Friday, April 28, 2023

රූපවාහිනී නාළිකා 25 ගුවන්විදුලි නාළිකා 51

 

මෙරට තුළ ලියාපදිංචි රූපවාහිනී නාළිකා (25) සහ ගුවන්විදුලි නාළිකා (51) 76ක් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වාචික  පිළිතුරු අපේක්‍ෂාවෙන් ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී  යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මේ අතර නව ගුවන්විදුලි නාළිකා හෝ රූපවාහිනී  නාළිකා තරංග ලබාදීම  සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට හැකි වන්නේ, විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත්  කැබිනට් අනුකාරක සභාවේ තීන්දුව ලැබුණු පසු බවද, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.


ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන -

මෙරට තුළ ලියාපදිංචි කළ රූපවාහිනී නාළිකා 25ක් තිබෙනවා. ලියාපදිංචි කරන ලද ගුවන්විදුලි නාළිකා 51ක් තිබෙනවා. ඒ අනුව ගුවන්විදුලි හා රූපවාහිනී  නාළිකා 76ක් මෙරට තුළ තිබෙනවා. රූපවාහිනී බලපත්‍ර කොන්දේසී සහ ගුවන්විදුලි නාළිකා බලපත්‍ර කොන්දේසි අතර ඉතා විශාල විෂමතාවක් තිබෙනවා. එක් එක් ගුවන්විදුලි  නාළිකා හා රූපවාහිනී  නාළිකා සඳහා බලපත්‍ර ලබාදී තිබෙන ආකාරයේ බරපතළ විෂමතාවක් තිබෙනවා. ක්‍රමවත්, විධිමත් වැඩපිළිවෙළක් අනුව නුදුන්න ඒවා තියෙනවා. අපි කවුරුත් වගඋත්තරකරුවෝ නෙවෙයි. ඒ ඒ අවස්ථාවල ඇති වුණු තත්ත්වයන් මත තමයි වෙලා තියෙන්නේ.

මම අමාත්‍යවරයා ලෙස විනිවිද පෙනෙන ආකාරයෙන් ඉහළ මාධ්‍ය සංස්කෘතියකුත් ඇති කරගන්න පුළුවන් වෙන ආකාරයට බලපත්‍ර නිකුත් කරන්න විශේෂ අවසරයක් ඉල්ලා සිටියා. කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා අනුකාරක සභාවක් පත්  කළා. ඒ අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ ආචාර්ය  විජයදාස රාජපක්‍ෂ මහතා.

විද්‍යුත් විකාශන අධිකාරි  පනත් කෙටුම්පත පිළිබඳ දැනට බොහෝ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ මගින් ඒකමතිකතාවක් ඇති වන ලෙස, නිව්ද පෙනෙන ආකාරයෙන් රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරන්න අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීමේ වගකීම දැනට ඉෂ්ට කරගෙන යනවා.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත  කරුණාතිලක -

 

අලුතින් රූපවාහිනී මධ්‍යස්ථාන  ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවාද? ඒ කියන්නේ ගුවන්විදුලි හා රූපවාහිනී තරංග මාලා කොච්චර ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද? 


ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල  ගුණවර්ධන -

මේ ගැන මම විමසා බලන්න ඕන. නිශ්චිත  වශයෙන් තවත් රූපවාහිනී  නාළිකා සඳහා බලපත්‍ර ලබා දෙන්න ඉඩ තියෙනවාද කියලා. ඉඩ තිබුණත් එය  කරන්න වෙන්නේ විජයදාස රාජපක්‍ෂ කමිටුවෙන් විද්‍යුත් විකාශන අධිකාරී පනත  සම්මත වුණාට පස්සේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ - ඒ කමිටුවේ මමත් තව මන්ත්‍රීවරුන් 05දෙනෙකුත්  කටයුතු කරනවා. මේ පිළිබඳ අපි අධ්‍යයනය කටයුතු කරලා, සාකච්ඡා කරලා බොහෝ දුරට අවසන්. ඒ අනුව කෙටුම්පත හදාගෙන යනවා. තව සතියක් දෙකක් විතර යනකොට රටේ මාධ්‍ය ආයතනවලටත්, මන්ත්‍රීවරුන් ඇතුළු මේ පිළිබඳ උනන්දුවක් දක්වන  ඕනෑම කෙනෙකුට අධ්‍යයනය කරන්න අවස්ථාව දීලා සාකච්ඡා කරලා තමයි අපි ඒක පාර්ලිමේන්තුවට අරගෙන එන්නේ.

දිනේෂ් සමරකෝන්


දඹුල්ල රෝහලේ කාර්යමණ්ඩලයේ 63කට ඩෙංගු


දඹුල්ල වීර ඩෙන්සිල්  කොබ්බෑකඩුව රෝහල් කාර්ය මණ්ඩලයේ හැට තුන්දෙනෙකුට මේ වන  විට ඩෙංගු රෝගය වැලඳී ඇති බවත් රෝහල් සේවා පවත්වාගෙන යෑමට පවා නොහැකි වෙමින් පවතින බවත් එහි සේවකයෝ පවසති. දින ගණනාවකට ඉහත සිට දඹුල්ල මූලික රෝහල ඇතුළත සේවය කළ වෛද්‍යවරුන්,හෙද හෙදියන්, උපස්ථායකයන්, කම්කරුවන්, ආරක්ෂක නිලධාරීන්, පිරිසිදු කරන කණ්ඩායම් සහ රෝහලේ සෑම අංශයකම පිරිස් මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව රෝහල් සේවකයෝ සඳහන් කරති.

සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීමත් සමග රෝහල් අවට පරිසරය කඩිනමින් පිරිසිදු කිරීම  සහ දුමානය සිදු නොකිරීම නිසා  මේ තත්ත්වය  උදා වී ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ ලෙස ඩෙංගු අවදානම් රෝගීන් බවට පත්වීමත් සමග  රෝහලේ සේවා  කටයුතුවල රැසක් මේ වන විට අඩපණ වෙමින් පවතින බවත් එහි කාරිය මණ්ඩලය පෙන්වා දෙයි. රෝහල් සේවකයන් කියා සිටියේ මෙම තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දඹුල්ල මූලික රෝහල වසා දැමීමට තරම් අවදානම් තත්ත්වයකට පත්වන බවය. දිනෙන් දින ඩෙංගු රෝගීන් රෝහල් කාර්ය මණ්ඩලය තුළින් හමුවන බවත් ඊයේ(27දින) ද රෝගීන්  දෙදෙනෙකු කාර්ය මණ්ඩලයේ ඩෙංගු රෝගීන් ලෙස හදුනාගෙන ඇති බවත්  රෝහල් කාර්ය  මණ්ඩලය වැඩි දුරටත් කියා සිටී.

මෙහි සත්‍යයක් ඇත්දැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගෙන් විමසීමේ දී තමන්ට මාධ්‍යයට නිල වශයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවත් රෝහලේ සේවකයන් හැට තුන් දෙනෙකු පමණ ඩෙංගු රෝගීන් බවට හඳුනාගෙන තිබීම සත්‍යයක් බවත් සඳහන් කළේය.රජයේ නීති යටතේ තමන්ගේ නම් හෝ මාධ්‍යයක පළ කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. මේ පිළිබදව දඹුල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය  සමිත කන්නන්ගර මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ දඹුල්ල නගරයෙහි පසුගිය මාස කිහිපය තුළ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳව පරීක්ෂාකොට දැනුවත් කළ බවය. 

නගර සභාව, නාගරික සෞඛ්‍ය ඒකකය මගින් දඹුල්ල මුලික රෝහලට අවස්ථා කිහිපයකට ලිඛිතව දැනුම් දුන් බවත් ඊට අවනත නොවූ නිසා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පවා දැනුම්වත් කළ නමුත් රෝහලේ නිසි අවධානයක් යොමු නොවීම නිසා මෙම බරපතළ තත්ත්වය උදා වූ බවත් වෛද්‍යවරයා සදහන් කළේය. කෙසේ වෙතත් දඹුල්ල නගරයේ අප්‍රේල් මාසයේ දින 28ට ඩෙංගු රෝගීන් 28 දෙනකු හමුවී තිබීම විශේෂත්වයක් බව ද වෛද්‍යවරයා සදහන් කළේය. මේ තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නට විය.

 කාංචන කුමාර ආරියදාස

විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්


ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයකු වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක (රුපියල් 13,29,387) මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය මේ තොරතුරු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසුමකදීය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් වැය කරන වියදම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල විවිධ තොරතුරු පසුගිය කාලයේ දී පළවී තිබිණ. 

එම ආයතනය මෙම තොරතුරු දැන ගැනීමේ අයැදුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ  තොරතුරු නිලධාරියාට යොමු කර ඇත්තේ ඒ අනුවය. එම තොරතුරු දැන ගැනීමේ අයැදුම්පතට ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.කේ. හේනාධීර මහතාගේ අත්සනින් යුතුව පිළිතුර ලබාදී තිබුණේ මෙම මස 11 වැනිදාය. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙසැම්බර් මාසයට අදාළ වියදම් සඳහන් කරන තොරතුරු නිලධාරියා විශ්‍රාම වැටුප, ඉන්ධන දීමනාව සහ ලේකම් දීමනාව සඳහා රුපියල් 9,91,000 ක්ද දුරකතන, විදුලිය ජලය සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,38,387.60 ක්ද වැය වන බව දැනුම් දී ඇත. 

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට පරිහරණය කරන වාහනවල තොරතුරුද දෙන ලෙස එම ආයතනයේ FactSeeker කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම තොරතුරු අදාළ අංශයෙන් ඉල්ලා තිබෙන හෙයින් ඒවා ලැබුණු වහාම ලබා දෙන බවයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ අනෙකුත් පුනරාවර්තන වියදම් ඇතුළත් වන වියදම් වාර්තාවේ මෙම වියදම් එකම වැය විෂයක් යටතේ සටහන් වන බැවින් විශ්‍රාම වැටුප, ඉන්ධන දීමනාව, දුරකතන, විදුලිය, ජලය සහ වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් දිය නොහැකි බව තොරතුරු නිලධාරියාගේ එම ලිපියේ සඳහන්  කර ඇත.

සුජිත් හේවාජුලිගේ

ගම්මු ගමට පැන්න හොරුන් ගස් බඳිති


පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ගොකරැල්ල බක්මීගොල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට පෙරේදා (26) රාත්‍රියේ කඩාවැදුණු කොල්ල කල්ලියක දෙදෙනකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පහරදීම හේතුවෙන් ඔවුන් දෙදෙනා බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ගොකරැල්ල පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ද පොලිසිය කියයි.

එක් සැකකරුවකු ඊයේ හදිසි ශල්‍යකර්මයකට ද ලක් කළ බව ගොකරැල්ල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටීමට ව්‍යාජ ලෙස සකස්කර ගන්නා ලද හැඳුනුම්පත් දෙකක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටීම සඳහා ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සකස් කරගෙන ඇති අතර අනෙකා පොලිස් කොස්තාපල්වරයකු ලෙස පෙනී සිටීම සඳහා ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සාදා ගෙන තිබිණි යැයි පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනාගෙන් අයකු නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකු ලෙස සේවය කළ අයකු බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරුවෝ දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අය වෙති.  කාර් රථයකින් පැමිණි සිවුදෙනකුගෙන් යුත් කල්ලියක් මෙම නිවෙස කොල්ලකෑමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි. තම සගයන් දෙදෙනකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගැනීමෙන් පසුව අනෙක් දෙදෙනා ඔවුන් පැමිණි කාර් රථයේ නැගී පලාගොස් ඇතැයි එම නිලධාරියා කීය.

බක්මීගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා කොළඹ ප්‍රදේශයේ අවන්හලක් සහ පලතුරු කඩයක් පවත්වාගෙන යන අයෙකි. ව්‍යාපාරිකයාගේ නිවසට කඩාවැදුණු කොල්ලකල්ලිය ඔවුන් පොලිස් නිලධාරීන් බව පවසා එහි සේවකයකුගේ අත්වලට මාංචු දමා ඇති අතර ව්‍යාපාරිකයාගේ බිරිඳ නිවසින් බැහැරව සිටි ඇයගේ සැමියාට මේ බව ජංගම දුරකථනයෙන් දැනුම් දී ඇතැයි කියති. ව්‍යාපාරික සැමියා මේ බව නිවස ආසන්නයේ පදිංචි සිය මිතුරන් කිහිප දෙනකුට ජංගම දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු ඔවුන් තවත් ප්‍රදේශවාසීන් පිරිසක් කැටුව පැමිණ කල්ලියේ දෙදෙනකු අල්ලා ගෙන පහරදී ඇත.

එම කල්ලියේ දෙදෙනකු ප්‍රදේශවාසීන්ගෙන් බේරී කාර් රථයේ නැගී පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.  පලාගිය දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ  පවත්වයි. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පුතා බේරාගන්න පොලිස් පරීක්ෂකට අල්ලස් දුන් මව අත්අඩංගුවට


කඩුවකින් කපා පුද්ගලයකුට තුවාල සිදු කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් 23 හැවිරිදි පුතා මුදා ගැනීමට රුපියල් විසි දහසක මුදලක් එරාවුර් පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයකුට අල්ලස් වශයෙන් ලබාදුන් බව කියන එම සැකකාර තරුණයාගේ මව පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව එරාවුර් පොලිසිය පවසයි. අල්ලස් මුදල ලබාදීමට සැකකාර කාන්තාව සමඟ පැමිණ සිටි 21 හැවිරිදි තරුණයකු ද මේ සමඟ අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. 

මෙම 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරියකුට අල්ලස් ලබා දීමට ආධාර අනුබල දුන් බව කියමින් යැයි පොලිසිය පවසයි.  සැකකාර විසි එක් හැවිරිදි තරුණයා විසි තුන් හැවිරිදි සැකකාර තරුණයාගේ මිතුරකු බව  කියයි. කඩුවකින් කපා කොටා පුද්ගලයකුට තුවාල සිදු කළේ යැයි කියමින් අයියන්කර්නි පරණ කනත්ත පාරේ පදිංචිව සිටින 23 හැවිරිදි තරුණයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිසියේ පොලිස් පරීක්ෂක වයි. විජයරාජා මහතා විසිනි.

තම පුතා විදෙස් රැකියාවකට යෑමට සූදානමින් සිටින නිසා ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා පොලිස් පරීක්ෂක විජයරාජා මහතාට රුපියල් 20,000ක මුදලක් සැකකාර කාන්තාව විසින් පිරිනමා ඇතැයි පොලිසිය කියයි. මෙම මුදල පිරිනමන අවස්ථාවේ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ ද පොලිස්  පරීක්ෂක විජය රාජා මහතා විසිනි.  එරාවුර් පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ප්‍රේමය වැරදියට වටහාගෙන රාලහාමිට තඩි බාලා

 

නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළේ නතර කර තිබූ පෞද්ගලික බස් රථයකට කඩා වැදී එහි සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙක් නුව රළුළිය මූලස්ථාන පොලිසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබීය. කොස්තාපල්වරයා සැකකරුගේ පෙම්වතිය බව කියන ත රුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සැක කර කරුණු වරදවා වටහා ගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා නුවරඑළිය  රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ආගරපතන පොලිසියේ රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා නුවරඑළිය මූලස්ථාන පොලිසියට විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත. 

