Showing posts with label education. 3. Show all posts
Showing posts with label education. 3. Show all posts

Friday, February 2, 2024

උසස් පෙළ පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත්වෙති‍



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු ඊයේ (1) ඉවත් වූහ.උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට දෙන රුපියල් 2000 දීමනාව මේවර නොදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතුවලින් ඉවත් වූ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් දුන් බවත් මෙවර එම දීමනාව කප්පාදු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් ඉවත් වූ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වලින් පරීක්ෂකවරු ඊයේ දිනයේ සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටියහ. මේ අතර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතුවල යෙදෙන පරීක්ෂකවරුන්ට දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව කප්පාදුවකින් තොරව එලෙසම ලබාදීමට පියවර ගන්නා බවය.ලබන සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.

 රංජන් කස්තුරි

Thursday, November 26, 2020

කොරෝනා හැදුණු මවත් පියත් දරුවන් යැවූ පාසල් දෙකේම සිසු පැමිණීම අඩුවෙයි



අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හා පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ දරුවන් දෙදෙනකුගේ මාපියන් කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් ධර්මාශෝක විද්‍යාලයට කිසිදු ශිෂ්‍යයකු ඊයේ (25) නොපැමිණි අතර අතර පී. ද එස්. කුලරත්න විද්‍යාලයට පැමිණ ඇත්තේ සිසුන් හත්දෙනකු පමණි. ධර්මාශෝක විද්‍යාලයට ගුරුවරුන් පැමිණ ඇත්තේ 44 දෙනකු පමණක් වන අතර, කුලරත්න විද්‍යාලයට පැමිණිය යුතු ගුරුවරුන් 112 දෙනකු අතුරින් පැමිණ ඇත්තේ 77 දෙනකු පමණි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 5,000කට අධික වන අතර මේ දිනවල පාසලට ගෙන්වන්නේ 6 ශ්‍රේණිය හා ඉන් ඉහළ පන්තිවල සිසුන් පමණක් නිසා පාසලට පැමිණිය යුත්තේ සිසුන් 1,118 දෙනකු පමණක් බව වාර්තාවේ.


කුලරත්න විදුහලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව3,000කට ආසන්න අතර, පැමිණිය යුතුව ඇත්තේ 1,135 දෙනකු පමණි. කුලරත්න විද්‍යාලයට පැමිණි සිසුන් කිහිපදෙනා ද පසුව නිවෙස් වෙත පිටත්කර යැවූ බව විදුහල්පති ජගත් සේනාරත්න මහතා පැවසීය. මෙම දරු දෙදෙනාගේ පියා වන අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා නිලධාරියෙක් හා ඔහුගේ භාර්යාව කොවිඩ්-19 ආසාදිතයන් ලෙස පෙරේදා (24) හඳුනාගනු ලැබූහ. ඔවුන් දෙදෙනාම නව පාසල් වාරය ආරම්භ දිනය වන නොවැම්බර් මස 23 වැනිදා සිය පාසල් සඳහා ගොස් ඇත්තේ සිය පියා නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක් කොට සිටියදී බවත් එම දරුවාගේ පියා හා මව ඒ වන විටත් කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන් වූ හෙයින් ඔවුන් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමට පී.සී.ආර්. පරික්ෂණ පවත්වා තිබු බවත් අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.


එම පී.සී.ආර්. පරික්ෂණවල ප්‍රතිඵල අනුව දෙදෙනාම කොවිඩ්-19 ආසාදිතයන් බව හඳුනා ගන්නා විට දරුවන් දෙදනාම සිය පාසල්වලට ගොස් සිටි බවද එම කාර්යාලය කියයි. දරුවන්ගේ ආශ්‍රිතයක් ලෙස හඳුනාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසු සිසුවියන් විසි දෙදෙනකු හා ගුරුවරුන් පස් දෙනකුද අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ සිසු සිසුවියන් අටදෙනකු හා ගුරුවරුන් පස්දෙනකුද ස්වයං නිරෝධායනයටයොමු කළ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. කොවිඩ්-19 ආසාදිත මේ දෙමාපියන්ගේ දරු දෙදෙනාට කොවිඩ්-19 ආසාදිතවී ඇත්දැයි සොයා බැලීම සඳහා ඔවුන් ද පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇත. මෙම විදුහල් පරිශ්‍ර දෙකම විෂබීජහරණයකට ලක්කිරීමට ද බලධාරින් පියවර ගෙන ඇත. මෙම තත්ත්වය හේතූවෙන් අම්බලන්ගොඩ කලාපයේ අනෙකුත් පාසල්වලට ඊයේ (25) පැමිණි සිසුන් සංඛ්‍යාවද ඉතා අඩු වූ බව අම්බලගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයේ ප්‍රකාශකයක් කීවේය.


මෙම තත්වය යටතේ ගත යුතු පියවර තීරණය කිරීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් දිසානායක මහතා අධ්‍යාපන බලධාරින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (25) සාකච්ඡාවක් ද පවත්වා ඇත. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පති හසිත කේස්සර වෙත්තමුණි මහතා පැවසුවේ මෙම දරුවන්ගේ දෙමාපියන් පී.සී.ආර්. පරික්‍ෂණවලට යොමුකර ඇතැයි දැනගත් වහාම ඔවුන් හා ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කර පාසල විෂබීජහරණය කර ඇති බවයි. ඒ නිසා කිසිඳු දරුවකු පාසලට පැමිණිමට බිය විය යුතු නැතැයි කීමට විදුහල්පතිවරයා දරුවන් පාසලට එන විට ආහාර, ජල බෝතලයක්, මුහුණු ආවරණයක්, අමතර මුහුණු ආවරණයක් හා දෑත් පිරිසිදු කාරක (සැනිටයිසර්) බෝතලයක් රැගෙන ඒම කළ යුතු බව ද කීවේය. අම්බලන්ගොඩ පී. ද ඇස්. කුලරත්න විදුහල විෂබීජහරණය කිරිම සඳහා අද (26) සහ හෙට (27) දෙදින වසාදැමීමට ඊයේ (25) තීරණය කළ බවත් සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිමෙන් යළි පාසල ආරම්භ කිරීමට විදුහල්පති ජගත් සේරත්න මහතාගේ හා දකුණු පළාත් අධ්‍යාපන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවකදී ඊයේ (25) තීරණය කෙරුණි.


කෙසේ වෙතත් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ කටයුතු සුපුරුදු ලෙස සෞඛ්‍ය උපදෙස් අනුව පවත්වාගෙන යන බව විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා ඊයේ (25) පැවසීය. ‍මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගෙන් කළ විමසුමකදී මෙසේ පැවසීය. දකුණේ කිසිම පාසලක් වසා දමන්න අපි අදහස් කරන්නේ නැහැ. මේ සියලුම කටයුතු අපි කරන්නේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුවයි. පාසල්වල මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ. යම් සිද්ධියක් ඇති වුණොත් ඒ පංතිය වසා දැමත් පාසලම වහලා දාන්න බැහැ. පාසල්වල සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.


-හේමන්ත ද සිල්වා-


Tuesday, November 24, 2020

පාසල් අරුණත් සිසුන් අඩුවෙයි


බස්නාහිර පළාතේ සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටී පාසල් හැර දිවයිනේ සෙසු ප‍්‍රදේශවල පිහිටි පාසල් 5,100 ක පමණ 6 සිට 13 දක්වා වන ශ්‍රේණි සඳහා තුන්වන පාසල් වාරය ඊයේ (23) ආරම්භ වුවත් පැමිණ සිටි සිසුන් සංඛ්‍යාවේ අඩුවක් පැවති බව වාර්තා වේ. ඇතැම් පාසල්වල සිසුන්ගෙන් සියයට 50ක් පමණ පැමිණ සිටියත් සමහර පාසල්වල පැමිණ සිටියේ සියයට 5ක් පමණ ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් බව ද වාර්තා විය. පාසල් ආරම්භ කිරීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකෙරිණි. ඇතැම් පාසල්වල ගුරුවරුන් පැමිණීමේ ද අඩුවක් ද වාර්තා වී ඇත. පාසලට පැමිණි ගුරුවරුන්, දරුවන් සියලු දෙනාම පාහේ මුහුණු ආවරණ පැළඳ සිට ඇති අතර ඔවුන්ට අත් සේදීමේ පහසුකම් ආදිය ද සපයා දී තිබෙනු දක්නට ලැබිණි.


එමෙන්ම පාසලට ඇතුළුවන අවස්ථාවේ දී සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම ද සිදුවිය. එසේ වුවත් ඇතැම් පාසල්වල මෙම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් ලෙස සලසා නොතිබූ බව ද වාර්තා විය. රජයේ පාසල්වල දෙවන වාර නිවාඩුව ඉකුත් ඔක්තෝබර් 9 වැන්දායින් ආරම්භ වූ අතර එය ඉකුත් 9 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි. රට තුළ මතු වූ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එය ඊයේ (23) දිනය තෙක් දීර්ඝ වූ අතර බස්නාහිර පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල හා හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් ආරම්භ වූයේ ඒ අනුවය. සෞඛ්‍යාරක්‍ෂිත පියවර අනුගමනය කරමින් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබිණි.



ඒ අනුව අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ (23) පාසල් ආරම්භ කෙරුණු බව අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඊයේ (23) පාසල් ආරම්භ කෙරුණු බව අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.


රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුන්ගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද ලේකම්වරයා සඳහන් කළේය. පාසල් ආරම්භ කළ දිනයේ පැමිණි සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ඇතත් ඉදිරි දිනවලදී දරුවන් සුපුරුදු පරිදි පාසල් වෙත පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු පැවසීය. දුරස්ථභාවය ඇතුළු අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පැවැත්වීම ප්‍රායෝගිකව අසීරු නොවන බව කී ලේකම්වරයා ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සඳහන් කළේය.


පාසල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපාය අනුගමනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් ලබා දී තිබෙන බව ද මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසිය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ රජය පාසල් ආරම්භ කිරීමට තීරණය කළ ද දෙමාපියන් තුළ විශ්වාසයක් ඇති නොවීම හේතුවෙන් දරුවන්ගේ පැමිණීමේ අඩුවක් සිදුවත්තට ඇති බවයි. පාසල් විවෘත කරන්නේ නම් ඊට පෙර දෙමාපියන් තුළ විශ්වාසයක් ඇති කරන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටියේ ඒ හේතුවෙන් බව ද ස්ටාලින් මහතා සඳහන් කළේය.


සාමාන්‍යයෙන් දරුවන් 5000 කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපන ලබන පාසල්වල ඊයේ (23) පැමිණ සිටියේ ළමයින් 100 ත් 50ත් අතර සංඛ්‍යාවක් බව ද ඔහු කීවේය. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ ගම්බදව පිහිටි පාසල්වල සියයට 50 ක පමණ සිsටි පැමිණිමක් සිදුවුවත් නගරබද ප්‍රධාන පාසල පැමිණ සිටියේ සියයට 2ත් 3ත් අතර ප්‍රමාණයක් බවයි. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය සදහන් කළේ පාසල් සිසුන්ගේ පැමිණිම් යම් අඩුවක් දක්නට ලැබුණ ද, ගුරුවරුන්ගේ පැමිණීම සියයකට සියයක් වූ බවයි.


බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට පැමිණීමට නොහැකි වූ ගුරුවරුන් හැර, අනෙකුත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඊයේ (23) පාසල්වලට පැමිණි බව ඒ සම්බන්ධයෙන් තම සංගමය කළ සොයාබැලීමක දී හෙළි වූ බව ද ඇය කීවාය. ඉදිරි දින කිහිපයේදී පාසලට දරුවන් පැමිණීම ද සාමාන්‍ය ආකාරයෙන් සිදුවනු ඇතැයි විශ්වාස කරන බව ඇය පැවසුවාය.


 -ඩයනා උදයංගනී-


Tuesday, November 10, 2020

උසස්පෙළ කඩඉමට තංගල්ලදී විරෝධතාවක්


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේ කඩඉම් ලකුණු අනුව පැරැණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් ඊයේ(9) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විණි. නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු - ජන ව්‍යාපාරය සංවිධානය කර තිබූ මෙම විරෝධතාවට පසුගිය වර්ෂයේදී උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ ඉදිරිපත් වී විශ්වවිද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝත් ඔවුන්ගේ මවුපියෝත් එක්ව සිටියහ.

පසුගිය වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පැරැණි නිරිදේශය යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කඩඉම් ලකුණු අනුව අසාධාරණයක් සිදුව ඇතැයි විරෝග්ධතාකරුවෝ කියති. තංගල්ල මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් මොවුහු විරෝධතාවයේ නිරත වූහ.


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයකු වන වසන්ත මුදලිගේ පැවසූයේ, පැරැණි සහ නව විෂය නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනී සිටි අතර එක් එක් විෂය ධාරාවලින් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ගැන රජයෙන් දැනුම් නොදුන් බවත් එසේ තිබියදී විෂය ධාරා දෙකටම සමාන කඩඉම් ලකුණු ලබා දී ඇති බවත්ය. ගතහැකි ඉහළම ප්‍රතිඵල ලබාගෙන ඉහළ ඉසෙඩ් අගයක් ලබාගත්තද විශ්වවිද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍යයි ශිෂ්‍යාවන් සිටින බවද ඔහු සඳහන් කළේය. තවද විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය පිරිස් දෙගුණ කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.


- අනීෂා මානගේ-

තුන්වැනි වාරයේ පාසල් වැඩ විකල්ප ක්‍රමයට


කොවිඩ් - 19 වසංගත තත්ත්වය ෙහ්තුවෙන් පාසල්වල තුන්වැනි වාරයේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය මෙන්ම තොරතුරු තාක්‍ෂණය යොදාගනිමින් මෙම මස 15 වැනිදා සිට විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතා පැවසීය.


ජාතික අධ්‍යාපන ආයතනය, බස්නාහීර පළාතේ ප්‍රමුඛ පාසල් හා දමිළ මාධ්‍යය සඳහා යාපනයේ ප්‍රමුඛ පාසල් ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් විෂයානුබද්ධ අධාපාපනික වැඩසටහන් සම්නපාදනය කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, විකාශන කටයුතු පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික නාලිකාවලද නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය. ඒ අනුව මෙම මස 15 වැනිදා සිට දිවා කාලයේ දී ප්‍රාථමික අංශයේ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන් ද 6 සිට 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන් ද උසස් පෙළ පන්තිවල සියලු විෂය ධාරාවගේ ප්‍රධාන විෂයන් සඳහා ද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩසටහන් විකාශය කිරීමට සැළසුම් කර ඇතැයි ඔහු කීය.


මෙම අධ්‍යාපන වැඩසටහන් රජයේ ප්‍රමුඛ පාසල්වල ප්‍රවීණ ගුරුවරුන් විසින් සම්පාදනය කර නිෂ්පාදනය කරනු ලබන අතර, විෂය අධ්‍යක්ෂවරුන් අධීක්ෂණය කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම ශ්‍රේණි හා විෂයට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකා සහ කාලසටහන සම්බන්ධයෙන් නොවැම්බර් 15 වන දිනට පෙර දැනුවත් කරන බව ද ලේකම්වරයා පැවසීය.


 -ඩයනා උදයංගනි-


Wednesday, September 30, 2020

පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ඔප්පුව ළමයාගේ මවුපියන්ගේ නමට පැවතිය යුතු බව සඳහන් වී වෙනස් කිරීම ගැන කැබිනට්ටුවේ අවධානය



පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ළමයාගේ දෙමවුපියන්ගේ නමට ඔප්පුව පැවතිය යුතු බවට සඳහන් වීම වෙනස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද දින පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා වූ බවයි.

මෙම සාකච්ඡාවට එක් වූ මාධ්‍ය නියෝජිතයන් සඳහන් කළේ, ඔප්පුව අනිවාර්ය වීම හේතුවෙන් දෙමවුපියන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.මෙම සාකච්ඡාවට එක් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ,   "චක්‍රලේඛය සංශෝධනය කිරීමට අවධානය යොමු වුණා. ඡන්ද හිමි නාමලේඛනයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් කියන තැනට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පැමිණියා" යනුවෙනි.

Friday, September 11, 2020

රුසියානු වෛද්‍ය විද්‍යාල 3කට උසස් පෙළ නැතුවත් ගිහින්



රුසියාවේ වෛද්‍ය විද්‍යාල තුනක වෛද්‍ය උපාධි පාඨමාලාවලට ලබාදී තිබූ අනුමැතිය අවලංගු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරගෙන යයි. රුසියානු ජනතා මිත්‍රත්ව සරසවිය, පිරගොෆ් පර්යේෂණ වෛද්‍ය සරසවිය සහ ත්වේරි රාජ්‍ය වෛද්‍ය විද්‍යා සරසවිය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය මෙතෙක් පිළිගනු ලැබූ අතර මින් ඉදිරියට එම පිළිගැනීම අවලංගු කිරිමට නියමිත බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි. එම විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සහ සායනික පුහුණුව සහ වෙනත් පහසුකම් ගැන පරික්ෂාකර ඒවායේ පවතින අඩුපාඩු හේතුවෙන් එම උපාධි පාඨමාලා නොපිළිගත යුතු බවට විද්වත් කමිටුවක් මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද  ආරංචිමාර්ග සඳහන් කරයි. 

මෙම වෛද්‍ය උපාධි පාඨමාලා  නොපිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිරිදේශ කළ ද ඒ සඳහා අවසන් තීන්දුව ගැනීමේ බලය හිමිවන්නේ සෞඛ්‍යයට ඇමැතිවරයාට බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය. මෙම විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් පිරිසකගේ සුදුසුකම් සලකා බැලූ විට ඔවුන් උසස් පෙළ අසමත් සිසුන් බව තහවුරු වූ නිසා ඔවුන්ට ඊ.ආර්.පී.එම්. විභාගයට පෙනී සිටීමට ඉඩ නොදුන් බව ද ඔහු කීය. එහෙත් එම සිසුන් අධිකරණ ක්‍රියා මාර්ගයකට ගොස් එම විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබාගත් බව ද එම ප්‍රකාශකයා කීය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කරන විදෙස් වෛද්‍ය පීඨයකින් උපාධිය ලබාගත් පසුව එම  සිසුවාගේ උසස් පෙළ ප්‍රතිඵල සලකා බැලීම අනවශ්‍ය බව එම නඩු තීන්දුවේ සඳහන් වන බව ද ඔහු පැවැසීය.

එහෙත් උසස් පෙළ අසමත් සිසුන්ට පවා වෛද්‍ය උපාධියක් ලබාදෙන විදෙස් විශ්වවිද්‍යාල ගැන සලකා ඒවාට දැනට ලබා දී ඇති අනුමැතිය අහෝසි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කටයුතු කළ හැකි යැයි ද එම නඩු තීන්දුවේ සඳහන් වන බව ද හෙතෙම පැවැසීය.  එම රුසියානු වෛද්‍ය විද්‍යාලවලට ලබා දී ඇති අනුමැතිය අවලංගු කළ ද මේ වනවිට එම විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරමින් සිටින සිසුන්ට එය බලනොපාන බව ද එම ප්‍රකාශකයා කීය. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ ලුමුම්බා සරසවිය ලෙස ද හඳුන්වනු ලැබුවේ  මහජන මිත්‍රත්ව සරසවිය වේ.

-රංජන් කස්තුරිය-



Friday, March 6, 2020

පාසල් පෙළ පොතට ඇමැතිගේ රුව - පණිවිඩ මින්පසු නෑ




පාසල් පෙළපොතටම අධ්‍යාපන ඇමැතිවරයාගේ රූපය හා පණිවුඩ මින් ඉදිරියට ඇතුළත් නොකිරීමට අධාපාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (5) දැනුම් දුන් අතර ඒ තීරණය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී සිය ප්‍රශංසාව පළකර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා හා අධ්‍යාපන ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (5) දහවල් පැවැත්වුණු අතර අධ්‍යාපන ඇමැතිවරයා එම තීරණය දැනුම් දී තිබුණේ ඒ රැස්වීමේදීය.  දරුවන් අඩු සංඛ්‍යවක් සිටින පාසල් ඒකාබද්ධ කිරිමට මෙහිදී උපදෙස් දී තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුරු විද්‍යා පීඨ දහනවය (19) උපාධි ලබාදෙන විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරිමට කඩිනමින් පියවර ගන්නැයි ද දැනුම් දී ඇත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ස්ථාවර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා  දිය යුතු බවත් හයවැනි ශ්‍රේණියේ සිට දරුවන්ට  පරිගණක අධ්‍යාපනය දිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා වූ විභාග මූලික අධ්‍යාපන රටාව වෙනස්කර ලොව ජයගත හැකි ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා  දිය යුතු බව ද ඔහු ප්‍රකාශ කර ඇත.  මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සිතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්.එම්. චිත්‍රානන්ද යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

-සුජිත් හේවාජුලිගේ-

Monday, December 30, 2019

විභාගය සමත්වීමට දුප්පත්කම මම බාධාවක් කරගත්තේ නෑ




මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තේ දුප්පත්කම් දෑතින් දරා අධ්‍යාපන කටයුතු සිදු කළ ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මීරාසා පාතිමා මුසාදිනා සිසුවියයි. මුතුර්, සාපිනගර් පදිංචි මෙම සිසුවියට අයියලා දෙදෙනෙකු හා අක්ක කෙනෙකුගේ බාලයාවී උපදින විටත් පවුලේ අගහිඟකම් තිබුණි. තමන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් විවාහවී ඇති බව කියන සිසුවිය මව පියා සමග නිවසේ ගත කරන බවත් තමන්  මුතුර් සිට ත්‍රිකුණාමලයට යෑම  දුරවැඩි නිසා නේවාසිකාගාරයක නැවැතී සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන ගිය බව කියයි.

