Showing posts with label Accidentg3. Show all posts
Showing posts with label Accidentg3. Show all posts

Tuesday, July 29, 2025

නුගේගොඩ ගුවන් පාලම මතදී ත්‍රීරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී පුද්ගලයකු මිය යයි

 


 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


නුගේගොඩ ගුවන් පාලම මතදී ත්‍රීරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වත්තේත්ගම මීගමවත්ත අංක 156/03 හි පදිංචි කංකානම්ගේ අයේෂන් කවිදු පවන් ජයසිංහ නමැති (21) හැවිරිදි පාරිභෝගික සේවා සහායකයෙකු බව පොලිසිය කියයි.


මෙම පුද්ගලයා මිතුරන් තිදෙනෙකු සමග හැව්ලොක් ටවුන්හි පිහිටි ආහාර අලෙවි ආයතනයක සේවය නිමවා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පලට යාමට මිතුරෙකුගේ ත්‍රිරෝද රථයකින් මෙසේ පැමිණ තිබෙන බව පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළිවී ඇත. එම අවස්ථාවේදී නුගේගොඩ ගුවන් පාලම මතින් මහරගම දෙසට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයා සහ එහි රියැදුරු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එහිදි මෙසේ මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයා බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.


පසුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදුකර ඇත. එහිදී ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව හිසට පපුවට සහ උදරයට සිදු වූ බරපතළ තුවාල මරණයට හේතුව බවට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය. අනතුර සිදුකළ බව කියන ත්‍රිරෝද රථ රියැදුරු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. සුව වී පැමිණි විගස අත්අඩංගුවට ගෙන බල ප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ පැවැත්විය.


Tuesday, July 23, 2024

වෑන්රියේ හප්පා කොස්තාපල් මැරූ ව්‍යාපාරිකයා පෝරකයට

 


 උපාලි ආනන්ද


පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ පොලිස් ස්ථානය ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් ද අතැතිව නිල ඇඳුමින් රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වෑන් රථයක හප්පා මරා දැමූ බවට අධිචෝදනා ලබා සිටි ව්‍යාපාරිකයා චෝදනාවට වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා ඊයේ (22) ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.


මෙසේ මරණ දඬුවම නියම වූයේ හිඟුරක්ගොඩ සන්රයිස් ගාන්හි ලීලාරත්න මහේස් ඉන්දික කුලසේකර නමැති ව්‍යාපාරිකයකුටය. 1998 වසරේ මාර්තු 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හබරණ පොලිස් මාර්ග බාධකයක රාජකාරි කරමින් සිටි එස්.එස්.ආර්. ගුණරත්න නමැති කොස්තාපල්වරයා වෑන් රථයක හප්පා මරණයට පත් කළ බවට මෙම විත්තිකාර ව්‍යාපාරිකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණ.


විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විවෘත අධිකරණය අමතා කියා සිටියේ මනුෂ්‍ය ඝාතනයක් කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහාධිකරණයේ පැවැති නඩු විභාගයේ දී පරිෂණීය සාක්ෂි වැඩි වශයෙන් උපයෝගි කර ගෙන මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ද විශේෂත්වයකි.


පොලිස් කොස්තාපල්එස්.එම්.ආර්. ගුණරත්න මහතා පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ පොලිස් මාර්ග බාධකයක නිල ඇඳුමින් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් ද අතැතිව රාජකාරි කරමින් සිටියදී විත්තිකාර ලීලාරත්න මහේස් ඉන්දික කුලසේකර නමැත්තා පැදවූ වෑන් රථයේ හප්පා මරා දමා ඇති බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණ විය.වෑන් රථය පොලිස් කොස්තාපල්වරයා හප්පා පලා යාමට තැත් කළ අවස්ථාවේ මේ බව හබරණ පොලිසිය වහාම ඉදිරියෙන් පොලිස් මාර්ග බාධකයක පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇති බව ද අධිකරණයේ දී හෙළිවිය.


පසුව එම මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් වෑන් රථය නවතා පරීක්ෂා කර ඇති බවත් වෑන් රථයේ අසුන් යට ඉතා සූක්ෂම ලෙස කළුවර ලී වලින් නිමැවූ උසස් තත්වයේ පුටු කට්ටලයක් සඟවා තිබෙන අයුරු පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වී ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිවී යැයි අධිකරණයේ දී හෙළිවිය.මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ.අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ. කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.හබරණ පොලිසිය මෙම මෙම අපරාධය සම්බන්ධයන් සම්බන්ධයන් විමර්ශන මෙහෙයවීය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ මල්ෂා මඩවලගම මෙනෙවිය පෙනී සිටියාය.


Monday, July 15, 2024

යතුරුපැදිය බස් නැවතුමක හැපී තරුණ සූපවේදියා මරුට

 



මොරොන්තුඩුව ඛණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේදී යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු ඊයේ (14) අලුයම බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ, කොලොන්නාව සංගීත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි, සහකාර සූපවේදියකු ලෙස රැකියාව කළ, මීපේ ආරච්චිගේ තෙව්නිජ දිල්මෙත් නමැති තරුණයෙකි.කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික ආහාර නිෂ්පාදන  ආයතනයක සේවය කරන මියගිය තරුණයා පානදුර ප්‍රදේශයේ උපන්දින සාදයකට සහකාර සූපවේදියකු වශයෙන් සේවය ලබා දී රෑ බෝ වූ  බැවින් නිවෙසට  නොගොස් ප්‍රධාන  සූපවේදියාගේ මොරොන්තුඩුව ගෝනදූව නිවෙස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.


ප්‍රධාන සූපවේදියා තවත් කිහිප දෙනකු සමග මෝටර් රථයෙන් ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී මියගිය තරුණ සූපවේදියා යතුරුපැදියෙන් එය පිටුපසින් ධාවනය කර ඇති අතර, ඒ සමගම ඔහුට නින්ද යාම හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස්, සිමෙන්තිවලින් තනන ලද බස් නැවතුමට කඩා වැදී, එහි ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.මෝටර් රථයේ පිටුපසින් විශාල ශබ්දයක් එහි ගමන් ගත් පුද්ගලයකුට ඇසී ඇති අතර, ඒ සමගම මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී ලේ ගලන තුවාල සහිතව වැටී සිටි තරුණයා ගෝනදුව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි. තරුණ සහකාර සූපවේදියාගේ හිසට බරපතළ තුවාල සිදු වී තිබිණි. අනතුරින් යතුරුපැදියේ ඉදිරිපසට මෙන්ම බස්  නැවතුමට දැඩි හානි සිදු වී ඇතැයි පොලිසිය කියයි.


සුමිත් පුතුපිටිය

Thursday, June 27, 2024

කැඩුණු බසය හදද්දී ලොරියක් පස්සෙන් ඇනලා




යාපනය නුවර ඒ-9 මාර්ගයේ පණිච්චන්කුලම ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් පෙරේදා (25) රාත්‍රියේ එකිනෙක ගැටී තිදෙනකු මියගොස්, තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව මාන්කුලම පොලිසිය කියයි.යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් මාන්කුලම, පණිච්චන්කුලම ප්‍රදේශයේ මාර්ගය අසල නවතා ඇති අතර, පසුව එහි රියැදුරු හා කොන්දොස්තරවරයා ඇතුළු මගීන් කිහිප දෙනකු බසයෙන් බැස කාර්මික දෝෂය පරීක්ෂා කරමින් සිටියදී පසුපසින් පැමිණි ලොරි රථය බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවැසීය.

අනතුරින් බස් රථයේ රියැදුරු සහ තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලොරි රථයේ රියැදුරු සහ බස් රථයේ මගියකු බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.අනතුරින් මියගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව ද කියයි.

ලොරි රථයේ රියැදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.මියගිය තිදෙනාගේ සිරුරු කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Friday, May 17, 2024

රියැදුරා අසුනේ මියගිහින්: බසය නූලෙන් බේරෙයි

 



නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක රියැදුරකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රියැදුරු අසුනේදීම පෙරේදා (15) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිදුල පොලිසිය පවසයි.බස් රථය ප්‍රපාතයට පෙරළී නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බවත්, බස් රථය ප්‍රපාතය පාමුල කොන්ක්‍රීට් බැම්මක් මත ගැටීමෙන් නැවතී තිබූ බවත් කියති.ඒ වනවිටත් බස් රථයේ ඉදිරිපස රෝදයක් ප්‍රපාතයට වැටී තිබූ බව ද පොලිසිය කියයි.  මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අටබාගේ, ඉහළගම, මැදකොටුව ප්‍රදේශයේ ප්‍රදේශයේ සුරංග අරුණසිරි අත්තනගේ (47) නමැති නාවලපිටිය ලංගම ඩිපෝවේ රියැදුරකු බව පොලිසිය කියයි. නුවරඑළිය - තලවකැලේ මාර්ගයේ ලැමලියර් ප්‍රදේශයේදී බස් රථයේ රියැදුරා රථය ධාවනය කරමින් සිටියදී ඇති වූ හදිසි අසනීප තත්වයක්

හේතුවෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, බස් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා එහි සිට ඇත්තේ රියැදුරා හා කොන්දොස්තරවරයා පමණක් බවත් ලිඳුල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා කීය.අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණ සඳහාරියැදුරාගේ මළ සිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (16) දින සිදු කිරීමට නියමිතව තිබිණි.ලිඳුල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි.