ඔහු විශේෂ රාජකාරි කටයුතු අවසන් කර නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම් පොළේ නතර කර තිබූ ඩයගම බලා යෑමට නියමිත පෞද්ගලික බස් රථයක නිල ඇඳුමෙන්ම වාඩිවී සිට ඇතැයි එම නිලධාරියා කීය.  එහිදී බස් රථයට කඩා වැදුණු සැකකරු පොලිස් කොස්තාපල්වරයාට දිගට හරහට පහර දී ඇති අතර  කොස්තාපල්වරයා ඔහු අල්ලා නුවරඑළිය මූලස්ථාන පොලිසියට බාරදීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර සංවර්ධන නිලධාරියා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය.  නුවරඑළිය මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

හැටදාහේ දුරකතනය පිදුරු ගොඩක් වෙලා


රුපියල් හැටදහසක ජංගම දුරකතනයක් කුරියර් සේවයකින් ගෙන්වා ගෙන ඇති පාසල් සිසුවකු නිවෙසට ලැබුණු එම පාර්සලය විවෘත කර බැලීමේදී වතුර බෝතලයක් සහ පිදුරු තිබුණු බවට පැමිණිල්ලක් කර ඇතැයි රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි. මුහුණු පොත හරහා පළවූ දැන්වීමකින් එම ජංගම දුරකතනය ඉල්ලුම් කර ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.  වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවකු නවීන පන්නයේ ජංගම දුරකතනයක් මුහුණු පොත හරහා පළවූ දැන්වීමක් මත ඉල්ලුම් කර ඇත. දුරකතනය රුපියල් හැටදහසක් වන බව ඉල්ලුම්කරුට දන්වනු ලැබිණි. ජංගම දුරකතනය අඩංගු පාර්සලය ගෙනැවිත් ඇති බවට ඉල්ලුම් කරුට පසුව දුරකතන පණිවිඩයක් ලැබී ඇත. දුරකතනය ඉල්ලුම්කරු රත්නපුර රෝහල පාරේ ස්ථානයකට එන ලෙස කුරියර් සේවා ආයතනයෙන් පැමිණි පුද්ගලයා දැනුම් දී ඇත.

මෙම ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු ඉල්ලුම්කරුගේ නමට එවා ඇති පාර්සලය ලබාදී ඇති අතර ඒ සඳහා ගෙවිය යුතු මුදල වන රුපියල් 61,000 ක් බැංකුවේ ක්ෂණික මුදල් ලබා ගැනීමේ යන්ත්‍රය මගින් ලබාගෙන පාර්සලය ගෙන ආ පුද්ගලයාට දී තිබේ. කුරියර් සේවා ආයතනයට අයත් යැයි කියන රිසිට් පතක් ද දී පිටව ගොස් ඇත. ජංගම දුරකතනය අඩංගු පාර්සලය සතුටින් ලබාගත් මෙම සිසුවා එය විවෘත කර බැලීමේදී පාර්සලය තුළ තිබුණේ පිදුරු සහ කුඩා වතුර බෝතලයකි.

මේ සඳහා ලැබුණු කුරියර් සේවා ස්ථානයට අයත් යැයි කියන රිසිට් පත පිළිබඳව විමසීමේදී එහි සත්‍යතාව නොවුණ පිළිබඳව සනාථ බව ද පොලිසිය කියයි. රුපියල් හැටදහස ගෙවීමෙන් පසුව මුලදී පණිවිඩ ලබා දුන් දුරකතනයන් ද ක්‍රියාවිරහිත වී ඇති බව පැමිණිල්ලේ සඳහන් විය. මෙම සිද්ධිය සම්බන්ධව රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 වී.පී.වික්‍රමසිංහ

මත්වෙලා වගේ කියා මව පොලිසියට ගෙන ආ දාහතරේ දුව දූෂණය වෙලා


 

අවුරුදු දාහතරක් වයසති තම දියණිය මත් වී සිටින බව පවසමින් මවක සිය දියණියද කැටුව වඳුරඹ පොලිස් ස්ථානයට පෙරේදා (26) පැමිණි පැමිණිල්ලක් කර ඇත. සිය දියණියට මත්ද්‍රව්‍ය හෝ මත්වීමට වෙනත් ද්‍රව්‍යයක් දී ඇති බව පෙනී ගිය බව මව පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය පී.ආර්.සී. විජේනායක මහතා හමුවට යොමු කර ඇත. මෙම බාලවයස්කාර දැරිය දූෂණයකට ලක්වී ඇති බවත් මත්ද්‍රව්‍ය පානය කර  නොමැති බවත් සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පසුව දැරියගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා එම දැරිය දූෂණය කළේ යැයි කියන දාහත් හැවිරිදි පාසල් සිසුවෙක් වඳුරඹ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර සිසුවා බද්දේගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අයෙකි. සිසුවිය පාසල් ගොස් පාසල් වෑන් රථයෙන් නිවසට නොපැමිණි නිසා, මව දියණිය ගැන විපරම් කර බැලීමට බද්දේගම ප්‍රදේශයට ගොස් ඇතත් ඇය හමුවී නැති අතර පසුව මව නිවෙසට එනවිට දියණිය ද එහි පැමිණ සිට ඇත.

එම සිසුවියගේ මව පන්තිභාර ගුරුවරයාට දුරකථනයෙන් කතාකර ඇති අතර දියණිය පෙරේදා දිනයේ පාසලට නොපැමිණි බව ඔහු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිය දියණිය මත්වී සිටින බවක් පෙනී ගිය නිසාත් කිසිවක් ඒ ගැන ප්‍රකාශ නොකරන නිසාත් මේ ගැන මව සිය දියණිය ද කැටුව පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.  වඳුරඹ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිහු පිරිසක් මේ  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

ශ්‍රීනාත් පුසන්න ජයසූරිය

Thursday, April 27, 2023

දේශපාලන බලපෑම් හේතුවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් තහනම් කරනවා යැයි පවසීම අසත්‍යයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි පැවසෙන දේශපාලන බලපෑම් හේතුවෙන්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටුවීමට ඉඩ ඇතැයි යනුවෙන් පළවූ වාර්තා අසත්‍ය බව අයිසීසී අලෙවි සහ සන්නිවේදන සාමාන්‍යාධිකාරි ක්ලෙයාර් ෆර්ලොන්ග් මහත්මිය පවසයි. අදාළ වාර්තාව සම්බන්ධයෙන් 'අද' පුවත්පත අයිසීසී අලෙවි සහ සන්නිවේදන සාමාන්‍යාධිකාරිවරියගෙන් ඊයේ (26දා) විමසීමක් කළ අතර, ඇය පවසා සිටියේ ඒ ආකාරයේ කිසිදු තීන්දුවක් අයිසීසීය ගෙන නොමැති බවත්, එවැනි සාකච්ඡාවක් සිදුනොවූ බවත්ය.

මේ අතර, වෙනත් පැමිණිල්ලකට  හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේද යන්න අප කළ විමසීමේදී අයිසීසී අලෙවි සහ සන්නිවේදන සාමාන්‍යාධිකාර්වරිය පවසා සිටියේ එම පුවත පදනමකින් තොර බවයි. එවැනි  සාකච්ඡාවක් හෝ මෙතෙක් සිදුව නොමැති බව ඇය අවධාරණය කළාය.  මීට පෙරද අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ පුවත් සංසරණය වූ අතර, එම අවස්ථාවේදීද අයිසීසීය එම ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනය  අවසන්ව ඇති අතර, මේ වන විට එහි දමිළ සහ ඉංග්‍රීසි පරිවර්තන අවසන් කරමින් පවතින බව විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසා සිටියේය. ඒ අනුව මෙම සතිය නිමා වීමට පෙර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.  මෙම විගණන වාර්තාවේ අඩංගු කරුණු මත පදනම්ව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥා දී තිබුණි.

පැතුම් ශ්‍රී විජේරත්න

ජනපති මෛත්‍රී අලි දන් දුන් මුල් ලිපිගොනුව අස්ථාන ගතවෙලා


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි අලි තිදෙනෙකු වෙනත් පාර්ශ්වයකට පැවර්ම නීත්‍යනුකූල නොවන බව කියන සිද්ධියේ මුල් ලිපිගොනු නොමැති බව පවසමින් වගකිවයුතු නිලධාරීන්ට ඇඟ බේරාගැනීමට ඉඩනොදී නිසි ලෙස විමර්ශනය කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස්  පොලීසියට අධිකරණයේදී ඊයේ (26දා) නියම කළේය.  මෙම සිද්ධියට අදාළව ජනාධිපති මන්දිරයේ තිබූ ලිපි ගොනුව අස්ථානගත වී ඇති බව පවසමින් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ දැනුම්දීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රත්වරයා එලෙස නියම කළේය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙමින් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි  අලි තිදෙනෙකු වෙනත් පාර්ශ්වයකට පැවර්ම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව දැනුම් දුන් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මුල් ලිපි ගොනුව පරිශීලනය නොකර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ දිය නොහැකි බව ඒ මහත්වරුන් පැවසූ බවත් දැනුම් දුන්නේය. මෙහි මුල් ලිපි ගොනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගෙන් විමසූ විට එය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බවත් එය අස්ථානගත වී ඇති බවත් ඔහු පැවසු බව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරයා මුල් ලිපිගොනු නොමැති බව පවසමින් වගකිවයුතු නිලධාරීන්ට ඇඟ. බේරාගැනීමට ඉඩනොදී නිසි ලෙස විමර්ශනය කර, ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට නියම කළේය.

‍බුද්ධිමාල් රුබේරු

රැදවියන් 11 ක් වෙඩි තබා කලේ මිනීමැරුමක්

 

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර ඛන්ධනාගාරයේ රැදවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැදවියන්  11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට ඊයේ (26) නියම කළේය. 

මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා  හෝ මානුෂිය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා,  මරණ කරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන බව ද තීන්දුවේ සඳහන් කළේය. මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ඔවුන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් බවත් ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණ හිසින් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදු වී ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බව ද පැවසීය.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමක දී රැඳවියන් 11 දෙනකු මියයෑම සහ තවත් රැඳවියන් විශාල පිරිසකට තුවාල සිදුවීම සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, මියගිය රැඳවියන් 11 දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට මරණ සහතික නිකුත් කිරීමට ද නියම කළේය. එලෙස මරණ සහතික නිකුත් කිරීමට නියම කරන ලද්දේ මෙම සිද්ධියේ දී මිය ගිය මහර බන්ධනාගාරයේ රඳවා සිටි අමිත් සුභසිංහ, රවිඳු සුලක්ෂණ රුද්‍රිගු, සුජිත් කුමාර, ප්‍රගීත් අතුල කුමාර, කාරියවසම් හෙවත් රංග, සම්පත් පුෂ්ප කුමාර, භවන්ත මහින්ද, මාලන් ෆෙක්, අවිශ්ක මධුෂාන්, ලහිරු නිමන්ත සහ සුජිත් කුමාර නමැත්තන්  සම්බන්ධයෙනි.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධ විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරීක්‍ෂක සුගත් කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (12222) වසන්ත මහතා පෙනී සිටියේය. පසුගිය ‘කොවිඩ්’ සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් විසින් තමන්ට ‘කොරෝනා' වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා ‘කොවිඩ්' පරීක්‍ෂණ සිදු කරන ලෙසත් කොරෝනා' වයිරසය ආසාදනය බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවක් කළ බවත්, ඒ අවස්ථාවේ දී ඔවුන් කලහකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවයක නියැලී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා  කර තිබිණි.

එම  විරෝධතාව මැඬ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මුලින්ම 'කඳුළු ගෑස්' ප්‍රහාරයක් එල්ල කර ඇති බවටත්, ඉන් අනතුරුව  ‘රබර් උණ්ඩ‘ යොදා කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ට වෙඩි තැබූ බවටත්, ඉන් පාලනය නොවූ රැඳවියන් පාලනය කර කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ජීව උණ්ඩ යොදා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දී ඇති බවත්, ඒ අනුව කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති බවටත් සිද්ධිය සම්බන්ධයෙන් කළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී සාක්කි ඉදිරිපත් විය. 

කැරැල්ල අවස්ථාවේ දී මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කිහිප දෙනකු ද මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ දී සාක්කි දී ඇති බවත්, එම සාක්කිවල දී බන්ධනාගාර නිලධාරීන් හතර අතේ වෙඩි තැබූ බවත්, තුවාල ලබා බන්ධනාගාරය තුළ වැටී සිටි බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ගේට්ටුව දක්වා රැඳවියන් විසින් ඔසවාගෙන ඒමේදී බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට පවා වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් විය.  කොරෝනා සමයේ වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, දැඩි සෞඛ්‍ය රැකවරණ  මධ්‍යයේ වැලිසර හිටපු මහේස්ත්‍රාත්වරයා ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්‍ෂණය කර ඇත.

පරීක්ෂණය හා මරණකරුවන් හඳුනා ගැනීම සඳහා  මෙම සිද්ධියට අදාළව කළ දීර්ඝ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිව විදාන මහතා මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඬපැවැත්වීම සඳහා හෝ මානුෂිය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි ද මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන්නේ යැයි ද සඳහන් කළේය. ඒ අනුව මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයක දී වෙඩි තබා රැඳවියන් 11 දෙනකු ඝාතනය කිරීම අපරාධයක් බවට තීරණය කළ මහේස්ත්‍රත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කළේය.


 මනෝප්‍රිය ගුණසේකර

ලක්ෂ 5ක හිලව්වට තරුණයෙක් උස්සලා


පොල්ගම්පල දියපත්තුගම ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (26) දහවල් කාලයේ කඩා වැදී තිස් හැවිරිදි අයකු පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියේ යැයි කියන කාන්තාවක ඇතුළු සිවුදෙනෙක් මතුගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පැහැර ගෙන යමින් සිටි පුද්ගලයා සහ ඔහුගේ මව විසින් වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විදෙස් රැකියාවකට යවන බව කියා රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගෙන ඇතත් පොරොන්දු වූ පරිදි වත්තල කාන්තාව විදෙස්ගත නොකිරීම නිසා ප්‍රාණ ඇපයට තබා ගැනීමට තිස් හැවිරිදි පුද්ගලයා ත්‍රිරෝද රථයක බලහත්කාරයෙන් දමාගෙන පලාගොස් ඇති බව පොලිසිය කියයි.

තිස් හැවිරිදි මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් ඇත්තේ ඔහු ප්‍රාණ ඇපයට තබාගෙන ලක්ෂ 5ක මුදල එම පුද්ගලයාගේ මවගෙන් ලබා ගැනීමේ අරමුණින් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මතුගම නගරයේ  පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායම ත්‍රීරෝද රථය නතර කර ගත් අවස්ථාවේ එහි සිටි තිස් හැවිරිදි පුද්ගලයා තමාව බලහත්කාරයෙන් පැහැරගෙන යන බව ප්‍රකාශ කිරීම නිසා එම  ත්‍රිරෝද රථයේ සිටි කාන්තාව සහ අනෙක් පුද්ගලයින් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පැහැර ගෙන යමින් සිටි බව කියන තිස් හැවිරිදි පුද්ගලයා ද පොලිසිය විසින් මුදා ගනු ලැබීය. තම පුතා පැහැරගත් බවට ඔහුගේ මව විසින් මීගහතැන්න පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණි. විදෙස්ගත කරන බව කියා ලබාගත් ලක්ෂ පහේ මුදල ලබා ගන්නා තෙක් මෙම තිස් හැවිරිදි පුද්ගලයා ප්‍රාණ ඇපයට තබාගෙන එම මුදල ලබා දීමෙන් පසු ඔහු මුදා හැරීමට නියමිතව සිට ඇති බව පරීක්ෂණ වලින් හෙළි විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුන් මීගහතැන්න පොලීසියට බාරදුන් බව මතුගම පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවෝ වත්තල, එඬේරමුල්ල, කිරුලපන සහ නාරහෙන්පිට යන ප්‍රදේශවල පදිංචි අය වෙති. මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ජපුර රෝහලේ කෝටි 17ක පරිපාලන මැදුර නිකම් වසාදාලා


ජයවර්ධනපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ල කෝටි 17ක් වැය කර වැඩ අවසන් කර රෝහලට භාරදී වසරකට අධික කාලයක් ගතව ඇතත් එය නිකරුණේ වසා දමා ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. මෙහි වැඩකටයුතු අවසන් බව උපදේශක ආයතනය රෝහල් පාලනාධිකාරියට 2021 වසරේ අවස්ථා කීපයකදී දැනුම් දී ඇති නමුත් එය රෝහල විසින් භාරගනු ලැබුවේ වසරක පමණ ප්‍රමාදයකින් පසු 2022 මාර්තු 18 වැනි දින බවද එම වාර්තාවේ සඳහන් වේ.

එලෙස භාර ගැනීමෙන් පසුවද එය භාවිතයට නොගෙන විගණනය නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ ඉකුත් පෙබරවාරි මාසය දක්වා වසා දමා තිබූ බවද එම වාර්තාවේ සඳහන් වේ. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙන්නේ 2017 නොවැම්බර් මාසයේදී රුපියල් කෝටි 15.4කටය. එහි වැඩකටයුතු 2020 දෙසැම්බර් වන විට නිමා කළ යුතුව පැවතිණි. එහෙත් එහි වැඩකටයුතු නිමවා තිබුණේ එයින් වසරකට පමණ පසුව වන අතර වියදම කෝටි 16.8ක්  දක්වා වැඩිවී තිබිණි.

එසේම වියදම වැඩි වී තිබුණද ගොඩනැගිල්ලේ මූලික ඇස්තමේන්තුවල සඳහන් ශ්‍රවණාගාරය වායු සමීකරණය කිරීම, ශ්‍රවණාගාරයේ බිම ටයිල් ඇතිරීම සිදුකර නොතිබුණ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම තොරතුරු අතුළත් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.

මුදිතා දයානන්ද

ත්‍රිරෝද රියක් හඹාගිය යතුරුපැදිකරු කාරයක හැපී මරුට



ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට බලහත්කාරයෙන් ගොඩ වූ මිතුරා රියදුරුගේ ගෙල මිරිකද්දී ඒ පසුපස හඹා ගිය යතුරුපැදිකරුවකු මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.  අනතුරින් මියගොස් ඇත්තේ අංක 36/26 , බැද්දගාන, පිටකෝට්ටේ ලිපිනයෙහි පදිංචි විතාන මුදියන්සේලාගේ මල්ක මදුසංක නමැති 29 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මියගිය තරුණයාගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට මත්පැන් රැගෙන ඒම සඳහා පැමිණීමේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.

මියගිය යතුරු පැදිකරු මිතුරකු ද නංවාගෙන බැද්දගානේ සිට නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එලෙස පැමිණෙන විට මීට කලකට ඉහත දී පොලියට මුදලක් ලබාගෙන එය නොදී මග හරිමින් සිටී ත්‍රිරෝද රියැදුරු දැකීමත් සමග යතුරු පැදියෙන් ත්‍රීරෝද රථයට මඟ හරස් කර ඇති අතර ඒ සමගම ත්‍රීරෝද රථ රියැදුරු එය මගහැර පලා යෑමට උත්සාහ කිරීමේ දී පැදිකරුගේ උපදෙස් මත පසු පැදිකරු ත්‍රීරෝද රථයට බලහත්කාරයෙන් නැග ත්‍රීරෝද රථ රියැදුරුට පහරදී ගෙල මිරිකා ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ රියැදුරු එයින් බේරීම සඳහා මිරිහාන පොලිසිය වෙත රථය ධාවනය කර ඇති බවත් තදින් ගෙල සිර කිරීම නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය පාර පුරා යාමේ දී ඊට සමාන්තරව ත්‍රීරෝද රථය රියැදුරුට බැණ වදිමින් තර්ජනය කරමින් පැමිණි යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරළි ජුබිලි කණුව දෙස සිට පිටකෝට්ටේ දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී මීටර් 10 ක පමණ දුරක් ඇදී ගොස් නැවතී ඇති බවත් මූලික විමර්ශන වල දී හෙළි වූ බව පොලීසිය පවසයි.

කාර් රථයේ ඉදිරිපස වැදි විසිවී ගිය යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා සිටි බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.  ත්‍රීරෝද රථය ධාවනය වන අයුරුත් එහි පසුපස මිය ගිය යතුරු පැදිකරු කෑ ගසමින් යතුරුපැදිය පදවන අයුරුත් සීසීටීවී කැමරාවක සටහන්ව තිබිය දී පොලිසිය සොයාගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අයිස් හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හා යතුරුපැදියේ පැමිණි පසුපැදිකරු මත්පැන් පානය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු ත්‍රිරෝද රථ රියැදුරාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. අනතුරට ලක්වූ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයත්, කාර් රථයත් පොලිස් භාරයට ගෙන ඇත. මිරිහාන මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

දින 12ක බිලිඳියක යුවළකට විකුණු මවක දරුවා යළි ඉල්ලලා


තංගල්ල ප්‍රදේශයේ පදිංචි මවකගේ දින 12ක් වයසැති බිලිඳිය මුදලට ලබාගත් බව කියන අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලිසිය කියයි. නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවක තම බිලිඳිය ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට ඉකුත්දා (12) හදාවඩා ගැනීමට දී ඇති අතර, පසුව ස්වාමිපුරුෂයාගේ බලකිරීම් මත දරුවා නැවත ඉල්ලා සිටියද හදා වඩා ගැනීමට ගත් යුවළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

දරුවා බිහිවන තෙක් වියහියදම් කළේ තමන් බවත්, දරුවා නැවත දිය නොහැකි බවත් එම යුවළ ප්‍රකාශ කිරීමෙන් පසුව මව ඒ බව සඳහන් කරමින් ඉකුත් 24 වැනි දින පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව විමර්ශන පවත්වා බිලිඳියගේ මව, දරුවා ලබාගත් යුවළ, බිලිඳියගේ ආච්චි අම්මා සහ තැරැව්කරුවකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.  මෙම 21 හැවිරිදි මව ගැබ් ගෙන මාසයකට  පසුව ඇයගේ සැමියා ඇය අතහැර ගොස් ඇතැයි ද, ඒ අනුව ඇය මවගේ නිවසේ විසූ බව ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

සැමියා අතහැර ගිය නිසා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත්කර බිලිඳිය හදාවඩා ගැනීමට යුවළකට දී ඇතැයි ද, එම යුවළ බිලිඳිය ලැබෙන තෙක් වියහියදම් කර ඇතැයි ද පැවසේ. එම යුවළ පොලිසියට පවසා ඇත්තේ බිලිඳිය හදාවඩා ගැනීමට බාරගත් අතර, මවට මුදල් දුන් බවය. සැකකරුවන් සහ බිලිඳිය මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.


ඩී.ඒ. පතිරණ

මිතුරියකගේ පාටියට යන්න ගිය සිසුවිය දුම්රියේ හැපී මරුට

 


මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගි වීමට යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක පෙරේදා 25 වැනිදා රාත්‍රි දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය කියයි.  මාතර ඇලවේල්ල ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන්  16 හැවිරිදි පාසල් සිසුවියක පෙරේදා 25 වැනිදා රාත්‍රි ජිවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ හිත්තැටිය නැගෙනහිර පදිංචිව සිටි දෙව්මිණි සඳරුවනි (16) නමැත්තියක බවත් ඇය හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක බවත් පොලිසිය  සඳහන් කරයි.  තවත් මිතුරියන් තිදෙනකු සමග දුම්රිය මාර්ගය දිගේ වෙනත් මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගීවීම සඳහා යමින් සිටිය දී ඇය  අනරතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි. මාතර මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

බ්‍රිතාන්‍යයෙන් නොමිලේ දෙන්න හැදු කෝටි 3900ක වෛද්‍ය උපකරණ රටට අහිමිවුණා


ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ නොසැලකිල්ල සහ අකර්මණ්‍යතාව නිසා රුපියල් කෝටි 3900 ක් පමණ වටිනා නවීන වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට අහිමිවූ බව රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති හිමියෝ පවසති.  බ්‍රිතාන්‍ය රජයේ ජාතික සෞඛ්‍ය සේවය මගින් එරට ක්‍රියාත්මක සිල්වියා ලංකා පදනමේ ඉල්ලීම මත එම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබූ අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 12ක පමණ මුදලක් ලංකා ආණ්ඩුවට දැරීමට සිදු වූ නමුත් එම මුදල ලබාදීමට බලධාරීන් ඉදිරිපත් නොවූ බවද සුභූති හිමියෝ කීහ.

නැව් ගාස්තු, නිෂ්කාශන ගාස්තු, බදු ගාස්තු, දේශීය අභ්‍යන්තර ප්‍රවාහන ගාස්තු ආදිය සඳහා එම මුදල් අවශ්‍ය වූ අතර ඒ සඳහා තමන් වහන්සේ නිල නොනිල වශයෙන් ඉල්ලීම් කළද නොදැක්වූ බවද උන්වහන්සේ පැවසූහ. බ්‍රිතාන්‍ය රජය මාස දෙකකට ආසන්න කාලයක් බලා සිට ශ්‍රී ලංකාව ප්‍රතිචාර නොදැක්වූ හෙයින් එම අතිනවීන වෛද්‍ය  උපකරණ තොගය ඉන්දියාවටත් අප්‍රිකානු රටවලටත් පරිත්‍යාග කිරීමට කටයුතු කරමින් සිටින බවද සුභූති හිමියෝ කීහ. තමා ඒ පිළිබඳව මෙරට රෝගී ජනතාවගෙන් සමාව අයැද සිටින බවද පවසන සුභූති හිමියෝ මෙරට ජනතාවට ඇප උපකාර සැලසීමටත් සේවය කිරීමටත් තමා ගෙන යන වැඩපිළිවෙළ කිසි විටෙකත් නොනවත්වන බවද  පැවසූහ.

රංජන් කස්තුරි

ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ 10ක ඩී.එන්.ඒ කැඳවයි



මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී.එන්.ඒ. වාර්තා  කැදවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලීමක් කළේය.  ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනෙෂ් ෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුක ජෛව සාම්පල් (ඩී. එන්.ඒ) දෙකක් ඇතුළත් වූ බවට රස  පරික්ෂක වාර්තාවේ සඳහන් වූ බැවින්  ඒවා කාගේදැයි සැසඳීම සඳහා මෙම ඩී.එන්.ඒ. වාර්තා කැඳවිය යුතුව ඇතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ආගන්තුක ඩී.එන්.ඒ. රටා තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ  තිබූ බවට අධිකරණයේ දී කරුණු වාර්තා විණි. එම ආගන්තුක ඩී.එන්.ඒ. රටා හඳුනා ගැනීම සඳහා මේ වනවිට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඩී.ඒ.එන්. වාර්තා කැඳවා තිබුණද ඒ කිසිවක් මරණකරුගේ ජෛව සාම්පල සමග නොසැඳුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් නඩු දිනයේ දී අධිකරණයට දැනුම් දි තිබිණි.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්  මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු  කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක්  නිකුත්  කරන ලෙසට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් එලෙස ඉල්ලා සිටියේය. 

එම මෝසම සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම වෙනත් දිනයකට කල් තැබීය.  මේ අතර ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී.එන්.ඒ.  වාර්තා කැඳවීමට ද අධිකරණය  ඉකුත් 24දා නියෝගයක් නිකුත් කළේ මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන්  පත්කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව  පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මතය.

නිමන්ති රණසිංහ

ශ්‍රි ලංකන් සුදු අලියා අවුරුද්දකට ජනතා සල්ලි කෝටි 15 000ක් ගිලිනවා


මේ රටේ බදු ගෙවන ජනතාව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සදහා සෑම අවුරුද්දකම ඩොලර්  කෝටි 15,000 ක මුදලක් වැයකරන බව වරාය නාව්ක සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය. ගුවන් සමාගම වෙනුවෙන් මෙසේ බදු ගෙවන පිරිසෙන් වැඩි දෙනකු කිසිම දවසක ගුවන් යානයක නොගිය අය බව ද ඔහු සඳහන් කළේය.  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශාල ණය කන්දරාවක් එකතුවී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පාඩු ලබන මේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වැදගත් බව ද සඳහන් කළේය. නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවසුවේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ ඇති විවාදයේදීය.

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය. ජනාධිපතිතුමා ගත්තේ ජනප්‍රිය තීන්දු නොවෙයි. ඒ නිසා ඒ ගැන විපක්ෂයට සන්තෝස වෙන්න පුළුවන්. මොකද ඒ තීන්දු ගැන කියලා ජනතාව නොමග යවන්න පුළුවන් නේ. තමන්ගේ පක්ෂය ගැන බලය ගැන කල්පනා නොකරන දේශපාලනඥයන් මේ රටට අවශ්‍යයි. එතුමා මේ රට ගොඩනැගීමට ගන්නා ක්‍රියාමාර්ගයට සියලු දෙනා සහයෝගය දැක්විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට යම් සහයක් ලැබේවි. මෙතන දී ජනතාවට යම් කැප කිරීමක් කරන්න වේවි. දුෂ්කරතා ඇති වේවි.  මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම අපගේ එකම අරමුණයි. 

සමහරු දේශපාලන අරමුණු ඉටු කරගන්න කටයුතු කරනවා. අපේ දේශයට ආදරය කරන දේශපාලනඥයන් අවශ්‍යයි. රේගු ආඥා පනත නිසි ලෙස සංශෝධනය කරනවා. ඒ තුළින් ආදායම වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියලා ඔක්කොම හරියන්නේ නැහැ. සුරාබදු අංශයේත් ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුයි. ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ ඇයි ද කියලා සමහරු අහනවා. දැන් ආණ්ඩුව ද බිස්නස් කරන්නේ නෑ. ලෝකෙම තත්වය ඒකයි. මේක පිළිගන්න අයත් ඉන්නවා නොපිළිගන්න අයත් ඉන්නවා.  රටේ යහපත සඳහා එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා රජය එකඟ වෙලා තියෙනවා.

 සුජිත් හේවාජුලිගේ

Wednesday, April 26, 2023

ඉන්දියාවේ ප්‍රථම ජල මෙට්‍රෝ යාත්‍ර සේවය අගමැති අතින් විවෘත කෙරේ

 

ඉන්දියාවේ ප්‍රථම ජලය ආශ්‍රිත මෙට්‍රෝ යාත්‍රා සේවයේ පළමු වැනි අදියර එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) දිනයේදී කේරළ ප්‍රාන්තයේ ත්‍රිවෙන්ද්‍රපුරම්හිදී ආරම්භ කෙරිණි. මෙට්‍රෝ දුම්රිය ජාලය හා සම්බන්ධිතව එරට ක්‍රියාත්මක ප්‍රථම බෝට්ටු සේවාව ලෙසින් මෙය සැලකෙයි. මෙම සේවාව Kochi Water Metro (KMW) සේවාව ලෙස නම් කෙරී තිබේ. මේ සදහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක දෙමුහුන් යාත්‍රා අටක් යොදා ගන්නා බව පැවසෙයි. 

මේ හරහා කෝවිහි දූපත් 10ක් සහ කෝවිහි වරාය නගර භූමිය එකිනෙක සම්බන්ධ කිරීම සිදු කරයි. මීට අමතරව,  කෝවිහි සංචාරක ප්‍රවර්ධනයද මෙම ව්‍යාපෘතියේ අරමුණකි. මෙම ව්‍යාපෘතිය කේරළ ප්‍රාන්ත රජ්ය සහ ජර්මනියේ KfW නම් සමාගම හා එක්ව අරමුදල් සම්පාදනය කරන ව්‍යාපෘතියකි. මෙහි සමස්ත පිරිවැය රු.කෝටි 1,137ක් ලෙස ගණන් බලා තිබේ. මෙම සේවාව මගින් ලක්ෂයකට ආසන්න පිරිසකට සෙත සැලසෙන බව සඳහන් වෙයි.

