Showing posts with label International G 7. Show all posts
Showing posts with label International G 7. Show all posts

Thursday, February 29, 2024

රජීව් ඝාතනයට සිරදඬුවම් ලැබ නිදහස් වූ සාන්තන් මිය යයි


ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාව යටතේ දශක තුනකට අධික කාලයක් එරට බන්ධනාගාරගතව සිට 2022 වසරේදී නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වන ටී සුතෙන්ද්‍රරාජා හෙවත් සාන්තන් චෙන්නායි නුවර රජිව් ගාන්ධි රජයේ රොහලේදී ඊයේ (28දා) අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි. මෙම මාසය මුලදී අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සාන්තන් මෙලෙස රෝහල් ගත කර තිබී ඇත. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් මෙම මරණයට හේතුව ලෙස අනාවරණය වී තිබේ.

56 හැවිරිදි සාන්තන් ඇතුළුව මෙම ඝාතන චෝදනාවට ලක්වූ 7 දෙනෙකු 2022 වසරේදී නිදහස ලැබූ නමුත්, සාන්තන් සහ තවත් අයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමේ බාධා පැවතුණි. ඒ අනුව ඔවුන් ට්‍රිහි කඳවුරක රඳවා තබා තිබුණි.

මේ කාලයේදී සාන්තන්ගේ මවද ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව ඉන්දියානු විදේශීය කලාප ලියාපදිංචි කාර්යාලය පසුගිය සතියේදී කඩිනමින්ම ඔහුව ලංකාවට ආපසු එවීම සඳහා අවසර ලබාදී තිබුණි. 

සාන්තන් අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බවත්, අවසන් කටයුතු සඳහා ඔහුගේ දේහය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු සකස් කෙරි ඇති බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසයි.

Wednesday, October 11, 2023

චීනය ‘තීරයක් සහ මාවතක් ' සදහා වන ධවල පත්‍රිකාවක් නිකුත් කරයි

චීනය සිය 'තීරයක් සහ මාවතක් වැඩසටහන පිළිබඳව ධවල පත්‍රිකාවක් නිකුත් කිරීමට ඊයේ (10දා) දිනයේදී පියවර ගත් බව වාර්තා වෙයි. එරට රාජ්‍ය කවුන්සිල සන්නිවේදන කාර්යාලය මගින් මෙම ධවල පත්‍රිකාව නිකුත් කර තිබේ. මෙය The Belt and Road Initiative - A Key Pillar of the Global Community of Shared Future ලෙස නම් කර තිබේ.

විශේෂයෙන්ම, 2013 වසරේදී දියත් කෙරුණු චීනයේ තීරයක් සහ මාවතක් වැඩසටහනේ 10වැනි සංවත්සරයට සමගාමීව එහි වටිනාකම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව වෙත වඩා හොඳ දැනුමක් ලබාදීමේ අරමුණින් මෙම ධවල පත්‍රිකාව නිකුත් කර ඇතැයි සඳහන් වෙයි. එහිදී මෙම වැඩසටහන හරහා ලොව රටවල් සහ ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ පිළිබඳව අවබෝධයක් ලබාදීම එහි අපේක්ෂාව වී ඇත.

"මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අවස්ථාවේ සිට එහි අදහස් ක්‍රියාවන් වෙතත්, දැක්ම යථාර්ථයක් බවටත් පත්වුණා. එසේම සාමාන්‍ය ක්‍රියා රාමුව වඩාත් ශක්තිමත් ව්‍යාපෘතියක් බවට පත්වුණා. මෙම ව්‍යාපෘති සියල්ලක්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ පිළිගැනීමට පවා ලක්වුණා.” යනුවෙන් මෙම ධවල පත්‍රිකාවේ සදහන් වෙයි.

චීනයේ සේද මාවත ආර්ථික තීරය සහ 21 වැනි සියවසේ සමුද්‍රීය සේද මාවත යන ව්‍යාපෘති දෙක එකට එකතු කරමින් මෙලෙස තීරයක් සහ මාවතක් වැඩසටහන චීන ජනාධිපති ෂීජින්පිංගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි.

 2022 වසර වනවිට මෙම වැඩසටහන හා සම්බන්ධ රාජ්‍යයන් අතර අපනයනය සහ ආනයන අතර සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 19.1ක් බවට පත්ව තිබේ. එය වාර්ෂිකව 6.4%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.


Tuesday, October 10, 2023

රුසියාවෙන් බංග්ලාදේශයට න්‍යෂ්ටික ඉන්ධන

බංග්ලාදේශය රුසියාවේ ආධාර ඇතිව එරට තුළ පිහිටුවන පළමු වැනි න්‍යෂ්ටික බලාගාර සදහා අවශ්‍ය ප්‍රථම යුරේනියම් ඉන්ධන තොගය පසුගියදා බංග්ලාදේශය වෙත ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව, න්‍යෂ්ටික බලය උත්පාදනය සඳහා රුසියාව සිය යුරේනියම් ඉන්ධන ලබාදෙන ලොව 33 වැනි රට බවටත් බංග්ලාදේශය පත්ව තිබේ. 

රුසියානු රජයට අයත් පරමාණුක බලශක්ති සමාගම වන Rosatom හා සහයෝගයෙන් බංග්ලාදේශය තුළ න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීම සැලසුම වී තිබේ. මෙම එක් බලාගාරයක් සඳහා වන වියදම එක්සත් ජනපද ඩොලර් ලියන 12.65කි. දැනටමත් ඉන් එක් බලාගාරයක් බංග්ලාදේශයේ රූප්පුර්හි ඉදිකර තිබේ. රුප්පූර් නගරය ඩකා අගනුවර සිට කිලෝමීටර් 200ක් ඈතින් පිහිටා ඇත. 

මෙහිදී අදාළ ව්‍යාපෘතියේ 90%ක් රුසියානු ණය ආධාර යටතේ හිමිවන අතර, එම මුදල් වසර 28ක කාලයකදී ආපසු ගෙවිය හැකිය. ඒ සඳහා වසර 10ක ණය සහන කාලයක්ද හිමිවෙයි. 

මෙලෙස බංග්ලාදේශය වෙත පළමු වැනි න්‍යෂ්ටික ඉන්ධන තොගය හමුවීමේ අවස්ථාව සනිටුහන් කිරීම සදහා පසුගියදා ඩකා අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලයේදී විශේෂ උත්සවයක්ද පැවැත්වී ඇති අතර, එම අවස්ථාව සඳහා බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසිතාද සම්බන්ධ වී තිබේ.

මෙහිදී ඇය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සජීවීව වීඩියෝ තාක්ෂණය හරහා අදහස් හුවමාරු කරගෙන ඇති අතර, මෙම න්‍යෂ්ටික ඉන්ධන ලැබුණු දිනය බංග්ලාදේශ ජනතාවට අභිමානයට සහ සතුටට පත්විය හැකි දිනයක් බවද ප්‍රකාශ කර තිබේ.

