
රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව ඊයේ (28) විභාගයට ගෙන ඇත.
මෙම නඩුව සිසිර ද ආබෲ, ප්රසන්න ජයවර්ධන සහ විජිත් මළගොඩ මහත්වරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් සිරස නිවීස් ෆස්ට් ප්රවෘත්ති අධ්යක්ෂ ගයාන් සම්පන් මහතා මෙසේ ද කීය.
"මාගේ මාධ්ය ජීවිතයට දැනට වසර 20ක කාලයක් පමණ වෙනවා. මා කොළඹ විශ්වවිද්යාලයේ ජනමාධ්ය ඩිප්ලෝමාධාරියෙක්. තවදුරටත් මාධ්ය පිළිබද අධ්යයනය කරනවා. මේ සිද්ධිය පිළිබඳ ප්රවෘත්තිය මාගේ අධීක්ෂණය යටතේ විකාශය වුණා.''
ඉන්පසුව රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ හරස් ප්රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙසේ ද පැවසිය.
ප්රශ්නය-ඔබ අදාළ විඩියෝ පටය නැරඹුවාද?
පිළිතුර -ඔව්..
ප්රශ්නය- එක් වරකට වැඩිය නැරඹුවාද?
පිළිතුර-ඔව්. කිහිපවරක් පරීක්ෂා කළා.
සාමාන්යයෙන් මා දවසකට විඩියෝ පට 30ක් 40ක් පමණ පරික්ෂා කරනවා.ඒවා සාමාන්යයෙන් තබා ගන්නේ දින 7ක කාලයක් පමණයි.
ප්රශ්නය- එය ආයතනයේ ප්රතිපත්තියක් ද?
පිළිතුර-එය ප්රායෝගිකව සිදු කරන ක්රියාවලියක්.
ප්රශ්නය-ඔබේ ආයතනයේ ලිඛිත ප්රතිපත්ති ප්රකාශයක් තිබෙනවාද?
පිළිතුර-ජූඩ් 3 වෙබ් කියලා ප්රතිපත්ති ප්රකාශයක් තිබෙනවා. එය ලිඛිතව තිබෙනවා. සාමාන්යයෙන් අදාළ කාලය තුළ විකාශය කරනු ලබන ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් නැවත පරීක්ෂා කිරීමක් සිදු කරනවා. අපි කටයුතු කරන්නේ ඒ ප්රතිපත්ති රාමුව අනුවයි.
ප්රශ්නය-එය අධිකරණයට ඉදිරිපත් කළ හැකි ද?
පිළිතුරා-අද මා එය ගෙනත් නැහැ. අවශ්ය නම් අධිකරණයට ඉදිරිපත් කළ හැකියි.
ප්රශ්නය-විකාශය වන සෑම ප්රවෘත්තියකම වගකීම ප්රවෘත්ති
අධ්යක්ෂවරයා සතුයි නේද?
පිළිතුර- ඔව්, විකාශය වන සෑම ප්රවෘත්තියකම වගකිව ප්රවෘත්ති අධ්යක්ෂවරයා සතුයි.
ප්රශ්නය-යම් ප්රවෘත්තියක අපහාසාත්මක කොටසක් තිබුණහොත් එය ඉවත් කිරීම ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ වගකීමක් නේද?
පිළිතුර-ඔව්, ප්රවෘත්තිවල අපහාසයක් තිබුණහොත් එය ඉවත් කරනවා. මා නීති විශාරදයෙක් නොවෙයි. අවශ්ය නම් නීති උපදෙස් ලබා ගන්නවා. විශේෂයෙන් අධිකරණයය සම්බන්ධ ප්රවෘත්තිවල දී මේ පිළිඛඳ වැඩි සැලකිල්ලක් දක්වනවා. මේ පිළිබඳ අප පූර්වාදර්ශයක් හැටියට සලකන්නේ එස්.බී. දිසානායක නඩුවයි.
ප්රශ්නය-මේ ප්රවෘත්තිය සම්බන්ධයෙන් කටයුතු කළේ කෙසේද?
පිළිතුර-රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතා මෙම ප්රකාශය සිදු කළේ සියලුම මාධ්ය ආයතනවල නියෝජිතයන් කැඳවලයි. මෙම ප්රවෘත්තිය ජනතාව දැන ගත යුතුයි කියා අපි හිතුවා. රාමනායක මහතා මෙම ප්රකාශය කළේ ජනතාවට දැනගන්නයි. ජනතාවට එය දැනගන්නට සැලසීම මාධ්යයේ වගකීමයි.
ප්රශ්නය-මෙය විකාශය කළේ කවදාද? පිළිතුර 2017 වසරේ අගෝස්තු 21 වැනිදා.
ප්රශ්නය-පුද්ගලයන් දෙදෙනෙකු රන්ජන් රාමනායක මහතාට නඩු දමා කියලා දැන ගත්තතේ කවදාද?
පිළිතුරු-අධිකරණයෙන් සංයුක්ත තැටි ඉල්ලු අවස්ථාව සහ සාක්කි දීම සඳහා සිතාසි නිකුත් කළ අවස්ථාවේදීයි.
