Showing posts with label Accidentg5. Show all posts
Showing posts with label Accidentg5. Show all posts

Tuesday, April 1, 2025

ලොරියේ ගැටුණු යතුරුපැදියේ සිටි දරුවා මියගියේ මොළයට හානිවීමෙන්

 

 


 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


පෙර පාසලට ගොස් යළි නිවසට එමින් සිටි යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය සිව් හැවිරිදි දරුවාගේ මරණයට හේතුව අනතුර සිදුවන අවස්ථාවේ දී දරුවාගේ හිස කාපට් පොළොවේ ගැටී මොළයට සිදුවූ මොටබල තුවාල බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැවසීය.


මෙසේ මිය ගොස් ඇත්තේ වග, පින්නවල, නො 332/ බී හි පදිංචි සසේන් නිම්හස් හෙට්ටිආරච්චි නමැති සිව් හැවිරිදී පිරිමි දරුවකු බව පොලිසිය කියයි.මෙම දරුවා පෙර පාසල ඇරී සිය මව සමග නිවසට ඒම සඳහා මවගේ මිතුරියකගේ ස්කූටි වර්ගයේ යතුරු පැදියක නැගී පැමිණ ඇති අතර, එම යතුරු පැදියේ පැදිකාරියගේ පෙර පාසල් දරුවා ඇතුළු සිවු දෙනකු පැමිණ තිබේ.


ඒ එන අතරතුරදී පාදුක්ක ලියන්වල ප්‍රදේශයේදී පිටුපසින් පැමිණි ලොරි රථයක් යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව තිබූ අතර, එම අවස්ථාවේදී යතුරුපැදියේ ගමන්ගත් කුඩා ළමයින් දෙදෙනා සහ ඔවුන්ගේ මවුවරුන් ඇතුළු සිවුදෙනා මාර්ගයේ පසෙකට විසි වී තුවාල සිදුව තිබේ.

එම අවස්ථාවේදී පැදිකාරිය සහ පසු පැදිකාරිය අතර ගමන් කළ එක් දරුවකු විසි වී කාපට් අතුරා සංවර්ධනය කර තිබූ මාර්ගයට වැටී හිස කාපට් පොළොවේ ගැටී බරපතළ තුවාල සිදුව සිටි අතර එම අවස්ථාවේදී එම දරුවා හිස් වැසුමක් පැලඳ සිට නොමැති බවට හදිසි මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වී තිබේ.අනතුරින් අනිත් තිදෙනාට සුළු තුවාල සිදුව තිබේ. පසුව මොවුන් ප්‍රතිකාර සඳහා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර එවීමෙන් පසුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා මරණයට පත්ව ඇත.


ඒ අනුව මියගිය දරුවාගේ මෘත දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පණීත සෙනෙවිරත්න මහතා විසින් සිදු කෙරිණි.එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරකින් දරුවාගේ මොළයට මොටබල තුවාල සිදුවීම හේතුවෙන් මරණය සිදුව ඇති බවට හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.


එහිදී තවදුරටත් අනාවරණය වූ කරුණු අනුව යතුරුපැදියක දෙදෙනකු ගමන් කළ හැකි වුවත් අපරීක්ෂාකාරීව හා අනතුරුදායක ලෙස කුඩා දරුවන් දෙදෙනකු ද නංවාගෙන ඉන් එක් දරුවකුට හිස් වැසුමක් හෝ නොමැතිව ගමන් කිරීමෙන් පැදිකාරිය වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන නිසා වහාම ඇය අත්අඩංගුවට ගෙන බල ප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පොලිසියට නියෝග කළේය.මියගිය දරුවාගේ මාපියන් විවාහ වී වසර පහකින් පමණ පසුව මෙම දරුවා උපත ලබා ඇති අතර එම පවුලේ එකම දරුවා ද මොහු බවට කරුණු අනාවරණය වී ඇත.


පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය මව්පියන්ට බාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියේ පොලිස් සැරයන් (47673) වීරසූරිය පරීක්ෂණ මෙහෙයවීය.


Friday, March 5, 2021

විද්‍යුත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකු රැගෙන ධාවනය කළ වෑන් රථයක් අනතුරකට පත්ව කැමරා ශිල්පීයෙකු මරුට

විද්‍යුත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකු රැගෙන ධාවනය කළ වෑන් රථයක් ඊයේ (04දා) අලුයම මාවතගම කර්මාන්තපුර අසලදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ කැමරා ශිල්පීයෙකු ජීවිතක්‍ෂයට පත්ව, රියදුරු ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව මාවතගම පොලීසිය පවසයි.මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, දෙරණ මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියෙකු වන මහනුවර, ගලගෙදර, උල්පතයාය ගමේ පදිංචිව සිටි තිරුපති උදු සමරකෝන් (අවු.24) නමැත්තෙකි.කොළඹ සිට ගෙලිහුල්ඔය බලා වෑන් රථයෙන් ගමන් කර ඇති බවත් මාවතගම කර්මාන්තපුර ප්‍රදේශයේදී වෑන් රථයේ රියැදුරුට නින්දයාමෙන් රථයේ වේගය වැඩිවී මාර්ගය අයින්නේ තිබුණු ලොතරැයි කුකද ගැටී මාර්ගයෙන් ඉවතට පැන නා ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. අනතුරෙන් තුවාල ලැබූ මාධ්‍යවේදිනියක හා මාධ්‍යවේදීයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවත් සුළු තුවාල ලැබූ රියදුරු හා තවත් මාධ්‍යවේදීයෙකු මාවතගම රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාමින්ද්‍ර ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක බස්නායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(කුරුණෑගල - අතුල පී. බණ්ඩාරනායක)

Thursday, February 13, 2020

හැපුණු වාහන 3 ක් පොලිසියෙන් පරීක්ෂා කරද්දී තව 3 ක් හැප්පිලා


දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ වාහන ගමන් පැයක් නවතී 

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පල්ලියද්ද ප්‍රදේශයේ දී වාහන තුනක් අනතුරට ලක් වී තිබූ අවස්ථාවේදී ඒ අසලින් ගමන් කිරීමට උත්සාහ කළ තවත් වාහන තුනක් ද අනතුරට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බව ගොකරැල්ල පොලිසිය පවසයි.


කුරුණෑගල සිට දඹුල්ල දෙසට යමින් තිබූ ලොරියක් දඹුල්ල සිට කොළඹ දෙසට යමින් තිබූ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගමනාගමනයට සිදු වූ බාධා ඉවත් කිරීමට ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ මාර්ගයේ රථවාහන හසුරවමින් අනතුර පිළිබඳ විමර්ශනය කරමින් සිටියදී මේ අසළින් ධාවනය වූ තවත් ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි තවත් ටිපර් රථ දෙකක ගැටීමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී පැයකට ආසන්න කාලයක් ගමනාගමනය ඇන හිටි බව පොලිසිය කියයි. පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දොඹකර හා ආපදා රථ යොදාගෙන මෙම අනතුරට ලක් වූ වාහන මාර්ගයෙන් ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව ගොකරැල්ල පොලිස්ථානයේ පරික්ෂණ මෙහෙයවන උසස් නිලධාරියෙක් පැවසීය.


අන්තරාකාරීව හා අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

-ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩින්-