අපරාධයක් සිදුකොට කෙතරම් කාලයක් සැඟව සිටියද ඔහු කවදා, කොතැනක, කෙලෙසක හෝ පොලිස් හෝ ආරක්ෂක අංශ අතට පත්වන්නේය. ඔවුන් සමහරක් මෙරටදී අත්අඩංගුවට පත්වන අතර තවත් සමහර අපරාධකරුවන් කොටුවන්නේ විදෙස් රටවලට පැනගොස් සිටියදීය. එලෙස විදෙස් රටවල ආරක්ෂක අංශවලට කොටු වූ අපරාධකරුවන් සමහරෙක් දැඩි පරිශ්රමයකින් පසු මෙරටට කුදලා ගෙන ඒමට මෙරට ආරක්ෂක බලධාරීන් සමත් වුවද සමහරෙක් එරටදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරට ආරක්ෂක අංශ අතට පත්වන්නේන්ය. මෙලෙස රැගෙන පැමිණි හා පිටුවහල් කරන ලද අපරාධකරුවන් සංඛ්යාව අතිමහත්ය.
මෙරට අපරාධ රැසක ප්රධාන වෙඩික්කරුවකු ලෙස ක්රියා කළ තැනැත්තකු පොලිසිය විසින් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු ඉන්දියාවට පලාගියේ ආරක්ෂක අංශවලට වැලි ගසමින්ය. “වැලිගම සහන්” ලෙස හැඳින්වූ ඔහු මෙරටින් පලාගොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් විදෙස් රටවල ආරක්ෂක අංශවලටද දැනුම් දීමක් කිරීමට මෙරට පොලිසිය වගබලා ගත්තේය.
කෙසේ වෙතත් ඔහු ඉන්දියාවේ රැඳී සිටින බවට මෙරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබුණේය. ඒ අතරතුර ඉකුත්දා ඔහු ඉන්දියාවේ ආරක්ෂක බලධාරීන්ට කොටු විය. ඔහු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ සිදුකළ විමර්ශනයේදී ඔහු මෙරට අපරාධ රැසකට අවශ්ය පුද්ගලයකු බව අනාවරණය වීමත් සමඟ එරට බලධාරීන් ඔහු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඉකුත් සඳුදා ඔහු චෙන්නායි සිට ගුවන් මඟින් මෙරටට එවනු ලැබූ අතර කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 31 හැවිරිදි වැලිගම ප්රදේශයේ පදිංචිකරුවකු වන මොහු මෙරට සංවිධානාත්මක අපරාධකරුවකු වූ හරක්කටාගේ මෙන්ම මිදිගම චූටිගේද සමීපතමයකු වන අතර කුඩු සළිඳු නමැත්තා විසින් මෙහෙය වන ලද අපරාධ කිහිපයක වෙඩික්කරුවකු ලෙසද ක්රියාකර ඇති බව පොලිසිය කියයි.
පානදුර සහ ඒ අවට පසුගියදා වෙඩි තැබීම් කිහිපයක් සිදුවූ අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයකු ජීවිතක්ෂයටද පත්ව තිබිණි. ඉකුත් අප්රේල් 29 වැනිදා අලුයම හිරණ, මාලමුල්ලේ පැවැති කොටහලු මඟුල් ගෙදරකදී මෙවන් වෙඩි තැබීමක් සිදුවිය. තුවක්කුකරුගේ ඉලක්කය වූයේ කොටහලු මඟුල් ගෙදරට පැමිණි අයකු වුවද වෙඩි තැබීමෙන් අහිංසක පුද්ගලයකු ජීවිතක්ෂයට පත්විය. පොලිසිය කරන ලද විමර්ශනයේදී හෙළි වූයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ කුඩු සළිඳු සහ කලක් ඔහුගේ සමීපතමයකු වූ තිලංග නමැත්තා අතර ඇතිව තිබෙන කුඩු ජාවාරමක ආරවුලක් හේතුවෙන් කුඩු සළිඳුගේ පාර්ශ්වය විසින් මෙහෙයවන ලද තුවක්කුකරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
කෙසේ වෙතත් විමර්ශන බලධාර්න් කියන්නේ ටී-56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් එම වෙඩි ප්රහාරය සිදුකර ඇත්තේ අත්අඩංගුවට ගැනුණු මෙම වෙඩික්කරු
බවය. මේ අතර ඉකුත් ජුනි මස 29 වැනිදාද පානදුර දකුණ පොලිස් වසමේදී යතුරුපැදි අමතර කොටස් අලෙවිසලකට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවකු පුද්ගලයකු ඉලක්ක කොට වෙඩි තැබීමක් සිදුකළේය. ඒ ටී-56 වර්ගයේ ගිනි අවියකිනි. කෙසේ වෙතත් තුවක්කුකරුගේ ඉලක්කය සාර්ථක වූයේ නැත. ඉලක්කගත පුද්ගලයා වෙඩි ප්රහාරය එල්ල වීමත් සමඟ දිව යෑම නිසා ඔහුගේ ජීවිතයට හානියක් සිදුනොවීය. විමර්ශන නිලධාර්න් පවසන්නේ එම වෙඩි තැබීමද සිදුකර ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා බවය.
