Showing posts with label local g2. Show all posts
Showing posts with label local g2. Show all posts

Friday, November 24, 2023

ලිංගිකත්වය වෙනස් කළ ක්‍රීඩිකාවන්ට, ක්‍රිකට් වැට බඳියි

 



ඕෂිත වරකපිටිය

ලිංගිකත්වය වෙනස් කරමින් කාන්තාවන් බවට පත් වූ ක්‍රීඩකයන්ට, ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීම තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) පියවර ගෙන ඇත. අයි.සී.සී.ය ඉකුත්දා (21දා) ඉන්දියාවේදී පැවති විධායක රැස්වීමේදී මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයි.සී.සී. පවසන්නේ, කාන්තාවන්ට සාධාරණත්වයෙන් යුක්ත සිය ක්‍රීඩාව කරගෙන යාමට හා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.මෙම පියවර මීට පෙර රග්බි, පිහිනුම්, පාපැදි ධාවන, මලල ක්‍රීඩා වැනි ක්‍රීඩා රාශියක ගෙන තිබුණත්, ක්‍රිකට් ක්‍රීඩාවට මෙම නීතිය මේ දක්වා හඳුන්වාදී නොතිබිණි.මේ සඳහා මූලික වූයේ කැනඩා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ලිංගික විපර්යාස සැත්කමට භාජනය වී කාන්තාවක් වූ ඩැනියෙල් මැක්ගහේ පැමිණීමත් සමගිනි.

පිරිමියෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ මැක්ගහේ, ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රීඩා සමාජයකද ක්‍රිකට් ක්‍රීඩා කර ඇත. 2020 වර්ෂයේදී කාන්තාවක් වීම ආරම්භ කළ ඇය, 2021 වර්ෂයේදී කාන්තාවක ලෙස පළමුවරට කරලියට පැමිණියාය. පසුව ඇය කැනඩාවේ කාන්තා ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කිරීම ආරම්භ කළ අතර, මේ වසරේ පැවති එරට දේශීය අන්තර් ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය බවටද පත් වූවාවය.

මේ අනුව ඇය කැනඩා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටද වරම් ලැබූ අතර, එහිදී ඇය කාන්තා විස්සයි20 තරග 06කටද සිය දායකත්වය ලබාදෙමින් ලකුණු 118ක් රැස් කළාය.කෙසේ වෙතත් මෙම නව නීතිර්තිවලට අනුව මැග්ගේට ඉදිරියේදී ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.


Friday, November 17, 2023

14 හැවිරිදි පෙම්වතිය අපයෝජනය කළ 28 හැවිරිදි පෙම්වතා රිමාන්ඩ්

 • කිරිදිවැල - උපාලි රණවීර


පූගොඩ ප්‍රදේශයේ පදිංචි දාහතර හැවිරිදි පාසල් සිසුවියක අපයෝජන කිරීමේ චෝදනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 28 හැවිරිදි තරුණයෙකු මෙම මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පූගොඩ මහෙස්ත්‍රාත් විෂන්  ඒකනායක මහතා ඊයේ 16දා නියම කළේය.පූගොඩ, මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

සැකකාර තරුණයා එම දැරිය සමග සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන යන අතරතුරදී සැකකරුගේ නිවසට කැඳවාගෙන ගොස් මෙලෙස ඇය අපයෝජනයට ලක් කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.පුගොඩ පොලීසිය පැමිණිල්ල මෙහෙය වීය.

රු. කෝටි 11ක් වටිනා රත්තරන් ජෙල් කරල් 16ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..


 කටුනායක -ටී.කේ.ජී.කපිල

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් ( Capsules )16 ක් රැගෙන පැමිණි අයෙකු පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාර්න් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ගුවන් මගියා පැමිණි ගුවන් යානය තුළට ගොස් ඊයේ (16දා) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ - 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . ඔහු එදින අලුයම 01.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා සහ ඔහුගේ ගමන් මල්ල අත්අඩංගුවට ගෙන තිබේ .මෙම ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 423යි මිලි ග්‍රෑම් 9ක් බරැති මෙම රත්තරන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සඟවාගෙන තිබිණි. මේ වනවිට මෙම රත්තරන් ජෙල් තොගය රජයේ රස පක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා යොමු කර ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනයට සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්  පියවර ගෙන තිබේ . මෙම වාර්තා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට ලැබෙන තෙක් මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

Thursday, November 16, 2023

වාහන අලෙවිසැලකින් රු.ලක්ෂ 400ක ජීප් රථයක් පැහැරගෙන යාමට තැත්කළ STF IP ඇතුළු 8ක් රිමාන්ඩ්

 • වාරණ ආනන්ද ඉ ජයකොඩි .

පස්යාල නගරාසන්නයේ වාහන අලෙවි හලකට බලහත්කාරයෙන් කඩාවැදී රුපියල් ලක්ෂ හාරසීයක් වටිනා ජීප් රථයක් පැහැරගෙන යාමට උත්සාහ කළ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු සැකකරුවන් අටදෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා මේ මස 29 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා ඊයේ (15දා) නියෝග කළේය.පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයෙකු වන කහඳවල්පොත මාවතගම පදිංචිකරුවෙකු ඇතුළු අටදෙනෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

පස්යාල නගරාසන්නයේ පවත්වා ගෙන යන වාහන අලෙවි සැලකට පෙරේදා (14) පස්වරුවේ වාහනයක් මිලදී ගන්නා මුවාවෙන් බලහත්කාරයෙන් කඩා වැදී රුපියල් ලක්ෂ හාරසියයක් වටිනා ජීප් රථයක් කොල්ල කා ගෙන යාමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසිය විසින් සැකකරුවන් අට දෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දෙපාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ අතර කරුණු දැන්වීම්වලින් අනතුරුව එසේ සැකකරුවන් අටදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.නැවත කැඳවීම මේ මස 29 වැනිදාට කල් තැබිණි.නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා පැමිණිල්ල මෙහෙය විය.

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක්

· නවෝද්‍යා පවනී 

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, කලා නිර්මාණවලින් "වාරණය” යන වචනය ඉවත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනෙන අතර එමගින් කලාකරුවන් මහත් අපහසුතාවකට පත්වන බවත්, එය වළක්වා ගැනීම සඳහා චිත්‍රපට සහ රූපවාහිනි නිෂ්පාදන පළමුව වර්ගීකරණ මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. මෙම සියලු නීති ලබන වසරේ සිට බලාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත්, ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි.

2019 සහ 2020 යන වර්ෂයන්හි ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයන් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරිණ.

සිනමාව උදෙසා විශේෂ කාර්යයක් ඉටු කිරීම වෙනුවෙන් පිරිනමන “යුග අභිමානී” විශේෂිත සම්මානය කේ. ගුණරත්නම් මහතා අනුස්මරණය කරමින් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර චන්ද්‍රන් රත්නම්, සුවිනීතා වීරසිංහ සහ සිරිල් වික්‍රමගේ යන මහත්ම මහත්මීන් වෙනුවෙන් "ස්වර්ණසිංහ” සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

සුළං ගැන අවධානයෙන් සිටින්න - නාවිකයන්ට හා ධීවරයන්ට අනතුරු ඇඟවීමක්




• ඉන්දික හේවාවිතාරණ 


අන්දමන් හා නිකෝබාර් දූපතට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය අද (16දා) උදෑසන වනවිට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ නිසා උතුරු අක්‍ෂාංශ 10 සහ 19ත් නැගෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවලට අද (16දා) දින යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. මෙම ප්‍රදේශවල සුළඟේ වේගය අද දිනයේදී පැයට කිලෝමීටර් 40ත් 45ත් පමණ වන බවත්, විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බවත්, ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත්වන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං උතුරු හෝ වයඹ දිශාවලින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත්පමණ වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


Monday, November 13, 2023

ජලාශ සියල්ල පිරීයමින් තිබියදී ලංවිම දැවැන්ත වංචාවක් සිදුකරමින් ජනතාව ගසා කමින් සිටිනවා. - පිවිතුරු හෙළ උරුමය නායක, පා.ම. නීතිඥ උදය ගම්මන්පිල

 නවෝද්‍යා  පවනී 

විදුලිය නිෂ්පාදනය කරන ජලාශ සියල්ලම පාහේ පිරීයමින්  පවතින මොහොතක විදුලිබල මණ්ඩලය දැවැන්ත වංචාවක් සිදුකරමින් ජනතාව ගසා කමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

විදුලිබල මණ්ඩලයේ නාස්තිය ජනතාව මත පටවමින් එය පියවා ගැනීමට උත්සාහ කිරීමට විරුද්ධ බව ද හෙතෙම කීවේය.ඒ මහතා මේ බව සඳහන් කළේ, වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයක දීය. වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය  නායකයා එහිදී මෙසේ ද පැවසීය. "විදුලි බිල  නැවත වතාවක් වැඩි වෙලා. ආණ්ඩුව කියනවා ඒ පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි. වියදම වැඩි වුනොත් අපි ඒක පාරිභෝගිකයගෙන් අය කරනවා. අපිට ඒකට විසඳුමක් නැහැ කියලා. විදුලි බිලෙහි පිරිවැය විදුලි පාරිභෝගිකයා දැරිය යුතුයි  කියන එක අපි පිළිගන්නවා.නමුත් මෙතන තියෙන ප්‍රශ්න මොකක්ද? විදුලිබල මණ්ඩලයේ නාස්තිය පාරිභෝගිකයාගේ කර මත පටවනවාට අපි විරුද්ධයි. විදුලිබල මණ්ඩලයේ තිබෙන දූෂණය පාරිභෝගිකයාගේ කර මත පටවනවාට අපි විරුද්ධයි . ප්‍රතිපත්තිමය තීන්දුවල වරදින් විදුලි මිල ඉහළ යෑමේ ආදීනව පාරිභෝගිකයාගේ කර මත පටවනවාට අපි විරුද්ධයි. ඒ වගේම බොරු තක්කඩි ගණනය කිරීමෙන් හදාගන්නා ඉලක්කම්වලින් චීන බරපැන පාරිභෝගිකයා මත පටවනවට අපි විරුද්ධයි. දුප්පත් කෙනාට වැඩි විදුලිබිලක් දාලා පෝසතාගේ විදුලි මිලත් දුප්පතාගෙන් අයකරගන්නවට අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපිට විදුලිබිල ගැන ආරෝවක් තියෙන්නේ.

පසුගිය කාලෙ කිව්වෙ මාස හයෙන් හයට විදුලි බිල වැඩි කරනවා කියලයි. එහෙම කිව්ව ආණ්ඩුව පෑවිල්ල, ඩීසල්වලින් විදුලිය හදන්න වුනා , ඒ නිසා අපිට යළි වැඩි කරන්න ඕනි කියලා තමයි මේ ගිය මාස දෙකේ වැඩි කළේ. ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න ගිහිල්ලා පාඩුපිට විදුලි නිෂ්පාදනය කළ බවත් ඇත්තයි. හැබැයි මේ වන විට ඒ පායපු මාස දෙකට හරියන්ඩ පැල් බැඳගෙන වහිනවා.

ඊයේ දිනය වන විට, කාසල්රි  99% ක් පිරිලා. මාවුස්සාකැලේ 94%යි. සමනලවැව 90%යි. කොත්මලේ 80%යි. ඉදිරි සති දෙක තුළ මේ සියලු ජලාශ පිරිලා ඉතිරිලා යනවා. එහෙම නං ඒ වෙච්ච පාඩුව මේ වනකොට අල්ලලා ඉවරයි. එහෙමනං මොකටද මේ බිල වැඩි උනේ. සාමාන්‍යයෙන් දවසකට අපිට විදුලිය අවශ්‍ය වෙනවා ගිගා වොට් පැය 44ක් - 50ක් අතර. මේ දවස්වල වහිනවා. වහිනකොට ෆෑන් අවශ්‍ය නෑ. වායු සමීකරණ දාන්නේ නෑ. ගිගාවොට් පැය44 ක් විතර තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. හැබැයි පහුගිය කාලේ ආර්ථික අර්බුද එක්ක මේ මිල වැඩිකිරීම දරාගන්න බැරිවුණා ජනතාවට මේ දවස්වල දවසකට විදුලි ඉල්ලුම තියෙන්නෙ ගිගා වොට් පැය 40 - 41 අතර. ඊයෙ දවසෙ ජලාශ සහ ආශ්‍රිත ප්‍රදේශවලට කඩා වැටුණු වර්ෂාවෙන් ජලාශවලට එකතුවුණු ජලයෙන් විතරක් ගිගා වොට් පැය 48ක් හදන්න පුළුවන්."


පෙරපාසල් ගුරු දීමනාව රුපියල් 25,000ක් කරන්නැයි විරෝධතාවක්...







 * රාස්සගල - සම්පත්

ජීවන වියදමට සරිසන ලෙස පෙරපාසල් ගුරු දීමනාව රුපියල් 25,000ක් ලෙස ඉහළ දමන ලෙස ඉල්ලා පෙරපාසල් ගුරුවරියෝ පිරිසක් පෙරේදා (11දා) පෙරවරුවේ බලන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.දැනට තමන්ට ලැබෙන රුපියල් 2500ක දීමනාව ප්‍රමාණවත් නොමැති බව එහිදී ඔවුහු පැවසූහ. 

එයට අමතරව පෙරපාසල් ගුරුවරියන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කළ යුතු බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.විශ්ව පෙරපාසල් සංසදය විසින් එම විරෝධතාව සංවිධානය කර තිබිණ.


Friday, November 10, 2023

ඕමානය සංචාරක වීසා මගින් රැකියා කිරීමේ අවස්ථාව අත්හිටුවයි...

 නවෝද්‍යා පවනී .

සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023 ඔක්තෝබර් 31 වැනිදා සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලීසිය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළු වී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට කිසිදු රටක පුද්ගලයකුට අවස්ථාව හිමි නොවේ.

මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් "විරෝධතාවක් නොමැති" බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබේ.

සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළු වූ පුද්ගලයකුට ඕමානයේ රැකියාවක් හිමිවූයේ නම්, එරටින් පිටවී යළි රැකියා වීසා පතක් ලබාගැනීමෙන් අනතුරුව ඕමානයට ඇතුළු විය යුතුවේ. 

බොහෝ ශ්‍රී ලාංකිකයන් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින්, ඕමානයේ රැකියා සඳහා යොමුවන අතර, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයත් සංචාරක වීසා මගින් ඕමානය වෙත ඇතුළු වී විවිධ හිරිහැරවලට ලක්වූ අවස්ථාද පසුගිය සමයේදී වාර්තා විය.

ඉහත තීරණය අනුව සංචාරක වීසා මගින් ඕමානයට ගොස් රැකියාවක් ලබා ගැනීමේ හා රැකියා වීසා පතකට පරිවර්තනය කිරීමේ කිසිදු අවස්ථාවක් හිමි නොවන බැවින්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත නොවන ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයන්ට දන්වා සිටියි.


පුටුවෙන් ඇදවැටී මියගිය බව පැවසුණු ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක්....

  බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ/ පානදුර - සුමිත්  පොතුපිටිය

පුටුවෙන් වැටී හිසට බරපතළ තුවාල සිදුවී යැයි සැක කර රෝහල්ගත කළ පානදුර මාලමුල්ල ව්‍යාපාරිකයෙකුගේ හිසට මොට ආයුධයකින් පහර දීමෙන් ඝාතනය කර ඇති බවට මරණ පරීක්ෂණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව හිරණ පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, පාලිත විජේසිංහ (අවු.54) නමැත්තෙකි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා මධ්‍යම රාත්‍රී වනතුරු වෙළෙ සැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර, පසුගිය 6වැනිදා ඔහු එලෙස වෙළෙඳ සැල මධ්‍යම රාත්‍රිය වනතුරු විවෘත කරගෙන සිට ඇති බවත්, ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්‍යාපාරිකයා හමුවීම සඳහා වෙළෙඳ සැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී අයකැමි මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටි දැක ඒ සම්බන්ධව 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම්දී 1990 සුවසැරිය ගිලන් රථය මගින් පානදුර මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

එහිදී මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබූ ව්‍යාපාරිකයාව ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් නැවතත් පානදුර මූලික රෝහල වෙත යොමු කර ඇති අතර දින 11/2 කට පමණ පසු ව්‍යාපාරිකයා පෙරේදා (08දා) ජීවිතක්ෂයට පත්ව තිබිණි.

අදාළ මරණය ව්‍යාපාරිකයා අයකැමි මේසය අසල අසුන්ගෙන සිටි පුටුවෙන් ඇද වැටී හිසට සිදුවූ තුවාල හේතුවෙන් සිදුවූ එකක් යැයි අනුමාන කළද පානදුර අධිකරණයට ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්තා පීරිස් මහත්මිය සිදුවූ ස්ථානයට පැමිණ එක විමර්ශන සිදුකර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළාය. ඒ අනුව පානදුරට මූලික  රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රවීන්දුන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් සිටියදී එය මදකට නතර කර යළි සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ව්‍යාපාරිකයාගේ මරණය හිසට මොට ආයුධයකින් සිදුවූ පහරදීමක් හේතුවෙන් සිදු වූ එකක් බවට එම වාර්තාවේ සදහන් කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය

ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

Thursday, November 9, 2023

වෛද්‍යවරු නොමැතිව රෝහල් 20ක් වැසී ගිහින්,තවත් රෝහල් 95ක් වැසී යාමේ අවදානමක් - - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඉන්දික හේවාවිතාරණ

වෛද්‍යවරුන් නොමැති වීම නිසා ගෙවීගිය වසරක කාලය තුළදී රෝහල් 20ක් වැසීගොස් තිබෙන බවත්, ඉදිරියේදී තවත් රෝහල් 95ක් පමණ වැසීයාමට නියමිතව තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාර්න්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟකම නිසා විශේෂඥ වෛද්‍ය ඒකක 150ක පමණ සේවා අඩපණ වී තිබෙන බවත්, ඉදිරියෙහිදී තවත් විශේෂඥ ඒකක 167ක පමණ සේවා අඩපණ වීමට නියමිත බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත  අලුත්ගේ මහතා සඳහන් කළේය. රෝහල් 44ක සේවය කරනු ලබන්නේ ලියා පදිංචි වෛද්‍යවරුන් පමණක් බවත්, මීට පෙර මෙම රෝහල් තුළ උපාධිධාරී වෛද්‍යවරුන් සේවය කළ බවත්, උපාධිධාරී වෛද්‍යවරුන්ගේ හිඟය නිසා ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කර සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට සිදු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. 

වෛද්‍යවරුන් නොමැති වීම නිසා මේ වන විට වැසීගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණ වීමට නියමිත රෝහල් හා විශේෂඥ වෛද්‍ය ඒකක පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව එම තොරතුරු හෙළි වූ බවද ලේකම්වරයා සඳහන් කළේය.

වෛද්‍යවරුන් පද්ධතියට අහිමි වීමේ ශීඝ්‍රතාව ඉතිහාසයේ කිසිදිනක නොවූ අයුරින් ඉහළ යමින් තිබෙන බවත්, ගෙවීගිය වසරක කාලය තුළදී විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 1500කට අධික ප්‍රමාණයක් රට හැරගොස් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ත්‍රස්තවාදී යුද සමයේදී පවා වෛද්‍යවරුන් නොමැතිව මෙතරම් රෝහල් සංඛ්‍යාවක් වැසී ගොස් නොමැති බවත්, වත්මන් අර්බුදයේ බරපතළ බව ඒ හරහා තවත් තහවුරු වන බවත්, අත්දකිමින් සිටින්නේ අර්බුදයේ ආරම්භය පමණක් බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේය.

රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන්ට වහාම ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකර ඔවුන් රැක ගැනීමට අපොහොසත් වුවහොත්, එය නුදුරේදීම ඛේදවාචකයක් කරා ගමන් කළ හැකි බවට පුරෝකථනය කරන බවත්, ඒ හරහා නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටීමෙන් එහි වින්දිතයන් බවට අහිංසක ජනතාව පත්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.



ඇමතිතුමා වෙනස් වුණා, ඔහු කියන කථාවලට අපියි කුපිත වෙන්න ඕන - ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත

සංජිව ධර්මසේන


ක්‍රිකට් ආයතනය සමගින් ක්‍රීඩා අමාත්‍යවරයා ඉතා සුහදව කටයුතු කරමින් සිටියදී ඔහු හදිසියේම වෙනස් වූ බවත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව සිදුකරන ප්‍රකාෂවලින් ඔහුටත් වඩා කුපිත විය යුත්තේ අප බව විශේෂ මධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වැඩබලන ලේකම්වරයා,"පසුගිය වසර එකහමාර පුරාවට ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රිකට් ආයතනය ඉතා සුහදව කටයුතු කළත්, හදිසියේම එතුමාගේ දර්ශනය වෙනස් වුණා. එතුමාට නොයෙකුත් විදියේ බොරු වැරදි සහගත තොරුතුරු ලබාදීමෙන් එතුමා සම්පූර්ණයෙන්ම නොමග ගිහින්. එතුමා සෑම අවස්ථාවකදීම ක්‍රෝධය හා වෛරය දනවන, ජනතාව කුපිතකරන කථා කියනවා. හරිනම් එවායින් එතුමාටත් වඩා කුපිත වෙන්න ඕන අපි.

එතුමා කියන්නේ අපි පට්ට හොරු, අපි ගණන් හදන්න බැරි තරමට හොරකම් කරන පිරිසක්ලු . අමාත්‍යතුමා අපි හොරු කියලා කියන්නේ විගණකාධිපති දුන්න වාර්තාවක් පදනකම් කරගෙන. නමුත් එහි කිසිම තැනක අපි හොරු, එහෙමත් නැත්නම් නීති විරෝධි ක්‍රියාකරලා තියෙනවා, දඩුවම් ලැබිය යුතු කාරණා තිබෙනවා කියලා සඳහනක් නැහැ.විගණකාධිපතුමා ලබාදි තිබෙන්නේ නිර්දේශ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට එක්ව සිටි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා,

"ශ්‍රී ලංකාවේ නීතිය අනුව කිසිම අයුරක අක්‍රමිකතාවක් හෝ අවභාවිතාවක් විධායක කමිටුව සිදුකරලා නැහැ. ඉකුත් මුදල් වර්ෂය සදහා ක්‍රිකට් ආයතනයේ ගිණුම් විගණනයට ලක්කරනු ලැබුවා. එහි ක්‍රිකට් ඉතිහාසයේ පළමුවතාවට මූල්‍ය ප්‍රකාෂනවල ක්‍රියාකාරීත්වය මෙරට ගිණුම්කරන ප්‍රමිතිවලට අනුකූල බව දන්වා තිබෙනවා.අපිට 2016දී ලැබුණේ හිස් භාණ්ඩාගාරයක්, ණය කන්දක්, දැන් මේ ණය ගෙවලා, සල්ලිත් ඉතිරිකරලා ඉදිරියට කරගෙන යන වැඩසටහන්වලට සැලසුමුත් හදලා තිබුණා” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට එක්ව සිටි උප සභාසභාපතිවරයෙකු වන රවීන් වික්‍රමරත්න මහතාගෙන් විමසා සිටියේ, වත්මන් අර්බුධය සම්බන්ධයෙන් අයි.සී.සී.ය දැනුම්වත්කිරීමට කටයුතු කළාද යනුවෙනි. ඊට පිළිතුරු දුන් ඔහු, “අපි සාමාජික රටක් නිසා මේ සම්බන්ධයේ අපි අයි.සි.සී.ය දැනුම්වත් කළ යුතුයි. බොහොම පැහැදිලිව ඒ අය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව පත්වුණු විධායක කමිටුවක් ඉන්න තැනකදී, එයාලා දේශපාලනික වශයෙන් පත්කළ කමිටුවක් හමුවීමට කැමති නැහැ කියලා” යැයි පැවසීය.


