Thursday, November 30, 2023

සමනලවැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීමට අක්කර 20ක ගස් කපා දමා ඩෝසර් යොදාගෙන එළිපෙහෙළි කරලා



අජිත්ලාල්  ශාන්තඋදය


සමනලවැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීමට කිලෝමීටර් හතක් දුරට වනාන්තරයෙන් අක්කර 20කට වැඩි ගස් කපා දමා ඩෝසර් යොදාගෙන එළිපෙහෙළි කරමින් පාරිසරික හානියක් සිදුකරන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිංස්කරණ ව්‍යාපාරය වෙනුවන් පරිසරවේදී සජීව චාමීකර මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

”බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකොළමුල්ල, බලිඳුවැව යන ගම්මානවලට වනඅලි පිවිසීම වැළැක්වීමට යෝජිත විදුලිවැට මාර්ගය ඉදිකිරීමට මෙලෙස මඟ වනාන්තරය එළි පෙහෙළි කරනවා.සමනලවැව ජලාශයට අයත් වේල්ලේ කූඹල්ගම සිට කිලෝමීටර් 15ක් දුරට විදුලි වැට ඉදිකිරීමට යෝජිතව පවතිනවා. වනාන්තරය එළිකිරීමේ දී හානි අවම වන ක්‍රමවේදයක් අනුගමනය කර නැහැ. එසේම මෙම වනාන්තර එළිපෙහෙළි කිරීමට අනුමැතියක් ලබා ගෙන නැහැ.උඩවලව ජාතික උද්‍යානයේ සිටින වනඅලි මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට දුවිලි ඇල්ල දක්වා සංක්‍රමණය වීමේදී ඉහත ගම්මාන වලට අලි ඇතුන් ඇතුළුවීම වැළැක්වීමට මෙම අලිවැට ඉදි කරනවා. එහෙත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලුගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස දුවිලිඇල්ල දක්වා ගමන් කරන මෙම අලි ඇතුන් ගම්මානවලට කඩාවැදීම වැළැක්වීමට ගම්මාන වටා කුඩා පරිමාන විදුලි වැටක් ඉදිකිරීමෙන් හැකියි. එසේ තිබියදී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විෂයභාර නිලධාරීන්ගේ සැලසුමක්, අධීක්‍ෂණයක් හා මගපෙන්වීමක් නොමැතිවයි.

මෙය වනජීවී හා වනසංරක්‍ෂණ මෙන්ම නව වාරිමාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ ඇගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන රංජිත් පුෂ්පකුමාර යන අය එක්ව සිදු කරනවා.2006 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්‍ෂණ ආඥා පනතේ 20වන වගන්තිය, එහි (2) උපවගන්තිය, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23වන වගන්තියට අදාළව ප්‍රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට ද පටහැණි ක්‍රියාවක්. මෙම අණපනත් උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වුවත් ඇමතිවරියට හෝ පුද්ගලික ලේකම්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නැහැ.” යැයිද පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට වනජීවී හා වන සංරක්‍ෂණ මෙන්ම නව වාරිමාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇමතිමට උත්සාහ කළ ද නොහැකි විය. මේ කැලෑ කැපීමට නිසි අනුමැතියක් දී ඇද්ද යන්න දැනගැනීමට වන සංරක්‍ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ද උත්සාහ කළ මුත් එය ව්‍යර්ථ විය.







ඇල්ල රාවණා ඔඩිසි බස් රථ සේවය ඇරඹුදාම නවතයි

 




ඇල්ල - ප්‍රසාද්  රුක්මල්


ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත  නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කළහ. විදෙස් සංචාරකයන් ඇල්ල නගරයට ගෙන්වා ගැනීම ඔවුන් වැඩිපුර ඇල්ල ප්‍රදේශයේ රඳවාගෙන ඇල්ල සංචාරක පුරවරයේ අහිංසක ත්‍රීරෝදරථ රියදුරන්ට, වෑන්රථ, මෝටර්රථ, යතුරුපැදි මෙන්ම වෙළෙඳුන්ගේ ආදායම් මාර්ගය වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙසේ ඇල්ල පුරවරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකු මෙම නැවුම් වූ අත්දැකීම ප්‍රථම වරට ඌව පළාතට හඳුන්වාදෙමින් එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථ සේවය ඊයේ (29දා) උදෑසන 9.01ට යෙදුණු සුබ මොහොතින් ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් ඇල්ල ඕටූ සංචාරක හෝටලයේදී ආරම්භ කෙරිණි.

එම උත්සවයෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිත පිරිස මෙම සංචාරක බස් රථයේ නංවාගෙන සුබ මොහොතින් බස් රථය සිය මංගල සංචාරක ගමන් වාරය යාමට ඇල්ල ඕටු සංචාරක හෝටලයෙන් පිට වී ඇල්ල නගරය දෙසට බස් රථය ධාවනය වෙමින් තිබියදී ඇල්ල නගර මංසන්ධියේ ඒකරාශී වී සිටි ත්‍රිරෝදරථ රියදුරන්,වෑන්රථ, මෝටර්රථ රියැදුරන් යතුරුපැදි කුලී මුදලට දෙන්නන් ඇතුළු පිරිසක් මගහරස් කර මෙම සංචාරක බස් රථය නවතා බස් රථය ධාවනය කිමට ඉඩ නොදී විරෝධතාවක නිරත වූහ.ඇල්ල පොලීසියේ නිලධාරීන්  මෙම ස්ථානයට පැමිණ ඒ අවට ආරක්‍ෂාව තරකර පිරිස විසුරුවා හැරීමට සූදානම් වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ නිසා ඇල්ල - පස්සර මාර්ගයේ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කළ රථවාහනවල සිටි විදේශීය සංචාරකයෝ සහ රියැදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටියහ.විරෝධතාවේ නිරතව සිටි පිරිස පැවසූවේ, මෙම නව රාවණා ඔඩ්සි සංචාරක බස් රථය නිසා ත්‍රිරෝදරථ, වෑන්, මෝටර්රථවලට තමන් එදිනෙදා සොයාගන්නා කුලී ගමන් නොමැතිව තමන්ට බඩේ පහර වැදී සිය ජීවිකාව කර ගැනීමට නොහැකි බවත්, වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි බවත්ය.

මෙම රාවණා ඔඩිසි සංචාරක බස් රථය හිමී සංචාරක ව්‍යාපාරිකයෙකු පැවසුවේ, මෙම රාවණා ඔසී සංචාරක බස් රථය ඇල්ල සංචාරක පුරවරයේ ඇති සංචාරක සිත් බැදගත් සංචාරක ආකර්ෂණීය කිසිදු ස්ථානයකට ධාවනය නොවන බවත්, මෙම සංචාරක බස් රථය ඇල්ල වැල්ලවාය බුදුරුවාගල, කොස්ලන්ද හපුතලේ බණ්ඩාරවෙල හරහා ඇල්ල නගරයට පැමිණෙන බවත්, එහිදී එම සංචාරක බස් රථයේ ගමන් ගන්නා විදේශීය සංචාරකයන් වෙනුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ කුඹුරක සිට ගමට ආවේණික වූ දිවා ආහාර වේලක් ලබාදී, මධ්‍යම සංස්කෘතික අරමුදලින් රජය මගින් ආරම්භ කර ඇති බුදුරුවගල වැවේ බෝට්ටු සවාරියක් ලබා කොස්ලන්ද හරහා හපුතලේට පැමිණ විදේශීය සංචාරකයන් සඳහා හපුතලේ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය විඳගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.ඇල්ල පොලීසිය මැදිහත් වී මෙම දෙපිරිසට කරුණු පැහැදිලි කර පසුව මේ සම්බන්ධයෙන් ව්සඳුමක් ලබාදීමට පොරොන්දු වී එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථය ධාවනය කිරීම තාවකාලිකව නතර කර දමා විරෝධතාවේ නිරත වූ පිරිස විසුරුවා දැමීය.








පොලිස්පති උසාවි කැඳවයි

 



රහස්පොලිසියටඑරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 28 වැනිදා පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් වී කරුණු දක්වන ලෙසට පොලිස්පතිවරයා ඇතුළු තිදෙනකුට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නොනිසි නිකුත් කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ බලශක්ති විශේෂඥයකු විසින් ගොනු කරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම රීට් පෙත්සම ඒස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත පුනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. බලශක්ති විශේෂඥ එම්.පී. රළපනාව මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසිය, පරිගණක අපරාධ අංශය් උපපොලිස් පරීක්ෂක සුගත්, පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.තමන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධ චෝදනා පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. අධිකරණය එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටී රජයේ නීතිඥ ෂවින්ද වික්‍රම මහතා කියා සිටියේ මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාදැයි ප්‍රශ්න කළේය.ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිආරච්චි මහත්මිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා මහතා කියා සිටියේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු වූ අයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ බවයි. වග උත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් නොවුණෙන් ඔවුනට පෞද්ගලිකව ලබන පෙබරවාරි 28වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නොතිසි නිකුත් කෙරිණි.

රන්ජන් කටුගම්පොළ

පිළිකා එන්නත්වලිනුත් කෝටි 11ක් ගරලා

 


ස්නායු රෝගීන් සදහා භාවිත කරන “ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරිම සම්බන්ධයෙන් විමරිශන කරද්දී, පිළිකා රෝගීන් සදහා භාවිත කරන “රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් ද අනාවරණය වී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (29) දැනුම් දුන්නාය.

ස්නායු රෝගීන්සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හළ ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගම විසින්ම මෙලෙස පිළිකා රෝගීන් සඳහා භාවිත කරන 'රිටොක්සිනන් " නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව හෙළිවී ඇතැයි දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය අදාළ රුපියල් කෝටි 11 කට ආසන්න මුදල සමාගමට මුදා හරින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත්අකුරින් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහනක් යොදා ඇතැයි ද දැනුම් දුන්නාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියමය අනුව අධිකරණට නොපැමිණී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කරමින් ඒ සඳහා වරෙන්තුවක් ද නිකුත් කළාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරුවන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එහි සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැත්තෝ - බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන 'ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස් දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරුවන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු යන අයට අයත් සීදුවේ පිහිටි පරීක්‍ෂණාගාරයක දී මෙම ඖෂධ නිෂ්පාදනය කර ඇති බව හෙළිවී ඇති හෙයින් එම ස්ථානය පරික්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටින ලෙස පසුගිය අවස්ථාවේ නියම කළත් ඔහු අධිකරණයට පැමිණ නැතැයි දැනුම් දුන්නාය.

ඒ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හෝ ඔහුගේ නියෝජිතයකු අධිකරණයේ සිටින්නේදැයි කිහිපවරක් විමසු නමුත් කිසිවෙක් අධිකරණයට ඉදිරිපත් නොවූහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් පළමු සැකකරුගේ සීදුවේ පිහිටි පරික්‍ෂණාගාරය පරීක්‍ෂා කිරීම මෙම සිද්ධියට අතිශයින්ම වැදගත් වන අතරම, අධිකරණයේ නියෝගයට අවනතව අධිකරණයට පැමිණ නොමැති ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරද්දී ස්නායු රෝගීන් සඳහා භාවිත කරන 'ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හළ ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගම විසින්ම මෙලෙස පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් දසකෝටි හැත්තෑ ලක්‍ෂයක මුදලක් වංචා කර ඇති බව හෙළිව ඇතැයි දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය අදාළ රුපියල් කෝටි 11 කට ආසන්න මුදල සමාගමට මුදාහරින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත්අකුරින් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහනක් යොදා ඇතැයිද දැනුම් දුන්නාය.

අදාළ ඖෂධය ගෙන්වා නොතිබිය  සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා පෞද්ගලිකවම යෙදු සටහන නිසා අවස්ථා තුනක දී අදාළ මුදල ගෙවා ඇතැයි ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අද (30) දිනයේ දී රහස් පොලිසියේ පෙනී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අවස්ථා තුනක දී රුපියල් දසකෝටි හැත්තෑ ලක්‍ෂයක් ගිණුම් ගත වූ සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාගේ බැංකු ගිණුමේ මේ වන විට ඇත්තේ රුපියල් 17,334/- ක මුදලක් පමණකැයි ද ඒ අනුව සැකකරුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද දැනුම් දුන්නාය.

හදිසි මිලදී ගැනීම් සඳහා අවසර දී ඇත්තේ රුපියල් කෝටි 10 දක්වා වූ වටිනාකමැති ඖෂධ වුවත් අනුමත මිලෙන් පරිබාහිරව කටයුතු කරමින් රුපියල් දස කෝටි හැත්තෑ ලක්‍ෂයක වටිනාකමැති ඖෂධ මිලදී ගෙන ඇතැයි ද සෞඛ්‍ය ලේකම්වරයා ටෙන්ඩර් පත්‍රිකාවේ ඔහුගේ අත්අකුරින් පෞද්ගලිකව දැමු සටහනක් හේතුවෙන් මෙම මුදල ගෙවා ඇතැයි ද ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමටට අවශ්‍ය යැයි ද දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය පිළිකා රෝගීන් සඳහා භාවිත කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් කැඳවීට නියම කරන්නැයි ද ඉල්ලා සිටියාය.

ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රතිදේහ එන්නත් මෙන්ම පිළිකා රෝගීන් සඳහා භාවිත කරන 'රිටොක්සිනන්" නමැති ප්‍රතිදේහ එන්නත් ඉන්දියාවෙන් ආනයනය කර නැතැත් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගිණුමෙන් රුපියල් තුන්කෝටි හැටලක්‍ෂයක්  සහ දසකෝටි හැත්තෑ ලක්‍ෂයක් සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාගේ බැංකු ගිණුමට බැර කර ඇතැයි ද ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.

මේ අවස්ථාවේ දී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ටෙන්ඩරය දී ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීම් සඳහා නේද?'' යනුවෙන් විමසුවාය. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය: ඔව්" නමුත් එසේ කර නැහැ. අත්‍යවශ්‍ය හේතූන් නිසා හදිසි ඖෂධ සැපයුමක් බව කියමින් 2023 ජනවාරි 04 වැනිදා ලිපියක් නිකුත් කර ඇතත් අදාළ ඖෂධ ලැබී ඇත්තේ 2023 මැයි 26 වැනිදායි.

සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධිත හෙයින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගිරිහාගම මෙනවිය වැඩිදුරටත් ඉල්ලා සිටියාය. පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා වසර 20ක කාලයක් ශ්‍රී ලංකාවට ඖෂධ සපයා ඇතැයි ද තම සේවාදායකයා සැපයු ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් මුදල් ගෙවා ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදලින් යැයිද කීය. 

මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය: ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් ගෙවා ඇති බව කීවත් මුදල් ගෙවා ඇත්තේ රාජ්‍ය මුදල්වලින් බව විමර්ශනවලදී හෙළි වෙලා තියෙනවා නේද? 

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා: ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට දුන් මුදල්වලින් තමයි මෙම ඖෂධ මිලදී ගෙන තියෙන්නේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදල්වලින් මෙම ඖෂධ මිලදී ගෙන ඇති හෙයින් මෙම සිද්ධිය පොදු දේපළ පනත යටතට වැටෙන්නේ නැහැ.

මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය: මුදල් ගලා යෑම කොහෙන් වුවත් අවසානයේ වගකිවයුත්තේ රජය නම් එය පොදු දේපළ පනත යටතට වැටෙනවා.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා: 2022 සැප්තැම්බර් 26 වැනිදා ලැබුණු කැබිනට් අනුමැතියකට අනුව තම සේවාදායකයා ටෙන්ඩර් එකක් දැම්මා. ඒකට අනුමැතිය ලැබුණා. ඔවුන් තෝරා ගත්තා. ඒ ටෙන්ඩර් මණ්ඩලයේ මම හිටියේ නැහැ. ඒ නිසා මම ඒකට වගකියන්න ඕනේ නැහැ.වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මුල් බී වාර්තාවේ කූඨ ලේඛන ඉදිරිපත් කර මෙම අපරාධය කර ඇති බව සඳහන් කර ඇතත් පසුව ඉදිරිපත් කළ බී වාර්තාවේ කූඨ ලේඛන ඉදිරිපත් කළ බවක් සඳහන් කර නැතැයි ද එහි සඳහන් කර ඇත්තේ කල් ඉකුත් වූ ලේඛන සකස් කර බව යැයි ද පැවැසීය.

දෙවැනි සැකකාර වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් නීතිඥ රිස්වාන් උවයිස් සහ අංජන රත්නසිරි සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර් මහතා සැකකරු වෙනුවෙන් ලිඛිතව කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නැතැයි කීය.මෙම විමර්ශනය ගමන් කරන්නේ වැරැදි දිහාවට බවත් පළමු සැකකරු කූඨ ලේඛන සකස් කර ඉදිරිපත් කළා නම් අනෙකුත් සැකකරුවන් ඒ බව දන්නේ නැත්නම් ඔවුන් ඊට වගකිවයුතු දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර් මහතා “ඇත්ත හොරු අල්ලනවා නම් අල්ලන්න. මේ පහළ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කරන්න එපා” යැයි පැවැසීය.

මහේස්ත්‍රාත් ලෝදනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය- මෙම ඖෂධ ජාලයට සම්බන්ධ මෙම සැකකරුවන්ට ඉහළින් සිටින මෙම අපරාධයට සම්බන්ධය පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න.සිවුවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින්, මෙම අපරාධය සම්බන්ධයෙන් නොසැලකිලිමත්භාවය හැර වෙනත් කිසිදු වරදක් තම සේවාදායකයාගේ නැතැයි කීය.

තම සේවාදායකයාට එරෙහිව මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිදු සාක්කියක් නැතැයි ද ද තම සේවාදායකයා කූඨ ලේඛන සකස් කර නැතැයි ද කී ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා, තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. පස්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා කරුණු දක්වමින්, ගබඩා භාරකරුවකු වන තම සේවාදායකයා ධුරාවලියේ අන්තිමයා බවත් දින පසු වී ඇති හෙයින් ස්නායු රෝගීන් සඳහා ලබාදෙන එන්නත් බාර ගැනීම තම සේවාදායකයා ප්‍රතික්ෂේප කළ විට අධ්‍යක්‍ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඒවා බාර ගන්නා ලෙස කළ නියෝගය නිසා අදාළ එන්නත් බාර ගැනීමට සිදු වූ බවත් පැවැසීය. 

ලේඛන සැලකිල්ලෙන් බැලීමේ වගකීම තම සේවාදායකයාට නැතැයි ද අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ මට්ටමේ නිලධාරීන් යැයි ද කී නීතිඥ අශෝක සේරසිංහ මහතා, මෙම අපරාධය සම්බන්ධයෙන් සංවේදීව පසුවන මාධ්‍ය මෙන්ම ජනතාව මෙම අපරාධයට වගකිවයුත්තා කවුද යන්න දන්නා මුත් රහස් පොලිසිය ඒ බව දන්නේ නැතැයි ද කීය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා භාවිත කර ඇත්තේ රජයට අයත් මුදල් ද යන්න සම්බන්ධයෙන් භාණ්ඩාගාරය හරහා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන් මේ ආකාරයෙන් කටයුතු කර ඇත්තේ ඔවුන්ට ඉහළින් සිටින කුමන නිලධාරීන්ගේ නීති විරෝධී නියෝග මත දැයි වහාම විමර්ශනය කර ඉදිරි දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස ද රහස් පොලිසියට නියම කළාය.

සැකකරුවන් ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා පෙනී සිටියේය.නීතිපතිවරයානියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ හේෂාණී විජේසිංහ මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය පෙනී සිටියාය.

මනෝප්‍රිය ගුණසේකර

නෙදර්ලන්තයේ තිබූ මෙරටින් පැහැරගත් පුරාවස්තු 6ක් කෞතුකාගාරයට





• කටුනායක - ටී.කේ. ජී.කපිල


වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැරගත් මගුල් කඩුව, ලෙව්කේ  මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් ඊයේ (29දා) අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණි .එසේ රැගෙන විත් තිබූ කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මගුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය, රජතුමාගේ රන් පිහිය, ලෙව්කේ  මහ දිසාවගේ කාලතුවක්කුව සහ මහ තුවක්කු දෙකක් විය. මෙම කෞතුක භාණ්ඩ එදින අලුයම 05.05ට ජර්මනියේ ෆ්‍රෑක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

කෞතුක භාණ්ඩ භාර ගැනීම සදහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච් (Bonnie Horbach), බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි , කොළඹ ජාතික කෞතුකාගාර අධිකාරී  රංජිත් හේවගේ,ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශ්‍රී.රජීව් යන මහත්මා මහත්මීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය විසින් අමාත්‍ය විදුර ක්‍රමනායක මහතා වෙත භාර දුන් අතර පසුව එය අමාත්‍යවරයා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාර දීම සිදු කෙරුණි. කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂක රැකවල් යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ අතර, මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්වයන්ට අනුවර්තනය වන තෙක් වායුසමනය කළ විශේෂ කුටි තුළ රඳවා තැබීමට පියවර ගැනීමට නියමිතය.

නෙදර්ලන්තය තුළ ලන්දේසීන් විසින් පැහැර ගත් ශ්‍රී ලංකාවට අයත් කෞතුක භාණ්ඩ රාශියක් ඇති බවත්, ඒවාද ඉදිරි කාලයේ දී කොටස් වශයෙන් මෙරටට රැගෙන ඒමට පියවර ගනිමින් තිබෙන බවත්, මීට අමතරව එංගලන්තය ඇතුළු තවත් විදේශ රටවල් විස්සක පමණ මෙසේ අප රටෙන් පැහැර ගත් විශාල කෞතුක භාණ්ඩ තොගයක් ඇති බවත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් නන්දන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 

රු.බි. 2 බැගින් වූ මත්තල ගුවන්තොටේ වාර්ෂික පාඩුව 2023දී රු.බි. 1.1 දක්වා අඩු කළා - ඇමති නිමල් සිරිපාල ද සිල්වා

 


දිනේෂ් සමරකෝන්

2017 සිට 2020 දක්වා මත්තල ගුවන්තොටුපොළේ පාඩුව වාර්ෂිකව රුපියල් බිලියන 02 බැගින් වාර්තා වුවද, 2023 වනවිට එම පාඩුව රුපියල් බිලියන 1.1ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කර තිබෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපොළ සඳහා දැනට අභිලාශ 7-8ක් ලැබී තිබෙන බවත්, එම අභිලාශ අනුව යම් ආකාරයකට ගුවන්තොටුපොළ ආකර්ෂණය කර ගැනීමට හැකි වන්නේ නම්, අවුරුදු 3-4ක් ඇතුළත වියදම් කරන මුදලට සාපේක්‍ෂව මත්තල ගුවන්තොටුපොළෙන් ලාභයක් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා-

මත්තල ගුවන් තොටුපොළේ 2017 සිට මේ දක්වා සම්පූර්ණ ආදායමත් වියදමත් තියෙනවා. ඒ අනුව දළ වශයෙන් ගත්තොත් සෑම වසරකම රුපියල් බිලියන 02ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. 2017දී පඩුව රුපියල් බිලියන 02ක් පමණ වුණා. 2018, 2019, 2020 දීත් ඒ වගේමයි. 2021 දී යම් දියුණුවක් ලබා තිබෙනවා. ඒ කියන්නේ අඩුවීමක් තියෙනවා. 2023 වනවිට අපි මේ පාඩුව රුපියල් බිලියන 1.1ක් දක්වා අඩු කර ගෙන තියෙනවා.

පාරිලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල - 

මේ රටට නොගැළපෙන විදියට ආදායමක් නැති දෙයකට මුදල් ලබාගැනීම නිසා තමයි රට අද බංකොළොත් වෙලා තියෙන්නේ. මේක ලාභ ලබන තත්ත්වයට ගන්න නම් අමාත්‍යාංශය පැත්තෙන් මොකක්ද කරන්නේ?


වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා - 

මත්තල ගුවන්තොටුපොළ සෑදීම නිසා අපට පාඩුවක් ලැබිලා තියෙන බව ඇත්ත. නමුත් එය ලාභදායී බවට පත් කර ගැනීම සඳහා අපි ක්‍රියාමාර්ග රාශියක් අරන් තිබෙනවා. ඒ අනුව තමයි රුපියල් බිලියන 2ක් වූ පාඩුව මේ වනවිට රුපියල් බිලියන 1.1ට අඩු කරගෙන තියෙන්නේ, දැන් වැඩි ගුවන්යානා ප්‍රමාණයක් එතනට පැමිණෙනවා. ඒ වගේම මෙය වඩාත් ආකර්ෂණීය ගුවන්තොටුපොළක් දක්වා පත් කිරීම සඳහා එන අයෝජකයන්ට ඉඩ ලබාදීමට අපි දැනටම පෞද්ගලික අංශයෙන් අභිලාශ කැඳවීමක් කරලා තියෙනවා. ඉදිරියේදී සංචාරක කර්මාන්තයෙන් අපට මේ ගුවන්තොටුපොළ දියුණු කර ගන්න පුළුවන්, නමුත් ගුවන්තොටුපොළක් හැදුව දවසේ ඉඳලම අපට ලාභ ලබාගන්න පුළුවන්කමක් නෑ. දැනට අභිලාශයන් 6-7ක් ඇවිල්ලා තියෙනවා. ඒවා යම් ආකාරයකට ආකර්ෂණය කරන්න පුළුවන් වුණොත් අවුරුදු 03-04දී අපට වියදම් කරන මුදලට හා සමාන මුදලක් අපට ලබාගන්න පුළුවන්.

විරෝධතා රැල්ලක් ඇරඹෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (30දා) සෞඛ්‍ය සේවකයන්, තැපැල් සේවකයන් හා ගුරු විදුහල්පතිවරුන් විරෝධතා ව්‍යාපාර පැවැත් වීමට කටයුතු කරන බව වෘත්තිය සමිති නායකයෝ සදහන් කරති.

මීට අමතරව රාජ්‍ය බැංකු කොටස් විකුණා දැමීමට අදාළ සැලසුම් අවලංගු කරන ලෙස ඉල්ලා ලබන මස 02වැනි දින සිට ලංකා බැංකු සේවක සංගමය පළාත් මූලික කර ගනිමින් විරෝධතා රැලි පැවැත් වීමට සැලසුම් කර තිබෙන අතර පළමු විරෝධතා රැලිය මේ මස 02වැනි දින කොළඹදී පැවැත්වේ.

ගුරු, විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන ගැටලු විසදන ලෙසත්, පාසල් උපකරණවල මිල අඩු කරන ලෙසත් ඉල්ලා අද සවස 2.00ට බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත්වල ගුරුවරුන් කාලාප කාර්යාල මට්මින් විරෝධතා පැවැත් වීමට සැලසුම් කර තිබේ.

බස්නාහිර පළාත් විරෝධතාව ලබන මස 05වැනි දින පාරිලිමේන්තුව ආසන්නයේදී පැවැත් වීමට සැලසුම් කර තිබෙන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

 තැපැල් දෙපාර්තමේන්තු දේපල විකිණීම නවතා දමා, තැපැල් සේවකයෙන්ට ඇතිවී තිබෙන ගැටලු විසදන ලෙස ඉල්ලා අද දහවල් 12.00ට දිවයින පුරා තැපැල් කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත් වෙන අතර සෞඛ්‍ය සේවාවෙහි ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා ප්‍රධාන රෝහල් 08ක් ඉදිරිපිට දහවල් 12.00ට විරෝධතා පැවැත් වේ.

                                                                                                                    ඉන්දික හේවාවිතාරණ 


තරුණියක දූෂණය කළැයි ඇල්ලූ කපුවා පොලිස් කූඩුවේ එල්ලිලා

රෝග සුවකිරීමේ මුවාවෙන් නිවසේ නතර කරගත් 19 හැවිරිදි තරුණියක දූෂණය කළේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානයේ  සිර මැදිරියේ රඳවා සිටි කපුවකුගේ සිරුර සිරමැදිරියේ එල්ලෙමින් තිබියදී පෙරේදා (28) සොයාගත් බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු බව පොලිසිය සඳහන් කරයි. ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක විටින් විට වැළඳෙන රෝගයක් සුවකර ගැනීම සඳහා පනාගොඩ ප්‍රදේශයේ වෙදකම් කරන කපු මහතකු වෙත ගොස් කපුවාගේ නිවසේ නතර කර ඉකුත් අගෝස්තු මාසයේ ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇතැයි පැවසේ.

මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ මධ්‍යස්ථානයකින් වෛද්‍ය දැරියගේ මවට පෙරේදා (28) ඇමතුමක් දී දන්වා ඇත්තේ දැරිය ගැබ් ගෙන ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා කිසියම් පුද්ගලයකු තරුණියක රැගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ ඇති බවත් ඔහුගේ හැසිරීම සැක සහිත බවත්ය. ඒ අනුව මව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරු හා තරුණිය පොලිස් ස්ථානයට කැඳවාගෙන විත් ප්‍රකාශ සටහන් කර සැකකරු සිරමැදිරිය තුළ රඳවා සිටියදී ඔහු ගෙල වැලලාගෙන ඇති බවත් පසුව එය දුටු පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී ඔහු 1990 සුවසැරිය ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.

එහිදී වෛද්‍යවරුන් සැකකරු පරික්ෂා කර පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි. දූෂණයට ලක්වූ බව පැවසෙන තරුණිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇත. 

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක ජස්මින් මහත්මිය ඇතුළු නිලධාරිහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි


වස්කඩුවේදී දුම්රියේ ගැටුණු සංචාරක බස්රිය දෙකට කැඩෙයි



විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ඊයේ (29) අලුයම දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයන් යුවළක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.අනතුරෙන් දුම්රිය රියදුරුගේ ඇසකට තුවාල සිදුව ඇති අතර ඔහු 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.විදෙස් සංචාරක යුවළගේ අත්වලට සුළු තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ චෙක් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව සිටි සංචාරකයන් පිරිසක් කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන යමින් තිබූ බස් රථයක් බව පොලිසිය පවසයි.අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කළ අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණපා ඇත.කුඩා වස්කඩුවේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයකින් සංචාරකයන් විසි දෙනකු රැගෙන තවත් හෝටලයක සූදානම්ව සිටි සංචාරකයන් 25 දෙනකු රැගෙන යාමට යමින් තිබියදී බස්රථය අනතුරට ලක්ව ඇත.

බසයේ ගමන් කර ඇති සංචාරකයන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඊයේ පෙරවරු 9 ට පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයකට රැගෙන යමින් සිටි සංචාරකයන් පිරිසක් බවද සඳහන් වේ. අනතුරෙන් බස් රථයේ පිටුපස කොටස කැඩී වෙන්ව තිබූ අතර, දුම්රියේ ඉදිරිපස කොටසටද හානි සිදුව තිබුණි.බස් රථයේ  අනතුර සිදුවූ මොහොතේ සංචාරකයන් 20 දෙනෙකු, රියදුරන් දෙදෙනකු සහ සංචාරක මගපෙන්වන්නා ගමන්කර ඇති බවත්, ඔවුන් සියලු දෙනා ඉදිරිපස අසුන්වල රැඳී සිට ඇති බැවින් ජීවිත හානි සිදුව නොමැති බවත් පොලිසිය කියයි.මේ පිළිබඳව අදහස් දැක්වූ බස් රථ රියදුරු දුම්රිය හරස් මාර්ගයේ සංඥා ලාම්පු අක්‍රියව තිබූ බවත් දුම්රිය මාර්ගයේ දෙපැත්ත බලා බස්රථය හරස් මාර්ගයෙන් දැමූ බවත් කීවේය. එහෙත් දුම්රිය ප්‍රධාන ලාම්පු එළිය නොදුටු බව කී හෙතෙම දුම්රියේ නළාව නාදකරද්දී බස් රථය ඉක්මනින්ම ඉදිරියට ගත්තද එහි පිටුපස කොටසේ දුම්රිය වැදුණු බව කීවේය.

බසයේ ගමන්ගත් සංචාරකයන් පිරිස වෙනත් බස් රථයකින් කටුනායක දක්වා රැගෙන ගිය අතර, දුම්රියේ ගමන්ගත් මගීන් මරදාන බලා ධාවනය වූ වෙනත් දුම්රියක් ස්ථානයේ නතර කර එයට නංවාගනු දක්නට ලැබිණි.දුම්රිය අනතුරත් සමගින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක විනාඩි 45ක පමණ කාලයක් දුම්රිය ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබූ අතර, දුම්රිය නැවත කළුතර උතුර දුම්රිය ස්ථානයට රැගෙන ගොස් ධාවනය යථා තත්ත්වයට පත්කරන ලදී.මේ අතර කළුතර පානදුර අතර සංචාරක කලාපයේ වැඩිම සංචාරකයන් ගැවසෙන වස්කඩුවේ මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය මරු කපොල්ලක් බැවින් ඊට ආරක්ෂිත ගේට්ටුවක් ලබාදෙන ලෙස බලධාරීන් නිතර දැනුවත් කළද කිසිදු පියවරක් ගෙන නැති බව ප්‍රදේශවාසීහු පවසති.

 දයා හේමන්ත ද සිල්වා

හිටපු ක්‍රීඩා ඇමති මැතිසබේ කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වෙලා

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

නීතිඥ දිමිත්‍රී ඩිරාස් පෙට්රාංජලී මහත්මිය විසින් ගොනු කරනු ලැබ ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කරනු ලැබ සිටී.

එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.

2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවේචනය කරමින් කතාවක් පවත්වා ඇත. මෙම කතාවේ අඩංගු කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත. එපමණක් නොව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනාවලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතළ හානියක් අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.

එබැවින් වගඋත්තරකාර අමාත්‍යවරයා අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සඳහන් කරමින් නොතිසි නිකුත් කරන ලෙස ද අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙසද නීතිඥවරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

                                                                                                           රන්ජන් කටුගම්පොළ


දේශබන්දු පත්වීම : අගරදගුරු හෙළාදකී

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අගරදගුරු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පත්කිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට විරුද්ධව සිදුකළ විශාලම අවමානයක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

එහි මෙසේ ද සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති බව මාධ්‍ය වාර්තා කළා.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කළ එම පත්වීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එසේම එය අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මේ පත් කිරීම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට විරුද්ධව සිදුකළ විශාලම අවමානය ලෙසයි අපි දකින්නේ.

අහිංසක මිනිසුන් 273 දෙනකු මිලෙච්ඡ ලෙස ඝාතනය කෙරුණා. තවත් මිනිසුන් 500 කගේ පමණ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට පුළුවන්කම තිබියදී එය පැහැර හැරීම පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් චෝදනාවට ලක් කර ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයන් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබෙනවා. එහෙත් මේ දක්වාම එවැනි විමර්ශනයන් සිදුකර නැහැ. දේශබන්දු තෙන්නකෝන් වැනි අය තම රාජකාරිය නිසියාකාරව සිදුකළා නම් මේ අහිංසක මිනිසුන් 273 දෙනා අදටත් ජීවත් වෙනවා.

මේ හැරෙන්නට තවත් චෝදනා ගණනාවක් ඔහුට විරුද්ධව තිබෙනවා.

2022 මැයි 09 වැනිදා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයට සිදු වූ මැර ප්‍රහාරය වළක්වා නොගැනීම. ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් 17 කෝටි 85 ලක්ෂයක මුදල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර, මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයාට බාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීම.

මේ හැම දේ පිළිබඳවම චෝදනාවට ලක්ව සිටින පුද්ගලයකු මේ රටේ පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පත් කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු හැඟීමක් නැති බවයි අපට පෙනී යන්නේ.

පොලිස්පති ධුරයට නියෝජ්‍ය  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම යෝජනා කිරීම හෝ නොකරන්නැයි අති උතුම් කාදිනල් හිමිපාණන් වගේම ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවත් පසුගිය කාලයේ දී ජනාධිපතිවරයාගෙන් ලිපි මගින් ඉල්ලා සිටියා. ඒ වගේම නීතිඥවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ සාමාන්‍ය පොදු මහජනතාව අතරින් ද මේ පත් කිරීමට එරෙහිව විරෝධයක් රට තුළ තිබූ බවත් අපි දන්නවා. ඒ කිසිදෙයක් ගැන නොතකා ජනාධිපතිවරයා මේ පත්වීම කර ඇත්තේ, මහජන ආරක්ෂාව සහ පොලිසිය බාර ටිරාන් අලස් අමාත්‍යවරයා ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින බලලෝභී කිහිප දෙනකුගේ පැවැත්ම ආරක්ෂා කරදීමට බව පැහැදිලියි. මෙම පත්කිරීම දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය කෙළෙසීමක් හැටියටත් අපි දකිනවා යැයි සඳහන් වේ.


අමාත්‍යාංශ නිලධාරිනියකගේ පඟා හඬපටයක් ජවිපෙ විජිත ළඟ



කොළඹ ආශ්‍රිත ගොඩනැගිල්ලක් ලබාදීම සඳහා අල්ලසක් ඉල්ලන එක්තරා අමාත්‍යාංශයක කළමනාකරණ නිලධාරිනියකගේ හඬපටයක් තමා ළඟ තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) පැවසීය.තුනයි පනහක් දුන්නොත් මං වැඩේ කරලා දෙන්නම් යැයි ඇය පවසන බව ද හේරත් මහතා කීය.මේ අමාත්‍යාංශය හඬ පටවලටත් ප්‍රසිද්ධ බව කී විජිත හේරත් මහතා නැවතත් මේ හඬපට අමාත්‍යාංශය ඇතුලේ ක්‍රියාත්මක වන බවද කොළඹ නගරාශ්‍රිත ජනතාවට එම නිවාස අයිතිය ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය. අද ලංකාවේ හැම දුම්රියක්ම ප්‍රමාද වන බව කී මන්ත්‍රීවරයා මිනිසුන් වෛර බැඳ ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සමග නමුත් දුම්රිය ප්‍රමාදයට ඇත්ත හේතුව තවම රටට කියා නැතැයි කීය. 

දුම්රිය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව පරිපාලන දුබලතාව බව කී මන්ත්‍රීවරයා එමෙන්ම උපාංග නැති අතර පුහුණු තාක්ෂණික සේවකයන්ගේ හය දාහක පමණ පුරප්පාඩුවක් පවතින බව ද සඳහන් කළේය.රුපියල් කෝටි 76 ගානේ දුම්රිය එන්ජින් පහක් ඉන්දීය ක්‍රෙඩිට් ලයින් මගින් ගෙනැවිත් නිකරුනේ ගාල් කර තිබෙන්නේ යැයි ද තාක්ෂණික ඇගයීමක් නොකර ගෙන ආ මෙම එන්ජින් ලංකාවේ දුම්රිය මාර්ගවල දුවන්න නොහැකි යැයි ද මන්ත්‍රීවරයා කීය. බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක යැයි ද ඔහු අද ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්‍රහ කරමින් සිටින්නේ යැයි ද විජිත හේරත් මහතා පැවසීය.ප්‍රවාහන හා මහා මාර්ග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

 සුජිත් හේවාජුලිගේ 

ජෙරම් ප්‍රනාන්දු මාස 6කට පසු එයි



බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල ව තිබියදී දිවයිනෙන් බැහැරව සිටි ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මාස 6 කට පමණ පසුව ඊයේ (29) අලුයම දිවයිනට පැමිණියේය.ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා දෝහා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ අලුයම 1.30ට පමණ මෙරටට පැමිණි බවත්, මුදල් ගෙවා ‘රන් මාවත' විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළින් පිටව ගිය බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

බෞද්ධාගමට අපහාස වන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටිය දී ඔහු ඉකුත් මැයි මස 16 වැනිදා සිය පවුලේ සාමාජිකයන් සමග විදේශගත වූ අතර එලෙස විදේශගත වී මාස 6 කට පමණ පසුව ඔහු ඊයේ යළි දිවයිනට පැමිණියේය.මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබු අතර, ගුවන් ගමන් තහනම ලබා ගැනීමට පැය කිහිපයකට පෙර ඔහු රටින් පිටත්ව ගියේය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා දැනුම් දී තිබිණි. ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකළ හැකි බවද අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.ඔහුට එරෙහිව පනවා තිබු ගුවන් ගමන් තහනම ද ඉවත් කර තිබු අතර ඔහු මෙරටට පැමිණ පැය 48 ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වොහාරික විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් දිය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබිණි.ඔහු දිවයිනට පැමිණ පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශයක් දීමට නියමිතය.

ඉන්දිකා රාමනායක

හිදෝගම හිටපු පොලිස් ස්ථානාධිපති 75,000 වන්දිය ළමා නිවාසයකට දෙයි

පොලිස්පති අණදෙන හා තොරතුරු කොට්ඨාසයේ වත්මන් ස්ථානාධිපති හා හිදෝගම පොලිසියේ එවකට හිටපු ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතාට දුරකතනයෙන් බැන තර්ජනය කර සාපරාධී බිය වැද්දීමක් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවකු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය ඔහුට වසරක සිර දඬුවමක් නියම කර එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළාය.

ඊට අමතරව මුදලින් රුපියල් එක් දහස් පන් සියයක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකරුට තවදුරටත් නියෝග කළ මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය පැමිණිලිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරචිචි මහතාට මුදලින් රුපියල් හැත්තෑ පන්දහසක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළාය.

පැමිණිලිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරචිචි මහතාට මුදලින් රුපියල් හැත්තෑ පන්දහසක වන්දියක් ගෙවන ලෙසට මහේස්ත්‍රාත් හේවාවසම් මහත්මිය විත්තිකරුට නියෝග කළ අවස්ථාවේ විවෘත අධිකරණයේ සිටි පැමිණිලිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරචිචි මහතා මහේස්ත්‍රාත්වරියට දන්වා සිටියේ විත්තිකරුගෙන් තමාට අයකර දුන් රුපියල් හත්තෑ පන්දහසක වන්දි මුදල ලබා ගැනීම තමා ප්‍රතික්ෂේප කරන බවත් එම වන්දි මුදල තමාට අවශ්‍ය නොවන බවත්ය.

හැත්තෑ පන් දහසක එම වන්දි මුදල අනුරාධපුර අභය ළමා නිවාසයේ රැකවරණය ලබන අහිංසක දරු දැරියන්ගේ පෝෂණ කටයුතු සඳහා තමා පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටින බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂක කස්තුරිආරච්චි මහතා මහේස්ත්‍රාත්වරියට දැන්වීය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතාගේ ඉල්ලීමට ඉඩ දුන් මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ පැමිණිලිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අනුරාධපුර අභය ළමා නිවාසයට පරිත්‍යාග කළ හැත්තෑ පන් දහසක මෙම වන්දි මුදල වහාම අනුරාධපුර අභය ළමා නිවාසයේ ගිණුමෙහි තැන්පත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙසේ දඬුවම් නියම වූයේ හිඳේගම මහනෙලුබෑව ලොට් 100 ලිපිනයේ සංජීව ප්‍රියන්ත සිරිසේන නමැත්තකුටය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහිව හිදෝගම පොලිසිය අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

පොලිස්පති අණදෙන හා තොරතුරු කොට්ඨාසයේ වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතා අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ හිඳේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ වකවානුවේ විත්තිකරු මෙම මරණ තර්ජනය කිරීම සහ සාපරාධි බිය වැද්දීම සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණ විය.

පැමිණිල්ල වෙනුවෙන් හිඳේගම පොලිසියේ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. ප්‍රීතිරත්න මහතා සමග පොලිස් කොස්තාපල් (87774) චාමර මහතා ද විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා ද පෙනී සිටියහ.

                                                                          අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද


Wednesday, November 29, 2023

වැව ගොඩ කර හෝටලයක් ඉදි කරලා

 


තිස්සමහාරාම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් කොච්චිපතාන වැවේ ජල පෝෂිත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිකරමින්,දැවැන්ත පරිසර හානියක් කර ඇති බවට මහාබෝධි ගොවි සංවිධානය චෝදනා කරයි. වැවෙහි ජල පෝෂිත ප්‍රදේශයෙහි අක්කර තුනක පමණ ප්‍රමාණයක හෝටලය ඉදි කරමින් ඇති අතර, ජලය පිරි ඇති අක්කරයක පමණ ප්‍රමාණයක් මේ වන විටත් කළුගල් මිශ්‍රණ යොදා ගොඩකර ඇතැයි එම සංවිධානය කියයි. වැව ගොඩ කිරීම සඳහා බීබීසී ගල් විශාල ප්‍රමාණයක් ගෙනැවිත් ඇති ආකාරය පෙරේදා (27) එහි ගිය අපට දැක ගැනීමට හැකිවිය.වසර සිය ගණන් පැරැණි පළු, වීර මෙන්ම කොහොඹ ගස් කපා ගොඩගසා තිබූ අතර වැවේ ඇති පළු ගස් කපා දැව ලබා ගෙන හෝටලය ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ඇති ආකාරය එම අවස්ථාවට සහභාගී වූ ගොවීහු පෙන්වා දුන්හ.හෝටලයේ කොටසක් මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර, වැසිකිළි අපද්‍රව්‍ය කොච්චිපතාන වැවට මුදාහරින ආකාරය ද ගොවීහු පෙන්වා දුන්හ.

හෝටලයේ ඉදිකිරීම් කටයුතු ඉකුත් 2014 වසරේ ආරම්භ කෙරුණු මොහොතේ සිට මේ දක්වා වගකිවයුතු අංශ හා බලධාරීන් දැනුවත් කළද, ඉදිකිරීම් කටයුතු නතර කිරීමට කිසිදු නිලධාරියකුට නොහැකි වුණේ මේ පිටුපස දේශපාලනඥයකු සිටින නිසා බවත්, දේශපාලන බලධාරීන් මෙම හෝටලයේ නිතර සාද දමන බවත් මහාබෝධි ගොවි සංවිධානයේ සභාපති අජිත් මදවන් ආරච්චි මහතා පැවසීය. යාල කැලයෙන් හා සුන්දර කඳු පන්තියකින් වටවී ඇති කොච්චිපතාන වැවෙන් වනසතුන් බොහොමයකගේ පිපාසය සංසිඳුවන අතර, ගොවි පවුල් 250කගේ දිවි ගැටගහ ගන්නේද කොච්චිපතාන වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු කරමිනි.

අක්කර එකසිය දහයක (110 ක) පමණ වපසරියක වැව පිහිටා ඇති අතර, අක්කර තුන්සියයක් පමණ කුඹුරු එමගින් අස්වැද්දීම ද සිදු කෙරේ.මේ අතර යල මහ දෙකන්නය වගා කිරීම අසීරු වී ඇත්තේ වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි රඳවා ගැනීමට නොහැකි නිසා බව මහා බෝධි ගොවි සංවිධානයේ සාමාජික, හිටපු විදුහල්පති ඊ. එච්. අමරවීර මහතා සඳහන් කළේය.ලෝක බැංකු ආධාර යටතේ රුපියල් පන්කෝටි හතළිස් හතර ලක්ෂයක් වැය කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු කළත් දිනෙන් දින වැව ගොඩ කරමින් කරන මෙම ජාතික අපරාධය ගොවිජන සේවා නිලධාරීන්ට නොපෙනීම විමතියට කරුණක් බව අමරවීර මහතා කීය. 

මහාබෝධි ගොවි සංවිධානයේ ජල පාලක බී.වී. කීර්තිසේන මහතා සඳහන් කළේ මීට අවුරුදු හත අටකට පෙර මෙම වැව් විනාශ කරන බව ග්‍රාම නිලධාරි සහ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ටත් පෙන්නු බව ඔහු කීවේය.දින 14 ක් ඇතුළත මෙය නතර කරන බවට එසේ බැලීමට එන නිලධාරීන් කීවත්, එය වචන වලට පමණක් සීමා වූ බවද ඔහු කීය. ගොවිජන සේවා නිලධාරීන්ගෙන් කිසිම රාජකාරියක් සිදු නොවන බවත්, ඔවුන් කරන්නේ වැව් රක්ෂිත විකිණීම පමණක් බවත් හෙතෙම කීවේය. ගොවි සංවිධානය පොලිසියට පැමිණිල්ලක් දැමූ පසුව පොලිසියෙන් පැමිණ ඉදිකිරීම් නතර කරන ලෙස කීවත්, ඔවුන් එය නතර කර නැති බවද ඔහු කීවේය.

දිනපතා 20 ක් 30 ක් එහි වැඩ කරන බව කී හෙතෙම වැවේ පෝෂක ප්‍රදේශයෙන් අඩි එක්දහස් පන්සියයක් පමණ ගොඩකර ඇති බව කීවේය.මහාබෝධි ගොවි සමිතියේ සාමාජික ඩී.එම්. තිලක් ජයන්ත මහතා සඳහන් කළේ, සුළු වාරි ව්‍යාපෘතියක් යටතේ පවතින කොච්චිපතාන වැව් විනාශ කරමින් කරන මෙම ජාවාරම සම්බන්ධයෙන් පැමිණිලි කළත්, එය වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවය.මේ පිළිබඳව සොයා බැලීම සඳහා හෝටලයට ගිය අවස්ථාවේ හෝටලයේ සිටි කළමනාකරු සඳහන් කළේ, හෝටලය අයිති අධ්‍යක්ෂ මණ්ඩලයකට බවත්, තමා පැමිණ ගතව ඇත්තේ මාස තුනක් පමණක් බවත්ය. ගොවීන් කීවත් ඉදිකිරීම් නතර කිරීමට තමාට හැකියාවක් නැති බවද ඔහු පැවැසීය.

මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා සංවර්ධන නිලධාරි රජිතා රන්සරණි මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් දුරකථනයට ප්‍රතිචාර දැක්විය නොහැකි බවත්ය. හම්බන්තොට ගොවිජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතාගෙන් කළ විමසීමකදී, ඔහු සදහන් කළේ කොච්චිපතාන වැවේ හෝටල් ඉදිකිරීම සඳහා කිසිදු අවසරයක් දී නොමැති බවය.වැවෙහි ජලය පිරෙන ප්‍රදේශයේ හෝටලයක් ඉදිකරන බවට හා වැසිකිළි අපද්‍රව්‍ය වැවට මුදාහරින බවට ගොවිජන සේවා නිලධාරීන් තමාට වාර්තා කර ඇති බවද ඔහු කීවේය.ඊට අදාළ මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

අමිල සම්පත් ශ්‍රී 

මුලින් නොසැලකූ චමරිට බිග් බෑෂ්හී ඉහළම සම්මානය

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් පන්දුවාර 20 ක්‍රිකට් ලීගයේ මෙවර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු සමත් වූවාය. ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු ඡන්ද විමසීමේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් හෙවත් ඡන්ද 30ක් හිමිකර ගනිමින් චමරී මෙම සම්මානය දිනා ගන්නා ලදී.

සිය සම්මානයට උපරිම සාධාරණයක් කළ චමරි තරගාවලියේ මේ දක්වා පැවති තරගවල දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය බවට පත්විය. ඒ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඉනිම් 13කදී ලකුණු 511ක් රැස් කරගනිමිනි. ඊට අර්ධ ශතක 5ක්ද ඇතුළත් විය. එහිදී ඇයගේ ඉනිමක සාමාන්‍යය 42.58ක් ලෙස දැක්වුණු අතර ප්‍රහාරාත්මක වේගය දැක්වුණේ 129.69ක් ලෙසිනි.

එහිදී පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමරී කඩුලු 9ක් දවා ගැනීමට සමත් වූයේ පන්දු වාරයක ලකුණු ලබාදීමේ වේගය 6.79ක් ලෙස රඳවා ගනිමිනි.

ඇයගේ දක්ෂතා නිසා මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය හිමිකර ගනිමින් පිළිමලුන් පිටුදැකිමේ වටයට සුදුසුකම් ලබා ගැනීමට තන්ඩර්ස් කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයට චමරී සමගින් දැඩි තරගයක් ලබාදුන් ඇල්ඩ් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩිකා කේටි මැක් ඡන්ද 29ක් ලබා ගත් අතර, තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලාභිනිය වන බෙත්මුනි ඡන්ද 27ක් ලබා ගනිමින් සටහනේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.

මෙවර බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට අදාළ ක්‍රීඩක කෙටුම්පත්කරණයේදී (Player Draft) චමරිව කණ්ඩායමට තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් උනන්දුවක් නොදැක්වූ නිසා ඇයට මෙවර තරගාවලිය අහිමිවීමේ අවදානමක්ද පැවැතිණි. 

කෙසේ වෙතත් අවසන් මොහොතේදී ඇයට තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තන්ඩර්ස් කණ්ඩායම විසින් ඇයව සිය කණ්ඩායමට එක්කර ගැනීම නිසාය.

                                                                                                                                     ඕෂිත වරකපිටිය.


හිටපු ඇමතිගේ ක්‍රිකට් අතුරු කමිටුව ගැන නව ඇමතිගේ මතය විමසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05වැනිදා දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ (28දා) දැනුම් දුන්නේය.

මෙම නඩුව ඉදිරි දින කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා, අභිනව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුමැතිය දෙමින් අධිකරණය එලෙස නියම කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුන් වන සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙහි පළමු වගඋත්තරකරු වශයෙන් නම් කර ඇති ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන හෙයින් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණයේ ඇති හෙයින් ඔහු වෙනුවෙන් පෙනීසිටින්නේ යැයි පැවසීය.

ඒ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය. 

නඩුව ඉදිරි දින අධිකරණයේ කැඳවන තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නා බවට ප්‍රතිඥාවක් දුන් නීතිඥ විදානපතිරණ මහතා, නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මීට පෙර දැරූ ස්ථාවරයේම තවදුරටත් පසුවන්නේ යැයි පැවසීය.

අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට මතු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඬුල්ල පෙත්සම ලබන මස 05වැනිදා යළි කැඳවීමට නියම කළේය.

                                                                                                                                 • බුද්ධිමාල් රුබේරු


බාල බේත් ජාවාරම - මුදල් අමාත්‍යාංශ ලොක්කෝ 2ක් සී.අයි.ඩියට

 


නිසි ක්‍රමවේදයකින් තොරව ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් කුප්පි මිලදී ගෙන රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියකගෙන් හා එහි සංවර්ධන මූල්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් ඊයේ පෙරවරු 8.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර, මෙම ප්‍රශ්න කිරීම පස්වරු 4.00 පමණ දක්වා සිදු විය. ඖෂධ මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ ඒ සඳහා ලබාදුන් මාර්ගෝපදේශය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.මුදල් අමාත්‍යාංශයේ තවත් කිහිප දෙනකුගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. මෙම සිද්ධියේ  විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක් වෛද්‍ය සැපයුම් අංශය පරීක්ෂාවට ලක් කර, එහි ලිපිලේඛන රැසක් ද සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිපි ලේඛනවලට අමතරව එහි නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද විමර්ශනයට අදාළව ප්‍රකාශ ද ලබාගත් බව එම ආරංචි මාර්ග පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එහි සහකාර අධ්‍යක්ෂ ශාන්තිනි සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, ඖෂධ ගෙන්වූ අයුසුලේට් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පමුණුවා ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර එම අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ ලබා ගත් බවයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය දුන් නියෝගයකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මෙම පරීක්‍ෂා කිරීම කළේය.


ඉන්දිකා රාමනායක 

ඕමානයේ දී දිවි නසාගත්තැයි කියා ආනමඩුවේ කතකගේ සිරුර එවලා

ඕමාන් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය ආණමඩුව කුමාරගම 39 හැරිදි අවිවාහක කාන්තාවක පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසාගත් බව පවසමින් ඇයගේ සිරුර මෙරටට එවා ඇතැයි ඥාතීහු පවසති.

ආණමඩුව කුමාරගම පදිංචි 39 හැවිරිදි ජේ.ඒ. ශිරෝමි ප්‍රදිප් ජයකොඩි නමැති අවිවාහක කාන්තාවකගේ සිරුර මෙලෙස ඥාතීන්ට බාර දී තිබේ.

මෙසේ අබිරහස් ලෙස මරණයට පත්ව ඇති කාන්තාව දරුවන් හය. දෙනකුගෙන් සමන්විත පවුලේ දෙවැනියා බවත් ඇය තම මව හා පියා ජීවත් කරමින් විදේශ රැකියාවල නිරත වී ඇති බවත් කියයි.

මෙම කාන්තාවගේ මව, පියා ඇතුළු සහෝදර සහෝදරියන් පවසන්නේ ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගැනීමට තරම් ප්‍රශ්න ඇයට නොතිබූ බවයි.

කෙසේ වෙතත් මෙම කාන්තාව ව්‍යාජ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යනු ලබන නිකවැරටිය කොටහෙර ප්‍රදේශයේ පුද්ගලයකු හලාවත පදිංචිකරුවකු හරහා සංචාරක වීසා ලබා දෙමින් වංචනික අයුරින් රවටමින් මෙසේ රැගෙන ගොස් ඇති බවට ඥාතීහු චෝදනා කරති.

මෙම කාන්තාව වසර 18ක කාලයක් කුවේට්, සවුදි ඇතුළු රටවල් රැසක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් එම රටවල දී කිසිදු හිරිහැරයකට ලක් නොවී ඉතාමත් හොදින් සේවය කර ලංකාවට පැමිණ ඇති බව ඥාතීහු කියයි.

ඇය පසුගිය කොරෝනා සමයේ ලංකාවට පැමිණ ඉන් පසුව මෙම වසරේ ජූලි මාසයේ 20 වැනිදා ඕමාන් රැකියාවට මෙසේ යාමෙන් පසු ඉරණමට මුහුණ පා ඇති බව කියයි.

ඇයගේ පවුලේ පිරිස් චෝදනා කරන්නේ ව්‍යාජ ලිපිලේඛන සකසමින් ඇය ඕමානයේ ගෟහ සේවිකාවක ලෙස රැගෙන ගොස් ඇත්තේ සංචාරක වීසා මගින් බවයි.

එසේ රැගෙන ගොස් ඕමානයේ නිවෙසකට ගෘහ සේවයට අලෙවි කර ඇති බවත් එහිදී අදාළ නිවෙසේ සිට දුරකතන ඇමතුම් ලබා ගනිමින් තමන් හොඳින් ඉන්නා බව පවසා තිබුණ ද එම ඇමැතුමෙන් පසු කිසිදු තොරතුරක් නොමැති වූ බව ද කියයි.

ඉන් පසු මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවුලේ පිරිස් පැමිණිලි කර තිබුණ ද ඇය සංචාරක වීසා මත නීති විරෝධී ජාවාරම්කරුවන් රැගෙන ගොස් ඇති බවත් එහි තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වා තිබූ බව ඔවුහු කියති.

                                                                                                         ආණමඩුව - හිරාන් ප්‍රියංකර ජයසිංහ


ලෝක රූ රැජින මහණ වී මිහින්තලේ වන්දනාවේ ඇවිත්


විශ්ව රූ රැජිනක ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එළිසබෙත් මහත්මිය, එළිසබෙත් සුජාතා භික්කුනී නමින් පැවිදි දිවියට එළැඹ වසර 15ක් සපිරීම නිමිත්තෙන් ප්‍රථම වරට ලංකාවට වැඩම කර ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය පෙරේදා (27) වැද පුදා ගත්තාය. පැවිදි දිවියට එළඹීමට පෙර ඇය වියට්නාමයේ රූ රැජින ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර, පස්වැනි වරට ඇය විශ්ව රූ රැජින ලෙස ද කිරුළ හිමි කරගෙන ඇත.

අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර තිබේ.සුජාතා භික්කුනී මෙහෙණිය සිය පැවිදි දිවියට වසර 15ක් ගත වීම නිමිත්තෙන් ලංකාවට වැඩම කර ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මිහින්තලා රාජමහා විහාරස්ථානයට පෙරේදා වැඩම කළ සුජාතා මෙහෙණිය ධාතූන්වහන්සේලාවැඳපුදා ගැනීම හා මිහින්තලා පුදබිමේ වන්දනාමාන කටයුතුවල නිරත වූවාය.එමෙන්ම වන්දනාකරුවන් සමඟ සුහද පිළිසඳරක ද  යෙදුණු අයුරු දක්නට ලැබිණි.

සමන් කේ. ගමගේ

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ශ්‍රි ලංකාවේ යෙනුලිට




එක්සත් රාජධානියේ බ්‍රිස්ටල්හි පෙරේදා (26 වැනිදා) පැවැති “MTM ජාත්‍යන්තර සම්මාන උළෙලේදී" ලොව පුරා විවිධ රටවල තරඟකරුවන් රාශියක් අභිබවා 18 වියැති, ශ්‍රී ලාංකේය ශිෂ්‍යාවක වන යෙනුලි බිනාරා “WTM තාරුණ්‍යයේ ජයග්‍රාහිකාව - 2023” සම්මානය (MTM Young Achievers - 2023) හිමි කරගැනීමට සමත් වූවාය.යෙනුලි බිනාරා ශිෂ්‍යාව මෙහිදී “MTM Young Achiever” සහ “MTM Music & Entertainment” යන සම්මාන ද්විත්වයේ අවසන් වටයේ තරග කාරියක ලෙස තරග වැදුණේ, ජනප්‍රිය හා ප්‍රවීණ තරගකරුවන් සමඟ වීම විශේෂත්වයකි. ඇය එවැනි සම්මානයක් දිනාගත් ළාබාලතම තරගකාරිය වීම විශේෂත්වයකි.ලොව පුරා විවිධ අංශයන්හි විවිධ පුද්ගලයන් කළ මෙහෙවර ඇගැයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වේ.

විනාරා ශිෂ්‍යාව අවුරුදු 14 දී Hundred ජාත්‍යන්තර සංවිධානයේ ලොව ළාබාලතම තරුණ තානාපතිවරිය ලෙස පත් වෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නාය. ඇය මේ වන විට එම සංවිධානයේ කමිටු ප්‍රධානියා ලෙස ද කටයුතු කරන අතර, ලොව පුරා විහිදී ඇති 'ග්‍රීන් හාර්ට්' (Green Heart) පදනමේ නිර්මාතෘවරිය ද වන්නීය.  මේ වන විට එක්සත් රාජධානියේ පදිංචි සිටින ඇය ලංකාදීප යට පැවැසුවේ මෙවැන්නකි.“ඇත්තෙන්ම මම වගේ කුඩා අයෙක් මේ සම්මානය හිමි කරගැනීම පිළිබඳව ඇත්තේ ලොකු සතුටක්. මෙය මා කරන්නට යන වඩා හොඳ ලෝකයක් ගොඩනගන්නට මහන්සි වෙන මගේ ගමනට විශාල ජයග්‍රහණයක් වගේම පෙළඹවීමක්. මේ වන විට මම එක්සත් රාජධානියේ පදිංචි වෙමින් එහි ඉගෙනුම ලැබුවත්, මගේ මවු රට වන ශ්‍රී ලංකාවට සම්මානයේ කීර්තිය ගෙන දීමට හැකි වීම ගැන මට විශාල සතුටක් දැනෙන්නේ."

 සමන්ත යහම්පත්

දිගටම පාඩුයි: රූපවාහිනිය ගුවන් විදුලිය පොදු සමාගමක් යටතට

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත්කරන බව ජනමාධ්‍ය අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී පැවැසීය.

රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28ක පමණ පාඩුවක්ද ගුවන් විදුලි සංස්ථාව රුපියල් කෝටි 46ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.

මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බවට කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.

පීඩාවට පත් වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය වලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු එම පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා (23) රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

                                                                                              සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න


Tuesday, November 28, 2023

මඟුල් ගෙදර වියදම කෝටි 1933ක්


ඇමෙරිකානු ජාතිකයන් වන මැඩලේන් බ්‍රොක්වේ සහ ජේකොබ් ලග්‍රෝන් ශ්‍රී ලංකා රුපියල් කෝටි1,933කට ආසන්න මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 59ක්) වැය කරමින් පැවැත්වූ විවාහ උත්සවය පිළිබද සමාජ මාධ්‍යයන්හි මේ දිනවල දැඩි කතාබහක් ඇති වී ඇත. දින පහක කාලයක් පුරා ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රසිද්ධ ස්ථාන වල පවත්වා ඇති මේ දෙදෙනාගේ විවාහ උත්සවය 21 වැනි සියවසේ විවාහ උත්සවය ලෙස හඳුන්වා ඇත.මෙම දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයෝ වෙති. මෙම විවාහ උත්සවයට ප්‍රසිද්ධ ඇමෙරිකානු පොප් රොක් සංගීත කණ්ඩායමක් වන මරුන් 5 සංගීත කණ්ඩායම සහභාගි වී ඇති අතර, එහිදී යුවළ වෙනුවෙන් පුද්ගලික සංගීත ප්‍රසංගයක් ද පවත්වා ඇත. එසේම සුප්‍රසිද්ධ ප්‍රංශ මාලිගාවක් වන වර්සයිස් මාලිගය විවාහ උත්සවයේ කොටසක් සඳහා වෙන් කරගැනීමට මැඩලේන් සහ ජේකොබ් සමත්ව ඇත.

ඔවුහු වර්සයිස් මාලිගයේ රැයක් ගත කිරීමට තරම් වාසනාවන්ත වූහ. එපමණක් නොව මැඩලේන් සහ ජේකොබ් විවාහ උත්සවයට සහභාගි වූවන් පුද්ගලික ගුවන් යානා වලින් පැරිස් නුවරට ගෙන්වාගෙන ඇත. ශ්‍රී ලංකා රුපියල් කෝටි 2,815ක් පමණ(ඇමෙරිකානු ඩොලර් මිලියන 86) වියදම් කරමින් 2018 වසරේ පැවැත්වූ ඊශා අම්බානිගේ විවාහ උත්සවයට තවමත් හිමිව තිබෙන අවධානය අඩු කිරීමට මැඩලේන් සහ ජේකොබ්ගේ විවාහ උත්සවය සමත් විය.

මෙම විවාහ උත්සවයේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප මැඩලේන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, විවාහ උත්සවය පිළිබඳ අදහස් දක්වන සමාජ මාධ්‍ය පරිශීලකයන් අනුමාන කර ඇත්තේ, මෙම විවාහ උත්සවයේ වියදම මැඩලේන්ගේ දෙමාපියන් හසින් දරා ඇති බවයි. එසේම, විවාහ උත්සවයක් සඳහා මෙවැනි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන එල්ල කර ඇත. ඇයගේ දෙමාපියන් මෝටර් රථ ක්ෂේත්‍රයට සම්බන්ධ අතර, ඔවුන් දෙදෙනාම එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දරන්නන්ය.

 විමුක්ති එස්. රුද්‍රිගු

භූමදානයෙන් දින තුනකට පසු පුතා ගෙදර ඇවිත්

 


මරණ පරීක්ෂණයක් කර සිරුර භූමදාන කිරීමෙන් දින තුනකට පසු මියගිය පුද්ගලයා මව හා ඥාතීන් සමග ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ පෙනී සිටීමේ සිද්ධියක් පිළිබඳව ගම්පොල පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇත.ගම්පොල බස් නැවතුම්පොළේ දී පුද්ගලයකු හෘදයාබාධකයකින් මීට මාස දෙකකට පෙර මියගියේය. හඳුනා ගැනීමට නොහැකි වීමෙන් ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ එම මෘත දේහය මාස දෙකක පමණ කාලයක් තබා තිබිණි.

ඒ අතර පොලිසිය මොහුගේ ඥාතීන් පිරිසක් හඳුනාගෙන ඇති අතර ඔවුහු උඩහේන්තැන්න මේරිවිල වත්ත පහළ කොටසේ පදිංචිකරුවෝ වෙති.ඒ අනුව මියගිය අයගේ මව, සහෝදරයා ඇතුළු එම පිරිස ගම්පොල රෝහලට පැමිණ මළ සිරුර හඳුනා ගනු ලැබූ අතර මව පවසා ඇත්තේ මියගොස් ඇත්තේ ලාසර් මයිකල් නමැති 59 හැවිරිදි තම පුතා බවය. සහෝදරයා හා ඥාතීන් ද එම මළ සිරුර හඳුනා ගැනීමෙන් පසු හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා එම මළ සිරුර නිදහස් කළ අතර පිරිස මළසිරුර මේරිවිල වත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ගරුබුහුමන් පවත්වා ආගමික කටයුතුද කර දින දෙකකට පසු භූමදානය කර ඇත.

මියගියා යැයි කී තැනැත්තා සිද්ධියෙන් දින තුනකට පසු නිවසට පැමිණ “අම්මේ මම ගෙදර ආවා" යැයි පැවසීම නිසා පිරිස කලබල වී “උඹ ගම්පොළදී මැරිලා හිටියා. අපි උඹ ගෙදරට ගෙනත් වළ දැම්මා යැයි සඳහන් කර ඇත. “නෑ අම්මේ මම ගම්පොල පැත්ත පළාතෙ ගියේ නෑ. මම හිටියේ නාවලපිටියේ යැයි කිවූ නිසා එම මව සහෝදරයා හා ඥාතීන් එක්ව එම මියගිය අය ද කැඳවාගෙන මෙසේ මරණ පරීක්ෂකවරයා හමුවී තිබිණි.

මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සිද්ධිය විස්තර කර ඇත්තේ මළ ගෙදරට රුපියල් හැත්තෑ දාහක් විතර වියදම් වුණා යනුවෙන් පවසමිනි.ඒ අනුව භූමදානය කෙරුණු පුද්ගලයා ගැන මරණ පරීක්ෂකවරයාගේ දැනුම්දීම මත ගම්පොල පොලීසිය පරීක්ෂණයක් කළේය.මියගියයි කිවු ලාසර් මයිකල් නමැති අය දෙදරු පියකු වන අතර ඔහුගේ බිරිය ඔහු හැර ගොස් තිබිණි. ඉන්පසුව ඔහු තම දරුවන්ගේ නිවෙස්වල ද විවිධ රැකියා කිරීම සඳහා එම නිවාසවලින් පිටද සිටීමට පුරුදු වී ඇත.අවසාන කාලයේ මොහු නාවලපිටිය ප්‍රදේශයේ දුවගේ නිවසේ සිට ඇති අතර වැඩිපුරම කාලය ගත කර ඇත්තේ නාවලපිටිය නගරයේ හෙයින් දුවගේ නිවසට ද බොහෝ කලකින් ගොස් නැත.අවසාන ලෙස සහෝදරයා ද මීට මාස තුනකට පෙර ගම්පොළ නගරයේ දී මොහු දුටු බව මරණ පරීක්ෂකවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.


කුරුණෑගල සහා කළුතර රෝහල් සී.ටී. යන්ත්‍ර අක්‍රිය වීමෙන් පරීක්ෂණ කිරීමට ර.කෝටි 5 1/2 කට අධික මුදලක් වැයකරලා

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සහ කළුතර මහ රෝහලේ සී.ටී. යන්ත්‍ර අක්‍රීය වීම නිසා අදාළ පරීක්‍ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් කෝටි පහමහාරකට අධික මුදලක් මේ වනවිට වියදම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සදහන් කරයි.

මීට අමතරව සමහර රෝගීන්ගේ පරීක්‍ෂණ කටයුතු ආසන්න රෝහල් වෙත යොමු කරමින් සිදුකර ගන්නා බවත්, රෝගියා ප්‍රවාහනය කිරීමට ගිලන් රථ යොදා ගන්නා නිසා ඒ වෙනුවෙන්ද අධික මුදලක් වැය වෙත බවත් එම සංගමය පෙන්වා දෙයි. 

මෙම යන්ත්‍ර දෙක අලුත්වැඩියා කර ගැනීමට ආසන්න වශයෙන් රුපියල් කෝටි හතරක මුදලක් වැය වන බවට ගණන් බලා තිබෙන බවත්, අදාළ පරීක්‍ෂණ පෞද්ගලික අංශයෙන් සිදුනොකර යන්ත්‍ර දෙක අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබුවේ නම්, සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමටත් අවස්ථාව හිමිවන බවද එම සංගමය සදහන් කරයි.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මාස තුනකට ඉහතදී සී.ටී. යන්ත්‍රය බිඳවැටුණු අවස්ථාවේදී අත්‍යවශ්‍ය යැයි තීරණය කොට පෞද්ගලික රෝහල්වලින් මාසයක් තුළ සිදුකළ පරීක්‍ෂණ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි එකහමාරකට ආසන්න බවත්, ඊට අමතරව එම රෝහලේ සී.ටී. පරීක්‍ෂණ සිදුකළ යුතු අනෙකුත් රෝගීන් මහනුවර ජාතික රෝහලට, කෑගල්ල ශික්‍ෂණ රෝහලට සහ හලාවත මහ රෝහලට ගිලන්රථ මගින් ප්‍රවාහන කොට පරීක්‍ෂණ සිදුකිරීමට ක්‍රියා කර තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම යන්ත්‍රය පසුව අලුත්වැඩියා කටයුතු කළ බවත්, එලෙස අලුත්වැඩියා කටයුතු සිදුකර කෙටිකාලයක් තුළ නැවත යන්ත්‍රය බිඳවැටී තිබෙන බවත්, කළුතර මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය බිඳවැටී මාස 10කට ආසන්න කාලයක් ගතවී තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි.

එම රෝහලේ පරීක්‍ෂණ කටයුතු සඳහා මේ වනවිට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කර තිබෙන බවත්, ඊට අමතරව එම රෝහලේ අනිකුත් රෝගීන්ගේ පරීක්‍ෂණ සිදුකිරීමට හොරණ සහ හෝමාගම රෝහල් වෙත ගිලන්රථ මගින් රෝගීන් ගෙන ගොස් සතියට දින දෙකක් සී.ටී. පරීක්‍ෂණ සිදුකරනු ලබන බවත් එම සංගමය පෙන්වාදෙයි.

                                                                                                                              ඉන්දික හේවාවිතාරණ


අත් ඔරලෝසුවෙන් කුඩු අදිද්දි දැලේ

 


අත් ඔරලෝසුවක බැඳ ඉතා සූක්ෂමව මත්කුඩු ප්‍රවාහනය කිරීමට පුරුදුව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි. ඔහු ගණිකා නිවාසයක කළමනාකරුවකු බව පොලිසිය කියයි.මෙම පුද්ගලයා ගෝනපොළ ඔලුබොඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී මත්කුඩු ප්‍රවාහනය කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වූ බව පැවැසේ.

සැකකරු හෙරොයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කළද මත්කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අඔරලෝසුවේ පිටුපස කවරය ගලවා පරික්ෂා කිරිමේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කලක සිට මෙසේ මත්කුඩු ප්‍රවාහනය කළ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් සොයා වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පරික්ෂක පවත්වයි.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය අත්අඩංගුවට

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 51ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියක මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර මහනගර සභාවේ ආදායම් දෙපාර්තමේන්තුවට දෛනික ආදායම් වශයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 51ක මුදලක් නගර සභා ගිණුමේ තැන්පත් නොකර එම නිලධාරිනියගේ දියණියගේ මංගල උත්සවයේ වියදම් කටයුත්තක් සඳහා යොදාගත් බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබුණි .

මෙම මූල්‍ය වංචාවට අදාළව මහනුවර මහ නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මීට මසකට පමණ පෙර මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකාර නිලධාරිනිය එසේ අත්අඩංගුවට ගෙන තිබේ . 

එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව එම කළමනාකරණ සේවා නිලධාරිනියගේ වැඩ තහනම් කොට තිබේ . 

                                                                                                                         ෂේන් සෙනෙවිරත්න


ලක්ෂ 15ක් දෙනවැයි වකුගඩු අරන් ලක්ෂ දෙකක් දී රවටලා



කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දිළිඳු පවුල් ඉලක්ක කර වකුගඩු ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ජාතික බුද්ධි තොරතුරු සේවාවට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂෂණ කැකුණවෙල මහතා ඉදිරියේ ඊයේ (27) කරුණු වාර්තා කර ඇත.ඒ අනුව මෙම ජාවාරම කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල් හතරකට අදාළව රෝගීන්ගේ වකුගඩු සැත්කම් කළ ලැයිස්තුවක් කොළඹ අපරාධ කොට්ඨාසයට දෙන ලෙසට එම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කෙරිණි. ජාතික බුද්ධි තොරතුරු සේවාව පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ තොරතුරකට අනුව පොලිස්පතිවරයා මෙම විමර්ශනය තම කොට්ඨාසයට බාරදෙනු ලැබූ බව සඳහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වා මහතා අධිකරණයට වාර්තා හතරක් මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි.

අදාළ තොරතුරට අනුව කළ විමර්ශනයේදී කොළඹ 15, සමිත්පුර සහ කජීමාවත්ත යන ප්‍රදේශවල පදිංචි මාපලගම ආරච්චිගේ තරංග, ත්‍යාගරාජා සුභාෂිණී, කොස්ගොඩ ආරච්චිලාගේ මංජුලා පෙරේරා සහ උදයකුමාර් චන්ද්‍රකුමාර් යන අයවලුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.තැරැව්කරුවන් මගින් රුපියල් ලක්ෂ 15ක මුදලකට වකුගඩු ලබාදීමට කැමැත්ත පළ කර ඇති මෙම පුද්ගලයන්ට අදාළ පෞද්ගලික රෝහල්වලදී සැත්කම් සිදුකර ඇති බවත් පසුව පොරොන්දු වූ මුදල වෙනුවට රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් ලබාදී ඔවුන් රවටා ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහල්වල කළ සැත්කම් සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට නියෝග දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරමින් නඩුව කල් තැබීය.

නිමන්ති රණසිංහ

කොටි පුම්බන්න කේක් ගෙඩියක් අරන් ආ කත අත්අඩංගුවට

‘සුබ උපන්දිනයක් වේවා ප්‍රභාකරන් අයියා - සභාපති’ යැයි සදහන් කරන ලද උපන්දින කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි බව කියන 43 හැවිරිදි කාන්තාවක් මඩකළපුව කොක්කඩිචෝලේ පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබුවාය.

අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ උපන්දින කේක් ගෙඩියට අමතරව පොපි මල්, පොල් තෙල්, ඉටි පහන් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද තිබී පොලිස් භාරයට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නැගෙනහිර පළාත මුදාගැනීමේ මෙහෙයුමේදී ආරක්ෂක හමුදා සමග සටන් වැදී මියගිය එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් භූමදානය කර ඇති මා වාඩි මුම්මාරි සුසාන භූමිය අසල මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මහ විරු දිනය වෙනුවෙන් එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සඳහා සුසාන භූමියට ගොස්, කේක් කපා, ඔහුට සුබ පැතීමට ගිය බව මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ප්‍රභාකරන්ගේ උපන් දින සැමරීමේ උත්සවයට තවත් අය ද මෙම සුසාන භූමියට පැමිණීමට නියමිතව සිට ඇති බවත්, මෙම කාන්තාව එම උපන්දින කේක් ගෙඩිය ඇතුළු ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම නිසා එය වැළකී ගොස් ඇති බවත් පැවැසේ.

එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළේ යැයි කියමින් මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාව වාලච්චේන ප්‍රදේශයේම පදිංචිකාරියකි.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත, මහ විරු දිනයට සමගාමීව එල්ටීටීඊ සැමරුම් පවත්වමින් එම සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අයවලුන් සිටින්නේ නම්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් එම පළාත පුරා දියත් කර ඇත.

නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත, මඩකළපුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ සහ මඩකළපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න යන මහත්වරුන්ගේ මෙහෙයුම යටතේ, වෙල්ලාවෙලි පොලීසිය සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

                                                                                                                      ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


Monday, November 27, 2023

ක්‍රිකට් විමර්ශනවලින් කෝප් ලොක්කා ඉවතට



පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කරනු ලැබ ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමටද පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීය.කෙසේ වෙතත් මේ අතර කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීම රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කරන ලෙසටද කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණද එය කල් යන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.කෝප් කමිටුවේ සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද අත්සන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.විශ්වාසභංග යෝජනාවක් සම්මත කළද කෝප් කමිටු සභාපතිවරයා ඉවත් කළ හැක්කේ එම යෝජනාව සම්මත වීමෙන් වසරකට පසුව බවද පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ යැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී විශ්වාසභංග ගෙන ඒමෙන් ප්‍රතිඵලදායී නොවන බව නීති විශාරදයන් සමගි ජන බලවේගය පක්ෂයට පෙන්වාදී ඇතැයි ද දැනගන්නට ඇත.කෝප් කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් පිළිබඳ ගැටුමක් පවතින හෙයින් ඔහු එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතු වලින් වහාම ඉවත් කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දුන්හ.ක්‍රිකට් අර්බුදයෙන් පසු එල්ල කෙරුණු විවිධ චෝදනා හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමටද එහිදී එකඟත්වයට පැමිණ ඇත.

සුජිත් හේවාජුලිගේ



මහීෂ් හා මතීෂ ගැන චෙන්නායි ඉහළ විශ්වාසයකින්...

 


විශ්ව මුදියන්සේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ බහුතර කැමැත්ත මුම්බායි ඉන්දියන්ස් වෙතින්, චෙන්නායි සුපර් කිංග්ස් වෙත විතැන්වීමට ප්‍රධානම හේතු සාධකය වූ මහීෂ් තීක්‍ෂණ හා මතීෂ් පතිරණ තවදුරටත් සිය කණ්ඩායම තුළම රඳවා ගැනීමට චෙන්නායි පාලනාධිකාරිය තීරණය කර ඇත.

2022 වසරේ අයි.පී.එල්. වරම් දිනාගත් මෙම දෙදෙනාගෙන් මහීෂ් මේ වනවිට තරග 22කට ක්‍රීඩාකර කඩුලු 23ක් බිඳහෙළා ඇති අතර, මතීෂ මේ දක්වා චෙන්නායි වෙනුවෙන් තරග 14 කට ක්‍රීඩාකර කඩුලු 21 ක් බිඳහෙළා තිබේ.සුප්‍රකට අයි.පී.එල්. තරගාවලියේ එළඹෙන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන දෙසැම්බර් මස 19 වැනිදා ඩුබායිහිදී සිදුකිරීමට නියමිතව ඇති අතර ඊට පෙරාතුව කණ්ඩායම් හිමිකරුවන් විසින් තමන් රඳවාගන්නා හා නිදහස් කරගන්නා ක්‍රීඩක ලැයිස්තුව ඊයේ (26දා) ප.ව. 4.00ට පෙර ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණි.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) පසුගිය තරග වාරයේද කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබේ. මෙලෙස ඔවුන් දෙදෙනා කණ්ඩායමේ රඳවා ගනිද්දී, බෙන් ස්ටෝක්ස්, ඩ්වේන් ප්‍රිටෝර්යස්, කයිල් ජේමිසන්, සිසඳ මාගලා වැනි විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නිදහස් කර ඇත.

ඒ අනුව මහීෂ් හා මතීෂ සමග නායක එම්.එස්, දෝනි, ඩෙවොන් කොන්වේ, රුතුරාජ් ගයිඩ්, අජින්ක්‍යා රහානේ, රවීන්ද්‍ර ජඩේජා,මිචෙල් සැන්ට්වර්, මොයින් අලි, ශිවම් ඩුබේ, දීපක් චහාර් යන ක්‍රීඩකයන්ද එම කණ්ඩායම වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාකරති.කෙසේ නමුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් ක්‍රීඩා කළ වනිඳු හසරංග, ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ දසුන් ශානක හා පන්ජාබ් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ භානුක රාජපක්‍ෂ වෙන්දේසිය වෙනුවෙන් ඒ ඒ සංචිතයන්ගෙන් නිදහස් කර ඇත.

මේ අතර අයි.පී.එල්, තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ හර්දික් පා තවදුරටත් එම කණ්ඩායම වෙනුවෙන් රඳවා ගැනීමට ගුජරාට් හිමිකරුවන් තීරණය කර ඇත. පාන්ඩ්‍යා  ඉන්දීය රු.කෝ. 15කට මුදලකට මුම්බායි ඉන්දියන්ස් සමගින් එක්වනු ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණි. 2015 වසරේ සිට මුම්බායි කණ්ඩායම නියෝජනය කළ පාන්ඩ්‍යාව  2021 වසරෙන් පසුව එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට මුම්බායි පාලනාධිකාරිය කටයුතු කළේය. කෙසේ නමුත් පාන්ඩ්‍යාගේ  වටිනාකම හොඳින්ම දන්නා ගුජරාට් ටයිටන්ස්, ඔහුව ඉහළ වටිනාකමකට සිය කණ්ඩායමට එක්කර ගත්තේය. එම තීරණය පාන්ඩ්‍යා  විසින් සාධාරණීකරණය කරනු ලැබුවේ, 2022 වසරේ අයි.පී.එල්. ශූරයන් ලෙසත්, 2023 වසරේ අනුශූරයන් බවටත් ගුජරාට් ටයිටන්ස් පරිවර්තනය කරමිනි. ඒ අනුව පාන්ඩ්‍යා  කණ්ඩායමෙන් ඉවත් නොවන හෙයින් ගුජරාට් කණ්ඩායමට නව නායකයෙකු සොයාගැනීමේ අවශ්‍යතාවක්ද පැන නොනගිණු ඇති, යම් හෙයකින් ඔහු මුම්බායි  සමගින් එක්වූවානම්, කණ්ඩායම් නායකත්වයට ශුබ්මන්  ගිල් පත්කිරීමට වැඩි ඉඩක් තිබුණි.


18ට අඩු දරුවන් මැලේසියාව හරහා වෙනත් රටවලට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ

මෙරට වයස අවුරුදු 18ට අඩු දරුවන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ලබාදුන් තොරතුරුක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල වයස අවුරුදු 18ට අඩු දරුවන් මැලේසියාවට යවන බවත් මෙය මිනිස් ජාවාරමක්ද යන්න අනාවරණය කරගැනීම සුදුසු බව ආගමන විගමන පාලක ජනරාල්වරයා දන්වා එවා තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. 

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් මෙරට අවුරුදු 18ට අඩු දරුවන් දෙමාපියන් හෝ ඥාතීන් සමග නීත්‍යනුකූලව මැලේසියාවට රැගෙන ගොස් තිබෙන බවට තොරුතුරු ලැබී තිබෙන බවද පවසා සිටියේය. 

මැලේසියාවේදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවල් වෙත යොමු කරන බව නිරීක්ෂණය වී තිබෙන බවත් මෙවැනි සිද්ධීන් 13ක් පිළිබඳව ව්මර්ශන ආරම්භ කර තිබෙන බවත් අදාළ පුද්ගලයන්ගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීම් සිදුකරමින් තිබෙන බවද සඳහන් කළේය.

මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව මෙය මිනිස් ජාවාරම් ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එහෙත් අදාළ විමර්ශන අඛණ්ඩව සිදුකරමින් තිබෙන බවද පවසා සිටියේය.

                                                                                                                             ඉන්දික හේවාවිතාරණ 


රාජ්‍ය අනුග්‍රහයෙන් රිදියගම සෆාරියෙහි මුදල් මංකොල්ලයක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදීයගම සෆාරියෙහි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් මංකොල්ලයක් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන බව සංචාරක රාජ්‍ය අමත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නෙරංජන්ද අල්විස් මහතා පැවසීය. 

සත්ත්ව උද්‍යානයක් ලෙස මෙහි මහජනයාගෙන් මුදල් අයකිරීම විවිධ අයුරින් සිදුකරන අතර, එහි මීට පෙර සිටි බහුතරයක් වු සතුන් දෙහිවල සත්ව උද්‍යානයට ගෙන ගොස් තිබේ.

මෙම සත්ත්ව උද්‍යානය නැරඹීම සඳහා දේශීය සංචාරකයන්ගෙන් රුපියල් 500ක්ද, කුඩා දරුවන්ගෙන් රුපියල් 200ක්ද, විදේශිකයන්ගෙන් මෙම මුදල මෙන් තුන්ගුණයක්ද අය කරන අතර, එහි සතුන් දැකීමට නොලැබීම ගැටලුවක් බව මාධ්‍ය ලේකම්වරයා පැවසීය. 

මුවන්,වල් ඌරන්, මොනරුන් වැනි දකුණු පළාතේ බහුලව දැකිය හැකි සාමාන්‍ය සතුන් හැරුණුකොට විශේෂ වූ සත්ත්වයන් කිසිවෙකුත් මෙම සත්ත්ව උද්‍යානයෙහි නොමැත. 

සිංහයන් වෙනුවෙන් වෙන්කර ඇති කලාපයට සංචාරකයන් රැගෙන යන මගපෙන්වන්නන් සිංහයන් කැලේ මැද ඇති බව පවසමින් සිංහයන්ගේ හඬ  sound woofer මගින් ඇසෙන්නට සලස්වා තිබේ.

මෙවැනි අවිධිමත් සත්ත්ව උද්‍යානයක් වසා දමා මෙවැනි ජාවාරම්වලට තිත තබන ලෙස ඉල්ලා සිටිමින් මේ පිළිබඳව ජනාධිපති පැමිණිලි අංශයට පැමිණිල්ලක් දැමූ බව මාධ්‍ය ලේකම් නෙරංජන් ද අල්විස් මහතා වැඩිදුරටත් පැවසීය.


දියණිය අපයෝජනය කළ පියා පොලීසිය දැක වෙඩි තබාගෙන මියයයි..

 • අම්පාර - වසන්න චන්ද්‍රපාල 

අම්පාර පන්නල්ගම 2සී කුමන ප්‍රදේශයේදී තම දියණිය අපයෝජනය  කළ පියෙකු කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන ඊයේ (26දා) මරණයට පත්ව ඇති බව දමන පොලීසිය පවසයි.මියගිය පුද්ගලයාගේ බිරිද දැනට මාස හයකට පමණ පෙර මැදපෙරදිග රැකියාවට ගොස් තිබෙන බවත්, තම බිරිඳ ගිය අවස්ථාවේ සිට පියා විසින් දියණිය අපයෝජනය කර ඇති අතර, පසුව දියණිය විසින් මැදපෙරදිග සිටින මවට මේ පිළිබඳව දැනුම්දුන් අවස්ථාවේදී දරුවන් දෙදෙනා ඝාතනය කරන බවට පවසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත්  කර තිබේ.

පොලිස් නිලධාරීන් පිරිසක් පන්නල්ගම අදාළ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ නිවස තුළට පැනගත් සැකකාර පියා නිවසේ දොරවල් වසාගෙන තිබෙන  අතර, පොලිස් නිලධාරීන් දොර විවෘත කරන ලෙසට දැනුම් දුන්නද  නිවස තුළ තිබූ කොටන තුවක්කුවකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙන  බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නන්දන ජයපත්ම මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 1 භාර සහකාර පොලිස් අධිකාරී හේමන්ත සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණයෙන් දමන  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් දිසානායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


ජපන් කත දූෂණය කළ ගයිඩ් අත්අඩංගුවට

ජපන් ජාතික කාන්තාවක කොල්ලුපිටිය හෝටලයක් තුළදී දූෂණය කළ බව කියන සංචාරක මගපෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

29 හැවිරිදි ජපන් ජාතික කාන්තාව පොලිස් සංචාරක කොට්ඨාසය වෙත ඊමේල් පණිවුඩය මගින් සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ලද පැමිණිල්ල වී.පී.එන්. පණිවිඩයක් මගින් කොල්ලුපිටිය පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇත.

එම කාන්තාව කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැගෙන ගොස් දූෂණය කර ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කඩවත පහර කරගාමුල්ල පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

                                                                                                    බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ


නිවසක නානාකාමරයේ තිබී මළසිරුරක් හමුවේ..

• මත්තේගොඩ - ශාන්න ප්‍රදිප් කුමාර කුලරත්න/බිමල් ශ්‍යාමන් ජයසිංහ


පන්නිපිටිය මාලපල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ නාන කාමරයක තිබූ පුද්ගල මළසිරුරක් සොයාගත් බව කොට්ටාව පොලීසිය සඳහන් කරයි.අදාළ සිරුර හෝමාගම ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදිංචි සුදත් චින්තන රූපසිංහ (39) නමැත්තාගේ බවට අනාවරණය වී තිබේ. මරණකරු දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළසිරුරක් සොයා ගත් බව කොට්ටාව පොලීසිය පවසයි. මරණකරු පෞද්ගලික බැංකුවකට අනුබද්ධ ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කොට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ වනවිටත් සිරුර නරක් වී තිබු බවත් අධික ලෙස දුගද වහනය වෙමින් තිබූ බවත් පැවසේ. මොහු මීට දින කිහිපයකට පෙර මරණයට පත් වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළේය.

එහෙත් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට මෙතෙක් භාරකරුවෙකු ඉදිරිපත් නොවීම නිසා මෘතදේහය මේ දක්වා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පැවසේ.අදාළ මාතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට භාර කරුවෙකු වෙතොත් 0112 - 782760 අංකයට අමතා කොට්ටාව පොලීසියට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන්  ඉල්ලා සිටියි.කොට්ටාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

පාර්ලිමේන්තු ලිංගික අතවර සිද්ධිය නීතිපතිට

පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ රූමත් තරුණ සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරින් විසින් ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබ ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා  පත්‍ර බාරදී නිදහසට කරුණු දක්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීහු එම නිලධාරීන් දෙදෙනාට පසුගියදා දැනුම් දුන්හ.

ඒ අනුව ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සිද්ධියට අදාළව කෙරුණු පරීක්ෂණ කටයුතුවලදී පාර්ලිමේන්තු ගෘහ පාලනඑ දෙපාර්තමේන්තුවේ සේවිකාවන් දුන් සාක්ෂි සහ චෝදනා ලැබූ නිලධාරීන් දෙදෙනා දුන් නිදහසට කරුණු දැක්වීම් ඇතුළු සියලු ලියකියවිලි මේ අනුව නීතිපතිවරයාට යොමු කර ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කළේය.

එම සේවකයන් බැලූ බැල්මට අපරාධමය වරදක් කර ඇතැයි පෙනී යන බව පාර්ලිමේන්තු ලේකම්වරිය නීතිපතිවරයාට දැනුම් දී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සිදුකළේය.

මේ අතර, පාර්ලිමේන්තු සේවකයන්ගේ විනය රැකීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සහ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ නියෝග මත විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මේ අතර විවිධ විෂමාචාර චෝදනා එල්ලවූ ඇතැම් නිලධාරීන්ට දිරිදීමනා ඇතුළු විවිධ දීමනා ලබාදීම පාර්ලිමේන්තු ප්‍රධානීන්  ප්‍රතික්ෂේප කර ඇතැයිද දැනගන්නට ඇත.

                                                                                                                              සුජිත් හේවාජුලිගේ 


බූස්ස සිරුකරුවෙක් සී.සී.ටී.වී කැමරා 23ක් කඩා දාලා

 


බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු බන්ධනාගාරයේ විශේෂ අංශයේ ඒ. වාට්ටුවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා 23ක් පෙරේදා (25) කඩාදමා විනාශ කර ඇති බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.එහි බන්ධනාගාර අධිකාරිවරයා විසින් කරන ලද විමර්ශනයකින් පසුව මේ සම්බන්ධයෙන් දෙවැනි පෙළ ජෙලර්වරුන් දෙදෙනකුගේ සහ නියාමකවරයකුගේ වැඩ තහනම් කර ඇති අතර, තවත් නියාමකවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමේ ලිපි කොළඹ බන්ධනාගාර කොමසාරිස් කාර්යාලයට යවා ඇත. 

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට ඉකුත් සිකුරාදා ගෙන එන ලද අබේගුණවර්ධන රුවන් ප්‍රසාද් කුමාර හෙවත් ‘සුගන්දන්” නමැති රැඳවියකු පෙරේදා (25) පෙරවරුවේ ව්‍යායාම් කිරීම සඳහා පිටතට ගැනීමට දොරටු විවෘත කළ අවස්ථාවේ ඔහු සිර මැදිරියේ තාප්පයට නැග, පැති වහලේ සවිකර ඇති ආරක්ෂිත කම්බි දාර (Consider) අතරින් රිංගා සී.සී.ටී.වී. කැමරා 23 ක් කඩා බිඳ දමා ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි.පසුව බන්ධනාගාර නිලධාරින් මැදිහත්ව රැඳවියා වහලෙන් බිමට බස්සවාගෙන ඇත. මේ සම්බන්ධයෙන් දෙවැනි පෙළ ජේලර්වරුන් දෙදෙනකුගේ සහ නියාමකවරයකුගේ වැඩ තහනම් කර ඇති අතර, අධීක්ෂණ රාජකාරි කරන හදිසි උපක්‍රම බළකායේ නියාමකවරුන් දෙදෙනකුගේ සේවය තහනම් කිරීමේ ලිපිද, කොළඹ බන්ධනාගාර මූලස්ථානයට යවා ඇතැයි එම කාර්යාලය සඳහන් කරයි.


 ඩී.ජී. සුගතපාල

ශාන්තිකර්මයේදී කපුවා මැරී වැටේ



නිකවැරටිය, මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක රෝගියකුට ශාන්තිකර්මයක් කරමින් සිටි කට්ටඩියකු බව කියන පුද්ගලයකු හදිසියේ රෝගාතුරවී ඊයේ අලුයම මියගොස් ඇතැයි නාන්නේරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රම්බඩගල්ල පොලිස් වසමේ පිහිටි ගණේගොඩ පිහිබුව ප්‍රදේශයේ පදිංචි රණසිංහ මුදියන්සේලාගේ ලයනල් රණසිංහ නමැති අයෙකි. 

ඔහු රෝගියාගේ නිවසට පැමිණ පෙරේදා රාත්‍රියේ සිට ශාන්තිකර්මයක් කරමින් සිටියදී ඊයේ අලුයම හතරට පමණ පපුවේ රිදීමක් ඇති වෙන බව කියා නිවසේ අයගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන පානය කර ඇති බවත්, පසුව දැඩි ලෙස රෝගාතුර වූ ඔහු නාන්නේරිය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය. නාන්නේරිය රෝහලේ වෛද්‍යවරයකු පරීක්ෂා කර බලා ඔහු මියගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ඡන්ද කොමිසමේ නියෝග කඩා කොළඹ උළෙලකට දේශපාලනඥයන් ගෙන්වලා


මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලනඥයන් කැඳවූ බව කියන කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.මෙසේ දේශපාලනඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහනගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයටය.මෙම උත්සවය පසුගිය (24) සිකුරාදා පැවැත්විණි. 

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් අනුව, එම කොමිසම මෙම උත්සවයට මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු දේශපාලඥයන් සහභාගී කරවීමෙන් තොරව රාජ්‍ය නිලධාරීන් පමණක් සම්බන්ධ කරගෙන පවත්වන ලෙසට අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති, විමර්ශන හා සැලසුම්) බී.පී.සී. කුලරත්න මහතා කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මියට ලිඛිතව දැනුම්දී තිබිණි. කෙසේ වෙතත් නාගරික කොමසාරිස්වරිය එම ඉල්ලීම නොතකා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ බටහිර කොළඹ සංවිධායක සාගල රත්නායක මහතා සහ කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් සම්බන්ධ කරගෙන උත්සවය පවත්වා ඇතැයි තොරතුරු වාර්තා වූ බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් අප කළ  විමසුමකදී ඔහු පැවසුවේ එම සිද්ධිය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ගෙන සුදුසු තීරණයක් ගන්නා බවයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක කිසිඳු දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු හෝ ස්වාධීන කණ්ඩායමක් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන අයුරින් ක්‍රියා නොකළ යුතු බවට පැහැදිලිව උපදෙය්දී තිබියදී මෙලෙස කටයුතු කිරීම මැතිවරණ නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවද ඔහු සඳහන් කළේය.මේ අතර මෙම උත්සවය පැවැත්වුණු අවස්ථාවේදී මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් එම උත්සවයට සහභාගිවූ දේශපාලනඥයන්ට විරෝධය පළකිරීම හේතුවෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවද වාර්තා වේ.

සුජිත් හේවාජුලිගේ

විනය කැඩූ මන්ත්‍රී 9කට චෝදනා : පැමිණිලි විභාගය එක දිගට දින 3ක්

මැති සබයේ විනය විරෝධීව හැසිරෙන ලදැයි කියන මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් මේ සතියේදී විශේෂ ප්‍රමුඛත්වය දක්වා විභාග කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්වී ඇත.

මේ අනුව මෙම පැමිණිලි විභාගය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව හෙට (28), අනිද්දා (29) සහ ලබන 30 වැනිදා එක දිගට රැස්වීමට නියමිතය.

මෙසේ විභාගයට ගැනෙන්නේ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධ පැමිණිලිල්ල, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, විපක්ෂ නායකවරයා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂනායක සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සහ නීති විරෝධීව රත්රන් ගෙන ඒ මේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවූ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලය.

අයවැය අවසන්වීමට පෙර මෙම සියලු සිද්ධීන් විමර්ශන කර අවසන් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්හී ඇත.

මෙම පැමිණිලි හය විමර්ශන කර ඉතා කඩිනමින්ම නිර්දේශ කතානායකවරයාට ඉදිරිපත් කිරීමට ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව බලාපොරොත්තු වෙයි.

කතානායකවරයා විසින් එම නිර්දේශ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

                                                                                                                                   සුජිත් හේවාජුලිගේ


පාසෙල් කෙල්ලක යාළුකර දෙන්න බෑ කිවාම බසයේදී සිසුවකුට පහර දීලා



සිසුවියක යාළු කර දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාසල නිම වී නිවෙස බලා යාමට බස් රථයේ සිටි සිසුවකුට පහරදී තුවාල සිදු කළ බව කියන සිසුන් තිදෙනකු සහ ත්‍රිරෝද රථ රියැදුරකු ඉකුත් 24 වැනිදා සවස කිරින්ද බස් නැවැතුම්පොළේදී අත්අඩංගුවට ගත් බව හක්මන පොලීසිය පවසයි.කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ ජනප්‍රිය ප්‍රධාන පාසලක දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු පාසල් ගොස් නිවෙසට යාමට ඉකුත් සිකුරාදා දහවල් බස් රථයේ සිටියදී බෙලි අත්ත සහ වීරකැටිය ප්‍රදේශවල ඇති තවත් ජනප්‍රිය පාසල් තුනක සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුන් තිදෙනකු ත්‍රිරෝද රථ රියැදුරකු සමග පැමිණ කිරින්ද බස් නැවැතුම්පොළේ නතර කර තිබූ බස් රථයකදී පහරදීමක් සිදු කිරීමෙන් සිසුවකු තුවාල ලබා ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට මෙලෙස ඇතුළත් කර ඇතැයි හක්මන පොලීසිය පවසයි. පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇති සිසුවා නිවෙසට යාමට බස් රථයේ සිටියදී තම පාසලේ සිසුවියක ද එම බස් රථයේ සිටි බවත්, පහරදීම සිදු කළ සිසුන් පැමිණ එම සිසුවිය කවුදැයි විමසා ඇති බවත් පොලීසිය පවසයි.

ඇය තමාගේ කවුරුත් නොවන බව පැවැසීමෙන් පසුව, ඇය යාළු කර දෙන ලෙස සැකකරුවන් ඉල්ලා සිටි බවත්, එය ප්‍රතික්ෂේප කළ නිසා තමන්ට සහ ඒ අසල සිටි තවත් සිසුවකුට පහරදීමක් සිදු කළ බවත්, රෝහල්ගත කර ඇති සිසුවා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය වැඩිදුරටත් පවසයි. පාසල් සිසුන් දෙදෙනකුට පහරදීමක් සිදු කරන බවට කිරින්ද නගරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සැලවීමත් සමග එම ස්ථානයට ගොස් සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

යසන්ත ආරියසේන

සැප්තැම්බරයේ දැරියෝ විසි එකක් ගැබ් අරන්



ළමයින්ට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධි 168 ක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තාවී ඇති බවත් එම අපයෝජනවලින් වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයින් විසි දෙදෙනකු ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු හෙළිවී ඇත.

ළමයින් සඳහා ලිංගික අධ්‍යාපනය දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පෙන්වා දුන්හ.මේ අතර, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් අවශ්‍ය පාසල් ගැහැණු දරුවන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රම වේදයක් සකස් කිරීමටත්, එම කාරක සභාවේ අවධානය යොමුවිය. මෙරට වැඩිහිටි රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නව ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු බව කාරක සභාවේ අදහස විය.

මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා වර්තමානයට ගැළපෙන නීති සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ද ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පසුගිය 21 වැනිදා රැස් වූ අතර එහි මෙම තොරතුරු අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, හකීම් රවුෆ් චන්දිම වීරක්කොඩි, හර්ෂණ රාජකරුණා සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුද සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.

 අංජුල මහික වීරරත්න

මදුරන්කුලිය කාලි කෝවිලේ ප්‍රතිමා දෙකක් කුඩුකර ත්‍රිශූලය පඬුරු පෙට්ටිය උස්සලා

මදුරන්කුලිය වේලාසිය මාර්ගයේ ජෝෂප් වත්ත ප්‍රදේශයේ පිහිටි කාලි මෑණියන්ගේ කෝවිලේ ප්‍රතිමා විනාශ කර, පිත්තල ත්‍රිශූලය සහ පඬුරු පෙට්ටිය පෙරේදා (25) සොරා ගෙන ගොස් ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

එම කාලි කෝවිලේ තිබූ අඩි දෙකක් පමණ වන දේව ප්‍රතිමා දෙකක්ද, බිම දමා කුඩුකර ඇති බව පොලිසිය පවසයි.

එ සමගම කුඩුකර දැමූ කාලි මෑණියන්ගේ ප්‍රතිමා අසල තිබූ පිත්තලින් නිම කළ ත්‍රිශූලයක්, කාලි ප්‍රතිමාවක් සහ පඬුරු පෙට්ටියද මෙසේ සොරාගෙන ඇති බව පොලිසිය කියයි.

පොලිස් ඇඟිලි සලකුණු නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කීපයක් එම අදාළ කෝවිලට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

                                                                                                    ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