Showing posts with label LOCALG7. Show all posts
Showing posts with label LOCALG7. Show all posts

Monday, March 4, 2024

නාමල්ගේ දිවුලපිටිය රැස්වීමට පොහොට්ටු මන්ත්‍රී 7 ක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පෙරේදා (2) දිවුලපිටියේදී පැවැති දසබල සේනා වැඩසටහනට ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකුම සහභාගි නොවීම විශේෂ සිද්ධියක් විය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලිබල රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා විසින් මෙම හමුව සංවිධාන කර තිබිණි.

මෙම රැස්වීමට සහභාගි වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජානක තිස්ස කුට්ටිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු පමණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 13 දෙනකු පත්වුවත්, ඒ අතරින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, නාලක ගොඩහේවා සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු මේ වන විට වෙනත් දේශපාලන මතවාද සමග කටයුතු කරති.

මෙම රැස්වීමට දිවුලපිටිය මෙන්ම දිස්ත්‍රික්කය පුරා විසුරුණු පිරිස් ද පැමිණ සිටිනු දැකගත හැකි විය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසීමේදී දැනගන්නට ලැබුණේ, දිවයින පුරා ක්‍රියාත්මකව පවතින සංවර්ධන ව්‍යාපෟතිවලට අදාළව ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකට සම්බන්ධව සිටි බවයි.


මීරිගම විශේෂ -පුෂ්පකුමාර මල්ලවආරච්චි


කරාපිටිය දොස්තරගේ මරණය අබිරහසක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුගේ දේහය සිය නිවෙසේ තිබියදී හමු වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ, ගාල්ල බටගන්විල තලගහහේන පටුමගේ පදිංචිව සිටි, පරණ පල්ලියගුරුගේ ප්‍රභාත් චාමර සම්පත් නමැති, 37 හැවිරිදි, වෛද්‍යවරයකු බව පොලිසිය කියයි.

මියගිය වෛද්‍යවරයාගේ බිරිය ද කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි. දෙදෙනා මෙම නිවෙස කුලියට ගෙන පදිංචිව සිට ඇති බවත්, දෙදෙනා අතර නිතර ආරවුලක් සිදුව ඇති බවත් විමර්ශන වලදී හෙළි වී ඇත. 

වෛද්‍යවරයා නිවෙසේ සිටියදී බිරිය පෙරේදා තම මවුපියන්ගේ නිවෙසට ගොස් පැමිණි අවස්ථාවේදී වෛද්‍යවරයා බිම වැටී සිටිනු දැක පැමිණිල්ලක් කළ බව පොලිසිය පවසයි.

මෙය දිවි නසා ගැනීමක් දැයි පරීක්ෂා කර බලන බව පොලිසිය කියයි.

මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.

ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



උණවටුන - ඩී.ජී. සුගතපාල


කැසිනෝ ගසා පැරදිලා කෝටිපති ව්‍යාපාරික දෙදෙනා මත්ද්‍රව්‍ය විකුණලා

කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ දෙදෙනා ඩුබායි රටට පලා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංක සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරම කලක සිට ජයටම කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස ප්‍රදේශයේ කොන්ක්‍රීට් නිෂ්පාදනාගාරයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු සහ ජපානයේ සිට පැමිණි බොරලැස්ගමුවේ පදිංචිව සිටින කෝටිපති ව්‍යාපාරියෙකි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

ගල්කිස්සේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලක්ෂ පහ හමාරක හෙරොයින් ග්‍රෑම් 8ක් සහ මිලිග්‍රෑම් 810ක් සමගය.

කැසිනෝ සහ සූදු ක්‍රීඩාවට යොමු වී ව්‍යාපාර බංකොළොත් වීමෙන් පසුව බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බව ඔහු ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත.

බොරලැස්ගමුවේ සැකකරු වසර ගණනාවක් ජපානයේ රැකියාව කර උපයාගත් නිවාස, යානවාහන, ව්‍යාපාර ඇතුළු සියලුම දේ කැසිනෝ සූදුවෙන් විනාශ වූ බව ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත. 

එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 208ක් සොයගෙන ඇත.

ව්‍යාපාර බංකොළොත් වීමෙන් පසුව කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි තැන, දෙදෙනා බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇතැයි ද හෙළි වී ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ, උප පොලිස් පරීක්ෂක ජයලත්, පොලිස් සැරයන් (38713) ක්‍රිෂාන්ත, කොස්තාපල්වරුන් වන (89059) පෙරේරා, (90226) බුද්ධික, (92896) අකිල, (102088) දේශාන්, (104684) තිලකරත්න, (105103) ප්‍රනාන්දු, කොස්තාපල් රියැදුරන් වන (105536) මල්ලවාරච්චි සහ (89631) අබේරත්න යන නිලධාරීහු මෙම වැටලීම කළහ.



ගයාන් සූරියආරච්චි


රට නරුම තැනකට පත්ව ඇත්තේ ජාතික සම්පත් ගැන කිසිම හැඟීමක් නැති නිසයි

රට නරුම තැනකට පත්ව ඇත්තේ ජාතික සම්පත් ගැන කිසිම හැඟීමක් නැති රටට ආදරයක් නැති පාලකයන් නිසා බවත්, සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන අන්දමට කටයුතු කරමින් ජාතික සම්පත් විකුණා දැමීම බවත් ජාතික ජනබල වේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගම්පහදී පැවසීය.

