Friday, July 30, 2021

නිවෙස් වල මිය යන පිරිස් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ යුතුයි

ගාල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වලදී සිදු වන මරණ කෝවිඩ් ආසාදිත බව තහවුරුවීමේ ප්‍රවණතාව යළි වැඩි වී තිබෙන බැවින් නිවෙස්වල මියයන පුද්ගලයන් සෑම කෙනෙකුගේම සිරුරු පී.සී.ආර්. පක්ෂණ සඳහා යොමු කළ යුතුයැයි රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ පසුගිය දින කිහිපයේදී කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයට ලැබුණු, නිවෙස්වල සිදු වූ මරණ බොහොමයක් කෝවිඩ් ආසාදිත බව තහවුරු වීම පිළිබද අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා, " කෝවිඩ් වසංගතය යළි සෑම ස්ථානයකම පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. එවැනි අවස්ථාවකදී කෝවිඩ් නිසා නිවෙස්වල සිටින වයස්ගත සහ රෝගී පුද්ගලයන් මියයනවා. නමුත් ඇතැම් ග්‍රාම නිලධාරීන් සහ මරණ පරීක්ෂකවරු එම සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකර නිදහස් කරනවා. එය වරදක් බව අපට දැන් පෙනෙනවා.වයස්ගතව රෝගීව සිට නිවෙස්වල මියයන පුද්ගලයන් පී.සී.ආර්. පරික්ෂණවලින් කෝවිඩ් ආසාදිත බව තහවුරු වෙනවා. ඉන් පැහැදිලියි නිවෙස්වල මියයන පුද්ගලයන් සෑම කෙනෙකුගේම සිරුරු පී.සී.ආර්. පක්ෂණ සඳහා යොමු කළ යුතු බව. නැතිනම් කෝවිඩ් වසංගතය පාලනය කිරීමේ ගැටලු ඇතිවනවා. මියගිය පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් තමයි නිවසේ ඉන්නේ. අවමංගල්‍යයට එන සියලු දෙනාට ඔවුන්ගෙන් කෝවිඩ් ආසාදනය වීමට හැකියි.පසුගිය ඉරිදා (25)දා දිනයේ පමණක් රෝහලේ අධිකරණ අංශයට ලැබුණු කෝවිඩ් ආසාදිත බව තහවුරු කරගත් මළසිරුරු 08ක් සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබු අතර ඉන් ත්මරණ 04ක් නිවෙස්වල මියගිය පුද්ගලයන්ගේ මරණයි.පෙරේදා (28දා, රෝහලට ලැබුණු කෝවිඩ් ආසාදිත බව. තහවුරු වූ සිරුරු 5කින් තුනක්ම නිශ්චල සිදුවූ ඒවායි. කෝවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ සිරුරු 04ක් ඊයේ (29)දා පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කළ අතර ඒ අතරින් ද. මරණ 02ක් සිදුව ඇ ත්තේ නිවෙස්වලදීයි.” යැයිද පවසා සිටියේය. නිවෙස්වල දී ම මියගොස් ඊයේ (29)දා කෝවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත්තේ යක්කලමුල්ලේ පදිංචි 22 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ රත්ගම පදිංචි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කෝවිඩ් ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ මාපලගම  පදිංචි 59 හැවිරිදි පිරීමි පුද්ගලයකු මියගොස් ඇත.

(ගාල්ල සීරංගිකා ලොකුකරවිට)

වසංගත හමුවේ ලොව මුල් පෙළේ තාක්ෂණික සමාගම්වල ලාභ ඉහළට

 

නව කොරෝනා හෙවත් covid-19 වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සීමා හේතුවෙන් ලොව මුල් පෙළේ තාක්ෂණික සමාගම් වන මයික්‍රොසොෆ්ට්, ඇපල් සහ ගුගල් යන සමාගවල ලාහය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.  විශේෂයෙන්ම මෙම වසංගත තත්වය නිසා පැනවූ ලොක්ඩවුන් අවස්ථාවන් නිසා අන්තර්ජාල දැන්වීම්කරුවන් සිය වියදම් ඉහළ නැංවීම්, පාරිභෝගිකයන් නව දුරකථන වෙත යොමුවීම් මෙන්ම  ක්ලවුඩි ගබඩා පහසුකම් යාවත්කාලීන කරගැනීම් සඳහා යොමුවීම යනාදිය හේතුවෙන් මෙලෙස එම සමාගම්වල ආදායම් වර්ධනය වී ලාභය ඉහළ ගොස් තිබේ. 


මේ අතරින් ඇපල් සමාගම වෙත  මේ වසරේ මාර්තු සිට ජුනි මාසය දක්වා වූ මාස තුනක කාලයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 21.7ක ලාභයක් හිමිව තිබේ. විශේෂයෙන්ම පාරිභෝගිකයන් එහි නවතම 5G  අයිෆෝන මිලදී ගැනීමට යොමු වීම සහ එහි සංගීත සහ රූපවාහිනි ස්ට්‍රීමිං සේවා වෙත ලියාපදිංචි වීම්  ඉහළ යාම ඊට හේතුව වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, "මෙම කාර්තුවේදී අපගේ කණ්ඩායම් පෙර නොවූ විරූ ලෙස නවෝත්පාදන ඉදිරිපත් කරමින් අපගේ පාරිභෝගිකයන් වෙත වඩාත් බලගතු නිෂ්පාදන ඉදිරිපත් කළා. එය තාක්ෂණය හරහා මිනිසුන් එකිනෙකා සම්බන්ධ කරන මෙවැනි කාලයකදී ඉතාමත් වැදගත් දෙයක්.” යනුවෙන් පවසා ඇත.

 

එහිදී චීනයේ ස්මාර්ට් දුරකතන  වෙළද පොළේ කැපී පෙනෙන වර්ධනය ඇපල් සමාගමේ ලාභය ඉහළ යාමට මුලිකවම හේතුව  වී තිබේ. එහිදී ඇපල් වොච් සහ  අයිෆෝන් 12 උපාංග පාරිභෝගිකයන් අතර වඩා වැඩි ආකර්ෂණයක් හිමි කරාගෙන තිබේ. එසේම මයික්‍රොසොෆ්ට් සමාගම සහ ගූගල් සමාගමේ ඇල්ෆබට් සමාගමද ආසන්න කාලයේදී සිය අලෙවිය කැපී පෙනෙන ලෙස වර්ධනය කරගෙන ඇත. 


ඒ අතරින් මයික්‍රොසොෆ්ට් සමාගමේ අලෙවිය  පෙර වසරට සාපේක්ෂව 47%කින් වර්ධනය වී ඇති අතර, ලාභය ලෙස ඩොලර් බිලියන 16.5ක් රැස් කරගෙන ඇත. එසේම ඇල්ෆබට් සමාගමේ ආදායම 61.6%කින් වර්ධනය වී ඇති   අතර ලාභය එක්සත් ජනපද ඩොලර් බිලියන 61.88ක් බවට පත්ව තිබේ. මේ අතර ගූගල් සමාගමේ යූටියුබ් වෙබ් අඩවිය සිය ආදායම් අතරින් බොහෝමයක්ම අන්තර්ජාල දැන්වීම්කරණය හරහා රැස් කරගෙන  ගෙන තිබේ.  එහිදී පෙර වසරේදී අත්කරගත් ඩොලර් බිලියන 3.81ක ලාභයට සාපේක්ෂව මේ වසරේදී  ඩොලර් බිලියන 7ක ලාභයක් උපයා ගැනීමට සමත්ව ඇත.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ගූගල් සමාගමේ ප්‍රධානී සුන්දර් පිචායි, "ලෝකයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල ක්‍රියාකාරකම්වල ඉහළයාම මෙම වසංගතය නිසා   ඇති වූ ප්‍රවණතාවයේම කොටසක්”යනුවෙන් පවසා තිබේ.



මයික්‍රොසොෆ්ට් සමාගමේ ක්ලවුඩ් පාදක ගබඩා පහසුකම් සේවාද මෙම කාලසීමාවේදී කැපී පෙනෙන ලාභයක් රැස් කරගැනීමට සමත්ව ඇති අතර, එසේම පෞද්ගලික පරිගණක තුළ මෙන්ම Xbox වීඩියෝ ක්‍රීඩා කොන්සෝල මෙන්ම එහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුළදිද පසුගිය කාලයේදී කැපී පෙනෙන ආදායමක්  උපයා ගැනීමට හැකියාව ලැබී තිබේ.  කෙසේ වෙතත් මෙලෙස වසංගතය  හේතුවෙන් ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් සිය ලාභය කීප ගුණයකින්ම  වර්ධනය කරගනිද්දී, ඒවායේ සේවය කළ මිලියන ගණනක් වූ පිරිසකට සිය රැකියා අහිමිවීමක්ද සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එසේම පාඩු ලැබූ අනෙකුත් කුඩා තාක්ෂණික සමාගම් අත්පත් කරගනිමින් තාක්ෂණික ලොව ඒකාධිකාරයක් පවත්වා ගෙන යාම්ද මෙම දැවැන්ත සමාගම් තුළින් ඉදිරියේදී දැකගත හැකි වෙනු ඇතැයිද අදහස් මතුව තිබේ.  ඒ අනුව උද්ගතව පවතින මෙම තත්වය සම්බන්ධයෙන් අවධානය  යොමු කිරීමට එක්සත් ජනපදයේ මෙන්ම එක්සත් රාජධානියේද දේශපාලනඥයන් සහ නියාමකයන් පියවර ගෙන ඇතැයිද සදහන් වෙයි. 


ඒ අතරින් එක්සත් ජනපදයේ ඒකාධිකාරයට එරෙහි නියාමකයා වන තරගකාරිත්වය සහ වෙළද පොළ අධිකාරිය මගින් දැනටමත් ඩිජිටල් වෙළද පොළ ඒකකයක් පිහිටුවා ඇති අතර, ඒ හරහා තාක්ෂණික සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබදව විමර්ශනය කරන බවත් පවසයි. එසේම එක්සත් ජනපද රජයද දැනටමත් මෙවැනි දැවැන්ත තාක්ෂණික සමාගම් මගින් සිදු කළ හැකි එවැනි ඒකාධිකාරයක් බිහි කිරීමේ අවස්ථාවන් වැළක්වීමේ පියවර ගෙන ඇත. එහිදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් පසුගියදා සිය විධායක නියෝගයක් අත්සන් තබමින්, තවදුරටත් එරට තුළ තාක්ෂණික සමාගම් තුළ තරගකාරීත්වය වර්ධනය කිරීමටත්, දැවැන්ත සමාගම් වෙත සිය තරගකරුවන් මිලදී ගැනීම වැළැක්වීමටත් පියවර ගෙන තිබේ.


අනුමත නොකළ රසායනාගාරවලින් කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීමෙන් ගැටළු

රජය අනුමත කර නොමැති රසායනාගාර මගින් ජනතාව පෞද්ගලිකව පී.සී.ආර් පක්ෂණ සඳහා යොමුවීම හේතුවෙන් රජයේ සෞඛ්‍ය අංශ ගැටලු ගණනාවකට මුහුණදී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එස් ඒ.යූ.ටී කුලතිලක මහතා පැවසීය. ඊයේ (29දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මෙසේ පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "කිසියම් රෝගී තත්වයක් හට ගැනීමත් සමග සමහර පිරිස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැනුවත් භාවයකින් තොරව රජය අනුමත කර නොමැති රසායනාගාර වෙත ගොස් පී.සී. ආර්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමුවීම හේතුවෙන් එම තත්වය උදා වී තිබෙනවා.උදාහරණ වශයෙන් ගතහොත් මඩම්පැල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසයට අයත් අම්බලයාය ගම්මානයේ එකම පවුලක පස්දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 28දා වාර්තා වී ඇති නමුත් එම පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට නොහැකි වී ඇත්තේ රජය අනුමත කර නොමැති රසායනාගාරයකින් පරීක්ෂණවලට යොමු වී සිටීම හේතුවෙනුයි. එවැනි රජය අනුමත කොට නොමැති රසායනාගාරවලින්  පී.සී.ආර් පරික්ෂණ හා රැපිඩ් පක්ෂණ කරවා ගත්තත් එම ආයතනවලට සහතික නිකුත් කිරීමට බලයක් නොමැතිවීම හේතුවෙන් එම ගැටලුකාරි තත්වයන් හට ගෙන තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුට හෝ පිරිසකට පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ පුද්ගලිකව කර ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පක්ෂකවරයා මුණ ගැසී හෝ දුරකථනයෙන් විමසා රජය අනුමත කොට ඇති රසායනාගාරයකට යොමු වන ලෙස ඉල්ලා සිටිනවා. මෙම ගැටලුව දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන අතර එසේ රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට නොහැකි වීම හේතුවෙන් රෝගය පාලනය කිරීමටද බාධා සිදු වනවා." යැයිද පවසා සිටියේස්ය.

(වාරණ ආනන්ද ඉ ජයකොඩ්)

කොරෝනා අස්සේ ඩෙංගු වැඩි වෙලා

ඉකුත් වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.මෙම වසරේ ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 16,497 දෙනකු වාර්තා වී ඇති අතර පසුගිය මාසයේ දී රෝගීන් 2,997 දෙනකුද, මෙම මාසයේ ගත වූ දින 29 තුළ රෝගීන් 3,029 දෙනකු ද වාර්තා වී ඇත. මෙම මෙම වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 70ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මෙම කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් දැනට පවතින නිරිත දිග මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළයාමේ අවදානමක් ඇති බවත් එම ඒකකය පවසයි. මෙම ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය වයිරස් කාණ්ඩ හතරක් හඳුනාගෙන ඇති අතර වයිරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවල ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය. රට තුළ කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍ය කෙරෙහි ද දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩ ඇති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම, මදුරු දෂ්ඨනයන් ආරක්ෂාවීම, රෝග ලක්‍ෂණ ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

(ඩයනා උදයංගනී)

කෝවිඩ් ආසාදිතයන් ඉහළ යැම සුළු දෙයක් නෙමෙයි


කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යහව ඉහළ යැම සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවන බවත්, ඒ අනුව ආර්ථික හා සාමාජික කටයුතුවල සීමාවන් නැවත පැනවිමට එය හේතුවක් වනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, පවතින කෝවිඩ් තත්වය පිළිබඳ ඊයේ (29දා) මාධ්‍ය දැනුම්වත් කිරීම් හමුවකට එක්වෙමිනි. එසේම කාර්යාලවල, වෙළඳ සැල්වල මෙන්ම සුපිරි වෙළඳ සැල්වලද තිබූ සෞඛ්‍ය පහසුකම් මේ වනවිට අඩාළ වී ඇති බවට නිරික්‍ෂණය වන බව එහිදී පැවසූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදුකරමින්,



"ආසාදිතයන් වැඩිවීම අපට සුළුවෙන් තැකිය හැකි දෙයක් නෙවෙයි. ඒ නිසා සියලුදෙනාම ඉතාමත්ම සැලකිල්ලෙන් සිටිය යුතුයි. එය තවදුරටත් 2,000 දක්වා 2,500 දක්වා වැඩි වුණොත්, අපි මැයි මාසයේ මුහුණ දුන්න බරපතළ තත්වයට නැවත මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. කාර්යාලවල, වෙළඳ සැල්වල, සුපිරි වෙළෙඳ සැල්වල තිබුණු සෞඛ්‍ය පහසුකම් අද වෙනකොට යම් ප්‍රමාණයකට අඩාළ වෙලා තිබෙනවා. සමෑ කෙනෙක්ම අත සෝදාගෙන ඒ ස්ථානවලින් ඇතුළු වෙන්න කියන එක, විස්තර ලබාගන්න කියන ආදී ඒ කටයුතු නැවත පණගන්වලා ඉදිරියට කර ගෙන යන්න කියලා කියනවා. එසේ නොවුණහොත් ඉදිරියේදී ඇති විය හැකි රෝගීන් වැඩි වීමත් එක්ක නැවතත් මේ ආර්ථික, සාමාජික කටයුතුවල සීමාවන් ඇති කිරීමට ඉඩ තිබෙනවා” යැයිද අවධාරණය කළේය.


