Monday, February 28, 2022

යුක්රේන රුසියානු යුද්ධයට වඩා ශ්‍රී ලංකාව තුළ තිබෙන ආර්ථික යුද්ධය වඩා බලවත් වෙලා


යුක්රේන රුසියානු යුද්ධයට වඩා ශ්‍රී ලංකාව තුළ තිබෙන ආර්ථික යුද්ධය වඩා බලවත් වී ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ලේදී ඊයේ (27දා) පැවති පාක්ෂික හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“කෝවිඩ් වසංගතය සමග ලෝකයේ රටවල් තමන්ගේ ආර්ථික තත්වය වර්ධනය කර ගැනීම සිද්ධ වුණා. ලංකාවේ ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා මේ අයහපත් තත්ත්වය වර්ධනය   වුණා. මේ අවස්ථාවේ එකිනෙකාට ඇඟිලි දික් කිරීමට වඩා මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ අවධානය යොමුකළ යුතුයි. දැන් රටේ තෙල් පෝලිම්, තෙල් අර්බුදය නිසා රටේ කිසිදු කර්මාන්තයක් ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න බැහැ.  යුක්රේන රුසියානු යුද්ධයට වඩා ශ්‍රී ලංකාව තුළ තිබෙන ආර්ථික යුද්ධය වඩා බලවත් වෙලා. ඕනෑම යුද්ධයකින් පසුව ඒ ඒ රටවල් අතර තාක්‍ෂණික නැගිටීමක් විශාල ලෙස ඇති කර ගෙන තියෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ආර්ථික රටාව, ආණ්ඩු මාරු වෙනකොට ජාතික ප්‍රතිපත්ති මාරු වීම් හරහා මහජනතාව ප්‍රධාන පීඩනයකට පත්ව වෙලා. විදුලිය නැති වීම නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග මුළු මහත් රාජ්‍යයම කඩාවැටෙන තත්ත්වයට පත් වෙලා. 

අපි සියලු දෙනා එකතු  වෙලා රටට ජාතික වැඩපිළිවෙළක් සැකසීම කළ යුතු මොහොතක් මේ. ලෝකයේ මොන තරම් යුද්ධ තිබුණත් ශ්‍රී ලංකාව ඒක පාලනය කරගෙන ජාත්‍යන්තරය සමග ක්‍රියා කළ යුතුව තියෙනවා. ඒකට නිදහසට කරුණු කීමෙන් ජනතා ප්‍රශ්න විසඳීමට හැකියාවක් නැහැ. මෙහෙම ගියොත් තම  තමන්ගේ වාහන ටික ගෙදර තියලා ගල් යුගයට ගිහිල්ලා ජීවත්වීමට තමයි සිදුවෙන්නේ” යනුවෙන්ද පවසා සිටියේය.

 රවින්ද්‍ර ග්‍රීලාල් 


ගෝඨාභය කොරෝනාවෙන් රට බේරාගත් නිසා විපක්‍ෂයට පොර ටොක් දෙන්න හැකිවෙලා


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වගකීම නිසියාකාරව අවබෝධ කරගෙන කලට වෙලාවට එන්න” කොරෝනාවෙන් රට බේරාගත් නිසා විපක්‍ෂයේ "පොරවල්වලට' දැන් ගෑස්, තෙල් පෝලිම්වලට ගිහින් 'පොර ටෝක්" දෙන්න හැකි වී තිබෙන බව වෙරළ සංරක්‍ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය. බළපීටිය කොට්ඨාසයේ ස්වයං රැකියාවල නිරත පවුල් කිහිපයකට උපකරණ බෙදාදීම නිමිත්තේ බළපිටිය ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පෙරේදා (26දා) පැවති  උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.  හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ප්‍රධාන සංවිධායක චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම අමතමින් තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා, 

"ජනාධිපති අගමැති ඇතුළු අපි ඔක්කොම කාල බීල චූන් එකේ නිදාගන්නවා කියලයි හැමදෙනාම හිතාගෙන ඉන්නේ.  පාස්කු ප්‍රහාරවලින් ආර්ථිකය කඩාවැටුණු බව කාටත් මතක නැහැ. කෝවිඩ් රෝගය තිබුණු බවක් මතකත් නැහැ. කෝවිඩ් මර්දනය කළ රටවල් අතරින් ලෝකයේ තුන්වැනි හතරවැනි තැන අපි ඉන්නවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා වගකීම නිසියාකාරව අවබෝධ කරගෙන රටේ සියලු ජනතාවට එන්නත් තුනක්දී කොරෝනාවෙන් බේරාගත් නිසා විපක්‍ෂයේ පොරවල්වලට දැන් ගෑස් පෝලිවලට ගිහින් පොර ටෝක් දෙන්න හැකි වී තිබෙනවා. කොරෝනා මර්දනය කළේ නැති නම් මිනිසුන්ට ගෑස් හා තෙල් පෝලිම්වලට යන්න හැකි වෙනවද?

මෙතෙක් ඉතිහාසයේ ගමට නොආපු මුදල් ප්‍රමාණයක් ගමට එනවා. එයින් ගම සංවර්ධනය වෙනවා. ව්‍යවසායකයන් බවට පත් කරනවා. කයිවාරු ගහන විපක්‍ෂයේ මිනිස්සු කියන්නේ සංවර්ධනයට ඒ මුදල් දෙන්නේ නැතුව හාල් කිලෝ පහකුයි පරිප්පු ටිකකුයි දෙන්න කියලයි. ගමේ සංවර්ධනය කළාමයි රටක් ඉදිරියට යන්නේ. ලොකු විශ්වාසයක් ඇතුවයි  මේ වැඩ කරන්නේ. දැන් සංචාරකයන් රටට වැඩිපුර එනවා. ඉදිරි අවුරුදු තුන කාලය තුළ දී ඉතා ඉහළ සංවර්ධනයක් ඇති කරනවා. මැතිවරණ කල් දමනවා කියල විපක්‍ෂයේ අය කෑගසනවා. පළාත් සභා ඡන්දෙ කල් දැම්මේ අපි නොවෙයි. ඒ අයට ඒක දැන් මතක නැති වෙලා” යනුවෙන්ද සඳහන් කළේය.  දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතා, “අපේ රටේ ජනතාවගේ වාසනාවටයි, ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති වුණේ. එහෙම නොවුණා නම් මේ වනවිට රටෙන් භාගයක්ම කොරෝනාවලින් මියගිහින්. කොතරම් ආර්ථික අර්බුද තිබුණත් සංවර්ධනය කිසිසේත් නවත්තලා නැහැ. රටේ ජනතාව ව්‍යවසායකයන් බවට පත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා” යනුවෙන් පවසා සිටියේය.


 -මධුසර ලියනගේ-

රජරට ගුවන් විදුලියෙන් සොරාගත් ජංගම පටිගත යන්ත්‍රය යළිත් ගෙනත් දමලා

 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුළ සුරක්ෂිතව තබා තිබියදී සොරා ගන්නා ලද මරාන්ටිස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රය (ෆෝටබල් රෙකෝඩර්) සොරාගත් යම් පුද්ගලයෙකු විසින් යළිත් එය සුක්ෂමව රජරට සේවා පරිශ්‍රයට ගෙනවිත් දමා ගොස් ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.  අදාළ පටිගත කිරීමේ යන්ත්‍රය මේ වනවිට පොලීසිය භාරයට ගෙන ඇති අතර, මෙය පැහැර ගෙන ගොස් නැවතත් ගෙනවිත් දැමූ පුද්ගලයා කවුරුද? යන්න අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

සොරකම් කරන ලද භාණ්ඩය යළි ගෙනවිත් දැමීම තුළින් අපරාධය අවසන්ව නොමැති බවත්, මේ වනවිටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසා සිටියි.  එසේම මෙම සොරකම් කිරීම සම්බන්ධයෙන් 'ලංකාදීප' සහ 'අද' පුවත්පතින් විසින් පසුගිය 24 වැනිදා හෙළිදරව් කළ දිනයේම රාත්‍රී කාලයේ මෙම පටිගත කිරීමේ යන්ත්‍රය නැවතත්  ගෙනවිත් දැමීම විශේෂත්වයක් බවද පොලීසිය ප්‍රකාශ කරයි.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ පාලන මැදිරිය තුළ තිබූ මරාන්ටිස් වර්ගයේ ජංගම පටිගත කිරීමේ යන්ත්‍රයක් සොරාගෙන ඇති බව පවසමින් රජරට සේවක ඉංජිනේරු අංශයේ කාර්ය භාර නිලධාරී මහින්ද ලාල් විතාන මහතා විසින් අනුරාධපුර මූලස්ථාන  පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කෙරිණි. 

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්  සිදු කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා පවසා සිටියේ, ලංකාදීප සහ අද පුවත්පතේ පළ වූ මෙම ප්‍රවෘත්තිය දැක බියට පත් වූ සොරා, යළි මෙම හඬ පටිගත කිරීමේ යන්ත්‍රය නැවත රජරට සේවය තුළට ගෙනවිත් දමා ඇති බවයි. මෙම සොරකම සම්බන්ධයෙන් තමාට මුලින් දැනගැනීමට හැකි වූයේ, පුවත්පත කළ වීමසීමකදී බවත්, ගුවන් විදුලි සංස්ථාවේ  සභාපතිවරයා ලෙස රජරට සේවයේ කිසිදු නිලධාරියෙකු තමාව දැනුවත් නොකළ බවත් පවසා සිටි හෙතෙම, එම ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් ස්තුති වන්ත වන බවද ප්‍රකාශ කළේය. 

- බී.ජි. චතුරංග-

විජිත හේරත් සභාව අමතද්දි පුද්ගලයෙක් සභාව මැද කෑ කෝ ගසමින් විරෝධය පායි

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාව අමතා කතා කරමින් සිටියදී පුද්ගලයෙකු සභාව මැදට පැන කෑගසමින් විරෝධය පළකරද්දී පොලිස් නිලධාරිවරයා පැමිණ ඔහු ඉවත්කිරීමට යැමේදී එම පුද්ගලයා පලා ගොස් තිබේ. නිට්ටඹුව, කැටකාලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (27)දා දින මෙම සභාව පැවති අතර, දට්ටඹුව හා කැටකාලපිටිය ඇතුළු ග්‍රාම සේවා වසම් හයකට අයත් නියෝජිතයන් 400ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එම කොට්ඨාස සභාව පිහිටුවීම සිදුකෙරිණි.මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සභාව අමතමින් සිටියදී පුද්ගලයෙකු සභාව මැදදී එම සභාව කඩාකප්පල් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ මන්ත්‍රීවරයා ද එම පුද්ගලයා ඉවත් කරන ලෙස පොලිස් නිලධාරීන් හට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු එම ස්ථානයට පැමිණි බලවත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත්කර රැගෙන යද්දී ඔහු පැමිණි  යතුරුපැදියද එම ස්ථානයේ දමා පලා ගොස් ඇත.මේ අවස්ථාවේ විජිත හේරත් මන්ත්‍රීවරයා කරණු දක්වමින් මේ වනවිට රට පුරා විශාල වශයෙන් පක්‍ෂ පාට බේදයකින් තොරව ජනතාව ජාතික ජනබලවේගය වටා ඒකරාශී වීම දරාගත නොහැකි බංකොලොත් රටේ විනාශයකට දායක වී ඇති දේශපාලකයන් මෝඩ පුද්ගලයන් කඩා කප්පල්කාරී ක්‍රියාවන් සඳහා යොමු කර ගන්නා බවත්, එම පුද්ගලයාට අපි අනුකම්පා කළ යුතු බවත් පවසා සිටියේය.එවැනි කඩාකප්පල්කාරී වැඩවලින් ජාතික ජන බලවේගයේ ගමන නැවැත්වීමට නොහැකි බව මෙවැනි පහත් උසි ගැන්වීම් කරන බංකොළොත් දේශපාලකයන්ට මතක් කර දෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. එසේ කලහකාරී ලෙස හැසිරුන පුද්ගලයා පැමිණි බවට සැක කෙරෙන . යතුරුපැදිය පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.ඕ.පී. අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරි පිරිසක් පැනගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පවත්වති. 



(වාරණ ආනන්ද ඉ ජයකොඩි)


භාණ්ඩ බෙදාහැරිමේ ආතනයකින් ලක්ෂ 09ක් සොරා ගත්තැයි කළමනාකරුවෙක් දැලේ

බොරලැස්ගමුව ගංගාරාම පාර භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතනයකට ඇතුළු වී එහි ලාච්චුවක තිබූ රුපියල් ලක්ෂ නවයකට වැඩි මුදලක් සොරාගත් එම ආයතනයෙන්ම කළමනාකරුවකු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. පිළියන්දල පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.ඉකුත් 23වැනි දින එහි සේවය කරන අනෙකුත් සේවයකයන් ආයතනය වසා පිටව ගොස් පෙරේදා (25දා) පැමිණ මුදල් බහා තිබූ මේස ලාච්චුව ඇර බැලීමේදී එහි කිසිදු මුදලක් නොවීමෙන් ඒ පිළිබඳ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරු ඉතා කෙටි දිනක් තුළදී අත්අඩංගුවට ගෙන තිබිණි. අදාළ ආයතනයේ සහ ඒ අවට ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරිමේදී පුද්ගලයකු ආරක්ෂිත කබා පැද මුහුණු ආවරණය වන සේ ආරක්ෂක හිස් වැසුම් පැළද ආයතනය අසලට පැමිණ එහි දොර විවෘත කර ඇතුළට ගොස් මද වේලාවක දී නැවත දොර වසා පිටවන අයුරු සටහන්ව තිබීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම ආයතනයේ ඔහු සේවය කරන අවධියේදී මුදල් භාරව කටයුතු කළ පුද්ගලයා ඔහු බවත් ඒ හේතුවෙන් ආයතනයේ ප්‍රධාන දොරටුවේ අමතර යතුරක් සැකකරු සන්තකයේ තිබී ඇතැයි පොලීසිය කියයි. එම සැකකරු එය උපයෝගී කරගෙන මෙම සොරකම සිදුකර තිබූ බව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණයන් කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුගෙන් ඒ පිළිබද ප්‍රශ්න කිරිමේදී මුදල් ගනුදෙනු කිහිපයක් හේතුවෙන් ආර්ථික අතින් අපහසුතාවකට පත්ව ඇති බැවින් සොරකම සිදු කළ බව පැවසූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට පත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. පී.විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක මධුසංඛ මහතා ඇතුළු කණ්ඩායමක් පරික්ෂණ පවත්වති. 

 

 (බණ්ඩාරගම - බිමල් ශයාමන් ජයසිංහ)


එක්සත් අරාබී එමීරය තුළ COVID-19 සීමා ලිහිල් කෙරේ

එක්සත් අරාබී එමීරය තුළ COVID-19 පාලනය සඳහා පනවා තිබූ සීමා කිරීම් කිහිපයක් ඉවත් කිරීමට එරට බලධාරින් පසුගිය සති අන්තයේදී පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් එළිමහනේදී මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් පැවැති නීතිය මෙන්ම COVID-19 ආශ්‍රිතයන් සදහා පනවා තිබූ නිරෝධායන සීමාවන් ඉවත් කිරීමක් සිදුව තිබේ.මේ අතර පූර්ණ එන්නක්කරයට ලක්ව ඇති සංචාරකයන් එරටට ඇතුළු වීදී තවදුරටත් PCR පරික්ෂමා වෙත සම්බන්ධ වීම අනිවාර්ය නැතැයිද ප්‍රකාශ කරන බව එරට ජාතික හදිසි අර්බුද සහ ආපදා කළමනාකරණ අධිකාරිය මෙහිදී සඳහන් කර තිබේ."ආර්ථික සහ සංචාරක ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සලකා බලා මේ ආකාරයට භෞතික දුරස්තභාවය පිළිබද සීමාවන් ඉවත් කිරීමක් සිදුව තිබෙනවා. එහෙත් සංවෘත පරිසරයක් තුළදී මුහුණු ආවරණ ද පැලදීම තවදුරටත් සිදුකළ යුතුව තිබෙනවා.” යනුවෙන් එහි වැඩිදුරටත් සටහන්ව ඇත. මේ අතර එක්සත් අරාබි එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරද එරට වෙනත් පළාත්වල සිට පැමිණි පිරිස තුළ තිබිය යුතු ඝෘණාත්මක PCR පරික්ෂණ වාර්තාවන් පිළිබද නීතිය ඉවත් කිරීමටද මෙහිදී තීරණය වී තිබේ. විශේෂයෙන්ම එක්සත් අරාබිය තුළ දෛනිකව වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,000 සිට 600ක් දක්වා පහත වැටීම මේ සදහා හේතුව බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි. 


තලවතුගොඩ සුපිරි හෝටලයකට කඩාවැදී පුද්ගලයකුටත් , දේපළවලටත් පහරදී යකා නටලා


තලවතුගොඩ ප්‍රදේශයේ ප‍්‍රදේශයේ සුපිරි අවන්හලකට කඩාවැදී පුද්ගලයකුට පහරදී එහි දේපළවලට ද පහර දී බරපතළ අලාභ සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6179 ක් සොයා ගත් බවද පොලිසිය පවසයි.  අත්අඩංගුවට ගත් සැකකරු කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු බවත් ඉකුත් 24 වැනි දින රාත්‍රියේ දී ඔහුට අයත් මෝටර් රථයකින් තලවතුගොඩ  සුපිරි අවන්හල වෙත වේගයෙන් රථය පදවා ගෙන පැමිණ එම වේගයෙන්ම මෝටර් රථය රථගාලේ නවත්වා ඇති බවද පොලිසිය කියයි.  එම අවස්ථාවේදී එම ස්ථානයේ දුම්පනය කරමින් සිටි පිරිසේ පුද්ගලයකු, ඒයි උඹ මාර එකෙක් නේ, උඹ රාවණා වගේ න්නේ යැයි සැකකරුට උසුළු විසුළු කර ඇති බව ද "එහෙම තමයි” යැයි එම පුද්ගලයාට පිළිතුරු දී අවහන් හලට තුළට ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැකකරු අවන්හල තුළට ගොස් බීර පානය කිරිමෙන් අනතුරුව එම  ස්ථානයෙන් පිට වී ගොස් සුළු මොහොතකින් මිතුරන් තිදෙනකු සමග එහි පැමිණ අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්කුඩු පානය කර ඇති බවද පොලිසිය කියයි. එහිදී සැකකරු තමාට කිසියම් පුද්ගලයකු  අවහන්හල තුළදී උසුළු විසුළු කළ බවට පවසා ඇති බවත් පසුව ඔහු යකඩ පොල්ලක් සහ අසල ගසකින් කඩාගත් පොල්ලක් රැගෙන මිතුරකුට සමග යළි පැමිණ ඔහුට සමච්චල් කළ පුද්ගලයා පසුපස එළවාගෙන ගොස් පහරදී ඇති අතර  පසුව අවන්හලට ද පහර දී මුදල් අයකැමිගේ ගෙලෙන් ඇද ඉවතට දමා මුදල් හා දුම්වැටි  බලෙන් ලබාගෙන තිබූ බවට පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පවසයි. 

මෙම පහරදීමෙන් අවන්හලේ වීදුරු  දොරවලට සහ තවත් දේපළ රැසකට බරපතළ හානි සිදු වී ඇතැයි පොලිසිය කියයි. වීදුරුවලට කැපීමෙන් සැකකරු ද තුවාල ලබා ඇති අතර කැපීගිය අතේ ලේ පෙන්වා “බලාගනින් මම තමයි රාවණා" උඹලගෙ ලොක්කාට කියපන් රාවණා ඇවිල්ලා ගියා කියලා, යැයි පවසමින් මුදල් සහ දුම්වැටි බලෙන් ලබාගෙන පලාගොස් ඇති බවට ද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි. සිද්ධියෙන් පසුව සැකකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ගොස් රහසේම ප්‍රතිකාර ලබාගෙන තිබූ බවද පොලිසිය කියයි. 

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්  මත පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අඩංගුවට ගෙන ඇති අතර අවන්හලට පහර දීම් සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු  අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය  පවසයි.  අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙර  අවස්ථාවකද රත්නපුර සමන් දේවාලය තුළ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවකු බවත් අධිකරණය මගින් මානසික වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරු නිදහස් කර තිබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ

ඩුබායි හිදී ඉදිවුණ අනාගතයේ කෞතුකාගාරය විවෘත කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී ඉදිකෙරුණු අනාගතයේ කෞතුකාගාරය හෙවත් Museum of the Future ගොඩනැගිල්ල පසුගිය අගහරුවාදා උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුවිය. මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම ලෝකයේ අනාගතය වෙනුවෙන් වෙන්කර තිබීම එහි ඇති විශේෂත්වයයි. පසුගිය වසරේදී මෙම කෘතුකාගාරය විවෘත කිරීමට නියමිතව තිබුණත්, COVID-19 වසංගත තත්වය නිසා එය වසරක්පමා කිරීමට ඩුබායි බලධාරීන්ට සිදුවිය. මෙය ඩුබායිහි ගෘහනිර්මාණාත්මක සහ සංස්කෘතික සක්තයක් ලෙස නිර්මාණය වී තිබේ. එහි ගොඩනැගිල්ල අභ්‍යන්තරව කිසිදු ආධාරකයක් පිහිටා නොමැති අතර, බිත්තරයක හැඩය ගත් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම මල නොබැදෙන ලෝහ සැකිල්ලක් ලෙස ඉදි කෙරි ඇත. එසේම එහි අරාබි අක්ෂර ඇතුළත් කර ඇත. "අනාගතය අයිති වන්නේ එය ගැන උපකල්පනය කිරීමට, නිර්මාණය කිරීමට සහ එය සාර්ථක කරගැනීමට හැකි අයවලුන් වෙතයි.” යනුවෙන් එහි සටහත්ව ඇත. මෙම අනාගතයේ කෘතුකාගාරය ගොඩනැගිල්ලේ උස මීටර් 77කි. එහි  ඇතුළත මහල් හතකින් යුක්ත වෙයි. සම්පූර්ණයෙන්ම අනාගතයේ තාක්ෂණය ප්‍රදර්ශනය කරවීම වෙනුවෙන් එම මහල් සියල්ලම වෙන්කර ඇත.


Friday, February 25, 2022

දෙමටගොඩ රුවන්ගේ කෝටි 50ක මීගමු හෝටලයක් සී.අයි.ඩී භාරයට

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්" නමැත්තාට අයත්ව මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී හෝටලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (24) පස්වරුවේදී සිය භාරයට ගනු ලැබ ඇත. චෙකොස්ලෝවේකියානු ජාතිකයකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් මෙම දේපළ සැකකාර දෙමටගොඩ රුවන් නමැත්තා මිලට ගෙන ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු හෙළිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

පර්චස් 100කට ආසන්න භූමි ප්‍රමාණයක පිහිටි මෙම භූමිය මීගමුව මුහුදු වෙරළට මුහුණ ලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් බවත් එය ඉදිවෙමින් පවතින සංචාරක හෝටලයක් (විලා) බවට පත්කරමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පවසයි. මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමූහයකගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර, මෙම භූමියේ හෝ අදාළ හෝටලයේ මන්ද්‍රව්‍ය සගවා ඇත්දැයි සෙවීම සඳහා පොලිස් නිල සුනඛයන් යෙදවූ බව පොලිසිය කියයි.  සැකකාර දෙමටගොඩ රුවන් නමැත්තා නීති විරෝධී අන්දමින් උපයා ගත් දේපළවල වටිනාකම රුපියල් කෝටි  79කට අධික බව මේ වන විට හෙළිකරගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 -නිමන්ති රණසිංහ-


කොළඹ අගරදගුරුතුමා අනිද්දා වතිකානයේ පාප් වහන්සේ බැහැදකි


මේ දිනවල වතිකානයේ සංචාරයක නිරතව සිටින මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අනිද්දා (27) දිනයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීමට නියමිතය.වතිකානයේ ශුද්ධ වූ පේදුරු බැසිලිකා පරිශ්‍රයේදී අනිද්දා  පෙරවරු 10.30ට මෙම හමුව පැවැත්වීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.  පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වී වසර දෙකකුත් මාස 10ක් පමණ ගතවී ඇතත් මෙතෙක් සාධාරණය ඉටුනොවීම සම්බන්ධයෙන් අගරදගුරුතුමන් මෙහිදී පාප්වහන්සේ දැනුවත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. 

මෙම අවස්ථාවේදී ශුද්ධ වූ පේදුරු බැසිලිකා පරිශ්‍රයට රැස්වන ලෙස ඉතාලියේ මෙන්ම යුරෝපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව වතිකානයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව පවසති.  පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සොයන සියලුම  ශ්‍රී ලාංකික ජනතාව මෙම අවස්ථාවට පැමිණ අගරදගුරුතුමන්ට සහය ලබාදෙන්නැයි ඉල්ලා සිටින බව එරට එක්සත් මිතුරු ශ්‍රී ලංකා සංසදයේ සභාපති ප්‍රියාන් සමරවික්‍රම මහතා පැවසීය.

 -ඩයනා උදයංගනී-

ඇමති වීරසේකරගේ පෞද් : ආරක්ෂකයා කැති ප්‍රහාරයකින් රෝහලේ

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි (PSO) වශයෙන් සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයකු කැති ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇතැයි මහරගම පොලිසිය කියයි. සහකාර පොලිස් අධිකාරිවරයා පදිංචි මහරගම නිවසේ දී පෙරේදා (23) රාත්‍රියේ මෙම සිද්ධීය වී ඇති බව පොලිසිය පවසයි. සහකාර පොලිස් අධිකාරිවරයාට කැත්තකින් පහර දී තුවාල සිදුකළ බව කියන ඔහුගේ මස්සිනා (බිරිඳගේ සොහොයුරා) සිද්ධියෙන් පසුව පලාගොස් ඇති බව ද පොලිසිය කියයි.සිද්ධියෙන් තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරිවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.සිද්ධියෙන් පසුව පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය) 

මෝටර් රථ දෙකක් ගැටී අයෙක් මරුට

මොරගහහේන - හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී ඊයේ (24දා) අලුයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවුදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මොරගහහේන පොලීසිය පවසයි. මෙලස ජීවිතක්ෂයට පත්වූයේ, මීවනපලාන, දඹර බට්ටාගල පදිංචිව සිටි කේ.වී. භවන්ත ප්‍රමෝද් (අවු.17) නමැති තරුණයෙකි.රෝහල්ගත කළ පිරිස අතර මෝටර් රථ දෙකේ රියැදුරන් දෙදෙනා සහ මිය ගිය තරුණයාට පිටුපස අසුන් ගමන් ගත් අයෙකු වන අතර, එහි සිටි තවත් පුද්ගලයෙකු බරපතළ තත්වයේ පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.මෙම තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට ගොස් යළි දඹර බට්ටාගල නිවස බලා පැමිණිමින් සිටියදී මොරගහහේන යකහලුව වංගුවේදී මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් මොරගහහේත සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇති බව පරිණාවලදී අනාවරණය විය.අනතුරක් සමගම තරුණයන් ගමන්ගත් මෝටර් රථයේ ඉදිරිපස සිරවී සිටි මියගිය තරුණයා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගත්තද ඔහු ඒ වනවිටත් මිය ගොස් තිබූ බව හෙළිවිය. අනතුරින් මෝටර් රථ දෙකටම බරපතළ අලාභ සිදු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලීන් සංජීව මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එන්.කේ. ජගත් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුහුදේ ජලක්‍රීඩා කළ පිලිපීන කතකගෙන් දිය යටදී කිමිදුම්කරුට පා පහරක්


මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිටි පිලිපීන ජාතික කාන්තාවකගේ යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ බව කියන කිමිදුම්කරුවකු පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය කියයි. සිය සැමියා සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි  මෙම පිලිපීන ජාතික කාන්තාව ඇයගේ සැමියා ද සමග වැලිගම කප්පරතොට මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිට ඇති බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. කිමිදුම් ඇඳුම් කට්ටලයෙන් සැරසුණු පුද්ගලයකු පිලිපීන ජාතික කාන්තාව සමීපයට පිහිනා පැමිණ ඇය ඇඳ සිටි යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය එම පුද්ගලයාට වැර යොදා පා පහරක් එල්ල කර තිබෙන බව පොලිසිය කියයි. 

පා පහර කෑ කිමිදුම්කරු දිය යටින් ඈතට පිහිනා ගොස් ඇති බවද පොලිසිය පවසයි. පිලිපීන ජාතික කාන්තාව තමා මුහුණදුන් මෙම අප්‍රසන්න සිදුවීම සිය සැමියාට දැනුම් දී ඔහුත් සමග පැමිණ මේ බව ඇය වැලිගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය. මෙම විදේශීය කාන්තාවන්ගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොලිස් වසමට අයත් කප්පරකොට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.  වැලිගම මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

14 හැවිරිදි දැරියක් හත්මසක ගැබිනියක් කළ 15 හැවිරිදි සිසුවා

ඔන්ලයින් අධ්‍යාපනයට දෙමවුපියන් ලබාදුන් ජංගම දුරකථනයේ අසැබි දර්ශන නරඹා 14 හැවිරිදි දැරියක් හත්මසක ගැබිනියක් කළ 15 හැවිරිදි පාසල් සිසුවෙකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය පවසයි.දැරිය රෝහල්ගත කර ඇති අතර 15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. තමන්ට උදරාබාධයක් නිරතුරුවම හට  ගත්තා බවට මවට පැවසීමෙන් අනතුරුව දැරියගේ මව විසින් මුල්ලේරියාව රෝහල් වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂාවේදී එම දැරිය ගැබ්ගෙන ඇති බවට හෙළිවූ බව පොලීසිය අනාවරණය කරයි.ඔවුන් දෙදෙනාම එකම පාසලක 10වැනි සහ 11වැනි වසරවල අධ්‍යාපනය ලබන අතර නවගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, සැකකාර සිසුවාගේ දෙමවුපියන් විසින් මිලදී ගත් ජංගම දුරකථනය සිසුවාට මීට මාස කීපයකට ඉහතදී ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදී තිබෙන අතර, එමගින් අන්තර්ජාලය හරහා අසැබ් දසුන් නැරඹීමට පුරුදුව සිටි සිසුවා ද සමග ඒ අයුරින් සිට ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය. දැරියගේ නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාව බලා එම නිවසට පැමිණ තිබූ සැකකාර සිසුවා ජංගම දුරකථනයෙන් නැරඹු අසැබ් දර්ශන අනුව සැකකාර සිසුවිය සමග ගත කර තිබෙන බවත්  පරික්ෂණ වලදී හෙළිවී තිබේ. 15 හැවිරිදි සිසුවා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


 (බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ )


මව ගේ ඇතුළේ මියගිහින් - දුව දවස් 20ක්ම මිනියට කෑම දීලා


දියණියක සමග වාසය කරමින් සිටිය දී දින විස්සකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා 23 වැනිදා සවස සොයාගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි. තම මව මිය ගිය බව නොදත් දියණිය මෙම දින කිහිපය පුරා මළ සිරුර සමග නිවෙස තුළ ජීවත්ව සිට ඇති අතර ඒ කාලය තුළදී මළ සිරුරට කෑම බීම පවා මෙම දියණිය විසින් ලබා දී ඇතැයි පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත වේරපිටියගේ  පත්මිණි පතිරණ (74) හැවිරිදි එක්දරු මවක බව පොලිසිය කියයි.  මියගිය කාන්තාවගේ සැමියා, දියණිය කුඩා කලම මියගොස් ඇති අතර පසුව  දෙදෙනා හුදකලාව නිවසේ ජීවත්ව සිට ඇති අතර ආබාධිත දියණියක නිවසේ සිටින නිසා නිරන්තරයෙන් නිවසේ දොරගුලු වසා තිබෙන බව ද පොලීසිය කියයි. 

මේ හේතුවෙන් අසල්වාසීන් මොවුන් සමග නිරන්තර සබඳතා නොපවත්වන අතර ඉකුත් 23 වැනිදා සවස නිවස දෙසින් අධික දුගඳක් වහනය වීම නිසා ඒ පිළිබඳව අසල්වාසියකු 119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබේ.  එම අවස්ථාව වන විටත් නිවෙස දෙසින් අධික දුඟඳක් වහනය වෙමින් තිබී ඇති අතර නිවසේ දොරගුලු ද වසා තිබී ඇති බව පොලීසිය කියයි. ඒ අනුව පොලිසිය නිවැසියන්ට කතා කළ ද ඊට ප්‍රතිචාරයක් නොවීම නිසා නිවසේ පිටුපස දොරකින් ඇතුළු වී පරික්ෂා කිරීමේ දී මුළුතැන් ගෙයි උඩුබැලි අතට වැටී මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය  කියයි . එම අවස්ථාව වන විටත් මළ සිරුර හදුනා ගත නොහැකි තරමටම දිය වී තිබූ අතර දින විස්සකට පමණ පෙර මියගොස්  ඇති බවට පොලීසිය සැක කරයි.

තවදුරටත් නිවෙස පරීක්ෂා කිරීමේ දී නිවසේ කාමරයක් තුළ කාන්තාවක රැදී සිට  හමුවී ඇති අතර ඇය මියගිය කාන්තාවගේ  45 හැවිරිදි දියණිය බවත් ඇය කිසියම් ආබාධයකින් පෙළෙන්නියක බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි. සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජයරත්න මහතා පැමිණ ස්ථානීය පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යාමට පොලිසියට නියෝග කළේය.  මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී සිදු කිරීමට නියමිතය.


  -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-



චොකෝ මල්ලි ගැන තීන්දුව මාර්තු 31දා

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දැමීම සම්බන්ධයෙන් තමන්ට නියම කළ මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන්නැයි ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ඊයේ (24දා) දැනුම් දුන්නේය. මෙම අභියාචනා විභාගය අවසන් කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නිවේදනය කළේය.අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරීයේ මෙම අභියාචනා විභාග කෙරුණි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරීසේන මහතාගේ කහවත්තේ පැවැති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දමා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිල ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.මේ සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් එම චෝදනාවට වරදකරුවන් බවට තීරණය කළ අධිකරණය විත්තිකරුවන් තිදෙනාටම මරණීය දණ්ඩනය නියම කළේය.රත්නපුර මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා තමන්ට එරෙහිව රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැණි බව සඳහන් කොට තිබිණ.එහෙයින් රත්නපුර මහාධිකරණයේ තීන්දුව අවලංගු කොට සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා තිබිණ.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව එහි තීන්දුව ලබන මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කළේය.


(බුද්ධිමාල් රුබේරු)


Thursday, February 24, 2022

ආණමඩුවේ හවුල් පක්ෂ නායකයන් මෛත්‍රීගේ ගෙදර සාකච්ඡාවක


ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ හා සංවිධාන 10ක නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (23) පවත්වා ඇති බව වාර්තා වේ.  මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පවත්වා ඇත. රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා විය.

එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව මාර්තු 02දා සංවිධානය කරන වර්තමාන අර්බුදය පිළිබඳව හා රට සෑදිම පිළිබඳව සාකච්ඡා කෙරෙන නිල ලියැවිල්ල එළිදැක්වීම හා සම්මන්ත්‍රණය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිර්ඝව විමසා ඇති අතර ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවද ප‍්‍රකාශ කර තිබේ.  මෙම සාකච්ඡාව ඊයේ පස්වරු 06.00 සිට රාත්‍රී 8.00 පමණ වනතුරු පවත්වා ඇති අතර, ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය,ශ්‍රී ලංකා මහජන පක්ෂය,ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය,යුතුකම සංවිධානය අතුළු පක්ෂ සහ සංවිධාන 10 ක නායකයෝ සහභාගි වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , ශ්‍රීලංනිප මහලේකම් පා.ම.දයාසිරි ජයසේකර සහ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්වරු සහභාගී ඇති බව වාර්තා වෙයි.


නවෝද්‍යා පවනී

පුතුගේ අලුත ගෙනා මනමාලිට මාමණ්ඩිය අතවර කරන්න හදලා


තම පුතු අලුතින් විවාහ කරගෙන නිවෙසට කැන්දාගෙන ආ 22 හැවිරිදි ලේලියට අතවර කිරීමට තැත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මාමණ්ඩිය වන ස්වර්ණාභරණ  වෙළෙඳසලක හිමිකරුවකු (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ඇය මෙම සිද්ධියට ලක්ව තිබෙන අතර ඒ බව සැමියාට පැවසීමෙන් පසු ඔහුද පියාගේ පැත්ත ගනිමින් නිතර පවුල් ආරවුල් ඇතිකර ගත් බව එමට  තරුණිය පොලීසියට ප්‍රකාශ කර ඇත. ඒවන විට ඇය විවාහ වී එම නිවෙසට ගොස් මාස තුනක්වත් ගත වී නොමැති බවද ඇය සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 20 වැනිදා තමාට දායාද ලෙස දුන් රන් ආභරණ ද නැවත ගලවා ගෙන තමාට හා තම නැගණියට පහර දී නිවෙසින් එළියට දැමීමට කටයුතු කළ බවට ඇය පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 ට දැනුම් දී තිබුණි. ඒ අනුව පොලීසිය ගොස් දෙපාර්ශවය මාලිම්බඩ පොලීසියට කැඳවා පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ දී අතවරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි. පහරදීම සම්බන්ධයෙන් තරුණීයගේ සැමියා පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත  මුදාහැර පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු  කළේය. ඇයට අතවර කිරීමට තැත් කිරීම  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මාමණ්ඩිය පෙරේදා (22) වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-


සෝලා ඉල්ලුම්පත් 1200කින් කිසිදු අයදුම්පතකට අවසර ලබාදී නෑ

රට තුළ විශාල විදුලී අර්බුදයක් ඇති වී තිබියදී සූර්ය කෝෂ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අයදුම් පත් 1,200ක පමණ ප්‍රමාණයෙන් කිසිදු අයදුම් පත්‍රයකට තවමත් අවසර ලබාදී නොමැති බව කුඩා හා මධ්‍ය පරීමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.මෙම ඉල්ලුම් පත මගින් මෙගාවොට් 4,000කට ආසන්න විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන බවත්,අදාළ ඉල්ලුම්පත් පසුගිය ආණ්ඩු සමයේ සිට මේ දක්වා කාලය තුළ ඉදිරීපත් කර තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය. මීට අමතරව දැනටමත් කර්මාන්තශාල සියයකට ආසන්න ප්‍රමාණයක වහල මත සූර්ය කෝෂ මගින් විදුලිය නිෂ්පාදන කටයුතු සිදුකරන බවත්, මේ අනුව අදාළ කර්මාන්තශාලාවල වහල මත තිබෙන සූර්ය කෝෂ මගින් වැඩිපුර නිෂ්පාදනය වන විදුලිය ලබාගැනීමටවත් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය. මෙම කර්මාන්තශාලාවලින් දහවල් කාලයේදී ජාතික විදුලි පද්ධතියට විදුලි ලබාගෙන රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියෙන් කර්මාන්තශාලවලට විදුලිය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය. අයදුම්පත් යොමු කර තිබෙන පිරිස්වලට අදාළ අවසරය ලබාදීමට කටයුතු කළහොත් මාස හයක් තුළ ජාතික පද්ධතියට විදුලිය ලබාදීමට හැකියාව තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර, ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශය වන්නේ, සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා කාලයක් පමණක් බවත් හෙතෙම අවධාරණය කළේය.එහෙත් බලධාරින් වැඩි උනන්දුවක් දක්වන්නේ, පැය 24 පුරම ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර, ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට බවත්, මේ නිසා ජනතාවට විදුලි අර්බුදයකට මුහුණුදීමට සිදුව තිබෙන බවත් පවසා සිටි සභාපතිවරයා, මෙම විදුලි අර්බුදය නිසා කාර්මාන්තශාලා පවත්වාගෙන යාම විශාල අර්බුදයක් බවට පත්ව තිබෙන බවද පැවසීය.මෙම අර්බුදය නිසා ඉදිරියේදී විශාල පිරිසකට රැකියා අහිමි විය හැකි බවත්, අපනයන නිෂ්පාදන අඩු වී ඩොලර් ආදායම අඩු විය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ)

මුදල් විශුද්ධිකරණය යටතේ ස්විට්සර්ලන්තය අසාදු ලේඛනයට

අද වනවිට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇති ස්විට්සර්ලන්තයේ බැංකු කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ස්විට්සර්ලන්තය එම කාරනාව පිළිබද අසාදු ලේඛනයට ඇතුළත් කළ යුතුව ඇතැයි යුරෝපා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.එම පාර්ලිමේන්තුවේ විශාලතම දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන යුරෝපියානු මහජන පක්ෂය (EPP) මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම පසුගියදා හෙළිදරව් වුණු Credit Suisse බයකුන්වෙහි රහසිගත ලිපිගොනුවල ඇතුළත් මුදල් විශුද්ධිකරණය සහ රහසිගත බැංකු ගනුදෙනු ඇතුළු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ තීරණය ගත යුතු බව එම පක්ෂය සඳහන් කරයි. මෙම Credit Suisse බැංකුව මගින් ලොව දේශපාලනඥයන්, බුද්ධි අංශ ප්‍රධානීන්, මානව හිමිකම් කඩකරන් මෙන්ම විවිධ සම්බාධකවලට ලක්වූ පුද්ගලයන් ඇතුළු කළු සල්ලි සහිත පුද්ගලයන් බොහෝ දෙනෙකුටම සිය මුදල් තැන්පත් කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙන බව ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.පසුගිය සතියේදී නිකුත්වුණු මාධ්‍ය වාර්තාවකට අනුවද එම බැංකුව මගින් ආසන්න දශක කිහිපයේදී පවත්වාගෙන ගිය එවැනි ගිරාම් දහස් ගණනකගේ රහසිගත තොරතුරු අනාවරණය කෙරිණි. මෙම විමර්ශනය Suisse Secrets ලෙසින් නම් කෙරේ තිබුණු අතර, එහිදී එම බැංකුවේ ගනුදෙනුකරුවන් ලෙස   අපරාධකරුවන්, මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මුදල් විශුද්ධිකරණය කරන්න, දූෂකයන් ඇතුළුව තවත් බරපතළ අපරාධකරුවන්ගේ නම් සඳහන්ව තිබී ඇත.ඒ අනුව ස්විට්සර්ලන්තයේ බැංකු පද්ධතිය වෙත ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳව පවතින ප්‍රමිතීන් වෙත නියමාකාරයෙන් දායකත්වයක් දීමට නොහැකි නම් එය ස්විට්සර්ලන්තය වෙත හානිදායක බව යුරෝපියානු මහජන පය පවසයි.කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන Credit Suisse බැංකුව, ගතවූ කාලසීමාවේදී තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව සඳහන් කරයි. එහිදී මෙම මාධ්‍ය වාර්තා සියල්ලම බැංකුව මගින් පවත්වාගෙන යන ක්‍රමවේදය අනුව සිතමින් සකස් කරගත් තොරතුරු අනුව සම්පාදනය කරවූවක් බවත් බැරකුව පවසයි. යම් ලෙසකින් හෝ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව මගින් ස්විට්සර්ලන්තය මෙලෙස මුදල් විශුද්ධිකරණය යටතේ අසාදු. ලේඛනගත කළහොත් එම පාර්ලිමේත්තුව මගින් එවැනි තීරණයක් ගන්නා පළමු වැනි යුරෝපා රට බවටද එය පත්වනු ඇත. මේ දක්වා ඉරානය, මියන්මාරය, සිරියාව, උතුරු කොරියාව ඇතුළු රටවල් 21ක් එම පාර්ලිමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය යටත් අසාදු ලේඛනයට ඇතුළත් කර තිබේ. මේ දක්වාම කිසිදු - යුරෝපා රටක් ඊට ඇතුළත්ව නැත.

ඉතාලි වීසා නිලධාරිනියට දුන් කොත්තුවේ කැරපොත්තෙක්


කැරපොත්තකු සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවළු කොත්තුවක් සැකසීම හා අලෙවි කිරීමේ චෝදනාවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වරද පිළිගත් විත්තිකරුවකුට ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 10,000 දඩයක් සහ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය. කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක්  මහත්මිය සිද්ධියේ පැමිණිලිකාරිය වුවාය.මෙලෙස දඩ මුදල් නියම වූයේ කොළඹ 7 වෝඩ් පෙදෙසේ “ගෝනට් විත් ඩෝනට්" නමැති අවන්හලේ කළමනාකරු වන රොෂාන් දිරුක් නමැත්තාටය. ඉකුත් නොවැම්බර් 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පැමිණිලිකාරිය එම  අවන්හලින් එළවළු කොත්තුවක් අන්තර් ජාලය හරහා ඇණවුම් කර ආහාර සේවා සපයන ආයතනයක් හරහා එම කොත්තුව මිලදීන්ගෙන ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ. 

එම කොත්තු රොටිය ආහාරයට ගනිමින් සිටියදී ඒ තුළ මියගිය කැරපොත්තෙකු සිටිනු දැක සිද්ධිය  කොළඹ මහ නගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකයේ (0112-676161) දරණ දුරකතන අංකය වෙත දැනුම් දී ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.  ඒ අනුව කොළඹ මහ නගර සභාවේ මධ්‍යම ආහාර පාලන අංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.බී. ලාකුමාර මහතා:

තානාපතිකාර්යාලයට ගොස් පරික්ෂණ පවත්වා කැරපොත්තා සහිත කොත්තු රොටිය සිය බාරයට ගෙන ඇති අතර, පැමිණිලිකාරිය ඒ සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බව අධිකරණයෙන් වාර්තා වේ.  නිලධාරීන් බාරයට ගත් කොත්තු රොටියේ සාම්පල් කොළඹ මහ නගර සභාවේ නාගරික රස පරීක්ෂණවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි කැරපොත්තෙකු සිට ඇති බවට තහවුරු කරගත ගෙන, එහි සාම්පල් කීට විද්‍යා අංශය වෙත යොමුකර එම ප්‍රහාරයේ සිටියේ කැරපොත්තකු බවට තවදුරටත් තහවුරු කරගෙන විත්තිකරුට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.  නඩුවේ චෝදනාවලට විත්තිකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අධිකරණය හමුවේ තරයේ අවවාද කර රුපියල් 10,000 දඩ මුදලක් හා පැමිණිලිකාරියට රුපියල් 50,000 වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කළේය. විත්තිකරු එම වන්දි මුදලට අධිකරණයේ තැන්පත් කර ඇත. කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගේ මෙහෙයවීමෙන්, කොළඹ නගර සභාවේ මධ්‍යම ආහාර පාලන අංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්. බී. ලාකුමාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.


 ඉන්දිකා රාමනායක


MH370 ගුවන්යානාව කඩා වැටීම සියදිවි නසා ගැනීමේ අවස්ථාවක්

2014 වසරේදී ඉන්දියානු සාගරයට ඉහළ අහසේදී මගීන් සහ කාර්යමණ්ඩලයේ 239දෙනෙකු සමග අතුරුදන් වූ මැල්සියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ අනතුර ඝාතන චේතනාවෙන් සිදු කළ සියදිවි නසා ගැනීමේ අවස්ථාවක් බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන විශේෂඥයන් පිරිසක් අදහස් දක්වමින් සඳහන් කරති. MH370 - The Final Search නමින් බ්‍රිතාන්‍යයේ කයි නිවුස් නාලිකාවේ විකාශය කෙරුණු වාර්තාමය වැඩසටහනක් වෙත අදහස් දක්වමින් මෙම අනතුරේ විමර්ශන කටයුතු සිදුකරන කණ්ඩායම එම කරුණු සදහන් කර තිබේ. ඒ අනුව මෙය ඝාතනසියදිවි නසා ගැනීමේ” අවස්ථාවක් ලෙස ඔවුන් හදුන්වාදී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගුවන් පියාසැරි ආරක්ෂාව පිළිබද මුල් පෙළේ විමර්ශකයකු මෙන්ම හිටපු ගුවන් නියමුවෙකුද වත ජෝන් කොන්සේ, මෙම අනතුර කිසිදු ආකාරයකින්වත් හදිසි අනතුරක් නොවන බව පවසයි. "දැනට සිදුකර ඇති පරික්ෂණවලට අනුව මේ ගුවන්යානය තමන්ට නියමිතව තිබූ ගුවන්පථයන් බැහැරව වෙනත් ගුවන් පථයක ගමන් කළ බවට සාක්ෂි තිබෙනවා.” ඔහු පවසයි.ඒ අනුව මෙහිදී පළමු වැනි නිලධාරීයා සහ නියමුවා එලෙස ගුවන්යානයේ ගමන් පථය සම්බන්ධයෙන් වගකිව යුතු බව පවසන කොන්සේ, එලෙස ගුවන් පථය වෙනස් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් හොදින් දන්නා අයෙකු බවද පෙන්වා දෙයි. මෙම අනතුර අවස්ථාවේදී යානයේ නියමුවා ලෙස කපිතාන් සහාරේ අහමඩි ෂා කටයුතු කළ අතර, පළමු වැනි නිලධාරියා ලෙස ෆරික් අබ්ඳුල් හමිඩ් කටයුතු කළේය. 2014 මාර්තු 08වැනිදා මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන්තොටුපොළෙන් පිටත්ව චීනයේ බීජි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා එම යානය පියාසර කිරීමට නියමිතව තිබුණි. එහෙත් යානය පිටත් වී විනාඩි 38කට පසුව එය දකුණු චීන මුහුද උඩ තිඛෙදී සංඥා බිදී ගොස් ඇත. කෙසේ වෙතත් පැයකට පසුව ගුවන් හමුදා ර්ඩර් මගින් යානය හදුනාගත් අවස්ථාවේදී එය සැලසුම් කළ ගුවන් පථයේ සිට බටහිර වන්නට පිහිටි වෙනත් පථයක ගමන් කරමින් සිටින බව හඳුනාගෙන ඇත. "මේ ගුවන්යානයේ ගමන් පථය වෙනස් කළා කියන්නේ. යානය තිබිලා තිබෙන්නේ මේ ප්‍රධාන නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ භාරයේ.” කොක්ස් පවසයි. වසර ගණනාවක සෝදිසියකින් පසුව වුවද මෙම යානයේ සුන්බුන් කොටසක් හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, මේ වනවිට එම යානය සෙවීම අත්හැර දමා තිබේ.මීට පෙර හිටපු ඔස්ට්‍රේලියානු අගමැතිවරයකු වූ ටෝනි ඇබොට්ද මෙම අනතුර මහා පරිමාණ ඝාතනයක් සිදුකළ සියදිවි නසා ගැනීමක් බවට සඳහන් කර තිබුණි. 


