Friday, June 28, 2024

රටින් පැන ගිය විත්තිකරුවන් යළි ගෙන්වන ක්‍රියාමාර්ගය කියන්න

 



බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 196.8 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනාගෙන් රටින් පලා ගොස් ඇති චිත්තකරුවන් දෙදෙනා යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ඊයේ (27දා) නියම කළේය.2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් නිදොස්කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනාගෙන් දෙදෙනෙකු රටින් පලා ගොස් ඇතැයි දැනුම් දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් නිදොස්කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා වරදකරුවන් බවට තීරණය කර ඔවුන්ට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා නීතිපතිවරයා ගොනු කර තිබූ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය කළ දැනුම් දීමක් සලකා බැලූ අධිකරණය එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට ඉදිරි දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරේරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල බෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම අභියාචනා පෙත්සම කැඳවනු ලැබීය.පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙව්ය කරුණු දක්වමින් මහාධිකරණයෙන් නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා අතුරින් විත්තිකරුවන් තිදෙනකුට පෙත්සමට අදාළව සිතාසි භාර දී ඇතැයි කීවාය.මෙහි දෙවැනි සහ පස්වැනි වගඋත්කරුවන් මේ වන විටත් රටින් පිටවී ගොස් ඇති බවත් දෙවැනි විත්තිකරු වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් ඔහු ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් පස්වැනි විත්තිකරු 2023 ජනවාරි 15 වැනිදා සිංගප්පුරුවට ගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බවත් අයේක්ෂා ජිනසේන මෙනෙවිය කීවාය.

විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සොලිසිටර් ජනරාල්වරිය මෙම විත්තිකරුවන් දෙදෙනා රටින් පිටවී ගොස් ඇත්තේ නීත්‍යනුකූල මාර්ගයෙන් යැයි කීවාය. පංචපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරේරාජා මහතා අධිකරණය අමතමින් ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය අමතමින් උදර්පන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර විත්තිකරුවන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඇතැයි පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිතාසි භාරදී ඇති විත්තිකරුවන් තිදෙනාට ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඔවුන්ට රටින් පිටවී යෑමෙන් වැළකී සිටින ලෙස දැනුම් දෙන ලෙසද නියම කළේය. පෙත්සම් විභාගය අගෝස්තු 06වැනිදා පැවැත්වීමටද නියම කෙරිණ.

2019 වසරේ නොවැම්බර් මස 21වැනිදා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩු පවරන ලද අතර දීර්ඝ නඩු විභාගයකින් පසු 2023 අප්‍රේල් 06 වැනිදා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කෙරිණ, මහාධිකරණ තීන්දුව නීතියට පටහැණි හෙයින් එම තීන්දුව අහෝසි කර විත්තිකරුවන් චෝදනාවන්ට වරදකරුකර ඔවුන්ට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ගොනු කර ඇත.

බුද්ධිමාල් රුබේරු

කිකිළි පැටවෙක් 1000ක්

 



බිත්තර නිෂ්පාදන ගොවිපළවලට අවශ්‍ය කිකිළි පැටවෙකුගේ මිල ඊයේ (27දා) වන විට රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා කුඩා පරිමාණ බිත්තර ගොවිපළ හිමියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දෛනිකව බිත්තර අවශ්‍යතාවෙන් වැඩිම කොටසක් ලබා දෙන්නේ කුඩා පර්මාණ ගොවිපළ හිමියන් විසින් බවත්, 2022 වසරේ සිට ඇති වූ ආර්ථික අර්බුදය නිසා මේ දක්වා කාලයෙහිදී කුඩා පරිමාණ බිත්තර ගොවිපළවල් අතිවිශාල ප්‍රමාණයක් වැසී ගොස් තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරීක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

දෛනික බිත්තර අවශ්‍යතාව මේ වන විට බිත්තර ලක්ෂ අසූවක් බවත් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ බිත්තර ලක්ෂ 50-60 අතර ප්‍රමාණයක් බවත් හෙතෙම පවසා සිටියේය. 2022 වසරේ අගෝස්තු මාසයේ සිට කුඩා පරිමාණ බිත්තර ගොවිපොළවල් අර්බුදයට ලක් වීම නිසා මව් සතුන්ගේ මිල සහ සත්ත්ව ආහර හා විටිමින් වර්ගවල මිල අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස එම වකවානුවේ සිටම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද සිදුකරනු ලැබුවේ ගැටලුවට විසඳුම් ලබා නොදී ඉන්දියාවෙන් යම් බිත්තර ප්‍රමාණයක් රැගෙන විත් වෙළෙඳ පොළ හිඟය අඩු කිරීම බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමාණය සිඹා වී තිබෙන බවත්, මේ අනුව පවතින බිත්තර හිඟය නිසා ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රු. 60 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, බිත්තර මිල ඉහළ යෑමට සාපේක්ෂව හොඳ මව් සතෙකුගේ මිල රු.1000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.පසුගිය කාලයේදී මව් සතෙකු රුපියල් 700 -රු. 900 අතර මිලකට අලෙවි වූ බවත්, මේ වන විට මව් සතුන්ගේ හිඟයක්ද නිර්මාණය වී තිබෙන බවත්, මේ නිසා රජය මැදිහත් වී සහන ලබා දී හෝ මව් සතුන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දිය යුතු බවත් නිරීක්ෂ කුමාර මහතා සඳහන් කළේ ය.

ඉන්දික හේවාවිතාරණ

නුවරඑළිය බස් නැවතුම්පොළේ පොදු වැසිකිළියට ගිය දෙදෙනෙකු අබිරහස් ලෙස මරුට

 



නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අබිරහස් ලෙස මියගොස් ඇතැයි නුවරඑළිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. පෙරේදා (26දා) පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු වැසිකිළියට ගිය අවස්ථාවේ එම පුද්ගලයා වැසිකිළියේදීම මියගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (27දා) උදෑසන එම වැසිකිළියට ගිය අවස්ථාවේ මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අබිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත්,නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේද සහාය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බවත් පොලීසිය පවසයි.අදාළ වැසිකිළියෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවත්, ඒ පිළිබඳ විමර්ශන කටයුතුවල අවධානය යොමු වී ඇති බවත් නුවරඑළිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.නුවරඑළිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


 රංජිත්  රාජපක්ෂ 

මාසෙකට ලක්ෂ 2ක්:පොහොට්ටු මන්ත්‍රීලා 21 කට ආණ්ඩුවේ ලොක්කකුගෙන් සුපිරි දීමනාවක්

 




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව විශ්වාස කටයුතු ආරංචි මාරිගයකින් දැනගන්නට ඇත. පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයකුගේ මැදිහත් වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන් දෙදෙනකු ද සිටින බව දැනගන්නට ඇත.ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයකුගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ එවැනි තොරතුරක් තමාට ද ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන යන බවයි.


සුජිත් හේවාජුලිගේ


විල්පත්තු ගැසට්ටුවට ඇමති පවිත්‍රා උසාවි ගෙන්වයි

 



විල්පත්තු වෙඩිතලතිව් රක්ෂිතයෙන් ඉස්සන් ගොවිපොළකට අක්කර 415ක් නිදහස් කරමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම කිරිම වහාම වහාම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඉස්සන් ගොවිපොළකට රක්ෂිත වනයකින් අක්කර 415ක් නිදහස් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට නියම කරමින් වගඋත්තරකාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණි.ගොවිපොළකට අක්කර 415ක් නිදහස් කරමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මැයි 06 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් විශාල පරිසර හානියක් වන බව පෙන්වා දෙමින් වනජීවී ආරක්‍ෂණ සංගමය සහ පාරිසරික පදනම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු වනජී වී අමාත්‍ය වරිය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.වනජීවී ආරක්ෂණ සංගමය සහ පාරිසරික පදනම ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් නම් කර ඇත. විල්පත්තු වෙඩිතලතිව් ජාතික රක්ෂිතයෙන් හෙක්ටයාර් 168ක ප්‍රමාණයක් ඉස්සන් වගාව සඳහා වෙන් කිරීමට යන බව තමන්ට දැන ගන්නට ලැබුණු බව පවසන පෙත්සම්කරුවෝ ඒ අනුව කළ සොයා බැලීමේදී පසුගිය මැයි 06 වැනිදා වනජීවී අමාත්‍යවරිය වශයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් අදාළ ඉඩම් ප්‍රමාණය වෙන්කර ඇති බව අනාවරණය වු බවද සඳහන් කරති.

මේ තත්වය හේතුවෙන් වන රක්ෂිතයේ විශාල වන විනාශයක් මෙන්ම පරිසර පද්ධතියට විශාල හානියක් වන බව පෙන්වා දෙන පෙත්සම්කාර සංවිධාන මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නැයිද අදාළ ගැසට් නිවේදන ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඬුල්ල පෙත්සම් නොවැම්බර් 12 වැනිදා විභාගයට ගැනීමට ද දින නියම කළේය.පෙත්සම්කාර සංවිධාන වෙනුවෙන් නීතිඥවරුන් වන නිරුෂාන් සිරිමාන්න, දේශානි ගුණතිලක සහ රුක්ෂාන් සේනාධීර මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රජිව් ගුණරත්න මහතා පෙනී සිටියේය.

 රන්ජන් කටුගම්පොල

ෆොනි පනින්න කලින් පන්නන්න සජබෙ මන්ත්‍රී පිරිසකගෙන් මෙහෙයුමක්

 


සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවැසුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සැරසෙන හෙයින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි. 


නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට පක්ෂයට පූර්ණ බලය පවතින බව ද හෙතෙම සඳහන් කළේය.කෙසේ වෙතත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කළේය.ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.


 සුජිත් හේවාජුලිගේ

ගාල්ලේ හිරගෙදර රැදවියන්ගෙන් පහර කා රැඳවියෙක් මරුට




ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු තවත් රැදවියන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) රාත්‍රි මියගොස් ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසයි.මියගොස් ඇත්තේ හියාරේ ගමගේ නිහාල් අරුණ ශාන්ත (56) නමැති පල්ලේවත්ත,පොද්දල, බලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් මෙකී රැඳවියා බන්ධනාගාරගතව සිට ඇත. ඔහු ගාල්ල බන්ධනාගාරයේ එච්. වාට්ටුවේ රඳවා සිට ඇත.

මෙකී රැඳවියා විසින් වැසිකිළිය සඳහා භාවිත කරනු ලබන භාජනයක් ජල ටැංකියකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වාට්ටුවේ සිටි රැඳවියන් දෙදෙනෙකු මොහුට පහරදී ඇත. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ රැඳවියා ගාල්ල බන්ධනාගාරය මගින් මීට දින තුනකට පමණ ඉහතදි කරාපිටිය රෝහලේ 37 වාට්ටුවට ඇතුළත් කොට තිබුණි.මොහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර මියගිය රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබුණි. ගාල්ල බන්ධනාගාරය සහ ගාල්ල පොලිසිය එක්ව මේ පිළිබඳ පරික්ෂණ පවත්වයි.

ජේ.කේ.එල්. චාමින්ද

ඉන්දිරාගේ සිංහල පෙම්වතා

 ආදරය සුන්දරය. ආදරයට සීමා බන්ධන නැත. ජාති, කුල, ආගම් භේද නැත. ආදරයට භාෂාව ගැටලුවක් වන්නේ නැත. ආදරයට දේශසීමා නැත.ඒ, 1930 වසරය. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍යයේ යටත් විජිත විය. නිදහස වෙනුවෙන් එහෙත් මෙහෙත් අරගල ආරම්භ වෙමින් පැවැතිණි. අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් ආගම, සංස්කෘතිය සහ සිරිත් විරිත් යටපත් කරගෙන තිබුණි. ජාතිහිතෛෂි බවක් ඇති විය යුතු බව නිදහස් අරගලයට උර දුන් සියලු දෙනාගේ එකම අදහස විය. බ්‍රිතාන්‍යන් විනාශ කළ දේශීය සංස්කෘතිය,සිරිත්විරිත් සහ කලාව නැවතත් ජනතාවට හුරු කිරීම කළ යුතු යැයි ඒකමතිකව තීරණය කෙරුණි. රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ඉන්දියාවේ ශාන්ති නිකේතනය ආරම්භ කළේ ඒ අනුවය.

ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා සංගීතයට ප්‍රිය කළ තැනැත්තෙකි.ඇගේ දියණිය ද එසේමය. දියණිය සංගීතයට පමණක් නොව නර්තනයට ද උනන්දුවක් දැක්වූ නිසා, ඇය සංගීතඥවරියක වනු දැකීම නේරුගේ කැමත්ත විය. ඒ අනුව, නේරු, සිය දියණිය ශාන්ති නිකේතනයට ඇතුළු කළේය. 16 හැවිරිදිඉන්දිරා ප්‍රියදර්ශනී නේරු දැකුම්කලු රූමත් නව යුවතියක වූවාය.ශාන්ති නිකේතනය, ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික කලාකරුවන් බොහෝ දෙනකුට අධ්‍යාපනය ලබා දුන් මහ ගෙදර විය. ශ්‍රී ලංකාවේ බද්දේගම ප්‍රදේශයේ සිට, ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය හැදෑරීමට ගිය තරුණයෙක් වූයේ පසු කාලයක මෙරට දක්ෂ සංගීතඥයකු ලෙස ගෞරවාදරයට පත් ලයනල් එදිරිසිංහ නම් ඔහු කඩවසම් හාදයාය.ලයනල් එදිරිසිංහයන් කෙටි කලකින් හින්දි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි,ශාන්ති නිකේතනයේ කැපී පෙනෙන සිසුවෙක් බවට පත් විය. ඔහුගේ කඩවසම් පෙනුමට නිකේතනයේ සිසුවියන් රැසකගේ සිත බැදුණු බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සිසුවියන් අතරේ, ඉන්දිරා ප්‍රියදර්ශනී නේරු ද විය. ලයනල් තරුණයාගේ සිත ද ඇය ළඟ නතර විය. මිත්‍රත්වයකින් ඇරැඹි හිතවත්කම, ප්‍රේම සම්බන්ධයක් තෙක් දුර දිග ගියේය. ලයනල් එදිරිසිංහයන්ගේ පෙම්වතිය වූයේ සාමාන්‍ය පවුලක කෙනෙක් නොව, ඉන්දියාවේ නිදහස් අරගලයේ දැවැන්තයකු වූ ජවහර්ලාල් නේරුගේ එකම දියණියයි. පසු කාලයක ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ ඉන්දිරා ගාන්ධිය. ඉන්දියාවේ එකම අග්‍රාමාත්‍යවරිය බවට ද පත් වුණු ඉන්දිරා ගාන්ධිය.

ඉන්දිරා - ලයනල් ප්‍රේම කතාව, නේරුතුමා දැනගත් විට, ඔහු ඊට තදින්ම විරෝධය පළ කළේය. තම විරෝධය ඔහු රවීන්ද්‍රනාත් තාගෝර් තුමාට ද ලිපියක් මගින් දැනුම් දුන්නේය. ශාන්ති නිකේතනයේ කුල මල භේද පසෙකලා සිසු සිසුවියන් ආරම්භ කර තිබූ පෙම් සබඳතා සියල්ලටම නිදහස සහ ආශිර්වාදය දුන් රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්, නේරුගේ ලිපියට පිළිතුරු නොදුන්නේය. නේරුගේ කෝපයට එය හේතුවක් විය. දියණියගේ ප්‍රේම සම්බන්ධයට නේරුගේ බිරිඳ සහ ඇගේ මව වූ කමලා නේරු විරුද්ධ වූයේ නැත. නේරුතුමන්, ලයනල් එදිරිසිංහයන්ගේ පියා වූගිල්බට් රාළහාමිට ලිපියක් යවමින්, ඉන්දිරා - ලයනල් ප්‍රේම කතාවට විරෝධය පළ කළේය.

ගිල්බට් රාළහාමි සිය පුතුට අවවාද කර ඇත්තේ ඔහු විවාහ විය යුත්තේ ලාංකික තරුණියක සමඟ පමණක් බවය. එසේ වුවත්,තම කුළුදුල් ප්‍රේමය අත් හැරීමට ලයනල් එදිරිසිංහයන් කැමැති වූයේ නැත.නිදහස් අරගලයේ උණුසුම් වෙද්දී, ජවහර්ලාල් නේරු දිගින් දිගටම බ්‍රිතාන්‍යයන්ගේ සිරභාරයට පත්විය. කමලා නේරු මහත්මිය ක්ෂය රෝගයට ලක් විය. ක්ෂය රෝගීන්ට යුරෝපා රටවල දේශගුණය ගුණදායක යැයි වෛද්‍යවරුන් නිර්දේශ කළ බැවින්, ඇයදකුණු ජර්මනියට රැගෙන යෑමට තීරණය කෙරුණි. මව වෙනුවෙන් කැපවුණු ඉන්දිරා, අධ්‍යාපනය අතරමඟ නතර කර, පෙම්වතා ලයනල්ගෙන් ද සමු ගත්තේ මව සමඟ දකුණු ජර්මනියට යමිනි. ඉන්දිරා - ලයනල් ප්‍රේම කතාව දෙදරා යෑම ආරම්භ වූයේ එලෙසිනි.

මුල් කාලයේ ඉන්දිරා - ලයනල්ට ලිපි එවූ නමුත් පසුව, මව සම්බන්ධයෙන් වගකීම් වැඩි වූ බැවින්, ලයනල් එදිරිසිංහයන්ට දිගටම ලිපි යැවීම ඉන්දිරාට ගැටලුවක් වී ඇත. කමලා නේරුගේ සෞඛ්‍යය යහපත් අතට හැරුණි. ඉන්දිරා නැවත මව සමඟ ඉන්දියාවට පැමිණියාය.ඉන්දියාවට පැමිණීමෙන් පසු කමලා නේරුගේ සෞඛ්‍යය යළි අයහපත් විය. වෛද්‍යවරුන් දුන් උපදෙස් අනුව,ඉන්දිරාගේ මව වූ කමලා මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තය වෙත රැගෙන යන ලදී. ඒ වනවිටත්, නේරුතුමා සිටියේ සිරභාරයේය. කමලා නේරු මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරුණේ නැත. පසුව විශේෂ අවසරයක් සහිතව ජවහර්ලාල් නේරුතුමා සිය බිරිඳ බැලීමට ස්විට්සර්ලන්තයට ගියේය. එහිදී සිය ස්වාමියාගේ තුරුලේ කමලා නේරු අවසන් සුසුම් හෙළුවාය. ඉන්පසු ඉන්දිරාගේ සියලු වගකීම් ජවහර්ලාල් නේරුතුමන්ට දැරීමට සිදුවිය.පියාගේ වචනයට අවනත වුණු ඉන්දිරා ඉතා සංවේගයෙන් සිය පෙම්වතා අමතක කිරීමට තීරණය කළාය.

ඇගේ අධ්‍යාපනය කටයුතු අතරමග නතර වූ නිසා ජවහර්ලාල් නේරුතුමා ඇයව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් කළේය. එහිදී ඉන්දිරාට, ෆෙරෝස් ගාන්ධි නමැති තරුණයා හමුවිය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය කටයුතුවලදී ඇයට බොහෝ සෙයින් උදවු කළේ ෆෙරෝස් ගාන්ධි ය. (මහත්මා ගාන්ධි සහ ෆෙරෝස් ගාන්ධි අතරේ කිසිදු සම්බන්ධයක් නැත.) ඉන්දිරා සහ ෆෙරෝස් ගාන්ධි ආදර කතාව ආරම්භ වූයේ ඉන් අනතුරුවය. දෙදෙනා අතරේ නොගැළපීම් තිබුණ ද පියාගේ කැමැත්ත සහ ආශිර්වාදය මැද දෙදෙනා විවාහ විය. ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණු පසු ජවහර්ලාල් නේරුතුමා ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. යළි ඉන්දියාවට ආ ඉන්දිරා ගාන්ධි මහත්මියට පසුව එදිරිසිංහයන් හමුවිය. ඒ වනවිටඔහු ද විවාහ වී සිටියේය. එපමණක් නොව, ලයනල් එදිරිසිංහයන් සංගීත විශාරද උපාධිය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් වී සිටියේය. හේවුඩ් කලා විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයාද ලයනල් එදිරිසිංහයන්ය.ඉන්දිරා ගාන්ධි, පළමුවෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 1966 වසරේදීය. ඒ නේරුතුමන්ගෙන් පසුවය. ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ අතර ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස එම ගෞරවය දිනා ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බව ද සිහිපත් කළ යුතුය. 

ලයනල් එදිරිසිංහ මහතා, ඔහුගේ ප්‍රථම ප්‍රේමය සිහිවීමට සිය දියණියට ඉන්දිරා යන නම තැබුවේය.ලයනල් එදිරිසිංහයන් සහ පවුලේ අයට ඉන්දියාවේ පදිංචියට එන්නැයි ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉල්ලා සිටියද ලයනල් එදිරිසිංහයන් ඊට කන් දුන්නේ නැත. ලයනල් එදිරිසිංහයන් පසුකාලීනව හදවත් රෝගියකු බවට විය. ඒ බව සැලවුණු සැණින්, ඉන්දිරා ගාන්ධි මහත්මිය, මෙරට ඉන්දීය මහකොමසාරිස් මාර්ගයෙන් ලයනල් එදිරිසිංහයන් ඉන්දියාවට ගෙන්වා ගැනීමට උත්සාහ කළේය.කෙසේ නමුත් එදිරිසිංහයන්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ගුවන් ගමන් හිතකර නොවන බව වෛද්‍යවරු පෙන්වා දුන්හ. ශෝකයට පත් ඉන්දිරා ගාන්ධි මහත්මිය, ලයනල් මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳ සොයා බලා තමාට දිගින් දිගටම දැනුවත් කරන ලෙස ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝගී වූ ලයනල් එදිරිසිංහයන්ට ලිපියක් සහ මල් කළඹක් ද එවූ බව පැවැසෙයි.

ලයනල් එදිරිසිංහයන් දැඩි ලෙස රෝගාතූර වී, ලෙඩ ඇදේ සිටිද්දී, 1984 ඔක්තෝබර් මස 31 වැනිදා සීක් ජාතික ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩි පහරින් ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යතුමිය ඝාතනය විය. එය ඉන්දියාව, ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් ලෝකයම කැළැඹූ, කම්පනයට පත් කළා වූ සිදුවීමක් විය. කෙසේ නමුත්, 1988 වසරේ දී ලයනල් එදිරිසිංහය මහතා මිය යන තුරුම, ඔහුට නොදන්වා සිටීමට ඔහුගේ පවුලේ උදවිය කටයුතු කළ බව පැවැසෙයි.ඉන්දිරා ගාන්ධි මහත්මියගේ ඝාතනයත් සමඟ රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට බල කළේ ද අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිය. සෝනියා ගාන්ධිගේ සැමියා මෙන්ම රාහුල් සහ ප්‍රියංකාගේ පියා ද වන රජිව් ගාන්ධි, එල්. ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට බිලි වූයේ 1991 මැයි 21 වැනිදාය. එදා ඉන්දිරා - ලයනල් ප්‍රේම කතාව මල්ඵල ගත්තේ නම්, අද බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබුණා නොවේද?


සමරිසි මුවාවෙන් නිරුවත් දර්ශන අන්තර්ජාලයට දමන බව කියා කප්පම් ගන්න හදලා

 



අන්තර්ජාලයේ යෙදුමක් හරහා සමරිසි පුද්ගලයන් එකිනෙකා හදුන්වා දෙන බව ප්‍රසිද්ධ කර උපක්‍රමශීලීව දෙමහල් පාළු නිවසකට ගෙන්වා පහර දී නිරුවත් කර එම දර්ශන පටිගත කර අන්තර්ජාලයට මුදා හරින බව කියා, කප්පම් කල්ලියක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. එම සැකකරුවන් සන්තකයේ තිබී ජාවාරම සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ දුරකථනයක් ඇතුළු දුරකථන හයක් හා පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් පොලිස් බාරයට ගෙන ඇත.

එම නිවසේ කාමරයක් තුළ තිබී සැකකරුවන් පහරදීමට යොදාගත් බව කියන යකඩ කූරක්, පොලු කැබලි කීපයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු එම යෙදුම හරහා සම්බන්ධ වීමෙන් අනතුරුව පිටකොටුව බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසකට ඔහු ගෙන්වා පහරදී නිරුවත් කර එම දර්ශන වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරමින් එසේ නොකර සිටීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ඉල්ලූ බවට ලද පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරින් එම පුද්ගලයා හරහා සැකකරුවන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී එකී මුදල ලබාදීමට පිටකෝට්ටේ හන්දියට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් මුදල් ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් විසින් ඉකුත්දා (25) රාත්‍රී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් භාරයේ තිබී ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී එහි තිබූ ස්මාට් වර්ගයේ දුරකතනය පරීක්ෂා කිරීමේදී මේ ආකාරයෙන් සැකකරුවන් විසින් ගෙන්වන ලද හයදෙනෙකුගේ නිරුවත් දර්ශන අඩංගුව තිබූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ පියාට අයත් මෙම දෙමහල් නිවස කුලී පදනම මත ලබාදීම සඳහා වසා දමා තිබූ එකක් බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.වයස අවුරුදු 41 හා 59 අතර පසුවන සැකකරුවෝ මොරටුව හා කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


බිමල් ශශ්‍යාමන් ජයසිංහ 

සිසුන් 7 කට නවකවදය දුන්නැයි කැලණියේ සිසුවෙක් අත්අඩංගුවට




කැලණිය විශ්ව විද්‍යාලයේ හතරවැනි වසරේ සිසුන් හත් දෙනකුට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවකු පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ඇත්තේ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ විසිහතර හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකි.කැලණිය විශ්ව විද්‍යාලයේ හතරවැනි වසරේ සිසුන් හත් දෙනකු ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් බලහත්කාරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් අයුතු ලෙස රඳවා තබාගෙන තර්ජනය කර නවක වදය ලබා දුන්නේ යැයි කියමින් මෙම සිසුවා අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේම රත්න මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ මෙහෙයුම යටතේ පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම විශ්ව විද්‍යාල සිසුවා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.අත්අඩංගුවට ගැනුණ සිසුවා සම්බන්ධයෙන් රහස් පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ඉතාලියේදී ලාංකික බිරියට පිහියෙන් ඇන සැමියා ඒල්ලී මැරිලා

 



ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.පවුල් ආරවුලක් මත සිය බිරිඳට පිහි පාරවල් කිහිපයක් එල්ල කළ සැමියා පසුව ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබෙන බව ඉතාලියේ කැරිබියානු පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇතැයි ඉතාලියේ රැකියාවක නිරතව සිටින එමිල් රොහාන් මහතා පැවැසීය.

පිහි ඇනුම් පහර කෑ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙම ශ්‍රී ලාංකික අඹු සැමි යුවළ කාලයක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින්නන් වන අතර ඔවුනට දරු දෙදෙනෙක් ද සිටිති. ලේ ගලන තුවාල සහිතව ශ්‍රී ලාංකික කාන්තාවක ආධාර ඉල්ලා කෑ ගසමින් මාවතක් දිගේ දිව යන අයුරු දුටු ඉතාලි ජාතිකයන් පිරිසක් වහා ක්‍රියාත්මක වී ඇය එරට ක්‍රියාත්මක 118 ගිලන් රථ සේවය මගින් රෝහල් ගත කරනු ලැබ ඇතැයි එමිල් මහතා වැඩිදුරටත් පැවැසීය.

කැරිබියානු පොලිසියේ නිලධාරීන්  කණ්ඩායමක්  මෙම ශ්‍රී ලාංකික  කාන්තාවගෙන් තොරතුරු විමසීමේදී තමාට සැමියා පිහියකින් ඇන්න බවත් ඔහුගෙන් මිදී පලා ආ බව පවසා ඇතැයි ද සඳහන් කරයි.ශ්‍රී ලාංකික කාන්තාවගෙන් හෙළි කර ගත් මෙම තොරතුරු මත කැරිබියානු පොලිසිය වහා ඔවුන් පදිංචිව සිටි නිවස සෝදිසියට ලක් කිරීමේදී ඇයට පිහියෙන් ඇන්නේ යැයි කියන සැමියාගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරා දමලා

 




ෆින්ලන්තයේ‍ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයක දී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය.එම මහල් නිවාසයේ දී මියගොස් ඇත්තේ හිරුණිගේ නදර්න් ලයිෆ් නම් යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යනු හිරුණි නම් ලාංකික කාන්තාවක බවත් ඇය තිරු මවක බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.මරණය පිළිබඳ එම මහල් නිවාසයේම ජීවත් වූ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් දෙදෙනා අතර නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී බහින් බස් වීමක් උත්සන්න වී සැකකරු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පැවැසුවේය. පසුගිය 19 වැනිදා රාත්‍රි 8 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව ද ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත ප්‍රකාශ කළේය.

පොලිසිය ලැබූ තොරතුරක් මත අපරාධය සිදු වූ ස්ථානයට පොලිසිය සහ ප්‍රථමාධාරකරුවන් ගොස් ඇති බවත් ප්‍රථමාධාර ලබා දුන්නත් වින්දිතයා බේරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත සඳහන් කළේය. එසේම වැන්ටා පොලිසිය ඝාතනයක් ලෙස සලකා මෙම මරණය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවත් තවමත් මූලික විමර්ශන සිදුවන බැවින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවයන් වැන්ටා පොලිසිය හෙළි නොකළ බව ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පෙන්වා දුන්නේය මරණයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ශ්‍රී ලාංකික කාන්තාවගේ සැමියා බවද සමාජ මාධ්‍යයේ සටහන් විය.මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා මෙම ඝාතනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසා සිටියත් පුවත්පත මුද්‍රණයට යන තෙක් ඒ පිළිබඳ ප්‍රතිචාරයක් නොලැබිණි.

විමුක්ති එස්. රුද්‍රිගු

පැවිදිවීමට යමින් සිටි තිදෙනෙක් අනතුරට ලක්වීමෙන් අයෙක් මරුට




ඉංගිරිය, නාච්චිමලේ අසපුවක මහණදම් පිරිමට සූදානම්ව සිටි තිදෙනෙකු ගමන්ගත් ටිපර් රථයක් ඉංගිරිය - පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලැබූ බව ඉංගිරිය පොලීසිය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, අටකලම්පන්න,නදුන්ඇල්ල පොතුවිල් පාර පදිංචිව සිටි එන්.ඒ. කසුන් සමීර උපශාන්ත(අවු.32)නමැත්තෙකි.

අනතුර වන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි හොරණ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ඉසුරු ගයාන් අබේවර්ධන මහතා සිය ගමන නතර කර මෝටර් රථයෙන් බැස එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන් සමග එක්ව ටිපර් රථයට කාණුව අතර සිරවී බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා පිටතට ගෙන ඔහුගේ ජීවිතය බේරාගැනීමට කෘත්‍රිම ශ්වසනය ලබා දී දැඩි උත්සාහයක් දරා තිබිණි. අනතුරුව රෝගියා රැගෙන පැමිණි වෑන් රථයේ නැග ඉංගිරිය රෝහලට රැගෙන ගොස් ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.තුවාල ලද අනෙක් පුද්ගලයා රියැදුරු ලෙස කටයුතු කළ අය බව පොලීසිය පවසයි. ටිපර් රථයේ රියදුරු ඇතුළු ඉදිරිපස ගමන් ගත් කිසිදු පුද්ගලයකු ආරක්ෂක පටි පැලඳ නොසිටීම හේතුවෙන් මෙම අනතුර වී තිබූ බව පොලීසිය සඳහන් කරයි. ඉංගිරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ

ඇහැලියගොඩ නිවෙසකට පැන්න කොල්ල කල්ලියක් සැමියා බැද බිරිය මරාදමලා



ඇහැලියගොඩ පොලිස් වසමේ ඇරෑපොල, නැදුරන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ අපරාධකරුවන් එහි සිටි යුවළට තියුණු ආයුධ වලින් පහරදී තුවාල කිරීම හේතුවෙන් බිරිද මියගොස් පුරුෂයා බරපතළ තත්ත්වයෙන් පසුවන බව ඇහැළියගොඩ පොලිසිය කියයි.මෙම සිදුවීම පසුගිය 25දා සවස හතරත් 26දා සවස හතරත් අතර කාලයේ සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මියගොස් ඇත්තේ ඇහැළියගොඩ ඇරෑපොල, නැදුරන උදේනි නිවසේ පදිංචිව සිටි ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයිරින් නැමැති 74 හැවිරිදි කාන්තාවකි. ඇගේ සැමියා වු විශ්‍රාමික යුදහමුදා නිලධාරියකු වු හේරත් මුදියන්සේලාගේ චන්‍ද්‍රසිරි සෙනෙවිරත්න යන අය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.මියගිය කාන්තාව නිදි යහන අසල කපා කොටා මරාදමා තිබුණි. තුවාලලත් ඇගේ පුරුෂයා නිවසේ නාන කමාර අසල කපාකොටා බරපතළ තුවාල සිදුකර දෑත් දෙපා බැඳ දමා තිබු බව ද පොලිසිය පැවසුවේ ය.

මියගිය යුවලට පුතුන් දෙදෙනක් සහ එක් දියණියක් සිටින බව පොලිසිය පැවසුවේය. එහෙත් මෙම නිවසේ ජීවත්ව ඇත්තේ මෙම යුවළ පමණි. පිරිමි දරුවන් දෙදෙනා ඇමරිකාවේ ජිවත් වන අතර දියණිය විවාහ වීමෙන් පසු කැලණිය ප්‍රදේශයේ ජීවත් වන්නීය. ඇමරිකාවේ සිටින දරුවන් සිරිතක් ලෙස මෙම මවට සහ පියාට දිනපතාම දුරකතනයෙන් කතාකර සුවදුක් විමසන බව පොලිසිය කියයි.පසුගිය 26 දින ලංකාවේ වේලාවෙන් සවස හතරට පමණ විදේස් රටක සිටි දරුවෙක් ගෙදරට කතා කළ ද මවගෙන් හෝ පියාගෙන් ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඔහුගේ ඥාතියකුට ඒබව දුරකතනයෙන් දන්වා නිවසට ගොස් මව සහ පියා ගැන සොයා බලන්නැයි දන්වා තිබේ.ඔහු ද එම නිවසට දුරකතන ඇමතුමක් ගත්තද ප්‍රතිචාර ලැබි නොතිබුණි. 

ඥාතීන් පිරිසක් සහ අසල්වාසීන් පිරිසක් සමග නිවසට ගොස් ඇති අතර විවෘත කර තිබු ජනේලයකින් ඇතුළතට ගොස් පරීක්‍ෂා කිරීමේදි නිදන කාමරයේ ඇද අසල කැපුම් තුවාල සහිතව චන්‍ද්‍රලතා අයිරින් මහත්මිය වැටි සිටිනු දැක තිබේ.තව දුරටත් පරීක්‍ෂා කිරීමේ දී ගෙහිමි පුරුෂයා බරපතළ කැපුම් තුවාල සහිතව නිවසේ නාන කාමරය අසල අතපය ගැට ගසා වැටී සිටිනු දැක ඇහැලියගොඩ පොලිසියට මේ බව වහාම දැනුම් දී ඔහු වහාම ඇහැළියගොඩ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරුකර යවා තිබේ.ඝාතකයන් නිවසේ දේපළ කොල්ලකා ඇති බවට සැකකරයි. ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය 


Thursday, June 27, 2024

ඩක්වර්ත් සමුගනී



ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවී, ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ ඉංග්‍රීසි සංඛ්‍යානඥයෙකු වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සිය ජීවන ගමනට සමු දී ඇත. මිය යන විට 84 හැවිරිදි වියේ පසුවූ ඩක්වර්ත් ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය ජනප්‍රිය න්‍යායක් බවට පත්වූ ඩක්වර්ත් හා ලුවිස් න්‍යායේ සමනිර්මාපක විය.

වර්ෂාව හේතුවෙන් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයක් අතරමැද නවතා දැමුවහොත්, දෙපාර්ශ්වයටම අසාධාරණයක් නොවන ලෙස ජයග්‍රාහී ඉලක්කයක් සොයාගැනීම සඳහා, මෙම ක්‍රමය අද වන විට මුළු ලොව පුරාම භාවිත කරන නිල ක්‍රමයක් ලෙස හඳුනාගත හැක. ඩක්වර්ත් හා තවත් සංඛ්‍යානඥයෙකු වූ ටෝනි ලුවිස් එක්ව හඳුන්වාදුන් මෙම න්‍යාය 1997 වර්ෂයේදී පළමුවෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට භාවිතයට ගැණින. එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිල න්‍යායක් ලෙස භාවිතයට ගැනෙන්නේ 2001 වර්ෂයේදීය.

මෙමගින් වර්ෂාව හෝ වෙනයම් හේතුවක් නිසා අතරමැද නවතා දැමෙන ක්‍රිකට් තරග සම්පූර්ණයෙන්ම අතහැර දැමීමෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට විශාල පිටිවහලක් විය. මුලින් ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය ලෙස භාවිතයට ගත්තත්, 2014 වර්ෂයේදී මෙය ඩක්වර්ත්, ලුවිස් හා ස්ටර්න් න්‍යාය ලෙස නැවත නම් කළේ, ඔස්ට්‍රේලියානු ජාතික සංඛ්‍යානඥයෙකු වූ ස්ටීවන් ස්ටර්න් මෙය නැවතත් වැඩිදියුණු කිරීම හේතුවෙනි.ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවාව නිසාම ඩක්වර්ත් හා ලුවිස් දෙදෙනාම 2010 වර්ෂයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ ගෞරවයට (MBE- Member of the Order of the British Empire) පාත්‍ර විය. ඩක්වර්ත්ගේ මිත්‍රයා වූ ටෝනි ලුවිස් 2020 වර්ෂයේදී ජීවිතයට සමු දුන්නේය.


පළමු හැරී පොටර් ග්‍රන්ථයට ඇඳි සිතුවම වෙන්දේසියට



සුප්‍රසිද්ධ ගත් කතුවරියක වන ජේ.කේ. රෝලින්ග් විසින් රචනා කරන ලද හැරී පොටර් ග්‍රන්ථ මාලාවේ පළමුවැනි සංස්කරණය වූ 'Harry Potter and the Philosopher's Stone' වෙනුවෙන් ඇදි හැරී පොටර්ගේ සැබෑඛ්‍ය දියසායම් සිතුවම ඊයේ (26දා) දිනයේ නිව්යෝක් නුවරදී වෙන්දේසි කිරීමට නියමිතව තිබූ බව වාර්තා වෙයි.නිව්යෝක්හි පිහිටි Sotheby’s ආයතනය මගින් සැලසුම් කර තිබූ මෙම වෙන්දේසියේදී එම සිතුවම වෙත ඩොලර් ලක්ෂ හතරක සිට ලක්ෂ හයක් (රුපියල් මිලියන 181ක්) දක්වා වන ලංසු ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂාව විය. මෙම ග්‍රන්ථය වෙළෙඳපොළට නිකුත් කර වසර 27ක් ස්පිරෙන දා මෙම වෙන්දේසිය සිදු කිරීමත් විශේෂත්වයකි.

සිතුවම් ශිල්පියෙකු වන තෝමස් ටේලර් විසින් 1997 වසරේදී නිර්මාණය කළ මෙම සිතුවමේ, උපැස් යුවල දෙකක් පැලැඳ සිටින හැරී පොටර් නිර්මාණය කර ඇත. එසේම ඔහුගේ නළලෙහි අකුණු පහරක සලකුණද එහි දැකගත හැකිය.පසුකාලීනව හැරී පොටර් සිනමාපටයේ ප්‍රධාන චරිතය සදහා සිදුකළ තෝරා ගැනීමේදීද මෙම සිතුවම පාදක කරගත් බව වාර්තා වෙයි. මෙම සිතුවම නිර්මාණය කරන විට තෝමස් ටේලර් වයස අවුරුදු 23ක තරුණයෙකු විය. මේ වනවිට එම සිතුවම නිර්මාණය කර වසර 27ක් ගත වී ඇති අතර, ඔහුගේ වයසද අවුරුදු 50කි. එවකට ටේලර් එංගලන්තයේ කේම්බ්‍රිජ්හී ළමා පොත් සාප්පුවක සේවය කරමින් සිට ඇත. 

හැරී පොටර් ග්‍රන්ථයේ ප්‍රකාශකවරයා වූ බැරි කනින්ග්හැම් ඔහුව බ්ලූම්ස්බරි වෙත කැදවා ජේ.කේ.රෝලින්ග් රචනා කළ මෙම ග්‍රන්ථයට සිතුවම් නිර්මාණය කරන ලෙස දැනුම් දී තිබේ. ඒ සදහා ප්‍රකාශන ආයතනය මගින් හැරීපොටර් ග්‍රන්ථයේ මුල් පිටපතෙන් කොටසක් ඔහු වෙත ලබාදී තිබේ. ඒ අනුව, ලොව වඩාත් ජනප්‍රිය වූ හැරී පොටර් ග්‍රන්ථ මාලාවේ පළමු වැනි පාඨකයා බවට පත්වීමේ අවස්ථාව ඔහුට හිමි වූ බවත් Sotheby’s වෙන්දේසි ආයතනය පවසයි.

"ඒ කියන්නේ ඔහු දැනගෙන සිටියා ලෝකයේ වෙන කවුරුන්ටත් කලින් ත්හැරී පොටර් කියන්නේ මේ වගේ චරිතයක් කියත දේ. නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණේ තමන්ට කියලා.” එම ආයතනය සඳහන් කරයි.කෙසේ වෙතත්, 1997 ජූනි මාසයේ 26 වැනිදා මෙම 'Harry Potter and the Philosopher's Stone' ග්‍රන්ථය මුද්‍රණයෙන් නිකුත් වන තෙක්ම රෝලින්ග් සහ ටේලර් එකිනෙකා හමුවී නොතිබීමත් මෙහි ඇති සුවිශේෂත්වය වෙයි. 

වෙන්දේසි ආයතනයට අනුව මෙම පළමු වැනි සංස්කරණයේ පිටපත් 500ක් පමණක් මුද්‍රණය කෙරී තිබේ. ඒ අතරින් පිටපත් 300ක්ම පුස්තකාල වෙත ලබා දී තිබේ. කෙසේ වෙතත්, අනතුරුව මෙම ග්‍රන්ථය වැඩිම අලෙවියක් සහිත ග්‍රන්ථයක් බවටද පත්ව ඇත.එසේම, ගත වූ වසර 27ක කාල සීමාව තුළ රෝලින්ග් විසින් හැරී පොටර් ග්‍රන්ථ හතක් රචනා කර තිබේ. එසේම, සිනමාපට කිහිපයක් සදහාම එම කතා තේමා ලබාදුන් අතර, ඒවාද වඩානප්‍රිය විය. මීට අමතරව, වේදිකා නාට්‍ය මෙන්ම පරිගණක වීඩියෝ ක්‍රීඩා සඳහාද මෙම හැරිපොටර් කතා මාලා යොදාගැනුණි.මේ දක්වා රචනා කෙරුණු හැරි පොටර් ග්‍රන්ථ හතෙහි පිටපත් මිලියන 500ක් මුද්‍රණය කෙරී ඇති අතර, එම ග්‍රන්ථ ලොව පුරා භාෂා 80කට පරිවර්තනය කෙරි අලෙවි කෙරි තිබේ.

මෙම වෙන්දේසි අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ටේලර්, ”මගේ නිර්මාණ දිවියේ ආරම්භක කාලයේදීම මෙවැනි සිතුවමක් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබීම සුවිශේෂයි. දශක තුනකට ආසන්න වුණත් මේ නිර්මාණය සදාකාලයටම දිලිසෙනවා.” යනුවෙන් පවසා තිබේ. අද වනවිට ඔහු ළමා ග්‍රන්ථ සිතුවම් නිර්මාණශිල්පියෙකුට අමතරව, ළමා ග්‍රන්ථ රචකයෙකු බවටද පත්ව තිබේ.ඔහු ඇඳි මෙම සිතුවම පළමු වරට වෙන්දේසියට ලක්ව ඇත්තේ 2001 වසරේදීය. එහිදී එය ඩොලර් 108,500කට වෙන්දේසි වී ඇත. ශල්‍ය වෛද්‍යවරයෙකු වූ රොඩ්නි ස්වැන්ටිකෝ නමැත්තෙකු එය මිලදී ගෙන ඇත. 2002 වසරේදී ඔහු මියගොස් තිබේ.


සහෝදරියන් දෙදෙනෙක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් එක් සහෝදරියක් මරුට





එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් දොඩංගොඩ රේන්ද පොල ප්‍රදේශයේදී ත්‍රිරෝදය රථයක ගැටී සිදු වූ අනතුරකින් එක් දැරියක් මියගිය බව දොඩංගොඩ පොලීසිය සඳහන් කරයි.අනතුරින් මියගොස් ඇත්තේ දොඩංගොඩ පිලමිනාවත්ත අටවන පටුමග පදිංචිව සිටි දෙව්මිනී දෙහන්සා නැමැති 7 පැවිදි දැරියකි 14 හැවිරිදි අනෙක් දැරීය නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

අදාළ දැරියන් දෙදෙනා කළුතර මතුගම ප්‍රධාන මාර්ගයේ රේන්ද පොළ ප්‍රදේශයේදී වෙළඳ සැලකට යාමට මාර්ගයේ ගමන් කරමින් සිටියදී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලීසිය සඳහන් කරයි. 42 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ 

මාලදිවයින් වෛද්‍යවරියක් සියදිවි නසාගෙන




නිවාඩුවක් ගත කිරීමට දිවයිනට පැමිණ සිටි මාලදිවයින් ජාතික වෛද්‍යවරියක් බොරැල්ලේ, ඇල්විටිගල මාවතේ නිවාස සංකීර්ණයක නිවසකදී ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීමෙන් මියගොස් ඇතැයි බොරැල්ල පොලීසිය සඳහන් කරයි. අසිහක් නෝන් සෆියු (29) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම වෛද්‍යවරිය සිය 19 හැවිරිදි සහෝදරයා සමග පසුගිය 6වැනි දින මෙරටට පැමිණ. ඇල්විටිගල මාවතේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිට ඇත. ඉකුත් 24දා ඇය නිවසේ දී ඖෂධ අධිමාත්‍රාවක් ගැනීමෙන් රෝගාතුරව සිටියදී ඇගේ සොහොයුරා ඇතුළු පිරිසක් ඇය නාරහෙන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇති බව පොලීසිය පවසයි.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරිය පෙරේදා (25) පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම කාන්තාව මෙරට ජාත්‍යන්තර පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරා 2017 වසරේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි. 2022 වසරේ වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඇය ඇගේ මව් රට වන මාලදිවයිනට ගොස් එහි රෝහලක සේවය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ඉකුත් දා ලංකාවට පැමිණීමෙන් පසු සතියකට පමණ පෙරද සියදිවි හානි කර ගැනීමට තැත් කර ඇති අතර ඇගේ සහෝදරයා ඇය නාරහෙහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා සුවය ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.මෙවරද ඇය ඖෂධ අධිමාත්‍රාවක් ලබාගෙන. ඇති බවත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් සිටි බවත් පොලීසිය සඳහන් කරයි. මෙම වෛද්‍යවරිය ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඉන්දිකා රාමනායක

ජනපති නිර්දේශය දෙවැනි වරටත් ව්‍යවස්ථා සභාවෙන් ඉවතට




නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය.මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයෙන් අවසන් වනු ඇත.නීතිපතිවරයාගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ දී ඊයේ (26) රාත්‍රී රැස්විය . 

මේ අනුව ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නිර්දේශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේ දී නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණි. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පළමු වරට කළ නිර්දේශය ද එම සභාව ඉකුත් 18 වැනිදා ප්‍රතික්ෂේප කළේය. එම නිර්දේශය සම්බන්ධයෙන් එදිනද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර අතර එම ඡන්ද විමසීමේ දී ද නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද තුනක් වශයෙන් ලැබීමෙන් යෝජනාව ප්‍රතික්ෂේප විය. 

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නීතිපති ධූරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුගිය 2021 වර්ෂයේ මැයි 6 වැනිදා දිවුරුම් දුන්නේය. රාජරත්නම් මහතා මෙරට 48 වැනි නීතිපතිවරයා විය. නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහ විවිධ සංවිධානවල දැඩි විරෝධතාව පසුගිය කාලයේදී පළවිය.


අංජුල මහික වීරරත්න

ලංකාවෙන් ගිය උමා බ්‍රිතාන්‍යයේ ඡන්දයට




ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් මහත්මිය බ්‍රිතාන්‍යයේ ලබන 4 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ දී කම්කරු පක්ෂය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ බලාපොරොත්තුවෙන් තරග කරන බව එරට මාධ්‍ය වාර්තා කළේය. සී 40 සිටීස් දේශගුණික නායකත්ව කණ්ඩායමේ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ධුරයක් ද දරා ඇති කුමාරන් මහත්මිය මෙවර ස්ට්‍රැට්ෆෝඩ් සහ බවු ආසනයෙන් මහ මැතිවරණයට තරග කරන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.

නැගෙනහිර ලන්ඩනයේ උපත ලද කුමාරන් මහත්මිය ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති බවත් ඇය බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට අනුයුක්තව රැකියාවේ නිරත වී ඇති බවත් එරට මාධ්‍ය පැවැසුවේය.දේශපාලන උපාය මාර්ග සහ උපදේශනය පිළිබඳ වසර 16 කට වැඩි අත්දැකීමක් ඇයට තිබෙන බවත් කම්කරු පක්ෂයට තිරය පිටුපස සිට ඇය උපදේශනය සපයා ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.

කුමාරන් මහත්මියගේ මවුපියන් 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ සිට සරණාගතභාවය අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවත් එතැන් සිට වසර 40 කට අධික කාලයක් ඔවුන් බ්‍රිතාන්‍යයේ ජීවත්ව ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය. උමා කුමාරන්ගේ මුත්තණුවන් යාපනයේ ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයකුව සිට ඇති බැවින් දේශපාලනය ඇයට උපතින්ම පිහිටා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

විමුක්ති එස්. රුද්‍රිගු

ඩෝලර් කෝටි 9200ක් ණයයි



රට ඩොලර් කෝටි 9200 ක් ණය වී තවත් ඩොලර් කෝටි 100 කට වැඩි ණය පොලියක් ඇති විට පාලකයන් ආරංචිය සුඛ බව කියමින් ජනතාව නොමග යවමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉහළ ණය බරතාව ගැන පොදු ජනතාවට අවබෝධයක් තිබිය යුතු බවත් එවිට පාලකයන්ට තවදුරටත් ජනතාව නොමග යැවීමට හෝ රැවටීම්වලට ලක් කිරීමට නොහැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

සක්වළ සුහුරු පන්ති කාමර පිරිනැමීමේ වැඩසටහනේ 261 වැනි අදියර යටතේ කොළඹ කඩුවෙල මුණිදාස කුමාරතුංග විද්‍යාලයට රුපියල් 11,77,000ක සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මේ ද්විපාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ පෞද්ගලික ජාත්‍යන්තර වෛරී බැඳුම්කරණය රටට ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවබෝධතාවකට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක නිරත වීමේදී ලක්ෂ 220ක් ජනතාව ගැන සිතා ගිවිසුම්වලට එළැඹෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී රටේ වැඩකරන ජනතාවගේ කරපිට වැඩි බරකුත් විදේශීය ණය හිමිකරුවන්ට සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන ආකාරයේ ගිවිසුමක් ක්‍රියාත්මක බවත් මේ ගැන රටේ පුරවැසියා දැනුවත් විය යුතු බවත් ඔහු සඳහන් කළේය. මේ වන විට අර්ථසාධක අරමුදල් කප්පාදුවක් පවා සිදු වී ඇති බවත් පාසල් දරුවන් මෙන්ම පුරවැසියන් ද මේවා ගැන අවබෝධයෙන් සිටිය යුතු බවත් එසේ නොතිබුණහොත් පාලකයන් ගහන ගහන පදයට ලක්ෂ 220ට නටන්න සිදුවන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.රට දියුණුවීමට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ යා යුතු බවත් පාලකයන් කියූ පමණින් හැමදේම නොපිළිගෙන විවේචනාත්මකව ඒ දෙස බැලිය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.

නිමල කොඩිතුවක්කු

විභාග ෆේල් ගුරුවරුනුත් ටියුෂන් දීලා




උපකාර පන්ති ක්ෂේත්‍රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20,000 ක අසීමිත මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළිවී ඇති හෙයින් එම ක්ෂේත්‍රය වහාම නියාමනයට මෙන්ම බදු දැලට ද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.අදාළ විෂයයන් අසමත් වූ විවිධ අය ද උපකාර පන්තිවල උගන්වන බවට තොරතුරු හෙළිවී ඇතැයි පැවැසූ මහාචාර්යවරයා එවැන්නන් උපකාර පන්ති පැවැත්වීම අපරාධයක් බව ද සඳහන් කළේය. 

උපකාරක පන්ති ක්ෂේත්‍රය පැහැදිලිවම නියාමනය විය යුතු බව ද ඔහු සඳහන් කළේය. උපකාර පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සොයා බැලිය යුතු බවත්, ඔවුන් කුමන හෝ ස්ථානයක ලියාපදිංචි කළ යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලොකු කාර්ය භාරයක් පැවරෙන බව ද වසන්ත අතුකෝරල මහතා කීවේය.එසේ නොකළහොත් පාසල් අධ්‍යාපනය උපකාර පන්තිවල ගොදුරක් බවට පත්වී බිඳවැටිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

සුජිත් හේවාජුලිගේ

අරලියගහ මැදුරට ඩ්‍රෝන යැවූ ඉන්දියානු දෙකක් දැලේ




ඩ්‍රෝන යානාවකට සමාන යානාවක් ගුවන්ගතකර අරලියගහ මන්දිර භූමියට පතිත කරවීම සම්බන්ධයෙන් යානය ගුවන් ගත කරන ලදැයි කියන ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි සහ 23 හැවිරිදි ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකි.

මෙවැනි යානා ගුවන්ගත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිසි අවසරයක් ලබාගත යුතු වුවත් මෙම සැකකරුවන් දෙදෙනා එවැන්නක් සිදුකර නොමැති බව පොලිසිය සඳහන් කරයි. යානය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පන්දහසකට ගෙයක් කුලියට අරන් සරසවි සිසුහු තිදෙනෙක් හැෂ් විකුණලා

 


සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.හෝමාගම, උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක නිවසක් රුපියල් පනස් දහසක කුලී පදනම මත ලබාගෙන දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. ඒ අනුව මෙම නිවසේ රැඳී සිටින සරසවි සිසුවකු මත්ද්‍රව්‍ය ජාවාරමක් කරගෙන යන බවත් ඒ සඳහා සැක කටයුතු පුද්ගලයන් දිනපතා රාත්‍රී පැමිණෙන බවත් පවසමින් කොස්තාපල් 97049 දිසානායක නිලධාරියාට ලැබී තිබූ තොරතුරක් අනුව නිවස වැටලීමට යන අවස්ථාවේදී ඊට යාබදව රැඳී සිටි දෙදෙනකු පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙක බැගින් අත්අඩංගුවට ගෙන තිබුණි.පසුව ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන්නේ මහල් නිවාස සංකීර්ණයේ කුලී පදනම මත නිවස ලබාගෙන සිටින 'බකා' නමින් හඳුන්වන සරසවි සිසුවකු බවට තොරතුරු අනාවරණය වීමත් සමග උපාය දූතයකු යොදවා බකා නමැත්තාගෙන් හෑෂ් ග්‍රෑම් දෙකක් මිලදී ගැනීමට සලස්වා ක්ෂණිකව වැටලීමක් සිදුකර ඔහු සන්තකයේ තිබී තවත් හෑෂ් ග්‍රෑම් 25 බාරයට ගත් බව පොලිසිය කියයි.

පසුව ඔහුට මත්ද්‍රව්‍ය ලබා දෙන කඩවත ප්‍රදේශයේ තවත් සරසවි සිසුවකුට සැකකරු හරහා දුරකථන ඇමතුමක් දී ගෙන්වාගෙන ඔහු සන්තකයේ තිබී තවත් හෑෂ් ග්‍රෑම් 100 අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.ඒ අනුව රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් හෑෂ් ග්‍රෑම් 131, විද්‍යුත් තරාදියක්, කතුරක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා භාවිත කරන ඉටිකොළ තොගයක්, ගිනිපෙට්ටියක්, මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය බහාලන ප්ලාස්ටික් බඳුනක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 29,000 මුදලක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම මහල් නිවාස සංකීර්ණයේ මීට මාස පහකට පෙර හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරමින් සරසවියේම අධ්‍යාපනය ලබන සිසුවියන් සිව් දෙනකු ඇතුළු විසි හත් දෙනෙකු උපන්දින සාදයකට සහභාගිවී සිටියදී කහතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සිද්ධියට මෙම සැකකරුවන් සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වනු ලබයි.සිද්ධියට සම්බන්ධ මිනුවන්ගැටේ (25) රන්මුතුගල (24) කැකිරාව (23) ප්‍රදේශවල පදිංචි සරසවි සිසුන් සහ පිටිපන උතුර පදිංචි (30) හැවිරිදි තැනැත්තකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව පොලිසිය කීය.


හෝමාගම ප්‍රියන්ත ජයලත්


අතුරුදන් විවාහකයාගේ සිරුර මාඔයෙන් හමුවෙයි

 



අලව්ව ප්‍රදේශයේ නිවෙසක තාවකාලිකව රැඳී සිටියදී මීට දින පහක සිට අතුරුදන්ව සිටි විවාහකයාගේ සිරුර පෙරේදා (185) වරකාපොළ අඹේපුස්ස මා ඔයේ තිබී හමු වූ බව වරකාපොළ පොලිසිය පැවැසීය.මෙලෙස මියගොස් ඇත්තේ, එෆ් 34/1 තුල්හිරිය වරකාපොළ ලිපිනයේ පදිංචිව සිටි, 35 හැවිරිදි, කොට්ටයලාගේ රෝහිත සුජිත් රත්නායක නමැති, විවාහක පුද්ගලයෙකි. මියගොස් ඇති පුද්ගලයාගේ බිරිය කුවේට් රාජ්‍යයේ රැකියාවක් කරන බවත්,දරුවන් නොමැති බවත් පොලිසිය පැවැසීය.ජුලි මාසයේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට යාමට සූදානම්ව සිට, ඔහු එතෙක් ප්‍රදේශයේ වාහනයක රියැදුරු රැකියාවක් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවැසීය.

පොඩි කඩේ බාරේ, අලව්ව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව නිවෙසක සිට මෙම තරුණයා ඉකුත් 20 වැනිදා නිවෙසින් ගිය බවත්, යළි ආපසු පැමිණ නැතැයි පවසා නිවෙසේ හිමිකාරිය ඉකුත් 21 වැනිදා දහවල් වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. වරකාපොළ පොලිස් වසමේ අඹේපුස්ස මා ඔයේ පසෙකට පෙරේදා (25) සවස සිරුර ගොඩ ගසා තිබියදී, පොලිසිය මළ සිරුර සම්බන්ධයෙන් වරකාපොළ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව වරකාපොළ මහේස්ත්‍රාත් ලිශානි කුමාරි ධර්මකීර්ති මහත්මිය අදාළ ස්ථානයට ගොස් දේහය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.

පසුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා, දේහය ඥාතීන්ට භාර දෙන ලෙසත්, වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වරකාපොළ පොලිසියට නියෝග කළාය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි, වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම තරුණයා ඉකුත් 20 වැනිදා තවත් හිතවත් දෙදෙනකු සමග වරකාපොළ වාරියගොඩ ප්‍රදේශයේ මා ඔය අසලට ගොස් සෙසු දෙදෙනාට ඔයෙන් මෙගොඩ සිටින ලෙස දන්වා යමක් රැගෙන ඒමට ඔයෙන් එගොඩට ගොස් ආපසු මෙගොඩට ඔය තරණය කරමින් සිටියදී ගිලී ගිය බව දන්වා සෙසු තරුණයන් දෙදෙනා වරකාපොළ පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා තිබුණු බවත් පොලිසිය පැවැසීය.මියගිය පුද්ගලයාගේ බිරිය ඊයේ (26) අලුයම ලංකාවට පැමිණ ඇති අතර, ඇය ඊයේ (26) කෑගල්ල මහ රෝහලේදී සිය සැමියා බවට දේහය හඳුනා ගැනිණි.පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දේහය බිරියට පොලිසිය විසින් භාර දීමට නියමිතව තිබුණි.


චමින්ද වැවතැන්න

කැඩුණු බසය හදද්දී ලොරියක් පස්සෙන් ඇනලා




යාපනය නුවර ඒ-9 මාර්ගයේ පණිච්චන්කුලම ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් පෙරේදා (25) රාත්‍රියේ එකිනෙක ගැටී තිදෙනකු මියගොස්, තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව මාන්කුලම පොලිසිය කියයි.යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් මාන්කුලම, පණිච්චන්කුලම ප්‍රදේශයේ මාර්ගය අසල නවතා ඇති අතර, පසුව එහි රියැදුරු හා කොන්දොස්තරවරයා ඇතුළු මගීන් කිහිප දෙනකු බසයෙන් බැස කාර්මික දෝෂය පරීක්ෂා කරමින් සිටියදී පසුපසින් පැමිණි ලොරි රථය බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවැසීය.

අනතුරින් බස් රථයේ රියැදුරු සහ තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලොරි රථයේ රියැදුරු සහ බස් රථයේ මගියකු බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චිය රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.අනතුරින් මියගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව ද කියයි.

ලොරි රථයේ රියැදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.මියගිය තිදෙනාගේ සිරුරු කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Wednesday, June 26, 2024

ගම්පහ සිඟමන් යදින දරුවන් ගැන සොයයි



ගම්පහ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධ වී ගම්පහ නගරය හා දුම්රිය ස්ථානය ආශ්‍රිතව රැඳී සිටින හා සිඟමන් යැදීමේ නිරත වීදි දරුවන් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සෝදිසි කිරීමක් ඊයේ (25දා) දවස පුරා සිදු කෙරුණි.දරුවන් සමග සිඟමන් යැදීමේ නිරත වන පවුල් පිළිබඳව ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම විමර්ශනය සිදු කරනු ලැබීය.

දරුවන් සමග මහාමාර්ගයේ සහ දුම්රිය ස්ථාන මෙන් ම දුම්රියන්හි සිඟමන් යැදීමේ නිරත වන පවුල් පිළිබඳ සොයා බලා එම පවුල්වල වැඩිහිටියන් වෙනුවෙන් ස්වයං රැකියා හඳුන්වාදී ඔවුන් රැකියාගත කිරීමෙන් දරුවන් සිඟමන් යැදීමට යොදා ගැනීම වළක්වාලීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණක් වී ඇත. මෙසේ සිඟමන් යැදීමට යොදා ගන්නා දරුවන් දරුවන් පෙරපාසල්වලට යොමු කිරීම ද මෙම විමර්ශනයේ අරමුණක්ව ඇතැයි ගම්පහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි.

මෙසේ හඳුනාගන්නා වීදි දරුවන් ගම්පහ ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව මැදිහත්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පෙරපාසල් සඳහා යොමු කිර්මටත් නිවාස නොමැති මෙවැනි දරුවන් සිටින පවුල් සඳහා නිවාස තනා ගැනීමට ආධාර කිර්මටත් පියවර ගන්නා බව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමියේ ඉටිකොළ අහුරාගත් පැලක පදිංචිව සිටින පවුලක් ද මෙම සොයා බැලීමේදී හමු වී ඇත. වීථි දරුවන් හා එම පවුල්වල සාමාජිකයන්ගෙන් පොලිස් නිලධාර්න් හා ළමා නිල හිමිකම් නිලධාරීන් තොරතුරු විමසා බලා අවශ්‍ය කටයුතු සිදු කිරීමද මෙහිදී සිදුවිය.

මීරිගම - කාන්ති

මාධ්‍යවේදී චමුදිතගේ නිවස අසලට නාඳුනන දෙදෙනෙක් පැමිණීම ගැන පරීක්ෂණ CCDයට



ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය මගින් සිදු කරන විමර්ශන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත. 

ඉකුත් 20 වැනි දින එම නාදුනන පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි ප්‍රධාන දොරටුවේ සිටි ආරක්ෂක නිලධාරියා විමසීමේදී කිසිදු පුද්ගලයෙකුගේ නමක් සදහන් කිරීමට අසමත් වූ බැවින් ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බවට තමන් පැවසීමෙන් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා තමන්ට බැණ වදින්නට වූ බවත්, එම අවස්ථාවේදී තමන් එම පුද්ගලයන් පැමිණි යතුරුපැදියේ ලියාපදිංචි අංකය සටහන් කර ගැනීම සඳහා උත්සාහ දැරීමේදී පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් තමන්ගේ ඡායාරූපයක් ලබාගත් බැවින් යතුරුපැදියේ ලියාපදිංචි අංකය ලියා ගැනීමට නොහැකි වූ බවත් එම ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශයකින් අනාවරණය වි තිබේ.

නාදුනන පුද්ගලයන් එම ස්ථානයේ රැඳී සිටින අවස්ථාවේදී එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාදුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජනවලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස්නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් ඒ බව දැනුම් දුන්නද එම පොලිස් Fලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස්තිබූ බව එම ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශවලින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

මීට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන නොමැත. එලෙස පැමිණි පුද්ගලයන්ගේ පදිංචිය, පැමිණි පුද්ගලයන්ගේ අනන්‍යතාව හා එවුන් පැමිණි හේතුව හා කාගේ වුවමනාවට පැමිණියේද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.එම සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමහරවික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ට්රාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙතද පැමිණිලි කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

බිමල් ශ්‍යාමන් ජයසිංහ


ඉන්දීය ධීවරයන්ගේ කලහකාරී හැසිරීමෙන් නාවික සෙබළා මරුට



මෙරට මුහුදු සීමාවෙහි අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියක් නිසා නාවි හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියෙක් මියගොස් තිබේ. ඊයේ (25දා) අලුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් සිදුකර ඇත. මෙහිදී, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයන් දසදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය සදහන් කරයි.

මෙම යාත්‍රාවේ සිටි පිරිස් නාව්ක හමුදා අත්අඩංගුවට පත්වීමට එරෙහිව අනතුරුදායක හා කලහකාරි ලෙස ඉන්දීය ධීවර යාත්‍රාව හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ නාවිකයෙකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිඛෙන අතර එහිදී නාවිකයා ජීවිතක්ෂයට පත් ව තිබේ.මෙම විශේෂ මෙහෙයුමේදී, ඉන්දීය ධීවර යාත්‍රාව නාව්ක හමුදා භාරයට ගැනීම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට ඉන්දීය ධීවර යාත්‍රාවට ගොඩවෙමින් සිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ සාමාජිකයා , ඉන්දීය ධීවර යාත්‍රාව අනතුරුදායක හා කලහකාරී ලෙස හැසිරවීම හේතුවෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා තිඛෙන බවද නාවික හමුදා මූලස්ථානය සදහන් කරයි.

එහිදී, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවේ බඳ කොටසටද සැලකිය යුතු හානියක් සිදුවී තිබෙන අතර විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත් වීම සඳහා නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන බවද පෙන්වා දෙයි. නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට එරෙහිව අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා, ඉන්දීය ධීවරයන් විසින් ඔවුන්ගේ ධීවර යාත්‍රා නාවික හමුදා යාත්‍රාවන්ට හා නාවික හමුදා පුද්ගලයන් හට අනතුරු සිදුවන අයුරින් අනතුරුදායක හා කලහකාරී ලෙස හසුරවනු ලබන බවද පෙන්වා දෙයි. 

එවැනි කලහකාරී ප්‍රතිරෝධ හමුවේ, රාත්‍රී කාලයේ පවත්නා අඳුරු වතාවරණය හමුවේ වුවද ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම වෙනුවෙන්, ඉතා දුෂ්කර හා අවදානම් සහගත අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දෙමින් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන බවද නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයන් දසදෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත්, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩ් ධීවර පරීක්ෂක කාරියාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ. තවද, මෙම මෙහෙයුමත් සමඟ මේ වර්ෂයේ ජනවාරි 01වැනි දින සිට ඊයේ (25දා) දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාවෙහි අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා විසි අටක් සහ ඉන්දීය ධීවරයන් 214දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සදහා යොමු කර තිබේ.

ඉන්දික හේවාවිතාරණ


අයකැමි 22කගේ වැඩ තහනම්



අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් විසි දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව මාරිග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරියඛණ්ඩාර මහතා පැවැසීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත, අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම කරනු ලැබ ඇත.2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවැති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළේ යැයි කියන එම මහා පරිමාණ මුදල් වංචාව විදුලිය පැවැති අවස්ථාවේදී ද විසන්ධි කර හා ඉන් අනතුරුව විදුලි වයර් කපා ද ඉතා කූඨ අන්දමින් සිදුකර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 27 දෙනකු සේවයේ යෙදෙන අතර එයින් 22 දෙනකු මෙම වංචාවට සම්බන්ධ වී ඇති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.මෙම සේවකයන් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන මෙම මහා පරිමාණ මුදල් වංචාව එකී කාලය තුළ සිට සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.

2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රීය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔවුන්ගේ මෙම වංචනික ක්‍රියාව හසුකර ගැනීම සඳහා විදුලි අංශය මගින් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත විදුලිය අක්‍රිය කළ විට ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීම හේතුවෙන් සේවකයන් විදුලිය විසන්ධි කර සිදු කළ සොරකම පැහැදිලිව සීසීටීවී කැමරාවල සටහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනවාරි 20 වැනිදා විනාඩි 16 ක කාලයක් තුළ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණි වාහන 23 ක් වෙත ටිකට් පත් මුද්‍රණය කර ලබා දී තිබුණේ වාහන 4 කට පමණක් බවත් එදින පෙරවරු 11.30 සිට2.30 දක්වා කාලය තුළ අයකැමි විසින් රුපියල් 19500/= ක් වටිනා ටිකට්පත් 38 ක ප්‍රමාණයක් මුද්‍රණය කර නොතිබූ බවට අනාවරණය වී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ද අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිදු වූ එම වංචා සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් ඒ බව අනාවරණය වී තිබුණි.වසර ගණනාවක සිට මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධ සේවකයන් යාන වාහන මිලදී ගෙන මත්පැන් සාද පවත්වමින් සුපිරි ජීවිතයක් ගත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

වැඩ තහනම් වූ කාලය තුළ දී පූර්ව අනුමැතියකින් තොරව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරණ අංශයට හෝ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් කිසිදු කාර්යාල භූමියකට ඇතුළු වීම හෝ පෞද්ගලික කටයුත්තකට වුව ද විදේශගත වීම සපුරා තහනම් බවත් වැඩ තහනම් කාලය තුළදී වැටුප් ගෙවනු නොලබන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී විනයානුකූලව කටයුතු කරන බව ද එම ලිපියෙන් දන්වා ඇතැයි කියයි.මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය. 

මගේ අත්සනින් යුතුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් රැසකගේ වැඩ තහනමට ලක් කරනු ලැබුවා. අධ්‍යක්ෂ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ගුණසිංහ මහතා මෙසේ පැවැසීය.අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී තිබූ මුදල් වංචාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කර සේවයෙන් ඉවත් කරනු ලැබූ සේවකයන් වෙනුවට කාර්යාලයේ සහ අනෙකුත් පිවිසුම් පිවිසුම් දොරටුවල අතිරේක සේවකයන් යොදවා  කිසිදු බාධාවකින් තොරව සේවා සැලසීමට අවශ්‍ය පියවර ගෙන තියෙනවායැයි කීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

පීනන්න කිමිදෙන්න දක්ෂ බිංටුට වුණු දේ දරාගන්න බෑ



පීනන්න වගේම කිමිදෙන්නත් අති දක්‍ෂයෙක් වෙච්ච අපේ "බිංටුට” සිද්ධ වුණු දේ අපි හැමෝටම තාම හීනයක් වගේ යැයි මුහුදේ සිදුකළ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත් නාවික හමුදා බෝට්ටු ආරක්‍ෂක විශේෂ බළකායේ සේවය කළ ප්‍රියන්ත රත්නායක භටයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දක්වමින් ඔහුගේ ඥාතීහු පවසති.

මෙලෙස මියගොස් ඇත්තේ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ බෝට්ටු ආරක්‍ෂක විශේෂ බලකායේ සේවය කළ ප්‍රියන්ත රත්නායක නමැති ප්‍රධාන සුළු සේවක නිලධාරියෙකි. ඉබ්බාගමුව හිපව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියන්ත රත්නායක මහතා 41 ක් හැවිරිදි දෙදරු පියෙකි.ඔහු කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටිය දී ඉන්දියානු ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් ඊයේ (25) අලුයම ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ඥාතීහු පවසති.

ප්‍රියන්ත රත්නායක මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහුගේ සමීපතම ඥාතියෙක් වන ලින්ටන් වික්‍රමරත්න මහතා මෙසේ සඳහන් කළේය.ඇත්තටම අපිට තාම මේක හීනයක් වගේ. මියගිය ප්‍රියන්ත පුතාට ගමේ හැමෝම ආදරේට කීවේ බිංටු කියලා. බිංටු පුතාගේ උපන් ගම වාහල්කඩ ප්‍රදේශයේ. ඒ උනාට එයා වයස අවුරුදු තුනේ ඉඳලා ජීවත් වුණේ අපේ ගමේ එයාගේ පුංචි අම්මගේ ගෙදර. පුංචි කාලේ ඉඳලම මෙයා පීනන්න වගේම කිමිදෙන්නත් අති දක්‍ෂයෙක්.

2004 දී බිංටු නාවික හමුදාවට බැඳුණේ ආහාර සැපයීම් අංශයට. ටික කාලයක් යන කොට මෙයාගේ විස්මිත පිහිනීමේ හා කිමිදීමේ හැකියාව දැකපු නාවික හමුදා උසස් නිලධාරීන් මෙයාව එස්.බී.එස් එහෙමත් නැත්නම් බෝට්ටු ආරක්‍ෂක විශේෂ බළකායට බඳව ගත්තා. ඊට පස්සේ විදෙස් පුහුණුවීම් එහෙම සාර්ථකව නිම කරලා මේ වෙනකොට එයා ප්‍රධාන සුළු නිලධාරී තනතුරේ තමයි හිටියේ. බිංටු පුතා විවාහ වුණෙත් අපේ ගමේම ඥාතියකුගේ දියණියක් සමග. ඒ දෙන්නට දරුවො දෙන්නෙක් ඉන්නවා. ගමේ මඟුලක්, මරණයක් , පිංකමක් , දන්සලක් කරන හැම වෙලාවකදිම බංටු හරිම කැපවීමෙන් වැඩ කළා. ගමේ කවුරුවත් එක්ක කවදාවත් අමනාප වෙලා නෑ. පුදුම නිවිච්ච ගති ගුණ තිබුණ හැමෝටම පිහිට වෙන උදාර හදවතක් තිබුණ බිංටු පුතාගේ මේ හදිසි අභාවය එයාගේ බිරිඳට දරුවන්ට , නෑයින්ට , ගමට විතරක් නෙවෙයි නාවික හමුදාවට වගේම රටටම නැවත පුරවන්න බැරි විශාල පාඩුවක්.

 සම්පත් සෙනවිරත්න

කන්තෝරුවේදී ලිපිකාරිනිය සිපගත් මානව සම්පත් ලොක්කා වසර 7ක් හිරේ




තමන් යටතේ සේවය කරන ලිපිකාරිනියක සිප වැළඳ ගැනීමෙන් ඇයට ලිංගික අතවර කිරීමේ චෝදනාවට පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරවරයකු වරදකරු කළ අභියාචනාධිකරණය ඔහුට බරපතළ වැඩ සහිතව වසර 7 ක සිර දඬුවමක් නියම කළේය.ඊට අමතරව අතවරයට පත්වූ ලිපිකාරිනියට රුපියල් 7,50,000 ගෙවන ලෙසද ඔහුට නියම කෙරිණි. 

අභියාචනාධිකරණය මෙසේ නියෝග කෙරුණේ අතවරයට පත්වූ ලිපිකාරිනිය ගොනුකර තිබූ අභියාචන පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. අභියාචනාධිකරණ විනිසුරුවන් වන සම්පත් අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන මහත්වරුන් විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේ සඳහන් වේ. අභියාචන පෙත්සම්කාරිය පෞද්ගලික සමාගමක ලිපිකාරිනියක වශයෙන් සේවය කරමින් සිටියදී එහි මානව සම්පත් කළමනාකරු විසින් ඇය සිප වැළඳගන්නා ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව 2015 සැප්තැම්බර් 16 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලදී. විත්තිකරුට සැකයෙහි වාසය ලබාදීම නිසා ඔහු නිදහස් කරන බව තීන්දුවේ සඳහන් කර ඇති අතර තීන්දුවෙන් අගතියට පත් පෙත්සම්කාරිය අභියාචන පෙත්සම අභියාචන අධිකරණය හමුවේ ගොනු කළාය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී විත්තිකරුට එරෙහිව ඇති සියලු චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇති බව තීන්දු කළ අභියාචනාධිකරණය විත්තිකාර මානව සම්පත් කළමනාකාරවරයාට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක් නියම කළේය. ඊට අමතර රුපියල් 7,50,000 ක වන්දි මුදලක් පෙත්සම්කාර ලිපිකාරිනියට ගෙවන ලෙසට නියෝග කෙරිණ.

රන්ජන් කටුගම්පොළ

අශ්වයකුගේ පහර කා ඈන් කුමරිය රෝහලේ

 


- ලන්ඩන් නුවරදීය (බීබීසී)


බ්‍රිතාන්‍ය ඈන් කුමරිය අශ්වයකුගේ පහර කෑමකට ලක්ව රෝහල්ගත කළ බව බකිංහැම් රජ මාලිගය පවසයි. රෝහල්ගත කෙරුණු ඈන් කුමරියගේ තත්වය බරපතළ නොවන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයකු එල්ල කළ පා පහරකින් බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුවත්, බකිංහැම් මාලිගය ඒ කිසිවක් තහවුරු කර නැත. ඈන් කුමරිය මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ ඇගේ ගම්බද නිවෙස පිහිටි ගැට්කොම්බ් පාර්ක්හිදීය. ඒ පසුගිය ඉරිදා (23) ය.කුමරිය ඇතුළත් කෙරුණේ බ්‍රිස්ටල් සවුත්මේඩ් රෝහලටය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇගේ තත්වය බරපතළ නොවුණත් ඇය ගැන විමසිල්ලෙන් පසුවිය යුතු බැවින් ඇය රෝහලේ දින කීපයක් රඳවා ගන්නා බවය.ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරන්නීය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවක්ද වෙයි.

1976 වසරේ කැනඩායේ මොන්ට්‍රියාල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක ලෙස සහභාගී වූවාය. ඒ බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ද ඈන් කුමරියයි. සිය වැඩිමල් සොහොයුරු මෙන්ම, බ්‍රිතානයේ තෙවැනි චාල්ස් රජුගේ ද දකුණු අත ලෙස හැඳින් වෙන්නේ ද ඈන් කුමරියයි.ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී, වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙම වසර මුලදී ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටටද පැමිණියාය. ඒ, සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් ද සමගය.


කොටුකරගත් ඉන්දීය ධීවර යාත්‍රාවට පනින්න ගිය නාවික හමුදා නිලධාරිය අනතුරකින් මරුට



මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඊයේ (25) අලුයම් කාලයේ සිදුවූ අනතුරකින් නාවික හමුදාවේ සුළු නිලධාරියකු (පෙටි  ඔෆිසර්) මියගිය බව නාවික හමුදාව පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගොකරැල්ල, කුඹුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පී.ඩී.පී. රත්නායක නමැති නාවික හමුදා නිලධාරියාය. අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් දස දෙනකු සහ ඔවුන් සිටි යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.කන්කසන්තුරේ උත්තර නාවිකා හමුදා කඳවුරේ නිලධාරීන් සහ භටයන් කණ්ඩායමක් පෙරේදා රාත්‍රියේ සිට මුර සංචාරක කටයුතුවල නිරතව සිටියදී කයිට්ස් මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 20ක පමණ දුරින් මුහුදු සීමාවට ඇතුළු වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයාත්‍රාවක් දැක එය අල්ලා ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ඉන්දීය ධීවර යාත්‍රාව කොටුකර ගත් පසු රත්නායක නමැති මෙම නාවික හමුදා සුළු නිලධාරියා එම ඉන්දීය ධීවරයාත්‍රාවට පැනීමට ගිය අවස්ථාවේ යාත්‍රා දෙක අතර සිරවී බරපතළ තුවාල ලබා ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.සෙසු නාවික හමුදා නිලධාරීන් සහ සෙබළුන් වහා ක්‍රියාත්මක වී සිරවී සිටි මෙම නිලධාරියා ඉන් මුදා ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා මෙම නිලධාරියා මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි නාවික හමුදාවේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය. කන්කසන්තුරේ උත්තර නාවික හමුදා කඳවුරේ ලුතිනන් කමාන්ඩර් ප්‍රදීප් කුමාර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

සරසවි සිසුවාගේ සිරුර රේල් පාරේ



දුම්රියක ගැටී මියයන්නට ඇතැයි සැකකෙරෙන විශ්වවිද්‍යාල සිසුවකුගේ මළ සිරුරක් ජාඇල දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හමුවූ බව පොලිසිය පවසයි.ජාඇල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (25) මෙම මළ සිරුර සොයාගෙන ඇත. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන එච්. අවිශ්ක සචේතන ජයවීර (23) නමැති සිසුවා බව පොලිසිය පවසයි.

පල්ලම, හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මියගිය තැනැත්තා කුමන හේතුවක් මත මෙම ප්‍රදේශයට පැමිණියේ දැයි අනාවරණය නොවන බව පොලීසිය කියයි. අලුයම් කාලයේ කොළඹ - හලාවත දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති බව පොලිසිය සැක කරයි. උදෑසන මෙම දුම්රිය මාර්ගයේ ගමන් ගත් දුම්රියක රියැදුරු මහතකු දුම්රිය මගෙහි පුද්ගලයකු වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් ජාඇල දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ප්‍රසංග පෙරේරා

මෙරට සිට මහා පරිමාණ අන්තර්ජාල මුල්‍ය වංචාවක් කරලා



මෙරට සිට කරන ලද මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විදේශිකයන් ඇතුළු 33 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විමර්ශන අරඹා සැකකරුවන්ද මෙසේ අත්අඩංගුවට ගත්තේය.

නාඳුනන පුද්ගලයකු තමා වට්ස් ඇප් සමූහයට සම්බන්ධ කර ගෙන ටික් ටොක් සමාජ ජාලයේ වීඩියෝ සඳහා ලයික් සහ කමෙන්ට් දැමීමෙන් මුදල් උපයාගත හැකි බවට දැනුම්දුන් බවට ඇය පැමිණිලි කර ඇත.ඒම  ලයික් සහ කමෙන්ට් වෙනුවෙන් අවස්ථා කීපයකදී එම කාන්තාවට රුපියල් 750 බැගින් මුදල් ලැබී තිබිණැයි කියති.වැඩිදුරටත් මුදල් ඉපයීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයට එක්ව මුදල් ආයෝජන කරන ලෙස එම වස්ඇප් සමූහය දන්වා තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ.ඒ අනුව එම කාන්තාව මුදල් ආයෝජනය කළ ද ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී එම සමූහය පවසා ඇත්තේ එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙසය.ඒ අනුව එම කාන්තාව අවස්ථා කීපයකදී රුපියල් ලක්ෂ 54 ක මුදලක් බැංකු ගිණුමකට බැර කර ඇත. එහෙත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව පොලිසිය පවසයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී බැංකු ගිණුම් දෙකක් පිළිබදව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව පේරාදෙණිය ප්‍රදේශයේදී පිය-පුතු දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවිය. ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකතන 57 ක්, පරිගණක යන්ත්‍ර 13 ක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 3ක්ද පොලිස් බාරයට පසුව ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන, නේපාල, ඇල්ජීරියා, මැලේසියා ජාතිකයෝ ද වෙති.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක් වටලා පුද්ගලයෝ 19 දෙනක් අත්අඩංගුවට ගනු ලැබූහ. එහි තිබී ජංගම දුරකතන 52 ක්, පරිගණක යන්ත්‍ර 33 ක්ද පොලිසිය බාරයට ගැනිණි.එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉන්දීය, පාකිස්තාන්, බංග්ලාදේශ සහ ඉන්දුනීසියානු ජාතිකයන්ද වන බව පොලිසිය පවසයි. එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී ඇත්තේ විදේශිකයන්ද වරින්වර මෙම ජාවාරමට හසුකර ගෙන ඇති බවයි.ජාවාරම්කරුවන්ගේ ශාඛා ඩුබායි සහ ඇෆ්ගනිස්තානය යන රටවලද ඇති බව එහිදී අනාවරණයවී ඇත.ජාවාරම්කරුවන් ශ්‍රී ලාංකිකයන් සයිබර් වහලුන් ලෙස යොදාගනිමින් ජාවාරම කර ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ගයාන් සූරියආරච්චි

ත්‍රිකෝණමඩුවේ වන විනාශය වළක්වන්න වන සංරක්ෂකට - ඇමතනියට දන්වයි

 



පශු සම්පත් මණ්ඩලය විසින් ත්‍රිකෝණමඩු වන සංරක්ෂිතයේ කරන වන විනාශය වැළැක්වීමට දුන් පොරොන්දු අනුව වහාම කටයුතු කිරීමට පරිසර අමාත්‍යවරියට සහ වන සංරක්ෂක ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට ඊයේ (25) නියම කළේය.පශු සම්පත් මණ්ඩලය ත්‍රිකෝණමඩු සංරක්ෂිතයේ ගොවිපොළ ඉදිකිරීමට සූදානම්වීමෙන් අක්කර 5000ක් පමණ වනය විනාශ මුඛයට ගොස් ඇතැයි සඳහන් කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය නීතිපතිවරයාට එලෙස නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ සෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ පෙත්සමේ වග උත්තකරුවන් වශයෙන් වනජීවී අමාත්‍යවරිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළවල් ත්‍රිකෝණමඩු සංරක්ෂිතයේ ඉදිකිරීමට සූදානම් වීම හේතුවෙන් අක්කර 5000ක් පමණ වනය විනාශ මුඛයට ගොස් ඇති බැවින් වන විනාශය වැළැක්වීමට වහාම පියවර ගන්නැයි ඉල්ලමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර ඇත. පෙත්සම මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබූ අවස්ථාවේ දී අදාළ රක්ෂිතයේ වන විනාශය  නැවැත්වීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අධිකරණයට පොරොන්දු වී තිබිණි. 

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් නීතිපතිවරයා මීට පෙර අවස්ථාවක වන විනාශය නැවැත්වීමට පියවර ගන්නා බවට අධිකරණ හමුවේ දුන් පොරොන්දු අනුව මෙතෙක් කටයුතු සිදු වී නැතැයි කීය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා අධිකරණයට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ඒ පිළිබඳ ලිඛිතව වගඋත්තරකාර පාර්ශ්වලට දැනුම් දෙන ලෙස නියම කළේය.

රන්ජන් කටුගම්පොල

Tuesday, June 25, 2024

සරසවිවලට පොලිසිය දාන්න




පොලිසිය යොදවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය ප්‍රජාව අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා ඒවා සතුව තිබෙන දේපළ සඳහා එම විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදෙන්නැයිද අධ්‍යාපන ලේකම්වරිය යවා ඇති ලිපියක සඳහන් වේ.එමෙන්ම විශ්වවිද්‍යාල පරිශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවලටද එම ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නැයිද අධ්‍යාපන ලේකම්වරිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් කර ඇති ඉල්ලීමේ සඳහන් වේ.


රංජන් කස්තුරි

උසාවියට උත්තර බඳින්න හමුදාපතිට - පොලිස්පතිට නියෝග



‘ගෝඨා ගෝගම’ අරගලයට සහාය දුන් බව කියමින් නීතිඥ නුවන් බෝපගේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සති 03ක කාලයක් තුළ අධිකරණයට උත්තර බැඳීමට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට ඊයේ (24) නියම කළේය. ‘ගෝඨා ගෝගම' අරගලය අවසන් වීමෙන් පසු අවස්ථාවකදී නීතියට පටහැනි ආකාරයට තමන් අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 05ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා නීතිඥ නුවන් බෝපගේ මහතා ගොනුකර ඇති පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රවින්දු වික්‍රම මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, අචල වෙන්ගප්පුලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. නීතිඥ නුවන් බෝපගේ මහතා ගොනු කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, හමුදාපතිවරයා, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා, මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නීතිඥ නුවන් බෝපගේ මහතා ගොනු කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ ‘ගෝඨා ගෝගම’ අරගලය අවසන් වීමෙන් පසු 2023 ජූලි 24 වැනිදා නීතියට පටහැනි අන්දමට තමන් අත්අඩංගුවට ගත් බව සඳහන් කර ඇත. නීතියට පටහැනිව අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරන නීතිඥ නුවන් බෝපගේ මහතා ඒ වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 05ක වන්දි මුදලක් අයකර දෙන්නැයි ඉල්ලා සිටී. 

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රවින්දු වික්‍රම මහතා කරුණු දක්වමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් උත්තර බැඳීමට කල් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර දුන් කළේය. අධිකරණය පෙත්සම දෙසැම්බර් 13 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.  පෙත්සම්කාර නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් රම්මි භාෂා නීතිඥ සමාගම උපදෙස් පරිදි නීතිඥ හිසාජ් හිස්බුල්ලා මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රවින්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.


රන්ජන් කටුගම්පොල

හෝටල් හිමිකරු එක්ක 5ක් පැහැරගෙන දස වද දීලා


හෝටල් හිමියකු සහ එහි සේවකයන් හතර දෙනකු පැහැරගෙන ගොස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු චමත් මදනායක මහතා කෲරත්වයට පත්වු පුද්ගලයන් හයදෙනාට රුපිල් ලක්‍ෂ 05 බැගින් වන්දි ගෙවීමටද ඊයේ (24) නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම් පැනවු විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද නියම් කළේය.චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ තිස්සමහාරාම පොලිසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දැනට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ප්‍රභාත් දේශබන්ධු, තිස්සමහාරාම පොලිසයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් කටයුතු කළ දැනට වැල්ලවත්ත පොලිසියේ උප පොලිස් පරික්‍ෂවරයකු වශයෙන් කටයුතු කරන සන්නස්ගල සහ තිස්සමහාරාම පොලිසයේ සැරයන්වරයකු වශයෙන් කටයුතු කර මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින කුලතුංග නමැත්තාය.

2003 වර්ෂයේදී තිස්සමහාරාම් ප්‍රදේශයේදී හෝටලයක හිමිකරු සහ එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සිවුදෙනකු පැහැරගෙන ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.මෙලෙස පැහැරගෙන ගොස් කෲරත්වයට පත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ‘තිස්ස විලේජ්’ නමැති හෝටලයේ හිමිකරු වන උදය ශාන්ත දිසානායක කොඩිතුවක්කු එහි සේවකයන් වශයෙන් කටයුතු කළ සමන්ත, අජන්ත, රුවන් සහ එවකට විශ්ව විදාල සිසුවකු වශයෙන් සිටි සුජීව දිසානායක නමැත්තන්ය.

‘තිස්ස විලේජ්' නමැති හෝටලය සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු සහ තවත් පාර්ශ්වයක් අතර ඇති වු ආරවුලක් හේතුවෙන් විත්තිකාර පොලිස් නිලධාරින් හෝටලයේ හිමිකරු සහ එහි සේවකයන් පැහැරගෙන ගොස් ඔවුන් රඳවාගෙන කෲරත්වයට පත් කර ඇති බවත් පසුව ගිනි අවි, බෝම්බ ලඟ තබාගත් බවට චෝදනා කරමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.මේ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු සහ සේවකයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරින් පෙත්සම්කාර හෝටලයේ හිමිකරු සහ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු වීමෙන් පසු පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද විරේශනයකින් අනතුරුව විත්තිකාර පොලිස් නිලධාරින්ට එරෙහිව නීතීපතිවරයා විසින් මාතර මහාධිකරණයේ නඩු පවරන ලදී.

මේ සම්බන්ධයෙන් වසර 19ක කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා චෝදනාවන්ට විත්තිකරුවන් වරදකරුවන් බවද තීරණය කළේය.පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥ දීලීප් භාණු මහතා කරුණු දක්වමින් මෙම විත්තිකරුවන් තිදෙනාම සාමය ආරක්‍ෂා කිරීම සඳහා නීත්‍යනුකූලව පත් කරන ලද පොලිස් නිලධාරින් බවත් එසේ තිබියදී ඔවුන් මෙම සිද්ධියේදී අතෘප්තියට පත්වු පුද්ගලයන් කෲර ලෙස වධහිංසනයට ලක්කර ඇති බව නඩු විභාගයේදී හෙළි වී ඇතැයිද කීය.

මෙවැනි චෝදනාවකට වරදකරුවන් වු අයකුට වසර 07 සිට වසර 10 දක්වා අතර කායලක් සඳහා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරිමට හැකියාව ඇතැයිද අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වැනි වගන්තිය යටතේ අවම දඬුවමක් නියයම් කර ඇති අවස්ථාවක අත්හිටවු සිරදඬුවම් නියම කිරීමට හැකියාව නැතැයි පෙන්වා දුන් රජයේ නීතීඥ දිලීප් භාණු මහතා විත්තිකරුවන්ට නීත්‍යානුකූල දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රසීක් සරුක් මහතා කරුණු දක්වමින් විත්තිකරුවකුට දඬුවම් කිරිම හෝ දඬුවම් අඩු කිරිම සම්බන්ධයෙන් අධිකරණයට අභිමතානුසාරී බලයක් ඇති හෙයින් තම සේවාදායකයන්ට ලිහිල් දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.ඒ අවස්ථාවේදී රජයේ නීතීඥ දීලීප් භාණු මහතා කරුණු දක්වමින් දීර්ඝ නඩු විභාගයකින් පසු මෙම තත්වය බලනොපාන හෙයින් විත්තිකරුවන්ට නීත්‍යානුකූල දඬුවමක් නියම කරන ලෙසත් අතෘප්තියට පත් පාර්ශ්වයට උපරිම වන්දි මුදල් අයකර දෙන්නැයිද ඉල්ලා සිටියේය.ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර

අනියම් පෙම්වතා සමඟ හොල්මන් මන්දිරය බලද්දී සැමියා මිනි පෙට්ටියේ ඉඳලා


සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්ටන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ මෘත දේහය ලෙස සිටි තම විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමක දී අත්අඩංගුවට ගත් දොළොස් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය ඊයේ (24) නියෝග කළාය.මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නවගමුව රණාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර තරුණයන් දොළොස් දෙනෙකි.අධිකරණයේදී වාර්තා වූ කරුණු මෙසේ වේ.

නවගමුව රනාල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර තිබූ අතර එය නැරඹීම සඳහා 21 හැවිරිදි තරුණියක ඇයගේ පෙම්වතා සහ තවත් තරුණයන් පිරිසක් සමග පැමිණ ඇත.එම පිරිස හොල්මන් මන්දිරය නරඹමින් ඒ තුළට යන අවස්ථාවේ දී එහි මිනී පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා තම විවාහක සැමියා බව ඇය හඳුනාගෙන ඇති බවත් මළ මිනියක් ලෙස සිටි පුද්ගලයා ද අදාළ කාන්තාව හඳුනාගෙන ඇති බවත් එම අවස්ථාවේදී මෘත දේහය ලෙස සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ හිස් කෙටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීම නිසාවෙන් මෙම ගැටුම ආරම්භ වී ඇති බව මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරන ලදී.

අදාළ කාන්තාව සහ මෘතදේහ ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට වෙන්ව ජීවත්වෙන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය. එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමග ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස ද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයන්ට පහර දීමත් සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයන් ද එම පිරිසට පහරදීම නිසාවෙන් විශාල ගැටුමක් හටගෙන තිබූ බවද පොලිසිය මෙහිදී අධිකරණයට වෙත කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව හොල්මන් මන්දිරය සංවිධානය කරන පිරිස විසින් නවගමුව පොලිසියට ප්‍රථමයෙන් පැමිණිලි කර ඇති අතර අනෙක් පිරිස පසුව පැමිණිලි කර තිබුණි.පහර දීමට සම්බන්ධ දෙපාර්ශවයේම පුද්ගලයන් හය දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය. විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි, නීතිඥ සන්ධ්‍යා තල්දුව ඇතුළු පිරිසක් පෙනී සිටියහ. 

කේ බුද්ධික කුමාරසිරි

හංවැල්ල සිසුවිය අතවර සිද්ධිය: පෙම්වතා ඇතුළු 8 දෙනාම රිමාන්ඩ්



හංවැල්ල ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන්  08 දෙනා අධිකරණයට ඊයේ (24) යළි ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.

හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබිණි.මෙදින වනවිටත් අතවරයට පත් දැරිය රෝහල් ගතව සිටින බැවින් ඊයේ 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව කල් තබා ලබන නඩු දිනයේදී පළමු සහ තුන්වැනි සැකකරුවන් දෙදෙනා හැර අනෙක් හය දෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී නියෝග කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රණාල ජල්තර ආනන්දපුර පදිංචිකරුවකු වන කංකානුලාගේ මනුජ සස්මික, දැඩිගමුව දැඩිමුත්තුඩුව නානායක්කාර මලිගස්පේ කෝරලගේ විදුර අවිශ්ක, රනාල ජල්තර ගලහිටිය විතානගේ ලහිරු දිල්ෂාන් පෙරේරා, පාදුක්ක බටවල වල්පිට දේවමුනිගේ නිඛිල දුලංජන, දැඩිගමුව ලෙනගල තිලංක විජේතුංග, හේවාමාස්මුල්ලගේ ලිෂාන් නෙත්මිණ අබේවර්ධන, රනාල ජල්තර නිවාස සංකීර්ණයේ කූරගල නවීන් කෝසල, ජල්තර රණාල ආරාම පාර කංකානමගේ අවිශ්ක අනරනාත් ප්‍රියදර්ශන යන පිරිසයි.

පැමිණිල්ල වෙනුවෙන් හංවැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සුජිත් ඕල්ටර් සහ උප පොලිස් පරීක්ෂක ඉන්දික යන මහත්වරුන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් සුමිත් පරාක්‍රම අනුරාධ වලිසිංහ සහ එරන්දි කෞශල්‍යයා යන නීතිඥ දෙදෙනා පෙනී සිටියහ.ඉකුත් පොසොන් පොහොය දා තම පෙම්වතා හමුවීමට ගොස් නැවත නිවෙස බලා යමින් සිටි දාසය හැවිරිදි දැරියක යතුරු පැදියක නංවාගෙන ගොස් ජල්තර සුසාන භූමියේ ඉදිකරමින් පවතින ආදානාගාරයකදී වරින් වර දැරිය අතවරයට ලක් කිරීම සහ ඊට අනුබලදීම යන චෝදනා යටතේ සැකකරුවෝ හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

 කේ. බුද්ධික කුමාරසිරි

දුරකතන පණිවුඩවලින් පරිස්සම් වෙන්න



විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාම භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකීරක්ෂා ලබාදීමට ලියාපදිංචි වන්නැයි දන්වමින් ජංගම දුරකතනවලට එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් පරිස්සම් වන්නැයි ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.අනුකාරක (Fakeweb) වෙබ් අඩවි, සමාජ මාධ්‍ය (SocialMedia) වේදිකා, කෙටි පණිවුඩ වස්ඇප්, හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් පුද්ගලයන් සමග සම්බන්ධවීමට උත්සාහ කරන බව ද එම ආයතනය කියයි.ඔවුන් විසින් ලබාදෙනු ලබන Links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකතනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර මෙන්ම මුදල් වංචා ද සිදු කරන බවට පැමිණිලි රැසක් ලැබෙන බව ද සර්ට් ආයතනය සඳහන් කරයි.

මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය ද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.එසේම විවිධ ජාතික හා ආගමික උත්සව මුල් කරගනිමින් මෙම වංචාකරුවන් කටයුතු කරනු දක්නට ලැබෙන අතර නොදැනුවත්භාවය හා නොසලකා හැරිම නිසා මෙම අපරාධවලට ගොදුරු වන්නන්ගේ පැමිණිලි දිනපතා වැඩි වෙමින් පවතින බව ද එම ආයතනය කියයි.සැක සහිත අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පණිවුඩ ලැබුණහොත් ඒවාට පිවිසීමට පෙර අදාළ ආයතනවල නිල වෙබ් අඩවිවලට පිවිසීමෙන් හෝ නිල දුරකථන අංක ඔස්සේ හෝ කරුණු විමසා සහතික කරගන්නා ලෙස ද එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රංජන් කස්තුරි

උද්දික රංගනයෙන් ලාංකික වීසා හිරවෙලා


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය රඟපෑමක් යැයි ප්‍රසිද්ධවීමත් සමග යුරෝපා රටවල් රැසක් සහ ඇමෙරිකාව මෙරට පුරවැසියන්ට වීසා නිකුත් කිරීමේදී දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව වාර්තාවේ.

ඇමෙරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් වලට වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට වීසා ගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇති බව ද වාර්තාවේ. මෙරට පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන් සංචාරක වීසා මත විදේශගතව පසුව දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බවත් දැනගන්නට තිබේ. 

එම තත්වය පිළිබඳව අවධානය යොමු කර වීසා නිකුත් කිරීමේදී දැඩිව විමසිලිමත් වන ලෙස ප්‍රධාන රටවල්වවලට අයත් මෙරට තානාපති කාර්යාලවලට උපදෙස් ලැබී ඇති බවත් දේශපාලනඥයන් ඔවුන්ගේ දරුවන් සහ ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙස උපදෙස් දී ඇති බවත් පැවැසේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මූලික කරගෙන ඒ මහතා කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

යොහාන් භාසුර


දාසයේ දැරියක දූෂණය කළ විත්තිකරු වසර 30ක් හිරේ - වන්දිය ලක්ෂ 5ක් දඩය පන්දාහක්



දහසය හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඔහුට වසර 30ක සිරදඬුවම් ඊයේ (24) නියම කළේය. මොරටුව, ලක්ෂපතිය, කන්නගර මාවතේ රජීව රවිනාත් ජයතිලක නමැති 38 හැවිරිදි අයකුට මෙසේ දඬුවම් නියම කෙරිණි.විත්තිකරු 2021 ජනවාරි සහ මාර්තු මස අතරතුර කාලයේදී 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා තුනක් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබුණි.එම චෝදනා තුනෙන් එක් චෝදනාවකට නිදොස් කොට නිදහස් කර ඇති අතර චෝදනා දෙකකට ඔහු වරදකරු කර ඇත. එම සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් පන්දහසක දඩ මුදලක් ද නියම කළ අතර වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස දහ අටක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කර ඇත.විත්තිකරුට තවත් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය වෙතින් නියම කළ අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් බලාත්මක කිරීමට ද මෙහිදී නියෝග කර ඇත.සිරදඬුවම් කාලය වසර 15 බැගින් වෙන් චෙන්ව අවස්ථා දෙකක දී ගෙවීයන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.ඒ අනුව විත්තිකරු දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් ඔහු විඳිය යුතු මුළු සිරදඬුවම් කාලය වසර 34ක් බව අධිකරණයේ දී අනාවරණය විය. විත්තිය සහ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

සුමිත් පොතුපිටිය

සචිත්‍රගේ මිරැන්ඩෝගේ ගෙවල්වලට හොරු පනිති



හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචිත්‍ර සේනානායක සහ තිලාන් තුෂාර මිරැන්ඩෝ යන මහත්වරුන්ගේ නිවෙස්වලින් ඉකුත් 21 වැනිදා වටිනා දේපළ රැසක් සොරකම් ඇතැයි පොලිසිය පවසයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවෙසෙන් සොරාගෙන ගිය දේපළ අතර වටිනා අත් ඔරලෝසු, ලැප්ටොප් වර්ගයේ පරිගණක ටැබ් යන්ත්‍ර, රන් භාණ්ඩ සහ මුදල් ද වන බව පොලිසිය සඳහන් කරයි. 

නිවෙසට ඇතුළු වූ සොරුන් ආරක්ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.ඉකුත් පොසොන් පොහෝදා රාත්‍රී සචිත්‍ර සේනානායක මහතා ඇතුළු පවුලේ අය අවශ්‍යතාවක් සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවේදී නිවෙසේ පහත මාලයේ ජනේලයක් බිඳ ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියක් කඩා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.සේනානායක මහතා ඇතුළු පවුලේ අය පසුදින රාත්‍රි යළි නිචෙසට පැමිණෙන අවස්ථාවේ විදුලිය විසන්ධි කර තිබූ අතර ඉදිරිපස දොරද විවෘත කර තිබී ඇතැයි පොලිසිය කියයි. අදාළ සොරකමේ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලාන් තුෂාර මිරැන්ඩෝ මහතාගේ බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ නිවෙස බිද රුපියල් ලක්ෂ අටක පමණ රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.පොසොන් පොහෝය දා දහවල් කාලයේදී නිවැසියන් නිවෙසේ නොසිටි අවස්ථාවේදී පිටුපස දොර කඩා නිවෙසට ඇතුළුවී එහි අල්මාරියේ තිබූ රන් මාල, වළලු ඇතුළු රුපියල් අටලක්ෂ දස දහසක් පමණ වන රන් ආභරණ තොගයක් සොරකම් කර ඇතැයි පොලීසිය කියයි. මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බව ද පොලිසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

Monday, June 24, 2024

කසිප්පු ඔත්තුවට පුද්ගලයෙකු ඝාතනය කර වළ දමලා



නීතිවිරෝධි මත්පැන් පෙරන බවට පොලීසියට තොරතුරු දුන්නා යැයි සැකකර මරා වළ දැමූ බව පැවසෙන පුද්ගලයෙකුගේ සිරුරක් මිද්දෙණිය පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙසේ ඝාතනයට ලක් කර ඇත්තේ තලාව,කාරියමඩිත්ත, ගොඩකදුරුවෙල, කොටපොල ගෙදර පදිංචි හෙට්ටිගේ කීර්තිරත්න (අවු.44) නමැති තිදරු පියෙකි. 

පොලීසියට ලද තොරතුරු අනුව සිද්ධියට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකපිට නීතිවිරෝධි මත්පැන් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනය සම්බන්ධයෙන් ඔහු පාපොච්චාරණයක් සිදුකර ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයා තමා නීතිවිරෝධී මත්පැන් පෙරන බවට පොලීසියට තොරතුරු ලබා දෙන බවට සැක කිරීම නිසා ඔහු මරා දැමීමට තීරණය කළ බවත්, ඒ අනුව මග රැඳී සිටි මරණකරුට මත්පැන් පානයට එන ලෙස පවසා කැලෑබද පොල් ඉඩමකට රැගෙන ගොස් මස්සිතා සමග ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර වළ දැමූ බවත් පවසා තිබේ.

මෙලෙස ඝාතනය වූ පුද්ගලයා පසුගිය මැයි 31දා සූරියවැව ප්‍රදේශයට යාම සදහා බස් රථයක් පැමිණෙන තෙක් ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි දමනිය වැව අසල මාර්ගයට යන බවට බිරිඳට පවසා ගොස් ඇත. දින කිහිපයක් ගතවුවත් සිය සැමියා නිවසට නොපැමිණීම පිළිබඳව ඇය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු සහ ඔහුගේ මිත්‍රයකුගේ දැනුම් දීමක් අනුව මිද්දෙණිය පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී මළසිරුරක් ඇති බව දැක වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ද කැඳවා දේහය ගොඩ ගන්නා ලදි. දේහය ඉටි රෙද්දක ඔතා නොගැඹුරු වළක දමා පස්වලින් වසා ඒ මත භූමි තෙල් අතුරා තිබී ඇත.මිද්දෙණිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂන සිදුකරනු ලබයි.


ආයුර්වේද වෛද්‍යවරුන් හා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අද සේවයෙන් ඉවතට



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (24දා) ආයුර්වේද වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අද (24දා) සහ හෙට (25දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බව වෘත්තීය සමිති සඳහන් කරයි.මීට අමතරව පවතින ගැටලුවලට අද (24දා) දිනයේදී විසඳුම් නොලැබුණහොත් ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමයට අයත් නිලධාර්න් හා රජයේ විධායක මට්ටමේ නිලධාර්න් හෙට (25දා) සහ අනිද්දා (26දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමය සඳහන් කරයි.තැපැල් සේවාවට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අද (24දා) අග්‍රාමාත්‍ය ලේකම්වරයා හා වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු වෘත්තීය සමිති තීරණය කරන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

මීට අමතරව ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 26 වන දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. ආයුර්වේද වෛද්‍යවරුන් අමතර සේවාවල නිරත වුවත් කිසිදු දීමනාවක් නොලැබෙන බවත්, මේ අනුව අදාළ ගැටලුව පිළිබඳ පසුගිය කාලය පුරාම බලධාරීර්න් සමග සාකච්ඡා කළ බවත්, එහෙත් මෙම සාකච්ඡා අසාර්ථක වීම නිසා අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ එක් දින ක්‍රියාමාර්ගයක් සිදු කරන බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

මීට සමගාමීව කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් හා විරෝධතා පා ගමනක් පැවැත්වීමට කටයුතු කරන බවත් වැඩවර්ජනයක් සිදු වුවත් අත්‍යවශ්‍ය සේවා සිදු කිර්මට වෛද්‍යවරුන් කටයුතු කරන බවත්, ඉතිරි පිරිස් අසනීප නිවාඩු දමා කොළඹද පැමිණි අදාළ ක්‍රියාමාර්ග සිදු කරන බව එම කමිටුවේ සමකැඳවුම්කරු වෛද්‍ය චතුර ජානක මහතා සඳහන් කළේය.එමෙන්ම අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවාවේ සේවකයන් අද (24දා) හෙට (25දා) සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

මීට අමතරව අද දිස්ත්‍රික්ක 05ක් මූලික කර ගනිමින් ස්ථාන 05කදී විරෝධතා ව්‍යාපර පැවැත්වීමටත් 25වන දින ගම්පහ දිස්ත්‍රික්කය තුළදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වුවත් රාත්‍රී කාලයේදී පාසල්වල හා අනෙකුත් අධ්‍යාපන ආයතන තුළ සිටින මුරකරුවන් රාජකාරි සිදු කරන බවත් එහෙත් දහවල් කාලයේදී මුරකරුවන් සේවයෙන් ඉවත් වන බවත් පාසල් හා අනෙකුත් නේවාසිකාරගාර කටයුතු මෙම දින දෙක තුළදීත් සමාන්‍ය ලෙස පවත්වා ගෙන යන බවද පවසා සිටියේය.

රජයේ විධායක මට්ටමේ සි නිලධාරීන්ගේ විධායක දීමනාව වැඩි කිර්මට අදාළ කටයුතු මෙතෙක් නිසි ලෙස සිදුකර නොමැති නිසා අද (24දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණ ගත යුතු බව ශ්‍රී ලංකා පාරිපාලන සේවා සංගමය සඳහන් කරයි. අදාළ තීරණ ගැනීමට කටයුතු නොකළහොත් හෙට (25දා) සහ අනිද්දා (26දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කිරීමට තීරණය කර තිබෙන බවත්, මෙම කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු තුළ සේවය කරන පරිපාලන නිලධාරීන් හා විධායක මට්ටමේ සිවිල් නිලධාර්න් සම්බන්ධ වන බවත් පෙන්වා දෙයි.

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබූ වැටුප් විෂමතා විසඳීම යටතේ මෙතෙක් ලබා දී නොමැති කොටස් දෙක ලබා ගැනීමට හා පාසල් උපකරණ මිල අඩු කරන ලෙස ඉල්ල හා පාසල් නඩත්තුවට නිසි ලෙස මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 26වන දින සේවයෙන් ඉවත් වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.26වන දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වන බවත්, එදින රට පුරා සිටිනගුරු විදුහල්පතිවරුන් කොළඹට රැස් වී දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වීමට කටයුතු කරන බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේය.ගුරු විහල්පතිවරුන්ට ඇති වී තිබූ වැටුප් විෂමතා විසඳීම යටතේ විෂමතාවයෙන් කොටසක් 2022 වසරේදී ලබා දුන් බවත් ඉතිරි කොටස් දෙක මේ වසරේ ජනවාරි මාසයේ සිට ලබා දිය යුතුව තිබූ බවද ඔහු පැවසීය.

පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් ලබා නොදීම නිසා දෙමාපියන්ට විශාල මුදලක් දැරීමට සිදුව තිබෙන බවත්, පාසල් උපකරණ හා නිලඇඳුම් රෙදි මිල විශාල ලෙස ඉහළ යාම නිසා දෙමාපියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය. මේ නිසා පාසල් නඩත්තුව සඳහා නිසි ලෙස මුදල් ලබා දෙන ලෙස ඉල්ලා හා පාසල් උපකරණ මිල අඩු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

ඉන්දික හේවාවිතාරණ


පේරාදෙණිය- මහනුවර ළමා සැත්කම් නැවතිලා




මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ ශල්‍යකරිම සදහා භාවිත කරන ලික්නොකේන් නමැති එන්නත මාස කීපයක සිට දැඩි ලෙස හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.රෝගී ස්ථානීය නිර්වින්දනය කිරීමේදී භාවිතා කරන එම එන්නත නොමැති වීමෙන් මහනුවර ජාතික රෝහලේ විවිධ ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවට පත්වන බව ද එම ආරංචි මාර්ග කියයි. මීට අමතරව පේරාදෙණිය ළමා රෝහලේ ලික්නොකේන් නමැති එම එන්නත නොමැති වීමෙන් කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම කිරීමේ දී දැඩි ලෙස බාධා වන බව ද වාර්තාවේ.

රෝහල්වල පාලන අධිකාරිය එම එන්නත් හිඟය පිළිබඳව කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇතත් එම එන්නත සැපයීම මේ වනතෙක් සිදුව නැතැයි ද පැවැසේ. ඖෂධ හිඟය පිළිබඳව මහනුවර ජාතික රෝහලෙන් සහ පේරාදෙණිය රෝහලෙන් කළ විමසීම්වලදී එම රෝහල්වල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයන් දෙදෙනෙකු සඳහන් කළේ ඖෂධ වර්ගවල විටින් විට හිඟයක් පවතින නමුත් අත්‍ය වශ්‍ය වූ විටෙකදී ඒවා හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගෙන රෝගී සත්කාර සේවා ඉටුකරන බවය. එම නිර්වින්දන ඖෂධ වර්ග ද විටින් විට හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගන්නා බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෝ සඳහන් කළහ.

 රංජන් කස්තුරි

සුළං විදුලි බලාගාර අදානිට දීම කොමිසම අත්හිටුවයි



නාමිණි විජේදාස (සන්ඩේ ටයිම්ස්)


මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටවූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 

ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය බාරදුන් තොරතුරු එහි අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීමට ප්‍රමාණවත් නොවීම ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටුවීමට හේතුවූ බවද එම ලිපියේ දැක්වේ. අනුමැතිය ගැනීමට අවශ්‍ය ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම ඇතිකර ගන්නා ලද බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ සම්පූර්ණ කෙටුම්පත ඉන්දීය රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් දුන් අවසරය යනාදී තොරතුරු මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

කිලිනොච්චියේ සිට හබරණ දක්වා කිලෝවෝල්ට් 400 ධාරිතාවෙන් සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විස්තර සහ ඊට වැයවන මුදල නැවත අය කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත්වී ඇතැයිද ලිපියේ දැක්වේ.එසේම මන්නාරමේ අදානි ව්‍යාපෘතිය ආසන්නයේ‍ පිහිටි මෙගාවොට් 50ක සුළං බලාගාරයට කැඳවූ ටෙන්ඩරය සඳහා ලැබී ඇති ලංසු වටිනාකම් පිළිබඳ තොරතුරුද ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදී නැතැයි එහි සඳහන් වේ.

ව්‍යාපෘතිය හේතුවෙන් පරිසරයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපෑම් ඇස්තමේන්තුවේ ප්‍රතිඵල සහ පාරිසරික බලපත්‍රයේ විස්තර පවා ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාදීමට ඒ සඳහා අවශ්‍ය මූලික තොරතුරු බාරදෙන ලෙසත් මුල් අවස්ථාවේ අදාළ තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් සාධාරණිකරණය කිරීමක් කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට එම ලිපියෙන් දන්වා ඇත.


සිසුවකුට පාසලේදී ලේ එන්න ගහලා: සිසුවෝ 8 ක් කූඩුවේ



පරසන්ගස්වැව ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි සිසුවකුට මුඛයෙන් ලේ ගලන තුරුම පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් අට දෙනකු පෙරේදා (22) අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම, අඹගස්වැව හා පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ සිසුන් අට දෙනකු වන අතර, පහර කෑමට ලක්ව ඇත්තේ ද එම පාසලේම 10 ශ්‍රේණියේ සියඹලාගස්වැව, පරසන්ගස්වැව පදිංචි සිසුවකු බව පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ සිසුවාගේ මවුපියන් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.පාසලේදී ඇතිවූ බහින්බස්වීමක් මුල්කර ගනිමින් පසුගිය 21 වැනිදා පාසලේදීම මෙ සිසුවාට පහරදී ඇතැයි පොලිසිය පැවැසීය. තුවාල ලැබූ සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගැනුණ සිසුන් පොලිස් ඇප මත මුදා හැර වැඩිදුර විභාගය අද (24) පැවැත්වීමට නියමිතය.


දයාරත්න ඇබෝගම 

කටඋත්තර දෙන්න ආ පියුමිගේ ක්‍රීම් කොම්පැනිය සී.අයි.ඩී.යට හයිය පෙන්නලා


ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියර් ආයතනයේ ප්‍රධානීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය කළ ඉල්ලීම එම ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය. 

ඒ අනුව කුරියර් සමාගමේ සභාපතිවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරියා කීය. නිරූපණ ශිල්පිනියක ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබද “මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය ඇය රුපියල් ලක්ෂ 780 කට මිලදී ගෙන තිබූ බවත්, කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවෙසක් ද මිලදී ගෙන ඇති බවත් කියති.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉකුත් දා අධිකරණයෙන් අවසර ලැබී තිබුණි.

ගයාන් සූරියආරච්චි

කෝටි 25ක ඩොලර් වේයෝ කාලා

 


හිටපු ජනාධිපති අපේක්ෂකයකුට මීට පෙර පැවැති ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණේ යැයි කියන ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමින් යුත් ඇමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

මෙම වේයන් කෑ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම හිටපු අපේක්ෂකයාගේ ඉල්ලීම මත එක්තරා ප්‍රබලයකු මැදිහත්වීමෙන් ඔහුට මෑතකදී නිකුත් කර ඇතැයි ද වාර්තාවේ. ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ අරමුණෙත් හිටපු අපේක්ෂකයාට මෙසේ උදව් කර ඇතැයි දැනගන්නට ඇති අතර හිටපු අපේක්ෂකයාට පසුගිය ජනාධිපතිවරණයකදී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇතැයි කියන මෙම ඩොලර් අධිකරණ ක්‍රියාදාමයකින් පසු නැවත ඔහුට හිමිව තිබිණැයි කියති.

ඒ අනුව එම ඩොලර් ලබාගැනීමට පසුගිය දිනෙක ඒවා තැන්පත් කෙරුණු මුදල් සේප්පුව පරීක්ෂා කර ඇති අවස්ථාවේදී නෝට්ටු වේයන් කා විනාශ වී ඇති බව දැකගන්නට ලැබී ඇති අතර අපේක්ෂකයා එම ඩොලර් නෝට්ටු අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමට සහාය ඉල්ලා ඇත්තේ ඉන් අනතුරුව බව පැවැසේ. හිටපු ජනපති අපේක්ෂකයාගේ මෙම ඩොලර් සිද්ධිය දේශපාලනපිටියේ ඇතැම් ස්ථානවල ද පසුගිය දිනවල කනින් කොනින් ඇසුණු බව වාර්තාවේ.


සුජිත් හේවාජුලිගේ

පොලිසියෙන් කියා ඇවිත් රූපවාහිනි මාධ්‍යවේදියාට පුටුවක් කැඩෙනතුරු ගහලා


සුපීම් දසත රූපවාහිනී මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න මහතාට පහරදීම පිළිබඳව වහාම පරීක්ෂණයක් කර වගකිවයුත්තන් හෙළිකිරිම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය. සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියකු වන ධනුෂ්ක සෙනෙවිරත්න මහතා රැඳී සිටි කැලණියේ නවාතැන් ගෘහයට පොලිසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. පොසොන් පොහෝදා අලුයම 3ට පමණ ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

තමන් නිදා සිටියදී පැමිණි පිරිසක් පොලිසියෙන් බව පැවසීම නිසා දොර විවෘත කළ අවස්ථාවේ වෙනත් පුද්ගලයකු ගැන විමසා ඔහු එහි නොමැති බව පැවසීමෙන් උරණව පුටුවක් කැඩෙනතුරු ඉන් පහර දුන් බව ධනුෂ්ක ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශයට අනුව ඔහු පහර කෑමට ලක්වන්නේ පොලිසියෙන් බව පැවසීම හේතුවෙන් දොර විවෘත කළ පසුය. එම නිසා මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ කොට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම පොලිස් දෙපාර්තමේන්තුවේ කඩිනම් වගකීමකි. යුක්තිය මෙහෙයුම වැනි ක්‍රියාකාරකම්වලින් සිය කීර්ති නාමය ඉහළ නංවා ගැනීමට පොලිසිය උත්සාහ ගන්නා අතරතුර මැර කණ්ඩායම් තමන් පොලිසිය බව පවසමින් මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම සරදම් සහගත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හැඟීමයි.


කුරුලු කූඩුවක ලක්ෂ 75ක කුඩු හංගලා

 


කුරුලු කූඩුවක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ 75 කට අසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 442 මිලිග්‍රෑම් 225 ක් පොලිස් බාරයට ගෙන ඇත.

යුක්තිය මෙහෙයුමේ යෙදී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන් විසින් පුද්ගලයකු සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරකට අනුව කොළඹ 14 මාදම්පිටිය පාරේ නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවා ඇති ස්ථානයක් සම්බන්ධයෙන් අනාවරණය කරන ලද තොරතුරු අනුව ඔහුගේ මග පෙන්වීම මත වත්තල, හුනුපිටිය සංඝරාජ මාවතේ ඉදි කරමින් පවතින නිවසක් පිටුපස තිබූ කුරුල්ලන් නොසිටින කුරුලු කූඩුවක සඟවා ඇති බවට අනාවරණය කළ බව පොලිසිය කීය.

ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම කුරුලු කූඩුව ඉබ්බකු යොදා වසා දමා තිබී ඇති අතර සැකකරු සන්තකයේ තිබූ යතුරක් ලබාදීමෙන් පසු එම කුරුලු කූඩුවේ දොර විවෘත කර පරීක්ෂා කිරීමේදී සෙලෝටේප් වලින් ඔතන ලද සිලින්ඩරයක් වැනි යමක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී විනිවිද පෙනෙන සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයක මෙම මත්කුඩු තොගය බහා තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.46 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහා මොළකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

ට්‍රැෆික් රාලහාමිලා තිදෙනකුට කුණුහරුපයෙන් බැන්න තරුණියක් අත්අඩංගුවට



කතරගම පොලිසියේ නිලධාරීන් තිදෙනකු රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී ජංගම දුරකතනයකින් එම නිලධාරීන් තිදෙනා වීඩියෝ ගත කර ඔවුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණේ යැයි කියන 24 හැවිරිදි තරුණියක් කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සෙල්ල කතරගම පූජා භාණ්ඩ අලෙවිසලක වෙළෙඳ සේවිකාවකි. මාර්ගය අවහිර වන ලෙස ලොරියක් නතර කර තිබෙන අයුරු දුටු මෙම පොලිස් නිලධාරීන් තිදෙනා රියැදුරුට එම රථය රථ ගාලේ නතර කරන ලෙස උපදෙස් දී නැවතත් රථ වාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිට ඇතැයි කතරගම පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

මේ අවස්ථාවේ වෙළෙඳ සේවිකාව එම පොලිස් නිලධාරීන් තිදෙනා ඇය සතුව තිබූ ජංගම දුරකතනයෙන් ඡායාරූප සහ වීඩියෝ ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.එසේ කරන්නේ ඇයි දැයි පොලිස් නිලධාරීන් තිදෙනා තරුණියගෙන් විමසූ අවස්ථාවේදී ඇය අසභ්‍ය වචනයෙන් එම නිලධාරීන් තිදෙනාට බැණ වැදී ඇති බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත තරුණිය අත්අඩංගුවට ගෙන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය