දෙවරක් ලෝක කුසලානය දිනූ ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කර ලෝක කුසලානයේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබීමට සෞදි අරාබිය සමත්විය. ඒ ‘සී’ කාණ්ඩය යටතේ ඊයේ (22දා) පැවැති තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකර ගනිමිනි. මෙම තරගය ලුසෙලිහිදී පැවැත්විණි. තරගයේ 10වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවට හිමිවූ දඬුවම් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කිර්මට සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත්විය. ඉන් අනතුරුව ආර්ජන්ටිනාව ගෝල කිහිපයක් වාර්තා කළද, එය 'ඕෆ් සයිඩ්' ලෙස විනිසුරුවන් විසින් සටහන් කළේය. ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0ක් ලෙසින් ආර්ජන්ටිනාව ඉදිරියෙන් පසුවෙමිනි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ 48වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ යායා අල් ෂාහිරි සෞදි අරාබියට ගෝලයක් වාර්තා කර දුන්නේය. ඉන් මිනිත්තු 05ක් ගතවද්දී ක්රියාත්මක වූ අල් දව්සාරි දෙවැනි ගෝලයද කණ්ඩායමට වාර්තා කරදුන්නේ ආර්ජන්ටිනාවට පරාජයේ මාවත විවර කර දෙමිනි. ඉන් අනතුරුව සෞදි අරාබි දැල ආක්රමණය කිර්මට ආර්ජන්ටිනාව කිහිපවිටක්ම උත්සාහ ගත්තද, සෞදි ක්රීඩකයන්ගේ දක්ෂ ආරක්ෂක ක්රියා පිළිවෙත හේතුවෙන් එය ව්යර්ථ විය. මේ සමගින් අන්තර්ජාතික තරග 36ක් අපරාජිතව සිටිමින් ආර්ජන්ටිනාව පාපන්දු පිටියේ තබා තිබූ වාර්තාව බිඳී ගියේය. ආර්ජන්ටිනාව වත්මන් පුහුණුකරු ලා ඇලබිසෙලෙතේ යටතේ 2019 වර්ෂයේ පටන් අපරාජිතව සිටියේය. මෙම තරගය ජයගත්තේනම් ආර්ජන්ටිනාවට වැඩිම තරග ප්රමාණයක් (37) ජයගනිමින් ඉතාලිය 2021 වර්ෂයේදී පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට හැකියාවක් තිබුණි.
ඩෙන්මාර්කය 0 - 0 ටියුනීසියාව
ඩෙන්මාර්කය හා ටියුනීසියාව අතර තරගය ඊයේ (22දා) සන්ධ්යාවේදී පැවැති අතර, එම තරගයේදී කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි විය. ‘ඩී’ කාණ්ඩය යටතේ පැවැති පළමු තරගය ලෙස මෙය එඩියුකේෂන් ක්රීඩාංගණයේදී පැවැත්විණි.
මෙක්සිකෝව 0 - 0 පෝලන්තය
'සී' කාණ්ඩය යටතේ තරග වැදුණු මෙක්සිකෝව හා පෝලන්තයටද ගෝල වාර්තා කිර්මට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් එම තරගයද ජයපරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් මෙහිදී දඬුවම් පහර අවස්ථාවක් පෝලන්තයට හිමිවුවද, එය ගෝලයක් බවට පරිවර්ථනය කරගැනීමට ඔවුන්ට නොහැකි විය. 'ක්රීඩාංගණය 974'හි පැවැති මෙම තරගය මෙරට වේලාවෙන් ඊයේ (22දා) රාත්රී 11.30ට අවසන් විය.
ඇමරිකාව 1 - 1 වේල්සය
අල් රයාන් ක්රීඩාංගණයේ පැවැති ඇමරිකාව හා වේල්සය අතර තරගයේදී කණ්ඩායම් දෙකම ගෝල 1-1 බැගින් වාර්තා කිරීම හේතුවෙන් එම තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේ පළමු අර්ධය අවන් වනවිට ගෝල 1-0ක් ලෙස ඇමරිකාව ඉදිරියෙන් සිටියදී, දෙවැනි අර්ධයේ 82වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට වේල්සය සමත් වූ හෙයින් ඇමරිකානු කණ්ඩායමට ජයග්රහණයකින් තරගය අවසන් කිරීමට තිබූ අවස්ථාව අහිමිව ගියේය. වේල්සය මෙවර පාපන්දු ලෝක කුසලානයකට ක්රීඩා කරන්නේ වසර 64කට පසුව වීමද සුවිශේෂී වෙයි
(ඕෂත වරකපිටිය.)











