Friday, March 29, 2024

කොතලාවල නිවෙසක කාන්තා මළ සිරුරක්




කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසක් තුළ අබ්රහස් ලෙස ඝාතනයට ලක්ව සිටි කාන්තාවකගේ සිරුරක් පෙරේදා (27) දින දහවල් හමු වූ බව කඩුවෙල පොලිසිය පවසයි.මියගොස් සිටි කාන්තාව වැටී සිටි ස්ථානයේ පොළොව මත ලේ පැල්ලම් කිහිපයක්ම දක්නට ඇති බැවින් ද එම කාන්තාව සාමාන්‍යයෙන් පැලඳ සිටින  රත්තරන් ආභරණ ඇයගේ ශරීරයේ නොමැති බව ඥාතීන් පවසන බැවින් මෙය ඝාතනයක් ද යන්න සැක කරන බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අජන්තා කටුගම්පල නමැති 54 හැවිරිදි දෙදරු මවකි.ඇය නිවස තුළ ඇඟලුම් නිෂ්පාදන සිදු කර ඇත. ඝාතනයට ලක් වූ බවට සැක කරන එම කාන්තාවගේ දුව සහ පුතා රැකියාවට ගොස් ඇති අවස්ථාවේ දී මෙම සිදුවීම වී ඇති අතර අසල්වාසී කාන්තාවක ඇයගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ලේ පැල්ලම් සහිතව බිම වැටී සිටි කාන්තාව දැක ඒ පිළිබඳව ඥාතීන් සහ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. 

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක මහතා ප්‍රමුඛ නිලධාරින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර කඩුවෙල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය ද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ද ඇත.

 කේ. බුද්ධික කුමාරසිරි


පෘථීවියේ වෙලාව වෙනස් වෙලා


නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.) පෘථිවිය භ්‍රමණය වන වේගය වැඩි වීමට පටන්ගෙන ඇති බැවින් එය පෘථිවි වේලාව වෙනස් කිරීමට හේතුවක් වනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥ කණ්ඩායමක් තොරතුරු අනාවරණය කර තිබේ.

ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවී  පෘථිවි හරයට බලපෑම් එල්ල කිරීම නිසා පෘථිවියේ භ්‍රමණ වේගය මෙලෙස වැඩිවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ බව ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ කැලිෆෝනියා සැන්ඩියේගෝ විශ්ව විද්‍යාලයේ භූ භෞතික විද්‍යාඥ ඩුන්කාන් ඇග්නිව් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමය.

‘මේක අපට දැනෙන විදියේ විශාල වෙනස් වීමක් නොවෙයි. අද පහෙට සිදුවන දෙයකුත් නොවෙයි. මේ වෙනස සිදුවනු ඇත්තේ 2029 වසර්දීයි. ඒ වගේමයි කාලය වෙනස් වීමක් සිදුවන්නේ තත්ත්පර කීපයකින් පමණයි. අපට මේ වෙනස නොදැනුනත් පරිගණක භාවිතයේ දී පරිගණක කටයුතුවලට එයින් යම් බලපෑම් සිදුවේවි’ යැයි විද්‍යාඥ ඩුන්කාන් ඇග්නිව් පැහැදිලි කර තිබේ.


වැසිකිළි වළ කපද්දී ඉපැරැණි කාසි ගොඩක් මතුවෙලා



උදුගොඩ - වාර්තාකරු


බුලත්කොහුපිටිය, තුම්හාගේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ වැසිකිළි වළක් කපද්දී තඹ යකඩ පිත්තල මිශ්‍ර කාසි තොගයක් හමුවූ බව විහාරාධිපති මල්වානේ සෝනුත්තර නාහිමියෝ කීහ.වසර සීයයක් පමණ පැරණි විහාරස්ථානයක් වන මෙහි වැසිකිළි වළ අඩි පහක් හයක් හෑරීමේ දී සාමාන්‍ය ප්‍රමාණයක මුට්ටියක දමා තිබී මෙම කාසි තොගය හමුවී ඇත. තාච්චි බාගයක ප්‍රමාණයක කාසි මෙහි ඇති අතර මේ පිළිබඳව බුලත්කොහුපිටිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව පුරාවිද්‍යා නිලධාරීන් ද දැනුවත් කළ බව සෝනුත්තර නාහිමියෝ කීහ. 


මෙම කාසි පොලොන්නරුව යුගයට අයත් දෙවැනි පරාක්‍රමබාහු රජු සමයේ පාවිච්චි කළ මත්ස නමැති කාසිවලට සමානකමක් පෙන්නුම් කරන බවට අන්තර්ජාලයේ තොරතුරු අනුව පෙනී යන බව උන්වහන්සේ පැවැසූහ.


බාල බේත්වලින් මියගිය ලැයිස්තුව උසාවිය ඉල්ලයි

 



බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ හා ජීවිතක්‍ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා – අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඊයේ (28) නියම කළාය.


' හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහිරිටොක්සි මැප්" නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා හෙට 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියම කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ' ඉමියුනෝ ග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණ ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත් වරිය එලෙස නියම කළාය.


මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ගිලන් රථයකින් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අම්‍ය කෙහෙළිය රඹුක්වැල් වෑන් රථයකින් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර මහර බන්ධනාගාරයේ රඳවා සිටින නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක බන්ධනාගාර වැන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.


පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන් වූ බව කියන ' අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිස් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝ ග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‛අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතු මුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් මෙම සිද්ධියේ පළමු සහ දෙවැනි සැකකරුවන්ගෙන් ආදර්ශ අත්අකුරු ලබාගෙන සැසදීම සඳහා ඒවා රජයේ සැක කටයුතු ලේඛන පරීක්‍ෂවරයාට යැවීමට ඉදිරියේ දී කටයුතු කරන්නේ යැයි කීවාය.


‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහිරිටොක්සි මැප්' නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්‍ෂණවල දී එම ද්‍රාවණ මනුෂ්‍ය ශරීරයට ඉතාමත් අහිතකර බව මෙන්ම එම ද්‍රාවණවලින් රෝගී තත්වයන් උත්සන්න විය හැකි බවට කරුණු අනාවරණය වූයේ යැයි කී ලක්මිණී ගිරිහාගම මෙනවිය 2022 මැයි 30 වැනිදාත් දෙසැම්බර් 04 වැනිදාත් අතර කාලයේ ලබාදුන් ටෙන්ඩර් අනුව පළමු සැකකරු විසින් වෛද්‍ය සැපයුම් අංශයට දුන් ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන්' සහ ‘රිටොක්සි මැප්’ නමැති ඖෂධ බෙදා හැරී රජයේ රෝහල් සහ එම රෝහල් වලින් එම ඖෂධ ලබා දුන් රෝගීන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.


බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහ ' රිටොක්සි මැප්' නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබා දුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා හෙට 30 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණී ගිරිහාගම මෙනවිය බාල බෙහෙත් දීමෙන් ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ද අධිකරණයට කැඳවීමටට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.


පළමු සැකකරු විසින් සැපයු ද්‍රාවණ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරීන්ගේ නාම ලේඛනයක් දීමට ද එම පරීක්ෂණයේ වර්තමාන තත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියම කරන්නැයි ලක්මිණි ගිරිහාගම මෙන විය ඉල්ලා සිටියාය.


මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ අනු කමිටු හා ප්‍රධාන කමිටුවල පරීක්ෂණ වාර්තා රහස් පොලිස් බාරයට ගෙන කළ විමර්ශන වල දී පළමු සැකකරු විසින් දුන් යම් යම් ඇණවුම් වෛද්‍ය සැපයුම් අංශය විසින් යම් යම් හේතු මත ප්‍රතික්‍ෂේප කළ බව අනාවරණය වුයේ යැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය වෛද්‍ය සැපයුම් අංශය විසින් අදාළ ඖෂධ ප්‍රතික්ෂෙප කළ හේතු මෙම නඩුවට ඉතා වැදගත්

වන හෙයින් අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට අනු කමිටු සභාපතිනියට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.


එම සියලු ඉල්ලීම්වලට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් කරන ලබන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කළාය.මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය: රෝගීන්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රකාශ ගැනීමට අවසර ඉල්ලා ඇත්තේ ඇයි ?


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය: තමන් යටතේ ප්‍රතිකාර ලබන ස්නායු සහ පිළිකා රෝගීන්ට ‘හියුමන් ඉමියුනෝග්ලොබිලීන් සහ 'රිටොක්සි මැප්' නමැති ඖෂධ දීමට නියම කරන්නේ මෙම විශේඥ වෛද්‍යවරුන්. ඔවුන් එසේ ඖෂධ නියම කරන්නේ රෝගියාගෙන් යම් සාධනීය

ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් අපි එම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර ඉල්ලන්නේ මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ රෝගීන්ට දීමෙන් අන්තූරුව 'හියුමන් ඉමියුනෝග්ලොබිලීන් ' සහිරිටොක්සි මැප්" නමැති ඖෂධ රෝගීන්ට දීමෙන් අනතුරව ඔවුන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබුණාද? යන්න තහවුරු කර ගැනීමටයි.


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම  මහත්මිය: මෙම නඩුවට අදාළව රහසිගත ප්‍රකාශයක් දුන් සැකකරුගේ ප්‍රකාශය අනුව යම් ඉදිරි පියවරක් ගත්තාද?


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය: නැහැ. ඔහු අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කළා.


11 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා සම්බන්ධයෙන් නීතිපතිවරයාට පිටපත් සහිතව අධිකරණයට ඇප ඇයැදුම් පතක් ඉදිරිපත් කළ බව දැනුම් දුන්නේය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව 10 සහ 11 වැනි සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ඉදිරි දින ප්‍රකාශට පත් කරන බව දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරිය නඩුවේ 03 වැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් නමැත්තියගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළාය.

අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුව යළි කැඳවන ලබන 08 වැනිදා තෙක් සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියට නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි, සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු, 61823 මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්ෂ ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය.


නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න, අනුජ ප්‍රේමරත්න, නීතිඥ අමිත ආරියරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.


 මනෝප්‍රිය ගුණසේකර

පෑවිල්ලෙන් 14 000කට බොන්න වතුරු නෑ

 




නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිවයින පුරා පවුල් 4,125කට අයත් 14044 දෙනකු පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට බව එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3,415 ක 11,124 දෙනකු පානීය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2351 කට අයත් 7,053 දෙනකුද, මහර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 917කට අයත් 3,655 දෙනකුද, අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25 කට අයත් 79 දෙනකුද, මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 122 කට අයත් 337 දෙනකුද, පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය.මෙයට අමතරව, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 710 ක 2,920 ක දෙනකු පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය. එම පිරිස වරකාපොළ, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බවද එම ප්‍රකාශකයා පැවැසීය.

නිමල කොඩිතුවක්කු

මසකට ලක්ෂ 9යි-ලාංකිකයෝ බුරුතුපිටින් රුසියා හමුදා පෝලිමේ

 

රුසියානු පුරවැසිභාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.එම ශ්‍රී ලාංකිකයන් මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 ක් පමණ) වැටුපකට රුසියානු හමුදාවේ සේවය කරන බව ද එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින  සොල්දාදුවන් බොහෝ පිරිසක් මේ වනවිට රුසියානු හමුදාවට බැඳීමට උත්සාහ දරමින් සිටින බවත් ඔවුන් තම පවුලට හොඳ කාලයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක්වීමට පවා සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගත් 27 හැවිරිදි නිපුණ සිල්වා නමැත්තකු මෙම මස මුලදී යුක්රේන හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ඩොනෙස්ක් නගරයේ බංකරයක සේවය කරමින් සිටියදී එල්ල වුණු යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් නිපුණ මියගිය බව සේනක බණ්ඩාර පැවැසුවේය.ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත්වලට සහ පාදවලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණ කර තබාගෙන පැමිණෙද්දී තවත් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඔහු දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. නිපුණ නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 19 මුදලක් ලබා ගෙන තිබූ බවත් එය ආපසු ගෙවීමට අපහසු වූ බවත් නිපුණගේ භාර්යාව අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කළාය.

නොයෙකුත් බාධක වලින් පසුව රුපියල් ලක්ෂ 12ක් ඒජන්සියට ගෙවා රැකියාවක් සඳහා පසුගිය වසරේ ජූනි මාසයේදී රුසියාවට පැමිණියත් එම රැකියාවෙන් ලැබූ රුපියල් 160,000 ක මාසික වැටුප ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පවුලේ දැඩි අකැමැත්ත මත රුසියානු හමුදාවට බැඳුණු බවද ඇය සඳහන් කළාය. නිපුණගේ මරණයත් සමඟ රුසියානු හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ දක්වා දෙරට අතර යුද්ධය හේතුවෙන් මිය ගොස් ඇති බවත් යුක්රේන හමුදාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු මේ දක්වා යුද්ධය හේතුවෙන් මියගොස් ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.


Thursday, March 28, 2024

දැන්වීම් පළකර මුදල් කොල්ල කෑ ජාවාරමා පොලිස් වෙඩිපහරින් මරුට

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, දඹදෙණිය ධර්මසිරි රණසිංහ, අලව්ව සිසිර අබේකෝන් සහ ගයාන් සූරියආරච්චි

නවීන පන්නයේ ජංගම දුරකථන විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඒවා මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් කඩුවලින් කපා කොටා තුවාල සිදුකර ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් මුදල් පැහැරගෙන පලාගිය බව කියන සංවිධානාත්මක කල්ලියක අයකු ඊයේ (27) නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ බව නාරම්මල පොලිසිය පවසයි.

මෙසේ වෙඩිකා මිය ගොස් ඇත්තේ නාරම්මල, වීරගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂ් දුර රාල නමැති අයෙකි.කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

කඩු පහරකෑමෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි කෑගල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ඒ.ආර්.ඩී. ගුණවර්ධන සහ සේනාධීර නමැති අය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිල ගණන්වලට විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ පළ කර තිබෙන අයුරු දුටු රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම දෙදෙනා සහ සෙනරත් නමැති අයෙකු ඒවා මිලදී ගැනීමට අන්තරජාලයේ පළව තිබූ දුරකථන අංකයට කතා කර ඇතැයි පොලිසිය කියයි.