Wednesday, November 8, 2023

ඇමති ප්‍රසන්නගේ නම භාවිතා කර කලල්ගොඩ අනවසර ගොඩකිරීමක් සිදුකළ 2ක් අත්අඩංගුවට...

 නවෝද්‍යා පවනී 

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නම භාවිත කරමින් කලගොඩ ප්‍රදේශයේ අවසර ගොඩකිරීමක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ඉඩම්  ගොඩකිරීමක් සිදු වන බවට ශ්‍රී ලංකා ඉඩම්  සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත පෙරේදා (06දා) තොරතුරක් ලැබී තිබිණ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ මෙම ඒකකයේ වැටලීම් අංශය අදාළ ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කර ඇත.

එහිදි අනවසර ගොඩකිරීමක් සිදු කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ටිපර් යන්ත්‍රයක් සහ බැකෝ යන්ත්‍රයක්ද නිලධාරීන් භාරයට ගැනිණ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු සහ මාතර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය සඳහන් කළේ සැකකරුවන් සහ අදාළ වාහන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලීසියට භාර දුන් බවයි. වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

2021 අංක 13 දරන ශ්‍රී ලංකා ඉඩම්  සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සංශෝධිත පනත අනුව කිසියම් ප්‍රදේශයක අනවසර ගොඩකිරීමක් හෝ ඉදිකිරීමක් සිදු වනවා නම් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයට බලය තිබේ. සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක වෙයි.

කිසියම් ප්‍රදේශයක අනවසර ඉදිකිරීමක් හෝ ගොඩකිරීමක් සිදුවනවා  නම් ශ්‍රී ලංකා ඉඩම්  සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 0112–885357 හෝ 0112868002 යන දුරකථන අංක අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබඳව දැනුම් දිය හැකිය.



දියනාමින් සිටි විග්‍රාමික හමුදා සැරයන්ව වෙඩි තබා ඝාතනය කරලා - කුඹුරක ආරවුලක් නිසා වෙඩි තැබීම සිදුකර ඇති බව හෙළි වෙයි

* දිගාමඬුල්ල - ඩබ්.චන්ද්‍රපාල


අම්පාර, මායාදුන්න ගම්මනායේදී විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙක් පෙරේදා  (06දා) වෙඩි තබා ඝාතනය කර තිබේ. විශ්‍රාමික සැරයන් ටී.බී. සෙනෙවිරත්න නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. මොහු කුඹුරේ වැඩ කර සවස නිවස පිටුපස දියනාමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩිවැදුණු ඔහු නිවසේ මුළුතැන්ගෙට පැමිණ ඇති අතර එහිදී මිය ගොස් තිබේ.

වෙඩි වැදුනු සැරයන්වරයා  මියයාමට පෙර වෙඩි තැබු පුද්ගලයාගේ නම තම බිරිඳට පවසා ඇති බව විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ. කුඹුරක ආරවුලක් නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශන වලදී හෙළිව ඇත.

සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. බණ්ඩාරදූව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


Tuesday, November 7, 2023

බංග්ලාදේශයේ ඇඟලුම් සේවක විරෝධතාවෙන් නිෂ්පාදනයට බාධා

බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන් පසුගිය සති අන්තයේදී ක්‍රියාත්මක කළ දැවැන්ත විරෝධතාව හේතුවෙන් එරට ඇගලුම් නිෂ්පාදනය වෙත බාධා එල්ලු වී ඇතැයි වාර්තා වෙයි. විශේෂයෙන්ම බංග්ලාදේශය තුළ සිදුකරන ජාත්‍යන්තර මට්ටමේ සන්නාම නිෂ්පාදන කිහිපයකම සැපයුම් වෙත මින් බලපෑම් එල්ල වී තිබෙන බව පැවසෙයි.

සිය වැටුප ආසන්න වශයෙන් තුන් ගුණයකින් ඉහළ දැමිය යුතු බව පවසමින් දස දහස් ගණනක ඇගලුම් සේවක සේවිකාවන්  පිරිසක් පසුගිය සෙනසුරාදා දිනයේදී එරට ඩකා අගනුවරට බටහිරින් පිහිටි අෂුලියා නම් කර්මාන්ත නගරයේදී මෙලෙස විරෝධතාවේ නියැළුණහ. තත්ත්වය පාලන සඳහා පොලීසිය මැදිහත් වූ අතර, එහිදී ගැටුමක් ඇති විය. ඒ අනුව, මෙම ගැටුමින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන් වෙයි.

අද වනවිට බංග්ලාදේශය පුරා ඇඟලුම් කර්මාන්තශාලා 3,500කට අධික ප්‍රමාණයක් පවතින අතර, ඩොලර් බිලියන 55ක් වන එරට වාර්ෂික අපනයනයෙන් 85%ක්ම ලැබෙන්නේ මෙම ඇගලුම් කර්මාන්තය මගිනි. එසේම අද ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී ඇගලුම් සන්නාම රැසක නිෂ්පාදකයා වන්නේද බංග්ලාදේශයයි. අඩු වැටුපකට ඇගලුම් සේවය ලබාගැනීමට හැකිවීම ඊට හේතුව වී තිබේ. එසේම මෙම ඇගලුම් සේවකයන්ගේ සේවා පහසුකම්ද ඉතාමත් පහළ මට්ටමක පවතී. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට වර්තමානයේදී පවතින ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් බංග්ලාදේශ ඇගලුම් සේවකයන් මෙලෙස වැටුප් වැඩි කිරීමක් ඉල්ලා තිබේ. එහෙත් කර්මාන්ත හිමිකරුවන් 25%ක වැටුප් වැඩිවීමකට කැමැත්ත පළකර ඇත. අද වනවිට එරට ඇගලුම් සේවකයෙකුගේ මාසික වැටුප ඩොලර් 209ක් එනම් ටකා 23,000ක් වන බව පැවසෙයි.

ආහාර මලු ලබාදෙනවැයි දේවගැතිවරයෙක් රු.ලක්ෂ 8ක් වංචා කරලා

• මනම්පිටිය - නිමල් ජයරත්න 


වියළි ආහාර මලු ලබා දෙන බවට පවසා, මීට මාස පහක පමණ කාලයක සිට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හයක තුන්දාහකට ආසන්න පිරිසකගෙන් රුපියල් ලක්ෂ 08කට ආසන්න මුදලක් එකතු කර ඇති පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව මනම්පිටිය පොලීසිය සඳහන් කරයි.

තමන් රුපියල් 1000 සිට 4000 දක්වා මාසිකව ආහාර මලු ලබා දෙන බවටත්, දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන බවත් පවසා රුපියල් 200, 300 වශයෙන් සාමාජික මුදල් සහ අයදුම්පත්‍ර ගාස්තු ලබා ගනිමින් ප්‍රදේශයේ සැකකරු විසින් දේවගැතිවරයෙකු සමග පාසල්වලට සහ විහාරස්ථානවලට පැමිණ රැස්වීම් පවත්වා දැනුවත් කරමින් මෙම ජාවාරම සිදු කර ඇති බව චංචාවට හසු වූ පිරිස් පැවසූහ. 

දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් දැනුවත් කිරීමේ පත්‍රිකා සකසා, අදාළ පුද්ගලයන් ගම්මානයට පැමිණ ඕනෑම අයෙකුට මෙහි සාමාජිකත්වය ලබාගෙන ආහාර මල්ලක් ලබා ගැනීමේ හැකියාව පවතින බවට සාමාජික තත්ත්වය ලබා දුන්නද මේ වනවිට කිසිදු ආහාර මල්ලක් තමන්ට නොලැබුණු බවද ඔවුහු පවසා සිටියහ.

දිඹුලාගල මනම්පිටිය ගම්මානයේ දේවගැතිවරයෙකු වන ප්‍රදීප් දයාවංශ මහතා සමග පැමිණ තමන් දැනුවත් කරමින් එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 200, 250, 350, වශයෙන් මුදල් ගෙන ආහාර මලු හා ශිෂ්‍යත්ව ලබා දෙන බවට පවසා වංවාව සිදු කර ඇති බවත්, මෙම ජාවාරමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද හසුවී ඇති බව වංචාවට හසුවූ පිරිස වැඩිදුරටත් පවසා සිටියහ. ප්‍රධාන දේවගැති නමින් හඳුන්වාදුන් සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු කුලී මෝටර් රථවලින් පැමිණ මුදල් එකතු කර ගත් පසු, මාසයක් තුළ පවුල් 5ක් පමණ තෝරා රුපියල් දාහේ ආහාර මලු පහක් ලබාදී ගන්නා ඡායාරූප වෙනත් ප්‍රදේශවල පවුල්වලට පෙන්වමින් ඔවුන් ද මෙම ජාවාරමට හසුකර ගන්නා බවට අනාවරණය වී ඇත.

මෙම චෝදනාව ලැබ සිටින දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ දේවගැති ප්‍රදීප් දයාවංශ මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය. ” මාද එම ප්‍රධාන දේවගැතියාගේ වංචාවට හසුවෙමින් ඔහු සමග ගොස් පවුල් දැනුවත් කරමින් සාමාජික අයදුම්පත් ලබා දී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් එකතු කර ගත්තා. මේ වනවිට ප්‍රධාන දේවගැති මම ද රවටා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මා විසින් මේ පිළිබඳ මනම්පිටිය පොලීසියට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවා. සැකකාර දේවගැති දිළිදු පවුල් සාමාජික කරගෙන මුල් වටයේ රුපියල් දාහේ ආහාර මලු පහක් පමණ ලබා දී ගන්නා ඡායාරූප වෙනත් දිස්ත්‍රික්කවලට ගොස් පෙන්වා එම ප්‍රදේශයේ දිළිඳු පවුල් සාමාජික කරවා ගනිමින් රට පුරා මෙම ජාවාරම සිදු කර තිඛෙනවා. 

සුහද සේවා ජන සංවර්ධන සමිතිය නමින් සංවිධානයක් පිහිටුවා 1982 වසරේ එම සංවිධානය ලියාපදිංචි කර ඇති බවට සඳහන් කරමින් මෙම ජාවාරම් සිදු කර ගෙන යනවා. ඔහු පවුලේ කිහිපදෙනෙකු එක්ව මෙම ජාවාරම සිදු කරන බවට මා විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.”

මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතාගෙන් මේ පිළිබඳ දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

"දේවගැතියෙකු ප්‍රදීප් දයාවංශ මහතා විසින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ජාවාරම්කරු අත්අඩංගුට ගැනීමට අදාළ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර, මේ පිළිබඳ මීට පෙර ද මා හට පැමිණිලි කිහිපයක් ලැබීමෙන් පසුව ඒ පිළිබඳ ජනතාව දැනුවත් කළද ඇතැම් පවුල් එම ජාවාරමට හසුවී තිඛෙනවා."




පාසලේ දරුවන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් 12කට විනය ක්‍රියාමාර්ග..

·මාතලේ - මහේෂ් කීර්තිරත්න 


පාසලේ පන්ති කාමරයේ දරුවන්ගෙන් මුදල් අය කර උපකාර පන්ති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් 12දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබා දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා පැවසීය. පල්ලේපොල දී පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

 මේ පිළිබඳ අවධානය යොමු කර සියලු පාර්ශ්වවල අදහස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමට පළාත් සභාවක් වශයෙන් ප්‍රථම වරට පාසලේ තම පන්තියේ දරුවන්ට මුදල් ලබා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට කටයුතු කළ බවත්, එම තහනම වචනයට සීමා නොකර තහනම් නියෝග කඩ කළ ගුරුවරුන්ට මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සදහන් කර සිටියේය. මෙහිදී අදහස් දැක්වූ පල්ලේපොල ශාසානාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, පල්ලේපොල ඇහැලේපොල පුරාණ විහාරාධිපති පාලාවත්තේ සෝනුත්තර හිමියන් කියා සිටියේ ඉරිදා දිනයන්හි උදෑසන උපකාරක පන්ති පැවැත්වීම නිසා දරුවන් දහම් පාසල් නොඑන බවත් ඇතැම් ගුරුවරුන් කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති පවත්වන බවත්ය. මේ අතර ඇතැම් ගුරුවරුන් සුම් තාක්ෂණය ඔස්සේ පංති පවත්වන බවත් මධ්‍යම පළාත තුළ ඉරිදා උදෑසන උපකාරක පන්ති පැවැත්වීම නතර කිරීමට අදාළ පියවර ගන්නා ලෙස උන්වහන්සේ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ.


Monday, November 6, 2023

18% වැට් බද්ද නිසා 2024 අපිට මොකද වෙන්නෙ දැනගන්න..


· පියුමිකා වීරසූරිය 
 
 එකතු කළ අගය මත වන බදු (වැට්) අනුපාතය 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දැනට පවතින වැට් බදු අනුපාතය 15කි. එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් එම බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය සදහා අනුමැතිය ලැබී තිබේ. මේ බදු යෝජනා ක්‍රියාත්මක වීමත් සමග භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇත. මේ පිළිබඳව වැඩිදුර සමාජය දැනුම්වත් වීම උදෙසා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාරිය අන්ද මෙත්සිල පෙරේරා මහතාව සම්බන්ධ කර ගත්තෙමු. එතුමා දැක්වූ අදහස් මෙසේයි. රටක ආදායම වැඩිකර ගැනීම වඩාත් වැදගත් බව අප සියලුදෙනා පිළිගත යුතුයි. ආදායමක් නොමැතිව වියදම් කිරීමට යාමෙන් අනිවාර්යයන්ම ඒ හරහා අයවැය හිගයක් ඇති වුණා, ආදායමට වඩා වියදම වැඩි වීමෙන් මේ වන විට ණය බර නිසාම, විශාල අර්බුදයකට රට මුහුණපා තිබෙනවා.රටේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මෙරට ආදායම සලකා බලනු ලබනවා. රටේ නිෂ්පාදනයෙන් 20%ක පමණ ආදායමක් මීට පෙර පවතිනු ලැබුවා. නමුත්පසුගිය කාලයේ විශේෂයෙන්ම 2019 වසරේ මෙරට ආදායම කපා හැර ගත් නිසාත්, වැරදි තීන්දු නිසාත් ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කට ආසන්න මට්ටමකට පහළට වැටුණා. එයින් පසු අපේ රට ආර්ථික අර්බුදයකට තල්ලු වීමක් සිදුවුණා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහාය ඉල්ලන්නට අපට සිදුවුණා. මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දුත්ත කරුණු දෙකක් තිබෙනවා, පළවෙනි කාරණය වන්නේ, මෙරට ගත් ණය කපා හැර හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට දරාගැනීමට හැකි මට්ටමකට ණය බර අඩුකර ගැනීම, දෙවැනි කාරණය වන්නේ රට් ආදායම විශාල වශයෙන් වැඩි කර ගත යුතුයි කියන කාරණය, අප රටේ ආදායම ගත්විට ප්‍රධානම දායකත්වය ලබාදෙන්නේ 90%ක්ම බඳු ආදායම් හරහායි. එම නිසා බදු වැඩි කර ගැනීම සම්බන්ධව වැඩි කතාබහක් තිබෙනවා.

