ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා තමන්ට අයත් පෞද්ගලික ඖෂධ සමාගමක් හරහා ලෝකයේ වෙනත් රටවල අත්හදා බලන ඖෂධ මෙරටට ගෙන්වා රෝගීන්ට ලබා දී ඇතැයි ඖෂධ මාෆියාවට එරෙහි ජනතා සංවිධානයේ කැඳවුම්කරු පාහියංගල ආනන්ද සාගර හිමියෝ ඉකුත් (25දා) පැවසූහ.
එම ඖෂධ සඳහා ඔහු විසින් තමා සභාපතිත්වය දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා දී ඇති බවත්, මෙය බරපතළ තත්ත්වයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ. මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන සිය නිෂ්පාදන අත්හදා බැලීමට තුන්වන ලෝකයේ රටවල් යොදාගන්නා බවත්, ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ද එම ක්රියාවට දායක වී ඇත්දැයි සැකයක් ඇති බවත් ආනන්ද සාගර හිමියෝ කීහ.
අධිකරණ නියෝගයක් හරහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිත්වයෙන් මොහු ඉවත් කර ඇති නමුත් වෙනත් ක්රියාමාර්ගයක් හරහා ඔහු තවමත් තනතුරේ රැඳී සිටින බව ද උන්වහන්සේ පැවසූහ. උන් වහන්සේ මේ බව පැවසුවේ රාජගිරියේ සුරකිමු ශ්රී ලංකා සංවිධාන කාර්යාලයේ දී ඉකුත් (25දා) පැවති මාධ්ය හමුවක් අමතමිනි.
ආනන්ද සාගර හිමියෝ මෙසේ ද කීහ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනු ශ්රී ලංකාවේ ඇති සියලු ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂිත ප්රමිතීන් ගුණාත්මක භාවය හා කාර්යක්ෂමතාව සහතික කරමින් එම ඖෂධ නිෂ්පාදන මහජන සෞඛ්ය ආරක්ෂා කිරීමට හා වැඩි දියුණු කිරීමට සුදුසු බව නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවේ පනතක් මඟින් පිහිටුවා ඇති එකම ආයතනයයි.
මෙම ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කරන මහාචාර්ය අසිත ද සිල්වා නමැත්තාගේ ක්රියාකලාපය නිසා එම අරමුණු නිසි ලෙස ඉටු නොවන බව අපට පෙනී ගොස් තිබෙනවා. එම නිසා මොහු මෙම ආයතනයට පත්කිරීමේ ක්රියාවලියේ දී සිදුවී ඇති අක්රමිකතාවයනුත් ඔහු විසින් දැනට කරගෙන යනු ලබන ක්රියා පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් අප සිදු කරනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස මෙම මහාචාර්යවරයා පත් කරන විට ඔහු කැලණිය විශ්වවිද්යාලයේ සායනික අත්හදාබැලීම් ඒකකයේ අංශ ප්රධානී ලෙස කටයුතු කළා. ඔහු එම රාජකාරියේ නිරතවෙන අතර පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කරගෙන එම සමාගමේ කොටස් හිමියකු හා අධ්යක්ෂකවරයකු ලෙස කටයුතු කළා.
රජයේ ආයතනයක සේවය කරමින් මෙලෙස පෞද්ගලික ආයතනයක අධ්යක්ෂ ධුරයක් දැරීම හා කොටස් හිමිකරුවකු වීම කිසිසේත්ම සදාචාරාත්මක නැහැ. එමෙන්ම මෙම තත්ත්වය යටතේ මොහුට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස ලබා දුන් පත්වීම ද කිසිසේත් නීත්යානුකූල නැහැ.
මොහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලද පත්වීම ද කිසිසේත් නීත්යනුකූල ආකාරයට සිදුවූවක් නොවේ. 2015 බලයට පත් වූ රජයේ සෞඛ්ය අමාත්ය ලෙස වෛද්ය රාජිත සේනාරත්න මහතාගේ බලය මොහු අයුතු ලෙස යොදා ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මුල් පුටුවට පත්වුණා.
කෙසේ වෙතත් මෙම අසාධාරණ පත්වීමට එරෙහිව රෝගීන්ගේ අයිතිවාසිකම් සඳහා වන පොදු ජන ව්යාපාරය හා ලංකා වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් අභියාචනා අධිකරණයේ නඩු දෙකක් පවරා තිබූ අතර එම නඩු තීන්දුවල දී මෙම පත්වීම බලරහිත කරමින් එය වලංගු නොවන පත්වීමක් වන බව තීන්දු කර තිබෙනවා. කෙසේ නමුත් මෙම නඩු තීන්දුවෙන් අනතුරුව පැවති රජයේ බලය භාවිත කරමින් මොහු ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස නැවත පත්වීම ලබාගත්තා. එම පත්වීමේ කිසිඳු නීත්යනුකූල භාවයක් නොමැති අතර නව රජය යටතේ ද තවදුරටත් මොහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති තනතුරේ රැඳී සිටීම අපගේ විමතියට කරුණකි.
මෙවැනි පසුබිමක් තිබිය දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති බවට පත්වීමෙන් පසුව තවදුරටත් මොහු ජාතික ඖෂධ අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරමින් කලින් කරගෙන ගිය අකටයුතුකම් ඒ ආකාරයෙන්ම සිදු කරමින් සිටීම අපට ඉතා අසතුටට කරුණක්.
මේ නිසා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත් මොහු විසින් කරන ලද අක්රමිකතා පිළිබඳ වැඩි විස්තර ඉදිරියේ දී හෙළිදරව් කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා. ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප හිමියෝ සහ සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ ද මෙම මාධ්ය හමුවට සහභාගි වූහ.
























