Monday, May 31, 2021

තෑගි ලැබී ඇති බවට මුහුණුපොත හරහා පණිවිඩ යවා ලක්ෂ 5ක් වංචා කරලා

පුද්ගලයන්ට විවිධ තෑගි ලැබී ඇති බවට මුහුණුපොත හරහා පණිවිඩ යවන්නේ රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් වංචා කළ බව කියන මලාවි ජාතිකයෙක් අත්තිඩිය ප්‍රදේශයේදී පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු නවාතැන් ගෙන සිටි නිවසේ තිබී මෙරට බැංකුවලට අයත් ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ්, අයිස් මන්ද්‍රව්‍ය, හෙරොයින්, ලැප්ටොප් දෙකක් සහ ජංගම දුරකතන දෙකක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.මුහුණුපොත හරහා හඳුනාගත් පුද්ගලයන්ට යම් යම් තෑගි ලැබී ඇති බවට ව්‍යාජ කෙටි පණිවිඩ යවා ඇති බවත්, එම තෑගි ලබා ගැනීමට යම් මුදලක් ගෙවන ලෙසට පවසමින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවත් පොලීසිය කියයි.මලාවි ජාතිකයකු වන සැකකරු මීට මාස කිහිපයකට පමණ පෙර මෙරටට පැමිණි පුද්ගලයෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 (ඉන්දිකා රාමනායක)

පොලිසියේ අටක් කොරෝනාවට දිවිදෙති

කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පොලිස් නිලධාරින් 8 දෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මරණ අතුරෙන් හය දෙනකුම මරණයට පත්වී ඇත්තේ ඉකුත් මැයි මස 12 වැනිදායින් පසුව එනම්, කොරෝනා තුන්වැනි රැලෙන් බවද එම ආරංචි මාර්ග පවසයි.කොරෝනා පළමු සහ දෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරින් එක් අයකු බැගින් ද තෙවැනි රැල්ලෙන් පොලිස් නිලධාරින් හයදෙනකු ද වශයෙන් පොලිස් නිලධාරීන් 8 දෙනකු කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි එම ආරංචි සඳහන් කරයි.මියගිය පොලිස් නිලධාරීන් තිදෙනකු කුරුණෑගල කොට්ඨාසයේ සේවය කළ අය වන අතර මියගිය අනෙක් අය මොනරාගල, බණ්ඩාරවෙල, බදුල්ල, තෙල්දෙණිය සහ හලාවත යන කොට්ඨාසවල සේවය කළ අය බවද පැවසෙයි.මෙම මරණ අතර උප පොලිස් පරික්ෂකවරුන් සිවුදෙනකු පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද වන බව වාර්තවේ. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වූයේ මොනරාගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරික්ෂක පී.එන්. අන්දිරිස් අප්පු මහතා වන අතර ඔහු ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා මරණයට පත්විය.

 (නිමන්ති රණසිංහ) 

රෝමයේ වෙළඳ සලක් ඉදිරිපිටදී සැමියෙක් බිරියට පිහියෙන් ඇන මරලා

රෝමයේ සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටදී සිය ශ්‍රී ලාංකික බිරිඳට පිහියකින් ඇන ඝාතනය කළ බව කියන ඇයගේ ශ්‍රී ලාංකික සැමියා ඉතාලි පොලිසිය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇතැයි එරට ආරංචි මාර්ගයක් පැවසීය. මෙසේ ඝාතනය කර ඇත්තේ 40 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇයගේ සැමියා 49 හැවිරිදි අයෙකි. ඉතාලි මාධ්‍ය වාරිතාකර ඇති ආකාරයට සැකකාර සැමියා බිරිය සුපිරි වෙළඳසලට ගොස් එනතෙක් එය ඉදිරිපිට රැක සිට ඇත. සුපිරි වෙළඳසලෙන් බිරිය පිටතට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර බහින් බස්වීමක් ඇතිවී තිබෙන බවත් සැමියා සඟවාගෙන සිටි පිහියකින් බිරියට කීපවරක්ම ඇන ඇති බවත් ඉතාලි මාධ්‍ය වාර්තාකර තිබෙන බව කියති. තුවාල ලැබූ කාන්තාව රෝමයේ රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවට ඉතාලි මාධ්‍ය තව දුරටත් වාර්තාකර ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි.

 (තිළිණි ද සිල්වා)

රජ කාලේ සොහොන් බිමක් මාදුරුඔය කැළෑවකින් හමුවේ

පොළොන්නරුව මාදුරුඔය මහ වනයකින් මුක්කුරවාසීගේ යැයි සැලකිය හැකි සොහොන් දෙසියකින් යුත් ඉපැරණි කනත්තක් පළාතේ ගොවින් කිහිප දෙනකුට හමුවි තිස්වේ. නැගෙනහිර පළාත්තේ තොප්පිගල, මාදුරුඔය, වැලිකන්දට මායිම්ව ඇති මීරන්ඩුවැවට යාබදව හමුවී ඇති මෙම සොහොන් 200 නිරික්ෂණය කිරීම සඳහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගොවීන් සමග තරුණයෝ කිහිප දෙනෙක්ද ඊයේ (30) එහි ගියහ.



එම සොහොන් ආශ්‍රිතව තිබී ඉපැරණි චෛත්‍යයක කොටස්ද හමුවූ අතර එම චෛත්‍ය නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බවද කියයි. වළං කටු, මැටි මුට්ටි කොටස් රැසක්ද එහි ගිය පිරිසට හමුවී ඇත. සෑම සොහොනක් මැදම මැටි මුට්ටියක් වළලා තිබූ අතර මෙම සොහොන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බව දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවසූහ. අඩි දෙකක් පළල දෙක හමාරක් තුනක් දිග ගලින් නෙලන ලද ලෑලි වලින් වට කර ඇති මෙම සොහොන් පිළිබඳවත් පරික්ෂණයක් සිදුකර මතු පරපුරට දැක බලා ගැනීමට සංරක්ෂණය කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ අදාළ බළධාරින්ගෙන් ඉල්ලා සිටිති. අක්කර හතරක පමණ බිම් ප්‍රමාණයක පිහිටා ඇති මෙම සොහොන් 200 පොළොන්නරුව යුගයේ රජකළ විජය රජු විසින් ඉන්දියාවෙන් මෙරටට මැණික් ගැරිම හා වෙනත් සේවාවන් සඳහා කැඳවා ගෙන එනු ලැබූ මුක්කරු ජනතාවගේ සොහොන් බවට විශ්වාස කළ හැකි බවද දිඹුලාගල රාහුලාලංකාර නා හිමියෝ පැවසූහ.


 -නිමල් ජයරත්න-


භූමදානයට භාරදුන් සිරුර මල් ශාලාවක හිරවෙයි

කොරෝනා ආසාදිත නොවන බවට ලැබුණු වාර්තා දෙකක් මත කොළඹ ජාතික රෝහලේදී මරණ පරික්ෂණයක් ද පවත්වා භූමදානය සඳහා බාරදුන් දේහයක් නිට්ටඹුව ප්‍රදේශයේ මල්ශාලාවක සිට නිවෙසට ගෙන ඒමට සුදානම් වෙද්දී ආසාදිත බවට වාර්තතාවක් යළි ලබාදුන් සිද්ධියක් නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ අතර ඒ පිළිබඳව දැඩි සැකයක් පවතින බව එම පවුලේ සාමාජිකයෝ සඳහන් කරති.මෙසේ මියගොස් ඇත්තේ උදම්මිට වේයන්ගොඩ පදිංචිව සිටි අමරතුංගගේ ඉයන්තිමාලා විජේගුණවර්ධන (50) නම් මවකි.පසුගිය 17 වැනිදා රෝහල්ගත කෙරුණු මෙම කාන්තාව ශල්‍යකර්මයකින් පසුව දින කිහිපයකින් නිවෙසට එවූ බව ද යළි අසනීප වීම නිසා ඉකුත් 27 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කළ බව ද පවුලේ සාමාජිකයෝ සඳහන් කරති. එදිනම රාත්‍රියේ ඇය මරණයට පත්වී ඇති අතර29 වැනිදා කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂක කාර්යාලයේ පැවැති මරණ පරික්ෂණයකින් පසු දේහය අවසන් කටයුතු සඳහා බාර දී ඇත.ඒ අනුව, දේහය නිට්ටඹුවන් ප්‍රදේශයේ මල්ශාලාවකට ගෙනැවිත් එම්බාම් ආදිය ඇතුළු සියලු කටයුතු සූදානම් කර නිවෙසට ගෙන ඒමට නියමිතව තිබියදී පෙරේදා 29 වැනිදා සවස ඇය කොරෝනා ආසාදිතයකු බවට ජාතික රෝහලෙන් දන්වා ඇතැයි ද මේ නිසා මල්ශාලාවේ සේවක පිරිස් පවා දැඩි අවදානමකට පත්ව ඇතැයි ද පවුලේ පිරිස් සඳහන් කරති.රටේ දැඩි අවදානමක් තිබියදී කොරෝනා මරණයක් නම් මේ ආකාරයට බාර කළේ ඇයිදැයි ප්‍රශ්න කරන ඥාතීහු, ශල්‍යකර්මයේ දී සිදු වූ කිසියම් වරදක් වසා ගැනීමේ අරමුණකින් මේ ආකාරයට සිදු වූ බවට දැඩි සැකයක් පවතින බව ද සඳහන් කරති. මේ වනවිට දේහය අදාළ මල්ශාලවේ තබා ඇත. මේ සම්බන්ධයෙන් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හා මරණ පරික්ෂකවරිය වෙත දැනුම්දීමක් කර ඇතැයි ද ඒ අනුව ඊයේ 30 වැනිදා කිසියම් තීරණයක් ගැනීමට නියමිත බව ද පවුලේ සාමාජිකයන් කළ විමසීමකදී රෝහලේ වෛද්‍යවරයකු සඳහන් කර ඇතැයි කියයි.

 (මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලආරච්චි)

දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ සියයක් ලැබිලා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පෙරේදා (29) විවෘත කිරීමත් සමග ඊයේ (30) අලුයම වන විට එළවළු කිලෝ ලක්ෂ සියයක් පමණ ලැබී ඇතැයි ව්‍යාපාරිකයේ පවසති. ආර්ථික මධ්‍යස්ථානය දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව සිටි ගොවීන් එය විවෘත කිරිමත් සමඟ තම අස්වැන්න විශාල වශයෙන් එහි රැගෙන ආ නමුදු එළවළු මිල ඉතා අධික බව වෙළෙන්දොත් ගොවියොත් පවසති. එළවළු අලෙවි කිරීම සඳහා ආර්ථික මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ගොවීන් මෙන්ම දිවයින්නේ බොහෝ ප්‍රදේශවලින් වෙළෙන්දන් ද එදින පැමිණ සිටින අයුරු දැක ගැනීමට හැකිවිය. අලුයම පහට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ එළවළු ලොරි ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළත් කර ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.