ඊයේ දිනයේදී නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව මෙම මෙට්‍රෝ යාත්‍රා සේවාව අද දිනයේ සිට සෑම දිනකම පෙරවරු 7.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක වෙයි. අවම ටිකට් පත් ගාස්තුව රු.20කි. ටිකට් පත් වෙන්කර ගැනීම සදහා Kochi One App වැඩසටහන යොදාගත හැකිය. ඉදිරියේදී විදුලි යාත්‍රා 78ක් ඊට එක් කිරීමට නියමිතව ඇති අතර, පර්යන්ත 38ක්ද ඉදිකෙරෙන බව සදහන් වෙයි. මෙම යාත්‍රා සියල්ලක්ම වායුසමනය කර ඇති අතර, අවට පරිසරය නැරඹීම සදහා විශේෂයෙන් සකස් කළ කවුළුද එහි පිහිටුවා තිබේ.


ඉහළ දැමූ ඉන්ධන කෝටාව දිගටම


අලුත් අවුරුදු උත්සව  සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසු කිව් ආර් කේතය අවභාවිත වීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් කිව් ආර් කේතයට පරිබාහිරව ඉන්ධන ලබා ගත් පීරිස් එම ක්‍රමවේදයට අනුගත වී තිබෙන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

ඉන්ධන හල් මගින් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පෙර පෙට්‍රල් නිකුත් කිරීමේදී 24ක් කිව් ආර් ක්‍රමවේදයට පරිබාහිරව නිකුත් කර තිබෙන බවත් කෝටාව ඉහළ දැමූ පසු එම ප්‍රමාණය 14ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් ඩීසල් නිකුත් කිරීමේදී 28ක් වැඩියෙන් ඩීසල් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රමාණය මේ වන විට 15ක් දක්වා  පහළ ගොස් තිබෙන බවත් සඳහන් කරයි. කිව් ආර් කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් පිළිබඳව නිරන්තරයෙන් විමර්ශනය කරන බවත් වැරදි සිදුකරන පිරවුම්හල්වලට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් අඛණ්ඩව මෙම නීතිය උල්ලංඝනය කරන පිරවුම් හල් හිමියන්ගේ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන ලෙසට විෂය භාර අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් පෙන්වා දෙයි. පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සැලකීමේදී කෝටාව ඉහළ දැමීමට පෙර පැවති දෛනික ඉන්ධන භාවිතයට සමාන ලෙස ඉන්ධන භාවිතා වී තිබෙන බවද සඳහන් කරයි. 

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව පසුගිය 04වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව සතියකට විශේෂ ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාත් සාමාන්‍ය ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කර ඇත. යතුරුපැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාත් බස් රථ සඳහා ලබා දෙන ලීටර් 40ක ඉන්ධන කෝටාව මීටර් 60ක් දක්වාත් කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉඩම් වාහන (Land Vehicle)සඳහා ලබා දෙන ලද මීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාත් ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාත් Quadric Cycle සඳහා ලබා දෙන ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාත්  විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle)  ලබාදෙන ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් වෑන් රථ සඳහා ලබාදෙන ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කෙරිණ.

 ඉන්දික හේවාවිතාරණ

වැඩියෙන් බේත් දී උණ රෝගී දැරිය මරුට

 

උණ රෝගයට ලක්ව සිටි හත් හැවිරිදි දැරියකට වේදනා නාශක අධිමාත්‍රාවක් ලබාදීම හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ ඒ. මැදිවක මහතා විසින් කරන ලද රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් මරණ පරීක්ෂණයකදී අනාවරණය විය. මෙසේ මියගොස් ඇත්තේ උඩහේන්තැන්න, උඩුවැල්ල, තාමරවල්ලි ජනපදයේ පදිංචි ආර්. පී. ශාමලී තරුෂි නමැති දැරියකි. ඇය උඩුවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ 2 වැනි වසරේ ශිෂ්‍යාවකි. ඇගේ දෙමවුපියන් ඇයට ගම්පොළ කුරුඳුවත්ත රෝහලින් අවස්ථා දෙකකදී බෙහෙත් රැගෙන දී ඇත. එම ළමයාට නියමිත මාත්‍රාව වෙනුවට රෝහලේ ඖෂධ හලෙන් ලබාදී ඇති වැඩිහිටි මාත්‍රාවක් දැරියට ලබාදී තිබෙන බව වැඩිදුර පරීක්ෂණයේදී හෙළි වී ඇත.

කුරුඳුවත්ත රෝහලෙන් දිනකට රෝගීන් හයසියයක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර ඔවුන්ට ඖෂධ ලබාදීමට සිටින්නේ එක් ඖෂධවේදියකු බව පැවසේ.  පෙතිවර්ග දැමීමට රෝහලට අවශ්‍ය දවටන හෝ කවර  නොමැති අතර එම ඖෂධ වර්ග ලබාදෙන්නේ පරණ ලයිට් බිල් හෝ කඩදාසිවල දවටමින් බව රෝගීහු පවසති. රෝගීන් වැඩි බැවින් පැරසිටමෝල් වැනි බෙහෙත් වර්ග කලින්ම කොළවල ඔතා සකස් කර තබා රෝගීන්ට දීම සිදුකරන්නේ ඖෂධ ගන්නා ආකාරය ද සටහන් කර තැබීමෙන් බව ඔවුහු කියති. වැඩිහිටියන්ට අවශ්‍ය මාත්‍රාව එසේ ලියා තිබුණද ළමයින් පැමිණි විට එම කොළේ පිට පැත්තේ එම මාත්‍රාව ලියා දීම සිදු කර ඇති බවද රෝගීහු සඳහන් කරති.

හත් හැවිරිදි මෙම දැරියටද ඒ ආකාරයට ඖෂධ ලබාදී ඇති අතර එම කොළයේ ඇතුළත සටහන් කර තිබූ වැඩිහිටි මාත්‍රාව මෙම දැරියට දුන් බව මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් දරුවාගේ පියා ප්‍රකාශ කර ඇත.මේ ආකාරයට දැරියට උණට බෙහෙත් ගත්තද පසුව බඩේ අමාරුවක් සෑදී ඇති අතර මව්පියන් දැරිය ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇත්තේ ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වීමෙන් පසුව බවද මරණ පරීක්ෂණයෙන් හෙළිවිය.

එහිදී දැරිය දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇතත් ගම්පොල, පේරාදෙණිය, නාවලපිටිය හෝ මහනුවර රෝහල්වල එම ඇඳන් හිස්ව නොතිබූ නිසා දැරිය රාගම රෝහලට රැගෙන යාමට තීරණය කර ඇත. ඒ අතර දැරිය දැඩි ලෙස දැඟලීම නිසා පියාගේ කැමැත්ත රැගෙන දරුවා නිර්වින්දනය කර ඇති අතර එදින රාත්‍රී 7:30 ට පමණ දැරිය ගම්පොළ රෝහලේදීම මියගොස් ඇත. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දැරියගේ සිරුර මහනුවර මහ රෝහලට ඉකුත් 23 වැනිදා රැගෙන ගිය අතර එහිදී අනාවරණය වී ඇත්තේ අධිමාත්‍රාව ලබා දීමෙන් අක්මාවට සිදු වූ බරපතළ හානි නිසා දැරිය මියගොස් ඇති බවයි. 

එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීනි සී.යු. වික්‍රමසිංහ මහත්මිය මියගිය දැරියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාර පරීක්ෂණයකට ද යොමු කර ඇත. ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ගම්පොල රෝහලේ දී මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී කුරුඳුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් 73444 තේනුවර මහතාගේ මෙහෙයවීම මත දැරියගේ පියා වන එරංග සමීර කරුණාරත්න (32) හා මව වන ජයසිංහගේ මල්ලිකා රාජපක්ෂ යන අය සාක්කි දුන්හ. මෙහිදී මරණ පරීක්ෂකවරයා මරණයට හේතු ලෙස උණ රෝගයට අධිමාත්‍රාවෙන් ඖෂධ ලබාදීම, අක්මාවට හානි වීම යනුවෙන් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

 සුරංග රාජනායක

වසර 14 කට පසුව මෙරටින් මැලේරියා මරණයක්



ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගී මරණයක් වසර දාහතරකට පසුව බේරුවලින් වාර්තා වී ඇති  බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කලුබෝවිල මහතා සඳහන් කළේය. බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයකු මෙලෙස මියගොස් ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලයද සනාථ කළේය. මියගිය මැණික් ව්‍යාපාරිකයා දෙදරු  පියෙකි.

ඔහු මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා ටැන්සානියාවට ගොස් ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා යළි මෙරටට පැමිණ තිබෙන අතර එතැන් සිට නිවසේ ගත කර අප්‍රියෙල් 14 වන දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත්තේ උණ රෝගය උත්සන්න වීම හේතුවෙනි. ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර පසුගිය 15වැනිදා මියගොස් ඇත. එම රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී වෛද්‍යවරුන්ට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට මැලේරියා රෝගය වැළඳී ඇති බවයි. ඔහු විදෙස් රටක සිට පැමිණ නිවසේ ගත කර ඇති බැවින් නිවැසියන්ට හා අසල්වාසීන්ට රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂාවට ලක් කරන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කළුබෝවිල මහතා පැවැසීය.

කළුතර මැලේරියා මර්දන ව්‍යාපාරයේ කණ්ඩායමක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා එක්ව කීට විද්‍යා සමීක්ෂණ ඇතුළු පරීක්ෂණ කටයුතු කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය. 2009 වසරින් පසුව මැලේරියා මරණයක් මෙරටින් වාර්තා වී නොමැති අතර2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් කර ඇත. විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතරින් ඇතැම් අවස්ථාවල මැලේරියා රෝගය වාර්තා වුවද මැලේරියාව වැළඳීමෙන් මරණයක් වාර්තා වූයේ වසර දාහතරකට පසුව බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තුසිත කුමාර ද සිල්වා 

ඩොලර් කෝටි 25 ගනුදෙනුවේ රහස් එළියට

 

සුජිත් හේවාජුලිගේ 


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ, ඛන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

තමාට ලැබුණු එම තොරතුරෙහි චාමර ගුණසේකර, නට්වෙස්ට් කෝට්, 50000, ගිණුම් අංක 154793334 iban numder GB 53nwbk 50000015479234 Bicnwbkb  2L ඇමෙරිකානු ඩොලර් මිලියන 250'' යනුවෙන් සඳහන් වන බව ද ඔහු කීවේය. තමාට ලැබී ඇත්තේ සාක්ෂියක් නොව තොරතුරක්  බව ද අමාත්‍යවරයා  පැවසුවේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එම විමර්ශන නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියේ දී තොරතුරු හෙළිකරනු ඇති බවත්  අමාත්‍යවරයා  කීවේය. විජයදාස  රාජපක්ෂ  මහතා  මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම නෞකාවෙන් වන්දි ගැනීමේ ක්‍රියාවලියට විවිධ බාධා ඇතිවුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එම නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නැයි නීතිපතිවරයා උපදෙස් දී තිබිය දී එය මුදාහැර තිබූ බව කී රාජපක්ෂ මහතා නැව මුදා හැරීමට නියෝගය දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹගේ මහතා බව ද සඳහන් කළේය. මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බවත්, මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා මහතාගේ නම බවත් විජයදාස රාජපක්ෂ මහතා කීවේය. 


මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන නිසා යැයි නාලක ගොඩහේවා මහතා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ අමාත්‍යවරයා මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බව ද සඳහන් කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ ගැන සොයා බැලිය යුතු බවත් මෙහි වගකීම කවුරුන් හෝ බාරගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද සදහන් කළේය.


“එදා නැවට යන්න දුන්නු නිසා අධිකරණවල නඩු දෙක තුන දාගෙන විත්ති කාරයෝ හොයාගන්න බැරිව සිතාසි ටික බෙදාගන්න බැරුව අපි දුක් විඳිනවා. අපේ අලාභය ලැබෙන්නෙත් නෑ. හානියට වන්දියක් ලැබෙන්නෙත් නෑ."


ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා : 


මේ වන්දිය මීට අවුරුදු දෙකකට කලින් ලබාගන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ.  ඒ කාරණය හොයන්න ඕන. චාමර  ගුණසේකර කියන නම මටත් ආවා. ඔහු කවුද ඔහු කවුරු වෙනුවෙන් ඒ මුදල ලබා ගත්ත ද කියන එක හොයන්න ඕන. මුදල් ගනුදෙනුවක් නිසා වන්දිය ප්‍රමාදයක් වුණාද කියන එක සොයන්න ඕන. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයන්න  තේරීම් කාරක සභාවක් පත්කරන්න ඕන.


රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා:- 


මේ නැවෙන් සමස්ත ජන ජීවිතයටම විශාල හානියක් සිදුවුණා. බටහිර වෙරළට අද වුණත් ගිහිල්ලා බලන්න. මේ හානිය දිනෙන් දිනම සිදුවෙනවා. ප්ලාස්ටික් කෑලි අදටත් ගොඩක් ගහනවා. අපේ මත්ස්‍ය සම්පතට විශාල බලපෑමක් වුණා. නඩුව සිංගප්පූරුවේ පවත්වන්න අපි එකගත්වය දී තිබෙනවා. නිව් ඩයමන්ඩ් නැව ගැන එක එක නම් සඳහන් වෙනවා. මේ ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්න ඕන.‍ෙමේ විනාශයට ගෙවන සුළු ගාණත් නවත්වලා. ප්ලාස්ටික් කෑලි ටික එකතු කරගන්නවත් මුදල් ටික දෙන්නෙ නෑ. 


මන්ත්‍රී ආචාරිය නාලක ගොඩහේවා මහතා : 


එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන මම යමක් කියන්න ඕන. වන්දිය ප්‍රමාද වුණා නම් ඒකෙ වගකීම ගන්න ඕන හිටපු අධිකරණ ඇමැතිවරුන් දෙන්නා. 


ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා : 


නැව නිදහස් කරගන්න එපා කියලා නීතිපතිතුමා කියලා තියෙද්දී තමයි නැව නිදහස් කරගෙන ගිහිල්ලා තියෙන්නෙ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැව නිදහස් කරන්න ඉල්ලලා නෑ.


නාලක ගොඩහේවා මහතා : මම කිසිම අවස්ථාවක නැව නිදහස් කරන්න ඉල්ලලා නැහැ. ඒකට යන්න දුන්න එක වැරදියි කියන මතයෙ තමයි මමත් ඉන්නේ.


රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා : 


මේකෙ චෝදනාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔබතුමාට,


විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : 


මේ සිද්ධිය ඇතිවුණේ ශ්‍රී ලංකා අධිකරණ බල සීමාව තුළ එතකොට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද? රජයට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ. මේ නඩුව සිංගප්පූරුවේ දාන්නෙ ඇයි. ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි.


විජයදාස රාජපක්ෂ මහතා : 


කිරිඇල්ල කරපු ප්‍රකාශය වරදක්. නීතිපති උපදෙස් අනුව තමයි අපි කටයුතු කළේ.


ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතා : 


මෙතන ඉන්න බක පණ්ඩිතයන් දෙන උපදෙස් අනුව කටයුතු කරන්න බැහැ. අපි කටයුතු කළේ නීතිපති උපදෙස් අනුව.


කිරිඇල්ල මහතා : 


මේ නැවට අදාළ සීසීටීවී දර්ශන විනාශ කරලා. මෙතන මහා කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙනවා.





කසිප්පු නඩුවේ රැදවියා පොල් ගසකින් පැන මියගිහින්


මීගමුව, දලුපොත පල්ලන්සේන බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවකු පොල්ගසක් උඩ සැඟව සිට එතැනට ඛන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් පැමිණ විට පොල් ගසෙන් බිමට පැන බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව මීගමුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ජා ඇල, ඒකල, මඩමවත්තේ පදිංචිව සිටි 45 හැවිරිදි එච්. එම්. සංජය කුමාර නමැති එක්දරු පියකු බව පොලිසිය පවසයි. 

මිය ගොස් ඇති එක්දරු පියා ඉකුත් පෙබරවාරියේ නීති විරෝධිව මත්පැන්  පෙරීමේ චෝදනාවට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවකදී වැරදිකරුවී රුපියල් එක් ලක්ෂ තිස් අටදාහක දඩ මුදලක් නියමවී දඩ මුදල ගෙවා දැමීමට අපොහොසත්ව මාස 18 කට බන්ධනාගාර ගත වූවකු බව විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව, දලුපොත, පල්ලන්සේන බන්ධනාගාර අධිකාරි එච්. එම්. උපුල්දෙණිය මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ මරණකරු බන්ධනාගාරය තුළ ඉතාමත් හොඳ කල්ක්‍රියාවෙන් සිටි නිසා ඔහු එළිමහන් වැඩ සඳහා යෙදුවූ බව සඳහන් කළේය.

එවැනි අවස්ථාවක ඔහු සිරකඳවුරෙන් පැන ගොස් අසල පෞද්ගලික අයකුට අයත් පොල්වත්තක පොල් ගසක් උඩ සැඟව සිටින බව ගම්මුන්ගෙන් ලද තොරතුරු මත නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේ මෙම අවසනාවන්ත සිදුවීම ඇතිව ඇති බවද අධිකාරිවරයා පවසා  සිටියේය. මේ අතර මියගිය අයගේ බිරිඳ බව පවසන ජාඇල ඒකල මඩම වත්තේ පදිංචි ගීගනගේ ධම්මිකා නමැත්තිය මානව හිමිකම් සුරැකීමේ ආයතනයේ ජාඇල ඒකල පිහිටි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයට තම සැමියගේ මරණය සැක සහිත බව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

  සරත් චින්තක

නීතිඥවරයකුගේ බලු සුරතලා වස දී මැරුවැයි නීතිඥවරියට ඇප



නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකළ සුනඛයාට වස දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ  5 ක ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරියේ මත්තේගොඩ, ඇල්විටිගල මාවතේ පදිංචි නීතිඥවරියක වන දිලිනි විජේසිංහ මහත්මියයි. නීතිඥ පත්මික මහානාම මහතා ඉකුත් 12 වැනි දින කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ සවි කර තිබූ සීසීටීවී දර්ශන අනුව පොලිස් මූලස්ථානයේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශන අනුව සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. එකොළොස් වැනි දින රාත්‍රියේ දී මෝටර් රථය පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ යම් දෙයක් වත්තට විසි කරන අයුරු හා විසි කළ එම දේවල් සුරතල් සුනඛයා අනුභව කරන අයුරුත් සීසීටීවී කැමරාවේ සටහන්  වී තිබිණි.

හිටිහැටියේ රෝගාතුරව සිහිසුන් වූ සුනඛයා පශු වෛද්‍යවරයකුට යොමු කිරීමෙන් අනතුරුව වස වර්ගයක් ශරීරගත වී ඇති බවට අනාවරණය වී තිබිණි.  සුනඛයකුට වස ලබාදීම ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 412 වගන්ති යටතේ හා 486 සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. නඩුව ජූලි 6 වැනි දින නැවත කැඳවීමට නියමිතය.  

බිමල් ශ්‍යාමන් ජයසිංහ

පාපැදි සවාරියේ දිනන්න සෙබළා කෝප්‍රල් තල්ලු කරලා

 

පාපැදි තරගයක නිමාව ආසන්නයේ දී යුද හමුදා පාපැදිකරුවකු තල්ලුකොට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාපැදි කණ්ඩායමේ සෙබළකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල යුද හමුදා කඳවුරේ රාජකාරි කරන සාමාන්‍ය සෙබළකු බවත්, බරපතළ තුවාල ලබා ඇත්තේ ද එම කඳවුරේ පාපැදි කණ්ඩායමේ කෝප්‍රල්වරයකු බවත් පොලිසිය පවසයි.  පානදුර, හිරණ තේක්කවත්ත බක්මහ උළෙලට සමගාමීව ඉකුත් 23 වැනිදා පැවැත්වූ පාපැදි සවාරියේ නිමාවට එක් පොකුරකට තරගකරුවන් තිදෙනකු පැමිණ ඇති අතර, තරග අවසානයට මීටර් 100 ක් පමණ තිබිය දී සාමාන්‍ය සෙබළා කෝප්‍රල්වරයා අතින් තල්ලු කර ඇති බව පොලිසිය පවසයි.

තල්ලු කිරීමෙන් මාර්ගයෙන් ඉවතට ඇදී  ගිය පාපැදිකරු මාර්ගය ආසන්නයේ තරග නරඹමින් සිටි  අවුරුදු හතක් පමණ වයසැති කුඩා දරුවකුගේ ද ගැටී බිම ඇදවැටී දෙදෙනාම රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. කුඩා දරුවා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සුසුම්නාවට  සිදුවූ තුවාල සහිතව පාපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. ඇද වැටුණ කෝප්‍රල්වරයා ද ඊට සුළු මොහොතකට පෙර සිය වැලමිටෙන් තමා ද තල්ලු කළ බවට සැකකාර සෙබළා ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය. යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

සුමිත් පොතුපිටිය

Tuesday, April 25, 2023

ගොවීන් පශු අංශ උපදෙස් නොසලකා හැරීම නිසා ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීම උතුරු මැදටත් ව්‍යාප්ත වෙලා

 

ගොවීන් විසින් පශු අංශ උපදෙස් නොසලකා හැරීම හේතුවෙන් උතුරු පළාතේ ව්‍යාප්තව තිබූ ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය (Lumpy Skin Disease) මේ වනවිට උතුරු මැද පළාතටද ව්‍යාප්ත වී ඇතැයි අදාළ අංශ කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම්දී තිබ ඒ අනුව පශු අංශ වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ, උතුරු පළාතේදී රෝගී වූ ගවයින් උතුරු මැද පළාතට රැගෙන නොඑන ලෙස පළාත් පශු අංශ ගොවීන්ට දැනුම්දී තිබුණද, ගොවීන් එම උපදෙස් නොසලකා හැර ඇති බවයි.

කෙසේවුවද, මෙම රෝග තත්ත්වය මේ වනවිට උතුරු පළාත තුළ පාලනය වී ඇති බවද සඳහන් වේ. ගවයන්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය  වර්ධනය වීමට සහ ව්‍යාප්ත වීමට හේතුව ගවයන් අතර පවතින සමීප සම්බන්ධතාව (Direct Contact )ඉහළ යාම බවට පශු අංශ පෙන්වා දෙයි. විශේෂයෙන් තණකොළ බුදීම සඳහා සතුන් වැව් පිටිවලට හා කුඹුරුවලට නිදහස් කිරීම යනාදී කරුණු මත සතුන් අතර සමීප සම්බන්ධතාව ඉහළ යාම මෙම රෝගය ව්‍යාප්තියට ප්‍රධාන හේතූන් ලෙස හදුනා ගෙන තිබේ.

පශු අංශ සඳහන් කරන පරිදි Capripox නමැති වෛරසය හේතුවෙන් මෙම රෝගය හට ගන්නා අතර, කිනිතුල්ලන්, මැක්කන් හා ලේ උරාබොන වෙනත් කුඩා සතුන් හේතුවෙන් එය පැතිරීමට හැකිය. එසේම මේ හරහා හට ගන්නා මානසික ව්‍යාකූලතාව හේතුවෙන් ගව දෙනුන්ගේ කිරි නිපදවීමේ හැකියාව අඩාළ වන බවටද හදුනාගෙන ඇත. මෙම රෝගය සති 02ක් වැනි කාලයක් තුළ සුවපත් වන අතර ගවයින් මිය යාමට ඇති ඉඩකඩ බොහෝ අල්පය. කෙසේවුවද කිරි නිෂ්පාදනය අඩාළ වීමක් සිදුවන බැවින් රෝගී තත්ත්වයට ලක් වූ සතුන් අනෙකුත් නිරෝගී සතුන්ගෙන් වෙන් කර තබා ගැනීම අවශ්‍ය වේ.

නිදර්ශනී වික්‍රමසිංහ


කෙහෙළියට එරෙහි දුරකථන බිල් අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන්

 

තමාට නීත්‍යනුකූලව හිමිව තිබූ ජංගම දුරකථන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකථන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ  නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ 'දූෂණය' වරද සිදු කළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුදුණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුවේ (පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය) අවසන් කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇතොත් ඉදිරිපත් කරන ලෙස විත්තිකරුවන්ට ඊයේ (24දා) නියම කළේය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා ලබන ජූලි 21වැනිදා නඩුව යළි කැඳවීමට නියෝග කළේය.

2010.11. 22 දින සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නීත්‍යනුකූලව හිමිව තිබූ ජංගම දුරකථන ගාස්තුව වූ රුපියග් 44000ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15වැනිදා සිට  අප්‍රේල් 14වැනිදා දක්වා කාලයේ භාවිත කළ දුරකථනයට අදාළ ඛිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිර්ම සහ කටයුතු කිරීම මගින් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත. 

අල්ලස් කොමිසම මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් නියෝගයකට අනුව විත්තිකරුවන් දෙදෙනා නිදහස් කෙරිණි. නිසි ආකාරයට යළි නඩු පැවරිමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස යළිත් වරක් නඩු පැවරීය. එලෙස යළිත් වරක් පවරන ලද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ (පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය) අවසන් කළ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා ඇතුළු නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලෙන් තමන්ට ලබාදිය යුතු ඇතැම් ලේඛන මෙතෙක් ලබා දී නැතැයි දැනුම් දුන්හ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් විත්ති පාර්ශ්වයට ලබාදිය යුතු සියලු ලේඛන මේ වන විට ලබාදී අවසන් බව දැනුම් දුන්හ.

පැමිණිල්ලේ ලේඛන වශයෙන් නම් කොට ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් අදාළ බිල්පත් ගෙවූ චෙක්පත් දෙකක මුල් පිටපත් නොමැති බවත් එහි ඡායා පිටපත් සහ ඉලෙක්ට්‍රොනික් පිටපත් පමණක් ඇති බවත් අල්ලස් කොමිසමේ නීතිඥවරු දැනුම් දුන්හ. ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා නඩුව ලබන ජූලි 21වැනිදා යළි කැඳවීමට නියම කළේය. මූලික විරෝධතා ඇතොත් එදින ඉදිර්පත් කරන ලෙසද විත්තිකරුවන්ට නියම කළේය.

බුද්ධිමාල් රුබේරු

අයාලේ යන සුනඛයන්ගෙන් ගුවන් මඟීන්ට කරදර

 


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ අයාලේ යන සුනඛයන් ගැවසෙන ආකාරය ඊයේ (24 දින) උදෑසන ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි පිරිස්වලට දැක ගැනීමට හැකි විය. එම සුනඛයෝ කටුනායක ගුවන්තොටුපළ වෙත පිවිසෙන දෙස් - විදෙස් සංචාරකයන් ඉව කරමින්, ඔවුන්ට බාධා ඇති වන ආකාරයට හැසිරෙමින් සිටියහ. මෙය ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවද ප්‍රශ්නයක් බවට පත්වී තිබේ.

ගුවන්තොටුපළ පර්යන්ත ගොඩනැගිලි පිවිසුම් දොරටු අසල ගැවසෙමින් ගුවන්තොටුපළ පරිශ්‍රය තුළද සැරිසරන බව මේ පිළිබඳව විසීමේදී එහි සේවකයෝ කියති. මෙම සුනඛයන් කිසියම් ක්‍රමයකින් ගුවන්තොටුපළ ධාවන පථයට හෝ ගුවන්යානා අංගණය වෙත පිවිසියහොත් එයින් බරපතළ අනතුරු සිදු වීමේ හැකියාව පවතී . මීට පෙර වසරවලදී කටුනායක ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් සිටියහොත් වෙඩි තැබීමට විශේෂ නිලධාරින්(Dog Shooter) පත් කර තිබුණි.


 ටී.කේ.ජී.කපිල 

ගාථා වරදිනවා කියා සාමණේර හිමිනමට පහරදී දසවධ දීලා


ගම්පොළ  ප්‍රදේශයේ විහාරස්ථානයක බුද්ධ පූජාව තැබීමේ දී ගාථා වරදිනවා යැයි පවසා හිමිවරුන් තිදෙනකු අට හැවිරිදි සාමණේර හිමිනමකට දින ගණනාවක් පුරා පහර දී වධ හිංසාවට ලක්කිරීම හේතුවෙන් එම සාමණේර හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි  පුස්සැල්ලාව පොලිසිය කියයි. සාමණේර හිමියන්ට කොස්සක් කැඩෙනතුරු පහර දී මුත්‍ර පොවා මුහුණට පහර දී ඇතැයි  පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. එම හිමිනමගේ දත්වලට හා නාසයට ද හානිවී ඇති අතර, හිසට කතුරකින් ඇන කවකටුවලින් ද ඇන දරුණු ලෙස වධ හිංසනයට ලක්කර ඇතැයි  පොලිසිය කියයි.

ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයක දී මෙම කුඩා හිමිනම මෙසේ පහර කෑමට ලක්ව ඇත. එම හිමිනම පැවිදි දිවියට ඇතුළත්ව තවමත් දින 45ක් බව පැවැසේ. එම සාමණේර හිමියන්ගේ නිවෙස ගම්පොල අටබාගේ උඩගම සොගමා ජනපදයේ අක්කර 20 ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඒ හිමියන්ගේ සීයා හා ආත්තම්මා විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ අපහසුවෙන් ඇවිදිනු දැක ඒ පිළිබඳව එහි විහාරාධිපති හිමිගෙන් විමසා ඇත.


සාමණේර හිමියන්ගේ මුහුණේ හා කන ළඟ තිබෙන තුවාල ගැන ද ඔවුන් විමසා ඇති අතර විහාරාධිපති හිමියන් පවසා ඇත්තේ රෑස් එකක්ද කොහෙද හෙටවත් බෙහෙත් අරන් දෙන්න ඕනෑ යනුවෙනි. සිද්ධිය පිළිබඳව සාමණේර හිමිගෙන් විස්තර දැනගත් සීයා ඒ පිළිබඳව උන්වහන්සේගේ පියා හා ලොකු තාත්තාට දන්වා ඇත. ඔවුන් පැමිණ සාමණේර හිමිනම ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව උන්වහන්සේ පේරාදෙණිය රෝහලට මාරුකර යවා ඇත.


සුරංග රාජනායක


පැය භාගයකට වරක් වතුර මි.ලීටර් 200 ක්වත් බොන්න


මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර 200ක්  පමණවත් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. දිනපතා පෙරවරු 9 සිට සවස 4 දක්වා සෑම පුද්ගලයෙක්ම එලෙස ජලය පානය කිරීමට අමතරව හැකි තරම් දියර වර්ග පානය කළ යුතු බවද අව්රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බව ද කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.

පාසල් දරුවන්ට අව්රශ්මියෙන් සිදුවිය හැකි හානි වළකා ගැනීම සඳහා පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන බවද එහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවසීය. සෑම පුද්ගලයකුම පිපාසය සෑදෙන තුරු නොසිට හැකි තරම් ජලය පානය කළ යුතු බවද ඔහු කීවේය. පාසල් දරුවන් මාර්ගවල ගමන් ගන්නා විට කුඩයක් හෝ හිස් වැසුමක් හෝ භාවිත කළ යුතු බවද ඔහු කීය. තවද වැඩබිම්වල සේවය කරන කම්කරුවන් සෑම පැය භාගයකට වරක්ම සෙවණ සහිත ස්ථානයක විවේක ගත  යුතු බවද විශේෂඥ වෛද්‍ය බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

රංජන් කස්තුරි

බ්‍රයන් තෝමස්ගේ ඩී.එන්.ඒ වාර්තා කැඳවයි

 


ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ රස පරීක්ෂකවරයාට ඊයේ (24) නියෝග කළාය.  මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් පත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. එම විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් සහ රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා මහත්වරු ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම ඉල්ලීම සිදුකළහ. 

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුක ජෛව සාම්පල් (ඩී. එන්.ඒ.) දෙකක් ඇතුළත්ව ඇතැයි රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව ද එම විද්වත් කමිටුව අධිකරණයට දැනුම් දුන්නේය. මරණකරුගේ වමනයේ වස තිබූ බව රජයේ රස පරීක්ෂකවරයා ඉදිරිපත් කළ ඩී.එන්.ඒ. වාර්තාවේ සඳහන්ව ඇතැයි ද එම කමිටුවේ සභාපති මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා අධිකරණයේ දී සඳහන් කළේය.

මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ඩී.එන්.ඒ. රටා තිබී රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මින් ඉහත දී අධිකරණයට දැනුම් දී තිබිණි. ඒ සඳහා ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට සිවු දෙනකු යොමු කළ ද ඒවා  නොසැසඳෙන බවට රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දුන් බවත් ඒ අනුව නැවත විමර්ශන නිලධාරීන් සහ රෝගියා රෝහලට ඇතුළත් කළ අයවලුන්ගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා  සිටියේය. ඒ අනුව අධිකරණයෙන් එම නියෝග නිකුත් විණි.

එමෙන්ම මරණකරු භාවිත කළ දුරකතනයේ පටිගත වී ඇති වස්අප් පණිවිඩ මෙන්ම කෙටි පණිවිඩ සහ හඬපට විද්වත් කමිටුවට ලබා දෙන ලෙසට ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මරණයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ ඩී.එන්.ඒ. වාර්තා තවමත් ලැබෙමින් පවතින බවය. ඒ අනුව අධිකරණය සඳහන් කර සිටියේ එම රස පරීක්ෂක වාර්තා ලද විගස විද්වත් කමිටුවට ඉදිරිපත් කරන බවය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මාහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබ තිබුණේ ඉකුත් පෙබරවාරි මස 27 වැනිදාය. මෙහි වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි මැයි මස 08 වැනිදා තෙක් කල් තැබිණි.



නිමන්ති රණසිංහ

යතුරුපැදියකින් ඇවිත් උස්බෙකිස්තාන කතගේ අත්බෑගය කොල්ල කාලා


උස්බෙකිස්තාන ජාතික කාන්තාවකගේ ඇමෙරිකන් ඩොලර් දෙසීයක්, රුපියල් විසි දහසක්, පෞද්ගලික බැංකුවකින් ලබාගත් ඒ ටීඑම් කාඩ්පතක් සහ ඇයගේ විදෙස් ගමන්  බලපත්‍රය සහිත අත්තෑගය යතුරුපැදියකින් පැමිණි  පුද්ගලයන් දෙදෙනකු විසින් පෙරේදා (23) සවස පැහැර ගෙන යනු ලැබ ඇතැයි වත්තල පොලිසිය පවසයි. 

මෙම කාන්තාව ඇයගේ දියණිය සහ මිතුරියක සමග වත්තල ප්‍රදේශයේ අවන්හලකට ගොස් ආහාර ලබාගෙන පා ගමනින් පැමිණෙමින් සිටිය දී ඇවරිවත්ත ප්‍රදේශයේ  නිවාස සංකීර්ණයක් අසලදී  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම අබෑගය කොල්ල කා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.  ඇය අත්බැගය කොල්ලකා පලාගිය යතුරුපැදියේ අංකය ද පොලිසියට දී ඇත. වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

‍ශ්‍රීනාත් පුසන්න ජයසූරිය 

යාපනයේ පස්දෙනා මැරූ හැටි ඝාතකයා පොලිසියේදී වමාරයි

 

රුපියල් 2000 ක මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙහිමි කාන්තාව එය ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත්, නිවෙසේ මේසය මත තිබූ මුදල් තොගය සොරා ගැනීමට යාමේ දී නිවැසියකු එය දැක මෙන්න හොරා හොරා යැයි කෑගැසූ නිසා කොප්පරා කපන පිහියෙන් පහර දී සියලු දෙනා ඝාතනය කළ බවත් ඩෙල්ෆ් දුපතේ 12 කොටසේ‍ නිවෙසක් තුළ කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ සැකකරු ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන පැය 48 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි  මාර්ග පවසයි.

මෙම ඝාතන සිදුකර සැකකරු ඩෙල්ෆ් දුපතේ සිට වඩතාරකී බෝට්ටුවෙන් ඔහුගේ ගම වන පුංකුඩුතීව් වෙත පැමිණ සැඟව සිටියදී ඉකුත් 21 වැනිදා රාත්‍රියේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියේය. සැකකරු මෙම ඝාතන සඳහා භාවිත කළ පිහිය නිවෙස ඉදිරිපිට ඇති ළිඳට දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇත..බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි 51 හැවිරිදි රඟු නමැති මෙම සැකකරු වසර 25 ක පමණ කාලයක් එහි රැඳී සිට කිසියම් වරදක් හේතුවෙන් 2016 වසරේ දී එරටින් මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව ස්ථිර රැකියාවක් නොමැතිව තැන තැන රැඳී සිටියදී ඩෙල්ෆ් දූපත වෙත පැමිණ ඇති බව පොලිසිය පවසයි. ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක බවත් ඇය හා දරු තිදෙනා තවමත් එරට රැඳී සිටින බවත් පොලිසිය පවසයි.

ඝාතනය සිදු වූ නිවෙසේ හිමිකාරිය වන කාර්තිකේසු නාගසුන්දරී (74) තනිවම නිවෙස් ජීවත් වන බවත්, ඇය ප්‍රදේශයේ අසරණයන්ට පිහිට වෙමින් ජීවත් වන කාන්තාවක බවද පොලිසිය කියයි. කිසිදු රැකියාවක් නොමැතිව ආහාර පාන පවා නොමැතිව සිටින මෙම සැකකරු දින තුනක කාලයක සිට එම නිවෙසේ නවතාගෙන ආහාර පාන පවා නොමිලේ ලබා දීමට මෙම කාන්තාව කටයුතු කර ඇති බව පොලිසිය කියයි. ඔහු එම නිවෙසේ සිටියදී ගෙහිමි කාන්තාවගේ ඥාතීන් පිරිසද එම නිවෙසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.  පැමිණි පිරිස අතර ප්‍රංශයේ සිට පැමිණි අයද සිට ඇති අතර, සිද්ධිය වූ දින පෙරවරුවේ සැකකරු නිවෙසට පැමිණ ගෙහිමි කාන්තාවගෙන් රුපියල් 2000ක මුදලක් ඉල්ලා එය ලබා නොදීම නිසා සැකකරු ගෙහිමි කාන්තාව සමග අමනාපයෙන් සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සැකකරු රාත්‍රියේ නිවෙසේ සිටියදී නිවෙසේ මේසය මත මුදල්  තොගයක් තිබෙනු දැක  එම මුදල් සොරා ගැනීමට යාමේ දී ගෙහිමි කාන්තාවගේ නැගණියගේ සැමියා වන මුලතිව් සිට පැමිණ සිටි නාගනාදන් බාලසිංහම් (75) නැමැති එය දැක මෙන්න හොරෙක් හොරෙක්  කියා ගෑගසා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් කලබලයට පත් සැකකරු නිවෙස ඉදිරිපසට දිව විත් මඩුවේ තිබූ කොප්පරා කපන පිහිය ගෙන එම පුද්ගලයා කාමරයට ඇදගෙන ගොස් පිහියෙන් පහර දී ඝාතනය කර ඇති බවත්, ඔහුගේ කෑගැසීමෙන් අවදි වූ ලන්ඩනයේ සිට පැමිණ සිටි ඔහුගේ බිරිඳ වන බාලසිංහම් කන්මදි පිලේලේ (72) කාන්තාව ද ඝාතනය කර ඇති බවද සඳහන් වේ. මෙම සිද්ධිය දුටු නිවෙස් හිමි කාන්තාවත් ඇගේ සහෝදරියත් ඔවුන් දිවගොස් සැඟවීමට උත්සාහ කිරීමේදී සැකකරු ඔවුන් පසුපස හඹාගොස් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකරු මෙම ඝාතන සිදුකර අලුයම නිවෙසේ ඉදිරිපස රැඳී සිටියදී යාපනය බලා යාමට පෙර දිනපතා මෙම නිවෙසට පැමිණෙන සුබ්‍රමනියම් මහාදේවන් නැමැත්තා යතුරුපැදියෙන් අලුයම 5.30 ට පමණ මෙම නිවෙසට පැමිණ ඇති අතර, සැකකරු නිවෙසේ මළ සිරුරු තැන තැන ඇති නිසා ඔහුට නිවෙසට තුළට ඇතුළු වීමට වළක්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු සෑම දිනකම මෙම නිවෙසින් නාගෙන යාපනය බලා බෝට්ටුවෙන් පිටත් වන බවත්, සිද්ධිය වූ දින නෑමට නිවෙසට පිටුපසට යාමට උත්සාහ කිරීමේ දී ඔහුට ඒ දෙසට යාමට සැකකරු ඉඩ ලබා දී නැතැයි හෙළි වී තිබේ. කුමක් හෝ භයානක සිද්ධියක් නිවෙස තුළ සිදුව ඇති බවට සැකකරු එම පුද්ගලයා එළියේ සිට කවුළුවකින් නිවෙස තුළ බැලීමට යාමේ දී සැකකරු පිහි පහර එල්ල කර ඔහුද ඝාතනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. තමා හොරෙන් මෙම නිවෙසින් මුදල් සොරා ගැනීමට තැත්කළ බවට මොවුන් හරහා සෙසු පිරිස දැන ගනු ඇතැයි ඉහත අඹුසැමි යුවළ ඝාතනය කළ බවත්, එම අඹුසැමි යුවළ ඝාතනය කරනු සෙසු කාන්තාව දෙදෙනා දුටු නිසා ගෙහිමි කාන්තාවන් සහ සෙසු කාන්තාව ඝාතනය කළ බවට සැකකරු ප්‍රකාශ කර ඇත. නිවෙසේ සිටි පිරිස කපා කොටා ඝාතන කර ඇති බවට මහා දේවන් නැමැත්තා සිද්ධිය දුටු නිසා ඔහු ද ඝාතනය කළ බවට සැකකරු ප්‍රකාශ කර ඇත. නිවෙස තුළ පස් දෙනා කපා කොටා ඝාතනය කිරීමෙන් පසු සැකකරු පිහිය ළිඳට දමා නිවෙසින් පලාගොස් බෝට්ටුවේ නැගී පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම සිරුරු පෙරේදා 23වැනිදා පස්වරුවේ ඥාතීන් වෙත බාර දී ඇත.

ඉන්දිකා රාමනායක 

හරිහැටි බලානොගත්තැයි තායිලන්ත තෑගි ඇතා ආපසු අරන්


තායිලන්ත රජය 2001 වසරි ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතකු වන ‘සක් සුරින්’ තායිලන්තයට  නැවත ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය සොයා බලමින් සිටින බවත් තායිලන්ත රජය සක් සුරින් නැවත එරටට ගෙන්වා ගැනීමේ අදහස් ඉවත දමා නොමැති බවත් එරට මාධ්‍ය වාරිතා කර ඇත. සක් සුරින්ගේ මෙරට භාරකරුවන් සක් සුරින් නිසියාකාරයෙන් රැක බලා නොගන්නා බවට සත්ව  අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයක් වසරේ පළ කළ වාර්තාවක්  පසුගිය වසරේ පළ කල වාර්තාවක්  සමග තායිලන්ත රජය සක් සුරින් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීමේ තීරණයට එළඹුණු බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.

තායිලන්ත රජය සක් සුරින්ගේ තත්ත්වය පිළිබඳ  දැනුවත්වුවත් සක් සුරින්ගේ  විශාලත්වය සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එරට රජයට ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇතැයි තායිලන්ත මාධ්‍ය සඳහන් කර ඇත.  සී 130 ප්‍රවාහන ගුවන් යානයක් භාවිතා කරමින් සක් සුරින් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීම මූලික සැලස්ම වූ බව ඒ  පිළිබඳ අදහස් දක්වමින් එරට ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරවුට් ශිල්ප ආචා මහතා ප්‍රකාශ කර ඇත. සී 130 ප්‍රවාහන ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන කොටසට විශාලත්වය හේතුවෙන් සක් සුරින් ඇතුළු කිරීමට නොහැකිවීම නිසා එම අදහස් අතහැර දැමූ බව අමාත්‍යවරයා පවසා ඇත.

තවත් විකල්පයක් ලෙස සක් සුරින් ගෙන්වා ගැනීමට  නෞකාවක් එවීමට තායිලන්ත රජය සැලසුම් කළත් ගමනට සති දෙකක් ගත වන බැවින් එය තුවාල ලබා සිටින සක් සුරින්ගේ  සෞඛ්‍ය තත්ත්වයට යහපතක් නොවන බැවින් එම විකල්පයද අත්හැරදැමූ බව අමාත්‍යවරයා සඳහන් කර ඇත. ඒ හේතුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍යාංහය සක් සුරින් තායිලන්තයට නැවත ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසා ඇත.

එස්. රුද්‍රිගු 

Monday, April 24, 2023

එංගලන්තයේ හිටපු රූ රුජින මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ වසර 20ක් සපිරිගෙට


එංගලන්තයේ හිටපු රූ රුජිනක වන 34 හැවිරිදි ජෙනිෆර් යන්ග් මෙක්සිකෝවේදී වසර 20ක සිරදඬුවමකට යටත්ව ඇතැයි වාර්තා වෙයි. ඇය විසින් සිදුකළ බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ චෝදනාව යටතේ ඇයට මෙම දඬුවම හිමිවී තිබේ. පසුගිය වසරේදී ඇය ඩෙන්මාර්කයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙක්සිකෝවේ කැන්කුන් නුවර දක්වා ගුවන් මගින් පැමිණි අවස්ථාවේදී, සිය ගමන් මල්ලේ පහළ කොටස් සකස් කර තිබූ ව්‍යාප් කොටසක් තුළ කිලෝග්‍රෑම් 13,080ක බරකින්  යුත් කෙටමයින්  නම් මත්ද්‍රව්‍ය පැකට්ටු රැසක් සමග ඇය මෙක්සිකානු පොලිස් අත්අඩංගුවට පත්විය. එම මත්ද්‍රව්‍ය තොගයේ  වටිනාකම ස්ටර්ලිං පවුම් 250,000ක් බව  පැවසෙයි.

එම අවස්ථාවේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ මෙක්සිකානු පොලීසිය, ”කැන්කුන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි විදේශීය ජාතිකයෙකුගේ බෑගයේ රහස් කොටසක සඟවා තිබූ මත්ද්‍රව්‍ය සහිත පැකැට්ටු රැසක් සොයා ගැනීමට ජාතික ආරක්ෂක සහ ගුවන් තොටුපොළ ආරක්ෂකයන් සමත්වුණා.” යනුවෙන් සඳහන් කර තිබේ. ඉන් අනතුරුව ඇය මෙක්සිකෝ නගරය ආසන්නයේ කැන්කුන්හි පිහිටි සිරකදවුරක මාස හයකට ආසන්ත කාලයක් රඳවා තැබුණු අතර, එය මෙක්සිකෝවේ පිහිටි අධික රැඳවියන් ගහණයක් සහිත කඳවුරු අතරින් එකක් ලෙසද සැලකෙයි.  මෙම කාලසීමාවේදී ඇයට එරෙහිව නඩු විභාගය පැවැත්වුණු අතර, එහි අවසන් තීන්දුව ලබා දෙමින් පසුගියදා අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.

එංගලන්තයේ ඩර්බි නුවර රූ රැජින ලෙස තේරී පත්ව ඇය එංගලන්ත රූ රැජිත තරගයට ඉදිරිපත් වෙමින් 2007 වසරේදී ඉන් ජය ගත්තාය. එම අවස්ථාවේදී ඇගේ වයස අවුරුදු 17ක් විය. පොලිස් වාර්තාවලට අනුව ඇය ආසන්න වසරක පමණ කාලයක් තිස්සේ මෙලෙස ලොව පුරා රටවල් රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී තිබේ. එහිදී ඇය සිය මව ඇතුළු පවුලේ සාමාජිකයන්ට පවසා ඇත්තේ තමන් රටින් රටට සංචාරය කරමින් සිටින බවකි. එසේම ඇය  තමා සිරගතව සිටින බවත් ඔවුන්ගෙන්  වසන් කර තිබේ. කෙසේ වෙතත් අවසානයේදී ජෙනිෆර් මාස ගණනාවක්ම  මෙක්සිකෝවේ සිරකඳවුරක රඳවා තිබෙන බව ඇගේ මවට දැනගන්නට ලැබී තිබේ. 

”මේ ගැන දැනගත්තහම මම කම්පනයට පත්වුණා. මම දන්නවා ජෙනිෆර් ඉන්නේ මෙක්සෝවේ කියලා. ඒත් මම හිතුවේ ඇය  සංචාරය කරනවා  කියලා. ඒත් මට ඇයව අන්තිමට හම්බ වුණේ සිරකදවුරකදී.” යනුවෙන් ඇගේ මව  පවසා තිබේ. ජර්මනියේ උපත ලද ජෙනිෆර් යන්ග්ගේ මව  බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇගේ පියා  ජර්මානු ජාතිකයෙකි. එංගලන්ත රූ  රැජින කිරුළ ජයගැනීමෙන් අනතුරුව ඇය වයස අවුරුදු 19 දී සිය උපත් බිම වූ ඩර්බි නුවරින් පිටත්ව නිරූපිකාවක ලෙස මෙන්ම සංචාරක මඟපෙන්වන්නියක ලෙසද විදෙස් රටවල සේවය කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීමේ චෝදනාව මෙක්සිකෝව තුළ වඩාත් දරුණුතම අපරාධයක් ලෙස සැලකෙයි. ඒ අනුව ඊට ලබාදෙන අවම දඬුවම වසර 20ක සිරදඬුවමකි.  මෙම දඬුවමින් ඇය මුදවා  ගැනීම සඳහා මෙක්සිකෝවේ පිහිටි  බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය දැනටමත් මැදිහත්ව කටයුතු කරමින් සිටින බවත් සඳහන් වෙයි. එහිදී මූලික පියවර ලෙස ඇය දැනට රඳවා ඇති ස්ථානයෙන් ඉවත්කර වඩාත් හොඳ, තනි සිරමැදිරියක් වෙත  මාරුකර යවා ඇතැයි පැවසෙයි.

”ඇය සිරකදවුරේ ඉන්න ගමන් මට කතා කරනවා. ඇයට මාත් එක්ක කතා කරන්න දෙන්නේ විනාඩි පහක් විතරයි. මම දන්නේ නෑ අපි දෙන්නා අතර කතාව කවුරුද අහගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඇය ඒ කදවුරේ මොනවද වෙන්නේ කියන දේ මට කියන්නේ න්‍ය.” යනුවෙන්ද පේනිෆර්ගේ මව බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පවසා තිබේ.


කැනඩා මන්ත්‍රීවරුන් රෝස පැහැති අඩි උස සපත්තු පැලද පාර්ලිමේන්තුවට එයි

 

කැනඩාවේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා රෝස පැහැති අඩි උස සපත්තු පැලද පාර්ලිමේන්තු සභාවාරයක් වෙත සහභාගි වූ බව වාර්තා වෙයි. එරට තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඔවුන් පවසා තිබේ.මෙහිදී එම අවස්ථාව 'Hope in High Heels' ලෙස නම් කෙරී තිබේ. එරට පවුල්, දරුවන් සහ සමාජ  සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කෙරි ඇති අතර, පිට පිට සිවුවැනි වසර සදහා මෙය පැවැත් වී තිබේ.

එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස රෝස පැහැති අඩි උස සපත්තු සහිතව පාර්ලිමේන්තුව තුළ එහා මෙහා ගමන් කරන අයුරු දැකගත හැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කැනඩාවේ ප්‍රවාහන අමාත්‍ය ඕමාර් අල්හබ්රා, ”කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තවදුරටත් අපේ සමාජයේ තිබෙන දෙයක්. මේ Hope in Heels වැඩසටහන හරහා මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිවීම ගැන දැනුවත්කම ප්‍රවර්ධනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම, පිරිමින් සහ පිරිමි දරුවන් අතර මේ පිළිබඳ විකල්පයක් සඳහා වන උනන්දුව ඇති කිරීමත් සිදු වෙනවා.” යනුවෙන් පවසා තිබේ.


උ.පෙළ උත්තරපත් පරීක්ෂාව විෂයන් 10කට අදාළව පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද


උසස් පෙළ විභාගයේ 2022 (2023) උත්තරපත්‍ර පරීක්ෂා කිරීමට අදාළව විෂයන් දහයක පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද (24දා) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව, කර්ණාටක සංගීතය, බටහිර සංගීතය, නාට්‍ය හා රංග කලාව (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි) යන විෂයන් 06ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව නර්තනය(දේශීය හා භාරත) සහ පෙරදිග සංගීතය යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවද සඳහන් කරයි.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ මුලික අදියරේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව,නර්තනය (භාරත), පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, බටහිර සංගීතය, නාට්‍ය හා රංගකලාව හා හින්දි යන විෂයන් 10ට අදාළව පාලක පරීක්ෂකවරුන්ගේ රැස්වීමක් අද පැවැත්වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. මෙම විෂයන්වලට අදාළ උත්තරපත්‍ර පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් සෙසු විෂයන්වලට අදාළ උත්තරපත්‍ර පරීක්ෂණ කටයුතු මේ සතිය තුළදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත් අද කළ විමසිමකදී හෙතෙම පැවසීය.

ඉන්දික හේවාවිතාරණ

කොස්සක් කැඩුවැයි විදුහල්පති පන්තියේ සිසුන් 38කට කොසුමිටෙන් පහර දීලා




හපුතලේ දෙමළ ප්‍රාථමික පාසලේ සිසු දරුවන් 38දෙනෙකුට කොසු මිටකින් පහර දුන් බව කියන විදුහල්පතිවරයා අද (24දා) සිට වෙනත් පාසලක ගුරු තනතුරක් සඳහා ස්ථාන මාරු කර විධිමත් විනය පරීක්ෂණයක් සිදුකර එම නිර්දේශ අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය.

මෙම පාසලේ 4වසරේ සිසු සිසුවියන් අතින් පසුගිය 20 වැනිදා පන්ති කාමරයේදී කොස්සක මිටක් කැඩූ බව කියන සිද්ධියකින් පසු එයට උරණ වූ විදුහල්පතිවරයා එම පන්ති කාමරයට පැමිණ කැඩුණ කොසු මිටෙන් පන්ති කාමරයේ සිටි සිසු දරුවන් 38 දෙනාටම පහරදී තිබෙන බවට දෙමාපියන් හපුතලේ පොලීසිය හා බණ්ඩාරවෙල කලාප කාර්යාලය දැනුවත් කර විදුහල්පතිවරයාට විරෝධය පාමින් පසුගියදා (21දා) පාසල ඉදිරිපිටදි උද්ඝෝෂණයකද නිරත වූහ. පන්තිකාමරයේදී කොසුටෙන් පහරකෑමට ලක්වු සිසු දරුවන් එම අවස්ථාවේදීම පාසලේ ගුරුවරුන්ටද සිද්ධිය පැමිණිලි කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වු කිසිදු සිසුදරුවෙකු රෝහල්ගත නොවුණ බව කියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, විදුහල්පතිවරයා ස්ථාන මාරුකර විනය පරීක්ෂණයෙන් ලැබෙන නිර්දේශ මත නීත්‍යානුකූලව කටයුතු කරන බවයි.



ප්‍රසන්න පත්මසිරි

06 හැවිරිදි මිනිබිරිය අපයෝජනය කළැයි සීයා අත්අඩංගුවට



රාමසාන් උත්සවය සැමරීම සඳහා තම පියා සමග පියාගේ මහගෙදරට පැමිණි අවුරුදු හයක් වයසැති මිනිබිරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ එම දැරියගේ සීයා පෙරේදා (22) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 63 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලිංගික අපයෝජනයට ලක්වූ දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි.

දැරිය තම සොහොයුරු සහ පියා සමග පියාගේ දෙමාපියන් පදිංචිව සිටින මිනුවන්ගොඩ, ගල්ලොලුව ප්‍රදේශයේ පිහිටි නිවසට මීට දින 05කට පමණ කලින් රාමසාන් උත්සවය සැමරීමට පැමිණ තිබෙන බවත්, ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි නිවසේ සිට මෙසේ පැමිණ ඇති අතර, පසුගිය 21වැනිදා රාත්‍රියේ වින්දිත දැරිය කාමරයක් තුළ නිදාගෙන සිට ඇති බවත්, දැරියගේ ආච්චි (සැකකරුගේ බිරිඳ) මුළුතැන්ගේ තුළ ආහාර පිසිමින් සිටින අවස්ථාවේදී අපයෝජනයට ලක්කර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. 

රෝගාතුර වී සිටි දැරිය පොලීසිය මැදිහත්වී මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ. සැකකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ටෝනි කරුණානායක

අනියම් ඇසුරක් නිසා හොඳම මිතුරා ඝාතනයට සැලසුම්කල අය හා අනුබල දුන් මිතුරාගේ බිරිඳ ඇතුළු 4ක් අත්අඩංගුවට


අනියම් ඇසුරක් දිගටම පවත්වාගෙන යෑමට තම හොඳම මිතුරා ඝාතනය කිරීමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් ප්‍රධාන සැකකරු හා අනුබල දුන් මිතුරාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිවුදෙනෙකු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආණමඩුව පාලියාගම නෑබඩවැව පදිංචි ප්‍රධාන සැකකරු හා එයට අනුබල ලබාදෙමින් තම විවාහක සැමියා මරාදැමීමට අනියම් සැමියාට උදව් දුන් සැකකාර බිරිඳ හා කොන්ත්‍රාත්තුව ලබාගත් මීගමුව පදිංචිව සැකකරුවන් දෙදෙනෙකි.

අදාළ ගොවිතැන් කටයුතු වල නිරත තැනැත්තාගේ බිරිඳ වැලිමඩ පදිංචිකාරියක් බවත් ඇයගේ දෙවන විවාහය ලෙස මෙම තැනැත්තා සමග විවාහ වී තිබෙන බවත්, සැමියා සමග  එකට ජීවත්වෙමින් සිටියදී අදාළ කාන්තාව රහසේ තම සැමියාගේ මිතුරා සමග ද අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම නිසා කිසියම් මොහොතක තම සැමියාට අසුවුවහොත් එය ගැටලුකාරී තත්වයක් වීම මත මෙම සිද්ධියට අදාල සැකකාරිය ප්‍රධාන සැකකරු සමග එක්වි මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව වැලිමඩ පදිංචිකාරියක් වන මෙම කාන්තාව හා දරුවන් වැලිමඩ මවුපියන් බැලිමට යන ලෙස ගොස් සිටියදී සැමියා ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව පරීක්ෂණවලදි හෙළිව තිබේ.

එම සැලසුම අනුව මෙම කුලී මිනිමරුවන් පසුගිය දින රාත්‍රියෙ කිසිවකුටත් සැක නොසිතන ලෙස රැගෙනවිත් අදාළ ගොවියා නිවසේ නිදා සිටියදී නිවසට කුලි මිනිමරුවන් සමග  ප්‍රධාන සැකකරුද ඇතුල්වී ඇති බවත්, ගොවියාගේ හිසට එල්ල කළ පහරක් වැරදි ගොස් කුලී මිනිමරන්නෙකුගේ දකුණු අතට වැදී ඇති අතර, දරුණු තුවාල සිදුව ඉන් පසුව ගොවියාට තියුණු අවි පහර වැදීමත් සමග කෑගසා ඇති අතර, නිවසේ සිටි ඥාතියෙකු විසින් එකවර කාමරයට ඇතුළු වනවාත් සමග සැකකරුවන් පලාගොස් ඇති බවත් අනාවරණය විය.

දරුණු තුවාල ලබා සිටි ගොවියා කඩිනමින් ආණමඩුව රෝහලටත්, හලාවත මහ රෝහලට යවා තිබු බවත් ඉන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැව්මට කටයුතු කර ඇත. මේ වනවිට සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි. පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ වැලිමඩ ප්‍රදේශයෙන්  අත්අඩංගුවට ගෙන තිබූ අතර, ගොවියා ඝාතනයට කිරීමට යොදාගත් තියුණු අවි පාලියාම, නෑබඩවැවට විසිකර තිබියදී සොයාගෙන තිබේ.

 හිරාන් ප්‍රියංකර ජයසිංහ 

ගෝල්ෆෙස් පහරදීම් - සනත්. ජොන්ස්ටන් , මිලාන් , දේශබන්දුට නඩු

 

ගාලු මුවදොර අරගලකරුවන්ට ඉකුත් වසරේ මැයි 9 වැනිදා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පුද්ගලයන් 33 දෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත. 

ගාලු මුවදොර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් ඔහු සැකකරුවකු ඔහු නම් කළ යුතු බවද නීතිපතිවරයා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත.  දේශබන්දු තෙන්නකෝන් මහතා මැයි 9 වැනිදා ගාලුමුවදොර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත් වී ඇති බවටත් ඔහු ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට ක්‍රියා කර නොමැති බවටත් සාක්ෂිවලින් පෙනෙන්නට ඇති බව තම මතය යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇත.

ගාලු මුවදොර දී සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් පුද්ගලයන්ට දේශබන්දු තෙන්නකෝන් මහතා ආධාර අනුබල දී ඇතැයි දණ්ඩ නීති සංගමයේ 100 වැනි වගන්තියේ නිර්වචනයට අනුව තම මතය බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා ඇත.  පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලු මුවදොර දී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වූ කරුණු සලකා බැලීමේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 33 දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව තම මතය යැයි  නීතිපතිවරයා පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 32 දෙනකු දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316, 343 සහ 300 යටතේ දඬුවම් ලබා දිය හැකි වැරදි සිදුකර ඇති බවට සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ අනාවරණය වූ කරුණු සලකා බැලීමේදී පෙනෙන්නට ඇති බවද නීතිපතිවරයා සඳහන් කර ඇත.ඒ හේතුවෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගත යුත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු නම් කර ඇති සැකකරුවන් 32 දෙදෙනාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පමණක් බව ද නීතිපතිවරයා පෙන්වා දී ඇත.

මෙසේ චෝදනා එල්ලවී ඇති සෙසු පිරිසට එල්. නිශාන්ත මෙන්ඩිස්, එස්. සුභාෂ් ජයශාන්ත ප්‍රනාන්දු, එස්. අමල් පුෂ්පකුමාර ද සිල්වා, ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාන් (ඩෑන් ප්‍රියසාත්) ඩබ්ලිව්. සමන්ලාල් ප්‍රනාන්දු, සමීර චතුරංග ආරියරත්න, ගම්ලත් ජයන්ත රෝහණ, එල්. ගීතක පෙරේරා, ජයමාන්න කන්කානම්ලාගේ බන්දුල විජේකුමාර, පුෂ්පලාල් කුමාරසිරි, අමිතානන්ද අබේවික්‍රම, කේ.එම්. ප්‍රශාන්ති ෆොන්සේකා (වැල්ලේ රමණී), අසංක නයක විජේසිංහ (අරාබි වසන්ත) කො.ඩී. අරුණ ප්‍රියශාන්ත, අජන්ත ලියනගේ, ජි, සුපෙම්සිරි ප්‍රනාන්දු, එස්.ජේ. වසන්තා සරෝජිනී ජයලත් (හඳපාන්ගොඩ) ටී. ආරියදාස පීරිස්, කේ.පී. නරේන්ද්‍ර, දුලිප් ප්‍රනාන්දු, කේ. මහින්දරත්න, නිශාන්ත චාමින් උපතිස්ස ජයසිංහ, කේ.දොන් සජිත් සාරංග, ආර්.එම්. තුසිත සම්පත් නානායක්කාර, එච්. ප්‍රදීප් ශ්‍රියන්ත ප්‍රනාන්දු, එල්. ශානක ඇන්තනී ප්‍රනාන්දු, එම්. ප්‍රියනාත් මැකෙන්සි ප්‍රනාන්දු, බී.එච්. ගයාන් පුෂ්පකුමාර පීරිස්, කේ. ප්‍රගීත් සුජීව බණ්ඩාර, කේ. එම්. ලලිත් උදේෂ් මධුභානු යන විසිනව දෙනා ඇතුළත්ව සිටිති.

අනෙක් සැකකරුවන්ට ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග අවසන් කිරීම සඳහා ඔවුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම් ඉවත් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ද නීතිපතිවරයා සඳහන් කර ඇත. එච්. මංජුල ප්‍රසන්න, ඩබ්ලිව්.ඩබ්ලිව්. රමේෂ් භානුක ප්‍රනාන්දු, කේ.කේ.ජී. චමත් තිවංක. වි.ඊ.එන්. ද මෙල් යන සැරයන්වරුන් පිළිබඳ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් පදනමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු සලකා බැලීමේ දී පෙන්නුම් නොකරන බැවින්, ඔවුන් සැකකාර ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. මේ පිළිබදව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

දෙදරු පියෙක් දාරළුවේදී දුම්රියට පනියි


ජීවත් වූ නිවහන උකසට සින්නවීමත් ගෙවිය යුතු ණය සම්භාරයත් නිසාත් දෙදරු පියකු දාරළුව ප්‍රදේශයේ දී දුම්රියට පැන දිවි නසා ගැනීමේ සිද්ධියක් පෙරේදා (22) වාර්තා  විය. මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි. ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන අතරදී පෙරේදා (22) දහවල් රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන ඔහු දිවි නසාගෙන ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. දුම්රියේ ගැටීමෙන් ඔහුගේ හිස කඳෙන්  වෙන් වී තිබූ අතර මෘත දේහය අනතුර සිදු වූ දුම්රියෙන්ම ගම්පහ දුම්රිය ස්ථානය වෙත ගෙන යනු ලැබීය. මියගිය පුද්ගලයා ඔහුගේ බිරියට දරුවන් දෙදෙනාට මෙන්ම මිතුරන්ට ද ලියූ ලිපියක් ද ඔහුගේ මුදල් පසුම්බියේ තිබී පොලිසිය සොයා ගත්තේය.  එම ලිපියේ මෙසේද සඳහන් ව තිබිණි. 

"ඔයා මාත් එක්ක අවුරුදු දාහතක්ම හැම දුක සැපක්ම විඳදරා ගත්ත ගැහැනියක්. ඒ දරා ගැනීම ගැන මම අදටත් පුදුම වෙනවා. ඔයාට මේකත් ඒ වගේම දරාගන්න පුළුවන් වෙයි. සමාවෙන්න මේ මගේ ගොන් මෝඩ තීරණයට. මට තවත් ඉවසන්න බැහැ මං දන්න එකම දෙයක් තියෙනව. ඒ මං ඔයාට ගොඩක් ආදරෙයි " යනුවෙන් මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳට එම ලිපියේ ලියා තිබිණි.

සිය දියණියට ද එම ලිපියේ සටහනක් ලියා ඇත.  ආදරණීය දුවේ. “ඔයාට ගොඩක් බැන්නට මං ඔයාට  ගොඩක් ආදරෙයි. අම්මවයි මල්ලිවයි බලාගන්න. හොඳට ඉගෙන ගන්න. අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නෑ. මට වෛර කරන්න එපා කියලා කියන්න බෑ. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න ''.

මියගිය පුද්ගලයා සිය බිරිය සහ දරු දෙදෙනා සමඟ පදිංචිව සිටි නිවස පෞද්ගලික ආයතනයකට උකස් තබා තිබූ බවත් පසුව එම නිවස සහ ඉඩම එම ආයතනයට සින්න වීම හේතුවෙන් ඔවුන්ට එම නිවසෙන් ඉවත්වීමට සිදුව ඇති බවත් මියගිය පුද්ගලයාගේ බිරිය පොලිසියට අනාවරණය කර තිබිණි. සිය නිවස අහිමි වීමත් විශාල මුදලක් තවත් සමාගමකට ණය වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය ජීවිකාව තවදුරටත් ගෙන යාමට නොහැකි වීම මත මෙම දෙදරු පියා දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇතැයි මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇතැයි පොලිස් නිලධාරීහු සඳහන් කළහ.


 පුෂ්පකුමාර මල්ලවආරච්චි

නුවරඑළියේ සැණකෙලියේ ගුටිකෙළියක් බේරන්න ගිය අයි.පී.පහරකා රෝහලේ



නුවරඑළියේ  පැවැත්වෙන වසන්ත  සැණකෙළිය උත්සව භූමියේ අවන්හලකදී නුවරඑළිය මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුට පහරදී තුවාල සිදු කළේ යැයි කියන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවෙක් පෙරේදා (22) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.  පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇතැයි නුවරඑළිය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාකොළ කල්‍යාණි මාවතේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවකු බව පොලිසිය කියයි.

පොලිස් පරීක්ෂකවරයා රාජකාරි අවසන් කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී රාත්‍රී ආහාරය ලබා ගැනීමට සැණකෙළි භුමියේ පිහිටි අවන්හලක් වෙත ගොස් ඇති බව පොලිසිය පවසයි.  සැණකෙළි භූමියේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී තිබෙනු දුටු පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයට ගොස් ආරවුල් ඇති කර නොගන්නා ලෙසත් සාමකාමීව සිටින ලෙසත් දෙපාර්ශ්වයට උපදෙස් දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

එම අවස්ථාවේ ආරවුලක් ඇතිකරගෙන සිටි පිරිසේ කිහිප දෙනකු පරීක්ෂකවරයාට පහරදී පලා ගොස් ඇති අතර සැකකාර නීති සිසුවා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පෞද්ගලික ආරක්ෂක සේවාවක පිරිසක් විසින් අල්ලා පොලිසියට බාර දෙනු ලැබ ඇත. ඒ අනුව එම සිසුවා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි. නුවරඑළිය මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

රත්නපුරේ මහ පල්ලිය ළඟ කරක් ගැසූ ඉන්දියානුවා අල්ලයි


රත්නපුර මුස්ලිම් මහ පල්ලිය අසල මහ රෑ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිව සිටින මුස්ලිම් ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රත්නපුර මූලස්ථාන පොලීසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට ගැනුණේ තමිල්නාඩුවේ පදිංචි හතළිස් තුන් හැවිරිදි අයෙකි. මුස්ලිම් බැතිමතුන්ගේ විශේෂ ආගමික වතාවත් මේ දිනවල මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන නිසා කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමේ අරමුණෙන් ඔහු පැමිණ සිටියේ ද යන්න ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. විදෙස් ගමන් බලපත්‍රය ද ඔහුට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව පොලිසිය කියයි. 

පසුගිය මාර්තු මස 18 වෙනිදා  මොහු ඉන්දියාවේ සිට සංචාරක වීසා වලින් මෙරටට පැමිණි බව පොලීසියට පවසා ඇතැයි කියති. මේ රටට පැමිණීමෙන් පසු මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ගතකර ඇතැයි ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2009 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ රත්නපුර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක නිෂ්පාදන  කළමනාකාරවරයකු ලෙස සේවය කර ඉන්දියාවට ගොස් මෙසේ නැවත පැමිණ ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

කොළඹ කම්කරු උසාවියේ පැවැත්වෙන නඩුවක් සඳහා පෙනී සිටීමට තමා මෙසේ යළි මෙරටට පැමිණි බව ද සැකකරු පොලීසියට පවසා ඇතැයි කියති. කාලයක් රත්නපුරේ පදිංචිව සිටි නිසා හිතවතුන් මුණ ගැසීමට රත්නපුර ප්‍රදේශයට පැමිණි බවද සැකකරු පවසන්නේ යැයි පොලීසිය කියයි. රත්නපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන පවත්වාගෙන යති.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


අම්මයි-බාප්පයි පස් හැවිරිදි පුතා පාරේ දමා ගිහින්



මව සහ බාප්පා විසින් ත්‍රිරෝද රථයකින් රැගෙනවිත් මහමඟ දමායන ලදැයි කියන පස් හැවිරිදි පිරිමි දරුවකු කුට්ටිගල බෝගොල්ආර ප්‍රදේශයේ මාර්ගයක හුදකලාව හඬමින් සිටියදී සොයා ගෙන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට පසුගිය 21 දා ඇතුළත් කළ බව කුට්ටිගල පොලිසිය කියයි. ප්‍රදේශයේ කාන්තාවක් කුට්ටියල පොලිසියට දුරකතනය ඔස්සේ දුන් තොරතුරකට අනුව එම දරුවා සොයා ගැනීමට හැකිවූ බවත් මහ මඟ දමාගොස් සිටි දරුවා සිය මව සහ මවගේ දෙවැනි සැමියා සමඟ ඇඹිලිපිටිය රෝහල අසල නිවසක පදිංචිව සිටි බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලිසිය සඳහන් කරයි. 

පොලිසිය දරුවා පදිංචිව සිටි බව කියන නිවස සොයා ගිය නමුත් සැකකාර යුවළ එම නිවස අතහැර ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලිසිය  පවසයි.  සැකකාර යුවළ සැකකරුගේ මව සහ සොහොයුරකු සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති බවත් සැකකරු ඇඹිලිපිටිය රෝහල අසල ත්‍රීරෝද රථ ගාලේ ත්‍රීරෝද රථ රියැදුරකු ලෙස සේවයේ යෙදෙන්නකු බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.එම සැකකරුවන් එම දරුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් කුට්ටිගල ප්‍රදේශයට රැගෙනවිත් බෝගොල්ආර අතුරු මාර්ගයේ හුදකලා ස්ථානයකදී දරුවා අතට ඇඳුම් බෑගයක් දී ත්‍රීරෝද රථයෙන් එළියට ඇද දමා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.

තමන් මහමඟට දමා මව සහ බාප්පා පලා යනු දුටු දරුවා හඬමින් ත්‍රීරෝදය පසුපස දිවගොස් ඇති බවට තොරතුරු දැනගන්නට ලැබුණු බවත් එම මවට තවත් දරුවකු සිටින අතර ඇය එම දරුවා රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවත් පොලිසිය කියයි. රැගෙන ගිය දරුවා සැකකාරියගේ දෙවැනි සැමියාගේ විය හැකි බව පොලිසිය සඳහන් කරයි. තම භාරයට ගත් දරුවාගේ ශරීරයේ තුවාල දකින්නට ලැබුණු බවද එම තුවාල තම මව සහ බාප්පා විසින් කෝටුවකින් පහර දීම නිසා ඇති වූ ඒවා බවට දරුවාගේ ප්‍රකාශයෙන් හෙළිවූ බවද පොලිසිය කියයි. රෝහල් ගතව ප්‍රතිකාර ලබන දරුවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සැකකාර යුවළ සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර  ඇත.

රෝහණ සමරවීර

Friday, April 21, 2023

බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 47,665ක් ආහාර අහේනියතක්

 


බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 47,665ක් උග්‍ර ආහාර  අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් සමස්ත පවුල්  සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස එය 17%ක් බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති  පරණගම මහත්මිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළාය. සමීක්ෂණ වාර්තාවන්ට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ  මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5ට අඩු ළමයින් සංඛ්‍යාව 10,873ක් බවත් එය සමස්තයක් ලෙස ගත් කල 19%ක් බවත් සඳහන් කළාය.

ශරීර ස්කන්ධ දර්ශකය (BMl) අගය 18ට අඩු සති 12 සම්පූර්ණ කළ ගර්භණී මවුවරුන් 1226දෙනෙක් දිස්ත්‍රික්කය තුළ සිටින බවද ඇය හෙළි කළාය. ඌව ආණ්ඩුකාර ඒ.එල්.එම්. මුසම්මිල්, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර, නාගරීක සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමති තේනුක විදානගමගේ, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක, අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ රාජකාරි ලැයිතුවේ උ.පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවක් ගැන සදහන් නෑ

 

විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රාජකාර් ලැයිස්තුව තුළ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පක්‍ෂා කළ යුතු බවට සඳහන් කර නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.  උසස් පෙළ උත්තර පත්‍ර පක්‍ෂා කරන්නේ, සේච්ඡා සේවයක් ලෙස බවත්, ඒ සඳහා අචාර්යවරුන් බඳවා ගන්නේ, විභාග දෙපාර්තමේන්තු විසින් අයදුම් පත් කැඳවීමෙන් වන අතර, ඒ අනුව උත්තර පත්‍ර පක්‍ෂා කිරිමට කැමති ආචාර්යවරුන් අයදුම්පත් ඉදිරිපත් කරන බවත් එම  සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කළ විමසීමකදී පැවසීය.

වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු අය කර ගැනීමේ ක්‍රමය ලිහිල් කරන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට අනුව උසස් පෙළ උත්තර පත්‍ර පක්‍ෂා කිරීමේ කටයුතුවලින් ආචාර්යවරුන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය. ඒ අනුව බදු අයකර ගැනීම් ලිහිල් කරන තෙක් ආචාර්යවරුන් විසින් බැංකුවලින් ලබාගෙන තිඛෙන ණයවලට අදාළ වාරිකා ගෙවීමට මාස 06ක  සහන කාලයක් ලබාදෙන බවට හා තවත් යෝජනා කිහිපයක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය අද (21දා) රැස් වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, බැංකු පොලී ඉහළ යාම නිසා හා අසාධාරණ ලෙස බදු අයකර ගැනීම් නිසා සමහර ආචාර්යවරුන්ට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් මේ වනවිට නොලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය. වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු ලිහිල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවට හා බැංකු පොලී සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට බලධාර්න් සිදුකළ ප්‍රකාශවලට අනුව පසුගිය 17වැනිදා සිට විශ්විද්‍යාලවල කටයුතු ආරම්භ කළ බවද ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා සඳහන් කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුළත් නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි. මීට අමතරව විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර  ඇත.

ඉන්දික හේවාවිතාරණ