Thursday, June 30, 2022

තෙල් හිඟයත් නොතිබුණා නම් සැමියා රෝහලේ ට්‍රොලියක මැරෙන්නේ නැ


අනතුරට ලක්ව මතුගම වැත්තෑව රෝහලට ඇතුළත් කර සිටි සැමියාට මූලික ප්‍රතිකාර කර නාගොඩ මහ රෝහලට ගෙනයාමට සූදානම් කර ට්‍රොලියක තබා තිබුණා. රෝහලේ ගිලන් රථයට ඉන්ධන නොමැති නිසා වන රෝහලකින් ගිලන් රථයක් ගෙන ඒමට සිදුවුණත් පැය එකහමාරක් යනතුරුත් ගිලන් රථයක් ආවේ නැහැ. මේ රටේ ඉන්ධන හිඟයක් නොතිබුණා නම් මගේ සැමියාට ඉස්පිරිතාලේ ට්‍රොලියක මිය යන්න සිදුවන්නේ නැහැ.රිය අනතුරකට ලක්ව වෑත්තෑව රෝහලේදී මියගිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී බිරිය වන මාදුරගේ ගුණශීලි (58) මහත්මිය පැවැසුවාය. 

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිපැන්න,  ලෙව්වන්දුව, කානගොඩ පදිංචි ඔලිවර් හෙන්රි තෙවරප්පෙරුම නමැති 64 හැවිරිදි දෙදරු පියෙකි. මේ පිළිබඳව වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී මියගිය අයගේ බිරිය වන මාදුරගේ ගුණශීලි (58) මහත්මිය වැඩිදුරටත් මෙසේ පැවැසුවාය. 

“මියගොස් සිටින්නේ මගේ සැමියායි. අපි විවාහ වී වසර 38ක් පමණ වෙනවා. අපට දරුවන් දෙදෙනකු සිටින අතර ඔවුන් මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වෙනවා. සැමියා එදිනෙදා ලැබෙන කුලී වැඩ කර ලැබෙන මුදලකින් තමයි අපි ජීවත් වුණේ. ඔහු වැඩට යන්නේ පාපැදියෙන්. එයා ඒ බයිසිකලේ පණ වගේ ආදරෙයි. පසුගිය 26 වැනිදා උදේ සැමියා සූදානම් වී මට බඩු ගන්න කියලා රුපියල් 350 ක් දීලා මෙච්චරයි මගේ ළඟ තියෙන්නේ මේකෙන් මුණුබුරාට යෝගට් එකකුත් අරන් දෙන්න කියලා කිව්වා. එසේ පවසා ඔහු බයිසිකලෙන් පිටත්ව ගියා. පසුව මම මුනුබුරා දහම් පාසලට එක්කගෙන ගියා. එහි සිටිදී අපි දන්නා කෙනෙක් පැමිණ සැමියා කෝපිවත්ත ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වී ඇති බව පැවැසුවා. මම දරුවන්ටත් දැනුම් දී කෝපිවත්තට ගියත් ඒ වන විටත් සැමියා රෝහලට ගෙනගොස් තිබුණා..

මම සැමියා ඇතුළත් කළ මතුගම වෑත්තෑව රෝහලට යන විට සැමියාට මූලික ප්‍රතිකාර කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහලට ගෙනයාමට සූදානම් කර ට්‍රොලියක තබා තිබුණා. රෝහලේ ගිලන් රථයට ඉන්ධන නොමැති නිසා වෙන රෝහලකින් ගිලන් රථයක් ගෙන ඒමට සිදුවුණත් පැය එකහමාරක් යනතුරුත් ගිලන් රථයක් පැමිණියේ නැහැ. ඒ අතර මගේ සැමියා මගේ ඇස් ඉදිරිපිටම දෙනෙත් පියා ගත්තා.  මේක කාගේ වරදින් සිදුවුණාදැයි මට කියන්න බැරි වුණත් ඉන්ධන ගැටලුවක් නොතිබුණා නම් ගත වූ පැය එකහමාර අතරතුර මගේ සැමියා නාගොඩ රෝහලට ගෙනගොස් වැඩිදුර ප්‍රතිකාර කරන්න තිබුණා. එහෙම වුණානම් මගේ සැමියා අදටත් ජීවත් වෙනවා."


මෙම රිය අනතුර සිදුවූ වෑන් රථයේ රියැදුරු වන බදුගම මතුගම පදිංචි උඩගේ කන්තානම්ගේ ඩිලාන් ලසිත (33) මහතා මෙසේ පැවැසීය. 

“මම පසුගිය 26 වැනිදා උදේ මාළු ගේන්න බේරුවලට ගොස් නැවත එන අතරතුරදී කෝපිවත්ත ප්‍රදේශයේ පදික මාරුව පසුකරමින් සිටියදී ඉදිරියෙන් ගිය පාපැදිකරුවකු එකවරම දකුණු පැත්තේ පිහිටි උතුම්ගම පාරට හැරවූවා. එවිට පාපැදිය මගේ වෑන් රථයේ පැත්තේ වැදී පැදිකරු වැටුණා. මම වහාම වෑන් රථය නවත්වා එයින් බැස ඔහු ළඟට ගියා. පාර අසල සිටි අයත් එතැනට ආවා. එවිට වැටී සිටි අයගේ හිස කාපට් පාරේ වැදී තුවාල සිදුවී ලේ ගලමින් තිබුණා. පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් තුවාලකරු මතුගම වෑත්තෑව රෝහලට ගෙන ගියා. එහිදී වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය ඉක්මනින් අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ගෙන යා යුතු බව පැවසුවා. එම රෝහලේ ගිලන් රථයට ඉන්ධන නොමැති නිසා ඔවුන් ඒ සඳහා දොඩන්ගොඩින් ගිලන් රථයක් ගෙන්වා ගැනීමට කටයුතු කළත් එම ගිලන් රථය එන විට අවාසනාවන්ත ලෙස එම තුවාලකරු මියගියා.”


මෙහිදී හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා මෙසේ සඳහන් කළේය.

“අද වනවිට රටේ පවතින ඉන්ධන හිඟය නිසා අහිංසක මිනිසුන්ට නිදහස් සෞඛ්‍ය සේවය ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. රෝහලක ගිලන් රථයකට ඉන්ධන ලබාදීම රටේ සියලු දෙනාගේ වගකීමක්. ඉන්ධන අර්බුදය නිසා ගිලන් රථවලටත් ඉන්ධන  නොමැතිවීම අවාසනාවන්ත තත්වයක්. එම  අවාසනාවන්ත තත්වයේ ප්‍රතිඵලයක් ලෙස අද නිසි ප්‍රතිකාර ලබාදීමට නොහැකිව මෙම වටිනා ජීවිතය අහිමිවීම පිළිබඳව කනගාටු වෙනවා.” මියගිය දෙදරු පියාගේ මෘතදේහය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ  නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.එල්.එල්. ජයසිංහ මහතා මෙම මරණය රිය අනතුරකින් හිසට සිදුවූ බලවත් හානි නිසා සිදුවූ මරණයක් බවට තීරණය කළ අතර වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරික්ෂක උදයංග  සහ පොලිස් සැරයන් (5283) ජයරත්න යන නිලධාරීහු සාක්‍ෂි මෙහෙයවූහ.


 බන්දු තඹවිට

ඉන්ධන නොදුන්නත් සිපෙට්කෝ ෂෙඩ් ළඟ දිග වාහන පෝලිම්

සිපට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග නිකුත් නොකළ ද රට පුරා ඊයේ (29) දිනයේ ද සිපෙට්කෝ පිරවුම්හල් අසල තරමක දිගු වාහන පෝලිම් දැකිය හැකි විය. මෙම එම පිරවුම්හල්වල සිටින ජනතාවට ත්‍රිවිධ හමුදාව ‘ටෝකන්’ නිකුත් කළ ද ඔවුහු ටෝකන්’ පත ලබාගෙන තව දුරටත් පෝලිමේ රැඳී සිටින තත්ත්වයක් දැකිය හැකිය. මෙම ජනතාව පවසන්නේ බොහෝ ස්ථානවල 'ටෝකන්’ ලබාදුන්න ද ඒ අනුව ඉන්ධන නිකුත් නොකරන බවයි. ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) පිරවුම්හල්වලට ඊයේ දිනයේ ද සීමිත ඉන්ධන තොග නිකුත් කළ අතර එම පිරවුම්හල්වලට ඩීසල් සහ පෙට්‍රල් සීමිත ප්‍රමාණයක් ලැබුණි. ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරියකු පැවසුවේ දිනකට ලීටර 13,200 සහ 19,800 බැගින් වන බවුසර් 70 ක් පමණ ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කරන බවත් එම ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉන්ධන ලෝඩ්' 150 ක් පමණ වන බවත්ය. ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීමේ සීමාව පෙරේදා (28) රාත්‍රී පහළ දැමීමට පියවර ගත්තේය. ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්පලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 2,500 ක සහ වෙනත් වාහනවලට රුපියල් 7,000 ක ඉන්ධන නිකුත් කරන බව එම සමාගම පැවසීය. මීට පෙර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලින් වරකට යතුරුපැදියකට රුපියල් 2,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 3,000 ක සහ වෙනත් වාහනවලට රුපියල් 10,000 ක් ලෙස ඉන්ධන නිකුත්  කළේය.ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ඊයේ වන විට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන තොග නොලැබෙන බවත් අයි.ඕ.සී. පිරවුම්හල්වලට  සීමිත තොග ප්‍රමාණයක් ලැබෙන බවත්ය. අයි.ඕ.සී. ත්‍රිකුණාමලය පර්යන්ථයෙන් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ටැංකි රථවල අඩුවක් පැවති බව කී ශාන්ත මහතා ඒ අනුව මීට පෙර අයි.ඕ.සී. සමග කටයුතු කළ පසුගිය දිනවල පාවිච්චි නොකළ බවුසර් පිටත් කර හැරිය බව ද සඳහන් කළේය. ඉන්ධන පිරවුම්හල මේ වන විට රජයේ සේවකයන් අතර ගැටුම්කාරී තත්වයන් වර්ධනය වෙමින් තිබෙන බව වාර්තා වේ.පොලිසිය සහ සෙසු රාජ්‍ය සේවකයන් අතර ඉන්ධන ලබාගැනීම සඳහා මේ වන විට ගැටුම් නිරන්තරයෙන් වාර්තාවේ. කළුතර අයි.ඕ.සී. පිරවුම්හලේ අත්‍යාවශ්‍ය සේවා නිලධාරීන් සහ පොලිසිය අතර පෙරේදා (28) රාත්‍රී නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර එහිදී පොලිසිය මැදිහත්ව පොලිසියට සහ නාගොඩ රෝහලේ ගිලන්රථවලට පමණක් ඉන්ධන බෙදාගැනීම නිසා මෙම තත්වය උද්ගත වූ බව වාර්තා වේ.මෙවැනි තත්වයන් හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හලට යුද හමුදා සාමාජිකයන් 30 කින් පමණ යුත් කණ්ඩායම් කැඳවා තිබෙන ආකාරය ද දැකගත හැකිවිය. මාතර වැලිගම ප්‍රදේශයේ පිරවුම්හල පෝලිමේ සිටින ජනතාවට ලබාදීමට තිබෙන ‘ටෝකන්’ පන්වලින් වැඩි සංඛ්‍යාවක් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ ඔවුන්ගේ හිතවතුන්ට ලබාදීමට රඳවා ගන්නා බවට ජනතාව චෝදනා කරති. වැලිගම ප්‍රදේශය ජනතාව ටෝකන් පත් ලබාගෙන තිබුණ ද ඒවා සාක්කුවේ දමාගෙන සිටීමට සිදුව ඇති බව ජනතාව වැඩිදුරටත් චෝදනා කරති.

(යොහාන් භාසුර )

බැංකු කළමනාකාරිණිය ඩෙංගු මාරයාට බිලි

ඩෙංගු රෝගය වැළඳී කොළඹ සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බැංකු කළමනාකාරවරියක මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය. මියයන විට ඇය හත්මස් ගැබිනියක වූවාය. මවගේ මරණයත් සමග කුස තුළ සිටි දරුවාද මිය ගොස් සිටි අතර ශල්‍ය කර්මයකින් කුස තුළ සිටි දරුවාගේ සිරුර ඉවතට ගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ මාලබේ වැව පාරේ පදිංචිව  සිටි 39 හැවිරිදි වියේ පසුවූ නිරංජලා ෆොන්සේකා මහත්මියයි. නිරංජලා මහත්මිය ලංකා බැංකුව කොළඹ කොටුව කෙලින්වීදිය ශාඛාවේ කළමනාකාරිනිය වූවාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වූ නිරංජලා මහත්මිය දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප්‍රදේශයේ පදිංචිව සිටියාය. ඇය තවත් දියණියකගේ හා පුතෙකුගේ මවකි.


තෙල් දෙනවා කියා ලක්ෂ එකහමාරක් අරන්


ඉන්ධන ලබා දෙනවා යැයි පවසා කළු කඩ මුදලාලි කෙනකු ලෙසින් පෙනී සිටි පුද්ගලයකු රුපියල් එක් ලක්ෂ පනස් හතරදහසක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පෙරේදා(28) පැමිණිල්ලක් ලැබී ඇතැයි. මීගහතැන්න පොලිසිය පවසයි.  මීගහතැන්න ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනකු සහ තවත් පුද්ගලයන් සිව්දෙනකු වැලිපැන්න, නවුත්තුඩුව ප්‍රදේශයේ දී මෙම වංචාවට හසු වී ඇති අතර, මීගහතැන්න ත්‍රිරෝද රථ රියදුරකු සමග වැලිපැන්න ඉන්ධන පෝලිමේ දී හඳුනාගෙන ඇති පුද්ගලයකු මෙම වංචාව සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

මුදල් වංචා කළ පුද්ගලයා ඉන්ධන පෝලිමේදී ත්‍රිරෝද රථ රියැදුරා සමග කුළුපගවී තමන් සන්තකයේ පෙට්‍රල් විශාල ප්‍රමාණයක් විකිණීමට තිබෙන බවත්, ලීටරයක් රුපියල් 550ට දිය හැකි බවත් පවසා ඇතැයිද, ඒ අනුව ත්‍රිරෝද රථ රියැදුරු  තම මිතුරන්ට ඒ බව පැවසීමෙන් පසු මෙම ගනුදෙනුව සඳහා එකඟතාවයකට පැමිණ 27 දින සවස නවුත්තුඩුව ප්‍රදේශයට ඉන්ධන රැගෙන ඒම සඳහා ගොස් ඇතැයි පොලිසිය පවසයි. පෙට්‍රල් ලබා ගැනීම සදහා හයදෙනකු විසින් එකතු කරන ලද මුදල් ද රැගත් රියදුරන් තිදෙනකු ත්‍රිරෝද රථ දෙකකින් ජාවාරම්කරු දැනුම් දුන් පරිදි නවුත්තුඩුව ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදී ජාවාරම්කරු හමුවී කතාබහ කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස් හතර දහසක මුදල් ඔහුට ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

-ප්‍රේමතිලක පෙරමුණ -

අසභ්‍ය ඡායාරූප ප්‍රසිද්ධ කරනවැයි උපකාරක ගුරුවරයෙකුගෙන් කප්පම් ඉල්ලු සැකකරු රිමාන්ඩ්

උපකාරක පංති ගුරුවරයෙකුගේ අසභ්‍ය ඡායාරූප තිබෙන බවට දුරකථනයෙන් ඔහුට තර්ජනය කොට ඒවා ප්‍රසිද්ධ නොකිරීමට නම් මුදල් ලබාදෙන ලෙසට කප්පම් ඉල්ලා සිටි බව කියන සැකකරුවෙකුජූලි මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (29දා) නියෝග කළාය. උපකාරක පංති ගුරුවරයෙකුට අදාළ අසභ්‍ය ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට ඔහුට තර්ජනය කොට කප්පම් මුදල් ඉල්ලා සිටිබව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච්.ආර්.එස් කුමාර මහතා කරුණු දක්වමින් පැමිණිලිකාරඋපකාරක පංති  ගුරුවරයා සමග සැකකරු කාලයක් ළඟින් ඇසුරු කොට ඇති බවත් කිසියම් සිද්ධියක් හේතුවෙන් ඔහු සමග අමනාප වී පැමිණිලිකරුට අදාළ අසභ්‍ය ඡායාරූප සැකකරු තිබෙන බව පවසා එම ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට මුදල් ලබාදෙන ලෙසටදුරකථනයෙන් තර්ජනය කර ඇති බව කියා සිටියේය. එම පැමිණිලි විභාගයට පෙරේදා (28) දෙපාර්ශවය නිට්ටඹුව පොලිස් ස්ථානයට කැදවූ බවත් ඒඅනුව පැමිණිලිකාර උපකාරක පංති ගුරුවරයා නීතිඥවරයෙකු සමග පැමිණ ප්‍රකාශයක් ලබා දී ආපසු වාහනයෙන් යමින් සිටියදී සැකකරු ප්‍රකාශයක් පවා නොදී පොලීසියන් පැනගොස් වහනයකින් පැමිණිලිකරුගේ වාහනය ලුහුබැද ගොනිට්ටඹුව නගරයේදී නැවත තර්ජනයකොට ඇති බව පරික්ෂණාවලදී හෙළි වී ඇති බවද පොලිස් කොස්තාපල්වරයා පවසා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ අයේෂා කුමාරී මහත්මිය කරුණු දක්වමින් පැමිණිලිකරුගේ පවුලේ සාමාජිකයන් හා සැකකරුගේ පවුලේ සාමාජිකයන් කාලයක් තිස්සේ මිතුරු පවුල් දෙකක් බවත් එම දෙපාර්ශ්වය නිතර නිතර සාද පවත්වා ඇති බවත් කිසියම් අමනාපයක් හේතුවෙන් අසත්‍ය පැමිණිල්ලක්කර ඇති බවත් කියා සිටියාය.මෙහිදී දෙපාර්ශ්ව කරුණු දැක්වීම්වලින් අනතුරුව එම සැකකරු  රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කෙරිණි .නැවත කැදවීම ජූලි මස 04 වැනිදාට කල් තැබිණි. පැමිණිලි කරු වෙනුවෙන් නීතිඥ ප්‍රියංකර මාරසිංහ මහතා පෙනී සිටියේය.අයේෂා කුමාරි හා දුලානි කුලරත්න යන නීතිඥ මහත්මීන් සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඕ.පී අබේරන්ත මහතාගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් එච්.ආර්.එස්. කුමාර මහතා පැමිණිල්ල මෙහෙය වීය.


(වාරණ - ආනන්ද ඉ.ජයකොඩි)

දැන් කලයුත්තේ ශ්‍රක විෂ්ණු දේවිවරුන්ට රට බාරදීමයි

අද වන විට මෙරට මෙවන් විනාශකාරී තත්වයකට පත් වී ඇත්තේ මහා  සංඝරත්නය ලබාදුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්ටන් ශක්‍ර දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමියෝ පැවසූහ. මහනුවර, මඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකදී මහනාහිමියෝ මේ බව සඳහන් කළහ. එහිදී මහනාහිමියෝ මෙසේද සඳහන් කළහ. 

බුදුරජාණන් වහන්සේටත් නින්දා අපහාස කළා. භික්ෂූන් වහන්සේලා  කියන්නේ නින්දා අපහාස විඳ දරාගෙන වැඩ කටයුතු කළ හැකි පිරිසක්. උදාර සේවාවන් නුරුස්සන පාපී අදහස්වලින් යුක්ත පිරිස් බොහෝ දෙනා අප අතර ජීවත් වෙනවා. මනුෂ්‍යයන් කිව්වට බොහෝ  සුළු පිරිසකට පමණයි බුද්ධිමත්ව සිතා මතා මේ දේ හොඳයි මේ දේ නරකයි කියා තේරුම් ගෙන කටයුතු කළ හැක්කේ . එම නිසා වැඩි දෙනා අන්තගාමීන් හැටියටයි සැලකිය හැකි වෙන්නේ. අද මෙතන සිටින පුංචි දරුවන් පවා දන්නවා අද අපේ රටට වෙලා තිබෙන විපක්තිය. ඊට හේතූව කුමක්ද කියාත් දන්නවා. ඒ පිළිබඳව අප කනගාටු වෙනවා මිසක් කළ යුතු දෙයක් නැහැ. 

භික්ෂූන් වහන්සේලා හැටියට අපි ඒ අයට අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවවාද අනුශාසනා කළා. නමුත් ඒවා නොතකන බවක් තමයි අපට පෙනෙන්න තිබුණේ. මේ විදිහට ගියොත් මේ රට විනාශ වෙන  තැනට පත් වෙනවා. අප ඒ සියලු දේ ඒ අයට තේරුම් කර දුන්නා. නමුත් ඒ අය ඒවා තැකීමක් සැලකීමක් නොකරන බවක් ඉතාම පැහැදිලිව පේනවා. එම නිසා නොවෙන දේකට නොකෙරෙන දෙයකට කතා කිරීමට ගොස් වැඩක් නොවෙන බව මේ රටේ භික්ෂන් වහන්සේලා තේරුම්ගෙන තිබෙනවා. දැන උගත් සියලු දෙනා මේ රට පත් වී තිබෙන තත්ත්වය ගැන කනස්සල්ලට පත් වෙනවා. 

තමගේ දරු දැරියගේ අනාගතය ගැන දෙමවුපියන් සිතන කොට දෙමවුපියන් හැටියට ඒ සියලු දෙනා  දුක් වෙනවා. කනගාටු වෙනවා. නමුත් කළ හැකි දෙයක් නෑ. බුදුන් වැඳ ත්‍රිවිධ රත්නයට ගරු කරනවා හැරෙන්නට, දෙවියන්ට කියනවා හැරෙන්නට,  කියයුතු මනුෂ්‍යයෙක් නැහැ. මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. එම නිසා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා දෙවියන්ට කියන්න පමණයි තිබෙන්නේ මේ රට ආරක්ෂා කර දෙන්න කියා. බුදුරජාණන් වහන්සේ මේ බව දැනගෙන වෙන්න ඕනෑ එදා මේ රට ශක්‍ර දෙවියන් වහන්සේට මේ රටේ ආරක්ෂාව බාර දුන්නේ. ශක්‍ර දෙවියන් විෂ්ණු දෙවියන්ට ඒ කාර්යය පැවරුවා. එම නිසා ශක්‍ර දෙවියන් සහ විෂ්ණු දෙවියන් ඇතුළු දේවතාමණ්ඩලයට මේ රටේ ආරක්ෂාව බාරයි. 

බෞද්ධයන් හැටියට පුණ්‍ය කටයුතු හොඳින් කරනවා නම් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂක්ෂාව ලැබෙනවා. ශක්ති පමණින් අපත් මේ රට ආරක්ෂක්ෂා කිරීමේ කාර්යභාරය කරනවා. පසුගිය කාලවකවානුවේ සිදුවෙච්ච විපත්ති දිහා බලන කොට මේ රට මේ තරමින් තිබෙන එක පිළිබඳවත් සෑහීමකට පත්විය හැකියි.  මේ යන තත්ත්වය අනුව අපගේ අනාගතය පිළිබඳව කිසිසේත්ම  සතුටුවිය නොහැකියි. ඒ පිළිබඳව කනගාටු වෙලාත් වැඩක් නෑ. ජය පරාජය හොඳ නරක විඳ දරාගෙන කටයුතු කළ යුතුයි. මරණය, අනිත්‍යය පිළිබඳවයි බුදු බුදුදහමේ උගන්වන්නෙ. එම අවබෝධය දහම් පාසල් තුළින් අප සියලු දෙනාට ලබාදී තිබෙනවා.


 ෂෙන් සෙනෙවිරත්න 

වසර 2035 වනවිට යුරෝපය තුළ ඩීසල් සහ පෙට්‍රල් වාහන අලෙවිය තහනමට අනුමැතිය

යුරෝපය තුළ අභ්‍යන්තර දහන එන්ජින් සහිත ඩීසල් සහ පෙට්‍රල් වාහන අලෙවිය වසර 2035 වසර වනවිට තහනම් කිරිම සදහා අනුමැතිය ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇතැයි පවසයි. මේ දිනවල ලබග් රාජ්‍යයේදී පැවැත්වෙන යුරෝපා සංගමයේ පරිසර අමාත්‍යවරුන්ගේ හමුවේදී මේ පිළිබඳ අනුමැතිය හිමිව තිබේ. මේ හරහා එහි සාමාජික රාජ්‍යයන් 27 හි කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ශුනයක් බවට පත් කිර්ම අරන්මුණ වී ඇත. ඒ අනුව යුරෝපා සංගමයේ මෝටර් රථ නිෂ්පාදකයන් වසර 2035 තෙක් වසරකට නිපදවන අභ්‍යන්තර දහන එන්ජින් සංඛ්‍යාව 10,000කට කඩා අඩු විය යුතු බවටත් තීරණය කෙරී තිබේ.මෙම වාහන අලෙවිය තහනම් කිරීම පිළිබඳ තීරණය පළමුවරට යෝජනා කෙරුණේ 2021 ජුලි මාසයේදීය. ඒ අනුව යුරෝපා සංගමය තුළ පෙට්‍රල් සහ ඩීසල් වාහන අලෙවිය තහනම් කිරීම මෙන්ම 2035 වසරේ සිට වාණිජ සැහැල්ලු වාහන සම්පූර්ණයෙන්ම විදුලි එන්ජින් සහිත වාහන බවට පත් කිරීමත් සැලසුම විය. විශේෂයෙන්ම වසර 2050 වන විට යුරෝපය තුළ මෝටර් රථ හරහා සිදුවන කාබන් විමෝවනය ශුන්‍ය කිරීමේ අපේක්ෂාව යටතේ මෙම යෝජන්නාව ඉදිරිපත් විය. එඩ්හිදී යුරෝපා සංගමයේ සාමාජිකයන් වන ජර්මනිය සහ ඉතාලිය මේ පිළිබඳ වන ඉල්ලීම සිදු කළ අතර, අනෙකුත් සාමාජික රාජ්‍යයන්ද ඊට අනුමැතිය ලබා දුණි. ඒ අනුව පොසිල ඉන්ධන නොවන කෘත්‍රිම ඉන්ධන හෝ බැටරි බලයෙන් ක්‍රියාත්මක දෙමුහුන් මෝටර් රථ යනාදී අනාගත පරිසර හිතකාමී විකල්ප තාක්ෂණයන් වෙත යොමු වීමට ඔවුන් එකගතාව පළ කර තිබේ.


විදුලි පාඩු උපත කොහේද?

රටේ පවතින විදුලි අර්බුදයෙහි ප්‍රධානතම වගඋත්තරකරුවා විදුලිබල මණ්ඩලය බවට චෝදනා නැගෙයි. එසේම විදුලි බල මණ්ඩලය රටේ ආර්ථිකය වනසන රාක්ෂන් අතරින් එකකු බවටද ඇත්තේ ප්‍රබල මතයකි. නැගෙන ඒ චෝදනාවලින් මණ්ඩලය ගලවාගන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. මේ සාකච්ඡාව සඳහා අද අප සම්බන්ධ කරගන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්යවරයකු වන ආචාර්ය නිශාන්ත නානායක්කාරය. ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර කිහිපයක් ඉදිකර ඉන් නිපදවන විදුලිය මණ්ඩලයට විකුණන දේශීය සමාගමක හිමිකරුවකු වන ආචාර්ය නානායක්කාර රුවන්ඩා, බුරුන්ඩි, කෙන්යා, ටැන්සානියා වැනි රටවල් කිහිපයක ආණ්ඩුවල ආරාධනය මත ඒ රටවල ජල විදුලි බලාගාර ඉදිකළ විදුලි ඉංජින්නේරුවෙකි. දැන් ජපන් ආණ්ඩුව සතු කුඩා ජල විදුලි ව්‍යාපෘති කිහිපයක් නවීකරණය කර දීමටද ඉදිරිපත්ව සිටියි. ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයෙහි (Unido) හිටපු බලශක්ති උපදේශකයකු ද වන ආචාර්ය නානායක්කාර රටත්, ජනතාවත්, විදුලිබල මණ්ඩලයත් ගලවා ගැනීමට කළ යුතු දේවල් මෙසේ විග්‍රහ කරයි.

රටේ ජනතාව දැන් වැඩියෙන් කතා කරන්නේ විදුලිය කැපිල්ල ගැන නොව මණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතා සහ දූෂණ නිසා තමන්ටත් විඳවන්නට සිදුවී තිබීම පිළිබඳවය. විදුලි බල මණ්ඩලය තමනුත් රටත් රටේ ආර්ථිකයත් වනසන රාක්‍ෂයකු බව ජනතාවගේ නිගමනයයි. මණ්ඩලයේ ප්‍රශ්නයක් තිබෙන බව දැන් එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පවා පිළිගනිති. ඔවුන් අද පිළිගන්නා කරුණු අප රටට හෙළි කළේ වසර 2002 දී පමණ සිටය. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරි තනතුරට ජ්‍යෙෂ්ඨතාවය මත පොල් පිත්තකට වුවද පත්විය හැකි බව අප රටට කී එක් කාරණයකි. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ දැන් එය පිළිගනිති. විදුලි බල මණ්ඩලයේ කළමනාකාරීත්වය එනම් එහි ඉංජිනේරුවන් මෙතෙක් කාලයක් මණ්ඩලය පවත්වාගෙන ආවේ තමන්ගේ සුඛ විහරණය සඳහාම දැයි දැන් ජනතාවට සාධාරණ සහ යුක්ති සහගත සැකයක් මතු වී තිබේ. ජනතාවට ඒ සැකය ඇති වී තිබෙන්නේ මණ්ඩලය නැත්තටම නැති වී ඉංජිනේරුවන් පමණක් ඉතිරි වී සිටින නිසාය. මණ්ඩලය පාඩු ලබදී බෝනස් ලබාගැනීම සහ මඩලයේ සේවකයන් සහ නිලධාරීන් තමන්ගේ මුදලින් ගෙවිය යුතු උපයනවිට බදු ජනතා මුදලින් ගෙවීම ඒ සම්බන්ධයෙන් ජනතාව දක්වන සරල උදාහරණ දෙකකි. 2010 සිට 2020 අතර කාලයේ දී එසේ ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් කෝටි 498ක් බව විගණන වාර්තවලින් හෙළි වී තිබේ. 

මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකුගේ මුළු වැටුප රුපියල් ලක්‍ෂ දහය ඉක්මවන බවද කියැවෙයි. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකුට ලක්‍ෂ හයක පමණ වැටුපක් ලැබෙන බවද දැන් අනාවරණය වී හමාරය. මේ නිසා ලංවිම ඉංජිනේරුවෝ රටේ මහ ජනතාවගේ පිළිකුලට ලක්ව සිටිති. මගේ දැක්ම අනුව නම් ලක්ෂ දහයක වැටුපක් නොව ලක්‍ෂ 20ක් ගත්තත් කමක් නැත. එහෙත් එතරම් ඉහළ වැටුප් ගත යුත්තේ ඒ ආයතනය රටට ලාබදායක ආයතනයක් නම් සහ ජනතාවට සුබදායක ආයතනයක් නම් පමණකි. මණ්ඩලය රටට බරක්ව ත්ථෙතිබිය දී මහා පරිමාණයෙන් අලාබ ලබද්දී බෝනස් ගැනීම කිසිලෙසකින්වත් යුක්ති සහගත කළ නොහැකිය. පෞද්ගලික අංශයේ ආයතනයක් පාඩු ලබන්නේ නම් කරන්නේ වසා දැමීමය. එවිට සේවකයන්ට රැකියා ද නැති වෙයි. එහෙත් ලංවිම දිගින්  දිගටම පාඩු ලබද්දී රටේ ආර්ථිකය අස්ථාවර කරද්දී පවත්වාගෙන ගොස් තිබේ. ඒ ඉතා ඉහළ වැටුප් සහ බෝනස් ලබාගනිමින් සහ තමන් ගෙවිය යුතු බදු ජනතා මුදලින් ගෙවමිනි. ලංවිම ඉංජිනේරුවන් මණ්ඩලය පවත්වාගෙන ගොස් ඇත්තේ තමන් වෙනුවෙන්ය යන මතය සමාජගතවී තිබෙන්නේ එහෙයිනි. 

2022 දී ලංවිම අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 25,000කි. 2022 දී අපේක්ෂිත වියදම රුපියල් කෝටි 75,000 කි. එවිට පාඩුව රුපියල් කෝටි 50,000කි. ඒ කෝටි 50,000 දිය යු ත්තේ මහා භාණ්ඩාගාරයෙනි. භාණ්ඩාගාරයේ තිබෙන්නේ ජනතාවට අයිති මුදල්ය. ආණ්ඩුවේ බලපෑම මත රාජ්‍ය බැංකුවලින් ලංවිමට ණය දීම නිසා දැන් ඒ බැංකු ද බංකොලොත් වී තිබේ. මණ්ඩලය තවදුරටත් මෙසේ පවත්වාගෙන යා හැකිද? යා යුතුද? මණඩලය මෙසේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තිබෙන්නේ කාටද? යනාදී ප්‍රශ්න දැන් උගතව තිබේ. 

1996 වන තුරුත් ලංවිම ලාබ ලැබූ ආයතනයකි. ඒ වනවිටත් රටේ මුළු විදුලි අවශ්‍යතාවෙන් සියයට 85ක් පමණ සපුරා ගත්තේ ජල විදුලි බලයෙනි. මණ්ඩලයට කණ කොකා හඬන්නට පටන්ගත්තේ 1995න් පසුවය. ඒ යුගයේ ආරම්භ වූ විදුලිය කැපිල්ලත් සමග පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම ආරම්භ විය. ලංවිම පාඩු ලබන ආයතනයක් බවට පත්වන්නේ 1997 සිටය.  ඊට මූලික හේතුව රටට අවාසි දායක ලෙස විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්ය. මණ්ඩලය ලබන පාඩුව 1997 සිට වැඩි වුණා මිස අඩු වූයේ නැත. ඊට වගකිව යුත්තේ ලංවීම ඉංජිනේරුවත් පමණක් ද යන්න ප්‍රශ්නයකි. වියදමට සාපේක්‍ෂව විදුලිය ගාස්තුව තීරණය කරන්නට මණ්ඩලයට ඉඩ නොදී එය තීරණය කළේ බලයේ සිටි ආණ්ඩුමය. එසේම ලංවිම ඉංජිනේරුවන් සකස් කළ දිගු කාලීන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ ද බලයේ සිටි ආණ්ඩුය. ඒ නිසා පවතින අර්බුදයේ වගකීම ආණ්ඩු විසින් සේම ලංවිම ඉංජිනේරුවන් විසින් ද බාරගනු ලැබිය යුතුය. ලංවිම මේ තත්ත්වයට පත්වීමට බලපෑ ප්‍රධාන කාරණය 2009 දී ඇතිකළ සංශෝධන ක්‍රියාත්මක නොකිරීමය. 2009 දීඇති කළ නීති සංශෝධන මගින් විදුලි බල මණ්ඩලය කොටස් අටකට බෙදා වෙන් කෙරිණි. 

විදුලිය බෙදාහැරීම සඳහා සමාගම් හතරක් ද සම්ප්‍රේෂණය සහ ජනනය සඳහා තවත් සමාගම් කිහිපයක් ද ඇති කළේ 2009 නීති සංශෝධනයෙනි. ඒ සමාගම් සියල්ල රජයට අයිති සමාගම් විය. ඒ සමාගම් සියල්ල මහජන උපයෝගිතා කොමිසමේ අධීක්‍ෂණය යටතේ පැවැතිය යුතු බවද ඒ නීති සංශෝධනයෙන් කියැවිණි. ලංවිම ඉංජිනේරුවෝ ඊට කැමැති නොවූහ. අවසානයේ ඔවුන් කැමැති වූයේ ඉහළ තනතුරු සංඛ්‍යාව වැඩි කර ගැනීමට අවසර ලැබුණු නිසාය. දැන් මණ්ඩලයේ සිටින විදුලි ඉංජිනේරුවන් සංඛ්‍යාව 1000කට අධිකය. එහෙත් එතරම් විශාල පිරිසක් කරන කටයුතු කිරිමට අවශ්‍ය වන්නේ ඉංජිනේරුවන් 200ක් පමණ පිරිසකි. 2013 දී යළි නීති සංශෝධනයක් මගින් 2009 දී කළ සංශෝධනය හකුළා දමා ලංවිම යළි තති ආයයක් කෙරිණි. වර්තමාන අර්බුදයට මූලික හේතුව එයයි. ඒ නිසා යළිත් 2009 දී කළා සේ විදුලි බල මණ්ඩලයේ  කටයුතු රජයට අයත් සමාගම් රැසකට භාර දිය යුතුය. එය එසේ නොකළොත් ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුවට ණය නොලැබෙනු නිසැකය. ඒ රාජ්‍ය සමාගම්වලට අවුරුදු දෙකක් පමණ ක්‍රියාත්මක වෙන්නට හැර ඉන් අනතුරුව ඒවා කොටස් වෙළෙඳපොළ සමාගම් බවට පත් කළ යුතුය. ඒ සමාගම් සියල්ල කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළ නොහැකි වූවත් සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළට යොමු කළ හැකිය. 

1985 දී ආණ්ඩුව ලංවිමට පවරා දුන් ජල විදුලි බලාගාර සියල්ල ඇතුළත් එක් සමාගමක් බිහි කළ යුතුය. ඒ ජල විදුලි බලාගාරවල  ධාරිතාව අවුරුද්දකට මෙගාවොට් 1,383කි. ඒ ජල විදුලි ව්‍යාපෘතිවලින් අවුරුද්දකට විදුලි ඒකක මිලියන 3000 සිට 6000 අතර ප්‍රමාණයක් නිපදවයි.එය අවුරුද්දකට යුනිටි මිලියන 4000ක් ලෙස ගණනය කරමු. ඒ විදුලිය මණ්ඩලයට ලැබෙන්නේ නොමිලේය. ඒ බලාගාරවලට ගත් ණය ගෙවා අවසන්ය. වතුර නොමිලේ ලැබෙයි. ටර්බයින් කැරකෙයි. අවුරුද්දකට යුනිටි මිලියන 4000ක් නොමිලේ ලැබෙද්දීත් මණ්ඩලය අවුරුද්දකට රුපියල් කෝටි 50,000කින් අලාබ ලබන්නේකොහොමද? එය යුක්ති සහගත කරන්නේ කොහොමද?

