Friday, May 31, 2024

අධිකරණ භූමියේදී බිමත්ව අශෝභන ලෙස හැසිරුණ පුද්ගලයා යළි රිමාන්ඩ්


රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදි බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් තම බිරිඳට දියණියට උසාවි කාර්යමණ්ඩලයට පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කිරීම මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 29වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු සිද්ධියට අදාළව 29වැනි දින ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් පරණ ලියනගේ මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ජුනි මස 12වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.රත්නපුර පාම් ගාර්ඩ්න් පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. බිරිඳට සහ දරුවන්ට බැන පහරදිමේ සිද්ධියක් මත රත්නපුර පොලීසියට බිරිඳ විසින් තම සැමියාට විරුද්ධව කර තිබූ පැමිණිල්ල මත රත්නපුර පොලීසිය විසින් අධිකරණයට ගොනු කර තිබු නඩුව පසුගිය 23වැනිදා කැඳවන ලදී.

මෙදින බිමත්ව පැමිණ සිටි අදාළ විත්තිකරු අධිකරණ භූමියේදී පැමිණිලිකරුවන්ට, උසාවි කාර්ය මණ්ඩලයට, පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කිරීම මත අධිකරණයේ පොලිස් මුරපොළේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩබලන මහේස්ත්‍රාත් කිත්සිරි අරඹේවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 29වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.මෙම නඩුව 29වන දින ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් පරණ ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත ජුනි මස 6වැනිදා දක්වා විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

 ඒ.ජී.වික්‍රමසිංහ

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ තඹ කපමින් සිටියදී අත්අඩංගුවට පත් පුද්ගලයා පැන ගිහින්



කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි පහන්වලට යොදා තිබෙන තඹ කම්බි කපමින් සිටියදී අල්ලා දුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් මෙම මාර්ගයේ තඹ කම්බි කැපීම හේතුවෙන් කිලෝමීටර් 25ක පමණ දුරකින් යුත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 13ක පමණ ප්‍රමාණයක් දැඩි අඳුරේ පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරේදා 29 දහවල් කිලෝමීටර් 3 කණුව අසලදී තඹ කම්බි කපමින් සිටි පුද්ගලයකු අදාළ කියතත් සමග මාර්ග සංවර්ධන අධිකාරියේ විදුලි කාර්මිකයන් විසින් අල්ලා සීදුව අධිවේගී මාර්ග පොලීසියට භාරදී තිබිණි. අදාළ පුද්ගලයාව පොලිස් නිලධාරින් තිදෙනෙකු විසින් පෑලියගොඩ අධිවේගී මුරපොළට රැගෙන ඒමේදී සැකකරු කෙළ ගැසීමට අවශ්‍ය බව පැවසීමේදී මදක් ඉදිරියට ගෙන ඇති අතර විදුලි සංඥා පුවරුව අසල වාහනය නතර කිරීමත් සමඟම ඔහු දොර විවෘත කර එයින් පිටතට පැන පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාර්න් උසස් පොලිස් නිලධාට ලිඛිතව පැමිණිලි කිර්මට ද පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමේදී පවසා සිටියේ එවැනි සිද්ධියක් සිදුවී ඇති බවට වාර්තා වී ඇති බවය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

නීති විරෝධීව ගෙන්වු විදෙස් දුම්වැටි තොගයක් සමඟ සහකාර රේගු අධිකාරි දැලේ





නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාර්වරයෙකු කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. කොළඹ කොටුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරු ගමන් ගත් වෑන් රථයද පොලීසිය භාරයට ගෙන තිබෙන බවත්, සෑකකරු සන්තකයේ තිබී රුපියල් පන්ලක්ෂ අනුදහසක මුදලක් ද අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පෙන්වා දෙයි.

සැකකරු සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 7,000 ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර,ඔහු සතුව තිබී සොයා ගත් මුදල් දුම්වැටි අලෙවියෙන් උපයාගෙන තිබෙන ඒවාද යන්න පරීක්ෂා කර කරන බවද සඳහන් කරයි. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශයේ නිලධාර්න් විසින් අත්අඩංගුවට ගත් සැකකාර සහකාර රේගු අධිකාර්වරයා දුම්වැටි තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලීසිය වෙත භාරදී තිබේ. මේ පිළිබඳව කොටුව පොලීසිය විසින් විමර්ශන සිදුකර සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

ඉන්දික හේවාවිතාරණ

සිසුන් දෛනිකව පාසල් පැමිණීමේ අඩුවක්



දිවයිනේ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක දෛනිකව දරුවන් පාසල් පැමිණීම අඩු වීම වාර්තා වන බවත්, මේ නිසා රජය මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි. මීට පෙර වතු ආශ්‍රිත ප්‍රදේශවල හා දුෂ්කර ප්‍රදේශවල පාසල් වෙත සිසුන් පැමිණීම අඩු වී ඇති බවත්, මේ වන විට කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවා සිසුන්ගේ පැමිණිම අඩු වෙමින් තිබෙන බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

සමහර සිසුන් දවසක් හැර දවසක් පාසල් පැමිණෙන තත්වයට පත් ව තිබෙන බවත්, පාසල් උපකරණ මිල ඉහළ යෑම, සපත්තු හා නිල ඇඳුම් රෙදි මිල ඉහළ යෑම හා දෙමාපියන්ට පවතින ආර්ථික දුෂ්කරතා නිසා දරුවන් පාසල්වලට පැමිණීම සිමා වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.ඊයේ(30දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පාසල් උපකරණ සපත්තු මිල අඩු කර දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමේ කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

ඉන්දික හේවාවිතාරණ 

යළි ඇරඹූ කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගල බංගලාදේශයට

 


දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය 29දා බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසිවලින් යුතු විය. කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20,000ක් පමණ බව ‘අනුනයින්' සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.

ජාතික කඩදාසි සංස්ථාවට අයත්ව තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත විදෙස් රටවලින් කඩදාසි ගෙන්වීමට කටයුතු කිරිමෙන් පසු 2003 වසරේදි වසා දමන ලදි. ඉන් පසු අවස්ථා කිහිපයකදී එහි තිබූ යන්ත්‍ර සූත්‍ර, යකඩ ආදිය ගලවා පරණ යකඩවලට විකුණා කම්හල ගොඩනැගිලිවලට සහ යන්ත්‍ර සුත්‍ර කිහිපයකට පමණක් සීමාකර තිබුණි. පසුව රජය සමග ඒකාබද්ධව ඇඹිලිපිටිය පේපර් මිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් පුද්ගලික සමාගමක් විසින් පසුගිය අවුරුද්දේ යළි සංවර්ධනය කරනු ලැබීය. 

නව යන්ත්‍රසුත්‍ර ආදිය සව්කර මුලින්ම 70පට සහ 150පට ප්‍රමාණයේ කර්මාන්ත කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරන ලදි. මෙරට අබලි කඩදාසි නිෂ්පාදන මූලද්‍රව්‍ය ලෙස යොදා ගැනිණ.දේශීය ව්‍යාපාරික සහ ව්‍යවසායක අනුරත් අබේරත්න මහතාගේ 'අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ පුද්ගලික සමාගමක් ලෙස ඇඹිලිපිටිය කඩදාසි කම්හල ක්‍රියාත්මක වෙයි.

මේ වනවිට රටවල් දොළහකින් විදේශ ඇණවුම් ලැබී ඇති බව ‛අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ කාර්මික කඩදාසි වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් බව කී ඔහු ඇඹිලිපිටිය කම්හලෙන් මෙට්‍රික් ටොන් අනූදහසක් නිපදවිය හැකි බව ද කීවේය. ඉදිරියේදී ලංකාවේ අවශ්‍යතාව සපුරාලීමට කැහලේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම ඉලක්කය වී ඇති බවද ඒ මහතා සඳහන් කළේ ය.එසේම මෙතෙක් ලංකාවේ අබලි කඩදාසි විදෙස් රටවලට අපනයනය කෙරුණ අතර මේ වනවිට එම අපනයන කළ අබලි කඩදාසි ඇඹිලිපිටිය කම්හල මගින් මිලදී ගෙන අගය වැඩිකරමින් කඩදාසි නිෂ්පාදනය කර විදේශ විනිමය උපදවන බවද හෙතෙම කීවේය.

අජිත්ලාල් ශාන්තඋදය 

විස්සයි 20 ලෝක කුසලාන ඉන්දු-පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන

 

නිව්යෝර්ක්හිදීය (එන්.ඩී.ටීවී.) 


ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇත.ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇත්තේ ‘අයි.එස්. කේ' ත්‍රස්ත කල්ලියයි. ‘අයි.එස්.කේ’ හෙවත් ‘අයි.එස්. කොරසාන්' යනු, ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියකි. මෙම ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ කොරසාන් පළාත කේන්ද්‍රකර ගනිමින් බිහිවූයේ, සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වූ ප්‍රධාන අයි.එස්. සංවිධානය බටහිර ප්‍රහාර හමුවේ අඩපණ වෙද්දීය.

අයි.එස්.කේ. ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයටත්, බාධාවක් වී ඇත. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නෝ මොවුහුය.විස්සයි 20 ලෝක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කරමින් ‘අයි.එස්.කේ' ත්‍රස්ත කල්ලිය වීඩියෝවක් නිකුත් කර ඇති බවත්, එම තර්ජනය කිසිසේත් සුළුකොට තකන්නේ නැති බවත් ක්‍රිකට් තරගය පැවැත්වෙන නිව් යෝක් ජනදපයේ, නසෝව් ප්‍රාන්ත පොලිස්පති පැට්‍රික් රයිඩර් පැහැදිලි කර ඇත.එළැඹෙන ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන තරගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද පොලිස්පතිවරයා දන්වා ඇත.


ටියුෂන් ගිය සිසුවියෝ තිදෙනෙක් අතුරුදන්


ගම්පහ,  යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවීමට ගිය 14 හැවිරිදි සිසුවියන් තිදෙනකු පෙරේදා (29) සවස සිට අතුරුදන් බවට පැමිණිලි ලැබී ඇතැයි යක්කල සහ වීරගුල පොලිසි පවසයි.යක්කල පොලිසියට එක් පැමිණිල්ලක් ලැබී ඇති අතර අනෙක් පැමිණිලි දෙක වීරගුල පොලිසියට ද ලැබී ඇත.

එම සිසුවියන්ගේ මවුවරුන් මෙම පැමිණිලි කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.අතුරුදන් සිසුවියන් තිදෙනා ගම්පහ, යක්කල ප්‍රදේශයේ පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන මිතුරියන් බවත් ඔවුන් තිදෙනා පෙරේදා (29) රාත්‍රිය වනතුරුත් නිවෙසට නොපැමිණි බවත් සඳහන් කරමින් පැමිණිලි කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.අතුරුදන් සිසුවියන් තිදෙනා ගැන ඊයේ (30) වනතුරුත් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබුණු බව යක්කල සහ වීරගුල පොලිසි පවසයි.යක්කල සහ වීරගුල පොලීසිවල ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

අපහාස කළැයි චෝදනා - මෛත්‍රී උසාවි කැඳවයි

 


අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දඬුවම් නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ජූලි 10 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කරමින් අභියාචනාධිකරණය ඊයේ (30) නොතීසි නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළකාලමින් කොළඹ  දිසා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබියදීත් සිරිසේන මහතා එම ධුරයේ කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාසයක් කළ බව සඳහන් කරමින් මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නොතීසි නිකුත් කළ අභියාචනාධිකරණය අදාළ නොතීසිය මෛත්‍රී පාල සිරිසේන මහතාට බාර දෙන ලෙස පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වනමොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු හිටපු සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරනු ලැබ සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වළකාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 24 වැනිදා අතුරු නියෝගයක්  නිකුත් කර තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා රැස්වීමක් කැඳවමින් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කරමින් පසුගිය මැයි 12 වැනිදා පක්ෂයේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කර ඇතැයි පෙත්සමේ සඳහන් කර ඇත.

නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වළකාලමින් අධිකරණය සහ කොළඹ දිසා අතුරු නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීමෙන් රැස්වීම් කැඳවීම අධිකරණයට කරන ලද අපහාසයක් බව සඳහන් කරන පෙත්සම්කරු ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා මෛත්‍රීපාල සිරිසේන මහතාට සුදුසු දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටී.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දිනේෂ් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතිඥ ශාන්ත ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.

රන්ජන් කටුගම්පොල

කෝටි එකහමාරක තල්මස් අම්බර් එක්ක 2ක් දැලේ


මිල අධික සුවඳ විලවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා තල්මසුන්ගේ වමනය හෙවත් අම්බරු කිලෝ විසි තුනක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 සහ 40 වයසේ පසුවන දෙදෙනකු බව පොලිසිය කියයි.පොලිස් විශේෂ කාර්ය බළකාය පුත්තලම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් කල්පිටිය පොලිස් වසමේ කුරුඤ්ඤන්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ජාවාරම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු සන්තකයේ මෙම අම්බරු තොගය තිබී පොලිස් භාරයට ගත් බව පැවසේ.

පොලිස් භාරයට ගත් මෙම අම්බරු ඉතා වටිනාකමකින් යුතු වන අතර මෙහි විශේෂත්වය වනුයේ අම්බරු ස්පර්ශ කළ විට එහි දැඩි සුගන්ධය ස්පර්ශ කළ තැන් සේදුවද බොහෝ වෙලා යනතුරු ද රැඳී තිබීමයි.මෙම අම්බරු ලොව ප්‍රමුඛ පෙළේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා භාවිත කරන දුර්ලභ අමුද්‍රව්‍යයක් බවට විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පැවසේ. අත්අඩංගුවට ගත් අම්බරු තොගයේ වටිනාකම රුපියල් කෝටි එක හමාරකට අධික බව කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කරුවල ගස්වැව වනජීවී කාර්යාලයට බාර දී තිබේ.


 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

රුසියන් හමුදාවට බැඳෙන්න කිසිම බාධාවක් නෑ

 


විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවත් රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගරියාන් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.රුසියාවට විසා ලබාදීමේදී අවශ්‍ය ලිය කියවිලි පමණක් පරීක්ෂා කර වීසා නිකුත් කිරීම නොකරන බවත් එහිදී ගැහැනු පිරිමි භේදය නොසලකා සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය.රුසියානු හමුදාවට බැඳී ඇති පිරිස මෙරට නියෝජිතයන් මාර්ගයෙන් ගිවිසුමක් අත්සන් කර තිබෙන බව රුසියානු තානාපති කාර්යාලය නොදැනුවත්ව සිටි බවත් තානාපතිවරයා කීය.

සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන අවස්ථාවේ ඔවුන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් රුසියානු තානාපති ලෙවාන් එස්. ජගයාන් මහතා ප්‍රකාශ කළේය.සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අකාරයට එලෙස රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් අත්සන් කර ඇත්තේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ගිවිසුමක් දැයි යන්න පිළිබඳ කිසිවක් මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව විමර්ශනයක් සිදු කරන බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය.

රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මාධ්‍ය විශාල ප්‍රචාරණයක් ලබා දුන්නත් යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කිසිවකු කතා නොකරන බවත් රුසියානු තානාපති ලෙවාන් එස්. ජගයාන් ප්‍රකාශ කළේය.ඒ පිළිබඳ පැමිණිලි නොලැබුණු පමණින් ශ්‍රී ලාංකිකයන් යුක්රේන හමුදාවට බැඳී නොමැති බව අදහස් නොවන බවත් යුක්රේන හමුදා වේද ශ්‍රී ලාංකිකයන් සිටින බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය. එම නිසා රුසියාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටියේය.

මේ වන විට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 455 ක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී පැමිණිලි තවත් වැඩිවිය හැකි බවත් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.මෙලෙස රුසියානු හමුදාවට බැඳී ඇති සියලු දෙනාම නියෝජිතයන් මාර්ගයෙන් සංචාරක වීසා මත රුසියාවට ගොස් ඇති බවත් ඇතැම් නියෝජිතයන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

මේ සියලු දෙනාම රුසියාව වෙත ගොස් ඇත්තේ තමන් අතින් මුදල් වියදම් කර හෝ ණය මුදල් ලබාගෙන හෝ බවත් ඔවුන් සියලු දෙනාම ඒ හේතුවෙන් තවත් කරදරයට පත්වී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ප්‍රකාශ කළේය.ඔවුන් සියලු දෙනාට රුසියානු පුරවැසිභාවය සහ ඉහළ වැටුප් තල ලබා දෙන බවට පොරොන්දු ලබා දී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.මෙම ගැටලුව විසඳීමේ මූලික පියවරක් වශයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් සංචාරක වීසා මත රුසියාවට යන විට මෙරට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊට විරුද්ධතාවක් නොමැති බවට ලිපියක් විසා ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම මෙම ගැටලුව විසඳීම සඳහා ලබන 5 වැනිදා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් ඉල්ලා තිබෙන බව ද බාලසූරිය මහතා සඳහන් කළේය. එසේම රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් යුද පෙරමුණට නොවන ලෙස රුසියානු රජයෙන් ඉල්ලීමක් කරන බවත් මේ වන විට රුසියාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු අතුරුදන් වී තවත් 37 දෙනකු තුවාල ලබා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.එලෙස රුසියානු හමුදාවේ සිටි 26 දෙනකු ආරක්ෂිතව මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. තුවාල ලැබූ 37 දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවත් එසේම රුසියානු හමුදාවට කැමැත්තෙන් බැඳුණු පිරිසක් ද සිටිය හැකි ද බවත් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පැවැසුවේය.

විමුක්ති එස්. රුද්‍රිගු

පොලිස් පොත්වල බොරු ලියා සැරයන් පඩි පිට ගොවිපොළ 2ක් දාගෙන වැඩ



පොලිසියේ රාජකාරී සඳහා පැමිණි බවට පොලිස් පොත්වල බොරු සටහන් යොදා වැටුප් සහ අනෙකුත් දීමනා ලබා ගන්නා අතරවාරයේ මහා පරිමාණ සත්ව ගොවිපොළ දෙකක් පවත්වාගෙන ගියේ යැයි කියන කුලියාපිටිය දුම්මලසූරිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකු සම්බන්ධයෙන් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත කර ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.සැරයන්වරයා පවත්වාගෙන යන්නේ යැයි කියන මහා පරිමාණ සත්ව ගොවිපොළ දෙකේ සේවය සඳහා ඔහු දන්නා හඳුනන්නේ යැයි පැවැසෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින හය දෙනකු යොදවා ගෙන ඇති බවත් එයින් එක් අයකුට පෙර වැරදි දහයක් පමණ තිබෙන බවත් පරීක්ෂණවලින් හෙළි වී යැයි පොලිසිය සඳහන් කරයි.

මෙම සත්ත්ව ගොවිපොළවල සේවය කරන හයදෙනාගෙන් කිහිප දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බව විශේෂ විමර්ශන ඒකකය කියයි. මෙම මහා පරිමාණ සත්ව ගොවිපොළ දෙකේ සේවයට යොදවා ගෙන සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හය දෙනාට වැටුප් ගෙවනු ලබන බව කියන්නේ ද ප්‍රදේශයේ විවිධ නීති විරෝධී ක්‍රියා සිදුකරන්නන් බවට ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.පොලිස් සැරයන්වරයාගේ පුතාගෙන්ද පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සත්ව ගොවිපොළ දෙකේ සේවයට යොදවා ගෙන ඇති බව එම ප්‍රශ්න කිරීම් කිරීම්වලදී ද හෙළිවිණැයි පොලිසිය පැවසීය.වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරු මත විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් යොදවා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

මාස ගණනාවක් තිස්සේ මොහු පොලිසියේ රාජකාරී සඳහා පැමිණ ඇත්තේ ඉතා අඩු දින ගණනාවක් පමණක් බවත් එහෙත් දිනපතා රාජකාරියට වාර්තාකර ඇති බවට පොලිස් පොත්වල ව්‍යාජ සටහන් යොදා මාසිකව වැටුප් සහ අනෙකුත් දීමනා ද ලබාගෙන ඇති බව පොලිසියේ පොත්පත් කිහිපයක් පොලිස් භාරයට ගෙන කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම පොලිස් සැරයන්වරයා දුම්මලසූරිය පොලිසියේ රාජකා කරන ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල් රියැදුරකු යොදවාගෙන ඔහුගේ (සැරයන්වරයාගේ) අත්සන ව්‍යාජ ලෙස ගසා රාජකාරියට වාර්තා කර කළ බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කියති.ව්‍යාජ අත්සන් ගැසීමට සහ සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීමට යොදවා ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගෙන් ද විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පෙරේදා ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.පොලිස් සැරයන්වරයාගේ කීමට තමන් මෙවැන්නක් කිරීමට පෙළැඹුණු බව කොස්තාපල්වරුන් තිදෙනා ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Thursday, May 30, 2024

16 හැවිරිදි නෑනා වසර 2ක් අපයෝජනය කළැයි කපු මස්සිනා අත්අඩංගුවට

 



වසර දෙකක පමණ කාලයක සිට තම 16 හැවිරිදි නෑනා අපයෝජනය කරමින් ඇය ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් පසු ඊට විරුද්ධ වී ඇයගේ නිරුවත් දර්ශන එම පෙම්වතාට යවා අන්තර්ජාලයට මුදා හළ බව කියන කපුවෙකු බෙලිදෙණිය ප්‍රදේශයේ දී සැක පිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි. බෙලිදෙණියේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.එම සිසුවියගේ වැඩිමහල් සහෝදරිය සමග සැකකරු විවාහ වී සිටින අතර ඔහු දේවාලයක් පවත්වාගෙන ගොස් තිබේ.

ඒ අතරතුරදී මීට වසර දෙකකට පෙර සිට බාල වයස්කාර නැගණිය කෙළෙසා ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර තිබෙන බව කියති. දිගින් දිගටම ඔහුගෙන් බේරීමට නොහැකි වු තැන දැරිය තම මිත්තණියට ඒ බව පවසා දික්වැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණද සාධාරණයක් ඉටු වී නොමැති බව කියති.මේ වන විට 16 හැවිරිදි වයසේ පසුවන දැරිය තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බවත් ඒ බව දැන ගත් සැකකාර මස්සිනා මීට පෙර ඔහු විසින් ලබා ගෙන තිබු දැරියගේ නිරුවත් දර්ශන එම පෙම්වතාට හා අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.ඒ ගැන පැමිණිලි කීර්මට ද දික්වැල්ල පොලීසියට ගිය විට එය අන්තර්ජාල අපරාධයක් බැවින් ආපසු හරවා එවා තිබෙන බව කියති.

පසුව එම දැරිය මිත්තණිය සමග මාතර ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාර් පණ්ඩුල වීරසිංහ මහතා හමුවී පැමිණිලි කිරීමෙන් පසු ඒ මහතා විසින් විමර්ශන කටයුතු ප්‍රධාන පොලීස් පරික්ෂිකා වරුනී කොශලා බෝගහවත්ත මහත්මියට භාර දී ඇත.ඒ අනුව ඇය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන නිරුවත් දර්ශන ඇතුළත් ජංගම දුරකථනය ද පොලීසිය භාරයට ගනු ලැබ තිබේ. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06කින් යාවත්කාලීන කර නැ



මෙරට වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව වසර 06කින් යාවත්කාලීන කර නොමැති බවත් මේ නිසා පර්යන්තයේ රෝහල් කටයුතු බිඳවැටීමේ අවදානමක් ඇති වෙමින් තිඛෙන බවත් රජයේ වෛද්‍ය නිලධාර්න්ගේ සංගමය සඳහන් කරයි.මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් තීරණාත්මක සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්යමණ්ඩලය බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පසුගිය වසර 02 තුළදී පමණක් පද්ධතියෙන් ඉවත්ව ගිය ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව 1500කට ආසන්න බවත් එහෙත් එම වෛද්‍යවරුන් ප්‍රමාණය පුරප්පාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමට තවමත් කටයුතු කර නොමැති බවද පැවසීය. 

මේ නිසා මෙරට තුළ වෛද්‍යවරුන් සඳහා පුරප්පාඩු නොමැති බවට කළමනාකරණ සේවා කොමිෂන් සභාව පවසන බවත් පවතින තත්ත්වය තුළ පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කළේය.වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගි සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබෙන බවද සඳහන් කළේය. 

මෙම තත්ත්වය සමනය කර ගැනීමට නම් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මෙන්ම වෛද්‍යවරුන් අවශ්‍යතාව අනුව සුදුසු පරිදි ස්ථානගත කිරීමද සිදු කළ යුතු බවත් මීට අමතරව සීමාවාසික පුහුණුව අවසන් කරන ලද නවක වෛද්‍යවරුන්ට හැකි ඉක්මනින් පත්වීම් ලබා දී සේවා අවශ්‍යතාව අනුව ඔවුන් ස්ථානගත කිරීම මූලික අවශ්‍යතාවක් බවද පැවසීය.මේ වන විට වෛද්‍යවරුන් 1390ක කණ්ඩායමක් සිය සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව පශ්චාත් සීමාවාසික පත්වීම ලැබෙන තුරු මාස 08කට වැඩි කාලයක් බලා සිටින බවද සඳහන් කළේය.

 ඉන්දික හේවාවිතාරණ

කාන්තාවක් ඝාතනය කළ අනියම් සැමියා අත්අඩංගුවට



ඝාතනය කොට සීදුව ලියනගේමුල්ල පෙදසේ කැලෑ පල්ලිය මාර්ගයේ දේවස්ථානයක් ඉදිරිපිට කානුවක ඊයේ (28) දින දමා තිබු කාන්තාවකගේ මරණය පිළිබඳ සැකපිට ඇගේ අනියම් පුරුෂයා ඊයේ (29දා) කිරිබත්ගොඩ ප්‍රදේශයේ සැඟව සිටියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව සීදූව පොලීසිය පවසයි. 40 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.මොහු සීදුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවයේ නියුතුව සිටි අයෙකු බවත් ඔහු දිගු කලක් ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ අනියම් පුරුෂයා වශයෙන් සිට ඇය සමග එකට සිටි ඇති බව ව්මර්ශන වලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.

මරණකාරිය ගාල්ල, නෙලුව, බටහිර බටුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති නැමති කාන්තාවක බවත් ඇය එක් දරු මවක බවත් හෙලිව ඇති අතර ඇය මීට සය වසරකට පෙර කටුනායක අයෝජන කලාපයේ සේවය සදහා පැමිණ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ජූඩ් මාවතේ තාවකාලික නේවාසිගාරයක සැකකරු සමග එකට ජීවත්වී ඇති බවද පරීක්ෂණ කටයුතු වලදී හෙළි වූ බව පොලීසිය පවසයි. සීදුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


තෙල් කාන්දුවන නැවක් වරායට නැංගුරම් කළ ඉන්දීය කපිතාන්ට රටින් පිටවීම තහනම්



මුහුදට තෙල් කාන්දුවන නෞකාවක් කොළඹ වරායට නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයෙකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විදෙස් ගමන් තහනමක් ඊයේ (29දා) නිකුත් කළේය.ඉන්දියාවට අයත් ‘ආක් ප්‍රෙස්ටීජ්' (ARK PRESTIGE) නමැති නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරන ඉන්දීය ජාතික රාජ්යෙව් යාදේව් නමැත්තාට මාසයක කාලයක් සඳහා මෙලෙස විදෙස් ගමන් තහනමක් පැනවූ මහෙස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ ආගමන විගමන පාලකවරයා දැනුවත් කිරීමටද නියම කළේය.

කොළඹ වරාය පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ විදෙස් ගමන් තහනම පැනවූ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ 'ආක් ප්‍රෙස්ටීජ්' නෞකාවේ කපිතාන් රාජ්යෙව් යාදේව් නමැත්තා දැනුවත් කිරීමටද පොලීසියට නියම කළේය. සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ වරාය පොලීසියේ නිලධාහු කොළඹ වරායේ 'ඩොක්යාර්ඩ්' ජැටියේ නැංගුරම්ලා ඇති ඉන්දීය නෞකාවෙන් හයිඩ්‍රොලික් තෙල් කාන්දු වීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළේ යැයි දැනුම් දුන්හ.

මේ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන මේ වෙන විටත් සිදුකරගෙන යන හෙයින් නෞකාවේ කපිතාන්වරයා විදේශගතවීම් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට නියම කළේය.

බුද්ධිමාල් රුබේරු

මහේස්ත්‍රාත් හිරේ යැවු තරුණයා මහාධිකරණයෙන් ගෙදර යවයි

 



දුගඳ සහිත පිළිකුල් තත්වයේ සීනී විකිණීමට ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා මත තබුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආහාර පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ තරුණ ව්‍යාපාරිකයකුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ දඩ නියම කරමින් තඹුත්තේත්ගම මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට තීරණය කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් හේවාවසම් මහතා සිර දඬුවම් විඳිමින් සිටි තරුණ ව්‍යාපාරිකයා වහාම නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (29) නියම කළේය. ආහාර පනත මගින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට විශාල බලතල ප්‍රමාණයක් දී ඇත්තේ අනීතිකව මිනිසුන්ට හිරිහැර කිරීමට නොවන බව අවධාරණය කරමින් තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විත්තිකරුට කර ඇත්තේ රුපියල් මිලියන ගණනකින්වත් පිරිමැසිය නොහැකි පාඩුවක් බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා තරුණ ව්‍යාපාරිකයාට රුපියල් 5,000/-ක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවීමට තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂක බුද්ධික මල්ලවාරච්චි මහතාට නියම කළේය.


සීනි තොගයේ සිටි පණුවන් මියයෑමට තරුණ ව්‍යාපාරිකයා මෝර්ටීන් ස්ප්‍රේ කර ඇති බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළ කරුණ තහවුරු කර ගැනීමට කිසිදු විද්‍යාත්මක හෝ විශේෂඥ වාර්තාවක් නොමැතිව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ කරුණ මත පිහිටා තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයා තරුණ ව්‍යාපාරිකයාට අධික දඬුවම් නියම කර ඇති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා තරුණ ව්‍යාපාරිකයාගෙන් දඩ වශයෙන් අයකළ රුපියල් 23,000/- ක මුදල් ආපසු ඔහුට මුදාහැරීමට ද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියම කළේය.තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව තීරණය කරමින් වහාම නිදොස් කොට නිදහස් කිරීමට නියම කෙරුණේ සිර දඬුවම් විදිමින් සිටි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අසල ඒ.කේ. ට්‍රේඩර්ස් ලිපිනයේ පදිංචිව සිටි සමිත ඩිල්ෂාන් ලියනගේ නමැති තරුණ ව්‍යාපාරිකයෙකි.

පිළිකුල් සහගත තත්වයේ ‘සීනි’ විකිණීමට ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සමිත ඩිල්ෂාන් ලියනගේ නමැත්තාට එරෙහිව ආහාර පනත යටතේ පසුගිය පෙබරවාරි 21 වැනිදා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.විත්තිකරු එම චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහි පළමු හා දෙවැනි චෝදනාවන්ට මාස 06 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 10,000/- බැගින් දඩ මුදල්ද 03 වැනි සහ 04 වැනි චෝදනාවන්ට රුපියල් 1,500/- බැගින් රුපියල් 3,000/-ක දඩ මුදල්ද නියම කර තිබූ අතර දඬ මුදල් නොගෙවුවහොත් මාස 03 ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබිණි.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට හා දඬුවමට එරෙහිව විත්තිකරු පෙබරවාරි 22 වැනිදා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අභියාචනයක් ගොනු කරමින් අභියාචනයට යටත්ව ඇප ඉල්ලා ඇතත් විත්තිකාර අභියාචකයකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අයිතියක් නොමැති යන පදනම මත මහේස්ත්‍රාත්වරයා විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා විත්තිකාර තරුණ ව්‍යාපාරිකයා මහාධිකරණයෙන් නිදොස් කර නිදහස් කරන තුරුම සිරදඬුවම් විඳිමින් බන්ධනාගාරයේ පසුවී ඇත.නීතිඥ සමින් ද සිල්වා මහතා මගින් අනුරාධපුර මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ සමිත ඩිල්ෂාන් ලියනගේ නමැති තරුණ ව්‍යාපාරිකයා නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලීමක් කර තිබූ අතර තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම අභියාචනා පෙත්සම මහාධිකරණයට ලැබී ඇත්තේ අප්‍රේල් 24 වැනිදා බව මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දු වේ සඳහන් කර ඇත.

විත්තිකරු පෙබරවාරි 21 වැනිදා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළත් එදින ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටි බවත් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලද බවක් හෝ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට චෝදනාව කියවා දුන් බවක් හෝ මහේස්ත්‍රාත්වරයා චෝදනා පත්‍රයට අත්සන් කර ඇති බවක් හෝ විත්තිකරු අදාළ චෝදනාවන්ට වරද පිළිගත් බවක් හෝ විත්තිකරු එම චෝදනාවට වරදකරු කරන ලද බවක් හෝ නඩු ගොනුවේ සටහන් කර නොමැති බව තීන්දුවේ සඳහන් කල මහාධිකරණ  විනිසුරුවරයා කෙසේ නමුත් විත්තිකරුට පැනවූ දඬුවම් අදාළ නඩු ගොනුවේ සටහන් කර ඇති බවද තීන්දුවේ සඳහන් කළේය.

 අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ චෝදනා ගොනු කිරීමේ පරම වගකීම මහේස්ත්‍රාත්වරයාට පැවරී ඇති බවත් එම වගකීම වෙනත් අයකුට පැවරීමට නොහැකි බව නඩු තීන්දුවල සඳහන් බව අවධාරණය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට චෝදනා ගොනු කිරීමේ හා ඔහුට එම චෝදනාවන් කියවා දීමේ ඇති වැදගත්කම ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවලින් තරයේ අවධාරණය කර ඇතැයි සඳහන් කරමින් එම නඩු තීන්දු විවෘත අධිකරණයේ දී එකින් එක විග්‍රහ කළේය.නමුත් මෙම විත්තිකරුට එරෙහිව තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා චෝදනා ගොනු කිරීමක් කර නොමැති බවත් පැමිණිල්ල සමඟ ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ මහේස්ත්‍රාත්වරයාගේ අත්සන සහ නිල මුද්‍රාව තබා නොමැති බවද නඩු වාර්තාවට අනුව විත්තිකරුට එරෙහි චෝදනා කියවා දුන් බවක් අනාවරණය නොවන බවද නිරීක්ෂණය කළ මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විත්තිකරු වරදකරු කර නඩු ගොනුවේ එය සටහන් කළ යුතු වුවත් මහේස්ත්‍රාත්වරයා එසේ කර නොමැති බවද තීන්දුවේ සඳහන් කර ඇත.

තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වාර්තාවට අනුව විත්තිකරු පණුවන් මිය යෑමට මෝර්ටීන් ස්ප්‍රේ කර ඇති බවට තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ප්‍රකාශ කිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් චූදිත අභියාචකට එරෙහිව දැඩි ආකාරයට දඬුවම් නියම කර ඇති බව නිරීක්ෂණය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට නීතිඥ නියෝජනයක් නොමැති වීම, විත්තිකරු මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම මෙන්ම විත්තිකරුට පෙර වැරදි නොමැති වීම පිළිබඳ මහේස්ත්‍රාත්වරයා අවධානයට යොමු නොකිරීම පිළිබඳවද නිරීක්ෂණය කර තිබේ.මහේස්ත්‍රාත්වරයාගේ නිගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ විත්තිකරු අභියාචනයට යටත්ව ඇප ඉල්ලා ඇතත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විත්තිකරුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අයිතියක් නැතැයි යන පදනම මත ඔහුට ඇපදීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කරන මහාධිකරණය අභියාචනය පවත්වාගෙන යෑමට ඇති හැකියාව පිළිබඳ මහේස්ත්‍රාත්වරයාට තීරණය කළ හැකි කාරණයක් නොවන බවද තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අධික දඬුවමක් නියම කර ඇති බවත් අවධාරණය කළේය.

මෙම තත්වයන් යටතේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට එරෙහිව දුන් නියෝගය හා දඬුවම ඉවත දැමීමට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරිමටද තීරණය කළේය. ආහාර පනත මගින් විශාල බලතල ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දී ඇති බවත් ආහාර පනතින් එසේ විශාල බලතල ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දී ඇත්තේ අනීතිකව මිනිසුන්ට හිරිහැර කිරීමට නොවන බව තරයේ සිහි තබා ගත යුතු බවට අවධාරණය කරමින් අවවාද කළ මහාධිකරණ විනිසුරුවරයා තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විත්තිකරුට කර ඇත්තේ රුපියල් මිලියන ගණනින් පිරිමැසිය නොහැකි පාඩුවක් බවද පෙන්වා දුන්නේය. තරුණ ව්‍යාපාරිකයා වෙනුවෙන් නීතිඥ සමින් ද සිල්වා මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ මල්ෂා මඩවලගම මෙන විය පෙනී සිටියාය.

උපාලි ආනන්ද

නීතිපති උසාවියේදී ඡන්ද කොමිසම පට්ට ගහයි



පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට මැතිවරණ කොමිසම ඍජුවම වගකිය යුතු බව පෙන්වා දුන් නීතිපතිවරයා පළාත් පාලන මැතිවරණය  සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් ක්‍රියාමාර්ග නීතියට පටහැනි මෙන්ම වැරැදි සහගත බව සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (29) දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මැතිවරණ කොමිසම මෙලෙස දැඩි දෝෂ දර්ශනයට ඊයේ (29) ලක් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම්වල වග උත්තර කරුවන් වශයෙන් මැතිවරණ කොමිසම එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ ගොනු කර ඇති මෙම පෙත්සම් කැඳ වූ අවස්ථාවල දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍යතා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රැස්වීම් පවත්වා ඇති බව සඳහන් කළේය. එලෙස පැවැත් වූ රැස්වීම් සම්බන්ධයෙන් වැරදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද කීය.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉන්ධන හා ජල අවශ්‍යතා සපුරා ගැනීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල සහ ජල සම්පාදන මණ්ඩලය සමග 2023 පෙබරවාරි 17 වැනිදා පැවැත්වූ සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපතිවරයා පමණක් සහභාගි වී ඇති බවත් මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් එම රැස්වීමට සහභාගී නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය. මැතිවරණ විධානවලට සම්පූර්ණයෙන් පටහැනි ආකාරයට පවත්වා ඇති මෙම රැස්වීම පැවැත්වූයේ 2023 පෙබරවාරි 18 වැනිදා බවට වැරැදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ද ඔහු කීය.මැතිවරණ කොමිසම පවත්වනු ලබන රැස්වීම් සඳහා සියලු සාමාජිකයන් සහභාගී වී ඝනපූර්ණයක් තිබිය යුතු බවට මැතිවරණ නීතියේ සඳහන්ව ඇතත් මැතිවරණ කොමිසම නීතිය උල්ලංඝනය කරමින් සෑම විටම කටයුතු කර ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ කාලයේ රටේ පැවැති ආර්ථික අගාධයෙන් බේරීමට සහ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපයීමට විසර්ජන පනතක් ගෙනාවේ යැයි ද කීය.

එම විසර්ජන පනතේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සඳහනක් නොවූ නමුත් පෙත්සම්කාර පක්ෂ වැරැදි තොරතුරු අධිකරණයට සපයා ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අවස්ථාවේ රටේ පැවැති ආර්ථික අගාධයට පිළියම් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා රජයේ මුදල් වෙන් කළ නමුත් රජය හෝ එහි ප්‍රධානීන් කිසි විටෙකත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර නැතැයි ද කීය.වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.පෙත්සම්කාර සමගි ජනබලවේගය පක්‍ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතාද පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

රන්ජන් කටුගම්පොල

කෝටි 4 ක බැංකු කොල්ලයේ සැකකරු දැලේ




ජාඇල, කනුවන සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පු කපා රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා කිලෝ 2 බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සොරාගත් පුද්ගලයකු කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල දී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 11 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි.එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී එම බැංකුවෙන් සොරාගෙන තිබූ ගනුදෙනුකරුවන් 500 කට ආසන්න ප්‍රමාණයකගේ කිලෝ 2 කට ආසන්න බරින් යුත් රන් භාණ්ඩ තොගය, සේප්පු කැපීමට යොදාගත් ග්‍රයින්ඩරය, අඩු, මිටි, තල හා විදුලි පන්දම සහ එදින ඇඳ සිටි ඇඳුම් පැලඳුම් ද පොලිසිය මගින් සොයාගෙන ඇත.ඊට අමතරව සැකකරු එම සොරකම සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.ඉකුත් 25 වැනිදා ජාඇල, කනුවන ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනිය දින දෙකකට පසු බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී බැංකුවේ පැති බිත්තියක් අඩි එකහමාරක පමණ විෂ්කම්භයකින් හාරා කිසියම් සොර කණ්ඩායමක් ඇතුළට පැමිණ සේප්පු කපා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇති බවට ජාඇල පොලිසියට පැමිණිලි කර තිබිණි.

අදාළ සොරකම සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි වි. පී. ජේ. පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත එහි වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ ආරම්භ කළහ.සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී එම රන් ආභරණ තොගයෙන් කීපයක් පිටකොටුව හෙට්ටි වීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසල් කීපයකට විකුණා රුපියල් ලක්ෂ 24 මුදලක් ලබාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඉතිරි මුදල් කැසිනෝ ක්‍රීඩාව සඳහා වැය කළ බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. 37 ඇවිරිදි සැකකරු කැස්බෑව, මඩපාත කහපොළ පදිංචිකරුවෙකි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

යාපනය පාසලක වධකාගාරයකින් සිසුවියෝ 11ක් පැන ඇවිත්


යාපනය,කයිට්ස් ප්‍රදේශයේකාන්තා පාසලකට අයත්නේවාසිකාගාරයේ රැඳී සිටි දැරියන් 11 දෙනකුට පහර දී හිරිහැර කළේ යැයි කියන පාලිකාවක ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ අවුරුදු 13 ත් 19 ත් අතර පසුවන දැරියන් බවත් එම සියලු දෙනාම ප්‍රතිකාර සඳහා කයිට්ස් රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි පාලිකාවක බවද පොලිසිය කියයි.

පාලිකාවගේ පහරදීම් සහ හිරිහැර ඉවසාගත නොහැකිව එම දැරියන් 11 දෙනා නේවාසිකාගාරයෙන් පැන විත් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම පාලිකාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය එම දැරියන්ට අතින් පහරදී ඇතැයි අනාවරණය විය.දැරියන්ගේ සිරුරුවල තැලීම් සහ සීරීම් තුවාල දක්නට ලැබුණු අතර, ඔවුන් කයිට්ස් රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවැසීය.අත්අඩංගුවට ගැනුණු පාලිකාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.

 ගයාන් සූරියආරච්චි

තේ බොන්න නැවැත්තුවාම මගියා බසය පැහැරගෙන ගිහින්

 


පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් පෙරේදා (28) රාත්‍රියේ ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි සිටි සෙසු මගීන් බියට පත් වී මර ලතෝනි දී ඇතැයි ද වාර්තාවේ. කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා රාත්‍රී නමයට පමණ පහළවැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර ඇත.

රියැදුරා කොන්දොස්තරවරයා ඇතුළු බස් රථයේ සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇතැයි පොලිසිය කියයි.ඒ අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පැවැසේ.බීමතින් සිටි බව කියන මොහු හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ බව දුටු බස්රථයේ කොන්දොස්තරවරයා සහ රියැදුරා ත්‍රීරෝද රථයක ගොඩවී බලහත්කාරයෙන් රැගෙන යන බස් රථය හඹා යන අවස්ථාවේ ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.ඒ වනවිටත් බස් රථය කිලෝමීටර් හතරකට වැඩිදුරක් ධාවනය කරගෙන පැමිණ ඇති බව පොලිසිය පැවැසීය. රියැදුරා සහ කොන්දොස්තරවරයා බස් රථයට ගොඩ වී නැවත හෝටලය අසලට බස් රථය රැගෙන ඇවිත් ආහාර ගැනීම සඳහා ගොස් සිටි මගීන් බස් රථයට ගොඩ කරගෙන දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණ රියැදුරා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පොලිස් නෝනාගේ කාඩ්පත අහුලගෙන පොලිසියේම 5ක් හොරෙන් තෙල් ගහගෙන




මාතලේ පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේ පසුගිය 25 වැනිදා රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක සතුව තිබියදී නැතිවූ ඒ.ටී. එම්. කාඩ්පත අහුලාගෙන එම කාඩ්පතෙන් ඉන්ධන පිරවුම් පොළකින් පෙට්‍රල් ලබාගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පස් දෙනෙක් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙකු ලග්ගල සහ කන්දෙනුවර පොලිසියේ බහුකාරිය සහායකයන් ලෙස කටයුතු කරන්නන් බව පොලිසිය කියයි. අනෙක් අය කාර්මික නිලධාරියෙකි.මාතලේ විහාර මාවතේ මෙම ඒ.ටී.එම්. කාඩ්පත වැටී තිබියදී අහුලා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

තමාගේ අස්ථානගතව තිබූ තිබූ ඒ.ඒ.ටී.එම්. කාඩ්පතින් භාණ්ඩ ලබාගෙන ඇති බවට මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරිය මාතලේ මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට පැමිණිලි කර තිබූ අතර අස්ථාන ගතව තිබූ ඒ.ටී.එම්. කාඩ්පතින් භාණ්ඩ ලබාගත් බවට කෙටි පණිවිඩයක් කොස්තාපල්වරියගේ ජංගම දුරකථනයට ලැබී තිබුණේ යැයි පොලිසිය කියයි.

මාතලේ ඉන්ධන පිරවුම් පොළකින් පෙට්‍රල් ලබාගෙන රුපියල් 15,150 මුදලක් ද ලබාගෙන ඇති බව පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති මහන්තා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවට ගැනුණ පස් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මාතලේ මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබ සිටිති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Wednesday, May 29, 2024

පිරමීඩාකාර මුල්‍ය ආයතන පැවැත්වීම ගැන සමාවක් ලබාදිය නොහැකියි



රුපියල් කෝටි 3000කට අධික ජනතා මුදල් භාරගනිමින් නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළේ යැයි චෝදනා ලැබූ “ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනය අදාළ මුදල් තැන්පත්කරුවන්ට ආපසු ගෙවනු ලැබුවත් පිරමීඩාකාර නීතිවිරෝධී මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් එම ආයතනයේ අධ්‍යක්‍ෂවරුන්ට කිසිදු සමාවක් දිය නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (28දා) දැනුම් දුන්නේය.නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් දිගින් දිගටම ජනතා මුදල් රැස් කර ඇති සැකකරුවන් ඉඩකඩම්, ගෙවල්දොරවල්, යානවාහන, දේපළ,රැස් කර ඇති සැකකරුවන්ට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙන්ම බැංකු පනත යටතේද මහාධිකරණයේ නඩු පැවර්මට පියවර ගැනීමට කටයුතු කරන බව රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය. 

නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින අධ්‍යක්ෂවරුන් වන ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දීප සහ ධනංජය ජයාන් නමැති පස්දෙනා අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණය මඟහැර සිටින සැකකරුවන් වන ගයාන් චාමර වික්‍රමතිලක, සෑම් බස්නායක සහ ජොර්ජියානු ජාතිකයකු වන කකර්බර්ස් අස්ලානී විලී නමැති තිදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහේස්ත්‍රාත්වරයා යළිත් වරෙන්තු නිකුත් කළේය.තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ හැකියාවක් ඇද්ද? යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගිය නඩු වාරයේදී කළ නියෝගයකට අනුව සැකකාර අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා එම සවිස්තර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් තම සේවාදායකයන්ට එරෙහිව බැංකු පනත යටතේ මුල් අවස්ථාවේදී විමර්ශන ආරම්භ කළේ යැයි කීය.

"ඔන්මැක්ස්ඩී.ටී.” ආයතනය තැන්පත්කරුවන්ගෙන් මුදල් රැස් කළේ මාස 18ක් ඇතුළත ඔවුන්ට තුන් ගුණයකින් යළි මුදල් ගෙවීමේ පොරොන්දුව මත බවත්, තැන්පත්කරුවන්ගෙන් භාරගන්නා මුදල් 'බයිනෑන්ස්' ක්‍රමය සහ කිස්ටොකරන්සි හරහා මුදල් ආයෝජනය කර තැන්පත්කරුවන්ට යළි මුදල් ලබාදීමේ ක්‍රමවේදය දියත් වූයේ යැයි කී සැකකාර අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයන් මේ වන විටත් තැන්පත්කරුවන් 244,689 දෙනෙකුට ඩොලර් මිලියන 83 ක මුදලක් ආපසු ගෙවා ඇතැයිද මුදල් ගෙවීමට ඇත්තේ තවත් තැන්පත්කරුවන් 61,210කට පමණකැයිද ඔවුන්ට ඩොලර් මිලියන 18 ක මුදලක් ගෙවීමට ඉතිරිව ඇතැයිද කීය.

මුදල් ගෙවීමට ඉතිරිව ඇති තැන්පත්කරුවන්ගේ අනන්‍යතාව හඳුනාග හැකි ඊමේල් ලිපින හා සියලු කේත හා ඊට අදාළ ලිපි ලේඛන රහස් පොලීසියට විවෘත අධිකරණයේදී භාර දුන් අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයන්ට ඕනෑම චෝදනාවක් ගොනු කරන ලෙසත් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට තම සේවාදායකයන්ට ඉඩදෙන ලෙසත් ඉල්ලා සිටියේය. අධිකරණය මඟින් මේ වන විටත් තහනම් කර ඇති යූ.එස්.ඩී.ටී ගිණුම් මෙම නඩුවේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තම සේවාදායකයන්ට පරිශීලනය කිර්මට ඉඩ දෙන්නේ නම් වසර 02ක කාලයක් තුළ මෙම මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ හැකියාව ඇතැයි අනූජ ප්‍රේමරත්න මහතා පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් යු.එස්.ඩී.ටී. කියන අත්‍යන්ත මුදල් වර්ගයක් නිසා එම මුදල් නිදහස් කිරිමට ඉඩදිය නොහැකි යැයි කීය. මෙය වොලට් මුදල් වර්ගයක් නිසා අස්ථානගත වීමේ හැකියාව ඇතැයිද එසේ ඉඩ දුනහොත් හෙට වෙද්දී මේ මුදල් කා අතට පත් වේදැයි විශ්වාසයක් නැතැයිද මේ සම්බන්ධයෙන් සියලු විස්තර ඇත්තේ සැකකරුවන් ළඟ යැයිද කී ඔස්වල්ඩ් පෙරේරා මහතා තැන්පත්කරුවන් රුපියල්වලින් තැන්පත් කළාද? 

ඩොලර් වලින් තැන්පත් කළාද? ඊට අතරමැදියෝ ඉන්නවද? ඒ සියලු විස්තර සැකකරුවන් සතු බවත් මෙය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් බවත් කීය.අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කරමින් පිළියන්දල ප්‍රදේශයේ තැන්පත්කරුවන් 2153 දෙනෙකු රුපියල් කෝටි37 තැන්පත් කිරීමට අදාළ ලේඛන විමර්ශකයන්ට භාර දුන් අතර මුදල් ගෙවීමේදී එම ලේඛන නඩුවේ කොටසක් ලෙස සලකන්නැයි ඉල්ලා සිටියේය. නීතිඥ ආර්.ඒ.පී. රණවක මහතා කරුණු දක්වමින් සැකකරුවන් සුඛෝපභෝගී හෝටල්වල නතර වෙමින් සිටින හෙයින් විමර්ශනය කඩිනම් කර මුදල් ගෙවීම් ආරම්භ කරන්නැයිද එසේ නොකළහොත් ආයතනයේ දේපළ ක්‍ෂය වීමට හැකියාව ඇතැයිද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිස් නිලධාර්න් අමතමින් මෙම ආයතනය සතු ඉඩම් 31ක් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා කැඳවා ඇද්ද? මේ වන විට හඳුනාගෙන ඇති දේපළ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට ප්‍රමාණවත්ද? යනුවෙන් කළ විමසීමකට පිළිතුරු දුන් රහස් පොලිස් නිලධාහු මේ වනවිට හඳුනාගෙන ඇති දේපළ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට ප්‍රමාණවත් නැතැයි කීය.සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව තැන්පත්කරුවන් හා දේපළ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගෙවීම් ක්‍රමවේදය පිළිබඳව කරුණු දැක්වීමටද නියම කළේය. නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් පෙනී යන හෙයින් නීතිය අතට ගෙන කටයුතු නොකරන ලෙස අගතියට පත් පාර්ශ්වකරුවන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූලි මස 09 වැනිදා යළි කඳවීමටද නියම කළේය.

බුද්ධිමාල් රුබේරු


මෙරට විදේශ මුදල් සංචිතය ඩෝලර් බිලියන 5.5 මට්ටමට



මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට සතු නිල විදේශ සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.5ක් බව මහ බැංකුව සඳහන් කරයි. චීනයෙන් ලැබුණු එක්සත් ජනපද ඩොලර් ලියන 1.5ක SWAP පහසුකමත් සමගින් මෙම සංචිතය මේ දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ නිකුත් කළ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මේ පිළිබඳව කරුණු සඳහන් කර තිබේ. 

එම මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීමේ මාධ්‍ය හමුව ඊයේ මහ බැංකුවේදී පැවැත්වුණි. ආසන්න කාලසීමාවේදී සංචාරක පැමිණීම් සහ විදේශ මුදල්ප්‍රේෂණ ලැබීම් හරහා මෙම සංචිත ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි. මේ අතර නැවත වරක් වාහන ආනයනය කිරීම සදහා රජ්ය යොමුවීමේ අදහස සහ විදේශ මුදල් සංචිතයේ ඉහළ යාම සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, වාහන ආනයනය කිරීම පිළිබඳ තීරණය රජ්ය සතු දෙයක් බවත්, විදේශ විනිමය කළමනාකරණය මහ බැංකුවට හැකි බවත් පවසා සිටියි.

"දැනට සංචාරක කර්මාන්තය, වාණිජ කටයුතු සදහා මෝටර් රථ ගෙන්වීමට අවස්ථාව ලබාදී තිබෙනවා. යම් කිසි ආකාරයක විදේශ විනිමය කළමනාකරණය කිරීමේ හැකියාව පවතින බවට විශ්වාසය මහ බැංකුව සතුව තිබෙනවා."මහ බැංකුවට අනුව වසරේ මේ දක්වා කාලසීමාව තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම 8%කින් අතිප්‍රමාණය වී තිබේ.


විවාහයෙන් දින 12කට පසුව බිරිඳ කාන්තාවක නොවන බව හඳුනාගත් පුද්ගලයෙක්



විවාහයෙන් දින 12කට පසුව සිය බිරිඳ කාන්තාවක නොවන බව හඳුනාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි. 26 හැවිරිදි අයෙකු වන මෙම පුද්ගලයා තමන් AK ලෙස හඳුන්වාදී තිබේ. ඔහු මෙලෙස විවාහ වී ඇත්තේ අඩින්ඩා කන්සා නමැති අයෙකු සමගිනි. එහෙත් ඇය සම්බන්ධයෙන් ඇති වූ සැකයෙන් සිදුකළ පර්ක්ෂාවේදී ඇය කාන්තාවක නොවන බව ඔහු අනාවරණය කරගෙන තිබේ.

AK මාධ්‍ය වෙත පවසා ඇති ආකාරයට ඔහුට කන්සා හමුව ඇත්තේ 2023 වසරේදී සමාජ මාධ්‍ය වේදිකාවක් හරහාය. පසුව දෙදෙනා අවස්ථා කිහිපයකදීම එකිනෙකා හමුවී තිබේ. එම සෑම අවස්ථාවකදීම කන්සා ඉන්දුනීසියාවේ මුස්ලිම් කාන්තාවන් සැරසෙන ආකාරයට සම්පූර්ණම සිරුරම වැසෙන ඇඳුමක් ඇඳ පැමිණ තිබේ. එසේම කිසිදු අවස්ථාවකදීවත් ඇය සිය මුහුණ ඔහු වෙත ප්‍රදර්ශනය කර නැත. මෙය එරට මුස්ලිම් සම්ප්‍රදාය වීම නිසා ඔහුද ඊට අකමැත්තක් නොදැක්වූ බවත් පවසා සිටියි.

අවසානයේදී ඔවුන් දෙදෙනා විවාහ වී ඇති අතර, ඒ සඳහා චාම් උත්සවයක්ද පවත්වා තිබේ. කන්සා ඔහුට සඳහන් කර ඇති ආකාරයට ඇයට කිසිදු පවුලේ ඥාතියෙකු නොවීම ඊට හේතුව වී තිබේ. එහෙත් AK තුළ කන්සා සම්බන්ධයෙන් සැක මතුව ඇත්තේ ඉන්පසුවයි. විවාහයෙන් පසුව තවදුරටත් ඇය සිය මුහුණ වසාගෙන සිටීමට උත්සාහ කිරිම මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ මිතුරන් සමගින් කතාබස් කිරීම ප්‍රතික්ෂේප කිරීම යනාදිය ඊට හේතුව වී තිබේ. එසේම ඔහු සමගින් අඹුසැමි සබඳතා පැවැත්වීමද ඇය ප්‍රතික්ෂේප කර ඇත.ඒ අනුව විවාහයෙන් දින 12කට පසුව ඔහු ඇය ගැන තවදුරටත් සොයා බැලීමට කටයුතු යොදා තිබේ. එහිදී ඔහු කන්සාගේ මව්පියන් තවමත් ජීවතුන් අතර සිටින බව සොයා ගෙන ඇත. එසේම කන්සා යනු කාන්තාවක නොවන බවත්, ඇය පිරිමියෙකු බවත් ඔහු එහිදී අනාවරණය කරගෙන තිබේ.

හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව කන්සා මෙලෙස කාන්තා ඇඳුම් ඇඳීමට පටන් ගෙන ඇත්තේ 2020 වසරේ සිටයි. ඔවුන් දෙපළගේ විවාහ මංගල්‍ය උත්සවයේ ඡායාරූප තුළ පවා ඇය කාන්තාවක මිස පිරිමියෙකු බව කිසිවෙකුටත් හඳුනාගත නොහැකිය.එසේම ඔහුගේ ගමන් විලාසය මෙන්ම කතාබහද කාන්තාවක මෙන් වූ බව සඳහන් වෙයි.කෙසේ වෙතත් අවසානයේදී පොලිසිය සිදුකළ ප්‍රශ්න කිම්වලදී කන්සා සිය සැලසුම් අනාවරණය කර තිබේ. ඒ අනුව AK ගේ පවුලේ වත්කම් සොරකම් කිරීම වෙනුවෙන් තමන් ඔහු සමගින් විවාහ වූ බව කන්සා පවසා ඇත. ඉන්දුනීසියානු නීතිය යටතේ කන්සාට එරෙහිව වසර හතරක සිරදඩුවමක් පැනවෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.


17 හැවිරිදි සිසුවියගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයේ පළකල 18 හැවිරිදි සිසුවා අත්අඩංගුවට



දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා පළ කළ බව පැවසෙන දහ අට හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය සඳහන් කරයි.නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියකට යමින් සිටියදී මත්තේගොඩ කුඩමාදූව ප්‍රදේශයේ සිට පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබේ. මේ අතරතුරදී පෙම්වතා කිසියම් ඖෂධ වර්ගයක් පානය කරන බව දැනගෙන ඒ පිළිබඳ විපරම් කිරීමේදී පෙම්වතාට නිදන්ගත රෝගයක් හටගෙන ඇතැයි දැනගැනීම නිසා ප්‍රේම සම්බන්ධතාව නවතාලීමට පාසල් සිසුවිය කටයුතු කර තිබේ.

පසුව ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර තිබේ.මේ බව දැනගත් තරුණයා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාලය තුළදී වීඩියෝ කෝල් ගන්නා අවස්ථාවලදී පාසල් සිසුවියගේ නිරුවත් ඡායාරූප ස්ක්‍රීන්ෂෝට් හරහා ලබාගෙන තිබූ අතර එම ඡායාරූප ප්‍රේම සම්බන්ධතාව නැවැත්වීමෙන් පසුව ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇත.මේ බව දුටු මිතුරියන් කිහිපදෙනෙකු පාසල් සිසුවියට දැන්වීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. මත්තේගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


ජා ඇල ග්‍රාමීය බැංකුවේ කෝටි 4ක දේපළ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට

 


ජා ඇල, කණුවන සමූපාකාර ග්‍රාමීය බැංකුවෙහි දින තුනක් රැඳී සිට සේප්පු කපා රුපියල් කෝටි 4කට ආසන්න වටිනා කිලෝ 2ක බරින් යුත් රන් ආභරණ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සොරාගත් පුද්ගලයා පැය 48ක් යාමට මත්තෙන් කොල්ලූපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසලදී හෙරොයින් මත්කුඩු මිලිගෑම් 11200ක් සමග අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. කැස්බෑව, මඩපාත කහපොළ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

ඉකුත් 25 වෙනිදින ජාඇල කණුවන ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනිය දින දෙකකට පසු බැංකුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී කිසියම් සොර කණ්ඩායමක් ඇතුළට පැමිණ සේප්පු කපාරන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇති බවට ජාඇල පොලිසියට පැමිණිලි කර තිබිණි. අදාල සොරකම් සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී වී. පීජේ පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළ එහි වැඩ බලන ස්ථානාධිපති ලෙසකටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජ්යසේකර මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු අදාල ග්‍රාමීය බැංකුවට ගොස් ස්ථාන පරීක්ෂණ සිදුකර එහි බිම වැටී තිබූ සේප්පු කැපීමට ගයින්ඩරේට යොදා ගත් තල සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර එම තල චීනයෙන් මෙරටට ගෙන්වන දෙල්ගොඩ ප්‍රදේශයේ අදාළ ආයතනයට ගොස් එහි සහයද ලබාගෙන ඉතාමත් සංකීර්ණව කෙටි කාලයක් තුළ විමර්ශන කඩිනමින් සිදු කිරීමට පියවර ගනු ලැබ තිබේ.ඒ අනුව ලද තොරතුරු මත කොල්ලූපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක සිට පිටතට පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 22 වෙනි දින සවස 5.30ට පමණ ජා-ඇල කණුවන ග්‍රාමීය බැංකුවට ඇතුළුවී දිත 3ක් එහි රැඳී සිට සේප්පු කපා රත් භාණ්ඩ හා මුදල් සොරා ගෙන 24 වැනිදා පිට වූ බවයි

සොරාගත් රන් ආභරණ තොගය ඔහු නවාතැන්ගෙන සිටින රාගම හොරපේ ප්‍රශස්කාමරයක ඇදයට සහ කබඩ් එකක් තුළ තබා තිබෙන බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එහි ගිය පොලිස් නිලධාරීන් විසින් කිලෝ 2කට ආසන්න බරින් යුත් රන් ආභරණ තොගේ සොයා ගැනීමට සමත් ව තිබේ.සැකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම රන්  ආභරණ තොගයෙන් කොටසක් පිටකොටුව හෙට්ටි විදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳ සැල් කීපයකට විකුණා රුපියල් ලක්ෂ 24 මුදලක් ලබාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඉතිරි මුදල් කැසිනෝ ක්‍රීඩාව සඳහා වැය කළ බව ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී 2023 සැප්තැම්බර් මස 27 වැනිදා වෙන්නප්පුව මනම්පිටිය සමූපාකාර ග්‍රාමීභයකයේ ජනේලයේ ග්‍රීල් කපා ඇතුළු වී මේ ආකාරයෙන්ම සේප්පු කපා පවුම් 447 එනම් කිලෝ 3 1/2 බරින් යුත් කෝටියකට ආසන්න රත් භාණ්ඩ සොරකම සිදු කළේ මොහු බවට අනාවරණය වූ බවත් එම රත් භාණ්ඩ විකුණා ලබාගත් මුදල් වලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට කොළඹ වාහන අලෙවි සැලකින් මෙම මෝටර් රථය මිලදී ගත් බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගෙන ඇත. ඊට අමතරව තවත් සොරකම් රැස්කට සම්බන්ධ බවට අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

රුසියාවට යැවීමට රු. කෝටියක් වංචා කළ 03ක් දැලේ



විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව රුසියාවට යවන බව පවසා පුද්ගලයින් 140දෙනෙකුගෙන් පමණ රවටා රුපියල් කෝටියකට අධික මුදල් ලබාගෙන වංචා කළ පුද්ගලයින් 03කු ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය පවසයි.කටුබැද්ද මොරටුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් අතර, රියැදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු වන බව පොලීසිය සඳහන් කරයි.එම සැකකරුගේ රියැදුරු පාසල පරීක්ෂා කිරීමේදී විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 39ක් හා ව්‍යාජ ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. 

රියැදුරු පාසල පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව අවම මුදල වශයෙන් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 06 සිට රුපියල් ලක්ෂ 14 මුදලක් උපරිමය ලබා ගෙන ඇති බවට වංචාවට ලක්වූවන් පොලීසියට පැමිණිලි කර තිබේ. සැකකරුවන්ගේ වංචාවට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පුද්ගලයන් හසු වී තිබෙන බව එම පැමිණිලිවලින් වැඩිදුරටත් සනාථ වේ.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

මාතර නව දිස්ත්‍රික් රෝහලේදී සිදු වූයේ මළදරු උපතක්

 


මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහලේ දී සිදු වූයේ මළ දරු උපතක් බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය විශේෂ පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇති බවත් එම රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.එමෙන්ම අධිකරණ නියෝග අනුව බිලිඳාගේ සිරුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා මරණයට හේතු දක්වන බව මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී,ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ඩී.ආර්. සී.විජේනායක පවසයි.අධිකරණ නියෝග අනුව දරුවාගේ ඩීඑන්ඒ පරීක්ෂණ පැවැත්වීමටද නියමිතය.ඒකපාක්ෂිකව ඥාතීන් නගන චෝදනා මත පදනම්ව තීන්දු නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්, රෝහල් පාර්ශ්වයෙන් ඊට පිළිතුරු දීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙසට ඇති චක්‍රලේඛයක් නිකුත් කර තිබීම නීසා බවත් රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසයි.රෝහල් පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවද එම කාර්යමණ්ඩලය කියයි. රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් මෙසේද කීය.

"මේ දිනවල සමාජ මාධ්‍ය හා සමහර රූපවාහි නාලිකාවල ප්‍රචාරය වන මාතර මහ රෝහලේ බිලිඳාගේ ප්‍රශ්නය පිළිබඳ ඇත්තම තොරතුරු සමාජගත වී නැහැ. රෝහලට ඇතුළුවන විටම දරුවා මියගොස් ඇති බව මව විසින්ම ඇඳ ඉහපතෙහි ලියා අත්සන් කර තියෙනවා. දරුවා ඉපදුණ පසු මළ දරු උපතක් දුටු බවටත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නැති බවටත් ඇය විසින්ම ලියා අත්සන් කර තිබෙනවා. මළදරු උපත්වලින් 90%ක්,98%ක් විතරම ඥාතීන් විසින් රැගෙන යන්නේ නැහැ. රෝහලේ ඇති පහසුකම් අනුව මළ දරු උපත් විශාල ප්‍රමාණයක් ගබඩා කර ගන්න බැහැ. සති දෙකකට වරක් පැමිණෙන ලියාපදිංචි වී ඇති පෞද්ගලික සමාගමකට ඒවා ලබා දෙනවා. මෙම බිලිඳාගේ මරණය සිදුවී දෙවැනි දින උදේ කිසිවෙක් නොපැමිණ නිසා සිරුර එසේ පැමිණි වාහනයට ලබා දී තිබෙනවා.එදින සවස් කාලයේ ඥාතීන් මෙම සිරුර රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී අදාළ වාහනයට සිරුර භාර දුන් වග නොදත් වෙනත් සුව සේවා පාලිකාවක් මළ දරු උපත රැගෙන යාමට පැමිණි පසු එය ලබා දීම සදහා ලිය කියවිලි රැගෙන එන ලෙස ප්‍රකාශ කර තිබෙනවා.නමුත් ඒවා රැගෙන එන විට මෘත දේහය අදාළ පෞද්ගලික සමාගමට භාරදී තිබුණා.

රෝහල් අධ්‍යක්ෂවරයාට කාර්යමණ්ඩලය ඒ ගැන දැනුම් දුන් පසු අදාළ අංශවලට කතා කර පැය දෙකක් ඇතුළත නැවතත් එම මළ සිරුර ගෙනවිත් ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබෙනවා. එහෙත් එම අවස්ථාවේ ඔවුන් එය ලබා ගැනීමට අකමැති බවත්, ඒ සදහා DNA පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය හෙයින් මළසිරුර භාර දිය හැකිදැයි අසා තිබෙනවා.එවිට රෝහල් අධ්‍යකවරයා DNAපරීක්ෂණයක් කර ගැනීමට මළසිරුර පිටතට ගෙනයෑමට ලබාදිය නොහැකි බවත්, එසේ කරන ආයතනයකින් පැමිණ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීම පිළිබඳ විරුද්ධත්වයක් නැති බවත් ප්‍රකාශ කර තිබෙනවා. එසේ නොමැති නම් උසාවි නියෝගයක් මාර්ගයෙන් DNA පරීක්ෂණයක් රජය මගින් කරදීමට හැකි බවත් ප්‍රකාශ කර තිබෙනවා.

දැනට මාධ්‍යවල ප්‍රචාරය කරමින් පවතින්නේ අධ්‍යක්ෂවරයාගේ කාමරයට පැමිණි ප්‍රාදේශීය දේශපාලකයෙක් බව කියා ගත් පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත කළ දර්ශන කිහිපයක්. දැනට මෙම රෝහලේ මසකට බිලිඳුන් 450-500 අතර ප්‍රමාණයක උපත් සිදු කරමින් ප්‍රදේශයේ විශාල සේවයක් කරමින් පවතිනවා. පවතින නීති රීති අනුව රෝහල් අධ්‍යක්ෂවරයාට හෝ වෙනත් අයකුට මෙහි සැබෑ තත්ත්වය මාධ්‍යයට ඉදිරිපත් කිරීම තහනම් බැවින් මෙහි සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාවක් නැහැ. ගැබිණි මව්වරුන් විශාල පිරිසක් භීතියට පත්ව තිබෙනවා. මෙහි හානිය සිදු වන්නේ ද සමාජයටයි. මේ පිළිබඳව සාඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය විශේෂ පරීක්ෂණ දෙකක් දැනටම ආරම්භ කර තිබෙනවා.මෙහි සත්‍යය ඉදිරියේදී අනාවරණය වේවි.”


ක්‍රිෂාන් ජීවක ජයරුක්

පොහොට්ටු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිරිසක් පොල් ගසයි



රටේ ආර්ථිකයට හානි කර හා රට බෙදීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් පරාජයට පත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඊයේ (29දා) සිවිල් සංවිධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.විරෝධතාවට සමගාමීව එම ස්ථානයේ පොල් ගැසීමටත් විරෝධතාවට සම්බන්ධ වූ යම් පිරිසක් කටයුතු කළ අතර, එහිදී පොදුජන පෙරමුණට සහාය දක්වන පිරිසක් විරෝධතාකරුවන්ට විරෝධය දැක්වීමටත් කටයුතු කර තිබේ.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සියලුම පනත් කෙටුම්පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් සම්මත කර ගනිමින් තිබෙන බවද මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා සඳහන් කළේය.මේ නිසා රට බෙදීමට හා රටේ ආර්ථිකයට හානි වන ආකාරයට ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් පරාජයට පත් කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවද පවසා සිටියේය.

එච් අයි තුෂාර

විජයදාසගේ පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු වශයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පිළිගැනීම වළකාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා වාරණ නියෝගක් ඊයේ (28) නිකුත් කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එසේ නියම කළ දිසා විනිසුරුවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළකාලමින්ද වාරණ නියෝගයක්ද නිකුත් කළේය.ජුනි මස 11 වැනිදා තෙක් බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝග නිකුත් කළ දිසා විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට දැනුම් දෙමින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගොනුකළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, වැඩ බලන මහලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත, සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් නම් කර ඇත. පෙත්සම්කාර ලසන්ත අලගියවන්න මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර විජයදාස රාජපක්ෂ මහතා පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්කළ බව කියන පසුගිය 12 වැනිදා පැවැත්වු විධායක සභාවේ කටයුතු නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි යැයි පැවසීය.

පක්‍ෂයේ විධායක සභා රැස්වීම කැඳවීමට බලය ඇත්තේ සභාපතිවරයාට හා ලේකම්වරයාට පමණක් බවත් විධායක සභා රැස්වීමක් කැඳවීම සඳහා අවශ්‍යතා හතරක් සම්පූර්ණ විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා පක්‍ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රීපාල සිරසේන සහ ලේකම් කීර්ති උඩවත්ත මහත්වරුන්ට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝග නිකුත් කර තිබු අවස්ථාවක පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටයුතු කළ සරත් ඒකනායක මහතා ලේකධූරයේ බලය යොදාගනිමින් පසුගිය 12 වැනිදා විධායක සභා රැස්වීමක් කැඳවීම නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි යැයිද කීය. විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව ප්‍රකාශ කළත් ඔහු මේ වන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු ලෙස කටයුතු කරන්නෙන් යයි කී ෆර්මාන් කාසීම් මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඔහු ඉවත් වූ බව ප්‍රකාශ කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද අහිමි විය යුතු යැයි කීය.

නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි අන්දමට ලේකධූරයේ බලය අයුතු ලෙස යොදාගනිමින් පසුගිය 12 වැනිදා පැවැත්වු විධායක සභා රැස්වීමේදී විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට එහි විධායක සභාව ගත් බව කියන තීරණය සම්පූර්ණයෙන්ම අනීතික බව පෙන්වා දුන් ෆර්මාන් කාසීම් මහතා නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි විධායක සභා රැස්වීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කරුණු දක්වමින් සාමාජිකයින් 240 කින් සමන්විත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ බහුතරයගේ එකගත්වයෙන් තම සේවාදායකයා පක්‍ෂයේ සභාපතිවරයා වශයෙන් පත් කර ඇතැයි පැවසීය.දේශපාලන පක්ෂයක ක්‍රියාත්මක වන බහුතරයකගේ තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය වශයෙන් හඳුන්වන බවත් පෙත්සම්කාර ලසන්ත අලගියවන්න මහතා අදාළ විධායක සහ රැස්වීමට සහභාගි වී නැතැයිද කී ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මෙම විධායක සභා රැස්වීම හොර රහසේ පවත්වන ලද්දක් නොවන බවත් නිදහස් පක්ෂයේ සාමාජිකයන් 118 දෙනකු එම රැස්වීමට සහභාගි වූ බවත් ඔවුන් ඒකමතිකව අදාළ පත්කිරීම අනුමත කළ බවත් කීය.

මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති හෙයින් මුල් අවස්ථාවේදීම මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ඉල්ලා සිටියේය. පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ මහතා කරුණු දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා පක්‍ෂයේ සභාපතිවරයා ලෙස පත් කළ බව කියන විධායක සභා රැස්වීම කැඳවා ඇතතේ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක මහතා යැයි පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමෙන් සරත් ඒකනායක මහතා වළකාලමින් කොළඹ දිසා අධිකරණය මීට පෙර වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි කී නීතිඥ පුලස්ති රූපසිංහ මහතා එවැනි වාතාවරණයක් තිබියදී ඔහු නියෝජ්‍ය ලේකධූරයේ කටයුතු කරමින් මහලේකම්වරයාගේ බලය භාවිත කර රැස්වීම කැඳවීම නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවද පෙන්වා දුන්නේය.සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලෙන් ඉල්ලා ඇති සියලු වාරණ නියෝග සහ අතුරු තහනම් දැන්වීම් ලබන 11 වැනිදා තෙක් නිකුත් කළ දිසා විනිසුරුවරයා වග උත්තරකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීවීමට නියම කරමින් නොතීසි කළේය.

මනෝප්‍රිය ගුණසේකර

කුඩු සනාගේ කෝටි 30 දේපළ රාජසන්තකයි

 

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන බන්ධනාගාරගතව සිටින “අඟුලානේ කුඩු සනා” නමැත්තාට අයත් උපයාගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝනදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනාකමැති දේපළ අධිකරණ නියෝග මත පවරා ගැනීමට කටයුතු කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පවසයි.

එලෙස පවරාගත් දේපළ අධිකරණය මගින් ලබාගත් නියෝග මත ඒ ඒ දේපළ පිහිටි බල ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයට ලබා දීමට කටයුතු කළ බව ද එම ඒකකය පවසයි.මෙරට ප්‍රධාන පෙළේ මත් ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ සමීපතමයකු වන “අඟුලානේ කුඩු සනා" නමැත්තා සහ සැකකරුගේ මව සැකකරුගේ බිරිඳ සහ සහෝදරයා යන පවුලේ සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින අය බවත් සියලු දෙනාටම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා වී තිබූ බවට ද අනාවරණය වී ඇත.මෙම සැකකරුවන් නීති විරෝධී ආකාරයෙන් උපයාගත් වත්කම් පිළිබඳව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගින් ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය තව දුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.එහිදී අනාවරණය වී ඇත්තේ අඟුලානේ කුඩු සනා ඔහුගේ බිරිඳ සහ ඔහුගේ සහෝදරයා බව කියන අඟුලානේ පොඩි මෑන් නමැති අය විදේශගතව ඩුබායි හි සැඟව සිටින බවය.

එලෙස විමර්ශන ක්‍රියාත්මක වන අතරතුර මහනුවර ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවෙසක සැඟව සිටියදී ඉහත සැකකරුවන් තිදෙනා පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර පසුව එම සැකකරුවන් තිදෙනා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය බාරයට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.එහිදී සිදු කළ විමර්ශනයේ දී වත්කම් ඉපයූ ආකාරය හෙළි කිරීමට නොහැකිවීම නිසාවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ප්‍රධාන සැකකරු සතුව තිබූ සුඛෝපභෝගී මෝටර් රථ තුනක් , අධිශීතකරණ සහිත මාළු ගබඩා කළ හැකි ලොරි රථයක් ආදී රථ වාහන රැසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද එම ඒකකය පවසයි. 

වැඩි දුරටත් සිදුකළ විමර්ශනවලින් පසු පානදුර මහාධිකරණ වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු හොරණ, කෝරළඉම පිහිටි නිවෙස සහ මොරොන්තුඩුව කුඩා ගෝනදූව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස දෙක මෙලෙස භාරයට ගෙන ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා ලබාදීමට කටයුතු කළ බව ද එම ඒකකය පවසයි. ඒ අනුව හොරණ, කෝරළඉම තේවත්ත පාර ප්‍රදේශයේ පර්චස් දහයක ඉඩමක ඉදිකළ අධිසුඛෝපභෝගී කාමර වලින් සමන්විත තෙමහල් නිවෙසක් හොරණ ප්‍රාදේශීය ලේකම් කේ.ඩී.එස්. සජීවනා මහත්මිය භාරයටත් මොරොන්තුඩුව කුඩා ගෝනදූව ප්‍රදේශයේ පර්චස් 32 ක ඉඩමක නාන තටාක ඇතුළුව ඉදිකර තිබූ සුඛෝපභෝගී තෙමහල් නිවස කළුතර ප්‍රාදේශීය ලේකම් කේ.ටී. සාරංගී ධීරරත්න මහත්මිය භාරයටත් ගැනිණි.ඒ අනුව අදාළ දේපළ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරේ.


කේ. බුද්ධික කුමාරසිරි

පන්සීයේ හොරකමට අයියා මරලා



රුපියල් 500 ක් හොරෙන් ගත්තැයි වැඩිමහලු සොහොයුරාට අතින් පයින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ මල්ලී අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත උපෝසථාරාම පාරේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

පින්වත්ත උපෝසථාරාම පාරේ පදිංචිව සිටි ජයන්ත සිල්වා නමැති 52 හැවිරිදි තැනැත්තෙක් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.සැකකරු, මියගොස් ඇති වැඩිමහලු සොයුරා සහ මව සමග නිවසේ පදිංචිව සිටින අතර රුපියල් 500 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් සිය වැඩිමහලු සොහොයුරාට ඉකුත් 13 දා පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.පහර කෑමෙන් තුවාල ලබා සිටි තැනැත්තා ඉකුත් 21 දා පානදුර මූලික රෝහලේ දී මියගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

සුමිත් පොතුපිටිය

අයිස් ජාවාරමාගේ ගෙදර එස්.අයි.කෙනෙකුත් ඉඳලා



කිලිනොච්චිය ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පෙරේදා (27) වටලා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2100 ක්ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම නිවෙසේ රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකු ද අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කයිට්ස් පොලිසියේ රාජකාරි කරන්නකු බව පොලිසිය කියයි.

ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක තාවකාලිකව පදිංචිව සිටින්නකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවට ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම නිවෙස වටලා ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනුණ සැකකරු පදිංචිව සිටි නිවෙසේ තිබී මත්ද්‍රව්‍ය කිරීමට යොදා ගන්නා විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අමතරව ඔහුගේ නිවෙසේ රැඳී සිටිය දී අත්අඩංගුවට ගැනුණ උප පොලිස් පරීක්ෂකවරයා සහ අනෙක් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින්නේ දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන් කිලිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය කටයුතු යොදා ගෙන යයි.සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 ඉන්දිකා රාමනායක

කඩෙන් ලක්ෂ 33ක ෆෝන් ඉස්සු සේවකයායි සහෝදරයයි අත්අඩංගුවට



කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ජංගම දුරකතන අලෙවි සලකට කඩාවැදී රුපියල් ලක්ෂ 33 කට ආසන්න වටිනාකමින් යුත් දුරකතන අඩංගු බෑගයක් කොල්ලකෑමේ සිද්ධියට එම වෙළෙඳසලට දින 10 කට පමණ පෙර සේවයට පැමිණි පුද්ගලයකු සහ ඔහුගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.කොල්ල කන ලද අයි ෆෝන් වර්ගයේ හා ගූගල් පික්සල් වර්ගයේ ජංගම දුරකතන 14 ක් හා කොල්ලකෑමට යොදාගත් යතුරුපැදියක් පොලිස් බාරයට ගෙන ඇත. නාඳුනන පුද්ගලයකු ඉකුත් 26 වෙනි දින පැමිණ පිස්තෝල වර්ගයේ අවියක් පෙන්වා ජංගම දුරකතන අඩංගු බෑගය කොල්ලකා පලා ගිය බව අත්අඩංගුවට ගත් ජංගම දුරකතන හලේ සේවකයා පොලිසිය හමුවේ ප්‍රකාශ කළැයි පොලිසිය කියයි.

අදාළ කොල්ලකෑම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.එස්. මනතුංග මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ විමර්ශනවල දී ගිනි අවියක් රැගෙන පුද්ගලයකු ඇතුළු නොවන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම සේවකයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සැකකරුට ඇති වූ මුදල් අවශ්‍යතාවක් මත ඔහු විසින් සැලසුම් කරනු ලැබූ කොල්ලයක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

මේ අනුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ ඥාතියකු සහ තවත් පුද්ගලයකු වෙළෙඳසල අසලට ගෙන්වාගෙන මෙම කොල්ලය සිදු කර තිබූ බව පොලිසිය කියයි. සැකකරුගේ ප්‍රකාශ මත කොල්ල කන ලද ජංගම දුරකතන තොගය හෝමාගම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පොලිසිය මගින් සොයා ගැණින.ඒ අනුව මෙම කොල්ලය සිදුකර තවත් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බව පොලිසිය සඳහන් කරයි. අදාළ කොල්ලය සීසීටීවී කැමරාවක ද සටහන් වන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ වයස අවුරුදු 26 හා 31 අතර පසුවන හෝමාගම කටුවාන පාර පදිංචිකරුවෝ වෙති. සැකකරුවෝ දෙදෙනා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

හෙල්මට් ප්‍රහාරයකින් මැරුණු එක්දරු පියාගේ සොහොන කඩා මිනිය අරන් ගිහින්

 


පසුගිය වසරේ වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ප්‍රදේශයේ දී හෙල්මට්වලින් පහරදීමෙන් මියගිය තම ස්වාමි පුරුෂයාගේ මෘතදේහය තැන්පත් කර තිබූ ගල්මත්ත, කුරුදිප්පිට සුසානභුමියේ සොහොන හාරා හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව බිරිද විසින් ඊයේ (28) දින වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.2023 වසරේ පෙබරවාරි මස 14 වැනි දින ගල්මත්ත ප්‍රදේශයේ දී පාසල් සිසුන් තිදෙනකු සමග ඇති වූ ආරවුලක දී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියකු මියගිය අතර ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත, කුරුදිප්පිට සුසාන භූමියේ කොන්ක්‍රීට් දමන ලද වළක භූමදානය කර තිබුණි.එතැන් පටන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පින්කම් පැවැත්වෙන දිනවලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර ඇති අතර මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනෙකු පැමිණි විට එම මිනී වළ හරා තිබෙන බව දැක මියගිය අයගේ බිරියට දැනුම් දී ඇත.


අනතුරුව මියගිය අයගේ බිරිය වන පී. දිල්හාරි ප්‍රසාංගිකා එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා තම ස්වාමි පුරුෂයාගේ මෘත දේහය මිහිදන් කළ ස්ථානය හාරා එම දේහයේ හිස ඇතුළු කොටස් කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවට වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. ඉතාම අවාසනාවන්ත ලෙස තම ආදරණීය සැමියා මියගිය බවත් ඔහු මිය ගොස් තවම ගත වී ඇත්තේ වසරකුත් මාස තුනක් බවත්, ඔහුගේ මිහිදන් කළ දේහයේ කොටස් මෙසේ එම ස්ථානයෙන් ඉවත්කිරීම පිළිබඳ තමා දැඩි කම්පාවට පත් වූ බවත් මෙම අමානුෂික සිද්ධිය තම සැමියාගේ මරණයට වගකිවයුතු පිරිසම සිදුකරන්නට ඇතැයි තමා සැකකරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මේ පිළිබඳව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

203 පෙබරවාරි මස 14 වැනි දින මියගිය දොන් රංග විරාජ් ජයසිංහ නමැති අයගේ බිරිඳ විසින් තම ස්වාමි පුරුෂයාගේ දේහය තැන්පත් කර ඇති සොහොන කිසියම් පිරිසක් විසින් හාරා එම දේහයේ කොටස් රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.එම එක්දරු පියා මියගියේ හෙල්මට් ප්‍රහාරයකින් බවට එම අවස්ථාවේ විවිධ මාධ්‍ය ප්‍රචාරය කළත් ඔහු මියගොස් ඇත්තේ හෙල්මට් ප්‍රහාරයෙන් ඇති වූ කම්පන තත්වය සමග ඇති වූ හෘදයාබාධයකින් බවට එම දේහය පිළිබඳව පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවෙන් හෙළි කර තිබෙනවා.

ඔහුගේ දේහය භූමදානය කළ සොහොන හාරා එම සිරුරේ කොටස් රැගෙන ගොස් ඇති බවට ඔහුගේ බිරිඳගේ පැමිණිල්ලට අනුව මම සහ මගේ නිලධාරීන් විසින් එම සුසාන භුමිය වෙත ගොස් එම සොහොන පරීක්ෂා කළ අතර එම මිනීවල හාරා ඇති බව නිරීක්ෂණය වුණා. ඒවගේම එම මිනීවලට යාබද මිනී වළත් හෑරීමට උත්සහයක් දරා ඇති බවත් පේනවා. මෙම මියගිය අයගේ ඝාතනය පිළිබඳව මේ වන විටත් මතුගම අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර මෙම සිදුවීම පිළිබඳවත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර ගරු අධිකරණයේ උපදෙස් අනුව ක්‍රියා කරනවා යැයි පැවැසීය.

 බන්දු තඹවිට 

කංජිපානිගේ පියාට ලක්ෂ 20ක දඩයක්


මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලාගිය අපරාධ කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ්  ඉම්රාන් මොහොමඞ් කාසිම් නොහොත් කංජිපාණි ඉම්රාන්ගේ පියාට රුපියල් ලක්ෂ විස්සක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (28) නියම කළේය.මෙම ඉම්රාන් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම යන කරුණ පදනම් කරගෙන මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන්ට දඩය නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකළහොත් ඇප රාජසන්තක කරන බවද දන්වා සිටියේය.

පොලිස් නිලධාරියකුගේ රාජකාරියට  බාධා කරමින් බලපෑම් කිරීමට එරෙහිව පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩය නියම කෙරිණි.ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුගේ ඇපකරු ලෙස රුපියල් ලක්ෂ හතළිහක ශරීර ඇපයකට අත්සන් කළ මොහොමඩ් නජීම් වන්දනා ගමනක් යාම සඳහා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ අවසරය ලබාදීමට පෙර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත්දැයි අධිකරණය විමසා සිටියේය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණය මගහැර පලායෑම, ඇපකරුට සැකකරු ඉදිරිපත් කිරීමට නොහැකිවීම යන කරුණු මත ඇප රාජසන්තක කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය. නැතහොත් අදාළ ඇපය දඩයක් ලෙස ගෙවන ලෙසට නියම කළේය. ලක්ෂ 40ක මුදලක් තැන්පත් කිරීමට නොහැකි බව ඇපකරු අධිකරණයට දන්වා සිටියේය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ විස්සක දඩයක් ඇපකරුට නියම කරමින් විදේශගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

රෝෂන් තුෂාර


මම ඉල්ලුවේ මගේ දරුවාගේ මිනිය විතරයි

 



මමයි මහත්තයි දරු සුරතල් බලන්න සිහින මව මවා හිටියේ. මගේ දරුපැටියගේ මූණ යාන්තම් මට පෙන්නුවා. ඒත් මට වඩා ගන්න දුන්නේ නැහැ යැයි වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුව පදිංචි ඩබ්ලිව්.ඒ. කාවින්දෑ මදුශානි මහත්මිය හඬා වැලපෙමින් අප සමග කීවාය. '' මැරිච්ච දරුවකුටවත් නිදහසක් නැහැ මිනිය මට දුන්නා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නේ නැහැ. මම මුකුත් කිව්වේ නැහැ මම ඉල්ලුවේ මගේ දරුවගේ මිනිය විතරයි.”වැලිගම යද්දෙහිවත්ත පදිංචි ඩබ්ලිව්.ඒ. කොහුණුගමුව කාවිද්‍යා මදුශානි (23) තරුණිය පෞද්ගලික ආයතනයක සේවය කරන අතර එම ආයතනයේම සේවය කරන දෙණියාය ප්‍රදේශයේ පදිංචි තරුණයකු වූ ආර්.එච්. සජිත් චතුර මහතා (27) සමග දැන හැඳින ගැනීමෙන් අනතුරුව විවාහ වීමෙන් පසුව කාවින්දෑ මදුශානිගේ මව්පියන් සමග මෙම තරුණ යුවළ සතුටින් ජීවත් වෙමින් සිටියහ.

යුවළගේ පළමු කුළුඳුල් දරුවා බිහි කිරීම සඳහා කාවිද්‍යා මදුශානි තරුණිය දින ගනිමින් කල් ගෙව්වාය. මේ සඳහා පෞද්ගලික වෛද්‍යවරයකු වෙත යොමු වී උපදෙස් ලබා ගැනීමට ද මොවුහු අමතක නොකළහ.සුපුරුදු පරිදි ඉකුත් 22 වැනිදා සිය පෞද්ගලික වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කාවිද්‍යා මදුශානි කටයුතු කළ බැවින් එම වෛද්‍යවරයාගේ නිගමනය මත වහාම රාත්‍රි 11:30ට පමණ ත්‍රීරෝද රථයකින් මාතර කොටවිල නව දිස්ත්‍රික් මහ යොමු වී තිබේ. රෝහල වෙත අනතුරුව ඇය පරීක්ෂා කළ

වෛද්‍යවරුන් ඇයට ඖෂධ වර්ග ලබාදීමට කටයුතු කර තිබිණි.පසුව ඉකුත් විසි හතර දින (24) අලුයම දෙකයි හතළිස් එකට ඇය දරුවකු බිහිකර තිබිණි.එම බිලිඳා ඇයට මුල් වරට පෙන්නූ බවත් නමුත් ඇයගේ දෝතට නොදුන් බව කියමින් ඇය කඳුළු සලමින් හඬන්නට වූවාය.දරු සුරතල් බලාපොරොත්තුවෙන් සිටි කාවින්ද මදුශානි මඳ වේලාවකට පසුව නැවත මෙසේ කියන්නට වූවාය.මම 22 බබා හම්බවෙන්න චැනල් එකට ගියා. වෛද්‍යවරයා කිව්වා බබාගේ හාට් එක වැඩ  කරන්නේ නැහැ රෝහලට යන්න කියලා  පසුව රෝහලේ නැවතුණා.

දරුවා ගන්න අමාරු වෙන්න බෙහෙත් දාලා කැමැත්ත අරගෙන දරුව ගත්තා. වෛද්‍යවරු කියන්නේ මගේ බඩේදිම දරුවා නැති වෙලා කියලා තමයි. ඩොක්ටර් කියන දේ තමයි මම දන්නෙ. මම ඩොක්ටර් කෙනෙක් නෙ වෙයිනේ. එයාලා කියන දේ තමයි මම දන්නේ කොහොම හරි දරුවා ලැබුණට පස්සේ මගේ අතටවත් දුන්නේ නැහැ. අල්ලන්නවත් දුන්නේ නැහැ. පොඩ්ඩක් පෙන්නුව විතරයි. කොහොමහරි ඉතින් මගේ මහත්තයා එනකල් දරුව තියාගන්න කියලා කිව්වා.

එයාලා කියන විදියට දරුවා මැරුණා නම් දරුවාගේ මිනිය හරි දෙන්න පුළුවන්නේ පෙන්නන්න පුළුවන්නේ. අපි අධිකරණ නියෝගයක් ගත්තට පස්සේ තමයි මිනියක් අපිට පෙන්නුවේ. ඒ දරුවා කාගෙද කියලා මම දන්නෙ නැහැ. ඒ නිසා අධිකරණය මාර්ගයෙන් ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා  දාලා තියෙන්නේ. මැරිච්ච දරුවකුටවත් නිදහසක් නැහැ. මිනිය මට දුන්නා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නේ නැහැ. මම මුකුත් කිව්වේ නැහැ. මම ඉල්ලුවේ මගේ දරුවගේ මිනිය විතරයි. මට සාධාරණයක් ඉටුකර දෙන්න. ඇය ඉකී ගසමින් කියන්නට වූවාය.ඇයගේ ස්වාමිපුරුෂයා වූ සජිත් චතුර (27) මෙසේ හඬ අවදි කළේය.

ඉකුත් 22 දින මම වැඩට ගිහින් හිටියේ. මට කෝල් එකක් ආවා අම්මගෙන් දරුවා රෝහල් ගත කළා එන්න කියලා. මම රෝහලට යන විට දොළහ පමණ වුණා. ඒ වෙලාවේ වාට්ටුවේ හිටපු ඩොක්ටර් කිව්වා දරුවාගේ අදහස අත්හැර ගන්න. වෙන දරුවෙකු ගැන ප්ලෑන් කරමු. අපි වෙන දරුවෙකුට යමු මේ දරුවා අත්හරින්න මම ඇහුව ඩොක්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දරුවාගේ වර්ධනය අඩු නිසා අඩුපාඩුවක් තියෙනවා. හාට් එක නැවතිලා තියෙන්නේ. දැන් අම්මා බේරගන්න උත්සාහ කරමු කියලා. දරුව එළියට ගන්න බෙහෙත් දීලා තිබුණා. 24  අලුයම 2:41 දරුවා ලැබිලා තිබුණා. ඒ වෙලාවේ ඩොක්ටර් කියලා තිබුණේ දරුවා මිය ගිහිල්ලා කියලා. වයිෆ්ගෙන් අස්සනක් අරගෙන තිබුණා.

24 වාට්ටුවට ගිහින් දරුවා බලන්න ඕන කියලා කිව්වට පසුව වාට්ටුවේ මිස්ලා කිව්වේ පල්ලෙහාට ගිහින් බලන්න කියලා. පසුව කිව්වා මාතර රේජිස්ට්‍රාර් ළඟට ගිහින් රේජිස්ට්‍රාර් කරලා මාතර නගර සභාවට ගිහින් භූමදාන කටයුතු සඳහා ඉඩක් වෙන් කර ගෙන එන්න කියලා. ඉන් පස්සේ මම ආවා මට දරුවා බලන්න ඕන කියලා කිව්වා. දරුවගේ තාත්තා හැටියට ඊට පස්සේ කට්ටිය කිවා දරුවා පෙන්වන්න ලිහ ලිහ ඉන්න වෙලාවක් නැහැ කියලා හෙට ගෙනියනවනේ එහෙම බලා ගන්න කිව්වා. 24 දින ඔක්කොම වැඩ ටික කරලා 25 දින දරුවාගේ අවසන් කටයුතු කරන්න දරුවා මට දෙන්න කියලා මම කිව්වා. අවශ්‍ය ලිය කියවිලි දුන්නා. 25 ඇවිත් දරුවා ඉල්ලන විට එයාලා කියනවා. දරුවා නැහැ කියලා මම අහන විට එයාලා කියනවා භූමදාන කටයුතු සඳහා පී.එච්. අයි මහත්තයා අරගෙන ගියා කියලා. ඊට පස්සේ කියනවා මෝචරියට දැම්මා කියලා. මං ඊට පස්සේ ඇහුවා ඉඩක් වෙන් කරගෙන එන්න කියලා මෙහෙම කරාම හරිද? කියලා. 

දැන් ගෙනිහින් භූමදාන කටයුතු කරලා ඉවරයි. එදා බහින් බස්වීමක් වුණා. පසුව පොලිසියෙන් ආව. ඇවිත් උපදෙස් දුන්නා නීතිය ක්‍රියාත්මක කරන්න නම් පොලිසියට පැමිණිලි කරන්න එපා. කොළඹ සිට මරණයක් එනවා කියලා. ඒ අනුව රෝහලේ බලධාරීන් විසින් විටින් විට පළ කළ අදහස් මත අපිට සැකයක් ඇතිවුණා. දැනට අධිකරණයේ නියෝග මත ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන්න නියමිතයි. ඒ අනුව අපි සාධාරණත්වය බලාපොරොත්තු වෙනවා.

කොටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (28) නිවාඩු ලැබ සිටි බැවින් වැඩ  බලන ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳව උසස් නිලධාරියෙකුගෙන් තොරතුරු ලබා ගන්නා ලෙසය. මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් නව රෝහලේ අධ්‍යක්ෂ උපාලි කරුණාරත්න මහතාගෙන් දුරකථනය – ඔස්සේ කළ විමසීමක දී මෙසේ පැවසීය.මියගිය බිලිඳා ඉවත් කොට මවගේ ජීවිතය බේරා ගැනීම ප්‍රමුඛ කාර්ය වුණා. එම බිලිඳා මියගොස් තිබු බව මව පිළිඅරගෙන තිබුණා. ඒ බවට ලිඛිතව තිබෙනවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවෙන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්, සහ අධිකරණය මගින් පරීක්ෂණයක් සිදුවෙනවා.

තරංග ගුණරත්න

හෝටලෙන් අස් වුණාට මළ පැන සේවකයා පැහැරගෙන තග දාලා


තම හෝටලයෙන් ඉවත් වූ සේවකයකු පැහැරගෙන ගොස් තර්ජනය කළැයි කියන මහනුවර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකු පෙරේදා 27 අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රසිද්ධ පාසලක ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු බව ද පොලිසිය පවසයි.සැකකරුට අයත් හෝටලයක සේවය කළ පුද්ගලයකු පෞද්ගලික හේතුවක් මත ඉන් ඉවත්ව යන බව සැකකරුට අවස්ථා කිහිපයකදීම පවසා ඇති බව පොලිසිය පවසයි.පසුව එම සේවකයා හෝටලයෙන් ඉවත් වී වෙනත් රැකියාවක නිරත වී සිටි බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. 

හෝටලය හිමිකරු මාර්ගයේ ගමන් කරන අතරතුර හෝටලෙන් ඉවත් වූ සේවකයා දැකූ ඔහුගේ මෝටර් රථයට නංවා පැහැරගෙන ගොස් තර්ජනය කර ඇති බව ද පොලිසිය කියයි.මහනුවර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවල දී හෝටල් හිමිකරු සැඟව සිට ඇති අතර අනතුරුව පෙරේදා 27 නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

ජේ.ඒ.එල්. ජයසිංහ

Tuesday, May 28, 2024

ග්‍රාම නිලධාරීන් යළි අකුරට වැඩ



ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා ඊයේ (27දා) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මර්ගයක් ආරම්භ කළ බවත්, මේ මස 03 වැනි දින සේවයෙන් ඉවත් වී එදින ප්‍රධාන නගර පහක උද්ඝෝෂණ පවත්වන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාර් සංගමය සඳහන් කරයි. ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය ලෙස මෙම ක්‍රියා මාර්ග සිදුකරන බවත්, ග්‍රාම නිලධාර්න් පිළිනොගන්නා සේවා ව්‍යවස්ථාවක් සකස් කර මූලික වැටුප ඉහළ දැමූ බවට සඳහන් කළද එය පිළිනොගන්නා බවත් එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.

මේ නිසා ග්‍රාම නිලධාර් වෘත්තීය සමිති සකස් කර රජයට භාර දුන් සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු බවත්, එම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමෙන් ග්‍රාම නිලධාර්න්ගේ වැටුප් විෂමතාවලට විසඳුම් ලැබෙන බවත් හෙතෙම පැවසීය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙන සේවා ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ ඉදිරි කටයුතු සිදු නොකරන ලෙසට ඊයේ(27දා) රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ 

තිලිණගම දුම්රිය මාර්ගය අසලින් මළසිරුරක් හමුවෙයි

 




හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක් මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී ඊයේ (27දා) උදෑසන සොයා ගත් බව මීරිගම පොලීසිය සඳහන් කරයි.මීරිගම, විල්වත්ත බෝගහහේන පාර, පදිංචිව සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කළ චන්දිම ලක්මාල් පෙරේරා (28) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.අවිවාහකයෙකු වන මොහු පෙරේදා (26දා) දහවල් දානමය පින්කමකට සහභාගි වී ඇති බවත් පස්වරුවේ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බවත් ඔහුගේ පියා පැවසූ බව පොලීසිය සඳහන් කරයි.

මියගිය අය කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් පමණක් ඇඳ සිට ඇත. රාත්‍රී කාලයේ ඔහු ගමන් කළ ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි පොලීසිය සඳහන් කරයි.මීරිගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා සහ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂන නිලධාරීන් මළසිරුර හමු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කළහ.මියගිය තරුණයාගේ මළසිරුර හමු වී තිබුණේ ඔහු පදිංචිව සිටි නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරිනි.

දුම්රියේ ගමන් කරමින් සිටියදී දුම්රියෙන් වැටී මෙම මරණය සිදු වූවාද නැතහොත් වෙනත් කිසියම් අපරාධමය සිද්ධියක ප්‍රතිඵලයක් ද යන්න හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ. මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීමට දේහය හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජයවර්ධන මහතාගේ නියෝගයෙන් වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කෙරිණි. මීරිගම පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මීරිගම කාන්ති

ගස් යට ඉන්න එපා


මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසත්, ගස් යට වාහන නවතා තැබීම හා රැදී සිටීම සිදුනොකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.ගස් කඩා වැටීම් නිසා පසුගිය දිනවල ආපදා තත්ත්වයන් රැසක් වර්තා වූ බවත්, ප්ලමූලාශ්‍රවල ජලය භාවිත කිරීමේදී ජලමට්ටම් ඉහළ යෑම පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද සදහන් කළේය.

"ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176කට අයහපත් කාලගුණ තත්වයක් ඇති වී තිඛෙනවා. ආපදා තත්ත්වයන් දැනුම් දීමට හා ආපදා තත්ත්වයත් දැන ගැනීමට 117 දුරකථන අංකය භාෂා තුනෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා.ආරක්ෂිත කදවුරුවල රඳවා සිටින ජනතාවට අවශ්‍ය පිසූ ආහාර ඇතුළු සියලුම් පහසුකම් ලබා දෙමින් තිබෙනවා. ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට දිස්ත්‍රික් ආපදා කළමනකාරණ ඒකක හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්ව සිටිනවා. සහන සේවා කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහාය ලැබෙනවා..ගස් කඩා වැටීම් නිසා මරණ කිහිපයක් වාර්තා වී තිබෙනවා. ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකරනවා. කාලගුණ වාර්තාව අනුව පෘනන්නේ තවදුරටත් වැසි ඇති විය හැකි බවයි.”


ඉන්දික හේවාවිතාරණ

සර්ව ජනබලය නමින් නව සන්ධානයක් එයි

 



දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකතු වී ‘සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඊයේ (27දා) පිහිටුවා ගත්තේය. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන්න තේමා කරගනිමින් මෙම නව දේශපාලන ව්‍යාපාරය පිහිටුවා තිබේ.එම දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට ඊයේ (27දා) කොළඹදී අත්සන් තබනු ලැබීය.

මෙම නව දේශපාලන ව්‍යාපාරය සඳහා පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරසිංහ, මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් දිලිත් ජයවීර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් නියෝජ්‍ය ලේකම් පී.පී.ඩී.වී. තිලකසිරි (වාසුදේව නානායක්කාර වෙනුවෙන්), ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වෛද්‍ය ජී.වීරසිංහ, යුතුකම ජාතික සංවාද කවය වෙනුවෙන් ගෙවිදු කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ද මෙහි ගිවිසුම්ගත විය.මෙහිදී පක්ෂ නායකයන් අදහස් දැක්වීය.මෙහිදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ, 'වාමාංශික ලිබරල්වාදයට හා දක්ෂිණාංශික ලිබරල්වාදය යන දෙකටම ව්රුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක් යාම සඳහා සර්ව ජන බලය සමග එකතු වන ලෙස' ඔහු ජනතාවට ආරාධනා කළේය.

"අද ලෝකයේ ප්‍රධාන රටවල දේශපාලන දහම තමයි නව ලිබරල්වාදය, නව ලිබරල්වාදය කියලා කියන්නේ රාජ්‍ය අතුරුදහන් කරනවා. රාජ්‍ය භූමිකාව අහිමි කරන්න ඕන. ඒ වගේම සාමුහිකත්වය බිද දමන්න ඕන. ඕක තමයි නව් ලිබරල්වාද දර්ශනය. ඒ වගේම දක්ෂිනාංශ ලිබරල්වාදය බොරුවට හරී බුදුදහමට ගරු කරනවා. හැබැයි වාමාංශික ලිබරල්වාදය ඒ ගැන. මුකුත් නොකියා සද්ද නැතුව ඉන්නවා. දක්ෂිණාංශ ලිබරල්වාදය බොරුවට හරි දළදා මාලිගය වන්දනාමාන කරනවා මල් වට්ටියක් අරගෙන ගිහින්, වාමාංශික ලිබරල්වාදය දළදා මාලිගය පැත්ත පළාතේ නොගිහින් ඉන්නවා, ඒක දැක්කාම නයාට අඳුකොළ වගේ. දැන් බෞද්ධ සංස්කෘතියට දක්ෂිනාංශ ලිබරල්වාදය එළිපිට පහර දෙන්නේ නැහැ. මෙම ලිබරල්වාද දෙකටම විරුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක් යාම සදහා සර්ව ජන බලය සමග එකතු වෙන්න."යනුවෙන් පැවසීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසුවේ, "සමහරු බලාගෙන හිටියේ මෙවර මැතිවරණයෙන් ජාතික ව්‍යාපාරය වළ දාලා මල බත කන්න, ජාතික ව්‍යාපාරය මරන්නත් බැහැ, මැරෙන්නෙත් නැහැ. අපි සැම එකතුවෙලා ඒක මරන්න දෙන්නෙත් නැහැ, මව්බිම ගිනිගන්නා විට මේ මව්බිම ගිනි තැබුවේ කවුදැයි සොයමින් එකිනෙකාට ඇගිලි දිගු කරනවා මිස මේ ගින්න නිවන්න. උත්සහ කරන්නේ නැහැ. අද අපි එකතු වෙන්නේ ඒ විවේචන ගොන්නට අලුත් විවේචනයක් එකතු කරන්න නෙවේ. විසදුම කුමක්ද කියන හරවත් සංවාදය මේ සමාජය තුළ ඇති කර ගැනීමටයි. ඒ නිසා තමයි අපි ජාතියට පොරොන්දු වෙන්නේ ආර්ථික සංවර්ධනයත් සමග තුලනාත්මකව ඉදිරියට යාම සඳහා අප සමග එකතු වෙන්න." යනුවෙන් පැවසුවේය.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා, 'මීළඟ නායකයා කවුදැයි තීරණය කිරීම සදහා ඇති අභියෝගයට මුහුණ දීම වෙනුවෙන් සර්වජන බලය ආරම්භ කළ' බව සඳහන් කළේය.

"මේ රටේ ජාතික ව්‍යාපාරයට ලක්ෂ කියක් තියේද, අපි ඒ තරම් දුර්වල නැහැ. අපි නැගිට්නවා අළු ගසා දාලා, ඒකාන්ත වශයෙන්ම මේ රටේ ඊළග ජනාධිපති බිහි කරන්නෙත්, අගමැති බිහි කරන්නෙත් අපට ඕන කෙනයි. අපේකම සමග කාටවත් සෙල්ලම් කරන්න දෙන්න. බැහැ. අපේ මිතුරන් සතුරන් කවුද කියලා අපි හොඳට දන්නවා. සැලකිය යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපයේදී අප සමග එකතු වෙනවා. සර්වජන බලය සර්වජන වශියක්ම වේවා යැයි මම ප්‍රර්ථනා කරනවා." යනුවෙන් ද පැවසීය.

එහිදී අදහස් දැක්වු මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙසේ පැවසීය. "මව්බිම ජනතා පක්ෂය පසුගිය කාලයක් තිස්සේ දැඩි ලෙස උත්සහ කළා ජාතිකවාදී කඳවුර එක්තැන් කර ගන්න. අපි වසර 30කට ආසන්න කාලයක් උත්සහ කළා ලංකාවේ ජාතිකත්වය අපේ ජාතිකවාදී කඳවුර දැක ගැනීමට, මම හැමවිටම නියෝජනය කළ කඳවුර අද තීරණාත්මක ලෙස එකතු වී තිබෙනවා. මෙහි ප්‍රධාන මහා පොදු සාධකය ජාතිකත්වය සහ මනුස්සකම, ඒ වගේම සත්භාවය. ප්‍රධාන ධාරාව වන ජාතිකත්ව ධාරාව අපේ රටේ ජීවනාලිය. එය රැක ගැනීම සඳහායි අපි හැමදාම උත්සහ කළේ. ඒ සඳහා මම දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 193කු හමු වෙලා තියෙනවා. මම ඉන් 53කු සමග සමීපව සාකච්ඡා කළා. තව මිතුරන් අප සමග එකතු වෙයි. 

රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් දේශපාලනය ඉතුරු වෙලා තියෙන තැන තමයි සර්වජන බලය, ඒ නිසා අපිට අපේ රට නැති වෙන්නට යන මේ තීරණාත්මක මොහොතේදී ඔබ සියලු දෙනා එකතු වෙන්නට ඕන. ඔබගේ පෞද්ගලික පටු අභිලාෂයන් පැත්තක තියලා එකට යන්න පුළුවන් ගමනක් නිර්මාණය කරගෙන යමු. ඒ සඳහා අපි සමග එකතු වෙන්න." යනුවෙනි.

නවෝද්‍යා පවනී

රාජත්‍රාන්ත්‍රික මෙහෙයුමකට විපක්ෂයේ මන්ත්‍රීවරු 3ක් මියන්මාරයට හා රුසියාවට



මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ - තරුණියන් 49දෙනා සහ රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපත්ව සිටිති.එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවැනි පාර්ශව සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඊයේ (27දා) අලුයම දින 10ක සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් මුලින්ම තායිලන්තය බලා පිටත්ව ගියහ. මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතිඥ වසන්ත යාපා ඛණ්ඩාර, ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වී සිටින අතර, මොවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට නියමිතය. 

මන්ත්‍රීවරුන් පිරිස ත්‍රෛනිකායික මහ නාහිමි වරුන්ගේ සහ විපක්ෂ නනායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ, මියන්මාරයේ සංඝ නායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී එම ලිපි භාර දීමට නියමිතය.මෙම සංචාරය පිළිබඳව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා කටුනායක ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. “පසුගිය කාලය පුරා මේ අය බේරා ගැනීම සදහා විවිධ උත්සාහයන් මෙරටින් ගෙන තිබුණත් ඒවා මේ වනවිට සාර්ථක වී නැහැ. නමුත් නේපාලයේ, උගන්ඩාවේ දරුන් බේරා ගෙන යනවා අපි දැක්කා. මේ ජාත්‍යන්තර අත්දැකීම මත විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට මොවුන් බේරා ගැනීමට පියවර ගැනීමට අප ඉදිරිපත් උනා. මෙම සංචාරය මියන්මාරයේ වධ බන්ධනවලට ලක් වී සිටින දරුවන්ගේ දෙමාපියන්ගේ කදුළු පිස දැමීමේ උත්සාහයක්.

එහිදී අපි පලදායක ක්‍රියාමාරිග හරහා යම්කිසි විදියකින් තෙවන පාර්ශ්වයක් මැදිහත් කරගෙන මොවුන් බේරා ගැනීමට උත්සාහ ගන්නවා. අපි මුලින්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත ගොස් එතැන් සිට මියන්මාරයේ යැංගුන් නුවර බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.මෙම සංචාරයේ දී මියන්මාර බලධාරීන් සමග පමණක් නොව තායිලන්තයේ අධිකරණ, විදේශ කටයුතු අමාත්‍යවරුන් සමග මෙන්ම එරට මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධාන ද සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම දරුවන් බේරා ගැනීම සදහා රජ්ය පිළිබඳවම විශ්වාසයක් තබා නොගෙන, විශේෂයෙන් රාජතාන්ත්‍රික භාවයක් නොමැති තෙවන පාරිශ්ව සමග පලදායක ක්‍රියාමාරිග ආරම්භ කිරීමට අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

ටී.කේ. පී.කපිල

දේශපාලකයනීන්ට වහං වෙලා: දූෂිත නිලධාරීහු 400 ක් නිදැල්ලේ

 


රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සදහන් වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරින් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවැසේ.එසේම දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට පාඩු වූ කෝටි දාහකට වැඩි මුදලක් අදාළ නිලධාරීන්ගෙන් අයකර ගැනීම ද මෙතෙක් සිදුවී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. වගකිවයුතු නිලධාරීන්ගෙන් පාඩු වූ මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව විගණන නිලධාරියෙක් පැවැසීය. 

මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නොමැත්තේ එම දූෂණ වංචාවලට ප්‍රධානීන් ද ඍජුව හෝ වක්‍රාකාරව සම්බන්ධ වී ඇති නිසා බව පෙනී ගියේ යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති. බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12 ක් පමණ හඳුනාගෙන ඇතැයි ද ඔවුහු සඳහන් කරති.මේ අතර සීනි බදු වංචාව, බාල පොහොර සිද්ධිය ඇතුළු ප්‍රධාන පෙළේ ජාවාරම්වලට සම්බන්ධ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ඇතැම් දේශපාලනඥයන් මෙම නිලධාරීන්ට රැකවරණය ලබාදීම මෙම වංචා දූෂණයට යෑමට ප්‍රධාන හේතුවක් බව විගණන අංශ පෙන්වා දෙයි.

සුජිත් හේවාජුලිගේ

මන්ත්‍රීන්ට වාහන පර්මිට්



වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට කතා කර කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බව පැවැසූ කතානායකවරයා තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බව ද ප්‍රකාශ කළේය.මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ බාර දෙන බව ද ඔහු සඳහන් කළේය.

තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් බාර දෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළ වී ඇත. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකක් පමණ වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් මෙයට පෙර හිමිවිය. 

එම බලපත්‍රය නිකුත් කිරීම රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් නතර කෙරිණ. මන්ත්‍රීවරුන්ට අවසන් වරට වාහන බලපත්‍රය දුන්නේ 2015 වර්ෂයේදීය. ඉදිරි මැතිවරණ වලට පෙර තීරු බදු රහිත වාහන බලපත්‍රය නොදුනහොත් තමන් මැතිවරණවලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරුන් ගණනාවක්ම රජයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමේ තීරණයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා විරුද්ධත්වය පළ කළේය.රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වාහන ලබා ගැනීම සුදුසු නොවන බව එම රැස්වීමේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් පෙන්වා දී තිබිණ.

සුජිත් හේවාජුලිගේ


අයි.එස්.ලාට ගෑවුණු අයිය මලෝ හලාවතින් දැලේ

 


අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බව කියමින් කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියේ යැයි කියන එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් හලාවත ප්‍රදේශයේ දී කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

අත්අඩංගුවට ගැනුණ එක් සහෝදරයකු පිට පළාතක ධීවර වරායක ද අනෙක් සහෝදරයා කොළඹ කන්ටේනර් අංගනයක ද සේවය කරන්නකු යැයි කියති. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් බව කියමින් ඉන්දියාවේ දී එරට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිවු දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී හෙළිවූ තොරතුරු මත මෙම සහෝදරයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම සහෝදරයන් දෙදෙනා ද රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන එම විශේෂ පොලිස් කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. මෙම සහෝදරයන් දෙදෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ නිවෙසේ සිටියදී කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

කටුනායක ගුවන්තොට බිමේ රියැදුරු නැති වාහන තහනම්




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පරියන්තයෙන් පිටත ප්‍රදේශයේ වාහන නවතා තැබීම, තදබදයක් ඇති නොවන පරිදි ක්‍රමවත් කිරීමේ අරමුණෙන්, කිසිදු විටෙක රියැදුරු නොමැතිව වාහන නවතා තැබීම සපුරා තහනම් කර තිබේ.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ වාහන නැවැත්වීම සහ හැසිරවීම පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා විසින් නව නිවේදනයක් නිකුත් කර ඇති අතර එකී නිවේදනයේ එම තහනම සඳහන් වී ඇත.ඊට අමතරව ගුවන් මගීන් රැගෙන යාමට පැමිණෙන සියලුම වාහන අදාළ රථ ගාල් වල සිට නියමිත වේලාවන් හී දී පමණක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණිය යුතුය. රියැදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30 කට වඩා වැඩි කාලයක්, වාහන තදබදයක් ඇති වන පරිදි, අණ නොතකා වාහන හසුරුවන රියැදුරුවරුන්, ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී විශේෂ ගාස්තුවකට යටත් කරනු ලැබේ.

මෙම ක්‍රියාවලිය මගින් පහසු සහ   ක්‍රමවත් සේවාවක් කටුනායක ගුවන් තොටුපොළ තුළින් ගුවන් මගීන්ට හිමි වන අතර, අයථා සහ අනවශ්‍ය පුද්ගලයන් සහ වාහන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වීම වළක්වා ගැනීමට හැකි වීමෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව වඩා තහවුරු වනු ඇති බවට එම නිවේදනය මගින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා බලාපොරොත්තු පළ කර තිබේ.

 ටී.කේ.ජී. කපිල 

අවුරා ලොක්කාගෙන් සී.අයි.ඩී නිලධාරීන් කෝටි 30ක් කප්පම් ඉල්ලලා




හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබාගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළැයි කියන ‘අවුරා ලංකා' සමාගමේ සභාපති විරංජිත් තාඹුගල නමැත්තාගෙන් රහස් පොලිස් නිලධාරින් මීට පෙර රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මියට ඊයේ (27) දැනුම් දුන්නේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහ දැනට සිටින නිලධාරීන් තම සේවාදායකයාගෙන් මෙලෙස කප්පම් ඉල්ලු බව දැනුම් දුන් නීතිඥ උපාලි ජයමාන්න මහතා ඒ සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටියේය. හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබාගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින් සමාගම පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් විරංජිත් තාඹුගල නමැත්තා රිමාන්ඩ් බාරයට පත්කර සිටි අතර සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරින් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේ දී සිද්ධියට අදාළව කරන ලද විමර්ශත වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරිහු සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවම අවසන් කර නැතැයි දැනුම් දුන්හ.

සැකකාර 'අවුරා ලංකා' සමාගමේ සභාපති විරංජිත් තාඹුගල නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ මූල්‍ය ගනුදෙනුව සිවිල් ගනුදෙනුවක් බවත්, මෙම සිද්ධියේ අපරාධමය චෝදනාවක් අනාවරණය නොවන බවත් කීය.මෙම ගනුදෙනුවට අදාළව දිසා අධිකරණයේ වන්දි නඩු දෙකක් පවරා ඇතැයි කියමින් ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අමතරව තම සේවාදායකයාට එරෙහිව රහස් පොලිසියේ තවත් පැමිණිලි කිහිපයක්ම විභාග වන බවත් එම සිද්ධියකට අදාළව විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ හිටපු නිලධාරියකු සහ වත්මන් නිලධාරීන් දෙදෙනකු තම සේවාදායකයාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පමක් වශයෙන් ඉල්ලා ඇතැයි ද පසුව එම කප්පම් මුදල රුපියල් කෝටි 05 දක්වා අඩු කර ඉන් රුපියල් කෝටි 02 ක මුදලක් අත්තිකාරමක් වශයෙන් ලබාගෙන ඇතැයි ද කී නීතිඥ උපාලි ජයමාන්න මහතා රහස් ප්‍රකාශයක් මගින් මේ සම්බන්ධයෙන් සියලු කරුණු එළි කිරීමට තම සේවාදායකයා සූදානම් හෙයින් ඊට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 100 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවන ජුලි 24 වැනිදා සිද්ධියට අදාළව කරන වමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කළාය.

රෝෂන් තුෂාර

පිනට බී පනින්න ගිහින් මාට්ටු වුණාම කොස්තාපල් යකා නටලා




ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ අවන්හලකින් මුදල් නොදී බීර බෝතල් දෙකක් පානය කර එහි හිමිකරු සමග බහින්බස් වී දේපළවලට පහර දී හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිට දැනට අසනීප නිවාඩු වාර්තා කර සිටින පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 26 වැනිදා රාත්‍රියේ එම අවන්හලට ගොස් බීර පානය කර ඇති අතර බීර පානය කිරීමෙන් පසු ඒ සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියක් මුල් කරගෙන මත්පැන්හලේ හිමිකරු සමග බහින්බස් වී ගැටුම් ඇති කරගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.අවන්හලේ හිමිකරු සහ තවත් පුද්ගලයකු තමන්ට පහර දුන් බවට සැකකාර කොස්තාපල්වරයා ගාල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.අවන්හලේ හිමිකරුද පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ කොස්තාපල්වරයා බීර දෙකක් පානය කළ බවත් මුදල් නොගෙවා පලා යාමට උත්සාහ කිරීමේ දී බහින් බස් වීමක් සිදු වූ බවයි.

බහින්බස් වීම සිදුවන අතරතුර කොස්තාපල්වරයා අවන්හලේ ගබඩා කාමරයේ වීදුරු දොර කඩා ඒ තුළින් පලා යාමට උත්සාහ කිරීමේදී බිම ඇද වැටී තුවාල සිදු වූ බවට ද හිමිකරුගේ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි.කොස්තාපල්වරයා පානය කර බීර බෝතල් දෙකේ සහ ඔහු පහරදී අලාභ හානි කළ වීදුරු දොරේ අලාභය අයකර දෙන ලෙසට ද හිමිකරු පැමිණිල්ල මගින් ඉල්ලා සිටින බව පොලිසිය පවසයි. අයුතු ඇතුළු වීම සහ එහි දේපළවලට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඉහත කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


ඉන්දිකා රාමනායක 

Monday, May 27, 2024

ඕඩේ ඇළෙන් වනඅලි සිරුරු 7ක් සොයා ගැනේ

 


පොළොන්නරුව ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ හදපාන්විල විල්ලුවේ,ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහත දී මිය ගිය වන අලින්ගේ සිරුරු හතක් ඊයේ(26දා) හමුවූ බව වනජීවි නිලධාරීහු සහ පරිසරවේදීහු සදහන් කරති. අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30,35 පමණ වයසේ පසුවන වන දෙදෙනකුගේ සිරුරු ඒ අතර වන බව පරීක්ෂණ සිදු කරන වනජීවී නිලධාරීහු සදහන් කරති. හදපාන්විල, විල්ලුවේ, ඕඩේ ඇළ ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ප්පත් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත්, එම ඕඩේ ඇළේ ස්ථාන කිහිපයකින්, එම අලින්ගේ සිරුරු හමු වී තිබෙන බවත්, අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බවත්, පරීක්ෂණ සිදු කරන වනජීවි නිලධාරීහු සදහන් කළහ.

පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හදපාන්විල විල්ලුව පිරි, ඕඩේ ඇළ හරහා මහවැලි ගගට ජලය ගලා ගොස් ඇති අතර, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් පන් ජබර සහ පාසි තුළ සිර වී මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරිහු පවසති. ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සුරැකීමේ සභාපති ටී. තීපන් මහතා සදහන් කළේ ඕඩේ ඇළට කුඹුක් ගස් කඩා වැටී, ජපන් ජබර සහ විවිධ පාසී වර්ග සිරවී තිබෙන බවත්, එහි ගැඹුර නොදැන වන අලි රංවුව ඕඩේ ඇළ හරහා ගමන් කිරීමට, යාමේදී ජලයේ ගිලීමෙන් අනතුරට මුහුණ පා මියයන්නට ඇති බවට සැක කරන බවයි.


නිමල් ජයරත්න