අ.පො.ස (සා.පෙ) දක්වා මෙම සිසුවිය අධ්‍යපන කටයුතු කරගෙන ගියේ මුතූර් අල්මිනා මහ විද්‍යාලයේය. අ.පො.ස. (සා.පෙ) ඉහළින් සමත්වීම නිසා. ත්‍රිකුණාලය සහිරා විද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබූ ප්‍රථම සිසුවියගේ නිවස තහඩු කිහිපයකින් හා පොල් අතුවලින් සෙවිළි කර ඇත. සිය ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ මීරාසා පාතිමා මුසාදිනා මෙසේ කීවාය.

මගේ තාත්තා ගඩොල් කපලා කුලීවැඩ කරලායි.  මට ඉගැන්නුවේ. ටියුෂන් පන්ති යන තාත්තා
සල්ලි දුන්නා. අපේ නැති බැරිකම් දුෂ්කරතාවයට මම බොහෝ මුහුණ දුන්නා. ඉගෙන ගන්න සල්ලි ඕන තමයි. නමුත් විභාගය පාස් කරන්න දුප්පත් කම් මම බාධාවක් කරගත්තේ නැහැ. මොන ක්‍රමයෙන් හරි තාත්තා මට සල්ලි සොයලා දුන්නා හැම දේකටම. මම අනාගතයේ විශේෂඥ වෛද්‍යවරියක් (නාරී හා  ප්‍රසව) වීමටයි මගේ අනාගත බලාපොරොත්තුව.  දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට මුසාදිනා සිසුවිය විෂයයන් දෙකකට ඒ සාමාර්ථත් අනෙක් විෂයට බී සාමාර්ථයක් ලබාගෙන තිබුණි.

දුප්පත්කම ඉගෙනීමට බාධා නොවේ යැයි අන් අයට ආදර්ශයක් දුන් මුසාදිනාගේ ඉදිරි අනාගතය
වෙනුවෙන් ඇගේ පියා වන මීරාසා මහතා වයස අවුරුදු 75 ක් ගතවූද ඉදිරියටත් කටයුතු කිරීමට සැදී පැහැදී සිටී. ගඩොල් කපා හෝ කුලී වැඩ කර ජීවන අරගලයට උරදී සිටින මෙම මුසාදිනාගේ පවුල මුළු මහත් විද්‍යාලයටම ආඩම්බරයක් බව ත්‍රිකුණාමල සහිරා විද්‍යාලයේ ගුරුවරු පවසති. අවසානයේ ගඩොල් කපා තම අධ්‍යාපනයට මුදල් දුන් පියා මව, තමන්ට ඉගැන් වූ ගුරුවරු අමතක නොකරන බව මුසාදිනා පැවැසීය.

-අමරදෝරු අමරජීව-


Tuesday, December 3, 2019

ජාත්‍යන්තර රොබෝටික් තරගයේ මුල් තැන ජ'පුර සිසුන්ගේ 'මැජික් තොප්පියට'




සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරි පොටර් චිත්‍රපට කතා මාලාවේ හැරි පොටර් පැළඳ සිටින මැජික් තොප්පිය (Sorting Hat) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුහු පිරිසක් එය ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියකට  ඉදිරිපත් කර පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.

"ඔටිසම්" රෝගය වැළඳී ඇති දරුවන් නිතරම සමාජශීලි නැහැ. ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට බියවෙනවා. අකමැතියි. මෙම තොප්පිය පැළඳීමෙන් එම දරුවන්ට "ඔටිසම්" රෝගී තත්වය වැළඳී ඇත් ද, නැද්ද යන්න මුලින්ම අනාවරණය කර ගැනීමට හැකිවෙනවා. මෙම ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වුණු අතර ඊට යුරෝපයේ ආසියාවේ සහ ඇමෙරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කර තිබු හැරී පෝටර් තොප්පිය මෙම තරගාවලියේදී ජයග්‍රහණය හිමිකර ගත්තේ සෙසු සියලු නිර්මාණ පරදවමිනි. ජාත්‍යන්තර සම්මානලාභී මෙම සිසුන් පිරිස හැරි පෝටර් තොප්පිය ද රැගෙන පෙරේදා රාත්‍රියේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ මවුපියෝ ද සහෝදර සිසුන්  මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරු ද ගුවන් තොටුපළට පැමිණ සිටියහ.


-ටී.කේ.ජී.කපිල-

Monday, December 2, 2019

ජාතික පාසල් 393න් 274කටම විදුහල්පතිවරුන් නෑ



දිවයින පුරා පිහිටි ජාතික පාසල් 383න් 274කටම විදුහල්පතිවරුන් නැතැයි අධ්‍යපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා  පැවැසීය. පළමු පන්තියේ ජාතික පාසල් 54ක් තිබෙන බව කී ඇමැති අලහප්පෙරුම මහතා, එයින් ද 40කටම විදුහල්පතිවරුන් නැති බව කීවේය. අවුරුදු එක හමාරකට වැඩි කාලයක් තිස්සේ පවතින මෙම පුරප්පාඩු නිසා පාසල්වල පරිපාලන කටයුතුවලට බාධා පැමිණ ඇතැයි කී ඇමැතිවරයා ඇතැම් ජාතික පාසල්වල අවුරුදු දෙක හමාරක් තිස්සේ විදුහල්පතිවරුන් නැතැයි පැවැසීය.

ජාතික පාසල්වල පවතින පුරප්පාඩුවලින් සියයට 50ක් පමණ ලබන ජනවාරි මාසය තුළදි පිරවීමට කටයුතු කරන බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් දැනටමත් සකස් කර ඇති බවත් ඔහු කීවේය.


-අජන්ත කුමාර අගලකඩ-

Tuesday, November 26, 2019

පාසල් වාරය නිමවෙන්න කලින් නිල ඇඳුම් රෙදි ලැබෙන හැඩයක් නෑ



පාසල් සිසුන්ට රජයෙන් නොමිලයේ ලබාදෙන නිල ඇඳුම් වවුචර් හෝ රෙදි කට්ටල හෝ මෙවර පාසල් වාරය නිමවීමට පෙර ලබාදීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ වේදිකාවේ කියවුණේ නිල ඇඳුම් වව්චර් ක්‍රමය නතර කර නිල ඇඳුම් දෙකක් සඳහා රෙදි ලබාදෙන බවය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවේද වව්චර්පත් හා රෙදිකට්ටල ලබාදෙන බවක් කියවුණු අතර මේ හේතූන් මත අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කිසිදු තීරණයක් ගෙන නොතිබුණු බව ද පැවසේ.

කෙසේ වෙතත් ලබන වසර සඳහා පාසල් සිසුන්ට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නිල ඇඳුම් රෙදි කට්ටල හෝ වව්චර්පත් හෝ මෙම පාසල් වාරය අවසන් වන විට ලබාදීමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි පැවසේ. මේ පිළිබඳව ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ තෙවන පාසල් වාරය අවසන් වීමට පෙර නිල ඇඳුම් ලබාදිමට නොහැකි වී ඇත්තේ බලධාරීන් නියමිත කාලරාමුව තුළ කටයුතු නොකිරීම නිසා බවය.

-රංජන් කස්තුරි-

Wednesday, October 9, 2019

ගල්ගමුවේ අදීෂ සිසුවාගේ පාසලේ හැටදෙනෙක් ශිෂ්‍යත්වය සමත්



ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වූ සිසු සිසුවියන් 98 දෙනකු අතරින් 60 දෙනකු සමත් වී ඇති බව විද්‍යාලයේ විදුහල්පති ඩබලිව්.එම්. වරුණ බණ්ඩාර මහතා  පැවැසීය. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සාධන මට්ටම ඉහළම ප්‍රතිඵල සහිත විද්‍යාල අට අතරට 2007 වසරේ සිට මේ දක්වා සෑම වර්ෂයකම තම විද්‍යාලය පැමිණ තිබුන බව විදුහල්පතිවරයා කීය.




2007 වර්ෂයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් "ස්ටනුයින්" වර්ගීකරණයට අනුව ප්‍රථම ස්ථාන දිනාගත් පාසල ලෙසත් 2017 සහ 2013 වර්ෂයන්හි දිවයිනේ දෙවැනි ස්ථාන හිමිකර ගත් පාසල ලෙසත් නම් කර ඇත. මේ වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් ද ලකුණු 200න් ලකුණු 199ක් ලබා ගැනීමට සමත් වූ ගල්ගමුව මහගල්කඩවල අදිෂ නෙතුමි හේරත් සිසුවා ද මෙම පාසලේම ශිෂ්‍යයකු විම පාසලට මෙම ප්‍රදේශයට ද විශාල කීර්තියක් ගෙන දුන් බව ද විදුහල්පතිවරයා පැවැසීය. ඒ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ  ගල්ගමුව සිර්මාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදනාලය විදුහල්පති ඩබ්ලිව්.එම්. වරුණ බණ්ඩාර මහතා මෙසේ ද පැවැසීය.

"2007 වර්ෂයේ සිට මේ දක්වා ලංකාවේ ප්‍රතිඵල අතින් ඉහළින්ම තිබෙන පාසල් 8 අතර අපේ පාසලත් තිබෙනවා. මේ සාර්ථකත්වයට හේතුව අපේ ගුරු මණ්ඩලය මවුපියන් දරුවන් ආදී ඒ සෑම දෙනාම ඉතාම කැපවීමෙන් කටයුතු කිරීමයි.  දරුවන්ගේ දැනුම, උනන්දුව, කැපවීම ආදී සෑම දෙයම වැඩි කිරීම සඳහා පාසල් කාලය තුළදිත් පාසල් කාලයෙන් පසුවත් විවිධ වැඩමුළු, රාත්‍රී කඳවුරු හා විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා.

පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණීය දක්වාම ඉගැන්වීම් කටයුතු කරන ගුරු මහත්ම මහත්මින් ඉතාම කැපවීමෙන් පාසල් කාලය තුළදිත් පාසල් කාලයෙන් පසුවත් දරුවන්ට හොඳින් ඉගැන්වීම් කටයුතු කරනවා. මා දකින ආකාරයට විදුහල ලබා තිබෙන මෙම ජයග්‍රහණ සියල්ලම අප සියලු දෙනාගේම සාමූහික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්.

මෙම පාසල බිහි කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ හිටපු අමාත්‍ය බන්දුල බස්නායක මහතා සහ වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ  මහත්ත්වරුන් වෙත මා විශේෂ ස්තුතියක් පළ කරනවා.” යැයි විදුහල්පතිවරයා සඳහන් කළේය.

-මනෝජ් හර්ෂික-

Tuesday, August 27, 2019

උ.පෙළ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට ගුරු අත්පොතේ වැරැද්දෙන් පිළිතුරු දෙකක්



උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (සිංහල  සහ ඉංග්‍රීසි මාධ්‍ය) බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට උත්තර සැපයීමේදී ශිෂ්‍යයන් ගැටලුකාරී තත්වයකට මුහුණදී තිබෙන බව මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන්ගේ දෙමාපියෝ පවසති.ජීව විද්‍යා නව විෂය නිර්දේශය යටතේ සිංහල හා ඉංග්‍රීසි භාෂා යටතේ නිකුත් කළ විෂය නිර්දේශයන් අතර පරස්පරතා ඇති බැවින් ශිෂයන් විසින් ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබෙන්නේ ආකාර දෙකකට බවද දෙමවුපියෝ පෙන්වා දෙති.

ගුරු අත්පොතේ සදහන් තොරතුරු සහ නිර්දේශිත ග්‍රන්ථවල ඇති පරස්පරතා සහිත ප්‍රශ්න කිහිපයක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබෙන බවත්, ලබාදී තිබෙන පිළිතුරු එකිනෙකට වෙනස් බැවින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයට උත්තර සැපයීමේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකාර කිහිපයකට පිළිතුරු සපයා තිබෙන බවත් ඔවුහු සදහන් කරති.

මෙය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වරදක් නොවන බවත්, මේ නිසා අදාළ ගැටලුවට විසඳුමක්  ලෙස ජීව විද්‍යා විෂයෙන් පෙනීසිටි ශිෂ්‍ය ශිෂ්‍යවන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවත් එම පිරිස් පවසා සිටිති. එසේ නව විෂය නිර්දේශයේ පළමුවෙන් ඉංග්‍රීසි පිටපත නිකුත් කර තිබෙන අතර, සිංහල පිටපත පමා කිරීම නිසා ඇතැම් ගුරුවරුන් ඉංග්‍රීසි පිටපතක් පරිවර්තනය කර ඉගැන්වීම් කටයුතු සිදුකර තිබේ.

එහෙත් සිංහල නිර්දේශය නිකුත් වූ පසු ඉංග්‍රීසි පිටපත පරිවර්තනය කිරීමෙන් සිදුකළ සමහර ඉගැන්වීම් වැරදි බවට තහවුරු වී තිබෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

-එච්.අයි.තුෂාර-

Friday, August 2, 2019

ශිෂ්‍යත්වයට එන දරුවන්ගේ විභාග අංකය ඇඳුමේ වම්පස පදර්ශනය කරන්න



ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සෑම  දරුවෙකුගේම විභාග අංකය දරුවාගේ  ඇඳුමේ වම්පස ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙස විභාග දෙපාර්තුමේන්තුව දෙමවුපියන්ගහ ඉල්ලා සිටියි. ශිෂ්‍යත්ව විභාගය අනිද්දා (04දා) විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය අනූපහකදී පැවැත්වෙන අතර, ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යවන් තුන් ලක්ෂ තිස් නවදහස් තුන්සිය හැට නවයක් පෙනීසිටීමට නියමිතය.

පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 9.30 සිට 10.15 දක්වාත්, දෙවැනි ප්‍රශ්න පත්‍රය උදෑසන 10.45 සිට මධ්‍යහන 12.00 දක්වාත් කාලය තුළ පැවැත්වෙන බැවින් සියලු දරුවන් උදෑසන 9.00ට පෙර විභාග මධ්‍යස්ථානවලට රැගෙන ඒමට දෙමවුපියන් කටයුතු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.  මෙහිදී ෆයිල් කවර රැගෙන ඒමට නොහැකි බවත්, එහෙත් පිළිතුරු ලිවීම සඳහා පැන්සලක්, කළු හෝ නිල්  පෑන් රැගෙන ඒමට හැකියාව තිබෙන  අතර, කටුවැඩි කිරීම සදහා විභාග දෙපාර්තමේන්තුවෙන් කොළ ලබාදෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

කිසිදු දෙමවුපියකුට විභාග  මධ්‍යස්ථානවලට ඇතුළු වීමට නොහැකි බවත්, ඒ නිසා අවශ්‍ය නම් දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් ලබාදිය හැකි බවත් සනත් පූජිත මහතා  වැඩිදුරටත් කියා සිටියේය.

-ඉන්දික හේවාවිතරණ-

Thursday, July 25, 2019

7 වසර භුගෝල පොතෙන් රජයට කෝටි 13ක පාඩුවක්


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වික්‍රමසිංහලා පස්දෙනකුට කොටස් හිමි සිතාරා සමාගම් මුද්‍රණය කර ඇති 7 වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යා පොත මඟින් රජයට රුපියල් මිලියන 128.9ක ශුද්ධ පාඩුවක් සිදුවී ඇති බව ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (24දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.  රුපියල් මිලියන 25.8ක වියදමින් සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කළ හැකිව තිබියදී එම මුද්‍රණය සින්තටික් කඩදාසියෙන් මුද්‍රණය කර රුපියල් මිලියන 154.7ක් අයකර ගෙන ඇති බව කරුණු අනාවරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පෙන්වා දුන්නේය.

මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ මෙම කාරණය පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ (විමර්ශන) රූබන් වික්‍රමආරච්චි මහතා විසින් 2017 මැයි 17දා ජනාධිපතිවරයාට යවා ඇති P14/R/98/2017 අංක දරන රහසිගත වාර්තාව මඟින්ද මෙම චෝදනාව සනාථ කර ඇති බවයි.

"මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්‍ෂණයක් පවත්වා තිබෙනවා. එමඟින්ද මේ රාජ්‍ය මුදල් අවභාවිතාව පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙනවා. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහගේ සමාගමක් නිසා මේ ගැන නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. දැන් අපි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මේ සම්බන්ධයෙන් සියලු සාකෂි සහිතව පැමිණිලි කරනවා.

සිතාරා සමාගමේ මුළු කොටස් ප්‍රමාණය 19,38,153යි. එයින් රනිල් වික්‍රමසිංහ මහතාට කොටස් 3,43,536ක්ද චන්න ලලිත් වික්‍රමසිංහ මහතාට කොටස් 3,36,324ක්ද, රංජන් නිරාජ් වික්‍රමසිංහ මහතාට කොටස් 66,351ක්ද, ඉෂිනි වික්‍රමසිංහ මහත්මියට කොටස් 25,653ක්ද, ශාන්තිලාල් නීල්කාන්ත් වික්‍රමසිංහ මහතාට කොටස් 51,000ක්ද ඇතුළුව සමාගමේ මුළු කොටස්වලින් කොටස් 8,22,864ක් අයත් බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

Tuesday, July 23, 2019

ළමා නිවාසවල දරුවන්ට ජාතික පාසල් වරම්



රජයේ ලියාපදිංචි වී ඇති සියලු ළමා නිවාසවල සිටින දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමේ අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පසුගියදා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේදී තමාගේ කීර්ති නාමයට හානි වන බව පවසමින් විදුහල්පතිනිය එම ඉල්ලීම ප්‍රතික්ෂේ කිරිම සම්බන්ධව අමාත්‍යවරයා වෙත තොරතුරක් වාර්තාවීමත් සමග අමාත්‍යවරයා මෙම  උපදෙස්                                                                                              ලබාදී ඇත.


                                                                                 -නිර්මාණී බණ්ඩාරනායක-

Monday, July 22, 2019

පාසල් සිසුන්ට එන සතියේ සිට කිරි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ දිවයිනේ පාසල් සිසුන්ට කිරි වේලක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. මෙහි පළමු අදියර යටතේ කනිෂ්ඨ පාසල් 950ක පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුසිසුවියන් ලක්ෂ 04කට මිලිලීටර 150ක කිරි පැකට්ටුවක් බැගින් ලබාදීමට නියමිතය.

පාසල් දරුවන්ට කිරි වේලක් ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ලබන ජූලි 25 වැනිදා කලවානේ කජුගහවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලය පාසලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙහිදී කලාවන ප්‍රදේශයේ පාසල් 13ක සිසුන් 1,500කට ජනාධිපතිවරයා අතින් කිරි බෙදාදීමට නියමිතය. පාසල් සිසුන් මන්දපෝෂණයෙන් ගලවා ගැනීම හා ගම්බද කිරි ගොවීන්ගේ ආදායම් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

-ෆර්හාන් නිසාම්දින්-

Friday, July 5, 2019

අතරමැදි ශ්‍රේණිවලට සිසුක් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක්


පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.  පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වඩාත් විනිවිදභාවයකින් හා ක්‍රමවත්ව සිදුවිය යුතු ක්‍රියාවලියක් ලෙස හඳුනාගනිමින්  මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රථම  වරට 2019 වසරේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී ඉල්ලුම් කරන අවස්ථාවේදීම එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව හඳුනාගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය සලසා දී ඇත. 2019 වසරේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල් වෙත සිසුන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන ලේකම්ගේ 2008/37 චක්‍රලේඛ ප්‍රකාරව සිදුකෙරෙන අතර පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සීමාව අනුව සහ පවත්නා පුරප්පාඩු මත අදාළ ඇතුළත් කරගැනීම් සිදුකිරීමට නියමිතය.

වසරක් පාසා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීම සිදුකෙරෙන නමුත් ඉල්ලුම් කරන පාසල්වල පවත්නා පුරප්පාඩු සම්බන්ධව නිශ්චිත පූර්ව අවබෝධයක් මවුපියන්ට ලබා දීම සිදු කෙරෙනුයේ මේ වසරේ සිටය. පුරප්පාඩු සහිත පාසල් නාම ලේඛනය සහ අයදුම්පත් එවිය යුතු ආකාරය සම්බන්ධ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk දරණ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

-ෆර්හාන් නිසාම්දින්-

අධ්‍යාපනයට නව පනතක්


වීන දැනුම සහ රැකියා වෙළෙඳපොළට ගැළපෙන නව දරුපරපුරක් බිහිකිරීම ඉලක්ක කර ගනිමින් අධ්‍යාපනය වෙනුවෙන් නව පනතක් ඉදිරිපත් කරන බවත් අධ්‍යාපනයේ පවතින සියලුම ගැටලුවලට මෙම නව පනතින් විසඳුම් ඉදිරිපත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (04) පැවසීය.

පේරාදෙණිය ජාතික අධ්‍යාපන පීඨයේ පැවති 'ළගම පාසල හොදම පාසල' වැඩසටහනේ දෙවන අදියර යටතේ පාසල් ගොඩනැගිලි 250ක් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.