Showing posts with label art g3. Show all posts
Showing posts with label art g3. Show all posts

Friday, July 3, 2026

ලංකාවට ඇවිත් යළි රඟපාන්න අදහසක් තියෙනවා-මේනකා මධුවන්ති

 



ඇය බොහෝ දෙනා හඳුනාගත්තේ “සිරස ඩාන්සින් ස්ටාර්” රියැලිටි නර්තන තරගාවලියෙනි. ඇයගේ නර්තන දක්ෂතා කොතෙක්ද යන්න පෙන්නුම් කළ ඇය, පසුව සිනමාව හා පුංචි තිරයට රංගන ශිල්පිනියක ලෙසින්ද එක්වී රංගන හැකියාව ද ඔපමට්ටම් කරගත්තේ ප්‍රේක්ෂක අවධානය දිනා ගනිමිනි. මේ සියලු දේ කරන අතරතුරේ ඇය ව්‍යවසායිකාවක ලෙසට ද කටයුතු කළාය.


මේ දක්ෂතා සියල්ල කරපින්නා ගත් ඇය නමින් මේනකා මධුවන්තිය. ඇය මේ වන විට ඩුබායි රාජ්‍යයේ රූපලාවණනාගාර ත්‍රිත්වය කළමනාකාරිනිය ලෙස කටයුතු කරන්නීය. කලක් විවිධ චෝදනා, අපවාද වලටද ලක් වූ ඇය තමන්ගේ අලුත් කටයුතු පිළිබඳවත්, ඒ චෝදනාවලට පිළිතුරුත් ඩුබායි රාජ්‍යයේ සිට "රසවින්දන ට පැවසුවේ මේ අයුරිනි.


"මම 'සිරස ඩාන්සින් ස්ටාර් හරහා තමයි කලා ක්ෂේත්‍රයට එක් වුණේ. ඊයැලිටි නර්තන ෂෝ හැම එකකටම මම දායක වුණා. මගේ ජීවිතයේ ආසම දේ නර්තනය. ඒ කාලයේ හර්ම සතුටින් ඒවා කළේ. අදටත් බොහෝ දෙනා මාව දන්නේ ඒ පැත්තෙන්, මොකද අපි කරපු දේවල් තවමත් මිනිසුන්ගේ මතකයේ තිබීම ගැන. නර්තනය හරහා රංගනයටත් එක්වුණා. ඒ සියල්ල අතරේ මම කඩවත මගේම සටන් ව්‍යාපාරයක් කරගෙන ගියා. 


ඔය කාලයේදී මට නේල්ස් සම්බන්ධව හදාරන්න ඩුධායි රාජ්‍යයට යන්න අවස්ථාව ලැබුණා. හේදී ඒ පාඨමාලාව ඉවර වුණාම මට හොඳ අවස්ථාවක් ලැබුණා. වෙනසකටත් එක්ක ඉතින් මම එහේ වැඩ කරන්න ගත්තා. මොකද හොඳ වැටුපක් ලැබෙන නිසා මට හිතුණා, ඒක හොඳයි කියලා. මම මුලින්ම ඩුබායි රාජ්‍යයේ හරිම පොඩි තැනකින් පටන් ගත්තේ. හෙමිහිට ගමන ආවේ. අද මම සැමන් තුනක කළමනාකාරිනියක් ලෙස කටයුතු කරනවා. මගේ යටතේ විවිධ රටවල ළමයි 14 දෙනෙක් වැඩ කරනවා. ලේසි නෑ. ඒත් සියල්ල අද මම ජයගෙන තිබෙන්නේ


රංගනයේත්, නර්තනයේත් හොඳම කාලයේ තමයි මම මෙහාට ආවේ. ඒ දුක නැති වෙන්නේ නෑ. මොකද ඒවා අපි හදවතින්ම කැපවීමෙන්ම කළ කැමතිම දේ. ඒත් ඒක වෘත්තියක් විදිහට කරගෙන යන්න අපේ ඉන්ඩස්ට් එකේ ලොකුවට තවම හැදිලා නෑ, ඒ හින්දා හරි අමාරුයි ඒක විතරක් කරන්න. වයසත් එක්ක අපි ජීවිතේ ඉස්සරහට දියුණු වෙන්න ඕන. ඒ ගත්ත තීරණය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. හැබැයි දුකක් නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක් වෙනවා.


මට කාලයක් සම්හරු විවිධ බොරු චෝදනා, අපවාද කළා.ඒ දේවල් වෙන කොට මම කළේ නිහඬ වෙන එකයි.හැබැයි දැන් කාලේ වෙනස්. ඒ කාලේ පෞද්ගලිකවම නිහඬ වෙලා පැත්තකට වුණ එක දැන් බලද්දී හිතෙනවා ඒක වැරැද්දක් කියලා, ඒ කාලයේ ඒ ගැන අපට කතා කරන්න තිබුණා.

සමහර මිනිසුන්ගේ මනසේ අපි ගැන තවම තිබෙන්නේ වැරැදි දේවල් අපි එදා ඒක නිවැරැදි කරන්නවත්, හරිගස්ස නවත් ගියේ නෑ. එතන දී මට හිතෙනවා, මම එය කරගත්ත වැරැද්දක් කියලා. මම හිතුවේ කාලයත් එක්ක සියල්ල විසදෙයි කියලා, ඒත් එහෙම වුණේ නෑ. අද මම හිතන්නේ දෙයක් වුණාම ඒක හර්ගස්සන්න, කතා කරන්න ඕනේ කියලුයි. හරි දේ මිනිසුන්ට තේරුම් කර දිය යුතුයි. මම දන්නවා කවුරු මොන දේ කීවත් මම කවුද කියන එක. එතනින් එහාට දැන් සිවා හරිගස්සවන්න මට අවශ්‍ය නෑ.


ලංකාවට ඇවිත් රඟපාන්න අදහසක් කියන්නත් . අදටත් ලංකාවට ආවම මට ආරාධනා ලැබෙනවා. ආදරය, ප්‍රේමය හරිම සුන්දරයි විඳින කොට. ඒ වගේම හරිම දරුණු පැත්තකුත් තිබෙනවා. මම ඒක දරාගන්න බැරි කෙනෙක්. අදටත් මම තනිකඩව ඉන්නේ ඒකයි. හැබැයි තනිකඩව සිටීම ගැනම තෘප්තිමත්."


මට ආරාධනා නොකළේ ඇයි? -ඇන්ජලා සෙනෙවිරත්න

 


ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවූ කලාකාරිනියකි. විටෙක දක්ෂ චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියකි. ලක් රූ රැජිනකි. තවත් විටෙක නිවේදිකාවකි. එමෙන්ම තීරු ලිපි රචිකාව්යකි. එපමණක්ද නොව ඇය පුවත්පතක හිටපු කර්තෘවරියකි. විදේශ තානාපති කාරියාලවල දක්ෂ නිලධාර්නියකි. මේ සියලු දෙයින් සන්නද්ධව සිටි ඇය අද දවසේ සියල්ලෙන්ම මිදී හුදකලා දිවියක් ගත කරන්නීය.


ඇය නමින් ඇන්ජලා සෙනෙවිරත්නය, තවත් රංගනයට ඇල්මක් දක්වන ලක් රූ රැජනක් ද වූ මේ රුවැත්තිය පසුගියද ඇමේරිකාවේ සාන්ත බාධාරාහි පැවැති ''සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී " දශක ගණනාවක් සිනමා රංගනය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවාය. ඇය අද දවසේදී කැනඩාවේ සිටින දියණියකගේ නිවසේ සතුටින් ජීවිතය ගත කරන්නීය. මේ රුවැති දක්ෂ රංගන වේදිනිය, රූ රැජින කැනඩාවේ සිට '' රසවින්දන ''ට කතා කළේ ගොඩාක් සතුටකිනි. මේ ඇයගේ කතාවයි.


" මම හුදකලා ජීවිතයට කැමතියි. පොඩි කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ බණ්ඩාරවෙල හා තලවකැලේ. කඳුකර පරිසරයට මම ගොඩක් ආදරෙයි. මම අද වුණත් කොළඹට කැමති නෑ. කරන්න දෙයක් නෑ අධ්‍යාපනය හින්දා එදා ඉවසගෙන හිටියා. නිවාඩු කාලෙට හිටියේ උඩරට ඒක මගේ ජීවිතයට හුඟාක් සමීපයි. තනිකම, හුදකලාව ඒක තමයි හුරු, පොඩි ගමක හිටියේ. 


ඒ ජීවිතේට මම් හරි ආසයි. අද මම කැනඩාවේ ටොරොන්ටෝ වල ඈත ගම්මානයක මගේ දුව හා ඒ අයගේ පවුලේ අය එක්ක හරිම සුන්දරව ජීවිතය ගත කරනවා. මගේ මුණුපුරාට ලස්සන අදහස් තිබෙනවා. මීට වසර 5කට පෙර මම ගොඩක් අසනීප වූ බව ලංකාවේ අය මෙන්ම ලෝකයේ සිටින ශ්‍රී ලාංකිකයන් පවා දන්නවා. මම ජීවිතේ අමාරුම දවස් ඒ ගත කළේ. ඉන් පස්සේ මට රඟපාන්න අවස්ථාව ලැබුණේ නෑ, ඒ අතරේ චිත්‍රපටයකට මට ආරාධනා ලැබුණා. ඒකත් කෙරුණේ නෑ. ඒක ළඟදීම ලංකාවට ඇවිත් කරන්න මගේ බලාපොරොත්තුවක් තිඛෙනවා.


රංග වේදිනියකට කොයිතරමි තීරණාත්මක දෙයක් වුණත් රඟපෑමෙන් අයින් වෙන්න ආසාවක් නෑ. ඒ ආසාව දිගටම තිබෙනවා. ඒ අපේ රුධිරයේ ඇඟ ඇතුළේ ධාවනය වෙනවා. නිර්මාණයක රඟපාන්න කවදාහරි අවස්ථාව ලැබෙයි කියා මා හිතනවා. හැබැයි රාග නොපෑවාට මම අවුරුදු 5ක් ඇතුළත එක එක දේවලට යොමුවුණා. අයර්ලන්තයේ ඉන්න කොට ලන්ඩන්වල "ලංකා චොයිස්''(Lanka Choice) කියන වැඩ සටහනකට ඉදිරිපත් වූ දරුවන්ට මම පුහුණු වීම් සිදු කළා. මම එහි විනිසුරු වරියක් ලෙසත් කටයුතු කළා. බොහොම සුන්දර අත්දැකීමක්. ඒ වගේම මම අයර්ලන්ත විදේශීය ශිෂ්‍යත්ව ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒ පන්ති තුළ රගපෑමේ පොඩි ට්‍රික්ස් මම සිදු කළා. මම අවුරුදු 5ක් වෙනවා සිනමා කර්මරාවට මුහුණ නොදී. ලංකාවේ ස්ථිර පදිංචියට ගියාම ඒක වෙනස් වෙයි කියලා මම හිතනවා. ඒක දෙවියන්ගේ අතේ තිබෙන්නේ.


පසුගියදා ඇමෙරිකාවේ ලැබුණු ගෞරවනීය සම්මානය ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා. මට ලැබුණු ඒ ගෞරවය ජීවිතේ ගොඩක් ඉහළින් පිළිගන්නවා. අවුරුදු ගණනාවකට පස්සේ තමයි සම්මානයක් ලැබුණේ. මම කැනඩාවේ ඉදිද්දී ඇමෙරිකාවෙන් ආරාධනා කළේ. ඒක විශේෂයි. මේකත් කිව යුතුයි. ලංකාවේ තිඛෙන සිනමා, ටෙලි සමිමාන වලට මට ආරාධනා කරන්නෙත් නෑ. හේතුව මම දන්නේ නෑ මා හිතන්නේ මම චිත්‍රපටවල ටෙලිනාට්‍ය වල දකින්න නැති හින්දා වෙන්නැති. මම දන්නවා ප්‍රේක්ෂකයෝ මට ආදරෙයි ඔවුන් මාව අමතක කළේ නැති බවත් දන්නවා. ලංකාවේ සිනමා කර්මාන්තයේ මට තැනක් තිබෙනවාද කියා මා දන්නේ නෑ. එත් ප්‍රේක්ෂක ආදරය මට ගොඩක් වටිනවා. ඒ ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මාත් ආදරෙයි.


අපේ සිනමා කර්මාන්තය යහපතට හැරෙන බවක් මට පෙනෙනවා. චිත්‍රපට හැදෙනවා. අලුත් නළු නිළියන් ගොඩක් ඉන්නවා. ඒ අයට අවස්ථාව ලැබෙන්නත් චිත්‍රපට තිබෙන්න ඕනෑ. ඒ හින්දා සිනමා කර්මාන්තය තව දියුණුවට පත්විය යුතු බවයි මගේ අදහස. ඒ අතරතුරේ ගොඩක් අපේ ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ට මීට වඩා සැලකිල්ලක් දක්වයි කියාත් මා හිතනවා. අපේ ලෙජන්ඩිස්ලාට අවස්ථාව මදි. අලුත් අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු යෞවන නළු නිළියන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඇති දුර ගමනක් යන්න. ඒක හර්. ඒත් ලෙන්ඩ්ස්ලාගේ කාලය සීමා වෙනවා. එයාලගේ දක්ෂතා අලුත් අයට පෙන්වන්න සහ අගය කිරීමක් වශයෙන් එයාලව චිත්‍රපටවලට මිට වඩා සම්බන්ධ කරගන්න කියලයි මා ඉල්ලුන්නේ. මගේ බලාපොරොත්තුව මේ මොහොතේ යහතින් සතුටින් හිනාවෙලා සුන්දරව ජීවිතය උපරිම විදිහට ගත කරන්නයි. දෙවියන් වහන්සේට මම ගොඩාක් තුති පුදනවා.''



Friday, September 30, 2022

පිට්ටනියේ මැද්දේ දාන හිනාව නිසා එයාව කෙල්ලන්ගෙන් බේරගන්න බැ

 


කතා දෙකක් නැත, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කවුරුත් වැඩිපුරම ආදරය කරන ක්‍රීඩකයන් කීපදෙනා අතර ඔහුද එක්කෙනෙකි. තරුණියගේ දැඩි ආකර්ෂණයද අඩුවක් නැතිව ඔහුට හිමි බව රහසක් නොවේ. ඊට හේතුව කාට කාටත් ඉනාවක් බඳු වූ ඔහුගේ මනමාල හිනාවත්, හැඩකාර පෙනුම. ඒ වෙන කවුරුත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් තුන් ඉරියව් ක්‍රීඩකයා වන ධනංජය ද සිල්වා ය. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටෙන්නට ගිය බොහෝ තැන්හි තරගය කණපිට ගසනට ඔහුගේ තුන් ඉරියව් දක්සතා කවදත් ඉවහල් විය. ඒ නිසාම දැන් දැන් ඔහු කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීකයෙක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඒ නිසා මේ හැඩකාර දක්ෂයාගේ සින්නක්කර අයිතිකාරීය ඔහු ගැන කියන කතාවත් ඔබ ඔහු තරමිම ආදරයෙන් භාරගනු ඇති බව අපේ විශ්වාසයයි. ඇය ධනංජයගේ ආදරණීය බිරිඳ වන සඳුනි නිසංසලා ය. මෙතැන් සිට ඇරඹෙන්නේ එකී සොඳුරු කතාබහයි.



ධනංජය ද සිල්වාගේ ආදරණීය බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ?


මං වාසනාවන්තයි කියලා හිතෙනවා. මොකද එයා මුළු ලංකාවම ආදරය කරන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් බිරිඳ වෙන්න ලැබුණු එක ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. 


මුලින්ම කියන්න සඳුනිට ධනංජයව මුණගැහුනේ කොහොමද?


අපේ පවුලයි ධනංජයගේ පවුලයි ඒ කාලේ ඉඳන්ම හිතවත්. ඒ නිසා මං ගොඩාක් පුංචි කාලේ ඉඳන්ම ධනංජයව දන්නවා. ඒත් ලොකුවට කතාබහ කරලා නෑ. එයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගියේ. මං ගියේ ඒකේ ගර්ල්ස් කොලේජ් එකට. අපේ ඉස්කෝලෙට යන්න පොඩි කන්දක් තියෙනවා. ඒ කන්ද පාමුල එයා හැමදාම උදේට යාළුවොත් එක්ක ක්‍රිකට් පුහුණුවීම්වලට යන්න ඉන්නවා. ම දැක්කම Good Morning කියලා හිනාවෙනවා. සමහර දවස්වලට කතාබහත් කරනවා. ඉතින් කාලයත් එක්ක ඒක ආදරේට හැරුණා. ඊටපස්සේ ගෙවල්වල කැමැත්ත ඇතුව විවාහ වුණා. 


කෙනෙක් ගැන කැමැත්තක් ඇතිවෙන්නත් හේතුවක් තියෙන්න එපැයි. සඳුනි ධනංජයට කැමති වුණේ ඇයි?


මං අදටත් ආදමද කරන්නේ එයාගේ තියෙන අහිංසක ගතිගුණවලට. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් ප්‍රාර්ථනා කරන්නේ මොන වගේ කොල්ලෙක්ද ඒ හැමදේම එයාට අඩුවක් නැතුව තිබුණා. එයා මේ වෙනකොට ගොඩාක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒත් කවදාවත් ඒක ඔලුවට අරගෙන නෑ. අපි දෙන්නා ගෙදරට බඩු ගේන්න කඩේට පවා යනවා. ඒ තරමටම සරලව ඉන්න ආස කෙනෙක් ධනංජය කියන්නේ. අවංකවම එයාගේ ඒ ගතිගුණවලට මං හරි ආසයි. 


ධනංජයයි ඔබයි විවාහ වුණේ හදිස්සියේ කියලත් දැනගන්න ලැබුණා. ඒක ඇත්තද? 


අපි ආදරේ කරන කාලේ එකපාරටම එයාලට මාස තුනක වගේ දිග ක්‍රිකට් සංචාරයක් වැටුණා. මට හරි දුකයි. ඇයි ඉතින් ආදරේ කරන්න පටන්ගත්තා විතරනේ. ඉතින් මං ධනංජයට කිව්වා මට ඔයාව  දකින්නේ නැතුව එච්චර කල් ඉන්න බෑ’ කියලා. ඊටපස්සෙ එයා මගෙන් එහෙනම් අපි බඳිමුද කියලා එකපාරටම ඇහුවා. මට අකමැති වෙන්න හේතුවක් තිබුණේ නෑ. මමත් පැනපු ගමන් 'හරි එහෙනම් බඳිමු කිව්වා. කොහොමහරි එයා ඒ සංචාරයට යන්න කලින් අපි දෙන්නා විවාහ වුණා. ඊටපස්සේ මමත් එයා එක්ක ඒ ක්‍රිකට් සංචාරයට ගියා.


දැන් ධනංජය එක්ක ගෙවන පිවිතේ කොයි වගේද? 


අපි හරිම සතුටින් ඉන්නවා. එයා මට ගොඩාක් ආදරෙයි. අපිට මාස අටක පුංචි දුවෙක් ඉන්නවා.  ධනංජය එයාට පුදුම විදියට ආදරෙයි. කොටින්ම කිව්වොත් මට දුවට සැර කරන්නවත් දෙන්නේ නෑ. දුව අඩද්දි මට කලින් නළවන දුවනෙත් එයා.  ඒ තරම් දුවට ආදරෙයි. ඇත්තටම ධනංජය හරීම අහිංසක කෙනෙක්. කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ හිනාවෙලාම තමයි.


මේ වෙනකොට ධනංජය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්. ඒ හැගීම ඔහුගේ බිරිඳ විදියට ඔබට දැනෙන්නේ කොහොමද?


ඒ ගැන නම් සතුටුයි. මොකද ක්‍රිකට් ටීම් එකක ක්‍රීඩා කරන්නේ එකොළහයි. ඒ එකොළහ නියෝජනය කරන්නේ අපේ රට. මුළු රටම එයාලා දිහා බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අතර ධනංජය ඉන්නවා කියන එක ගැන සතුටුයි. ඒ හැගීම මට වචන කරන්න තේරෙන්නේ නෑ. 


ධනංජය පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට්. තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ ජයග්‍රහණය ගැන ගෙදර ඇවිත් ඔබට මොකද කිව්වේ?


සාමානයෙන් මං මැච් එකක් ඉවරවුණු ගමන් ධනංජයට කෝල් එකක් ගන්නවා. එදා දිනුවට පස්සෙත් කෝල් එකක් ගත්තා. එයා කතා කළේ කියාගන්න බැරි සතුටකින්. මොකද 2014 අවුරුද්දට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහෙම අවසන් තරගයකට ක්‍රීඩා කරන්න ලැබුණේ. ඒත් එයා ඒ සතුට මැද්දෙන් දුක්වුණා මාවයි දරුවයි ආසියා කුසලානය බලන්න එක්ක යන්න බැරිවුණු එක ගැන. ඒ ගැන නම් මටත් දුකයි. 


දැන් ධනංජයට හැමෝම කියන්නේ 'කප් පිස්සා’ කියලා. ඇත්තටම ධනංජය ජයග්‍රාහී කුසලාන අත් තියාගෙන ෆොටෝස්වලට ඉන්න මේ තරම් උනන්දු මොකද?


ධනංජය පොඩි දෙයින් පවා ගොඩාක් සතුටුවෙන කෙනෙක්. ඒ නිසා එයාට තරඟාවලියක් දිනුවට පස්සේ ඒ එන සතුටත් එක්ක කුසලානය අතේ තියාගෙන ෆොටෝ ගහන්න හිතෙනවා ඇති. එයාට ඒක ලොකු දෙයක් විදියට දැනෙනවා ඇති. 


ගෙදරදී එයාගෙන් මේ ගැන විහිලුවට වගේ අහලා නැද්ද? 


ඇත්තටම මං අහලා නෑ. ඒත් මං ෆේස්බුක් එකේ එහෙම දැක්කා එයාට ගොඩාක් පෝස්ට් හැදිලා තියෙනවා. ඒවා දකිද්දි මටත් හිනා. මම කරන්නේ ඒවා සේව් කරගෙන ධනංජයට පෙන්නන එක. එයත් ඒවා බලලා හිනාවෙනවා. ඒත් අද වෙනකල් මං ඒ ගැන අහලා නෑ. 


තරුණියෝ පිස්සු වට්ටන මනමාල හිනාවක් ගැනජයට තියෙනවා. ඒ හිනාව ගැන බිරිඳ විදියට බයක් එහෙම දැනිලා නැද්ද?


(සිනාසෙමින්) එහෙම බයක් නෑ. ඒ හිනාව මං ඉතින් හැමදාම දකින හිනාවෙන්නේ. අනික එයා කා එක්ක හිනාවුණත් ඒ හිනාවේ අයිතිකාරිය මං කියලා දන්න හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ.


ඇත්තටම ධනංජය තරුණියගේ දැඩි ආකර්ෂණයට ලක්වෙන ක්‍රීඩකයෙක්.  ඔහුගේ බිරිඳ විදියට ඒක ඔබට දැනෙන්නේ කොහොමද? 


ඒක එයාගේ වාසනාව. තරුණියන්ගේ ආකර්ෂණය වුණත් කොල්ලෙක්ට ලේසියෙන් ලැබෙන්නේ නෑ. අනික එයා බැඳලා කියලා දැනදැනත් ගොඩාක් අය එයාට ආදරේ කරනවා. අපි එළියට ගියත් එයාට ආදරේ කරන අය ධනංජය ළඟට ඇවිත් කතා කරලා සෙල්ෆියක් එහෙම ගහගෙන යනවා. ඒ හැමදේම ගැන මට තියෙන්නේ සතුටක්.මොකද රටම ආදරේ කරන ධනංජය මගේ  සැමියා කියන හැගීම මට තියෙනවා.


පුංචි කාලේ ඉදන්ම ඔබ ධනංජයව දන්න නිසා එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු හැටි ඔබත් දැක්කා. ඒ මතකයත් චුට්ටක් මතක් කරමුද?


ධනංජයගේ ගම රත්මලාන. එයා මුලින්ම ඉස්කෝලේ ගියේ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට. එතැනදි තමයි එයා ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ. ඊටපස්සේ එයාගේ තාත්තා ධනංජයව උසස්පෙළ කරන්න ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කරනවා. ඒ ඉස්කෝලෙදි එයා ක්‍රිකට්වලින් දක්ෂතා පෙන්නනවා. ඒ විදියට පටන් අරන් තමයි අන්තිමේ එයා ජාතික කණ්ඩායමට එනකල් ඇවිත් තියෙන්නේ. ඒක මල් පාරකින් ආපු ගමනක් නම් නෙවෙයි. එයා ඒක හැමදාම වගේ මගෙත් එක්ක කියනවා.


ධනංජය ක්‍රිකට් ක්‍රීඩා කරන හැම තරගයක්ම බලන්න ඔබත් යනවද? නැත්නම් ටීවී එකෙන් බලනවද? 


දුව නැති කාලේ නම් දිගටම වගේ තරඟ බලන්න ගියා. ඒත් දැන් නම් දුවත් එක්ක එහෙම යන්න අමාරුයි. දැන් ටීවී එකෙන් තමයි ගොඩාක් වෙලාවට බලන්නේ. ඉස්සර නම් මං ක‍්‍රිකට් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඒත් ධනංජයව බැන්දට පස්සේ ක්‍රිකට්වලට  ලොකු කැමැත්තක් ඇතිවුණා.


ඔහු ක්‍රීඩා කරපු තරඟ අතරින් ඔබට අමතක නොවන විශේෂ තරගයක් එහෙම තියනවද?‍


එහෙම එක තරඟයක් කියලා නෑ. එයා ක්‍රීඩා කරන හැම තරගයක්ම මට විශේෂයි. එයා හොඳට ක්‍රීඩා කරපු හැම තරගයන්ම වගේ මට අමතක වෙන්නේ නෑ.



ධනංජය ක්‍රීඩකයෙක් විදියට ගොඩාක් නිවුණු චරිතයක් බව පේනවා. ගෙදරදිත් එහෙමද?


එයා කොහොමත් ටිකක් නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ගෙදරදිත් එහෙමයි. හැබැයි මගෙත් එක්ක නම් විහිලුවක් එහෙම කරගෙන ඉන්නවා. කේන්ති යන්නේ නෑ. ගෙදර වැඩ පවා එයා කරනවා. 


සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ ගොඩාක් කාර්යබහුල කෙනෙක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විදියට ඒක ඔබට දැනෙන්නේ කොහොමද?


ඒක නම් හොඳටම දැනෙනවා. මං දුව ලැබෙන්න හිටපු මාස නවයටම එයාට ගෙදර ඉන්න ලැබුණේ සති දෙකයි. එක තරඟ සංචාරයක් කැන්සල් කරගෙන තමයි බබා ලැබෙන දවසේ මගේ ළඟ පවා හිටියේ. දුව ලැබිලත් සති දෙකෙන් වගේ ආයෙත් එයාට තරඟ සංචාරයකට යන්න වුණා. එහෙම වෙනකොට දුකයි. ඒත් එයා රට වෙනුවෙන්නේ එහෙම කැපකිරීම් කරන්නේ කියලා මතක් වෙනකොට ආඩම්බර හිතෙනවා.


ගෙදර ඉන්න දවස්වලට එහෙම ධනංජය කරන්නේ  මොනවද?


ගෙදර ඉන්න දවස්වලට දුව එකම තමයි. එයාට දැන් දුව තරම් ලෝකයක් නෑ. දුවට පුදුම ආදරයක් තියෙන්නේ.


ඔබ හිතන විදියට ධනංජය ක්‍රීඩකයෙක් විදියට පිටිය මැද කරන ලොකුම වරද මොකක්ද?


(සිනාසෙමින්) එකම වරද හිනාවෙන එක තමයි. කොල්ලව බේරගන්න බෑ.


බිරිඳ විදියට ඔබ ඔහුගේ දැකපු හොඳම ගුණාංගය මොකක්ද?


ධනංජය ආදරණීය සැමියෙක්. ඊටත් වඩා ආදරණීය පියෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය පියෙක් කිව්වොත් හරියටම හරි. තරඟ සංචාරයක් ගියත් ෆෝන් එකෙන් හරි හැමවෙලේම එයාට දුවව පෙන්නන්න ඕනේ.


සැමියෙක් විදියට ධනංජයගෙන් ඉටුවිය යුතු යුතුකම් ඔහුගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔහු අතින් ඉටුවනවද?


ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ කාර්යබහුල කෙනෙක්. ඒක මං තේරුම් අරන් ඉන්නේ. අපි බැන්දත් හරි එයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ මගේ එක උපන්දිනයකට විතරයි. හැබැයි එයා පුළුවන් විදියට හැමදේම හොයලා බලලා කරනවා.


ධනංජය ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට දකින්න ගොඩාක් ආසාවෙන් හිටියේ ඔහුගේ පියා. ඒත් ඔහු අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගන්නවා. ධනංජය අදටත් ඒ ගැන සංවේදී වෙනවා ඇති?


අනේ ඔව්. එයා තාත්තාට ගොඩාක් ආදරේ කළා. ඉතින් තාත්තාගේ මරණයත් එක්ක එයා ගොඩක් වැටුණා. සමහර වෙලාවට දුවව වඩාගෙන දුවට කියනවා 'ඔයාගේ සීයා තාත්තා හිටියා නම් ඔයාව බිමින් තියන එකක් නෑ” කියලා. මං හිතන්නේ හිනාවෙලා හිටියට අදටත් එයා තාත්තා ගැන දුක්වෙනවා.


ඔහුට පියා නැතිවුණු ආරංචිය ආපු වෙලාවේ ඔබත් එතැන හිටියා නේද?


එදා ධනංජය මාව බලන්න ගාලේ අපේ ගෙදර ඇවිත් හිටියේ. ඊට පහුවදා එයාට විදෙස් සංචාරයකුත් තිබුණා. ඔය අතරෙයි එයාට තාත්තා නැතිවෙලා කියන ආරංචිය ආවේ. එදා එයාට ඒක දරාගන්න බැරිවුණා. ගොඩාක්වෙලා යනකල් අපි කවුරුත් එක්කවත් කතා කළේ නෑ. මට එයාගේ හිත හදන්න ගොඩාක්  අමාරුවුණා. ඒත් තාත්තා වෙනුවෙන් එයා ශක්තිමත්ව ඉන්න ඕන කියන එක එයාම  හිතුවා. මමත් කියන්න ඕන හැමදේම කිවා. 


ධනංජය ගැන අමතක කරන්න බැරි මතකයක් කියලා. එහෙම සඳුනි ළඟ නැද්ද? 


ඉස්කෝලේ කාලේ වගේම අපි දෙන්නා ආදරේ කරපු කාලේ හැම දවසක්ම වගේ අමතක කරන්න බෑ. අද ඊයේ වගේ ඒ දේවල්  මට මතකයි. ඒ වගේම , බැදපු දවස, බබා ලැබුණු දවසත් අමතක කරන්න බෑ. 


අවසානයට තිබුණු ශ්‍රී ලංකා-ඕස්ටේ‍ලියානු විස්සයි විස්ස තරගාවලියේ අත්තිම තරගය වේලාවේ අපි දැක්කා ලසිත් මාලිංග ධනංජය ළඟට ගිහින් ටිකක් සැරෙන් කතා කරනවා. ඇත්තටම එදා මාලිංග ධනංජයට මොනවද කියලා තිබුණේ?


ඒක නම් මං අහලා නෑ. මොකද ඒ තරඟය මට බලන්න ලැබුණේ නෑ. ඒ කාලේ දුව පුංචියි. ඉතින් එයාගේ වැඩත් එක්ක ඒ තරඟය මගඇරුණා. ඒත් ෆේස් බුක් පෝස්ට්වලින් එහෙම මං ඒක දැක්කා. අනිවාර්යයෙන්ම එදා මාලිංග අයියා ජයග්‍රහණය වෙනුවෙන් උපදෙස් තමයි දෙන්න ඇත්තේ.



ඉදිරියේදී ලෝක කුසලානයක් එනවා. ධනංජය ඒ ගැන ඔබත් එක්ක කතා කරලා නැද්ද?


එයා ඒ වෙනුවෙන් ගොඩාක් පුහුණුවීම් කරනවා. එකදිගට මහන්සි වෙනවා. ආසියා කුසලානය දිනපු එකත් එක්ක ධනංජය විතරක් නෙවෙයි මුළු කණ්ඩායමම ලෝක කුසලානය ගැන ලොකු විශ්වාසයකින් ඉන්නේ. ධනංජය වුණත් නිතරම කියන්නේ හොඳ සැලසුමක් එක ක්‍රීඩා කළොත් මෙදා සැරේ ලෝක කුසලානය දිනන්න බැරිකමක් නෑ කියලා.


අවසාන වශයෙන් ධනංජයගේ බිරිඳ විදියට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ දකින්න කැමතිම හීනයක් තියෙනවද?


මං ආසයි ධනංජය ඇතුළු කණ්ඩායම ටෙස්ට් ලෝක කුසලානයක් දිනනවා බලන්න. මොකද මං ටෙස්ට්වලට හරි ආසයි. ටෙස්ට් තරගවලදි ධනංජය බැට් කරනවා බලන්න පුදුම ආසාවක් තියෙන්නේ. මොකද එයා ගහන ලස්සන පහරවල් ටිකක් තියෙනවා. එහෙම දිනුවොත් එදාටත් එයා ඒ කුසලානය අත්තේ තියාගෙන ෆොටෝ ගහයි. අන්න ඒ ෆොටෝ එක දකින්න තියෙනවා නම් මට ඊට වඩා දෙයක් නෑ. 


රුවන් එස්.සෙනවිරත්න

අපි ජගත් සම්මාන ගෙනාවත් මේ රටේ කිසි සැලකිල්ලක් නෑ

ඔහු පසුගියදා යළිත් වතාවක් රුසියාවේ ටර්ටස්තාන ජනරජයේ පැවතී 17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා බවට පත්වුයේ තම සගයා වන සරත් කොතලාවලට ද ඒ සම්මානයේ කොටසක් හිමිකර දෙමිනී. දෙදෙනාම හොඳම නළුවා මේ ගෞරවය මෙරට ශ්‍රී ලාලිත්ය සිනමාවට හිම්වනේ අද්විතීය ලෙසටය. මීට පෙර කිසිදු නළුවන් දෙදෙනෙක් එකවර අත්තර්ජාතික සිනමා උළෙලක හොඳම නළුවා සම්මානය දිනාගෙන නොමැත. ඒ අතින් ඔවුන් දෙදෙනා ලංකේය සිනමා වංශකතාවේ නව පරිච්ඡෙදයක් ඇති කර තිබේ. එසේ වුව එවැනි කීර්තියක් අත්කර දුන් ඔවුන්ට රාජ්‍ය මට්ටමින් හෝ අඩුම ගණන් විත්‍රපට සංස්ථාවක් හෝ උපහාරයක් ලබා දුරකතන ඇමතුමක් දි සුබ පැතුම් නැති බව අපට දැනගන්නට ලැබුණි. 

'ද නිවුස්පේපර්’ චිත්‍රපටය තිර රචනය ලියමින් එය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන නළුවන් වූ මේ දෙදෙනාට මීට පෙරද ජාත්‍යත්තර සම්මාන රැසක් හිමිවුයේ එම චිත්‍රපටය වෙනුවෙන් දැක්වූ විශේෂ දක්ෂතාව නිසාවෙනි. එහෙත් ඔවුන්ට ක්‍රීඩාවලින් ලැබූ ජයග්‍රහණවලට හිමි ඔල්වරසන් හඬ ප්‍රසිද්ධිය, උපහාරය ලැබුණේ නැත. ඇත්තටම  එහෙම වුණේ ඇයි ඒ පිළිබඳව හොඳම නළුවා සම සමානය හිමිකරගත් කුමාර තිරිමාදුර 'රසවින්දන'ට කතා කිරීමට අමතක කළේ නැත. මේ ඔහුගේ කතාවයි. "මම දන්න විදිහට අපි වැනි කලාකරුවන් අවශ්‍ය වන්නේ දේශපාලන ඡන්ද වේදිකාවලට විතරයි. ඉන් පස්සේ බත් එකේ කරපිංචා කොළය වගේ අපි විසිකර දානවා. මුලින්ම ඔවුන් අයින් කරන්නේ අපියි. ඒ වගේ අපී මොනතරම් ජාත්‍යන්තර සම්මාන අරගෙන ආවත් කිසිම ඇගැයීමක් නම් නෑ. මම දන්නේ නැ ඇයි ඒකියලා. එදා ඔබට කිව්වා වගේ අපඅි අඩු කුලයේ අය හින්දද දන්නේ නෑ මෙහෙම කරන්නේ. නැත්නම් දේශපාලනය හින්දද? මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. මේ රංයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙක්.

බන්දුල ගුණවර්ධන මහත්මයා ද නිව්ස්පේපර් කරන්න කලීන් දා ධර්මසිරී බණ්ඩාරනායකට 'සුද්දිලාගේ කතාව' චිත්‍රපටය කරන්න, පරාක්‍රම ගිරිඇල්ලට 'සිරිමැදුර', 'අයෝමා” චිත්‍රපට කරන්න, ආරියරත්න ඇතුගලට 'සහෝ" චිත්‍රපටය කරන සල්ලි දීලා තිබෙනවා. ඒ වගේම ' තුන්වැනි යාමය' චිත්‍රපටය කරන්න භාගයක් සල්ලි දීලා තියනවා. ඔහු එදා ඉඳලා කලාවට සම්බන්ධ කෙනෙක්. එයා මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ හින්දද දන්නේ නෑ මෙහෙම අපට වුණේ කියලා ඒක මම හරියට දන්නේ නෑ, හේතුව මට වැටහෙන්නේ නෑ.

එදා සම්මානය අරන් ආව දවසේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මට කතා කරා එයාර්පෝට් එක්දි. මම කවදාවත් ඔවුන්ට ඡන්දය දීලත් නෑ. ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එදා ඔවැනි සමාන අරන් ආවාම අනාරාධිතව එයාපෝර්ට් එකට ඇවිත් පිළිගන්නවා. ඒක මම බය නැතුව කියනවා. කලාවට කලාකරුවන්ට සැලකු එකම පුද්ගලයා එතුමා කියලයි මම හිතන්නේ. එතුමා කලාකරුවන්ට ගෙවල් දුන්නා, ඉඩම් දුන්නා, උපහාර කළා. අදටත් එgෂක කලාකරුවන්ට දීමනාවක් ලැබෙන්නේ එතුමා හින්දයි. ලෙඩ වුනාම ඉස්පිරිතාලෙට ගෙදරට ගිහින් බැලුවා. එහෙම රාජ්‍ය නායකයෙක්ට හිටියේ ඔහු තමයි. ඊට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් මට කතා කළා. සුබ පැතුවා. බොරු කියන්න ඕනේ නැහැනේ. තව දේශපාලනඥයන් දෙතුන් දෙන්නෙක් විතරක් කතා කළා. ඒ හැර වෙන කිසි කෙනෙක් කතා කලේ නම් නැ. 

ක්‍රීඩාව හොඳයි.  එයින් ජය ලබන එක ඉතාමත් හොඳයි. මාත් ක්‍රිකට් ගහන්න පාසල් කාලයේ ගියා. අපේ පවුලේ 8  දෙනෙක් නිසා තාත්තාට ක්‍රිකට් ගහන්න අවශය දේවල් මට අරන් දෙන්න වත්කමක් තිබුණේ නෑ. මොරටුව වේල්ස් කුමර විදුහලට මම ගියේ. කුසල් මෙන්ඩිස් අපේ ඉස්කෝලේ තරුවක්. පාසලේ සෑහෙන්න කට්ටියක් අද ජාත්‍යන්තරයේ ක්‍රිකට් ගහනවා. එදා මට බැරි වූ නිසා තමයි මම නාට්‍ය කලාව යොමු  වුණේ. කාගෙවත් හිත රිදවන්න නොවෙයි මම මේ කතාව කියන්නේ. දැන් හිතන්න කුසල් දිගට ෆෙල් වුණොත් ඔහු අයින් කරලා වෙන කෙනෙක් දානවා. එහෙත් ජෝතිපාල අයින් කරලා වෙන කෙනෙක් දනවාද? රාජ්‍ය නායකයෝ සියලු දෙනා ගෙදර ගියා. ඒත් කලාකරුවන් ගෙදර ගියේ නම් නැ. එහෙම කලාවට අයි මේ රට සලකන්නේ නැත්තේ. මට හිතාගන්න බැහැ, දැල්පන්දුවට, ක්‍රිකට් ක්‍රීඩාවට උපහාර දුන්නාට වරදක් නෑ, ඒක හොඳයි. ඔවුන් ආසියාවෙන් දිනන විට අපි ජාත්‍යන්තර මට්ටමින් දින්නා. ඇයි අපි ගැන බලන්නේ නැත්තේ.

ප්‍රේමදාස මහතා හිටියා නම් අපට ගෙවල්. මුදල්. උපහාර ලැබෙන බව මම හොඳටම දන්නවා. ලෝකයේ රටවල් ගණනාවක් එක්ක තරග කරලයි අපි දින්නේ. එදා ඒ.ඩි. ජයමාන්නලාගෙන් පස්සේ ගාමිණි ෆොන්සේකා , ජෝ අබේවික්‍රම, ටෝනී රණසිංහලා අරන් ආවා නළු පරම්පරාවේ බැට්න් එක. ඊට පස්සේ කමල් අද්දරආරච්චිලා, ජැක්සන් ඇන්තනීලා අරන් ඇවිත් අපට දුන්නා. අපට පැත්තෙන් හේමාල් වර්ණකුල, බිමල් ජයකොඩි, දසුන් පතිරණ මේ බැට්එක ගත්තා. අපට බැටන් ඒක හරියට ලැබුණේ නැ, ඒත් ඒක හරියට කෙරුනේ නෑ. එහෙම වුණේ ඇයි කියන එක ගැන අපි හැමෝම සිතා බැලිය යුතු කරුණක්.

මම ලංකාව ගැන කලකිරිලා ඉන්නේ. මගේ දුවලා පිටරට ඉන්නේ. ඔවුන් එන්න කියනවා. මමත් ඉදිරියේදී ලංකාව අතහැරලා ඔවුන් ළඟට යන්න පුළුවන්. කිසිම පිළිවෙළක් මේ රටේ නෑ. සංස්කෘතික අමාත්‍යංශයක් තිබෙනවා. චිත්‍රපට සංස්ථාවක් තිබෙනවා. අඩුම ගණනේ දුරකතන ඇමැතුමක් දීලා කතා කරන්න බැරිද? මම දන්නේ නෑ, එයාලා එහෙම හැදෙන්නේ කියලා. අපි කොහොමද තරුණ පරම්පරාවට මේ  බැවින් එක දෙන්නේ මේ කවුරු නැතත් මටත් සරත්ටයි ජනතාවගේ අගය කිරීම්උපහාරය තිබෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ. එහෙත් මුළු ලෝකයම සිනමා තිබෙනවා. අපේ ද නිව්ස් පේපර්' චිත්‍රපටය මුළු ලෝකෙම බලනවා. ඒ ගෞරවය අපට ඇති".


සමන්ත යහම්පත්


Friday, July 22, 2022

සිනමා ක්ෂේත්‍රය ලොකු අනතුරක


අද වනවිට රට සම්පූර්ණයෙන්ම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙන බව නොරහසකි. මේ නිසා බොහෝ දේවල් ඇණහිට තිබේ. බොහෝ ව්‍යාපාර, කඩසාප්පු වැසී ගොස් ජනතාව පීඩාවලට ලක්ව සිටිති. මිනිසුන්ගේ මනසට සුවයක් දෙන, ඔවුන්ට රසවින්දනය ලබාදෙන සිනමා කර්මාන්තය ද අද විශාල ලෙස බිඳ වැටී තිබේ. මේ නිසා සිනමාශාලා ශීඝ්‍රයෙන් වැසී යාමේ තරිජනයට ලක්ව තිබේ. මේ පිළිබඳව කළ යුත්යත් කුමක්ද? සිනමාව රැදී පැවතීම සඳහා සිනමාශාලා අත්‍යවශ්‍යය.  මේ ගැන මෙරට වැඩිම චිතුපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ සිනමාශාලා හිමියකු ද වන චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ නිලධාරියකු වන සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ අදහස් විමසුවෙමු, ගම් එහිදී ඔහු දැක්වූ අදහස් වේ. 

"සිංහල සිනමාවට වසර 75 ක් පමණ කාලයක් ගොසිනුත් අදටත් අපට කතාකරන්නට සිදුවී ඇත්තේ සිනමාවේ අර්බුදු ගනයි. එයත් හරියටම ශ්‍රී ලංකාවේ දේශපාලනය වැඩියි. අර්බුදයට හේතුව වත් පිළියම්වත් නොසොයා පැලැස්තර ඇලවීමයි. ලංකාව පුරාවට නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් මොනතරම් සිටිනවාද , හපෝරි චිත්‍රපට හදමින් ඉන්නේ. මේ  මොහොතෙත් චිත්‍රපට 20 ක් පමණ නිෂ්පාදකවරුන් අත තිබෙනවා. ඒවා පෙන්වා ගන්නට තැනක් හෝ ක්‍රමයක් නැත. අඩු තරමින් කියන්නට වත් කෙනෙක් නවතම චිත්‍රපට සංස්ථාවක් තිබේ. එය සුදු අලියෙක්. එහි වැඩ කරන බොහෝ දෙනා චිත්‍රපට ගැන මෙලෝ දැනුමක් නැති නමුත් කතාවට නම්  සියල්ල දත්ලාය. ක්‍රියාත්මකව තිබූ සිනමා ශාලා 350 ක් 100 ක් වත් ප්‍රවේශම් කර ගැනීමට කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් දැනමුත්තලාය. තමන්ගේ පුද්ගලික ධනයෙන් සිනමා ශාලා හදයි. 

තමන්ගේ පුද්ගලීක ධනයෙන් චිත්‍රපට හදයි. ඒවා රැගෙන තිරගත කරවා මුදල් ඉපයීමට චිත්‍රපට සංස්ථාවෙන් කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත. නිලධාරීන් 200 කට පමණ මහා භාණ්ඩාගාරයෙන් මුදල් ගනිමින් වැටුප් ගෙවමින් කාලය කා දමයි. ඔය චිත්‍රපට සංස්ථාවේ නිලධාරින් 20 කින් ක්‍රියාත්මත කළ හැකියි. රජයේ මුදල් අවභාවිතා කරන්නන් මහා විනාශයක් කරමින් ඉන්නේ. සමහර අවස්ථාවලදී නිෂ්පාදනය කළ චිත්‍රපටය ඔවුන් ඉල්ලා සිනමා ශාලාවලට ඒවා මුදා හරී. ඉන්පසු සිදුවන්නේ කුමක්ද කියාවක් සොයා නොබලයි. නිලධාරීන් දෙතුන් දෙනෙකුට පමණක් ඇති හැකියාව මත චිත්‍රපට සංස්ථාව තවමත් හුස්ම ගනිමින් පවතී. ඒ නිලධාරීන් දෙතුන් දෙනා නැති දවසට චිත්‍රපට සංස්ථාවක් මියයනු ඇත. මේ දිනවල යම් තරමකින් හෝ චිත්‍රපට ප්‍රදර්ශනය කරනු  ලබන්නේ සිනමා ශාලා 40 - 50 ක ප්‍රමාණයකි. ඒවායේ එන චිත්‍රපටියේ හොද නරක අනුව තිරගත වන කාලය තීරණය වෙයි. කළ යුත්තේ අනිවාර්යයෙන් සති දෙකක් තිරගත කළ යුතුයි.

මාසයක් තිරගත කළ යුතුයි කියා නීති දැමීම නොවේ ඒවා තිරගත කරවීමට පහසුකම් ලබා දීමයි. අඩුම තරමින් විනෝද බද්ද වත් ඉවත් කොට මාසික හෝ වාර්ෂික බද්දක් නගරයේ ගමේ තරාතිරම අනුව අයකොට රජයට යම් මුදලක් සිනමා ශාලාවෙන් අයකිරීමයි. එසේ නොමැතිව සෑම ප්‍රවේශ පත්‍රයකින්ම විනෝද බද්ධ ලබා ගැනීම් වැවක් අත්හල යුතුය. මා දන්නා තරමින් පසුගිය කාලයේ විනෝද බද්ද ගෙවා ගැනීමට නොහැකි සිනමා ශාලා 20 ක් පමණ වසා දැමුණා.  සිනමා ශාලා ඉදිකරන්නට රැක ගන්නට වඩා සිනමා ශාලා වසා දැමීමට විත්‍රපට නැවක් වීමට චිත්‍රපට සංස්ථාවේ සමහර නිලධාරීන් හරිම රුසියන්. මේවාට කල යුත්තේ කුමක්ද? 


• තමන්ගේ පුද්ගලික වියදමින් හදා නිම කරන සිනමාශාලා සදහා විත්‍රපට සංස්ථාව හෝ රජයය යම් අනුග්‍රහයක් ලබාදිය යුතුය. අඩුතරමින් බැංකුවකින් ණයක් ලබා ගැනීමට උත්තේජනයක් දිය යුතුය.

 • පවත්වාගෙන යන සිනමා ශාලා නවීකරණයට තාක්ෂණික මෙවලම් සඳහා යම් අනුග්‍රහයක් ලබා දීම අත්‍යවශයයි. 

• නිෂ්පාදනය කරන චිත්‍රපට, එම චිත්‍රපට නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදී සිනමා ශාලාවලට යෙදවීමට නිදහස ලබා දිය යුතුය. (නිෂ්පාදක හා සිනමා ශාලා හිමියාගේ අවසරය මත) 

• විනෝද බද්ද සම්පුර්ණයෙන් ඉවත් කළ යුතුය. සිනමා ශාලාවෙන් උපයන මුදල සතිපතා චිත්‍රපට සංස්ථාව හෝ බෙදාහරින මණ්ඩලයෙන් එකතු කොට චිත්‍රපට නිෂ්පාදකයාට මාසන් මාසයට ලැබෙන පිළිවෙළක් සූදානම් කළ යුතුයි. 

• රජය, පුද්ගලික, ව්‍යාපාර, ආදිය හා සාකච්ඡා කොට වෙළෙඳ දැක්වීම් ආදිය සිනමා ශාලාවලට ලබාදී සිනමා ශාලාවට අමතර ආදායමක් ලබා දීමේ ක්‍රමවේදයක් සූදානම් කළ යුතුය. 

•රජය, පාසල් හා සාමාන්‍ය ජනයාට චිත්‍රපට කලාව ගැන අවබෝධයක් ලබාදී ඉන්දියාවේ මෙන් චිත්‍රපට නරඹන සංස්කෘතියක් ලංකාවේ ඇති කළ යුතුයි.

• රූපවාහිනී නාලිකාවල චිත්‍රපට පෙත්වීමේ යම් සීමාවක් අඩුම කරමින් රාත්‍රී 9 න් පසුව වත් චිත්‍රපට පෙන්වීම සඳහා නීති රීති සකස් කළ යුතුයි. ඒවායේ පෙන්වන Tele Films විදේශ චිත්‍රපටවලට වඩා හානිකරයි. චිත්‍රපටවලට ඇති රැගුම් පාලන මණ්ඩලයේ නීති පති ඒවාටවලංගු කළයුතුය. 


චිත්‍රපට සංස්ථාව කළ යුත්තේ ලංකාවේ සිටින චිත්‍රපට නිෂ්පාදකවරුන් හා සිනමා ශාලාහිමියන් එක තැනකට එකතු කොට ඔවුන්ගේ අදහස් අනුව මෙම කර්මාන්තය රැකගැනීමේ වැඩපිළිවෙළකට එක පෙළට ගැනීමයි. නොසේ නම් අරගලකරුවන් චිත්‍රපට සංස්ථාවද ඔවුන්ගේ යටතට ගන්නා දිනය වැඩි ඈතක නොවේ.නව ජනාධිපතිතුමනි මේ ගැන ඉක්මණින් පියවරක් ගන්න කියලයි මා ඉල්ලන්නේ.''


- යහම්පත්-


Friday, July 15, 2022

මම මැරිලා නැගිට්ටා - සුධර්මා ජයවර්ධන

ඇය බොහෝ අභියෝගවලට මුහුණ දුන්නාය. තමන්ගේ පුතා මියගිය සොවින් ඇය කලක් නිහඩව සිටි අතර, ඒ දුක මකාගැනීමේ අරමුණෙන් කලා ක්ෂේත්‍රයට යළි අවතීර්ණ වූවාය. බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ඇය, තමන්ට එල්ලවූ චෝදනා වලින්ද නිදොස් කොට නිදහස් වූයේ, ඒ සියල්ලට නිරිභීතව ඇය මුහුණ දුන් නිසාවෙනි. ඇය කලකට පසු නිෂ්පාදනය කළ " කොළඹ ඉතාලිය" ටෙලිනාට්‍යය ස්වාධීන රූපවාහිනී සේවයේ ටෙලිනාට්‍ය අතර පළමු තැනට පත්වීමට තරම් සමත් විය.

'ගඟ අද්දර, භාර්යාවෝ' වැනි ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කරමින්ද, විදෙස් ගායක ගායිකාවන්ගේ ප්‍රසංග මෙරට සංවිධානය කිමෙද ඇය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූවාය. රුවෙන්ද කාගේත් ආකර්ෂණය දිනාගත් ඇය නමින් සුධර්මා ජයවර්ධනය'කොළඹ ඉතාලිය" ටෙලි නාට්‍ය පිළිබඳවත්, යළි තවත් ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අතගැසීම පිළිබඳවත් ඇය "රසවින්දන" හමුවේ කතාබහකට එක්වූවාය. මේ ඇයගේ කතාවයි. "කලෙකට පස්සේ මගේ අලුත් ටෙලී නාට්‍ය 'කොළඹ ඉතාලීය ඉහළම තැනට ඇවිත්. ඒ ගැන මට ඇත්තේ ලොකු සතුටක්. මම කළ හැම ටෙලි නාට්‍යයක්ම ප්‍රේක්‍ෂකයෝ අතර ජනප්‍රිය වුණා. කොළඹ ඉතාලීය ටෙලීනාටය. කළේ මන්ද්‍රව්‍ය හා මිනිස්සු පිටරට යවන ජාවාරම්කාරයෝ ගැන කියන්නයි. මේ රටේ. දැවෙන ප්‍රශ්නයක් ගැන මම කතාකළේ. ඇත්තෙන්ම මේක හරීම ඛේදවාචකයක්. මේ හරහා මිනිසුන්ට හොඳ පණිවිඩයක්  මට දෙන්න ලැබුණා කියලයි මට හිතෙන්නේ ඒ නිසාම තමයි මේ ටෙලිනාට්‍ය අංක එයට තේරුණේ. අවුරුදු ගණනාවකට පස්සේ දිගටම ගිය ටෙලිනාට්‍යයක්. ඒ ගැන මට ලොකු සතුටක් තිබෙන්නේ.

ඉදිරියටත් මම ටෙලිනාට්‍ය කීපයක් කරන්න ලස්තිවෙනවා. මට කාලයක් ඇතිවූ ප්‍රශ්නත් එක්ක කලා ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා නිහඩව හිටියේ. මගේ පුතාගේ මරණයත් එක්ක ගොඩාක් කාලයක් මානසිකව වැටිලා හිටියේ මට මම මලා නැගිට්ට කෙනෙක්. මම දැන් ඒ සියල්ල අමතක කරන්න නම් වැඩවල යොදන්න ඕනේ. මට අද නැගිටින ශක්තිය දුන්නේ මගේ සැමියා. ඔහු මාව කෙළින් කරලා උඩට අරන්, මේ කලා කටයුතු ආපසු කරන්න කියලා ශක්තිය දුන්නා, ඒ නිසාම තමයි මම යළි වැඩ කරන පටන්ගත්තේ.මගේ සැමියා නුවන් ජයවර්ධන. හොඳ නීතිඥවරයෙක්, ඔහු නීතිඥ සංගමයේත් ඉන්නවා. ඔහු හැමවිටම මට ලොකු ශක්තියක්. මම සිවගුරුනාදන් එක යළි පවුලේ කතාවක් රැගත් ටෙලිනාට්‍යයයක් කරනවා. පවුල තුළ ඇතිවන ප්‍රශ්න තමයි මම කතාකරන්නේ. පසුගියදා මට මඩගහපු අයට හොඳ උත්තරයක් දෙන්න මට පුළුවන් වුණා. 

අවුරුදු 10ක් ගිහින් තමයි මම නිදොස් කොට නිදහස ලැබුණේ. බොරු චෝදනා හදලා මට අපහාස කරශ්න හැදුවා. දේශපාලනය බලය පාවිච්චි කරලා මිනිසුන්ට මෙහෙම කරන අයට හොඳ පිළිතුරක් අද දීලා තිබෙනවා, දේශපාලනඥයෝ දැනගත යුතුයි හැමදාම බලය තිබෙන්නේ නැති බව. ඉස්සර තමයි ඔය වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ, අද මිනිස්සු හරි දැනුවත්, දැන් බුද්ධිමත්, බලය නැතිවූ දාට සියල්ල ඉවරයි කියලා හිතාගෙන වැඩ කරන්න දැනගත යුතුයි. මට ලැබුණු තීන්දුවෙන් එයට හොඳ පිළිතුරක් ලැබී තිබෙනවා.අද දවසේදී කලාවේ නියැළෙන්න හරිම අමාරුයි. මොකද රටේ සියල්ල වෙනවෙලා "කොළඹ ඉතාලිය" ටෙලිනාට්‍යය ඉවර කරද්දි අපිට ලොකු සටනක් දෙන්න වුණා. හැබැයි මම ඒ දේවල් කොහොම හරි කළා. මම මිනිසුන්ට ගොඩාක් උදව් කළා. අද මිනිස්සු හරීම අමාරුවෙන් ජීවත්වෙන්නේ. තනි පුද්ගලයෙක් විදිහට අපිට මේ සියලුදෙනාටම උදව් කරන්න අමාරුයි. මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. අත අසරණයි. අද සල්ලි තිබෙන මිනිසුන් අසරණවෙලා. ඔවුන්ගේ වැඩ කටයුතු අඩාල වෙලා හරිම කණගාටුයි මේ රටට අද වෙලා තිබෙන දේ ගැන දැක්කම"

Friday, June 3, 2022

මේ නළු නිළියේ දේශපාලනයවත් රඟපෑමවත් දන්නේ නෑ

සිනමාව මගුලක්සවළකි, නළුනිළියෝ රසිකයන්ගේ දිදුලන තාරකාවෝ වෙහී. ඔවුන් අදීන පළදින විදියද ඇසුරු කරන ශිල්පීන් ගැනද රසික රසිකාවියන්ගේ ගොසිප් එමටය. සිනමා ශාලා පිරි ඉතිරෙන්නේ රසික රසිකාවියන්ගේ ඒ මන:කල්පිත රජදහනේ සැරිසරන තරු දෙස නෙත් යොමා බලා සිටින්නටය. ක්‍රිකට් තරුද ඒ වගේමය. මා මේ ලිපිය ලියන මොහාත් මේ මහපොළොවේ තත්වය ඉඳුරාම වෙනස්ය. සිනමාවේ රන්දෙවොල හැටියට සැලකෙන චිත්‍රපට සංස්ථාව මික්” නැත. 

සිනේ මායාව නරඹන්නට සිනමා ශාලා එකකටවත් ප්‍රේක්ෂකයින් දහදෙනකු ගෙන්වා ගන්නට නොහැකිය. නාට්‍ය ශාලා ගැනත් කිව හැක්කේ මේ ටිකම නොවේද? ගෙදර තිබෙන රූප පෙට්ටියෙන් පෙන්වෙන කතා වලින් කියන්නේ ආර්ථිකයට හෙන හත වැදුණු, ඒ නිසා ජීවිතයම උගසට තැබූ එකිනෙකා වවන කතාන්දරය. සම්ස්ත ප්‍රාසාංගික කලාවම සරණාගතයින් සැරිසරන හුදෙකලාවකැයි මහ ඇදුරු සුචරිත ගම්ලතුන් කීවේ අද ඊයෙක නොව මීට වසර විස්සකට පමණ පෙරය. නො එසේ නම් අද අප අත්විඳින්නේ ඇදුරු සුචරිත එදා පැවසු  අනාවැකියක්ද? මගුල් සක්වළෙහි සැරිසැරූ නළුනිළි තාරකාවන් අද ගෝඨාගෝ  ගම මාර්ග බාධක යකඩ වැටවල් උඩ නැග කාෂ්ඨක අව්වේ  පාලකයින් එලවීමට මරහඩ තලති. මේ සියල්ල දැක දැකත් ඒවාට  විසඳුම් සොයන්නට ජනතාව ඉදිරියේ පොරොන්දු වූ සෞභාග්‍යය  ළඟාකර දෙන්නට කටමැත දෙඩවූ ජනතා නියෝජිතයින් නියෝජිතයන් පාර්ලිමේන්තු සභාගර්භය දෙවනත් කරමින් වැළපෙති. පරස්පරව පොදු ජනතාව ද ගෑස් පෝළිම්, කිරිපිටි පෝලිම්, ඉන්ධන පෝලීම් ආදියහි මරාගනිති. සුසුම් හෙළතී, වියරුව තර්ජනය කර ගනිති. දෙකෝට් විසි ලක්ෂයක් වූ මහ ජනතාවම විවිධාකාර වූ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරන අතරතුර මේ සිදුවීම් පෙළ පිළිබඳව වෙනස් ඇහැකින් විමර්ශනය කරන්නට මෙවර අනෝමා ජනාදට ඇරයුම් කළෙමු. පහත පළවන්නේ ඇය හා පැවති සංකථනයයි.

 "අපි කියන කරන දේවල් සම්බන්ධයෙන් වගකීමක් අරගෙනයි අපි එය කළ යුත්තේ. පවතින තත්වය ගැන ප්‍රදර්ශන කාමයෙන් කටමැත දොඩවලා විසඳුම් හොයාගන්නවා වෙනුවට පුළුවන් සෝෂල් මීඩියා පොරක් වෙන්න. ඒ වගේම පවතින සමාජ අර්බුදය වැඩිකරන්න. ඒ නිසා මම සියල්ල අධ්‍යයනය කරමින් ක්‍රියාශීලීව ජිවත් වෙනවා. මේ අවස්ථාවේදී ඉදිරියට ආපු නිළියන් පිළිබඳවත් සාධාරණ විවේචනයක් මට තියෙනවා. ඒත් මං මේ කතාව එක්තරා කොටසකින් පටන් ගන්නම්. මගේ වෘත්තිය සිනමාව. එය අයිති සංස්කෘතියට. සෞන්දර්යයට මේ වෘත්තිය කොයිතරම් දියුණු කරන්න පුළුවන්ද? වසංගත තත්වයක් අතරතුරදීත් ප්‍රංශයේ පැවැත්වෙන කෑන්ස් සිනමා සම්මාන උළෙලට ඉන්දියාවට නියෝජනය කරමින් දීපිකා පදුකෝන් සහ ඓශ්වර්යා රායි රතු  පලස මතින් ලෝක ප්‍රජාවගේ පිදුම් ලබන්නට ආරාධනා ලබනවා. අපේ අසල්වැසි ඉන්දියානු සිනමාවෙන් නිළියන්ට මෙවැනි  ඉරණමක් අත්පත් වෙද්දී ලාංකීය සිනමාවේ ඓශ්වර්යා දීපිකාගේ වයසේ සිටින තරුණ නිළියන් පාලකයින් එළවීමට යකඩ වැටවල් මත නැගී බෙරිහන් දෙනවා. මෙය කොයිතරම් ඛේදජනකද? 

මම කියන්නේ සමස්තයක් හැටියට මේ කෑගහන නළු නිළියන් දේශපාලනය දන්නෙත් නෑ. රඟපෑම ගැන දන්නෙත් නෑ. ඒ නිසා තමයි ඔවුන් පාලකයා එළවා දමන දැවැන්ත ඊනියා දේශපාලනයට අතගහන්නේ. ඉතින් අද වෙනකොට මේ නිළියෝ ඔප්පු කරලා තියෙනවා ඔවුන් දේශපාලන අතකොළු විත්තිය. පටන් ගත්තේ නිරදේශපාලනික කියලා දැන් ඔප්පු වෙලා දේශපාලන අතකොළු කියලා. කොහොමද ඉතින් අරගලය ජය ගන්නේ? රටේ මහජනතාවගේ විවිධ වෘත්තීන් භාරව අමාත්‍යංශ තිස් අටක් තියෙනවා, කැබිනට් ඇමතිවරු තමයි මේ අමාත්‍යාංශ භාරව වගකීම් දරමින් රටේ සංවර්ධනය මෙහෙයවන්නේ. ඒ අතරිනුත් අපිට තිබුණු වරප්‍රසාදය තමයි සංස්කෘතිය, සිනමාව, සාහිත්‍ය කෙලින්ම අගමැතිවරයා යටතේ තිබීම. මොහොතකට කල්පනා කරලා බලා කොයි තරම් කලාව, සාහිත්‍යය, සිනමාව දියුණු තලයකට ගෙන්න පුළුවන්ද කියලා. මට මතකයි යහපාලන යුගයේදී මහා  සිනමාකරුවෙක් ඉහළ පුටුවකට පත් වී වැටුප් අරගෙන වාහන පාවිච්චි කරමින් කාලය නාස්ති කළා. මෙවැනි කලාකරුවෝ රජුන් තනන්නට ගොස් අන්තිමේදී රජාත් පචවුණා. පාර්ලිමේන්තූවට ගිය ගීතා කුමාරසිංහට  සංස්කෘතිය භාර රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබුණා. සතියක්වත් ඇයට එම ධුරයේ කටයුතු කරන්නට ලැබුණේ නැහැ. පසුගියදා සිදුවුණ ගැටුම්කාරි තත්වය නිසා කෝපයට පත් මිනිස්සු ඇගේ නිවසටත් පහර දුන්නා. ඒ බව ඇය හඬා වැළපෙමින් පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක්ද සිදුකළා. 

ඇයට සිදුවූ අලාභානි සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. ඒ වග්ම ඇය සංවේදීව පාර්ලිමේන්තූවේදී හඩා වැළපුණා, ඒ ගැනත් මට දුකයි. ඇය ඒ වෙලාවේදී නිවසේ සිටි බවත් කාමරයට ගුලිවී සැඟවී සිටි බවත් ඇය මෙහිදී කියා සිටියා. මම කල්පනා කළේ ඇගේ ජීවිතයට කිසියම් හානියක් වුණා නම් අපට අහිමි වන්නේ සිනමාවේ නිල් මැණික කියා සනත් ගුණතිලක අර්ථනිරූපණය කළ මහාර්ඝ කලාකාරිය බවයි. මගේ දැනුමේ හැටියට නොදන්නා දේශපාලනය දැන නොගෙන සිටීමේ විපාකය වශයෙන් ඇයට මෙම ඉරණම් අත්වූ බවත් ඇත්තටම මහජන නියෝජිතයින් කියන්නේ තමන්ගේ දුක කියමින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හඬා වැළපෙන පිසක්ද? එසේ නැතිනම් හඩා වැලපෙන දුක්විඳින පීඩිත  ජනතාව නියෝජනය කරමින් ඔවුනට දේශපාලන නායකත්වය දෙන පිරිසක්ද? ගීතා නිළියක් හැටියට දිනු සම්මාන කෝපයට පත් අය පොළොවේ ගසා කුඩු පට්ට කළ බව කිව්වා. එතකොට අනෝජා වීරසිංහගේ සමාන, විදෙස් සම්මාන ඇතුළු මුළුමහත්  දෙයක්ම ගිනිබත්වීම පසුපස තිබුණු දේශපාලන පළිගැනීම් ගැන ගීතා උගෙන ගත් දෙයක් නැද්ද? ඇයි ප්‍රවීණ නිළියක් හැටියට  තමුන් නිරත දේශපාලනය සිදුවිය යුතු ජනතා සේවය පිළිබඳව වගකීමකින් කටයුතු නොකළේ ?

වෘත්තීය සම්බන්ධයෙන් ශිල්ප හැදෑරීමක් නැති නිසා තැතැල කලී ගැහෙනවා.  රටේ දේශපාලනය ගැන ගැඹුරු කියවීමක් නැති නිසා පක්ෂ දේශපාලනයේ අතකොළු බවට පත්වෙලා ඉන්නවා. අලුත් අර්බුදකාරී දේශපාලනය තුළත් සිද්ධ වෙලා තියෙන ඒ දේමයි. කොටසක් පොහොට්ටුවේ කොටසක් සමගි ජන බලවේගයේ. කොටසක් පෙරැට්ටෝ. කොටසක් ජාතික ජන බලවේගයේ මෙයින් තොර කලාකරුවන් දේශපාලනය කුමක්ද යන්න හැදෑරීමට නම් සිනමාවෙන් පතිරාජ ලකුණත්, වේදිකාවේ සුගතපාල ද සිල්වාගේ භූමිකාවත් මේ අය ගැඹුරින් හැදෑරිය යුතුයි. තව ඕන නම් සංගීතයෙන් කේමදාස, නන්දා මාලනී සාහිතයන් සුචරිත ගම්ලත් යන අය හැදෑරුවොත් මේ අයට පුළුවන් වේව් තමුන්ගේ කලාව හර්ෂට් හසුරුවා ගන්නට. දාරියෝ ෆෝ, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට, යොන් පෝල් සාත්‍රී ස්ත්‍යපිත් රේ වෙලා තියෙන වැඩේ තමයි අපේ කලාකරුවෝ පොතක් පත්තරයක් කියවනවාද කියන එකයි."


Friday, December 3, 2021

කාගෙවත් බලපෑමට සරාගී දර්ශන කපා දැම්මේ නැ


ඔහු ලාංකේය සිනමාවේ සක්‍රීය ලෙස අඛණ්ඩව විත්‍රපට නිර්මාණය කරන අධ්‍යාක්ෂවරයා බව අමුතුවෙන් කිවයුතු නොව්. ඔහුගේ නිර්මාණ එකිනෙකට වෙනස් අතර ඒ සෑම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමට සමත්වී තිබේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේද ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගත් ඔහු අද දවසේ දී මෙරට සිනමාවේ කාගේත් කතාබහට ලක්වූ සිනමාකරුවා බවට පත්වී තිබෙන්නේ ඔහුගේ සිනමා නිර්මාණයක් එනතුරු ප්‍රේකයා බලා සිටින බව දන්නා හෙයිනි. ඔහුගේ 'ගින්දරි -3' චිත්‍රපටය තිරගත වනතුරු බලා සිටින ප්‍රේක්ෂකයාට ඔහු දැන් වෙනස්ම ආකාරයේ නිර්මාණයක් ඔවුන්ට ලබාදීමට බලාපොරොත්තු වේ. ඒ ඔහුගේ 25 වැනි සිනමා නිර්මාණය එළිදැක්වීමටය.


මේ සිනමාකරුවා උදයකාන්ත වර්ණසූරීයයි. ඔහු වෙනස් මගක යමින් කොරෝනා වසංගතය හමුවේ ඉතා ඉක්මනින් නිමකළ ‘ගිනිමල් පොකුරු" චිත්‍රපටය අද (03) සිට මෙරට සිනමා ශාලා රැසක තිරගත කිරීමට කටයුතු යොදා තිබේ. අවුරුදු 18ට වැඩි අය වෙනුවෙන් නිර්මාණය කළ මේ චිත්‍රපටය ඔහුගේ සිනමා ගමන් මගේ එක් හැරවුමක් ලෙස හැදින්වේ. ඒ  නිසාවෙන්ම ඔහු සමග වත්මන් සිනමාව 'ගිනිමල් පොකුරු' චිත්‍රපටය හා සිනමාව කර්මාන්තයක් වීම ගැන කතා කළෙමු. මේ එම කතාබහේ ලිඛිත සටහනයි.



•කොරෝනා වසංගතයෙන් පසු සිනමා ශාලා විවෘත වුවද තවමත් ප්‍රේක්ෂකයින් පැමිණීම අඩුවක් තිබිය දී 'ගිනිමල් පොකුරුමුදා හරිනවා. මේ අභියෝගය ඔබ බාර ගත්තේ කුමන හේතුවක් නිසාද? 


මේ කොරෝනා වසංගත අර්බුදය නිසා මෙරට සිනමා  ප්‍රේක්ෂකයන් ඇතුළු ජනතාව දැන්නම් හොඳටම හෙම්බත් වෙලා. ජන ජීවිතය අඩාල වෙලා. අපගේ සිනමා කර්මාන්තයටත් මෙම ගැටලු දැඩිව බලපා තිබෙනවා. රටේ තත්වය අයහපත් නිසා නිෂ්පාදකවරු බොහෝ පිරිසක් ලක්ෂ කෝටි ගණන් මුදල් වියදම් කර තැනු චිත්‍රපට ප්‍රදර්ශනය කරගත නොහැකිව ප්‍රශ්න රාශියක් මැද කල් ගෙවනවා. හොඳ  ආකර්ෂණීය චිත්‍රපට නොමැතිව සිනමාශාලා හිමියනුත් අර්බුද රැසක ගිලී සිටිනවා. ඒ වගේම සිනමා ශාලාවකට ගොස් හොද සිංහල චිත්‍රපටයක් බලා සිනමා ආශ්වාදයක් ලබා ගැනීමේ ආශාවකිනුත් සිටිනවා. 



මා "ගිනිමල් පොකුරු" චිත්‍රපටය ඉක්මනින් නිර්මාණය කළේ මේ සියලු කරුණු ගැන සිතාමතාමයි. සිනමා ශාලා විවෘත වුවද ඒවාට ප්‍රේක්ෂකයින් පැමිණීමේ අඩුවක් තිබෙනවා තමයි. එහෙත් කිසියම් සුවිශේෂී චිත්‍රපටයක් සිනමා ශාලා වෙත මේ අවස්ථාවේ මුදා හැරෙන්නේ නම් බලාපොරොත්තු නොවූ අයුරින් ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලා වෙත එන්නට පුළුවන්. එවැනි සුවිශේෂී චිත්‍රපටයක් ලෙස ගිනිමල් පොකුරු මා හඳුත්වන්න කැමතියි.  


එම සුවිශේෂිත්වය මෙම චිත්‍රපටයේ ඇතැයි කියන සරාගී දර්ශනද? 


සිනමාව හැර ගිය සුපුරුදු ප්‍රේක්ෂකයා සිනමා ශාලාවලට යළි  ගෙන්වා ගැනීමයි අධ්‍යක්ෂකවරුන්ටත් නිෂ්පාදකවරුන්ටත් අද තිබෙන ලොකුම අභියෝගය. සිනමා ප්‍රේක්ෂකයා වෙනත් දෘශ්‍ය මාධ්‍යයන්ට ඇබ්බැහි වීම තුළ සාමාන්‍ය අන්දමේ චිත්‍රපටයකින් මේ අභියෝගය ජය ගැනීමට අද කොහෙත්ම බැහැ. ලිංගිකත්වය යනු අපගේ ජීවිතය හා බැඳුණූ සාමාන්‍ය සංසිද්ධියක්. එය චිත්‍රපටයක් හෝ වෙනත් නිර්මාණයක් තුළ දකින විඳින ආකාරය තම තමන්ගේ රුචිකත්වය මත සිදුවන දෙයක්. තම තමන්ගේ රුචිකත්වය මත සිදුවන සරාගී දර්ශන කතාවට බද්ධ එක් කාරණවක් පමණයි. මෙය රැඟුම් පාලක මණ්ඩලයෙන් - වැඩිහිටියන්ට පමණක් ලෙස වර්ගීකරණය කරන ලද චිත්‍රපටයක්, එයත් මේ මොහොතේ එක්තරා විදියක සුවිශේෂ කාරණයක් තමයි.


• රැගුම් පාලක මණ්ඩලයේ හා වෙනත් අයගේ බලපෑම් මත මෙම චිත්‍රපටයේ තිබූ සමහර දර්ශන ඔබ ඉවත් කළ බවක් අසන්නට ලැබෙනවා. එය අන්තද?


කාගේ හෝ ඉල්ලීමකට එක් දර්ශනයක්වත් මා ඉවත් කළේ නෑ. චිත්‍රපටය කපා කොටා දමන්නට යැයි කියන තරම් බාල තීරණයකට සභාපතිනිය ඇතුළු රැඟුම් පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් පෙළඹුණේ නැහැ. ඔවුන් බුද්ධිමත් තීරණයක් ගැන තිබුණා. මෙම කතාවේ ඇති ප්‍රබල බව සියලුම සරාගී දර්ශන ඉක්මවා යනවා කියා මා සිතනවා. මෙය සත්‍ය සිදුවීම් මත පදනම් වූ කතාවක්. මීට විසි වසරකට පමණ පෙර මෙරට සිදුවූ සැබෑ සිද්ධියක්.


• මේ චිත්‍රපටයට පසුවත් එවැනි සරාගී කතා රැගත් චිත්‍රපට හැදෙමින් පවතින බවක් අසන්නට ලැබෙනවා. යළිත් කාම රැල්ලක් චිත්‍රපට ක්ෂේත්‍රයට එක් වෙන්නද මේ හදන්නේ?


සරාගී දර්ශන ඇතුළත් වූ පමණින් එය බාල නිර්මාණයක් වෙන්නේ නැහැ. විශ්ව සිනමාවේත් එවැනි සරාගී දර්ශන ඇතුළත් ගුණාත්මක චිත්‍රපට කොතෙක් තිබෙනවාද? අලුත් රැල්ලක් හදන බලාපොරොත්තුවෙන් නෙමෙයි මම 'ගිනිමල් පොකුරු" නිර්මාණය කළේ. මා මීට ඉහත කළ සරාගී දර්ශන ඇතුළත් "බහුභාර්යා" චිත්‍රපටය මෙයට හොඳ උදාහරණයක්. මා එම චිත්‍රපටය නිර්මාණය කළේ නිසරු සිනමා රැල්ලක් පැන නැගී තිබු කාලයක. මා දන්න තරමින් "බහුභාර්යා" චිත්‍රපටයෙන් පසු එම කාම රැල්ල නැවතුණා. හොඳ වැඩිහිටි චිත්‍රපටයක් තැනීම ඉතාමත් ආයාසකර නිර්මාණශීලී කාර්යයක්. අභියෝගයක්.



• කොතෙක් හොඳින් සතුටින් චිත්‍රපටියක් නිර්මාණය කළත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම ඊට හාත්පසින්ම වෙනස් වෙහෙසකාරී ක්‍රියාදාමයක්. ඔබ ඒ අභියෝගය ජය ගත්තේ කෙසේද?


මේ මාගේ විසිපස් වැනි චිත්‍රපටය. මට නම් කෙදිනකවත් මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අභියෝගයක් වුණේ නැහැ. ඒත් අද වෙන අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මෑත කාලයේ සිනමාව හැර ගිය බොහෝ ප්‍රේක්ෂකයන් හා වසංගත තත්ත්වය නිසා සිනමාශාලාවලට පැමිණීමට දෙගිඩියාවෙන් පසුවන ප්‍රේක්ෂකයන් යළිත් සිනමා ශාලාවලට ගෙන්වා ගැනීම.


තවමත් රට කිසියම් අයහපත් තත්ත්වයක තිබෙන නිසා වියදම් දරා ආකර්ෂණීය චිත්‍රපට තැනූ බොහෝ නිෂ්පාදකවරුන් තම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මැලිකමක් දක්වනවා. ඒ නිසා මේ මොහොතේ "ගිනිමල් පොකුරු" චිත්‍රපටය සමග මම ඉදිරිපත්වීම ගැන ප්‍රදර්ශකයින් හා සිනමා මණ්ඩල සතුටට පත් වී සිටිනිවා. වැසී තිබූ සිනමා ශාලා කිහිපයක් මෙම චිත්‍රපටය සමග යළි විවෘත වී තිබෙනවා.  අප මොන දේ කළත් අවසානයේ දී චිත්‍රපටයක වෙළෙඳ සාර්ථකත්වය  රඳාපවතින්නේ ප්‍රේක්ෂකයන්ගේ නැරඹුම් ප්‍රතිචාර මතයි. මේ චිත්‍රපටය එවැනි සාර්ථක්තවයක් ලැබුවහොත් එයින් සිනමා කර්මාත්තයට කිසියම් ප්‍රබෝධයක් ලැබේවි. තම චිත්‍රපට සමග පෙළ ගැසී සිටින අනෙකුත් නිෂ්පාදකවරුනුත් ප්‍රදර්ශනය සඳහා දිවීමත් වේවි.  


• සිනමාව කර්මාන්තයක් ලෙස පසුගියදා කැබිනට් අනුමැතියකින් පිළිඅරන් තිබුණා. මේ තත්වය සිනමාකරුවකු ලෙස ඔබ දකින්නේ කෙසේද? 


සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසයි ලෝකය පිළිගෙන තිබෙන්නේ. පසුගිය කාලය පුරාම සියලු තීරණ අරගෙන තිබෙන්නේ සිනමාව කලාවක් ලෙස සලකමින් පමණයි. සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්නා ලෙස  දීර්ඝ කාලයක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන්  අරගලයක යෙදෙමින් සිටියා. අද දවසේ එය ඉටුවී තිබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්. මෙයින් කර්මාන්තයකට  ලැබෙන සහන රැසක් සිනමාවටත් ලැබෙනවා. එය අපේ  සිනමාවේ දියුණුවට විශාල රුකුලක්. නොයෙකුත් හැල  හැප්පීම් මැද්දේ අද දවසේ ගෙවී යන අපගේ සිනමාවේ සැබෑ දියුණුවක් ලැබීය හැක්කේ ගතානුගතික හා රාජ්‍ය බැඳීවලීන් බැහැරව නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීමෙන් පමණයි කියා මා සිතනවා. එමෙන්ම එය සිදුවිය යුත්තේ රාජ්‍ය නියාමනයකට යටත්වයි.



- සමන්ත යහම්පත්-

Tuesday, November 2, 2021

ගාමීණි ගැන නෑසු කතා


ගාමිණී ෆොන්ස්කා නම් අද්විතීය රංගධරයා ගැන කොතරම් ලිව්ව ද ඔහු හා සම්බන්ධ සිදුවීම් වරින් වර සිතට නැගෙයි. මා ඔහුගේ සමකාලීනයකු නොවුව ද ඇසුරු කළ කාලය වසර කිහිපයකට සීමා වුව ද ගාමිණී සිතට අපූරු මතක සටහන් තබා යන්නට සමත් කලාකරුවෙකි. ඔහුගේ වැඩ අමුතුය. සිනමාව ඔහුගේ ජීවිතය විය. දිනෙක මම ගාමිණී හමුවීමට ඔහුගේ රත්මලානේ නිවසට ගියෙමි. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නළුවාගේ නිවෙස වුව ද එය තට්ටු ගණනාවකින් පිරි මහා මන්දිරයක් නොවීය. ගෙය වටා ඇති වඩා උස නැති තාප්පයට කාටවත් නගින්නට නොහැකි වන සේ විවිධ ගස් වවා තිබිණි. වඩා උස් නොවූ පොල් ගස් ද ඒ අතර තිබිණි. එකල බොහෝ කලා පුවත්පත්වල සඳහන් පරිදි ගාමිණීගේ සුප්‍රසිද්ධ තොප්පි රාක්කය යන විටම දැකගත හැකිය. ගාමිණි එකල විවිධ තොප්පි එකතු කළේය. එමෙන්ම ගාමිණීගේ විශාල උඩු කය ඡායාරූපයකි. කමිසයකින් ආවරණය නොවූ එය ඔහුගේ එකල සිරුරේ හැඩය කදිමට පෙන්වයි." මා එන වේලාව කලින් දන්වා තිබූ නිසා ඔහු මගේ පැමිණීම බිරිද සුමිත්‍රාට දන්වා තිබිණි. 



ඇය ඉස්තෝප්පුවට පැමිණ මට වාඩි වෙන්නට කීවාය. තවත් ටික වේලාවකින් මට කිරි තේ කෝප්පයක් ලැබිණ. ගාමිණී තවමත් නැත. තේ කෝප්පය  තොල ගා හමාර වෙන්ම ගෙතුළ කිසියම් තැනක සිට ගාමිණි මට නම කියා කතා කළේය.  මම හඬ ඇසුණු පැත්තට ඇවිද ගියෙමි, ගාමිණී මට පිටුපා එතැන තිබූ යකඩ වැටට හේත්තු වී මිදුල   දෙස බලාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියේය. ඒ දර්ශන පෙළ චිත්‍රපටයක ෂොට් බ්‍රේක්හවුස් (රුප  කැඩීමක්) එකක් මෙනියි මට සිතෙයි.  මගේ අඩි ශබ්දය ඇසී ගාමිණි බාගෙට බිවූ  සිගරැට්ටුව අළු බඳුනට දැම්මේය. ඔහු කවදාවත් සම්පුර්ණ සිගරැට්ටුව බිව්වේ නැත. ‘වංචල රේඛා' චිත්‍රපටය 1979 අග භාගයේදී පමණ රූගත කරද්දී ශ්‍රී ලංකාව පුරා විශාල සිගරැට් හිඟයක් පැවැතිණ. කඩවල සිගරැට් ගැනීමට නොහැකි විය. එකල චිත්‍රපට දර්ශන තලවලදී අනිවාර්යයෙන්ම හැම කෙනකුටම උදේටත් හැන්දෑවටත් සිගරැට් පැකැට්ටුවක් දිය යුතු විය. එහෙත් මේ සිගරැට් හිගය නිසා එය සීමා කරන්නට සිදු විය.



ගාමිණී එකල ද බිවිවේ ලංකාවේ මිල අධිකම සිගරැට් වර්ගයකි. එම සිගරැට් වර්ගය හිග වූ විට ඔහුට පිටරට සිගරැට් ලැබිණ. එකල සිනමා නළුවන් සිගරට් බීම පෞඩත්වයේ සංකේතයක් මෙන් විය. ඒ නිසා චිත්‍රපට දර්ශනවලදී පවා බොහෝ නළුවෝ සිගරැට් බොති. ඇතැම් විට  මෙය හොලිවුඩ් සිනමාවෙන් බෝවී ඉන්දියාවට ද පැමිණ ලංකාවට ද බෝ වූවකි. දැනට වසර කිහිපයකට පෙර ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණි විට මාධ්‍ය හමුවේදී ද සිගරැට් බිව්වේය. සංජේ දත් අයිෆා උළෙලට පැමිණි විට වේදිකාවට ආවේ සිගරැට් පැකැට්ටුවක් අතේ තබාගෙනය. එකල ලංකාවේ බොහෝ පැරැණි නළුවෝ ද සිගරැට් ටින්  එකක් අතේ රැගෙන ආහ. ගාමිණී අත ද බොහෝ විට සිගරැට් පැකැට්ටුවක් විය. අද ඒ සංස්කෘතිය දක්නට නොලැබීම වාසනාවකැයි සිතමි.  ගාමිණී බොහෝ විටෙක තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වූවෙකි. එකල බොහෝ විටෙක බෝතල් කළ වතුර ප්‍රචලිත වී නොතිබුණු නිසා පිරිසුදු වතුර නැති වූ විට ඔහු පානය කළේ සෝඩාය. සිගරැට්ටුවක් වුව ද බාගෙට බිව්වේ නිකොටින් ප්‍රමාණය ශරීරගත වීම අඩු කරගැනීමටය. මධුවිත පවා ඔහු අපුරුවට පානය කළේය. ආහාර ගැන සැලකිලිමත් වූවේය. රතු ලුනු අමුවෙන් ආහාරයට එක් කරගත්තේය. එහෙත් ගාමිණිට නිකොටින් ශරීරගත වීමෙන් නම් වැළකී සිටින්නට නොහැකි විය. ඔහුගේ ශරීර සෞඛ්‍යයේ හැටියට තවත් වසර පහළොවක් පමණ කිසි කරදරයකින් තොරව ජීවත්ව සිටින්නට හැකියාව තිබිණි. 



එහෙත් හෘදයාබාධය ඔහු අප වෙතින් රැගෙන ගියේය. දැන් ගාමිණීගේ හමුව වෙත යළිත් හැරෙමු. ඔහු මවෙත හැරුණේය. සිගරැට්ටුව අළු බඳුනට දමා ඉන් පසුව එතැන තිබූ වේවැල් පුටුවේ වාඩි වෙන්නට මට අතින් සන් කළේය. එය ද හොලිවුඩ් චිත්‍රපට නළුවකුගේ මෙනි. හැඩකාරය. මම පුටුවේ වාඩි වුණෙමි.  ගාමිණී සිටියේ උඩු කය නිරාවරණවය. ඒ කාලයේ ඔහුගේ වයස අවුරුදු හතළිස් තුනක් පමණ වෙතැයි සිතමි. එහෙත් ඔහුගේ ප්‍රෞඩත්වය, කඩවසම් බව බිඳකුදු අඩු නොවී පැවැතිණ. ඔහු සරම අඳින්නේ තරමක් කෙටි වන්නටය. එදා ද ඔහු කොට වන්නට බතික් සරමකින් සැරැසී සිටියේය. ඔහු එතැන තිබු පුටුවේ වාඩිවූයේ දෙපා පුටුව මතට ගනිමිණි. ඒ ඔහු කැමැති පහසුම ඉරියව්වටයි. “ඉතින්..." ඊළගට ඔහු මගෙන් ඇසුවේය. එය ඇත්තටම චිත්‍රපටයක දර්ශනයකට රූප කැඩීමක් මෙනි. තවත් දිනෙක ඔහුගේ සම්මුඛ සාකච්ඡාවකට මා  රැගෙන ගියේ ඔහුගේ නිදන කාමරයටය. එහි රවුම් ඇඳක් විය. බොහෝ විට එවැනි ඇඳක් මා දැක ඇත්තේ චිත්‍රපටවලය. මම රවුම් ඇදේ කොණක වාඩි වී ප්‍රශ්න ඇසුවෙමි, ගාමිණි එරමිනිය ගොතාගෙන මගේ ප්‍රශ්නවලට උද්වේගකර පිළිතුරු දුන්නේය. චංචල රේඛා චිත්‍රපටයේදී විවිධ ආකාරයේ උණුසුම්  වාද විවාදවලදී වාග් ප්‍රහාරවලට මා ලක් වුව ද, මගේ ප්‍රශ්න ඇසීම ඔහු ප්‍රිය කළ බව මට හැගිණි. ඒවාට වරින් වර සරදම් කළ ද ඔහු එසේ ප්‍රශ්න කරනු අසන්නට ප්‍රිය කළේය. 



“අද උඹ වාර්තකාරයෙක් හැටියට මගෙන් ප්‍රශ්න අහනවා. හෙට උඹ කතෘ කෙනෙක් වෙනවා. ඒක තමයි කර්මය. කර්මය කියන්නේ කරන දේ. ඒක අනුව තමයි විපාක දෙන්නේ." ඔහු කිවේය. ‘ඒක එහෙමම වෙන්නේ නෑ.' මා හරස් ප්‍රශ්නයක් නැගු විට ඔහු මා හා වාදයකට පැටළුය. ඔහු දිගටම කමය ගැන කතා කරන්නට විය.  තවත් දිනෙක මා සේවය කළ පුවත්පතට පාඨකයකු එවූ ලිපියකින් අසා තිබුණේ ගාමිණි වැනි ප්‍රබුද්ධ නළුවන් ගස් වන්දනා කිරීම වැනි මිථ්‍යා විශ්වාස පසුපස යන්නේ ඇයි කියාය. එකල ඔහු මීටියාගොඩ ගුණරතන හිමි සමග බෝධි වන්දනා වැඩසටහනකට එක්ව සිටි කාලයයි.   ඇතැම් විට එම ප්‍රශ්නය දේශපාලන වුවමනාවක් නිසා කවුරුන් විසින් හෝ එවා තිබුණා වන්නටත් ඇත,එහෙත් ඔහු ඒ ප්‍රශ්නයෙන් කෝපයට පත් වූයේය. ඔහු සැක කළේ පාඨකයකුගේ නමින් එය මා විසින් අසන ලද ප්‍රශ්නයක් බවය. “මේ නම් පාඨකයකුගේ ප්‍රශ්නයක් වෙන්න බෑ." කියමින් මුලින්ම කතාව පටන්ගත්තේය. ඔහු දැඩි සේ ආවේගශීලීව පිළිතුරු දුන්නේ මටය. “උඹ දන්නවා ද ගස් සෙවණක හිටියාම සමහර  ලෙඩ සනීප වෙනවා කියලා." ඔහුගේ ආවේගශීලී පිළිතුර මගේ සිතට වැදුණු කොටස එය විය. පාඨකයා එවූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මටය. ගාමිණීට හැමවිටම අමුතු දෙයක් කරන්නට වුවමනා විය. ඔහු චිත්‍රපටයක චරිතයක් රඟපෑමේදී පවා එයට උපරිමය ඉටුකරන්නට උත්සාහ කළේය.


' සන්දේශය', 'රන්මුතුදූව' ආදී ගාමිණීගේ මුල් කාලයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයකු වූයේ පසු කල ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ තිස්ස ලියනසූරිය ය.. “ගාමිණී කවදාවත්ම දර්ශන තලයේදී කරදරයක් කළේ නෑ. හැබැයි ඔහු රගපාන චරිතය චිත්‍රපටයේදී  ගොඩනගා ගන්න තව තවත් දේවල් එකතු කළා. ඒ චරිතය සාර්ථක කර ගැනීමට. චරිතය සාර්ථක කරගැනීමට ඔහු හැමවිටම කා එක්ක හරි කතා කළෙත් එයාව හඳුනා ගැනීමෙන් පස්සේ. බොහොම සියුම් විදියට එයා තමන්ට මුණගැහෙන අය හැදෑරුවා..." තිස්ස කියයි. පසු කල ඔහු තමා රගපාන චිත්‍රපට සඳහා සෙසු චරිත රඟපාන නළු නිළියන් ගැන සැලකිලිමත් විය. මුල් කාලයේදී ඇතැම් විට දර්ශන තලවලදී මතු වූ විවිධ අර්බුද වන්නට විය හැකිය. තමාට හරි හැටි සහාය නොදෙන ශිල්පීන් සමග ඔහු වැඩ කරන්නට අකැමැති විය. දයා රාජපක්ෂ ලියු ‘හුලවාලි' චිත්‍රපටයට නගද්දී එහි ප්‍රධාන චරිතයට ගාමිණීට කතා කරන්නට ගියේ එහි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ය. ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා සුප්‍රකට කැමරා ශිල්පියකු විය. සතිස්චන්ද්‍ර ඔහුගේ අධ්‍යක්ෂ කාර්යයට සහයවන්නට ආවේ ඩබ්ලිව්.ඒ.බී.ගේ ඉල්ලීම පරිදිය. සතිස් ගාමිණී හමුවී තම අරමුණ කීවේය. ගාමිණී එම චරිතය රඟපාන්නට කැමැති විය. මෙම සතිස් හුලවාලි කතාව හා එහි චරිත ගැන ද පැහැදිලි කරන්නට විය. බිබිල ඇත්තෝ හුලවාලි චිත්‍රපටයේ ප්‍රබල චරිතයක් විය. ධාරාට තම බිරිඳ අහිමි වන්නේ සිදාදියේ සිට පැමිණෙන බිබිලෙ ඇත්තෝ නිසාය. එය  ඛේදවාචකයකින් අවසන් වූවකි. 


ගාමිණී ඇසුවේ බිබිලේ ඇත්තෝ රගපාන්නේ කවුද කියාය. සතිස්  එකල ජනප්‍රිය නළුවකුගේ නමක් යෝජනා කළේය.  ගාමිණී ඊට අකැමැති විය.   “ගන්න ටෝනි" ගාමිණීගේ පිළිතුර විය.  ඇතැම් විට එම නළුවා ගාමිණී සමග ද ප්‍රශ්න ඇතිකරගත්තා විය යුතුය. ඔහු සතිස් සමග ද ප්‍රශ්න ඇතිකරගන්නට ඇත. නිර්මාණයකදී ඊට පූර්ණ දායකත්වය නොදී වෙනත් ප්‍රශ්න දර්ශන තලයේදී ඇතිකරගත්තා නම් සාර්ථකව එය නිම කළ නොහැකිය. ටෝනි බිබිලි ඇත්තෝ වූයේ ඒ ආකාරයෙනි. ඇතැම් විට ගාමිණීගේ අදහසට ඩබ්ලිව්.ඒ.බී. සහ සතිස් අකැමැති වූයේ නම් ගාමිණී එම චරිතය ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබිණ. ගාමිණීට චිත්‍රපටයක චරිතයක් අත හැරීම ඉතා සුළු දෙයකි. හුලවාලි චිත්‍රපටයේ චරිතය නිරූපණය ඉතාමත් සාර්ථක විය. ගාමිණීත් සුවිනීතා වීරසිංහත් ටෝනිත් මනාව එම චරිත නිරූපණය කළහ. ටෝනි ද ඉතා සාර්ථක චරිතාංග නළුවෙකි. ඔහු තම චරිතය වෙනුවෙන් සැබැවින්ම ඉතා මහන්සි වනෙකි. චරිතය හරිහැටි නිරූපණය කිරීම සදහා ඔහු තම රූප ස්වභාවය ඕනෑම ආකාරයකට වෙනස් කරගන්නට කැමැතිය. 


තිර පිටපත කලින් හදාරා ඔහු දර්ශන තලයට  එන්නේ දෙබස් ආදිය හොඳින් මතක තබාගෙනය. දර්ශන තලයේදී කැමරා කෝණය ලබාදීමෙන් පසු ටෝනි ඉතා නිවැරැදිව දෙබස් කියමින් සාර්ථකව චරිතය නිරූපණය කරයි. ඔහු කෝපයට පත්වන්නේ එදිනට නියමිත දර්ශන  වෙනස් කළහොත් පමණි. ගාමිණී - ටෝනි සුසංයෝගය කොපමණ ද යත් ගාමිණී අධ්‍යක්ෂණය කළ 'රෑ මනමාලි' චිත්‍රපටයේ ටෝනි රහස් පරික්ෂකයකු ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේය. ගාමිණි සිනමාවේ කිරුළු දරා සිටිය ද ඔහු 'රෑ මනමාලි' චිත්‍රපටයේ රඟපෑවේ නැත. “මම රඟ නොපා අධ්‍යක්ෂණය කළ පළමු වැනි චිත්‍රපටය 'රෑ මනමාලි' යි. එහෙම වුණේ සම්පූර්ණ අවධානයම චිත්‍රපටය යොමු කරන්න මට වුවමනා වූ නිසායි. මගේ චිත්‍රපටවල උප ප්‍රධාන රගපෑ ටෝනින්ගේ දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්නට ප්‍රධාන චරිතයකට යොදා ගැනීමේ අදහස කාලයක සිට මා තුළ තිබුණා."



ගාමිණී රඟ නොපා අධ්‍යක්ෂණය කළ 'රෑ මනමාලි' ගැන කීවේ එසේය. ‘රෑ මනමාලි' එකල සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කළ පස්වන මණ්ඩලයේ තිරගත කිරීමට ඉල්ලුම්  කෙරිණ. ගාමිණී ඒ පිළිබදව කීවේ අපූරු කතාවති. “රෑ මනමාලි පස්වනි මණ්ඩලයට සුදුසු දැයි තීරණය කිරීම සඳහා චිත්‍රපට සංස්ථාවෙන් බලන්න ඇවිත් හිටියේ එක් සාමාජිකයෙක් සහ ඔහුගේ බිරිඳ පමණයි. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ වාර්තාවල තියෙනවා මුළු මණ්ඩලයම චිත්‍රපටය බැලුවයි කියලා. මේක කොහොම වුණා ද කියලා සංස්ථාවේ ලොකු අයටවත් හිතාගන්න බෑ. ඒත් එය මණ්ඩලයේ තීරණයක් ලෙස අනුමත වී ‘ මනමාලි' පස්වැනි මණ්ඩලයට නුසුදුසු යයි කියා  තිබුණා." ගාමිණී කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට ප්‍රසිද්ධියේ  තම අදහස් කියා පෑමට බිය නොවන්නෙකි. ඒ ඔහුගේ හැටිය. එයින් වන ප්‍රතිඵලයට ඔහු බිය නොවෙයි.


-රොඩ්නි විදානපතිරණ-

Thursday, October 28, 2021

ප්‍රශ්න ඒක්ක ජිවත් වෙන්නේ නැ - ශ්‍රීමාලි ෆෝන්සේකා

නිරූපණ ශිල්පිනියක හා රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස කටයුතු කරමින් සිටි අතරේ විවාහක රූ රැජිණ තරගයෙන් කිරුළ හිමිකරගත්  ඇය පසුව රංගනයට පැමිණියේ “ඉස්සරහට යන්න" ටෙලිනාට්‍යය  සමගය. ඉනික්බිතිව A330, T-20,  මොණර කඩදාසි, රාවනා, තණමල්විල කොල්ලෙක් ඇතුළු නාට්‍ය ගණනාවකට දායක වූ ශ්‍රිමාලි' අද අපට හමුවන්නේ විකාශය වන 'සකර්ම” නාට්‍යයේ, සුමාලි' නම් වූ චරිතය සමගය. මේ කතාබහ  ශ්‍රීමාලි එක්කයි.


 ශ්‍රීමාලි කොහොමද මේ දිනවල ජිවිතේ?


මේ දිනවල අලුතින් ඩ්‍රාමා දෙකක් පටන් ගත්තා. එකක් හිරු ටී.වී. අනෙක දෙරණ.




ඒ කියන්නේ දැන් දිගටම ශ්‍රීමාලි රංගනයත් එක්ක?


ඔව්, ඒකට ආසයි. මට හොද චරිතත් ලැබෙන නිසා ආසාවෙන් ඒවා බාර ගන්නවා.



මේ දිනවල කතා වෙන්නේ “සකර්ම" නිසා නේද?

ඔව්.


'සකර්ම’ කියන්නෙ?


මම දැනගත්ත විදිහට කර්මය කියන දේ නැවත නැවත ඒම.


ඔබ එහි රඟපාන චරිතය ගැන කියමු?


සුමාලි කියන චරිතය, ඒක ටිකක් විශේෂයි. බොහෝ දෙනා ඒකට ආදරය කරන්න පටන්ගෙන. සකර්ම එකේ චරිත ගොඩාක් තියෙනවා. එක එක විදියේ චරිත. ඒ අතරින්, මේකත් වෙනස් චරිතයක්. ඉතින් ඒ චරිතයට අනුව, ගමක ජීවත්වන කර්කශක ජීවිතයක් ගත කරන කාන්තාවක්, සැමියා අහිමීව ජීවිතයට මුහුණ දෙන හැටි ඒ චරිතයෙන් කියැවෙනවා. ඒ චරිතයට වන හැළ හැප්පීම්වලට ලක්වෙන ස්වභාවය පෙන්වනෙ. ඇන්ත සමාජයේ අපට දකින්නට ලැබෙන චරිතයක්.


එක්වරම සුමාලීගෙ දෙබසක් කියන්න කිව්වොත්?


"මාර සැන්තෑසියක්නේ වෙලා තියෙන්නෙ"



දැන් මේ චරිතය වගේ ඔබ සැබෑ  ජිවිතයේ මුහුණ දුන් සිදුවීම් තියෙනවද? 


මේ චරිතය වගේ නම් නැහැ. මම නගරයේ ජීවත් වන චරිතයක්. හොදට සුව පහසුව ජීවත් වන චරිතයක්. ඒත් සුමාලි එහෙම නෙවෙයි.


 සුමාලිට වගේ මුහුණ දෙන්න වන කාන්තාවන්ට ඔබ දෙන පණිවුඩය මොකක්ද?


එයාට කොච්චර ප්‍රශ්න ආවත් ප්‍රතිපත්තියක් ඇතිව ජීවත්වන කාන්තාවක්. “සුබේ' කියන කොල්ලා නිතරම ඇය එක්ක පැටලෙන්න හදනවා. ඒත් සුමාලි ඒකට කැමති නැහැ. සුමාලි හදන්නේ ඒ තරුණයා යහමගට ගන්න. එය සමාජයට කියා දෙන හොඳ පණිවුඩයක්, අසම්මත සබඳතා එපා කියන එක තමයි, සුමාලි කියන්නෙ.



මේ චරිතය ඔබට' දැනෙන්නේ කොහොමද? මෙතක් කළ චරිත එක්ක සසදද්දී..? 


හාත්පසින්ම වෙනස්. මීට කලින් මේ වගේ චරිත රඟපාලා නැහැ. දරමිටියක් ඔළුව තියාගෙන ගිය ප්‍රථම අවස්ථාව. ඒක ලොකු දරමිටියක්. කිලෝ ගණනාවක් බර එකක්. කුෂන් එකක් වගේ තියලා බැලුවා. ඒත් ඒක හරි ගියේ නැහැ. දර ඔළුවෙ ඇනෙන්න ගත්තා. පස්සෙ බෙල්ලෙ කැක්කුමකුත් ආවා. සෑහෙන්න දුරක් ඒක අරගෙන ගියේ කොහොමද කියලා මටත් හිතාගන්න බැහැ. ඉතාම අපහසුතාවයට පත් වුණත් පසුව ඒක නරඹද්දී හරි සතුටුයි.


කොහොමද දැන් ඔයාගෙ සැලෝන් එක් වැඩ?


 ඒක දැන් නවත්තලා කාලයක් වෙනවා.


 අද වෙනකොට ප‍්‍රධාන වෘත්තිය?


 ප්‍රධානම වෙලා තියෙන්නෙ රඟපෑම. කොරෝනා එක්ක මේ ඔක්කොම වෙනස් වුණානෙ. ව්‍යාපෘතියක් කිරීම ටිකක් පීඩනයක්. මේ වනවිට හිරු ටී.වී. නිවේදිකාවක ලෙසත් වැඩ කරනවා.


කොහාමද ශ්‍රීමාලි පුද්ගලික ජීවිත් විස්තර?


විශේෂයක් නැහැ. දියණිය O/L කළා. ඒක හරි සතුටක්. එයාගෙ විභාගයටත් ලොකු කැපවීමක් කරන්න පුළුවන් වුණා. එයාගෙ අරමුණ නීතිඥවරියක වීමටයි.



අද "ශ්‍රීමාලිට" ආපස්සට ජිවිතේ දිහා බලද්දී කොහොමද හැඟෙන්නෙ? 


ගන්න තීරණ ගැන සතුටුයි. කලා ක්ෂේත්‍රයට ආ එක ගැන සතුටුයි. මම කොහොමත් සුබවාදීව හිතන කෙනෙක්. ලැබීම් - නොලැබීම් ගැන පසුතැවීම් නැහැ. එදා මම විවාහක රූ රැජිණ තරගයට ගිය නිසා තමයි මට කලා  ලෝකයේ ලස්සන ගමනක් විවර වුණේ. ඒ ගැන හරි සතුටුයි. එදා මම පළවැනියට රගපෑවෙ "ඉස්සරහාට යන්න" නාට්‍යයේ චරිතය ගැන පවා  අදටත් මිනිස්සු කතා කරනවා.



 ශ්‍රීමාලී' කවුද? මේ?


හරි සරල, හැමෝම එක්ක හරි සහයෝගයෙන් ජීවත්වන සතුටින් ඉන්න කෙනෙක්.



 'ජීවිතේ' කියන්නේ මොකක්ද? 


අපි හොදට ගතකළොත් සුන්දරයි. ඒක අපේ  අතේ තියෙන්නෙ. මේ ලැබුණු මනුස්ස ජීවිතේට වටිනාකමක් දුන්නොත්, ඒක හරි වටිනවා. මම හිතන්නේ ජීවිතය කියන්නෙ ලැබුණු හොඳ තෑග්ගක්. සතුටින් සිටීම නිසා මට ජීවිතේ දැනෙනවා. ප්‍රශ්න නැතුවා නෙවෙයි, ඒත් ඒ ප්‍රශ්න එක්ක ඇලීගැලී ජීවත් වෙන්නෙ නැහැ.



 හොද ගැහණියක්ද? මවක්ද? 


හොඳ මවක් ගෘහණියක් වෙන්න පුළුවන් වුණේ නැත්තෙ රගපෑම්, නිරූපණය නිසා කාර්ය බහුල වූ නිසයි. ඒත් මට හොඳ මවක් වෙන්න පුළුවන් වුණා. ඒ නිසා හොඳ ගෘහණියකට වඩා මම හොද මවක් කියනවාට කැමතියි.


අපි නොදන්නා ඔබ සතු දක්ෂතාවයන් මොනවද?


හොද රුපලාවන්‍ය ශිල්පිනියක වගේම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම හොඳට උයන්නත් පුළුවන් මට.


මොනවද හාදටම උයන්න පුළුවන්? 


වම්බටු කරි එක, සලාද වර්ග, ඒ වගේ ඔකෝම පුළුවනි. පෑන් කේක් හදන්න ආසයි. ළඟකදී ගෙදර කට්ටිය එකතුවෙලා, මාෂ් මෙලෝස් හැදුවා.


-සඳුන් ගමගේ-

රැකියාව නැති කරගෙන වීරයකු වූ රොබින්


"හය හතර තේරෙන වියේ සිටම සිනමාව කෙරේ මා තුළ තිබුණේ විශාල ලැදියාවක්. එය වැඩි වුණේ මම කාටන් ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේදීයි. මම ඒ කාලේ ඉඳලම ක්‍රීඩා හා විවිධ සටන් ක්‍රම හදාරන්න ලොකු ආශාවක් දැක්වූවා. සටනකින් හරි ක්‍රීඩාවකින් හරි ජයගෙන තෑග්ගක්, කුසලානයක් හෝ සහතිකයක් ලැබුණාම මගේ හිතේ මැවුණේ බටහිර තිරයේ දස්කම් පෑ නළුවන්. ඒකට බෙහෙවින්ම ස්තුති වුණේ එදා ඉඳලම ඉංග්‍රීසි  චිත්‍රපට බලන්න පුරුදු වූ නිසයි.” 


සිනමා සටනට ජවය හඳුන්වා දුන් රොබින් ප්‍රනාන්දු මා සමඟ මෙසේ පැවසුවේ අද ඊයේ නොවේ. 1978 වසරේ ජනවාරි මාසයේදීය. මෙම ඒ වනවිට ද රොබින් ජනප්‍රිය නළුවෙකි. ඔහු මා සමඟ කීව්වේ කවදාක හෝ සිනමාවට සම්බන්ධ වී අලුත් යමක් කිරීමට පාසල් කාලයේදීම ඔහු කැමැත්තෙන් සිටි බවයි. කෙසේ හෝ පාසල් කාලයෙන් පසුව රොබින් මැක්වුඩ් ආයතනයේ රැකියාවක් තෝරා ගත්තේය. වාසනාව සොයා ආවේ මේ කාලයේදීය. එකල 'කලා' සගරාවේ සංස්කාරක මෙන්ම චිත්‍රපට දෙබස් රචකයකු වූ ආරියරත්න කහවිටගේ උදව්වෙන් රොබින්ට 'චන්ඩියා' චිත්‍රපටයේ සටන් ජවනිකා කීපයකට සම්බන්ධ වීමට හැකි විය. ඒ 1965 දීය.  කොටහේනේ පදිංචිව සිටි රොබින් තම ප්‍රථම රඟපෑම තිරයෙන් ඉදිරිපත් කරන්නට මුලින්ම  කැමරාවට මුහුණ දුන්නේ කොටහේනේදීමය. 


ටයිටස් තොටවත්ත නමැති ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රථම සිනමා අධ්‍යක්‍ෂණය වූ 'චණ්ඩියා' හි ඒ අපූරු සටන රූපගත වූයේ කොටහේනේ නගර සභා පිහිනුම් තටාකයේදීය. එම අපූරු සටනේදී චඩියා ලෙස රගපෑ ගාමිණී ෆොන්සේකාගේ පහරකින් රොබින් අඩි 40 ක් තරම් පහළ වූ තටාකයට ඇද වැටුණේය. එය එතෙක් සිනමා තිරයට ආ ත්‍රාසජනකම සටනක් විය. එතැන් පටන් රොබින්ට තවත් චිත්‍රපට කිහිපයටම සටන් ජවනිකා සඳහා රගපාන්නට අවස්ථාව ලැබිණි. ඒ ඔහුගේ සටන් කිරීමේ දක්ෂතාව නිසාමය. චිත්‍රපට රගපෑම පටන් ගත්තද ඔහු මැක්වුඩ් ආයතනයේ රැකියාවෙන් ඉවත්වීමට අදහසක් නොවීය. රැකියාවත් රඟපෑමත් දෙකම එකට කරගෙන යෑම ඔහුගේ අභිලාෂය විය. එහෙත් දෙවය රොබින්ට ඊට ඉඩ නොදුන්නේය.  සටනට ක්‍රීඩාවට දක්ෂ වූවා සේම ඔහු ඉතා කඩවසම්ය. ඉතා පැහැපත්ය. උස අඩි 5 අගල් දහයකි. පුළුල් දෙවුර ඔහුගේ සිරුරේ හැඩයට මනා තේජසක් එක් කරයි. වම් කම්මුලේ පිහිටි උපන්  ලපය ද ඔහුගේ මුහුණට ගෙන ආවේ විශේෂත්වයකි.


මේ සියල්ල තිරයේ වීරයකුට අවශ්‍ය අංග ලක්‍ෂණය. මේ නිසා රොබින්ට දැවෙන පිපාස' චිත්‍රපටයේ රහස් පරික්ෂකයකු ලෙස වීරයාගේ චරිතය රගපාන්නට ලැබුණේය. එය රොබින් රඟපෑ ප්‍රථම ප්‍රධාන චරිතය මෙන්ම තිමති වීරරත්න නම් ප්‍රවීණ  කැමරා අධ්‍යක්‍ෂවරයා නිර්මාණය කළ ප්‍රථම සිනමා පටය ද විය. රොබින් ' දැවෙන පිපාස' චිත්‍රපටයේ රඟපෑවේ නිලන්ති විජේසිංහ සමගය. එහි ඇතැම් ජවනිකා  රූගත කළේ පානදුරේ ප්‍රදේශයේය. තිමති පදිංචිව සිටියේද පානදුරේ නිසා එහි බොහෝ ජවනිකා එම  ප්‍රදේශයේ කැමරාගත කිරීම තිමතිට පහසුවක් විය.  එවකට පාසල් යන කොළු ගැටයකු වූ මා මුල්වරට  සිනමා නළු නිළියන් හැබහින් දැක්කේ දැවෙන පිපාස රූගත කිරීමේදීය. ඒ නිලන්ති විජේසිංහ සහ    රොබින් ප්‍රනාන්දුය.  එකල පානදුරේ මාලමුල්ල පාසලට උඩහින් විශාල කැලයක් තිබුණේය. එම කැලයට විශාල කුරුඳු ඉඩමක්ද සම්බන්ධ වී තිබිණි. කිරිබේරිය පැත්තෙන් දිවෙන ගුරුපාර දක්වාම මේ කැලය විහිදුණේය.


දැවෙන පිපාස චිත්‍රපටයේ කැමරාගත කිරීම් සඳහා ඒ කැලෑවේ බොරු වළක් කපා එයට උඩින් වියළි කොළ දමා වසා තිබිණි. චිත්‍රපටයේ හැටියට රොබින් හෝ නිලන්ති මේ වළට ඇද වැටිය යුතු බව මට මතකය. රූගත කිරීමට කලින් දිනයේ තිමති, රොබින්, නිලන්ති සමග තවත් කීප දෙනෙක්ම පා ගමනින් ඒ  කැලයට පැමිණියේ දර්ශන තලය දැක ගන්නටය. පාරේ සිට තරමක් දුර කැලයට ඇවිද යා යුතුය. රොබින් කළු අත් කොට කමිසයක් හා කළු කලිසමක් ඇඳ සිටි බව මට මතකය. නිලන්ති එකල සුප්‍රකට මෝස්තරයක් වූ ඇගටම ඇළුණු වර්ගයේ සායකින් හා බ්ලවුසයකින් සැරසී සිටියාය. අපි පාසල් නිම වී රූගත කිරීම් බලන්නට දිව ගියෙමු.


රොබින් අත නිතරම කුඩා උල් පිහියක් විය. ඔහු හැම විටෙකම වාගේ ඉලක්කය බලා අසල ගසකට ඒ පිහිය එල්ල කළේය. හරියටම ඉලක්කය කරා ගොස් පිහිය හැම විටෙකම ගසේ රැඳිණි. එය ඔහුට ක්‍රීඩාවක් විය. ඔහු එය යළි ඇහිද එම ක්‍රීඩාව  නිතරම කළේය. වරෙක රොබින් කැලයේ කපා තිබූ බොරු වළට ඇද වැටුණේය. නිලන්තිට බොරු වළට ඇද වැටෙන හැටි කීවේය. යළි අත දිගු කර නිලන්ති උඩට ඇද ගත්තේය. දින දෙක තුනක්ම මේ කැලෑවේ දැවෙන පිපාසය රූගත විය. එකලද සිනමා පිස්සුවෙන් පෙළී සිටි මට මේ දර්ශන ගත කිරීම් සිතට ගෙන ආවේ අපූරු චමත්කාරයකි.



එක් සැඳෑවක හිරු බැස යමින් තිබිණ. එවෙලේ දන රූගත කරමින් තිබියදී රොබින් පිස්තෝලයක් පඳුරු අතරට එල්ල කරමින් නිලන්තිගේ අතින් අල්ලාගෙන  ගස් අතරින් ඇවිද යන්නට විය. ඇතැම් විරාමයකදී ඔහු උණ්ඩ නැති පිස්තෝලය ඈතට එල්ල කළේය. ආයුධ පරිහරණය ඔහුට සෙල්ලමකි.  දර්ශනය අතරතුර කැමරාවේ කාචය මාරු කළ තිමති රොබින්ට කීවේ සැඳෑ හිරු එළියෙන් නැහැවුණ කැලැව කැමරාවෙන් බලන ලෙසය. එසැණින් මම ද කැමරාවට එබුණෙමි. රන්වන් හිරු  එළියෙන්   නැහැවෙන කැලැව කාචයෙන් බලන විට අපූරු දර්ශනයක් මවා පෑවේය. එය මගේ සිනමා පිස්සුව  තවත් වැඩි කරන්නක් විය. ප්‍රථම වරට හැබැහින් මා දුටු සිනමා නළුවා වූ  රොබින් ප්‍රනාන්දු ඉන්පසු හැත්තෑව හා අසූව දශකයේ මට වඩාත්ම හමුවු රංගන ශිල්පියා විය. රොබින් හැරුණු විට මට නිතර හමුවූ තවත් නළුවකු වී නම් ඒ විජය කුමාරතුංග ය. විජය මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය ද රොබින් ඉගෙනගත් කොටහේන්නේ ශාන්ත බෙනඩික්  විද්‍යාලයේ ශිෂ්‍යයෝ වූහ. එහි ඉගෙන ගත් තවත් කලාකරුවන් රැසකි. 



ලෙනින් මොරායස්, ප්‍රේමනාත්  මොරායස් මෙන්ම රෝයි හඳපාන්ගොඩ, සුදේශ් ගුණරත්න යන නළුවන් ද, මෙරෝයි ධර්මරත්න ද එම ලැයිස්තුවේ මුලම සිටිති. අප බොහෝ විටෙක අසා ඇත්තේ විජය කුමාරතුංග නම් සිනමාවේ සිහින කුමරු මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ 'හන්තානේ කතාවෙන්' බවය. එහෙත් රොබින්ගේ මිත්‍රත්වය මත විජය ඊට කිලන් චිත්‍රපටයක දෙකක සුළු චරිත නිරූපණයක   යෙදුණේය. එහෙත් හන්තානේ කතාව ඔහුගේ ප්‍රථම ප්‍රධාන චරිතය රැගත් චිත්‍රපටයයි. දැවෙන පිපාස චිත්‍රපටය රොබින්ගේ ප්‍රථම ප්‍රධාන චරිතය වූවා සේම ඔහුගේ රැකියාව අහිමි කළ චිත්‍රපටයද විය. "චිත්‍රපටයේ ඔක්කොම කැමරා ගත කරද්දී නිලන්ති විජේසිංහ රූප සුන්දරී තරගයකට පිටරට ගියා. එහි රගපෑ හේන් ගුණරත්න අසනීප වුණා. අන්තිමට ඒ සියලු බාධා මැද චිත්‍රපටයේ වැඩ ඉවර කර ගන්න අහුවුණේ මායි. මමත් දිගින් දිගටම නිවාඩු දමමින් වැඩ කළා. අන්තිමට නිවාඩු ඉවර වුණා. මම ගිවිසුම් අත්සන් කරල තිබුණෙත් චිත්‍රපටය පෙන්නුවට පස්සේ මුදල් ලැබෙන විදියටයි. ඕන එකක් වෙද්දෙන් කියල හිතාගෙන මම තවත් නිවාඩු දමමින් චිත්‍රපටය ඉවර කළා.  අන්තිමට ආයතනයෙන් අස් කිරීමේ ලියුම දවසක ගෙදරටම ඇවිත් තිබුණා.  මුදල් ප්‍රශ්න තිබුණත් මම ආත්ම ශක්තියෙන් අනාගතයට මුහුණ දුන්නා. එහෙම නොවුණා නම් තවමත් මම නළුවෙක් නෙමෙයි. නිකම්ම නිකම්  සටන් නළුවෙක් පමණයි. මට ජනප්‍රියත්වයත්, ගෞරවයත් මුදල් හදලුත් යහමින් ලැබුණේ මගේ රැකියාව නැතිවුණ නිසා.


" රොබින් 1978 දී එසේ මට පැවසුවේ ඔහුගේ ජීවිතේ අමතක නොවන සිදුවීම එය බව මතක් කරමිනි. 


1937 ජුනි මස 15 වැනිදා උපන් රොබින් පසුගියදා තම 84 වැනි උපන් දිනය පසු කළේය. ඔහු මේ දිනවල රෝගාතුරව නිවසේ පසු වෙයි. එහෙත් මා දුරකථනයෙන් ඔහු ඇමතූ කල ඊට පිළිතුරු දෙන්නට ඔහු අමතක කළේ නැත. ඔහු රගපෑ බොහෝ දර්ශන තලවලදී මා දුටුවේ උදෙන්ම නැගිට ක්‍රීඩා ඇඳුමකින් සැරසී ඔහු ශාරීරික ව්‍යායාමවල නිතරවන ආකාරයයි. සුනිල් ආරියරත්න ‘කිදුරු කුමාරි' චිත්‍රපටය රූගත

කළේ ත්‍රිකුණාමලයේය. රූගත කිරීමේ කණ්ඩායම නැවතී සිටියේ නිලාවැලි කිට්ටුව කුඩා තානායමකය. ඒ විජය විවාහ වූ අලුතමය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත වූයේ විජය, රොබින් හා ජෙනිටා සමරවීරය. චිත්‍රපටය රූගත කළේ නිලාවැලි කිට්ටුව පිහිටි තැන් පැත්තකින් මුහුදෙන් වට වූ ගල්පරවලින් ගහණ වූ දූපතකය. අප උදේ කෑමට සූදානම් වන විට රොබින් මුහුදු වෙරළ දිගේ දුවයි. ඔහු උදේ ආහාරයට එන්නේ ඉන් පසුවය. ඩැනී ඩබ්ලිව්. පතිරණගේ ‘අහිමි දඩම' රූගත කළේ අනුරාධපුරයේ රබෑව ප්‍රදේශයේය. රොබින් හා රෙක්සි කොඩිප්පිලි සමග මාලනි ෆොන්සේස්කා මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. 1979 දී පැවැත්වූ ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේදී මාලනී ජනාධිපති සම්මාන ලැබූ ප්‍රථම නිළිය වූවාය. ඇය ඒ දිනවල සිටියේ 'අහිමි දඩමං'  දර්ශන තලයේය. රොබින් අහිමි දඩමං' චිත්‍රපටයේ රගපෑවේ මාලනීගේ පෙම්වතා ලෙසය. එය අලියකුද රඟපෑමට එක්වූ චිත්‍රපට කතාවකි. ඒ නිසා රොබින්ට අලියා සමඟද රගපාන්නට සිදුවීම තරමක් දුෂ්කර කාර්යයකි. එහෙත් ක්‍රීඩාවෙන් පුහුණු කරගත්  නිර්භීතකම නිසා ඔහු ඒ රගපෑම් සාර්ථකව ඉදිරිපත් කෙළේය. 



1979 දී රොබින් මෙන්ම රෙක්ස් ද ඉතාම ජවසම්පන්න වූහ. සාමාන්‍යයෙන් අප ගිය දිනවල පැහැදිලි හිරු එළිය උදේ පාන්දරින්ම අනුරාධපුර නගරය සිප ගනියි. එකල රෙක්සි හා රොබින් නැවතී සිටියේ අනුරාධපුරයේ අශෝක් හෝටලයේය. හෝටල් අංගනයද විශාලය. නිෂ්පාදක අංශයට සම්බන්ධ මෝටර් බයිසිකල් දෙකක් ඉල්ලා ගන්නා රෙක්සි හා රොබින්  උදෙන්ම හෝටල් අංගනයේ පවත්වන ජීම්නාස්ටික් සංදර්ශනය ඇත්තෙන්ම විස්මිතය. හමුදා පුහුණුව ලත් රෙක්ස් මෙන්ම ක්‍රීඩාශීලී  රොබින්ද මෝටර් සයිකල් ක්‍රීඩාවලට අපූරු දස්කම් දක්වති. රොබින් විටෙක මෝටර් සයිකලය මත හිටගෙන ධාවනය කරවයි. තවත් විටෙක සිය පාද ඉහළට රැගෙන ධාවනය කරවයි. මෙසේ ද ඊට දෙවැනි නැත. දෙදෙනාම මේ ශූර වීරකම් සංදර්ශනයක් මෙන් පිරිස පුදුමයෙන් බලා සිටිති. 


සිංහල සිනමාවේ අප දුටු දියාරු සටන්වලට නව ජවයක් එක් කළේ රොබින්ය. එකල රොබින් හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු එක්වූ විට එය ඇත්තෙන්ම ත්‍රාසජනක සටනක් විය.  රොබින් සටන් නළුවකු ලෙස සිනමා තිරය ජය ගත්තා සේම ඔහු චරිතාංග නළුවකු ලෙසද කැපී  පෙනුණි. ඔහුගේ හොඳම රගපෑම් මා දැක ඇත්තේ 1977 තිරගත වූ අමරනාත් ජයතිලකගේ 'සිරිපාල හා රන්  මැණිකා' චිත්‍රපටයේය. එය උප ප්‍රධාන චරිතයක් වුවද රොබින් ලයනල් ගේ චරිතය තිරයේ මැවුවේ  ප්‍රේක්ෂක සිත් සතන් ආකර්ෂණය කර ගනිමිනි. ඔහු සැබෑ මිනිසකු ලෙස ලයනල්ගේ චරිතයෙන් ඉස්මතු විය. මාලනීද රන් මැණිකා ලෙස විශිෂ්ට රංගනයක යෙදුනාය. රොබින් දර්ශන තලයේ පමණක් නොව ගෙදර සිටියදී දිනකට පැයක්වත් ව්‍යායාමයේ යෙදෙයි. සතියකට දින තුන හතරක්වත් පිහිනීමට යයි. ඔහු ව්‍යායාම සඳහා නවීන පන්නයේ උපකරණ භාවිත කරයි. ඇතැම් ව්‍යායාම කරන උපකරණවල අප නම දැන ගත්තේද ඔහුගෙනි. ඔහු එතරම්ම ක්‍රීඩා උපකරණවලට ආශා කළේය.



1982 දී ඔහු පුවතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ කෑම බීමෙන් බෙහෙවින් පරිස්සම් වන බවයි. පිටි කෑම අඩු කර පලතුරු වැඩියෙන් අනුභවයට ගන්නා බව ද ඔහු කියා සිටියේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 46ක් බව ඔහු කීව්වේය. ඒ නිසාම ඔහු අවුරුදු 80 ගණන් පනින තුරු ශරීරය නිසි ලෙස හැඩයකින් යුතුව තබා ගත්තේය. ඔහුට තිබුණේ අපූරු විනෝදාංශය. ඔහු  එකතු කළේ විවිධ ආයුධ වර්ගය. ක්‍රීඩා භාණ්ඩය. ඔහු විවිධ ඇඳුම් පැලඳුම්වලට ආශා කළද බොහෝ  විට ඇන්දේ ‘සෆාරි' ඇඳුම්ය. සෆාරි සූට් එක ඕනෑම තැනකට ගැලපෙනවා. ඒ නිසා සෆාරි සූට්වලට මම කැමැතියි." රොබින් එදා කීවේය. ඔහු බොහෝ කාලයක් පදිංචිව සිටියේ නාරාහේන්පිට ඇන්ඩර්සන් තට්ටු නිවාසවලය. එහි ගිය දිනෙක ඔහු මට පෙන්නුවේ අලුත්ම තාලේ ‘කෝට්' එකකි. එය ලෙදර්වලින් නිමා වූවකි. “මේක ගැන දන්නවද?" ඔහු ආඩම්බරයෙන් කීවේය. මම “නෑ " කීවෙමි. ඔහු මට සිතා ගන්නට බැරි  තරමේ ගණනක් කීවේය. එවන් විශාල මුදලක් වැයකර කෝට් එකක් ඇන්දේ කලාතුරකිනි. ඔහු ඒ කබායට කොතරම් ආශා කළාද යත් චිත්‍රපට ගණනාවකම ඔහු ඒ ඇඳුම ඇන්දේය. ඒ හැරුණු විට ඔහු විවිධ තොප්පි එකතු කළා පමණක් නොව ඒවා චිත්‍රපට රගපෑමේදී පැලඳීමට ද අමතක නොකළේය.



 ටයිටස් තොටවත්තගේ ‘චන්ඩියා' චිත්‍රපටයෙන් පටන් ගෙන ටයිටස්ගේම “සිහසුන", "හාර ලක්ෂ '. "කවුද හරි ආදී චිත්‍රපට කීපයකම ඔහු රගපෑවේය. 1984 දී ඔහු “මුහුදු ලිහිණි' චිත්‍රපටය සඳහා කුසලතා සම්මානයක් දිනා ගත්තේය. 1986 දී “සුරදුතියෝ' සඳහා සම්මාන දෙකක්ම ඔහු ලැබුවේය. ඒ ජනාධිපති හා සරසවි සම්මාන උළෙලවලදීය. 1991 දී 'තන්හා ආශා' චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් ඕ.සී.අයි.සී. සම්මානයද, 2018 දී සරසවි රණතිසර සමානයද ඔහුට පිරිනැමිණ. අද රෝගාතුරව සිනමාවෙන් ඈත්ව සිටියද රොබින් තිරයට එක් කළ ජවය සදා අමතක නොවනු ඇත. සිනමා තාරකා අතර 'ග්ලැමර්' (විචිත්‍රත්වය) දැකගත  හැකි වූ රංගන ශිල්පීන් අතර රොබින් ද මුල් පෙළේ සිටියි.  ඔහු සිනමා රංගනය මෙන්ම ටෙලිනාට්‍ය කීපයකද රගපෑවේය. ඒ 'ඉරබටු තරුව', 'පුෂ්පරාගය' ඇතුළු ටෙලිනාට්‍ය කීපයකය. බුද්ධ ධර්මය කෙරේ නැඹුරු වූ සිතක් ඇති රොබින් තම වියදමෙන් නාරාහේන්පිට විහාරයක බුදු   පිළිමයක් නිර්මාණය කරවීය.  එය එකල පුවත්හන්වල  පළ විය. 



හේමන්ති දියණියගේ හා චන්න පුතකුගේ පියා වූ රොබින්ගේ බිරිඳ වයලට්ය. පසුකල රොබින් මුහුණ පුරා රැවුල වවා සිටි අතර එය සුදු පැහැ ගැන්වී තිබිණ. එය බොහෝ විටෙක අපට සිහිපත් කළේ අමිතාබ් භච්චන්ගේ විලාසයයි. ඔහු බටහිර චිත්‍රපටවලට කොතරම් නැඹුරුවීද යත් ඔහුගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වූයේ "චාලිස් ඒන්ජල්ස්" ඇසුරෙන් තැනු සුරදූතියෝ" ය. ඊළඟට ‘නින්ජා ශ්‍රී ලංකා' ඔහු අධ්‍යක්‍ෂණය කළේය.   සටන් කලාවෙන් පමණක් නොව සිංහල සිනමාවට වෙනසක් කරන්නට ඔහු හැමවිටකම උත්සාහ කළේය. බටහිර නළුවකු මෙන් හැසිරුණු ඔහු චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවයි. රඟපෑමේදී පමණක් නොව දර්ශන තලයකදී විවේකීව සිටින විටදී උත්සව අවස්ථාවකදී ද ඔහු  කැපී පෙනෙයි. ඔහු තුළ නොනැසෙන තාරුණ්‍යය මෙන්ම ජවසම්පන්න බව ද එක්වී තිබේ. රොබින් තරුවක් ලෙස රසික හදවත් තුළ ශ්‍රී ලංකා සිනමාව තිබෙන තුරු විරාජමාන වනු ඇත.



-රෝඩ්නි විදාණපතිරණ-

Wednesday, October 27, 2021

ශලනි එක්ක රඟපාන්න ලැබුණෙ වාසනාවකට - සවින් ලියනගේ

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණයෙන් සහ මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ රචනයෙන් සිරස tv ඔස්සේ පුංචි තිරයට එන්න කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ඔබ ආදරය කරන 'නිර්වාන්ගේ ' චරිතයට පණ පොවන සචින් ලියනගේ සමග කතාබහකට  අද අපේ ඉඩකඩ වෙන්වුණි.



මේ දිනවල නිර්වාන්ගේ ආදර කතාව හරි ප්‍රසිද්ධයි. ඒ ආදරේ කොයි පැත්තට යයි ද?  නිර්වාන් දිගැසිව අතාරිවි ද  ස්නේහාට ආදරේ කරාවිද? කොහොමද ප්‍රේම කතාවේ තත්වය කියලා නිර්වාන්ගෙන් අහන්න හිතුවා..


ඇත්තටම ප්‍රේමවන්තයෙක් විදිහට මාත් ලොකු අර්බුදයක තමයි ඉන්නේ ස්නේහා එක පැත්තකින් දිගැසි එක පැත්තකින් මම අර්බුද   ගොඩකට මැදින්වෙලා ඉන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසාවෙන් කුතුහලයෙන් මේ දවස්වල ටෙලි නාට්‍ය බලනවා. ලැබෙන ප්‍රතිචාර දුරකතන ඇමතුම්වලින් ඒක තේරෙනවා. මට කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය එක තැනක දී අතරමග නතර වෙනවා. නැවත අලුත් ආරම්භයක් අරගෙන දින කිහිපයක් වුණත් ප්‍රතිචාරවල අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ.



ඒ ප්‍රේක්ෂක ආදරේ ගැන මොක ද දැන්නෙ? 


අපේ සාර්ථකත්වයේ මූලික දේ තමයි මේ නාට්‍යය කණ්ඩායමේ අධ්‍යක්ෂවරයාගේ සිට හැම කෙනෙක් තුළම තියෙන එකමුතුව. එක පාරටම ටෙලි නාට්‍ය නතර වෙලා නැවත ආරම්භයක් ගනිදදී ප්‍රේක්ෂක ප්‍රතිචාරය කොහොම වේවිද කලින් ලැබුණු ප්‍රතිචාරය ලැබේවි ද කියලා අභියෝගයක් තිබුණා. තව දෙයක් තමයි කතාව ගලාගෙන ගිහින් නතර වුණේ විශේෂ තැනක. ඒක තමයි දිගැසි ස්නේහා නිර්වාන්ගේ ආදර කතාව. මිනිස්සු තුළ කුතූහලයක් තිබුණා මේක බලන්න. ටෙලි නාට්‍ය අතරමග නතර වුණත් අපි හරි තැනින් නැවත  ආරම්භයක් ගත්තා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා..


මේ නාට්‍යයේ චරිත දෙකක් කරන එකම කෙනා ඔබ. නිර්වාන් සහ අනුත්තර නවකයෙක් විදිහට මේ චරිත දෙක අභියෝගයක් වුණේ නැද්ද? 


මුලින්ම කියන්න ඕන මගේ පළමු රංගන දායකත්වය අහස් මාලිගා ටෙලි නාට්‍යය. කියා දෙන්න ආදරේ තරම්  ටෙලි නාට්‍ය මගේ දෙවැනි ටෙලි නාට්‍ය වගේම ප්‍රධාන චරිතයක් කරන පළමු අවස්ථාව. රංගන කලාවේ අධුනිකයෙක් විදිහට ප්‍රධාන චරිතයක් කිව්වම මුලින් චකිතයක් බයක් දැනුණා. චරිත දෙකක් නිරූපණය කරන්න වුණාම ඒ අභියෝගය දෙගුණ තෙගුණ  වුණා. ධනුක අයියා මේකට මට කතා කරද්දීම මල්ලි චරිත දෙකක් කරන්න තියෙනවා කියලා කිව්වා. නිර්වාන් අනුත්තර කියන්නේ එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඒකත් එක්ක චරිත දෙකට මට ගොඩක් මහන්සි වෙන්න වුණා. මම නවකයෙක් විදිහට මට එක එක දේවල් ඉගෙන් ගන්න හොද අභියෝගයක්, නවක නළුවෙකුට ප්‍රධාන චරිතයක් කියන්නේ හීනයක්. අද ඒ හීනය ඇතුළේ මම ජීවත් වෙනවා. ඉතින් මේ චරිත දෙක ගත්තම වැඩිපුරම ආදරේ ලැබෙන්නේ, ප්‍රතිචාර ලැබෙන්නේ රෙදි මොලවත්තේ නිර්වාන්ට. අනුත්තරාට නම් බැනුම් තමයි ලැබෙන්නේ.



මේ නිර්වාන් හරහා සමින්ගේ ජීවිතේට ලැබුණු දේවල් තියෙනවාද?


මම වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සහ ටෙලි  නාට්‍යයක වැඩ කරලා තිබුණට මිනිස්සු මාව දැනගෙන හිටියේ නැහැ. ඒ හරහා මිනිස්සු අතරට ගියාම රැදෙන්න මට බැරිවුණා. මිනිස්සු අතර රැදෙන්න ප්‍රේක්ෂක ආදරේ බලන්න මට වාසනාව දුන්නේ නිර්වාන්ගේ චරිතය. දැන් සචින් කියනවට වඩා හැමෝම දන්නේ කතාකරන්නේ නිර්වාන් කියලා. මට මේ හැමදේටම මම ස්තුති කරන්න ඕන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ධනුෂ්ක අයියා, මහේෂ් අයියා, දුලිකා අක්කා, ප්‍රියන්ත අයියා කොඩිතුවක්කු සර්, මීනා අක්කා මේ අයට විශේෂයෙන් අලුත් කෙනෙක් ප්‍රධාන චරිතයක් කරන ටෙලි නාට්‍යයක. ඒ වගේ පුද්ගලයන් වගකීම ගන්න කියන්නේ ඒක මට මාර සතුටක් මම ගොඩක් වාසනාවන්තයි. ශලිනි අක්කා වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එකට. ශලිනි කියන්නේ මට ජීවිතේ මුණ ගැහුණු ඉතාම හොඳ මිතුරියක්. මේ චරිතය තුළ මට වැරදෙන දේවල් මම වරද්දන දේවල් හදාගත යුතු තැන් ගොඩක් දේවල් මට කියලා දෙන්නේ ශලිනි අක්කා. මේ චරිත දෙකේ මොන විදියකට හරි සාර්ථකත්වයක තියෙනවා නම් ඒ ඇයගෙන් ලැබුණු සහයෝගය නිසාම තමයි.


 සචින්ගේ ජීවිතේට නිර්වාන්ව දැනන් කොහොම ද?


 සචිනුත්, නිර්වාන් වගේම ජීවිතේ දුක් විඳලා කට්ට කාලා තමයි අද මෙතනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා සමහර දේවල දී නිර්වාන් මගේ ජීවින්ට ගොඩක් සමීපයි.


සචින් කොහොම ද මෙතැනට එන්නේ කලාව තෝරගන්න විශේෂ හේතුවක් තිබුණ ද? 


රංගනය මම තෝර ගත්තේ නැහැ. පාසල් කාලයේදිවත් මම නළුවෙක් වෙන්න

හිතලාත් නැහැ. එහෙම දක්ෂතාවයක් මගේ තුළින් මම දැකලා තිබුණෙත් නැහැ. රගපාන්න මට අවස්ථාව ලැබෙන්නේ නොහිතපු විදිහට. මගේ හිතවත් අයියා

කෙනෙක් ඉන්නවා රසාංග ඩී සිල්වා කියලා ඔහු ගායකයෙක්. එයත් එක්ක මම දවසක් ශ්‍රී ටීවී එකට යනවා ඒ අයියාගේ ගීතයක් බාර දෙන්න. එයාගේ ප්‍රොග්‍රෑම් එක ඉවර වෙනකම් මම ඉඳගෙන ඉන්නකොට ඒ අතරේ දී ශ්‍රී ටී. වී. එකේ සුජිත් අයියා මගේ ළඟට ඇවිත් ඇහුවා මියුසික් වීඩියෝ එකකට ඉන්න පුළුවන් ද කියලා. පස්සේ මම ඒ වැඩේට ගියා. ඔයා වගේ තව කෙනෙක්. කියන ගීතයේ මට තිබුණේ දුෂ්ඨයාගේ චරිතය කරන්න. ඒක තමයි මම කැමරාවක් ඉදිරියේ රඟපෑ පළමු අවස්ථාව.


නළුවෙක් නොවුනානම් සචින්ට මොකක්ද තිබුණු අරමුණ ?


පාසල් කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාව තමයි මගේ ජීවිතේ වෙලා තිබුණේ. නළුවෙක් නොවුනානම් අනිවාර්යන්ම මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා. අවාසනාවකට මට අවුරුදු 16දී තාත්තා නැති වීමත් එක්ක පවුලේ එකම පිරිමි දරුවා විදිහට මට රැකියාවක් කරන්න වෙනවා. ඒ නිසා මට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙන්න වෙනවා. කොච්චර කරත් මට ක්‍රිකට් ජීවිතෙන් අතාරින්න බැහැ. දැනටත් මම ක්ලබ් එකක සෙල්ලම් කරනවා.



සචින්ගේ පවුලේ තොරතුරු ටිකකුත් කියමු


 මගේ පදිංචිය වත්තල. පවුලේ අක්කලා තුන්දෙනයි මායි අම්මයි ඉන්නේ. මට අවුරුදු 16දී තාත්තාගේ අභාවයත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. පොඩි වයසක දී මට එකම පිරිමි දරුවා විදිහට ගෙදර වගකීම ගන්න වුණා. හැමදේම පැත්තකින් කියලා මම රැකියාවක් කරන්න ගියා. මුලින්ම වැඩ කළේ චයිනා හාබර් එකේ ටලි ක්ලාක් විදිහට. එතැන ඉද්දී තමයි මියුසික් විඩියෝවකින් මගේ දෙවය  වෙනස් වුණේ. ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට කඩා වැටම්වලට මුණ දුන්නා. මගේ පොඩි අක්කාත් හදිසියේම නැතිවුණා. අනිත් අක්කලා දෙන්නා විවාහ වෙලා ඉන්නවා. දැන් මමයි අම්මයි පොඩි  අක්කාගේ පුතයි තමයි මගේ පවුල. 


සිනමාව පැත්තට යන්න සචින්ට අවස්ථාව ලැබිලා නැද්ද? 


ඒක තමයි මට දැන් තියෙන ලොකුම ආසාව. නමුත් ඒ තැනට යන්න මම තව ඉගෙන ගත යුතු දේවල් අත්දැකීම් ලබාගත යුතු තැන් ටිකක් තියෙනවා. තවදුරටත් කලාව ගැන ඉගෙන ගන්න ආසයි. මට මේ වෙනකොට සිනමාවට ආරධනා ලැබිලා තියෙනවා. ඒ අතර අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒ අලුත් චරිතය වෙනුවෙන් මහන්සි වෙනවා. ඉදිරියේදී ටෙලි නාට්‍ය වැඩ ටිකක් අඩු වුණාම සිනමාව එක්ක එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇත්තටම මම සිනමා නළුවෙක් වෙන්න තමයි ගොඩක් කැමති.



සචීන්ට ජීවිතේ ගැන අද මොකද හිතන්නේ?‍


මගේ ජීවිතේ අභියෝග, ප්‍රතික්ෂේපෙවීම් ඕන තරම් තිබුණා. දැනුත් තියෙනවා ඉස්සරහටත් තියේවි. මම කාවවත් පාගාගෙන ඉස්සරහට යන්නේ නෑ. මේ තැනට ආවේ මගේ  මහන්සියෙන්. මට කා එක්කත් තරගයක් නැහැ. කොහොමත් මම ජීවිතේ දේවල් ලොකුවට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. මම කවදාවත් ලැබෙන්නේ නැති දේවල් ගැන පසුතැවෙන්නේ නැහැ. මට ලැබෙන දේවල් එක්ක සතුටින් ජීවත් වෙන කොල්ලෙක්. අභියෝගවලට මම හරි කැමතියි.


කකුල් පණ නැති වෙන අභියෝගයක් ළඟ දී සවින්ට ලැබුණා නේද?


 අම්මෝ ඔව්නේ. සිරසේ The voice වැඩසටහනේ නිවේදක සුමිරාන් සහෝදරයාට කොවිඩ් පොසිටිව් වුණ වෙලාවේ එදා උදේ 9 විතර කතා කරලා කිව්වා අද හවස The voice වැඩසටහන ශලිනි එක්ක කරන්න ඕන කියලා. පැය 8ක් වගේ තිබුණේ පුහුණු වෙන්න. මම කවදාවත් මයික් එකක් අතට අරගෙන තිබුණේ නැහැ. පළවෙනි වතාවට මම නිවේදකයෙක් විදිහට වේදිකාවට ගොඩ වුණේ. ඇත්තටම ශලිනිට මේ වෙලාවේ විශේෂයෙන් ස්තූති කරනවා. මට ගොඩක් උදව් කළා, The voice රියැලටි සජීවී වැඩසටහන මට ලැබුණු අමතක නොවුණම අභියෝගයක්.

ඇත්තටම එදා ඒ වේදිකාව උඩට ගියා ගැමන් මගේ කකුල් වෙව්ලන්න ගත්තා. හැබැයි වැඩේ සාර්ථකව කළා.


සවින්ට ආදරේ මොකද හිතෙන්නේ?


 ආදරේ ඇතුලේ සතුටම විතරක් නෙමෙයි දුකක් තියෙනවා. මේ ලෝකේ තියෙන භයානකම සහ වටිනාම හැගීම තමයි ආදරේ කියන්නේ ඒ ආදරේට ඇත්තටම මම ටිකක් බයයි.


සංගීතය මගේ ජිවිතයයි - චේතනා රණසිංහ

ගීතයට ආදරය කරන බොහෝ දෙනෙක් අතර මේ දිනවල නිතරම මිමණෙන ගීතයක් තමයි   ‘වෛවර්ණ නාරි' කියන්නෙ. මේ ගීතය ගායනා කරන Dream star වේදිකාවෙන් බිහිවුණු ගායන තාරකාවියක් වන චේතනා රණසිංහ. මේ කතාබහ ඇයට ආදරය  කරන ඔබ වෙනුවෙන්. වෛවර්ණ  නාරි මා රතදර සලා සක්මන් කලා.. පියුමන් තබා.. සඳසාර වත රූ කමලේ සිත්තම් බලා.. සැනසෙන්න ශෘංගාරෙන් මත් වී මා හා සරා.. 



මොකද්ද මේ කතාව? 


ඇත්තටම මේ සංකල්පය මෙහි ගී පද රචකයාට අනුව නම් විවිධ දක්ෂතා තියෙන වෛවර්ණ ළඳක් ගැන කියවෙන ගීතයක්. ඇය තමන්ට තියෙන දේවල් වර්ණනා කරමින් තමන්ගේ  ආදරවන්තයාට කතා කරන ගීතයක් තමයි මේ.


මේ වෙද්දි ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවාද?


ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් දෙනෙක් ගීතය නරඹලා මට අදහස් දක්වනවා. හින්දි ගීතයක් වගේ කියලා තමයි කියන්නෙ . එවැනි ප්‍රතිචාරයක් දක්වන්නේ ගීතයට  යොදාගෙන තියෙන ඇඳුම් පැළඳුම් එක්කත් වෙන්න ඇති. ඉතින් මගේ ගායන හැකියාවත්, නර්ථනය හැකියාවත් දෙකම මේ ගීතය තූළින් එළිදක්වන්න හැකිවෙලා තියෙනවා. ඉතින් ඒ හැමදේටම බොහෝ දෙනෙකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා,


කාලෙකින් දැකපු වෙනම ගීත නිර්මාණයක්. මේ වෙනස ගැන කතා කළොත්?


ඇත්තටම මම දී කාලයකට පස්සෙ තමයි ගීත නිර්මාණයක් කළේ. මගේ අධ්‍යාපන කටයුතු සහ රැකියාවෙ වැඩ කටයුතු එක්ක කාර්යබහුල වුණා. ඉතින් ඒ නිහැඬියාවත් එක්කම මට වෙනස්ම නිර්මාණයකින් එළියට එන්න තමයි අවශ්‍ය වුණේ. මුලින්ම හිතුවෙ නැහැ නර්ථනයක් එක්ක වීඩියෝවක් කරනවා කියලා.  නමුත් මම කසුන් එක්ක කතා කරගෙන මුලින්ම පසන් අයියාට මේ වැඩකටයුත්ත භාර දුන්නා. මම ඔහු තමයි මේ අදහස ගැන මුලින්ම කිව්වේ, ඉතින් පසන් ලියනගේ සංගීතවත් කරපු මේ ගීතය ෂෙ‍හාන් ගලහිටියාව තමයි පද රචනය කරන්නේ, ඉතින් ගීතයේ සියල්ලම හොඳින් කෙරුණට පස්සෙ තමයි ගීතයට රූප රචනයක් කරන්න අවශ්‍ය වෙන්නෙ. 



ඒ වෙනුවෙන් අපි සන්දේෂ් බණ්ඩාර තෝරගන්නවා. ඉතින් ඒ තෝරාගැනීමත් එක්ක අපි ඔක්කොම මේ ගැන කතා වෙද්දී තමයි හිතුවෙ නර්ථනයක් එක්ක යන වීඩියෝවක් කරමු කියලා. ඉතින් සන්දේෂ් වර්ණවත් විදියට ඔහුගෙ වැඩ කටයුත්ත කළා. ඉතින් ඒ වණවත් භාවය  තවත් වැඩිවුණේ මේ වෙනුවෙන් යොදාගත් ඇඳුම් පැළඳුම්. මොකද ඒ ගැන බොහෝදෙනෙක් කතා කළා. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ එහිදී මගේ ඇඳුම් නිර්මාණය කළේ වෙනුක යසස්ශ්‍රී වික්‍රමආරච්චි. ඔහු එය ඉතා අලංකාර විදියට මට අවශ්‍ය විදියට මගේ කැමැත්තට අනුව නිර්මාණය  කරලා දුන්නා. ඒ වගේම නර්ථන කණ්ඩායමේ ඇඳුම් නිර්මාණය සිදුවුණේ අසංග ද සිල්වා අතින්. ඔහුගෙ නර්ථන කණ්ඩායම තමයි මේ  වෙනුවෙන් සම්බන්ධ වුණේ.  නමුත් ඒ හැම ඇඳුම් නිර්මාණයකම වර්ණ  ගැළපීම සිදුකළේ වෙනුක යසශ්‍රී. ඇත්තටම ඒ ගැළපීමෙන්ම ලොකු එළියක්, ආකර්ෂණයක් ලැබුණා මේ වීඩියෝවට. මේ ශිල්පීන් හැමෝගෙම එකතුව නිසා තමයි මේ විදියට ලස්සන නිර්මාණයක් අවසන් කරගන්න හැකිවුණේ. ලැබෙන ප්‍රතිචාර වලින් හිතෙනවා අපේ වැඩ කටයුත්ත සාර්ථකයි කියලා.


තරුණ පරපුර ටිකක් වැඩිපුර ගීතය වැළඳගෙන තියෙනවා නේද?


ඔව් ඇත්තටම අද ගොඩක් ජනප්‍රිය මාධ්‍යයක්   වෙලා තියෙන්නේ ටිටෝක් හරහා මේ ගීතයට නර්ථනයන් එකතු කරලා මට එවලා තිබුණා. ඇත්තටම ඒවා දකිද්දි මටත් ගොඩක් ආසා හිතුණා. ඉතින් ඒකත් වෙනම රසාස්වාදයක්. ඉතින් අපි ඒ වෙනුවෙන් වෙනම තරඟයකුත් සූදානම් කරගෙන යනවා ටික්ටොක් වීඩියෝ එකතුවක්. ඒ වැඩ කටයුත්ත ඉදිරියේදී දැක බලාගන්න පුළුවන් වෙයි.


චේතනා රණසිංහ කියන ජනප්‍රිය රියැලිටි ගායන තරගයකින් ජනතා 

මනාපයෙන් ඉදිරියට ආපු ශිල්පිනියනෙ. ඉතින් එදා තිබුණු ඒ ජනතා ප්‍රසාදය තවමත් තියෙනවද? 


ඒ ආදරය නම් වෙනස් වෙලා නැහැ. තවමත් තියෙනවා. කාලයක් මාව දකින්න නැති වුණාමත් කට්ටිය අහනවා ඇයි දකින්න නැත්තෙ කියලා? ඇත්තටම Dream Star වේදිකාව් හිටපු මුල් කාලෙ තරමට නම් එදා ලැබුණු ඒ ප්‍රතිචාරවල අඩුවක් අද වේද්දි තියෙනවා. නමුත් මම නිර්මාණයක් කළාම ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර දක්වන, ඒ ගැන කතා කරන ආදරණීය රසික පිරිසක් ඉන්නවා. ඉතින් මගේ ඉදිරි අරමුණත් හොඳ නිර්මාණ කරලා ඒ රසික පිරිස වැඩි කරගැනීම තමයි.


චේතනාට ප්‍රේක්ෂක ආදරය වගේම සැබෑ ආදරය ලැබෙනත් Dream star වේදිකාව හරහා ?


 සැබෑ ආදරය ලැබෙන්නෙ නම් Dream Star අවසන් වෙලා අවුරුදු ගණනකට පස්සෙ . ඒ වේදිකාවෙ  තරග වදිද්දි නම් කවදාවත් හිතුවෙ නැහැ කීර්ති පැස්කුවල් කියන කලාකරුවා මගේ මාමණ්ඩි වෙයි කියලා. ඒ කාලෙදි මම කසුන්ව දන්නෙත් නැහැ ඇත්තටම. පසුකාලීනව තමයි ඉතින් මේ දේවල් සිද්ධවුණේ.


මේ වේදිකාවට සම්බන්ධ වුණු බොහෝ දෙනෙක් අද රංගන ශිල්පීන් වෙලා ඒ ආදරයත් ලබාගෙන තියෙනවා. චේතනාට රංගන වරම් ලැබුණේ නැද්ද? 


ඇත්තටම සෑහෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.  මම Dream Star තරගයට සම්බන්ධ වෙන්නෙ මම  O/L කරද්දි. ඉතින් ඒ කාලෙ ඉඳන් මට රංගනයට  ආරාධනා ආවත් අධ්‍යාපන කටයුතු එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් තිබුණෙ නැහැ. නමුත් මම හිතනවා මට රංගනයට වඩා සංගීතය පැත්තෙන් හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. රංගනයට වඩා සංගීතය මට ගැළපෙනේ. මම ඒ දේට ආසයි.


විනෝදාංශයක් විදියටවත් අත්හදා බැලීමක් කරන්න හිතුණ නැද්ද? 


මම මියුසික් වීඩියෝ කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් දෙබස් එක්ක යන රංගන අත්දැකීමක් නම් ලබලා නැහැ. 


චේතනාගෙ අධ්‍යාපන කටයුතු දැන් අවසන්ද?

ඔව් මගේ උපාධිය අවසන්. ඒ වගේම විශාරද විභාගයත් අවසන් කරලා මේ වෙද්දි මාස්ර්ටස් උපාධිය ආරම්භ කරලා තියෙනවා. එයත් ජනවාරි වෙද්දී අවසන් වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක රැකියාවත් කරගෙන කලා කටයුතුත් කරගෙන

 ඉන්නවා.  


එතකොට සංගීතය කරන්නේ විනෝදාංශයක් විදියටද? 

ඔව්. විනෝදාංශයක් විදියට කරන එක ලේසියි. මොකද අද කලාව වෘත්තීය වශයෙන් කරගෙන යන්නත් අමාරු තත්වයක්නෙ තියෙන්නෙ.  කොවිඩ් ප්‍රශ්නයත් එක්ක තමයි ඒ දේ ක්ෂේත්‍රයේ හැමෝටම තේරුණේ. එහෙමයි කියලා සංගීතය අතඅරින්නෙ නැහැ. සංගීතය තමයි මගේ ජීවිත්තේ. ඉතින් පුළුවන් විදියට විනෝදාංශයක් විදියට කරගෙන යනවා.

මගේ හිනාව ලස්සනයිලු - ඩිලුෂි හංසිකා

ජීවිතයට ලැබෙන අවස්ථා ගැහැනු ළමයෙක් හරි විදියට පාවිච්චි කරන්න ඕනෑ. එතකොට අපට  වරදිනවා අඩුයි. මෙහම කියන, දෙරණ විකාශය කෙරෙන නිදුක් මධුශිකගෙ රවනයෙන්, නිමේෂ් කුලසිංහගේ සංගීතයෙන් සහ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ අධ්‍යක්ෂුණයෙන් නිර්මාණය වූ ධරණි නාට්‍යයේ පොඩ්ඩි ලෙස රගපාන, ඩිලුෂි හංසිකාය.  සුන්දර සිනහවකින් නිතර මුව සරසා ගත් මෙම ඩිලුෂි කවුද?  ඇය අප  සමග කතාබහට එක්වූ විදියයි මේ.


ඩීලුෂි සම්පුර්ණ නම කියමු? 


ඩිලුෂි හංසිකා කුමාරි.


ඩිලුෂි හංසිකා කුමාරි, ඒ අතරින් වඩා කැමති? 

ඩිලුෂි කියන්න.


ගම එහෙම?


 මොරටුව


ඉගෙන ගත්තේ?


දෙහිවල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන්.


ගෙදර විස්තර කිව්වොත්? 


මගේ පවුලේ අම්මයි, අප්පච්චියි, මල්ලිලා දෙන්නයි, මමයි. අපේ   අප්පච්චි ව්‍යාපාර කරනෙ. අම්මා ගෘහණියක්.


 ඩිලුෂි එතකොට අපොහොසත් පවුලක කෙල්ලෙක්?


අනේ එහෙම නැහැ. බොහොම සාමාන්‍ය විදියට ජීවත් වන පවුලක සාමාන්‍ය ළමයෙක්.


ඉගෙනීම් කරලා ඉවරද? තවමත් කරනවද? 


තවම අධ්‍යාපනය ඉවර කරලා නැහැ. මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනෙ. පොඩි කාලයේ ඉඳලාම පාසලේ වැඩ වලදි, පොතපතේ වැඩට වගේම බාහිර   වැඩවලට බොහොම උනන්දු වුණා. නර්තනයට, සංගීතයට, නිවේදනයට ආදී ඔය ඔකෝම අංශවලදී ඒවාට දායක වීමේ උනන්දුවක් මට තිබුණෙ. හැබැයි ඒ විදිහට වුණාට පුංචි කාලයේ ඉඳලාම මගේ අරමුණ  වුණේ නීතිඥවරියක වීමටයි. ඒත් Z-Score එක මදිවුණා. නමුත් කැලණි සරසවියට ඇතුලත් වීමේ සුදුසුකම් ලැබුවා. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂවේදී උපාධිය දැන් හදාරමින් සිටිනෙ. අවසන් වසරේ සිසුවියක්.


ඩිලුෂි අනාගතයේදී වෘත්තිය හැටියට තෝරාගන්න හිතාගෙන ඉන්නේ?


උපාධි අධ්‍යාපන කටයුතු ඉවර කරලා, ඊළඟට ඉදිරියටත් උසස් අධ්‍යාපනය හදාරන්න හිතාගෙන ඉනෙ. ඊට පස්සෙ අධ්‍යාපනයට අදාල අංශයක රැකියාවක් කරාවි.


 ඩිලුෂි වයස කියන්න එහම කැමතිද? 


අනේ කමක් නැහැ. වයස කියන්න අකමැති නැහැ. මේ එළැඹෙන

නොවැම්බර් මාසයේදී මගේ වයස අවුරුදු 24 සම්පූර්ණ වෙනවා.


වස24 දක්වා මෙතෙක් ගෙවී ගිය විපරමක් කළොත්? 


ඇත්තටම මෙතෙක් ආ ගමන ගැන මට හරි සතුටුයි. මට තිබුණ ලස්සන මිහිරි පාසල් ජීවිතයක්. ඒ වගේම තමයි ගෙදර ජීවිතයත් හරිම සුන්දරයි. ඒ වාසනාව තිබුණු කෙනෙක්. සුන්දර පාසල් ජීවිතයකින් පසුව, සරසවී වරම් ලැබුවා. ඉතින්

ජීවිතය සුන්දරයි. සරසවි අධ්‍යාපනය ලබන අතරේදී තමයි දෙරණ අවුරුදු කුමරිය තරගයට අයදුම් කළේ. ඉතින් අද වන විට ඒ සියල්ල අතරේ රගපෑමටත් වාසනාව ලැබී තිබෙනවා, හරි සතුටුයි ජීවිතය ගැන.


මේ විදියට සතුටින් කටයුතු කරන ඩිලුෂි මොන විදිය  කෙනෙක්ද? 


තැත්පත්, විනීත  කියන දේ සියයට සියයක්ම නැතත්, මම නරක ළමයෙක් නෙවෙයි. ටිකක් විතර කච කච ගාන කෙනෙක්. නිතරම කතාවම තමයි. මම හොඳ දරුවෙක් කියලා ගෞරවයෙන් කියන්න පුළුවනි.



පොඩ්ඩි ගැන කියමු?  කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?


ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම රඟපාන්න ලැබේවී කියලා හිතුවෙ නැහැ. සහභාගි වෙලා බලන්නයි මට ඕනෑ වුණේ. පාසලේදී වේදිකා නාට්‍ය එහෙම කරලා තිබුණ නිසා කැමරාව ඉදිරියට යද්දි මට බයක් තිබුණ නැහැ'' තිර පරීක්ෂණය 

(ස්ක්‍රීන් ටෙස්ට්) එක හොඳට කළාය කියලා මම හිතනවා. පොඩි කියන්නේ සාමාන්‍ය විදියෙ ගැහැණු ළමයෙක් නෙවෙයි. නටන, සටන් කරන්න තියෙනවා. ඉතින් ඒක ලොකු වෙනසක් තියෙන චරිතයක්. ක්‍රීන් ටෙස්ට් එකෙන් මාව තේරීම ගැන හරි සතුටුයි.



කොහොමද ෆයිට් කරන එක ගැන මිනිස්සු  මොනවද කියන්නෙ? 


ඒකට නම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ . අපට ෆයිට් (සටන්) පුරුදු පුහුණු කරවන්නෙ ඔසඳ සමන් බණ්ඩාර මාස්ටර්, අපි ඉතින් දෙයියනේ  කියලා වැඩේ හරියට කරගෙන යනවා.


 සැබෑ ජීවිතයේදීත් රණ්ඩුවට බර ළමයෙක්ද? 


 අපෝ කොහෙත්ම නැහැ. මම හොදට කතාබහ කරලා මිනිස්සු එක්ක බොහොම සහයෝගයෙන් ඉන්න චරිතයක්. ෆයිට් කරන්නන් ධරණි නාට්‍ය නිසා ලැබුණු එකක් ලොකු දෙයක්. ධරණි නාට්‍යයට තෝරා ගත්තාට පස්සෙ සටන් පුහුණුව වෙනුවෙන් අභ්‍යස වලට සහභාගි වුණා.



 පොඩ්ඩිට ආදරයක් ගැන එහෙම හිතිලද තියෙන? 


හරි කාලය ආවාම අම්මලා හොයලා දේවි.  මොකද අපිට මිනිස්සු හොයාගන්න අමාරුයි, ඒකට හේතුව අපි හිතන විදියෙ මිනිස්සු නෙවෙයි සමාජයෙ ඉන්නෙ. තවම මගේ වයස අවුරුදු 24 යි. හරි කෙනා වෙලාවට ඒවි.



ගෙවී ගිය කාලයේදී ප්‍රේම සබඳතා වගේ දේ තිබිලම නැද්ද? 


මම හිතන්නෙ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඒත් හරි කෙනා හම්බවෙලා නැහැ. 


ඩිලුෂි ආදරය ගැන හිතන්නෙ කොහොමද? 


රැකබලා ගැනීම එක්ක, එකිනෙකා කෙරෙහි වූ අවබෝධය එක්ක, සතුටින් සිටීමට හැකි නම් එතැන තියෙන ආදරයක්.


ඩිලුෂි තවත් බොහෝදේ ද ඇති? 


පාසලේදී 13 වසරේ සිටියදී විශිෂ්ටතම ශිෂ්‍යයා වුණා. කථික, විවාද තරගවලට ගිහින් ජය ලැබුවා. විවාද කණ්ඩායමේ නායිකාව විදියට හිටියා. බටහිර සංගීත කණ්ඩායමේ හිටියා. ශිෂ්‍ය නායිකාවක වුණා. මේ ඔක්කෝටමත් වඩා පාසලේ අනෙක් ළමයි මට බොහෝම ආදරය කළා. ගුරුවරුන්ගෙන් විතරක් නොවී, ළමුන්ගෙනුත් ආදරය ලැබූ කෙනෙක්. අදටත් මට පාසලට ගියොත්, ඒ ආදරය ලැබෙනවා.



 රඟපෑම හැර වෙන මොනවටද ආසා?


 රූපවාහිනී නිවේදිකාවක් වෙන්නත් ආසයි. අපි බලමු ඉතින්.


මේ දිනවල වැඩිපුර අහන ගීතයක් එහෙම තියෙනවද? 


විදුල රවිෂර ගැයු බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙරැඳි  නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී ගීතයට ආසයි.


ඩිලුෂි ලස්සනයි කියලා කියනවට කැමතිද? 


මාව කෙසේ වෙතත්, මගේ හිනාව නම් ලස්සනයි කියලයි මගේ යාළුවෝ කියන්නෙ. මගේ හිතත් ලස්සනයි කියලා මට හිතෙනවා. මම බොහොම වාසනාවන්තයි කියලා හිතෙනවා. දක්ෂතා කුසලතා එක්ක ආව ලස්සන ගමනක්.

ප්‍රේමාධර වලින් කබඩ් එකක් පිරිලා තිබුණා


ශ්‍රී ලාංකීය සිංහල සිනමා වංශ කතාව උඩු යටිකුරු කළ කලාත්මක සිනමා රූපයන්ගෙන් පොහොසත් නිරිමාණ රැසක් දායාද කළ අග්‍ර ගණයේ සිනමා වේදියෙක්, ලස මෙම ඔහුටම ආවේණික වූ රංගන පෞරුෂයකින් රඟපෑමේ නිරත වූ අසහාය ගණයේ රංගධරයකු ලෙස ඔහුව හඳුන්වා දිය හැක.ඔහු ධර්මසිරි බණ්ඩාරනායක නම් ජ්‍යෙෂ්ඨ කලාකරුවනන්ය. අපි අද සුවිශේෂී කතා බහ ඔහු සමග ආරම්භ කළෙමු.



ආයුබෝවන්! ඔබට බොහොම ආදරණීය කතාබහක මේ ඇරයුම?


බොහොම ස්තූතියි ආරාධනයට. කාලයකින් මාධ්‍යයට කතා කිරීමට ලැබීම ගැන සතුටුයි . 


මේ දිනවල මොනවද කරන වැඩ?


 මොනවද කළ යුත්තේ කියලා හිතාගන්න බැරි, අඳුරෙන් අඳුරට යන වටපිටාවක ,පැහැදිලි අනාගතයක් නොපෙනෙන පසුබිමක, මම ඔබේ. ප්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ කොහොමද?


ඔබ කලකිරීමෙන් ද කතා කරන්නේ? 


සැබෑවටම ඔව්. මේ වගේ රටක කලාකරුවෙක් වීම ගැන දැඩි කලකිරීමකින් ඉන්නේ. 


ඔබ ද චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්?


ඔව් ,මාගේ සෑම චිත්‍රපටයක්ම මම නිර්මාණය කළේ ප්‍රේක්ෂකාගාරය සතුටු කරන්නවත්, පිනවන්නවත් නෙවෙයි ,මගේ ඒකායන පරමාර්ථය වුණේ සිනමා පටය නරඹන ප්‍රේක්ෂකාගාරය උගතුන් පිරිසක් කරන්න. මම ඒ දේ කළා ,අදටත් ධර්මසිරි බණ්ඩාරනායක කියන  චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ඒ නිසයි.



ඔබ බොහෝ සම්මානයට පවා පත්‍රා වුණු කෙනෙක්? 


මගේ පළමු චිත්‍රපටයේ ඉඳලාම සම්මාන පිට සම්මාන ලබන්න තරම් මගේ නිර්මාණ අතිවිශිෂ්ට වුණා ,හොඳම අධ්‍යක්ෂවරයා ලෙසට වගේම හොඳම චිත්‍රපටයට ලැබෙන සමාන බොහෝමයකුත් මා ලැබුවා. ඊට අමතරව නළුවෙකු ලෙසින් රඟදැක්වූ සිනමා නිර්මාණ වලටත් මට බොහෝ සම්මාන ලැබී තිබෙනවා. අමාරි කිහිපයක් පිරෙන්න සම්මානත් තියෙනවා. නමුත් ලංකාව වැනි රටකට වටිනා මිනිස්සු නොවටිනා ගානට දමා තිබීම ගැටලුවක්.



පුංචි කාලෙ ඉඳලම ඔබ සිහින මැව්වා ද කලාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා ? 


කවදාවත් නැහැ. අනාගතයේ දී වෘත්තීය මට්ටමෙන් කවුරුන් විය යුතුද කියා කවදාවත් බලාපොරොත්තුවක් මගේ දෙමව්පියන් මට දීලා තිබුනේ නැහැ ,හැමදාම

පුතේ උඹ කවද හරි හොද මිනිහෙක් වෙයන් කියලා” විතරයි. ඒ නිසා ලොකු ලොකු බලාපොරොත්තු ජීවිතේ තිබුණේම නැහැ. මගේ තාත්තා ඔරලෝසු කාර්මිකයෙක්. මමත් ඒ ශිල්පය එදා ඉගෙන ගත්තා. කලාවට සම්බන්ධ නොවුණා නම් සමහර වෙලාවට මමත් ඒ වෘත්තියේ යෙදෙන්න තිබුණා.



කලාවට සම්බන්ධ වුන කාලේ ඔබ වඩාත් ජනප්‍රිය වන්නේ ? 


බක් මහ දීගේ”ප්‍රේමදාසගේ” චරිතයට එදා ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරය කරන්න ගත්තා.ඊට පස්සේ ඉතින් මම කළ සෑම චිත්‍රපටියකටම බොහෝ ආදරණීය ගෞරවයක් මට ප්‍රේක්ෂකාගාරයෙන් නිරතුරුවම ලැබුණා.



තරුණ කාලයේදී කඩවසම් රංගධරයකුට ලැබෙන ප්‍රේක්ෂක ආදරයක් ඔබටත් නොඅඩුව ලැබෙන්න ඇති?


 අපොයි ඔව්. විවාහ වෙලා දරුවන් දෙන්නෙක් ඉද්දිත් ආදරය ප්‍රකාශ කරලා ලියුම් ,

බොහොමයක් ලැබී තිබුනා. විවාහ යෝජනා පවා ආවා ,ඇතැම් තරුණියන් මගේ රූපයට කැමති වී තිබුණා ,සමහර තරුණියන් මගේ කතාබහට කැමැත්තෙන් හිටියා. ඒ අය ඒ දේවල් ඒ විදිහටම ප්‍රකාශ කරල ලියුම් බොහොමයක් එවලා තිබුණා ප්‍රේක්ෂකයන් ආදරය ප්‍රකාශ කරලා, අගය කිරීම් ප්‍රකාශ කරල එවපු ලියූ පත් වලින් ඉස්සර කබඩ් පිරිලා තිබුණා.


ආදරේ ගැන මොකද හිතෙන්නේ?


 කවදාවත් හංගන්න බැරි, හදවතට සමීප වෙච්ච මහා උත්තරීතර හැඟීමක් තමයි ආදරය කියන්නේ. කෙනෙකුට ආදරය කරන්න වයස් බේදයක් නැහැ, කියලයි මට නම් හිතෙන්නේ . 


දැන් ඔබේ වයස කීයද? 

පසුගිය ඔක්තෝබර් 6 වැනිදා සැමරුවේ 75 වන උපන් දිනය .


 ජීවිතය ගැන මොකද හිතන්නේ?


ඇත්තටම සතුටුයි. වෘත්තිය මට්ටමෙන් වගේම පෞද්ගලික ජීවිතයේදිත් මා පසු කළ කඩඉම් වල දී දුක සතුට ජය පරාජය අඩුවැඩි විදිහට තිබුනා. සමහර තැන් වැරදුනා කියලත් හිතුණා. වරදක් උනාමයි අපිට බොහෝ විට ඒක වරදක් විදියට පේන්න ගන්නේ. ඒක මිනිස් ස්වභාවය මිනිසුන් අතර ඉන්න තවත් එක්තරා මිනිසෙක් මමත්. වැරදි අතපසුවීම් මා අතිනුත් වෙලා තියෙනවා ඒ ගැන කලකිරීමක් කනගාටුවක් නැතුවාම නොවේ .


පිය සෙනෙහස ගැන මොකද හිතන්නේ? 


මනුෂ්‍යයෙක් විදියට විඳින්න ලැබෙන උත්තරිතරම හැඟීමක්. පිය සෙනෙහස ගැන විස්තර කරන්න මේ ලෝකෙ වචන මදි කියලයි මට හිතෙන්නේ.  සමහර වෙලාවට පිය සෙනෙහස කියන්නේ මොකක්ද කියන එක බොහෝ දරුවන් ට ඇත්තටම දැනෙන්න පටන් ගන්නේ පියවරුන් නැති වුණු දවසටයි 



දක්ෂ කලාකරුවන් වීම ගැන ආඩම්බරයක් දැනිලා නැද්ද?


 කවදාවත් නැහැ. දක්ෂතා වලින් දැන උගත්කම් වලින් ආඩම්බර වෙන ගතියක් කවදාවත් අපේ ලේ වල  තිබුණේ නැහැ. අදටත් එහෙම දෙයක් දැනෙන්නේවත් නැහැ. නිහතමානි වීම තමයි ජීවිත්තේ අපි හැමදාම දැක්ක දේ .


විලාසිතා කරන්න කැමතිද?


 කවදාවත් මම විලාසිතා කරලා නැහැ .ඉස්සර කලාවට සම්බන්ධ වුණු මුල් කාලයේදී බෙල් බොටම් ඇඳලා, කොණ්ඩ මෝස්තර කරන්න එදා තරුණ රංගන ශිල්පීන් උනන්දු වුණා. නමුත් කවදාවත් මම අනුකරණ වාදියෙක් වුණේ නැහැ. එන එන විලාසිතා කරන්න පුරුද්දක් තිබුණත් නැහැ. අදටත් මම කලිසමයි කමිසෙයි අඳිනවා ඇරෙන්න තමන්ගේ වටිනාකම් පෙන්නන්න ඇඳුම් අඳින්න ,විලාසිතා කියලා කරන දේවල් ගැන කොහෙම දැනගෙන හිටියේ නැහැ .



විනෝදාංශ විදියට මොනවද කරන්නේ?


 සිනමාව ,ටෙලි නාට්‍ය කලාව ගැන ලියැවුණු පොත්පත් කියවන්න මම අදටත් බොහොම ප්‍රියයි. දැන් මම බොහොම වයසයි. නමුත් දැනුම සොයා යන පොත්පත් කියවන එක නතර කරන්න කොහෙත්ම හිතලා නෑ .මම හිතෙනවා ඇස් දෙක පේන්නෙ නැති වෙනකම්ම මම පොත් කියවයි කියල .


ආදරෙන් එකතු කරපු දේවල් මොනවද තියෙනෙ? 


කිසිම දෙයක් නැහැ.අඩුම තරමේ සල්ලිවත් මම ආසාවෙන් එකතු කරලා නැහැ. ඉස්සර පිටරටකට ගියත් ගොඩක් ආසාවෙන් හිටියේ ආයෙ ලංකාවට එන්නේ කොයි වෙලාවෙද කියන එක ...නමුත් දැන් නම් නිතරම හිතන්නේ ලංකාවෙන් කොයි වෙලාවේ ද යන්නෙ කියන එක .


ඔබ නියැළුණු වෘනියෙහි ඔබ ප්‍රවීණයකු වුනේ කොහොමද? 


තමා තෝරා ගන්නා කුමන හෝ වෘත්තියක නිරත වන්න  කුට හැදෑරීම ඉතාම වැදගත්. ශිල්පීය ඥානය මම කිසිදු පැකිලීමක් නැතුව සොයා යනවා. පසුව සිනමා අධ්‍යක්ෂවරයෙක් විදියට අවතීර්ණ වීමත් සමග ඉතා වෙහෙසකර වූ හැදෑරීම්, සොයා යෑම්, අධ්‍යයනයන් බොහොමයක් එයට එකතු කරගන්නවා ..එයයි   සාර්ථකත්වයක රහස


ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන අගය කිරීම ගැන මොනවාද දැනෙන්නේ? 


ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් දෙයක් එය. අදටත් දක්ෂ රංගධරයෙක්, දක්ෂ සිනමා  වේදියෙක්, දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙසට මාව ගෞරවයෙන් ,ආදරයෙන් පිළිගන්න පිරිසක් ඉන්නවා. මට සැබෑවට මේ ගැන ගෞරවනීය ආදරයක් හිතට දැනෙනවා ..එවැනි තත්වයකට පත්වීමට භාග්‍යයක් තිබුණා කියලත් හිතට දැනෙනවා.



නිරෝගීකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මොනවද කරන්නේ? 


විශේෂයෙන්ම රංගධරයකු ට නිරෝගිකම කියන එක ගොඩක් වටිනවා, කායික නිරෝගී කම වගේම මානසික සෞඛ්‍යයත් ඉතා යහපත්  මට්ටමෙන් තබා ගැනීම ඉතාම වැදගත් නමුත් ලෙඩ වීම, වයසට යාම කියන පොදු ධර්මතාවයට  මමත් අද මුහුණ දෙනවා. ඒ නිසා ඊට අවශ්‍ය විදිහට ඖෂධ ගන්න , කෑම පාලනය කරන්න වගේ පුංචි පුංචි දේවල් ටිකක් මගේ අතිනුත් කෙරෙනවා ...ඒ හැරෙන්න ඉතින් හැමදාම ජීවත් වෙන්න ආවා කියලා හිතාගෙන දවස ගානෙ ව්‍යායාම කරන, විටමින් පෙති ගිලින එවා වගෙ දෙවල් නම් මගේ අතින් කෙරෙන්නේ නැහැ .


අනාගත බලාපොරොත්තුව මොකක්ද?


අවුරුදු විස්සකින් විතර කලා නිර්මාණයක් කරල නැති මට කලාව ගැන නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. දුක්විඳින මිනිස්සු ආසයි ඒ දුකෙන් මිදෙන්න.   මමත් හරිම ආසයි සතුටින් කවදා හරි මියැදෙන්න.


ඔබ වඩාත් සතුටු වන්නේ? 


සීයා කෙනෙක් විදියට අද මා ලබන ඒ ආදරණීය අත්දැකීමට මම ගොඩක් සතුටුයි.


ඔබ වඩාත් සංවේදී වන්නේ? 


හදවතේ තෙතමනයක් නැති ව ,මනුස්ස කමක් ගෑවිලාවත් නැති මිනිස්සු කරන වැඩ ගැන බොහෝ විට සංවේදී වෙනවා. කලකිරිමට පත් වෙනවා.