Friday, January 29, 2021

ලෙඩ ඇඳේ ඉඳන් මාධ්‍යෙව්දියකුගෙන්

 





ජෙෂ්ඨ මාධ්‍යවේදියකු වු හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ ද  බන්දුල ජයසේකර මයලෝඩිප්ලාස්ටික් සහලක්ෂණ පෙන්වන රෝගයකට  ගොදුරුවී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එය රුධිර පිළිකා විශේෂයකි. කොවිඩ් සහ වෙනත් අභියෝග හේතුවෙන් ඔහු සිංගප්පුරුවේ, ජාතික විශ්වවිද්‍යාලයේ පිළිකා ආයතනයට ඇතුළත්වීම මාස 10කින් ප්‍රමාද විය. ලියුකේෂියා තත්වයට ව්‍යාප්ත වන පිළිකා උදෙසා, ඇටමිදුලු බද්ධ කිරීම (පරාරෝපණය) සම්බන්ධයෙන් වඩාත් බලාපොරොත්තු තැබිය හැකි රෝහල වන්නේ එම ආයතනයයි. වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව ඔහු මේ වනවිට සහන සත්කාර ඒකකය වෙත යොමුවී සිටියි. ශ්‍රී ලංකාවේ අසාධ්‍ය පිළිකා රෝගීන් රැකබලා ගැනීමට බොහෝ දේ                                                                                      කළ යුතුව ඇතැයි ඔහු විශ්වාස කරයි. 


“ඩේලි මිරර් ලයිෆ්' සමග පැවැත්වූ කෙටි පිළිසඳරක දී ජයසේකර මහතා පිළිකා රෝගය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව තමා ලැබූ අත්දැකීම් විස්තර කළේ මෙසේය. සිංගප්පූරුවේත්, ශ්‍රී ලංකාවේත් වෛද්‍ය සත්කාර සේවා සම්බන්ධයෙන් තම අදහස් පළ කළ ඔහු බුදු දහමින් උගත හැකි පාඩම් පිළිබඳවත් අනාගත පරපුරට දියහැකි පණිවිඩය පිළිබඳවත් කියා සිටීයේය. එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ . 


ප්‍රශ්නය- පිළිකාව වැළඳී ඇති බවට මුලින්ම සොයාගත් අවස්ථාවේ ඔබේ සිතට ආ සිතුවිලි මොනවාද?

ඇට මිදුළු පරික්ෂාව සිදුකළ අවස්ථාවේ වෛද්‍යවරුන් කතා කළ දේ මට දැනුණා. මේ රුධිර පිළිකාවක්. මට හරියට දුක හිතුනා. මට උදව් කරන අයත් එක්ක මෙතන ඉඳගෙන මම ඇඬුවා. ඒකට මුහුණ දෙන්න වන බව මම දැනගත්තා. අපි රුධිර පිළිකා විශේෂඥ  වෛද්‍යවරයා හමුවුණා. පැය දෙකක් විතර මාව පරික්ෂා කළ ඔහු කිව්වා ඇට මිදුළු බද්ධ (පරාරෝපණය) (transplant) කරනවා ඇරෙන්න සුවපත් කරන්න වෙන ක්‍රමයක් නෑ කියලා. එතුමා කිව්වා. ඒක කරන්න ඕන ඉන්දියාවේ හරි සිංගප්පූරුවේ හරි කියලා. රෝග බෝවෙන්න ඉඩ තියෙන නිසා මම සිංගප්පූරුව තෝර ගත්තා. 2019 දී මම සිංගප්පූරුවට ගියා. බර වියදමක් නිසා මම ආපසු ඇවිත් මුදල් එකතු කරන්න පටන් ගත්තා. අපි දෙසැම්බර් මාසෙ යන්න ලෑස්ති වෙලා හිටිය. ඒත් මගේ අවාසනාවට මට ශරිර පටක දෙන්න ලැස්ති වෙලා හිටපු කෙනාට අවුරුදු 25කට කලින් මොළේ ඉදිමීමක් තිබුණා කියලා දැනගත්තා. ඊට පස්සේ කොවිඩ් ආවා. ඉස්සෙල්ලම සිංගප්පූරුව වැහුවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව වසා දැමුවා. මගේ ගමන මාස 10ක් පහුවුණා. 


ඊට පස්සේ එයාලට මාව නැවත පරික්ෂා කරන්න ඕනෑ වුණා. පිළිකාවක් සම්බන්ධ සෑම දිනයක්ම ගණන් ගැනෙනවා. එනිසා ඇට මිදුළු පරික්ෂාවක් එයාල නැවත සිදුකළා. එයාලා කිව්වා ලියුකේමියා තත්වය දක්වා වර්ධනය වෙලා කියලා. ඒ හින්දා කිසි දෙයක් කරන්න බෑ කිව්වා. සහන සත්කාර උදෙසා යන්න කියලා මට උපදෙස් ලැබුණා. 


ප්‍රශ්නය- ඔබ වැනි රෝගියකුට කොවිඩ් වසංගතය කෙතරම් දුරට අභියෝගයක් වුණා ද? 

ඉහත කී මාස 10යේ ප්‍රමාදය තමා ලොකුම අභියෝගය. මම කොවිඩ්  රෝගයෙත් ගොදුරක්. මොකද එය පැතිරුණු නිසා මගේ ට්‍රාන්ස්ප්ලානට් එකට (ඇට මිදුළු බද්ධයට) අදාළ කිසි දෙයක් ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන්කම තිබුණෙ නෑ. ඒ නිසා මයලෝඩිප්ලාස්ටික් සින්ඩ්‍රම් එක ලියුකේමියාවට පෙරළුණා. එහෙම නොවුනා නම් මට ඇට මිදුළු බද්ධය කර ගන්න තිබුණා. ඉතින් මම රෝගයත් එක්ක ඉන්න තීරණය කළා.  වෛද්‍යවරයා හරිම හොඳ කෙනෙක්. මම ඉන්න තත්ත්වය මට පැහැදිලි කළා. මම මාස 18ක් වද වින්දා.   ඒක ලේසි නෑ. මට දැන් ඇති, මොකද මම ජීවිතේට කෑදර නෑ. මම අවුරුදු 60ක් ජීවත් වුණානෙ.


ප්‍රශ්නයඃ- සිංගප්පූරුව සත්කාර සේවාව  ගැන අපට කියන්න. ඒ අයගෙන් අපට උගත හැකි පාඩම් මොනවද?


මෙහෙ වෛද්‍යවරයා උත්සාහ කළේ ඖෂධ ප්‍රතිකාරවලින් සුව කරන්නයි. ඒත් මම සිංගප්පූරුවට ගිය අවස්ථාවේ එයාල බෙහෙත් ප්‍රතිජීවක ඖෂධ ආදිය අඩු කළා. මට කැමති දෙයක් කන්න දුන්නා. ඔක්තෝබර් 28ට කලින් මට හරිහැටි කතා කරගන්න බැරිව හිටියේ. එහෙත් මම සිංගප්පූරුවේ NUS රෝහලට (ජාතික වි.වි. පිළිකා ආයතනයට) ගිය වෙලේ පටන් මම  වෙනස් වුණා. මෙම නොවැම්බර් 15 නැවත ආවට පස්සෙ දොස්තර ලිඛිතවම මට සහන සත්කාරවලට යොමුවිය යුතුයි කියල නියම කළා. ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන් විකල්ප ඖෂධ ප්‍රතිකාරවලට යොමු වුණත් ඖෂධවලින් හැමදේම සිදුවන්නේ නෑ. 


සිංගප්පූරුවේ තියන්නේ ලෝකයේ ඉහළම මට්ටමේ ප්‍රතිකාර මෙරට ඇටමිදුළු ප්‍රදානය කරන්නන්ගෙ ලේඛනයක් නැහැ. එහෙත් සිංගප්පූරුවේ ඒ අය ලියාපදිංචි කරනවා. එරට රෝගියාට බොහෝ සෙයින් මිත්‍රශීලිව සලකනවා. වඩාත් දියුණු මට්ටමේ සත්කාර තිබෙනවා.  මා දකින විදියට (KDU) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල වඩා දියුණුයි. කරාපිටිය රෝහලේ සහන සත්කාර මධ්‍යස්ථානය විශ්මිත තැනක්. කරාපිටියේ එම මධ්‍යස්ථානය නවීකරණය වූ පුංචි හෝටලයක් වාගේ. එහි කටයුතු මෙහෙයවමින් නායකත්වය දෙන්නේ පිළිකා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා. මම එහෙ ගිහින් දවස් පහක් හරිම සතුටින් හිටියා. දොස්තරවරුන් හෙද කාර්ය මණ්ඩලය උපස්ථාන  සේවකයින් පුදුමාකාර තරම් හොඳයි. මිනිස්සු දන්නේ නෑ මෙරට ඒ  වගේ තැනක් තියෙනවද කියලා. මම කේ.ඩී.යූ. හා කරාපිටිය අතර නිතර  මාරුවෙන්න හිතාගෙන ඉන්නේ.  රජය මීට වැඩි යමක් කළ යුතුයි.


සැමදේම මහරගම (පිළිකා රෝහල)  වෙතම යොමු කරන්න අවශ්‍ය නැහැ. මම එහෙ ගිය වෙලාවේ මට ෆොටෝ කොපියක් අරන් එන්න කිව්වා. ඒක ගන්න මට රෝහලෙන් පිටතට යන සිදුවුණා. ෆාමසියට ගිහින් බෙහෙත් තියෙනවද බලල එන්න කියලා පවා මහරගම දී මට කිව්වා. ඒ ඇට මිදුළු පරික්ෂාව  කළායින් පස්සේ. ලියාපදිංචි කිරිමේ පිළිවෙත මට දුලභ අත්දැකීමක් වුණා. මොකද එතැන බල්ලෝ පුසො පවා හිටියා. විෂබීජවලින් මාව බේරගෙන මාව ආවරණය කරගෙන යන්න මාගේ සහයකයන්ට සිදුවුණා. 


ප්‍රශ්නයඃ- සාර්ථකව මුහුණ දීම සඳහා ඔබට බුදුදහම උපකාර වුණේ කොහොමද? 


මම බෞද්ධ පිළිවෙත් අනුගමනය කළේ නෑ. එහෙත් අප තුළ බුදු දහම රැදී තිබුණා. අපි චාම් ජීවිත ගත කළේ අපි සරල ගතිපැවතුම් සහිත පසුබිමක වැඩුණු අය. පිළිකාව මට වැළඳුණු අවස්ථාවේ පටන් එම පසුබිම බොහෝ උපකාරි වුණා. කිහිප දෙනෙක් මට මගපෙන්වීම් කළා.  මුලින්ම මම බොහෝ පිරිත්, බණ ආදීයට සවන් දුන්නා. ඒක හරිම  අමුත්තක්. බුදු දහමෙ කියන්නෙ යථාර්ථයට මුහුණ දෙන හැටි. එහෙත් සමහර බෞද්ධයො පන්සල් යන්නේ වැඩි වැඩියෙන් දේවල් ඉල්ලගන්න. මම නිතර කියන දෙයක් තමා සැබෑ බෞද්ධයන් ඉන්නේ බටහිර රටවල කියන කාරණාව. මට ඕනා මිනිසුන්ට උදව් කරගෙන සාමාන්‍ය විදිහට ඉන්නයි. සාමාන්‍ය ජීවිතේට මුහුණ දෙන්න ඕනෑ. අපි මේ යථාර්ථය පිළිගන්න ඕනෑ.


ප්‍රශ්නයඃ- එක වෙලාවට ඔබ මොන වගේ වැඩවලද නිරත වෙන්නෙ? 

මම පොත්වල රූප පාට කරමින් කාලය ගෙවනවා. ඒ හැරුණු කොට මම දන්නේ නෑ මම මොනවා කර කර ඉන්නවද කියලා. මගේ තව යාළුවෙක් මට (Netflix) නෙට්ෆ්ලිකස් නිර්මාණ තෝරා දුන්නා. මම ඒවායෙත් නිරත වෙනවා. පාට කිරිම භාවනාවක් වාගේ. මට තේරෙන්නෙ නෑ මට මේවා එවූ වෛද්‍යවරයාට කොහොම ස්තූති කරන්නද කියලා. 


ප්‍රශ්නය- පැමිණි දේට මුහුණදීම ගැන ඔබ බොහෝ  කතා කළා.

 

එන දේට මුහුණ දෙන්න වැඩිපුරම මට කියා දුන්නේ පිළිකාවයි. ඒ හැරුණු කොට වෙනත් තෝරා ගැනීමක් මා ඉදිරියේ තිබේද? එහෙත් සිංගප්පූරුවට ගිය වෙලේ අපට පොඩි බලාපොරොත්තුවක් තිබුණා. අපි එහෙ මාස තුනක් ඉන්න සැලසුම් කරගත් නිසා සුවවී ආපසු පැමිණම  බලාපොරොත්තුවෙන්. ඒත් අපි හිටියෙ දවස් 20ක් විතරයි. මට ඕනෑ එදිනෙදා ජීවත් වෙන්නයි. මම මුදල් එකතුව කරනකොට බොහෝ දෙනෙක් මට උදව් කළා. ඒත් එයින් බොහෝ දෙනෙක් මට කලින් යන්නම ගියා.  



ප්‍රශ්නය- අරමුදල්  ගොඩනැගීම කෙතරම්  දුරට අභියෝගයක්  වුණාද? 


මගේ රූපවාහිනී වැඩසටහන් හා මාධ්‍ය සහයෝගීතාවට ස්තුතිවන්න වෙන්නට, මට බොහෝ උපකාර ලැබුණා. ඒත් මට උදව් කළ අය සහ දුප්පත් ජනයා ගැන මම සිතමින් ඉන්නෙ. මට රුපියල් මිලියන 15ක් මදිවුණා. ඒත් මගේ සහෝදරයා කිව්වා කොහොම හරි ඒක හොයාගනිමු කියලා. ඒක ලේසි නෑ. ඒත් එක අතකින් මම වාසනාවන්තයි.


ප්‍රශ්නය:- ඒත් හැම රෝගියකුටම මෙහෙම මුදල් එකතු කරගන්න අවස්ථාව පැදෙන්නේ නැ. පිළිකා රෝගීන් ගැන වඩාත් හොඳින් බලා ගන්නට එයට මැදිහත් වීය හැක්කේ කෙසේද? 


බෙහෙත් වර්ග අධික මිලයි. රජයට ඒ ගැන සහාය දිය හැකියි. මහරගම රෝහලේ බෙහෙත් නැහැ. ඒත් පිටත තිබෙනවා. එසේ විය යුතු නැහැ. රජය පූර්ණ ලෙස මැදිහත් වෙලා එය වෙනස් කළ යුතුයි. බොහෝ මිනිසුන් මිය යනවා.  තමන්ට පිළිකා තිබෙන බව  බොහෝ අය දන්නෙත් නැහැ. මට මුදල් ප්‍රදානය කළ අය නොසිටින්නට මට  සිංගප්පූරුවට යන්න  ලැබෙන්නෙ නෑ. පෞද්ගලික  රෝහල්වලත් මුදල් අය කිරිම් වැඩියි. ඒ සම්බන්ධයෙන් දැඩි  පාලනයක් හා මාර්ගෝපදේශ   තිබිය යුතුයි. මොවුන්ට මහරගම මුළුමනින්ම වෙනස් කොට අලුතෙන් පටන් ගන්නට පුළුවන්. මිනිසුන්ට අධ්‍යාපනයක් දිය යුතුයි. මම ඉන්නේ අසාමාන්‍ය රෝගී තත්ත්වයක වුණත් මාත් උදව් කරන්න තීරණය කළා. මිනිසුන් වඩා විවෘත විය යුතුයි. මෙය සාමාන්‍ය රෝගයක් බව වටහාගත යුතුයි. දැනුවත් භාවය වැඩි කිරිමෙන් දුප්පත් අයට දෙන සහයෝගය රජයට වඩාත් කළ හැකි බව මා සිතනවා.



ප්‍රශ්නය:- දලයි ලාමා වැනි විශේෂ පුද්ගලයන් ඔබ මුණගැසුණා. එම අත්දැකීම නැවත ඔබ සිහිපත් කරගන්න කැමතිද? 


තමන් නිර්වාණය ලැබූ කෙනෙක් නෙවෙයි සාමාන්‍ය පුද්ගලයෙක් බව ඔහු කීවා මට මතකයි. එයින් මා බොහෝ   දේ ඉගෙන ගත්තා. ඔහු මහත් සතුටක් හිතේ රඳවාගෙන ඉන්නේ. හාස්‍ය දනවන දේ ගැන හොඳ සංවේදී බවක් ඔහු තුළ තිබෙනවා. මට ඒක අමතක වෙන්නෙම නෑ. ටිබෙට් දේශයට ගොස් කාශ්මීරයේ දෙපසටම යන්න තරමට වාසනාවක් මට තිබුණා. මම බොහෝ දුර බැහැර ගමන් ගිහින් තිබෙනවා. ආපසු හැරි බැලූ විට මට මගේ ජීවිතය ගැන සතුටු වෙන්නට පුළුවන්. මට උදවු වූ අවස්ථා ගැන මම සතුටු වෙනවා. පසුතැවිලි වෙන්නට දෙයක් මට නෑ. සහන සත්කාර වෛද්‍යවරුන් මගෙන් විමසුවා මගේ ප්‍රමුඛතම ආසා ගැන. 


මම කිව්වා මට 60 වැනි උපන් දිනය දක්වා ඉන්න ආසයි. මගේ වැඩසටහන් ආයෙත් කරන්න ආසයි කියා. කරාපිටිය සහන සත්කාර මධ්‍යස්ථානයට යන්නත් කුරුණෑගල යන්නත් මාගේ ආසාවක් තිබෙනවා කියා මම කිව්වා. දවස් කිහිපයකට පස්සේ ඈ එම ප්‍රශ්න මගෙන් විමසන විට මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒ සියල්ල අල්ලා දමා මම සැහැල්ලුවෙන් හිත හදාගත්තා. වෛද්‍ය චිත්‍රා වීරක්කොඩි හොඳින් පුහුණු වූ  සහන සත්කාර සේවා වෛද්‍යවරියක්. ඈ වගේ අය මා වටා  සිටීම මා ලැබූ වාසනාවක්. 


ප්‍රශ්නය- තරුණයන්ටත් අනාගත පුරටත් ඔබ දෙන පණිවිඩය?


දිනපතා, එදිනෙදා ජීවිතය ගැන සිතා පූර්ණ  සන්තුෂ්ඨියෙන් ජීවිතය ගෙවන්න. තරගකාරි බවට හෝ සිත් රිදවා ගැනීම්වලට එළඹෙන්න එපා. එයින් සිදුවෙන්නේ ඔබේ ලේ උණුවීම පමණයි. සමාජ මාධ්‍යවලින් ඉවත්වී යථාර්ථයේ  ජීවත් වෙන්න. සැබෑවේ සිටියහොත් එය ඔබට උපකාර වේවි. අනෙක් මිනිසුන්ට නිහඩව උපකාර කරන ජනයා අගය කරන්න. ඒ සියල්ලටත් වඩා මිනිසත් බව නැවත මෙලොවට ගෙන එන්න.


පානදුර ඝාතනය මෙහෙයවූයේ වැලිකඩ හිරගෙදර 'සුද්දා'

පානදුර පල්ලිමුල්ල හන්දියේදී ඉකුත් දා ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි ධීවරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වැලිකඩ බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'සුද්දා' නමැත්තා විසින් මෙහෙයවනු ලැබ ඇති බවට හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.

සැකකරුවන් දෙදෙනා එම ඝාතනය සඳහා භාවිතා කළ ටී 56 ගිනිඅවිය, පතරොම් 17ක් සහ මැගසිනයක් පානදුර එළුවිල වඳුරාමුල පොදු සුසානභූමියේ දිරාගිය ලී කොටයක් තුළ සඟවා තිබියදී පොලිසිය විසින් ඊයේ (28) පස්වරුවේ සොයාගනු ලැබීය. එම ගිනිඅවිය සහ පතරොම් සොයා ගන්නාවිට ග්‍රීස් තවරා කළු ඉටි උරයක බහා සඟවා තිබූ බවද පොලිසිය කියයි. 

බන්ධනාගාරයේ සිටින සුද්දා නමැති සැකකරු දුන් කොන්ත්‍රාත්තුවක් මත, පානදුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදුකරන ලද බවට තොරතුරු හෙළිවී ඇතැයි කීවේය.

සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඉදිරි පැය කිහිපය තළ නීතිඥවරයකු මාර්ගයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට බාරවීමට නියමිත බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය බොල්ගොඩ ඌරාකඩුව ප්‍රදේශයන් ගඟට දමා ඇති බවට තොරතුරු හෙලිවී ඇති අතර එම යතුරු පැදිය සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් හා කිමිදුම් කණ්ඩායම් ඊයේ පස්වරුවේ සිට මෙහෙයුම්වල නිරත වී සිටින බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඝාතන සිද්ධිය වන අවස්ථාවේ ධීවරයා සමග ත්‍රිරෝද රථයේ පිටුපස අසුන් ගමන් ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 'චතු' නමැත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් පසුව ඊයේ මුදාහැර තිබිණි.

වෙඩික්කරුවන් දෙදෙනාට ඝාතනයට පෙර ගල්කිස්ස නිවසක දින පහක් නවාතැන් දුන් සැකකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙලිවීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පත්කර සිටි විශේෂ පොලිස් කණ්ඩායම් පහක් ඊයේ පස්වරුවේ පරික්ෂණවලින් මුදාහැර ඇත. තලංගම, බම්බලපිටිය, වෙරළබඩ, පමුණුගම යන පොලිස් ස්ථානාධිපතිවරුන් හා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ පරික්ෂණ කණ්ඩායම් පත්කර තිබිණි. 

සිද්ධිය වූ දින මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලාන ගැමුණු මාවතේ පදිංචි තිස්තුන් හැවිරිදි ලක්ෂාන් සඳකැළුම් නමැති දෙදරු පියෙකි. 

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, ගල්කිස්ස කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න, පොලිස් අධිකාරි උදය සමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ .

- ඉන්දිකා රාමනායක - 

සෞදියට සහ එමීරයට ආයුධ අලෙවි කිරීම ගැන ඉයිඩන් විමර්ශන අරඹයි


ඇමරිකා එක්සත් ජනපදය විසින්  සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීරයට යුද ආයුධ අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව  එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩන්ගේ පරීපාලනය පවසයි. එහි නව රාජ්‍ය ලේකම්වරයා ලෙස තේරීපත් වූ ඇන්තනි බිලින්කන් සිය ප්‍රථම මාධ්‍ය හමුව නෙත සම්බන්ධ වෙමින් මේ බව සඳහන් කර තිබේ.


 "මෙම යුද ආයුධ අලෙවි කිරීම අපගේ උපයමාර්ගික කරුණු වෙත මෙන්ම, විදේශ ප්‍රතිපත්තිය වෙතත් ගැලපෙනවාද කියන දේ මෙහිදී විමසා බැලෙනවා." නව රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත. 


මේ සම්බන්ධයෙන් වර්තාවක් ගෙන එන එක්සත්   ජනපදයේ වෝල් ස්ට්‍රිට් ජර්නල් පුවත්පත, බයිඩන්ගේ පරිපාලනය විසින් දැනටමත් සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීරය වෙත ලබාදීමට නියමිතව තිබු ඩොලර් බිලියන ගණනක් වටිනා යුද ආයුධ අලෙවිය නැවැත්වීමට පියවර ගෙන ඇත.   හිටපු ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් අනුමත කර තිබූ මෙම යුද අවි අලෙවිය යටතේ සෞදි අරාබිය වෙත  ස්ථානය නම් කර එල්ල කළ හැකි මිසයිල සහ එක්සත් අරාබි එමීරය වෙත F -35 මාදිලියේ ප්‍රහාරක ගිනි අවි ලබාදීමත් සිදුවිය.   විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය තුළ ඉරානයට එරෙහි පීඩනය වැඩි කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය මගින් මෙලෙස සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරය වෙත යුද අවි ලබාදීම සිදු කෙරුණු බව විචාරකයෝ පවසති.





තඹුත්තේගම ආර්ථිකයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා



තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන එළවළු, පලතුරු කිලෝ 6000-7000 අතර සංඛ්‍යාවක් දිනපතා ඉවත දැමීමට සිදුවන බව තඹුත්තේගම මහවැලි නේවාසික කළමනාකාර සුගත් වීරසිංහ මහතා පවසයි.  මහවැලි එච් කලාපයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඒ මහතාගේ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙසේ ඉවතලන කෘෂි නිෂ්පාදන  ඇත්තේ කෙසෙල් කැන් බවත් වන අලින්ට කෑම සදහා   ඉවතලන මෙම අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානයට  ගෙනඑන තොගවලින් 10%කට වඩා අධික බවද නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා සදහන් කළේය.   ගොවීන් ඉවක් බවක් නොමැතිව වෙළදුන්ට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා කරනු ලබන වගාවන්  හේතුවෙන් ඇතිවන අධික සැපයුම නිසා මිලට නොගැනීම නිසා මෙම ඉවතලවීම සිදුවන බවත්, මෙම තත්වයට විසදුම් ලෙස එළවළු සහ පලතුරු විජලනය කිරීම සහ ශීතාගාර තුළ ගබඩාකිරීම යන ක්‍රමවේද සකස්කිරීමට මහවැලි අධිකාරිය කටයුතු කරගෙන යන බවද ඒ මහතා පැවැසීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නේවාසික කළමනාකාරවරයා,


"පසු අස්වනු තාක්ෂණය ගැන අපගේ ගොවීන්ටත් ව්‍යාපාරිකයන්ටත් අවබෝධයක් නෑ. මේ තත්වය කොතරම් හානිදායකද කීවහොත් කෙසෙල් අස්වැන්ත ආර්ථික  මධ්‍යස්ථානයට භාර ගන්නත් බැරී තරම් මට්ටමක පවතින නිසා ඒවා ආපසු රැගෙන ගොස් අලින්ට කන්න දාන්න වෙනවා. ඒ කියන්නේ කැලේට විසි කරනවා.   මේ සදහා විසදුමක් ලෙස කුල් රූම් සහ විජලනය කිරිමේ ක්‍රම හඳුන්වා දෙනවා. ගොවීන්ගේ මෙම අත්ත විදේශ වෙළද පොළට අපනයනය කළ  හැකිවන ආකාරයට ලබන මාසයේ සිට විජලන කාර්ය සූදානම් කරනවා. කුල් රූම් ක්‍රමය සඳහා ගොවි සංවිධානවලට භාරදෙන්න අපි සූදානම්. ඒ සදහා අපේ සැලසුම සූර්ය බල විදුලිය ලබාදීම  එමෙන්ම වෙළද පොළට උසස් ප්‍රමිතියෙන්, අහක දැමීමෙන් තොරව වසරේ ඕනෑම කාලයක එළවළු සැපයිය හැකි ආකාරයට වගා කිරීම සඳහා අලුතින් පොලි ටනල් පාලිත ගෘහ වගා ක්‍රමය ගොවීන් දෙතුන්සීය දෙනෙකුට හඳුන්වා දෙනවා. ඒකට ස්මාර්ට් ඇග්‍රිකල්චර්  ෆාමීන් කියා කියනවා. මේ වගාවට කෘමීන් එන්නේ නෑ. රසායන ද්‍රව්‍ය යොදන්න අවශ්‍යත් නෑ. කාබනික පොහොර, දියර පොහොර ආදියයි යොදන්නේ. ඵලදාව වැඩියි. ඉහළ ඉල්ලුමක් හා වැඩි ලාභයක් ගොවීන්ට ලැබෙනවා.” යැයි පවසා සිටියේය.


-මනුල වික්‍රම-

එන්නතේ විශ්වාසවන්තභාවයක් ඇති කරන්න පුළුවන් - නමුත් දැන්මම මුව වැස්මවල් ඉවත් කරන්න බැහැ

 


කෝවිඩ් එන්නන ඊයේ (28දා)) අපේ රටට ගෙන්වනු ලැබිණ. ඒ අනුව  එන්නත්කරණ ක්‍රියාවලිය අද (29දා) සිට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. මේ ඒ පිළිබදව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් ඇසුරෙනි.    අපි රජයක් ලෙස ජනතාවට ආරක්ෂිත සාර්ථක එන්නතක් ලබාදෙන්න කටයුතු කර තිබෙනවා.


ප්‍රථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා  කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,


රටම බලාගන ඉන්න කෝවිඩ් මර්දනයේදී ඉතාම  වැදගත්, සාර්ථක,  ඉතාම ශක්තිමත් ක්‍රමවේදයක් වන එන්නත්කරණය ගැන සුබවාදී පණිවුඩයක් ලබාදිය හැකියි. අපි සොඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඉතාමත් සෑදී පහැදී සිටිනවා මෙම එන්නත්කරණය රට තුළ ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා එන්නත අපිට ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සෘජු මැදිහත්වීම යටතේ ඉන්දියාවෙන් අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබෙනවා. ඒවගේම එන්නත්කරණය ආරම්භ කරන්න සියලුම සැලසුම් සකස් කර තිබනවා. පසුගිය සති අන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්මාණය යටතේ පෙරහුරුවක් ස්ථාන තුනක පවත්වලා අපට තිබෙන ශක්තීන් හා එන්නත්කරණයේදී ඇතිවිය හැකි ගැටලු හඳුනාගැනීමක් සිදුකර තිබෙනවා.


ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා කියන එන්නත කොවිඩි මර්දනයට ඉතාම සාර්ථක එක්කක්. කෝව්ඩ් මර්දනය සඳහා සාර්ථක ක්‍රමවේදයක් ලෙසයි මේ එන්නත්කරණය හදුනාගෙන තිබෙන්නේ. මේ එන්නත හරහා සෞඛයට තිබෙන Health burden එක අඩුකරන්න පුළුවන්. මේ එන්නත හරහා කෝවිඩ් වෛරසයට විරුද්ධව අවශ්‍ය කරන ප්‍රතිදේහ ශරීරය තුළ නිෂ්පාදනය වෙලා ඒ තුළින් ඉතාමත්ම උග්‍ර තත්වයේ ආසාදනයවීම් අවම කරන්න කටයුතු කරනවා කියලා අද වෙද්දී විද්‍යාත්මකව තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා රටේ ජනතාවට මේ වැදගත් පණිවුඩය ලබාදෙන්නට. එන්නත්කරණය ආරම්භ කිරීම සදහා ප්‍රමුඛතා කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. මේ ප්‍රමුඛතාව අනුව පළමුවන වටයේ මාත්‍රා ලක්ෂ හයක් මේ වෙනකොට අපි හඳුනාගෙන තිබෙනවා. 


කෝවිඩි මර්දනයේ ඉදිරිපෙළෙ කටයුතු කරන සොඛ්‍ය ක්ෂේත්‍රයේ  සියලුම අයටත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය කියන කණ්ඩායම් එකතු කරගත්තම ලක්ෂ තුනක පමණ පිරිසක් ඉක්මවා.  ඒ අනුව පළමු මාත්‍රාව ලබාදීලා සති තුනකින් දෙවන මාත්‍රාව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ අතරතුර අපිට කෝවැක්ස් පහසුකම ලබෙනවා. ඒ අනුව ජනගහනයෙන් 20%කට ප්‍රමාණවත් එන්නත්  ලැබෙන්නට නියමිතයි. මීට අමතර අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ප්‍රමුඛතාගත කර තිබෙන ලැයිස්තුව අනුව එන්නත ලබාදීම සඳහා මේ වන විට රජය සෑදී පැහැදී සිටිනවා කියන පණිවුඩය අපි ලබාදෙනවා. අපි මෙය ඉතාමත් සුබවාදී අවස්ථාවක් ලෙස සලකනවා. 2021 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ කෝවිඩි මර්දනය කිරීමේදී මේ එන්නත්කරණය ඉතාමත්ම වැදගත් කාර්යය භාරයක් කරනවයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කෝවිඩ් මර්දනයේදී මාධ්‍ය ලබාදුන් සහයෝගය ඒ ආකාරයෙන්ම එන්නත්කරණය  පිළිබද ජනතාව දැනුවත් කරන්න, එන්නත ලබාදීමේ වැදගත්කම ගැන ජනතාවට නිවැරදි  පණිවුඩය ලබාදෙන්න අවශ්‍ය සහාය අපිට  ලබාදෙන්න කියලා. රජය විසින් ගෙන්වන මේ  එන්නත් ඉතාම සාර්ථක මෙන්ම ගුණාත්මක බවින්  ඉහළ ඒවා බවට සහතික කර තිබෙනවා. අපි දන්නවා අපේ රටට එන්නතක් හෝ ඖෂධයක් ගෙන්වනවා නම් ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන්නට අවශයයි. 


මේ වනවිට ලෝක සොඛ්‍ය සංවිධානය ෆයිසර් බයෝටෙක් කියන එන්නතට හදිසි අනුමැතිය යටතේ අනුමැතිය   ලබා දී තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා හා  මොඩර්නා කියන එත්තත ඔවුන්ගේ අවසර  ලබාදීමේ අදියර තුන සමත්වෙලා අවසර ලබාදීමේ අවස්ථාවක ඉන්නේ. ඉතින් අපි රජයක්  ලෙස ජනතාවට ආරක්ෂිත සාර්ථක එන්නතක්  ලබාදීමට කටයුතු කර තිඛෙනවා.ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතට හදිසි අනුමැතිය ලබා දී තිබෙනවා. මේ එන්නත අපිට අපේ ජනතාවට ලබාදෙන එක පහසුයි. මොකද ශීත දාමය රකින්න අවශ්‍ය පහසුකම් අපේ රටේ දැනටමත් තිබෙනවා.  අපේ රටේ දරුවන් එන්නත්කරණ වැඩසටහන අවුරුදු ගණනාවක් ඉතාමත් සාර්ථකව කරගෙන   යනවා. මම හිතන්නේ ලෝකය අපේ රටේ මේ සාර්ථකත්වය ගැන හුගක් කතා කරනවා. ඒ නිසා අපිට ශීත දාමය රකින්න පහසුකම් තිබෙනවා. අපිට ෆයිසර් එන්නත ලැබුණොත් එය ගබඩා කරන්න, ප්‍රවාහනය කරන්න, ශීතදාමය රකින්න අවශ්‍ය මූලික හසුකම් අපි සකස්කර තිබෙනවා. ඒවගේම අඩුපාඩුකම් සම්පූර්ණ කරන්නත් අපේ සූදානමක් තිබෙනවා. 


මේ පළමු එන්නත් තොගය මෙරටට ලැබුණු පසු යළි අපේ රටට එන්නත් ලැබෙන්නේ කවදාද කියලා ජනතාවට නැගෙන පැනයට අදහසක් ලබාදෙමින් දැනටත් රජයේ ඖෂධ නීතිගත සමාගමට එන්නත් ආනයනයට වගකීම පවරා තිබෙන බව කියන්න කැමතියි. ඒ අනුව අපි හැකි ඉක්මනින් මේ එන්නත ජනතාවට ලබාදෙන්න අවශ්‍ය කටයුතු සිදුකරලයි තිබෙන්නේ. ඒවගේම රෝහල්, සායන මධ්‍යස්ථාන හරහා වගේම අලුතින් සායන මධයස්ථාන පිහිටුවලා හැකි ඉක්මනින් ජනතාවට මේ එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා. මේ වෙදදී මුළු ලෝකයම මේ එන්නත් ලබාගන්න කටයුතු කරමින් සිටිනවා. ඒනිසා අපි මේ එන්නත් ඉක්මනින් ඇණවුම් කර ලබාගන්න අවශ්‍ය කටයුතු සිදුකරනවා.   මේ එන්නත අපි රජයෙන් ලබාදෙන නිසා නොමිලේ තමයි ලබාදෙන්නේ. මුලින්ම එන්නත ලබාදෙන්නේ මුල්  පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලටයි.


ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා,


 මෙය ශ්‍රී ලංකාවට බොහෝම සුබ අවස්ථාවක්. රට එක්සෙසත් වන අවස්ථාවක් කියලා මෙම අවස්ථාව හඳුන්වන්න පුළුවන්. මොකද අපි දන්නවා සියලුදෙනාම අවුරුද්දක් විතර කාලයක් මේ  වෛරසයට නිසි පිළිතුරක් ලැබේද කියලා ලොකු මානසික අසහනයක් සහිතවයි හිටියේ.  ඔක්ස්ෆර් ඇස්ට්‍රසෙනිකා කියන එන්නත ලෝකයේම මේ වෙද්දී කෝවිඩ් 19 සදහා හදුන්වා දී ඇති එන්නත්  ලැයිස්තුවේ  එත්තත් අතර ඉදිරියෙන් පවතින්නක්. ඒනිසා අපේ විශේෂඥ වෛදවරු මේ එන්නත් පිළිබද සිදුකරන ලද විශාල අධ්‍යයනයකින් පසුව  තමයි මේ එන්නතට අනුමැතිය ලබා දී තිබෙන්නේ, ඒ නිසා සුබවාදි දෙයක් ලෙස මෙය අපි දකිනවා. අපි දැක්කා අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය පසුගිය දවස්වල කෝවිඩ් රෝගීන්ට සත්කාර කරන්නට මහත්  පරිශ්‍රයක් දරනවා. ඒ අය ආරක්ෂා කරගන්න එක අපිට හරි වැදගත්. ඒ  නිසා අපි මුලින්ම එන්නත ලබාදෙන්න මුල් පෙළ සොඛ්‍ය කාර්යමණ්ඩලවලට. ඒ ඔවුන්ව ආරක්ෂා කරගන්නයි. ඒ වගේම අනෙකුත් ජනතාවට ක්‍රම ක්‍රමයෙන් මේ එන්නත් ලබාදන්න අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. එන්නත්කරය කියන්නේ අපිට අලුත් දෙයක් නෙමෙයි. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ කුඩා ළමුන්ගේ එතත්වලින් විවිධ රෝග සදහා 99%කට වැඩි ප්‍රතිශතයක් ආරක්ෂාව සපයා තිබෙන රටක්. අපේ රටේ රෝහල් 1060ක් තියෙනවා. පෞද්ගලික රෝහල් 200තිබෙනවා. 


අපි  රජරෝහල්වල කාර්යමණ්ඩලවලට තමයි , මේ එන්නත් ලබාදෙන්නේ. අපේ සොඛ්‍ය නිලධාරි කාර්යාල 360ක් වගේ තිබෙනවා. ඒ සියල්ලට මේ එන්නත ලබාදෙන්න හැකියාව අපිට තිඛෙනවා.  අපිට ලබාදීමේ ගැටලුවක් නැහැ. අපිට සියලු  පාර්ශ්වවල සහාය  තිබෙනවා. එහෙම බැලුවාම ජනතාව වෙත මේ එන්නත ලබාදෙන්න අපිට   අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඒවගේම කියන්න ඕන එන්නත්කරණය කියන්නේ  කෝවිඩ් වලින්  ආරක්ෂා වෙන්න අපිට තිබෙන එක් ආයුධයක් පමණයි. මුවවැස්ම, අත් සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම ආදී සියලුම දේ එක්ක ආවොත් තමයි අපිට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න හැකියාව ලැබෙන්නේ. සියලුම රටවැසියාට එන්නත ලබාදෙන්න පුළුවන් නම් අපිට රටක් විදිහට කියන්න පුළුවන් අපි සුරක්ෂිතයි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් විදේශිකයන්ට අපේ රටට එන්න කියලා වගේම අපිටත් විදේශගත වෙන්න පුළුවන්. ඒවගේම මේ එන්නත හරහා  යම් විශ්වාසවන්තභාවයක් අපිට ඇති කරන්න පුළුවන්. නමුත් අපිට දැන්මම අපේ මුව වැස්මවල් ඉවත් කරන්න ැකියාවක් නැහැ. මොකද අපිට  මේ තිබෙන සියලු ආරක්ෂිත උපක්‍රම එකට ගැනීම තුළින් තමයි කෝවිඩි වසංගතය ජයගන්නට හැකිවන්නේ.


• නදීශානී පතිරණ


රුපියල් ලක්ෂ 60ක් වටිනා හෑස් ඔයිල් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා "හෑස් ඔයිල් " නැමති මත්ද්‍රව්‍ය විශේෂයක් සමග පුද්ගලයකු මහරගම ඇරැව්වල වෙල්යායක් අසලදී පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි . 31 හැවිරිදි සැකකරු පැලැන්වත්ත පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙවැනි නාමයකින් හඳුන්වන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එම සැකකරු සමග හෑස් ඔයිල් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් පහක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. 

පන්නිපිටිය පැලැන්වත්ත පුද්ගලයෙක් මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි සිටින පුද්ගලයෙකුට අමතා මෙම මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර ගත් බවත් ඒ සදහා ලක්ෂ 35ක මුදලක් ලබා දුන් බවත් රුපියල් ලක්ෂ 60ක පමණ මුදලට මේවා අලෙවි කිරීමට හැකි බවත් සකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය. රාත්‍රී සමාජ ශාලාවල මෙම මත්ද්‍රව්‍යවලට ඉහළම ඉල්ලුමක් පවතින බවත්, ඇමරිකාවේ සහ ඇෆ්ගනිස්ථානයේ මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවත් "ටෙට්ට්‍රා හයිඩ්‍රොකැනබිනොල්" නොහොත් හෑස් ඔයිල් නමැති මත්ද්‍රව්‍ය විදේශ රටවල හදුන්වන්නේ "ටි එච් සි "යන කෙටි නමින් බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත්මුදලි මහත්වරුන්ගේ උපදෙස් මත උපපොලිස් පරික්ෂක සාලිය ඒකනායක මහතා ඇතුළු නිලධාරි පරික්ෂණ පවත්වති.

- බිමල් ශ්‍යාමන් ජයසිංහ -

ඉරානය එක්සත් ජනපදයේ COVID-19 එන්නත් එපා කියයි


ඉරානය තුළ COVID-19 වසාගතය පාලනය සදහා කිසිඳු ලෙසකින්වත් එක්සත් ජනපදය මගින් නිපදවූ Pfizer එන්නත හෝ Moderna එන්නත භාවිත නොකරන බව ඉරානය පවසයි. එම එන්නත් සම්බන්ධයෙන් තමන් තුළ පවතින අවිශ්වාසය ඊට හේතුව බව මේ දිනවල රුසියාවට ගොස් සිටින ඉරානයේ විදේශ අමාත්‍යවරයා පසුගියදා පවසා තිබේ.

ඒ අනුව රුසියාවේ නිපදවූ Sputnik V. චීනයේ Sinopharm සහ CoronaVac සහ ඉන්දියාවේ Covishield සහ Covax යන එන්නත් ඉරානය තුළ භාවිතය සඳහා යොදා ගැනීමට ඉරානය සැලසුම් කර තිබේ. එසේම එරට තුළත් COVID-19 එන්නත් නිපදවීමක් සිදුකරන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

"අපි රුසියානු එන්නත ගන්නවා, අපි චීන එන්නත ගන්නවා. ඒ සඳහා අපි ඔවුන් සමග ඉතාමත් හොද සමීපතාවෙන් කටයුතු කරනවා. ඊට අමතරව අපි ඉන්දියානු එන්නතත් ගන්නවා.”

මෙහිදී බටහිර රටවල එන්නත් සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් ඇති නොවීමට හේතු වන කරුණුද අමාත්‍යවරයා සඳහන් කර ඇත. එක් අවස්ථාවකදී බටහිර රටකින් ඉරානය වෙත ලැබුණු රුධිර තොගයක් තුළ එච්අයිවී වෛරසය ඇතුළත්ව තිබීම උදාහරණ ලෙස දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ඔහු මෙහිදී රටක නමක් සදහන් කර නැතත් මෙම සිදුවීම 1980 සහ 1990 දශකවලදී සිදු වූවක් බව පවසන විදෙස් මාධ්‍ය ප්‍රංශය මගින්ඉරානය වෙත එවූ රුධිරය තුළ මෙම වෛරසය තිබූ බව සදහන් කර සිටියි. එම රුධිරය ලබාදුන් ඉරාන වැසියන් 300දෙනෙකු පමණ එම අවස්ථාවේදී එච්.අයි. වී. ආසාදිතයන් බවට පත්ව තිබුණි.


සිසුවකුගේ විනෝද වැඩෙන් හොරු දෙන්නෙක් මාට්ටු

වයස අවුරුදු 11ක සිසුවකුගේ දස්කමක් නිසා මහා පරිමාණ මුදල් වංචා කිරීමක යෙදී සිටි දෙදෙනකු කොටු කර ගැනීමට හැකි වීමේ පුවතක් පූජාපිටියෙන් වාර්තා වෙයි. පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මැදවෙල ප්‍රදේශයේ නිවෙසකට විදුලි උපකරණ ගෙවීමේ ක්‍රමයට ලබා දෙන ආයතනයකට කිහිප දෙනකු පැමිණ ඇති අතර ඔවුන්ගෙන් රුපියල් 50,000 ක පමණ විදුලි උපකරණ ලබාගෙන මුදල ගෙවාද අවසන් කරනු ලැබ තිබේ.

එම ගනුදෙනුව අවසන් වී ටික දිනකට පසුව යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු යතුරු පැදිය නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරකින් නවත්වා අනෙක් තරුණයා එම නිවසට පැමිණ නිවැසියන්ගෙන් විමසා ඇත්තේ ආයතනයකින් විදුලි උපකරණ මිලට ගත්තේ ද යන්නයි.

එලෙස තමන් භාණ්ඩ ගත් බව නිවැසියන් පැවසීමෙන් පසුව එම භාණ්ඩ මිල දී ගැනීම වෙනුවෙන් කරනු ලැබූ ලොතරැයි ඇදීමකින් යතුරුපැදියක් ඇදී ඇති බවත් එහි ලියා පදිංචි ගාස්තු වශයෙන් රුපියල් 12,950 ක මුදලක් ගෙවිය යුතු බවත් පවසා තිබේ. මේ ගැන සැකයක් නොසිතූ නිවැසියන් එම තරුණයාට රුපියල් 12,950 මුදලක් ලබා දී තිබේ. මේ අවස්ථාවේ ඒ අසල සිටි නිවෙස් හිමියාගේ මුනුපුරා වන හයවැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 11ක් පමණ වන දරුවා ජංගම දුරකතනයකින් මෙලෙස පැමිණි දෙදෙනා සහ යතුරු පැදිය ඡායාරූප ගෙන තිබේ. පසුව මෙය වංචාවක් බව දැන ගැනීමත් සමග පොලීසියට පැමිණිලි කරනු ලැබූ අතර කුඩා සිසුවා ලබාගත් ඡායාරූප උපයෝගී කර ගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන තිබිණි.

සැකකරුවෝ ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති. මෙලෙස මුදල් වංචා කරමින් නිවෙස් වෙත යන්නේ අදාළ ආයතනයේ කලක් සේවය කර සේවයෙන් ඉවත් කළ පුද්ගලයන් දෙදෙනකු බව පසුව අනාවරණය වී තිබේ.


- මොහොමඩ් ආසික් -


සෞරව් ගංගුලිගේ තත්වය යහපත් අතට



හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ ඉන්දීය ක්‍රිකට් සභාපති හා  හිටපු ක්‍රිකට් නායක සෞරව්  ගංගුලිගේ තත්වය ‍සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි. ඒ ඔහුගේ හෘදයේ රුධිර සැපයුම ස්ථාවර වීම උදෙසා  ස්ටෙන්ට් උපකරණයක් තැත්පත් කිරීමෙන් අනතුරුවය. මෙය මාසයක් තුළදී ගංගුලිට සිදුකළ දෙවැනි ස්ටෙන්ට් තැන්පත් කිරීම වේ.   පෙරේදා (27දා) ගංගුලි විසින් තමා පපුවේ වේදනාවකින් පෙළෙන බව සැලකිරීමත් සමගින් වහාම ඔහුව ඉන්දියාවේ කල්කටාහි පිහිටි ඇපලෝ රෝහල වෙත ගෙන ගොස් ඇත. 


මේ වසර ආරම්භයේ පටන් හෘදයාබාධයක් හේතුවෙන්  ගංගුලී රෝහල්ගත කළ දෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තා වේ. එහිදීද ගංගුලීට ස්ටෙන්ට් තැන්පත්  කිරීමේ සැත්කමක් සිදු කර ඇත.  කෙසේ වෙතත් ඔහු පළමුවරට රෝහල්ගත වී සිට තවමත්  පසුවී ඇත්තේ සති කිහිපයක් වීම විශේෂත්වයකි. එහිදී අනාවරණය වූයේ ගංගුලී හෘදයට රුධිරය ගෙන යන කිරීටම  ධමනි අවහිරතාවන් පෙළෙන බවයි. මීට පෙරද හෘදයේ ආබාධය  හේතුවෙන් ගංගුලිට රෝහලෙන් පිටවීමට සිදුවූයේ දින 5ක් රෝහල්ගත වී සිටීමෙන් අනතුරුවය. 





අනුරපුර නගර සංවර්ධනයට ගඩොලක්වත් නොතියා නිළධාරීන් නඩත්තුවට කෝටි 28ක්

ප්‍රංශ ණය ආධාර යටතේ වසර හතරකට පමණ ඉහතදී ආරම්භ කළ අනුරාධපුර නගර සංවර්ධන ව්‍යාපෘතියේ එකම ගඩොලක් හෝ නොතබා එහි උපදේශකයන්ගේ හා නිලධාරීන්ගේ නඩත්තුවට රුපියල් කෝටි28ක පමණ මුදලක් වැයකර ඇතැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී පෙරේදා (27) ප්‍රකාශ කළේය.

එම ව්‍යාපෘතියේ නිලධාරින් වසර හතරක් තිස්සේ දැවැන්ත මුදලක් වැයකර ඇතත් භෞතික ප්‍රගතිය බින්දුවකැයි කී ආණ්ඩුකාරවරයා නාගරික සංවර්ධන අධිකාරිය ඊට වගකිව යුතු යැයිද පැවසීය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක ප්‍රංශ ආධාර යටතේ අනුරාධපුර සමූප නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවද කිසිදු නියාමනයක් නොමැතිව නිලධාරීන් මුදල් වියදම් කර ඇති බවද ආණ්ඩුකාරවරයා කීවේය. 

සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. නන්දසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පෙරේදා (27) රැස්විය.

එම රැස්වීමට සහභාගි වී සිටි සම සභාපතිවරු දෙදෙනා සහ අනෙකුත් මහජන නියෝජිත නියෝජිතයෝද නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළහ.

එම සංවර්ධන ව්‍යපෘතිය උප ව්‍යාපෘති 20 කින් සමන්විත අතර ඉන් ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කර ඇතැයිද තවත් ව්‍යාපෘති හතරකට කොන්ත්‍රාත්කරුවන් පත්කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර ඇතැයිද එහිදී පිළිතුරු දෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතා කීවේය. 

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙතෙක් කලක් මෙම ව්‍යාපෘතිය පැවතුන අතර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ව්‍යාපෘතිය පත්වී මාස දෙකක පමණ කාලයකැයිද එහිදී අධ්‍යක්ෂවරයා පැවසීය.

අදාළ ව්‍යාපෘතියට ලබාදී ඇති කාලය ලබන අප්‍රේල් මාසයෙන් නිමවන බවද කාලය දික්කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය. එහි දී දැඩි ආවේගාත්මකව කරුණු දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

2016 සැලසුම්කර මේ වසරේ අවසන් කිරීමට තිබුණු ව්‍යාපෘතියෙන් කිසිම වැඩක් කරලා තිබුණේ නෑ. මෑත දී අපි මැදිහත්වෙලා මේ දේවල් මතක්කළ නිසා වැඩ ආරම්භ කළා කියනවා. ගඩොලක්වත් තියලා නෑ. එකපාරම කෝටි 28 ක් ඉවර වුණා කීවා. මේක සුළුපටු මුදලක් නොවෙයි. ලංකා මුදලින් රුපියල් මිලියන 10,125 ක් කිසිම උපදේශනයක් අධීක්ෂණයක් වෙලා නෑ. නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රංශ තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර මේකේ කාලය දික්කරගන්න. නැතිනම් මුදල් ආපසු යනවා. මේක මහා අපරාධයක් යැයි ඔහු කීවේය.

ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට උද්දික ප්‍රේමරත්න සහ කේ.පී.එස්. කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටියහ. ඒ අනුව වහාම ප්‍රංශ ණය ව්‍යාපෘතියේ සංවර්ධන වැඩසටහන් එකිනෙක වෙන වෙනම සාකච්ඡා කිරීමට වෙනම රැස්වීම් පවත්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා යෝජනා කළ අතර වෙනම ඒ පිළිබඳව සාකච්ඡා කිරිමට අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාත් ආණ්ඩුකාරවරයාත් තීරණය කළහ.

-  මනුල වික්‍රම -

මිරිගම කඩ 2ක් කඩා දුරකතන8 ඉස්සු දෙමස්සිනෝ මට්ටු

 




මිරිගම නගරයේ ජංගම දුරකතන වෙළද සලක් හා කරවල වෙළදසලක් කඩා රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා ස්මාර්ට් දුරකතන අටක් හා මුදල් රැගෙන පොලොන්නරුව බලා පලායමින් සිටි තරුණ වියේ පසුවන ‘අල්කයිඩා' මස්සිනාවරු දෙපළක් සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට මිරිගම පොලිසිය පෙරේදා (27) සමත්විය.  මෙසේ අත්අඩංගුවට ගැනුණේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිචි 16 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මස්සිනා බව කියන පොලොන්නරුවේ පදිංචිකරුවකු වන 22 හැවිරිදි පුද්ගලයෙකි. 16 හැවිරිදි තරුණයා කලක් පැවිදිව සිට උපැවිදිවූ අයකු බව හෙළිවී ඇතැයි පොලිසිය කියයි.  


මීරිගම බස්නැවතුම්පොළ සමීපයේ ජංගම දුරකතන  වෙළෙදසලක් විවෘත කරද්දී එහි පිටුපස ජනේලය කඩා ඇතුළුවී  එහි අලුත්වැඩියාව සදහා බාරගෙන තිබූ ස්මාට් වර්ගයේ දුරකතන  සොරාගෙන ගොස් ඇති බව හෙළිවීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත. අලුත් දුරකතන තිබූ කොටසට යාමට එහි වූ යකඩ දොරක් විවෘත කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථව ඇති බවද මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත.  සැකකරුවකු ජලය කඩා ඇතුළුවන අන්දම ආරක්ෂිත කැමරාවේ සටහන්වී ඇති අතර ඒ අනුව සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය පියවර ගනු ලැබීය.  මේ අතර ඒ ආසන්නයේ පිහිටි කරවල කඩයේද පිටුපසින් ඇතුළුව එහි තිබූ මන්නයක් හා මාරු කාසි බෑගයක් සොරාගෙන ඇති බවටද පොලිසියට පලදා 27 වැනිදා උදේ පැමිණිල්ලක් ලැබිණි.


සැකකරුවන් අල්කයිඩා නාමයෙන් හදුන්වන පවුලක සාමාජිකයන් බවද එම පවුලේ පිරිස් නිතර සොරකම්වල යෙදෙන බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් පොල් කැඩිමේ යෙදෙමින් තොරතුරු බලාගෙන සොරකම් කිරීම සිරිතක් කරගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි. සැකකරුවෝ ඊයේ 28 අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.

පදවියේ ඇවිදින ඇටසැකිලි එළදෙන්නු 500ක් හාමතේ මරුට

 



අනුරාධපුර පදවිය ප්‍රදේශයේ තෘණ බිම් නොමැතිව උග්‍ර ආහාර හිඟයෙන් ගවයන් 500කට අධික පිරිසක් මියගොස් ඇතැයි පදය රජයේ පශු වෛද්‍ය නිලධාරී කේ. එච්.එම්.පී. බන්දුසිරි මහතා පැවසිය.

ගවයන් 25 දෙනකුට වැඩි සංඛ්‍යාවක් සහිත ගව පට්ටිවලින් මෙම එළ ගවයන් මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ප්‍රදේශයේ පවතින දැඩි ආහාර අර්බුදය හේතුවෙන් මෙම එළ ගවයන්ගේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී මීටත් වඩා ඉහළ සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය හැකි බවද හෙතෙම පැවසිය.

ඉකුත් මාසයක කාලයක සිට මේ දක්වා ප්‍රදේශයේ එළ ගවයන් 540 දෙනකු ආහාර නොමැතිව කුසගින්නේ මියගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් වූ වගකීම රජයේ අදාළ නිලධාරින් භාරගත යුතුව ඇති බවත් පදවිය සවන් නිෂ්පාදකයින්ගේ සමිතියේ සභාපති එච්.කේ. කුසුම්සිරි මහතා පැවසිය.

පදවිය ප්‍රදේශයේ තෘණ භූමි කුඩා වැව් රක්ෂිත හා ඇළ රක්ෂිත අනවසරයෙන් වගාකිරීම රජයේ කැලය කපා අනවසර වගාකටයුතු කිරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ ආකාරයෙන් තවදුරටත් තම කිරි ගවයින් මියගියහොත් ඉතිරි ගවයන් සමග පාරට බැසීම හැර වෙන ක්‍රියාමාර්ගයක් කිරි ගොවීන්ට නොමැති බවද ඔහු සඳහන් කළේය.

පදවිය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වනේනේ වී වගාව මෙන්ම කිරිගව පාලනය වන බවත් ප්‍රදේශය පුරා කිරි ගවයන් දොළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් සඳහන් කරන කුසුම්සිරි මහතා ගව පට්ටි හිමියෝ දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයිද පැවසීය.

-  පියදාස සමරවීර -

අදින් වසර 40 000කට පමණ පෙර විස ලොම් සහිත රයිනොසිරස් සතෙකුගේ පොසිලයක් හමුවෙයි


සයිබිරියාවේ යකුටියා පළාතේ නිත්‍ය තුහීන තුළ තැන්පත්ව තිබූ ලොම් සහිත රයිනෝසිරස් සත්වයෙකුගේ වඩාත් සුරැකිව තිබූ පොසිලයක්  හමුවුණු බව එරට යකුටිස්ක් විශ්වවිද්‍යාලයේ  පරියේෂකයන් පවසයි. දැනට සිදුකර ඇති  පරීක්ෂණවලට අනුව මෙම සත්ත්වයා අදින් වසර 25, 000ත් 40,000ත් අතර කාලයට පෙරාතුව   මිහිමත වාසය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම ලොම් සහිත රයිනෝසිරස් සත්ත්වයා අඩි අටක් දිග සතෙකු බව හඳුනාගෙන ඇත. මිය යන විට මෙම සත්වයා වයස අවුරුදු 3ත් 4ත් අතර වයසේ පසුවුණු සෞඛ්‍ය සම්පන්න රයිනෝසිරස් සතෙකු බවට හඳුනාගෙන ඇත. එම අවස්ථාවේදි සත්ත්වයා ඉතා හොඳින් කුස පුරවාගෙන සිටි බවත් පැවසෙයි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සයිබීරියාවේ විද්‍යා ඇකඩමියේ මැමත් සතුන් අධ්‍යයන දෙපාර්තමේන්තූවේ ප්‍රධාන පරියේෂක වෛද්‍ය වැලේරි  ප්ලොට්නිකොව්, මෙම පොසිලය මේ තරමින් සුරක්ෂිතව තිබීම වඩාත් සුවිශේෂී බව පවසා තිබේ. මෙම යකුටියා පළාත ලෝකයේ වඩාත් සිසිල්ම කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒෙ හේතුවෙන් එම පළාත තුළ පොසිල වඩාත් හොඳින් ආරක්ෂා වී තිබේ.





ඉඩම් හිමියෙකු විසින් කිතුල්ගල ජලපෝෂක ප්‍ර දේශ එළිපෙහෙලි කරන බවට චෝදනා

පරම්පරා ගණනක් ජලය ලබා ගත් ජල උල්පත් සහිත ජල පෝෂක ප්‍රදේශය මෑතකදී ඉඩම මිලදී ගත් පුද්ගලයා විසින් ගස් කපා එළිපෙහෙළි කිරීමට කටයුතු කිරීම නිසා ජල උල්පත් සිදී තමන්ට බීමට ජලය නොමැතිවී යා හැකි බව කිතුල්ගල පක්සල පාර කළුකොහුතැන්න වසමේ ජනතාව පචසති.  මේ පිළිබදව ප්‍රදේශවාසීන් කිහිපදෙනක් මෙසේ අදහස් දැක්වූහ.  





පී.ජී. කරුණාරත්න, 

"මේ ස්ථානය කිසිදා නොසිඳෙන ජල උල්පත් පහක් හයක් තිබෙනවා. ගමේ අයගේ ශ්‍රමදායකත්වයෙන්  ටැංකි හතක් බැදලා බට  දාලා කාලයක් තිස්සේ බීමට වතුර ලබාගන්නවා. මෙච්චර කාලයක් කිසිම කරදරයක් නැතුව වතුර ලබාගත්තත් මෑතකදී ඉඩම මිලදී ගත් පුද්ගලයා ගස් කපලා කෑලැව  එළිපෙහෙළි කරන්න කටයුතු  කරගෙන යනවා. අපිම් පිළිබදව අදාළ ආයතන  සියල්ලට දන්වා තියනවා”


ඊ.එම්. දහරත්න, 


"මේ ජල උල්පත්වලින් අපේ ආතලා අච්චිලා පවා ජලය ලබාගෙන තියෙනවා. ඒ කාලේ ජල නල තිබිලා නෑ. කිතුල් පටි දාලා තමයි වතුර අරන් තියෙන්නේ. මේ ජල පෝෂක ප්‍රදේශයේ වසර පහකට පමණ

පෙර යටියන්තොට ප්‍රාදේශීය සභාවෙන් කුඹුක් පැල සිටවලා සංරක්ෂණය කරන්නට කටයුතු කර තිබෙනවා.”


 එම්.පී. සුමනසේන,


"ඉඩම් හිමියා විසින් අපි වසර ගණනක් තිස්සේ ජලය ලබා ගත්ත උල්පත් සහිත ප්‍රදේශයට ඇතුළු වෙන්න එපා කියලා බෝඩ් ගහලා තියෙනවා. ඒ වගේම ජල ටැංකි  ඉවත් කරගන්න කියලා දන්වලා  තියෙනවා. ඒත් ගමේ අය කිසිම  විදිහකින් ජල ටැංකි ඉවත් කරගන්න සූදානම් නෑ.”  


යටියන්තොට ප්‍රාදේශීය ලේකම් සමන් අනුර,

"මේ ප්‍රශ්නය පිළිබද ප්‍රදේශවාසීන් මටත් දන්වා  තියනවා. ජල පෝෂක ප්‍රදේශ අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ එකක් නිසා මා එම ඉඩම් හිමිකරු සමග සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසදාදීමට කටයුතු කරනවා.


 යටියන්තොට  ප්‍රාදේශීය සභාවේ සභාපති  කේ.ඩි. වසන්න මහතා පැවසුවේ, 

ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්නය විසදීමට උපරිම උත්සාහයක් ගත්තා බවයි.


ආනන්ද කුමාර මහතා මෙසේ   පැවසීය.

"ප්‍රදේශවාසීන් ජලය ලබාගන්නා ඉඩම මට අයිති එකක්. ගමේ අය ඉඩම් තැන් තැන්වල හාරා ටැංකි බැද ජලය ලබා ගන්නවා. ඒ වගේම අවස්ථා කීපයක ගමේ අය මගේ ඉඩමට ඇතුළු වී තිබෙනවා.ඒ අයට ජලය ලබාගැනීමට අවශ්‍ය නම් මේ  ඉඩමට පහලින් ඇති ජල පහරින් ජලය ලබා ගැනීමට මගේ විරුද්ධත්වයක් නෑ”

කෝටි හයක වාලම්පූරි ගනුදෙනුව අතේ මාට්ටු

දුර්ලභ වර්ගයේ වාලම්පූරියක් රුපියල් කෝටි හයක පමණ මුදලකට විකිණීමට උත්සාහ කළ බව කියන රාගම, වැලිසර ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු මුලතිව් නගරයේ පිහිටි හෝටලයක් අසලදී පෙරේදා (27)අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුව්වේ රාගම, වැලිසර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සහ 69 හැවිරිදි දෙදෙනෙකි.

වටිනා වාලම්පූරියක් විකිණීමට තිබෙන බවට මුහුණු පොතේ සටහනක් තිබෙනවා දුටු පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලතිව් කඳවුරේ පොලිස් කොස්තාපල් හේරත් (38504) මහතා ඒ බව කඳවුරේ උසස් නිලධාරින්ට දැනුම්දී ඔවුන්ගේ උපදෙස්මත වැටලීමක් සැලසුම්කර ඇත.

කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි පොලිස් කොස්තාපල්වරයා මුහුණු පොතේ සටහන යොදා තිබූ පුද්ගලයා දුරකතනයෙන් සම්බන්ධකරගෙන කෝටි 06 ක මුදලකට වාලම්පූරිය මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබේ.

ඒ අනුව වාලම්පූරිය ද රැගෙන සැකකරුවන් දෙදෙනා වෑන් රථයකින් කලින් කතාකරගත් අන්දමට මුලතිව් නගරයේ පිහිටි හෝටලයක් අසලට පෙරේදා පැමිණ ඇත. 

ඒ අවස්ථාවේ වැටලීමක් සිදුකර වාලම්පූරිය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් බාරයට ගනු ලැබීය. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සඳහා මුලතිව් මූලස්ථාන පොලිසියට බාරදුන් බව විශේෂ කාර්ය බළකාය කියයි.

- ශ්‍රීනාත් ප්‍රසන්න -

සිඟමන් යදිමින් සිටි කෝවිඩ් ආසාදිතයෙකු සොයා ගැනේ

කෝවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වූ යාචකයෙකු බදුල්ල මුතියංගණ රාජමහා විහාරස්ථානය ඉදිරියේ පදික වේදිකාවේ සිඟමනේ යෙදී සිටියදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ඊයේ (28දා) සොයා ගනු ලැබ තිබේ. 

අදාළ ආසාදිතයා ඊයේ ශ්වසන රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට බදුල්ල මහරෝහලට පැමිණ ඇති අතර එහිදී පී.සී.ආර්. පරික්ෂණයකට ලක් කර ඇත.

ඔහු නිවසට ගිය පසු පී.සී.ආර් වාර්තාවට අනුව 60 හැවිරිදි මේ පුද්ගලයා ආසාදිතයෙකු බවට අනාවරණය වීමෙන් පසු මහජන සෞඛය පරීක්ෂකවරුන් ඔහු සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. 

අදාළ ආසාදිතයා ආශ්‍රිතව සිඟමන් යදෙමින් සිටි කාන්තාවන් තිදෙනෙක් හා තවත් පිරිමි පුද්ගලයෙක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගනු ලැබ තිබේ. ආසාදිතයා කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යැවීමටත් ඔහුගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරීමටත් කටයුතු කර ඇත.


- පාලිත ආරියවංශ -

Wednesday, January 27, 2021

පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවේ 10කට කෝවිඩ්

මෙරට පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10දෙනෙකුට කෝවිඩ්19 ආසාදනය වීම මත එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන ඇත. 

ගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත එහි 13දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කළ අවස්ථාවේ ඉන් 10දෙනෙකු ආසාදිතයන් බවට තහවුරුවී යයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

එම කාර්යාල ශාඛාවෙහි 31දෙනකු සේවය කරන බවත් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක්කළ පිරිස හැර අන් සියලුම දෙනා පී.සී.ආර් පරික්ෂාවට ලක්කිරීමට පියවර ගනු ලබන බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක නන්දන පතිරගේ මහතා පැවසූ අතර එම පිරිස, ඔවුන් රැදී සිටින ස්ථානයේදීම නිරෝධාය කිරීමට පියවර ගත් බවද පැවසීය. 

මේ අතර ඊයේ (26දා) වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11,000 ඉක්මවා තිබුණි.


- තිලකරත්න දිසානායක -

කඩ කඩනවාට කිපී මොරටුවේ පදික වෙළෙන්ඳෝ නගර සභා ලොරිය යට නිදාගෙන විරෝධතාවයක

මොරටු මහ නගරසභා නිලධාරින් ඩිමල් පාරේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කරන්නට යෑමේදී එම වෙළෙන්දෝ මොරටු මහ නගර සහා ලොරිය යට නිදා ගනිමින් ඊයේ (26) විරෝධය දැක්වූහ.  වෙළෙඳුන් දාහත් දෙනකු පමණ මෙම ස්ථානයේ වෙළෙඳාමේ නිරත වන අතර මෙම වෙළඳුන් ඉවත් කිරීමට මොරටුව නගර සභාවෙන් ඊයේ ද උත්සාහ ගනු ලැබීය. ඊයේ (26) මොරටුව මහ නගර සභා නිලධාරින් ක්‍රියා කළ ආකාරයත් සමග අද දින වෙළෙඳුන් විරෝධතාවක නිරත වූ අතර එම අවස්ථාවේදී එතැනට පැමිණි මොරටු මහ නගර සභා ලොරිය බතල පෙට්ටියක් පටවා ගැනීමට දැරූ උත්සාහයේදී වෙළෙඳුන් මෙම ආකාරයෙන්  ලොරිය යට නිදා ගනිමින් සිය විරෝධතාව දැක්වූහ.



එම අවස්ථාවට විරෝධය දක්වන ජනතාව කොරෝනා වසංගත තත්ත්වය නිසා දුප්පත් වෙළෙඳුන් පීඩාවට පත් වී සිටින මොහොතක මේ ආකාරයෙන් මොරටුව නගරාධිපති ඇතුළු  නිලධාරින් කටයුතු කිරිම ඉතා අමානුෂික ක්‍රියාවලියක් බව ද පැවසීය. නගරාධිපතිවරයා පවතින තත්වය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සිය දරුමල්ලන් ද දැඩි  අපහසුතාවන්ට පත්ව ඇති බව එම වෙළෙන්දෝ  පැවසූහ. මොරටුව මහ නගර සභාවෙන් මෙම වෙළෙඳුන්  ඉවත් කරන්නට සැරසෙමින් නිලධාරින්ට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි අතර මොරටුව පොලිසිය එසේ ආරක්ෂාව සැපයීමේන් වැළකී සිටියේය. 


ලිඛිතව හා වාචිකව සිදුකළ ඉල්ලීමට අනුව පොලිස් ආරක්ෂාව නොදුන්නේ යැයි පවසමින් මොරටුව නාගරික කොමසාරිස්  තෙවරප්පෙරුම මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ඊයේ  මොරටු පොලිසියට  එරෙහිව පැමිණිලි 7 ක් මොරටු පොලිසියට  ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.  මොරටුව පොලිසියට පැමිණිලි හතක් ඉදිරිපත් කරමින් අනවසර වෙළඳුන් ඉන් ඉවත් කිරීමට  පොලිස් ආරක්ෂාව සපයන යැයි ඉල්ලීම් කළත් එහිදී පොලිස් නිලධාරින්ද පැවසූයේ මේ ආකාරයෙන් වෙළෙඳුන් ඉවත් කිරීම මෙවන් අවස්ථාවක සාධාරණ නොවන බවයි.


කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක  සාමාන්‍ය ජන ජීවිතයේ මේ ආකාරයෙන් කඩාවැටීම දැඩි ගැටලු ඇති කරවන්නක් බව සඳහන් කරන පොලිසිය සමාජයට හොරෙක්, මංකොල්ලකාරයකු, දූෂිතයකු බිහිවීමට කිසිවිටෙක පොලිසිය ඉඩ නොදෙන බවත් මේ ආකාරයෙන් එදිනෙදා වෙළඳාමේ නිරත වන වෙළඳුන්ට හිංසා කිරීම තුළින් එවැනි සමාජ විරෝධී පුද්ගලයන් බිහි වීමට ඇති ඉඩකඩ ද වැඩි බවත් පැවසීය.



-රේඛා තරංගනී ෆොන්සේකා-

මාස 06කට පෙර අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර ගොඩ ගැනේ

මාතලේ කැටවල රජ්ජම්මන තලයාය කැලේ මිනිරන් පතලක වළලා තිබූ මීට මාස 06කට පෙර අතුරුදන්ව සිටි 65 හැවිරිදි තිදරු පියෙකුගේ මෘත ශරිරයක් මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චාමර වික්‍රමනායක මහතා සහ මාතලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න අප්පුහාමි මහතා ඉදිරියේ ඊයේ (26) ගොඩගනු ලැබීය.

මෙසේ ගොඩගනු ලැබුවේ මඩවල උල්පත රජ්ජම්මන තලයාය ගමේ පදිංචිව සිටි අලුත් ගෙදර විජේරත්න නමැති තිදරු පියාගේ මෘත ශරීරයය. ගොඩගනු ලැබූ මෘත ශරීරයේ කොටස් විමර්ශනය සදහා අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත භාර කිරීමටත් එම මත ශරීරයේ කොටස් මාතලේ දිසා මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන යාමට නියෝග කළ මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා මේ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරු අද (27දා) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසියට නියෝග කළේය.

අලුත් ගෙදර විජේරත්න නමැති තිදරු පියා අතුරුදන් වී ඇත්තේ 2020 ජූලි මස 07 වැනිදාය. මේ සම්බන්ධව මහවෙල පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. අතුරුදන් වූ පියාට ගැන තොරතුරු වගයක් හෙළි වී අලුත් ගෙදර විජේරත්න නමැති අයගේ පුතෙකු වන අරුණ නිශ්ශංක විජේරත්න යන අය මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාට මේ සම්බන්ධව ලිඛිතව කෙරුනු දැනුම් දීමක් මත මෙහි විමර්ශන යළි ආරම්භ වී ඇත. 


- ඉන්දික අරුණ කුමාර -

දවස් භාගෙක අත්වැරැද්දකින් පැරදෙන්න වුණ එක ගැන ගොඩක් දුකයි - මිකී ආතර්



දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම පිළිබඳව දැඩි දුකක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පිළිබඳ දැඩි කලකිරීමක් ඇති වූ බවයි. එංගලන්තය සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පරාජයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

"අපි දිනක් තිස්සේ සටන් කරල, කරල සිවුවැනි දිනය වෙනකොට හොඳ තත්වයක හිටියා. නමුත් පැය දෙකහමාරක කාලයක් තුළදී ඒ ඔක්කොම වතුරෙ ගියා. ඒක දුර්වල පිතිහරඹයක්, ඒක ගැන දැන් මම ක්‍රීඩකයන් සමගින් කතා කරනවා. අපි ක්‍රීඩාවක ආධිපත්‍ය ලබා ගන්නකොට අනෙක් පක්ෂය යටත් කරගන්න අපිට හැකි විය යුතුයි. නමුත් අපි ඒක කළේ නෑ. අපිට මේ වගේ කඩා වැටීම් එක්ක කණ්ඩායමක් විදිහට සටන් කරන්න බැරුව යනවා.”යැයි හෙතෙම පැවසීය. 

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට  පිළිතුරු දුන් මිකී ආතර්,

"මම පැරදීමට නිදහසට කාරණා කියන්නෙ නෑ. අපි හොඳින් පසුගිය කාලයේදී ගොඩනැගුණා. එල්.පී.එල්. තරගාවලිය වගේම දකුණු අප්‍රිකානු සංචාරයේදීත්. නමුත් මෙම තරගය දෙවැනි ඉනිමේදී අපි පීඩනය හමුවේ ක්‍රීඩා කරපු විලාසය පිළිබඳ දැඩි කලකිරීමක් තිබෙනවා. අපි පුහුණු වීම් කරද්දී ඉතා අමාරු තත්ත්වයන්ට මුහුණ දීල තමයි පුහුණුවීම් සිදු කරන්නේ. පිතිකරණය තමයි ටෙස්ට් තරගයකදී තරඟයක් ආරක්ෂා කරන්න වැදගත් වෙන්නේ. නමුත් අපේ පිතිකරණය සමත් වුණේ නෑ තරගය ආරක්ෂා කරන්න.

අද (‍පෙර්දා) උදේ අපේ තරග සැලසුම වුණේ පීඩනය යටතේ පන්දුවට පහරදීලා, තේ පානය වෙනකන් ක්‍රීඩා කරලා, එංගලන්තයට හොඳ ඉලක්කයක් ලබා දෙන්න පුළුවන් මට්ටමට එන්න. එතකොට අපිට හෙට දිනයේදී ජයග්‍රහණයකට යන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළා. අද උදෑසනම අපේ සැලැස්ම වුණේ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී වගේ පීඩනය අවශෝෂණය කරගෙන පන්දුවට පහරදීම , නමුත් ඒක කොහේදී හරී වැරදුනා.”යැයි හෙතෙම මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය කණ්ඩායම ලෝක මට්ටමට රැගෙන ඒම බවද ඔහු මෙහිදී පැවසීය.

"මට අවශ්‍ය කණ්ඩායම ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ තුනෙන්ම හොඳ මට්ටමකට ගේන්න. ඒවගේම හැම ලෝක කුසලානයකටම හොදින් ක්‍රීඩා කිරීමේ මට්ටමකට ගේන්න. අපි ටෙස්ට් තරගයක් ජයග්‍රහණයක් කළොත් මාධ්‍යවලින් කරන විවේචන අවශ්‍ය වෙන්නේ නෑ.” යනුවෙන් පැවසීය. 

මෙහිදී දෙවැනි තරගයේදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීම සම්බන්ධයෙන්ද මිකී ආතර්ගේ දැඩි  පැසසුමට ලක්විය.

"මම ඉතාම සතුටු වෙනවා ලසිත් ඇඹුල්දෙණිය පිළිබඳව. ඔහු ඉතාම දක්ෂ පන්දු යවන්නෙක්, මේ තරගයේදී ඔහු ඉතා විශාල ලෙස ඔහුගේ සේවය ලබා දුන්නා. ඔහුට තෑග්ගක් ලැබිල තියෙනවා හොදින් පන්දුව දඟ කවන්න. ඔහු අනාගතයේදී ඉතා හොඳ හා විශේෂිත දඟපන්දු යවන්නෙකු වනවාට නොඅනුමානයි." යනුවෙන් මීකී ආතර් මෙහිදී පැවසුවේය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන කොදෙව් තරග සංචාරය පිළිබඳ අදහස් දැක්වූ මීකී ආතර්,

"ඇත්තටම මෙම තරගාවලීයේදී අපිට සුබදායක දේවල් කිහිපයක්ම දැක ගන්නට ලැබුණා. අපිට පේනවා දැන් දැන් ක්‍රීඩකයන්ගේ වර්ධනයක්, මේක මම පුහුණුකරු ලෙසින් ක්‍රියා කරන තෙවැනි ටෙස්ට් තරගාවලියයි,දැනට මම කණ්ඩායමත් එක්ක නිතරම වැඩ කරනවා. අපේ කණ්ඩායම ගත්තොත් ඔවුන්ගේ පිතිකරණය හොඳයි. අවාසනාවකට ආබාධ තත්ත්වයන් කිහිපයක් ක්‍රීඩකයයින්ට ආවා. නමුත් තිරිමාන්න පළමු තරගයේදී ලබා ගත්ත ශතකයත් ඇන්ජලෝ දෙවැනි තරගයේදී ලබා ගත්ත ශතකයත්, ඉතා විශිෂ්ටයි. ඒ වගේම ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත්, අපි අපගේ වේගපන්දු බල ඇණියත් ගොඩ නංවන්න ගොඩක් මහන්සි වෙනවා. අපිට හොඳ වේගපන්දු බල ඇණියක් ඉන්නවා. අපිට ඉතා හොඳ වේගපන්දු යවන්නන් 6දෙනෙක් ඉන්නවා. ඒවගේම දඟපන්දු යවන්නන් ගත්තත් එහෙමයි. අපිට තියෙන්නේ මේ වගේ දක්ෂතා එකතු කර ගන්න එක විතරයි. මොකද අපි කණ්ඩායමක් විදිහට දිනන්න ඕන නිසා.”යැයි පැවසීය. 

මෙහිදී ලසිත් ඇඹුල්දෙණියට අමතරව කණ්ඩායමේ අනෙක් දඟපන්දු බලඇණිය පිළිබඳව අදහස් දැක්වූ මිකී ආතර්,

"වනිඳු හසරංග කියන්නේ හැම අංශයෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු තවමත් ටෙස්ට්වලට හුරුවෙමින් ඉන්නවා. රමේෂ් මෙන්ඩිස් කියන්නෙත් හොඳ ස්ථානවලට පන්දුව පතිත කරන ක්‍රීඩකයෙක්. සඳකැන් වගේම දිල්රුවන් පෙරේරාත් තමන්ගේ තත්වය හොඳින් වර්ධනය කරගත් ක්‍රීඩකයන්.” යැයිද පැවසීය.

"මම ක්‍රීඩකයෙක් ලෙසින් ක්‍රීඩා කරද්දී පරාජය කියන්නේ මට ලොකු දුකක්, නමුත් අසාර්ථකවීම් එක්ක හොඳ දේවල් එනවා. අපි ක්‍රීඩකයන් එක්ක එකතු වෙලා අපිට කොතනද වැරදුන්නේ කියලා හොයන්න ඕන. අපිට හැම තරගයම දින්න බැරිවෙන්න පුළුවන් නමුත් අපි ඉදිරියට යන්න ඕන."මිකී ආතර් අවසන් වශයෙන් පැවසීය.

- ඕෂිත වරකපිටිය -

හොරණ දඟගෙයක් එපා: මහසඟරුවන ජනතාව පෙරට



රටේම අපරාධකාරයන්ගේ තිප්පොළක් බවට පත්වන බන්ධනාගාරයක් හොරණ නගරයට අනවශ්‍ය බවත්, හොරණ ප්‍රදේශයේ බන්ධනාගාරයක් ස්ථාපිත කළහොත්  හොරණ පුරවරය දැඩි අවදානමකට ලක්වන බවත් පවසා මහා සංඝරත්නය, විද්වතුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් ඉකුත්දා හොරණ ශ්‍රී ඉසිපතනාරාම මහා විහාරස්ථානයට රැස්ව මූලික සාකච්ඡාවක් පැවැත්වූහ. වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ස්ථාපිත කිරීම සඳහා යෝජිත හොරණ මිල්ලෑව ප්‍රදේශයේ භූමිය නිරික්ෂණය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහත්වරු පසුගියදා එහි සංචාරයක නිරත වූහ.


මත්ද්‍රව්‍යවලට සහ සුළු වැරැදිවලට බන්ධනාගාරගතවූවන් පුනරුත්ථාපනය සමග සුරැකුම් මධ්‍යස්ථාන, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන, කර්මාන්ත සංකීර්ණ සහ  ගොවිපොළවලින් සමන්විත අක්කර 240ක පමණ භූමියක් මේ සඳහා වෙන් කරන බවට ද මාධ්‍ය වාර්තතා පළවී සමාජ කථිකාවක් නිරිමාණය වූ පසුබිමක හොරණ ජනප්‍රගති පදනම මගින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි. 


එහිදී හොරණ ශාසනාරක්‍ෂක  බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි හොරණ ඉසිපතන මහා විහාරාධිපති තමිජමිතැනේ ධම්මරංසි හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.  “හොරණ පුරවරයට බන්ධනාගාරයක් එනවා කියලා ආරංචියක් ලැබිලා තිබෙනවා. ලිඛිත සඳහනක් අපිට තවම ලැබිලා නැහැ. හොරණ ප්‍රදේශයේ ජනතාව ඒකරාශි වෙලා අද සිදුකළේ හොරණ පුරවරයට බන්ධනාගාරයක් සුදුසු නැහැ කියන කාරණාව තහවුරු කිරිමයි. හොරණ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් හොරණ ජනතාවට අවශ්‍ය කරන ඉඩකඩම්වත් සොයා ගැනීම දැන් අපහසුයි. අපට උරුම මේ ඉඩකඩම් බන්ධනාගාරයකට  දෙන්න අපි කිසිසේත්ම ලැහැස්ති නැහැ. ඒ නිසා හොරණ ප්‍රදේශයේ මහා සංඝරත්නය ඒකරාශි කරගෙන අපි සියලුදෙනා එකතු වෙලා බන්ධනාගාරයට එරෙහිව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා."


හොරණ හදිසි මරණ පරික්‍ෂක සහ හොරණ එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුමේධ ගුණවර්ධන මහතා මෙසේ කීය. “හොරණ කියන්නේ අධ්‍යාපනික නගරයක්. දෙනිකව දහස් ගණනක් සිසුන් පිරිසක් හොරණට ඇදෙනවා. එවැනි නගරයක් තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනික යටිතල පහසුකම් දියුණු කරන ව්‍යාපෘති. මේ අධ්‍යාපනික නගරයට  කීර්තියක් ගෙන දෙන විශ්වවිද්‍යාලයක්, තාක්ෂණ පීඨයක්, වෛද්‍ය පීඨයක් මිස බන්ධනාගාර අවශ්‍ය නැහැ. හොරණ නගරයට බන්ධනාගාරයක් ගෙන එනවා නම් ඒ සඳහා විරෝධය පළ කිරීමට මේ මොහොතේ අපි සියලු දෙනාගේම එකඟත්වය පළවුණා." ප්‍රවීණ රංගධර ජනක් ප්‍රේමලාල් මහතා මෙසේ කීය.


 “වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර දෙක වෙනත් ප්‍රදේශයකට ගෙනයනවා කියලා රජය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ගැන අපේ විරෝධයක් විවාදයක් නැහැ. වීදාගම මහා මෛත්‍රී හිමියන් වැඩ සිටි, ඉන්දියාවේ ශාන්ති  නිකේතනයේ අනුරුවකට ශ්‍රීපාලිය  ගොඩනගපු, වියත් ලේඛකයන් කලාකරුවන් රැසකගේ නිජබිම වූ අතිශය සංස්කෘතික පුරවරයකට මේ බන්ධනාගාර ගෙනයනවා නම් එය ඉතාමත් වැරැදි තීරණයක් කියලයි මගේ හැගීම. හොරණට ලැබිය යුත්තේ සංස්කෘතියට සම්බන්ධ ආයතනයක් මිස හිරගෙයක් නොවේ. අද අපි මේ සම්බන්ධ පුළුල්ම වැඩපිළිවෙළකට ඒකරාශි වුණා. මේ ආකාරයට බන්ධනාගාරයක් හොරණට රැගෙන ඒමට කටයුතු කරන්නේ නම්  ඒ සඳහා විරෝධය පළකරත්න  හොරණ ජනතාව පෙරමුණට එනවා කියන මතය මේ මොහොතේ ප්‍රකාශ කරනවා.”




- මංගල එදිරිසිංහ -




ජනපති බයිඩන් 'මේඩ් ඉන් ඇමෙරිකා’ ප්‍රවර්ධනයට විධායක නියෝගයක් පනවයි - ෆෙඩරල් රජයේ ආයතන වෙත භාණ්ඩ මිලදී ගැනීමේදී ඇමෙරිකානු දේ මිලදී ගන්න' යැයි පවසයි


ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් සහ නිෂ්පාදන වෙත මූලිකත්වය ලබාදෙමින් "ඇමෙරිකානු දේ මිලදී ගන්න" යනුවෙන් නව විධායක නියෝගයක් පැනවීමට එරට නව ජනපති ජෝ බයිඩන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ෆෙඩරල් රජයට අවශ්‍ය දෑ මිලදී ගැනීමේදී ඇමෙරිකානු සමාගම් සහ නිෂ්පාදන වෙත ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ජනපතිවරයා සඳහන් කරයි. 

නව ජනපති බයිඩන් ප‍්‍රමුඛ එක්සත් ජනපදයේ නව පරිපාලනය මගින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමේ ප්‍රයත්නයේ අවස්ථාවක් ලෙස මෙම විධායක නියෝගය පනවා ඇත. ඒ හරහා දේශීය කර්මාන්තශාලා සහ සේවකයන් වෙත වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදුකරමින් මෙම කර්මාන්තවල සේවයේ නියුතු පිරිසගේ රැකියා ආරක්ෂා කිරීම සැලසුම් වී තිබේ.

විශේෂයෙන්ම නව ජනපති බයිඩන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට COVID-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති එක්සත් ජනපද ආර්ථිකය 'පෙරට වඩා හොඳට දියුණු කිරීමේ ප්‍රයත්නයේ තවත් එක් අවස්ථාවක් බවටද මෙය හැඳින්වී තිබේ.

ෆෙඩරල් රජය මගින් කොන්ත්‍රාත් වෙනුවෙන් වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 600ක පමණ මුදලක් වැය කරයි. ඒ අනුව මෙම මුදල් වැය කරමින් සැමවිටම 'මේඩ් ඉන් ඇමෙරිකා" නිෂ්පාදන මිලදී ගන්නා ලෙස මෙම ෆෙඩරල් ආයතන වෙත මේ හරහා, උපදෙස් ලබා දී ඇත.

අද වනවිට නිෂ්පාදන ක්ෂේත්‍රය එක්සත් ජනපද ආර්ථිකයෙන් 12%ක ප්‍රතිශතයක් ගන්නා අතර, එය වත්මන් ජනපතිවරයාගේ ඉදිරි ආර්ථික දැක්මේ ප්‍රධාන අංශයක් බවටද පත්ව තිබේ.

මේ හරහා වැටුප් ඉහළ දැමීම්, වඩා වැඩි රැකියා උත්පාදනය කිරිම්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහාය ලබාදීම් සහ එක්සත් ජනපදයේ සැපයුම් දාමය ශක්තිමත් කිරීම යනාදිය මේ යටතට ඇතුළත් වන බවත් පැවසෙයි. 

"ඇමෙරිකානු නිෂ්පාදන ක්ෂේත්‍රය දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රජාත්නත්‍රවාදයේ යුද ගබඩාව බවට පත්ව තිබුණා. දැන් එය ඇමෙරිකානු සෞභාග්‍යයේ එන්ජිමේ කොටසක් බවට පත්විය යුතුයි. ඒ කියන්නේ අපි දැන් බදු ගෙවන්නන්ගේ මුදල් ඇමෙරිකාව නැවත ගොඩනැගීම සඳහා යොදවනවා.” බයිඩන් මෙහිදී පවසා තිබේ.


කොරෝනා පාලනය කරගන්න බැරිව ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි




 ‘කොවිඩ් 19" හෙවත් නව කොරෝනා වයිරස වනිය පාලනය කරගැනීමට අපොහොසත් විම සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදයට පත්ව සිටින ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ, සිය ඉල්ලා අස්වීම එරට ජනාධිපතිවරයාට ඊයේ 2 බාරදුන්නේය. අගමැති කොන්තේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජීයෝ මැටරෙල්ලාට බාරදුන්නේ, කැබිනට් මණ්ඩලය හමුවී සාකච්ඡා කිරිමෙන් පසුවය. 2018 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වී, සන්ධාන රජයක් පිහිටුවීමට කොන්තේ සමත් වූයේ රටේ ආර්ථිකය පණ ගැන්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය. කොවිඩ් 19 වසංගතය චීනයෙන් විදේශවලට පැතිරෙද්දී, ඇමෙරිකාවට පෙර, කොවිඩ් 19 වයිරසයේ කේන්ද්‍රස්ථානය වූයේ ඉතාලියයි. 


වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට කොන්ගේ රජය අපොහොසත් වුණු අතර ඉතාලි ආර්ථිකය ඉතා වේගයෙන් අඩපණ විය.  මේ වනවිට ඉතාලියේ කොවිඩ් 19 ආසාදිතයන්   ගණන 24,75, 372කි. මරණ වාර්තා වන්නේ 85,881ක් ලෙසය.  ඉතාලියේ රෝහල් පිරි සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී වයිරසයට බිලි වී මළසිරුරු ගොඩගැසීමෙන් අග්‍රාමාත්‍ය කොන්තේ ප්‍රමුඛ  රජයට එල්ල වුණු එම චෝදනා මුල්කොට ගනිමින් අධිකරණ නියෝගයකට අනුව, විමර්ශනයක් පවා පැවැත්විණි. ඒ, ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන මැටියෝ රෙන්සිගේ මධ්‍යස්ථ මතධාරි පක්ෂයේ මෙහෙයවීමෙනි. 


වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට අග්‍රාමාත්‍ය කොන්තේ ප්‍රමුඛ රජය අපොහොසත් වූ බවට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ බහුතරය ද කොක්ට අහිමි විය.  නව රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින්, කොත්තේ ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුවය. කොන්තේ නීතිඥවරයකු මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ද වෙයි.


රෝමයේදීය (ඒ.එෆ්.පී.)


ගූගල් සර්ච් එන්ජිම ළඟදීම වෙනස් වෙනවාලු


ලොව සුප්‍රසිද්ධ ගූගල් සර්ච් එන්ජිම සිය ජංගම දුරකථන පරිශීලකයන්ගේ පහසුව වෙනුවෙන් ඉදිරියේදී වෙනස්කම් කිහිපයකට ලක් කිරීමට නියමිතව තිබෙන බව ගූගල් ඉන්කෝපරේෂන් සමාගම පවසයි. එහිදී මූලිකවම එහි අක්ෂර හැඩය සහ වර්ණ වෙනස් කිරීමක් සිදුකරන බවත් පැවසෙයි. ඒ හරහා ජංගම දුරකථන පරිශීලකයන් වෙත වඩාත් හොදින් සහ පහසුවෙන් තිරය මත පවතින දෑ කියවීමේ අත්දැකීමක් ලබාදීම සැලසුම වී ඇත. 

ඒ අනුව සිදුකෙරෙන මෙම නව සැකසුමේදී මිනිස් ඇස වෙත වඩාත් වේගයෙන් සහ පහසුවෙන් වචන හඳුනාගැනීම සදහා වඩා විශාල සහ පැහැදිලි අකුරු (Font) මාදිලියක් යොදාගැනීමට සමාගම කටයුතු යොදා තිබේ. මෙලෙස යොදාගැනීමට සැලසුම් කර ඇති අකුරු මාදිලිය දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් සහ ජිමේල් හි අනෙකුත් ගූගල් නිෂ්පාදන තුළ භාවිත කෙරෙමින් පවතින මාදිලිය බවත් පැවසෙයි. 

එසේම මෙහිදී යොද ගන්නා වර්ණත් වඩාත් කල්පනාකාරිව භාවිත කරන බවත්, ඒ හරහාද පරිශීලකයාගේ අත්දැකීම් දියුණු කිරීමට දායක කරගන්නා බවත් සමාගම වැඩිදුරටත් සදහන් කරයි. මීට අමතරව වඩාත් පැහැදිලි පසුබිමක් ඉදිරිපත් කිරීමටත් සමාගම සැලසුම් කර තිබේ.


මන්ත්‍රී වසන්ත යාපාගේ පී.සී.ආර් වාර්තාවට දින 8ක් ගතවීමට පරීක්ෂණයක්



පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ පී.සී. ආර්. පරික්‍ෂණ වාර්තාව ලැබීමට  දින 8ක් ගතවීම සම්බන්ධයෙන්   සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පරික්ෂණයක් පවත්වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා ඊයේ (26) පැවැසීය. තමා ද පී.සී.ආර්. පරික්ෂණයක් කරගත් බව කී ඇමැතිවරයා එහි වාර්තාව පැය 8ක පමණ කාලයක් ඇතුළත තමාට ලැබුණු බව ද සඳහන් කළේය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.


පී.සී.ආර්. පරීක්‍ෂණයක ප්‍රතිඵල එනතුරු නිවසේ නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබියදීත් ඇතැම් මැති ඇමැතිවරු එසේ නොසිට රැස්වීම් ආදියට සහභාගි වීම සම්බන්ධයෙන් පියවරක් ගන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ යම් යම් අවස්ථාවල දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව අතින් ද අතපසුවීම් සිදුවන බවයි. එසේ වුවත් මෙවැනි අවස්ථාවක දේශපාලනඥයන් ආදර්ශයක් දිය යුතු බව පිළිගන්නා බවත් ඔවුන් වැරැදි ආකාරයෙන් කටයුතු කර ඇත්නම් එය සාධාරණීකරණය කිරිමට උත්සාහ නොකරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. තමන් තම ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ ආරක්ෂිතව කටයුතු කළ බව ද ඇමැතිවරයා පැවසීය.


භූමදානයෙන් කොවිඩ් පැතිරීමේ සාධනීය තත්ත්වයක් නැති බවත් ශ්‍රී ලංකාවේ තීරණයෙන් ජාතිවාදී තත්වයක් උගත කළ හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කමිටුව ලබා දී ඇති වාර්තාව සම්බන්ධයෙන් රජයේ අදහස කුමක් ද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ  වෛද්‍ය අංශවලින් දී ඇති උපදෙස් අනුව බවයි.  ලෝක සෞඛ්‍ය සංවිධානය ද රටවලට ඒ සම්බන්ධ තීන්දු ගැනීමේ අවස්ථාව දී ඇතැයි කී ඇමැතිවරයා රජයට විශේෂඥ උපදෙස් අනුව මිස හිතුවක්කාර ලෙස තීන්දු ගැනීමට නොහැකි බවත්, චීනයේ සිදුකරන්නේ ආදාහනය බවත් කීවේය.


 -ඩයනා උදයංගනී-



Tuesday, January 26, 2021

වයස දහසයේ සිසුන් දෙදෙනකුට අරක්කු පොවා පදමට වෙරි වූ සිසුවාට අතවර කරලා



දහසය වන වියේ පසුවන පාසල් සිසුන් දෙදෙනකුට අරක්කු බීමට දී වෙරි මරගාතේ සිටි බව කියන එක් සිසුවකුට ලිංගික අතවර කළේ යැයි කියන සංගීත ගුරුවරයකු උහන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (24) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබිය.  ලිංගික අතවරයකට ලක්වූ බව කියන වෙරි මතින් සිටි පාසල් සිසුවා අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උහන පොලිසියේ නිලධාරියෙක්  පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ උහන පොලිස් වසමේ පිහිටි රජයේ පාසලක සංගීත විෂයය උගන්වන 58 හැවිරිදි ගුරුවරයෙකි.  සැකකරු අම්පාර මධ්‍යම කදවුර පොලිස් වසමේ පදිංචි එක් දරු පියකු බව ද පොලිසිය කියයි.


සැකකාර පාසල් ගුරුවරයා ඔහු උගන්වන පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් දෙදෙනා මධ්‍යම කඳවුර පොලිස් වසමේ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත් පසුව අරක්කු බෝතල් දෙකක් බැදපු කුකුළු මස් හා බිත්තර ද රැගෙනවිත් සිසුන් දෙදෙනාට ද අරක්කු බිමට කතා කර තිබෙන බව කියති. තමන් කිසිදු දිනක අරක්කු බී නැති බව පවසා  සිසුන් දෙදෙනා ගුරුවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතත් පසුව ගුරුවරයාගේ බලවත් ඉල්ලීම මත ඔහු දුන් අරක්කු බි ඇති බව පොලිසිය කියයි. සැකකාර සංගීත ගුරුවරයා ද සිසුන් සමඟ එක්ව අරක්කු බී ඇති බවත් අරක්කු බොන අතරවාරයේ සිසුන් දෙදෙනාට නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපටයක් පෙන්වීමට සලස්වා ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.


පසුව තදින්ම වෙරි වී සිටි බව කියන සිසුවාට විවිධාකාර ලිංගික අතවර කර පසුව සිසුන් දෙදනාම යතුරුපැදියකින් නිවස අසලට ගෙනැවිත් දමා ගොස් ඇති බව පොලිසිය පවසයි.  ලිංගික අතවරයට ලක් වූ බව කියන සිසුවා  මේ බව පියාට පැවැසීමෙන් පසුව ඔහු උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාට සිද්ධිය පැමිණිලි කර තිබේ. 


 අත්අඩංගුවට ගත් සැකකාර සංගීත ගුරුවරයාගේ නිවසේ තිබී හිස් අරක්කු බෝතල් දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත.  ලිංගික අතවරයට පත්වූ බව කියන සිසුවා සමග සැකකරුගේ නිවසට ගොස් ඔහුගේ ඉල්ලීම මත අරක්කු පානය කළ අනෙක් සිසුවාගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.  අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිය ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුගේ පුතා මෙම සිද්ධිය වූ දිනයේ නිවසේ නොසිටි බව ද පොලිසිය කියයි.  සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.


-ශ්‍රීනාත් ප්‍රසන්ත ජයසූරිය-


දෙමසකට පසු නවසීලන්තයෙන් යළිත් COVID-19 ආසාදිතයෙක්


නවසීලන්තයෙන් COVID-19 ආසාදිතයකු හමුව ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 56 හැවිරිදි කාන්තාවක් මෙලෙස වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව මාස දෙකකට පසුව නවසීලන්තය තුළ COVID-19 ආසාදිතයකු වාර්තා වූ පළමු වැනි අවස්ථාවද මෙය වෙයි.

විදේශයක සිට පසුගිය දෙසැම්බර් 30දා නවසීලන්තයට පැමිණි ඇය සති දෙකක අනිවාර්ය නිරෝධායනයකටද ලක්කෙරී ඇත. එහෙත් එහිදී දෙවතාවක් සිදුකළ පරීක්ෂණවලදී ඇය වෛරසය ආසාදිත නැති බවට සහතික කෙරී ඇත.

ඇතැම් විට ඇය රඳවා සිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි වෛරසය ආසාදිත අයෙකුගෙන් ඇයට වෛරසය බෝ වෙන්නට ඇතැයි සැක කෙරේ. ඒ අනුව එම පරිශ්‍රයේ සංවාතන පද්ධතිය සහ වායු සමීකරණ පද්ධතිය තුළ වෛරස අංශු රැදී තිබෙන්නේද යන්න පිළිබඳව මේ වනවිට පරික්ෂණ සිදු කෙරෙමින් පවතී. එසේම ඇයගේ සමීපතම ආශ්‍රිතයන් ලෙස 15දෙනෙකු හඳුනාගෙන ඇති බවත් නවසීලන්ත සෞඛ්‍ය අංශ පවසයි.


රිය අනතුරකින් තුවාලවී කැකිරාවෙන් -දඹුල්ලෙන් - කුරුණෑගලට එවා මියගිය කතට කොරෝනා





රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඉකුත් සෙනසුරාදා (23) රාත්‍රියේ කැකිරාව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලටත්, එතැනින් කුරුණෑගල ශිෂ්ණ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මියගිය කාන්තාව කොරෝනා රෝගියකු බව තහවුරු වී තිබේ.  පෙරේදා (24) මෙම මරණය සිදුවී තිබිණි. කාගම - හිරිපිටියාගම මාර්ගයේ පහත වෙම්බුව  ප්‍රදේශයේදී මෝටර් රථයක හැපී සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය කාගම, යාය 5, නිවාස දහය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි මෙම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පෙර කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයෙන් ඇය කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇත.


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කැකිරාව මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ජයන්ත විමල් විජේසූරිය මහතා පැවැසුවේ, ඇය කොරෝනා රෝගියකු බව ඊයේ (25) පෙරවරුවේ දැනගත්  වහාම ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දෙදෙනා සහ හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනාත් සුළු  සේවකයන් හත්දෙනකුත් නිරෝධායනය කිරීමට කඩිනමින් පියවර ගත් බවයි. ඊට අමතරව ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ හදිසි ප්‍රතිකාර ඒකකය ද පැය කිහිපයක් වසා දමා ජීවානුහරණය කර නැවත විවෘත කිරීමට පියවර ගත් බව කී කැකිරාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා, දඹුල්ල මූලික රෝහලත්, කුරුණෑගල ශික්‍ෂණ රෝහලත් මේ ආකාරයටම කටයුතු කළ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බව ද කීය.


-අතුල බණ්ඩාර-



'මිරිදිය ටින් මාළු දේශීය වෙළෙඳපළට



'මිරිදිය ටින් මාළු’ දේශීය වෙළෙඳපළ වෙත හඳුන්වාදීමට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාතයංශය සැලසුම් කර තිබේ.  ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය මෙන්ම දේශීය ටින්මාළු කර්මාන්තයද නඟා සිටුවීමේ අරමුණින් ගෙන ඇති  මෙම තීරණය සඳහා දේශීය ටින්මාළු සමාගම්වල එකඟතාව පළව ඇති බව රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.  ඒ අනුව රට තුළ පිහිටි මිරිදිය ජලාශ වෙතින් ලබා ගන්නා මසුන් දේශීය සමාගම් හරහා ටින්කර දේශීය වෙළෙඳපළ වෙත සැපයීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.



මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන,  බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය  කංචන විජේසේකර සහ එම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, ඒ සඳහා ප්‍රධාන පෙළේ දේශීය ටින් මාළු සමාගම් 06ක් එක්ව තිබිණි.  ඒ අ නුව මෙම කර්මාන්තය නඟා සිටුවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ඇතුළු කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.  එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිෂ්පාදන ආනයනය අවම කර දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීම රජයේ අරමුණ වන බවයි.


-නිදර්ශනී වික්‍රමසිංහ-


රියැදුරු බලපත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය ගැනීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන් කරවාගන්න

රියැදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය යෝග්‍යතා වෛද්‍ය සහතිකය ලබාගැනීමට පෙර දුරකථන අංක 225 අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවාගෙන පැමිණෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ඊයේ (25දා) පැවසීය.

කෝවිඩ් -19 වසංගතය පැවතුණද මෙතෙක් අඛණ්ඩවම සිය සේවාව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වාගෙන පැමිණි රාජ්‍ය ආයතනයක් ලෙස සිය ආයතනය හඳුත්වා දිය හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටි ශාඛා කාර්යාල තුළින් මෙම සේවාව ලබාගත හැකි බවද හෙතෙම පැවසීය. ඒ සඳහා දුරකථන අංක 225 අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම තුළ තමන්ට පෝලිම්වල රස්තියාදු නොවී, තැරැව්කරුවන්ගේ හිරිහැරවලින් තොරව සුළු වේලාවක් තුළදී වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිට එදිනම යෝග්‍යතා වෛද්‍ය සහතිකයද ලබාගෙන යා හැකි බවද සභාපතිවරයා පැවසීය. 

මෙලෙස නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඇතුළු අනෙකුත් ශාඛා 25 තුළින් දිනකට යෝග්‍යතා වෛද්‍ය සහතික අටදහසක් පමණ නිකුත් කරන බවද සභාපතිවරයා කියා සිටියේය. 

සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 7.30 සිට විවෘත බවත්, සිය සේවාලාභීන් වෙනුවෙන් උපරීම පහසුකම් මෙම ආයතන තුළ ස්ථාපනය කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

සිය සේවාව ලබා ගැනීමට පැමිණෙන සියලුදෙනා ආයතනය තුළට ඇතුළු වීමේදී සබන් යොදා දෑත් පිරිසුදු කරගත යුතු බවත්, ඉන් පසු තමන් දුරකථන අංක 225 ඇමතීමේදී ලබාදී ඇති අංකයට කතා කරන තුරු ආසනවල වාඩි වී සිටිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. වාඩි වීමේදී කහපාටින් ඇති අසුන්වල වාඩි වීම නොකළ යුතු බවත් මේ පිළිවෙත් අනුගමනය කරනා ලෙසට ඔබෙන් ඉල්ලා සිටිනුයේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරමුණ නිරෝගිමත් , විනයගරුක රියැදුරෙක් බිහිකිරීම නිසා බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -


මස් කඩ ගෝලයාගෙන් ජා-ඇල ප්‍රාදේශීය සභා සෞඛ්‍ය සේවකට පිහි පහර


ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු රාජකාරි කරමින් සිටියදී එල්ල කළ පිහි ඇනුමකින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පැවසීය. 

රාගම නගරයේ දී ඉකුත් 24 වැනිදා සවස 5.30ට පමණ මෙම පිහි ඇණුම සිදුව තිබේ. ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු වූ එච්.ඩී. තරිඳු නුවන් (32) නමැති අයකු මෙලෙස පිහි ඇනුමකට ලක්ව තිබිණි. පිහි ඇනුමට ලක්වූ සෞඛ්‍ය අංශයේ සේවකයා රෝහලේ දී පවසා සිටියේ, තමන් රාගම නගරයේ රාජකාරි කරමින් සිටියදී රාගම පොදු වෙළෙඳසලේ මස් කඩ හිමියකුගේ ගෝලයකු බහින් බස් වී තමන්ට පිහි පාරක් එල්ල කළ බවයි. ඒ අවස්ථාවේදී තවත් අයකු තමන්ගේ බෙල්ල තදින් අල්ලාගෙන පිහි පහර එල්ල කළ තැනැත්තාට සහාය දැක්වූ බවද සෞඛ්‍ය සේවකයා පැවසීය. පසුව තමන් කෙසේ හෝ එම පිහිය පොලිසියට බාර දීමට ක්‍රියා කළ බවද ඔහු කීය. 

මේ සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා මෙසේ කීය. “පිහි ඇණුමට ලක්වෙලා ඉන්නේ මගේ සෞඛ්‍ය සේවකයෙක්. ඔය පිහි ඇණුමට සම්බන්ධ මස් කඩයේ ටෙන්ඩරය ඉකුත් 31 වැනිදායින් පසුව අවසන් වුණා. පසුව එම කඩය සභාවට පවර ගන්න ආදායම් පරිපාලක ගිය අවස්ථාවේ එහි හිමිකරු ඔහුට බැන තර්ජනය කරලා දිගින් දිගටම මස් කඩය නීති විරෝධීව පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ බව රාගම පොලිසියට පැමිණිලි කර කඩය, එම රජයේ දේපළ ආපසු සභාවට ලබා ගැනීමට පොලිසියේ ආරක්ෂාව ඉල්ලා සිටියා. නමුත් ඒ ආරක්ෂාව නිසි ලෙස නොලැබී යාමේ ප්‍රතිඵලයක් තමයි මේ පිහි ඇණුම. තාමත් මෙම පිහි ඇණුමට ආධාර අනුබල දුන් අය පොලිසිය අත් අඩංගුවට ගෙන නෑ."

මේ සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමේදී ඒ මහතා පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ පිහි ඇණුම කළ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බවයි. එසේම තමන්ට මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමට නොහැකි බවද ඒ සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිටින බවද ස්ථානාධිපතිවරයා පැවසීය.

- ප්‍රසංග පෙරේරා -

නාකොටික්- පාතාල මත්ද්‍රව්‍ය ජාවාරමේ සිද්ධියේ රට පැන්න ප්‍රධාන සැකකරුවකුට ජාත්‍යන්තර වරෙන්තු




මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් නිලධාරින් හා ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් එක්ව සිදු කළැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියට සම්බන්ධව රටින් පලා ගොස් සැගවී සිටින ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (25) ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය.  මෙලෙස ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශයක සිටිමින් මෙහෙයවූ බව කියන මෙම සිද්ධියේ 14 වන සැකකරු වශයෙන් නම් කර සිටීන උදාර සම්පත් නමැත්තාටය. මෙම සැකකරු විදෙස්ගතව සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කළේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා  වෙත යොමු කර තිබු වාහන තුනක රස පරික්ෂක  වාර්තා ලැබී ඇති බව නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ තවත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන බඩෝවිට ලොකු නොහොත් රාජිත අසංක යන අය ද මෙම සිද්ධියේ සැකකරුවකු වන අතර ඔහු ද මෙරටින් පලාගොස් සැඟවී සිටින බවය. ඒ අනුව එම සැකකරු වෙනුවෙන් ද ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන ලෙසට ඉදිරි දිනයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.


මේ වනවිට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පොලිස් විශේෂ බළකායේ උප පොලිස් පරික්ෂක කලුපහනගේ අජිත්  ප්‍රේමලාල් යන අය ඉදිරියේදී මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට ද අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසිය.  එසේම මෙම නඩුවට සමගාමීව මුදල් විශුද්ධීකරණය යටතේද සැකකරුවන් නව දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ද ඊයේ කැඳවනු ලැබූ අතර මේ වනවිට මේ සම්බන්ධව ද වැඩිදුර විමර්ශනය කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවැසීය.


ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන 02 වැනිදා තෙක් කල් තබා සැකකරුවන් එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.  මෙම නඩුවේ 16 හා 17 වන සැකකරුවන් ලෙස නම් කර සිටින බෝට්ටුකරුවන් එදින පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.


-නිමන්ති රණසිංහ- 








කරාපිටිය රෝහලට ඇතුළු කර විනාඩි 20කදී මිය ගිය රෝගියෙකුගේ දේහය ඥාතීන්ට බාර දී මිහිදන් කරලා

කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව විනාඩි 20කින් පමණ කාලයක දී මියගිය පුද්ගලයකුගේ සිරුර පී.සී.ආර්. පරික්ෂණයේ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර මරණ පරික්ෂණයක් ද නොපවත්වා ඥාතීන්ට භාර දී ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය තැනැත්තාගේ පී.සී.ආර්. පරික්ෂණ ප්‍රතිඵල ඊයේ (25) ලැබෙනවිට ඥාතීන් විසින් දේහය මිහිදන් කර තිබූ බව ද පැවැසේ.

මෙලෙස මියගොස් තිබුණේ ගාල්ල, මකුළුව, අලුත් පාර පදිංචි අබ්දුල් ජමාල් අස්මිල් නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් ඇතුළත් කිරීමේ දත්තවලට අනුව මෙම පුද්ගලයා පෙරේදා (24) සවස 6.45ට පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඒ අවස්ථාවේදීම ඔහුට කෘත්‍රිම හෘද ස්පන්ධනය පවා ලබාදුන් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. ඇතුළත් කර විනාඩි 20ක් පමණ කාලයක් ඇතුළත මෙම පුද්ගලයා මියගොස් ඇත. 

හදිසි ප්‍රතිකාර ඒකකයේදීම ඔහුගේ ජෛව සාම්පල ලබාගෙන එය පී.සී.ආර්. පරික්ෂණයකට යවා දේහය ඥාතීන්ට භාර දී තිබේ. වාට්ටුවේ සේවය කළ විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා මේ පුද්ගලයාගේ මරණය සිදුවී ඇත්තේ නියුමෝනියාව හා ලේ විෂවීම යන කරුණුවලින් බවත් ඔහුට ඇදුම රෝගය තිබූ බවත් සඳහන් කරමින් මරණයට හේතුව සඳහන් ලේඛනයක් ද ඥාතීන් වෙත නිකුත් කර තිබිණි. 

සෞඛ්‍ය නිර්දේශය වන්නේ එවැනි මරණයක් අනිවාර්යයෙන්ම මරණ පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ රාජකාරි භාරව සිටි රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතාගෙන් අප මේ පිළිබඳ විමසූ විට ඔහු මෙසේ කීවේය.

“එවැනි මරණයක් සම්බන්ධයෙන් මරණ පරික්ෂණෙයක් සිදුකිරීමට අධිකරණ අංශයට ඉල්ලීමක් යොමු වී තිබුණේ නැහැ. නමුත් රෝහලට ගෙනැවිත් විනාඩි කිහිපයකින් මියයන පුද්ගලයකුගේ දේහයක් සාමාන්‍යයෙන් හදිසි මරණ පරික්ෂණයකට යොමු කළ යුතුයි. ඒ වගේම පී.සී.ආර්. පරික්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගන්න මළසිරුරක් කිසිසේත්ම මරණ පරික්ෂණයකින් තොරව ඥාතීන්ට භාර දෙන්න බැහැ. පී.සී.ආර්. වාර්තා පැමිණෙන තුරු දේහය මෘත ශරීරාගාරයේ තබා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මරණ පරික්ෂණ හා පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුවිය යුතුයි. නමුත් මේ දේහය මරණ පරික්ෂණයක් සඳහා යොමු කර තිබුණේ නැහැ. 

මේ ගැන දැනගෙන සොයා බැලූ විට පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාව ඊයේ (25 ) උදේ 9.00ට පමණ රසායනාගාරයෙන් නිකුත් කර තිබුණා. ඒ වාර්තාව අනුව මේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැහැ. නමුත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ මරණයක් අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍ය අංශයේ දී මරණ පරික්ෂණයකට යොමු විය යුතුයි.” 

මේ පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයේ දී කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා සිටියේ අධ්‍යක්ෂවරයා කාර්යාලයේ නොමැති බවයි. නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට ඇමතූ විට දුරකතන ඇමතුමට සම්බන්ධ වූ නිලධාරියා විමසා සිටියේ ප්‍රශ්නය කුමක් ද යන්නයි. සිද්ධිය විස්තර කර ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව කියා සිටි විට අධ්‍යක්ෂවරියගේ පිළිතුර වූයේ තමන්ට කිසිවක් කිව නොහැකි බවත් ඒ පිළිබඳව අධ්‍යක්ෂවරයාගෙන් විමසන ලෙසත්ය.


 - සිරංගිකා ලොකුකරවිට -

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට මිල ගණන් කැඳවීම පෙබරවාරියේදී


අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා විවෘත තරඟකාරී මිල ගණන් කැඳවීම එළඹෙන පෙබරවාරි මසදී ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අමාත්‍යාංශය සඳහන් කර සිටියේ ඩිජිටල්කරණයට අදාළ සංකල්ප පත්‍රිකාව මේ වනවිට සකස් කර අවසන් කර ඇති බවයි. ඒ අනුව අධිකරණ ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරි සතිය තුළ අත්සන් කිරීමට අපේක්ෂා කෙරෙන බවද අමාත්‍යාංශය සඳහන් කළේය. 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු පවත්වාගෙන යෑම මේ වනවිටද අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර, එම පහසුකම තෝරාගත් බන්ධනාගාර වෙතද ලබාදී තිබේ.

මේ අතර කොළඹ දිසා අධිකරණයේ කාර්යාලවල මේස මත ලේඛන වාර්තා විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බැවින් සියලු ලිපිලේඛන පරිගණකගත කිරීමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පසුගියදා තීරණය කළේය. ඒ අනුව එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

- නිදර්ශනී වික්‍රමසිංහ -

බැංගලෝරයේ විනෝද උද්‍යානයක් 'කමලා' නම ඇත්තන්ට නොමිලේ ඇතුළු වීමට දීලා


ඉන්දියාවේ දකුණුදිග කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පිහිටි '  වොන්ඩෙර්ලා ' විනෝද උද්‍යානය පසුගිය ඉරිදා දිනයේ ඒ වෙත පැමිණෙන 'කමලා' නම ඇති සියලුම දෙනාට නොමිලේ ඒ වෙත ඇතුළු වීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි  වාර්තා වෙයි. දකුණු ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකාව එක්සත්  ජනපදයේ වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස්ගේ ධුර ප්‍රාප්තියට සතුට පළ කිරීමක් ලෙස එම විනෝද උද්‍යානයේ බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.


‘ඉරිදා දිනයේ සෑම කමලා කෙනෙක්ම දිනුම්” යනුවෙන් මෙම උද්‍යානය සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබී ඇත. බැංගලෝර නගරයට අමතරව කෝවි සහ හයිද්‍රබාදහි පිහිටි වොන්ඩෙර්ලා උද්‍යානහිදීද  මෙම අවස්ථාව ලබා දී තිබූ බව පැවසෙයි.

ගමකින් තිදෙනෙක් යුද හමුදාවට බඳවාගනී

ශ්‍රී ලංකා යුද හමුදාවට දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් බඳවා ගැනීම යටතේ ගමකින් තිදෙනෙකු බැගින් බඳවාගැනීමට සැලසුම් සකස් කර තිබෙන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළ මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක වන බවත්, මෙහිදී අවම වශයෙන් එක් ගමකින් තිදෙනෙකු පමණ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

පොදු රාජකාරී හා ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම බදවා ගැනීම් සිදුකරන බවත්, මේ අනුව වෘත්තීය මට්ටමේ තනතුරු සඳහා වයස අවුරුදු 18ත් 26ත් අතර තරුණ තරුණියන්ට ඉල්ලුම් කළ හැකි අතර, පොදු රාජකාරී කටයුතු සඳහා වයස අවුරුදු 18ත් 24ත් අතර පිරිස්වලට ඉල්ලුම් කළ හැකි බවත් හෙතෙම පවසා සිටියේය. 