ප්රශ්නය-ඊට ප්රථම මේ ගැන දැනගත්තත් නැද්ද?
පිළිතුර-නැහැ
ප්රශ්නය-මෙම නඩුව ගොනු කළ හැටියේම මාධ්ය මගින් විශාල ප්රචාරයක් සිදු කළා නේද? එවිට දැන ගත්තේ නැද්ද?
පිළිතුර-නැහැ. සාමාන්යයෙන් අප ආයතනයෙන් වාර්තාකරුවෙකු ශ්රේෂ්ඨාධිකරණයේ සිදුවන දේවල් වාර්තා කිරිම සඳහා අනුයුක්ත කර තිබෙනවා. විශේෂ අවස්ථාවල දී රන්ජන් රාමනායක මහතා අධිකරණයට පැමිණෙනවා මා දැක තිබෙනවා.
ප්රශ්නය-සාමාන්යයෙන් වීඩියෝ පටයක් විකාශය කරන්නේ සංස්කරණය කිරීමෙන් පසුවද? පිළිතුර ඔව්, ප්රවෘත්තියේ මූලික අර්ථයට හානියක් නොවන පරිදියි එය සිදු කරනු ලබන්නේ .
ප්රශ්නය-රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන්ට ප්රශංසා කළ කරුණුත් මෙම වීඩියෝ පටයේ තිබුණා. ඒවා ඉවත් කළා නේද?
පිළිතුර-මෙම වීඩියෝ පටය සංස්කරණය කර බොහෝ කාලයක් වෙනවා. මේ පිළිබඳ මගේ මතකයක් නැහැ. මෙය වාර්තා කළේ ධනංජය නාරම්බැද්ද නමැත්තායි.
ප්රශ්නය- සංස්කරණයේ දී කපා දැමු කොටස් යළි මතු කිරීමේ තාක්ෂණය මගින් ලබා ගත හැකි නේද?
පිළිතුර-ඔව්.හැබැයි දැනට අප ආයතනයේ සර්වර් අලුත්වැඩියා කරන බැවින් එය කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.
ඉන්පසුව සිරස මාධ්ය ජාලයේ කැමරා ශිල්පී රුවන් ධනුක මහතා සාක්කි දෙමින් මෙසේ පැවසීය.
මා මෙම ආයතනයේ සේවයට බැඳී වසර 8ක් පමණ වෙනවා. ප්රවෘත්ති සාකච්ඡා ආවරණය කිරීම සිදු කරනවා. මෙම සිද්ධියට අදාළ දින අරලියගහ මන්දිරයේ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එය ආවරණය කරන ලෙසත් මට දැනුම් දුන්නා. මා සමග ධනංජය නාරබැද්දත් පැමිණියා. රන්ජන් රාමනායක මහතා මෙම ස්ථානයෙන් එළියට පැමිණියේ අවසානයේ දීයි. ඔහුගේ ප්රකාශය කැමරා ගතකර අදාළ චිපය (Chip) මාධ්ය ආයතනයට ලබා දුන්නා.
නියෝජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පතයේ මෙසේ සඳහන් වේ.
විත්තිකරු ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්ය අමාත්ය ධුරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග්රාමාත්ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක දී මාධ්ය වෙත ලබා දුන් ප්රකාශයක් මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ, ගංගොඩවිල. වලව්වත්ත පාරේ, අංක 43/11 දරන ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා විසින් ශ්රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21 සහ දෙසැම්බර් 14 යන දිනයන්හි අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප්රකාශ පෙන්වා ඇත.
ඒ අනුව අගවිනිසුරු ඇතුළු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශ්වයේ ප්රකාශ අදාළ විඩියෝ පටයේ සඳහන් වන බවය.
ඒ අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්ය අමාත්යවරයා ශ්රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
මෙයින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105.3 වගන්තිය ප්රකාරව ශ්රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්ඛන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉකුත් ජුනි 18 වැනිදා ශ්රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පතක් ශ්රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී. ඒ අනුව විත්තිකාර නියෝජ්ය අමාත්යවරයාට එරෙහි
චෝදනා පත්රය ශ්රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් කියවා බාර දෙන ලදී.
පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා සිය පෙත්සම්වලින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග්රාමාත්යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්ය අමාත්යවරයා මාධ්යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් ලෙස හදුන්වා දී ඇති බවයි.
මෙම ප්රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ හරහා රන්ජන් රාමනායක නියෝජ්ය අමාත්යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
මේ හේතුවෙන් රංජන් රාමනායක නියෝජ්ය අමාත්යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබදව විභාගයක් පත්වා සුදුසු දඩුවම් පමුණුවන ලෙස ද පැමිණිලිකරු ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
නියෝජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන් නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ප්රියන්ත නාවාන මහතා සහ රජයේ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය ද පෙනී සිටියහ. නඩු විභාගය හෙටට (30) කල් දැමිණි.
-රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා-