Tuesday, February 28, 2023

හොංකොංහි නිරූපිකාව ඝතනයට හිටපු සැමියා සහ පවුලේ තිදෙනකු අත්අඩංගුවට


හොංකොංහි ජනප්‍රිය නිරූපිකාවක, සමාජශීලී චරිතයක් මෙන්ම මිලියනපතිනියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි 28 හැවිරිදි අබී වොයිගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ හිටපු ස්වාමියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.පසුගිය සතියේ බදාදා දිනයේදී, කොව්කින් නගරයේදී චොයි එක්වරම අතුරුදන් වූ අතර, පසුව සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵල ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන ආකාරයට ඇගේ හිටපු සැමියාගේ පියා විසින් කුලියට ගත් නිවසක ශීතකරණයක තිබී කදින් වෙන්කළ ඇගේ පාද හමුවී තිබේ. එසේම ඇගේ හිස ඇතුළුව අනෙක් සිරුරු කොටස්ද මේ වනවිට එම ස්ථානයේම තිබී සොයාගෙන ඇත.

මෙහිදී, අදාළ අපරාධය සඳහා යොදාගත් බව පැවසෙන මස් කපන පිහියක් සහ විදුලියෙන් ක්‍රියාත්මක කියතක්ද සොයාගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර ඇගේ හිටපු ස්වාමියා වන ඇලෙක්ස් ක්වොන්ග් (28), ඔහුගේ සහෝදරයා වන ඇන්තනි වොන්ග්  (31) සහ පියා වන ක්වොන්ග් කායුද  (64) වෙයි. එසේම 63  හැවිරිදි ක්වොන්ගේ මවද අත්අඩංගුවට ගෙන ඇත.  මෙම සාහසික ඝාතනයේ මහ මොළකරුවා ලෙස එම පවුලේ පියා හෙවත් ක්වොන්ග් කායු හඳුනාගෙන ඇත. ඔහු කලක් පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර, එහිදී ඔහුට ස්ත්‍රී දූෂණයක් පිළිබඳ චෝදනාවක්ද පවතී. වොයි සහ එම පවුල අතර පැවැති මුදල් පිළිබද මතභේද රැසක් මෙම ඝාතනය සදහා හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඝාතනයට ලක් වූ චොයි වෙත ඇලෙක්ස්ට දාව දරුවන් දෙදෙනෙකුද සිටියි.

ඇබී චොයි චීනයේ වඩාත් සාර්ථක ව්‍යාපාරයක් හිමි පවුලක සාමාජිකාවකි. ඇය දැනට වසර 10කට පෙරාතුව, එනම් සිය වයස අවුරුදු 18දී ඇලෙක්ස් ක්වොන්ග් හා විවාහ වී තිබේ. අනතුරුව වයස අවුරුදු 22 දී ඇය ඔහුගෙන් දික්කසාද වී ඇති අතර, පසුව හොංකොංහි ආපනශාලා ජාලයක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු වන ටාම් හා විවාහ වී තිබේ. එම විවාහයෙන්ද චොයි වෙත දරුවන් දෙදෙනකු සිටියි. මෙලෙස වෙනත් විවාහයක් සිදු කරගත්තද වොයි සිය පළමු වැනි සැමියාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මුදල් වියදම් කර ඇත. මෙහිදී ඔවුන් සඳහා මිලදී ගත් නිවසක් අලෙවි කිරීමේ තීරණයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර, ඝාතනය පිළිබඳ පුවත සැලවීමත් සමග හොංකොං නුවර ජනතාව දැඩි කණගාටුවට සහ දුකට පත්වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

කොළඹ තුරඟ තරග පිටියේ සරසවි සිසුවියගේ මරණය අපරාධයක්



කොළඹ තුරඟ තරග පිටිය  ප්‍රදේශයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි තරුණියගේ මරණය අපරාධයක් බව තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පොලීසියට ඊයේ (27දා) නියම කළේය. ඇගේ පෙම්වතා විසින් සිදු කළැයි කියන අපරාධයෙන් ඇගේ ගෙලට සිදුවූ තුවාලවලින් අධික රුධිර වහනයෙන් සිදුවූ මරණයක් බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් තීරණය කළේය. චතුරි හංසිකා මල්ලිකාරච්චි තරුණිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සහ  ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස තීරණය කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයනේ පදිංචිව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ අවස්ථාවේදී සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකාර පෙම්වතා බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයා ඉදිරිපත් කර නොතිබුණි. බන්ධනාගාර නිලධාරීහු ඔහු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු ප්‍රතිකාර ලබමින් සිටින බව දැනුම් දුන්හ.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී කොළඹ තුරග තරග පිටියේ ආරක්ෂක නිලධාරී ජයසුන්දර සහ මරණයට පත්වූ ශිෂ්‍යාවගේ මිතුරෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවකු වන නිපුන් අබේසිංහ නමැත්තන් සාක්කි ලබා දුන්හ. ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණාපරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙය අපරාධයක් බව තීරණය කළේය.  සිද්ධියට අදාළ පැමිණිල්ල මාර්තු 13 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කළේය.


බුද්ධිමාල් රුබේරු

කොස් ගසේ අනතුරු අතු කපන්න ගිය නගර සභා නිලධාරී පොරෝ පහරින් රෝහලේ

 

මාතර කුමාරතුංග මාවතේ පැරණි තොටුපළ පාරේ පිහිටි අනාරක්ෂිත කොස් ගසක අතු ඉවත් කිරීම සදහා මාතර මහ නගර සභාවේ සේවකයන් පිරිසක් සමග ගිය එහි වැඩ පරීක්ෂකවරයාට පොරොවකින් පහර දී තුවාල සිදු කළ බව කියන පුද්ගලයකු ඊයේ (27) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. සිද්ධියෙන් බරපතළ ලෙස කැපුම් තුවාල ලැබූ මාතර මහ නගර සභාවේ තාක්ෂණ නිලධාරි කේ. දිනේෂ් මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ ගෙලට පහළින් කොන්ද ප්‍රදේශයට පොරෝ පහර එල්ල වී තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සැකකරු විසින් කලක් බලහත්කාරයෙන් භුක්ති විඳි බව කියන පැරැණි තොටුපළ පාර මාතර මහ නගර සභාව විසින් ගිය වසරේ දී යළි අත්පත් කර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද පවතී. ද මාතර මහ නගර සභාව යටතේ පවතින එම මාර්ගයේ  විදුලි රැහැන් පද්ධතියක් ඇදීමට අවශ්‍ය නිසා ඊට බාධාවක්ව පවතින කොස් ගසක අතු ඉවත් කර දෙන ලෙස විදුලි බල මණ්ඩලය ද දැනුම් දී තිබෙන බව කියති. ඒ අනුව මාතර නාගරික කොමසාරිස්වරියගේ ලිඛිත නියෝගය මත අදාළ වැඩ පරීක්ෂකවරයා හා සේවකයන් පිරිසක් කොස් ගසක අතු කපා ඉවත් කරන විට සැකකරු පැමිණ ඊට බාධා කර ඇති බව පොලීසිය කියයි. ඒ සමගම ඔහු අත තිබූ පොරොවකින් තාක්ෂණ නිලධාරිවරයාට පහර දී තුවාල සිදු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 65 හැවිරිදි  සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  මෙම සිද්ධිය සැලවීමත් සමගම මාතර මහ නගර සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය. එහි සේවක සේවිකාවෝ විශාල පිරිසක් මාතර මහ රෝහලටද පැමිණ සිටියහ.  මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර  පරීක්ෂණ මෙහෙයවයි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

නේවාසිකාගාර උප පාලකට සිසුහු පන්න පන්නා පහරදීලා


අවේලාවේ නේවාසිකාගාරයෙන් පිටතට යෑමට නොදීමේ සිද්ධියක් මුල් කරගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් එහි උපශාලාධිපතිවරයාට, ඔහුගේ බිරියට හා නැන්දණියට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් එම පීඨය ඊයේ (27) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමූ බව පීඨාධිපති මහාචාරිය සුභාෂ් ජයසිංහ මහතා පැවසීය.

සිසුන්ගෙන් පහර කෑමට ලක් වූ බව කියන උප ශාලාධිපති කුසල් ගුණවර්ධන, එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ කථිකාචාර්යවරියක වන ඔහුගේ බිරිය හා නැන්දනිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.  පහර දීමට සම්බන්ධ සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කඹුරුපිටිය පොලීසිය පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය කඹුරුපිටිය ගඋදාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එහි දුර බැහැර තත්වය සැලකිල්ලට ගෙන සිසු සිසුවියන් 800 කට පමණ නේවාසිකාගාර පහසුකම් ලබාදී තිබේ. සිසුවියන්ට අත්‍යාවශ්‍ය හෝ අසනීප තත්වයකට හැර රාත්‍රි 8.00 න් පසුව ද සිසුන්ට රාත්‍රි 9.00 න් පසුවද නේවාසිකාගාර වලින්  පිටතට යාම තහනම් කර තිබෙන බව කියති.

කෙසේ වෙතත් සිසුන් පිරිසක් පිරිමි නේවාසිකාගාරයෙන් පෙරේදා (16) රාත්‍රී 10.30 ට පසු පිටතට යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් එය දැක නතර කර ඇති බවත් ඉන් අනතුරුව එම සිසුන් පිරිස ඉහළ මහලට දුව ගොස් අනෙකුත් සිසුන් සමග එක් වී ඝෝෂාකාරී ලෙස හැසිරී ඇති බවත් පිඨාධිපති ජයසිංහ මහතා කීවේය. එම ඝෝෂාව ඇසී උප පාලකවරයා එම ස්ථානයට පැමිණ ඇති බවද එවිට සිසුන් නේවාසිකාගාරයට විදුලිය සැපයෙන ප්‍රධාන ස්වීචය විසන්ධි කර ඔහුට පහර දීමට උත්සාහ කර ඇති බවද හෙතෙම කීවේය.  නේවාසිකාගාර උප පාලකවරයා සිසුන්ගේ ග්‍රහණයෙන් මිදී තම නිල නිවෙසට දුවගෙන ගිය අවස්ථාවේ දී කලහකාරී සිසුන් පිරිසක් ඔහු පසුපස ලුහු බැඳ ගොස් පහර දී ඇතැයිද ඔහු බේරා ගැනීමට මැදිහත් වූ බිරියට හා නැන්දනියට ද පහර දී ඇතැයි ද ජයසිංහ මහතා සඳහන් කළේය.

ඇති වූ කලබලකාරී වාතාවරණය සමථයට පත්වන තුරු සිසු සිසුවියන්ගේ ආරක්ෂාව ගැන සිතා රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ උපදෙස් මත පීඨ මණ්ඩලය රැස් වී තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පීඨාධිපතිවරයා කීවේය. මේ පිළිබඳව තාක්ෂණ පීඨයේ සිසුන්ගේ පාර්ශ්වයෙන් විමසීමට දැරූ උත්සාහය අසාර්ථක විය.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

තව සති දෙකකින් සජබ කීප දෙනෙක් අලියා පිටේ නග්ගගෙන දැවැන්ත සන්ධානයක් හදනවා


තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිපදෙනෙකුත් ගෙන දැවැන්ත සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. තමාට වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම වුවමනාවක් තිබුණේ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වේලාවේ තව කීප දෙනෙක් අරන් එන්න වුවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා, යැයි තමාට පැවැසූ බව ද හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනක දී පැවැසූ බව කී හරීන් ප්‍රනාන්දු මහතා සමහර මිනිසුන්ගේ  උන්මාදය වැඩිවී ඇඳුනුත් මසා තිබෙන බව කීය.

බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් අමතමින් හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ බව  දේශපාලන වශයෙන් පක්ෂ හදපු, නායකයන් හදපු කෙනෙක් හැටියට මට හරි පැත්ත මොකද්ද කියා දැන් තීරණයක් ගන්න සිදු වී තිබෙනවා. එදා ගෝඨාභයට විරුද්ධව රජය වෙනුවෙන් මම තනියම වැඩ කොටසක් කරට අරගෙන කළා. මට වුවමනා වුණේ එදා මගේ නායකයා සජිත් ප්‍රධාන තැනකට ගෙන ඒමයි. නායකයෙක් කියන්නේ අභියෝගයක් ගන්න  පුළුවන් මිනිහෙකුට. සජිත් අභියෝගය ගන්න බයයි.

අංජුල මහික වීරරත්න 

ජොන්සටන්ට එරෙහහි නඩුව විභාගයට විත්තියේ මූලික විරෝධතාව ඉවත දමයි


වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ‍ සතොස සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවල යොදාගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශ්වයෙන් මතුකළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නඩුව විභාග කිරීමට ඊයේ (27) තීරණය කළේය.  ඒ අනුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 10 වැනිදා පැවැත්වීමට ද තීරණය කළේය.

2014 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි වලින් ඉවත් කර එම ආයතනය මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කර අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත. මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.

නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් මතු කරමින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කර නොමැති හෙයින් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මූලික විරෝධතාවක් මතු කළේය. එම මූලික විරෝධතාව සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව මැයි මස 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.

මනෝප්‍රිය ගුණසේකර

Monday, February 27, 2023

ශ්‍රි ලංකා ක්‍රිකට්වලට තීරණාත්මක තීන්දුවක් අද?

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක් කළ නව නියෝග සහ රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු ගොනු කර ඇති පෙත්සම් විභාගය අභියාචනාධිකරණයේදී යළිත් අද (27දා) දින ආරම්භ කිර්මට නියමිතය. ඒ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන විනිසුරු මඬුල්ල හමුවේය. මෙම පෙත්සම්වල විවාදය  පසුගිය සිකුරාදා (24දා) ආරම්භ කෙරුණු අතර, ඒ අනුව අද දිනයේදීද එම විවාදය පැවැත්වෙනු ඇත. 1973 අංක 25 දරන ක්‍රීඩා  පනතට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය වසරේ දෙසැම්බර් මස 14වැනිදා මෙම නව නියෝග සහ රෙගුලාසි නිකුත් කර තිබුණු අතර, පසුගිය වසරේ දෙසැම්බර් මස 15වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි මහා සභාවක් (EGM) කැඳවා නිලවරණ කමිටුව පත් කර තිබිණි.

නිලවරණ කමිටුව පත්ව මාස 02ක් ඇතුළත නිලවරණයට නාමයෝජනා කැඳවිය යුතු අතර, ඒ අනුව නිලවරණ කමිටුව මෙම මස 14වැනිදා ඒ සඳහා නාමයෝජනා කැඳවා තිබිණි. කෙසේ වෙතත් ක්‍රිකට් බලධාර්න් පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා මෙම නව නියෝග සහ රෙගුලාසි නිකුත් කරනවිට ක්‍රිකට් නිලවරණය කැඳවා ඇති බවයි. එහෙත් ක්‍රිකට් නිලවරණය කැඳවීමේ බලය නිලවරණ කමිටුවට හිමි අතර, එහෙයින් මෙම කරුණු දැඩි ලෙස විවාදයට තුඩුදී තිබේ. කෙසේ වෙතත් පැමිණිලි  පාර්ශ්වය මෙන්ම වෘත්ති පාර්ශ්වයද අද දිනයේදී මෙම නඩුවේ තීන්දුවක් අපේක්‍ෂා කරන අතර, එම තීන්දුව එළඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය (2023- 2025 නිලධාරී මණ්ඩලය තෝරාගැනීම) සඳහා අතිශය තීරණාත්මක තීන්දුවක් වනවා නොඅනුමානයි.

පැතූම් ශ්‍රී විජේරත්න 

නැවතත් විදුලි අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්

වරින් වර දෛනිකව සැලකිය යුතු කාලයක් විදුලි කප්පාදු කිරීම් නිසා හා විදුලි බිල අධික ලෙස ඉහළ යාම නිසා ජනතාව දැඩි පීඩාවකට ලක් වී සිටිති. විදුලි බිල ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවල මිලත් වරින් වර ඉහළ යමින් තිබෙන අතර, මේ නිසාවෙන්ද ජනතාව පීඩාවට පත් වී තිබේ. මීට අමතරව රට තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත පවා මේ වනවිට අර්බුදයකට ලක් වී ඇති අතර, පවතින විදුලි අර්බුදය පිළිබඳ 'අද' විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉංජිනේරු ඉසුරු කස්තුරිරත්න මහතා සමග මෙලෙස කතාබහක නිරත විය.


ගාස්තු ඉහළ දැමීමට පෙර විදුලි කප්පාදු අවම කර ගැනීම සඳහා ක්‍රියාමාරිග ගෙන තිබුණාද? 


රටේ ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා  කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම අත්‍යවශ්‍යයි. නමුත් මෙහි බරපතළම ගැටලුව වන්නේ විදුලිය කැපීමේ ප්‍රමාණය අවම කිරීමට හැකිව තිබූ ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම අ.පො.ස උසස් පෙළ විභාග කාලසීමාවේදී ගත හැකිව තිබුණා. නමුත් ඉල්ලුම් කළමනාකරණය, ඉන්ධන සඳහා බදු සංශෝධනය වැනි ක්‍රියාමාර්ග සඳහා රජය මැදිහත් නොවීම නිසා අදාළ කටයුතු සිදුවුණේ නෑ.


නව විදුලි බිල සංශෝධනයේදී අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල ඉහළ යාමේ ප්‍රතිශතය සාධාරණද?

එම සංශෝධනය සිදුකර තිබෙන්නේ රජය ලබාදුන් ප්‍රතිපත්ති තීන්දුවකට අනුවයි. එනම් විදුලි බ්ලට මෙතෙක් ලබාදුන් සියලු සහන ඉවත්කරන ලෙස ගෙන ඇති  කැබිනට් තීරණය අනුව විදුලිබල මණ්ඩලය විසින් මෙම ගාස්තු අයකිරීම තීරණය කරලා තියෙනවා. රට මේ වන  විට මුහුණ පා තිඛෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ ඉතා අසීරුවෙන් ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවට මෙවැනි විශාල මිල වැඩි කිරීමක් සිදුකිරීම ගැන සංගමය කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ.


විදුලිබල මණ්ඩල සේවකයන් අධික ලෙස වැටුප් හා දීමනා ලබාගන්නා බවට නැගෙන චෝදනාව? 

මේ කතාව දේශපාලනඥයන් සහ යම් ව්‍යාපාරික කණ්ඩායමක් විසින් සමාජගත කර ඇති මිථ්‍යාවක්, යම් ක්ෂේත්‍රයක වැටුප් දීමනා තීරණය කරන්නේ එම සේවකයන්ගේ විශේෂඥ දැනුම, අත්දැකීම්, සේවාවේ ස්වභාවය, රැකියා අවදානම යන මූලික කාරණාවලට අනුවයි. මීට අමතරව මෙම පිරිස් රට තුළ සහ ආයතනය තුළ රඳවා ගැනීමේ අභිප්‍රායෙන්, විදුලිබල මණ්ඩලයේ වැටුප් සහ දීමනාවලට වැය වෙන මුළු මුදල සම්පූර්ණ පිරිවැයෙන් 7%කටත් වඩා අඩු අගයක්. සත්‍ය වශයෙන්ම වර්තමානයේදී විදුලි නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ ජනන වියදම් ඉහළ යාම නිසා. මේ නිසා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් නැගෙන චෝදනා පදනම් විරහිතයි.


මේ ඇතිවෙලා තියෙන විදුලි අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස සාම්පූර් බලාගාරය නැවැත්වීම යැයි ඇමතිවරයා සදහන් කරනවා. මේක ඇත්තද?

මේ කතාවේදී ඇමතිවරයා නිවැරදියි. නමුත් එය එකම හේතුව නෙමෙයි. මීට අමතරව මේ හා බද්ධ වූ කරුණු කාරණා රාශියක් තිබෙනවා. අපි මේ සාම්පූර් බලාගාරය නැවැත්වීම වෙනුවෙන් වෘත්තීය සමිතියක් ලෙස මහපාරට බැහැලත් විරෝධතා කළා. එදා අපිට ගල්අඟුරු මාෆියාව කියලා අර කලින් කිව්ව කණ්ඩායමම නම් පටබැන්දා.


මේ විදිහටම විදුලිබල අර්බුදයක් නැවත ඇති වෙයිද?

අනිවාර්යයෙන්ම, නැවතත් විදුලි අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්, වසර 10ක ඉතිහාසය දෙස අප නැවත හැරිලා බැලුවොත්, අවුරුදු තුන හතරකට සැරයක් මේ වගේම රැල්ලක් එනවා. අර්බුදය ගැන කතා කරන එක පැලැස්තර විසඳුම්වලින් යටපත් වෙනවා. අපි නැවතත් ආයෙ ඒක ගැනම කතා කරනවා. විදුලිබල මණ්ඩලය හදන දිගුකාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීම මෙතන තියෙන මූලිකම හේතුවයි. නියත වශයෙන්ම කියන්න පුළුවන් තව අවුරුදු දෙකක් තුනක් යනකොට නැවතත් මේ වගේම දරුණු විදුලි කප්පාදුවක් සිද්ධ වෙන්න පුළුවන්.

තව විශේෂ කාරණාවක් සඳහන් කරන්න අවශ්‍යයි. රටක් ඉදිරියට යන්න නම් ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති හා දැක්මක් රට ඇතුළෙ තියෙන්න ඕන. මේ ප්‍රතිපත්තිවල තියෙන ගැටලුව තේරුම් ගන්න හොඳම ක්ෂේත්‍රය තමයි ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය. විදුලිබල පනතේ පස්වැනි වගන්තිය අනුව, විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශය කියන ලියවිල්ල සකස් වෙන්න ඕනේ. නමුත් මීට පිටින් ගිහිල්ලා විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති හදලා ඒවා ක්‍රියාත්මක කරන්න කරපු බලපෑම පහුගිය කාලය පුරාවටම අපි දැක්කා, එවාට උදාහරණ තමයි 2015 ඉදලා අද වෙනකල් එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති පහක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හින්දම විදුලි බල මණ්ඩලයට ඉදිරි අවුරුදු 20ට අදාළව සකස් කරන දීර්ඝකාලීන ජනන සැලැස්ම හදලා අනුමත කරගන්න බැරි වුණා.

මේකෙ තියෙන විහිළුව තමයි ඇතැම් ප්‍රතිපත්ති හදලා එවල තියෙන්නෙ විදුලිබල අමාත්‍යාංශයෙන්වත් නොවීම. 2030 වර්ෂය වන විට අපේ සමස්ත විදුලි ජනනයෙන් කොපමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරනවාද කියන එක විසඳගන්න බැරි වීම තමයි මේ ප්‍රතිපත්ති අවුල. එක් එක් පාර්ශ්වවල දේශපාලන හා ව්‍යාපාරික න්‍යායපත්‍රයන්ට අනුව, විශේෂයෙන්ම ඡන්දෙත් එක්ක ආණ්ඩු මාරු වීමත් සමග එකිනෙකට සහමුලින්ම වෙනස් ප්‍රතිපත්ති, බලශක්ති ක්ෂේත්‍රය වගේ ඉතා සංවේදී කර්මාන්තවලට ලබාදීමේදී මුළු රටේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මොකද ආර්ථි කය සහ බලශක්තිය කියන්නේ එකිනෙකට තදින් බද්ධව පවතින ක්ෂේත්‍රයන් දෙකක්. එයින් එකක සිදුවන විචල්‍යයන් අනිකට සෘජුවම බලපානවා.


මේකට හේතුව මොකක්ද? මෙය වළක්වන්න කරන්න තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද? 

කෙටියෙන්ම සඳහන් කරනවා නම්, සාම්පූර් බලාගාරය අහෝසි කළාට පස්සේ ඒ සඳහා විකල්ප බලාගාරයක් ඉදිවුණේ නැහැ. අනිත් එක තමයි පසුගිය වර්ෂයේ තමයි මෙගාවොට් 300 ස්වාභාවික වායු (LNG) බලාගාරය ක්‍රියාත්මක වෙන්න තිබුණේ. ඒකෙ වැඩ තාම අවසන් වෙලා නැහැ. දෙවෙනි මෙගාවොට් 350 ස්වාභාවික වායු බලාගාරයේ සියලු ප්‍රසම්පාදන කටයුතු අවසන්ව වෙලා තියෙන්නේ. ඒත් තාම කැබිනට් අනුමැතිය ලැබුණේ නැහැ. ඒ වගේම LNG යටිතල පහසුකම් සඳහා ටෙන්ඩර් ප්‍රසම්පාදන අවසන් වෙලා. ඒ සඳහා කැබිනට් අනුමැතිය 2022 අගෝස්තු මස සිට තවම ලැබුණේ නැහැ. මේ නිසයි කියන්නේ ඉදිරියේදිත් දරුණු විදුලි අර්බුදයක් අනිවාර්යයෙන්ම එනවා කියලා.

මේ විදුලි අර්බුදය වළක්වාගත හැකි කෙටිකාලීන ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. මෙම ප්‍රසම්පාදන සදහා අනුමැතීන් ඉතා කඩිනමින් ලබාදීමත්, දැනට අනුමත වෙලා තිබෙන දිගුකාලීන ජනන සැලැස්මේ ඇති විදුලි බලාගාර ඉදිකිරීම සදහා රජ්ය විසින් සෘජු මැහත්වීමක් සිදුකළ යුතුයි. මොකද මෙය විදුලිබල මණ්ඩලයට කිසිසේත්ම තනිව සිදුකළ නොහැක්කක්. ඒ තමයි පළමු යෝජනාව, අනෙක් යෝජනාව වන්නේ, එම බලාගාර ඉදිකරනතුරු ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා දැනට තිබෙන විදුලි බලාගාරවලින් අවම පිරිවැයකින් විදුලි උත්පාදනය කර, මිල අධික බලාගාර භාවිත කිරීම හැකිතාක් අවම කිරීමට අවශ්‍ය ඉල්ලුම් කළමනාකරණය කර ගැනීම. මේ අනුව රජ්ය, විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය, මහප්ත උපයෝගීතා කොමිෂන් සභාව, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පළාත් පාලන ආයතන හා විදුලි පාරිභෝගිකයන් යන සියලු පාර්ශ්වයන් සමග ඒකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හඳුන්වාදීමත් සිදුකළ යුතුයි. මේ සඳහා අවශ්‍ය  තාක්ෂණික යෝජනා මේ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු විවිධ පාර්ශ්වයන් ගණනාවකින් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් කනගාටුවට කරුණ වන්නේ විදුලි බිල වැඩි කිරීමට තිඛෙන උනන්දුව මෙම කාරණාව සදහා නොමැති වීමයි.


විදුලිබල මණ්ඩලයේ අධික ලෙස පාඩු ලබන ආයතන බවට පත්වෙලා තියෙන්නෙ ඇයි?

මුලින්ම කියන්න ඕනේ විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතන බවට පත්වෙලා නෙවෙයි පත්කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දේශපාලන තීන්දුවක් මත 2014 වර්ෂයේදී විදුලි බිල 25%කින් අඩු කිරීමට ගත් තීරණය. ඒ වගේම මා පෙර සඳහන් කළ පරිදි අඩු වියදම් විදුලි බලාගාර නියමිත කාලයේදී ඉදි නොවීම. 2014 වර්ෂයේදී ඉතා අවිධිමත් ලෙස බිල අඩු නොකළා නම්, මේ වන විට විදුලිබල මණ්ඩලය මෙතරම් පාඩු ලබන ආයතන බවට කිසිසේත්ම පත්වෙන්නේ නැහැ.


විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඔබ සංගමය දරන මතය කුමක්ද?

විදුලිබල මණ්ඩලය අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යූහගතකරණය විය යුතුයි. නමුත් සමස්ත ප්‍රශ්නය විදුලිබල මණ්ඩලය පමණක් ප්‍රතිව්‍යූහගතකරණය කිරීමෙන් විසඳන්න බැහැ. ඒ සඳහා සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම පුළුල්ව සලකා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. වර්තමානයේ ගෙන යන වැඩසටහන සම්බන්ධයෙන් අපගේ කිසිදු ප්‍රසාදයක් නැහැ. එයට හේතුව වන්නේ කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරව, විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයේ, බලශක්ති විශේෂඥයන්ගේ සහ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හා සේවකයන්ගේ අදහස් යෝජනාවලට කිසිදු ඇහුම්කන් දීමක් සිදුනොකර, එක්තරා පාර්ශ්වයකගේ වුවමනාවත් මත මෙම වැඩපිළිවෙළ සිදුකිරීමයි. මේ පිළිබඳ මහප්ත කතිකාවතක් අප සංගමයේ මූලිකත්වයෙන් පසුගිය මස 26වන දින පැවැත්වූවා. එහිදී අදහස් පළ කළ ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කර සිටියේ, මේ පිළිබඳ පත්කර ඇති කමිටුවට මෙම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අරමුණ පැහැදිලි කිරීමට පවා නොහැකි බවයි.


විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර යන බවට නැගෙන චෝදනා?

රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය නිසා ඉතා ශීඝ්‍රයෙන් බුද්ධි ගලනයක් රටේ සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව මෙම වසරේ සිට බලපැවැත්වෙන උපයන විට අයකිරීමේ නව බද්ද, වැටුප් සහ දීමනා කප්පාදුව හේතුවෙන් තමන්ගේ ආර්ථික තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අපහසු වීම නිසා, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් ඇතුළු විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත වෘත්තිකයන් විදේශගත වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2022 වර්ෂයේ සිට මේ වනතුරු ඉංජිනේරුවන් 70කට වඩා වැඩි ප්‍රමාණයක් විදෙස්ගතව තිබෙන අතර, තවත් සියයකට අධික ප්‍රමාණයක් රට හැර යෑමට තීරණ ගෙන ඇති බව අපට දැනුම් දී තිඛෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි බලාගාර හා විදුලි පද්ධතිය පවත්වාගෙන යාම ඉතාම අවදානම් වේවි.

 ඉන්දික හේවාවිතාරණ

බිත්තරේ රු.30ට දුන්නත් බේකරි නිෂ්පාදන මිල අඩු නොවෙයි


ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30  බැගින් බේකරි හිමියන්ට  ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු  බේකරි නිෂ්පාදනවල මිල අඩු කිර්මට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව බිත්තර ලක්ෂ විස්සක ප්‍රමාණය බේකරි හා කේක්  නිෂ්පාදනවලට ප්‍රමාණවත්  වන්නේ දින දෙක තුනක කාලයකට පමණක් බවද එම  සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.  නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය හා නිෂ්පාදකයා පවා සඳහන් විදේශ රටවලින් ගෙන්වූ  සැමන් වර්ග කිහිපයක් ප්‍රමිතියෙන් තොර බවට  තහවුරු වී ඇති බවත්,  නිෂ්පාදිත දිනයක් හෝ කල් ඉකුත් වීමේ දිනයක්  නොමැතිව ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර හරහා යම් සෞඛ්‍ය ගැටලු පවා ඇති විය හැකි බවත් ඔහු  පවසා සිටියේය.

බේකරි හිමියන්, ආපන ශාලා හිමියන්, හෝටල් හිමියන් සහ රටේ ජනතාවද විදේශ රටවලින් ගෙන්වන සැමන් භාවිත කරන බවත්, මේ නිසා අදාළ සැමන් තොග පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඒ මහතා පවසාසිටියේය.  බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය, විදුලි බිල සහ ගෑස් මිල ඉහළ යෑම නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා දවසක් දෙකක් අඩු මිලට බිත්තර  ලබාදුන් පමණින් බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමට  නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.   මේ අතර, ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර කල්  ඉකුත් වන දිනයක් පිළිබඳ නොදන්නා නිසාත්, එහි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ නොදන්නා නිසාත් බොහෝ බේකරි හිමියන්  විදේශ රටවලින් ගෙන්වන  බිත්තර මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් කුඩා හා මධ්‍ය  පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 

දේශීය වශයෙන් බිත්තර තොග ලබාගැනීමේදී තොග සැපයුම්කරුවන් හරහා කිකිළි බිත්තර දමා තිබෙන දිනය වකවානු පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමට හැකි බවත්, මේ අනුව බිත්තරයක් භාවිත කළ හැකි දින ගණන බේකරි හිමියන් දන්නා බවත් එම සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කළේය. ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමිතියෙන් තොර වුවහොත් දැනට ක්‍රියාත්මක වන බේකරි  ටික පවා වසා දැමීමට සිදුවන බවත්, මේ නිසා දේශීය බිත්තර කර්මාන්තය  වැඩිදියුණු කිරිමට බලධාර්න් කටයුතු කළ  යුතු බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ  සංගමය හා දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ  බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එච්.අයි. තුෂාර


ළමා නිවාස පාලිකාවගේ සැමියා දැරියන් 10 ක් බිලිඅරන්


රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක සහ දැරියන් දස දෙනකු වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන පුද්ගලයෙක් රක්වාන පොලිසිය විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා බවද පොලිසිය සඳහන් කරයි. ලිංගික අපයෝජනයකට ලක් වූයේ යැයි කියන තරුණිය සහ දැරියන් දසදෙනා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි. මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දැරියක නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ළමා නිවාසයේ පාලිකාව විසින් ඇයගේ නිවසට කැඳවාගෙන ගොස් පාසල් යවමින් ඇයට රැකවරණය ලබාදී ඇතැයි පොලිසිය  කියයි.

එම තරුණිය අවුරුදු 20ක් පමණ වයසැති තැනැත්තියකි. ළමා නිවසේ පාලිකාව නිවසේ නොමැති අවස්ථාවල ඇයගේ සැමියා තරුණිය ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.  සැකකරු ළමා නිවාසයේ දැරියන් දස  දෙනකුද ආකාරයෙන් වරින් වර ලිංගික අපයෝජනවලට ලක්කර ඇති බවට පරීක්‍ෂණ වලදී තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.  ඔහු සිය බිරිය පාලිකාව වශයෙන් සේවය කරන ළමා නිවාසයට පැමිණි අවස්ථාවලදී මෙම දැරියන් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  පරීක්ෂණ වලින් හෙළි වූ තොරතුරු මත සැකකරු රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයයූරිය

පොලිස් පෙම්වතිය පෙමට බෑ කිව්වාම රාලහාමි පොලිසියේ යකා නටලා


පෙමට පිටුපෑ, ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එහි පොලිස් නිලධාරින් කිහිපදෙනකු ඝාතනය කරන  බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ කොස්තාපල්වරයෙකි. එම කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල්වරියක සමඟ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. සැකකාර කොස්තාපල්වරයා සමඟ පැවැති එම ප්‍රේම සම්බන්ධතාව පොලිස් කොස්තාපල්වරිය විසින් මීට සතියකට පමණ ඉහතදී නවතා දමනු ලැබ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමෙන් කෝපයට පත් පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියට දුරකතන ඇමතුමක් ගෙන පොලිසියට කඩාවැදී එම කොස්තාපල්වරිය සහ පොලිසියේ තව තුන් හතර දෙනකු ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද එම නිලධාරියා කීය. පසුව ඔහු ඇඹිලිපිටිය පොලිසියේ කාන්තා භට නිවසට පැමිණ එහි දොරට වැරෙන් ගසමින්, කලහකාරි ලෙස හැසිරී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

සැකකරු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බව කියන කොස්තාපල්වරියද එම භට නිවාසයේ රැඳී සිට ඇතැයි පැවසේ.  පොලිස් කණ්ඩායමක් පැමිණ කොස්තාපල්වරයා අල්ලා මෙල්ල කර අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය සඳහන් කරයි.  ඇඹිලිපිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති. ඔහුගේ වැඩ තහනම් කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


තරුණියගේ ෆෝනයට ජරාවක් එවූ තරුණයෝ දෙදෙනා කූඩුවට


තරුණියකගේ ජංගම දුරකතනයට අසභ්‍ය ඡායාරූපයක් යැවූ තරුණයන් දෙදෙනකු ඉකුත් 24වැනිදා අත්අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම අනුරාධපුර පදිංචි අවුරුදු 24 සහ 25 වයසේ පසුවන තරුණයන් දෙදෙනකු බව පොලිසිය කියයි.  මෙම තරුණයින් දෙදෙනා දින ගණනාවක පටන් තරුණිය හඳුනාගෙන විවිධ දේ ජංගම දුරකතනය හරහා එවා ඇතත් තරුණිය ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. 

අවසාන වශයෙන් මෙම තරුණයන් දෙදෙනා පුරුෂයකුගේ රහස් පෙදෙසේ ඡායාරූපයක් දුරකතනයට එවීම පිළිබඳව කලබලයට පත්ව තරුණිය මේ සම්බන්ධයෙන් තම මව්පියන් දැනුවත් කර මදුරන්කුලිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. මේ සම්බන්ධයෙන් වහාම  ක්‍රියාත්මක වූ පොලිසිය දුරකතන තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වා තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.  සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.


 ලලිත් නවරත්න 

කන්දේ ගියර් මාරුවෙන් බසයේ 32ක් රෝහලේ

නෙල්ලිගල විහාරස්ථානයට වන්දනා නඩයක් රැගෙන යමින් තිබූ බස් රථයක් පෙරේදා 25 වැනිදා සවස විහාරස්ථානයට මීටර් 200ක් පමණ තිබියදී අඩි 60ක පමණ බෑවුමකට පෙරළීමෙන් එහි ගමන් ගත් තිස් දෙදෙනෙක් තුවල ලබා මහනුවර හා පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.  තුවාලකරුවන් අතරින් 26 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් හය දෙනකු මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කර සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වෛද්‍යවරු පවසති. මොරටුව ඉදිබැද්ද ගම්මානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබසාධන සමිතියේ සමාජික පිරිසක් මෙම බස් රථයේ පැමිණ තිබෙන බව අනාවරණය වී යැයිද පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු හා රිය සහායක ඇතුළු පුද්ගලයින් 48 දෙනකු බස් රථයේ සිට ඇති අතර නෙල්ලිගල විහාරස්ථානයට මීටර 300 ක් පමණ මෙපිටින් ආරම්භ වන කන්ද මගීන් සමඟ තරණය කිරීමට නොහැකි වීම රියදුරු මගීන් සියලු දෙනා බස්සවා කන්දේ කොටසක් තරණය කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී යැයි පොලිසිය කියයි.  අසීරු කොටස ධාවනය කිරීමෙන් පසු මගීන් සියලු දෙනා යළිත් බස් රථයට නංවා ගැනීමට රියදුරු පියවර ගෙන ඇත. එම අවස්ථාවේ විහාරස්ථානය දෙසින් තවත් බස් රථයක් පැමිණ එය මාර්ගය මැද නැවැත්වීම නිසා ඉදිරියට යාමට නොහැකිව වන්දනා නඩය ගමන් ගත් බස් රථයේ රියැදුරු තිරිංග තදකර ගියර් මාරු කිරීමට ගිය අවස්ථාවේ බස් රථය පසුපසට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන බෑවුමට පෙරළී තිබෙන බව පොලිසිය පවසයි. නෙල්ලිගල විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින හමුදා සෙබළු ප්‍රදේශවාසීන්ගේද සහය ලබා ගනිමින් තුවාලකරුවන් බස් රථයෙන් පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්හ.  අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවසයි. 

 ජේ.ඒ.එෆ්. ජයසිංහ 

ලොකුගේත් වලව්වකුත් ඇත්දළ ජෝඩුවකට ගැටුමක


සැකකරුවකු සමග පොලිස් භාරයට ගත් විශාල ප්‍රමාණයේ ඇත් දළ දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සහ වලව් පාර්ශ්වයක පුද්ගලයකු හිමිකම් කීමට ඉදිරිපත්ව ඇතැයි පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. මෙම ඇත්දළ යුගල මාතර පිටබද්දර ප්‍රදේශයේ දී ඉකුත් 12 වැනිදා පොලිස් භාරයට ගෙන ඇත. එය ලක්ෂ පනහකට අලෙවි කිරීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. ඇත්දළ යුගල සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස ප්‍රදේශයේ වලව්වකට සම්බන්ධ අයකු වන නිහාල් පෙරේරා නමැත්තකු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ප්‍රකාශ දෙමින් ඇත්දළ යුගලට අයිතිවාසිකම් කීමට ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.

අරගලකාරීන් පිරිසක් සිය නිවසට තැබූ අවස්ථාවේ දී කොල්ලකන ලද දේපළ  අතර තිබූ ඇත් දළ යුගල වසර කීපයකට ඉහත දී ඥාතියකු විදේශගත වන අවස්ථාවේ දී තමන්ට ලබාදුන් දළ යුගලක් බවත් එය බොහෝ දුරට නැති වූ ඇත්දළ යුගල බවට සැකකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට දුන් ප්‍රකාශයක සඳහන් වේ.

මේ අතර අකුරැස්ස දීගල වලව්වට හිමිකම් කියන පාර්ශ්වයේ සමීප ඥාතියකු භාරයේ මෙම ඇත් දළ යුගල තිබුණු බවත් එහිදී අස්ථානගත වූ ඇත් දළ යුගළ මෙය බවට සැකකරන බවත් එම වලව් පාර්ශ්වයේ පුද්ගලයකු වන නිහාල් පෙරේරා මහතා නමැත්තකු පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ. ඇත් දළ යුගල සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කළ ප්‍රකාශ මොරවක අධිකරණයට අද (27) වාර්තා කරන බවත් එහිදී පාර්ශ්ව දෙක ද අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් පානදුර දූෂණ මර්දන ඒකකය කියයි. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

දරු දෙදෙනා බෙන්තොට පාලම මත තබා ගඟට පැන්න මව බොට්ටු සේවකයෙක් බේරාගනී


බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි විවාහක කාන්තාවක අවුරුදු එක හමාරක සහ දහය වයසේ තම දරුවන් දෙදෙනා ඊයේ (26) පස්වරුවේ බෙන්තොට පාලම මත තබා ගඟට පැන සිටිය දී අසල බෝට්ටු සේවකයකු දියට පැන බේරාගෙන ඇති බව අලුත්ගම පොලිසිය කියයි. අලුත්ගම පොලිසියට ලැබුණු 119 හදිසි ඇමතුම් පණිවිඩයක් අනුව එම කාන්තාව 1990 ගිලන් රථය  මගින් බෙන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර අනතුරුව බළපිටිය ප්‍රාදේශීය රෝහලට මාරු කර ඇති බව පොලිසිය පවසයි. මෙම කාන්තාව ඊයේ (26) උදෑසන බළන්ගොඩ ප්‍රදේශයේ සිට ඌරගස්මන්හන්දියේ සිටින සිය සැමියා හමුවීමට පැමිණ ඇති අතර ඇය සහ දරුවන් දෙදෙනා අලුත්ගම නගරය පසුකර බස් රථයේ ගමන් කරන අතරතුර සැමියා ඇයගේ දුරකතනයට ඇමතුමක් දී ආපසු යන ලෙස දැනුම් දී ඇතැයි පැවැසේ. 

ඒ අවස්ථාවේ මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග බස් රථයෙන් බැස බෙන්තොට පාලම මතට පැමිණ වැඩිමල්  දරුවාට අවුරුදු එකහමාරක් වන දරුවා බලාගන්නා ලෙස දන්වා එකවරම ගඟට පැන ඇති බව අලුත්ගම පොලිසිය කළ පරීක්ෂණවල දී අනාවරණය කරගෙන තිබේ. අලුත්ගම පොලිසිය දරු දෙදෙනා රැගෙනවිත් ආරක්ෂා සහිතව රඳවා තබා ආහාර පාන ලබාදී ඇති අතර කාන්තාව බළපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර අත්තනායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ආලෝක මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ සිදු කරයි.

තුසිත කුමාර ද සිල්වා 


Friday, February 24, 2023

පුංචි ඡන්දය ගැන පෙත්සම යළි සලකා බැලෙන්නේ මැයි 11දා


පළාත් පාලන මැතිවරණයට මුදල් ප්‍රතිපාදන සැපයීම පාර්ලිමේන්තු කටයුත්තක් වන හෙයින් ඊට මැදිහත්වීමට අධිකරණයට පවතින හැකියාව ඉතාම අවම යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ඊයේ (23දා) පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් විශ්‍රාමික කර්නල්වරයෙකු ගොනු කොට ඇති පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී එලෙස දැනුම් දුන් අතර, මැතිවරණයට මුදල් ප්‍රතිපාදන නොදීම සහ තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ආකාරයට මුද්‍රණය නොකිරීම සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප  කළේය.

පළාත් පාලන මැතිවරණයට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම සම්බන්ධයෙන් ලබන මැයි මස 11වැනිදා කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිසමට නියම කළේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයි සහ මුදල් නොමැති තත්ත්වයක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් ගොනුකර ඇති පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කොට ඇති අතර, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ගොනුකර ඇති ඊට් පෙත්සම මෝෂමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයි ඉල්ලමින් විශ්‍රාමික කර්නල්වරයා පවරා ඇති පෙත්සම යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් නියමිත දිනයට පළාත් පාලන මැතිවරණය පවත්වන බව මීට පෙර අවස්ථාවකදී මැතිවරණ කොමිසම අධිකරණයට ප්‍රතිඥාවක් දුන්නත් මේ වනවිට උද්ගත ඇති මුදල් ප්‍රතිපාදන හිඟකම සහ අනෙකුත් පහසුකම්වල හිඟකම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම දුෂ්කර කාර්යයක් වී ඇතැයි පැවසීය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ බෙදීමක් ඇතැයි ආරංචි පැතිර යන නමුත් එහි කිසිදු ආකාරයක බෙදීමක් සිදු වී නැතැයි කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිසි අයුරින් මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ මුදල් ප්‍රතිපාදන නොමැති වීම සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය තැපැල් ඡන්ද පත්‍රිකා නිසි ආකාරයට මුද්‍රණය නොකිරීම නිසා යැයිද කීය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නොතීසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. එම කරුණ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඒ සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් ගොනුකොට ඇති පෙත්සම් යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීර්ස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සමේ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් වන දේශපාලන පක්‍ෂ නම් කොට නැතැයි පෙන්වා දුන්නේය. එම කරුණ මෙන්ම මෙම පෙත්සම ගොනු කොට ඇත්තේ ඡන්දදායකයෙකු නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ඉල්ලා සිටියේය”

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙර්න් පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඉන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවත් දැනුම් දුන්නේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයට අනුව රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බවත්, ඒ හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාම වියදම් සීමා කිරීමට තීරණය කර ඇති අතර, එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ වියදම් දැරීම අපහසු තත්ත්වයකට පත්ව ඇතැයිද කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කෙසේ නමුත් මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදීමට භාණ්ඩාගාරය සෑම උත්සාහයක්ම දරන්නේ යැයිද කීය.

මැතිවරණ වියදම් වශයෙන් පසුගිය ජනවාරි මස 31වැනිදා රුපියල් මිලියන 30ක්ද, පෙබරවාරි මස 07වැනිදා රුපියල් මිලියන 70ක්ද, ඉන් අනතුරුව රුපියල් මිලියන 45ක්ද ප්‍රතිපාදන වෙන්කර ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉතිරි මුදල් ලබාදීමට මුදල් අමාත්‍යවරයා අනුමැතිය ලබාදිය යුතු බවත්, රටට මුදල් ලැබීම් වැඩිදියුණු වුවහොත් මැතිවරණ සඳහා මුදල් ලබාදීමට හැකියාව ඇති බවත් කීය. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතා මේ සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් ලබාගත හැකිදැයි විමසීය. ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙන් පුල්ලේ මහතා මුදල් සොයාගැනීම සඳහා මහා භාණ්ඩාගාරය හැකි සෑම උත්සාහයක්ම දරන්නේ යැයි පැවසීය. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් සර්ව ජන ඡන්දය ජනතාවගේ අයිතියක් යැයිද, නිසි කලට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් යැයිද පැවසීය.

කෙසේ වුවද මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් වෙන් කිරිමට මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත්, ඒ අනුව පෙනෙන්නට ඇත්තේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට සිද්ධ වී ඇත්තේ ජනාධිපතිවරයාගේ අභිමතයට යටත්ව යැයිද කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඡන්ද කල් දැමීමට මුදල් ඇමතිවරයාට ඉඩ දිය නොහැකි යැයිද කීය. ශ්‍රේෂ්ඨාධිකරණය ජනතාවගේ සර්වජන ඡන්දය අයිතිය ආරක්‍ෂා කළ යුතු යැයිද, මේ තත්ත්වය අනාගතයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයටද ඍජුවම බලපාන බවද පෙන්වා දුන් සාලිය පීර්ස් මහතා මේ තත්වය යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඒ මැතිවරණ වුවද කල් දැමීමට හැකියාව ඇතැයි කීය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්, තුරෙයිරාජා මහතා “භාණ්ඩාගාරයේ මුදල් නැහැ කියන එක පාර්ලිමේන්තුවට අදාළ කරුණක්. මේ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් විය. හැකිකේ අවම වශයෙනුයි. මැතිවරණයට කොපමණ මුදලක් යනවද?” යනුවෙන් විමසීය.  ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් "රුපියල් මිලියන 8000ක් විතර වැය වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දීමට මැතිවරණ කොමිසම අපේක්‍ෂා කරන හෙයින් ඒ සඳහා කල් ලබාදෙන්නැ”යි ඉල්ලා සිටියේය.

ඊට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම යළි කැදවනු ලබන මැයි 11වැනිදා ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මැතිවරණ කොමිසමට නියම කළේය. පැෆ්රල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත් සිං මහතා කරුණු ඉදිරිපත් කරමින් මැතිවරණයට අවශ්‍ය මුදල් ජනතාවගෙන් එකතු කර ලබාදීමට හැකියාව ඇතැයි කීය. අධිකරණය ඇමතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා රටේ ජනතාවට එදිනෙදා මූලික කටයුතු හෝ සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, එවැනි තත්ත්වයක් තුළ ජනතාවගෙන් මුදල් ඉල්ලීමට හැකියාවක් නැති වුවද කැමති කෙනෙකු ඇත්නම් මහා භාණ්ඩාගාරයට මුදල් පරිත්‍යාග කිරීමට හැකි බවත් කියා සිටියේය. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ලබන 11වැනිදා යළි කැඳවීමට නියම කළේය.


බුද්ධිමාල් රුබේරු

එංගලන්ත කතකට අතවර කරන්න ගිහින් අත්අඩංගුවට


එංගලන්ත  ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ජංගම දුරකතනයද අතහැර පලාගිය පුද්ගලයකු ජංගම දුරකතනයේ තිබූ ඡායාරූපයකින් හඳුනාගෙන සැකපිට අත්අඩංගුවට ගත් බව කිරින්ද පොලිසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. එම එංගලන්ත ජාතික කාන්තාව මෙරට සංචාරයක් සඳහා මවුපියන් සමග පැමිණ කිරින්ද ප්‍රදේශයේ  නිවෙසක ලැගුම්ගෙන සිට ඇත.  ඇය එම නිවෙස ඉදිරිපිටට පෙරේදා (22) මධ්‍යම රාත්‍රියේ පැමිණ සිටිය දී පුද්ගලයකු පැමිණ ඇයගේ මුහුණ බල හත්කාරයෙන් සිපගෙන ඇයට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොරබදා ඔහු මෙල්ල කර ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය කියයි.

ඔහු එම කාන්තාවගෙන් ගැලවී පලා  ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම පොර බැදීමේ දී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය බිම වැටී ඇති අතර ඇය එය අහුලාගෙන පොලිසියට පැමිණ පැමිණිල්ලක් දුරකථනය ද පොලිසියට බාර දී ඇත. එම දුරකථනයේ තිබූ ඡායාරූපයකින් සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

මරණ දඬුවම නෑ - ජනපති තීරණය කරයි

මරණ දඬුවම නියම කර ශ්‍රී ලංකාවේ කුමන හෝ බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් නීතිපතිවරයා ඒ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක්ද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ඊයේ (23) ඉදිරිපත් කළේය. මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවන්ව මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින විත්තිකරුවන් හතර දෙනකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ලේඛනවලට අත්සන් තැබීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ දී ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම්  පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේ දී මරණ දඬුවම නියම කර ශ්‍රී ලංකාවේ කුමන හෝ බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ලේඛනවලට අත්සන් නොකිරීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන  විජිත්  මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්, තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැඳුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේ දී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේය. මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවන්ව මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින විත්තිකරුවන් හතර දෙනකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සඳහා ලේඛනවලට අත්සන් තැබීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේ දී ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අදාළ සිරකරුවන්, විකල්ප ප්‍රතිපත්ති  කේන්ද්‍රය, ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි  විත්තිකරුවන් හතරදෙනකුගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන බවට  2019 ජූනි 26 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් විත්තිකරුවන් තෝරාගත් ආකාරය පිළිගත් පටිපාටියට පටහැනි බව එම පෙත්සම්වල සඳහන් කර තිබිණි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිපත්තිය නොවන හෙයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ලංකාවේ කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොකිරීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයා වෙත යොමු කළ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන මහත්වරු කරුණු දක්වමින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතත් අනාගතයේදී පත් වන ජනාධිපතිවරුන් මෙම තීරණය අනුව කටයුතු කරනු ඇතැයි අනුමාන කළ නොහැකි යැයි පැවසූහ. මේ හේතුවෙන් මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුවක් අපේක්ෂා කරන්නේ යැයි කී සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.

මනෝප්‍රිය ගුණසේකර

මිගමුව පාතාල මර්දනයේදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට


මීගමුව කොට්ඨාස පාතාල මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු ඊයේ (23) අලුයම කටුනායක මාදූව ප්‍රදේශයේ වෙල්යායක දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ, හීනටියන ප්‍රදේශයේ පදිංචි බුද්ධික දිනේෂ් සෝමවංශ (31) නමැති තරුණයකු බවත්, ඔහු දැනට ඩුබායි හි සැඟව සිටින “හීනටියන මහේෂ් " නමැති අයගේ ගෝලයකු බවත් පොලිසිය පවසයි. මෙම සැකකරුට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇති බවද පොලිසිය  කියයි.

මෙම සැකකරු වැලිගම මුහුදු වෙරළේ දී පෙරේදා (22) පස්වරුවේ මීගමුව කොට්ඨාස පාතාල මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු අපරාධ සඳහා භාවිතා කළ  පිස්තෝලයක් සහ අත්බෝම්බයක් මාදූව වගුරු බිමක සඟවා ඇති බවට හෙළි වූ තොරතුරු අනුව ඊයේ අලුයම 5.50 ට පමණ පොලිස් කණ්ඩායමක් එම ආයුධ සොයා සැකකරු සමග එම ස්ථානයට ගොස් තිබේ.

එහි දී සැකකරු එම ස්ථානයේ සගවා තිබූ අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙතට එල්ල කරන අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකරු පොලිස් නිලධාරීන් වෙත එල්ල කළ අත්බෝම්බය පුපුරා නොගොස් ඇති අතර, ඊයේ පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එය නිෂ්ක්‍රීය කරන ලද බව පොලිසිය කියයි. මියගිය අයගේ සිරුර මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දිකා රාමනායක

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත එරෙහිව අභියාචනාධිකරණයට අපහාස චෝදනා දෙකක්



ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේ දී මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව 2ක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා දැනුම් දුන්නේය. විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන හඬ පට සම්බන්ධයෙන් සැකයක් ඇත්නම් රජයේ රස පරීක්‍ෂවරයා වෙත ඒවා යොමු කිරීමට හැකියාව ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය දැනුම් දුන් අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා ඊට විරුද්ධත්වය පළ කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ඒ.එම්.ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදි. ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේ දී මහේස්ත්‍රාත්වරුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා අධිකරණ සේවා සංගමය  මහෙස්ත්‍රාත්වරුන් හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතීඥවරුන් දෙදෙනකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහුට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා සහ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා නම් කරනු ලැබ සිටිති. පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම මාර්තු මස 28 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා සාලිය පීරිස් යන මහත්වරුන් පෙනී සිටි අතර වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය. නීතීපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියා.


මනෝප්‍රිය ගුණසේකර

Thursday, February 23, 2023

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයාට පහරදී ,අතවර චෝදනාවකුත් කරලා

 


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට පහරදීම පිළිබඳ අත්අඩංගුවට ගත් කාන්තාව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුට ලිංගික අතවර චෝදනා එල්ල කොට ඇත. සප්නා ගිල් නමැති මෙම කාන්තාව ඇතුළු තිදෙනෙකු මෙම ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන සප්නා ගිල් නමැති මෙම 31 හැවිරිදි කාන්තාව පවසන්නේ, ප්‍රිත්වේ හා ඔහුගේ මිතුරා තමන්ව ශාරීකව අපයෝජනයට ලක්කිරීමට තැත්කළ බවයි. මීට දින කිහිපයකට පෙර ප්‍රිත්වි ෂෝ හා ඔහුගේ මිතුරු අෂිෂ් සුරේන්ද්‍ර යාදව් මෙම සිදුවීමට මුහුණ පෑවේ ඔවුන් දෙදෙනා තරුපහේ හෝටලයක රාත්‍රී ආහාරයට ගිය අවස්ථාවේදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී පිරිසක් ප්‍රිත්වි සමගින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ඉල්ලීමක් කර ඇති බවත්, ඔහු පළමුව එම ඉල්ලීම පිළිගෙන ඔවුන් සමගින් ඡායාරූප ලබාගෙන ඇති බවත්ය. නමුත් දිගින් දිගටම ඔවුන් ඡායාරූප ගැනීමට  ප්‍රිත්විට බල කිරීමත් සමගින් ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඒ බව අදාළ හෝටලයේ කළමනාකරුවෙකුට පැමිණිලි කර ඇත. කෙසේ වෙතත් පසුව පිරිසක් පැමිණ ප්‍රිත්වි සහ ඔහුගේ මිතුරා පැමිණි මෝටර් රථයට බේස්බෝල් පිතිවලින් පහර දී අලාභ හානි සිදුකර ඇත. පහරකෑමට ලක්වූ ප්‍රිත්වි  හා ඔහුගේ මිතුරා චෝදනා කරන්නේ පහරදීමට අමතරව මෙම පිරිස විසින් ඉන්දීය රුපියල්  50,000ක මුදලක්ද තමන්ගෙන් ඉල්ලා සිටිමින්, එය නොදුනහොත් ව්‍යාජ නඩු පවරන බවට තර්ජනය කර ඇති බවයි.

රෝහල් ඇතුළු රජ්‍ය ආයතනවලට භාණ්ඩ සැපයු සැපයුම්කරුවන්ට මාස 08කින් මුදල්


රෝහල් ඇතුළු රජයේ ආයතනවලට සනීපාරක්‍ෂක ද්‍රව්‍ය හා වෙනත් උපකරණ ලබාදුන් සැපයුම්කරුවන්ට මාස 08කට වැඩි කාලයක සිට මුදල් ගෙවා නොමැති බවත්, මේ නිසා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ කර්මාන්ත වැසී යමින් තිබෙන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ  කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. විෂබීජ නාශක වර්ග, අත් පිසින කඩදාසි, විවිධ බෑග් වර්ග වැසිකිළි කැසිකිළි සඳහා භාවිත කරන විෂබීප් නාශක ඇතුළු උපකරණ හා විවිධ බෑග් වර්ග රෝහල්වලට ලබාදීම සිදුකරනු ලබන්නේ, කර්මාන්තකරුවන් විසින් බව  එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව මධ්‍යම රජය විසින් හා පළාත් සභාව විසින් පාලනය කරනු ලබන රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ලබාදීමත් කර්මාන්තකරුවන් විසින් සිදුකරන බවත්, මෙම භාණ්ඩ ලබාදීම වෙනුවෙන් දින 30කට හෝ දින 45කට වරක් මුදල් ලබාදීම සිදු වූ බවත් හෙතෙම පවසා සිටියේය. එහෙත් ඇතැම් ආයතන මේ වනවිට මාස 6, 7ක කාලයක සිට අදාළ භාණ්ඩ ලබාදීම වෙනුවෙන් මුදල් ගෙවීම සිදුකර නොමැති බවත්, සමහර ආයතන මාස තුන හතරක කාලයක සිට මුදල් ගෙවීම පැහැරහැර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. 

මේ නිසා සමහර කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා වැසී ගොස් තිබෙන බවත්, ඇතැම් ආයතන නිෂ්පාදන කටයුතු සීමා කරමින් නිෂ්පාදනය කරමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම තත්ත්වය අඛණ්ඩව පැවැතියහොත් රාජ්‍ය ආයතනවලට හා රෝහල්වලට භාණ්ඩ සැපයීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණයක් ගැනීමට සිදුවන බවත්, දැනට බොහෝ කර්මාන්තකරුවන් සැපයුම් සිදුකරනු ලබන්නේ පසුගිය කාලයේදී ලබාදුන්  සැපයුම් සදහා කඩිනමින් මුදල් ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන්දික හේවාවිතාරණ

පාකිස්තානය සහ (IMF) අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව මේ සතියේදී?

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉල්ලා ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක ණය මුදල සම්බන්ධයෙන් වන කාර්යමණ්ඩල මට්ටමේ එකගතාවට පැමිණීම මෙම සතියේදී සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි  අපේක්ෂා කරන බව පාකිස්තානය පවසයි. විශේෂයෙන්ම මෙම ණය අනුමැතියත් සමග එරට වෙත ණය පහසුකම් ලබාදීම සඳහා සූදානමින් සිටින ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය දෙන්නන්ගේ  ණය එරට වෙත පැමිණීම ආරම්භ වනු ඇතැයිද පාකිස්තානයේ අපේක්ෂාව වී තිබේ.

2023 වසර සඳහා වන පරිපූරක මූල්‍ය කෙටුම්පත එරට ජාතික සභාව තුළ සම්මත වී  දිනකට පසුව මෙම අපේක්ෂාව පවතින බව එරට මුදල් රාජ්‍ය ඇමතිනී අයිෂා ඝායුස් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හමීඩ් යාකුබ් පවසයි. මේ අතර පාකිස්තානය මෙම සතියේදී චීනයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බව එරට මුදල් ඇමති ඉෂාක් ඩාර් පවසයි. මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා සියල්ලම දැනටමත් සිදුකර අවසන් බවද ඔහු පවසා තිබේ.

ඒ අනුව, මෙම සතියේදී එම  මුදල් පාකිස්තාන මහ බැංකුව වෙත බැරවෙනු ඇති බවත්, ඒ හරහා පාකිස්තානය දැනට මුහුණදී සිටින විදේශ විනිම සංචිත අර්බුදයට යම් තරමක සහනයක් හිමිවනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසා සිටියි. පාකිස්තානය මුහුණ දී සිටින දරුණු ආර්ථික අවපාතයත් සමගින්ම අද වන විට එරට විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් දක්වා පහත වැටී තිබේ. එය එරටට අවශ්‍ය සති තුනක ආනයනය සදහා ප්‍රමාණවත් මුදලකි.


රාත්‍රියට පැමිණෙන සෞඛ්‍ය නිලධාරින්ට බරවා තුරන් කිරිමට සහාය දෙන්න


බරවා රෝගීන් හදුනාගැනීම වෙනුවෙන් මේ දිනවල සෞඛ්‍ය නිලධාරීන් ඔබේ නිවසට පැමිණ රාත්‍රී රුධිර පරීක්‍ෂාවන් සිදුකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඒ සඳහා සහයෝගය ලබාදීමෙන් 2030දී බරවා මෙරටින් තුරන් කිරීමේ අරමුණ ජය ගැනීමට හැකියාව රටක් ලෙස  අපට ලැඛෙනු ඇත. මේ දිනවල නිවෙස්වලට පැමිණ සිදුකරන රුධිර පරීක්‍ෂාවන් සම්බන්ධ සාවද්‍ය හා මිථ්‍යා මත සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බැවින් මහජනතාව දැනුවත් කිරීම සඳහා බරවා මර්දන ව්‍යාපාරය විසින් ඊයේ (22දා) සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. මේ එහිදී එම ව්‍යාපාරයේ නිලධාරීන් දැක්වූ අදහස්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බරවා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය උදය රත්නායක මහතා,

”බරවා රෝග මර්දන ඒකකය ලෙස,  බරවා රෝගය ශ්‍රී ලංකාවෙන් 2030 වර්ෂයේ සහමුලින්ම තුරන් කිරීමට දැක්මක් ඇතිව සිටිනවා. බරවා රෝගය බොහොම කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පවතින රෝගයක්. නමුත් සමාජයේ මතයක් තිබෙනවා බරවා රෝගය අපේ සමාජයේ නැහැ කියලා. මෙම අවස්ථාව ඉතාම වැදගත්  මේ තත්ත්වය පැහැදිලි කරන්නට, බරවා  රෝගය අපේ රටේ අඩුයි. නමුත් සම්ප්‍රේෂණය තවමත් සමාජයේ තිබෙනවා. අපේ සංඛ්‍යාලේඛන අනුව රාත්‍රියේ රුධිර පටල ලබාගැනීම් පරීක්‍ෂා කිරීමේදී බරවා රෝගය ආසාදිත වූ රෝගීන් 2022 වර්ෂයේදී  350-400ත් අතර ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.ඒ වගේම කකුල ඉදිමුණු රෝගීන් 2022 වර්ෂයේදී 500-600ක් අතර හඳුනාගෙන තිබෙනවා. මින් අදහස් වෙන්නේ බරවා රෝගය තවමත් අපේ අතර සම්ප්‍රේෂණය වන බවයි. මෙම රෝගය මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව දිස්ත්‍රික්ක අටක බහුලව දක්නට ලැබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, පුත්තලම, කුරුණෑගල ආශ්‍රිත දිස්ත්‍රික්කවල මෙම රෝගීන් වාර්තා වීම වැඩියි.

2030 වර්ෂය වනවිට බරවා රෝගය අපේ රටින් තුරන් කරන්ත යන ගමනේදී අපි නොයෙක් ක්‍රමෝපායන් පාවිච්චි කරනවා. බරවා රෝගය මර්දනයට ක්‍රමෝපායන් ප්‍රධාන වශයෙන් තුනක් අපි භාවිත කරනවා. ඒවා තමයි රාත්‍රියේ රුධිර පටල පරීක්‍ෂාව, බරවා රෝගය පතුරවන මදුරුවන් හඳුනා ගැනීම සදහා නිවෙස් ආශ්‍රිතව මදුරුවන් පරීක්‍ෂා කිරීම, කකුල් අත්පා ඉදිමෙන රෝගීන් සදහා සංකූලතා ඇති වෙන්නට ප්‍රථමව ප්‍රතිකාර ලබාදීම. ඒ අනුව ඉහත කී දිස්ත්‍රික් අට තුළ මේ ක්‍රමවේද ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අවස්ථාව වනවිට අපි රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් මදුරුවන් මර්දනය කිරීමේ ක්‍රියාවලියේ යෙදෙන්නේ නැති තරම්. උපදෙස් ලබා දෙන්නේ තම තමාගේ නිවෙස්වල මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර ගන්නා ලෙසයි. එය බරවාවලට පමණක් නොවෙයි අනෙක් මදුරුවන්ගෙන් බෝවන රෝගවලින් ආරක්‍ෂා වෙන්නත් හොඳ ක්‍රමවේදයක්. බරවා මදුරුවා දශ්ඨ කරන්නේ රාත්‍රී කාලයෙයි. ඒ නිසා රාත්‍රියේ නිදාගන්නා විට නෙට් පාවිච්චි කරන්න. කාණු පද්ධතිවල, පල්වෙන වතුර රැදෙන තැන් සුද්ධ පවිත්‍ර කිරීම ඉතාම වැදගත්. පළාත් පාලන ආයතන මේ සදහා අපි දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් විවිධ වැඩසටහන් පවතිනවා. නමුත් 100%ක්ම අපට නිවැරදි කර ගන්න අපහසු වෙලා තිබෙනවා.

අපට ප්‍රජාවගේ සහාය ලැබෙනවා නම් විශේෂිත ව්‍යාපෘති කරන්න අවශ්‍ය නැහැ. අපට රාත්‍රී කාලයේ රුධිර පටල පරීක්‍ෂාව සඳහා කාර්යමණ්ඩලය සිටිනවා. ප්‍රශ්නය තිබෙන්නේ ප්‍රජාවගේ තිබෙන මිථ්‍යා මත නිසා රෝගය අපේ සමාජයේ මේ රෝගය නැහැ කියලා හිතාගෙන අපට දක්වන සහාය අඩුයි. රුධිර පරීක්‍ෂාවට ගියාම ගෙවල්වල දොරවල් අරින්නේ නැහැ. ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. නමුත් අපි එහෙම රුධිර පරීක්‍ෂාවට තෝරාගන්නා නිවෙස් දහවලේදී දැනුවත් කරනවා. එහෙම දැනුවත් කරලා තමයි අපි රාත්‍රියේදී රුධිර පරික්‍ෂාවන්ට යන්නේ ප්‍රජාව අපට සහාය දෙනවා නම් අවම තරමේ බහුලව රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්කවල ඉන්න අය මෙයට සහයෝගයක් දෙනවා නම් රෝගය හඳුනාගෙන එක්දින ප්‍රතිකාර වැනි ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ බරවා රෝග නිවාරණයට පැමිණෙන නිලධාරීන්ට සහාය දෙන්න. 

මොවුන් ඔබේ නිවසට රුධිර පරීක්‍ෂාවන්ට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදීයි. ඒ වගේම මදුරුවන් පරීක්‍ෂාවට නිවෙස්වලට පැමිණෙන්තපුළුවන්.මේමදුරුවෝ බොහෝ වෙලාවට සිටින්නේ නිදන කාමරවල ඇදුම් රාක්ක ආශ්‍රිතව. මේ මදුරුවන් අල්ලා පරීක්‍ෂා කිරීම් අධ්‍යයනය කරනවා. ඒ සදහා උපරිම සහාය ලබා දෙන්න. මේ නිලධාරීන් නිල ඇඳුමෙන් එන්නේ, ඔවුන්ගේ සේවා හැදුනුම්පත් ඔවුන් සතුවයි එන්නේ, ඒ වගේම ඔවුන් මේ තොරතුරු අදාළ දිනයේ දහවල් කාලයේදී ඔබ වෙත පැමිණ අනන්‍යතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම කටයුතු සදහා පැමිණෙන්නේ.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා  වෛද්‍ය විශේෂඥ ඉන්දීවරි ගුණරත්න මහත්මිය,

“බරවා කියන රෝගය ගැන කතා කළොත් මේ රෝගය මදුරුවෙක් මගින්  පරපෝෂිතයෙක් ශරීරගත කිරීම  නිසා වසා පද්ධතිය ආශ්‍රිතව ඇති  වන රෝගයකට.බරවා කියූ සැනින් අපට මතක් වෙන්නේ, විශාල සැරව ගලන විරූපී වුණු කකුලක්. මෙය තමයි අවසන් ප්‍රතිඵලය. මේ තත්ත්වයට යන එක සම්පූර්ණයෙන්ම වළක්වාගත  හැකියි. පළාත් 3ක දිස්ත්‍රික්ක 8ක තමයි මේ  රෝගය පැතිරිලා තියෙන්නේ, මේ රෝගයේ සම්ප්‍රේෂණය ඉතාම අඩුයි වසංගත තත්ත්වයක් ඇති වන රෝගයක් නොවෙයි. නමුත් මේ රෝගය වැලදීම නිසා මුළු ජීවිත කාලයේම අපහසුතාවට පත් වෙමින් ජීවත් වෙන්ත සිදුවෙනවා.

ලංකාවේ පරපෝෂිතයන් වර්ග දෙකක් වාර්තා වෙනවා. වුචරේරියා බැන්ක්‍රොෆ්ට් හා බෘගියාමලායි   කියන පරපෝෂිත පණු වර්ග දෙකක්. මේ පණුවන් තමයි අපේ ශරීරයට ඇතුළු වෙන්නේ. මේ පණුවන් අපේ ශරීරයට ඇතුළු කරන මදුරුවන් වර්ග දෙකක් ඉන්නවා. ක්‍යුලෙක්ස් කියන මදුරුවා නගරබදව අභිජනනය කරන මදුරුවෙක්. නාගරික බරවා රෝගය පතුරුවන මදුරුවා තමයි මේ. ග්‍රාමීය බරවා රෝගය පතුරු වන්නේ, මැන්සෝනියා කියන මදුරු විශේෂය. මේ මදුරුවන් බිත්තර දාන්නේ ජලජ පැලෑටි බහුල ලාශවල. ප්‍රාදේශීය වශයෙන් මෙම අභිජනන ස්ථාන ඉවත් කිරීමට නිලධාරීන්ගෙන් සහාය අවශ්‍ය වෙනවා.  ඒ වගේම නගරබදව කුණු කානු ආශ්‍රිතව, කැඩුණු බිඳුණු වැසිකිළි වළවල්වල විශාල වශයෙන් අභිනනය කරනවා දකින්න පුළුවන්. පරපෝෂිත පණුවා අපේ ශරීරයට ඇතුළු වුණාම බහුතරයකට කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. පණුවන්ගේ ජීවිත කාලය අවුරුදු පහක් හයක් පමණ වෙනවා. ඒ අනුව මේ පණුවන් ශරීරයේ පණු පැටවුන් විශාල වශයෙන් ශරීරයේ ඇති  කරමින් රුධිරයට මුදාහරිමින් ජීවත් වෙනවා. කිසිම රෝග ලක්‍ෂණයක් නැතිව මේක සමාජයේ පැතිරෙනවා. දිවා කාලයේ අපේ පෙණහලු තුළත් රාත්‍රී කාලයේ පර්යන්ත රුධිරයේත් මේ පණුවෝ ඉන්නවා. 

පෙණහලු තුළ මේ පණුවෝ ඉන්ත නිසා කාලාන්තරයක් තිස්සේ පවතින කැස්සක් වගේම රාත්‍රී කාලයේ ඇදුම තත්ත්වයක්, ඇග කෙට්ටු වීමක්, බර අඩුවීමක් වගේ රෝග ලක්‍ෂණ ඇතැමුන් තුළ පෙන්නවන්න පුළුවන්. පර්යන්ත රුධිරයට මේ පණුවෝ ආවිට කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්වන්නේ නැහැ. පර්යන්ත රුධිරයට මේ පණුවෝ ආවට පස්සේ අපට තිබෙන එකම හා නිවැරදි ක්‍රමය තමයි රාත්‍රී රුධිර පටල පරීක්‍ෂාවකින් ක්‍ෂුද්‍ර පණුවන් හඳුනාගැනීම. ඒ සදහා බරවා මර්දන ව්‍යාපාරයේ මූලස්ථානයෙන් හා ප්‍රාදේශීය බරවා මර්දන ඒකකවලින් සෞඛ්‍ය නිලධාරීන් හා මහප්ත සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් මේ රාත්‍රී රුධිර පරික්‍ෂාවන්ට යොමු වෙනවා. ඒ අනුව ජීවානුහරණය කරන ලද කටුවකින් ඇඟිල්ල සිදුරු කර රුධිරය බිදු දෙකක් පමණ වීදුරු කදාවක් මතට ලබාගැනීමක් සිදු කරනවා. මේ පාවිච්චි කරන විදින කටුවෙන් HIV වැනි කිසිම රෝගයක් බෝවෙන්නේ නැහැ. මේ දවස්වල අසත්‍ය හඬපටයක් පැතිරෙනවා විදින කටුවලින් විදලා HIV පතුරවනවා කියලා. අපි වගකීමෙන් කියනවා අපේ නිලධාරීන් අනන්‍යතාව තහවුරු කරලා සිදුකරන මේ රුධිර පරීක්‍ෂා කටයුතුවලින් එලෙස කිසිදු රෝගයක් සම්ප්‍රේෂණය නොවන බව. ඔවුන් පාවිච්චි කරන මේ විදින කටු එක් අයෙකුට එකයි පාවිච්චි කරන්නේ. ඔබ ඉදිරියේදී අසුරණයෙන් පිටතට ගෙන පාවිච්චි කරන්නේ, මේ වගේ ලබාගත්ත රුධිර පටලවලින් වසරකට 100ක් වගේ හදුනා ගන්නවා බරවා ආසාදිත බවට. මූලික අවස්ථාවේ මේ රෝගීන් හදුනා ගන්න

බැරි වුණොත් අවුරුදු 10ක් 15ක් ගත වනවිට ඔවුන්ගේ කකුල් ඉදිමෙන්න පටන් ගත්තවා. මෙයට හේතුව පරපෝෂිතයන් ශරීරයේ වසා පද්ධතිය තුළ ජීවත් වීම. එවිට වසා නාල අවහිර කරලා වසා ගැටිති අවහිර කරලා මොවුන් කාලයක් තිස්සේ ජීවත් වීම නිසා වසා පද්ධතිය අඩ පණ වෙනවා. එවිට එල්ලා වැටෙන අවයවවල වසා තරල එකතු වීම සිදු වෙනවා. මේක කකුල්වල, අත්වල, කාන්තාවන්ගේ පියයුරුවල, පිරිමි අයගේ වෘෂණ කෝෂවල මෙම තරලය එකතු වෙන්න පුළුවන්. මේ රෝගය මූලික අවස්ථාවේදී සවස් කාලයේ ඉදිමුම් තත්ත්වයක් විදිහටයි දකින්නේ. ටික කලක් යද්දී මෙම ඉදිමුම් උදේ කාලයේත් පවතිනවා. මීළගට ඉදිමුම්වල නැමුම් මතුවෙන්න පුළුවන්, ඒක වර්ධනය වෙද්දී විශාල නැමුම් ඇතිවෙලා විෂබීජ රැදෙන්න පටන් ගන්නවා. කකුල් අවපැහැ ගැන්විලා ගැටිති ඇවිත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. කකුල් ඉදිමීමට එකම හේතුව බරවා නොවෙයි. විවිධ හේතු තිබෙන්න පුළුවන් උත්පත්තියෙන්ම වසා පද්ධතියේ ගැටලු තිබෙන අය ඉන්න පුළුවන්. පිළිකා නිසා පිළිකා ප්‍රතිකාර නිසා, අනතුරු නිසා, දියවැඩියාව නිසා, කකුල්වලට විශඛීප් ගියාම මේ වගේ කකුල් ඉදිමෙන්න පුළුවන්.

ඒ නිසා ඉදිමුමට හේතුව කුමක් වුණත් කකුල් රැකගැනීමේ මධ්‍යස්ථාන පිහිටවලා තිබෙනවා සායන 20ක් ඉහත කී දිස්ත්‍රික්ක අට තුළ. ඒ අනුව මූලික අවස්ථාවලදී හඳුනාගෙන සුවය ලබාගත්ත මේ සායන තුළින් උපකාර ලබාගත්ත පුළුවන්. සායනවලට පැමිණියාම විශේෂ ප්‍රතිකාර මාලාවක් කරනවා. සම පිරිසුදුව තබා ගන්න අපි උපදෙස් ලබාදෙනවා. මොකද බරවා නිසා සමේ විශේෂ වෙනස්කම් සිදුවෙන නිසා. ඉදිමුම් තත්ත්වය අඩු කරන්න ප්‍රතිකාර ක්‍රම තිඛෙනවා. ඒ වගේම ඖෂධ මගින් ආසාදන අඩු කර ගන්න ප්‍රතිකාර ලබාදීමත් සිදුකරනවා නම්, කකුල ඉදිමිලා තිබෙනවා නම්, අපේ සායනවලට යොමු වෙන්න. කකුල ඉදිමීමට හේතුව කුමක් වුණත් මේ සායනවලට යොමු වෙලා කකුල ඉදිමුම පාලනය කර ගත්ත අවශ්‍ය උපදෙස් ලබාගන්න. අපට කකුල් ඉදිමුණ රෝගීන් 600ක් පමණ වාර්තා වෙනවා. 

ජනතාව මේ සම්බන්ධයෙන් දැනුම්වත්ව සහයෝගය ලබා දෙනවා නම් මීට වඩා අපට වාර්තා විය හැකියි. මෙම රෝගය වළක්වා ගත්ත සිදුකළ යුත්තේ, මුලින්ම රෝගය හඳුනා ගන්න අපේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට රුධිර පටල ලබා ගන්න සහාය ලබාදීම. මෙයින් ඔබ බරවා රෝගියෙක්ද යන්න සැකහැර දැනගැනීමෙන් කකුල් ඉදිමීම දක්වා යන තත්ත්වය මගහරවා ගන්න ප්‍රතිකාර ලබාගත හැකියි. මීළගට හවසට කකුල ඉදිමෙන අවස්ථාවන්හිදී ප්‍රතිකාර සඳහා යොමු වෙයි නම්, තවදුරටත් ඉදිමීම වළක්වා ගන්න පුළුවන්. මීළඟට මදුරුවන් දශ්ඨ කිරීම් වළක්වා ගන්න පුළුවන් නම් ඉතා හොදයි.  මීට අමතරව සොඛ්‍ය කියන්නේ ඔබේ වගකීමක්. අපි සෞඛ්‍ය සේවාවන් සෞඛ්‍ය නිලධාරීන් හරහා ලබාදෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්වය මැද්දෙයි. ඒ නිසා ඔබට ලබාදෙන සේවාවන් උපරිමයෙන් ලබාගන්න. ගෙදරටම ඇවිත් ලබාදෙන සේවාවක්. ඔබ යම් තැනකට ඇවිද ගිහින් රුධිරය ලබාදෙන ආකාරයකට මෙය සංවිධානය කරන්න නොහැකි වෙන්නේ ඇවිදීම නිසා පර්යන්ත රුධිරයේ සිටින පරපෝෂිතයන් ඉවත් වීම සිදුවිය හැකි නිසයි. ඒ නිසා ඔබේ නිවසට පැමිණෙන නිලධාරීන්ට සහයෝගය ලබාදී බරවා ඔබේ ශරීරයේ නැති බව තහවුරු කර ගන්න.

 නදිශානි පතිරණ


නවසීලන්තයේ සිට දැරියකට වට්ස්ඇප් මඟින් නිරුවත පෙන්නලා



නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු දොළොස් හැදි දැරියකට වස්ඇප් ඔස්සේ වීඩියෝ ඇමතුමක් ගෙන, නිරුවත පෙන්වා ඇති බවට දැරියගේ මව පෙරේදා (21) පැමිණිල්ලක් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම දොළොස් හැවිරිදි දැරිය පාසල් සිසුවියකි.  එම දැරියගේ වයසේම පසුවන ඇගේ පාසල් මිතුරියකගේ පියා දැරියට මෙසේ නිරුවත පෙන්වා ඇති අතර ඔහු දැරියගේ මවුපියන් සමග ද වසර ගණනාවක සිට මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

ඔහු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.  ඔහු මාස කිහිපයකට ඉහතදී නවසීලන්තයේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, මෙරට සිටියදී ඇති කරගෙන තිබූ මිත්‍ර සම්බන්ධතාව මත ඔහු එරටේ සිට ද දැරියගේ මවුපියන් සමග දුරකථන ඇමතුම් ලබාගනිමින් ඉඳහිට කතාබහ කර ඇතැයි කියති.  මෙසේ වස්ඇප් වීඩියෝ ඇමතුමක් ගත් අවස්ථාවේ දැරිය ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔහු එම අවස්ථාවේදී දැරියට නිරුවත පෙන්වා ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය කියයි. ඔහු ඇයට නිරුවත පෙන්නූ අවස්ථාවේ එහි  ඡායාරූපයක්ද ගෙන සිය මවට එය පෙන්වා ඇති අතර දැරියගේ මව පැමිණිලි කර එම ඡායාරූපය ද පොලිසියට ලබාදී ඇත. 

මෙම පැමිණිල්ලට අදාළ තොරතුරු වාර්තාවක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වේයන්ගොඩ පොලිසිය කටයුතු කරගෙන යයි. දැරියකට නිරුවත පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ පිටුපස අසාධාරණක්


දිනේෂ් ෂාෆ්ටර් ඝාතන පරීක්ෂණ පිටුපස කිසියම් අසාධාරණ යමක් සිදුවන බව පෙනී යන හෙයින් මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(22)  පැවසීය.අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම මරණය සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර වාර්තා දෙකක් නිකුත් කිරීම විකාර සහගත බව පැවසූ මන්ත්‍රීවරයා ව්‍යාපාරික ප්‍රජාව අතරේ මේ ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වී තිබෙන බවද ප්‍රකාශ කළේය. මෙම ප්‍රශ්නය නිරාකරණය නොකර ආයෝජකයන්   මෙරටට ගෙන්වීමට සිතන්නේ නම් එය විහිළුවක් බවද පැවසුවේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන්  සභාව පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.  ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද පැවසුවේය.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව අතර ලොකු කතාබහක් ඇතිවී තිබෙනවා. දිනේෂ් එන්නෙ මේ රටේ කීර්තිමත් ව්‍යාපාරික පවුලකින්. ජනාධිපතිතුමාත් මේ පවුල පෞද්ගලිකවම හඳුනනවා. මේගොල්ලන් දේශපාලඥයන්  නොවෙයි. එකම අධිකරණ වෛද්‍යවරයා මේ ඝාතනය ගැන වාර්තා දෙකක් දෙනවා. මේක විකාරයක්. මුලින්ම ගෙල හිරකරලා  කියලා දුන්න. ඊට පස්සේ සියදිවි හානි කරගත්තා කියලා දුන්නා. පළමු වාර්තාව දෙවැනි වාර්තාවෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ පරීක්ෂණය සාධාරණව සිදු විය යුතුයි. මෙහෙම වෙන කොට විදේශ ආයෝජකයන් එන්නේ කොහොමද? මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාට කියනවා මේක බැරෑරුම් සිද්ධියක්. මෙතන මේවා කතා කරන්නෙ නැත්නම් කොතනද කතා කරන්නෙ. 

තාජුදීන් ඝාතනය ගැන අපිට මතකයි. එතනදිත් ඔය ප්‍රශ්නය ආවා. රටේ බොහෝ ප්‍රශ්න තියෙන්නේ දේශපාලඥයන් නිසා නොවේ.  වෘත්තීයවේදීන් නිසා. නීතිඥවරුන්  වෛද්‍යවරුන් හරියට හිටගන්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුව හරියාකාරව ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ප්‍රශ්නය ගැන බලන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා යැයිද ඔහු කීවේය.

අංජුල මහික වීරරත්න

පොලිස් නිලධාරියාට පහරදී පැනගිය කත අල්ලාගනී



රාජකාරියේ යෙදී සිටි ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරියකුට පහර දී පලාගොස් සැඟව සිටි කාන්තාවක පෙරේදා (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පැවැසීය.කාන්තාව ඉකුත් 15 වැනිදා ජාඇල නගර මධ්‍යයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පහර දී පලාගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ වැඩසටහනකට සහභාගි වී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයකින් ජාඇල පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී හිස් වැසුමක් ද නොමැතිව යතුරුපැදියක් හිටගෙන ධාවනය කරන කාන්තාවක නිරීක්ෂණය වී ඇත.

පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය නවතා කාන්තාව පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම කාන්තාව පොලිස් නිලධාරියකුට වැරෙන් පහර දී යතුරුපැදිය ද එම ස්ථානයේම දමා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ ඇය ජාඇල බංඩිගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණද ඇය නිවෙසේ නොසිට සැඟව සිටීම නිසා පොලිසියට ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි. අත්අඩංගුවට ගැනුණ සැකකාරිය පොලිස් රාජකාරියට බාධා කරමින් නිලධාරියකුට පහර දීම, හිස් වැසුම් නොමැතිව අපරික්ෂාකාරී අයුරින් යතුරුපැදියක් ධාවනය කිරීම යන චෝදනා යටතේ 22 දින වැලිසර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.

ප්‍රසංග පෙරේරා

ෂාෆ්ටර්ගේ ඇඳ ඉහපත් සියලු පරීක්ෂණ වාර්තා උසාවිය දෙවැනි වරටත් ඉල්ලයි

 

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ  අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙන් සිදුකළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා සහ ඔහුගේ ඇඳ ඉහපත් අංක සහිත සියලු පරීක්ෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ  ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට ඊයේ (22) දෙවැනි වරටත් නියෝගයක් නිකුත් කළාය.කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඉකුත් 2022 දෙසැම්බර් මස 15 වැනිදා පස්වරු 3.30ට පමණ ඇතුළත් කළ මරණකරුගේ ඇඳ ඉහපත් අංකය සහ මරණකරු සම්බන්ධයෙන් සිදුකළ සියලු පරීක්ෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියෝගයක් නිකුත් වූයේ ඉකුත් 14 වැනිදාය.

එහෙත් එම වාර්තා අධිකරණයට මෙතෙක් නොලැබීම හේතුවෙන් ඒවා 24 වැනිදාට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට කළ  නියෝගයෙන් නැවත සිහි කැඳවීමක් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ  මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීම ලබන 27 වැනිදා සිදුකරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළාය. මෙම පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අධිකරණයට එවනු ලැබ ඇතැයි ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

මරණකරුගේ මරණ පරීක්ෂණ සහතිකයේ ඇති පරස්පරතාව නිරාකරණය කර ගත යුතුව ඇති අතර ඉන් පසුව මරණයට හේතුව තමන්  විසින් ප්‍රකාශ කළ යුතුව ඇති බවත් ඒ අනුව, මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව ඉදිරි සතියේදී පත්කරනු ලබන බවත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සඳහන් කළාය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය. නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සහ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද, මරණයට පත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඥාතීන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතීඥ මඬුල්ලක්ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත.


නිමන්ති රණසිංහ

Wednesday, February 22, 2023

සීයා වළ දැමු වස්තුවක් වසර 80කට පසුව මුනුබුරා ගොඩගනී

දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භක කාලසීමාවේදී පමණ නැගෙනහිර පෝලන්තයේ වාසය කළ ග්ලාසෙව්ස්කි නම් පවුලක් සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් උපන් බිමෙන් පලා යද්දී එහි වළ දැමූ රිදී භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ තොගයක් සොයා ගැනීමට එම පවුලේ වර්තමාන පරම්පරාවේ සාමාජිකයෙකු සමත් වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 69 හැවිරිදි වියේ පසුවන ජැන් ග්ලාසෙව්ස්කි එම වර්තමාන පරම්පරාවේ සාමාජිකයා වෙයි. ඔහු දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ පරිසරවේදය පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකි. 

ඔහුගේ පියා වන ගුස්ටොව් ග්ලාසෙව්ස්කි විසින් සිය පියාගේ (ජැන්ගේ සීයාගේ) මං සලකුණු අනුව සකස් කරන ලද සිතියමක් යොදා ගනිමින් ජැන් මෙම රිදී භාණ්ඩ සහිත වස්තුව සොයා ගැනීමට සමත්ව තිබේ. දෙවැනි ලෝක යුද සමයේ මුල් නිමිති පළවෙමින් තිබූ 1939 වසරේ සැප්තැම්බර් මාසයේදී පමණ පෝලන්තය ආක්‍රමණය සඳහා සෝවියට් රුසියානු හමුදාවන් පැමිණෙන අවස්ථාවේදී ග්ලාසෙට්ස්කි පවුල මෙලෙස සිය උපන් බිම් අතහැරීමට තීරණය කර ඇත. ඒ අනුව එම පවුලේ සාමාජිකයන් තමන් සතුව තිබූ වටිනා භාණ්ඩ මෙලෙස වළ දැමීමට පියවර ගෙන තිබේ. ජැන්ගේ සීයා වන ඇඩම් පමණක් එම මොහොතේදී එහි රැඳී සිට ඇති අතර, පසුව උද්ගත වූ තත්ත්වයත් සමග ඔවුන් වර්තමානයේදී යුක්රේනයට අයත් ල්විව් නගරය වෙත පැමිණ තිබේ.

එහෙත් ගුස්ටාව් ඇතුළුව ඇඩම්ගේ දරුවන් සිවු දෙනාගෙන් කිසිවෙකුත් එරට රැදී නොසිට ඇති අතර, ඔවුන් ලෝකයේ විවිධ රටවල් වෙත සංක්‍රමණය වී ඒවායේ පදිංචියට ගොස් තිබේ. ඒ අතරින් ගුස්ටාව් දකුණු අප්‍රිකාවේ ස්ථිර පදිංචියට යොමුවී තිබේ. ගුස්ටාව් මේ සිතියම සකස් කරන්නේද එහිදීය.  ජැන් කුඩා කල පටන්ම මෙම රිදී භාණ්ඩ ඇතුළු වස්තුව සොයා ගැනීම පිළිබඳ උනන්දුවකින් පසුව ඇති අතර, 1980 දශකයේදී පමණ ඔහු මේ පිළිබඳව සිය පියාගෙන් විමසා තිබේ. ඒ අනුව ඔහු සිය පියා වන ගුස්ටව්ගෙන් එම වස්තුව වළදැමූ ස්ථානය පැහැදිලිව සටහන් කර දෙන ලෙස ඉල්ලා තිබේ.

"මගේ තාත්තා ටිකෙන් ටික වයසට යමිනුයි සිටියේ. දවසක් මම ඔහුට කිව්වා මේ වටිනා සම්පත් වළදාපු තැන ගැන සිතියමක් මට දෙන්න කියලා. එතකොට මට ඒ වත්තට ගිහින් ඒවා ආයිත් සොයා ගෙන යන්න පුළුවන් කියලා මම ඔහුට කිව්වා.” ජැන් පවසයි. 

ඒ අනුව 1939 වසරේදී සිය පියා වන ඇඩම් විසින් එම වස්තුව වළදැමූ ස්ථානය පිළිබඳව වසර 50ක් පුරා රැකගෙන සිටි මතකයත් සමග ගුස්ටාව් 1989 වසරේදී  එම ස්ථානය පිළිබඳ සිතියමක් ජැන් වෙත ලබාදී තිබේ. එහිදී ගුස්ටාව් විසින් යම් උපදෙස් කිහිපයක්ද පැන් වෙත ලබා දී ඇත.

"මේ උපදෙස්වල අන්තිමට තිබුණු වචනය වුණේ,  ඔබ අපගේ රිදී සොයා ගන්නවා වගේම මගේ දඩයම් තුවක්කුවත් සොයා ගත යුතුයි.” කියලයි යනුවෙන් ජැන් පවසයි. ඒ අනුව මෙය මුල්වරට කියවද්දී එය යම් අණදීමක් ලෙස හැගුණත්, එය ඔහුගේ තිබූ සිහිනයක් සම්පූර්ණ කිරීමක් ලෙස තමන්ට අද හැගෙන බවත් ජැන් සඳහන් කරයි.  දකුණු අප්‍රිකාවේ පදිංචිව සිටින කාලයේදී ගුස්ටාවි  දෙවැනි ලෝක යුද සමයේදී මිත්‍ර පාර්ශ්වය වෙනුවෙන් සටන් වැදී ඇති යුද සෙබලෙකි. ඔහු 1991 වසරේදී මියගොස් තිබේ. එසේම යුක්රේනය සෝවියට්  සමූහාණ්ඩුවෙන් නිදහස  හිමි කරගත්තේද එම  වසරේදීය.

ඉන් වසර 10කට පසුව  එනම් 2001 වසරේදී ජැන් යළිත් එදා පෝලන්තය අතර දේශසීමාවේ පිහිටි අද යුක්රේනයට අයත් භූමියක්ව පවතින සිය පවුලේ උපත් බිම වෙත පළමුවරට ගොස් තිබේ. අනතුරුව සිය සීයා  ඇතුළු ග්ලාසෙව්ස්කි  පවුලේ සාමාජිකයන්  වළදැමූ වස්තුව සෙවීමේ මෙහෙයුම් ඔහු අරඹා ඇත්තේ 2019 වසරේදීය. එහිදී ඔහු සිය පරිසරවේදය පිළිබඳ මහාචාර්ය වෘත්තියෙන් ලබාගත් අත්දැකීම්ද මේ සඳහා යොදාගෙන ඇත.

"එය ගොඩක් අසීරු දෙයක්. හරියට පිදුරු ගොඩක ඉදිකට්ටක් හොයනවා වගේ. මගේ පියා මේ සිතියමේ සටහන් කළ ගෙදර, රුසියානුවන් විනාශ කරලයි තිබුණේ. ඒත් මට එහි අත්තිවාරම් සොයාගන්න ලැබුණා. මේ සිතියමේ වගාබිමක් සලකුණු වෙලා තිබුණත් දැන් එය ලදු කැලයක් වෙලා තිබුණා.” ජැන් පවසයි.

අවසානයේදී එම සිතියමේ ඇති උපදෙස් අනුව පැන් ඇතුළු කණ්ඩායමට මෙම වස්තුව වළදමා තිබූ ස්ථානය සොයා ගැනීමට හැකිව තිබේ. එහිදී ඔහු යුක්රේනියානු ලෝහ හඳුනාගන්නන් දෙදෙනකුගේ සහායද යොදා ගෙන ඇත. ජැන් පවසන ආකාරයට මෙලෙස හමුවූ ඇතැම් රිදී භාණ්ඩ ඇතුළු වස්තුවෙන් කොටසක් ඇසුරුම් කර ඇත්තේ ඔහුගේ මව විසිනි. ඇය ඔහුගේ වයස අවුරුදු 07දී මෙලොව හැර ගොස් ඇත.

"අපිට මෙතැන තියලා ආභරණ පෙට්ටියක් හම්බ වුණා. අපි හිතනවා ඒක මගේ අම්මා මේ වළට දාපු එකක් කියලා. ඇය දැනට අවුරුදු 80කට කලින් මේ විදියට පරිස්සම් කරපු මේ වස්තුව ගැන මට තියෙන්නේ හරි අමුතු හැඟීමක්. ” යනුවෙන්ද ජැන් පවසයි. මෙම ග්ලාසෙස්කි පවුලේ ප්‍රධානියා, එනම් ඇඩම් ග්ලාසෙව්ස්කි 1961 වසරේදී යුක්රේනයේ ල්විව් හිදී මියගොස් ඇත. විවිධ රටවල පදිංචියට ගිය ග්ලාසෙව්ස්කි පවුලේ සහෝදරයන් සිවුදෙනා 1967 වසරේදී ප්‍රංශයේදී යළිත් එකිනෙකා හමු වී තිබේ.


ආරවුලක් දුරදිග යෑමෙන් පානදුරේ නිවසකට ගිනි තබලා

 

දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස්ගහ වත්ත ප්‍රදේශයේ නිවස්කට ගිනි තැබූ පියපුතු දෙපළක පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන ඇතැයි අලුබෝමුල්ල පොලීසිය කියයි. එම ප්‍රදේශයේම පදිංචි පියපුතු දෙපළක මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සැකකරුවන් විසින් එම නිවසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයාද ගින්නට විසි කර මරා දමා ඇතැයි පොලීසිය කියයි. එම ගිනි තැබීමෙන් මුළුතැන්ගෙයි පිඟන් කෝප්ප කිහිපයක් හැරෙන්නට අනිත් සියලුම දේපොළ විනාශ වී ඇතැයිද අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාගෙන් පුතු මෙම නිවසේ පදිංචි තරුණිය සමඟ විවාහ වී සිට ඇති අතර වසරකට ඉහතදී පවුල් ආරවුලක් හේතුවෙන් වෙන් වී ඇතැයි පොලීසිය කියයි.  මේ වනවිට දික්කසාද නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර ගින්නට හසුව විනාශ වූ නිවසේ තරුණිය ඇය විවාහවීමට සිටින තරුණයා සමග යතුරුපැදියෙන් පෙරේදා දහවල් ගමන් කිරීමේදී සැකකාර පිය පුතු දෙපළ හු හඬ දී සමච්චල් කර ඇති බවත් අනතුරුව ත්‍රිරෝද රථවලින් පසුපස හඹා පැමිණ යතුරුපැදිය හප්පා අනතුරට ලක් කළ බව එම තරුණිය ප්‍රකාශ කර ඇත. එම සිද්ධියෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවන සැකකාර පිය පුතු දෙපළට පිරිසක් විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේ  දී පහර දුන් බව පවසමින් පොලීසියට පැමිණිල්ලක් කර අධිකරණ වෛද්‍ය පෝරම රැගෙන රෝහල්ගත වන බවට  පවසා පිටව ගොස් ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වී ගිනි තබා අනතුරුව රෝහල්ගත වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලේවිය ඉවත් නොකර නිසි ක්‍රමවේදයකට සිදුකරනවා



'කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්' අලෙවි කිර්ම එම ස්ථානයෙන් ඉවත් නොකිරීමට කටයුතු කරන බවත්, එලෙස ස්ට්‍රීට් ෆුඩ් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් අනුව සිදුකරන බවත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම ගැටලු පිළිබඳ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මෙම ස්ථානයේ ව්‍යාපාර සිදුකිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා -  පාර්ලිමේන්තුව ළඟ 'කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්' කියලා තමන්ගේ ආර්ථිකය දියුණු කර ගන්න පුද්ගලයන් තමන්ගේ ස්වයං රැකියා කරගෙන යනවා. ඔබතුමා ඒක ඉවත් කරන්න යනවා කියලා ලොකු කටකතාවක් තිබෙනවා. ඒක කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ඛන්දුල ගුණවර්ධන - කටකතා විශ්වාස කරන්න එපා. මහාමාර්ග ආඥා පනත අනුව පාරවල්වල දෙපස ඉරි යොදලා මගීන්ගේ සහ වාහනවල සුරක්‍ෂිතතාවට අදාළ නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. ආඥා පනතේ තිබෙන විධිවිධානවලට අනුව ක්‍රියා කරන එකයි කරන්නේ. ඊට පරිබාහිරව පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ පිළිබඳ විස්තරාත්මකව මේ ගරු සභාවට වෙනම පැහැදිලි කරන්නම්.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග - මෙතන ව්‍යාපාර කරගෙන ගියා. මුලින් පටන් ගත්තේ සිකුරාදා, සෙනසුරා, ඉරිදා, දැන් සතිය පුරාම ක්‍රියාත්මක කරනවා. එතන පාරෙන් මෙහා පැත්තේ තිබෙන කඩවල්වලින් පැමිණිලි ඇවිල්ලා තිබෙනවා ඔවුන්ට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බෑ කියලා. ඒ වගේම අපිරිසුදුතාව පිළිබඳවත් පැමිණිලි ඇවිල්ලා තිබෙනවා. මේ පිළිබඳ මාර්ග සංවර්ධ අධිකාරිය ක්‍රමවේදයක් සකස්කර දෙන්න කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ - එතන වාහන තදබදයකට ඉවහල් වෙනවා නම් ඒකට බොහොම සියුම් උත්තර ගන්න. ආර්ථික පීඩනයකින් මේ රට බැටකන වෙලාවක කවුරු හරි මිනිහෙක් කීයක් හරි හම්බ කරන්න දරන උත්සාහය නතර කරන්න එපා. ඒක පාපසහගත උත්සාහයක්.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග - විපක්‍ෂය හිතලු තමයි මේ ඉදිරිපත් කරන්නේ. මම වගකීමෙන් කියනවා අපි කිසිදු අවස්ථාවක මේක ඉවත් කිරීමක් කරන්න කටයුතු කරලා නෑ. මේක අපි ක්‍රමවේදයක් අනුව කරනවා මිසක් ඉවත් කරන්න කටයුතු කරන්නේ නෑ.


දිනේෂ් සමරකෝන්

පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා බස්පොළේ දමා ගිහින්



කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි පහළොස් හැවිරිදි දැරියක වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ නිවසේ තබාගෙන අඹුසැමියන්  ලෙස ජීවත් වී පසුව එම දැරිය කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිය ඇගේ පෙම්වතා බවට සැලකෙන තරුණයෙක් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. බාලවයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරයත්වයෙන් අපහරණය කර ඇය දූෂණය කළේ යැයි කියමින් මෙම  තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. 

මේ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි කියමින් එම තරුණයාගේ මවුපිය දෙදෙනා ද කුලියාපිටිය  පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ මවුපියෝ කුලියාපිටිය පොලිස් වසමට අයත් කනදුල්ල වීරඹුව ප්‍රදේශයේ පදිංචි අය වෙති. මෙම බාලවයස්කාර දැරියගේ ජංගම දුරකථනයට ලැබුණු බව කියන මිස් කෝල් එකකින් දැන හඳුනාගත් බව කියන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සමග ඇය පසුව ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

තම දියණිය නිතර කිසිවකු සමග ජංගම දුරකථනයෙන් කතාබහ කිරීම ගැන මව ඇයට බැණ වැදී අවවාද කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.  මව බැණවැදීම නිසා උරණ වූ මෙම දැරිය කලින් කතා කරගත්  අන්දමට හොර රහසේ නිවෙසින් පලාගොස් බස් රථයක නැගී කුලියාපිටිය බස් නැවතුම්පොළට 2021 වසරේ ජූලි මාසයේ දිනක පැමිණ ඇතැයි පොලිසිය කියයි. ජංගම දුරකථනයෙන් කතාබහ  කර හඳුනාගත් මීට පෙර කිසිදු දිනක නොදුටු  පෙම්වතා බස්නැවතුම් පොළට යතුරුපැදියකින් පැමිණ දැරිය රැගෙන ඔහු පදිංචිව සිටින නිවෙසට කැඳවාගෙන ගොස් ඇත. පෙම්වතා  බව කියන තරුණයාගේ මවුපියන්ගේ ආශිර්වාදය ඇතිව දෙදෙනා අඹුසැමියන් ලෙස එතැන් පටන් ජීවත්ව ඇතැයි කියති.  මෙසේ දැරිය සමග අඹු සැමියන් ලෙස ජීවත් වෙන අතරවාරයේ ඇගේ පෙම්වතා වෙනත් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ බව දැනගත් මෙම බාලවයස්කාර දැරිය පෙම්වතා සමග නිතර ආරවුල් ඇතිකරගෙන ඇති  බවද පොලිසිය සඳහන් කරයි. බාලවයස්කාර දැරිය යතුරුපැදියක නංවාගත් පෙම්වතා ඇය කුලියාපිටිය  බස්නැවතුපොළට ගෙනැවිත් දමා ගොස් ඇති බවත් තමා මාස කිහිපයකින් නැවත රැගෙන යෑමට එන බව පවසා  බස්නැවතුම්පොළේ දමා ගොස් ඇතැයි දැරිය පවසන බවත් පොලිසිය කියයි. දැරිය බස් රථයක නැග කොළඹ ප්‍රදේශයේ ඇයගේ  නිවසට ගොස් ඇත.  මෙසේ නිවසේ සිටින අතරවාරයේ දැරිය ඇගේ පෙම්වතාට  දුරකථන ඇමතුමක් දී ඇති අතර ඊට කතා කරනු ලැබ ඇත්තේ තරුණියක විසිනි. එම ඇමතුමට පිළිතුරු දුන් තරුණිය දැරිය සමග පවසා ඇත්තේ තමා තම පෙම්වතා  සමග විවාහ වී විදෙස්ගත වීමට යන බවය. බාලවයස්කාර දැරිය ඒ බව ඇගේ මවට පවසා පසුව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.  සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගත් අවස්ථාවේ දැරිය මෙම තොරතුරු සියල්ල හෙළි කළ බව පොලිසිය පවසයි. පෙම්වතා තමා සමග  අඹුසැමියන් ලෙස සිටින අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශන ද ඔහු සතුව තිබෙන බව දැරිය පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කෑලි පූට්ටු කල කෝටියක සැප රියක් අත්අඩංගුවට



නීතිවිරෝධී අයුරින් කොටස් එකලස් කර සකස් කරන ලද රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් සිය භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. චැසි හා එන්ජින් අංක නීති විරෝධී අයුරින් ඇතුළත් කළ සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව හලාවත මැරවල දී වැටලීමක් කර ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.

ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ දී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බව ද පොලිසිය  කියයි. ජිප් රථය පරිහරණය කළ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසීමේ දී ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6කට පමණ ඉහත දී මිල දී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි. ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ ඇති වූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් ඒ පිළිබඳව ජිප් රථය තමාට විකුණූ පුද්ගලයාට පැවසූ බවත් පසුව ඔහු එය සකස් කර දෙන බවට පොරොන්දු වී තමා සතුව තිබූ ලිපි ලේඛන සියල්ල නැවත ගත් බව වාහනය පරිහරණය කරන පුද්ගලයා ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. එම පුද්ගලයා ජීප් රථය මිලදී ගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන ජාවාරම්කරුවකු බවත්, ඔහු වංචනික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී  ඇත. ජීප් රථය හලාවත පොලීසියට බාර දී ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදුකරනු ලබයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

රටගිය බිරිය ඉල්ලා සැමියා දරු තිදෙනා විදෙස් කන්තෝරුවට ගෙනත් දාලා


බාල වයස්කාර දරු තිදෙනා ද කැටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තංගල්ල කාර්යාලයට පැමිණි පුද්ගලයකු බිරිද නැවත ගෙන්වා දෙන ලෙස එහි නිලධාරීන්ට බල කර පසුව දරු තිදෙනා කාර්යාලය අසල අතහැර දමා ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අතහැර දමා ගිය දරු තිදෙනා වයස අවුරුදු එක, අවුරුදු හය සහ අවුරුදු දහයක වයසේ පසු වන්නන් බවත් ඔවුන් පොලීසිය භාරයට ගත් බවත් තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙම දරු දෙදෙනාගේ මව පසුගිය වසරේ ජූලි මාසයේ රැකියාවක් සඳහා විදෙස්ගතව ඇති අතර ඇය නැවත ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඇගේ සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  තංගල්ල කාර්යාලයට මීට පෙර පැමිණිල්ලක් කර තිබී ඇතැයි පොලිසිය කියයි. මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා ඔහු ඊයේ 21 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයට කැඳවා තිබිණි යැයි පොලීසිය පැවසීය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු මෙම බාලවයස්කාර දරුවන් තිදෙනා ද සමග එම කාර්යාලයට පැමිණ පසුව දරු තිදෙනා එහි දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

හොර හරක් දෙදෙනාගෙන් එකෙක් පොලිස් සැරයන්ගේ වත්තේ


පොලොන්නරුව මනම්පිටිය පොලිස් වසමෙන් හොරා ගෙන එන ලදැයි කියන රුපියල් 32,000ක් වටිනා ගවයන් දෙදෙනකුගෙන් එක් ගවයකු ගෙවත්තේ බැඳගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයෙක් කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර පොලිස් සැරයන්වරයාගේ ගෙවත්තේ බැඳ දමා සිටි සොරා ගෙන එන ලදැයි කියන එම ගවයා ද පොලිස් බාරයට ගෙන ඇත. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි.

සැකකාර පොලිස් සැරයන්වරයාගේ සහෝදරයකු ඔහුට අයත් ලොරි රථයක පටවාගෙන ආ බව කියන මෙම ගවයා සැරයන්වරයාට බාර දී ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.  මෙම ගවයා ලොරි රථයේ පටවාගෙන පැමිණ පොලිස් සැරයන්වරයාට බාරදුන් බව කියන එම සැරයන්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. තමාට අයත් ගවයන් දෙදෙනකු සොරාගෙන ගොස් ඇති බවට එම ගවයන් දෙදෙනාගේ හිමිකරු මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

මනම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකරගත් තොරතුරු අනුව මෙම සැකකාර පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.  සැකකාර පොලිස් සැරයන්වරයා කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මනම්පිටිය පොලිසිය දුන් තොරතුරු අනුවය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

හොර බ්‍රේස්ලට් රන්වලට මාරු කර මුදල් ගැරූ හතරවරං කල්ලියක් දැලේ

 

ව්‍යාජ රන් භාණ්ඩ නිමවා නියම රන් භාණ්ඩ වලට මාරු කොට මුදල් ගරා ගැනීමේ ජාවාරමක නිරත වූ තිදෙනකුගෙන් යුත් කල්ලියක මහ මොළකරුවකු ව්‍යාජ ලෙස සකසන ලද අත් පළඳනාවක් සමග ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි ලොතරැයි අලෙවි නියෝජිතවරයකු බව   පොලීසිය කියයි. සැකකරු රනින් නිමවූ බව පවසමින් පවුම් දෙකක බරින් යුත් අත් පළඳනාවක් කොට්ටාව හොරණ මාර්ගයේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට රැගෙන විත් එය පවුම් දෙකක රන් මාලයකට මාරු කර දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව අදාළ අත් පළදනාව නියම රත්රන් දැයි පරික්ෂා කරන ක්‍රමවේදය හරහා උකස් මධ්‍යස්ථානයක පරික්ෂා කිරීමේදී එය ව්‍යාජ අත් පළඳනාවක් බවට අනාවරණය වී ඇත.  ඒ බව ආයතනයේ හිමිකරුට දැනුම් දීමෙන් පසුව සේවකයින්ට ඔහු පවසා ඇත්තේ ගනුදෙනු කරු ඉල්ලා සිටින මාදිලියේ රන්මාලය ලබා දීමට ඊයේ 21 දා පැමිණෙන්නැයි ඔහුට පවසන ලෙසයි. ඒ අනුව අදළ සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා දැනුවත් කොට ඔහුගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට යවා තිබුණි.

ඒ අනුව පෙර පොරොන්දු වූ පරිදි ව්‍යාජ අත් පලදනාව දී නියම රන් මාලය ලබා ගැනීමට සැකකරු පැමිණි අවස්ථාවේදී ආයතන හිමිකරුගෙන් ලද දුරකතන ඇමතුමකට අනුව ආවේෂණ රාජකාරියෙන් ආයතනය අවට රැකවලා සිටි පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී සැකකරු හා ඔහු අත තිබූ ව්‍යාජ අත් පළදනාව සහ ව්‍යාජ රන් භාණ්ඩ නිපදවීම සදහා භාවිත කරන උපකරණ කට්ටලයක්  පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් අත් පළදනාව පරීක්ෂාකර බැලීමේදී එය පවුම් දෙකක බරට සමානව රිදියෙන් සකසා ඊට ව්‍යාජ ලෙස රන් ආලේපිත කොට නිපදවූ අත්පළදනාවක් බවට කරුණු අනාවරණය වී තිබේ. සැකකරු මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති අතර ඒ සඳහා තවත් පුද්ගලයකුගේ සහාය ලැබී ඇති බවත් ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතය.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

ඉන්දීය වීසා කන්තෝරුවේ හොරකමට 5ක් අත්අඩංගුවට


ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට අයත් බම්බලපිටියේ වීසා මධ්‍යස්ථානයට හොර රහසේ ඇතුළු වී එහි තිබූ ලැප්ටොප් පරිගණකයක්, සහ සී.සී. ටී.වී. කැමරාවේ දත්ත පටිගත වන ඩී.වී.ආර්. යන්ත්‍රයක් සහ කැමරාවක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පස් දෙනකු ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකාරිය එම  කාර්යාලයේ තේ සෑදීම හා ශුද්ධ පවිත්‍ර කටයුතුවල නිරත 63 හැවිරිදි කම්කරු කාන්තාවක බව පොලිසිය පවසයි. මෙම කාර්යාලයේ දිනකට රුපියල් ලක්ෂ 30-40 ක මුදලක් එක්රැස් වන බවත්, ඒවා සේප්පුවේ තබා ඇති බවට සැකකාරිය ඇගේ 54 හැවිරිදි අනියම් පෙම්වතාට කළ දැනුම් දීමකට අනුව එම සැකකරුගේ දැනුම් දීම මත ඔහුගේ මිතුරකු මෙම සොරකම සිදුකර ඇති බව ද පොලිසිය කියයි.

සැකකාරියගේ අනියම් සැමියාගේ මිතුරා තවත් සැකකරුවන් තිදෙනකු සමග ඉකුත් 14 වැනිදා අලුයම ත්‍රිරෝද රථයකින් මෙම කාර්යාලට පැමිණ ඇති අතර, එක් සැකකරුවකු අවට ඔත්තු බලමින් සිටියදී සැකකරුවන් දෙදෙනකු එහි ජනේලයකින් කාර්යාලය වෙත ඇතුළු වී ඇති බව ද පොලිසිය කියයි. සැකකරුවන් මුදල් සොයා එහි තෙමහල්  ගොඩනැගිල්ලේ සැරිසරා  ඇති බවත්, එහි සේප්පුව ඔවුනට විවෘත කර ගැනීමට නොහැකි වීම නිසා ප්‍රධාන නිලධාරිනියගේ ලැප්ටොප් පරිගණකය සහ සී.සී.ටී.වී. කැමරා උපකරණ (ඩී.වී.ආර්.) ගලවාගෙන පලාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය එම මාර්ගයේ සී.සී.ටී.වී. කැමරා 100 ක් පමණ පරික්ෂා කර සැකකරුවන්  සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරගෙන කිරුළපන ප්‍රදේශයේ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්විය. ඔහුගෙන් හෙළි වූ තොරතුරු අනුව සෙසු සැකකරුවන් තිදෙනා භා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කාර්යාලයේ තිබී සොරාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ කැමරාව සැකකරුවන් දෙදෙනකුගේ නිවෙස්වල තිබී පොලිසිය සොයාගෙන ඇති අතර, ඩී.වී.ආර්. යන්ත්‍රය කිරුළපන ප්‍රදේශයේ ඇළකට දමා තිබිය දී පොලිසිය ඊයේ සවස සොයාගෙන ඇත.සැකකරුවන් සහ සැකකාරිය කිරුළපන හා වැල්ලවත්ත අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි. මෙම සොරකම හේතුවෙන් ඉකුත් 15 වැනිදා සිට වීසා මධ්‍යස්ථානය දින 5 ක් පුරා වසා දමා තිබූ අතර, පසුගිය 20 වැනිදා එය යළි විවෘත කර තිබුණි.

ඉන්දිකා රාමනායක

Tuesday, February 21, 2023

හයිලෙවල් මාර්ගයේ බස්වල මාකුඹුර අනිවාර්ය වෙයි


එළඹෙන මාර්තු 01වැනිදා සිට හයිලෙවල් මාර්ගය හා අනෙකුත් මාර්ග ඔස්සේ ගමන් කරන සියලු පෞද්ගලික හා ලංගම බස් රථ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබේ. එසේම ඊට අනුගත නොවන පාර්ශ්වවලට එරෙහිව නීති ප්‍රකාරව අවශ්‍ය කටයුතු කිරීමට කිසිසේත් පසුබට නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

ඒ අනුව මේ වනවිට අවිධිමත් ලෙස කොට්ටාව නගරයේ විවිධ ස්ථානවලින් මගීන් බස් රථවලට නංවාගැනීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එහිදී සියලු දුර ගමන් සේවා හා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කරන ලෙසත් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොලීසිය හා අදාළ නිලධාර්න් දැනුම්වත් කර ඇත. මේ අතර මේ වනවිට අවිධිමත් ලෙස ස්ථාපිත කර ඇති බස් රථ නැවතුම් හා මගී ආවරණ ඉවත් කර, මගීන්ට අවශ්‍ය සියලු පහසුකම් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළින් සැපයීමට නියමිත අතර, අනාරක්ෂිතව මාර්ගයේ විවිධ ස්ථානවලින් අවිධිමත් ලෙස මගීන් බස් රථවලට නංවාගැනීම වැළැක්වෙනු ඇත.

නිදර්ශනි චික්‍රමසිංහ

තරුණයන් දෙපිරිසක් අතර ගැටුමකදී දරුවා බේරා ගැනීමට ගිය පියා පහරකෑමෙන් මරුට


දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවූ  තරුණ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සිය දරුවා බේරා ගැනීමට මැදිහත් වූ පියෙකුට යකඩ පොල්ලක් එල්ල කරන ලද පහරකින් පෙරේදා (19දා) රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දේවාලේගම පොලීසිය පැවසීය. දේවාලේගම, හැලමඩ විමලාගම පදිංචිව සිටි විමලරත්න රණසිංහ (59) නමැති පස් දරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

විමලාගම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති වොලිබෝල් ක්‍රීඩා තරගයක් අතරතුර   පහරදීමකින් මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මරණකරුගේ දරුවා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත. දේවාලේගම පොලීසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර, උපපොලිස් පරීක්ෂක චන්ද්‍රපාල ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.


චමින්ද ජයලත්

මුදල් නෑ -ආරක්ෂාව නෑ රජයේ මුද්‍රණාලය සියළු ඡන්ද වැඩ නවත්වයි

 

ඡන්ද පත්‍රිකා ඇතුළුව ඡන්ද විසීමට අදාළ මුද්‍රණ කටයුතු නවතා දැමීමට කටයුතු කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ලබාදෙන ආකාරය පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් පොරොන්දුවක් ලබා නොදීම නිසා හා රජයේ මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්‍ෂාව නොලැබීම නිසා ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු නවතා දැමූ බව රජයේ මුද්‍රණාලය පෙන්වා දෙයි. ඡන්ද පත්‍රිකා ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව  මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපති විසින් පොලිස්  නිලධාරින් 60ක් යොදවන ලෙස පසුගිය සතියේදී රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එහෙත් මෙතෙක් අදාළ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර නොමැත.

මීට අමතරව ඡන්ද පත්‍රිකා ඇතුළු ඡන්ද විමසීට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අමුද්‍රව්‍ය ලබාගත් සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන රුපියල් මිලියන දෙසියයක මුදල ලබාදෙන ලෙස හා සේවක සුභසාධනය සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබිණි. එහෙත් අදාළ මුදල මෙතෙක් ලබාදී නොමැති අතර, ඉදිරියේදී අදාළ මුදල් ලබාදීමක් පිළිබඳවද මෙතෙක් මුද්‍රණාලය රජයේ පාර්ශ්වයෙන් පොරොන්දුවක් ලබාදී නොමැති බවද රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. රජයේ මුද්‍රණාලය විසින් සැපයුම්කරුවන්ගෙන් ණයට ලබාගත් අමුද්‍රව්‍ය උපයෝගී කර ගෙන ඊයේ (20දා) දිනය වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා හා ඡන්ද විමසීමට අදාළ වන වෙනත් මුද්‍රණ කටයුතු සිදුකර තිබෙන බවද රජයේ මුද්‍රණාලය පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතන ඡන්ද  විමසීමට අදාළ මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලයට ලබාදී තිබෙන ඇණවුම්වලින් 80%කට අධික ප්‍රමාණයක් මේ වනවිට මුද්‍රණය කර තිබෙන බවත්, පොලිස් නිලධාන්ගේ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කළ පසු අදාළ තොග මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට සැලසුම් කර තිබේ. එතෙක් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද ව්මසීමට අදාළව සිදුකර තිබෙන මුද්‍රණ කටයුතු ආරක්‍ෂිත ලෙස ගබඩා කර තිබෙන බවත්, පොලිස් ආරක්‍ෂාව ලැබීමෙන් පසු අදාළ තොග නැවත පක්‍ෂා කිර්මටත් රජයේ මුද්‍රණාලය සැලසුම් කර ඇත. දැනට රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට අමතරව ඡන්ද විමසීමට අදාළ කටයුතු සඳහා දහවල් කාලයේදී පොලිස් නිලධාරීන් 35කගේ හා රාත්‍රී කාලයේදී පොලිස් නිලධාරින් 25කගේ ආරක්‍ෂාවක් ලබාගැනීමට රජයේ මුද්‍රණාලය සැලසුම් කර තිබේ.

ඉන්දික හේවාවිතාරණ


මට මගේ රටට යන්න නොදුන්නොත් මරණ බව නෝනා මහත්තයාට කිවා

“මට ලංකාවේ කෑම කන්න බෑ. මේ රටේ මට ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරණවා” යැයි රෝසා නෝනා ඔනේෂ් මහත්තයා එක්ක  රණ්ඩු කරමින් පැවසූ බව ඔවුන්ගේ නිවසේ සේව්කාවක ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

ඔපෙක්ස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වූ හතළිස් පස් හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතා ඉකුත් ජනවාරි මස 05 වැනිදා ඉන්දුනීසියාවේ දී මියගිය සිද්ධියට අදාළව ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේ දී මෙම කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මඟින් එලෙස අධිකරණයට කරුණු වාර්තා කර  තිබේ. මරණයට පත්වූ ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ සහෝදරයාවන සුභාෂ් සුබසිංහ මහතාගේ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, එහිදී මරණකරුගේ මෙහෙකරුවන් පස් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

ඒ අනුව, පැමිණිලිකාර සුභාෂ් සුබසිංහ යන අයගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් අතර, තම සහෝදරයා වූ ඔනේෂ් සුබසිංහ බ්‍රසීල ජාතික කාන්තාවක වන රොසැලියා නස්කිමොන්ටෝ කාර්ඩෝර්සෝ ද සිල්වා නමැත්තිය සමඟ විවාහ වී සිටි බවත් ඔවුන් දෙදෙනාට අලීෂා සුබසිංහ නම් සිවු හැවිරිදි දියණියක් ද සිටින බවත් එහි සඳහන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. එම දියණිය බොරැල්ල - ඇල්විටිගල මාවතේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි අතර, තම සහෝදරයා බිරිද සහ දරුවා ද සමඟ කොළඹ රොස්මිඩ් පෙදෙසේ මහල් නිවාසයේ ජීවත්ව සිටි බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 

මරණකරුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන ශ්‍යාම ලාල් අරවින්ද යන අය ප්‍රකාශයක් දෙමින්, "ඔනේෂ් සහ ඔහුගේ බිරිඳ නිතර නිතර ආරවුල් ඇතිකරගෙන තිබූ බවත් ඔනේෂ් බිරිඳගෙන් දික්කසාද වීම සඳහා සැලසුම්කරගෙන සිටි බවටත් '' සඳහන් කර ඇතැරයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මරණකරුගේ නිවසේ සේවය නියුතු සේවිකාවකවන දේවදාස මේගලා කාන්ති යන අය ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ, තම ස්වාමි දියණිය වූ රෝසා නෝනා නිතරම ඔනේෂ් මහතා සමඟ රණ්ඩු වෙන බවත්, " මට ලංකාවේ කෑම කන්න බෑ. ලංකාවේ ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න  නොදුන්නොත්, මම කවදාහරි උඹව මරනවා" යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් බනින බවත් යන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

“නෝනා කවදාහරි මහත්තයාව මරා දමාවි යන බිය ඔනේෂ් මහත්තයාගේ හිතේ තිබුණු බවත්, ඒ හේතුවෙන් දිනක් තමාවත්, නිවසේ තවත් සේවිකාවක වන ප්‍රියංගනී යන ඇයවත් කාමරයට කැඳවා ඔනේෂ් මහතා, නෝනා ළමයව අරගෙන බ්‍රසීලයට යයි. පොඩ්ඩක් කල්පනාවෙන් ඇහැ ගහගෙන ඉන්න '' යනුවෙන් පැවසූ බවත් එම සේවිකාව සිය ප්‍රකාශයෙන් දක්වා ඇතැයි  ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. 

එම නිවසේ සේවිකාවක වන දේවගේ  පුෂ්පරාණි නමැත්තිය ද ප්‍රකාශයක් දෙමින්, තමන්, මේ දෙපලගේ දරුවා රැකබලාගත් අය බවත්, දරුවාගේ වයස අවුරුද්දක් පමණ ගිය පසු නෝනා සහ මහත්තයා නිතර නිතර රණ්ඩු සරුවල් කරන්නට පටන් ගත් බවත් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. තමන් නිවසේ සේවිකාවක ලෙස සේවය කරන අතර, රෝසා නෝනා " කවදාහරි දවසක ඔනේෂ් මහත්තයාව මරණවා" යැයි කියනවා තමාට ද ඇසුණ බවත්, දෙදෙනා නිතරම රණ්ඩු වෙමින් සිටින බවත් ජයසිංහ මුදියන්සේලාගේ ප්‍රියංගනී චන්ද්‍රලතා යන අය ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු  වාර්තා කර තිබේ.

මෙම ඝාතනය සඳහා ශ්‍රී ලංකාව තුළ සිට කුමන්ත්‍රණය කළාද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියැවෙන 113 සහ 296 වගන්ති ප්‍රකාරව වැරදි සිදුව ඇත්දැයි එහිදී පරීක්ෂණ සිදු කරන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නිමන්ති රණසිංහ

එන්නත් විසවී තරුණයෙක් මරුට


ඖෂධයක් එන්නත්කිරීමෙන් පසුව එය විෂවී තරුණයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (20) නියෝගයක් නිකුත් කළාය.  මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ දෙමටගොඩ පාර, කොළඹ 09 ලිපිනයැති ආයුර්වේද වෛද්‍ය මොහමඩ් මහරුෆ් කරීම් මොහොමඩ් උවයිස් යන අයගේය.

මෙම තරුණයාගේ කෙටි පශ්චාත් මරණ පරික්ෂණ තීන්දුව විවෘත තීන්දුවක් ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දෙනු ලැබ ඇති බවත්, ඔහුගේ මරණය සැක සහිත බවට මරණකරුගේ මව පැමිණිලිකර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. ඒ අනුව මෙම එන්නත ලබාදුන් වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත්  කළාය.මරණය සම්බන්ධයෙන්  මුල් පැමිණිල්ල යොමුකර ඇත්තේ අයි.ඩී.එච්. රෝහලෙන් බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර ඇත. 

උදරයේ ආම්ලිකතාව නැතහොත් ගැස්ට්‍රයිටීස් රෝගයට ලබාදෙන ඖෂධයක් ලබාදීමෙන් පසුව මෙලෙස මරණයට පත්ව ඇත්තේ, වෙන්නවත්ත, වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පදිංචි ලෝෂණ ධනංජය පින්නදූව නමැති තරුණයෙකි. විසිපස් හැවිරිදි ඔහු පෞද්ගලික සමාගමක මුදල් අයකැමිවරයෙකි. රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තමන් සහ මියගිය තම පුත්‍රයා ඉකුත් ජනවාරි මස 27 වැනිදා සවස වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තම දියණියගේ නිවසට ගිය බවත්, එහිදී තම පුත්‍රයා හදිසියේ අසනීප වූ බවත් මරණකරුගේ මව ප්‍රකාශයක් දෙමින් සඳහන් කළ බව වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මියගිය තම පුත්‍රයා ‘බඩ' සහ 'පපුව' දැවිල්ල ගන්නා බව පවසමින් වේදනාවෙන් පසුවූ බැවින් සිය දියණියගේ නිවස ආසන්නයේ සිටින මෙම වෛද්‍යවරයා හමුවට රැගෙන ගිය බවත්, එහිදී මෙයාට අමාරුයි මෙයාව රෝහලකට අරගෙන යන්න යනුවෙන් වෛද්‍යවරයා පැවසූ බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා තිබිණි. 'අනේ ඩොක්ටර් පොඩ්ඩක් බලන්න ' යැයි තමන් වෛද්‍යවරයාට දැනුම් දුන් බවත්, එහිදී මරණකරු පරික්ෂා කළ වෛද්‍යවරයා ඔහුට 'ගැස්ට්‍රයිටීස්’ වැඩිවී ඇති බවට සඳහන් කළ බවත්, පැමිණිල්ල සඳහන් කර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 

ඒ අනුව රෝගියාට එන්නතක් විදින්නදැයි වෛද්‍යවරයා තමන්ගෙන් විමසා සිටි බවත්, තමන් ඊට කැමැත්ත පළ කිරීමෙන් පසුව ඔහුට එන්නතක් ලබාදී ටික වේලාවක් එහි රැඳී සිටින ලෙසට තමන්ට දැනුම් දුන් බවත්, පැමිණිල්ල සඳහන් කර ඇති බව පොලීසිය සිය බී වාර්තාවෙන් අධිකරණය දැනුවත් කර ඇත. එන්නත විදීමෙන් විනාඩි පහකට පමණ පසු තම පුත්‍රයා දරදඬු වී ගැහෙන්නට වූ බවත් එහිදී ඔහු වහාම අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන අතරතුර දී මරණයට පත්වූ බවත් පැමිණිල්ල කරුණු ඉදිරිපත් කර තිබූ බව ද වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

වන්ෂොට් යන නමින් ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිතව සිටින මෙම වෛද්‍යවරයා ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් ලියාපදිංචිව සිටින අයකු වන බවත්, ඔහුට එන්නත් දීමේ බලයක් නොමැති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ඒ අනුව, වෛද්‍යවරයා මරණකරුට එන්නත් කළ ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් කැඳවීම සඳහා අදාළ ඖෂධය ඖෂධ අධිකාරිය වෙත ඉදිරිපත් කළ බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර ඇත. මෙම මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ලැබෙන තෙක් වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වෛද්‍යවරයාගේ විදෙස්ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසට වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.

නිමන්ති රණසිංහ