පොල්ගහවෙල ප්‍රදේශයට රාත්‍රී කාලයේ පැමිණෙන ලෙස රුවන්වැල්ලේ පදිංචි පුද්ගලයින් තිදෙනාට දැනුම් දුන් අවස්ථාවේ ඒ ගැන ඇති වූ සැකයක් මත ඔවුන් මේ බව රුවන්වැල්ල පොලිසියට දැනුම් දීමෙන් පසු රුවන්වැල්ල පොලිසිය මේ ගැන පොල්ගහවෙල පොලිසියට දැනුම් දී ඔවුන් දෙදෙනා එම පොලිස් ස්ථානයට පිටත් කර යවා ඇතැයි කියති.පොල්ගහවෙල පොලිසියේ සැරයන් ලලිත් (66372), කොස්තාපල්වරුන් වන විජේවර්ධන (99757) සහ ඉන්දික (83005 ) යන මහත්වරුන් සමග මොවුන් තිදෙනා පොල්ගහවෙල ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඔවුන් තිදෙනාට නාරම්මල පොල් වත්තේගෙදර පන්සල අසල පිහිටි කුඹුරු යාය ළඟට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කුඹුරු යාය අසලට ගිය අවස්ථාවේ පුද්ගලයින් තිදෙනකු පැමිණ මොවුන්ට කඩු ප්‍රහාර එල්ල කර ජංගම දුරකථන මිලදී ගැනීමට රැගෙන ආ මුදල් කොල්ල කෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් තිදෙනා ඔවුන් අල්ලා මෙල්ල කර ගැනීමට ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.වෙඩිවැදී මියගිය පුද්ගලයා සහ පලාගිය පුද්ගලයා මෙවැනි ආකාරයට දැන්වීම් පළ කර පැමිණි පසු ගැනුම්කරුවන්ට පහරදී හෝ කඩුවලින් කොටා ඔවුන් සතු ලක්ෂ ගණන් වටිනා මුදල් පැහැරගෙන යෑමේ නිරතව සිටින අය බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ සහ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි රුවන් කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයුම යටතේ නාරම්මල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂ සමරකෝන් මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.




ඇප ඉල්ලීම ඉවතට - අල්ලන්න සී.අයි.ඩිය ගියත් දමිතා ගෙදර නෑ



ප්‍රසිද්ධ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රී බොරලැස්ගමුව, පැපිලියාන නිවෙසට ගිය ද ඔවුන් දෙදෙනා නිවසේ නොසිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත චෝදනා ගොනුකර තිබිණි.


ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අධිකරණය හමුවේ පැවැසූ පරිගණක අපරාධ කොට්ඨාසය දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඉකුත් 20 වැනිදා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් ද විරුද්ධ වන බව සඳහන් කරමින් වැඩිදුර වාර්තාවක් එදින අධිකරණය වෙත ඉදිරිපත් කළේය.එසේ වුවත් දමිතා අබේරත්න යුවළ ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අනුව ඊයේ (27) දිනය තෙක් කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

ඒ අනුව පෙත්සම ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති හෙයින් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් ප්‍රතික්ෂේප කළේය. පෙත්සම්කාර දමිතා අබේරත්න මහත්මිය විමර්ශන කටයුතු සඳහා පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟ හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45 (ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීමත් හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇප දීමට තමන්ට බලයක් නැතැයි අපේක්ෂිත ඇප අයැදුම් ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.


කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ අවදානමක් ඇති හෙයින් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කාර යුවළ මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත් ඉදිරිපත් කර තිබිණිපෙත්සම් කැඳවූ අවස්ථාවේ දී නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක මෙන්ම දේශපාලනයේ නිරත වන්නියකවීම හේතුවෙන් දමිතා අබේරත්න මහත්මියට අපකීර්තියක් කිරීමට මෙම පැමිණිල්ල කර ඇතැයි කීය.


කිසිදු සාධකයක් නොමැතිව තම සේවාදායකයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් අගාමික විගාමික පනත යටතේ කරුණු වාර්තා කර ඇතැයි ද එම කරුණු දැක්වීම් වැරදි සහගත හෙයින් එම කොටස අවලංගු කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සම් දෙකක් ගොනු කර ඇතැයි ද කී නීතිඥ අජිත් පතිරණ මහතා එම රිට් පෙත්සම් ලබන 2 වැනිදා විභාගයට ගැනීමට නියමිත බවත් කීය.වගඋත්තරකාර රහස් පොලිස් නිලධාරීන් කරුණු දක්වමින් වෙනත් නඩු සඳහා පෙත්සම්කාරිය ඇප මත සිටියදී මෙම සිද්ධියට අදාළ විමර්ශනය සඳහා ඇය දිගින් දිගටම සහය දක්වා නැතැයි දැනුම් දී තිබිණි.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අපේක්ෂිත ඇප අයැදුම් ප්‍රතික්ෂේප කළේය.


පෙත්සම්කාර යුවළ වෙනුවෙන් නීතිඥවරුන් වන තරිඳු වික්‍රමනායක, හිමාෂ ප්‍රනාන්දු, අස්තික දේවේන්ද්‍ර, හරිත් හෙට්ටිආරච්චි මහත්වරුන් සමඟ නීතිඥ අජිත් පතිරණ පෙනී සිටියේය.ඊයේ (27) ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලුම්පත මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කිරීමත් සමගම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම එම නිවස වෙත ගොස් තිබිණි.ඔවුන් දෙදෙනා නිවෙසේ නොමැති බවත් දමිතා අබේරත්න මහත්මියගේ මව පමණක් නිවෙසේ සිට ඇති බවත් එනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවෙස ආසන්නයේ ඊයේ (27) රැඳී සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 


 බිමල් ශ්‍යාමන් ජයසිංහ 

රජයේ වාහන වල අමුතු ගැහිල්ලක්

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

කිලෝමීටරයක් රුපියල් 300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් සීයක පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාවේදී තොරතුරු අනාවරණය විය.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක මේ බව සඳහන් වන්නේ යැයි එම කාරක සභාව පවසයි.බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

රාජ්‍ය අංශය සතුව වාහන අසූ දෙදාහක් පමණ පවතින බවත් ඉන් ධාවන තත්වයේ පවතින්නේ වාහන හැත්තෑහය දාහක් පමණක් බවත් කාරක සභාවේදී හෙළිවිය. මේ අනුව ධාවන තත්වයේ නොපවතින වාහන සංඛ්‍යාව 5500කි.ධාවන තත්වයේ පවතින වාහනයක් කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රුපියල් 300ක් 500ක් අතර වන බවත් මෙම පර්යේෂණ වාර්තාව අනුව පෙනී යන බවද කාරක සභාව සඳහන් කරයි.

රාජ්‍ය ආයතන වලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශයෙන් ගන්නේ නම් රුපියල් සීයක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව එහිදී අනාවරණය විය.මේ අනුව ක්‍රමානුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් රුපියල් කෝටි 2000 ක් පමණ රාජ්‍ය ආදායම ඉතිරි කර ගත හැකි බව කාරක සභාව පෙන්වා දෙයි.මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් පර්යේෂණ පත්‍රිකාව පිළිබඳවද ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.






පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ

යොහාන් භාසුර

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබ සිටී.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීට පෙර ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.නව පත් කිරීමත් සමග නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


මීගමුවේ ස්පා 55 කට සීල් - කතුන් දෙදෙනකුට ඒඩ්ස්

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.මේවා කළමනාකරණය කළ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගෙන ද ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම සම්බාහන මධ්‍යස්ථාන පනස් පහ වසා දැමීමට ද කටයුතු කළ බව පොලිසිය පවසයි.යුක්තිය මෙහෙයුමට සමගාමීව කරනු ලැබූ වැටලීමක දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් පසුගිය දිනක සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ලෝලීන් පිරිසට සමාජ රෝග වැළඳී ඇත්දැයි සොයා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමේදී එක් අයකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී යැයි පොලිසිය කියයි.ඒඩ්ස් වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටි බව කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවක සමග අඹු සැමියන් ලෙස ගත කළ බව පොලිසියට හෙළි කර ඇත.

මේ සමග සිදු කළ මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන වැටලීම්වලදී සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් සහ තරුණියන් එකසිය පනස් දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව එයින් දෙදෙනෙකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය හෙළි කළේය. මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම වැටලීම් සිදු කළහ.




මා ඔයේ නාන්න ගිය සිසුන් 6න් 4ක් මරුට

 



පොල්ගහවෙල, වළකුඹුර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය නවවැනි ශ්‍රේණියේ පාසල් සිසුන් හය දෙනකුගෙන් සිවු දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය දරුවන් සිවුදෙනාගේ සිරුරු සිද්ධිය වී පැය එක හමාරකට පමණ පසු ගොඩගැනීමට හැකි වූ බව ප්‍රදේශවාසීහු පැවැසූහ.පොල්ගහවෙල සාන්ත බර්නදෙත් පාසලේ එකම පන්තියේ සිසුන් 11 දෙනකු වළකුඹුර පාසල් මිතුරකුගේ නිවෙසට පැමිණ ඇති අතර නිවැසියන් ඔවුනට කෑම පිළියෙළ කරන තෙක් මෙම දරුවන් අසල මාඔයට දිය නෑමට ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී යැයි පොලිසිය කියයි. 

සිසුන් 11 දෙනාගෙන් හය දෙනකු දියනෑමට පළමුව ඔයට බැස ඇති අතර එහිදී එම සිසුන් හය දෙනාම දියේ ගිලී ඇතිබව පොලිසිය කියයි. එම සිසුන්ගේ වළකුඹුර යාළුවා ද සිටි බව පොලිසිය කියයි.යාළුවන් ගිලෙනු දුටු ගොඩ සිටි සෙසු යාළුවන් කෑ ගසා ඇති අතර එම ශබ්දයට අසල නිවෙසේ සිසුවාගේ පියා ද අවට පිරිස් ද පැමිණ දරුවන් ගොඩ ගැනීමට යුහුසුලුව කටයුතු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එහෙත් ඒ වනවිටත් දරුවන් සිවු දෙනකු මියගොස් සිටි අතර, බරපතළ තත්වයේ සිටි දරුවන් දෙදෙනකු අලව්ව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි ද පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ වළකුඹුරේ පදිංචි කලණ ලක්ෂිත අමරසිංහ, මැද්දලන්ද පදිංචි කවීන් තෙනුර, තල්වත්තේ ගෙදර පදිංචි රවිඳු රංජිත් පද්මසිරි සහ වලකුඹුරේ පදිංචි විදාස් දෙව්මිණ යන සිසුන් සිවු දෙනාය.සිසුන් පැමිණ සිටි අලව්ව, වළකුඹුර නිවෙසේ මිතුරා ද මියගිය සිසුන් අතර වන බව පොලිසිය කියයි.මියගිය දරුවන්ගේ සිරුරු අලව්ව රෝහලේ තැන්පත් කර ඇත. අලව්ව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.


 අතුල පී. බණ්ඩාරනායක

කෝටි 8 ක වංචාවකට බැංකු නිලධාරිනියක් අත්අඩංගුවට

 

බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් කෝටි 8 කට අධික මුදලක් වංචා කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබුවාය. අත්අඩංගුවට ගත් සැකකාරිය ලුණුවිල ප්‍රදේශයේ  41 හැවිරිදි තැනැත්තියක බව පොලිසිය කියයි.මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික පෞද්ගලික බැංකුවක කළමනාකරු ඉකුත් 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිනී අන්තර්ජාල බැංකු පහසුම යටතේ තම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඇයගේ සැමියාගේ බැංකු ගිණුම් දෙකකට රුපියල් මිලියන 33 ක් සහ සැකකාරියගේ ගිණුමකට රුපියල් මිලියන 13 ක් බැර කර ඇති බවය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය විසින් රුපියල් මිලියන 84 ක් පමණ වංචා කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී තිබේ.මෙම වංචා කළ මුදල්වලින් මිලියන 10 වැය කර සැකකාරිය සහ ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබූ බවත් පැමිණිල්ල ලැබීමට පෙර සැකකාරිය විසින් බැර කළ මුදල්වලින් ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාවට පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

ඒ අනුව විමර්ශන නිලධාරීන් වහා ක්‍රියාත්මක වී සැකකාරියට විදේශ ගමන් අත්හිටුවීමේ නියෝගයක් අධිකරණය මගින් ලබාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පෙරේදා (25) සැකකාරිය අත්අඩංගුවට ගත්හ.විමර්ශන නිලධාරීන් සැකකාරිය පදිංචි නිවෙස පරීක්ෂාවට ලක්කිරීමේ දී අන්තර්ජාල බැංකු පහසුකම් සඳහා භාවිත කරන ලද වටිනා ජංගම දුරකතනයක් සහ මුදල් වංචාවෙන් උපයාගත් රුපියල් කෝටියක් පමණ භාවිත කරමින් උකස් කරන ලද ඉඩමක් බේරාගැනීමට අදාළ ලිපි ලේඛන ද සොයාගෙන තිබේ.

ගයාන් සූරියආරච්චි

පිටකොටුවේ පාවෙන කඩ ජපානයට



පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර ඇත.ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose ) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ දී ඊයේ (27) සිදු කෙරුණි.

ඒ අනුව පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය නිසියාකාරව නඩත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය කියයි.ආර්ථික ප්‍රශ්න නිසා නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරිමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබිණි.

ජපන් නගරය හා පාවෙන වෙළෙඳපොළ යන තේමාවෙන් පාවෙන වෙළෙඳ  සංකීර්ණය සංවර්ධනය කිරීමට නියමිත අතර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි. පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටි පාගේ වෙළෙඳපොළ වෙළඳ කුටි 92 කින් සමන්විත වන අතර බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළෙඳ කුටි ගණනාවක් ද එහි තිබේ.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළෙදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

 අංජුල මහික වීරරත්න

Wednesday, March 27, 2024

මුහුණු පොතේ තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු හිටපු සෙබළා දැලේ

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

23 හැවිරිදි තරුණියකගේ මුහුණු පොතේ ගිණුමට හොර රහසේ ඇතුළු වී ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසා ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි හිටපු හමුදා සෙබළකු පිළියන්දල බස් නැවතුම්පොළේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයෙකු බවත් කිසිදු පරිගණක දැනුමක් නොලබා ඇතත් වෙනත් පුද්ගලයකුගේ සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමේ අපූරු හැකියාවක් තිබෙන තැනැත්තෙකු බවත් පොලිසිය සඳහන් කළේය.

පැමිණිලිකාර රාගම තරුණිය  සමග මුහුණු පොතේ මිතුරෙකු වූ සැකකරු තරුණියට ආදරය කිරිමට අවසර පතා ඇති අතර තරුණිය එයට අකමැති වීමෙන් අනතුරුව සැකකරු ලින්ක් එකක් තරුණියගේ පෙම්වතාට යවා ඔහු එය විවෘත කිරීමත් සමඟම ඔහුගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී තිබූ සැකකරු ඔහු යවන ආකාරයෙන් තරුණියට කෙටි පණිවිඩ යවා නිරුවත් ඡායාරූප ඉල්ලා ඇතැයි පොලිසිය කීය. තම මුහුණු පොතේ ගිණුමට බාහිර පුද්ගලයකු හොර රහසේ ඇතුළු වී ඇති බව දැනගත් තරුණියගේ පෙම්වතා ඒ බව තරුණියට ද පවසා ඇති අතර වෙනත් පුද්ගලයන්ගේ නිරුවත්  පිංතූර සකස් කර ඡායාරූප තරුණියට ඒවා ඒවා සමාජගත කරන බවට තර්ජනය කර ඇයව හමුවීමට පැමිණෙන ලෙස සැකකරු පවසා තිබූ බව පොලිසිය සඳහන් කළේය.එම තරුණිය විසින් තම මුහුණු පොතේ ගිණුමට ඇතුළු වූ කිසියම් පුද්ගලයකු තම පෙම්වතා ආකාරයෙන් කෙටි පණිවිඩ එවමින් තමන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලමින් සහ හමුවන ලෙස පවසමින් තර්ජනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.අනතුරුව තරුණිය සැකකරුගෙන් ගැලවීමක් නොමැති බැවින් කෙටි පණිවිඩයක් යවමින් හමුවීම සඳහා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණෙන ලෙස පවසා ඒ බව පිළියන්දල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර මෙනෙවිය හමුවී පැවසීමෙන් අනතුරුව එම නිලධාරීනිය සහ තවත් පොලිස් නිලධාරීන් කීප දෙනකු සිවිල් ඇඳුමින් සැරසී බස් නැවතුම් පොළට ගොස් සැකකරු තරුණිය හමුවීම සඳහා පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හික්කඩුව ගෝනාපීනුවල නිවසේ සිට තරුණිය හමුවීම සඳහා පැමිණීමේ දී මව්පියන්ට පවසා ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බවත් එලෙස පැමිණීමේ දී සැකකරු තරුණියට චොක්ලට් පැකට් කිහිපයක් ද රැගෙන ආ බවත් පොලිසිය සඳහන් කළේය.ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර, කොස්තාපල්වරුන් වන 102361 මුණසිංහ, 102362 විමලරත්න ,102363 සමීර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.






හරක් කටාගේ ඉල්ලීම් වලට ඉඩදිය හැකිදැයි සොයා අධිකරණයට දැනුම් දෙන්න. නීතිපතිට උපදෙස්


මනෝප්‍රිය ගුණසේකර 


සංවිධානාත්මක අපරාධකරුවකු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට පිටතින් ආහාර ලබාගැනීමට, විත්තිකරුට මව, පියා, බිරිඳ සහ නීතිඥවරුන් හමුවීමට දී ඇති කාලය දීර්ඝ කිරීමට කරන ඉල්ලීම්වලට අදාළ පහසුකම් සලසාදීමට හැකියාවක් ඇතිදැයි සොයා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නීතිපතිවරයාට ඊයේ (26) දැනුම් දුන්නේය.

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමට අදාළ පහසුකම් සලසාදීමට ඇති හැකියාව මෙම නඩුව යළි කැඳවන ලබන මස 08 වැනිදා අධිකරණයට දැනුම්දෙ දෙන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස්  නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළායාමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහි නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැනයාමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වූ රවිඳු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කර ඇති විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකාර හිටපු පොලිස් නිලධාරියකු බව කියන දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කෙරිණි.

කොළඹදී රහස් පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා කටයුතු කිරීම හා ඊට ආධාර අනුබල දෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා 22 ක් යටතේ නඩු පවරා තිබුණි.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන රවිඳු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යාමට සුදානමින් සිටි බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන දිනේෂ් තරංග නමැත්තන්ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් රැඳවුම් භාරයේ පසුවන තම සේවාදායකයාට නීතිඥවරු හමු වී උපදෙස් ගැනීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයකුට විනාඩි 15ක කාලයක් දෙන බවත් මව, පියා සහ බිරිඳ හමුවීම සඳහා විනාඩි 15 ක කාලයක් දෙන බවත් පැවැසීය.එම කාලය පැයක කාලයක් දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තම දරුවා සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට ඔහුට පහසුකම් සලසා දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

තම සේවාදායකයා රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා ඇද්දැයි වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කරන්නැයිද විත්තිකරු තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තම සේවාදායකයාට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන්නැයිද ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු ඉල්ලා සිටින පහසුකම් අතුරින් ලබා දිය හැකි ඒවා කවරේදැයි පරීක්ෂා කර බලා මෙම නඩුව යළි කැඳවන අප්‍රේල් මස 08 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියම කළේය.





රාජ්‍ය ආයතන සතු වාහන වෙනුවට පෞද්ගලික වාහන යොදාගත්තොත් රු.බි. 20ක් ඉතුරුයි


දිනේෂ් සමරකෝන්


කිලෝමීටරයක් රු.300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන කිලෝමීටරයක් රු.100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි විය.බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර ගැනුණි.

මෙහිදී අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවත් ඉන් 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත්ය.මේ අනුව වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවද මෙහිදී අනාවරණය විය.

එසේම ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සදහා යන වියදම ආසන්න වශයෙන් රු.300ත් 500ත් අතර වන බවද මෙම පර්යේෂණ පත්‍රිකාව අනුව හඳුනාගෙන තිබුණි.නමුත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මගින් ගන්නේ නම් රු.100ක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව මෙහිදී මෙම පර්යේෂණයේ දත්ත අනුව හඳුනා ගැනුණි. මේ අනුව ක්‍රමානුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රු. බිලියන 20ක් පමණ රාජ්‍ය වියදම ඉතිරි කර ගත හැකි බව මෙහිදී අනාවරණය විය.

මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණ පත්‍රිකාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමට මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිර්දේශ කළේය.එසේම සුනිත්‍ය බලශක්තිය සම්බන්ධයෙන් මෙරට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබා ගැනීමද මෙහිදී සිදු විය.



කන්තෝරු නෝනා උසස්වීමත් එක්ක පරිගණකයත් ගෙදර ගෙනිහින්

 


ඉඩම් කොමසාරිස් කාර්යාලයක වසර 08ක් පමණ සේවයේ නියුතුව සිටි නිලධාරීනියක උසස්වීමක් ලැබීමෙන් පසු එම කාර්යාලයේ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් නැවත කාර්යාලයට බාර නොදී රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් වාර්තා වේ.මෙසේ ලැප්ටොප් පරිගණකයක් නිවෙසට රැගෙන ගොස් ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බිරියක බව පැවැසේ. මෙලෙස ඇය රැගෙන ගොස් ඇත්තේ 2017 වසරේ දී කාර්යාලයේ සේවා ගුණාත්මකභාවය ඉහළනැංවීම සඳහා සේවාලාභියකුගෙන් පරිත්‍යාගයක් ලෙස කාර්යාලයට ලැබී තිබූ ලැප්ටොප් වර්ගයේ පරිගණක පහෙන් එකක් බව පැවසේ.

එසේ ලැබුණු ලැප්ටොප් වර්ගයේ පරිගණක සියල්ල මෙතෙක් කාර්යාලයේ බඩු ලැයිතුවට (ඉන්වෙන්ට්‍රියට) ඇතුළත් කර නොමැති අතර, එසේ ලැබුණු එක් ලැප්ටොප් පරිගණකයක් පමණක් (2024) මෙම වසරේදී බඩු ලැයිතුවට ඇතුළත් කර ඇත. වසර ගණනාවක් තිස්සේ කාර්යාලය සතුව පැවැති එම පරිගණක යන්ත්‍ර කාර්යාලයේ විවිධ නිලධාරින් විසින් පාවිච්චි කරනු ලැබුවද අඛණ්ඩව වසරින් වසර පැවැත්වෙන භාණ්ඩ සමීක්ෂණයට ද ඉදිරිපත් කර නොමැති බව කියැවේ.මේ සම්බන්ධයෙන් එවකට මහියංගණ ඉඩම් කොමසාරිස් කාර්යාලයේ ඉඩම් කොමසාරිස් ලෙස සේවය කළ වර්තමානයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කරන නුවන් සී හේමකුමාර මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.‍ෙ

“මගේ මතකයේ හැටියට පරිගණක 5ක් විතර අපට ලැබුණා පරිත්‍යාග ලෙස, ඒ කාලේ මම එකක්වත් අරගෙන ගියෙත් නෑ. මටත් දැන් කීප දෙනෙක් කතා කරලා විස්තර ඇහුවා ඔෆිස් එකේ ඒ ලැප්ටොප් පරිගණකයක් නිලධාරිනියක ගෙදර අරන් ගිහිල්ලාද කියලා විස්තර අහන්න. ඒ කාලේ ඒවා කාර්යාලයේ උපකරණ ලැයිස්තුවට ඇතුළත් කරන්න කියලා අපි හරියට වැඩේ කළා. පරිත්‍යාගයක් ලෙස ලැබුණු දෙයක් වුණත් කාර්යාලයේ බඩු ලැයිතුවට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි.ෙමහියංගණ ඉඩම් කොමසාරිස් කාර්යාලයේ වර්තමාන ඉඩම් කොමසාරිස් එම්.එම්.කේ. පුෂ්පකාන්ති මහත්මියගෙන් මේ පිළිබඳව විමසීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ දීමෙන් වැළකී සිටියා ය.

 රංජිත් කරුණාවීර

විනිසුරු තිලිණ ගමගේට මරණ තර්ජන

 




පාතාලයට සම්බන්ධකම් කියන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් නාඳුනන තුවක්කුකරුවකු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක් පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව තිලිණ ගමගේ මහතාගේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. දුර සිට ග්‍රේනේඩ් විඳිනයක් භාවිත කරමින් නන්නාඳුනන තුවක්කුකරුවකු විසින් ප්‍රහාරයක් එල්ල කර තිලිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දෙනු ලැබූ උපදෙස්වලට අනුව තිලිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඔත්තුකරුවකු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට යොමු කළ ලිපියකට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඝාතනය කිරීමට එක්තරා පුද්ගලයකු යමකුගෙන් දුරකතන මාර්ගයෙන් ගිනි අවිය ඉල්ලා ඇති බවට ඔත්තුකරුවකු දුන් තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කළ රහස් පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ තොරතුරුකරුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ගිනි අවිය ඉල්ලා ඇති පුද්ගලයා සම්බන්ධ සියලු තොරතුරු හෙළි කර ඇතැයි  වාර්තා වේ.

මෙම ගිනි අවිය යොදාගෙන මීටර් 150ක පමණ දුරක සිටින පුද්ගලයකුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ හැකි බව මූලික විමර්ශනවල දී හෙළි කරගෙන ඇති අතර, සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත. මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට විශේෂ ආරක්‍ෂාවක් සැපයීමට ද පොලිසිය පියවර ගෙන ඇත.



මනෝප්‍රිය ගුණසේකර 


ජනපති නියමයෙන් පොලිස් භාරයට ගත් දෙහිවල හා බේරුවල නිවාස යළි ඉල්ලීම ප්‍රතික්ෂේපයි

 බුද්ධිමාල් රුබේරු


ජනාධිපතිවරයාගේ නියෝග මත පොලිස් භාරයට ගෙන ඇති දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ නිවාසවල, පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර තවුහිද් ජමාද් සංවිධානයේ සහ අල් කයිඩා සංවිධානයේ දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (26දා) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ නියෝග මත තම නිවාස පොලිස් භාරයට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එම නිවාස හිමිකරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා ඒ බව දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතිපද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී.

දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ පදිංචි මොහමඩ් හයිතුල්ලා, මොහොමඩ් හසිම් යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ ත්‍රස්තවාදී විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම නිවෙස් පොලිස් භාරයට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ, එම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති. පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ නියෝග මත පොලිස් භාරයට ගෙන ඇති දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ නිවාසවල පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර තවුහිද් ජමාද් සංවිධානයේ සහ අල් කයිඩා සංවිධානයේ දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇතැයි පැවසීය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කීර්ති තිලකරත්න සහ අස්විද රවීන් මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා මහතා පෙනී සිටියේය.නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශ්‍රවීන්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.


අසුඅටේ සැමියාගේ වියෝවෙන් අසූපහේ බිරියට දිවි එපාවෙලා

 



අසූ අට හැවිරිදි සැමියාගේ වියෝව දරාගත නොහැකිව, අසූ පස් හැවිරිදි බිරිය වස ශරීරගතවීමෙන් මියගො‍ස් සිටි අඹු සැමියන්ගේ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ නිකවැරටිය අධිකරණ. වෛද්‍ය නිලධාරීනී ඒ.එම්.පී.පී. අබේකෝන් මහත්මිය මෙම මරණකරු හෘදයාබාධ තත්වයකින් සහ මරණකාරිය වස ශරීර ගතවීමෙන් මියගොස් ඇති බවට අනාවරණය කළාය.


මෙලෙස මියගොස් සිටියේ නිකවැරටිය පොලිස් වසමේ පදිංචි පස්දරු මවුපිය යුවළකි.නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ, නිකවැරටිය මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය.මරණකරු සහ මරණකාරිය තම නිවසේ පුතා, ලේලිය සහ ඔවුන්ගේ දරුවන් සමග ජීවත් වී ඇති බවත්, මොවුන් අඹු සැමියන් ලෙස මහත් ළෙන්ගතුව ජීවත්ව ඇති බවත්, සැමියා රෝගාතුරව සිටින නිසා යම් අවස්ථාවක ඔහු මිය ගියහොත්, තමා ද ජීවත් නොවන බවට බිරිඳ අවස්ථා කීපයකදී පවසා ඇති බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය කෙරිණි.මෙදින පුතා සහ ලේලිය ව්‍යාපාරික කටයුතු සඳහා අලුයම පහට පමණ නිවසින් බැහැරව ගොස් ඇති අතර, මිනිබිරිය උදෑසන තේ දීම කාමරයට ගිය අවස්ථාවේ කිරි අම්මා ඇඳ මත කෙඳිරි ගාමින් සිටින අයුරු සහ කිරි අත්තා ඔහුගේ ඇඳ මත මියගොස් සිටින අයුරු දැක ඇති බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය කෙරිණි.

එම මිනිබිරිය ඥාතීන් හා අසල්වාසින් ගේ සහය ඇතිව වස පානය කර සිටි කිරිඅම්මා ප්‍රතිකාර සඳහා වහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල් ගත කරන අවස්ථාවේම ඇය මරණයට පත්ව ඇති බව ද හදිසි මරණ පරීක්ෂණයේ දී තව දුරටත් අනාවරණය කෙරිණි. නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස්, ස්ථාන පරීක්ෂාවක් සිදුකර, සිය ඇඳ මත මියගොස් සිටි මරණකරුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නිකවැරටිය මූලික රෝහලට රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

වෛද්‍ය වාර්තාව, ලැබුණ සාක්ෂි සහ ස්ථාන පරීක්ෂාව සැලකිල්ලට ගත් නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා මෙම මරණකරු හෘදයාබාධ තත්වයකින් සහ මරණකාරිය වස පානය කර  සියදිවි හානි කරගැනීමකින් මෙම මරණයන් සිදු වූ බවට නිගමනය කළේය.නිකවැරටිය මූලස්ථාන පොලීසියේ පොලිස් සැරයන් රූපසිංහ නිලධාරීයා සාක්ෂි මෙහෙයවීය.

ප්‍රියාණි මංගලිකා

මූලික විරෝධතාව ඉවතට කෙහෙළියගේ ෆෝන් නඩුව විභාගයට




තමාට නිත්‍යනුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිත කර එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුදුණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ 'දූෂණය' වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති ඛණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවය මතු කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නඩුව විභාගය ජූලි 22 වැනිදා පැවැත්වීමට දින නියම කළේය.රෝගී තත්වයෙන් පසුවන බව දැනුම් දෙමින් පසුගිය නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකළ විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට කළ නියෝගයකට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

වර්ෂ 2010 නොවැම්බර් 22 වැනිදා සිට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු විත්තිකරු තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියල් 44000/- ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ කටයුතු කිරීම මගින් අල්ලස් පනතේ 'දූෂණය' නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

මෙලෙස චෝදනා ලබ සිටින්නෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද නමැත්තෝය.අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අවස්ථාවක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධියට අදාළවම නඩු පැවරූ අතර, ඒ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් මහාධිකරණය විසින් පිළිගනිමින් දුන් අනුව විත්තිකරුවන් නියෝගයකට දෙදෙනා නිදහස් කෙරිණි.නිසි ආකාරයට යළි නඩු පැවරිමට පැමිණිලිකාර අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව ඒ අවස්ථාවේදී දැනුම් දීම මත විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස යළිත් වරක් නඩු පැවැරිණි.

නඩුව කැඳ වූ අවස්ථාවේදී නඩුවේ දෙවැනි විත්තිකාර රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා අධිකරණයේ පෙනී සිටි අතර, බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මෙම නඩුව ආරම්භ කළ අවස්ථාවේදී නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව විභාගයට ගැනීමට තීරණය කළේය. නඩුව විභාගය ජූලි 22 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා නඩුව එදින කැඳවීමටත් විත්තිකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර

අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් කැඞී රෝගීහු 500 ක් පොරොත්තු ලේඛනයේ




මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රෙඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සදහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් කියා විරහිතවීම නිසා රෝගීන් 500 දෙනකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 

පෙබරවාරි මාසයේ සිට යාන්ත්‍රික දෝෂයක් ඇති වී තිබෙන මෙම විකිරණ යන්ත්‍රය විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ළමා පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා ප්‍රතිකාරය ලබා දීමට බැවින් පොරොත්තු ලේඛනයේ ළමා පිළිකා රෝගීන්ද රැසක් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. හේතුවෙන් ළමා පිළිකා රෝගීන් මහත් අපහසුතාවකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.තත්වය කෙතරම් බරපතළ වුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්නය විසඳීමට කිසිඳු පියවරක් නොගෙන නොදැක්කා සේ සිටීමෙන් ප්‍රශ්නය තවත් උත්සන්න වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.

විකිරණ චිකිත්සා ප්‍රතිකාරය සඳහා පෞද්ගලික රෝහල් රුපියල් ලක්ෂ 7 සිට රුපියල් ලක්ෂ 17 දක්වා අධික ගාස්තුවක් අය කරන බවත් ඉන් ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින රෝගීන්ගේ පවුල් මහත් අපහසුතාවකට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේදී රෝගී ජීවිත සැබවින්ම අවදානම් තත්තවයක පවතින බව ඔහු පිළිගත්තේය. අක්‍රිය වූ යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට හෝ ඒ සඳහා නව යන්ත්‍රයක් ලබා දීමට උත්සාහ කරමින් සිටින බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.


ශියන් ප්‍රනාන්දුපුල්ලේ (ඩේලි මිරර්)

රෝහිත යනතුරු විපක්ෂයෙන් කෝප් වර්ජනයක



පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉවත්වූ මන්ත්‍රීවරුන් වෙනුවට නව සාමාජිකයන් පත්කරන්නැයි පාර්ලිමේන්තුව විපක්ෂ නායක කාරියාලයට කළ දැනුම් දීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ රෝහිත අබේගුණවර්ධන මහතා කෝප් කමිටුවේ සභාපති පුටුවේ සිටින තුරු විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් නම් නොකරන බවයි. 

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැනටත් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ විපක්ෂයේ සාමාජිකයන් පස් දෙනකු පමණක් බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්.එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් එම පස්දෙනා වෙති.ඔවුන් සිය ඉල්ලා අස්වීම් ලිඛිතව බාර දී ඇත. මන්ත්‍රීවරුන් තවත් පිරිසක් කෝප් කමිටුවෙන් ඉවත්වන බවට ප්‍රකාශ කළ ද ඒ බව ලිඛිතව දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. කෝප් කමිටුව සාමාජිකයන් 31 දෙනකුගෙන් සමන්විත වෙයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 19 දෙනෙක් විපක්ෂයේ සාමාජිකයෝ දොළොස් දෙනෙක් ඊට මෑතක දී පත්වූහ.ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් ගණන 18 ක් දක්වා අඩු වී ඇති අතර, විපක්ෂයේ අඩු වී ඇති සාමාජිකයන් ගණන අටකි. කෝප් කමිටුව රැස්වීම සඳහා සිටිය යුතු අවම සාමාජික සංඛ්‍යාව (ගණපූර්ණය) පහකි.

සුජිත් හේවාජුලිගේ

Tuesday, March 26, 2024

අපේ නැකැත් පිළිපදින්න: රාජ්‍ය නැකැත් කමිටුව කියයි

 විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව සකස් කරන ලද නැකැත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

1993 වර්ෂයේ පැවැත එන සම්ප්‍රදායට අනුව 2024 වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ප්‍රවීණ ජෝතීර්වේදීන් 22 දෙනෙකුගෙන් සැදුම්ලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් බවද සඳහන් කරන විදානපතිරණ මහතා මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් නිවැරදි බවට අත්සන් කළ එක් ජෝතීර්වේදීයකු තවත් සුළු පිරිසක් සමග එක්වී සාම්ප්‍රදායික ක්‍රමයට අභියෝග කිරීම නිසා මේ තත්වය උද්ගතව ඇතැයිද සඳහන් කර ඇත.මෙම පිරිසගේ විරෝධතාවයන් අපගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට පටහැනි හෙයින් විවිධ මතිමතාන්තර වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.


බඩ රිදෙනවා කියා දුව රෝහලට ගියාම සුළු සැත්කමක් කරන්න ඕනෑ කියලා - මියගිය සරසවි සිසුවියගේ පියා කියයි









ගිරාඳුරුකෝට්ටේ - එස්.එස්.එස්. ගුණරත්න


“මගේ දුවට සරසවියෙන් පිට වීමට තව ඉතිරිව තිබුණේ මාස තුනක් වැනි සුළු කාලයක්. අපි දුව ගැන ලොකු බලාපොරොත්තු තබා ගෙන සිටියා. දුවටත් අනාගත බලාපොරොත්තු රැසක්ම තිබුණා. අපේ හැම බලාපොරොත්තුවක්ම දුවගේ මේ ගමනත් එක්ක නැති වෙලා ගියා” යැයි ගිරාදුරුකෝට්ටේ මහවැලි කොට්ඨාසයේ දිවුලපැලැස්ස පොලිස් වසමේ පදිංචි, කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි, 23 වියැති, ලක්මිණි දිසානායක නමැති, සරසවි ශිෂ්‍යාවගේ මරණය පිළිබඳව ඇයගේ පියා වන ගුණරත්න දිසානායක මහතා එසේ පැවැසීය.

බඩේ කැක්කුමකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට ඇතුළත් කළ සරසවි සිසුවියක දින තුනකට පසු රෝහලේදී මිය යාමේ ඉතා ශෝචනීය සිද්ධියක් හේතුවෙන් මුළු මහවැලි ගම්මානයම කම්පාවට පත්ව සිටී.මෙසේ අකල් මරණයට පත්වූ තම එකම දියණියගේ හදිසි වියෝව පිළිබඳව දැඩි ශෝකයෙන් මෙන්ම විටින් ව්ට කඳුළු සලමින්, මියගිය ලක්මිණිගේ පියා වන ගුණරත්න දිසානායක මහතා මෙසේ පැවැසීය.

මෙම රැකියාවට කරන්නේ ගොවිතැන් වැඩ. පොඩි කුඹුරක් තමයි අපිට තියෙන්නේ. මමත් මගේ බිරිඳගේත් දැඩි උත්සාහයෙන් තමයි පවුල නඩත්තු කරගෙන යන්නේ. පවුලේ දරුවන් තුන්දෙනයි. මියගියේ පවුලේ දෙවැන්නා. ඇය කුඩා කල සිටම ඉගෙනුමට දක්ෂයි. සාමාන්‍ය පෙළ දක්වා ගමේ පාසලට ගියා.උසස් පෙළ සඳහා කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ගිරාඳුරු කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයට ගිහින් තමයි විශ්ව විද්‍යාලයට තේරුණේ.අපට වෙනත් ආදායම් මාර්ග නැහැ."මේ වන විට ඇය23 වියැතිය. උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ, කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ හතර වැනි වසරේ ශිෂ්‍යාවක් ලෙසිනි. මාර්තු 19 වැනිදා ඇය තමාගේ බඩ රිදෙන බව පවසමින් තම යෙහෙළියන් කිහිප දෙනකු ද සමග ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිරිබත්ගොඩ රෝහලට පැමිණි පසු, ඇය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, සුළු සැත්කමක් කිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව, ඊට අදාළ පහසුකම්වලින් යුත් රාගම මහරෝහල වෙත යොමු කර තිබේ. එම රෝහලේදී නියමිත සැත්කම සිදුකර නේවාසික රෝගියකු වාට්ටුවට ඇතුළත් කර ඇත.එදින වෛද්‍ය උපදෙස් මත කිසියම් එන්නතක් ශරීර ගත කර ඇත. පසු දින හෙවත් මාර්තු 21 වැනිදාත් එන්නතක් ශරීර ගත කර තිබේ. ඉන් පසුව, එනම්, 21 වැනිදා දන්වා ඇත්තේ ඇය මිය ගොස් ඇති බවයි.මියගිය ලක්මිණි දියණියගේ මෘත දේහය ඉකුත් 23 වැනිදා ඇයගේ නිවෙස වෙත රැගෙන පැමිණි අතර, තම සහෝදර සිසුවියගේ අකල් වියෝවෙන් දැඩි ලෙසටම කම්පනයට පත් වූ සරසවි සිසු සිසුවියෝ කණ්ඩායමක් ද ඒ අතර වූහ. තම මිතුරිය පිළිබඳව පැවැසූ පරිදි සරසවියේ ආචාර්ය මණ්ඩලයේත්, සියලු සහෝදර සිසු සිසුවියන්ගේත් ආදරයට ලක් වෙමින් සිටි මෙවන් ලෙන්ගතු සහෝදරියක වෙන්ව යාම මවුපිය ඥාති මිත්‍රාදීන්ට ගම්වාසීන්ට මෙන්ම සරසවි සිසු අප සැමටමත් රටටත් සිදු වූ බලවත් පාඩුවක් බවත්, ඇයට නිවන් සුව ලැබේවායි සරසවි සිසුන් සමූහයම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන බවත්ය.








දූෂිත ලොක්කන්ට දඬුවම් නැතැයි මගී සේවකයන්ගෙන් චෝදනා



කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි 


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු සම්බන්ධයෙන් විවිධ දූෂණ චෝදනා පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් වාර්තාවක් ලබා දී මාස තුනකට වැඩි කාලයක් ගත වුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව එහි සේවකයෝ පවසති.

ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 23 දින නිකුත් කළ එම විගණන වාර්තාවට අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් විසින් කර තිබූ ඇතැම් බරපතළ විෂමාචාරී ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර නොතිබීම සහ බරපතළ විෂමාචාර ක්‍රියා සිදු කර තිබූ නිලධාරීන් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ ඉහළ තනතුරු වල වැඩ බැලීමට දීර්ඝ කාලයක සිට පත්කර තිබීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ආර්.ජී. හෙට්ටිආරච්චි නිකුත් කළ වාර්තාවෙන් චෝදනා කර ඇත.

ඒ අනුව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම තනතුරක වසර හයකට ආසන්න කාලයක් වැඩ බැලීමේ තනතුරක කටයුතු කරන නිලධාරියකු සඳහා ඔහු බඳවා ගන්නා අවස්ථාවේදී මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ තිබී නොමැති බවත් එසේම අදාළ නිලධාරියා විවිධ කාලවකවානුවලදී විවිධ තනතුරු සහ උසස් වීම් සඳහා අවධිමත් ලෙස පත්කර ඇති බවට සාක්ෂි සටහන් සමගින් එම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.

එමෙන්ම එම නිලධාරියා විසින් පෞද්ගලික උපකාරක පන්තිවල නිබන්ධන සකස් කිරීම සඳහා අධිකාරිය සතු ලිපි ද්‍රව්‍ය අවභාවිතා කිරීම, සම්මුඛ පරීක්ෂණයක දී ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම විධිමත් ආකාරයෙන් කාර්යාලයට පැමිණීම සහ පිටවීම සලකුණු නොකිරීම අධිකාරියේ පූර්ව අවසරයකින් තොරව මැතිවරණ නීතියට හා ආයතන සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටීම, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සතුව තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් අස්ථානගත කර තිබීම මගින් අධිකාරියට සිදුව තිබූ අලාභය පියවා නොතිබීම, අධිකාරිය සතු මුදල් පොත අවිධිමත් ලෙස භාවිත කිරීම යන චෝදනා අදාළ විගණන වාර්තාව මගින් දක්වා ඇත.

එසේම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නිසි සුදුසුකම් නොමැතිව අවධිමත් ලෙස උසස් තනතුරුවලට පත් කිරීම, එම නිලධාරියා විසින් සාවද්‍ය විභාග සහතික ඉදිරිපත් කර තිබූ නිලධාරීන් පිළිබඳව විනයානුකූල පියවර නොගැනීම, මාර්ග බලපත්‍ර ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වැරදිකරුවකු ලෙස තීරණය වී තිබීමත් එය නොසලකා අදාළ නිලධාරියාට උසස්වීම් ලබාදීමට කටයුතු කිරීම ආදී චෝදනා රාශියක් සම්බන්ධයෙන් එම නිලධාරියාට එරෙහිවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ චෝදනා එල්ල කර තිබේ.මම සියලු කටයුතු සඳහා දේශපාලන මැදිහත් වීම් සහ බලපෑම් සිදුව ඇති බව සිදු කළ විමර්ශනයේදී හමු වූ ලිපි ලේඛන අනුව තහවුරු වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රවාහන ලේකම් චම්පා එස්. පෙරේරා මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඇය මෙසේ කීවාය. අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කරුණු වාර්තා කර තිබෙනවා. එම අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව ඉදිරියේදී ආණ්ඩුකාර තුමා වෙත කරුණු වාර්තා කර තීරණයක් ගැනීමට කටයුතු කරනවා. මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම අභ්‍යන්තරව පැවැත්වීමටත් කටයුතු කළා.


පුතාගේ යාළුවෙක් ලොකු පුතාට කියලා මල්ලි අසනීපවෙලා රෝහලට ඇතුළත් කළා කියලා - මියගිය සරසවි සිසුවාගේ පියා ඇඩු කදුලින් කියයි









 වැල්ලවාය - අයි.ආර්. ඉන්දික


පුතාගේ අවසන් විභාගෙට කරන්න තිබුණ නිබන්ධනයේ වැඩ අවසන් කරගන්න කියලා ඇවිල්ලා ගියේ ඉකුත්  (22දා) රෑ පුතාගේ යාළුවෙක් ලොකු පුතාට කතා කරලා කියලා තිබුණා. මල්ලි අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළත් කළා කියලා. ඊට පස්සේ දැනගන්න ලැබුණා පුතා නැතිවුණා කියලා. දෙයියනේ අපිට හිතාගන්නවත් බෑ මොනවද මගේ පුතාට සිද්ධ වුණේ කියලා යැයි හදිසියේ මියගිය කැලණි විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන එච්.එම්. නිරෝෂන් නම් සරසවි තරුණයාගේ පියා වන එච්.එම්. සිරිසේන මහතා හැඬු කඳුළින් කියා සිටියේය. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහ පැලැස්ස වසමේ කරමැටිය ගම්මානයේ පදිංචිව සිටි, නිරෝෂන් පවුලේ දෙවැනි දරුවා විය. 1999 නොවැම්බර් මස 10 දින මෙලොව එළිය දුටු නිරෝෂන් කුඩා කල සිට ඉගෙනීමෙහි දක්ෂයෙකු විය. නිරෝෂන්ට පවුලේ කවුරුත් ආදරේට කතා කළෙ සුද්දා යන ආදර වචනයෙනි. ගමේ ඕනෑම පොදු වැඩකටයුත්තකදී මෙන්ම ගමේ ලොකු කුඩා කාටත් ආදරෙන් කතාබහ කළ නිරෝෂන්ට ගමේ කවුරුත් බෙහෙවින් ආදරය කළේය. ඔහු කාගෙත් හිත දිනාගෙන සිටියේ ද ඒ නිසාය.නිරෝෂන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වූ අතර විශ්ව විද්‍යාල වරම් හිමිකරගත්තේ පළමු අවස්ථාවේදීමය.

තම පුතා, නිවසට පැමිණ ගිය අවසන් ගමන ගැන පවසන පියා මෙසේද කියා සිටියේය.අවසාන විභාගේ තියෙනවා කිව්වේ අප්‍රේල් මාසේ.කණ්ඩායමක් එක්ක කරන්න ව්‍යාපෘතියක් තියෙනවා කිව්වා. ඒක කරලා පොත භාරදීලා එනවා කියලා තමයි කිව්වේ මේ මාසේ අවසානේ නිවාඩු දෙනවා කියලා කිව්වා.පුතා මොන දේ කළත් එයාට හරියට පිළිවෙළට කරන්න ඕනේ අපි වුණත් හරියට කළේ නැත්නම් ඒකට කෑ ගහනවා. අපිට කිව්වෙත් කරන වැඩේ හරියට කරන්න කියලා. එයා අවසන් නිබන්ධනය හැදුවෙත් මේ පැත්තේ ලුනුගල ජනපදය අරම්භ කිරීම, එහි විස්තර ගැන පොතක්. ඒකට ගොඩාක් මහන්සි වුණා. තොරතුරු හොයලා එක එක්කෙනා මුණ ගැහෙන්න ගිහිල්ලා වැඩේ හරියට කරන්න තමයි මහන්සි ගත්තේ. අවසන් වැඩ ටික කැම්පස් එකට ගිහින් කරනවා කියලා තමයි ගෙදරින් ගියේ.පුතාට කැම්පස් එකේ කවුරුත් ආදරෙයි. එයාට කැම්පස් එකේ හිටපු ඔක්කොම යාළුවෝ, කාත් එක්කවත් ආදර සම්බන්ධයක්වත් තිබුණා කියලා අපි දැනගෙන හිටයේ නෑ. එයා කියලා තිබුණෙත් නෑ. එයා නිතරම මුල් තැන දුන්නේ ඉගෙන ගන්න හොඳින් අධ්‍යාපනය අවසන් කරන්න.ගෙදරින් යන කොට පොඩි සෙම ගතියක් තිබුණට වෙන කිසිම අසනීපයක් පුතාට තිබුණේ නෑ. ඊයේ රෑ පුතාගේ බෝඩිම් කාමරේ හිටපු යාළුවෙක් තමයි විස්තරේ කිව්වේ. එක සැරේම එයාගේ ඇඟ ගල් ගැහිලා සීතල වෙලා බෙල්ල කඩාගෙන වැටුණා කියලා. වෙන දෙයක් කිව්වේ නෑ. එක සැරේම පුතාට මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා අපිට හිතාගන්න බෑ. දහදුක් විඳලා උගන්වලා අවසානේ පුතාගේ මරණ තමයි අපිට දකින්න සිද්ධ වුණේ යැයි පියා හඬමින් අප සමග කියා සිටියේය.





කැලණියේ සිසුවෙක් සිසුවියක් හිටිගමන් මරුට




කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු සහ සිසුවියක හදිසියේ රෝගී වී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.මෙසේ මියගොස් ඇත්තේ මානව ශාස්ත්‍ර පීඨයේ සිවුවැනි වසරේ සිසුවියක වූ ගිරාඳුරුකෝට්ටේ, දිවුලපැලැස්සේ ලක්මිණි  දිසානායක නමැති 23 හැවිරිදි සිසුවියක  සහ මොනරාගල, බෝගහපැලැස්ස, බඩල් කුඹුර පදිංචි නිරෝෂණ ලක්මාල් නමැති  සමාජ විද්‍යා  පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යායන අංශයේ හතර වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.

ගිරාඳුරුකෝට්ටේ, දිවුලපැලැස්සේ පදිංචි ලක්මිණි දිසානායක සිසුවිය එම පවුලේ දෙවැනි දරුවාය. ඇයට උපාධිය සම්පූර්ණ කිරීමට තවත් ඉතිරිව තිබුණේ මාස තුනක කාලයක් බව ඇගේ ඥාතීහු පවසති.බඩ රිදෙන බව පවසමින් ඇය පසුගිය 19 වැනිදා යෙහෙළියන් කිහිප දෙනකුට පවසා ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිරිබත්ගොඩ රෝහලට ගොස් ඇත. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ සුළු සැත්කමක් කිරීමට අවශ්‍ය බවයි.ඒ අනුව ඊට අදාළ පහසුකම්වලින් යුත් රාගම මහ රෝහල වෙත යොමු කර රෝහලේදී නියමිත සැත්කම සිදුකර අනතුරු වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ඥාතීහු සඳහන් කරති.එදින වෛද්‍ය උපදෙස් මත කිසියම් එන්නතක් ලබා දී ඇති අතර පසු දින හෙවත් මාර්තු 21 දිනයේදීත් එන්නතක් ලබා දී ඇත. ඉන්පසුව එනම් 21 වැනිදා ඇය මියගොස් ඇති බවත් දන්වා තිබේ. 


ඇයගේ මෘත දේහය 23 වැනිදා දිවුලපැලැස්සේ නිවෙසට රැගෙන පැමිණි අතර ඒ සමගම තම සහෝදරියගේ අකල් වියෝවෙන් කම්පාවට පත්වූ සරසවි සිසු පිරිසක්ද පැමිණියහ.මියගිය ලක්මිණී සිසුවියගේ අවසාන කටයුතු දිවුලපැලැස්ස මහවැලි ගම්මාන පොදු සුසාන භූමියේදී ඊයේ 25 වැනිදා සිදු කරනු ලැබීය. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නංගර සිසු නේවාසිකාගාරයේ සිසුවකු පෙරේදා (24) රාත්‍රි හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්, කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.


මෙසේ මිය ගොස් ඇත්තේ මොනරාගල, බෝගහපැලැස්ස, බඩල්කුඹුර පදිංචි නිරෝෂණ ලක්මාල් නමැති සමාජ විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ හතර වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.එම සිසුවා පෙරේදා (24) රාත්‍රි හදිසියේ රෝගී වූ අවස්ථාවේදී රෝහල කරා ගෙන යෑම සඳහා වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා පාලනාධිකාරියට දැන්වූ නමුත් පැය බාගයකට වැඩි කාලයක් ඒ සඳහා ගත වූ හෙයින් එම සිසුවා රෝහලට ගෙනයාම ප්‍රමාද වූ බවට චෝදනා එල්ලවෙයි.කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී එම සිසුවා මියගොස් සිටි බවත්, කෙසේ නමුත් මීට විනාඩි කිහිපයකට පෙර රෝහලට රැගෙන පැමිණියේ නම් එම සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් තිබූ බව කිරිබත්ගොඩ රෝහලේ වෛද්‍යවරුන් පැවැසූ බව සිසුහු කියති.


පාලනාධිකාරිය වාහනයක් ලබාදීමට ප්‍රමාද වූ හෙයින් එම සිසුවා මිය යාමට හේතු වූ බව පවසමින් කැලණිය විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් ඊයේ (25) අලුයම් කාලයේ සිට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිට දොරටු වසා දමා විශ්වවිද්‍යාලයේ මාර්ගය අසල රැඳී සිටිමින් විරෝධතාවක් පැවැත්වූහ. සිසුන් උප කුලපතිනිය සමඟ සාකච්ඡාවකින් පසුව සිසුහු දොරටු විවෘත කරමින් විරෝධතාව නතර කර අධ්‍යයන කටයුතුවල නිරත වූහ.කෙසේ නමුත් ඊයේ (25) උදෑසන සිට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ විභාග කටයුතු නිසි පරිදි සිදුවූ බව පාලනාධිකාරිය පවසයි..

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙසේ පැවැසුවාය.විශ්වවිද්‍යාලයේ සිසුන් පවසන පරිදි හදිසියේ රෝගී වූ සිසුවා රෝහලට ගෙනයාමට ප්‍රමාදයක් සිදුවුණා දැයි තහවුරු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ උපදේශකවරුන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයේ තිදෙනකු පත්කර කඩිනම් විමර්ශනයක් ආරම්භ කළා. පරිපාලනය තුළ එසේ අතපසුවීමක් වෙලා තිබෙනවා නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාලක සභාවට දන්වා තීරණයක් ගන්නවා. කන්නංගර සිසු නේවාසිකාගාරයේ සිසුවකු හදිසියේ රෝගී වී එම සිසුවා රෝහලකට ගෙන යෑම සඳහා වාහනයක් එවන්න යැයි කාර්ය මණ්ඩයට දන්වා තිබෙනවා. ඒ අවස්ථාවේ 1990 සුව සැරිය ගිලන් රථයකුත් විශ්ව විද්‍යාලයේ වාහනයකුත් විශ්වවිද්‍යාලයෙන් පිටත පිහිටි කන්නන්ගර සිසු නේවාසිකාගාරය වෙත පිටත් කර තිබෙනවා. 


කෙසේ නමුත් ශිෂ්‍යයන් ත්‍රිරෝද රථයකින් සිසුවා රෝහලට ගෙනයාමට කටයුතු කර තිබුණත් අතරමගදී විශ්වවිද්‍යාල වාහනයට නංවාගෙන රෝහල කරා රැගෙන ගොස් තිබෙනවා. එහෙත් ශිෂ්‍යයන් කියනවා රෝගී සිසුවා රෝහලට ගෙන යන්න ප්‍රමාදයක් සිදුවුණා කියලා. ඒ නිසා රෝගියා මියගියා කියා ඔවුන් පවසනවා. එය එසේමද වුණේ කියා තහවුරු කරගන්න විමර්ශනයක් ආරම්භ කළා. සතියක් ඇතුළත ඒ තීරණය අනුව ගත යු ක්‍රියාමාර්ග පිළිබඳ පාලක සභාවට දන්වා තීරණයක් ගන්නවා.


මෙම සිසුවා අවසන් වසරේ ඉගෙනීම ලැබූ සිසුවෙක්. ශිෂ්‍යයාගේ අභාවය පිළිබඳ මා කනගාටුවට පත්වෙනවා. මොනරාගල ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක සිට පැමිණ ඉගෙන ගත් සිසුවෙක්. මවක් හැටියටත් දුකයි. සිසුවාගේ මවුපියන්ට අපට පුළුවන් විදියට උදවු කරනවා. මේ වන විට විද්‍යා පීඨයේ විභාග කටයුතු නිසි පරිදි සිදුවෙනවා. එයට බාධාවක් ඇති වී නැහැ. මම උදේම ශිෂ්‍යයන් සමඟ සාකච්ඡා කළා. ගේට්ටු වහගෙන ඉඳීමෙන් කාටවත් පලක් නැහැ කියලා සිසුන්ට කිව්වා. මින් ඉදිරියට මෙවැනි දේවල් සිදු නොවන අයුරින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා යයි නිලන්ති ද සිල්වා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

 එස්.එස්.එස්. ගුණරත්න

නරක් වූ මාළු කන්ටේනර් 102 ගැන CIDයට පැමිණිලි කරන්න








දිනේෂ් සමරකෝන්


නරක් වූ මාළු කන්ටේනර් 102ක් රට තුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දෙන ලදි.

එසේම ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු මෙහෙයවන ලෙසද එම අවස්ථාවට සහභාගි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන ලදි.සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ තරක්වූ මාළු බහාලුම් සහිත නැවක් කොළඹ වරායෙන් රට තුළට ගැනීම පිළිබඳව විගණන විමසුමෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳ පරීක්ෂා කිරිම සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණ.සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර් 102ක් (මෙ.ටො 2700කට අධික) සහිතව ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු සීමාවේ කාර්මික දෝෂයකට ලක්වී ඇත. නෞකාවේ විදුලිය බිඳවැටීම නිසා මෙම මාළු නරක්වීමට ලක්ව ඇති බවත් අනාවරණය විය. ඒ අනුව නැව 2022.01.13 දින කොළඹ වරාය වෙත ළඟා වී ඇති අතර නැවෙහි අලුත්වැඩියා කටයුතු නිමවී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීම ඔස්සේ ගැටලු රැසක් ඇතිවී ඇති බවට විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා මෙහිදී කරුණු දක්වා සිටියේය.

හදිසි අවස්ථාවක නෞකාවට සිදුවන දෝෂයකදී ආසන්නතම වරායේ යම් පහසුකම් ලබා දීම සිදු කළද මෙරට රේගු ආඥා පනතට අනුව පළුදු වූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩරෝග සෑදෙනසුලු මාළුවර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම්” බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩබෑමට තීරණය කිරීම ඉතා ගැටලු සහගත බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.මෙම නරක්වූ මාළු මෙරටට ගොඩබෑම පවතින නීතියට පටහැණි බැවින් රේගුව විසින් පත් කරන ලද ඉහළ රේගු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත මෙරටට ගැනුම්කරුවකු, ආනයනයකරුවකු ලෙස යොදා ගනිමින් තව කස්ඩෙක් (CUSDEC) අවසරයක් ලබාගෙන මෙම බහාලුම් මෙරටට ගොඩබා ඇති බවත් මෙහිදී අනාවරණය විය. ආනයනය නොකළ බහාලුම් ආනයන ලෙස පෙන්වා දෙමින් මෙලෙස සිදු කිරීම වංචාවක් බවත් මෙහිදී සාකච්ඡා විය.

එසේම ආනයනයක් ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති ඉනිවොයිසියේ දිනය 2021.12.10 ලෙස සඳහන්ව ඇති බවත්, එය නැව වරායට පැමිණි 2022.01.13ට පෙර දිනයක් බවත් ඒ අනුව එය ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලන ජෙනරාල්තුමිය පැවසුවේ රේගු කමිටුවේ වාර්තාව පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත අදාළ ආයතනය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම මාළු ආනයනයට ඉල්ලීමක් යොමුවූ බවත්, ආනයන හා අපනයන පාලන පනත අනුව අදාළ අවසරය හිමි වූ බවත්ය.

බහාලුම් 102න් 4 ක් විනාශ කිරීමට ලක් කළ බවත්, ඉතිරි 98න් 43 ක් පොහොර නිපදවීම සඳහා යොදා ගත් බවත්, තවත් 40ක් ප්‍රතිඅපනයනය කළ බවත්, තවත් 15ක් මෙරට තවමත් ඉතිරිව පවතින බවත් මෙහිදී අනාවරණය විය.2023 ජූලි මාසයේදී සිදු කළ භෞතික පරීක්ෂාවකදී ඉතිරි වී ඇති බහාලුම් 15 ඇති නරක් වූ මාළුවලින් අධික දුගද වහනය වන බවට නිරීක්ෂණය වී ඇති බවද කාබනික පොහොර සෑදීමට යැයි පවසමින් රට තුළට ගත් මාළු බහාලුම් මෙලෙස ප්‍රතිඅපනයන කිරීමත් ගැටලු සහගත බවද සාකච්ඡා කෙරිණ.එසේම පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ලබාගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය, සැමන් නිෂ්පාදනය කිරීම වීම ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පැමිණ සිටි රේගු නිලධාරීන් පැවසුවේ එය ව්‍යාපාර දෙකක් බවත්, සැමත් සෑදීම සඳහා මෙම මාළු යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවත්ය.






පොලිස්පති දේශබන්දුට එරෙහි නීතිපති ගොනුකළ අභියාචනය සලකා බැලීම ඔක්තෝබර් 03දා

 


බුද්ධිමාල් රුබේරු

‘ගෝඨා ගෝගම' අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන්නැයි ඉල්ලා තමන් නිකුත් කළ ලිපිය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාවට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචන පෙත්සම ඔක්තෝබර් 03වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (25දා) දින නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ. නීතිපතිවරයා ගොනු කර ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර ඇත.

'ගෝඨා ගෝගම' අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් සිටි වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන්නැයි දැනුම් දෙමින් 2022 අප්‍රේල් 19 වැනිදා නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපියට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව අභියාචන පෙත්සමේ සඳහන් වේ.එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කරන්නැයි දැනුම් දෙමින් 2022 අප්‍රේල් 19 වැනිදාතමින් යුතු ලිපිය බල රහිත කරමින් රීට්  ආඥාවක් නිකුත් කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.



නඩු ලේඛනයක් හැපූ නීතිඥ නෝනාගේ කබාය තාවකාලිකව ගලවයි



නඩු ගොනුවක ලේඛනයක් කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවට නීතිඥවරියකට එරෙහි නඩුව අවසන් වනතුරු ඇගේ නීතිඥභාවය අත්හිටුවීමට තීරණය කළේය.වසර 12 කාලයක් නීතිඥවරියක වශයෙන් වෘත්තියේ යෙදුණු විත්තිකාර නීතිඥවරිය කළ ක්‍රියාව බරපතළ ක්‍රියාවක් වශයෙන් සැලකිය යුතු යැයි නීතිඥවරියගේ නීතිඥභාවය අත්හිටුවමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවැසීය.වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා නඩුව පවරා ඇති මෙම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගාමිණී අමරසේකර ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ තිබු නඩු ගොනුවක ලේඛනයක් බලහත්කාරයෙන් රැගෙන එය කටේ දමා හපා විනාශ කිරීමෙන් නීතිඥවරයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන ලදැයි විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ඉදිරිපත් කර ඇත.නඩුව කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය කළ විනිසුරු මඩුල්ල වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරියට එරෙහි නඩුව අප්‍රේල් 02 වැනිදා විභාගයට ගැනීමට ද තීරණය කළේය.

 රන්ජන් කටුගම්පොළ 

ඇෆ්ගන් කාන්තාවන්ට යළි අවස්ථාවක් දෙන ප්‍රංශයේ බෙගම් ටීවී








ඇෆ්ගනිස්තානයේ යළිත් ක්‍රියාත්මක තලේබාන් පාලනය හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටින එරට කාන්තාවන් වෙනුවෙන් යම්කිසි සහනයක් ලබාදීමේ අරමුණින් ප්‍රංශය කේන්දු කරගත් නව චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක් 'බෙගම් ටීවී' නමින් පසුගියදාට යෙදුණු ලෝක කාන්තා දිනයේදී ආරම්භ වී තිබේ.පැරිස් අගනුවර පිහිටි මැදිරි සංකීර්ණයක සිට විකාශය කෙරෙන මෙම රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවරිය වන්නේද ඇෆ්ගනිස්තාන-ස්විට්සර්ලන්ත ව්‍යවසායිකාවක වන හමීඩා අමාන්ය. මෙම රූපවාහිනි නාලිකාව හරහා ඇෆ්ගනිස්තාන ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට තලේබාන් සංවිධානය විසින් අහිමිකර ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඔවුන් වෙත ලබාදීම අපේක්ෂාවයි.

“මෙහි අරමුණ වෙන්නේ පාසල් අධ්‍යාපනය සහ දැනුම  නිවෙස් තුළට රැගෙන යාමයි. ඒ වගේම, තොරතුරු සහ විනෝදාස්වාදනය හරහා ලැබෙන සුළු සතුටක් සමග කාන්තාවන්ගේ සිත් සුවපත් කිරීමත් අපේක්ෂාවයි." යනුවෙන් ඇය පවසයි.පැරිසියේ ක්‍රියාත්මක කාන්තාවන් සදහා වන රාජ්‍ය නොවන සංවිධානයක් වන බෙගම් සංවිධානය මෙම නාලිකාව පිටුපස සිටියි. දැනටමත් ඔවුන් ගුවන් විදුලි නාලිකාවක්ද පවත්වා ගෙනයයි. අලුත් ආරම්භවූ මෙම රූපවාහිනි නාලිකාවේ තිරය පිටුපස සිටිමින් බොහෝ රාජකාරි කරන්නේ කාන්තාවන්ය.

මෙම නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේද තලේබාන් පාලනයට අකමැතිව එරටින් ප්‍රංශය වෙත පලාගිය ඇෆ්ගන් තරුණියන්ය. ඔවුන් ඇෆ්ගනිස්තාන රූපවාහිනි නාලිකාවන්හි දැකගත හැකි ආකාරයට සිය මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කරගනිමින් කැමරාව ඉදිරියේ පෙනී නොසිටීම මෙහි ඇති විශේෂත්වයයි.මේ නිවේදිකාවන් අතරින් එක් අයෙකු වන 25 හැදී දීබා  අක්බාරි ඉතාමත් හොදින් සිය වැඩසටහන මෙහෙයවයි.

එම වැඩසටහන් අතර ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන් මුහුණදෙන විවිධාකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිළිබදව සාකච්ඡා කිරීමක්ද සිදු කෙරේ.“ඇෆ්ගනිස්තාන පිරිමියෙකු කාන්තාවක හා විවාහ වීමත් සමග ඇය නිවසේ මුල්ලකට වැටෙනවා. ඇය ගෙදර වැඩවලට පමණක් සීමා කෙරෙනවා. ඇයට තියන්නේ ජීවිත කාලය පුරාම දරුවන් වැදීම පමණයි. කොහොම නමුත් ඇයගේ අධ්‍යාපනික කටයුතු සහ යම් පුහුණුවක් ලැබීමේ අවස්ථාව වැළැක්වීම ප්‍රචණ්ඩත්වයක්. ” යනුවෙන් අක්බාර් පවසයි.

2021 අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන් යටතට පත්වීමත් සමග එරට කාන්තාවන් කෙරෙහි දැඩි සීමාවන් පැනවීමට ඔවුන් පියවර ගෙන තිබේ. එහිදී ඉස්ලාමීය ජනරජයක් ලෙස එරට ක්‍රියාත්මක ෂරියා නීතිය අනුවද කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලින් ඈත් කර ඇති අතර, ඔවුන් අනිවාර්යයෙන්ම සිය මුහුණ වසාගෙන සිටිය යුතු බව දැනුම් දී තිබේ.එසේම ගැහැණු දරුවන් සහ කාන්තාවන්ට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කර ඇති අතර, රජයේ රැකියවන්හි නිරත වූ කාන්තාවන් දහස් ගණනකටද එම රැකියා අහිමි වී ඇත. ඒ වෙනුවට ඔවුන්ට වැටුප් සහිතව නිවෙස්වලට වී සිටින ලෙස දැනුම්දී තිබේ. මෙම නාලිකාවේ දෛනික වැඩසටහන් පෙළගැස්ම යටතේ වැඩි කාලයක් ද්විතියික අධ්‍යාපනික වැඩසටහන් විකාශය කරයි. ඒවා ඩාරි සහ පෂ්ටෝ  යන ඇෆ්ගන් භාෂාවලින් නිෂ්පාදනය කෙරේ. පෙරවරුවේදී විකාශය වන වැඩසටහන නැවතත් සන්ධ්‍යාවේදීද විකාශය කරයි.එසේම,ඇෆ්ගනිස්තාන ජාතික විෂයමාලාව ආවරණය වන පරිදි සකස් කළ වීඩියෝපට 8,500ක්ද මෙම නාලිකාව මගින් නිෂ්පාදනය කර සිය සහෝදර වෙබ් අඩව්ය වෙත එක්කර තිබේ. අන්තර්ජාල පහසුකම සහිත ඕනෑම අයෙකුට මේවා නැරඹිය හැකිය.

මේ අතර, සෑම දිනකට සන්ධන ගුවන් කාලය පැය තුනක විනෝදාස්වාදන වැඩසටහන් වෙනුවෙන් වෙන් කිරීමටද නාලිකාව කටයුතු කර තිබේ. එහිදී ශරීර සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන්ද පවතී.තලේබාන් සංවිධානය මගින් කාන්තාවන්ට බාහිර සමාජය සමග පවත්වන සබදතා සම්බන්ධයෙන් බොහෝ සීමා පැනවුවද මෙම කාන්තාවන් නිවෙස්වලටම වී සිටීමත් සමග ඔවුන්ට රූපවාහිනී නාලිකා වෙත යොමුවීමේ අවස්ථාවක් උදාවීම 'බෙගම්  ටීවී' හි උත්සාහය යම් තරමකින් හෝ සාර්ථකවීමට හේතුවකි.බී.බී.සී. ආයතනය පවා සිදුකළ සමීක්ෂණයකට අනුව අද වනවිට ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් 80%ක ප්‍රතිශතයක් දෛනිකව රූපවාහිනිය නරඹන බව අනාවරණයවී තිබේ.



කෙහෙළියට ඇප ඉල්ලා දියණියගෙන් පෙත්සමක්

 


ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සදහා භාවිතා කරන “ඉමියුනෝග්ලෝබින්" නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල්කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තම පියාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන

03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (25) දැනුම් දුන්නේය.මෙම ප්‍රතිශෝධන අයැදුම්පත කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් අධිකරණයට කරුණු වසන් කරමින් උසාවියට ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර ගොනු කර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එසේ දැනුම් දුන්නේය.

තම පියාට එරෙහිව නඩුවක් පවරා පවත්වා ගෙන යෑමට තරම් සාක්කි නොතිබියදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කර ඕනෑම කොන්දේසියක් යටතේ තම පියාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජයති කා රඹුක්වැල්ල මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත. 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මඟින් සිය ඇප අයැදුම්පත් ඉදිරිපත් කරන හිටපු සෞසෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා අධිකරණ නියෝගයකට අනුව රහස් පොලිසිය හමුවේ පෙනී සිට මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ දුන් තමා පසුගිය පෙබරවාරි මස පළමුවැනිදා රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කළ බව සඳහන් කර ඇත.ඉන් අනතුරුව තම සේවාදායකයා කිහිප වරක් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ඒ සැම අවස්ථාවකම තමාට ඇප නියම කරන ලෙස නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉල්ලීම් කළත් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තම සේවාදායකයා දිගින් දිගටම රිමාන්ඩ් බාරයට පත් කළ බවත් සඳහන් කරන ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා මෙම වැරදි කළ බවට කිසිදු සාක්කියක් නොමැති බවද සඳහන් කර ඇත.

මෙම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් තම සේවාදායකයා මේ වන විට මාස 1 1/2ක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින බව පෙන්වා දෙන ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලීමක් ද කළේය. පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මූලික විරෝධතාවයක් මතු කරමින් පෙත්සමෙන් ප්‍රතිශෝධනය කිරීමට ඉල්ලා ඇති සැකකාර කෙහෙළිය රඹුක් වැල්ල නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කිරීමට අදාළ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් මෙම පෙත්සම සමග ඉදිරිපත් කර නැතැයි කීවාය.

එය බරපතළ ඌනතාවක් බවත් උසාවියට ඉදිරිපත් කර නැති නියෝගයක් ප්‍රතිශෝධනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙම ප්‍රතිශෝධන පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රහ කරන්නැයි ඉල්ලා සිටියාය.පෙත්සම්කාර කෙහෙළිය රඹුක් වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් මෙතෙක් තමන්ට ලැබී නැතැයි කීය.

මෙම සිද්ධියට අදාළව මාස 1 1/2 කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප ගැනීම වැළැක්වීමේ අරමුණින් මෙම කටයුත්ත කරන බවට චෝදනා කළ අනූජ ප්‍රේමරත්න මහතා අවශ්‍ය නම් ඒ බව තහවුරු කර ගැනීමේ හැකියාව මෙම අධිකරණයට ඇතැයි ද සඳහන් කළේය. මේ පිළිබඳව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසා අධිකරණයට කරුණු දක්වන ලෙස සිය රෙජිස්ට්‍රාර්වරියට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ කටයුතු මද වේලාවකට නැවැතුවේය.

ස්වල්ප වේලාවකට පසු අධිකරණ කටයුතු යළි ආරම්භ කළ අවස්ථාවේ දී මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් අධිකරණ නියෝග අනුව මේ සම්බන්ධයෙන් තමා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසූ බවත් පෙත්සම්කරුගේ නීතිඥවරුන් පසුගිය පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශයට පත් කළ නියෝගයේ පිටපතක් ඉල්ලා ඇතත් එය සකස් වෙමින් පවතින නිසා මෙතෙක් එය ඔවුන්ට ලබාදී නැති බව ඇය කීවේ යැයිද පැවසුවාය.

ඉන් අනතුරුව යළිත් වරක් අධිකරණය ඇමතූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා " ඖෂධ හිගයක් නැති අවස්ථාවක ඖෂධ හිඟයක් ඇතැයි කියමින් තම සේවාදායකයා කැබිනට් මණ්ඩලය නොමග යැවූ බවට චෝදනා කළත් අප රටට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කොවිඩ් වසංගත තත්වයෙන් පසු වෙනස් වුණේ'' යැයි ද කීය.සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් කිරීම ආරම්භ කළ බවත් එම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත යුතු බවත් කී අනුජ ප්‍රේමරත්න මහතා ඒ අනුව ඖෂධ සැපයීමේ කාර්යය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට තීරණය කෙරුණු බවත් කීය.

ඖෂධ මිලදී ගැනීමේදී මිල ගණන් කැඳවීම් කළේ තම සේවාදායකයා නොවන බවත් එය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව රාජකාරි කළ රාජ්‍ය නිලධාරීන් බවත් පෙන්වා දුන් අනුජ ප්‍රේමරත්න මහතා මේ තත්වය තුළ අදාළ ඖෂධ මිලදී ගැනීමේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් වරදක් කළ බවට තම සේවාදායකයාට චෝදනා එල්ල කිරීමට හැකියාවක් නැතැයි ද කීය.මෙම සිද්ධියට පාදක වූ ඖෂධ මිලදී ගැනීම පිළිබඳ තොරතුරු අනාවරණය වූ වහාම එය නැවැත්වීමට කටයුතු කළේත් මෙම වංචාව සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළේත් තම සේවාදායකයා යැයි කී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය ඖෂධ වර්ග 182 ක හිගයක් ලංකාවේ ඇති බවත් සති තුනක කාලයක් තුළ එම ඖෂධ ගෙන්වා නොගතහොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිය හැකි බවට සැකකාර හිටපු අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීම හේතුවෙන් මෙම නඩුවට පාදක ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම සිදුව ඇතැයි ද කීවාය.

හිග බව සඳහන් කළ ඖෂධ වර්ග 182 මොනවා ද? යන්න පැහැදිලි කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වූ මෙම සැකකරු අසමත් වී ඇතැයි ද සිද්ධියෙන් පසු 2022 සැප්තැම්බර් සිට 2023 ජූනි දක්වා පැවති ඖෂධ තොග පිළිබඳව කළ විමර්ශනයේ දී අනාවරණය වුණේ සැකකරු අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් ආකාරයේ කිසිදු ඖෂධ හිගයක් නොතිබූ බව යැයි කී ලක්මිණි ගිරිහාගම මෙන විය මෙම ඖෂධ මිලදී ගැනීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ මුල් ගොනුව පවා මේ වන විට සොයා ගැනීමට නැතැයි ද කීවාය. 

ඉන්දියානුණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගත හැක්කේ ලියාපදිංචි පෞද්ගලික සමාගම් වලින් පමණක් වුවත් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම නීතිය උල්ලංඝණය කරමින් රුපියල් බිලියනයක ටෙන්ඩරයක් ප්‍රශ්නගත සමාගමට ප්‍රදානය කර ඇතැයි ද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණ ගිරිහාගම මෙන විය මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් මෙම ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියාය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතීඥවරුන් වන ෂෙනාල් මතුගම, ඊෂාන් ගම්පලගේ, නතාෂා ද අල්විස්, විවේන්ද්‍ර රත්නායක සහ නයනා දිසානායක සමඟ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය. වග උත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය පෙනී සිටියාය.


 මනෝප්‍රිය ගුණසේකර

දරුවන්ට විෂය දැනුම වගේම පෝෂණයේදීත් මුල්තැන දෙනවා

 



රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයන් දීමට නම් විෂය දැනුම දී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට දිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා එ අනුව පාසල් අධ්‍යාපනයේ සහ විභාග ක්‍රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවැති 2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.දිවයිනේ 1-5 දක්වා ශ්‍රේණි වල සියලුම පාසල් සිසුන්ට පාසලේදී ප්‍රධාන ආහාර වේලක් දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණ වේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන දිනපතා සිසුන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට පෙර පෙරවරු 7.30 ත් 8.30ත් අතර කාලයේදී මෙම උදෑසන ආහාර වේල දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.


' නිරෝගී ක්‍රියාශීලි දරු පරපුරක්' යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටමේ වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම ය න මූලික අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂිත ය.රජයේ පාසල් 9134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් ලක්ෂ 16ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 16,600ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබයි.මෙම පෝෂණ වැඩසටහනට අවශ්‍ය ආහාර වර්ග ප්‍රධාන දේශීය සැපයුම්කරුවන් විසින් සපයනු ලබන අතර, එය සෘජු හා වක්‍ර නව රැකියා උත්පාදන ඔස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමක් කිරීමට ද දායකවීමකි.

මෙම පාසල් ආහාර වැඩසටහනට අදාළ සියලු මූල්‍ය පාලනයන් විනිවිදභාවයක් හා වාර්තා සහිතව පවත්වාගෙන යෑමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙයි. ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එහි සියලු ප්‍රධාන මෙහෙයවීම හා අධීක්ෂණ කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවට ඊට අදාළ කාර්යයන් පවරා ඇත.මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් විදුහල්පතිනි ප්‍රියංගිකා විජේසිංහ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිහිවටන තිළිණයක් පිළිගැන්වූවා ය.උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“අද පාසල් ආහාර වැඩසටහන ආරම්භ වනවා. අධ්‍යාපනය සම්පූර්ණ වීමට නම් සිසුන්ට විෂය දැනුම දී විභාගවලට ඉදිරිපත් කිරීම වගේම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළ යුතුයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙම පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මන්දපෝෂණය රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අප අස්වැසුම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී ජනතාවට දෙන මූල්‍ය සහනය තුන් ගුණයකින් ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යාමට ආදායම් මට්ටම පමණක් හේතුවී නැහැ. ඇතැම් සිසුන් පාසල් වෙත පැමිණීමට නිවසින් පිටවන්නේ උදෑසන උදෑසන 6.00ට පමණ. එවිට ඔවුන්ගේ උදෑසන ආහාර වේල මගහැරෙනවා. ඒ වගේම දිවා ආහාර වේලත් මගහැරී යනවා. ඒ නිසා කුමන තරාතිරමකට අයත් වුවත් කුමන ජාතියකට, ආගමට අයත් වුවත් සියලු දරුවන් මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. ඒ නිසා සිසුන්ට පාසල් තුළ ආහාර වේලක් ලබාගැනීමට අවස්ථාව සලසාදීම ඉතා වැදගත් වෙනවා.

අප නවීන තාක්ෂණය සමග ඉදිරියට යා යුතුයි. එම තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ අනුව පාසල් අධ්‍යාපනය සහ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව ද අප අවධානය යොමු කර තිබෙනවා. මෙම නවීන තාක්ෂණ දැනුම සමග දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ද වර්ධනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ද අප වැඩසටහන් සැලසුම් කර තිබෙනවා". අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ. මේ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද කුමාර් යන මහත්වරු ද සහභාගී වූහ.

අංජුල මහික වීරරත්න

බූස්ස හිරගෙදර රැවුල් කුමාරයාගේ ඉනේ දුරකතනයක්

 



බූස්ස අධි ආරක්ෂිත ඛන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රැවුල් කුමාර නැමැත්තාගේ ඉනෙහි සඟවා තබාගෙන තිබූ බව කියන ජංගම දුරකතනයක් පෙරේදා (24) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


රැවුල් කුමාර නැමැති සංවිධානාත්මක අපරාධකරුවා රඳවා සිටින විශේෂ මැදිරියේ කළ සෝදිසි මෙහෙයුමක දී රැඳවියාගේ ඉනෙහි සඟවා ගෙන තිබූ සිම්පතක් ජංගම දුරකතනයක්, චාජර් හා අමතර බැටරියක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බළකාය නිලධාරීන් භාරයට ගෙන තිබේ.සැකකරු මෙම ජංගම දුරකතනය කිසියම් අපරාධයක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට යොදාගත්තේ ද යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීමට නියමිතය.

 ගයාන් සූරියආරච්චි

පොඩ්ඩක් වැස්සත් අව්ව ගැන හිතන්න

 



අවදානම් කාණ්ඩ ලෙස සැලකෙන කුඩා දරුවන් ගර්භනී මාතාවන් වැඩිහිටියන් සහ දීර්ඝ කාලීන ලෙඩ රෝගවලින් පසුවන්නන් මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳ තවදුරටත් වඩාත් සැලකිලිමත් වීම අනිවාර්යයැයි කොළඹ ඊජ්ජේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අධික රස්නයට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය හටගැනීමෙන් ක්ලාන්ත ගතිය, සිහි නැතිවීම, වලිප්පුව වැනි රෝගි තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළේය.මෙම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ජලය සහ තැඹිලි, දෙහි, සුප් වැනි ලවණ සහිත ද්‍රව්‍ය හැකි තරම් පානය කළ යුතු බවත් දීපාල් පෙරේරා මහතා කීවේය. එමෙන්ම නවතා ඇති මෝටර් රථ තුළ කුඩා දරුවන්, සුරතල් සතුන් රඳවා තැබීමෙන් ඔවුන්ගේ ජීවිත පවා අහිමි වීමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්ට දහඩිය බිබිලි කුෂ්ට ආදිය ඇතිවිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය. දවසට කිහිප වතාවක් ජලයෙන් සේදීම සහ තෙත රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කිරීමෙන් මෙම තත්වය අවම කර ගැනීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.වැඩිම අව්රශ්මිය පතිත වන්නේ පෙරවරු එකොළහේ සිට පස්වරු දෙකයි තිහ දක්වා බැවින් එම කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම අවම කර ගැනීම අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.

තදින් අව් රශ්මිය තිබියදී පාසල් දරුවන් එළිමහනේ රැදී සිටීම මෙන්ම රැකියාවැති පිරිස් වැඩමුර අවම වන ලෙස සකස් කරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.වැඩ බිම් වලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, විවේක ගැනීම, නිවෙස් තුළ සිටින්න වැඩිහිටියන් සහ රෝගීන් පිළිබඳ සැලකිලිමත් වීම, එළිමහනේ අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම, සුදු හා ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම සිදු කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා තවදුරටත් පැවැසීය.දිවයිනේ ප්‍රදේශ කීපයකට මේ දිනවල වැසි පතිත වුවද එය උෂ්ණත්වය අඩුවීමට තරම් තවම ප්‍රමාණවත් නැතැයිද කාලගුණ විද්‍යාඥයෝ පවසති.

 නිමල කොඩිතුවක්කු

මෛත්‍රී පැය 6ක් සීඅයිඩියේ

 



පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව ඔහුගෙන් ඊයේ (25) පැය හයකට ආසන්න කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බව රහස් පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පිටුපස දොරටුවෙන් රහස් පොලිසියට ඇතුළු වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ප්‍රකාශය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් ඇත්තේ ද එම දොරටුවෙන්ම බව රහස් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම ප්‍රකාශයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසියේ පෙනී සිටින ලෙස පෙරේදා සිදු කරන ලද දැනුම් දීමක් මත ඔහු පෙරවරු දහයයි පහළොවට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේය.

දැඩි ආරක්ෂක රැකවල් මැද පැමිණි හිටපු ජනාධිපතිවරයා එහි ප්‍රධාන ප්‍රවේශ දොරටුවෙන් ඇතුළු නොවී වෙනත් මාර්ගයක් ඔස්සේ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට ගොස් සිටියේය. ආරක්ෂක හේතූන් මත ප්‍රධාන දොරටුවෙන් ඇතුළු නොවී විකල්ප මාර්ගයක් ඔස්සේ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ඒමට කටයුතු යෙදූ බව ප්‍රභූ ආරක්ෂක පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් රහස් පොලිසියේ ප්‍රධාන දොරටුව ආසන්නයේ රැඳී සිටි බව එහි ආරක්ෂක කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීහු කීපදෙනෙක්ම පැවැසූහ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් විසි දෙවැනිදා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබිණි.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර මේ ගැන වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබූ අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කර තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඊයේ රහස් පොලිසි හමුවේ පෙනී සිටි අතර, ඔහු රහස් පොලිසියට යනු ලැබුවේ නීතිඥ සංදිප්ත සූරියආරච්චි මහතාද සමගිනි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පෙම් පලහිලව්වකට ගුටි කෙළගෙන: කෙල්ලෝ 6 යි කොල්ලෝ 4යි රෝහලේ



කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පෙරේදා (24) රාත්‍රී 10.00ට පමණ සිසුන් දෙපාරිශ්වයක් අතර ඇති වූ ගැටුමකින් සිසුවියන් හය දෙනකු සහ සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. සිසුවියෝ දෙදෙනෙක් සහ සිසුහු තිදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ද, සිසුවියෝ සිවු දෙනෙක් සහ එක් සිසුවෙක් පොල්ගොල්ල රජයේ ප්‍රාදේශීය රෝහලේ ද ප්‍රතිකාර ලබති.ප්‍රේම සම්බන්ධතාවක් මත හටගත් බව කියන ආරාවුලක් දුර දිග යෑම මෙම ගැටුමට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 

එම අධ්‍යාපන ආයතනය බාරව සිටින  පුද්ගලයා මේ සිද්ධිය ගැන පෙරේදා රාත්‍රියේම ගොකරැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින සිසු සිසුවියන්ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ එම රෝහල්වලට පිටත් කර යවනු ලැබූ බව පොලිසිය සඳහන් කළේය.ගොකරැල්ල ප්‍රදේශයේ මෙම පෞපෞද්ගලික අධ්‍යාපන ආයතනය රජයේ ලියාපදිංචි කරන ලද එකක් බව පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසු සිසුවියන්ට එහි නේවාසිකව අධ්‍යාපනය ලබා දෙන බවත් පොලිසිය වැඩිදුරටත් කීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Monday, March 25, 2024

රිය අනතුරින් මියගිය තරුණියගේ අවයව දන්දෙයි









• අනුරාධපුර - බී.ජී. චතුරංග


රිය අනතුරකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණියක් පෙරේදා (23දා) ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඇගේ අවසන් කැමැත්තට අනුව අක්ෂි යුගළය, අක්මාව සහ වකුගඩු දන්දීම ඊයේ (24දා) සිදු කෙරිණි. අනුරාධපුර රඹෑව, කෑදෑව, සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි උපේක්ෂා සඳමාලි සේනාරත්න (21) නමැත්තියගේ අවයව මෙසේ පරිත්‍යාග කරන ලදී.

දිවයිනේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සැල් ජාලයක අනුරාධපුර ශාඛාවේ, වෙළෙඳ සේවිකාවක ලෙස සේවයේ නිරතව සිට ඇති ඇය ඉකුත් (08දා) රඹෑව මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමෙන් පසු පසුදා (9දා) අලුයම නිවසට යාමට සූදානම් වූ අවස්ථාවේදී කැබ් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23දා) ජීවිතක්ෂයට පත්වූවාය.ඇගේ පියා වන විශ්‍රාමික කෘෂිකර්ම පර්යේෂණ සහකාර වරයෙකු වූ, සී.එම්. සේනාරත්න මහතා සඳහන් කළේ, සිය දියණියගේ අවසන් කැමැත්ත අනුව ඇගේ අක්ෂි යුගළය, වකුගඩු සහ අක්මාව පරිත්‍යාග කළ බවයි.

වසර 10කට අධික කාලයක් යතුරුපැදි සොරාගත් කල්ලියක 4ක් දැලේ -යතුරුපැදි 116ක අංක තහඩු සොයා ගැනේ









අනුරාධපුර - බී.ජී  චතුරංග

දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කර, කොටස්වලට ගලවා එම යතුරුපැදි අමතර කොටස් විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් හතරදෙනකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස විමරිශන අංශය සදහන් කරයි. අනුරාධපුර ශ්‍රාවස්තිපුර අලුත් වැව, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හන්දිය, හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි 29 - 44 හැදි සිවුදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සැකකරුවන් සතුව තිබූ යතුරුපැදි අංක තහඩු 116 ක්ද පොලිස් භාරයට ගනු ලැබ තිබේ.

රාජාංගණය, පහළමාරගහවැව කෝමාරිකා වගා ව්‍යාපෘති භූමියක පසුගියදා පැවති සංගීත ප්‍රසංග මාලාවක් අතරතුරදී සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සම්බන්ධයෙන් සිදු කළ, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළි කර ගැනීමට හැකි වූ බවද පොලීසිය කියයි.මෙම ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු සංගීත ප්‍රසංග භූමියේදී යතුරුපැදියක් සොරකම් කර එය රැගෙන යමින් සිටියදී එය ලොරියක ගැටීමත් සමග එම ස්ථානයේ දමා නැවතත් සංගීත ප්‍රසංග භූමියට පලා ගොස් තවත් යතුරුපැදියක් සොරකම් කිරීමට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.රාජාංගණය ප්‍රදේශයෙන් සොරකම් කරන ලද එම යතුරුපැදිය ප්‍රධාන සැකකරු‚ දඹුල්ල නගරයේ පදිංචි ඔහුගේ මිතුරෙකු සමග සම්බන්ධ වී කිතුල්හිටියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට රුපියල් 50,000ක මුදලකට විකුණා තිබූ බවද පොලීසිය කියයි.

එම යතුරුපැදිය මිලදීගත් පුද්ගලයා, දඹුල්ල මිරිස්ගෝනියාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අමතර කොටස් විකිණීමේ ආයතනයකට එය රුපියල් 85,000ක මුදලකට විකුණා ඇති අතර, විමර්ශන සිදු කරන අවස්ථාවේදී එම යතුරුපැදියේ අංක තහඩු පමණක් ඉතිරිව තිබූ බව පොලීසිය පවසයි.වැඩිදුර විමර්ශන  සිදු කිරීමේදී එම යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලේ සකසා තිබූ විශේෂිත රහස් කුටියක තිබී, යතුරුපැදි අංක තහඩු 116ක් සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.මෙම ජාවාරම, වසර දහයකට වැඩි කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය කීය.අත්අඩංගුවට ගත් මෙම යතුරුපැදිවල අංක තහඩුවලට අදාළ යතුරුපැදිවල නීත්‍යනුකූල හිමිකරුවන් සොයා ගැනීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවද පොලීසිය පවසයි.



උපාධිධාරීන් 40,000කට රැකියා නෑ- රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය






ඉන්දික හේවාවිතාරණ 


උපාධිධාරීන්ට රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා මේ වන විට 40,000කට ආසන්න උපාධිධාරීන්  පිරිසක් රැකියා විරහිතව සිටින බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කඩිනමින් රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදුකළත් මෙතෙක් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන බවද එම සංගමයේ මාතර දිස්ත්‍රික් නියෝජිත සුමිත් රත්නායක මහතා සඳහන් කළේය.ඊයේ (24) කොළඹ ගුරු මැදුරේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සුමිත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ගුරු සේවය ඇතුළු රාජ්‍ය අංශයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා අදාළ පුරප්පාඩු ගණනය කර උපාධිධාරීන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් අප්‍රේල් මස පළමු සතියේ දිනක කොළඹදී දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් 2020 වසරේ ජනවාරි 01වන දින සිට උපාධිය ලබා ගත් පිරිස් මේ ආකාරයට රැකියා ව්රහිතභාවයට පත් වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා පළාත් මට්ටමින් ආණ්ඩුකාරවරුන්ට හා දේශපාලනඥයන් සංදේශ පවා භාර දී තිබෙන බවත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ නිසා සියලුම පළාත්වල සිටින රැකියා විරහිත උපාධිධාරීන් ඒකාබද්ධ වී දෙමාපියන්ද සම්බන්ධ කර ගනිමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කරන බවද පැවසීය.



ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත් මාස 6ක් තිස්සේ ලබාදී නෑ - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව







• පියුමිකා වීරසූරිය


ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගැහැනු දරුවන් සඳහා ලබාදෙන හියුමන් පැපිලෝමා වෛරස (HPV) එන්නත් දැනට මාස හයකට අධික කාලසීමාවක් මුළුල්ලේ මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන තුළ ක්‍රියාත්මක නොවන බව, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. කාන්තාවන් තුළ පසුකාලීනව ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම පහත හෙළීම සඳහා මෙම එන්නත ලබාදීම ඉතා වැදගත්ය. වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ, සාමාන්‍යයෙන් හය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ගැහැනු දරුවන් සඳහා මෙම එන්නත ලබාදෙන අතර, පසුගිය වර්ෂයේද ලබා නොදීම නිසා ලබන වසර වන විට එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන ගැහැනු දරුවන් ප්‍රමාණය වැඩි වීම. ගැටලුවක් විය හැකි බවයි.

එබැව්න් ප්‍රතිශක්තීකරණ වැඩසටහනේදී මෙම එන්නත ලබාදීම සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉක්මන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) HPV එන්නත් නිර්දේශ කරනුයේ සියලුම රටවල සාමාන්‍ය එන්නත්වල කොටසක් ලෙසය. HPV එන්නත් සඳහා පුද්ගලයාගේ වයස සහ ප්‍රතිශක්තීකරණ තත්ත්වය අනුව මාත්‍රා දෙකක් හෝ තුනක් අවශ්‍ය වේ.වයස අවුරුදු නවයේ සිට දහතුන දක්වා ගැහැනු ළමයින්ට එන්නත් කිරීම  සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ. එන්නත් අවම වශයෙන් වසර 5 සිට 10 දක්වා ආරක්ෂාව සපයයි. එන්නත් කිරීමෙන් පසුව ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව තවමත් අවශ්‍ය වේ. ජනගහනයෙන් විශාල කොටසකට එන්නත් කිරීම එන්නත් නොකළ අයටද ප්‍රයෝජනවත් විය හැක.

හියුමන් පැපිලෝමා වෛරසය (HPV) එන්නත් යනු මානව පැපිලෝමා වෛරස (HPV) මගින් ආසාදනය වීම වළක්වන එන්නතකි. පවතින HPV එන්නත් HPV වර්ග දෙකකින්, හතරකින් හෝ නවයකින් ආරක්ෂා කරයි. සියලුම HPV එන්නත් අවම වශයෙන් HPV වර්ග 16 සහ 18කට එරෙහිව ආරක්ෂා කරයි. එය ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ විශාලතම අවදානම නැති කරයි. 19 HPV එන්නත් මගින් ගැබ්ගෙල පිළිකාවලින් 70%ක්ද, ගුද පිළිකාවෙන් 80%ක්ද, යෝනි පිළිකාවලින් 60%ක්ද, යෝනි මාර්ගයේ පිළිකාවලින් 40%ක් සහ HPV ධනාත්මක oropharyngeal පිළිකා වැළැක්වීමේ 90%කට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව ගණන් බලා ඇත.



සූපවේදියා සුරූපිනියන් 5කට හදිකරලා



තරුණ තරුණියන් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහන්වල නිරූපිකාවන් ලෙස බඳවා ගන්නා බවට ෆේස්බුක් හරහා දැන්වීම් පළ කළ බව නියන සීගිරිය ප්‍රදේශයේ හෝටල් සූපවේදියෙක් සුරූපී තරුණියන් පස් දෙනකුට බරපතළ ලිංගික අතවර කර ඇති බවට අනාවරණ වීමෙන් අනතුරුව ඊයේ (24) සැකපිට අත්අංඩගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර, රජවැල්ල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවෙසට ගොස් ඊයේ පෙරවරු 11.30 ට පමණ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි හෝටල් සූපවේදියෙකි. සැකකරු විසින් බරපතළ ලිංගික අපයෝජන සිදු කරනු ලැබ ඇතැයි පැවැසෙන්නේ අවුරුදු 17 ත් 20 ත් අතර පසුවන ළාබාල සුරූපී තරුණියන් බවට  විමර්ශනවලදී අනාවරණයවී යැයි පොලිසිය කියයි.

එමෙන්ම සැකකරු එම තරුණියන්ගේ මව්වරුන් ද ලිංගික අපයෝජනයට ලක්කර ඇති අතර, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ ද ලබාගෙන ඇතැයි ද අනාවරණය වන බව පොලිසිය කියයි.සැකකරුගේ ෆේස්බුක් දැන්වීම්වලට හසුවූ තවත් තරුණයන් පිරිසක් ද ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සැකකරුගේ ෆේස්බුක් ගිණුමට එවා ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

සැකකරුගේ ලිංගික අපයෝජනවලට ලක්වූ තවත් තරුණියන් සිටී ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී. තම නිරුවත් දියණියගේ ඡායාරූප ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරු විසින් ගෙන්වා ගත් බව පවසමින් මවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඉකුත් දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වී සිටියේය.සැකකරු සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරු ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙබ් අඩවිවලට විකුණා ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන සිදුකෙරේ.

 ගයාන් සූරියආරච්චි