 ශාන්ත චන්ද්‍රසිරි

Monday, January 1, 2024

පිම්මේ ගිය යතුරුපැදිය ලයිට් කණුවක හැපී හෝටල් සේවකයා මරුට

 


අලුත්ගම ගාලු පාරේ වටරවුම ඉදිරිපිට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් විදුලි කණුවක ගැටී ඊයේ (31) සිදුවූ අනතුරෙන් යතුරු පැදියේ පසු පස ගමන් ගත් තරුණයකු අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි අලුත්ගම පොලිසියේ රථවාහන අංශය කියයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ අලුත්ගම, සීනවත්ත, පූර්වාරාම පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකු කම්කානන්ගේ චාමික පීරිස් (31) නමැති අවිවාහක සංචාරක හෝටල්  සේවකයෙකු බව පොලිසිය කියයි.යතුරුපැදිය පැදවූ (32) හැවිරිදි විවාහකයෙකු වූ පැදිකරු බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මියගොස් ඇති තරුණයාගේ මෘත ශරීරය පිළිබඳ මූලික පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල් හෙට්ටිආරච්චි මහතා අලුත්ගම රෝහලට පැමිණ මූලික මරණ මරණ පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමු කර බව පැවසීය.

 තුසිත කුමාර ද සිල්වා

Tuesday, November 14, 2023

වෑන් රියේ ගැටී සාත්තු සේවිකාව මරුට


පාදුක්ක ඉංගිරිය මාර්ගයේ අරුක්වත්ත ප්‍රදේශයේ පෙරේදා 12 දින සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පාදුක්ක අංගමුව අරුණළු පෙදෙස පදිංචි කේ.ටී. තුෂාරි වාසනා සංජීවනී නැමැති 43 හැවිරිදි විවාහක කාන්තාවකි.

මහරගම පිළිකා රෝහලේ සාත්තු සේවිකාවක වශයෙන් සේවය කරන මෙම කාන්තාව මෙදින නිවසේ සිට පාදුක්ක දෙසට මාර්ගයේ වැලි තීරුවේ ගමන් කරමින් සිටින විට, අතුරුගිරිය ප්‍රදේශයේ සිට ඉංගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසා, වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් කාන්තාවගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් පසුව බරපතළ තුවාල ලැබූ ඇය පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇතැයි පොලිසිය පවසයි.රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මරණය පුෂ්ටයක ශරීරය, හිස, පපුව යන ප්‍රදේශ ගැටීමෙන් හා බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදු වී ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක ඩී.එච්.කේ. චින්තක උදය කුමාර මහතා නිගමනය කර ඇතැයි පොලිසිය පවසයි.

නිහාල් වෙත්තසිංහ

Monday, August 14, 2023

ඇමරිකාවේ දෙමහල් නිවෙසකට මෝටර් රියක් කඩා වැදිලා

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිකේටර් නගරයේ නිවෙසක දෙවැනි මහලට මෝටර් රථයක් කඩා වැදී ඇති අයුරු දැක ගිනි නිවන භටයන් පුදුමයට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. මෙම මෝටර් රථය පැයට කිලෝමීටර 160 ක පමණ වේගයෙන් පැමිණ බෝක්කුවක ගැට්ටක් උඩින් ධාවනය කිරීම හේතුවෙන් මෙම රිය අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව ගිනි නිවන හමුදාව පවසා ඇත. 

පසුගිය 6 වැනිදා පස්වරු 3.17 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් මෙය අනතුරක් නොවන බවත් පෙන්සිල්වේනියා පොලිසිය ප්‍රකාශ කර ඇත. මෝටර් රථය නිවෙසට කඩා වැදුණු අවස්ථාවේ නිවැසියන් පහත මහලේ සිට ඇති බැවින් ඔවුන්ට අනතුරක් සිදු වී නොමැති බව පෙන්සිල්වේනියා පොලිසිය සඳහන් කර තිබේ.

විමුක්ති එස්. රුද්‍රිගු

Thursday, August 10, 2023

ත්‍රිරෝද රිය තවත් වාහන 7ක ගැටී රුසියානු යුවළ රෝහලේ


රුසියන් යුවළක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් තවත් ත්‍රිරෝද රථ තුනක සහ යතුරුපැදි හතරක ගැටී ඊයේ (09) පස්වරුවේ සිදුවූ අනතුරකින් රුසියන් යුවළ සහ තවත් කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. මෙසේ තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු යුවළක් සහ මාර්ගයේ රැඳී සිටි කාන්තාවක බව පොලිසිය කීය. 

වස්කඩුවේ සංචාරක හෝටලයක සිට හික්කඩුව ප්‍රදේශයේ සිරි නැරඹීම සඳහා යමින් සිටි රුසියන් යුවළ රැගත් ත්‍රිරෝද රථය කටුකුරුන්ද ඉන්ධන පිරවුම්හල අසල දී ඒ දෙසටම ගමන් ගත් ත්‍රිරෝද රථයක ගැටී ඉදිරියට ඇදී ගොස් තවත් ත්‍රිරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටී පෙරළී ඇති අතර, අනෙක් ත්‍රිරෝද රථය නවතා තිබූ යතුරුපැදි දෙකක ගැටී නතර වී ඇති බව පොලිසිය කීය. තුවාල ලැබූ කතුන් දෙදෙනා නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රුසියානු ජාතික පිරිමියා සුළු තුවාල ලබා ඇති බවත් පොලිසිය කීය.  රුසියන් යුවළ ගමන් ගත් ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති  බවත් පොලිසිය සඳහන් කරයි.

සුමිත් පොතුපිටිය 

Wednesday, July 12, 2023

ආචාර්ය උපාධියට කැනඩාවට ගිය ලාංකික තරුණයා රිය අනතුරකින් මරුට


මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ආචාරිය උපාධිය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකිකයකු හදිසි අනතුරකින් මියගොස් ඇත. අධ්‍යයන කටයුත්තකට කැනඩාවට ගොස් සිටිය දී වැන්කුවර් නගරයේදී බීමත් රියැදුරකුගේ අපරික්ෂාකාරී රිය පැදවීමක් හේතුවෙන් මියගොස් ඇත්තේ ඇම්.එච්. විනෝජි යසංග ජයසුන්දර නමැති 28 හැවිරිදි තරුණයෙකි. කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකරගත් විනෝජ් යසංග තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය ද එංගලන්තයේ දී නීතිවේදී උපාධිය ද දිනාගෙන ඇත.

ඇමෙරිකාවේ මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළුවී එහි තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔහු කැලිෆෝනියාවේ පිහිටි ඇපල් සමාගමේ ද සේවය කරමින් සිටියේය. ආචාර්ය උපාධියට අදාළ පරේක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා කැනඩාවේ වැන්කුමර් නගරයට ගොස් යළි නවාතැන් පොළට යමින් සිටිය දී විදුලි සංඥා පුවරුවක් අසල සිය මෝටර් රථය නතර කර තිබිය දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පිටුපසින් හප්පා එම අනතුර සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර  ඇත. අනතුරෙන් පැය 12කට පමණ පසුව ඔහු මිය ගිය බව එරට බලධාරීන් ජයසුන්දර මහතාගේ දෙමව්පියන්ට දැනුම් දී තිබේ. සිද්ධියෙන් දින 19කට පමණ පසුව මෘත දේහය මත්තේගොඩ පිහිටි නිවසට ඊයේ (11) රැගෙන ආ අතර අවසන් කටයුතු අද (12) පස්වරුවේ ගාල්ල බටපොළ මානන්ගොඩ පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.


Monday, June 19, 2023

මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පියා ජිවිතක්ෂයට


ගාලු පාරේ තෙල්වත්ත වැරැල්ලාන ප්‍රදේශයේදී ඊයේ (18දා) මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පියා ජීවිතක්ෂයට පත්ව මව සහ දරුදෙදෙනා බරපතළ තුවාල ලබා ඇතැයි මීටියාගොඩ පොලීසිය සදහන්කරයි. තෙල්වත්ත, මැටිවල පදිංචි කිත්සිරි දිසානායක (47) නමැති දෙදෙරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. හික්කඩුව සිට තෙල්වත්ත මැටිවිල දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ පිහිටි දුරකථන රැහැන් ඇද තිබූ කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

තෙල්වත්ත මැට්විල ප්‍රදේශයම පදිංචි මියගිය තැනැත්තාගේ භාර්යාව වන තිස්හය හැවිරිදි කාන්තාව හ විසිදෙහැවිරිදි දුව, දාහත් හැවිරිදි පුතා මෙම අනතුරින් තුවාල ලබා ඇති බව පොලීසිය සදහන්කරයි. මොවුන් සිය මෝටර් රථයෙන් හික්කඩුව නගරයට ගොආපසු සිය නිවස කරා පැමිණෙමින් සිටියදී මේ රිය අනතුරට ලක්වී ඇති බව ද පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උපොලිස්පරීක්ෂක රෝහණ පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.


 එම්.සුයිල් ප්‍රියන්ත

Friday, May 26, 2023

ත්‍රිරෝද රියේ තට්ටුව කඩාවැටී සැමියාට ගැබිනි බිරිඳට තුවාල

අලුතින් මිලදී ගත් ත්‍රීරෝද රථයක තට්ටුව කඩා වැටී එහි ගමන් කළ ත්‍රීරෝද රථ හිමිකරු සහ ඔහුගේ ගැබිනි බිරිය තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ  පොලිසිය පවසයි. මීට සතියකට පමණ ඉහත දී රුපියල් තුන් ලක්ෂ අනූ දහසක මුදලකට ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම ත්‍රීරෝද රථ අලෙවි කරන ස්ථානයකින් මිල දී ගත් ත්‍රීරෝද රථයේ දිරා ගිය පහළ තට්ටුව කැ දමා වංචනික ලෙස තමාට අලෙවි කර ඇති බවත් ඒ සඳහා වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් බළපිටිය ආඳාදොළ පදිංචි පුද්ගලයකු පොලිසියට පැමිණිලි කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 

තමා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පරිගණක ආයතනයක සේවය කරන බවත්, ලීසිං පහසුකම් ලබා ගනිමින් මෙම ත්‍රිරෝද රථය මිලදී ගත් බවත්, ගැබිනි බිරිය සමඟ ගමන් කරද්දී මෙම අනතුර සිදු වූ බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


 එස්. ඒ. වයි. ද සිල්වා 

Thursday, May 18, 2023

පැහැරගෙන ගිය මෝටර් රථයට යටවී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට


මෝටර් රථයක් පැහැරගෙන යන අතරතුරදී පාපැදියක යමින් සිටි පාසල් සිසුවෙකු අනතුරට ලක් කොට ජීවිතක්ෂයට පත් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත්වරයා ඊයේ (17දා) නියෝග කළේය. තිහදි ගමගේ සචින් මධුසංඛ (25) නමැත්තෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මහඉලුප්පල්ලම කුඹුක්කන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය  විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබමින් සිටි පුෂ්පික කසුන්ත සමරතුංග (15) නමැති පාසල් සිසුවා මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

උපකාරක පන්තියක් නිමවී පා පැදියෙන් නිවස වෙත යමින් සිටියදී අනුරාධපුර, මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථය සිසුවා ගමන් කළ පාපැදියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ අඹු-සැමි යුවළක විසින් මෙම මෝටර් රථය පැහැර ගැනීම සිදු කර ඇති අතර, පැහැර ගැනීම සිදු කළ තරුණයා විසින් මෝටර් රථය රැගෙන පළා යමින් සිටියදී මෙම අනතුර සිදු ව තිබිණි. සිය මෝටර් රථය පැහැර ගැනීමට ලක්වූ බවට කාර්මික ශිල්පියකු විසින් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට පෙරේදා (16දා) පැමිණිල්ලක් සිදු කර ඇත.

තමන්ට පෙරේදා  (16දා) පෙරවරුවේ ඇමතුමක් ලබා දුන් කාන්තාවක විසින් තම නිවසේ ඇන්ටනාවක් සවි කිරීමට ඇති බව පවසා පැමිණෙන ලෙසට ඇමතුමක් ලබා දී ඇති අතර, ඒ අනුව තමන් අනුරාධපුර, යාපනය හන්දිය ප්‍රදේශයට පස්වරු 4.00 - 4.30 අතර ගොස් එම කාන්තාවගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ ඒ අසල ඇති අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස ඇමතුමක් ලබා දුන් බව පැමිණිල්ලේ සඳහන් කොට ඇත. ඒ අනුව අතුරු මාර්ගයට මෝටර් රථයෙන් ගමන් කළ අවස්ථාවේදී, තරුණ යුවළක මෝටර් රථයට ගොඩවී තරුණිය විසින් තමාගේ ජංගම දුරකථනය හා තමන් සතුව තිබූ රුපියල් 3500ක මුදලක් පැහැරගත් බවත්, තරුණයා විසින් තමාගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා මුදල් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථාවේ තමන් සතුව රුපියල් 55,000ක මුදල් තිබූ නමුත් එය නොදීම කටයුතු කළ බැවින්, තමාගේ අතට සුළු කැපීමක් සිදු කළ බවද එහි සඳහන් කොට ඇත.

තමන් සතු මුදල් පැහැර ගනීයැයි බිය වී මෝටර් රථයෙන් බැස, දිව ගොස් සහාය ඉල්ලා කෑ ගැසූ බවත්, ඒ අවස්ථාවේදී තරුණයා විසින් මෝටර් රථය මංකොල්ල කා පැහැරගෙන ගිය බවත්, ඒ සමග පැමිණි තරුණිය පළාගිය බවත්, අදාළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇති බවද පොලීසිය පවසයි. පලාගිය 22 හැවිරිදි තරුණියද, මෝටර් රථය පැහැර ගැනීමට ලක් වූ අතුරු මාර්ගයේම තාවකාලිකව පදිංචි වී සිටි නිවසේදී පෙරේදා (16දා) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත. අත්අඩංගුවට ගත් තරුණිය හා තරුණයා අඹුසැමියන් බවත් ඔවුන් තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිසුවා අනතුරට පත්ව ඇත්තේ වාහනය පැහැරගෙන යන අතර තුරදීය. ජීවිතක්ෂයට පත්වූ සිසුවාගේ නිවසට මීටර් 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව තිබිණි. සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය, සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරළීගොස්, අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි. අනතුරින් පාපැදියට මෙන්ම මෝටර් රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි. අනතුරින් පසු සිසුවා සේනපුර  ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. අනතුරට ලක් වූ මෝටර් රථයේ රියැදුරා සුළු තුවාල ලබා සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා කලාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය සඳහන් කරයි. ඔහු හෙරොයින් භාවිතයට ගෙන සිටියේද යන්ද පිළිබඳ පක්ෂණ පවත්වන බවද ඉපලෝගම පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

