Showing posts with label Internationalg5. Show all posts
Showing posts with label Internationalg5. Show all posts

Friday, March 13, 2020

මර්ධනයට චීන රජය ක්‍රියාමාර්ග ගත්තොත් වෛරසය ජූනි වන විට අවසන්

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා තම රජය ගත් ක්‍රියාමාර්ග ලෝකයේ සෙසු රටවල් අනුගමනය කළහොත් ජුනි මාසය වනවිට වෛරසය අවසන් වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.

ලොව රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා 126,000කුට ආසාදනය වී තිබෙන අතර වෛරසය හේතුවෙන් 4624 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

මේ වසර මැද වනවිට මේ අර්බුදය අවසන් වනු ඇතැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයා වන ෂොන්ග් නන්ෂාන්ග්  පැවැසීය. වසංගත රෝග විශේෂඥයකු වන ඔහු 83 වියේ පසුවෙයි. හෙතෙම 2003 වසරේ ව්‍යාප්ත වූ "සාස්" වෛරසය මර්දනය කිරීමේ සටනේ දී මූලික කාර්යභාර්යයක් කළ පුද්ගලයා ලෙස සැලකේ.

“ඔක්කොම රටවල් එකතු වුනොත් ජුනි මාසය වෙද්දී වෛරසය අවසන් වේවි. එහෙත් රටවල් ආසාදිතයන්ට හොඳින් ප්‍රතිකාර නොකළහොත්, දැඩි ක්‍රියාමාර්ග නොගත්තේ නම් පාලනය කරන්න බැරි වේවි. ඇතැම් රටවල් තවමත් එතරම් සැලකිල්ලක් දක්වා නැහැ. මෙය බරපතළ කාරණයක් ලෙස ගෙන තදින් මැදිහත් වුණේ නැතිනම් වෛරසය දීර්ඝ කාලයක් පවතීවි" යැයි ද ඔහු කීවේය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති දැඩි සංචාරක සහ ගුවන් ගමන් සීමා චීනයේ ද විරෝධයට හේතුවිය. චීනය ලෝකය එකට එකතු කරමින් කාලයත් සමග දැඩි සටනක් කරමින්  සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ වගකීම් විරහිත ප්‍රකාශ සහ ක‍්‍රියාමාර්ග වෛරසයට එරෙහි සටනට කිසිඳු සහයෝගයක් දක්වන්නේ නැතැයි ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරේදා (11) නව කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

Wednesday, March 11, 2020

COVID -19 ඉතාලිය වසා දමයි



ඉතාලිය තුළ COVID-19 වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වීමත් සමග ජනතාවට එරටින් පිටවීම සහ එරටට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බලධාරීන් ඊයේ (10දා) සිට පියවර ගෙන තිබේ. ඒ අනුව රටෙහි වෙසෙන මිලියන 60කට අධික ජනතාවක් මේ වන විට ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනයට ලක් කරන ලදී. කිසිඳු ජනනා ඒකරාශීවීම් වලට යාමු නොවන ලෙසටත් බලධාරීන් උපදෙස් දී ඇත.

මේ හේතුවත් සමගින්ම ඊයේ වනවිට ඉතාලියේ ප්‍රසිද්ධ නගර රැසක් ඉතාමත් පාළු ස්වභාවයක් ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වෙනදාට සංචාරකයන් පිරි ඉතිරී ගිය ස්ථානවල දැකගත හැකි වුණේ ඉතාමත් සීමා සහිත පිරිසකි. එසේම ඉතාලියේ සංවිධානය කිරීමට නියමිතව තිබූ සියළුම ක්‍රීඩා තරඟද මේ වනවිට අවලංගු කර ඇත.

රජය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉතාලි ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාප්පු සංකීර්ණවල දිගු පෝලීම් ගැසී සිටින ආකාරයද එරට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කෙරිණි. එහෙත් ඊට එරෙහිව අදහස් පළ කළ එරට අගමැති ගුයිසෙපෙ කොන්ටේ මෙලෙස දිගු පෝලිමක් ලෙස හෝ ජනතාව ඒකරාශී වීම නුසුදුසු බවත් ඒ හරහා ඉතාලියානුවන් යුරෝපය තුළ විහිළුවක් බවට පත් වෙන බවත් පවසා ඇත. මෙම තත්ත්වය මඟ හැරවීම සඳහා සුපිරි සාප්පු සංකීර්ණ සෑම මොහොතකදීම විවෘත කර තැබීමට වගබලා ගන්නා බව රජය ජනතාවට පවසා තිබේ.

