Showing posts with label local g5. Show all posts
Showing posts with label local g5. Show all posts

Wednesday, November 30, 2022

ශ්‍රී ලංකාව 47 වසරක ගෞරවය බේරාගැනීමේ සටනක

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින් පැවැත්වෙන අවසන් තරගය අද (30දා) ප.ව. 2.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දැනටමත් තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්තානය තරගාවලියේ පෙරමුණ ගෙන සිටින හෙයින් මෙම තරගය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව ජයගත යුතු වෙයි. කෙසේ නමුත් අනපේක්‍ෂිත ලෙස මෙම තරගයෙන්ද ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවුවහොත්, එය ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ ලබාගන්නා ගෞරවාන්විතම තරගාවලි ජය වනු ඇත. ජාත්‍යන්තර එක්දින පිටියේ මේ දක්වා ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලි ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ සිම්බාබ්වේ, අයර්ලන්තය, ස්කොට්ලන්තය හා නෙදර්ලන්තයට එරෙහිව පමණි. ඒ අනුව අද තරගයද ජයගතහොත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැරණිම පූර්ණ සාමාජික රටකට එරෙහිව ලබන පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය සැමර්මට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. දෙරට අතර ඉරිදා (27දා) පැවැති දෙවැනි තරගය ජයගෙන ශ්‍රී ලංකාවට ගිලිහී ගිය ගෞරවය බේරාගැනීමේ අවස්ථාවක් තිබුණද, එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය අතහැර දැමීමට සිදුවීම හේතුවෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ ගෞරවය බේරාගැනීමේ බලාපොරොත්තුවක් පමණි. කෙසේ නමුත් අද තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය අතහැර දැමීමට සිදුවුවහොත්, නිතරගයෙන්ම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ඇෆ්ගනිස්තානයට අවස්ථාව උදාවෙයි. කාලගුණ අනාවැකි අනුව අද තරගයට වැසි ඇතිවීමේ හැකියාව 0%ක අගයක් ගනු ඇති බවට වාර්තා විය. මේ වනවිටත් 2023 එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබීමේ අවධානමක සිටින ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය සුවිශේෂී වෙයි. එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දීර්ඝ අතීතයක් ඇති ශ්‍රී ලංකාව, 1975 වසරේ ආරම්භ වූ පළමු එක්දින ලෝක කුසලානයේ සිට මේ දක්වා පැවැති සෑම එක්දින ලෝක කුසලානයකටම ඍජුව සුදුසුකම් ලබා ඇත. ඒ අනුව එළබෙන ලෝක කුසලානයට ඍජුව පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුවහොත්, වසර 47කට පසු පළමු වරට ලෝක කුසලාන වරම් හිමිකර ගැනීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

( සංජීව ධර්මසේන) 


වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 38ක් ඕනෑ

වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 38ක ගල් අඟුරු තොග නොරෝච්චාල ගල් අඟුරු බලාගාරය වෙත ලැබිය යුතු බවත්, ඒ සඳහා මේ වනවිට ඉන් අඩක් හෝ ගල් අඟුරු බලාගාර භූමියට ගොඩබෑම සිදු වියයුතු වුවත් මේ වනවිට ලැබී ඇත්තේ ගල් අගුරු නැව් 04ක්පමණක් බවත් ලක්විජය බලාගාර කළමනාකාර නාලක විජේකෝන් මහතා පැවසීය. ඒ අනුව නිසි ලෙස ගල් අඟුරු නැව් මේ වනවිට නොරෝචෝල ලක්විජය බලාගාරයට නොලැබීම හේතුවෙන් ඉදිරි වසරේ විදුලිය නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වන බව හෙතෙම සඳහන් කළේය. ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවෙන්  40%කට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන බලාගාරයක් වන බවද ඒ මහතා පවසා සිටියේය. එසේම වාර්ෂිකව මෙම බලාගාරයෙන් ගිගාවෝට් 5,400ක් රටට ලබාදෙන බවත්, එසේ විශාල ධාරිතාවක් ලබාදීමට ගල් අඟුරු ටොන් මිලියන දෙකක් පමණ අවශ්‍ය වන බවත් නාලක විජේකෝන් මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්විජය බලාගාර කළමනාකාරවරයා, “ගිගාවෝට් පැය 5,400ක විදුලිය නිපදවන්න ගල් අඟුරු නැව් 38ක් වාර්ෂිකව අවශ්‍යයි. එම නැව්වලින් අඩක් මේ වනවිට පැමිණීම අනිවාර්ය කරුණක්. එයට හේතුව වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 38ක ගල් අඟුරු තොග නොරෝච්චාල ගල් අඟුරු බලාගාරය භූමියට ළඟා වී ගොඩබෑම අවසන් කළ යුතුයි. වාරකන් කාලය නැවත පටන් ගන්නේ 2023 අප්‍රේල් මාසයේ ඒ වනවිට සියලු ගල් අඟුරු ගොඩබා අවසන් වීම අනිවාර්යයි. එසේ වන්න නම් මේ වනවිට අඩුම තරමින් එයින් අඩක් බලාගාර භූමියට ගොඩබෑම සිදුවිය යුතුයි. නමුත් මේ වනවිට අපට ලැබී ඇත්තේ ගල් අඟුරු නැව් හතරක් පමණයි. තව එක නැවක් පැමිණීම සිදුවෙනවා එය තාමත් ළඟා වී නැහැ. මේ තත්ත්වය අනුව එළඹෙන වසර තුළදී ලක්විජය බලාගාරය නිපදවන සමස්ත විදුලි ධාරිතාව නිපදවීම දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා. මොකද ඉතිරි ගල් අඟුරු නැව් ප්‍රමාණය පැමිණියත් අපට තිබෙන පහසුකම් අනුව ඉතිරි නැව් 34ක ගල් අඟුරු ගොඩබෑමට හැකියාවක් නැහැ. අපට තිබෙන පහසුකම් අනුව මසකට ගල් අඟුරු නැව් හයක් පමණ තමා ගොඩබෑමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා එළඹෙන වසර තුළදී අපේ බලාගාරයෙන් ගිගාවොට් 5,400ක් ලබාදෙන්න හැකියාව අහිමි වෙනවා. මේ නිසා 2023 වසරේදී රට තුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇති වීමේ බරපතළ අවදානමක් මේ වනවිට නිර්මාණ වී අවසන්ව තිබෙනවා” යැයි පවසා සිටියේය



(පුත්තලම - හිරාන් ප්‍රියංකර)

මන්ත්‍රි අමරකීර්ති හා සැරයන් ඝාතන සිද්ධියේ සැකකරුවෙක් බන්ධනාගාරයේදි මරුට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී මියයාමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා (28දා) මහර බන්ධනාගාරයේ අධිකාර්වරයාට නියෝග කළාය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වා වරින්වර සැකකරුවන් 40දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතරින් 04දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. අනෙක් සැකකරුවන් 36දෙනා  රිමාන්ඩ් භාරයේ රඳවා තිබිණි. ඒ අනුව මීට අදාළ නඩුව පෙරේදා නැවත කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, ඊමාරයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනෙකු මහර බන්ධනාගාරයේ සිට ස්කයිප් ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. මෙහිදී මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියෙකු විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි ඇන්ටන් ග්‍රේබ්‍රියල් නමැති සැකකරු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසා සිටියේය. මෙහිදී නීතීඥ ප්‍රියංකර මාරසිංහ මහතා කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින එක් සැකකරුවෙකු විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විභාගයකට පෙනී සිටීමට නියමිතව ඇති බැවින් එම සැකකරු විවෘත විශ්වවිද්‍යාලයට යා යුතු බැවින් බන්ධනාගාර නිලධාරින් භාරයේ එම සැකකරුට විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිස් සැරයන් රංජිත් මහතා කරුණු දක්වමින් පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ කිහිපයක් අධිකරණයට භාරදීමට අවසර ලබාදෙන මෙන්ද ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් මේ සම්බන්ධ නඩු ගොනුව ප්‍රමාණයෙන් විශාල වී ඇති හෙයින් එය මේ පවතින තත්ත්වය අනුව තිබුණහොත් විනාශ වී යාමට ඉඩ ඇති හෙයින් එය කොටස් තුනකට වෙන් කර තැබීමට කැමැති දැයි දෙපාර්ශ්වයෙන්ම විමසා සිටියාය. මෙහිදී පැමිණිල්ල හා විත්ති පාර්ශ්වයේ නීතිඥ මහත්ම මහත්මීන් එයට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූහ. මහර බන්ධනාගාරය තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව  කියන සැකකරු පිළිබඳ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. නීති විභාගයකට පෙනී සිටීමට නියමිත සැකකරු වෙනුවෙන් විධිමත්ව ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය පක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ අධිකරණයට භාරදීමටද නියෝග කළාය. සියලු සැකකරුවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අවසන් කර ඒ පිළිබඳ වාර්තා ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, රිමාන්ඩ්ස්රයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය. මීට අදාළ නඩුව නැවත කැඳවීම දෙසැම්බර් මස 12වැනිදාට කල් තැබිණි. 

( වාරණ - ආනන්ද ඉ ජයකොඩි)


ගිණුම් 2කින් ලක්ෂ 137ක් ඇද්ද 8ක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමකට අදාළව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක මුදලක් වංචා කිරීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබූ බවත්, මෙම පැමිණිල්ල මත විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි. මේ අනුව පසුගිය 26වැනිදා වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙළ හා ගාල්ල යන ප්‍රදේශවලදී මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් මෙම සැකකරුවන් 08දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත්, 36ත් අතර වයසේ පසුවන ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව එම මූලස්ථානය පෙන්වා දෙයි. සැකකරුවන් පසුගිය 27වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවත්, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

( ඉන්දික හේවාවිතාරණ) 


Tuesday, November 29, 2022

වෙඩි වැදි දින 7ක් තිස්සේ වෙල්යායක අසාධ්‍යව සිටි කෙනරක් මරුට

නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව අසාධ්‍යව සිටි කෙනෙර පෙරේදා (27දා) සවස මරණයට පත්වූ බව වනජීවි නිලධාරීහු පවසති. මෙම කෙනෙර පසුගිය 20වැනිදා අලුයම තම්බෝව ප්‍රදේශයෙදී වෙඩි පහරකට ලක්ව පාවට්ටාමඬුව කුඹුර යායේදී අසාධ්‍යව ඇදවැටී සිටියදී කරුවලගස්වැව වනජීවි නිලධාරීන් වනජීවි පශු වෛද්‍යවරයා කැදවා ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබුණි. කෙනෙරට වෙඩි වැදීම සිදුවු දින සිට අවස්ථා පහකදී වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු කෝට්ටගොඩ මහතා ඇතුළු කණ්ඩායම විසින් කෙනෙරගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබුණි. කෙසේවෙතත් හිසට වැදුණු වෙඩි පහරින් අසාධ්‍යව වැතිරි සිටි කෙනෙරගේ විවිධ ඡායාරූප සමාජ මාධ්‍ය හා යූ ටියුබ්වල ප්‍රචාරය කරමින් කෙනෙරට පලතුරු හා ඖෂධ ලබාදීමට බව පවසා දේශීය හා විදේශීයව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලක්ෂ ගණනක මුදල් ගැරු කරුවලගස්වැව 9 කණුව හා 7 කණුව ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳ තමන් දැඩි විමසිල්ලෙන් ඇති බවත් ඒ සදහා සුදුසු නීතිමය කටයුතු සිදුකිරීමටද ඉදිරියේදී කටයුතු කරන බවද වනජීවි නිලධාරීහු පැවසූහ. අදාළ පුද්ගලයන් දෙදෙනා වනජීවි නිලධාරීන් මෙම කෙනෙරට ප්‍රතිකාර නොකරන බවත් ඒ සමගම පලතුරු ලබාදෙන බවට ව්‍යාප් බොරු පොස්ට් සමාප් මාධ්‍ය තුළ දමා මෙසේ මුදල් ගරා ඇති බව වනජීවි පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා චෝදනා කරයි. තාරක ප්‍රසාද් මහතා පවසා සිටියේ, අදාළ ප්‍රදේශ භාර පශු වෛද්‍යවරයා ප්‍රතිකාර ලබාදෙමින් සිටින අවස්ථාවේ මෙසේ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුළ පළ කරමින් දෙදෙනෙකු විසින් මුදල් ගරාගැනීමේ ජාවාරමක් සිදු කර ඇති බවයි. මෙසේ මිනිස්කමටත් නිගාදෙන මිනිසුන් කිපදෙනෙකු සිදුකළ පහත් ක්‍රියාව පිළිබඳ තමන් ඇතුළු සියලු වනජීවි පශු වෛද්‍යවරුන් හා වනජීවි නිලධාරීන් අප්‍රසාදය පළ කරන බව පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.

( පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ)


ඇදුම හා හතිය සමඟ හැප්පෙනවා නම් මේ කාලේ පරිස්සමෙන්

වැසි කාලය, සීත කාලය එළඹෙන විට බොහෝ දෙනෙකුට මේ කියන පීඩාකාරී තත්ත්වයන් මතුවෙන්නට ඇති ඉඩකඩත් වැඩියි. සමහරු හිතන්නේ මේ රෝග සුව කරන්න හොද නැති රෝග ලෙසයි. සුව කළොත් රත්තයා නැතිනම් එක්සීමා වැනි රෝග මතුවෙන්න පුළුවන් කියා හිතන අය මේ රෝගවලට අඛෙහෙත් ආදිය කරනවා මිස, හරිහමන් ඛෙහෙතක් ගන්නට උත්සාහ දරන්නේ නැති තරම්ය. ස්වසන රෝගයක් සේ සැලකෙන මේ රෝගයට නිසි ප්‍රතිකාර නොගතහොත් ඇතැම් විට මේවා මාරාන්තික තත්ත්වයටත් පත්විය හැකි බව ඔබ දැන සිටිය යුතුම කරුණක්. මේ නිසා ඇදුම හා හතිය සම්බන්ධයෙන් ඔබ මේ කරුණු ඉතාම හොදින් දැන  සිටිය යුතුය.

සේරටම කලියෙන් හතිය කියන්නේ මොන වගේ තත්ත්වයකටද යන්න අපි මුලින්ම සොයා බැලිය යුතුයි. මුලින්ම අපි කුඩා දරුවන් සහ මේ රෝගය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් සීත කාලවලදී, වැහි කාලවලදී ඇදුම, හතිය නිසා පීඩාවට පත්වෙන ළමුන් වැඩිවීමක් දකින්නට හැකි නිසයි. සාමාන්‍යයෙන් දරුවන්ගේ හුස්ම ගැනීම, පිටකිරීම යන කාර්යයේදී ඒ වාතය ගමන් කරන වාස නාළිකා ඉතා කුඩාවට පිහිටීම නිසා වෛරස ආසාදන හෝ නියුමෝනියාව වැනි තත්ත්වයන්ට දරුවන් මුහුණ දිය හැකිය. මෙම ස්වාස නාළ ඉතා කුඩා වීම සහ අවහිර වී සිහින් වීම නිසා විසින් ( wheezing ) යනුවෙන් හඳුන්වන හතිය ඇතිවිය හැකිය. නමුත් සෑම දරුවෙක්ම හතිය ඇති වූ පමණින් ඇදුම රෝගියෙකු වෙතැයි බියට පත්වන්නටද උවමනාවක් නැත. සාමාන්‍යයෙන් දරුවන් සම්බන්ධයෙන් ගත් කල සෑම දරුවෙකුටම ඕනෑම වයස් මට්ටමකදී සෑදිය හැකි රෝගී තත්ත්වයක් වන හතිය එක් එක් දරුවාට ඇතිකරන හේතුව වෙනස් විය හැකිය. අවුරුද්දකට අඩු දරුවෙකුට හතිය ඇතිවන්නට වැඩිපුරම හේතු වන්නේ ස්වසන පද්ධතියේ ඇතිවන වෛරස් සහ නියුමෝනියාව ආදී ආසාදනයි. සාමාන්‍යයෙන් පෙරපාසල් හෝ බාලාංශ පංතිවල දරුවන් අතර නිතර නිතර ඇතිවන වෛරස ආසාදන නිසා හතිය වැලඳීම වැඩි බවක් පෙන්වයි. තරමක් වැඩුණු දරුවන්ට නම් හතිය හැදෙන්නට ආසන්නතම හේතුව ඇදුමයි. ඇදුම රෝගයේදී මතුවන රෝග ලක්ෂණ පොදුවේ සලකා බැලුවහොත් හුස්ම හිරවීමක් වැනි අපහසුතාවක් සමග පපුවෙන් රාං රෑ වැනි ශබ්දයක් නිකුත් වීම ඇදුම රෝගයේ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. හුස්ම ඉහළ පහළ ගැනීමේදී ඇද ඇද හුස්ම ගන්නා ආකාරයක් දැක්වීම නිසාම සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙය ඇදුම නමින් හඳුන්වන්නට හුරු වූවා විය හැකිය. මෙයට බොහෝ විට පාරිසරික හේතූන්ද බලපානු ලබයි. දූවිලි සහිත පරිසර තත්ත්වයන් තුළදී, ජලවාෂ්ප සහිත පරිසර තත්ත්වයන් තුළදී, දුම සහ මල් පරාග ආදී හේතූන් ඇදුම රෝගය මතුකරන්නට ඉවහල් වෙයි. එමෙන්ම දුම්වැටි සහ දුම ආඝ්‍රානය වෙන පරිසරයකදී ඇදුම රෝග තත්ත්වයන් වැඩිදියුණු විය හැකිය. ඇදුම රෝගය හටගත් විට මතුවන රෝග ලක්ෂණවලදී හුස්ම ගන්නා විට අපහසුතාවක්, හිරවීමක් වැනි ලක්ෂණ සමග පපුවේ හඬක් නිකුත් වීම, නිරන්තරයෙන්ම පාහේ කැස්සක් ඇතිවීම, ඇස්වලින් කඳුළු ගැලීම මෙන්ම නාසය සිරවීම නිසා හුස්ම ගැනීමට ඇති බාධාවන් පවතී. ස්වාස නාළ තුළ පවතින සියුම් පක්ෂ්ම ආගන්තුක යමක් නාසයට ඇතුළු වූ විට ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට පටන් ගැනීම නිසා, එනම් ස්වාස  නාළයට ඇතුළු වූ ආගන්තුක හේතුව මර්දනය කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් ඇතිවූ අසාත්මිකතාවට ස්වාස නාළ ඉදිමී ඒ තුළ ඇති වාතය ගලා යාමේ මග ඇහිරීම නිසා මෙසේ ඇදුම රෝගය යැයි අප පවසන තත්ත්වය මතු විය හැකිය. මේ තත්ත්වය වහා සමනය කිරීමට සාර්ථකම ක්‍රමවේදය ලෙස මෙතෙක් සලකන්නේ ස්වසන මාර්ගයට ඉන්හෙලර් මගින් ඖෂධ ආශ්වාස කිරීමට සැලැස්වීමයි. එය මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධවලට වඩා ක්ෂණිකව ඉතා සාර්ථක පිළියම් යොදන බව පිළිගැනෙයි. ඉන්හෙලර් නිසා ඇදුම රෝගයෙන් ඇහිරි ගිය ස්වාස නාළ යළි ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙයි. සමහරුන්ට දිගුකාලීනව පවතින හතිය මතුවෙන්නට පුළුවන. දීර්ඝකාලීනව පෙණහල්ලේ පවතින රෝගාබාධ ආදියත්, හුස්ම ගැනීමේ අපහසුවත් නිසා හතිය වැනි තත්ත්වයක් ඔවුනට මතුවන්නට පුළුවන. සමහරුන්ට මේ කියන හතිය තරමක් දුර ඇවිද යන විටත් තරමක් මහන්සි වී වැඩ කළත් හතියක් ආකාරයට මතු විය හැකිය. සමහරුන්ට දීර්ඝකාලීන පෙණහලු රෝග නිසා ඇතිවන හතිය ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම අඩුකිරීම අපහසුය. නමුත් මෙවැනි රෝගීන්ට රෝගයෙන් මිදිය හැකි ප්‍රතිකාර ක්‍රමයක් පවතී. එනම් පෙණහලු පුනරුත්ථාපනයයි. බොහෝ රෝගීන් මහන්සි වූ විට හතිය වැඩියෙන් මතුවන්නේ නම් ඔවුන් ක්‍රියාකාරී නොවී වෙහෙස මගහැර සිටී. මෙලෙස පටන් ගනිත්ම ශරීරයේ පේෂි ක්ෂය වන්න පටන් ගන්නා නිසා හුස්ම ගැනීමට අවශ්‍ය වන පේෂි පවා ක්ෂය වේ. පෙණහලු පුනරුත්ථාපනයෙන් ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ හතිය වැඩි වීමට බලපානු ලබන පේෂී ක්‍රියාකාරිත්වයට අදාළ මේ චක්‍රය බිඳ දැමීමයි. මේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේදැයි දැන් ඔබට ප්‍රශ්නයක් මතු විය හැකිය. ප්‍රධාන වශයෙන්ම ව්‍යායාම් කිරීම මගින් ශරීරයේ පේෂි ශක්තිමත් කිරීම සිදුකරන අතර, ඊට අමතරව නිවැරදිව හුස්ම ගන්නා ආකාරය පෙණහලුවල සෙම ඉවත් කරගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන්නට කටයුතු කිරීමයි. මෙම වැඩසටහන වෛද්‍යවරුන්, භෞත චිකිත්සකවරුන්, මානසික උපදේශකවරුන් සහ පෝෂණවේදීන් යන ප්‍රධාන කණ්ඩායමක් විසින් මෙහෙයවන අතර, මෙය සාමාන්‍යයෙන් සති හයක්, අටක් වැනි කාලයක් ගතවන වැඩසටහනක්, මෙය තරුණ වයසේ හතිය සහිත රෝගීන්ටත් අදාළද යන ගැටලුවට නම් දිය හැකි සරලම පිළිතුර වනුයේ කුඩා කල සිට තරුණ වයස තෙක් රෝගීන්ට මේ ක්‍රමය තවමත් යොදාගෙන නැති බවයි. හතිය රෝගීන්ට මේ ප්‍රතිකාර ක්‍රමයට යොමු විය හැකි රෝහල් සම්බන්ධයෙන් කතා කළහොත් මෙය මුලින්ම ආරම්භ කර ඇත්තේ වැලිසර ළය රෝහලේය. කොළඹ, කළුතර, හම්බන්තොට, වවුනියාව, පුත්තලම, කරාපිටිය, රත්නපුර යන ප්‍රදේශවල රෝහල්වලින් මේ ප්‍රතිකාර ක්‍රමයට ලක්වන්නට රෝගියාට හැකිය. මෙම ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධව අදාළ රෝහල්වල සායනයෙන් විමසීමෙන් රෝගියාට ඒ සඳහා යොමු විය හැකිය. ඇදුම, හතිය වැනි රෝග බොහෝ විට මතුවන්නේ අප පෙර කී ලෙස කිසියම් ද්‍රව්‍යයක් කෙරෙහි ස්වසන ක්‍රියාවලියට බලපාන පරිද්දෙන් යම් ආසාත්මිකතාවයක් ඇති කිරීමෙනි. ඇතැම්විට සමහරුන්ට නිවසේ ඇතිකරන සුරතල් සතුන්ගේ ලොම් ආදියද, විදුලි පංකාවල නොදැනෙන ලෙස රැදී ඇති දූවිලි කැලතී ආඝානය වීම තුළද නාසයේ නාළමය කොටස ඉදිමීමකට ලක්වී සිරවූ ආකාරයක් දැක්වීමට පුළුවන. මේ හැරෙන්නට සුළගේ විසිරී යන මල් පරාග මෙන්ම කසල පිච්චීමේදි ඇතිවන දුම් ආදියද සමහර අයට ආසාත්මික විය හැකි බැවින්, එවන් දෙයින් හැකිතාක් ප්‍රවේශම් වීම වැදගත්ය. මෙකල බොහෝ දෙනෙකුට මෙවන් ස්වසන මාර්ගයේ අසාත්මිකතා ඇතිවීමට වැසි සහ ඒ සුළං මගින් ඇතිවන සියුම් ජලවාෂ්පද හේතු වේ. ප්‍රතිකාර පැවතියත්, රෝගයට තුඩු දෙන හේතුවලින් හැකිතාක්දුරට මගහැරීමත් තත්ත්වය පාලනයට එක් ආධාරයකි. සමහර ආහාරද මෙසේ ආසාත්මිකතා මතුකරන බැවින්, ශීත කළ ආහාර පාන ආදිය නිසාද පෙර කී ලක්ෂණ ඇති විය හැකි බැවින්  අවධානයෙන් පසුවෙන්න. නිවසේ දූවිලි රැඳෙන තැන් හැකිතාක් ඉවත් කරත්ත. මීයත්, කැරපොත්තන් වැනි සතුන්ගේ වසුරු, දූවිලි හා මිශ්‍ර වී ස්වසන මාර්ගයට ඇතුළු වීමෙන්ද නාස් මාර්ගය අවහිර වී ඉහත කී ලක්ෂණ මතු විය හැකිය. සමහර විට ඔබ ස්ප්‍රේ මාර්ගයෙන් සුවඳ විලවුන් තවරා ගන්නේ නම්, ඒවා නාසයට ඇතුළු විය හැකි ඉඩකඩ වළකා ගන්න. ඇදුම සහ හතිය යන තීව්‍ර ලක්ෂණ පහල කරන රෝගාබාධයන් සදහා වෛද්‍ය උපදෙස් පැතීමට යොමු වන්නේ නම් ඉක්මන් සහනය ලද හැකිය.

(සටහන - නාලිකා රාජ්‍යක්ෂ)


ලාභ ලබන රාජ්‍ය ආයතන ටින විකුණා දමා එදා වේල සොයාගැනීමට යාම

පාඩු ලබන රාජ්‍ය ආයතන පනහකට අධික ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කරන බව පවසමින්, විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මේ වන විට ආණ්ඩුවට චෝදනා කරමින් තිබේ. මෙම කටයුත්ත සිදුනොකරන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, ලබන මස 08වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවටත් වෘත්තීය සමිති මේ වන විට ප්‍රකාශ කර තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවටත් පත්කිරීමට වැඩපිළිවෙළක් සකස් කළයුතු බවට පසුගිය කාලය පුරාම රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබුණි. මෙවැනි කටයුත්තක් සිදුකිරීම සදහා පෙරමුණ ගත යුත්තේ රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පුමුඛ ආණ්ඩු හා පාර්ලිමේන්තුව විසිනි. එහෙත් ගෙවී ගිය කාලය පුරා කිසිදු අවස්ථාවක මෙවැනි වැඩපිළිවෙළක් සකස් කිරීමට හෝ පවතින ආණ්ඩුව හෝ පැවැති ආණ්ඩු උත්සාහයක් ගත්තේ නැත. ගෙවී ගිය කාලය පුරාම සිදුකරනු ලැබුවේ පාඩු ලබන ආයතන දියුණු කිරීමට බව සඳහන් කරමින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කිරීම පමණි. මේ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රටට බරක් වෙමින් තිබෙන අතර, මේ නිසා සිදුකළ යුත්තේ එම ආයතන දියුණු කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමය. යම් රාජ්‍ය ආයතනයක් පාඩු ලබනවා නම්, එහි වගකීම මේ රටේ පාලකයන්, දේශපාලනඥයන් භාර ගත යුතු වන අතර, මේ රට තුළ පවතින සෑම රාජ්‍ය ආයතනයක්ම අමාත්‍යවරයෙකු යටතේ හෝ ජනාධිපති, අගමැති යන තනතුරු යටතේ පාලනය වේ. මෙවර අයවැය තුළින්ද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීම සදහා යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර, මෙම යෝජනාවට අනුව අධික ලෙස ලාභ ලබන රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය, රජය සතු  හෝටල් කිහිපයක් හා ජනතාවට සේවය සපයන දුම්රිය දෙපාර්තමේන්තුව, තෙල් සංස්ථාව වැනි ආයතන ගණනාවක කොටස් පෞද්ගලික අංශය වෙත ලබාදීමට කතාබහක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සැලකීමේදී 2003 වසරේදීත් රක්ෂණ සංස්ථාව විකුණා දැමීම සදහා ලංසු කැදවූ අතර, මෙයට සේවකයන් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබිණි. එම විරෝධතා නොතකා රුපියල් බිලියන හයකට රක්ෂණ සංස්ථාව විකුණා දැමූ අතර, ඉන්පසුව 2009 වසරේදී නැවතත් රක්ෂණ සංස්ථාව රජය සතු කරගෙන තිබේ. 1956 වසරේදී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමා විසින් පෞද්ගලික ව්‍යපාර රැසක් නස්තු කිරීම යටතේ රක්ෂණ සංස්ථාව ජනසතු කරනු ලැබිණි. රක්ෂණ සංස්ථාව ගෙවී ගිය වසර පහක කාලය තුළදී පමණක් රුපියල් බිලියන 32ක ලාභයක් ලබාගෙන තිබෙන අතර, රාජ්‍ය ආයතන ගණනාවක කොටස් මිලදි ගෙන විශාල වත්කම් ප්‍රමාණයක්ද සතු කරගෙන සිටී. ටෙලිකොම් ආයතනය පිළිබඳව සලකා බැලීමේදී මීට පෙර අවස්ථාවකදීත් ප්‍රතිව්‍යුහගත කර තිබෙන අතර, මේ අනුව අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 05දෙනා සැලකීමේදී දෙදෙනෙකු විදේශීය ජාතික වන අතර, ඉතිරි තිදෙනා මෙරට පුරවැසියන් වේ. මෙම ආයතනය 2020 වසරේදී රුපියල් මිලියන 4019ක් හා පසුගිය වසරේදී රුපියල් මිලියන 5,865ක්ද, මේ වසරේ ගෙවී ගිය මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 9329ක ලාභයක් ලබා තිබෙන බව ටෙලිකොම් ආයතනයේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.මේ අනුව බලන කල මෙම ආයතන දෙක පාඩු නොලබන ආයතන බවට පැහැදිලිවම පෙනී යන අතර, මෙම ආයතන මහා භාණ්ඩාගාරයට කිසිදු බරක් නොවේ. සිදුවෙමින් තිබෙන්නේ මෙම ආයතන දෙක වාර්ෂිකව රජයට විශාල බදු ප්‍රමාණයක් ගෙවීමය. දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබෙන බවට සේවකයන්, වෘත්තීය සමිති ආණ්ඩුවට චෝදනා එල්ලකරමින් තිබේ. මෙම ආයතනය මහා භාණ්ඩාගාරයේ මුදල් මත යැපෙන ආයතනයක් වන අතර, දුම්රිය සේවාව යනු රටේ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයන, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සදහා දායකත්වය දක්වන ආයතනයක් නිසා මෙම ආයතනයේ ලාභ පාඩු බැලීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් අදාළ ආයතනය පවත්වාගෙන යාම සඳහා මුදල් උපයාගත යුතු අතර, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ගොඩනැගිලි, ඉඩම් බදු ලබා දී නිසි ලෙස බදු අයකර ගැනීම තුළින් අදාළ කටයුතු කළ හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කරයි. අද වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත් අලෙවි කිරීමේ කටයුතුවලින් කොටසක් පෞද්ගලික අංශයට ලබා දී තිබෙන අතර, මේ නිසා යම් ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වී තිබේ. මීට අමතරව දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි හා ඉඩම්වලින් යම් ප්‍රමාණයක් බදු ලබා දී තිබුණත්, අදාළ ආයතනවලින් නිසි ලෙස බදු එකතු කර නොගන්නා බවටත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව යනු විශාල කාර්යභාරයක් සිදුවන ආයතනයක් වන අතර, මේ අනුව මාර්ග නඩත්තුව හා සංඥා නඩත්තුවට විශාල සේවක සංඛ්‍යාවක් සේම විශාල මුදලක් වැය වේ. මීට අමතරව සුවිශේෂී තාක්ෂණික කාරණ ගණනාවක් සිදුවන ආයතනයක් වේ. මේ අනුව අදාළ ආයතනයේ කොටස් පෞද්ගලික අංශයට විකුණා දැමුවත්, කොටස් මිලදී ගන්නා ආයතනය මාර්ග නඩත්තු හා සංඥා කඩත්තු සිදුකරනවා යැයි සිතිය නොහැක. එනම් කොටස් විකිණීම යටතේ විකුණා දැමීමට සිදුවන්නේ දුම්රියන් වන අතර, දුම්රිය ධාවන කටයුතු පෞද්ගලික අංශය සතු වුවහොත් මුලින්ම සිදුවන්නේ ගාස්තුව ඉහළ යාමය. 1977ට පෙර මේ රටේ බස් රථ සේවයේ සියලුම වගකීම දරනු ලැබුවේ ලංගමය විසින් වන අතර, ඒ අනුව ජනතාවට සාධාරණ මුදලකට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබිණි. ඉන්පසුව ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා බස් රථ ධාවනයට පෞද්ගලික අංශයටත් අවස්ථාවක් ලබාදුන් අතර, මේ අනුව අද වන විට බස් රථ ගාස්තුව හා බස් රථ ධාවනය පිළිබඳව සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ පෞද්ගලික බස් රථවලිනි. ප්‍රවාහන සේවය නියාමනය කිරීම සඳහා මධ්‍යම රජය යටතේ හා පළාත් සභා යටතේ ආයතන ස්ථාපිත කර තිබුණද, පෞද්ගලික බස් රථ සංගම් මෙම ආයතනවලට වඩා ප්‍රබල වී තිබෙන අතර, පවතින තත්ත්වය තුළ ලංගම දිනෙන් දිනම අඩාළ වෙමින් තිබේ. ඛනිජතෙල් සංස්ථාව රටේ ඉන්ධන බෙදාහැරීම සිදුකරන අතර, ඉන්ධන මිල මේ ආකාරයට හෝ පාලනය වී තිඛෙන්නේ රජය සතුව එම ආයතනය පැවතීම නිසාය. තවද විදුලි බල මණ්ඩලයත් රජය විසින් පාලනය කරන ආයතනයක් වන අතර, ඉන්ධන, විදුලිය රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් ආයතන වන නිසා, ඒවා රජයේ පාලනය යටතේ සිදුවිය යුතුය. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට පැවැරීමට කටයුතු කරන බවට ආණ්ඩු සඳහන් කළත්, පාඩු ලබන ආයතනයක් ලබාගැනීමට කිසිදු ව්‍යපාරිකයෙකු හෝ ආයතනයක් කටයුතු කරන්නේ නැත. මේ නිසා ආණ්ඩුවට  සිදුවන්නේ ලාභ ලබන ආයතන ටික විකුණා දැමීමටය. මේ වසරේ ඇතිවන අයවැය හිඟය පියවා ගැනීමට මෙම ආයතන ටික විකුණා දමා හෝ කොටස් පෞද්ගලික අංශයට පවරා හැකියාව ලැබුණද, ලබන වසරේ ඇතිවන හිඟය පියවා ගැනීමට විකුණා දමන්නේ කුමක්ද යන්න මේ රටේ පාලකයන්ගෙන් විමසිය යුතුය. ලෝකයේ බොහෝ රටවල් විවෘත ආර්ථික ක්‍රමය තම රටේ දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීමට හා තමන්ගේ රටේ නොමැති දේවල් නිෂ්පාදනයට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා යොදාගනු ලැබුවද, අපේ රටේ සිදුවී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. අප රට තුළ විවෘත ආර්ථික ක්‍රමය ස්ථාපිත වීමත් සමග සිදුවූයේ රටේ පැවැති බොහෝ සම්පත් බහුජාතික සමාගම් වෙත පැවරීමය. එම සම්පත් අතර පොහොර නිෂ්පාදනය, රෙදි නිෂ්පාදනය, කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය ඇතුළු නිෂ්පාදන රාශියක් රටට අහිමි විය. මේ නිසා දේශීය වශයෙන් රට තුළ නිෂ්පාදනය වූ බොහෝ භාණ්ඩ රට තුළට විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදු වී තිබෙන අතර, වර්තමානයේ ඇතිවී තිබෙන ඩොලර් අර්බුදය නිසා විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීමත් මේ වන විට සිමා වී ඇත. මේ නිසා රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ගෙන්වා ගැනීමට රට තුළ ඉතිරි වී තිඛෙන සම්පත් විකුණා දැමීමට සිදුවී තිබෙන අතර, අපනයන ආදායම් ඉහළ දැමීමට වර්තමාන පාලකයන් සේම මීට පෙර සිටි පාලකයන්ද කිසිදු වැඩපිළිවෙළක් සකස් කළේ නැත.


(ඉන්දික හේවාවිතාරණ)


ශ්‍රී ලන්කන් ගුවන්යානයක කාර්මික දෝෂයක්

ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා ඊයේ (28දා) දින සවස පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05ක කාලයකට පසුව යළිත් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේය.  මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් - 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වන අතර, මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ. එහෙත් මෙම ගුවන් යානය පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළින් මදුරෙයි බලා පිටත් වූ අතර, එම ගුවන් යානය විනාඩි 05ක ගුවන්ගත වීමකින් පසුව යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ. ගුවන් යානයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගුවන් යානය යළි ගොඩබස්වා ඇතැයි ප්‍රකාශ කරන ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාර්වරයා, ගුවන් මගීන් සහ කාර්යමණ්ඩලය ගුවන් යානය තුළ රඳවා ගෙනම ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු සිදුකළ බවද ප්‍රකාශ කළේය. 

(කටුනායක ටී.කේ.ජී. කපිල කටුනායක)



තිරිඟු පිටි මිල අඩු වුණත් බේකරි නිෂ්පාදනවල මිලේ අඩුවක් නෑ 

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 400 සිට රුපියල් 230 දක්වා අඩු වී තිබියදීත් කිසිදු බේකරි නිෂ්පාදනයක හෝ ආපන ශාලා හිමියන් විසින් තිරිඟු පිටි උපයෝගී කර ගනිමින් සකස් කරන ආහාර ද්‍රව්‍යවල මිල අඩු වීමක් සිදු වී නොමැත. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 400 දක්වා ඉහළ යාම සැලකිල්ලට ගනිමින් පාන් ගෙඩියක මිල රුපියල් 210 දක්වා ඉහළ දැමීමට හා පෙති පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වා හා බනිස් ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර මිලක් දක්වා ඉහළ දැමීමට බේකර් හිමියන් විසින් කටයුතු කරන ලදී. මේ වනවිට තිරිඟු පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් 230ක් බවට පත් වී තිබෙන නමුත්, පාන්, පෙති පාන් මිල හා අනෙකුත් කිසිදු බේකරි නිෂ්පාදනයක මිල පහළ දැමීමට කටයුතු කර නොමැති බව වෙළෙඳ පොළ සොයා බැලීම්වලින් තහවුරු වේ. මීට අමතරව තිරිඟු පිටි මිල ඉහළ යාම  හා මාළු, මස් මිලද ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මාළු හා මස් කොත්තුවක මිලද විශාල ලෙස ඉහළ දැමීමට කටයුතු කළ අතර, පරාටා, ගෝදම්බ රෝටි, එළවළු රොටි, මස් හා මාළු රොටි, රෝලස් හා පැටිස් මිලද විශාල ලෙස ඉහළ දැමීමට කටයුතු කළේය. මේ වනවිට තිරිඟු පිටි මිල, මස් මාළු මිල විශාල ලෙස අඩු වී තිබෙන අතර, එනමුත් මෙම ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමට ආපන ශාලා හිමියන් කටයුතු කර නොමැත. මේ නිසා මස් මාළු හා තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය ජනතාවට අහිමි වී ගොස් තිබේ.



( ඉන්දික හේවාවිතාරණ) 


Monday, November 28, 2022

කුරුල්ලන්ට නරක කාලයක්

ශ්‍රී ලංකාව තුළ අභිජනන ගහනය තහවුරු කර ඇති පක්ෂි විශේෂ 244න්, පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයි 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ පක්ෂීන්ගේ සංරක්ෂණ තත්ත්වය පිළිබඳ ජාතික රතු ලැයිස්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව ඉන් පක්ෂි විශේෂ 19ක් දැඩි ලෙස තර්ජනයට ලක්වූවන් වන අතර, තර්ජනයට ලක්වූ පක්ෂි විශේෂ 48ක් වන බව සඳහන්ය. එසේම අවදානම් මට්ටමේ පසුවන පක්ෂි විශේෂ 14ක් වන අතර, තවත් පක්ෂි විශේෂ 31ක් තර්ජනයට ලක්වීමට ආසන්න මට්ටමේ පසුවේ. මීට අමතරව වලංගු වාර්තා නොමැති වීම සහ සත්‍යාපනය කළ අභිජනන වාර්තා නොමැතිවීම හේතුවෙන් බ්ලු ඉයර්ඩ් කින්ග්ෆිෂර්’ සහ 'ග්ලොසි අයිබිස්” යන පක්ෂි විශේෂ දත්ත ඌනතා කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, ඉතිරි පක්ෂි විශේෂ 130 අවදානමකින් තොර බවට වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ පක්ෂීන් ගෝත්‍ර 23ක්, කුල 89ක්, ඝන 266ක් සහ විශේෂ 522කින් සමන්විතය. ඒ අනුව මින් විශේෂ 244ක් ශ්‍රී ලංකාව තුළ අභිජනන

ගහන දරන අතර, ව්ශේෂ 34ක් ශ්‍රී ලංකාවට ආවේණිකය.


( නිදර්ශනි චික්‍රමසිංහ) 


යාලට නයිට් සෆාරි

යාල ජාතික වනෝද්‍යානය තුළ 'නයිට් සෆාරි' ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් ලෙස වනෝද්‍යානයේ එක් කලාපයක රාත්‍රී කාලයේ වනසතුන් නැරඹීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අදාළ ප්‍රදේශයේ 'නයිට් සෆාරි’ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මීට අමතරව වනෝද්‍යානය තුළට තාවකාලිකව පෞද්ගලික වාහන ඇතුල් කිර්ම අත්හිටුවීමට ගෙන ඇති තීරණය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇති බව සඳහන්ය. මේ පිළිබඳ කළ විමසීමේදී වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ  වනෝද්‍යානය නැරඹීම සඳහා විශාල මුදලක් ගෙවා සෆාරි ජීප් රථ වෙන්කරවා ගැනීමට අඩු ආදායම්ලාභී ජනතාවට ඇති අපහසුව මීට මූලික හේතුව වී ඇති බවයි. පසුගියදා යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වන පරිදි වාහන කල්ලියක් විසින් ඒ තුළ අනිසි ලෙස රිය ධාවනය කිරීමේ සිද්ධියට සමගාමීව වනෝද්‍යානය තුළට පෞද්ගලික වාහන ඇතුල් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කරන ලදී. මේ අතර යාල ජාතික වනෝද්‍යානයේ කලාප vi ලෙස නම් කරමින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල වනෝද්‍යානයට අයත් වනජීවී කලාපයක් ලෙසට පසුගියදා පත් කිර්මත් සමග යාල වනෝද්‍යානයට අයත් භූමි ප්‍රමාණය තවත් අක්කර 55,000කින් පමණ විශාල වී ඇතැයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව යාල වනෝද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයන් සඳහා මේ වනවිට විවෘත කර නොමැති ඔන්ඩච්චි  කලාපයද කඩිනමින් විවෘත කිරීමට නියමිතය. විෂය භාර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය එක් කිරීමට ප්‍රථම යාල වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 1,260කින් සමන්විත වූ බවයි.



(නිදර්ශනි චික්‍රමසිංහ)


ඇලජික් කියන්නේ රෝග තත්වයක්ද

ඇලර්ජික් කියන නම ඇහීමත් ඇලර්ජි වුණ අයත් අප අතර ඕනතරම්. සාමාන්‍යයෙන් අපි අපට අහිතකර අපි අකමැති ඕනෑම දෙයක් හඳුන්වන්නත් සාමාන්‍ය ව්‍යවහාරයේදීඅ ඇලර්ජික් කියන වචනය යොදාගැනීම තුළම එය සනාථ වෙන්නක්. ඇලර්ජික් කියන ඉංග්‍රීසි වචනය සිංහලෙන් අප භාවිත කරන්නේ අසාත්මිකතා නමිනුයි. අසාත්මිකතා ඇතිවෙන්නෙ කොහොමද? මොනවටද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් හේතු දක්වන තත්ත්වයක්. එමෙන්ම සමහරෙකුට අසාත්මිකතාවයක් දක්වන දෙයක් තව කෙනෙකුට හෝ පිරිසකට එසේ නොවෙන්නට පුළුවන්. අසාත්මිකතා නිසා මරණයට පත්වෙනවාද යන්න ඇතැම්විට ඔබටත් මතු විය හැකි ප්‍රශ්නයක්. ඔව් එය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නෙ ඇනපිලැක්සීස් නමින්. ඒ අසාත්මිකතාවයේ අන්තිම තීව්‍ර අවස්ථාව හඳුන්වන නම වුවත්, මතක තියාගන්න එය ඇතිවෙන්නට මුල් වෙන්නේ කිසියම් හේතුවක් නිසා මතුවන අසාත්මිකතාවයක්ම බව. සාමාන්‍යයෙන් මිනිස් සිරුරට නොගැළපීමක්, අහිතකර නොවන්නක් වෙනුවෙන් සමහර පුද්ගලයන් දක්වන සංවේදීතාව අසාත්මිකතා ඇතිකරවන්නට හේතුවක්, අසාත්මිකතා මතුවන්නට මුල් වන එවැනි හේතු මොනවාද යන්න අද අපි පුළුල්ව විමසා බලන්නට අදහස් කළේ මෙවැනි තත්ත්වයක් ඕනෑම කෙනෙකුට තම ජීවිත කාලයේ ඕනෑම දවසක මතු විය හැකි නිසයි. සමහර විට අව්ව, වැස්ස, රස්නය, ශීත මෙන්ම වතුර ආදී ස්වාභාවික තත්ත්වයන් සේම පරිසරයේ ඇති දූවිලි, දූවිලිවල වෙසෙන සියුම් ජීවීන් කොටසක් වූ මයිටාවන් මෙන්ම සුරතල් සතුන්ගේ ලෝම හා එම සත්ත්වයන්ගේ සිරුරේ වෙසෙන සියුම් මයිටා විශේෂයන්, කුඩා දරුවන්ගේ ආදරයට පාත්‍ර වෙමින් නිතර ඔවුන් අත තබාගන්නා ඇතැම් සැහැල්ලු ක්‍රීඩා භාණ්ඩ ලෙස සැලකෙන ටෙඩී බෙයා වැනි සතුන්, මල් සහ ඇතැම් ශාක, විවිධ ආහාර, කෘමි දෂ්ටයන් ඇතැම් ආලේපන, සුවඳ විලවුන් සහ ස්ප්‍රේ වර්ග සමහර බෙහෙත් සහ ප්ලාස්ටර් ආදී වෛද්‍යමය අවශ්‍යතාවන් සදහා භාවිත කරන උපකරණ යනාදිය ඕනෑම අවස්ථාවක ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව ඕනෑම දවසක ඕනෑම වෙලාවක මතුවන්නට පුළුවන්. සුරතල් සතුන්ගෙන් ඇතිවන අසාත්මිකතා මෙන්ම නිවැසියන්ගේ ඇතැම් පුරුදු එනම් දුම්පානය වැනි දෑ, මදුරු කොයිල් වැනිදැයින් නිකුත් වන දුම් යනාදිය, සමහර පිරිසුදුකාරක එසේ අසාත්මිකතා ඇති කරන අතර, එය සමහර විටක සමහර පුද්ගලයන්ට පමණක් බලපානු ලබන තත්ත්වයක් ලෙස පමණක් හඳුනාගැනෙන අවස්ථා ඇත. දැන් අපි මේවා අපට ශරීරගත වන ක්‍රම ආදියත් යම්තාක් දුරකට සොයා බලමු. සුරතල් සතුන් යැයි කී විට එය බල්ලන් බළලුන් පමණක් යැයි සිතන්නට සමහරු පෙලඹේ. නැත, සුරතල් සතුන් යැයි කියූ විට බල්ලන්, බළලුන්, හාවුන් සහ පරෙවියන්, කුකුළන්, බජිරිගාර්ඩි (ලව් බර්ඩ්ල්) හා ඇතැම් කුරුල්ලන්ගේ පිහාටු අතර සිටින ඇසට නොපෙනෙන මයිටාවන් අපට අසාත්මික විය හැකිය. ඇසට නොපෙනෙන මයිටාවන් අපට ආග්‍රහණය වෙන්නට සමත් වෙන තවත් අවස්ථාවකි දූවිලි. බොහෝ දෙනෙකු සිතන්නේ පාරේ දූවිලි ආදිය ගැන පමණක් වුවත්, දූවිලි බොහෝ විට ඔබව ආක්‍රමණය කරනු ලබන්නේ ඔබේම නිවසේ සිට විය හැකිය. ඔබට නොපෙනුණාට නිවසේ විදුලිපංකාවල මතුපිට සහ තිර රෙදිවල, ගෘහභාණ්ඩවල ඇසට නොපෙනෙන තරම් සියුම් දූවිලි තට්ටු රැඳී තිබෙනු ඇත. ඒවා වාතයට එක්වී ඔබට ආග්‍රහණය වීමෙන් ඒවාට ශරීරය විවිධ ආකාරයේ ප්‍රතිචාර දක්වන්නට වීම අසාත්මිකතාවයකට ඔබ ගොදුරු වීමට හේතුවක් වනු ඇත. විවිධ ආහාරපාන සම්බන්ධයෙන්ද අසාත්මිකතා දක්වන්නන් අපට අනන්තවත් හමුවේ. සමහරුන්ට අන්නාසි, අච්චාරු, තක්කාලි, මස් වර්ග, මීකිරි, අයිස්ක්‍රීම්, ශීත කළ පාන වර්ග, හතු වර්ග, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, අල වර්ග, කොළ වර්ගවලට එසේ අසාත්මිකතා දක්වන්නන් හමු විය හැකිය. රෝග ලක්ෂණ ලෙස මතුවන්නේ සිරුරේ සම කැසීම, පලු දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම, සම රතු පැහැ වීම, ඇස් රතු වීම, අධික හිසරදය, වමනය, බඩඑළිය යාම වැනි ලක්ෂණ විය හැකිය. මදුරුවන් සහ දළඹුවන් ආදී සතුන් සම්බන්ධයෙන්ද එවත් අසාත්මිකතා සම ආශ්‍රිතව ඇතිවෙයි. එවත් සතුන් සම හා ස්පර්ශ වූ විට ඔවුන් දෂ්ට කළ විට සම කැසීම, රතු වීම, ඉදිමීම මෙන්ම අධි වේදනාවන් මතුවීමට ඉඩ තිබේ. බොහෝ විට එම පැල්ලම් සම මත ඉතිරි විය හැකිය. ඇතැම් රසායනික ද්‍රව්‍ය නිසාද අසාත්මිකතා බහුල විය හැකිය. වැසිකිළි පිරිසුදුකාරක මෙන්ම  ඇතැම් ඩිටර්ක්ස් වර්ග සමග ගැටුණු විටද, සුවඳ විලවුන් ස්ප්‍රේවලටද, ඇතැම් ආලේපන ආදියටද එසේ ආසාත්මිකතා මතු විය හැකි අතර, සමහර අයට කරාබු, මාල, මුදු, ඔරලෝසු ආදියට එසේ අසාත්මිකතා මතුවන්නට ඉඩ ඇති අවස්ථාද ඇත. එය ලෝහමය ද්‍රව්‍යයන්ට ඇතිවන අසාත්මිකතාවයයි. සමහරුන්ට අධික හිරු රශ්මියට නිරාවරණය වීම නිසාද, අධික සීතලට නිරාවරණය වීම නිසාද අසාත්මිකතා මතු විය හැකිය. ඇතැමුන්ට වතුරට මතුවන අසාත්මිකතාද පවතින බව ඔබ දැන සිටියාද? සම කැසීම, පලු දැමීම සහ සම රතු වීම එවැනි අවස්ථාවක රෝග ලක්ෂණ වේ. ඇතැම් ඖෂධ නිසා මතුවන අසාත්මිකතා විශේෂය, ඇස්ප්‍රීන්, බ්රූෆන්, පෙනිසිලින් වැනි ඖෂධ සඳහා අසාත්මිකතාවයන් දක්වන අයද සිටිය හැකිය. කිසියම් ඖෂධයක් තමන්ට එසේ කලින්ම අසාත්මිකතා දක්වා ඇත්නම්, ඔබ වෛද්‍යවරයෙකු වෙත එළඹෙන අවස්ථාවලදී ඒ බව දැනුම් දීමට නිතරම මතක තබා ගන්න. වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ නොගන්නා ලෙස උපදෙස් දෙන්නේ එවන් අසාත්මිකතාවයක් මතුවී ඇනපිලැක්සීස් තත්ත්වයකට ගොදුරු වුවහොත් රෝගියා මරණයට පත්වීමට වුවද ඉඩ ප්‍රස්ථාව ඇති බැවිනි. අසාත්මිකතාවයක් ඇතිවුවහොත් එය අසාත්මිකතා ලක්ෂණයක් වශයෙන් හඳුනාගන්නේ හෝ සැළ කරන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු. බොහෝ අසාත්මිකතා ලක්ෂණ සම ආශ්‍රිතව මතු කළත්, අසාත්මිකතාකාරකය රුධිරයට එක්වී ඇතිනම් මතුකරන රෝග ලක්ෂණ ශරීරයේ ඕනෑම ස්ථානයක මතු විය හැකි බව ඔබ දැන සිටිය යුතුමය. ප්‍රධාන වශයෙන්ම ශරීරයේ පිටතින් පෙන්වන අසාත්මිකතා ලක්ෂණ මොනවාද යන්න අපි පළමුව විමසා බලමු. ශරීරයේ පලු මතුවීම, මානසික ආබාධ ඇතිවීම, ඇදුම, හිසරදය, ඇස්වලින් කඳුළු ගැලීම, රතු වීම, සමේ දද ඇතිවීම, රතුපැහැ වීම, සම කැසීම රස්නයක් දැනීම, සොටු දියර ගැලීම, කැස්ස ඇතිවීම, ඇතැම් විට සිහිය නැතිවීම පවා සිදුවිය හැකිය. සිහි නැතිවීම දක්වා දියුණු වූ ආසාත්මිකතා ලක්ෂණ අප පෙර කියූ ඇනපිලැක්සීස් (Anaphylaxis ) තත්ත්වයක් වීමටද ඉඩ තිබේ. එවන් අවස්ථාවක ඉක්මනින් රෝහල්ගත විය යුතුය. ඇනපිලැක්සීස් තත්ත්වයකදී රුධිර පීඩනය අඩු වීම නිසා රෝගියා කම්පත තත්ත්වයකට පත්විය හැකි අතර, නිසි ප්‍රතිකාරවලට ලක් නොවුණහොත් රෝගියා මිය යා හැකිය. යම් ආකාරයකින් අසාත්මිකතාකාරකය පුද්ගලයෙකුගේ පෙණහලු වෙත ඇතුළු වුවහොත් තොල් ඉදිමීම, වමනය, ඔක්කාරය, පාචනය ඇති විය හැකි බව මතක තබාගන්න. දැන් අප අසාත්මිකතා සම්බන්ධයෙන් පවතින ප්‍රතිකාර සම්බන්ධයෙන් විමසා බලමු. හොදම ප්‍රතිකාරය වනුයේ ඔබට අසාත්මිකතාවයක් ඇතැයි හදුනාගත් දැයින් වහාම ඈත්වීමයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් විසින් ඇන්ටින්ට්හිස්ටමින් ( ANTIHISTAMINE) කාණ්ඩයට අයත් ඖෂධ වර්ග අසාත්මිකතාවයට ලක්වූ අයට නිර්දේශ කරනු ඇත. මෙම කාණ්ඩයේ ඖෂධ ගිලින පෙති, එන්නත්, නාසයට හා ඇසට දමන දියර ලෙස ලබාදෙනු ඇත. මේ හැරෙන්නට ඩිසෝඩියම්බ්‍රොමොග්ලයිකේට් (Disodiumcromoglycate) කාණ්ඩයේ ඖෂධද මේ සදහා වෛද්‍ය නිර්දේශය යටතේ ලබාදෙයි.හයිඩ්‍රොකෝර්ටිසෝන්, ප්‍රෙඩිනිසිලෝන්ද එවන් අවස්ථාවල ප්‍රතිකාර ලෙස නිර්දේශ වීමට ඉඩ ඇත. තවත් සමහරුන්ට හිසකෙස් වර්ණකාරක බහුල ලෙස අසාත්මිකතා ඇතිකරන බැවින්, ඔබ හිසකෙස් වර්ණකාරකයක් යොදාගන්නට පළමුව කණ පිටුපස ඉතා ස්වල්පයක් තවරා පැච් ටෙස්ට් එකක් කළ යුතුය. ඔබ ඇදුම රෝගියෙකු නම් හිසකෙස් වර්ණ ගැන්වීමට ප්‍රථම ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.



සටහන - නාලිකා රාජපක්ෂ


චීනය පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 10.6න් මිලියන 7.5ක් ගොවිතැනට

චීනයේ පරිත්‍යාගයක් ලෙස ඊයේ (27දා) මෙරටට ලද ඉන්ධන තොගයෙන් ලීටර් මිලියන 7.5ක් මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වූ පසු සියලු වී ගොවීන් වෙත නොමිලේ ලබාදීමට නියමිතය. ඒ අනුව ගොවිතැන් කටයුතු සඳහා ඉන්ධන බෙදාහැර්මට මේ වනවිට සකස් කර ඇති ඉන්ධනහල් නාමලේඛනය අනුව එම ඉන්ධනහල් මගින් ගොවීන් වෙත ඉන්ධන බෙදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. හෙක්ටයාරයකට ඩීසල් ලීටර් 20 බැගින් ගොවි ජනතාව අතර මෙම ඩීසල් බෙදා දීම සිදුවනු ඇත. එසේම අඩි 40ට වඩා දිගින් අඩු යාත්‍රා සහිත ධීවරයන්ට යාත්‍රාවකට ඩීසල් ලීටර් 1,000 බැගින් ධීවරයන් 3,800කට ආසනන් පිරිසකට මෙම ඩීසල් නොමිලේ ලබා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර අංශවල ජනතාවට සහන සැලසීම සඳහා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් මත ඉන්ධන ලීටර් මිලියන 10.6ක ප්‍රමාණයක් ලබාදීමට එම රජය ඊයේ කටයුතු කරන ලදී. 


(නිදර්ශනි වික්‍රමසිංහ)


Friday, November 25, 2022

විදේශ රැකියා නියෝජිතායතන 13ක බලපත්‍ර අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිතායතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබේ. සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියාලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව කාර්යාංශය මෙම තීරණය ගෙන ඇත. එම නියෝජිතායතන හරහා විදෙස්ගත වූවන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතන කාර්යාංශය සමග ඇති කරගන්නා ලද ගිවිසුම් කඩ කිරීමක්ද සිදු කර ඇති බැවින් අදාළ නියෝජිත ආයතනවල බලපත්‍ර අවලංගු කර තිබේ. එහිදී අධිකරණයෙන් වරදකරුවන් වීම හා අධිකරණය මඟහැරීමටද අදාළ ආයතනවල හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබා දී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිර්මට කාර්යාංශය කටයුතු කර ඇත. ඒ අනුව එම්.ඩබ්ලිව්, මර්කන්ට්  ප්‍රින්ස්, ඒ.එන් ලංකා එන්ටර්ප්‍රයිසස්, ඇරබියන් ඕවර්සීස් මෑන්පවර් සර්විසස්,ඒඑල් අමල් කම්පැනි සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ්, ඒඑල් සහාරා, ෆයිනාස් ඇසෝසියේටඩ් ප්‍රයිවට් ලිමිටඩ්, ලක්මාල් ට්‍රැවල්ස්, සත්‍යා ෆොරින් එම්ප්ලොයිමන්ට් ඒජන්සි, ශෙහානි රීක්වට්මන්ට්, සහාරා එන්ටර්පයිසස්, ටාරා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, සංජනා මෑන්පවර් එක්ස්චෙන්ජ්, ධාකොල් ට්‍රේඩ් ඇන්ඩ් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනවල බලපත්‍ර අවලංගු කර තිබේ.

( නවෝද්‍යා පවනි )


සාරි ගැටලුවට ගුරුවරුන්ට විනය පියවර ගත්තොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

සුදුසු ඇදුමකින් සැරසී පාසල් පැමිණි ගුරුවරුන්ට අධ්‍යාපන බලධාරීන් විනයානුකූල පියවර ගැනීමට කටයුතු කළහොත් ගුරුවරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය සදහන් කරයි. ගුරුවරියන් සාරියෙන් හෝ ඔසරියෙන් සැරසී පාසල්වල ඉගැන්වීම් කටයුතු කළ යුතු බවට කිසිදු නීතියක් නොමැති බවත්, මේ නිසා පාසලට ගැළපෙන ඇදුමකින් සැරසී ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරියන්ට විනයානුකූල පියවර ගැනීමට නොහැකි බවත් එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.ගුරුවරුන් පැලදගෙන ආයුතු නිශ්චිත ඇඳුමක් පිළිබද චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සදහා ගුරුවරුන්ට දීමනාවක් රජය විසින් ලබාදිය යුතු බවද හෙතෙම පවසා සිටියේය. සමහර පාසල් සිසුන්ගේ නිසි ලෙස ආහාර නොමැති වීම හා පාසල් උපකරණ මිල ඉහළ යාම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම වැනි කරුණු නිසා පාසල් සිසුන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටින බවත්, පවතින මෙම ගැටලු නිසා ආසන්න වශයෙන් දිනකට 10%කට ආසන්න සිසුන් ප්‍රමාණයක් පාසල්  නොපැමිණෙන බවත් ලේකම්වරයා පැවසීය. අදාළ ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙත් මාස කිහිපයක සිට ඉල්ලීම් සිදුකළ ඒ සදහා නිසි විසඳුම් මෙතෙක් ලබාදී නොමැති බවත්, එහෙත් සුදුසු ඇඳුමකින් පාසල් පැමිණි ගුරුවරියන් පිළිබඳ ආණ්ඩුවේ පිරිස් විශාල ලෙස කතා බහ කරන බවත් ඒ මහතා සදහන් කළේය. මේ නිසා පවතින සැබෑ ප්‍රශ්නය යට ගොස් තිබෙන බවත්, ආණ්ඩුවේ පිරිස් පාසල්වලට සැබෑ ලෙස ආදරයක් තිබෙනවා නම්, සිදුකළ යුතු වන්නේ, පාසල් පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදීම බවත් ලේකම්වරයා පවසා සිටියේය.


( ඉන්දික හේවාවිතාරණ)

 


වැඩිහිටි වියෙහි ගර්භණීභාවය

වැඩිහිටි වියෙහි ගර්භණීභාවය වර්තමානයේදී මෙරට මෙන්ම ලෝකයේම කතාබහට ලක්වන ස්ත්‍රී සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී තිබේ. ඊට හේතුව පසුගිය දශක තුන ඇතුළත ලොව පුරා වෙසෙන කාන්තාවන් අතර ගර්භණීභාවයට පත්වීමේ වයස් සීමාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතීමය. වැඩිහිටි කාන්තා ගර්භණීභාවය පිළිබඳ විශේෂ අධ්‍යයනයක නියැළුණු සොඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය පූජනී ඉලංගසිංහ මහත්මිය විසින් සොයාගනු ලැබූ කරුණුවලින් අනාවරණය වන්නේ ලෝකයේ වැඩිහිටි වියෙහි ගර්භණීභාවයෙහි අවදානම වසර 400කටත් එහා ඈත අතීතයේ පටන් පැවැති බවට සාක්ෂි හඳුනාගත හැකි බවය. ඉන්දියාවේ ටජ්මහල තැනීමට හේතු වූ සාජහන් රජුගේ බිරිද වූ මුන්ටාස් මහල් රැජිණිය වර්ෂ 1631දී මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38දී සිය 14වැනි දරුවා බිහිකිරීමේදී ඇතිවූ අධික රුධිර වහනය නිසාය. ඒ එක් නිදසුනක් පමණි. ජාත්‍යන්තර ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සම්මේලනය මගින් ලෝකයේ රටවල් 29ක සහභාගීත්වයෙන් 2014දී සිදුකරන සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ වැඩිහිටි ගර්භිණීභාවය ක්‍රමයෙන් ලොව පුරා වර්ධනයක් පෙන්නුම් කරන බවය. ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකා සහ මැදපෙරදිග කලාපයේ රටවල් ඇසුරින් කරන ලද මෙම සමීක්ෂණයේදී හෙළි වූයේ  ජපානය ආසියා කලාපයේ වැඩිහිටි ගැබිනි බව වැඩියෙන්ම වාර්තා කරන බවය. එහි ප්‍රතිශතය 31%කි. අනතුරුව ශ්‍රී ලංකාව 15%ක්ද, චීනය 09%ක්ද, නේපාලය හා ඉන්දියාව 03% බැගින්ද වැඩිහිටි ගර්භණීභාවය වාර්තා කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ගර්භණීභාවය විශේෂයෙන් අවධානයට ලක්විය යුතු මට්ටමක පවතී. වැඩිහිටි ගර්භිණීභාවය යනුවෙන් හඳුන්වන්නේ වයස අවුරුදු 35න් ඉහළ කාන්තාවන් ගර්භිණීභාවයට පත්වීමය. ලෝක ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරුන්ගේ සම්මේලනය මගින් වැඩිහිටි ගර්භණීභාවය සදහා සුදුසු වයස් සීමාව අවුරුදු 35න් ඉහළ බවට ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 1958 තරම් ඈත අතීතයේදීය. එකල පවා වැඩිහිටි ගර්භිණීභාවය අවදානම් මෙන්ම විශේෂ අවධානයට ලක්විය යුතු සෞඛ්‍ය තත්ත්වයක් ලෙස සලකනු ලැබීම ඊට හේතුවය. ගර්භිණීභාවයට පත්වීම සදහා කාන්තාවකට වඩාත් සුදුසු වයස් කාණ්ඩය ලෙස සැලකෙනුයේ වයස අවුරුදු 20 - 34 අතර කාලසීමාවය. වයස අවුරුදු 35ත් ඉන් ඉහළ කාණ්ඩය වැඩිහිටි ගර්භිණී සමය Advance Matured Age Pregnancy හෙවත් AMA Pregnancy යනුවෙන් හැඳින්වේ. වැඩිහිටි වියෙහි ගර්භණීභාවය රෝගයක් නොවේ. එහෙත් එය විශේෂයෙන් සැලකිලිමත් විය යුතු හා අවධානයට ලක්විය යුතු තත්ත්වයකි. මන්ද ඒ පිළිබඳ සැලකිලිමත් නොවීම හෝ දැනුම්වත් නොවීම බවට මෙන්ම උපදින දරුවාටද විශේෂයෙන් බලපාන සෞඛ්‍ය ගැටලුවලට මුහුණපාන්නට සිදුවීමේ වැඩි අවදානමක් පවතින හෙයිනි. වැඩිහිටි වියෙහි ගර්භිණීභාවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අයත් වේ. පළමු කොටස වැඩිහිටි වියේදී පළමු දරු උපත අපේක්ෂා කරන මවුවරුන්ය. දෙවැනි කොටස දරුවන් කිහිපදෙනෙකු සිටින වයස අවුරුදු 35 ඉක්ම වූ මවුවරුය. කාන්තාවක වැඩිහිටි වියේදී ගර්භිණී වීම සදහා බලපාන හේතු කිහිපයක් තිබේ. මෙරට මෙන්ම විදෙස් රටවලද කාන්තාවන් උසස් අධ්‍යාපනය, රැකියාව, ආර්ථික තත්ත්වය මෙන්ම විතැන් වීම හෙවත් ජන විකාශනය හේතු වැනි කරුණු මත ප්‍රමාද වී විවාහයට ඇතුළත් ත්වීම හේතු වී තිබේ. ඉගෙනීම හමාර කර රැකියාවක් සොයාගෙන විවාහපත් වුවද, ගේ දොර තනාගෙන වඩාත් පහසුකම් ඇති ප්‍රදේශයකට පැමිණ ආර්ථික අතින් ස්ථාවර වීමෙන් පසුව දරුවන් බිහිකිරීමට සැලසුම් කිරීමෙන් ප්‍රථම දරු උපත කල් දැමීම සිදුවේ. එලෙස පළමු දරු උපත අපේක්ෂා කරන මවුවරුන් Primly pregnant යනුවෙන් හැඳින්වේ. පවුලේ දරුවන් දෙදෙනෙකුට ඊට වැඩි සංඛ්‍යාවක් සිටින ඊළඟ දරු උපත අපේක්ෂා කරන මව්වරුන්(Multipara Pregnancy) ලෙස හැඳින්වේ. මේ දෙපිරිසටම බලපාන  ස්වාභාවික ජීවවිද්‍යාත්මක බාධක ඇත. ඒවා දෙආකාර වේ. ඉන් පළමුවැන්න කාන්තා ශරීරයේ ස්වභාවිකව ඇතිවන පොදු වියපත් වීමේ ලක්ෂණ අභ්‍යන්තර ඉන්ද්‍රිය සඳහාද බලපෑම් කිරීමය. කාන්තාවක වියපත් වීමත් සමගම ප්‍රජනක පද්ධතියෙහිද විවිධ වෙනස්කම් ඇතිවේ. ගැහැනු දරුවෙකු උපතේදීම ඇයගේ ගර්භණීභාවයේ නිපදවෙන ඩිම්බ ප්‍රමාණය තීරණය වේ. මෙම සංඛ්‍යාව එක් එක් ස්ත්‍රියගෙන් ස්ත්‍රියට වෙනස් වේ. මෙම ඩිම්බ හටගැනීම දැරිවියක මල්වර වීමේ සිට ආර්ථවහරණය දක්වාම සිදුවේ. මෙලෙස හටගන්නා ඩිම්බ හෙවත් සරු බීජ වඩාත් සරු වන්නේ වයස අවුරුදු 20 - 34 කාලය හෙවත් ප්‍රජනන අවදියේදීය. වියපත් වීමත් සමග කාන්තාවන්ගේ ඩිම්බවල සරු බවද ක්‍රමයෙන් අඩු වේ. එලෙස ප්‍රප්නනය හා සම්බන්ධ විවිධ හෝමෝන වර්ග නිෂ්පාදනයද වයසට යාමත් සමග ක්‍රමයෙන් අඩු වේ. ඊස්ට්‍රජන්, පොජෙස්ටරෝන්, G.N.R.H, F.S.H සහ L,H වැනි හෝමෝන නිෂ්පාදනය සදහාද වියපත් වීම බලපාන අතර, මේවායින් ඩිම්බ නිපදවීම හා පිටවීමේ ක්‍රියාවලියට බලපෑම් ඇති කෙරේ. වයසට යාමත් සමග ඩිම්බවල සමබරතාවය අඩු වෙත අතර, ඩිම්බවල සංයුතියද වෙනස්වීම්වලට බදුන් වේ. දෙවැනි බාධකය වන්නේ වයසට යාමත් සමග ඩිම්බ මේරීමේ ක්‍රියාවලියට බාධා පැමිණීමයි. එසේම ගර්භාෂයේ සහ පැලෝපීය නාළිකාව ආශ්‍රිත ජීව විද්‍යාත්මක ගැටලුද පැන නගී. මෙය නීරෝගී දරු උපතකට විශේෂ බාධාවක් ඇතිවන අතර, ඇතැම්විට ඒවා මාතෘ මරණවලට පවා හේතු විය හැකිය. ඩිම්බවල ජානමය සංයුතිය වෙනස් වීමෙන් ජාන විකෘතිතා සහිත දරුවන් බිහිවීමට ඉඩ තිබේ. අනෙක් බාධකය වන්නේ සරු ඩිම්බ, ඩිම්බකෝෂවලින් පිට නොවී තිබීමයි.ඕනෑම පුද්ගලයෙකු වයසට යාමත් සමග සිය ඉන්ද්‍රියන්ද වියපත් වේ. කාන්තාවන්ද අවුරුදු 35 පසුවන කල ස්ථුලතාවය, දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් අධික වීම, අධික රුධිර පීඩනය වැනි බෝනොවන රෝගවලට ගොදුරු වීමේ  ප්‍රවණතාවය වැඩි වී තිබේ. විශේෂයෙන්ම මෙරට කාන්තාවන් අතර ස්ථුලතාව හා බෝනොවන රෝග වැඩිවීමක් දක්නට ලැබේ. එම රෝග සහිත කාන්තාවන් ගර්භණීභාවයට පත්වීමට පෙර හෝ ගැබිනි බවට පත්වූ විගස එම තත්ත්වය පාලනය නොකළහොත්, මවට මෙන්ම උපදින දරුවාටද අහිතකර බලපෑම් එල්ලවිය හැකිය. එමෙන්ම වැඩිහිටි වියේදී සාමාන්‍යයෙන් කාන්තාවන් ගර්භණී බවට පත්වූ කල ගර්භිණී දියවැඩියාව සහ ගර්භිණී බව නිසා ඇතිවන අධික රුධිර පීඩනය වැනි රෝගවලට ගොදුරු වීමට වැඩි අවදානමක්ද තිබේ. දරුවන් කිහිපදෙනෙකු සිටින වැඩිහිටි ගැබිනි මවක් මන්දපෝෂණය හෝ රක්තහීනතාව වැනි ආබාධවලට ගොදුරු වීමට වැඩි හැකියාවක් තිබේ. වැඩිහිටි වියේ ගර්භණී මාතාවන් මුල් අවදියේ සිටම පූර්ව ප්‍ර‍සව සායන වෙත යොමු වීම ඉතා වැදගත්ය. ඊට හේතුව ඉහත සදහන් බාධක හා අවදානම් සාධක පිළිබඳව හොඳින් දැනුම්වත් වී ලෙඩ රෝග ඇත්නම් ඒවා හොඳින් පාලනය කරගෙන නිරෝගී දරු උපතක් ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර හා සහයෝගය නොමිලේම ලබාගත හැකි උසස් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවත් මෙරට තිබීමයි.

වැඩිහිටි වියෙහි ගර්භණී මවකට ඇතිවිය හැකි ගැටලු අතර, මවුවරුන් අතර සිසේරියන් සැත්කම් බහුල වීමද දැකිය හැකිය. වයසත් සමග සිරුරේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් වැඩිහිටි මවකගේ ප්‍රසවය පහසුවෙන් සිදුනොවීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක ස්වාභාවික දරු උපතක් අපේක්ෂා කළද ප්‍ර‍්වය අවහිර වීමෙන් හදිසි සිසේරියන් සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය විය හැකිය. පළමු දරුවා සැත්කමකින් බිහි කළ මවකට අනිවාර්යයෙන්ම ඊළඟ දරුවාද සැත්කමකින් බිහිකිරීමට සිදුවේ. පසු ප්‍රසව අධික රුධිර වහනය වැඩිහිටි මව්වරුන් මුහුණදෙන තවත් අවදානම් තත්ත්වයකි. ප්‍රසවයේදී අධික ලෙස රුධිරය වහනය වීමෙන් මාතෘ මරණ සිදුවීමට ඉඩ තිබේ. තවද පෝෂණයෙන් අඩු මවකට අඩු බරැති දරුවන් බිහි වීම මෙන්ම අධි බරැති ස්ථුලතාවයෙන් යුතු මවකට අධි බරැති දරුවන් බිහිවීමද මෙකල ලංකාවේ සැලකිය යුතු මට්ටමේ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝකයේ මාතෘ මරණ අනුපාතයෙහිද මෑතකාලීනව 6%ක වර්ධනයක පෙන්නුම් කෙරේ. නොමේරූ දරු උපත්, ගබ්සා, නව ජන්ම මරණ මෙන්ම විකෘති දරු උපත් ඇතිවීමටද ඉහත කාරණා හේතු වේ. සියල්ලටම මූලික හේතුව වන්නේ මවක් නිසි වයසෙන් පසුව ගර්භිණීභාවයට පත්වීමය. වර්තමානයෙහි මෙරට පවතින ආර්ථික සමාජීය වාතාවරණය හමුවේ කාන්තාවන්ගේ විවාහ ප්‍රමාදය හා වැඩිහිටි ගර්භණීභාවයද සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. එහෙයින් වැඩිහිටි ගර්භණී තත්ත්වයට එල්ලවන බාධක හා අවදානම් අඩුකර ගැනීම සදහා ඇති හොදම විසඳුම වැඩිහිටි වියෙහි කාන්තාවන් විවාහය හා ප්‍රථම දරු උපත සැලසුම් කිරීමට පෙර පටන්ම රජයේ රෝහල්වල පවත්වනු ලබන පූර්ව ප්‍රසව සායනවලට මව සහභාගී වීමය. මන්ද කල්ඇතිව හදුනාගත් කල විවාහ වූ අලුත පටන්ම නීරෝගී දරුවන් පවුලට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස්, ප්‍රතිකාර හා සහයෝගය ඒවායෙන් ලබාදෙන බැවිනි.

උපදෙස් - ප්‍රජා වෛද්‍ය පූජනී ඉලංගරත්න, පවුල් සෞඛ්‍ය කාර්යාංශය

(ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුමැතිය ඇතිව)

සටහන - සාගරිකා දිසානායක


භාණ්ඩ වර්ග 78ක තහනම ඉවතට

තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රවල  ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ අතර වන බවයි. ශීතකරණ, අධි ශීතකරණ, වායුසමීකරණ, ඇඟලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර, වෝටර් හීටර්, සුවඳ විලවුන්, බ්‍රේක් ලයිනර් සහ බ්‍රේක් පෑඩ්ස් ඒ අතර වෙයි. භාණ්ඩ වර්ග 78ක ආනයන තහනම මෙසේ ලිහිල් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත. මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ වර්ග අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්‍රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතිය යටතේ ආනයනය කිරීමට අවසර හිමිව තිබේ. ඒ අතරට රූපලාවණ්‍ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්‍ය උපකරණ ඇතුළත් වේ. මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ හෝ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්‍ය වේ. මීට අමතරව, සූස්, බ්‍රීෆ් කේස්, පසුම්බි, ප්ලාස්ටික් ෂීට්, කුඩ, සැරයටි, පිහිනුම් පුවරු, හිසකෙස් හා විග්, ඉමිටේෂන් ආභරණ, ඉබි යතුරු, රූපවාහිනී ඇන්ටෙනා, ට්‍රේලර්ස් සහ සෙමි ට්‍රේලර්ස්, වාහන ආසන, විදුලි පහන්, ඉලියුමිනේටඩ් සයින්ස්, ක්‍රීඩා භාණ්ඩ, ෂේවින්ග් ක්‍රීම්, ආෆ්ටර් ෂේව්, ඩියොඩ්‍රන්ට් ආදී භාණ්ඩ සඳහාද පනවා තිබූ ආනයන තහනමද ඉවත් කර ඇත. ඒ අනුව, බලපත්‍රලාභී බැංකුවලට  අදාළ භාණ්ඩ නැව්ගත කිරීමේ ලේඛන මුදා හැරීමට සහ අදාළ භාණ්ඩ සඳහා ගෙවීම් ක්‍රියාත්මක කිරීමට මෙම ගැසට් පත්‍රය මගින් බලය පවරා තිබේ. පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය අගෝස්තු මස 23දා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ එච්.එස්. කේත 1,468කට අයත් භාණ්ඩ ආනයනය අත්හිටුවීමට රජය කටයුතු කළ අතර, අනතුරුව විවිධ පාර්ශ්වවලින් ලද සාධාරණ ඉල්ලීම් සලකා බලා සැප්තැම්බර් මස 09දා ඉන් භාණ්ඩ 708ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.


(ෂමිල පෙරේරා)


Thursday, November 24, 2022

2023 නොනිදන සාප්පු සංකිර්ණයක් වන ආකේඩ් පරිශ්‍රය

බ්‍රිතාන්‍ය පාලන සමයේ පෞරාණික ගොඩනැගිල්ලක් ලෙස සලකා පසුව මෑත ඉතිහාසයේ රාජ්‍ය ආයතන කිහිපයක් පිහිටවූ ගොඩනැගිල්ලක් ලෙස කොළඹ ආකේඩ් පරිශ්‍රය හැදින්විය හැකියි. එහි රාජ්‍ය විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රමුඛ පළාත් සභා ගොඩනැගිල්ල සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ලදී. 2012දී නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගත් මෙම ගොඩනැගිල්ල නවීකරණයට භාජනය විය. පැරැණි ගෘහනිර්මාණ ශිල්පයට හානියක් නොවන පරිදි නවීකරණය කළ මෙම ගොඩනැගිල්ල එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ආමාත්‍යාංශය විසින් කොළඹ ආමාත්‍යාංශය විසින් කොළඹ නගර සංවර්ධන වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් ලෙස සිදුකරන ලදී. 2014 ජූලි මස 13වන දින ආකේඩ් නිදහස් චතුරශ්‍රය නමින් ජාත්‍යන්තර මට්ටමේ අංගසම්පූර්ණ සාප්පු සංකීර්ණයක් ලෙස එය විවෘත විය. ආකේඩ් නිදහස් චතුරශ්‍ර සාප්පු සංකීර්ණය වර්ග අඩි 90,000ක් පමණ භූමියක් පුරා පැතිර පවතින අතර, එහි වර්ග අඩි 40,000ක පමණ ප්‍රමාණයක් සාප්පු සංකීර්ණ, අවන්හල් ඇතුළු වාණිජ කටයුතු වෙනුවෙන් වෙන් කර ඇත. මෙම පරිශ්‍රය තුළ දේශීය මෙන්ම විදේශීය කීර්තියට පත් සන්නාම නාම යටතේ භාණ්ඩ හා සේවා ආයතන ගණනාවක් දැකිය හැකිය. අවන්හල් මෙන්ම අංගසම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවක්ද මෙම පරිශ්‍රයේ පිහිටා තිබේ. ජනාකීර්ණ නාගරික පරිසරයක වුවත්, නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට ඉතා අලංකාර ලෙස නිර්මාණය කළ පරිසරයක නිදහසාප්පු ස්වාරියේ යෙදීමට, රස්වත් කෑමවේලක් රසවිදීමට බොහෝ ජනතාවක් මෙම පරිශ්‍රයට පැමිණෙති. විවිධ සන්නාම නාම යටතේ නව නිෂ්පාදන එළිදැක්වීම, පොත්පත් එළිදැක්වීම ආදී උත්සව අවස්ථා සඳහාද මෙය ඉතා අගනා ස්ථානයකි. තවද මංගල ඡායාරූපකරණය සඳහා මෙම පරිශ්‍රයට ඉහළ ඉල්ලුමක් පවතී. එසේ වසර ගණනාවක් මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනා ගත්තේය. එහෙත් පසුකාලීනව එම අරමුණ ඉෂ්ට වූවාදැයි සැක සහිතය. මෙම පරිශ්‍රය ආරම්භ කළ මුල් වකවානුවේ බොහෝ පිරිස් මෙම ස්ථානය නැරඹීමට, එහි අත්දැකීම් විදගැනීමට පැමිණි අතර, එමගින් එහි අරමුණ සාක්ෂාත්කර ගැනීමට හැකිවේද යන්න ගැටලුවකි. එය සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක අත්දැකීම විදගැනීමේ අරමුණින් ආරම්භ කළ අතර, විදේශ සංචාරක ආකර්ෂණය දිනාගැනීම මූලික අරමුණ විය. තවද දේශීය තෝරාගත් පිරිසක් සඳහා පමණක් මෙම සංකීර්ණයේ භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකි විය. මන්ද එය ඉතා මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ හා සේවා සදහා පමණක් වෙන් වී තිබීමයි. එය කෙසේ වීද ඉන්පසු ඇති වූ දේශපාලන   වෙනස්වීම් හා පාස්කු ප්‍රහාරයත් සමග එහි තත්ත්වය වෙනස් විය. ලංකාවට සංචාරකයන් පැමිණීම විශාල ලෙස අඩු වීමත්, ඉන්පසු ඇතිවූ කෝවිඩ් තත්ත්වයේ බලපෑමත් නිසා මෙම ස්ථානයේ මෙහෙයුම් කටයුතු අඩපණ විය. බොහෝ ව්‍යාපාරික ස්ථාන, සේවා සපයන ස්ථාන වැසී යාම සිදුවිය. රට යළි යථා තත්ත්වයට පත්වීම ආරම්භ වීමත් සමග මෙම පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සොෆ්ට්ලොජික් සමාගම විසින් භාරගනු ලැබිණ. ඒ, 2021 මුල් කාර්තුවේදීය. මේ පිළිබඳ සොෆ්ට්ලොජික් සමාගමේ වෙළෙඳ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ශාමල් ගමගේ මහතා මෙසේ පැවසීය. "අප ආයතනයට මෙම පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම විශාල අභියෝගයක් වුණා. අපට මුහුණ දීමට සිදුවුණා විශාලම අභියෝගය තමයි ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්කිරීම. බොහෝ ව්‍යාපාරික ස්ථාන මෙම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කරලා තිබුණේ. බොහෝ ස්ථාන වැසී ගිහින්. ඒවා යළි විවෘත කිරීමට පුළුවන් වාතාවරණයක තිබුණෙ නැහැ. අප පැමිණීමත් සමග අප සමාගම කෙරෙහි තිබූ විශ්වාසය නිසාම ඇතැම් ව්‍යාපාරිකයන් මෙහි රැඳීමට කැමැත්ත පළ කළා, අප මෙහෙයුම් කටයුතු ආරම්භ කළත් සමගම තෙල් අර්බුදයක් ඇතිවුණා. එය ඉතා විශාල ලෙස බලපෑවා. යළිත් සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා. දේශීය ජනතාවගේ පැමිණීමත් විශාල ලෙස අඩු වුණා. එයත් අපට විශාල අභියෝගයක් වුණා. දැන් තත්ත්වය අප පාලනයට නතු කර ගනිමින් අපගේ ඉලක්ක කරා ළඟාවෙමින් පවතිනවා. මෙම පරිශ්‍රයේ පෞරාණික බව ආරක්ෂා කර ගනිමින්, මෙහි අනන්‍යතාව, ඉතිහාසයේ ප්‍රතාපවත් බව රකිමින් ව්‍යාපාරික ඉලක්ක ජයගැනීම තමයි අපගේ අරමුණ. අප මෙම ස්ථානයට එන විට මෙහි පරිසර තත්ත්වය යහපත් නැහැ. කැටකාල කොළ හැමතැනම දාලා,  පවුලක උදවියට ඇවිත් කාලය ගත කිරීමට සුදුසු වටපිටාවක් තිබුණේ නැහැ. අප වසරක් තුළ එය වෙනස් කළා, අප මෙහි පරිසරය නඩත්තු කටයුතු ඉතා හොදින් කරනවා. ඒ සදහා විශාල පිරිවැයක් දරනවා. ඒ වගේම ආරක්ෂක කටයුතු ඉතා හොදින් සිදුකරනවා.” 

වෙළෙඳ කළමනාකාර ස්පෙන්සර් පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්වීය.

"මුලින්ම අප මෙම පරිශ්‍රය කලාපවලට වෙන් කරමින් ව්‍යාපාරික අවස්ථා හඳුනාගත්ත මොන මොන ස්ථානවලද ආහාරපාන අවන්හල්

සදහා ලබාදෙන්නේ මොන ස්ථානද, එළිමහන් උත්සව සදහා ලබාදෙන්නේ මොන ස්ථානද, සාප්පුවලට ලබාදෙන්නේ මොන ස්ථානද ආදී වශයෙන්.මුලින්ම අප කරන්නේ ආහාර පාන අංශය ශක්තිමත් කිරීම හා විනෝදාස්වාදය සදහා වන ප්‍රාසාංගික තත්ත්වය වැඩිදියුණු කිරීමයි. එය 2023 මුල් කාර්තුව වන විට අපගේ ඉලක්කය සම්පූර්ණ වනවා. ඒ වන විට මෙම පරිශ්‍රය නොනිදන සාප්පු සංකීර්ණයක් බවට පත්වෙයි. ජාත්‍යන්තර මට්ටමේ අවන්හල් රැසක සේවාව ලබාගැනීමට මෙම පරිශ්‍රයේදී හැකිවෙනවා.  අප එළිහත් ප්‍රසංග, එළිමහන් උත්සව, එළිමහන් මංගල උත්සව ආදී ක්‍රියාකාරකම් සඳහා වැඩි අවස්ථාවක් ඇතිකරනවා. මෙම භූමිය අක්කර 4ක් පුරා විහිදෙනවා. ඒ වගේම එහි නඩත්තු කටයුතු ඉතා හොදින් වැඩි පිරිවැයක් දරමින් අප සිදුකරනවා. ගුණාත්මක උත්සව අවස්ථා සදහා මෙම පරිශ්‍රය භාවිත කිරීමට අප ආරාධනා කරනවා. කාලයක් මෙම ස්ථානය මංගල ඡායාරූප ගැනීමට ඉතා ජනප්‍රිය වෙලා තිබුණා. දැන් යළිත් ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. රස්තියාදුවීමකින් තොරව මෙම ස්ථානයට පැමිණ පෝරම පිරවීමකින් තොරව අදාළ මුදල් ගෙවීමෙන් ඉතා ඉක්මනින් පහසුවෙන් මෙම පරිශ්‍රය ඒ සදහා භාවිත කළ හැකියි. ඒ සදහා අවශ්‍ය ඇදුම් මාරු කිරීමේ කාමර පහසුකම් පවා අප ඇතිකර, එම සේවාව උසස්කර තිබෙනවා.

තවද වෙළෙඳ දැන්වීම් රූගත කිරීම් විවිධ රූපවාහිනී වැඩසටහන් රූගත කිරීම් සදහා අප මෙම පරිශ්‍රය ලබා දී තිබෙනවා. පසුගිය කාලය පුරා එළිමහන් සංගීත ප්‍රසංග ගණනාවක් මෙම පරිශ්‍රයේ පැවැත්වුණා. ඒ සදහා විශාල පිරිසක් පැමිණ රසවින්දා, එළඹෙන නත්තල් මාසය වෙනුවෙන් විශේෂ ප්‍රසංග, නත්තල් කැරොල් හා ආහාර සැණකෙළි අප සංවිධානය කර තිබෙනවා. ආහාර පාත, සාප්පු ස්වාරී හා විනෝදාස්වාදය පිරි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක් තමයි අප මේ පරිශ්‍රයේ ඇතිකරන්නේ, දෙස් විදෙස් ආකර්ෂණය පිරි එම අත්දැකීමට මේ වන විටත් අප ළඟා වී තිබෙනවා. අද වන විට මධ්‍යම පන්තියේ සිට සුපිරි පන්තිය දක්වා මෙහි සේවාව විදීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා. Area 7 නමින් අලුතින් ඇති කළ එළිමහන් ස්ථානයේ ආහාර පාන භුක්ති විඳීමට මේ වන විට විශාල පිරිසක් පැමිණෙනවා. දැනට රාත්‍රී 12 දක්වා එහි සේවාවන් ලබාගත හැකියි. කලින් නොතිබුණ බොහෝ භෞතික වෙනස්කම් මේ වන විට ඇතිකර වැඩිදියුණු කර නඩත්තු කර පවත්වාගෙන යනවා. ඉදිරියේදී ජාත්‍යන්තර මංගල උත්සව පැවැත්වීම අවශ්‍ය පහසුකම් අප ඇති කරනවා. එය ලබන වසර අග වන විට අවසන් කරනවා. ඒවා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය, සංස්කෘතිය පිළිඹිබු වන ආකාරයට සංවිධානය කිරීම තමයි අපගේ බලාපොරොත්තුව. තවද ඉදිරියේදී දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා ජාත්‍යන්තර තත්වයේ මත්පැන් ශාලාවක් විවෘත කිරීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. අලුත් ව්‍යාපාරික අවස්ථා සදහා මෙම ස්ථානය විවෘත වනවා සේම අප සමග සිටින ව්‍යාපාරිකයන්ට නව අවස්ථා උදාකරමින් මෙම පරිශ්‍රය ජාත්‍යන්තර තත්ත්වයට පත්කිරීම ඉදිරි වසර දෙක තුළ සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා.”



( ක්‍රිෂාන් රණසිංහ) 


ආබාධිත සැමරුම් උත්සවයට සුදානම් වු ආබාධික සංගීත කණ්ඩායම ඉවතට

ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙරටදී පැවැත්වෙන සැමරුම් උත්සවයේ සංගීත කටයුතු සඳහා තෝරගෙන සිටි තම සංගීත කණ්ඩායම කිසිදු හේතුවක් නොමැතිව අදාළ කටයුතුවලින් ඉවත්කර තිබෙන බව ආබාධිත පුරවැසියන් නියෝජනය කරන ටයිටන් සංගීත කණ්ඩායම සඳහන් කරයි. ලබන මස 03වැනිදා අපේගම පරිශ්‍රයේදී රජය මැදිහත් වී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, එහි සංගීත කටයුතු සඳහා දෘශ්‍යාබාධිත පුරවැසියන් 08දෙනෙකු නියෝජනය කරන තම  සංගීත කණ්ඩායම තෝරගෙන සිටි බවත් එම සංගීත කණ්ඩායම පෙන්වා දෙයි. මෙම උත්සවයේ සංගීත කටයුතු සිදුකිරීම සඳහා විශාල මුදලක් වියදම කර පුහුණු වීම් පවා සිදුකළ බවත්, මේ වනවිට පුහුණුවීම් අවසන් අදියරේ පැවතියදී උත්සව අවස්ථාවේ සංගීත කටයුතුවලින් තම කණ්ඩායම ඉවත් කළ බවට රජයේ බලධාරින් දැනුම්දුන් බවත් එම කණ්ඩායමේ නායක චන්දන සම්පත් මහතා පැවසීය. අදාළ උත්සවයේ සංගීත කටයුතු සැපයීම් සඳහා දේශපාලනඥයෙකුගේ මැදිහත්වීම මත අධික මුදලක් වැය කර සංගීත කණ්ඩායමක් තෝරාගෙන තිබෙන බවට වාර්තා වන බවද ඒ මහතා පවසා සිටියේය.

( ඉන්දික හේවාවිතාරණ) 

රනිල් කිව්ව ඩීන් ඩියම්

ඩීන් ඩියම් යනු වියට්නාමයේ සිටි ඒකාධිපති පාලකයෙකි. ඔහු එක්සත් ජනපදයේ හමුදා සහ ආර්ථික ආධාරවල සහාය ඇතිව කටයුතු කළ 'ClA' වුවමනාවන් සපුරාලීමට කටයුතු කළ අයෙකු ලෙසද සැලකෙයි. කතෝලිකයෙකු වූ ඔහු වියට්නාමයේ අති බහුතරයක් වූ බෞද්ධයන්ගේ අයිතීන් පාගා දැමූ නායකයෙකු බවටද පත්විය. බෞද්ධ ධජය එසවීමේ තහනම කඩකළ විරෝධතාකරුවන්ට රජය වෙඩි තැබීමෙන් පසුව, දීර්ඝ කාලීන ආගමික සංහිඳියාවට එරෙහිව ඩීම් පාලනය පිළිබඳ අතෘප්තිය ඉහළ යමින් ඔහුගේ පාලනයට එරෙහි විරෝධතා ඉහළ ගියේය. එහි කූට ප්‍රප්තිය ලෙස සාර්ථකව මෙහෙයවූ හමුදා කුමන්ත්‍රණයකින් පසු 1963 නොවැම්බර් 01 වැනිදා ඔහුව අත්අඩංගුවට ගෙන ඝාතනය කර තිබේ.