" නව විදුලිබල පනතින් රට අනතුරේ , විකුණන්න ඉඩ නොදෙමු. රැකගන්න පෙළ ගැසෙමු " යන මැයෙන් ගම්පහ පැවති සම්මන්ත්‍රණයේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

'විදුලිබල මණ්ඩලය පමණක් නොව ආයතන පනස් දෙකක් විකුණා දැමීමට පියවර ගනිමින් සිටිනවා. මින් ආයතන ගණනාවක්ම පාඩු ලබන තත්ත්වයට පත් කළා. බංකොලොත් කළා. කවුද කළේ. මේ ආයතනවලට දේශපාලන පත්වීම්දී පුරවා , අන්තිමට කියනව සේවකයන් වැඩියි. පඩි ගෙවන්න බැහැ කියල. ශ්‍රී ලංකන් ආයතනයත් පාඩුයි කියා විකුණනන්න යනව. මේ ආයතනය පාඩු ලැබීමට වගකියන්න ඕන සේවකයන්ද ? ඇත්තටම ශ්‍රී ලංකන් පාඩු ලැබීමට හේතුව සේවකයින්ද ? නැහැ. අට පාස් මස්සිනා දාල මේක බංකොලොත් කරල නැති බංගස්තාන කළා. කෝටි 2500 ක් පමණ ඒකාලෙදි අවුරුද්දකට පාඩුයි.

විදුලි බල මණ්ඩලයත් පාඩු ලබන්න හේතු රාශියක් තිබෙනව. සේවකයන්ගෙ වරදින් නෙවෙයි. කෝටි දෙසීයක හිඟ විදුලි බිල් කපාහැර තිබෙනව.මේවා අය නොකර අද වනවිට බිල් ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ දහයකගේ පමණ විදුලිය විසන්ධි කර තිබෙනව. පන්සල්වලත් ලයිට් කැපුව. කිසිම හිතක් පපුවක් නැතිව. ආයතන ලාභ ලබන අන්දමින් පවත්වාගෙන යන අන්දම අපි පෙන්වාදී තිබෙනව. අපි මිල්කෝ ආයතනයත් අවුරුද්දක් කරල ලාභ ලබල පෙන්නුව.

මේ නරුම තැනට ඇවිත් තියෙන්නේ රටට ආදරයක් නොමැති කමයි. ජාතික සම්පත් ගැන කිසිම හැඟීමක් නැති පාලකයන් නිසයි. ඇත්තටම සිදුව ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියට කටයුතු කරමින් අපේ ජාතික සම්පත් මුලුමනින්ම විකුණා දැමීමක්. ජනතාව 2019 ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නෙ මේ සඳහා නොවෙයි. ගෝඨාභයට ඡන්දය දුන්නෙ මොකටද ? ජාතික ආරක්ෂාව සහ ජාතික සම්පත් ගැන හිතල. මහින්ද රාජපක්ෂ කිව්වේ, මිලදී ගන්න එපා. ගන්න අය පරිස්සම් වෙන්න. අපි ආවට පස්සෙ සියල්ලම ආපසු ගන්නව. ඒ නිසා ගන්න එපයි කිව්ව. එහෙම කියපු රාජපක්ෂලා, ඒ වෙනුවෙන් ඡන්දය දීපු ජනතාවගේ මතය පාවා දෙමින් තමයි මේ දේ සිද්ධ වෙන්නෙ. ඒ ජන මතයට පටහැනි, ජනමතයට මුළුමනින්ම එරෙහි ක්‍රියාවක් තමයි මේ සිද්ධ වෙන්නෙ.”

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් - රංජන් ජයලාල් මහතා :-

" ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම බිලියන 710 යි. ඉදිරි කාලවකවානුවට වියදම් ලෙස පෙන්වා තිබෙනව , බිලියන 688 ක් . සම්ප්‍රේෂණ පද්ධතියට බිලියන 150 ක්. ප්‍රශ්ණය ඇත්තේ මෙහි බිලියන දෙසීය ගණනක් සඟවා තිබෙනව. ඇයි මේ. ආණ්ඩුවට වැලේ වැල් නැති නිසා, එළඹෙන මැතිවරණ කාලෙට ග්‍රාමීය විදුලි යෝජනා ක්‍රම අටවා ඡන්දය ලබා ගැනීම සඳහා කටයුතු කිරීමටයි.”



ගම්පහ -තිලකරත්න දිසානායක.


අඩුම කාලයකින් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ 13 හැවිරිදි හරිහරන්ගෙන් ලෝක වාර්තාවක්

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබීමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් විය.

එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ. ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා තලෙයිමන්නාරමට කිලෝමීටර් 31.5ක් දුර ප්‍රමාණයක් අඩුම කාලයක් වන පැය 9යි විනාඩි 32යි තත්පර 54 කාලයක් තුළ පිහිනා මෙම වාර්තාව තබා තිබේ. මීට පෙර තිබූ ලෝක වාර්තාව බිඳදමමින් මෙම වාර්තාව තැබූ ළාබාලතම සිසුවා ලෙසද ධන්වන්ත් සිසුවා ලෝක වාර්තා ඉතිහාසයේ නව පිටුවක් පෙරලීමද විශේෂත්වයක් විය. මෙම සිසුවා තැබූ වාර්තාව හා මීට පෙර තබා තිබූ වාර්තාව අතර කාලය විනාඩියකි. 

බෝට්ටුවකින් ධනුෂ්කාඩි වරායට ගිය මෙම සිසුවා ඉකුත් මාර්තු 01දා අලුයම 04.15ට සිය ගමන ආරම්භ කර පස්වරු එකයි 47යි තත්පර 54කින් මෙම ගමන අවසන් කළේය. වාර්තාව තැබූ සිසුවා පිළිගැනීමට හින්දු විදුහලේ විදුහල්පති එන්. පරමේෂ්වරන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා හිටපු විදුහල්පතිවරු තලෙයිමන්නාරම් වෙරළට පැමිණ සිටියහ.