රජය සතු ජල විදුලි බලාගාර සියල්ල රජයට අයත් සමාගමක් යටතට පත්කර ඒ විදුලි ඒකකයක් රුපියල් 20 බැගින් සම්ප්‍රේෂණ සමාගමකට අලෙවි කළහොත් අවුරුද්දකට රුපියල් කෝටි 8000ක ආදායමක් ලැබෙයි. බලාගාර අයත් සමාගම කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළහොත් ඇමෙරිකන් ඩොලර් බිලියන තුනකට වැඩි ආදායමක් උපයා ගත හැකිය. ඒ ඩොලර් ටික රටේ ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ආනයනය කරගැනීමට ප්‍රමාණවත් වෙයි. ගල් අගුරු සහ තෙලින් ක්‍රියාත්මක වන බලාගාර ද ලංවිම සතුව පවතී. ඒ බලාගාර අතරින් තෙල්වලින් ක්‍රියාත්මක වන බලාගාරවල ධාරිතාව මෙගාවොට් 654කි. ගල් අඟුරු බලාගාර දෙවර්ගයෙන් 2020 දී පමණක් විදුලිය යුනිට් මිලියන 7880ක් ජනනය කර තිබේ. මණ්ඩලය සතු ගල් අගුරු හා තෙල් බලාගාර ඇතුළත් තවත් රාජ්‍ය සමාගම් දෙකක් ගොඩ නැගිය යුතුය. අවුරුදු දෙකකට පමණ පසුව ඒවා ද කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළ යුතුය. 

එමඟින් ඩොලර් මිලියන 8000කට ආසන්න ආදායමක් උපයාගත හැකිය. ජල විදුලි බලාගාර ඇතුළත් සමාගම කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කිරීමෙන් ඩොලර් මිලියන 3000කට වැඩි ආදායමක් උපයා ගත හැකි බව ඉහත ද කීවෙමි. ඒ දෙකෙහි එකතුව ඩොලර් මිලියන 11,000කි. රටට අත්‍යවශ්‍ය ඩොලර් නෑ නෑ කියමින් කෙකර ගාන්නේ ඩොලර් උපයා ගැනීමට අවශ්‍ය සම්පත් අප සතුව තිබිය දී බව රටේ පාලකයෝ අවබෝධ කරගත යුත්තෝය. ඒ සමාගම් තුන කොටස් වෙළෙඳපොළට යොමු කිරීමෙන් රටට අවශ්‍ය ඩොලර් ලැබෙනවාට අමතරව ඒවා ලාබ ලබන කාර්යක්‍ෂම ආයතන බවට ද පත්වෙයි. ලංවිම දැන් අන්ත අකාර්යක්ෂමය. එය කාර්යක්ෂමවීමට නම් සමාගම් කිහිපයකට බෙදා වෙන්කළ යුතුමය.ඒසඳහා මුදලක් වැය නොවෙයි. කළ යුත්තේ 2009 දී හඳුන්වා දුන් නීතිය යළි බලගැන්වීම පමණකි. ඒ සමාගම් මුල දී රජය සතු විය යුතුය. වෙන වෙනම සමාගම් වූ විට ඒ සෑම එකකින්ම ශේෂ පත්‍රයක් නිකුත් වෙයි. ආදායම් වියදම් ලාබ පාඩු ප්‍රකාශයට පත් වෙයි. අවුරුදු දෙකකින් පමණ පසු ඒ සමාගම් සියල්ල කොටස් වෙළෙඳපොළට යොමු කළ යුතුය. එමගින් රටට ඩොලර් උපයා ගත හැකිය. මා යළිත් කියන්නේ ඩොලර් ඉපයිය හැකි සම්පත් රට ඇතුළේ ඕනෑ තරම් තිබෙන බවය. ප්‍රශ්නයකට තිබෙන්නේ මැති ඇමැතිවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ඒවා නොපෙනීමය. එසේම දන්නා මිනිසුන්ගෙන් ඒවා දැන ගැනීමට ඉගෙන ගැනීමට වුවමනාවක් නැති කමය.

කෙටියෙන් කිවහොත් ඔවුන්ට රට ගැන හැගීමක් නැති කමය. ලංකාවේ ක්‍රියාත්මක සෑම තේ කම්හලකම කිලෝ වොට් 200 සිට 400 අතර ඩීසල් ජෙනරේටර් පවතී. රටේ තේ කම්හුල් 450ක් තිබෙන අතර ඉන් 400ක් මැනවින් ක්‍රියාත්මක වෙයි. එසේම කොළඹ තිබෙන සෑම තට්ටු නිවාස සංකීර්ණයකම විදුලිය ජනන යන්ත්‍ර තිබේ. කර්මාන්ත ශාලාවල ද විවිධ පරිමාණයේ විදුලිය ජනන යන්ත්‍ර තිබේ. ඒ ජනන යන්ත්‍රවලින් මෙගාවේට් 300ක විදුලියක් ඕනෑම වෙලාවක පද්ධතියට සම්බන්ධ කළ හැකිය. අධික මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය නොගෙන මා ඉහත කී තැන්වල තිබෙන ජනන යන්ත්‍රවලින් නිපදවන විදුලිය අවශ්‍ය වෙලාවට ගත හැකිය. එමගින් පෞද්ගලික බලාගාර හිමියන්ට ජනතා මුදල් පොම්ප කිරීම නවතා දැමිය හැකිය. එය ලංවිමටත් රජයටත් සහනයකි. සුළං බලයෙන් විදුලිය මෙගාවොට් 500ක් නිපදවීමට නියමිතය. එය ඉන්දියානු සමාගමකට භාරදීමට එරෙහිව කෑ ගැසීම නිරර්ථකය. සුළං බලයෙන් මෙගාවොට් 500ක් නොව 10,000ක් පමණ නිපදවිය. හැකි තත්වයක් රටේ පවතී.  ඒ සඳහා පාරිසරික අධ්‍යයනයක් කළ යුතුය. එය මේ වනවිටත් නිම වී තිබිය යුත්තකි. එසේම එය කිරීම රජයේ වගකීමකි. එවැන්නක් කරන්නත් බැරිනම් රටට ආණ්ඩුවක් කුමකටද? මෙගාවොට් පහකට වැඩි සුළං බලාගාරවලට පමණක් අනුමැතිය දෙන බව ආණ්ඩුව කියයි. 

මෙගාවොට් පහක බලාගාරයක සුළං කණුවක උස මීටර් 118ක් පමණ වෙයි. සුළං පෙතක දිග මීටර් 40ක් පමණ වෙයි. එවැනි බලාගාර සඳහා පාරිසරික අධ්‍යයනයක් කළ යුතුමය. පාරිසරික අධ්‍යයනවලින් පසු මෙගාවොට් 5000ක බලාගාර ඉදිකළත් ලංකාවේ විදුලිය පිළිබඳ ප්‍රශ්න විසඳාගැනීමට හැකි වෙයි. අවසාන වශයෙන් කිව යුතු වෙනත් කාරණයක් ද තිබේ. වර්ධනය හා පෝෂණය කළ යුත්තේ පෞද්ගලික ව්‍යවසායිකයන් මිස රාජ්‍ය ව්‍යාපාර නොවේ. රජයට ව්‍යාපාර කළ නොහැකි බව එයාර් ලංකා, ලංවිම, තෙල් සංස්ථාව, සතොස වැනි ආයතන මගින් මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. එසේම ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමැතිව සිටි යුගයේ හඳුන්වා දුන් මුදල් රෙගුලාසිවලින් දැන් රටක් කරවිය  නොහැකිය. 

අප්‍රිකාවේ කෙන්යාව වැනි රටවලවත් දැන් විනිමය පාලනය නොකරයි. විනිමය පාලන පන දෙපාර්තමේන්තු දඒ රටවල නැත. අපේරටේ විනාශයට විනිමය පාලනය දප්‍රබල හේතුවකි. 

විනිමය පාලනය කිරීම හොඳ ප්‍රතිපත්තියක් නම් රටේ විදේශ විනිමය හිගයක් ඇති වෙන්නේ ඇයි? ඒ හිගය විසින් පෙන්වා දෙනු ලැබ තිබෙන්නේ විනිමය පාලනය අසාර්ථක බවය. විනිමය පාලනය කිරීම පිටරටවලට ගොස් ව්‍යාපෘති කරන අප වැනි අයට බරපතළ ප්‍රශ්නයකි. මහ බැංකුව අප අධීක්‍ෂණය කරන්නේ ඔවුන්ගෙන් ඩොලර් ඉල්ලාගෙන ගොස් ව්‍යාපෘති කරන්නා සේය. මේ විනිමය පාලනය සහමුලින්ම නැති කළ යුතුය.

විනිමය පාලනය නැති කළහොත් පෞද්ගලික අංශය රටට ඩොලර් ගෙනෙනු නිසැකය. දැනට කිසිවකු රටට ඩොලර් ගෙනෙන්නේ නැතේ ඒවා යළිත් එළියට රැගෙන යා  නොහැකි නිසාය. පවතින නීති යටතේ ඩොලර් රැගෙන යා නොහැකිය. ඒ නිසා කිසිවකු රටට ඩොලර් රැගෙන එන්නේ නැත. මා මේ කියන්නේ ලාංකික ව්‍යවසායකයන් හට අප ප්‍රායෝගිකව විඳවන දේවල් ගැනය. 

මේ ප්‍රශ්නය අපනයන සමාගම්වලටද පවතී. ඒ නිසා ඒ සමාගම් ද තමන් සතු ඩොලර් වැඩි ප්‍රමාණයක් ලංකාවට නොගෙනෙයි. යල් පැනපු නීතිවලින් නූතන ලෝකයේ ආණ්ඩු කළ නොහැකි බවත් රට හා ජනතාව සුඛිත මුදිත කළ නොහැකි බවත් මැති ඇමැතිවරුන් රජයේ නිලධරයනුත් විශේෂයෙන් මහ බැංකුවේ නිලධරියනුත් තේරුම් ගෙන කටයුතු කළහොත් පමණක් රටටත් ජනතාවටත් සහනයක් සැලසෙයි.  නැතිනම් පවතින පීඩා තවත් වැඩි වෙයි.


-ගුණසිංහ හේරත්-

Wednesday, June 29, 2022

මාගම්මන දෙමහල් නිවසේ ගින්න - රෝහලේ සිටි දියණියත් මියයයි

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නකින් මියගිය අඹු සැමි යුවළගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ඊයේ 28 වැනිදා සවස හෝමාගම දියගම ප්‍රදේශයේ මල් ශාලාවක පැවැත්වෙමින් තිබියදී පිළිස්සුම් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දහනව හැවිරිදි දියණිය ද මියගිය බව පවුලේ ඥාතීහු පවසති. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හෝමාගම මාගම්මන එස්.ඒ. ලසන්ත බුද්ධික රණසිංහ (පියා) කාලිකා දේවී මව සහ ඔවුන්ගේ දියණිය වන කාවින්දී රණසිංහ යන තිදෙනාය. මියගිය අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය හා සය හැවිරිදි දියණිය සමග දෙමහල් නිවසේ  පහළ මාලයේ කාමරයක් තුළ සිටිය දී ඉකුත්  25 වැනිදා රාත්‍රී රාත්‍රී 8.00ට පමණ මෙම ගින්න හටගෙන තිබුණි. මෙම ගින්නෙන් අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ අතර සය හැවිරිදි දියණිය සුළු තුවාල ලබා සිටි අතර ඔවුහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියහ. 

පසුව අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටත් සුළු තුවාල ලබා සිටි සය හැවිරිදි දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කළ අතර එම අවස්ථාවේ දී බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටි පුද්ගලයා මියගිය අතර පසුදා 26වැනිදා උදෑසන කාන්තාව මියගොස්, වැඩිමහල් දියණිය ඊයේ 28වැනිදා මිය ගියාය. ඒ අනුව මියගිය මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දී සිදුකළ අතර කාන්තාවගේ මළ සිරුර මිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ දී පැවැත්වුණි. දියණියගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද 29වැනිදා සිදු කිරීමට නියමිතව තිබිණි.. ගින්නෙන් මියගිය අඹුසැමි යුවළගේ සිරුරු සියයට අසූ දෙකක් පිළිස්සි තිබී ඇති අතර ඒ හේතුවෙන් සිරුරේ හටගත් බරපතළ තුවාල මෙම හදිසි අනතුරු මරණවලට හේතුව බව පශ්චාත් මරණ පරික්ෂණවළ දී තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. අවසන් කටයුතු ඊයේ 28 වැනිදා සිදුකළ මළ සිරුරු දෙකම අධික ලෙස පිළිස්සී තිබීම  හේතුවෙන් ඥාතීන්ට බාර දී තිබුණේ මුද්‍රා තැබීමෙනි.


ශාන්ත ප්‍රදීපකුමාර කුලරත්න

ජනපතිට -අගමැතිට-මන්ත්‍රීන්ට අපේ ක්‍රිකට් පිලෙන් ඉගෙන ගන්න පාඩම් තිබෙනවා

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉගනගත හැකි පාඩම් තිබෙන බවත්, නායකයන් ඒවා ඉගෙන නොගතහොත් රනවුට් හෝ හිට් විකට් වීම වළක්වාගත නොහැකි බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු කිසිම නායකයකුට හෝ පක්ෂයකට තනිව රට පවතින අර්බුදයෙන් ජනතාව මුදවාගත නොහැකි බව කී මන්ත්‍රීවරයා ඔවුන්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිරීමට ඇති එකම දේ වසරක කෙටිකාලීන නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් සහිත සර්ව පාක්ෂික එකතු වීමක් පමණක් බව ද සඳහන්  කළේය.  


මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ නූපේ ප්‍රධාන කාර්යාලයේදී ඉකුන්ද පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා එහිදී මෙසේ ද පැවැසීය. 

අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්. අවංකකම පිළිබඳ විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලනඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක අදාළයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප වෙලා. ජනතාවට බොරු නොකියන, රටේ දේපළ සූරා නොකන, පොදු දේපළට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්‍යතා හඳුනාගත් දියුණු, වගකීම් සහගත සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම දිගු කාලීනව අර්බුදය ජයගැනීම සඳහා ඇති එකම මාර්ගයයි. මෙම ආකර්ෂණීය භාෂාවෙන් ෂඩ් වර්ණය මුසුකොට මැතිවරණ ප්‍රකාශ සකසා  මහජන මතය "පික්පොකට්" ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබීම නව පරම්පරාවේ බලාපොරොත්තුවයි. මින්පසු කිසිම මැතිවරණයකදී චෞරයන්ට ඡන්දය මංකොල්ල කන්නෙ දෙන්න එපා. 

දේශපාලන නායකයන්ගේ සහ පක්ෂවල අධ්‍යාපන, බලශක්ති, ප්‍රවාහන, පාරිසරික හා කෘෂිකර්ම ප්‍රතිපත්ති මොනවාදැයි රටට හෙළිකිරීම මාධ්‍යවල වගකීමයි. ඒ නිසා අපට ඡන්දය දෙන්න අපි විසඳන්නම් කියන ප්‍රකාශ, "වාචාල ප්‍රකාශ" ලෙස බැහැර කළ යුතුයි. අලුත් සොරෙකු ඕනෑකර තිබේ නම් යා යුත්තේ නාට්‍ය ශාලාවකට මිස ඡන්ද මධ්‍යස්ථානයකට නොවෙයි. වර්තමාන අර්බුදයට විසඳුම් රාශියක් තියෙනවා. වසරක් ඇතුළත, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලා සිටින පුහුණු ශ්‍රමිකයන් පුහුණු කර විදේශ රැකියාවලට යොමු කිරීම සහ ලබන වසරේ සිට එය ලක්ෂ දෙක දක්වා වර්ධනය කිරීම ඉන් එකක්, මේක අසීරු ඉලක්කයක් නොවෙයි. පිලිපීනයෙන්, ඉන්දුනීසියාවෙන් ඒ ආදර්ශ ලෝකයට දී තිල්ලෙනවා. මේ අසීරු මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපේ දේශපාලකයන්ට සහ ඡන්ද දායකයන්ට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. අඬන රටක, අපට සිනාවක් දුන්නේ ඔවුන් පමණයි. දුෂ්කරයි කියාකිසිවක් අත්හල යුතු නැහැ. ප්‍රතිවාදියා ශක්තිමත් වූ පමණින් ඔහුට බිය විය යුතු නැහැ. ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් ඉගෙනගන්න පාඩම්, රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට තිබෙනවා. 

අගමැතිවරයාට චරිත් අසලංකගෙන් හෝ චාමික කරුණාරත්නගෙන් ඉගෙනගත යුතු පාඩම් තිබෙනවා. තවමත් පාසල් ශිෂ්‍යයකු වන දුනිත් වෙල්ලාලගේගෙන් ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ 225ටම පාඩමක් තිබෙනවා. කතානායකතුමාටත් තෙවැනි විනිසුරුවරුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. නායකයන් මේවා ඉගෙන නොගත්තොත් රනවුට් හෝ හිට් විකට් වෙන එක වළක්වන්න බැරි බව අප හැම දෙනාම තේරුම්ගත යුතුයි. එහෙම නොවුණොත් මන්ද පෝෂණයෙන් පෙළෙන, ඉගෙනුම අහිමි දරුවන් සහ කුස පොත්ත ඇලී ගිය මවුපියන් සමග ඛනිජ තෙල් හලේ මරාගන්න රටක, ජාතික ධජය ලෙස අපට තෝරා ගන්නට වෙන්නේ දෙහිවල සත්ව උද්‍යානයේ නිරාහාරව ඉලඇට පෑදී ඇති සිංහයකුගේ රූපයයි." යැයි ද අලහප්පෙරුම මහතා කීය.


 ඩයනා උදයංගනී

ඉන්ධනහලේ තෙල් හංගා උසාවියේදි වරද පිළිගනී

ඉන්ධන තොග තිබියදී සුපර් ඩීසල් ලීටර් 5813ක් සහ පෙට්‍රල් ලීටර් 1540 ක් සඟවාගෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කර අලෙවි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ඉන්ධන පිරවුම් හලක කළමනාකාරවරයකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට දඩුවම් නියම කිරීම ලබන මස 22 වැනිදා දක්වා කල් තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ක්.එම්. ආර්.හේවාවසම් මහත්මිය නියෝග කළාය. ඒ අනුව සැකකාර ඉන්ධන පිරවුම්හල් කළමනාකාරවරයා රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙසට අධිකරණ පොලිස් නිලධාරීන්ට ද නියෝග කළාය. මෙසේ වරද පිළි ගනු ලැබුවේ අනුරාධපුර ගුවන් තොටුපොළ පාර අංක 577 ඉන්දික ඉන්දන පිරවුම් හලේ කළමනාකරු වන සිහලේ විජේකුමාර යන අයයි.සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා අධිකරණයට කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව සඳහා මෙම ඉන්ධන තොග රඳවා තබාගෙන සිටි බවයි. කෙසේ වෙතත් වරද පිළිගෙන මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට විත්ති පාර්ශවය එකග බව ද නීතිඥවරයා අධිකරණයට කීවේය. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන  බාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී. පෙරේරා මහතා සඳහන් කළේ ඉන්ධන තොග පාරිභෝගික ජනතාවට අලෙවි නොකර විවිධ පාර්ශවවලින් අවශ්‍යතාව සඳහා රඳවා තබා ගන්නා  ලෙසට නියම කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයකු හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශවයකට නීතිමය අයිතියක් නොමැති බවයි. ඉන්ධන ලීටර් හත් දහසකට අධික ප්‍රමාණයක් සඟවා තබා ගත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහාම ද යන්න ප්‍රශ්න කළ පෙරේරා මහතා විත්ති පාර්ශවයේ එම ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා තරයේ බැහැර කරන බවත් කීවේය. 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරි  පනතේ 16 (අ) වගන්තිය ප්‍රකාරව මෙම සැකකාර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇත.පැමිණිල්ල වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර  දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන බාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී.පෙරේරා මහතා පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන බාර නිලධාරි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී. පෙරේරා මහතාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරින් වන සමන් අබේසිංහ, ඩබ්.එම්.පී.කේ. විජේපාල එස්.ඒ.සී. එම්. යුෂ්රන් සහ එල්.ඒ. එස්. නාවිමන යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණ.

(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)


අසාර්ථක මුල්‍ය සමාගමේ 5ක් ඈවර කරයි

නීතිමය ප්‍රතිපාදන අනුව යමින් අසාර්ථක මූල්‍ය ආයතන පහක් ඈවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ‘සෙන්ටල් ඉවෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, “ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්, 'ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ්, “ද ෆිනෑන්ස් කම්පනි පීඑස්සී' සහ “ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්' යන අසාර්ථක මූල්‍ය සමාගම් පහ මෙලෙස ඈවර කෙරෙනු ඇත. මේ අනුව, අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ ඈවර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ, පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරීක්ෂා කිරිම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් (උපදේශන කමිටුව) පත්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් (2021) ඔක්තෝබර් මාසයේදී පියවර ගත්තේය. ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් 5 පුනර්ජීවනය කිරීම සඳහා පැවැතිය හැකි විකල්ප නිර්දේශ ඉදිරිපත් කිරීමට හෝ එසේ පැවැතිය හැකි විකල්ප ශක්‍ය නොවන්නේ නම්, එම අසාර්ථක මූල්‍ය සමාගම් පහ ඈවර කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම උපදේශන කමිටුව වෙත පවරා තිබිණි. මෙම උපදේශන කමිටුව විසින් ඉහතින් සඳහන් කළ අසාර්ථක මූල්‍ය සමාගම් අතරින් හතරක් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව යොමු කරන ලද යෝජනා කිහිපයක් පරික්ෂකාරීව සලකා බලා සිය කමිටුවේ අවසන් වාර්තාව මැයි 31 වැනිදා මුදල් මණ්ඩලය වෙත යොමු කර ඇත. උපදේශන කමිටුව විසින් ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ සම්බන්ධයෙන් යොමු කළ වාර්තාව සලකා බැලූ මුදල් මණ්ඩලය, එම උපදේශන කමිටුව වෙත ඉදිරිපත් වී ඇති යෝජනා මගින් ප්‍රතිපත්තිමය හා නෛතික ගැටලු ඇති කරවන බවත්, එම යෝජනා පවතින නෛතික රාමුව තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සටහන් කර ඇත.පවතින ආර්ථික තත්වය යටතේ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි කිසිදු යෝජනාවක් අපේක්ෂිත ආයෝජකයගෙන් ඉදිරිපත් නොවනු ඇති බවට අපේක්ෂා කරන උපදේශන කමිටුව, මෙම තත්ත්ව යටතේ ඉහත කී අසාර්ථක මූල්‍ය සමාගම් පහ අතරින් දැනටමත් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කර ඇති මූල්‍ය සමාගහි ඈවර කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරිම සහ එසේ ඉල්ලුම් කර නොමැති මූල්‍ය සමාගම් ඈවර කිරීම සඳහා ඉල්ලුම් කිරීම පවතින එකම විකල්පය ලෙස හඳුනාගෙන ඇත.ඉහත කරුණු අනුව, උපදේශන කමිටුවේ වාර්තාව මගින් එකී කමිටුව විසුරුවා හැරීමට නිර්දේශ කර ඇත. උපදේශන කමිටුවේ නිර්දේශය පදනම් කරගනිමින් මුදල් මණ්ඩලය විසින් එකී උපදේශන කමිටුව විසුරුවා හැරීමට තීරණය කර ඇත.

( දිනේෂ් සමරකෝන්)

මෙරට තුළ තිබෙන මරමස්ථාන ක්‍රමක්‍රමයෙන් ඉන්දියාව සතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

මෙරට තුළ තිබෙන මරමස්ථාන ක්‍රමක්‍රමයෙන් ඉන්දියාව සතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.මේ අතර ශ්‍රී ලංකාවට උදව් කිරීම් රාජපක්ෂවරු ගොඩ දැමීමක් ලෙස ලෝකයේ අනෙකුත් රටවල්වල මතයක් තිබෙන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

"අපිට අසල්වැසි රටක් වන ඉන්දියාවෙන් එදිනෙදා ජන ජීවිතය ගෙන යන ආධාර ලැබුණා. ඉන්දියානු නියෝජිතවරු ආපු ගමන් පැය විසි 24ක් යන්න කලින් දෙන ආධාර ගැන ඔවුන් ප්‍රකාශ කළා. නමුත් මේ වෙලාවේ වෙනසක් තියෙනවා. ඉන්දියාවේ නියෝජිතයන්  විවිධ දේ සාකච්ඡා කළත් ඉදිරියට දෙන ආධාර ගැන වචනයක්වත් නැහැ. ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා ඉන්දියාවේ මූල්‍ය මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන කියලා. වෙනදා වගේ නෙමෙයි. වෙනදා ආපු නිලධාරීන් කිව්වා අපි ඉදිරිට මේ වගේ උදව් කරනවා කියලා. නමුත් මේ අවස්ථාව කිවේ මූල්‍ය මණ්ඩලය මේ සම්බන්ධව තීරණයක් දෙන්න ඕන කියලා .ඒ වගේම ඔවුන් කිව්වා අපි පසුගිය කාලයේ ලංකාවට ලබාදුන් ආධාරවලට, මුදල්වලට අපට ව්‍යාපෘති ගණනාවක් ලබා දෙන්න කියලා. බලාගාර කිහිපයක්, ඒ වගේම ශ්‍රී ලංකාව ඉන්දියාව අතර අධිබලැති විදුලි ලබාදෙන ස්ටෝලයක් වගේම අලුත් ඉල්ලීම් කිහිපයක් කරලා තිබුණා. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප දෙකක් ලබාදෙන්න කියලා තිබුණා. භයානකම දේ තමයි ත්‍රිකුණාමලය වරාය අවට ඉඩකඩම් කාර්මික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ලබාදෙන්න කියලා. එහිදී වරායත් අනිවාර්යෙන්ම ඒකට එකතු වෙනවා. මේක භයානක තත්වයක්. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් කරන්න කොටස් දෙකක් ඉල්ලලා තියෙනවා. ඉතාමත් පැහැදිලියි මේ ආයේ ක්‍රම ක්‍රමයෙන් අපේ රටේ මරමස්ථාන ඒ අය සත්තක කර ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. අපි ඉන්දියාවට ස්තුතිවන්ත වෙනවා. උදව් කෙරුවට. නමුත් මේ උදව් පිළිබඳ තියෙන්නේ මොකක්ද කියන එක ඉතාම පැහැදිලියි. ත්‍රිකුණාමල වරාය අවට ඉඩම් ඒ අයට ලබාදුනොත් වරායත් ඒ ඉඩම් ඒක ඒ අයට සතු වෙනවා. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕන. ඇත්ත වශයෙන්ම මේ රජය බලයට පත්වුණේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. නමුත් අපි දන්නවා හම්බන්තොට වරාය චීනයට දීලා, කොළඹ වරාය චීනයටයි ඉන්දියාවටයි කඩකඩ කොටස් දෙකකට දීලා,හම්බන්තොට වරායත් ඉන්දියාවට දෙන්න යනවා නම් අපේ ස්වාධීනත්වයට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. තෙල් ටැංකි දෙනකොටත් අපි පාර්ලිමේන්තුවේ කතා කළා. වරායයි ඉඩම් ටිකයි.දෙනවානම් පක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂ මේ තත්වය ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඕන. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ කාලය තුළ ඇමෙරිකාවේ හැමිල්ටන් බැංකුව අපේ රජයට විරුද්ධව බැඳුම්කරයක් සම්බන්ධව නඩු දාලා. ඒ නඩුවේ සටහනක් තියෙනවා රාජපක්ෂවරු විවිධ ස්ථානවල ශ්‍රී ලංකා රජයට අයත් මුදල් මේ මේ ස්ථානවල තැන්පත් කරලා තියෙනවා කියලා. ඒක අපිට විශාල ලැජ්ජාවක්. මීට කලින් අපේ රටට විරුද්ධව කිසිම උසාවියක පාලකයන්, පුද්ගලයන් නම් කරලා, රටවල් නම් කරලා, බැංකු නම් කරලා අධිකරණයේ නඩුවක් වැටුණේ නැහැ. අද ලෝකයේ මතයක් ඇති වෙලා තියෙනවා ශ්‍රී ලංකා රජයට උදව් කරනවා කියන්නේ රාස්පක්ෂලා ගොඩදාන එක කියලා. රාජපක්ෂ රජය කබීරාදාගෙන කළේ ඔය වැඩේ වෙන කිසි දෙයක් නෙමෙයි. නීති විරෝධී විදියට අපේ රටේ සම්පත් විවිධ බැංකුවල තැත්පත් කරලා තියෙන බව සනාථ වෙලා තියෙනවා ඇමෙරිකාවේ ඒ නඩුවයි මහා බ්‍රිතාන්‍යයේ හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශයයි. තුළ, අද ලෝකේ මතය ශ්‍රී ලංකාවට උදව් කරනවා කියන්නේ රාජපක්ෂලා ගොඩ දැමීමක් කියලා” යනුවෙන් සඳහන් කළේය.


( දිනේෂ් සමරකෝන්)

රටට ඩෝලර් අරන් ආ විදෙස් සංචාරකයෝත් තෙලෙන් බැදෙති

ඉන්ධන ලබාදීම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කර තිබිය දී මෙරට සංචාරය සඳහා පැමිණ සිටි විදේශ සංචාරක කණ්ඩායම්වලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමෙන් ඊයේ (28) උදැසන දඹුල්ල අයිඕසී පිරවුම්හලක් ඉදිරිපිට දැඩි උණුසුම් සහගත තත්වයක් ඇතිවිය. දඹුල්ල නගරයේ අයිඕසී ඉන්ධන පිරවුම්හලක්  ඉන්ධන නිකුත් කරමින් සිටිය දී විදේශීය සංචාරකයන් රැගත් වාහන කිහිපයක් එම පිරවුම්හලේන් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි අතර එම පිරිස්වලට ඉන්ධන දීමට නොහැකි බව පිරවුම් හලේ පාලන අධිකාරිය දැනුම් දී තිබේ. පෙර දිනයේ පෝලිම්වල සිටි ජනතාවට ටෝකන් ක්‍රමයක් හඳුන්වා දීම නිසා එම පිරිස් දැඩි විරෝධය එල්ල කිරීමත් සමග විදේශීය සංචාරකයන් රැගෙන ආ වාහනවලට පෙට්‍රල් ලබා දීමට ඉන්ධන පිරවුම්පල හිමියන් ප්‍රතික්ෂේප කර තිබේ.


ඒ අනුව විදේශිකයන් සමග පැමිණි පිරිස් දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට තම වාහන උදේ රැගෙනවිත් කෙසේ හෝ මෙම විදේශීය සංචාරකයන්ට ගමන් කිරීම සඳහා ඉන්ධන ලබා  දෙන්නැයි දඹුල්ල සහකාර පොලිස් අධිකාරි චන්දන විජේසේකර මහතාගෙන් ඉල්ලා සිටියහ. පැයක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටි විදේශික සංචාරක කණ්ඩායම් සමග දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර  මහතා සාකච්ඡා කර දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක රුශාන්ත පෙරේරා මහතා සමඟ ඉන්ධන පිරවුම්හලට ගොස් පෙට්‍රල් ලීටර් 10 බැගින් හෝ මෙම විදේශිකයන්ට ලබා දෙන්නැයි ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුගෙන් ඉල්ලීමක් කළේය. 

ඉන්ධන පිරවුම්හලේ හිමිකරු කියා සිටියේ විදේශික කණ්ඩායම්වලට ඉන්ධන ලබා දීමට තමාගේ කිසිදු විරෝධයක් නොමැති නමුත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකසා නොමැති වීම නිසා තමන්ට ජනතාවගෙන් විරෝධය එල්ලවන බවය. මේ හේතුවෙන් එක පැත්තකින් තමන් අසීරුතාවට පත්ව සිටින අතර අනෙක් පැත්තෙන් විදේශිකයන් මගින් රටට ඩොලර් ලැබෙන ක්‍රමය විනාස කිරීමට ද තමන් අකමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. රජයේ හෝ වගකිවයුතු බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම නිසා තමන් ගිරයට අසුවූ පුවක් ගෙඩියක් මෙන් දෙපැත්තෙන්ම තැළෙන බවද ඔහු සඳහන් කළේය. මේ අවස්ථාවේදී දඹුල්ල සහකාර පොලිස් අධිකාරි චන්දන විජේසේකර මහතා විදේශික කණ්ඩායම්වල වාහනවලට ඉන්ධන දෙන ලෙස සහ ඉන්ධන ලබාගැනීමට සහයෝගයක් දෙන්නැයි පෝලිම්වල සිටි ජනතාවගෙන් කළ ඉල්ලීමත් සමග එම ස්ථානයේ උණුසුම් සහගත තත්වයක් ඇතිවිය. 

පෝලිම්වල රැඳී සිටි ජනතාව කියා සිටියේ කිසිසේත් විදේශික සංචාරකයන් රැගෙන ආ වාහනවලට ඉන්ධන ලබා දීමට නොහැකි බවය. තමන්ද දින ගණනාවක් තිස්සේ පෝලිම්වල රැඳී සිටින බවත්  එය කළහොත් තමන්ට ඉන්ධන අහිමි වන තමන්ට ඉන්ධන දී ඉතිරි වුණොත් විදේශිකයන්ට දෙන ලෙස ද මෙහි දී පිරිස පැවසූහ.  මේ අවස්ථාවේ දී පොලිසිය සහ ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි පිරිස් අතර උණුසුම් තත්වයක් නිර්මාණය විය. පොලිසිය දැඩි ලෙස කියා සිටියේ පිට රටවලින් පැමිණි අයට ප්‍රමුඛස්ථානය දිය යුතු බවය. පොලිසිය සඳහා වෙන් කර ඇති ඉන්ධන ප්‍රමාණය විදේශීය සංචාරකයන්ට ලබාදෙන ලෙස මෙහි දී සහකාර පොලිස් අධිකාරිවරයා ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ට පැවසීය. ඒ අනුව සීමිත ඉන්ධන ප්‍රමාණයක් දීමට පියවර ගත් අතර ඉන්ධන යම්  ප්‍රමාණයක් ඇති සංචාරක වාහනවලට ඉන්ධන  නොදී පිටත්කර යැවීමට පොලීසිය පියවර ගත්තේය. 

ඇතැම් විදේශීය සංචාරකයන් රැගත් වාහන තම ටැංකිවල ඉන්ධන තිබියදීත් ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි අතර ඔවුන්ට ඉන්ධන නොදී පිටත් කර යැවීමට පොලිසිය පියවර ගත්තේය.  උදැසන සිට පැය ගණනාවක් ඉන්ධන පිරවුම්හල අසල සිටි විදේශීය සංචාරකයන් එහි සිදුවන කටයුතු ඔවුන්ගේ ජංගම දුරකථන වලින් වීඩියෝගත කර ගන්නා අයුරු ද දැක ගන්නට ලැබිණි. රටවල් ගණනාවකින් පැමිණි විදේශිකයන් මෙහි සිටින බවද, විශේෂයෙන්  ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම සමග තරග නැරඹීමට පැමිණි පිරිසක් ද මෙහි සිටින බව දැනගන්නට ලැබිණි.  ඕස්ටේ‍්‍රලියා ජාතික සංචාරකයන් මෙහිදී ශ්‍රී ලංකාවේ කියා සිටියේ මෙවැනි ප්‍රශ්නයක් තිබියදීත් තමන් ලංකාවට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය සහ උනන්දුව මෙන්ම ශ්‍රී ලංකාවට ඇති කැමැත්ත නිසා බව ය. ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බව ද එම විදේශීය සංචාරකයෝ පැවසූහ.


 කාංචන කුමාර ආරියදාස 

මැයි 9 වැනිදා සිද්ධි වැළැක්වීමට දේශබන්දු ක්‍රියාකර නෑ



අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස ඉකුත්  මැයි 9 වැනිදා සාමාන්‍ය අරගලයේ යෙදී සිටි  පිරිස සමග ගැටීම, ඔවුන්ට පහරදී තුවාල සිදු කිරීම, ඔවුන්ගේ දේපළ විනාශ කිරීම සහ නීති විරෝධී ජනරාශිය යන වැරැදි පැහැදිලිව සිදු කරද්දී, එකී සාපරාධී ක්‍රියා වළක්වා ගැනීම සඳහා අප්‍රමාදිව පහසුවෙන් නියෝග ලබාදිය හැකිව තිබූ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සක්‍රියව ක්‍රියා කර නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මි (නීතිපති වෙනුවෙන්) පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත. 

මෙවැනි පසුබිමක් යටතේ එවැනි නිලධාරියකු අඛණ්ඩව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරියේ නිරත වීම හේතුවෙන් පවත්වාගෙන යනු ලබන විමර්ශනයන්හි විශ්වශනීයත්වය හා ස්වාධීනත්වය පිළිබඳ අභියෝගයට ලක්වීමේ ඉහළ ප්‍රවණතාවක් තින බව පෙනී යා හැකි බව ද පොලිස්පතිවරයාට යොමු කර ඇති ලිපියේ සඳහන් කර තිබේ. විචක්ෂණශීලීව සහ දූරදර්ශීව කටයුතු කිරිමට සැලකිලිමත් වීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව මෙම විමර්ශනයේදී කටයුතු කළ ආකාරය හා එකී විමර්ශන සාර්ථකව ඉටුකරගැනීම සඳහා ගනු ලබන සියලු පියවර ඉදිරි නීති කෘත්‍යයකදී අභියෝගයකට ලක්වීමේ සම්භාවිතාව අවම කරගත හැකි බව ද අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය යවා ඇති එම ලිපිය මගින් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු කර ඇත. පොලිස්පතිවරයා නීතිපතිවරයාට යැවූ ලිපියකට  පිළිතුරු වශයෙන් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙම ලිපිය පොලිස්පතිවරයාට යවා තිබේ.



- ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරීය-

ආසියානු කුසලානය පැවැත්වීම යළිත් අර්බුදයක

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යළිත් ගැටලුකාරී. වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ.මේ වනවිට රට තුළ මතුව ඇති ඩීසල් සහ පෙට්‍රල් හිඟකම හේතුවෙන් කණ්ඩායම් 05කට වැඩි සංඛ්‍යාවක තරගාවලියක් සංවිධානය කිමේදී ඒ සඳහා ප්‍රවාහන වියදම් සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන වැඩි වශයෙන් වියදම් කිරීමට සිදුවීම මීට මූලික හේතුව වී තිබේ. එමෙන්ම එම තරගාවලියේ තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීම නිසා ඉන්ධන අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලියක්ද (එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං සහභාගිවන) පැවැත්වෙන අතර, ඒ අනුව වැඩි ධාරිතාවක ඉන්ධන ප්‍රමාණයක් මෙවර අවශ්‍ය වන බව ගණන් බලා තිබේ.රජය මේ වනවිට දැනට පවතින ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදීම මත මෙම තත්වය තව තවත් උග්‍රවී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු පවසා සිටියේ ඩීසල්, පෙට්‍රල් නොලැබුණහොත් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැටලුකාරී වනු ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය මෙරටදී පැවැත්වීමට සිදු කළ හැකි සියලුම කාර්යන් සිදු කරන බවත්, ආසියානු ක්‍රිකට් තරගාවලිය වැනි රටවල් කිහිපයක් සහභාගි වන තරගාවලියක් මේ අවස්ථාවේ මෙරටදී පැවැත්වීම මෙරට ආර්ථිකයට බොහෝ වාසිසහගත බවත් එම විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම තරගාවලියට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා කරන බවත්,ඕස්ටේ‍්‍රලියානු තරගාවලියේදී මෙන් කිසිදු අතපසුවීමක් නොවී ඉන්ධන ලබාගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.



(පැතුම් ශ්‍රී විජේරත්න)


අයිතිවාසිකම් නඩුවෙන් සිසුවාට ලක්ෂ 5ක නඩු ගාස්තු හා සරසවි වරම්


විශ්වවිද්‍යාල නීති පීඨයේ ලියාපදිංචි වීමට ඇති අවස්ථාව ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක ලියාපදිංචිය හේතුවෙන් අහිමි කිරීම නිසා ශිෂ්‍යයකුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ ශිෂ්‍යයාට රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොණ්ඩමට නිඟ කළේය. මෙම ශිෂ්‍යයා විශ්වවිද්‍යාල නීති පීඨයට ඇතුළත් කරගන්නා ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝගයක් නිකුත් කළේය. තිස්සමහාරාමය, ලුකස්ගොඩ, අංක 231/1 ලිපිනයෙහි පදිංචි එම්.සී. මලික් සචින්ත යන අය විසින් ගොනු කරනු ලැබ තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. පෙත්සම්කාර ශිෂ්‍යයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු පස් දෙනෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මෘදු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශිත මෙම තීන්දුවේ මෙසේ ද සඳහන් වේ. පෙත්සම්කරු 2018 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් ඉදිරිපත් වී ඒ සාමාර්ථ තුනක් ලබාගෙන ඇති අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 4 වැනි ස්ථානයට පැමිණ දිවයින් 90 වැනි ස්ථානයට පත්වී ඇත. පෙත්සම්කරු යාපනය, කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල නීති පීඨයට ඉල්ලුම් කර තිබේ. එහෙත් ඉල්ලුම්කාර ශිෂ්‍යයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලාවක ලියාපදිංචි වී තිබීමය. 

පෙත්සම්කාර ශිෂ්‍යයා සඳහන් කර සිටින්නේ, අදාළ විභාගයට තමන් පෙනී සිටීමෙන් පසුව ඉන් සමත් වුවත් ඒ සඳහා ලියාපදිංචි නොවූ බවය. කෙසේ වෙතත් ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ බලධාරින් සඳහන් කර සිටින්නේ, මෙම ශිෂ්‍යයාගේ නම ලියාපදිංචි ලේඛනයේ සඳහන් වූයේ අත්වැරැදීමකින් බවය. මේ සම්බන්ධයෙන් අදාළ උසස් තාක්ෂණ ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන  කොමිසමට ද දැනුම් දී තිබිණි. එහෙත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෙත්සම්කරු විශ්වවිද්‍යාල නීති පීඨයට ඇතුළත් කරගැනීමට නොහැකි බව සඳහන් කර ඇත.  මෙම පෙත්සම්කාර ශිෂ්‍යයා ගාල්ල උසස් තාක්ෂණ ආයතනයේ තිබූ කිසිදු දේශනයකට සහභාගි වී නොමැති බවට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගෙන ඇත. ඒ අනුව, පෙත්සම්කරුට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබී තිබුණත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ සඳහා අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් ප්‍රකාශිත මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දුවේ සඳහන්වේ.පෙත්සම්කරු නීති පීඨයට ඇතුළත් වූයේ නම් අද වන විට අවසන් වසර සිසුවෙකි. පෙත්සම්කරුගේ තරුණ කාලයෙන් වසර තුනක් අපත්තේ ගොස් ඇත. මේ සියල්ල සලකා බලා රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තූ පෙත්සම්කරුට ගෙවන ලෙස සහ පෙත්සම්කරු විශ්වවිද්‍යාල නීති පීඨයට ඇතුළත් කරගන්නා ලෙසට ද නියෝග කරන බව ද තීන්දුවේ සඳහන්ය.


නිමන්ති රණසිංහ

යකැදුරෙකුගේ ගෙල කපා හිස රැගෙන ගිය සැකකරු දැලේ

අකුරැස්ස තිබ්බොටුවාවේ යකැදුරෙකුගේ ගෙල කපා හිස රැගෙන ගිය බවට සැක කෙරෙන පුද්ගලයා පෙරේදා (27දා) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි. 29 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුගේ පියා (64) රෝහල්ගත කර සිටින අතර ඔහු වැඩබලන මහේස්ත්‍රාත්වන පාලිත හෙට්ටිආරච්චි මහතා විසින් පරික්ෂා කර ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඔහුගේ මව (69) ඝාතනයට අනුබලදීම පිළිබදව ඊයේ (28දා) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් නෙත්තිකුමාර මහතා ඉදිරියට ඉදිරිපත් කරන ලද අතර ඇය ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඝාතනයත් සමග පරික්ෂණ පැවැත්වූ පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරු සිය සහෝදරියකගේ නිවසේ සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. මොහු විසින්මරණකරුගේ හිස නිල්වලා ගගට දමා ඇතැයි යන සැකය මත දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් බෝට්ටුවලින් හිස සොයා විශේෂ මෙහෙයුමක් දියත්කර ඇත. අතුරලිය ප්‍රාදේශීය සභාවේ බෝට්ටුවක්ද මෙම මෙහෙයුමට යොදා ගෙන තිබේ. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික එස්.එස්.ජයවී මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ධර්මවර්ධන උපපොලිස් පරික්ෂකවරුන් වන ප්‍රියන්ත ජයලත්, අබේසේකර ඇතුළු නිලධාරි වැඩිදුර පරික්ෂණ පවත්වති.


(අකුරැස්ස - එන්.කේ. ඉන්ද්‍රවංශ)

ධම්මිකට ආයතන 7ක් ගැසට් වෙයි

නව අමාත්‍යවරයෙකු ලෙස පත්වූ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 07ක් ගැසට් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය ජුනි 24 වැනිදා සිට ක්‍රියාත්මක බවද එහි සඳහන් කර තිබේ.මේ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා යටතට පත් කළ ආයතන අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව,කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය,ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කළම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිම්ටඩ් (නෙළුම් කුලුණ) ටෙක්නො පාක් ඩිවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්,තොරතුරු තාක්ෂණ උද්‍යාන යන ආයතන වේ.මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.මීට පෙර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස මෙම විෂයන් දෙකම ඒකාබද්ධ කර පැවැති අතර, ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග එම අමාත්‍යාංශ දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශය වෙනම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය මේ වන විට ජනාධිපතිවරයා යටතේ පවතියි.




( නවෝද්‍යා පවනී)

කතුන් රස්සාවට යන විට පුංචි දරුවන්ගේ වතගොත් සෙවීම නවතී


වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ගෘහ රැකියා සඳහා විදේශගත කාන්තාවන් විදේශගත වීමේදී ඔවුන්ට වයස අවුරුදු 5ට අඩු දරුවන් නොසිටින බව තහවුරු කරගැනීම සඳහා පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය අතර, එයින් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදුවන බවට කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර ඇති අන්තර්ජාතික වාර්තා කිහිපයකින්ම පෙන්වා දී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. 

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී එම වාර්තාව ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබුණ ද ඇතැම් නිලධාරින් විවිධ හේතු මත එම වාර්තා ප්‍රමාද කරමින් අදාළ කාන්තාවන් අපහසුතාවට පත්කරන බවට කරුණු ඉදිරිපත් වී ඇති බවත්, එමෙන්ම අදාළ වාර්තාව ඉදිරිපත්  කිරීමට සුදුසුකම් නොමැති කාන්තාවන් ද නීති විරෝධී ආකාරයෙන් විදේශගත වී විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.  මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.



ඩයනා උදයංගනී

Tuesday, June 28, 2022

ළමා නිවාසෙයෙන් පැනවිත් මුහුදට පනින්න හැදු බාලවියේ දැරියන් දෙදෙනෙක් බේරාගැනෙති

අධිකරණ නියෝග මත බද්දේගම හල්පාතොට නිවර්තන ළමා නිවාසයේ රඳවා සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනකු ළමා නිවාසයෙන් පලාවිත් ගාල්ල නගරයේදී මුහුදට පැනීමට තැත් කළ අවස්ථාවේ අසල සිටි පිරිසක් ඔවුන් බේරාගෙන ඇති බවත් එක් දැරීයක් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි. දහසය හැවිරිදි මෙම දැරියන් දෙදෙනා බලපිටිය අධිකරණයේ නියෝග මත බද්දේගම හල්පාතොට නිවර්තන නිවාසයේ රඳවනු ලැබ සිට ඇත. එසේ සිටියදී ඔවුන් දෙදෙනා පෙරේදා (25) සවස ළමා නිවාසයෙන් පැන කුමාරකන්ද දක්වා පයින් පැමිණ එතැන් සිට බස් රථයක නැගී ගාල්ල නගරයට පැමිණ ඇතැයි පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ. බස් රථය ගාල්ලට පැමිණි පසුව එම දෙදෙනා පමණක් බස් රථයේ සිටීම නිසා කොන්දොස්තරවරයා ඔවුන් පොලිසියට බාරදීම සඳහා කැඳවාගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේ දෙදෙනා මුහුද පැත්තට දුවගොස් ඇත. එසේ දුවගොස් එක් දැරියක මුහුදට පැන ඇති අතර අනෙක් දැරිය එහි සිටි අය අල්ලාගෙන ඇති බවත් මුහුදට පැන්න දැරිය ද බේරාගෙන පොලිසියට බාරදී ඇති බවත් පොලිසිය කියයි. මුහුදට පැන්න දැරිය පොලිසිය බාරයේ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂක චෞද්රි මහත්මිය ඇතුළු නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(උණවටුන - ඩී.පී. සුගතපාල)

හූනියමක පලහිලව්වෙන් කපුවාගේ බෙලල් කපා නිල්වලා ගඟට දාලා


අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවස දී ඊයේ (27) අලුයම 70 හැවිරිදි ආබාධිත කපු මහතකුගේ ගෙල කපා කෘර ලෙස ඝාතනය කර හිස රැගෙන ගොස්  නිල්වලා ගඟට දමා ඇති බව අකුරැස්ස පොලිසිය කියයි. හුනියම් කළේ යැයි කියන සිද්ධියක් මුල්කරගෙන මෙම  ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බව පොලිසිය  පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තලගස්ස, වලකඩවත්ත  ප්‍රදේශයේ පදිංචි වෙල්ලාර තන්ත්‍රින්ගේ සුමනපාල නමැති දෙදරු පියෙකි.  සිද්ධියෙන් ඔහුගේ බිරිඳ වන 64 හැවිරිදි කාන්තාව සහ 40 හැවිරිදි දියණිය ද කැපුම් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔවුන් ශල්‍යකර්මවලට ලක්කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

කපුමහතා ඔහුගේ නිවසට යාබදව කුඩා දේවාලයක් පවත්වාගෙන යමින් යාතිකා වැඩකරමින් සිට ඇති බව ද  පොලිසිය පවසයි. සිද්ධියේ සැකකරු ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි තරුණයකු බවත්, සිද්ධියෙන් පසුව ඔහු ප්‍රදේශයේ පලාගොස් ඇති බවත් පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ නිවස හා සැකකරුගේ නිවස අතර ඇති දුර මීටර් 50 ක් පමණ බවත්, සැකකරු වහල අලුත්වැඩියා කරන පිලි බාස් කෙනකු වශයෙන් සේවය කරමින් සිට ඇති බවත් පොලිසිය පවසයි. අවිවාහකයකුට සැකකරුගේ නිවසේ පදිංචිව සිට ඇත්තේ ඔහුගේ මව හා පියා පමණක් බව ද පොලිසිය සඳහන් කරයි. පෙරේදා (26) මධ්‍යම රාත්‍රියේ බල්ලන් බුරන හඩ ඇසී සැකකරු හා ඔහුගේ මව, පියා දොර ඇරගෙන පැමිණ බැලීමේ දී කපුමහතා සැකකරුගේ වත්තේ මිත්තනියගේ සොහොන අසල රැඳී සිට පලායන අයුරු දැක ඇති බව පොලිසිය කියයි. 

පසුදින පෙරවරුවේ සැකකරු කඩුවක් රැගෙන කපුමහතාගේ දේවාලයට පැමිණ රාත්‍රි කාලයේ සිය ඉඩමට පැමිණීම සම්බන්ධයෙන් බහින් බස් වී ඇති බවත්, සැකකරුගේ මව සහ පියා, කපුමහතාගේ බිරිඳ, දියණියන් එක්ව සිද්ධිය සමථයට පත්කර සැකකරු සිය දෙමාපියන් සමග එම ස්ථානයෙන් පිටත් කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය. කපුමහතා තම ඉඩමට පැමිණියේ හුනියම් කිරීමට යැයි පවසා සැකකරු දිගින් දිගටම කපුමහතාට බැණ වැදී ඇති බවද එම නිලධාරියා පැවසීය. නිවසට ගිය සැකකරු පෙරවරු 10.30 පමණ යළිත් කඩුවක් රැගෙන කපුමහතාගේ නිවසේ පිටුපස දොර කඩාගෙන නිවසට පැමිණ කපු මහතා සමග යළි බහින් බස් වී ඔහුට පහර දී නිවසේ සාලයේ දමාගෙන කඩුවෙන් පහර දෙන අයුරු කපුමහතාගේ බෑණා දැක ඇතැයි කියති. 

සිද්ධිය වැළැක්වීමට ගිය කපුමහතාගේ බිරිඳ ට හා දියණියට ද සැකකරු කඩුවෙන් කොටා තුවාල සිදුකර ඇත. කපු මහතාගේ හිස කඳින් වෙන් කළ සැකකරු හිස කොටස නිවසින් පිටතට ගෙන ගොස් ඇති අතර, එම නිවසේ සිට මීටර් 350 ක පමණ දුරින් නිල්වලා ගඟ පිහිටා ඇති බව ද පොලිසිය පවසයි. නිල්වලා ගං ඉවුර හා ඒ ආසන්නයේ ලේ පැල්ලම් රැසක් දක්නට ලැබෙන බවත්, ඒ අනුව සැකකරු කපු මහතාගේ හිස ගග දෙසට රැගෙනවිත් නිල් වලා ගඟට විසිකරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි. සැකකරු විසිකළ කපුමහතාගේ හිස සොයා පොලිසිය හා නාවික හමුදාව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත. සිද්ධියේ සැකකරු ද කාන්තාවන්ට හිංසා කිරිම ඇතුළු අපරාධවලට රැසකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය කියයි.

ඉන්දිකා රාමනායක

අමුතු ඇසුර නඩුව විසඳයි


අක්කරපත්තුව කාන්තාවක හමුවීම සඳහා පැමිණි ඉන්දීය ජාතික තරුණිය සහ අක්කරපත්තුව කාන්තාව ඊයේ අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (27) ඉදිරිපත් කළ අවස්ථාවේ ඉන්දීය ජාතික තරුණිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට  බාරදීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත් එම්. එච්.එම්. හංසා මහතා නියෝග කළේය. ඒ අනුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මහතාට එම තරුණිය භාර දුන්නේය . අක්කරපත්තුව පදිංචි 33 හැවිරිදි කාන්තාව තම සැමියා සමග යෑමට අකැමැත්ත ප්‍රකාශ කළ අතර ඇය සහ ඇයගේ දරුවා මඩකලපුව පරිවාස කාර්යාලයට යොමු කරන ලෙසට අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

ඉන්දියාවේ  සිටි පැමිණි තරුණිය සහ අක්කරපත්තුව ප්‍රදේශයේ කාන්තාව අන්තර්ජාලය හරහා හමුවී මිතුරියන් බවට පත්ව ඇති අතර පසුව ඉන්දීය ජාතික කාන්තාව තම මිතුරිය බැලීම සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විත්  අක්කරපත්තුව නිවසට පැමිණ ඇතැයි අධිකරණයේ දී හෙළි විය. දින කිහිපයක් අක්කරපත්තුව නිවසේ රැඳී සිටි මෙම කාන්තාවන් දෙදෙනාගේ හැසීරීම පිළිබඳව සැක සිතු අක්කරපත්තුව කාන්තාවගේ පියා මේ පිළිබඳව අක්කරපත්තුව පොලීසියට පැමිණිලි කර තිබූ බව අධිකරණයේ දී වාර්තා  විය. 

අක්කරපත්තුව පොලීසිය මෙම කාන්තාවන් දෙදෙනා අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා කල්මුනේ රෝහලේ මානසික වෛද්‍යවරයාට යොමුකර නැවත ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබිණි. ඒ අනුව ඊයේ (27) අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් දෙදෙනාට ඉහත නියෝගය දීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.


වසන්ත චන්ද්‍රපාල 

එතෙක් මෙතෙක් ගැඹුරුම මුහුදු පතුලේ තිබී හමුවූ නෞකා සුන්බුන් සොයා ගැනේ

ලොව එතෙක් මෙතෙක් ගැඹුරුම මුහුදු පතුලේ තිබී හමු වූ නෞකාවේ සුන්බුන් සොයා ගැනීමට ගවේෂකයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්ත වෙයි. පිලිපීනයේ සමර්දූපතට ඔබ්බෙන් පිහිටි සාගරයේ මීටර් 6,685ක් පතුලේ තිබී මෙම නොකාව හමුව තිබේ. මෙම නෞකාව දෙවැනි ලෝක යුද්ධය සදභා භාවිතයට ගත් එක්සත් ජනපදයට අයත් ප්‍රහාරක යුද නෞකාවක් වූ USS Samuel B Roberts නෞකාව ලෙස හඳුනාගෙන තිබේ. මෙය Sammy B නමින් වඩාත් ප්‍රචලිතව තිබුණි. 1944 වසරේදී එය මෙලෙස පාන නාවික හමුදා ප්‍රහාරයකින් මුහුදුබත්වී තිබේ. එය මේ වනවිටත් කොටස් දෙකකට කැඩී මෙලෙස සාගර පතුලේ තැන්පත්ව තිබෙන බව ගවේෂකයන් පවසයි. මුහුදුබත් වන අවස්ථාවේදී Sammy B නොකාව මත නාවිකයන් 224දෙනෙකු සිට ඇත. එහිදී ඉන් 80දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කපිතාන්වරයා ඇතුළු 120දනෙකු බේරාගැනීමට හැකිවී තිබේ. එක්සත් ජනපදයේ ඩලස් නුවර පිහිටි කැලඩන් ඕතික් එක්සස්පෙඩිෂන්ස් සමාගම මගින් මෙම සොයාගැනීම සිදුකර තිබේ.මීට පෙර ලොව ගැඹුරුම මුහුදු පතුලේ තිබී හමුවූ නොකාවේ වාර්තාවට හිමිකම් කීවේ USS Johnson නාකාවයි. එය මීටර් 426ක් පතුලේ තිබියදී සොයා ගැනුණි. එය සොයා ග න්ද මෙම කැලඩන් ඕෂනික් එක්සස්පෙඩිෂන් සමාගම මගිනි.


පාතාල සමාජික කොට දයා අභිරස් ලෙස මියගිහින්


මිරිහාන, නුගේගොඩ හා අවට ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුව සිටි "කොට දයා" හෙවත් සේනාධීර දොන් දයානන්ද (65) නමැත්තා අභිරහස් ලෙස මියගොස් සිටියදී ඔහුගේ සිරුර ඇරැව්වල රන්න මාවත ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක තිබියදී ඊයේ (27) සොයාගත් බව පොලිසිය කියයි. මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ මොහු ඉහත දෙමහල් නිවසේ මීට වසර 1 1/2 සිට මෙහි කාමරයක් කුලියට ගෙන එහි තනිව ජීවත් වී ඇති බව ද පොලිසිය පවසයි.

මෙම නිවස දෙසින් දුගඳක් හමන බවට ඊයේ පෙරවරුවේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට (119) වෙත ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සොයා බැලීමේදී කාමරයේ ඇඳ පාමුල වැටී සිටියදී මොහුගේ සිරුර හමුවී ඇත. මීට දින කිහිපයකට පෙර මොහු මියගොස් ඇති බවට පොලිසිය සැක කරයි. මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කරන අයකු බව  ද පොලිසිය පවසයි. 1999 වසරේ සිට මොහු වසර කිහිපයක්ම මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම ආදී අපරාධවල නිරතව  සිට බන්ධනාගාරගතව සිට ඇති අතර පසුව ඔහු කාලයක් නිහඬව සිට ඇති බව පොලිසිය පවසයි. ඉකුත් 2021 වසරේ මාර්තු මාසයේ කුෂ් නමැති මන්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් සමග මොහු විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රාජපක්ෂවරු දේශපාලනයෙන් සහ මුලින්ම ඉවත් කරකනතෙක් රටේ ප්‍රශ්න විසඳිය නොහැකියි

රාජපක්ෂවරු මෙරටින් මංකොල්ලකන ලද ඩොලර් බිලියන ගණනක ධනය බදු පාරාදීසවලින් සහ ඔවුන්ගේ දේපළවලින් ලබාගෙන, රාජපක්ෂවරු දේශපාලනයෙන් සහමුලින්ම ඉවත් කරනතෙක් රටේ. ප්‍රශ්න විසඳිය නොහැකි බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. රාජපක්ෂවරුන්ට තිබෙන වත්කම් සම්බන්ධයෙන් ඇමෙරිකානු බැංකුවක් පැවරූ නඩුව හරහා හෙළිවී. තිබෙන බව ඊයේ (27දා) කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් හරහා නිශ්චිත දින ගණනක් සහිතව මීළඟ මහ මැතිවරණය දක්වා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්, ඒ අනුව විපක්ෂනායකවරයා මෙන්ම විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ වගකීම භාර ගැනීමට සූදානම් බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,

"තෙල් ගෙන්නන්න බනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වූ ආයතන තියෙනවා. දැන් මේ ආණ්ඩුව කරන්නේ එසේ ලියාපදිංචි වෙලා ඉන්න නිල සැපයුම්කරුවන්ගෙන් පිට එක එක්කෙනාගෙන් තෙල් ගන්න උත්සාහ කරනවා. නැව් 06ක් ගේනවා කිව්වා. 04ක් ගේනවා කිව්වා. අන්තිමට 02ක් ගේනවා කිව්වා. දැන් එකක්වත් නෑ. මේකේ තව භයානක පැත්තක් තියෙනවා. 2012දී මේ වගේ දෙයක් කළා. වාහන පාරේ නැවතුනා ප්‍රමිතියකින් තොර තෙල් ගෙනල්ලා. ඒ නිසා මේ රටේ ලියාපදිංචි වෙලා ඉන්න දේශීය නියෝජිතයෝ ඉන්නවා. ආයතන තියෙනවා. එක එක්කෙනා අරහෙන් මෙහෙන් ගෙනල්ලා ගහන ඒවා ගහන් ගිහින් වෙන්න තියෙන විනාශය ඉතා අධිකයි. නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතිතුමා එක්ක වාඩි වෙනකොටම මේ තෙල් නැවටත් මේ ආනිශංසය වෙන විත්තිය අපි දැනගත්තා. දැන් මිනිස්සු එකක් තේරුම් ගන්න ඕන දැන් රටේ තෙල් නෑ. මේ අර්බුදයට සම්පුර්ණයෙන්ම වගකිව යුතු අය තාමත් නිදැල්ලේ. නිදැල්ලේ විතරක් නෙවෙයි තාමත් ජනාධිපති ධුරය උසුලනවා, ඒ වගේම තෙල් සංස්ථාව පාලනය කරන්න යනවා. විදුලිබල මණ්ඩලය පාලනය කරන්න යනවා.

අද තමන්ට කිරිපිටි නැතුව, බේත් නැතුව, තෙල් නැතුව, ගෑස් නැතුව, දරුවා පාසල් යවාගන්නේ නැතුව, රැකියාවලට යන්නේ නැතුව, මුළු රටම හිර කරලා තියෙන්නේ තනි පවුලක් විසින් බව මහජනතාව තේරුම්ගත යුතුයි.ඒ තනි පවුලට විරුද්ධව එක්තරා බැංකුවක් නඩු පවරලා තියෙනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔවුන්ගේ දේපළ, සොරාගත් ධනය තියෙනවා කියලා. රාජපක්ෂවරු වහාම අර බදු පාරාදීසවල හංගපු ධනය රටට ලබා දීලා වහාම තමන්ගේ ධුරවලින් ඉවත් වෙනෙයි කියන තැනට මුළු රටේම ජනතාව දැන් කටයුතු කරන්න ඕනේ. 55 ලක්ෂයක් පවුල්වලට තවත්  මේ දුක දරාගන්න බෑ. ඒ නිසා මංකොල්ලකන ලද ඩොලර් බිලියන ගාණක ධනය ඒ බදු පාරාදීසවලින් හා ඔවුන්ගේ දේපළවලින් ලබාදීලා ඔවුන් මේ දේශපාලනයෙන් සහමුලින්ම ඉවත් කරනකන් මේ රටේ මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අපේ ජාතික, ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ නෑ. රුසියාවේ නෙවෙයි සයිබීරියාවේ නෙවෙයි ලෝකේ කොහේ තෙල් තිබුණත් අපට ඒවා ලබාගන්න හැකියාවක් නෑ. අපේ දරුවන්ට බේත් ටික නෑ. අපේ දරුවන්ට පාසල් යන්න විදිහක් නෑ. මිනිස්සුන්ට රැකියාවලට යන්න විදිහක් නෑ. ගෙදර විදුලිය නෑ. දිනපතාම අපේ කර්මාන්ත ටික ඇද වැටෙනවා. සේවා ටික ඇද වැටෙනවා. මුළු රටම 1960 දශකයට ගෙනිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔය විවිධ දූත පිරිස් කොහේ ඇවිත් මේ රාජපක්ෂවරු මුල් පුටුවල ඉඳගෙන තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මෙහෙයවන තැනට ඒ අදාළ පුද්ගලයන්ට අදාළ ඇමතිවරුන්ට ඒ කටයුත්ත කරන්න නොදී කටයුතු කරනකන් වැඩේ සාර්ථක වෙන්නේ නෑ. මේ රජයට දැන් නවරමක් නැහැ. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා කිවිවට 2/3 බලය ලැබුණයි කිව්වට  එහෙම ජනවරමක් දැන් නැහැ. මෑතදී පැවැත්වුවා ජනමත සමීක්ෂණයක් ඩේලි මිරර් වෙබ් අඩවියෙන් 67% ක්, 2/3 රටේ ජනතාව ජනාධිපතිවරයා මේකට වගකිව යුතුයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා.ඉතින් ඒ වගේම 96%ක් රාජපක්ෂවරුන් මේකට වගකිව යුතුයි කියලා මීට ප්‍රථම පවත්වපු ජනමත සමීක්ෂණවල තියෙනවා. මේ රටේ පවත්වපු හැම ජනමත සමීක්ෂණයකින්ම ජනතාව එක හඩින්, ඒකමතිකව කියන්නේ ඒ දේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න. නිශ්චිත දින සහිතව ඊළඟ මහ මැතිවරණය දක්වා වෙන අතකාලීන පාලනයක් පිහිටුවන්න. පොදු එකඟතාවක් ඇති කරගන්න රට පාලනය කරන්න. එතකොට විපක්ෂ නායක විතරක් නෙමෙයි, විපක්ෂයේ අපි සියලු දෙනාමත් මේ ආණ්ඩුවේ වගකීම භාරගන්න සූදානම්” යනුවෙන් සඳහන් කළේය.


(දිනේෂ් සමරකෝන්)


පෑලියගොඩදි පතාලයෙන් මැරුම් කෑ කොස්තාපල් කුඩු ජාවාරමට හවුල්ද?



පෑලියගොඩ ගුරුකුල විද්‍යාලය අසලදී පෙරේදා (26) රාත්‍රියේ නාඳුනන  පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කළ හිටපු පොලිස් කොස්තාපල් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකුගෙන් මන්දුව්‍ය ලබාගෙන අලෙවි කළ අයෙකු බවත් ඔහු එම පන්දුව්‍යවලට මුදල් ගෙවිය යුතු ලක්ෂ ගණනක මුදලක් නොගෙවා මග හරිමින් සිට ඇති බවටත් තොරතුරු ලැබී තිබෙන බව ජ්‍යෙෂ්ඨ තලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (27) පැවසීය.  ඩුබායි රටට පලාගොස් සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට මත්ද්‍රව්‍ය සඳහා ලක්ෂ 40ක් ද කොළඹ ප්‍රදේශයේ සිටින මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලක්ෂ අටක් හා ගල්මුල්ල ප්‍රදේශයේ මන්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුට ලක්ෂ 20ක මුදලක් ද මෙම හිටපු පොලිස් කොස්තාපල්වරයා නොගෙවා පැහැර හැර තිබූ බවට වැඩිදුරටත් තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය කියයි.

මේ හේතුව මුල්කරගෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාලයට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම හිටපු පොලිස් කොස්තාපල් ඝාතනය කරන්නට ඇති බවට මේ සම්බන්ධව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම සැක කරයි. මෙසේ ඝාතනය කර තිබුණේ අරුණ අත්තනායක හෙවත් පොලිස් අත්තනායක ලෙස හැඳින්වෙන පුද්ගලයෙකි.  වයස අවුරුදු 2 ක් පමණ වන සිය පුතාට රඹුටන් මිලදී ගෙන එම දරුවා ද සමග යතුරු පැදියෙන් නිවෙස බලා යමින් සිටිය දී පෑලියගොඩ ගුරුකුල විද්‍යාලය අසල දී යතුරු පැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු විසින් මොහුට වෙඩි තබා පලාගොස් තිබිණි. පොලිස් අත්තනායක නමැත්තා ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පුත්‍රයා ද තුවාල ලබා කොළඹ රිවේ ළමා රෝහලට ඇතුළත්කර ඇති අතර වෙඩි ප්‍රහාරය සිදුවූ ස්ථානය අසල පිහිටි රූපලාවන්‍යාගාරයක සේවය කරන රූපලාවන්‍ය ශිල්පිනියක් ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. 

රූපලාවන්‍ය ශිල්පිනියකගේ එක් පාදයකට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී  ඇති බවද පොලිසිය සඳහන් කරයි. වෙඩිකා මියගිය අත්තනායක නමැති  මෙම හිටපු පොලිස් කොස්තාපල්  රැකියාව කරන වකවානුවේ 2015 වසරේ දී ඩී. මංජු නමැති පාතාල නායකයාට වෙඩි තැබීමට ගිය වෙඩික්කරු යතුරු පැදියක තබාගෙන රැගෙන ගියේ යැයි කියමින් පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය කියයි. මොහු පදවාගෙන ගිය බව කියන යතුරු පැදියේ ගිය වෙඩික්කරුවෙක් ඩී. මංජු නමැත්තාට වෙඩි තැබූ අවස්ථාවේ මංජු  නමැත්තාට බරපතළ තුවාල සිදුවී තිබිණි. 2019 වසරේදී ඩී. මංජු නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවක දී වත්තල ප්‍රදේශයේ දී මැරුම්කා තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අත්තනායක නමැත්තා වැඩ තහනමකට ද ලක්විය. හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සන්තකයේ තබාගෙන ජාවාරම්ක කළේ යැයි කියමින් සහ අත් බෝම්බයක් ළඟ තබාගෙන සිටි බව කියමින් පොලිස් අත්තනායක 2019 වසරේ අවස්ථා දෙකකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් බාරයේ ද සිට ඇති බව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. පොලිස් අත්තනායක නමැත්තාට වෙඩි තැබූ ස්ථානයේ හිස් උඩ 06ක් සහ ජීව උණ්ඩයක් ද වැටී තිබී පොලිසිය බාරයට ගෙන ඇත.  යතුරු පැදියකින් පැමිණ මොහුට වෙඩි තබා ඝාතනය කර පලාගිය දෙදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරකු පොලිසියට ලැබී නොමැත.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

නිවෙස්ගත දරුප්‍රසුති නිර්දේශ කරන්නේ නෑ

නිවෙස්ගත දරු ප්‍රසූති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ නොකරන බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය. කරයි.ඒ අනුව එවැනි තත්වයක් සිදුනොවීම සඳහා ගර්භණී මවුවරුන් විසින් තමන්ට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනිය සමග කල් ඇතිව සාකච්ඡා කර සුදුසු සැලසුම් සකසාගත යුතු බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.කෙසේ වුවද දුෂ්කර අවස්ථාවක් උදා වුවහොත් කාලය අපතේ නොයවා 1990 අංකය හරහා 'සුවසැරිය’ ගිලන් රථ සේවාව සම්බන්ධ කර ගන්නා ලෙසට ඉල්ලා සිටින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, එවැනි තත්වවලදී සේවා සැපයීමට රජයේ රෝහල් බැඳී සිටින බවත් සඳහන් කර සිටියි.මීට අමතරව මේ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මාධ්‍යයට සිදු කරමින් එම කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ,

"පසුගිය දශක කිහිපය තුළ සෞඛ්‍ය සේවා පද්ධතියේ සිදු වූ ප්‍රගතිය සහ දරු ප්‍රසූති අතරින් 99.99%ක්ම නිපුණ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් සහිත රෝහල්වල සිදුවීම සාක්ෂාත් කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ අඩු මාතෘ මරණ සහ ජන්ම මරණ අනුපාතිකයකට හිමිකම් ලබයි. මෙම සාර්ථක අඩු මාතෘ මරණ සහ ජන්ම මරණ අනුපාතිකයක පවත්වාගෙන යාම සඳහා ඕනෑම වේලාවක දරු ප්‍රසූතියක් සිදු කිරීමට ආරක්ෂිතම සහ හොඳම ස්ථානය රෝහලකි. මන්ද ඕනෑම ගැබිනි මවකට සෞඛ්‍ය ප්‍රශ්න රහිත පූර්ව ප්‍රසව කාල පරිච්ඡේදයක් තිබුණද සංකුලතා ඇති විය හැකියි. ප්‍රසව ලකුණු පහළ උදරයේ වේදනාව, වතුර බෑගය කැඩීම මතු වුවහොත් හෝ සැලසුම් කළ දරු ප්‍රසූතියේ දිනය ළඟා වුවහොත් වහාම රෝහලකට ඇතුළත් වන්න.යම් හෙයකින් දරු ප්‍රසූතියක් නිවෙස්ගතව සිදුවීම හේතුවෙන් පසු ප්‍රසව අවස්ථාවේදී අධික රුධිර වහනය, බිලිඳාගේ ශ්වසන අපහසුතා, ආසාදන තත්ව සහ ඇතැම්විට මරණ පවා ඇතිවීමේ හැකියාව නිසා මව සහ බිලිඳ දැඩි අවදානමකට ලක්විය හැකියි. මෙවැනි තත්වයන් සෑමට්ටම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ගගත යුතුය. එම නිසා කල් ඇතිව රෝහල්ගත වීමට හොඳ සැලැස්මක් තිබීම ඉතා වැදගත්ය” යනුවෙනි.