 -නිදර්ශනී වික්‍රමසිංහ-


රිෂාඩ්ගේ ගෙදර සිටි මෙහෙකාරියන් තවත් 7කට අතවර වෙලාද

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවන් 11 දෙනෙකු අතුරින් 7 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලීසිය පවසයි.2010 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ කාන්තාවන් 11 දෙනකු එම නිවසේ සේවයේ නිරතව සිට ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. මෙම එම 11 දෙනා අතරින් ඉෂාලිනි දැරිය ඇතුළු සිවුදෙනකු මියගොස් ඇති බවද සෙසු දෙනාගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත් බව ද පොලිසිය කියයි.මෙම සියලු දෙනාම පාහේ එම නිවසේදී කරත්වයට ලක්ව ඇති බවම ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඉෂාලිනි දැරියට අමතරව එක් සේවිකාවක බම්බලපිටිය ප්‍රදේශයේ දී දුම්රිය අනතුරකින් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කර ඇති මෙම කාන්තාවන් සියලු දෙනාම ඩයගම හා අවට ප්‍රදේශවල පදිංචිකාරියක් බව පොලිසිය සඳහන් කරයි. පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් සහ දැරියට පෙර නිවසේ සිටි මෙම කාන්තාවන්ට සිදු වූ හිංසන, අපයෝජන හෝ වෙනත් වරදක් සිදුකර තිබේ නම් ඒ සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

(ඉන්දිකා රාමනායක)

අසාදිතයන් රැගෙන ගිය බස් රථය කැබ් රථයක ගැටීමේන් කාන්තාවන් දෙදෙනෙක් මරුට


පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ මහවැව ප්‍රදේශයේදී ඊයේ (29දා) උදෑසන බස් රථයක් හා ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් කැබ් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි මනම්පිටිය පොලීසිය පවසයි. වැලිකන්ද කඩවතමඩුව පදිංචි ආර්.පී.ඩී. දිල්රුක්ෂිකා උදයංගනී (41) සහ වැලිකන්ද බෝඅත්තේ පදිංචි කේ.පී.සී. නිර්මිණි (43) නමැත්තියන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. කොළඹ සිට පුනානි දක්වා නිරෝධායනය කිරීමට පිරිසක් රැගෙන යමින් සිටි යුද හමුදාවට අයත් බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.



අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලීසිය පවසයි. අනතුරට පත්වන විට කැබ් රථයේ 13දෙනෙකු ගමන් කර තිබෙන අතර ඔවුන් පොළොන්නරුව මහරෝහලේ පිරිසුදු කිරීම් අංශයේ සේවය කරන සේවක සේවිකාවන් පිරිසක් බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ආර්.වීරසිංහ මහතා පැවසීය. යුද හමුදා බස් රථය අනතුරට පත්වන විට එහි සිටි නිරෝධායනට රැගෙන යමින් සිටි පිරිස වෙනත් යුද හමුදා බස් රථයකට මාරු කර පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කළ බවද වීරසිංහ මහතා සඳහන් කළේය. මෙම අනතුරට හේතුව නොසැලිකිලිමත්ව හා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය බවත් අනතුරට සම්බන්ධ රියැදුරන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලීසිය පවසයි. මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ආර්.වීරසිංහ මහතා ඇතුළු රථවාහන අංශයට අයත් පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදු කරති.


 -තුෂාර තෙන්නකෝන්-


කොරෝනා එන්නත නැත්තම් බස්නාහිර පෞද්ගලික බස් වල වැඩ බෑ

ලබන අගෝස්තු 15 වැනිදා වන විට බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ සියලු දුර හා කොන්දොස්තරවරුන් කොරෝනා මර්දන එන්නත ලබාගතයුතු බවත් එදින වන විට එන්නත ලබා නොගත් කිසිදු කොන්දොස්තරවරයකුට බස් වල සේවය කිරීමට ඉඩනොදෙන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමත් සෞඛ්‍ය නීති පිළිපැදීමේත් අරමුණෙන් වගකිවයුතු සංගමයක් ලෙස මෙම පියවර ගත් බවත් පැවසු ඔහු ඒ අනුව එන්නත ලබාගෙන සිටින රියැදුරන් හා කොන්දොස්තරවරුන් ලබන 9 වැනිදා සිට පරික්ෂාවට ලක්කරන ලෙස සංගමය බස්නාහිර පළාතේ ප්‍රවාහන බලධාරීන්ට දැනුම් දෙන බවද කීය. දැනට පළාතේ බස් සේවයෙන් 50000 ක් පමණ සිටින බවත් පැවසූ ගැමුණු මහතා ඔවුන්ගෙන් සියයට 50 ක් පමණ එන්නත ලබාගෙන ඇතැයිද සඳහන් කළේය. මේ අතර පිටපළාත්වල සිට බස්නාහිර පළාතට ධාවනය වන පෞද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුද ලබන අගෝස්තු 30 වැනිදා වන විට එන්නත ලබාගෙන සිටිය යුතු බවද ඔහු කීය. එසේම බස්වලට ගොඩවීමට අවසර ලැබෙන්නේ කොරෝනා මර්දන එන්නත් ලබාගත් මගීන්ට පමණක් බවත් එන්නත ලබාගත් මගීන් සහ බස් සේවකයන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සංගමය ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

 (මහින්ද නිශ්ශංක) 

අනර්ථකාරි සියලු වෙබ් අඩවි තහනම් කරන්න

ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරි වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඊයේ (29) නියෝග කළාය. අනර්ථකාරි වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරිම්, එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී එම කොමිසමට නියම කළාය.අනර්ථකාරි වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.අනර්ථකාරි වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර් ජාලය මගින් ලිංගික කටයුතුවල යෙද වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ (29) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු  ඉදිරිපත් විය.මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන රජීව් රවිනාත් යන අය ඊයේ (29 දින) බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කර සිටි අතර ඔහු මෙම නඩුවේ 31 වැනි සැකකරු ලෙස නම් කරනු ලැබීය.මෙම බාල වයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරිමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මන්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරමට සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව ප්‍රධාන සැකකරු සිදුකළ මන්ද්‍රව්‍ය ජාවාරම හා අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව පරීක්ෂණ සිදුකරන බව ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියට අදාළ බාලවයස්කාර දැරිය  නිරුවත් කොට ඇයගේ විවිධ ලිංගික දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඒවා විවිධ පුද්ගලයන්ට විකුණා එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මුදල් උපයාගෙන ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුනේය.බාල වයස්කාර දැරියගේ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝවක් නැරඹීම සඳහා මෙම සැකකරු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් 5000 සිට රුපියල් 8000 දක්වා මුදලක් අයකර ගෙන ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළ දුරකථන සම්බන්ධතා ඔස්සේ විමර්ශන සිදු කරමින් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම වින්දිත දැරිය ගණිකාවක වශයෙන් අධිකරණය කිසිසේත් නොසලකන බව කී මහේස්ත්‍රාත්වරිය මේ අපරාධය සම්බන්ධයෙන් වන පරික්ෂණ වහාම අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය.ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව. විදුලි සංදේශ නියාමන කොමිසම නියෝජනය කරමින් එහි නීති නිලධාරිනිය අධිකරණයේ පෙනී සිටියාය.බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මූලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩි ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු වන මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම ප්‍රශ්නගත වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනකු සමිබන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.සෑම ඉරු දිනකම උදැසන 9.00ත් දහවල්12.00ත් අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.

(නිමන්ති රණසිංහ) 

බාල වයස්කාර දරුවන් යොදා තැනු කුණුහරුප විඩීයෝ පට තොගයක් අන්තර්ජාලයේ



දරුවන් යොදාගෙන සකස් කළ අසභ්‍ය හා අශ්ශීලි දර්ශන ඇතුළත් ඡායාරූප හා විඩියෝ පට 17,629ක් පසුගිය දින 40 ක පමණ කාලය ඇතුළත අන්තර්ජාලයට එක්කර තිබෙන බව පරීක්ෂණයකින් හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. බාල වයස්කාර දරුවන් යොදාගෙන සකස් කළ මෙවැනි දර්ශන ඇතුළත් වීඩියෝ හා ඡායාරූප දුරකතන ටැබ් හා පරිගණක ආශ්‍රයෙන් අන්තර්ජාලයට එකතු කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. ඉකුත් ජුනි මස 17 වැනිදා සිට පෙරේදා දක්වා කාලය තුළදී මෙය සිදුවී ඇති බවද ඔහු කීය.



මෙවැනි දර්ශන හා වීඩියෝ පට අන්තර්ජාලයට එකතුකළ පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඊයේ (29) සිට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් ආරම්භ කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. දරුවන් සම්බන්ධව අශ්ශීල අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයට එකතුකරන පුද්ගලයින් ඒවා දැමු සැණින් හඳුනාගැනීමට විශේෂ ඒකකයක් පසුගිය මාසයේ 17 වැනිදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කළ බවද ඔහු සඳහන් කළේය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ එම විශේෂ ඒකකය හා රහස් පොලිස් ඒකාබද්ධව නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

ලාෆ්ස් ගෑස් හිඟවුණේ ඩොලර් හිඟ නිසයි



වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති වී තිබෙන්නේ ගෑස් ආනයනයට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මෙරට බැංකු සතුව ප්‍රමාණවත් තරම් නොමැති නිසා බවත් ඉදිරියේ දී ගෑස්, කිරිපිටි හා බෙහෙත්වලට ද එම තත්වය තදින් බලපානු ඇති බවත් ලාස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය. ඇති වී තිබෙන තත්වය පිළිබඳව රජය සමග කොතරම් සාකච්ඡා කළද සාධාරණ විසඳුමක් නොලැබුණු බවද ඔහු සඳහන් කළේය.



උද්ගතව ඇති තත්වය තම සමාගමට පමණක් නොව බොහෝ ආනයනකරුවන්ට බලපා තිබෙන බව ඔහු කීව්වේය. ලාෆ්ස් සමාගම සෑම ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 700 ක පාඩුවක් ලැබූ බව කී වෑගපිටිය මහතා අවුරුද්දක පමණ කාලයක් රුපියල් කෝටි 500 ක පමණ පාඩුවක් ලබමින් තම පාරිභෝගිකයාට ගෑස් සැපයූ බවද සඳහන් කළේය. පාරිභෝගිකයාට සිදුව ඇති අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බවත් පාඩු ලබමින් හා ගෑස් ආනයනයට අවශ්‍ය මූල්‍ය පහසුකම් නොමැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු සඳහන් කස්ය. වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් සැපයීම දින කිහිපයක සිට අඩාලව පවතින අතර ලිට්රෝ ගෑස් හිඟයක්ද මේ වන විට ඇතිව තිබේ.


 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-


රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමගේ නම විකුණා ලක්ෂ 120ක් වංචා කළ සැකකරු දැලේ



ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකු කැලණියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු සන්තකයේ තිබී ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නිකුත් කළ බවට හැඟවෙන ව්‍යාජ හැඳුනුතක් ද සොයාගත් බව පොලිසිය කියයි. විදේශ රටකින් සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ලබාදෙන බව පවසා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මීට මාස හයකට පමණ ඉහතදී මෙම මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි.


වාහනය ලබාදීම විවිධ හේතු දක්වමින් දිනෙන් දින ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ගැනුම්කරු විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හෝ අමාත්‍යාංශයේ සේවය කරන අයකු නොවන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-

Thursday, July 29, 2021

ඒන ඡන්ද ගැන කිසි දෙයක් දැනට අපේ ඔළුවල නැ


මෙරට පැවති කිසිම ආණ්ඩුවක් රටේ සංවර්ධනයට අවශ්‍ය දිර්ඝ කාලීන සැලසුම් සකස් නොකිරීම අඩුපාඩුවක් බවත්, ආණ්ඩු මාරුවීම් සමග වෙනස් නොවන  දිර්ඝ කාලීන සංවර්ධන සැලසුම් සකස් කිරීම අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ 28 පැවසීය. වර්තමානයේ දී පවතින රජයේ වැඩපිළිවෙළට සහයදීමට තම පක්ෂය කටයුතු කරන බව කී  මෙත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණවලදී  තරග කරන්නේ කෙසේ ද යන්න ගැන මෙතෙක් සාකච්ඡා කර නැතැයි ද කීවේය.  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඒකරාශී කරගෙන වෘත්තීය සමිති බියුරෝවක් පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. 


මෙම වෘත්තීය සමිති බියුරෝව පිහිටුවීම එම  පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරිණි.  මෙම වෘත්තීය සමිති බියුරෝවේ සභාපති  ලෙස පක්ෂ සභාපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා පත්විය.  එය පිහිටුවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරු මෙස්ය. 


ප්‍රශ්නය : පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර: එය දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන කරුණක් නිසා අදහස් දැක්වීම සුදුසු නැහැ.

ප්‍රශ්නය : පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු කරන්නේ ඉදිරියේදී වෙනම තරග කිරීමට බලාපොරොත්තු වන නිසාද?


පිළිතුර: අපේ පක්ෂ ඉතිහාසයේ සිටම පක්ෂ භාරව සිටි නායකයන් පක්‍ෂය ගොඩනැගීමට කටයුතු කළා. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මම මේ සතියේ සිට සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ඒ කටයුතුවල නිරත වෙනවා. අනාගතය සඳහා පක්‍ෂය ශක්තිමත් කිරිම හැමදාම කරන දෙයක්. ඉදිරියේදී තරග කරන ආකාරය ගැන තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් තාම නැහැ. වත්මන් රජයට තාම වසර දෙකක්වත් සම්පුර්ණ වී නැති නිසා මැතිවරණ සම්බන්ධයෙන් දැනට අපේ ඔළුවේ නැහැ.




 පසුගිය දශක අටකට ආසන්න කාලයේදී බලයට පත්වූ සෑම රජයක්ම ඇතැම් දේවල්වලදී සාර්ථක හා ඇතැම් දේවලදී අසාර්ථක වුණා. හැම ආණ්ඩුවකම දුර්වලතා අඩුපාඩු තිබෙනවා.  මේ ගැන එක රජයකට පමණක් චෝදනා කරන්න බැහැ. අපේ රටේ කිසිම ආණ්ඩුවකින් රටේ සංවර්ධනයට දීර්ඝ කාලීන සැලසුම් සකස් වී නැහැ. ලෝකයේ සංවර්ධනය වූ රටවල් අවුරුදු 25, 30 වැනි දීර්ෂඝ කාලීන සැලසුම් හදනවා. අපිත් දිගු හා මධ්‍ය කාලීන ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම අවශ්‍යයි. මේ මොනවා හැදුවත් ජාතික එකඟතාවක් නැත්නම් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. ඉන්දියාව වැනි රටවල ආණ්ඩු වෙනස් වුණාට ප්‍රතිපත්ති සහ සැලසුම් වෙනස් වෙන්නේ නැහැ. 


ප්‍රශ්නය: ජනපති සමග පැවැත්වූ  සාකච්ඡා සාර්ථකද?


පිළිතුර: රටේ පවතින වර්තමාන දේශපාලන තත්වය, දැනට තිබෙන ප්‍රශ්න, මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග  ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම ආදිය ගැන සාකච්ඡා කළා.


 ප්‍රශ්නය :නැවත ජනාධිපතිවරණයට එනවාද? 


පිළිතුර : දැන් ජනාධිපති අපේක්‍ෂකයන් ගොඩක් ඉන්නවා. ඒ නිසා ඒ අයට තැනක් දෙමු. 


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර, මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයස්කර, ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික රාජ්‍ය ඇමැති ලසන්ත  අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් ලෙස්ලී දේවේන්ද්‍ර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


 -ඩයනා උදයංගනී-


ශ්‍රී ලංකා ඉන්දිය ජෛව ආරක්ෂිත බුබුළ බිඳ වැටුණේ පැමිණි පිරිස නිසාද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා පිටස්තර පුද්ගලයන් රැසක් ක්‍රීඩාංගණයට පැමිණ ඇති බවත්, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතු වී ඇති බවත් අනාවරණය වේ. ඔවුන් එහිදී ගත් ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ පළ කිරීමෙන් ඊට සාක්ෂි සපයන බවද වාර්තා වේ. අවම වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් නිර්දේශ අනුව ක්‍රීඩාංගණයේ කටයුතු කිරීමට හෝ එම පිටස්තර පුද්ගලයන් කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණකි. ඔවුන් තරගය නරඹන විට මුව ආවරණ පැලඳ නොසිටීම සහ ඔවුනට තරගය ක්‍රීඩාංගණයට විත් නැරඹීමට අවසර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මෙවැනි නොසැලකිලීමත් පිරිස් ක්‍රීඩාංගණයට පැමිණීම සහ ඔවුන් කටයුතු කළ ආකාරය එනම් වගකීම් විරහිත බව හේතුවෙන් ජේ ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවී ඇතැයි පිරිසක් චෝදනා කරයි. මීට අදාළව එක් නිදසුනක් ලෙස ක්‍රීඩාංගණයට විත් තරගය නැරඹූ එක් පුද්ගලයෙක් ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා වන අතර, ඔහු සමග සිටි අනෙක් පුද්ගලයාද තරග නැරඹීමට හිමිකම් කීවේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. එමෙන්ම ඔවුන් මුහුණු ආවරණ පැලඳ නොසිටියේ ඇයිද යන්නත්, ඔවුනට කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදු නොකර තිබීමත් විමතිය දනවන්නකි. මෙම තරගය ආවරණය කරන මාධ්‍යවේදීන්ට පවා පී.සී.ආර් ටෙස්ට් 02ක් සහ තරගය පැවැත්වෙන දිනයේ ඇන්ටිජන් පරික්ෂාව අනිවාර්ය කර තිබූ අතර, මෙම පුද්ගලයන් ක්‍රීඩාංගණයට පැමිණ ඇත්තේ එම පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමෙන්ද යන්න ඇත්තේ ගැටලුවකි.

 මීට අමතරව ශ්‍රී ලංකා - ඉන්දීය පළමු විස්සයි. 20 තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියේ සේවය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කෝවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මාධ්‍ය කුටියේ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබුණි. එම සේවකයාට සිදුකළ 'ඇන්ටිජන් පරීක්ෂාවෙන්' (ප්‍රතිර්දේහ පරික්ෂණයේදී )ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. මේ ආකාරයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට කොවිඩ් -19 පැමිණීම සම්බන්ධයෙන් සහ ඉන්දීය ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද එම අවදානමට තල්ලු කිරීමේ වගකීම ගන්නේ කවුරුන්ද ? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා 100කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, ඔවුනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ බලපෑවේ නැතිද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි.ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍ය හට කෝවිඩ් -19 ආසාදනය වීම මේ ආකාරයෙන් පිටස්තර පුද්ගලයන් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමේ එක් වගකීම් විරහිත ක්‍රියාවක් වන අතර, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොමැති වීම කනගාටුවට කරුණකි.

(පැතුම් ශ්‍රී විජේරත්න)

සූර්ය බල හා සුළං බලයෙන් විදුලිය ගන්න අතිවිශාල මුදලක් වැය වෙනවා

සූර්ය බල හා සුළං බල ආදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් විදුලිය නිෂ්පාදනය කර ගැනීමට අතිවිශාල මුදලක් වැයවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.මේ නිසා 2030 වසර වනවිට මෙම බලශක්ති ප්‍රභවයන් තුළින් රටේ අවශ්‍යතාවෙන් 70%ක් නිෂ්පාදනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.මෙම වැඩපිළිවෙළ නිසා විදුලිබල මණ්ඩලය විසින් සකස් කළ 2022 වසරේ සිට 2041 වසර දක්වා වූ දිගුකාලීන විදුලි සැලැස්මටත් බාධා සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.මෙම සැලැස්ම තුළින් 2030 වසර වනවිට විදුලි අවශ්‍යතාවෙන් 53%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.සූර්ය බල හා සුළං බල වැනි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් විදුලිය නිෂ්පාදනය කර ගැනීමට සැලසුම් කළ බොහෝ රටවල් එම අදහස අතහැර දමා තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ අදාළ කටයුතු සඳහා අතිවිශාල මුදලක් වැයවීම බවත් සෞම්‍ය කුමාර වඩුගේ මහතා පවසා සිටියේය. අප රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ලක්ව තිබෙන බැවින් අතිවිශාල මුදලක් වැය කර මෙවැනි කටයුතු කිරීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය. සූර්ය බල සුළං බල වැනි ප්‍රභවයන් තුළින් පුනර්ජනනීය බලශක්ති ක්‍රම මගින් විදුලිය නිෂ්පාදනය නොවුණත් විදුලි බල මණ්ඩල සැලැස්මට අනුව 2030 පමණ වනවිට මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 53%ක් නිෂ්පාදනය වන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් බවද සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.මේ යටත්තේ LNG බලාගාර ඇති කිරීම, දැනට පවතින ඩීසල් බලාගාර LNG ක්‍රමවේදයට පරිවර්තනය කිරීම හා නොරොච්චෝලේ බලාගාරයේ හතරවැනි අදියර ක්‍රියාත්මක කිරීම සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)


සෞදියේ COVID 19 සංචරණ රීති උල්ලංඝනය කරන පිරිසට වසර 3ක විදෙස් සංචාර තහනමක්

සෞදි අරාබිය තුළ ක්‍රියාත්මක COVID-19 සංචර සීමා උල්ලංඝනය කරමින් හැසිරෙන පුද්ගලයන් වෙත වසර තුනක කාලයක් විදෙස් සංචාරවල නිරත විය නොහැකි ලෙස තහනමක් පනවන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.සෞදි රජය විසින් සංචරණය නොකළ යුතු බවට තහනම් පනවා ඇති රටවල් වෙත ඇතැම් පිරිස් සංචාරය කරන බවට ලැබී ඇති වාර්තා අනුව මෙම තීරණය ගත් බව සදහන් වෙයි. තවමත් COVID-19 පාලනය නොකළ රටවල් සදහා මෙම සංචරණ තහනම පනවා තිබේ. එහිදී එම රටවල් වෙත සිදුකරන සෘජු සංචාරය මෙන්ම වෙනත් රටක් හරහා සිදු කරන සංචරණයද අත්හිටුවා තිබේ. එහෙත් සෞදි ජනතාව විවිධ ක්‍රම යොදා ගනිමින් මෙලස සංචරන තහනම් පනවා ඇති රටවලට යන බවත්, එය රටෙහි ක්‍රියාත්මක COVID-19 මර්දන නීති උල්ලංඝනය කිරීමක් බවත් බලධාරින් පවසයි. ඒ අනුව මෙම වසාගතයේ ව්‍යාප්තිය පාලනය සදහා මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කරන ලෙසද සෞදි බලධාරින් ජනතාවගෙන් ඉල්ලා තිබේ. අද වනවිට සෞදි අරාබිය මගින් රට ජනතාවට සෘජු ගුවන් ගමන් හෝ වෙනත් රටක් හරහා සංචරණය අත්හිටුවා ආර්ජන්ටිනාව, බ්‍රසීලය,ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය සහ එක්සත් අරාබි එමීරය යන රටවල් පවතී.

කොල්ල කෑ දුරකථනයේ නිරූවත් රූප - අසභ්‍ය දරුශන

 



තම ජංගම දුරකතනයක්  තරුණයන් දෙදෙනකු විසින් කොල්ලකන ලදැයි වත්තල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දුරකතනයේ, වයස 18-20 අතර වියේ පසුවන තරුණියන් අට දෙනකුගේ නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ දර්ශනද එම ජංගම දුරකතනයේ අත්තර්ගගතව තිබීම නිසා දුරකතනය හිමි පැමිණිලිකරුද අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සැකපිට අත්අඩංගුවට  ගෙන ඇත්තේ දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. 



සැකකරුගේ දුරකතනය කොල්ලකන ලදැයි වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි දෙදෙනෙක් ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු ජංගම දුරකතනයක්  මිලදී ගැනීමට අවශ්‍ය බව අගවා, දෙහිවල පදිංචි තමන් වත්තලට ගෙන්වාගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් දුරකතනය පැහැරගත් බව තරුණයෙක් වත්තල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.  එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනකු සමග අදාළ ජංගම දුරකතනය ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයකුගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූපයක් ද එම ජංගම දුරකතනයේ තිබෙන බව අනාවරණය වීමෙන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයේදී එහි තවත් ශ්‍රී ලාංකික තරුණියන් අට දෙනකුගේ සහ තවත් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ හඬ පටියක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. 


-තිස්ස කොටින්කඩුව-


නමකුත් නෑ - දින තුනේ බිළිඳා කොරෝනාවෙන් මරුට



 දින තුනක් වයසැති බිලිඳකු නමක්වත් දැමීමට පෙර කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.  වැලිපැන්න, ලෙව්වන්දුව, බෙලිවත්ත කන්ද පදිංචි දිප්පිට හේවාගේ නිසංසලා චමෝදනී (21) සහ සඳුන් ලක්මාල් ලියනගේ (24) යන යුවළගේ කුළුඳුල් දරුවකු මෙසේ මියගොස් ඇතැයි  පොලිසිය සඳහන් කරයි.  නාගොඩ රෝහලේදී උපත ලැබූ මෙම බිලිඳු උපත සිදුවූ දිනයට පසුදින නිවසට කැඳවාගෙන පැමිණ ඇත. 


ඊට පසුදින උදෑසන මව මෙම බිලිඳාට කිරි දී ඇඳ මත තබා නිවෙසේ වැඩ කටයුතු සිදුකර පසුව විමසිලිමත් වීමේදී බිලිඳාගේ කිසිදු සෙලවීමක් නොමැති බව දැක ඉන් අනතුරුව ඔහු වහාම නගරය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිට මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.  මෙම මරණය පිළිබදව හදිසි මරණ පරික්ෂණය සිදුකළ වැලිපැන්න හදිසි මරණ පරික්ෂක නිහාල් ජයනෙත්ති මහතා   බිලිඳාගේ මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සිදුකිරීමට නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය.



 අධිකරණ වෛද්‍ය පරික්ෂණය පැවැත්වූ නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එස්. අත්තනායක මහතා මෙම බිලිඳාගේ මරණය කොවිඩ් ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්වය නිසා සිදුවූ මරණයක් බවට වාර්තා කර ඇත.


  -බන්දු තඹවිට-



ඥාති සොහොයුරා සමඟ ගිය දැරිය රවටා මඟදී අතවර කරලා



පාපැදිය අලුත්වැඩියා කරගැනීමට ඥාති සොහොයුරකු සමග යළිත් සිටි 12 හැවිරිදි දැරියක රවටා පොල් වත්තකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පුද්ගලයෙක් නාන්තන්ඩිය කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත පොලිස් වසමේ පදිංචි 35 හැවිරිදි අයෙකි.  මොහු වෘත්තියෙන් කම්සහකරුවකු බව ද පොලිසිය කියයි.



මෙම දැරියගේ මව තම ඥාති පුතකු ද සමග දැරිය පිටත් කර ඇත්තේ පාපැදිය අලුත්වැඩියා කරගෙන ඒමට බවත්, අතරමඟ දී සැකකරු එම ඥාති පුතා රවටා දැරිය තනි කරගෙන රැගෙන ගොස් මෙසේ අතවර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. දැරිය මේ බව සිය මවට කීමෙන් පසු ඇය (මව) දියණිය ද කැටිව කොස්වත්ත පොලිසියට පැමිණ පැමිණිලි කළ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.  පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.  ලිංගික අපයෝජනයට ලක්වූ බවට පැවසෙන දැරිය  වෛද්‍ය පරික්ෂණයකට රෝහල්ගත කර ඇති අතර, කොස්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-


සිඩ්නි ලොක්ඩවුන් සීමා තවත් මාසයකට දීර්ඝ වෙයි

ඔස්ට්‍රේලියාවේ, නිව්සවුත් වේල්ස් ප්‍රාත්තයේ, සිඩ්නි නගරය සදහා පනවා ඇති ලොක්ඩවුන් සීමා තවත් මාසයකට දිර්ඝ කිරීමට එරට බලධාරින් ඊයේ (28)දා පියවර ගෙන තිබේ. නගරය තුළින් වාර්තා වන COVID-19 වෛරසයේ නව ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන්ගේ වර්ධනය මීට හේතුව වී තිබේ.ඒ අනුව ලබන අගෝස්තු 28දා දක්වා මිලියන 5ක් පමණ වන නගර වැසියන්ට සිය නිවෙස් වලටම වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත. අගහරුවාදා දිනයේදී පමණක් නගරයෙන් නව ඩෙල්ටා ආසාදිතයන් 177දෙනෙකු හමුවී තිබේ. එසේම සඳුදා දිනයේදී එය 172ක් ලෙස සටහන්ව ඇත. සිඩිනි ගුවන්තොටුපොළේ රියදුරෙකුගෙන් මෙම ආසන්නතම වෛරස ව්‍යාප්තිය සිදුව තිබෙන බව අනාවරණය වී ඇත.