මෙම සිසුවාගේ පුහුණුකරු වූ දැනට පෝක් සමුද්‍ර සන්ධිය හරහා එගොඩ මෙගොඩ පිහිනා ලෝක වාර්තාවක් තබා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතාද මෙම සිසුවාට ධෛර්යයක් හා ආරක්ෂාවක් ලබා දෙමින් සිසුවා සමග පිහිනමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පුහුණුකරු කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතා පැවැසුවේ, මෙම සිසුවා තමන්ට හමුවී ඉතා කෙටි කලක් තුළ පුහුණුවීම් සිදුකළ බවයි. මෙම සිසුවා මූලික පුහුණුව ලබා ගෙන තිබුණේ ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් බව කී පුහුණුකරු, තමන් ත්‍රිකුණාමලයට ගොස් මෙම කටයුතු සිදු කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ලබා දුන් සහායද අමතක නොකරන බව පැවසීය.

මෙම ලෝක වාර්තාව බෝට්ටු ආධාරයෙන් අධීක්ෂණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන විනිසුරු ධනංජය ද සිල්වා මහතා ඇතුළු විනිසුරුවරුන් හයදෙනෙකු විසිනි.


ත්‍රිකුණාමලය - චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව


ව්‍යාපාරිකයෙකුගේ දියණියකට පහර දුන්නැයි චෝදනා ලද ඌව පළාත් ආණ්ඩුකාරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී පලා ගිහින්

කොළඹ 6 හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝට්පති ව්‍යාපාරික දියණියකට පහරදී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුතෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමගම සැකකරු පලා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි.

පහර කෑ එම කාන්තාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත්වී තිබේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි 34 හැවිරිදි කාන්තාවක් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක්ද සැකකරුට එරෙහිව ලබා ගත් බව පොලීසිය පවසයි.

සැකකරු කතරගම ප්‍රදේශයට ගොස් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැකකරු රැඳී සිටින බවට අනාවරණය වීමෙන් පසු එම හෝටලය වැටලූ පොලීසිය, එය පරීක්ෂා කළද ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව එහි රථ ගාලේ තිබී ඔහුගේ සුඛෝභෝගී ජීප් රථය හා ඒ තුළ තිබී ජංගම දුරකථනයද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගන ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.


බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


ප්ලේන්ටි, කිරි තේ, බත්, ෆ්‍රයිඞ් රයිස්, කොත්තු හා කෙටි ආහාරවල මිල ඉහළට

සුළු පරිමාණ ආපනශාලා හා අවන්හල් පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන නිසා එම ස්ථානවලින් අළෙවි කරන ප්ලේන්ට්, කිරි තේ, බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා කෙටි ආහාරවල මිල ඊයේ (03දා) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

විදුලි ගාස්තුව හා ජල ගාස්තුව ඉහළ අගයක් ගැනීම නිසා හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා කුඩා පර්මාණ ආපනශාලාවලින් හා අවන්හල්වලින් 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් ගෙවීගිය වසරක පමණ කාලයක් තුළදී වැසී ගොස් තිබෙන බවත්, ඒවා තවදුරටත් වැසී යමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.

වෙළෙඳ පොළ තුළ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190කට අළෙවි කළත් කොත්තු රොටි, පරාටා ඇතුළු කෙටි ආහාර සකස් කරන තිඟු පිටි කිලෝවක් රුපියල් 220ක් හෝ ඊට වැඩි මිලක් ගෙන තිබෙන බවත්, සතොස සීනි කිලෝවක් රුපියල් 275කට අළෙවි කළත් සාමාන්‍ය සිල්ලර වෙළෙඳ සැලක සීනි කිලෝවක් රුපියල් 310ක් හෝ 320ක මිලක් ගෙන තිබෙන බවද පැවසීය. 

කීරි සම්බා සහල් කිලෝවකට රුපියල් 260ක පාලන මිලක පැවැතියත් එම මුදලට කීරි සම්බා මිලදී ගැනීමට නොමැති බවත් කීරි සම්බා කිලෝවක් රුපියල් 350ක් පමණ මිලක් ගෙන තිබෙන බවත් මේ ආකාරයට සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කළේය. 

මේ නිසා රුපියල් 30 හෝ ඊට ආසන්න මිලකට අළෙවි කරන ප්ලේන්ටියක මිල රුපියල් 05කිනුත්, රුපියල් 100කට අළෙවි කරන කිරි තේ එකක මිල රුපියල් රුපියල් 10කිනුත් රුපියල් 300ක් හෝ ඊට ආසන්න මුදලකට අළෙවි කරන බත් පාර්සලයක් රුපියල් 25කිනුත් හා රුපියල් 500ත් 700ත් අතර මිලකට අළෙවි කරන ෆ්‍රයිඩ් රයිස් හා කොත්තුවක මිල රුපියල් 50කිනුත් ඉහළ දමා තිබෙන බවද පැවසීය.

කොත්තු හා රයිස් ගතහොත් රුපියල් දහසකට වැඩි මුදලකට අළෙවි කරන ස්ථාන පවතින බවත්, මීට අමතරව ප්ලේන්ටි ගතහොත් රුපියල් 50ක් වැනි මිලකට අළෙවි කරන ස්ථාන පවතින බවත්, මේ ආකාරයට ඉහළ මිලකට අළෙවි කරන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල ඉහළ දමා නොමැති බවද සඳහන් කළේය.


ඉන්දික හේවාවිතරණ


ලංවිමෙන් නිවැරදි දත්ත ලබාදී නෑ විදුලි ගාස්තු අඩුකිරීමේ තීන්දුව කල් යයි

විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව විදුලිබල මණ්ඩල බලධාරීන් නිවැරදි ලෙස දත්ත ලබා නොදීම නිසා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීන්දුවක් ගැනීමට මහජන උපයෝගිතා කොමිසමට තවමත් නොහැකි වී තිබෙන බව එම කොමිසමේ සේවකයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (04දා) මහජන උපයෝගිතා කොමිසම රැස්වන බවත් කොමිෂන් සභාව විසින් සිදුකළ මහජන උපදේශනයට අනුව හා මහජන උපයෝගිතා කොමිසමේ දත්ත විශ්ලේෂණය අනුව විදුලි ගාස්තුව 25%ත් 33%ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවද සේවකයෝ පෙන්වා දෙති.