මේ හේතුවෙන් මහනුවර යාපනය ඒ නවය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් ගණනාවක් යනතුරු දැඩි වාහන තදබදයක් ඇති වී තිබිණි. එළවළු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන්ගේ රථවාහන වලින් මෙන්ම එළවළු රැගෙන පැමිණි ගොවීන්ගේ රථ වාහන වලින්ද මෙසේ මාර්ගයේ දැඩි තදබදය දක්නට තිබිණ. මේ හේතුවෙන් ඇතැම් ස්ථානවල ගොවින් සහ ව්‍යාපාරිකයන් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීමට යන ආකාරය ද දැක ගත හැකි විය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ ඊයේ උදෑසන කැරට් බෝචි මාළු මිරිස් ආදී එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා පැවැති අතර පහතරට එළවළු වර්ග රැසක කිලෝවක මිල රුපියල් 100- 150 ඉක්මවා තිබිණ.


 මේ ආකාරයට ඉහළ මිල ගණන් වලට එළවළු මිල දී ගෙන තම ප්‍රදේශවලට ගොස් ජංගම රථ වලින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට නොහැකි බව පවසමින් බොහෝ ව්‍යාපාරිකයෝ එළවළු මිලදී නොගෙන එහි රැදී සිටියහ. සාධාරණ මිලක් ලැබෙන තුරු බලා සිටින බවත් ඔවුහු අප සමග පැවසූහ. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ නියෝජිතයන් කියා සිටියේ පෙරවරුවේ එළවළු මිල ඉහළ ගිය ද දහවල් වන විට මිලෙහි විශාල පහත වැටීමක් සිදු විය හැකි බවය.


 -කාංචන කුමාර ආරියදාස-


තුන්වැනි පෙළේ කණ්ඩායමකටත් ශ්‍රී ලංකාව පරද්දන්න පුළුවන්

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් හොඳින් දියුණුවට පත්වී තිබේදයත්, ඔවුන්ට ඒක ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් ඉදිරිපත් කළ හැකි අතර සෑම කණ්ඩායමක්ම පරාජය කිරීම් පුතිවාදීන්ට අසීරු වනු ඇති බව පාකිස්තානයේ හිටකඩුලු රකින්නා වන කම්රන් අක්මාල් පවසයි. එම කණ්ඩායම් වලට නායකත්වය දීමට සිටින ක්‍රීඩකයන් ගැන අක්මාල් පුදුම නොවන අතර එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාවෙන් තුන්වැනි පෙළේ 'සී කණ්ඩායමක්' යවූවද ශ්‍රී ලංකාවට ජයගත නොහැකි බව අක්මාල්ගේ අදහසයි. ඩකා නුවරදී බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 1-2 කින් පරාජයට පත් වූ ලාංකිකයින්ගේ තත්වය පිළිබඳව අක්මාල් විසින් ඉස්මතුකර දක්වයි.ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ජුනි සිට අගෝස්තු දක්වා එංගලන්තයේදී ටෙස්ට් තරග 6 කට ක්‍රීඩා කරන අතර තවත් කණ්ඩායමක් ජුලි මාසයේදී එක්දින තරග 3 ක් සහ විස්සයි 20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකාවට යාමට නියමිතව ඇත. මෙම තත්වය ඉන්දීය ක්‍රීඩකයන්ගේ ගුණාත්මකභාවය මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුර පිළිබිඹු කරන්නකි.


රට නැවකට ලබාදීමට ගිය ගිනි අවි තොගයක් මහ මුහුදේ වැටී අතුරුදන්


නෞකාවලට සේවා සපයන පෞද්ගලික නාවික නියෝජිත ආයතනයක් නෞකාවකට ලබාදීම සඳහා රැගෙන ගිය ගිනි අවි 14ක්, උණ්ඩ 2400ක්, ආරක්ෂිත ඇදුම් කට්ටල, පතොරම් ඇතුළු උපකරණ මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. මෙම ගිනි අවි ඇතුළු උපකරණ නාවික නියෝජිත ආයතනයේ සේවකයන් විසින් ගාල්ල වරායේ සිට බෝට්ටුවකින් නෞකාවට ලබාදීමට යාමේ දී ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 06ක් පමණ දුරදී මුහුදට වැටි ඇතැයි පොලිසිය පවසයි. බෝට්ටුවේ මුහුදු ආරක්ෂකයන් තිදෙනකු, නාවික භටයකු හා නැව් නියෝජිත ආයතනයේ සේවකයන් 04 දෙනකු ගමන් කර ඇතැයි ද වරාය පොලිසිය සඳහන් කරයි.



නෞකාව ඉන්දුනිසියාවේ සිට ස්පාඤ්ඤය දක්වා යාත්‍රා කරමින් තිබිය දී නෞකාවට ආරක්ෂාව සැපයීම සඳහා මුහුදු ආරක්ෂකයන් තිදෙනකු ඇතළු ආයුධ නෞකාව වෙත බෝට්ටුවකින් රැගෙන ගොස් ඇත. මුහුදු ආරක්ෂකයන් තිදෙනා නෞකාවට ගොඩවී ඇති අතර පෙට්ටිවල ගිනි අවි ඇතුළු උපකරණ බහා තිබි ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. දැලක් වැනි උපකරණයකින් ගිනි අවි ඇතුළු උපකරණ නෞකාවට ලබා දීමට යාමේ දී ඉන් කොටසක් මුහුදට වැටි අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. ගිනි අවි 40ක් රැගෙන ගොස් ඇති අතර ඉන් ගිනි අවි 14ක් මුහුදට වැටී ඇත. පෞද්ගලික නාවික නියෝජිත ආයතනයේ සේවකයකු මේ පිළිබඳ ගාල්ල වරාය පොලිසියට පැමිණිලිකර ඇති අතර ගාල්ල වරාය පොලිසිය මගින් මේ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමට නියමිතව තිබිණි.


 -ජේ.කේ.එල්.චාමින්ද-


හිමිනමගෙ දේහය ආවාස ගෙ ඇතුලේ


පුත්තලම , කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමිනම හදිසියේ ආචාස ගෙය තුළ අපවත්ව සිටියදී ඉකුත් 29 වැනිදා හමුවී ඇතැයි පුත්තලම පොලිසිය කියයි. මෙසේ අපවත් වී ඇත්තේ කැකුණදුර ධම්මරන්න නැමති වයස අවුරුදු 63ක හිමිනමක බව කියයි. මෙම භික්ෂුව වසර දෙකකට ආසන්න කාලයක් විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ඇති බවත් දායකයෝ පවසති. ඉකුත් 29 වැනිදා උදේ හා දහවල් දානය රැගෙන ගිය දායකයන් විහාරස්ථානයේ මුළුතැන්ගෙය ආසන්නයේ තබා ගොස් ඇති බවත් විහාරවාසි හිමියන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදුකර නැති බවත් කියයි.

එහෙත් ඉකුත් 29 වැනිදා සවස ගිලන් පස රැගෙන ආ පිරිසක් හිමියන් පිළිබඳව විපරම් කර බලද්දී ආවාස ගෙය තුළ ඇද වැටි සිටිනු දැක ගම්වාසීන්ට දන්වා ඇත. පසුව පුත්තලම පොලිසිය පැමිණ මරණය සම්බන්ධ පරික්ෂණ ආරම්භ කර තිබිණි. ඒ සමගම පොලිස් අපරාධ ස්ථානීය නිලධාරිහු ද පැමිණ පරික්ෂණ ඇරඹූහ. ආවාස ගෙය තුළ මරණයට පත්ව සිටි හිමියන්ගේ මරණ පරික්ෂණය පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවීර මහතා විසින් පවත්වනු ලැබූ අතර දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරිමටත් එහි ජෛව පටල පරික්ෂණයක් ද පැවැත්වීමට කටයුතු කිරිමට පොලිසියට උපදෙස් ලබා දී තිබිණි. මෙම හිමිනම අධික සෙම් රෝග හා හෘද රෝග සඳහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට පොලිස් පරික්ෂණවලදී සනාථ වී තිබේ.


 -හිරාන් ප්‍රියකර ජයසිංහ -

මන්ත්‍රී කපිලට කොරෝනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ මහතා කොවිඩ් ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී. ඔහු කොවිඩ් රෝගයට ගොදුරු වූ මෙරට දහතුන් වැනි මන්ත්‍රීවරයාය.මේ සම්බන්ධයෙන් අතුකෝරළ මන්ත්‍රීවරයාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ සැක සහිත රෝග ලක්ෂණ කිහිපයක් මතු වීම නිසා පී.සී.ආර්. පරික්ෂණයකට යොමු වූ අවස්ථාවේ දී තමාට රෝගය වැළඳී ඇති බව තහවුරු වූ බවයි.මාදිවෙල පිහිටි තමාගේ මන්ත්‍රී නිල නිවෙසට පැමිණි කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ රියැදුරා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව තමාට එම සැක කටයුතු රෝග ලක්ෂණ මතු වූ බවද මන්ත්‍රීවරයා පැවසුවේය.කපිල අතුකෝරළ මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ පසු ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ආරක්ෂකයන් හා සමීපතමයන් කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කැඳවා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බව එම කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

 (සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රාජකාරි හැඳුනුම්පතින් යන්න අවසර



සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේදී සෞඛ්‍ය සේවයට අයත් රේඛීය අමාත්‍යාංශයේ සහ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවල සියලුම කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ට රාජකාරි හැඳුනුම්පත පමණක් භාවිත කර ගමන් කිරීමට අවසර ලබාදිය යුතු බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සියලුම උසස් පොලිස් නිලධාරින් දැනුවත් කර ඇත.


සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවලට ආයතනය මගින් ලිපි නිකුත් කිරීමට වර්තමාන තත්වය මත ගැටලු පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයා වෙත කළ දැනුම්දීමක් මත මෙම පියවර ගෙන ඇත. සියලුම අත්‍යවශ්‍ය සේවාවල නිරතවන පුද්ගලයන් හැඳුනුම්පතට අමතරව සේවා අවශ්‍යතාව සඳහන් කර ආයතන ප්‍රධානියකු නිකුත් කළ ලිපියක් ලබාගත යුතු යැයි මීට පෙර පොලිසිය නිවේදනය කර තිබුණි.


 -යොහාන් භාසුර-

පුතාත්, ලේලිත් දරු දෙදෙනාටත් කොරෝනා



ව්‍යාපරික පියාගේ අවසන් කටයුතු සිදුකර පැය කිහිපයකින් එම පවුලේ පුතා, ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිවු දෙනාම කොරෝනා ආසදිතයන් බව අනාවරණය වීම නිසා අවමගුල පැවැති මල් ශාලාවේ හය දෙනකු එම මල්ශාලා පරිශ්‍රයේම නිරෝධායනයට ලක් කිරීමට මිරිගම සෞඛ්‍ය බලධාරීහු පසුගිය සිකුරාදා(28) පියවර ගත්හ. මීරිගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලුයම මරණයට පත්වී ඇති අතර පසුව ග්‍රාම නිලධාරී නිර්දේශය ඇතිව දේහය මශාලාවකට ගෙනැවිත් එහි මූලික කටයුතු සිදුකර අවසන් ගෞරව දැක්වීම සඳහාද එම මල් ශාලාවේම තැබීමට පසුව පියවර ගෙන ඇත.


පවුලේ පිරිස මෙන්ම ප්‍රදේශයේ ඥාති හිතවතුන්ද විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරික පිරිස්ද මේ අවස්ථාවට සහභාගි වී ඇති අතර එදිනම පස්වරුවේ දේහය ආදාහනය කිරිමට කටයුතු කර තිබේ. ඉන් අනතුරුව පස්වරුවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මියගිය අයගේ පුතා, ලේලිය හා දරු දෙදෙනා කොරෝනා ආසාදිතයන් බව හෙළිවීම නිසා ඔවුනුත් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනාත් මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.


ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව දේහය සම්බන්ධයෙන් කටයුතු සිදු කළ බවත් දැන ගන්නට ලැබුණු කාරණා මත මේ තත්ත්වය උද්ගත වූ බවත් තමාටද එම පවුලේ පිරිස හා සමීපව දවස ගත කරන්නට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය. මෙම අවමඟුලට සහභාගී වූ පිරිස් හඳුනා ගැනීමටත් අවශ්‍ය පරිදි ඔවුන් සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමටත් නියමිත බව සෞඛ්‍ය බලධාරිහු සඳහන් කරති.


  -පුෂ්පකුමාර මල්ලවආරච්චි-

Friday, May 28, 2021

මිල්කා යොහානිට ඔලිම්පික් වරම්

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා මිල්කා යොහානි සුදුසුකම් ලබා සිටින බව ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පැවසීය. පරිසාධ මට්ටමට නොපැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනය (වයිල් කාඩ්) යටත් ඇය ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබේ. ක්‍රීඩා ඉසව් සඳහා අනුමත සුදුසුකම් සපුරාලීමට ආපොහොසත් චන රටවලට හඳුන්වාදුන් ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ඒ ආසන්නයටම පැමිණ සිටියාය. මේ වනවිට ඇගේ අවසර පතට ටෝකියෝ ඔලිම්පික් තරග කමිටුව අනුමැතිය ලබාදී තිබෙන බවද මැක්ස්වල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය. මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් උළෙලක් සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් අනුමැති ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට ඇය පත්වීමයි. මිල්කා 2019 ජපානයේ දී පැවැති ලෝක ජිම්නාස්ටික් ශූරතාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවකි. ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඉසව් හතදීම දක්ෂතා දක්වනියකි.

(නාමල්පතිරගේ)

උතුරේ සංචරණ නීති කඩන්නන් අල්ලන්න කාන්තා යතරුපැදි බලඇණියක්


උතුරේ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් පිළිබඳව සහ සෞඛ්‍ය නීති කඩකරන්නන් සොයාබැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරුපැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සෙනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාන්තා යතුරුපැදි බලඇණිය ස්ථාපිත කර ඇත. උතුරේ ජනතාව සමඟ සහ සම්බන්ධතාවෙන් කටයුතු කිරීම සඳහා සෙබළියන් සිය දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙම යතුරුපැදි කණ්ඩායමට බඳවාගෙන ඇති බවත් ද්‍රවිඩ භාෂාව හැසිරවීම සම්බන්ධයෙන් ඔවුන්ට මනා පුහුණුවක් ද ලබා දී ඇති බව ද හමුදාව පවසයි.


ඔවුන් යාපනය නගරය ඇතුළු ප්‍රදේශවලට යතුරුපැදිවලින් දිනපතාම ගොස් ජනතාව සෞඛ්‍ය නීති රිතීවලට අනුගතව කටයුතු කරන්නේද යන්න (විශේෂයෙන් කාන්තාවන්) නිරික්ෂණය කරන බවත්, නීති උල්ලංඝනය කරන්නන් සොයා උපදෙස් දී ඔවුන් දැනුවත් කරන බවත් හමුදාව සඳහන් කරයි. සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් පොලිසියට භාර දීම ද මෙම යතුරුපැදි කණ්ඩායම හරහා සිදුවන බව ද හමුදාව සදහන් කරයි.


 -ඉන්දිකා රාමනායක -

විස්සයි-20 ලෝක කුසලාන තීන්දුව 1 වැනිදා

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ මස 29 වැනිදාය මහසභා රැස්වීමක් කැඳවා ඇත. ඉන්දියාවේ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන එළඹෙන ක්‍රිකට් සමය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙන බව රැස්වීම සඳහා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේයි ෂා විසින් යවන ලද නිවේදනයේ සඳහන් වේ. අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ජූනි මස 1 වැනිදා ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එම රැස්වීමට පෙර ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කරන ආකරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම විශේෂ මහ සභා රැස්වම කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ඔලිම්පික් පිලට කොවිඩ් එන්නත අනිවාර්යයි

දින 14ක ආරක්ෂිත බුබුලක රැකවරණ ලබාදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි කිරීමට ජාතික ඔලිම්පික් කමිට්ටුව තීරණය කර තිබේ. ටෝකියෝ ඔලිම්පික් උළලට සහල්භාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පුහුණුකරුට හා නිලධාරින්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ද ගැනීම ද අනිවාර්ය කර තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැන්ඩෙල් ද සිල්වා මහතා පැවසුවේ කොවිඩ් තෙවැනි රැල්ලක සිසු පැතිරීමක් පෙන්වන ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියාවේ සියලු රටවලට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ දී අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු මාර්ගෝපදේශ සත්කාරක ජපානය විසින් හඳුන්වා දී තිබෙන බවයි. ඒ අනුව ජපානයේ ටෝකියෝ නුවරට ළගා වන සියලුම ක්‍රීඩා කණ්ඩායහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් පූර්ණ කොවිඩ් මාර්ගෝපදේශයට අනුගතව කටයුතු කළ යුතුය.මෙම කටයුතු විධිමත් කර ගැනීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් බලලත් නිලධාරියා ලෙස වෛද්‍ය හේමාන් ද සිල්වා මහතා පත්කර තිබේ. ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය අනු කමිටුවේ ද කටයුතු කරන්නෙකි. ජපානයේ ටෝකියෝ නුවර දී ලබන ජුලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්විමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හා සත්කාරක ජපානය මේ වනවිට අවසන් එකඟතාවකට පැමිණි තිබේ. ඔලිම්පික් සංවිධායකයන් ඉතාමත්ම මෑතකදී ගෙන තිබෙන තීරණයක් වන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සූදානම් කර තිබූ 1,80,000ක් වන අවසර පත් 80,000කට පමණක් සීමා කිරිමය. ක්‍රීඩාංතරග නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ද මුළුමනින්ම අත්හිටුවා තිබෙන අතර ඒ සඳහා නරඹන්නන් සීමිත පිරිසකට අවස්ථාව ලබා දෙන්නේ දන් නැතහොත් මුළුමනින්ම නරඹන්නන්ගෙන් තොරව ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කරන්න ද යන්න පිළිබඳව එහි සංවිධායකයන් ලබන ජුනි මාසයේ දී රැස්වී තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් නියමිත සුදුසුකම් අනුව ඔලිම්පික් වරම් ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙන්ම ස්වීඩනයේද ද්විත්ව පුරවැසිනියක් වන මැටිල්ඩා කාසන් පමණි. ඇය තුරග පැනීම ඉසව්වෙන් තරග වදී. සුදුසුකම් නොලත් නාම ලේඛනය (වයිල් කාඩ්)යටතේ දැනටමත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් තිදෙනකු ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ වී තිබේ. කණ්ඩායම් ප්‍රධානියා ලෙස ගාමිණී ජයසිංහ මහතා සංචාරයට නම් කළ බව ජාතික ඔලිම්පික් කමිටුව නොබෝදා ප්‍රකාශ කළේය.

 (නාමල් පතිරගේ)

හෝමාගම රෝහලන් දෙවරක් පැනගිය කොවිඩ් රෝගීයා ලෙඩ ඇඳදී මරුට



හෝමාගම මූලික රෝහලන් ඉකුත්දා අවස්ථා දෙකකදී පලාගිය කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මුලික රෝහල් පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රාගම, ඉහළගම, නො. 1090 හි පදිංචි එම්.ඩබ්ලිව්. ඉන්ද්‍රසිරි නමැති 65 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි. මෙම පුද්ගලයා රාගම නගරයේ තැඹිලි වෙළඳාමේ නිරතව සිටියදී ඇති වූ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ෙදාම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඉකුත් 5 වැනිදා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබූ බව පැවැසේ.


පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටී රෝගියා ඉකුත් 14 වැනිදා උදැසන 6ට පමණ රෝහලෙන් පලාගොස් යාබද නිවෙසක් අසල සැඟව සිටියදී අල්ලාගෙන රෝහල් වාට්ටුවකට ඇතුළත් කර සිටියදී එදිනම සවස තුනට පමණ දෙවන වරටත් පලාගොස් තිබූ බව පොලීසිය කියයි. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය යුහුසුලුව ක්‍රියාත්මක වී රෝහල අවට පරීක්ෂා කිරීමේදී රෝහලේ සිට මීටර් පන්සියයක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානය අසල නිවසක් පිටුපස සැඟව සිටියදී සොයාගත් බව පොලීසිය කියයි. ඒ අනුව රෝගියා අල්ලාගෙන රෝහලට රැගෙනවිත් වාට්ටුවක් තුළ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබු බව පොලීසිය පවසයි. ඒ අනුව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියේදී නිරෝධායන උපදෙස්වලට අනුව ආදාහනය කළ බව පොලීසිය පවසයි.


ඉන්දියාවෙන් හඳුනාගත් බී.1.617 ප්‍රභේදය රටවල් 53 කට පැතිරිලා

ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගන්නා කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේඳය මේ වනවිට රටවල් 53කින් නිල වශයෙන් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. නිල නොවන වාර්තාවලට අනුව බී.1.617 යනුවෙන් හඳුන්වන නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය පිළිබඳව තවත් රටවල් හතකින් වාර්තා වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපති වසංගත වාර්තාවක් ඉදිරිපත් කරන අතර එහි මෙම කරුණු සඳහන් වේ. ඒ අනුව ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය මේ වනවිට රටවල් 60කට ව්‍යාප්ත වී ගොස් ඇත. ඉකුත් සතියක කාලයේදී ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන ද වැඩි වී ඇත. ඒ අනුව පසුගිය සතියක කාලයේ දී ගෝලීය වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 4.1කි. වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 84,000කි. කෙසේ නමුත් මෙම ගණනෙ ඊට පෙර සතිය හා සැසදීමේදී සියයට 14.2 ක අඩුවකි.