මෙලෙස රුසියාව බංග්ලාදේශය වෙත න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා වන සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරාම සාකච්ඡා පැවතියද, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලින් එල්ල වූ සම්බාධක පිළිබඳ බාධා නිසා එය පමා විය.

කෙසේ වෙතත්, පසුගිය මාසයේදී බංග්ලාදේශයේ සංචාරය කළ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව්, මෙම න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතිය නිමාකිරීම සදහා වන සහයෝගය ලබාදෙන බව සහතික වී තිබේ. 1971 වසරේදී බග්ලාදේශය නිදහස හිමිකර ගැනීමෙන් අනතුරුව එරට සංචාරය කළ පළමුවැනි රුසියානු විදේශ අමාත්‍යවරයා වන්නේද ලැව්රෝව්ය.

වාර්තා සඳහන් කරන ආකාරයට බංග්ලාදේශයේ මෙම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමේ මෙහෙයුම් සදහා මුල්ම බාධාව වී ඇත්තේ COVID-19 වසංගතයයි. එසේම, රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමග එක්සත් ජනපදය රුසියාව වෙත පැනවූ සම්බාධක හේතුවෙන් මෙම බලාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ රැගෙන බංග්ලාදේශය වෙත රැගෙන ආ නෞකාවක් එරට වරාය වෙත ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමටද බංග්ලාදේශයට සිදුවිය. 

මෙම බලාගාරයේ පළමුවැනි ඒකකය මගින් මෙගාවොට් 2,400ක සමස්ත විදුලියක් උත්පාදනය කිරීම සැලසුම වී තිබේ. මෙම බලාගාරය ලබන වසරේ ජූලි මාසයේදී සිය මෙහෙයුම් ආරම්භ කිරීම නියමිතව තිබුණත්, බංග්ලාදේශය රුසියාවෙන් ලබාගන්නා ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටලුවක් නිසා එය තවත් කල් ගොස් තිබේ.

බංග්ලාදේශය 2013 වසරේ සිට දරුණු විදුලිබල අර්බුදයකට මුහුණ දී සිටින අතර, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා ඩොලර් ගෙවීමට නොහැකිවීමේ අර්බුදයත් ඒ අතර විය.


Wednesday, September 27, 2023

පිරමීඩ ජාවාරමකට සම්බන්ධ 'Bitmama' රුසියාවේදී අත්අඩංගුවට

රුසියාව තුළ පිරමීඩ මුදල් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි වැලේරියා ෆෙඩියාකිනා නම් තරුණිය මොස්කව් නුවරදී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි. 28 හැවිරිදි වියේ පසුවන ඇය ක්‍රිප්ටෝ මුදල් ආයෝජකයන් අතර 'Bitmama’ යන අන්වර්ථ නාමයෙන්ද ප්‍රසිද්ධ තැනැත්තියකි.

මෙලෙස පිරමීඩ වංචා ආකාරයෙන් සිදුකළ ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හරහා ඇය රුසියානු රූබල් බිලියන 7ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 72කට අධික මුදලක් සිය ගනුදෙනුකරුවන්ගෙත් වංචා කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

විශේෂයෙන්ම, රුසියාවේ ක්‍රිමියානු ආක්‍රමණයත් සමගින්ම එරට බැංකු වෙත එල්ල වූ බටහිර සම්බාධක හේතුවෙන් රට තුළ මතුවූ තත්ත්වයත් සමග ඇගේ මෙම ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු රට තුළ වඩාත් ව්‍යාප්ත වන්නට විය. ඒ අනුව, ඇය රුසියානු ධනවතුන්ගේ මුදල් වෙනත් රටවල බැංකු හරහා මාරුකර වැඩි මුදලක් ලබාදෙන බවට ඇය පවසා සිටීම ඊට හේතුව විය.

ඒ සඳහා ඇය ගාස්තු ලෙස යම් කොමිස් මුදලක් ලබා ගෙන තිබේ. කෙසේ වෙතත් තම මුදල් ලබාගෙන ඇය පොරොන්දු වූ ආකාරයට කටයුතු නොකිරීමත් සමග එරට ධනවතුන්ගෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, ඇය පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුවයි. 

රුසියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඇය සේවා සපයා ඇත්තේ රුසියාවේ විශේෂිත වූ ධනවත් පාරිභෝගිකයන් පිරිසකටය. ඒ අනුව, ඇගේ දිනක ආදායම ඩොලර් මිලියන දහයකට අධික වූ බවත් පැවසෙයි. ඒ අනුව, ඇය සිදුකර ඇති වංචාව ඇ.ඩො. මිලියන 71ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. එහෙත් ඇය සිදුකර ඇති සැබෑ වංචාවේ වටිනාකම ඇ.ඩො. මිලියන 150ක් පමණ වන බව විශ්වාස කෙරේ.


Friday, September 22, 2023

අලුතින් විවෘත කෙරුණු චීනයේ පුරාවිද්‍යා කෞතුකාගාරය

චීනයේ ඉතිහාස ඇකඩමිය මගින් ස්ථාපිත කළ චීන පුරාවිද්‍යාන කෞතුකාගාරය පසුගිය සතියේදී මහජනතාව වෙත නිල වශයෙන් විවෘත කෙරුණු බව වාර්තා වෙයි. බීජිං අගනුවර උතුරුදිග පළාතේ පිහිටි මෙම කෞතුකාගාරය වරිග මීටරි 7,000ක භූමියක් පුරා පැතිරී තිබේ.

මෙම කෞතුකාගාරය තුළ වසර 5,000කට අධික කාලයක් පුරා චීන ශිෂ්ඨාචාරයන්ට අයත්ව තිබූ අතිශය වටිනා පුරාවස්තු රැසක් ප්‍රදර්ශනය කෙරෙන බව එහි බලධාරීන් සදහන් කර සිටියි. ඒ අනුව, පේලියෝලිතික යුගයේ සිට අධ්‍යතන කාලය දක්වා වූ පුරාවස්තු එහි ඇතැයි පැවසෙයි.

මෙහිදී එකිනෙකට වෙනස් තේමා පහක් අනුව වර්ග කෙරුණු ප්‍රදේශ යටතේ ප්‍රදර්ශන අයිතම 6,000කට අධික ප්‍රමාණයක් පුදර්ශනයට තබා තිබේ. විශේෂයෙන්ම, මෙම ප්‍රදර්ශන අයිතම ස්ථානගත කර ඇත්තේ ගබඩාවක ආකාරයෙන් බවත්, එය නරඹන්නන්ට වඩාත් පහසු ආකාරයක් වනු ඇතැයිද කෞතුකාගාර බලධාරීන් පවසා සිටියි.

මෙම චීන පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ ඇති ප්‍රදර්ශන අයිතම හරහා නරඹන්නන්ට චීනයේ පොහොසත් ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබදව ගැඹුරු අවබෝධයක් ලබාදීම සැලසුම වී තිබේ. මෙම පුරාවස්තු සියල්ලක්ම චීනයේ විවිධ ප්‍රදේශවල පිහිටි කැණීම් ස්ථානවලදී මතුකරගත් පුරාවස්තු වෙයි.

සෑම සතියේ දිනකම අඟහරුවාදා සිට ඉරිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 4.30 දක්වා මෙම කෞතුකාගාරය විවෘතව තිබේ. ඒ අතරින් අගහරුවාදා දිනය කණ්ඩායම් ලෙස පැමිණෙන නරඹන්නන් සදහා වෙන් වී ඇති අතර, බදාදා සිට ඉරිදා දක්වා පමණක් මහජනතාවට විවෘත කෙරි ඇත.  එසේම පැමිණෙන සෑම නරඹන්නෙකුම ඊට පෙර වේලාවක් වෙන් කරගත යුතුව ඇතැයිද කෞතුකාගාර බලධාරීන් පවසයි. 

කෞතුකාගාරය විවෘත කෙරුණු පළමු වැනි සතියේදී පමණක් වැඩිමනක් චීන තරුණ තරුණියන් එය නැරඹීමට පැමිණි බවත් සදහන් වෙයි. එහිදී පුරාවස්තුවල ඡායාරූප ගැනීමටද මෙම පැමිණෙන නරඹන්නන්ට අවස්ථාව සලසා දී තිබේ. 


"පොහොසතුන්ගෙන් වැඩියෙන් බදු අය කරගෙන දුප්පතුන් ආරක්ෂා කරගන්න"

පාකිස්තානය එරට පොහොසතුන්ගෙන් වැඩියෙන් බදු අය කරගෙන දුප්පතුන් ආරක්ෂා කිරීමක් වෙත යොමුවිය යුතු යැයි යළි යළිත් අවධාරණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

මේ දිනවල එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අතරවාරයේදී පාකිස්තාන අගමැති අන්වාරුල් හක් කාකාර් හා පැවති හමුවකදී ඇය මේ බව සඳහන් කර තිබේ. විශේෂයෙන්ම, පාකිස්තාන ජනතාව සිය රට සම්බන්ධයෙන් දැකීමට බලාපොරොත්තු වන කාරණාවද මෙය බව තමන්ට විශ්වාස යැයි ඇය මෙහිදී අගමැතිවරයා වෙත පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය ජූලි මාසයේදී පාකිස්තානය වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක ණය මුදලක් එකගතාවක් අනුමත කළ අතර, ඒ යටතේ පළමු වැනි ණය වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2ක් නිකුත් කෙරිණි. එහිදී එම අරමුදල මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් එකඟාවට පත්වීමට පාකිස්තානය කටයුතු කළ යුතු බව සදහන් කෙරී තිබේ.

පසුගිය කාලසීමාවේදී පාකිස්තානය දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් රට තුළ උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යාම සිදුවිය. ඒ අනුව, පාකිස්තානයේ විදේශ සංචිතය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම මුදල් ලබාදීම සිදුවිය.

"අපි අපගේ වැඩසටහන මගින් කියන්නේ පොහොසතුන්ගෙන් වැඩි වැඩියෙන් බදු අය කරගන්න කියලයි. ඒ වගේම, කරුණාකරලා පාකිස්තානයේ දුප්පතුන් ආරක්ෂා කරගන්න කියලයි.” කළමනාකාර අධ්‍යක්ෂවරිය පවසා තිබේ.

මෙම හමුවෙන් අනතුරුව සිය X (මීට පෙර ට්විටර්) ගිණුමේ සටහනක් තබා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා, පාකිස්තාන අගමැතිවරයා සමග ස්ථායීබව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් ප්‍රතිපත්ති, තිරසාරත්වය සහ සියල්ල එක්වූ සංවර්ධනය මෙන්ම, ආදායම් රැස් කරගැනීමේ මූලිකතා සහ පාකිස්තානය තුළ වඩාත් අවදානමට ලක්වූ පිරිස් ආරක්ෂා කිරීම යනාදිය පිළිබදව එකගතාවකට පැමිණීමට හැකිවූ බව පවසා තිබේ.


Wednesday, September 20, 2023

X පරිශීලකයන්ට මාසික ගාස්තුවක්?

ලොව වඩාත් ජනප්‍රිය කෙටි පණිවුඩ වැඩසටහනක් ලෙස සැලකෙන X (මීට පෙර Twitter) හි පරිශීලකයන්ගෙන් මාසිකව ඉතාමත් සුළු ගාස්තුවක් අය කිරීමට සිදුවනු ඇතැයි එහි වත්මන් හිමිකරුවා වන එලෝන් මස්ක් පවසයි. විශේෂයෙන්ම X සතුව ඇතැයි පැවසෙන දහස් ගණනක් වන ව්‍යාජ පරිශීලකයන් (bots) ඉවත් කිරීම සදහා එය වැදගත් වන බවත් ඔහු සඳහන් කර සිටියි.

“X වැඩසටහන භාවිත කරන්නන්ගෙන් මාසිකව ඉතාමත් සුළු ගාස්තුවක් අය කිරීමට අපට සිදු වේවි. එය තමයි, අපිට ඉතාමත් විශාල මේ bot හමුදාවන් සමග සටන් කරන්නට තියෙන එකම මාර්ගය. මොකද එක ගිණුමකින් ශතයක් කියන්නේ මේ වගේ ව්‍යාජ ගිණුමකට එය දහගුණයක් වගේ. ඒ නිසා යමෙකුට X සඳහා සුළු ගෙවීමක් සිදු කරන්න වුණත්, එය bot වැඩසටහනක් සදහා ඉතාමත් ඉහළ වියදමක් වේවි.” යනුවෙන් මස්ක් පවසා ඇත.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මස්ක් එක්සත් ජනපද ඩොලර් බිලියන 44කට Twitter මිලදී ගත් අතර, පසුව මේ වසරේ ජූලි මාසයේදී එය X ලෙස වෙනස් කළේය.


Tuesday, September 19, 2023

මිනිසුන් තිදෙනෙක් කිලෝමීටර් 6ක් සාගර පතුලට යැවෙන ඉන්දියාවේ 'සමුද්‍රයාන්' මෙහෙයුම

චන්ද්‍රයා වෙත රෝවරයක් යැවීමට සිදුකළ 'චන්ද්‍රයාන්' මෙහෙයුම සහ සූර්යයා පිළිබඳ ගවේෂණය සදහා සිදුකළ ‛ආදිත්‍ය LI' මෙහෙයුමෙන් අනතුරුව ඉන්දියාව සාගර පතුලේ කිලෝමීටර් 6ක දුරක් ගවේෂණය සඳහා නවතම මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී, නවීන තාක්ෂණයෙන් සමන්විත කිමිදුම් යාත්‍රාවක් (submersible) යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදුකිරීම සැලසුම වී තිබේ. එම යාත්‍රාව මත්ස්‍ය 6000 (MATSYA 6000) ලෙස නම් කෙරී තිබේ. ඉන්දියාවේ පෘථිවි විද්‍යාව පිළිබඳ අමාත්‍යවරයා වන කිරෙන් ඊජිජු පසුගියදා මෙම මෙහෙයුම පිළිබඳව අනාවරණය කර තිබේ.

"මෙම සමුද්‍රයාන් මෙහෙයුම ඉන්දියාව සිදුකරන පළමුවැනි මිනිසුන් සහිත සාගර පතුල් මෙහෙයුමයි. මෙහිදී, සාගර පතුලේ කිමිදිය හැකි යාත්‍රාවක් යොදා ගනිමින් මිනිසුන් තුන් දෙනෙකු කිලෝමීටර් 6ක් සාගර පතුල වෙත රැගෙන යාම සැලසුමයි.” ඔහු පවසා ඇත.

ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි සාගර තාක්ෂණය පිළිබද ජාතික ආයතනය මගින් මෙම කිමිදුම් යාත්‍රාව නිර්මාණය කර තිබේ. එක්වරකට පුද්ගලයන් තිදෙනෙකු රැගෙන යාහැකි ලෙස එය සකස් කර ඇතැයි පැවසෙයි. මෙම 'සමුද්‍රයාන් මෙහෙයුම හරහා සාගර පතුලේ ඇති සම්පත් පිළිබඳ සුවිශේෂී අධ්‍යයනයක් සිදුකිරීම සහ සාමුද්‍රීය ජෛවවිවිධත්වය පිළිබඳ ඇස්තමේන්තුවක් ලබාගැනීම අරමුණ බව ඉන්දියාව සඳහන් කරයි.

විශේෂයෙන්ම, මෙම 'සමුද්‍රයාන් මෙහෙයුම හරහා ඉන්දියාව අතිරේක ආර්ථිකමය වාසියක් ලබා ගැනීමත් අපේක්ෂාව වී තිබේ. එහිදී ඉන්දියාවේ 'නීල ආර්ථිකය’ වෙත මෙම මෙහෙයුම දායක කරගැනීම අරමුණ බව පැවසෙයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා ඉන්දියාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් සාගර සම්පත් තිරසාරව යොදාගැනීම සහ ඒ හරහා රැකියා උත්පාදනයත් සැලසුම වී තිබේ. එසේම සාගරික පරිසර පද්ධතීන්හි සෞඛ්‍ය සුරක්ෂිත කිරීමත් තවත් අදහසකි.


Tuesday, September 5, 2023

ඉතාලි සමාගමක් සිය චීස් නිෂ්පාදන මත මයික්‍රො චිප තැන්පත් කරයි

ඉතාලියේ එලියා-රොමඥනා පළාතේ පිහිටි චීස් නිෂ්පාදන සමාගමක් වන පාර්මීගිආනෝ රෙග්ගිආනෝ (Parmigiano Reggiano) නම් සමාගමක් තම චීස් නිෂ්පාදන මත කුඩා මයික්‍රොචිපයක් තැන්පත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, චීස් නිෂ්පාදන මත මෙවැනි ආකාරයේ මයික්‍රොචිපයක් සටහන් කෙරුණු පළමුවැනි අවස්ථාව ලෙසත් මෙය සැලකෙන අතර, මෙය එම සමාගමේ නිෂ්පාදන හා සමානව එහෙත් ගුණාත්මක බවින් බාල ලෙස නිපදවන චීස් නිෂ්පාදන හදුනාගැනීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන්නකි. 

Parmigiano Reggiano සමාගම මගින් නිපදවන මෙම චීස් අද වනවිට ලොව වැඩිම වටිනාකමක් ගන්නා චීස් නිෂ්පාදන ලෙසින්ද සැසැලකෙයි. එසේම අද වනවිට එම නිෂ්පාදන හා සමාන ව්‍යාජ නිෂ්පාදනද වැඩි වශයෙන් වෙළෙඳ පොළට පැමිණ තිබෙන අතර, මේ හේතුවෙන් චීස් කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම ඩොලර් බිලියන 2ක් පමණ වන බව පැවසෙයි.

එම සමාගම සදහන් කරන ආකාරයට මෙම ව්‍යාජ චීස් නිෂ්පාදන අඩු මිල අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන ඒවා වෙයි. මේ හේතුවෙන් සැබෑ චීස් නිෂ්පාදන මෙන් මේවායේ ගුණාත්මකභාවය නිසි ලෙස පවත්වා ගැනීමක්ද නොමැත. මෙය පාරිභෝගිකයන් තුළ සෞඛ්‍ය අවදානම් ඇති කරවන බවත්, ඊට අමතරව සැබෑම Parmigiano Reggiano චීස් නිපදවන සමාගම වෙත එය ආර්ථිකමය පාඩු සිදුකරන බවත් පවසයි.

ඒ අනුව, මෙම එක හා සමාන නිෂ්පාදනවලට එරෙහිව සටන් කිරීම සඳහා නව තාක්ෂණයක් අත්හදා බැලීමට Parmigiano Reggiano සමාගම් සමූහය වසර කිහිපයකට පෙර පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සිය චීස් නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට පාරිභෝගිකයන්ගේ නිවෙස් දක්වා යන ගමනේදී ඒවා හඳුනාගැනීම සදහා මෙලෙස මයික්‍රොචිප් යොදා ගැනීමට තීරණය කෙරී තිබේ.

මෙම මයික්‍රොචිපයට පින්සිදු වන්නට දැන් ඔවුන් නිපදවන චීස්රෝදයක් මත ඇති කේතය කියැවීම මගින් එම චීස් නිපදවූ ස්ථානය, මාසය සහ වසර පිළිබඳව දත්ත ලබාගත හැකිය.

මෙම චිප් මාදිලිය p-Chip ලෙසින් හැඳින්වෙයි. ඒවා ඉතාමත් කුඩා වන අතර, එහි ද්විමාන (2D) කේතයක්, QR කේතයක් හෝ දත්ත-ආකෘතික(data- matrix) කේතයක් සටහන් කෙරී ඇත. මෙහිදී p-Chips තුළ ඇති අදාළ කේතයේ පිහිටා ඇති Casein Labels මගින් දත්ත හදුනාගැනීම සඳහා බ්ලොක්වේන් තාක්ෂණයක් යොදාගන්නා අතර, ඉන් සැබෑ වස්තුවේ ඩිජිටල් පිටපතක් නිර්මාණය කරයි. ඒ අනුව, එය ස්කෑන් කිරීම හරහා එම චීස් පැමිණියේ කොතැන සිටද යන්න හදුනාගත හැකිය.

පසුගිය වසර තුළදී පමණක් Parmigiano Reggiano සමාගම නිපද වූ මෙවැනි චීස්රෝද ලක්ෂයකට ආසන්ත සංඛ්‍යාවත් සඳහා මෙම ඩිජිටල් චිප යොදා තිබේ. මෙහි සාර්ථකත්වයත් සමග අනාගතයේදී තම සියලුම චීස් නිෂ්පාදන වෙත මෙම තාක්ෂණය යොදා ගැනීමටද එම සමාගම තීරණයකර තිබේ.

Parmigiano Reggiano සමාගම යනු ඉතාලියේ වඩාත් සුප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන සමාගමක් වන අතර, 2022 වසරේදී පමණක් එම සමාගම අලෙවි කළ චීස්වල වටිනාකම ඩොලර් බිලියන 3.1කි. එම සමාගම නිපදවන කිලෝග්‍රෑම් 1ක චීස්රෝදයක වටිනාකම පවුම් 50 සිට 100ක් (රුපියල් 20,000 සිට 40,000ක්) දක්වා වෙයි. මේ අතර තම නිෂ්පාදන හා සමානවම නිපදවන චීස් අලෙවි කරන වෙළෙඳ පොළෙහි වටිනාකමද ඩොලර් බිලියන 2ක් පමණ වන බවත් එම සමාගම පවසයි.


Thursday, August 31, 2023

පුනරුප්පත්තිය හරි : මරණයෙන් පසු ජීවයක් තිබෙන බවට තහවුරුයි

මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000ක් පමණ අධ්‍යයනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ජෙෆ්රි ලෝන්ග් පවසා ඇත.

ජෙෆ්රි ලෝන්ග් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පරේක්ෂණ පදනමේ නිර්මාතෘවරයා ද වේ.

තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදු කළ අධ්‍යයන වලින් හමු වූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කර ඇත.

තමන් අධ්‍යයනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම් ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් ඔවුන් පැවැසූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් පවසා ඇත.

එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බව ද ඔවුන් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.

එම දීප්තිමත් එළිය අබියස සිට මියගිය ආදරණීයයන් සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුණු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

                                                                                                                   විමුක්ති එස්. රුද්‍රිගු


සිරුර පුරා පැතිරුණු පිළිකාව නිසා රූපරාජිනී සිහිනය බොද නොකරගත් සිව්දරු මවක්

සිංගප්පූරුවේ වෙසෙන 36 හැවිරිදි ඇලිසන් වී යනු සිරුර පුරාම පැතිරුණු පිළිකාවක් හේතුවෙන් පීඩා විඳින සිව්දරු මවකි. වයස අවුරුදු 2ත් 10ත් අතර වයසේ පසුවන එම දරුවන් බලා කියා ගන්නා අතරතුරදීම සිංගප්පූරු චයිනා ටවුන් ව්වාහක රූ රැජින 2022 තරගාවලිය වෙත සහභාගි වීම ඇගේ සිහිනය විය. 

එහෙත් පසුගිය වසරේදී ඇය පිළිකා රෝගියෙකු බවට හඳුනා ගැනීමත් සමග ඇගේ සියලු අපේක්ෂා සහ සිහින බොඳවී යන්නට විය. එම ආරංචිය ඇය වෙත ලැබෙන විට ඇය එම සිංගප්පූරු චයිනාටවුන් 2022 රූපරාජිනී තරගයේ අවසන් මහා තරගයට දින 10ක් දක්වා සමීප වී සිටියාය.

එහෙත් ඇය ඒ කිසිවකින් නොසැලී එම තරගයේ අවසානය තෙක්ම ඉදිරිපත් වූයේ තමන් මෙන්ම, තමන් සමග සිටින ස්වාමියා සහ දරුවන් සිව්දෙනා වෙනුවෙනි. ඇය මුහුණදුන් තත්ත්වයට වෙනත් අයෙකු මුහුණ දුන්නේ නම් ඇතිවන කම්පනය, සිත් බිඳවැටීමත් ඇය සතුව නොතිබුණි. එහෙත් අදටත් ඇගේ එකම කම්පාව වන්නේ තමන්ට අත්වූ මෙම ඉරණම නිසා දරුවන් මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වයයි.

පිළිකා රෝගියකු ලෙස හඳුනාගන්නා පළමු වැනි අවස්ථාව වනවිටත් ඇය සිව්වැනි මට්ටමේ පියයුරු පිළිකා රෝගියෙකු වූවාය. එසේම වෛද්‍යවරුන් සඳහන් කළ ආකාරයට ඇගේ අක්මාවෙන් 70%ක් පුරාම ටියුමර් ව්‍යාප්ත වී තිබුණි. මීට අමතරව, ඇගේ වසා ග්‍රන්ථි, පෙණහලු සහ කොඳුඇට පෙළෙහිද පිළිකා සෛල වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණි. 

ඇය රූපරාජිනී තරගයේ අවසන් තරගයට සහභාගි වූයේ සිය රෝගී තත්ත්වය සඳහා පළමුවැනි වරට කිමෝතෙරපි ප්‍රතිකාරය සඳහා සම්බන්ධවීමෙන් අනතුරුව රෝහලේ සිටම සිදු කරගත් හැඩගැන්වීම්වලින් අනතුරුවය. එහිදී ඇය තරගාවලියේ දෙවැනියා බවට පත් වූවාය.

එම තරගාවලිය අවසන් වී සති දෙකක් ගතවීමෙන් අනතුරුව කිමෝතෙරපි ප්‍රතිකාර හේතුවෙන් ඇගේ හිස කෙස්, ඇහිබැම සහ ඇස්පිහාටු හැලීම ආරම්භ විය. මෙම අවස්ථාව ඇගේ වැඩිමහලු දරුවන් දෙදෙනාට ඉමහත් කම්පනයක් ලබාදෙන අවස්ථාවක් විය. "ඔවුන් දෙදෙනා මගේ කාමරේ ඉඳගෙන මං දිහා බලාගෙන හිටියේ. මම හිතනවා, ඒ අවස්ථාවේදී ඔවුනුත් පළමුපාරට බය වෙන්න ඇති.” යනුවෙන් ඇය පවසයි.

එහෙත්, කෙසේ හෝ මාරයා පරාජයට පත් කරමින් දරුවන් වෙනුවෙන් තවදුරටත් ජීවත්විය යුතු බවට ඇය අදිටන් කරගෙන ඇත. “ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. අපි මේ ලෝකෙට එන්නේ කවදා හරි යන්න ඕනේ කියලා දැනගෙන. ඒත් අපි දන්නේ නෑ ඒ කවද්ද කියලා. ඒ අතර කාලයේදී ගොඩක් දේවල් වෙන්න පුළුවන්. රෝගීවීම්, හදිසි අනතුරු හරි වෙනත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.”

“ඒ නිසා අපි මේ මොහොතේදී අපි අපේ තීරණ ගන්න වෙනවා. අපිට තියෙන අත්දැකීම් සහ අපිට තියෙන සම්පත් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ.” ඇය ශක්තිමත් හඬින් පවසයි.

ඇලිසන් විවාහ දිව්යට පිවිසෙන්නේ දැනට වසර 10කට පමණ පෙරාතුවය. ඒ වනවිටත් ඇය පූර්ණකාලීනව ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කර ඇති අතර, දරුවන් උපත ලබද්දී ඇය ඉන් ඉවත්ව තිබේ. ඒ අතර කාලයේදී ඇය රක්ෂණ සැලසුම් අලෙවි කරමින් පවුලට යම් ආර්ථික ශක්තිමත් බවක් ලබාදීමට උත්සාහ කර ඇත.

“මට සමාජයත් එක්ක තියෙන බැඳීම් අඩුවුණා. මම ගෙදරට කොටුවුණා. මං වැඩිය කා එක්කවත් කතාබහ කරන්න ගියෙත් නෑ,” ඇලිසන් වී පවසයි. සිංගප්පූරු චයිනාටවුන් හි විවාහක රූපරාජිනිය බවට පත්වීමට ඇය තීරණය කර ඇත්තේද මේ සීමාවෙන් මිදීම අරමුණු කරගනිමිනි. එහෙත් ඒ සිහිනයට බාධා එල්ල කරමින් ඇය පිළිකා රෝගියෙකු බවට පත්වූවාය.

“2022 අවුරුද්දේ නොවැම්බර් මාසයේ රාත්‍රියකදී එකපාරටම මගේ දකුණු ඉළඇට පෙළට පහළින් ඊදිල්ලක් ආවා. මම මුලින් හිතුවේ මගේ ඇඳුම් හිර නිසා වෙන්න ඇති කියලයි. ඒත් ඒ ඊදිල්ල අඩුවුණේ නෑ, ඊළඟ දිනයේ උදෑසන මම CT පරීක්ෂණයකට ගියා. එතැනදී තමයි දැනගන්න ලැබුණේ මගේ අක්මාව පුරාම ටියුමර් තියෙනවා කියලා.” ඇය පවසයි. 

එම දිනයේදීම ඇය රෝහල්ගත කෙරී ඇති අතර, තවදුරටත් ඇය පිළිබඳ පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී ඇය සිව්වැනි මට්ටමේ පියයුරු පිළිකා රෝගියකු බව හඳුනාගෙන ඇත. එසේම එම පිළිකාව ඇගේ සිරුර පුරාම ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් හඳුනාගෙන තිබේ. තෙවැනි දිනයේ පටන් වෛද්‍යවරුන් ඇයගේ මෙම පිළිකා සෛල මරා දැමීම සඳහා වන කිමෝතෙරපි ප්‍රතිකාර අරඹා තිබේ.

මෙලෙස වෛද්‍ය පරීක්ෂණ රැසකට මුහුණ දී ලැබූ ආතතියත් සමග ඇය සිය රූපරාජිනී තරගාවලිය වෙත ඉදිරිපත්වීමේ තීරණය තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. “පළමු දවසේදී මං කිමෝතෙරපිවලට ලක්වෙලා වාට්ටුවේ හෙදියකගෙන් මට ඇඳුමක් ඇඳලා සැරසිලා මේ තරගයට යන්න උදව්වක් ඉල්ලුවහම ඇය ගොඩක් පුදුමයට පත්වුණා.”

තරගාවලියේ විනිසුරු තීරණ දැනුම්දීමට පෙරාතුව පැවැති තරග වටයේදී සංවිධායකයන් විසින් ඇයට රෝදපුටුවක් මත සිට තරගවැදීමට අවස්ථාව ලබාදී තිබේ. එහිදී ඇය තරගයේ විනිසුරු මණ්ඩලය වෙත සිය පෞද්ගලික කතාව සහ සිය විශ්වාසයන් පිළිබඳව පවසා තිබේ. 

ඒ අනුව, දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටියදී වුවද ඇය පෙන්නුම් කළ ආත්ම විශ්වාසය සහ ධෛර්යය සම්බන්ධයෙන් එම විනිසුරු මඬුල්ලේ අගය කිරීමටද ඇය ලක්ව තිබේ.

“හැමෝම කැමති නැහැ පිළිකාවක් සමග සටන්වදින තමන්ගේ අත්දැකීම් ලෝකයාට එළිකරන්න. ඔවුන් හුඟ දෙනෙක් හිතන්නේ ඒ හරහා මිනිසුන් තමන් ගැන මොනවා කියාවිද කියලයි. ඒත් මට වුවමනා වුණේ, මගේ මේ පිළිකාව නිසා ලැබූ අත්දැකීම් තවත් අයෙකුට දීලා ඔවුන්ට උදව් කරන්න. එතැනදී ලෝකයා ඔවුන් ගැන මොනවා හිතනවාද කියන දේ ගැන බිය. වෙන්න ඕනේ නෑ කියන දේ පෙන්වන්න. “ ඇය  පවසයි.

එම වටයෙන් සතිකට පමණ පසුව එම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත් වී ඇති අතර, එහිදී ඇයට දෙවැනි ස්ථානය හිමිව තිබේ. "මම දෙවැනියා කියලා දැනගත්ත ගමන් මට පුදුම හිතුනා. මට කියන්න වචන ආවේ නෑ.” ඇය පවසයි.

ඉන් දින තුනකට පසුව ඇය යළිත් සිය කිමෝතෙරපි ප්‍රතිකාර ආරම්භ කර ඇත. ප්‍රතිකාර හේතුවෙන් ඇයගේ සම තවත් හානිවීමට ලක්ව ඇති අතර, කෙස් වැටීම තවත් වේගවත් වී තිබේ. මේ වසරේ අප්‍රෙල් මැයි වනවිට ඇය මෙම කිමෝතෙරපි ප්‍රතිකාරයේ 18වැනි සතිය සම්පූර්ණ කර ඇත. එහෙත් ඒ වනවිටත් පිළිකාව සහ ඇය අතර සටන නිමාවට පත්වී නැත.

ඉන් මාසයකට පමණ පසුව ඇයට දරුණු හිසරදයක් මතුව ඇති අතර, සිදුකළ පර්ක්ෂාවේදී ඇයගේ මොළයේද පිළිකා සෛල ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, ඇයට රේඩියෝතෙරපි ප්‍රතිකාර අරඹා තිබේ. එය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළ බව ඇය පවසයි. එහෙත් එම ප්‍රතිකාරය අවසන් වුවද ඇය, සිය ඉදිරි ජීවිත කාලය පුරාම සෑම සති තුනකට වරක් කිමෝතෙරපි ප්‍රතිකාරය වෙත යොමුවිය යුතුව ඇති බවට වෛද්‍ය නිර්දේශය වී තිබේ.

“මම තවමත් මේ රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවවී නැති නමුත්, දැන් මං මේ පිළිකාවත් සමග ජීවත් වෙන්න සූදානම් වෙලයි ඉන්නේ, මම පිළිකාවට මගේ ජීවිතය උදුරා ගන්න දෙන්නේ නෑ." ඇලිසන් වී ශක්තිමත් ස්වරයෙන් පවසයි.


Tuesday, August 29, 2023

Foxconn නිර්මාතෘ ටෙරි ගොයු තායිවාන ජනාධිපති සටනට

සුප්‍රසිද්ධ තාක්ෂණික උපාංග නිෂ්පාදන සැපයුම් සමාගමක් වන Foxconn හි නිර්මාතෘවරයා වන බිලියනපති ව්‍යාපාරික ටෙරි ගොයු තායිවානයේ ඉදිරි ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් වන බව ඊයේ (28දා) නිල වශයෙන් නිවේදනය කළේය.

2016 වසරේදී ඔහු එම සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව, එරට ප්‍රධාන විපක්ෂය වන Kuomintang KMT පක්ෂය යටතේ 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාදුන්නද, එය ප්‍රතික්ෂේප කෙරිණි.

මෙවර ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා බවට පත් වීමට නම් ටෙරි ගොයු හට ඡන්ද දායකයන් 290,000කගේ අත්සන් ලබාගත යුතුව තිබේ. තායිවානයේ මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙයි.

Foxconn සමාගම අද වනවිට සුප්‍රසිද්ධ Apple Inc. සමාගමේ ප්‍රධානතම තාක්ෂණික උපාංග නිෂ්පාදන සැපයුම්කරුවාද වෙයි.

වර්තමානයේදී තායිවාන චීනයේ පාලනය සහිත ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහෙත් තායිවාන පාලනය එය ප්‍රතික්ෂේප කර වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ලක්කරන ලෙස ලොව රටවලින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. Foxconn නිර්මාතෘ ටෙරි ගොයු චීනයට වැඩි පක්ෂපාතීත්වයක් සහිත පුද්ගලයෙකු ලෙසද පිළිගැනේ.

මෙවර තායිවාන ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස හඳුනාගෙන ඇත්තේ වත්මන් උපජනාධිපති ලායි චින්ග්-ටේය. ඔහු වත්මන් ජනාධිපති සායි ඉන්ග්-වෙන්ගේ ඩිමොක්‍රැටික් ප්‍රොගෙසිව් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටියි.


Friday, August 18, 2023

මිනිසෙකුට සවි කළ ඌරු වකුගඩුව මාසයක් පුරා හොදින් ක්‍රියාත්මකයිලු

මොළය මියගිය රෝගියෙකු සදහා දැනට මාසයකට පමණ පෙරාතුව සවිකළ ජාන වෙනස්කළ ඌරු වකුගඩුව හොදින් ක්‍රියාත්මකව පවතින බව ඊට සම්බන්ධ පර්යේෂකයෝ පවසති. නිව්යෝක් නුවර ශල්‍යවෛද්‍යවරුන් කණ්ඩායමක් පසුගිය ජුලි 14දා මෙම සැත්කම සිදු කර තිබේ. ඒ අනුව, මෙම ඌරු වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම දැන් දෙවැනි මාසයට අවතීර්ණ වී තිබෙන බවත් ඔවුහු සඳහන් කරති. එසේම මෙලෙස ජාන වෙනස් කළ ඌරු වකුගඩුවක් වැඩිම කාලයක් ක්‍රියාකාරීව පවතින පළමු වැනි අවස්ථාව ලෙසින්ද මෙය සැලකෙයි. "මෙම ඉන්ද්‍රිය සැබැවින්ම මිනිස් ඉන්ද්‍රියක් හා සමානවම වැඩ කරමින් තිබෙනවා.” යනුවෙන් මෙම පර්යේෂණයට                                                                                        සම්බන්ධ වූ පිරිස් පවසා සිටිති. 


Monday, August 14, 2023

වසර මිලියන 41ක් පැරණි කුඩා තල්මස් පොසිලයක් ඊජිප්තුවෙන් හමුවෙයි

අදින් වසර මිලියන 41කට පමණ පෙර මිහිමත වාසය කළ තල්මසෙකුට අයත් බවට සැලකෙන පොසිලයක් සොයා ගැනීමට ඊජිප්තු පාෂාණිකධාතු භූ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. 

එසේම මෙම තල්මස් විශේෂය ලොව වාසය කළ කුඩාම තල්මස් විශේෂයක් ලෙසටත් විශ්වාස කෙරේ. ඊජිප්තුවේ තල්මස් නිම්නය ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයේ තිබී මෙම පොසිලය හමුවී තිබේ. මෙම විද්‍යාඥයන්ට අනුව එම තල්මසා රාත්තල් 412ක් පමණ බරකින් යුක්ත වන්නට ඇතැයි පැවසෙයි. එසේම එම තල්මසාගේ දිග අඩි අටක් පමණ වන්නට ඇතැයි සඳහන් වෙයි. මේ අතර මෙම තල්මස් විශේෂය ඊජිප්තුවේ ටූටන් කාමුන් රජුට දක්වන ගරු කිරීමක් ලෙස Tutcetus rayanensis ලෙස නම් කර තිබේ.


Friday, August 11, 2023

Barbie කුවේටය තුළ තහනම් වෙයි

හොලිවුඩයේ නවතම සිනමාපටයක් වන Barbie කුවේටය තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, Barbie සිනමාපටය වාරණයට ලක් වූ ආසන්නතම රට ලෙසටද එය සැලකෙයි. මීට පෙර වියෙට්නාමයද එම සිනමාපටය ප්‍රදර්ශනය තහනම් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කුවේටයේ සිනමාපට වාරණ කමිටුවේ සභාපතිවරයා වන ලිෆි අල්-සුඛේයි, "අපගේ සමාජ වටිනාකම් විනාශ කරන පිළිගත නොහැකි හැසිරීම් ප්‍රචලිත කිරීමේ අදහස් සහිතවීම නිසා මෙම තීරණය ගත්තා.” යනුවෙන් පවසා ඇත. 

විශේෂයෙන්ම, මෙම සිනමාපටය තුළ ඇතුළත්ව ඇති සමරිසි හැසිරීම් ප්‍රවර්ධනය කිරීමේ අදහස මෙලෙස කුවේටය තුළ එම සිනමාපටය ප්‍රදර්ශනය තහනම් කිරීමට හේතුව ලෙස සැලකෙයි. මීට අමතරව ලෙබනනයද ඊයේ මෙම තීරණයම ගත් බව පැවසුණි.


Thursday, August 10, 2023

චීනයේ ගංවතුරින් බීජිං අගනුවර 33දෙනෙකු මරුට

චීනයේ බීජිං අගනුවර වෙත බලපෑ අධික වර්ෂාව නිසා හටගත් දරුණු ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 33දෙනෙකු මරණයට පත්ව තවත් 18දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා සඳහන් කරයි. මෙහිදී ගංවතුර සහ ගොඩනැගිලි

කඩාවැටීම් හේතුවෙන් මෙම මරණ සිදුව තිබේ. ගංවතුර හේතුවෙන් බීජිං නුවර ගංගා රැසක ජල මට්ටම පිටාර යෑම හේතුවෙන් මෙම ආපදා තත්ත්වය වඩාත් දරුණු වී තිබේ.

චීනයට බලපෑ දොක්සුරි සුළි කුණාටුවත් සමග මෙම අධික වර්ෂාපතනය හට ගැනුණි. මෙම දරුණු ගංවතුරේ බලපෑම නිසා මේ දක්වා චීනයේ මිලියන ගණකට හානි සිදුව ඇත. ඊයේ දිනය වනවිටත් සහන කණ්ඩායම් ආපදාවට පත්වූවන් ගලවා ගැනීමේ මෙහයුම්වල නිරතව සිටිති.


Wednesday, August 9, 2023

අධික වර්ෂාවෙන් නේපාලයේ කත්මන්දු අගනුවරට ගංවතුර

නේපාලයේ කත්මන්දු අගනුවර වෙත පසුගිය සඳුදා රාත්‍රිය පුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නගරය වෙත ගංවතුර බලපෑමක් ඇතිව තිඛෙන බව වාර්තා වෙයි. මේ දිනවල පවතින

මෝසම් වර්ෂාවේ බලපෑමෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ. එසේම එරට ස්ථාන රැසක නායයෑම්ද වාර්තා වී තිබේ. මෙහිදී ගංවතුරට හසුව එක් කාන්තාවක මරණයට පත්ව ඇති අතර, ඇගේ පවුලේ තවත් සාමාජිකයන්හය දෙනෙකු අතුරුදන්ව සිටින බවත් සඳහන් වෙයි. නේපාලයේ කාලගුණිකවිද්‍යා පුරෝකතන දෙපාර්තමේන්තුවට අනුව මෙම වර්ෂා තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි පැවසෙයි. මෝසම් කාලගුණය හේතුවෙන් උතුරුදිග ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඊට හේතුව වී තිබේ.


Tuesday, August 8, 2023

කාමබෝජ අගමැති හුන්සෙන්ගේ පුත්‍රයා නව අගමැති ලෙස පත් කෙරේ

කාම්බෝජයේ අගමැති හුන් සෙන්ගේ වැඩිමහල් පුත්‍රයා වන ආචාර්ය හුන් මානෙට් එරට නව අගමැතිවරයා ලෙස පත් කිරීමට කාම්බෝජයේ නොරොඩොම් සිහාමොනි රජු ඊයේ (07දා) පියවර ගෙන තිබේ. කාම්බෝජයේ හත්වැනි පාර්ලිමෙන්තුවේ නව අගමැතිවරයා ලෙස මෙම නව පත්කිරීම සිදුව තිබේ. 45 හැවිරිදි වියේ පසුවන හුන් මානෙට් සහ ඔහුගේ කණ්ඩායම ලබන අගෝස්තු 22දා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග ඡන්ද විමසීමකටද ඉදිරිපත්වීමට නියමිතව තිබේ. 

ඒ අනුව, දශක 4කට ආසන්න කාලයක් පැවැති හුන් සෙන්ගේ පාලනය මේත් සමග නාමිකව වෙනස් වීමක් සිදුවන බව විදෙස් මාධ්‍ය පවසයි. අගමැති ධුරයෙන් ඉවත් වුවද, හුන්සෙන් පාලක පක්ෂයේ ප්‍රධානියා ලෙසට තවදුරටත් කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි.


Monday, August 7, 2023

පාකිස්තානයේ දුම්රිය අනතුරකින් 25ක් මරුට 100කට තුවාල

පාකිස්තානයේ ෂාහ්සාද්පුර් සහ නවාබ්ෂාහ් නගර අතර පිහිටි සහරා දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ සිදු වූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 25 දෙනෙකු මිය ගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වෙයි. මෙහිදී දුම්රිය මැදිරි 08ක් පෙරළී ගොස් තිබේ. ඒ අනුව බොහෝ දෙනෙකු එම සුන්බුන් අතර

සිරව ඇති බවත්, මරණ තවදුරටත් ඉහළ යා හැකි බවත් බලධාරීන් සඳහන් කර තිබුණි. මෙම අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පාකිස්තාන ප්‍රවාහන අමාත්‍යවරයා එම අවස්ථාවේදී දුම්රිය සාමාන්‍ය වේගයෙන් ධාවනය කෙරී ඇතැයි සදහන් වෙයි.


Friday, August 4, 2023

සිංගප්පූරුව සතියක් තුළ තෙවැනි මරණ දඩුවමත් ක්‍රියාත්මක කරයි

සිංගප්පූරුව එරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට වැරදිකරු වූ පුද්ගලයෙකුට ඊයේ (03දා) මරණ දඬුවම ලබාදුන් බව වාර්තා වෙයි. ඒ අනුව, සතියක කාලයක් ඇතුළතදී එම චෝදනාව යටතේ තිදෙනෙකු වෙත මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

මරණ දඬුවමට ලක්වූ මෙම පුද්ගලයා 39 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු හෙරොයින් ග්‍රෑම් 54ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ වැරදිකරු වී තිබේ. සිංගප්පූරුවේ මධ්‍යම මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුව මෙම ප්‍රමාණය මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් 600කට සතියක් සඳහා ප්‍රමාණවත්ය. 

මොහු එරට භාණ්ඩ ප්‍රවාහන රියැදුරෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් ෂාලේහ් අබ්දුල් ලතීෆ් නම් මැලේ ජනවර්ගයට අයත් පුද්ගලයෙකු බව පැවසෙයි. ඊයේ එරට චැන්ගි බන්ධනාගාරයේදී ගෙල සිරකර මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කෙරි ඇත.

මීට පෙර සිංගප්පූරු අධිකරණය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ 57 හැවිරිදි මොද් අසිස් බින් හුසේන් නමැත්තා සහ 45 හැවිරිදි සාරිදේවි බින්ටේ ජමානි යන දෙදෙනාටද මරණ දඬුවම ක්‍රියාත්මක කළේය. මේ අතරින් සාරිදේවි සිංගප්පූරුව තුළ වසර 20කට පසුව මරණ දඬුවම ලබාදුන් පළමුවැනි කාන්තාව ලෙසත් ඉතිහාසයට එක්වෙයි.