බී.ජී. චතුරංග

Tuesday, April 11, 2023

යුද හමුදා -වෑන් අනතුරින් පාපැදිකරු මරුට

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ මොරටුව ප්‍රදේශයේදී ඊයේ (10දා) යුද හමුදාවට අයත් වෑන් රථයක් ලොර්යක, පා පැදියක හා පදිකයන් දෙදෙනෙකුගේ  ඇගේ ගැටී සිදුවූ අනතුරෙන් පාපැදිකරු මියගොස් මව සහ පුතෙකු තුවාල ලබා ඇතැයි  මොරටුව පොලීසිය පවසයි. හොරේතුඩුව මොරටුව  ලිපිනයේ පදිංචිව සිටි අජිත් ප්‍රියලාල් මැන්ඩි (53) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරෙන් තුවාල ලැබූ මව, පුතා සහ ලොරි රථ රියැදුරු ලුනාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇතැයි පොලීසිය පැවසීය.

පානදුරේ සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබුණු හමුදා වෑන් රථයක් වේගයෙන් පැමිණ පාපැදිකරුද යටකරගෙන මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටී  මගීන් දෙදෙනාද යට කරන ආකාරය ආරක්ෂක කැමරා දර්ශනවල සඳහන්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරෙන් ජීවිතක්ෂයට  පත්ව ඇත්තේ වඩු කාර්මිකයෙකු බව සඳහන් කරන පොලීසිය අනතුර සිදුවන අවස්ථාවේ ඔහු නව ගාලු පාර දෙසට සිය පාපැදියෙන් වමින් සිට ඇති බව පොලීසිය පැවසීය. වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගැනීමෙන් පසු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මොරටුව පොලීසියේ  රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අජිත් පොලිස් කොස්තා ඇතුළු නිලධාහු පිරිසක් අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

 රේඛා තරංගනී ෆොන්සේකා


Monday, April 10, 2023

දින 5ක දී සිදුවුණු රිය අනතුරු 265කින් පුද්ගල මරණ 25ක්



පසුගිය 04වැනි දින සිට ඊයේ (09දා) දිනය දක්වා ගෙවී ගිය දින 05ක කාලයෙහි දී රියඅනතුරු දෙසිය හැටපහක් (265)ක් සිදුවී තිබෙන බවත් මෙයින් පුද්ගල මරණ විසිපහක් (25) සිදුවී තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.  මේ කාලයෙහි මාතලේ ප්‍රදේශයේ වයස අවුරුදු 19ක් පමණ වන පාසල් සිසුවෙකු පැද වූ රථයක් අනතුරට ලක් වී සිසුන් 09දෙනෙකු තුවාල ලබා එක් සිසුවෙකු මියගොස් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මීට පෙර බදුල්ල ප්‍රදේශයේ ක්‍රිකට් තරගාවලියක් අතර තුර සිසුවෙකු පැදවු වාහනයක් අනතුරකට ලක් වී මරණ දෙකක් වාර්ත වී දසදෙනෙකු පමණ තුවාල ලබා තිඛෙන බවත් පවසා සිටියේය.  වයස අවුරුදු 18 සම්පුර්ණ වූ පසු වැඩිහිටියන් ලෙසට නීතියෙන් සැලකුවත් පාසල් යන වයසේ පසුවන දරුවන් පිළිබඳව දෙමාපියන් මීට වඩා අවධානයකින් කටයුතු කළ යුතු බවත් බවද ඔහු සඳහන් කළේය. මේ වන විට උත්සව සමය ආරම්භ වී තිබෙන බවත් කිසිදු අවස්ථාවක බීමත්ව හෝ අධික වේගයෙන් රිය පැදවීම් සිදුනොකරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ

Tuesday, February 21, 2023

ප්‍රපාතයට පෙරළුණු බසයට යට වී මියගිය තරුණයකුගේ සිරුර හමුවෙයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගෙන මහරගම දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් නෝටන්බ්‍රිජ්, දියගල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී පෙරේදා (19) රාත්‍රී සිදු වූ අනතුරෙන් එම බස් රථයට යට වී මියගොස් සිටි තරුණයකුගේ සිරුර ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහ නෝටන්බිජ් පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (20) උදෑසන සොයාගනු ලැබීය. මෙසේ සොයාගනු ලැබුවේ හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි ඩිලාන් කෞෂල්‍ය (33) නම් තරුණයාගේ සිරුරයි. මෙම බස් රථ අනතුරෙන් 26 දෙනකු තුවාල ලබා තරුණියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වි සිටි අතර, එම බස් රථයේ පැමිණි අයකු අතුරුදන් බව සැලමවීමෙන් පසුව යුද හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක්ව ඊයේ (20) උදෑසන බස් රථය පරික්ෂා කිරීමේදී අතුරුදන්ව මෙම තරුණයාගේ සිරුර සොයාගෙන ඇත.

එම තරුණයාගේ සිරුර වටවල  ප්‍රාදේශීය රෝහල වෙත යොමු කිරීමට ද ආරක්ෂක අංශ  නිලධාරිහු කටයුතු කළහ. තුවාලකරුවන් අතර බස් රථයේ රියැදුරාද සිටින බව පොලිසිය කියයි. ඒ අනුව මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළගොස් ඇත. බස් රථ අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු තරුණියන් දෙදෙනකු වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේම මිය ගොස් සිට ඇති අතර, එසේ මිය ගොස් ඇත්තේ මාතර, අකුරේගොඩ පදිංචි කසුනි ඉමන්තිකා ජයලත් (33), මාතර උඩුකුඹුර පදිංචි නයනාරත්න කුමාරි රත්නායක (35) යන දෙදෙනාය.

තුවාල ලැබූවන්  වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්  කිරීමෙන් පසුව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවනු ලැබිණි. එම තුවාලකරුවන් අතරින් තුවාලකරුවන් පස්දෙනකුගේ තත්වය බරපතළ නිසා ඔවුන් වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල් වෙත යොමු කර ඇත.  තුවාලකරුවන් අතර  බස් රථයේ රියැදුරු සහ  කොන්දොස්තරවරයා ද වන  අතර, රියැදුරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේත්, කොන්දොස්තෙරවරයා පේරාදෙණිය  ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබමින්  සිටිති.

නල්ලතන්නිය,   ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ්  හුලංවංගුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇත. ධාවනය වෙමින් තිබු බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් බස් රථයකට ඉඩ ලබාදීමකට යාමේ දී මාර්ගයේ කොටසක් කැඩි ගොස් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 පමණ ප්‍රපාතයට පෙරළී ඇතැයි නෝටන්බ්‍රිජ් පොලීසිය කියයි. අනතුරෙන් තුවාල ලැබූ තරුණයකු පැවසුවේ රත්මලාන ප්‍රදේශයේ බිස්කට් කර්මාන්ත  ශාලාවක සහ ඇඟලුම්  කම්හලක සේවය කරන මිතුරු මිතුරියන් පිරිසක් කුලීපදනම යටතේ බස් රථයක් ගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බවයි. ශ්‍රී පාදය වැඳපුදාගත් පිරිස ඉන්පසු බස් රථයට නැගී පෙරේදා (19) රාත්‍රී 8.00 ට පමණ යළිත් මහරගම බලා පිටත් වූ බවත්, සියලු දෙනා මහන්සියට නිදාගත් බවත් කී එම තරුණයා අවදි වූයේ බස් එක පෙරළෙන විට බවත් කීවේය.

අනතුරට පත් බස් රථයේ හිමිකාරිය වන, හෝකන්දර පදිංචි ඩී.එම්. ශාමින්දි දිල්රුක්ෂි මහත්මිය පැවසුවේ බසයේ රියදුරු සහ කොන්දොස්තර යන දෙදෙනාම මීට පෙර කිහිප වරක්ම ශ්‍රී පාද වන්දනා කරුවන් රැගෙන එම මාර්ගයේම පැමිණ  ඇති බවය. මියගිය තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර  ඇත.

Monday, February 20, 2023

රිය අනතුරින් දැඩි සත්කාරයේ සිටි සිසුවිය දෙසතියකට පසු මියගිහින්

පාදුක්ක, වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී යතුරුපැදියක යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දින දොළහක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් හැවිරිදි පාසල් දැරිය මියගොස් ඇති බව මීගොඩ පොලීසිය පවසයි. අනතුරෙන් මියගිය පාසල් දැරියගේ හදවත, වකුගඩු, පෙණහලු, ඇස්, අස්ථි ඇතුළු සිරුරේ අවයව අටක් දන් දුන් බව මියගිය දැරියගේ මවුපියන් වන ප්‍රියදර්ශනී අමරසේකර සහ දිනේෂ් හේමන්ත කිරිවන්දල පැවැසූහ.