සතොස හඬ පටයේ කතා යට ගැහිල්ලක් ගැන චෝදනා

 

වැඩ තහනමට ලක්වූ සතොස සභාපතිවරයා සම්බන්ධ බව කියන අයථා ගනුදෙනු හා 2019 සිට සතොසේ සිදුවූ දූෂණ වංචා සෙවීමේ පරීක්ෂණය යටගැසීමේ විශාල සැලසුමක් අමාත්‍යාංශය තුළම ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. මෙම පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවැසුවද ඒ සඳහා පත්කර ඇත්තේ ඒක පුද්ගල කමිටුවක් බවද ඔහු පැවසීය. සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා සතොස හිටපු  ප්‍රවාහන කළමනාකරුවකු සමග සිදුකළ බව කියන පරණ ටයර් අලෙවි කිරීමේ අයථා ගනුදෙනුවක් පිළිබඳවද ඉකුත්ද සංසරණය වූ  හඬ පටයකින් කියවෙන බවද එම ටයර් ටෙන්ඩරයට අදාළ සියලු ලිපි ලේඛන මේ වනවිට සතොසෙන් අතුරුදන්ව ඇති බව දැන  ගන්නට ඇති බවද එම නිලධාරියා පැවසීය. 

මෙම අයථා ගනුදෙනුවලට සම්බන්ධ බව කියන සතොස ප්‍රවාහන අංශයේ තවත් ඉහළ නිලධාරියකුගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇතත් මෙතෙක් ඔහුට එවැනි ලිපියක් යොමුකර නැති බවද එම නිලධාරියා සඳහන් කළේය. එම නිලධාරියා මාස දෙකකට අධික කාලක් සේවයට වාර්තා  කර නැති බව එහෙත් මේ දක්වා ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා ලිපියක් හෝ යොමුකර නැති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ සතොස සභාපතිවරයාගේ අයථා ගනුදෙනු ගැන කියවෙන හඬපටයට අදාළ කරුණු සොයාබැලීම සඳහා පමණක් ඒක පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර සතොස දූෂණ වංචා සෙවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ඉදිරියේදී පත්කරනු ඇති බවය.  ප්‍රවාහන අංශයේ කළමනාකරු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්දැයි සොයාබලන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


-මුදිතා දයානන්ද -

ඩීසල් හිඟය නිසා කන්ටේනර් ප්‍රවාහන රථ 2000ක් සේවයෙන් ඉවතට

පවතින ඩීසල් හිගය සහ ඉන්ධන පිරවුම් හල් මගින් ඩීසල් ලබාදීම සීමා කිරීම නිසා කන්ටේනර් ප්‍රවාහන රථ 6000ක ප්‍රමාණයෙන් රථ 2000කට ආසන්න ප්‍රමාණයකට දෛනිකව සේවයෙන් ඉවත් වීමට සිදුව ඇතැයි එක්සත් බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.සමහර ඉන්ධන පිරවුමිහලින් ඩීසල් ලබාදීම සීමා කර තිබෙන බවත්, මේ අනුව එක් රථයකට හිමිවන්නේ රුපියල් තුන්දහසක ඩීසල් ප්‍රමාණයක් පමණක් බවත් එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසීය. මීට අමතරව සමහර ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති බවත්, මේ නිසා ආනයන හා අපනයන කන්ටේනර් ප්‍රවාහනය කිරීමේදී දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය. රුපියල් තුන්දහසක ඩීසල්වලින් කන්ටේනර් ප්‍රවාහන රථයකට ගමන් කළ හැකි වන්නේ ය. කිලෝමීටර් පනහක දුරක් පමණක් බවත්, ඩීසල් ලීටරයකින් කටේනර් රථයකට ගමන් කළ හැක්කේ ආසන්න වශයෙන් කිලෝමීටර් 02 - 03 අතර දුරක් පමණක් බවත් ඒ මහතා සදහන් කළේය. එහෙත් කොළඹ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදය නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඩීසල් ලීටරයකින් ගමන් කළ හැක්කේ කිලෝමීටර් දෙකක් වැනි දුරක් බවත්, මේ නිසා කටේනර් රථවලට අවශ්‍ය සමස්ත ඉන්ධන ප්‍රමාණයම ලබාදෙන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පවසා සිටියේය. අපනයන කන්ටේනරයක් ප්‍රවාහනය කර රථයකට අතරමගදී ඉන්ධන නොමැති වුවහොත් අදාළ කන්ටේනරය නැවට ලබාදීම ප්‍රමාද වන බවත්, මේ අනුව ප්‍රමාද ගාස්තු ගෙවීමට පවා කන්ටේනර් රථ හිමියන්ට සිදුව තිබෙන බවත් ඔහු සදහන් කළේය. අදාළ ඉන්ධන භාගයට නිසි විසදුමක් කඩිනමින් ලබාදීමට කටයුතු නොකළහොත් මෙරටට රැගෙන එන කටේනර් රථ ප්‍රවාහනය කිරීම ප්‍රමාද වීම හරහා ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් පවා ඇති විය හැකි බවද හෙතෙම පවසා සිටියේය. 


(එච්.අයි. තුෂාර)


Wednesday, February 23, 2022

යුක්රේනයේ රුසියානු හිතවාදී පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගන්නවා

මොස්කව්හිදීය (රොයිටර්) 


යුක්රේනට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන, රුසියානු හිතවාදී පළාත්, ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්  ජාතිය අමතමින් පැවැසීය. යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට අයත් පළාත් ලෙස සැලකෙන්නේ රුසියන් දේශසීමාවට යාබදව පිහිටි ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත්ය. මෙම පළාත්, ස්වාධීන රාජ්‍යයන් ලෙස රුසියාව නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙයයි. 

“මා මේ තීරණය ගැනීම කළ යුතුව තිබුණේ අද නොවෙයි, මීට වසර කීපයකට පෙරයි. ඩොනෙස්ක් ජනතා ජනරජය සහ ලුහාන්ස්ක් ජනතා ජනරජය ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට මා වහාම තීරණය කළා.” යැයි ජනාධිපති පුටින්, රුසියානු ජාතික රූපවාහිනිය  ඔස්සේ ජනතාව අමතමින් පැහැදිලි කළේය. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරමින් රුසියාවට සහාය පළ කරන්නේ 2014 වසරේ සිටය. 2014 දී රුසියාව, මේ අයුරින්ම යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කළ යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කළේය. ඒ, ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියන් හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන්ගේ සහාය  ඇතිවය. අදත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට අයත් කොටසක් ලෙස සැලකෙයි.  2014 වසරේ සිට මේ දක්වා ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත්වලට රුසියාව නිල නොවන මට්ටමින් මුදල්  ආධාර ලබා දෙමින් සිටී. බෙදුම්වාදී සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙන්නේ  ද රුසියාව බව රහසක් නොවෙයි. 

ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස නිල වශයෙන් පිළිගැනීමත් සමඟ එම පළාත්වලට ආධාර ලබා දීම රුසියාවට කළ හැකි වෙයි. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් බෙදුම්වාදීන් යුක්රේන හමුදා සමඟ යුද වදින්නේ  නම්, රුසියාව ඔවුන්ට සහාය ලබා දෙනු ඇත.  රුසියාව යුක්රේනය අක්‍රමණය නොකරනු ඇති නමුත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට එක් කර ගත්  ආකාරයට ඩොනෙස්ක් සහ  ලුහන්ස්ක් ද රුසියාවට එක් කර ගනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊයේ (22) සවස් වෙද්දී ජනාධිපති පුටීන්ගේ අණ පරිදි රුසියන් හමුදා බළඇණ කීපයක් ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත්වලට ළගා වූ බව ද පැවැසිණි. එම අවස්ථාවේ බ්‍රිතාන්‍යය කියා සිටියේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ බවය. ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත් එකට ගත් කළ හැඳින්වෙන්නේ 'ඩොන්බාස්" යනුවෙනි. 2014 වසරේ සිට සටන් විරාසයක් පැවැතියත්, බෙදුම්වාදීන් සහ යුක්රේන හමුදා අතරේ විටින්විට ගැටුම් පවතින අතර එම ගැටුම් හේතුවෙන් 15,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. රුසියානු යුක්රේන අර්බුදය ඔඩුදිවීමත් සමග 1,550 වාරයක් එය උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා  දෙති. 

ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපතිවරයා තීරණය කිරීම "නේටෝ සංවිධානයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවුණත්, ' නේටෝ' හිතවාදී රාජ්‍යයකි. රුසියාවත් යුක්රේනයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ද මේ නිසාය. යුක්රේනය නේටෝ හිතවාදී රාජ්‍යයක් වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ජාතිය ඇමතු අවස්ථාවේදී ද යුක්රේනය නේටෝව සමග එක් වීම රුසියාවේම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව පුටින් යළිත් වරක් පෙන්වා දුන්නේය. රුසියන් ජනාධිපතිවරයා ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත් සම්බන්ධයෙන් ගත් තීරණය මුල්කොට ගනිමින්, එක්සත්  ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් ද පැවැත්විණි. එහිදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයකු වන චීනය රුසියාචට පක්ෂපාතී වෙමින් කියා සිටියේ යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව කරන ඉල්ලීම්වලට ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් කන් දිය යුතු බවය.මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්සිකී ප්‍රකාශ කළේ තමන් හැමවිටම “සාමයේ මාවත" තෝරා ගනිමින් කටයුතු කරන නමුත්, යුක්රේනයට අයත් ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත් රුසියාවට අත්වෙනවා වට දැකීමට කිසිම අදහසක් නොමැති බවය.


'පානදුර සළිදු' ජාවාරම්වලින් ඉපැයු රු.ලක්ෂ 80ක් විහාරයක ගල්ගොඩකින් හමුවෙයි

විදේශ රටක සැගව සිටිමින් මත්කුඩු ජාවාරාමේ නියුතු 'පානදුර සළිදු' නමැත්තාට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදලක් පානදුර විහාරයක කළුගල් ගොඩක සගවා තිබියදී සොයාගත් බවත්, එම මුදල් එකතු කළ පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකටි කිහිපයක්ද සමගින් ඊයේ (22)දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බවත් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. සැකකරු පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශය පදිංචිකරුවෙකි.පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිම්න ජයසුන්දර මහතාට ලද තොරතුරක් මත, 'පානදුර සළිදු' නමැත්තාගේ මුදල් එකතු කරන ප්‍රධාන ගෝලයෙකුගේ නිවසක් පරික්ෂා කර ඇති අතර, කුරුප්පුමුල්ල විහාරයක  කළුගල් ගොඩක විශාල මුදලක් සගවා ඇති බවට ලද තොරතුරකට අනුව උපපොලිස් පරික්ෂක කේ. බන්දුකුමාර ඇතුළු පොලිස් කණ්ඩායම විහාරයේ ගොඩගසා තිබූ ගලගොඩ පරික්ෂා කිරීමේදී කළු පැහැති පොලිතින් ආවරණයකින් වසාදමා හිස් සහල් උරයක බහා තිබූ රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදල සොයාගෙන තිබේ. ජාවාරම් මුදල් එකතු කරන බව කියන සැකකරු හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සමගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොටිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න, නිරෝෂන් ධර්මසේන, ස්ථානාධිපති ප්‍රධානෙ පොලිස් පරික්ෂක චමිල නිශ්ශංක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උපපොලිස් පරික්ෂක කේ. බන්දුකුමාර මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.



(පානදුර - සුමිත් පොතුපිටිය)


මස්ක්ගේ Starlink තවත් චන්ද්‍රිකා 46ක් කක්ෂගත කරයි

සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මක්ස්ගේ SpaceX සමාගම යටතේ ක්‍රියාත්මක Starlink අන්තර්ජාල වන්ද්‍රිකා තාක්ෂණික සේවාව සදහා තවත් චන්ද්‍රිකා 46ක් පෘථිවි කක්ෂය වෙත පසුගියදා සාර්ථක ලෙස පිටත් කර හැරුණු බව විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජනපදයේ ෆ්පොරිඩාවේ පිහිටි කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එරට නැගෙනහිර වේලාවෙන් පෙරවරු 9.44ට පමණ මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සිදුව ඇත. එහිදී SpaceX සමාගමට අයත් Falcon 09 රොකට්ටුවක් මේ සදහා යොදාගෙන තිබේ.මෙම කක්ෂගත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ SpaceX සමාගම අදාළ චන්ද්‍රිකා සියල්ලම සාර්ථක ලෙස පාථිවි කක්ෂයේ නියමිත ස්ථානයේ පිහිටවුණු බව ස්ථිර කර තිබේ.

මෙය Falcon9 රොකට්ටුවක් මගින් SpaceX සමාගමේ Starlink වැඩසටහන වෙත සහයෝගය ලබා දුන් 11වැනි අවස්ථාවයි.පසුගියදා කක්ෂගත කෙරුණු මෙවැනි චන්ද්‍රිකා 40කට ආසන්න සංඛ්‍යාවක් චුම්භකකුණාටුවකට හසුව නියමිත කක්ෂයේ ස්ථානගත නොවී ආපසු පෘථිවිය මතට වැටීම හේතුවෙන් පෘථිවි වායුගෝලයේදී දැවී විනාශ වී ගිය බව සඳහන් විය.මෙම Starlink වැඩසටහන හරහා මෙතෙක් අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපහසුව පවතින දුෂ්කර ස්ථාන වෙත එම පහසුකම් ලබා දීම සැලසුම වී තිබේ. මේ දක්වා එම ව්‍යාපෘතිය වෙනුවෙන් චන්ද්‍රිකා 2,000ක් පමණ පෘථිවි කක්ෂයට යවා ඇතැයි සදහන් වෙයි.


67 වියේ පසුවු ඉන්දියානුවා 51 හැවිරිදි අයෙකු මෙන් පෙනී සිට විවාහ 18ක් සිදු කරගෙන

 