එහෙත් විදුලිබල මණ්ඩලය පළමු වරට ඉදිරිපත් කළ යෝජනාවට අනුව විදුලි ගාස්තුව පොදුවේ 3.4%කින් අඩු කිරීමට යෝජනා කර තිබූ අතර, දෙවන වර විදුලිබල මණ්ඩලය විසින් 16%කින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබුණි.

එම අදාළ යෝජනා තුළ පිළිගත නොහැකි ගණනය කිරීම් ඉදිරිපත් කර තිබීම නිසා අදාළ දෝෂ තත්ත්වයන් නිවැරදි කරන ලෙසට අවස්ථා දෙකකදී විදුලිබල මණ්ඩල බලධාරීන්ට දැන්වූ බවත් එහෙත් ඒ සඳහා ඊයේ (03දා) දිනය වන තෙක් ප්‍රතිචාර නොලැබුණ බවද මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවකයෝ පෙන්වා දෙති.

විදුලිබල මණ්ඩලය නිවැරදි ලෙස දත්ත ලබා දීමට කටයුතු නොකළහොත් මහජන උපදේශනයෙන් හා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දත්ත විශ්ලේෂණයෙන් ලබා ගත් දත්තවලට අනුව සකස් කරන විදුලි ගාස්තුවක් අඩු කිරීම නියමිතව තිබෙන බවද වාර්තා වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා අද කොමිෂන් සභාව රැස්වන අතර, පවතින ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභා බලධාරීන් පසුගිය 01වන දින විදුලිබල මණ්ඩල බලධාරීන් සමග සාකච්ඡා කළත් එම සාකච්ඡා පවා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.


ඉන්දික හේවාවිතාරණ


Friday, March 1, 2024

රිය අනතුරකින් මිය ගියැයි පැවසුණු කාන්තාව සැමියා විසින් ඝාතනය කර ඇති බව හෙළි වෙයි.

බිරිඳගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කර, රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල්ගත කළ බවට සැකපිට ඇගේ සැමියා කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

බදුරලිය, මාරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය කීය. 

සැකකරු 2023 අප්‍රේල් 10දා රාත්‍රී සිය බිරිඳ වන එමි.බී කසුති දුලීකා (30) හැවිරිදි එක්දරු මව ත්‍රිරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සඳහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබිණි.

ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2023 මැයි මස 7දා මිය ගොස් ඇති බව පොලීසිය කීය. 

ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයන් කළ පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පවැසීය. 

මොට ආවේගී බලවේගයකින් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් කාන්තාවගේ මරණය සිදුව ඇති බවට විශේෂඥ අධිකරණයට වෛද්‍ය නිලධාරීගේ වාර්තාව අනුව සටහන්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි. 

කළුතර අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



පානදුර සුමින් පොතුපිටිය


මන්ත්‍රී සල්ලිවලින් පාසල් ගේට්ටු එපා: පුත්තලමේ අලි රහිම්ට වයඹ ආණ්ඩුකාරගෙන් අවවාද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්කර ඇති ප්‍රතිපාදනවලින් පාසල්වල දැවැන්ත පිවිසුම් දොරටු හැදීමට පෙර ඊට වඩා ජනතාවට වැදගත් කටයුතු කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට අවවාද කළේය.

ඔහු මෙම අවවාදය කළේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායා දුන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති මෙම රැස්වීමට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් වන අශෝක ප්‍රියන්ත, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ද පළාත් ප්‍රධාන ලේකම් පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

ආණ්ඩුකාරවරයා මෙහිදී අලි සබ්රි මන්ත්‍රීවරයා අමතමින් මෙසේ කීය.

මන්ත්‍රීතුමා පාසල්වල ප්‍රධාන පිවිසුම් හදන්න විශාල මුදලක් වැය කරන්න එපා. මොකද එයට වඩා විශාල වැඩ කොටස් පාසල්වල තිබෙනවා. පාසල්වල ඔය හදන විශාල ගේට්ටුවලට අති විශාල මුදලක් වැය වීම අපරාධයක්. ඒ නිසා මේ ගේට්ටු අතහැරලා වෙනත් දෙයකට මුදල් යොදවන්න.


අලි සබ්රි රහිම් මහතා:-

අපේ පාසල් කාටවත් පේන්නේ නැහැ. කවුරුත් දැක්කත් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා හුඟ දෙනෙකු මගෙන් ඉල්ලා සිටිනවා පාසල වැඩිපුර පෙනෙන ආකාරයට විශාල ගේට්ටුවක් දාලා ලොකුවට පාසලේ නම ගහලා දෙන්න කියලා. මේ සල්ලි මට ලැබෙන මන්ත්‍රී ප්‍රතිපාදන.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ වෛද්‍ය රාජ් කුමාර් මහතා:- 

ආණ්ඩුකාරතුමා අපේ දිස්ත්‍රික්කයේ පාසල් බහුතරයක සනීපාරක්ෂක තත්වය ඉතාම පහළ තිබෙන්නේ. ඒ කියන්නේ බහුතරයක් පාසල්වල වැසිකිළි භාවිත කරන්න බැරි තත්වයක් උදාවෙලා. ඒ වැසිකිළි ටික හදලා දෙන්න. මේ විශාල ගේට්ටුවලට වඩා ඒක වටිනවා යැයි කීය.



ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ 


පී.එච්.අයි. ඝාතනයේ යතුරුපැදිය හමුවෙලා

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා ඝාතනය කළ ඝාතනයක් පැමිණියේ යැයි සැක කෙරෙන යතුරු පැදිය ඌරගස්මංහන්දිය හොරවල කටවල්පහ ප්‍රදේශයේ බෝක්කුවක් අසල ගිනි තබා විනාශ කර තිබිය දී ඊයේ (29) දහවල් සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය කියයි.

මේ යතුරුපැදිය ඊයේ (29) අලුයම් කාලයේ ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මේ යතුරු පැදියට ගිනි තැබූ පුද්ගලයන් සොයා ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය කියයි.

ඝාතකයන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා ඝාතනයට වෙඩි තබා ඌරගස්මංහන්දිය දක්වා පැමිණෙනු මග දෙපස සී.සී.ටී.වී දර්ශන වලින් පෙනී ගිය බවද ඒ අනුව ඝාතනයක් ඌරගස්මංහන්දිය ප්‍රදේශයට පැමිණ යතුරුපැදිය ගිනි තබා පලා යන්නට ඇතැයි සැක කරන බවද පොලිස් නිලධාරියෙක් කීය.

මේ ඝාතනයට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැති බවත් ඝාතනයේ මුල සුල සොයා ගැනීමට මග දෙපස සී. සී.ටී.වී. කැමරා පද්ධති සියයක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.



 ගයාන් සූරියආරච්චි, කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, ඇත්කදුර ජනත් ද සිල්වා සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


මග දිගට රණ්ඩුවෙවී ආ බස් දෙකට ත්‍රීරෝදයක් මැදිවි රියදුරා මරුට

දෙහිවල තරුණ බෞද්ධ සංගමය අසල ඊයේ (29) බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවැසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස, ටෙම්පල් පාර පලවන හරස් පටුමග පදිංචිව සිටි ත්‍රිරෝද රථ රියැදුරකු වන දෙහිවලගේ ඇන්ටන් ක්‍රිශාන්ත නම් (56) හැවිරිදි විවාහකයෙකි.

අනතුර ඊයේ (29) දින පෙ.ව.7.35 ට පමණ සිදු වී තිබුණු අතර ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 හා 155 දරන බස්රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇති බවත් පොලීසිය කියයි.

මෙම බස් රථ දෙක ගල්කිස්ස දෙස සිට මාර්ගයේ තරගයට ධාවනය කරමින් රණ්ඩු වෙමින් පැමිණ ඇති අතර, දෙහිවල මංසන්ධියේ ප්‍රධාන වීථි සංඥා පුවරුව පසුකර බිම් මාර්ගයෙන් කොළඹ දෙසට ධාවනය කරමින් එකිනෙක ඉස්සර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එම මාර්ගයේම පැමිණි ත්‍රිරෝද රථය ඉදිරියෙන් ගමන් කළ බස් රථයට දකුණු පසින් ගමන් කර තිබේ.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයද බස් රථ දෙකට මැදිවීමෙන් රියැදුරු බරපතළ තුවාල ලබා රථය තුළම මිය ගොස් සිටියදී දෙහිවල පොලිස් රථවාහන අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්. ලලිත් මහතා ඇතුළු නිලධාරීන් වහාම ත්‍රිරෝද රථයක සිටි පිරිස බස්සවා කඩිනමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත පිටත් කරනු ලැබූවත් ඒ වනවිටත් රියැදුරා මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.

මෙම ත්‍රිරෝද රථ රියැදුරු තම බිරිඳ සමග පැමිණ බස් නැවතුමෙන් බස්සවා ඉදිරියට මීටර් කිපයක් ගියපසු මෙම අනතුර සිදු වී ඇති බැවින් ඇයගේ ජීවිතය බේරී ඇති බවත් පොලීසිය කියයි.

මෙම සිදුවීමට අදාළ කොළඹ- මොරටුව බස් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද පොලිසිය පැවැසීය.

දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්. ලලිත්. පොලිස් කොස්තාපල්වරුන් වන 82495රසික, 99120 බණ්ඩාර යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.



දෙහිවල එච්.එම්. ධර්මපාල



Thursday, February 29, 2024

ලෙඩ සුවකරනවා කියා පිරිමි දරුවන්ට අතවර කළ සිවුරු දරන්නකුට මාංචු

ලෙඩ සුව කරන බව පවසා බාල වයස්කාර පිරිමි ළමයින් ගෙන්වාගෙන තෙල්‍ සාත්තු කරන මුවාවෙන් කලක සිට ලිංගික අතවර කිරීමට පුරුදුව සිටි බව කියන අසපුවක හිමිනමක බව කියන අයෙකු පෙරේදා (27) දා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයක දී මෙම ශ්‍රමණවේශධාරියා ප්‍රදේශයේ මව්පියන් රවටා බාල වයස්කාර දරුවන් ගෙන්වාගෙන ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකිරීම නිසා සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි බවත් පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ අසපුවක් පවත්වාගෙන යන (50) හැවිරිදි ශ්‍රමණවේශධාරියකු බවද පොලීසිය කියයි.

නිවසක් කුලී පදනම මත ලබාගෙන අසපුවක් පවත්වාගෙන යමින් එහි ආගමික වතාවත් සිදු කරමින් ප්‍රදේශයේ ජනතාව තුළ ප්‍රසාදයක් දිනාගෙන ඒ හරහා සුව කළ නොහැකි රෝග සුව කරන බව පවසමින් විවිධ මාදිලියේ ප්‍රතිකාර සිදුකර තිබෙන බව පොලිසිය කළ පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

ඒ සඳහා ප්‍රාණයට ප්‍රාණයක් අවශ්‍ය බව රෝගියාගේ ඥාතීන්ට පවසා එම ප්‍රාණය වයස අවුරුදු 15ට අඩු රූමත් පිරිමි ප්‍රාණයක් විය යුතු බවද පවසමින් නිවෙස්වල බාල වයස්කාර පිරිමි දරුවන් ගෙන්වාගෙන දින දෙක තුන රඳවාගෙන තිබෙන බව ද පොලීසිය කියයි. 