මෙසේ මියගොස් ඇත්තේ නිසලී ලොසදී කිරිවන්දල නමැති පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලේ දහය වසරේ ඉගෙනුම ලැබූ පනාගොඩ පන්සල  පාරේ පැළඳගොඩ පදිංචි (15) හැවිරිදි පාසල් දැරියකි. ඇය පසුගිය 03 දා පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී මිතුරකු සමග යතුරු පැදියකින් පැමිණෙමින් සිටියදී පාදුක්ක, වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබූ අතර අනතුරෙන් පසුව යතුරුපැදිය මීටර් තිහක් පමණ දුරට මාර්ගයේ ඇදී යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණි.අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා මෙම දැරිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අතර බරපතළ තත්ත්වයේ පසුවූ දැරිය කොළඹ ජාතික රෝහලට මාරුකරනු ලැබුවාය. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් ඇති අතර පැදිකරු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Monday, January 30, 2023

විශ්වවිද්‍යාල සිසුවකු පැදවු වෑන් රථය අනතුරට ලක්විමෙන් මව මරුට


විශ්වවිද්‍යාල සිසුවකු පැදවූ වෑන් රථයක් පෙරේදා (28දා) අලුයම මීගමුව මීරිගම මාර්ගයේ කටාන ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් ඔහුගේ මව මියගොස් පවුලේ සාමාජිකයන් හයදෙනෙකු තුවාල ලබා ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.  කටාන නැගෙනහිර කළුවාරිප්පුව පදිංචිව සිටී වත්තලගේ අනුෂා දීපානි (55) නමැති තිදරු මවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම පවුලේ පිරිස පානදුර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගීව නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අදාළ රථය පැදවූ විශ්වවිද්‍යාල සිසුවා, ඔහුගේ පියා නිවුන් සහෝදරයන් දෙදෙනා සහ වයස අවුරුදු දෙක හමාරක පිරිමි දරුවකු හා එම දරුවාගේ මව ද තුවාලකරුවන් අතර වන බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූවෝ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටිති. විදුලි කණුව කැඩී අසල තාප්පයක් ද සුනුවිසුනු වී ඇතැයි පොලීසිය කියයි. වෑන් රථයේ පිටුපස අසුනේ ගමන් කළ මව රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත් වී ඇති බව හෙළි වීඇතැයි පොලීසිය සඳහන් කරයි. බඩල්ගම පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවංශ සහ උපපොලිස් පරීක්ෂක රෙජිනෝල්ඩ් යන නිලධාරීහු අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


මීරිගම - කාන්ති

Tuesday, December 27, 2022

පිල්ලෙයාන්ගේ නිල රිය ලයිට් කණුවක ගැටී රියැදුරා රෝහලේ



රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට අයත් නිල රථය මයිල් අඹවලි ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීම නිසා රියැදුරා තුවාල ලබා මඩකළපුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. මෙසේ රෝහල් ගත කර ඇත්තේ අනෝජ් කුමාරන් නමැති රියැදුරෙකි.

මෙම අනතුරින් කාර් රථයට හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. එරාවුර් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බනේයන් පරීක්ෂණ පවත්වති.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Thursday, December 22, 2022

වෑන් මරුවෙක් පාර අයිනේ සිටි කතුන් තිදෙනකු එතැනම මරා දාලා



කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනය වූ වෑන් රථයක් නාරම්මල බැඳීගමුව මංසන්ධියේදී බස් රථයක් එනතුරු මාර්ගය අසල රැඳීසිටි කාන්තාවන් තිදෙනකු යටකරගෙන ගොස් පෙරේදා (20) සවස සිදුවූ අනතුරකින් එම කාන්තාවන් තිදෙනාම මියගොස් ඇතැයි නාරම්මල පොලීසිය පවසයි.

අනතුරට ලක්වූ කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ අනෙක් කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇත.නාරම්මල බැඳිගමුව ප්‍රදේශයේ පදිංචි ජයකොඩි ආරච්චිලාගේ චනද්‍රාවතී (69), ලද්දුසිංහ බදු සාමාවතී (61) හා ආරච්චිලාගේ කාන්ති චන්ද්‍රලතා (56) යන කන්තාවන් තිදෙනා මෙලෙස මියගොස් ඇත.ඔවුන් තිදෙනා සමෘද්ධි බැංකුවක් වෙත යෑම සඳහා බස්රථයකට ගොඩවීමට මාර්ගය අසල රැඳී සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව පොලිසිය කියයි.

කුරුණෑගල දෙස සිට ගමන්කර ඇති වෑන්රථය මාර්ගයේ සිටි කාන්තාවන්ගේ ගැටී යටකරගෙන ඒ ආසන්නයේ තිබූ කුඹුරක් දක්වා ගොස් නතර වී ඇති බවත් වාර්තා වේ. බරපතළ ලෙස තුවාල ලබා සිටි කාන්තාව නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කුරුණෑගල මූලික රෝහලවෙත මාරුකර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිදී මියගොස් ඇත. අනතුර සිදුකළ වෑන්රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය පරීක්ෂණ පවත්වයි.


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය