Showing posts with label local . g3. Show all posts
Showing posts with label local . g3. Show all posts

Tuesday, March 2, 2021

බුදුන් බුදුවුණේ හිරිවඩුන්නේදී නෙමෙයි

බුදුරජාණන් වහන්සේ මෙරට බුදු වූ බවට පතුරුවා ගෙන යන මිථ්‍යාව මින් ඉදිරියට රටතුළ පැතිර වීමට කිසිසේත් ඉඩ නොදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඊයේ (01) පැවසීය. වසර ගණනාවක සිට දැඩි ආන්දෝලනයකට තුඩුදී ඇති හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ බෝධීන් වහන්සේ සහ පුරාවිද්‍යා ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා එක්වෙමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර  මනතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වැරදි මතය බොහෝ දෙනකු මිත්‍යව නොපිළිගන්නා බවය. 


 මෙම මිත්‍යා මතය  පැතිරවීමට ඒකායන අරමුණ  බවට පත්ව ඇත්තේ බුදු දහමට හානි කිරීම බවද මනතුංග මහතා පෙන්වා දුන්නේය. බුදුන් වහන්සේ බුද්ධත්වයට  පත් වූයේ හබරණ හිරිවඩුන්න මෙම බෝධීන් වහන්සේ අසල බව බොහෝ  කණ්ඩායමක් මතයක් පතුරවමින් ගිය බවද එම  ස්ථානයේ තිබුණු මල් ආසනය බුදුරජාණන්  වහන්සේ බුද්ධත්වයට පත් වූ වජ්‍රාසනය බවට ඇතැමුන්  සඳහන් කරන බවත් එම නිසා එම මල් ආසනය කැණීම්  කටයුතු වලින් එළියට  ලබාගෙන එය ජනතාවට පෙන්වා නැවතත් තිබූ  විදියටම වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය. 


පසුව පුරාවිද්‍යා නිලධාරීන් මෙම එම විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝයා වහන්සේලා සහ දායක සභාව ඉදිරියේ පුරාවිද්‍යා කැණීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම මෙම පුරාවිද්‍යා භූමියේ ඇති විවිධ ස්ථාන  නිරීක්ෂණයට ලක් කිරීම ද පුරාවිද්‍යා නිලධාරීන් විසින්  සිදු කෙරිණි.


මෙම අවස්ථාවේදී අදහස්  දැක්වු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා කියා සිටියේ තමන් මෙම  ස්ථානයට පැමිණියේ මෙහි ඇති මිත්‍යා අදහස තවදුරටත් පැතිරවීම වළකා දැමීම සඳහා බවය. මෙම ස්ථානයේ ඇති  වජිරාසනය නමින් හඳුන්වන ස්ථානය ගලින් නිමවන ලද  මල් ආසනයක් බවත් ඒ මහතා අවධාරණය කළේය. හිරිවඩුන්න ස්ථානය කිසිදු ආකාරයකින් බුදුරජාණන්  වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානයක් නොවන බව නිල වශයෙන් ජනතාවට දැනුම් දෙන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.


 -කාංචන කුමාර ආරියදාස-

Monday, March 1, 2021

කතරගම වැවෙන් දෙදරු පියකුගේ සිරුරක් හමුවෙලා : යතුරුපැදියත් ඒ අසල

වල්පොළ කදුරුගම වැවේ ගිලී මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත අලූයම 5.00 ට පමණ සොයාගත් බව රාගම පොලීසිය කියයි. කදුරුගම වැව් බැම්ම මතින් ගමන් ගත් ලොරි රථයක පිරිසක් වැවට වැටී තිබූ යතුරුපැදියක් දැක ඒ පිළිබඳ විපරම් කිරිමේදී වැවේ සිටි පුද්ගලයා දැක පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇත.



එම ස්ථානයට පැමිණි පොලිසිය කළ මූලික විමර්ශනයේදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවත් ඔහු පැමිණියේ යැයි සැක කරන යතුරුපැදිය එම ස්ථානයේ තිබෙන බවත් තහවුරු කර ගැනීමෙන් පසු එම ස්ථානයට රාගම හදිසි මරණ පරික්ෂක ප්‍රියංකර ලාල් මහතා කැඳවා තිබේ. 


හදිසි මරණ පරික්ෂකවරයාගේ විමර්ශනයෙන් පසු මරණය පිළිබඳ මහස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්විය යුතු බවට නිගමනය කර එය පොලීසියට දන්වා ඇත.  අනතුරුව එම ස්ථානයට  පැමිණි වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් චන්න ගුණවර්ධන මහතා මූලික මහෙස්ත්‍රාත් පරික්ෂණයක් සිදුකර කර මළ සිරුර පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සිරුර රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමු කිරිමට පොලීසියට නියෝග කළේය .


මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව පෞද්ගලික ආයතනයක සේවය කරන අංක 347/බී/1/බී අබේසේකර මාවත, පොල්පිතිමුකලාන, කඳාන ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. ජී.ආර්. ලයනල් ප්‍රේමවංශ (47) නමැති දෙදරු පියකු බව පොලිසිය හඳුනාගෙන ඇත. පශ්චාත්  මරණ පරික්ෂණ කටයුතු සඳහා මළ සිරුර රාගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රාගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.


 -ප්‍රසංග පෙරේරා-

Thursday, February 18, 2021

නිරෝධායන පවුල්වලට දෙන හාල් මල්ලෙන් කිලෝව ගානේ පිල්ලි ගහලා



පදවි-පරාක්‍රමපුර විවිධසේවා සමුපකාර සමිතිය  මගින් පදවියේ නීරෝධායනය වන පවුල් සඳහා ලබාදෙන වියළි සලාක මල්ලේ ඇතුළත් වියයුතු නියමිත හාල් ප්‍රමාණය වංවනීක ලෙස අඩුකර ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපූර පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පදවියේ සමුපකාර තොග ගබඩාව හදිසි වැටලීමකට ලක් කළහ. නියමිත බරට අඩු හාල් කිලෝ ග්‍රෑම් පහේ පැකට් 46 ක් හා කිලෝ ග්‍රෑම් 10යේ පැකට් 01ක් මෙහිදී සොයාගත් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඩී.ඒ.සී.පී පෙරේරා මහතා ඇතුළු නිලධාරිහු එම සහල් පැකට් වලට මුද්‍රා තැබූහ.


එම සහල් පැකැටවල හාල් කිලෝ ග්‍රෑම් එකක් බැගින් අඩු බව මෙහිදී අනාවරණය විය.  නිරෝධායනය වෙමින් සිටින පවුල් 54ට බෙදා දී ඇති සහල් පැකට් තුනක් ද බර මිනුම් කිරීමේදී එහි ද හාල් කිලෝ ග්‍රෑම් එක බැගින් අඩු වී ඇති බව පාරිභෝගික නිලධාරින්ට අනාවරණය විය. පසුගියදා බෙදා දෙනු ලැබූ රුපියල් 5000 වියළි සලාක මලේ අඩංගු සහල් පැකට්වල නියමිත කිලෝ ප්‍රමාණය නොමැති බවත් ටින් මාළු පරිභෝජනයට සුදුසු නොවන බව ඇතැම් පවුල් දැනුම් දීම නිසා පදවිය ප්‍රාදේශීය ලේකම්  ජේ. රලියුදීන් මහතා අනුරාධපුර පාරිභෝගික නිලධාරීන්ට සිදුකළ දැනුම් දීමකට අනුව මම වැටලීම සිදු විය.


පදවිය සමුපකාර සමිතිය නියමිත හාල් ප්‍රමාණයට අඩු සහල් පැකට් ගත්තේ යැයි කියන පදවිය බුද්ධංගල පෞද්ගලික මෝල ද වැටලූ පාරිභෝගික නිලධාරින්ට නියමිත හාල් කිලෝ ග්‍රෑම් ප්‍රමාණයට අඩු සහල් පැකට් එහිදී හමු වූයේ    එකී මෝල් හිමියා අනුරාධපුර පාරිභෝගික නිලධාරීන්, පදවිය ප්‍රාදේශීය ලේකම්, පදවිය පොලිස්  ස්ථානාධිපති හා අප ඉදිරියේ මෙසේ ප්‍රකාශයක්  කළේය.  


මට පදවිය සමුපකාර  ගබඩා පාලක තරංග කිව්වා හාල් ටිකක් හදිසියේ ඕනෑ. හැබැයි කිලෝ  9යේ හා හතරේ වශයෙන් උරවල දාන්න කියලා. මම කිව්වා එහෙනම් ෂොපින් බෑග්වල දාලා දෙන්නම් කියලා. තරංග ඒකට කැමැති වුණේ නැහැ. අනේ මගේ මුද්‍රිත උරවලම දාලා දෙන්න කීවා. ඉතා හදිස්සියි කියලා. ඉතිං මම කිලෝ එක එක අඩුවෙන් 10යේ හා 5හේ පැකැට් වල ඇසුරුම් කර දුන්නා. මට මුදල් දුන්නේ මගේ හාල් ප්‍රමාණයට විතරයි. මම හිතාමතා වැරැද්දක් කළේ නැහැ. මෝල් හිමියා පැවසීය. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ  අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඩී.ඒ.සි. පී. පෙරේරා මහතා මෙසේ කීය.


පදවිය සමුපකාර තොග ගබඩාවේ නියමිත බර නැති සහල් පැකට් 47ක් පමණ බෙදා හැරිම නවතා තබා මුද්‍රා කළා. පෞද්ගලික මෝල් හිමිකරුට විරුද්ධව ලබන සතියේ අධිකරණ කටයුතු සිදු කරනවා. ඒ වගේම පදවි පරාක්‍රමපුර විවිධ සේවා සමුපකාර සමිතියේ වගකිවයුතු නිලධාරින් සම්බන්ධ තවදුරටත් පරීක්ෂණ සිදුකරනවා. ඒ පිළිබඳව පදවිය ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරනවා. ළඟදීම මෙයට වගකිවයුතු අය අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරමින් සිටිනවා යැයිද පැවසීය.


පාරිභෝගික අධිකාරිවරයා සමග පාරිභෝගික විමර්ශන නිලධාරින් වන එස්.එම්. මුපාරිස් මහතා සහ ඩබ්ලිව්.ඩී.එස්. චතුරානි මහත්මියද වැටලීම සඳහා සහභාගි වූහ.  පදවිය ප්‍රාදේශීය ලේකම් ජේ. රලියුදීන්, පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩබලිව්.ඩබලිව්. කුමාරසිරි මහත්වරුද පූර්ණ සහයෝගය ලබා දුන්හ.

Thursday, February 11, 2021

තරුණියකට අපයෝජනය සිදුවන අයුරින් කටයුතු කළැයි වෛද්‍යවරයෙක් අත්අඩංගුවට



එප්පාවල නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නියුතු වූ තරුණියකට අපයෝජනය සිදුවන අයුරින් අසැබි ක්‍රියාවක නිරතවූ බවට චෝදනා ලැබූ රජයේ වෛද්‍යවරයෙකු පෙරේදා (09දා) රාත්‍රියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි. අවිවාහක තරුණියට සැකකාර වෛද්‍යවරයා පුහුණුවක් ලබාදෙන ආකාරයෙන් කටයුතු කර ඇගේ පාදයක් ස්පර්ශ කරමින් අපයෝජනය සමගම  අසැබි ක්‍රියාව සිදුකර තිබෙන බවට ලද පැමිණිල්ලක් මත සකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ. 


සැකකාර වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ අදාළ තරුණිය සේවයකර තිබෙන බවත්, තරුණිය  සේවය කරමින් සිටියදී වෛද්‍යවරයා ඖෂධ පිළිබදව පාඩමක් උගන්වමින් ඇගේ පාදය මිරිකා පසුව ඇස් වසාගන්නා ලෙස දන්වා තිබෙන අතර, තරුණිය දෑස් වසාගෙන සිට ස්වල්ප වේලාවකින් දෑස් විවර කරද්දී ඔහු කිසියම් ක්‍රියාවක නිරතවන අයුරු දැක බියට පත්ව ආයතනයෙන් පිටතට ගොස් තිබෙන බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ. වෛද්‍යවරයා සිදුකළ ක්‍රියාව තරුණිය විසින් දෙමාපියන්ටත් පවසා තිබෙන අතර පසුව පොලිස්ථානයට ඒ පිළිබඳව පැමිණිලි කර තිබුණි.  සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඒ.පී රෝහණ අධිකාරි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.


 -තිසර සමල්-


Friday, February 5, 2021

ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්කරුවකු රහස් ලෙස මියගොස් සිටීයදී සොයා ගනියි





කුරුණගල ශික්ෂණ රෝහල ඇතුළු ආයතන රැසකට ආහාර ද්‍රව්‍ය සැපයීමේ  කොන්ත්‍රාත්තුව භාරව සිටි පුද්ගලයා කුරුණෑගල - මීගමුව මාර්ගයේ ගල්වල ප්‍රදේශයේ නිවසක ඉදිරිපස කොටසේ මිදුලේ සැක කටයුතු ආකාරයට සම්පුර්ණයෙන්ම පිලිස්සී මිය ගොස් සිටියදී පෙරේදා (03දා) අලුයම සොයාගත් බව බව කුරුණගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, කොන්ත්‍රාත්කරුවෙකු ලෙස රැකියාවක් කරමින් සිටි අනුරාධපුර සාලියපුර තෙප්පකුලමේ පදිංචිව සිටි  දෙදරු පියෙකු වන බණ්ඩාරනායක  මුදියාස්ලාගේ ප්‍රසංග ජයරුවන් (අවු.48) නමැත්තෙකි. 


මෙම පුද්ගලයා ගලහ බවුලානවත්ත ජනපදයේ පදිංචි තවත් පුද්ගලයෙකු සමග එක්ව ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව පවත්වාගෙන ගොස් ඇති බවත්,  පෙරේදා (03දා) අලුයම කුලියට ගත්  නිවසේ නිදාගැනීමෙන් අනතුරුව මෙසේ පිලිස්සීමට ලක්ව මරණයට පත්ව ඇති අතර, සම්පූර්ණයෙන්ම පිලිස්සීමෙන් එම පුද්ගලයාගේ සිරුරේ ඇටකටු පමණක් ඉතිරිව ඇති බවද එම ස්ථානයේ තිබී ටයරයක් හමුවූ බවද පරීක්ෂණවලදී  අනාවරණය විය. සිද්ධිය වූ ස්ථානය අසල සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියක පටිගතව තිබූ දර්ශන පරීක්ෂා කිරීමේදී එම නිවස ඉදිරිපසින් එක්වරම විශාල ගිනි ජාලාවක් මතුවන ආකාරය සටහන්ව තිබේ.  මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද  නැතිනම් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න අනාවරණය කරගැනීම සඳහා කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාර්ණ විමර්ශන ආරම්භ කර ඇත.  


-ගීතාංජලී ප්‍රියදර්ශනී-


2020 බඳවාගත් උපාධිධාරීන් 2021 ජනවාරි සිට ස්ථිර කිරීමේ තීරණය වැරදියි

 



2020 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසයේදී සේවය ස්ථිර කළ යුතු පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් මේ වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන ලෙස ස්ථිර කිරීමට ගෙන තිබෙන තීරණය වැරදි තීරණයක් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි.  2019 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී වසරක පුහුණු කාලයකට බඳවාගත් උපාධිධාරීන් සියල්ලම පසුගිය වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී ස්ථිර සේවයටඇතුළත් කළ යුතුව තිබූ බවද එම සංගමයේ ලේඛම් ධම්මික මුණසිංහ මහතා පැවසීය. 


එහෙත් තවමත් මෙම පිරිස් ස්ථිර කර නොමැති බවත්, මේ නිසා මෙම පිරිස් ස්ථිර කරන ලෙස ඉල්ලා රට තුළ අරගලයක් සිදුකරමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.  අදාළ පිරිස් පසුගිය වසරේ අගෝස්තු හා සැප්තැම්බර්  මාසවල සිට බලපැවැත්වෙන ලෙස ස්ථිර කරන ලෙස ඉල්ලා මෙම අරගල සිදුකරමින් තිබෙන බවත්, එසේ තිබියදී මෙම පිරිස් මේ වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන ලෙසට ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවත් ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේය. 


පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් රුපියල් විසිදහසක මාසික දීමනාවකට වසරක කාලයකට බඳවාගත් බවත්, ඒ නිසා  අදාළ කාලයේ සිට බලපැවැත්වෙන ලෙස ස්ථිර නොකළහොත් ඒ එ වෙනුවෙන් රට පුරා විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් ලේකම්වරයා සඳහන් කර සිටියේය.


-එම්.අයි. තුෂාර-


කුළියාපිටියේ මාස 4ක බිළිඳකුටත් කොරෝනා




කුලියාපිටිය, ගුරුහේන වත්ත ප්‍රදේශයේ සිවු මස් බිලිඳකු වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවකින් පසුව එම බිලිඳා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කුලියාපිටිය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග කියයි. මේ වන විටත් බිලිඳාගේ වැඩිමල් සොහොයුරා වයස 7 හා පියා කොවිඩ් ආසාදිතව නාරම්මල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේන්වාසිකව ප්‍රතිකාර ලබති.


ඉකුත් සතියේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුව ආශ්‍රිතව වෛද්‍යවරුන් සිවු දෙනකු, හෙද හෙදියන් කනිෂ්ට කාර්ය මණ්ඩල සේවකයන් හා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් ආසාදිතයින් බවට හඳුනා ගත් දිනවල මෙම බිලිඳාගේ වැඩිමල් සොහොයුරාගේ පාදයේ ඇති වී තිබූ පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිය පියා සමගින් රෝහලේ නේවාසිකව  සිට ඇති බවට ද තොරතුරු අනාවරණය විය. 


කෙසේ වෙතත් ඉන් පියාටත් පුතාටත් කොවිඩ් ආසාදනය වූවාද යන්න සම්බන්ධයෙන් විමර්ශන  සිදු කරන බව සෞඛ්‍ය අංශ පැවසූ අතර

රෝහලෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂාවේ ප්‍රතිඵල අනුව බිලිඳා සහ මව හෝමාගම රෝහලට මාරුකර යවන බවද පැවසිණි.  ඊයේ (04) නිකුත් වූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව අනුව කෝන්ගහගෙදර, පිටදෙණිය, ඉහළගොමුගොමුව, වැවගම හා කෝංගොල්ලවත්ත ආදී ප්‍රදේශවල උපකාරක පත්ති ගුරුවරයකු ඇතුළු 6 දෙනකු ආසාදිතයන්  ලෙස හඳුනා ගත් බවද ඒ අතර අඹුසැමි යුවළක් ද වන බවද සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.


-දිනේෂ් උපේන්ද්‍ර-

Wednesday, February 3, 2021

පාසලේදී අසනීප වූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට

බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ 06 ශ්‍රේණියේ දැරීයකට හදිසියේ ඇතිවූ  රෝගී තත්වයක් හේතුවෙන් බුත්තල රෝහලටත් එතැනින් මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (01) සවස මියගොස් තිබේ.  මෙසේ මියගොස් ඇත්තේ පෙට්ටගම්වෙල හතරමං  හන්දිය බුත්තල ලිපිනයේ පදිංචිව සිටි පී.ආර්. ගෙමින්දි  මලිෂා (අවු.12) නමැති දැරීයකි. දහවල් ආහාර ගැනීමෛන් පසු සවස පන්ති ආරම්භ වූ අවස්ථාවේදී ක්ලාන්තය  ගතියක් ඇතිවූ වහාම ඇයගේ මිතුරියන් විසින් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ප්‍රථමාධාර ලබාදෙන අතරතුර දැරීය ලබාදුන් දුරකථන අංකයට කතාකර ඇයගේ මවද පාසලට කැඳවාගෙන තිබේ.


ඒ අතර 1990 ගිලන් රථ සේවයට ඇමතුම් රැසක් ලබාගෙන ඇතත් එය ප්‍රමාද  විම හේතුවෙන් දැරියගේ මව පැමිණි ත්‍රිරෝද රථයෙන් දැරීය බුත්තල රෝහලට ගුරුවරියක සමග රැගෙන ගොස් ඇත. ' එහිදි වහා ක්‍රියාත්මක වු බුත්තල රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය දැරියට මූලික ප‍්‍රතිකාර ලබාදෙමින් තවත් වෛද්‍යවරියක්ද සමග  මොනරාගල මහ රෝහලට රැගෙන ගොස් තිබේ.  එහිදී හදිසි ප්‍රතිකාර ඒකකයට දැරීය ඇතුළත් කළද පැය භාගයක පමණ කාලයක් ඇයට නිසි ප්‍රතිකාරයක් හෝ සොයාබැලීමක් සිදුනොවන බව දැරියගේ ඥාතීහු පවසති. 


මේ සම්බන්ධයෙන් අප මොනරාගල රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි ආර්.එම්. එස්. රත්නායක මහතාගෙන්  කළ විමසීමකදී පවසා සිටියේ , කිසියම් සුළු ප්‍රමාදයක් සිදුවිය  හැකි බවත්, දැරියගේ පී.සී.  ආර් පරීක්ෂණ සඳහා සාම්පල  ලබාගත් බවත් එහි ප්‍රතිඵල අනුව මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ලැබෙන වෛද්‍ය වාර්තාවලින්  පසුව මියයාමට හේතුව නිශ්චිතවම කිව හැකි බවත්ය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වැල්ලවාය කලාප කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්. සෝමපාල හා බුත්තල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ කොට්ඨාස අධ්‍යානපන අධ්‍යක්ෂ තුසිත බණ්ඩාර, දුටුගැමුණු ජාතික පාසලේ විදුහල්පති ඩබි.එම්.  සෙනවිරත්න ඇතුළු අධ්‍යාපන නිලධාරින් පිරිසක්ද සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා මොණරාගල රෝහලටත් දැරියගේ නිවසටත් පැමිණ සිටියහ.


-අයි.ආර්. ඉන්දික-

Tuesday, February 2, 2021

රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටි නිසා කුඩාගම ගම්වාසීන් ජිවිත අවදානමක

 

හැටන් - නුවරඑළිය ප්‍රධාන  මාර්ගයේ කුඩාගම  ප්‍රදේශයේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු නිසා තම පිවිතවලට දැඩි අවදානමක් එල්ල වී ඇති බව හැටන් කුඩාගම ප්‍රදේශවාසීහු පවසති. දිනපතා රාත්‍රී කාලයේ කඳුකර කොටියා ප්‍රධාන මාර්ගය හරහා ගම්මානයට පිවිසෙන බවත්, එසේ පිවිසෙන කඳුකර කොටියන් තම නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු වශයෙන් රැගෙන යන බවද ඔවුහු පෙන්වා දෙති. 


හැටන් කුඩාගම අවට තේ වතු සහ රක්ෂිතවල සැරිසරන කොටි ගම්මානයට පිවිසෙන බවත්, මේ වනවිට නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් විශාල පිරිසක් කඳුකර කොටින් ගොදුරු වශයෙන් ඩැහැගෙන ගොස් ඇති බවද ප්‍රදේශවාසීහු පවසා සිටිති. කුඩාගම ප්‍රදේශයේ සැරිසරන කඳුකර කොටින් අල්ලා සුදුසු රක්ෂිතවලට මුදාහැරීමට කටයුතු කරන ලෙසට ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


-රංජිත් රාජපක්ෂ-


මෙදා නිදහස් දින උළෙලේ ජාතික ගීය සිංහලෙන් පමණයි



මෙවර නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතික ගීය ගායනා කෙරෙන්නේ සිංහල භාෂාවෙන් පමණක් යැයි ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාතාශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (1) පැවසීය.  කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අනිද්දා (4) පැවැත්වෙන 13 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිවරයා ජාතික ධජය නංවන අවස්ථාවේදී මෙලෙස සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කෙරෙන බව ද ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.  පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර නිදහස් දින උළෙල නැරඹීමට මහජනතාවට ඉඩ නොදෙන බව කී කමල් ගුණරත්න මහතා උළෙලේ ආරාධිතයන් සංඛ්‍යාව සීමා කරන්නට සිදුව ඇතැයි කීවේය.


නිදහස් දින උළෙලේ ආචාර පෙළපාළියට එක්කරගන්නා  ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරින් හා සෙබළුන්  සංඛ්‍යාවද සීමා කර ඇති අතර ඔවුන් අනිවාර්යයෙන් පී.  සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂවන්ට ලක්කරන බව ද  කමල් ගුණරත්න මහතා කීවේය.   යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් 3153ක්, නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් 821ක්, ගුවන් හමුදාවේ 740ක්, ශ්‍රී ලංකා පොලිසියෙන් හා විශේෂ කාර්ය බලකායෙන් 50ක් සහ සිවිල් ආරක්ෂක බළකායේ 457ක් මෙවර ආචාර පෙළපාළියට එක්වන බව ද හෙතෙම පැවසීය.


ආචාර පෙළපාලිය අවසානයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, පළාත් සහා සංස්කෘතික මධ්‍යස්ථානයන් නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 340 දෙනකු සහභාගී වන බව ද ආරක්‍ෂක ලේකම්වරයා කීවේය. 


සිවිල් ආරක්ෂක බළකා මිහින්තලේ පුහුණු පාසල් කිහිප  දෙනකුට කොවිඩ් වැළඳී තිබූ නිසා ඔවුන් හා පළමු පෙළට ආශ්‍රිතයන් හැර සෙසු අය පෙළපාළිය සඳහා තෝරාගෙන ඇතැයි කී කමල් ගුණරත්න මහතා, ඔවුන් අතර ආසාදිතයන් ඇතැයි පරික්‍ෂණවලින් හෙළි වුවහොත් ඔවුන් හා ආශ්‍රිතයන් පෙළපාළියෙන් ඉවත් කරන බව සඳහන් කළේය.  එමෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර නිදහස් දින සැමරුම් උළෙලේ ආසන පැනවීම දුරස්ථභාවය රකින අයුරින් සිදුකරන බවත්, උත්සව භූමියට ඇතුළත් කරගන්නා සියලුදෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කරන අතර ඔවුන් අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳ සිටිය යුතු බව ද ඔහු පැවසීය.



 -ඩයනා උදයංගනී-

කෝටිපතියාගේ රහස් සන්නිවේදන ජාලයට දේශපාලකයනුත් හවුල්වෙලා



ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොතෙන් ප්‍රචාරය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටින කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාව තුළ මෙතෙක් භාවිත කර නොමැති ඉතා රහසිගත අති ප්‍රබල දුරකතන සන්නිවේදන ජාලයක් නිර්මාණය කර පවත්වාගෙන ගොස් ඇති බවටත්, මෙරට ඇතැම් ප්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලනඥයන් මේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතාට ඊයේ (01) කරුණු වාර්තා කළේය.


මෙම සන්නිවේදන සේවාව ලබාගත් පුද්ගලයන් අතර, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ  අය සිටිත් ද යන්න පිළිබඳව පුළුල් ලෙස විමර්ශනයක් පැවැත්වූ බවත්, ජාලය සමග සම්බන්ධතා පැවැත්වූ ඉහත දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී තොරතුරු අනාවරණය වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තතාවක් මගින් අධිකරණයට කරුණු වාර්තතා කර ඇත.  නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම අති ප්‍රබල සන්නිවේදන ජාලය ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හෝ හසු නොවූ එකක් බවත්, එය එහි ලියාපදිංචි කර හෝ නොමැති එකක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තතා කර තිබේ. 


මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා භාරයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද ජංගම දුරකතන හා ලැප්ටොප් පරිගණක දත්ත විශ්ලේෂණය කිරීමේදී මොහු අන්තර්ජාලය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මෙම අති ප්‍රබල සන්නිවේදන ජාලය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර ඇත.  මෙම අති ප්‍රබල දුරකතන ජාලය මගින්  මෙරට වෙනත් දුරකතන ජාල පද්ධතියකට ලබා ගනු ලබන දුරකතන ඇමතුම්, කුමන හෝ  දුරකතන සේවා සැපයුම් ආයතනයකට හෝ කිසිදු ආකාරයකින් තොරතුරු ලබා ගත නොහැකි ආකාරයේ ජාලයක් බවට ද හෙළිවී  ඇතැයි ද එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. 


මෙම අති ප්‍රබල දුරකතන ජාලයෙන් යන සහ එන ඇමතුම්, අපරාධ විමර්ශනයකදී දුරකතන විශ්ලේෂණ වාර්තා සාක්ෂි වශයෙන් ලබා ගැනීමට නොහැකි බව මෙකී සේවාව ලබා ගැනීමේ දී කිසිදු අනන්‍යතාවක් අවශ්‍ය නොවන බවටත් හෙළිවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.  ඒ අනුව, මෙම දුරකතන ජාලය මගින් ඉතා රහසිගත සස්නිවේදන පොකුරු පවත්වාගෙන යා හැකි අතර, සැකකරු විසින් මේ අයුරින් පවත්වාගෙන යනු ලැබූ ජාලයේ ග්‍රාහකයන් 450කට අධික පිරිසක් සේවාව ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇතැයි ද අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්ත කළේය. 


 මෙහිදී වඩාත් අවදානම් සහගත තත්වයක්  ලෙස පෙන්වාදිය හැක්කේ “මුස්ලිම් ප්‍රජාවගේ  රහස් සන්නිවේදන ජාලයක් සඳහා මෙම ක්‍රමය වර්ධනය කිරීම" යනුවෙන් සඳහන් උපදෙස් මාලාවක් සහිත කෙටි පණිවිඩයක් මෙමජාලයෙන් ග්‍රාහකයන් වෙත ලැබීම බවද අපරාධ පරික්ෂණය දෙපාර්තමේන්තුව සිය බී වාර්තාවෙන් දක්වා ඇත. මෙම සැකකරු ඉහත ජාලය ග්‍රාහකයන් වෙත ලබා දී ඇත්තේ ඩොලර් 100 සිට 500 දක්වා වූ මුදල් අය කර ගැනීමෙන් පසුව බවට විවිධ රටවලට සහ ඇමතුම් ලබාගන්නා කාලය අනුව විවිධ ආකාරයෙන් මුදල් අයකර ගැනීම සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.


මෙම ඇමතුම් ජාලය පදනම් කරගනිමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සැලසුම් කර ඇතිද යන සම්බන්ධයෙන් මෙන්ම මෙම සැකකරුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්නෙ මුදලක් සංසරණය වීම පිළිබදව ද විමර්ශන සිදුකරමින් පවතින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.  අංක 46, 4/2, පීටර් පටුමග, දෙහිවල ලිපිනයෙහි පදිංචි මොහොමඩි ෆසාල් නිසාර් නමැති මෙම සැකකරු මේ වන විට 1979 අංක   48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 90ක කාලයක් තම දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ. 


මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා  දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 03 (1), ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ  120 වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 (1) යන පනත්වලින් වරදක් සිදුකර ඇති බැවින් මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 11 වැනිදාය. මෙම සැකකරුට අයත් පෞද්ගලික බැංකු  ගිණුමක රුපියල් කෝටි 7කට ආසන්න මුදලක්  ඉකුත් 2020 වර්ෂයේදී සංසරණය වී ඇති බවත් අධිකරණ නියෝග මත කැඳවා ඇති ඔහුගේ අනෙක් බැංකු ගිණුම් 6ක විස්තර වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව අධිකරණයට දැනුම් දී ඇත.


 -නිමන්ති රණසිංහ-

Monday, February 1, 2021

වළවේ ගඟේ ක්ෂේත්‍ර පුහුණු චාරිකාවක නිරත සිසුන් පිරිසකගෙන් සිසුවියක් දියේ ගිලී මරුට


බලන්ගොඩ කල්තොට වළවේ ගඟ ආශ්‍රිතව ක්ෂේත්‍ර පුහුණු චාරිකාවකට සහභාගි වූ පාසල් සිසුන් පිරිසක් වළවේ ගගේ කල්තොට බටකොළ ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිටියදී සිසුවියක් දියේ ගිලි පෙරේදා (30) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව කල්තොට පොලිසිය පවසයි.  මෙලෙස  ජිවිතක්ෂයට පත්වුයේ, බලන්ගොඩ, කූරගල. තැත්ත පදිංචිව සිටි පී.එම්. නිරෝෂිකා කුමාරී (අවු. 16) නමැති පාසල් සිසුවියකි. 


ඇය සහ මවුපියන් මීට පෙර හොරණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, පසුව දැනට මාස තුනකට පමණ පෙර බලන්ගොඩ කූරගල, තැත්ත ප්‍රදේශයට පදිංචියට  පැමිණ තිබෙන බවත්, බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් රන/ තැන්න විදුහලේ 11 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිට තිබේ. එම විදුහලේ  11 ශ්‍රේණියේ සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරියක සමග මෙම  ක්‍ෂේත්‍ර පුහුණු චාරිකාවට එක්වී ඇති අතර, එම ක්ෂේත්‍ර පුහුණු චාරිකාවට අයත්   ක්‍රියාකාරකමක් ලෙස සිසුන් පිරිස වලවේ ගඟේ බටකොළ ඇල්ල කොටසේ දියනාමින් සිටියදී මෙලෙස අනතුර සිදුවී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විණි.  ඇය දියේ ගිලුණු පසු ප්‍රදේශවාසීන් සහ කල්තොට පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී සිරුර ගොඩට ගෙන කල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර,  වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මූලික රෝහල වෙත මාරු කිරිමෙන් අනතුරුව පිවිතක්‍ෂයට පත්ව තිබේ. 


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බටගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පී. ආරියපාල මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ, මෙම ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කර නිල වශයෙන් සංවිධානය කර ගිය වැඩසටහනක් නොවන බවත් අදාළ ගුරුවරිය සහ දරුවන් පිරිස පෞද්ගලිකව සංවිධානය වී ගොස් ඇති ක්ෂේත්‍ර පුහුණු චාරිකාවක් බවත්ය.   සිද්ධිය සම්බන්ධයෙන් කල්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි නිලධාරි වැඩිදුර පරික්ෂණ පවත්වති.


-රෝහණ වසන්ත-

Friday, January 29, 2021

ලෙඩ ඇඳේ ඉඳන් මාධ්‍යෙව්දියකුගෙන්

 





ජෙෂ්ඨ මාධ්‍යවේදියකු වු හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වූ ද  බන්දුල ජයසේකර මයලෝඩිප්ලාස්ටික් සහලක්ෂණ පෙන්වන රෝගයකට  ගොදුරුවී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එය රුධිර පිළිකා විශේෂයකි. කොවිඩ් සහ වෙනත් අභියෝග හේතුවෙන් ඔහු සිංගප්පුරුවේ, ජාතික විශ්වවිද්‍යාලයේ පිළිකා ආයතනයට ඇතුළත්වීම මාස 10කින් ප්‍රමාද විය. ලියුකේෂියා තත්වයට ව්‍යාප්ත වන පිළිකා උදෙසා, ඇටමිදුලු බද්ධ කිරීම (පරාරෝපණය) සම්බන්ධයෙන් වඩාත් බලාපොරොත්තු තැබිය හැකි රෝහල වන්නේ එම ආයතනයයි. වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව ඔහු මේ වනවිට සහන සත්කාර ඒකකය වෙත යොමුවී සිටියි. ශ්‍රී ලංකාවේ අසාධ්‍ය පිළිකා රෝගීන් රැකබලා ගැනීමට බොහෝ දේ                                                                                      කළ යුතුව ඇතැයි ඔහු විශ්වාස කරයි. 


“ඩේලි මිරර් ලයිෆ්' සමග පැවැත්වූ කෙටි පිළිසඳරක දී ජයසේකර මහතා පිළිකා රෝගය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව තමා ලැබූ අත්දැකීම් විස්තර කළේ මෙසේය. සිංගප්පූරුවේත්, ශ්‍රී ලංකාවේත් වෛද්‍ය සත්කාර සේවා සම්බන්ධයෙන් තම අදහස් පළ කළ ඔහු බුදු දහමින් උගත හැකි පාඩම් පිළිබඳවත් අනාගත පරපුරට දියහැකි පණිවිඩය පිළිබඳවත් කියා සිටීයේය. එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ . 


ප්‍රශ්නය- පිළිකාව වැළඳී ඇති බවට මුලින්ම සොයාගත් අවස්ථාවේ ඔබේ සිතට ආ සිතුවිලි මොනවාද?

ඇට මිදුළු පරික්ෂාව සිදුකළ අවස්ථාවේ වෛද්‍යවරුන් කතා කළ දේ මට දැනුණා. මේ රුධිර පිළිකාවක්. මට හරියට දුක හිතුනා. මට උදව් කරන අයත් එක්ක මෙතන ඉඳගෙන මම ඇඬුවා. ඒකට මුහුණ දෙන්න වන බව මම දැනගත්තා. අපි රුධිර පිළිකා විශේෂඥ  වෛද්‍යවරයා හමුවුණා. පැය දෙකක් විතර මාව පරික්ෂා කළ ඔහු කිව්වා ඇට මිදුළු බද්ධ (පරාරෝපණය) (transplant) කරනවා ඇරෙන්න සුවපත් කරන්න වෙන ක්‍රමයක් නෑ කියලා. එතුමා කිව්වා. ඒක කරන්න ඕන ඉන්දියාවේ හරි සිංගප්පූරුවේ හරි කියලා. රෝග බෝවෙන්න ඉඩ තියෙන නිසා මම සිංගප්පූරුව තෝර ගත්තා. 2019 දී මම සිංගප්පූරුවට ගියා. බර වියදමක් නිසා මම ආපසු ඇවිත් මුදල් එකතු කරන්න පටන් ගත්තා. අපි දෙසැම්බර් මාසෙ යන්න ලෑස්ති වෙලා හිටිය. ඒත් මගේ අවාසනාවට මට ශරිර පටක දෙන්න ලැස්ති වෙලා හිටපු කෙනාට අවුරුදු 25කට කලින් මොළේ ඉදිමීමක් තිබුණා කියලා දැනගත්තා. ඊට පස්සේ කොවිඩ් ආවා. ඉස්සෙල්ලම සිංගප්පූරුව වැහුවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව වසා දැමුවා. මගේ ගමන මාස 10ක් පහුවුණා. 


ඊට පස්සේ එයාලට මාව නැවත පරික්ෂා කරන්න ඕනෑ වුණා. පිළිකාවක් සම්බන්ධ සෑම දිනයක්ම ගණන් ගැනෙනවා. එනිසා ඇට මිදුළු පරික්ෂාවක් එයාල නැවත සිදුකළා. එයාලා කිව්වා ලියුකේමියා තත්වය දක්වා වර්ධනය වෙලා කියලා. ඒ හින්දා කිසි දෙයක් කරන්න බෑ කිව්වා. සහන සත්කාර උදෙසා යන්න කියලා මට උපදෙස් ලැබුණා. 


ප්‍රශ්නය- ඔබ වැනි රෝගියකුට කොවිඩ් වසංගතය කෙතරම් දුරට අභියෝගයක් වුණා ද? 

ඉහත කී මාස 10යේ ප්‍රමාදය තමා ලොකුම අභියෝගය. මම කොවිඩ්  රෝගයෙත් ගොදුරක්. මොකද එය පැතිරුණු නිසා මගේ ට්‍රාන්ස්ප්ලානට් එකට (ඇට මිදුළු බද්ධයට) අදාළ කිසි දෙයක් ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන්කම තිබුණෙ නෑ. ඒ නිසා මයලෝඩිප්ලාස්ටික් සින්ඩ්‍රම් එක ලියුකේමියාවට පෙරළුණා. එහෙම නොවුනා නම් මට ඇට මිදුළු බද්ධය කර ගන්න තිබුණා. ඉතින් මම රෝගයත් එක්ක ඉන්න තීරණය කළා.  වෛද්‍යවරයා හරිම හොඳ කෙනෙක්. මම ඉන්න තත්ත්වය මට පැහැදිලි කළා. මම මාස 18ක් වද වින්දා.   ඒක ලේසි නෑ. මට දැන් ඇති, මොකද මම ජීවිතේට කෑදර නෑ. මම අවුරුදු 60ක් ජීවත් වුණානෙ.


ප්‍රශ්නයඃ- සිංගප්පූරුව සත්කාර සේවාව  ගැන අපට කියන්න. ඒ අයගෙන් අපට උගත හැකි පාඩම් මොනවද?


මෙහෙ වෛද්‍යවරයා උත්සාහ කළේ ඖෂධ ප්‍රතිකාරවලින් සුව කරන්නයි. ඒත් මම සිංගප්පූරුවට ගිය අවස්ථාවේ එයාල බෙහෙත් ප්‍රතිජීවක ඖෂධ ආදිය අඩු කළා. මට කැමති දෙයක් කන්න දුන්නා. ඔක්තෝබර් 28ට කලින් මට හරිහැටි කතා කරගන්න බැරිව හිටියේ. එහෙත් මම සිංගප්පූරුවේ NUS රෝහලට (ජාතික වි.වි. පිළිකා ආයතනයට) ගිය වෙලේ පටන් මම  වෙනස් වුණා. මෙම නොවැම්බර් 15 නැවත ආවට පස්සෙ දොස්තර ලිඛිතවම මට සහන සත්කාරවලට යොමුවිය යුතුයි කියල නියම කළා. ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන් විකල්ප ඖෂධ ප්‍රතිකාරවලට යොමු වුණත් ඖෂධවලින් හැමදේම සිදුවන්නේ නෑ. 


සිංගප්පූරුවේ තියන්නේ ලෝකයේ ඉහළම මට්ටමේ ප්‍රතිකාර මෙරට ඇටමිදුළු ප්‍රදානය කරන්නන්ගෙ ලේඛනයක් නැහැ. එහෙත් සිංගප්පූරුවේ ඒ අය ලියාපදිංචි කරනවා. එරට රෝගියාට බොහෝ සෙයින් මිත්‍රශීලිව සලකනවා. වඩාත් දියුණු මට්ටමේ සත්කාර තිබෙනවා.  මා දකින විදියට (KDU) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල වඩා දියුණුයි. කරාපිටිය රෝහලේ සහන සත්කාර මධ්‍යස්ථානය විශ්මිත තැනක්. කරාපිටියේ එම මධ්‍යස්ථානය නවීකරණය වූ පුංචි හෝටලයක් වාගේ. එහි කටයුතු මෙහෙයවමින් නායකත්වය දෙන්නේ පිළිකා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා. මම එහෙ ගිහින් දවස් පහක් හරිම සතුටින් හිටියා. දොස්තරවරුන් හෙද කාර්ය මණ්ඩලය උපස්ථාන  සේවකයින් පුදුමාකාර තරම් හොඳයි. මිනිස්සු දන්නේ නෑ මෙරට ඒ  වගේ තැනක් තියෙනවද කියලා. මම කේ.ඩී.යූ. හා කරාපිටිය අතර නිතර  මාරුවෙන්න හිතාගෙන ඉන්නේ.  රජය මීට වැඩි යමක් කළ යුතුයි.


සැමදේම මහරගම (පිළිකා රෝහල)  වෙතම යොමු කරන්න අවශ්‍ය නැහැ. මම එහෙ ගිය වෙලාවේ මට ෆොටෝ කොපියක් අරන් එන්න කිව්වා. ඒක ගන්න මට රෝහලෙන් පිටතට යන සිදුවුණා. ෆාමසියට ගිහින් බෙහෙත් තියෙනවද බලල එන්න කියලා පවා මහරගම දී මට කිව්වා. ඒ ඇට මිදුළු පරික්ෂාව  කළායින් පස්සේ. ලියාපදිංචි කිරිමේ පිළිවෙත මට දුලභ අත්දැකීමක් වුණා. මොකද එතැන බල්ලෝ පුසො පවා හිටියා. විෂබීජවලින් මාව බේරගෙන මාව ආවරණය කරගෙන යන්න මාගේ සහයකයන්ට සිදුවුණා. 


ප්‍රශ්නයඃ- සාර්ථකව මුහුණ දීම සඳහා ඔබට බුදුදහම උපකාර වුණේ කොහොමද? 


මම බෞද්ධ පිළිවෙත් අනුගමනය කළේ නෑ. එහෙත් අප තුළ බුදු දහම රැදී තිබුණා. අපි චාම් ජීවිත ගත කළේ අපි සරල ගතිපැවතුම් සහිත පසුබිමක වැඩුණු අය. පිළිකාව මට වැළඳුණු අවස්ථාවේ පටන් එම පසුබිම බොහෝ උපකාරි වුණා. කිහිප දෙනෙක් මට මගපෙන්වීම් කළා.  මුලින්ම මම බොහෝ පිරිත්, බණ ආදීයට සවන් දුන්නා. ඒක හරිම  අමුත්තක්. බුදු දහමෙ කියන්නෙ යථාර්ථයට මුහුණ දෙන හැටි. එහෙත් සමහර බෞද්ධයො පන්සල් යන්නේ වැඩි වැඩියෙන් දේවල් ඉල්ලගන්න. මම නිතර කියන දෙයක් තමා සැබෑ බෞද්ධයන් ඉන්නේ බටහිර රටවල කියන කාරණාව. මට ඕනා මිනිසුන්ට උදව් කරගෙන සාමාන්‍ය විදිහට ඉන්නයි. සාමාන්‍ය ජීවිතේට මුහුණ දෙන්න ඕනෑ. අපි මේ යථාර්ථය පිළිගන්න ඕනෑ.


ප්‍රශ්නයඃ- එක වෙලාවට ඔබ මොන වගේ වැඩවලද නිරත වෙන්නෙ? 

මම පොත්වල රූප පාට කරමින් කාලය ගෙවනවා. ඒ හැරුණු කොට මම දන්නේ නෑ මම මොනවා කර කර ඉන්නවද කියලා. මගේ තව යාළුවෙක් මට (Netflix) නෙට්ෆ්ලිකස් නිර්මාණ තෝරා දුන්නා. මම ඒවායෙත් නිරත වෙනවා. පාට කිරිම භාවනාවක් වාගේ. මට තේරෙන්නෙ නෑ මට මේවා එවූ වෛද්‍යවරයාට කොහොම ස්තූති කරන්නද කියලා. 


ප්‍රශ්නය- පැමිණි දේට මුහුණදීම ගැන ඔබ බොහෝ  කතා කළා.

 

එන දේට මුහුණ දෙන්න වැඩිපුරම මට කියා දුන්නේ පිළිකාවයි. ඒ හැරුණු කොට වෙනත් තෝරා ගැනීමක් මා ඉදිරියේ තිබේද? එහෙත් සිංගප්පූරුවට ගිය වෙලේ අපට පොඩි බලාපොරොත්තුවක් තිබුණා. අපි එහෙ මාස තුනක් ඉන්න සැලසුම් කරගත් නිසා සුවවී ආපසු පැමිණම  බලාපොරොත්තුවෙන්. ඒත් අපි හිටියෙ දවස් 20ක් විතරයි. මට ඕනෑ එදිනෙදා ජීවත් වෙන්නයි. මම මුදල් එකතුව කරනකොට බොහෝ දෙනෙක් මට උදව් කළා. ඒත් එයින් බොහෝ දෙනෙක් මට කලින් යන්නම ගියා.  



ප්‍රශ්නය- අරමුදල්  ගොඩනැගීම කෙතරම්  දුරට අභියෝගයක්  වුණාද? 


මගේ රූපවාහිනී වැඩසටහන් හා මාධ්‍ය සහයෝගීතාවට ස්තුතිවන්න වෙන්නට, මට බොහෝ උපකාර ලැබුණා. ඒත් මට උදව් කළ අය සහ දුප්පත් ජනයා ගැන මම සිතමින් ඉන්නෙ. මට රුපියල් මිලියන 15ක් මදිවුණා. ඒත් මගේ සහෝදරයා කිව්වා කොහොම හරි ඒක හොයාගනිමු කියලා. ඒක ලේසි නෑ. ඒත් එක අතකින් මම වාසනාවන්තයි.


ප්‍රශ්නය:- ඒත් හැම රෝගියකුටම මෙහෙම මුදල් එකතු කරගන්න අවස්ථාව පැදෙන්නේ නැ. පිළිකා රෝගීන් ගැන වඩාත් හොඳින් බලා ගන්නට එයට මැදිහත් වීය හැක්කේ කෙසේද? 


බෙහෙත් වර්ග අධික මිලයි. රජයට ඒ ගැන සහාය දිය හැකියි. මහරගම රෝහලේ බෙහෙත් නැහැ. ඒත් පිටත තිබෙනවා. එසේ විය යුතු නැහැ. රජය පූර්ණ ලෙස මැදිහත් වෙලා එය වෙනස් කළ යුතුයි. බොහෝ මිනිසුන් මිය යනවා.  තමන්ට පිළිකා තිබෙන බව  බොහෝ අය දන්නෙත් නැහැ. මට මුදල් ප්‍රදානය කළ අය නොසිටින්නට මට  සිංගප්පූරුවට යන්න  ලැබෙන්නෙ නෑ. පෞද්ගලික  රෝහල්වලත් මුදල් අය කිරිම් වැඩියි. ඒ සම්බන්ධයෙන් දැඩි  පාලනයක් හා මාර්ගෝපදේශ   තිබිය යුතුයි. මොවුන්ට මහරගම මුළුමනින්ම වෙනස් කොට අලුතෙන් පටන් ගන්නට පුළුවන්. මිනිසුන්ට අධ්‍යාපනයක් දිය යුතුයි. මම ඉන්නේ අසාමාන්‍ය රෝගී තත්ත්වයක වුණත් මාත් උදව් කරන්න තීරණය කළා. මිනිසුන් වඩා විවෘත විය යුතුයි. මෙය සාමාන්‍ය රෝගයක් බව වටහාගත යුතුයි. දැනුවත් භාවය වැඩි කිරිමෙන් දුප්පත් අයට දෙන සහයෝගය රජයට වඩාත් කළ හැකි බව මා සිතනවා.



ප්‍රශ්නය:- දලයි ලාමා වැනි විශේෂ පුද්ගලයන් ඔබ මුණගැසුණා. එම අත්දැකීම නැවත ඔබ සිහිපත් කරගන්න කැමතිද? 


තමන් නිර්වාණය ලැබූ කෙනෙක් නෙවෙයි සාමාන්‍ය පුද්ගලයෙක් බව ඔහු කීවා මට මතකයි. එයින් මා බොහෝ   දේ ඉගෙන ගත්තා. ඔහු මහත් සතුටක් හිතේ රඳවාගෙන ඉන්නේ. හාස්‍ය දනවන දේ ගැන හොඳ සංවේදී බවක් ඔහු තුළ තිබෙනවා. මට ඒක අමතක වෙන්නෙම නෑ. ටිබෙට් දේශයට ගොස් කාශ්මීරයේ දෙපසටම යන්න තරමට වාසනාවක් මට තිබුණා. මම බොහෝ දුර බැහැර ගමන් ගිහින් තිබෙනවා. ආපසු හැරි බැලූ විට මට මගේ ජීවිතය ගැන සතුටු වෙන්නට පුළුවන්. මට උදවු වූ අවස්ථා ගැන මම සතුටු වෙනවා. පසුතැවිලි වෙන්නට දෙයක් මට නෑ. සහන සත්කාර වෛද්‍යවරුන් මගෙන් විමසුවා මගේ ප්‍රමුඛතම ආසා ගැන. 


මම කිව්වා මට 60 වැනි උපන් දිනය දක්වා ඉන්න ආසයි. මගේ වැඩසටහන් ආයෙත් කරන්න ආසයි කියා. කරාපිටිය සහන සත්කාර මධ්‍යස්ථානයට යන්නත් කුරුණෑගල යන්නත් මාගේ ආසාවක් තිබෙනවා කියා මම කිව්වා. දවස් කිහිපයකට පස්සේ ඈ එම ප්‍රශ්න මගෙන් විමසන විට මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒ සියල්ල අල්ලා දමා මම සැහැල්ලුවෙන් හිත හදාගත්තා. වෛද්‍ය චිත්‍රා වීරක්කොඩි හොඳින් පුහුණු වූ  සහන සත්කාර සේවා වෛද්‍යවරියක්. ඈ වගේ අය මා වටා  සිටීම මා ලැබූ වාසනාවක්. 


ප්‍රශ්නය- තරුණයන්ටත් අනාගත පුරටත් ඔබ දෙන පණිවිඩය?


දිනපතා, එදිනෙදා ජීවිතය ගැන සිතා පූර්ණ  සන්තුෂ්ඨියෙන් ජීවිතය ගෙවන්න. තරගකාරි බවට හෝ සිත් රිදවා ගැනීම්වලට එළඹෙන්න එපා. එයින් සිදුවෙන්නේ ඔබේ ලේ උණුවීම පමණයි. සමාජ මාධ්‍යවලින් ඉවත්වී යථාර්ථයේ  ජීවත් වෙන්න. සැබෑවේ සිටියහොත් එය ඔබට උපකාර වේවි. අනෙක් මිනිසුන්ට නිහඩව උපකාර කරන ජනයා අගය කරන්න. ඒ සියල්ලටත් වඩා මිනිසත් බව නැවත මෙලොවට ගෙන එන්න.


තඹුත්තේගම ආර්ථිකයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා



තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන එළවළු, පලතුරු කිලෝ 6000-7000 අතර සංඛ්‍යාවක් දිනපතා ඉවත දැමීමට සිදුවන බව තඹුත්තේගම මහවැලි නේවාසික කළමනාකාර සුගත් වීරසිංහ මහතා පවසයි.  මහවැලි එච් කලාපයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඒ මහතාගේ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙසේ ඉවතලන කෘෂි නිෂ්පාදන  ඇත්තේ කෙසෙල් කැන් බවත් වන අලින්ට කෑම සදහා   ඉවතලන මෙම අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානයට  ගෙනඑන තොගවලින් 10%කට වඩා අධික බවද නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා සදහන් කළේය.   ගොවීන් ඉවක් බවක් නොමැතිව වෙළදුන්ට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා කරනු ලබන වගාවන්  හේතුවෙන් ඇතිවන අධික සැපයුම නිසා මිලට නොගැනීම නිසා මෙම ඉවතලවීම සිදුවන බවත්, මෙම තත්වයට විසදුම් ලෙස එළවළු සහ පලතුරු විජලනය කිරීම සහ ශීතාගාර තුළ ගබඩාකිරීම යන ක්‍රමවේද සකස්කිරීමට මහවැලි අධිකාරිය කටයුතු කරගෙන යන බවද ඒ මහතා පැවැසීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නේවාසික කළමනාකාරවරයා,


"පසු අස්වනු තාක්ෂණය ගැන අපගේ ගොවීන්ටත් ව්‍යාපාරිකයන්ටත් අවබෝධයක් නෑ. මේ තත්වය කොතරම් හානිදායකද කීවහොත් කෙසෙල් අස්වැන්ත ආර්ථික  මධ්‍යස්ථානයට භාර ගන්නත් බැරී තරම් මට්ටමක පවතින නිසා ඒවා ආපසු රැගෙන ගොස් අලින්ට කන්න දාන්න වෙනවා. ඒ කියන්නේ කැලේට විසි කරනවා.   මේ සදහා විසදුමක් ලෙස කුල් රූම් සහ විජලනය කිරිමේ ක්‍රම හඳුන්වා දෙනවා. ගොවීන්ගේ මෙම අත්ත විදේශ වෙළද පොළට අපනයනය කළ  හැකිවන ආකාරයට ලබන මාසයේ සිට විජලන කාර්ය සූදානම් කරනවා. කුල් රූම් ක්‍රමය සඳහා ගොවි සංවිධානවලට භාරදෙන්න අපි සූදානම්. ඒ සදහා අපේ සැලසුම සූර්ය බල විදුලිය ලබාදීම  එමෙන්ම වෙළද පොළට උසස් ප්‍රමිතියෙන්, අහක දැමීමෙන් තොරව වසරේ ඕනෑම කාලයක එළවළු සැපයිය හැකි ආකාරයට වගා කිරීම සඳහා අලුතින් පොලි ටනල් පාලිත ගෘහ වගා ක්‍රමය ගොවීන් දෙතුන්සීය දෙනෙකුට හඳුන්වා දෙනවා. ඒකට ස්මාර්ට් ඇග්‍රිකල්චර්  ෆාමීන් කියා කියනවා. මේ වගාවට කෘමීන් එන්නේ නෑ. රසායන ද්‍රව්‍ය යොදන්න අවශ්‍යත් නෑ. කාබනික පොහොර, දියර පොහොර ආදියයි යොදන්නේ. ඵලදාව වැඩියි. ඉහළ ඉල්ලුමක් හා වැඩි ලාභයක් ගොවීන්ට ලැබෙනවා.” යැයි පවසා සිටියේය.


-මනුල වික්‍රම-

එන්නතේ විශ්වාසවන්තභාවයක් ඇති කරන්න පුළුවන් - නමුත් දැන්මම මුව වැස්මවල් ඉවත් කරන්න බැහැ

 


කෝවිඩ් එන්නන ඊයේ (28දා)) අපේ රටට ගෙන්වනු ලැබිණ. ඒ අනුව  එන්නත්කරණ ක්‍රියාවලිය අද (29දා) සිට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. මේ ඒ පිළිබදව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් ඇසුරෙනි.    අපි රජයක් ලෙස ජනතාවට ආරක්ෂිත සාර්ථක එන්නතක් ලබාදෙන්න කටයුතු කර තිබෙනවා.


ප්‍රථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා  කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,


රටම බලාගන ඉන්න කෝවිඩ් මර්දනයේදී ඉතාම  වැදගත්, සාර්ථක,  ඉතාම ශක්තිමත් ක්‍රමවේදයක් වන එන්නත්කරණය ගැන සුබවාදී පණිවුඩයක් ලබාදිය හැකියි. අපි සොඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඉතාමත් සෑදී පහැදී සිටිනවා මෙම එන්නත්කරණය රට තුළ ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා එන්නත අපිට ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සෘජු මැදිහත්වීම යටතේ ඉන්දියාවෙන් අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබෙනවා. ඒවගේම එන්නත්කරණය ආරම්භ කරන්න සියලුම සැලසුම් සකස් කර තිබනවා. පසුගිය සති අන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්මාණය යටතේ පෙරහුරුවක් ස්ථාන තුනක පවත්වලා අපට තිබෙන ශක්තීන් හා එන්නත්කරණයේදී ඇතිවිය හැකි ගැටලු හඳුනාගැනීමක් සිදුකර තිබෙනවා.


ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා කියන එන්නත කොවිඩි මර්දනයට ඉතාම සාර්ථක එක්කක්. කෝව්ඩ් මර්දනය සඳහා සාර්ථක ක්‍රමවේදයක් ලෙසයි මේ එන්නත්කරණය හදුනාගෙන තිබෙන්නේ. මේ එන්නත හරහා සෞඛයට තිබෙන Health burden එක අඩුකරන්න පුළුවන්. මේ එන්නත හරහා කෝවිඩ් වෛරසයට විරුද්ධව අවශ්‍ය කරන ප්‍රතිදේහ ශරීරය තුළ නිෂ්පාදනය වෙලා ඒ තුළින් ඉතාමත්ම උග්‍ර තත්වයේ ආසාදනයවීම් අවම කරන්න කටයුතු කරනවා කියලා අද වෙද්දී විද්‍යාත්මකව තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා රටේ ජනතාවට මේ වැදගත් පණිවුඩය ලබාදෙන්නට. එන්නත්කරණය ආරම්භ කිරීම සදහා ප්‍රමුඛතා කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. මේ ප්‍රමුඛතාව අනුව පළමුවන වටයේ මාත්‍රා ලක්ෂ හයක් මේ වෙනකොට අපි හඳුනාගෙන තිබෙනවා. 


කෝවිඩි මර්දනයේ ඉදිරිපෙළෙ කටයුතු කරන සොඛ්‍ය ක්ෂේත්‍රයේ  සියලුම අයටත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය කියන කණ්ඩායම් එකතු කරගත්තම ලක්ෂ තුනක පමණ පිරිසක් ඉක්මවා.  ඒ අනුව පළමු මාත්‍රාව ලබාදීලා සති තුනකින් දෙවන මාත්‍රාව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ අතරතුර අපිට කෝවැක්ස් පහසුකම ලබෙනවා. ඒ අනුව ජනගහනයෙන් 20%කට ප්‍රමාණවත් එන්නත්  ලැබෙන්නට නියමිතයි. මීට අමතර අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ප්‍රමුඛතාගත කර තිබෙන ලැයිස්තුව අනුව එන්නත ලබාදීම සඳහා මේ වන විට රජය සෑදී පැහැදී සිටිනවා කියන පණිවුඩය අපි ලබාදෙනවා. අපි මෙය ඉතාමත් සුබවාදී අවස්ථාවක් ලෙස සලකනවා. 2021 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ කෝවිඩි මර්දනය කිරීමේදී මේ එන්නත්කරණය ඉතාමත්ම වැදගත් කාර්යය භාරයක් කරනවයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කෝවිඩ් මර්දනයේදී මාධ්‍ය ලබාදුන් සහයෝගය ඒ ආකාරයෙන්ම එන්නත්කරණය  පිළිබද ජනතාව දැනුවත් කරන්න, එන්නත ලබාදීමේ වැදගත්කම ගැන ජනතාවට නිවැරදි  පණිවුඩය ලබාදෙන්න අවශ්‍ය සහාය අපිට  ලබාදෙන්න කියලා. රජය විසින් ගෙන්වන මේ  එන්නත් ඉතාම සාර්ථක මෙන්ම ගුණාත්මක බවින්  ඉහළ ඒවා බවට සහතික කර තිබෙනවා. අපි දන්නවා අපේ රටට එන්නතක් හෝ ඖෂධයක් ගෙන්වනවා නම් ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන්නට අවශයයි. 


මේ වනවිට ලෝක සොඛ්‍ය සංවිධානය ෆයිසර් බයෝටෙක් කියන එන්නතට හදිසි අනුමැතිය යටතේ අනුමැතිය   ලබා දී තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා හා  මොඩර්නා කියන එත්තත ඔවුන්ගේ අවසර  ලබාදීමේ අදියර තුන සමත්වෙලා අවසර ලබාදීමේ අවස්ථාවක ඉන්නේ. ඉතින් අපි රජයක්  ලෙස ජනතාවට ආරක්ෂිත සාර්ථක එන්නතක්  ලබාදීමට කටයුතු කර තිඛෙනවා.ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතට හදිසි අනුමැතිය ලබා දී තිබෙනවා. මේ එන්නත අපිට අපේ ජනතාවට ලබාදෙන එක පහසුයි. මොකද ශීත දාමය රකින්න අවශ්‍ය පහසුකම් අපේ රටේ දැනටමත් තිබෙනවා.  අපේ රටේ දරුවන් එන්නත්කරණ වැඩසටහන අවුරුදු ගණනාවක් ඉතාමත් සාර්ථකව කරගෙන   යනවා. මම හිතන්නේ ලෝකය අපේ රටේ මේ සාර්ථකත්වය ගැන හුගක් කතා කරනවා. ඒ නිසා අපිට ශීත දාමය රකින්න පහසුකම් තිබෙනවා. අපිට ෆයිසර් එන්නත ලැබුණොත් එය ගබඩා කරන්න, ප්‍රවාහනය කරන්න, ශීතදාමය රකින්න අවශ්‍ය මූලික හසුකම් අපි සකස්කර තිබෙනවා. ඒවගේම අඩුපාඩුකම් සම්පූර්ණ කරන්නත් අපේ සූදානමක් තිබෙනවා. 


මේ පළමු එන්නත් තොගය මෙරටට ලැබුණු පසු යළි අපේ රටට එන්නත් ලැබෙන්නේ කවදාද කියලා ජනතාවට නැගෙන පැනයට අදහසක් ලබාදෙමින් දැනටත් රජයේ ඖෂධ නීතිගත සමාගමට එන්නත් ආනයනයට වගකීම පවරා තිබෙන බව කියන්න කැමතියි. ඒ අනුව අපි හැකි ඉක්මනින් මේ එන්නත ජනතාවට ලබාදෙන්න අවශ්‍ය කටයුතු සිදුකරලයි තිබෙන්නේ. ඒවගේම රෝහල්, සායන මධ්‍යස්ථාන හරහා වගේම අලුතින් සායන මධයස්ථාන පිහිටුවලා හැකි ඉක්මනින් ජනතාවට මේ එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා. මේ වෙදදී මුළු ලෝකයම මේ එන්නත් ලබාගන්න කටයුතු කරමින් සිටිනවා. ඒනිසා අපි මේ එන්නත් ඉක්මනින් ඇණවුම් කර ලබාගන්න අවශ්‍ය කටයුතු සිදුකරනවා.   මේ එන්නත අපි රජයෙන් ලබාදෙන නිසා නොමිලේ තමයි ලබාදෙන්නේ. මුලින්ම එන්නත ලබාදෙන්නේ මුල්  පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලටයි.


ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා,


 මෙය ශ්‍රී ලංකාවට බොහෝම සුබ අවස්ථාවක්. රට එක්සෙසත් වන අවස්ථාවක් කියලා මෙම අවස්ථාව හඳුන්වන්න පුළුවන්. මොකද අපි දන්නවා සියලුදෙනාම අවුරුද්දක් විතර කාලයක් මේ  වෛරසයට නිසි පිළිතුරක් ලැබේද කියලා ලොකු මානසික අසහනයක් සහිතවයි හිටියේ.  ඔක්ස්ෆර් ඇස්ට්‍රසෙනිකා කියන එන්නත ලෝකයේම මේ වෙද්දී කෝවිඩ් 19 සදහා හදුන්වා දී ඇති එන්නත්  ලැයිස්තුවේ  එත්තත් අතර ඉදිරියෙන් පවතින්නක්. ඒනිසා අපේ විශේෂඥ වෛදවරු මේ එන්නත් පිළිබද සිදුකරන ලද විශාල අධ්‍යයනයකින් පසුව  තමයි මේ එන්නතට අනුමැතිය ලබා දී තිබෙන්නේ, ඒ නිසා සුබවාදි දෙයක් ලෙස මෙය අපි දකිනවා. අපි දැක්කා අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය පසුගිය දවස්වල කෝවිඩ් රෝගීන්ට සත්කාර කරන්නට මහත්  පරිශ්‍රයක් දරනවා. ඒ අය ආරක්ෂා කරගන්න එක අපිට හරි වැදගත්. ඒ  නිසා අපි මුලින්ම එන්නත ලබාදෙන්න මුල් පෙළ සොඛ්‍ය කාර්යමණ්ඩලවලට. ඒ ඔවුන්ව ආරක්ෂා කරගන්නයි. ඒ වගේම අනෙකුත් ජනතාවට ක්‍රම ක්‍රමයෙන් මේ එන්නත් ලබාදන්න අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. එන්නත්කරය කියන්නේ අපිට අලුත් දෙයක් නෙමෙයි. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ කුඩා ළමුන්ගේ එතත්වලින් විවිධ රෝග සදහා 99%කට වැඩි ප්‍රතිශතයක් ආරක්ෂාව සපයා තිබෙන රටක්. අපේ රටේ රෝහල් 1060ක් තියෙනවා. පෞද්ගලික රෝහල් 200තිබෙනවා. 


අපි  රජරෝහල්වල කාර්යමණ්ඩලවලට තමයි , මේ එන්නත් ලබාදෙන්නේ. අපේ සොඛ්‍ය නිලධාරි කාර්යාල 360ක් වගේ තිබෙනවා. ඒ සියල්ලට මේ එන්නත ලබාදෙන්න හැකියාව අපිට තිඛෙනවා.  අපිට ලබාදීමේ ගැටලුවක් නැහැ. අපිට සියලු  පාර්ශ්වවල සහාය  තිබෙනවා. එහෙම බැලුවාම ජනතාව වෙත මේ එන්නත ලබාදෙන්න අපිට   අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඒවගේම කියන්න ඕන එන්නත්කරණය කියන්නේ  කෝවිඩ් වලින්  ආරක්ෂා වෙන්න අපිට තිබෙන එක් ආයුධයක් පමණයි. මුවවැස්ම, අත් සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම ආදී සියලුම දේ එක්ක ආවොත් තමයි අපිට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න හැකියාව ලැබෙන්නේ. සියලුම රටවැසියාට එන්නත ලබාදෙන්න පුළුවන් නම් අපිට රටක් විදිහට කියන්න පුළුවන් අපි සුරක්ෂිතයි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් විදේශිකයන්ට අපේ රටට එන්න කියලා වගේම අපිටත් විදේශගත වෙන්න පුළුවන්. ඒවගේම මේ එන්නත හරහා  යම් විශ්වාසවන්තභාවයක් අපිට ඇති කරන්න පුළුවන්. නමුත් අපිට දැන්මම අපේ මුව වැස්මවල් ඉවත් කරන්න ැකියාවක් නැහැ. මොකද අපිට  මේ තිබෙන සියලු ආරක්ෂිත උපක්‍රම එකට ගැනීම තුළින් තමයි කෝවිඩි වසංගතය ජයගන්නට හැකිවන්නේ.


• නදීශානී පතිරණ


Tuesday, January 26, 2021

වයස දහසයේ සිසුන් දෙදෙනකුට අරක්කු පොවා පදමට වෙරි වූ සිසුවාට අතවර කරලා



දහසය වන වියේ පසුවන පාසල් සිසුන් දෙදෙනකුට අරක්කු බීමට දී වෙරි මරගාතේ සිටි බව කියන එක් සිසුවකුට ලිංගික අතවර කළේ යැයි කියන සංගීත ගුරුවරයකු උහන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (24) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබිය.  ලිංගික අතවරයකට ලක්වූ බව කියන වෙරි මතින් සිටි පාසල් සිසුවා අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව උහන පොලිසියේ නිලධාරියෙක්  පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ උහන පොලිස් වසමේ පිහිටි රජයේ පාසලක සංගීත විෂයය උගන්වන 58 හැවිරිදි ගුරුවරයෙකි.  සැකකරු අම්පාර මධ්‍යම කදවුර පොලිස් වසමේ පදිංචි එක් දරු පියකු බව ද පොලිසිය කියයි.


සැකකාර පාසල් ගුරුවරයා ඔහු උගන්වන පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් දෙදෙනා මධ්‍යම කඳවුර පොලිස් වසමේ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත් පසුව අරක්කු බෝතල් දෙකක් බැදපු කුකුළු මස් හා බිත්තර ද රැගෙනවිත් සිසුන් දෙදෙනාට ද අරක්කු බිමට කතා කර තිබෙන බව කියති. තමන් කිසිදු දිනක අරක්කු බී නැති බව පවසා  සිසුන් දෙදෙනා ගුරුවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතත් පසුව ගුරුවරයාගේ බලවත් ඉල්ලීම මත ඔහු දුන් අරක්කු බි ඇති බව පොලිසිය කියයි. සැකකාර සංගීත ගුරුවරයා ද සිසුන් සමඟ එක්ව අරක්කු බී ඇති බවත් අරක්කු බොන අතරවාරයේ සිසුන් දෙදෙනාට නිරුවත් දර්ශන ඇතුළත් චිත්‍රපටයක් පෙන්වීමට සලස්වා ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.


පසුව තදින්ම වෙරි වී සිටි බව කියන සිසුවාට විවිධාකාර ලිංගික අතවර කර පසුව සිසුන් දෙදනාම යතුරුපැදියකින් නිවස අසලට ගෙනැවිත් දමා ගොස් ඇති බව පොලිසිය පවසයි.  ලිංගික අතවරයට ලක් වූ බව කියන සිසුවා  මේ බව පියාට පැවැසීමෙන් පසුව ඔහු උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාට සිද්ධිය පැමිණිලි කර තිබේ. 


 අත්අඩංගුවට ගත් සැකකාර සංගීත ගුරුවරයාගේ නිවසේ තිබී හිස් අරක්කු බෝතල් දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත.  ලිංගික අතවරයට පත්වූ බව කියන සිසුවා සමග සැකකරුගේ නිවසට ගොස් ඔහුගේ ඉල්ලීම මත අරක්කු පානය කළ අනෙක් සිසුවාගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබේ.  අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිය ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුගේ පුතා මෙම සිද්ධිය වූ දිනයේ නිවසේ නොසිටි බව ද පොලිසිය කියයි.  සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.


-ශ්‍රීනාත් ප්‍රසන්ත ජයසූරිය-


රිය අනතුරකින් තුවාලවී කැකිරාවෙන් -දඹුල්ලෙන් - කුරුණෑගලට එවා මියගිය කතට කොරෝනා





රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ඉකුත් සෙනසුරාදා (23) රාත්‍රියේ කැකිරාව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලටත්, එතැනින් කුරුණෑගල ශිෂ්ණ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මියගිය කාන්තාව කොරෝනා රෝගියකු බව තහවුරු වී තිබේ.  පෙරේදා (24) මෙම මරණය සිදුවී තිබිණි. කාගම - හිරිපිටියාගම මාර්ගයේ පහත වෙම්බුව  ප්‍රදේශයේදී මෝටර් රථයක හැපී සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය කාගම, යාය 5, නිවාස දහය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි මෙම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පෙර කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයෙන් ඇය කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇත.


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කැකිරාව මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ජයන්ත විමල් විජේසූරිය මහතා පැවැසුවේ, ඇය කොරෝනා රෝගියකු බව ඊයේ (25) පෙරවරුවේ දැනගත්  වහාම ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දෙදෙනා සහ හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනාත් සුළු  සේවකයන් හත්දෙනකුත් නිරෝධායනය කිරීමට කඩිනමින් පියවර ගත් බවයි. ඊට අමතරව ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ හදිසි ප්‍රතිකාර ඒකකය ද පැය කිහිපයක් වසා දමා ජීවානුහරණය කර නැවත විවෘත කිරීමට පියවර ගත් බව කී කැකිරාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා, දඹුල්ල මූලික රෝහලත්, කුරුණෑගල ශික්‍ෂණ රෝහලත් මේ ආකාරයටම කටයුතු කළ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බව ද කීය.


-අතුල බණ්ඩාර-



Monday, January 25, 2021

FCIDය නැමැති පොලිස් කොට්ඨාසයෙන් රාජ්‍ය සේවකයාට වැඩ කළ නොහැකි භීතිකාවක් නිර්මාණය කළා




'එෆ්සීඅයිඩී" නමැති නීති විරෝධී පොලිස් කොට්ඨාසය යොදා ගනිමින් තීන්දු ගෙන පසුගිය ආණ්ඩුව රාජ්‍ය සේවකයාට වැඩ කිරීමට නොහැකි භීතිකාවක් නිර්මාණය කළ බවත්, එය නවතා බියෙන් සැකයෙන් තොරව කාර්යක්ෂමව හා ඵලදායීව ජනතාවට සේවය කළ හැකි වාතාවරණයක් අද රාජ්‍ය සේවකයාට නිර්මාණය කරදීමට වත්මන් ආණ්ඩුවට හැකිව ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.  සෙත්සිරිපාය III අදියර, බහුමහල්  කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය  පරිශ්‍රයට මුල්ගල තැබීමේ උත්සවයේ  ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි  වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ   වීරවංශ මහතා, 


"මේ ඉදිවන්නේ ගොඩනැඟිල්ලක් පමණක් නොවෙයි. මෙය ඉදිවීමෙන් පසුව එහි සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයාගේ ආකල්ප වෙනස් වනවිට,  එමගින් මහජනයාට ලැබෙන සේවය කලින්ට වඩා කාර්යක්ෂම හා ඵලදායී වනවිට මේ සිදුවන්නේ මේ රටේ සමස්ත  ආර්ථිකය හා බැඳුණු කාරණාවක්. ඉතින්  මේ සමහරු කියන්නෙ 'මේ වසංගත කාලයේ අපි අතයි - පයයි හකුළාගෙන ඉන්න ඕනේ” කියලයි. හෙට දවසේ කියාවි 'මේ වසංගත අස්සේ කාර්යාල සංකීර්ණ හදන්න ඕනේද, ඒකද මේ මොහොතේ ප්‍රමුඛතාව " කියලා.  අද වෙනදා වගේ රාජ්‍ය සේවකයාට බය වෙන්න ඕනේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණා ඔබට මතක ඇති 'එෆ්සීඅයිඩී" නමැති නීතිවිරෝධී පොලිස් කොට්ඨාසයක්.  ඒකට නිතිපතා රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් ගෙන්වුවා. මට මතකයි, මම ඉංජිනේරු සංස්ථාව සමග උප  කොන්ත්‍රාත්තුවක් කළ ව්‍යාපාරිකයෙකු ලවා කොළඹ මහානාම විදුහලේ ඉදිරිපස පිවිසුම් මාර්ගය කාපට් කර දුන්නා. ඒකට ගිය පිරිවැය යෙදුවේ එම පෞද්ගලික ආයතනය මගිනුයි. පසුව ඒ විදුහලේ විදුහල්පතිතුමා මාරු කළා.


ඔහුව එෆ්අයිඩීයට කැඳවුවා. ඒ විතරක් නොවෙයි අර කාපට් කර දුන් ආයතනයේ සභාපතිත් එෆ්සීඅයිඩීයට කැඳවූවා. කැඳවලා ඔහුගෙන් අසා තිබුණා මම කීයක් දුන්නාද කියා. මම දුන්නු කීයක්වත් නැහැ. ඒ ආයතනය හරහා උදව්වක් ලෙස කරලා දුන්නා. එෆ්සීඅයිඩීය ඒ මට්ටමට වැටුණා. රාජ්‍ය සේවකයා භීතියට පත් කළා. රාජ්‍ය සේවකයා වැඩ කරන්නෙ නැති, තීරණ නොගන්නා තත්ත්වයට පත් කළා. අද අපේ ආණ්ඩුව ඒ 'කැත ආදර්ශය' අනුගමනය කරන්නේ නැහැ,  අද අපි රාජ්‍ය සේවකයාට අභිමානයෙන් යුතුව වැඩ කිරීමේ ඉඩ ප්‍රස්තාව හදලා දී ලා තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ වගකීම තමයි උපරීම කාර්යක්ෂමව තම සේවය ජනතාවට ලබාදෙන එක. අපේ ආණ්ඩුව රාජ්‍ය සේවකයාට වැඩ කරලා සතුටුවිය හැකි යුගයක් නිර්මාණය කර දී තිබෙනවා. ඒ යුගය ආලෝකවත් කිරීමට අපි කැපවෙමු " කියා ආරාධනය කරනවා" යැයිද සඳහන් කළේය. 



-නවෝද්‍යා පවනී-




Friday, January 22, 2021

බිරියගේ ගෙල කපලා : සැමියා වහලේ එල්ලිලා



ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකේවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඊයේ (21) පෙරවරුවේ නිවෙස තුළ මියගොස් සිටියදී සොයාගත් බව ගම්පහ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ සියඹලාපිටියගේ  දොන් ෂෙල්ටන් ඇලෙක්සැන්ඩා නමැති 60 හැවිරිදි සැමියා සහ පරගහගොඩ ලියනගේ තුෂාරි ප්‍රියංගිකා නමැති 50 හැවිරිදි බිරිය බව පොලිසිය පවසයි.   


නිවෙස තුළ බිරියගේ ගෙල කපා ඝාතනය කොට ඇති අතර සැමියා එම නිවසේ එල්ලෙමින් සිටියදී සොයාගෙන ඇති අතර දෙදෙනා අතර නිතර ආරවුල් පැවතීම මත බිරිය ඝාතනය කොට සැමියාද සියදිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැකකරයි. මෙම යුවළට වැඩිහිටි දියණියක සිටින අතර ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බැවින්  මෙදින නිවසේ සිට නොමැති බවද අනාවරණය වී යැයි පොලිසිය පවසයි.


- තිලකරත්න දිසානායක-

ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩිගේ දෙමහල් නිවස ජාතික පුස්තකාලයට තෑගි කරයි


ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මිය තමන්ට අයත් බණ්ඩාරගම, ගගබඩ පාරේ පිහිටි දෙමහල් නිවස ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්‍යාග කරඇත. එය ආදර්ශ පුස්තකාලයක් හා සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කර ‘රන්ගිර - සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය” නමින් විවෘත කිරීම විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇගේ ජන්ම දිනය යෙදුණු ඉකුත් 19 වැනිදා සිදුකෙරිණි.  සෝමා ජයකොඩි මහත්මිය විසින් රචිත කෘති 376ක්, ඒවායේ අත්පිටපත් මෙන්ම ඇය විසින් පරිත්‍යාග කරන ලද කෘති 3000 ක් පමණ සහ ඇයට හිමි වූ සම්මාන ආදී සියල්ල මෙහි තැන්පත් කර තිබේ. මෙම විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ සාහිත්‍යවේදියකුට ප්‍රධාන අරමුණු දෙකක්  ඇති බවත්, තම   මතවාදය ජනගත  කරමින් ජනතාව තුළ යහපත් සංකල්ප ඇති කිරීම  හා ලේඛක සාහිත්‍ය පරම්පරාව ඉදිරියට ගෙනයාම එම අරමුණු දෙක බවත්ය.

ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයකු ලකුණු 342ක් වාර්තා කළේ නම් එය බීබීසී ප්‍රවෘත්තිවලත් ප්‍රධාන ප්‍රවෘත්තියක් වන බව කී ඇමතිවරයා ග්‍රන්ථ 342ක් රචනා කළ ලේඛිකාවක පිළිබඳව සමාජ සංවාදය අඩුවීම කනගාටුවට කරුණක් බවත් සඳහන් කළේය.  පුස්තකාල විද්‍යාව හදාරන්නන්ට, අධ්‍යයන කටයුතුවල නිරත වන්නන්ට ආදී සෑම පාර්ශවයකටම මම පුස්තකාලයේ ප්‍රයෝජන ලැබිය හැකි බව ද ඇමැතිවරයා කීවේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ නූතන පරම්පරාවේ දරුවන් කියවීමෙන් ඈත් වී ඇතැයි සමාජය සිතුවත් කොරෝනා වසංගතය සමයේ පොත් 42,000ක් ලියා ගිනස් වාර්තාවක් පිහිටුවීමෙන් මෙරට දරු පරපුර එසේ වී නොමැති බව ඔප්පු කර ඇති බවයි. 


තමන් උසස් පෙළ ශිෂ්‍යයකු වී සිටි සමයේ යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියෙන් දැඩි ලෙස කම්පාවට පත්වූ බවත්, ඉන් වසර 100කට පසු මෙම පුස්තකාලය විවෘත කර උතුරා යන සතුටක් විඳි බවත් ඇමතිවරයා පැවසීය.  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එවා තිබු සුබ පැතුම් පණිවුඩය ද මෙහිදී අමාත්‍යවරයා ඉදිරිපත් කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ   මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ  මෙහිදී විශේෂ සාහිත්‍ය දෙසුමක් පැවැත් වූහ.  ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති  සොනාල ගුණවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.


-ඩයනා උදයංගනී-