Monday, January 31, 2022

සත්‍ය සඟවන මාධ්‍ය ආයතනත් දිනෙක දිය වී යනු ඇති


කොපමණ බලය තිබුණත් දේෂ්පාලන පක්ෂ හා  නායකයන් දිනක දිය වී යන්නාක් මෙන් ඔවුන්ගේ න්‍යායධර්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් සත්‍යය සගවන මාධ්‍ය ආයතන ද දිනෙක දිය වී යනු ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරදගුරුතුමෝ පෙරේදා (29 වැනිදා) පැවැසූහ. කොපමණ බලය ඇති අය වුවත් දිනක දිය වී පස්, දූවිලි, අළුවලට හැරෙන බව කී  අගරදගුරුතුමෝ, යම් සිදුවීමක් වූ විට රජයේ හා විරුද්ධ පක්‍ෂවල අර්ථකථනය පමණක් සත්‍යය යැයි ප්‍රකාශ කරන මාධ්‍යයන් ද වැඩි කල් ඔරොත්තු නොදෙන බව කීහ.

වර්තමානයේ ඇතැම් මාධ්‍ය ආයතන පාලනය වන්නේ රට පාලනය කරන අයගේ චින්තනය අනුව බව කී අගරදගුරුතුමෝ, එම මාධ්‍ය සැබැවින්ම සත්‍යය හෙළිදරව් කරනවා ද යන්න ගැටලුවක් බව සඳහන් කළහ.  අගරදගුරුතුමන් මේ බව පැවැසුවේ, කිතුනු  රූපවාහිනී නාලිකාවක් වන ‘වර්බුම් ටී.වී.' ආයතනයේ 7 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති දේ මෙහෙයේදීය. මාධ්‍යයේ වගකීම සත්‍යය සොයා ජනතාව දැනුවත් කිරීම බවත්, දේශපාලන පක්‍ෂවල  න්‍යායධර්ම හෝ මාධ්‍ය පාලකයන්ගේ න්‍යායධර්ම  අනුව මාධ්‍ය මෙහෙයවීම අසාධාරණයක් බවත්  කොළඹ අගරදගුරුතුමෝ කීහ.  වර්තමානයේදී ඇක්ත ප්‍රකාශයට පත්කරන නිදහසක් මාධ්‍යවේදියාට නැතැයි කී  අගරදගුරුතුමෝ, කතුරකින් කපා තමන්ට සුදුසු  දේ පමණක් පළ කෙරෙන බවත් පැවැසූහ. 

ආණ්ඩුවට හොරණෑ පිඹින අය රජයේ මාධ්‍ය මෙහෙයවීම මිනිස් සමාජයට කරන අගෞරවයක් බවත්, ඇත්ත බොරුව කරමින් නිෂ්පාදනය කරන වාර්තා නිසා මිනිසුන්ගේ මනස විකෘති කර සමාජයේ ගැටලු ඇතිකරවන බවත් අගරදගුරුතුමෝ කීහ.   රජයක්, විරුද්ධ පක්ෂයක් හෝ තවත් කණ්ඩායමක් ඇත්ත වසා බොරුව රජ  කරවන්නට කටයුතු කරනවා නම්, එය එළියට  දැමීම මාධ්‍යයේ සැබෑ වගකීම විය යුතු බවත්, ජනතාවට සත්‍යය ප්‍රකාශ කරන්න බිය නොවිය යුතු බවත් එතුමෝ සඳහන් කළහ. කවදා හෝ සත්‍යය එළි වූ විට සත්‍යය බොරු කළ අයගේ නිරුවත දකින්න ලැබෙන නිසා, ඇත්ත වෙනුවෙන් නොබියව පෙනී සිටින්නැයි තමන්  මාධ්‍යකරුවන්ගෙන් හා මාධ්‍යවේදීන්ගෙන්  ඉල්ලා සිටින බව මැකම් කාදිනල් රංජිත්  කොළඹ අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවැසූහ.

 -ඩයනා උදයංගනී-


ෆාබ්‍රේස් ශ්‍රී ලංකාවට බෑ කියයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයදුම්කර සිටි එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කර ඇතැයි ද ක්‍රිකටර් සඟරාව කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තතුර බාරගැනීම පසෙක තබා තවදුරටත් වෝවික්ෂයර් ප්‍රාන්තයේ පුහුණුකරු වශයෙන්ම කටයුතු කිරීමට ෆාබ්‍රේස් මහතා තීරණය කර තිබේ. සෝවික්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් මධ්‍යස්ථානය පිහිටි එජ්බැස්ටන්හි' ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් 2014 දී කටයුතු කළේය. එ දවස ඔහු හැර ගිය තනතුරට නැවත පැමිණීමට වසර 7 කට පසුව ෆාබ්‍රේස් මහතා ඉදිරිපත් වූවද අවසන් මොහොතේදී එම අදහස වෙනස් කර තිබේ.මේ වනවිට 54 හැවිරිදි ෆාබ්‍රේස් මහතා වසර 2019 දී එම තනතුරට පත්වූයේ ඈෂ්ලි ජයිල්ස් මහතා තනතුරෙන් ඉවත්වීමත් සමගිනි. එතැන් සිට ෆාබ්‍රේසෙ මහතා වික්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා වශයෙන් ඉතාමත් සාර්ථක කාලයක් ගතකළේය. වික්ෂයර් ප්‍රාන්තය, වසර නවයකට පසුව, පසුගිය වසරේදී ප්‍රාන්ත ශූරතා ශූරතාව දිනාගත්තේය. අනතුරුව ලෝඩ්ස්හිදී ලැන්කෂයර් පිලට එරෙහිව ජයග්‍රහණය කරමින් බොබ් විලිස් කුසලානයට හිමිකම් කීවේය. මෙම සාර්ථකත්වය නිසාම, ෆාබ්‍රේස් මහතා තවදුරටත් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටීමට තීරණය කර ඇතැයි කියැවේ. ෆාබ්‍රේස් මහතා, තමන් තවදුරටත් නොවික්ෂයර් ප්‍රාන්තයේ රැඳී සිටින බව පසුගිය බ්‍රහස්පතින්දා වෝවික්ෂයර් ප්‍රාන්ත බලධාරීන් වෙත දැනුම් දුන්නේය. කෙසේ වෙතත් ඔහුගේ තීරණය පසුපස වෙනත් හේතුවක් ඇතැයි අනුමාන කළ හැක්කේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කළේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නිමා වීමෙන් මාස කිහිපයකට පසුව වන බැවිනි. ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම හැරගියේ ශ්‍රී ලංකා කණ්ඩායම 2014 විස්සයි-20 ලෝක කුසලාන දිනා  ගැනීමෙන් දෙසතියකට පසුවය. ඒ වන විටත් ඔහුගේ කොන්ත්‍රාත් කාලයෙන් ගෙවී තිබුණේ මාස තුනක් පමණි. ප්‍රධාන පුහුණුකරුවාගේ තනතුරේ සිට ඔහු පිටත්ව ගියේ එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වීමටය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පසුගිය වසර අවසානයේ ඩර්බිෂයර් ප්‍රාන්තයට එක්විය. ආතර් මහතා සේවා දිගුවක්ම බලාපොරොත්තුව සිටි නමුත් ඔහුට එය නොලැබිණ. මිකී ආතර් මහතාගේ සමුගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ප්‍රධාන පුහුණුකරුවකු අවශ්‍ය වී තිබේ.නිමාවූ සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් රුමේෂ් රත්නායක මහතා කටයුතු කළ අතර ලබන මාසයේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහාත්, පුහුණුකරුවා වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කර තිබේ. කෙසේ වෙතත් මෙය තාවකාලික පත්වීමකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කරන්න'යි දැන්වීම් පළකිරීමෙන් පසුව අයැදුම්පත් 30 කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබිණ. එහෙත් පුහුණුකරුවා තෝරාගැනීමේ වගකීම බාරගත් ක්‍රිකට් උපදේශක මණ්ඩලය අපේක්ෂා කළ තරමේ ගුණාත්මක භාවයෙන් උසස් අයැදුම්පත් ඊට ලැබී නොතිබිණ.


කෝටිපතියාගේ දරුවා අටවැනි මහලින් බිමට වැටී මරුට


බම්බලපිටිය ක්‍රෙසන්ට් පටුමගේ සුඛෝපභෝගී අට මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී 15 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි. මෙම නිවාස සංකීර්ණයේ මහල් හතක නිවාස තිබී ඇති අතර, සිසුවා පදිංචිව සිට ඇත්තේ එහි පස්වැනි මහලේ නිවෙසක බව ද පොලීසිය පවසයි.  මෙලෙස මියගොස් ඇත්තේ රාජා අභිලාෂ් නමැති සිසුවා වන අතර, ඔහු කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ බව ද පොලීසිය කියයි.  කෝටිපති ව්‍යාපාරිකයකුගේ එකම දරුවා වන ඔහු, දෙමාපියන් සමග ඉහත නිවෙසේ පදිංචිව සිට ඇති බව ද පොලීසිය සඳහන් කරයි.  ඉකුත් සිකුරාදා (28) දින සවස මෙම සිද්ධිය වී තිබේ. 

මෙම සිසුවා එදින පාසල අවසන්ව පස්වරු 3.00ට පමණ ත්‍රිරෝද රථයකින් නිවාස සංකීර්ණයට පැමිණ බැස, විදුලි සෝපානයට නැගී ඉහළට ගමන් ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති අතර, ඉන් සුළු මොහොතකට පසු ඔහු බිමට වැටෙන අයුරු ද සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති බව පොලීසිය පවසයි.  බිමට වැටීමෙන් සිසුවා බරපතළ තුවාල ලබා ඇති අතර, නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය පොලීසියට හා ඔහුගේ පියාට දැනුම් දී ඇත.  එම දැනුම් දීම අනුව පියා එහි පැමිණ සිසුවා  කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි සඳහන් වේ..  ජාතික රෝහලට ඇතුළත් කළ සිසුවා සුළු මොහොතකින් මියගොස් ඇති බව පොලීසිය කියයි.

පස්වැනි මහලේ පිහිටි නිවෙසට සිසුවා යන විට නිවසේ කිසිවකු සිට නැති බවත්, සිසුවාගේ මව ද නිවෙසින් බැහැරව ගොස් සිට ඇති බවත් පොලීසිය කියයි..  කෙටි තාප්පවලින් වට වී ඇති 8 වැනි මහල (රූෆ්ටොප්) කිසිවකු නොගැවැසෙන ප්‍රදේශයක් බවත්, පස්වැනි මහලේ සිටි සිසුවා අටවැනි  මහලට ගියේ ඇයි ද යන්න ගැටලුවක් බවත්  පොලීසිය පවසයි.  මෙම සිසුවා අට වැනි මහලින් පැන්නේ ද  නැතහොත් ඉන් වැටුණේ ද යන්න මෙතෙක් අබිරහසක් බවත් පොලීසිය පවසයි. මෙම නිවාස සංකීර්ණයේ ඉහළ මහලවල සී. සී.ටී.වී. කැමරා සවි කර නොමැති නිසා සිද්ධිය තහවුරු කරගැනීම දුෂ්කර වී ඇති බවත් පොලීසිය කියයි. සිසුවා අටවැනි මහලින් පැන්නේ ද නැතහොත් වැටුණේ ද යන්න හෙළි කරගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව ද පොලීසිය කියයි.  කොළඹ ජාතික රෝහලේදී ඊයේ (30) සිසුවාගේ සිරුර ඇන්ටිජන් පරික්ෂණය සඳහා යොමු කළ අවස්ථාවේ ඔහු කෝවිඩි ආසාදිතයකු වශයෙන් තහවුරු වූ බව ද පොලීසිය පවසයි. පශ්චාත් පරික්ෂණයෙන් පසුව මවුපියන් වෙත සිරුර බාර නොදී භූමදාන කටයුතු සිදු කිරීමට  නියමිතව තිබිණි. බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.


 ඉන්දිකා රාමනායක

ගැබිනි මාධ්‍යෙවේදිනියකට නවසීලන්ත දොරටු වැසීම ගැන විරෝධයක්

ඇෆ්ගනිස්තානයේ සිරවී සිටින බව පැවසෙන චාර්ලට් බෙලිස් නම් නවසීලන්ත මාධ්‍යවේදිනියකට යළිත් සිය මව්රටට පැමිණීම වැළැක්වීමට එරට බලධාරින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් මතුව තිබෙන බව වාර්තා වෙයි. නවසීලන්තයේ දේශසීමා සංචාරය සම්බන්ධයෙන් 2020 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක දැඩි COVID-19 සීමාකිරීම හේතුවෙන් මෙලෙස චාර්ලට් වෙත යළි සිය මව්රටට පැමිණීමට නොහැකි වී තිබේ. ඒ අනුව ඇය පසුගියදා නවසීලන්තයේ පළකෙරෙන New Zealand Herald පුවත්පත වෙත සිය තත්ත්වය සම්බන්ධයෙන් සඳහන් කරමින් සම්මුඛ සාකච්ඡාවක් ලබාදී ඇති අතර, එම ලිපිය පළවීමත් සමග මෙලෙස සමාජ මාධ්‍ය අතර මේ පිළිබද කතාබහක් හටගෙන ඇත. චාර්ලට් සඳහන් කරන ආකාරයට ඇය අල්-ජසීරා රූපවාහිනී නාලිකාවේ වාර්තාකාරිනියක ලෙස ඇෆ්ගනිස්තානයේදී සිටින අතර, මේ වනවිට ගැබිනියක වන තමන්ට යළිත් ආරක්ෂිතව සිය මව්රට වෙත ඒමේ අවස්ථාව නවසීලන්තය විසින් ප්‍රතික්ෂේප තිබේ. ඒ අනුව තමන් මේ මොහොතේ ඇෆ්ගනිස්තානයේ සිරවී සිටින බව ඇය සඳහන් කර ඇත. තලේබාන් සංවිධානය පසුගිය වසරේ අගෝස්තු 15දා ඇෆ්ගනිස්තානයේ බලය ඇල්ලීමෙන් අනතුරුව පැවැත්වූ පළමු වැනි මාධ්‍ය හමුව වෙත සහභාගි වූ මාධ්‍යවේදිනියන් තිදෙනා අතරට චාර්ලට් ඇතුළත්ව සිටියාය. මෙලෙස චාර්ලට් පත්ව තිබෙන තත්ත්වය පිළිබදව සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා ඇති ඇතැම් දෙනා මෙය නවසීලන්තයේ නිලධාරිවාදයේ දරුණු බව පෙන්වෙන අවස්ථාවක් බවද සදහන් කර තිබේ.නවසීලන්තය වෙත පිටත්ව ඒම සදහා ඇය සහ ඇගේ සහකරුවා වන බෙල්ජියානු ජාතික ඡායාරූප ශිල්පී ජිම් හුලේබ්‍රෝඒක් කටාරය හා නුවර පිහිටි අල්-ජසීරා මූලස්ථානය වෙත පැමිණ තිබේ. චාර්ලට් පවසන ආකාරයට ඇය ගැබිනියක බව හඳුනාගෙන ඇත්තේ එම අවස්ථාවේදීය. එහෙත් කටාරය තුළදී අවිචාහක තරුණියක ගැබිනියක බවට පත්වීම නීතිවිරෝධී කරුණක් හේතුවෙන් ඇය එම තත්වය වසන් කරමින් මෙලෙස ඉක්මනින්ම නවසීලන්තය වෙත ඒමට උත්සාහ දරා තිබේ. නවසීලන්තය COVID-19 පිළිබඳ දේශසීමා තීතියටත් ඔවුන්ගේ පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එම අවස්ථාවේදීය.එහි අවසන් ප්‍රතිඵලය ලෙස අයට යාමට තිබූ එකම තැන ඇෆ්ගනිස්තානය බවට පත්වූ බව චාල්ලපවසයි. ඒ අනුව ඇය ඇෆ්ගනිස්තානයේ වර්තමාන පාලනයහිම් තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයකු සම්බන්ධ කරගනිමින් සිය තත්ත්වය පැහැදිලි කරදී තිබේ. එහිදී ඇයට සිය දරුවා ඇෆ්ගනිස්තානය තුළදී ප්‍රසූත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තලේබාන් සංවිධානය  එකග වී ඇතැයි සදහන් වී තිබේ. "අපී ඔබ ගැන සතුටුයි. ඔබට මෙහි එන්න පුළුවන්. ඔබට කිසිම ගැටලුවක් වන්න” යනුවෙන් තලේබාන් සංවිධානය තමන්ට පැවසූ " බව චාර්ලට් New Zealand Herald පුවත්පත වෙත පවසා තිබේ. මේ අතර, අදාළ සිදුවීම පිළිබද අදහස් දක්වා ඇති නවසීලන්තයේ හුදකලා කිරීම් සහ නිරෝධායන කළමනාකරණ අංශයේ ප්‍රධානියා වන ක්‍රිස් බනී, "චාර්ට් පසුගිය ජනවාරි 24 අප වෙත එවූ ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප වුණේ ඇය ලබන පෙබරවාරි 27දා නවසීලන්තය වෙත පැමිණීමට නියමිතව තිබූවක් නිසයි. එය යම් ඉල්ලුම් පත්‍රයකට අනුමැතිය ලබාදී දින 14කට වඩා වැඩි කාලයක් වීම ඊට හේතුවයි.” යනුවෙන් පවසා තිබේ.ඒ අනුව ඇය පිටත්වීමට බලාපොරොත්තුවන දිනයට දින 14ක කාලයකට පෙරාතුව යළිත් ඒ සඳහා ඉල්ලුම් කරන ලෙසද මෙහිදී එම අංශය මගින් ඇයට ප්‍රතිචාර ලෙස දක්වා තිබේ. එසේ නැත්නම් ඇය පිටත්ව ගුවන්යානය පෙරාතුව නවසීලන්තය වෙත පැමිණීමක් සඳහා කටයුතු සම්පාදනයට අදාළ ගුවන් ගමන් සමාගම සමග කතාබස් කරන ලෙසද දැනුවත් කළ බවත් එහි ප්‍රධානියා වන බනී මෙහිදී සදහන් කර තිබේ. "ඒවගේම අපි පසුගිය ඉරිදා දිනයේදිවාහ දන්වා සිටියා ඇයට යළිත් වරක් හදිසි අවස්ථාවක් යටතේ මේ සදහා ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. එතැනදී නවසීලන්ත පුරවැසියෙකුට සහ පදිංචිකරුවකුට තමන්ට සිටින බරපතළ තත්ත්වයකින් හෝ දරුණු අවදානමකින් මිදීම සඳහා ඇති එකම විසදුම යළිත් නවසීලන්තය වෙත පැමිණීම බව සදහන් කරමින් ඇයට එය සිදුකළ  හැකියි.” යනුවෙන්ද ඔහු මෙහිදී පවසා තිබේ.එහිදී සිය හදිසි කටයුතු සම්පාදන කණ්ඩායම මෙවැනි ඉල්ලුම් පත්‍ර වෙත අවධානය යොමු කරමින් සිටින බවත්, චාර්ලට් අද වනවිට නැවතී සිටි ස්ථානය වන ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ වැඩි අවධානයකට යොමුවූ ස්ථානයක් වන බවත් ඔහු වැඩිදුරත් පවසා තිබේ. 