කුඩු සළිඳු නමැත්තා පානදුර සහ ඒ අවට නගර කිහිපයක් කේන්ද්ර කරගෙන කුඩු ජාවාරම පවත්වාගෙන ගියේ ඔහුගේ ගෝලබාලයන් යොදවාගෙනය. ජීවිතයට එල්ල වූ තර්ජන නිසා මෙරටින් පලාගිය සළිඳු පසුව ඩුබායි රටේ සිටි තවත් මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වූ හරක්කටා සමඟ එකතු වී මෙරටට තොග පිටින් මත්ද්රව්ය එව්වේය. ඊට අමතරව මිනිස් ඝාතනද සිදුකළේය. පානදුර සහ ඒ අවට සිදුකළ බොහොමයක් මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් පානදුරේ සළිඳුගේ ගිණුමට බැර විය. සළිඳු විදේශගතව සිටියදී ඔහු සමඟ නිලංග නමැත්තාද මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ වූ සමීපතමයෙක් විය.
කෙසේ වෙතත් කුඩු සළිඳු සහ හරක්කටා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන පවා නිකුත් වුවද ඔවුන් එරට රැඳී සිටිමින් මත්ද්රව්ය ජාවාරම සිදුකළේය. මෙලෙස සිදුකළ සළිඳුගේ මත්ද්රව්ය ජාවාරම අඩාළ වන්නේ ඔහු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනීමත් සමඟය.
හරක්කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත වීමත් සමඟ සළිඳුට නැවැත එළියට ඒමට හැකියාවක් නැතැයි ඔහුගේ සමීපතමයන් විශ්වාස කළේය. ඒ අනුව සළිඳු විසින් පවත්වාගෙන ගිය මත්ද්රව්ය ජාවාරම සියතට ගැනීමට ඔහුගේ සමීපතමයෝ කිහිපදෙනකුම වෙහෙසුණහ. නිලංග එවැනි අයෙක් විය. බන්ධනාගාරගතව සිටි සළිඳු මේ බව දැනගත්තේය.
වසරකට ආසන්න කාලයක් හිරේ සිටි සළිඳුට සති කිහිපයකට පෙර අධිකරණය මඟින් ඇප ලැබුණේය. ඒ සෑම ඉරිදාවකම පොලිසියේ පෙනී සිටින ලෙසට නියෝගයක්ද ලබාදෙමිනි. එහෙත් එදා පටන් සළිඳු ආගිය අතක් නොවීය. සමහරු සැක කළේ ඔහු ඒ වන විට විදෙස් රටකට පැනයන්නට ඇති බවය. එහෙත් පොලිසිය ඒ බව තහවුරු කළේ නැත. මෙලෙස කාලය ගෙවීයද්දී පානදුර ප්රදේශයෙන් වෙඩි තැබීම් කිහිපයක් පොලිසියට වාර්තා විය. පානදුර, හිරණ, මාලමුල්ලේ සිදුකළ වෙඩි තැබීමත්, පානදුර දකුණේ යතුරපැදි අමතර කොටස් අලෙවි සලකදී කළ වෙඩි තැබීමත් සළිඳුගේ නමට බැර වූ ඒවාය.
ඒ එම වෙඩි තැබීම් සිදුකර තිබුණේ මේ වන විට සළිඳු සමඟ වීරසකයක් ඇති කරගෙන සිටින නිලංග නමැත්තාගේ සමීපතමයන් ඉලක්ක කරගෙන බව විමර්ශනයේදී හෙළි විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පානදුර පොලිසිය මෙම වෙඩි තැබීම් දෙක සිදුකළ තුවක්කුකරු හඳුනාගෙන තිබුණද ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. එහෙත් ඉකුත්දා ඉන්දියාවේ සිට මෙරටට පිටුවහල් කළ “වැලිගම සහන්” මෙම වෙඩි තැබීම් සිදුකළ තුවක්කුකරු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේය. ඒ අනුව එම වෙඩි තැබීමේ සිද්ධීන් දෙක සම්බන්ධ විමර්ශනද මේ වන විට අරඹා ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර 2025.06.05 වැනි දින මට්ටක්කුලිය පොලිස් වසමේදී ටී-56 ගිනි අවියකින් හා 9mm වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිදුවීමේ ටී 56 ගිනි අවිය භාවිත කර ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගත් වැලිගම පදිංචි පුද්ගලයා බවය. ඒ අනුව වෙඩි තැබීම් තුනක තුවක්කුකරුවකු ලෙස මොහු ක්රියා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මීට අමතරව මොහු විසින් සිදුකරනු ලැබූ සෙසු අපරාධ මෙසේය.
2014.04.15 වැනි දින කොටවිල පොලිස් වසමේදී යතුරුපැදියක් හොරකම් කිරීම, 2024.04.25 දින මාලිම්බඩ පොලිස් වසමේදී භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳසලකට ඇතුළු වී එහි තිබූ රුපියල් 80,000ක් වටිනා රන් මාලයක්
කොල්ලකෑම, 2024.07.11 වැලිගම පොලිස් වසමේදී මාර්ගයේ ගමන්ගත්
කාන්තාවකගේ ගෙලබැඳි රුපියල් 50,000ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම, 2014.7.24 වැනි දින මාලිම්බඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 150,000ක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකෑම, 2024.08.24 වැනි දින තිහගොඩ පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට අවි පෙන්වා බියගන්වා රුපියල් 450,000ක් වටිනා රන් මාලයක් සහ රුපියල් 35,000ක් වටිනා රන් පෙන්ඩනයක් සහ රුපියල් 450,000ක් වටිනා රන් අත්පලඳනාවක් කොල්ලකෑමය. 2024.08.05 වැනි දින කොටවිල පොලිස් වසමේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑම, 2024.8.11 වැනි දින මාලිම්බඩ පොලිස් වසමේදී
යතුරුපැදියකින් ගොස් රුපියල් 95,000ක් වටිනා රන් මාලයක් සහ රන් පෙන්ඩනයක් කොල්ලකෑම, 2024.08.12 වැනි දින වැලිගම පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් 90,000ක් වටිනා රන් මාලයක් යතුරුපැදියකින් ගොස් කොල්ලකෑම, එදිනම කොටවිල පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ මාර්ගයේ ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑම ආදී කොල්ලකෑම් රැසක් මොහු විසින් සිදුකර තිබූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2024.08.08 වැනි දින වැලිගම පොලිස් වසමේදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාවකටද මොහු පොලිසියට අවශ්ය කරන සැකකරුවකු බව කියයි.
වැලිගම සහන් නමින් පෙනී සිටින මොහු මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනකුගේම සමීපතමයකු වන අතර මොහු විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් ප්රශ්නකොට ඒවාට භාවිත කළ අවි ආයුධ ඇතුළු සෙසු තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.
- කීර්ති මෙන්ඩිස්