මේ අතර, යම් පුද්ගලයෙකු සතුව covid -19 වෛරසයේ රෝග ලක්ෂණ පවතින්නේ නම් එම පුද්ගලයන් තම නිවෙස්වලටම වී නිරෝධායනයට ලක් විය යුතු බවත් සෞඛ්‍ය අංශ වෙත දැනුම්දී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවත් රජය පවසා ඇත.

මේ වනවිට ඉතාලිය තුළ පුද්ගලයන් 9,172 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 463 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Thursday, March 5, 2020

චීන ජනපති ආර්යාවගෙන් දේවි බාලිකා සිසුවියන්ට ස්තූතිය



'කෝවිඩ් – 19" වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ බිරිඳ වන පෙන්ග් ලියුආන් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ. 

චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට දායකවීම සඳහා ඔවුන්ව දිරිමත් කරමින් චීන ජනපතිවරයාගේ බිරිඳ මෙම ලිපිය යොමු කර ඇත්තේ, කොළඹ දේවි බාලිකා විදුහලේ සිසුවියන් පිරිසක් වෙතය.

'කෝවිඩ් - 19' වසංගතයට එරහිව චීනය ගෙන යන සටනට සහය පළකරමින් දේවි බාලිකා විදුහලේ සිසුවියන් පිරිසක් චීන ජනපති ආර්යාව වෙත සිතුවම් හා ලිපියක් යොමු කර තිබූ අතර, එම සිතුවම් හා ලිපි තමන්ට ලද
බව චීන ජනපති ආර්යාව සිය ලිපියෙන් දන්වා තිබේ.

අදාළ සිතුවම් ආදරයෙන් පිරී ඇති අනර්ඝ සිතුවම් බවත්, ඒවා චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක මිත්‍රත්වය පෙන්නුම් කරන බවත් මෙහිදී පෙන්ග් මහත්මිය සඳහන් කර ඇත. මෙම සිතුවම් සඳහා චීන ජනාධිපතිවරයා සහ තමන් දැඩි රුචිකත්වයක් දක්වන බවත්, කෝවිඩ් වසංගතයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමක ජනතාව චීනයට ආශිර්වාද කිරීමට හා සුබ පැතුම් එක්කිරීමට කටයුතු කළ බවත් ඇය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. 

මේ වනවිට චීනය සිය ජනතාව සමඟ එකාබද්ධව මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බවත්, එය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ උත්සහයන්ගෙන් ධනාත්මක ප්‍රතිඵල ලබාගෙන ඇති බවත් මෙහිදී චීන ජනාධිපති ආර්යාව පවසා ඇත.

"කෝවිඩ් -19" වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා චීනයට විශ්වාසය ඇති බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, ශ්‍රී ලංකා සිසු සිසුවියන් වෙහෙස මහන්සි වී උගෙන ද්වීපාර්ශවික මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ තානාපතිවරුන් බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පෙන්ග් මහත්මිය මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Tuesday, March 3, 2020

කොරෝනා වෛරස් අවධානම ඉහළ නංවයි

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළ නැංවීමට රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය පියවර ගත්තේ යැයි යුරෝපා සංගම් කොමිසමේ සහාපති උර්සුලා වොන් ඩ ලියෙන් ඊයේ (2) ප්‍රකාශ කළාය.

“යුරෝපා සංගමයට අයත් රටවල සිටින ජනතාවට අපි සාමාන්‍ය අවදානම් මට්ටමක් ප්‍රකාශ කර තිබුණා. අපි එය ඉහළට ඔසවනවා. ඒ කියන්නේ වයිරසය මේ කලාපයේත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා" යැයි ඇය කීවාය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය දිනපතා තොරතුරු නිකුත් කරයි. මේ වනවිට කොරෝනා වයිරසය රටවල් 68 කට ව්‍යාප්ත වී ගොස් තිබෙන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 89,006ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වයිරසයෙන් යුරෝපයට චීනයට තරම් බලපෑමක් සිදු වී නැති නමුත් යුරෝපා සංගමයට අයත් ඇතැම් රටවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එපමණක් නොව ඊට ප්‍රතිචාර දැක්වීමට ඇතැම් යුරෝපීය රටවල් දැඩි අරගලයකද නිරත වී සිටී.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 1,694 කු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

“අද උදේ වෙද්දී යුරෝපා සංගමයට අයත් සාමාජික රටවලින් කොරෝනා ආසාදිතයන් 2,100ක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. ඊට අමතරව යුරෝපයේ 38 දෙනකුට ජීවිත අහිමි වී තිබෙනවා" යැයි යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා කිරියාකිඩීස් පැවැසුවාය.

"කෝවිඩ් -19 වයිරසය සැලකිල්ලට ගැනීමේ එක එක සාමාජික රටවල් එකිනෙකට වෙනස් අභියෝගවලට මුහුණ දී සිටිනවා. ඉතාලිය මුහුණ දී සිටින තත්වයත් අනෙකුත් සාමාජික රටවල් මුහුණ දී සිටින තත්වයත් වෙනස්" යැයි ද ඇය කීවාය.

