ශ්රීනාත් ප්රසන්න ජයසූරිය
වැලිගම ප්රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඔහුගේ බිරිදදරුවන් සහ එම හෝටල් හිමිකරුගේ සහෝදරයන් ඇතුළු අටදෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටියේ යැයි කියන පුද්ගලයකු පෙරේදා සවස සැකපිට අත්අඩංගුවට ගත් අතර එම සැකකරුට ඒ සදහා රුපියල් ලක්ෂ පහමාරක මුදලක් දීමට දකුණේ පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ආමි චූටි නමැත්තා පොරොන්දු වී සිටි බවට පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගේ බිරිඳ මැද පෙරදිග රටක ගෘහ සේවයට ගොස් සිටින අතර එම රටේ දුක් විඳින නිසා ඇය මෙරටට ගෙන්වා ගැනීමට ලක්ෂ පහමාරක මුදලක් අවශ්ය වී තිබී ඇති අතර එම මුදල සොයා ගැනීම සඳහා ඔහු මෙම ඝාතන වැල සිදුකිරීමට හවුල් වීමට තීරණය කර ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (24) පැවසීය.
මෙම පුද්ගලයා සිය බිරිඳ මේ රටට ගෙන්වා ගැනීමට ලක්ෂ පහමාරක මුදලක් හොයා ගැනීමට උත්සාහ කරන බවට ඔහුගේ හිතවතකුට දැන ගැනීමට ලැබී ඇතැයි කියති.සැකකාර පුද්ගලයාගේ හිතවතා ඔහුට මෙම මුදල ලෙහෙසියෙන්ම සොයා ගැනීමට ඇති මඟ කියා දී ඩුබායි රටේ සැඟවී සිටින ආමි චූටි නමැත්තා දුරකතනයෙන් සම්බන්ධ කර දී තිබෙන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.මැද පෙරදිග රටක දුක් විඳින බව කියන බිරිඳ මුදා ගැනීමට මුදල් සොයා ගැනීමට වෙනත් මගක් නොතිබූ නිසා ඔහු හෝටල් හිමිකරු ඇතුළු ඔහුගේ පවුලේ අටදෙනා ඝාතනය කිරීම සඳහා හවුල්වීමට තීරණය කර ඇති බවද පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙම පුද්ගලයාගෙන් ප්රශ්න කිරීමේදී ඔහු මෙම තොරතුරු අනාවරණය කර ඇති බවද පොලිසිය කියයි. මොහු ධීවර කර්මාන්තයේ නිරතව සිටින අයෙකි.අත්අඩංගුවට ගත් මෙම සැකකාර පුද්ගලයා දින හතක කාලයක් සඳහා වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.වැලිගම මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි මහතාට ලැබුණු තොරතුරක් මත ධීවර කර්මාන්තයේ යෙදී සිටින මෙම පුද්ගලයා පෙරේදා (23) සවස අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 2400ක් ද සමග ඉබ්බාවල ප්රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් ප්රශ්න කිරීමේදී හෙළි කර ගත් තොරතුරු මත ඔහු පදිංචිව සිටින මිදිගම කපුවත්ත ප්රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබියදී විදේශීය නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් එම ජීව උණ්ඩ හයක්, ටී පනස් හය වර්ගයේ මැගසින් එකක් එම ජීව උණ්ඩ දාහතරක් හා විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද පෙරේදා පොලිසිය විසින් සොයාගනු ලැබ තිබිණි.
දකුණු පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ වැලිගම වැඩ බලන මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි මහතා ප්රධාන පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.
වැලිගම ප්රදේශයේ පිහිටි හෝටලයක අයිතිකරුවකු ඔහුගේ බිරිඳ දරුවන් සහෝදරයන් ඇතුළු පවුලේ අට දෙනකු වෙඩි තබා බෝම්බ ගසා ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බව කියන පුද්ගලයකු ගැන බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට තොරතුරක් ලැබී ඇත.
ලැබුණු එම තොරතුර අනුව සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා එම කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් සමග තංගල්ල ප්රදේශයට ගොස් නිවසක් වටලා යුද හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළකු ටී 56 වර්ගයේ ස්වයංක්රීය ගිනි අවියක් එම ජීව උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සහ විදේශීය නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් ද සමග ඉකුත් 19 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ එම නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනකු පලාගොස් තිබූ අතර ඉබ්බාවල ප්රදේශයේදී පෙරේදා වැලිගම මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ එදින පලා ගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු බව පොලිසිය කියයි.
අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහාද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. හෝටල් හිමිකරු ඇතුළු ඔහුගේ පවුලේ අටදෙනා වෙඩි තබා බෝම්බ ගසා ඝාතනය කිරීමේ සැලැස්ම ක්රියාත්මක කිරීම බාරගෙන සිටි බව කියමින් යුද හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළා අත්අඩංගුවට ගැනීමේ 19 වැනිදා මෙහෙයුමට බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර, පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ, පොලිස් පරීක්ෂක කැළුම් බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන කවීෂ (76641), ගයාන් (7793), බුද්ධික (76770), පොලිස් කොස්තාපල්වරුන් වන අරවින්ද (88617), අබේනායක (88753), මනෝජ් (82728), ලක්මාල් (3780), චරිත,(15123), ධනංජය (96540) සහ පීරිස් (80782) යන මහත්වරුන් හවුල් වී ඇත.