ලොක්ඩවුන් සීමා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරිය, නගරය තුළ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බව පවසා ඇත. ඒ අනුව තත්වය පාලනය සඳහා මෙලෙස සිඩ්නි නගරය තවත් මාසයකට වසා දමන බවද ඇය සඳහන් කර තිබේ. එහිදී නගරය තුළ සමාජදුරස්ථභාවය ඇති කරගැනීම සදහා පොලීසිය වෙත බලතල පැවරීමක්ද සිදුකර ඇති අතර, ලොන්ඩවුන් සිමා උල්ලංඝනය කරන පිරිස් පිළිබද දැනුම් දෙන ලෙස ඇය ජනතාවගෙන්ද ඉල්ලීම් කර තිබේ.එහිදී උදාහරණයක් ලෙස මෙතෙක් සිඩ්නි නුවර ක්‍රියාත්මක වූ ලොක්ඩවුන් සීමා උල්ලංඝනය කරමින් පුද්ගලයන් 50දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අනුස්මරණ උත්සවයක 45දෙනෙකුටම වෛරසය ආසාදනය වී තිබෙන බවද ඇය මෙහිදී සදහන් කර ඇත.

කොරෝනා ලෙඩෙක් පානදුර ටවුමේ පිස්සු නටලා


පානදුර මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 40 හැවිරිදි පුද්ගලයකු ඊයේ (28) අලුයම එයින් පැන ගොස් පානදුර නගරය පුරා සැරිසැරිම හේතුවෙන් ජනතාව දැඩි භීතියට පත් වූහ.   පානදුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් මොරමුදලි මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳරුවන් රාජපක්ෂ යන මහත්වරුන් වහා ක්‍රියාත්මක වී එම පුද්ගලයා පිටුපස ලුහුබැඳ ඇත. එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අණ නොතකා අදාළ ආසාදිතයා පානදුර-මරදාන දුම්රියට නැග පලා යාමට උත්සාහ කර ඇත.



පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා පානදුර දකුණ පොලිසියේ සැරයන් සුනිල් ශාන්ත මහතා එක්ව දැඩි ආයාසයක් යොදවා රෝගියා දුම්රියෙන් බස්සවා පානදුර සාගර මාවත ප්‍රදේශයට රැගෙන ආහ.  පසුව නිලධාරීහු කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳව 1990 සුවසැරිය වෙත දැන්වීමෙන් අනතුරුව නැවත පානදුර මූලික රෝහල වෙත භාරදීමට කටයුතු කළහ. පැනගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා එහා මෙහා ගිය දුම්රිය මැදිරිය විෂබීජහරණයට ලක්කළ බවත්, ඒ  හේතුවෙන් දුම්රිය ගමනාගමනය පැය භාගයක් පමණ ප්‍රමාද වූ බවත් පානදුර  දකුණ පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.


  -සුමිත් ප්‍රේමතිලක-

අසැබි දසුන් මුදා හරිනවැයි කතකගෙන් කප්පම් ඉල්ලු 02ක් දැලේ

අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ හතක කප්පම් මුදලක් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.මෙම කාන්තාව මීට වසර දෙකකට පමණ පෙර සිට දැනට එංගලත්තයේ සිටින බවට කියන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමග වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා සබඳතාවක් පවත්වා තිබෙන බවත්, මෙහිදී අදාළ පුද්ගලයා විසින් කාන්තාවගේ කැමැත්ත මත අසභ්‍ය ඡායාරූප ලබාගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පසුව අදාළ පුද්ගලයා මෙම තැනැත්තිය සමග අමනාප වී තිබෙන බවත්, මේ අනුව අදාළ කාන්තාව සමග වට්ස්ඇප් ඔන්සේ කතාබහ කරමින් සිටියදී ලබාගත් අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසා රුපියල් ලක්ෂ දාහතක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන බවත්, පසුව රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාදිය හැකි බවට කාන්තාව පවසා තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ අනුව රුපියල් ලක්ෂ හතක කප්පම් මුදල ලබාගැනීම සඳහා අදාළ පුද්ගලයා විසින් මෙරට සිටින පුද්ගලයන් දෙදෙනෙකු ඒවා තිබෙන බවත්, ඔවුන් අදාළ මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් කොළඹ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් යුනියන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ කාන්තාව 33 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)

අනේ දෙවියනේ මට නිදහසේ කතා කරන්න වරම් අරන් දෙන්න




නිදහසේ කතා කිරීමට තමාට නිදහස ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින බවත්, ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කළ නොහැකි වුවද, තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය පෙරේදා (27) පැවසුවාය.  ඉඳුරුවේ පැවැති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වූ කුමාරසිංහ මහත්මිය මේසේද කීවාය. 


"ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට  මේක අවස්ථාවක් නෙමෙයි. රට නාසය ළඟටම ගිලි තියෙන අවස්ථාවක ඉල්ලිම් දිනා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ..එකට අවස්ථාව නෙමෙයි.  ගුරුවරුන්ට ප්‍රශ්න ඇති. මේ අවස්ථාවේදී වැටුප් වැඩියෙන් ඉල්ලීම සධාරණ නැහැ. මේ අවස්ථාව මග හැරුණාට පස්සේ  ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට මමත් එනවා. මමත් ගුරුවරුන් සමග අනිවාර්යයෙන්ම එකට සිට ගන්නවා. 



පොහොර ප්‍රශ්නයේදී මට ආණ්ඩුව  විවේචනය කරන්න බැහැ.එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියාවි මම ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කළා කියලා. ඒ නිසා ඒ පැත්තට කතා කළොත් ගොවියෝ මාත් එක්ක තරහවේවි.


ගොවියන්ගේ පැත්ත අරගෙන කතා  කළොත් ජනාධිපතිතුමා ඇතුළු රජයේ මැති ඇමැත්තෝ කියාවි තව කොහේද මෙයාට ඇමතිකම් දුන්නා නම් කියලා. අනේ එ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා.  මම හැම තිස්සේම සධාරණය වෙනුවෙන් හිටගන්න  ගැහැනියක්.මට කවුරු අකටයුතුකම් කළත් පේන්න නැහැ.



අද දවසේ ගෙවී යන හැම තත්පරයක් ගානේම ළමා අපචාර සිදු වෙනවා. මේක අද ඊයේ පටන් සිද්ධවුණු දෙයක් නෙමෙයි. මේ ළමා අපචාරවලට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන්න ඕනෑ කගෙවන් තරාතිරම නොබලා. ළමා අපචාරයට යොදවා ගන්නා අයට දඬුවම් ලබා නොදුන්නොත් රටේ ළමා පරපුරට දෙවියන්ගේම පිහිටයි.” යැයි ද ඇය කිවාය.


 -එම්. සුසිල් ප්‍රියන්ත-


ළමා මෙහෙකරුවන් සිටි බවට කී තැන් 30ක් පරික්ෂා කළත් කිසිවෙකුත් නෑ

ළමා මෙහෙකරුවන් සිටින බවට තොරතුරු ලැබී තිබූ කොල්ලුපිටිය හා මෝදර පොලිස් වසම් තුළ පිහිටි ස්ථාන තිහක් පක්ෂාවට ලක්කළ බවත්, එහෙත් අදාළ ස්ථානවල ළමා මෙහෙකරුවන් නොසිටි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.අදාළ ස්ථානවල සිටි පිරිස්වල උප්පැන්න සහතික ඇතුළු ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු කරගත් බවද ඔහු පවසා සිටියේය.මධ්‍යම කඳුකර ප්‍රදේශවල සිට දරුවන් මෙහෙකාර සේවය සඳහා රැගෙන එන බවට තොරතුරු වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සොයා බලා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය. දරුවන් මෙහෙකාර සේවයට යොදාගැනීම පිළිබඳ 0112433 333 දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත්, මීට අමතරව දරුවන් මෙහෙකාර සේවයට යොදාගැනීම පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන් යොදවා තොරතුරු ලබාගෙන අදාළ වැටලීම සිදුකරණ බවත් හෙතෙම පවසා සිටියේය.

දරුවන් මෙහෙකාර සේවයට. යොදාගන්නා පුද්ගලයන්ට හා ඊට අදාළ කටයුතුවලට සහාය ලබාදෙන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, මේ පිළිබඳ ප්‍රජා පොලිස් ඒකකවල නිලධාරින් හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් නිරතුරුවම සොයා බැලීම් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)

ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් 6,200ක් නිපදවලා




කොවිඩ්  වසංගත තත්වය හමුවේ මෙරට පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මේ වනවිට ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ අධ්‍යාපන වැඩසටහන් 6,200ක් නිෂ්පාදනය කර  ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ඉදිරිපත් කරන ගුරුගෙදර රූපවාහිනී අධ්‍යපන වැඩසටහන් මාලාව යටතේ මේ වනවිට විකාශය කර ඇති වැඩසටහන් සංඛ්‍යාව 5,000කට අධික බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.



කෝවිඩ් ව්‍යාප්තියේ ආරම්භයත් සමගම 2020 අප්‍රේල් මාසයේ සිට ගත  වූ වසර එකහමාරකට ආසන්න කාලය  තුළ මෙම අධ්‍යාපනික ශ්‍රව්‍ය-දෘශ්‍ය වැඩසටහන් අඛණ්ඩව නිෂ්පාදනය හා විකාශනය කිරිම සිදුවූ බව ජාතික  අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.


 -ඩයනා උදයංගනී-


Wednesday, July 28, 2021

හොර නෝට්ටු නිසා මුදල් ගනුදෙනු බලාගෙනයි

ව්‍යාජ ලෙස සකස් කළ රුපියල් දහසේ හා පන්දහසේ මුදල් නෝට්ටු භාවිත කිරීම පිළිබඳ නැවත වර්තා වන නිසා මුදල් ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මුදල් ගනුදෙනු කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කළ මුදල් නෝට්ටු පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, සෑම විටම මුදල් නෝට්ටුවේ සඳහන් වී තිබෙන දිය සලකුණ පිළිබඳ හා මැද පිහිටි කළු දාරය පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. සැකකටයුතු නෝට්ටුවක් ඔබ සතු වුවහොත් එය නැවත ගනුදෙනු නොකරන ලෙසත්, වහාම එම මුදල් නෝට්ටුව ළඟම පොලීසියට භාරදෙන ලෙසත් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම ව්‍යාජ ලෙස සකස් කළ රුපියල් දහසේ නෝට්ටුවකින් ගනුදෙනු කිරීමට ගිය පුද්ගලයෙකු කටුනායක, ඇවරිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවද රෝහණ මහතා සඳහන් කළේය. වෙළෙඳ සැල් හිමියෙකුට අදාළ නෝට්ටුව ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී වෙළෙඳ සැල් හිමියාට සැකසිතී ඒ පිළිබඳ පොලීසියට දන්වා තිබෙන බවත්, ඉන්පසුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ පරික්‍ෂ කිරීමේදී ඔහු සතුව තිබී තවත් රුපියල් දහසේ නෝට්ටු මුද්‍රණයට යොදාගත් ප්‍රින්ටරයක් සොයාගෙන තිබෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)


ඔන්ලයින් යාළු වී දැරියකට අතවර කල සිද්ධියේ දෙදෙනකුට ශරීර ඇප


ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ වෙමින් රැගෙන ගොස්  ලිංගික අපයෝජනය කළ සිද්ධියට අදාළව මොරටු අධිකරණයට ඉදිරිපත් කළ තුන්වන සැකකරු සහ ඊට අනුබල දුන් බව කියන හතරවන සැකකාරිය ලක්ෂය බැගින් වූ ශරිර ඇපමත මුදා හරින ලෙසත් දැරිය ලක්ෂ පහක  බැඳුම්කරයක් මගින් සුදුසු බාරකාරිත්වයට හෝ මව බාරයට පත්කරන ලෙසත් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල  සුවන්දුරුගොඩ මහතා (25) නියෝග කළේය." එහිදී පරිවාස හා ළමා කාන්තා කාර්යංශයෙන් වැඩිදුර වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඊට අමතරව දැනට බන්ධනාගාරගතව සිටින ලිංගික අපයෝජන සිද්ධියේ දෙවන සැකකරුව අද 28 දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන  හෙයින් ඒ සඳහා දැරිය සහභාගි කරන ලෙසත්  මහේස්ත්‍රාත්වරයා දැරියගේ මවට අවවා ද කරනු ලැබීය. 



ලිංගික අපයෝජනය සිදුකිරීම සහ අනුබල දීම යන වරදට එසේ ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ ජාඇළ ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු  වන තුන්වන සැකකරු වන කවිඳු ලක්ෂාන් අප්පුහාමි සහ හතර වන සැකකාරිය වන සිතාරා කාංචනා කුමාරි යන දෙදෙනාය. මුදාහැරුණු සැකකරුට සහ සැකකාරියට මහෙස්ත්‍රාත්වරයා  ඇප කොන්දේසියක් ද පනවනු ලැබූ අතර ඒ අනුව සෑම මසකම අවසාන ඉරුදින දහවල් දොළහට පෙර දෙදෙනාම මොරටුමුල්ල පොලිසියට පැමිණ පෙනී සිටිය යුතු බව නියෝග කරනු ලැබීය.



මෙහි පළමුවන සහ දෙවන සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ෂමිලා සිල්වා මහත්මිය පෙනී සිටි අතර තුන්වැනි සහ හතරවැනි සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කෝෂිලා සිල්වා මහත්මිය පෙනී සිටියාය.  මෙම නඩුවට අදාළව මොරටුමුල්ල පොලිසිය  කොරලවැලේ පදිංචිකරුවන් දෙදෙනකු වන පළමුවන සහ දෙවන විත්තිකරුවන් වන දාසය හැවිරිදි සිසුවකු සහ විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඉකුත් විසි හතරවන දා අධිකරණයට ඉදිරිපත් කළේය.  එහිදී මෙම නඩුවේ පළමුවන විත්තිකරුවා දුරකථනයෙන් දැරියට අසභ්‍ය ඡායාරූප එවමින් ඇය හා දුරකථනයෙන් ප්‍රේම කළ බව කියන දාසය හැවිදිරි පාසල් සිසුවා තවමත්  අධ්‍යාපනය ලබන තැනැත්තකු වන බැවින් සහ ඇතැම් කාරණා සලකා බලමින් සිසුවා මුදා හැරීමට එදින නඩුව මෙහෙය වූ වැඩබලන මහේස්ත්‍රාත් චරිත ද සිල්වා මහතා නියෝග කර තිබුණි.



එදිනම වැඩබලන මහේස්ත්‍රාත් චරිත ද සිල්වා මහතා විසින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුකළ බව කියන දෙවන සැකකරු දින දාහතරකට රක්ෂිත බන්ධනාගාර ගත කොට එළඹෙන 28 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙස ද නියෝග නිකුත් කර තිබුණි. ඒ අනුව මොරටුව කොරලවැල්ල ලිපිනයේ පදිංචි වන්නකුවත්ත වඩුගේ ප්‍රසන්නෙ සංජීව නමැත්තා අද 28 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට නියමිතය.


 -රේඛා තරංගනී ෆොන්සේකා-

ඩෙල්ටා මෙතරම් දරුණු ඇයි

ඩෙල්ටා ප්‍රභේදය ලොව මුහුණදී ඇති covid19 වසංගතයට හේතු වන කොරෝනා වෛරසයේ වේගවත්ම හා බලවත්ම ප්‍රභේදය බවට පත්ව ඇති අතර, ලොව පුරා රටවල් විසින් වසංගතයට පැනවූ සීමා ලිහිල් කර ඔවුන්ගේ ආර්ථිකයන් විවෘත කරමින් සිටින මොහොතේ එය රෝගය පිළිබඳ අවදානම ඉහළ නංවන බව මෙම වෛරස සහ වසංගත රෝග විශේෂඥයෝ පවසති. කොරෝනා වෛරසයේ ඕනෑම ප්‍රභේදයක් හේතුවෙන් ඇති වන දරුණු රෝගී තත්වයන් සහ රෝහල් ගතවීම්වලට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය ලද ඕනෑම එන්නතකින් ලැබෙන ආරක්ෂා කිරීම තවමත් ඉතා ශක්තිමත්  පවතින අතර, ප්‍රමුඛතම COVID-19 විශේෂඥයන් දස දෙනෙකුගේ සම්මුඛ සාකච්ඡාවලට අනුව, තවම අවදානමට ලක්ව ඇති පිරිස මෙතෙක් එන්නත් ලබා නොගත් අය බව අවධාරණය කෙරෙයි.ඉන්දියාවේදී ප්‍රථම වරට හදුනාගත් ඩෙල්ටා ප්‍රභේදය,පෙර අනුවාදයන්ට වඩා එන්නත් ලැබූ පුද්ගලයන්ට පවා ආසාදනය වීම් හැකියාව ඇති බවටද සාක්ෂි මේ වනවිට වැඩි වෙමින් පවතී. එසේ එන්නත් ලැබූවන් ආසාදිත වූ විට, ඔවුන් වෛරසය සෙසු අයට පැතිරවීමට පවා ඉඩ තිබීම ගැන කනස්සල්ල පළ වී ඇතැයිද මෙම විශේෂඥයෝ පවසති.එහි ප්‍රතිඵලයක් වශයෙන්, පුළුල් එත්තත් කිරිම් ව්‍යාපාරයක් ඇති රටවල පවා මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය සහ වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් ඉලක්ක කර ගැනීම අවශ්‍ය විය හැකි බව ඔවුන්ගෙන් වැඩි දෙනා අවධාරණය කළහ.ඒ අනුව යමින් ඊශ්‍රායලය මෑතකදී මුඛ ආවරණ පැලදීමේ අවශ්‍යතාව ගෘහස්ථව නැවත ස්ථාපිත කර ඇති අතර, සංචාරකයන් නිරෝධායනය කිරීම අනිවාර්ය කර තිබේ. එසේම එන්නත් ලබාගත් අයට පවා මුඛ ආවරණ භාවිත කිරීමේ මාර්ගෝපදේශය සංශෝධනය කළ යුතුද යන්න ගැන එක්සත් ජනපද නිලධාරීන් සලකා බලමින් සිටී.

එක්සත් ජනපදයේ ජනාකීර්ණ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෘහස්ථ හා පොදු ස්ථානවල ගැවසෙන විට. එන්නත ලබාදී ඇති අය අතර පවා මුඛ ආවරණ භාවිතය දැනටමත් අනිවාර්ය කර තිබේ. "මේ මොහොතේ ලොවට ඇති ලොකුම අවදානම ඩෙල්ටා ප්‍රභේදයයි" කොරෝනා වෛරස ප්‍රභේඳවල ජාන අනුපිළිවෙල සැකසීමට බ්‍රිතාන්‍යයේ උත්සාහයක් දරණ ක්ෂුද්‍රජීව විද්‍යාඥ ෂැරොන් පීකොක් පැවසීය. "ඒ ප්‍රභේදය තවමත් බලවත් හා වේගවත්ම ප්‍රභේදයයි" හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. වෛරස් නිරන්තරයෙන් පරිණාමය වීමෙන් විකාශනය වන අතර, නව ප්‍රභේද පැන නැගීම සාමාන්‍ය තත්වයකි. සමහර විට පසුව ඇතිවන ප්‍රභේන්ද මුල් පිටපතට වඩාත් භයානක වෙයි. ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය පිළිබද ප්‍රධානතම කනස්සල්ල නම්, එයින් මිනිසුන් රෝගාතුර වීම නොවෙයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩා පහසුවෙන් ව්‍යාප්ත වෙමින්, එක්නත් නොලැබූවන් අතර ආසාදිතයන් සහ රෝහල් ගතවීම් වේගයෙන් ඉහළ නැටවීමය. එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය සිකුරාදා ප්‍රකාශ කඩථා ප්‍රත්වය සමග බ්‍රිතාන්‍යයේ රෝහල් ගතකර ඇති පුද්ගලයන් 3,692දෙනෙකුගෙන් 58.3%ම එන්නත් ලබා නොගත් අය බවයි. එසේම 22.8%ක් සම්පූර්ණයෙන්ම එන්නත ලබා ඇති පිරිස බවද ඔවුහු කියති. එසේම ඩෙල්ටා වඩාත් පොදු ප්‍රභේදය බවට පත්ව ඇති සිංගප්පූරුවේ රජයේ නිලධාරින් සිකුරාදා වාර්තා කළේ එරට කොරෝනා වෛරසය ආසාදිතයන්ගෙන් හතරෙන් තුනක්ම එන්නත් කරන ලද පුද්ගලයන් බවයි. කෙසේ නමුදු ඒකිසිවෙකු දරුණු ලෙස රෝගාතුර වීමක් සිදුව නොමැති බව සිංගප්පූරු සොඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි. දැනට තම COVID-19 ආසාදිතයන්ගෙන් 60%ක්ම එන්නත් ලබා ඇති පුද්ගලයන් බව ඊශ්‍රායල සෞඛ්‍ය නිලධාරින් පවසා තිබේ. ඔවුන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 60 හෝ ඊට වඩි අය වන අතර, ඔවුන් බොහෝ විට නිධන්ගත සෞඛ්‍ය ගැටලු පවතින අයවලුන් බවද ඔවුහු කියති. වෙනත් කිසිදු රටකට වඩා COVID-19 රෝගීන් හා මරණ අත්විද ඇති එක්සත් ජනපදයේ ඩෙල්ටා ප්‍රභේදය නව ආසාදනවලින් 83%ක් පමණ නියෝජනය කරයි. කෙසේ වෙතත් මේ දක්වා, එසේ ආසාදිත වූ පුද්ගලයන්ගෙන් දරුණු රෝගී තත්ත්වයන් අත්විද අති 97%කට ආසන්න පිරිස එන්නත් ලබා නොගත්තවුන් බවද එරට සෞඛ්‍ය අංශ පවසයි. සැන් ෆ්රොක්සිස්කෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබදවද මොනිකා ගාන්ධි පැවසුවේ එන්නත් ලබා ඇති පුද්ගලයන්වෙරසයට ආසාදිතව මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වා තිබුණත්, තමන්ට එන්නත මගින් 100%ක ආරක්ෂාවක් නොලැබීම ගැන ඔවුන් බොහෝ දෙනෙකු කලකිරීමට පත්ව සිටින බවය. 

නමුදු මේ වනවිට COVID-19 ආසාදිතව රෝහල්ගත කර ඇති සියලුම ඊශ්‍රායලයේ බෙන් ගුරියන් විශ්වවිද්‍යාලයේ, මහජන සෞඛ්‍ය පාසල් අධ්‍යක්ෂ නදව් ඩේවිඩොවිච් පැවසීය. "එන්නත් මගින් එය ලබාගන්නා පුද්ගලයාගේ ආරක්ෂව ඉතා ශක්තිමත් මෙවලමක් බව පෙන්වා තිබෙනවා. එසේ වූ පමණින් එන්නත් ලැබූ සියලු දෙනාට ඇමෙරිකානුවන් පාහේ එන්නත් ලබාගෙන නොමැති අය නිසා, එන්නත්වලින් ලැබී ඇති විශ්මයජනක ඵලදායී බව ගැන ඔවුන් සතුටු විය යුතු බව ඇය අවධාරණය කළාය. "අපගේ සියලු ගැටලු විසදන මැජික් උඩයක් ඇති බව සිතාගෙන සිටිනවා නම්, එය මිථ්‍යාවක්. කොරෝනා වෛරසය අපට පාඩමක් උගන්වා තිබෙනවා"වෛරසය ආසාදනය නොවන්නේ යැයි සඳහන් වන්නේ නැහැ. නමුදු එන්නත් ලැබූ හෝ නොලැබූවෙකුට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී, ඔහු හෝ ඇය නිසි සොබා මාර්ගෝපදේශ පිළිනොපදින්නේ නම්, ඔවුන්ගෙන් අන් අයට ආසාදනය වීම සඳහා වැඩි ඉඩක් පවතින බව මතක තබාගත යුතුයි” ඩේවිඩොවිව් පැවසීය. චීනයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන්ගේ නාසයේ වෛරස් දහස් ගුණයකින් වැඩි වන බවයි. "ඔබ ඇත්ත වශයම වැඩි වෙරසයක් බැහැර කළ හැකියි. එය වඩාත් සම්ප්‍රේෂණාය කළ හැකි වන්නේ ඒ නිසයි. මෙය තවමත් විමර්ශනය කරමින් පවතින්නක්හෙතෙම වැඩිදුරත් සඳහන් කළේය. සැන් ඩියාගෝ හි ලා ජොල්ලා ප්‍රතිශක්තිකරණ ආයතනයේ වෛරස් විශේඥ ෂේන් ක්‍රෝටි සදහන් කළේ එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදය 50%ක් වඩාත් බෝවන ප්‍රභේදයක් බවයි. "එය අනෙක් සියලුම වෛරස අභිභවා යමින් පවතින් එය වඩාත් කාර්යක්ෂමව පැතිරෙන නිසයි" ක්‍රෝටි වැඩිදුරටත් පැවසීය. කැලිෆෝනියාවේ ලා ජොල්ලා හි පිහිටි ස්ක්‍රිප්ස් පර්යේෂණ පරිවර්තන ආයතනයේ අධ්‍යක්ෂ, ජාන විද්‍යා විශේඥ එරික් ටොපෝල් සඳහන් කළේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයේදී කෙටි බීජෞෂණ කාලයක් හෙවත් වෛරසය ශරීරගත වූ දින සිට රෝග ලක්ෂණ පහළ වීම දක්වා අඩු කාලයක් සහ වෛරස් අශු වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවයි. 

"ඩෙල්ටා ප්‍රභේදයේදී එත්තත් අභියෝගයට ලක්වන්නේ ඒ නිසාමයි. එන්නත ලබාගත් පුද්ගලයන් පවා ඩෙල්ටා හමුවේ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මෙය ප්‍රබලෙ වෛරසයක්” ටොපෝල් පැවසීය. එක්සත් ජනපදයේ පවා ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ කතාබහ අරඹමින් තිබෙන පරිසරයක බොහෝ ඇමෙරිකානුවන් දැනටමත් එන්නත් විදගෙන  තිබුණත්, ඔවුන් ගෘහස්ථව මුඛ ආවරණ පැලදීම නවතා දමා තිබීම සැලකිය යුතු තත්ත්වයකි. එමෙන්ම ඇතැම් රටවල සීමාවන් ලිහිල් කරමින් පවතී. "මෙය ද්විත්ව නපුරක්" ටොපෝල් පැවසීය. "ඔබ තවමත් වෛරසයේ වඩාත් ප්‍රබල අනුවාදයට මුහුණ දෙනවිට සීමාවන් ලිහිල් කිරීම විත්ව නපුරක් ඔබ වෙත ඇති කිරීමට පුළුවන්." ලොව පුරා විද්‍යාඥයන් COVID-19 වෛරසයට එරෙහිව ඉතා ඵලදායී එන්නත් නිපදවීම සමග බොහෝ අය විශ්වාස කල් සමහර විට එන්නත ලබාදුන් පසු වෛරසය තමන්ට එතරම් තර්ජනයක් නොවනු ඇති බවයි. නමුදු එන්නත් ලබාගත් අය පවා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ තමාගේත්, තම වටපිටාවේත්, තමා ජීවත්වන සමාජයේත් ආරක්ෂාව සහතික කිරීමට මහජන සෞඛ්‍ය පුරුදු වෙත නැඹුරුව සිටීමේ වගකීම තවදුරටත් ආරක්ෂා කිරිමේ වගකීම බෝවන හා වසංගත රෝග පිළිබද විශේෂඥයෝ අවධාරණය කරති.