 වක්‍ර බදු පැනවීම මගින් මෙරට ජනයා දැඩි පීඩාවකට පත්වනවා
 මෙම බඳු වර්ග කොටස් දෙකකට බෙදනු ලබනවා. පළමු ක්‍රමය සෘජු බද්දයි. අනෙක වක්‍ර බද්දයි. සෘජු බද්ද කෙනෙකුට පැනෙව්වොත් එම පුද්ගලයා එය දැරිය යුතුයි. එය තව කෙනෙකුට තල්ලු කර හැරීමට නොහැකියි. එනම්, ගෙවන පුද්ගලයා නිශ්චිතව හදුනාගත පනවන ලදී. බද්දක් උදාහරණයක් ලෙස ආදායම් බද්ද' හදුන්වන්න පුළුවන්. එහිදී පුද්ගලයකුට පත්වන සෘජු බද්ද එම පුද්ගලයා විසින් දැරිය යුතු වේ. නමුත් වක්‍ර බද්ද තුළ තිබෙන ගැටලුව වන්නේ වක්‍ර බද්දක් පැනවීමෙන් පසු ඒ බද්ද තවත් පාර්ශ්වයකට පැනවිය හැකියි. වක්‍ර බද්දක් යනු අප දිනපතා වෙළඳ පොළෙන් මිලදී ගන්නා පරිප්පු කිලෝ එකටත්, හාල් මැස්සත් කිලෝ එකටත් අයකරන බද්දක්, එනම් ජනතාව දෛනිකව සිදුකරන මිලදී ගැනීම්වලදී රජය අය කරන බද්දකි. උදාහරණයක් ලෙස 'වැට් බද්ද' වක්‍ර බද්දක්වනවා. මෙහිදී ව්‍යාපාරිකයන්ට වක්‍ර බද්දක් තවූ විට ව්‍යාපාරිකයා අනිවාර්යයෙන්ම භාණ්ඩවල මිල වැඩි කර එය පාරිභෝගිකයාගෙන් අය කර ගනු ලබනවා. ඒ අනුව රජය බදු වෙනස් කරද්දී වක්‍ර බදු වෙනස් නොකර සෘජු බදු වැඩි කිරීම හරහා ආදායම අයකර ගැනීම හොදයි කියන මතය අප විශ්වාස කරනු ලබනවා. සාමාන්‍යයෙන් සැලකෙන්නේ රටක සෘජු බදු සහ වක්‍ර බඳු අනුපාතය 40%, 60% අගය ප්‍රශස්ථ බවයි. නමුත් ලංකාව තුළ මේ වන විටත් වක්‍ර බදු 80%කටත් වඩා අය කරනු ලබනවා. මේ නිසා වකු බඳු වලින් මේ රයටි හැම පුද්ගලයාම පීඩාවට පත්වනවා.. ආදායම් බද්දක් ගෙවීමට සිදුවන්නේ ආදායම් උපයන අය සදහා පමණයි. නමුත් වකු බදු පැනවීමෙන් පසුව මේ රටේ සිටින සියලුම පාරිභෝගිකයන්ට එක හා සමානවම එම බද්ද බලපානු ලබනවා. අපි ගනු ලබන සීනි කිලෝවේ සිට පාන් රාත්තල යන සෑම දේ සඳහාම මේ බද්ද පනවනු ලබනවා, මීට පෙර වැට් බද්ද 8% වැනි ප්‍රමාණයකට තිබී 15%කින් මේ වන විට වැඩි කරනු ලැබුවා, උදාහරණයක් ලෙස පුද්ගලයෙක් වෙළඳ පොළෙන් ලබාගත් සීනි කිලෝවක් සදහා මේ වනතුරු අයකරනු ලැබුවේ 15%ක බද්දක්, එනම් සීනි කිලෝව රුපියල් 100ක් නම් ඒ සදහා බදු මුදලද ඇතුළුව රුපියල් 115ක් සීනි කිලෝට සදහා ගෙවනු ලැබුවා. මෙය ජනවාරි මාසයේ සිට 18%කින් වැඩි කළ විට සිදුවන්නේ මෙතෙක් 15%ක් ගෙවූ බඳු මුදල 18% දක්වා වැඩිවීමක් සිදුවීමයි. එහිදී සීනි කිලෝවක් රුපියල් 115ට ගත් පුද්දගලයාට රුපියල් 118ක් ගෙවීමට සිදුවනවා. නමුත් මෙම වැට් බද්ද සදහා ඇතැම් අවස්ථාවල බදු මත බදු පැනවෙන අවස්ථාවන් තිබනවා. එවිට රුපියල් 115 මුදල බඳු වැඩිවීමත් සමග 118ට වැඩිවනවා නොවෙයි ඇතැම් අවස්ථාවල රුපියල් 120, 122 වනතෙක්ම වැඩිවිය හැකියි. එහි බදු බලපෑම ගත් විට නිවැරදිවම 3%කින් වැඩිවන බව කීමට අමාරුයි. එය බඳුවල එකතුවක් විය හැකියි. උදාහරණයක් ලෙස පාත් රාත්තලක්3%කින් වැඩිවන විට පෙටුල්, ටයර් වැනි සියලුම දේවලද මිල වැඩිවීමක් සිදුවනවා. එහිදී පාත්රාත්තල් මිල තීරණය කිරීම සදහා පෙටුල් මිලේ වැඩි වීම සහ අඅයනෙකුත් අමුද්‍රව්‍ය සපයා ගැනීමට වැයවන මුදල් මේ සියල්ල එකතු වනවා.
 ඒ සියල්ලටම බදු මුදලක් එකතු වන නිසාම පාන් රාත්තලද ඒ හා සමාන මුදලකින් වැඩිවනවා. එවිට 3%ක බදු මුදල 5%ක් පමණ වනතෙක් එකතුවීමක් සිදුවී තිඛෙනවා. බොහෝ විට ලංකාවේ සිදුවන්නේ පෙටුල් මිල ඉහළ යෑමක් සිදුවූ වහාම ආප්ප, පාන් සහ වෙද භාණ්ඩවල මිලද ඒහා සමානව ඉහළ යෑමයි. එම නිසා කොපමණ මුදලකින් භාණ්ඩ මිල ඉහළ යයිද කියන කාරණය සෙවීම අමාරු වනවා . නමුත් අවම වශයෙන් 5% , 6%කින් මිල වැඩිවේ යැයි කියන කාරණය අපි විශ්වාස කරනු ලබනවා.ඒ විදියට අපි ගනු ලබන සෑම මිලදී ගැනීමකටම මෙම බදු මුදල් එකතුවනු ලබනවා. උදාහරණයක් ලෙස අපේ මාසිකව වියදම රුපියල් 30,000ක් ලෙස මේ වන විට පවතිනවා නම් එය ජනවාරි මාසයේ සිට 3%කින් වැඩි වී ඒ සදහා තවත් රුපියල් දාහක්, එක්දාස් පන්සීයක් පමණ වැඩි වීමක් සිදුවනවා. 

 වක්‍ර බදු වැඩි කිරීමෙන් ඇතිවන ගැටලු 
 මේ වන විට සෘජු බදු වැඩි කිරීමට අමාරුයි. සෘජු බඳු සදහා කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ. එයට හේතුව මේ වන විටත් උපරිම ආදායම් බදු 36% වනතෙක් ගෙවනු ලබනවා. එම නිසා රජ්ය උත්සාහ ගනු ලබන්නේ නැවතත් වක්‍ර බදු වැඩි කිරීමටයි. එවිට 3%කින්වක්‍ර බදු වැඩිවනවා. එනම් වැට් බද්ද 15% සිට 18% වනතෙක් වැඩි වෙනවා. එවිට මෙහි තිබෙන ගැටලුව වන්නේ වක්‍ර බද්ද වැඩි කළ විට මේ රටේ ඉහළ ආදායම් ලාභීන්ගේ සිට දුගී දුප්පත් මනුස්සයා දක්වා මෙම බද්දේ බලපෑම ඇති වීමයි. ඒ නිසා 2024 දී අපේ වැට් බද්දට යටත් වන සියලුම භාණ්ඩවල මිල අවම වශයෙන් 3%කින් වැඩිවනවා. ලංකාව බද්දක් පනවන විට බදු මත බදු අය කරගනු ලබනවා. ඒත් එක්කම සමස්ත බදු බලපෑම අනිවාර්යෙන් 3%ට වඩා වැඩි විය යුතුයි. 

 ලංකාවේ බදු මූලධර්මයන් පිළිබඳව ප්‍රාථමික අවබෝධයක්වත් මෙරට රජ්යට නෑ 

 ඕනෑම රටකට බදු මූලධර්මයන් තිබෙනවා. එම මූලධර්මවල කියවෙන්නේ පනවන බද්ද සරල විය යුතු බවත් තේරුම් ගැනීමට පහසු විය යුතු බවත්ය. නමුත් ලංකාවේ බදු ව්‍යුහය අපට තවමත් තේරුම්ගත නොහැකියි. ඒ වගේම බද්ද අනුක්‍රමික විය යුතුයි. අනුක්‍රමික යනු වැඩිපුර ආදායම් ලබන පුද්ගලයන්ගෙන් වැඩිපුරම අයකර ගැනීමක් සිදුවිය යුතුයි. අඩුවෙන් ආදායමක් ලබන්නන්ගෙන් අඩුවෙන් අයකර ගැනීමක් සිදුවිය යුතුයි. වක්‍ර බද්දක් අයකර ගැනීමෙන් සිදුවන්නේ මේ සියලු දෙනාටම එකම ප්‍රතිශතයකට බදු ගෙවීමට සිදුවීමයි. එම නිසා මෙම බදු මූලධර්ම කැඩී ගොස් තිබේ. ඒ වගේම අය කරගනු ලබන බද්ද සාධාරණ විය යුතුයි. නමුත් මෙලෙස අය කරනු ලබන බදු නිසාම එම කොන්දේසියද මේ වන විට කැඩී තිබේ. ඒ හේතු කාරණා මත මේ වන විට බදු පිළිබඳව ප්‍රාථමික මූලධර්මයන් පිළිබදවද මේ රජයට අවබෝධයක් නෑ. බදු පනවත්තත් මූලිකවම දැනගත යුතු කාරණා වන්නේ බද්දක තිබිය යුතු ප්‍රධාන මූලධර්මයන් රැකීමයි. නමුත් මේ වන විට මේ කිසිවක් සිදු වී න්‍ය. පසුගිය අවුරුදු විස්සක පමණ සිට බැලූ විට සෑම අයවැයකදීම සදහන් කරන්නේ බදු මිල සංකීර්ණ බවත්, තනි බදු අනුපාතිකයකට ගේත බවත් පමණයි. නමුත් කිසිම ආණ්ඩුවක් මගින් බදු සරල කිරීමට ක්‍රමවේදයක් මේ වනතෙක් ගෙනත් නෑ. මෙ වන විට ලංකාවේ බදු වර්ග කීයක් තියෙනවාද කියන පැනයක් නැගුවොත් ඒ කාරණය කවුරුත් නිවැරදිව දන්නා බව කියන කාරණය මම හිතන්නේ නෑ, ඒ තරමටම බදු වර්ග ගණනාවක් මේ වන විට තිබෙනවා..බදු ආදායම කෙතරම්ද කියන එකට උදාහරණ ලෙස ලංකාවට ජපානෙන් ගෙන්වන හොදම තත්ත්වයේ උසස් වාහනයක් සදහා මෙරටින් 403% පමණ බදු මුදලක් අය කරනු ලබනවා. ප්පානෙන් ලක්ෂ 10ක් වැනි මුදලකට මෙරටට ගෙන්වන වාහනයක් සදහා මෙරටින් ලක්ෂ 43ක බදු මුදලක් අය කරනු ලබනවා. එයින් මෙරට ජනතාව කෙතරම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවනවාද කියන කාරණය සිතා ගත හැකියි. නමුත් එසේ තිබියදීත් බදු ආදායම මදි බව සදහන් කරනවා. බදු ක්‍රමය ඉතාම සංකීර්ණයි. මෙලෙස වක්‍ර බදු වැඩි කිරීම මගින් පාරිභෝගිකයාට විශාල පීඩනයක් එල්ලවනු ලබනවා. හේතුව ව්‍යාපාරිකයන් ඔවුන්ගේ භාණ්ඩවල මිල වැඩි කරනු ලබන්නේ අනිවාර්යෙන්ම බදු මුදලට වඩා වැඩි ප්‍රමාණයකිනුයි. ඒමත පාරිභෝගිකයාට මහත් පීඩනයක් එල්ලවනු ලබනවා. 

 මේ සදහා විසදුමක් තිබීම වැදගත් පාරිභෝගිකයා මෙම බදු ක්‍රම මත සිටින පීඩනයෙන් මුදවා ගැනීමට නම් යම්කිසි විසදුමක්ද ලබා දිය යුතුයි. මේ සදහා විසදුමක් ලෙස මේ රටේ බදු ගෙවන සංඛ්‍යාව ඉතාම අඩුයි. 2019 වසරේ ලක්ෂ 16 පමණ පිරිසක් බදු ගෙවනු ලැබුවා. නමුත් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ බඳු කපා හැරීම මත මේ වන විට බදු ගෙවන සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු වී තිබෙනවා. නමුත් මේ වන විට බදු ගෙවීමට හැකි සංඛ්‍යාව ලෙස ලක්ෂ විස්සක් පමණ මෙරට සිටිනවා. මෙරට රැකියාවක් කරන සේවකයන් ලක්ෂ අසූඑකක් පමණ සිටිනවා. මෙලෙස රැකියා කරන ලක්ෂ අසූචිකෙන් අවම වශයෙන් ලක්ෂ විස්සක් පමණ පිරිසක් ලක්ෂයට වඩා උපයන අය. ඔවුන්ගෙන් ලක්ෂ විස්සකට පමණ බදු ගෙවන්නට හැකියි. නමුත් එය නිසි ආකාරව සිදුවන්නේ නෑ. එම නිසා රජ්ය කළ යුත්තේ බදු ගෙවීමට තිබෙන අයගෙ ටික ටික එය අයකර ගැනීමයි. නමුත් දැනටත් සිදුවන්නේ කිහිපදෙනෙකුගෙන් විශාල ලෙස බදු අයකර ගැනීමයි. නමුත් සෑම කෙනෙකුගෙන්ම සාධාරණ බද්දක් අයකර ගැනීම තුළින් බදු වැඩි කරගැනීම සිදුකළ හැකියි. ඒ වගේම කළ යුතු අනෙක් කාරණය වන්නේ පවත්වාගෙන යන ව්‍යාපාරවලට බදු අය කරනවාට වඩා ව්‍යාපාර සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී එම ව්‍යාපාරය ලාභ ලබන විට ලාභයෙන් බද්දක් අය කිරීමයි. එසේ නොමැතිව තිබෙන ව්‍යාපාරවලින් බද්දක් අය කිරීමෙන් සිදුවන්නේ ව්‍යාපාරය වැසි සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී එම ව්‍යාපාරය ලාභ ලබන විට ලාභයෙන් බද්දක්අය කිරීමයි. එසේ නොමැතිව තිබෙන ව්‍යාපාර වලින් බද්දක් අය කිරීමෙන් සිදුවන්නේ ව්‍යාපාරය වැසී යාමයි. එම නිසා මෙවැනි ක්‍රියාමාර්ග රජ්ය විසින් අනුගමනය කළ යුතුයි. මෙයින් බඳු කපා හරින්න කියන කාරණය කියවෙන්නෑ. රයට අවශ්‍යනම් බදු සාධාරණ ලෙස වැඩි කරගැනීම සිදුකළ හැකියි. එසේ නොකර බදු ගෙවන සුළු පිරිසෙන් පමණක් බදු අයකර ගැනීමෙන් විශාල ගැටලු සිදුවිය හැකියි. 

 2024 අවුරුද්ද ලබන විටම රටේ සමස්ත පද්ධතියම නරක අතට හැරිය හැකියි 

 අවසානයේ පාරිභෝගිකයාට සිදුවන්නේ 2024 අවුරුද්ද ලබන විටම සියලුම භාණ්ඩ, සේවාවල මිල, විදුලි බලයද ඇතුළුව වැඩි මිලක් ගෙවීමටයි. විදුලි බලය, පෙට්‍රල්, පාන් පිටි, තෙල් මේ සියලුම දේ සදහා මිල වැඩි වීමක් සිදුවනවා, එයින් පාරිභෝගිකයාට විශාල බලපෑමක් සිදුවනවා. අනෙක් පැත්තෙන් ව්‍යාපාරික ප්‍රජාවටත් මේ විදියටම බදු අය කිරීමට ගත්තොත් එය වක්‍ර බද්දක් වුවත් ව්‍යාපාරිකයාට තමන්ගේ භාණ්ඩවල මිල වක්‍ර බද්දට සාපේක්ෂව වැඩි කිරීමට සිදුවනවා. ඒත් සමගම ජාත්‍යන්තර වෙළෙඳ පොළේ විශේෂයෙන්ම අපනයන වෙළෙඳ පොළ කඩා වැටීමටත් පුළුවන්, බද්දක් වැඩි වීම ඒ ඊටේ සමස්ත පද්ධතියටම ඉතාම නරක ආකාරයට බලපානවා.

බිරිඳව ඝාතනය කළ සැමියා දිවි නසාගෙන..

• අලුත්ගම -

තුසිත කුමාර ද සිල්වා


අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල. දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවෙසකදී පෙරේදා (04දා) පස්වරුවේ අඹුසැමියන් ලෙස  ජීවත්ව සිටි සැමියා සිය බිරිද ඝාතනය කර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදී සොයා ගත් බව අලුත්ගම පොලීසිය සඳහන් කරයි.

ගයානි ශෂිකා පතිරණ (:32) නමැත්තියක මෙසේ ඝාතනයට ලක්ව ඇති බවත් අපිත් ගුණසිංහ (41) නමැත්තෙකු සියදිවි හානි කරගෙන ඇති බවඳ පොලිසිය කියයි.මෙම දෙදෙනාම පෙර විවාහ සිදු කර ගෙන ඉන් වෙන්ව ඇති බවත් ඝාතනයට ලක් කාන්තාව හා ගෙල වැළලාගෙන ඇති පුද්ගලයා මීට වසර කීපයක සිට එකට ජීවත් ව ඇති බවද පොලීසිය සදහන් කරයි.

බාල දරුවා මෙම දෙදෙනාගේ බවත් සෙසු දරුවත් දෙදෙනා පෙර මෙම කාන්තාවගේ  පෙර විවාහයේ සැමියාගේ දරුවන් බවත් පොලීසිය කියයි.වැඩිමහල් දරුවා ආරණ්‍ය සේනාසනයකට භාරදී ඇති බවත්, අනෙක්  දරුවා මියගිය කාන්තාවගේ මවගේ  භාරයේ සිටින බව කියයි.

ආරවුල ඇති වූ අවස්ථාවේ නිවසේ සිටි බාල දරුවා සියැසින් දැක ඇති බව  විමර්ශන සිදු කරන පොලීසිය අනාවරණය කරගන තිබේ.මින් පෙර තෙවතාවක් පවුල් ආරවුල් තුනක් සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට පැමිලි ලැබී ඇතැයි ද පොලීසිය කියයි.

අදාල  කාන්තාවට ස්ථිර රැකියාවක් නොමැති බවත් පුද්ගලයා මතුගම ප්‍රදේශයේ බේකරියක සේවය කර සිට ඇති බවත් පොලීසිය කියයි.
බිරිද සමග පෙරේදා  4 දා ඇති වූ ආරවුලක් දුරදිග ගොස් හිරමනයකින් ඇගේ හිසට පහරදී ඝාතකයාද ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි විමර්ශන සිදු කරන අලුත්ගම පොලීසිය කියයි. 

මෙම  යුවළ මීට වසර දහයකට පමණ පෙර මෙම ප්‍රදේශයට පැමිණ තවකාලිකව කුඩා නිවසක ජීවත්ව ඇති බවත් ප්‍රදේශවාසීන් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් හා අලුත්ගම පොලීසිය හා එක්ව ඔවුන් ජීවත් වූ මෙම නිවස ඉදිකර දී ඇති බව ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයා පැවසීය.

ඝාතනයට ලක්වූ කාන්තාව බෙල්ලන ප්‍රදේශයේ පදිංචිව අයෙකු  බවත් සියදිවි හානි කරගත් පුද්ගලයා බිබිල ප්‍රදේශයේ අයෙකු බවත් ඔහුගේ ඥාතීන් සිටී නම් ඉදිරිපත් වන ලෙස අලුත්ගම පොලීසිය ඉල්ලීමක් කරයි.

අලුත්ගම පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


රාජ සභා මණ්ඩපය කැඩුවාට චෝදනා ලබා සිටින කුරුණෑගල නගර සභා නිලධාරියාට උසස්වීමක්

පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළ බවට චෝදනා ලැබුවෙකු අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු කිරීම ගැන සෙසු රාජ්‍ය නිලධාරීන් විමතියට...


කුරුණෑගල ඓතිහාසික රාජධානියට අයත් බව කියන රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල මහ නගර සභාවේ උසස් නිලධාරියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු ලෙසට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තාවේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම ලබාදී ඇතත් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදී ඇති අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් හේතුවෙන් සැඟව සිටින බව කියන මෙම නිලධාර්යා දැනට සිටින ස්ථානයක් පවා දැනගත නොහැකිවී සිටියදී බවද දැනගන්නට ලැබේ.පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට හානි කිර්මට අනුබල සහ අවසරය ලබා දීම මත චෝදනාවට ලක්ව සිටින මෙම නිලධාරියා  සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු වුවද වයඹ පළාත් සභාව මඟින් එම විනය පරීක්ෂණය මෙතෙක් නොපවත්වා චූදිත නිලධාරියාට උසස්වීමක් සඳහා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් වයඹ පළාතේ අනෙකුත් රාජ්‍ය නිලධාහු විමතිය පළ කරති.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට හානි කිරීමේ චෝදනාව මත දැනටමත් අධිකරණය හමුවේ සැකකරුවෙකුව සිටින මොහුට පුරාවිද්‍යාවට සම්බන්ධ අමාත්‍යාංශයකින්ම උසස්වීමක් ලබාදීම හාස්‍යජනක කරුණක් බවද එම නිලධාහු පෙන්වා දෙති. 

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නොතීසි නිකුත් කර තිබෙන අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කළද මෙම නිලධාරියා සිටින ස්ථානයක් තවමත් සොයාගත නොහැකිවී ඇති බව පොලීසිය පවසයි. චූදිත නිලධාරියා හට මේ ආකාරයට උසස්වීම් ලබා දීම පසුපස දේශපාලන බලපෑමක් ඇති බවද වාර්තාවේ.