කෝටි දෙකහමාරක රට සල්ලි රටින් පන්නන්න හැදු පහක් රේගු දැලේ

රුපියල් කෝටි දෙක හමාරකට අධික විදේශ මුදල් නීති විරෝධී ලෙස මෙරටින් පිට කිරීමට තැත් කළ පස්  දෙනකු ශ්‍රී ලංකා රේගු මන්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත ද සිල්වා මහතා පැවැසීය. අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95,000ක්, යුරෝ 18,000ක් සහ සෞදි රියාල් 37,000ක් තිබූ බව රේගුව කියයි.  ශ්‍රී ලංකා රේගුව විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු  කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම්කාර පුද්ගලයන් පස් දෙනා මෙසේ අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් ඩුබායි බලා යෑමට සූදානමින් සිටි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

මුදල් තොගය ඔවුන්ගේ ගමන් මලු තුළ සූක්ෂම  ලෙස සගවා තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද හෙතෙම සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් පස් දෙනෙකි.  එම පිරිස ඩුබායි බලා පෙරේදා අලුයම 2.55ට පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරන යානයෙන් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී මෙලෙස  අත්අඩංගුවට ගනු ලැබූහ.


 -ටී.කේ.පී. කපිල-

රට යන රට ගිය අත හරිද?


ශ්‍රි ලංකාවේ ආර්ථිකය ගැන කථා කරන විටක මගේ සිතට නිතැතින්ම ආවේ කුඩා කාලයේ සිට අසා ඇති මේ කොයි යන්නේ - රයිගම් යන්නේ" වන්නම් පද දෙකයි. අද ලෝකයේ හැම රටකම ආර්ථිකය, (දියුණුවේවා! නොදියුණු වේවා!) ගැන කතා කරනු ලැබේ. සමහර ආර්ථික ගැන කථා කරන්නේ ලබා ඇති ජයග්‍රහණ, මනා  කළමනාකාරිත්වය, යහ පාලනය, වේගවත් වර්ධනය, අභියෝග හා අර්බුද ජය ගැනීම වැනි කාරණා මතය. අනෙකුත් ආර්ථික ගැන කථා කරනු ලබන්නේ මේවාට ප්‍රතිවිරුද්ධ කාරණා මුල් කරගෙනය. අප සමග එකට සිටි රටවල් දෙවනු කී ගණයේ සිට මුල් ගණය කරා ගමන් කරද්දී ශ්‍රී ලංකාව ප්‍රතිවිරුද්ධ දිශාව කරා ගමන් කරමින් සිටී. ලෝකයේ තිබෙන සියලුම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ (Rating Agencies) ආයතන ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දී ඇත්තේ ඉතාම පහළ අගයකි. දිනපතා ඉහළ යන විදේශීය ණය පරිමාව, අවිධිමත් කළමනාකරණය, අවස්ථාවට නොගැළපෙන අනුචිත ආර්ථික තීරණ ගැනීම, දූෂණීය, ක්‍රමයෙන් පළල් වන අයවැය පරතරය, ගෙවුම් ශේෂ හිඟය, විදේශ විනිමය ඉතුරුම්, ආයෝජන වෙළඳ ශේෂ හිඟය ශ්‍රී ලංකා ආර්ථිකයේ මූලික ලක්ෂණ බවට පත් වී ඇත.

අද පවතින ආර්ථික අර්බුදය තමන් ඉගෙන ගෙන ඇති න්‍යායවලට අනුව විස්තර කිරීමට සමහර ආර්ථික පණ්ඩිතයෝ උත්සාහ කරති. තමන් පොත පතින් උගත් දැනුම ප්‍රදර්ශනය කිරීමට ඔවුහු පත්තර තීරු පුරවති. පැය ගණන් කථා කරති. කීපදෙනෙක් පමණක් අප මේ කතා කරන්නේ මීට 73 වසරකට පෙර "නිදහස" යන වචනය ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වූ දා පටන්  ක්‍රමයෙන් උත්සන්න වුණ බරපතළ නිදන්ගත රෝගයක ලක්ෂණ පමණක් බව පිළිගනිති.  අප උඩු යටිකුරු කරමින් ඉහළ සිට පහළටත් වම් පස සිට දකුණු පසටත් එක් එක් අතට පෙරළමින් මේ කථා කරන්නේ රෝග ලක්ෂණ ගැන පමණකි. අවාසනාවකට මෙන් නිදන්ගත රෝගය ගැනවත් එයට හේතුභූත වූ කාරණා ගැනවත් රෝග නිධානය ගැනවත් කතා කිරීමට සමත් වී නැත. 

රෝගියාව හෝ රෝග ලක්ෂණ පමණක් අත පත ගෑමෙන් රටක ආර්ථිකයට වැළඳී ඇති නිදන්ගත රෝගය ගැන කථා කිරීමටවත් එයට පිළියම් යෙදීමටවත් නොහැකිය. අප විසඳුම් සොයන්නේ රෝග ලක්ෂණවලට විනා රෝගයට නොවේ. එය තාවකාලික පැලැස්තර දැමීමක් පමණි.  අද ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට නිදහස ලැබූ දා පටන් පැවති සියලුම ආණ්ඩු එක් එක් අනුපාතයට දායක වී ඇත. ඉලක්ක අරමුණු කරගත් මාර්ග සිතියමක් ඇති ඒකායන ආර්ථික ප්‍රතිපත්තියක් හෝ සැළැස්මක් අපට කිසිදා නොතිබුණි. සැම ආණ්ඩු පෙරළියක් සමඟම ආර්ථික වැඩසටහන එක් අන්තයක සිට අනෙක් අන්තයට ගමන් කර ඇත. සිතේ ඇතිවන උද්දාමය, ජාති මාමකත්වය, මොහොතින් මොහොතට පහළවන සිතිවිලි අවස්ථානුගත තත්ත්වය හා ගැටලු, නැති බැරි අය, සමාජයෙන් කොන්වන අය, සහන, සහනාධාර, නිදහස් කිරීම්, පහසුකම් යන  කරුණු පදනම් කරගෙන ආර්ථික වැඩසටහන් දියත් කර ඇත.

මෙවැනි වැඩසටහන්වල අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ නිදහස ලබන විට පැවති සමෘද්ධිමත්, ස්ථාවර, ආදර්ශවත් ආර්ථිකය අද පවතින අවාසනාවන්ත, ණය උගුලක හිරවී සිටින, හිගන ආර්ථිකයක් බවට පත්වීමයි. අපට පසුපසින් සිටින අපට පසුව  නිදහස ලබා ගත්, ලෝක සිතියමේ නොපැවති, බිහිසුණු යුද්ධවල පැටලී සිටි සියලුම රටවල් ශත වර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇති අප හඹාගොස් ඇත.  සෑම ආණ්ඩුවක්ම ශක්තිමත්, වාණිජකරණය වුණු නවීකරණය වුණු, විවිධාංගීකරණය වුණු, කෘෂි ව්‍යාපාර බිහිකරනු වෙනුවට සුබසාධක පහසුකම්, කුඩා ඉඩම් කට්ටි, නොමිලයේ ජල පහසුකම්, ණය ආධාර, පොහොර සහනාධාර, බිත්තර වී ඇති සහනවලින් පෝෂණය වුණු යැපුම් ගොව් සමූහයක් බිහි කර නඩත්තු කරමින්සිටී. ගොවි ජනපද යෝජනා ක්‍රම, ඉඩෙම් ප්‍රතිසංස්කරණ, කුඹුරු  පනත වැනි සෑම පියවරක්ම යැපුම් මට්ටමේ සිටින සහනවලට  අතපාන ගොවි පිරිසක් බිහි කිරීමට දායක වී ඇත. 

1957 දී BH ෆාමර් විසින් “ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාරය" පිළිබඳ ලියා ඇති ලිපියේ සාමකාමී සහජීවනයෙන් යුතු ගොවි ජනතාවක් බිහිකිරීම හා කෘෂිකාර්මික සංවර්ධනය යන දෙකම එකවර උදාකර ගත නොහැකි බව පැහැදිලිව දක්වා ඇත.  ලෝකයේ වෙනත් රටවල් ඉඩම් එක්රැස් කිරීමට කටයුතු කරන විට  ලංකාව එහි ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරමින් ඉඩම් කට්ටි කර ඇත. අනෙක් රටවල් කෘෂි ව්‍යාපාර, නවීකරණය, වාණිජකරණය,  විවිධාංගිකරණය කරා ගමන් කරද්දී අප තනි වගාව සහිත කෘෂිකර්මයක් කරා ගමන් කර ඇත. කෘෂිකාර්මික පර්යේෂණ, ව්‍යාපෘති හා ක්‍රියාත්මක කිරීම භාරව සිටින ආයතනවල නිලධාරීන් ඔවුන් ලබාගෙන ඇති පශ්චාත් උපාධි, ලබා දී ඇති පහසුකම් ගොවිපොළවල්, බීජ මධ්‍යස්ථාන සමඟ ශීත කාමරවල කටයුතු කරන විට සියලුම කෘෂිකාර්මික භෝගවලින් ලබන ඵලදාව හා ඵලදායිතාව අතින් ඉතාම අඩු රට බවට ලංකාව පන්ව ඇත.

රොබට් නොක්ස් විසින් රජකමට සුදුසු යැයි කී අපේ ගොවියා අමුඩයකින් සරසා අතපාන, මහ මඟ කැරළි ගසන යැපෙන්නෙන් පිරිසක් බවට අප පත් කර ඇත. එමෙන්ම පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලබා ගත් රටක් පිටරට හාලට අතපාන රටක් බවට පත් කර ඇත.  ගොවියාට නුහුරු නුපුරුදු නැනෝ, නයිට්‍රජන් දියර පොහොර, කාබනික කෘෂි යෙදවුම් වැනි වචනවලට ගොවියා හුරු කරමින් සිටී.  1977 දක්වා ශ්‍රී ලංකාව නිෂ්පාදන රටක් විය. එම නිෂ්පාදන ගුණාත්මකභාවයෙන් තත්වානුකූල භාවයෙන් හා අඩු පිරිවැයකින් යුතු, තරගකාරි, නවෝත්පාදන නොවුණු බව සැබෑය. මෙයට  හේතුව ආනයන ආදේශනය බව නිගමනය කළ 1977 ජේ.ආර්.රජය විසඳුම ලෙස දුටුවේ විවෘත වෙළෙඳපොළ හා නිදහස් ආර්ථිකයයි. නිෂ්පාදන ආර්ථිකයක් බවට පැවති ලංකාව මුදල් නමැති සිනිඳු සළුවෙන් වැසුණු වෙළෙඳපොළ ආර්ථිකයක් බවට පත්වුණි.  පෞද්ගලික අංශය වර්ධනයේ යාන්ත්‍රණය ලෙස විවෘත ආර්ථිකය සලකනු ලබයි. එහෙත් ශ්‍රී ලංකාවේ වර්ධන යාන්ත්‍රණය ව්‍යවසායකත්වය, අවදානම් භාරගැනීම, කළමනාකාරිත්වය, කුසලතාව, නවෝත්පාදනය වැනි සුදුසුකම් නොමැතිකමින් පෙළෙයි.

ඒ වෙනුවට එම යාන්ත්‍රණය වෙළෙඳ කටයුතුවල නියැලී සිටින්නන්, සමපේක්ෂකයන්, අනාගතය ගැන අනුමාන කිරීමෙන් වාසනාව උරගා බලන්නන්, කොමිස් මුදල් උපයන්නන්, භාණ්ඩ හුවමාරු කරන්නන්, ක්‍ෂණික මුදල් උපයන්නගෙන් පිරී ඇත. එම යාන්ත්‍රණය රජය විසින් ලබා දෙන පහසුකම් සහන වරප්‍රසාද අපේක්ෂ කරන තවත් යැපෙන්නන් පිරිසක් බවට පත් වී ඇත.  රටක වර්ධනයේ යාන්ත්‍රණය හසුරුවන, නියම දිශාවක් කරගෙන යන සුක්කානම හසුරුවන රියදුරු අසුනේ වාඩිගෙන සිටින්නේ එම රටේ ආණ්ඩුවයි. ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණය හා නිලධාරි සමුහය අතින් සුක්කානම ගිලිහි ආර්ථිකය නිදහසේ ඒ මේ අත ඉබාගතේ ගමන් කරමින් සිටියි. අපනයන මුල් කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් වෙනුවට නිදහස් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය මගින් ලංකාව තුළ ආනයනය මුල් කර ගත් ණය බරින් මිරිකුණු  දුප්පත්කමින් ගහණය වුණු හිගා කන ආර්ථිකයක් බිහි වී ඇත.

අප රට තුළ සිටින ආර්ථික විශේෂඥයෝ ආර්ථිකය වසා සිටින මුදල් සළුව උඩු අතට යටි අතට හරවමින් ඒ සළුවේ ඉරී ඇති තැන් වසා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කරා ගෙන යාමට තැත් කරති. අවාසනාවකට මෙන් මුදල් සළුව ඉවත් කර ආර්ථිකයේ යථාර්ථය දෙසත් එයට හේතු කාරක වූ රෝග නිධානය දෙසත් බැලීමට ඔවුහු මැලිකමක් දක්වති. අප එක්වරම දකින හිඟය දුර්වලතා මූල්‍ය නොවන හේතු නිසා ආර්ථිකය ගිලගෙන ඇති භයානක රෝගයක ලක්ෂණ විනා රෝගය හෝ රෝගයට මුල් වුණු හේතු නොවේ. එම හේතු සොයාගෙන රෝගය සුව කළ හැකේ මූල්‍ය හා අයවැය ප්‍රතිපත්ති හා යෝජනා පමණක් උපයෝගී කරගෙන නොවේ.  1978 පටන් ශ්‍රී ලංකා ආර්ථිකය තුළ කෘෂි කර්මාන්තය හා කාර්මික නිෂ්පාදන අංශවලට වඩා අධික වේගයකින් සේවා අංශය වර්ධනය විය. කාර්මික නිෂ්පාදන අංශයේ මන්දගාමි තත්ත්වයට  හේතු ලෙස සමහර ආර්ථික විශේෂඥයන් දකින්නේ සිවිල් ගැටුම්, තරුණ නැගිටීම්, ස්වභාවික ආපදා හා සුනාමි වැනි කරුණුය. ශ්‍රී ලංකා රජය විශේෂයෙන්ම 2005 න් පසුව ආර්ථිකයට ඉතා සුළු බලපෑමක් පමණක් කරන විශාල පරිමාණයේ යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. මේවාට මුදල් ලබා ගන්නේ ඉහළ වාණිජ පොලී ගෙවිය යුතු ණය මුදල් ලබා ගැනීමෙනි. 

මෙවැනි ව්‍යාපෘති අපට තිබෙන සීමිත විදේශ විනිමය  ද අහිමි කරන ආනයනය කරනු ලබන යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණය, ඉදිකිරීම් උපකරණ, ද්‍රව්‍ය, ගොඩනැගිලි ද්‍රව්‍ය යොදාගෙන ක්‍රියාත්මක  කෙරේ. කරනු ලබන අතිවිශාල වියදම සමග සන්සන්දනය කරන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙරටට ගෙන ආ ඇත්තේ සොච්චම් විදේශ ආයෝජන මුදලකි. ශ්‍රී ලංකාවේ කොළඹින් බැහැර තිබෙන ප්‍රාදේශීය පරිපාලනයට ආයෝජන මණ්ඩලය ආගන්තුකයෙකි.  දෙපාර්ශවය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැත. ලංකාව තුළ ඇති ආයෝජන විභවතාව හැකියාව ගැන ආයෝජන මණ්ඩලයට දැනුමක් නොමැත. මීට අවුරුදු 40කට පෙර හඳුන්වා දුන් බදු සහන පැකේජෙය කරපින්නා ගෙන තවමත් ලෝකය වටා ප්‍රචාරක කටයුතු  සිදු කරමින් සිටී. අවුරුදු 40 කට පෙර ආයෝජකයන් අයෝජන අවස්ථා හා රටවල් සොයමින් එකිනෙකා හා තරග කරමින් සිටියද අද තරගය ඇත්තේ ආයෝජකයන් අතර නොව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට දඟලන රටවල් අතර බව ශ්‍රී ලංකාද්වේ ආයෝජන මණ්ඩලය නොදනී. රට තුළ මෙන්ම ලෝකයේ ආයෝජන කලාව අද වෙනස් වී ඇතත් මණ්ඩලය ඒ ගැන නොතකයි. රටකට ආයෝජනය ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වන හේතූ ලෝක බැංකුව විසින් වසරක් පාසා ගණනය කරනු ලබන ව්‍යාපාර කිරීම් දර්ශක (Doing, Business Index) මගින් මනාව පැහැදිලි කර ඇත. මේ හේතු සොයා බලා ඊට පිළියම් යෙදීමට අපේ අයෝජන මණ්ඩලයට වුවමනාවක්, උනන්දුවක් හෝ අධිකාරි බලයක් නොමැත. 

ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධන මණ්ඩලය සෑම මාසයකම අවසානයේ ලංකාවේ අපනයන ගැන පශ්චාත් මරණ පරීක්ෂණ කරන ආයතනයක් බවට පත් වී ඇත. අපේ අපනයනවලට ඇති ඉල්ලුම, වෙළෙඳපොළ, එහි උපනතිය, අවස්ථා හා ප්‍රවණතා ගැන අධ්‍යනය කර ඉදිරිය ගැන පුරෝකථනයක් කිරීමට එය අසමත්ය. ඇගලුම් භාණ්ඩ අපනයනය නිදහස් ආර්ථිකයේ ජයග්‍රහණයක්  ලෙස ඔවුහු දකිති. එහෙත් ඇත්ත වශයෙන්ම එය ප්‍රේමදාස පාස්කරලිංගම් සංයුතියේ ජයග්‍රහණයේ කතාන්දරයයි..  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කතාන්දරය මීට වඩා වෙනස් නොවේ. එම මණ්ඩලය කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට එන විදේශීය පුද්ගලයන් ගණන් කර රටට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරන ආයතනය බවට පත් වී ඇත. ඒ අතරට විදේශීය ගමන් බලපත්‍ර ඇති ලාංකිකයෝද අයත් වෙති. සංචාරක කර්මාන්තයෙන් ලංකාවට ලැබෙන ප්‍රතිලාභය ගණනය කළ යුත්තේ ශුද්ධ විනිමය ඉපයීම්වලින් මිස හිස් ගෙඩි ගණන් කිරිමෙන් නොවේ. අපනයන හා සංචාරක කර්මාන්තය මගින් ශ්‍රී ලංකාවට  ලැබෙන ශුද්ධ විදේශීය විනිමය ඉපයීම් ප්‍රමාණය බිංදුවට ආසන්න වෙන අතර කිසිදු අගය එකතුවීමක් සිදු නොවේ. 

අපනයනකරුවන්ට හා සංචාරක කර්මාන්තයේ නියැලී ඇති අයට රජයෙන් ලැබෙන පහසුකම්, වරදාන ප්‍රතිලාභ හා බදු සහ පොලී සහන අතිමහත්ය.  එහෙත් ඔවුහු උපයන ඩොලර් මෙරටට ගෙන ඒමට මැලිවෙති. කළු කඩයට ඩොලර් විකුණා ඉහළ රුපියල් ආදායමක් ලබා ගැනීමට ඔවුහු රජයේ අවසරය පතති. අලුත් නිෂ්පාදන, අලුත් වෙළෙඳපොළවල් සොයාගෙන අපනයන පරිමාව ද සංචාරක  ආකර්ෂණයද වැඩි කර රටේත්, තමන්ගේත් විදේශ විනිමය හා රුපියල් ආදායම වැඩි කර ගන්නවා වෙනුවට ඔවුන් තතනන්නේ  රජයේ මුල්‍ය කළමනාකරණයේ ඇති අඩු පාඩු යොදා ගෙන කල දුටු කල වල ඉහ ගන්නටය.  සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව පැහැදිලි ශුද්ධ විදේශ විනිමය ආදායමක් උපයා ගන්නේ විදේශ රටවල රැකියාවක් කරන ලාංකිකයන් මෙරටට එවන ආදායම් ප්‍රේෂණයෙන් පමණක්ය.  මූල්‍ය ක්‍රමය නිසි ලෙසට හසුරුවන පොලිස් නිලධාරියා ලෙස මහ බැංකුව හඳුන්වයි. එහෙත් අනෙක් පොලිස් නිලධාරීන් මෙන්ම මහ බැංකුව ද මුදල් වෙළෙඳපොළේ අනෙක් ක්‍රියාකරුවන්ට වඩා විනය කඩ කරනු ලබයි. ආර්ථිකයේ ගමන් මඟ හෝ දිශාව ගැන මහ බැංකුව පුරෝකථනය නොකරයි. එසේ කළද එය යථාර්ථයට වඩා බොහෝ දුරස්ථය.

අද ආර්ථික විශේෂඥයෝ, විශේෂඥ ආයතන, වාණිජ මණ්ඩල ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සෙවණ පැතිය යුතු බවට හඬ නගති. එහෙත් අප මූල්‍ය අරමුදලට යා යුත්තේ හෝ නොයා යුත්තේ ඇයි දැයි අපට කියා නොදෙයි. අපේ කුඩා දැනුමට අවබෝධ වන අන්දමට මූල්‍ය අරමුදලේ සහාය පතනුයේ ලබා ගෙන ඇති ණය ආපසු ගෙවීමේ අවදානම අඩු කර ගැනීම, විදේශීය  ආයෝජකයන්ගේ හා අපේ අපනයන මිල දී ගන්නන්ගේ විශ්වාසය ගොඩ නංවා ගැනීම සහ සහන පොලියට ණය මුදල් ලබා ගැනීම පිණිසය. ඒත් මුල්‍ය අරමුදල අපට කියා දෙන්නේ අරයාට  ගෙවන්නට ඇති ණය මෙයාගෙන් ණයට ගෙන ගෙවන ආකාරයයි. අපට ඇති සියලුම මූල්‍ය හා ආර්ථික රෝගවලට මූල්‍ය අරමුදලේ ප්‍රතිකර්මය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තියයි. මේ ප්‍රතිපත්තිවලට අයවැය හිඟය අඩු කිරීම, මිල පාලනය හා සහනාධාර ඉවත් කිරීම,  රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම, විදේශීය වෙළඳාම, විනිමය ගලා යාම, ආනයනට ඇති සීමා ලිහිල් කිරීම, නම්‍ය පොලී සහ විදේශීය විනිමය අනුපාත පවත්වා ගෙනයාම අයත් වේ. 

ආනයනය ලිහිල් කරන විට වැඩි වැඩියෙන් විදේශ විනිමය පිටට ගලා යයි. විදේශ විනිමය හිඟ ණය බරින් මිරිකෙන ආර්ථිකයකට මීට වඩා  හොඳ පිළියමක් කොයින්ද ? මූල්‍ය අරමුදල බිහි වූ දා පටන් අවුරුදු 70 ක කාලය තුළ එයින් යෝජනා කරන පිළියමෙහි වෙනසක් වී නැත. අපේ තුවාලයට අලුතින් පැලැස්තරයක් අලවා ගැනීමට අපි මූල්‍ය අරමුදලේ පිහිට පතමු.  (මෙම ලේඛකයා අමාත්‍යාංශ ලේකම්වරයකුව සිට විශ්‍රාම ගොස් දැනට ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කරයි. ඊමේල් ලිපිනය chandra.maliyadde@gmail.com)


අසල්වැසි නිවසක නිතර පවත්වන මත්පැන් සාදවලට එරෙහි වුණැයි පුද්ගලයෙකු ඝාතනය කරයි

නිවසේ හුදෙකලාව දිවි ගෙවූ තිදරු පියකු පෙරේදා (29දා) මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් ඇණ මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත්දෙනකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.මේ අතර සකකරුවන්ගේ නිවසට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බවද දිවුලපිටිය පොලීසිය කියයි. දූනගහ, නැගෙනහිර පල්ලියපිටියේ පදිංචිව සිටි කළුවාදේවගේ වින්සන් (68)  නමැත්තෙකු මෙම සිද්ධියත් ජීවීතක්ෂයට පත්ව තිබිණි. මියගිය අය බිරිද මිය යාමෙන් පසුව හුදකලාව කල් ගත කර ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ. මාස තුනකට පමණ පෙරදී අසල්වැසි නිවසක පදිංචියට ආ පිරිසක් නිතර එක්රැස් වී රාත්‍රියේ මන් පානය කර ඇතැයිද එය තමන්ට කරදරයක් බව පැවසීමෙන් පසු ඇති වූ ආරවුලක් මත මෙම පිරිස 29 අලුයම නිවසට කඩාවැදී මෙම පුද්ගලයාට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිස් පරික්ෂණවල දී හෙළි වී ඇත. අදාළ පුද්ගලයා මරා දැමීමෙන් පසු කුස්සියේ තිබූ මිරිස්කුඩුවලින් සිරුර වැසෙන්නට අතුරා දමා ඇති බව පොලීසිය කියයි. අලුත පදිංචියට ආ අය ප්‍රදේශයේ ජනතාවට මහත් හිරිහැරයක් ව තිබූ බව ප්‍රදේශවාසීන් පවසන අතර  නිවාස කිහිපයකට ද හානි සිදු කර තිබූ බව කියයි. තිදරු පියා නිවසේ කුස්සියේ වැටී මියගොස් සිටි බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත්දෙනෙකු සකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය. ආධාරකරුවන් පිරිසක් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් බවද ඔවුන් මත්ද්‍රව්‍යයන්ට ඇබිබැහිවූවන් බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය පවසයි.මේ අතර කිසියම් පිරිසක් පෙරේදා 30 රාත්‍රියේ සැකකරුවන් පදිංචි නිවසට ගිනි තබා අනර්ථයක් සිදු කර ඇතැයිද පොලීසිය කියයි. දිවුලපිටිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටත් එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වති.



(මීරිගම - කාන්ති) 


මෙරට සම්පත් කාටවත් නොදෙන බව පවසමින් අපි හිඟන්නන් ලෙස සිටිනවා

වියට්නාමය සිංගප්පූරුව වැනි රටවල් රටේ.සම්පත් විදේශ ආයෝජකයන්ට ලබාදෙමින් දියුණු වූ බවත්, අපි මෙරට සම්පත් කාටවත් නොදෙන බව පවසමින් හිඟන්නන් ලෙස සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (30)දා උඩුනුවර, රාජකරුණා මන්තින්නාරාමයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා,

"සිංගප්පුරුව ප්‍රමාණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට සමානයි. 1965 සිංගප්පූරුව මැලේසියාවෙන් කඩලා ගනිද්දී සම්පුර්ණයෙන්ම වැලි කතරක්. ලී ක්වාන් යූ ඉන්දියාවෙන්, මැලේසියාවෙන් පස් ඉල්ලගෙන වැලි කතර පිරෙව්වා. ඉන් පස්සේ ලංකාවෙන් ගස් ටිකක් ඉල්ල ගත්තා. ඩඩ්ලි සේනානායක සියලුම ගස් ටික නිකන් සිංගප්පූරුවට දුන්නා. අදත් ඒ රටේ තියෙන්නේ ලංකාවෙන් දුන්නු ගස්.ජපානයෙන් ජෙනරේටර් ගත්තා. මැලේසියාවෙන් නළ ජලය ගත්තා. ඉන් පස්සෙ කිව්වා දැන් අපේ රටේ ඉඩම් මිලදී අරන් ඇවිත් ආයෝජනය කරන්න කියලා. ඉන් පස්සෙ විදේශිකයන් ආයෝජනය කරන්න ආවා. අද සිංගප්පුරුවේ. ඒකෙනෙක්ගේ වාර්ෂික ආදායම ඩොලර් 64,000යි. අපේ 3600යි. වියට්නාමයේ ගම්මාන 39,000ක් තිබ්බා. ඉන් ගම්මාන 13,000ක් ඇමෙරිකාව අළු දූවිලි කරලා දැම්මා. වියට්නාමය 1968 චීනයත් එක්ක එකතු වෙලා ආයෝජකයන්ට එන්න කිව්වම ඉස්සෙල්ලම ආවේ ඇමෙරිකානුවන්. වියට්නාමය තොපි එන්න එපා තොපි පලයල්ල කියලා එලෙව්වේ නෑ. බොහොම ආදරයෙන් ඇමෙරිකාව භාර ගත්තා. ඒ නිසා වියනාමය අද නැගිටිනවා. අපි අපේ රටේ සම්පත් ඒවා අපේ දේපළ, අපේ වස්තුව මේවා කාටවත් දෙන්නෙ නෑ කියමින් බදාගෙන, හිරකරගෙන හිඟන්නෝ හැටියට සිටිනවා” යනුවෙන් පැවසීය. 


(චමිල් රූපසිංහ)

Friday, January 28, 2022

ගම්පහ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කරයි


ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගි වීමේදී කෝවිඩ් පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කර තිබේ.  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.  අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේදීය. මිනුවන්ගොඩ කෝවිඩ් කමිටුව මිනුවන්ගොඩ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  කෝවිඩ් පූර්ණ එන්නත්කරණය ලෙස පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි යන මාත්‍රා තුනම සැලකිල්ලට ගන්නා බවත්, රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කෝවිඩ් පැතිර යාම වැළැක්වීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුව ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

රජය එම තීන්දු ගන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බවද හෙතෙම සඳහන් කළේය. කෝවිඩ් වැඩි වුණොත් රට නැවතත් රතු ලැයිස්තුවට ඇතුළත් වී රටට සංචාරකයන්  පැමිණීම නතර විය හැකි බවත්, එවැනි තත්වයක් මතු වුවහොත් ඩොලර් අර්බුදය  තවත් උග්‍ර විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  රටේ පොදු ස්ථානවලට ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත්, නීති කෙටුම්පත් අංශ ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසු අමාත්‍යවරයා ඊට සමගාමීව බූස්ටර් එන්නත ලබාදීම කඩිනම් කිරීමටද රජය කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ පාසල් මට්ටමින් බූස්ටර් එන්නත ලබාදෙන මධ්‍යස්ථානවලදී සවස්වරුවේ අදාළ ප්‍රදේශවාසීන්ට බූස්ටර් එන්නත ලබාදීමටද මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. පාසල් කටයුතුවලට බාධාවක් නොවන අන්දමින් එය සිදු කිර්මට උපදෙස් දුන් අමාත්‍යවරයා මිනුවන්ගොඩ සියලුම රාජ්‍ය ආයතනවල බූස්ටර් එන්නත ලබා නොගත් අයට සතියක් තුළ බූස්ටර් එන්නත ලබාදී අවසන්  කිරීමටද උපදෙස් දුන්නේය.  මීට අමතරව දරුවන් මගින් බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා දෙමවුපියන් උනන්දු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද එම රැස්වීමේදී තීරණය විය.


 -නවෝද්‍යා පවනි-

වසර හතකට පෙර අත්හැර දැමුණු SPACEX රොකට්ටුවක් සඳ මතට කඩා වැටීමේ අවදානමක්

සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක්ට අයත් SpaceX සමාගම මගින් මෙහෙයුම් හමාර කර අත්හැර දැමුණු Falcon 09 රොකට්ටුවක් ලබන මාර්තු මාසයේදී චන්ද්‍රයා මතට කඩා වැටීමට නියමිතව ඇතැයි ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති. 2015 වසරේදී මෙම රොකට්ටුව මගින් NASA ආයතනයේ DSCOVR (Deep Space Climate Observatory) අභ්‍යවකාශ දේශගුණ නිරික්ෂණ චන්ද්‍රිකාව කක්ෂගත කළ අතර, අනතුරුව එම රොකට්ටුව පෘථිවි කක්ෂයේ අතින් පිහිටි අභ්‍යවකාශයේ අත්හැර දැමුණි. එතැන් පටන් මෙම රොකට්ටුවේ දෙවැනි කොටස හෙවත් බූස්ටර් කොටස අභ්‍යවකාශය මත පාවෙමින් තිබූ අතර, ඉන් කොයියම් මොහොතකදී හෝ හානියක් ඇතිවීමේ අවස්ථාවක්ද පැවතුණි.එම අවස්ථාවේ සිටම මෙම රොකට්ටුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් අවධානයෙන් පසු වූ ගගනගාමී බිල් ග්‍රේ පසුගියදා තොරතුරු අනාවරණය කරමින් මම රොකට්ටුව ලබන ම දී පමණ චන්ද්‍රයා මතට පතිත වෙනු ඇතැයි සඳහන් කර තිබේ. ඔහු පවසන ආකාරයට මේ ජනවාරි මාසයේදීද එය චන්ද්‍රයා සමීපයෙන් ගමන් කර තිබේ.

"මේ රොකට්ටුව චන්ද්‍රයා සමීපයෙන් ගමන් කරලා සතියකට පස්සේ සිදුකළ තවත් අධ්‍යයනයේදී මෙම රොකට්ටුව ලබන මාර්තු 04දා චන්ද්‍රයාගේ අදුරු ප්‍රදේශය වෙත කඩා වැටෙන බව අපි හඳුනා ගත්තා. එහිදී එය පැයට කිලෝමීටර් 9,000ක පමණ වේගයකින් චන්ද්‍රයා හා ගැටේවි." ගගනගාමී බිල් ග්‍රේ සදහන් කරයි. මේ වනවිට NASA ආයතනයේ මූල්‍යමය දායකත්වයෙන් ක්‍රියාත්මක අභ්‍යවකාශ ආවේක්ෂණ වැඩසටහන හෙවත් Pluto ව්‍යාපෘතිය යටතේ අභ්‍යවකාශයේ පවතින ග්‍රාහක සහ ආපදාමය වස්තූන්ගේ ගැටීම් පිළිබඳව ගණනය කිරීම් සිදුකරයි. කෙසේ වෙතත් මෙම රොකට්ටුව චන්ද්‍රයා හා ගැටෙන අවස්ථාව සහ එහි බලපෑම සිදු කෙරෙන මෙම පුරෝකථනයන්ට වඩා යම් වෙනසක් සහිතව සිදුවීමේ හැකියාවක් පවතින බවත් පෙන්වා දෙන බිල් ග්‍රේ, දැනට සිදුකර ඇති ගණන් බැලීම් අනුව මෙම රොකට්ටුව අනිවාර්යයෙන්ම එදින චන්ද්‍රයා වෙත පතිත වීම සිදුවන බවත් අවධාරණය කර සිටියි.

"මම මේ අභ්‍යවකාශ අපද්‍රව්‍ය දිහා අවුරුදු 15ක් පුරා බලාගෙන ඉන්නේ. මෙය තමයි. අපිට චන්ද්‍රයා මත දැන දැනම සිදුවන ගැටුමක් දකින්න තිබෙන අවස්ථාව.” යනුවෙන්ද පවසයි.මේ අතර මෙවැනි ආකාරයට අත්හැර දැමුණු චන්ද්‍රිකා සහ රොකට්ටු ඇතුළු වස්තූන් 50කට ආසන්න ප්‍රමාණයක් අද වනවිට පෘථිවියේ කක්ෂයේ අතින්ම පාවෙමින් තිබෙන බවත්, ඒවා තවමත් කිසිවෙකු විසින්වත් නිරීක්ෂණයට ලක්කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

"60, 70 සහ 80 දශකවලදී තමයි, මේ පෘතුවි කක්ෂයට ඈතින් පිහිටි අභ්‍යවකාශයට යැවුව. ඒවා එහිම අත්හැර දැමුණා. දැන් තමයි, අපි මේවායින් කිහිපයක් ගැන සොයන්න පටන් අරගෙන තියෙන්නේ. ඒත් ගොඩක් වස්තු දැන් එහි හොයාගන්නත් නෑ, සමහර ඒවා එහි නෑ. සමහර වීට ඒවාත් අපි නොදැනුවත්වම චන්ද්‍රයා මතට වැටෙන්න ඇති.” යනුවෙන්ද ගේ වැඩිදුරටත් පවසයි.මෙලෙස චන්ද්‍රයා හා ගැටීමට නියමිත SpaceX හි Falcon 9 රොකට්ටුවේ බර ටොන් හතරක් පමණ වෙයි. ඒ අනුව මෙම ගැටීම පෘථිවියේ සිට එම අවස්ථාවේදීම පැහැදිලිව දැකගත නොහැකි වෙනු ඇතැයිද විද්‍යාඥයන් පවසයි. එහෙත් මෙම ගැටීම නිසා ද ඇතිවත ආවාටය නිරික්ෂණය කිරිමේ අවස්ථාවක් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරයි. එහිදී දැනටමත් චන්ද්‍රයාගේ කක්ෂයේ තිබෙන NASA ආයතනයේ Lunar Reconnaissance Orbiter යානය හෝ ඉන්දියාවේ Chandrayaan-2 මගින් එම සෝදිසි සිදුකළ හැකිය යන්න ඔවුන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත් මෙම රොකට්ටුව හේතුවෙන් එම යානා වෙතද තර්ජනයක් එල්ල වී ඇතැයි ඉන්දියානු මාධ්‍ය ඊයේ සඳහන් කර තිබුණි.


වාහන ආනයනය පහළට, ආහාර සහ ආහාර නොවන පාරිභෝගික බාණ්ඩ ආනයනය ඉහළට

2021 නොවැම්බර් මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම, 2020 නොවැම්බර් මාසයට සාපේක්‍ෂව 19.7%කින් ඉහළ ගොස් ඇති අතර, පෞද්ගලික භාවිතය සඳහා වන මෝටර් රථ ආනයනය කිරීම සැලකිය යුතු ලෙස අඩුවීම මධ්‍යයේ වුවද, ආහාර සහ ආහාර නොවන පාරීභෝගික භාණ්ඩ ආනයනය වියදම ඉහළ යෑම ඒ සඳහා හේතු වී තිබේ.  ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ යන සියලුම  ප්‍රධාන ආනයන කාණ්ඩවල ආනයන වියදමෙහි කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව, සමස්තයක් ලෙස 2020 නොවැම්බර්  මාසයේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 1,384 හා සැසඳීමේදී, 2021 නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො. මිලියන 1,765ක් දක්වා 27.5%කින් ඉහළ ගොස් ඇත.

බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදන (ප්‍රධාන වශයෙන් එන්නත්), විදුලි සදේශ උපකරණ ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන), රෙදිපිළි සහ උපාංග (ප්‍රධාන වශයෙන් යට ඇඳුම්) සහ ගෘහ උපකරණ ප්‍රධාන වශයෙන් රූපවාහිනී  සහ ශීතකරණ) ඇතුළු ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන කාණ්ඩ කිහිපයක ආනයන වියදම් ඉහළ යම් සිදුව තිබේ.  මූලික වශයෙන්, සීනි සහ ධාන්‍ය වර්ග හා ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් සහල් )ආනයන හේතුවෙන් ආහාර සහ පාන වර්ග ආනයන වියදමද 9.1%කින් (වාර්ෂික ලක්‍ෂමය පදනම මත) ඉහළ ගොස් තිබේ.


 ෂමිල පෙරේරා

පියාඹන මෝටර් රථයක අපේක්ෂාව යථාර්ථයක් බවට පත්වන ලකුණු

මහාමාර්ගයේ ධාවනය වන රථයක් මෙන්ම, ගුවනේ පියාසරන ගුවන්යානයක් යනාදී ලෙස ක්‍රම දෙකක් යටතේ භාවිත කළ හැකි ආකාරයට දෙමුහුන් නිර්මාණය කර ඇති නව නිෂ්පාදනය වෙත ස්ලෝවැකියානු ප්‍රවාහන අධිකාරියේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි. මෙම නව නිර්මාණය AirCar නමින් හැදින්වී තිබේ. Klein Vision සමාගම එහි නිර්මාණකරුවාය. විශේෂයෙන්ම අනාගත ලෝකයේ මාර්ග තදබදය අවම කරමින් ගමන් කිරීමේ පහසුව වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබේ. මෙහිදී එය බලගැන්වීම ලීටර් 1.6ක BMW එන්ජිමක් මගින් සිදුවෙයි. ඕනෑම ඉන්ධන හලකින් අලෙවි කරන ඉන්ධන මගින් මෙම AirCar රථය ධාවනය කළ හැකිවීම විශේෂත්වයකි.මේ දක්වා එම AirCar රථය මගින් සිදුකර ඇති පැය 70කට අධික පියාසැරී අත්හදා බැලීම් මෙන්ම, ගොඩබෑම් සහ දියත් කිරීම් 200කට අධික සංඛ්‍යාවක් සමග ලෝවැකියානු ප්‍රවාහන අධිකාරිය මෙම අනුමැතිය ලබා දී තිබේ. මෙම තත්වයන් යුරෝපියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂක ආයතනයේ අවශ්‍යතාවන් පූර්ණය කිරීමක් ලෙසින්ද සැලකෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම AirCar හි සම නිර්මාතෘවරයෙකු වන ඇන්ටන් සජාක්, මෙම රථයට උපරීමව ගොඩබිම සිට අඩි 18,000ක් පමණ ඉහළට පියාසැරිය හැකි බව පවසයි. එසේම එය මෝටර් රථයක සිට ගුවන්යානයක් බවට පත්වීමට ගත වන්නේ විනාඩි 2ක් සහ තත්පර 15ක කාලයක් පමණක් වන බවත් ඔහු පෙන්වා දෙයි. එසේම මාර්ගයේ ධාවනයේදී මෙහි ඇති පියාපත් සහ පිටුපස කොටස ස්වයංක්‍රීයට හැකිවීම සිදුවෙයි.කෙසේ වෙතත් මෙම දෙමුහුන් මෝටර් රථය ධාවනය කිරීම සඳභා ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබීම අනිවාර්ය වී තිබේ. තවත් මාස 12ක කාලයකදී මෙම AirCar රථය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවතද Klein Vision සමාගම සඳහන් කරයි. 


සතුන් වත්තෙන් අතුරුදන්වු නිල් මාලගිරවා මාස 8කට පසු හමුවෙයි


දෙහිවල ජාතික සන්නෝද්‍යානයේ සිටියදී මීට මාස 8කට පමණ පෙර අතුරුදන්ව සිටි නිල් මාලගිරවා  පෙරේදා (26) දින නැවත හමු වූ බව සත්වෝද්‍යාන ආරංචිමාර්ග පවසයි.  කළුබෝවිල ප්‍රදේශයේ යුවළක් මෙම ගිරවා පෙරේදා (26) සවෝද්‍යානයට  ගෙනැවිත් බාර දී ඇත. ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි සත්ව  පාලකවරයා පොත්පත්වලද  සටහන් යොදා එවකට සිටි අධ්‍යක්ෂවරියද දැනුවත් කර ඇති බව වාර්තා වේ.  මෙම ගිරවා පසුගිය මැයි මස 07 වැනි දින සිට අතුරුදන්ව ඇති බවත්, එම ගිරවා  සම්බන්ධයෙන් තොරතුරක් හෙළි නොවීම නිසා අලුතින් පත්වූ අධ්‍යක්ෂවරිය විසින් මීට  දින කිහිපයකට පෙර සිද්ධිය සම්බන්ධයෙන්  දෙහිවල පොලිසිය වෙත පැමිණිල්ලක්ද  කළාය.  

මේ අතර මෙම ගිරවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර ගිරවාගේ ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය විය.  එම ගිරවා මීට මාස කිහිපයකට පෙර කළුබෝවිල පිහිටි නිවසට එකවර පියාඹා ගොස් ඇති බවත් කිසිදු හිමිකරුවකු ගිරවා  සොයා නොපැමිණීම නිසා කළුබෝවිල නිවසේ දී ඇති දැඩි කර ඇති බවත් සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය.  ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්  මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් නිසා නිවසේ  සිටින්නේ සත්වෝද්‍යානයේ අතුරුදන්වූ නිල්  ගිරවා බවට සැකකර නිවසේ යුවළ ගිරවා සත්වෝද්‍යානයට නැවත බාර දුන් බවද එම ප්‍රකාශකයා කීවේය. ගිරවා නැවත බාරදීමත් සමග සවෝද්‍යානය ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ යුවළගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද ලබාගත් බව පොලිසිය පවසයි.

මේ අතර ඉකුත් සැප්තැම්බර් මස දිනක සත්වෝද්‍යානයේ කූඩුව විවෘත කළ අවස්ථාවේ ඉන් පියාඹා ගොස් සිටි නිල් මැකෝ වර්ගයේ ගිරවියකද රත්මලාන ප්‍රදේශයේ නිවසකින් පෙරේදා (26) සොයාගෙන ඇත.  මෙම ගිරවිය රුපියල් 30,000ක මුදලකට වෙනත් පුද්ගලයකුගෙන් මිලදී ගත් බවට එහි නිවැසියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි  වී ඇත.  සත්වෝද්‍යානයෙන් අතුරුදන් ගිරවෙකු රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරු අනුව සත්වෝද්‍යානයේ සත්ත්ව පාලකවරයා සහ පොලිසියේ කණ්ඩායමක් එම අදාළ නිවසට ගොස් ගිරවා සිය බාරයට ගෙන ඇත. එම ගිරවාද නැති වූ නිල් මැකෝ ගිරවිය බවට තහවුරු වූ බව සත්වෝද්‍යාන ආරංචිමාර්ග පවසයි. දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත මෙම සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.


 -ඉන්දිකා රාමනායක -

පේරාදෙණිය සරසවියේ 64 කට කෝවිඩ්

 රටේ පවතින කෝවිඩ් වර්ධන තත්වයට සමගාමීව විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64දෙනෙකු විශ්වවිද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. උපකුලපතිවරය මේ බව පැවසුවේ, පෙරේදා (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා, "විශ්වවිද්‍යාලය 100%ක් විවෘත කිරීම අපහසුයි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේද අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රදවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුන් දැනට මාස 03 - 04ක් තිස්සේ සාමාන්‍ය ආකාරයෙන් අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. සමහර සිසුන් කණ්ඩායම් මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. රෝගය සිසුන් අතර සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට අපගේ වෛද්‍ය පීඨයේ ක්ෂුජීවී විද්‍යා පිළිබඳ විශේෂඥයන් එකතුව කමිටුවක් සකසා තිබෙනවා. ඔවුන් අපට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙනවා.ක්‍රීඩා පිටි. ක්‍රීඩාගාර, පිහිනුම් තටාක පවා එම කටුවී මාර්ගගෝපදේශයන්ට අනුව විවෘත කොට තිබෙනවා.” යැයිද පවසා සිටියේය. 


( ෂේන්  සෙනෙවිරත්න )


කොරෝනා කියා සැක කතක් කැකිරාව රෝහලට ගෙනා සුවසැරිය රියැදුරාට ගහලා


කොරෝනා වයිරසය ආසාදනය වූ බවට සැකකෙරෙන කාන්තාවක කැකිරාව රෝහලට රැගෙන ආ 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ  රියැදුරකුට පහර දුන් බව කියන එම රෝහලේ  වෛද්‍යවරයකු සහ සුළු සේවකයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැකිරාව පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ බව කියන සුවසැරිය ගිලන් රථ රියැදුරා මේ සම්බන්ධයෙන් කැකිරාව  පොලිසියට පැමිණිල්ලක් කර දඹුල්ල රෝහලට ඇතුළත්වන බව කියා පිටත්ව ගිය බව ප්‍රදේශයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය. 

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුලියන්කුලම ප්‍රදේශයේ කාන්තාවක රැගෙන සුවසැරිය ගිලන් රථ රියැදුරා සහ සහායකයා කැකිරාව රෝහලට පෙරේදා (26) රාත්‍රියේ පැමිණ ඇති අතර එම කාන්තාව  රෝහලේ බාහිර රෝගී අංශය වෙත ඇතුළත්  කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඇයගේ ඇන්ටිජන් පරික්ෂණය ගිලන් රථය තුළදී සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් වී ඇතැයි පොලිසිය  කියයි.  ගිලන් රථ සේවාවේ නීතිරීතිවලට අනුව ගිලන්  රථය තුළදී එම පරීක්ෂණය සිදුකිරීමට ඉඩදිය  නොහැකි බව දැනුම් දීමෙන් පසුව එහි පැමිණි රෝහල් වෛද්‍යවරයකු සහ සුළු සේවකයකු රියැදුරාට පහර දී ඇති බව පොලිසිය පවසයි. රෝහල් කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස මැදිහත් වී පහරදීම වළක්වා ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. ගිලන් රථ රියැදුරා කළ පැමිණිල්ලට අනුව ඔහුට පහර දුන්නේ යැයි කියන වෛද්‍යවරයා සහ සුළු සේවකයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කැකිරාව පොලිසිය කියයි.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-


Thursday, January 27, 2022

බාලවයස්කාර දැරියක අඹුකමට තියාගත් තරුණයෙක් අත්අඩංගුවට

දාහතර හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට අඹුකමට තබාගත් විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. දාහතර හැවිරිදි බාල වයස්කාර දැරිය සමග මුහුණු පොත හරහා මිතුරු වී ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු ඉකුත් 10දා ඇය හමුවීමට දැරියගේ ගම් ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත.එහිදී සැකකරු දැරිය රවටා වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් දින දෙකක් එහි තාවකාලික නවාතැන් පොළක රඳවාගෙන හිඳ පසුව ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කීය.පසුව දින කිහිපයක් එහි රැඳී සිට කොළඹ ප්‍රදේශයේ නේවාසිකාගාරයකට රැගෙන විත් දැරිය එහි සගවාගෙන සිට ඇති බව පොලිසිය සඳහන් කළේය. දැරියගේ අතුරුදන් වීම පිළිබඳ ඇයගේ මව්පියන් දැරියගේ ගම් පළාතේ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවද පොලිසිය කීය.  එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකරමින් සිටියදී දැරිය මහරගම පොලිස් වසමේ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව සිද්ධිය මහරගම පොලිසිය දැනුම් දෙනු ලැබීය. ඒ අනුව සිදුකළ වැටලීමකදී නේවාසිකාගාරයක රැඳී සිටි දැරිය සහ තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය. පසුව 14 හැවිරිදි පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලට ඇතුළත් කළ බවත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂක එරන්දි මහත්මියගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකෙරේ.


( මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

META සමාගමෙන් ලෝකයේ වේගවත්ම කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකය ඉදිකිරීමට යයි

ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය Meta Inc. සමාගම හරහා ලෝකයේ වේගවත්ම කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව අනාවරණය කරයි. මීට පෙර මෙම සමාගම Facebook Inc. ලෙස හදින්වුණි. අලුතින් පිහිටුවුණු Meta Inc. සමාගම මගින් සිදු කරන Metaverse තාක්ෂණික ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය වෙනුවෙන් මෙම නව සුපිරි පරිගණකය ඉදිකිරීම සැලසුම වී තිබේ.මෙම Metaverse තාක්ෂණය යනු සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය එකට එකතු කරමින් ඉදිරිපත් කෙරෙන නව සංකල්පයකි. අද වනවිට Meta සමාගමට අමතරව තවත් තාක්ෂණික සමාගම් රැසක් මෙම තාක්ෂණය වෙත යොමුවමින් සිටියි. අනාගතයේදී ප්‍රධානතම තාක්ෂණය බවට මෙම Meta පත්වීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව මෙම Meta තාක්ෂණයෙන් සිදුකෙරෙන අතථ්‍ය පරිසර නිර්මාණය ඇතුළු කටයුතු සඳහා පෙර නොවූ විරූ ආකාරයේ බලයක් සහිත සුපිරි පරිගණකයක අවශ්‍යතාව පවතින බව | ෆේබුක් නිර්මාතෘවරයා පවසයි. දැනටමත් සකර්බර්ගේ මෙම Meta තාක්ෂණය සඳහා යොදාගන්නා කෘත්‍රිම බුද්ධි සුපිරි පරිඝණකය AI Research SuperCluster (RSC) ලෙස නම් කර තිබේ. එය අද ලොව පස්වැනියට වේගවත්ම සුපිරි පරිගණකය බවත් සමාගම පවසයි. "මේ Metaverse තාක්ෂණය හරහා අපි ගොඩනගන අත්දැකීම සඳහා සුවිශේෂී පරිගණක බලයක් අවශ්‍ය වෙනවා. එය තත්පරයට මෙහෙයුම් ට්‍රිලියන පහක් සිදුකිරිමේ හැකියාවක්. මේ අලුත්ම Research SuperCluster යටතේ එන කෘත්‍රිම බුද්ධි ආදර්ශයට උදාහරණ ට්‍රිලියන ගණනකින් ඉගෙන ගන්න, භාෂා  සිය ගණනක් හඳුනා ගන්න වගේම, තවත් දේ පුළුවන්.” සකර්බර්ග් පවසා සිටියි.

Meta පර්යේෂකයන්ට අනුව මෙම සුපිරි පරිගණකය නිපදවීම ප්‍රොසෙසර දහස් ගණනක් යොදාගෙන සිදුකිරීම සැලසුම වී ඇති අතර, එය අනාවරණය නොකරන ස්ථානයක පිහිටුවනු ඇති බවත් පැවසෙයි. එසේම මෙම Meta සංකල්පය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම සඳහා තවත් වසර කිහිපයක් ගතවනු ඇති බවත්, ඒ සදහා සූදානම් වීමක් ලෙස මෙම සුපිරි පරිගණකය ඉදිකිරීම ඇරඹීම අතිශය වැදගත් බවත් Meta හි තාක්ෂණ වැඩසටහන් කළමනාකරු ඇතුළු පිරිස් පවසති.


(කසුන් දර්ශන)


කොරෝනා රෝගී ගැබිනියන් වැඩිවෙලා

 -ඩයනා උදයංගනී-


කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ ඉහළ යාමක් යළිත් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ  වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය. පසුගිය කාලයේ කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ   අඩුවක් දක්නට ලැබුණු අතර එම කාලයේදී සතියකට  වාර්තා වූයේ කෝවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් එක් අයකු හෝ දෙදෙනකු වැනි සංඛ්‍යාවක් බව වෛද්‍යවරයා සඳහන් කළේය.  මේ වන විට එම සංඛ්‍යාව සතියකට 5ක් 6ක් දක්වා ඉහළ  ගොස් ඇතැයි හෙතෙම කීවේය. 

ගැබිනි මවුවරුන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බැවින් ආසාදිත ගැබිනි මවුවරුන් අතර අසාධ්‍ය තත්වයේ පසුවන කිසිවකුත් නැතැයි කී වෛද්‍යවරයා කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන සති 12ක් ගත වූ පසු බූස්ටර් මාත්‍රාව ද  ලබාගන්නැයි ගැබිනි මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.   පසුගිය කාලයේදී ජනතාව සෞඛ්‍ය නිර්දේශ නොතකා,  කෝවිඩ් තත්වය අමතකර කර කටයුතු කිරීම නිසා මේ  වන විට කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කීවේය. එබැවින් පිරිස් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත්, සාද හා නිවාඩු නිකේතනවලට නොයන ලෙසත් ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව  වෛද්‍යවරයා පැවසීය.

වැඩ භාරගැනීමට නියමිත විදුහල්පතිවරයා නුසුදුස්සෙක් යැයි දෙමාපියෝ විරෝධතාවක

ඇඹිලිපිටිය, මොරකැටිය මහා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වශයෙන් වැඩ භාරගැනීමට නියමිත අයට විවිධ දූෂණ චෝදනා පවතින බැවින් එවැන්නෙකු පත් නොකරන ලෙස ඉල්ලමින් මාපියෝ පිරිසක් ඊයේ (26දා) අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිපිට විරෝධතාවක නිරත වූහ. නමුත් එම කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ, තම කාර්යාලයේ වගකිවයුතු නිලධාර්න් සියලු දෙනාම අද දිනයේ වැඩවර්ජනයක නිරතව ඇති නිසා වෙනත් දිනයක පැමිණ විරෝධතාව සිදුකරන ලෙසයි.විරෝධතාවේ දක්වන අය අතරින් තිදෙන්නෙකු පමණක් තම කාර්යාලයට ඇතුළු වී එහි සේවයේ යෙදෙන නිලධාරියෙකු හමුවීමට ඉඩ සලසා දිය හැකි බව පවසමින් එහි සේවකයන් පිරිසක් කාර්යාලයේ පිවිසුම් ගේට්ටුව වසා දමනු ලැබීය. විරෝධතාකරුවන් එහිදී පැවසුවේ, තම විද්‍යාලයට වැඩ භාරගැනීමට නියමිත විදුහල්පතිවරයා පාසලේ සේවය සඳහා නුසුදුස්සෙකු ලෙස දන්වා අධ්‍යාපන බලධාරින්ට ලිඛිතව දන්වා තිබියදී එවැන්නකු පත් කිරීමට විරෝධය දක්වා තමන් අධ්‍යාපන කාර්යාලයට  පැමිණි බවයි.තම විදුහලේ දරුවන් දහසකට අධික පීරිසක් ඉගෙනුම ලබන බවත්, විද්‍යාලයේ සේවයේ යෙදී සිටි විදුහල්පතිවරයා මාස කිහිපයකට ඉහතදී විශ්‍රාම ලැබීමෙන් අනතුරුව එහි විදුහල්පති ධුරය පුරප්පාඩු වී තිබූ බව එම විරෝධතාකරුවෝ පැවැසූහ.එම පුරප්පාඩුව සඳහා පත්කර ඇතැයි කියන එම විදුහල්පතිවරයා මීට පෙර සේවය කළ විද්‍යාලවලදී නොයෙක් චෝදනාවන්ට ලක්වූ අයෙකු බවට තමන්ට තොරතුරු ලැබීමෙන් පසුව මෙවැනි තීරණයක් ගත් බවද ඔවුහු සඳහන් කළහ. ඇඹිලිපිටිය කලාප කාර්යාලයේ වගකිව යුතු නිලධාරින් අද දින නොසිටියදා නැවත වරක් එම කාර්යාලයට පැමිණ දැඩි විරෝධයක් දක්වන බවත් එතෙක් එම විදුහල්පතිවරයා තම විද්‍යාලයට පැමිණියහොත් එයටද විරෝධය දක්වන බව බලධාරීන්ට අනතුරු අඟවමින් පිරිස විසිර ගියහ.මේ සම්බන්ධයේ අධ්‍යාපන බලධාරියෙක් අදහස් දක්වමින් සඳහන් කළේ, එවැනි පන්වීමක් සම්බන්ධව තමන් නොදන්නා බවත්, මාපියන්ට ඇතිවූ සැකයක් නිසා විරෝධයක් දක්වන බවත්ය.


(කසුන් දර්ශන)


කුරුණෑගල රෝහලේ සිද්ධියට මුල වෛද්‍යවරියක් කළ රිය අනතුරක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ  වෛද්‍යවරයකුට පහරදෙන ලදැයි කියන සිදුවීමට මුල්වූයේ තවත්  වෛද්‍යවරියක සිදුකළ රිය අනතුරක් පිළිබඳව ඇති වූ කතාබහක් දුර දිගයාම බවත් එම අනතුරින් තුවාල ලැබූ තමන් පීඩාවට ලක් කිරීම මිස සහනයක් සැලසීමට කිසිවකුත් ඉදිරිපත් වී නැතැයි මෙම අනතුරින් තුවාල ලැබුවේ යැයි කියන ඉමල්කා ජයවර්ධන මහත්මිය පවසයි. කුරුණෑගල, ජයන්තිපුර පදිංචි ජයවර්ධන මහත්මිය 34 හැවිරිදි තිදරු මවකි. තමන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම් පිළිබඳව ඇය විස්තර කළාය. පසුගිය 19 වැනිදා රෑ දහයට විතර මමයි මහත්තයයි මෝටර් බයිසිකලේකින් ඉස්පිරිතාලේ ළඟින් යමින් හිටියේ. ඒ වෙලාවේ වැරදි පැත්තෙන් ආපු කාර් එකක් අපි දෙන්න හප්පාගෙන ගියා. ඒ කාර් එක පදවලා තිබුණේ වෛද්‍යවරියක්.

අනතුරින් අපි දෙන්නම තුවාල වුණා. අපි පාරේ වැටිලා කෑගැහැව්වා අපි ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා.  ඒත් ඒ ගැන කිසිම තැකීමක් නොකර ඒ වෛද්‍යවරිය ඉස්පිරිතාලෙ  ඇතුළට ගිහින් තියෙනවා. ඒ ගැන කතා කරන්න ඉස්පිරිතාලේ ඇතුළට ගියාම එතන හිටපු කට්ටියක් මහත්තයාටයි මල්ලිටයි පහරදීලා තිබුණා. අපි පස්සේ තමයි මේ  දැනගත්තේ ඒ වෛද්‍යවරුන් කියලා.  ඊට පස්සේ මමයි මහත්තයයි දෙන්නම  කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් වුණා. එතැනටත් ආපු වෛද්‍යවරුන් පිරිසක් මාගේ ඉදිරිපිටම මහත්තයට තර්ජනය කළා. එළියට ආවාම මරනවා කියලා. මම දැන් මගේ දරුවන් තුන්දෙනත් එක්ක තනිවෙලා ඉන්නේ. මගේ මහත්තයාගේ ටිකට් කපන්නේ නැතිව මේ වෙනකම් හොස්පිටල් එකේ තියාගෙන ඉන්නවා. මේ සිදුවීම  නිසා එන පීඩනය ඇත්තටම මට දරාගන්න බැහැ. මේ සිද්ධිය මුල්කරගෙන දොස්තරලා වැඩ වර්ජනය කරනවා. උඝෝෂණය කරනවා. ඒවා මාධ්‍ය වලින් පෙන්නනවා.

පොලිසියෙන් දවසට දහ දොළොස් පාරක් ගෙදරට එනවා. පුදුම තරම් බලපෑමක් තියෙන්නේ.. “මම ඇත්තටම සාමාන්‍ය විදිහට  ජීවත් වෙච්ච කෙනෙක්. මට වෙච්ච අසාධාරණය වෙනුවෙන් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.  මා හප්පපු එකට, මගේ කකුල තුවාල කරපු එකට කිසිම සාධාරණයක් මේ වෙනකම් වෙලා නෑ. මගෙන්  කටඋත්තරයක් ගත්තා විතරයි. ඒ  අනතුර සිදුකරපු වෛද්‍යවරියවත් මේ  වෙනකන් මාත් එක්ක කතා කරලා නැහැ. කොයි පැත්තකින්වත් අපට සහනයක් නෑ.  ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. රිය අනතුරක් නිසා මේ සිදුවීම වුණා  කියලා කිසිම කෙනෙක් කියන්නේ නෑ.  බීමත් මැරයන් ඇවිල්ලා පහර දුන්නා කියලා තමයි මාධ්‍යයට කියනෙත්. ඒත් අපි මැරයන් නෙමෙයි. මම රජයේ සේවය කරන කෙනෙක්. මගේ මල්ලී රජයේ සේවකයෙක්.  අපි වෛද්‍යවරුන්ට පහර දෙන්න තරම් පහත් තත්වයකට වැටුණු අය  නෙමෙයි. වැදගත් විදිහට ජීවත්වුණු සාමාන්‍ය මිනිස්සු. මේ සිද්ධියෙන් පස්සේ මටයි, මගේ පවුලේ අයගේ ජීවිත ගැනයි ලොකු බයක් ඇතිවෙලා තියෙනවා.


 අජන්ත රත්නායක

වර්තමානයේ රට තුළ තිබෙනුයේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්

වර්තමානයේ රට තුළ තිබෙනුයේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් බවත්,රජයේ ප්‍රකාශ ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන්ද විශ්වාස නොකරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා, "වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ වගේ ලොකු ප්‍රශ්නයකට මුහුණදීලා තිබෙන්නේ.දෙවනුව ගජ මිතුරන්ගේ සමාගම්වලට උදව් කරන්න ගිහින්,හොරකම වංචාවට ඉඩදීලා පාරිභෝගිකයා ලොකු අපහසුතාවකට පත් කරලා තිබෙනවා. ඒවගේම මිල පීඩනයකට පත් කරලා තිබෙනවා. වංචා ගොඩක් වෙලා තිබෙනවා. කෘෂිකර්මය ගත්තොත් වැරදුණ ප්‍රතිපත්තිය තමයි රසායනික පොහොර දවසින් නතර කිරීම.අපි සමගි ජන බලවේගය ලෙස මේක හරීයට අධ්‍යයනය කරලා තිබෙනවා. පසුගිය රජය කිලෝ 50 පොහොර බෑගය රුපියල් 1500ට ලබා දුන්නා. අද ඒක රුපියල් 8000- 12,000ත් අතර තමයි වෙළෙඳ පොළේ තිබෙනවා නම් ගන්න වෙන්නේ. පළමුව මෙක ගොවියාට බලපානවා. දෙවනුව පාරිභෝගිකයාට බලපානවා. අපි දැක්කා රජය ප්‍රකාශයක් කරලා තිබෙනවා රුපියල් බිලියන 40ක් වන්දියක් ලෙස ලබා දෙනවා කියලා. අය වැය සම්මත කරගෙන මාසයක්වත් නැහැ. කොහොමද එකපාරම අය වැයෙන් පිට මේ වගේ ප්‍රකාශ කරන්නේ? කොහෙන්ද මේ සල්ලි එන්නේ කියලා අපට අහන්න වෙනවා. අනිත් එක වන්දියක් ගෙවනවා නම් පිළිගැනීමක් තියෙනවා වරදක් සිදුවෙලා තිබෙනවා කියලා. වරදක් සිදුවෙලා තිබෙනවා නම් ඒකට කවුරුහරි වගකියන්න ඕන. ඒ අනුව කවුද වගකියන්නේ මේ රසායනික පොහොර තහනම් කරලා රටේ අස්වැන්න අඩු කළාට? මේ වන්දිය ගෙවන්නේ කාගේ මුදල්වලින්ද? මේක කාගෙවත් පෞද්ගලික මුදල් නෙවෙයි. මේ මුදල ගොවියට විතරක් ගෙව්වත් පාරිභෝගිකයාට ඒක වාසියක් නැහැ. තව කතාවක් තියෙනවා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් විතර දැනටම පිටරට ඉඳලා ගෙනත් තිබෙනවා කියලා. අද රට තුළ විශ්වාසයේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙන්නේ. මේ රජය කියන දේවල් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. රටේ දේශීය ව්‍යාපාරිකයන් විශ්වාස කරන්නෙත් නෑ, පාරිභෝගිකයා විශ්වාස කරන්නෙත් නෑ" යනුවෙන්ද සඳහන් කළේය.



(දිනේෂ් සමරකෝන්)

උසස් පෙළ විභාගය මාස කීපයකින් කල් දමන්න



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගය මාස කීපයකින් කල් දමන්නැයි සිසුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.  මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින එම සිසුන් ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ අධ්‍යාපන ඇමැතිවරයාට ලිපි යවමින් එම ඉල්ලීම කර තිබේ.  කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ තත්වය මත උසස් පෙළ විභාගයේ විෂය මාලා සම්පූර්ණ කර නැති  හෙයින් තමන්ට විභාගය සඳහා සූදානම් වීමට තවත් මාස කීපයක්වත් ලබා දිය යුතු බව ද උසස් පෙළ සිසුන් යවා ඇති එම ලිපිවල සඳහන් වේ.  

කොවිඩ් වසංගතය හේතුවෙන් අධ්‍යාපන කටයුතු මුළුමනින්ම නතර වූ හෙයින් විෂයමාලා සම්පූර්ණ කිරීමට  නොහැකි වූ බව ද විභාගයට පෙනී සිටීමට නියමිත වැඩි සිසුන් පිරිසකට එම ගැටලුව තිබෙන බව ද ලිපිවල දැක්වේ.  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගය  පෙබරවාරි මස 7 වැනි දින ආරම්භ වීමට නියමිත නමුත් සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නැතැයි ද සිසුන් ජනාධිපතිවරයාට සහ ඇමැතිවරයාට යවා ඇති එම ලිපිවල සඳහන් කර ඇත.

 -රංජන් කස්තුරි-

සබරගමු සරසවි සිසුවෙක් වැඩසිටි කන්ද නගිද්දී හදිසියේ ලෙඩ වී මියයයි



සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුවකු කතරගම වන්දනාවේ පැමිණ වැඩසිටි කන්ද නගිමින් සිටියදී පෙරේදා (25) පස්වරු 2.30ට පමණ හදිසියේ අසනීප වී කතරගම රෝහලට ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, උසුමුදුලාව, 55 කණුව අසල පදිංචි අරුමානන්ද සලිත දිල්ෂාන් කුමාර නමැති 28 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවා සමග ශිෂ්‍ය ශිෂ්‍යාවන් 19 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇත්තේ පෙරේදා (25දා) උදේ බව පොලිසිය කියයි.  මෙම පිරිස පා ගමනින් වැඩසිටි කන්ද නගිමින් සිටියදී උඩමළුව ආසන්නයේදී මෙම සිසුවා වමනය කිරීමට පටන් ගෙන අසනීප බව පැවසීමත් සමඟ අනෙකුත් යහළුවන් මොහු ඔසවාගෙන උඩ මළුවට ගොස් ඇත.

මේ බව වැඩසිටිකන්ද විහාරාධිපති හීල්ලේ ඤාණානන්ද හිමියන්ට දැනුම් දීමත් සමගම වහාම කැබ් රථයකින් පහත මළුවට රැගෙන ගොස් තිබේ.  එම ස්ථානයට 1990 ගිලන් රථයක් ගෙන්වා කතරගම රෝහලට රැගෙන ගොස් වෛද්‍යවරුන් පරික්ෂාවට ලක් කිරිමේ දී සිසුවා මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ. අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් ප්‍රකාශ ලබා ගත් පොලීසිය පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීම සඳහා දෙබරවැව මූලික රෝහල වෙත සිරුර යවා ඇත.  කතරගම පොලිසියේ කොස්තාපල් 47550 ජයලත් මහතාගේ සාක්කි මෙහෙයවීම යටතේ කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (26) පැවති මරණ පරික්ෂණයේදී වම් වකුගඩුවට රුධිරය ගමන් කරන නාලිකාව පිපිරි අභ්‍යන්තරයට රුධිරය වහනය වීම නිසා සිදුවී ඇති මරණයක් බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් කුමාර විදානගම මහතා නිකුත් කර ඇති වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබිණි.


 -එම්.කේ. නන්දසේන -

Wednesday, January 26, 2022

යසසිරිපුර නිවසකදී ජෝඩුවක් කපා දාමලා

අනුරාධපුර පොලිස් වසම් යසසිරිපුර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි යුවළකට කිසිවකු ඊයේ (25 වැනිදා )උදෑසන තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් කාත්තාවක ජිවිතක්ෂයට පත්ව ඇගේ සැමියා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.  මෙලෙස මියගොස් ඇත්තේ යසසිරිපුර, දහයියාගම එම්. අමීර් සකීරා නමැති 66 හැවිරිදි කාන්තාවක බවත් ඇගේ සැමියා 76 හැවිරිදි නූර් මොහොමඩ් තවුපි බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.  මෙම යුවළ නිවෙසේ තනිව ජීවත්ව සිටි බවත්, එකම දරුවා විදේශ රටක රැකියාවක නිරතව සිටින බවත් පොලිසිය පවසයි. 

ඥාති දියණියක් ඊයේ 25 වැනිදා උදෑසන එම යුවළගේ සුවදුක් විමසා බැලීමට පැමිණි අවස්ථාවේදී, නිවස දෙසින් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් නිවසේ ජනේලයක් විවෘත කර ඇතුළු වීමේදී බරපතළ කැපුම් තුවාල සහිත එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව වැටී සිටියදී  හමුවී ඇති බවත් සැමියා බරපතළ තුවාල ලබා සිටි බවත් පොලිසිය අනාවරණය කර  ගෙන තිබුණි. කුමන හේතුවක් මත කවුරුන් විසින් ඝාතනය සිදු කළේදැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරිම සඳහා එම ඝාතනය සිදු වූ ස්ථානයට අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී 1 ඒ.එස්.එච්. පෙරේරා මහතා අනුරාධපුර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඩබ්ලිව්. ගුණතිලක මහතා ඇතුළු නිලධාරිහු කණ්ඩායමක් පැමිණ සිටියහ.


  බී.ජී. චතුරංග 

ලෝකය අද සිටින්නේ සිවුවන කාර්මික විප්ලවයේ වුවවද අප තවමත් සිටින්නේ දෙවැන්නේයි

ලෝකය අද සිටින්නේ සිවුවැනි කාර්මික විප්ලවයේ වුවද මෙරට තවමත් සිටින්නේ දෙවැන්නේ බවත්, පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන දරුවන් ලිවීම සහ ගණිත හැකියාවෙන් යුත් පිරිසක් බිහිවුවද රටකට අවශ්‍ය වනුයේ ජාතික ආර්ථිකයට ක්‍රියාශීලීව දායක කරගත හැකි පුරවැසියකු බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.ඒ මහතා මේ බව පැවසුවේ, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දි එම පත්වීම් ප්‍රදානෝත්සවයට පසුගියදා එක් වෙමිනි. අනුමත සේවක සංඛයාවට පරිබාහිරව දෙවසරක අනුයුක්ත පදනම මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලා නවීකරණ කටයුතු වෙනුවෙන් මෙම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බදවාගන්නා ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා,  "පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩු ලෙස හඳුනාගෙන තිබෙන ජාතික අරමුණු සහ මූලික නිපුණතා ප්‍රමාණවත් ලෙස පිළිබිඹු නොවීම, පැහැදිලි න්‍යයාත්මක පදනමක් මත පදනම් නොවීම, විධිමත් පර්යේෂණ අනාවරණ මත පදනම්ව විෂයමාලා සංවර්ධනය නොවීම, විෂය මාලාවේ තිරස් හා සිරස් සමෝධානය ආරක්ෂා නොවීම, අධික ශාස්ත්‍රීය නැඹුරුවඅධික විභාග කේන්ද්‍රීය බව, වෙනස්වන ගෝලිය තත්වයන්ට නොගැලපීම, සිසු හෝ සමාජ අපේක්ෂා සපුරාලීමට අසමත් වීම, රැකියා අපේක්ෂිතයන්ගේ මෘදු කුසලතා සංවර්ධනය අවධාරණය නොවීම, පවතින අධ්‍යාපන ක්‍රමය සහ ශ්‍රම වෙළඳපොළ අතර නොගැළපීම ආදිය හඳුනාගෙන තිබෙනවා. මේ ගැටලුවලට ආමන්ත්‍රණය කළ හැකි නව පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සදහා වන රජ්‍යයේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ගුරුවරුන් අතරින් පළපුරුදු අත්දැකීම් සහිත තෝරාගත් 129දෙනෙකු ජාතික අධ්‍යාපන ආයතනයට සහකාර කථිකාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ලෙස වසර 02ක් සදහා බදවා ගැනීමට කටයුතු කළා. අපි දැනට පවතින අධ්‍යාපන ක්‍රමයන් මූලිකත්වය දී තිබෙන්නේ දැනුමටයි. තවමත් ඒ තුළින් අපී බිහි කරන්නේ කියවීම, ලිවීම සහ ගණිත හැකියාවෙන් යුත් දරුවන් පමණි. ලෝකය අද සිටින සිවුවන කාර්මික විප්ලවයේවුවද අප තවමත් සිටින්නේ දෙවැන්නේයි. එනම් අපි සිටින්නේ ලෝකයට පිටුපසින්, 2023 සිට හඳුන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් එපිටට යමින් ජාතික ආර්ථිකයට ක්‍රියාශීලීව දායක කරගත හැකි පුරවැසියකු බිහිකිරීම, කාර්යක්ෂම හා සඵලදායී පුරවැසියෙක් බිහිකිරීම, ව්‍යවසායකයෙකු සහ ව්‍යාවසායකත්ව මනසකින් යුත් පුද්ගලයෙකු බිහිකිරීම, දේශප්‍රේමී පුරවැසියෙකු බහිකිරීම, යහපත් මනුෂයෙක් බහිකිරීම සහ සතුටින් සිටින පවුලක සාමාජිකයකු මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ බිහිකිරීමට අපේක්ෂා කරනවා. ගෝලීය අවශ්‍යතා හඳුනාගනිමින්, දේශීය අවශ්‍යතා සමග බද්ධවෙමින්, එම අවස්ථා කළමනාකරණය කරන්නට සමත් සුහුරු පුරසියෙකු බිහි කිරිමටත් බුද්ධිමත්, විචාරශීලී සහ තර්කානුකූල. රටේ ආර්ථික ක්‍රියාවලිය තුළ එලදායී කාර්යක්ෂම හා සක්‍රීය සේවාදායකත්වයක් ලබා දියහැකි මිනිසකු තැනීමටත් අභියෝග පසුපස හඹා යන රැකියා ඉල්ලන කෙනෙකු නොව රැකියා සපයනක් බිහි කිරීමටත්, උපන් රට අතර විදෙස්වලට පදිංචියට යන්න නොව රටට ආදරය කරන පුරවැසියෙක් බිහි කිරීමටත්, අවංක, සෘජු සදාචාරාත්මක, සංවේදී පුද්ගලයෙකු බිහිකිරීමටත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් අපේක්ෂ කරනවා” යැයි පවසා සිටියේය.එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කර , දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන හා විවෘත විශ්වවිදයාල රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා 2024 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් ක්‍රමවේදයෙන් 50%ක් විභාග මූලිකවද 50%ක් වෙනත් තක්සේරුකරණ ක්‍රම මගින් සිදුකිරීමටත් අපේක්ෂා කරන බවද පැවසීය.

( සාකල්යා සඳමාලි )


බංකොලොත්ව අතුරුදන් වූ ව්‍යාපාරිකයා දෙමසකට පසු පුල්මුඩේ බස්පොළෙන් සොයා ගනී



මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ  තම නිවසින් අතුරුදන්ව සිටි කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුව සිටි පුද්ගලයකු පුල්මුඩේ ප්‍රදේශයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ දිවිගෙවමින් සිටිය දී සොයා ගත් බව පුල්මුඩේ පොලිසිය පවසයි. පසුව මෙම ව්‍යාපාරිකයා ඔහුගේ ඥාතීන්ට බාර දී ඇත. පුල්මුඩේ ප්‍රධාන බස් නැවතුම් පොළේ දිවි ගෙවූ මෙම පුද්ගලයාගේ ඥාතීන් ඔවුන් වෙනදා බාරදෙන්නට හැකිවූයේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව පුල්මුඩේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් කුලසූරිය (91229) සහ පොලිස් කොස්තාපල් ඉතුල්ලා (90956) යන මහත්වරුන්ගේ උත්සාහයෙන් බව ද පොලිසිය කියයි.. සිය පුතා අතුරුදහන්ව කියා ඔහුගේ වයෝවෘද්ධ මව ද දැඩි ලෙස ගිලන්වී ඇති බවද පොලිසිය පවසයි. 

කාගෙන් හෝ ලැබෙන දෙයක් කා කුසගින්න නිවාගෙන පුල්මුඩේ බස්  නැවතුම් පොලේ දිවි ගෙවන මෙම පුද්ගලයා ප්‍රදේශයට ආගන්තුකයකු වූ නිසා  පොලිස් කොස්තාපල්වරු දෙදෙනා මොහුගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට විස්තර විමසා ඇතත් ඔහු කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදී නිහඬව සිටි බව ද  පොලිසිය කියයි. මෙම පුද්ගලයා ළඟ බෑගයක් ද තිබී ඇති අතර එය පරීක්ෂාකර බැලීමට කිසිවකුටවත්  ඉඩ දී නැති බව ද කියති. පසුව මෙම පොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනා මාසයකට වැඩි කාලයක් තිස්සේ  මෙම පුද්ගලයාට ඔහුගේ පෞද්ගලික වියදමින් කෑම බීම ලබාදෙමින් ඔහු සමග හිතවත්කමක් ගොඩ නගා ගෙන තිබේ.

මෙසේ ඇතිකරගත් හිතවත්කම මත එම පුද්ගලයා පසුව පොලිස් නිලධාරින් දෙදෙනා සමග කතා බහ කිරීමටත් සිය ගමන් බෑගය පරීක්ෂාකර බැලීමටත් ඔවුන්ට ඉඩ දී ඇත. ගමන් බෑගයේ මෙම පුද්ගලයාගේ   ජාතික හැඳුනුම්පත්තේ ඡායා පිටපතක් තිබී  සොයාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනා එහි සඳහන් තොරතුරු පොලිස් විශේෂ  කාර්යාංශයේ කොළඹ දකුණ ඒකකය වෙත ලබාදී මොහු ගැන සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. ඒ අනුව කළ සොයා බැලීමක දී මෙම පුද්ගලයා හඳුනාගත් පසුව ඔහුගේ ඥාතීන්ට  දැනුම් දී ඇති අතර මොහුගේ සහෝදරයන් පුල්මුඩේ බස් නැවතුම් පොළට ගොස් සිය සහෝදරයා හඳුනාගත් බව පොලිසිය  කියයි.  ධනවත් ව්‍යාපාරිකයකුව සිටි සිය සහෝදරයාගේ බිරිඳ ඔහු අතහැර ගොස් ඇති බවත් එයින් පසුව ඔහු පවත්වාගෙන ආ ව්‍යාපාරික කටයුතු බංකොලොත් වූ බවත් සහෝදරයන් පොලිස් නිලධාරීන් සමග පවසා ඇති බව කියති.  මීට මාස 2 කට පමණ පෙර තම   සහෝදරයා නිවසින් අතුරුවීම නිසා තම මව දැඩි ලෙස කනගාටු වූ බවත් එදින සිට  මොහු සොයා ගැනීමට තමන් බලවත් උත්සාහයක් දැරූ බවත් එම ඥාති සහෝදරයන් පොලිසියට පවසා ඇතැයි ද කියති.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

ක්‍රිඩකයා ෂහීන් අෆ්රිඩ් ක්‍රීඩිකාව ස්ම්‍රිති මන්දනා

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය මෙවර දිනා ගැනීමට පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්ර්ඩ් සමත් විය. ඒ පෙරේදා (24දා පැවති අයි.සී.සී. සමාන උළෙලේදීය. 2021 වර්ෂයට අදාළ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් අෆ්රිඩි එම සම්මානය දිනාගත් පළමු පාකිස්තාන ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය. මෙම පසුගිය වර්ෂයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග 36කට එක්වී ඇති. ෂාහින් එහිදී කඩුලු 78ක් දවා ගැනීමට සමත්වී ඇත. ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයේදීම පන්දුවෙන් දස්කම් දැක්වූ ෂාහින් මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේදී. ඉන්දියාව සමග පැවති තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වූයේ ලකුණු 31කට කඩුලු 03ක් දවා ගනිමිනි. 2004 වර්ෂයේදී ආරම්භ වූ මෙම ගාෆීල්ඩ් සෝබර්ස් වසරේ ක්‍රීඩකයා සම්මානය මුලින්ම (2004) ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් විසින් හිමිකර ගත්තේය. ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් (2006,2007) හා ඉන්දියාවේ විරාත් කෝලි (2017,2017) දෙවරක් බැගින් මෙම සම්මානය හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙම සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකිකයා වූ කුමාර් සංගක්කාර 2012 වර්ෂයේදී එය - හිමිකරගෙන ඇත.ෂාහින් අෆ්රිඩ්ට පෙර මෙම සම්මානය 2013 වර්ෂයේදී හිමිකර ගනු ලැබුවේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ය.මේ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි රේචල් හේයෝ ෆ්ලින්ට්. සම්මානය මෙවර හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරීණිය වූ ස්ම්‍රිති මන්දනා සමත් වූවාය. ඇය පසුගිය 2021 වර්ෂයේදී අත්තර්ජාතික තරග 22කට සහභාගි වී ලකුණු 855ක් රැස් කරගෙන ඇති අතර, එහිදී ඇය ටෙස්ට් ශතකයක් හා අර්ධ ශතකයක්, පන්දුවාර 20 අර්ධ ශතක දෙකක් හා එක්දින අර්ධ ශ දෙකක් බැගින් රැස් කිරීමට සමත්වී ඇත. මන්දනා මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය.කෙසේ වෙතත් 2017 වර්ෂයේදී ආරම්භ වූ මෙම සම්මාන උළෙලේ මන්දනා හැරෙන්නට එම සම්මානය දිනාගත් ක්‍රීඩිකාව වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා එලීස් පෙරී පමණි. මන්දනා (2018, 2021) හා එලිස් පෙරී (2017,2019) දෙදෙනාම දෙවරක් බැගින් මෙම සම්මානය හිමිකර ගැනීමට සමත්ව ඇත.


( ඕෂිත වරකපිටිය)


ඇඹිලිපිටිය එළිමහන් සිරකඳවුරේදී මියගිය රැඳවියාගේ මරණය සැකයි


ඇඹිලිපිටිය එළිමහන් සිරකඳවුරේ දී මියගිය රැඳවියාගේ මරණය සැක සහිත බව ඔහුගේ බිරිය සහ දියණිය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (25) සාක්ෂි දෙමින් පවසා සිටියහ.  ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ සිර කඳවුරේ දී පහර දී මිය ගියේ යයි ඥාතීන් චෝදනා කරන ලලිත් චමින්ද හෙට්ටිගේ රැඳවියා සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙවත් මූලික සාක්කි විමසීම ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්  අධිකරණයේ දී ඊයේ සිදු කෙරිණි.  මියගිය අයගේ දියණිය වන හෙට්ටිගේ දිලානි මංජුලා සහ සහ මියගිය අයගේ බිරිය වන එම්.ජී.  සෝමලතා යන අය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ලක්මිණි විධාන ගමගේ මහත්මිය ඉදිරියේ දී සාක්කි දුන්හ. 

මෙම අවස්ථාව සඳහා සිරකරු  අයිතීන් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද අධිකරණය වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි. නීතීඥ සේනක පෙරේරා සහ නීතීඥ ප්‍රබෝධ රත්නායක යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ. මාතර කනංකේ කන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක අයෙකු වන මෙම රැඳවියා බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූයේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගිනි. ඒ රුපියල් දස දහසක් සොරකම් කිරීමේ වරදකට ලලිත් චමින්දට අධිකරණයෙන් දඬුවම් නියම විය.  පසුව දඬුවම් සඳහා ලලිත් චමින්ද අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයටත් ඉන් අනතුරුව ඇඹිලිපිටිය කදුරුගආර එලිමහන්  වැඩ කඳවුර වෙතත් ගෙන ගොස් ඇත. 

මියගිය අයගේ ඥාතීන් පැවසුවේ සිර කඳවුරේ දී රැඳවියාට විඳින්නට සිදු වූ කටුක අත්දැකීම් ඔවුන් හමුවේ විස්තර කළ බවයි. බන්ධනාගාරයෙන් පවසා තිබුණේ  මෙම රැඳවියා පලා යෑම හේතුවෙන්  ගම්මුන් පහර දී ඇති බවත් ඒ හේතුවෙන් ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ බවය. ගම්වාසීන් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර මෙම රැඳවියාට එළිමහන් සිර කඳවුරේ දී පහරදීම හේතුවෙන් මියගිය බව ඥාතීහු මාධ්‍ය හමුවක් පවත්වා පසුගිය දා කියා සිටියහ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ සහකාර අධිකාරීවරයකු යටතේ පරීක්ෂණෙයක් සිදු කරන බවයි.

මියගිය ලලිත් චමින් ද යන අයන්ගේ දියණිය වන හෙට්ටිගේ දිලානි මංජුලා අධිකරණයෙන් පිටත දී මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.  මගේ තාත්තා ගල්කඩමින් අපිව ජීවත් කළේ. රුපියල් දසදහසක සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වෙන්න වුණේ. අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට දැනට මාස දෙකකට පමණ උඩ දී මගේ පියා ඇඹිලිපිටිය එළිමහන් වැඩ කඳවුරට යොමුකර තිබුණා. ඉන්පසු තාත්තා බලන්න අපි නිතර ආවා.  මෙහිදී බන්ධනාගාර නිලධාරින් තාත්තාට බොහොම සමීපව සිටියා. මගේ පියා සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන් වරින්වර කතා කරමින් මට තොරතුරු කිව්වා. ඒ අතර විවිධ අයුතු බලපෑම් එන්න පටන් ගත්තා. මේ පිළිබඳව දැනගත් පසු මගේ පියා දැඩි වේදනාවකින් සිටියේ, මගේ පියාට නිදහස් වෙන්න තව මාස තුනයි තිබුණේ. එයාට පැනල  යන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ පිළිබඳව ඇති වූ විරෝධතාව මත මගේ පියාට පහර දී ඝාතනය කර ඇති බව  තමයි මට කියන්න වෙන්නේ. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මගේ පියාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කර දෙන මෙන් මම ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියේ මීළඟ සාක්ෂි විභාගය පෙබරවාරි පළමුවැනි දා දක්වා කල් තැබිණි.


 රෝහණ සමරවීර

අධ්‍යාපන පරිපාලන සේවයේ විෂය අධ්‍යක්ෂවරුන්ටත් විදුහල්පති තනතුරු

 ජාතික පාසල්වල විදුහල්පති තනතුරුවලට පත් කිරීමේදී අධ්‍යාපන පරිපාලන සේවයේ විෂය අධ්‍යක්‍ෂවරුන්ටත් මෙවර විදුහල්පති තනතුරු ලබාදෙමින් සිටින බවත්, මෙය ජාතික පාසල් පද්ධතියට සිදුකරන හානියක් බවත් ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි. ජාතික පාසල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක විදුහල්පති තනතුරු අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක කාණ්ඩය යටතේ සිටින නිලධාරීන්ට හිමි බවත්, එහෙත් විශේෂ සේවක කාණ්ඩය යටතේ සිටින විෂය අධ්‍යක්‍ෂවරුන්ට විදුහල්පති තනතුරු දැරිය නොහැකි බවත් එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. එසේ තිබියදී පසුගිය 21වැනිදා ජාතික පාසල් 31කට විදුහල්පතිවරු පත් කිරීම යටතේ විෂය අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනෙකුටම විදුහල්පති තනතුරු ලබාදී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. මේ අනුව කොළඹ ප්‍රදේශයේ පිහිටි   ප්‍රධාන පෙළේ ජාතික පාසල් හතරකටත් විදුහල්පතිවරුන් ලෙස විෂය අධ්‍යක්‍ෂවරුන් පත් කර තිබෙන බවත්, විෂය අධ්‍යක්‍ෂවරුන්ට දැනුම්දී තිබෙන්නේ අදාළ විෂය පිළිබඳ බවත් ලේකම්වරයා සඳහන් කළේය. අධ්‍යාපන අමාතරංශය විසින් මීට අදාළ පත්වීම ලබාදී තිබෙන බවත්, අධ්‍යාපන අමාතශය යටතේ තිබෙන ආයතනවල හා පළාත් සභා යටතේ තිබෙන ආයතන විශාල ප්‍රමාණයක විෂය අධ්‍යක්‍ෂ පුරප්පාඩු ඇති වී තිබියදී ඒවා සම්පූර්ණ කිරීමට කටයුතු නොකරන බවත් හෙතෙම පැවසීය.විෂය අධ්‍යක්‍ෂවරුන් විදුහල්පති තනතුරුට. පත් කිරීම යටතේ විභාග දෙපාර්තමේන්තුව තුළ සිටි නිලධාරියෙකු හා වෙනත් විෂයන්වලට ප්‍රවීණ නිලධාරින්ට විදුහල්පති තනතුරු ලබාදී තිබෙන බවත්, මේ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 




(ඉන්දික හේවාවිතාරණ)


ප්‍රදේශ කීපයක පාසල් සිසුන්ට කෝවිඩ්

 කෙන්ගල්ල ජාතික පාසලේ සිසුන් පස්දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම විදුහලේ 8 සහ 10ශ්‍රේණි සති දෙකක කාලයකට වසා දමා එම සියලු සිසුන් සහ ගුරුවරුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. කුණ්ඩසාලේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයෙන් එම සිසුන් ඇන්ටිජන් සහ පී.සී.ආර්.පරීක්ෂණවලට යොමු කර වීමත් අනතුරුව ඒ බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.මේ අතර හැටන් ශ්‍රීපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කෝවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමත් සමග එම විදුහල් පස්වන ශ්‍රේණියේ පත්ති තුන තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.මෙසේ කෝවිඩ් ආසාදනයට ලක්වූ සිසුවා පසු ගිය සෙනසුරාදා පැවැති ශිෂ්‍යත්ව විභාගයට පැමිණ සිටි බවත් එම තත්වය මත එම සිසුවා පහ වසර පංති තුනම නියෝජනය කරන සිසුන් සමග එක්ව ඇති හෙයින් මෙම පංති තුන මෙසේ තාවකාලිකව වසා දැමීමට නියමීත බවද ඇය පැවසුවාය. මේ පිළිබද හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය දැනුවත් කර කලාප කාර්යාලයේ උපදෙස් මත විදුහල් අන් සිසුන්ගේ සොඛ්‍යාරක්ෂව සදහා මෙම විදුහල් පහ වසරපති තුන මෙසේ තාවකාලිකව වසා දමා එම පන්ති කාමර විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගන්නා බවද ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය. කළුතර තිස්ස මධ්‍ය විදුහලේ 50දෙනෙකු සදහා ඊයේ (25දා) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලින් 13දෙනෙකුට කෝවිඩ් වෛරසය වැලදී ඇති බවට තහවුරුවී ඇතැයි කළුතර සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. තූර්ය වාදක කණ්ඩායම් සිසුන් හයදෙනෙකු, ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනෙකු සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයකු ඒ අතර වන බව සොඛ්‍ය අංශ සදහන් කරයි. මෙම ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු සහ තූර්ය වාදක කණ්ඩායමේ සිසුවෙකුට කෝවිඩ් 19 වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමෙන්  අනතුරුව ඊයේ (25දා) මෙසේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදු කළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා පවසා සිටියේය.ආසාදිතයන් සියලු දෙනා නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සොයා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදු කිරීමට නියමිතය.

(ෂේන් සෙනෙවිරත්න)


ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන කෝටි ගණනක් වටිනා දුම්රිය මැදිරි 100ක් එන්ජින් නොමැති නිසා ධාවනයෙන් ඉවතට

ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන කෝටි ගණනක් වටිනා දුම්රිය මැදිරි සවිකිරීමට දුම්රිය එන්ජින් නොමැති වීම නිසා මැදිරි 100කට වැඩි ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කර තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.ඉන්දීය ණය මත දුම්රිය මැදිරි 160ක් 2018 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වා තිබෙන බවත්, මෙම මැදිරිවලින් 38ක් වායු සමනය කළ මැදි බවත් එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පැවසීය. මෙලෙස ගෙවා තිබෙන මැදිරී ප්‍රමිතියෙන් තොර බවත්, සමහර මැදිවල තහඩු මේ වනවිට මළ බැඳී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම මැදිරි සවි කළ හැකි වන්නේ, m11 හා m4 දුම්රිය එන්ජින්වලට පමණක් බවත්, මේ වනවිට මෙරට තුළ තිබෙන m11 එන්ජින් දහයෙන් අටක්ම ධාවනය කිරීමට නොහැකි ආකාරයට තාක්‍ෂණික දෝෂවලට ලක්ව තිබෙන බවත් එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය. එසේම m4 එන්ජින් කිහිපයක් ධාවනය කරණු ලැබූවත්, එම එන්ජින්වලට චීන මැදිරි සවි කර තිබෙන බවත්, මේ ආකාරයට කිසිදු සොයා බැලීමක් සිදුනොකර මැදිරී ගෙවීම නිසා විශාල නාස්තියක් හා දූෂණයක් සිදුව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. එන්ජින් පහකට මැදිරි සවිකර ධාවනය කරන බවත්, මැදිරී ප්‍රමිතියෙන් තොර නිසා එම මැදිරී වැඩි කල් භාවිතයට ගැනීමට නොහැකි වනු ඇති බවත් එස්.පී. විතානගේ මහතා පැවසීය. බාධා එල්ල වී තිබෙන බවත් හෙතෙම සඳහන් කර සිටියේය. දුම්රිය මැදිරි දහයක් ගෙවීමට වැය වන මුදල යොදාගෙන දුම්රිය මැදිරි සකස් කරන කර්මාන්තශාලාවක් මෙරට තුළ ඇති කිරීමට හැකියාව තිබූ බවත්, ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර මැදින් ගෙවූ බවත් එස්.පී. විතානගේ මහතා පවසා සිටියේය. මෙම එක් මැදිරියක වටිනාකම රුපියල් කෝටි 8ත් - 10ත් අතර මුදලක් වන බවත්, වායු සමනය කළ මැදියක රුපියල් කෝටි 12කට ආසන්න බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මේ නිසා මෙරටට ගෙන්වා අංගණවල ගාල් කර තිබෙන මැදිරී 100 ධාවනය කිර්ම සඳහා එන්ජින් දහයක් මෙරටට ගෙන්විය යුතු බවත්, එසේ නොමැති නම් තාක්‍ෂණික දෝෂවලට ලක්ව තිබෙන මැදිරි අලුත්වැඩියා කටයුතු සිදුකළ යුතු බවත් එස්.පී. විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.



(එච්.අයි. තුෂාර)


මහින්දගේ බැංකු ගිණුමටත් විදී


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් රාජ්‍ය බැංකුවක නිබූ ගිණුමකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක පමණ කාලයක සිට වරින් වර වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වෙයි.   එම නිලධාරියා අග්‍රාමාත්‍යවරයාගේ ඒ.ටී. එම්. කාඩ් පත උපයෝගී කරගනිමින් වරින් වර මෙම මුදල ලබාගෙන ඇති බවට එම තොරතුරුවලින් වාර්තා වේ.  අදාළ ගිණුමේ තිබූ මුදල් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිට වැටුප ලෙසින් ලද මුදල් බවත් එම ගිණුමේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් එය පරීක්ෂා කර බැලීමේ දී මෙම කරුණු හෙළිවී ඇති බවත් එම ආරංචිමාර්ග වලින් පැවසේ. 

බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බව කියන අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියා, කලක් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයකු  වශයෙන් ද කටයුතු කර ඇති අතර ඔහු අවස්ථා ගණනාවකදීම අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ද සේවය කර ඇතැයි පැවැසේ.  ඔහු පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරයකු මෙන්ම හිටපු කතානායකවරයකුගේ පුත්‍රයකු බව ද වාර්තාවේ.  මෙම මූල්‍ය වංචාව හෙළිවීමෙන් පසු එම නිලධාරියා අග්‍රාමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සියලු තනතුරුවලින් ද ඉවත් කර ඇති අතර, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉදිරියේ දී විමර්ශනයක් කෙරෙනු ඇතැයි ද දැනගන්නට තිබේ.


-නිමන්ති රණසිංහ-

Tuesday, January 25, 2022

හිටපු සිම්බාබ්වේ නායකයත් බුකිකරුවන්ගේ බිල්ලක් වෙයි


ඉන්දීය බුකීකරුවන් සමග ගනුදෙනු කිරීම හේතුවෙන් හිටපු සිම්බාබ්වේ නායක බ්‍රෙන්ඩන් ටේලර්ට අයි.සී.සී. තහනමක් පැන වෙන ලකුණු පහළ වී තිබේ.  ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගේ දූෂිත ප්‍රවේශයක් (Corrupt Approach) ජාත්‍යන්ත  ක්‍රිකට් කවුන්සිලයට (අයි.සී.සී.යට) වාර්තා කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙලෙස ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට වසර ගණනාවක තහනමක් (Impose as  Multi-Year Ban) පැනවීමට අයි.සී.සී.ය සුදානම් වන  බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබිණි.  සිම්බාබ්වේ හිටපු නායකයා 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම ඉන්දීය ව්‍යාපාරීකයා හමු  වී ඇත්තේ, සිම්බාබ්දවේහි විස්සයි20 තරගාවලියක්  පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට සහ අනුග්‍රාහකත්වයක් ලබාගැනීමටයි.

ටේලර් ඉන්දියාවේදී එම රැස්වීම වාර්තා කිරීම ප්‍රමාද කළේ ඔහුට තම පවුල ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ නිසා බව ඔහු පවසා ඇත. එම හමුව අතරතුර සිදු වූ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ට්විටර් වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින් ඔහු විස්තර කරන අතර, එය තමාව බ්ලැක්මේල් කළ බවට චෝදනා කිරීමට හේතු වූ බවද හෙතෙම පවසයි. ටේලර් පැවසුවේ, ඔහුට මුණගැසුණු මිනිසුන්, පසුදා ඔහුගේ හෝටල් කාමරයට කඩා වැදුණු බවත්, ඔහු ඔවුන් වෙනුවෙන් ස්ථානීය පාවාදීම් (SpotFixing) සිදු නොකළහොත් මන්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ වීඩියෝවක් නිකුත් කරන බවට තර්ජනය  කළ බවත්ය.  ටේලර්ට ඔවුන් ඇමෙරිකානු ඩොලර් 15,000ක් ලබාදී ඇති අතර, මෙය තැන්පතුවක් බවත්, කාර්යය අවසන් වූ පසු අමතරව ඇමෙරිකානු ඩොලර් 20,000ක් ගෙවන බවත් ඔවුන් ටේලර්ට පොරොන්දු වී තිබේ.

"මෙම වරද සහ අන්තර් ක්‍රියාකාරිත්වය. අයි.සී.සී.ය වෙත වාර්තා කිරීමට මට මාස 4ක් ගත වුණා. මෙය දිගු කලක් ගත වූවක් බව මම පිළිගන්නවා. නමුත් මට සෑම කෙනෙකුම සහ විශේෂයෙන් මගේ පවුල ආරක්ෂා කළ හැකි යැයි මම සිතුවා. මම මන්ම කොන්දේසි මත අයි. සී.සී.ය පැමිණියා. මම මගේ දුෂ්කරතාව පැහැදිලි කළහොත්, අපගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ මගේ සැබෑ බිය පැහැදිලි කළහොත් ඔවුන් මගේ ප්‍රමාදය තේරුම් ගනීවි යැයි මා සිතුවා” යනුවෙන් ටේලර් පැවසීය.  ටේලර් තවදුරටත් පවසා සිටියේ, ඔහු කිසිම  ආකාරයක තරග පාවාදීමකට සම්බන්ධ වී නොමැති බවත්, තමන්ට බොහෝ දේ විය හැකි නමුත් තමන් වංචාකාරයෙකු නොවන බවත්ය. කෙසේ වෙතත් ටේලර්ගේ මෙම ප්‍රකාශය පිළිබඳ අයි.සී.සී.ය තවමත් කිසිදු අදහසක් දක්වා නොමැත. වසර 17ක ක්‍රිකට් දිවියකට පසු ටේලර් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත්තේය. 

මෙම සිද්ධිය වනවිට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයෙන් ඔවුන්ගේ ක්‍රීඩකයන්ට මාස හයක් වැටුප් ගෙවා නොමැති බවත්, සිම්බාබ්වේ  කණ්ඩායමට ජාත්‍යන්තර පිටියේ දිගටම ක්‍රීඩා කිරීමට හැකිවේද යන ප්‍රශ්නකාරී බවත් ටේලර් වැඩිදුරටත් පවසා තිබිණි.  මීට අමතරව හිටපු සිම්බාබ්වේ නායකයා අද (25දා) දින සිට යථා තත්වයට පත් වීමට මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යන බවද තහවුරු කර සිටියේය. ටේලර් 2011 වසරේ සිට 2021 වසර දක්වා තරග 71කදී සිම්බාබ්වේ පිලේ නායකත්වය දැරිය. ඔහු 2011 මැද භාගයේ සිට 2014 මැද භාගය දක්වා කාලය තුළ පූර්ණකාලීන නායකයා වූ අතර, ඊට පෙර ටෙස්ට් ක්‍රිකට් නායකත්වය පමණක් භාරව සිටියේය. ඉන්පසුව, 2015 වසරේ පැවති ලෝක කුසලානය අවසානයේ, ඔහු ජාත්‍යන්තර තරගවලින් විශ්‍රාම  ගෙන වයස අවුරුදු 29දී කොපැක් ගිවිසුමක් මත එක්සත් රාජධානියට ගිය අතර, යළිත් 2017 වසර අග භාගයේදී. ඔහු සිය කොපැක් ගනුදෙනුව අවසන් කර නැවත සිම්බාව්වේ ක්‍රිකට් කණ්ඩායමට පැමිණියේය. මීට පෙර තවත් හිටපු සිම්බාබ්වේ නායකයෙකු වන හීත් ස්ට්‍රීක් 2021 වසරේ අප්‍රේල් මාසයේදී අයි.සී.සී. දූෂණ විරෝධි සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් අයි.සී.සී. තහනකමට ලක් විය. 


-පැතුම් ශ්‍රී විජේරත්න-


වායු රයිපලයකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගිය සැකකරු අත්අඩංගුවට

 වායු රයිපලයකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගිය සැකකරු කටුනායක ප්‍රදේශයේදී පෙරේදා (23දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි. 35 හැවිරිදි සැකකරු උඩුබද්දාව,දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මඩහපොල, පොතුවිල ප්‍රදේශයේ ගෙවත්තක වැඩ කරමින් සිටියදී මිතුරන් අතරේ ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකුට මෙම සැකකරු ගෙවත්තේ සතුන් පලවා හැරීමට භාවිතා කළ වායු රයිපලයකින් හිසට වෙඩි තැබීමෙන් අනතුරුව තුවාලකරු රෝහලට රැගෙන යන අතරවාරයේදී පසුගිය 11 වැනිදා රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්වී තිබේ.එලෙස වෙඩි තබා සැකකරු මරණකරුගේ යතුරුපැදිය හා වායු රයිපලයත් රැගෙන පලා ගොස් තිබුණි.මෙම වෙඩි තැබීමෙන් පිළිමතලාව පොලිස් වසමේ පදිංචි 57 හැවිරිදි තැනැත්තෙකු මරණයට පත්ව තිබේ. ඔහුද දිවයින් ලියාපදිංචි අපරාධකරුවකු හා සංවිධානාත්මක කල්ලි සාමාජිකයෙකුවන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඒ අනුව පලාගිය සැකකරු සම්බන්ධව ලද තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දින කිහිපයක් තිස්සේ කුලියාපිටිය, අම්පාර හා කටුනායක ප්‍රදේශවල නිරතව විමසිල්ලෙන් සිට පෙරදා (23)දා රාත්‍රියේදී කටුනායක ප්‍රදේශයේදී සැකකරු සැකකර, සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවත්, ඝාතනය සිදුකළ බවට සැකකරන වායු රයිපලය ඉරුදෙණියාය ප්‍රදේශයේ කැලුම් සීමාවකට විසිකර තිබියදී සොයා ගත් බවත් පොලීසිය පවසයි. සැකකරු මියගිය තැනැත්තාගේ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන ගෝලයා බවත්, ඔහුට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩු හයකට වැරදිකරු වී බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටින අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණය විය.ඊට අමතරව කුලියාපිටිය හා අනුරාධපුර මහාධිකරණවල නඩු විභාග වෙමින් පවතින අතර වෙන්නප්පුව ප්‍රදේශයේ රන්මාල සොරා ගැනීමේ සිද්ධියකට වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකු බවද පොලිසිය පවසයි.


(පොල්පිතිගම - සිසිර කැලේගම)


ආදිවාසී නායකගේ නැසීගිය බිරිය වෙුනවෙන් ගීතයක් එළිදකියි



දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ නැසී ගිය භාර්යාව වන හිංමැණිකා මාතාව සිහිකරමින් රචිත නියගෙක දැවෙන කුඹුරකි මම මෙලෙසින් නිර්මාණය වූ නව ගී නිර්මාණයක් පෙරේදා (23දා) උදෑසන දඹාන කොටබකිණිය ගම්මානයේදී ආදිවාසී නායක වන්නිල   ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජනගත කෙරිණි.  රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  සංජය ප්‍රනාන්දු මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති අතර, ගී පදවැල් මීරිගම, කල්එළිය, හාපිටිගම පදිංචි ඉන්ද්‍රානි කාන්ති මහත්මිය විසින් රචනා කර තිබූ අතර, රඹාවැව, පුත්තලම පදිංචි සුරංජන් මහේෂ් අබේසිංහ මහතා විසින් ගායනා කර තිබේ. 

ගී තනුව හා සංගීත නිර්මාණය කල්පිටිය, මීරිගම පදිංචි නාලක අංජන කුමාර මහතා විසිනි. ගී පදවැල් ලියූ රචිකාවිය කාව්‍ය රචිකාවයක් වන අතර  ඇය ෆේස්බුක් සමාජ සමූහයන් රැසක් සඳහා කාව්‍ය නිර්මාණ පළ කරමින් ප්‍රසාදට පාත්‍රවූ රචිකාවියකි.  ආදිවාසී නායකගේ බිරියගේ වියෝව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඇයගේ සිතේ පහළ වූ කවි සංකල්පනා පසුව ගීතයක් බවට පරිවර්තනය කර ඇත.  එම ගීතය නිර්මාණකරුවන් විසින් ප්‍රථම සංයුක්ත තැටිය ආදිවාසී නායක වන්නිල ඇත්තන්ට පිළිගැන්වීමෙන් අනතුරුව, ගීත නිර්මාණය අන්තර්ජාලයට මුදාහැරීම සිදුකෙරිණි.

 -රංජිත් කරුණාවීර -


බදුල්ල - කොළඹ සුඛෝපභෝගී ශීඝ්‍රගාමී දුම්රිය සේවයක්

බදුල්ල - කොළඹ අතර ප්‍රථම වරට නවීන පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී ශීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දිනපතා බදුල්ල දුම්රිය ස්ථානයත් රාත්‍රී 09.00ට මහනුවර හරහා කොළඹ දක්වාද, කොළඹ සිට රාත්‍රී 8.30ට බදුල්ල දක්වාද මෙම දුම්රිය ධාවනය වන බවත්, මේ සඳහා නවීන පහසුකම්වලින් සමත්වී S-14 වර්ෂයේ නවතම දුම්රිය දෙකක් යොදවා ඇති බවත් දුම්රිය බලධාරීන් සදහන් කළහ. මෙම ශීඝ්‍රගාමී දුම්රියේ බදුල්ලේ සිට කොළඹට තෙවැනි පන්තියේ ගමන් ගාස්තුව රුපියල් 275ක් බවත්, බදුල්ලේ සිට මහනුවරට ගමන් ගාස්තුව රුපියල් 195ක් බවත් බදුල්ල දුම්රිය ස්ථානාධිපති කේ. සතිස්කුමාර මහතා පැවසීය. මෙම දුම්රියේ බදුල්ලේ සිට කොළඹ දක්වා 01වැනි පන්තියේ වායු සමීකරණ මැදිරියක ආසනයක් රුපියල් 1500ක් වන බවත්, බදුල්ලේ සිට කොළඹ දක්වා 02වැනි පන්තියේ ගමන් ගාස්තුව රුපියල් 400ක් බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම දුම්රිය මගින් බදුල්ලේ සිට කොළඹ දක්වා පැය නවය හමාරක් වැනි ඉතා කෙටි කාලයකින් ළගා වීමට හැකි බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.



 (ඇල්ල - ප්‍රසාද් රුක්මල්)

පියාගේ ඉල්ලීමට ගම්මානයක් අමතක නොකළ වැන් යුන්ටිආන්

චීනයේ උතුරුදිග සැක්ෂි පළාතේ පිහිටි ටායිදුආන් දිස්ත්‍රික්කයේ වැන්ග්ෆෙන්ග ගම්මානය නගරයෙන් බොහෝ අතින් පිහිටි ගම්මානයකි. අද දවසේදී ඒ වෙත දිවෙන මහා මාර්ග ඉදිවී තිබුණද. දැනට දශක තුනකට හතරකට පෙරාතුව මෙම ගම්මානය අතිදුෂ්කර වූ ගම්මානයක් ලෙස සැලකුණි.මේ ගම්මානයේ වෙසෙන ජනතාවට බාහිර ලෝකයත් සමග සබදතා පැවැත්වීම සඳහා තිබූ එකම අවස්ථාව වූයේ චීන තැපැල් සේවය හරහා සිදුකළ තැපැල් සේවාවයි.1985 වසරේදී චීන තැපැල් සේවාවේ තැපැල් පත් බෙදන්නෙකු ලෙස රැකියාවට එක්වුණු වැන් ෂොයුකියු මේ දුෂ්කර ගම්මානයේ ගැමියන් වෙනුවෙන් එලෙස ලියුම්, පුවත්පත් රැගෙන ආ පුද්ගලයා විය.ඔහු අතිශය දුෂ්කර මාර්ග, කදුවැටි, හෙල් පසු කරමින්, වන ලැහැබ මැදින් දින කිහිපයකට වරක් මේ ගම්මානය වෙත පැමිණි එහි වෙසෙන ජනතාවගේ මුවට සිනහවක් නංවමිනි. ඒ නිසාම ගම්මානයේ ජනතාවගෙන්ද ෂොයුකියු වෙත ලබු ඉමහත් ගෞරවය පිරි ආදරයකි. දශක හතරකට ආසන්න කාලයක් චීන තැපැල් සේවාවේ ලියුම් බෙදනෙකු ලෙස සේවය කළ  ෂොයුකියු පසුගිය 2020 4 වසරේදී ඉන් ඉවත් වන්නේ පැවැති අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙනි. එහෙත් ඔහුට මෙම ටොයියුආන්හි වැන්ග්ෆෙන්ග් ගම්මානයේ වැසියන් කිසිලෙසකින්වත් අමතක කළ නොහැකි විය. ඔහු මෙතෙක් එම ගම්මානයේ ජනතාවට ලබාදුන් සේවාව තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක විය යුතුය යන්න ඔහුගේ ස්ථිර අදිටන විය.ඒ අනුව ඔහු සිය එකම පුත්‍රයා වූ වැන් යුන්ටිආන්ද චීන තැපැල් සේවාවේ රැකියාවක් සඳහා එක් කරගත්තේ මේ ගම්මානයේ වෙසෙන ජනතාවට අවශ්‍ය සේවාව සැපයිම වෙනුවෙනි. ඔහු මේ සේවාව නොපිරිහෙළා සිදුකරන බවට සිය පුත්‍රයාගෙන් දැනටමත් පොරොන්දුවක්ද ලබාගෙන තිබේ. විශේෂයෙන්ම තමන් මෙන් අද දවසේ වයස්ගතව සිටින මෙම ගම්මානයේ ජනතාවට සෙත සැලසීම වැදගත් බව ඔහු සිය පුතාට පවසා ඇත. ඒ පොරොන්දු ප්‍රකාරව වැන් යුන්ටිආන්ද සතියකට දින කිහිපයක් මෙම ගම්මානයට පැමිණෙන්නේ සිය පියා සිදුකළ සේවය ඉදිරියටත් පවත්වාගෙන යාමේ අරමුණිනි. එහෙත් ඔහු සිය පියා මෙන් ගම්මානයට එන්නේ පා ගමනින් නොව චීන තැපැල් සේවාවට අයත් වෑන් රථයකිනි. වෑන් රථයකින් ඒමට තරම් සුදුසු ලෙස අද මෙහි මාර්ග දියුණු වී තිබේ. එසේම අද ගම්මානයේ ජනගහනය වැඩි නිසා යුන්ටිආන් වෙත වඩා වැඩි තැපැල් පත් සහ පාර්සල් ප්‍රමාණයක් රැගෙන   ඒමටත් සිදුව තිබේ. තැපැල් පත්වලට අමතරව ඔහු දිනපතා පුවත්පත්ද මේ ගම්මානයේ වෙසෙන පිරිස වෙත රැගෙන එයි."මම මේ දේ කරන්නේ මගේ තාත්තාගේ ඉල්ලීම අනුව. ඔහු තමයි දැන් දශක ගණනාවක් තිස්සේම මේ ගම්මානයට ලියුම් අරගෙන ආවේ. මම අද මේ ගම්මානයට ලියුම් අරගෙන එන්නේ ඉතාමත් සතුටින්. මම මේ ගම්මානයේ ජනතාව බාහිර ලෝකයත් සමග තියෙන සම්බන්ධතාව ඇති කරනවා වගේම, ගම්මානයේ වැසියන්ගේ දුක සැපත් සොයා බලනවා.” වැන් යුන්ටිආන් පවසයි.


සංචිත අර්බුදය කෙසේ විසඳේද?

චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන විදේශ සහායත් සමඟ ආහාර, ගෑස්, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ඇති හිඟය නිසා ඇති වී තිබෙන දරුණු අර්බුදය විසඳී යනු ඇත. කෙසේ නමුත් රටේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර එය ප්‍රධාන සහ බරපතළ කරුණකි. 


විදේශීය සහාය  

මුදල් හුවමාරු, ණය දාම/ මාර්ග පහසුකම්, චීනයෙන් ත්‍යාග වශයෙන් මෙට්‍රික් ටොන්  මිලියනයක සහල් ලැබීම යනාදිය මඟින් රට මුහුණ දෙන දරුණු අර්බුද තරමක් දුරට විසදෙනු ඇත. කෙසේ නමුත් රටේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යමින් තිබෙන්න අතර මේ වසර තුළ දී ඇමෙරිකානු ඩොලර් බිලියන හයකට වැඩි මුදලක් ගෙවීමට  නියමිතව තිබේ.


ආඩම්බර වාර්තාව

ජනවාරි 18 වැනිදාට කල් පිරුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර වෙත්ව බැඳුම්කරය ගෙවා දැමූ බව මහ බැංකු අධිපතිවරයා ඉකුත් දා පැවැසීය. ඔහු ඒ සම්බන්ධයෙන් ආඩම්බරයට පත්වූ අතර ණය නැවත ගෙවීම් පැහැර නොහැරීමේ වාර්තාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ද සමත් විය. 


අනුවණකම  


කෙසේ නමුත් අපට ඇති සීමිත සංචිත (ප්‍රමාණවත් නැති සංචිත තොගය) යළි ව්‍යුහගත කිරීම වෙනුවට එය භාවිත කරමින් ණය ගෙවීම නුවණක්කාර ක්‍රියාමාර්ගයක් නොවේ. ව්‍යාපාරික නායකයෝ, කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෝ මෙය කිසිදු ප්‍රයෝජනයක් නොමැති නුවණක්කාර නොවන ක්‍රියාමාර්ගයක් යැයි පෙන්වාදුන්හ. ණය ගෙවීම වෙනුවට අප කළ යුතුව තිබුණේ ණය නැවත ගෙවීම්  ප්‍රතිව්‍යුහගත කිරීමට ය. එමඟින් අපේ විදේශ සංචිත දුර්වල වීම වළක්වා ගත හැකිව තිබිණි. අප සතුව මේ මොහොතේ ඇති සංචිත ප්‍රමාණය අත්‍යවශ්‍ය ආනයනය ගෙන්වා ගැනීමටද ප්‍රමාණවත් නොවේ. 


විදේශ සංචිත


මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට විදේශ සංචිත ප්‍රමාණය පහළ යමින් තිබේ. අත්‍යවශ්‍ය ආනවන අයිතමවල හිඟයත් ආහාරවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් නිසා ජනජීවිතය දරාගත නොහැකි සහ ඉතා අමාරු දුෂ්කර එකක් බවට පත්ව තිබේ. ආහාර පිසීම සඳහා, ගෑස් සහ භූමි තෙල් හිඟ වී තිබේ. විදුලි විසන්ධි කිරීම් ඉදිරීයේදී තවදුරටත් දීර්ඝ වනු ඇත. පෙට්‍රල් සහ ඩීසල් හිඟයක් ද ඇති වනු ඇත.


විදේශ සහාය 


ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබෙන විදේශීය සහායත් සමඟ මෙම දරුණු තන්ව මඟ හැරී යනු ඇත. ඉදිරියේදී ජපානයෙන්ද සහාය ලැබෙනු ඇතැයි පැවසෙන අතර මිත්‍ර රටවලින් සහ බහුපාර්ශවීය සංවිධානවලින් සහනදායී ක්‍රම යටතේ ණය ලබාගැනීම් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුවනු ඇතැයි අපේක්ෂිත ය. 


මුදල් හුවමාරු (විනිමය හුවමාරු)


මේ අඳුරු අවස්ථාවේ රිදී රේඛාවක් ලෙස පවතින්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ලැබෙන මුදල් හුවමාරු හෙවත් විනිමය හුවමාරු පහසුකම් ය. චීනය යුවාන් මුදල් ඒකකයෙන් මුදල් හුවමාරු ගිවිසුමකට එකඟතාව පළ කර තිබේ. එහි අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 1500කට සමාන වේ. එමෙන්ම ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මාර්ග පහසුකමක් හිමි වේ.


සහල් ත්‍යාගය 


එකට ලංකාව (සිලෝන්) සහ චීනය රබර්-සහල් වෙළෙඳ ගිවිසුමට සබදකැහකදබ ඍසජැ-සෘමඉර ඔථා ඒජඑ) අත්සන් තබා වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය, ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිලියනයක් ත්‍යාග කළේ ය. මෙම සහල්  තොගය මාර්තු මාසය වනවිට මෙරටට ලැබෙනු ඇත. පොහොර අර්බුදය නිසා  මෙරට සහල් නිෂ්පාදනය පහත වැටුණු අතර එම අර්බුදයෙන් ගොඩ ඒමට චීනයෙන් ලැබෙන මෙම සහල් තොගය විශාල පිටිවහලක් වනු ඇත.


ඉන්දීය සහාය

ඉන්දියාව සමඟ ද මේ ආකාරයේ  එකඟතා ඇති කරගෙන ඇත. ඊට මුදල් හුවමාරු ගිවිසුමක් සහ ණය මාර්ග පහසුකම් දෙකක් ඇතුළත් ය. එම ණය මාර්ග පහසුකම් දෙකම ඇමෙරිකානු ඩොලර්  මිලියන 500 බැගින් වේ. එක් ණය මාර්ග පහසුකමක් ආහාර සහ ඖෂධ ආනයනය කිට ලැබෙන අතර අනෙක ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා හිමි වේ.


ඉතා වැදගත්


රටේ විදේශ සංචිත ප්‍රමාණය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනදී කඩිනම් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මෙම ණය මාර්ග පහසුකම් දෙක ඉතා වැදගත් වේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල තිබෙන මෙම කඩිනම් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඉන්දියාවෙන් ලැබෙන ණය මාර්ග පහසුකම් භාවිත කළ හැකි ය. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපුරාගැනීමට, ඒවා චීනයෙන් ගෙන්වා ගැනීමට චීනයෙන් ලැබෙන ණය මාර්ග පහසුකම් භාවිත කළ හැකි ය.


ණය මාර්ග පහසුකම් 


මෙම ණය මාර්ග පහසුකම් විදේශ සංචිතවල මේ වනවිට පවතින හිඟ මඟහරවා ගැනීමටත් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය  ද්‍රව්‍ය ගෙන්වා ගැනීමටත් ඉතා වැදගත් වේ. කෙසේ නමුත් එමඟින් රටේ ණය සහ නැවත ගෙවීමේ වගකීම් ඉහළ යයි. මේ නිසා ඉතා ඉක්මනින් හෝ පසුව  හෝ මෙම ණය මාර්ග පහසුකම් පියවීමට වින්දේශ විනිමය මූලාශ්‍ර සොයාගත යුතු වේ.  මුදල් හුවමාරු එසේත් නැතිනම් විනිමය හුවමාරු මීට වඩා තරමක් වෙනස් වේ. ඒවා මඟින් සංචිත ඉහළ යන අතර භාවිත කළ පසු නැවත ගෙවිය යුතු වේ. රටේ විදේශ වත්කම් සපුරාගැනීම සඳහා එය තරමක උපකාරයකි. 


ඉල්ලීම්

අපගේ ණය නැවත ගෙවීම් කදමන්නැයි ජනාධිපතිවරයා චීනයෙන් ඉල්ලීමක් කර ඇත. එමෙන්ම සහනදායී කොන්දේසි මත ජපානයෙන් ණය ඉල්ලා ඇත. රටේ අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරාගැනීමටත් ගෙවුම් ශේෂයට එල්ල වී තිබෙන පීඩනය අඩු කරගැනීමටත් අවශ්‍ය ඉඩකඩ මෙවායින් ලැබෙනු ඇත. ඉතා සරලවම සඳහන් කරන්නේ නම් හුස්මක් ගැනීමට ඉඩකඩ මෙවායින් ලැබෙනු ඇත.


නිෂ්පාදනය වැඩි කිරීම 

රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා  මෙම ණය මාර්ග පහසුකම් භාවිත කිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැති නම් විදේශ විනිමය උපයා ගැනීමට හෝ ආනයන වියදම් ඉතිරි කරගැනීම සඳහා මේවා භාවිත කළ යුතු  වේ. වෙළෙඳාම් කළ නොහැකි  භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන පිරිවැය අධික යටිතල පහසුකම් සඳහා මේවා භාවිත  නොකළ යුතු ය. මේ වනවිට රට හමුවේ තිබෙන නැතිනම් වත්මන් ණය උගුලට එක් ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ ඉහත කී ආකාරයෙන් විවිධ ව්‍යාපෘති සඳහා ලබාගත් අති විශාල  ද්විපාර්ශවීය ණය ය. එලෙස ණය ලබාගෙන ඇත්තේ සංවර්ධනය වීමට විශාල කාලයක් ගත වන ප්‍රතිලාභ නොමැති වපෘති සඳහා හෝ වෙළෙඳාම් කළ හැකි භාණ්ඩ හෝ සේවා හෝ නිෂ්පාදනය  නොකරන ව්‍යාපෘති සඳහා ය. ඇතැම් ඒවා විදේශ ආයෝජන ලෙසද ලබාගෙන ඇත.  මෙයින් සිදුව ඇත්තේ රටේ විදේශ ණය ප්‍රමාණය වැඩි වීම පමණි. 

සාරාංශය

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ ඉන්ධන යනාදී අත්‍යවශ්‍ය අවශ්‍යතා චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබෙන ණය මාර්ග පහසුකම්වලින් සපුරා ගත හැකි ය. ආණ්ඩුවේ විද්‍යාත්මක නොවන කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් මේ වසරේ සහල්  නිෂ්පාදනය පහත වැටෙන අතර එම අඩුපාඩුව චීනයෙන් ත්‍යාග වශයෙන් ලැබෙන සහල්වලින් පුරවා ගත හැකි ය. ජනතාව මුහුණ දී තිබෙන දරුණු හිඟ මේවා මඟින් තරමක් දුරට විසඳා ගැනීමට හැකියාව  ලැබෙනු ඇත. ජපානයෙන් සහනශීලි කොන්දේසි යටතේ ලබාගන්නා ණයත් චීනයට ගෙවීමට ඇති විදේශ ණය නැවත ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිර්මත් මඟින් යම් සහනයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව මේ වසරේ දී ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5කට ආසන්න වේ.  කෙසේ නමුත් මේවා කෙටිකාලීන සහන ක්‍රියාමාර්ගය මේවා මඟින් රටේ විදේශ ණය වගකීම් අඩු වීමක් සිදු නොවේ. ඇත්ත වශයෙන්ම රටේ විදේශ ණය වැඩි වෙමින් තිබේ. ගෙවුම් ශේෂයේ තත්ත්වය ඉහළ නංවන, එහි තත්වය වර්ධනය වන ආර්ථික ක්‍රියාමාර්ග අවශ්‍ය කර තිබේ.


නිගමනය 

විදේශ සහාය ඇති, අප විසින් ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් අපේ විදේශ සංචිත අර්බුදය විසඳාගත යුතු වේ.  යථාර්ථවාදී සහ වෙළෙඳපොළ මඟින් නියම කෙරෙන විනිමය අනුපාතිකයක් මඟින් විර්දේශ විනිමය ලැබීම්, විදේශ ප්‍රේෂණ ඉහළ නංවා ගත හැකි ය. අපට ඉදිරියට යා හැක්කේ දේශීය භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය මඟින් පමණි. එමඟින් දිගු කාලීන ගෙවුම් ශේෂයේ අර්බුදය විසදා ගත හැකි ය. එම නිසා දේශීයව කෙරෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම ඉතා වැදගත් ය.


මාරක රිය අනතුර සිදුකළ බස් රථය ගිනි තැබූ තිදෙනෙක් දැලේ

මාරක රිය අනතුරක් සිදුකළ බස් රථයක් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පොලිස් ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී බස් රථය වටකර පෙට්‍රල් දමා බස් රථයට ගිනි තැබූ කණ්ඩායමේ සිටි තිදෙනෙකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. තවත් පුද්ගලයන් 25දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර ඒ අතර මියගිය පුද්ගලයාගේ පුතාද වන බව පොලීසිය සඳහන් කරයි.එම අනතුරෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු පිවිතක්ෂයට පත්විය. පසුගිය 15වැනිදා අවිස්සාවේල්ල මානියම්ගම පාපැදිකරුවෙකු අනතුර ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ බස් රථය අවිස්සාවේල්ල පොලීසියේ වාහන අංශයේ නිලධාරින් සිය භාරයට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී අනතුරින් කුපිත තිබූ ගම්වාසීන් තිදෙනෙකුගෙන් පමණ පිරිසක් බස් රථයේ මග හරස් කර බස් රථය වටා පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ විය.එම අවස්ථාවේදී බස්රථය පදවමින් සිටි අවිස්සාවේල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියකුද පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරිණි. මාරක අනතුර සිදුකළ බස්රථයේ හිමිකරුගේ පුත්‍රයාට බරවාහන රියදුරු බලපත්‍ර නොමැති වීම හේතුවෙන් ඔහු අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ බස් රථය පොලීසිය වෙත රැගෙන එමින් තිබියදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් ගිනි තැබූ පුද්ගලයන් තිදෙනෙකු පමණ මේ වනවිට හදුනාගෙන ඇති අතර ඔවුන් සිය නිෂ්පස් හැර පලාගොස් ඇතැයි පරික්ෂණවලදී අනාවරණය විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සදහා අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධිය සම්බන්ධයත් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)