ස්ටාලිට ප්‍රේමදාසට කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා

රැල්ලත් හොදටම පාලනය කරපු රටවල් දහය අතුරින් එක රටක් තමයි අපේ රට. සමහරු කෝවිඩ් වලට පැකනිල් ගහන්න කියමින් අපහාස කළා. හැටනම ලක්ෂයකගේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිවරයාට අපහාස කළා. ඡන්දය දුන්න අයට අපහාස කරා. කෝවිඩ් වසංගතයෙන් අද අපේ රට බේරගන්න හදනකොට විපක්ෂය ඔවුනගේ වෘත්තීය සමිති නායකයෝ ගෙනල්ලා උද්ඝෝෂණ කරලා, අපේ රටේ අහිංසක මිනිස්සුන්ට කෝවිඩ් බෝ කරන්න හදනවා.” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. රට පුරා අලංකාර ලෙස නගර 100ක් එකවර සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (27දා) කුරුණගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය නගරයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මැදුරේ සිට Zoom තාක්ෂණය ඔස්සේ මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදී.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මම ප්‍රථමයෙන් පස්වන විධායක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාප්ප මැතිතුමන්ට ස්තුතිවන්ත වෙනවා අද දවසේ ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට පැමිණීම ගැන. පොල්පිතිගම බස් නැවතුම්පොළ විවෘත කිරීමටත්, නගර සීයක් සංවර්ධනය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද මේ උත්සවයට සහභාගි වීමත්, මෙම ජාතික උත්සවය ආරම්භ කරන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරිපිටිය වැනි දුෂ්කර ප්‍රදේශයක් තෝරාගැනීම සම්බන්ධවත් මම ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා,ඒවගේත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එදා නාගරික සංවර්ධන අධිකාරිය ලේකම් ලෙස කොළඹ නිර්මාණය කරන විට ඒ සංවර්ධනය අපේ ගම්වලට කවදාහරි එයි කියන බලාපොරොත්තුව අපට තිබුණා. අද ඒ සංවර්ධනය අපේ ගම්වලට ගෙන ඒම ගැන ජනාධිපතිතුමාටත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. විපක්ෂය අපිට කිවිවේ රට පාලනය කරන්න තේරුමක් නැහැ, කෝවිඩ් පාලනය ගැන තේරුමක් නැහැ කියලා. විපක්ෂය කියනවා මීට වැඩිය හොඳට ඔවුන් බලයේ සිටියා නම් රට පාලනය කරනවා කියලා. ඔවුන්ගේ පාලන කාලයේ දත්ත අරන් බලපුවාම ඩෙංගු වලින්ම මැරිල තියෙනවා කෝවිඩ්වලට වඩා. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි ගැන විශ්වාසය තියන්න කියලා.මේ අවස්ථාවේදී උඝෝෂණ තියන එකට කනගාටු වෙනවා. මේ උද්ඝෝෂණ කියන්න සුදුසු වෙලාව නෙවෙයි. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න අයිතිය තියනවා, අපි උද්ඝෝෂණය කරමු කෝවිඩ් වසංගතයෙන් බේරුනාට පසුව. අපි ස්ටාලිට ප්‍රේමදාසට කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ අර්බුදයෙන් කොහොමද ගැලවිලා ආර්ථිකය හදාගන්නේ කියලා. ඒ අහිංසක ජනතාව මරු මුකයකට ගෙනියන්න එපා කියලා අපි විපක්ෂයෙන් ඉතාමත් ගොරවයෙන් ඉල්ලනවා." යයිද පවසා සිටියේය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(සාකල්‍යා සඳමාලී) 

ගෑස් ගැන අවුලක් නම් 1977ට කියන්න

රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිලට වෙළෙඳ පොළ තුළ ගෑස් සිලින්ඩර නොමැති නම් සහ ඒවායෙහි බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැති නම් 1977 යන දුරකථන අංකය හරහා වහා දැනුදෙන ලෙස පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි. රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා හිඟයකින් තොරව කිලෝග්‍රෑම් 12.5 සහ ලීටර් 18 (කිලෝග්‍රෑම් 9.6) එල්.පී.පී. සිලින්ඩර වෙළෙඳ පොළට මුදාහැරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහතික වී ඇති බවයි.එසේම අදාළ සියලු අලෙවිකරුවන්ට නිෂ්පාදන අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිල ගණන් දැනුම්දී ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා විසින් තහවුරු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යාංශය පැවසීය.ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් පසුගිය 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය කටයුතු කරන ලදි. ඒ අනුව එල්.පී.ජී. අඩංගු ලීටර් 18ක (කිලෝග්‍රෑම් 9.6) ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ප්‍රවාහන පිරිවැය සලකා බලා දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන් වෙනස් කිරීමේ හැකියාවද ලබාදී ඇත.ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් බවට නියම කර තිබේ. කෙසේ වුවද ප්‍රවාහන පිරිවැයද එකතු කර ගහට් ගෑස් සිලින්ඩරය අලෙවි කළ හැකි උපරිම මිල ලෙස රුපියල් 1,259ක් ලෙස දක්වා ඇති අතර, එම මිලට අලෙවි කළ හැක්කේ යාපනය දිස්ත්‍රික්කය තුළ පමණි.

(නිදර්ශනී වික්‍රමසිංහ)

විහාර 11 කින් පිං කැට කැඩු කුඩ්ඩා අත්අඩංගුවට



අන් අයකු නමින් පෙනී සිට මත්තේගොඩ ඇතුළු ප්‍රදේශ රැසක විහාරස්ථා 11 කින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සහ දේපළ සොරාගෙන හෙරොයින් මත්කුඩු පානය කළ බව කියන සිවුරු දැරු පුද්ගලයකු කොළඹ කෙසෙල්වතත් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය කියයි.  හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් තුන්සීයක්, සොරාගත් ජංගම දුරකතනවලින් තුනක්,  වෙනත් පුද්ගලයකුගේ ජාතික හැඳුනුමතක ඡායා පිටපතක් මෙන්ම පෙන්ඩ්‍රයිව් දෙකක් සැකකරු සන්තකයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇත.



ඉකුත් මාස තුනක පමණ කාලය  තුළ බස්නාහිර පළාතේ  විහාරස්ථාන රැසකට ඇතුළු වී එහි ආවාස ගෙවල්, දේවාල මෙන්ම පිං කැට කඩා මුදල් ඇතුළු දේපළ  සොරාගැනීම සම්බන්ධයෙන්  පොලිසිවලට ලද පැමිණිලි ඉහළ යාමත් සමගම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය. විවිධ ප්‍රදේශවල විහාරස්ථාන 11ක දේපළ සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිසිය කියයි.  සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ  එකම විහාරස්ථානයකට අවස්ථා  දෙකකදී මෙන්ම මහරගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අවස්ථා තුනකදී ඇතුළු වී සොරකම් සිදුකර තිබූ බව පොලිසිය කියයි.



මත්තේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානකින් ඉකුත් අප්‍රේල් මස සැකකරු විසින් ජංගම දුරකථන හතරක්, පෙන්ඩ්‍රයිව් 15ක් මෙන්ම රුපියල් 25,000ක මුදලක්  සොයාගෙන තිබූ බවත් සැකකරු එම දේපළ සොරා ගන්නා අයුරු එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය කියයි.  සැකකරු එයාකාරයෙන් සොරාගත් සියලුම දේපළ වැල්ලවත්ත, අලුත්කඩේ සහ  කෙසෙල්වත්ත ආදී ප්‍රදේශවල මත්කුඩු ජාවාරම්කරුවන් අතට පත්කර ඒ වෙනුවෙන් මත්කුඩු ලබාගෙන පානය කර තිබූ බව පොලිසිය කියයි. 



සැකකරුගේ ප්‍රකාශ මත එකී පුද්ගලයන් සොයා ගියත් බහුතරයක් දෙනා මත්කුඩු ජාවාරම සහ වෙනත් වැරැදි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්ව තිබීම හේතුවෙන් එම දේපළ සොයාගැනීම ගැටලු  සහගත තත්වයකට පත්ව ඇති බව පොලිස් නිලධාරියෙක් කීය.  පිටකොටුව සහ මහරගම අතර මහාමාර්ග දෙපස සෙල්ලම් බඩු විකිණීමේ යෙදී සිටි බව කියන සැකකරු මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකි.


  බිමල් ශ්‍යාමන් ජයසිංහ

වයස 18ට අඩු දරුවෝ 45,00ක් මෙහෙකාර සේවයේ




වයස අවුරුදු 18ට අඩු ළමයින් 45,400 කට ආසන්න පිරිසක් මෙහෙකාර සේවය ඇතුළු ශ්‍රම බළකායේ සිටින බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි. එය සමස්ත ළමා ජනගහනයෙන් සියයට එකකි.  මෙම පිරිස අතරින් ළමා ශ්‍රමිකයන් වැඩිම සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු ආසියාතික රටවල් හා සංසන්දනයේ දී ශ්‍රී ලංකාව ළමා ශ්‍රමය යොදා ගැනීම අතින් සතුටුදායක තැනක සිටින නමුත් රටක් ලෙස සතුටු විය නොහැකි යැයි කමිකරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත්  චන්ද්‍රකීර්ති මහතා  පැවසීය. 



2022 වසර ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටු දැකීම වසර ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නම් කරනු ලැබ ඇති බවද චන්ද්‍රකීර්ති මහතා කීය. ඒ අනුව ලබන වසර අවසන් වනවිට ගණිකා වෘත්තිය, අසභ්‍ය වීඩියෝ පට වලට පෙනී සිටීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී නරකම ආකාරයේ කටයුතු වලට ළමයින් යොදවා ගැනීම සම්පුර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට ජාත්‍යන්තර කම්කරුවන් සංවිධානය සමග ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණ ඇති බවද හෙතෙම සඳහන් කළේය.  එමෙන්ම, 2025 වසර වනවිට ළමා ශ්‍රමය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමට ද එම සංවිධානය සමග එකඟතාවකට ආ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කීව්වේය.

 -විනිතා එම්. ගමගේ- 


බස්නාහිර අවුරුදු 16ට අඩු මෙහෙකාර ළමයින් සිටින නිවෙස් වටලයි



 බස්නාහිර පළාතේ අවුරුදු 16ට අඩු බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා සිටින නිවස හා  ස්ථාන සොයා ඊයේ 27 සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.  ළමා හා කාන්තා කාර්යාංශ සහ ප්‍රජා පොලිස් ඒකක එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු කීව්වේය.  නිවෙස්වල මෙහෙකාර සේවය සඳහා වයස අවුරුදු 16 ට අඩු දරුවන් යොදා ගැනීම, එම දරුවන් කෘරත්වයට භාජනය කිරීම ආදී සිදුවීම් කිහිපය පසුගිය දිනවල අනාවරණය වූ බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා, මෙම මෙහෙයුම් කරන බවත් හෙතෙම කීය. 



නියමිත වයස සම්පූර්ණවීමට පෙර දරුවන් මෙහෙකාර  සේවයේ යොදාගෙන ඇත්නම් සහ දරුවන් කෘරත්වයට භාජනය කර ඇත්නම් එය අපරාධ නීතිය යටතේ මෙන්ම, අනිකුත් අණපනත් යටතේ වරදක් ද බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


 -ඉන්දිකා රාමනායක-

Tuesday, July 27, 2021

Made in Sri-Lanka බේස්බෝල පන්දුව සුජීවගේ උත්සහයෙන් හෙට සිට ඔලිම්පික් තරඟ බිමේ

මෙවර ඔලිම්පික් තරගාවලියේ බේස්බෝල් ක්‍රීඩාව සඳහා යොදාගන්නා පන්දුව, ලෝක ශ්‍රේණිගත කිරීම් හි අංක 1වන ජපානය සහ බේස්බෝල් ජාතික ක්‍රීඩාව වන ඇමෙරිකාවද අභිබවා Made in Sri-Lanka සන්නාමය ඔස්සේ ඔලිම්පික් උළෙලට යොදා ගැනීමට හැකිවූ බව ජපානයේ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් අංශයේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු සුජීව විජයනායක මහතා පවසයි.සාමාන්‍යයෙන් ක්‍රීඩා උපකරණයක සමාගමේ සන්නාමය සහ එම ක්‍රීඩාවේ ලෝක සංගමයේ නාමය සඳහා අවසර ඇතත් ක්‍රීඩා භාණ්ඩය නිෂ්පාදනය කළ රටේ නම ක්‍රීඩා භාණ්ඩයේ සඳහන් කිරීමට අවස්ථාව නොලැබේ. විශේෂයෙන්ම අසුරුමේ නිෂ්පාදනය කළ රටේ නම සඳහන් කිරීමට හැකියාව ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව, "ඔලිම්පික් තරගාවලියේ දී සොෆ්ට්බෝල් ක්‍රීඩාව සඳහා අපි යොදාගන්නේ Mizuno ආයතනය වියටිනාමයේ නිෂ්පාදනය කරන පන්දුයි. නමුත් අපි එම පන්දුවල Mizuno ආයතනයේ නමත් ලෝක සංගමයේ නම වන WBsc පමණක් සඳහන් කිරීමට පමණයි අවසර ලබාදී තිබෙන්නේ. සොෆ්ට් බෝල් පන්දුවට වඩා කුඩා බේස්බෝල් පන්දුවේ නිෂ්පාදන ආයතනය වනssK නාමයත්, ලෝක සංගමයේ නාමය වන WBsc නාමයට අමතරව Made in Sri-Lanka tedesca ඇතුළත් කරගැනීමට මට හැකියාව ලැබුණා. මම හිතනවා මට මගේ රටට ලබාදෙන්න පුළුවන් උපරිම වටිනාකම ලබාදීමට ඒ හරහා හැකියාව ලැබුණා කියා. ලෝක ශ්‍රේණිගතවන ඉහළින්ම සිටින  ජපානය  (1), කොරියාව (3), ඇමෙරිකාව (4), මෙක්සිකෝව (5), ඩොමිනිකාව (7) වැනි ප්‍රධාන පෙළේ රටවල් මෙවර බේස්බෝල් අංශයෙන් ඔලිම්පික් තරගාවලියට එක්ව සිටිනවා. එම ලෝක පූජිත රටවල් මෙවර ඔලිම්පික් තරගාවලියේදී ක්‍රීඩාකරන්නේ Made in Sri-Lanka පන්දුවකින්. මෙම අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හැටියට අප සියලු දෙනාටම විශේෂ අවස්ථාවක් හැටියට හඳුන්වා දිය හැකියි.විශේෂයෙන්ම ඇමෙරිකාව, කියුබාව, තායිවානය, වැනි රටවල ජාතික ක්‍රීඩාව වන්නේද බේස්බෝල් ක්‍රීඩාවයි. එසේම ජපානයේ ජනප්‍රියතම ක්‍රීඩාව වන්ද බේස්බෝල් ක්‍රීඩාවයි. 23 වනදා පැවැත්වූ සමාරම්භක උළෙලේ ගිනි සිළුව සඳහා බේස්බෝල් ක්‍රීඩකයන් තිදෙනෙක්ම සහභාගී වී සිටීමද විශේෂයි. එවන් ප්‍රබල රටවල් ක්‍රීඩා කරනුයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල් පන්දුවකින් වීම අප සැමටම සුවිශේෂී අවස්ථාවකි.මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව හැටියට හඳුන්වා දෙන්නත් පුළුවන්.” යැයි සුජීව සඳහන් කර සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ සුජීව, "මෙම වසරේ අප්‍රේල් මාසයේ අපිට ලංකාවේ නිෂ්පාදිත බේස්බෝල්වල තත්ත්ව පරීක්ෂක්ෂාවක් සිදුකිරීමට සිදුවුවා. ඒ සඳහා දූනගහ ප්‍රදේශයේ තිබෙන මෙම කර්මාන්තශාලාවට ඔලිම්පික් සංවිධායක කමිටුවේ නියෝජිතයෙක් යැවීමට සිදුවුවා. 

නමුත් එම කාලයේ කොරෝනා තත්වය වැඩිවී තිබූ නිසාත් පැමිණෙන විදේශිකයන් සති 2ක් නිරෝධායනය වීමට සිදුවී තිබුණා. එය මට ඔලිම්පික් සංවිධායක කමිටු නිලධාරීයෙක් වශයෙන් ඒ අවස්ථාවේ දී අපහසු කාර්යයක් වුණා. එම නිසා මම මුලින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හමුවීමට ගියා. එතුමා කොරෝනා මැඩපැවැත්වීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට කතා කළා. එතුමාගේ විශේෂ අවසරය ඇතිව මට ජපානයේ විශේෂ තත්ත්ව පරීක්ෂකවරයෙක් ලෙසින් VIP නිරෝධායන නීති මාලාව යටතේ කර්මාන්තශාලාව සහ බේස්බෝල් පන්දුවල තත්ත්ව සහතික පරික්ෂා කිරීමට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලැබුණා. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට කාර්යසාධක බළකායේ ප්‍රධානී හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණස්කර මහතාටත් මාගේ විශේෂ ස්තුතිය පුදකර සිටිනවා. ශ්‍රී ලංකා රජය මගින් මාහට ප්‍රභූ විශේෂ නිරෝධායන අවස්ථාව ලබාදුන්නද ජපානයේ ඔලිම්පික් සංවිධායක කමිටුවේ විශේෂ අනුමැතිය ඇතිව ජපානයේ සිට ලංකාවේ නිෂ්පාදනය කරන බේස්බෝල් පන්දුවේ තත්ව සහතිකය ලබාගැනීමට කටයුතු කලා. ඒ සඳහා මට sSK ආයතනය විශේෂ සහයෝගයක් ලබාදුන්නා. ඒ අනුව ජපානයේ සිට අපිට සියලුම දේවල් කරගන්න පුළුවන් උනා. ඉන් අනතුරුව පසුගියදා Made in Sri-Lanka බේස්බෝල් පන්දු 15,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවට මිළ කළ නොහැකි ආයෝජනයක් කියා මම විශ්වාස කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය නොකරන ක්‍රීඩාවකට ඔලිම්පික් උළෙලක දී Made in Sri-Lanka නාමය බේස්බෝල් පන්දු ලබාදීමට හැකිවීම එහි වටිනාකම තව තවත් වැඩි කරවන්නක් කියා මම විශ්වාස කරනවා.” යැයි සඳහන් කර සිටියේය.


ISIS හා සම්බන්ධ වූ පවුලකට නවසීලන්තයේ දොරටු හැරේ

ISIS (ඉස්ලාම් රාජ්‍ය සංවිධානය) හා සම්බන්ධව කටයුතු කර මේ වනවිට තුර්කි බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන 26 හැවිරිදි නවසීලන්ත පුරවැසි මුස්ලිම් ජාතික කාන්තාවකට සහ ඇගේ කුඩා දරුවන් දෙදෙනාට යළිත් සිය මවු රට වෙත ඒමට අවස්ථාව ලබාදෙන බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් පවසයි. ඊයේ දිනයේදී පැවැති එට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව ආර්ඩෙන් මේ පිළිබදව පවසා තිබේ.මෙම නවසීලන්ත කාන්තාව සහ සිරියාවේ සිට තුර්කිය වෙත ඇතුළු වෙමින් සිටියදී මේ වසරේදී තුර්කි ආගමන විගමන බලධාරින්ගේ අත්අඩංගුවට පත්විය. ඔවුන් සතුව ඉස්ලාම් රාජ්‍ය හා සබදතා පැවැති බව තුර්කි බලධාරින් හඳුනාගෙන ඇත. ඒ අනුව මොවුන් පිරිස යළිත්න වසීලන්තය වෙත පිටුවහල් කිරීම පිළිබදව තුර්කිය එරටින් ඉල්ලීම් කර තිබුණි. තොරතුරුවලට අනුව මෙම කාන්තාව සතුව නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ පුස්වැසි බව හිමිය. වයස අවුරුදු හයේදී ඇගේ පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාව වෙත ගොස් ඇති අතර, ඇය හැදීවැඩී ඇත්තේ එහිදීය. අනතුරුව සිය ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රය යොදාගනිමින් ඇය 2014 වසරේදී සිරියාව වෙත ගොස් තිබේ. එහෙත් ඇය සතුව තිබූ ඉස්ලාම් රාජ්‍ය සබදතා අනුව අපගේ පුරවැසි බව අහෝසි කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇත. මෙම තීරණය පිළිබදව මීට පෙර අදහස් දක්වා තිබූ නවසීලන්ත අගමැතිනිය, එය වැරදි තීරණයක් බව පවසා සිටියාය. මේ අතර අදාළ කාන්තාව සහ දරුවන් කෙදිනකදී යලිත් නවසිලන්තය වෙත පැමීණියද යන්න පිළිබදව මෙතෙක් අනාවරණය වී ඇත. ආරක්ෂක කාරණා නිසා එම තොරතුරු හෙළිදරව් නොකරන බව පැවසෙයි.


පී.සී.ආර්. කරද්දී රිදුණැයි හිමිනම පිඟානකින් හෙදියගේ ඔළුව පලලා



පී.සී.ආර්. පරීක්ෂණයකදී දැඩි වේදනාවක් ඇති වු බවටඋරණ වූ හිමිනමක් එම පරීක්ෂණය කළ හෙදියට එහි තිබූ විදුරු පිඟානකින් පහරදීමෙන් ඇයට බරපතළ තුවාල සිදුව ඇති අතර, සිද්ධිය සමිබන්ධයෙන් හිමිනම ඊයේ (28) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය සියයි.   මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික  රෝහලේ කොවිඩ් ඒකකයේ රාජකාරිවල නිරත වී සිටි හෙදියක බව පොලිසිය සඳහන් කරයි. උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගේ පී.සී.ආර්. පරික්ෂණය කරමින් සිටියදී තමන්ට වේදනාවක් ඇති වූ බව පවසමින් හිමිනම අසල තිබූ වීදුරු පිඟානකින් හෙදියට පහරදී ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය  පවසයි. 



හිමිනම වීදුරු පිගානින් පහරදීමත් සමග හෙදිය එකවර විලාප දෙමින් බිම ඇද වැටී ඇති   බව කියති. පසුව රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් පැමිණ හෙදිය ප්‍රතිකාර සඳහා රෝහලේ ප්‍රාථමික වෛද්‍ය ඒකකයට යොමු කර ඇත. ඒ සමගම රෝහල් කාර්ය මණ්ඩලය සිද්ධියට සම්බන්ධ  සැකකාර හිමිනම අල්ලා පොලිස් නිලධාරින්ට බාරදී ඇත.  හිමිනම හෙදියට පහර දුන් පිඟාන කුඩා කැබලිවලට කැඩී   ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.  ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පමිණි අබේරත්න මහත්මිය පැවසුවේ, වීදුරු පිගානකින් පහර කෑ හෙදියන්ගේ හිසට දරුණු ලෙස තුවාල සිදුව  ඇති බවත්, ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත්ය. අත්අඩංගුවට ගත් හිමිනම ප්‍රශ්න  කිරීම්වලින් අනතුරුව ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.


 - හිරාන් ප්‍රියංකර ජයසිංහ -


මෙතෙක් හදුනා නොගත් වෛරස 28ක් ටිබෙටයේ ග්ලැසියරයකින් සොයා ගැනේ

ටිබෙටයට අයත් ග්ලැසියර තුළ තිබී ලොව තුළ මෙතෙක් හඳුනා නොගත් වෛරස 28ක් සොයාගත් බව විද්‍යාඥයන් පිරිසක් පවසති.මෙම වෛරස අදින් වසර 15,000කට පමණ පෙරාතුව බිහි වූ ඒවා බව විශ්වාස කෙරේ.ඒවා මෙතෙක් ලොව විද්‍යාව තුළ සටහන්ව නොමැති වූ වෛරස වීම විශේෂත්වයය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම අධ්‍යයනය සිදු කර තිබේ.අ මෙහිදී ඔවුන් ටිබෙටයේ ගුලියා අයිස් තට්ටුවෙහි සාම්පල කොටසක් සිය විද්‍යාගාරය වෙත රැගෙන ගොස් ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සිදුකර ඇත. ඒ අනුව මෙම සාම්පලයේ තිබූ පස් හෝ කුඩා පැලෑටි මත ජීවත් වූ මෙම වෛරස කොටස් හඳුනාගෙන තිබේ. මෙහිදී ඔවුන් වෙත වෛරස 33ක් හමුව ඇති අතර, ඉන් වෛරස හතරක් මීට පෙර ලොව පැවති බවට හඳුනාගත් ඒවා වෙයි. ඒවාද සාමාන්‍ය බැක්ටිරියා ආසාදන ඇති කරන වෛරස වී තිබේ. එසේම එම වෛරසවල සාන්ද්‍රණයද දැනට පාෂාණ සහ සාගරය මතදී හමුවන එම වෛරස සාම්පලවලට වඩා අඩු බවද පැවසෙයි.ඒ අනුව මෙම නවතම සොයා ගැනීමත් සමග වෛරස ලොව තුළ වරින් වර මතුවීම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව යම් අදහසක් ලබාගැනීමේ හැකියාව පවතින බව පර්යේෂකයෝ සඳහන් කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂි-පින්ගේ සොන්ගේ, "දූවිලි සහ වාතය සමග මේ ග්ලැසියර ක්‍රමිකව බිහිවී තිබෙනවා. ඒවා තුළ බොහෝ වෛරස තැන්පත්වීම සිදුවෙලා යනුවෙන් පවසයි. පර්යේෂකයන් සදහන් කරන ආකාරයට මෙම ග්ලැසියර තට්ටුවෙහි අයිස් සාම්පල ලබාගෙන ඇත්තේ 2015 වසරේදීය. මෙම ග්ලැසියර තට්ටුව අදින් වසර 15,000කට පමණ පෙරාතුව බිහිවූවක් බව විශ්වාස කෙර්. සෑම වසරකදීම මෙම අයිස් තටුව මත නව තට්ටුවක් තැන්පත් වන අතර, ඒවා යට ඇති ඕනෑම දෙයක් බාහිර පරිසරයට නිරාවරණය නොවී එතැනම ආරක්ෂාවීම සිදුවෙයි. විශේෂයෙන්ම මෙලස හඳුනාගෙන ඇති මෙතෙක් විද්‍යාව තුළ සටහන් නොවූ වෛරස මෙතෙක් කලක් එහි රැදී පවතීමටද හේතුව මෙම පරිසර තත්වයන් බව විද්‍යාඥයෝ පවසති. ඒ අනුව අයිස් මෙම වෛරස සුරැකීම සඳහා දායකත්වය ලබාදෙන බවත්, ඔවුන් ස්වාභාවිකව සිදුකරගන්නා අනුවර්තනයන් අනුවද ඒවායේ වෙනස්කම් සිදුවන බවත් හඳුනාගෙන තිබේ.


මෝටර් රථයක් තුළදි සිසුවියක අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්

ඉංග්‍රීසි භාෂාව චතුරව හැදෑරීමට පහසුකම් සැපයෙන අත් පොත් මිලදී ගැනීමට යයි රවටා, දාහත් හැවිරිදි පාසැල් සිසුවියක් කොළඹට රැගෙනවිත් සිය මෝටර් රථය තුළදී අපයෝජනයට ලක් කළ බව පැවසෙන ගම්පහ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයෙකු අගෝස්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලියනගේ මංජුල රත්නායක මහතා පෙරේදා (25දා) නියෝග කළේය.

ගම්පහ, ඉඳිගොල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ බවද පොලීසිය කියයි. හතළිස් නව හැවිරිදි සැකකරු, තම පාසලේ ඉගෙනුම ලබන මෙම සිසුවිය නිට්ටඹුව ප්‍රදේශයේ සිට මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයට රැගෙනවිත්, රථ ගාලක් තුළ මෝටර් රථය නවතා අපයෝජනයට ලක් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අනුව අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක පරිගණක මෘදුකාංග ගුරුවරයකු ලෙස සේවය කරන බවත් එම පාසලේ ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක් මෙසේ රැගෙන විත් අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී ඇත. ඉංග්‍රීසි චතුරව හැදෑරීමට නම් පරිහරණය. කළ යුතු පොත් කිහිපයක් පිළිබඳ තොරතුරක්, ලන්ඩන් නුවර පදිංචිව සිටින සිසුවියගේ නැන්දනිය පසුගියදා ඇයට දන්වා ඇතැයි පැවසේ.

ඒ අනුව අදාළ පොත් මිලදී ගැනීම පිළිබඳව සැකකාර ගුරුවරයාගෙන් විමසූ විට එම පොත් ඉතා අඩු මිලට ලබා ගැනීමට හැකි බවත් ඒ සඳහා කොළඹ ප්‍රදේශයේ තම මිතුරෙකු සිටිනා බවත් සිසුවියගේ ඥාතීන්ට දන්වා ඇතැයි පැවසේ. ඒ අනුව සිසුවිය සමග සැකකරු සිය මෝටර් රථයෙන් කොළඹට පැමිණ , නැවත ගම්පහ ප්‍රදේශයට යන අතරතුරදී. මද විවේකයක් සඳහා සිසුවියගේ ද කැමැත්ත පරිදි මාදිවෙල කිඹුලාවල ප්‍රදේශයේ රථගාලක් තුළ මෝටර් රථය නවතා ඇතැයි හෙළිවී තිබේ.පසුව ඉදිරිපස අසුනේ සිටි සිසුවිය පසුපස. අසුනට යෑමත්, ඒ සමඟම රුදුරුද පසුපස අසුනට ගොස් දොරවල් වසා ගැනීමත් පිළිබඳ අසල සිටි ත්‍රිරෝද රථ රියැදුරකු දැක ඒ පිළිබඳව සැක සිතී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මේ බව දන්වා ඇත.ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා ක්ෂණයකින් එම ස්ථානයට ගොස් මෝටර් රථය පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු විසින් සිසුවිය අපයෝජනයට ලක් කරමින් සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී දෙදෙනාම නිරුවත්ව සිට ඇති බවත් පැවසේ.ඒ අනුව සැකකාර ගුරුවරයා සහ සිසුවියන් මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තලංගම පොලීසියට රැගෙන ගොස් මූලික විමර්ශන පවත්වා මෙසේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා දෙන ලෙසයි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ලබන අගෝස්තු 4වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. එසේම දැරිය සම්බන්ධයෙන් පරීවාස වාර්තාවක් කැඳවන ලෙසටත් ඇයගේ තාවකාලික භාරකාරත්වය පියාට පවරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂිණි මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් නවරත්න නිලධා පරීක්ෂණ මෙහෙයවූහ

(මත්තේගොඩ -ශාන්ත ප්‍රදීප් කුමාර ගුණරත්න )

මෝටර් රථයේදී සිසුවිය කෙලෙසු ගුරා අත්අඩංගුවට



තලංගම කිඹුලාවල හන්දියේ රථ ගාලක මෝටර් රථයක දී ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 17 හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම පාසලේ ආබාධිත ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.  අනතුරකින් දකුණු කකුල අහිමිව ඇති මෙම 49 හැවිරිදි ගුරුවරයා කෘත්‍රිම පාදයක් පැළඳි අයෙකු බව ද පොලිසිය පැවසීය.  දැරියගේ පුංචි අම්මා එංගලන්තයේ පදිංචිව සිටි. මෙම දැරියද එරටට යෑමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත. අවශ්‍ය පොත් කිහිපයක් මිලදී ගැනීමට දැරිය කොල්ලුපිටිය ප්‍රදේශයේ පොත්හලකට කැඳවාගෙන යන මුවාවෙන් රවටා සැකකාර ගුරුවරයා ඔහුගේ මෝටර් රථයෙන් දැරිය කොළඹට රැගෙන විත් ඇති බව පොලිසිය කියයි.



දැරියගේ මව රෝගීව සිටින බවත්, සැකකාර ගුරුවරයාගේ ඉගැන්වීම මත දැරිය මවට පවසා ඇත්තේ ඔන්ලයින් පන්ති නිම වීමෙන් පසු ගුරුවරයා සමඟ පොත් මිලදී ගැනීමට යන බවට යැයි දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරිනියක් කීය. සැකකාර ගුරුවරයා ගම්පහ සිට දැරිය තලංගමට රැගෙන විත් කිඹුලාවල රථ ගාල්ලේ මෝටර් රථය ගාල් කිරීමෙන්  අනතුරුව දැරිය පිටුපස අසුනට යවා, මෝටර් රථයේදීම ලිංගික අතවර කර ඇති බව ද පොලිසිය කියයි.. 



මෙම සිද්ධිය දුටු රියැදුරකු එම මාර්ගයේ රථවාහන රජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින්ට ඒ බව දැනුම් දී ඇති අතර, ඒ අනුව වහාම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක ඉරෝෂා සුභාෂිණී මහත්මිය පැවසුවාය. සැකකාර ගුරුවරයා සහ අතවරයට පත් දැරිය මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැරිය ලිංගික අතවරයට පත්ව ඇති බවට අනාවරණය වූ බව සුභාෂිණී මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.


 -ශාන්ත ප්‍රදීප්  කුමාර කුලරත්ත-



ඥාති අයියා මලෝ දෙන්නා දැදුරුඔයේ වළක ගිලී මරුට

කොබෙයිගනේ, ඇඹලයාගම ප්‍රදේශයේදී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු පෙරේදා (25 වැනිදා) සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලිසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17සහ 24 වයස්වල ඥාති සොයුරන් දෙදෙනෙකි. මෙම 17 වියැති තරුණයා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂවෙන් සිටින සිසුවෙකු වන අතර 24 වියැති තරුණයා රැකියාවක් අපේක්ෂාවෙන් සිටින උපාධිධාරියකු බවද පොලිසිය සඳහන් කරයි. 



ඥාති සොයුරන් සිවු දෙනකු සති අන්තයේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට නිකවැරටිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවසට පැමිණ කොබෙයිගනේ ඇඹලයාගම ප්‍රදේශයේදී දැදුරුඔයේ දිය නෑමට යාමේදී ඔය තුළ තිබූ ගැඹුරු වළක ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බවට මූලික පරික්ෂණවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.  මියගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු මේ වනවිට  නිකවැරටිය මූලික රෝහලට බාරදී ඇති බවද සිරුරු පිළිබඳව වූ හදිසි පරික්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද පොලිසිය සඳහන් කරයි. කොබෙයිගනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


 -නිමල් ප්‍රේමචන්ද්‍ර- 


Monday, July 26, 2021

රිෂාඩ් නිවසේ දැරිය සිටියේ 6යි හතරේ කළුවර කාමරේක

හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මුළුතැන්ගෙයට පිටත ස්ථානයක පිහිටි මෙම කුඩා කාමරයේ තිබූ විදුලි පංකාව ද ප්ලාස්ටර් යොදා අක්‍රීය කර තිබු බවට විමර්ශනවලදී නිරික්ෂණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. මෙම දැරිය සිය දහසය වැනි උපන්දිනයෙන් දින හයකට පසුව මෙහෙකාර සේවය සඳහා හිටපු අමාත්‍යවරයාගේ නිවසට පැමිණ ඇති බවත්, තැරැව්කරු දැරිය මෙම නිවසට විකුණා ඇත්තේ ඔහුට ඇගේ දෙමාපියන්ගෙන් ලැබිය යුතු රුපියල් 30,000ක ණය මුදලක් හේතුවෙන් බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. දැරියගේ මාසික වේතනය පවා බැරවී තිබුණේ තැරැව්කරුගේ ගිණුමට බව ද ඔහු ප්‍රකාශ කළේය. මෙම සැකකාර තැරැව්කරු, තවත් දරුවන් 11 දෙනකු, හිටපු අමාත්‍යවරයාගේ පවුලේ අය සඳහා මෙහෙකාර සේවයට යොදවා ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඉන් තරුණියක හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා විසින් දූෂණයට ලක්කරනු ලැබ ඇතැයි විමර්ශනයේදී හෙළිවූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.


මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමෙන් මියගිය දහසය හැවිරිදි දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ පෙරේදා (24) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබදීන් අයීෂා, ඇගේ පියා, අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බණ්ඩාර නොහොත් "ශංකර්" පොලිසිය විසින් අධිකරණය හමුවට පෙරේදා (24) ඉදිරිපත් කරනු ලැබූහ.



පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සමග, බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිහු වැඩිදුර "බී" වාර්තාවක් ද ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ කේ.සී. තවරාසා, නීතිඥ එන්.එම්. ෂයිඩ් සහ නීතිඥ රුස්ඩ් හබීබ් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය. අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ඉකුත් 03 වැනිදා පිළිස්සීමට ලක්වූ මෙම දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඉකුත් 15 වැනිදා මියගොස් ඇති බවත්, බාහිර පිළිස්සීම් තුවාල හේතූවෙන් ඇතිවූ කම්පනයෙන් දැරියගේ මරණය සිදුවී ඇතැයි මරණ පරික්ෂණයේ දී කරුණු අනාවරණය වූ බවත්ය.


එසේම, දැරියගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වී ඇති අන්දමට, ඇය ලිංගික ප්‍රවේශයන්ට ලක්වී ඇතැයි හෙළිවී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියේ පළමු සැකකරුවන ඩයගම පදිංචි ‘ශංකර්" නමැති තැරැව්කරුගෙන් ලබාගත් රුපියල් 30,000/ ක ණය මුදල හිලව් කිරීම සඳහා ඇයගේ මව විසින් මියගිය දැරිය සැකකාර තැරැව්කරුට බාර දෙන ලද අතර, පසුව සැකකරු ඇය අදාළ නිවසට බාරදී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේදී සඳහන් කළේය. 2004 වසරේ නොවැම්බර් මස 12 වැනිදා උපන් මියගිය දැරිය ඇයගේ වයස අවුරුදු 16 සම්පූර්ණ වී, දින හයකින් එනම් 2020 වසරේ නොවැම්බර් මස 18 වැනිදා මෙම සැකකාරියගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.



නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා - ස්වාමිනී, මෙම දැරිය ජීවත්ව ඇත්තේ අදාළ නිවසෙන් පිටත පිහිටී විදුලි එළියක් වත් නොමැති ඉතා කුඩා කාමරයක. එම කාමරයේ තිබූ විදුලි පංකාව ක්‍රියාත්මක කරන්න බැහැ. ප්ලාස්ටික් දාලා වහලා තියෙන්නේ. රැ වුණාම ඒ කාමරේට දාල වහනවා. එවන් පසුබිමක මේ දැරිය ඉන්න ඇත්තේ කුමන මානසික මට්ටමකද කියලා හිතා ගන්න පුළුවන් නේද? මේ දැරියගේ පළමු වැටුප ගත්තේ මෙහි පළමු සැකකරු වන තැරැව්කාර ශංකර් කියන පුද්ගලයා. ඒ ඔහුගේ ණය හිලව් කරගන්න. එතැන් පටන් හැම මාසේම දැරියගේ වැටුප බැංකු ගත වෙන්නේ ශංකර්ගේ නමින්. ඔහුගේ ආගරපතන ප්‍රදේශයේ තියෙන බැංකු ගිණුමකට තමයි මේ මුදල් බැර වෙන්නේ. මේ සල්ලි වලින් භාගයක් හැම මාසේම මේ සැකකරු ලබා ගන්නවා. බැංකු ගිණුම් වලට අදාළ තොරතුරුවලින් අනාවරණය වෙනවා මේ තැරැව්කරු තැනැත්තන් විකුණලා හැම මාසේම යම් මුදලක් ලබා ගන්නවා කියලා. මොහු මේ ආකාරයෙන් බදුර්දීන් පවුලට ළමයින් 11 දෙනකු ගෙනල්ලා දිලා තිබෙනවා කියලා දැන් කරුණු හෙළිවෙලා තියෙනවා. ඒ එක් අයකු මෙහි හතරවැනි සැකකරු වන කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් යන අය අතින් අතවරයට ලක් වෙලා කියලා දැන් හෙළිවෙලා තිබෙනවා.


මේ ආකාරයෙන් මෙහෙකාර සේවයට එන්නේ දරුවෝ. බදුර්දීන් මහතාටත් මේ වයසේම දහසය හැවිරිදි දියණියක් සිටිනවා. මේ දැරිය දීර්ඝ කාලයක් ලිංගික හිංසනයට පත්වෙලා කියලා වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා. මැය මේ ස්ථානයේ සිටියේ හුදකලාවේ, දැඩි මානසික කම්පනයකින්. ඇය නැවත ගෙදර යන්න හිටියේ. ඇය නිවසට යන එක වළක්වන්න නැත්නම් මේ අතවර සම්බන්ධයෙන් වසන් කරන්න කවුරුන් හෝ මේ අපරාධය කළා ද කියලා දැන් පරික්ෂණ පවත්වමින් සිටිනවා.


මෙහි තෙවැනි සැකකාරිය වන සියාබ්දීන් අයිෂා යන අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා- ස්වාමිනී, මගේ දායිකාව අත්අඩංගුවට ගත්ත වෙලාවයි අධිකරණයට ගත්ත වෙලාවයි අතර පරස්පරයක් තියෙනවා. සැකකාරියක අත්අඩංගුවට ගත් පසු පැය 24ක් ඇතුළත අධිකරණයකට ඉදිරිපත් කළ යුතුයි. ඒත් මේ වනවිට එම කාල සීමාව ඉක්මවලා ගිහිල්ලා. මේක නිතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමක් වෙනවා. නීතිපතිතුමා නීතිය ගැන අනිවාර්යෙන්ම දන්නවා. නමුත් මේ සම්බන්ධයෙන් මා හබ කරන්න යන්නේ නැහැ. මේ සිද්ධියේ විමර්ශන සිදුවිය යුතුයි. ඒකට අපි සහාය දක්වනවා. පැමිණිල්ලේ ඉල්ලීම්වලට විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම සැකකාරිය ඉකුත් 22 වැනිදා පස්වරුවේ පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකළා. නමුත් ඇය නියම වශයෙන් අත්අඩංගුවට ගත්තේ 23 වැනිදා අලුයම 4.15ට යි. නීති හදන ස්ථානයේ කටයුතු කරන පුද්ගලයකු ගෘහ මූලිකයා වශයෙන් ක්‍රියාකරන මෙම නිවසේ එවැනි අවාසනාවන්ත සිද්ධියක් හටගැනීම කනගාටුදායකයි. මෙම දැරිය සියදිවි නසා ගත්තාද? නැතිනම් යම් අයකු ඇයගේ ජීවිතය නැති කළාද? යන බරපතළ සැකයක් මතුවෙලා තිබෙනවා. අද සමාජයේ මෙන්ම මහජනතාව අතර ද මේ සිද්ධි පිළිබඳව කැළඹීමක් ඇතිවෙලා. මෙහි සිවුවැනි සැකකාර මොහොමඩ් ඉස්මත් නමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කළේ තම සේවාදායකයා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවය. මෙම සැකකරුවන් ජූඩ් කුමාර් ඉෂාලිනී යන දහසය හැවිරිදි බාලවයස්කාර දැරියකට නොසලකාහරිමින් කෘරත්වයට පත් කිරීමේ වද හා තැනැත්තන් වෙළදාම් කිරීම අනිවාර්යෙන් හෝ බලහත්කාරයෙන් වැඩ ගැනීම 1995 අංක 22 හා 2006 අංක 16 දරන පනතින් සංශෝධිත වූ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඇ (1), 358 (අ) (1), 308 (1) වන වගන්ති ප්‍රකාරව දඬුවමක් ලැබිය යුතු වරදවල් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.


මෙම තැනැත්තිය මෙහෙකාර සේවය කළ නිවස තුළ සිදුවූ වදහිංසා, කරදර අපයෝජන හේතුවෙන් ඇති වූ මානසික පීඩනය හේත්තු කොටගෙන සිය දිවි නසා ගැනීමක් සිදුකළේද, නැතහොත් එම නිවස තුළ යම් පුද්ගලයකු විසින් හෝ කිහිප දෙනකු විසින් ලිංගික අපයෝජනයක් හෝ වදහිංසාවකට ලක්කර සාක්ෂි වසන් කිරීමේ අරමුණක් ඇතිව ගිනි තබා ඝාතනය කිරිම සිදුකරනු ලැබුවේද යන සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකළ යුතුව ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත. පිළිස්සුම් තුවාල ලබා මියගිය මෙම දැරිය සිද්ධිය වන අවස්ථාවේදී ඇය අසල තිබූ ලයිටරයක්, භූමිතෙල් කොටසක් අඩංගු ප්ලාස්ටික් බෝතලයක්, ගිනි ගැනීමට ලක්වූ රබර් සෙරප්පු දෙකක් සහ මරණකාරියගේ ඇඳුම් කිහිපයක්, දැරියගේ අංක 7393 දරන උත්පැන්න සහතිකයේ ඡායාස්ථ පිටපතක්, ශිෂ්‍ය කාර්ය දර්ශකයේ ඡායා පිටපතක්, පුවක්පිටිය ප්‍රාථමික දෙමළ විද්‍යාලයට ඇතුළත් කිරිමේ ලේඛනයේ ඡායා පිටපතක්, පැමිණීමේ ලේඛනයේ ඡායා පිටපතක්, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව, මියගිය දැරිය සේවය කළ, නිවසේ ඇයට පෙර සේවය කළ, ඩයගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකට රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා වන, කටුවල මැදවච්චිය ලිපිනයෙහි පදිංචි කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් යන අය විසින් ස්ත්‍රී දූෂණයක් සිදුකරනු ලැබ ඇති බවට කරුණු අනාවරණය වන අතර, ඒ සම්බන්ධයෙන් වෙනත් "බී" වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය අධිකරණයට සිය “බී” වාර්තාවෙන් දක්වා ඇත. මෙම සැකකරු මියගිය මරණකාරියට යම් ලිංගික අතවරයක්, අපයෝජනයක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදුකිරිම සඳහා ඔහු අත්අඩංගුවට ගත් ගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන්වන විමර්ශන පැය 24ක කාලයක් තුළ සිදුකළ නොහැකි බැවින්, 1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් ප්‍රතිපාදන අනුව ළමා අපචාර ගණයට ගැනෙන 308 (අ), 360 (1) ඈ, වගන්ති ප්‍රකාරව වරදවල් අනාවරණය වන බැවින් සැකකරුවන් පැය 72ක කාලයක් ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් අද (26) පෙරවරු 10.00 තෙක් පොලිසිය භාරයේ රඳවාගෙන විමර්ශනය කර එදින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.