Thursday, September 30, 2021

ඖෂධ අධිකාරියෙ දත්ත මැකීම ඩිජිටල් ත්‍රස්තවාදයක්



 ඖෂධ නියාමන අධිකාරියට ආනයනය කරන ලද ඖෂධවල ප්‍රමිති සහ සංයුතිය හඳුනාගැනීමට නොහැකි වන ලෙස දත්ත විනාශ කිරීම  මෙම දත්ත මැකීමේ අරමුණ විය හැකි බවත්, එවිට ජාවාරම්කරුවන්ට ඕනෑම ඖෂධයක් රට තුළට ගෙන ආ හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය හමුවේ ඊයේ (29) ප්‍රකාශ කළේය.  වසංගතයක් පවතින අවස්ථාවක ඖෂධ ජාවාරම්කරුවන්ගේ වුවමනාවට මෙවැනි සංවේදී දත්ත මකාදැමීම රෝගී ජනතාව මරාදැමීමේ අරමුණින් කරන ලද අමානුෂික ක්‍රියාවක් වන බවත් මෙවැනි ක්‍රියා ඩිජිටල් ත්‍රස්තවාදය' යනුවෙන් හැඳින්විය හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 'එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ සහායක ඉංජිනේරුවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. 


අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් වූ අතර, එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෙරකදෝරුවත්ත, හීරලුගෙදර, වල්පිට පදිංචි රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලුප රාමනායක නැමැත්තාය.පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ අපරාධ  පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ. සෙනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.  මෙම දත්ත පද්ධතියේ එක් එක් ඖෂධ ලංකාවට ගෙන්වන ආකෘති පත්‍ර අඩංගු ලේඛන හා එම ඖෂධවල සංයුතිය අඩංගු  ලේඛන වෙන වෙනම ගොනු දෙකක තිබී ඇති බවත්, මේ වන විට එම රුපියල් ලක්ෂ 11 අධික වටිනාකමකින් යුත් එම ගොනු මැකී තිබූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඖෂධ නියාමන අධිකාරිය මෙම දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීමට එපික් ලංකා ආයතනයට ලබා දී ඇ ත්තේ රුපියල් ලක්ෂ 5 මුදලක් ගෙවමින් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.



නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ, මෙම සැකකරු ඉකුත් ජූලි 09 වැනි දින ඔහුගේ IP අංකයෙන් පැරණි ආකෘති පත්‍ර ගෙන ඒවා නව ලේඛන හා අමුණා වෙනම ගොනුවක් සාදා එම ගොනුවම විනාශ කර ඇති බවට කරුණු අනාවරණය වන බවය. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විශ්ලේෂණයකින් පසු අදාළ අයි පී අංකය හඳුනාගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේත්ය. මෙම සැකකරු ඉකුත් ජුලි 09 වන දින පාන්දර 3.47 සිට උදෑසන 10.29 වන තෙක් අතර කාලයේදී ඔහුගේ පෞද්ගලික දුරකථනය මගින් දත්ත ගබඩාවට පිවිස ඇති බවට අනාවරණය වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.  ඒ අනුව, එදිනම සවස ඖෂධ නියාමන අධිකාරිය සිය දත්ත  ගොනු මැකී ඇති බවට මෙම දත්ත පද්ධතිය භාරව සිටි එපික් ලංකා ආයතනයට දැනුම් දී ඇති බවත් එහිදී එය පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අතින් එම දත්ත ගබඩාව වැරදීමකින් මැකී ගිය බවට දැනුම් දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



මෙලෙස වටිනා දත්තයන් ආරක්ෂා කර තිබියදී වැරදීමකින්  මැකීමට හේතුවක් නොමැති අතර, දුරකතනයකින් යමක් මකා දමනවා මෙන් පහසුවෙන් කළ නොහැකි බවත් ඒවා මකා දැමීමට නම් අණ කිරීම් පහක් හෝ හයක් ලබා දිය යුතු බවත් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු දත්ත ගබඩාව තුළ සැරිසැරු ඉතිහාසය (History) පවා මකා දමා ඇති බවත් වැරදීමකින් දත්ත මැකී ගියා නම් එසේ කරන්නේ කුමන අවශ්‍යතාවක් මත ද යන්න ගැටලුවක් බව සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී මෙම දත්ත මැකීයාම සිදුවූ අත්වැරදීමක් බව සදහන් කර සිටි බවද සඳහන් කළේය.  කෙසේ වෙතත්, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් වනු ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා  අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම සැකකරු විසින් දත්ත මැකීම සිදුකර ඇත්තේ ඔහු එපික් ලංකා ආයතනයෙන් අස්වීමට ලිපියක් පවා භාර දී තිබියදී බවට කරුණු අනාවරණය වන බවත් එම සේවකයා ආයතනයෙන් අස්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබියදී මෙවැනි වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ පවතින වගකීම් විරහිතභාවය පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්විය.



සැකකරු දත්ත මකා දැමුවේ කුමන අරමුණකින්ද, ඒ සඳහා ඔහුව පෙළඹවූ ජාවාරම්කරුවන් කවුරුන්ද, මෙම දත්ත මකාදැමීමට එපික් ලංකා ආයතනයෙන් අනුබලදීමක් සිදුවුණිද යන්න පිළිබඳ  වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව සැකකරු මෙ අවස්ථාවේ ඇප මත මුදා හල හොත් විමර්ශන වලට බාධා විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා  සිටියේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මින් ඉහතදී එපික් ලංකා  ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  තරින්ද කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මේ වන විට අධිකරණයෙන් ඇප නියම වී ඇත.


 -නිමන්ති රණසිංහ-

ඖෂධ අධිකාරියේ දත්ත මැකීම ඩිජිටල් ත්‍රස්තවාදයක් ජාවාරමුන් හිතා මතා කළ වංචාවක්

ඖෂධ නියාමන අධිකාරියට ආනයනය කරන ලද ඖෂධවල ප්‍රමිති සහ සංයුතිය හඳුනාගැනීමට නොහැකි වන ලෙස දත්ත විනාශ කිරීම මෙම දත්ත මැකීමේ අරමුණ විය හැකි බවත්, එවිට ජාවාරම්කරුවන්ට ඕනැම ඖෂධයක් රට තුළට ගෙන ආ හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය හමුවේ ඊයේ (29) ප්‍රකාශ කළේය. වසංගතයක් පවතින අවස්ථාවක ඖෂධ ජාවාරම්කරුවන්ගේ වුවමනාවට මෙවැනි සංවේදී දත්ත මකාදැමීම රෝගී ජනතාව මරාදැමීමේ අරමුණින් කරන ලද අමානුෂික ක්‍රියාවක් වන බවත් මෙවැනි ක්‍රියා ‘ඩිජිටල් ත‍්‍රස්තවාදය' යනුවෙන් හැඳින්විය හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ' සහායක ඉංජිනේරුවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. මෙම අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් වූ අතර, එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ  පෙරකදෝරුවන්ත, හීරලුගෙදර, වල්පිට පදිංචි රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලුප රාමනායක නැමැත්තාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ. ස්නාරත්න මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.මෙම දත්ත පද්ධතියේ එක් එක් ඖෂධ ලංකාවට ගෙන්වන ආකෘති පත්‍ර අඩංගු ලේඛන හා එම ඖෂධවල සංයුතිය අඩංගු ලේඛන වෙන වෙනම ගොනු දෙකක තිබී ඇති බවත්, මේ වන විට එම රුපියල් ලක්ෂ 11 අධික වටිනාකමකින් යුත් එම ගොනු මැකී තිබූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.ඖෂධ නියාමන අධිකාරිය මෙම දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීමට එපික් ලංකා ආයතනයට ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 5 මුදලක් ගෙවමින් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ, මෙම සැකකරු ඉකුත් ජුලි 09 වැනි දින ඔහුගේ IP අංකයෙන් පැරණි ආකෘති පත්‍ර ගෙන ඒවා නවත් ලේඛන හා අමුණා වෙනම ගොනුවක් සාදා එම ගොනුවම විනාශ කර ඇති බවට කරුණු අනාවරණය වන බවය.සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විශ්ලේෂණයකින් පසු අදාළ අයි පී අංකය හඳුනාගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේත්ය.මෙම සැකකරු ඉකුත් ජුලි 09 වන දින පාන්දර 3.47 සිට උදෑසන 10.29 වන තෙක් අතර කාලයේදී ඔහුගේ පෞද්ගලික දුරකථනය මගින් දත්ත ගබඩාවට පිවිස ඇති බවට අනාවරණය වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්පරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම ඒ අනුව, එදිනම සවස ඖෂධ නියාමන අධිකාරිය සිය දත්ත ගොනු මැකී ඇති බවට මෙම දත්ත පද්ධතිය භාරව සිටි එපික් ලංකා ආයතනයට දැනුම් දී ඇති බවත් එහිදී එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අතින් එම දත්ත ගබඩාව වැරදීමකින් මැකී ගිය බවට දැනුම් දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෙලෙස වටිනා දත්තයන් ආරක්ෂා කර තිබියදී වැරදීමකින්

මැකීමට හේතුවක් නොමැති අතර, දුරකතනයකින් යමක් මකා දමනවා මෙන් පහසුවෙන් කළ නොහැකි බවත් ඒවා මකා දැමීමට නම් අණ කිරීම් පහක් හෝ හයක් ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු දත්ත ගබඩාව තුළ සැරිසැරු ඉතිහාසය (History) පවා මකා දමා ඇති බවත් වැරදීමකින් දත්ත මැකී ගියා නම් එසේ කරන්නේ කුමන අවශ්‍යතාවක් මත ද යන්න ගැටලුවක් බව සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී මෙම දත්ත මැකීයාම සිදුවූ අත්වැරදීමක් බව සදහන් කර සිටි බවද සඳහන් කළේය. මෙම කෙසේ වෙතත්, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් වනු ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.මෙම සැකකරු විසින් දත්ත මැකීම සිදුකර ඇත්තේ ඔහු එපික් ලංකා ආයතනයෙන් අස්වීමට ලිපියක් පවා භාර දී තිබියදී බවට කරුණු අනාවරණය වන බවත් එම සේවකයා ආයතනයෙන් අස්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබියදී මෙවැනි වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ පවතින වගකීම් විරහිතභාවය පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්විය. සැකකරු දත්ත මකා දැමුවේ කුමන අරමුණකින්ද, ඒ සඳහා ඔහුව පෙළඹවූ ජාවාරම්කරුවන් කවුරුන්ද, මෙම දත්ත මකාදැමීමට එපික් ලංකා ආයතනයෙන් අනුබලදීමක් සිදුවුණිද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව සැකකරු මේ අවස්ථාවේ ඇප මත මුදා හල හොත් විමර්ශන වලට බාධා විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මින් ඉහතදී එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තරින්ද කල්පගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මේ වන විට අධිකරණයෙන් ඇප නියම වී ඇත.

(නිමන්ති රණසිංහ) 

පෞද්ගලික බස් සේවා ආරම්භය එන්නත් දෙකම ගත් සේවකයන්ගෙන් පමණයි

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමේදී එන්නත් දෙකම ලබාගත් යැදුරු සහ කොන්දොස්තර මහත්වරුන් පමණක් සේවයේ යෙදවීම ඇතුළු සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.ඒ අනුව බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ 6,300ක පමණ සේවය කරන රියැදුරු සහ කොන්දොස්තර මහත්වරුන්ට මෙන්ම පළාත් ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල හතකට අනුයුක්තව සේවයේ නිරත නිලධාරින්ටද එන්නත් කාඩ්පත් අනිවාර්ය කර ඇති බව සභාපතිවරයා පවසා සිටියේය.

මේ අතර එන්නත් දෙකම ලබාගත් මගීන් පමණක් ඉදිරියේදී බස් රථවල ප්‍රවාහනය කිරීමට සැලසුම් කෙරෙන බවත්, ඒ සඳහා මගීන් උනන්දු කිරීම හා දැනුවත් කිරීම් අත්පත්‍රිකා හා නිවේදන මගින් හරහා සිදුකිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලබාදෙන නිර්දේශයන්ට අනුව ආසන ධාරිතාව තීරණය කරන බවත්, යම් හෙයකින් එම සීමාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කෙරෙන බස් රථ වෙතොත් මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා නිරන්තරයෙන් ඒ පිළිබඳ වැටලීම් කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා පවසා සිටියේය. එමෙන්ම දැනට බස් රථ ධාවනය වන මාර්ගවල ධාවන කාලසටහන් සංශෝධනය කර ධාවනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවත්, දෛනික කාලසටහන්වලට අනුව අවසන් ගමන්වාරය අනිවාර්ය බවත් ප්‍රසන්න සංජීව මහතා සඳහන් කළේය.

(මත්තේගොඩ - ශාන්න ප්‍රදිප් කුමාර කුලරත්ත)


ජපානයේ මීළඟ අගමැතිවරයා ලෙස ෆුමියෝ කිෂිඩා තෝරා ගැනේ

ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂය සදහා නව නායකයෙකු තෝරා පත් කරගැනීම සදහා ඊයේ (29දා) පැවැත්වූ ඡන්ද විමසීමෙන් එරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ෆුමියෝ කිෂිඩා ජය ගැනීමට සමත් විය.ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ටෝකියෝ හෝටලයේ බෝල්රූම් ශාලාවේදී මෙම ඡන්ද විමසීම පැවැත්වුණි. මේ සදහා ලිබරල්  ඩිමොක්‍රැටික් පක්ෂයේ සාමාජිකයන්, හිටපු අගමැතිවරුන් වන ෂින්සෝ අබේ සහ යොෂිඩේ සුගා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත. ඊයේ ජපාන වේලාවෙන් පස්වරු 1.00ට ඡන්ද විමසීම ඇරඹුණු අතර එය විනාඩි 30ක් ඇතුළත නිමා විය.වත්මන් ජපාන අගමැති සහ එම පක්ෂයේ නායක යොෂිඩි සුගා පසුගියදා එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමගින්ම හිස් වූ ධුරය සඳහා මෙම තෝරා ගැනීම සිදුවිය. ඒ අනුව මෙම ඡන්ද විමසීම හරහා තෝරාගත් කිෂිඩා ලොව තෙවැනි විශාලතම ආර්ථිකය හිමි ජපානයේ මීළග අගමැතිවරයා බවටද පත්වීමට නියමිතව තිබේ. මෙම පසුගිය සැප්තැම්බර් 18වැනිදා පැවැත් වුණු වැඩසටහනකදී පක්ෂයේ මීළඟ නායකයත්වයට යෝජනා වී ඇති සිවුදෙනෙකුගේ නම් එළිදරව් කෙරිණි. ඒ අනුව වත්මන් එන්නත්කරණ ඇමති 58 හැවිරිදි ටාරෝ කොනෝ, හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන 64 හැවිරිදි ෆුමියෝ කිෂිඩා, හිටපු ස්වදේශ කටයුතු පිළිබද ඇමති 60 හැවිරිදි සානේ කටායි සහ 61 හැවිරිදි සෙයිකෝ නොඩා මෙම පිරිස අතර විය. සිය පත්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතු කිෂිඩා, සිය පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් ඉදිරිමග මැතිවරණයට මුහුණ දෙන බව පවසා තිබේ. එසේම ජපාන ආර්ථිකය වෙත දරුණු පහරදීමක් වී තිබෙන COVID-19 වසංගතයට එරෙහිව කටයුතු කරන බවත් සදහන් කර තිබේ.ලබන ඔක්තෝබර් 04 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී කිෂිඩා ජපානයේ මීළග අගමැතිවරයා බවට පත්වෙනු ඇතැයි සඳහන් වෙයි. අද වනවිට ජපාන ලිබරල්  ඩිමොක්‍රැටික් පක්ෂය එරට පාර්ලිමේන්තුවෙහි පහළ මන්ත්‍රී . මඩලයෙහි බහුතරය සතු කරගෙන සිටින නිසා එය එසේ වීමේ වැඩි ඉඩක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති. "පක්ෂයේ නායකත්ව ඡන්ද විමසීම දැන් ඉවරයි. දැන් අපි පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහ ඉහළ මන්ත්‍රී මඩලයේ ඡන්දය වෙත එකාවන්ව මුහුණ දෙමු." යනුවෙන්ද කිෂිඩා සඳහන් කර ඇත. නව අගමැතිවරයා බවට පත්වීමෙන් අනතුරුව ඔහු තව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමටත් පක්ෂයේ විධායක සාමාජිකයන්ගේ සංශෝධනයක් සිදු කිරිමටත් සූදානමින් සිටින බව පැවසයි.

නිරුවත් රූප මුහුණු පොතේ දැමුවැයි වෛද්‍ය සිසුවාට ඇප




අනියම් පෙම නවතා දැමීම ගැන උරණ වීමෙන් පෙම්වතියගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශනයක් ඇයගේ සැමියාට සහ සහෝදරියට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහළ මුහුණු පොතේ පෙම්වතකු වූ වෛද්‍ය ශිෂ්‍යයකු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. එසේ ඇපමත මුදා හැරුණේ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය ශිෂ්‍යයෙකි.  අක්මීමන ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය විවාහක කාන්තාවකි. ඇයගේ සැමියා විදෙස් ගතව සිටින අතර අදාල කාන්තාව සිය ෆේස් බුක් ගිණුම හරහා හඳුනා ගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇත. ඔවුන් දෙදෙනා අවස්ථා කිහිපයකම අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවත් වට්ස් ඇප් ඔස්සේ නිරුවත් වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පැවැසූහ. 


පසුව ඇති වූ විවිධ නොගැලපීම් හේතුවෙන් පැමිණිලිකාරිය සම්බන්ධය නවතා දමා ඇති අතර ඒ සම්බන්ධව උරණ වූ සැකකරු අදාළ නිරුවත් ඡායාරූප හා විඩියෝවක් විදෙස්ගතව සිටින ඇයගේ සැමියාට සහ ඇයගේ නැගණියට මුදාහැර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනයේ අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදීම සොයා ගැනීමට හැකි වූ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවැසූහ. ලබන නොවැම්බර් 2 වැනිදා  සැකකරුට නැවත අධිකරණය හමුවේ  පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


 -දිලංගා ගෝමස් -


හලාවත කෝටිපතියාගෙ මිනිය සොයා වැසිකිළි වළක් අවුස්සයි




කෝටි 100 කට ආසන්න වටිනාකමැති දේපළ ලබා ගැනීම සඳහා මිතුරන් දෙදෙනෙකු විසින් ඝාතනය කළ බව කියන හලාවත ඉනිගොඩවෙල පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික සමන් විජේසිරි (63) මහතාගේ සිරුර සොයා හලාවත කුරුඳුවත්ත ප්‍රදේශයේ ගෙවත්තක වැසිකිළි වළක් හාරා පූර්ණ සෝදිසියකට ලක් කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.. වැසිකිළි වළ පුර්ණ සෝදිසියකට ලක් කළත් මළසිරුර හෝ එහි ඇට කැබලි හෝ සොයා ගැනීමට නොහැකිවූ බව රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (29) පැවැසීය.   කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළේ යැයි කියන සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජෙයරාජ් ලින්කන් නමැත්තාට අයත්ව තිබී පසුව වෙනත්  පුද්ගලයකුට විකුණා දැමු නිවසක වැසිකිළි වළක් මෙසේ රහස් පොලිසිය සෝදිසි කර ඇත. කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස්  පොලිසියේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත මෙම වැසිකිළි වළ සෝදිසියට ලක්කර තිබෙන බව කියති. 



වැසිකිළි වළේ කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර නොතිබූ නිසා හලාවත කලපු ප්‍රදේශය නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් යොදවා ළඟදීම සෝදිසි කිරීමට රහස් පොලිසිය කටයුතු යොදාගෙන යයි.  මීට වසර 3 කට ඉහතදී ඝාතනය කෙරුණු  කෝටිපති ව්‍යාපාරිකයා වරලත් ඉංජිනේරුවරයෙක් මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු  ලෙසද සේවය කර ඇත. සමන් විජේසිරි මහතාගේ ඝාතනයට  සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ජෙයරාජ් ලින්කන් නමැත්තා වසර 30 කට ආසන්න කාලයක් ඉතාලියේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ සිටි අයෙක් යැයි  පොලිසිය කියයි.  ඔහුගේ බිරිඳ හා දරු තිදෙනා තවමත් ඉතාලියේ ජීවත් වන බව කියති. ලින්කන් නමැත්තාට සහෝදරයන් 05  දෙනෙකු සහ සහෝදරියන් තිදෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා යුරෝපීය රටවල ජීවත් වන බවත් ඔහුගේ මව වැඩිහිටි නිවාසයක රැකවරණය ලබමින් ජීවත් වන බවද  දැන ගැනීමට ඇත.


කෝටිපති ව්‍යාපාරික ඉන්ජිනේරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජෙයරාජ් ලින්කන්, දෙවැනි  සැකකරු ලෙස සැලකෙන රූබන් චන්දන, කෝටිපතියාගේ ඥාතියෙකු බව කියන නිහාල්  දේවප්‍රිය නමැත්තා හලාවත මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව අද  (30) දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්  නීතිඥයකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.


 -ශ්‍රීනාත්  ප්‍රසන්න ජයසූරිය-


Wednesday, September 29, 2021

මහ මග ගමන් කරමින් සිටි කාන්තාවක් ඝාතනය කරලා




පොල්පිතිගම, උල්පත පල්ලේකැලේ  ප්‍රදේශයේදී ඊයේ (28දා) පොලු ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොල්පිතිගම පොලීසිය පවසයි.  එම ප්‍රදේශයේම පදිංචි ඩබ්ලිව්.මල්ලිකා වික්‍රමසිංහ (62) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.  ඇය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවත් සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම කාත්තාව රෝහල්ගත කිරීමට රැගෙන යන අතරවාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.  මියගිය තැනැත්තියගේ අවුරුදු 25ක්  පමණ වයසැති වැඩිමල් පුතා උපතේ සිටම මන්ද මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවත් ඔහු යාබද නිවසකට ගල්   ගසන බවත්, එය නතර කරන ලෙසට  ඉල්ලීම් කළද එය නොනවත්වන නිසා අසල්වැසි නිවැසියන් කලක සිට ඔවුන් සමග අමනාපයෙන් පසුවන බවට ඒ සම්බන්ධව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය පවසයි. 



එම දරුවාගේ මව මෙම අමනාපයන් පසුවෙන අසල්වැසියාගේ නිවස  ඉදිරිපිටින් ඊයේ (28දා )පෙරවරුවේ ඔවුනගේ ඥාති නිවසකට ගමන් කරමින්  සිටියදී අමනාපයෙන් පසුවන මෙම තැනැත්තා නිවසේ සිට මාර්ගයට පැමිණ පොල්ලකින් පහරදීමෙන් ඇය තුවාල ලබා තිබේ. පසුව ප්‍රදේශවාසීන් ඇය ඒ මොහාතම පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  අදාළ කාන්තාවට පහර දුන් බවට  සැකකරන 59 හැවිරිදි සිවුදරු පියෙකු අත්අඩංගුවට ගෙන ඇත.  පොල්පිතිගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ක්‍රිෂාන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වති.


  -සිසිර කැගලේගම-

පොදු ස්ථාන වල ගැවසෙන අයට කෝවිඩ් එන්නත් නීතියක් තවම නෑ

පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු බවට නීතියක් මෙතෙක් පනවා නොමැති බවත්, ඉදිරියේදී සුදුසු පරිදි පරික්ෂා කිරීම සිදුවිය හැකි බවත් යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කෝවිඩ් මර්දන බළකායේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් යුද හමුදාවේ රෙජිමේන්තු24ක ධජ ඓතිහාසික ශ්‍රී දළදා මැදුරට ගෙනැවිත් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා,මේ වන විට මෙරටට ගෙන්වා ඇති කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය තුන් කෝටි පහළොස් ලක්ෂයක්පමණ වෙනවා. එම එන්නත් ප්‍රමාණයෙන් එක් කෝටි දහසය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් එන්නත් කර තිබෙනවා. මේ වන විට ජනගහනයෙන් 52.3%ක ප්‍රමාණයකට එන්නත්  මාත්‍රා දෙකම ලබාදී අවසන්කර තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු 20ත් 29ත් අතර කාණ්ඩයෙන් 48.5%කට එන්නත් ලබාදී තිබෙනවා. සමහර අය හොඳ එන්නත් ලැබෙනතුරු බලාගෙන සිටිනවා. නමුත් හොඳම දේ ලැබෙන එන්නත ලබාගැනීමයි.සියලු එන්නත් මාත්‍රා එක සමානයි. පොදු ස්ථානවල ගැවසෙන අය එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතුයි කියා දැනට නීතියක් පනවා නැහැ. නමුත් මීට පෙර අප සාකච්ඡා කළා පොදු ස්ථානවල ගැවසෙන අයට එවැනි තත්වයක් ඇති කිරීමට. දැනට වයස අවුරුදු 30ට වැඩි. සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසානයි.සුළු කොටසකට හැරෙන්න. පොදු  ස්ථානවල ගැවසෙන අය මෙම එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම ඉතා වැදගත්.වයස අවුරුදු 12ත් 19ත් අතර වයස් කාණ්ඩයේ විවිධ රෝග, නිදන්ගත රෝගවලින් පෙළෙන දුදරුවන්ට එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයකදී ආරම්භ කර තිබෙනවා. එය රටේ සියලු දිස්ත්‍රික්කවල ඉදිරිකාලයේ ආරම්භ කරනවා. එම දරුවන් යන සායනවලදී එම එන්නත් ලබාදීම සිදු කෙරෙනවා. ඔක්තෝම්බර් 01 වැනිදා සිට රට විවෘත කළ රාත්‍රී 10.00 සිට පාන්දර 04.00 දක්වා නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වන විටත් දැනුම් දී තිබෙනවා රටේ පවතින තත්වය අනුව කෝවිඩ් පාලනය කරගැනීමට හැකිවන පරිදි අවශ්‍ය උපදෙස් මාලාව සකස් කර ගන්නා ලෙස ප්‍රවාහන ක්ෂේත්‍රය සහ අනෙකුත් ආයත‍න පවත්වාගෙන යන ආකාරය සම්බන්ධව සාකච්ඡා කර ඒ පිළිබඳ අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබාදී තිබෙනවා රට විවෘත කළ පසු මොන ආකාරයටද හැසිරිය යුත්තේ කියා ජනතාවට හොඳ දැනුමක් තිබෙනවා. පැවැති ඩෙල්ටා උවදුර හමුවේ රටේ ජනතාවගේ කැපකිරීම නිසා එය පාලනය කරගැනීමට හැකියාව ලැබුණා. ඒ ආකාරයට බුද්ධිමත්ව ජනතාව කටයුතු කරයි කියා බලාපොරොත්තු වෙනවා"යනුවෙන් පැවසීය.

(ෂේන් සෙනෙවිරත්න)


සැකකරුට ගිනි අවි පුහුණුව දුන් හිටපු කොටියා අල්ලයි



නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහල් වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ශාන්ත රූබන් නැමැත්තාට පුපුරණ ද්‍රව්‍ය සහ  ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පුහුණුව ලබාදුන් බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු ඊයේ (28) පෙරවරුවේ ත්‍රිකුණාමලය උප්පුවේලි පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබීය.  මෙම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ශාන්ත රූබන් නැමැත්තාට සහ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන ත්‍රිකුණාමලය  වෙරෝද නගර් ප්‍රදේශයේ පදිංචි 24  හැවිරිදි සැකකරු ඇතුලු පිරිසකට ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබඳව සති කිහිපයක පුහුණුව ලබා දී ඇති බවට සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. එම තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ ත්‍රිකුණාමලයට ගොස් ඉහත එල්ටීටීඊ සාමාජිකයා අත්අඩංගුවට ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.


එම එල්ටීටීඊ සැකකරු එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකුව සිට යුද්ධය නිම වීමත් සමගම පුනරුත්ථාපනය වූ බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. 40 හැවිරිදි මෙම පුද්ගලයා දැනට එම ප්‍රදේශයේ කහ ව්‍යාපාරයක නිරත වන බව ද පොලිසිය සඳහන් කරයි.  රෝහලේ බෝම්බ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වූ ශාන්ත රූබන් මුලින්ම පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ රෝහලේ කසළ ගොඩකින් එම අත්බොම්බය හමු වූ බවයි.  වැසිකිළියේ එම බෝම්බය තබා ආරක්ෂක නිලධාරින්ට එහි බෝම්බයක් ඇතැයි සඳහන් කර බෝම්බය සොයා දීම වෙනුවෙන් ප්‍රශංසාවක් සහ ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව ද එය කළ සැකකරු මුලින්ම පවසා තිබුණි.



පොලිස් නිලධාරීන් දීර්ඝ වශයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී පසුව දෙවන වරට ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම බෝම්බය කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඇමති නිල නිවසක් අලුත් වැඩියාවක දී මේස ලාච්චුවකින් සොරා ගත් බවයි.  ශාන්ත රූබන් නැමැති එම සැකකරුගෙන් පොලිස් නිලධාරීන් දීර්ඝ වශයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු තෙවන වරට ප්‍රකාශ කර ඇත්තේ එම අත්බෝම්බය නිල නිවසින් සොයා නොගත් බවත් එය කිසියම් පුද්ගලයකු විසින් තමාට ලබාදීමට සැලැස්සු එකක් බව යැයි පොලිස් ආරංචි මාර්ග කියයි.  බෝම්බය සම්බන්ධයෙන් සැකකරු වරින් වර කරන මෙම පරස්පර ප්‍රකාශ නිසා පරීක්ෂණ පවත්වන නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, පරීක්ෂණ නොමග යැවීම සඳහා  මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ද යන්න සැකයක් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.



සැකකරුට ගිනිඅවි භාවිතය සහ පුපුරන ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුහුණුව ලබා දී තිබු එල්ටීටීඊ සාමාජිකයා සම්බන්ධයෙන් හෙළි කළ  තොරතුරු අනුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. ඇමැති නිල නිවසෙන් පතුරම් 18 ක් සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ඔහු ඒවා ඇමති නිල නිවසෙන්ම සොරා ගත් බවයි.  මෙම එල්ටීටීඊ සාමාජිකයත් සමග නාරහේන්පිට බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග කියයි. එම පස්දෙනා අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු, ඇමැති නිල නිවසෙන් පතුරම් 18ක් සොරාගත්  සැකකරු, එම පතුරම් 18  වෙනත්  පුද්ගලයෙකුට අලෙවි කිරීමට තැත් කළ සැකකරු, ප්‍රධාන සැකකරුට  බෝම්බ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුලින්ම කියා දුන් බව කියන  ත්‍රිකුණාමලය වෙරෝදනගර් පදිංචි සැකකරු ද වන බව පොලිස් ආරංචි මාර්ග කියයි.  අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ  සාමාජිකයන් ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එමින් තිබූ අතර ඔහු සම්බන්ධයෙන් රැඳවුම් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


 -ඉන්දිකා රාමනායක-

ජනපති ජෝ බයිඩන් තෙවැනි බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා ගනී

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සිය තෙවැනි බූස්ටර් COVID-19 මර්දන එන්නත් මාත්‍රාවද ලබාගත් බව එරට මාධ්‍ය පවසයි. පසුගිය සඳුදා දිනයේදී ධවල මන්දිරයේදී ඔහු මෙම එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ.මෙම අවස්ථාව එරට මාධ්‍ය හරහා සජිවීව විකාශය කෙරිණි. මෙහිදී ජනපතිවරයා වෙත එරට තුළ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සදහා අනුමැතිය හිම්ව ඇති Pfizer එන්නත් මාත්‍රාවක් ලබා දී තිබේ. මෙම අවස්ථාවේදී අදහස් දක්වා ඇති ජනපතිවරයා, "මම දන්නවා පෙනුමෙන් නැති වුණාට, දැන් මගේ වයස අවුරුදු65ක්. ඒ නිසා මම තෙවැනි මාත්‍රාවකුත් ලබා ගත්තා. ඒ නිසා මම මගේ වයසේ ඉන්න අනිත් අයටත් කියන් තමන්ගේ එන්නත් මාතාවත් සම්පූර්ණ කරගන්න කියලයි.” යනුවෙන් පවසා ඇත. එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය පළමු Pfizer මාත්‍රාව ලබා ගත් පසුගිය දෙසැම්බර් මාසයේදීය. අනතුරුව ඔහු ජනවාරි මාසයේදී දෙවැනි මාත්‍රාව ලබා ගනිමින් එන්නත්කරණය සහ සම්පූර්ණ කර ගත්තේය. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සමවිටම Covax වැඩසටහන සමග සම්බන්ධව සිටින බවත්, එම අරමුදල වෙත තවදුරටත් එන්නත් මාත්‍රා සහ මුදල් ප්‍රදාන සිදුකරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. ”මේ හරහා ලෝකයේ බොහෝ දෙනෙකුට COVID-19 එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට අවස්ථාව ලැබේවි. "අපි අපේ කොටස ඉටු කරනවා. සෑම දෙනාම එන්නත්කරණයට ලෝකයේම එන්නත්කරණ වැඩසටහනේ දැවැන්තම කොටස" යනුවෙන්ද ජනපති බයිඩන් වැඩිදුරටත් පවසා තිබේ.

විශ්වවිද්‍යාල සිසුන්ට කෝවිඩ් එන්නත ලබාදීමට කිසිදු වැඩපිළිවෙළක් නෑ

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කෝවිඩ් එන්නත ලබාදීම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සකස්කර නොමැති බවත්, මේ නිසා කඩිනමින් එන්නත ලබාදීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සොඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කරයි.මීට අමතර විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහාත්ය තවමත් වැඩපිළිවෙළක් සකස්කර නොමැති නිසා අදාළ වැඩපිළිවෙළ සකස්කරන ලෙස ඊයේ (28දා) අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවද එම සංගමය පෙන්වා දෙයි. කෝවිඩ් තත්වය තුළ විශ්වවිදයාල ආරම්භ කළ යුතු ආකාරය පිළිබද තම සංගමය විසින් විශ්වවිද්‍යාල ආචාර්වරුන් සමග එක්ව සකස්කළ යෝජනාවක් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාට පසුගිය මුනි මාසයේදී භාරදුන් බවත්, එහෙත් ඒ පිළිබද කිසිදු අවධානයක් රජය මේ වන තෙක් යොමුකර නොමැති බවත් එම සංගමය පවසයි. ප්‍රාදේශීය වශයෙන් සිදුකරන එන්නත් වැඩසටහන් යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් යම් පිරිසක් එන්නත ලබාගෙන තිබෙන බවත්, එහෙත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මූලික කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා කොතරම ශිෂ්‍යයන් ප්‍රමාණයක් එන්නත් ලබාගෙන තිබෙනවාද යන්න සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙයි. සියලුම ශිෂ්‍යයන් එන්නත් මාතා දෙකම ලබාගත් පසු විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු නිසා කඩිනමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එන්නත ලබාදීමට වැඩපිළිම්වළක් සකස්කළ යුතු බවද එම සංගමය පවසා සිටියි. විශ්වවිද්‍යාල වසා තැබීම නිසා සමස්ත විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හදාරණ එක්ලක්‍ෂ හැටදහසකට අධික පිරිසක් අධ්‍යාපනයට බාධා එල්ල වී තිබෙන බවත්, මීට අමතර විශ්වවිද්‍යාලවලට ඉදිරියේදී ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට බාධා ඇතිවෙමින් තිබෙන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

(ඉන්දික හේවාවිතාරණ)

ඥාතීන් ඒපා කී තරුණයාගේ මෘතදේහය ගමේ තරුණයින් ඒකතු වී මිහිදන් කරලා

 


රිය අනතුරකට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ ඥාතීන් ප්‍රතික්ෂේප කළ මෘත දේහය ප්‍රදේශවාසී තරුණ පිරිසක් බාරගෙන අවසන් කටයුතු කළ පුවතක් පිටිගල ප්‍රදේශයෙන් වාර්තා වේ.  පිටිගල මනම්පිට පදිංචි බන්දුගේ පියුම් දිල්ෂාන් (25) පසුගිය දිනෙක පිටිගල පැලවත්ත මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි කැබ් රථයක් සමග ගැටී අනතුරට ලක්ව බරපතළ තුවාල ලැබූ පසු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.  කුලී වැඩ කරමින් මානම්පිට ප්‍රදේශයේ කුලී නිවෙසක තනිව පදිංචිව සිටි දිල්ෂාන් රෝහල් ගතව සිටියදී ඥාතීන් යැයි කියන අයවලුන්  රෝගියා බැලීමට පැමිණ තිබුණේ එක් වරක් පමණි. දිල්ශාන් ප්‍රදේශවාසීන්ට සමග කුළුපගව සිටීම නිසා ප්‍රදේශයේ තරුණ පිරිස නිතර ඔහු පිළිබඳව සොයා බැලූහ.  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියා මිය ගියේය.


මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට භාරදීමට රෝහල් බලධාරීන් කටයුතු කරමින් සිටියදී ඥාතීහු දේහය භාර  ගැනීමට අකමැති බව ප්‍රකාශ කළහ. එම ප්‍රකාශයෙන් කම්පිත වූ ප්‍රදේශයේ තරුණ පිරිස දේහය භාරගෙන අවසන් කටයුතු කිරීමට ඉදිරිපත් වූහ. මෘත දේහය තැබීමට ස්ථානයක් සොයා ගැනීම ගැටලුවක් වූ අවස්ථාවේ පිටිගල මනම්පිට ජනශක්ති විහාරස්ථානයේ දේහය තබා අවසන් කටයුතු කිරීමට විහාරාධිපති හිමියෝ අවසර දුන්හ. දිල්ෂාන්ගේ අවසන් කටයුතු පිටිගල පොදු සුසාන භූමියේ දී සිදු කළේය.



-ඩී.ජේ. විජේසිංහ-

විශ්වවිද්‍යාල නොවැම්බර් විවෘත කිරීමට අපේක්ෂා කරනවා

කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, වයස අවුරුදු 20-30ත් අතර සිසුන්ට කෝවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

විශ්වවිද්‍යාල භූමියට ළමයින් ඇතුළත් වීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතුද? යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත්, රටවල් අතර සම්බන්ධතාවලදී එය අත්‍යවශය දෙයක් වන බැවින් උසස් අධ්‍යාපන ක්ෂේස්ත්‍රයට එය අනිවාර්ය විය හැකි බවත් ඔහු කියා සිටියේය. විදෙස්ගතවීමට සුදානමින් සිටින සිසුන්ට ලබාදීමට නියමිත එන්නත් වර්ගය කුමක්දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා, "ලංකාවේ ඉන්නවා විදේශීය සිසුන්. ඒ අයටත් ලංකාවේ අයට වගේම අපගේ එන්නත්කරණ වැඩසටහන තුළින් එන්නත් ලබාදුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු එන්නතක් වර්ගීකරණය කරලා නොමැති වුණත් ප්‍රායෝගිකව තමන්ගේ රටවලට ඇතුළුවීමේදී ලබාගත යුතු එන්නත සඳහන් කළා. එනිසා මා දන්නා තරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදනයට කොමිෂන් සභාවට සෘජුව සම්බන්ධ නොවුණත් ඒ ඒ රටවලින් ඉල්ලා ඇති එන්නත ලංකාවෙන් ලබාදෙන්න කටයුතු කරනවා” යනුවෙනි.මේ අතර, 2020 වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටි දරුවන්ගේ කඩයිම් ලකුණු ඔක්තෝබර් මාසයේ දෙවැනි සතියේ නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වන බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,000ක් පමණ බඳවාගැනීමට නියමිත බවද ඒ මහතා කියා සිටියේය.


දරු දෙදෙනා මහලු නැන්දණියගේ ඇගේ ගසා රෝගී සැමියාත් අතහැර අනියම් පෙමක් සොයා ගිහින්

 



දෙහැවිරිදි දරුවාට පහරදී අවුරුදු පහක් වයසැති දරුවා සිය ස්වාමි පුරුෂයාගේ වයෝවෘද්ධ මව භාරයේ තබා රෝගී සැමියා අතහැර අනියම් සැමියකු සමග පැන ගිය 34 හැවිරිදි කාන්තාවක අත්අඩංගුව ගැනීමට පරීක්ෂණ පවත්වන බව පයාගල පොලිසිය කියයි.  බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මිල්ල ගස් උඩුමුල්ල ප්‍රදේශයේ විවාහක තිදරු මවක් වන සැකකාර කාන්තාව දින කිහිපයක් තිස්සේ හිතා මතා පවුල් ආරවුලක් ඇති කරගෙන කිසියම් අසනීප තත්වයකින් පෙළෙන සිය ස්වාමියා ද නොසලකා හැර අවුරුදු දෙකක් වූ ඇයගේම තෙවැනි දරුවාට පහර දී පලා ගොස් ඇති බව එම දරුවගේ මිත්තණිය පයාගල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම කාන්තාව සමග පලාගොස් ඇති දොඩංගොඩ ප්‍රදේශයේ අනියම් සැමියා ද ඔහුගේ නීත්‍යානුකූල භාර්යාව හා දරුවන් අත හැර දමා මෙම කාන්තාව සමග පැමිණ ඇතැයි පොලිසිය කියයි.



මත්ද්‍රව්‍ය වලට ද මෙම කාන්තාව ඇම්බැහි වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා කාර්යාංශය නිලධාරිනියක් පැවසුවාය.  මේ වන විට අසනීප තත්වයෙන් පෙළෙන එම දරුවන්ගේ පියා මෙන්ම දරුවන් දෙදෙනා ද රැකබලා ගැනීමට සිදුවී ඇත්තේ එම දරු දෙදෙනාගේ වයෝවෘද්ධ මිත්තණියට බව කියයි. පහර කෑමට ලක් වී ඇති අවුරුදු දෙකයි මාස තුනක් වන දරුවාගේ අවුරුදු දහයක් වූ වැඩිමල් සොයුරා මේ වනවිට ප්‍රදේශයේ විහාරස්ථානයක අධ්‍යාපන කටයුතු සඳහා මිත්තණිය විසින් බාරදී ඇතැයිද එම නිලධාරිනිය කීවාය. අවුරුදු දෙකයි මාස තුනක් වයසැති බාල වයස්කාර දරුවාට පහරදී සැගව සිටින කාන්තාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.


Tuesday, September 28, 2021

ඔස්ට්‍රේලියාව එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වෙන්නෑලු

ස්කෝට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 26) සදහා ඕස්ට්‍රේලියාව සහභාගි නොවන බව එරට අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරයි. ඊයේ ඔට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් අගමැතිවරයා මේ බව පවසා ඇත.මෙම සමුළුව මගින් පැමිණීමට නියමිත වසර 2050දී සම්පූර්ණ කිරීමට නියමිත කාබන් වීමෝචන ඉලක්ක පිළිබද එකගතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ පවතින මතය මේ සඳහා හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. අද වනවිට වටිනාකම අනුව ලොව විශාලතම ගල් අගුරු අපනයනකරුවන් වෙන්නේ ඔස්ට්‍රේලියාවයි. එසේම එරට තුළ විදුලිබල නිෂ්පාදනය වැඩි වශයෙන්ෆොසිල ඉන්ධන දහනය මත රඳා පවතී. ඒ අනුව ඔට්‍රේලියාව සිය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා මෙතෙක් කිසිදු ස්ථිර දායකත්වයක් නොදක්වා ඇතැයිද විවේචන පවතී.මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලොව තුළ ගල් අගුරු සහ ෆොසිල ඉන්ධන සදහා ගැනුමිකරුවන් සිටිනතාක් කල් තමන් ගල් අගුරු කැනීමටත් ෆොසිල තෙල් අපනයනයටත් කටයුතු කරන බව මීට පෙර පවසා තිබුණි. මෙලෙස ස්කොට්ලන්තය වෙත නොයාම පිළිබදව අදහස් දක්වා අති අගමැතිවරයා, "මම කියන්නේ ඒක තවත්දුරට විදේශීය සංචාරයක් පමණක් වේවී. මම මේ අවුරුද්දට ගොඩක් විදෙස් සංචාර ගියා, ඒ වගේම ගොඩක් දවස් නිරෝධායනයේ සිටියා." යනුවෙනි.ඒ අනුව ඕස්ට්‍රේලියාව මෙතෙක් ලොව දේශගුණික විපර්යාස පාලනය සදහා නොදක්වන දායකත්වය නිසා ඇති විය හැකි  තත්වය මගහැර මෙලෙස මේ වසරේ දේශගුණික විපර්යාස සමුළුවට එරට සහභාගි නොකිරීමට අගමැතිවරයා තීරණය ක ඇති බව පැහැදිලි යැයි දේශගුණික විපර්යාසවලට එරෙහි පරිසර හිතකාමීන් සඳහන් කරයි.දින 12ක් පුරා හෝටලයේදී පැවැත්වෙන මෙම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුව 2015 වසරේ පැවැති පරිසර සමුළුවෙන් පසුව පැවැත්වෙන විශාලතම අවස්ථාව ලෙසින්ද සැලකෙයි. එය ලෝකයේ දේශගුණික විපර්යාස සදහා හේතුවන ගෝලීය උණුසුම මැඩපැවැත්වීම සඳහා වඩාත් වැදගත් පියවර රැසක් ගන්නා හමුවක් ලෙසින්ද සැලකෙයි අද වනවිට ඔස්ට්‍රේලියාවද දැඩි දේශගුණික විපර්යාසයන්හි ගොදුරක් බවට පත්ව තිබෙන රටකි. ආසන්න කාලසීමාවේදී ඔස්ට්‍රේලියාව තුළ අසාමාන්‍ය උණුසුම් කාලගුණික තත්ත්වයන් මෙන්ම, දරුණු ලැව්ගිනි සහ පෙර නොවූ විරූ ආකාරයේ අධික වර්ෂාපතනයක් වාර්තාවීම මේ සඳහා හේතු ලෙස දේශගුණික විපර්යාස පිළිබද විශේෂඥයන් සඳහන් කරයි. මෙම ආපදා හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ජීවිත මෙන්ම, බොහෝ මුදල්ද අහිමි වී තිබේ.


රාජ්‍ය - පෞද්ගලික සියළු සේවකයන් 1දා සිට වැඩට



ලබන මස පළමුවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලුම රාජ්‍ය සේවකයන් සෝඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සේවයට  කැඳවීමට රජය තීරණය කර ඇත.  මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබන මස පළමුවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට රජය තීරණය කර තිබේ.  මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (27) දහවල් පැවැති අතර, කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුද, ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද, අමාත්‍යාංශය  ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද , බස් සංගම්, ත්‍රිරෝද සංගම් ඇතුළු සංගම්වල නියෝජිත  පිරිසක්ද ඊට සහභාගි වූහ.


 ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ .  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට පැමිණීමට හැකි වන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සමාන්‍ය පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබේ . රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළගදීම නිකුත් කෙරෙනු ඇත. මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරිමට  සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත.


 අජන්ත කුමාර අගලකඩ

චීනයේ විශාලතම ගුවන් යානා ප්‍රදර්ශනය අද ඇරඹෙයි

චීනය තුළ සංවිධානය කෙරෙන විශාලතම ගුවන් යානා සහ උපාංග ප්‍රදර්ශනය අද (සැප්.28 දා) ආරම්භවීමට නියමිතව තිබේ. එරට දකුණුදිග පළාතේ පිහිටි සුභායි නගරයේදී මෙම ප්‍රදර්ශනය පවත්වයි. පසුගිය වසරේදී මෙම ගුවන් යානා ප්‍රදර්ශනය පැවැත්වීමට සූදානම්ව සිටියත් වසංගත තත්ත්වය නිසා එය මේ වසරට කල් දැමුණි. විශේෂයෙන්ම මෙම ප්‍රදර්ශන අවස්ථාව චීනය තමන් සතු ගුවන් බලය ප්‍රදර්ශනය කිරීම සදහා අවස්ථාවක් ලෙස යොදාගනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එහිදී එරට නිෂ්පාදිත J-20 ප්‍රහාරක ගුවන් යානා සහ J-16 ප්‍රහාරක ගුවන් යානා මෙන්ම ඉහළ උන්නතාශයකට යා හැකි WZ-7 සහ WZ-8 යන ඩ්‍රෝන යානාද මෙහිදී ප්‍රදර්ශනයට තබනු ඇතැයි පවසයි.චීන මාධ්‍ය වාර්තවලට අනුව මේ දක්වා ගුවන් යානා 100කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට එක් කරන බවට ලියාපදිංචි කෙරී ඇත. මේ අතර චීනය එරට තුළ නිපද වූ දියගොඩ දෙකෙහිම යාත්‍රා කළ හැකි ලොව විශාලතම ගුවන් යානය වන AG600 යානය මෙම ප්‍රදර්ශනයට එක්කරනු ඇති බවත්, විශේෂයෙන්ම එය අපනයනය සඳහා නිෂ්පාදනය කිරිම චීනයේ අරමුණ බවත් පැවසෙයි.


කොරෝනාවෙන් රස්සාව නැති වුණාම බාබර් කාලි මැණිගේ රන්බඩු උස්සලා



 රත්නපුර මහවලවත්තේ ගිවම් කෝවිලේ කාලි මෑණි පිළිරුවේ රන් ආරණ කොල්ලකෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් කරණවෑමියකුගේ ප්‍රකාශයක් මත එම රන් භාණ්ඩ උකස් කර තිබියදී සොයාගත් බව රත්නපුර පොලිසිය කියයි.  මහවලවත්ත ශිවම් කෝවිල, රත්නපුර ඒ අවට හා තදාසන්න  උප නගරවල වතුකරයේ හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ ස්ථානයකි. හින්දු ආගමික චාරිත්‍ර අනුව විවාහ මංගල උත්සව පැවැත්වීමට හින්දු බැතිමතුන් වැඩි දෙනෙක් මෙම කෝවිල තෝරා ගනිති.  පිළිරුවට පළඳා තිබූ රන් මාලය සහිත පෙන්ඩනය ඇතුළු ආභරණ අතුරුදන්ව ඇති බවට පසුගිය 17 වැනි සිකුරාදා රත්නපුර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.



ඇගිලි සලකුණු වාර්තා සහ වෙනත් තොරතුරු පරික්ෂා කිරීමෙන් පසු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු රත්නපුර, බළන්ගොඩ, වේවැල්වත්ත, නිවිතිගල ආදී ප්‍රදේශවලින් කෝවිලේ විවාහ උත්සවවලට පැමිණි පුද්ගලයන් ගැන ද  සොයා බැලූහ. මේ අතර, රත්නපුර දිගන ප්‍රදේශයේ පුද්ගලයකු නිවිතිගල නගරයේ උකස් බඩු මධ්‍යස්ථානයකට රන් බඩු කිහිපයක් උකස්  කළ බවට විමර්ශන නිලධාරින්ට තොරතුරක් ලැබුණි. ඒ අනුව කළ විමර්ශනවලදී තිස්නව හැවිරිදි කරණවෑමී රැකියාව කරන දෙදරු පියකු සැකපිට අත්අඩංගුවට ගෙන, ලබාගත් තොරතුරු මත කෝවිලේ කාලි මෑණි පිළිරුවේ තිබී සොරා ගන්නා ලද රන් මාලය, තැල්ල ඇතුළු රන් භාණ්ඩ උකස් කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. කොරෝනා හේතුවෙන් කරණවෑමී රස්සාව නැති වූ නිසා සැකකරු මෙවැනි සොරකම්වල නිරත වූ වට පවසා තිබුණි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී  නිවිතිගල පොලිස් වසමේ හින්දු කෝවිල් හතක දේව රූපවල රන් ආභරණ කොල්ලකෑ බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.


 -අපිත්ලාල් ශාන්ත උදය-



බ්‍රිතාන්‍යයේ ගෝවා නෙළන්නන්ට වසරකට රුපියල් කෝටි එකහමාරකට අධික වැටුපවක්

බ්‍රිතාන්‍යයේ ලින්කන්ෂයර් ප්‍රාන්තයේ පිහිටි එළවළු වගාබිම්වල ගෝවා නෙළීම සඳහා සම්බන්ධ වන පිරිස් වෙත වසරකට පවුම් 62,000ක එනම් ආසන්න වශයෙන් රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයකට ආසන්න මුදලක වැටුපක් ගෙවීමට එම වගාවන් හිම් සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.අද වනවිට එම පලදාව නෙලීම සදහා ප්‍රමාණවත් සේවක පිරිස් සොයා ගැනීමට නොහැකිවීම මේ සදහා හේතුව වී තිබේ.ඒ අනුව දැනටමත් මෙම සමාගම් මේ සම්බන්ධයෙන් දැක්වීම් පළ කර තිබේ. එහි සඳහන් ආකාරයට වසර පුරාම මෙම පලදාව ගෙවීම සඳහා අවස්ථාව හිමිවන බවත්, එහිදී පැයකට පවුම් 30ක් එනම් රු.8,300ක මුදලක් ලබාදිය හැකි බවත් නිවේදනය කර ඇත.ඒ අනුව මෙහිදී දිනකට පැය අටක සේවා මුරයක් යටතේ සේවය සැලසිය යුතු අතර, ඒ සඳහා හිමි වන මුදල පවුම් 240ක් එනම් රු.65,760කි. සතියකට පැය 40ක සේවා මුරකදී එයපවුම් 1,200ක් එනම් රුපියල් තුන්ලක්ෂ විසිඅටදහසකට ආසන්න මුදලකි.

මේ අතර අදාළ ගෙවීම් සිදුකිරීම නෙළා ගන්නා ගෝවා සංඛ්‍යාව අනුව රදා පවතින බවත්, මෙම සේවකයන් දිනකට නෙළන ගෝවා සංඛ්‍යාව අනුව එම වැටුප් ඉහළ යාමේ හැකියාවක්පවතින බවත් එම සමාගම් සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍ය තුළ ව්‍යාප්ත වූ COVID-19 වසංගත තත්වය මෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අවස්ථාවත් සමග මෙලෙස සේවක හිගයක් මතුව තිබේ. මීට පෙරදී මෙවැනි කටයුතු සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවල සේවකයන් පැමිණීමක් සිදුව ඇත. එහිදී නැගෙනහිර යුරෝපියානු රටවල පිරිස් මේ වගාබිම්වල සේවය සඳහා වැඩි වශයෙන් පැමිණ තිබෙන බව සදහන් වෙයි.


එජාපය අලුත් කරන්න 'ඇප්' එකක්



 සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට වගකියන ආයතනයක් බවට 'සිරිකොත පත් කරමින්, සියලු පාක්ෂිකයන් රැක බලා ගැනීම සඳහා තොරතුරු ගැනීමේ 'ඇප්' එකක් හඳුන්වා දීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.  පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, පළමු අදියර යටතේ සෑම සාමාජිකයකුටම ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමටත් පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.හැඳුනුම්පතේ සාමාජිකයාගේ සියලු විස්තර ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත්, සාමාජිකයාගේ ක්‍රියාකාරකම් අනුව හැඳුනුම්පත විවිධ වර්ණවලින් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය. 



සිලවර්, ගෝල්ඩ්, ප්ලැටිනම් ආදී ලෙස කාඩ්පත් වර්ග කර තිබෙන අතර, සාමාජිකයාගේ ක්‍රියාකාරකම් අනුව ඉහළ කාඩ්පතක් ගැනීමට ඕනෑම අයකුට අවස්ථාව තිබෙන බව කී රංගෙ බණ්ඩාර මහතා, සාමාජික හැඳුනුම්පතෙහි ඇති කිව්.ආර්. කේතය' අනුව ඕනෑම තැනකට ගොස් තම කටයුතු පක්ෂයෙන් කරගැනීමට එම සාමාජිකයාට අවස්ථාව ලැබෙතැයි ද සඳහන් කළේය.  ඒ අනුව, යාපනයේ සාමාජිකයකුට හම්බන්තොට පක්ෂ නිලධාරින් හමු වීම සඳහා යාපනයේ පක්ෂ සංවිධායකගෙන් ලිපි රැගෙන යාමට අවශ්‍ය වන්නේ නැතැයි ද හැඳුනුම්පත පාවිච්චි කර  කෙළින්ම හම්බන්තොට පක්ෂ නිලධාරියා හමු වීමට යෑමට අවස්ථාව තිබෙන බව ද මහලේකම්වරයා කීවේය.  දෙවැනි අදියර යටතේ ඔන්ලයින් ක්‍රමයට පක්ෂ සාමාජිකත්වය සහ හැඳුනුම්පත ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන බවත්, ඊට අමතරව පක්ෂ මූලස්ථානයෙන් හෝ බලයලත් නිලධාරීන්ගෙන්  හෝ සාමාජික කාඩ්පත ගැනීමට හැකියාව තිබෙන බවත් රංගෙ බණ්ඩාර මහතා පැවැසීය.



පක්ෂ ප්‍රතිසංවිධාන තුන් වැනි අදියර යටතේ සෑම සාමාජිකයකුගෙන්ම කටයුතු සම්බන්ධයෙන් තක්සේරුවක් ගැනීමට හඳුන්වා දෙන 'ඇප්' එකට සාමාජිකයන් බඳවා ගැනීම, පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු කිරීම, රැස්වීම් සඳහා සම්බන්ධ වීම ආදී සෑම ක්‍රියාවක්ම ඇතුළත් කිරීමට ක්‍රියා කරන බව මහලේකම්වරයා කීය. ඒ අනුව, පුද්ගලයකු පක්ෂය වෙනුවෙන් කොතරම් සේවය කළා දැයි අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙන බව කී රංගෙ බණ්ඩාර මහතා, යම් සාමාජිකයකු පක්ෂයේ කටයුතු සඳහා යම් බලපෑමක් වන විනය විරෝධී ක්‍රියාවක් කළහොත්, ඒ කටයුත්ත ද ඇප් එක මගින් සනිටුහන් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය. 



එ.ජා.ප. සාමාජික කාඩ්පත සාමාජිකයා බලාගැනීමේ කැඩපතක්  ලෙස හඳුන්වා දීමට හැකි බවත්, ඒ අනුව, එක්සත් ජාතික  පාක්ෂිකයන් සියලුම දෙනා රැක ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන අතර, ජනතා ප්‍රශ්නවලට ඇහුම්කන් දුන්නේ නැතැයි අනාගතයේ දී චෝදනා එල්ල නොවන තැනට වගබලා ගන්නා බවත් මහල්කම් රංගෙ බණ්ඩාර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. පක්ෂ නිර්මාතෘ, මහාමාත්‍ය ඩී.එස්. ස්නානායක මහතාගේ ජන්ම දිනය සිහිපත් කරමින් ඔක්තෝබර් විසි දෙවැනිදා සිට මේ වැඩසටහන් ක්‍රියාත්මක කරතැයි ද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.


 අංජුල මහික වීරරත්න 


ඇඹිලිපිටියේ කතක් පාර මැද වෙඩි තබා මරා දාලා




ඇඹිලිපිටිය රෝහල අසල පස්වැනි පටුමගේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ කාන්තාවකට වෙඩි තබා ඉකුත් 26 වැනිදා රාත්‍රියේ මරා දමා ඇතැයි ඇඹිලිපිටිය පොලිසිය කියයි.  වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි දෙදරු මවක බවත් එම ඝාතනයට සැකපිට මියගිය කාන්තාවගේ හතළිස් හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති  බවත් පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අබේසිංහ කම්කානංගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැත්තියක බව පොලිසිය කියයි.  වෙඩි තැබීමට යොදාගත් බව කියන මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක්. බෝර දොළහේ තුවක්කුවලට යොදන හිස් පතරොම් කොපුවක් තම බාරයට ගත් බවත් පොලිසිය පවසයි.  පවුල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක්  දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතැයිද පොලිසිය සැක කරයි. 



එදින රාත්‍රී 7.30 ට පමණ මෙම දෙදෙනා  අතර යම් ආරවුලක් ඇතිවීමෙන් අනතුරුව  මියගිය කාන්තාව තම වසරක් වයසැති සිගිති දරුවා සමග තම පදිංචි නිවෙසින් පිටතට  පැමිණ මියගිය කාන්තාවගේ මහගෙදර යාමට පිටත්වීමට යාමේදී මාර්ගය මැදදී වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ බාල සහෝදරයාද එම  ස්ථානයේ සිට ඇති අතර වෙඩි වැදුණු කාන්තාව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල  වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මල්ශාලවක හිමිකරුවකු වන සැකකරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත් එම තැනැත්තා මීට පෙර විවාහයක් කරගත් තැනැත්තකු බවත් පොලිසිය සඳහන් කළාය. සිදුවීම වූ ස්ථානය අසළ නිවසක හා මියගිය කාන්තාව පදිංචි නිවසේ සීසීටීවී කැමරා පද්ධති සවිකර තිබූ බවත් මියගිය කාන්තාවන්ගේ නිවෙසේ තිබූ කැමරා පද්ධති පරීක්ෂා කිරීම සඳහා තම බාරයට ගත් බව පොලිසිය පවසයි.  මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ඇඹිලිපිටිය අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් එදින පස්වරුවේ පවත්වනු ලැබීය. එම මළ සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.


 රෝහණ සමරවීර 

පාසල් ඇරඹීමෙන් පසු ගුරුවරු පාසල් නොපැමිණෙන්නේ නම් මානව හිමිකම් නඩු පැවරිය යුතුයි

පාසල් ආරම්භ කළ විට පාසල් නොපැමිණෙන බවට ගුරු සංගම් තර්ජන කරන ආකාරය මාධ්‍ය තුළින් දැකගැනීමට හැකිවූ බවත්, අධ්‍යාපනය ලැබීම සම ළමයකුගේම මූලික අයිතිවාසිකමක් වන බැවින් පාසල් ආරම්භ කිරීමෙන් පසු ගුරුවරුන් පාසල් නොපැමිණියේ නම් ඔවුන්ට එරෙහිව දෙමවුපියන් මානව හිමිකම් නඩු පැවරිය යුතු බවත් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි පවසති. ඕනෑම ප්‍රශ්නයක් ඇදගෙන යා හැකි දුරක් තිබෙන බවත්, වර්තමානයේ මෙම ගුරු ගැටලුව එම සීමාව ඉක්මවා ගොස් තිබෙන බවත් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ සඳහන් කළහ.ඒ අනුව ගුරු ගැටලුව තවදුරටත් ඇදගෙන නොගොස් දෙපාර්ශවයටම සාධාරණ විසදුමක් ලැබිය යුතු බවත්,මේ ආකාරයෙන් ඉදිරියටත් කටයුතු කළහොත් සමස්ත ගුරු පරපුර කෙරෙහිම දරුවන් තුළ කලකිරීමක් ඇතිවීමට ඉඩ ඇති බවත් රාහුල හිමි පවසා සිටියහ.තවදුරටත් අදහස් පළ කළවනවාසී රාහුල හිමි, "අවුරුදු දෙකක් පමණ නිවෙස්වලටම වී මානසික පීඩනයකට ලක්වූ දරුවන් තවදුරත් මානසික පීඩනයකට ලක්කිරීම ජාතික අපරාධයක්. ඒ අපරාධයට හවුල් වෙන්න එපා කියලයි මම ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ. රජය පැත්තෙනුත් යමක් වෙන්න තියෙනවා නම් ඉටුකළ යුතුයි.නමුත් දරුවන්ට මේ පීඩනය දෙන්න එපා. දරුවන් අවුරුදු දෙකකට පසු පාසල් එන්න හදන්නෙ හරිම ආසාවකින්. ඒ ආවිට ගුරුවරු එන්නේ නැත්තම් ඇතිවන තත්වය මොකක්ද? ඕනෑම ප්‍රශ්නයක් ඇදගෙන යන්න පුළුවන් දුරක් තිබෙනවා.දැන් ගුරු ගැටලුවේ ඒ සීමාව පැනලා ඉවරයි. නමුත් වෘත්තීය සමිතිවලින්ම ජීවත්වෙන අයට හිගන්නාගේ තුවාලය වගේ මේ ප්‍රශ්නය තවත් ඇදගෙන යන්නයි ඕන වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ පාසල් ආරම්භ කළ විට ගුරුවරු පාසල් නාවොත් දෙමවුපියන් මානව හිමිකම් කඩවීම් යටතේ වහාම නඩු පවරන්න. එතකොට බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. මේ ප්‍රශ්නයේදී අපිත් මුලදි හිටියේ ගුරුවරුන්ගේ පැත්තේ. ඒත් පාසල් පටන් ගත්තත් උගන්වත්ත එක්සත් නැහැ කියලා දරුවන් තවත් පීඩනයට පත් කරත්න සූදානම් බව දැනගත්තාම ඇත්තටම මට නම් ගුරුවරු ගැන කලකිරීමක් ඇති වුණා. මේ තත්වය සමනය කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු වගේම දෙමවුපියන්ද අවදියෙන් සිට අධිකරණමය පියවරකට යාම කාලෝචිත බවයි මගේ හැගීම” යනුවෙන්ද සඳහන් කළහ.


ඩොලර්වලින් බදු ගෙව්වොත් වාහන ගෙන්න අවසර

 



බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන  පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  පැවසීය. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බලාගෙන යන බව ද හෙතෙම සඳහන් කළේය.  ඩොලර් සම්බන්ධයෙන් මේ මොහොතේ දී ගැටලුවක් පවතින හෙයින්, සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැතත්, පවතින සාධක අධ්‍යයනය කිරීමෙන් පසු ඒ ගැන ඉදිරියේ දී කරුණු සලකා බැලීමට සූදානම් බව ද මහ බැංකු  අධිපතිවරයා ප්‍රකාශ කළේය. 


බොහෝ දුරට ඒ ගැන ලබන දෙසැම්බර් මාසයේ දී  කරුණු සලකා බැලීමට බලාපොරොත්තු වන බව ද  අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේය.  රටේ ආර්ථිකය කෙටි කාලයක දී ගොඩ ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තමා දැනටමත් ආරම්භ කර ඇති  බවත්, ආර්ථිකය ගොඩ ගැනීම සඳහා යන ගමනේ දී  සමහරුන් සතුටු විය නොහැකි තීන්දුවලට පවා යෑමට සිදුවන බවත් ඔහු පැවැසුවේය.


සුජිත් හේවාජුලිගේ 

Monday, September 27, 2021

2011 ලෝක කුසලාන තරඟ පාවාදීමේ චෝදනාවට අදාළ විමර්ෂන නතර කරයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය හා වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයට අදාළව සිදු කරන ලද තරග පාවාදීම් පිළිබඳ විමර්ශන නතර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, අදාළ නඩුව සිදුකරගෙන යාමට කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා මෙම නඩුව ඉවත් කර ගැනීමට පොලීසියට උපදෙස් ලබා දුන් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග විසින් සනාථ කළ බවයි.හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය (202O) වර්ෂයේ ජූලි මාසයේදී මේ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ, අදාළ තරගයේදී තරග පාවාදීමක් සිදුවූ බවයි.මෙම ප්‍රකාශයෙන් අනතුරුව කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයෙකු වූ අරවින්ද ද සිල්වා, එවකට කණ්ඩායම් ක්‍රීඩකයන් වූ උපුල් තරංග හා කුමාර් සංගක්කාර යන ක්‍රීඩකයන්ගෙන් විශේෂ විමර්ශන ඒකකය දීර්ඝ ලෙසින් ප්‍රශ්න කරන ලදී.තවද එම චෝදනා එල්ල කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධයෙන්ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර නොමැති බවද  වැඩිදුරටත් වාර්තා කරයි.


නගර වැසියන්ට භාණ්ඩ ඩිලිවරි සේවා සපයන රෝද හයේ රොබෝ

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට කිලෝ මීටර් 80ක් තරම් ඈතින් පිහිටි මිල්ටන් කේන්ස් නගරයේ  වැසියන්ට සිය නිවෙස් වෙතටම භාණ්ඩ ගෙනැවිත්  භාර දෙන starship නම් රොබෝ සේවාව මේ වනවිට ඉහළ ජනප්‍රියත්වයකට පත්ව ඇතැයි වාර්තා යවයි. රෝද හයක් සහිත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම රොබෝ භාණ්ඩ ඩිලිවර් සේවාව දැනට වසර තුනකට පෙරාතුවද මෙම නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී තිබේ. නගරයේ පිහිටි සමුපකාර සුපිරි වෙළෙඳ සැලකින් රැස් කරගන්නා භාණ්ඩ මෙම රොබෝව මගින් එම නගර වැසියන්ට ගෙනැවිත් භාරදීම සිදුකරයි. අද වනවිට මේ සේවාව එම නගරවැසියන් අතර කොපමණ ජනප්‍රියත්වයක් හිම් කරගෙන තිබේද යත්, නගරය තුළ ක්‍රියාත්මක මෙවැනි රොබෝ ඩිලිවර් රථ200ක් දක්වා එය වර්ධනය වී තිබේ. විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය මෙම සේවාව සඳහා වන ඉල්ලුම ඉහළ නංවා තිබේ. එසේම ඉදිරියේදී නගරයේ තවත් ප්‍රදේශ පහක් ඉලක්ක කරගනිමින් මෙම රොබෝ රථ සංඛ්‍යාව 500ක් දක්වා ඉහළ දැමීමත් අරමුණක් බව මෙම සේවාව ක්‍රියාත්මක කරන starship Technologies සමාගම පවසයි. “මේ වසංගත කාලයේදී හැමෝටම වුවමනා වුණේ අතින් නොඅල්ලා සිදුකරන ඩිලිවරි සේවයක්. ඒ සඳහා මේ starship රොබෝව ඉතාමත් සුදුසු වුණා. අද වනවිට දිනකට භාණ්ඩ ඩිලිවරි කිරීම් 1,000ක් පමණ මේ හරහා සිදුවෙනවා.” එක්සත් රාජධානිය තුළ මෙම මෙහෙයුම් අංශයේ ප්‍රධානීයා පවසයි.


ගුරුවරුන්ගෙ 5000 දීමනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙ පළවන වාර්තා සත්‍යයෙන් තොරයි


සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල රාජකාරී කටයුතුවල නිරත වූ ගුරුවරුන් සදහා ලබාදෙන රුපියල් 5000 දීමනාව සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ චක්‍රලේඛයේ සදහන් නිර්ණායකවලට අදාළව ගෙවනු ලබන මුදලක් පිළිබද කිසිදු සඳහනක් නොමැති බවත්, එවැන්නක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලේඛනයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසයි. එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අසේල  සංජීව මහතා පැවසුවේ, එම රුපියල් 5000   ලබාගැනීමට සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරි කරන ලද ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අවස්ථාව සැලසී ඇති බැවින්, නැවත වරක් ඉල්ලීම් කිරීමට හෝ ලිපිලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි. 



ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සිදු කළේ නම් ඒවායෙහි සබැදි අදාළ ශ්‍රේණි ප්‍රධානීන්ට හෝ සහකාර නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට දන්වා යැවීම ප්‍රමාණවත් බවත්, විදුහල්පතිවරයාගේ නිර්දේශ ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් උපසභාපතිවරයා දන්වා සිටියි. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරී කටයුතුවල නිරත වුවද රුපියල් 5000 ලබාගැනීමට අදහස් නොකරන ගුරුවරුන් ඒ බව ලිඛිතව විදුහල්පතිවරයාට දැන්විය යුතු බවද ඒ මහතා පවසයි.  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් කිසිදු අවස්ථාවක ලේඛන සකස් කිරිම සදහා මෙපමණ මුදලක්ද , ආදී වශයෙන් නිර්ණායකවලට අදාළව ලබාදිය යුතු මුදල් සම්බන්ධයෙන් කිසිදු චක්‍රලේඛයක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවද හෙතෙම සඳහන් කරයි.  එලෙස විවිධ මිල ගණන් ලබාදෙන බව දන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සසරණිය වන නිර්ණායක ලේඛනය ව්‍යාජ ලියවිල්ලක් බවද ඒ මහතා පවසයි.


NASA ගගනගාමින් ප්‍රවාහනය සඳහා නව බස් රථයකට යෝජනා ඉල්ලයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය මගින් ඉදිරියේදී කක්ෂගත කරන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන ගගනගාමීන් ප්‍රවාහනය සඳහා යොදාගත හැකි නව බස් රථයක් සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස එම ආයතනය ඊට උනන්දුවක් දක්වන පිරිස් වෙත ආරාධනා කර තිබේ.NASA ආයතනය පෞද්ගලික සමාගම් හා ඒව ඉදිරියේදී යළිත් වරක් චන්ද්‍රයා වෙත මිනිසුන් සහිත මෙහෙයුමක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, අනාගතයේදී අගහරු වෙතද මිනිසුන් සහිත මෙහෙයුමක් සිදු කිරීමට බලාපොරොත්තුව සිටියි. එහිදී ගගනගාමීන් ගොඩබිම් මධ්‍යස්ථානයේ සිට රොකට්ටු කක්ෂගත කරන වේදිකාව වෙත රැගෙන යාම සදහා මෙම බස් රථය යොදා ගැනීමට සැලසුම වී තිබේ. මීට පෙර NASA ආයතනය මගින් සිය ගගනගාමීන් ප්‍රවාහනය සදහා යොදා ගැණුනු රථය Astrovan නමින් හැදින්වුණි. ගගනගාමීන් ප්‍රවාහන කරන  රථය යන තේරුමින් එය යොදා තිබුණි. දිලිසෙන රිදී පැහැයෙන් යුත් එම රථය එරට අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සංකේතයක්ද විය. NASA ආයතනයේ මූලිකත්වයෙන් කක්ෂගත කෙරුණු අභ්‍යවකාශ ෂටල මෙහෙයුම්හිදී මෙම රථය වැඩි වශයෙන් යොදා ගැනුණි. මේ වනවිට නාසා ආයතනය සිය ෂටල මෙහෙයුම් අත්හිටුවා ඇති අතර, මෙම Astrovan ලෙස ප්‍රදර්ශනයට තබා තිබේ.ඒ අනුව ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් සඳහා සම්බන්ධ වන ගගනගාමීන් ප්‍රවාහනය සදහා සුදුසු බස් රථයක යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස නාසා ආයතනය එරට පෞද්ගලික සමාගම් වෙත ආරාධනා කර තිබේ. එහිදී මෙම යෝජනා සුවිශේෂී, නවීන තාක්ෂණයෙන් යුත් සහ මහජනතාව වෙත ඉතාමත් හොද පෙනුමක් සහිතව ඉදිරිපත්විය යුතු බවත් සඳහන්ව ඇත.


ඇඟ පුරාම පළු දාලා- දැරිය රෝහලේදී මරුට




මුහුණේ සහ ශරීරය පුරා පළු දැමීම නිසා බදුල්ල .රෝහලට ඇතුළත් කළ 13 හැවිරිදි දැරියක මියගොස් ඇතැයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග කියයි.  මෙසේ මියගොස් ඇත්තේ ඒ මලිෂ සත්සරණි නමැති දැරියකි. ඇය බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ අට  වසරේ ඉගෙනුම ලැබුවාය.  ශරීරය පුරා පළු දැමීම නිසා මෙම දැරිය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ රෝගී තත්වය උත්සන්න වීම නිසා එහි දැඩි සත්කාර ඒකකය ඇතුළත් කර සිටිය දී මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.


-අයි.ආර්. ඉන්දික-

බාල සොහොයුරියගේ දරුවා වෙනුවෙන් ගර්භාෂයේ ඉඩ දුන් වැඩිමහල් සහෝදරිය

28 හැවිරිදි වියේ පසුවන ඇමන්ඩා නම් සිය බාල සොහොයුරියක් දරුවා තම ගර්භාෂය තුළ රැකබලා ගනිමින් නිරුපද්‍රිතව මෙලොවට බිහි කරන්නට දායක වුණු 31 හැවිරිදි වියේ පසුවන ඇලිසියාමේරි නම් වැඩිමහල් සහෝදරියකු පිළිබඳව පුවතක් එක්සත්ජනපදයේ ෆ්ලොරිඩා නුවරින් පසුගියදා වාර්තා විය.ඇමන්ඩා පසුගිය වසර හයක කාලයකදී පස් වතාවක් ගැබ් ගැනීමට ලක්ව ඇති නමුත්,විවිධ හේතූන් නිසා ඇති වූ සංකුලතා නිසා එම දරු ගැබ් අතරමගදී ගබිසාවීම්වලට ලක්ව තිබේ. ඒ අනුව මෙම ආසන්නතම අවස්ථාවේදී අගේ ගර්භාෂය තුළ නොව ඇගේ සහෝදරියගේ ගර්භාෂය මේ සඳහා යොදා ගැනීමට වෛද්‍යවරුන් යෝජනා කර තිබේ.එම යෝජනාව වෙත සතුටුදායක ලෙස ප්‍රතිචාර දක්වා ඇති ඇලිසියාමේරි ද සිය සහෝදරිය වෙනුවෙන් මේ සඳහා ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මාස දහයකට ආසන්න කාලයක් ඇලිසියාමේරිගේ කුස තුළ වැඩුණු ඇමන්ඩාගේ දරැවා පසුගිය අගෝස්තු මාසයේදී මෙලොව එළිය දැක ඇත. පිරිමි දරුවෙකු වන මොහුට ඔලිවර් යන නම තබා තිබේ. "වෛද්‍යවරුන් මගේ සහෝදරියට මේ යෝජනාව ඉදිරිපත් කරන කොට මම ඇයත් සමග සිටියා. ඇය මගෙන් ඒ ගැන අහන්නටත් පෙර මම ඊට කැමැත්ත දුන්නා. මම ඇය වෙනුවෙන් ඊට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. මොකද මමයි, ඇයයි ඉතාමත් සමීපයි.” යනුවෙන් ඇලිසියාමේරී පවසා සිටියි.ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ උපදේශකවරියක ලෙස කටයුතු කරන ඇමන්ඩා 2014 වසරේදී ප්‍රථමවරට හෘදයාබාදයකට ලක්වී තිබේ. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 21ක් බව පැවසෙයි. අනතුරුව ඇය ලේ කැටි ගැසීමේ රෝගයක් ලෙස හඳුන්වන Antiphospholipid Syndrome (APS) නම් රෝගී තත්වයකට ගොදුරු වී ඇත. එසේම චර්ම රෝගී තත්ත්වයකින්ද ඇය පිඩා විද තිබේ. එම අවස්ථාවේදී අලෙවිකරණ නිලධාරිනියක ලෙස ඉතාලියේ සේවය කරමින් සිටි ඇලිසියාමේරි සිය පවුලට උදවු ලබාදීමේ අරමුණින් යළිත් වරක් ෆ්ලොරිඩාව වෙත පැමිණ තිබේ. කාලයත් සමග ඇමන්ඩා ප්‍රකෘති තත්ත්වයට පත් වුවත්, අවස්ථා ගරානාවකදී ඇය දරුස්වෙකු බිහි කිරීමට ගත් උත්සාහයන් මෙලෙස ව්‍යර්ථ වී තිබේ. "මේ වසර හයක කාලයකදී අවස්ථා පහකදීම මම ගැබ් ගත්තත් ඒ සියල්ලම ගබ්සා වුණා. ඒත් වෛද්‍යවරුන් මේ යෝජනාව ඉදිරිපත් කරන කොට, මගේ සහෝදරිය ඊට කැමැත්ත පළ කරමින් ඉදිරිපත් වුණා.” ඇමන්ඩා පවසයි. ඇලිසියාමේරි ද සිය පුතා වන ජූලියන් බිහිකර තිබුණේ 2019 වසරේදීය. එය සීසර් සැත්කමක් හරහා සිදුකළ දරු උපතක් වූ බැවින් සහෝදරියන් දෙදෙනාට තවත් වසරක කාලයක් බලා සිටීමට සිදුවී තිබේ. අනතුරු වෛද්‍ය උපදෙස් මත සිදුකළ IVF ක්‍රමවේදය යටතේ ඇමන්ඩාගේ ඩිම්බ සහ ඇගේ ස්වාමියාගේ ශුක්‍රාණු එක් කරමින් විද්‍යාගාරයක් තුළදී සකස් කළ කලලයක් මෙලෙස ඇලිසියාමේරිගේ ගර්භාෂය තුළ තැත් කිරීම සිදුකර ඇත.මෙහිදී මෙම සම්පූර්ණ කටයුත්ත සඳහා එක්සත් ජනපද ඩොලර් 16,000ක් එනම් රුපියල් තිස්දෙලක්ෂයකට අධික මුදලක් වැය වී තිබේ. IVF තාක්ෂණයට සහ නීතිඥ ගාස්තු වෙනුවෙන් මෙම මුදල් වැය වී ඇත. "මේ සිදුවීම් සියල්ලම ඔලිවර් ලොකු වුණාට පස්සේ මට ඔහුට කියන්න ඉතාමත් හොද කතාවක්" ඇලමන්ඩා සිය දරුවා තුරුලු කර ගනිමින් පවසයි.

සමහරුන්ට තේ බොනවිට චීස් ඔනලු - වාහන තියේද්දී කුලියට ගන්නවා



පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් පසුගියදා ඉල්ලා අස් වූ තමාට දුරකතන මාර්ගයෙන් විවිධ තර්ජන එල්ල වෙමින් තිබෙන බව තුෂාන් ජයවර්ධන මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ  ගුණවර්ධන මහතා පැවැසුවේ, සිය ජංගම දුරකතනයට වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ විවිධ තර්ජන කිරීම් දිගටම කෙරෙන බවයි. ‘ඉදිරියේදී බලාගමු', 'පරෙස්සම් වෙන්න' යනාදී වශයෙන් මෙලෙස තර්ජනය කිරීම් කෙරුණු බව ද හෙතෙම සඳහන් කළේය.  මේ තර්ජන කිරීම් සම්බන්ධයෙන් තමා අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ද තුෂාන් ගුණවර්ධන මහතා පැවැසුවේය.  මේ අතර, තමා ජනාධිපතිවරයා ළගදීම හමු වී සතොස දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්  කිරීමට බලාපොරොත්තු වන බවත්, ජනාධිපතිවරයා හමුවට වීමට දැනටමත් දිනයක් ඉල්ලා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.  සතොස දූෂණ, වංචා රැසක තොරතුරු ඇතුළත් ලිපි ගොනු රැසක් තමා ළඟ ඇති බව පැවැසූ ගුණවර්ධන මහතා,  



සතොස ආයතනවල තේ පානයට පමණක් මාසයකට රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය කෙරෙන බව ද පැවැසුවේය.  සමහරුන්ට තේ පානය සඳහා චීස් පවා අවශ්‍ය කෙරෙන බව ඔහු සඳහන් කළේය. එසේම, සතොස ආයතනය සතු වාහන විශාල ප්‍රමාණයක් නිකරුණේ ගාල් කර තිබියදී පිට වාහන රැසක් කුලියට ගෙන ඇත්තේ කාගේ වුවමනාවට දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.  ඇමැතිවරුන් දෙදෙනාගෙන් බලපෑම් සිදුවන බව පවසමින් පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා එම තනතුරෙන් පසුගිය දා ඉල්ලා අස්විය.


-සුජිත් හේවාජුගේ -

ශ්‍රීනිපය කලේ බණ්ඩාරනායක නම විකුණාගෙන කෑම විතරයි - චන්ද්‍රිකා බණ්ඩාරනායක



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර ඇත්තේ බණ්ඩාරනායක නම විකුණා ගෙන කෑම පමණක් යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (26) පැවසුවාය. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ සිටි වසර පහක කාලයේදී බණ්ඩාරනායක ගුණ සමරුවක් සඳහා බණ්ඩාරනායක සමාධිය  වෙත පැමිණියේ එක් අවස්ථාවක් පමණක් යැයි ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණ සමරුව යෙදී තිබූ ඊයේ (26 වැනිදා) උදැසන චාම් අන්දමින් පැවැති ගුණ සැමරුම් අවස්ථාවට එක්වෙමිනි.  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හා සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීහු හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය වෙත ඊයේ (26) උදෑසන 07.49 ට පමණ පැමිණ සිය පියා සිහිකර මල් කළඹ තබා පුෂ්පෝපහාර දැක්වූහ. පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.



"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් අපි පවුලේ සාමාජිකයනුයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක නම විකුණාගෙන කෑම විතරයි කර තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා පසුගිය  අවුරුදු පහේ ජනාධිපති ධුරයේ හිටියා. නමුත් ඔහු බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ එක වතාවයි.  ඔහු හැමතැනින්ම පන්නලා හින්දා අද එන්න ඉඩ තිබෙනවා යැයිද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.  හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වන සරත් ඒකනායක, පේශල ජයරත්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කරල්ලියද්ද, රුවන් රණතුංග යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.  මෙවර කොවිච් වසංගත තත්ත්වය හේතුවෙන් වෙනදා මෙන් ගුණ සමරු උත්සවයක් නොපැවැත්විණි.


 -ආනන්ද ඉ. ජයකොඩි- 


Friday, September 24, 2021

ඉන්දියාව නීතිවිරෝධි රයිනේ අඟ 2500ක් විනශ කර දමයි

ඉන්දියාව තුළදී අත්අඩංගුවට පත් වූ නීතිවිරෝධී රයිනෝසිරස් අග 2,500ක් ගිනි තබා විනාශ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. සැප්තැම්බර් 22දාට යෙදී තිබුණු ලෝක රයිනෝ දිනය සැමරීම වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.මේ අතරින් රයිනෝ අග වැඩි ප්‍රමාණයක් පසුගිය දශක කිහිපයේදී ඉන්දියාවේ විවිධ අපරාධ කණ්ඩායම් සතුව තිබී අත්අඩංගුවට පත්වූ රයිනෝ අග බව බලධාරින් සදහන් කරයි. ඒ අනුව අග ලබාගැනීම සඳහා ලොව තර්ජනයට ලක්ව සිටින මෙම රයිනෝ සතුන් ඝාතනය සම්බන්ධයෙන් දඩයක්කරුවන්ට අනතුරු ඇගවීමක් ලෙස මෙම විනාශ කිරීම සිදුකළ බවත් පැවසෙයි.අද වනවිට ලෝකයේ රයිනෝසිරස් ගහනයෙන් 71%ක්ම වාසය කරන ඉන්දියාව්වේ ඇසෑම් ප්‍රාන්තය තුළ මෙම අවස්ථාව සංවිධානය වී තිබීම විශේෂත්වයකි. ස්වභාව සංරක්ෂණය පිළිබද ජාත්‍යන්තර එකමුතුවට (IUCN) අනුව අද වනවිට රයිනෝසිරස් සතුන් ලොව 'තර්ජනයට ලක්ව ඇති" සතුන් පිරිසක් බවට නම් කෙරී තිබේ. ඉන්දීය වනසත්ව බලධාරින් පවසන ආකාරයට මෙම අවස්ථාවේදී රයිනෝ අග 2,479ක් විනාශ කර ඇති අතර, තවත් අග 100ක් ඉදිරි අධ්‍යයන කටයුතු සදහා සුරක්ෂිත කර තැබීමටත්, තවත් අග 29ක් නඩු කටයුතු සදහා තබා ගැනීමටත් පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරසය මඬින ප්‍රතිදේහක් ලාමා සතුන් තුළ

ලාමා සහ ඔටුවන්ගේ සිරුරු තුළ නිපදවෙන ඉතාමත් කුඩා ප්‍රතිදේහයක් COVID-I9 වෛරසය සඳහා හේතුවන කොරෝනා වෛරසය මර්දනයට යොදාගත හැකි බව අලුත්ම අධ්‍යයනයක් මගින් අනාවරණය කරගෙන තිබේ. මෙම වෛරසයට එරෙහිව හඳුන්වාදෙන නාසික විදින ඖෂධයක් සදහා වන අධ්‍යයනයක් අතරවාරයේදී මෙම සොයා ගැනීම සිදුකර තිබේ. එංගලන්තයේ, ඔක්ස්ෆර්ඩ්ෂයර්හි රොසලින්ඩ් ෆ්‍රැන්ක්ලින් අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදුකර ඇත. ඒ අනුව ලාමා සහ ඔටුවන් තුළ නිපදවෙන ඉතාමත් කුඩා සහ සරල ප්‍රතිදේහ මගින් වෛරසයට එරෙහි ප්‍රතිකාරයක් සොයාගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.විශේෂෙයෙන්ම ඉතා කුඩා ප්‍රමාණයේ අනුක දාමයක් ලෙස සැකසෙන මෙම ප්‍රතිදේහ විද්‍යාගාර තුළදී මහා පරිමාණව නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් පවසයි. දැනටමත් COVID-19 ආසාදිත බවටත් හදුනාගෙන ඇති සතුන් කිහිපදෙනෙකුටම මෙම ප්‍රතිදේහ ලබාදීම සිදුකර සාර්ථක ප්‍රතිඵල අත්කර දී තිබේ. මෙම ඒ අනුව දැනට COVID-19 වැලදුණු රෝගීන්ගේ අසාධ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් වෛරසය වැලදුණු රෝගීන්ගෙන් ප්‍රතිදේහ ලබාගැනීම වෙනුවට වඩාත් සරල සහ පහසුවෙන් මෙම සතුන්ගෙන් ලබාගන්නා ප්‍රතිදේහ විද්‍යාගාර තුළදී වර්ධනය කර ලබාගත හැකි බවද මෙම පර්යේෂෙණ කණ්ඩායම පෙන්වා දෙයි.

බඩු කන්ටේනර් 1300ක් පමණ වරායේ හිරවෙලා



 මෙරටට ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 1300ක් පමණ, මාස තුනක් පමණ තිස්සේ කොළඹ වරායේ ගොඩගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.  බැංකුවලින් ඩොලර් නිදහස් නොකිරීම, මෙම භාණ්ඩ කන්ටෙනර් වරායේ ගොඩගැසී තිබීමට හේතුවන බව භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  පරිප්පු, කඩල, හාල්මස්සන්, වියළි මිරිස්, සුදුලූනු, කොත්තමල්ලි, සූදුරු, මාදුරු, උළුහාල් ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක් පමණ ද, සීනි අඩංගු කන්ටේනර් 433ක් පමණ ද මෙසේ වරායේ ගොඩගැසී ඇති බව එම ප්‍රකාශකයා පැවසීය. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කටේනර් 800 තුළ භාණ්ඩ ටොන් විසිදහසකට අධික (කිලෝ ලක්‍ෂ 200). ප්‍රමාණයක් අඩංගු බව ද ඔහු කීවේය.


සිය සංගමයේ සාමාජිකයන් සහ සාමාජිකයන් නොවන ආනයනකරුවන් 40ක් හෝ 50ක් පමණ ගෙන්වා ඇති භාණ්ඩ මෙසේ ගොඩගැසී ඇති බව හෙතෙම සඳහන් කළේය.  මේවා නිදහස් කරගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිදුවී ඇතැයි ඔහු කීවේය. මෙම භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා සමඟ ද නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටින බව කී එම ප්‍රකාශකයෝ, නව මහ බැංකු අධිපතිවරයා ද මෙම ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කර ඇති බව කීවේය. ඒ අනුව  මෙම අර්බුදය ඉදිරි සති දෙක තුළ විසඳේ යැයි විශ්වාස කරන බවත්, අද පැවැත්වෙන ජීවන වියදම් කමිටුවට සහභාගි වී එයට මෙම ගැටලුව ඉදිරිපත් කරන බවත් එම ප්‍රකාශකයා කීය.



ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියකු මේ  සම්බන්ධයෙන් පැවසුවේ සීනි කන්ටෙනර් 500ක් පමණ වරායේ ගොඩගැසී ඇති බවය.  ඒවා සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුව ආනයනය කරන ලද ඒවා බව ද ඔහු සඳහන් කළේය.  වරායේ පර්යන්තවල සීනි කන්ටේනර් 403ක් සහ පෞද්ගලික පර්යන්තවල කන්ටෙනර් 100ක් පමණ ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙම කන්ටේනර් 503 තුළ සීනි මෙට්‍රික්ටොන් 13,000 ක් (කිලෝ ලක්ෂ 130) පමණ ඇති බවත් මෙහි පැරණිම කන්ටේනරය මීට මාස තුනකට පමණ පෙර මෙරටට ගෙන්වා ඇති බවත් එම නිලධාරියා පැවසීය.


 -යොහාන් භාසුර-

ඇමරිකාව ඉරාකයෙන් කොල්ල කෑ පුරාවස්තු 17,000කට අධික ප්‍රමාණයක් ආපසු භාර දෙයි

ඉරාකයේ කෞතුකාගාර තුළ තැන්පත් කර තිබියදී ඇමෙරිකා එක්සත් ජනපදයෙ වෙත රැගෙන ගිය පුරාවස්තු 17,000කට අධික සංඛ්‍යාවක් ආපසු එරටට භාරදීමට එක්සත් ජනපද බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ගල්ෆ් යුද්ධය අවස්ථාවේදී මෙම පුරාවස්තු මෙලස කොල්ලකෑමට ලක්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම පුරාවස්තු අතර අදින් වසර 3,500කට පමණ පෙරාතුව නිර්මාණය කළ බව පැවසෙන මැටි පුවරුවක්ද පවතී. එය The Gilgamesh Tablet නමින් හැඳින්වෙයි. මෙය ලොව ඉපැරණිතම ආගමික සටහන් අතර පවතින්නක් බව පැවසෙයි.එක්සත් ජනපදයේ සිල්ලර භාණ්ඩ අලෙවි දාමයක් වන Hobby Lobby Stores Inc. නම් සමාගමක් වෙත අවසන්වරට මෙම පුවරුව හිමිව තිබී ඇත. එම සමාගම 2014 වසරේදී යම් පුද්ගලයෙකුගෙන් මෙම පුවරුව මිලදී ගෙන ඇත්තේ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.67කටය. වොෂිංටන් නුවර බයිබල් කොතුකාගාරයේ තැත්පත් කිරීම සදහා එලෙස එය මිලදී ගෙන තිබේ. කෙසේ වෙතත් 2019 වසරේදී එය එක්සත් ජනපද අධිකරණය මගින් තමන් සන්තකයට ගෙන ඇත. එහි නිලධාරින් සඳහන් කරන ආකාරයට මෙම පුරාවස්තුව 1990 දශකයේදී ඉරාක කෞතුකාගාරයෙන් කොල්ලකා, 2007 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය වෙත රැගෙනවිත් තිබේ. ඉන් අනතුරුව එය අවස්ථා කිහිපයකදීම අලෙවි වී ඇත.මෙම ඉපැරණි පුවරුව ඇතුළු පුරාවස්තු 17,000 ආපසු ඉරාකය වෙත සංකේතාත්මකව භාරදීමේ අවස්ථාවක් ඊයේ (23දා) එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පිහිටි සුප්‍රසිද්ධ Smithsonian Instituteහිදී පැවැත්වී තිබේ.

මව සමඟ අනියම් පෙමට වැටී සිසු දියණිය කෙලෙසු ලුතිනන් කර්නල් අත්අඩංගුවට




මහනුවර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක නීත්‍යානුකූල බාරකාරත්වයෙන් අපහරණය කර ඇයට ලිංගික අතවර කළ බව කියන යුද හමුදාවේ ආබාධිත ලුතිනන් කර්නල්වරයකු මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.  අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව රාජකාරි කරන 52 හැවිරිදි ලුතිනන් කර්නල්වරයකු බවද පොලිසිය කියයි. 


සැකකාර ලුතිනන් කර්නල්වරයා මහනුවර පොලිස් බල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර 17 හැවිරිදි සිසුවිය ඇයගේ දියණිය බවත් සැකකාර හමුදා නිලධාරියා එම සිසුවියට ලිංගික අතවර කර ඇති බවටත් තොරතුරු හෙළිවී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.  ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු තොරතුරක් එම අධිකාරිය විසින් මහනුවර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලබාදී ඇති අතර එම තොරතුරු මත කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-



මිලියන 62කින් ඉදිකල කෝවිඩ් ආයුර්වේද රෝහලට රෝගින් ඇතුළත් කරගෙන නැහැ

මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට රජය රුපියල් මිලියන හැට දෙකක් වියදම් කරමින් ලග්ගල නගරයේ ඉදිකරන ලද අංගසම්පූර්ණ ආයුර්වේද අතරමැදි කෝවිඩ් ප්‍රතිකාර රෝහල විවෘත කොට සියලු පහසුකම් ලබාදුන්නද රෝගීන් ඇතුළත් කර නොගැනීමේ තත්වයට පත්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් විසින් පසුගිය (17දා) මෙම රෝහල විවෘත කරන ලදී.මෙහි ආසාදිතයන් 76දෙනෙකුට අංගසම්පූර්ණ ප්‍රතිකාර කිරීමට විශේෂ මෙහෙයුම් අංශය, වී.අයි.පී ප්‍රතිකාර ස්ථාන දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර, විදුලි පංකා මෙන්ම වෛද්‍යවරුන්, හෙදහෙදියත් උපස්ථායකයන්, ආරක්ෂක නිලධාරීන්, පිරිසුදුකරන්නන්, ආහාරපාන සපයන්නන් ආදී සියලු පහසුකම් සපයා තිබේ. මෙහි වත්මන් තත්ත්වය සොයා බැලීමට ප්‍රදේශවාසීන් සමග පෙරේදා (22දා) එහි ගිය අවස්ථාවේ රෝහල ඉදිරියේ බාහිර අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයේ යොදවා තිබෙනු දැක ගැනීමට හැකිවූ අතර එයට ලැබුණු වාහන කිහිපයක් ද එහි නවතා තිබෙනු දැක ගැනීමට හැකි විය.මේ අතර ආසාදිතයන් මෙන් පිරිසක් එහි වාඩිවී සතුටු සාමීච්චියේ යෙදී සිටින අයුරු දැක ඒ පිළිබඳ සිදු කළ විමසීමේදී අනාවරණය වී ඇත්තේ රෝහලේ වෛද්‍යවරුන් සේවක සේවිකාවත් ඉදිරිපස වාඩි වී සතුටු සාමීචියේ යෙදී සිටින බවයි.

මේ පිළිබද ස්ථාන භාර වෛද්‍ය නිලධාරී උදාර අත්පත්තු මහතාගෙන් විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය. "ආයුර්වේද රෝහල විවෘත කළ ද මෙතෙක් කිසිදු වූ ආසාදිතයෙකු රෝහලට ප්‍රතිකාර සදහා නො එවීමෙන් මා ඇතුළු වෛද්‍යවරු පස්දෙනෙක් හෙද හෙදියන් කාර්යමණ්ඩලය සියලු සේවකයන් 18 දෙනෙකු රෝහලට වී රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම්ව සිටිනවා. ජීවිත අවදානම නොතකා ජනතාවගේ ජීවිත බේරා ගැනීමට පැමිණ මෙහි නේවාසිකව රැදී සිටිනවා. මෙහි පිරිසුදු කිරීම් සඳහා ද ටෙන්ඩර් ක්‍රමයක් යටතේ මධ්‍යම පළාත් ආයුර්වේද අංශ මගින් ලබාදී එම පෞද්ගලික සේවකයන්ද රැදී සිටිනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සාමාන්‍ය සේවකයන් පිරිසක් ද ප්‍රතිකාර මධ්‍යස්ථානයට අනුයුක්ත කොට තිබෙනවා.කෙසේ වෙතත් එහි සේවක සේවිකාවන්ගෙන් අප විමසීමේ දී කියා සිටියේ ඔවුන් දුරබැහැර පළාත්වල සිට හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අනුයුක්ත කළ බවයි. මහවැලි අධිකාරිය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පළාත් සභාව මගින් මෙම අංග සම්පූර්ණ ආයුර්වේද රෝහල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 62කට අධික ජනතා මුදලක් වැය කොට තිබේ.මෙවැනි තත්වයක් තුළ අංගසම්පූර්ණ ආයුර්වේද අතරමැදි ප්‍රතිකාර රෝහලක් විවෘත කොට ඒ සඳහා අවශ්‍ය ඖෂධ වෛද්‍යවරු සේවක සේවිකාවන් සහ සියලු පහසුකම් ලබාදී මෙසේ ආසාදිතයන් ඇතුළත් නොකොට වසා දැමීම සිදු කරමින් සිටින්නේ කාගේ හෝ අවශ්‍යතාවක් ඉටු කිරීමට බව ආයුර්වේද රෝහලේ සේවකයෝ හා ප්‍රදේශවාසීහු සැක පළ කර සිටිති.මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ කෝවිඩ් ආසාදිත වූවන්ගේ තත්වය පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට කෝවිඩ් ආසාදිතයන් දක්වන මැලිකම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

(එස්. කරුණාරත්න)

ඇමැති බන්දුලගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්




පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජීකයකුට බලපෑම් කළ බවට සාවද්‍ය ප්‍රකාශයක් කිරීම පිළිබඳව අපක්‍ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (23) පැමිණිල්ලක් කළ බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (23) පැවැසීය.  දේශපාලනඥයකු ලෙස, උපනූපන් පරම්පරාව වෙනුවෙන් යුතුකම් ඉටුකර ඇති තමා වංචා සහ දූෂණවලට සම්බන්ධ නිලධාරින් කිසිසේත්ම ආරක්ෂා නොකරන බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.  සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඇමැතිවරුන් විසින් බලපෑම් කරන ලද බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු පසුගියදා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කර තිබූ බව ද අමාත්‍යවරයා කීවේය.



සිය දේශපාලන ජීවිතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පවා පරිත්‍යාග කරමින්, ජාවාරම්කරුවන් සමග සෘජුව ගැටෙමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙමින් සහ මහින්දෝදය විද්‍යාගාර ඇති කරමින් තමා වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් විශාල සේවයක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.   යහපාලන රජය රුපියල් බිලියන 28ක (කෝටි 2800) අලාබයක් සහිතව වර්තමාන රජයට උරුම කර දුන් සතොස යළිත් ගොඩ නැවීමට කටයුතු කරමින් සිටියදී බොහෝ පාර්ශව එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව ද ඇමැතිවරයා කීය.  හිටපු අධ්‍යක්ෂවරයා චෝදනා කර ඇති ආකාරයට තමා හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ යම් වංචාවක් සිදු කර ඇති නම් එය සාක්ෂි සහිතව සනාථ කිරීමට ඔහු කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.


වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශයේදී  ඊයේ (23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. 


"පාරිභෝගික කටයුතු අධිකාරිය සෘජුවම අයත් වන රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට මා කිසිසේත්ම මැදිහත්ව නෑ. තර්ජනය කිරීමට  හෝ බලපෑම් කිරීමට හෝ හිටපු අධ්‍යක්ෂවරයා හමුවී හෝ දුරකතන ඇමතුම් ලබාදීමට හෝ මා කටයුතු කර නෑ. ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මා කළ පැමිණිල්ලට අනුව අපක්ෂපාතී පරික්ෂණයක් කිරීමේ වගකීම පොලිස්පතිතුමා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙනවා. මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමේ සැඟවුණු අරමුණු හෙළි කරගැනීමට ජාතියේ හා ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද මම කියනවා." යැයි ද ඔහු කීව්වේය.


 -යොහාන් භාසුර-

නිදා සිටි යාචකයන්ට පොල්ලකින් පහරදුන් වැඩ පරික්ෂක අත්අඩංගුවට




පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට පෙරේදා (22) මධ්‍යම රාත්‍රියේ කඩා පැන එහි නිදා සිටි යාචකයන්ට පොල්ලකින් ඉවක් බවක්  නොමැතිව පහර දී ඔවුනට බරපතළ තුවාල සිදු කළ බව කියන වැඩ පරික්ෂකවරයෙක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. තුවාල ලද යාචකයන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලිසිය සඳහන් කරයි. හිසෙන් ලේ පෙරෙන තුවාල සහිතව විලාප දෙමින් පිළියන්දල  පොලිසියේ පිහිට පතා පෙරේදා රාත්‍රියේ දිව ආ පස්දෙනකුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී පොල්ලක් රැගෙන ආ පුද්ගලයකු නිදාගෙන සිටි තමන්ට ඉවක් බවක් නොමැතිව පහර දුන් බව ඔවුන් පවසා ඇතැයි පොලිසිය කියයි.  එසැනින් ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා  නිලධාරින් කිහිප දෙනකු පොදු වෙළෙඳ පොළ වෙත යවා පහර දුන්  පුද්ගලයා ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.



අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු කැස්බෑව නගර සභාවේ වැඩ පරික්ෂකවරයකු බව අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. සැකකරුගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී මෙම පිරිස කොරෝනා වයිරසය බෝ කරන එබැවින් එසේ පහර දුන් බවට ප්‍රකාශ කර ඇත.  පහර දුන් බව කියන වැඩ පරීක්ෂකවරයා මත්පැන් පානය කරමින් සිටියේ ද යන්න දැනගැනීම සඳහා පෙරේදා රාත්‍රියේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ ද මත්පැන් පානය කර නොමැති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.. සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.  පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.


  -බිමල් ශ්‍යාමන් ජයසිංහ-


කල්ක්‍රියාව හොඳනම් සතියක නිවාඩුවක්

යහපත් කල් ක්‍රියාවෙන් සිටින සහ එය ඔප්පු කර ඇති සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයන් හා ගතකර පැමිණීමට අවස්ථාව ලබාදෙන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය. හෙතෙම පෙන්වා දුන්නේ, යහපත් කල් ක්‍රියාවක් ඇති සිරකරුවන්ට මෙලෙස නිවාඩුවක් ලබාදීම සඳහා බන්ධනාගාර පනතට අනුව අමාත්‍යවරයාට බලය හිමි බවයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග වැලිකඩ බන්ධනාගාරයේදී ඊයේ (23) පැවැතී සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, බන්ධනාගාරයේ කටයුතු වඩා වේගවත්ව, ක්‍රමවත්ව හා පිළිවෙළකට, කිසිදු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබද තමන් නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවයි.

(නිදර්ශනී වික්‍රමසිංහ)

පපුවේ වේදනාවට බේත් ගන්න ආ 14 හැවිරිදි සිසුවිය කොරොනාවෙන් මරුට


හදිසි අසනීප තත්වයකින් පෙළීම නිසා පෙරේදා (22) අලුයම් කාලයේ රෝහලට ඇතුළු කෙරුණු දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගිය බව බලපිටිය මූලික  රෝහල කියයි.  මේ පාසල් ශිෂ්‍යාව වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවේදී ඇයට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වූ බවද එම රෝහල කියයි.  මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන අම්බලන්ගොඩ, හල්වතුර, විලේගොඩ පදිංචි දාහතර හැවිරිදි කේ.එල්. සඳමිණි නෙත්සරණි යන ශිෂ්‍යාවය.


ඇය පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව නිසා පෙරේදා (22) අලුයම 12.05ට රෝහලට ඇතුළත් කළ බවත් ඇය එදින අලුයම 1.05ට මියගිය බවත් බලපිටිය රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.  මියගිය ශිෂ්‍යාව පිළිබඳ මරණ පරික්ෂණය බලපිටිය මූලික රෝහල් හදිසි මරණ පරික්ෂිකා කේ. වගාඅරච්චි මහත්මිය (22) බලපිටිය මූලික රෝහලේ දී සිදුකිරිමට නියමිතව තිබුණි.


 -එම්. සුසිල් ප්‍රියන්ත-


Thursday, September 23, 2021

වෙනස මේ දිනවල මා තදින්ම විශ්වාස කරන වචනය

වසරක ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී තමන් ක්‍රීඩාකළ කොළඹ ක්‍රිකට් සමාජයෙන් (සී.සී.සී.) ඉවත් වී, සිංහල ක්‍රිකට් සමාජය (එස්.එස්.සී.) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත. ඒ බව තහවුරු කරමින් කුසල් ඊයේ (22දා) සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ, 'වෙනස' මේ දිනවල මා තදින්ම විශ්වාස කරන වචනය බවත්, එස්.එස්.සී. තම සිහින නැවත ලිවීමට ධෛර්යයක් ලබා දෙනු ඇති බවත්ය. ඒ අනුව 2015 වසරේ සිට වසර 06කට. ආසන්න කාලයක් සී.සී.සී. වෙනුවෙන් ක්‍රීඩාකළ මෙන්ඩිස්ගේ ක්‍රීඩා දිවිය ඉන් නවතිනු ඇති අතර, එස්.එස්.සී. සමගින් ඔහු අලුත් ගමනක් ආරම්භ කරනු ඇත. මේ වනවිට කුසල් පළමුපෙළ තරග 75(ඉනිම් 138)කට ක්‍රීඩාකර ඇති අතර, එහිදී ලකුණු 4,946ක් රැස්කර ඇත. නොදැවී රැස්කළ ලකුණු 200 ඉහළම ඉනිම වන අතර, ඔහු පළමුපෙළ ශතක 12කට හා අර්ධ ශතක 18කට හිමිකම්කියයි. කුසන්ගේ පළමු පෙළ ඉනිමක සාමාන්‍ය වන්නේ 37.75කි.වත්මන් එස්.සී.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලිණ කණ්ඩම්බි මහතා කටයුතු කරන අතර,එම ක්‍රීඩා සමාජ ක්‍රිකට් කමිටු ප්‍රධානියා වන්නේ මහේල ජයවර්ධන මහතාය.කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් තිදෙනා පසුගිය ජුනි මාසයේ පැවති එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව ආරක්‍ෂිත බුබුලේ නීති උල්ලංඝනය කිරීමේ වරදකට හසුවූ අතර, ඒ හේතුවෙන් එම තිදෙනාටම වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් සහ මාස 06ක දේශීය ක්‍රිකට් තරග තහනමක් පැනවුණි. කෙසේ නමුත් එම තිදෙනාටම එළඹෙන අතර්සමාජ ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

(විශ්ව මුදියන්සේ)

හඳුනා ගැනීමේ පෙරට්ටු ඔන්ලයින් ඔස්සේ සිදු කිරීම කුලියාපිටියෙන් අරඹයි

 කෝවිඩ් අවදානමද සහිතව බන්ධනාගාරවල පවත්නා තදබදය හේතුවෙන් හදුනා ගැනීමේ පෙරෙට්ටු පවත්වාගත නොහැකිව දිර්ඝ කලක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් බන්ධනාගාරයේ සිට ඔන්ලයින් තාක්‍ෂණික ක්‍රමෝපායන් භාවිත කරමින් සාක්ෂිකරුවන්ට විද්‍යුත් තිර ඔස්සේ දර්ශනය වීමට සළස්වා අදාළ නඩු විභාග පැවැත්වීම දිවයිනේ ප්‍රථම වරට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේදී පෙරේදා (21දා) ආරම්භ කෙරිණි.කුලියාපිටිය අධිකරණ බල ප්‍රදේශයේ පොලීසි කිහිපයකම සැකකරුවන් එස් හදුනා ගැනීමේ පෙරෙට්ටු පවත්වා ගැනීමට නොහැකිව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.ඊට කදිම විසදුමක් ලෙස අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ එම පෙරෙට්ටු පැවැත්වීමට අධිකරණ සේවා කොමිසමේ අනුමැතියද සහිතව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය එසේ පියවර ගෙන තිබිණි. සැකකරුවන් ඉදිරිපත් කිරිමේදී බන්ධනාගාරයේ කැමරාවක් ඉදිරියේ අදාළ සැකකරුවා සමගින් ඊට අවශ්‍ය පිරි සාක්ෂිකරුට දර්ශනය කිරීමට ඉඩප්‍රස්තාව සලසා දී ඇති අතර එක් එක් පුද්ගලයාගේ සමීප රූපද සාමාන්‍ය පෙරට්ටුවක පරිද්දෙන් තිරයේ දර්ශනය වීමට සලස්වා පාර්ශව දෙකටම සාධාරණය ඉටුකිරීමේ අරමුණින් එසේ විදපුත් සජීව හඳුනා ගැනීමේ පෙරට්ටු පවත්වන බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.


එන්නත් විෂමතාව ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් එන්නත් නිෂ්පාදකයන්ට චෝදනා

ලොව තුළ පවතින එන්නත් විෂමතාව සම්බන්ධයෙන් එන්නත් නිෂ්පාදකයන් වගකිව යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සවිධානය පවසයි. සිය නවතම වාර්තාවක් හරහා ඔවුන් මේ බව පවසා තිබේ. ඒ අනුව ලොව පිහිටි ප්‍රමුඛ පෙළේ එන්නත් නිෂ්පාදන සමාගම් හයක් මගින් සිදුකළ කටයුතු හේතුවෙන් අද වනවිට පෙරනොවූ විරූ මානව අයිතිවාසිකම් අර්බුදයක් නිර්මාණය වී තිබෙන බවත් ඔවුන් චෝදනා කරයි. විශේෂයෙන්ම මෙම එන්නත් නිෂ්පාදන සමාගම් සිය බුද්ධිමය දේපළ හිමිකම් නිදහස් නොකිරීමට තීරණය කිරීමක් සිය එන්නත් නිෂ්පාදන තාක්ෂණය හුවමාරු කරගැනීමට උනන්දු නොවීමත් යන කාරණා මූලිකවම හේතු වී ඇතැයිද ජාත්‍යන්තර මා සංවිධානය සිය වාර්තාවක් මගින් සදහත්කර තිබේ. A Double Dose of Inequality ලෙස මෙම වාර්තාව නම් කර තිබේ. ඒ අනුව AstraZeneca, BioNTech, Johnson and Johnson, Moderna, Novavax සහ Pfizer යන සමාගම් වෙත ඔවුන් මෙහිදී චෝදනා කර සිටියි. මෙම සමාගම් පොහොසත්ව ල පදවලට නටමින්, ඔවුන් සමග ගනුදෙනු සිදුකරනවා.” යනුවෙන් එහි සඳහන් වෙයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර මා සවිධානයේ මහලේකම් ඇග්නස් කෝල්මාර්ඩ්," ලෝකයම එන්නත්කරණයට ලක්කිරීම මේ අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගයයි.” යනුවෙන් පවසා තිබේ.

අද ලෝකය වෙත ඉක්මනින්ම එන්නත් නිර්මාණය කරමින් මේ සමාගම් වීරයන් බවට පත්වෙලා. ඒත් මේ තමයි එම සමාගම් හෙළා දකින්න හොදම වෙලාව. මොකද ඔවුන් තමන්ගේ දැනුම හුවමාරු කරන්න අකමැති වෙලා තිබෙනවා. ඒවගේම ඔවුන් පොහොසත් රටවල වුවමනා එපාකම්වලට කටයුතු කරනවා. එහි ප්‍රතිඵලය තවත් බොහෝ දෙනෙකුට එන්නත් පිළිබද දරුණු තත්වයකට මුහුණ දෙන්න සිදුවීමයි." යනුවෙන්ද ඇය සදහන්කර තිබේ.මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මගින් මෙම සමාගම් හයෙහි මානව හිමිකම් ප්‍රතිපත්තිය, එන්නත් මිලකරණ යාන්ත්‍රය, බුදමය දේපළ පිළිබද වාර්තා, තාක්ෂණිය හුවමාරු කරගැනීමේ අවස්ථා මෙන්ම එන්නතා නිකුත්කිරීමේ සාධාරණ බව සහ විනිවිදභාවය පිළිබදවද විණයක් සිදුකර ඇතැයිද පවසයි.ඒ අනුව මෙම එකිනෙකට වෙනස් එන්නත් නිෂ්පාදකයන් සිය මානව හිමිකම් වගකීම් සරා කිරීමට අපොහොසත්ව ඇති බවද ජාත්‍යන්තර ක්ෂමා සවිධානය සඳහන් කරයි. "දැනටමත් ලොව පුරා බෙදාහැර ඇති එන්නත් මාත්‍රා බිලියන 5.76න් අඩු ආදායම් ලාභී රටවල් වෙත ගොස් තිබෙන්නේ 0.3%ක් පමණයි. ඒත් ඉහළ මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන රටවලට 79%කට වැඩි ප්‍රතිශතයක් ලැබිලා.” යනුවෙන්ද එම සංවිධානය පවසයි.


කොවිඩ් ඒන්නත් නොගත් බ්‍රසීල ජනපතිට විශේෂ අවසරයක්



නිව්යෝක්හිදීය (රොයිටර්) 



කොවිඩ් 19 වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා නොගත් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානො ඇමෙරිකාවට පැමිණ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූයේ විශේෂ අවසරයක් යටතේය.  මෙවර 76 වැනි මහා මණ්ඩල සැසියේ පළමු දේශනය ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වී තිබුණේ ද බ්‍රසීල ජනාධිපති  බොල්සරානෝටය. නිව්යෝක් නුවරට පැමිණෙන සියලු දෙනා කොවිඩ් 19 වයිරසයට එරෙහිව එන්නත් ලබා ගෙන තිබීම අනිවාර්ය වන අතර, නිව්යෝක් නුවරට පැමිණෙද්දී එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වෙයි. කෙසේ නමුත්, මහා මණ්ඩල සැසියට  සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට පැමිණෙන රාජ්‍ය නායකයන් එන්නත් ලබාගෙන තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් නොකිරීමට තීරණය කර තිබේ. 


ඒ, රාජ්‍ය  නායකයන්ට කරන ගෞරවයක් වශයෙනි. ඒ අනුව රාජ්‍ය නායකයන්ට විශේෂ අවසරයක් හිමි වෙයි.  එසේ විශේෂ අවසරයක් හිමිවුවත්, එන්නත් ලබා  නොගත් රාජ්‍ය නායකයන්ට සීමා පැනවීම් සිදුවෙයි. ඔවුන්ට සෙසු රාජ්‍ය නායකයන් මුහුණට මුහුණ හමුවීම කළ නොහැකිය. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානො එන්නත ලබා ගැනීම මුලසිටම ප්‍රතික්‍ෂේප කළ අයෙකි. ඔහු කොවිඩ් 19 වයිරසය ආසාදිතයකු ද විය. ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ නොපැළදීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට අවස්ථා කීපයකදී දඩ කෑමට ද සිදුවිය.  තමන් එන්නත ප්‍රතික්‍ෂේප කළත්, මේ  වනවිට බ්‍රසීල වැසියන්ට එන්නත් ලබා දීම  සිදුවන බවත්, බ්‍රසීල ආර්ථිකය යළි පණ  ගැන්වීමට තමන් පියවර ගන්නා බවත් බොල්සරානො සිය දේශනයේ දී පැහැදිලි කළේය. ඊට අමතරව පරිසරය සුරැකීම  වෙනුවෙන් පවතින නීතිවලට අනුව කටයුතු කරන බවත්, අනවසර වන විනාශ නැවැත්වීමට පියවර ගන්නා බවත් මහා මණ්ඩල සැසිය අමතමින් බ්‍රසීල ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මවගේ දානයට යද්දී මාඔයට වැටුණු රියදුරු පාසල් උපදේශකගේ සිරුර හමුවෙයි

 


සිය මවගේ හත්දින දාන පින්කමට සහභාගිවීමට යමින් සිටියදී පසුගිය (16) වැනිදා දහවල් මදුරුපිටිය මාඔයේ සපත්තු පාලමේදී සැඩ පහරට අසුව ගසාගෙන ගිය රියැදුරු උපදේශකවයාගේ දේහය පෙරේදා (20) පස්වරුවේ ගිරිඋල්ල පාලම ආසන්නයේ උණපඳුරක රැදී තිබියදී හමුවූ බව මීරිගම පොලිසිය කියයි.  මෙසේ මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්‍රදේශයේ රියැදුරු පාසලක අධිපතිවරයා වූ අඹේපුස්ස, මොට්ටෑවවත්තේ විසූ ඒ. අමරසිංහ 60 නමැති තිදරු පියෙකි. සොයා ගැනුණු මලසිරුර බෙහෙවින් නරක් වී ඇති බවද එහි කොටස් සතුන් විසින් කා දමා ඇති බවද පොලිසිය කියයි.  ඔහු පසුගිය 16 වැනිදා දහවල් මීරිගම ප්‍රදේශයේ සිට අලව්ව තල්වත්ත ප්‍රදේශයට යමින් සිටියදී මෙසේ සැඩ පහරට අසුව ගසාගෙන යාමෙන් අතුරුදන්ව සිටියේය. රියැදුරු උපදේශකවරයා මෙම අනතුරට පත්ව ඇත්තේ සපත්තු පාලමේ අඩියක් පමණ ඉහළින් ජලකඳ වසා තිබෙන අවස්ථාවේ පාලමෙන් එගොඩ වීමට උත්සාහ ගත් අවස්ථාවේදී බව පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබිණි.



ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා හා යතුරුපැදිය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් යොදවා පරික්ෂණ පැවැත් වූ අතර අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තිබී යතුරුපැදි දෙකක් පසුගිය 18 සවස සොයා ගනු ලැබීය. ඉන් එක් පැදියක් අතුරුදන් අය ගමන් කළ බව හෙළිවී ඇත. අනෙක් යතුරුපැදිය පෙර අවස්ථාවකදී අනතුරට පත්වූ අයෙකුගේ එකක් බවට පොලිසිය සැක කරයි.  ගොඩ ගැනුණු දේහය වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය.



 -පුෂ්පකුමාර  මල්ලවආරච්චි-