ඒ අනුව අවුරුදු 15ක වයසැති දරුවන් දෙදෙනකුට ඇතිව තිබූ රෝගී තත්ත්වයක් සුව කිරීම සඳහා මීට දින දෙකකට පෙර මාපියන් එම අසපුවට දරුවන් දෙදෙනා කැඳවාගෙන ගොස් හිමිනම හමු වූ අවස්ථාවේ දී පවසා ඇත්තේ දින දෙක තුනක් නවතාගෙන ප්‍රතිකාර කළ යුතු බවයි.

 පසුව දරුවන් දෙදෙනා අසපුවේ නවතා සිටිය දී සැකකාර හිමිනම මෙසේ ලිංගික අතවර සිදුකර ඇති බවත් ඒ බව දරුවන් දෙමාපියන්ට දැන්වීමෙන් පසුව හෝමාගම පොලිසියේ සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. 

සැකකාර ශ්‍රමණවේශධාරියා විසින් තවත් පිරිස් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රමණ වේශධාරියා ඊයේ (28) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර බාල වයස්කාර දරුවෝ දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ කඩුවෙල බුද්ධික කුමාරසිරි


කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් ගැලවූ CT ස්කෑන් යන්ත්‍රයට අලුත් එකක් තවම නෑ

අලුතින් CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බව පවසා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ තිබූ CT ස්කෑන් යන්ත්‍රය ගලවා ඉවත්කොට අදට (29දා) මාසයක් ගතවී තිබෙන නමුත්, මෙතෙක් නව යන්ත්‍රයක් ලබාදී නොමැති බව රෝහල් සේවකයන් සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සහ විශේෂිත ස්නායු ශල්‍ය ඒකකයේ රෝගීන්ගේ CT ස්කෑන් පරීක්ෂණ සිදුකරමින් තිබූ ක්‍රියාකාරS තත්ත්වයෙන් යුත් යන්ත්‍රය ජනවාරි 29වෙනිදා සිට පරීක්ෂණ කටයුතු නවතා දමා ගලවා ඉවත් කළ බවද පෙන්වා දෙයි. නව CT යන්ත්‍රය මේ වනතුරුත් ලංකාවට ගෙනැවිත් නොමැති අතර, යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත්, මෙම යන්ත්‍ර දෙකම ජපානයෙන් ගෙන්වීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වන බව රෝහල් සේවකයෝ සඳහන් කරති.

නව යන්ත්‍රය රෝහලට ගෙන ඒමට පෙර මෙසේ ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ යන්ත්‍රය කඩිමුඩියේ ගලවා ඉවත් කිරීම බරපතළ ගැටලුවක් බවත්, සාමාන්‍යයෙන් යන්ත්‍රයක් ගලවා ඉවත් කිරීම දින කිහිපයක් තුළ සිදුකළ හැකි පසුබිමක මෙම යන්ත්‍රය ගලවා ඉවත් කිරීමට තීරණය කර උපදෙස් ලබා දුන් නිලධාරීන් කවුදැයි සොයා බලන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද රෝහල් සේවකයෝ සඳහන් කරති.

මේ වන විට එම ඒකකයේ රෝගීන්ගේ ස්කෑන් පරීක්ෂණ රෝහල තුළ වැඩි දුරකින් පිහිටුවා ඇති CT ස්කෑන් යන්ත්‍රයක් භාවිතාවෙන් සිදුකරන බවත්, මොළය සහ ස්නායු පද්ධතියේ ඉතා සංකීර්ණ ශල්‍යකර්මවලට භාජනය කළ රෝගීන්, දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්, බරපතළ හදිසි අනතුරුවලට ලක් වූ රෝගීන් දුරබැහැර ඒකකයකට ප්‍රවාහනය කරමින් scan පක්ෂණ සිදුකිරීම රෝගී ජීවිත තර්ජනයකට ලක්කිරීමක් බවද ඔවුහු පෙන්වා දෙති.


ඉන්දික හේවාවිතාරණ


බලය බෙදීමේදී පොලිස් බලතල හැර සෙසු බලතල ලබාදීමට සූදානම්

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (28දා) පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ආගමත්, සංහිඳියාවත් අතර තිබෙන සම්බන්ධතාව අප හොඳින් දන්නවා. ජාතිවාදයේ මෙන්ම ආගම්වාදයේ අත්දැකීම් අපට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අප බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වීමෙන් පසු සහජිවනය පිළිබඳ අපේ අවධානය යොමුව තිබෙනවා. සහජීවනය ගොඩනැගීමේ දී සියලු ආගමික නායකයන්ට ප්‍රධාන වගකීමක් පැවර් තිබෙනවා. අපගේ සිතුවිලි පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතුයි. 

දේශපාලනඥයන්ගේ සිතිවිල්ල නම් බලය ලබා ගැනීමයි. ආගමික නායකයන්ගේ සිතිවිල්ල නම් එම ස්ථානවල රැඳී සිටීමයි. මේ සියල්ලේ කෙටි මාර්ගය තමයි ජාතිවාදය සහ ආගම්වාදය. 1930 සිටම අපේ රට තුළ මෙය සිදුවුණා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කුමක්ද කියා මා අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ.