 පිනීවාහිදීය (රොයිටර්)

කොරෝනා හැදුනු ප්‍රා.සභාපතිගේ දාහදාහේ සහන බඩු මල්ලෙන් තුන්දාහක බඩු උස්සලා

නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000/= සහන මල්ලෙන් රුපියල් 3000ක පමණ වියළි ආහාර කොටසක් ඉවත් කර ඉතුරු ඒවා බෙදු බව කියන මහියංගණයේ ග්‍රාම නිලධාරිවරයකු රාජකාරී කටයුතුවලින් ඉවත්කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මහියංගණ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පවයි. කිරි පිටි කිලෝ 01ක පැකට්ටුව, සැමන් ටින්, සබන් හා අනෙකුත් ආහාර ද්‍රව්‍යයන් කිලෝ කිහිපය එම මල්ලෙන් අස්ථානගත වී ඇති බවට මහියංගන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට කළ පැමිණිල්ලක සඳහන් වේ. මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොවිඩ් 19 රෝගය වැළදී ප්‍රතිකාර ලබන හා නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් බෙදාදෙනු ලබන එම සහන මල්ලේ භාණ්ඩ ඉවත් කරගෙන ඇති බවට ලැබුණු එම පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මහියංගණ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා අදාල නිලධාරියා වසම් රාජකාරියෙන් ඉවත් කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර සහන මලේ ඉවත් කරගන්නා ලද ද්‍රව්‍යයයන් නැවත අදාළ පුද්ගලයන් හට ලබා දීමට ද පියවර ගෙන ඇත.මෙම සිදුවීම ඉකුත් 22 වැනිදා සිදුව ඇති අතර අදාළ ග්‍රාම නිලධාරිවරයා විශ්‍රාම යෑමට ද ආසන්න කෙනකු බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තොරුතුරු සඳහන් කරයි. මේ වන විට මහියංගණ නගරය වසමේ රාජකාරි සිදු කිරිම සඳහා වෙනත් ග්‍රාම නිලධාරිවරයෙක් ද අනුයුක්ත කරනු ලැබ සිටී.පසුගියදා මහියංගණ ප්‍රාදේශීය සභා සභාපති කරුණාරත්න මහතා ද කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී අතර සභාපතිවරයාගේ නිවෙසට අදාල සහන මල්ල ලැබුණ පසු එහි ඇතුළත් ද්‍රව්‍යයන් පිළිබඳ ගැටලුකාරී තත්වයක් තිබීම සම්බන්ධයෙන් මහියංගණ ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කිරිමෙන් පසු අදාල ද්‍රව්‍යයන් ලයිස්තුව හා සැසදීමේ දී රුපියල් 6100, පමණ වටිනාකමක් ඇති ද්‍රව්‍ය පමණක් ලැබී ඇති අතර ඉතිරි රු3900.00ක පමණ ද්‍රව්‍යන් ඉවත් කරගෙන ඇති බවට තහවුරුවී භාණ්ඩ නිකුත් කිරීමේ දී බඩුමල්ලේ කට මසා ලබාදෙන මුත් අදාල ග්‍රාම නිලධාරි බෙදු බඩු මල්ල ලණුවකින් ගැට ගසා ලබාදීම ද හේතුවෙන් සැක මතුව ඇත.එසේම සභාපතිවරයාගේ බිරිඳගේ නම නිරෝධායන ලයිස්තුවට ඇතුළත් කර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිර්දේශ කිරීම තුළ, එම සහන මල්ල සභාපතිවරයාගේ නිවෙසට අදාළ සහන මල්ල ලෙස ග්‍රාම නිලධාරීවරයාට වටහා ගත නොහැකි වීම නිසා, බඩු ඉවත් කර ගත් සහන මල්ලක්ම සභාපතිවරයාගේ නිවෙසට ද නිකුත් කර ඇති අතර සභාපතිවරයාගේ නමට සහන මල්ල නිකුත් වූවා නම් මෙම ජාවාරම හසු නොවනු ඇතැයි ප්‍රා. ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. පසුව ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා මහියංගණ ප්‍රාදේශීය ලේම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අදාල වරද නිවැරදි කිරිම සඳහා හිග ද්‍රව්‍යයයන් නැවත එම නිවාසවලට ලබා දීමට කටයුතු කර ඇති අතර, වංචාව සිදුකළ ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට කාර්යාලයට අනුයුක්ත කර වසම් රාජකාරියෙන් ඉවත් කර ඇත.

 (මහියංගන - රංජිත් කරුණාවීර)

කොරෝනා රෝගීන් සුවපත් කරන ඖෂධ දෙකක් ඉන්දියානුවන්ට


ඇමරිකත් ඖෂධ නිෂ්පාදන සමාගමක් නිපදවා ඇති, කොරෝනා රෝගීන් සුවපත් කරන, ඖෂධ දෙකක මිශ්‍රණය, මේ වනවිට ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට ද ලබා දීම ආරම්භ කර තිබේ. මෙම ඖෂධ මිශ්‍රණයි මොනොක්ලෝනල් ප්‍රතිදේහ කොක්ටෙල්" ක්‍රමය යන නමින් ද හැඳින්වෙන අතර ඇමෙරිකාවේත් බටහිර රටවලත් කොරෝනාට මෙය ලබා දීම සිදුවෙයි. ‘මොනොක්ලෝනල් ප්‍රතිදේහ කොක්ටෙල්" ක්‍රමයේ දී සිදුවන්නේ, රිජෙනෙරන්ස් නමැති ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගම, කොරෝනා වයිරසයට අඩපණ කිරීමට නිපදවා ඇති 'කැසිරිවිමඩ්" සහිඉදෙවිමාඩ්" යන ඖෂධ දෙක මිශ්‍රණයක් ලෙස ආසාදිත රෝගීන්ට එන්නත් කිරීමය. මෙම ඖෂධ වර්ග දෙක රිජෙනෙරන්ස් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇත්තේ 'රිජෙන් කොව්” යන වෙළෙඳ නාමය යටතේය.



මෙහිදී සිදුවන්නේ, සිරුරේ සුදු රුධිරාණු ප්‍රමාණය ක්ලෝනකරණයට ලක් කරමින් එය වැඩි කිරීමය. ඒ අනුව, කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙයි. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ දෙකක් ලෙසිකැසිරිවිමඩ්' සහිදවිමාඩ්" සැලකුවත්, එය ප්‍රතිකාර සඳහා සුදුසු යැයි ඇමේරීකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අනුමත කර ඇත. ඉන්දියාවේ තවමත් කොරෝනා ව්‍යාප්තියේ අඩුවක් දකින්න නොලැබෙන අතර සෑම නගරයකම රෝහල් කාරෝනා රෝගීන්ගෙන් පිරි පවතී. ඔක්සිජන් නොමැතිව ද රෝගීන් මියයෑම දිනපතා සිදුවෙයි. එසේ කොරෝනා ආසාදිතයන් ඉහළ යද්දී, කොරෝනා ආසාදිතයන් සුවපත් කිරීමට නිපදවා ඇති ඖෂධ කෙරෙහි ඉන්දීය සෞඛ්‍ය අංශ අවධානය යොමු වී අවසන්ය.


‘කැසිරිවිමඩ්” සහිඉම්දෙවිමාඩ්” ඖෂධ මිශ්‍රණය පළමුවෙන්ම ලබා දීම ආරම්භ වී ඇත්තේ ඉන්දියාවේ හයානා නුවර මෙඩැන්ටා රෝහලෙනි. කැසිරිවිමඩ්" සහිඉම්දෙවිමාඩ්' ඖෂධ ඉන්දීය කොරෝනා ආසාදිතයන්ට ලබා දීම කළ යුතු යැයි නිර්දේශ කර ඇත්තේ ඉන්දීය ඖෂධ පාලන අධිකාරියයි. ඒ, අනුව වයිරසය ආසාදනය වී ජීවිත අවදානමක් ඇතැයි සැක කළ හැකි රෝගීන් තෝරා ගනිමින්, ඔවුන්ට මෙම ඖෂධ මිශ්‍රණය එන්නත් කිරිම සිදු කරන බව මෙඩැන්ටා රෝහලේ වෛද්‍ය මණ්ඩලය පවසා ඇත. ඖෂධ මිශ්‍රණය පළමුවෙන් ම ලබා දුන් 82 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියකු දිනක් ඇතුළත කොරෝනා වයිරසය පරාජය කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නරේෂ්න් ෙත්‍රහාන් ඉන්දීය මාධ්‍ය වෙත පැහැදිලි කර තිබේ.



ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, ඩොනල්ඩ් ට්‍රම්ප් ද කොරෝනා ආසාදිතයකු විය. කෙසේ නමුත්, ට්‍රම්ප් රෝහල්ගතව සිටියේ දින දෙකක් පමණි. දින දෙකකදී ඔහු වයිරසය පරාජය කළ බව ඔහුගේ වෛද්‍ය කණ්ඩායම පැවැසීය. 74 හැවිරිදි ට්‍රම්ප් එසේ කොරෝනා වයිරසයෙන් ගැලවුයේ ඔහුට ද මෙවැනි ඖෂධ මිශ්‍රණයක් එන්නත් කිරිමෙනි.


නවදිල්ලියේදීය රොයිටර්


Tuesday, May 25, 2021

කම්හලක කෝවිඩ් ආසාදිතයන් 150ක්


කළගෙඩිහේන ප්‍රදේශයේ ඇගළුම් කම්හලක ඉකුත් 23 වැනිදා උදෑසන වන විට කෝවිඩ් 19 ආසාදිතයන් එකසිය පනහකට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආයතනයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් පිරිසකට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව පසුගිය දින කිහිපයක් තිස්සේ සෞඛ්‍ය අංශවලට දැන ගැනීමට ලැබුණු බවත් ආයතනයේ පාලකයන් රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට නොදන්වා වසන් කර ගෙන සිටි බවත් මේ නිසාම සෞඛ්‍ය අංශ මැදිහත් වී විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමේ දී එසේ කෝවිඩ් 19 ආසාදිතයන් එක සිය පනහකට වැඩි පිරිසක් වාර්තා වූ බවත් සෞඛ්‍ය අංශය සඳහන් කළේය.