විවිධ වෘත්තීන් දරන බවට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ගෙවුණු කාලසීමාවේදී විවාහ 18ක් සිදුකරගත් පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගත්බව ඉන්දීය පොලිස් වාර්තා පවසයි. මෙම පුද්ගලයා 67 හැවිරිදි වියේපසුවන බීභූ ප්‍රකාශ් ඒවායින් ලෙස හඳුනාගෙන තිබේ. ගෙවුණු වසර කිහිපය තුළදී ඔහු මේ ආකාරයට තම වයස 51ක් යැයි පවසමින් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් රවටමින් විවාහ සිදු කරගෙන ඇති අතර, තවත් විවාහ දෙකක් සිදු කරගැනීමට සති කිහිපයකට පෙරාතුව ඔහු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒමෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඉන්දීය පොලීසිය 2021 මැයි මාසයේ සිටම ඔහු පිළිබඳව සිදුකළ නිරීක්ෂණයක් හරහා බවද ඉන්දියානු බලධාරින් සදහන් කරයි. මෙහිදී ඔහු තමන් වෛද්‍යවරයෙකු, මහාචාර්යවරයකු, නීතිඥයෙකු, හිටපු හමුදා නිලධාරියකු ලෙස හදුන්වා දෙමින් අදාළ විවාහ සිදු කරගෙන තිබේ. ඒ සදහා ව්‍යාජ හැඳුනුම්පත්, පත්වීම් ලිපි සහ පවුල් පසුබිම් දැක්වෙන ලිපිගොනු යනාදියද ඔහු විටින් විට සකස් කරගෙන ඇත. ඉන්දියාවේ පවතින අන්තර්ජාලය හරහා මංගල යෝජනා ඉදිරිපතක්කරන වෙබ් අඩවි හරහා මොහු කාන්තාවන් හඳුනා ගනිමින් මෙලෙස ඔවුන් හා විවාහ වී තිබේ. එහිදී ඔහු ඉලක්ක කරගෙන ඇත් වයස අවුරුදු 40ට වැඩි තනිකඩ, වැන්දඹු හෝ දික්කසාද කාන්තාවක්ය.එම කාන්තාවගේ මුදල් සහ ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ පහස ලබාගැනීම වෙනුවෙන් මොහු මේ ආකාරයට වංචාසහගත ලෙස විවාහ සිදු කරගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි. "අපිට ලැබී තිබෙන පැමිණිලිවලට අනුව මොහු එම කාත්තාවන් සමග විවාහ වෙලා, ඉතාමත් සතුටින් දවස් කිහිපයක් ගත කරලා ඊට පස්සේ විවිධ හදිසි හේතු කියමින් එම කාන්තාවන්ගේ රත්රන් බඩු සහ මුදල් ඉල්ලාගෙන පිටත්ව ගොස් තිබෙනවා. එසේ ගිය ඔහු ඒ කිසිදු අවස්ථාවක ආපසු නම් ඇවිත් නෑ.” පොලිසිය පවසයි. විමර්ශනවලට අනුව මේ දක්වා ඔහු මෙවැනි ආකාරයේ වංචාසහගත ලෙස විවාහ 18කට අධික සංඛ්‍යාවක් සිදු කරගෙන තිබේ. ඔහුගේ ජංගම දුරකථනය පරික්ෂාවේදීද එම කාන්තාවගේ අංක, ඔවුන් පදිංචිව සිටින නගරයේනමින් ඇතුළත් කරගෙන සිටි ආකාරයද සොයාගත් බව පොලීසිය පවසයි.  මෙලෙස ඔහු හා විවාහ වුණු 48 හැවිරිදි කාත්තාවකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව 2021 මැයි මාසයේ සිට පොලීසිය ස්වායින් පිළිබද පරික්ෂණ ආරම්භ කර ඇත. එම විමර්ශනයට අනුව ඔහු ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාත්තයේ උපත ලබූවකු බව අනාවරණය වී තිබේ. විද්‍යාගාර පරිශ්කවරයෙක ලෙස සේවය කර ඇති ඔහු, 1978 වසරේදී ප්‍රථම වරට විවාහ වී ඇති අතර, ඔහුගේ වත්මන් වයස අවුරුදු 67කි. ඔහුට දරුවන් තිදෙනෙකු සිටින අතර අද වනවිට ඔවුන් දෙදෙනෙකු කායික වෛද්‍යවරුන් සහ එක් අයෙකු දන්ත වද්‍යවරයකු ලෙස සේවය කරයි. අනතුරුව සිය පවුලෙන් ඉවත්ව ඇති මොහු ඔඩ්ෂා ප්‍රාන්තයේ අගනුවර වන භූබනේෂ්වර් නගරය වෙත පැමිණ ඇති අතර 2022 දී ඔහු තමන් වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා ගනිමීන් එහි ජීවත් වූ වෛද්‍යවරියක විවාහ කරගෙන තිබේ.ඉන් අනතුරුව ගතවූ කාලයේදී ඔහු මෙලෙස ඉන්දියාව පුරාම ගොස් කාන්තාවන් සොයාගෙන විවාහ වී ඔවුන්ගේ මුදල් ඇතුළු දේපළ වංචා කරගෙන ඇත. එහිදී මෙම කුට උපාය ඔහු තනිවම සිදුකළ දෙයක් බවට හඳුනාගෙන ඇති පොලීසිය, එවැනි ක්‍රියා සඳහා ඔහුට උදවු කළ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද පවසයි. එසේම ඔහු ගතවුණු කාලයේදී වෛද්‍ය රසායනාගාර ජාලයක්ද පවත්වාගෙන ගොස් ඇති අතර, ඒවායේ සේවය කළ වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය වෙත වැටුප් ගෙවා නොමැති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි. එසේම කොඩිඩ් කාඩ්පත් 128ක් යොදා ගනිමින් ඔහු එරට බැංකු 13ක් වෙත රු.මිලියන 10ක මුදල් වංචාවක් සිදුකර ඇතැයිද සදහන් වෙයි.


(ඒ කටුනායක - ටී.කේ.ජී.කපිල)

ශ්‍රි ලංකන් නියමුවන්ගේ අකුරට වැඩ කිරීම තවදුරටත්

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සිය කාර්යයන් කාලසටහනකට අනුව පමණක් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයේ තවදුරටත් යෙදී සිටින බව එම සංසදය ඊයේ (22දා) දින නිර්වේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.පසුගිය දෙවසරක කාලය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලනයෙන් තම ගුවන් නියමුවන්ගේ ගෙවීම් නීත්‍යනුකූල නොවන ආකාරයට කප්පාදු කිරීම්වලට එරෙහිව,මෙම ගුවන් නියමුවෝ මෙම ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ට වී සිටිති. ගුවන් නියමුවන් මෙම කප්පාදු  කිරීම පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සේවා පරිපාලනය දැනුවත් කළද, ඔවුන් ඒ සඳහා පිළිගත හැකි සාධාරණ විසඳුම් ලබා නොදීම නිසා මෙම තීරණයට එළඹී සිටිති.ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය තුළ ඉල්ලීම් 06ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනය වෙත ඉදිරිපත් කර ඇති අතර, එනම් අලුතෙන් පත් වූ කපිතාන්වරු සදහා එම තනතුරට නියමිත වැටුප පෙර පරිදිම ලබාදීම,උපගුවන් නියමුවන් සඳහා ලැබිය යුතු කනිෂ්ඨ උපනියමුවන්ගේ සිට උපනියමුවන් දක්වා වූ උසස් වීම් සහ එයට අදාළ දීමනා පෙර පරිදිම ලබාදීම, ගුවන් නියමු උපදේශකවරුන් හට කරනු ලබන උපදේශක සේවාවලට හිමි ගෙවීම් පෙර පරිදිම ලබාදීම, ගිවිසුම් පරිදි ගුවන් නියමුවන් සඳහා වැටුප් ගෙවීමේදී ඩොලරය රුපියලට පරිවර්තනය කරන අගය පෙර පරිදිම එම මාසයේ සමාගම විසින් ප්‍රකාශිත අගයට ගෙන ඒම, පසුගිය වසර දෙක තුළ මෙම අගය රුපියල් 188.78ක උපරිමයකට යටත්ව රඳවා තැබීම, ගුවන් නියමු කාර්ය කාලසටහනේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරි කටයුතු කිරීම වෙනුවෙන් කරනු ලබන ගෙවීම් පෙර පරිදිම ලබාදීම සහ රාජකාරි කරන අතරතුර ලැබිය යුතු අනෙකුත් දීමනා පෙර පරිදිම ලබාදීමට කටයුතු කිරීම එම ඉල්ලීම් 06 වේ.මෙම ක්‍රියාමාර්ග, අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව ගුවන් නියමුවන් තමන්ට මාසිකව ඉටු කිරීමට ලැබෙන වැඩ කොටස කාලසටහනකට අනුව ඉටු කිව්වක් බවද එම ගුවන් නියමු සංසදය මෙම නිවේදනය මගින් පෙන්වා දෙයිතමන්ගේ මෙම ඉල්ලීම්වලට සාධාරණ පිළිගත හැකි විසඳුමක් ලබාදෙනතුරු මෙම ක්‍රියාමාර්ගය තුළ රැඳී සිටීමටද මෙම ගුවන් නියමුවන්ගේ සංසදය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



(ඒ කටුනායක - ටී.කේ.ජී.කපිල)

ගොවියා මැරූ වල් අලියා මිනිය ගන්නත් ඉඩදී නෑ

පැල් රැකීමට කුඹුරට යමින් සිටි ගොවියකු වල් අලි පහරදීමකට ලක්ව පෙරේදා (21) රාත්‍රියේ මරණයට පත්ව ඇතැයි නාන්නේරිය  පොලිසිය කියයි.  මෙසේ මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව මහනාන්නේරිය , වන්නිඅමුණුකොළේ ආර්.එච්.එම්. කරුණාරත්න නමැති හැත්තෑ හතර හැවිරිදි තැනැත්තකු වන අතර ඔහු පස් දරු පියකු බව පරික්ෂණවලදී හඳුනාගත් බව පොලිසිය පවසයි. සිය කුඹුරේ ගොයම් වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔහු පෙරේදා (21 වැනිදා) රාත්‍රියේ අටයි තිහට - නමයට පමණ කුඹුරට ගොස් ඇතැයි පොලිසිය කියයි..  ඒ වනවිටත් කුඹුරට කඩා වැදී සිටි තනි අලියකු ගොයම් වගාව විනාශ කරමින් සිට ඇති බවත්, අවට පැල්වල සිටි ගොවීන් ඒ බව  දැනුම් දී ඇති බවත් පොලිසිය කියයි.

වල් අලියා පලවා හැරිමට කෑ කෝ ගසමින් මේ ගොවීමහතා  සිය පැලට ඇතුළුවීමට දුවගෙන යද්දී වල් අලියා ඔහුට පහරදී ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. වල් අලියාගේ පහර දීමෙන් ඔහු ඒ ස්ථානයේම මියගොස් ඇති බවත් පහරදීමෙන් හා පාගා දැමීමෙන් ඔහුගේ සිරුරට දැඩි ලෙස හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.   පැල් රකිමින් සිටි ගොවීන් දුරකථන මගින් මේ සිද්ධිය ගමට  දැනුම් දී ඇති බවත්, ඒ අනුව පිරිසක් වැන් රථයකින් කුඹුරු යායට යද්දී මේ වල් අලියා ඒ රථයට ඉදිරියට යාමට ඉඩ නොදී  වළක්වමින් ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇති බවත්, පසුව ට්‍රැක්ටරයක් රැගෙන ගමුන් එහි ගොස් ගොවි මහතාගේ සිරුර නාන්නේරිය රජයේ රෝහලට ගෙනැවිත් ඇති බවත් පොලිසිය කියයි.

ප්‍රචණ්ඩකාරීව හැසිරෙන මේ මිනීමරු වල් අලියා මිට පෙරද වින්නිඅමුණුකොළේ මහ අන්දරවැව, වෑවරණවැටිය ගම්මානවල හතර දෙනකු ඝාතනය කොට, තවත් තිදෙනෙකුට ශරිරික හානි කිරිම් සිදු කොට ඇති බව ප්‍රදේශවාසිහු කියති. ගොවි මහතාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ගල්ගමුව බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරික්ෂක ශාන්ත රණවීර මහතා ඊයේ (22)  නාන්නේරිය රෝහලේදී පවත්වනු ලැබීය.නාන්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.අයි.බී. ජයරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ කරයි.


 ඇන්.ජේ. පතිරාජ 

නුදුරේදීම මෙරට ජනගහනයෙන් හරි අඩකට වඩා ගෞරවසම්මානලාභීන් වනවා

 


මෙරට විවිධ ආයතන මගින් ගෞරවෙ නාම සම්මාන ලබාදෙන ආකාරය අනුව ඉතා නුදුරේදීම මෙරට ජනගහනයෙන් හරි අඩකට වඩා ගෞරව සම්මානලාභීන් වන බවත්, ඒ හරහා ගල් පිළිම යටපත් වී බොල් පිළිම ඉස්මතු වන කනගාටුදායක වාතාවරණයක් රට තුළ ඉස්මතු වෙමින් පවතින බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පැවසූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය එච්.එම්. ඩී.බී. හේරත් මහතාට සහ ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තත්සුරු අකිමොටෝ මහතාට උපහාර දැක්වීම සඳහා කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා වන අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලය මගින් ඊයේ (22දා) මහනුවරදී සංවිධානය කොට තිබූ උත්සවයකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ. වැඩිදුරටත් අදහස් දැක්වූ අනුනාහිමියෝ, "අද වනවිට මෙරට විවිධ ආයතන මගින් ගෞරව නාම සම්මාන උපහාර දෙන උත්සව පවත්වනවා. සුදුසුකම් ඇති පුද්ගලයන්ටද මේ ගෞරව නාම ලබාදෙන්නේ කියන සැකය අප හැමෝටම මතුව තිබෙනවා. විවිධ චෝදනාවලට ලක්වූ වංචනිකයන්, දූෂිතයන්, මුදල් වැය කර මේ ගෙරව නාම ලබාගන්නවා. පෙර කල මෙවන් ගෞරව නාම ලබාදුන්නේ සුදුස්සාට පමණයි. අද වනවිට නුසුදුසු අයත් මේ සම්මාන ලැබීම නිසා ගෞරව නාමවල සැබෑ වටිනාකම නැති වී තිබෙනවා. ආචාර්ය හේරත් වැනි ගල් පිළිම උදෙසා උපහාර පුද කිරීම අපි අගය කරනවා. මහාචාර්ය හේරත්  මහතා විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ මෙම විශ්‍රාම ගිය පසුවද රට ජාතිය ආගම වෙනුවෙන් විශාල සේවයක් කළා. ඒ මහතා සිංහල බෞද්ධාගම වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටිමින් කළ සේවය විශිෂ්ටයි. එතුමාගේ සේවය ආගමික, සංස්කෘතික, සමාජීය හා අධ්‍යාපන වශයෙන් පුළුල් පරාසයක් කරා විහිදී පැතිරෙනවා. ඒ මහතා ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වශයෙන්ද කළ මහඟු සේවය ඇගයීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සැමගේ යුතුකමක්" යනුවෙන් ප්‍රකාශ කළහ. මෙහිදී මල්වතු මහා විහාර පාර්ශ්ව යේ අනුනායක පුජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝද අනුශාසනාවක් කළහ. මහාචාර්ය හේරත් හා මහාචාර්ය - අකිමොටෝ වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ සමරු මුද්දරය හා මුල්දින කවරය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ ආරාධිතයන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ඇතුළු ආරාධිතයෝ පිරිසක්ද සහභාගි වූහ.


භානුකට නැවතත් 'ස්කින්ෆෝල්ඩ්' හරස් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් යුත් සංචේනයන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද කින්ඩෝල්ඩ් පරික්ෂණය අසමත් වීම හේතුවෙනි. භානුක මීට පෙරද 'ස්කින්ෆෝල්ඩ්' පරික්ෂණය අසමත් වී තිබුණු අතර, පසුව ඔහුව සංචිතයෙන්ද ඉවත් කර තිබුණි. කෙසේ වෙතත් අනතුරුව ඔහු ජාත්‍යන්තර පිටියට සමුදුන් අතර, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඔහුගේ සමුගැනීම ඉවත් කර ගනිමින්, නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසියේය. එහෙත් ඔහුව පසුගියදා නිමාවූ ඔස්ටේ‍්‍රලියානු විස්සයි20 සංචිතයට කැඳවීමට පියවර නොගත් අතර, මෙම මස 24වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලියටද කැඳවීමක් කර නොමැත. භානුක මෙවරත් කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කර තිබුණද, 'ස්කින්ෆෝල්ඩ්'පරික්ෂණය අසමත්ව ඇත. කෙසේ වෙතත් ඉන්දීය සංචාරයට එක්වීමේ අපේක්ෂාවෙන් භානුක තවමත් ජෛව බුබුළ තුළ කටයුතු කරන අතර, මීට සතියකට පමණ පෙර ඔහු ජෛව බුබුළට එකතු වී තිබුණි. පෙරේදා (20දා රාත්‍රියේ ඔහුට තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ ඔහුව ඉන්දීය සංචාරයට නම් කර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා පවසා සිටියේ තමන්ට එක් ක්‍රීඩකයෙකුට පමණක් විශේෂයක් කළ නොහැකි බවයි. "අපි භානුකට දැනුම් දුන්නා ඔහු 'ස්කින්ෆෝල්ඩ්' ද පරීක්ෂණය අසමත්වෙලා නිසා ඔහුව ඉන්දීය  සංචාරයට රැගෙන යන්නේ නැහැ කියලා. මට භානුකට විතරක් විශේෂයක් කරන්න බැහැ. එතකොට අනෙකුත් ක්‍රීඩකයන්ට එය අසාධාරණයක් වෙනවා. මම යම් හෙයකින් භානුකට අවස්ථාව ලබාදුන්නොත්, 'ස්කින්ෆෝල්ඩ්' පක්ෂණය අසමත් වුණු තව ක්‍රීඩකයෙකුත් ඇවිත් අවස්ථාව ඉල්ලුවොත් ඔහුටත් ඒ අවස්ථාව දෙන්න වෙනවා. ඉතින් මම භානුකට මේ තියෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. ඔහුට 'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය ඉදිරියේදී සමත් වෙන පුළුවන් නම් අපි ඔහුව අනිවාර්යයෙන් ඊළඟට තිබෙන සංචාර සඳහා කැඳවනවා” යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය. 


'ස්කින්ෆෝල්ඩ්' පරීක්ෂණය යනු කුමක්ද?

'ස්කින්ෆෝල්ඩ්' (සමේ පටල මැනීමේ) පරීක්ෂණය යනු පුද්ගලයෙකුගේ ශරීර සංයුතිය සහ ශරීරයේ මේද ප්‍රතිශතය තීරණය කිරීමේ පැරණිතම සහ තවමත් බහුලව භාවිත වන ක්‍රමයකි. මෙම පරික්ෂණය ශරීරයේ නිශ්චිත ස්ථානවල සම නැමීමේ ඝනකම මැනීමෙන් ශරීරයේ මේද ප්‍රතිශතය තක්සේරු කරයි. මෙම නැමීවල ඝනකම සමට යටින් ඇති මේදයේ මිනුමක් වන අතර, එය චර්මාභ්‍යන්තර ඇඩිපෝස් පටක (subcutaneous adipose tissue) ලෙසද හැදින්වේ. 'ස්කින්ෆෝල්ඩ්' ප්‍රතිඵල රඳාපවතින්නේ පුද්ගලයෙකුගේ වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව පුද්ගලයෙකුගේ ශර්රයේ මේද ප්‍රතිශතයේ ඇස්තමේන්තුවක් බවට පරිවර්තනය කරන සූත්‍ර මතය. 


'ස්කින්ෆෝල්ඩ්'  මිනුම් ගන්නේ කසේද?

සම නැමීම් මිනුම් සාමාන්‍යයෙන් ගනු ලබන්නේ ශරීරයේ දකුණු පැත්තේ නිශ්චිත ස්ථානවලය. පරික්ෂකයා ස්ථානගත ස්ථානයේ සම ඇණ ගසා සමේ නැමීම යටින් පවතින මාංශ පේශිවලින් ඉවතට ඇද දමයි. එවිට සම සහ මේද පටක පමණක් රඳවා තබා ගනී. සම නැමීමේ ඝනකම මිලිමීටරවලින් මනීමට විශේෂ සම නැමී කැලීපර් (Special skinfold calipers) භාවිත කරයි. භාවිත කරන විශේෂිත සම නැමීමේ පරීක්ෂණ ප්‍රොටෝකෝලය අනුව මිනුම් ස්ථාන වෙනස් වේ. නමුත් සාමාන්‍යයෙන් ශරීරයේ පහත ස්ථාන හත ඇතුළත් වේ. 

1. උදරය (Abdomen): බඩ ආශ්‍රිත ප්‍රදේශය

2. කඳ කොටසේ (Milaxila): කඳ කොටසෙහි මැද රේඛාව 

3. පපුව (Pectoral): පපුව මැද, කිහිල්ලෙන් ඉදිරියට 

4. කලවා (Quadriceps): ඉහළ කලවයේ මැද 

5. උරහිස (Subscapular): උරහිතලයෙහි කෙළවරට යටින් 

6. උකුල (Supraliac): උකුල් අස්ථියට මඳක් ඉහළින් 

7. ට්‍රයිසෙප්ස් (Triceps): අතේ පිටුපස 


ශරිරයේ මේද ප්‍රතිශතය ගණනය කිරීම


ඔබ 'ස්කින්ෆෝල්ඩ්'  මිනුම් ලබා ගත් පසු, ඔබට මෙම සංඛ්‍යා ශරීරයේ මේදයෙන් ප්‍රතිශතයක් බවට පර්වර්තනය කිරීමට අවශ්‍ය වනු ඇත. ශර්රයේ මේදය ප්‍රතිශතය ගණනය කිරීමට පහසුම ක්‍රමය නම් ඒ සඳහා වන මෘදුකාංගයක් භාවිත කිරීමයි. සම නැමීමේ ඝනකම මැනීමට විවිධ සුත්‍ර සහ ගණනය කිරීම ඇත. ඉන් වඩාත් ප්‍රසිද්ධ ජැක්සන් සහ පොලොක් විසින් ප්‍රකාශයට පත් කරන ලද ගණනය කිරීමය. 


'ස්කින්ෆෝල්ඩ්' මිනුම් නිරවද්‍යතාව

මෙම පරීක්ෂණවල නිරවද්‍යතාව රඳා පවතින්නේ භාවිත කරන කැලිපර වර්ගය, පරික්ෂකයාගේ නිපුණතාව සහ පක්ෂණය සිදුකරන අවස්ථාවේ පුද්ගලයෙකුගේ සජලන (person's level of hydration) මට්ටම මතය. කැලිපර භාවිත කිරීම අපහසු විය හැකි බැවින්, මේදය ප්‍රතිශතය තක්සේරු කිරීම සඳහා සමේ පටල මැනීම හොඳම තේරීම නොවිය හැකිය.කෙසේ වෙතත්, ඔබ සමාන තත්ත්වයන් යටතේ එකම පරික්ෂකයා විසින් පරීක්ෂණය සිදුකර ඇත්නම් නිරවද්‍යතාව තරමක් අඩු වුවද, කාලයත් සමග ශරීර සංයුතිය වෙනස් වීම තීරණය කිරීමට පරික්ෂණය. ප්‍රයෝජනවත් ක්‍රමයක් සොයාගත හැකිය.පවතින වෙනත් තාක්ෂණය සමගින්, සමේ පටල පක්ෂක්ෂා කිරීම තරමක් පැරණි ආකෘතියක් බවට පත්වෙමින් තිබේ. වර්තමානයේ බොහෝ පෞද්ගලික පුහුණුකරුවන්  'ස්කින්ෆෝල්ඩ්'' සෘජුව මැනීම වෙනුවට සිරුරේ සංයුතිය මනින විදත් සම්බාධන ක්‍රම සහ පරිමාණයන් භාවිත කරයි.

(ස්ටෝනි බිරූක් විශ්වවිද්‍යාලයේ හෘද රෝග විශේෂඥ අනීෂා ෂා ලියූ ලිපියක් ඇසුරෙනි)





(පැතුම් ශ්‍රී විජේරත්න)

බාල දැරියක කතුන් පිරිසක් විකුණා කෝටි 4ක් ඉපැයු තැරැව්කරු රිමාන්ඩ්


ගල්කිස්ස ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක සහ කාන්තාවන් පිරිසක් ලිංගික කටයුතු සඳහා වෙළෙඳාම් කර කෙටිකලක දී රුපියල් කෝටි 4කට අධික මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම සිද්ධියේ තැරැව්කරු, ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (22) නියෝග කළේය.  මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 108/35, ඩ්‍රිම්රෙන්ජ්  , පිරිවෙන පාර වාද්දුව පදිංචි විතානගේ රජීව් රවිනාත් ජයසිංහ නැමැත්තාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.  ගල්කිස්ස ප්‍රදේශයේ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක ගණිකා සේවයේ යොදවීමේ සිද්ධියකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. 

මෙම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ අදාළ බාලවයස්කාර දැරිය සහ කාන්තාවන් කුට්ටනය සහ තැනැත්තන් වෙළෙඳාම සිදුකරමින් නීතිවිරෝධී ආකාරයෙන් මෙම මුදල් සහ දේපළ උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බැවින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව මෙම සැකකරු රක්ෂිත භාරයේ සිටි අවස්ථාවේදී එනම් ඉකුත් සැප්තැම්බර් මස 15 වැනිදා සහ 16 වැනිදා යන දෙදින බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු  සඳහන් කළේය. 

මෙම සැකකරු දැරිය සහ කාන්තාවන් විකිණීම සඳහා ගනුදෙනුකරුවකුගෙන් රුපියල් 3000 සිට 15,000 ක මුදලක් ලබාගෙන ඇති බවත් ඉන් අදාළ කාන්තාවන්ට ලබාදෙන්නේ  රුපියල් 1000ක මුදලක් බවත් කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.  අදාළ කාන්තාවන් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල හෝටල් වෙත යොමු කර ඇති මෙම සැකකරු එයට උදවු උපකාර කරන ඔහුගේ ගෝලයකුට හෙරොයින් පැකැට්ටුවක් සහ අදාළ කාන්තාවක නොමිලයේ ලබා දී ඇති බවත්, මෙම සැකකරු මෙම ජාවාරමෙන් දිනකට රුපියල් ලක්ෂයකට  අධික මුදලක් උපයාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ   දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.  මෙම සැකකරු ඉකුත් 2006 වර්ෂයේ සිට බැංකු ගිණුම් 08ක් මගින් රුපියල් හාරකෝටි පනස්හය ලක්ෂ අසූ එක්දහස් නවසිය අටක මුදලක් සංසරණය කර ඇති අතර වෙනත් අයගේ නමින් වාහන කිහිපයක් ද මිලදී ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


 නිමන්ති රණසිංහ

සම්බාහන උපදේශිකාවක් කඩ කාමරයක ඉබී යතුරු දමා හිර කරලා



ඉබී අගුල් යොදා කඩ කාමරයක කොටු කර සිටි තරුණ සම්බාහන උපදේශිකාවක  පොලිස් හදිසි ඇමතුම් අංශයේ දෙදෙනකු විසින් පෙරේදා (21 වැනිදා) බේරාගනු ලැබ ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලීසිය කියයි.  පස්යාල-මීරිගම පාරේ දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක බිම් මහලේ කඩ කාමරයක මෙම සම්බාහන උපදේශිකාව කොටු කර සිටි බව පොලීසිය කියයි. මෙසේ කොටු කර සිර අඩස්සියට ලක් කර ඇත්තේ, අත්තනගල්ල එල්ලක්කල පදිංචි තිස්ඵක් හැවිරිදි කාන්තාවක බව ද පොලීසිය සඳහන් කරයි. සම්බාහන උපදේශිකාව කොටු කර සිටි මෙම කඩ කාමරය මෙයට වසර දෙකකට පමණ පෙර ඇය විසින් බදු පදනම මත ලබාගෙන එහි සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වගෙන ගොස්  ඇති බව ද පොලීසිය කියයි.

කඩ කාමරයේ බදු කාලය අවසන් වීමට පෙර සම්බාහන මධ්‍යස්ථානය වසා දැමුව ද  එය හිමිකරුට බාර නොදීම නිසා ඇයත් කඩ කාමර හිමියාත් අතර ආරවුලක් හටගෙන ඇති බව පරික්ෂණවලදී හෙළි වී යැයි පොලීසිය කියයි. සම්බාහන උපදේශිකාව පෙරේදා (21 වැනිදා) සවස කිසියම් අවශ්‍යතාවක් මත කඩ කාමරයට පැමිණ සිටියදී කඩ කාමරයේ හිමිකරු යැයි පැවැසෙන ව්‍යාපාරිකයකුගේ උපදෙස් මත ඔහුගේ සේවකයකු සම්බාහන උපදේශිකාව කඩ කාමරයට කොටු කර එහි දොර පියන් වසා ඉබි අගුල් යොදා කාමරය වසා දමා ඇතැයි පොලිසිය කියයි.  කාමරයට කොටු වූ මෙම තරුණ කාන්තාව කාමරයෙන් පිටතට ඒමට නොහැකිව ආධාර ඉල්ලා කෑගසා ඇතත්, ඇය බේරා ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නොමැති බව ද පැවැසෙයි. 

සිද්ධියෙන් හිංසනයට ලක්ව ඇති මෙම කාන්තාව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ පිහිට පතා එම අංශයට සිද්ධිය දැනුම් දී ඇත. ඒ අනුව නිට්ටඹුව මූලස්ථාන පොලිස් හදිසි ඇමතුම් අංශයේ පොලිස් සැරයන් (26709) හරස්ගම සහ පොලිස් කොස්තාපල් (84842) ඉෂාර මධුශංඛ  පෙරේරා යන දෙදෙනා එම ස්ථානයට ගොස් කඩ කාමරයට ඉබි අගුල් යෙදූ සේවකයා සොයා ඉබි අගුල් යතුරු ගෙන්වා සේවකයා ලවා කාමරය විවෘත කර එහි සිර කර සිටි කාන්තාව මුදාගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.  කඩ කාමරයේ හිමිකරු යැයි පැවැසෙන ව්‍යාපාරිකයාත්, කාමරය ඉබි අගුල් යොදා වසා දැමූ බව පැවැසෙන සේවකයාත් පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.

එස්.යූ.ඩබිලිව්.කේ. ජයවර්ධන

Tuesday, February 22, 2022

ෂෙඩ්වලට තෙල් සීමා කරයි

 

ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම  හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී. මහ බැංකුව බනිජ තෙල් සංස්ථාවට ඩොලර්  නිකුත් නොකිරීමත් තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ. ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී  ඇතැයි වාර්තා වේ.  මේ තත්වය හමුවේ රට තුළ ඩීසල්  ඇත්තේ සීමිත දින කිහිපයකට පමණක් බවද බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල් තවත් සති කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි එම  ආරංචිමාර්ග කියයි. එසේ වුවද මින් ඉදිරියට ඉන්ධන ඇණවුම් කිරීමට හෝ වරායට පැමිණ ඇති ඩීසල්  නැවෙන් ඉන්ධන ගොඩ බෑමට අවශ්‍ය  ඩොලර් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ. තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහකට ආසන්න ණය මුදලක් ලැබීමට ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි දහදාහක මුදලක්ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300 ක මුදලක් ද ලැබීමට  ඇත.  මේ තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යාංශය කියයි.  මේ අතර රටේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම් හල ඩීසල් හිගයද මේ වන විට ඇතිව තිබේ.  ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමද මේ වන විට සීමා කර ඇත.


-අජන්ත කුමාර අගලකඩ-

ජංගම දුරකථන ආරවුලකට රොහාගේ මස්සිනා මන්නා පහරින් මරුට

ජංගම දුරකතනයක් උකස්කර මුදල් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් හිටපු බන්ධනාගාර නියාමකයකු පෙරේදා (20) රාත්‍රී මන්නයකින් කොටා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ ඝාතනය කර ඇති හිටපු බන්ධනාගාර නියාමක සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සහ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස සැලකෙන කලකට පෙර පොලිස් වෙඩි ප්‍රහාරයකින් මැරුම්කා රත්මලාන ප්‍රදේශයේ රෝහණ හැරල් ද සිල්වා හෙවත් ගෝනාකෝවිලේ රොහාගේ මස්සිනා යැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය. මෙසේ ඝාතනය කර ඇත්තේ මොරටුව කල්දෙමුල්ල බෝධිරුක්ඛාරාම පාරේ පදිංචි හිටපු බන්ධනාගාර නියාමකයකු වන 43 හැවිරිදි උවිඳු අසංක ප්‍රනාන්දු නමැත්තෙකු බවද පොලිසිය කියයි.

මොහුට මන්නයකින් කොටා ඝාතනය කළේ  යැයි කියන 49 හැවිරිදි නලින් නමැත්තකු  මොරටුව ප්‍රදේශයේ සැඟවී සිටියදී ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබූ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.   අත්අඩංගුවට ගත් සැකකරු  මත් ජාවාරම්කරුවකු බවට සැලකෙන රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ ඥාති පුතකු බවද පොලිසිය පවසයි.  සැකකාර නලින් නමැත්තාට අයත් ජංගම දුරකතනයක් ඔහුගේ ත්‍රිරෝද රථයේ තිබියදී  අසංක නමැත්තා සොරකම් කර එම ජංගම දුරකථනය රුපියල් 1,500 ක මුදලකට උකස්කර තිබෙන බව පොලිසිය කීය.  ජංගම දුරකථනය උකසට ගත් අය දුරකථනය ක්‍රියාත්මක කර බැලීමේදී අයිතිකාර නලින් නමැත්තාගේ (සැකකරු) ඡායාරූපයක් දැක ඒ බව නලින් නමැත්තාට දන්වා ඇති  අතර ඔහු හිටපු බන්ධනාගාර නියාමක උවිඳු අසංක නමැත්තාගෙන් ඒ පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ අසංක නමැත්තා බන්ධනාගාර නියාමකවරයකු ලෙස සේවය කරමින් සිටියදී සේවයෙන් ඉවත්කරන ලද අයකු බවටද පොලිසිය පවසයි.  

දුරකථනය සම්බන්ධයෙන් මරණකරු හා සැකකරු අතර ගැටුම් ආරම්භවී ඇති අතර හෙරොයින් භාවිතයට අධිකව ඇබ්බැහි වූවෙකු බව කියන මරණකරු ජංගම දුරකථනය සොරාගෙන ඇතැයි යන ආරවුල මත එම ප්‍රහාරය එල්ලවී ඇතැයි මූලික විමර්ෂණයේදී හෙළි වූ බව පොලිසිය කියයි. මන්න ප්‍රහාරයට ලක්වූ රොහාගේ මස්සිනා කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටී සිට ඇති  අතර එම අවස්ථාවේ ඔහු රෝහල් ගත කිරීමට  කිසිවකු ඉදිරිපත් නොවීම නිසා රෝහලට  ගෙනයාම ප්‍රමාදවී ඇති බව පොලිසිය පවසයි.  පසුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී සැකකරු මියගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

එච්.එම්. ධර්මපාල


ට්‍රම්ප් Truth Social ඇරඹීමට සුදානමින්ලු

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන නවතම සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social වැඩසටහන මේ සතියේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරිමේ වැඩි ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තතා කරයි. අද වනවිට හිටපු ජනපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට එම සමාගම් කිහිපයක්ම පියවර ගෙන තිබේ. ඒ අතර ප්‍රධානතම සමාජ මාධ්‍ය ගිණුම් වන යටියුබ්. ටිවිටර්සහ බුද ඇතුළත් වයි. පසුගිය වසරේ ජනවාරි මාසයේදී මෙම තහනම් කිරීම ක්‍රියාත්මක වූ අතර,මේ දක්වා එම තහනම් ලිහිල් වී නැත,එවැනි පසුබිමදී වඩාත් සත්‍ය පුවත් ලබාදීමේ අරමුණින් තමන් මෙලස Truth Social නමින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කරන බව ට්‍රම්ප් වසරකට පමණ පෙරාතුව පවසා තිබුණි. ඒ අනුව ඊයේ දිනයට යෙදී ඇති එක්සත් ජනපදයේ ජනාධිපති දිනයේදී මෙම නව සමාජ මාධ්‍ය වැඩසටහන ඩවුන්ලෝඩ් කිරීමේ අවස්ථාව ලබාදුන් අතර, ඉරිදා දිනයේදී එය Apple App Store වෙත එක් කෙරිණි.මෙම නව සමාජ මාධ්‍ය වැඩසටහන හිමි සමාගම ලෙස Trump Media”  Technology Group සමාගම නම්කර තිබේ. එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඩේවින් නුනෙස්ට අනුව මෙම සතියේදී මෙම Truth Social වැඩසටහන ඇපල් ඇප්ස්ටෝර් හරහා ජනගත කිරීම සැලසුම වී තිබේ. එසේම ලබන මාර්තුවේ සිට එම වැඩසටහන එක්සත් ජනපදය තුළදී සම්පුර්ණයෙන්ම මෙහෙයුම් සිදු කිරීමට සැලසුම වී ඇත.


කෝටි 6ක ස්වීප් දිනුමක්


පොල් කඩා ජීවිකාව ගෙන යන පුද්ගලයකු ලොතරැයියක් ඇදී රුපියල් කෝටි 06 ක මුදලක් හිමිකර ගෙන කෝටිපතියකු බවට පත්ව සිටියද තවමත් ඔහු සුපුරුදු පොල් කැඩීමේ  නිරතවීමේ අපූරු සිද්ධියක් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකින් වාර්තාවේ.  පොල් කඩා ජීවිකාව ගෙන යන 65 හැවිරිදි මෙම පුද්ගලයා මීට මාසයකට පමණ පෙර ලබාගත් ලොතරැයිපත් කීපයකින් එක් ලොතරැයියකට පළමු දිනුම වූ කෝටි 06 ක මුදලක් හිමිව ඇති බවට ඔහුට සමීප ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත. අවිවාහකයකු වන මෙම කෝටිපති පොල් කඩන්නා වයෝවෘද්ධ සිය මව සමග මහනුවර  දිස්ත්‍රික්කයට අයත් පිටිසර ගම්මානයක කුඩා නිවසක ජීවත්වන අයෙකි.

තරුණ කාලයේ සිටම පොල් කැඩීම ජීවිකාව කරගත් මෙම පුද්ගලයා මවට අසීමිත ආදරයක් දක්වන බවද කියති.  පොල් කඩා ජීවිකාව ගෙන යන මොහු එයින් උපයාගන්නා මුදලින් කොටසක් වියදම් කර දිනපතා ලොතරැයිපත් 15ක් 20  අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට පුරුදුව සිටි බවද ඔහුට සම්බන්ධ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. පොල් කඩා ජීවිකාව ගෙන යන මෙම පුද්ගලයාට කෝටි 06ක ලොතරැයියක් ඇදී ඇති බව දැනගත් බැංකුවක උසස් නිලධාරියෙක් ඔහු හමුවට ගොස් කරණු කාරණා පහදාදී එම මුදල ඔහුගේ නමින් බැංකු ගිණුමක තැන්පත් කිරීමට පියවර ගෙන ඇත. කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් මම එදා ඉඳන් කරගෙන ආ පොල් කැඩීමේ රස්සාව අතරින්න ලැස්ති නෑ. මමයි මගේ අම්මයි එදා ඉඳන් ජීවිත් වුණේ මේ රස්සාවෙන්.  

ලොතරැයි දිනුම ඇදිල මාසයක් විතර වෙන්න යනවා. ඒත් මමයි අම්මයි අලුත් ඇඳුමක්වත්  ගත්තේ නැහැ. වෙනදා විදිහටම ජීවත් වෙනවා.  මෙම කෝටිපති පොල් කඩන්නා පවසා ඇත.  ඔහු මේ බව කියා ඇත්තේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකුගේ ගෙවත්තේ පොල් කැඩීමට පැමිණ අවස්ථාවේදීය.  කෝටිපතියකු වී සිටින පොල්කඩන්නාට යම් ජීවිත තර්ජනයක් එල්ල වෙතැයි බියෙන් පසුවන නිසා ඔහු ගැන වැඩි විස්තර කිව  නොහැකි බව මේ තොරතුරු  හෙළි කළ එම විශ්‍රාමික රාජ්‍ය නිලධාරියා කීය.

 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

රැප් ෆිල්ටි ඇප මත මුදාහරි

පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණය ගැලවීම උත්සාහ කිරීම හේතුවෙන් සපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැප් ගායකයා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (21දා) නියෝග කළේය. මෙලෙස ඇප මත මුදාහැරුණේ ආචාරිගේ චමත් චානක නොහොත් රැප් ෆිට් නමැති පුද්ගලයාය.රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටි පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කර මුව ආවරණය ගැලවීමට උත්සාහ දැරූ මෙම ගායකයා පෙරේදා (20දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.පානදුර, කෙසෙල්වත්ත තක්ෂිලා විදනලයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිට ඇත. සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී, ස්ථානාධිපතිවරයා සැකකරුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇති අතර, එහිදී සැකකරු ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලීව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මීට අදාළ නඩුව ඔක්තෝබර් මස 12 වැනිදා කැඳවීමට නියමිතය.

(පානදුර - සුමිත් පොතුපිටිය)


කවුරු ආණ්ඩු පාලනය කළත් අපට ඩොලර් හිඟයකට මුහුණපාන්න සිදුවනවා

කවුරු ආණ්ඩු පාලනය කළත් ලෝකයේ වර්තමාන තත්වය අනුව අපට ඩොලර් හිඟයකට මුහුණපාන්න සිදුවන බවත්, ඩොලර් හිඟයක් නැති වෙන්න නම් අපි කුමන හෝ රටකින් ඩොලර් ණයට ගත යුතු බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.ඒ මහතා මේ බව පවසා සිටියේ එම අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඩොලර් ණයට ගැනීමේදී ඒ ඒ රටවලට වාසිදායක වන ආකාරයට ණයට ලබාදෙන අතර, ඉන්දියාව ඩොලර්වලින් අපට ලබාදිය යුතු දේ ඉන්දීය රුපියල්වලින් අපට ලබාදීම මගින් ඉන්දියාව වෙළඳාමේ වාසියක් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.එසේම ඕනෑම රටක් සමග වුවත් වෙළෙඳාමේ වාසිය ලබාදෙමින් අපට රටවල් හා ගනුදෙනු කරන්න සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මේ අවස්ථාවේ පවතින්නා ඩොලර් හිඟය අපි විසඳාගත යුතුයි. ඩොලර් කෙලීන්ම ණයට ගන්න ගියාම කොන්දේසි පනවනවා එම කොන්දේසි රටට ඉතාමත් අපලයි. මේවයේ පොලීය පමණක් නෙවෙයි ප්‍රමාද ගාස්තුත්, දඩ පොලීත් අය කරනවා ඒ වගේම මේ මේ දේවල් කළ යුතුයි. නොකළ යුතුයි කියලා නීතිත් දානවා. ඉතින් ඒ හැම දෙයක්ම අපේ රටේ ජන ජීවිතයට අහිතකර ලෙස බලපානවා.දැන් තියෙනවා ප්‍රාග්ධන වෙළෙඳ පොළක්, ඩොලර් මාර්කට් එකක් අපට ඕන වෙලාවට පුළුවන් මේ ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණයට ඩොලර් ගන්න නමුත් ඒවායේ කොන්දේසි හා පොලී සැලකිල්ලට ගත්තම අපේ රටට දරාගත නොහැකි තත්ත්වයක් තමයි පවතින්නේ. යහමින් මුදල් හදලා තියෙන අයට මේ තත්ත්වය බලපාන්නේ නෑ. නමුත් සාමාන්‍ය ජනතාවට මේ තුළින් බරපතළ පීඩනයකට යටත් වෙන්න සිදුවෙනවා. ඒ නිසා අපි ඒ තත්ත්වයට යන්නේ නැතුව කෙසේ හෝ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. මේ සඳහා ඩොලර් ඉපැයීමට කඩිනමින් සහ ක්‍රමවත්ව කටයුතු කළ යුතුයි. මේ සඳහා අපේ සංචාරක කර්මාන්තය, අපනයන ආර්ථිකයත් සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා රය වඩා ප්‍රමුඛතාවක් ලබාදී කටයුතු කරනවා. මේ වනවිට අපේ සංචාරක ව්‍යාපාරයත් අපනයන කර්මාන්තයත් යහපත් මාර්ගයකට යොමුවෙමින් පවතිනවා. එය විශාල සතුටක් මෙන්ම දැවැන්ත සහනයක්. ඒ වාගේම අපේ ආනයනයන් අඩු කිරීමටත් අපි කටයුතු කළ යුතුයි. දැනට වාහන ගෙන්වීම නැවැත්තුවා මේ තුළින් යම් සහනයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අත්‍යවශය නොවන සෑම දෙයකම ආනයනය හැකි තරම් දුරට නැවැත්විය යුතුයි. භාණ්ඩයක් හිඟ වනවිට එම හිඟ වන භාණ්ඩයේ මිල වැඩි කළොත් එය මිලදීගත හැක්, වැඩියෙන් මුදල් අතේ තියෙන අයට පමණයි. ඒ තුළින් හිඟය පිළිබඳ ගැටලුව : විසදෙනවා. නමුත් සාමාන්‍ය ජනතාව මේ තුළින් ඉතාම අසීරුතාවකට පත් වෙනවා. එක්කෝ අඩුවෙන් පාවිච්චි කරනවා. නැත්නම් මිලදී ගැනීම අතහැරලා දානවා. ඒ නිසා සල්ලි මුදල් නැති අයට වෙළෙඳ පොළ තුළ සිදුවන මේ අහිතකර තත්ත්වය නැති කරන්න අපි යෝජනා කරනවා. භාණ්ඩයක් හිඟ නම් රජය ප්‍රධාන ලෙස මැදිහත් විය යුතුයි. " 


පැරසිටමොල් පෙතිවල හිඟයක් නෑ


වෙළෙඳපොළේ රා ඇතැම් වෙළෙඳ නාම සහිත පැරසිටමෝල් පෙතිවල උග්‍ර හිගයක් මතුවීමෙන් රටපුරා පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.  මේ සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන  රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇතැම් වෙළෙඳ නාම සහිත වේදනා නාශක පැරසිටමෝල් පෙතිවල යම් හිඟයක් පවතින නමුත් සාමාන්‍ය පැරසිටමෝල් පෙතිවල හිගයක් නොමැති බවයි. මෙම පෙති නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමක් සිදුව ඇති හෙයින් මේ තත්ත්වය මතුව ඇති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි දෙසතියේදී ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයිද ප්‍රකාශ කළේය.

දේශීය සමාගම් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය. මෙරට පැරසිටමෝල් පෙත්තක් අලෙවි කළ හැකි උපරිම  මිල රුපියල් 1.70ක් බවත් ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව පැරසිටමෝල් පෙත්තක් එම මිලට අලෙවි කිරිමට හැකියාවක් නැති බව නිෂ්පාදකයන් දැනුම්දී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය. පැරසිටමෝල් පෙත්තක මිල සංශෝධනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව නිර්දේශ දැනටමත් ලබාදී ඇතැයි චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


-සුජිත් හේවාජුලිගේ-


කෙල්ලෙක් මහ රෑ බසයෙන් බැස කැලේට ගිහින්


මවට හොරෙන් බස් රථයෙන් බැසගත් 18 හැවිරිදි තරුණියක අම්බලන්තොට  උසන්ගොඩ කැලයට තරුණයකු සමග රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන්ට හසු වී හුංගම පොලීසියට බාර දී ඇතැයි හුංගම පොලීසිය කියයි.  මාතර සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම දියණිය ලුනම ඇඟලුම් කම්හල අසල පෙරේදා (20  වැනිදා) රාත්‍රී 8ට පමණ බස් රථයෙන් බැස, එම බස් රථයේ ගමන්ගත් තවත් තරුණයකු සමග උසන්ගොඩ කැලය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇතැයි  පොලීසිය කියයි. ඇඹිලිපිටියට ටිකට් ගත් මව සහ දියණියගෙන් තරුණිය පමණක් අතරමගදී බැස යනු දුටු කොන්දොස්තරවරයා මවට කියා ඇත්තේ දියණිය බසයෙන් බැස ගිය  බවය.  එය ඇසූ මව ද ඊට ටික දුරකින් බසයෙන් බැස දියණිය සොයා අඬමින්  පැමිණෙන විට, අසල කඩයක සිටි තරුණයකු යතුරුපැදියෙන්, බසයෙන් බැස ගිය තරුණිය පසුපස ලුහුබැඳ  ගොස් අල්ලා අවට පිරිස් සමග මව ළඟට රැගෙන ගොස් ඇතත්, ඇය සමග සිටි තරුණයා තරුණිය තනිකර පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. 

අතරමං වූ තරුණිය මව ළගට රැගෙන ගිය විට ඇය එක්වරම මේ  මගේ අම්මා නෙවෙයි. මම දන්නේ නැ  කියා පවසා ඇතැයි පොලීසිය කියයි. දුවට අපල තිබෙන නිසා මාතර ප්‍රදේශයේ දේවාලයකට ගොස් පූජාවක් කර පනාමුරේ නිවෙස බලා යමින්  සිටියදී දුව මෙලෙස තමාට හොරෙන් බසයෙන් බැස ගිය බව මව මෙහිදී කියා ඇත.  මෙම සංවාදය ගමේ අයට විසඳා ගැනීමට නොහැකි හෙයින් ගම්වාසීන් හුංගම පොලිසියට දුරකතනයෙන් දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීහු වහා පැමිණ දියණියගෙන් හා මවගෙන් ප්‍රශ්න කළහ.  ගමන් මලු හා හැඳුනුම්පත් පරීක්ෂා කර බලා  දියණියට තරයේ අවවාද කර දෙදෙනාගේම කටඋත්තර සටහන් කරගැනීමෙන් පසුව දියණිය මවට බාර දී පනාමුරේ නිවෙස බලා යන  ලෙසට උපදෙස් ලබා දුන්නේය.  හුංගම  පොලීසිය පරීක්ෂණ පවත්වයි.


 සනත් ගමගේ 

Monday, February 21, 2022

දශක තුනකට පසුව යුරෝපයට බලපෑ ප්‍රබල ඉයුනිස් සුළි කුණාටුව

අත්ලාන්තික් සාගරයෙන් ඇරඹි වයඹ දිග යුරෝපය හරහා හමාගිය ඉයුනිස් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (20)දා දිනය වනවිට පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. තවත් පිරිසක් මෙහිදී තුවාල ලබා ඇති අතර, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය ඇතුළු රටවල් රැසක ප්‍රදේශ කිහිපයකම විදුලිය ඇනහිටීමක්ද සිදුව තිබේ.මෙහිදී පැයට කිලෝමීටර් 196ක පමණ වේගයකින් සුළ හමායාම සිදුව ඇතැයි පැවසෙයි. බ්‍රිතාන්‍යයේ ලන්ඩනය හරහා හමා ගිය සුළග හේතුවෙන් එහි පිහිටි O2 Arena ගොඩනැගිල්ලටද හානි සිදුව තිබේ. මෙම ඉයුනිස් සුළි කුණාටුව පසුගිය සිකුරාදා  බ්‍රිතාන්‍යයේ කෝර්න්වෝල්හිදී රට තුළට ඇතුළු වී ඇති අතර, ඒ හේතුවෙන් වෙරළ තීරයේදී මීටර් ගණනක් ඉහළට දරුණු රළ පහරක්ද ඇතිව තිබේ.මෙය එරට ලන්ඩන් නුවර වෙත ප්‍රථම වරට සුළි කුණාටුවක් හේතුවෙන් රතු නිවේදනයක් නිකුත් කෙරුණු පළමුවැනි අවස්ථාව වූ අතර, 1987 වසරේදී බ්‍රිතාන්‍ය සහ උතුරුදිග ප්‍රංශයට එල්ල වූ මහා සුළි කුණාටුවෙන් පසුව යුරෝපයට බලපෑ දරුණුතම කුණාටු තත්ත්වය ලෙසින්ද සැලකෙයි.එසේම ඊයේ දිනයේදිද යළිත් වරක් පැයට සැතපුම් 80ක පමණ වේගයෙන් බ්‍රිතාන්‍ය වෙත සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක්ද පැවතුණි. ඒ අනුව ඊයේ දිනයේ සිට අද පස්වරු 3.00 දක්වාම එංගලන්තය සහ වේසය වෙත 'කහ අනතුරු ඇගවීම්ද නිකුත්ව තිබුණි. මරණ අතරින් තුනක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි. එහිදී ලන්ඩන් නුවරදී මෝටර්ථයක ගමන් කරමින් සිටි කාන්තාවක් ගසක වැලදීමෙන්ද, ලොවහි කාන්තාවක් ගමන් කරමින් සිටි රථයටපාවී ආ සුන්බුන් වැදීමෙන්ද, හැම්ප්ෂයර්හි පුද්ගලයෙකු ගමන්කළ රථයක් මතට ගසක් කඩා වැටීමෙන්ද මෙම මරණ සිදුව තිබේ.එසේම නෙදර්ලන්තයේදි ද ගස් කඩා වැටීමෙන් මරණ තුනක් වාර්ත වී ඇත. බෙල්ජියමේ රෝහලක් මත ඉදිකර තිබූ දොඹකරයක්ද සුළග හේතුවෙන් කඩා වැටී තිබේ. අයර්ලන්තයේදී පුද්ගලයෙකු කඩා වැටුණු ගසකට සිරවී මිය ගොස් ඇත. ජර්මනියේදි පුද්ගලයෙකු තමන් පැද ගිය රථයට ගසක් වැටීමෙන් මරණයට පත්ව තිබේ. මෙම සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපොළ රැසක මෙහෙයුම් අත්හිටුවීමට සිදුව ඇත. ඒ අනුව එරට තුළදී පමණක් අත්හිටවූ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 436කි. මේ අතර බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයට අනුව මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු සුළි සහ වැහිබර කාලගුණික තත්වය ලබන සතිය දක්වා පවතින ඇතැයි සඳහන් වෙයි. මෙය සුළි කුණාටුව හේතුන්වෙන් සිදුව ඇති ආපදාවන් යථාවත් කිරීම් වෙත බාධා එල්ල කරනු ඇතැයිද එම කාර්යාලය පවසයි.


ජංගම දුරකථනය ඔස්සේ හඳුනාගත් කාන්තාවක් කන්දකින් තල්ලු කළ අයෙකු සොයා පරික්ෂණ

ජංගම දුරකථනය ඔස්සේ හදුනාගත් කාන්තාවක් අම්පේගම ප්‍රදේශයේ කන්දක් මුදුනට රැගෙන ගොස් ඇයට පහරදී කන්දෙන් තල්ලු කළ පුද්ගලයෙකු සොයා බද්දේගම පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. බද්දේගම, හල්පතොට, පෙඩෘ වත්තපන්සල පාර පදිංචි 40 හැවිරිදි දෙදරු මවක මෙම සිද්ධියට මුහුණපා තිබේ. තමන් ජංගම දුරකථන ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකුගේ ඉල්ලීම පරිදි අම්පේගම ස්ථානයකට පැමිණි බවත් පසුව එම පුද්ගලයා සමග කන්දට ගිය බවත් එහිදී එම පුද්ගලයා තමාගේ හැඳුනුම්පත සහ ජංගම දුරකථනය උදුරාගෙන ඒවාට හානි කර තමාට බෝතලයකින් පහරදී පපුවට පයිපහරක් එල්ල කළ බවත් ඒ සමගම පතලට වැටුණු බවත් අදාළ  කාන්තාව කරාපිටිය රෝහල් පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත. බද්දේගම වතු යායේ කොටිගලකන්ද කොටසේ ඇවිද ගිය පුද්ගලයන් පිරිසකට එම ප්‍රදේශයේ අතහැර දමන ලද අඩි 40ක් ගැඹුරු මිණිරන් පතලකින් කාන්තාවක් කෙදිරිගාමින් සිටිනු දැක ඇති අතර පසුව පොලීසිය පැමිණි ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව කාතාව ගොඩටගෙන වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. ඇය ගොඩට ගන්නා අවස්ථාවේ මුහුණාහි සහ හිසෙහි තුවාල තිබී ඇති අතර බලවත් සේ කම්පනයට පත්ව සිටි නිසා එම අවස්ථාවේ ප්‍රකාශයක් ලබා ගැනීමටද නොහැකිව ඇත.බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් දේශබන්දු මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති.


(රවිඳු දියගහගේ)


රිය අනතුරකින් පුද්ගලයෙකු මියගියොත් මහජන බදු මුදලින් රු මිලියනයක් වැය වෙනවා

රිය අනතුරක් වී පුද්ගලයෙකු මියගියොත් ඔහු වෙනුවෙන් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය වෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා රථවාහන, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,'' රිය අනතුරු කියලා කියන්නේ හරියට ත්‍රස්තවාදය වගේ, පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අපේ රටේ දිනකට හත් අට දෙනෙක් ඝාතනය කර, තවත් හතළිහක් පනහක් තුවාල සිදුකළා. ඒ ත්‍රස්තවාදය නිසා. අද වෙනකොට රිය අනතුරු මගින් දිනකට හත් අටදෙනෙක් එක්කෝ නවයක් දහයක් රිය අනතුරුවලින් මිය යනවා. ඒ වගේ හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලබනවා. එයත් හරියට ත්‍රස්තවාදයක් වගේ. ඒකට අපට මාර්ග ත්‍රස්තවාදය කියලා හඳුන්වන්න පුළුවන්. පසුගිය වසරේ රිය අනතුරු සම්බන්ධයෙන් සලකලා බැලුවොත් අපට වාර්තා වෙලා තියෙනවා අනතුරු22,000ක්. එයින් මිය ගිහින් තියෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2,470ක්. තුවාල ලබපු සංඛ්‍යාව 14,000ක්. කෝවිඩ් වසංගතයේ තියෙද්දි බොහෝ කාල පරිච්ඡේදයක් රට වහල තියෙද්දිත්, සංචරණ සීමා පනවා තිබෙද්දී, නිරෝධායන ඇඳිරි නීතිය තියෙද්දිත් අනතුරු22,000 වාර්තා වීම, ඒ වගේම පුද්ගලයෝ 2,470ක් මියයාම යන කරුණු පිළිබඳ සලකා බැලීමේදී රිය අනතුරුවල ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඒකෙන් අදහස් වන්නේ, දවසකට රිය අනතුරු 60ක් පමණ සිදුවෙලා තියෙනවා. ඒවගේම පුද්ගලයන් හතළිහක් පමණ තුවාල ලබලා, පුද්ගලයන් හත්දෙනෙක් පමණ මිය ගිහින් තියෙනවා.මේ වර්ෂයේ එයට වඩා වෙනස් සංචරණ සීමා නැහැ. නිරෝධායන ඇදිරී නීතිය නැහැ. ඒ නිසා සාපේක්‍ෂව බොහෝ දිනවල රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව සාමාන්‍ය අගයදහයක් පමණ වෙනවා. දිනකට පුද්ගලයන් දසදෙන්නෙක් රිය අනතුරුවලින් මිය ගියොත්, වසරකට පුද්ගලයන් 3,650ක් වෙනවා රිය අනතුරුවලින් මියයන සංඛ්‍යාව. කෙසේ වෙතත් පුද්ගලයෙක් මියගියාට පස්සේ රටේ අපරාධ යුක්ති ක්‍රමය සඳහා නඩුවක් අවසන් වනතුරු අපරාධ නඩුවක් යන්න ඕන මරණ පරික්‍ෂණයක් නවත්තන්න ඕනේ ඒ ගැන විමර්ශනය කරන්න ඕනේ. වසර තුන හතරක් හෝ පහක් යන්න පුළුවන් සාපේක්‍ෂව රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය වෙනවා.ඒ අනුව බලන කළ අවුරුද්දකට පුද්ගලයන් 3,650 රිය අනතුරුවලින් මිය ගියහොත් මිලියන 3,650ක් වැය වෙනවා. ඒ කියන්නේ අවුරුදු 10ක කාලයකට මේ ආකාරයෙන් මියගියහොත් රුපියල් මිලීයන 36,500ක මුදලක් වැය වෙනවා. තවත් අය තුවාල ලබනවා. සමහර වෙලාවට බරපතළ තුවාල ලැබූ අයගේ තත්ත්වය අවදානම් ජීවිත කාලයටම සිවිලිම දිහා බලාගෙන ඉන්න පුළුවන්. ජීවිත කාලෙම රෝද පුටුවකට වෙලා ඉන්න පුළුවන්. ජීවිත කාලයටම කිහිලිකරුවකින් යන්න පුළුවන්. ඒ නිසා අපේ අනතුරු හෙවත් මාර්ග ත්‍රස්තවාදය වැළැක්වීමට හැම කෙනාගෙම දායකත්වය අවශ්‍යයි.

මේ රිය අනතුරුවලට හේතු වෙලා තියෙන ප්‍රධානතම කාරණය වන්නේ, අවිනීත රියැදුරන්ගේ අපරික්ෂාකාරී, නොසැලකිලිමත් රිය ධාවනය. අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, දුරකථනය හරහා කතා කරමින් රිය පැදවීම, ඒ වගේම වාහනවල දෝෂ තිබියදී එම දෝෂ පිළිබඳ නොසලකා රිය පැදවීම නිසාම මහා මාර්ගයේ කුඩා වාහනවල ගමන් ගන්නා අය විශේෂයෙන් යතුරුපැදි පදවන සහ පසු පැදිකරුවන්, ත්‍රිරෝද රථවල ගමන් කරන අය, මාර්ගයේ පයින් ගමන් කරන අය රිය අනතුරුවල වින්දිතයන් බවට පත් වෙලා තියෙනවා.රථවාහන පොලීසිය හැටියට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස කිහිපය තුළ දැවැත්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම එක් පැත්තකින් මත්පැන් වගේම මත්ද්‍රව්‍ය භාවිත කර ගමන් කරන අය සම්බන්ධයෙන් අලුත් නීති හඳුන්වලා දෙන්න. ඊට අදාළ රෙගුලාසි අනුව අලුත් උපකරණයක් හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම මේ වනවිට මත්ද්‍රව්‍ය මත්පැන් පානය කර වාහනයක් පදවනවා නම්, එවැනි අය පරික්ෂා කිරීමට බැලූනය හෙවත් බ්‍රොතලයිසර් උපකරණය තිබෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර ගමන් කරන පුද්ගලයන් හඳුනා ගැනීමට ඉදිරියේදී අනෙකුත් රටවල භාවිත කරන නවීන තාක්‍ෂණය එමෙන්ම උපකරණ එකතු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒවා අපගේ නීතියට අනුගත කිරීමේ රථවාහන පොලීසිය අනෙකුත් පාර්ශ්ව පාර්ශ්වකරුවන් සමග කටයුතු කරමින් සිටිනවා. සමහර අය මත්පැන් පානය කර වාහන පදවනවා වගේම මේ වනවිට මන්ද්‍රව්‍ය භාවිත කරවාහන පැදවිය වීමේ ප්‍රවණතාවක් තියෙනවා.

සාමාන්‍යයෙන් අපට තියෙන දත්ත අනුව දිනකට 1,200ක් 1,300ක් පමණ දෙනා මෝටර් වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබා ගැනීමට මෙන්ම අලුත් කිරීමට ඒ සඳහා අදාළ වෛද්‍ය ආයතන වෙත පැමිණෙනවා. සාපේක්‍ෂව බලන කල 8%ත් 10%ත් අතර ප්‍රමාණයක් සමහර විට මත්පැන්වලට ඇබ්බැහි වූවන් බවට ඒ පරීක්‍ෂණවලින් අනාවරණ වී තිබෙනවා. ඒක හරී. භයානක තත්වයක්. දැනට දින කිහිපයකට පෙර මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසියත් මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිත කර වහන පදවන පුද්ගලයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. උදේට වාහනය පැදවීමට නිවසින් එළියට ගන්නවට ඔබ හැම විටම සිතන්න ඔබ රියදුරු කියලා. එහි පැති කණ්ණාඩි තියෙනවද, ඒ වගේම ඒ බෝඩ් එකේ සංඥා ලාම්පු පත්තු වුණත් පිටුපස ලාම්පු පත්තු නොවිය හැකිය. ඇත්තටම සංඥා ලාම්පු පත්තු වෙනවද. ? බ්‍රේක් ලයිට් තියනවද? ටයර් ගෙවිලාද යන කරුණු ගැන දැඩි සැලකිලීමත් වෙන්න ඕනේ. තමන් මොන තනතුරු දැරුවත් රියැදුරෙක් බව සිතට ගෙන පදවන්න.ඒ වගේම ඔබ කිසිම අවස්ථාවක වේගයෙන් පදවන්න එපා. සමහර වෙලාට ඔබට යම් දෙයක් අහිමි වෙන්න පුළුවන් වේගය අඩු වෙච්ච නිසා. ඒත් ඔබගේ ජීවිතයේ මෙන්ම අන් අයගේ ජීවිතත් බේරෙනවා”


(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 


සුනඛයෙකු පැහැර ගත්තැයි ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්


තම කැබ් රථයෙන් ගොස් රුපියල් අසූ දහසක් පමණ වටිනා සුනඛයෙකු පැහැර ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ව්‍යාපාරිකයෙකු මේ මස (22) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කැකිරාව වැඩ බලන මහේන්දේස්ත්‍රාත් උචිත ඒකනායක මහතා පෙරේදා (19දා) නියෝග කළේය. කටියාව යාය 6 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. ඉපලෝගම හල්මිල්ලෑව පාර, මානෑව පදිංචිකරුවෙකු විසින් ඉපලෝගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා මෙම සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහු විසින් සොරා ගන්නා ලද බව කියන රුපියල් අසූ දහසක් පමණ වටිනා රොක් වයලට් වර්ගයේ සුනඛයා සොයා ගැනීමට ඉපලෝගම පොලීසිය සමත්ව තිබේ.

මීට මාස දෙකකට පමණ පෙර මෙම සැකකාර ව්‍යාපාරිකයා විසින් පැමිණිලිකරුගෙන් රුපියල් හැත්තෑ දහසක් ගෙවා වෙනත් සුනඛයෙකු මිලදී ගෙන ඇති අතර පැමිණිලිකරු සතුව තවත් සුනකයන් සිටින බව දැනගත් සැකකාර ව්‍යාපාරිකයා මෙම රොක් වයලට් වර්ගයේ සුනඛයා පැහැර ගැනීමට සැලසුම් කර ඇති බවට මූලික පොලිස් විමර්ගර්ශනවලදී තවදුරටත් අනාවරණය වී තිබේ. පසුගිය දිනක අලුයම දෙකයි තිහට පමණ සැකකාර ව්‍යාපාරිකයා ඔහුට අයත් කැබ් රථයෙන් පැමිණ ඉතා සූක්ෂමව රොක් වයලට් වර්ගයේ සුනඛයා ආරක්ෂිතව තබා තිබූ කුඩුවේ කම්බි කපා මෙම සොරකම සිදු කර ඇති බව  අධිකරණයේදී අනාවරණය විය.


 -උපාලි ආනන්ද-

පෞද්ගලික රෝහලකින් ලක්ෂ 11ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට

කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලක සේප්පුව කඩා රුපියල්  ලක්ෂ  11ක මුදලක් සොරාගෙන පළා ගොස් තිබූ සැකකරුවෙකු පෙරේදා (19දා) කොළඹදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.  ඉකුත් වසරේ ඔක්තෝබර් 30වැනිදා අදාළ පෞද්ගලික රෝහලේ පිළිසකර කිරිම් කටයුත්තකට තවත් පුද්ගලයන් කීපදෙනෙකු සමග පැමිණ තිබූ සැකකරු එම පුද්ගලයන්ට ද හොර රහසේ සේප්පුවට මිටියකින් පහර දී එහි තිබූ රුපියල් ලක්ෂ 11ක මුදලක්  සොරා ගැනීමෙන් අනතුරුව ඔහු සේවය කළ ආයතනයෙන්ද පලා ගොස් තිබිණි. සිදු වූ සොරකම සම්බන්ධයෙන් සිදු කළ දිර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලුවද වැදගත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

අනතුරුව පොලිස් කොස්තාපල්වරියක උපාය දූතයෙකු ලෙස යොදවා සැකකරු කොළඹට ගෙන්වා ගැනීම්මෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ සොරා ගත් මුදලින් රුපියල් 275,000 මුදලක් තිබී පොලිස් භාරයට ගත් අතර සෙසු මුදල් පිළිබද ප්‍රශ්න කිරීමේදී කඩුවෙල රනාල ප්‍රදේශයේ සිටින පෙම්වතියට රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් වැයකර ගෘහ උපකරණ කිහිපයක් මිලදී ගෙන ලබා දුන් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම භාණ්ඩ ද  පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 බිමල් ග්‍යාමන් ජයසිංහ