කොරෝනා මරණ 3000 ඉක්මවයි


චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වූ 'කෝවිඩ් "19” හෙවත් නව කොරෝනා වයිරසයට බිලිවුණු  ගණන ඊයේ (2) වනවිට 3,000 ඉක්මවිය.

වයිරස ආසාදිතයන් ගණන 89,072 ක් බවත් වයිරසයට ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 85,074 ක් බවත් ලෝක සෞඛ්‍යය සංවිධානය පවසා ඇත. “කෝවිඩ් 19" වයිරසය ඊයේ (2) වනවිට රටවල් 65 කට පැතිර ගොස් තිබුණි. 

ඊයේ (2) වනවිට ඉන්දුනීසියාව, චෙක් ජනරජය, ස්කොට්ලන්තය,ඩොමිනිකන් ජනරජය නිවේදනය කළේ එරටින් පළමු කොරෝනා ආසාදිතයන් හමුවුණු බවය. ඊට අමතරව ඉන්දියාවෙන් නව ආසාදිතයන් දෙදෙනකු හමුවූ බව වාර්තතා විය. එම ආසාදිතයන් හමුවූයේ දිල්ලියෙන් සහ තෙලංගානා ප්‍රාන්තවලිනි. මීට පෙර ඉන්දියාවෙන් ආසාදිතයන් තිදෙනෙකු ගැන වාර්තා විය. එම ආසාදිතයත් වාර්තා වූයේ ක්රළයෙනි. ඔවුන් තිදෙනා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙන්, ඉරානයෙන් සහල් ඉතාලියෙනි. ඊයේ (2) වනවිට ඉතාලියෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 1,694 කි. ඉතාලි සෞඛ්‍ය බලධාරීන්ට අනුව ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 34 කි. 

බහරේනයෙන් කොරෝනා ආසාදිතයන් 6 දෙනකු හමුවීමත් සමඟ එරටින් හමුවුණු ආසාදිතයන් ගණන 47 දක්වා ඉහළ ගියේය. ඉරාකය ඊයේ (2) නිවේදනය කළේ එරට කොරෝනා ආසාදිතයන් 6 දෙනකු සිටින බවය. නයිජීරියාවෙන් එක් ආසාදිතයකු හමුවී ඇති අතර, තවත් ආසාදිතයන් 100 දෙනකු සිටින බවට සැක කෙරේ.

නයිජීරියා රජය සහ එරට සෞඛ්‍ය බලධාරින් පවසා ඇත්තේ, කොරෝනා වයිරසය රටපුරා පැතිරීම වැළැක්වීමට ගතහැකි සෑම පියවරක්ම ගත් බවය. කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇත.

ඉරානයෙන් හමුවුණු වයිරස ආසාදිතයන් ගණන 1,000 ඉක්මවා ඇති බවත් වයිරසය හේතුවත් මියගිය ගණන 54 ක් බවත් ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශයේ නිල වාර්තාවල සඳහන් වෙයි.

චීනයෙන් පිට දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවුණු දකුණු කොරියානු රජය පවසා ඇත්තේ එරට තුළ වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවය. ගතවුණු පැය 24 ක කාලය ඇතුළත දකුණු කොරියාවෙන් හමුවුණු ආසාදිතයන් ගණන 210 ක් යැයි වාර්තා වේ. ඒ අනුව එරට ආසාදිතයන් ගණන 3,736 දක්වා ඉහළ ගොස් ඇත.

ලේඛනයේ කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (2) වනවිට 10 දක්වා ඉහළ ගියේ යැයි වාර්තා විය. මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 35 දක්වා ඉහළ ගොස් ඇත. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ වයිරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි ප්‍රමුබත්වය ලබා දී ඇති බවය. 

මෙම ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් ගණන 100 දක්වා වැඩි වී ඇති අතර මරණ දෙකක් වාර්තා වේ. වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ලෝ ප්‍රකට පැරීසියේ ලූව්ර කෞතුකාගාරය ද වසා දමා තිබේ. 

ඕස්ට්‍රේලියාවෙන්, තායිලන්තයෙන් පළමු කොරෝනා වයිරස මරණ වාර්තා විය. ඇමෙරිකාවෙන් කොරෝනා මරණ දෙකක් වාර්තතා වී ඇත. ඇමෙරිකාවේ සිටින ආසාදිතයන් ගණන 62 කි.