( නිදර්ශනී වික්‍රමසිංහ)


Monday, June 27, 2022

දරුවාට රඹුටන් ගේන්න යද්දි වෙඩි තබා හිටපු කොස්තාපල් මරා දාලා

කැලණිය, පට්ටිය හන්දියේදී ඊයේ (26) රාත්‍රී 8.30 ට පමණ යතුරුපැදියකින් ගමන්ගත් හිටපු පොලිස් කොස්තාපල්වරයකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීමෙන් එම කොස්තාපල්වරයා මිය ගොස් ඔහු සමඟ ගමන්ගත් දරුවා තුවාල කැළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි කඩවත පොලිසිය පැවසීය. මෙසේ වෙඩි කා මියගොස් ඇත්තේ අරුණ අත්තනායක හෙවත් පොලිස්” යන අන්වර්ථ නමින් හැඳින්වෙන හිටපු පොලිස් කොස්තාපල්වරයෙකි. කැලණිය ප්‍රදේශයේම පදිංචිකරුවකු වන මියගිය හිටපු  පොලිස් කොස්තාපල්වරයා දරුවාට රඹුටන් මිලදීගැනීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දුන් බවත් තුවාල ලැබූ 11 හැවිරිදි දරුවාගේ තත්වය බරපතළ බවත් ආරංචිමාර්ග සඳහන් කරයි. පාතාල සමග සම්බන්ධතා පවත්වන බව කියමින් මීට වසර කීපයකට පෙර මොහුගේ සේවය අත්හිටුවා තිබිණි යැයි කැලණිය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ද මීට පෙර මොහු සැකපිට අත්අඩංගුවට ගෙන කලක් රිමාන්ඩ් බාරයේ පසුවූ අයකු බවට ද තොරතුරු ලැබී ඇති බවත් පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවට සැකකරන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරීය )


දරුවන්ට පෝෂ්‍යදායී කෑම වේලක් අවශ්‍ය කාලයක්

සෞඛ්‍ය දශක අතින් අපේ රට ඉහළ මට්ටමක සිටිය ද පෝෂණ දශක අනුව තවමත් සෑහීමකට පත් විය හැකි තත්ත්වයකට රට ස්ථානගතව නැත. අප මුහුණ දෙන ප්‍රධාන පෝෂණ ගැටලු අතරට උසට සරිලන බර අඩුවීම, ඌන පෝෂණ ත ත්වය සේම උසට සරිලන බරට වඩා වැඩි බරක් ඇති වීම, බර වැඩි නැතිනම් තරබාරු තත්වයත්, ක්ෂුද්‍ර පෝෂක ඌනතා වන යකඩ ඌනතාව, විටමින් 'ඒ' ඌනතාව, අයඩින් ඌනතාවත් ඇතුළත් වේ. මෙනිසා අඩුඋපත් බර දරුවන් ඇති වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත. මේ වනවිට ළමයින් අතර මන්දපෝෂණය ඉහළ යමින් තිබේ. නිරෝගීකම ගැන අප සිතිය යුතු වන්නේත් වැඩි අවධ්‍යනයක් යොමු කළ යුතු වන්නේත් දරුවකු මවුකුස පිළිසිඳ ගැනීමටත් පෙර සිටයි. එනම් ගැහැනු දරුවාගේ පෝෂණය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ගැහැනු දරුවකු විවාහ වන වයස එළැඹෙන විට උසට සරිලන බරින් යුතුවීම මෙම යකඩ, අයඩින්, විටමින් ඌනතාවලින් තොර වීමත් අනාගතයේ ඉපදීමට සිටි දරුවාගේ නිරෝගී ජීවිතය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබේ. එසේම බර වැඩි, තරබාරු යෙවනියන්ට දරුඵල පමා වීමට මෙන්ම මඳ සරුභාවය ඇති වීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බව වර්තමානයේ දී අපට සුලබව ඇසෙන කරුණකි. 

මවට පෝෂණ ඌනතා ඇති වීම නිසා අඩු උපත් බර සහිත දරුවකු බිහි වීමට ඇති ප්‍රවණතාව ද වැඩි කෙරේ. මෙහි දී අඩු උපත් බර යනුවෙන් හැඳින්වෙන්නේ කිලෝග්‍රෑම් 02.05කට වඩා අඩු උපත් බර වේ. අඩු උපත් බර සහිත දරුවන් මන්දපෝෂණයට, ක්ෂද්‍ර පෝෂක ඌනතාවට මෙන්ම ඒ හේතුවෙන් ඇති වන බුද්ධිය හීන වීමට, ප්‍රතිශක්තිය අඩුවී රෝගවලට භාජන වීමට ඉඩකඩ ඇත. එසේස්ම දියවැඩියාව. අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා ද අවදානමක් පවතී. දරුවා ඉපදුනු පසු නිසි පෝෂණයක් නොලැබීමෙන් හොඳ උපත් බරක් සහිතව බිහිවන දරුවන් පවා මන්දපෝෂණයට ලක් වීමට වැඩි අවදානමක් ඇත. අපේ ආහාර රටාව, ජීවන පැවැත්ම, දුම්පානය, මත් වතුර භාවිතය, මානසික ආවේගශීලී බව, ස්වභාවධර්මය විසින් අපට ලබා දී ඇති බොහොමයක් සම්පත් විනාශ කිරීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම ජීවන චක්‍රයේ විවිධ  වයස් කාණ්ඩවල දී ආහාර වේල ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ.  රටේ අද පවතින ආර්ථික අර්බුදයත් සමග අප මේ වනවිට විවිධ අපහසුතාවලට මුහුණ දී සිටිමු. ඒ අභියෝග මැද අපේ ආහාරවේල කෙසේ සකසා ගත යුතුද යන්න අවධානය යොමු විය යුතුම කාරණාවකි. නිරෝගී බව රැක ගැනීම මෙන්ම වැඩි දියුණු කොට පවත්වා ගැනීම සඳහා අපේ ආහාර පිඟානේ තිබිය යුත්තේ මොනවාද? එදිනෙදා කාර්යය කර ගැනීම සඳහා ශක්තිය ලබාදෙන ආහාර වර්ග, එමෙන්ම වර්ධනය සහ ගෙවී යන කොටස් අලුත්වැඩියා කිරිමට අවශ්‍ය වන ආහාර වර්ග සහ ශරීරය ආරක්ෂා කරන ආරක්ෂක ආහාර වර්ග වේ. අපට ශක්තිය ලබා දෙන්නේ බත්, කුරක්කන්, මෙනේරි, බඩ ඉරිඟු, තිරිඟු වැනි ධාන්‍ය වර්ට අල, බතල, කොස්, දෙල් සහ තෙල් හා මේ ස්වල්පයක් වශයෙනි. 

විශේෂයෙන්ම දරුවන්ගේ වයස අවුරුදු 20ක් පමණ වනතෙක් ශය වර්ධනය කරන්නේත් වැඩිහිටියන්ගේ ගෙවී යන කොටස් අලුත්වැඩියා කරන්නේත් වර්ධක ආහාරයි. එනම් සත්ත්ව ආහාර වන මාළු, මස්, බිත්තර, කරවල, හාල්මිල්සන්, කිරි සහ කිරි ආහාර වර්ගයි. එසේ ශාක ආහාර වන පියලි ඇට වර්ග, කවුපි, කඩල, මුං ඇට, පරිප්පු, සෝයා බෝංචි ද ඇතුළත් වේ. අනෙක් අත්‍යවශ්‍ය ආහාර කොටස වන්නේ ශර්ණය ආරක්ෂ කරන විටමින්, ඛනිජ වර්ග සහ තන්තු මෙන්ම ප්‍රතිඔක්සිකාරක (එනම් පිළිකාමය තත්ව වළක්වන, රුධිරවාහිනී ආරක්ෂා කරන) එළවළු, පලතුරු සහ පළා වර්ගය. ඉහත ආහාර කාණ්ඩ ගැන ඔබ දැනුවත් නම් අපේ ආහාර පිඟානේ තිබිය යුතුම සිරුර නිරෝගී කරන දේවල් සහිත ආහාර වේලක් සකසා ගැනීමට වැඩි මුදලක් අවශ්‍ය නොවේ. වෙළෙඳපොළේ විවිධ එළවළු, පලතුරු, පළා වර්ග ඇති අතර මිල දර්ශකය බලා තමන්ගේ ආර්ථිකයට ගැළපෙන එළවළු තෝරා ගන්න. මිල අඩු එළවළු වර්ග දෙක තුනක් වෙනදා ගන්නා ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්න. නිවසේ සිටින සාමාජිකයන්ට සරිලන පරිදි එළවළු වර්ග දෙකක් මිශ්‍ර කර එක් වෑංජනයක් සකසා ගන්න. එයටම හාල්මැස්සන් කිහිපදෙනකු හෝ බිත්තරයක් දෙකක් එකතු කර ගත  හොත් නැත්නම් පරිප්පු වැනි ඇට වර්ගයකින් මේස හැඳි දෙකක් තුනක් එකතු කර ගතහොත් එක් වැංජනයකින් හොඳ පෝෂණයක් ලබා ගත හැකිය. එමෙන්ම කොස් බහුල මේ කාලයේ කොස්වලින් අපේ ආහාර වේල පෝෂදායී ලෙස සකසා ගැනීමේ හැකියාව පවතී.පාන් පිටි කොත්තු කෑමට පුරුදු වී සිටින බොහෝ දෙනකුට ගෙදර ඇති එළවළු සුළු ප්‍රමාණයෙන් තිබුණත් ඒ සියල්ල තෙල් ස්වල්පයක් එකතු කර කුණිස්සන් හෝ හාල්මැස්සන් කිහිප දෙනකු හෝ එකතු කර තැබූ කොස්වලට දමා මිශ්‍ර කර කොස් කොත්තුවක් ආහාරයට එකතු කර ගත හැකිය. 

එමෙන්ම මඤ්ඤොක්කා වැනි අල තබා පොල් සමග කෑම වෙනුවට වතුර පෙරා ගත් පසු පළා මිටක්, සිහින්ව ලියා  ගත් වට්ටක්කා, දඹල වැනි එළවළුවක් හුමාලයෙන් තැම්බෙන ලෙස එකතු කර  ගත හොත් ශරීරයට අවශ්‍ය පෝෂක පහසුවෙන්ම ලබා ගත හැකිය.  ඒ වගේම ඇට වර්ග තැබූ පසු ඊට පළා  වර්ගයක්. පොල් ටිකක් බිත්තරයක් මෙන්ම තෙල් ස්වල්පයක් ද එකතු කිරීමෙන් රසවත් පෝෂදායී ආහාරයක් විශේෂයෙන්ම  දරුවන් උදෙසා පිළියෙළ කර ගත හැකිය.  ගර්භණි මවුවරු මෙන්ම කිරි දෙන මවුවද ඔබේ පෝෂණය ගැන විශේෂ අවධානයක්  යොමු කළ යුතුය. බිළිඳු දරුවකුගේ නිරෝගීකමට මවගේ පෝෂණය බෙහෙවින් ඉවහල් වන සාධකයකි. පෙර මෙන් දකින හැම කෑමක්ම කනට නැතැයි පසුතැවිලි නොවී වටපිටාවේ ඇති පළා වර්ග ඇට වර්ග එළවළු වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගත හැකිය.විවිධ පිටිකිරි වර්ග පානය කිරීම වෙනුවට මීකිරි, යෝගට් වැනි ආහාරයකින් එකී අවශ්‍යතාව සපුරා ගත හැකිය. යකඩ ඌනතාව වළක්වා ගැනීමට යකඩ පෙති භාවිත කරන අතරම පළා වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගත හැකිය. ඇට වර්ග තම්බන විට ඒවා පැය 12ක් 18ක් පමණ පෙගෙන්නට හැර පැළවූ තත්ත්වයෙන්ම තම්බා ගත හැකි නම් ඒවායේ යකඩ පහසුවෙන් ශරීරරයට උරා ගැනීමට පහසු වනු ඇත. තමන්ගේ ගෙවත්තේ ඇති පලතුරුනිතරම ආහාරයට ගන්න. රොටි සැකසීමේ දී වුවද නිවසේ සුළු වශයෙන් ඉතිරිව ඇති එළවළු සිහින්ව කපා රොටියට එකතු කර වැඩි පෝෂක ප්‍රමාණයක් ලබා දිය හැකිය. මිල අධික යැයි සිතමින් මාළු මිල දී ගැනීමට නොහැකි වුවත් ඊට වඩා මිලෙන් අඩු බිත්තර වැඩෙන දරුවන්ට ලබා දීමට හැකි වුවහොත් ඔවුන්ගේ වර්ධනය මෙන්ම ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගත හැකිය. 

මෙතෙක් තමන්ගේ ගෙවත්තේ තිබුණ ද වැඩි මිලක් නොදැරූ සේම විශේෂයෙන් ඉතා කලාතුරකින් ආහාරයට ගත් පේර, ජම්බු, ඇඹරැල්ලා, කාමරංගා, ගස් ලබු, අඹ, නාරං,ලොවි, වෙරළු, නෙල්ලි, කොමඩු, ලාවුළු, අන්නාසි වැනි පලතුරුවලට දරුවන් වඩ වඩාත් යොමු කරවන්න. පවුලේ සෙසු සාමාජිකයන් අතරත් මෙම ආහාර බෙදා ගත හැකිය. විවිධ විස රසායනික යොදා ඇති පිටරටින් ආනයනය කරන ඇපල්, මිදි, දොඩම්වලට වඩා මේ පලතුරු ඉතා ගුණදායකයි. චීස්, බටර් නැතිව දුක් වීමට වඩා දරුවන්ට මී කිරි, සෝයා නිෂ්පාදනවලින් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ දරන්න. ගෙවත්තේ මල් පෝච්චියක, සහල් කවරයක, භාවිත කර ඉවත දැමූ බඳුනක පළා ටිකක්, එළවළුවක් වගා කර ගත  හැකිය. විශේෂයෙන්ම පිටිකිරි මිල ඉහළ ගොස් ඇති මේ කාලයේ වෙනත් විකල්ප දෙස අවධානය යොමු කරන්න.  අලුත උපන්  බිළිඳාට මාස 06ක් ගතවන තුරු ලබා දිය හැකි එකම ආහාරය මවුකිරි පමණි. ඉන්පසු මවුකිරි සමඟ අනෙකුත් ආහාරත් හුරු කරවීමට උත්සාහ ගන්න. එම ආහාර වටිටෝරුවේ පිටිකිරී තිබීම අවශ්‍ය නැත. ඒ වෙනුවට යෝගට් වැනි කිරි ආහාරයක් තිබීමත් වැදගත් වේ. දරුවන්ගේ පෝෂණය සේම ඔවුන්ගේ ක්‍රියාශීලිත්වය ගැන ද අවධානය යොමු කිරීමට මේ සුදුසුම කාලයයි. ඒ උදෙසා දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට පැයක්වත් ඉඩ ලබා දෙන්න. එවිට සමට පතිත වන හිරු එළිය මගින් ශරීරයට අවශ්‍ය විටමින් D ලබා ගත හැකි වනු ඇත. වැඩිහිටියන්ද උදෑසන 10ත් 12ත් අතර පැය භාගයක්වත් හිරු එළියට නිරාවරණය  වීම සුදුසුවේ. අපි සියලුම දෙනා මේ ගත කරන්නේ ඉතාම දුෂ්කර කාලයකි. හැම දෙයක් දෙසම එකම  කෝණයකින් නොබලා මැදිහත්ව සිතුවොත් අපේ  ගෙවත්තෙන්, ගෙදරින්ම ලැබෙන පලදාවෙන් නිරෝගීකම රැක ගත හැකි වේ. නිවසේ සාමාජිකයන්ගේ පෝෂණය පවුලේ සියල්ලන්ගේම වගකීමක් යුතුකමක් බව සිතා ඉතා සුබවාදීව මේ අභියෝගයටත් අපි සුබවාදීව මුහුණ දෙමු. 


සටහන - මාධවී ධර්මරන්න


හෝමාගම දෙමහල් නිවසක ගින්නකින් මව -පියා මරුට

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහළ මාලයේ කාමරයක් තුළ පෙරේදා (25) දා රාත්‍රී ඇති වූ ගින්නකින් අඹු සැමි යුවළක් මියගොස් සය හැවිරිදි හා දහනව හැවිරිදි දියණියන් දෙදෙනකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව කහතුඩුව පොලිසිය පවසයි. රෝහල් ගත කළ කවින්ද රණසිංහ නමැති (19) හැවිරිදි දියණියගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන අංක 347/ 02 හි පදිංචි වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියකු වන එස්.ඒ. ලසන්ත බුද්ධික රණසිංහ සහ නාලිකා දේවි නමැති අඹුසැමි යුවළක් බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා තම බිරිය වැඩිමහල් දියණිය (19) හා සය හැවිරිදි දියණිය සමග දෙමහල් නිවසේ පහළ මාලයේ කාමරයක් තුළ සිටිය දී රාත්‍රී 8 පමණ එක්වරම මෙසේ ගින්නක් හටගෙන  තිබුණි. 

ගින්නෙන් අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ අතර සය හැවිරිදි දියණිය සුළු තුවාල ලබා තිබුණි. ගින්න වන අවස්ථාවේ දී නිවසේ යාබද කොටසේ මියගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් සිට ඇති අතර ඔවුන් සමග සිටි වැඩිමහල් දියණිය කොණ්ඩය පීරා ගැනීම සඳහා කාමරයට පැමිණ තිබේ. පසුව ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි. එහිදී තුවාලකරුවන් සිවුදෙනාට මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා සය හැවිරිදි දියණිය බොරැල්ල ළමා රෝහලටත් සෙසු තිදෙනා කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කොට ඇතැයි පැවසේ.

රෝගීන් පරික්ෂා කළ වෛද්‍යවරුන්  පවසා ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයා බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති හෙයින් ඔහු ජීවත් කිරිමට නොහැකි හෙයින් නැවත හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසයි. ඒ අනුව ඔහු නැවත හෝමාගම මූලික රෝහලට රැගෙන එමින් සිටින අතරතුර දී මියගොස් ඇති අතර පසුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ද මෙසේ මියගොස් ඇති බව  පොලිසිය පවසයි. ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ වැඩිමහල් දියණියගේ ගෙලෙන් පහළ සම්පූර්ණයෙන්ම පිළිස්සුම් තුවාල ලබා ඇති හෙයින් ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය ද අසාධ්‍ය බව රෝහල් ආරංචිමාර්ග පවසයි. තුවාල ලැබූ සය හැවිරිදි දියණියගේ තත්වය සාමාන්‍ය බව රිජ්වේ ආර්යා ළමා රෝහල් ආරංචිමාර්ග පවසයි. 

ගින්නෙන් නිවසේ කාමරයකට පමණක් සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති අතර ඉන් මියගිය පුද්ගලයාගේ හෝ කිසිවකුගේ අනන්‍යතා සහතිකයක් හෝ සොයා ගැනීමට නොහැකි තරමට සියලු දේපළ ගින්නෙන් විනාශ වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මව මෙසේ කීවාය. “25 දා රාත්‍රී 7.30 පමණ මම රෑ කෑම කාල නිදාගන්න කාමරේට ගියා. ටික වේලාවකින් බාල දුව අඬනවා ඇහුනා.  නිතර නිතර අඬන නිසා මම වැඩිය ගණන් ගත්තෙ නැහැ. අසල්වාසීන් කිහිප දෙනෙක් ගෙදරට ඇවිල්ල තිබුණා. ඒ වෙලාවේ මමත් කාමරයෙන් එළියට ඇවිත් අපේ පුතෙක්ගෙන් මම ඇහුවා කෝ ලසන්ත කියලා. ඊට පස්සේ එයා කිව්වා රෝහලට ගියා කියලා. ඒ පාර මං ඇහුවා දරුවෝ කෝ කියලා. එයාලත් රෝහලට ගියා කිව්වා. මේ වෙලාවේ තමයි මම දනෙ කාමරේ ගින්නක් ඇතිවෙලා තියෙනවා කියලා.මේ ගින්න කොහොම වුණාද කියලා හිතාගන්න බෑ. ලොකු දුව අපේ කාමරේ ඉන්නෙ. එයා රෑට කාල කොන්ඩෙ පීර ගන්න තමයි එළියෙ කාමරේට ගියෙ. මට මේ දරාගන්න බෑ. මේ දරුවන්ට මොකක් උනාද කියලා මට හිතාගන්න බෑ. හැඬු කඳුළින් ඇය පැවසුවාය.

 සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව කහතුඩුව පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් ද පැමිණ පරික්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රස පරීක්ෂක වාර්තාවක් ද කැඳවීමට නියමිතය. මියගිය පුද්ගලයාගේ මළ සිරුර  හෝමාගම මූලික රෝහලේ සහ කාන්තාවගේ මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.