දැන් යුදමය තත්ත්වයක් නැති නිසා රටේ දේශපාලන ප්‍රශ්න විසඳෙමින් තිබෙනවා. එබැවින් අප සහජිවනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපි පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව කතා කරනවා. කරු ජයසූර්ය මහතා කථානායකවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එම කාරක සභාව පත් කළේ 2018 මාර්තු මාසයේ මුස්ලිම් ජනතාව සම්බන්ධව ඇති වූ ගැටුම්වලටත්, 2017 වසරේ ගාල්ලේ ඇති වූ ගැටුම්වලටත් ඒ වගේම 2014 වසරේ බේරුවල සිදුවු ගැටුම්වලටත් අදාළවයි. එම ප්‍රශ්න විසඳීම සඳහා මෙම තේම්කාරක සභාවලින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එම යෝජනාවලට අප සියලුදෙනාම එකඟ වුණා. අපි කණ්ඩායමක් ලෙස මෙහිදී එකඟත්වයකින් යුතුව කටයුතු කළා. එසේ නම් එම එකඟත්වය අනුව අප ඉදිරියට යා යුතුයි.

අනෙක් කාරණය වන්නේ බලය බෙදීමයි. මෙහි මුලික ඉල්ලීමක්ව පවතින්නේ බලය බෙදීම පිළිබඳ 3වන ලැයිස්තුවේ බලතල ලබාදීමයි. අපි පොලිස් බලතලවලට අත තැබීමට යන්නේ නැහැ. එය පසුව කළහැකියි. ඉඩම් පනත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම 3 වන ලැයිස්තුවේ තිබෙන අනෙකුත් විෂයයන් භාරදීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. තුනෙන් දෙකක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟත් ඊට එකඟවීමට සිදු වෙනවා. ඒ පිළිබඳ අපේ ගැටලුවක් නැහැ”.



කුඩු සළිඳු ENT විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරන ලෙස ඉල්ලයි

රැඳවුම් භාරයේ රඳවා සිටින සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු නමැත්තා උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යාවරයකු වෙත යොමු කරන්නැයි කරන ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යොමු කළේය.

මෝසමකට අනුව මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය ඇමතූ නීතිඥ ඉවෝන් නිරාෂා මහත්මිය රහස් පොලීසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවත්, ඔහු සාමාන්‍ය වෛද්‍යවරයකු පරීක්ෂා කළ අවස්ථාවේදී උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නිර්දේශ කර ඇති බවත් කීවාය.

තම සේවාදායකයා පරීක්ෂා කළ සාමාන්‍ය වෛද්‍යවරයා ඔහුට දින 05කට ඖෂධ දුන්නත් එම බෙහෙත්ද මේ වන විට අවසන් වී ඇතැයි කී නීතිඥවරිය මෙම ඉල්ලීම කළාය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රඳවා සිටින්නේ පෞද්ගලික රෝහලක නොවන බැවින් ඔහු විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නියෝගයක් නිකුත් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

අධිකරණයේ කාර්ය භාරය වී ඇත්තේ රැඳවුම් භාරයේ සිටින සැකකරුගේ යහපැවැත්ම සහතික කිරීම පමණක් වන හෙයින් සැකකරුට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට හැකියාව නැතැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කළේය.



බුද්ධිමාල් රුබේරු


කැනඩාවේ යවනවැයි රු.ලක්ෂ 65ක් වංචා කළ සැකකාරියක් දැලේ

කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 65කට අධික මුදලක් වංචා කර වසර 08කට අධික කාලයක් විදේශගතව සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

50 හැවිරිදි තැනැත්තියක මෙසේ අත් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවද පොලීසිය පවසයි.

සැකකාරිය 2016 වර්ෂයේ දී පානදුර ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක මේ වනවිට මියගොස් සිටින ගුරුවරියක් සමග එක්ව මෙම වංචාව සිදු කර තිබූ බව පොලීසිය සඳහන් කරයි. 

සැකකාරියන්ගේ වංචාවට හසුවූ වත්තල, පානදුර කොළඹ හා මාතර ආදී ප්‍රදේශවල පුද්ගලයන් රුපියල් ලක්ෂ 12,13 15 හා 25 ආදී මුදල් ප්‍රමාණයන් විදේශගතවීමේ බලාපොරොත්තුව ලබාදී තිබූ බවත් පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ලද පැමිණිලි හතරෙත් සනාථ වන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම වර්ෂයේ අග භාගයේ දී හිටි හැටියේම කැනඩාවට පලා ගිය සැකකාරිය මෙම මස 13 වෙනි දින මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුව මාලඹේ ප්‍රදේශයේදී පෙරේදා (27දා) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ලබා ගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාරී මේ ආකාරයෙන් රැකියා ලබා දෙන බව පවසා තවත් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇත්දැයි සොයා බැලීමට දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම පොලිස් පණිවිඩ නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ /පානදුර- සුමින් පොතුපිටිය


Wednesday, February 28, 2024

පැමිණිල්ලකට පොලිසි ගේනවානම් හේතු දන්වන්න චක්‍රලේඛයක්

පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ගැනීමට පුද්ගලයකු පොලීසියට කැඳවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ඔහුට දැනුම් දෙන විධිවිධාන අඩංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (27) පොරොන්දු විය.

බලශක්ති විශේෂඥ එම්.පී. රළපනාව මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා එලෙස පොරොන්දු විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

බලශක්ති විශේෂඥ එම්.පී. එම්.පී. රළපනාව මහතා ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

පෙත්සම්කාර බලශක්ති විශේෂඥ එම්.පී. රළපනාව මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් තමන් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ගැනීමට පොලීසියට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් බවද සඳහන් කර තිබේ.

ප්‍රකාශයක් ගැනීමට තමන් පොලීසියට කැඳවීම තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එය නීතියට පටහැනි බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසත් ඉල්ලා සිටින පෙත්සම්කරු මෙවැනි අවස්ථාවකදී පොලිසිය අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා කරුණු දක්වමින් අදාළ මාර්ගෝපදේශ මාලාව සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට තම සේවාදායකයා බලාපොරොත්තු වන බවත් පෙත්සම්කරු මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පොරොන්දු විය යුතු බවත් පැවසීය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊට පිළිතුරු දෙමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් උපදෙස් ලබාගත යුතු බවත් ඊට පෙර කීය.