මේ අනුව එම රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයන් සොයා ගෙන ස්වයං නීරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ගෙන යන බවත් සෞඛ්‍ය අංශ පැවසීය. එම ආයතනයේ එක් දහස් හයසීයක් පමණ දෙනා ස්වයේ යෙදී සිටින බව ද සෞඛ්‍ය අංශ කරන ලද පරීක්ෂණවල දී හෙළි වී ඇත. රෝගීන් වාර්තා වීම වසන් කර ගෙන එම ආයතනය තුළ අංශ හතරකින් නිෂ්පාදන කට යුතු කර ගෙන ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් අනතුරුව අංශ තුනක වැඩ නවතා එක් අංශයක වැඩකර ගෙන යන බවත් කීය. රෝගීන් පිළිබඳව වාර්ත නොකර වසන් කර ගෙන සිටීම පිළිබඳව පාලන අධිකාරියට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ගෙන යයි.


 -ආනන්ද ඉ ජයකොඩි-


දැඩි සත්කාරයේ සෞඛ්‍ය සේවකයා ජාතික රෝහලේ ඔක්සිජන් උස්සලා



කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයකු පෙරේදා (23) වැනිදා අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයකු කළ පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේ දී සිලින්ඩර් දෙක සමග සැකකරු රෝහල් පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



අත්අඩංගුවට ගැණුන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සොරකමට සම්බන්ධ වු තවත් සෞඛ්‍ය කාර්යය සහයකයකු ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එම පැමිණිල්ලට අමතරව හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක ද පැමිණිල්ලක් කරමින් එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක්ද සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක්ද කර ඇතැයි පොලිස් නිලධාරියා පැවසීය. කටුනායක කුරණ ගුවන් හමුදා කඳවුර පාර පදිංචි 38 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින්ද ජයසුන්දර මහතාගේ උපදෙස්මත අපරාධ අංශ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බී.එම්.සී. රත්න කුමාර මහතා පරික්ෂණ පවත්වයි.


ලක්ෂ 03 ක කුඩුත් එක්ක 'සතපහ' කොටු

දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වශයෙන් කටයුතු කර ඇතැයි කියන මොරගල්ලේ 'සතපහ' නමින් හැඳින්වෙන සැකකරුවකු රුපියල් ලක්ෂ 03 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 23 ක් සමග කළුතර කොට්ඨාස විෂ මන්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පී.ආර්. වීරසේ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ඉකුත්ද අත්අඩංගුවට ගනු ලැබීය.මෙම සැකකරු දිර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවත් අවස්ථා කීපයක දී අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බවත් පොලිසිය කියයි.සංචරණ සීමා නීති ක්‍රියාත්මක වෙමින් තිබිය දී හෙරොයින් සන්තකයේ තබාගෙන ගමන් කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු අනුව මෙම ප්‍රධාන ජාවාරම්කරු කොටු කර ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනාම වැඩිදුර විමර්ශන සඳහා බේරුවල පොලිසියට භාරදී ඇති අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 (කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

අයිස් ගහන්න ලක්ෂ 15ට වැඩි වාහන කොටස් ගැලවූ වඩුවෙක් කොටු

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 කට අධික වාහන කොටස් සොරකම් කර සගවා සිටි වඩු කාර්මිකයකු එම වාහන කොටස් සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් බව මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති සම්පත් දසනායක මහතා කීය.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට පෙර මෙම වඩු කාර්මිකයා මසකට රුපියල් ලක්ෂ එකහමාරක් පමණ උපයා ඇති බවද පොලිසිය කීය. සැකකරුගේ විශේෂත්වය වූයේ ඔහු විසින් සොරාගනු ලබන්නේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථවල අමතර කොටස් පමණක් වීමය. අත්අඩංගුවට ගත් සැකකරු බදුරලිය ලත්පඳුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයකු බව පොලිසිය කීය. ඔහු මසකට රුපියල් ලක්ෂ 1 කට වඩා ශුද්ධ ආදායමක් උපයා ඇති බවත්, ඔහු ලිසිං ක්‍රමය යටත්තේ මෝටර් රථයක් මිලදීගෙන කුලී ගමන් යාමට පුරුදුවී ඇති බවත් පොලිසිය කීය.මේ අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී මෝටර් රථයේ ලීසිං ගාස්තු ගෙවීම පැහැරහැර තිබේ. ඉන් අනතුරුව මුදල් ගෙවීම සඳහා මෝටර් රථවල අමතර කොටස් සොරා ගැනීමට පෙළැඹී ඇති බව පොලිසිය කීය. ඔහු මග නවතා ඇති වාහනවල වටිනා අමතර කොටස් සැනෙකින් සූක්ෂම ලෙස ගලවා පලායාමට මොහු දක්ෂතාවක් දක්වා ඇති අතර මාතර, කොස්ගොඩ ඇතුළු දකුණු පළාත් නගර රැසක නවතා තිබූ වාහන අමතර කොටස් ගලවා ඇති බවත් පොලිසිය කීය. මොහු පසුගියදා කටාන පාර වයි හන්දියේ කණ්ණාඩි සාප්පුවක් අසල නවතා තිබූ වාහනයක කොටස් ගලවා පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් මීගමුව අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලැබූ පුළුල් විමර්ශනවලදී සැකකරු විසින් අදාල මෝටර් රථවල කොටස් ගලවන දර්ශන එම ස්ථානයේ අසල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්වී තිබේ. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙනප්‍රශ්න කිරීමේ දී සැකකරු විසින් සොයාගනු ලැබූ වාහනවලට අයත් රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනා වාහන කොටස් සොයාගෙන තිබේ. ලෂ්පඳුර බදුරලිය පදිංචි වැලිමුනිගේ රසාන් චතුරංග (26) නමැති සැකකරු අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය. 

 (මීගමුව අධිකරණ ඩබිලිව්. කීර්ති)

සිසුවියක මවක කළ කපුවා අත්අඩංගුවට



දැරියට ඇති දේවවරම බලගතු කිරීමට ඇය ළගින් ඇසුරුකළ යුතු යැයි රවටා පහළොස් හැවිරිදි පාසල් සිසුවියක දෙමස් ගැබිනියක බවට පත්කළේ යැයි කියන කපුවකු ඉකුත් 22 වැනිදා ලේනව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය පවසයි. මෙම දැනට දින කිහිපයකට ඉහතදී දැරියට ක්ලාන්තය වීම සිහිසුන්ව සිටියදී ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වෛද්‍යවරයා පරික්ෂාකර දැරිය දෙමස් ගැබිනියක් බව පැවසීමෙන් පසු මව පොලිසියට කළ පැමිණිල්ල මත කපුවා අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.


දැනට වසරකට ඉහතදී සැකකාර කපුවා නිවෙසක බහිරව පූජාවක් පැවැත්වීමට ආ අවස්ථාවේ දැරියට දේවවරමක් ඇති බව පවසා දැරියට නිවෙසේ දේවාලයක් සාදා දෙන ලෙසටත් කළ ඉල්ලීම අනුව මව දේවාලයක් සාදාදුන් බවත් ඉන් පසු කපුවා වරින්වර එයට පැමිණ ඇති බවත් පැමිණිල්ලේ සඳහන්වන බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගත්බව පොලිසිය කියයි.


-අතුල බණ්ඩාරනායක-



බෙලරූස් ජනධිපති ගුවන්යානයක් බලෙන් ගොඩබස්වා මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගනී



බෝම්බයක් ඇතැයි බොරු අනතුරු ඇගවීමක් කරමින්, තම රටට ඉහළින් පියාසර කරමින් තිබුණු මගී ගුවන්යානය බලෙන් ගොඩබැසීමට සලස්වා, එහි සිටි මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගැනීමට බෙලරූස් ජනධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ 23දා සමත් විය . ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින්, බෙලරූස් ජනාධිපතිවරයා මෙම මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම යුරෝපා සංගමයේත්, ඇමෙරිකාවේත් දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම නේටෝ සංවිධානය නිවේදන නිකුත් කරමින් බෙලරූස් රාජ්‍යයට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් පුවත් සේවා පවසයි.


රටක් ලෙස වෙන්වූ බෙලරූසය (ධවල රුසියාව) යනු අතීතයේ සෝවියට් සමූහාන්ඩුවට අයත් කොටසකි. වර්තමානයේ, රුසියාවේ සහාය බෙලරුසයට හිමිවන අතර, 1994 වසරේ සිට බලයේ රැදී සිටින 66 හැවිරිදි බෙලරුස් ජනාධිපති, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. ග්‍රීසියේ ඇතන්ස් නුවර සිට බෙලරුසියාවට ඉහළින් ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානය බලෙන් තම රටට ගොඩබෑමට සලස්වා, අත්අඩංගුවට ගෙන ඇත්තේ යානයේ ගමන් කරමින් සිටි 26 හැවිරිදි බෙලරූස් ජාතික මාධ්‍යවේදී රෝමන් ප්‍රොටසෝවිච්ය. මොහු සමාජ ක්‍රියාකාරීයකු ලෙස ද ප්‍රකටය.



ප්‍රොටසෙවිච් පෝලන්තයේ 'නෙක්ස්ටා ' නමැති අන්තර්ජාල මාධ්‍ය ආයතනයට සම්බන්ධ බෙලරූස් මාධ්‍යවේදියාය. ඔහු පුවත් සංස්කාරකවරයකු ද වෙයි. 'නෙක්ස්ටා' පුවත් සේවය ඔවුන්ගේ පුවත් ජනතාව අතරට ගෙනයන්නේ “ටෙලිග්‍රෑම්' නමැති “වොට්ස්අප්" වැනි පණිවුඩ හුවමාරු සේවය ඔස්සේය. ඒ, 'ටෙලිග්‍රෑම්' පුවත් බෙලරූස් බලධාරින්ගේ වාරණයට ලක් කළ නොහැකි ආකාරයටය.බෙලරුස් ජනාධිපති ඇලෙක්සෙකන්ඩර් ලුකෂෙන්කෝගේ දූෂණ වංචා බෙලරුස් ජනතාවට අනාවරණය කළේත්, ලොවට අනාවරණය කළේත් ප්‍රොටසෙවිච්ය.



ජනාධිපති ලුකෂෙන්කෝගේ උදහසට ලක් වූ ප්‍රොටසෝවිච්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙමින් තිබුණි. 2019 දී බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ප්‍රොටසෙවිච් සහාය දැක්වීමත් සමඟ ඔහුගේ ජීවිතය අනතුරේ වැටුණු බව පැවැසෙයි. ඒ අනුව ප්‍රොටසෙවිච් ග්‍රීසියේ ඇතන්ස් නුවරට පලා ගියේය. ප්‍රොටසෙවිච් ඉන්පසු 'නෙක්ස්ටා' පුවත් සේවයෙන් ඉවත් වී, ‘බෙලමෝවා' අන්තර් ජාල පුවත් සේවයට එක් විය. 2020 වසරේ දී බෙලරූස් ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, බටහිර රටවල සහාය හිමිවූයේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ ස්වෙත්ලානා ටිකොනොව්ස්කාටය. ස්වෙත්ලානාට ජනවරමක් හිමිවේවි යැයි විශ්වාස කළත්, එය එසේ නොවුණු අතර, ලුකෂෙන්කෝට යළි බලය හිමිවිය. ස්වෙත්ලානා ප්‍රමුඛ විපක්ෂයට හිමිවී තිබුණේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයක් පමණි. එය පැහැදිලිවම හොර ඡන්ද දැමීමක් යැයි බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්න වූ අතර, යුරෝපා රටවලත්, ඇමෙරිකාවේත් සහාය ඔවුන්ට හිමිවිය.