Monday, March 2, 2020

ඇමෙරිකන් තලේබාන් සාම ගිවිසුමට අත්සන් තැබේ


වසර 19 ක් මුළුල්ලේ පවතින ඇෆ්ගන් යුද්ධය අවසන් කරමින්, ඇමෙරිකාව සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය අතර සාම ගිවිසුමකට පෙරේදා (29) අත්සන් තැබුණි.

සාම ගිවිසුම ඇති කර ගැනුණේ මාස 18 ක් තිස්සේ පැවැති සාම කතාවලින් පසුවය. කටාර් රාජ්‍යයේ දෝහා හී පිහිටුවා ඇති ' තලේබාන් සාම කාර්යාලය' හරහා එම සාම කතා පැවැත්විණ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් ඇෆ්ගන් යුද්ධය නිමා කිරීමේ අරමුණින් සාම ගිවිසුමක් ඇති කරගැනීම එලෙස සිදුවිණි. සාම කතා සඳහා විශේෂ නියෝජිතයා ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් පත් කරනු ලැබ ඇත්තේ සැල්මේ කලීසාද් ය.

සාම ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ ද දෝහා නුවරදීය. කටාර් රාජ්‍යය ඒ වෙනුවෙන් අනුග්‍රහය දැක්වීය. සාම ගිවිසුම ඇති කර ගැනීම සිදුවුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත්, පාකිස්තානයේත් අධීක්ෂණය යටතේය. පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ අසල්වැසියාය. ඇෆ්ගනිස්තානයේ සාමය ඇති කිරීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද මැදිහත් විය. 

සාම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට කටාර් එමිර් අල් තාත සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද සහභාගී වූහ. ඊට අමතරව, තුර්කියෙන්, ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, උස්බෙකිස්තානයෙන් සහ ටජිකිස්තානයෙන් නියෝජිතයෝ පැමිණ සිටියහ.

සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුව, පළමුවෙන් සටන් විරාමයක් ආරම්භ වෙයි. ඉන්පසු මාස 14 ක් ඇතුළත තලේබාන් සංවිධානයේ ඉල්ලීමක් ලෙස, ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඉවත් වීම සිදු වෙයි. මින් ඉදිරියට ඇෆ්ගනිස්තානය ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවනු ඇතැයි ද තලේබාන් සංවිධානය සහතික වී ඇත.

අද වනවිට ඇමෙරිකන් හමුදා සොල්දාදුවෝ 14,000 ක් ඇෆ්ගනිස්තානයේ රැදී සිටිති. ඒ, ඇෆ්ගන් හමුදාවට පුහුණුව දෙමින් උපදේශකයක් ලෙසය. ඊට අමතරව නේටෝ රටවල් 39 ක හමුදා සොල්දාදුවෝ 17,000 ක් ද ඇෆ්ගනිස්තානයේ රැදී සිටිති.

යළි මාර්තු 10 වැනිදා වනවිට ඇමෙරිකන් සහ තලේබාන් නියෝජිතයන් යළි හමුවී සාම ගිසුමේ ඉදිරි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඒ, පෙරේදා (29) ආරම්භ වුණු සටන් විරාමය ස්ථිර කරමිනි.

සාම ගිවිසුම හරහා සටන් විරාමයක් ආරම්භ වීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සතුට පළ කළේය. දෝහා පැවැති සමුළුවට පොම්පේඕ ද සහභාගී වූයේය. සාම ගිවිසුම හරහා සටන් විරාමයක් ආරම්භ වීම ඇෆ්ගන් වැසියන් ලැබූ ජයග්‍රහණයක් බවත් තලේබාන් සංවිධානය සාම ගිවිසුමේ කොන්දේසිවලට ගරු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් රාජ්‍ය ලේකම් පොම්පේඕ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ඇමෙරිකාව නේටෝ හමුදා සමඟ එක්වෙමින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින්, එවකට පැවැති තලේබාන් පාලනය පෙරළා දැම්මේ 2001 වසර අවසානයේය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්ත සංවිධානය මගී ගුවන් යානා යොදා ගනිමින් ඇමෙරිකාවට කළ පහරදීමෙන් පසුවය.

අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටියේ තලේබාන් ආරක්ෂාව මැදය. ඇෆ්ගන් තලේබාන් පාලනය පෙරළා ඇමෙරිකාව එරට ආක්‍රමණය කලේ ඉන්පසුවය. වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පිහිටුවා ඇත්තේ බටහිර අනුග්‍රහය සහිත රජයකි. අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරය හොබවයි.

Wednesday, February 26, 2020

අගමැති තේරීමට පෙර රජු ප‍්‍රශ්න අසයි



මැලේසියානු රජු වන අබ්දුල්ලා රී 'අයාටුදීන් අල් - මුස්ටාෆා විසින් එරට මීළග අන්තර්වාර අගමැතිවරයා තෝරා පත් කරගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ඊයේ ආරම්භ කළ බව එරට මාධ්‍ය පවසයි. ඒ අනුව එරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු අතරින් අයෙක් තෝරා ගැනීම සඳහා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.
එරට වත්මන් අගමැති මහතීර් මොහොමඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පෙරේදා සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව හිස්වන ධුරය සඳහා මෙලෙස නව අගමැතිවරයෙකු පත් කිරීමට කටයුතු යෙදී ඇත. ඒ අනුව මහතීර් මොහොමඩ් හැර අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 221 දෙනා සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට මැලේසියානු රජු පියවර ගෙන ඇත. 

ඊයේ දිනයේ පස්වරු 2.30ට ආරම්භ වූ මෙම සම්මුඛ පරීක්ෂණ වාරයේදී රජතුමා විසින් එක් මන්ත්‍රීවරයෙකු වෙත උපරිම විනාඩි දෙක තුනක කාලයක් ලබා දෙනු ඇතැයි පැවසෙයි. ඊයේ දිනය තුළදී පමණක් මේ සඳහා මන්ත්‍රීවරුන් 90 දෙනෙකුට ආරාධනා කෙරී ඇත. අනෙකුත් පිරිස අද දිනයේදී රජතුමා හමුවට පැමිණවීමට නියමිතව ඇත. මෙම සම්මුඛ පරීක්ෂණ අවස්ථාවට සහභාගි විය හැකි එකම පුද්ගලයා වන්නේ මැලේසියානු රජයේ ප්‍රධාන ලේකම් මොහ්ද් සුකි අලි පමණකි.

Monday, February 24, 2020

ඉතාලියේදී කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 79ක් හඳුනා ගැනෙයි


ඉතාලිය තුළ නව කොරෝනා වෛරසයේ (කොවිඩ්-19) ආසාදිතයන් 79 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එරට බලධාරින් සඳහන් කරයි. එසේම දැනටමත් එම වෛරසය හේතුවෙන් මරණයට පත්වූවන් දෙදෙනකුද එරටින් වාර්තා වී තිබේ. මේ අතරින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉතාලියේ ලොම්බාර්ඩි පළාතෙනි. එම සංඛ්‍යාව 54ක් වන අතර, වෙනෙටෝ පළාතෙන් සිදුවීම් 17ක් වාර්තා වී ඇත. මෙලෙස කොවිඩ්-19 වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පළාත් වෙත ඇතුළුවීම හෝ ඉන් පිටවීම විශේෂ අවසරයකින් තොරව සිදුකිරීම වැළැක්වීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත. එසේම නැවත දැනුම් දෙනතුරු එම ප්‍රදේශවල ව්‍යාපාර සහ පාසල් වසා දැමීමටත් පියවර ගන්නා බව ඉතාලි අගමැති ගියුසෙපේ කොන්ටේ පවසා ඇත.

අලුතෙන් හටගන්නා කොරෝනා වෛරස සිදුවීම්වලට චීනයේ පැහැදිලි සබඳතාවක් නැහැ


ලොව තුළ අලුතින් වාර්තා වන නව කොරෝනා (කොවිඩ්-19) වෛරස රෝගීන්ගේ සිදුවීම්වලට පැහැදිලි සබඳතාවක් නොමැති බව පෙනෙන්නට අතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අදානොම් පවසයි. ඒ අනුව මෙම වෛරස ආසාදිතයන් සතුව මෑතකදී චීනය වෙත සංචාරය කිරීමක් හෝ වෛරසය ආසාදනය වූ බවට ස්ථිර පුද්ගලයෙකු හා සබඳතා පැවැත්වීමක් යනාදිය පිළිබදව කරුණු අනාවරණය නොවන බව ඔහු සදහන් කරයි. ඒ අනුව මේ තත්ත්ව සම්බන්ධයෙන් දැන් සිය සංවිධානයේ මූලික අවධානය යොමුව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගේ අදහස වී තිබේ.


දැනට එම සංවිධානයට වාර්තා වී ඇති දත්ත අනුව චීනය තුළ මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 75,569 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඉන් 2,445 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, තවත් 22,936 දෙනෙකු මින් සුවය ලබා තිබේ. මෙම ආසාදිතයන් අතරද 80%කගේ තත්ත්වය සාමාන්‍ය වන අතර 20%කගේ පමණක් දරුණු තත්ත්වයේ ලක්ෂණ පෙන්වති. 

මෙහිදී වෛරසයේ වැඩිම අවදානම ඇත්තේ වයස්ගත පුද්ගලයන්ට බව පවසන ටෙඩ්රොස්, දරුවන් අතරද ඉතාමත් සුළු මට්ටමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇතැයිද පෙන්වා දෙයි. මේ අතර චීනයෙන් පිටත රටවල් 28කදී නව කොරෝනා වෛරස ආසාදිතයන් 1,200ක් දෙනෙකු හඳුනාගෙන ඇත. පසුගිය සෙනසුරාදා වනවිට ලෙබනනයේ මෙන්ම ඊශ්‍රායලයේදීද නව කොරෝනා වෛරස ආසාදිතයන් හමුවීමත් සමඟ රටවල් සංඛ්‍යාව මෙලෙස 28ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිරිසගෙන් 8 දෙනෙකු මේ දක්වා මිය ගොස් ඇත. එහිදී දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය මෙන්ම ඊජිප්තුව තුළදීද පුද්ගල මරණ වාර්තා වී තිබේ.

"තවදුරටත් අපේ අවධානය යොමු වෙන්නේ මේ නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය දුප්පත් සෞඛ්‍ය පද්ධතියක් සහිත රටවලට ව්‍යාප්තවීම වැළැක්වීම සම්බන්ධයෙනුයි." ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසයි.

එහිදී අප්‍රිකානු රාජ්‍යයන් 13ක් වෙත වැඩි අවධානයක් යොමුව ඇති අතර, ඒ සියල්ලෙන්ම ආසාදිතයන් පසුගිය කාලසීමාවේදී චීනයේ සංචාරය කර පැමිණි අය වීම ඊට මූලිකවම හේතු වී තිබේ. ඒ අනුව ඉදිරි සති කිහිපයේදී මෙම රාජ්‍යයන් වෙත පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 30,000ක් යැවීමටද එම සංවිධානය පියවර ගෙන ඇත. මේ අතර, මෙම  තත්ත්වයට මුහුණදීම සඳහා ඇ.ඩො.මිලියන 675ක මුදල් ආධාරයක් ලබාදෙන ලෙසටද ලෝක සෞඛ්‍ය සංවිධානය පොහොසත් රටවලින් ඉල්ලා තිබේ. 

"කොවිඩ්-19 වසංගතයෙන් වැළැකීමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිතයි. එහෙත් අපට තවමත් මේ ගැන බලාපොරොත්තුවක් තිබෙනවා" යනුවෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසා ඇත.

-හසිත විතානගේ-

Friday, February 21, 2020

චීනය විදෙස් මාධ්‍යවේදීන් තිදෙනෙකු පිටුවහල් කරයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ 'වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත්පතේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් එම පුවත්පත සමාව අයැදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එම පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනකු පිටුවහල් කිරීමට චීන රජය පියවර ගෙන ඇත.

චීනය "ආසියාවේ රෝගී මිනිසා" ( රියල් සික් මෑන් ඔෆ් ඒෂියා) යන සිරස්තලය යටතේ ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් පුවත්පත තීරු ලිපියක් පළ කර තිබිණි.

පෙබරවාරි 3 වැනිදා මේ ලිපිය පළ වූ එම ලිපියෙන් කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට චීනය ගන්නා උත්සහාය අපහාසයට ලක් කර ඇතැයි චීනය චෝදනා කළේය. එම ලිපියෙන් චිනය වර්ගවාදී පිළිවෙත් අනුගමනය කරන බවට ද චෝදනා කර ඇතැයි චින විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

එම පුවත්පත මේ දක්වා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට හෝ වගකිව යුත්තන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හෝ අසමත්ව ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශය චෝදනා කළේය.

"චීන ජනතාව වර්ගවාදී ප්‍රකාශ හෝ චීනය සම්බන්ධයෙන් කෙරෙන ද්වේෂ සහගත ප්‍රකාශ පිළිගන්නේ නැහැ" යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගෙන් ෂුවාන්ග් පැවැසීය.

චීන විදේශ අමාත්‍යාංශය මාධ්‍යවේදීන් තිදෙනා කවුදැයි සඳහන් නොකළ අතර ඔවුන්ට ලබා දී තිබූ මාධ්‍ය හැඳුනුම්පත් ද අහෝසි කිරීමට පියවර ගෙන තිබිණි.

චීනයේ නියෝජ්‍ය ප්‍රධානී ජොෂ් චින්, වාර්තාකරුවන් වන චාඕ ඩෙන්ගේ සහ පිලිප් වෙන් යන තිදෙනාට දින පහක් ඇතුළත චීනයෙන් පිටවන්නැයි නියෝග කර ඇතැයි වෝල් ස්ට්‍රීට් පුවත්පත සඳහන් කළේය.

ජොෂ් චින් සහ චාඕ ඩෙන්ග් ඇමෙරිකානු පුරවැසියන් වන අතර පිලිප් වෙන් ඔට්‍රේලියානු ජාතිකයෙකි .

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕද නිවේදනයක් නිකුත් කරමින් චීනය ගත් එම ක්‍රියාමාර්ගය හෙළා දැක තිබිණි.

"නිදහස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන බව සහ මත පළ කරන බව පරිණත, වගකීම් සහගත රටවලට තේරෙනවා. වඩාත් නිවැරැදි ක්‍රියාමාර්ගය විය යුත්තේ අදහස් පළ කිරීම සීමා කිරීම නෙමෙයි , කළ යුත්තේ ඒවාට ප්‍රතිඋත්තර සැපයීම " යැයි මයික් පොම්පෙඕ නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

-බීජිංහිදීය (රොයිටර්ස්)-

Thursday, February 20, 2020

"කොරෝනා නිසා චීන ආර්ථිකය පසු බැස්සත් එය අධි වේගයකින් යළිත් වර්ධනයක් කරා පත්වෙන්නත් පුළුවන්"



නව කොරෝනා වෛරසය නිසා ඉදිරි කාලයේදී චීන ආර්ථිකය යම් පසුබැසීමක් පෙන්නුම් කළද, එය යළිත් වර්ධනය වීමේ අවස්ථාවක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. පසුගියදා ඩුබායි නුවරදී පැවැත්වුණු ගෝලීය කාන්නා හමුවේදී ඇය මේ අදහස් පළ කර තිබේ.

මෙහිදී 2002 වසරේ ඇතිවූ SARsවෛරස ව්‍යාප්තිය උදාහරණ ලෙස ඉදිරිපත් කරන ඇය, එම අවස්ථාවේදී චීන ආර්ථිකය ගෝලීය ආර්ථිකයෙන් 8%ක් පමණක් වූ බවත්, අද වනවිට එය 19%ක් දක්වා වර්ධනය වී ඇති බවත් පෙන්වා දෙයි.

අද වනවිට ලෝකයේ පළමු වැනි සහ දෙවැනි විශාලතම ආර්ථිකයන් දෙක වන ඇමෙරිකා එක්සත් ජනපදයත් - චීනයත් අතර පසුගියදා අත්සන් තැබුණු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන්ද මෙහිදී ඇය සිය සතුට පළ කර තිබේ.

"චීනය ගත්තොත්, ඔවුන්ගේ ආර්ථිකය මන්දගාමී වීම ස්වාභාවිකයි. හැබැයි එය අධිවේගවත් සහ ඉහළ ගුණාත්මක බවකින් යුතු වර්ධනයක් කරා සංක්‍රාන්තියක් ලබන්නත් පුළුවන්. ඒ වගේම තමයි, මේ ගිවිසුමෙන් පස්සේ දෙරට අතර පැවැති වෙළෙඳ ආතතිය ලිහිල්වීම 2020 වසර සඳහා වන චීන ආර්ථික වර්ධනයේ පුරෝකතනයන්හි යම් වර්ධනයක් ඇති කරාවි." ඇය පවසයි.

ඒ අනුව මෙම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කෙරෙන යම් පාලනයකදී චීන ආර්ථිකයේ වර්ධනය යම් තරමකින් අඩුවීමකට ලක්ව යළිත් එය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඇගේ අදහස වී තිබේ. 

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව, කෙසේ වෙතත් මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් පැහැදිලිවම මේ වසර තුළදී ලෝක ආර්ථික වර්ධනයේ යම් පසුබැසීමක් සිදුවන බව අවධාරණය කර තිබේ.

"මෙතැනදී අනිවාර්යයෙන්ම ලෝක ආර්ථික වර්ධනයේ යම් අඩුවක් සිදුවෙනවා. එය 0.1%ත් 0.2% ත් අතර අගයක් ගනීවි කියලා අපි තවමත් බලාපොරොත්තු තබා තිබෙනවා." ඇය එලෙස පවසා ඇත.

"හැබැයි තවමත් කිසිම හදිසි ඉක්මන් නිගමනයකට එන්න එපා කියලා මම හැමෝටම උපදෙස් දෙනවා. තවමත් මේ තත්ත්වයේ යම් අස්ථාවරත්වයක් පවතිනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පසුගිය ජනවාරි මාසයේදී ඉදිරිපත් කළ  World Economic Outlook හි යාවත්කාලීන කෙරුණු වාර්තාව තුළදීද 2020 වසර සඳහා වන ආර්ථික වර්ධන වේගයේ පුරෝකථනය 0.1%කින් පසුබස්වමින් 3.3%ක අගයකට පත්කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වන මූල්‍ය අරමුදලේ ප්‍රධානියා, තවමත් මේ නව කොරෝනා ව්‍යාප්තිය නිසා සිදුවන සම්පූර්ණ බලපෑම ගැන කරුණු දැක්වීම සඳහා කල් වැඩි බව පෙන්වාදෙයි. එහෙත් මේ වනවිටත් සංචාරක සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර වෙත මෙම වෛරසයේ බලපෑම එල්ල වී ඇති බව පැහැදිලි යැයි ඇය පවසයි.

"තවමත් මේ ගැන යමක් කියන්න කල් වැඩියි. මොකද මේ වෛරසයේ ස්වභාවය ගැන අපිට හරි හැටි අවබෝධයක් නැහැ. චීනය මේ තත්ත්වය පාලනයට මොන වගේ වේගයකින් ක්‍රියා කරාවිද කියලා අපි තවම දන්නේ නැහැ. ඒ වගේම තමයි, මේ වෛරසය ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලටත් මොන විදියකින් ව්‍යාප්ත වේවිද කියලා අපි තවම දන්නේ නැහැ." ඇය පවසයි.

මේ අතර, නව කොරෝනා වෛරසයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් චීන ජනපතිවරයා සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා අතර පසුගියදා දුරකථනය හරහා සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී අදහස් දක්වා ඇති චීන ජනපති ෂී ජින්පිං, දැනට චීනය මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පෙනෙන මට්ටමින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන' ඇතැයි සඳහන් කර තිබේ.

"මේ වෛරසයට එරෙහි සටන දැන් තීරණාත්මක අවධියකට පැමිණිලා. මේ සඳහා සම්පූර්ණ රටම ඊට සූදානම් කිරීම වගේම, මේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගත හැකි වඩාත් සුවිශේෂී, බරපතළ ක්‍රමවේද වෙත යොමුවීමටත් අපට සිදුවෙලා. මේ අසීරු උත්සාහයන්ට ස්තූතිවන්ත වෙන්න, අද වනවිට මේ තත්ත්වය තුළ කැපීපෙනෙන වෙනස්කම් දැකගත හැකි වෙනවා.” චීන ජනාධිපතිවරයා පවසා ඇත. 

ඊයේ දිනය වනවිට මෙම නව කොරෝනා (coVID 19) වෛරසය හේතුවෙන් චීනය තුළදී පමණක් පුද්ගලයන් 2,007 දෙනෙකු මරණයට පත්ව තිබුණි. චීනයෙන් පිටත සිදුවුණු මරණ සංඛ්‍යාව 6කි. එසේම රෝගය වැලැඳුණු සංඛ්‍යාව 74,000ක් ඉක්මවා තිබේ. මීට අමතරව ලොව තවත් රටවල් 28කදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ස්ථීර වූ රෝගීන් 1,000කට වැඩි පිරිසක්ද හඳුනාගෙන ඇත.

 -භානුක අමරසිංහ-

Monday, February 17, 2020

නව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට චීන මුදල් නෝට්ටු පිරිසිදු කර ගබඩා කරයි



චීනය තුළ ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය නොහොත් කොවිඩි - 19 තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එරට බලධාරීන් ජනතාව අතර සංසරණය වන මුදල් සහ නෝට්ටු පිරිසිදු කිරීමේ කටයුත්තක් අරඹා තිබේ. පසුගියදා චීන මහ බැංකුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව බැංකු මඟින් මේ වනවිට පාරජම්බුල කිරණ හෝ ඉහළ උෂ්ණත්වයක් යොදා ගනිමින් මෙම මුදල් නෝට්ටුවල ඇති විෂබීජ විනාශ කිරීමේ කටයුතු සිදුකරන බව පැවසෙයි. අනතුරුව මෙම මුදල් සහ නෝට්ටු දින 7ක සිට 14ක කාලයක් ආරක්ෂිත ගබඩාවක ගබඩා කර තැබීමටත් සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම මෙම වෛරසය වැලැඳුණු පුද්ගලයන්ගෙන් නොවැලඳුණු පුද්ගලයන් වෙත ව්‍යාප්තවීම සඳහා අතින් අතට යන මෙම අපිරිසිදු මුදල් නෝට්ටු මූලිකවම හේතුවක් වී ඇති බවටද හඳුනාගෙන ඇත. එහිදී මූලික අදියර ලෙස වෛරසය දරුණු ලෙස ව්‍යාප්තව ඇති හුබෙයි පළාත තුළ මෙය ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව පළමුව එම පළාත වෙත යුආන් බිලියන හතරක් පමණ වටිනාකමින් යුත් නව මුදල් නෝට්ටු තොගයක් නිකුත් කිරීමට චීන මහ බැංකුව පියවර ගෙන ඇති අතර, එහිදී සංසරණය වූ මුදල් නෝට්ටු පිරිසිදු කිරීම සඳහා එකතු කරගෙන ඇත.