 -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-

ලුනු සේවකයන්ට කොටුවූ නිලධාරි 4ක් පොලිසියෙන් බේරාගනී



 පුත්තලම - පාලාවිය ලණු සමාගමේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සේවකයන් විසින් සිර කරගෙන සිටි ගණකාධිකාරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිවුදෙනකු (04) දෙනකු ඊයේ (26 වැනිදා)  අලුයම මුදා ගත්බව පුත්තලම  පොලිසිය කියයි. පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවකයන් දින කීපයක සිට තම වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඉකුත් 30 සිට මෙම වැඩවර්ජනයේ නිරතව සිටින සේවකයන් සහ පාලක මණ්ඩලය අතර සාකච්ඡාවක් පුත්තලම කම්කරු කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය 23 වැනිදා පවත්වා ඇත. වැටුප් වැඩි කිරීමේ කොටසකට රු. 5000.00 මුදලක් ලබාදී ඇති බවට වාර්තතා වුවත් මෙහිස්ථිර සේවකයන් 220 පමණ සේවය කරන අතර වාරි සේවකයන් දිනකට 200 ක් පමණ සේවය කරන බව වාර්තා වේ. 

පවතින ගැටලුවට විසඳුමක් ලබා දීමට ලුණු සමාගමේ පාලක මණ්ඩලය එම සාකච්ඡාවේ දී එකගතාවය පළකර ඇතත් පාඩු ලබන තත්වයකට පත්ව ඇති බැවින් ආයතන වසා දැමීමට සිදුවන බව ලුණු සමාගමේ ඒ.සී. එකක් බ ගණකාධිකාරීවරයා 25 වැනිදා සවස එහි සේවකයන් සමග පැවසීමත් සමගද  මෙම ගැටලු උග්‍ර අතට හැරි තිබේ.එම ප්‍රකාශයත් සමග කලබලයට පත්ව ඇති සේවකයන් ලුණු සමාගමේ ප්‍රධාන දොරටුව වසා දමා ගණකාධීකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (4) දෙනකුට පිටතට යාමට නොහැකිවන සේ ආයතනය තුළ සිර කරගෙන ඇත. අනතුරුව සේවකයන් කණ්ඩායම් ලෙස සකස් වී ප්‍රධාන ගේට්ටුව මුර කිරීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳව පුත්තලම පොලීසියට ලුණු සමාගමේ පාලන අධිකාරිය මගින් කරන ලද පැමිණිල්ලකට අනුව 26 වැනිදා අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් ලුණු සමාගමේ පිටුපස කොටසින් ඇතුළු වී සිර කරගෙන සිටි ගණකාධිකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව්දෙනා (4) මුදාගෙන පුත්තලම පොලීසිය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ගේ නිවෙස්වලට පිටත්කර යවා තිබේ. මේ තත්වය පිළිබඳව පුත්තලම - පාලාවය ලුණු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එච්. එම්. රණසිංහ මහතාගෙන් විමසීමට උත්සාහ කළ නමුත් ඒ මහතාගේ දුරකථනය ක්‍රියාත්මක නොවිණි.


-එච්. චන්දන-

මෙරට කතක හා ඉන්දීය තරුණියක මානසික වෛද්‍යවරයකුට යොමුතකර වාර්තාවත් දීමට උසාවි නියෝග

අක්කරපත්තුවේ එක්දරු මවක හා ඇය සමග අමුතු ඇසුරක් පවත්වන්නට ගිය බව කියන ඉන්දියාවේ තරුණියක කල්මුණේ මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර අද (27) වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අක්කරපත්තු මහේස්ත්‍රාත් එම්.එච්.එම්. හංසා මහතා නියෝග කළේය. අක්කරපත්තුව පදිංචි තරුණියක ඉන්දියාවේ පදිංචි 24 හැවිරිදි තරුණියක අන්තර්ජාලය හරහා හඳුනාගත් පසුව ඉන්දීය තරුණිය තම මිතුරිය බැලීම සඳහා ලංකාවට ඉකුත් 22 වැනි දා පැමිණ ඇතැයි පැවැසෙයි. දින කිහිපයක් මිතුරියගේ නිවසේ රැඳී සිටි මෙම ඉන්දීය තරුණිය අක්කරපත්තු කාන්තාවක විවාහ කරගත යුතු බවට යෝජනා කර තිබේ. තම දියණියගේ සහ ඉන්දියාවේ සිට ආ තරුණියගේ හැසිරීම පිළිබඳව සැක සිතු අක්කරපත්තුව තරුණියගේ පියා මේ පිළිබඳව අක්කරපත්තුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඉන්දීය තරුණිය සහ ලංකාවේ කාන්තාව අක්කරපත්තුව පොලිසියට කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ලංකාවේ කාන්තාව ඉන්දීය තරුණිය සමග ඉන්දියාවට යා යුතු බව පවසා ඇත. එසේ යන්න නොදුන්නහොත් දෙදෙනාම දිවි නසා ගන්නා බවට පොලීසියේදි දැඩි ලෙස කියූ බව අක්කරපත්තු පොලිසියේ ප්‍රකාශකයෙක් කීය. අක්කරපත්තුව කාන්තාව විවාහක කතක වන අතර ඇයට දරුවකු ද සිටින බව පොලීසිය පවසයි. පසුව අක්කරපත්තුව පොලීසිය මේ  දෙදෙනා අක්කරපත්තුව මහේස්ත්‍රාත් එම්.එච්. එම්. හංසා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව කාන්තාවන් දෙදෙනා කල්මුණේ රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාදී මෙම මස 27 වෙනි දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරිනියකගේ ආරක්ෂාව යටතේ මෙම තරුණිය හා කාන්තාව කල්මුණේ රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.


 නවන්ත සමරතුංග 

බිරිඳ ඝාතනය කළ සැකකාර සැමියා අත්අඩංගුවට

තියුණු අවියකින් පහරදී බිරිද ඝාතනය කර සැකකාර සැමියා ඊයේ (26දා) අලුයම නුවරඑළිය පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලීසිය පවසයි. 35 හැවිරිදි සැකකරුනුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නුවරඑළිය, ඔලිපන්ට් වතුයායේ ඉහළ කොටසේ පදිවීව සිටි දෙදරු මවක වන සුබ්‍රමනියම් සත්‍යවානි (අවු.26) නමැත්තියකි. සැකකාර සැමියා සහ බිරිඳ පෙර්දා (25දා) එකට එක්ව මත්පැන් පානය කර සැමියා රාත්‍රි ආහාරය රැගෙන එන ලෙස බිරිදට පවසා ඇති අතර, බිරිද ආහාර රැගෙන ඒමට ප්‍රමාද වීම පිළිබද සැමියා සොයා බැලීමේදී මුළුතැන්ගෙට ගිය බිරිද දුරකථනයෙන් කතා කරමින් සිට ඇති බවත්, එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස් විමක් දුරදිග යාමෙන් පසු බිරිද මුලින්ම සැමියාට පහරදී ඇති බවත්, ඊට උරණ වූ සැමියා පහරදීමෙන් ඝාතනයට ලක්ව ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය. සැකකරු (35) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


 (හැටන් - රංජිත් රාජපක්ෂ )

නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දැමුවේ IOC සමාගමේ ලාභය ඉහළ දැමීමටයි

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ නොගිය අවස්ථාවක මෙරට තුළ නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේ අයි.ඕ.සී. සමාගමේ ලාභය අධික ලෙස ඉහළ දැමීම සඳහා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේල්කම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඉන්ධන ගෙන්වීම සඳහා ඛනිජතෙල් සංස්ථාවට ප්‍රතිපාදන නොමැති බැවින් අයි.ඕ.සී. සමාගමට ඉන්ධන ගෙන්වන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවත්, එහිදී මෙලෙස මෙරට ඉන්ධන මිල ඉහළ දමන ලෙස එම සමාගමේ නිලධාරින් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඊයේ (26) දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය ඒ අනුව මෙරට තුළ ඉන්ධන පවතින්නේද, නැද්ද යන්න සහ ඉන්ධන මිල තීරණය කිරීමේ ඒකාධිකාරී බලය අයි.ඕ.සී. සමාගම අත්පත් කරගෙන තිබෙන බව සඳහන් කළ පුබුදු ජයගොඩ මහතා, "ලංකාවේ බලශක්තිය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් උද්ගතවෙලා තිබෙනවා. අද දවස වන විට එක් පැත්තකින් ඉන්ධන හිඟයක් උද්ගත වෙලා තිබෙනවා. තව පැත්තකින් ඉන්ධන මිල වැඩි කරලා තිබෙනවා. ඊයේ දවල් 12.30 වන විට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ තෙල් තොග බෙදා හැරීම නතර කළා තවදුරටත් තෙල් නැහැ කියලා. ඊයේ සවස් වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යන්ත්‍ර සියල්ල නිවා දැමුවා තවදුරටත් එම පිරිපහදුව පවත්වාගෙන යන බොරතෙල්. නැති නිසා. පෙට්‍රල් සහ ඩීසල් තොගත් අවසන් වෙලා තිබෙනවා. අපිට වාර්තා වන විදියට කොළොන්නාව සහ මුතුරාජවෙල තියෙන තෙල් ගබඩාවල 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1,000ක්, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් පමණයි දැනට ඉතිරී වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපේ දෛනික අවශ්‍යතාව ලෙස තිබෙනවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,500ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක්. ඊයේ සවස් වන විට තිබුණු ඩීසල් සහ පෙට්‍රල් තොග යන්තම් එක දවසකට විතරයි ප්‍රමාණවත් වෙන්නේ. එතැනින් පසු විශාල ඉන්ධන හිඟයක් මතුවීමට ඉඩ තිබෙනවා. මේකේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දැන් තෙල් ගේන්නේ නැතිවත් මිල වැඩි කිරීමක් කළා. අද වන විට 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 සිට 470 දක්වා රුපියල් 50කින් සහ 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ දැමා, ඒ අනුව තෙල් මිල විශාල වශයෙන් ඉහළ දාලා තිබෙනවා. තෙල් මිල ඉහළ දානවා කියන ඒකට හේතු එකක්වත් මෙතනට වලංගු නෑ. මේ වන විට ලෝකයේ තෙල් මිල පහත යමින් තිබෙනවා. අනිත් එක ලංකා තෙල් සංස්ථාවට පාඩුයි කියලා කියන්නත් බෑ. දැනට තිබෙන සංඛ්‍යාලේඛන අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15යි සත 57ක ලාභයක් තිබෙනවා. 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 68යි සත 61ක  ලාභයක් තිබෙනවා තෙල් සංස්ථාවට. සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 20යි සත 27ක ලාභයක් තිබෙනවා. ඔටෝ ඩීසල්වලින් රුපියල් 08යි සත 52ක අලාභයක් තිබෙනවා. නමුත් ඒක දෙන්නේ රටේ පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ අනුව දැන් ලාභ නෑ කියලා කියන්නත් බෑ. මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා 06වැනි වතාව මේ මිල වැඩි කරපු. මේ මිල වැඩි කරන්නේ සංස්ථාව ලාභ ලබමින් තිබියදී, ඇයි දැන් මේ හදිස්සියේ තෙල් මිල වැඩි කළේ හේතුව තමයි රජයට තවදුරටත් තෙල් ගෙන්වා ගන්න බෑ. ඒ නිසා අපි දන්න තොරතුරුවලට අනුව අයි.ඕ.සී. එකෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා සංස්ථාවට ගේන විදියක් නැති නිසා ඔවුන්ට තෙල් ගේන්න කියලා. ඒ ඉල්ලීම කළාට පස්සේ අයි.ඕ.සී. සමාගමේ ඉන්දීය නිලධාරීන් රජයට කියලා තිබෙනවා තෙල් මිල වැඩි කරනවා නම් විතරයි තෙල් ගේන්නේ කියලා. අයි.ඕ.සී. සමාගමේ ලාභය වැඩි කිරීමට මේක කළේ. ඒ අනුව ලංකාවේ තෙල් තියෙනවාද, නැද්ද කියන එක සහ තෙල්වල මිල තීරණය කරන ඒකාධිකාරී බලයක් අයි.ඕ.සී. එක අත්පත් කරගෙන ඉන්නවා” යනුවෙන් සඳහන් කළේය.


(දිනේෂ්  සමරකෝන්)

Friday, June 24, 2022

වරාය කෝටි 117ක් ඕ.ටී ගෙවලා


හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදුදීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකීරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන මහ භාණ්ඩාගාරය රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත. හම්බන්තොට වරාය බදුදීමෙන් ලබාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් කෝටි 120කි. මේ අතර හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන ඇති ඩොලර් කෝටි 130 ක පමණ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේ වනවිට නොපෙන්වන බව කෝප් කමිටුව පවසයි. මේ අතර වරාය අධිකාරියේ සේවකයන් සඳහා 2021 වර්ෂයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 585 ක් ගෙවා ඇතැයිද කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත. මින් රුපියල් කෝටි 117ක් ගෙවා ඇත්තේ සේවක අතිරික්ත පවතින අංශවල සේවකයන් සඳහා බවද පැවසේ.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019, 2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරික්ෂා කිරිම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) රැස් වූ අවස්ථාවේදීය. සේවකයන් සඳහා අතිකාල දීමනා ගෙවීමට සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝප් කමිටුවේ සභාපතිවරයා  වරාය අධිකාරියට නිර්දේශ කර ඇත. හම්බන්තොට වරාය 2017 වසරේදී බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය මහාභාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකර  භාණ්ඩාගාරය ඒ මුදල රජයේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිදරව් වී තිබේ. 

මහා භාණ්ඩාගාරය මේ වනවිට ණය හා පොලිය ආපසු ගෙවීම සිදු කළද ගිණුම් ප්‍රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් ලෙස සටහන් නොවන බවද කමිටුව පවසයි. වරාය අධිකාරියේ ගිණුම්වල 2017 නොවැම්බර් 30 වනවිට ඉතිරිව පැවති රුපියල් කෝටි දාහතර දහස් හත් සිය හතළිස් හයක ණය හා පොළී ශේෂය සහ රුපියල් කෝටි 4154 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමැතියකින් තොරව මූල්‍ය  ප්‍රකාශනවලින් ඉවත් කරනු ලැබ ඇති බවද අනාවරණය වී ඇත.  මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේ වනවිට නොපෙන්වන බවද එම කමිටුවේ දී හෙළි වී තිබේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, වරාය අධිකාරිය සමග සාකච්ඡා කර එම මුදල් නිසි පරිදි ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත වාර්තා කරන ලෙස චරිත හේරත් මහතා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය. 

මෙහෙයුම් කටයුතු 2017 නොවැම්බර් සිට නතර කර ඇති අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමනාකරණ සේවා පුද්ගලික සමාගම 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සඳහා මෙරට බැංකුවකින් ඇ.ඩො. දෙකෝටි හතළිස් ලක්ෂයක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් කෝප් කමිටු රැස්වීමේදී තොරතුරු හෙළිවී ඇත. ඇමරිකානු ඩොලර් දෙකෝටි හතළිස් ලක්ෂයක නැව් තෙල්  මිලදී ගත්තද එම තෙල් භාවිත නොකර දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන ලක්ෂ 35 කර ඇති බවද හෙළිදරව් වී ඇත. මේ අනුව ඇ.ඩො දෙකෝටි පන්ලක්ෂයකට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවටද නිරික්ෂණය වී තිබේ. චීන සමාගමකට හම්බන්තොට වරාය 2017 දී බදු දීමේදී මාගම්පුර වරාය කළමනාකරණ සේ පුද්ගලික සමාගමේ  තෙල් ටැංකි සියල්ලද පවරා දී ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබඳව අනාවරණය කර නොමැති බවත් එහිදී අනාවරණය විය. එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සහ උපදේශකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වහාම මැදිහත් වන ලෙස කමිටුව මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය. 

වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බඳවා ගැනීම් සිදුව ඇති බවද මෙහිදී තොරතුරු හෙළිවිය.වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත් කර ඇති සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය (SOR) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත වී නොමැති බවද අනාවරණය විය. ආයතනය සහ සේවකයන් අතර සාමූහික ගිවිසුම් මගින් බඳවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල තීරණය කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු එහිදී පැවසූහ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප් කොමිසමේ නිර්දේශවලට වරාය අධිකාරිය එකගත්වය පළ කර නොමැති බවද ඒ අනුව තනතුරු පමණක් අනුමත කර ඇති බවද එහිදී හෙළිවිය. අධිකාරියේ අදාළ වැටුප් තල අනුමත නොවන නිසා බඳවා ගැනීමේ පටිපාටියද (SOR) අනුමත කරගත නොහැකි වී ඇති බවද අනාවරණය විය. සාමූහික ගිවිසුම් මගින් වැටුප් තල හා බඳවා ගැනීමේ පටිපාටිය තීරණය කළද වරාය අධිකාරිය මේ රටේ ආයතනයක් බැවින් අනෙකුත් ආයතනවලට අදාළ නෛතික රාමුව තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාව එහිදී කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. 

යම් විශේෂිත හේතු කාරණා ඇත්නම් ඒ පිළිබඳ සාකච්ඡා කර නෛතික රාමුව ඔස්සේ මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන සමග කඩිනමින් සාකච්ඡා කර නිසි තීරණයක් වහාම ගන්නා  ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය. වැඩ සහායකයන් ලෙස සුදුසුකම් රහිත 1500 කට ආසන්න පිරිසක් බඳවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව රහිත පුද්ගලයන් සඳහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. මසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවද මෙහිදී හෙළි විය. මෙම තත්වය පිළිබඳ සිය දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා නිසි සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් බඳවා ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. එසේම දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් බඳවා ගැනීම් සඳහා ඉඩ සැලසීම පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලඥනන්ගේ වගකීමක් බව කෝප්කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු අවධාරණය කළහ.

මුදල් පනත සහ ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත අනුව ඒකාබද්ධ අරමුදල වෙත ලාභාංශ හා අතිරික්ත මුදල් ලබා නොදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. 2016 සිට 2021 දක්වා කාලය තුළ අධිකාරිය රුපියල් කෝටි 6,968 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. කෝටි 60 ක් බවද එහිදී අනාවරණය විය. ඇතැම් ණය වාරික ගෙවීම, නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක්ද වැය වන බව වරාය අධිකාරියේ සභාපතිවරයා එහිදී පැවසීය. ලාභ ලබන ආයතනයක් ලෙස වරාය අධිකාරියේ කාර්යභාරය අගය කරන බවත් වරාය පනත අනුවද සියයට 8 ක ලාභයක් භාණ්ඩාගාරයට දිය යුතු බැවින් ඒ සඳහා කටයුතු කරන ලෙස දැනුම් දෙන බවත් කෝප් සභාපතිවරයා එහිදී පැවසුවේය. වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා දොඹකර මිලදී ගැනීමට වැඩ ආරම්භ කිරීමේ ප්‍රමාදය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී වරාය අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මිලදී ගැනීම් කටයුතු 2024 වන විට නිම කරන්නට සැලසුම් කර ඇති බවයි.

එම කටයුතු කඩිනමින් සිදු කර එම පර්යන්තය වාණිජ  කටයුතුවලට යොදා ගනිමින්  මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කළේය. අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. 2022 වර්ෂයට අදාළ විගණන සැලැස්මද එවන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය. මෙම කෝප් කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ඉන්දික අනුරුද්ධ, මධුර විතානගේ හා ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.


 අංජුල මහිම වීරරත්න