Thursday, February 29, 2024

නිවස කරා යමින් සිටි සිසුවියගේ මුඛයට මත්පෙති දමා කරාබු ජෝඩුව පැහැරගෙන

 පානදුර සුමිත්  පොතුපිටිය

පාසල නිමවා නිවස කරා යමින් සිටි  15 හැවිරිදි පාසල් සිසුවියකගේ මුඛයට මත්පෙති  දමා කනේ තිබූ කරාබුවක් ගලවාගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි.පානදුර ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන සිසුවියක පෙරේදා (27 දා) පස්වරුවේ පානදුර, මහවිල ප්‍රදේශයේ සිය නිවස කරා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.

පාසල් දැරියක නිල ඇඳුමෙන් අතුරු මාර්ගයක වැටී සිටින බවට ප්‍රදේශයේ කාන්තාවක විසින් පින්වත්ත පොලීසියේ ස්ථානාධිපතිවයා දැනුවත් කිරීමෙන් පසු ස්ථානාධිපතිවරයා විසින් සුවසැරිය ගිලන් රථයෙන් ඇය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.රෝහල්ගත කළ සිසුවිය පෙරේදා (27දා) රාත්‍රිය වනවිට තරමක් ප්‍රකෘති තත්ත්වයට පැමිණ සිටි බවත් සදහන් වේ.

ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පවැසීය.පින්වත්ත පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


Google සමාගම නිව්යෝර්ක් නගරයේ පිහිට වූ සිය නවතම මූලස්ථානය

 







ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Google සමාගම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී සිය නවතම මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකර ඇතැයි වාර්තා වෙයි. දැනටමත් වැඩ අවසන් වී ඇති මෙම ගොඩනැගිල්ල නුදුරේදීම විවෘත කෙරෙන බවත් Google සමාගම පවසා සිටියි.නිව්යෝර්ක් නුවර හඩ්සන් චතුරස්‍රයේ පිහිටි 1930 දශකයේදී පමණ භාවිතයට ගත් ඉපැරණි දුම්රිය පර්යන්ත ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කර නවීන ආකාරයට ඉදිකිරීමෙන් පසුව Google සමාගම  සිය මූලස්ථානය ලෙස යොදා ගැනීමට කටයුතු යොදා තිබීමත් විශේෂත්වයකි. St. John's පර්යන්ත ගොඩනැගිල්ල ලෙස හැඳින්වුණු මෙය මහල් 12කින් සමන්විත ගොඩනැගිල්ලකි.

සිය මූලස්ථාන ගොඩනැගිල්ල ලෙස වෙනස් කිරීමේදී Google සමාගම ඒ වෙත වඩා වැඩියෙන් ගස් වැල් සහ මල් පැල යොදා ගැනීමට උත්සාහ දරා තිබේ. ඒ හරහා මෙම ගොඩනැගිල්ල ස්වභාව ධර්මයට වඩාත් සමීපව සහ මානසික නිස්කලංක බව ඇති වන ආකාරයෙන් නිර්මාණය අරමුණ වූ බවත් සමාගම පවසයි.මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය අක්කර 1.5ක විශාලත්වයකින් යුක්තය. වඩාත් කාර්යබහුල ස්ථානයක පිහිටි මෙම ගොඩනැගිල්ල මගින් නිව්යෝර්ක් ප්‍රාන්තයට ආවේණික ශාක සහ සත්ත්ව විශේෂ වෙත නව නිවහනක් නිර්මාණයත් මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවකි. විශේෂයෙන්ම මෙම ගොඩනැගිල්ලේ සැකැස්ම හරහා නිර්මාණය කෙරි ඇති වාසස්ථානය පක්ෂී විශේෂ 40කට වැඩි සංඛ්‍යාවක් ආකර්ෂණය කරනු ඇතැයි සදහන් වෙයි.මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී එහි ගෘහ නිර්මාණ කටයුතු සදහා සමාගම් කිහිපයක්ම දායක වී තිබේ. එහිදී ඉපැරණි දුම්රිය පර්යන්ත ගොඩනැගිල්ලට සම්බන්ධ වී තිබූ දුම්රිය මාර්ගය එලෙසින්ම පවත්වා ගෙන යමින් ඒවාද පැල වගාවන් වෙත යොදා ගෙන තිබේ.

Google සමාගම මෙම St. John's දුම්රිය පර්යන්ත ගොඩනැගිල්ල කල්බදු පදනම මත ලබා ගෙන ඇත්තේ 2019 වසරේදීය. පසුව 2022 දී ඔවුන් ඩොලර් බිලියන 2.1ක් ගෙවා එහි අයිතිය ලබා ගෙන තිබේ. ඉදිරියේදී මෙම ගොඩනැගිල්ල ගූගල් සමාගමේ ගෝලීය ව්‍යාපාර සංවිධානයේ (Global Business Orgnization) මූලස්ථානය බවට පත්වීමට නියමිතව තිබේ.
මෙය තුළ සේවකයන් 3,000කට පමණ ඉඩකඩ පවතින අතර, කිසිදු සේවකයෙකුට ස්ථිර මේසයක් එහි ලබාදී නැත. ඒ වෙනුවට ඕනෑම ස්ථානයක සිට කටයුතු කිරීමේ නිදහස සේවකයටන්ට ලබා දී තිබේ. එහිදී වඩාත් නිර්මාණශීලීවීම සදහා එම නිදහස අවශ්‍ය බව ගූගල් සමාගම පවසයි.

Google සමාගම මෙලෙස ඉපැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කර සිය කාර්යාල ලෙස භාවිතයට ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පිහිටි ඉපැරණි පිටි ඇඹරුම් ගොඩනැගිල්ලක්, ලොස් ඇන්ජලීස්හි පිහිටි ඉපැරණි ගුවන් යානා අංගණයක්, නිව්යෝර්ක් සිටි හි පිහිටි කලක් නෞකා  පර්යන්තයක් ලෙස භාවිත කළ ගොඩනැගිල්ලක් මෙන්ම නිව්යෝර්ක් සිටි පිහිටි  චෙල්සියා මාර්කට් ගොඩනැගිල්ලද එම සමාගම විසින් සිය කාර්යාලය බවට පත් කර තිබේ.



මහරගම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩාවැටී අයෙක් මරුට

 

මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න/බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්

මහරගම සුප්‍රසිද්ධ නිම්  ඇඳුම් ප්‍රදර්ශනාගාරයක අලුත්වැඩියාවක නියැළෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටී සිදුවූ අනතුරින් එක් පුද්ගලයකු පෙරේදා (27දා) මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි.හෝමාගම ගැමුණු මාවත පදිංචි සුදත් මාරඹගේ (45) නමැති ඉදිකිරීම් කටයුත්ත කොන්ත්‍රාත් ලබා ගත් පෙදරේරුවකු බව පොලීසිය කියයි.

මොහු තවත් කම්කරුවෙකු සමග පැමිණ මෙම නිම්ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ අලුත්වැඩියාවක් සිදු කරන අතරතුරදී එහි තිබූ ජනේලයක් ඉවත් කිරීමට බිත්තියක කොටසක් කඩා ඉවත් කරමින් සිටියදී ඊට ඉහළින් තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් මෙසේ පෙදරේරුවාගේ සහ කම්කරුවාගේ සිරුර මතට වැටී ඊට යට වී අනතුරට ලක්ව තිබිණි. සිද්ධියත් සමග ආයතනයේ සේවකයන් විසින් කඩිනමින් ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් පෙදරේරුවා මෙසේ මියගොස් තිබේ. අනතුරට පත් කම්කරුවාගේ පාදයක් බිඳී ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු ශල්‍යකර්මයකට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


පෙබරවාරි 29 අද අසුබ දවසක්ද?




• පියුමිකා වීරසූරිය 



වසර 4කට පසුව උදාවන අධික අවුරුද්දක විශේෂ දවසක් ලෙස අද (පෙබරවාරි 29දා) දිනය හඳුන්වාදිය හැකියි. ඒ අනුව මේ අවුරුද්දට දින 366ක් යෙදී තිබේ. මේ විශේෂිත දිනය පිළිබඳව ඔබ නොදත් තතු සහ මනෝ විද්‍යාත්මකව මෙදින සැමරිය යුතු ආකාරය පිළිබඳව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ, මනෝ උපදේශක, මනෝ චිකිත්සක, වෘත්තීය මාර්ගෝපදේශක අකිල ඖෂධ බණ්ඩාර මහතා සදහන් කරන්නේ මෙවැනි අදහසකි.

ලෝකයේ සෑම ජන කොටසක්ම අලුත් අවුරුදු උත්සවයන් ඔවුන්ගේ ආගමානුකූලව කිහිපවරක්ම සමරනු ලබනවා. සාමාන්‍යයෙන් ජනවාරි පළමුවන දින, සිංහල අලුත් අවුරුදු දිනය වැනි සංස්කෘතිකමය වශයෙන් අලුත් අවුරුදු උදාවන් සමරනු ලබනවා. අලුත් අවුරුද්දක් ලෙස හඳුන්වනු ලබන්නේ දින 365ක කාලයක්. මෙහිදී පෘතුවිය සූර්යයා වටා කක්ෂයේ පරිභ්‍රමණය වීමට දින 365ක් ගත වෙනු ලබනවා. පෘතුවිය තමා වටා පැය විසි හතරක් භ්‍රමණය වෙනවා. මෙය නිවැරදිව ගණනය කළ විට දින 365යි, පැය 5යි, විනාඩි 48, තත්පර 45ක කාලයක් ලෙස ගමන් කරනු ලබනවා. නමුත් අප ගණනය කරන විට දින 365 වශයෙනුයි ගණනය කරනු ලබන්නේ. මීට අමතරව තිබෙන පැය ගණන නිවැරදිව ගණනය කළ විට දින 365.2425 වශයෙන් සඳහන් වෙනවා. මේ ගණනය කිරීම අනුව වසර හතරකට පසුව අධික අවුරුද්දක් ලෙස පෙබරවාරි 29වන දිනය යෙදී තිබෙනවා.


පෙබරවාරි 29ට ඇති විවිධ අර්ථකථනයන්

මුල්කාලීනව විවිධ දින දර්ශනයන් තුළ පෙබරවාරි 29 සඳහා විවිධ අර්ථකථන ලබා දී තිබෙනවා. චීන දින දර්ශනය, හීබෲ දින දර්ශනය, බෞද්ධ දින දර්ශනය, මායාවරුන්ගේ දින දර්ශනය, හින්දු දින දර්ශනය ලෙස විවිධ කාල වකවානු තුළ දින දර්ශනයන් ලෝකයේ බිහි වී තිබෙනවා. මුල්කාලීනව ජුලියස් සීසර් විසින් දින දර්ශනයක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. එය රෝමානු දින දර්ශනය ලෙස නම් කර තිබෙනවා. එම දින දර්ශනයේ මාස දහයක් සහ ඊට අමතරව ශීත කාලය තුළ තිබෙන දවස්ද ඇතුළත් කර තිබෙනවා. මේ දින දර්ශනය නිර්මාණය සදහා ටොලමියානු පරම්පරාවේ අවසාන පුරුක වන ක්ලියෝ පැට්‍රාගේ සහයෝගයද ජුලියස් සීසර්ට ලැබී තිබෙන බව සඳහන් වෙනවා. වර්තමානයේ භාවිත කරන කැලැන්ඩරය නිර්මාණය වන්නේ ක්‍රිස්තු පූර්ව 45 ජනවාරි පළමු දින සිට ජුලියස් සීසර්ගේ දින දර්ශනය ක්‍රියාත්මක වීමෙන් පසුව බවයි සඳහන් වන්නේ. නමුත් එම දින දර්ශනය විවිධ අඩුපාඩුවලින් සමන්විත බැවින්, 1982දී සංශෝධනයක් සිදුකරනු ලැබ තිබෙනවා. දහතුන් වන ග්‍රෙගරි පාප්තුමා විසින් නව දින දර්ශනයක් ඉදිරිපත් කර තිබෙනවා. එම දින දර්ශනය ග්‍රෙගේරියානු දින දර්ශනය ලෙස හඳුන්වනු ලැබෙනවා. එලෙස බලන විට අප අද භාවිත කරනු ලබන්නේ මෙම ග්‍රෙගේරියානු දින දර්ශනයයි. 


විවිධ සම්ප්‍රදායන් තුළ පෙබරවාරි 29 සැමරුම 

සෑම වසර හතරකට වරක්ම අධික දිනයක් පෙබරවාරි 29 වන දිනයට යෙදෙනවා. පෙබරවාරි 29වන දිනට විවිධ සම්ප්‍රදායන් යෙදී තිබෙනවා . ග්‍රීකයන් පෙබරවාරි 29වන දිනය අවාසනාවන්ත දිනයක් ලෙස නම් කර තිබෙනවා. ස්කොට්ලන්තයේ ජනතාව එදිනට දරුවන් උපත ලැබීම අවාසනාවන්ත ලෙසයි දකින්නේ. එලෙස සිතීමට පෙලඹී තිබෙන්නේ පෙබරවාරි 29 උපත ලබන දරුවෙකු සාමාන්‍යයෙන් වසර හතරකට වරක් වයසට යනු ලබන බවට න්‍යායාත්මකව සිතා බැලීමෙන් අනතුරුවයි. ගණනය කිරීමේදී නියමිත වසර තුළදී ඒ ඒ අදාළ වයස් වලට පා තැබුවද නිතැතින්ම උපන් දිනයක් සැමරීමට සිදුවන්නේ වසර හතරකින් පසුවයි. එසේ නොමැති නම් පෙබරවාරි 28ට හෝ මාර්තු පළවෙනිදා සිය උපන් දිනය සැමරිය යුතු වෙනවා. එම නිසා එදිනට ඉපදීම අවාසනාවන්ත බව ඔවුන් සිතා තිබෙනවා.


අවුරුද්දක, අධික දිනයේ ඉපදීමේ සම්භාවිතාව

ලෝකයේ අධික දිනයක ඉපදීමේ සම්භාවිතාව පුද්ගලයන් 1.461 දෙනෙකුට 1ක් අයෙක් ලෙසයි පෙබරවාරි 29වන දිනට උපත ලබන්නේ. ඒ වගේම ලෝක ජනගහනයෙන් 0.07ටත් අඩු ප්‍රමාණයක් මෙදිනට උපත ලබනු ලබනවා.මෙවැනි දිනක උපත ලබන්නන් ඉංග්‍රීසි භාෂාවේදී 'Leapers' හෝ 'Leaplings' වශයෙන් හඳුන්වනු ලබනවා. මෙදිනට උපත් දිනය සමරනු ලබන ලෝකයේ ප්‍රසිද්ධ චරිත රාශියක්ම සිටින අතර, ඒ අතරින් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිත ලෙස ජා රූල් (රැප්නායක), මාර්ක් ෆොස්ටර් (රොක් ගායක), ඩීනා ෂෝ (පොප් ගායිකා), ඩේව් විලියම්ස් යන අයද, තෙවන පාවුළු පාප් වහන්සේගේ උපන් දිනයද, ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ෂෝන් ඇබොට් (ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක), ක්ලෝඩියා විලියම්ස් (නවසීලන්ත ටෙනිස් ක්‍රීඩිකා) යන අයගේ උපන් දිනයද යෙදී තිබෙනවා.


කාන්තාවන් පිරිමින්ට විවාහ යෝජනා ගෙනෙන දිනයක්

ඊට අමතරව විශේෂිත සිදුවීම් දෙස බලන විට පස්වන සියවසේ අයර්ලන්තයේ ශාන්ත බ්‍රිජට්  විසින් කාන්තාවන්ට පිරිමියෙකුට විවාහ යෝජනා සිදුකිරීමට දවසක් ලබාදෙන ලෙස, ශාන්ත පැට්ට්‍රින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ පිරිමියෙකු විසින් කාන්තාවකට විවාහ යෝජනාවක් සිදුකිරීමයි. එවිට ඊට දිනයක් ලෙස ශාන්ත පැට්‍රික් ලබාදෙන දිනය වන්නේ පෙබරවාරි 29වන දිනයයි. ශාන්ත පැට්‍රික් ප්‍රකාශ කර තිබෙන්නේ සෑම වසර හතරකටම සැරයක් එළඹෙන පෙබරවාරි 29වන දිනට කාන්තාවන්ට ඇය කැමති පිරිමියෙකුගෙන් විවාහ වීමට යෝජනාවක් ගෙන ඒමට හැකි බවයි. ඒ තරම්ම එදින සුවිශේෂී බව අපට දක්නට ලැඛෙනවා. එදිනට විවාහ යෝජනා ගෙන යන කාන්තාව රතු පාට පැලඳිය යුතුයි. යම් හෙයකින් මෙලෙස කාන්තාවක් පිරිමියෙකුට යෝජනාවක් කරන විට එම පිරිමි පුද්ගලයා එම යෝජනාවට අකමැති වුවහොත්, එවිට එම පිරිමි පුද්ගලයා විසින් එම කාන්තාවට අත්වැසුම් යුගල දුසිමක් ලබාදිය යුතු බවට නීතියක්ද පනවා තිබෙනවා. එයට හේතුව ලෙස සදහන් කර සිටින්නේ, කාන්තාව විවාහ වීමකදී අතැඟිල්ලට මුද්දක් දමන බැවින්, පිරිමියාගෙන් ප්‍රතික්ෂේප වූ කාන්තාව අතැගිල්ලට මුද්දක් දැමීමට නොහැකි නිසා එය වසා ගැනීමට අත් ග්ලවුස් ලබාදිය යුතු වීමයි. පසුකාලීනව මෙය අයර්ලන්තය, ස්කොට්ලන්තය, එංගලන්තය ඇතුළු බ්‍රිතාන්‍යය පුරාම පැතිරී ගියා. සමහර රටවල්වල මෙය නීතියක් බවටත් ඇතැම් කාලවලදී පත්වී තිබෙනවා.


අංක විද්‍යාවට අනුව පෙබරවාරි 29

අංක විද්‍යාවට අනුව සලකා බලන විට පෙබරවාරි 29 ආධ්‍යාත්මික බලයෙන් ඉතාමත්ම වැඩි දිනයක් ලෙස හදුන්වා දී තිබෙනවා. ආධ්‍යාත්මික ප්‍රජාවන් තුළ නව පිබිදීමක් ඇති කළ හැකි දිනයක් ලෙස පෙබරවාරි 29 දිනය හදුන්වනු ලබනවා. ඊට අමතරව අංක විද්‍යාවේ සඳහන්වන්නේ, පෙබරවාරි 29 දිනය ජීවිතයේ නව පිම්මක් ගත හැකි දිනයක් ලෙසයි. වසර හතරක් තිස්සේම මිනිසෙකුට කර ගැනීමට නොහැකි වූ දේවල් ඉටුකර ගැනීමට හොදම දිනයක් ලෙසද මෙදින නම් කර තිබෙනවා. ජීවිතේ නව පිඹීදීමක් ලබාගෙන, නැවත අලුත් ආරම්භයකින් පටන් ගැන්මට මෙදින වඩාත් සුදුසු බව සදහන් වෙනවා. අධික දිනයක් ලැබීම තුළින් තවදුරටත් අමතර කාලයක් ලැබෙනවා. ඔබට වසරකට සැරයක් තවත් දිනයක් ලැබෙනවා. එය හරිම අපූරු දෙයක්. ඒ වගේම පෙබරවාරි 29 දිනය ස්වභාවධර්මයෙන් ලැබුණ දිනයක් ලෙසත් හඳුන්වනු ලබනවා. ස්භාවධර්මය සහ ලෝකය අපගේ අත්දැකීම්වල කැඩපතක් බැවින්, ලෝකය දෙස බැලීමට, ස්භාවධර්මයේ ද්වාරයක් විවෘත වන දිනයක් ලෙසත් මෙම පෙබරවාරි 29 දිනය හඳුන්වා දී තිබෙනවා.


ජ්‍යෝතිෂවේදයට  අනුව පෙබරවාරි 29

ජ්‍යෝතීර් විද්‍යාවට අනුව මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව, හැඟීම්, ගැඹුරු විඥානය අවදි කළ හැකි දිනයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඇතැම් සම්ප්‍රදායන් තුළ සොබාදහමේ දිනයක් ලෙසත් මෙදින නම්කර තිබෙනවා. විශ්වයේ තිබෙන්නා වූ දුර්ලභ ද්වාරයකින් යන්නා වූ දිනයක් ලෙසයි පෙබරවාරි 29 හදුන්වනු ලබන්නේ. එම නිසා එදිනට ගසක් සිටුවන ලෙස සඳහන් කර තිබෙනවා. එවිට සෑම වසර හතරකටම සැරයක් ගසක් සිටුවිය යුතුයි. සෑම දවසකම ගසක් සිටුවීම නිරන්තරයෙන් සිදුකළ හැකි හොඳ දෙයක්.නමුත් පෙබරවාරි 29වන දින ඇති ශක්තිය හේතුවෙන්, එදිනට ගසක් සිටුවීම වඩාත් යහපත් බව සදහන් වෙනවා. සාමාන්‍යයෙන් මිනිසෙකු අවුරුදු 80ක් ජීවත් වෙනවා නම්, ඔහු සම්ප්‍රදායක් ලෙස වසර හතරෙන් හතරට අධික අවුරුද්දක් යෙදෙන කාලය තුළදී ගසක් සිටුවීමෙන් ජීවිත කාලය පුරාවටම ඔහු ගස් විස්සක් සිටුවා තිබෙනවා. එය පරිසරයට වඩාත් ප්‍රයෝජනවත් මෙන්ම පැවැත්ම රඳා පවතින අවස්ථාවක්. ඒ වගේම සොබාදහම පිළිබඳව විශේෂයෙන් සිතිය යුතු දිනයක් ලෙසත් මෙදින හඳුන්වා දී තිබෙනවා.


දිනයේ සංකේතය ගෙම්බා

පෙබරවාරි 29වන දින පනින  දිනයක් (leap day) එසේත් නොමැති නම් වෙනස් වන දිනයක් බැවින්, එදිනට සංකේතයක් ලෙස ගෙම්බා නම් කර තිබෙනවා. එය යම් සම්ප්‍රදායන් තුළ විශ්වාස කරනු ලැබ තිබෙනවා. නමුත් එය ස්ථිර අදහසක් නෙවෙයි. මනෝ විද්‍යාත්මකව පෙබරවාරි 29

ජීවිතය දෙස නැවත හැරී බලා, ඔබේ ජීවිතයට ළගාකර ගත හැකි අවස්ථාවන් සහ අභිප්‍රායත් සාර්ථක කර ගැනීමට මෙදින වඩාත්කාලෝචිත දිනයක් වෙනවා. අපේ ජීවිතයේ ඉතා යහපත්ව ඉදිරියට ගෙන යාමට මෙදින අධිෂ්ඨාන කර ගැනීමට යහපත් දිනයක්. ජීවිතයේ මෙතෙක් දුරට ඔබ සිදුකර තිබෙන්නේ කුමක්ද සහ මින් ඉදිරියට ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට කුමක් කළ යුතුද යන දේවල් පිළිබඳ සිතා හොඳින් තීරණ ගෙන, ඉදිරියට යා හැකි දිනයක් ලෙසද මෙදින හඳුන්වනු ලබනවා. මේ දිනය නරක දිනයක් ලෙස සදහන් වෙන්නේ නැහැ. පෙබරවාරි 29 වන දිනය ඔබේ ජීවිතයට අලුත් ආරම්භයක්, අලුත් දෙයක් කිරීමට පටන් ගැනීමට යහපත් දිනයක්, ඔබ එලෙස පටන් ගන්නා දෙය දියුණුවට පත්කර ගනිමින්, නැවත වසර හතරකට පසු එය සැමරීමට නිමිත්තක් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අද වන විට පවුලේ තිබෙන සම්බන්ධතාවන් මව පියා වශයෙන්ද, අඹු සැමීයන් වශයෙන්ද, ඥාති සබඳතා, දෙමාපිය දූදරු සබඳතා වියැකී යමින් තිබෙන කාල වකවානුවක්. මිනිසුන් ඉතාම කාර්යබහුල වී තිබෙනවා. තමන්ගේ භූමිකාවන්වල තිබෙන වගකීම්ද මිනිසුන්ට ඉෂ්ට කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එම නිසා ඔබ ගැන. සිතා, ඔබේ පවුල වෙනුවෙන්, සමාජය  වෙනුවෙන් කළ යුතු මගහැරුණු දෑ කරගෙන යෑමට පටන් ගැන්මට හොද ආරම්භයක් ලබාගැනීමට හැකි දිනයක් ලෙසත් මෙදින හඳුන්වා දිය හැකියි.






ලෙඩ සුවකරනවා කියා පිරිමි දරුවන්ට අතවර කළ සිවුරු දරන්නකුට මාංචු

ලෙඩ සුව කරන බව පවසා බාල වයස්කාර පිරිමි ළමයින් ගෙන්වාගෙන තෙල්‍ සාත්තු කරන මුවාවෙන් කලක සිට ලිංගික අතවර කිරීමට පුරුදුව සිටි බව කියන අසපුවක හිමිනමක බව කියන අයෙකු පෙරේදා (27) දා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මීට පෙර අවස්ථා කිහිපයක දී මෙම ශ්‍රමණවේශධාරියා ප්‍රදේශයේ මව්පියන් රවටා බාල වයස්කාර දරුවන් ගෙන්වාගෙන ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකිරීම නිසා සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි බවත් පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ අසපුවක් පවත්වාගෙන යන (50) හැවිරිදි ශ්‍රමණවේශධාරියකු බවද පොලීසිය කියයි.

නිවසක් කුලී පදනම මත ලබාගෙන අසපුවක් පවත්වාගෙන යමින් එහි ආගමික වතාවත් සිදු කරමින් ප්‍රදේශයේ ජනතාව තුළ ප්‍රසාදයක් දිනාගෙන ඒ හරහා සුව කළ නොහැකි රෝග සුව කරන බව පවසමින් විවිධ මාදිලියේ ප්‍රතිකාර සිදුකර තිබෙන බව පොලිසිය කළ පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

ඒ සඳහා ප්‍රාණයට ප්‍රාණයක් අවශ්‍ය බව රෝගියාගේ ඥාතීන්ට පවසා එම ප්‍රාණය වයස අවුරුදු 15ට අඩු රූමත් පිරිමි ප්‍රාණයක් විය යුතු බවද පවසමින් නිවෙස්වල බාල වයස්කාර පිරිමි දරුවන් ගෙන්වාගෙන දින දෙක තුන රඳවාගෙන තිබෙන බව ද පොලීසිය කියයි. 

ඒ අනුව අවුරුදු 15ක වයසැති දරුවන් දෙදෙනකුට ඇතිව තිබූ රෝගී තත්ත්වයක් සුව කිරීම සඳහා මීට දින දෙකකට පෙර මාපියන් එම අසපුවට දරුවන් දෙදෙනා කැඳවාගෙන ගොස් හිමිනම හමු වූ අවස්ථාවේ දී පවසා ඇත්තේ දින දෙක තුනක් නවතාගෙන ප්‍රතිකාර කළ යුතු බවයි.

 පසුව දරුවන් දෙදෙනා අසපුවේ නවතා සිටිය දී සැකකාර හිමිනම මෙසේ ලිංගික අතවර සිදුකර ඇති බවත් ඒ බව දරුවන් දෙමාපියන්ට දැන්වීමෙන් පසුව හෝමාගම පොලිසියේ සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. 

සැකකාර ශ්‍රමණවේශධාරියා විසින් තවත් පිරිස් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රමණ වේශධාරියා ඊයේ (28) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර බාල වයස්කාර දරුවෝ දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ කඩුවෙල බුද්ධික කුමාරසිරි


ඔලිම්පික් කමිටුවේ පාපැදි අසුනට සංගීත පුටු තරගයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජනය අරභයා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පාර්ශ්ව දෙකක් අතර පැන නැගී තිබෙන අර්බුදය විසඳා ගැනීම එම කමිටුවේ විධායක සභාව වෙත යොමු කරන බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

කමිටුවේ මීළඟ විධායක සභා රැස්වීම ලබන බ්‍රහස්පතින්දා (7) කැඳවා තිබේ. කෙසේ වුවත් මෙම අර්බුදයට මැදිව සිටින පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය පෙරේදා (27) ජාතික ඔලිම්පික් කමිටුවේ කැඳවීම් සඳහා සහභාගි නොවීය.

ඔවුන් ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇත්තේ පාපැදි සම්මේලනය අරබයා අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බැවින් නීති උපදෙස් මත තමන් ඊට සහභාගි නොවීමට තීරණය කළ බවයි .

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව එහි වෙනුවෙන් එහි ලේකම් නලින් අධිකාරිආරච්චිගේ හා උප සභාපතිවරයකු වන ගෲප් කපිතාන් රංග පෙරේරා මහතා පෙරේදා කැඳවීම් හමුවේ ඔලිම්පික් කමිටුවේ පෙනී සිටියහ.

ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙනුවෙන් නියෝජනය නීත්‍යානුකූලව කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් එහි වත්මන් විධායක සභාව අරබයා පවතින සියලු අවහිරතා ඉවත් කර එම අවස්ථාව වහාම සලසාදිය යුතු බව නලින් අධිකාරිආරච්චිගේ මහතා පෙරේදා ඔලිම්පික් කමිටුවට දැඩි ලෙස අවධාරණය කර සිටි බව වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නිල පාපැදි පරිපාලන පාර්ශ්වය ලෙස පිළිගන්නා බවට සහතික කරමින් ඔලිම්පික් කමිටුවට යළිත් ලිපියක් යොමු කර තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පාපැදි සම්මේලනයේ ලේකම් නලින්  අධිකාරිආරච්චිගේ මහතා පැවසුවේ මෙම ප්‍රශ්නය අරබයා ශ්‍රී ලංකාවට වසර 2019 සිට අන්තර්ජාතික පාපැදි තරග සහභාගිත්වය අහිමිවී තිබෙන තත්ත්වයක් තුළ එය විසඳා ගැනීම අර්බුදයට මැදිව සිටින සියලු පාර්ශ්වයන්හි වගකීමක් වන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ අර්බුදයට මැදිව සිටින පාර්ශ්ව එකගතාවයෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් සොයාගත යුතු බවත් ඒ සඳහා ඔලිම්පික් කමිටුවේ සියලු සහයෝගය හිමිවන බවත්ය.


නාමල් පතිරගේ


ඕස්ට්‍රේලියානුවාගේ ලක්ෂ 5 ක බඩු සීගිරි හෝටලයකදී අතුරුදන්

 



සීගිරිය ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ලැගුම්ගෙන සිටි ඕස්ට්‍රේලියානු සංචාරකයකු සතු ඕස්ට්‍රේලියන් ඩොලර් 400ක්, සපත්තු ජෝඩුවක් සහ කොණ්ඩය සකස් කරන යන්ත්‍රයක් කිසිවකු සොරාගෙන ගොස් ඇති බව සීගිරිය පොලිසිය පවසයි.

ඕස්ට්‍රේලියන් ජාතිකයා මේ බව සීගිරිය පොලිසියට පැමිණිලි කර ඇත. මේවායේ වටිනාකම රුපියල් 4,52,000ක් වන බව ඕස්ට්‍රේලියානු සංචාරකයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි සීගිරිය පොලිසියේ නිලධාරියෙක්  ඊයේ (28) පැවසීය.සීගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

 ශ්‍රීනාත් පුසන්න ජයසූරිය

ව්‍යාපාරිකයා මත්කර මැණිකක් කොල්ලකාලා

 



රුහුණු කුමාරි දුම්රියේදී හදුනාගත් ගාල්ලේ ව්‍යාපාරිකයකුට බත් කටවල් තුනක් කන්න දී දවස් දෙකක් නිදිකර තබා ඔහු සතු මැණිකක් කොල්ල කෑ බව කියන මහරගම කාන්තාවක ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.ව්‍යාපාරිකයන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන්ට මත් ආහාර දී මෙවන් කොල්ලකෑම් රැසක් කර ඇති සැකකාරිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කරන බව කියමින් පෑලියගොඩ පොලිසියේ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කළේය.පුද්ගලයන් මත්කර ඔවුන්ගේ දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයෙන් ඇප මත සිටියදී අපරාධ වැලක් කළැයි කියමින් අධිකරණයට ඉදිරිපත් කෙරුණ බෝපගේ නාලිකා ප්‍රියදර්ශනී නමැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් අපරාධ මූලස්ථානය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ජයලත් මහතා මෙම සිද්ධියේ පැමිණිලිකාර ව්‍යාපාරිකයා රුහුණු කුමාරි දුම්රියේ ගමන් කරමින් සිටිය දී ගාල්ල අහංගම ප්‍රදේශයේ දී දැන හඳුනාගෙන ඇතැයි ද පසුව සැකකාරිය ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ තානායමකට ගෙන්වාගෙන ඇතැයි ද දැනුම් දුන්නේය.සැකකාරිය තානායමේ දී ව්‍යාපාරිකයාට බත් කටවල් තුනක් කවා ඇතැයි ඉන් සිහිසුන් වූ ඔහු යළි පියවි සිහියට පැමිණ ඇත්තේ දින දෙකකට පසුව යැයිද ද දැනුම් දුන් පොලිස් පරීක්ෂක ජයලත් මහතා සිද්ධියෙන් දින කීපයකට පසු ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී සැකකාරිය අත්අඩංගුවට ගත්තේ යැයි ද දැනුම් දුන්නේය.

සැකකාරිය අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවල දී පුද්ගලයන් මත්කර කොල්ලකෑම සම්බන්ධයෙන් ඇය පළපුරුදුකාරියක බවත් මීට පෙර අවස්ථා ගණනාවක දී ඇය විවිධ තරාතිරම්වල අය රවටා විවිධ ස්ථානවලට ගෙන ගොස් ඔවුන්ට මත් බෙහෙත් යෙදූ කෑම බීම දී ඔවුන් මත්කර කොල්ලකෑම් විශාල ප්‍රමාණයක් කර ඇතැයි කී පොලිස් පරීක්ෂක ජයලත් මහතා සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ තොරතුරුවලට අනුව සැකකාරිය විසින් කොල්ලකන ලදැයි කියන වළලු, මුදු ඇතුළු රන් ආභරණ විස්සක් පමණ සොයාගෙන ඇතැයිද දැනුම් දුන්නේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාරිය රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල යළි කැඳවන ලබන 06 වැනිදා සිද්ධියට අදාළව කෙරුණ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළේය.

රෝෂාන් තුෂාර

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් ගැලවූ CT ස්කෑන් යන්ත්‍රයට අලුත් එකක් තවම නෑ

අලුතින් CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බව පවසා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ තිබූ CT ස්කෑන් යන්ත්‍රය ගලවා ඉවත්කොට අදට (29දා) මාසයක් ගතවී තිබෙන නමුත්, මෙතෙක් නව යන්ත්‍රයක් ලබාදී නොමැති බව රෝහල් සේවකයන් සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සහ විශේෂිත ස්නායු ශල්‍ය ඒකකයේ රෝගීන්ගේ CT ස්කෑන් පරීක්ෂණ සිදුකරමින් තිබූ ක්‍රියාකාරS තත්ත්වයෙන් යුත් යන්ත්‍රය ජනවාරි 29වෙනිදා සිට පරීක්ෂණ කටයුතු නවතා දමා ගලවා ඉවත් කළ බවද පෙන්වා දෙයි. නව CT යන්ත්‍රය මේ වනතුරුත් ලංකාවට ගෙනැවිත් නොමැති අතර, යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බවත්, මෙම යන්ත්‍ර දෙකම ජපානයෙන් ගෙන්වීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වන බව රෝහල් සේවකයෝ සඳහන් කරති.

නව යන්ත්‍රය රෝහලට ගෙන ඒමට පෙර මෙසේ ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ යන්ත්‍රය කඩිමුඩියේ ගලවා ඉවත් කිරීම බරපතළ ගැටලුවක් බවත්, සාමාන්‍යයෙන් යන්ත්‍රයක් ගලවා ඉවත් කිරීම දින කිහිපයක් තුළ සිදුකළ හැකි පසුබිමක මෙම යන්ත්‍රය ගලවා ඉවත් කිරීමට තීරණය කර උපදෙස් ලබා දුන් නිලධාරීන් කවුදැයි සොයා බලන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද රෝහල් සේවකයෝ සඳහන් කරති.

මේ වන විට එම ඒකකයේ රෝගීන්ගේ ස්කෑන් පරීක්ෂණ රෝහල තුළ වැඩි දුරකින් පිහිටුවා ඇති CT ස්කෑන් යන්ත්‍රයක් භාවිතාවෙන් සිදුකරන බවත්, මොළය සහ ස්නායු පද්ධතියේ ඉතා සංකීර්ණ ශල්‍යකර්මවලට භාජනය කළ රෝගීන්, දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්, බරපතළ හදිසි අනතුරුවලට ලක් වූ රෝගීන් දුරබැහැර ඒකකයකට ප්‍රවාහනය කරමින් scan පක්ෂණ සිදුකිරීම රෝගී ජීවිත තර්ජනයකට ලක්කිරීමක් බවද ඔවුහු පෙන්වා දෙති.


ඉන්දික හේවාවිතාරණ


ගහ උඩ පැල් රකින උපාධිධාරිනිය




ස්ථිර රැකියාවක් නොමැතිව, ගිනියම් අව්වේ මහ පොළොව සමග හැප්පෙමින් වගා කර රැය පහන් වනතුරු එම වගාව අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට ගහක් උඩ තැනූ පැලක පැල් රකින උපාධිධාරි එක් දරු මවක අනුරාධපුර මහවිලච්චිය පේමඩුවේදී අපට හමු විය.ඇය, ඩී.පී. චතුරිකා දර්ශනී විපුලසේනය.දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලක සාමාජිකාවක වන චතුරිකා, ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය සපුරා ගෙන, උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මැදි විදුහලට ඇතුළත් වූවාය.2014 වසරේදී විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබූ ඇය, උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ පය ගෙවෙන තුරු ඇවිද්දත්, ඇයට සුදුසු රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය.

ජීවිතය ගැට ගසා ගන්නට හරිහමන් ජීවනෝපායක් නොලද ඇය, අවසානයේ සිය සැමියා සමග මහ පොළොව සමග පොර බදන්නට වූයේ, තම එකම දරුවාට ද ආරක්ෂාව දෙමිනි.දහවල් කාලයේ මහ පොළොව සමග පොර බදන ඇය, රාත්‍රී කාලයේ ගොවිපොළේ රූස්ස ගසක ඉදිකළ පැලක රැය ගත කරන්නේ ආසාවට නොව වල් අලින් ඇතුළු වන සතුන්ගෙන් තම ගොවිතැන් ආරක්ෂා කරගැනීමටය.ඒ සෑම තැනකටම තම කුඩා පුතු ද රැගෙන යෑමට ඇයට සිදු විය.රැකියා විරහිත තරුණ තරුණියන්ගේ විරෝධයන්හිදී විශාල හඬක් ඇසුණේ ද ඇගෙන්ය.චතුරිකා අප සමග මෙසේ ද පැවැසුවාය.

“මට සහෝදර සහෝදරියන් හතර දෙනකු සිටිනවා. ඉන් තිදෙනකු උසස් පෙළ සමත් අය. මම උපාධිධාරිනියක්. උපාධිය ලබාගෙන බොහෝ කාලයක් මුළුල්ලේ රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන් හමු වීමට අවස්ථා කිහිපයක්ම ගියා. මේ වනතුරු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.

මගේ මවුපියන් අපට ඉගැන්වූයේ කුලී වැඩ කරලයි. මම දැන් විවාහකයි. කුඩා දරුවකු ඉන්නවා. ඒ දරුවා ජීවත් කරන්න දැන් කුලී වැඩ මෙන්ම ගොවිතැන් කරන්නත් සිදු වෙලා තියෙනවා. ගොවිතැන් කරනකොට වල් අලින්ගෙන් සිදු වන උවදුර ගැන කවුරුත් දන්නා කරුණක්, රාත්‍රී කාලය පුරාවට මේ පුංචි දරුවත් එක්ක මම පැල් රකිනවා.මගේ මහත්තයා වැවට යනවා මාළු අල්ලන්න. පසු දින මම ආපණ ශාලාවලට කෙටි ආහාර පිසීම සඳහා උදේ වරුවම ගිනි රස්නෙ දුක් විඳිනවා. මේ දුක කාට කියන්න ද? ඇයි බලධාරීන්ට තේරෙන්නේ නැත්තේ? මේක මහා ඛේදවාචකයක්.”

උපුල් හේරත්

බලය බෙදීමේදී පොලිස් බලතල හැර සෙසු බලතල ලබාදීමට සූදානම්

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (28දා) පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ආගමත්, සංහිඳියාවත් අතර තිබෙන සම්බන්ධතාව අප හොඳින් දන්නවා. ජාතිවාදයේ මෙන්ම ආගම්වාදයේ අත්දැකීම් අපට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අප බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වීමෙන් පසු සහජිවනය පිළිබඳ අපේ අවධානය යොමුව තිබෙනවා. සහජීවනය ගොඩනැගීමේ දී සියලු ආගමික නායකයන්ට ප්‍රධාන වගකීමක් පැවර් තිබෙනවා. අපගේ සිතුවිලි පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතුයි. 

දේශපාලනඥයන්ගේ සිතිවිල්ල නම් බලය ලබා ගැනීමයි. ආගමික නායකයන්ගේ සිතිවිල්ල නම් එම ස්ථානවල රැඳී සිටීමයි. මේ සියල්ලේ කෙටි මාර්ගය තමයි ජාතිවාදය සහ ආගම්වාදය. 1930 සිටම අපේ රට තුළ මෙය සිදුවුණා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කුමක්ද කියා මා අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ.

දැන් යුදමය තත්ත්වයක් නැති නිසා රටේ දේශපාලන ප්‍රශ්න විසඳෙමින් තිබෙනවා. එබැවින් අප සහජිවනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපි පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව කතා කරනවා. කරු ජයසූර්ය මහතා කථානායකවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එම කාරක සභාව පත් කළේ 2018 මාර්තු මාසයේ මුස්ලිම් ජනතාව සම්බන්ධව ඇති වූ ගැටුම්වලටත්, 2017 වසරේ ගාල්ලේ ඇති වූ ගැටුම්වලටත් ඒ වගේම 2014 වසරේ බේරුවල සිදුවු ගැටුම්වලටත් අදාළවයි. එම ප්‍රශ්න විසඳීම සඳහා මෙම තේම්කාරක සභාවලින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එම යෝජනාවලට අප සියලුදෙනාම එකඟ වුණා. අපි කණ්ඩායමක් ලෙස මෙහිදී එකඟත්වයකින් යුතුව කටයුතු කළා. එසේ නම් එම එකඟත්වය අනුව අප ඉදිරියට යා යුතුයි.

අනෙක් කාරණය වන්නේ බලය බෙදීමයි. මෙහි මුලික ඉල්ලීමක්ව පවතින්නේ බලය බෙදීම පිළිබඳ 3වන ලැයිස්තුවේ බලතල ලබාදීමයි. අපි පොලිස් බලතලවලට අත තැබීමට යන්නේ නැහැ. එය පසුව කළහැකියි. ඉඩම් පනත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම 3 වන ලැයිස්තුවේ තිබෙන අනෙකුත් විෂයයන් භාරදීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. තුනෙන් දෙකක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟත් ඊට එකඟවීමට සිදු වෙනවා. ඒ පිළිබඳ අපේ ගැටලුවක් නැහැ”.



කුඩු සළිඳු ENT විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරන ලෙස ඉල්ලයි

රැඳවුම් භාරයේ රඳවා සිටින සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු නමැත්තා උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යාවරයකු වෙත යොමු කරන්නැයි කරන ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යොමු කළේය.

මෝසමකට අනුව මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය ඇමතූ නීතිඥ ඉවෝන් නිරාෂා මහත්මිය රහස් පොලීසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවත්, ඔහු සාමාන්‍ය වෛද්‍යවරයකු පරීක්ෂා කළ අවස්ථාවේදී උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නිර්දේශ කර ඇති බවත් කීවාය.

තම සේවාදායකයා පරීක්ෂා කළ සාමාන්‍ය වෛද්‍යවරයා ඔහුට දින 05කට ඖෂධ දුන්නත් එම බෙහෙත්ද මේ වන විට අවසන් වී ඇතැයි කී නීතිඥවරිය මෙම ඉල්ලීම කළාය.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රඳවා සිටින්නේ පෞද්ගලික රෝහලක නොවන බැවින් ඔහු විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නියෝගයක් නිකුත් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

අධිකරණයේ කාර්ය භාරය වී ඇත්තේ රැඳවුම් භාරයේ සිටින සැකකරුගේ යහපැවැත්ම සහතික කිරීම පමණක් වන හෙයින් සැකකරුට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට හැකියාව නැතැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කළේය.



බුද්ධිමාල් රුබේරු


මන්නා රමේෂ් ඩුබායිවලින් අල්ලයි

 

පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් නමැත්තා ඩුබායි සාජාහිදී පෙරේදා (26) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරටින් ලැඛෙන ආරංචි මාර්ග සදහන් කරයි.මන්නා රමේෂ් නමැත්තා සමග ඔහු ගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඩුබායි රටෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

එ රටෙන් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සමඟ කාර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මන්නා රමේෂ් නමැත්තාට එරෙහි පාතාල කල්ලි නායකයකු දුන් තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයිද කියති. අවිස්සාවේල්ල සහ තදාසන්න ප්‍රදේශවල මන්නා රමේෂ්ගේ නායකත්වයෙන් යුතුව පාතාල කල්ලියක් ක්‍රියාත්මක වූ අතර, මෙම කල්ලිය මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ ව්‍යාපාරවල නිරතව සිටින පුද්ගලයන් බිය ගන්වා කප්පම් මුදල් ලබා ගැනීම ඇතුළු මැර ක්‍රියා ගණනාවක් සිදු කර තිබිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පාතාල මර්දන පොලිස් කණ්ඩායම් මන්නා රමේෂ් නමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු ඩුබායි රටට පලාගොස් සැඟවී සිට පසුව බිරිඳ ද ඒ රටට ගෙන්වාගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. 

මෙම පාතාල කල්ලියේ ගෝලයෙක් පසුගිය වසරේ පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මැරුම් කෑවේය.මෙම සිද්ධිය මුල් කර ගනිමින් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතා සහ ඔහුගේ පවුලේ අය ඝාතනය කරන බවට මන්නා රමේෂ් නමැත්තා ඩුබායි සිට දුරකථන ඇමතුම් දී තර්ජනය කර තිබිණි යැයිද පොලිසිය කියයි. සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මොහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු රහස් පොලිසියේ ජාත්‍යන්තර ඒකකයට දැනුම් දී තිබිණි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


කැනඩාවේ යවනවැයි රු.ලක්ෂ 65ක් වංචා කළ සැකකාරියක් දැලේ

කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 65කට අධික මුදලක් වංචා කර වසර 08කට අධික කාලයක් විදේශගතව සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

50 හැවිරිදි තැනැත්තියක මෙසේ අත් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවද පොලීසිය පවසයි.

සැකකාරිය 2016 වර්ෂයේ දී පානදුර ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක මේ වනවිට මියගොස් සිටින ගුරුවරියක් සමග එක්ව මෙම වංචාව සිදු කර තිබූ බව පොලීසිය සඳහන් කරයි. 

සැකකාරියන්ගේ වංචාවට හසුවූ වත්තල, පානදුර කොළඹ හා මාතර ආදී ප්‍රදේශවල පුද්ගලයන් රුපියල් ලක්ෂ 12,13 15 හා 25 ආදී මුදල් ප්‍රමාණයන් විදේශගතවීමේ බලාපොරොත්තුව ලබාදී තිබූ බවත් පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ලද පැමිණිලි හතරෙත් සනාථ වන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම වර්ෂයේ අග භාගයේ දී හිටි හැටියේම කැනඩාවට පලා ගිය සැකකාරිය මෙම මස 13 වෙනි දින මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුව මාලඹේ ප්‍රදේශයේදී පෙරේදා (27දා) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ලබා ගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාරී මේ ආකාරයෙන් රැකියා ලබා දෙන බව පවසා තවත් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇත්දැයි සොයා බැලීමට දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම පොලිස් පණිවිඩ නිකුත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ /පානදුර- සුමින් පොතුපිටිය


මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න/බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්

 




මහරගම සුප්‍රසිද්ධ නිම්  ඇඳුම් ප්‍රදර්ශනාගාරයක අලුත්වැඩියාවක නියැළෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටී සිදුවූ අනතුරින් එක් පුද්ගලයකු පෙරේදා (27දා) මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි.හෝමාගම ගැමුණු මාවත පදිංචි සුදත් මාරඹගේ (45) නමැති ඉදිකිරීම් කටයුත්ත කොන්ත්‍රාත් ලබා ගත් පෙදරේරුවකු බව පොලීසිය කියයි.

මොහු තවත් කම්කරුවෙකු සමග පැමිණ මෙම නිම්ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ අලුත්වැඩියාවක් සිදු කරන අතරතුරදී එහි තිබූ ජනේලයක් ඉවත් කිරීමට බිත්තියක කොටසක් කඩා ඉවත් කරමින් සිටියදී ඊට ඉහළින් තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් මෙසේ පෙදරේරුවාගේ සහ කම්කරුවාගේ සිරුර මතට වැටී ඊට යට වී අනතුරට ලක්ව තිබිණි. සිද්ධියත් සමග ආයතනයේ සේවකයන් විසින් කඩිනමින් ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් පෙදරේරුවා මෙසේ මියගොස් තිබේ. අනතුරට පත් කම්කරුවාගේ පාදයක් බිඳී ගොස් ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවත් ඔහු ශල්‍යකර්මයකට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


රජීව් ඝාතනයට සිරදඬුවම් ලැබ නිදහස් වූ සාන්තන් මිය යයි


ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාව යටතේ දශක තුනකට අධික කාලයක් එරට බන්ධනාගාරගතව සිට 2022 වසරේදී නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වන ටී සුතෙන්ද්‍රරාජා හෙවත් සාන්තන් චෙන්නායි නුවර රජිව් ගාන්ධි රජයේ රොහලේදී ඊයේ (28දා) අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි. මෙම මාසය මුලදී අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සාන්තන් මෙලෙස රෝහල් ගත කර තිබී ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් මෙම මරණයට හේතුව ලෙස අනාවරණය වී තිබේ.

56 හැවිරිදි සාන්තන් ඇතුළුව මෙම ඝාතන චෝදනාවට ලක්වූ 7 දෙනෙකු 2022 වසරේදී නිදහස ලැබූ නමුත්, සාන්තන් සහ තවත් අයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමේ බාධා පැවතුණි. ඒ අනුව ඔවුන් ට්‍රිහි කඳවුරක රඳවා තබා තිබුණි.

මේ කාලයේදී සාන්තන්ගේ මවද ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව ඉන්දියානු විදේශීය කලාප ලියාපදිංචි කාර්යාලය පසුගිය සතියේදී කඩිනමින්ම ඔහුව ලංකාවට ආපසු එවීම සඳහා අවසර ලබාදී තිබුණි. 

සාන්තන් අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බවත්, අවසන් කටයුතු සඳහා ඔහුගේ දේහය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු සකස් කෙරි ඇති බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසයි.

රොනී අවසන් කටයුතු හෙට රුහුණු සරසවි බිමේදී




ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී හෙට (1) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තුවට රැගෙන යෑමට කෙරුණු ඉල්ලීමක් රොනීද මැල් මහතාගේ අවසන් කැමැත්තට ගරු කරමින් සංවිධායක මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය.

දේහය කොළඹ 3 චාල්ස් රිය මඟ අංක 5 දරන ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරිණ.දේහය රැගත් ආදාහන පෙරහර අද (29) පස්වරු 2.00ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර වැල්ලමඩමේ රුහුණ විශ්වවිද්‍යාලයට රැගෙන යෑමට නියමිතය. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන සහ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය සමන් චන්දන එදිරිවීර මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය විසින් එහිදී දේහය බාර ගැනෙණු ඇත.

අනතුරුව රොනී ද මැල් මහතාගේ දේහය රුහුණ විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනය අසල විශේෂ ශාලාවේ මහජන සහ සිසු ගෞරවය සඳහා තැන්පත් කෙරේ. පසුදින එනම් මාර්තු 1 වැනිදා දේහය අවමඟුල් පෙරහරකින් රුහුණ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයට රැගෙන යෑමට නියමිතය. පස්වරු 4.00ට බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අවසන් කටයුතු කෙරෙනු ඇත.රොනීද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී පෙරේදා (27) රාත්‍රී අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.

සුජිත් හේවාජුලිගේ

වෙඩික්කරු ආ යතුරුපැදියේ පැදිකරු එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

 



මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවිසලක හිමිකරුට වෙඩිතබා ඝාතනය කිරීමට වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු වන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකු සූරියවැව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය සමග ඊයේ (28) අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.සැකකරු සූරියවැව ආඬිගම වැව අසල වාඩියක සැඟව සිට ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි.එම වෙඩි හුවමාරුවෙන් වෙඩි වැදී මියගොස් ඇත්තේ ගබ්බලගේ නුවන් ලක්ෂිත හෙවත් ලක්ෂිත නමැත්තෙකි. දකුණු කණුමුල්දෙනිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු 45 හැවිරිදිය. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති බව එම බළකාය කියයි.

සැකකරු මියගිය ස්ථානයේ තිබී රිවෝල්වරයක්,යතුරුපැදියක් සහ සැකකරුගේ මුදල් පසුම්බියද සොයාගැනීමට හැකිවී තිබේ.මියගිය පුද්ගලයා යුද හමුදාවේ ලාන්ස්  කෝප්‍රල්වරයකු ලෙස සේවය කර ඉකුත් ජනවාරි 15 වැනිදා විශ්‍රාම ලබා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.මහබාගේ මස් අලෙවිසලේ හිමිකරු ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු වන යුදහමුදාවේ සක්‍රීය සේවයේ සිටි සැකකරු සහ තවත් හිටපු යුද හමුදා සාමාජිකයෙක් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබීය.එම ඝාතන සිද්ධියේ යතුරුපැදිය පැදවූ හිටපු හමුදා සෙබළා සිය බිරියගේ නිවෙස පිහිටි හක්මන ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටි බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේඋපදෙස් පරිදි විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

විශේෂ කාර්ය බළකායට ලැබුණු විශ්වාසදායී බුද්ධි තොරතුරක් මත ඊයේ (28) අලුයම් 5.30 ට පමණ සැකකරු සැඟවී සිටි සූරියවැව ආඬිගම වැව අසල වාඩිය වැටලූ අවස්ථාවේදී සැකකරු ක්ෂණිකව ගිනි අවියකින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදී නිලධාරින් ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.එහිදී වෙඩි වැදුණු සැකකරු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත් වී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.

එම වෙඩි හුවමාරුවේදී විශේෂ කාර්ය බළකා නිලධාරියකු ද තුවාල ලබා ඇති අතර, ඔහු සූරියවැව රෝහලට ඇතුළත් කර ඇත. වෙඩි වැදී මියගිය සැකකරු කොස්ගොඩ සුජි නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙයවීම යටතේ ඉකුත් ජූනි මාසයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන විදුර නමැත්තාගේ මස්සිනා වන දුලාජ් නමැත්තාට සීනිගම දේවාලය අසලදී වෙඩි තැබීම, ඉකුත් අගෝස්තු මාසයේ දිනක වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තැබීම සහ මහබාගේ මස් අලෙවිසල් හිමියා ඝාතනය කිරීම යන අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු බව අනාවරණයවී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි. සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

 ගයාන් සූරියආරච්චි

පෝදා අල්ලපු ගෙදර බළලා මරලා - සැකකරුගේ මොළේ පිරික්සන්න උසාවි නියෝග

 



අසල්වැසි නිවසේ බළලාට පොහොය දවසේ දී මැරෙනතුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරික්ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (28) නියම කළේය.මොළේ ආබාධයක් නැති අයෙකුට සතකුට මැරෙනතුරු පහර දීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් සැකකරුගේ මොළේ පරික්ෂා කර ගැනීම ඔහුට පැවරු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.  මොළේ පරීක්ෂා කරගැනීම ඔහුටම පවරමින් මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ රාගම තේවත්තේ පදිංචි අතුල කීර්තිරත්න නමැත්තෙකි. ‘සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය’ සංවිධානය රාගම පොලිසියට කළ  පැමිණිල්ලක විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු රාගම පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් රාගම පොලිසියේ කොස්තාපල් මහින්ද මහතා සැකකරු රාගම තේවත්තේ පදිංචිකරුවකු බවත් ඔහුගේ අසල්වැසි නිවසේ පදිංචි සචිනි මිහිරංගි නමැත්තියගේ නිවසේ සුරතලයට ඇති කළ බළලා පසුගිය 23 වැනිදා උදේ කාලයේ නිවසින් අතුරුදන්ව ඇති බවත් බළලා පිළිබඳ සෙවීමේදී අසල්වැසි නිවසේ පදිංචි අතුල නමැති සැකකරුගේ නිවස දෙසින් ‘කැවුම් දෙන්නම්' කියමින් සතකුට පහර දෙන අයුරු ඇසී අපේ පූසාට ද ගැහැව්වේ කියා විමසූ විට 'නැහැ කළු පූසාට ගැහුවේ' යනුවෙන් පවසා ඇතැයි ද කීය. 

පසුව සොයා බැලීමේ දී සචිනි මිහිරංගි නමැත්තියගේ නිවසේ සුරතලයට ඇති කළ බළලාට සැකකරු පහර දී මරා දමා ඇති බව සොයාගෙන ඇතැයි කී කොස්තාපල් මහින්ද මහතා විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත්තේ යැයි ද කීය.‘සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය’ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෞම්‍ය පෙරේරා මහතා කරුණු දක්වමින් සැකකරු සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත යටතේ වරදක් කර ඇතැයි සතුන්ට හිංසා කරන මෙවැනි පුද්ගලයන්ට දැඩි පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.

සැකකරු  වෙනුවෙන් පෙනී  සිටි නීතිඥ හිලේරියන් ගුණවර්ධන මහතා කරුණු දක්වමින් අහිංසකයකු වන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක් වටිනා ඇපකරුවකුගේ ශරීර ඇපයක් මත සැකකරු මුදාහල මහේස්ත්‍රාත්වරයා ඇප තැබීමෙන් අනතුරුව රාගම රෝහලේ මානසික වෛද්‍ය අංශයට ගොස් තමන්ගේ මානසික තත්වය පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ලබන අප්‍රේල් 5 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරිමට සැකකරුට නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර

Wednesday, February 28, 2024

පැමිණිල්ලකට පොලිසි ගේනවානම් හේතු දන්වන්න චක්‍රලේඛයක්

පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ගැනීමට පුද්ගලයකු පොලීසියට කැඳවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ඔහුට දැනුම් දෙන විධිවිධාන අඩංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (27) පොරොන්දු විය.

බලශක්ති විශේෂඥ එම්.පී. රළපනාව මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා එලෙස පොරොන්දු විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

බලශක්ති විශේෂඥ එම්.පී. එම්.පී. රළපනාව මහතා ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

පෙත්සම්කාර බලශක්ති විශේෂඥ එම්.පී. රළපනාව මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් තමන් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ගැනීමට පොලීසියට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් බවද සඳහන් කර තිබේ.

ප්‍රකාශයක් ගැනීමට තමන් පොලීසියට කැඳවීම තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එය නීතියට පටහැනි බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශයක් කරන ලෙසත් ඉල්ලා සිටින පෙත්සම්කරු මෙවැනි අවස්ථාවකදී පොලිසිය අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා කරුණු දක්වමින් අදාළ මාර්ගෝපදේශ මාලාව සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට තම සේවාදායකයා බලාපොරොත්තු වන බවත් පෙත්සම්කරු මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පොරොන්දු විය යුතු බවත් පැවසීය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊට පිළිතුරු දෙමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් උපදෙස් ලබාගත යුතු බවත් ඊට පෙර කීය.

වගඋත්තරකාර දෙපාර්ශ්වය ඊට එකගත්වය පළ කිරීමෙන් අනතුරුව පෙත්සම මැයි 09 වැනිදා කැඳවීමට නියම කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර වගඋත්තරකරු වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද වික්‍රම මහතා පෙනී සිටියේය.



රන්ජන් කටුගම්පොළ


දේශබන්දුගේ පත්වීම් ලිපි උසාවිය ඉල්ලයි

 


වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරිමට අදාළ සියලු ලිපි ලේඛන ලබන අප්‍රේල් 02 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ඇතුළු සියලු පාරිශ්වකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) දැනුම් දුන්නේය. වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස දැනුම් දුන්නේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප්‍රීති පද්මන් සුරසේන, මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන හමහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලිණි.මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන්

එවකට වැඩබලන පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් නම් කනු ලැබ සිටියහ.පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි පැවැසීය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු දක්වමින් මෙම පෙත්සමේ විෂය පථයට අදාළ පත්වීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නොවන බැවින්, මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවස්ථාව ලබා දිය යුතු යැයි කීය. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියටපත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයන් ඉදිරිපත් කළ පෙත්සම අනෙක් පෙත්සම්වලට වඩා වෙනස් බවත් එම පෙත්සමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්වීම ස්ථිර කළ පසුද කටයුතු කළ යුතු ආකාරය පැහැදිලිව සඳහන් කර ඇති බවත් පැවසීය. 

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට අදාළව ව්‍යවස්ථාදායක සභාවේ තීන්දු, තීරණ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට විරෝධය පළ කළ බව තමාට දැනගන්නට ලැබී ඇති බවත් කී ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට අදාළව ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණයට පදනම් වූ ලේඛන කිසිවක් මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර නැතැයි දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට අදාළව ව්‍යවස්ථාදායක සභාවේ තීන්දු තීරණ අඩංගු ලේඛන අප්‍රේල් 02 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට සියලු පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නේය.

රන්ජන් කටුගම්පොළ


'ගංගල්ගුල්ලා’ අවුරුදු 84කට පසු හමුවෙයි

Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන 'ගංගල්ගුල්ලා' (Freshwater Moray) මත්ස්‍ය විශේෂය වසර 84කට පසු මෙරටින් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම මත්ස්‍ය විශේෂයේ නිදර්ශකයක් ගිං ගඟෙහි වක්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා කිරීමට හිරණ්‍ය සුදසිංහ(බර්න් විශ්වවිද්‍යාලය), තරිඳු රණසිංහ (Wild lsland Foundation) සහ ස්විට්සර්ලන්ත ජාතික ලූකාස් රූබර්(බර්න් ස්වභාව විද්‍යා කෞතුකාගාරය) යන පර්යේෂණ කණ්ඩායමට හැකියාව ලැබී ඇත. එසේම ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය 23 වැනිදා 'Zootaxa' යන අන්තර්ජාතික විද්‍යාත්මත සඟරාව මගින් ප්‍රකාශයට පත්කර තිබිණි.

පී.ඊ.පී. දැරණියගල මහතා විසින් වර්ෂ 1937 දී රත්නපුර කහන්ගමින් හා දොඩන්ගොඩින් මෙම විශේෂය පළමුව ශ්‍රී ලංකාවෙන් වාර්තාකර තිබූ නමුත් අනතුරුව මෙම විශේෂය නැවත මෙරටින් වාර්තා නොවීය. ඒ අනුව 2021 වර්ෂයේදී වක්වැල්ල ප්‍රදේශයෙන් ධීවරයෙකුට මෙම විශේෂය හමුව තිබූ අතර ගල්ගුල්ලෙකු හඳුනාගැනීම සඳහා ඉහත පර්යේෂණ කණ්ඩායමට යොමු කර තිබිණ. එහිදී මෙම නිදර්ශකයේ ජාන විද්‍යාත්මක ලක්ෂණ විමර්ශනය කිරීමෙන් අනතුරුව එය Gymnothorax polyuranodon යන විශේෂයට අයත් බවට තහවුරු කර තිබේ.

ගල්ගුල්ලන් (Moray) විශේෂ කරදියවාසී වුවද Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන 'ගංගල්ගුල්ලා' (Freshwater Moray) විශේෂයේ වැඩුණු සතුන් සම්පූර්ණයෙන්ම මිරිදියෙන් හමුවීම ඔවුන් අනෙකුත් ගල්ගුල්ලන්ගෙන් වෙනස්වන කැපීපෙනෙන ලක්ෂණයකි.

මෙම විශේෂය ඉන්දුනීසියාවේ සිට ෆීජී දූපත් දක්වා ඇති රටවල මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඝර්මකලාපීය ගංගා ද්‍රෝණිවලින්ද වාර්තා වේ.



නිදර්ශනී වික්‍රමසිංහ


ෆෙස්බුක් චරිත



ට්‍රැක්ලන්තේ ඇතුළේ සිද්ධවෙන අමුතු අමුතු දේවල් අතරින් තවත් කතාවක් අද මාතෘකාව. ෆේස්බුක් එකේ උඩ පහළ යනකොට අපට හම්බෙනවනේ විවිධාකාර චරිත. උදාහරණ ව්දිහට කිව්වොත් මෙන්න මේ වගේ අය,


කී බෝර්ඩ් වීරයෝ - මෙයාලගේ ලක්ෂණ තමයි සිද්ධිය මොකක්ද කින්ද මන්ද දන්නෙත් නෑ පත හෑලි ටයිප් කර කර කාට හරි ඛනින එක අන්තිමට ඒ උන්දැලැ දන්නෙත් නෑ ඇයි මේ බනින්නේ කියලවත්, ආගම, ජාතිය , සදාචාරය, දේශපාලනය වැනි මාකො සහිත පෝස්ට්වලදී තමයි මේ උදවිය දැකගන්න පුළුවන් වෙන්නේ. කී බෝර්ඩ් එක උඩ නැගගෙන ටයිප් කරන මේ අය කමෙන්ට් එක පටන් ගන්නේ බල්ලාගෙන් ඉවර කරන්නේ මැක්කාගෙන්. මේ ලක්ෂණ තියනවා නම් එයා කීබෝඩ් වීරයෙක්


සිඟිති පාතාලේ - මේ අය කලඑළි බහින්නේ ඉස්කෝලේ නිවාඩු කාලෙට වැඩි පිරිසක් ඉන්නේ අවුරුදු 16 ට අඩු ඉකෝලේ යන ඇව්වෝ දොඩම්ගෙඩි දෙකක්වත් උස නැති මේ අයට වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නයාට අඳුකොළ වගේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් කඩු පිහි අමෝරාගෙන එන්නේ. අයියලා අක්කලා අදාළම නෑ. අහන්න ආස්ම රැප් සංගීත‌යි, අමු සින්දුයි . වචන 10 ක් කතා කළොත් ඒ අතරින් පතර ඇසැබි වචනයක් අනිවාර්යයි. බටු ඇටේ වගේ උණාට මොකෝ ඕන වෙලාවක 10 කට ගහන්න තමා කතාව ඒ අයට වඩා පොරක් නෑ. මේ ලක්ෂණ තියනවා නම් සහසුද්දෙන්ම ආයේ දෙකක් නෑ සිඟිති පාතාලෙමයි 


දුක අහන අයියලා - මේ අය පෙනී ඉන්නේ ආදරයෙන් පරාජ්ය වුණ, ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න නංගිලා වෙනුවෙන් උදව්වක් ඕන වුණ ගමන් ඕනෑම නංගි කෙනකුට උදව් කරන්න දිවි හිමියෙන් කැඞී සිටින සෙට් එකක් තමයි මේ. හදිස්සියේ හරි ඇහැට කනට පේන කෙල්ලෙක් දුක පෝස්ට් එකක් ෂෙයා කරපු ගමන් මේ අයියලාගේ හිත උණු වෙලා යනවා. ගැහැනු ළමයි වෙනුවෙන්මයි දෙයියෝ විසින් එහෙම අයියලාව මවලා තියෙන්නේ. අනේ වාසනාවන්.


අවධාන පීපල්ස් - මෙයාලගේ ප්‍රධාන පරමාර්ථය අවධානය ලබා ගන්න එක හොඳින් හරි නරකින් හරි අවධානේ ගන්න එක තමයි මෙයාලගේ එකම සතුට ෆොටෝ එකක් ෆේස්බුක් දාලා අවධානේ මදි වගේ නම් බොහොම අඩුවෙන් රෙදි යොදාගනිමින් නිර්මාණය කරපු ඇඳුමක් ඇදන් ෆොටෝස් දාලා අවධානය ගන්නවා.


ප්‍රදර්ශන පීපල්ස් - මෙයාලට ඕනේ හැමදේම ප්‍රදර්ශනය කරන්න. ඇඳේ එහා පැත්තේ නිදාගෙන ඉන්න වයිෆ්ට ෆේස් බුක් එකෙන් හැපි බර්ත්ගේ විෂ් එක දානවා. මදද්රිස් ඬේ එකට කුස්සිය පැත්ත පළාතේ යන්නැති උදවිය අම්මට විෂ් කරලා ෆේස්බුක් එකේ උදේ පාන්දරම දානවා හැපි මදර්ස් මදර්ස් ඩේ කියලා වැසිකිළියට ගියත් කඩේට ගියත් ෆේස්බුක් දානවා තව අය ඉන්නවා තමන් තමයි පොර කියලා පොර මානසිකත්වය ප්‍රදර්ශනය කරන්න උත්සහ ගන්න අය. තමන් තමා මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා කියලා හිතන් ඉන්න අය, බුද්ධිමත්ම කෙනා කියලා හිතන් ඉන්න අය, උපාසක තැනත්තා කියලා ප්‍රදර්ශනය කරන්න උත්සහ කරන අය ඕන තරම් ඉතින්.

ඇත්තටම ෆෙස්බුක් තියෙන්නේ මොකටද? මාර්ක් අයියා මේක හැදුවේ නම් දේශසීමා ඉක්මවා ගිහින් අලුත් මිතුරු මිතුරියන් දැන හඳුන ගන්න, විනෝදාස්වාදයට අමතරව පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. තවත් අය මේක හරිම වටිනා ලෙස පාවිච්චි කරනවා දැනුම බෙදා හදා ගන්න, ව්‍යාපාර දියුණු කරගන්න, සමාජ තොරතුරු සන්නිවේදනයට වගේ දේවල්වලට ට්‍රැක්ලන්තේ වැසියන්ට මේක තනිකරම නාඩගම් මඩුවක් කොහේ ගියත් ආතල් ගන්න බලන් ඉන්න ට්‍රැක් ලන්තවාසීන්ට තැනක් නොතැනක් නෑ ඉතින් මෙව්වට බුද්ධින් අපිත් විවිධාකාර මිනිස්සුන්ගේ විවිධාකාර නාඩගම් බල බල බුකිය පුරා ඉහළට පහළට යනවා. 


උණුසුමේ බලපෑම දිස්ත්‍රික්ක 9කට

දිස්ත්‍රික්ක නවයක ඇතැම් ස්ථානවල අද (28දා) මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය පැවැතිය හැකි බවත් මේ නිසා අදාළ දිස්ත්‍රික්වල වැඩිහිටි හා රෝගී ජනතාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් පවසන එම මධ්‍යස්ථානය කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් ඉල්ලා සිටියි.

වැඩබිම් තුළ සේවය කරන පිරිස් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ මගින් ලබාගත් වායු ගෝලීය ආර්ද්‍රතාව සහා උපරිම උෂ්ණත්ව අගය යොදා ගනිම්න් සකස් කළ උණුසුම් දර්ශකයට අනුව මෙම ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වයන් පිළිබඳ අගයන් සකස් කර තිබේ.

මෙම දර්ශකයට අනුව 27 - 38 දක්වා අගය සාමාන්‍ය තත්වයක් ලෙස සලකන අතර 39 - 45 දක්වා අගය අවධානය යොමුකළ යුතු මට්මේ පවතී. 46 -52 අතර අගය වැඩි අවධානය යොමුකළ යුතු මට්මේ පවතින අතර 52ට වැඩි වන අවස්ථාවලදී අනතුරුදායක තත්ත්වයක් ලෙස සලකනු ලබයි. මෙම අගයන් වායු ගෝලීය උෂ්ණත්වය නොවන බවත්, මෙය ශරීරයට දැනෙන තත්වයක් බවත්, අවධානය යොමුකළ යුතු මට්ටමේදී වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් තෙහෙට්ටු විය හැකි බවත්, තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස්පිඩු පෙරළීම සිදුවිය හැකි බවත් පෙන්වා දෙයි.  අද (28දා) කොළඹ හා රත්නපුර නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් දක්වාත්, මන්නාරම් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 දක්වාත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් ලෙසත්, මහනුවර නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් හා මඩකලපුව නගරයේ උෂ්ණත්වය සෙලසියස් අංශක 30ක් ලෙස පැවතිය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නුවරඑලිය නගරයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13ක් ලෙසත් උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 21ක් ලෙසත් අද පැවැතිය හැකි බවත්, ඊයේ (27දා) කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් ලෙස පැවැති බවත් සඳහන් කරයි.

ඊයේ(27දා) රත්නපුර නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් ලෙස පැවැති බවත්, අනුරාධපුර, ගාල්ල නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් ලෙස පැවැති බවත් පෙන්වා දෙයි.

අද(28දා) නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි විය හැකි බවත්, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක .මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු- මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට සුළඟේ වේගය පැ.කි.මී. 30-40 දක්වා ඉහළ යා හැකි හෙයින්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.



ඉන්දික හේවාවිතාරණ


ලිංගිකත්වය ගැන අධ්‍යාපනය ලබාදීමට නව ප්‍රකාශන එළිදැක්වීම මාර්තු 07දා

ලබන මාර්තු මස 7 වැනි දින පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීම සදහා සම්පාදනය කළ නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට කටයුතු යොදා ඇති බව ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේදී අනාවරණය විය. 

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු මේ බව පැවසූහ.

පර්යේෂණ මත තහවුරු වී ඇති ශ්‍රී ලංකාවේ ගැටලු රැසකට පාදක වී ඇති පුද්ගලයන්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ අල්ප දැනුම වර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශ්න සකස්වී ඇති බව නිලධාහු සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළහ.

පෙරපාසල් දරුවාගේ සිට 13වැනි ශ්‍රේණියේ පාසල් දරුවත් දක්වා මෙන්ම වැඩිහිටි ප්‍රජාව උදෙසා මෙලෙස එම අධ්‍යාපන ප්‍රකාශන සකස් කර ඇත.

මෙම ලිංගිකත්වය පිළිබද අධ්‍යාපන ප්‍රකාශන, අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය හා අනුමැතිය යටතේ අදාළ ක්‍ෂේත්‍රවල විශේෂඥයන් විසින් සම්පාදනය කර ඇති බව නිලධාහු සංසදයට පැවසූහ.

පළමු අදියර යටතේ මෙම ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන E ප්‍රකාශන ලෙස ලබාදීමට යෝජනා කර ඇත. ඒ අනුව මෙලෙස සමාජයේ සියලුම වයස් කාණ්ඩ සඳහා විධිමත් ලෙස ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාදීම ඔස්සේ සමාජයේ මතුවෙමින් පවතින අර්බුද රැසක් සමනය කරගත හැකි බව මෙන්ම පාසල් දරුවා වඩාත් සුරක්ෂිත කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව නිලධාරීහු සංසදය හමුවේ අවධාරණ කළහ.



දිනේෂ් සමරකෝන්


පාන් 25%කින් කේක් 50%කින් අලෙවිය පහතට

පාන් 25%කින් සහ කේක් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහත වැටී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ මට්ටමක පැවතීම අළෙවිය පහත වැටීමට හේතු වී ඇතැයිද ඔහු පවසයි.

මේ වන විට මාගරින් කිලෝවක් රුපියල් 1,000ක් සහ බටර් කිලෝවක් රුපියල් 3,000ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවත් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර බේකරිවලට ලබා නොදීම නිසා බිත්තර මාෆියාව හමුවේ දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා වැඩිවීමත් හේතුවෙන් බේකරි කර්මාන්තයට දැඩි පහරක් වැදී ඇතැයි සභාපතිවරයා පවසයි. 

එබැවින් එළැඹෙන සිංහල අවුරුද්දට පෙර බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය බද්දෙන් නිදහස් කර, බිත්තර මිල පහත දැමීමට කටයුතු කර, පාර්භෝගික ජනතාවට සහන සැලසීමට රජය පියවර ගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.



දෙවලපොළ කීර්ති ප්‍රනාන්දු


ලක්සිත සෙවණේ සෝපාන කුහරයට නිවැසියෙක් බිලි

 



මාලිගාවත්ත ලක්සිත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 11 වැනි මහලේ විදුලි සෝපානයේ කුහරය තුළ සිට බිම් මහලේ විදුලි සෝපානය මතට ඇද වැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත, ලක්සිත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිට කුලී වැඩවල නිරත මොහොමඩ් නජිම් මොහොමඩ් ඉර්ෂාඩ් (36) නමැත්තෙකි.

මියගිය තැනැත්තා ඔහු තාවකාලිකව පදිංචිව සිටින ඥාතියාගේ නිවසට පැමිණෙමින් සිටියදී නිවාස සංකීර්ණයේ බිම් මහලේ පවිත්‍රතා කටයුතු සිදුකරන මියගිය අයගේ හිතවතෙකු මුණගැසී ඇති අතර මහල් නිවාස සංකීර්ණයේ නිවෙස්වල අපද්‍රව්‍ය රැගෙන ඒමට භාවිත කරනු ලබන විදුලි සෝපානය අක්‍රිය වී ඇති බව මියගිය තැනැත්තාට පවසා තිබූ බව පොලිසිය කීය.මියගිය තැනැත්තා එම කාර්මික දෝෂය පරීක්ෂා කිරීමට නිවාස සංකීර්ණයේ 11වැනි මහලට ගොස් එම විදුලි සෝපානය පරික්ෂා කිරිම සඳහා අක්‍රිය තත්වයක් ඇති වූ විට විදුලි සෝපානයේ දොර විවෘත කිරීම සඳහා භාවිත කරනු ලබන යතුර උපයෝගී කර ගනිමින් විදුලි සෝපාන දොර විවෘත කිරීමෙන් අනතුරුව විදුලි සෝපානය එකොළොස්වන මහලේ නැවතී ඇතැයි සිතා එයට ඇතුළු වීමට තැත් කිරීමේදී සෝපාන කුහරයෙන් බිම් මහලේ නැවතී තිබූ විදුලි සෝපානය මතට වැටී බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. 

වහා ක්‍රියාත්මක වූ මියගිය තැනැත්තාගේ මිතුරා ඇතුළු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් තුවාල ලබා සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබූ අතර මූලික ප්‍රතිකාර ඒකකයේදී වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මිය ගොස් ඇති බවට දැනුම් දී තිබූ බව පොලිසිය කීය.මියගිය පුද්ගලයා සමග එම අවස්ථාවේ රැඳී සිටි ඔහුගේ මිතුරා සහ සෝපානයේ යතුර භාරව සිටි පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (26) සිදු කිරීමට නියමිතව තිබිණි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

වැල්ලවත්තේ හෝටලයට වෙඩි

 



ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව  කියන ශිරාන් බාෂික් නමැත්තාට අයත් බව කියන වැල්ලවත්ත මුහුදු මාවතේ හෝටලයකට ඊයේ  (27) අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

වෙඩික්කරුවන් අලුයම 5.30 ට පමණ හෝටලයට වෙඩි ප්‍රහාර අටක් පමණ තබා ඇතැයි කියති. කෙසේ වෙත් මේ සිද්ධියෙන් කිසිවකුටත් හානි සිදුවී නැතැයිද පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැකකරයි.හෝටල් අයිතිකරුගේ පුත්‍රයා සමග ඔහුගේ මිතුරකු ඉකුත් දා හැවලොක්ටවුන් ප්‍රදේශයේදී ගමන් කරමින් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් එම මිතුරා මත්ද්‍රව්‍ය තොගයද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.

ගයාන් සූරියආරච්චි


නඩු පිට නඩු වැටුණු දේශබන්දු පොලිස්පති කරලා

 

චෝදනාවට ලක්වූ අයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස, පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනමතයක් නොමැති ආණ්ඩුව කටයුතු කර ඇතැයි සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැසීය.ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස නීතියට පටහැකිව අවනීතිකව කටයුතු කරන තත්වයක් උද්ගතව ඇතැයිද මහලේකම්වරයා කීය.කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27) පැවැති ජනතාවාදී විපක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවැසීය.මද්දුමබණ්ඩාර මහතා මෙසේද කීය.

රටේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා නීතියට පටහැනිව අවනීතිකව කටයුතු කරන තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරමින් තිබෙනවා. මේ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂවල සහයෝගය ලැබී තිබෙනවා.මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ එත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව කතානායකවරයා ක්‍රියාත්මක කරලා නෑ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ වගන්ති 57 න් 35ක් සංශෝධනය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ඒත් කතානායකවරයා එම වගන්ති වලින් කොටසක් සංශෝධනය නොකර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටුපාලා තිබෙනවා. ඒ සඳහා නීතිපතිවරයා තමන්ට උපදෙස් දුන් බව කතානායකවරයා ප්‍රකාශ කරනවා. නීතිපති කියන්නේ රජයේ නීතිඥයා. 

ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙන්නේ ඊටත් ඉහළින්, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් නීතිපතිවරයාට වෙනස් කරන්න බැ කියලා කතානායකවරයා දන්නේ නෑ. මේ සම්බන්ධයෙන් කතානායකවරයාට විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම කතානායකවරයා සහ ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ව්‍යවස්ථාදායක සභාවේ බලතල උල්ලංගණය කරමින් පොලිස්පති සම්බන්ධයෙන් තීන්දුවත් ලබා දීලා තිබෙනවා.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රටේ පුරවැසියන්ට වධ හිංසා පනවලා තිබෙනව කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙන අවස්ථාවක තමයි පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කරන්නේ. රටේ නීතිය හා සාමය පවත්වාගෙනයාම සිදු කරන්නේ පොලිසිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය උල්ලංඝණය කළ පුද්ගලයකු පොලිසියේ ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් ජනතාවට පොලිසියෙන් ලැබෙන සාධාරණය කුමක්ද කියලා අපි අහනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පාස්කු ඉරිදා කොමිෂන් සභාවෙනුත් චෝදනා කිහිපයක් එල්ල වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා චෝදනාවට ල නොවූ නීතිගරුක පුද්ගලයෙකු විය යුතුයි.හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙසේ කීය.ශ්‍රී ලංකාවේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කළ බව රජය ප්‍රකාශයට පත් කළා. මේ පත්වීම කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. ජනාධිපතිවරයාට මෙම පත්වීම කිරීමට හැකි වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාවේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවෙන් ලැබුණේ ඡන්ද 4ක් පමණයි. නමුත් එම තීරණය බලාත්මක වීමට ඡන්ද 5 ක් අවශ්‍යයි. පස්වැනි ඡන්දය ලැබුණේ කතානායකවරයාගෙන්, නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායකවරයාට ඡන්දය ලබා දීමට හැකියාවක් තිබුණේ නෑ. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඉ වගන්තියේ 5 වන ඡේදයේ සඳහන් වෙනවා.ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාට නැති ඡන්දයක් භාවිත කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කතානායකවරයා උල්ලංඝණය කළා. ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයාට ඡන්දය දීමට හැකි වන්නේ සම සමව ඡන්දය බෙදුන අවස්ථාවකදී පමණයි. ඒ අනුව කතානායකවරයා ඍජුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා පමණක් නොවෙයි ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කළා. පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම අනුමත කළ බව ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා. ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා කළේ සාවද්‍ය ප්‍රකාශයක්. පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතියක් ලැබුණේ නෑ. කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංගණය කළා සේම ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමේ වරදට වගකිව යුතුයි. ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයාටත් විරුද්ධව අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා.

නිමල කොඩිතුවක්කු


Tuesday, February 27, 2024

තද රස්නයෙන් බේරෙන්න සිසුන්ට සෞඛ්‍යයෙන් උපදෙස්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදේශන මාලාවක් නිකුත් කර ඇත.

එම උපදේශන මාලාවට අනුව අධික උෂ්ණත්වයක් සහිත දිනවල සිසුන් එළිමහනේ සහ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකී සිටිය යුතුය.

මීට අමතරව සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම සහ ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු අතර වැඩිපුර ජලය පානය කිරීමට සහ ඔවුන්ගේ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩා සුදුසු බවද එම උපදේශන මාලාවේ සඳහන්වේ.

පාසල් සිසුන් දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේදී සහ අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පන්ති කාමරයෙන් පිටතට ගෙන යාමෙන් වැළකිය යුතු අතර අධික උෂ්ණත්ව සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බවද එම උපදේශන මාලාවේ සඳහන්වේ. 

තවද සිසුන්ට අවශ්‍ය තරම් බීමට ජලය සැපයීම හා වැඩිපුර පිරිසුදු ජලය පානය කිරීම සඳහා ඔවුන් යොමු කිරීම කළ යුතු අතර පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා විකල්ප ක්‍රම යොදා ගත යුතු බවද එම උපදේශන මාලාවේ සඳහන්වේ.

පාසල් පන්ති කාමරවලට හොඳින් වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබීම අවශ්‍ය වන අතර විදුලි පංකා භාවිතා කරන්නේ නම් පිරිසුදු වාතාශ්‍රය ලැබීම සඳහා දොර ජනෙල් අනිවාර්යයෙන්ම විවෘත කළ යුතු බවද තට්ටු ගොඩනැගිලි, ටකරන් වහල සහිත අධික උෂ්ණත්වයක් ඇති ගොඩනැගිලි වල තිබෙන පන්ති කාමර සුදුසු වෙනත් තාවකාලික ස්ථානවලට රැගෙන යායුතු බවද උපදේශ මාලාවේ සඳහන් වේ.

දහදිය දැමීම නිසා ඇතිවෙන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස් පිඩු පෙරළීම සහ අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය, අධික දහඩිය දැමීම, ශරීරයේ අප්‍රාණික බව සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් එම සිසුන් වහාම සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත්කොට සිසිල් ස්ථානයක තබා විවේක ගැන්වීමට සැලැස්විය යුතු බවද එහි සඳහන් වේ.

සෑම සිසුවකුම විනාඩි පහළොවකට වරක් වතුර වීදුරු භාගය බැගින් පානය කිරීම සුදුසු බවද උපදේශන මාලාවේ සඳහන්වේ.

අධික උෂ්ණත්වය නිසා සිසුන් බොහෝ සේ ගිලන් වන්නේ නම් එවැනි අවස්ථාවකදී ඔවුන් සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත් කොට සිසිල් ස්ථානයක විවේක ගැන්වීමට සලස්වා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට ලබා දී 1990 සුවසැරිය ගෙන්වා රෝහල්ගත කළ යුතු බවද උපදේශන මාලාවේ සඳහන්වේ.


රංජන් කස්තුරි


සැමියාගේ මිනිය ගෙයි තියාගෙන බිරිය දවස් 3ක් දොර වහගෙන

මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් නිවෙසේ තබාගෙන සිටි කාන්තාවක එහි දොරවල් කඩා ඉවතට ගත් බව පානදුර ඳකුණ පොලිසිය පවසයි.

පානදුර, ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීණයේ අඹුසැමි යුවළක් පදිංචි නිවෙසකින් අධික දුගඳක් හමන බවට පෙරේදා (25) රාත්‍රි පානදුර දකුණ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත.

පොලිස් කණ්ඩායම නිවෙසට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී ඇඳක් මත මුනින් අතට තිබූ මළ සිරුර සොයාගත් බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, ඇටඹගොඩවත්ත, ජනජය නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

මියගොස් ඇති පුද්ගලයාගේ බිරිය කිසියම් මානසික රෝග තත්වයකින් පෙළෙන බවට සැක කෙරෙන බව පොලිසිය පවසයි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු එදින රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළහ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලට රැගෙන යනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් පරීක්ෂක නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරික්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.


පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්


දෙවියෙක් වගේ හිටිය මහත්තයා මරන්න කාටද ඕනෑ වුණේ?

කුරා කූඹියෙකුටවත් වරදක් නොකළ මගේ මහත්තයාට මෙහෙම අපරාදයක් කළේ කවුද දෙවියනේ. දෙවියකු වගේ හිටිය මහත්තයා මරන්න කාටද ඕනෑවුණේ යැයි සාහසික වෙඩි පහරින් මිය ගිය කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ බිරිය වන ඇල්පිටිය ඇල්ල ශාසනචන්ද විදුහලේ ආචාරිණී අයිෂිකා ඉන්දුනී කාහිංගල මහත්මිය හඬා වැළපෙමින් කීවාය.

මගේ මහත්තයා දරු තුන් දෙනාට පණ වගේ ආදරෙයි. අනේ මගේ දරු පැවටු තුන්දෙනා දැන් කොහොමද දෙවියනේ මේ තාත්තා නැතිව ඉන්නේ. අපි හරිම නිදහසින් අපේ පාඩුවේ ජීවත් වුනේ. මගේ දරුවන්ට දැන් තාත්තා කෙනෙක් කෝ?. ඇය හඬා වැලපෙන්නේ මුළු කුරුඳුගහහැතැප්ම ඉසව්වම කම්පා කරමිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරට ඊයේ දවසේ විශේෂ රාජකාරියක් පැවරී තිබුණේය. ඒ රාජකාරි කටයුත්තකට එහා ගිය කාර්යයකි. ඒ සිය පවුලේ බඩ පිස්සා වන චූටි පුතු කුරුඳුගහහැතැප්ම විදුහලේ එක වසරට භාරදීමටය.

රොෂාන් කුමාරගේ දරුවෝ දෙදෙනෙක්ම මේ වනවිට පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්ව කොළඹ විදුහල් දෙකක ඉගෙනුම ලබති. දාහතර හැවිරිදි ලොකු දුව කොළඹ විශාකා විදුහලේත් දෙවැනි පුතා කොළඹ ආනන්ද විදුහලේත් අධ්‍යාපනය හදාරති.

බඩ පිස්සාද පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් කරවා ඔහුද අක්කා සහ අයියා මෙන් කොළඹ ලොකු ඉස්කෝලයකට දැමීමේ බලාපොරොත්තුවෙන් රොෂාන් කුමාර හා හා පුරා ගමේ පාසලට භාරදීමට කටයුතු කරමින් සිටියේය.

ඒ සමගම රාජකාරියක් සඳහා යැයි කියමින් යතුරුපැදියෙන් ඔහුගේ නිවෙසට පැමිණි දෙදෙනෙකු ගෙන් එක් අයකු සඟවා සිටි ගිනි අවියෙන් උණ්ඩ හතරක්ම රොෂාන් කුමාරගේ ළය හරහා යැව්වේ ඔහු සදහටම සිය නිවස තුළම නිහඬ කරවමිනි.

ඝාතනය වූ රොෂාන් කුමාර කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරිකෂකවරයා පමණක්ම නොවේ. ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාද වෙයි.

කරන්දෙණිය කුරුඳුගහහැතැප්ම, දිවිතුර පාර සිය නිවෙසේදී නාඳුනන තුවක්කුකරුවන්ගේ බිල්ලක් වීමට හේතුව මේ වනවිට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

ඒ ඔහු ඝාතනය කිරීමට තරම් හේතුවක හෝඩුවාවක් වත් නොතිබෙන නිසාය.

නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් මිය ගිය රොෂාන් කුමාරගේ බිරිය වන අයිෂිකා ඉන්දුනී ගුරු මහත්මිය හඬමින් වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.

මහත්තයා රාජකාරිය දේවකාරියක් කරගෙන ජීවත්වුණු කෙනෙක්. නීතිය හරියටම අකුරටම කළා. කාගෙන්වත් කාටවත් දොසක් කියන්න රාජකාරිය කළේ නැහැ. රාජකාරි කරන තැන්වල අයත් එයත් එක්ක බඩ බැඳගත්ත වගෙයි. ඒ අයත් සමග සහෝදරයන් වගෙයි ජීවත්වුණේ.

ගෙදර දොරේ වැඩ කටයුතුත් නොපිරිහෙලා කළා. මොනම දෙයකින්වත් අඩුපාඩු කළේ නැහැ. අද එයා හරිම සතුටින් හිටියේ පොඩි පුතා පාසලට භාර දෙන මුල් දවස නිසා. නිතරම කිව්වේ දරුවන්ට හොඳට උගන්වන්න ඕනෑයි කියලයි. මොන දුකක් විඳලා හරි අපි දරුවන්ගේ ඇස් පාදමු කියලා එයා නිතරම කිව්වා.

එයා කවදාවත්ම කාටවත්ම වැරැද්දක් කරන කෙනෙක් නම් නෙමෙයි. මේ මුළු ගමම ඒකට සාක්ෂි කියයි.

මේක මහා මහ පොළොව නුහුලන අපරාධයක්. මගේ මහත්තයාට මෙහෙම දෙයක් කරන්න කාටද වුවමනා වුණේ. මොන හේතුවකටද ? මම නම් හිතන්නේ මේක වැරදිලා කරපු එකක් කියල යැයි ඇය නොනවත්වාම කියාගෙන ගියේ අසල සිටි අයගේද දෙඇස් කඳුළින් තෙත් කරවමිනි.

ඇයට මෙන්ම අවට අයටද පොලිසියටද මෙම ඝාතනය විශාල ගැටලුවක් වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර දැනගන්නට තරම් වරදක් කළ අයකු නොවන නිසාය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර රාජකාරියට ගියවිට අත යට මුදලට නීතිය කිසි විටෙකවත් නොනැව්වේය. නීතිය හරියටම කළේය.

කාටවත් කරදරයක් නොවූ ඔහු ගත් වැටුපට ණයක් නොවී රාජකාරි කළ ඝාතනයට හේතුවත්, ඝාතකයන් කවුදැයි යන්නත් ඉදිරියේදී හෙළිවන තෙක් එය අබිරහසක්ව පවතිනු ඇත.


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා


වැඩකාරකමට ඇවිත් ලක්ෂ 55ක රන්බඩු උස්සලා

නුගේගොඩ, ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පාරේ ව්‍යාපාරික නිවසක මෙහෙකාරියක ලෙස සිට රුපියල් ලක්ෂ 55 අධික වටිනා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් සැඟව සිටි කාන්තාව සහ ඇයගේ මිතුරිය අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

සැකකාරිය එම නිවසින් පවුම් 34 ක් බර රන් වළලු 7 ක්, මුදු 5 ක්, අත්පලඳනා 1 ක්, හා කරාබු ජෝඩු 2 ක් සොරාගෙන ගොස් තිබිණි.

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී එම නිවසේ මෙහෙකාරිය ලෙස සේවයට පැමිණ තිබූ ඇය අවස්ථා කීපයකදී කාමරයේ අල්මාරියේ දමා තිබූ රන්භාණ්ඩ තොගය සොරාගෙන තිබිණි.

නිවෙස් හිමි කාන්තාව අවශ්‍යතාවක් සඳහා රන් ආභරණ කීපයක් සොයා බැලීමේදී අල්මාරියේ දමා තිබූ සියලුම රන් භාණ්ඩ සොරාගෙන ඇති බවට දැකීමෙන් අනතුරුව පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදීත් සොරාගත් එම රන් භාණ්ඩ කොළඹ ප්‍රදේශයට උකස් තැබූ බව කියන ඇයගේ මිතුරිය කිරුළපන ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

රන් භාණ්ඩ සොයා ගැනීම සඳහා සැකකාරියන්ගේ ප්‍රකාශ මත විමර්ශන සිදු කෙරේ.

මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහතා වැඩිදුර විමර්ශන කරයි.


බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


කන්ටේනර් ලොරි ගැටී ලොරි රියැදුරු මරුට


සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයක් (26) දා අලුයම අධිවේගී මාර්ගයේ කොට්ටාව, කහතුඩුව අතර කිලෝ මීටර් 3.1 කිලෝ මීටර් කණුව අසලදී 26 දා අලුයම සිදුවූ අනතුරකින් කුඩා ලොරි රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එහි රියදුරු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රත්ගම, ගනේගොඩ පදිංචි කමල් සොයිසා නමැති (55) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

මෙම පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ අලෙවිය සඳහා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සැලෙන් මාළු මිලදී ගැනීම සඳහා රත්ගම ප්‍රදේශයේ සිට පෑලියගොඩ දක්වා යාමට කුඩා ලොරි රථයකින් අධිවේගී මාර්ගය හරහා යමින් සිටියදී කොට්ටාව, කහතුඩුව අතර කිලෝ මීටර් 3.1 කිලෝ මීටර් කණුව අසලදී හම්බන්තොට සිට කඩවත දක්වා සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම මාරක රිය අනතුර සිදුව තිබූ බව පැවසේ.

අනතුරු සිදුවීමත් සමග විශේෂ කාර්ය බළකායේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි කුඩා ලොරි රථයේ පැමිණි තිදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 26 දා උදෑසන මෙසේ මියගොස් තිබේ.

අනිත් දෙදෙනාගේ එක් පාදය බැගින් බිඳී ගොස් ඇති අතර අනෙත් පුද්ගලයාගේ හිසට මුහුණට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔවුන් දෙදෙනා ද හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

අනතුරට සම්බන්ධ ලොරි රථ දෙක පොලිස් බාරයට ගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබිණි.

අනතුරට හේතුව කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යාම බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරි වසන්ත කෝරළගේ මහතාගේ උපදෙස් මත අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙය වීමෙන් ගැලනිගම රථ වාහන කොට්ඨාසයේ වැඩ බලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චන්දන මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ


නාමල් ජනපති කරන්න මාතලෙන් යෝජනාවක්

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී පෙරේදා (25) ඒකමතිකව සම්මත වී ඇත. 

කෙසේ වෙතත් මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඒ මහතාගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.

මෙම රැස්වීමට පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ඉන්දික අනුරුද්ධ, ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක යන මන්ත්‍රීවරුන් සමග මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලු දෙනා එහි දී ඒකමතිකව අනුමත කර ඇතැයි ද දැන ගන්නට ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය පාවිච්චි කිරීමෙන් ඉදිරි මැතිවරණවල දී සැලකිය යුතු ජයග්‍රහණවලට යා හැකි බව රැස්ව සිටි බොහෝ දෙනාගේ අදහස වී ඇත. 

මෙම රැස්වීම පැවැත්වුණේ මාතලේ හෝටලයකදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් මට්ටමේ නියෝජිත හමු රටපුරා දිගටම පැවැත්වෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

 

 සුජිත් හේවාජුලිගේ


මීයෙක් ශ්‍රී ලන්කන් යානයක් දින 4ක් නවත්වලා

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේ දී මීයකු රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන විට නවතා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී අර්ජුන කපුගීකියන මහතා ඊයේ (26) පැවසීය.

එම ගුවන් යානය ලාහෝර් නුවර සිට පසුගිය 22 වැනිදා කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බවත් මීයා යානයෙන් ඉවත් කිරීමට දින තුනක කාලයක් ගත වූ බවත් කපුගී කියන මහතා කීය.

එම ගුවන් යානය ලාහෝර් ගුවන් තොටුපළේ නවතා තිබෙන විට මීයකු රිංගා ඇති බවත් මීයා ගුවන් මගියකුගේ බෑගයකින් යානයට එන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.

මීයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් උපදෙස් ගැනීමට සිදු වූ බවත් ගුවන් යානය තුළ ද්‍රව්‍යයක් යොදා මීයා ඉවත් කිරීමට දින තුනක් ගත වූ බවත් ඒ මහතා කීය.

ගුවන් යානයට මීයා හානි කර ඇද්දැයි තාක්‍ෂණ ශිල්පීන් මේ වන විට පරීක්‍ෂා කරමින් සිටින බව ද කපුගීකියන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අත්ව තිබෙන ඉරණම සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම සමාගමේ වෘත්තීය සමිති නායකයන් ඊයේ (26) පස්වරුවේ එකිනෙකාට ඇඟිලි දිගුකර ගනිමින් ගුවන් සමාගමට දේශපාලනඥයන් කළ අපරාධය සාක්‍ෂි සහිතව තමන්ට ඔප්පු කළ හැකි බව ද එහිදී වෘත්තීය සමිති නායකයෝ කීහ.

කටුනායක ගුවන්තොටුපළේ දී පෙරේදා (25) අලුයම ඇතිවූ ව්‍යාකූල තත්වය පිළිබඳව කරුණු විමසීම සඳහා කොළඹ පිහිටි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ දී ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම උණුසුම් තත්වය ඇති විය.

කටුනායක දී පසුගිය ඉරිදා ගුවන් මගීන්ගේ ලේඛන පරීක්‍ෂා කිරීමට සේවකයන් නොමැතිවීමේ සිද්ධියට සේවකයන් වගකිව යුතු මෙන්ම එදින සේවයට වාර්තා නොකර නිවාඩු ගත් සේවකයන්ගේ වැඩ වහාම තහනම් කළ යුතු බවත් කියමින් එම සමාගම සේවකයන් විනාශ කරන්නේ යැයි ද කියමින් අමාත්‍යවරයා අඛණ්ඩව සේවකයන්ට දොස් නඟන්නට විය.

එම විරෝධයට ප්‍රතිචාර දක්වමින් වෘත්තීය සමිති නායකයන් පැවසුවේ එම සමාගමේ සේවකයන් කිසි දිනක සේවය කරන ආයතනය වැටීමට කටයුතු නොකළ බවත් දේශපාලනඥයන් ශ්‍රී ලන්කන් සමාගම විනාශ කළ බවත්ය.

පසුගිය ඉරිදා සිද්ධිය සේවකයන්ගේ දුර්වලතාවෙන් වූ දෙයක් නොවන බව කී වෘත්තිය සමිති නායකයන් පැවසුවේ මගීන්ගේ ලේඛන පරීක්‍ෂා කරන කවුළු 60 කට නිලධාරීන් 35 ක් පමණක් සේවය කිරීම එම ගැටලුවට හේතුව වූ බවය. එවැනි සති අන්තයක නිලධාරීන් 12 ක් නිවාඩු ගැනීම සාමාන්‍ය තත්වයක් බවද කීහ.

ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජනයන් හේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම බිංදුවට වැටී ඇති බව කී අමාත්‍යවරයා ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්න ද භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.

මෙවැනි සිදුවීම් දිගින් දිගටම වීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය ද ඉවත් වන බවත් ගුවන් සමාගමට අවශ්‍ය තරම් සේවකයන් බඳවා ගැනීමට අනුමැතිය දී ඇති බවත් ඒ මහතා කීය.

වෘත්තීය සමිති බොරු පවසන අතර ඔවුන් එම ගුවන් සමාගමට ඇති පිළිගැනීම සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව කී අමාත්‍යවරයා එම ප්‍රශ්නය කාලයක සිට පවතින බව ද පැවසීය.

සාකච්ඡාවේ දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ සමාගම සතුව ප්‍රමාණවත් ගුවන් යානා නොමැති වීම ප්‍රධාන ගැටලුව බවත් පුහුණු සේවකයන් නොමැතිවීම දැඩි ගැටලුවක් බවත්ය.

ගුවන් යානා මිලදී ගැනීමට නිවැරැදි අවස්ථාවේ දී කටයුතු කළ ද එය වැළැක් වූ බව කී සභාපතිවරයා පසුගිය ඉරිදා සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව ද කීය.

සමාගමට අයත් ගුවන් යානා තුනක් කාර්මික දෝෂවලට ලක්වීම එම තත්වයට ඇතිවීමට හේතුව බවත් මෙවැනි දේ වීම ස්වභාවික බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම සාකච්ඡා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සියලුම නිලධාරීන් සහ වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


යොහාන් භාසුර




























මාලිගාවත්ත ලක්සිත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ විදුලි සෝපානය තුළට වැටී අයෙක් මරුට

 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 



මාලිගාවත්ත ලක්සිත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙක් එහි 11වන මහලේ විදුලි සෝපානයේ කුහරය තුළ සිට බිම් මහලේ විදුලි සෝපානය මතට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාලිගාවත්ත පොලීසිය සදහන් කරයි.

කොළඹ 10 මාලිගාවත්ත, ලක්සිත සෙවණ මහල් නිවාස සංකීර්ණය ඒ එෆ් 08/යූ 9 හි තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් නජිම් මොහොමඩ් ඉර්ෂාඩ් (36) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂට පත්ව ඇත. මොහු නිවාස සංකීර්ණයෙහි ඥාතියෙකුගේ නිවසෙහි පදිංචිව සිට ඇති බවත් එසේ අදාළ නිවසට  පැමිණෙමින් සිටියදී නිවාස සංකීර්ණයේ බිම් මහලේ පවිත්‍රතා සේවකයෙකු අපද්‍රව්‍ය රැගෙන ඒමට භාවිත කරනු ලබන විදුලි සෝපානය අක්‍රිය වී ඇති බව මියගිය අයට පවසා තිබූ බව පොලීසිය පවසයි.

එහිදී ඔහු එම කාර්මික දෝෂය පරීක්ෂා කිරීමට නිවාස සංකීර්ණයේ 11වැනි මහලට ගොස් එම විදුලි සෝපානය පරීක්ෂා කිරීමට අක්‍රිය තත්ත්වයක් ඇති වූ විට විදුලි සෝපාතයේ දොර විවෘත කිරීමට භාවිත කරනු ලබන යතුර උපයෝගී කර ගනිමින් විදුලි සෝපාන දොර විවෘත කිරීමෙන් අනතුරුව එයට ඇතුළු වීමට තැත් කිරීමේදී කුහරයෙන් ඇතුළට ඇද වැටී විදුලි සෝපානය නැවතී තිබූ බිම් හලේ විදුලි සෝපානය මතට වැටීමෙන් අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බවට අනාවරණය වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මියගොස් ඇති බවට දැනුම් දී තිබූ බව පොලීසිය සඳහන් කරයි.








ශ්‍රී ලංකන් පවත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවනවා



• නවෝද්‍යා පවනි


ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.මෙරට ගුවන්තොටුපොළ මිලදී ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජන හේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම නැති වී ගිය බවත් ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්නද භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තත්ත්වයකට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

පසුගියදා ගුවන් මගීන් අපහසුතාවට ලක්කළ ගුවන්යානා ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ අමාත්‍යවරයා, එම නිලධාරින්ව දැඩි ලෙස දෝෂදර්ශයට ලක් කළේය. කාර්යමණ්ඩලයේ ප්‍රමාදයන් හේතුවෙන් මෙලෙස මගීන් දැඩි අපහසුතාවකට පත්වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේදී ඊයේ (26දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.



ලග්ගල ගම් කිහිපයක පවුල් 2000කට අධික පිරිසකට තවමත් දුරකථන හා රූපවාහිනී සංඥා නෑ

නාඋල - ඉන්දික අරුණ කුමාර


පවුල් දෙදහසකට ආසන්න පිරිසක් තවමත් ජීවත් වන මාතලේ -ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ රණමුරේ, නාරංගමුව හා ඇටැන්වල ආදී ගම්මාන රැසකට තවමත් නිසි පරිදි දුරකථන සංඥා හෝ රූපවාහිණි සංඥා නොමැති වීමෙන් එම ගම්මානවල පදිංචිකරුවෝ ගැටලු රැසකට මුහුණදී සිටිති.

මොරගහකන්ද හා කළු ගඟ වාරි ව්‍යාපෘති හේතුවෙන් ඉහත කී ගම්මානවල කොටසක් ලග්ගල නගරයට ආසන්නයේ පදිංචි කෙරුණු අතර සෙසු පිරිස් තවමත් සිය පැරණි ගම්මානවල ජීවිතය ගත කරති. රණමුරේ සහ නාරංගමුව ගම්මානවල ඇතැම් ස්ථානවල පිහිටි උස් ගල් හා ගස් මුදුන්වලට ලැබෙන දුරකථන සංඥා භාවිත කරමින් අධ්‍යාපන කටයුතු හදාරා විශ්වවිද්‍යාල වරම් ලැබු දරු පිරිසක් ද වෙසෙති.

ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වෙද්දි ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ ගම්මාන කිහිපයකට අයත් පවුල් දෙදහසකට ආසන්න පිරිසක් රූපවාහිනී සංඥා හා දුරකථන සංඥාවක් නොමැතිව කල්ගෙවති. මේ නිසා තවමත් බස් රථයෙන්,ග්‍රාම නිලධාරී මහතාගෙන් හෝ ගමට පිටතින් පැමිණෙන පිරිස් වෙතින් රට තොටේ තොරතුරු ලබාගන්නා පැරන්ණන්  පිරිසක් තවමත් ලග්ගල - රණමුරේ හා නාරංගමුව ගම්මානවල වෙසෙති. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් තමන්ට එළවළු, බීජ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් වත් දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත්. මුදල් ඇති සුළු පිරිසක් පෞද්ගලික රූපවාහිනි ඇන්ටෙනා සවි කරගෙන අදාළ පහසුකම් ලබා ගන්නා බවද එම ගම්මානවල පදිංචිකරුවෝ පවසා සිටියහ.

නකල්ස් කදු පන්තියට මායිම්ව පිහිටි මෙම ගම්මාන කඳු වලින් වටවී තිබීම හේතුවෙන් දුරකථන සංඥා නිසි පරිදි නොලැබෙන බව මේ සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක දුරකථන සමාගම් වෙතින් කළ විමසීමකදී එහි පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නිලධාරීහු පැවසූහ. සිය ජාල පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ පමණක් නොව මාතලේ දිස්ත්‍රික්කයේ සංඥා නොලැබෙන සියලු ප්‍රදේශ ආවරණය කිරීමට අදාළ ආයතන කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.




විදුලි මිල අවම වශයෙන් 20%ක් ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතුයි

 


දිනේෂ් සමරකෝන්/ ඉන්දික හේවාවිතාරණ


විදුලිබල මණ්ඩලය,මහජන උපයෝගිතා කොමිසම ආදී පාර්ශ්ව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ විදුලි මිල සම්බන්ධයෙන් බලපාන අනෙකුත් සියලු කරුණු විග්‍රහාත්මකව සමාලෝචනය කර, අවම වශයෙන් 20% ඉක්ම වූ ප්‍රතිශතයකින් 2024 වර්ෂයේදී විදුලිබල මණ්ඩලයට ද අලාභයක් නොවන පරිදි අඩු කළ යුතු බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කරන ලදී.

ඒ අනුව මේ මස අවසන් වන විට විදුලි බිල අඩු කිරිමට  අවශ්‍ය නිර්දේශ ඉදරිපත් කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතායේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙවර කාරක සභාවේ සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන උපයයෝගිතා කොමිෂන් සභාව, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ,ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද,සුළු සහ මධ්‍ය පරිමාණ  කර්මාන්ත මණ්ඩලය ඇතුළු ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ  කර්මාන්තකරුවන් පිරිසක් ද කැඳවා තිබුණි. සෘජුවම ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත හඳුනා ගැනීමත් එම කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීමෙන් දේශීය ආර්ථිකය සක්‍රිය කර ගැනීමත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නංවා ගැනීමත් යන ඉලක්ක සාක්ෂාත්කර ගැනීම සඳහා කාරක සභාව විසින් මෙහිදී නියෝග කිහිපයක් අදාළ ආයතන හා නිලධාරීන්  වෙත ලබා දෙන ලදි.

ඒ අනුව විදුලි බිල ඉහළ යාම් නිසා දිවයින පුරා මේ වන විට වාර්තා වී ඇති විදුලිය සම්බන්ධතා කපා හැරීම් ලක්ෂ 10 ඉක්මවන බව පෙන්වා දුන් කාරක සභාව කර්මාන්ත ක්ෂේත්‍රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කිරීම  සඳහා වාරික පදනමින් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම සහිතව මූලික අවස්ථාවේදී හිඟ ගාස්තුවෙන් 50% ක් පමණක් අය කර ගනිමින් නැවත විදුලිය සම්බන්ධතා ලබා දීමට කටයුතු කළ යුතු බව නිර්දේශ කළේය. එමෙන්ම ස්ථාවර විදුලිය සම්බන්ධතා ලබා ගැනීමේදී ගෙවීමට සිදු වන ඉහළ ගාස්තු නිසා ක්ෂුද්‍ර, සුළු සහ මූල්‍ය කර්මාන්ත ආරම්භ කිරීමට  යොමු වන නව ව්‍යවසායකයන් අධෛර්යයට පත් වීම වැළැක්වීම සඳහා සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව ද වාරික වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට ඉඩ සලසන ලෙසත් නව සම්බන්ධතා ගාස්තුව සමාලෝචනය කොට එය උපරිමයකින් අඩු කිරීමට කටයුතු කරන ලෙසත් කමිටුව නියෝග කළහ.

එමෙන්ම බලශක්ති සුරෂිත බව තහවුරු කිරීම  සඳහා ප්‍රවේශයක් ලෙස රාජ්‍ය අංශයේ විදුලි පරිභෝජනය  පිළිබඳව විගණනයක් සිදු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා මෙහිදී මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් ලබා දුන්නේය.මේ අතර, විදුලි ගාස්තු අඩු කිරීම  පිළිබඳ විදුලිබල මණ්ඩලය විසින් ලබාදුන් යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල සලකා බලමින් තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මහතා සඳහන් කළේය.

මිට පෙර ඉහළ දැමූ විදුලි ගාස්තු ප්‍රමාණය අඩු කරන ලෙසට විදුලිබල මණ්ඩලය විසින් යෝජනාව ලබා දී තිබෙන බවත්, විදුලි ගාස්තු අඩු කිරීම සිදුකරනු ලබන්නේ සියලුම කරුණු සැලකිල්ලට ගෙන බවත් අද කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේය.

දත්ත පදනම් කරගෙන විදුලි ගාස්තු අඩු කිරීම සිදුවන බවත්, දැනට තිබෙන දත්ත මදි වුවහොත් තවත් දත්ත රැස් කිරීමට  සිදුවන බවත්, සියලුම දේවල් සැලකිල්ලට ගෙන කොමිසම විසින් විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ තීරණය ගන්නා බවත් ඒ මහතා පැවසීය.හෙට (28දා) කොමිෂන් සභාව සාමාන්‍ය ලෙස රැස්වෙන බවත්, එහිදී අවශ්‍ය තොරතුරු තිබුණ හොත් විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.





කළුතර සජබ රැස්වීමේ ගෝරි

 


ආසන සංවිධායකවරුන් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් බෞද්ධ සමුළුව අතරතුර කලහකාරී තත්වයක් ඇති වී යැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල සපුගොඩ විහාරයේ දී පසුගියදා (24) පස්වරුවේ මෙම සමුළුව පැවැති අතර එහිදී මෙම ගැටුම හටගෙන තිබිණ.

මෙම සමුළුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ බුලත් සිංහල සජබ සංවිධායක ප්‍රසන්න අමරසේකර යන මහත්වරුන් එක්ව නොසිටි අතර ඔවුන්ට විරුද්ධව සෙසු ආසන සංවිධායකවරුන් විරෝධය පළ කිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇතැයි ආරංචි මාර්ග කියයි.සමගි ජන බලවේගයේ අගලවත්ත ආසන සංවිධායක ජගත් විතාන මහතා සඳහන් කර ඇත්තේ රාජිත සේනාරත්න සහ ප්‍රසන්න අමරසේකර යන මහත්වරුන් පක්ෂයේ ස්ථාවරයට පටහැනිව කටයුතු කරන බැවින් ඔවුන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවය.

ඒ සමගම රාජිත සේනාරත්න සහ ප්‍රසන්න අමරසේකර යන මහත්වරුන්ගේ නියෝජිතයන් එම ප්‍රකාශයට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත.අජිත් පී. පෙරේරා, නයනක රන්වැල්ල ඇතුළු සමගි ජන බලවේගයේ සෙසු ආසන සංවිධායකවරුන් එහිදී දැඩි විරෝධය පළ කරමින් අදහස් පළ ඇති අතර මෙම තත්ත්වය සමනය කිරීමට පක්ෂ මහලේකම්වරයාටද මැදිහත්වීමට සිදුවී තිබේ.

බුලත්සිංහල ආසන සංවිධායකවරයා අසීමිත ලෙස මුදල් වැය කරමින් පක්ෂයට කැළලක් වන ආකාරයට කටයුතු කරන බවට මෙහිදී චෝදනා එල්ල විය. ඔහු පාක්ෂිකයන්ට මත්පැන් බෙදා හැරීම ඇතුළු පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු සිදු කරමින් මනාප වැඩිකර ගැනීමට උත්සාහ කරන බවද ඔහු ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර වහාම විනය ක්‍රියාමාර්ග ගන්නැයිද පිරිසක් එහිදී මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසන්න අමරසේකර මහතා සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයට කැඳවා කරුණු විමසීමටත් මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා ලබන බදාදා පැවැත්වීමටත් එහිදී මහලේකම්වරයා තීරණය කර ඇත. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

නිමල කොඩිතුවක්කු 

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවයි

නවෝද්‍යා පවනී 

පරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම මෙහි අරමුණයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ දී ඊයේ (26දා) රැස්වූ අවස්ථාවේ මේ තීන්දුව ගන්නා ලදි.

පරාටේ නීතිය යනු යම් දේපොළක් උකස් කර යම්කිසි අයෙක් බැංකුවකින් ණයක් ලබා ගෙන ඇති විට ණය ලබාගත් පුද්ගලයා එම ණය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, අධිකරණය ක්‍රියාවලියකින් තොර ව අදළ ණය මුදල ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපොළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකුණා දමා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලයයි.කෙසේ වෙතත් අදාළ වෙන්දේසිය සිදු කිරීමට පෙර ඊට අදාළ දැන්වීම රජයේ ගැසට් පත්‍රයේ භාෂා ත්‍රිත්වයෙන් ම සදහන් කළ යුතු අතර, එය අවම වශයෙන් පුවත් පත් තුනක වත් පළ කළ යුතු වේ. එසේම අදාළ දැන්වීම ණය ගැතියා වෙත ලියාපදිංචි තැපෑලෙන් ද යැවිය යුතුය.

ආහාර ඇණවුම ප්‍රමාද යැයි ඇණවුම ගෙනා ශ්‍රී ලාංකිකයාට වෙඩි තියලා





කටුනායක - ටී.කේ.ජී.කපිල




කුවෙට් රාජ්‍යයේ ආහාර ඇණවුම් බෙදාහැරීමේ නිරත වී සිටි ශ්‍රී ලාංකිකයෙකුට එරට නිවැසියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් අනතුරුව, ඔහුගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ඔහුව මේ වනවිට කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙනවිත් ඇති බව එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර මහතා ඊයේ (26දා) පැවසීය.

එසේ වෙඩි ප්‍රහාරයට ලක්වූයේ කේ.පී සාගර ලක්ෂ්මන් නමැති 44 හැවිරිදි වියේ පසුවන රාජාංගණය යාය 11 ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.ඔහු කුවෙට් රාජ්‍යයේ ප්‍රසිද්ධ අවන්හලක ආහාර නිවෙස් කරා ප්‍රවාහනය කරන වෘත්තියක නියැළී සිටි අතර,ඉකුත් 2024 ජනවාරි මස 10 දින අලුයම 04.00 ට පමණ සිය ආහාර ඇණවුම ප්‍රමාද වූවා යැයි උරණ වූ කුවෙට්  ජාතිකයෙකු විසින් සාගර ලක්ෂ්මන් මහතාට වෙඩි තබා තිබුණි.

කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳ එරට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදී එසේ වෙඩි තැබූ කුවෙට් ජාතිකයා හඳුනා ගෙන තිබූ අතර, ඔහු මේ වනවිට එරට අධිකරණය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද ජනක සමරසේකර මහතා පැවසීය.

එහෙත් තවදුරටත් සාගර ලක්ෂ්මන් මහතා එරට විවෘත පරිසරයක වාසය කිරීම ඔහුගේ ජීවිතය අවදානමකට ලක් විය හැකි බැවින්  ඉකුත් 19දා සිට ඔහුට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වාසය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනක සමරසේකර මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳ නඩු විභාගය කඩිනමින් අවසන් කර, සාගර ලක්ෂ්මන් මහතාට මෙම අනතුර සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දී ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීම සඳහා කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ තෙවන ලේකම් ජනක සමරසේකර සහ භාෂා පරිවර්තක අමීර් හසන් යන මහත්වරුන් පියවර ගනිමින් සිටිති.



කතානායකට සජබෙන් විශ්වාසභංගයක්



මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, එම්.ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (26) පෙරවරුවේ ඊට අත්සන් තැබූහ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතා නොසලකා හරිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීමත්, ආණ්ඩු පක්ෂයට එම පනත් කෙටුම්පතේ යම් යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ඉඩ ලබා දීමත් නිසා කතානායකවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කතානායකවරයාට විරුද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරයි.

මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22,31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බවද විශ්වාසභංග යෝජනාවේ සඳහන් වේ. එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණ අනුව කටයුතු නොකර ඇති බවත් එසේ කටයුතු නොකිරීම නිසා දැනට එම පනත පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ලැබී ඇත්ද යන්න පිළිබඳ බලවත් ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉකුත් 08 වැනි දින කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද සඳහන් කර ඇති බවත් එහි සඳහන් වේ.

එසේම මෙම පනත තුන්වැනි වර කියැවීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැහැදිලි බෙදීමක් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් ඡන්දයකින් තොරවම මෙය සම්මත කර ඇති බවත් සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ සඳහන් වේ.මෙවැනි ගැටලු රාශියක් තිබියදී ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන තෙක් එම පනත් කෙටුම්පත නීතියක් වන ලෙස අත්සන් නොකරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීමද නොසලකා හරිමින් කටයුතු කර තිබීමත් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වූ බවත් සමගි ජනබලවේගය සඳහන් කරයි.

කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කිරීම, කතානායක ධුරයේ ස්වාධීනත්වය හා ගෞරවය කෙලෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැර ඇති බව පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඉදිරි සතිය තුළ මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දීමට කටයුතු කරන බවත් සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නිමල කොඩිතුවක්කු

පී.එච්.අයි මරණය අබිරහසක්

 


ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා කුරුදුගහවත්ත දිවිතුරුගම ඔහුගේ නිවසේදී ඊයේ (26) උදේ 7.35 ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇල්පිටිය පොලිසිය සඳහන් කරයි.වෙඩික්කරුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් බවට හෙළි වී ඇතැයි ස්ථානීය පරීක්ෂණ පැවැත් වූ නිලධාරීහු පවසති. මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් දේශන පවත්වන්නකු වන අතර ඔහු යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මිය යන විට 51 හැවිරිදි වියේ පසු වූ රොෂාන් කුමාර මහතා තිදරු පියකු බවද පොලිසිය කියයි.ඇල්පිටිය ශාන්ත තෙරේසා විදුහලේ පළමු වසරට තම බාල පුත්‍රයා බාරදීම සඳහා සූදානම් කරමින් සිටිය දී වෙඩික්කරුවන් දෙදෙනා හදිසි අවශ්‍යතාවක් බව පවසා නිවෙසට ඇතුළු වී මෙම වෙඩි තැබීම කර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක ලෙස සේවය කරන අතර වෙඩි තැබීම වන විට ඇය පාසලට පිටත්ව ගොස් සිටි බව කියති.මියගිය සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය, අම්බලන්ගොඩ සහ කරන්දෙණිය යන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට අනුයුක්තව සේවය කර ඇති බවද පොලිසිය කියයි. හෙතෙම තම රාජකාරිය අකුරට කළ පුද්ගලයෙකු බවත් ප්‍රදේශයේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ කිසිවකු සමග හෝ ආරවුලක් ඇති කරගෙන නොතිබුණු බවත් හෙළිවී යැයි පොලිසිය සඳහන් කරයි.ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් සී.සී. ටී.වී දර්ශන පරීක්ෂා කරමින් පරීක්ෂණ පවත්වමින් සිටී.ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම් පෙරුම මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රතාත් පරීක්ෂණය කළාය.



මත ගැටුමකින් ශ්‍රිලනිප කාන්තා සංවිධානයේ නිලවරණය කල්යයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ නිලවරණය සම්බන්ධයෙන් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දිස්ත්‍රික් බලමණ්ඩල නියෝජිතයන් අතර ඉකුත්දා මත ගැටුමක් නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ නිලවරණය ඉකුත් සෙනසුරාදා (24) පස්වරුවේ කොළඹ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී සභාපතිවරයා ශ්‍රීලනිප ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බව කියමින් බල මණ්ඩල නියෝජිතවරියන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කර ඇත.

එම නිලවරණය පැවැත්වීමට රට පුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් කාන්තා බලමණ්ඩල සභාපතිවරියන් සහ නියෝජිතවරියන් තුන්සිය පනස් දෙනකු කැඳවනු ලැබ සිටියද ඊට සහභාගී වී සිට ඇත්තේ 190 දෙනකු පමණක් බවද වාර්තා වේ.අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඬකළපුව, මොනරාගල, මාතර, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නියෝජිතවරියන් එම නිලවරණයට සහභාගි වීම වර්ජනය කර තිබීමද විශේෂත්වයකි.

එම නියෝජිතවරියන් නොපැමිණීම නිසා නිලවරණය පැවැත්විය නොහැකි බවට පැමිණ සිටි නියෝජිතවරියන් සභාපතිවරයා සහ නියෝජිතවරුන් අතර උණුසුම් වාද විවාද ඇති වී තිබිණි.ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය කාන්තා සංවිධානයේ සභාපතිවරිය ලෙස පත්කරන්නැයි පිරිසක් ඉල්ලා සිටි නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අම්පාරේ වෙසෙන හෙයින් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට නිතර පැමිණ රාජකාරි කිරීමට නොහැකි නිසා ඇයට සභාපතිකම දිය නොහැකි බවය.

එහිදී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා ඇත්තේ ඔබතුමා ජෝළොන්නරුවේ ජීවත්ව සිටියදී රටේ ජනාධිපතිකම කළේ කෙසේද යන්නය. මෙසේ දෙපාර්ශවය අතර වාද විවාද හටගනිද්දීමෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර ඇත්තේ බස්නාහිර පළාතේ වෙසෙන කෙනකු සභාපතිනිය ලෙස තෝරාගත යුතු බවටය.එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම කාරක සභාව කැඳවා නිලධාරි මණ්ඩලය තෝරා ගන්නා බවය.පැමිණ සිටි පිරිස් ඊටද විරෝධය දක්වමින් එය ශ්‍රීලනිප ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කර ඇත. කාන්තා බල මණ්ඩල නියෝජිතවරියන්ගේ දැඩි විරෝධය මැද නිලවරණය පැවැත්වීම කල් දමා පිරිස විසිර ඇත.

 රංජන් කස්තුරි