Showing posts with label cr. Show all posts
Showing posts with label cr. Show all posts

Monday, April 28, 2025

සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය

 


හිටපු පාතාල කල්ලි සාමාජිකයකු වන ගණේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 14 දෙනාගේ හා එම ඝාතන සැලසුම සකස් කළ බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ සියලුම බැංකු ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයට නියෝග කළාය.


මෙම සිද්ධිය සැලසුම් කළ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ඉංග්‍රීසි බසින් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසටද අධිකරණයෙන් නියම විය.එම ඝාතන සිද්ධිය මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුව තිබේද යන්න පිළිබඳව හඳුනාගැනීමට අවශ්‍යව ඇති බැවින් සියලු බැංකුවල තිබෙන එම සැකකරුවන්ගේ පූර්ණ බැංකු ගිණුම් වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දෙන ලෙසට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයට නියෝගයක් නිකුත් කරන ලෙසට හා සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තියට ඉංග්‍රීසි බසින් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස එම අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරිණි.


සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදුකරන විමර්ශනවලට අනුව විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක වුවමනාව මත මෙම ඝාතනය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවද එම අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති දමිදු ලක්‍ෂාන් හා ඔහුට ඒ සඳහා අනුබල දුන් බව කියන මහේෂ් සම්පත් ප්‍රියදර්ශන නමැති සැකකරුවන් දෙදෙනා මේ වන විට වරාය පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද විමර්ශන නිලධාහු අධිකරණය හමුවේ පැවැසූහ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජේලර්වරයා එම සිද්ධියට සම්බන්ධ බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහුට ඇප ලබාදෙන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසංක පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එම සැකකරු පිළිබඳව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.


ලහිරු ප්‍රසන්න ඇතුගල, ජනක උදය කුමාර, හසිත රොෂාන්, දමිදු ලක්‍ෂාන්, දමිත් අංජන නයනජිත්, ජමෝත් ගිම්හාන, චමිදු තිවංක වීරසිංහ, දේවගේ සමන්ති, උදාර සිල්වා ගුණරත්න, නලින් දුෂාන්ත, මනෝජ් උදයකාන්ත හා ජූලියන් මාධවන් යන සැකකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ට ඇප නියම නොකරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඔවුන් මැයි මස 9 දින දක්වා එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වර්ය නියම කළාය.


ඝාතන සිද්ධියට අදාළ හඬ පටයක් පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක් හරහා ප්‍රචාරය කළ බව කියන එහි වැඩසටහන් අධ්‍යක්ෂවරයකුට මෙම මස 9 දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙසටද අධිකරණයෙන් නියම විය.


- කුමුදු උපුල් ශාන්ත


Wednesday, April 9, 2025

බන්ධනාගාර ගතව සිටින සැමියාට ගෙනගිය මෑකරල් වෑංජනයේ හෙරොයින් මත්කුඩු පැකට්ටුවක්

 

 පරිසි කුරුනේරු 


හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින සිය සැමියාට ලබාදීම සඳහා පෙරේදා (07දා) පෙරවරුවේ බත් පාර්සලයක් තුළ සඟවා හෙරොයින් මත්කුඩු රැගෙන පැමිණි තිස් හැවිදි කාන්තාවක් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාර්න් විසින් අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිසිය වෙත භාර දී ඇත.


පෙරේදා (07දා) පෙරවරු 10.40ට පමණ සැකකාරිය විසින් සිය සැමියා වෙත ලබාදීමට රැගෙන ආ ආහාර පාර්සලය අමුත්තන් පරීක්ෂා කිරීමේ පර්යන්තයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි සෝදිසි කිරීමකට ලක්කළ අවස්ථාවේ ආහාර පාර්සලයේ මෑකරල් වෑංජනයක් තුළ මෑකරල් කැබැල්ලක සූක්ෂ්මව සඟවා තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් එකසිය හැටක් අඩංගු පැකට්ටුවක් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිර්ම සඳහා බන්ධනාගාර අධිකාරිවරයා විසින් අනුරාධපුර පොලිසිය වෙත භාර දී තිබේ.සැකකාරිය ඊයේ (08දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිර්පත් කිරීමට නියමිතව තිබිණි.


Friday, September 8, 2023

ලෝක පිරමීඩ ජාවාරමක්



දකුණු ආසියාතික රටවල් ඉලක්ක කරගනිමින් මෙරට සිට ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක මහ මොළකරු ලෙස කටයුතු කළ චීන ජාතිකයකු සහ තවත් චීන ජාතිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (07) නියෝගයක් නිකුත් කළාය. මෙම චීන ජාතිකයන් සිවුදෙනා සහ ශ්‍රී ලාංකිකයා මෙරට සිට සිදුකර ඇති මහා පරිමාණ පිරමීඩ ජාවාරම හේතුවෙන් ඔවුන් විදෙස් ගත වුවහොත් ආරම්භ කළ විමර්ශනවලට බාධා එල්ලවිය හැකි බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. මෙලෙස විදෙස් ගමන් තහනමක් නිකුත් කෙරුණේ බොරැල්ලේ තාවකාලිකව පදිංචිව සිටින සුෂු ක්වීන්, වක්වැල්ල ගාල්ල පදිංචි තෙලිකඩ කංකානම්ගේ තරිදු හසංක, නාරාහේන්පිට, කොළඹ 05 පදිංචි ෂු ජින් ෆා, පාමංකඩ, කොළඹ 06 පදිංචි යන් හුයි මායි සහ කෝනාර් යන අයවලුන්ටය. 

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති ‘සුෂු ක්වීන් නමැති චීන ජාතිකයා මෙරට කිසිදු ව්‍යාපාරයක් සිදුනොකර දිනකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වියදම් කර කැසිනෝ සූදු ක්‍රීඩාවේ යෙදෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම චීන ජාතිකයා කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවල නිවාස 08ක් බද්දට ගෙන එහි චීන ජාතිකයන් රඳවා තබා ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක උපයෝගී කරගනිමින් මෙම ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම සිදුකරමින් සිටින බවත්, ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම කරුණු හෙළි වූ බවත් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට සිය බී වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

චීන ජාතිකයා බම්බලපිටිය සහ නාරාහේන්පිට ප්‍රදේශවල කල්බදු පදනමට ලබාගෙන තිබූ නිවාස හතරක් සෝදිසියට ලක් කිරීමේදී එහි රැඳී සිටි චීන ජාතිකයන් 28 දෙනකු ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක ද සමග පැන ගිය බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කළේය. එම නිවාස සෝදිසි කිරීමේ දී කසළ බඳුනක තිබී ‘රෙඩ්මි’ වර්ගයේ ජංගම දුරකතන 10ක් ද, පසුව කරන ලද විමර්ශනවලදී ජංගම දුරකතන 30ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 07ක්ද අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

චීන ජාතිකයා මෙරට සිට මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින ඇතුළු දකුණු ආසියාතික රටවල පිරමීඩ වංචා සිදුකරමින් එම මුදල් උණ්ඩියල් ක්‍රමයට විදෙස්ගත කරන බවත් ඔවුන් නම්න් මෙරට කිසිදු ව්‍යාපාරයක් හෝ බැංකු ගිණුමක් බවත් නොමැති බවත් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම චීන ජාතිකයන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතන සහ ලැප්ටොප් දුරකතනවල ඇති දත්ත සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී වාර්තා කැඳවිය යුතුව ඇති බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

නිමන්ති රණසිංහ