මේ පිළිබඳ විස්තර 0114056102, 0765303715 දුරකථන අංක මගින් ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) 0766907293 ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි හා 0272259128, 0766907297 ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර, 0764514395, 0701918333 ආරක්ෂක සේනා මූලස්ථානය කිලිනොච්චි 0712138268 ආරක්ෂක සේනා මූලස්ථානය මුලතිව් 0765303721 ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර (පනාගොඩ) 0766907304, 0765303719 ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම (දියතලාව) 0112815080, 0113137553 ආධුනිකයන් බඳවා ගැනීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (කොහුවල) යන දුරකථන අංක මගින් විමසීම් කළ හැකිය.

- ඉන්දික හේවාවිතාරණ -

චීනයේ ප්‍රථම සූර්යය මෙහෙයුම 2022 වසරේදී

සූර්යයා පිළිබදව ගවේෂණය සදහා වසර 2022 පළමු වැනි අර්ධයේදී පමණ අභ්‍යවකාශ යානාවක් අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කර ඇතැයි චීනයේ විද්‍යා ඇකඩමිය අනාවරණය කරයි. ASO-S (Advanced Space-based Solar Observatory) ලෙස මෙය නම් කෙරී ඇත. මෙලෙස යවන යානය පෘථිවියේ සිට කිලෝමීටර් 720ක් පමණ ඉහළ කක්ෂයේ රඳවා තබමින් සූර්යයා පිළිබදව ගවේෂණය අරමුණ වී තිබේ. මෙම අභ්‍යවකාශ මෙහෙයුම වසර හතරක කාලයක් ක්‍රියාත්මක කෙරෙන බව ඇකඩමියේ පර්යේෂකයන් පවසා සිටියි.  මෙහිදී යානය සමග සුර්යය දුරේෂකයක්, චුම්භක ප්‍රතිබිම්භකයක් සහ එක්ස්-රේ ප්‍රතිබිම්භකයක් රැගෙන යන අතර, එම උපාංග යොදාගනිමින් පැය 24ක කාලයකදී සූර්යයාගේ වායුගෝලය මත සිදුවන වෙනස්කම් පැහැදිලිවම නිරික්ෂණය කිරීම සැලසුම වී තිබේ. 


එසේම මෙම යාතය මගින් සූර්යය කුණාටු ඇති වීමට දින දෙකකට හෝ තුනකට පෙරාතුව ඒ පිළිබඳව නිරීක්ෂණය කෙරෙනු ඇති බවත්, ඒ හරහා මෙවැනි සූර්යය කුණාටු හේතුවෙන් පෘථිවියේ විද්‍යුත් චුම්භක පරිසරය වෙත සිදුවන හානිය පිළිබදව පෙර අනතුරු ඇගවීම් සිදු කිරීමේ හැකියාව ලැබෙන බවත් පර්යේෂකයන් පවසා සිටියි.


Monday, January 25, 2021

වීදිය බණ්ඩාර කුමාරයාගේ නිධානය ගන්න ගිය හය දෙනෙක් මාට්ටු


වීදියබණ්ඩාර කුමාරයාට අයත් මැණික් අඩංගු නිධානයක් ගැනීමට කටයුතු කළ බව කියන සැකකරුවන් හය දෙනෙක් පූජා භාණ්ඩ ඇතුළු උපකරණ සමග කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

වීදියබණ්ඩාර කුමාරයාට අයත් මැණික් අඩංගු නිධානයක් තිබෙන බවට ජනප්‍රවාදයක් පවතින බදුරලිය පොලිස් වසමේ හැඩිගල්ල ජනපදයේ පුවක්දොළ රක්ෂිතය හරහා ගලා බසින පුවක් දොලේ දිය බුබුළක් ආසන්නයේ පිහිටි කළු ගලක් පුපුරවා නිධානය ගැනීමට උත්සාහ කිරීමේදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

මාතර වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් හතරදෙනෙකුත්, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි එක් අයකුත්, බදුරලිය ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයකුත් එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පුවක්දොළ ප්‍රදේශයෙන් පසුගිය 23 වැනිදා සවස 5ට පමණ විශාල පිපුරුම් හඬක් ඇසුණු බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.


- බන්දු තඹවිට -


චීන එන්නත ලියාපදිංචිය මේ සතියේදී




කෝවිඩ්-19 මර්දන චීන එන්නත මෙම සතියේදී බොහෝවිට ලියාපදිංචි කෙරෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.  මේ සම්බන්ධයෙන්  කළ විමසීමේදී හෙතෙම සඳහන් කර සිටියේ හදිසි භාවිතය සඳහා අවසර ලබාදීමක් ලෙස එය සිදු  කිරීමට නියමිත බවයි.  ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 65%කට එන්නත් ලබා දිය යුතු බවට තීරණය කර ඇති බවත්, ඒ අනුව ප්‍රදාන ලෙස ලැබෙන එන්නත්වලට අමතරව තවදුරටත් එන්නත් අවශ්‍ය වුවහොත් එම ප්‍රමාණය මුදලට ලබා ගැනීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන කෝවිඩ්-19 මර්දන එන්නත් පළමු තොගය අනිද්දා (27දා)  දින දිවයිනට රැගෙන එන බවත්, ඒ අනුව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට එම එන්නත එන්නත් කිරීම එළඹෙන 28වැනිදා ආරම්භ කරන බවත් ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.  ජනාධිපතිවරයා සඳහන්  කර සිටියේ ඉන්දියාව, චීනය සහ රුසියාව සමග මේ වනවිට සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බවයි.

 


-නිදර්ශනි වික්‍රමසිංහ-




පච්ච පොළේ සතුන් වත්තක්:ව්‍යාපාරිකයා අත්අඩංගුවට


ගල්කිස්ස මංසන්ධියේ පච්ච කොටන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවකු නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි ආනයනික ඇලි ඉබ්බෙකු,  ග්‍රීන් ඉගුවානා උරගයකු, විල් මුවකුගේ අං තට්ටුවක්, ගෝන අං තට්ටුවක් ඇතුළු සජීවී සතුන් ඇතුළු අජීවී ද්‍රව්‍ය රැසක් අත්තිඩිය වනජීවී අඩවි කාර්යාල නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණැයි එම කාර්යාලීය ප්‍රකාශකයෙක් පැවැසීය.

සැකකරු හා නඩු භාණ්ඩ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ජීවී සතුන් දෙහිවල සත්වෝද්‍යානයට බාරදෙන ලෙසත්, සැකකරුට රුපියල් 3,75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් චමින්ද ලියනගේ මහතා ඉකුත් 22 වැනිදා නියෝග කළේය.

මෙලෙස දඩ නියම කරනු ලැබුවේ ගල්කිස්ස, ගාලු පාර, නො. 244/1/1 paradise tattoo Shop' හිමිකරුවන නිර්මාල් රුද්‍රිගු ඩයස් නමැත්තකුටය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සජීවී විදේශීය සතුන් සත්වෝද්‍යානය වෙත භාරදෙන ලෙසටත් අජීවී සත්ව කොටස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්කරන ලෙසත් නියෝග කරනු ලැබිණැයිද එම ප්‍රකාශයා පැවැසීය.

මෙම වැටලීම වනජීවී නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ අතර, වැටලීමේදී අනවසරෙන් සන්තකයේ තබාගෙන සිටි, ලංකා සිතියම්, බෙල්ලකුගේ කවඩි 01 ක්, තල්මසකුගේ කශේරුකා අස්ථි කොටසක්, වඩු කුරුලු කුඩු එකක්, සීපෑන් වර්ගයේ කොරල් ශාකයක්, අජීවී කෘමි සතුන් එකසිය දෙකක් අඩංගු පෙට්ටි හයක් ඇතුළු දෑ මෙලෙස නීති විරෝධී ආකාරයට සන්තකයේ හෝ පාලනයේ තබාගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කර තිබුණ අතර, මොනයම් සතකු ලංකාවට ආනයනය කිරීම නීති විරෝධී බවත්, විශේෂයෙන් ආක්‍රමණශීලී සතුන්, මාංශ භක්ෂක සතුන් රැගෙන ඒම හෝ ස්වභාවික පරිසරයට මුදාහැරීම නොකළ යුතු බවත් එම නිලධාරිහු පවසති.

මෙම වැටලීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතාගේ උපදෙස් මත බෙල්ලන්විල අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක එච්. සමන් ලියනගම වන සත්ව අඩවි ආරක්ෂක ජානක යන මහත්වරුන් හා වන සත්ත්ව අඩවි සහකාර එරංග රත්නායක, වන සත්ව නියාමක යසන්ත සොයිසා, ක්ෂේත්‍ර සහයක මිතුන්, රියදුරු නිශ්ශංක යන නිලධාරින් මෙම වැටලීම සිදුකළහ.

-  එච්.එම්. ධර්මපාල -


FCIDය නැමැති පොලිස් කොට්ඨාසයෙන් රාජ්‍ය සේවකයාට වැඩ කළ නොහැකි භීතිකාවක් නිර්මාණය කළා




'එෆ්සීඅයිඩී" නමැති නීති විරෝධී පොලිස් කොට්ඨාසය යොදා ගනිමින් තීන්දු ගෙන පසුගිය ආණ්ඩුව රාජ්‍ය සේවකයාට වැඩ කිරීමට නොහැකි භීතිකාවක් නිර්මාණය කළ බවත්, එය නවතා බියෙන් සැකයෙන් තොරව කාර්යක්ෂමව හා ඵලදායීව ජනතාවට සේවය කළ හැකි වාතාවරණයක් අද රාජ්‍ය සේවකයාට නිර්මාණය කරදීමට වත්මන් ආණ්ඩුවට හැකිව ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.  සෙත්සිරිපාය III අදියර, බහුමහල්  කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය  පරිශ්‍රයට මුල්ගල තැබීමේ උත්සවයේ  ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි  වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ   වීරවංශ මහතා, 


"මේ ඉදිවන්නේ ගොඩනැඟිල්ලක් පමණක් නොවෙයි. මෙය ඉදිවීමෙන් පසුව එහි සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයාගේ ආකල්ප වෙනස් වනවිට,  එමගින් මහජනයාට ලැබෙන සේවය කලින්ට වඩා කාර්යක්ෂම හා ඵලදායී වනවිට මේ සිදුවන්නේ මේ රටේ සමස්ත  ආර්ථිකය හා බැඳුණු කාරණාවක්. ඉතින්  මේ සමහරු කියන්නෙ 'මේ වසංගත කාලයේ අපි අතයි - පයයි හකුළාගෙන ඉන්න ඕනේ” කියලයි. හෙට දවසේ කියාවි 'මේ වසංගත අස්සේ කාර්යාල සංකීර්ණ හදන්න ඕනේද, ඒකද මේ මොහොතේ ප්‍රමුඛතාව " කියලා.  අද වෙනදා වගේ රාජ්‍ය සේවකයාට බය වෙන්න ඕනේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණා ඔබට මතක ඇති 'එෆ්සීඅයිඩී" නමැති නීතිවිරෝධී පොලිස් කොට්ඨාසයක්.  ඒකට නිතිපතා රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් ගෙන්වුවා. මට මතකයි, මම ඉංජිනේරු සංස්ථාව සමග උප  කොන්ත්‍රාත්තුවක් කළ ව්‍යාපාරිකයෙකු ලවා කොළඹ මහානාම විදුහලේ ඉදිරිපස පිවිසුම් මාර්ගය කාපට් කර දුන්නා. ඒකට ගිය පිරිවැය යෙදුවේ එම පෞද්ගලික ආයතනය මගිනුයි. පසුව ඒ විදුහලේ විදුහල්පතිතුමා මාරු කළා.


ඔහුව එෆ්අයිඩීයට කැඳවුවා. ඒ විතරක් නොවෙයි අර කාපට් කර දුන් ආයතනයේ සභාපතිත් එෆ්සීඅයිඩීයට කැඳවූවා. කැඳවලා ඔහුගෙන් අසා තිබුණා මම කීයක් දුන්නාද කියා. මම දුන්නු කීයක්වත් නැහැ. ඒ ආයතනය හරහා උදව්වක් ලෙස කරලා දුන්නා. එෆ්සීඅයිඩීය ඒ මට්ටමට වැටුණා. රාජ්‍ය සේවකයා භීතියට පත් කළා. රාජ්‍ය සේවකයා වැඩ කරන්නෙ නැති, තීරණ නොගන්නා තත්ත්වයට පත් කළා. අද අපේ ආණ්ඩුව ඒ 'කැත ආදර්ශය' අනුගමනය කරන්නේ නැහැ,  අද අපි රාජ්‍ය සේවකයාට අභිමානයෙන් යුතුව වැඩ කිරීමේ ඉඩ ප්‍රස්තාව හදලා දී ලා තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ වගකීම තමයි උපරීම කාර්යක්ෂමව තම සේවය ජනතාවට ලබාදෙන එක. අපේ ආණ්ඩුව රාජ්‍ය සේවකයාට වැඩ කරලා සතුටුවිය හැකි යුගයක් නිර්මාණය කර දී තිබෙනවා. ඒ යුගය ආලෝකවත් කිරීමට අපි කැපවෙමු " කියා ආරාධනය කරනවා" යැයිද සඳහන් කළේය. 



-නවෝද්‍යා පවනී-




පිරමිඩ ජාවාරමක් කළැයි කෘෂිකර්ම නිලධාරීන් දෙදෙනකුට අත්හිටවූ සිරදඬුවම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති සහ බැංකු පනත උල්ලංඝනය කරමින් පිරමීඩ ජාවාරමක නියැලුණු බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරියකු සහ එම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරියකු එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔවුනට වෙන් වෙන් වශයෙන් වසර දෙක බැගින් සිරදඬුවම් නියම කර එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවීමට නියෝග කළේය. 

ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් දඩ මුදල්ද නියම කෙරිණි. 

මෙසේ දඬුවම් නියම වූයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරියකු වන කලගල ආරච්චිගේ රත්නසිරි නොහොත් ජයසේන සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වන කමල් කිත්සිරි උඩුවක යන දෙදෙනාටය.

2015 වසරේ දෙසැම්බර් මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයකදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි අනුරාධපුරයේදී මුදලින් හෝ මූල්‍ය වටිනාකමකින් දායකවීමට හෝ මුදල් හා මූල්‍ය වටිනාකමකින් ගෙවීමට සහභාගිකරුවකුට නියම කරනු ලබන සහ සහභාගිකරුවකු විසින් උපයනු ලබන ප්‍රතිලාභ එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන්ගේ සංඛ්‍යාවෙන්හි වැඩිවීම මත හෝ එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත ප්‍රධාන වශයෙන් තීරණය වන්නා වූ යෝජනා ක්‍රමයක් කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් ප්‍රචාරය කිරීමෙන් 2005 අංක 02 දරන පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) (2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

විත්තිකරුවන්ට දඬුවම් නියම කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා විවෘත අධිකරණය අමතමින් සඳහන් කළේ 2005 අංක 02 දරන පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) (2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නගා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි. ඒ අනුව විත්තිකරුවන් අනුරාධපුර පුබුදුපුර පුබුදු ප්‍රජා ශාලාවේදී සහ අනුරාධපුරයේ තවත් ස්ථාන කිහිපයකදී නීති විරෝධී පිරිමීඩ ක්‍රමයක් ප්‍රචාරය කර ඇති බව අධිකරණයේදී ඔප්පු විය.

ශ්‍රී ලංකා බැංකු පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී පිරමීඩ ජාවාරමක් මෙහෙයවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් වරදකරුවත් කරමින් ශ්‍රී ලංකාවේ අධිකරණයකින් දඬුවම් නියම කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයකි.

ශ්‍රි ලංකා මහ බැංකුව වෙනුවෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරි අනුර ජයසිංහ යන මහත්වරුන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන, නීතිඥ ජානක මාරපන සහ නීතිඥ සුජීව සේනසිංහ යන මහත්වරු වරින්වර පෙනී සිටියහ.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 61467 අංක දරන මෙම නඩුවේ තීන්දුව පිටු 58 කින් සමන්විතය.

-  උපාලි ආනන්ද -

මධුසමයට නුවරඑළි ගිය හෝමාගම මනාල යුවළකට කොරෝනා

හෝමාගම ප්‍රදේශයේ මනාල යුවළකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට පෙරේදා (23) ඇතුළත් කළ බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවැසීය. 

මෙම මනාල යුවළ මධුසමය ගත කිරීම සඳහා නුවරඑළියේ හෝටලයකට ගොස් සිටියදී හදිසියේම අසනීප වීම නිසා පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කර ඇති අවස්ථාවේදී දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එහිදී තහවුරු වුණු බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය. 

දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය කඩුවෙල රණාල, පාදුක්ක හා හෝමාගම ස්ථාන තුනකදී පවත්වා තිබෙන අතර එම උත්සවවලට සහභාගි වූ තුන්සිය පනහකට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

ඉන් මනාල යුවළ හා සමීප වූ පිරිසක් පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අතර මනාල යුවළ සිප වැළඳගත් කිහිපදෙනකු ද වන බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති. 

මින් උත්සව දෙකක් උත්සවශාලා දෙකක පවත්වා තිබු අතර අනෙක් උත්සවය පවත්වා ඇත්තේ මනාලියගේ හෝමාගම නිවෙසේදීය. එම ස්ථාන තුනම විෂබීජහරණයට පියවර ගන්නා ලදැයි සෞඛ්‍ය අංශ පවසයි.


- සුජිත් හේවාජුලිගේ -