ඡන්ද අක්‍රමිකතා සිදුවුණැයි සාක්ෂි ඉදිරිපත් කිරීමට ප්‍රොටසෙවිච් කටයුතු කළ අතර, ජනපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෙෂප කරමින් ජනාධිපති ලුකෂෙන්කෝට එරෙහිව දැවැන්ත විරෝධතා ආරම්භ වීමට එය හේතුවක් විය. මාස ගණනක් තිස්සේ පැවැති විරෝධතාවලදී, විපක්ෂ ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීම සිදුවිය. බටහිර සහාය ලබන විපක්ෂය නායිකා ස්වෙත්ලානා ටිකොනොව්ස්කාට බෙලරූසලයේ උතුරු දෙසින් පිහිටීම ලිතුවේනියාවට පලා ගියාය. ඒ, ලිතුවේනියා රජයේ සහාය සහ ආරක්ෂාව ඇයට හිමිවීමෙනි. බටහිර සහාය මත රට අස්ථාවර කරමින්, ජනතාව උසි ගන්වනවා යැයි ප්‍රොටසෙවිච්ට චෝදනා එල්ල විය. පසුගිය 23 වැනිදා ග්‍රීසියේ ඇතන්ස් නුවරින්, රයන් එයාර් මගී ගුවන් යානයට ප්‍රොටසෝවිච් ගොඩවූයේ ලිතුවේනියාව බලා යෑමටය. ඒ, ග්‍රීසියේ රැදී සිටීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වීමට පටන්ගෙන තිබුණු බැවිනි. ඔහු ගොඩවූයේ රටන් එයාර් ගුවන් සමාගමේ අංක එෆ්.ආර්. 4978 යානයටය.



ඇතන්ස් නුවර සිට ලිතුවේනියාවේ විල්නියස් නුවර ගුවන් තොටුපොළ බලා යන ගුවන් මාර්ගය වැටී ඇත්තේ බෙලරූසයට ඉහළින් වන අතර, යානය බෙලරූස් ලිතුවේනියා දේශසීමාව පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී, බෙලරූස් ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා මගී ගුවන් යානය වට කළේ යැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බෙලරුස් මින්ස්ක් නුවර ගුවන්තොටුපොළෙන් ගුවන් ගමන් පාලන අධිකාරියෙන් යානයට පණිවුඩයක් ලැබී තිබුණේ යානයේ බෝම්බයක් ඇති බවත්, එය ආරක්ෂාවට තර්ජනයක් බවත්, වහාම යානය හරහා මින්ස්ක් නුවර ගුවන්තොටුපොළට හරවා යා යුතු බවත්ය. යානය ගොඩබැස්වීම කරන්නැයි බෙලරූස් ගුවන් හමුදාවට අණ ලැබී තිබුණු ජනපති ලුකෂෙන්කෝගෙන් යැයි අනාවරණය වූයේ පසුවය.



යානය මින්ස්ක් නුවර බලා හරවා යද්දී, මගීන් අතරේ සිටි ප්‍රොටසෙවිච් තම ඉරණම වටහා ගත් බවත්, යානය මින්ස්ක් ගුවන්තොටුපොළට ගොඩබාන්නේ තමන් නිසා බවත් සෙසු මගීන්ට සහ කාර්ය මණ්ඩලයට පැවැසූ බව රොයිටර් පුවත් වාර්තා කර තිබේ. යානයේ සිටි මගීන් කීප දෙනකු සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගෙන් අදහස් විමසා බැලීමට රොයිටර් පුවත් සේවය පසුව කටයුතු කළේය. යානය ගොඩබෑ සැණින් හමුදා නිලධාරිහු පැමිණ ප්‍රොටසෙවිච් අත්අඩංගුවට ගත්තා. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට 15 වසරක සිරදඩුවමක් හිමිවනු ඇතැයි ද පැවැසෙයි. බොරු අනතුරු ඇඟවීමක් කර, බලහත්කාරයෙන්, යානය ගොඩබැසීමට සලස්වා ප්‍රොටසෙවිච් අත්අඩංගුවට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ජය ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරිමක් බවත් යුරෝපා සංගමය පවසා ඇත.


මින්ස්ක් ගුවන්තොටුපොළට ගොඩබෑ යානයට ආපසු ලිතුවේනියා බලා යෑමට අවසර ලැබුණු අතර, යානය නියමිත වේලාවට වඩා පැය 6 ක් ප්‍රමාද වී ගමනාන්තය වූ විල්නියස් බලා පැමිණ ඇත. රයින් එයාර් යනු අයර්ලන්ත ගුවන් සේවයකි. යානයේ ගුවන් නියමුවන් පසුව පැවැසුවේ, තමන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි බවත්, යානයේ බෝම්බයක් ඇති බව බෙලරුස් ගුවන් පාලන අධිකාරිය පැවැසූ සැණින්, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ලබා දුන් උපදෙස් පිළිපැද්ද බවය. එසේ නොකළා නම්, ප්‍රහාරක ජෙට් යානා යානයට පහර දීමට පවා ඉඩ තිබුණු බව නියමුවන් පවසා ඇත.


වෛද්‍ය පවුල්වලට එන්නත් දීමට එරෙහිව පී.එච්.අයි ලා ඇතුළු සමිති හතරක් වැඩ වර්ජනයක

රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට විරෝධය දැක්වීම සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති හතරක සේවකයෝ අද (25) බස්නාහිර පළාත තුළ සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රාජ්‍ය සේවා එක්සත් හෙද. සංගමය සහ පරිපූරක වෛද්‍ය සේවා සංගමය යන වෘත්තීය සමිති හතරේ. සාමාජික සාමාජිකයෝ එම සංකේත වැඩ වර්ජනයේ නිරත වෙති.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සියලු සේවකයන්ට දැඩි අවදානමක් තිබියදීවෛද්‍යවරුන් පමණක් විශේෂ කොට සැලකීම ඉතා අසාධාරණ පියවරක් හෙයින් ඊට විරෝධය දැක්වීම සඳහා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ද එම වෘත්තීය සමිති කියයි. මේ මස 31 වැනිදාට පෙර සියලු සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වලට කොවිඩ් එන්නත් ලබා නොදුනහොත් දීගව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ද එම සංගම් සඳහන් කරයි.

 (රංජන් කස්තුරි)

රටට මාසයකට ඇතිවෙන්න අත්‍යවශ්‍ය භාණ්ඩ තොග තියෙනවා

රට තුළ මාසයකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවතින්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.සංචරණ සීමා පනවා තිබෙන දින කිහිපයේදී පමණක් නොව ඉදිරි මාසයකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ සියල්ල කිසිදු හිගයකින් තොරව ගබඩාවල පවතින බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොතබමින් සතොස හරහා ස්ථාවර මිලකට ජනතාවට භාණ්ඩ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.සංචරණ සීමා පැවැතිය ද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සුපුරුදු සැපැයුම්කරුවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ගැටලුවකින් තොරව පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවෙන් ලබාගැනීමේ හැකියාව පවත්නා බවත්, තොග බෙදාහැරීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට සහාය දක්වන සියලු පාර්ශ්වවල කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා කීය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ගබඩාවල ඇති තොග නිරික්‍ෂණයෙන් පසුව අමාත්‍යවරයා එසේ පැවැසීය.

 (යොහාන් භාසුර)

Monday, May 24, 2021

ඉඩක් ලැබුන සැනින් කිම් ජොන් උන් හමුවෙනවා

අවස්ථාවක් ලැබුණු සැණින් තම‍න් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවිමට යන බව ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. ජෝ බයිඩන් මෙසේ පැවැසුවේ, දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් හමුවේ සාකච්ඡා පැවැත්විමේත් අනතුරුවය. දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් සහ ඇමෙරිකා ජනාධිපති බයිඩන් අතර හමුව වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී පැවැත්විණි. දකුණු කොරියා ජනාධිපතිවරයා ඇමරිකාවට පැමිණියත්, ධවල මන්දිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් හමුවූයේත්, බයිඩන් කළ ඇරියුමකට අනුවය. ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් සහ දකුණු කොරියා ජනපති මූන් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. කලාපීය ආරක්ෂක කටයුතු සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු උතුරු කොරියාව කෙරෙහි බයිඩන්ගේ අවධානය යොමු වුණැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා නායක  කිම් ජොන් උන් හමුවී, පැවැත්වූ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට තමන් කැමැත්තෙන් සිටින බවත්, අවස්ථාවක් ලැබුණු සැණින්, තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට කැමති බවත් බයිඩන් පැවැසුවේ, සාකච්ඡාවලින් පසු දකුණු කොරියානු ජනපති මුන් ජේ ඉන්  සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වද්දීය. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හමුවුණු අවස්ථාවේදී, උතුරු කොරියාව වෙනුවෙන් නව නියෝජිතයකු පත් කිරීමට ද බයිඩන් කටයුතු කළේය. උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ එම විශේෂ නියෝජිතයා, අත්දැකීම් බහුල පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයකු වන සුන් කිම් ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, උතුරු කොරියා නායක හමුවී සාකච්ඡා පැවැත්වීමට මඟ සකස් කර දුන් ද දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් ය. එසේ වූයේ මූන් පේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්තිය හේතුවෙනි. උතුරු කොරියා නායකයා ජනපති ට්‍රම්ප් හමුවූයේ චීනයෙන් ද උපදෙස් ලබා ගැනීමෙන් පසුවය. අවස්ථා තුනකදී ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡාවලින් පසු උතුරු කරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතුවලට යොමු වුවත්,එය ඇමරිකාව අපේක්ෂා කළ අන්දමින් සිදු නොවිණි. එහෙයින්, පැවැති සාකච්ඡා අසාර්ථක විය. සාකච්ඡා අසාර්ථක වුවත් තමන් සහ කිම් ජොන් උන් අතර ආරම්භ වුණු මිත්‍රත්වය කිසිදු ආකාරයකින් පළුදු නොවුණු බව ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)

පුත්තලම නාගරධිපතිගේ සිරුර වනතාවිල්ලුව වත්තක



සංවරණසීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රී රහීම් මහතා සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ. අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසරපතියන මන්ත්‍රීවරයා නිකුත් කරන අවසර පත්‍රවල පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ජංගම දුරකතන අංකය සහ නම දසඳහන් කරන අතර ඒවා ලබාගත් පුද්ගලයන් ඉකුත් දිනවල දිස්ත්‍රික් සීමා පැන වව්නියාවට පවා ගොස් ඇතැයිද වාර්තාවේ.


බායිස් මහතා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සැලවීමත් සමඟ බායිස් මහතාගේ හිතවතුන් සහ ආධාරකරුවන් දහස් ගණනක් පුත්තලම මූලික රෝහල් පරිශ්‍රයට ඊයේ රාත්‍රී පැමිණීම නිසා උණුසුම් තත්වයක් ඇති වීමෙන් රෝහල් පිවිසුම වසා දැමීමට රෝහල් බලධාරිහු පියවර ගත්හ. බායිස් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ රජය සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස ද කටයුතු කළේය.


  -හිරාන් ප්‍රියංකර ජයසිංහ-

බ්‍රසීල ස්නාධිපතිට දඩ

කොරෝනා වසංගතය මැද සෞඛ්‍ය රෙගුලාසි ගැන කිසිදු තැකීමක් නොකර ජනතාව ඒකරාශීකරමින්, ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට කටයුතු කළැයි චෝදනාව සම්බන්ධයෙන් බ්‍රසීල ස්නාධිපති ජාල් බොල්සරානෝට දඩ නියම වී ඈත. අද වනවිට ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙනි. බ්‍රසීලයේ කොරෝනා වසංගතය දරුණු වූයේ ජනාධිපති ජාල් බොල්සරානෝ  වයිරසය ගැන තැකීමක් නොකළ නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.පසුගිය දා අධිකරණය හමුවේ විභාගයට ගැනුණේ, කොරෝනා ව්‍යාප්තිය මැද ජනපතිවරයාගේ මැදිහත්වීමෙන් මාරන්හාඕ නමැති දිස්ත්‍රික්කයේ ජනතාව ඒකරාශී කිරිම සම්බන්ධයෙන් ජනපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාය. චෝදනා ගොනු කළ මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් පෙන්වා දී තිබුණේ ජනපතිවරයා ජනතාව ඒකරාශී කළේ සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් බවය.මීට අමතරව, කොරෝනා වසංගතය හමුවේ, රටේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමට හෝ නියමිත වේලාවට එන්නත් ලබා දීමට හෝ නොහැකි වූ බැවින් මිනිස් ජීවිත බිලි දුනැයි ද අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජාල් බොල්සරානෝට සාපරාධී චෝදනා එල්ල වී ඇත.

 සාඕ පාවුලෝ (රොයිටර්)

රිෂාඩ්ගේ මන්ත්‍රී 2 කගේ සාමාජිකත්වය අත්හිටුවයි

 (සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සහා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ, රිෂාඩ් බදියුදීන් මහතාට නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂ නායකයන් විසින් අත්හිටුවනු ලැබ ඇත. රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර, රහීම් මහතා නියෝජනය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයයි. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත්කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී පසුගියදා (20) ඡන්දය ප්‍රකාශ කළහ. ඔවුන් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී කෞළඹ වරාය නගර ව්‍යාපෘතියට පක්ෂව අදහස් පළ කරනු ද අසන්නට ලැබිණ.

 (සුජිත් හේවාජුලිගේ)

මිරිහාන පොලිසියේ කොරිඩෝව අසලදි පුද්ගලයකු ඇද වැටී මියගොස්

මිරිහාන පොලිසියේ රථවාහන අංශයේ කොරිඩෝව අසලදි පුද්ගලයකු ඇද වැටී මියගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි. මියගොස් ඇත්තේ නුගේගොඩ මිරිහාන එක් වත්ත පාර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා අනතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණ අනෙක් පාර්ශ්වයට ''ඔයා ඩැයිවර් කෙනෙක්ද?" යනුවෙන් කතාව ආරම්භ කිරිමත් සමගම ඇස් දෙක උඩට ගොස් එකවරම බිම ඇද වැටී ඇති බව පොලිසිය කියයි.. මියගිය පුද්ගලයාගේ පුතා පොලිසියට පැමිණිල්ලක් කරමින් තම පියා ඇද වැටුණේ අනෙක් පාර්ශ්වයේ කෙනකු තල්ලු කිරීම හේතුවෙන් බවට පැමිණිලි කර ඇත.මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර්. පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

 (බිමල් ශ්‍යමන් ජයසිංහ)

කොරෝනා මරණ 258න් 48 ම නිවෙස්දී



ගත වූ සතියේ සිදු වූ කොරෝනා මරණ 258න් 46 දෙනකුම නිවෙස් තුළ මරණයට පත්වූවන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ වාර්තාවල සඳහන් වේ. ඒ අනුව, ඉකුත් මැයි මස 15 වැනිදා සිදු වූ මරණ 20න් තිදෙනකු ද 16 වැනිදා සිදු වූ මරණ 21න් සිවු දෙනකු ද 17 වැනිදා සිදු වූ මරණ 19න් දෙදෙනකු ද 18 වැනිදා සිදු වූ මරණ 34න් සිවු දෙනකු ද 19 වැනිදා සිදු වූ මරණ 36න් 6 දෙනකු ද 20 වැනිදා සිදු වූ මරණ 38න් 9 දෙනකු ද 21 වැනිදා සිදු වූ මරණ 44න් 14 දෙනකු සහ පෙරේදා (22) සිදු වූ මරණ 46න් 6 දෙනකු ද නිවෙස් තුළ මරණයට පත්ව ඇත.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබූ එම වාර්තාවලට අනුව ඊයේ (23) පෙරවරුව වනවිට මෙරට වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,178කි. කොරෝනා මරණ සමස්ත සංඛ්‍යාවෙන් සියයට හතළිහක් සිදු වී ඇ ත්තේ මැයි මස දී බව සඳහන් වෙයි.



ඉන්දියානු ප්‍රභේදය ලොවම වෙලාගනීද

අද වනවිට ඉන්දියාව් කොරෝනා නිසා සිදුවන මරණ ගණන 4000 සීමාව ඉක්මවා යමින් පවතී. ඉන්දියාවෙන් ප්‍රථම වරට හඳුනාගත් ප්‍රබේදය ලොව අනෙක් රටවලටද ඉතා තීරණාත්මක තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්‍ෂණික අංශයේප්‍රධානී වැන් කෙහෝව් පවසන අන්දමට ඉන්දියාවෙන් හමුවූ මෙමකොරෝනා ප්‍රබේදය ලොව අනෙක් රටවල්වද අවධානය යොමු කළ යුතු ඉතා දරුණු ප්‍රබේදයක් බව අවධාරණය කළාය. B.1.617 නම් වූ ප්‍රබේදය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙතෙක් හඳුනාගත් ප්‍රබේද අතරින් ලෝක අවධානයට ලක්විය යුතු ප්‍රබේද අතරින් හතරවන තැන හිමිකරගෙන ඇති අතර, මීට පෙර එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලය තුළින් හඳුනාගත් ප්‍රබේදවලට වඩා ලෝකයේ අවධානය යොමුවිය යුතු බව සඳහන් කර තිබේ. මේ අතර ලොව ප්‍රබල රාජ්‍ය වන ඇමෙරිකාව වැනි රටවල් පවා ඉන්දියාවේ සිට පැමිණීම හා ඉන්දියාවට යාම පවා සීමා කිරීමට පෙළඹී ඇත්තේ ඉන්දියානු ප්‍රබේදයේ පැතිරීම ඉතා ඉක්මනින් සිදුවන නිසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැන් කෙහෝව් පවසන අන්දමට ඇතැම් මූලීක අධ්‍යයනවලින් මෙම ඉන්දියානු ප්‍රබේදයේ වතප්තවීම ඉතා වේගයෙන් සිදුවන බව නිරීක්ෂණය කළද, වැඩිදුර නිගමනයක් සඳහා තවදුරටත් ඒ සඳහා තොරතුරු ගවේෂණය කිරීමට සිදුවන බවද පවසා සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍ය ස්වාමිනාදන් පවසන අන්දමට මෙම ඉන්දියානු වයිරස ප්‍රබේදය යම් පවුලක එක් අයකුට ආසාධනය වුවහොත් එම පවුලේ සියලු දෙනාටම රෝගය වැළදීමට බොහෝ සේ ඉඩ ඇති බව පවසන අතර මෙය කොරෝනා පළමු රැල්ලේ දක්නට තිබූ තත්ත්වයට වඩා බොහෝ සේ වෙනස් වී ඇති බව පැහැදිලියි. මේ නිසා නව ප්‍රබේදයේ ව්‍යාප්ත වීම ඉතා වේගයෙන් සිදුවන බව නිගමනය කිරීමට සිදුවන බව ඔවුන් වෙත්වා දී තිබේ. මේ නිසා ඇමෙරිකාවේ රෝග පාලනය වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානය (CDC) මෙම ඉන්දියානු ප්‍රබේදය අවධානය යොමුකළ යුතු ප්‍රබේදය (Varient of Interest ලෙස නම් කර තිබේ. මෙම ප්‍රබේදයේ වයිරස, මිනිස් සිරුරේ සෛලවලට ඇතුළුවීමට ඇති ස්පයික් ප්‍රෝටීන (Spike Proteins) වල විකෘතිතා දෙකක් තිබෙන අතර දෙවැනි වැඩිම ආසාධිතයන් සිටින රට බවට පත්වී තිබේ. මේ  වනවිට කොරෝනා නිසා මිය යන ගණනද ඉහළ යමින් තිබේ.එසේම දිනෙන් දිනම මෙම ප්‍රමාණය වර්ධනය වන ආකාරයෙන් නිය වේ.මේ අතර ඉන්දියාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද කොරෝනා ආසාධනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී.ඉන්දියානු වෛද්‍ය සංගමයේ ප්‍රධානී පවසන අන්දමට ඉන්දියානු වෛද්‍යවරුන් 860 දෙනෙක් පමණ මේ වනවිට කොරෝනා මාරයාට බිළිව ඇති අතර මෙයින් 166 දෙනෙක් පමණ දෙවන රැල්ල ආරම්භ වී මිසක් පමණ ඇතුළත මියගිය බවද වාර්තා වේ. තත්ත්වය එසේ තිබියදී කොරෝනා ආසාදනය වූ ඉන්දියාවේ බොහෝ රෝගීන්ට දිලීර ආසාදනයක් (Fungal Infection) නිසා තත්ව ය තවදුරටත් බරපතළ අතට පත්ව තිබේ.මෙම දිලීර ආසාධනය කොරෝනා රෝගය පැතිරීමට පෙර සිටම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර එමගින් මරණ අනුපාතය ඉතා ඉහළ අගයක් දක්වා වැඩිකිරීමට හේතුවී ඇත. මෙම රෝගී තත්ත්වය මියුකොමයිකෝසීස් (Mucormycosis) ලෙස හඳුන්යි. එම රෝගය පුස් වර්ගයක් (Mold) නිසා ඇතිවන අතර තෙත පරිසර තත්ත්වයක් යටතේ ඉතා වේගයෙන් වර්ධනය වී සන පද්ධතිය මගින් ශරගත වී මුහුණේ ඇති පටකවලට දැඩි ලෙස හානි වී මොළයට හානි වී මරණය සිදුවේ. මෙම තත්ත්වය දුර්ලභ වුවත් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයට වැඩි අවදානමක් ඇති බව අනාවරණය වී තිබේ. රෝහල්ගත වී. ස්ථිරොයිඩ් (steroids) ඔෂධ භාවිතා කරන රෝගීන්ටද වැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. සජිත්ගේ අශ්‍රිතයින් සොයයි



සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වන්නැයි කොරෝනා ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට පියවර ගෙන ඇතැයි චේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරික්ෂා කිරීම ඊයේ (23) ආරම්භ කළ බව ද වේත්‍රධාරිවරයා කීය. සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගමන් ගත් ස්ථාන පිළිබඳව ද චේත්‍රධාරිවරයාගේ අවධානය යොමුවී ඇත. වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි ප්‍රශ්නයක් බවත්, පාර්ලිමේන්තුව අසල පැවැති උද්ෙඝා්ෂණ ව්‍යාපාරයේදී ඔහුට වයිරසය ආසාදනය වූවා දැයි සැකයක් මතුව ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.



මේ අතර, විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට ඊයේම යොමු වුණු බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. සමගි ජන බලවේගලයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබීය. තමාගේ තත්ත්වය දැන් යහපත් බව මුජුබර් රහුමාන් මහතා පැවැසීය.


-සුජිත් හේවාජුලිගේ -


නිවෙසින් අතුරුදන් ඒක්දරු පියකුගේ සිරුර හේන් යායක් මැද


කොටවෙහෙර, කුඩා මීතව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර මහ ගිරිඋල්ල ප්‍රදේශයේ හේන් යායක් මැද තිබිය දී සොයා ගැණුන බව කොටවෙහෙර පොලිසිය පවසයි. මෙම සිරුර ඇත්තේ මොන්නෑකුලම, කුඩා මිතව පදිංචි එම්.එම්. මද්දුම බණ්ඩාර (67) නැමති අතුරුදන්ව සිටි එක් දරු පියෙකුගේ බවට හඳුනා ගත් බවද පොලිසිය සඳහන් කරයි. මියගොස් සිටි පුද්ගලයාගේ පාදයක් බිදී, මුණෙහි සහ සිරුරෙහි තුවාල සිදුව නාසයෙන් ද ලේ වහනය වී තිබු බව ද පැළඳ සිටි හෙල්මටය පොඩි කර දමා තිබු අතර සිරුර අසල වල් අලියෙකුලේ පා සටහන් තිබු බව ද පොලිසිය පවසයි. වල් අලියකුගේ පහර දීමකින් මෙම පුද්ගලයාගේ මරණය සිදු වන්නට ඇතැයි සැක කරන බවද, ඔහු පැමිණි බව කියන යතුරු පැදිය එම ස්ථානයේ නොතිබීම හේතුවෙන් එය සොයා පරික්ෂණ ආරම්භ කළ බවද පොලිසිය කියයි.



මියගිය අය ඉකුත් සිකුරාදා (21) සවස තම බිරිඳගේ අසනීප තත්ත්වයකට බෙහෙත් ගැනීමට යතුරු පැදියෙන් කොට වෙහෙරට ගොස් ඇති අතර, බිරිඳට බෙහෙත් රැගෙන ආපසු එන අතරතුර නිවෙස අද්දරින් බිරිඳ බස්සවා මිතුරකු හමු වීමට යන බව කියා ගොස් ඇති බවද පසු දින (22) වැනිදා උදෑසන වන තුරු ද ඔහු නිවසට නොපැමිණි බවට නිවැසියන් පොලිසියට පැමිණිලි කළ බව ද පොලිසිය කියයි. මෙම හේන් යාය අසලින් ඊයේ 23 දහවල් ගමන් ගත් කාන්තාවක පුද්ගලයකු හේන් යාය මැද වැටී සිටිනු දැක පොලිසියට ඒ බව දන්වා ඇත. පසුව මෙම සිරුර අතුරුදන් පුද්ගලයාගේ සිරුර බවට හඳුනා ගත් බවද පොලිසිය කියයි..



 ප්‍රියාණි මංගලිකා

රටපුරා කොරෝනා අලුත්ම වාර්තා



මුලටියන ප්‍රා. ලේකම් කාර්යාලයේ ගිණුම් අංශය වසා දමයි

පී.එස්. මද්දුමගේ

මාතර මුලටියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකාරිනියකට කොරෝනා ආසාදිත බව 23 වැනිදා පෙරවරුවෙහි සිදු කළ ඇන්ටිජන් පරික්ෂණයකින් අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් තහවුරු කළේය. මේ නිසා ගිණුම් අංශය වසා දැමීමට අවශ්‍ය බව තීරණය කර තිබේ. දෙයියන්දර ගල් ඇටුඹ විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා දෙනමකද කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පිටවගමුව ග්‍රාම නිලධාරිනියගේ නිවෙසින් කෑම ගත් සහෝදරයකු කාරෝනා ආසාදිත වී ඇති අතර, ග්‍රාම නිලධාරිනිය නිවාස ස්වයං නිරෝධායනයට පත් කර තිබේ.


පසුගිය 22 වැනිදා වනවිට දකුණු පළාතෙන් ආසාදිතයන් 603 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 295ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 206ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 80 දෙනකුද සෞඛ්‍ය සේවයේ ගාල්ල රෝහල් වලින් ආසාදිතයන් 20 දෙනෙක් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් දෙදෙනකුද වශයෙන් මෙම 603 දෙනා වාර්තා වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉකුත් 22 වැනිදා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.


බියගම දින 221ක්


-සුදත් පුබුදු කිර්ති -


බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ කොවිඩ් ආසාදිතයන් 211 දෙනකු ඉකුත් 21 - 22 දිනවල වාර්තා වී ඇතැයි බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් පෙරේරා මහතා ඊයේ (23) පෙරවරුවේදී පැවසීය. එසේම ඉකුත් සතිය තුළ කොවිඩ් 19 ආසාදිත මරණ 05 ක් වඩුවේගම, ගෝනවල, බියගම, හෙයියන්තුඩුව, පටිවිල ප්‍රදේශ වලින් වාර්තා වී ඇතැයි සමන් පෙරේරා මහතා කීවේය. කොවිඩ් ආසාදිතයන් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ දිනකට 100 ඉක්මවා වාර්තා වන බවත් දිනපතා සිදු කරන ඇන්ටිජන් පරික්ෂණ සියල්ලම පාහේ ආසාදිතයින් බවට තහවුරු වන බවද පෙරේරා මහතා පැවසීය.



රත්තොට සභාවේ මන්ත්‍රීන් දෙදෙනකුටත්

රත්තොට ප්‍රාදේශීය සභාව්වේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ප්‍රාදේශිය සභා ආරංචි මාර්ග කියයි. මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකුට වන අතර ඔවුන් මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන බවද එම ආරංචි මාර්ග කියයි. මෙම මන්ත්‍රීවරුන්ගේ සමීපව ඇසුරු කළ අය පී.සී.ආර්. පරික්ෂණ සිදුකර ඇති බවත් ඔවුන් නිරෝධායනයට ලක්කර ඇති බවද සෞඛ්‍ය අංශ තහවුරු කළේය.


දොම්පේ රටවාහන ස්ථානාධිපතිටත් කොරෝනා


- උපාලි රණවීර-

දොම්පේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසුව ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගත් බව දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප්‍රියන්ත මහතා පැවසීය. එම අංශයේ නිලධාරින් පස්දෙනකු සෞඛ්‍ය අංශවල උපදෙස් මත නිරෝධායනයට යොමු කළ බවද ප්‍රියන්ත මහතා පැවසීය. රථ රථවාහන අංශ ස්ථානාධිපතිවරයාගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.



කළුතර පොලිස් විදුහල් 37කටත්

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. අභ්‍යාසලාභීන් හය දෙනකුට හිස රුදාව ඇති වී ප්‍රතිකාර ගැනීම සඳහා නාගොඩ රෝහලට ගිය අවස්ථාවේ දී එයින් එක් අයකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයෙන් අනතුරුව මුලින්ම ඒ බව තහවුරු වී තිබූ බව එම ප්‍රකාශකයා කීය. අභ්‍යාසලාභීන් පනස් දෙනකු පෙරේදා 22 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව ඒ බව තහවුරු වී ඇතැයි එම ප්‍රකාශකයා කීය. ආසාදිතයන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්යය බළකා අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



කටුකුරුන්ද එස්ටීඑෆ් 85කට පොසිටිව්

කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ 86 දෙනකුට කොරෝනා ආසාදිතව ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ඉකුත් දෙදින තුළ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 580 දෙනකු උදෙසා සිදුකළ පී.සී.ආර් පරික්ෂණවල දී මේ බව තහවුරු වී ඇතැයි ද එම ප්‍රකාශකයා කීය. ආසාදිත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් නුවර ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



පන්නල දවස් 22කට මරණ 22යි

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මෙම 01 වැනිදා සිට 22 වැනිදා දක්වා මරණ 22ක් වාර්තා වී ඇතැයි පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. ඉකුත් 17 වැනිදා තහවුරු වූ ආසාදිතයන් 17 දෙනකුද සමග දින 16කදී කොරෝනා ආසාදනය වූවන් 445 දෙනකු වාර්තා වී ඇති ඇති බවත් 20 වැනිදා කෙරුණ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ලැබීමට නියමිත බවත් සඳහන් වේ. මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඉදිරි දින කිහිපය තුළ ආසාදිත සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ග උපදෙස් පිළිපදිමින් නිවෙස්වලටම වී කාලය ගත කරන ලෙස ද එම කාර්යාලය ඉල්ලා සිටියි.



ඩයගම රෝහල ටික ටික ඇරේ


- ශාන්ත චන්ද්‍රසිරි-

වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වසා දමා තිබූ ඩයගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර කටයුතු කොටස් වශයෙන්ම ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පවසයි. ඒ අනුව රෝහලේ දන්ත වෛද්‍ය ඒකකය පළමුව විවෘත කිරිමට පියවර ගෙන ඇති බව ද අබේගුණරත්න මහතා කීය.