රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන එරට දී ඔහු සිදු කර ඇති වරදට අදාළ නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මෙරටින් යැවූ රතු නිවේදනයෙන් සහ මෙරටින් කර ඇති ඉල්ලීම සම්බන්ධව කරුණු නිරීක්ෂණය කර ඉන් අනතුරුව ඔහු මෙරටට ලබා දීම කරන බව ජාත්යන්තර පොලිසිය මගින් මෙරට ජාත්යන්තර පොලිස් මූලස්ථානය වෙත දැනුම් දීමක් කර තිබේ. ප්රංශයේ ලියෝන් නගරයේ පිහිටි ජාත්යන්තර පොලිස් මූලස්ථානය වෙත යවන ලද එම රතු නිවේදනයට ප්රතිචාර වශයෙන් එම දැනුම් දීම කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි මෙරට ජාත්යන්තර පොලිස් මූලස්ථාන ශාඛාව වෙතයි.
උදයංග වීරතුංග සම්බන්ධයෙන් මෙරට අධිකරණ උපදෙස් මත රතු නිවේදනයක් ජාත්යන්තර පොලිස් මුලස්ථානය වෙත යවා ඇත්තේ මිට මාස දෙකකට පමණ පෙරය. එම රතු නිවේදනය සම්බන්ධයෙන් මේ වන විට ජාත්යන්තර පොලිස් මුලස්ථානයේ උපදෙස් මත ඩුබායිහි අබුඩාබි පොලිසිය අවධානය යොමු කර තිබේ. ඒ අතර උදයංග මෙරටට ලබා දෙන ලෙසට මුල්ය අපරාධ කොට්ඨාසය මගින් කළ ඉල්ලීමද අබුඩාබි පොලිසියේ අවධානයද යොමු වී ඇති බවද එහි සඳහන් වෙයි. මේ අතර උදයංග සහ ඔහුගේ ඥාතීන් මෙරටින් ඉපැයූ කළු සල්ලි රුපියල් කෝටි දහස් ගණනක් ද, උදයංග ඉපැයූ කළු සල්ලි විශාල ප්රමාණයක් ද ඩුබායි බැංකුවල තැත්පත් කර ඇත. ඩුබායි රටට එම මුදල් විශාල ආයෝජනයක් වී ඇත.
එම නිසා උදයංග අත්අඩංගුවට ගෙන මෙරටට බාරදීම සහ රතු නිවේදනය ක්රියාත්මක කිරීම සම්බන්ධව අබුඩාබි පොලිසියේ දැඩි සාකච්ඡාවට භාජනය වන කරුණක් බවට පත්වී ඇති බවද ජාත්යන්තර පොලිස් බුද්ධි අංශ අනාවරණය කරන්ගෙන තිබේ. එනම් උදයංග අත්අඩංගුවට ගෙන මෙරටට බාර දුනහොත් එම බැංකුවල ඇති මුදල් ඔහු ඉවත් කර ගනු ඇති බවට එරට බලධාරීන් සැකකරයි.
කෙසේ වෙතත් මෙරට ද විවිධ අපරාධ සිදු කර විදෙස් රටවලට පැන ගත් අපරාධකරුවන් විශාල පිරිසක් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ රතු නිවේදන විශාල ප්රමාණයක් ජාත්යන්තර පොලිසිය වෙත යවා ඇත. එහෙත් එම රතු නිවේදනවලට ප්රතිචාර ලැබී ඇත්තේ එකකට හෝ දෙකකට පමණි. මේ තත්වය මෙරටට පමණක් බලපාන දෙයක් නොව ලොව ආසියාතික රටවල් රැසකට මුහුණදීමට ඇති තත්වයකි. ඉන්දියාවට අවශ්ය බරපතළ අපරාධකරුවෙක් මේ වන විට මේ ආකාරයෙන්ම ඩුබායි රටේ එලිපිටම ජීවත් වෙයි.
ඔහු සම්බන්ධව ඉන්දියාව ජාත්යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා වරින් වර ඉලිම් ගණනාවක් ද කර ඇතත් ඩුබායි පොලිසිය ඔහු අත් අඩංගුවට නොගෙන සිටින බවද ඉහත සඳහන් පොලිස් නිලධාරියා කීය. යම් රටක සැකකරුවකු වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කෙරෙන්නේ එම සැකකරු වෙනුවෙන් සිතාසියක්, වරෙන්තුවක් .විවෘත වරෙන්තුවක්, නිල් නිවේදනයක් ද නිකුත් කර ඊට ද ප්රතිචාරයක් නොලැබුණ විටය. සාමාන්යයෙන් ලෝකයේ ඕනම රටක් රතු නිවේදනයක් නිකුත් කරන්නේ ප්රංශයේ ලියොන් නුවර පිහිටි ජාත්යන්තර පොලිස් මුලස්ථානය වෙතය.
අනතුරුව එම රතු නිවේදනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එම මුලස්ථානය මගිනි. ජාත්යන්තර පොලිස් මූලස්ථානයට අමතරව විවිධ රටවල් එකිනෙක රටවල් අතර අපරාධකරුවකු එම රටට පැන ගත් අවස්ථාවක එම සැකකරු අදාළ රටට බාර දෙන බවට ගිවිසුම් අත්සන් කරන්ගෙන ඇත. එවන් අවස්ථාවක රතු නිවේදනයක් අවශ්ය වන්නේ නැත. ඩුබායි සහ ලංකාව අතර එවැනි ගිවිසුමක් නොමැතිවීම ද එරට සැගවී සිටින මෙරට අපරාධකරුවන් ගණනාවක් මෙරටටගත්වා ගැනීමට ඇති විශාල බාධාවකි. එවැනි ගිවිසුමක් තිබුණේ නම් උදයංග මදූෂ් හෝ වෙනත් අපරාධකරුවන් ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමක් අවශ්ය නොවන බවද පොලිසිය කියයි.
















































