ජනපති අපේක්ෂකයා රනිල්ගේ තීන්දුවෙන් පස්සේ




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරයට තරග කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති නිල නිවසේ දී පෙරේදා (23) රාත්‍රී පැවැති හමුවේ දී බැසිල් රාජපක්ෂ මහතා මේ කාරණය ප්‍රකාශයට පත්කර ඇත.අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරග කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ. 

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය බාරගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා ඇත.පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන කටයුතු සඳහා දායකවීමට අවස්ථාව ලබාදෙන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඡනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් කමිටු ක්‍රමයක් හරහා සංවර්ධන කටයුතු කිරීමට හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබාදෙන බව සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

ෆොක්ස්හිල් මරණවලට ධාවකයෝ දෙන්නා උසාවියේදී කනාටුව පළ කරති





දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි තරග ධාවකයන් දෙදෙනා ඊයේ (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා නියම කළේය.දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගයට ඉදිරිපත්වී අං5 යටතේ තරග කළ මාතර, මැද පාර, හිත්තැටිය ප්‍රදේශයේ රංජිත් උඩුවිට (36) සහ අංක196 යටතේ තරග කළ මහනුවර, පේරාදෙණිය, මාකන්ද ප්‍රදේශයේ ඒ.එම්. ඩිලාන් සංජිව (47) යන අයවලුන් දෙදෙනාට මෙසේ ඇප නියම විය.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයකයන්ගේ සංගමය හා දියතලාව යුද හමුදා විද්‍යා පීඨය සංවිධානය කළ ෆොක්ස්හිල් මෝටර් රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණ.එසේ මෝටර් රථ ධාවන තරග පැවැත්වෙමින් තිබියදී තරගාවලියේ 18 වැනි ඉසව්ව ලෙස පැවති ෆෝඩ් - ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව1500 සී.සී. මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.එම මාරක මෝටර් රථ අනතුරින් අවුරුදු 8 ක කුඩා දැරියක සමග හත් දෙනකු මරුමුවට පත්වී 21 දෙනකු තුවාල ලබා දියතලාව සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය කීය.

මෙහිදී මෝටර් රථ ධාවකයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි බණ්ඩාරවෙල අධිකරණයේ නීතිඥ පාරින්ද වීරසිංහ, නීතීඥ සංජීව විජේසේකර යන මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ධාවකයන් දෙදෙනා තම තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණින් තරග කරමින් සිටියදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම ගැන කනගාටු වන බවයි.එමෙන්ම මෝටර් රථ වාහන තරගවලට රථ වාහන පනත හෝ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන මෝටර් රථ වාහන පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥ පාරින්ද වීරසිංහ සහ නීතිඥ සංජීව විජේසේකර යන මහත්වරු කියා සිටියහ.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි දියතලාව පොලිසියේ නිලධාරීන් පැවැසුවේ. මෙම මෝටර් රථ වාහන ධාවන තරගයේ සිදුවූ මාරක අනතුරින් පිරිසක් අගතියට පත් වී සිටින බවත්,නොසැලකිලිමත් ලෙස අනතුරුදායක ලෙස මෝටර් රථ ධාවනය කිරීම නිසා මෙම මාරක මෝටර් රථ අනතුර සිදුව ඇති බවත්ය.මෙම කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා සැකකාර ධාවකයන් දෙදෙනා ශරීර ඇපමත මුදාහැර වැඩිදුර විභාගය මෙම 30 වැනිදා තෙක් කල් තැබීය.

ප්‍රසාද් රුක්මල්

උමා ඔයේ විදුලි ජනන යන්ත්‍ර දෙකට අපි දෙන්නාගේ නම් දැම්මාම කකුල් වෙව්ලන්න පටන් ගත්තා

 



උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ටර්බයිම (ව්දුලි ජනන යන්ත්‍ර)අංශයේව්‍යපෘති ලේකම් ලෙස වසර හයසේවය කළ මගේ නමත් මට සහය දැක්වූ සුලෝචනා නංගීගේ නමත් ටර්බයිම දෙකට දැම්මා කියන ආරංචියත් සමග අපේ දෙන්නාගේ කකුල් වෙව්ලන්න පටන් ගත්තා යැයි දසුනි සචින්ද්‍ර ලුවිස් මහත්මිය  පැවසීය.උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරීම ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශයේ දී 24 වැනිදා සිදුවිය.



2010 වසරේ දී ඇරැඹි මෙම ව්‍යාපෘතියෙන් අදියර දෙකක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට, 120 . එක් එක්කර තිබෙන අතර එමෙන්ම වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් 20,000කට පමණ වාරි ජලය සපයයි.ඊට අමතරව ලුණුගම්වෙහෙර ජලාශය දක්වා සහ කුඩා වැව් 40කට ජලය සැපයීමට ද අපේක්ෂා කරන අතර එම ජලයෙන් කොටසක් ගෘහස්ත, පානීය සහ කාර්මික අවශ්‍යතා සඳහා ද යොදා ගැනීමට නියමිතය. උමාඔය පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14ක වැඩ නිමකර ඇති අතර තවත් වැව් 15ක් සංවර්ධනය ආරම්භ කර තිබේ. තවත් කුඩා වැව් 67ක ප්‍රතිසංස්කරණ සිදුකර තිබේ.


උමා ඔය ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කළ ඊයේ දිනයේ දසුනිගේ නමත් සුලෝචනාගේ නමත් ඇතැමුන් නිතර කියවමින් ඒ දෙදෙනා ගැන විපරමි කළ කාටත් එම දෙදෙනා නෙත නොගැටුණේ ඔවුන් වැඩ බිමට සමුදී වෙනත් රැකියාවලට ගොස් සිටිය නිසාය.කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ගොස් සිටින දසුනිව දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට හැකිවීමත් සමග ටර්බයිම දෙකට නම් දැමීමේ සත්‍ය කතාව දැන ගැනීමට හැකිවිය.දසුනි සචින්ද්‍ර ලුවිස් මහත්මිය මෙසේ අප සමග පැවසීය.


අද දවසේ උමා ඔයේ ටර්බයිම දෙකට තේ හදපු කෙල්ලෝ දෙන්නෙක්ගේ නම් දාලා කියලා සමාජ මාධ්‍යයෙන් සහ ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය වුණා. ඒක මහා බොරුවක්. අපි දෙන්නාට ඒක නිසා අවමානයක් සිදු වුණා. මම උමා ඔයේ ටර්බයින් අංශයේ ව්‍යපෘති ලේකම් සුලෝචනා නංගී කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක්. අපි දෙන්නා ටර්බයිම අංශයේ සේවය කරද්දී ඉරානයේ ඉංජිනේරුවන් සමග සුහදව වැඩ කළා. උපරිමයෙන් හා කැපවීමෙන් උමග ඇතුළේත් කාර්යාලයේත් සේවය කළා.


කාලයක් යද්දී ඒ රටේ ඉංජිනේරුවන් සහ නිලධාරීන් කිවුවා අපි දෙන්නාගේ නම් දෙක ටර්බයිම දෙකට දානවා කීවා. අපි විහිළු කරන්න එපා කියලාත් කිවුවා. මෙතන වැඩ කරන්න හිටපු කාන්තාවන් දෙන්නත් අපි දෙන්නා විතරයි. මෙවැනි දැවැන්ත විදේශීය රටකින් කරගෙන යන ව්‍යපෘතියකට අපේ නමක් දානවා කියන්නේ හීනයක්. අපි දෙන්නා නිතර මේ විහිළුව ගැන කතා කළා. ඇතැම් අවස්ථාවල දී සමහර ඉංජිනේරුවන් කිවුවා ටර්බයිම හයිකරද්දී ළඟයින්ම වැඩ කරන ගෑනු අයගේ නම් දාන කතාවකුත් කිවුවා. ඒත් අපිට විහිළුවක් විතරයි.


අනේ දවසක් ඇත්තටම අපි දෙන්නගේ නම් දෙක ටර්බයිම දෙකට දාලා අපිට පෙන්නුවා ඒ වෙලාවේ කකුල් වෙව්ලලා අපිට ක්ලාන්තය වගේ හැදුනා. අපිට හිතා ගන්නා බෑ. හිතේ තිබුණ හීනය අපිට සැබෑ වුණා. ජීවිතයේ ලබන්න තිබුණ ලොකුම සතුට අපි එදා ලැබුවා. ඇත්තටම මමත් සුලෝචනාත් අපිට ලැබුණ රැකියාව අවංකවම හා උපරිමෙන් කළා. හිතේ තිබුණා ශක්තියත් සමග උමගක් ඇතුළේ අපි වැඩ කළා. අපි කළ කැපවීමට ඒ රටේ අය අපේ නම් දෙක පවා ටර්බයිමයට දැම්මා. නමුත් අද ඊයේ අපිට එතනට යන්නවත් අපේ අය අවස්ථාව දන්නේ නෑ. ඒ කියන්නේ ආරාධනාවක් නෑ.ඇත්තටම විවෘත කළ දවසේ අපි යන්න ආසාවෙන් හිටියා. අපිට ඒක මග හැරුණා. අපේ රටේ හැටි එහෙම වෙන්න ඇති.


2016 වසරේදී තමයි මම රැකියාවට ගියේ. අපි දෙන්නාම වසර හයක් එක දිගට වැඩ කළා. 2022දී උමග මැදින් ගලා ආ ජල දහරාවක් නතර වෙන්නේ නැති නිසා වසරක කාලයක් වැඩ නතර කළා. මම වැල්ලවාය කරඳගොල්ලේ පදිංචිකාරිනියක් වුණත් ස්වාමියා හා දරුවා සමග කුරුණෑගලට ආවා. මම දැන් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කරනවා. සුලෝචානා නංගී ගැන ආරංචියක් නෑ. කෙසේ වෙතත් අද උමා ඔය විවෘත කළා කීවාම මට ලොකු සතුටක් දැනුණා යැයි ඇය පැවසීය.


සුලෝචනා සංජීවනී මෙසේ පැවසුවාය.


“මම ජීවිතේ ලබන්න ඕනෑ සතුට ලැබුවා. වෙල්ලස්සේ ඉපදිලා සුළු රුකියාවක් කළ මටත් දසුනි අක්කාටත් මේ වගේ ගෞරවයක් විදේශීය රටකින් ලැබෙයි කියලා අපි දෙන්නා හීනයකින්වත් හිතුවේ නෑ. මම 2017 දී උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් අංශයේ වැඩ කළා. ඒමී හිටපු ඉංජිනේරුවරුන් අපි දෙන්නාගේ නම් දෙක ටර්බයින් දෙකට දානවා කීවා. අපි හිතුවේ විහිළුවක් කියලා. බලද්දී නම් දෙක දාලා. අපිට තාම ඒක හීනයක්. මට හිතා ගන්නවත් බෑ.


ඉරාන ජනාධිපතිටත් අපේ රටේ ජනාධිපතිතුමාටත් මම ස්තූති කරනවා අපි දෙන්නාට දුන්න ගෞරවය ගැන. ඊයේ උමා ඔය විවෘත කළා, අපිට යන්න බැරි වුණා. ඒත් මට ඉතාම සතුටුයි."


 ප්‍රසන්න පත්මසිරි


ලක්ෂ 80ක අයිස් එක්ක ත්‍රිරෝද රියැදුරු අත්අඩංගුවට



විදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව ජාවාරම්කරුවකු වන රූබන් නමැත්තාගේ මත්දුව්‍ය මෙරට ඛෙදා හරින ප්‍රධාන සැකකරු වූ ත්‍රිරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 711 මිලිග්‍රෑම් 200 ක් පොලිස් බාරයට ගෙන ඇත. 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර ඇති කණ්ඩායම් විසින් ඔවුන්ට ලබා දී ඇති සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයන්ගේ නාම ලේඛනයන්ට පරිබාහිරව ලද රහසිගත තොරතුරකට අනුව සැකකරු ත්‍රිරෝද රථයෙන් මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරිම සඳහා යමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය සඳහන් කළේය. 

සැකකරු කාලයක් තිස්සේ තීරෝද රථ රැකියාවේ නිරත වන මුවාවෙන් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.කොළඹ 13 මහාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු වත්තල හේකිත්ත ප්‍රදේශයේ ස්තූරාජ මාවතේ තාවකාලිකව පදිංචිව සිට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරුගෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

 බිමල්  ජයසිංහ

දමිතාගේ නඩුව ගෙනියන්න බෑ

 



නීත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයක් නොමැතිව කොරියන් රටේ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළේ යැයි කියන රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියාට එරෙහිව ආගාමික විගාමික පනත යටතේ මෙම නඩුව පවරා පවත්වාගෙන යමට හැකියාවක් නැතැයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විවෘත අධිකරණයේ දී ඊයේ (24) පැවසීය.මෙම වංචා සිද්ධියට රහස් පොලිසිය ආගමන විගමන පනත යොදාගෙන ඇත්තේ සැකකරුවන්ට ඇප දීමට උසාවියට ඇති හැකියාව අවහිර වන අන්දමට බව පෙනෙන්නට ඇතැයි ද මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට බාර වීමට උත්සහ කළ අයකු අධිකරණය මගහරිමින් විමර්ශන කටයුතු වලට බාධා කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි යැයිද සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව දින 18ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හළේය.

රුපියල් ලක්ෂ පනහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ. පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.කොරියන් රටේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් කළේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කෙරුණ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු ආගමන විගමන පනත්තේ 45 ඇ 1 වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව ආරම්භ කළ විමර්ශන තවදුරටත් පවත්වාගෙන යන්නේ යැයි කීහ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති ආගමන විගමන පනත අනුව සැකකරුවන්ට ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලයක් නැතැයි ද ඔවුන්ගේ ඇප ඉල්ලීම් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි ද කී රහස් පොලිස් නිලධාරීහු ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන්නැයි ද ඉල්ලා සිටියහ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයන්ගේ පෞද්ගලික නිදහසේ අයිතිය තහවුරු කිරීමට අධිකරණය බැඳී සිටින්නේ යැයි කීය.ආගමන හා විගමන පනත යටතේ තම සේවාදායකයන්ට එරෙහිව විමර්ශන නිලධාරීන් අධිකරණය සෑහීමකට පත් වන ආකාරයේ සාක්කි ඉදිරිපත් කළ යුතු වුවත් මෙතෙක් විමර්ශන නිලධාරීන් තම සේවාදායකයන්ට එරෙහිව අධිකරණය සෑහීමකට පත් වන ආකාරයේ සාක්කි ඉදිරිපත් කර නැතැයි නීතිඥ අජිත් පතිරණ මහතා කීය.

ඒ අනුව වංචා විමර්ශන ඒකකය යටතේ තම සේවාදායකයන්ට එරෙහිව තිබූ මෙම පැමිණිල්ලේ කිසිදු අන්තර්ජාල වරදක් වී නැතත් පොලිස්පතිවරයාගේ වුවමනාවට රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට යොමු කර ඇතැයි ද කීය.තම සේවාදායකයන් වාහන ගනු දෙනුවක් සඳහා මුදල් හුවමාරු කරගෙන ඇතත් විදේශ රැකියා සඳහා මුදල් ලබාගෙන නැතැයි කී නීතිඥ අජිත් පතිරණ මහතා මෙම පැමිණිල්ල ආගමික විගාමික පනතේ වගන්ති 18න් එක් වගන්තියක් යටතට හෝ වැටෙන්නේ නැති හෙයින් තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල ආගමික විගාමික පනත යටතේ පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මේ තත්වය යටතේ සැකකරුවන්ට ඇප දීමේ බලය තම අධිකරණයට ඇතැයි සඳහන් කළේය.

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර විමර්ශන සඳහා සෑහෙන කාලයක් විමර්ශකයන්ට ලැබී තිබුණත් විමර්ශන වල සැලකිය යුතු ප්‍රගතියක් තම අධිකරණයට නිරීක්ෂණය නොවන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා මේ තත්වය යටතේ සැකකරුවන්ට ඇප දීමට තීරණය කරමින් කොන්දේසි සහිත ඇප මත සැකකරුවන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියම කළේය.සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන තරිඳු වික්‍රමනායක, හරිත් හෙට්ටිආරච්චි, බුද්ධික කරුණානන්ද සහ ගයාන් කලටුවාව සමග නීතිඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර

දකු‍ණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3ක් ගරාගෙන



දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 50කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු ඵරටට යවා නැතැයි තරුණයෝ පිරිසක් චෝදනා කරති.රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා දෙන බව පවසා එම දේශපාලනඥයා එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ගෙන ඇතැයි පවසන මෙම තරුණයෝ, රුපියල් 1500 බැගින් අයකර පුහුණුවක් දුන් බව ද සඳහන් කරති.දින හයක් පැවැති කොළඹ මාකොළ ප්‍රදේශයේ දින හයක් පැවැති පුහුණුවට තරුණයන් හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවූ බව ද මෙම තරුණයෝ සඳහන් කළහ.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාව කඩිනමින් ලබාදෙන බවත්, දිස්ත්‍රික්කයකට රැකියා පනහක් ලැබී ඇති බවත් එම දේශපාලනඥයා පැවැසූ බවද ඔවුහු කියති.වතුකරයේ තරුණයන් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දළු කැඩීමට බාධාවන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයන්ට පවසා ඇතැයි ද කියති.පුහුණුවට ගිය සෑම තරුණයකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි මෙම දේශපාලනඥයාට බාර දී මාස දෙකක් ගත වී ඇතත් තවමත් එක් තරුණයකු

හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති බැවින් වියදම් වූ මුදල් ලබා ගැනීමේ අවිනිශ්චිත තත්වයක් මතු වී ඇතැයි තරුණයෝ සඳහන් කළහ. පුහුණුව සතියකට එක් දිනක් පැවැති හෙයින් පුහුණුවට යන සෑම දිනකටම බස් රථයට රුපියල් 1500කුත් ආහාර පාන සහ වෙනත් වියදම් සමග එක් තරුණයකුට රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වැඩි මුදලක් වියදම්වී ඇති බව ද ඔවුහු කීහ.

මේ පිළිබඳව වීරවිල පොලිසියෙන් කළ විමසීමක දී සඳහන් කළේ විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා පිටත්වීමට පසුගිය දින කීපය තුළ පොලිස් වාර්තා හාරසියකට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා ඇති බවය. වාර්තා ඉල්ලා පැමිණෙන සෑම තරුණයකුම අවිනිශ්චිත මානසිකත්වයෙන් පසුවන බව ද පොලිසිය සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් කොරියානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමක දී සඳහන් කළේ විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා කිසිසේත්ම අවස්ථාවක් ලබා නොදෙන බවයි.

රජය මගින් හෝ එවැනි තීරණයක් ගෙන ඇද්ද යන්න විමසීම සඳහා විදේශ සේවා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ධනංජය ජයසුන්දරගෙන් කළ විමසීමක දී සඳහන් කළේ කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාස අටකට පුහුණු ශ්‍රමිකයන් යැවීමට කොරියානු රජය සමග සාකච්ඡාවක් පැවැතිය ද මේ වනතෙක් කොරියානු රජයෙන් ඊට කැමැත්තත් දක්වා නොමැති බවයි.‍ෙඑමෙන්ම ඒ සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීමට හෝ තොරතුරු රැස් කිරීමට හෝ දේශපාලනඥයකුට කිසිදු නිලධාරියකුට හෝ දැනුම්දීමක් කර නොමැති බව ද ජයසුන්දර මතා කීය. යම් දේශපාලනඥයකු තරුණයන්  නොමග යවා ඇද්ද යන්න පිළිබඳව අදාළ අංශු දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ධනංජය ජයසුන්දර සඳහන් කළේය.

‍අමිල සම්පත් ශ්‍රී

මත් විපාක දැනුවත් කරද්දී රාලහාමි ලෙඩ වී මරුට



ශබ්ද විකාශනයකින් අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්, ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරියකු හදිසියේ  ක්ලාන්තව නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (24) මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ, ආණමඩුව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් (76443) සරත් උපාලි වර්ණසූරිය නමැති,හතළිස් දෙහැවිරිදි වියේ පසු වූ පොලිස් නිලධාරියකු බව පොලිසිය පවසයි. මියගිය පොලිස් නිලධාරියා නවගත්තේගම බුද්ධිජයසිරිගම අංක 34 ලිපිනයේ පදිංචි, දරුවන් දෙදෙනකුගේ පියකු බව ද පොලිසිය සඳහන් කරයි. 

මියගිය පොලිස් නිලධාරියා පෙරේදා (23) පස්වරුවේ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සමග ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කළ, ආණමඩුව පොලිසියට අයත් ත්‍රිරෝද රථයකින් ආණමඩුව උසවැව මාර්ගයේ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේ මෙලෙස හදිසි ක්ලාන්ත රෝගී තත්වයක් ඇති වූ බව ද පොලිසිය සඳහන් කරයි.

පසුව ඔහු සමග සිටි නිලධාරීන් දෙදෙනා, රෝගී තත්වයට ලක්වූ සහෝදර නිලධාරියාව වහාම ආණමඩුව රෝහලට ඇතුළත් කරන ලදුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසුව එදිනම රාත්‍රියේ ඔහු මරණයට පත්වූ බව ද පොලිසිය සඳහන් කරයි. මියගිය පොලිස් නිලධාරියාගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය කොට්ඨාස බාර හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ නිකවැරටිය මූලික රෝහලේදී ඊයේ (24) සිදු කිරීමට නියමිතව තිබුණි.

ප්‍රියාණි මංගලිකා

Wednesday, April 24, 2024

ජනපති පුටුවට හතක් ඇහැගහගෙන



ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සදහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වීමට දැනට තීරණය කර සිටින්නෝ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකු වන ඉශාන් ජයවර්ධන යන මහත්වරු වෙති.මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එම පාක්ෂිකයෝ පසුගියදා ඉල්ලීමක් කළහ.

මේ සම්බන්ධයෙන් ඊයේ කළ විමසුමක දී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ තීරණය ඉදිරි සති කිහිපයේ දී දැනුම් දෙන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැති අතර මේ සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා කවුදැයි තීරණය කිරීමේ බලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේ මැයි දින රැලියේ දී ප්‍රකාශයට පත් කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී තවත් අපේක්ෂකයන් එක්වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ අනුමාන කරති.මේ අනුව ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.මීට පෙර පැවති ජනාධිපතිවරණයේ දී (2019) ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 14කි. මෙවර ජනාධිපතිවරණයේ දී එම සංඛ්‍යාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මුල් සතියේදී පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය.

සුජිත් හේවාජුලිගේ


අවදානම අතින්ගෙන මෝටර් රථ තරග බිමට පිවිසීම



දියතලාව, නරියා කන්ද සුපර් ක්‍රොස්  තරගාවලියේදී ඉකුත් ඉරිදා (21 වැනිදා) සිදුවූ මාරක අනතුර හේතුවෙන් ජීවිත 7 ක් අහිමි වීමත් සමග මෝටර් රථ සහ යතුරපැදි තරගවල ඇති අවදානම් සහගත බව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් තිබේ. කෙසේ වුවත් මෝටර් රථ තරඟයක් අතරතුර ජීවිත අහිමි වූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඊට 60 දශකය දක්වා ඈත ඉතිහාසයක් ඇති බවත් දැනගන්ට ලැබේ. ඒසම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ‛ලංකාදීප’යට පැවසුවේ පළමු වරට ජීවිත අහිමිවීමක් සිදුවූයේ 60 දශකය මැද භාගයේ නුවරඑළියේ පැවැති මෝටර් රථ තරගයක් අතරතුර බවය. ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට ඇදී යෑම නිසා නරඹන්නන් දෙදෙනකුට ජීවිත අහිමි වී ඇතැයි වාර්තා වන නමුත් එහිදී මියගිය පුද්ගලයන් කවුරුන්දැයි යන්න පිළිබඳව කිසිදු සටහනක් නොමැති බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.


 කෙසේ වුවත් මෑත කාලයේදී සිදුවූ එවන් අනතුරුවලින් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3 ක් බවට තොරතුරු අනාවරණය වන අතර ඔවුන් තිදෙනාගෙන් දෙදෙනකු යතුරුපැදි ධාවකයන් බවත්, එක් අයෙක් මෝටර් රථ ධාවකයකු බවත් සඳහන් කළ හැකිය. එහි කැපී පෙනෙන කරුණ වන්නේ ඔවුන් තිදෙනාටම ජීවිත අහිමිවී ඇත්තේ නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතරතුර මුහුණදුන් අනතුරු හේතුවෙන් වීමය. කෙසේ වෙතත් දියතලාව නරියා කන්ද ධාවන පථයේදී මියගිය හත්දෙනාගෙන් පස්දෙනකු නරඹන්නන් වන අතර දෙදෙනෙක් තරග මෙහෙයුම් නිලධාරීහු වෙති. 2024 නරියා කන්ද සුපර් ක්‍රොස් තරගාවලිය වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රවේශපත්‍රයේ පසුපිටේ සටහන් කර ඇත්තේ ද මෝටර් රථ තරග නැරඹීම සම්බන්ධ අවවාදයකි.


පළමුව ආරක්‍ෂාව”


“මෝටර් රථ තරග අනතුරුදායකයි.

ඔබ මෙම තරගය නරඹන්නේ එහි අවදානම ඔබ විසින්ම දරාගනිමිනි" යයි ප්‍රවේශපත්‍රයේ පසුපිටේ සටහන් වේ.


රංජිත් ධනපාල


2007 වසරේ අප්‍රේල් 21 වැනිදා පැවති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ සිලින්ඩර ධාරිතාව 250 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි ඉසවවේ පුහුණු සැසියක් අතරතුර රංජිත් ධනපාල දරුණු අනතුරකට ලක්ව ඇත. එදින අධික වර්ෂාවක් ඇද හැළුණු අතර පුහුණුවීම් පවත්වා ඇත්තේද දක්ෂිණාවර්ත දිශාවටය. ධාවන පථයේ එක් වංගුවක් පසුකරමින් සිටියදී ධනපාලට ඔහුගේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ගැටී ඇත.


එහිදී ඔහුගේ හිස්වැස්ම ගැලවී ගොස් ඇති අතර හිස පාරේ වැදී බරපතළ ලෙස තුවාල ලබා ඇත.නුවරඑළිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ඔහුව කොළඹ මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී දින අටකට පසු ඔහු මිය ගොස් ඇත.ඒ වන විට 39 හැවිරිදි වියේ පසුවූ ධනපාල, මෙරට ජනප්‍රිය යතුරුපැදි ශූරයෙකි.



ඩිල්ෂාන් බණ්ඩාරනායක


 2008 වසරේ අප්‍රේල් 20 වැනිදා පැවති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගවලියේ සිලින්ඩර ධාරිතාව 1000 දක්වා මිනි 7 ඉසව්ව අතරතුර සිදුවූ අනතුරක් හේතුවෙන් ඩිල්ෂාන් බණ්ඩාරනායක මිය ඇත. ඔහු තරගයට සහභාගි වී ඇත්තේ ඔස්ටින් මිනි 998 වර්ගයේ මෝටර් රථයක් පදවමිනි. තරගයේ තුන්වන වටය තුළ පෙරමුණ සඳහා පොරබදමින් සිටියදී, පැයට කිලෝ මීටර 140 ක් පමණ වේගයකින් පැමිණි බණ්ඩාරනායකගේ මෝටර් රථය, අජිත් හේමචන්ද්‍රගේ මෝටර් රථය සමග ගැටී ඇත. එහිදී මෝටර් රථ දෙකම ධාවන පථයෙන් ඉවතට ගොස් ඇති අතර බණ්ඩාරනායකගේ රථය වැලි පිරවූ ගෝනිද කඩාගෙන යමින් බැම්මක වැදී ඇත. 


එහිදී මෝටර් රථ දෙකම ධාවන පථයෙන් ඉවතට ගොස් ඇති අතර බණ්ඩාරනායකගේ වැලි පිරවූ ගෝනිද කඩාගෙන යමින් බැම්මක වැදී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.අනතුරෙන් පසුව නුවරඑළිය රෝහලට ඇතුළත් කරන විටත් බණ්ඩාරනායක මියගොස් සිට ඇති අතර ඔහුගේ හිසට සහ පාදවලට තුවාල සිදුවී ඇති බවද, සිරුර අභ්‍යන්තරයේ බරපතළ තුවාල සිදුවී ඇති නිරීක්ෂණයවී ඇත.


හේමචන්ද්‍රද මෝටර් රථයෙන් ඉවතට විසිවීමේදී ගසක හැපී බරපතළ තුවාල ලබා කොළඹ රෝහලේ දැඩි සත්කාර ඒකක වෙත මාරුකර යවා අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනකුද තුවාල නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. කාල ගණනයේදී ඉදිරි පෙළ ආරම්භක ස්ථානය හිමිකර ගැනීමට බණ්ඩාරනායක සමත්ව සිටියද, තරගය ආරම්භ වීමෙන් පසුව පෙරමුණට පැමිණීමට හේමචන්ද්‍ර සමත්වීමත් සමග ඔවුන් දෙදෙනා අතර දැඩි තරගකාරිත්වයක් හට ගෙන තිබිණ. ජීවිතක්ෂයට පත්වන විට තිස් ගණන්වල අග භාගයේ පසුවූ බණ්ඩාරනායක, මෙරට ජනප්‍රිය සහ පළපුරුදු මෝටර් රථ රියදුරන්ගෙන් අයෙකි.


ආනන්ද වෙඩිසිංහ

2017 වසෙර් අප්‍රේල් 23 වැනිදා පැවැති නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ සිලින්ඩර ධාරිතාව 450 දක්වා සුපර් මෝටාඩ් යතුරුපැදි ඉසව්ව අතරතුර අනතුරකට ලක්වූ ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ, මැයි මස 29 වැනිදා ජීවිතක්ෂයට පත්වූයේ මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මාසයකට යතුරුපැදි දෙකේ හැඩලයන් එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වු බවත්  පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක් ගැටී ඔහු යතුරුපැදියෙන්  ඉවතට විසිවූ බවත් පැවසේ. 

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබේ. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

60 දශකය මැද භාගයේ සිදුවූ බව කියන මරණ 2 සහ ධනපාල, බණ්ඩාරනායක සහ වෙඩිසිංහගේ මරණද සමග මෑත කාලයේදී මෙරට මෝටර් රථ සහ යතුරුපැදි තරගවලදී සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 5 ක් ලෙස සටහන් කළ හැකිය. ඉකුත් ඉරිදා සිදුවූ ජීවිත හානි 7 ද සමගින් එය 12 ක් දක්වා ඉහළ යන අතර මින් ඉදිරියට මෙවන් අවාසනාවන්ත සිදුවීම් දක්නට නොලැබේවා යැයි පතමින් මෙම සටහනට තිත තබනු ඇත.

ශානුක අරවින්ද