වගඋත්තරකාර දෙපාර්ශ්වය ඊට එකගත්වය පළ කිරීමෙන් අනතුරුව පෙත්සම මැයි 09 වැනිදා කැඳවීමට නියම කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර වගඋත්තරකරු වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද වික්‍රම මහතා පෙනී සිටියේය.



රන්ජන් කටුගම්පොළ


'ගංගල්ගුල්ලා’ අවුරුදු 84කට පසු හමුවෙයි

Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන 'ගංගල්ගුල්ලා' (Freshwater Moray) මත්ස්‍ය විශේෂය වසර 84කට පසු මෙරටින් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම මත්ස්‍ය විශේෂයේ නිදර්ශකයක් ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හිරණ්‍ය සුදසිංහ(බර්න් විශ්වවිද්‍යාලය), තරිඳු රණසිංහ (Wild lsland Foundation) සහ ස්විට්සර්ලන්ත ජාතික ලූකාස් රූබර්(බර්න් ස්වභාව විද්‍යා කෞතුකාගාරය) යන පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇත. එසේම ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය 23 වැනිදා 'Zootaxa' යන අන්තර්ජාතික විද්‍යාත්මත සඟරාව මගින් ප්‍රකාශයට පත්කර තිබිණි.

පී.ඊ.පී. දැරණියගල මහතා විසින් වර්ෂ 1937 දී රත්නපුර කහන්ගමින් හා දොඩන්ගොඩින් මෙම විශේෂය පළමුව ශ්‍රී ලංකාවෙන් වාර්තාකර තිබූ නමුත් අනතුරුව මෙම විශේෂය නැවත මෙරටින් වාර්තා නොවීය. ඒ අනුව 2021 වර්ෂයේදී වක්වැල්ල ප්‍රදේශයෙන් ධීවරයෙකුට මෙම විශේෂය හමුව තිබූ අතර ගල්ගුල්ලෙකු හඳුනාගැනීම සඳහා ඉහත පර්යේෂණ කණ්ඩායමට යොමු කර තිබිණ. එහිදී මෙම නිදර්ශකයේ ජාන විද්‍යාත්මක ලක්ෂණ විමර්ශනය කිරීමෙන් අනතුරුව එය Gymnothorax polyuranodon යන විශේෂයට අයත් බවට තහවුරු කර තිබේ.

ගල්ගුල්ලන් (Moray) විශේෂ කරදියවාසී වුවද Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන 'ගංගල්ගුල්ලා' (Freshwater Moray) විශේෂයේ වැඩුණු සතුන් සම්පූර්ණයෙන්ම මිරිදියෙන් හමුවීම ඔවුන් අනෙකුත් ගල්ගුල්ලන්ගෙන් වෙනස්වන කැපීපෙනෙන ලක්ෂණයකි.

මෙම විශේෂය ඉන්දුනීසියාවේ සිට ෆීජී දූපත් දක්වා ඇති රටවල මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඝර්මකලාපීය ගංගා ද්‍රෝණිවලින්ද වාර්තා වේ.



නිදර්ශනී වික්‍රමසිංහ


උණුසුමේ බලපෑම දිස්ත්‍රික්ක 9කට

දිස්ත්‍රික්ක නවයක ඇතැම් ස්ථානවල අද (28දා) මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය පැවැතිය හැකි බවත් මේ නිසා අදාළ දිස්ත්‍රික්වල වැඩිහිටි හා රෝගී ජනතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් පවසන එම මධ්‍යස්ථානය කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් ඉල්ලා සිටියි.

වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායු ගෝලීය ආර්ද්‍රතාව සහා උපරිම උෂ්ණත්ව අගය යොදා ගනිම්න් සකස් කළ උණුසුම් දර්ශකයට අනුව මෙම ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වයන් පිළිබඳ අගයන් සකස් කර තිබේ.

මෙම දර්ශකයට අනුව 27 - 38 දක්වා අගය සාමාන්‍ය තත්වයක් ලෙස සලකන අතර 39 - 45 දක්වා අගය අවධානය යොමුකළ යුතු මට්මේ පවතී. 46 -52 අතර අගය වැඩි අවධානය යොමුකළ යුතු මට්මේ පවතින අතර 52ට වැඩි වන අවස්ථාවලදී අනතුරුදායක තත්ත්වයක් ලෙස සලකනු ලබයි. මෙම අගයන් වායු ගෝලීය උෂ්ණත්වය නොවන බවත්, මෙය ශරීරයට දැනෙන තත්වයක් බවත්, අවධානය යොමුකළ යුතු මට්ටමේදී වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් තෙහෙට්ටු විය හැකි බවත්, තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරළීම සිදුවිය හැකි බවත් පෙන්වා දෙයි.  අද (28දා) කොළඹ හා රත්නපුර නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් දක්වාත්, මන්නාරම් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 දක්වාත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් ලෙසත්, මහනුවර නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් හා මඩකලපුව නගරයේ උෂ්ණත්වය සෙලසියස් අංශක 30ක් ලෙස පැවතිය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නුවරඑලිය නගරයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ක් ලෙසත් උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 21ක් ලෙසත් අද පැවැතිය හැකි බවත්, ඊයේ (27දා) කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් ලෙස පැවැති බවත් සඳහන් කරයි.

ඊයේ(27දා) රත්නපුර නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් ලෙස පැවැති බවත්, අනුරාධපුර, ගාල්ල නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් ලෙස පැවැති බවත් පෙන්වා දෙයි.

අද(28දා) නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි විය හැකි බවත්, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක .මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු- මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට සුළඟේ වේගය පැ.කි.මී. 30-40 දක්වා ඉහළ යා හැකි හෙයින්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.



ඉන්දික හේවාවිතාරණ